12/23/2014

ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇද වැටීම

කතෘ:යුතුකම     12/23/2014   No comments
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 11 ක්‌ සපිරුණේ ඉකුත් 12 වැනිදාය. ගෙවුණු වසර 11 තුළදී රටේ පැහැදිලි දේශපාලන ආර්ථික හා සමාජමය පරිවර්තනයක්‌ සිදුවිය. සෝම හිමියන්ගේ අභාවයෙන් පසු පිබිදුණු බෞද්ධ බලවේගය, මෙරට දේශපාලන ව්‍යාපෘතිය පෙඩරල්වාදයෙන් ජාතිකවාදයට ගෙනයැමට සමත් විය. සුදු නෙලුම වෙනුවට ත්‍රස්‌ත මර්දනය සඳහා අවශ්‍ය සමාජ බලවේගයක්‌ බිහිවිය. 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ඡන්ද 552724 ලැබී භික්‍ෂුන් නව දෙනකුට පාර්ලිමේන්තු යැමට හැකිවන්නේද මේ බෞද්ධ පිබිදීමට දේශපාලන වටිනාකමක්‌, අගයක්‌ ලැබුණු නිසාවෙනි. 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණීම සඳහා තීරක බලවේගය වූවේද ජාතික හෙළ උරුමය බව ප්‍රකට කරුණකි. මහින්දට බලයට ඒමට හැකිවුණේ සිංහල බෞද්ධ ඡන්දවලිනි. ප්‍රභාකරන් උතුරේ ඡන්ද වර්ජනය කිරීමටදුන් අණ මාරාන්තික ප්‍රහාරයක්‌ වූයේ එජාප නායකයාට මිස සන්ධාන අපේක්‍ෂකයාට නොවේ.

2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවිය. එහිදී හක්‌ගෙඩිය ලකුණින් දිවයින පුරාම මහ මැතිවරණය වෙනුවෙන් භික්‍ෂුන්වහන්සේලා ඉදිරිපත් කිරීමට එකඟතාවය පළවිය. ඊට පසුදින එනම් පෙබරවාරි 18 වැනිදා උඩුවේ ධම්මාලෝක හිමියන් එවක වැඩි සිටි අසපුවේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්විණි. බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් තමන් මැතිවරණයට පිවිසි බව මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටියහ. එම පුවත්පත් සාකච්ඡාව වාර්තා කිරීම සඳහා මේ ලියුම්කරුද සහභාගිව සිටියේය. දැන් හෙළ උරුමය වසර දහයක්‌ පැරණි පක්‍ෂයකි. ගෙවුණු වසර දහය තුළ නොයෙකුත් හැලහැප්පීම් මැද්දේ යම් දේශපාලන ගමනක්‌ ගියද අද මේ පක්‍ෂයට සිදුව ඇත්තේ කුමක්‌ද? හංසයා සරණාගතව නිසා මේ බෞද්ධ පක්‍ෂය දෙදරීමකට පත්ව ඇති බවනම් පැහැදිලිය.

ඉකුත් නොවැම්බර් 16 වැනිදා දිවයින පුවත්පතට "හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම" යනුවෙන් ලිපියක්‌ ලියා පළකරනු ලැබුවේද නොබෝ දිනකින්ම හෙළ උරුමය පුපුරායැමට ඉඩ ඇති බව ඉවෙන් දැනුණු නිසාය. 2004 අප්‍රේල් මාසයේදී මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව "හෙළ උරුමය ලද ජය බෞද්ධයන් රවටන නායකයන්ට දුන් පිළිතුරකි" මැයෙන් ලිපියක්‌ පළ කළෙමු. එහෙත් දැන් එවැන්නක්‌ පළ කිරීමට නොහැකිය. ඕනෑම දේශපාලන පක්‍ෂයක්‌ තුළ විවිධ මත ගැටුම් පවතී. පක්‍ෂ හැරයැම් ඉතා සුලභය. 2004 දී හෙළ උරුමයට පත් වූ භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද පක්‍ෂය හැරගොස්‌ ඇත. නමුත් එයට තිබුණු සමාජ වටිනාකමේ විශාල නායයැමක්‌ දක්‌නට ලැබුණේ නැත. සැබවින්ම මෙරට මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ජනතාව තුළ හෙළ උරුම මතයට විශාල ගෞරවයක්‌ තිබිණි. නමුත් වර්තමානයේ සිදුවන්නේ කුමක්‌ද?

හෙළ උරුමය ආරම්භ කිරීමට මූලික වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට නම් නොවේ. බෞද්ධ අයිතිවාසිකම් රැකගැනීමටය. 2004 දී පිවිතුරු හෙටක්‌ ගැන අප අසා තිබුණේ නැත. ව්‍යවස්‌ථා වෙනස්‌කම් වලින් බෞද්ධයන්ට සාධාරණය ඉටුකළ හැකිද? බෞද්ධයන් අන්‍යාගමට හැරවීමට එරෙහිව ගෙනා පනතට ස්‌වාභාවික මරණයක්‌ අත්වන්නට ඉඩදුන් හෙළ උරුම නායකයෝ "පිවිතුරු හෙටක්‌ ප්‍රතිපත්ති" ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්‍ෂ ක්‍රියා නොකරන්නේ යෑයි කියමින් සන්ධාන රජයෙන් ඉවත් විය. මෙය සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයා අන්දමන්ද කරන්නක්‌ විය. ඔවුහු වික්‍ෂිප්ත වූහ.

මහින්ද රාජපක්‍ෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුම නායකයෝ ප්‍රකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකකාරකාදීන්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණද සාමාන්‍ය පාක්‍ෂිකයාට සිංහයා සමඟ වෛරයක්‌ තිබුණේ නැත. එනිසා ඔවුහු උභතෝකෝටිකයකට පත්වූහ. දැන් ගල්ලෙන බිඳ හෙළ උරුමය ඇතුළු වී ඇත්තේ කොටි, නරි, හිවලුන් වෙසෙනා ලෙනකට බව කිවහොත් නිවැරදිය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි ඇති බව පැහැදිළිය. එහෙත් ඒ වැරදි මත "මහින්ද" එලවා දමා කවරකු පත් කරන්නේද? චන්ද්‍රිකා, රනිල්, වික්‍රමබාහු, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු කිසිවිටක එකිනෙකට නොපෑහෙන බලවේග සමඟ කටයුතු කරමින් මෛත්‍රී පාලනයක්‌ ඇතිකළ හැකිද? බෞද්ධයන් රවටනු ලැබුවේ කවරකු විසින්ද? 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ශ්‍රී ල.නි.ප. මහලේකම්වරයා තම පක්‍ෂයේ සභාපතිට එරෙහිව පොදු අපේක්‍ෂකයා ලෙස තරගයට පිවිසියේය. එවිට එජාප මහලේකම්වරයා මේ පොදු අපේක්‍ෂකයාගේ හටන සුබ නැති බව හොඳින්ම අවබෝධකරගෙන ජනාධිපති මහින්දගේ ජය තහවුරු කිරීමට පැති මාරු කළේය. රටේ ප්‍රධාන පක්‍ෂ දෙක දෙදරා ගියා සේම ජාතික හෙළ උරුමයද දෙදරා ගියේය. හෙළ උරුම නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යළිත් ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත් වූයේ මේ අශුද්ධ සන්ධානය තුළ තමන්ට කටයුතු කළ නොහැකි බව පවසමිනි. පාක්‍ෂිකයන් අතර ජනප්‍රිය නායකයකු වූ ගම්මන්පිල මහතා ආපසු හැරී යැම මගින් 2004 දී ආරම්භ කළ පක්‍ෂය එතෙක්‌ මෙතෙක්‌ අත්දුටු දැවැන්තම දෙදරීම සිදුවිය.

ගල්ලෙන බිඳ පැමිණි හෙළ උරුමය අද ගල්ලෙනෙන් පහළට ඇදවැටී ඇතැයි කියන්නේ කනගාටුවෙනි. බෞද්ධ මතය වෙනුවට පිවිතුරු හෙටක්‌ ඉදිරියට පැමිණීම නිසා බලාපොරොත්තු වූ පරිදිම හෙළ උරුමය දෙදරා ගොස්‌ ඇත. හෙළ උරුමයට ඡන්දය දුන් කිසිවෙකු යහපාලනයක්‌ ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වූයේ නැත. යහපාලනය ගැන කථාකරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම බටහිර බලවේග බව අමුතුවෙන් කිව යුතු නැත. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යහපාලනය ගැන කථාකරමින් රාජපක්‍ෂ ජනාධිපතිවරයා එළවා දමන බවට මහ හඬින් ප්‍රකාශ කිරීම සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයන්ගේ සතුටට නම් හේතුවූයේ නැත. උදය ගම්මන්පිල සමඟ හෙළ උරුමය මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ද නැවත ගල්ලෙන බිඳගෙන සන්ධානයට ගියේද පිවිතුරු හෙටක්‌ ප්‍රතිපත්තියට වඩා සුපුරුදු මහින්ද චින්තනය හොඳ යෑයි හැඟුණු නිසාය. නායකකාරකාදීන් කවරක්‌ කීවද සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂකයා පොදු අපේක්‍ෂකයා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වයිද යන්න පැහැදිළි නැත. 2004 වසරේ සිට හෙළ උරුමයේ දේශපාලන ගමනේ හොඳ නරක ගැන ලිපි රැසක්‌ මා අතින් සටහන්ව ඇත. නමුත් මේ දෙදරා යැමත් සමඟ මේ සමාජ බලවේගයේ ගමන කොතැනටද? සැබවින්ම සිදුවූයේ ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහලට ඇදවැටීම නොවේද?



-චතුර පමුණුව
දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/09/2014

ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය

කතෘ:යුතුකම     11/09/2014   3 comments
එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්‍යාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.

2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්‍රස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්‍යයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්‍යය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.
තම ප්‍රධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්‍රීඩා සඳහා මත්ද්‍රව්‍ය සමාගම් කරන අනුග්‍රහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීම, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.

මෙම ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්‍ය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්‍රස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්‍රතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්‍රාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.

හෙළ උරුමය විසින් “මතට තිත“ ව්‍යාපෘතිය “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පමණක් නොව එය ‍ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්‍යාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙනි.

2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්‍රගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්‍රහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.
දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්‍රමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්‍රමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමයි.

ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්‍රහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්‍රයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්‍රකාශනයක අඩංගු කිරීම ප්‍රමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්‍රියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්‍රමසිංහට සෘජුව හෝ වක්‍රව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.

ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්‍රිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.

පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්‍යම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්‍රපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.


ජවිපෙ සහ ප්‍රප පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්‍ර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.

තෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්‍රැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්‍රි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.
ඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්‍යුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්‍යවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්‍රහණ ගෙන ආ හැකි පහසුම ක්‍රමයයි.

-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions