11/25/2015

කපුවෝ කපෝති

කතෘ:යුතුකම     11/25/2015   No comments
-නලින් ද සිල්වා
(2015 නොවැම්බර් 22 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත)

ලංකාණ්ඩුවේ ද අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු ජෙනීවා යෝජනාවෙන් කියැවෙන කරුණුවලින් ශ්‍රී ලංකාව නැවතත් යටත්විජිතයක් බවට පත් කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට යෝජනා කෙරෙයි. තමන් බලයට පත්කිරීමට උපකාර කළ යටත්විජිතවාදීන්ගේ් අවශ්‍යතාව මත ආණ්ඩුව දෙමළ කොටි ත්‍රස්තවාදීන් 38 දෙනකු දැනටමත් ඇප මත නිදහස් කර ඇති අතර තවත් කණ්ඩායමක් ඊනියා පුනරුත්ථාපනයකට ලක්කර නිදහස් කිරීමට යයි. මේ එකක්වත් අධිකරණ තීන්දු යැයි සැලකිය හැකි ද? අධිකරණයෙන් ඇප දුන්නේ යැයි කිව හැකි වුව ද එසේ කෙරෙන්නේ බොහෝ විට නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ද පදනම් කර ගනිමිනි. ත්‍රස්තවාදීන් 31 දෙනකු ඇප මත නිදහස් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව උදේ එකක් කියා හවස සිරකරුවන්ගේ (හා තවත් අයගේ) උද්ඝෝෂණ මත ඔවුන්ට ඇප දීමට විරුද්ධ නො වී ය. මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුවට යම්කිසි ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිණි යැයි පැවසිය හැකි ද? පුනරුත්ථාපනය කිරීම කිසිම අධිකරණයක ගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමක් නො වේ.

මේ සිරකරුවෝ මිනීමරුවෝ ය. නැත්නම් මිනීමැරුම්වලට වක්‍ර ව ආධාර කළ අය ය. එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වෙනත් අපරාධ කළ අය ය. ඔවුන් දේශපාලන මතයක් දැරූ බවත් ඒ මතය වෙනුවෙන් අපරාධ කර ඇති බවත් පැහැදිලි ය. එහෙත් එපමණකින් ඔවුන් දේශපාලන සිරකරුවන් බවට පත් නො වේ. දේශපාලන මතයක් වෙනුවෙන් මිනීමැරිය නො හැකි ය. දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට ය. ඒ දේශපාලන මතය හුදෙක් ප්‍රභාකරන්ගේ මතයක් පමණක් නො වේ. හැත්තෑවේ දශකයේ වෙන ම රාජ්‍යයක් දිනාගැනීම සාමාන්‍ය දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීමක් බවට පත්වූ බව සැබෑ ය. එහෙත් හතළිහේ දශකයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ ඒ මතය ප්‍රකාශ කළහ. ලංකාවට නිදහස ලැබීම සම්බන්ධයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රකාශයක් කළ දොස්තර නාගනාදන් (ඔහු පසු ව චෙල්වනායගම්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙහි පළමු භාණාඩාගාරික විය.) සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දැන් කළ යුත්තේ දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස දිනාගැනීම බවත් සඳහන් කෙළේ ය. දෙමළ රාජ්‍යයක් පිිටුවීමේ මේ ඉල්ලීම දෙමළ සමාජයේ උඩ සිට පහතට ඒමට අවුරුදු තිහක් පමණ ගත විය.

හතළිහේ දශකයට ඉහත දී ද මෙරට දෙමළ ජාතිවාදය විය. එය 1831 සිට පැවත එන්නකි. (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න) දෙමළ ජාතිවාදය ක්‍රමයෙන් විකාශය වී හතළිහේ දශකයේ දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයේ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත් විය. ප්‍රභාකරන් යනු ඕපපාතිකයෙක් නො වී ය. ඔහු නාගනාදන්ලාගේ දේශපාලන දරුවෙකි. රාමනාදන්ලාගේ හා අරුණාශලම්ලාගේ දේශපාලන මුණුබුරෙකි. අද උතුරේ විග්නේෂ්වරන් ඊළඟ ත්‍රස්තවාදී පරපුර බිහිකිරීමට කටයුතු කරයි. තවමත් සිංහලයන්ට රාමනාදන්ලා දේශප්‍රේමීහු වෙති. ප්‍රශ්නය වූයේ රාමනාදන්ලාට දහනවවැනි සියවසේ අගභාගයේ සිට 1931 දක්වා මෙරට දේශපාලනයේ නායකයන් විය හැකි වුවත් සර්වජන ඡන්දයත් සමග එසේ නායකයන් වීමට නොහැකි වීම ය. රාමනාදන් අරුණාශලම් ආදීන් සිංහලත්වයට මෙරට හිමි විය යුතු තැන ලබා දීමට විරුද්ධ වූ දෙමළ ජාතිවාදීන් ලෙස සිංහලයන් විසින් හඳුනාගැනෙන තෙක් දෙමළ ජාතිවාදයෙන් මිදීමට සිංහලයන්ට නොහැකි ය.

අද දෙමළ ත්‍රස්තවාදය පවතින්නේ එංගලන්තයේ ය. ලංකාවේ දී ඒ පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් මෙරට හමුදාවට හැකි විය. එහෙත් එම්මැනුවෙල් පියතුමා ආදී කොටි අනුග්‍රාහකයන්ට එංගලන්තයේ රැකවරණ ලැබෙනවා පමණක් නොව කොටින් සැමරීමට ද අවස්ථාව ලැබෙයි. ආයුධ ගත් කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ට සහාය දුන් කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ සංචාරය කරවීමට ද දෙමළ ත්‍රස්තවාදීහු බලාපොරොත්තු වෙති. එම්මැනුවෙල් පියතුමා එයට උදාරණයකි. ඔහුට ඒ සඳහා බාධාවක් වී ඇත්තේ ඔහුගේ ගෝලිය දෙමළ සංසදය ලංකාවේ තහනම් වීම ය. එහෙත් දුර්වල ලංකාණ්ඩුව තම පැවැත්ම උදෙසා එංගලන්තයේ බහට තහනම ඉවත් කිරීමට ද ඉඩ ඇත. නැත්නම් එම්මෑනුවෙල් පියතුමා ගැන බොරු කතාවක් කියා ඔහුට ලංකාවට පැමිණීමට අවසර දීමට ඉඩ ඇත. එම්මැනුවල් පියතුමා ආදීන් ලංකාව එන්නේ සතුටු සාමීචි කතාවලට නො වේ. ඔවුන්ට අර ඇප මත නිදහස් කරනු ලැබූවන් හමුවනු ඇත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද ත්‍රස්තවාදීන් (ඇප මත නිදහස් කළ අය ද ඇතුළුව) හැංගූ ආයුධ තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබෙන්නට පුළුවන. අපි නැවතත් දෙමළ ත්‍රස්තවාදය ලංකාවේ ඇති කිරීමට කටයුතු කරන්නෙමු ද? විග්නේස්වරන්ගේ බලාපොරොත්තු ඉටු වේ ද?

මේ ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට ය. ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් (හවුල් නොව) ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක නාමයෙන් ඇති කරනු ලැබුයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට, චීන ශ්‍රී ලංකා සබඳතා අවම කිරීමට හා දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමටත් ය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කෙළේත් දූෂණ භීෂණ නිසා නොව පසුගිය ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා ය. මෛත්‍රිපාල රනිල් ආණ්ඩුව වැඩියෙන් ම වළිකන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන්ට හා ඒ මහතුනට සහාය දක්වන්නන්ට උපරිම දඬුවම් ලබා දීමට ය. එහෙත් තමන්ට එක්වූ දූෂිතයන් රැකගැනීමට ආණ්ඩුව කටයුතු කරයි. ආණ්ඩුව දුෂණයට හා භිෂණයට විරුද්ධ නැත.

ආණ්ඩුව හා යටත්විජිතවාදීන් දෙමළ ත්‍රස්තවාදීන් ඇප පිට නිදහස් කරන්නේ නම් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීම පණත යටතේ සිරගත කෙරී ඇති සිංහල සිරකරුවන් ඇප මත නිදහස් නො කරන්නේ ඇයි? ඔවුන් සිරබත් කන්නේ සිංහලයන් ලෙස ඉපදීම නිසා ද? මෙය සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නග්න ජාතිවාදයකි. දෙමළ ත්‍රස්තවාදී අපරාධ කරුවෝ තමන් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් දේශපාලන සිරකරුවෝ නො වෙති. ඔවුන්ගේ අපරාධවලට ලක් වී ඇත්තේ සාමාන්‍ය ජනයා ය. දේශපාලන මතවාදයක් දැරීම සාමාන්‍ය ජනයා මරා දැමීමට බලපත්‍රයක් නො වේ.

දෙමළ ත්‍රස්තවාදීන් නොයෙකුත් ආකාරවලින් නිදහස් කළ යුතු යැයි කියන යටත්විජිතවාදීහු හා ඔවුන්ගේ ගැත්තෝ එක් පැත්තකින් හමුදාව යුද්ධාපරාධ කර ඇතැයි කියමින් ජනතාවගේ ස්වෛරිභාවය නැති කර විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණ පිහිටුවා විශේෂ අධිකරණ පිහිටුවා රණවිරුවන්ට දඬුවම් කළ යුතු යැයි කියති. අනෙක් පැත්තෙන් පැරීසියේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට විරුද්ධව අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට විරුද්ධව යැයි කියමින් සිරියාවට බෝම්බ හෙළති. එයින් සාමාන්‍ය වැසියන් මිය යන්නේ නැද්ද? මහා පඬියකු ලෙස කතාකරන මංගල සමරවීර මහතා සිරියාවට ගුවනින් පහර දීමෙන් බටහිරයන් යුද්ධාපරාධ සිදුකරන බවට පැමිණිලි කිරීමට ජෙනීවා යන්නේ නැද්ද? ආණ්ඩුව ඒ වෙනුවට බහුතරය සිංහලයන් වූ හමුදාවට හා රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීමට උත්සාහ කරති. එහෙත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඇතුළු පරණගම කොමිසමට උපදෙස් දුන් ජාත්‍යන්තර නීතිය ගැන හසළ දැනුමක් ඇත්තවුන් හා හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් කියා ඇත්තේ හමුදාවට එරෙහිව යුද්ධාපරාධ චෝදනා නොමැති බව ය. (ඒකබද්ධ විපක්‍ෂය එකී මත ප්‍රසිද්ධ කළ යුතු ය. හමුදාව යුද්ධාපරාධ කර නැතැයි නීතියෙන් කියැවෙද්දී සාමාන්‍ය ජනතාව මරා දැමූ දෙමළ ත්‍රස්තවාදීන් ඇප මත වුවත් නිදහස් කරන්නේ කිනම් ආණ්ඩුවක් ද?

එයට ඇත්තේ එක් පිළිතුරකි. ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරනු ලැබුයේ යටත්විජිතවාදීන්ගේ හා කලාපීය අධිපති ඉන්දියාවේ හෙවත් රනිල් මෛත්‍රී දිගයේ කපුවන්ගේ මැදිහත් වීමෙනි. එහි දී ඔවුහු අගමැති වීමේ පුද්ගලික බලාපොරොත්තු කඩ වී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා යොදා ගත්හ. එසේ කෙළේ ශ්‍රි ල නි පක්‍ෂයට පහර වදින ලෙසට ය. සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් යටත්විජිතවාදීන්ගේ ශක්තිය ලැබීම හේතුකොටගෙන හා තමන්ගේ දුූෂණ වසාගැනීම සඳහා සිරිසේන මහතාට සහාය දුන්හ. එවිට පක්‍ෂය කැඩේය යන අදහසින් මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ සභාපතිත්වය සිරිසේන මහතාට ලබා දීමට කටයුතු කෙළේ ය. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැත. එය මියගොස් ය. එය මරා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ය. එහෙත් අද ඔහු ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති ලෙස ව්‍යාජ වීර ප්‍රකාශ කරයි. ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණයෙහි දී ශ්‍රී ල නි පක්‍ෂය දිනවීමට කටයුතු කරන්නේ යැයි කියයි. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයේ හා සංධානයේ අපේක්‍ෂකයාට විරුද්ධව තරග කර මහා මැතිවරණයේ දී සංධානයට හා පක්‍ෂයට එරෙහිව කටයුතු කර ඔහු අද කතාකරන්නේ කටින් ද යන ප්‍රශ්නය මතුවුවත් උදේ එකක් කියා දවල් වෙනත් එකක් කියා සවස තමා එසේ කීවේ දැයි අසන සිරිසේන මහතාට පෞද්ගලික කරුණු වඩා වැදගත් වන බව අපි දනිමු. බෝධිසත්ත්වයකු නොවන සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමට යන්නේ 2020 දී හෝ ඒ ආසන්නයේ හෝ විධායක අගමැති වීමේ සිහිනය ඉටු කර ගැනීමට ය. ඔහුටවත් රනිල් වික්‍රමසිංහ මහතාටවත් ඒ සඳහා කිසිම ඉඩක් නොදිය යුත්තේ මෙරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ (කපුවන්ගේ) පාපන්දු පිටියක් බවට පත්වීම වැළැක්වීමට ය.

කපුවන් කපෝති කරමින් අද වන විට රනිල් මෛත්‍රී දීගය කැඩී අවසන් ය. දීගය විවාහ සහතිකයට සීමා වී ඇත. ඇවන්ගාඩ් සිද්ධිය සම්බනධයෙන් (නො) දත් දොස්තර රාජිත සේනාරත්න සහ එ ජා ප මන්ත්‍රීන් අතර ඇති ගැටුමෙන් පෙන්නුම් කෙරෙන්නේ අත්හැරුණු දිගයේ හෙවනැල්ලත් ඇද බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කිනම් ක්‍රමයකින් නමුත් මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට ය. අද කළ යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂය ශක්තිමත් කිරීම ය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය යනු ශ්‍රී ල නි පක්‍ෂයේ ඊළඟ භවය මිස අවස්ථාවාදීන්ට බඳින හිණිමඟක් නොවිය යුතු ය.

-නලින් ද
සිල්වා: කාලය
2015 නොවැම්බර් 19

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/09/2015

පොලිස් ප්‍රහාර රණවිරුවෝ හා නෛතික මත

කතෘ:යුතුකම     11/09/2015   No comments
මේ ආණ්ඩුවේ ආයුකාලය අවසන් වෙමින් ඇත. තමා පළාත් පාලන මැතිවරණවල දී ශ්‍රී ල නි පක්‍ෂයට නායකත්වය දෙන බව මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුව හෙවත් එ ජා ප - මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ දීගය අවසන් වෙමින් පවතින බව සනිටුහන් කරමිනි. අප කියා ඇති පරිදි ඉන්දියාව, එංගලන්තය හා ඇමරිකාව විසින් මේ ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට මිස වෙනත් දෙයකට නො වේ.

ජනවාරි 8 වැනි දා පැවැත්වූ ජනාධිපතිවරණයේ දී ද අප කියා සිටියේ ප්‍රධාන මාතෘකාව විය යුත්තේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම හා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග බවත්, එහෙත් සෝභිත හිමියන්, ඊනියා සිවිල් සමාජය හා විවිධ මාක්ස්වාදීන් ඇතුළු වෙනත් අය දූෂණය හා භීෂණය ගැන කතාකර ප්‍රශ්නය යටගසන බවත් ය. ඒ ගැටයට ශ්‍රී ල නි ප’ක්‍ෂය ද හසුවිය. රාවණගේ ඊනියා භීෂණයට විරුද්ධව විභීෂණ කෙනකු මෙරටින් (පවුලෙන්) ම තෝරාගත් ආකාරයට මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඊනියා භීෂණයට හා දුෂණයට එරෙහි නූතන විභීෂණ කෙනකු මෙරටින් (පක්‍ෂයෙන්) ම සොයා ගැනීමට විජාතික බලවේගවලට හැකි විය. එසේ වුවත් රනිල් - මහින්ද අවශ්‍යතාවල හා මතවාදවල ඇති විසංවාද නැතිකිරීමට ඔවුන්ට නො හැකි ය. එදා රාජපක්‍ෂ භීෂණය ගැන කතා කළ අය (පසුගිය දා අපවත් වූ සෝභිත හිමියන් ද ඇතුළුව) රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කෙළේ ඔහුගේ හා එ ජා පක්‍ෂයේ අතීතය නො දැන ද? බටලන්ද හා 1987-92 භීෂණය ඔවුන්ට අමතක වී ද? (1987 -92 කාලයෙහි වූ ඝාතන සම්බන්ධයෙන් ඊනියා විශේෂ අධිකරණ පිහිටුවීමට බටහිරයන් කතා නොකරන්නේ ඇයි?) ඔවුන්ට බටහිරට හා ඉන්දියාවට සේවය කිරීම සියල්ලට ම වඩා වැදගත් විය. අද ඔවුන් සිදු වු ඊනියා වෙනස ගැන අසතුටු නමුත් එය නිසි ලෙස කීමට මැළිවෙති. අනාගතය ගැන තරමක්වත් නිවැරදිව දැකිය නොහැකි සංවිධාන වෙනත් අයගේ අතකොළු වෙයි.

ශ්‍රී ල නි ප නායකයෝ අප කී බොහෝ දෙයට ඇහුම්කන් නොදුන්හ. ඒ වෙනුවට ඔවුහු සමහර අවස්ථාවල අපට විරුද්ධ වූහ. අප ආසනික් ගැන කියන විට ඇතැම් ශ්‍රී ල නි ප නායකයන් කීවේ බත් කෑම නැති කිරීමට අප ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන ඇති බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාවාදීම් හමුවේ අගෝස්තු 17 වැනි දා පැවති මැතිවරණයට, ඔහුගේ නායකත්වයෙන් ඇති පක්‍ෂයෙන් ඉවත් වී වෙනම පක්‍ෂයක් හෝ ඒ බැරි නම් කණ්ඩායමක් හෝ ලෙස ඉදිරිපත් විය යුතු යැයි අප කී විට ඔවුහු මෛත්‍රිපාල –- මහින්ද එකතුව ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වූහ. අද සන්ධානයේ ඒකාබද්ධ විපක්‍ෂය එදා අපේ බසට සවන් දුනි නම් එක්කෝ ආණ්ඩු පක්‍ෂය බවට නැත්නම් ප්‍රධාන විපක්‍ෂය බවට පත්වීමට තිබිණි. එසේ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අද ඒකාබද්ධ විපක්‍ෂයට දුර්වල කතානායක ඇතුළු පාර්ලිමේන්තුව ඉදිරිපිට පාසල් මැරයකු (බුලි) ලෙස හැසිරෙන අගමැතිගේ සමච්චලයට භාජනය වීමට සිදු වී ඇත. ඒකාබද්ධ විපක්‍ෂයට අද ඇති ප්‍රශ්නය නම් මන්ත්‍රී ධුර ද රැකගෙන ඊනියා ජාතික ආණ්ඩුවට හෙවත් අවුල් (හවුල් වුවත් අවුල් ය) ආණ්ඩුවට විරුද්ධ වන්නේ කෙසේ ද යන්න ය. පෙරටුගාමීන් රකිමින් පොලීසිය විවේචනය කරමින් ඒ කළ නො හැකි ය. ඔවුන් නැවත වරක් මෛත්‍රීපාල - රනිල් දුස්සංයෝගය කැඩීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග එකතු වීමට ද ඉඩ ඇත. ඔවුන් නොකළ යුත්තේ ද එයයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ගැන කිසිම විශ්වාසයක් තැබිය හැකි නො වේ. පාර්ලිමේන්තුවෙන් පිටත ඇති ඒකාබද්ධ විපක්‍ෂය අඩු තරමින් ඒකාබද්ධ විපක්‍ෂයේ ශ්‍රී ල නි පක්‍ෂ එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු සමග ඔහුගේ් නයකත්වය යටතේ වෙන ම පක්‍ෂයක් හෝ කණ්ඩායමක් හෝ ලෙස පළාත් සභාවලට තරග කර මෛත්‍රිපාල කණ්ඩායම තුන්වැනි තැනට පත්කිරීමට කටයුතු කළ යුතු ය. අප නැවතත් විශීෂණලා දේවත්වයට පත්කළ යුතු නො වේ. එකාබද්ධ විපක්‍ෂය පළමුකොට රටේ ස්වෛරීභාවයත් ආරක්‍ෂක භමුදාවල ගෞරවය රැකීමටත් ඉදිරිපත් විය යුතු ය.

ශිෂ්‍යයන්ගේ් අරගලය හා පොලිස් ප්‍රහාර ගැන අපේ අවධානය යොමු වන්නේ මෙහි දී ය. ඇතැම් රැකියා සම්බන්ධයෙන් ගණකාධිකරණය සඳහා වූ උසස් ජාතික ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමට 1990 දී රජය තීරණය කර ඇත. එය අදාළ ඩිප්ලෝමවට උපාධි තත්ත්වය ලබාදීමක් නො වී ය. එය ඇතැම් කරුණුවල දී ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් පමණක් විය. රාජපක්‍ෂ ආණ්ඩුව ඒ තත්ත්වය 2013 දී නැති කර ඇත. මේ කරුණ වුව සහතික පත් අධ්‍යාපනයේ ව්‍යාජය හා හාස්‍යජනක බව හෙළි කරයි. මගේ මතකය නිවැරදි නම් 1990 දී තරම ගණකාධිකරණ ක්‍ෂෙත්‍රයේ උපාධිධාරීන්ට හිමිවිය යුතු ඇතැම් රැකියා සඳහා සුදුසුකම්ලාභීහු නො සිටියහ. ඒ අනුව උසස් ජාතික ඩිප්ලෝමාව ඒ රැකියා සම්බන්ධයෙන්් උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකිණි. එහෙත් 2013 වන විට විශ්වවිද්‍යාල මගින් කළමනාකරන, ගණකධිකරන ක්‍ෂෙත්‍රවල උපාධිධාරීන් බිහිකරනු ලැබීමත් සමග උසස් ජාතික ඩිප්ලෝමාධාරීන් ඒ තනතුරුවලට බඳවා ගැනීමේ අවශ්‍යතාවක් නො වූ බැවින් ඩිප්ලෝමාව උපාධිය හා සම තත්ත්වයෙහි ලා සැලකීමක් අවශ්‍ය නො වී ය. අන්තර් විශ්වවිද්‍යලයීය ශිෂ්‍ය සමිති සම්මේලනයේ (අන්තරේ) පෙළපාලිවල යන කළමනාකරන හා ගණකාධිකරන උපාධි අපේක්‍ෂකයන් තමන් කරන්නේ කුමක් දැයි දන්නේ ද යන්න ගැන ඇත්තේ සැකයකි. එහෙත් මගේ මතකය වැරදි විය හැකි ය. මේ ගැන වඩා හොඳින් දන්නා එස් බී දිසානායක මහතා මේ පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් කරන්නේ නම් මැනවි.

ඒ කුමක් වුවත් මා මෙහි දී සැලකිලිමත් වන්නේ ඔක්තෝම්බර් 29 වැනි දින සිදු වූ පොලිස් ප්‍රහාරය ගැන ය. මම ඒ ප්‍රහාරය කිසිසේත් අනුමත නො කරමි. එහෙත් ප්‍රහාරයෙන් මතුවන කරුණු කිහිපයක් ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. පොලීසිය පසුගිය 3 වැනි දා පැවති පෙළපාලිය සම්බන්ධයෙන් උසාවි වාරණ දෙකක් ලබා ගෙන සිටියේ ය. එහෙත් ශිෂ්‍යයෝ වාරණ නියෝග නොතකා වාහන තදබදයක් ඇති කරමින් පෙළපාලි ගියහ. එය උසාවියට කරන ලද අපහාසයක් විය යුතු ය. පොලීසිය තමන්ට ක්‍රියාත්මක කළ නොහැකි වාරණ නියෝග ගෙන අධිකරණය හෑල්ලුවට ලක් නොකළ යුතු ය. අද අන්තරේ බලය ඇත්තේ පෙරටුගාමීන්ට ය. ඔවුන්ට නායකත්වය දෙන්නේ පසුගිය දා අත්අඩංගුවට ගැනුුණු කුමාර් ගුණරත්නම් ය. පෙරටුගාමීන්ට මෙහෙයවිය හැක්කේ සරසවි සිසුන් හා ඇතැම් උද්ඝෝෂණ කරුවන් පමණ ය. සරසවි පෙළපාලි වැටලීම් ආදිය සිසුන් හා පොලීසිය ගැටෙන යුද පිටි බවට පත්වෙයි. සිසුන්ට ආයුධ තිබේ ද නැද්ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. තරුණ ජවය ම ආයුධයකි. දෙමළ ජාතිවාදයට ආවඩන පෙරටුගාමීන්ට අද අවශ්‍ය පොලිසිය සමග ගැටීම ය. ඔවුන් නිදහස් අධ්‍යාපනය ගැන කිසිම හැදෑරීමක් නොකර මාලබේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව තව තවත් පෙළපාලි යනු ඇත. (ඕනෑම ගොනකුට ඇමතියකු විය හැකි දැයි මම නො දනිමි. කෙසේ වුවත් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරන පරිදි නොව නිදහස් අධ්‍යාපනය එ ජා ප දුන් දෙයක් නො වේ. හතළිහේ දශකය ආරම්භයේ දී එ ජා පක්‍ෂයක් නොතිබිණි. පසුව එ ජා පාක්‍ෂිකයන් බවට පත්වූ නායකයන්ගෙන් වැඩි දෙනෙක් නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වූවා පමණක් නොව කන්නන්ගර මහතා මතුගම අසුනෙන් පරාජය කිරීමට ද වැඩකළහ.) ඒ සමග පොලීසිය හා හමුදාව තව තවත් අපකීර්තියට ලක්කිරීමට උත්සාහ දරණු ඇත. රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර විනිසුරුවන් ලවා පරීක්‍ෂණ පැවැත්වීමට ව්‍යවස්ථා විරෝධීව විශේෂ අධිකරණ පිහිටුවීමට උත්සාහ දරන මෙකල ඒකාබද්ධ විපක්‍ෂය පනින රිලවුන්ට ඉණිමං බැඳිය යුතු නො වේ. ඔවුන් පොලිස් ප්‍රහාරය පිටුපස සිටින ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බවටත්, කිරිඇල්ල හා මාරපන ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතු බවටත් උද්ඝෝ’ණය කළයුතු ව තිබිණි.

රණවිරුවන්ට එරෙහිව තවත් ජාත්‍යන්තර හෝ දේශීය හෝ දෙමුහුන් හෝ පරීක්‍ෂණ අනවශ්‍ය බව අපි නැවතත් අවධාරණය කරමු. පරණගම කොමිසමේ ආරාධනයෙන් උපදේශකයන් ලෙස පත්කළ ශ්‍රීමත් ඩෙස්මන්ඩ් ද සිල්වා, හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් ආදීහු තම මත ප්‍රකාශ කරමින් ඊනියා ජාත්‍යන්තර නීතිය යටතේ හා හමුදා නීති යටතේ අප හමුදාව යුද්ධාපරාධ කර නැති බව ඉතා පැහැදිලි ව සඳහන් කරති. ඒ් මත දි අයිලන්ඩ් විද්‍යුත් පුවත්පතෙහි පසුගිය 18 වැනි දා පළකර තිබිණි. පරණගම වාර්තාවට අමුණා තිබුනේ හෝම්ස් මතය පමණකි. අනෙක් මත වාර්තාවට අමුණා නැත්තේ බලපෑමකින් ද? ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පිළිබඳ වැදගත් ලිපියක් දි අයිලන්ඩ් පුවත්පතේ පසුගිය 4 වැනි දා පලකර තිබිණි. ඒ ලිපියෙන් කියා තිබුණේ ඩෙස්මන්ඩ් ද සිල්වා මතය පාර්ලිමේන්තුවේ සභාගත කිරීම වැළැක්වීමට අගමැති ක්‍රියාකර ඇති බව ය. ඒ මත බෙදාහැරීමට විරුද්ධව ක්‍රියාකරන්නන්ට ආණ්ඩුව තර්ජනයක් කර ඇති බව ද එහි සඳහන් වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ මත සිංහලට පරිවර්තනය කර, ආණ්ඩුව එකී මත ජෙනීවා හි දී හා අදාළ සංසදවල දී ඉදිරිපත් කරමින් හමුදාවේ නිරදෝෂිභාවය හෙළිදරවු කළ යුතු යැයි උද්ඝෝෂණය කළ යුතු ය.

-නලින් ද සිල්වා 
[කාලය]
(2015 - 11 - 08 රිවිර ලිපියෙහි මුල් පිටපත සුළු සංස්කරණයක් සමග ) 
 
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

1/29/2015

මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවුද

කතෘ:යුතුකම     1/29/2015   2 comments
කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය.  ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා  අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා  යැයි ආණ්ඩුව කියනු ඇත.  එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?  

-ආචාර්‍ය නලින්ද සිල්වා
(2015 ජනවාරි 28)

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions