10/05/2015

සම්මත වූ ඇමරිකානු යෝජනාව සහ රටේ අනාගතය - ආචාර්ය දයාන් ජයතිලක

කතෘ:යුතුකම     10/05/2015   No comments

ශ්‍රී ලංකාව පිළිබඳ ඇමරිකානු යෝජනාව ඔක්තෝම්බර් 01 වනදා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලයේදි සම්මත වූයේ ඡන්ද විමසිමකින් තොරවය. අදාළ යෝජනාවට රටවල් විසි පහක් සම අනුග්‍රහකත්වය දක්වන්නට එකඟවිම කැපි පෙනෙන්නක් වු අතරම එය රටක ස්වෛරීත්වයට ස්වාධිනත්වයට ගෙනෙන බලපෑම කවරේද යන්න විමසා බැලීම අතිශය වැදගත්ය.

රටක් ලෙස ගත්විට මෙමඟින් අපට සිදුවන බලපැම කිසි ලෙසකින් වත් යහපත් එකක් වන්නේ නැත. මා එසේ කියන්නේ එම කවුන්සිලය අමතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් විසින් සැප්තැම්බර් 30 වනදා කළ ප්‍රකාශයත්, ඔක්තෝම්බර් 01 වන දා යෝජනාව සම්මත වීමේදි එම යෝජනාවේ ප්‍රමුඛ දායකයෙකුවන මහා බ්‍රිතාන්‍යෙය් තානාපතිවරයා විසින් සනාථ කරන ලද කරුණු කාරණාත් සැළකිල්ලට ගැනීමේදිය.

මහා බ්‍රිතාන්‍යයේ තානාපතිවරයා මෙන්ම නිත්‍ය නියෝජිතවරයා සභාව අමතමින් එහිදී කියන ලද්දේ මෙම යෝජනාවේ පදනම හෙවත් තිරසාර අත්තිවාරම වන්නේ සෙයිඩ් අල් හුසේන් ගේ කාර්යාලයෙන් වාර්තාව බවයි.

එහිදි බ්‍රිතාන්‍ය නිත්‍ය නියෝජිතයා සනාථ කරන ලද දෙවන වැදගත් කරුණ වන්නේ මෙම යෝජනාව ගලා යන්නේ 2012, 2013, 2014 ශ්‍රී ලංකාව පැරදුණු යෝජනා හරහා බවත් 2012 සිට නව යෝජනාව දක්වා එම ක්‍රියාවලිය ඉදිරියට තල්ලු කරගෙන ගියේ සිවිල් සමාජය විසින් බවත්ය. අද වන විට වෙනසකට ඇත්තේ එම අදහස් වලට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දායක විම බවත්ය. ඒ අනුව ගෙන බැලීමේදි මෙම යෝජනාව සම්මත වීමේ හරය මෙම ප්‍රකාශ මඟින් පැහැදිලිව දැක්වෙයි. එය මෙම යෝජනාව සම්පාදනය කළ ප්‍රධාන බලවතෙකු විසින් කරන ලද කාරණයකි.

මෙහිදි සෙයිඩ් අල් හුසේන් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ගෙන බැලීමේදි එහි ප්‍රධාන අර්ථය වැදගත්ය. එය අපට විමසන්නට හැකි වන්නේ ඔහුගේම වදන් හරහායි. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ සැප්තැම්බර් 30 දා සෙයිඩ් අල් හුසේන් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් දුන් වීඩියෝ හරහායි. එහිදී ඔහු කියා සිටියේ ලංකාවේ අධිකරණ පද්ධතිය සිය වාර්තාවේ සඳහන් වන යුධ අපරාධවල ගැඹුර, බරපතලකම මෙන්ම පැතිරයාම දරා ගැනීමේ හැකියාවෙන් විරහිත බවයි.

මෙමගින් අප තේරුම්ගත යුත්තේ කුමක්ද?

සෙයිඩ් අල් හුසේන් මෙන්ම ඔහුගේ කාර්යාල වාර්තාව ලංකාවේ යුධ අපරාධ සිදූවු බව දැනටමත් නිගමනය කර ඇති බවයි. එපමණක්ද නොව එම යුධ අපරාධ විශාල ගැඹුරකින් බරකින් සහ ප්‍රමාණයකින් සමන්විත වූ බවයි. මෙහිදි තර්කානුකූලව අප සිතා බැලිය යුත්තේ ලංකාවේ පවතින නිති පද්ධතියට හා අධිකරණ පද්ධතියට දරාගැනීමට බැරි, දඬුවම් දී බැරි කිසිදු අපරාධයක් තිබේද යන්නයි. යුධ සමයක අපරාධ සිදුවිම ඛේදජනක යතාර්ථයකි. ඒ අපරාධ වලට දඬුවම් පැමිණවීම බොහෝ සමාජ වල කෙරේ. ලංකාවේද එවැන්නකට හොඳටෝම ඉඩකඩ ඇත. තනි පුද්ගලයකු මරා දැමුවත් පුද්ගලයින් දහස්ගණනක් මරා දැමුවත් එය ලංකාවේ අධිකරණ පද්ධතිය හරහා දඬුවම් කළ හැකි අපරාධයකි. එම අපරාධය සිදු කරනු ලැබුවේ එක් අයෙකු විසින්ද කණ්ඩායමක් විසින්ද යන්න එහිදි ප්‍රශ්නයක් නොවේ. එය සොයා බලා ලංකාවේ පවතින නිතිය හා අධිකරණ ක්‍රමය තුළ ඒ ගැන සොයා බලා දඬුවම් දිමට අවකාශයක් ඇත.

එසේ තිබියදි සෙයිඩ් සිය වාර්තාව මඟින් ලංකා අධිකරණයට එකේ කළ නොහැකි යයි කියන්නේ කුමක් නිසාද? ඔහු කියන ආකාරයට මෙම යුධ අපරාධ වල ඇති ගැඹුර බරපතලකම සහ ව්‍යාප්තිය නිසාය. මෙහිදී කතා කරන්නේ එක් අයෙකු හෝ කිහිපදෙනෙකු ඉහළින් අනුමැතිය ඇතිව හෝ නැති කළා වු මිනි මැරීම් හෝ දූෂණ ගැන පමණක් නොවේ. එහිදි ඔවුන් කියන්නේ සමස්ත හමුදාව විසින් දැනුවත්ව ප්‍රතිපත්තියක්ව, ආයතනය විසින් ගනු ලැබු තීන්දු තීරණ අනුව යමින් මහා පරිමාණයෙන් යුධ අපරාධ සිදුකළ බවයි. එහිදි තමුන්ගේ රටේ නිත්‍යානුකුල හමුදාව ගොදුරක් කරන්නට තරම් අවශ්‍ය විශාල දැලක් ශ්‍රී ලංකා අධිකරණය හා නිති පද්ධතිය තුළ නැතැයි සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාවේ පදනමයි. ඒ නිසාම ජාත්‍යන්තර සහභාගිත්වය සහිත විශේෂ උසාවියක් හා වෙනත් විශේෂ යාන්ත්‍රණද යෝජනා කර තිබේ. ඇමරිකානු යෝජනාවේ පදනම එකි නියමය වන අතර, යෝජනාවේ පදනම සෙයිඩ් අල් හුසේන්ගේ එම වාර්තාව බව බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ කතාවෙන් පැහැදිලිය. මෙයට ශ්‍රි ලංකා ආණ්ඩුව සම්මාදම් වීමෙන් කර තිබෙන්නේ තමුන් විසින් මෙම බලගතු අසාධාරණය හා අවලාදය පිළීගත් බවට ලෝකයට පැවසීමයි.

සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාවේ අන්තර්ගතය ශ්‍රී ලංකා හමුදා විරෝධි යුද්ධයකට සම්පූර්ණයෙන්ම මඩ ගසන, එය යුධ අපරාධ වලින් ගහන ජන සංහාරයක් ලෙස සලකන වාර්තාවක් අත්තිවාරමක් කරගන්නේ නම් ව්‍යාජ අත්තිවාරම මත ගොඩ නැගෙන කිසිවක් සත්‍ය විය නොහැක. එහෙත් ලංකා ආණ්ඩුව දැන් එකඟ වී ඇත්තේ සෙයිඩ් අල් හුසේන් ගේ වාර්තාව පමණත් නොව එම වාර්තාව අත්තිවාරම කොටගත් ඇමරිකානු යෝජනාවටය.

ඇමරිකානු යෝජනාවේ හරය පවතින්නේ එහි ක්‍රියාකාරී ඡේද වලයි. පෙරවදන් ඡේදවල ලංකාව පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කර ඇති අතර, පෙරවදන් ඡේදවලින් ගම්‍ය වන වටිනාකමක් නැත. වැදගත්කම ඇත්තේ ක්‍රියාකාරී ඡේදවලයි. එහි දැක්වෙන්නේ සැප්තැම්බර් 28 වනදා ඇමරිකානු කෙටුම්පත් යෝජනාවලියේ තිබූ කරුණු කාරණාමය. එබැවින් ඔක්තෝම්බර් 01 වන දා සම්මත වුයේ ඕ 25 නමැති යෝජනාවයි. එහි කිසියම් සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවට හැකියාවක් තිබුණා නම් එය සඳහන් වන්නේ ඕ25 සංශෝධිත යන්නයි. එහෙත් වරහන් තුළ එවැන්නක් නැත. ඒ අනුව ඉහත යෝජනාව තුළින් ඉතා පැහැදිලි වන්නේ විශේෂ උසාවියක් නිර්මාණය කිරිමට ලංකා ආණ්ඩුව පොරොන්දු වී ඇති බවයි. එහිදී විශේෂ නීතිවේදි නිලධාරි කාර්යාලයක් පිහිටුවීමට ලංකා ආණ්ඩුව එකඟ වී ඇති බවත් ඒවා අර්ථවාන්විත කිරීම පොදු රාජ්‍ය මණ්ඩලීය හා විදේශ නඩුකාරවරුන් සහ විදේශ පරික්ෂකයන්ගේ සහභාගිත්වය අවශ්‍ය බවත්ය. ඒ අනුව මිට හයිබ්‍රිඩ් කිව්වද, නොකිව්වද මෙහි හරය එකමය. ඒ විදේශිය සහභාගිත්වය හේතුවෙනි.

එහිදී විදේශිය සහභාගිත්වය අපට ලැබෙන්නේ උපදේෂක මට්ටමින් නොවේ. එම යෝජනාවේ හයවැනි ක්‍රියා කාරි වගන්තියේ සඳහන් වන්නේ විශේෂ උසාවියේ සහ විශේෂ නිලධාරියාගේ කාර්යාලයේ මෙම විදේශිය නඩුකාරයින්, විදේශිය නීතිඥයන් සහ විදේශිය පරික්ෂකයින් සහ විදේශීය නීතිඥයින් සහ විදේශීය පරීක්ෂකයින් සහ විදේශීය කොටස් කරුවන් සහභාගි විය යුතුය. ඒ අනුව මෙහිදි සිදුවන්නේ කුමක්ද?

මෙහිදි පැහැදිලිවම සිදුවන දෙයක් වන්නේ ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. ඒ වෙනුවට නඩු මෙහෙයවිම සහ අධිචෝදනා මෙහෙයවිම සඳහා විශේෂ කාර්යාලයක් ආරම්භ කිරීමයි. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව මඟින් සාම්ප්‍රදායිකව සිදුවන දේ සිදු නොවන අතර මෙහිදි පිහිටුවන්නට යන විශේෂ අධි චෝදනා මෙහෙයවන කාර්යාලයට කවුරුන් ඒ දැයි කිමට නොහැකිය. පිටරට වාසය කරන ශ්‍රී ලාංකිකයින් දමිළ ඩයස්පෝරාවේ පුද්ගලයින් පිටරැටියන් මේ ආදි කවුරුන් ඒ දැයි කීමට නොදනිමු. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව මුල සිටම කොන්කිරිම මෙහිදී සිදුවන වැදගත්ම ව්‍යුහාත්මක ලක්ෂණයයි.

ඊළඟ කරුණ නම් මෙහි විශේෂ උසාවිය නිර්මාණය කිරිමයි. එයත් ඉතාමත්ම නරක ක්‍රියාවකි. මන්ද 19 වන සංශෝධනයෙන් පසුව සහ ස්වාධින කොමිෂන් පිහිටුවීමෙන් අනතුරුව ලංකාවේ අධිකරණය ප්‍රමුඛ නිලධාරි තන්ත්‍රය බෙහෙවින්ම ස්වාධින වී ඇත. මැතිවරණ කොමසාරිස් කාර්යාලය සම්බනධයෙන් ගත්විට එය පැහැදිලි වේ. ඒ තත්ත්වය තිබියදිත් මෙම විශේෂ උසාවිය නිර්මාණය කරන්නේ කුමක් අරබයාද යන ප්‍රශ්නය යළි යළිත් මතුවේ.

මෙම සම්මත වු යෝජනාව තුළ ඊළඟ භයානක වූ කාරණාව ත්‍රිවිධ හමුදාව පිළිබඳ ඇති ක්‍රියාකාරී ඡේදයයි. එම ඡේදය තුළ සඳහන් වන්නේ කිසියම් ස්වාධීන පරිපාලන ක්‍රියාවලියක් හරහා යම් මානව හිමිකම් උල්ලංඝනයකය, විශ්වාස කටයුතු ලෙස සම්බන්ධ වී ඇත්නම් ඒ සියල්ලන්ම හමුදාවේ රඳවා තබා නොගන්නා ලෙසයි. එනම් කළු කොටියෙක්ගේ හෝ මානව හිමිකමක් බරපතල ලෙස උල්ලංඝනය වුවා යයි නඩුවකින් මෙහා පරිපාලන ක්‍රමයකින් සොයාගත හැකි නම් හෝ සැකකළ හැකි නම් ඒ සියලු පුද්ගලයින් හමුදාවෙන් ඉවත් කිරිම සිදුවෙයි. ඊට ලංකා ආණ්ඩුව දැන් පොරොන්දු වී තිබේ.

මඩ වතුර බොමින්, පල් වතුරේ ලගිමින්, කැලැ පීරමින්, බිම් බෝම්බ වලට හසුවෙමින් අතපය හා ශරීරාංග නැතිකර ගනිමින් සටන්කර ජය ලබා ගත් සොල්දාදුවන්, නිලධාරීන් ප්‍රමුඛ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 2009 යුද්ධය ජයගෙන වසර හයකට පසුව විදේශිකයින් ඇතුළත් විශේෂ උසාවියක් හරහා පෙනී සිටීමට හෝ ඊනියා ස්වාධින පරිපාලන ක්‍රියාවලියකට ලක්වී හමුදාවෙන් අස්කරනු ලබන තත්ත්වයකට මුහුණ දෙනු ඇතැයි නිකමටවත් සිතන්නට ඇද්ද? සිහිනෙකින් වත් ඔවුන් හෝ අපට එවැන්නක් සිතෙන්නේ නැත. එහෙත් අද සිදුවී ඇත්තේ එයට ලංකා ආණ්ඩුව ප්‍රතිඥා දීමය.

අප මෙහිදී අනෙකුත් රටවල් සම අනුග්‍රාහකත්වය දැක්වීම පිළිබඳ කාරණයද විමසා බැලිය යුතුය. සම අනුග්‍රාහකත්වය තුළ සිදුවන්නේ ලංකාව වෙනුවෙන් කතා කරන්නට තිබු රටවල පවා ලංකාව විසින්ම කටවසා දැමූ තත්ත්වයකි.

සැප්තැම්බර් 30 දා සෙයිඩ් අල් හුසේන්ගේ කතාවෙන් පසු ශ්‍රී ලංකාව ආරක්ෂා කරමින් රුසියාව, පකිස්තානය, වියට්නාමය, ආදි රටවල් කතා කළේය. සෙයිඩ් අල් හුසේන්ට පක්ෂව කතා කළේ බටහිර රටවල්ය. අල් හුසේන් ට පක්ෂව කතා කළේ බටහිර රටවල්ය. ඔක්තෝම්බර් පළමුවැනිදා ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කරද්දි සියුම් විසංවාද අයුරකින් චීනය ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම ගැන විරුද්ධව අදහස් ප්‍රකාශ කළේය. මෙහිදී සියලු රටවැසියන් දැනගත යුත්තේ අපේ තිරසාර මිත්‍රයන් වන්නේ රුසියාව හා චීනය ප්‍රමුඛ බලකඳවුර බවයි. මෙහිදී ඔවුන්ගේ නායකත්වයෙන් අපට ලබා ගැනීමට හැකිව තිබූ ඡන්ද ප්‍රමාණය පවා ලැබිම වැළකුණේ සහ සෙයිඩ් අල් හුසේන් ගේ ඇමරිකානු වාර්තාවට විරුද්ධව ලංකාව පැත්ත ගෙන කතා කරන්නට නොහැකි වුයේ ලංකාව ඉදිරියට පැන මෙම යෝජනාවට සහාය දෙන මෙන් සභාවෙන් ඉල්ලා සිටි නිසාය.

මේ අයුරින් බලද්දි ඔක්තෝම්බර් පළවෙනිදා යනු ලංකාවේ සමකාලීන මෙන්ම දීර්ඝ ඉතිහාසයේ වැදගත් මර්මස්ථානයකි. එදින සිට ලංකාවේ දෛවය හා දේශපාලනය තින්දු වන්නේ මෙම යෝජනාව ලංකාවේ ක්‍රියාත්මක විම හෝ නොවීම මෙන්ම ඊට ලැබෙන හෝ නොලැබෙන ප්‍රතිචාරය අනුවයි. එමෙන්ම ලංකා දේශපාලනය මින් මතුවට පිල් බෙදෙන්නේ මෙම යෝජනාවට පක්ෂ වූවන් හා විපක්ෂ වූවන් ලෙසයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කළ යුතු වන්නේ ලංකාවේය. එම යෝජනාවේ අන්තර්ගත තවත් වැදගත් කාරණයක් වන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. ජිනීවා වල කුමන යෝජනා සම්මත වුවත් නැටුම නටන්නට වන්නේ ලංකාවේය. ඇතැම්විට බාහිර ක්ෂේත්‍රයේ සිදුවන දේ අපට පාලනය කරගැනීමට නොහැකිය. එහෙත් යම් යම් විජයග්‍රාහී අවස්ථා ගෙන බැලුවොත් එවැන්නක් කිරීමට හැකියාවක් තිබේ. 2009 මැයි 26 දා ලංකාව අදීනව අභිතව මෙම යුධ අපරාධ චෝදනාවට මුහුණ දෙමින් නවිපිල්ලේ මහත්මිය නිව්යෝක් සිට එම මානව හිමිකම් කවුන්සිලයම අමතමින් ජාත්‍යන්තර පරික්ෂණයක් හා යුධ අපරාධ පරික්ෂණයක් පිළිබඳව කළ ඉල්ලීම 2/3 කට ආසන්න ඡන්දයකින් පරාජය කරන්නට තරම් හැකියාවක් ලැබිණි. එදා සිට අද දක්නා අප දකින්නේ සහ මා පුද්ගලිකය අත්විඳන්නේ මේ රටට සිදු වු මහා අවපාතය සහ කඩා වැටිමයි.

මෙහිදී ඉතා භයානක කාරණාවක් පෙන්වා දිය යුතුය. 2009 මැයි මාසය වූ කලි ශ්‍රී ලංකා ජාතියේ උච්චතම අවස්ථාවකි. මෙම මාසයේ ඓතිහාසික ජයග්‍රහණ දෙකක් සිදුවිය. ඉන් එකක් මෙම දූපතේදි එල් ටි ටි ඊ හමුදාව කායිකව පරාජයට පත් කිරිමයි. එයින් දින දහයකට පසුව සතුරාගේ භූමියක බටහිර රටක එනම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදි ගොඩබිමේ සිදුවූ ජයග්‍රහණයේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිබිම්භනය ලෙස අපට රටවල් 2/3 ක සහාය ලබමින් මෙරටට පක්ෂ යෝජනාවක් සම්මත කරගැනීමට අවකාශය ලැබීමයි. යුධ ජයග්‍රහණය ට සීල් තබනු ලැබුවේ මෙම රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණය වන අතර එය නොපිට පෙරළීමට ආසන්න හේතුව වූයේ එවකට රාජපක්ෂ රජයේ අදුරදර්ශි විදේශ ප්‍රතිපත්ති තීන්දු මෙන්ම කළමනාකාරණයයි. 2012, 2014 අතර කාලයේ වූ පරාජයන්ට එම අදුරදර්ශිභාවය හේතු විය. එය හේතුකොට ගනිමින් ඔක්තෝම්බර් 01 වනදා සිදුවූ මහා පාවාදීමට පාර කැපුණි.

මෙහි ප්‍රශ්නය ඇත්තේ යුධ ජයග්‍රහණය රාජ්‍ය තාන්ත්‍රික , එනම් ජාත්‍යන්තර දේශපාලන ජයග්‍රහණයකින් සීල් තබනු ලැබු නිසා මෙවර සිදුවු මෙම රාජ්‍ය තාන්ත්‍රික පාවා දීම හේතුකොට ගෙන යුධ ජයග්‍රහණය ආපසු පෙරළේද නැද්ද යන්නයි. මෙහි ඇති ගැටළුව සුළු පටු දෙයක් නොවේ. මෙම යෝජනාව කෙතරම් අනර්ථකාරී වුවත් එය යතාර්ථයක් කරන්නට නම් ක්‍රියාත්මක විය යුත්තේ ලක් පොළවේය. එය ලක් පොළවේ ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ලක්වැසි ජනතාව හා දේශපාලන බලවේගයන්ය. ජනාධිපතිවරයා එම දේශපාලන සාධක වලින් එකකි. ජනාධිපති සිරිසේනගේ ජාත්‍යන්තර සාධක වලින් එකකි. ජනාධිපති සිරිසේන ගේ ජාත්‍යන්තර හා දේශීය දර්ශනය ගත් විට මෙම යෝජනාවේ සම්මත කරුණු හා ඔහුගේ දර්ශනය අතර කිසියම් පරතරයක් මෙන්ම යම් පරස්පර විරෝධයක්ද දැකගත හැකිය. සිරිසේන ජනාධිපතිවරයා නිව්යෝක් නුවර එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය අමතමින් කතා කරද්දී ජිනීවා යෝජනාවේ අඩංගු කරුණු කතා කළේම නැති අතර රනිල් වික්‍රමසිංහ මහතා හෝ මංගල සමරවීර මහතා දුන් කිසිම ප්‍රතිඥාවක් සිරිසේන ජනාධිපතිවරයා නිව්යෝක් වලදි දුන්නේ නැත. ඒ අනුව රාජ්‍ය නායකයා මහා මණ්ඩලයේ එවැනි භයානක දේකට ප්‍රතිඥා නොදීම අපට යම් තරමක අස්වැසිල්ලකි. නමුත් එම අස්වැසිල්ලෙන් පමණක් ලක්වැසි ජනතාවට සෑහිමකට පත්වීමට නොහැකිය.

ජිනීවා යෝජනාව මෙරට ක්‍රියාත්මක කිරීමට නම් මේ රටේ උසාවි හා පාර්ලිමේන්තුව හරහා යාමට සිදුවේ. මෙරට දේශපාලන හා අධිකරණ ආයතන මෙම යෝජනාවට ඉඩ නොදෙන්නේ නම් මෙම භයානක යෝජනාව ක්‍රියාත්මක කරන්නට නොහැකිය. එහෙත් පාර්ලිමේන්තුව හෝ අධිකරණය ස්වයංක්‍රීයව ඉබේටම එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඒ සඳහා රට ගැන හිතවත්කමක් ඇති සියලු පක්ෂ වලට අයත් මන්ත්‍රීවරුන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අධිකරණයේ මෙන්ම පාර්ලිමේන්තුවේ දි ද ඉතාම තියුණු සටන් වල යෙදිය යුතුය. කෙටියෙන් කිව හොත් මෙම භයානක යෝජනාවේ ක්‍රියාත්මක කිරිමට එරෙහිව නිත්‍යානුකූල හා සාමකාමී සියලු සටන්ක්‍රම ලක්වැසි ජනතාව විසින් යෙදවීම අවශ්‍යය.

එහිදී ශ්‍රී ලංකාව නැමැති දේශපාලන දේහය මේ යෝජනාව වමාරන්නේ නම් එය යළි යළිත් ගිල්ලවන්නට යු එන් පි ආණ්ඩුවට හැකි වන්නේ නැත. මෙතැන් සිට ලංකාවේ දේශපාලනය තීන්දු වන්නේ මෙම අනර්ථකාරී ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් දරනු ලබන ස්ථාවරය අනුවය. මෙයට අත ඔසවන්නේ කවුද විරුද්ධ වන්නේ කවුද යන කරුණු කාරණා අනුවය. එහිදි ඔවුන් කතාව, ක්‍රියාව සහ ගන්නා පැත්ත අනුව විවිධ දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා චරිතවල මෙන්ම හමුදාවෙත් සමස්ත ජාතියේම දෛවය තීන්දු වනු ඇත.
-ආචාර්ය දයාන් ජයතිලක - [රිවිර]


-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com