4/24/2014

එස්.එල් : බෙදුම්වාදයට එරෙහිව නැගි අභීත හඬ....

කතෘ:යුතුකම     4/24/2014   2 comments
2009 මැයි නන්දිකඩාල්වලින් දෙමළ ජාතිවාදයේ ත්‍රස්ත පෙරමුණ අවසන් ගමන් ගියත්  එය සක්‍රීයව පැවති අවසන් දශක තුනක පමණ කාලය තුළ සිදුවූ බෙදුම්වාදයට සම්බන්ධ අතිශය තීරණාත්මක සිදුවීම් කිහිපයක් නිතැනිත්ම මතකයට නැගේ. එයිනුත් පහත සඳහන් කරන සිදුවීම් පෙළ විශේෂයෙන් සිහි කරනුයේ හදිසි අනතුරකට මුහුණ දීම නිසා මේ වන විට බරපතල තත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටින අප මේ තබන සටහනට මූලික වන කතා නායකයා මේ සිදුවීම් පෙළේ ප්‍රමුඛ කාර්‍යභාරයක් ඉටු කළ බව යළි යළිත් සිහිකරනු පිණිසමය.
  • # 1985 එල් ටී ටී ඊ ය සමග තිම්පු සාකච්චා 
  • # 1987 ඉන්දු ලංකා ගිවිසුම හා උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධය
  • # 2006 උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධය අහෝසි කිරීම.
  • # 2005 සුනාමි සහන මණ්ඩල ගිවිසුම බලරහිත කිරීම    

තිම්පු සාකච්චා වල බෙදුම්වාදයට එරෙහි අභීත හඬ
තිම්පු සාකච්චා
1985 ජුලි - අගෝස්තු එල්ටීටීඊය සහ රජයේ පාර්ශවය අතර භූතානයේ තිම්පුහිදී පැවැත්වූ සාකච්ඡා දෙමළ ජාතිවාදයේ  බෙදුම්වාදී ඉල්ලීම් ප්‍රමුඛ ලෙසම කරලියට පැමිණි අවස්ථාව විය . මීට පෙර 76 වඩුක්කොඩෙයි සමුළුව හරහා සූත්‍රගත කර තිබූ දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තිම්පු සාකච්චාවලදී එල්ටීටීඊ පාර්ශවයෙන් ඉදිරිපත් කළ මූලික ඉල්ලීම් වලට අනුබල සැපයීය. වෙනම රාජ්‍යයක් සඳහා වූ අවශ්‍යතා සපුරන ඒ ඉල්ලීම් අතර දෙමළ නිජබිම් අයිතිය පිළිබඳ ඉල්ලීම සුවිශේෂී විය. එල් ටී ටී ඊ පාර්ශවයේ ඉතිරි ඉල්ලීම් වලට ද පදනම වූ මේ නිජබිම් අයිතිය පිළිගැනීම යන කරුණට එරෙහිව ප්‍රබලව අදහස් පළකළ   ශ්‍රී ලංකා රජය පාර්ශවය නියෝජනය කළ දූත පිරිස අතර සිටි තරුණ නීතිඥවරයකු කැපී පෙණින.  දෙමළ නිජබිම් අයිතිය පිළිගත යුතු යැයි පළවූ අදහස් වලට එරෙහිව  නියෝජිත කණ්ඩායමේ සිටි ජේෂ්ඨ නීතීඥ එච් එල් ද සිල්වා මහතා සමග  එක්ව ඉතාමත් සවිමත්ව ඔහු ඉදිරිපත් කළ තර්ක ප්‍රතිවිරුද්ධ පාර්ශවය දුර්මුඛ කරන්නට තරම් ප්‍රබල විය.  ඔහු එස් එල් ගුණසේකර නම් විය. විශේෂයෙන් තිම්පු සාකච්ඡාවලදී සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්  යැයි සහභාගී වූ එවකට ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතු ලේකම් රොමේෂ් බණ්ඩාරි  එල්ටීටීඊයට පක්ෂපාතී ස්ථාවරයක සිටිමින් දිගින් දිගටම එල්ටීටීඊයට පොලිස් හා ඉඩම් බලතල ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටි අතර ඔහුට පිළිතුරු ලෙස රාජ්‍ය නියෝජිත කණ්ඩායමේ එස්.එල්.ගුණසේකර මහතා ඉතා සෘජුව "බණ්ඩාරි මහතා, ඔබතුමා ඉන්නෙ ඉන්දියාවෙ. අපි ඉන්නෙ ලංකාවෙ. ඔබතුමා මෙතැන හිනා වෙවී හිටියට අපිටයි ඕවාට මූණ දෙන්න වෙන්නේ.එනිසා කිසි සේත්ම මේ අසාධාරණ ඉල්ලීම එකඟ විය නොහැකියි " යනුවෙන් කළ ප්‍රකාශය ඉන්දීය ලේකම්වරයා නිරුත්තරකරන සුළු එකක් විය.එලෙස දෙමළ බෙදුම්වාදී ව්‍යාජය තර්කානුකූලව පරාජය කරන්නට එදා තිම්පුහිදී එස් එල් ගුණසේකර මහතා අතින් සිදුවූ මෙහෙවර ඉතා සුවිශේෂී විය.දෙමළ බෙදුම්වාදයට එරෙහිව නීතිය හමුවේ කටයුතු කළ අනෙකුත් පතාක යෝධයා වූ මෑතකදී රටේ අවාසනාවට දැයෙන් සමුගත් එච් එල් ද සිල්වා මහතාද මෙහිදී අමතක නොකළ යුතුය.

ඉන්දු - ලංකා ගිවිසුමේ අනතුර කලින් දුටු  එස්.එල්

රට හිර කළ මර උගුල : ජේආර් - රජීව් ගිවිසුම
ඉන් පසු ඉන්දියාව සමග පැවැත්වූ ද්විපාර්ශික සාකච්චාවලදී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ උපදේශවරයෙකු ලෙස කටයුතු කළ එස් එල් ගුණසේකර මහතා ලංකා ආණ්ඩුව ඉන්දීය උගුලේ නොවැටී සිටීම වෙනුවෙන් ඉමහත් උතසාහයක නිරත විය.  කෙසේ වෙතත් අවසානයේ ජේ ආර් ජයවර්ධන මහත ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කිරීමත් සමග එයට එරෙහිව ඉතා සෘජුව පෙනී සිටිමින් එතෙක් දැරූ රජයේ සියලු තනතුරු අතහැර දමා ජේ.ආර් ජයවර්ධන මහතා හැරයාමට තීරණය කිරීම කොතරම් වැදගත් තීරණයකදැයි ඉන්දු ලංකා ගිවිසුම  නිසා ඉන් පසු සිදුවූ ව්‍යසනයන් සාක්ෂි දරනවා ඇති. ඉරට හඳ යැයි කීවත් 'Yes Sir' කියා දෙකට නැවෙන උපදේශකයන් මෙන්ම සීතාම්බර පට විසිතුරු යැයි කියා රජතුමා නිරුවතින් පාර  දිගේ යැවූ එහෙයියන් වැනි උපදේශකයන් බහුල යුගයක එස් එල් ගුණසේකර මහතා  එදා ක්‍රියාකළ  ආකාරය ඉතා වැදගත් කොට සැලකිය යුතු සෘජු එඩිතර හැසිරීමක් විය. තමා නිවරදි යැයි විස්වාස කරන දේ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමට තරම් කශේරුකාවකින් ගුණසේකර මහතා සවිමත් විය.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නට ඔන්න මෙන්න තියා පවා එස් එල් ගුණසේකර මහතා ජනාධිපතිවරයාට  අනතුරු අඟවා තිබුණේ " ජනාධිපතිතුමනි මේක අත්සන් කරන්න එපා.මේක අස්සන් කළොත් අපිට හොඳක් වෙන්නෙ නෑ. මේක කළොත් රටේ නොවූ විරූ ලේ ගංගාවක් ඇති වෙනවා. ඕක අස්සන් කරනව නම් මට ඔබතුමත් එක්ක මින් ඉස්සරහට වැඩ කරන්න බෑ. මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එක්ක මේකට ප්‍රසිද්ධියේ විරුද්ධ වෙනවා." යනුවෙනි. එවකට පාලකයාට ඔහු සිදුකළ ප්‍රකාශය ගැන යන්තමින් හෝ සැලකිලිමත් විය හැකි වී නම් ඉන් පසු අපට උරුම වූ බොහෝ ඛේදයන් වල ඉරණම වෙනස් වන්නට ඉඩ තිබින. ඔහු අනතුරු ඇඟවූ පරිදිම දිවයිනේ දසත ගලා ගිය ලේ ගංගා නවතා ගන්නට හැකි වන්නට තිබිණ. නමුත් ජාතියේ අවාසනාවට ඒ වන විට J R ජනාධිපතිවරයා මහා ව්‍යසනයට එකඟ වන්නට තීරණය කර තිබිණ.  

බෙදුම්වාදී සුනාමිය පැරදවූ P-TOM අහෝසිය..

P-TOM බල රහිත කළ දින
2004 දෙසැම්බර් ශ්‍රී ලංකා භූමියට කඩා වැදුනු ස්වාභාවික සුනාමි ව්‍යසනය අභිබවා යන ඉරණමකට ඉන්පසු ශ්‍රී ලංකාව දේශපාලනික ලෙස හිර කෙරුවේ සුනාමි ප්‍රතිසංස්කරන මුවාවෙන් බටහිර උවමනාව අනුවම පිහිටවන්නට යොජනා වූ සුනාමි සහන මණ්ඩල යෝජනාවයි. උතුර හා නැගෙනහිර ට පමණක් සීමාව පැවති දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ඔවුන්ගේ ඉල්ලීම්  ප්‍රමාණයද ඉක්මවා මුලු දිවයිනට  බලපාන සේ සැකසෙන යාන්ත්‍රණයක් හරහා එල්ටීටීඊ යද එහි කොටස් කරුවන් කරගැනීම එම අනතුර විය.
එවකට ජනාධිපතිනිය තම දශපාලන දිවි පරදුවට තබා මෙන් මේ සුනාමි සහන මණ්ඩලය වෙනුවෙන් ක්‍රියා කළේ අනාගත නොබෙල් ත්‍යාගයක සිහිනයක ඇය අතරමං කර ඒ හරහා තම උවමනාව සපුරා ගැනීමට ඇය වටා සිටි බෙදුම්වාදී බලවේග නිසාද එසේත් නැත්නම් ස්වාමියාගෙන් උරුම වූ බෙදුම්වාදය දිනවීමේ නිසග දේශපාලන උවමනාව නිසාද යන්න හරියටම කිව නොහැක.

එවකට සංධාන ආන්ඩුව තුල ප්‍රබල භූම්කාවකට හිමිකම් කියූ ජනතා විමුක්ති පෙරමුණ සංධානය තුලින් දොට්ට බැසීමට කටයුතු යෙදෙන්නේද මේ සුනාමි සහන මණ්ඩල යොජනාවයි.
කෙසේ වෙතත් 2005 ජුලි 15 දුන් අධිකරණ තීන්දුවත් සමග ගිවිසුමේ තිබූ බෙදුම්වාදය පිනවන යෝජනා බොහොමයක්ම අවලංගු වී ගිය අතර සුනාමි සහන මණ්ඩල ගිවිසුමේ අනතුර තනුක විය.මේ අධිකරණ ක්‍රියාමාර්ගය පිටුපස සිටියෝධ ත්‍රයිකාව වූයේද එච් එල් - ගෝමින් - එස් එල් ත්‍රිත්වයයි. සුපුරුදු පරිදිම බෙදුමවාදයට එරෙහි ක්‍රියාමාර්ගයට එස් එල් ගුණසේකර මහතා සක්‍රීයව දායක විය.

දෙමළ ඊළාම් ඉල්ලීමේ ව්‍යාජ පදනම අහෝසි කළ තීන්දුව...

රජ තුන් කට්ටුව : එච් එල් , එස් එල් සහ ගෝමින්
උතුරා හා නැගෙනහිර ඒකාබද්ධය අහෝසි කළ දින...
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙයි සමුළුවෙන් සම්මත කරගත් දෙමළ ඊළම සඳහා වූ ඉල්ලීම් වල සිට එහි පදනම් ඉල්ලීම වූයේ උතුර හා නැගෙනහිර පළාත් දෙමල නිජබිම ලෙස පිළිගන්නා ලෙස කළ ඉල්ලීමයි. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම ඒ ඉල්ලීමට ඉනිමං බැඳි පියවරක් විය. ඉන්දු ලංකා ගිවිසුමෙන් ඒවා එක්ව ක්‍රියාකරන බවට එකඟ වූයේ ඉතාමත් ඉක්මනින් ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා අනුමැතිය ලබාගන්නා බවට පොරොන්දු වෙමිනි. නමුත් ඉන්දියාව ඒ ඉල්ලීම ඉටු නොකරමින්ම උතුර හා දිගින් දිගටම නැගෙනහිර ඒකබද්ධව පවත්වාගෙන යන්නට උඩගෙඩි දුනි.
අද වන විට කෙසේ වෙතත් එදා බෙදුම්වාදයට එරෙහි ඉතාමත් නිවරදි ස්ථාවරයක් දැරූ ජනතා විමුක්ති පෙරමුණ මූලිකත්වය ගෙන ගත් අධිකරණ ක්‍රියාමාර්ගය තුලින් 2006 ඔක්තෝබර් මාසයේදී  ඉන්දු ලංකා ගිවිසුම යටතේ සිදුකළ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම නීතිවිරෝධී සහ ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කළ අතර දෙමළ බෙදිම්වාදී නිජබිම් ඉල්ලීමේ පදනම ඒ සමගම බිඳ වැටිණ. එවකට අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් දුන් ඒ ඓතිහාසික අධිකරණ ක්‍රියාමාර්ගයේ එච් එල් ද සිල්වා මහතා සහ ගෝමින් දයසිරි මහතා සමග කටයුතු කළ අනෙක් පුද්ගලයා වූයේ එස් එල් ගුණසේකර මහතායි. ඊට දශක දෙකකට පමණ පෙර තමන් ජනාධිපතිවරයාට අනතුරු ඇඟවූ භයානක  ලියවිල්ලේ එක් කොටසක් හෝ නීතිය හමුවේ අවලංගු කරගැනීමට ගුණසේකර මහතාට හැකිවීම අපූරු දෛවෝපගත සිදුවීමක් විය. එතනින් නොනැවතුනු එස් එල් ගුණසේකර මහතා 13 වන ව්‍යවස්ථා සංශෝදනය සම්පූර්ණ අහෝසි කර බෙදුම්වාදී පිළිකාව සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයැයි දිගින් දිගටම නැගූ හඬ අද දක්වා නොනැවතී ඇසිණ.

මෙලෙස බලන කල බෙදුම්වාදී අනතුර දරුණුව වැඩුනු තීරණාත්මක දශක තුනක කාලයක් පුරාවටම  මාතෲභූමියේ ඒකීයභාවයත් ස්වෛරීභාවයත් වෙනුවෙන් සුවිශේෂී ලෙස කැපවුණු සැබෑ දේශප්‍රේමියෙකු ලෙස එස් එල් ගුණසේකර මහතා සිදුකළ මෙහෙය සදා අනුස්මරණීය වනු ඇත. ඉන් නොනැවතී දෙමළ බෙදුම්වාදයේ ත්‍රස්ත පෙරමුණ පැරදවූ මානුෂීය මෙහෙයුම පැවති සමයේදී පවා මානෙල් මල් ව්‍යාපාරයේ කැඳුවුම් කරු ලෙස ඔහු කළ උත්තුංග මෙහෙවර ඉතිහාසයේ නිසි ගෞරවයෙන් යුතුව සටහන් වෙනු ඇත. හදිසි අනතුරකින් බරපතල ලෙස තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටින එස් එල් ගුණසේකර නම් වූ ඒ සුවිශේෂී ජාතිමාමකයාට ඉක්මන් සුව ලැබේවායි පතමින් මේ කෙටි සටහන නිම කරමු.




-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/10/2014

නව නායකයා යටතේ ජවිපෙ නව ගමන කොයිබටද ?

කතෘ:යුතුකම     4/10/2014   8 comments
පසුගිය කාලයේදී විශාල පසුබෑමකට ලක්ව තිබූ ජනතා විමුක්ති පෙරමුණ තුළ අද වන විට නැවතත් කිසියම් පිබිදීමක් දක්නට ලැබේ. මෙවර මැතිවරණ ප‍්‍රතිපලයද ඒ සඳහා එක් උදාහරණයකි. එහිදී සීයට තුන්සීයක ඡන්ද වර්ධනයක් ආදී කෙන්ද කන්ද කර පෙන්වන වචන හරඹ කෙසේ වෙතත් ලබා තිබූ  පරාජයේ තරමට සාපේක්ෂව ඔවුන් මේ මැතිවරණයේදී තරමක් ඉදිරියට පැමිණ තිබේ. එමෙන්ම ජවිපෙ නව නායකත්ව වෙනසද ඔවුන්ගේ මේ නව පිබිදීමට බලපෑ එක් හේතුවකි. අද විපක්ෂ දේශපාලඥයකු ලෙස අනුර දිසානායකගේ භූමිකාව පක්ෂ භේදයකින් තොරව පොදු සමාජ අවධානයකට ලක්ව තිබෙන්නක් යැයි කීම සදොස් නොවේ. ඒ අනුව ජවිපෙ මෙම නව පිබිදීමේ අනාගත දිශානතිය කෙබඳු එකක් වේ දැයි සැකෙවින් විමසා බැලීම මේ ලිපියේ මූලික අභිලාෂය වෙයි.

අද මේ රට ඉතා වේගයෙන් ඇද වැටෙමින් තිබෙන කාලකන්නි තත්ත්වය තුළ ඊට එරෙහි යහපත් දේශපාලන ව්‍යාපාරයක් මතුව ඒ නම් කුමන සීමාකම් මැද හෝ එය සතුටට කාරණයකි. එහිදී රටේ පුරවැසියකු ලෙස මගේ කැමැත්ත වනුයේද ජවිපෙ වැනි විකල්ප ව්‍යාපාර පරාජය වනු දැකීම නොව ඒවා ශක්තිමත්ව පෙරට එනු දැකිීමය. එහෙයින් ජවිපෙ විවේචනයට ලක් කිරීමේ කිසිදු පූර්ව අභිලාෂයක්ද මා තුළ නොවේ. එහෙත් ඔවුන්ගේ ගමන දෙස විමසුම් ඇසින් බැලීමේදී මට සැබවින්ම පෙනෙන දෙය ජවිපෙ කෙරේ වන සොඳුරු වැනුමක් නොවන්නේ නම් එය මගේ වරදක්ද නොවේ. මා මේ කාරණය මෙහිලා සඳහන් කළේම මා ජවිපෙ ගැන කරන  ඕනෑම මිතුරු විවේචනයක් වුවද සතුරු ලෙස භාර ගැනීමට මගේ අතීත දේශපාලන සගයන් සැදී පැහැදී සිටින හෙයිනි.

මෙවර මැතිවරණයේදී ජවිපෙ තරමක් පෙරට ඒම එහි මිතුරු බලවේගවලට විශාල ආස්වාදයක් වී තිබේ. ඔවුන්ගේ ආස්වාදය අසාධාරණ නැතත් එකී පෙරට ඒම එතරම් අරුමයක් හෝ තම ජයග‍්‍රහණයේ නියත සලකුණක් ලෙස සැලකිය යුත්තක්ද නොවේ. සම සමාජ, කොමියුනට්ස් වැනි දේශපාලන පක්ෂ පවා තවමත් ඉතිරිව පවතින්නේ නම් ජවිපෙ වැනි පක්ෂයක් නුදුරු අනාගතයකදී අභාවයට නොයන බව අමුතුවෙන් නොකිව යුත්තකි. කුමන තරමේ පසුබෑම් හෝ පරාජයන්ට ගොදුරු වුවද උස් පහත්වන වර්ධනයක් සහිතව කාලයක් පැවතීමේ හැකියාව එම ව්‍යාපාර සතු වෙයි. ඇතැම් විට ඉදිරියේදී මීටත් වඩා එම වර්ධනයන් ඉහළ යාමට ඉඩ තිබේ. එසේ වුවද වර්ධනයන් අත් කර ගැනීමෙන් හෝ ෆීනික්ස් පක්ෂියා සේ නොනැසී පැවතීමෙන් පමණක් එම ව්‍යාපාරවලට තීරණාත්මක ජයග‍්‍රහණ කරා ලඟා විය හැකි යැයි සිතන්නේ නම් එය බලවත් මුලාවකි.  තීරණාත්මක ජයග‍්‍රහණ කරා ළඟා වීමට නම් ඔවුන් විසින් සපුරා ගත යුතු සුදුසුකම් රාශියක් තිබේ. ඒ නිසාම ජවිපෙ සාමාජිකයන් තම ජයග‍්‍රහණ ගැන සතුටුවීම සාධාරණ වන්නේ ඔවුන්ගේ වත්මන් වර්ධනය එම ව්‍යාපාරය තුළ සිදුවූ ඉදිරිගාමී වෙනසක ප‍්‍රතිපලයක් වන්නේ නම් පමණකි. එවන් වෙනසක ප‍්‍රතිපලයක් නොවන විශාල වර්ධනයකට වඩා එවන් වෙනසක ප‍්‍රතිපලයක් ලෙස අත් කර ගන්නා පුංචි වර්ධනයක් වුවද බෙහෙවින් වැදගත් හා තීරණාත්මකය. එසේ වුවද අවාසනාවන්ත කාරණය වන්නේ ජවිපෙ වත්මන් වර්ධනය යනු හුදු සාමාන්‍ය උස් පහත් වීමක් විනා ජවිපෙ අලූතින් සිදු කර ගත් කිසිදු වෙනසක ප‍්‍රතිපලයක් නොවීමය. එය එසේ වන්නේ මන්ද යන්න මෙහිදී විමසා බැලිය යුතුව තිබේ.

මෑත ඉතිහාසයට අදාලව සලකා බලතොත් ජවිපෙ යනු 1994න් පසු යුගය තුළ ජය පිට ජය ලබමින් පෙරට ආ අභිමානවත් ගමනකින් පසුව මෝඩ ස්වයං විනාශයකට ගොදුරුව නැවතත් බිංදුවට ඇද වැටුණු දේශපාලන ව්‍යාපාරයකි. ඒ විනාශය නිසා එම පක්ෂයට පමණක් නොව මේ රටටද ලැබිය හැකිව තිබූ ජයග‍්‍රහණ ගණනාවක් නැති නාස්ති වී ගියේය. එම ව්‍යාපාරය වෙන්වෙන් කැපවූ සිය දහස් ගණනක් යහපත් මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කර දැමීමටද ඔවුන්ගේ පරාජය හේතුවිය. මේ නිසාම යළි නැගී සිටීමකදී ඔවුන් විසින් කළ යුතු පළමු කටයුත්තක් වන්නේ  මේ දරුණු ඛේදවාචකය ගැඹුරින් විශ්ලේෂණය කර ගැනීමය. එසේ වුවද බාහිරව හෝ අභ්‍යන්තර වශයෙන් ඒ පිළිබඳ වැදගත් සංවාදයක් ජවිපෙ තුළ තවමත් දක්නට නැත. එවැනි සංවාදයක් තියා එකී පරාජයේ තරමට සරිලන කම්පාවක් හෝ ඔවුන් කෙරෙන් පළ වනු දක්නට නැත. ඒ වෙනුවට ජවිපෙ පිළිවෙත වී ඇත්තේ ”ඔව් අපි යම් පසුබෑමකට ලක් වුනා” වැනි ඉතා ලූහු විග‍්‍රහයන් හරහා ඒ බරපතල ඛේදවාචකය ගැන ඉතා නොවැදගත් ප‍්‍රතිචාර දැක්වීමය. ඒ නොවැදගත් ප‍්‍රතිචාර තුළද ඔවුන් සරල ලෙස අවධානයට ගනිමින් හිදින්නේ සන්ධාන හැදීම හෝ ඒවායින් ඉවත් වීම ආදී උපායමාර්ගික ගමනට අදාළ කාරණා පමණක් වන අතර ජවිපෙ පරාජය කෙරේ බලපෑ සූක්ෂම අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතා පිළිබඳ ඔවුන්ගේ කිසිදු අවධානයක් තවමත් පෙනෙන්නට නැත. ඇත්තෙන්ම ජවිපෙ විනාශය කෙරේ බලපෑ නරක ජන්ම ගති ලක්ෂණ රැසක් ජවිපෙ තුළ පවතින්නේ කිරි කලයකට ගොම බිඳක් නොව ගොම තලියක්ම මුසු වී ඇති පරිද්දෙනි. ඔවුන්ගේ සියලූ ප‍්‍රබලතා නිශේධනය කොට එම ව්‍යාපාරය පරාජය කරා ගෙන යාමට තරම් මේ අහිතකර ලක්ෂණ තීරණාත්මකය. නිළධාරීවාදය, පටු සංවිධාන ක‍්‍රමවේද, අනම්‍ය නීති රීති, දාර්ශනික අගතිීන්, අල්ප මතවාද, මෝඩ සංස්කෘතික ඇබ්බැහිකම් ආදී වශයෙන් හඳුන්වා දිය හැකි මේ නිශේධනාත්මක ප‍්‍රවණතා ජවිපෙ පසුගිය කඩා වැටීම කෙරේද අතිශය තීරණාත්මක ලෙස බලපෑවේය. ජවිපෙ ස්වයං විනාශය ගැන ලියූ ”බිඳුණු වම් අත” කෘතියේ වැඩිම ඉඩක් මා වෙන් කළේද මේ ප‍්‍රවණතා මොනවාදැයි විමසා බැලීමටය. එසේ වුවද අවාසනාවකට ජවිපෙ තුළ හෝ ඉන් පරිබාහිරව මේ තීරණාත්මක ප‍්‍රශ්නය ගැන තවමත් හරිහමන් සංවාදයක් නිර්මාණය වී නැත. ඒ වග ජවිපෙ නව නායකයා ඇතුලූ සියල්ලන්ගේ හැසිරීම්වලින් මනා සේ සනාත වෙයි.

ඊට අදාල උදාහරණ මොහොතකට සලකා බලමු. මාක්ස්වාදයේ සන්දර්භමය සීමා මායිම් කිසිවක් නොතකන ජවිපෙ තවමත් මාක්ස්වාදය සලකන්නේ ලෝකය පිළිබඳ පරම නිෂ්ඨාවක් ලෙසය.  නිර්මාණශීලී ලෙස ආභාසය ලද හැකි වැදගත් දාර්ශනික හා දේශපාලන ප‍්‍රවණතාවක් ලෙස එය ඇසුරු කිරීමට ඔවුන් තවමත් සූදානමක් නැත. එතැනින්ද නොනවතින ජවිපෙ මේ වනවිටත් තම ජාතික පුවත්පතේ පිටු දොස්තරවරුන්ට සතිපතා වෙන්කර දෙමින් සිටින්නේ කසිකබල් හේතුවාදයක් සනාථ කිරීම සඳහාය. එය ඔවුන්ගේ මතවාදීමය අල්ප බව පිළිබඳ බලවත් නිදසුනකි.  මෑතකදී නව නායකයා පුවත්පතකට පවසා තිබුනේ පක්ෂයට ද්‍රෝහීකම් කොට පලා ගිය අය හැරුණු කොට නොදැනුවත්කම නිසා අනවබෝධය නිසා පක්ෂය හැර ගිය පිරිස් යළි එකතු කර ගැනීමට තමන් සූදානම් බවය. ඒ ප‍්‍රකාශයේ අනෙක් අර්ථය වන්නේ පක්ෂය හැර ගිය සියලූ දෙනා ද්‍රෝහීන් හෝ අනවබෝධය ඇත්තන් පමණක් වන විට එසේ නොවූ සියලූ උත්තම පුරුෂයන් තවමත් ජවිපෙ තුළ යහතින් ඉතිරිව සිටින බවය.  මේ අධිමානයේ මනස පක්ෂය ගැන බැතිමත් වර්ණනාවලට මිස ඊට අත්‍යාවශ්‍යම වන කටුක දේශපාලන සංවාදයට කිසිදා විවෘත වන්නේ නැත. ජවිපෙ නව හා පරණ නායකයන්ගේ සිට ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ ජවිපෙ වෙනුවෙන් දිවා රෑ මත පතුරුවා හරින්නන්ගේ කියුම් කෙරුම්වලින් පවා ප‍්‍රදර්ශනය වන්නේ මේ අධිමානයේ මනසමය. ඉතා අල්ප හා පටු බෙදීම් ඔස්සේ දේවල් දෙස බලන ඔවුන්ට තමන්ට වඩා වෙනස් මතයක් දරන තමන්ගේම මිතුරු පාර්ශවයන්  පවා තවමත් පෙනෙන්නේ ද්‍රෝහීන් ලෙසය. මේ සියල්ල ඔවුහු තම කතාවෙන් හා ක‍්‍රියාවෙන් ඔප්පු කරමින් සිටිති. ඊට අදාල ආසන්නතම උදාහරණය වන්නේ සුමතිපාල මානවඩුගේ මළ ගෙදරට සහභාගි වූ පෙරටුගාමී සාමාජික පිරිස් පළවා හැරීම සහ ඒ අතරින් දෙදනකුට පහර දීමය. මේ සියලූ කාරණාවල සරල සාරාංශය වන්නේ තම අනාගත යහපත වෙනුවෙන් අතීත මෝඩ ඇබ්බැහිකම් අත හැරීමට ජවිපෙ තවමත් හිත හදාගෙන නැති බවය. ජවිපෙ තුළ කෙතරම් යහපත් ප‍්‍රතිපත්ති හා කැපකිරීම් ආදිය පැවතුනද මේ විනාශකාරී අභ්‍යන්තර දුර්ගුණාංග සමඟ තීරණාත්මක ගමනක් යාමට ඔවුන්ට කිසිදා හැකි වන්නේ නැත. තමන්ගේ කිරි කලයෙන් මේ ගොම තලිය ඉවත් කරන තුරා කිිරි ගැන ඔවුන් කරන සියලූ කාව්‍යමය වර්ණනා බීරි අලියන්ට කරන වීනා ගැසීමක් බඳු වනු ඇත. කාලයෙන් කාලයට උස් පහත් වන ඡන්ද ප‍්‍රස්තාර දෙස බලා සිටීමේ සදාතනික ඉරණම පරාජය කිරීමට නම් ඔවුන් විශාල වෙනසකට සූදානම් විය යුතුය.

මීළඟට වැදගත් කාරණය වන්නේ ජවිපෙ උපාය මාර්ගය ආශ‍්‍රිතව ඔවුන්ගේ වත්මන් ගමන විමසා බැලීමය. එහිදී අවධානයට ගත යුතු කාරණා කීපයකි. රටේ වර්තමාන පාලනය යටතේ අද මේ රට පවතින්නේ ඉතා ජරාජීර්ණ තැනකය. මේ නරක තත්ත්වය වෙනස් කිරීමට වර්තමාන පාලනය අසමත් නම් ඒ වෙනස කළ හැකි පාලන තන්ත‍්‍රයක් පිහිටුවා ගත යුතුය. එසේ වුවද  ඕනෑම වර්ගයක බල පෙරළියකින් හෝ  අරාබි වසන්තයක් මඟින් උදා කර ගත නොහැකි ඒ වෙනස වෙත එක් පියවරක් හෝ තැබිය හැකි වන්නේ  වඩා යහපත් ප‍්‍රගතිශීලී බලවේග අතට රටේ බලය මාරු කිරීමෙනි. එසේ වුවද අද මේ රටේ පවතින ආණ්ඩු විරෝධි ව්‍යාපාරය යනු එවන් ප‍්‍රගතිශීලී බලවේගයක් නොවේ. එම ව්‍යාපාරය ඉදිරියේදී පෙළ ගැසෙනු ඇත්තේ වත්මන් ආණ්ඩුව යුද්ධය හා බෙදුම්වාදය පැරදවීම ආශ‍්‍රිතව රටට ලබාදුන් වැදගත්ම ජයග‍්‍රහණය පවා ආපසු හැරවීම සඳහාය. රටේ වත්මන් ආණ්ඩුව පමණක් නොව ආණ්ඩු විරෝධී ව්‍යාපාරයද අද ජරාජීර්ණ අවුල් ජාලාවක් වෙයි. රටේ පවතින මේ තත්ත්වය තුළ අද ප‍්‍රගතිශීලී අරමුණු සහිතව ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාරයකට පසුකර යාමට සිදුවන්නේ ඉතා අසීරු හා සංකීර්ණ දේශපාලන අවස්ථාවකි. එක් අතකින් වත්මන් පාලනයේ නොමනාකම් වලට විරුද්ධ වන අතරේම ඒ විරෝධය වෙනත් අශ්ශීල බලවේගයක ගිණුමට බැර නොවන ආකාරයෙන් කටයුතු කිරීමටද එවන් ව්‍යාපාරයකට සිදුවෙයි. එවන් ප‍්‍රවේශයක් මේ මොහොතේ තරමක් දුෂ්කර හා ළඟ පෙනෙන ඉක්මන් ඉලක්ක රහිත එකක් විය හැකි වුවද තෝරා ගත යුතු මාර්ගය එය මිස අන් කවරක්වත් නොවේ. එසේ වුවද ජවිපෙ වත්මන් උපාය මාර්ගික ප‍්‍රවේශය සලකා බැලීමේදී අපට දැකගත හැක්කේ කුමක්ද?

 ජවිපෙ තම උපාය මාර්ගය වරදවා ගැනීමේ පළමු තීරණාත්මක අවස්ථාව 2005 ජනාධිපතිවරණය වන අතර එතැන් සිට ඔවුන් දිගින් දිගටම කළේ එකී මූලික වරද්දා ගැනීමේ දිශානතිය ඔස්සේම පෙරට යාමය. එම ගමනේ කඩිනම් ප‍්‍රතිපලය වූයේ ඡන්ද පදනම අතින් පමණක් නොව භෞතික හා අධ්‍යාත්මික වශයෙන්ද අන්තයට පිරිහී ගිය හා තම ගෞරවය සියතින්ම නැති නාස්ති කර ගත් ව්‍යාපාරයක තත්ත්වයට ජවිපෙ ඇද වැටීමය. 2011 වනවිට පෙරටුගාමී පක්ෂය ලෙස ජවිපෙන් කොටසක් බෙදී යාමටද මේ දරුණු ඇද වැටීම එක් හේතුවක් විය. මෙහිදී පෙරටුගාමී පක්ෂය වැඩිකල් යාමට පෙර කැඞී විසිරී ගිය නමුත් මේ හැල හැප්පීම් සියල්ලෙන් පසුව පවා ජවිපෙ නැවතත් ක‍්‍රම ක‍්‍රමයෙන් හිස ඔසවන්නට වූ අතර රාජපක්ෂ පාලනයේ නොමනාකම් විසින්ද ජවිපෙ භූමිකාවට විශාල සදාචාරාත්මක බලයක් හිමි කර දුන්නේය.  ඒ අන්දමට ආණ්ඩු විරෝධය ඔස්සේ ජවිපෙ පෙරට ආ ගමනේ ආසන්න වැදගත් ලක්ෂය පසුගිය බස්නාහිර දකුණ මැතිවරණයි. 

මේ ආකාරයට අද වන විට ආණ්ඩු විරෝධී බලවේගයක් ලෙස ජවිපෙ භූමිකාව ආකර්ශණීය එකක් විය හැකි වුවද ඔවුන් තවමත් උපාය මාර්ගිකව වැදගත් ප‍්‍රවේශයක් ගෙන ඇතැයි සිතීම අසීරුය. ජවිපෙ වත්මන් ආණ්ඩු විරෝධී සටන් පාඨ බොහොමයක් සාධාරණ ඒවා වුවද ඔවුන් අද මේ රටේ පවතින අවුල බොහෝවිට විග‍්‍රහ කර ගනිමින් සිටින්නේද සරල ආණ්ඩු විරෝධයේ සීමාව දක්වා පටු වෙමිනි. ඊට ඉහළින් පවතින යටත් විජිතවාදයේ නරුම වියගස ගැන ජවිපෙ වත්මන් විවේචනය ඉතා තුනී එකක් වනවා පමණක් නොව ඔවුන් විටෙක හැසිරෙමින් සිටින්නේ යටත්විජිතවාදයේ ඇතැම් බලවේගවල ආස්වාදයට පවා හේතුවන අන්දමිනි. ජිනීවා ප‍්‍රශ්නය වැනි දේශපාලන කාරණාවලදී පමණක් නොව මෙරට කෘෂි රසායන භාවිතය ආශ‍්‍රිතව මතුවූ මිනිස් ජීවිත පිළිබඳ ඉතා තීරණාත්මක ගැටලූ වලදී පවා අනුර දිසානායකලා කටයුතු කළ ආකාරය ඊට එක් උදාහරණයකි. සැකෙවින්ම ගතහොත් වත්මන් ජවිපෙ කිසිවෙකු සමඟ සන්ධානගතව නොසිටියද ඔවුන්ගේ නොනිල සන්ධානය ගොඩනැ`ගී ඇත්තේ මෙරට දූෂිත ආණ්ඩු විරෝධී ව්‍යාපාරය සමගය. එය හුදු ආණ්ඩු විරෝධී සාධකය යටතේ ඉබේම සිදුවන කඳවුරු බෙදීමකට වඩා වැඩි දැනුවත් ගනුදෙනුවක් බව පැහැදිලිව පෙනෙයි. අනුරගේ නව නායකත්වයද මේ ගනුදෙනුවේදී තීරණාත්මක සාධකයක් විය හැකිය. අනුර යනු ජවිපෙ තුළ ඔත්තුකරුවකු ලෙස කටයුතු කොට අද ඔස්ටේ‍්‍රලියාවේ සුවසේ ජීවත් වන කුමාර් ගුණරත්නම්ගේ මීළඟ අනුප‍්‍රාප්තිකයාද නැද්ද යන සැකය කුමක් වුවත් අනුර වනාහී පසුගිය කාලයක් තිස්සේම එජාපය ප‍්‍රමුඛ බලවේග සතුටු කරවන තීන්දු තීරණ වෙනුවෙන් ජවිපෙ තුළ අරගල කළ අයෙකි. ඔහුට එරෙහි තැනක සිටි විමල්, සෝමවංශ වැනි අයගේ විරෝධයද රහිත තත්ත්වයක් යටතේ අද අනුරට වඩා පහසුවෙන් ක‍්‍රීඩා කළ හැකිව තිබේ. මේ නිසාම දෝ අද ජවිපෙ ගමනට පූර්ණ විප්ලවීය සහයෝගය ලබාදෙමින් සිටින්නේ සිරස, මව්බිම වැනි සමාජ පාදඩකරණ මාධ්‍ය ආයතන විසිනි. අතීතයේදී ජවිපෙ පතුරු ගැසූ සිරසටත්, රනිල් එලවීමේ කොන්ත‍්‍රාත්තුවේදී සිරසේ සම සහකරුවා වන මව්බිමටත් ජවිපෙ ගැන පහල වී ඇති මේ හදිසි ආදරය එම පක්ෂය තුළ සිටින සිහි බුද්ධියක් ඇති සාමාජිකයන්ගේ තියුණු විමසුමට ලක්විය යුත්තකි. එවැනි සමාජ දූෂක මාධ්‍ය ආයතන පමණක් නොව මෙරට ගෝස්තරවාදී විකල්ප ගෝත‍්‍රික ඊනියා බුද්ධිමතුන්ද අද පෙල ගැසී සිටින්නේ ජවිපෙ වටාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියත අභාවයෙන් පසු ඔවුහු තම අභිලාෂයන් සඳහා නැවතත් ජවිපෙ වෙත ඉව අල්ලමින් සිටිති. මෙවර මැතිවරණයේදී ජවිපෙ වෙනුවෙන් ප‍්‍රකාශ ලබා දී ඇත්තේ නිර්මාල් රංජිත්, කුමාර් ඬේවිඞ්, ජෙගනාදන්, දයාන් ජයතිලක ආදී අපූරු මහදැනමුත්තන් පිරිසකි. එදා ජවිපෙ පස් අවුරුදු සැලැස්ම පතුරු ගැසූ දයාන් ජයතිලක ජවිපෙ වත්මන් නවීන සමාජවාදී වැඩපිළිවෙල පසසමින් ලංකා පුවත්පතට සාකච්ඡාද ලබාදෙයි. තමන් ජවිපෙට ඡන්දය දෙන්නේ මන්දැයි පුවත්පතකට ලියන නිර්මාල් රංජිත් දේවසිරි පවසන්නේ ජවිපෙ තුළින් සිංහල ජාතිකවාදී සංඝටක බැහැර වී තිබීමත්, මෑතක සිට ඔවුන් දෙමළ ජාතික සන්ධානය සමඟ කිට්ටුවෙන් කටයුතු කිරීමත් බෙහෙවින් අගය කළ යුතු ගුණාංග බවය. එසේ පවසන අතරේම වන සත්වයෙකුට ඇති තරමේ හෝ ප‍්‍රායෝගික බුද්ධියක් නොමැති මේ ඇදුරාට පෙරටුගාමී සමාජවාදී පක්ෂය පෙනෙන්නේ සමාජවාදී පරිවර්තනයට අවශ්‍ය බුද්ධි මහිමය සහිත ව්‍යාපාරයක් වශයෙනි. ලොකුම ඛේදවාචකය වන්නේ මෙවන් නරි නාටකීය විචාරයන් තඹ දොයිතුවකට නොතකා බැහැර කිරීමට අවශ්‍ය නිවැරදි දේශපාලන පෞරුෂය වත්මන් ජවිපෙ තුළ නොතිබීමය. මෑත ඉතිහාසය තුළ ජවිපෙ යහතින් පෙරට ආ සෑම මොහොතකම මේ "යූඇන්පී වාමාංශිකයෝ" එහි සතුරු පිල නියෝජනය කළෝ වෙති. ඇත්තෙන්ම මේ අපාය සහායකයන්ගේ ආශිර්වාදයම ජවිපෙ වත්මන් භූමිකාව කුමක්දැයි වටහා ගත හැකි වැදගත් දර්ශකයකි. ඔවුන්ට අවශ්‍ය වනුයේ යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස වැඩෙන ජනතා විමුක්ති පෙරමුණක් නොව තමන්ගේ සිල්ලර වුවමනා සඳහා  අවභාවිතයේ යෙදවිය හැකි ජනතා විමුක්ති පෙරමුණකි. ඔවුන්ගේ කඩිනම් අවශ්‍යතාව වනුයේ ඉදිරි බල හුවමාරුවක් සඳහා ජවිපෙ වෙතින් අත් උදව් සපයා ගැනීමය. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයකදී පොදු අපේක්ෂකයකු ඉස්සර කර ගනිමින් පැමිණෙන ද්‍රෝහී න්‍යාය පත‍්‍රය බලාත්මක කර ගැනීමේදී ඔවුන්ට ජවිපෙ සහාය අත්‍යාවශ්‍ය වෙයි. නමුත් ජවිපෙ හෝ රටේ ජයග‍්‍රහණයට හේතු නොවන එකී න්‍යාය පත‍්‍රය බෙදුම්වාදය යළි දිනවන, ජාතිවාදය පෝශණය කරන, රටේ අස්ථාවරභාවය ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් වනු නොඅනුමානය. ඔවුන්ගේ වත්මන් අභිලාෂය වනුයේ මේ සඳහා අතකොලූවක් ලෙස භාවිත කළ හැකි ජනතා විමුක්ති පෙරමුණකි. අද ඒ අභිලාෂයට ජවිපෙ පාර්ශවයෙන්ද සුබවාදී අනුබල සැපයෙමින් තිබේ.

ජවිපෙ ආණ්ඩු විරෝධි වීමේ කිසිදු වරදක් නැතත් ඔවුන් එය කළ යුත්තේ රටේ ජයග‍්‍රහණවලට හේතුවන ආකාරයෙනි. ජවිපෙ සන්ධාන ගතවීම නිරපේක්ෂව වරදක් නොවුනත් ඔවුන් එය කළ යුත්තේද යහපත් සමාජ ව්‍යාපාරයක් ලෙස තමන්ගේ සහ රටේ සුබ සිද්ධියට ඉවහල් වන අන්දමිනි. මේ මොහොතේ ළඟ ඉලක්ක රහිතව වුවත් ඔවුන් විසින් තෝරා ගත යුතු ප‍්‍රවේශය එවැන්නකි. අද ජවිපෙ වටා එක්ව සිටින කපටි ආරක්ෂකයන්ගේ මර උගුල්වලින් ගැලවීමට ඔවුන්ට හැකිවනුයේ ඒ නිසි ප‍්‍රවේශය ඔස්සේ අතීත මෝඩකම් නිවැරදි කර ගනිමින් පෙරට යාමෙනි. එසේවුවද අනුර දිසානායක යනු බොහෝ විට ඒ උගුල් මඟ හැර යා හැකි නායකයෙක් නොව ඒ උගුල් කරා ජවිපෙ ගෙනයාමේ අවදානමක් සහිත නායකයෙකි. අකමැත්තෙන් වුවත් අද පෙනෙන්නට තිබෙන කාරණා අනුව අපට එළඹීමට සිදුවන කටුක නිගමනය එවැන්නකි. එහෙයින් මේ කටුක දේශපාලන කාරණා තේරුම් නොගනිමින් පුංචි ඡන්ද වර්ධනයක් ගැන උද්දාමයට පත්වීම තේරුමක් නොවේ. අනෙක් අතින් මේ මැතිවරණයේදී ජවිපෙ අභිබවා යාමට සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවා සමත්ව තිබේ. එය කෙටිකාලීන රැල්ලක් ලෙස හැඳින්විය හැකි වුවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට ලැබුනු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනී යන්නේ ජවිපෙ තම මෝඩ ක‍්‍රියාමාර්ග හරහා නිකරුනේ නැතිි නාස්ති කරගත් ගෞරවය හා මහජන විශ්වාසය යළි පිළිසකර කර ගැනීම ඔවුන්ට එතරම් පහසු නොවන බවය. ෆොන්සේකාගේ පක්ෂයේ ඉදිරිය කුමක්විය හැකි වුවද නව විකල්ප ව්‍යාපාරයක් සඳහා රට තුළ බලවත් අපේක්ෂාවක් පවතින බව ඒ පක්ෂයට කඩිනමින් ලැබුණු ඡන්ද ප‍්‍රමාණයෙන් පෙනීයයි. 

අවසාන වශයෙන් සැකෙවින් සලකා බැලීමේදී 1994 සිට ජවිපෙ පැමිණි ජයග‍්‍රාහී ගමන නින්දිත පරාජයක් දක්වා ඇද වැටීමට බලපෑ ප‍්‍රධාන හේතු දෙකක් තිබේ. පළමු කාරණය වන්නේ තම අභ්‍යන්තරයේ තිරව මුල් බැස පැවති දුර්ගුණාංග හඳුනා ගනිමින් කාලානුරූපව ඒවා වෙනස් කර ගැනිමට ඔවුන් සමත්  නොවීමය. දෙවන කාරණය වන්නේ ඔවුන් තම නිසි උපාය මාර්ගික ගමන වරද්දා ගැනීමය. අද ජවිපෙ පුංචි මැතිවරණ නැගීමකින් උද්දාමයට පත්ව සිටියද මේ මූලික වැරදි දෙක නිවැරදි කර ගැනීමේ අවම සූදානමක් හෝ තවමත් ඔවුන් වෙතින් පෙනෙන්නට නැත. ඔවුන් අද නැවතත් පෙරට යාමට සූදනම් වන්නේ මේ වැරදි එලෙසම පවත්වා ගනිමින් වීම බෙහෙවින් කණගාටුදායක තත්ත්වයකි. කෙසේ හෝ වේවා මේ වැරදි නිවැරදි කර නොගත් පලියට එම පක්ෂය නැත්තට නැතිවී යන්නේ නැත. ඉදිරියේදී ඇතැම්විට ඔවුන් තව තවත් වර්ධනය විය හැකිය. තව තවත් මන්තී‍්‍ර ධූරද ලබාගත හැකිය. වැටෙන වැටෙන වාරයක් පාසා මොන මොන ක‍්‍රමයකින් හෝ යළි යළි නැගී සිටීමටද බැරි කමක් නැත. එසේ වුවද වැටි වැටී නැගිටින සුපුරුදු ගමන වෙනුවට ස්ථාවර ශක්තියකින් නැඟී සිටිමින් මේ රටේ වැදගත් පරිවර්තනයක් කිරීමට ජවිපෙට හැකිවනුයේ ඉහත වැරදි තේරුම් ගනිමින් ඒවා වෙනස් කර ගැනීමට ඔවුන් කවදා හෝ සමත් වන්නේ නම් පමණි. අපට අවසාන වශයෙන් කළ හැක්කේ ඒ නිසි මාවත වෙත තම ව්‍යාපාරය ගෙනයාමට අවශ්‍ය සිහි බුද්ධිය ජවිපෙ සාමාජිකයන් තුළ කවදා හෝ පහළ වේවායි ප‍්‍රාර්ථනා කිරීමය.



-ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය

3/25/2014

මොකක්ද මේ විදුලි පුටු කතන්දරේ.?

කතෘ:යුතුකම     3/25/2014   18 comments

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ගණනක් පමණි. ඇමරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගැනීමට හැම දහංගැටයක්ම ගසමින් සිටියි. ඒ වුවත් මේ ජිනීවා ක්‍රියාවලිය ගැන අතිශයින් පරස්පර අදහස් මෙරට දේශපාලන කතාබහ තුළින් මතු වන්නේ මේ දිනවල උණුසුම්ව ඇති පළාත් සභා මැතිවරණ වේදිකාව නිසාම නොවේ. ඒ මේ රටේ හැටිය. මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියේ හැටිය.සමහරෙකුට මෙය භායානක බිල්ලෙක් ලෙස පෙනෙද්දී තවත් සමහරෙකුට ආණ්ඩුවේ මවාපෑමකි. තවත් කෙනෙකුට මෙය රටට එරෙහි යෝජනාවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණි.

ජිනීවා යෝජනාවලට පක්ෂපාතව අදහස් දක්වන්නන්ගේ අදහස්  කිහිපයක් මෙලෙස සරලව සටහන් කළ හැක :
  • 1 : “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක .”
  • 2: “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත. එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කළ LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ හරහා තම චන්ද ගොඩ වැඩි කරගන්නටය.“
  • 3 : “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි. ඒ යෝජනා එන්නේ ආන්ඩුවේ වරදින්. ආණ්ඩුව මානව හිමිකම් කඩකරමින් , මාධ්‍ය නිදහස නැති කරමින් සිදුකරගෙන යන පාලනයේ වරද නිසයි අපට මෙවැනි චෝදනා එන්නේ.
අප මේ සහටන තුළදී මූලික ලෙසම  මේ කරුණු කිහිපය සලකා බලමු.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව මේ දිනවල නිතර ඇසෙන කතාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිදුකරන සෑම කතාවකදීම මෙය සඳහන් කිරීමට අතපසු නොකරයි. ඔහු පමණක් නොව ජවිපෙ නායකයින් මෙන්ම සරත් ෆොන්සේකා මහතා පවා නිතර ප්‍රකාශ කරන කරුණක් නම් මේ විදුලි පුටු කතාව ආණ්ඩුව විසින්  ගොතන අමු කෙප්පයක් බවයි. එයටම අත්වැල් අල්ලමින් හිටපු ජනාධිපතිනියද පසුගියදා ප්‍රකාශ කර තිබුනේ තමන් ලෝකය ගැන දන්නා බවත් විදුලි පුටුවක් ගැන නම් තමා නොදන්නා බවයි.
"2003 දී මම අගමැති වෙලා හිටියදී රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාවේ කිසිවෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ගෙන යා නොහැකියි. මේ පිළිබඳව රාජපක්‍ෂ රෙජීමය එක්සත් ජාතික පක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. "
-රනිල් වික්‍රමසිංහ : 2014 පෙබරවාරි

"ජර්මනියේ හේග් නුවර තියෙන යුධ අධිකරණය හා සම්බන්ධ ප්‍රඥප්තියක් සම්මත කරගෙන තිබුණට අපේ රටේ කවුරුවත් ඒකට ගෙනියන්න බෑ. මොකද අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරල නෑ. අපි විතරක් නෙවෙයි .ඇමරිකා එක්සත් ජනපදය , ඉරාකය ආදී ඒ මොහොතේ යුද්ධ පැවති කිසිම රටක් අත්සන් කරල නෑ. ඒ නිසා අපේ රටේ ජනාධිපතිවරයා තියා සාමාන්‍ය සෙබලෙක් වත් යුධ අධිකරණයට ගෙනියන්න බෑ. කවුරු හරි කැමැත්තෙන් යන්න හිතාගෙන ඉන්නව නම් මිසක්. "
-අනුර කුමාර දිසානායක  : 2014 පෙබරවාරි

මොවුන් මෙතරම් විස්වාසයෙන් මෙන් පවසන මෙහි සැබෑවක් තිබේද? රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට යුධ අපරාධ ප්‍රඥ්ඥප්තියෙන් මුක්තිය ලැබේද?
මූලිකවම රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක් නොව , එවකට ඔහු අගමැතිවරයා පමණක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ. ඊට පෙර 1998 දී චන්ද්‍රිකා බණ්ඩරණායක මැතිණිය වෙත ඉදිරිපත්වූ එම යොජනාවද ප්‍රතික්ෂේප වී තිබුණේ එවකට එල්ටීටීඊය සමග සටන් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසයි.

ටේලර් -  අල් බාෂිර් -  මිලසොවිච්
එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකළ පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යන්තර උදාහරණ බොහොමයකි . සුඩානයේ හිටපු ජනාධිපති ඔමා අල් බාෂිර් , ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් , යුගොස්ලෝවියාවේ ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය. එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුළම එය අත්සන් නොකළ රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි . රෝම ප්‍රඥප්තියේ 12-15 වගන්තිවල සඳහන් කර ඇති පරිදි  ආරක්ෂක මණ්ඩලය හරහා රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ රටවලට පවා ජාත්‍යන්තර යුධ අපරාධ චෝදනා නැගිය හැකි . එහිදී අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවිනි.

එසේ නම් මොවුන් මේ අයුරින් ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කම නිසාද?  නැත. මේ අපේ දේශපාලන පක්ෂ නරාවළේ ස්වරූපයයි. ඔවුන්ට අනුව ජිනීවා වල බටහිර තර්ජනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාගේ මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පැවැත්ම සඳහාත් භාවිතා කරමින් සිටියි. ජනතාවද ඒ මතයට අවනත වෙමින් සිටියි. කිසිඳු පදනමක් නැති මේ ප්‍රකාශ කෙරෙන්නේ එයට එරෙහිව මිස යථාව එය නිසා නොවේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවද මේ මොහොතේ මේ ජිනීවා අනතුර තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උපායක් ලෙස භාවිතා කරමින් සිටිනවා යන්න අසත්‍යක් නොවේ. ජිනීවා මෙහෙයුම අස්සට මැතිවරණ සිතියම එලෙන්නේම ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් බවට සැක නැත.  කම්බ හොරුන් , තක්කඩියන් ජිනීවා සළුවෙන් නිරුවත වසාගෙන පළාත් සභාවට රිංගන බවද සත්‍යකි.  එය දේශපාලන සදාචාරය පැත්තෙන් කෙතරම් සාධාරණද යන පැනය පැන නගින නමුත් අනෙක් පසින් එය බටහිර මෙහෙයුමේ ජවය අඩු කරන උපායක් ලෙසද සැලකිය හැකිය.

මේ කරුණු අනුව සලකා බැලූ විට රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවේ අත්පුඩියට සහ ඒවා ඕපාදූප ලෙසින් පළවන ගොසිප් අඩවි වලින් දේශපාලන දැනුම ලබාගන්නන්ගේ තෘප්තියට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති ප්‍රකාශයක් බව පැහැදිලිය.

සුරූපීබවට රවටා  මෝහිණීට බිලි දීමේ බටහිර තැත...

ජිනීවා මෙහෙයුම පිළිබඳ තවත් මතයක් නම් මෙය හුදෙක් LLRC වාර්ථාවේ කරුණු ඉටු කරන ලෙස කරන ඉල්ලීමක් බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත්ය.ජිනීවා යෝජානාවලට උඩ ගෙඩි දෙන කණ්ඩායම් පවසන්නේ මේ යෝජනා හරහා යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ආදී හරයන් යළි ස්ථාපිත වනු ඇති බවයි. අන්ධයන් අලියාගේ හැඩරුව කීවා සේ එක් එක් අය එක් එක් කොටස් තමන්ට ගැලපෙන අයුරින් සිතාගෙන මේ ජිනීවා බලහත්කාරය තනුක කරන උත්සාහයක නිරත වෙමින් සිටී. උදාහරණයක් ලෙස නිදහස් මාධ්‍යයේ පොල්මංකාර ව්‍යාපාරික කණ්ඩායම්  ජිනීවා යෝජනාවලියේ මාධ්‍ය නිදහසට අදාල වාක්‍ය තමන්ට අදාළ යැයි කියමින් මුළු ජිනීවා බලහත්කාරයටම උපරිමයෙන් අනුබල දෙමින් සිටී.

බටහිරයන් එක් එක් කණ්ඩායම් ඉලක්ක කර මේ ආලවට්ටම් දමන්නේම යෝජනාවලියේ ඇතුළත ඇති භයානක අනතුර සඟවා මෙලෙස එක් එක් කන්ඩායම් නිෂ්ක්‍රීය කරමින්   තමන්ගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ කෑදරකමින් බව අප අමතක නොකළ යුතුය. එක් එක් වියුක්ත කරුණු ඔස්සේ විවිධ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය වන සේ සකසන මේ ලියවිල්ල අවසානයේ රටේම බෙල්ල තොණ්ඩුවට හිරවන උගුලක් බව සංයුක්ත චිත්‍රයම එකවර දැක අවබෝධ කරගත යුතුය.

මේ අනුව ජිනීවා යෝජනා යනු උගත් පාඩම් කොමිසම යන රූසපුව පෙන්නා යුධ අපරාධ  නැමති මෝහිනියට අප බිලි දීමේ බටහිරයන්ගේ අරමුණ බව යථා සිහියෙන් අප වටහා ගත යුතුය. යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතීන් ආදී ආභරණ පැලඳවූ දුටුවනම වශීවන තරමට ආකර්ෂණීය සුරූපිනියට අකමැති වන්නේ ඇයිදැයි සමහරෙකු ප්‍රශ්න කරන්නේ එය වැටහී ගොස් නොමැති බැවිනි.මෝහිණියගේ අතේ ඇති දරුවා ගැනද ඊනියා මානවහිතවාදීන් අදහස් පළකරනු දැකිය හැක.
උගත් පාඩම් කොමිසමක් පත් කිරීමේදීම අපි බටහිර උගුලට අඩිය තැබූ  වග අනාගතය  කලින් දුටු වියතුන් විසින්  ආරම්භයේදීම පෙන්වා දුන් නමුත් බටහිර සතුටු කර අපට නිදහස් විය හැකි යැයි සිතූ සහ එයට උඩගෙඩි දුන් ඊනියා උගතුන්ට එය නොවැටහිණ.කල්ගැනීමේ උපායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් යතාර්ථවාදී නොවන ඉටු කළ නොහැකි කොන්දේසි වලින් වාර්ථාව පිරෙන්නේ නැත.ඒ කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසමෙන් කරුණු වල කළ හැකි නොහැකි ප්‍රමාණය හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කළ කොමිෂමකි. එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත. සියලු යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි. අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කළ යුතු නැත. සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් අපට අමතක කරවන්නට හදන කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.පසුගිය කාලයේ එකා පිට එකා බැගින් ඇමරිකන් ඒජන්තයන් ලංකාවට ආවේත් ඒ සැනින් උතුරට දිවගොස් කොටි හිතවාදී පූජකයන් සහ එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ගෙන් කේලම් ආසා ඒවා දේව වාක්‍ය ලෙස හිස් මුදුනින් ගෙන නැවත ගියේත් නිකන්ම නොවේ. ඔවුන්ට දිගු කාලීන න්‍යායපත්‍රයක් තිබේ. මේ සියලු ජවනිකා ඒ පිටපතට අනුකූල ඒවාය.
මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ. උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් , යුද්ධයේ අවසන් දින කිහිපය කොටි නායකයන්ගේ ඝාතන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන තැනට අදාළ
යාන්ත්‍රණයක් බල ගැන්වීමටත් ,  ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත. ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය තව තවත් අවුළුවන පන්නයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත. එමගින් ඊළාම් පිපාසය අවුළුවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත. ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් එහිදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත. ඒ හරහා ඇතිවන ආර්ථික පීඩනය හමුවේ ජනතාව අරාබිය පුරා අත්හදා බැලූ ලේ හලන විනාශයකට වුව පොළඹවා ගැනීමට හැකියාවක් ඇතැයි මේ මොළකරුවන් තක්සේරු කර ඇති බවට සැක නැත.අතනින් මෙතනින් ජනතා උද්ඝෝෂණ යැයි කියමින් පසුගිය කාලයේ සිදුකළ අත්හදාබැලීම් ඔවුන්ට ඒ සඳහා උපකාරී වන්නටද ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රකරණය , යහ පාලනය ආදී ආකර්ෂණීය වචන අස්සේ දවටා ජිනීවා හරහා ගෙන එන්නේ කාල බෝම්බයක් බව පැහැදිලිය. දවටනය ඉවත් කළද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් එය බටහිරටන්ට අවසි වේලාවට පුපුරා යනු ඇත.
එබැවින් ජිනීවා යෝජනාව හරහා යුධ අපරාධ නැමති මෝහිනියට බිලි දීමට  බටහිරයන් කටයුතු කරමින් සිටින බවත් එය හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බව අප වටහා ගත යුතුය.

ජිනීවා  තර්ජනය කාටද?

මෑතක් වන තුරුම බොහෝ දෙනා මේ ජිනීවා යෝජනා ආණ්ඩුවට එර්හි යෝජනා ලෙස මිස රටට එරෙහි යෝජනා ලෙස හඳුනා ගෙන නොතිබිණ.විශේෂයෙන් ජවිපෙ ආකර්ෂණීය කතිකයන් මෙන්ම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ එජාප මහත්වරු මේ කතාව නිතර කියනු ඇසිණ.එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මේ අනතුරේ බරපතල කම අඩු කරන්නටත් , ආණ්ඩු විරොධී ජනතාව මේ රටට එරෙහි යෝජනාවටද පක්ෂ වන තැනට සමාජ  මතය හදන්නටත්ය. කලින්ද සඳහන් කළ පරිදි මේ අප පෙලන මජර පක්ෂ දේශපාලනයේ උරුම කරුමයයි. ආණ්ඩුවට විරුද්ධ වීමට කරුණු ඕනෑතරම් තිබියදී ඒවාට වඩා ජිනීවා මෙහෙයුම ගැන මේ කණ්ඩායම් වැඩි බලාපොරොත්ත්තු තබාගෙන සිටින්නේ බටහිරයන් කඩන ගෙඩිය තම ඔඩොක්කුවට වැටේ යැයි අපේක්ෂාවෙනි. නමුත් ඉතිහාසය අපට මතක් කර දෙන්නේ බටහිරයන් අනුන්ගේ ඔඩොක්කුවලට වැටෙන්නට ගෙඩි කඩන ජාතියක් නොවන බවය. ඔඩොක්කුවට වැටෙන්නට වගේ පෙනුනත් අවසන් මොහොතේ හෝ ඔවුන් එය ඩැහැගන්නා අයුරු මැදපෙරදිග කලාපය පුරා පසුගිය කාලයේ අවශ්‍ය පමණටත් වඩා උදාහරණවලින් පෙනේ.



කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions