6/30/2025

යුදෙව් ජාතිකවාදය - 2 : යුදෙව් රාජ්‍යය බටහිරයන්ගේ මිතුරෙකු වූ හැටි

කතෘ:යුතුකම     6/30/2025   No comments

යුදෙව් ජාතිකවාදය - 2
යුදෙව් රාජ්‍යය බටහිරයන්ගේ මිතුරෙකු වූ හැටි

යුදෙව් ඉතිහාසය විමසා බලන විට (පසුගිය ලිපියේ ද සාකච්ඡා කළ පරිදි), යුරෝපීය රටවල දී යුදෙවුවන්ට එරෙහිව දැඩි විරෝධතා පැවැති බව සහ ඔවුන් වෙත දැඩි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වූ වකවානුවක් පැවතී ඇති බව පෙනී යයි. මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ මාලාවේදී, යුදෙවුවන් මුස්ලිම් රටවලට සහාය දැක්වූ බව කියනු ලැබේ. මීට ප්‍රධානම හේතුව බටහිර ජාතීන් අතින් තමන්ට සිදු වූ කෙනෙහෙළිකම් විය හැකි ය.

මෙවන් පසුබිමක් තුළ, ඊශ්‍රායලය ගොඩනැගීම කෙරෙහි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් සහාය දැක් වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

විසි වන සියවසේ මැද භාගය වන විට, සයොනවාදය නමින් හැඳින් වූ, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් යුදෙව් රාජ්‍යය ගොඩනැංවීම සම්බන්ධ අදහස් බොහෝ දුරට වර්ධනය වී තිබූ අතර, එම අදහස් දැරූවන් උපක්‍රමිකව ඊට අදාළ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියහ. 1917 දී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ආතර් බැල්ෆර්, ප්‍රකාශයක් (බැල්ෆර් ප්‍රකාශය) නිකුත් කරමින්, යුදෙව් ජනතාවට පලස්තීනයේ සිය ජාතික නිජබිම (National Home) ලෙස ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය පළ කළේ ය. ඒ වන විට යුරෝපීයයන් කුරුස යුද්ධ මාලාවකින් පරාජයට පත්ව තිබූ අතර, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් පලස්තීනය තුර්කියේ ඔස්මන්වරුන් (ඔටෝමන්වරුන්) සතුව පැවතුණි. පලස්තීනයෙන් ඔවුන් පලවා හැර එහි බ්‍රිතාන්‍ය බලය තහවුරු කර ගැනීම, නොඑසේ නම්, තමන්ට පක්ෂපාතී යුදෙව් රාජ්‍යයක් එහි ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ අරමුණ වූවා විය හැකි ය. මෙහි දී යුදෙව් රාජ්‍යය මගින් මැද පෙරදිග මුස්ලිම් බලය තුලනය කිරීම බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල ඉල්ලකයක් වූවාට සැක නැත. අනෙක් අතට, යුදෙව්වන් එවක යුරෝපයේ ගොඩනගා ගෙන තිබූ වෙළඳ ආධිපත්‍යය හේතුවෙන්, ඔවුන් සතුව පැවැති මූල්‍ය ශක්තිය, යුද්ධ වලදී තමන්ට ලබා ගැනීම බටහිරයන්ගේ අපේක්ෂාව විය.

පළමු ලෝක සංග්‍රාමයේදී ඔස්මන්වරුන්, මධ්‍ය බලවතුන් (Central Powers) හෙවත් ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව වැනි රටවලට පක්ෂව කටයුතු කළහ. මේ අතර, එයට විරුද්ධ පාර්ශ්වය වූ මිත්‍ර බලවතුන් (Allied Powers) ලෙස, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවලට පක්ෂව යුදෙවුවන් කටයුතු කළහ. මෙහිදී එම පාර්ශවය වෙත පලස්තීනයේ බලය තහවුරු කර දීමත්, ඒ හරහා එහි යුදෙව් රාජ්‍යය බිහි කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව විය. එම අපේක්ෂාවට කොල එළියක් දල්වමින්, 1918 වන විට ඔස්මාන්වරු පරාජයට පත්ව, පලස්තීනයේ බලය තහවුරු කර ගැනීමට මිත්‍ර බලවත්තු සමත් වෙති. මෙහි දී මිත්‍ර බලවතුන් අතර ඇති වන එකඟතාවක් අනුව පලස්තීනයේ භාරකාරීත්වය 1920 සිට බ්‍රිතාන්‍යයට හිමි වේ. ඒ අනුව 1948 දක්වා පලස්තීනය පවතින්නේ බ්‍රිතාන්‍ය පාලනයක් යටතේ ය.
මේ කාල වකවානුව තුළ සංවිධානාත්මක නොනිල පාලන ව්‍යුහයක් පලස්තීනය තුළ ස්ථාපනය කර ගැනීමට යුදෙව් ප්‍රජාව සමත් වූ අතර, මෙම පාලන ව්‍යුහය අර්ධ වශයෙන් නිල ආයතන ලෙස එවක බ්‍රිතාන්‍ය පාලනය විසින් පිළිගනු ලැබ තිබිණි. 1940 දශකයේ අග භාගය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සිය යටත් විජිත සඳහා නිදහස ලබා දීම සලකා බලන ලද කාල වකවානුවකි. 1948 බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය තුළ සිය බලය අත් හැරීමත් සමග ම, යුදෙව්වන්ගේ නොනිල පාලන අධිකාරිය විසින් ඊශ්‍රායලය නිදහස් රටක් ලෙස ප්‍රකාශ කරන ලදී. නොනිල යුදෙව් නායකයා ලෙස සැලකුණු දවීද් බෙන්-ගුයෝන් (David Ben-Gurion) ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපතිවරයා විය. 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබීම සිදු වන්නේ මෙම පසුබිම තුළ ය. නූතන ඊශ්‍රායලය බිහි වීමේ දී සහ ඉන් පසුව සෝවියට් සංගමයේ නොහොත් වත්මන් රුසියාවේ ක්‍රියා කලාපය තරමක් සංකීර්ණ ස්වභාවයක් ගනී. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිශේධ බලය ද හිමි සෝවියට් සංගමය, ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ දී ඊට පක්ෂ ස්ථාවරයක් දරා ඇති නමුත්, පසු කාලීනව ඊශ්‍රායලය බටහිර ගැති රාජ්‍යයක් ලෙස සලකා ඊට විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇත. සෝවියට් සංගමයේ එම මුල් ස්ථාවරය කෙරෙහි, දෙවන ලෝක යුද්ධයේ දී යුදෙව්වන්ගේ හැසිරීම බලපාන්නට ඇත. මීට අමතරව දවීද් බෙන්-ගුයෝන් සමාජවාදී ප්‍රතිපත්ති දැරූවකු වීම ද සෝවියට් සංගමයේ එම හැසිරීමට හේතු වූවා විය හැකි ය. පසු කාලීනව අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර පැවති යුද්ධවල දී සෝවියට් සංගමයේ සහාය අරාබි රටවලට ලබා දී ඇත.

දෙවන ලෝක යුද සමය වන විට බ්‍රිතානය සහ එක්සත් ජනපදය වෙත යුදෙව්වන්ගේ සහාය ලබා දීම වඩාත් කැපී පෙනෙන අතර, නාසි යටත් විජිත වෙතින්, එක්සත් ජනපදය වැනි රටවලට පලා ගිය යුදෙව් විද්‍යාඥයින් බොහොමයකගේ සහාය එම රටවලට හිමි විය. යුදෙව් ධනවතුන් නිල සහ නොනිල මාර්ග ඔස්සේ මෙම රටවලට යුද්ධයේ දී මූල්‍යමය සහාය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ යුධ බැඳුම්කර (war bonds) යුදෙව් ධනවතුන් විසින් විශාල ලෙස මිලට ගෙන ඇත.

යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම්වලට පොදු මූලයක් සහිත වුව ද, මේ හා බැඳුනු සංස්කෘතීන් ඓතිහාසිකව එකිනෙකා හා ගැටී ඇත. වත්මන් යුදෙව්-මුස්ලිම් ගැටුම සහ බටහිර-මුස්ලිම් ගැටුම මෙන්ම අතීතයේ යුරෝපයේ පැවති යුදෙව්-බටහිර ගැටුම සහ කුරුස යුද්ධ මාලාව මෙහි විකාශයන් ලෙස හඳුනා ගත හැකි ය. 20 වන සියවසේ මුල සිට ඇති වී ඇති යුදෙව්-බටහිර සංධානය, එම දෙපාර්ශවය විසින් ම සිය අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා ඇති කර ගන්නා ලද්දක් වන බැවින්, එම සංධානය කෙසේ කෙළවර වනු ඇති ද යන්න දැන් ම පුරෝකතනය් කිරීමට නොහැකි ය.

-නාරද බලගොල්ල
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

ලොව සභ්‍යත්වය හා ම්ලේච්ඡත්වය පිළිබඳ කතන්දරයක්

කතෘ:යුතුකම     6/30/2025   No comments

මීට අවුරුදු 2333 කට පෙර අපේ මහින්ද හාමුදුරුවෝ තවත් පස් දෙනෙකු සමඟ මිහින්තලයට වැඩම කළෝ ය. උන් වහන්සේලා ළඟ භික්ෂුවකට කැප වූ අත්‍යවශ්‍ය කලමනා මිස අවි ආයුධ හෝ තෑගි බෝග හෝ අන් කිසිවක් හෝ නොවූ හ.

මහින්ද හාමුදුරුවෝ තිස්ස රජුන් සමග සුහද බුද්ධිමය සංවාදයක යෙදුනෝ ය. තමන් මේ රටේ භාරකාරයා මිසක අයිතිකරු නොවන බවත් රාජ්‍යයේ මිනිසුන් පමණක් නොව සියලු සත්වයන් හා ගහකොළ මෙන් ම භූමිය ද රැක ගැනීම රජකුගේ වගකීම බව ද රජුට මතක් කර දුන්නේ ය. බුදු සමයේ හරය හකුලා දක්වන ධර්ම දේශනාවක් ද කළෝ ය.

පසු දින රජතුමාගේ ආරාධනයෙන් අනුරාධපුරයට වැඩම කොට රජුගේ සහ පිරිවරට, රාජ්‍ය නිළධාරීන්ට හා පොදු ජනතාවට ද ධර්ම දේශනා කළ අතර රජතුමාගේ ඉල්ලීම පිට මේ රටේ බුදු සසුන පිහිටුවීමට අවශ්‍ය අවවාද අනුසාසනා ද කළෝ ය.

මේ සියලු කටයුතු සාර්ථකව නිමා කළ උන් වහන්සේ යළි මිහින්තලයට වැඩ ම කොට පරිනිර්වානය දක්වා ම එහි වැඩ වාසය කළෝ ය.

එදා මෙදා තුර ගෙවීගිය කාලය තුල බුදු සමය මෙරට මහ පෙළොවේ ආගම විය. රජුන්ගේ ආගම විය, පොදු ජනතාවගේ ආගම විය. එය මේ බිමේ උරුමය, අධ්‍යාත්මය, සංස්කෘතිය, සභ්‍යත්වය හා පොදු ජන විඥානය බවට ද පත් විය.

වරින් වර සතුරු කරදර එල්ල වුව ද සිංහල බුදු සමයට ම්ලේච්ඡතම වූ ද සාහසික වූ ද තර්ජනය එල්ල වූයේ ඉතිහාඥයින් විසින් පුනරුද යුගය ලෙසින් හඳුන්වනු ලබන යුගය තුළ දී ය. දහසය වන සියවස ආරම්භයේ දී පෘතුගීසීන් මෙහි පැමිණයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියොජිතයා වූ වතිකානුවේ පාප් වහන්සේ විසින් මුලු ලෝකයටම බලපවත්වන ලෙසින් නිකුත් කරන ලද ආඥාවක් ද (papal bull) සමඟ ය.

ඊට අනුව ඔවුන් අල්ලා ගන්නා සියලුම භූමි වල මනුෂ්‍යයන් කිතු සමයට හරවා ගැනීමටත්, ඊට එකඟ නොවන්නන් මරා දැමීමටත්, ඒ රටවල සම්ප්‍රදායික ඇදහීම් හා සම්බන්ධ සිද්ධස්ථාන විනාස කර දැමීමටත් ඒ ඒ රටවල වස්තුව හිතු මතයේ කොල්ල කෑමටත් ඔවුනට අවසරය දී තිබුනි.

පෘතුගීසීහු එම ආඥාව හොඳින් ක්‍රියාත්මක කළ හ. කෝට්ටේ රජ මාළිගාව තුලට ඔවුන් ඇතුලු වන්නේ සීතාවක මායාදුන්නේ රජු වෙතින් එල්ල වන සතුරු උවදුරු වලින් රජුන්ට ආරක්ෂාව සලසන මුවාවෙනි. හමුදා නිළධාරීන් සමඟ රජ මාලිගයට වදින කතෝලික පූජකවරුන් රජුට කිතු සමය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ එසේ නොකළ හොත් රජ දෙවියන් වහන්සේගේ උදහසට ලක් විය හැකි බව ද කරුණාවෙන් මතක් කර දෙමිනි.

එය කෙළවර වන්නේ රාජ්‍යයේ උරුමක්කාරයා වූ රජුගේ මුණුබුරු ධර්මපාල කුමාරයා කිතු සමය වැළඳ ගැනීම සඳහා පෘතුගීසීන්ට බාර දීමෙනි.

කිතු සමය වැළඳ ප්‍රතික්ෂේප කරන බුවනෙකබාහු රජතුමා දෙවියන් වහන්සේගේ උදහසට ලක්ව මාළිගාවේ සිටි පෘතුගීසි හේවායෙකුගේ තුවක්කුවක් වැරදීමකින් පත්තු වී මිය යයි.

පෘතුගීසින්ගේ රූකඩයක් ලෙසින් රජකම් කළ ධර්මපාල රජුගේ (දොන් ජුවන්) රාජ්‍ය කාලය තුළ දී බුදුන් වහන්සේ පවා වැඩි කැළණි විහාරය ද ඇතුලු මුහුදු බඩ වෙහෙර විහාර 400 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කිරීමද සිංහල බෞද්ධයින්ට විරුද්ධව නීතිය අවභාවිතා කිරීම් ද සිදු විය. අවසන ධර්මපාල රජු විසින් ලියවිල්ලකින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසි රජුට පවරා දෙනු ලැබීය.

පෘතුගීසීහු කන්ද උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් ද කෝට්ටේ රාජ්‍යයටම සමාන වූ පිළිවෙතක් අනුගමනය කළ හ. ඒ මන්නාරමේ පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටි කන්ද උඩරට කරලියැද්දේ රජුගේ දියණියක වූ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරන ලදුව කන්ද උඩරට රාජ්‍යත්වයට පත්කිරීමට උත්සාහ ගැනීමෙනි. එම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ පෘතුගීසීන් අතර දොන් ජෝන් නමින් ප්‍රසිද්ධ වූ කන්ද උඩරට ප්‍රභූවරයෙකුගේ පුත් කොනප්පු බණ්ඩාර උපායෙන් හා වික්‍රමයෙන් විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජ බවට පත් වීමෙනි. විමලධර්මසූරිය විසින් කුසුමාසන ඔහුගේ අගමෙහෙසිය බවටත් පත් කර ගන්නා ලදි.

විමලධර්මසූරියගේ රාජ්‍ය කාලය තුල දී දෙවරක්ම මහනුවර රාජධානිය ආක්‍රමණයෙන් අත්පත් කර ගැනීමට අසමත් වුනු පරංගීහු ඉන් පසු වරින් වර කන්ද උඩරට සිංහල ගම්බිම් වලට කඩාවැදී කෙත්වතු බවභෝග විනාශ කරමින් හා මනුෂ්‍ය ඝාතන කරමින් නිවට වූ ද ම්ලේච්ඡ වූ ද ත්‍රස්ත පිළිවෙතක් අනුගමනය කරන ලදි. මෙරට සිංහල බෞද්ධයන්ට දේපළ වස්තු හා ජීවිත අහිමි විය. තවද තම දරුවන් උඩදමා බයිනෙත්තුවේ අමුණනවා බලා සිටීමට පවා සිදු වී ම දක්වා වූ නොයෙක් ප්‍රමණයේ ගැහැට විඳීමට ඔවුනට සිදු විය.

එහෙත් කිසිම ආක්‍රමණිකයෙකුට මහින්ද හිමියන් තවත් පස් දෙනෙකු සමඟින් නිරායුධව මෙරට ස්ථාපිත කළ බුදු සමයේ පදනම බිඳහෙළිය නොහැකි විය. ඉනුත් වසර දෙසිය ගණනකට පසු ලොව හිරු නොබසින අධිරාජ්‍යය පිහිට වී යැයි කියන ඉංගිරිසිකාරයන් පවා මේ රටේ බලය ස්ථාපිත කරගත්තේ බුදු සමය හා දේවාගම් ආරක්ෂා කරන බවට ලියවිල්ලක ලියා දී පොරොන්දු වෙමිනි. අද පවා ඇතමෙකුට මේ රට ඊනියා නිරාගමික රාජ්‍යක් බවට පත් කිරීමට උවමනා වී ඇත්තේ මන්දැයි සිතා බැලීම ලිපිය කියවන ඔබට බාරයි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

එකක් හෝ රකින්නට වැළපිය යුතු ඉහිරුණු කිරි - 5

කතෘ:යුතුකම     6/30/2025   No comments

පෙර සිව්වැනි ලිපියේ දී අපි මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල අසළින් හමු වූ බෝධිසත්ව පාද කොටස සහ ඊට යාබද ව හමුවූ ප්‍රතිමා ගෘහය සම්බන්ධයෙන් සාකච්ඡා කළෙමු. මකයාපිඩ්ඩි ගම්මානයේ පුරාවස්තු ගවේෂණය සැක නොසන්සිඳුවන, ආකර්ෂණය වඩවන එකකි. මකයාපිඩ්ඩි ජල මූලාශ්‍රයට යාබද ව ම පිහිටි මීනාක්ෂි අම්මාන් කෝවිල් භූමියේ සිදුකළ ගවේෂණයෙන් පෝල් ඊ. පීරිස් මහතා සොයාගන්නා ලද පුරාවස්තු කිහිපයකි. ඉන් එකක් ශෛලමය කොත් කැරැල්ලක් වූ අතර අනෙක බෝධිසත්ව සිරසක් විය. එම බෝධිසත්ව සිරස බොහෝ දුරට ගෙවී තිබූ අතර, මුහුණේ අවයව නොපෙනෙන තරමට කාලයත් සමඟ හායනය වී තිබී ඇත. දකුණු කනෙහි ලම්බකර්ණ ලක්ෂණය පෙන්නුම් කෙරී ඇති අතර පිටුපසින් විශාල ව නිර්මාණය කොට ඇති ජටා මකුටය/ හිස් වැස්ම පෙර නොවූ විරූ පරිදි අනන්‍ය සහ අලංකෘත වූවක් වන්නට ඇති බව පෝල් ඊ. පිරිස් මහතාගේ මතය යි.

එතුමා මෙම හිස පෙර අප සඳහන් කළ අදාළ ජල තටාකය අසළ තිබූ පාද යුග්මය අයත් පිළිම වහන්සේගේ හිස වන්නට ඇතැයි අනුමාන කරයි. වර්තමානය වන විට මෙම බෝධිසත්ව ශීර්ෂ කොටස යාපනය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කොට තිබේ.

මින් අනතුරු ව පෙර කී ජල තටාකයට පිය මැනීමට ඇති සෝපාන පන්තියේ අවසානයට තිබූ තරමක අර්ධ කවාකාර පියගැටය දකින පීරිස් මහතා එහි තිබු ඇතැම් දිගු රේඛාමය කැටයම් සලකුණු පිළිබඳ සැක උපදවයි. කෝවිලෙහි බ්‍රාහ්මණ පූජකවරුන්ගේ අවසරය මත එම ශිලා කොටස ගොඩ ගන්නා එතුමාට හමුවන්නේ තවත් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක බඳ කොටසකි. එය සම්පූර්ණ වශයෙන් අඩි 8.5ක් පමණ උස වන බුදුපිළිමයකට අයත් බව සැලකෙන අතර එහි සිවුරු රේඛා; ද්විත්ව රැළි සහිත ව, පරිපූර්ණ ව දක්වා ඇති බව ප්‍රකාශ වේ.

මෙම මෙම ප්‍රතිමා වහන්සේ දැනට කුමන ස්ථානය පවතින්නේ ද යන්න ස්ථිර වශයෙන් කිව නොහැකි වුවත් මෑතකාලීන ව වෛද්‍ය රුවන් මාරසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද කෘතියෙහි මෙම බුද්ධ ප්‍රතිමා කොටස යාපනය, පුතුක්කුලමින් හමු වූ බව දක්වා ඇත. එම කෘතියේ දක්වා ඇති ඡායාරූපය අනුව මුල් ඡායාරූපයට වඩා බුද්ධ ප්‍රතිමා වහන්සේ හායනයට ලක් වී ඇති බවක් පෙනීයයි.
වෛද්‍ය රුවන් මාරසිංහ මැතිතුමා ඡායාරූප ගතකර ඇති පුතුක්කුලමෙන් හමුවූ බව කියන ප්‍රතිමා කොටස



මීට අමතර ව එම ස්ථානයෙන්ම තවත් ශෛලමය පුරාවස්තුවක් පීරිස් මහතා විසින් සොයා ගන්නා ලද අතර එය යම් ප්‍රතිමාවකට අයත් පද්ම පීඨයක් වීමට ඉඩ ඇත. තව ද මෙම ගම්මානයේ තවත් ළිඳකින් සහ ජල තටාකයකින් කොත් කැරලි දෙකක් එතුමා විසින් සොයාගන්නා අතර පුල්ලෙයාර් ප්‍රතිමාවක් වශයෙන් භාවිතා කරන ලද එවන්ම වූ කොත් කැරැල්ලක් ද එතුමා විසින් සොයාගනු ලබයි.

උඩුවිල් යනු කඳුරුගොඩට යාබද ව ඇති පැරැණි වැවකින් ද සමන්විත තවත් ගම්මානයකි. මෙම ගම්මානය ද පරීක්ෂා කරන පෝල් ඊ. පීරිස් මහතාට එහි එක්තරා කෝවිලකින් තවත් කොත් කැරලි හතරක් නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම කොත් කැරලි එම ස්ථානයෙන් රැගෙන යාමට ද කෝවිල් පරිපාලනය අවසර ලබා දී ඇත.

මීට අමතර ව චුන්නාකම් අවටින් ම හමුවූ තවත් පුරාවිද්‍යා ස්ථානයක් වශයෙන්; පීරිස් මහතා විසින් ම මුල්වරට යාපනයෙන් සොයාගනු ලැබූ බෞද්ධ පුරාවිද්‍යා ස්ථානය ලෙස හඳුන්වනු ලබන චුන්නාකම් දුම්රිය පොළ ආසන්නයේ පිහිටි දාගැබ හැඳින්වීමට හැකි ය.

එතුමා විසින්ම දක්වන ලෙසට කන්කසන්තුරේ වෙත දුම්රියෙන් ගමන් කරන විට චුන්නාකම් දුම්රියපොළ ආසන්නයෙන් එතුමා දුම්රිය ජනේලයෙන් දකින්නා වූ එක්තරා ගොඩැල්ලක් එතුමාගේ අවධානය දිනා ගනු ලබන අතර මාස කිහිපයකට පසු එම ගොඩැල්ල නිරීක්ෂණය කරන එතුමා යාපනය අර්ධද්වීපෙන් සොයා ගනු ලබන ප්‍රථම දාගැබ සොයාගනු ලබයි.

පෙර ලිපියක අප සඳහන් කරන ලද කෝපායි වෙතින් හමුවී යාපනය කොටුව වෙත ප්‍රවාහනය කරන ලද හුණුගල් කොත් කැරැල්ල මෙම ගම්මානයේ ළිඳක් කැණීමේ දී හමුවූ බව පීරිස් මහතා විසින් සඳහන් කරන අතර ඒ අනුව එකී කොත් කැරැල්ල මෙම දුම්රියපොළ අසළ දාගැබට අයත් වූවක් වීමට ඉඩ ඇත.

අපගේ මේතාක් ලිපි තුළ චුන්නාකම් නොහොත් හුණුගම හෙවත් කඳුරුගොඩ අවට ප්‍රදේශයේ පිහිටි බෞද්ධස්ථාන කිහිපයක් පිළිබඳව සඳහන් කරනු ලැබිණි.

1. චුන්නාකම් දුම්රියපොළ අසල දාගැබ

2. චුන්නාකම් බුද්ධ ප්‍රතිමාව හමු වූ කොඩ්ඩියාවත්ත දාගැබ සහ නටබුන්

3. චුන්නාකම් මකයාපිඩ්ඩි පිල්ලෙයාර් කෝවිල සහ මීනාක්ෂි අම්මාන් කෝවිල අසළ නටබුන් රාශිය

4. කදුරුගොඩ සුප්‍රකට ස්ථූපාවලිය සහිත පුරාවිද්‍යා ස්ථානය

5. උඩුවිල්හි කෝවිලකින් ලැබුණු කොත් කැරලි එම ස්ථාන අතර වේ.

ඒ අනුව මෙම ප්‍රදේශය ඉතාමත් වැඩි පුරාවස්තු ඝනත්වයක් තිබූ ප්‍රදේශයක් බව කිසිදු සැකයකින් තොර ව ප්‍රකාශ කළ හැකි අතර මේ අනුරාධපුර හෝ තිස්‌සමහාරාමය තරමට ම ඉතා පැරණි අතීත නාගරික ජනාවාසයක් බව ද වෙනත් කැණීම් මගින් හෙළි වී ඇත.

කෙසේ නමුත් අද යටකී බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන අතරින් ඉතිරි වී ඇත්තේ කඳුරුගොඩ දාගැබ් භූමිය පමණක් වීම කණගාටුවට කරුණකි. අනෙකුත් පුරාවිද්‍යා ස්ථාන සියවසක් තුළ අපට අහිමි වී ඇති අතර යම් හෙයකින් ඒවා ආරක්ෂා කර ගැනීමට අපට හැකියාව තිබුණේ වී නම් එය අපගේ ශිෂ්ඨාචාරයේ ප්‍රෞඪත්වය කියාපාන එකකට එකක් අතිශයින් වැදගත් සාධක වනු නොඅනුමාන ය.

විනුක විදාණපතිරණ
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

5/30/2025

යුරෝපයේ යුදෙව් විරෝධය සහ යුදෙව් ජාතිකවාදයේ නැගීම

කතෘ:යුතුකම     5/30/2025   No comments

1948 මැයි මස 14 වැනි දින ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමේ අවස්ථාව.


නූතන ඊශ්‍රායල් රාජ්‍ය බිහි වන්නේ 1948 මැයි මස 14 වැනි දින ය. ඊශ්‍රායලය බිහි වී මෙම වසරේ මැයි මාසයට වසර 77ක් සපිරෙන විට ඊශ්‍රායල් - පලස්තීන අර්බූධය නැවත වරක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. වත්මන් ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කවර විවෙචන තිබුණ ද, ඊශ්‍රායලය බිහි වීම යුදෙව් ජාතිකවාදයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. යුදෙව් ජාතිකවාදය යනු ලෝකයේ වඩාත් ශක්තිමත් ම දාර්ශනික පදනම සහිත ජාතිකවාදී ව්‍යාපාරය විය හැකි ය.

රටක් නොමැතිව ලොව පුරා විසිර සිටි යුදෙව් ජනතාව (යුදෙව් ඩයස්පෝරාව) වෙනුවෙන් රටක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගත් යුදෙව් ජාතිකවාදී අදහස් ප්‍රධාන වශයෙන් වර්ධනය වන්නේ යුරෝපය කේන්ද්‍ර ගත කර ගෙන ය. වසර දහස් ගණනකට පෙර තමන්ට තිබුණේ යැ යි ප්‍රකාශ වන රට අහිමි වීම හේතුවෙන් විසිරී ලොව විවිධ රටවලට සංක්‍රමණය වූ යුදෙව්වන්, එම රටවල සංස්කෘතීන් සමග මුසු නොවී සිය වාර්ගික අනන්‍යතාව රැක ගැනීම සුවිශේෂී කරුණකි. ඕස්ට්‍රේලියාව හෝ වෙනත් යුරෝපීය රටක් හෝ වෙත සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන්, වැනි ජන කොටස් පරම්පරා දෙක තුනක් තුළ සිය අනන්‍යතාව නැති කර ගන්නා ආකාරය සමග මෙය සංසංදය කර බැලීම වටී. එමගින් පෙනී යන්නේ යුදෙව්වන් තුළ ඇති දැඩි ජාතිකත්ව (නොහොත් වාර්ගිකත්ව) හැඟීම යි. මේ හේතුව නිසා ම, යුදෙව්වන් කෙරෙහි යුරෝපීයයන් තුළ විරෝධාකල්ප පැන නැඟීම ස්වාභාවික ය. භාහිර පෙනුමින්, ඇඳුමින්-පැළඳුමින්, සිරිතෙන්-විරිතෙන්, ආගමින්, තමන්ට වඩා යුදෙව්වන් වෙනස් වීමත්, තම (යුරෝපීය) සංස්කෘතියට අවශෝෂණය නොවී, ඔවුන් සිය අනන්‍යතාව දිගට ම පවත්වා ගෙන යාම යුරෝපීයයන්ට රිසි නොවන්නට ඇත. මීට අමතරව යුදෙව්වන් ව්‍යාපාරික කටයුතුවල ශූරයින් වීම හේතුවෙන්, යුදෙව්වන් විසින් තමන් ආර්ථිකමය ලෙස සූරා කනු ලබන්නේ ය යන හැඟීම පොදුවේ යුරෝපීයයන් තුළ පැවතී ඇත.

යුරෝපීයයන්ගේ මෙම විරෝධාකල්පී අදහස් අතීත සාහිත්‍ය නිර්මාණ තුළින් පවා පිළිබිඹු වේ. මීට හොඳ ම උදාහරණයක් ලෙස විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට "වැනීසියේ වෙළෙන්දා (The Merchant of Venice)" වේදිකා නාට්‍යය පෙන්වා දිය හැකි අතර, එහි "ෂයිලොක්" නම් චරිතයෙන් යුදෙව්වෙකු නිරූපනය වේ. තමාගෙන් ලබා ගත් ණය මුදලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් ණයකරුවාගේ සිරුරින් "මස් රාත්තලක්" ඉල්ලා සිටින ෂයිලොක්ගේ චරිතය එම නාට්‍යය තුළ නිරූපනය කර ඇත්තේ ඉතා දරුණු, සට-කපට, කලු චරිතයක් ලෙස ය. අනෙක් අතට මෙහි දෙබස් හරහා ෂයිලොක්ගේ වාර්ගිකත්වය නිතර නිතර මතු කොට දැක්වීමත්, ඉහත කී යුදෙව් විරෝධය ඉස්මතු වන්නක් ලෙස හඳුනා ගත හැකි ය. නට්‍යය තුළ ෂයිලොක් චරිතයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ඔහුගේ සිතෙහි නිරන්තරයෙන් ඇති පළි ගැනීමේ චේතනාව යි. එකල යුරෝපයේ ණයට මුදල් ලබා දීම, ප්‍රධාන වශයෙන් ම යුදෙව්වන් අත පැවති ව්‍යාපාරයක් බවත්, ෂයිලොක්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ පොදුවේ යුදෙව්වන් තුළ දක්නට ලැබුණු ලක්ෂණ බවත් අයෙකුට අනෙක් අතට තර්ක කළ හැකි ය. යුදෙව් සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී කුප්‍රකට "ඇසට ඇසක් - දතට දතක්" ප්‍රතිපත්තිය අපට අමතක කළ නොහැකි අතර, හානියේ ස්වභාවයට සමානුපාතිකව ඊට අදාළ දඬුවම තීරණය විය යුතු බව එයින් අදහස් වේ. යුරෝපීයනගේ මෙම යුදෙව් විරෝධයේ උච්චතම අවස්ථාව ලෙස හඳුනා ගත හැක්කේ, ආඩෝල්ෆ් හිට්ලර් විසින් මෙහෙයවන ලද යුදෙව් සංහාරය යි. මෙහි දී නාසි ජර්මනිය සිය යටත් රටවල විසූ යුදෙව්වන් කඳවුරු තුළට කැඳවා වද බන්ධනයන්ට ලක් කිරීමත්, ඇතැම් විට ඔවුන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදවා ගැනීමත්, අවසානයේ මරණයට පත් කිරීමත් සිදු කර ඇත. මෙම ක්‍රියාවන්ට එරෙහිව යුරෝපයේ පැන නැඟුණු විරෝධය හෙතුවෙන්, යුරෝපීයයන් තුළ යුදෙව් විරෝධය යටපත් වී, ඔවුන් කෙරෙහි අනුකම්පාව ඉස්මතු වී ඇත.

යුදෙව්වන්ට විඳින්නට සිදු වූ මෙම දුක් ගැහැට නිසා ම, අනුන්ගේ රටවල දෙවන ගණයේ පුරවැසියන් වනවාට වඩා, තමන්ගේ ම රටක් නිර්මාණය කර ගත යුතු ය යන හැඟීම පොදුවේ යුදෙව්වන් තුළ වර්ධනය වූවාට සැක නැත. මේ නිසා ම කාලාන්තරයක් තිස්සේ මතු වෙමින් තිබූ යුදෙව් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීම සම්බන්ධ යුදෙව් ජාතිකවාදී අදහස් වඩාත් තීව්‍ර විය. යුදෙව්වන්ගේ වාර්ගික විඥානය යුදෙව් රාජ්‍ය සංකල්පය හරහා ජාතික විඥානයක් බවට පරිවර්තනය කිරීම, එතෙක් බෝහෝ දුරට ලේඛනවලට පමණක් සීමා වී පැවති හීබෲ භාෂාව නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි භාෂාවක් බවට පරිවර්තනය කර ගැනීම, යුදෙව් සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම, තමන් දෙවියන්ගේ තෝරා ගත් ජාතිය ය යන හැඟීම සහ "පොරොන්දු දේශය" යන සංකල්පය මෙම ජාතිකවාදී අදහස් වල කැපී පෙනෙන ලක්ෂණ විය.

යුදෙව් රාජ්‍යය බිහි කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇතත්, ඉන් කැපී පෙනන අදහස වී ඇත්තේ ජෙරුසෙලම ආශ්‍රිතව එම රාජ්‍යය බිහි කළ යුතු ය යන අදහස යි. මෙම අදහස පොදුවේ "සයොනවාදය" ලෙස හැඳින්වෙන අතර, "සයොනය" යනු ජෙරුසෙලමට පර්යාය පදයක් ලෙස සැලකේ. මිට පදනම වී ඇත්තේ ඓතිහාසික යුදෙව් රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසෙලම සැලකීම යි. වත්මන් ඊශ්‍රායලයේ විශාලත ම සහා වාණිජ්‍යමය ලෙස වැදගත් ම නගරය ටෙල් අවීව් වුව ද, එහි අගනුවර ලෙස සැලකෙන්නේ ජෙරුසෙලම යි. ඒ සිය අගනුවර ජෙරුසෙලම බව පලස්තීනය ද ප්‍රකාශ කරන පසුබිමක ය. සයොනවාදය දර්ශනයක් ලෙස ගොඩනඟමින්, යුරෝපයේ පළමු සයොනවාදී සමුළුව 1897 දී පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ, නාටන් බියන්බෝම් (Nathan Birnbaum) වෙත ය.

ඔහුගේ අදහස් දේශපාලනික ස්වරූපයකට වඩා සංස්කෘතික ස්වරූපයක් ගන්නා ලදී. එහෙත්, නූතන දේශපාලන සයොනවාදයේ පියා ලෙස සැලකෙන්නේ නීතීඥයෙකු මෙන් ම මාධ්‍යවේදියෙකු ද වූ තියඩොර් හර්ට්සල් (Theodor Herzl) ය. ඔහු විසින් ජර්මානු භාෂාවෙන් රචනා කොට 1896 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "යුදෙව් රාජ්‍යය" (Der Judenstaat) නම් පොත් පිංච, නූතන සයොනවාදට අදාළ වැදගත් ම ලෙඛනය ලෙස සැලකේ. මෙහි දී යෝජනා කර ඇත්තේ යුදෙව් රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි.
යුදෙව් ජාතිකවාදය ගැන කතා කිරීමේ දී වඩාත් සිත් ගන්නා සුළු මාතෘකාවක් වන්නේ හීබෲ භාෂාව නූතන අදහස් ප්‍රකාශ කළ හැකි භාෂාවක් ලෙස වර්ධනය කර ගැනීම ය. හීබෲ භාෂා පුනරුද ව්‍යාපාර 19 වන ශත වර්ෂයේ දී යුරෝපය තුළ ඇරඹුණු අතර, නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි නව වචන හීබෲ භාෂා ප්‍රේමීන් විසින් නිර්මාණය කරන ලදී. පසුව පලස්තීනය තුළ ඇති වෙමින් තිබූ යුදෙව් කොලනි තුළ හීබෲ භාෂාව ඉගැන්වීමේ ව්‍යාපාර ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිට පලස්තීනයට පැමිණි යුදෙව් සංක්‍රමණිකයින්හට පොදු භාෂාවක් ලෙස, හීබෲ භාවිත කිරීමට මෙම ව්‍යාපාර හරහා අනුබල දෙන ලදී. ක්‍රමයෙන් එම ප්‍රදේශයේ පොදු භාෂාව ලෙස හීබෲ ප්‍රචලිත වූ අතර, එම භාෂාවෙන් ඉගැන්වීම් කරන පෙර පාසල් පවා ආරම්භ කරන ලදී.

යුදෙව් ජාතිකවාදී ව්‍යාපාර දෙස ආපසු හැරී බලන විට අපට නිරීක්ෂණය වන්නේ යුරෝපයේ එකළ පැවති යුදෙව් විරෝධය, යුදෙව් ජාතිකවාදයට උත්ප්‍රේරකයක් වී ඇති බව යි.  එම ව්‍යාපාරයේ අනෙක් මූලික ලක්ෂණය නම් ඊට ඉතා ශක්තිමත් දාර්ශනික පදනමක් පැවතීම ය. එම දාර්ශනික පදනමින් ඔබ්බට ගොස්, ඒ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම එහි ඉතාමත් වැදගත් ලක්ෂණය යි.

-නාරද බලගොල්ල
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 5 : ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම II

කතෘ:යුතුකම     5/30/2025   No comments

ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම II
(මෙහි පළමු ලිපිය පසුගිය කළාපයේ අන්තර්ගත විය)

1945 වන විට 2 වන ලෝක යුද්ධය නිමා වූයේ යුරෝපීය යටත් විජිත හිමියන් හට සිය යටත් විජිත අත හැරීමට බල කෙරෙන පසුබිමක් නිර්මාණය කරමිනි. 1947 දී බ්‍රිතාන්‍යන් ඉන්දියානු උප මහද්වීපය තුළ සිය පාලනය නිමා කරනු ලැබුවේ මුස්ලිම්වරුන් වෙනුවෙන් පාකිස්ථානය නමින් වෙනම රාජ්‍යක් ස්ථාපිත කොට දෙමිනි. 1946 මහ මැතිවරණ ප්‍රතිපල අනුව මුස්ලිම්වරුන් බහුතරය වාසය කරන දිස්ත්‍රික්කවල සහාය මුස්ලිම් ලීගයට හිමි විය. එම මැතිවරණ ප්‍රතිපල මත සහ 20 සියවසේ මුල පටන් මුස්ලිම් නායකයන් ගෙන ගිය උපායශීලී පිළිවෙත මත මෙම දෙකඩ කිරීම සිදු විය.

මෙලෙස උප මහද්වීපය දෙකඩ කරමින් මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම රාජ්‍යක් ස්ථාපිත කිරීම හින්දුවරුන් දුටුවේ සිය පැවැත්මට එල්ල කළ අභියෝගයක් වශයෙනි. RSS ඇතුළු හින්දුත්ව මතධාරී සංවිධාන විසින්, මෙලෙස සිය අඛාණ්ඩ් භාරත් සිහිනය බොඳ කොට දැමීම පිළිබඳව ගාන්ධි, නේරු ඇතුළු කොන්ග්‍රස් නායකයන් වෙත සෘජුවම චෝදනා එල්ල කරන ලදි. ඒ පිළිබඳව හින්දුත්ව මතධාරීන්ගේ කෝපය ප්‍රකට වූයේ වූයේ මහත්මා ගාන්ධි ඝාතනය කරමිනි.

මහත්මා ගාන්ධි යනු ඉන්දියාවට නිදහස ලබා ගැනීම වෙනුවෙන් දියත් වූ ‘අවිහිංසාවාදී දේශපාලන ව්‍යාපෘතියේ’ නිර්මාපකයා මෙන්ම එහි අසහාය නියමුවා ද විය. ඉන්දියාවට දේශපාලන නිදහස දිනා ගැනීමෙහිලා ක්‍රියාත්මක වූ පුළුල්තම දේශපාලන ව්‍යාපාරය වූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ නිල නායකයා වශයෙන් ද, ආධ්‍යාත්මික නායකයා වශයෙන් ද ඔහු පෙනී සිටියේ ය. ඉන්දියාව දෙකඩ වී මාස 5 ක් තුළ නතුරාම් ගොඩ්සේ නම් පුද්ගලයෙකු විසින් මහත්මා ගාන්ධි වෙත වෙඩි තබා ඝාතනය කරන ලදි. නතුරාම් ගොඩ්සේ හින්දුත්ව මතධාරියෙක් වූ අතර RSS සහ හින්දු මහාසභා යන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය.

ගාන්ධි ඝාතනයෙන් අනතුරුව කොන්ග්‍රස් රජය විසින් RSS සහ හින්දු මහාසභාව තහනම් දේශපාලන සංවිධාන වශයෙන් නම් කොට එහි නායකයන් අත්තඩංගුවට ගත්ත ද කෙටි කළක් තුළ එම තහනම ඉවත් කරගන්නා ලදි. 1951 දී ශ්‍යාමා ප්‍රසාද් මුඛර්ජි විසින් RSS හි දේශපාලන අංශය ලෙස භාරතීය ජනතා සංග් නම් දේශපාලන පක්ෂය ස්ථාපිත කළ විට ඊට RSS ක්‍රියාධරයන් පමණක් නොව හින්දු මහසභාව ආදී අනෙකුත් හින්දුත්ව මතධාරී සංවිධානවල ක්‍රියාකාරිකයන් ද එක් විය.

1951 සිට ක්‍රමිකව හින්දුත්ව මතධාරී විකල්ප දේශපාලන ධාරාවක් ලෙස වර්ධනය වූ භාරතීය ජනතා සංගය 1977 දී භාරතීය ලෝක් දාල්, සමාජවාදී පක්ෂය ඇතුළු තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සන්ධානගතවෙමින් ‘ජනතා පක්ෂය’ පිහිටුවීමටත්, ප්‍රථම වරට ඉන්දියාවේ කොන්ග්‍රස් පක්ෂ බලය පෙරළා නව ආණ්ඩුවක් පිහිටුවීමටත් සමත් විය. 1977 සිට 80 දක්වා පැවති ‘ජනතා පක්ෂ’ පාලනය කෙටි කාලයක් තුළම නිමාවට පත් වූ අතර එය ඉන්දිරා ගාන්ධිගේ කොන්ග්‍රස් ආණ්ඩුවට එදිරිව මතුව පැවති ජනතා විරෝධය සඳහා විකල්ප නවාතැන්පළක් පමණක් විය. ජනතා පක්ෂ සන්ධානය දිනා තිබූ ලෝක් සභා ආසන 295 න් භාරතීය ජනතා සංගය සතු වූයේ ආසන 93 ක් පමණි. ඒ අනුව 77-80 ජනතා පක්ෂ පාලනය හින්දුත්ව මතධාරීන් පූර්ණ වශයෙන් බලය අත්පත් කොට ගැනීමක් ලෙස හැඳින්විය නොහැකි නමුත් එය ඔවුන්ට බලය ලබා ගැනීම පිළිබඳ එක්තරා ආකාරයක පෙරහුරුවක් වූ බව කිව හැකිය.

1980 දී ජනතා පක්ෂ සන්ධානය බිඳ වැටීමෙන් අනතුරුව භාරතීය ජනතා සංගය සිය නම භාරතීය ජනතා පක්ෂය (BJP) ලෙස වෙනස් කොට ගනිමින් පක්ෂය අභ්‍යන්තරය ප්‍රතිසංස්කරණවලට බඳුන් කරන ලදි. පක්ෂයේ මතවාදය හින්දු ජාතිකවාදය මත තිර ලෙස ස්ථාපිත කරන ලදි. කෙසේ වෙතත් 1984 මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට දිනාගත හැකි වූයේ ලෝක් සභා ආසන 2 ක් පමණි.

නමුත් හින්දුත්ව මතවාදය මත තිරව පිහිටා කටයුතු කරමින්, අයෝධ්‍යාවේ රාම ජන්ම භූමිය පිළිබඳ ගැටළුව වැනි තත්ත්කාලීනව පැන නැගි මතභේදකාරී තත්ත්වයන් දේශපාලන අවස්ථාවන් ලෙස උපක්‍රමශීලීව ග්‍රහණය කර ගනිමින් හින්දුවරුන් අතර හින්දු ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය ලෙස ඉස්මතු වීමට BJP ය සමත් විය. ඒ අනුව 1991 මැතිවරණයෙන් ලොක් සභා ආසන 120 ක් ද, 1996 මැතිවරණයෙන් ලොක් සභා ආසන 161 ක් ද දිනා ගත් BJP ය, 1998 දී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ස්ථාපිත කරමින් නැවත ආණ්ඩුවක් පිහිටුවීමට සමත් විය.

1998 – 2004 සමය තුළ අතල් බිහාරි වජ්පායි අගමැති දූරය දැරූ, BJP ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය න්‍යෂ්ඨික ක්ෂේත්‍රය, විදුලි සංදේශ ක්ෂේත්‍රය ආදී ක්ෂේත්‍රවල කැපී පෙනෙන ජයග්‍රහන ඉන්දියාවට අත්පත් කර දීමට සමත් විය. නැවත 2004 සහ 2009 මැතිවරණවලින් පරාජයට පත් වූ BJP ය 2014 දී නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වය යටතේ ආණ්ඩු බලය ලබා ගැනීමට සමත් විය.

2014 සිට මේ දක්වා ඉන්දියාවේ පවතින BJP පාලනය එරට හින්දුත්ව මතවාදය කූටප්‍රාප්තිය දක්වා ඔසවා තැබීමට සමත්ව ඇත. එහෙත් එය ඉන්දියාවේ හින්දු ජාතිකවාදයේ අවසානය නොවේ. ශිව සේනා වැනි සංවිධාන BJP පරයා යන උග්‍ර හින්දුත්ව මතවාදී ප්‍රවේශයකින් කටයුතු කරමින් සිටී. ඉන්දියාවේ හින්දු ජාතිකවාදය යනු ගෝලීය වශයෙන් බලපෑම් සහගත දේශපාලන ප්‍රවණතාවයකි. එහි නැගී සිටීම ලෝකයේ සෙසු ජාතීන් වෙත අභියෝගයක් එල්ල කරනු ඇත.

[ලෝකයේ ක්‍රියාත්මක ජාතිකවාදී ප්‍රවණතාවයන් පිළිබඳව ගෙනහැර දැක්වෙන උදාහරණ මාලාවේ අවසාන උදාහරණය ලෙස ඇමරිකානු ජාතිකවාදය පිළිබඳව ජුනි මස කලාපයෙන් සාකච්ඡා කරමු]

-පැතුම් ඒ. රණසිංහ-
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

4/30/2025

මහා සංක්‍රාන්තිය රට රටවල සැමරෙන හැටි

කතෘ:යුතුකම     4/30/2025   No comments
ඇතමුන්ට අනුව සූර්යයා මීන රාෂියෙන් මේෂ රාෂියට සංක්‍රමණය වීම මත පදනම් වූ සිංහල අලුත් අවුරුදු උදාව හින්දු මූලයක් සහිත සැමරුමකි. හින්දු ලබ්ධිකයන් වන මෙරට දෙමළ ජනතාව ද මීට සමගාමීව අවුරුදු සැමරුමක් සිදු කරන බැවින්, මේ කියන ආකාරයට එය හින්දූන්ගේ උත්සවයක් ද? වෙනත් රටවල ථේරවාදී බෞද්ධයන් මෙම අවුරුදු උදාව සමරන්නේ ද?

එසේ නම්, හින්දු සංස්කෘතියේ තිඹිරි ගෙය වූ වත්මන් ඉන්දියාව තුළ මෙකී ආකාරයේ සැමරුම් සිදු කෙරෙන්නේ ද යන්නත්, එම සැමරුම් කාවරාකාර ද යන්නත් මුලින් ම සොයා බැලීම වටී. ඉන්දියාව වූ කලි ඉතා පොහොසත් සංස්කෘතික විවිධත්වයකින් යුතු රටකි. එරට හින්දූන් අතර පවා ඇත්තේ විවිධත්වයකි. මේ නිසා, එරට ප්‍රාන්ත වශයෙන්, ජන වර්ග වශයෙන් අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේ ද යන්න සලකා බැලිය යුතු ය. 

ඉන්දියාවේ අසම් (ඇසෑම්), බටහිර බෙංගලය, ඕදීෂ (ඔරිස්සා), අරුණාචල් ප්‍රදේශ්, ත්‍රිපුරා, මණිපුර්, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්ණාටකා, තෙලංගානා, තමිල් නාඩු, කේරල, බිහාර්, පන්ජාබ්, උත්තරාකන්ද් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත ආශ්‍රිතව ජීවත් වන ජන කොටස් සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්දක් සමරති. ඉන්දියාවේ ප්‍රාන්තයක් තුළ පවා විශාල සංස්කෘතික විවිධත්වයක් සහිතව, විවිධ ජන වර්ග ජීවත් වන බැවින්, ඉහත සඳහන් කළ ප්‍රදේශ තුළ වෙසෙන සියලු ජනතාව එම වකවානුවේ අලුත් අවුරුදු උදාව සමරන බව මින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස අසම් සහ අරුණාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත තුළ ජීවත් වන ඇතැම් ජන වර්ග මෙලෙස අලුත් අවුරුද්ද සමරන අතර, ඔවුන් අතර පවා ඊට අදාළ චාරිත්‍ර එකිනෙකට වෙනස් වේ. මේ අනුව, වත්මන් ඉන්දියාවේ උතුරු, ඊසාන, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයන්හි පිහිටි ප්‍රාන්ත ආශ්‍රිතව සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්ද සමරන ජන කොටස් ව්‍යාප්තව සිටින බව පෙනී යයි. එසේ වුව ද, ඉන්දියාවේ බටහිර සහ වයඹ ප්‍රදේශවල ජනතාව සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන්නේ මාර්තු අග හෝ අප්‍රේල් මුල කාල වකවානුවක ය.

ෆෙඩරල් රාජ්‍යයක් වන ඉන්දියාවේ, එක් එක් ප්‍රාන්තය සඳහා වෙන වෙන ම රජයේ නිවාඩු දින පවතින අතර, සිංහල අවුරුද්දට සමගාමීව සැමරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන් නිවාඩු ලබා දෙනු ලබන්නේ, පන්ජාබ්, බටහිර බෙංගලය, අරුණාචල් ප්‍රදේශ්, අසම්, මණිපුර්, ඕදීෂ, කේරල සහ තමිල් නාඩු යන ප්‍රාන්ත තුළ පමණි. මේ නිසා එම ප්‍රාන්ත තුළ එම සැමරුම් සිදු කෙරෙන ආකාරය විමසා බලමු.

වෛසාඛී - සාම්ප්‍රදායිකව නව වසරක උදාව සැමරීම වෙනුවෙන් පන්ජාබ් ඇතුලු ප්‍රදේශ කිහිපයක පැවැත්වෙන සැමරුමකි. වෛසාඛී යනු නව වසරේ පළමු මාසය යි. එහෙත් 2003 වර්ෂයේ සිට සම්මත සික්වරුන්ගේ නානක්ෂාහි දින දර්ශනය අනුව නව වසර උදා වන්නේ මාර්තු මස 14 වැනි දින ය.

පොහෙල බොයිසාක් - මෙය බෙංගල ජනතාවගේ [ඉන්දියාවේ බටහිර බෙංගලය, අසම් සහ ත්‍රිපුරා ප්‍රදේශ ආශ්‍රිතවත්, බංගලාදේශයේත් මූලිකව මෙම ජන වර්ගයට අයත් ජනතාව ව්‍යාප්තව ඇත. ඔවුහු වංග හෙවත් බංග(ල) බස කතා කරති.] බොයිසාක් මාසයේ පළමු දිනය යන අර්ථය ගෙන දේ. බොයිසාක් යනු වර්ෂයේ පළමු මාසය යි. එහි නාමය සංස්කෘත වෛශාඛ්‍ය යන්නෙන් උපන්නකි.

බෝහග් බීහු - මෙය අසම් සහ අරුණාචල් ප්‍රදේශ් වැනි ඊසාන දිග ඉන්දියානු ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් විසින් සමරනු ලබන උත්සවයකි. බෝහග් යනු අසම් වර්ෂ ක්‍රමය අනුව පළමු මාසය යි. බීහු යනු අසම් භාෂාවෙන් උත්සවය යන අර්ථය දේ. මෙයිති නව වසර - මෙයිති ජනතාව ප්‍රධාන වශයෙන් ම ජීවත් වන්නේ මණිපුර් ප්‍රාන්තයේ වන අතර ඔවුන් එහි බහුතර ජනවර්ගය වේ. මීට අමතර ඔවුහු අසම්, ත්‍රිපුරා යන ඉන්දියානු ප්‍රාන්තවල ද බංගලාදේශයේ සහ මියන්මාවේ ද ජීවත් වෙති. ඔවුහු සාම්ප්‍රදායිකව හින්දූන් නොව සනාමහී නම් ආගම අදහන්නෝ වෙති. සජිබු යනු ඔවුන්ගේ වර්ෂ ක්‍රමයට අනුව පළමු මාසයයි. මෙම වර්ෂ ක්‍රමයේ විශේෂත්වය වන්නේ එය ක්‍රි.පූ 14 වැනි සියවසේ සිට ව්‍යවහාර වන්නක් ලෙස ඔවුහු සැලකීම යි.

පනා සංක්‍රාන්ති හෙවත් මහා බිෂුබ සංක්‍රාන්ති - පනා යනු ඕදීෂ ප්‍රදේශයේ සාම්ප්‍රදායික පානයකි. මෙම පානයෙන් සංග්‍රහ කිරීම මෙම සැමරුමේ දී ඔවුන්ගේ ප්‍රධාන ම චාරිත්‍රයකි. මහා බිෂුබ සංක්‍රාන්ති යනු මහා විෂුව (equinox) සංක්‍රාන්තිය යන්න යි.

විෂු - මෙය කේරලය ප්‍රධාන කොට ගත් මලයාලම් බස කතා කරන ජනතාවගේ නව වසර සැමරුම යි.

පුත්තාණ්ඩු - තමිල් නාඩුව මූලික කර ගත් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අලුත් අවුරුදු සැමරුම යි. ශ්‍රී ලංකාව ඇතුලු සෙසු රටවල වාසය කරන දෙමළ ජනතාව ද මෙම සැමරුම සිදු කරති. පුත්තාණ්ඩු යන්නෙහි තේරුම නව වසර යන්න යි.

මේ සියලු සැමරුම් මීන රාශියේ සිට මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මත පදනම්ව ඇත.

ඉන්දියාවෙන් පරිබාහිරව මෙම සැමරුම සිදු කෙරෙන රටවල් ලෙස හඳුනා ගත හැක්කේ, නේපාලය සහ බංගලාදේශය යන දකුණු ආසියානු රටවල් සහ අග්නිදිග ආසියානු රටවල් වන මියන්මාව, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය යි. එසේ නම්, මෙම රටවල නව වසර සැමරෙන ආකරය මීලඟට සලකා බලමු. මෙම සැමරුම් සඳහා ද මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ සංක්‍රමණය පාදක වී ඇත.

මේ අතරින් මියන්මාව, තායිලන්තය සහ කාම්බෝජය යනු ථේරවාදී බෞද්ධයින් බහුතරයක් වාසය කරන රටවල් වේ.

නේපාල නව වසර - නේපාලයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ජූර් සිතල්, බිස්කා ජාත්‍රා, වෛසාඛී වැනි නම් වලින් නව වසර සමරති.

පොහෙල බොයිසාක් - බෙංගල නව වසර බංගලාදේශයේ ද සැමරේ.

තිංග්‍යාන් - සිංහල අලුත් අවුරුද්දට සමගාමීව මියන්මාවේ සැමරේ. මෙහි අර්ථය සංක්‍රාන්තිය යන්න යි.

සොංග්‍රාන් - තායිලන්තයේ සැමරෙන මෙහි අර්ථය ද සංක්‍රාන්තිය යන්න යි.

මොහා සංක්‍රාන් - කාම්බෝජයේ සැමරෙන මෙහි අර්ථය මහා සංක්‍රාන්තිය යන්න යි.

පී මයි - ලඕසයේ සැමරෙන මෙහි අර්ථය නව වසර යන්න යි. සංක්‍රාන්තිය යන අරුත දෙන සොංකාන් යන වචනය ද මීට භාවිත වේ.

ප්‍රධාන වශයෙන් බංගලාදේශය, ඉන්දියාව හා මියන්මාව තුළ ජීවත් වන චාක්ම ජනයා මෙන් ම, මියන්මාව, වියෙට්නාමය, ලාඕසය සහ තායිලන්තය තුළ වෙසෙන තායි සම්භවයක් සහිත දායි ජනයා ද මෙම කාලය තුළ අවුරුදු සමරති. මෙම ජන කොටස් දෙකම ප්‍රධාන වශයෙන් ථේරවාදී බෞද්ධයන් වීම සුවිශේෂී වේ.

මේ අනුව, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මත පදනම්ව සිංහල අවුරුදු උදාවට සමගාමීව සැමරුම් සිදු කෙරෙන ප්‍රදේශයන්ගේ භූගෝලීය පිහිටීම, මෙම ලිපිය සමඟ දක්වා ඇති සිතියමෙහි (පිටුව 08) රතු කඩ ඉරෙන් වටව ඇති ප්‍රදේශය ලෙස දළව හඳුනා ගත හැකි ය. මෙම ප්‍රදේශයෙන් වැඩි භූමි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ, ඉන්දියාවෙන් පිටත බව මෙම සිතියම මගින් මූලිකව ම අපට නිරීක්ෂණය කළ හැකි ය. එසේ නම්, මෙම සැමරුම හින්දූන් විසින් නිර්මාණය කර අනතුරුව අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු වෙනත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත වූවක් ද? තමන් මීට සියවස් 35කට පමණ පෙර සිට මෙම සංක්‍රාන්ති සැමරුම සිදු කරන බව මෙයිති ජනයා පැවසීමත්, ඔවුන් සාම්ප්‍රදායිකව හින්දූන් නොවීමත් අපට නොසලකා හැරිය නොහැකි නිරීක්ෂණයකි. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පුරා පැතිර තිබූ ආර්‍ය නොවන සංස්කෘතියක උපන් මෙම සැමරුම, පසු කාලීනව වෛදික බලපෑම් නිසා ඇතැම් ප්‍රදේශ වලින් අතුරුදන්ව ගියේ ද? මේවා අප උපන්‍යාස (hypotheses) ලෙස වැඩි දුරටත් අධ්‍යයනය කිරීම වටී

නාරද බලගොල්ල
යුතුකම 2025 අප්‍රේල් කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

නලින් සර් හා අපේ කතන්දර

කතෘ:යුතුකම     4/30/2025   No comments


(2025 මැයි 02 දිනට නලින් ද සිල්වා ඇදුරුතුමන් අභාවප්‍රාප්ත වී වසරක් සැපිරේ)

“අපගේ ප්‍රවාද නිර්මාණය කරගැනීමේ දී අපට සාහිත්‍ය මෙන් ම ජනප්‍රවාද ද යොදා ගැනීමට සිදු වේ. ඒ එකක්වත් මිථ්‍යාවන් සේ සලකා බැහැර කළ යුතු නොවේ”. (නලින් ද සිල්වා - කාලය 2011)

නලින් සර්ගේ ඉහත ප්‍රකාශය අද වෙන කවරදාටත් වඩා අපගේ අවධානයට යොමු විය යුත්තකි. මේ වන විට අපි අපේ පැරන්නනගේ ප්‍රවාද මිථ්‍යාවන් ලෙස සලකමින් ඒවා එකින් එක ඉවත් කරමින් සිටින්නෙමු. ඒ සිංහල බෞද්ධයන් ද ගෙවී ගිය සියවස තුල බටහිර දැනුම එකම දැනුම ලෙස සලකන අවිචාරශීලී ජාතියක් බවට පත් වෙමින් සිටින බැවිනි.

ග්‍රීක දර්ශනය බටහිර දර්ශනය බවට පත් වීමට පෙර, ලෝකයේ ඉතිහාස ග්‍රන්ථ ලියවෙන්නට ද පෙර අවදියක ලියවුණු සිංහලයින්ගේ වංශකතාව වූ මහාවංසයේ ඇතුළත්, බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබද පුවත ඇතැමුන් ප්‍රතික්ෂේප කරන්නේ ඒ සදහා අවශ්‍ය ඓතිහාසික මෙන් ම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද නොමැති බව සඳහන් කරමිනි. තම මතය සනාථ කිරීමට එම තර්කයම ඔවුන් අනිත් අතට ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳ ව සඳහනක් ත්‍රිපිටකයේ නොමැති බැවින් බුදුන් වහන්සේගේ ලංකා ගමන පිළිගත නොහැකි බව පැසීමටය. ඒ නවීන විද්‍යාවට පිටදුන් බටහිර ද්විකෝටික චින්තනයේ ස්වභාවයයි.

ඉතිහාසයත් ප්‍රවාදයක් ම මිස ඊනියා විද්‍යාත්මක සත්‍යයක් නොවන බව අද වන විට බොහෝ විද්වත්හු අවබෝධ කරගෙන සිටිති. ඒ නලින් සර් විසින් පෙන්වා දී ඇති අයුරින් ම ඉතිහාසය මෙන් ම විද්‍යාව ද ප්‍රවාදයක් (කතන්දරයක්) පමණක් ම වන බැවිනි.

ඉතිහාසයක් ඇති සෑම ශිෂ්ට සම්පන්න ජාතියකට ම තමන්ට ම අනන්‍ය වූ සම්ප්‍රදායික ප්‍රවාද (myths) ඇත. ක්‍රිස්තු පූර්ව ග්‍රීසිය තුළ සිදු වූයේ මෙම ප්‍රවාදයන් ග්‍රීක දර්ශනවාදීන්ගේ කතන්දරවලින් විස්ථාපනය වීම ය. බටහිර නූතන විද්‍යාව ද පහළොස් වැනි සියවසේ දී බටහිර දර්ශනය බවට පත් වූ ග්‍රීක දර්ශනයේම දිගුවකි. බටහිර පුනරුදයේ පදනම එසේ වැඩුනු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයයි.

එහෙත් අපේ පාසැල්වල හා විශ්ව විද්‍යාල තුළ විද්‍යාවේ ඉතිහාස කතන්දරය නො උගන්වා, විද්‍යාව නිරපේක්ෂ වූ පරම සත්‍යයක් ලෙසින් ඉගැන්වෙයි. අද ද ඇතැම් පසුගාමී දේශපාලන පක්ෂ මේ රටේ පුනරුද යුගයක් නිර්මාණය කිරීමට උත්සුකවන්නේ ඔවුන් බටහිර දර්ශනය පිළිබඳව ඉතිහාස කතන්දරය නොදන්නා බැවින් විය හැක.

‘පුනරුද යුගයක්’ නිර්මාණය කිරීමට නම් අප අපගේ සම්ප්‍රදායික ප්‍රවාද ඉවත දැමිය යුතුය. එසේ විය හැක්කේ බුදුන් වහන්සේ ලක්දිව වැඩම වීම පමණක් නොව, මහින්දාගමනය, ජයසිරි මහබෝධිය, ගැමුණු රජතුමා, රුවන්වැලි සෑය ඇතුළු තවත් බොහෝ ප්‍රවාදයන් අත්හැරීමට සිංහලයින් සූදානම් නම් පමණෙකි. එහෙත් ගෙවීගිය සතියේදී ඔවුන් ප්‍රත්‍යක්ෂ ලෙසින් පෙන්වා දුන්නේ දන්ත ධාතූන් වහන්සේ පිළිබඳ ප්‍රවාදය ධාතු පරිනිර්වාණය දක්වා අත් නොහරින බවය.

සම්ප්‍රදායික ප්‍රවාද පිළිබඳ සප්‍රමාණික විද්වතෙකු වූ ජෝසෆ් කැම්ප්බෙල්ට අනුව ප්‍රවාද අවශ්‍ය වන්නේ ජීවිතයට අරුතක් සොයා ගැනීමට නොව ජීවිතය සමඟ යළි එකතු වී ජීවත් වීම සඳහාය. ජීවිතයට අරුතක් සොයා යෑමට අවශ්‍ය වන්නේ දර්ශනවාදයන් ය. ජීවිතය සමඟ යළි සම්බන්ධ වන්නට අපට අවශ්‍ය වන්නේ ප්‍රවාදයන් ය. දර්ශනයන් බොහෝ විට වියුක්ත වන අතර ප්‍රවාදයන් සෑම විටම වාගේ සංගත වෙයි.

ගුණපාල මලලසේකර මහතාගේ ශබ්ද කෝෂයේ ‘myth’ යන්න ‘පොදුවේ පිළිගත් එහෙත් සාවද්‍ය මතයක්’ යනුවෙන් අර්ථ දක්වා ඇත. එය සෑම ප්‍රවාදයක් ම බොරුවක්ය යන හැඟීම ජනනය කරවන්නෙකි. අප විමසිලිවත් විය යුත්තේ අපේ ප්‍රවාද තවත් එවැනිම ප්‍රවාදයක් වූ බටහිර විද්‍යාවට අනුකුල වන්නේද නොවන්නේද යන්න නොව, ඒ තුළින් අපට උරුම වූ අප ජීවත් වන චින්තන ප්‍රවාහය හා යළි එකතු වීමට හැකිදැයි යන්න පිළිබඳව ය.

විසිවැනි සියවසේ මුල් යුගයේ ජාතික ව්‍යාපරයේ පුරෝගාමී චින්තකයා වූ අනගාරික ධර්මපාල තුමා අපේ දරුවන්ට අපේ ප්‍රවාද ඇතුලත් වන මහාවංශය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මලංකාරය වැනි පොත්වල කතන්දර කියා නොදීම අනාගතයේ ඇති විය හැකි බරපතළ විපතක පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇත. අපි අද එහි ප්‍රතිඵල අත්විඳිමින් සිටින්නෙමු.

නලින් සර්ගේ ප්‍රවාද අත්‍යවශ්‍යම කාලයකදී එතුමා අප හැර යෑම මහත් වූ අභාග්‍යයකි. එතුමා පතන අයුරින්ම යළිත් අප අතරම ඉපදේවා යැ යි පතමු.

-මහාචාර්ය වසන්ත දේවසිරි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

4/25/2025

අපේ මතය - 4 : ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම

කතෘ:යුතුකම     4/25/2025   No comments

අපේ මතය - 4
ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීම

1947 දී ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබන අවස්ථාවේදී එහි නව ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ ඉන්දියානු ජාතික කොන්ග්‍රසය විසිනි. එතැන් පටන් 90 දශකයේ මුල් භාගය වනතුරු ඉන්දියාවේ දේශපාලන සුක්කානම දැරූ කොන්ග්‍රසය වාමාංශික නැඹුරුවක් සහිත දේශපාලන කඳවුරක් ලෙස ක්‍රියාත්මක විය.

ඉන්දියාවේ හින්දු ජාතිකවාදී පැන නැගීමේදී එහි දේශපාලන ප්‍රවණතාව ග්‍රහණය කරගනු ලැබූයේ භාරතීය ජනතා පක්ෂය විසිනි. භාරතීය ජනතා පක්ෂය රාෂ්ත්‍රීය ස්වයම්සේවක් සන්ග් නම් වූ සමාජ ව්‍යාපාරයේ දේශපාලන මුහුණුවර වූ අතර එය ප්‍රධාන වශයෙන් පෝෂණය වන්නේ වීර් සවර්කාර් (Vinayak Damodar Savarkar), සර්දාර් පටේල් (Sardar Vallabhbhai Patel) ආදී ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ නායකයන්ගේ අදහස්වලිනි.

ඉන්දියාව වනාහි ජනවර්ග, භාෂා සහ ආගම් අති විශාල සංඛ්‍යාවක් එක් තැන් කළ රටක් බව පාටකයාට අමුතුවන් පැහැදිලි කර දිය යුතු නොවේ. 1613 දී බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසින් සුරට් (Surat) හි සිය ප්‍රථම වෙළඳ මධ්‍යස්ථානය ස්ථාපිත කරන අවස්ථාව වන විටත් පෘතුගීසි, ලන්දේසි, ප්‍රංශ ආදී බටහිර ජාතීන් ඉන්දියාවේ දේශපාලන සහ වෙළඳ බලය පැතිරවීමේ කටයුතුවලට මුල පුරා සිටියෝ ය. එමෙන්ම හින්දු, මුස්ලිම් සහ සීක් ආදී සම්ප්‍රදායන්ට අයත් රාජ්‍යන් ගණනාවක් ඉන්දීය අර්ධද්වීපය පුරා පැවතුණි.

දේශපාලන සහ වෙළඳ තරඟයෙන් ඉන්දියාව තුළදී අන් සියළු යුරෝපා ජාතීන් පරයා ගිය බ්‍රිතාන්‍යන් 1613 සිට 1857 දක්වා බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නාමයෙන් ඉන්දියාවේ රාජ්‍ය එකිනෙක පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් යටත්විජිතකරණයට ලක් කරණ ලදි. 1857 සිපොයි කැරැල්ලෙන් අනතුරුව පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම විසුරුවා හැර සෘජුවම බ්‍රිතාන්‍ය කිරීටයේ පාලනයට ඉන්දියානු ප්‍රදේශ පත් කරන ලද අතර 1876 දී බ්‍රිතාන්‍ය මහ රැජින ඉන්දියාවේ අධිරාජිනිය වශයෙන් නම් කරන ලදි.




බ්‍රිතාන්‍ය පාලනය යටතේ අර්ධ ස්වාධීනතාවයක් පවත්වාගෙන ගිය කුමාර රාජ්‍ය 500 කට අධික ප්‍රමාණයක් තිබුණි. එම සියල්ල එක් කොට තනි පාලන ඒකකයක් වශයෙන් පවත්වා ගැනීම තුළින් බ්‍රිතාන්‍යන්ට වුවමනා වූයේ සිය පරිපාලන වියදම් අඩු කර ගැනීමට සහ පරිපාලනයේ ක්‍රමවත්භාවය පවත්වා ගැනීමට ය. ඊට අමතරව මිලිටරි කටයුතුවල පහසුව සහ කාර්‍යක්ෂම ලෙස සේනාංක යෙදවිය හැකි වීම, තනි මහා වෙළඳපොළක් ලෙස පවත්වා ගැනීම තුළ ඇතිවන වෙළඳ වාසිය, ඉන්දියානු භූමියේ සම්පත් යුරෝපා වෙළඳපොළට ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රවාහන පද්ධතිය ගොඩ නැගීමේ පහසුව, තනි ඒකකයන් ලෙස පාලනය කරමින් එහි බහුතර ප්‍රදේශවල සහයෝගය දිනා ගැනීම තුළින් අන් ප්‍රදේශවල ඇතිවිය හැකි නැගී සිටීම් වළක්වා ගැනීම පහසු වීම ආදී වාසි ද එමගින් බ්‍රිතාන්‍යන් අපේක්ෂා කරන ලදි.

ඉන්දියානු භූමිය තනි ඒකකයක් ලෙස පාලනය කරමින් බ්‍රිතාන්‍යන් විසින් ඉහත ‍සඳහන් වාසි ලබා ගනිමින් සිටියදී භූමීයේ විසූ ස්වදේශිකයන් ද තමන් තනි පාලන ඒකකයකට අයත් පිරිසක් බව සිතන්නට පුරුදු විය. එම තනි ඉන්දියාව පිළිබඳ ප්‍රවාදය ගොඩ නැගීම සඳහා අවශ්‍ය සාහිත්‍යමය, ඓතිහාසිකමය සහ සංස්කෘතිකමය සාධක ද එහි නොඅඩුව පැවතුණු බව කිව මනාය. 1857 ඉන්දියානු මහ කැරැල්ලේ අත්දැකීම් ද මෙලෙස සිතීමට ඉන්දියානුවන් පෙළඹූ බව සිතිය හැකිය. බ්‍රිතාන්‍යන් විසින් ගොඩ නැංවූ දුම්රිය මාර්ග ඇතුළු ප්‍රවාහන පද්ධතිය නිසා ද, තැපැල් සේවාව නිසාද මෙම ‘ඉන්දියා හැඟීම’ අර්ධද්වීපයේ සිව්කොණ පැතිරුණි. හින්දි භාෂාව සහ හින්දු ආගම මෙහිලා සුවිශේෂී කාර්භාරයක් ඉටු කරන ලදි.

19 වන සියවසේ දියත් වූ ආර්ය සමාජ්, බ්‍රහ්ම සමාජ් ආදී හින්දු ආගමික ව්‍යාපාර විසින් දකුණු ඉන්දියානු ප්‍රදේශ ආදී හින්දි බස කතා නොකරන ප්‍රදේශවල සහ ගෝත්‍රයන් අතර පැතිරී තිබූ ඇදහිලි හින්දු ඇදහීමේම කොටස් බවට පත් කර ගැනීමට සමත් විය. තවද අන්‍යාගමීකරණයට ලක් වූ පිරිස් නැවත හින්දුකරණයට ලක් කිරීම සඳහා ද එම ව්‍යාපාර සාර්ථක ප්‍රයත්නයක් දරන ලදි.

1885 ඉන්දීය ජාතික කොන්ග්‍රසය පිහිටවනු ලැබීය. එය ඉන්දීය අර්ධද්වීපයේ විසිරී සිටි සියළු ජනවර්ගවල විවිධත්වයට ඉඩ ලබා දෙමින්, බ්‍රිතාන්‍ය පාලනයෙන් දේශපාලන නිදහස දිනා ගැනීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය.

කොන්ග්‍රසය තුළ මුස්ලිම්වරුන්ට ලැබී ඇති තත්ත්වය පිළිබඳව මුස්ලිම් නායකයන් සිටියේ එතරම් තෘප්තියකින් නොවේ. ඒ අනුව 1906 වන විට මුස්ලිම්වරුන්ගේ අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා මුස්ලිම් ලීගය බිහි විය. බ්‍රිතාන්‍යන්ගේ බෙදා වෙන් කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තියේ පල නෙලා ගනිමින් මුස්ලිම්වරුන් වෙනුවෙන් වෙනම නියෝජනයක් ලබා ගැනීමටද, මුස්ලිම්වරුන් සඳහා බෙංගාලය දෙකඩ කොට ගැනීමට ද මුස්ලිම් ලීගයට සුළු කලක් තුළ හැකි විය.

මෙලෙස නැගී එමින් පැවති මුස්ලිම් ජාතිකවාදය සමනය කිරීමට කොන්ග්‍රසය අසමත් වෙත්ම ඉන් ඇති වූ රික්තකය තුළ 1900 ගණන්වල මුල පටන්ම හින්දු ජාතිකවාදයද හිස ඔසවා පැතිර යන්නට විට. විනයාක් සවර්කාර් ආදී නායකයන් ඊට මතවාදිමය පදනම සකස් කොට දුනි. 1925 දී එම මතවාදිමය පදනම මත රාශ්ත්‍රීය ස්වයම් සේවක් සංග් (RSS) බිහි විය.

එහෙත් තවදුරටත් හින්දු ප්‍රජාව අතර තමන්ට හිමිව තිබූ නායකත්ව ප්‍රතිරූපය නඩත්තු කොට පවත්වා ගැනීමට ගාන්ධිලා, නේරුලා සමත් වූ බව පෙනේ.

නිදහසින් පසුව ගාන්ධි නේරු ප්‍රවාහය දුර්වල කරමින් ක්‍රමිකව හින්දු ජාතිකත්වය නැගී ඒමට තුඩු දුන් හේතු සහ එහි වත්මන් තත්ත්වය මීළඟ කලාපයෙන් සාකච්ඡා කරමු. යුතුකම ජාතික සංවිධානය

යුතුකම අප්‍රේල් කලාපයේ ලිපියකි
පැතුම් ඒ. රණසිංහ

www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

3/28/2025

ඩොයිලි කියවමු

කතෘ:යුතුකම     3/28/2025   No comments

ඉංග්‍රීසි-සිංහල ගිවිසුම, හෙවත් ඊනියා උඩරට ගිවිසුම, අත්සන් කර වසර 210 ක් සපිරෙන මේ මොහොතේ, මෙරට තුළ ජෝන් ඩොයිලි විසින් ඉටු කරන ලද කාර්යභාරය අපට කිසිසේත් මඟ හැර යා නොහැක.

එංගලන්තයේ වෙස්ටමිනිස්ටර් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කරන ඔහු, ලංකාවේ සේවයට එක්වූ මුල් වකවානුව තුළ ම සිංහල, දෙමළ, පාලි සහ සංස්කෘත වැනි ප්‍රාචීන භාෂා සම්බන්ධයෙන් ප්‍රවීණතාවක් ලබා ගනි යි.

ඒ නිසා, ඉංග්‍රීසින් හට, සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්, ඔවුන්ට අවශ්‍ය පරිදි ගිවිසුම කෙටුම්පත් කරවා ගැනීමට ඩොයිලිට වඩා සුදුස්සෙකු නොසිටිය බවට කිසිදු සැකයක් නැත.

1801 වර්ෂයේදී ලංකාව තුළ රාජ්‍ය සේවයට එක්වන විට ජෝන් ඩොයිලිගේ වයස අවුරුදු විසිහතකි. පසුව, මාතර ප්‍රදේශයේ සේවය කරන සමයේදී, ඔහු සිංහල භාෂාව පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා ගන්නේ, මාතර වෙහෙරගම්පිට විහාරයේ වැඩ උන් කරතොට ධම්මාරාම හිමියන්ගෙනි. චතුර ලෙස සිංහල භාෂාව හසුරුවමින්, සිංහල සිරිත්-විරිත්, ආහාරපාන යනාදිය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ ඩොයිලි, පැහැයෙන් සුදු, සිංහලයෙකු විය.

1505 වර්ෂයේ දී පෘතුගීසීන් මෙරටට පැමිණීමේ සිට, ඉංග්‍රීසින් දක්වා, වරින් වර උඩරට රාජ්‍යය යුධමය ලෙස යටත් කර ගැනීමට දැරූ උත්සාහයන් සාර්ථක වී නොමැත. මේ අනුව, යුධමය ක්‍රියාවලියකින් උඩරට අල්ලා ගැනීම වෙනුවට, කුමන්ත්‍රණකාරී ලෙස එය සිදු කිරීම පැවරෙන්නේ ඩොයිලි වෙත ය.

එතැන් සිට, උඩරට භික්ෂූන් වහන්සේලා, නිලමේවරුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පිරිස් ඉතා කුලුපගව ආශ්‍රය කළ ජෝන් ඩොයිලි සහ ඔහුගේ කණ්ඩායම උඩරට රාජ්‍යයේ නීති, රීති සහ එහි ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් දළ සටහන් ලේඛනගත කිරීමට සමත් වේ. පසු කාලීනව උඩරට ඉතිහාසය සහ නීතී රීති පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ට පවා වැදගත් වී ඇත්තේ මෙම ලේඛන ය.

එසේ ම, රජු සහ නිලමේවරුන් අතර මෙන් ම, නිලමේවරුන් අතර ඇති වන මත බේද තීව්‍ර කර, මහා ගැටුම් දක්වා දුර දිග යැවීමට සූක්ෂමව කටයුතු කිරීම ඩොයිලි සහ ඔහුගේ කණ්ඩායම සිදු කළ මූලික කාර්යයකි. ඊට අමතරව, ඔහුගේ කණ්ඩායම සිදු කළ කැපී පෙනෙන කටයුත්තක් වී ඇත්තේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲරත්වය ඉස්මතු වන ආකාරයේ කටකතා ජනතාව අතර ප්‍රචලිත කිරීම ය.

ජෝන් ඩොයිලි වරක් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට ලියා යවන්නේ, එකදු පුද්ගලයෙකු හෝ ජීවිතක්ෂයට පත් නොකර උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින බව යි. ඒ අනුව, උඩරට නිලමේවරුන්ගේ ද උදව්වෙන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරභාරයට ගැනීමත්, අනතුරුව ඉංග්‍රීසීන් සහ සිංහල නිලමේවරුන් අතර ගිවිසුම අත්සන් කිරීමත් යන සියලු කාර්යයන් සඳහා ඩොයිලිගේ සෘජු මැදිහත්වීමක් දක්නට ලැබේ. එසේ වුවද, ගිවිසුම අත්සන් කිරීම සඳහා සියලු නිලමේවරුන්ගේ කැමැත්ත ලබා ගැනීම පහසු කාර්යයක් වී නොමැත. එම නිසා, ඔහු එය ඉතා සූක්ෂම උපායමාර්ග හරහා සිදු කර ඇත.

ඉන් අනතුරුව, 1818 වර්ෂයේදී උව-වෙල්ලස්ස නිදහස් අරගලය ඇති වූ අවස්ථාවේ, එය ඉතා කෲර ලෙස මර්දනය කිරීමේ දී ද, වෙල්ලස්ස ප්‍රදේශයේ සිදු කළ මහා විනාශකාරී සමූල ඝාතන සංවිධානය කිරීමේ දී ද, ජෝන් ඩොයිලි ප්‍රමුඛව ක්‍රියා කර ඇත.

මේ සියල්ල හමුවේ අපට පෙනී යන කරුණක් නම්, ජෝන් ඩොයිලි ඉතා සටකපට, දරුණු පුද්ගලයෙකු වූ බව යි. එහෙත්, බ්‍රිතාන්‍යයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ඔහු බ්‍රිතාන්‍ය කිරීටයට ඉමහත් සේවයක් කළ අයෙකු වෙයි. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් ඔහුට දැක්වූ කෘතවේදීතාවය, ඔහුට නයිට් නාමය ලබා දීම තුළින් පැහැදිලි වේ.

සිංහල ඇතුළු පෙරදිග භාෂා කිහිපයක් අධ්‍යයනය කරමින්, ඩොයිලි අනෙක් බ්‍රිතාන්‍ය නිලධාරීන්ට වඩා විශේෂත්වයක් දිනාගෙන තිබුණි. එය සිය වෘත්තීය ඉනිමගෙහි ඉහළට නැගීමට ඔහුට පිටිවහලක් වී ඇති බව ද නිසැක ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගනු ලබන්නේ එක්නැලිගොඩ නිලමේවරයාගේ කණ්ඩායම විසිනි. ඔවුන් මුලදී රජුගේ සහ බිසවගේ ඇඳුම සහ ආභරණ ගලවා දැඩි වද හිංසා පමුණුවමින් ඇදගෙන යාමට කටයුතු කළ ද, ඩොයිලිගේ මැදිහත්වීමෙන් රජ පවුලට නිසි ගෞරවයක් ලබාදෙමින් කොළඹට රැගෙන යාමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවේ දී ඩොයිලිගේ හැසිරීමෙන් පෙනී යන්නේ ඔහු උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් කිරීමේ අරමුණ විධිමත් ලෙස ක්‍රියාවට නැංවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කර ඇති බව ය.

සිය (බ්‍රිතාන්‍ය) රජුට පක්ෂපාතී වූ ඩොයිලිගේ ක්‍රියා කලාපය සමග ඇතැම් සිංහල නිලමේවරුන්ගේ හැසිරීම සංසන්දනය ද කිරීම වටී. මේ අනුව පෙනී යන්නේ ඇතැම් නිලමේවරුන්ගේ අපේක්ෂාවන් ඉතා පෞද්ගලික ලාභ මූලික කර ගත් ඒවා බව යි. රාජසිංහ රජු සිර භාරයට ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගෙන් ඇතමෙකු ඉල්ලා ඇත්තේ උඩරට රාජධානියේ රජකම හෝ ඊට සමාන තනතුරක් තමන් වෙත ලබාදෙන ලෙස ය.

මෙවැනි පසුබිමක ඉංග්‍රීසි-සිංහල ගිවිසුම තුළ අන්තර්ගත විය යුතු කරුණු ඉතා අවිනිෂ්චිත වන්නට ඇතැ යි අපට සිතිය හැක. අනෙක් අතට දෑ හිතකාමී නිලමේවරුන් සහ මහා සංඝරත්නය ද උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පාවා දීම කෙරෙහි විරෝධාකල්පයක් දරා ඇත. විශේෂයෙන් අස්ගිරි මහා විහාරයේ අනුනායක වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ක්‍රියා කලාපය තුළින් ඒ බව මනාව පසක් වේ.

වයස අවුරුදු 27 දී අප රටට පැමිණෙන ඩොයිලි සිය මරණය දක්වාම මෙරට ජීවත් වන්නේ, කිසි විටක නැවත සිය මවු රටට නොගොස් ය. කිසි දිනෙක විවාහ දිවියට නොඑළඹුණු ඔහු ඇතැම් විට සිය පෞද්ගලික ජීවිතය පවා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් කැප කළා විය හැක. අවසන් වශයෙන්, ඔහු සත්කෝරලයේ රාජකාරියක නිරතව සිටියදී උණ රෝගයකට ගොදුරු වී, එය උත්සන්න වීමෙන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 50 කට ආසන්නව තිබිණ. ඔහුගේ දේහය මිහිදන් කරන්නේ මහනුවර නගරයේ පිහිටි සුසාන භූමියක ය.

මේ සියල්ලෙන් කියවෙන්නේ ඩොයිලි යනු හුදු සුදු චරිතයක් බව නොවේ. බ්‍රිතාන්‍යයේ දෘෂ්ඨි කෝනයෙන් බැලූ කළ, ඩොයිලි සිය රාජ්‍යය වෙනුවෙන් දිවි හිමියෙන් නොසැලී කටයුතු කළ, ජාතිමාමක ශූර විරුවෙකි. එහෙත් ලාංකික දෘෂ්ඨි කෝනයෙන් බැලූ කළ ඔහු සටකපට කුමන්ත්‍රණකරුවෙකි; ට්‍රෝජන් අශ්වයෙකි; සමූල ඝාතකයෙකි.

-නාරද බලගොල්ල
යුතුකම 2025 මාර්තු කලාපයේ පළවූ ලිපියකි

- www.yuthukama.com
https://www.facebook.com/yuthukama

උඩරැටියන්ගේ ඉරණම

කතෘ:යුතුකම     3/28/2025   No comments


සියවස් ගණනාවක් පුරා යුරෝපීය ආක්‍රමණ ගණනාවකට මුහුණ දෙමින් සිය ස්වෛරීත්වයත් තම වැසියන්ගේ ආරක්ෂාවත් වෙනුවෙන් සටන් කළ උඩරැටියන් ගැන අපි දනිමු. 18 වන සියවස අවසාන භාගයේ දිවයිනේ සංචාරයක යෙදුණු බ්‍රිතාන්‍ය ජාතික රොබට් පර්සිවල් (1805) විසින් උඩරැටියන් හඳුන්වන ලද්දේ ස්වාධීනත්වයේ අභිමානයෙන් යුත් ජනකොටසක් ලෙසය (පි. 233). 

නමුත් උඩරැටියන් 1815 මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍යයන් සමඟ ගිවිසුමක් අත්සන් කරමින් බ්‍රිතාන්‍ය කිරීටයට යටත් විය. එම ගිවිසුම අත්සන් කර දැනට සියවස් දෙකක් පමණ ගෙවී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් ලිපි, පොත් ගණනාවක් ලියවී ඇත. නමුත් එම ගිවිසුමෙන් පසුව උඩරැටියන්ට අත්වුණු ඉරණම පිළිබඳව අප ඇති තරම් අවධානය යොමු කර තිබේ දැයි යන්න ගැටළුවකි. උඩරැටියන්ගේ ඛේදවාචකය ගැන ඉතිහාසඥයන්ගේ අවධානය යොමු වන්නේ මඳ වශයෙනි.

උඩරට ගිවිසුම 1815 දී අත්සන් කෙරුණේ උඩරට නිලමේවරුන් හා ඉංග්‍රීසි නියෝජිතයන් අතරයි. ලන්දේසි - මලබාර් බලාධිපත්‍යය හමුවේ සිය සංස්කෘතිය, සම්ප්‍රදායන් හා ආර්ථික නිදහස නැතිවීමේ තර්ජනයට මුහුණ පා සිටි සිංහලයන්ට මලබාර් රජුගෙන් මිදී තම රාජ්‍යය හා ජනයා ආරක්ෂා කරගැනීමට අවශ්‍ය විය. ඒ අනුව උඩරට ගිවිසුම අත්සන් කෙරිණ. ඇතැමුන් මේ සිංහල ප්‍රධානීන් දෙමළ රජුට විරුද්ධ වූ ජාතිවාදීන් යැයි හංවඩු ගසන අතර තවත් කොටසක් ඉංග්‍රීසීන්ට රජු පාවා දුන් ද්‍රෝහීන් ලෙස හංවඩු ගසයි. ඒ සම්බන්ධයෙන් තර්ක කිරීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වෙතත් සිංහල රාජධානියේ හා ජනයාගේ ආරක්ෂාව උදෙසා ඉංග්‍රීසීන් සමඟ එකඟතාවයකට ඒම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සිංහල ප්‍රධානීහු දුටුවහ. නමුත් ඉංග්‍රීසීන් විසින් උඩරැටියන් කෲර ලෙස රවටන ලදී.

1. තමන් විසින්ම අත්සන් කරන ලද 1815 ගිවිසුම උල්ලංඝණය කිරීමට ඉංග්‍රීසිහු කටයුතු කළහ. තමන් රැවටීමකට ලක්වූ බව අවබෝධ කරගත් සිංහල ප්‍රධානීන් නැවතත් උඩරට රාජ්‍යය ඉංග්‍රීසීන්ගෙන් ගලවාගෙන ආරක්ෂා කරගැනීමට ප්‍රයත්න දැරූහ. ඒ 1818 වසරේ දීය. නමුත් ඒ වන විට උඩරැටියන්ගේ බල බිඳීමට ඉංග්‍රීසිහු සමත්ව සිටියහ. 

2. උඩරට රාජධානිය ආරක්ෂා කරගැනීමට සිංහල ප්‍රධානීන් විසින් 1818 වසරේ දී දරණ ලද උත්සාහය අවසාන වූයේ ඉංග්‍රීසීන් විසින් සිංහලයන් සංහාරය කරනු ලැබීමෙනි. එහිදී කාන්තාවන් හා කුඩා ළමුන් පවා ඉංග්‍රීසි හමුදාවන් අතින් මැරුම් කෑ බව වාර්තා වේ. එවකට ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ අණ කිරීම යටතේ ගම්වැසියන් මරා දැමූ පසුව ගම් පවා ගිනිබත් කරන ලදී. උදාහරණයක් ලෙස 1817 දෙසැම්බර් 9 වන දින ඉංග්‍රීසි හමුදාවේ මේජර් මැක්ඩොවෙල් බදුල්ලේ මඩුගල්ල ගම සම්පූර්ණයෙන් ගිනිබත් කරන ලද අතර ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා එය ප්‍රශංසාවට ලක් කර සෙස්සන්ට අනුකරණය කරන ලෙසත් පවසා ඇත. (CO 54/56 7th Nov. 1817) ඉංග්‍රීසි හමුදාවේ ක්‍රියා පිළිවෙත හේතුවෙන් ඌව පළාතේ ජනයා සාගතයෙන් ද බැට කෑවේය. ඌව පළාතේ ඇතැම් ගම්මාන වල වයස 18ට වැඩි පිරිමි වැඩිහිටියන් ඉතිරි වූයේම නැත.

කැරැල්ල මර්ධනයේ දී තමන්ට අවනත නොවන උඩරට ප්‍රධානීන් ඝාතනය කිරීමට ද ඉංග්‍රීසීහු වගබලා ගත්හ. ඇතැමුන් මුරුසු දිවයිනේ සිරභාරයට පත් කෙරිණ. එහි ප්‍රතිඵලයක් ලෙස උඩරැටියන් කිසිදු නායකත්වයක් නැති අසරණ ජනකොටසකගේ තත්ත්වයට පත් විය. 

3. කෝල්බෲක් කොමිසමේ යෝජනා අනුව නායකත්වයක් නැතිව අසරණ වී සිටි උඩරැටියන්ගේ සාම්ප්‍රදායික භූමිය ඉංග්‍රීසීන් විසින් තමාට අවැසි ලෙස කැබැලි කරමින් එහි ජනයාගේ ජීවන ක්‍රමය සම්පූර්ණයෙන්ම විකෘති කිරීමට කටයුතු කරන ලදී.

1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට ග්‍රහණය කරගන්නා ලද අවස්ථාවේ උඩරට රාජ්‍යය මධ්‍යම සානුවේ සිට මුහුදුකරය හෝ ලන්දේසි දේශ සීමාව දක්වා වූ විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව පැවතිණ. එම ප්‍රදේශ නුවර පළාත් යනුවෙන් ඉංග්‍රීසීහු හැඳින්වූහ. ලන්දේසීන්ගෙන් ලබා ගත් මුහුදු බඩ ප්‍රදේශ වෙනමත් නුවර පළාත් වෙනමත් මුල් අවස්ථාවේ දී පාලනය විය. 1833 වසරේ දී උඩරට ප්‍රදේශය මුහුදු බඩ ප්‍රදේශ පළාත් හා ඒකාබද්ධ කර මුළු රටම පළාත් පහකට බෙදන ලදී. මෙම ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සරළ මෙන්ම ගොරහැඬි ද විය. මහනුවර රාජධානියට අයත්ව තිබූ පහත රට ප්‍රදේශ කැබලි කර මුහුදු බඩ පළාත්වල කොටස් හා ඒකාබද්ධ කරන ලද්දේ ප්‍රදේශ දෙක අතර සාම්ප්‍රදායිකව පැවැති වෙනස්කම් ගැන කිසිදු තැකීමක‍ින් හෝ අවබෝධයකින් හෝ තොරවය. මූලික අරමුණ වූයේ උඩරැටියන්ගේ ජාතිමාමක හැඟීම් දුබල කරනු වස් උඩරට රාජධානිය අංගච්ඡේදනය කිරීමය. මේ අළුත් පලාත් අතරින් මධ්‍යම පළාතට පැරණි මහනුවර රාජධානියේ කේන්ද්‍රය අන්තර්ගත විය. සිංහලයන්‍ගේ පැරණි කෘෂි ශිෂ්ඨාචාරයේ හදබිම කැබලි කරන ලදුව ඉන් කොටසක් වූ නුවරකලාවිය, යාපනය හා දෙමළ බහුතර පළාත් සමඟ සම්බන්ධ කර උතුරු පළාතේ කොටසක් බවට පත් කරන ලදී. තමන්කඩුව, ත්‍රිකුණාමලය සමඟ බද්ධ කර නැගෙනහිර පළ‍ාතේ කොටසක් බවට පත් කරන ලදී. ඉංග්‍රීසි පාලකයන් විවෘතවම කියා සිටියේ පැරණි උඩරට ප්‍රදේශ එකිනෙකින් වෙන් කිරීමෙන් ඔවුන්ගේ දේශපාලනික එකමුතුව බිඳ දැමීමේ උග්‍ර අවශ්‍යතාව හේතුවෙන් එසේ කළ බවය.

උතුරු හා නැගෙනහිර පළාත් වලට සම්බන්ධ කරන ලද නුවර පළාත් වල වැසියන්ට ජීවත් වීමට වූ‍යේ දෙමළ පරිපාලකයන් යටතේය. දෙමළ පාසල්, දෙමළ නිලධාරීන් වැඩ කළ කච්චේරි කරා යාමට ඔවුන්ට සිදුවිය. පසුකාලීන ඉංග්‍රීසි වාර්තාම හෙළි කරන ලද පරිදි මෙම ප්‍රදේශ වල ජීවත් වූ සිංහලයන් ක්‍රමානුකූලව දෙමළකරණය වීම සිදුවී ඇත.

ඇතැම් වාර්තා වල සඳහන් ආකාරයට ඉංග්‍රීසීන්ගේ මෙම උත්සාහට විරුද්ධව ඉංග්‍රීසි කිරීටයට ආයාචනා කිරීමට ද උඩරට සිංහලයන් කටයුතු කර ඇත. 1834 වසරේ දී සංදේශයක් භාර දෙමින් උඩරැටියන් පිරිසක් ආයාචනා කර සිටියේ තම නිජභූමිය අංගච්ඡේදය කර මුහුදු බඩ පළාත් සමඟ ඒකාබද්ධ කිරීමේ වෑයම නවත්වන ලෙසය (CO/54/137). යටත් විජිත පාලකයන් ඒ දුක්ගැනවිලි කණට ගත්තේ නැත. වර්තමානය වන විට එසේ ඈඳාගත් ප්‍රදේශ වලින් සමහරක් වසර 3000කට වැඩි අතීතයක් ඇතැයි කියන දෙමළ නිජභූමියේ කොටසක් ලෙස සැළකෙයි.

4. උඩරට රාජධානියේ සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය සම්පූර්ණයෙන් විනාශ විය. උඩරැටියන් බහුතරයක් ගොවිතැන් වල නියුතු ගොවි ප්‍රජාවක් විය. ඔවුන්ගේ ආර්ථිකයේ පැවැත්ම සඳහා ගොවි ඉඩම් හා වැව් අමුණු අත්‍යාවශ්‍ය විය. මේවා ප්‍රතිසංස්කරණය කරමින් පවත්වා ගෙන යාම ඊට පෙර සිටි නුවර රජවරුන්ගේ ප්‍රධාන වගකීමක් විය. නමුත් බ්‍රිතාන්‍යයන් සාම්ප්‍රදායික ආර්ථිකය විනාශ මුඛයට ඇද දැමූහ. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කෙරුණේ නැත. ගොවිතැනට අවශ්‍ය රාජ්‍ය සහාය ලැබුණේ නැත. උඩරැටියන්ගේ සාම්ප්‍රදායික ආර්ථිකය සහමුලින්ම විනාශ මුඛයට ඇද දැමිණි.

5. ඉන්පසුව බ්‍රිතාන්‍ය පාලක‍යෝ උඩරැටියන්ගේ ගොවි ඉඩම් මංකොල්ල කෑහ. විවිධ අණ පනත් ගෙනමින් ඉඩම් අත්පත් කරගන්නා ලදී. ඒ ඉඩම් පසුව බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට විකුණා දමන ලදී. වර්ෂ 1837 හා 1845 අතරතුර පමණක් එලෙස අක්කර 349, 870ක ඉඩම් ප්‍රමාණයක් උඩරැටියන්ගෙන් මංකොල්ලකා තිබුණි. මේ අනුව උඩරට ගොවි ජනයා සිය ගොවි ඉඩම් හා සාම්ප්‍රදායික ආර්ථික අවස්ථා අහිමි වූ දුප්පත්කමින් බැට කන අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන ජනතාවක් බවට පත්විය. මේ හේතුව නිසාම උඩරට කැලෑ අභ්‍යන්තරයට සංක්‍රමණය වී හේන් වගාවට යොමු වීමට ඔවුන්ට සිදුවිය.

6. සිය ඉඩම් හා සාම්ප්‍රදායික ආර්ථිකය අහිමි වීමෙන් බැට කෑ උඩරට ගැමියා තමන් ලක්ව සිටි දුෂ්කරතාවය හේතුවෙන්ම ඉතා පහසුවෙන් එවක පැතිර ගිය මත්ලෝලි භාවයට ගොදුරු විය. බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය යටතේ මත්ලෝලි භාවය ව්‍යාප්ත කරන ලද බව පැවසේ.

7. බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට උඩරැටියන්ගේ ඉඩම් පවරා දුන් පසුව බ්‍රිතාන්‍යයන් සිදුකළේ උඩරැටියන්ගේ සාම්ප්‍රදායික නිජභූමියේ ජන සංයුතිය සදාකාලික ලෙස වෙනස් කිරීමයි. ඉංග්‍රීසීන් විසින් කොල්ලකා ගත් උඩරට ඉඩම් වල දකුණු ඉන්දියාවෙන් දෙමළ භාෂාව කතා කළ දාලිත් ජනයා ගෙනවිත් ශ්‍රමිකයන් වශයෙන් දහස් ගණනින් පදිංචි කරන ලදී. ඇතැමුන් නැවතත් සිය ගම්බිම් බලා ඉන්දියාවට ගිය ද උඩරට පදිංචි වූ ඉන්දියානු ශ්‍රමික ජනගහණය 1871 - 123,654, 1881 – 205, 495, 1891 – 262, 362, 1901 – 441, 601 හා 1911 – 513, 463 ලෙස අනුක්‍රමයෙන් වැඩි විය.1948 වන විට ලක්ෂ ගණනක් වූ ඉන්දියානු දාලිත් ජනකොටසක් උඩරැටියන්ගේ නිජභූමියේ පදිංචිකරුවන්ව සිටියහ. 

8. මේ ආකාරයට උඩරැටියන් සිය නිජභූමිය තුළම දුප්පත් හා අනාරක්ෂිත තත්ත්වයට ඇද දැමූ පසුව ඉංග්‍රීසි ආණ්ඩුකාර ටොරින්ටන් සිදුකළේ ඔවුන් මත මහා විශාල බදු බරක් හෙළීමය. අසරණ උඩරට ගැමියාට තමා සතුව ඉතිරිව තිබූ කුඩා ඉඩම් ද මුහුදු බඩ ප්‍රදේශ වල සිට පැමිණි මුස්ලිම් හා චෙට්ටි ව්‍යාපාරිකයන්ට උකස් කිරීමට සිදුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස උඩරට ප්‍රදේශයන් තුළ මුස්ලිම් ජනකොටස වේගයෙන් ව්‍යාප්ත වී උඩරට ජනසංයුතිය තවදුරටත් වෙනස් විය.

9. උඩරැටියන් ප්‍රධාන වශයෙන්ම බෞද්ධ ජනකොටසකි. ඉංග්‍රීසි පාලනය යටතේ, විශේෂයෙන් මුල් අවධියේ බෞද්ධයන් මර්ධනයට ලක් කෙරිණි. ඔවුන්ට සිය ආගමික කටයුතු කරගෙන යාමට බාධා පැමිණියේය. බෞද්ධාගමික කටයුතු යම් තරමකින් හෝ ආරම්භ වූයේ 1860 සිටය. දළදා පෙරහැර පැවැත්වීමට ද බාධා ඇති විය.

10. මේ සියළු අසාධාරණයන්ට විරුද්ධව උඩරට ගැමි ජනයා 1848 වසරේ දී නැගී සිටියහ. ඔවුන්ට තමන් පෙළූ බ්‍රිතාන්‍ය පාලකයන් එළවා දමා තමන්ගේම පාලකයෙක් යටතට තම නිජභූමිය ගෙන ඒමට අවශ්‍ය විය. නමුත් එය කෲර ලෙස බ්‍රිතාන්‍යයන් විසින් මර්ධනය කරන ලදී. මාතලේ ප්‍රදේශයේ උඩරැටියන් සියගණනින් මරා දමමින් කැරැල්ල මර්ධනය කළ බව ආණ්ඩුකාර ටොරින්ටන් සඳහන් කර ඇත (CO/54/250, 14.8.1848).

11. උඩරැටියන්ට සිදුවූ අනෙක් බලවත්ම හානිය නම් ඔවුන් දේශපාලන නියෝජනයක් නැති ජනකණ්ඩායමක් බවට පත් කරනු ලැබීමයි. එය සමස්ථයක් වශයෙන් දිවයින පුරා සිටි සිංහල බෞද්ධයන් මුහුණ දුන් අසාධාරණයකි. ඔවුන් සතුව දේශපාලන නියෝජනයක් නැති කම හේතුවෙන්ම ඉහත දැක්වූ අසාධාරණකම් වලට මුහුණ දෙන විට ඔවුන් වෙනුවෙන් කතා කරන්නට කිසිදු කෙනෙක් සිටියේ නැත.

1833 වසරේ දි ඇරඹි ව්‍යවස්ථාදායක සභාව තුළ බර්ගර්, මලබාර් හා සිංහල යන කොටස් තුනට සමාන නියෝජනයක් ලබා දුණි. මෙම ජනවර්ග වල ජනගහන අනුපාත සළකා බැලූ විට පෙනෙන්නේ සිංහලයන්ට දේශපාලන වශයෙන් ඉතා දුර්වල ස්ථානයක් හිමිව තිබූ බවය. එලෙස ලැබුණු සිංහල නියෝජනයත් හිමි වූයේ බෞද්ධයෙකුට නොව ක්‍රිස්තියානි ආගමිකයෙක්ටය. එම නියෝජිතයා බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටියේ නැත. උඩරැටියෙක් නියෝජිතයෙක් ලෙස ව්‍යවස්ථාදායක සභාවට පත් කෙරුණේ ද 1880 තරම් පසුකාලීනවයි. ඒ උඩරැටියන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු නොව ආණ්ඩුකාරවරයාට හිතවත් නුවර රදළ පවුලකින් පැමිණෙන්නෙකුටයි.

20 වන සියවස මුල් කාලයේ දී උඩරැටියන්ගේ ගැටළු ගැන විශේෂයෙන් ඉඩම් හිඟය හා ජන සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් ඔවුන් ලක් වූ අසාධාරණයන් ගැන කතා කිරීමට ඇතැමුන් පෙළඹුණ ද ඊට නිසි අවධානය ලැබුණේ නැත. නිදහසින් පසුව එම ගැටළු වලට පිළියම් සෙවීමට උත්සාහ ගැණුන ද උඩරැටියන් මහජාතියේ කොටසක් ලෙස සැළකුණු හෙයින් ඔවුන්ට සිදුවූ අසාධාරණයන් ගැන කතා කිරීම ද ඊට පිළියම් සෙවීම ද සැළකුනේ ජාතිවාදයක් ලෙසය.

උඩරට සිංහලයන් මුහුණ දුන්නේ සංහාරයකටය. මේ ගැන කරුණු සොයා බලා නිසි ලෙස වාර්තා කිරී‍මේ උත්සාහයක් ‍විමලානන්ද තෙන්නකෝන් ගත්ත ද ඔහුගේ ඇවෑමෙන් පසුව එම උත්සාහය යට ගියේය. අද අප ඉදිරියේ ඇත්තේ කුමක් ද? උඩරට සිංහලයන් මුහුණ දුන් ඛේදවාචකය පිළිබඳ තොරතුරු ඒකරාශි කිරීම, උඩරැටියන්ගේ සංහාරය ගැන වාර්තා කිරීම, එයට ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තරවත් නිසි පිළිගැනීම ලබා ගැනීමට කටයුතු කිරීමය. විශේෂයෙන් ලංකාවේ මානව හිමිකම් ගැන දොඩවන බ්‍රිතාන්‍ය රජයට උඩරැටියන්ගේ ඛේදවාචකයට ඔවුන් වගවිය යුතු බව දන්වා සිටිය යුතුය.

-ඉෂංකා ජයතිලක-
යුතුකම 2025 මාර්තු කලාපයේ පළවූ ලිපියකි

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

උඩරට ගිවිසුම හා සිංහල බෞද්ධයෝ

කතෘ:යුතුකම     3/28/2025   No comments


1815 මාර්තු මාසයේ දී උඩරට සිංහල රාජ්‍ය බිඳ වැටෙන්නේ අභ්‍යන්තර වියවුල් නිසා ය. මේ කාලය වනවිට ඉංගිරිසිහූ තමන්ට සහජයෙන්ම උරුම වු  වංකබව හා චපල පිළිවෙතට සරිලන අයුරින් උඩරට රාජ්‍ය තුල අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින් සිටියහ.

කන්ද උඩරට ඉංගිරිසි ආක්‍රමණයට ආසන්නම හේතුව ලෙස ගැනෙන රජුගේ පාක්ෂිකයන් පිරිසක් හා ඇහැළේපොලගේ පිරිසක් අතර  ජනවාරි 10 වැනි දා රාත්‍රියේ හංවැල්ලේදී ඇති වූ ගැටුම නොගිණිය හැකි සුළු සිද්ධියක් ලෙසින් ඉංග්‍රිසි හමුදාවේ වෛද්‍ය නිළධාරියාව සිටි හෙන්රි මාෂල් විසින් ම සඳහන් කර ඇත.  එමෙන්ම සිංහලේ රජුගේ කෘරත්වයෙන් ජනතාව මුදා ගැනීම සඳහා හුදු කරුණාව පෙරදැරිව උඩරට ආක්‍රමණය කළේය යන ප්‍රලාඵය ද හෙන්රි මාර්ෂල් සෝපහාසයෙන් බැහැර කරයි.

මේ ආක්‍රමණයේ අවාසනාවන්ත අවසන් ප්‍රතිථලය වූයේ 1815 මාර්තු මාසයේ දී වසර දෙදහස් ගණනක් අවිච්ඡින්නව මෙරට පැවති සිංහලේ බෞද්ධ රාජ්‍යයගිවිසුමක් මඟින් එංගලන්තයේ මහරජුට පවරා දීම යි.

1803 දී උඩරට රාජ්‍යය ආක්‍රමණය කිරීමට ගොස් ඉංගිරිසින් ලැබූ අපකීර්තිමත් පරාජය 1815 දී ජයග්‍රහණයක් බවට පෙරළුනේ ඔවුන් සතු වූ වීරෝධාර භාවයක් නිසා නොව

ඔවුනට ආවේණක වූ චපල ගතිය හා  වංක ස්වාභාවය නිසාය. ඒ බව ඔවුන් විසින් අත්සන් කිරීම සඳහා උඩරට නායකයින් වෙත ඉදිරිපත් කළ ගිවිසුමේ ස්වභාවය මෙන්ම එය ක්‍රියාත්මක වූ  ආකාරයෙන් ද පැහැදිලි වෙයි.

උඩරට ගිවිසුමේ දෙවැනි වගන්තියෙන් වඩුග රජුගේ කිසිම නෑදෑයෙකුට සිංහල දේශයේ කිරුළ දැරීමට අයිතියක් නොමැති බව ද, ඉනුත් ඔබ්බට ගොස් කිසිම දෙමළ ජාතිකයෙකුට ද ඒ සඳහා අයිතියක් නැත යන්න ද සඳහන් වෙයි.

එහි පස්වැනි වගන්තයෙන් මෙරට රජුන් මුලෑදෑනිවරුන් මෙන්ම පොදු ජනතාවද අදහන්නාවූ බෞද්ධාගමත් සාසනයත්, දේවාගමත් නොකඩවා පවත්වාගෙන යෑමත් ඒ සඳහා සංඝයා ද විහාරස්ථාන ද දේවාල ද නොනවත්වා පවත්වාගෙන යෑමට හා ආරක්ෂා කරගෙන යෑමට අවශ්‍ය බව ද  පිළිගෙන තිබේ.

උඩරට ගිවිසුම අත්සන් කිරීමට පෙර ඉංග්‍රීන් විසින් සිය කොඩිය ඔසවන ලද බවත්, එයට විරෝධය පාමින් අස්ගිරිය සංඝ සභාවේ අනුනායක වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් ඉංග්‍රීසි කොඩිය පහත හෙළා නැවත සිංහ කොඩිය ඔසවන ලද බවත් පැවසේ. පසුව 1818 කැරැල්ල පැන නැගුණු අවස්ථාවේදී ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විමුක්ති නායකයන් අතට පත් කළේද සුමංගල නා හිමියන් විසිනි.

මේ වගන්ති දෙක උඩරට ගිවිසුමට ඇතුලත් වීම එංගලන්ත පාර්ලිමේන්තුව තුළ  දැඩි විවේචනයට ලක් විය. මෙසේ විවේචනයට ලක්වීමට හේතුවූයේ අධිරාජ්‍ය විසින් සිය යටත් විජිතයක් තුල උතුම් වූ ක්‍රිස්තියානි දහම ස්ථාපිත කිරීම වෙනුවට ‘මිථ්‍යා දිට්ඨික ආගමක්’ වූ බුදු දහම ප්‍රවර්ධනය කිරීමට අනුබල දීම ක්‍රිස්තියානි රාජ්‍යකට අයිතියක් නැති ය යන ආකල්පය යි. ඔවුන් ඒ චෝදනාවෙන් ගැලවුනේ එම වගන්තිය සිංහල ජනතාව රැවටීම සඳහා පමණක් යොදා ගත් වගන්තියක් බව ප්‍රකාශ කරමිනි.

එමෙන්ම මේ රට තුල පසු කලෙක පිළිකාවක් සේ වර්ධනය වූ දෙමළ ජාතිවාදයේ මුල් බීජයද උඩරට ගිවිසුම තුලින්  ම හිතාමතා නිර්මාණය කරන ලද්දකැ යි මට නම් සිතේ. මන්ද උඩරට ගිවිසුම අත්සන් කරන වකවානුව වනවිට දී මෙරට ජාතිභේදයක් නිර්මාණය වී තිබුනු බවට සාධක නැත. දෙමළ ජාතිකයෙකුට මෙරට රජවීමට නොහැකිය යන්න සිංහලයන්ගේ සංකල්පයක් නොවේ. මන්ද සිංහලයාගේ ප්‍රධාන භූමිකාව බුදුදහම රැකගැනීම මිස සිංහලයා  රැකගැනීම නොවේ. සිංහලයා රැකෙනු යුත්තේ බුදුදහම රැක ගැනීමටය.

මෙරට සංඝයා වහන්සේලා හා ජනතාව විසින් උඩරට ගිවිසුමට වසර 68 කට පෙර සිංහලේ රජු වශයෙන් නායක්කර් වංශිකයෙකු වූ කීර්ති ශ්‍රී රාජසිංහ පත්කරගත් අතර අවුරුදු 33ක් වූ එතුමාගේ රාජ්‍ය කාලය තුළ සාසන දියුණුව වෙනුවෙන් කරණ ලද මෙහෙය අතිවිශාලය.

අද මෙරට ඇතැම් අනුකාරක උගතුන් සිතා සිටින අයුරු, සිංහලේ යන්නෙන් හැඳින්වුනේ ජාතිවාදී රාජ්‍යක් නොව, සියලු ජාති ආගම් වලට සහජීවනයෙන් ජීවත් විය හැකි බෞද්ධ ව්‍යවස්ථාවක් සහිත රාජ්‍යකි.

මේ බෞද්ධ ව්‍යවස්ථාවේ සලකුණු පිළිබඳව ජෝන් ඩොයිලි විසින් පවා විස්තර කර දී ඇත.


ස්වභාවයෙන් ම තුච්ඡ ජාතියක් වූ ඉංගරිසිහු අත්සන් කළ දා සිටම ගිවිසුම කඩකිරීම ද ආරම්භ කළෝ ය. එදා සිටිම සිංහලයෝ ද ඉංගිරිසින්ට එරෙහිව නොනවතින අරගලයක් ආරම්භ කළෝ ය. අදටත් එය අවසන් වී නැත.

-මහාචාර්ය වසන්ත දේවසිරි-

www.yuthukama.com
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions