11/14/2020

අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය

කතෘ:යුතුකම     11/14/2020   No comments
 

ගුණදාස අමරසේකර මහතා පිළිබ‍ද මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා පසුගිය දිවයින පුවත්පතට ලියූ ලිපියට පිළිතුරක්.....
[2020 නොවැම්බර් 15 ඉරිදා දිවයින]

අමරසේකරගේ පටුකම සහ අමරකීර්තිලාගේ විසල් දේශපාලනය
===================================
භාෂා ක්‍රීඩාවේ විවිධාකාර හරඹ ඔස්සේ ඇත්ත නැත්ත කළ හැකි ආකාරය ගැන මට වඩා හොඳ න්‍යායික අවබෝධයක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාට ඇතැයි සිතමි. මා ප්‍රායෝගික දේශපාලනයේ අත්දැකීම් ඇසුරින් වටහාගෙන ඇති මේ කාරණය අමරකීර්ති සනාථ කර ඇත්තේ විවිධ දාර්ශනිකයන්ගේ තර්ක විතර්කද උපුටා දක්වමිනි. තමන්ටම වූ ස්වාධීන චින්තන ශක්තියක් නැති බොහෝ දෙනා අනුන්ගේ කෝටේෂන් මත යැපීම ලංකාවේ ශාස්ත්‍රීය සංවාද තුළ සුලබ කරුණක් වුවද අමරකීර්ති එවැන්නෙකු යැයි මම නොකියමි. අමරකීර්තිගේ බොහෝ රචනා තුළ ඇති ව්‍යාජත්වය උපදිනුයේ ඔහුගේ චින්තනමය ගැටලුවකට වඩා ඔහු නියෝජනය කරන දේශපාලනය තුළින්ය යන කාරණය සිහියේ තබාගනිමින් ගුණදාස අමරසේකර මහතා ගැන පසුගිය දිවයිනට අමරකීර්ති ලියූ ලිපිය ගැන යමක් කීමට බලාපොරොත්තු වෙමි.
අමරකීර්ති වනාහී කාලයක සිට අමරසේකරගේ ජාතිකවාදයට එරෙහි සැර විවේචකයෙකි. මැක්කා ගැන කවුදෝ ලියූ රචනාව මෙන් අමරකීර්තිගේ බොහෝ රචනා කෙළවර වන්නේ කොහෙන් හෝ අමරසේකරට ටොක්කක් ඇනීමෙනි. ඔහුට අමරසේකර ගැන ඇති ප්‍රශ්නය සාහිත්‍ය දාර්ශනික කාරණයකට වඩා දේශපාලන ප්‍රශ්නයක් වන බැවින් අමරකීර්තිගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අමතක කොට මේ ගැන කතා කළ හැකි නොවේ. එදා අමරසේකර ජවිපෙ ඇතුළු ජාතිකවාදී බලවේග හා එක්ව කටයුතු කරන සමයේ අමරකීර්තිලා ඒ දේශපාලන ප්‍රවාහය දැඩිව විවේචනය කළෝය. 2008න් පසු ජවිපෙ තම දේශපාලන උපායමාර්ගය සපුරා වෙනස් කිරීමෙන් පසු අමරකීර්තිලාගේ පරම ආශීර්වාදය ජවිපෙ හා පෙරටුගාමී පක්ෂයට හිමිවිය. 2015 දී අමරකීර්ති එජාපය බලයට ගෙන ඒම සඳහා උද්යෝගයෙන් පෙනී සිටියේය. ඉන් ටික කලකට පසු ඔහු ජවිපෙ ප්‍රබල ආධාරකරුවෙක් බවට පත් විය. අමරකීර්ති, අමරසේකර ගැන කියන දේවල් විමසිය යුත්තේ මේ දේශපාලන පසුබිමද සිහියේ තබා ගනිමිනි. එසේ නැතහොත් අමරසේකරගේ පටු මතවාද ගැන කියමින්, විසල් චින්තනයක් ගැන කතා කරන අමරකීර්තිගේ ලස්සන වචනවල සැබෑ ස්වරූපය වටහාගැනීම අසීරු වනු ඇත. මින් ඉදිරියට මා අපේක්ෂා කරනුයේ අමරකීර්ති නියෝජනය කළ දේශපාලන කඳවුර හා අමරසේකර නියෝජනය කළ දේශපාලන කඳවුරේ මැදිහත් වීම සසඳමින් ඔහුගේ අදහස්වලට ප්‍රතිචාරයක් දැක්වීමය.

ජාතිවාදය හා බෙදුම්වාදය
------------------------
අමරසේකරගේ කඳවුර එදා සිටම පෙනී සිටියේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට හා මුස්ලිම් අන්තවාදයට එරෙහිවය. එපමණක් නොවේ. ඔහු ඇතැම් සිංහල ජාතිවාදීන්ගේ ක්‍රියාකලාපයටද එරෙහි විය. එහෙත් අමරකීර්තිගේ කඳවුර එදා සිටම කළේ දෙමළ ජාතිවාදය, බෙදුම්වාදය පමණක් නොව දෙමළ ත්‍රස්තවාදය පවා ආරක්ෂා කිරීමය. කොටි ත්‍රස්තවාදයට පෙම් කවි ලියන, ත්‍රස්තවාදයේ පරාජය මානව ඉතිහාසයට සිදුවූ ලොකුම හානිය ලෙස ගනිමින් හඬා වැළපෙන සමාජ වෛරක්කාරයන් බිහිවූයේ ඒ කඳවුර තුළිනි. පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම මේ කඳවුර ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් ඇති බව හෝ පිළිගත්තේ නැත. ඔවුන්ගේ එකම පිළිවෙත වූයේ ඒ සැබෑ ජාතිවාදයේ අනතුර පෙන්වා දෙන පුද්ගලයන්ට ජාතිවාදී චෝදනා දමා ගැසීමය. 2014 අලුත්ගම ගැටුම අවස්ථාවේදී සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින් පළ කළ පුවත්පත් නිවේදනවලට අමරකීර්ති ඇතුළු බොහෝ දෙනා අත්සන් තබනුයේ ඒ අනුවය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කඳවුරේ විසල් මනසැති වීරයන් දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් සාධාරණීකරණය කරමින් කළ කී දේවල් ගැන අවශ්‍ය නම් ඕනෑ තරම් උදාහරණ පෙන්වා දිය හැකිය. ඔවුන්ගේ ඊනියා ජාතිවාද විරෝධය ගණිකාවගේ පතිවතටත් වඩා දරුණු විහිළුවකි. උග්‍ර සිංහල බෞද්ධ විරෝධයේ මනෝව්‍යාධිය හැර කිසිදු සැබෑ ජාතිවාද විරෝධයක් මේ කඳවුර තුළ නැත. එදා සිටම ඔවුන්ගේ පිළිවෙත වූයේ සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින්, නැති සිංහල ජාතිවාදයකට පමණක් පහරදෙමින්, ඊට එරෙහිව සැබෑවට ක්‍රියාත්මක වන ඕනෑම ජාතිවාදයකට මතවාදී ආවරණ සැපයීම පමණි.

නාමික බටහිර විරෝධය
-----------------------
අමරකීර්ති ඔහුගේ වෙනත් සමහර රචනාවල මෙන්ම මේ ලිපියේ ඇතැම් තැන්වලද තමා බටහිර අධිරාජ්‍යවාදයට විරුද්ධ බව පෙන්වීමට උත්සාහ කරයි. ඔහු චීන අධිරාජ්‍යවාදය බටහිර අධිරාජ්‍යවාදයට සමාන කර පෙන්වීම එවැනි එක් අවස්ථාවකි. මේ ව්‍යාජ බටහිර විරෝධය ඉතා අපූරු එකකි. එය මාස කීපයකට පෙර එම්සීසී ගිවිසුම ක්‍රියාත්මක කොට, ආණ්ඩු මාරුවෙන් පසු හදිසියේ පරම එම්සීසී විරෝධීන් වී සිටින සමගි ජනබලවේගයේ ඇමරිකන් විරෝධයට නොදෙවනි විහිළුවකි. අමරකීර්තිගේ කඳවුරේ පිළිවෙත වනුයේ ක්‍රියාවෙන් සියලු අහිතකර විදෙස් මැදිහත් වීම්වලට සහය පළ කරමින්, වාචිකව පමණක් බටහිර විරෝධී ප්‍රකාශ ඉඳහිට නිකුත් කිරීමය. සැබෑවට ඒ මැදිහත් වීම්වලට එරෙහි වන බලවේග සමච්චලයට හා විවේචනයට ලක් කිරීමය. බටහිර කුමන්ත්‍රණ ආදිය හුදු බලය ලබාගැනීම සඳහා මවා පෙන්වන බොරු බිල්ලන් බව සමාජයට ඇඟවීමය. අමරකීර්තිගේ කඳවුර, ඔහු සහය දුන් දේශපාලන පක්ෂ පසුගිය දශක ගණනාවක් පුරාවටම විනාශකාරී විදෙස් අතපෙවීම්වලට ආධාර අනුබල ලබා දුන් ආකාරය ගැන අවශ්‍ය නම් නිශ්චිත කරුණු සහිතව කතා කරමු. අමරකීර්තිට අද චීන විරෝධය මත පදනම්ව හෝ බටහිර ගැන විවේචනය කරන්නට සිදුවීම එක අතකට හොඳ දෙයකි. නමුත් ඔහුගේ රචනා කියවන පාඨකයන් මේ බොරුවලින් මුලාවට පත් විය යුතු නැත.

චීන විරෝධයේ ඇත්ත සහ බොරුව
---------------------------------
මීළඟට අමරකීර්තිගේ චීන විරෝධයද ඔහුගේ කඳවුර කාලයක් තිස්සේ තලු මරමින් සිටින තවත් එක් දේශපාලන සටන් පාඨයකි. අපූරු කාරණය වන්නේ ලංකාව තුළ මේ චීන විරෝධය තලු මරන බොහෝ දෙනා බටහිර අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙක් බව පවසන විහිළුකාරයන් වීමය. ජාත්‍යන්තර තලයේදී බටහිර මාධ්‍ය මගින් ගෙන යන මේ චීන විරෝධයේ දේශීය නියෝජිතයන් වන්නේ අමරකීර්තිලාගේ කඳවුරය. ගෝලීය බල දේශපාලනය තුළ කිසිදු රටක භූමිකාව අහිංසක හෝ සර්ව සාධාරණ නැත. නමුත් චීනය ලෝකයට කළ මැදිහත් වීම් සහ බටහිර මැදිහත් වීම් අතර ඇත්තේ අහසට පොළව බදු වෙනසකි. චීනය මහ දවාලේ රටවල්වලට කඩා පැන මිනී මරා නැත. රටවල්වල ආණ්ඩු පෙරළා රූකඩ බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණවලට මැදිහත් වී නැත. ජාතිවාදී ආගම්වාදී ත්‍රස්ත කල්ලිවලට අනුබල දෙමින් රාජ්‍යයන් අස්ථාවර කර නැත. අනෙක් රටවල සංස්කෘතික උරුමයන් විනාශ කොට තමන්ගේ ආගම, සංස්කෘතිය බලහත්කාරයෙන් ව්‍යාප්ත කොට නැත. ලෝක කාරණා පැත්තක තබමු. හැකි නම් ඔය කියන චීන අධිරාජ්‍යවාදයෙන් ලංකාවට සිදුවූ හානිය කුමක්දැයි වාගාලාප රහිත නිශ්චිත කරුණු ඔස්සේ පෙන්වා දෙන්න. එහිදී බොහෝ දෙනා තලුමරන චීන ණය උගුල ගැන සලකා බැලුවොත් එයද ලැම්බෝගිනි, රත්තරන් අස්පයන් පන්නයේ බොරුවකට වැඩි යමක් නොවේ. ලංකාවේ චීන ණය සමස්ත ණය ප්‍රමාණයෙන් සීයට 14ක් පමණි. ඒවාද ලබාගෙන ඇත්තේ හම්බන්තොට වරාය වැනි අතිශය ඵලදායක ව්‍යාපෘති සඳහාය. ඒවායින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට අපට තවමත් බැරිවී ඇත්තේ චීන අධිරාජ්‍යවාදය නිසා නොව දේශීය පාලන තන්ත්‍රයන්ගේ ඔලමොට්ටලකම් නිසාය. හම්බන්තොට වරායේ ඛේදවාචකය පිළිබඳ සවිස්තර කරුණු දැක්වීමක් මගේ “කෙම්බිමට ගමනක්” කෘතියේ ඇතුළත් වන බැවින්, අමරකීර්තිට අවශ්‍ය නම් එය කියවා බැලිය හැකිය. චීන ධනවාදය, බටහිර ධනවාදයට වඩා වෙනස්ද නැද්ද යන කාරණය ගැන හරවත් ශාස්ත්‍රීය සංවාදයක් ඇතිවීම වැදගත්ය. නමුත් එය කළ හැක්කේ බටහිර ගැතිකම ඔස්සේ උපත ලද අධි මාත්‍රාවේ චීන විරෝධයකින් තොරව එහි නියම තතු මැදහත්ව විමසා බැලීමෙනි. අවාසනාව වන්නේ ලංකාවේ චීන විරෝධය මතු කරන කිසිවෙක් මේ දක්වා එවැනි ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විමසා නොතිබීමය.

ඩොලර් කාක්කෝ කවුද?
------------------------
අමරසේකරගේ නවකතා ආදියට ඩොලර් කාක්කන්, එන්ජීඕ කාරයන් ඇතුළත් වී ඔහුගේ සාහිත්‍ය පටුවීම ගැන අමරකීර්තිට පුදුමාකාර දුකක් ඇති වී තිබේ. එන්ජීඕ කාරයන් වැනි කතා හුදු දෘෂ්ටිවාදී ගොඩනැංවීම් පමණක් යැයි ලීවේ නම් අමරකීර්තිට අමරසේකරගේ සාහිත්‍ය විසල් එකක් වන බව අපි දනිමු. අද අමරකීර්ති ආධාර කරමින් සිටින ඇතැම් පක්ෂ තම විරුද්ධවාදීන් ගැන පතුරුවන බොරුවලට සාපේක්ෂව නම් මේ ඩොලර් කතා ඉතා සුළු දේවල්ය. පදනමක් නැතිව ඩොලර් චෝදනා නැගීමේ ප්‍රවණතාවක් මේ රටේ ඇති බව මමද පිළිගනිමි. මා නම් කිසි දිනක කරුණු නොදැන කිසිවෙකුට එවැනි චෝදනාවක් එල්ල කර නැත. ප්‍රායෝගිකව පේන දෑ විවේචනය කිරීමට ඩොලර් ගත්තාද නැද්ද යන කාරණය මට නම් අදාළ වන්නේ නැත. නමුත් මේ ඩොලර් කතා හුදු කිසිවෙකුගේ හිතලු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ලංකාවේ ක්‍රියාත්මක වූ සිය ගණනක් එන්ජීඕ සංවිධාන, ඒවාට සෘජුව හා වක්‍රව සම්බන්ධ පුද්ගලයන්, දෙමළ බෙදුම්වාදය වැනි ප්‍රශ්න හමුවේ ඔවුන්ගේ ක්‍රියා කලාපය, මේ සංවිධානවලට වාර්ෂිකව ලැබුණු අරමුදල් කන්දරාව ආදී දෑ ගැන නිශ්චිත කරුණු කාරණා සොයා බලන්නේ නම් ඒ ගැන අවබෝධය පුළුල් කරගැනීමට අමරකීර්තිට හැකි වනු ඇත.

නල්ලමලේ නූතනවාදය ගැන
----------------------------
මීළඟට නූතනවාදය ගැන අමරකීර්තිගේ තර්කය සලකා බලතොත්, බටහිර නූතනත්වය විසින් ලෝකයට දායාද කළ වැදගත් දේවල් බොහොමයක් ඇති බව මමද පිළිගනිමි. ඒ සියල්ල බැහැරකොට සියලු හොඳ දේවල් උපත ලද්දේ අපේ සංස්කෘතිය තුළින් යැයි කීමේ පිස්සුවක් කිසිදු වැදගත් ජාතිකවාදියෙකු තුළ ඇතැයි මම නොසිතමි. සිංහල සංස්කෘතිය අභ්‍යන්තරයෙන් සංස්කරණය විය යුතු යැයි කියන කාරණය ගැන හෝ වෙනත් සංස්කෘතීන් ඉවසීම හා ඒවා තුළ ඇති වටිනාකම් උකහා ගැනීම වැනි කාරණා ගැනද මට නම් කිසිදු විවාදයක් නැත. මේවා ඇත්තටම සිංහල ජාතිකවාදයේ ප්‍රශ්න නොව, එහි ප්‍රශ්න ලෙස අමරකීර්තිලා හුවා දක්වන්නට උත්සාහ කරන කාරණාය. අප එරෙහි වන්නේ බටහිරයන්ගේ අනිසි මැදිහත්වීම්වලට මිස බටහිරින් එන සියලු දේට නොවේ. නමුත් අමරකීර්තිලාගේ පිළිවෙත වන්නේ සිංහල ජාතිකවාදයේ පටුකම හා ඊනියා විසල් චින්තනයක් ගැන නරිවාදම් දෙසමින් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයේදී සියලු නූතනවාදී වටිනාකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමය. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍යය, නීතියේ ආධිපත්‍යය, සහජීවනය, ජාතිවාද ආගම්වාද පිටුදැකීම ආදී නූතනවාදී ලිබරල් වටිනාකම් ගැන සලකා බලන්න. ලංකා ඉතිහාසය පුරාම මේ වටිනාකම් වැඩිපුරම උල්ලංඝනය කර ඇත්තේ අමරකීර්තිගේද සහය ලැබූ එජාප ජවිපෙ හවුල විසින් මිසක අමරසේකරලා නොවේ. වැඩවසම් මහින්දට එරෙහිව රනිල්ගේ දියුණු ලිබරල් වටිනාකම් ගැන අටුවා ලියන වියතුන් අමරකීර්තිගේ කඳවුර තුළ හිඟ නැත. නමුත් රනිල් යනු කිසිදු ආකාරයක දියුණු ලිබරල් නායකයෙක් නොව, පරගැතිකම පමණක් ඇති කරපින්නා ගත් අන්ත විනාශකාරී නායකයෙකි. සටන් විරාම ගිවිසුම් හරහා බියගුළු ජාතිවාදී ත්‍රස්ත කල්ලියක් ඉදිරියේ රටක් දණ ගැස්වූ දීනයෙකි. 1977න් පසු එජාපයේ ඉමිහිරි ලිබරල් ඉතිහාසය හෝ දෙදාස් ගණන්වල රනිල්ගේ ලිබරල් හපන්කම් අමරකීර්තිට අමතක නම් මෑත කාලීන යහපාලන පස් වසරවත් සිහියට නගා ගන්න. අවශ්‍ය නම් නිශ්චිත කරුණු කාරණා සහිතව අපි මේ ගැන කතා කරමු. ලංකාව තුළ ඔය කියන නූතනවාදී ලිබරල් වටිනාකම් ප්‍රායෝගිකව ආරක්ෂා කළේ අමරසේකරලාගේ කඳවුර මිස අමරකීර්තිලාගේ කඳවුර නොවන බව ළදරුවෙකුට වුවද ඒ ඔස්සේ අවබෝධ කොට ගත හැකි වනු ඇත.

පටු අමරසේකර හා විසල් අමරකීර්ති
----------------------------------
අමරසේකරගේ පටුකම ගැන අවංක විවේචනයක් තිබේ නම් අමරකීර්ති කළ යුත්තේ බටහිර අධිරාජ්‍යවාදය මෙන්ම චීන අධිරාජ්‍යවාදයද නිසි පරිදි කියවා ගත හැකි, අපේ දේවල්වලින් මෙන්ම ලෝකයෙන්ද ආභාසය ලබන, ගැඹුරු මතවාදයක් ගොඩනගමින් රටක් වශයෙන් අප යා යුතු මාවත කුමක්දැයි පෙන්වා දීමය. නමුත් අමරසේකරට බනිමින් එජාප ජවිපෙ හවුලට, බෙදුම්වාදයට, ජාතිවාදයට ආවැඩීම තමන්ගේ ඇහේ පොල් පරාලයක් තිබියදී අනෙකාගේ ඇහේ ඇති රොඞ්ඩ හොයන්නට යාම වැනි නාඩගමකි. ඕනෑම චින්තකයෙකුගේ මෙන්ම අමරසේකරගේ අදහස්වලද ප්‍රශ්න කළ හැකි අඩුපාඩු සීමාකම් තිබීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඔහු රටක් වශයෙන් අප මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වූ ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුම නිසි පරිදි කියවා ගනිමින්, ඊට සාපේක්ෂව නිසි තැන ස්ථානගත වූයේය. අමරකීර්ති ඇතුළු ඔහුගේ කල්ලියේ සියලු දෙනාට අමරසේකර සමග ඇති සැබෑ ආරෝව ඇත්තේ එතැනය. විවිධාකාර බොරු වචන හරඹවල දවටමින් ඔවුන් දිවා රෑ මුදා හරින්නේ මේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ ඇති වෛරය විනා අන් යමක් නොවේ. අමරසේකරගේ අදහස්වල පටුකම් තිබිය හැකිය. එහෙත් ඒ පටුකම්වලින් ප්‍රායෝගිකව මේ රටට සිදුවූ කිසිදු හානියක් නැත. එහෙත් අමරකීර්තිලාගේ විසල් මතවාද මේ රට තුළ ජයග්‍රහණය කළේ නම් අද අපට ජීවත් වීමට සිදුවනුයේ ජාතිවාදී පදනමින් බෙදී මිනී මරාගන්නා තවත් ලිබියාවක් බඳු අරාජික නන්නත්තාර රටක බව අමතක නොකළ යුතුය. ඒ විනාශයෙන් මේ රට ගලවා ගත හැකි වූයේ අමරසේකරලාගේ අදහස් කියවූ, සිංහල පමණක් දන්නා, පටු මිනිසුන්ගේ පටු දැනුමට හා ක්‍රියාකාරීත්වයට පින් සිදුවන්නට බව සිහිපත් කරමින්, පුළුල් මිනිසෙකු වන්නට බැරිවීමේ අභිමානය සිතේ දරාගෙන මේ සටහන අවසාන කරමි.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/26/2020

ජාතිය රැක ගැනීමට විමල් වීරවංශයන් කළ සේවය

කතෘ:යුතුකම     2/26/2020   No comments
[ඉසුරු ප්‍රසංග විසින් රචිත 'විමල් යුගකාරකත්වයේ භූමිකාව' ග්‍රන්ථය වෙනුවෙන් ගුණදාස අමරසේකරයන් තැබූ සටහන]
පසුගිය ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනුවේ හුදෙක් එතුමාගේ පෞරුෂය උඩය යනුවෙන් ඇතමුන් පළ කරන මතය සාවද්‍ය වෙයි. එයින් අදහස් කරන්නේ එතුමාගේ පෞරුෂය ජයග‍්‍රහණය සඳහා හේතු නොවීය යන්න නොවේ. යම් සේ එතුමාගේ පෞරුෂය ඒ සඳහා වැදගත් වීද ඒ පෞරුෂය පිටුපසින් වූ ජාතික බලවේගයද එපමණටම වැදගත් විය. ඒ දෙකේ අන්‍යෝන්‍ය බලපෑමයි ඒ ජයග‍්‍රහණයට හේතු වයේ. 

ඒ ජාතික බලවේගය ඕපපාතිකව පහල වූවක් නොවේ. පසුගිය දශක තුන හතර තුළ මෙරට ජාතිමාමක බුද්ධිමතුන් ගෙන ගිය ජාතික පුනර්ජීවන ව්‍යාපාරයයි ඊට පාදක වූයේ. ඒ ව්‍යාපාරයේ සුල මුල අනගාරික ධර්මපාලයන් විසින් අරඹන ලද ජාතික විමුක්ති සටන තෙක් දිව යයි. 

මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ උන් දේශපාලනඥයන් අතරින් ඒ ජාතික විමුත්කි සටනට වැඩියෙන්ම දායක වූ දේශපාලකයා විමල් වීරවංශ බව මගේ වැටහීමයි. බාගවිට එකම පුද්ගලයාද ඔහු වන්නට පුළුවන. පිලිප් ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ආදීන් ගත් ජාතිකවාදී මඟ යළි පණ පොවා වත්මන් පරපුරට සරිලන සේ ඉදිරිපත් කරන ලද්දේ වීරවංශයන් විසිනි.

විමල් වීරවංශ ලබා දුන් එකී දායකත්වයේ අතීත කතාව සටහන් කිරීමට පළමුව එහි වත්මන් කතාවෙන් මේ සටහන පටන්ගත යුතුයැයි සිතමි.

2015 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමත් සමග ජාතික බලවේග නියෝජනය කළ අප තුළ ඇති වූයේ මහත් කම්පනයකි. දැඩි අනාථභාවයකින් අපි පෙළෙන්නට වීමු. ආප්ප කා රනිල් වික‍්‍රමසිංහ වෙත ගිය මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති වීමත් සමග ජාතික බලවේග යටපත් වී විජාතික බලවේග හිස ඔසවන බව සක්සුදත් සේ පැහැදිලි විය. විපිළිසර වූ මනසින් යුතු අපට ඒ සඳහා අවශ්‍ය පිළියම දැක ගත හැකි නොවීය. ඒ පිළියම අපට පාදා දෙන ලද්දේ විමල් වීරවංශයන් විසිනි. එහි ප‍්‍රතිඵය වූයේ ”මහින්ද සමග නැගිටිමු” යන උද්ඝෝෂණ පාඨය මුල්කරගත් නුගේගොඩ පැවැති දැවැන්ත ජන රැුළියයි. එය කිසිවෙකු නොසිතූ ලෙස අතිශය සාර්ථක විය. මහින්ද රාජපක්ෂ මහතාද එවැන්නක් අපේක්ෂා නොකරන්නට ඇත. අභාග්‍යය නම් අද වන විට ඒ සියල්ල බොහෝ දෙනෙකුට අමතක වී තිබීමයි. සමහරුන් නම් එය උවමනාවෙන්ම අමතක කරන බව පෙනේ.

ඒ රැුළිය හා බැඳුනු මා සිත රැඳී ඇති සැමරුම් කිහිපයක් ප‍්‍රස්තුතයට අදාළ නොවූවද මෙහි බහාලීම වැදගත් යැයි සිතමි. ඒ රැළියේ මුලසුන ගැනීම සඳහා ජනතාවගේ ගෞරවයට පාත‍්‍ර වූ සංඝ පීතෘවරයෙකු සොයා ගැනීම අවශ්‍ය විය. ඒ සඳහා කොළඹ අවට වූ නායක හිමිවරුන් කීපදෙනෙකු වෙත ගොස් අපි ඇරයුම් කළෙමු. උන් වහන්සේලාගෙන් කිසිවෙකු නොවේ අපේ ඇරයුම පිළිගත්තේ. අවසානයේදී අපි ඕමාරේ කස්සප හිමියන්ගේ සහාය ඇතිව දක්ෂිණ ලංකා ප‍්‍රධාන සංඝ නායක පල්ලත්තර සුමන ජෝති හිමියන් සම්බන්ධ කර ගැනීමට තැත් කළෙමු. සුමනජෝති නාහිමියන් මුණ ගැසීම සඳහා ගෙවිඳු කුමාරතුංගත්, මමත් ගාල්ලට ගියෙමු. රෝගී තත්වයේ උන් නායක හිමියන් අපගේ ආරාධනාව පිළිගැනීම ඉමහත් සැනසිල්ලක් විය. අප සමග එහි ගිය වසන්ත දේවසිරි මහතා උන්වහන්සේ සිය මොටෝරියෙන් ගෙන ඒමට පොරොන්දු විය.

ඒ රැළියට සහභාගී වන ලෙස ඒ වන විට විපක්ෂයේ උන් සියලූම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ටත්, වාමාංශික දේශපාලන නායකයන්ටත් අපි ආරාධනා කෙළෙමු. ඔවුුන්ගෙන් වාමාංශික දේශපාලකයන් පමණකි වේදිකාවේ අසුන් ගත්තේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙතුන් දෙනෙක් ජනතාව අතර වූ නමුදු වේදිකාවේ අසුන් ගැනීමට ඔවුහු අකමැති වූහ. දඩබ්බර මනසකින් යුත් කුමාර වෙල්ගම මහතා පමණි අප සමග වේදිකාවේ අසුන් ගත්තේ.
මා මේ කරුණ සඳහන් කළේ අප ආ ගමන කෙතරම් කටු කොහොල් බාධක අතරින් ආ ගමනක්ද යන්න පෙන්වීම සඳහාය.

මා විමල් වීරවංශ මහතා දැන හඳුනාගත්තේ ජේවීපිය විසින් ආරම්භ කරන ලද ”ලංකා” පත‍්‍රයට ඔහු විසින් සපයන ලද ලිපි පෙළක් මඟිනුයි. ඒ ලිපි ජේවීපියට වැළඳී තිබූ මාක්සවාදී බරවායෙන් මිදුණු මනසක් ඇත්තෙකු විසින් ලියන ලද ඒවා බව මට වැටහිණි. එපමණක් නොව ජාතිකවාදී ස්ථාවරයක්ද ඒවා තුළ ගැබ්ව තිබිණි. ඒ වන විට ම විසින්ද ”ගනඳුරු මැදියම දකිනෙමි අරුණළු” කෘතිය මගින් ජේවීපිය ජාතිකවාදී ස්ථාවරයක් වෙත එළඹීමේ වැදගත්කම පෙන්වා දී තිබිණි. අප දෙදෙනා ඔවුනොවුන් වෙත ළං වූයේ මේ අයුරිනි.

එහි ප‍්‍රතිඵලය වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නොමඳ අනුග‍්‍රහය මත දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ආරම්භ වීමයි. ඒ අනුග‍්‍රහය පිටුපසින් සිටි පුද්ගලයන් සිව්දෙනා සෝමවංශ අමරසිංහ, විමල් වීරවංශ, වසන්ත බණ්ඩාර සහ සේනාරත්න සිල්වා බව මගේ වැටහීමයි. ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සහභාගීත්වයද අපට විශාල ශක්තියක් විය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයට රට පුරා රස්වීම් විශාල ප‍්‍රමාණයක් සංවිධානය කිරීමට හැකි වූයේ ජනතා විමුක්ති පෙරමුණේ අනුග‍්‍රහය ලබාගැනීමට හැකිවී තිබූ බැවිනි. ඒ සඳහා පුරෝගාමීව කටයුතු කළේ විමල් වීරවංශයි.

ජේවීපියත් ජාතිහිතෛෂී බලවේගත් අතර ඇතිවූ මේ සංයෝගය ඇතැම් ජේවීපී සාමාජිකයන්ගේද ප‍්‍රසාදයට හේතු නොවිණ. සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයකින් තොරවූ ජාතික බලවේගවලට කිසිදු ශක්තියක් නොමැති බවයි ඔවුන්ගේ අදහස වූයේ. මීට හේතුව මතවාද සතු ශක්‍යතාවය පිළිබඳව ඔවුන් තුළ වූ අනවබෝධයයි. මුළු මහත් ජනතාවකගේ මනසට ආමන්ත‍්‍රණය කරන මතවාදයකට සංවිධානාත්මක දේශපාලන ව්‍යුහයක් ඉක්මවා සිටින ශක්තියක් තිබේ. මීට හොඳම නිදසුන ලෙස මා දකින්නේ මේ රට තුළ මහා චින්තන විප්ලවයක් සිදු කළ අනගාරික ධර්මපාලතුමාගේ ව්‍යාපාරයයි. එතුමාට එවැනි සංවිධාන - දේපාලන ව්‍යූහයක් නොතිබුණි. තිබුණේ ජාතික මනස අවදි කිරීමට සමත් වූ ජාතිකත්වය මත පදනම්වූ ප‍්‍රබල මතවාදයකි. දේශහිතෛෂී ව්‍යාපාරයටද එවැනි ප‍්‍රබල මතවාදයක් තිබිණ. මෙදා ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජයග‍්‍රහණයට හේතු වූයේ එම ප‍්‍රබල ජාතික මතවාදය නොවේද?

ජාතික බලවේගත් , ජේවීපියත් අතර ඇතිවූ මේ සුසංයෝගය රටට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද මහත් ඵල මහානිසංස අත්කර දුන් බව මගේ වැටහීමයි. 2000 වසරේ පැවති ඡන්දයෙන් ජේවීපියට ලබාගත හැකිවූයේ ආසන 10ක් පමණි. 2001 දී ශ‍්‍රීලනිප සමග එක්වී සාදන ලද පරිවාස ආණ්ඩුවට සහභාගී වීම නිසා ඉන්පසු පැවති මැතිවරණයෙන් ආසන 16ක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. ඉන් ඉක්බිතිව 2005 දී ශි‍්‍රලනිපය සමග එක්වීම නිසා ආසන 42 ක් ලබාගැනීමට ජේවීපිය සමත් විය. ඒ සුසංයෝගයේ ගෞරවය හිමිවිය යුතු තැනැත්තා විමල් වීරවංශයි.

මේ සුසංයෝගය නිසයි 13 වන සංශෝධනය මගින් එක් කරන ලද උතුර සහ නැගෙනහිර වෙන් කරගත හැකිවූයේ. ඊට අදාළ නඩුව සඳහා නීතිඥයන් සොයා ගැනීමේ කාර්යය පැවරුණේ මා වෙතය. මගේ මිතුරන් වන එච්. එල්. ද සිල්වා, එස්. එල්. ගුණසේකර, ගෝමින් දයාසිරි යන දේශපේ‍්‍රමී නිතිඥයන් ඊට එක් කිරීමට මම සමත්වීමි. ඒ සඳහා අවශ්‍ය මුස්ලිම් පෙත්සම්කරු සොයාගනු ලැබුවේ විමල් වීරවංශ විසිනි. උතුරු නැගෙනහිර වෙන්කර ගැනීම ඒ සුසංයෝගය ලද මහා ජයග‍්‍රහණයක් විය.

2007 දී අයවැය ඉදිරිපත් කිරීමේදී මහින්ද රාජපක්ෂ රජය බේරාගනු ලැබුවේ මේ සුසංයෝගය විසිනි. එදා මහින්ද රාජපක්ෂ රජය පරාජය වූවා නම් ඒ රජය පමණක් නොව මුලූ රටමද පරාජය වනවා නිසැකය. ප‍්‍රභාකරන් පැරදවීමේ සටන එයින් ඉවර වන්නට තිබුණි. ප‍්‍රභාකරන්ට එරෙහිව සටන් වදින ලෙස රජයට බල කර සිටියේ මේ සුසංයෝගයයි.
ජාතිකවාදය වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ සහ සෝමවංශ ජේවීපියෙන් ඈත් වීමත් සමග මේ සුසංයෝගය බිඳ වැටිණි. ජේවීපියේ ඡන්ද ප‍්‍රතිශතය අද වන විට 3% දක්වා පල්ලම් බැස ඇත්තේ එහි ප‍්‍රතිඵලය වශයෙන් නොවේද? ජේවිපිය අද මෙහෙයවනු ලබන්නේ මාක්ස්වාදය විසින් නොව අවස්ථාවාදය විසිනුයි. ඊනියා දූෂණ විරෝධී සායම අතුල්ලා ගැනීමෙන් ඒ අවස්ථාවාදය වසන් කළ හැකි නොවේ.

2010 දී විමල් වීරවංශ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම ගෙනා යුද අපරාධ චෝදනාවලට එරෙහිව උපවාසයක යෙදුනේය. එවේලෙහි එය ඇතමුන්ගේ උසුළු විසුළුවලට භාජනය වූ හැටි අපි දුටුවෙමු. ඒ උසුළු විසුළුවල ප‍්‍රතිඵල දැන් අපි අත් විඳිමු. දැන් ඒ චෝදනා රට දෙකඩ කරන තත්ත්වයට වර්ධනය වී තිබේ. වීරවංශ එදා නැගූ විරෝධය මහා මහජන විරෝධයක් බවට පත් කළේ නම් මේ උවදුර අවම කර ගැනීමට අපට හැකිවන්නට තිබුණා නොවේද? සිය දුෂ්ට සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට පෙර විජාතික සතුරන්ට දෙවරක් සිතීමට සැලැස්විය හැකිව තිබුණා නොවේද? අප කළේ වීරවංශයන් නිගාවට ලක් කර පාලූ ගෙයි වළං බිඳීමට ඉඩදී ඔවුන් ඉදිරියේ දණ ගැසීමයි. එහි ප‍්‍රතිඵල දැන් අප අත් විඳිමු.

විමල් වීරවංශයන් අනුගමනය කළ ජාතික මතවාදය නිසා ඔහුත් මහින්ද රාජපක්ෂ රජයත් අතර මත ගැටුම් ඇතිවූ සැටි අපි දුටුවෙමු. රාජපක්ෂ රජය අනුගමනය කළ නව ලිබරල්වාදී ආර්ථිකය ඇතුළු සමහර ප‍්‍රතිපත්ති ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් විය. එවේලෙහි විමල් වීරවංශ ඒ රජය තුළ රැඳී සිටියේ රටේ ජාතියේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා යැයි මම සිතමි. 

වීරවංශ ගෙන ගිය ඒ සටන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණයෙන් මස්තකප‍්‍රාප්ත වී ඇතැයි සිතුවහොත් එය අතිශය මුලාවකි. ගෝඨාභය ජයග‍්‍රහණයෙන් සිදුවී ඇත්තේ ඒ සටනට අත හිත දෙන නායකයෙකු දේශපාලන කරලියට සම්ප‍්‍රාප්ත වීම පමණි. ජාතික සටනට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් ඇතිවීම පමණි. ඒ ජාතිික සටන අඩපණ කිරීමට මෙරට පිටරට දෙරටේම සිටින සිියලූ සතුරු බලවේග තව ටික දිනකින් කල එළි බසිනු ඇත. මේ රජය තුළින්ම ඒවා මෝදු වන්නට පුළුවන. එබැවින් විමල් වීරවංශයන් ප‍්‍රධාන ජාතික බලවේගයන් මුහුණ පා ඇත්තේ නොනිමි සටනකටය. ඒ සටනට නායකත්වය දීමට විමල් වීරවංශයන් සූදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ධෛර්ය, කැපවීම, ඔහු සතු වේවා යන්න අපගේ ප‍්‍රාර්ථනයයි.
සිය දේශපාලන දිවියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර භූමිකාවට විසි වසරක් පිරෙන මේ මොහොතේ අපි ඔබට සුභ පතමු.

සාහිත්‍යශූරී ආචාර්ය ගුණදාස අමරසේකර

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/03/2019

එජාපයේ ම්ලේච්ඡ ඉතිහාසයෙන් බිඳක්...

කතෘ:යුතුකම     11/03/2019   No comments
- ඉසුරු ප්‍රසංග -
> 1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් එජාපය ජය ගැනීම සහ එයින් පසු පොලීසි සඳහා සතියක් නිවාඩු ලබා දී විරුද්ධවාදීන් මර්දනය කිරීම. එහිදී....

මිනිස් ඝාතන 6ක්
නිවාස ගිනි තැබීම් 37ක්
පහරදීම් හා මංකොල්ලකෑම් 1400ක්
දේශපාලන පලිගැනීම් ලෙස සේවයෙන් පහකිරීම් 18462ක්
ස්ථාන මාරුකිරීම් 72881ක් වාර්තා විය.

> 1977 අගෝස්තු 17 වැනිදා සිදුකළ ජාතිවාදී කෝලාහලවලින් විශාල පිරිසක් පීඩාවට පත් කිරීම. එහිදී...

පුද්ගල ඝාතන 100ක්
ස්ත්‍රී දූෂණ 284ක්
නිවාස ගිනි තැබීම් 8088ක්
දේපල මංකොල්ලකෑම් 20776ක්
පහරදීම් 40000ක් වාර්තා විය.

> 1978 පෙබරවාරි 4 වැනිදා ජේ. ආර්. ජයවර්ධන ප්‍රථම විධායක ජනපති ලෙස දිවුරුම් දීම සහ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම.

> 1978. 11. 20 ගෙන ආ පළමු ව්‍යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තම ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියා අක්‍රිය කිරීම.

> සරසවි සිසුන් මර්දනය සඳහා 1978 වසරේදී නව විශ්ව විද්‍යාල පනත සම්මත කර ගැනීම. මේ කාලයේදී ශිෂ්‍ය මර්දන ක්‍රියා, පාතාල මැර පිරිස් යොදවා කළ පහරදීම්ද සුලබව වාර්තා වූ අතර රනිල් වික්‍රමසිංහ ඊට සක්‍රියව දායක වී ඇත.

> 1978 මාර්තු 16 වැනිදා කැළණි සරසවියේ ඇතිවූ ගැටුමකින් ක්‍රිස්ටෝපර් ජයතිලක නමැති මැරයා මරණයට පත්වූ අතර ජනාධිපතිවරයා ඔහුගේ අවමගුලට සහභාගී වීම.

> ස්ත්‍රී දූෂණයක් නිසා සිරගතව සිටි ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවක් ලබාදී සාම විනිසුරු පදවියක් පිරිනැමීම. ගෝනවල සුනිල් රනිල් වික්‍රමසිංහගේද සමීප මිතුරෙකි.

> පඩි වැඩිවීමක් ඉල්ලා 1980 ජුනි 5 වෙනිදා සිදුකල පිකටින් ව්‍යාපාරයට මැර ප්‍රහාර එල්ල කොට ඩී. සෝමපාල මහතා මරා දැමීම.

> 1980 ජූලි 17 වැනිදා රුපියල් 300ක පඩි වැඩි වීමක් ඉල්ලා පැවති ජූලි වර්ජනයෙන් 40356 කට රැකියා අහිමි කිරීම. මෙහිදී පහරදීම්, සිරගත කිරීම් නිසා සිත් තැවුලට පත් වර්ජකයෝ 39 දෙනෙක් සිය දිවි හානි කොට ගත්හ.

> 1981 ජනවාරි 21 වැනිදා අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති උද්ඝෝෂණයට එල්ල කළ බරපතළ ප්‍රහාරය. මෙහිදී අශ්වයන් ලවා පෑගීමෙන් සිසුන් කීප දෙනෙක් සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්විය.

> 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදී ඇතිවූ ගැටුම් අතරතුර ආණ්ඩුවේ මැර පිරිස් දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වූ යාපනය පුස්තකාලයට ගිනිතැබීම. වටිනා පොත් 90000ක් එහිදී විනාශයට පත්විය.

> ඡන්ද පෙට්ටි අතුරුදන්වීම්, හොර ඡන්ද දැමීම්, බිය ගැන්වීම් රැසක් යටතේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වීම. මෙය මහා පරිමාණයෙන් අයථා ක්‍රියා සිදුවූ ලංකාවේ පළමු මැතිවරණය ලෙස ඉතිහාසයට එක් වෙයි.

> විරුද්ධ පක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කොට, නියමිත කාලයට පෙර 1982 ඔක්තෝබර් 21 වැනිදා ලංකාවේ පළමු ජනාධිපතිවරණය පැවැත්වීම. මෙහිදී විරුද්ධ අපේක්ෂකයා වූ කොබ්බෑකඩුවගේ ජන්දය පවා වංචනික ලෙස භාවිතා කර තිබිණි.

> 1982 ජූලි 22 වැනිදා බෞද්ධ සම්මේලන ශ්‍රවණාගාරයේ පැවති දේශනයකදී මහාචාර්ය සරත්චන්ද්‍ර ඇතුළු පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල කිරීම.

> ලසසපයේ මන්ත්‍රීවරියක වූ විවියන් ගුණවර්ධනට කොල්ලුපිටිය පොලීසියේදී බිම දමා පහර දීම සහ උසාවියෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයාට උසස්වීමක් පිරිනැමීම.

> හතරවැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තු නිල කාලය මැතිවරණයකින් තොරව දීර්ඝ කර ගැනීමට ජේ. ආර්. ජයවර්ධන කටයුතු කිරීම.

> නක්සලයිට් කුමන්ත්‍රණ කතාවක් නිර්මාණය කොට ඒ යටතේ විජය කුමාරතුංග, හෙක්ටර් කොබ්බෑකඩුව, රත්නසිරි වික්‍රමනායක ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම. මැතිවරණ කල් දැමීමට හේතුව ලෙස එජාපය භාවිතා කළේද මේ නක්සලයිට් කතාවය.

> මහ මැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න විමසීමට 1982 දෙසැම්බර් 22 වැනිදා ජනමත විචාරණයක් පවත්වා ඡන්ද කල් දැමීම.

> රට පුරා හදිසි නීතිය පැනවීම, ශ්‍රිලනිප සංවිධායකවරුන් ඇතුළු විසිදෙනෙක් අත්අඩංගුවට ගැනීම, ඇත්ත පුවත්පතට සහ යාපනයේ පළවූ සුදන්ධිරන් පුවත්පතට සීල් තැබීම, ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානයට සීල් තැබීම, මැර බලය යෙදවීම, ඡන්ද මංකොල්ලකෑම්, බිය ගැන්වීම් ආදී ක්‍රියා මෙහිදී විශාල ලෙස වාර්තා විය. ඡන්ද කොමසාරිස්වරයා පසු කලෙක නිකුත් කළ වාර්තාවක ඒ කරුණු දැක්වේ.

> 1983 ජූලි 24 වැනිදා එජාපයේ අනුග්‍රහයෙන් දෙමළ ජනයාට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීම. (කළු ජූලිය) නිවාස ගිනි තැබීම්, කොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ, පහරදීම්, මිනීමැරුම් රාශියක් මෙහිදී වාර්තා විය.

> කළු ජූලියේ වගකීම වමේ පක්ෂ මත පැටවූ එජාප රජය ජවිපෙ, කොමියුනිට්ස් පක්ෂය, නව සමසමාජ පක්ෂය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය තහනම් කිරීම. (1983 ජූලි 30)

> 1983 දෙසැම්බර් 27 වැනිදා පේරාදෙණිය සරසවිය තුළ පොලීසියක් කිරීම. ඊට එරෙහිව පැවති උද්ඝෝෂණවලදී පද්මසිරි අබේසේකර (ජුනි 19) සහ රෝහණ රත්නායක (ජුනි 21) යන සිසුන් දෙදෙනා ඝාතනයට ලක්විය.

> 1987 ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබමින් ලංකාව පෙඩරල් රාජ්‍යයක් කිරීමට පසුබිම සැකසීම. මේ දේශද්‍රෝහී ගිවිසුම අත්සන් තැබීමට පෙර සරසවි සිසුන් 88ක් ඇතුළු ඊට විරෝධය පළ කළ පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගනු ලැබිණි.

> 1987 ජූලි 28 වැනිදා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් 121 දෙනෙක් මහ පාරේ මරාදැමීම. අනතුරුව රට පුරා ඇතිවූ කලබලවලින් 132ක් ඝාතනයට ලක්ව 712ක් අත්අඩංගුවට පත්විය.

> රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් මේ භීෂණ සමයේදී බටලන්දේ වධකාගාරයක් පවත්වාගෙන ගිය අතර, ඒ තුළ පුද්ගලයන් 100කට අධික ප්‍රමාණයක් ඝාතනයට ලක්ව ඇත.

> 1988 පළාත් සභා මැතිවරණය, 1988 ජනාධිපතිවරණය, 1989 පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම පවත්වන ලද්දේ භීෂණ සමයේ දැඩි ප්‍රජාතන්ත්‍ර විරෝධී පසුබිමක් යටතේය. ගිනි අවි රැගත් මැරයන් ඡන්ද පත්‍රිකා සියල්ල රැගෙන පෙට්ටි පිරවීමේ සිදුවීම් ගණනාවක් වාර්තා විය.

> 1977 සිට එජාපය ආ මේ ගමන දකුණේ දැවැන්ත සන්නද්ධ අරගලයකට පවා පසුබිම සකසමින් රට මහා ඛේදවාචකයට ගොදුරු කළේය. 1988 - 1989 කාලය තුළ ඇතිවූ සන්නද්ධ කැරුල්ල හේතුවෙන් පුද්ගලයන් 67652ක් ඝාතනයට ලක්විය.

මේ අනුර කුමාරලා බොරු විදිමින් සේවය කරන එජාපයේ කතාවෙන් බිඳකි. ලිබරල්වාදී සිවිල් සමාජ අම්බරුවන් ප්‍රජාතන්තවාදය ඉල්ලා සරණ යන මහ දෙවොලේ කතාවෙන් බිඳකි. ඒකාධිපති පාලකයන් ගැන හසරක් නොදැන බොරුවෙන් මුලාවූ නොදරුවන් 2015 රට ගොදුරු කළ රකුසාගේ කතාවෙන් බිඳකි. සර්ව සාධාරණ පාලකයන් ලෝකයේ සිටිය නොහැකිය. එසේ වුවද මේ සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාවලින් කෝටියෙන් එකක්වත් රාජපක්ෂ පාලනය තුළ සිදුවූයේදැයි ඔබම කල්පනා කර බලන්න.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/29/2019

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද?

කතෘ:යුතුකම     7/29/2019   No comments
> මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි. එහෙත් අද මෙය ලෝකය පුරා භාවිත වන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශේෂයක් හැඳින්වීම සඳහාය.

> මද්‍රාසාවල ඉතිහාසය නබිතුමාගේ කාලය දක්වා දිවෙන අතර ඒවා අන්තවාදය පතුරුවන ආයතන බවට පත්වන්නේ මෑතකාලීනව ක්‍රියාත්මක වන වහාබ්වාදී ප්‍රවණතා සමගිනි. අද ලෝකය පුරාම මද්‍රාසාවල ක්‍රියාකාරීත්වය මහත් ගැටලු හා විවේචනයට ලක්වී තිබෙන්නකි.

> ලංකාවේ දැනට ලියාපදිංචි කළ මද්‍රාසා පාසල් 1674ක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ අම්පාර 344ක්, අනුරාධපුරය 66ක්, බදුල්ල 58ක්, මඩකලපුව 148ක්, කොළඹ 61ක්, ගාල්ල 18ක්, ගම්පහ 70ක්, හම්බන්තොට 13ක්, යාපනය 11ක්, කළුතර 59ක්, මහනුවර 120ක්, කෑගල්ල 60ක්, කුරුණෑගල 114ක්, මන්නාරම 44ක්, මාතලේ 32ක්, මාතර 32ක්, මොණරාගල 10ක්, මුලතිව් 5ක්, නුවරඑළිය 21ක්, පොළොන්නරුව 33ක්, පුත්තලම 87ක්, රත්නපුර 27ක්, ත්‍රිකුණාමලය 128ක්, වව්නියාව 13ක් ආදී වශයෙනි. ඊට අමතරව අරාබි විදුහල් 317ක් සහ ඉස්ලාම් අහදියා දහම් පාසල් 277ක් ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොකළ ආයතන තව විශාල ප්‍රමාණයක් තිබිය හැකිය.

> ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10194කි. පිරිවෙන් සංඛ්‍යාව 753කි. ඒ අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාවෙන් හයෙන් එකක ප්‍රමාණයක් සහ ලංකාවේ පිරිවෙන් සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මද්‍රාසා පාසල් ක්‍රියාත්මක වේ. මෙය ජනගහන අනුපාතයට සාපේක්ෂව අති විශාල අගයක් බව වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

> මද්‍රාසා පාසල්වල ඉගැන්වීම්, විෂය නිර්දේශ ආදී කිසිවක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් හෝ සම්බන්ධයක් නැත. මද්‍රාසා පාසල් යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන මගින් පෞද්ගලිකව ආරම්භ පවත්වාගෙන යයි. මේ බොහොමයක් අන්තවාදී රටවල මුදල් ආධාර මත ක්‍රියාත්මක වන අතර ඒ ලැබෙන ආධාර පිළිබඳ කිසිදු නියාමන ක්‍රමවේදයක් නැත.

> මද්‍රාසාවල සිර කඳවුරු මෙන් සිසුන් පාසල් සීමාව තුළ කොටු කරගෙන පූර්ණ නේවාසික අධ්‍යාපනයක් ලබාදෙයි. මාස තුනකට දින කීපයක නිවාඩුවක් පමණක් සිසුන්ට ලැබෙන අතර, සාමාන්‍ය සමාජය සමග ගැටීමට මුසුවීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාන්දර හතරේ පහේ සිට දවස පුරා ආගම, කුරානය, අරාබි බස, ඇතුළු ආගම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මේවායින් ලබා දෙන අතර, ඇතැම් මද්‍රාසාවල වෙනත් විෂයයන්ද සුළු වශයෙන් ඉගැන්වීම සිදුකෙරේ.

> විදේශ රටවල සිසුහු පවා ලංකාවේ මද්‍රාසා පාසල්වල නේවාසික අධ්‍යාපනය ලබති. ඒ අනුව අද ලංකාව ආසියාවටම මොළ සෝදාගත් අන්තවාදීන් නිර්මාණය කර දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

> මද්‍රාසාවල ඉගැන්වීම සඳහා නීත්‍යනුකූල ලෙස මෙන්ම නිත්‍යනුකූල නොවන ලෙසද පැමිණි විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුළ රැඳී සිටිති. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එසේ රැඳී සිටි 600ක පමණ පිරිසක් පිටුවහල් කිරීමට පසුගිය මැයි මාසයේදී රජය කටයුතු කළේය.

> 2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් සියලු දෙනා මද්‍රාසා පාසල්වල අධ්‍යාපනය ලැබූවෝ වෙති.

> ඉන්දියාවේ 1947 වන විට 88ක්ව පැවති මද්‍රාසා පාසල් සංඛ්‍යාව 2006 වනවිට ලක්ෂ පහ දක්වා ඉහළ ගොස් ඇත. ඒ මද්‍රාසා ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳ උදාහරණයකි.

> මද්‍රාසා අහිංසක යැයි සිතන සහජීවන අනාථයන් තවත් සිටී නම් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල් ගැන අධ්‍යයනය කරන්න. මද්‍රාසා පාසල් නිසා එම රටවල අර්බුද ගණනාවක් මතුවී ඇති අතර, එරට රජයන්ට නොයෙක් අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත. ඒ ආශ්‍රිතව පළවූ පුවත්, වාර්තා, ලිපි, නිබන්ධන ගණනාවක් අන්තර් ජාලය තුළ දක්නට ලැබේ.

> පසුගිය 2019 ජනවාරි 29 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම් නායකයකු වන වසීම් රිස්වි අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යවමින් ඉන්දියාවේ සියලු මද්‍රාසා තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ එම ආයතන ඉන්දියාව තුළ අයිඑස්අයිඑස් මතවාද පැතිරවීමට කටයුතු කරන බවට චෝදනා නගමිනි.

> පාකිස්තානයේ මද්‍රාසා පාසල් 30000ක් රජයේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන බව පසුගිය 2019 අප්‍රේල් 29 වැනිදා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඒ පාකිස්තානය තුළ වේගයෙන් ඉහල යන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මද්‍රාසාවලින් ලැබෙන පිටුබලය නිසාය.

> සීයට 96ක් ඉස්ලාම් ආගම අදහන පාකිස්තානයේ බලධාරීන්ට අන්තවාදය සම්බන්ධව එවැනි තීරණ ගැනීමට ධෛර්යයක් තිබුණද සීයට 9.7ක් මුසල්මානුවන් වෙසෙන ලංකාවේ නිවට බලධාරීහු තවමත් මේ අන්තවාදී ෆැක්ටරි දෙස නිහඬව බලා සිටිති.

> කුඩා දරුවන් මහණ කිරීම ගැන කියමින් පොළවේ පස් කන නිරාගමික, රැඩිකල්, හේතුවාදී, මාක්ස්වාදී පුස්සන් මෙතෙක් මේ අන්තවාදී පැක්ටරි ගැන වචනයක් කතා කර නැත. ඒ කුඩා දරුවන් මහණ කිරීමට වඩා කුඩා දරුවන් සිරගත කරගෙන දවස පුරා ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදය ඉගැන්වීම ඔවුන්ගේ මහා මානව හිතවාදයට ගැටලුවක් නොවන නිසාය.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/06/2019

කැකිල්ලේ තීන්දුව ඔස්සේ මුස්ලිම් ඇමතිවරු රටට දෙන පණිවිඩය කුමක්ද?

කතෘ:යුතුකම     6/06/2019   No comments
එක් අන්තවාදී ඇමතිවරයෙකුට එරෙහිව රට පුරා මතුවූ විරෝධයට ප්‍රතිචාර දක්වමින් සියලු මුස්ලිම් ඇමැතිවරැන් ඉල්ලා අස්වීමට ගත් නාටකීය තීරණය ඔස්සේ ඔවුන් අපට ලබාදෙන පණිවිඩ කීපයක් තිබේ. ඒ මොනවාද?

> ත්‍රස්තවාදී වුවද අන්තවාදී වුවද වෙන කුමන වැරැද්දක් කළද ජාතිය මුස්ලිම් නම් තමන් ත්‍රස්තවාදීන් සමග වුවද එකට සිටගන්නා බව පෙන්වීම.

> රට පුරා බෞද්ධ, කිතුනු, හින්දු, ආදී සියලු ජනතාවගෙන් අන්තවාදීන්ට එරෙහිව නැගුණු විරෝධය සමස්ත මුස්ලිම් ජනයාට එරෙහි විරෝධයක් හිංසනයක් ලෙස හුවා දැක්වීම.

> අන්තවාදීන් හා මුස්ලිම් සමාජය එකිනෙකින් වෙන් කිරීම වෙනුවට මුස්ලිම් ඇමැතිවරු, මුස්ලිම් ජනතාව, හා අන්තවාදීන් යන සියල්ලෝ එක කදවුරක් බව පෙන්වා දීම.

> වහාබ් අන්තවාදීන් හා ඊට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් පොදු ජනයා යන බෙදීම වෙනුවට සිංහල මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීමේ ‍සමාජ බෙදුම්වාදයට දායකත්වය සැපයීම.

> අන්තවාදයෙන් බැටකන අන්තවාදයට එරෙහි මුස්ලිම් ජනයා පවා නින්දිත ලෙස පාවා දෙමින් පොදු මුසල්මානුවා සහ අන්තවාදියා එක කදවුරකට ගාල් කිරීම

> පොදු මුස්ලිම් සමාජය ත්‍රස්තවාදයට එරෙහි බව තවදුරටක් විශ්වාස කරන සියලු දෙනාගේ සැබෑ සංහිදියාව තුච්ඡ ලෙස හෑල්ලුවට ලක් කිරීම.

පසුගිය දිනවල තොග පිටින් හමුවන අවි ආයුධ කඩු කිනිසි ගැන තක්කඩි කතා කියමින් රට ගිනි තැබුවේද මේ වගකීම් විරහිත ඇමතිවරැමය. එහිදී මධ්‍යස්ථ හැසිරීමක් පෙන්නුම් කළ කබීර් හෂීම් වැනි ඇමතිවරැන් පවා අද රිෂාඩ් - අසාද් කල්ලිය හා එක්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. පසුගියදා බුදු පිළිම කැඩූ අන්තවාදීන් පොලීසියෙන් බේරාගැනීමට ප්‍රබලයෙක් බලපෑම් කළ බව ප්‍රසිද්ධියේ කීවේ මේ කබීර් හෂීම් මය.

එමෙන්ම පසුගිය දිනවල කබීර් හෂීම්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මුස්ලිම් තරුණයෙක් වහාබ්වාදීන්ගේ වෙඩි පහරට ලක්විය. ඒ මාවනැල්ලේ බුදුපිළිම කැඩූ ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම නිසාය. වෙඩි පහරින් බරපතළ තුවාල ලැබුවද තවම ඒ තරුණයා ජීවත්ව සිටී. අද ඒ තරුණයාට වහාබ්වාදීන් සමග එකට සිටගත් තම ස්වාමියා ගැන කුමක් සිතෙනු ඇතිද?

මේ පිරිස ගෙන ඇත්තේ රටේ සැබෑ සංහිදියාවට අතිශය හානිදායක තීන්දුවකි. ජාතිවාදයට එරෙහිව කතා කිරීම ජාතිවාදය ලෙස අර්ථදක්වන ලංකාවේ විකල්ප හොරිකඩයන් පමණක් මේ තීන්දුවෙන් මහත් අමන්දානන්දයට පත්ව, ඇද්ද තොපිටැයි සිංහල ‍අපෙන් අසමින් මුස්ලිම් ඇමතිලාගේ යහපත ගැන ගුණ ගායනා කරති.

කෙසේ හෝ වේවා මුස්ලිම් ඇමැතිවරු ප්‍රශ්න විසදා ගන්නට එන්නේ මේ ක්‍රමයෙන් නම් ඔවුන්ට නිසි පිළිතුරු දීමට සිංහලයාද සූදානම් විය යුතුය.

එය කළ හැක්කේ ප්‍රචණ්ඩත්වයෙන්, ජාතිවාදයෙන් නොව සිංහලයාගේ සමගිය තුළිනි.

කියන තරමේ ඉලව් බලයක් ලංකාවේ මුස්ලිම් ඡන්දවලට නැති අතර, මෙය අන්තවාදීන්ගේ ශක්තිය ‍හෝ සමගිය ගැන ප්‍රශ්නයක් නොව සිංහලයාගේ අසමගිය හා තකතීරුකම පිළිබද ප්‍රශ්නයකි.

සිංහලයා පක්ෂ පාටවලට නොබෙදී සමගි වේ නම් නරේන්ද්‍ර මෝඩිටත් වඩා පහසුවෙන් අන්තවාදීන්ගෙන් තොර ආණ්ඩුවක් තැනීම අපට පහසුවෙන් කළ හැක්කකි.

ඉදිරියේදී ඒ සදහා පෙළ ගැසීමට මේ සියලු ව්‍යාසනයන් ආශිර්වාදයක් කර ගත හැකි නම් අනාගතයේදී සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ යහපැවැත්ම ගැන කිසිවෙකුට බිය වීමට සිදු නොවේ.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/25/2019

අනුර නානාගේ විශ්වාස භංගයෙන් රිෂාඩුත් රනිලුත් දෙදෙනාම රැකෙන හැටි

කතෘ:යුතුකම     5/25/2019   No comments
ජවිපෙ අනුර කුමාරට හදිසියේම රනිල්ගේ ආණ්ඩුව පෙරළන්නට හිතක් පහළ වී තිබේ. මේ තීරණයත් සමග මෙතෙක් අනුර කුමාරගේ වැඩ නිසා පාරට බහින්නට බැරුව සිටි ජවිපෙ සාමාජිකයන් මේ දිනවල ඉතා සතුටින් කල දවස ගත කරති. අනුර කුමාර රනිල්ට කඬේ යනවා කියූ බයියනේ ඇද්ද තොපිට හූ හූ යැයි කියති. ජවිපෙ සාමාජිකයන්ගේ මොළයටම ගැළපෙන අනුරගේ මෙම අපූරු සූත්තරය ගැන යමක් කීමට සිත් වූයේ ඒ නිසාය.
බෝම්බ ප්‍රහාරයෙන් සති තුනකට පමණ පසුව අනුරට හදිසියේ රනිල් ගැන ඇති විශ්වාසය බිඳී ගියේ කුමක් නිසාද?

මේ වන විට රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. එකාබද්ධය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රිලනිපයේ ඇතැම් මන්ත්‍රීවරු පමණක් නොව එජාපයේ ඇතැම් මන්ත්‍රීවරු පවා ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත්කර තිබිණි. මේ අනුව කුමක් සිදුවිය හැකිදැයි බැලීමට පළමුව වත්මන් පාර්ලිමේන්තුවේ සංයුතිය සලකා බැලිය යුතුය.

එක්සත් ජාතික පක්ෂය - 104 (මින් ආසන 6ක් රිෂාඞ්ගේය.)
ඒකාබද්ධය හා ශ්‍රිලනිපය - 97
දෙමළ සන්ධානය - 15
ජනතා විමුක්ති පෙරමුණ - 6
ඊපීඩීපී - 1
මුස්ලිම් කොන්ග්‍රසය - 1
රතන හිමි (ස්වාධීන) - 1

මේ සංයුතිය අනුව ඒකාබද්ධය, නිදහස් පක්ෂය හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද ටික එකතු වුවද විශ්වාස භංගයට පක්ෂව ඡන්ද 113ක් ලැබේ. එජාපයේ යම් පිරිසක් මීට පක්ෂව ඡන්දය දෙතොත් තත්ත්වය හොඳටම බරපතළය. නිදහස් පක්ෂයේ කීප දෙනෙක් ඊට පක්ෂ නොවී සිටියද එජාපයේ ඡන්දවලින් එය සමතුලිත වීමට ඉඩ ඇත. එසේ වුවහොත් රිෂාඞ් අමාරුවේ වැටෙයි. රිෂාඞ් අමාරුවේ වැටීම යනු ආණ්ඩුවද අමාරුවේ වැටීමකි. අනුර කුමාර නානා අමුතුම පිනුමක් ගසමින් පිටියට පිවිසෙන්නේ එවිටය. ඔහු හදිසියේ අවදි වී රිෂාඞ්ට නොව මුළු ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයක් ඉදිරිපත් කරයි. එසේ කරමින් තමා පට්ට ආණ්ඩු විරෝධියෙක් බවද රටට පෙන්වයි. එහෙත් ඔහුගේ සැබෑ අරමුණ වන්නේ මේ හරහා ආණ්ඩුව සහ රිෂාඞ් යන දෙකම බේරා ගැනීමය. එය සිදුවන්නේ කෙසේද?

රිෂාඞ්ට එරෙහි විශ්වාස භංගය ජයග්‍රහණය කළ හැකි මට්ටමේ තිබුණද සමස්ත ආණ්ඩුවටම එරෙහිව ඉදිරිපත් වන විශ්වාස භංගයක් ප්‍රායෝගිකව ජයග්‍රහණය කිරීමට හැකියාවක් නැත. දෙමළ සන්ධානය රිෂාඞ්ට එරෙහිව ඡන්දය දුන්නද රනිල්ගේ ආණ්ඩුව පෙරළීමට කිසිදා ඡන්දය ලබාදෙන්නේ නැත. එය එසේ වුවද ආසන 104ක් ඇති ආණ්ඩුව පිදුරු ගහෙන් එල්ලී තිබෙන ආණ්ඩුවක් වන බැවින් සුළු ඔලු ගෙඩි එහා මෙහා වීමකින් වුවද ආණ්ඩුව පැරදීමට ඉඩ ඇත. අන්න එතැනදී ආණ්ඩුවට තමන් සමග සිටින රිෂාඞ් බදුර්දීන්ගේ මන්ත්‍රී ආසන 6 අතිශය තීරණාත්මකය. ආණ්ඩුවට පණ බේරා ගැනීම සඳහා රිෂාඞ් නැතිවම බැරිය.

“යූඇන්පී එකේ එකෙක් හරි මට විරුද්ධව ඡන්දේ දුන්නොත් මම ආණ්ඩුවට පක්ෂව ඡන්දෙ දෙන්නේ නෑ... මගේ ආසන හය නැති වුණොත් විශ්වාස භංගයෙන් ආණ්ඩුව පරදිනවා...”

මෙසේ තර්ජනය කරමින් එජාපය බය කිරීමට රිෂාඞ්ට අවස්ථාව ලැබෙන්නේ අනුරගේ විශ්වාස භංගය නිසාය. අනුර කුමාරගේ මෙහෙවර වන්නේ රිෂාඞ්ට එරෙහිව ලැබෙන එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද නතර කරදීමය. රිෂාඞ්ගේ ප්‍රශ්නයේදී දෙකට බෙදීමට නියමිත එජාපය එක්සත් කර දීමය. එවිට රිෂාඩුත් රනිලුත් දෙදෙනාම ආරක්ෂා වෙයි.

අනුර කුමාර 2005 දී රනිල් දිනවීමට කැපවුණේ ජවිපෙ ජනාධිපතිවරණයට තනිව තරඟ කළ යුතු බවට පක්ෂය තුළ රණ්ඩු කරමිනි. ඔහු 2010දී ෆොන්සේකා රූකඩයට මුවා වී රනිල් දිනවීමට සෘජුවම වැඩ කළේය. 2015 දී වටෙන් කැරකී පිනුම් ගසමින් රනිල් දිනවීමට මහන්සි වුණේය. 2018 ඔක්තෝබර් බල පෙරළියේදී ජන රැළි එක පිට එක තියමින් උසාවි ගානේ දුවමින් රනිල් බේරාගැනීමට කටයුතු කළේය. එසේ කළ අනුර අද රනිල්ට එරෙහි විශ්වාස භංගයක් ඔස්සේ රනිල් රැකීමට ඉදිරිපත් වී තිබේ. ඔහු ඇත්තටම රනිල්ගේ පංචායුධය වැනිය. විවිධාකාරයේ ආයුධවලින් මැජික් පෙන්වමින් තමන් රකින මෙවැනි ආරක්ෂකයෙකු රනිල්ට කිසිදාක හමුවන්නේ නැත. ජවිපෙ නොමේරූ ළදරුවන්ට හැර ලෝකයේ ඕනෑම අයෙකුට මේ නාඩගම වැටහෙයි.

අනුර යනු රනිල්ගේ පංචායුධය බව ඔවුන්ට පැහැදිලි කරදීමට වඩා අයිඑස්අයිඑස් කාරයෙකුට දේව කන්‍යාවන් නැති බව පැහැදිලි කර දීම ඉතා පහසුය.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/18/2019

ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්...

කතෘ:යුතුකම     5/18/2019   No comments
අටපාස් ආමිකාරයෙකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි.

> ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මරබිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.

> ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු... හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය... හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි...” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි.

> ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහිවූයේ දෙමළාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි.

> යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති.

> ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී බුදු පොරවල් වීමය. ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහය අවශ්‍ය වේ යැයි සිතමි.

> ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.

> අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැගෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/05/2019

මහින්ද හිමිගේ සිට සීගිරි කවිය දක්වා විහිදෙන මුස්ලිම් විරෝධී සිංහල ජාතිවාදය ගැන අලුත් පරපුරේ හෙළිදරව්ව

කතෘ:යුතුකම     5/05/2019   1 comment


ජාතික රණ දෙරණ මතේ 
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගේ අතේ 
නැළවෙන බව සිතනු පුතේ

ආගම වෙනුවෙන් සටන් කොට මියැදී, දෙව්ලොව ගොස් දේව කන්‍යාවන් 72ක් ලබාගැනීම පිළිබඳ ඉස්ලාම් සංකල්පය එස්. මහින්ද හිමියන්ගේ ඉහත කවිය තුළින් ලබාගත් එකක් බව පසුගිය දිනවල රැඩිකල් තරුණ පිරිසක් විසින් සොයාගෙන තිබිණි. එම විශිෂ්ට සොයාගැනීමට ලැබුණු සමාජ අවධානය නිසාම, ඒ ඔස්සේ වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට පසුගිය දා අලුත් පරපුර ඇතුළු විකල්ප කණ්ඩායම් කීපයක් තීරණය කොට තිබිණි. ඔවුන්ගේ අරමුණ වූයේ මහින්ද හිමිගේ කවිවලින් ඔබ්බට ගොස් පුරාතන සිංහල සාහිත්‍ය තුළින් හෙළිවන රණකාමී සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබඳ කරුණු සොයාබැලීමය. රටේ ප්‍රකට ආචාර්ය මහාචාර්යවරුන්, සාහිත්‍යකරුවන්, විචාරකයන්, කවියන් විශාල පිරිසකගේ මැදිහත් වීමෙන් සිදුකළ මේ පර්යේෂණයෙන් පසු ඒ පිළිබඳ වැදගත් තොරතුරු සම්භාරයක් හෙළි වී තිබේ. කතුවර අධ්‍යාශයට එරෙහිව, ප්‍රති හෙජමොනික බහුමානීය ප්‍රවේශයක් ඔස්සේ පැරණි සාහිත්‍ය නැවත කියැවීමෙන් අනාවරණය කරගත් මේ කරුණු සම්භාරය හමුවේ සිංහල ජාතිකවාදී පිරිස් නන්නත්තාර වී ඇති බව වාර්තා වේ. 

පහත දැක්වෙනුයේ එලෙස අනාවරණය කරගත් මූලික කාරණා කීපයක් පිළිබඳ කෙටි සාරාංශයකි. 

1. මුලින්ම වලාකුළු හරහා පණිවිඩ යැවීමේ තාක්ෂණය සොයාගෙන ඇත්තේ ඉන්දියාවේ විසු කාලිදාස නම් කවියෙකු විසිනි. ඔහු මුලින්ම මේ තාක්ෂණය යොදාගෙන ඇත්තේ පෙම් පණිවිඩ යැවීමට පමණක් වුවද, පසුව මේ තාක්ෂණය කාලිදාසගෙන් සොරාගත් සිංහලයන් මුසල්මානුවන්ට එරෙහි යුධ කටයුතු සඳහා වළාකුළු තාක්ෂණය භාවිත කර ඇත.

2. ඇහි බැමට කෙස් ගසක් ගැටගසා තනා ගත් දුන්නකින් විද මුස්ලිම් වැසියන්ට බරපතළ හානි සිදු කළ රණකාමී සිංහල කාන්තාවක් ගැන සීගිරි කවියක සඳහන් වේ. ඒ කවිය ලියා ඇත්තේ සීගිරිය බැලීමට පැමිණි මොහොමඞ් බොයල නැමැත අසල්වාසී අහිංසක මුස්ලිම් ජාතිකයෙකු විසිනි. 

3. ශක්‍ර දෙවියා සඳ මත හාවෙක් අඳින්නට කටයුතු කළ ආකාරය පොළොන්නරු යුගයේ ලීලාවතී රැජිනගේ කාලයේ රචිත සසඳාවත නම් මහා කාව්‍යයෙන් හෙළිවෙයි. සිංහල වර්ගෝත්තමවාදී දෙවියෙකු වන ශක්‍රගේ අරමුණ වී ඇත්තේ මුස්ලිම්වරුන්ගේ ශුද්ධ සංකේතයක් වන හඳ පලුව අපවිත්‍ර කිරීමය. ශක්‍රයා පළමුව සඳ මත ඌරෙක් අඳින්නට උත්සාහ දරා තිබුණද, පසුව සිවිල් සංවිධානවල බරපතළ විරෝධය හේතුවෙන් උඩින් පල්ලෙන් සාවෙක් කුරුටු ගා පලායාමට ශක්‍රයාට සිදුව තිබේ. 

4. ඉර සහ සඳ රෝද ලෙස සවිකළ හැකි දැවැන්ත රත්තරන් කරත්තයක් ගැන දඹදෙනි යුගයේ රචිත සද්ධර්මරතනාවලියේ සඳහන්ව තිබේ. මුස්ලිම් දිව්‍ය කන්‍යාවන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කර ඇති මේ ශුද්ධ වූ රථය පසුව සිංහල අන්තවාදී සංවිධාන හා සම්බන්ධ දෙවිවරුන් පිරිසක් විසින් පැහැරගෙන තව්තිසාවට ගෙන ගොස් ඇති බව මේ වන විට හෙළිවී තිබේ. 

5. වීණා නාදයක් ඇසුණු විගස වනාන්තර බිඳගෙන එය ඇසීමට පැමිණෙන නයින්, රිලවුන්, ඇතුන්, අශ්වයන් ආදී සත්ත්ව විශේෂ ගණනාවක් කුරුණෑගල යුගයේදී ලංකාවේ ජීවත් වූ බව ගුත්තිල කාව්‍යයෙන් හෙළිවෙයි. පසුව සිංහලයන් විසින් මේ සතුන් අල්ලා පුහුණු කොට මුසල්මානුවන් හපාකෑමට, දෂ්ට කිරීමට හා පහරදීමට යොදාගෙන තිබේ. 

6. පියා මියගිය අසරණ මුස්ලිම් පවුලකට ජීවත්වීම සඳහා දිනපතා රත්තරන් පිහාටුව බැගින් ගෙනැවිත් දුන් හංසයෙක් ගැන හංස සන්දේශයේ සඳහන් වේ. පසුව මේ බව සැලවූ බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ භික්ෂූන් පිරිසක් එම නිවස වටලා සියලු රත්තරන් එකවර ලබාගැනීමේ අරමුණින් එම හන්සයා පැහැරගෙන, දුප්පත් පවුල අනාත කොට ඇති බව වාර්තා වේ. 

7. කරත්ත රෝද වැනි පියවුරු සහ මිටින් ගත හැකි ඉඟවල් සහිත කාන්තාවන් පිරිසක් කෝට්ටේ යුගයේදී මෙරට ජීවත් වී ඇති බව සැළලිහිණි සංදේශයෙන් හෙළිවේ. මේ සිංහල කාන්තාවන් ප්‍රධාන වශයෙන්ම භාවිතා කර ඇත්තේ අල්ලාගේ දෙව්ලොව සිටින කන්‍යාවන් මෙබඳු යැයි පවසා මුස්ලිම් පිරිමි පොළඹවා ගැනීමේ අරමුණෙනි. පසුව එසේ පොළඹවා ගත් පුරුෂයන් පුරුෂ ලිංගය කපා කොට්ටේ රාජධානිය වටා ඇති දිය අගලේ ගිල්වා කිඹුලන්ට කන්නට සැලැස්වූ බව මේ වන විට හෙළිවී තිබේ. 

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com


ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)

https://www.facebook.com/yuthukama

5/02/2019

තවමත් අවංක ජේවීපීකාරයන් රටේ සිටී නම් මේ විවෘත ලිපිය ඔවුන්ටය.

කතෘ:යුතුකම     5/02/2019   No comments

  •  ප්‍රධාන ප්‍රශ්නය ඔබේ ජාතික ලැයිස්තුව තුළ ත්‍රස්තවාදියෙකු සිටීම නොවේ. එය නොදන්නාකම නිසා වූ අතපසුවීමක් යැයි මොහොතකට සිතමු. එහෙත් එදා පටන් කිසිදු මුස්ලිම් අන්තවාදයක් රටේ නැතැයි කියමින්, නැති බෞද්ධ අන්තවාදයකට පහර දෙමින් ඔබේ පක්ෂය අනුගමනය කළ පිළිවෙත කුමක්ද? මුස්ලිම් අන්තවාදයට නොනවත්වා මතවාදීආරක්ෂාව සැපයීම ත්‍රස්තවාදියෙකු ජාතික ලැයිස්තුවේ තබාගෙන සිටීමට වඩා අතිශයින් විනාශකාරීය.
  • සියල්ල සක්සුදක් සේ හෙළිදරව් වී තිබියදී පවා ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට බැරිවූ වැඩ බැරි පාලකයන්ට දැන් බැණ වැදීමෙන් පලක් නැත. වැඩ බැරි දාසලාට රට ගොදුරු කිරීම වෙනුවෙන් ඔබේ නායකයා රටට කී බොරු කන්දරාව මඳකට සිහියට නඟාගන්න.
  • ඔබ පසුගිය දිනවල වැස්ස පින්න නොබලා සම්මත කරගැනීමට වෙහෙසුණු නව ව්‍යවස්ථාවේ විනාශකාරී බව දැන්වත් ඔබට නොවැටහේද? රට කෑලි නමයකට බෙදා, පරිපාලනය දුර්වල කොට, පොලිස් බලතල නැගෙනහිර ජාතිවාදීන් අතට ලබා දී තිබුණේ නම් මේ ත්‍රස්ත තර්ජන හමුවේ රට කුමන ඉරණමකට ගොදුරු වනු ඇත්දැයි ඔබම සිතා බලන්න.
  • ඔබ විසින් කර තබාගෙන ආ විස්ස සම්මත කොට ජනාධිපතිගේ බලතල ජාතිවාදී ඇමතිවරුන් සහිත මේ විගඩම්කාර පාර්ලිමේන්තුවට පවරා දී තිබුණේ නම් මේ වන විට කුමක් සිදුවනු ඇතිද? කිසිදු සෘජු හා දැඩි තීන්දුවක් ගත නොහැකි ආකාරයට රටේ රාජ්‍ය ව්‍යූහය දුර්වල කර අස්ථාවර කර දැමීම කාගේ වුවමනාවක්ද? තව නොබෝ දිනකින් ත්‍රස්තයින් මැඬලීමට හෝ බුර්කා තහනම් කිරීමට ජනපතිට බලතල නැතැයි කියමින් ඔබේ පක්ෂය ඇතුළු රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන ශ්‍රේෂ්ඨාධිකරණයට වුවද යාමට ඉඩ ඇත. ප්‍රවේසම් වන්න.
  • පසුගිය කාලයේදී ඔබේ පක්ෂය මහා උගතුන් ලෙස කරට ගත් පුද්ගලයන් කවුදැයි දැන්වත් හඳුනාගන්න. මේ මොහොතේ හෝ නිර්මාල්, අමරකීර්ති වැනි ඇදුරන්ගේ පුවත්පත් සංවාද, පේස්බුක් ප්‍රොපයිල මොහොතකට පරීක්ෂා කර බලන්න. ත්‍රස්ත ප්‍රහාරවලට වඩා හාමුදුරු කෙනෙකුගේ වචන වැරදීම ප්‍රශ්නයක් වී ඇති මේ ඔල්මාදකාරයන්ගේ හිස් ඔළු තුළ ඇත්තේ උතුරා හැලෙන බෞද්ධ විරෝධය හා සමාජ වෛරය පමණක් බව ඔබටම වටහාගත හැකිවනු ඇත. තමන්ගේ ආත්මීය ප්‍රශ්නයක් වන සිංහල විරෝධය වෙනුවෙන් ලෝකයේ ඇති ඕනෑම ජාතිවාදයක් සුරැකීමට ඔබේ මහා උගතුන් සූදානම්ය. නොබෝ දිනකින් මේ උගතුන්ගේ නිවෙස්වල තිබී බෝම්බ, කඩු කිනිසි පොලීසියට හසුවුවහොත් ඒ ගැනද පුදුම නොවන්න.
  • පසුගිය කාලයේදී හමුදාවට අටපාස් කොල්ලන් යැයි ගරහමින්, කොටි සැමරීමට කොළඹ ඉටිපන්දම් පත්තු කළ අලුත් පරපුරු පෙන්දන් ඔබේ පක්ෂයේ මැතිවරණ ආධාරකරුවන් වූ බව මොහොතකටවත් අමතක නොකරන්න. මෙවැනි හිඟන්නන් ඔබේ මැතිවරණ වේදිකාවට නංවා ගැනීමෙන් ඔබට අත්වන විශිෂ්ට ජයග්‍රහණ ගැන අප කල් තියා අනාවැකි කීවෙමු. ඒ සියල්ල නැවත නැවතත් නිවැරදි වූයේ කෙසේදැයි මඳකට සිතා බලන්න.
  • සිරියාවේ, ලිබියාවේ සිදුවූ අරාබි වසන්ත එදා ඔබේ පක්ෂයට පෙනුනේ කම්කරු පන්තියේ විප්ලවකාරී නැගිටීම් ලෙසය. ඔබේ පක්ෂයේද සාදර දායකත්වයෙන් දියත් වූ ලංකාවේ ජනවාරි අට විප්ලවය ඔබට පෙනුනේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා ජයග්‍රහණයක් ලෙසය. මේ සෑම වසන්තයකටම පසු ඇමරිකාවත් අයිඑස් ත්‍රස්තවාදයත් ඒ රටවල් ගිලගත් ආකාරය ඔබට මතකද? මේ ඔබේ පක්ෂයේ පට්ට දේශපාලන විග්‍රහයන්ගේ නිවැරදිභාවය ගැන එක් උදාහරණයක් පමණි. තනියම කල්පනා කරන්න.
  • ඡායාරූපයක් පෙන්වමින් මුස්ලිම් ත්‍රස්තවාදය ගෝඨාභයට සම්බන්ධ කරන්නට යාමට වඩා ඔබේ පක්ෂය පසුගිය කාලය පුරා සිදුකළ දේශපාලනයේ විනාශකාරී බව ගැන මඳකට කල්පනා කර බලන්න. ගෝඨාභය යනු මේ රටේ ජාතිවාදය හා ත්‍රස්තවාදය ප්‍රායෝගිකව පරාජය කළ නායකයෙකි. ගෝඨාභය යුද්ධ කරන විට ඔබේ පක්ෂය කළේ ඊට එරෙහිව ගල් පැලෙන බොරු වරුසා වපුරුවමින් ආණ්ඩු පෙරළන්නට තැත් කිරීමය. ඒ දීන ඉතිහාසය අමතක නම් යුද්ධය අවසාන කාලයේ පළවූ නියමුවා පත්තර, ගිනිසිළුව පත්තර, ලංකා පත්තර නැවත පෙරළා බලන්න.
  • මේ සියල්ල මේසා පැහැදිලිව කීමෙන් පසුත් ඇත්ත පිළිගැනීමට ඔබේ මමංකාරය ඔබට ඉඩ නොදේ නම් එය අපේ ප්‍රශ්නයක් නොව ඔබේ ප්‍රශ්නයකි. දේව කන්‍යාවියන් වෙනුවෙන් ජීවිතය බිලිදෙන ත්‍රස්තවාදියෙකු සහ ජෙප්පෙකුගේ මතවාදී තන්හාව අතර වැඩි වෙනසක් තිබේදැයි ඔබම කල්පනා කර බලන්න.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/12/2019

ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය

කතෘ:යුතුකම     3/12/2019   No comments
ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය
-
ඉසුරු ප්‍රසංග -
යම් කලා කෘතියක් රස විඳීමෙන් පසු දින ගණනාවක් යන තුරු ඒ කෘතියේ සිදුවීම් අතර අප ඉබේම මානසිකව රස්තියාදු වන්නේ නම්, ඒ කෘතියේ චරිතවල හැසිරීම් ආදිය අපේ හැසිරීම් වෙත ඉබේම ආදේශ වී ඇති බවක් දැනෙන්නේ නම්, කෘතියට අදාළ යුගය, පරිසරය තුළ අප නැවත ජීවත් වන බවක් හැඟෙන්නේ නම්, ඒ කෘතියේ ප්‍රබලත්වයට ඊට වඩා හොඳ විචාර නිරූපනයක් තවත් නැතැයි සිතමි. තර්කානුසාරයෙන් ඇන පෙන්වා දිය හැකි යම් යම් අඩුපාඩු තිබුණද ගින්නෙන් උපන් සීතල නැරඹීමෙන් ඉහත කී ආකාරයේ භාවමය වියවුලකට මැදිවීමට මට සිදුවිය. එය එහි නිරූපිත දේශපාලන සිදුවීම් සමුදාය සමඟ ඇති තර්කයේ බලය අභිභවා යන හෘදය සංවේදී බැඳීමක පලයක් විය හැකිය. අසූ නමයේ මර්දනයෙන් වසර හතකට පසු එම පක්ෂයට සම්බන්ධව 2008 දක්වා වසර දොළහක් එහි ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි මට ගින්නෙන් උපන් සීතල දැනෙන ආකාරය එබඳුය. එවැනි පුද්ගල බද්ධ අත්දැකීම් තිබුණද නැතිවුවද, හද පාරවා නොගෙන මේ චිත්‍රපටය නැරඹීමට බොහෝ දෙනා අසමත් වූ බවට ඒ පිළිබඳ ලියවෙන සටහන් ආදිය නොමඳව දෙස්දෙයි. වාණිජ අරමුණක අහලකටවත් යා නොහැකි ඊනියා වාණිජ චිත්‍රපට, රැල්ලේ දිවෙන බාල ඉතිහාස කතා සහ බෙලහීනයන්ගේ සමාජ වෛරය පමණක් පිළිබිඹු වන ඊනියා ජාත්‍යන්තරවාදී සිනමා වසංගතය අතර මරණාසන්න වී සිටින සිංහල සිනමාවට මෙවැනි චිත්‍රපට නැවුම් හුස්ම පොදක් බඳුය. හුදු චිත්‍රපට විචාරයකට වඩා චිත්‍රපටය පිළිබඳ දේශපාලන විවරණයක් ලෙස සැලකිය හැකි මේ සටහන ලිවීමට මා පොළඹවන ලද්දේ ඒ නැවුම් හුස්මේ නොමඳ ආස්වාදය විසිනි.

> ඉතිහාස නිරූපණයේ අභියෝගය

මේ චිත්‍රපටය හදවතට කොතෙක් සංවේදී එකක් වුවද විචාර ඇසකින් ඒ දෙස බැලීමේදී මම ඒ තුළ දකින බලවත් අඩුපාඩුවක් තිබෙයි. එනම් අදාළ යුගයේ දේශපාලනය ගැඹුරින් පිළිබිඹු කිරීමට එය සමත් නොවීමය. ඒ යුගය සහ අදාළ චරිත ගැන හොඳාකාරවම දන්නා අය තුළ සංවේදී හැඟීම් දැනවිය හැකි ආකාරයේ කලාත්මක සමත්කම් සහිතව චිත්‍රපටය නිමැවීමට අධ්‍යක්ෂවරයා සමත්ව තිබුණද, ඉතිහාස ප්‍රතිනිර්මාණය අතින් එය ගමන් කර ඇත්තේ අල්ප දුරකි. අදාළ යුග වකවානුව පිළිබඳ පූර්ව අවබෝධයකින් තොර විදේශිකයෙක් මේ චිත්‍රපටය නැරඹුවහොත්, ඔහුට අදාළ යුගයේ ලංකාව පිළිබඳ දළ අදහසක් මේ තුළින් ලබා ගත හැකිද? අඩුම තරමේ එදා මහා මිනිස් සංහාරයක් රටේ සිදුවූ බව හෝ චිත්‍රපටය තුළින් හරියාකාරව ප්‍රකාශ නොවේ. ඒ භීම සමය පිළිබඳ ප්‍රකටම සංකේතීය රූපය වූ ටයර් සෑ සංස්කෘතිය පමණක් නොව, 70 දශකයෙන් පසු රට මහා භීෂණයකට ඇද දැමීමට හේතුවූ එජාපයේ දුර්දාන්ත පාලනයද මේ චිත්‍රපටයට අවිෂය වී තිබේ. විජේවීර මේ චිත්‍රපටය තුළ අපට පෙනෙන්නේ විප්ලවකාරී නායකයකුට වඩා ගෙදරට වී සුවසේ ජීවත් වන දරු පවුල් කාරයෙකු වශයෙනි. ඔහු කරන එකම දේශපාලන කටයුත්ත දේශපාලන මණ්ඩලයේ හත් අට දෙනා සමඟ එක්වී ප්ලේන්ටි බොමින් සුවපහසු කතාබහක නිරත වීමය. ඔවුන්ගේ කතාබහ තුළින්වත් එදා රටේ පැවති මහා ඛේදවාචකයේ දිග පළල හෝ ඒ පිළිබඳ කම්පනයක් අපට නොපෙනෙයි.
සාහිත්‍ය කෘතියකදී මෙන් ඓතිහාසික කාරණා සම්භාරයක් ගැඹුරින් සවිස්තරාත්මකව අනාවරණය කිරීම සිනමා කෘතියකදී කළ නොහැක්කකි. එහෙත් සිනමා මාධ්‍යයේ සීමා මායිම් මැද වුවද, ඉතිහාසයට නිසි සාධාරණයක් ඉටු කිරීම කළ යුතුය. සැබෑ දේශපාලන සිදුවීම් පසුබිම් කරගත් චිත්‍රපට ඒ අභියෝගය ජය ගත් අවස්ථා බොහොමයක් ලෝක සිනමාව තුළ අපට හමුවෙයි. මොන අඩුලුහුඩුකම් මැද වුවද බොහෝ දෙනාට අමතකව යමින් තිබූ අසූව දශකයේ දේශපාලන මතකයට නව පණක් දීමට මේ චිත්‍රපටය සමත්ව තිබේ. දරුණු වධ බන්ධන හමුවේ පවා කිසිවක් හෙළිදරව් නොකර මිය ගිය සුමිත් අතුකෝරාළ, ශාන්ත බණ්ඩාර, සමන් පියසිරි ප්‍රනාන්දු, උපතිස්ස ගමනායක වැනි විප්ලවවාදීන් ගණනාවකගේ හෘදයාංගම බව මේ සිනමා නිර්මාණය තුළ අපට මුණගැසෙයි. තවද මේ චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඩී.එම්. ආනන්ද හා එච්.බී. හේරත් වැනි අය විජේවීර පාවා දුන්නේය යන ප්‍රකට අදහස සැබෑවක් යැයි හැගෙන අයුරිනි. එයද ගැටලු සහගතය. ජවිපෙ දෙවැනි කැරැල්ල ගැන ඉතා ගැඹුරු අධ්‍යයනයක් සිදුකර ඇති මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න පවසන ආකාරයට මේ පාවාදීමේ කතාවද එලෙසින්ම පිළිගත නොහැක්කකි.

> එදා ජවිපෙ සහ අද ජවිපෙ

ගින්නෙන් උපන් සීතල ඔස්සේ අපට පෙනෙන ජනතා විමුක්ති පෙරමුණ කුමක් වුවද එය අයත් වන්නේ අතීතයටය. අනුර කුමාරගේ වත්මන් ජවිපෙ දැක්ම හා ක්‍රියාකාරීත්වය විජේවීරගේ ජවිපෙ දැක්මට හා ක්‍රියාකාරීත්වයට සපුරා පටහැනිය. මා එසේ පවසන්නේ අසූනමයේ පරම්පරාවේ ඝාතකයන් රජ කරවීම සඳහා වර්තමාන ජවිපෙ දරන අපමණ වෙහෙස වැනි සරල කරුණු පමණක් සලකා බලමින් නොවේ. දේශපාලනයේ දී සදාතනික මිතුරන් සතුරන් නැති හෙයින් පවතින තත්ත්වය යටතේ එවැනි දෑ කිරීමට සිදුවෙතැයි සිතමු. එහෙත් සදාතනික සතුරුකම් අමතක කළ යුත්තේ එයින් තම ව්‍යාපාරයට මෙන්ම රටටද අත්වන යහපතක් තිබේ නම් පමණි. එහෙත් වත්මන් ජවිපෙ එජාප සංහිඳියාව තුළින් එම පක්ෂයට හෝ රටට සිදුවූ යහපත කුමක්ද? කෙසේ වුවද පසුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ ජවිපෙ හැසිරෙමින් සිටිනුයේ එජාපයේ දේශපාලන වුවමනා නොමඳව තෘප්ත වන පරිද්දෙනි. එය දශකයක් තිස්සේ ඔවුන් ගත් දේශපාලන ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ ඇසුරෙන් මනාව පැහැදිලි වන්නකි. එතැනින් නොනැවතී අද රනිල්ටත් වඩා හොඳින්, දූෂණ විරෝධී වෙස් මුහුණක්ද සහිතව රනිල්ගේ දෘෂ්ටිවාදය නඩත්තු කරමින් සිටින්නේ වත්මන් ජවිපෙ විසිනි. සිංහලයා තුළ පමණක් ඊනියා ජාතිවාදයක්, ගෝත්‍රවාදයක් දකිමින් රටේ ක්‍රියාත්මක සැබෑ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි සමඟ එක පතේ වැළඳීමට අද ඔවුන්ට සිදුව ඇත්තේ ඒ අනුවය. විජේවීර සිංහල බෞද්ධ ජාතිකවාදයේ අවතාරයක් බව කියන, විජේවීර මළකුණ වළදැමීමෙන් තොරව ජවිපෙට අනාගතයක් නැති බව කියන විකල්ප ගෝත්‍ර බමුණන් වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ විද්වත් පෙරමුණුවල වීරයන් බවට පත්ව ඇත්තේ ඒ අනුවය. වත්මන් ජවිපෙ මේ දීන පිළිවෙත පිළිබඳ අත් කැඩෙන තුරු ලියා ඇති කාරණා මේ ලිපිය තුළද නැවත දිග හැරීමට මගේ කැමැත්තක් නැත. සැකෙවින් හෝ ඒ ගැන සිහිපත් කළ යුතු වූයේ ගින්නෙන් උපන් සීතල බලා 2020 දී රටේ ජනතාව ජවිපෙට රට බාර දෙනු ඇතැයි සිතන බාලයන් වත්මන් ජවිපෙ සාමාජිකයන් අතර දුලබ නොවන නිසාවෙනි.

> අසූනමයේ පරම්පරාව සහ අනාගතය

කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සියලු දෙනා එකසේ සතුටු වන ආකාරයේ භූමිකාවක් රඟදැක්වීමට ඉතිහාසය ඉඩ නොතබයි. ඒ අර්ථයෙන් මතුවන සීමා මායිම්, වරද්දා ගැනීම් මැද වුවද අසූනමයේ පරම්පරාව තමන් ජීවත් වූ යුගයට, එදා පැවති තත්ත්වයන්ට සාපේක්ෂව ඉදිරිගාමී දේශපාලන ප්‍රවාහයක කොටස්කරුවෝ නොවූයේ යැයි කිව හැකිද? ඔවුන් ජීවත් වූයේ සහ දේශපාලනිකව පෝෂණය වූයේ සමාජවාදය ලෝක ගෝලයේ තුනෙන් එකකට වැඩි ඉඩක් ජයග්‍රාහීව අත්පත් කරගෙන තිබූ කාල වකවානුවකය. ධනවාදයට එරෙහි සන්නද්ධ අරගල ලෝකය පුරා පැන නැඟුණු ඓතිහාසික පසුබිමකය. සමාජවාදයේ ප්‍රබලතා මිස දුබලතා ගැඹුරින් වටහා ගැනීමට ඔවුන්ට මේ පරිසරය ඉඩකඩක් සපයා දුන්නේ නැත. ඔවුන්ගේ අපේක්ෂාව වූයේ තමන් දුටු ඒ සාධාරණ යුක්ති ගරුක සමාජය ලක් පොළොව මතද යථාර්ථයක් වනු දැකීමය. නමුත් ඒ වෙනුවෙන් යහපත් මාවතක් ඔස්සේ පෙරට යාමට ඔවුන්ට නොහැකි වූයේ එජාපය විසින් කෙටි කලක් තුළ මුළු රටම ගිනි තබමින් ගෙන ගිය විනාශකාරී වැඩපිළිවෙළ නිසාය. ඒ තුච්ඡ රාජ්‍ය දුරාචාරය හමුවේ පසුබා නිහඬ වීම වෙනුවට ඊට එරෙහිව සටන් වැදීමේ මාවත අසූනමයේ පරම්පරාව නොබියව තෝරාගත්තෝය. අවසානයේදී ඒ සටන ඛේදවාචකයකින් කෙළවර වුවද, ඔවුහු යහපත් පොදු අරමුණක් වෙනුවෙන් මිස තමන්ගේ දෙයක් වෙනුවෙන් සටන් වැදුනවුන් නොවූහ. ආයුධ ඇතැතිව කරන අවලස්සන දේශපාලනයක් තෝරා ගැනීමට සිදුවුවද ඔවුහු පොදු සමාජය පිළිබඳ යහපත් සිහින දුටු, දැන උගත් සබුද්ධික පිරිසක් මිස අපරාධකරුවෝ නොවූහ.
අද වන විට අසූනමයේ පරම්පරාව රුදුරු මරණයකට ගොදුරුව දශක තුනක් ගතවී හමාරය. එවැනි පරහිතකාමීන් වෙනුවට ඇවිදින පිස්සන් කොටු බඳු විගඩම්කාර තක්කඩි රැළක් කාලයක් තිස්සේ මේ රට පාලනය කරමින් සිටිති. මෙරට දේශපාලනයේ මහා පොදු ජරාජීර්ණ බවට අලි, බුලත් කොළ, අත්, පොහොට්ටු ආදී බේද තීරණාත්මක ලෙස අදාළ නැත. වත්මන් ජවිපෙ පිළිවෙත වී ඇත්තේද ඊනියා දූෂණ විරෝධී වෙස්මුහුණ ගණිකා වෘත්තියේ යොදවමින් මේ දූෂිත දේශපාලනයේ වඩා නරකම හා විනාශකාරීම පිළ ආරක්ෂා කිරීමය. අසූනමයේ පරම්පරාව වෙඩි කා නැසුණු අතර එහි වත්මන් පරම්පරාව විහින් වස කා මංමුලාවී සිටිති. මේ තත්ත්වය තුළ හෘද සාක්ෂියක් ඇති සියල්ලෝ අසරණ අනාථයන් බවට පත්ව ඇත. අද මේ ලිපිය ලියන මට පවා සිදුව ඇත්තේ සාපේක්ෂ යහපත ගැන සිතමින්, අඩු නපුර ගැන සිතමින්, මේ බොරුකාර විගඩමුන්ගේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමටය. එය අද අප සියලු දෙනාට මුහුණ දීමට සිදුව ඇති දේශපාලන නන්න්තතාරභාවයේ කටුක ස්වභාවයයි. මේ ඛේදවාචකය වෙනස් කළ හැක්කේ 2020දී ගෝඨාභය බලයට ගෙන ඒමෙන් නොව මේ රටට ගැළපෙන දේශපාලන විකල්පය සොයා ගැනීමෙනි. එවැනි විකල්පයක් නැති තැන ගෝඨාභය වැනි කාලීන හා සාපේක්ෂ තීන්දු වෙනුවෙන් පෙනී සිටීමට මමද නියෝජනය කරන ජාතිකවාදී කඳවුරේ බොහෝ දෙනාට සිදුව තිබුණද, එයින් රටේ කිසියම් වෙනසක් මිස තීරණාත්මක වෙනසක් සිදුවේ යැයි මට නම් කිසිදු පැහැදිලි විශ්වාසයක් නැත.

> අලුත් සිහිනයක්....

අද අපට අවශ්‍ය වන්නේ අසූනමයේ පරම්පරාව තුළ තිබූ පරහිතකාමී සත් චේතනා නූතන යුගයට ගැළපෙන ප්‍රායෝගික දැක්මක් හා මුසු කළ හැකි සමාජ ව්‍යාපාරයකි. හුදු මාක්ස්වාදී මූලධර්ම හෝ සම්ප්‍රදායික වාම මනසක් සහිත ව්‍යාපාරයකට මේ රටේ අනාගතය වෙනුවෙන් කළ හැකි කිසිදු කාර්යය භාරයක් නැත. රතු සිහිනය යහපත් එකක් වුවද ඒ සිහිනය අයත් වන්නේ අතීතයටය. නමුත් අනාගතය නිර්මාණය වනුයේ ඊට වඩා වෙනස් සිද්ධාන්ත මතය. පේමතෝ ජායතී අසෝකෝ නවකතාවේ එන පෙරටු රළ නමැති කල්පිත දේශපාලන ව්‍යාපාරය තුළින් මා ඉදිරිපත් කිරීමට උත්සාහ ගත්තේද මේ රට වෙනස් කළ හැකි එවැනි ප්‍රායෝගික ව්‍යාපාරයක හැඩ රුව පිළිබඳ සුබ සිහින මාත්‍රයක් පමණි. අද ගින්නෙන් උපන් සීතල සමඟම නිරායාසයෙන් කරළියට ආ විජේවීරගේ පුත්‍රයා තුළ එවැනි ව්‍යාපාරයක් බිහිකිරීමට අවශ්‍ය මතවාදීමය පුළුල් බවක සිහින් සේයාවක් මට පෙනීමද නවකතාවකට ගැළපෙන තරමේ සුන්දර අහම්බයකි.
රෝහණ විජේවීර වැනි ප්‍රායෝගික දැක්මත් හා ක්‍රියාකාරී ශක්‍යතාවක් තිබූ නායකයෙක් අද දක්වා ජීවත්ව සිටියේ නම් නූතන ලෝක සත්‍යයන්ට ගැළපෙන ලෙස තම පක්ෂය හා මතවාද යාවත්කාලීන කරනු ඇත. එහෙත් වත්මන් ජනතා විමුක්ති පෙරමුණට එවැනි ඓතිහාසික කාර්යය භාරයක් කිරීමේ හැකියාවක් හෝ අවශ්‍යතාවක් නැත. එයින් බිඳීගිය කණ්ඩායම්ද එසේමය. විමල් වීරවංශගේ “රටට වුවමනා වම” වැනි කෘතියක් තුළ එවැනි වෙනසකට අදාළ තියුණු මතවාදීමය අන්තර්ගතයක් හමුවුවද, ඊට සරිලන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් ඔහුගේ දේශපාලන පක්ෂය තුළද දක්නට නැත. එහෙයින් අද අවශ්‍ය වන්නේ එදා විජේවීර 1965දී පය තැබූ ආකාරයේ වෙනස්ම ආරම්භයකි. එය ඉතා දුරස්ථ සිහිනයක් සේ පෙනුනද එවැනි ව්‍යාපාරයකට වසර කීපයක් තුළ මේ රට වෙනස් කළ හැකිය. මජර දේශපාලනය නිසා විහින් පිස්සන් කොටුවක් බවට පත්වී තිබුණද සංවර්ධන විභවයන් ගණනාවක් ස්වභාවයෙන්ම දායාද කරගත් ලංකාව ගොඩනැගීම අන් කවර රටක් ගොඩනගනවාටත් වඩා පහසුවෙන් කළ හැක්කකි. අසූනමයේ පරම්පරාව පිළිබඳ වේදනා දෙන හෘදය සංවේදී මතකය යහපත් අනාගත ආයෝජනයක් බවට පත් කර ගත හැක්කේ එසේය. ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය එවැන්නකි.

ඉසුරු ප්‍රසංග
2019 මාර්තු 3 ඉරිදා මව්බි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/23/2019

තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස

කතෘ:යුතුකම     2/23/2019   No comments
තවමත් කිරිපිටි බොන හරකුන්ගේ දැනගැනීම පිණිස
රට කිරිපිටි අර්බුදයේ අගමුල සරලව සැකෙවින්

1. කිරි අත්‍යවශ්‍ය ආහාරයක්ද

කිරි යනු ක්ෂීරපායී සතුන්ට ළදරු වියේදී තම පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සැකසී ඇති ආහාරයකි. වැඩිහිටි වියේදීත් කිරි බොන සහ අනෙක් සතුන්ගේ කිරි බොන ලොව එකම සතා මිනිසා පමණි. මේ අනුව කිරි යනු කිසිසේත්ම මිනිසාට අත්‍යාවශ්‍ය ආහාරයක් නොවන අතර එයින් ලැබෙන සියලු පෝෂක වෙනත් ආහාර මගින් මිනිසාට ලබා ගත හැකිය.

2. එහෙනම් කිරි බොන්නේ මොකටද?

කිරි වනාහී ලෝකයේ සෑම සංස්කෘතියකම පාහේ හමුවන ආහාරයකි. කිරි ඇසුරෙන් සකස් කරගන්නා වෙනත් ආහාර වර්ග සිය ගණනක් තිබේ. ජීව විද්‍යාත්මකව අත්‍යවශ්‍ය ආහාරයක් නොවුණද කිරි යනු මිනිසාට ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරයකි. මිනිසා හුදු ස්වාභාවික සත්ත්වයකු නොව සංස්කෘතික සත්ත්වයෙකි. ඔහුගේ ආහාර රටාවද ආර්ථික, සමාජීය හා සංස්කෘතික ගොඩනැංවීමකි. කිරි මිනිසාගේ ආහාර විවිධත්වය වැඩි කරගත හැකි විකල්පයක්ද වෙයි. ආහාර විවිධත්වය වැඩිවීම ආහාර සුරක්ෂිතතාවයේද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම ආහාරයේ ගුණයට පමණක් නොව රසය හා විවිධත්වය කෙරේද මිනිසා සංවේදී වෙයි. මේ අනුව කිරි නැතිව මිනිසාට නොමැරී ජීවත් විය හැකි බව ඇත්තක් වුවද කිරිපිටි හෝ වෙනත් ස්වරූප ඔස්සේ කිරි පරිභෝජනය කිරීමේ කිසිදු වරදක් ඇත්තේ නැත.

3. කිරිපිටි නොබී හිටියොත් මොකද වෙන්නේ?

කිරිපිටි වනාහී කිරි පරිභෝජනය කළ හැකි එක් ස්වරූපයක් පමණි. කිරි මඟින් සකසා ගන්නා ආහාර වර්ග මෙන්ම කිරි පරිභෝජනය කළ හැකි ආකාරද ගණනාවක් තිබේ. කිරිපිටිවල කිසිදු විශේෂ වැදගත්කමක් නැති අතර ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන නවසීලන්තය, ඔස්ටේ්‍රලියාව වැනි රටවල මිනිස්සුවත් කිරිපිටි පානය නොකරති. බොහෝ යුරෝපා රටවල මෙන්ම දියුණු ආසියාතික රටවල තත්ත්වයද එසේමය. ඔවුහු දියර කිරි හෝ කිරි ආශ්‍රිත වෙනත් ආහාර පරිභෝජනය කළද කිරිපිටි කිසිසේත්ම වැදගත් ආහාරයක් ලෙස නොසලකති. එසේ වුවද ලංකාවේ මෝඩයන් බොහෝ දෙනා කිරිපිටි යනු ඔක්සිජන් වායුවටත් වඩා මිනිසාට නැතිවම බැරි දෙයක් ලෙස සලකති. දරුවෙක් සිටින ගෙදරක නම් කිරිපිටි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ වැනි කතා නිතර ඇසෙයි. මේ සටහන ලියන මා කිරිපිටි බීම නවතා වසර පහළවකට වැඩිය. මගේ සිව් හැවිරිදි දියණියට කිසිදා රට කිරිපිටි උගුරක්වත් පොවා නැති අතර කිරි ආහාර පමණක් ලබා දී තිබේ. ඇගේ සෞඛ්‍යයට අද දක්වා මේ ඊනියා පානය නොබීමෙන් සිදුවූ කිසිදු හානියක් නම් නැත. නවසීලන්තයේ මිනිස්සු ඒ බව අපට වඩා හොඳින් දන්නේ ඔවුන් කිරිපිටි නොබී යහතින් ජීවත් වන බැවිනි.

4. අපි මේ තරම් කිරිපිටිවලට ඇබ්බැහි වුණේ කොහොමද?

සමාගම් විසින් අප වැනි රටවලට කිරිපිටි හඳුන්වා දී ඇත්තේ, එය මහා බලසම්පන්න මැජික් අරිෂ්ඨයක් ලෙස හුවා දක්වමිනි. ඔවුන් තමනුත් නොබොන මේ මුග්ධ පානය ගැන බොරු කන්දරාවක් ලංකාව වැනි රටවල පතුරුවා හැර තිබේ. මොළේ වැඩෙන්නට එක කිරි වර්ගයකි. අස්ථි වැඩෙන්නට තව එකකි. ගැබිනි මවුවරුන්ට තව එකකි. හතලිහ පැනපු අයට තවත් එකකි. ආච්චිගේ කොන්ද කැඩීම වැලැක්වීමට තවත් එකකි. එක් එක් වයස්වල ළදරුවන්ට එක් එක් ලේබල් සහිතව එන කිරිපිටි වර්ග හැටහුටහමාරකි. මේ ඉලව් පානය බීමෙන් ගුණ නැණ බෙල සහිත විස්මකර්ම දරුවන් බිහිවන බව ඔවුහු අපට පුන පුනා පවසති. මේ බොරු සමාජගත කිරීම සඳහා වෙළෙඳ ප්‍රචාරණයට අමතරව තව තක්කඩි වැඩ රාශියක් ඔවුහු සිදු කරති. ඒවාට රැවටෙන ලාංකේය ගවයෝ කිරිපිටි නොමැතිව ජීවත් විය නොහැකි යැයි සිතා සිටිති.

5. රට කිරිපිටිවල වස විස ඇති කතාව ඇත්තක්ද?

ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව පිළිබඳ අවස්ථා ගණනාවකදී ලෝකයේ විවිධ රටවල, විවිධ ප්‍රශ්න මතුවී තිබේ. ඇතැම් අවස්ථාවල අධිකරණය ඉදිරියේ පවා වැරදි කරුවන් වීමට, ප්‍රසිද්ධියේ තම වැරදි පිළිගැනීමට ෆොන්ටෙරා වැනි සමාගම්වලට සිදුව තිබේ. කිරිපිටිවල පෝෂක කොටස් ඉවත් කර ඒ වෙනුවට බාල ආදේශක ඇතුළත් කරන බව නොයෙක් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. කිරි මූලික වශයෙන් සමන්විත වනුයේ කාබෝහයිට්රේට් (4.5%) ප්‍රෝටීන් (3.5%) මේදය (3.4%) විටමින් හා ඛනිජ ලවණ (0.7%) යන පෝෂකවලිනි. මේ බොහෝ පෝෂක කිරිවලින් ඉවත් කොට වෙනත් නිෂ්පාදන සඳහා යොදාගන්නා අතර ඒ හිස්තැන පුරවනු ලබන්නේ වෙනත් බාල ආදේශක එකතු කිරීමෙනි. මෙලමයින් යනු කිරිවල ඇති ප්‍රෝටීන කොටස් ඉවත් කර ඒ වෙනුවට යොදන නයිට්‍රජන් සහිත සංයෝගයකි. ෆාම් ඔයිල් යනු කිරිපිටිවල මේදය ඉවත් කොට ඒ වෙනුවට මුසු කරන ද්‍රව්‍යයකි. කිරිවල ඇති කාබෝහයිට්රේටද එසේ කෘතිමව එක්කාසු කළ හැකිය. මීට පෙර කිරිවල තිබී හමුවූ බව කියන ඩී. සී. ඩී. හෙවත් ඩයිසයිනමයිඞ් යනු තණබිම්වලට යොදන රසායනික ද්‍රව්‍යයකි. ක්ලොස්ටි්‍රඩියුම් බොටුලිනම් වැනි බැක්ටීරියා කිරිවලට මුසුව තිබුණේ නිෂ්පාදන ක්‍රියාවලියේ අඩුපාඩු හේතුවෙනි. මේ සියල්ල කරුණු සහිතව තහවුරු වී තිබියදී තවදුරටත් කිරි වැදගත් ආහාරයක් ලෙස සැලකිය හැක්කේ කාටද? නවසීලන්තය ලෝකයේ වැඩිපුරම ෆාම් ඔයිල් හා ලැක්ටෝස් ආනයනය කරන රට බව ඔවුන්ගේ වාර්තාවලින්ම හෙළිවන අතර ඒවා ගෙන්වන්නේ බාල කිරිපිටි සකසා අප වැනි රටවල හරකුන්ට පෙවීමට මිස පපඩම් බැඳීමට නොවේ. මේවා ඇත්ත වුවද බොරු වුවද රට කිරිපිටිවල ඇති එකම ප්‍රශ්නය වස විස තිබීමද නොවේ. වස විස තිබුණද නැති වුවද කිරිපිටි යනු අපේ ආර්ථිකයම බෙලහීන කරවන මහා වසංගතයකි. ඒ නිසා වස විස තිබුණද නැතිවුවද ලංකාවට කිරිපිටි ආනයනය කිරීම වහාම සීමා කළ යුත්තකි.

6. කිරිපිටි අපේ ආර්ථිකය ලෙඩ කරන්නේ කොහොමද?

කිරි ආහාර ආනයනය සඳහා ලංකාව වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර පමණ මුදලක් වැය කරයි. එය රුපියල්වලින් නම් කෝටි 3000කට වැඩිය. (රූප සටහන බලන්න) මේ මුදලින් 90%ක් පමණ වැයවන්නේ කිරිපිටි සඳහාය. හම්බන්තොට වරායේ පළමු අදියර වැඩ නිම කිරීම සඳහා වැයවූ මුදල ඇ. ඩො. මිලියන 361කි. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා වැයවූ මුදල ඇ.ඩො. මිලියන 292කි. මේ ඉලව් කිරිපිටි සෙල්ලමක් නිසා වාර්ෂිකව පිටරටට ඇදී යන මුදල් කන්දරාව කෙතරම්දැයි මේ අනුව සිතාගැනීම අසීරු නැත. රටේ මුදල් පිටතට ඇදී යාමට අමතරව එය රටේ ධන උත්පාදනය දුබල කරයි. දේශීය කිරි ගොවියා, කර්මාන්තකරුවා, නිෂ්පාදකයා, නන්නත්තාර කර දමයි. අපට වසර පුරා නොමිලේ ලැබෙන අව්ව, වැස්ස සහ තණකොළවලින් පහසුවෙන් ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අපට අහිමි කරයි. දේශීය කිරි කර්මාන්තයට එරෙහි ප්‍රධාන සතුරා ආනයනික කිරිපිටිය. වර්ෂයකට කිරි ආහාර ආනයනය සඳහා වැයවන මුදලින් දහයෙන් පංගුවක් යෙදවිය හැකි නම් දේශීය කිරි කර්මාන්තයේ විශාල වර්ධනයක් ඇති කිරීම ලේසියෙන් කළ හැක්කකි. රට කිරිපිටි සමාගම්වලට බදු සහන ලබාදීම නිසා වාර්ෂිකව රජයට අහිමි වන මුදලින් ලංකාවේ කිරි කර්මාන්ත ශාලා එකක් නොව කීපයක් ඇති කළ හැකිය. නැත්තේ ඊට වැඩපිළිවෙළක් දැක්මක් ඇති නායකයන් පමණි.

7. අපේ කිරි අපිටම හදාගන්න පුළුවන්ද?

නිසි වැඩපිළිවෙලක් තිබේ නම් ලංකාව වසර කීපයක් තුළ කිරිවලින් ස්වයංපෝෂිත කිරීම කළ හැක්කකි. එය කටට එනවාට කියන කතාවක් නොව ඔප්පු කර පෙන්වා දී තිබෙන්නකි.
පසුගිය දශකයක පමණ කාලය තුළ දේශීය ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිස් මේ ප්‍රශ්නය සම්බන්ධව විශාල මැදිහත් වීමක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස, 2007 දී ජාතික අවශ්‍යතාවෙන් 22%ක් ලෙස පැවති දේශීය කිරි නිෂ්පාදනය 2017 වන විට 42% දක්වා ඉහළ නැඟ තිබේ. වසර දහයක් තුළ ලංකාව කිරි නිෂ්පාදනයේ එවැනි වර්ධනයක් අත් කරගත්තේ හොඳ වැඩපිළිවෙළක් යටතේ නොව ඊට එරෙහි දහසක් අලකලංචි මධ්‍යයේ බව අමතක නොකළ යුත්තකි. ඒ සියල්ල මැද පවා මේ කාලය තුළ රටේ කිරි නිෂ්පාදනය අඛණ්ඩව ඉහළ ගිය අතර, ඊට සාපේක්ෂව කිරි ආනයනය සැලකිය යුතු තරමකින් පහත වැටිණි. ඒ වර්ධනයට ප්‍රධාන බාධකය එල්ල වීම ජනවාරි අට විප්ලවයේ තවත් ප්‍රතිඵලයක් වූ අතර 2015 ජනවාරි මස රට භාරගත් මහා මොළයානන් වහන්සේගේ බදු ප්‍රතිපත්තිය ඊට මැනවින් හේතුවූ ආකාරය වෙනම ලිපියක් ඔස්සේ පෙන්වා දිය හැක්කකි. ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු විශාල වශයෙන් අඩු කරමින් සමාගම්වලට සහන සැලසීමේ ප්‍රතිපත්තිය මත එතැන් සිට දේශීය කිරි ගොවියාත්, ආහාර නිෂ්පාදකයාත්, නන්න්ත්තාර වූ අතර, කිරි පාරේ හලමින් උද්ඝෝෂණ කිරීමට ගොවීන්ට සිදුවූයේ ඒ අනුවය.

8. කතාව කෙටියෙන්ම මෙච්චරයි.

දැන් මේ කරුණු සියල්ල සාරාංශ කරමු. ඒ අනුව කිරිපිටි අපට කිසිසේත්ම අත්‍යවශ්‍ය ආහාරයක් නොවේ. ආනයනික කිරිපිටි අහිතකර ලෙස නිෂ්පාදනය කරන බව ඔප්පු වී තිබේ. වස විස තිබුණද නැතිවුවද කිරිපිටි ආනයනය කිරීම රටේ ආර්ථිකයට විශාල හානියකි. කිරි ඕනෑම ආකාරයකට පරිභෝජනය කළ හැකි වන අතර කිරිපිටි නැතිව ජීවත් විය නොහැකි බව සිතන අය සිටී නම් ඔවුන් ඇතුළු අප සියලු දෙනාට අවශ්‍ය කිරි අපට දේශීයව නිපදවා ගත හැකිය. අපි දැනටත් සියලු අලකලංචි මැද ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%කට වැඩි ප්‍රමාණයක් නිපදවා ගැනීමට සමත්ව ඇති අතර හොඳ වැඩපිළිවෙළක් යටතේ මෙය සීයට සීය දක්වා ළඟා කරගැනීම සිහිනයක් නොවේ. කිරිපිටි ආනයනය සම්පූර්ණ නතර කළ නොහැකි වුවත් එය විශාල ප්‍රමාණයකින් අඩු කිරීම හෝ හැකි දෙයක් බව හෝ මේ අනුව පිළිගැනීමට සිදුවෙයි. එය තවමත් එය පිළිගත නොහැක්කේ තවමත් කිරිපිටි බොන ලංකාවේ හරකුන්ට සහ ඔවුන් විසින් පත්කරගන්නා දේශපාලඥයන්ට පමණි.

(මේ ලිපියේ ඇතුළත් සියලු කරුණු සම්බන්ධව ඊට අදාළ සියලු දත්ත, සංඛ්‍යාලේඛන, වාර්තා මා සතුව ඇති අතර කෙම්බිමට ගමනක් කෘතියේද මේ පිළිබඳ වැඩි විස්තර ඇතුළත්ව ඇත.)

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/13/2019

පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?

කතෘ:යුතුකම     2/13/2019   No comments
-ඉසුරු ප්‍රසංග-
ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙරද ලෝකය පුරා ඒ පිළිබඳ විවිධ ආන්දෝලනයන් පැන නැගී ඇත. වස විස තිබුණද නැති වුවද ආනයනික කිරිපිටි යනු ලංකාවම ලෙඩ කරන වසංගතයකි. දේශීයව කිරි අවශ්‍යතාව සපුරා ගැනීමේ හැකියාව තිබියදී වස විස ඇති රට කිරිපිටි තොග පිටින් මෙරටට ගෙන්වීමත්, විදෙස් සමාගම්වලට බදු සහන ලබාදෙමින්, දේශීය ගොවියාගේ කිරි ලීටර් ලක්ෂ ගණන් පාරේ හැලීමත්, මෙරට තක්කඩි ආණ්ඩුවල පිළිවෙත වී තිබේ. මේ අර්බුදය පිළිබඳ දීර්ඝ විස්තරයක් මා විසින් රචිත කෙම්බිමට ගමනක් කෘතියේ ඇතුළත් වන අතර මෙහි දැක්වෙන්නේ එයින් උපුටා ගත් කොටසකි.

අපේ රටට අවශ්‍ය කිරි අපට නිපදවා ගත නොහැකිද? 2007න් පසු ගෙවීගිය කාලය තුළ ජාතික බලවේගවල මැදිහත් වීමෙන් මෙරට කිරි කර්මාන්තය වේගයෙන් නගා සිටුවිය හැකි වූයේ කෙසේද? ඊට එරෙහිව එල්ල වූ බාධා මොනවාද? ආදී ප්‍රශ්නවලට යම් පිළිතුරක් සපයා ගැනීමට මේ විස්තරය ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. අප කළ යුත්තේ කිරි ප්‍රශ්නය සමස්තයක් ලෙස විසඳිය හැකි මාර්ගය කුමක්ද යන සංවාදය සමාජගත කිරීම මිස, කිරිවල ඌරු තෙල් තිබේද නැද්ද වැනි ප්‍රශ්නවලට පැතලි පිළිතුරු සෙවීම නොවේ.

================================================

පැල්වත්ත සමාගම ආරම්භ කිරීම ඇතුළු ජාතික බලවේගවල සමස්ත මැදිහත් වීම, දේශීය කිරි කර්මාන්තයට තීරණාත්මක බලපෑමක් සිදුකළේය. එය මෙරට කිරි කර්මාන්තයේ ගමන් මඟ වෙනස් කළේය. දේශීය දේවල් පරිභෝජනය කළ යුතු බවට මතයක් ජනතාව අතර ඇති කිරීම, සමාගම්වල නොමනා ක්‍රියාමාර්ග රට තුළ සංවාදයට ලක්කිරීම, පැල්වත්ත සමාගමේ ව්‍යාපාරික මැදිහත් වීම මෙන්ම දේශහිතෛෂී බලවේග රට තුළ ගෙන ගිය දැවැන්ත අරගලය ආදී කාරණා පොදුවේ මේ වෙනසට විශාල බලපෑමක් සිදුකළේය. රජයේ බදු ප්‍රතිපත්ති වෙනස්වීම ඇතුළු බොහෝ බාධක මැද වුවද සැලකිය යුතු ජයග්‍රහණයක් අත් කරගැනීමට දේශීය කිරි ගොවියා සමත් වූ අතර එය මහ බැංකු වාර්තාවල පිළිබිඹු වූයේ පහත ආකාරයෙනි.

 2007 වසරේ සිට 2017 දක්වා කාලය සැලකීමේදී දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයක් සිදුව ඇත. 2007 දී ලීටර් මිලියන 200ක්ව පැවති වාර්ෂික කිරි නිෂ්පාදනය 2017 වන විට ලීටර් මිලියන 396.2 දක්වා ඉහළ ගියේය. ඒ අනුව ආනයනික කිරිපිටිවලින් එල්ල වන බාධාව මැද වුවද 2017 වන විට ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

 2012 වසරේදී ජාතික කිරි නිෂ්පාදනය 16%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 5.5%කින් පහළ ගියේය.

 2013 වසරේදී ජාතික නිෂ්පාදනය 6.8%කින් ඉහළ ගිය අතර, කිරිපිටි ආනයනය 16.9%කින් පහළ ගියේය.

 2014 වසරේදී ජාතික නිෂ්පාදනය 1.2%කින් ඉහළ ගිය අතර කිරිපිටි ආනයනය 1%ක පමණ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළේය. වසර පුරා පැවති අධික නියඟයත් කුර හා මුඛ රෝගයත් මේ පසුබෑමට හේතු වී තිබේ.

 2015 වසරේදී ජාතික නිෂ්පාදනය 21.7%කින් ඉහළ ගියේය. එහෙත් 2015 මුලදී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීම නිසා කිරිපිටි ආනයනයද එම වසර තුළ 21.7%කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.

 2016 කිරි නිෂ්පාදනය 2.3%කින් ඉහළ යන විට කිරිපිටි ආනයනය පසුගිය වසරට සාපේක්ෂව 15%කින් ඉහළ ගියේය.

දේශීය කිරි සම්බන්ධ ඉහත කාරණා සැකෙවින් විමසා බැලීමේදී ආරියසීලලා කලක සිට කතාවෙන් හා ක්‍රියාවෙන් පෙන්වා දුන් සියල්ල සැබෑවක් බව මනාව පැහැදිලි වෙයි. මේ දත්ත අනුව වසර දහයක් තුළ ජාතික කිරි අවශ්‍යතාවයෙන් 42%ක් නිපදවා ගැනීමට ලංකාව සමත්ව තිබේ. ඒ ඊට සම්පූර්ණ හිතකර පරිසරයක් යටතේ නොව බොහෝ බාධක මධ්‍යයේය. ඊට සමගාමීව 2011 සිට කිරිපිටි ආනයනය අඛණ්ඩව පහත වැටී තිබේ. මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වූයේ 2015 සිදුවූ බදු සංශෝධන සමඟ බව පැහැදිලිව පෙනෙයි. ආනයනික් කිරි මත පනවා තිබූ සෙස් බදු ඉවත් කිරීම නිසා 2014 දී මෙටි්‍රක් ටොන් 67500ක්ව පැවති කිරි ආහාර ආනයනය 2016 දී මෙටි්‍රක් ටොන් 94011 දක්වා ඉහළ ගියේය. මෙය සීයට හතලිහක පමණ වර්ධනයකි. ඒ කාලය තුළ දේශීය කිරි නිෂ්පාදනයද වැඩි වී තිබුණද ඒ තත්ත්වය කර්මාන්තය තුළ විශාල අවුලක් ඇති කිරීමට හේතු වූයේය.

2015දී ආනයනික කිරිපිටි මත පනවා තිබූ බදු ඉවත් කිරීමට අමතරව, කිරි ගොවියාට කිරි ලීටරයක් සඳහා ගෙවන සහතික මිලද දෙවතාවකදී ඉහළ දැමිණි. ඒ රුපියල් පනහේ සිට හැත්තෑව දක්වාය. මෙය ගොවියාට හදිසි ආස්වාදයක් ලබාදෙන තීරණයක් වුවද නිසි සැලසුමකින් තොර මේ ක්‍රියාමාර්ගය විශාල අර්බුදයකට හේතු වූයේය. ආනයනික කිරිවල බදු ඉවත් කරමින්, සහතික මිල ඉහළ දැමීමේ පරස්පර ක්‍රියාමාර්ග ඔස්සේ සිදුවන්නේ කුමක්ද? එවිට දේශීය කිරි ආහාර නිෂ්පාදකයා දෙපැත්තකින් පීඩාවට පත්වෙයි. ඒ අසීරුතාව මත ඔහු කිරි මිලට ගැනීමට ඉදිරිපත් නොවේ. එවිට කිරි සඳහා ඇති ඉල්ලුම කඩා වැටීමෙන් නැවත එය ගොවියා කෙරේද බලපවත්වයි. මේ අවුල පසුගිය වසර දෙක තුන තුළ රට පුරාම දක්නට ලැබිණි. කිරි විකුණාගත නොහැකිව ගොවීහු මහත් අපහසුතාවන්ට පත්වූහ. දඹුල්ල, හැටන්, ආගරපතන, තලවාකැලේ ආදී ප්‍රදේශ ගණනාවක ගොවීන්ට තම කිරි ඉවත දැමීමට සිදුවිය. කිරි මහ පාරේ හලමින් ගොවීහු දඹුල්ල නගරයේ උද්ඝෝෂණය කළහ. පහත දැක්වෙන්නේ හැටන් රොතර්ස් ෆාම් ගොවිපළේ හිමිකරු අංගප්පන් අංගමුත්තු මහතා 2017 මැයි 13 ඉරිදා දිවයින පුවත්පතට මේ සම්බන්ධව පළකර තිබූ අදහස් කීපයකි.

“පහුගිය මාස දෙකකට කලින් නෙස්ලේ සමාගම කිව්වා කිරි ගන්න එක නවත්තනවා කියලා. ඒ වෙලාවෙ ඉඳලා අපි මිල්කෝ එකට කතා කළා. නෙස්ලේ සමාගමට කිරි දුන්න අපේ කිරි ගන්න මිල්කෝ එක කැමති උනේ නෑ. පැල්වත්තට කතා කළා. ඒ අයගෙ ළඟ කිරිවලින් හදපු පිටිකිරි ගබඩා වෙලා. ඒ හින්ද ඒ අයට කිරි ගන්න බැරි වුණා. කොත්මලේ කිරි සමාගමට ඒ අයගෙ උපරිම ධාරිතාව තියෙනවා කියලා කිව්වා. මේ අතරෙ නෙස්ලේ එක කිරි ගන්න එක මුළුමනින්ම අතහැරියා. කිරි ගොවීන් හාරසිය පනහකගේ විතර කිරි නිෂ්පාදන කාටවත් දෙන්න බැරිව ගියා. මම සත්තු බලන්න පටන්ගත්තෙ අවුරුදු දහයෙදී. අපිට කිරි කෝප්පයක් බොන්න තිබුණෙ නෑ. කවුරු හරි කිරි එකක් බොනව බලන් ඉඳල හූල්ලපු මම අද කීයක් හරි හම්බකරගෙන කිරි ලීටර දහ දොලොස්දාහක් පාරට වක්කරයි කියලා හිතන්න එපා. අපි එහෙම කළේ අඬඅඬ. අපි දේශපාලන කඩාකප්පල්කාරයෝ නෙමෙයි මහත්තයා. නරක් වෙච්චි කිරි ටික එහෙම පාරෙ හැලුවෙ අපේ ප්‍රශ්නෙ ලෝකෙට කියන්න ඕන හින්දා. ඇයි අපිට එහෙම කරන්න වුණේ කියලා මේ කවුරුත් ඇහුවෙ නෑ.”

අංගමුත්තුගේ ප්‍රකාශය කිරි ගොවීන් මුහුණ දුන් අසීරුතාවයේ කදිම පිළිබිඹුවක් බඳුය. මේ අර්බුදයට රජයේ පැලැස්තර විසඳුම වූයේ මිල්කෝ සමාගම මඟින් තම ධාරිතාව ඉක්මවා වැඩිපුර කිරි මිලට ගැනීමය. මේ නිසා අතිරික්ත කිරි තොග ඉවත දැමීමට එම සමාගමට සිදුව තිබිණි. සමාගම දිනකට කිරි ලීටර් ලක්ෂ ගණනින් විනාශ කරන බවට පුවත් පළවිය. පසුව මේ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ මිල්කෝ සමාගමේ සභාපතිවරයා පවසා තිබුණේ මාධ්‍යවල පළවූ ඉලක්කම් බොරු වුවත් යම් කිරි ප්‍රමාණයක් ඉවත දැමීමට තමන්ට සිදුව ඇති බවය. තමන් රාජ්‍ය ආයතනයක් වන බැවින් පාඩු නොබලා ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා බවත්, ඒ ප්‍රමාණය තම දෛනික කිරිපිටි නිෂ්පාදන ධාරිතාවය ඉක්මවා යන හෙයින් යම් කිරි ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබිණි. (2017 ජුනි 17 දේශය පුවත්පත) මෙම අතිරික්ත කිරි තොග පැල්වත්ත සමාගම වෙත ලබාදෙන බවද ඔහු මෙහිදී පවසා තිබිණි. මේ අර්බුදයේ සැබෑ හේතුව අන් කිසිවක් නොව ආනයනික කිරිපිටි බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ආනයනික කිරිපිටි සීමා නොකර, ඒවාට බදු සහන දීමෙන් නොනැවතී, එයට දේශීය කිරි ගොවියාගෙන් එල්ල වන විරෝධය සමනය කිරීම සඳහා රජයේ මුදල් වියදම් කරමින් ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගෙන, ඒවා ඉවත හැලීම වැනි තීරණ අතිශය පුදුම සහගතය. එවැනි තීරණ ගන්නා රටක් ලෝකයේ තිබේ නම් ඒ ශ්‍රී ලංකාව පමණක් විය යුතුය.

කෙම්බිමට ගමනක් (281 - 284 පිටු)

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/05/2019

පාතාලය සුරකිමින් ගුරුවරුන් හිරේ දමන යහපාලනයේ මානව හිමිකම් චින්තනය

කතෘ:යුතුකම     2/05/2019   No comments
සිසුවකුට පහර දුන්නා යැයි කියන ගුරුවරියකට බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහාධිකරණය කටයුතු කර තිබේ. අදාළ පුවතේ කියවෙන පරිදි එය බොරු චෝදනා මත පැනවූ සිර දඬුවමකි. චෝදනාව බොරු වුවද ඇත්ත වුවද මෙය පුදුමාකාර නඩු තීන්දුවකි. පාතාල නායකයන්ගේ මගුල් ගෙවල්වලට පොලීසියෙන් ආරක්ෂාව සපයන කාලකණ්ණි රටක (එය පසුගිය අප්‍රේල් 25 වැනිදා වත්තල ප්‍රදේශයේ සිදුවූ සිදුවීමකි.) දරුවෙකුට දඬුවම් දුන් ගුරුවරියක් දෙවසරකට හිරේ යැවීම එක් අතකින් පුදුමයක්ද නොවේ. ළමා හිංසනය පිළිබඳ ගොබ්බ තර්කයකට මුවාවී දරුවන්ට දඬුවම් දීමට එරෙහිව පළවන රූපවාහිනී දැන්වීම් ආදිය පසුගිය කාලයේදී අපට නිතර දක්නට ලැබිණි. ඒ වෙනුවෙන් පෙනී සිටින එන්ජීඕ සංවිධාන ආදිය වර්තමාන යහපාලන ආණ්ඩුවේ මහා මෙහෙයුම්කරුවෝ වෙති. ඒ නිසාම මේ යකාගේ නඩු තීන්දුවද මෙරට සමස්ත දේශපාලන වියවුලේ ප්‍රකාශනයක් යැයි කිසිවෙකුට සැක සිතෙන්නේ නම් එහි කිසිදු අසාධාරණයක් නැත.

ළමා හිංසනයට එරෙහි විය යුතු බව ඇත්තකි. නමුත් ප්‍රායෝගිකව ඒ හිංසනයේ සීමා මායිම් හා නිර්ණායක මොනවාදැයි තීරණය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නොහැකි නම් සිදුවිය හැක්කේ මහා ඛේදවාචකයකි. සිසුවෙකුට දඬුවම් කිරීම සම්බන්ධව ගුරුවරයෙකු වැරදි කරුවෙකු කළ යුත්තේ ඔහු ද්වේශ සහගත ලෙස, අසාධාරණ ලෙස, නොගැළපෙන තරමේ ශාරීරික දඬුවමක් ලබා දී එයින් එම සිසුවාට සැලකිය යුතු හානියක් සිදුවී ඇත්නම් පමණි. නමුත් ඊනියා මානව හිමිකම් කරුවන්ගේ තර්ක අනුව සිසුවකුට කරන ඕනෑම පහර දීමක් වැරදිය. දේශීය සංස්කෘතිය තුළ ගුරුවරයා සිසුවෙකුට දඬුවම් කිරීම අනිසි කටයුත්තක් ලෙස නොසැලකෙයි. වෙනස් වන නවීන ලෝකය තුළ ඒ සංස්කෘතික පුරුද්ද නොකඩවා ඉදිරියට ගෙන යා යුතු යැයි නියමයක් නැතත් ඒ ගැන කටයුතු කළ යුත්තේ ප්‍රායෝගික තත්ත්වයන් අනුව මිස ඊනියා ගල් ගැසුණු නීති පද්ධතියකට අනුව නොවේ.

ලෝකයේ ඉහළ ආර්ථික වර්ධනයක් ඇති දියුණු යැයි සම්මත රටවල පාසැල් සිසුන්ට ශාරීරික දඩුවම් ලබා දීම අනුමත නොකෙරෙන අතර බොහෝ විට එය නීතියෙන් තහනම් කටයුත්තකි. මානව හිමිකම් ගැන කතා කරන අයට ඒ කාරණයද තම ව්‍යාපෘතිය සාධාරණීකරණය කිරීමේ ප්‍රබල තර්කයක් ලෙස ඉදිරිපත් කළ හැක්කකි. ඔවුන්ට එහිදී අවශ්‍ය නම් දූපත්වාසී ගෝත්‍රික සිංහලයාගේ වනචාරීත්වය ගැන කියමින් ලෝකය ඊට වඩා බොහෝ වෙනස් බව පවසමින් තමන්ගේ සදාතනික දේශපාලන ආරෝව පිට කර හැරීමටද එය අවස්ථාවක් කර ගත හැකිය. එහෙත් සංවර්ධිත රටවල ප්‍රතිපත්ති ලංකාවේ එලෙසින්ම ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද? ශාරීරික දඬුවම් තහනම පිළිබඳ දියුණු රටවල ප්‍රතිපත්තිය වැරදි නැත. අපිට ඒ ප්‍රතිපත්තිය සමඟ සංකල්පමය වශයෙන් කිසිදු ආරෝවක්ද නැත. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සමාජ ආර්ථික පරිසරය මීට වඩා කොතෙක් නම් වෙනස් විය යුතුද? රටේ අගමැතිවරයා රටේ මහ බැංකුව සුද්ද කරමින් පාර්ලිමේන්තුව රස්තියාදු කාරයන්ගෙන් පුරවා ඇති රටක පාසැල් සිසුන්ගේ විනය සම්බන්ධව ස්විස්ටර්ලන්ත නීති පැනවීමට යාම තරම් විහිළුවක් තවත් තිබේද?

දියුණු රටවල් තම සංවර්ධනය උදාකරගත් ආකාරය හිතන තරම් ශිෂ්ට නැතත් ඔවුන්ගේ සමාජ පරිසරය මේ රටවලට වඩා බෙහෙවින් යහපත්ය. ඒ රටවල දරුවන්ගේ හැදියාවට අදාළ බොහෝ දේ ඔවුන්ට තම නිවසින්, දෙමාපියන්ගෙන්, සමාජ පරිසරයෙන් යන මේ සෑම තැනෙකින්ම ලැබේ. නමුත් ලංකාවේ තත්ත්වය...? හද්දා පිටිසර දුෂ්කර පාසැල්වලට යා යුතු නැත. ආර්ථික සමාජ මට්ටම අතින් ලංකාවේ දෙවැනි ස්ථානයේ පසුවන ගම්පහ දිස්ත්‍රික්කයේ මා දන්නා පාසැල්වල පවා අයහපත් සමාජ පරිසරයක ජීවත් වන දරුවන් පමණක් සිටින පාසැල් කොතෙක් නම් තිබේද?

ඒ බොහෝ දරුවන්ට ඉගෙන ගන්නවා තබා එදා වේල සපයා ගැනීමට ක්‍රමයක් නැත. අම්මලා තාත්තලා බොහෝ විට අඩු පඩියට කුලී වැඩ කරන ශ්‍රමිකයෝය. බොහෝ දරුවන්ගේ එක්කෝ අම්මා නැත. එක්කෝ තාත්තා නැත. ඔවුන් වෙනත් ගැහැනුන් සමග හෝ මිනිසුන් සමග ගොස්ය. එක්කෝ අම්මා මැදපෙරදිග වහල් සේවයේය. තාත්තා බීගෙන ඇවිත් ගෙදර දෙවනත් කරයි. සමහරුන්ගේ තාත්තලා හිරගෙවල්වලය. අම්මා තාත්තා දෙදෙනාම නැතිව වෙනත් නෑදෑයන් ළඟ සිටින දරුවන් බොහෝය. ඇතැම් දරුවන් පාසැල් එන්නේ පන්සල්වල සිටය. මේ දරුවන්ගේ ඉගෙනීමට නිවෙස්වලින් කිසිදු අනුබලයක් සැපයෙන්නේ නැත. ඔවුන්ට මාපිය රැකවරණය ආදරය හිමිවන්නේ නැත. ඒ දරුවන් ආශ්‍රය කරන්නේ හන්දිවල සිටින රස්තියාදුකාරයන්වය. බලන්නේ දහජරා ටෙලිනාටකය. උදේ හවා අහන්නේ ඊනියා නූතන ගායකයන්ගේ ඔක්කාරය දනවන සුළු ගීතය. ගුරුවරුන්වත් නොදන්නා නානා මාදිලියේ මත්ද්‍රව්‍ය ගම්මානවල පවා අස්සක් මුල්ලක් නෑර පැතිරී ඇත. ඇතැම් සිසුන් පන්ති කාමරයට එන්නේ මේ මත්ද්‍රව්‍යවලින් මත් වීය. මෙවන් පරිසරයක හැදී වැඩෙන දරුවන්ගේ මානසිකත්වය තිරිසන් සතුන්ගේ මානසිකත්වයෙන් වෙනස් වන්නේ සුළු වශයෙනි. එහෙව් දරුවන්ට ඉගෙන ගැනීමට සපයා ඇති විෂය නිර්දේශද අපූරුය. කිසිදු වැදගැම්මකට නැති නීරස විෂය කරුණු ගොන්නක් කටපාඩම් කර තරඟ විභාගවලට මුහුණ දීමට ඔවුන්ට සිදුව ඇත. එවිට සිදුවිය හැක්කේ කුමක්ද?

ආදරයෙන් හෝ තර්කානුකූලව කරුණු පැහැදිලි කරදී හෝ නිර්මාණශීලී ඉගැන්වීම් ක්‍රම මඟින් හෝ එවැනි දරුවන් මෙල්ල කිරීමට ඇති හැකියාව ඉතා අල්පය. ආදරයෙන් ප්‍රශ්න විසඳන්නට යන ගුරුවරුන්ට මෙවැනි දරුවන්ට ඉගැන්වීම කෙසේ වෙතත් පන්ති කාමරයේවත් යහතින් සිටීමට ඉඩක් ලැබෙන්නේ නැත. එවැනි අහිංසක ගුරුවරුන් දැඩි සේ සමච්චලයට ලක්කරමින්, පන්ති කාමරවල යකා නැටීම කලහකාරී සිසුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. පාසැලට පැමිණ ඉගෙන ගත යුතුය යන මානසිකත්වය හෝ ඊට අවශ්‍ය හැදියාව මේ සිසුන්ට තම පරිසරය තුළින් ලැබී නැත. තාරේ සමීන් පර් වැනි චිත්‍රපටවල කියන ආකාරයේ සුන්දර ක්‍රමවලට මෙවැනි සිසුන් ගොඩ ගත හැකි යැයි කියන අඳබාලයන්ව නැවත මොන්ටිසෝරි යැවීම සුදුසුය. එවැනි සුන්දර අධ්‍යාපන විප්ලව චිත්‍රපටවල මිස සැබෑ ලෝකයේ කළ නොහැකිය. මේ අවුල බොහෝ විට කළමනාකරණය කළ හැක්කේ සිසුන්ට දැඩි ප්‍රතිචාර දක්වන සැර ගුරුවරුන්ට පමණි. ඉහත කී නරක සමාජ පරිසරය ගැන නොතකා වියුක්ත ලෙස සිසුන්ගේ මානව හිමිකම් දිනා දීමට යාමෙන් සිදුවන්නේ ඔවුන් කබලෙන් ලිපට වැටී ලංකාවට තවත් රස්තියාදුකාරයන් බෝවීම පමණි. එහෙයින් සිහි බුද්ධියක් ඇති සියලු දෙනා මේ තීන්දුවට එරෙහිව වහ වහා පෙළ ගැසිය යුතුව තිබේ.

එහෙත් අද දෘෂ්ටිවාදීව මේ රට පාලනය කරන යහපාලන පඬියන්ගේ චින්තනය හා වැඩපිළිවෙළ වී ඇත්තේ මේ කිසිවක් නොතකා සිසුන්ට දඬුවම් දීම පමණක් නතර කිරීමය. ඔවුන්ගේ ඊනියා මානව හිමිකම් තරම් මේ අසරණ සිසුන්ට කළ හැකි තවත් හිංසනයක් නැත. එය හරියට රටේ මත්ද්‍රව්‍ය පැතිරීම නතර නොකර මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට දෙන දඬුවම් හිංසාකාරී යැයි කෑ මොර දීම තරමේ විහිළුවකි. දියුණු රටවල නීති ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නම් කළ යුත්තේ සමාජයක් ලෙස ඊට ගැලපෙන ආර්ථික සමාජ සංවර්ධනයක් ඇති කර ගැනීමය. ආසියාවේ මහා මොළය යැයි වර නගමින් බැංකු හොරෙක් අගමැතිවරයා බවට පත් කරගත් මේ මානව හිමිකම් කාරයන්ට එවැනි වෙනසක් රටේ ඇති කිරීමට කිසිදු හැකියාවක් හෝ වුවමනාවක් නැත. ඒ නිසා මීටත් වඩා භයානක දේ ඉදිරියේදී සිදුවිය හැකිය. හෙට අනිද්දා වන විට මේ ගුරුවරියට දුන් දඬුවම තව මදි යැයි කෑ මොර දෙමින් රනිල්ගේ සිවිල් සංවිධාන බලු රෑන කළු ඇඳගෙන ලිප්ටන් වට රවුමට රැස් වුවහොත් එයද පුදුමයක් නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුව ඇත.

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/13/2019

විමල් විතරද? විජේවීරටත් නඩු දාමු. වන්දියක් අරගෙන ගොඩ යමු.

කතෘ:යුතුකම     1/13/2019   1 comment
විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත කෘතියට එරෙහිව පැවරූ නඩුවක් මගින් ජවිපෙ ජය ලබා ඇති අතර ඊට වන්දිය ලෙස රුපියල් කෝටියක් ගෙවීමට විමල්ට නියම කොට ඇත. ජවිපෙ මිතුරන් මේ ජයග්‍රහණය ඉතා සතුටින් සමරමින් සිටිති. ඔවුන්ට පමණක් නොව මටද ඒ ගැන ඇත්තේ අප්‍රමාණ සතුටකි. ඊට හේතු කීපයක් තිබේ.

1. විමල් කර ඇති වරද වන්නේ ටිල්වින් සිල්වා ජවිපෙ මධ්‍යම කමිටුවට ලියූ ලිපි කීපයක් කෘතියේ ඇතුළත් කිරීමය. එය ඇතුළත් කළේ ටිල්වින්ගේ මහා බුද්ධිමය සාරය සූරා කෑමට නොව ජවිපෙ ගමන පිළිබඳ ඔහු දැරූ තකතීරු අදහස රටට හෙළිකළ යුතු නිසාය. ඒ ලිපි තමාගේ බව මේ නඩු තීන්දුව හරහා ටිල්වින් පිළිගෙන ඇත. ජවිපෙ අද පවතින තත්ත්වයට ඇද වැටීමට බලපෑ විනාශකාරී අභ්‍යන්තර පාවාදීමට ටිල්වින්ලාගේ මතවාදී දායකත්වය කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය අයෙකුට අද වුවද මේ කෘතිය කියවා බැලිය හැකිය. අනුර නම් ලියන්නට දන්නේ මැල්ලුම් පමණක් නිසාදෝ ඔහු මේ සංවාදයට අදාළව කිසිදු ලිපියක් ලියා නැත. එදා අභිමානවත් ලෙස ජාතියේ ඉරණම සියතට ගත් දේශපාලන ව්‍යාපාරයක් අද චතුර සේනාරත්නගේ කක්කුස්සිය දක්වා ඇද දැමූ මහා පාවාදීම කුමක්දැයි විමල්ගේ කෘතිය මගින් ගල් වැලි නැතුව පෙන්වා දී තිබේ. ඒ ශ්‍රේෂ්ඨ වරද සිදුකොට කෝටියක් නොව කෝටි සීයක වන්දියක් ගෙවීමට සිදුවුවද විමල් ඒ දඬුවම ඉතා සතුටින් හා අභිමානයෙන් භාරගත යුතුය.

2. ජවිපෙට අන් සියල්ලට වඩා මේ මොහොතේ මුදල් වැදගත් විය හැකි විය හැකි බව සැබෑය. පහළ සාමාජිකයාට හා රටට එක නාඩගමක් පෙන්වා ඉහළ අයියලා වෙන වෙන දේවල් කිරීම හැමදාම කළ නොහැක්කකි. ඒ නිසා ඔවුන් නව ධනෝපායන මාර්ග සොයා යා යුතුය. ඒ අනුව පක්ෂයේ ඉරණම තීරණය කිරීමට බලපෑ අභ්‍යන්තර ප්‍රශ්නයක් අධිකරණයේ වෙන්දේසි කර ලබා ගත හැකි මුදල රුපියල් කෝටිය නම් ඔවුන් එය වහාම ලබා ගත යුතුය. ලාල්කාන්තගේ දුවට පෞද්ගලික උපාධි ගැනීමට, වසන්ත සමරසිංහගේ ගෙවල් කුලිය ගෙවීමට, අනුරගේ පුංචි අම්මාට හාල් තුනපහ මිලට ගැනීමට, විජිත හේරත්ට අඩියක් ගැසීමට බොහෝ මුදල් අවශ්‍ය බව අපිද දනිමු. ඒ සුලු මුදල සොයාගැනීම සඳහා විජේදාස රාජපක්ෂ, චතුර සේනාරත්න, මලික් සමරවික්‍රම වැනි අය ඉදිරියේ චාටර් වෙනවාට වඩා තමන්ගේම හිටපු එකෙක් වූ විමල්ගෙන් මුදල් ඉල්ලා ගැනීම හොඳය. ජවිපෙ වෙනුවෙන් ජීවිත නැති කරගත් අවංක මිනිසුන් මිනීවලවල්වලින් නැගිට ඒමට පෙර ජවිපෙ එවැනි ක්‍රියාමාර්ග වෙත හෝ යොමු වීම බෙහෙවින්ම අගය කළ යුතුය.

3. දේශපාලන වශයෙන් අතිශය නිවැරදි හා යුක්ති සහගත ක්‍රියාමාර්ග පවා අධිකරණය ඉදිරියේ වැරදි දේවල් විය හැකිය. “ඉතිහාසය මා නිදොස් කරනු ඇත” කියා එදා පිදෙල් ක්‍රස්තෝ කීවේද ඔහුගේ නිවැරදි ක්‍රියාමාර්ගය නීතිය ඉදිරියේ වරදක් වූ නිසාය. ජවිපෙ වත්මන් සාමාජිකයන් රනිල් ගැන මිස පිදෙල් ගැන නොදන්නා නිසාදෝ ජවිපෙ අද සෑම දෙයකම නිවැරදි බව මනින්නේ ඔවුන්ම එපෝ එපෝ කියන ධනේශ්වර නීතියට අනුවය. ඒ අනුව රෝහණ විජේවීර ඇතුළු අතීතයේ ජීවිත පිදූ දහස් ගණනක් වූ ජවිපෙ සාමාජිකයන් සියලු දෙනා නීතිය ඉදිරියේ වැරදි කාරයෝය. ඒ නිසා දැන් ජවිපෙ කළ යුත්තේ අප්‍රේල් විරුවන් හා ඉල්මහ විරුවන් සැමරීම නවතා වහාම ඔවුන් නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්කොට හැකි නම් ඔවුන්ගේ පවුල් ලවා හෝ රනිල් හාමුගේ රජයට වන්දි මුදල් ලබාදීමට කටයුතු කිරීමය. ජවිපෙ ස්වාමියා වූ ආසියාවේ මහා මොළයානන් වහන්සේ විසින් නන්නාපෝල් කර දැමූ රටේ ආර්ථිකයට එවැනි දේකින් හෝ මුක්කුවක් ගැසිය හැකි නම් එය කාටත් යහපතකි. මොළයානන් වහන්සේට රට භාරදී පාරට බහින්නට බැරිව සිටින ජවිපෙ සාමාජිකයන්ගේ විප්ලවීය ජීව ගුණය නගා සිටුවීමටද එය වක්‍රාකාර බලපෑමක් කරනු ඇත.

4. නැත්ත වෙනුවට ඇත්ත කෘතිය පිළිබඳ අලුත් සංවාදයක් රට තුළ ඇති කිරීමට මේ නඩු තීන්දුව හේතු වී තිබීමද සතුටට කරුණකි. පොත කඩවල්වල නැතිවීම අපට ප්‍රශ්නයක් නොවේ. මේ වනවිටත් මේ කෘතියේ පීඩීඑෆ් පිටපත් දහස් ගණනින් අන්තර් ජාලය පුරා සංසරණය වන්නට පටන් ගෙන ඇත. හැකි නම් එසේ බෙදාහරින සියලු දෙනාවද අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති තරම් මුදල් උපයා ගනු මැනවි. සල්ලි හොයා එක එකාගේ වැසිකිලි අස්සේ රිංගන්නට ගොස් අතීතයේ ජීවිත පිදූ මිනිසුන්ට අපහාස නොකර ඔබලාගේ මුදල් ප්‍රශ්න විසඳා ගැනීමට ඒ ඔස්සේ හැකියාව ලැබෙනු ඇත.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/12/2019

කලු මාධ්‍ය, NGO සුදු මහත්තුරු සහ රනිල්ගේ මැජික් අරිෂ්ඨය

කතෘ:යුතුකම     1/12/2019   No comments


කළු මාධ්‍ය සුදු කරදීම සඳහා ඊයේ මාධ්‍ය ආයතන වෙත කඩා වැදුණු සුදෝ සුදු මහත්වරුන්ට හා මහත්මීන්ට බොහෝ දෙනා දොස් නගති. එහෙත් මට නම් මෙය පෙනෙන්නේ සුබවාදී හා සතුටුදායක ප්‍රවණතාවක් ලෙසය. ඊට බලපෑ හේතු කාරණා කීපයක් තිබේ.

1. අප එදා සිටම කියන ආකාරයට ලංකාවේ ඇත්තේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් නොව මාධ්‍ය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් මේ සුදු මහත්තුරුන් එදා සිටම සටන් කළේ මාධ්‍ය නිදහස වෙනුවෙනි. ඔවුන්ට අනුව මිනීමරු බෙදුම්වාදී ත්‍රස්තවාදයට සුදු හුණු ගෑමේ සිට නිවේදිකාවන් වඳුරු කුණුහරප කීම දක්වා ඕනෑම දෙයකට මාධ්‍ය නිදහස තිබිය යුතුය. උතුරේ ජන සංහාරවල සිට ලැම්බෝගිනි හෝ රත්තරන් අස්පයන් දක්වා ඕනෑම ගල් පැලෙන බොරුවක් කීමට මාධ්‍යයට නිදහස තිබිය යුතුය. මේ ආකාරයට කාලයක් තිස්සේ මාධ්‍ය නිදහසක් වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස අද තම සටන පාවාදී මාධ්‍ය සදාචාරයක් ගැන කතා කරන්නට පටන්ගෙන තිබේ. ඒ අපූරු විපර්යාසය සතුටුදායකය.

2. සුදු මහත්තුරුන්ට මේ රට ගැන කතා කරන විට නම් සංස්කෘතිය, සදාචාරය දෑහට පේන්නට බැරිය. කුහක සදාචාරය, ඊනියා සුචරිතවාදය, ප්‍රති සංස්කෘතිය, දෙදාස් පන්සීයේ අම්මාගේ රෙද්ද වැනි කතා ඔවුන්ගේ සිරි මුඛවලින් නිතර පිට වෙන්නේ ඒ නිසාය. ඔවුන්ට අනුව මිනිසුන් සියලු සංස්කෘතික සදාචාර සීමාවන් පසෙක දමා ප්‍රකෘති හැගීම්වලට අනුව හැසිරිය යුතුය. සදාචාරය කුහක බැවින් මිනිසාගේ නියම සහජ හැගීම්වලට ඉඩදී මහ පාරේ අම්මා දූෂණය කිරීමට වුවද පුතාලාට ඉඩ තිබිය යුතුය. පුදුමය වන්නේ ඒ සා රැඩිකල් සුදු මහත්වරු පවා අද සදාචාරය ගැන කතා කිරීමය. රටේ සදාචාරය කුහක නම් මාධ්‍ය සදාචාරය කුහක නොවන්නේ කෙසේදැයි මට හිතාගත නම් නොහැකිය. එහෙත් අද සුදු මහත්වරු සදාචාරය ගැන කතා කරති. එයද සතුටුදායකය.

3. පහුගිය දිනවල බුදුන්ගේ රස්තියාදුවක් අල්ලාගෙන කලාවට කොන්දේසි විරහිත නිදහසක් අවශ්‍ය බව කියමින් පොළොවේ පස් කෑවේද මේ සුදු මහත්වරුමය. සුදු මහත්වරුන්ගේ තර්ක අනුව කලාව මාර උත්තරීතරය. කලාවේ නාමයෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට කලාකරුවන් යැයි කියාගන්නා පට්ට පොරවලට නිදහස තිබිය යුතුය. ඒවා විවේචනය කළ යුත්තේ දාර්ශනිකව හරි සංයමයෙන් මිස කොන්දේසි, නීති, විරෝධතා මගින් නොවේය. කලාවේ නිදහසට එරෙහිව වචනයක් කතා කිරීමට සර්ව බලධාරී දෙවියන් වහන්සේටවත් අවසර නැත. එවැනි ලොව කොහේවත් නැති යකාගේ නිදහසක් වෙනුවෙන් පෙනී සිටි මේ පිරිස අද මාධ්‍යයේ නිදහස සීමා කිරීමට මැදිහත් වෙති. කලාවට කොන්දේසි විරහිත නිදහසක් අවශ්‍ය නම් මාධ්‍ය කලාවට කොන්දේසි, ආචාර ධර්ම කුමකටද? නිදහස පිළිබද තමන්ගේම පට්ට නිර්වචනවලට පවා එරෙහිව යමින් අද ඔවුන්ට පාරේ නටන්නට සිදුවී තිබීම සතුටුදායක දෙයක් නොවේද? යම් දවසක කලාකරුවෙක් බැඳුම්කර නාඩගම වැනි නාටකයක් නිර්මාණය කළහොත් කලාවටද නීති, කොන්දේසි, සදාචාර ධර්ම අවශ්‍ය බව කියමින් මේ සුදු මහත්තුරු උද්ඝෝෂණය කරනු ඇත.

4. බොහෝ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සුදු මහත්තුරුන්ගේ විරෝධය හෙලා දුටුවේය. සජිත් ප්‍රේමදාස පවා ඒ විරෝධය හෙලා දුටුවේ ඊට වෙර යොදා බැන වදිමිනි. එහෙත් අපූරු කාරණය වන්නේ ජවිපෙ විජිත හේරත් එසේ නොකිරීමය. ඔහු පැවසුවේ එය තම පක්ෂයේ කටයුත්තක් නොවන බව පමණි. ඒ මිස එම කටයුත්ත ගැන එතරම් ගැටලුවක් ඔහුට තිබුණේ නැත. ඒ අනුව සජිත් ප්‍රේමදාසටත් වඩා විජිත හේරත් යූඇන්පී බව නැවත වතාවක් සරලව පෙන්වා දීමද මේ විරෝධයේ සාධනීය ප්‍රතිඵලයක් නොවේද?

5. මාධ්‍ය විසින් ජාතිවාදය පැතිරවීමද සුදු මහත්වරුන්ගේ වාතයා රක්තයා කුපිත වීමට එක් හේතුවකි. කතාව ඇත්තය. සුදු මහත්වරුන්ට අනුව උතුරේ කොටි සැමරුම්වලට එරෙහි වීම ජාතිවාදීය. ඊළාම් සිතියම උස්සාගෙන නටන නැටුම්වලට එරෙහිවීම ජාතිවාදීය. විල්පත්තුව කැපීමට එරෙහි වීම ජාතිවාදීය. රණවිරුවන් හිරේ දැමීමට එරෙහි වීම ජාතිවාදීය. කොටි නිදහස් කිරීමට දීමට එරෙහිවීම ජාතිවාදීය. ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩන ව්‍යවස්ථාවට එරෙහි වීම ජාතිවාදීය. බෞද්ධ පුරාවස්තු ඩෝසර් කිරීමට එරෙහි වීම ජාතිවාදීය. කොටින්ම කිවතොත් ඉර හඳ පවා ජාතිවාදීය. ප්‍රභාකරන්, රනිල්, සුමන්තිරන්, විජයකලා, බදුර්දීන්, අනුර දිසානායක හා පුබුදු ජයගොඩ හා මේ සුදු මහත්වරුන් අතලොස්ස හැර ලෝකයේ සිටින සියලුම මිනිසුන් ජාතිවාදීය. කාල් මාක්ස්, ලෙනින්, චේ ගුවේරා, විජේවීර පවා අයත්වන්නේ ජාතිවාදී ගොඩටය. ජාතිවාදය යනු ලංකාවේ භාවිතා වන ලොකුම දේශපාලන කුනුහරුපය බව රටට තේරුම් කර දීමට මේ මහත්වරු විශාල පරිශ්‍රමයක් දරති. ප්‍රභාකරන්ට ජාතිවාදියා යැයි කීමට දිව නොනැමෙන සුදු මහත්වරුන්ට මාධ්‍ය ආයතන ජාතිවාදී ලෙස පෙනීයාම තරම් සිනා උපදවන සතුටුදායක විහිළුවක් ලෝකයේ තවත් තිබේද?

6. සංවිධාන හැටහුටහමාරකට අයත් රෝසා බස් දෙකකට පමණ පිරවිය හැකි අති විශාල ජනකායක් මේ විරෝධය සඳහා සහභාගී වී තිබේ. මේ මහා විකල්ප බලවේගයේ සැබෑ නිමැවුම්කරුවා අන් කිසිවෙක් නොව රනිල්ය. ඒ අතින් රනිල් මාර මැජික්කාරයෙකි. ලංකාවේ සිටින ඕනෑම වාමාංශික රැඩිකල් පොරක් කලිසමේ එක සාක්කුවකින් ඇතුළට දමා අනෙකින් එළියට ගෙන පෙන්වීමට රනිල්ට හැකියාව ඇත. මෙලෝ දේශපාලන අල බෝලයක් නොදන්නා සමනලීලාගේ සිට තමන් මහා බක පණ්ඩිතයෙක් යැයි සිතාගෙන බන්දු සමරසිංහ පන්නයේ විහිළුවලින් බුකි මිතුරන් පිනවන විදර්ශනලා දක්වා වූ සියල්ලන් කාගේ කවුදැයි තේරුම්ගැනීමට මේ විරෝධතා අපට උපකාරී වනු ඇත. ලිබරල්වාදය, මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ව්‍යූහවාදය, ඩෙරීඩා, පුකෝ, ලැකාන් මේ මොන ඉලව්වක් ගැන කතා කළද ඔවුන්ගේ සෑම වචනයකින්ම වෑහෙන්නේ රනිල්ගේ වසුරු සුවඳම බව අප නම් පෙන්වා දී ඇත්තේ බොහෝ කාලයක සිටය. එහෙත් බීරන්ට ඇසීම සඳහා විශාල ශබ්දයක් අවශ්‍යය. මේ සියලු දෙනා රනිල්ගේ කුක්කන් කික්කියන් බව ලෝකයේ හොඳම බීරාට පවා ඇසෙන අයුරින් සරලව කෑ ගසා කීම මේ විරෝධයේ තවත් සාධනීය ප්‍රතිලාභයක් බව අවසාන වශයෙන් සඳහන් කළ යුතු නොවේද?

ඉසුරු ප්‍රසංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/18/2018

ලංකාවේ විකල්ප උගත්තු දෙවැනි ලෝක යුද්ධ කාලේ රුසියාවේ හිටියා නම් කියන කතා ටිකක්..

කතෘ:යුතුකම     5/18/2018   No comments
> රට ජාතිය වෙනුවෙන් මිනී මරන, අහිංසක ජර්මානුවන්ගේ හිස් මතට බෝම්බ අතාරින ජාතිවාදී රුසියන් රතු හමුදාව...

> තවත් රටක මිනිස්සු තොග පිටින් මරලා ලේවලින් කිරිබත් උයාගෙන කන නරුම රුසියානු අධිපතිවාදය...

> යුගයක රජයන අදහස් කියන්නේ පාලක පන්තියේ අදහස්... ව්‍යාජ සමාජවාදී රතු සලුවක් පොරව ගත්තු අන්ත දූෂිත ඒකාධිපති පාලක පන්තියේ දෘෂ්ටිවාදය තමයි අද දේශප්‍රේමය ඔස්සේ මිනීමරු ජාතිවාදය, යුධවාදය, මිල්ටරිකරණය දක්වා ගමන් කරලා තියෙන්නේ... මාක්ස්.... අල්තුසර්... ලැකාන්... ෆුකෝ... ඩෙරීඩා....

> නාසිවාදියෝ කියන්නේ පීඩිත පන්තියේ අපේම සගයෝ... නාසි තරුණයෝ ආයුධ ගන්න, ගෑස් කාමර හදන්න බලපාපු හේතු තියනවා. ඒ හේතුවලට විසඳුම් නොදී පලය විනාශ කළාට වැඩක් නෑ.

> අපි කරන්න ඕන නාසිවාදය බිහිවුණු ආර්ථික සමාජ මූලයන්ට විසඳුම දෙන එක මිසක් යුද්ධ කරලා ලේ හලන එක නෙමෙයි.

> ස්ටාලින් දන්නේ නැතුවට මාක්ස් පවා ජාතීන්ගේ වෙන් වීමේ අයිතිය පිළිගත්ත බව. ආර්ය ජාතියට ඒ අයිතිය නැද්ද? අපි ආර්යයන්ගේ ස්වයං තීරණ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා.

> යුද්ධ කරලා කවදාවත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේ සමාජ දේශපාලන ගර්භාෂය තුළ එක හිට්ලර් කෙනෙක් මැරුවට තව හිට්ලර්ලා සිය ගාණක් උපදිනවා. මේකට අවශ්‍ය වෙන්නේ දේශපාලන විසඳුමක්.

> මේ යුද්ධෙන් පස්සේ ඇති වෙන්නේ බැරැක්ක සමාජයක්... රටම මිල්ටරිකරණය වෙලා යුධ උන්මාදයෙන් ගිනි කන වැටෙනවා.

> මිනිස්සුන්ට තමන්ගේ සැබෑ සතුරා අඳුන ගන්න බැරි වුණාම බොරු සතුරෙක් ඕන වෙනවා.

> අද ඒකාධිපති ස්ටාලින් කල්ලිය තමන්ගේ නොහැකියාව වහගන්න ෆැසිස්ට්වාදී නාසිවාදී බිල්ලෙක් මවනවා. හිට්ලර් කියන බිල්ලා පෙන්නලා තමයි මේ ඊනියා සමාජවාදී පාලකයෝ තමන්ට එරෙහි සැබෑ පන්ති බලවේග මර්දනය කරන්නේ...

> යුද්ධාතල්වලින් රටම නිර්වින්දනය වෙලා ඉද්දි හාල්, පොල්, කිරිපිටි, බස් ගාස්තු ඉහළ යනවා.

> ජර්මන් සංහාරයෙන් පසු කවි නොලියවෙනු ඇත.

> ස්ටාලින් හිට්ලර්ට සල්ලි දීලයි යුද්ධෙ දිනුවේ. ඒ නිසා ස්ටාලිනුත් නාසිවාදියෙක්.

ඉසුරු ප්‍රසංග

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions