මම දකින විදිහට බොදු බල සේනාව මෙහි තීරණාත්මක කොටසක් ඉටු කලා. යුද්ධයෙන් පසුව රටේ ක්‍රමයෙන් ගොඩ නැගුනු මුස්ලිම් අන්තවාදය දඩමීමා කොට ගෙන පැවති රජයටද මුස්ලිම් ජනයාටද ඔවුන් දෙපැත්තකින් පහර එල්ල කලා. එජාපයට ලැදි එහෙත් නිසි නායකත්වයක් නැතිව අතරමං වූ බෞද්ධ තරුණයක් බොබසේ වට පහසුවෙන් ආකර්ෂණය වුනා. මොහොමඩ් මහින්ද ලෙස මතයක් බෞද්ධ සමාජයට ඇතුළු කරන්න ඔවුන් සමත් වුනා. ඒනිසාම හෙළ උරුමට පක්ෂපාති සිංහල තරුණයන් පවා මහින්දට වෛර කරන්න පටන් ගත්තා. අනිත් පැත්තට බොබසේ සුළුජාතින්ට දිගින් දිගටම පහර ගහන නිසා සියලුම මුස්ලිම් ජනයා හා අනෙක් සුළු ආගමිකයන්ද රජයෙන් ඈත් වුනා. අවසානයේදී මුස්ලිම් ඡන්දත් සිංහල බෞද්ධ තරුණ ඡන්දත් යන දෙකම මහින්දගෙන් ගලවන්න බොබසේ ට හැකිවුනා. මෙහිදි හෙළ උරුමයද මුල සිටම මේ කුමන්ත්‍රණයේ කොටස් කරුවන් වූ බව පැහැදිළියි. විශේෂයෙන්ම රාජිතගේ හඩ පටයේ "ඔය ගොල්ලන් කරගෙන යන්න අපි විරුද්ධ වෙන්නම් " කියන කොටස කාට කාටත් මතක ඇති.
වඩාත්ම පුදුම සහගත වැඩේ වන්නේ අන්තවාදින් යැයි චෝදනා ලද මුස්ලිම් ජනයාද ඔවුන්ට චෝදනා කල බෞද්ධ පිරිස්ද මහින්දට විරුද්ධව එකට එක්වී ඡන්දය භාවිතා කිරීමයි.
දැන් මොකද වෙන්නේ?
විශේෂයෙන්ම හෙළ උරුමය පසුපස යමින් මෛත්‍රි හා එක් වූවන් තමන් මහත් රැවටීමකට ලක්වූ බව අද වෙන කොට තේරුම් අරන් තියනවා. කවුරුත් නොහිතපු ආකාරයේ ජන රැල්ලක් මහින්ද වටා එකතු වෙලා තියනවා. මෛත්‍රීට ලැබුනු ඡන්ද මහමැතිවරණයකදී එජාප, ජවිපෙ, දෙමළ සන්ධාන, මුස්ලිම් පක්ෂ, නිදහස් පක්ෂය යන්නට බෙදි වෙන් වන විට මහින්ද වටේ ගොනුවෙමින් පවතින සිංහල බෞද්ධ ඡන්ද රනිල්ට ප්‍රබල අභියෝගයක් කියන එක අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයි.
මේ නිසා නැවතත් මහින්ද වටා ඉන්න සිංහල බෞද්ධ ඡන්ද කොටස් වලට කැඩිය යුතු වෙනවා. ඒ සඳහාද භාවිතා කරන්නේ බොබසේ හා හෙළ උරුමයයි. මොවුන් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමඟ මහින්දට එතරම් කැමැත්තක් නැති හැබැයි ඊට වඩා රනිල්ට අකමැති සිංහල පිරිස් සියල්ලම වගේ මොවුන්ට ඡන්දය දේවි. ඌරන් කැකුන තලන කොට හබන් කුකුලන්ට රජ මගුල් සේ මින් අන්තිමට ජය ගන්නේ රනිල් ප්‍රමුඛ බලවේගයි.
කෙනෙක්ට කියන්න පුළුවන් බොබසේ එහෙම කුමන්ත්‍රණ කරන්නේ නෑ කියලා. නමුත් ඔවුන් කරන්නේ එයමයි. ඝෝඨාභයව අල්ලස් කොමිසමට ගෙනියන්න එපා කියලා මහින්ද හිතවාදින් උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඒකට බොබසේ ආරාධනා නැතුවම ආවා. ආවේ නිකම් නෙමෙයි කොළ තැඹිලි තීරු නැති සිංහ කොඩි අරගෙන. එතන හිටපු අය ඒක ඒ වෙලාවේ වැනුවා. අන්තිමට අන්තර්ජාලය , සමාජ ජාලා හරහා පහර වැදුනේ මහින්දගේ පිරිසට මිසක් බොබසේනාවට නෙමෙයි. බොබසේ නිසා හැම විටම පහර වැදුනේ මහින්ද පිළට. ඒ නිසා ඉදිරි මැතිවරණයකදී කල්පනා කාරීවීමට තරුණ ඔබ සතුව ලොකු වගකීමක් තියනවා. රැල්ල යන අතට කතිරය ගැසිම නොව හොඳට හිතලා තීරණයක් ගන්න.
-සනත් මාපලගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com