8/25/2014

ලොවට බණ කියන ඇමරිකාවේ ආගමික නිරුවත

කතෘ:යුතුකම     8/25/2014   No comments
-පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි
[අස්‌ගිරි මහා විහාරීය කාරක සංඝ සභික]
ඇමෙරිකා එක්‌සත් ජනපදය ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ කිසිදු ආගමක්‌ සමග නොබැඳුන අනාගමික රාජ්‍යයක්‌ වශයෙනි. ශ්‍රී ලංකාවේ ආගමික සංහිඳියාව සිඳී ඇතැයි වරින් වර රාජ්‍ය නියෝජිතයන් කරන ප්‍රකාශන අපට දැන් හුරුපුරුදුය. එය ජිනීවා මානව හිමිකම් සමුළුව විසින් ද අපේ රටට එල්ල කෙරෙන චෝදනාවකි. ඇමෙරිකාවට ගැති අනුගාමික රටවල්ද අපේ රටට එරෙහිව එම වචනම උච්චාරණය කරති. රාවණා බලය හා බොදු බල සේනා සංවිධාන ඉදිරිපත් කරන අදහස්‌ යථාර්ථය තේරුම් ගන්නා රට වැසි සිංහලයන් අනුමත කරති. එහෙත් එම සංවිධාන චරිත කීපයක්‌ වටා ගොඩනැගුන කුඩා කුලක දෙකකි. නමුත් ඇමරිකාව ලොවට මවා පාන්නේ ඒවා සන්නද්ධ ත්‍රස්‌තවාදී සංවිධාන වශයෙනි. ජාත්‍යන්තර නිවේදනවලින් හෙළි දකින්නට තරම් ඔවුන්ට ඒවා අති විශාලය. සියලු ලාංකික භික්‌ෂූන් සහ බෞද්ධයන් එම සංවිධාන නියෝජනය කරන බවත් ඒවා රජයේ ව්‍යාපෘති බවත් පුන පුනා කියමින් බෞද්ධයන් සහ ආණ්‌ඩුව හෙළාදැකීමේ සැලැස්‌මක්‌ දියත් වෙයි. කිසිදාක ලංකාවට නොපැමිණි දලයි ලාමා තුමා මුස්‌ලිම් ජනතාවට හිරිහැර කිරීමෙන් වළකින ලෙස වැරදි උපදෙස්‌ මත පිහිටා අපේ බෞද්ධයින්ට පවසයි. චීන විරෝධී බටහිර නායකයින්ගෙන් යෑපෙන දලයි ලාමා තුමා බෞද්ධ නායකයකු ලෙස බෞද්ධ රටකට විරුද්ධව සිදු කරන ප්‍රකාශ ඉතා හානිකරය. අපේ හිටපු රාජ්‍ය නායිකාවද රහසිගත සමුළුවක්‌ පවත්වා ශ්‍රී ලංකාව ආගමික ගැටුම් පවතින රටක්‌ ලෙස ලෝකයාට ප්‍රකාශ කිරීම ද්වේෂ සහගත ක්‍රියාවකි.ඇමෙරිකා එක්‌සත් ජනපදය සැබවින්ම ආගම හා රාජ්‍ය එකට නොබැඳුන අනාගමික දේශයක්‌ද? එරට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවන සංශෝධනයෙහි දැක්‌වෙන්නේ, ආගමක්‌ පිහිටුවීමට හෝ තහනම් කිරීමට හෝ ආගමික ඇදහීමේ නිදහසට බාධා කිරීමට හෝ රජයට අවසරයක්‌ නොමැත යනුවෙනි. එක්‌ ආගමක්‌ තවත් ආගමකට වඩා උසස්‌ කොට සැලකීම වරදකි. එහෙත් පෞද්ගලිකව ආගමික විශ්වාසයක්‌ දැරීමට රාජ්‍ය ප්‍රධානියාට පුලුවන. ආගමික සංවිධානවල සුබසාධන කටයුතු සඳහා ආධාර සැපයිය හැක. ජනාධිපති ජෝර්- බුෂ් මහතා වරක්‌ පැවසුවේ ආගමික විශ්වාසයන් දරන මිනිසුන් තමන්ගේ පාලකයන් ලවා ඒවා අනුගමනය කරනු ඇතැයි සිතන බවයි. එක්‌සත් ජනපද ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කතාව අවසන් කරන්නේ දෙවියන් වහන්සේ ඇමෙරිකාව රකිත්වා යන ප්‍රාර්ථනාවෙනි. අපේ ජනාධිපතිවරයා කතාවක්‌ අවසානයේ තෙරුවන් සරණයි කියන විට එයට උරණ වන මිනිස්‌සු අනාගමික ඇමෙරිකාවේ සිරිත ගැන නිහඬය. ඇමෙරිකානු ඩොලර් නෝට්‌ටුවේ තිබෙන්නේ දෙවියන් වහන්සේ විශ්වාසයි, (In God we trust) යන වැකියයි. 1956 සිට එය ජාතියේ ආදර්ශ පාඨයයි.

පාසල්වල හා විශේෂ උත්සව අවස්‌ථාවලදී ඇමෙරිකානු ජාතික කොඩියට හා රජයට අවනත බවට දිවුරුම් ප්‍රතිඥවක්‌ දීම එක්‌සත් ජනපදයේ සම්ප්‍රදායකි. 1954 දි කොන්ග්‍රස්‌ සභාව මගින් දෙවියන් වහන්සේ යටතේ එකම ජාතියක්‌ (One Nation, Under God
) යන වචන එම ප්‍රතිඥව ට ඇතුළත් කොට ඇත. දෙවියන් විශ්වාස නොකරන තම දරුවන් ලවා එවැනි ප්‍රතිඥාවක්‌ සිදු කිරීමට දෙමවුපියෝ විරුද්ධ වූහ. එම ප්‍රතිඥව එක්‌සත් ජනපද ව්‍යවස්‌ථාවට පටහැනි බව කැලිෙෆෝනියා අධිකරණය තීන්දු කළ නිසා ප්‍රාන්ත නවයක පාසල්වල එය භාවිතා කෙරේ. එම තීන්දුව ඇමෙරිකානු සම්ප්‍රදායට නොගැලපෙන බව ජනාධිපති ජෝර්ෂ් බුෂ් පවසා ඇත. අපේ රටේ ආගමික සංහිඳියාව ගැන කථා කරන ඇමෙරිකාවේ ආගම පිළිබඳ හැසිරීම් රටාව එබඳුය.

ලෝකයේ රටවල පවතින ආගම්, ඇදහිලි හා සංස්‌කෘතික හර පද්ධති වෙනස්‌ කිරීම තුළින් ඒ රටවල් තම පාලනයට යටත් කර ගැනීම දිගු කලක සිට දියත් කෙරෙන ඇමෙරිකානු පිළිවෙතකි. 1946 ජුලි 10 දින ජපානයට ගිය ජෙනරල් ඩග්ලස්‌ මැක්‌ආතර් සෙනෙවියා හිරෝහිතෝ අධිරාජයා ක්‍රිස්‌තියානියට හරවා ගැනීමට වෙර දරා එය ඉටු නොවූ විට ජපනුන් කිතුනුවන් කිරීම සඳහා මිෂනාරීන් 1000 ක්‌ රැගෙන ගිය බව හමුදා සෙබළකුගේ දිනපොතේ සඳහන් කර ඇත. (දි අයිලන්ඩ් 2000 මැයි 05)

ඇමෙරිකා එක්‌සත් ජනපදය තම බල ව්‍යාපෘතිය සඳහා උපකරණයක්‌ ලෙස ක්‍රිස්‌තියානි ආගම (
Tool of American imperialism) යොදා ගනියි. ලෝකය පුරා නොයෙක්‌ රටවල අද පවතින ගැටුම් පිටුපස සිටින්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. 1953 වසරේ කොරියාව දෙකට බෙදා දකුණු කොරියාවේ බෞද්ධයන්ගේ ප්‍රතිශතය සියයට 85 සිට 18 දක්‌වා බැස්‌සුවේ ඇමෙරිකානු මිෂනාරී කණ්‌ඩායම්ය. 2025 වසර එළඹෙන විට චීනය ලෝකයේ වැඩිම කිතුනු ජනතාව වෙසෙන දේශය බවට පත්කිරීමේ සැලැස්‌මක්‌ ක්‍රියාත්මකව පවතිsයි. වියට්‌නාමයේ පාලකයා ලෙස ඩිම් ඩියම් නමැති පූජකයා පත්කොට බෞද්ධයන් මිලියන තුනකට අධික සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීමේ විසිවන සියවසේ සිදුවුන දැවැන්ත මානව සංහාරයට වගකිව යුත්තේ ඇමෙරිකා එක්‌සත් ජනපදයයි. එසේම ඉස්‌ලාමිකයන්ට එරෙහිව ඊශ්‍රායලය පිහිටුවීය. ගරිල්ලා නායක ගුස්‌මාවෝ ඉන්දුනීසියාවේ නැගෙනහිර තිමෝරය ක්‍රිස්‌තියානි රටක්‌ බවට පත් කළේ ඇමෙරිකාවේ උදව්වෙනි. එක්‌සත් ජනපදය විසින් ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරනු ලැබුවේ දකුණු කොරියාව මාර්ගයෙන් එහි යෑවූ ක්‍රිස්‌තියානි මිෂනාරී කණ්‌ඩායම් කීපයක්‌ තලේබාන් අත්අඩංගුවට පත්වූ පසුවයි.

බින්ලාඩන් ඇල්ලීමේ මෙහෙයුමේ ප්‍රධානියා වූ ජෙනරල් විලියම් බොයිකින් විසින් ත්‍රස්‌තවාදයට එරෙහි ලෝක යුද්ධය ඉදිරියේ ආගමේ කාර්යභාරය යන මැයෙන් පවත්වන ලද දේශනයකදී පළකළ අදහස්‌ 2004 මාර්තු 26 ප්‍රොන්ට්‌ලයින් සඟරාවේ පළකර තිබිණි. මොහම්මද්තුමාට විරුද්ධව සිදු කළ සෝමාලියා සටනින් ලද ජයග්‍රහණ ගැන උද්දාම වන ඔහු මෙසේ පවසයි. ''මගේ දෙවියා ඔහුගේ දෙවියාට වඩා බලවතෙකි. මගේ දෙවියා සැබෑ දෙවියායි. ඔහුගේ දෙවියා මවාගත් කෙනෙකි. අපි ක්‍රිස්‌තියානි ජාතියකි. අපට තිබෙන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි පදනමකි. අපි සාතන්ගේ සතුරෝය. ජෝර්- බුෂ් ධවල මන්දිරයේ සිටින්නේ මහජන ඡන්දයෙන් නොව දෙවියන්ගේ නියමය පරිදි මිසදිටුවන්ට විරුද්ධව කුරුස යුද්ධය ක්‍රියාත්මක කිරීමටයි.''

ජනාධිපති ජෝර්- බුෂ් මහතා දියත් කළ කුරුස යුද්ධය ගැන ''ද ටෙලිග්‍රාප් ගෲප් ලන්ඩන් 2005'' ප්‍රවෘත්තියේ උපුටනයක්‌ 2005 ඔක්‌තෝබර් 08 දින අයිලන්ඩ් පත්‍රයේ පළකර තිබිණි. ''ඉරාකය සහ ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කරන්නට දෙවියන් වහන්සේ මට නියෝග කළා'' යනු එහි සිරස්‌තලයයි. ''දෙවියන් වහන්සේ අප මෙහෙයවමින් අප සමීපයේ සිටිනවා. ජෝර්-, ඇෆ්ගනිස්‌ථානයට ගිහින් ත්‍රස්‌තවාදීන්ට විරුද්ධව සටන් කරපන් යෑයි දෙවියන් වහන්සේ මා මෙහෙයවූවා. මම එසේ කළා. ජෝර්ජ් පලයන් ඉරාකයට ගිහින් කෲර පාලනය අවසන් කරපන් යෑයි කීවා. මම එය කළා. මැද පෙරදිග පලස්‌තීනයට හා ඊශ්‍රායලයට සාමය ගෙන එන්නැයි කියන දෙවියන් වහන්සේගේ හඬ මට ඇසේවි කියලා මා හිතෙනවා.'' මෙයින් ඉස්‌මතු වන්නේ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ සැබෑ ආගමික ස්‌වරූපයයි. ජෝර්ජ් බුෂ් මහතා මූලධර්මවාදී ''බෝන් අගේන්'' ක්‍රිස්‌තියානි නිකායේ සාමාජිකයෙකි. බොරු චෝදනා මත ඉරාකයේ සදාම් හුසේන් මරා දැම්මේ ඉස්‌ලාමිකයන්ගේ ඊදුල් අල්හා හඡ් ආගමික උත්සවය පැවැත්වෙන අවස්‌ථාවේ ය. පසුගියදා ඉරාකයේ කොටසක්‌ යටත් කරගත් සුන්නි මුස්‌ලිම්වරු ඉරාකයේ ක්‍රිස්‌තියානියට හැරුණ අය පැය 24 ක්‌ තුළ ඉස්‌ලාම් දහම වැළඳ නොගත්තොත් මරණ බව නිවේදනය කළහ. ඇමෙරිකාව ඉරාකය තුළ ක්‍රිස්‌තියානිය පැතිර වූ බව එයින් පැහැදිලි වෙයි.

"නවලෝක සැලැස්‌මට පිටුපසින් තිබෙන්නේ කුමක්‌ ද?" යනුවෙන් නම් කෙරුණ ඇමෙරිකානු ආගමික මෙහෙයුමක්‌ ගැන සඳහන් පොතක්‌ ආගමික සංවිධානයක්‌ මගින් ප්‍රකාශයට පත්කොට ඇත. ලොස්‌ඇන්ජලිස්‌ ටයිම්ස්‌ පුවත්පතේ 1991 පෙබරවාරි 16 දින පළ වූ ජනාධිපති ජෝර්ඡ් බුෂ් මහතාගේ ප්‍රකාශයක්‌ එහි දැක්‌වෙයි. "එය කදිම අදහසකි. විවිධ ජාතීන් පොදු අරමුණක්‌ උදෙසා එක්‌කෙරෙන එය නව ලෝක සැලැස්‌මකි. එය පෙරට ගෙන යැමට තරම් බලයක්‌ හා ශක්‌තියක්‌ ඇත්තේ එක්‌සත් ජනපදයට පමණි. පුද්ගලයන් වශයෙන් ද, ජාතීන්හි පුරවැසියන් වශයෙන් ද, අපගේ ජීවන රටාව අපගේ පවුල් හා රැකියාවන් අපගේ වෙළෙඳ කටයුතු හා ගනුදෙනු අපගේ අධ්‍යාපන ක්‍රම, ආගම් හා සංස්‌කෘතීන් අපගේ ජාතික අනන්‍යතාවයන් ආදී සියල්ල එමගින් වෙනස්‌ කෙරෙනු ඇත. කිසිවකුටත් එයින් මිදෙන්නට බැරි වෙයි."

නව ලෝක සැලැස්‌ම වශයෙන් එක්‌සත් ජනපදය ක්‍රියාත්මක කරන්නේ මුළු ලෝකය ම තමන්ගේ පාලනයට නතුකර ගැනීමේ වැඩපිළිවෙළකි. එය ඉතා සියුම් උපායන්ගෙන් සැදුනකි. වෙනත් රටවලින් එල්ල වන චෝදනාවලින් ගැලවීම පිණිස එක්‌සත් ජනපදය සිත් ඇදගන්නා මාතෘකා යොදා ගනියි. මානව අයිතිවාසිකම්

සුරැකීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම, මානුෂීය ආධාර ලබාදීම, සංවර්ධන ව්‍යාපෘති, අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, සාමය තහවුරු කිරීම, ත්‍රස්‌තවාදය පිටුදැකීම වැනි තේමාවන් ඒ අතර වෙයි. කිසියම් රටක්‌ සඳහා සැලැසුමක්‌ සකස්‌ කරන විට ඒ රටේ ආගම, සංස්‌කෘතිය, ස්‌වාභාවික සම්පත්, භූගෝලීය ලක්‌ෂණ, සංග්‍රාමික වැදගත්කම, යුධමය හා ආර්ථික ශක්‌තිය හා ජාත්‍යන්තර සම්බන්ධතාවන්හි ස්‌වභාවය ගැන ඇමෙරිකාව අවධානය යොමු කරයි. ඒ සඳහා දත්ත එක්‌රැස්‌ කරගැනෙන්නේ ඔත්තු සේවාවන්ට අමතරව ඒ ඒ රටවල විද්වතුන්ට මුදල් දී ලබාගන්නා ව්‍යාපෘති වාර්තා සහ උපාධි නිබන්ධන මාර්ගයෙනි. වින්ඩෝස්‌ 8 පරිගණක මෙහෙයුම හා දුරකථන මගින් ඇමෙරිකාව ඔත්තු සොයන බවට චීනය හා ජර්මනිය චෝදනා කරයි. ඇමෙරිකාවේ මූලික අරමුණ වන්නේ හිතවාදී නොවන රටවල් අවුල් කිරීම, හිතවත් පාලකයන් බලයේ පිහිටුවීම, සම්පත් සූරා කෑම වැනි දේවල් ය. ඒ අරමුණු සඳහා රටවල ආගමික සංස්‌කෘතික හා පාරිසරික හර පද්ධතීන් විනාශ කෙරේ.

අපේ රට තුළ ක්‍රිස්‌තියානිකරණයෙහි යෙදෙන බොහෝ මූලධර්මවාදී නිකායන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකානු ආධාරවලිනි. උතුරේ හින්දූන් 7000 ක්‌ ක්‍රිස්‌තියානියට හැරවීම ගැන 2003 අයවැය විවාදයේ දී චෝදනා නැඟූ හින්දු ආගමික ඇමති ටී. මහේෂ්වරන් මහතා ආගම්වලට හැරවීමට එරෙහිව පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කළේය. එවිට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඔහු කැඳවා සිදු කළ තරවටුව හේතුවෙන් පනත අතරමග නැවතුණි. ජාතික හෙළ උරුමය ද එවැනි පනතක්‌ ඉදිරිපත් කළේය. එම පනත සම්මත කළොත්, ශ්‍රී ලංකාවට ආධාර සැපයීම නතර කරන බවට ඇමරිකාවේ ක්‍රිස්‌ටිනා රොකා මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපති බර්නාඩ් ගුණතිලක මහතාට දැන්වූවාය. ඇමෙරිකා එක්‌සත් ජනපදය ආගම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතකි. අනෙකුත් රටවල ආගමට හා සංස්‌කෘතියට තහංචි පනවයි. එහෙත් ඇමෙරිකානු රාජ්‍ය ප්‍රතිපත්ති අන්ත ආගම්වාදී ස්‌වරූපයක්‌ ගනියි.

ඇමරිකා එක්‌සත් ජනපදය ලෝකයේ බොහෝ රටවලින් සංක්‍රමණය වූ මිනිසුන්ගෙන් සැදුන රාජ්‍යයකි. එය ගොඩනැඟුණේ වසර දෙසීයකට පමණ පෙර අප්‍රිකාවෙන් තලා පෙලා රැගෙන ආ වහල්ලුන්ගේ ශ්‍රමයෙන් හා වෙනත් රටවලින් කොල්ලකා ගත් සම්පත්වලිනි. විවිධ රටවල විද්‍යාඥයන්ගේ හා කාර්මික ශිල්පීන්ගේ දැනුම ලබාගැනීමෙන් එක්‌සත් ජනපදය කාර්මික හා විද්‍යා තාක්‌ෂණයෙන් දියුණු දේශයක්‌ බවට පත්ව ඇත. හොඳ නරක දෙක ම උපරිම වශයෙන් පවතින ඇමෙරිකානු ජනතාව ඉතා සංවේදීය. මානව දයාවෙන් පිරුණ පිරිසකි. අන් කෙනකුට හිරිහැර කරනවාට අකමැතිය. ඔවුන් අසල්වැසියාගේ ඕපදූප සොයන්නේ නැත. බහුතර ජනතාව සම්බන්ධයෙන් එම විග්‍රහය නිවැරැදි ය. මග තොටකදී ඔබට කරදරයක්‌ වුවොත්, සෑම කෙනකුම ඔබගේ පිහිටට පැමිණෙනු ඇත. එය රට ඇතුළත සාමාන්‍ය ජනතාවගේ ස්‌වභාවයයි. නමුත් රාජ්‍ය ප්‍රතිපත්ති තුළ එවැනි මානව හිතවාදයක්‌ නැත.

සෑම වර්ෂයකම තම රට මගින් ලෝකයේ රටවල දියත් කෙරෙන මුස්‌ලිම් විරෝධී ව්‍යාපෘතිවල ප්‍රගති වාර්තාවක්‌ ඇමෙරිකානු ආරක්‌ෂක අංශය ලබාගනියි. ආසියානු කලාපය තුළ මුස්‌ලිම් බල ව්‍යාප්තියට එරෙහිව එක්‌සත් ජනපදය සෘජුව පහර එල්ල කරන්නේ නැත. ඒ වෙනුවට රටවල් තුළින් ම කණ්‌ඩායම් යොදා ගනියි. අපේ රට තුළ මුස්‌ලිම් හා සිංහල ජනතාව අතර ගැටුම්කාරී වාතාවරණයක්‌ උද්ගත වී තිබේ. එය හුදෙක්‌, බෞද්ධ හෝ මුස්‌ලිම් ජනතාව අතරින් මතු වූ දෙයක්‌ යෑයි සිතීම වැරැදියි. එය මෙහෙයවන කිසියම් අදිසි බලවේගයක්‌ තිබෙන බව සිතිය හැක. ඇතැමුන් එකඟ නොවුණත්, වර්තමාන ආණ්‌ඩුව යම් පමණකට හෝ දේශීයත්වයට නැඹුරු වූවකි. ආණ්‌ඩුව බහුතරයක්‌ බෞද්ධයන්ගේ හා භික්‌ෂූන්ගේ ශක්‌තිය මත පවතින බව ද නොරහසකි. තමන්ට ගැති නොවූ රාජපක්‍ෂ පාලනය ඇමෙරිකාව නොරුස්‌සයි. එය බිඳ දමන්නට සරත් ෆොන්සේකා මහතා ලවා ගත් වෑයම සඵල නොවුණි. භික්‌ෂුවක්‌ ජනාධිපති පොදු අපේක්‌ෂකයකු කිරීමෙන් බෞද්ධයන් බෙදීමේ සැලැස්‌මක්‌ ද තවම පවතියි. පොදු අපේක්‌ෂක සංකල්පය අප හිතවත් පූජ්‍ය සෝභිත හිමියන්ගේ නොවන බව අපගේ විශ්වාසයයි. පසුබිමේ සිටින්නේ එන්. ජී. ඕ. නඩයකි. අපේ හිටපු ජනාධිපතිනිය හිටි ගමන් ලංකාවේ ආගමික සංහිඳියාව නැතැයි පැවසීම හා බෞද්ධ නායකයකු වන දලයි ලාමා තුමාගේ ප්‍රකාශන අහඹු සිදුවීම් නොවේ. බේරුවල සිද්ධියෙන් පසු කිසි වැදගම්මක්‌ නැති එජාපයේ මන්ත්‍රීවරයකු කැඳවා පැසසීමට හා ඔහුට රැකවරණය දීමට තරම් ඇමරිකානු තානාපතිනියට ඇති වුවමනාව කුමක්‌ ද? ආගමික ගැටුම් ඇතිකිරීමට ඇමෙරිකාව නෝර්වේ හරහා කිසිවකුට මුදල් දුන්නා ද? පිළිතුරු සෙවිය යුතු මෙවැනි ප්‍රශ්න රැසක්‌ අපට තිබේ. ඥානසාරහිමියන්ගේ වීසා අහෝසි කළ ඇමෙරිකාව අනාගතයේ වටරැක විජිත විදේශයකට ගෙන යැමට ඉඩ ඇත. ජිනීවා මානව හිමිකම් කමිටු මෙහෙයුමට අතිරේකව අපේ රට තුළ ආගමික උමතුවක්‌ නිර්මාණය කොට ආණ්‌ඩුව පලවාහැරීම තවත් ඇමෙරිකානු තුරුම්පුවක්‌ වන්නට පුලුවන. මැතිවරණය මුල්කරගෙන රට පාවා දෙන එන්. ජී. ඕ. වලට සල්ලි පොම්ප කොට රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම ඇමෙරිකානු ඉලක්‌කයකි. බටහිර ව්‍යාපෘතිවලට පසුබිම සකස්‌ කරන පුද්ගලයෝ ආණ්‌ඩුව ඇතුළත ම සිටිති. බලලෝභී මුස්‌ලිම් ඇමතිවරුන් ඉස්‌ලාම් ආගමික අන්තවාදය ඇවිස්‌සීමෙන් කරන්නේ ඇමෙරිකානු ආගමික මෙහෙයුමට මුස්‌ලිම් ජනතාව බිලිදීමයි.


[දිවයින]

7/11/2014

ඉතිහාසය, නවකතාව හා මහරජ ගැමුණු

කතෘ:යුතුකම     7/11/2014   4 comments
-ආචාර්ය ගුණදාස අමරසේකර
ඓතිහාසික නවකතාව අපට හුරු පුරුදු සාහිත්‍යාංගයක්‌. ගිය සියවසේ සිවු වන සහ පස්‌ වන දශක තුළ එය ඉතා ජනප්‍රිය සාහිත්‍යාංගයක්‌ ව පැවැති බව අපි දන්නවා. ඩබ්ලිව්. ඒ සිල්වා මහතා අතින් විජයබා කොල්ලය, අවිචාර සමය ආදි වූ කෘති නිර්මාණය වූයේ මේ යුගයේ දී. මාර්ටින් වික්‍රමසිංහ අතින් අතිශයින් ජනප්‍රිය වූ රෝහිණී නවකතාව ලියෑවුණේ මේ යුගයේදී. හේමපාල මුණිදාස අතිනුත් මේ අවධියේ ඓතිහාසික නවකතා ලියෑවුණු බවයි මගේ වැටහීම. මේ යුගයේ දී මේ දශක දෙක තුළ මෙ වැනි ඓතිහාසික නවකතා ලියෑවුණේ කුමන හේතුවක්‌ නිසා ද යන්න අප විසින් සොයා බැලිය යුතුයි. එයට නියත හේතුවක්‌ තිබෙනවා. ඒ අවධියේ දී තමයි නිදහසට පෙර පැවැති අපගේ ජාතික සටන කිසියම් උච්ච අවස්‌ථාවකට පත්ව තිබුණේ. අනගාරික ධර්මපාලතුමා විසින් ගිය සියවසේ මුල් දශකයේ ඒ ආරම්භ කළ ජාතික සටන තාවකාලිකව යටපත් වී ගොස්‌ යළි මතු වුණේ මේ සිවු වන හා පස්‌ වන දශකයේ දී යි. එසේ මතු වුණු ජාතික සටනේ ප්‍රතිඵලයක්‌ වශයෙනුයි 56 දේශපාලන විප්ලවය සිදු වුණේ. ඒ ජාතික සටනේ දී ජනතාවගේ ජාතික විඥානය පුබුදු කිරීමට ඉහතින් සඳහන් කළ නවකතාකරුවන් විශාල සේවයක්‌ කළ බව අප විසින් පිළිගත යුතුයි.

මේ නයින් බලනවිට ඒ ජාතික සටනේ තෙවන අවස්‌ථාව සනිටුහන් කරන වත්මන තුළ ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු යන මේ නවකතාව බිහි වීම අපට අවබෝධ කරගත හැකියි. ඒ අතින් බැලුවාම මේ නවකතාව යුගයේ ඉල්ලීම උඩ බිහි වූ නිර්මාණයක්‌ ලෙස සලකන්නට පුළුවන්.

මේ නවකතාව ගැන කතා කිරීමට පළමු නවකතාවත්, ඉතිහාසයත් ඒ දෙක අතර ඇති සමානත්වයත් එමෙන්ම වෙනසත් ගැන කරුණු කීපයක්‌ සඳහන් කළොත් ප්‍රයෝජනවත් වෙතියි සිතනවා. විශේෂයෙන්ම නවකතා නමින් බාලයන්ගේ මනසේ බිහිවන කල්පිත - "කෙප්ප" සම්මානයෙන් පිදෙනු ලබන මේ යුගයේ දී එ වැනි අදහස්‌ දැක්‌වීමක්‌ ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්.

හැම නවකතාවක්‌ම මූලික වශයෙන් ඓතිහාසික වාර්තාවක්‌ ය කියන්න පුළුවන්. සමාජ ඓතිහාසික ලේඛනයක්‌ ය කියන්න පුළුවන්. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව ක්‍රිස්‌තු පූර්ව පළමු වෙනි සියවසේ අනුරාධපුරය ආශ්‍රිත ඓතිහාසික වාර්තාවක්‌ වන්නා සේ ම මාර්ටින් වික්‍රමසිංහගේ ගම්පෙරළිය දහනව වන සියවසේ ලංකාවේ දකුණු පළාත පිළිබඳ ඓතිහාසික වාර්තාවක්‌ වෙනවා. මේ නිර්මාණ දෙකටම නියත දේශයක්‌, නියත කාල වකවනුවක්‌, නියත ඓතිහාසික පසුබිමක්‌ ඇති බව අපට පෙනෙනවා.

මෙය නවකතාව පිළිබඳ මූලික ලක්‌ෂණයක්‌. නවකතාව යනු නියත ඓතිහාසික - සමාජ ගර්භාෂයක්‌ තුළ බිහි වන්නකි. එසේ නැතිව අවකාශයක්‌ තුළ ඒසේ නැත්නම් කිසිවකුගේ මනෝ ලෝකයක්‌ තුළ බිහි වන්නක්‌ නො වෙයි. ඕපපාතික මනස්‌ පුතෙකු නොවෙයි.

මේ කාරණය මා අවධාරණය කළේ අද මේ රටේ නවකතා නමින් බිහි වන ඊනියා සම්මානවලට පාත්‍රවල නවකතා සලකා බලායි. මේවා ඇත්ත වශයෙන් හැඳින්විය යුත්තේ නවකතා නමින් නොව කල්පිත කතා තැන් නම් "කෙප්ප" ලෙස යි. මෙය මගේ හිතේ අපි පේරාදෙණි නවකතාවෙන් ලබාගත් දායාදයක්‌. එයට මුල් වුයේ සරච්චන්ද්‍රයන්ගේ චින්තනය ය කියා මා හිතනවා. මොකද සරච්චන්ද්‍රයන් නවකතාව දුටුවේ ඓතිහාසික - සමාජ සත්තාව නමැති ගර්භාෂය තුළින් බිහි වන්නක්‌ ලෙස නොවෙයි. නවකතාවක ඇති සමාජ - ඓතිහාසික තොරතුරු ඔහු දුටුවේ පාඨක විශ්වසනීයත්වය දිනාගැනීම සඳහා යොදාගනු ලබන බාහිර ආලේපයක්‌ ලෙස යි. ඔහු පියදාස සිරිසේන නොවැදගත් නවකතාකරුවකු ලෙස බැහැර කළේ මේ විශ්වසනීයත්වය නමැති කෝදුවෙන් මැන බලායි. මේ හානිකර පේරාදෙණි උරුමයෙන් ගැලවීමට අපේ නවකතාකරුවනුත් විචාරකයනුත් තව ම ගැලවී ඇති බවක්‌ පෙනෙන්නට නැත. මේ තත්ත්වය ස්‌ථාපිත වීමට තවත් හේතුවක්‌ තමයි පසුගිය කාලය තුළ ලෝක යුද්ධ දෙක අතර කාලය තුළ මෙන්ම දැනුත් බටහිර ලෝකය තුළ බිහි වන නවකතා. බටහිර තුළ බිහි වූ මේ නවකතාව මේ යුගය තුළ බටහිර වසා පැතිරුණු ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස සලකන්න පුළුවන්. ඒ ධනවාදයේ පැවැත්මට අවශ්‍ය වුයේ පුද්ගලවාදය (Individulism) ඒ ධනවාදය තුළ වැසුණු සාහිත්‍යකරුවන් අතින් සිදු වුයේ මේ පුද්ගලවාදයට ආවැඩීමයි. මේ ධනවාදී සමාජය තුළ වැඩුණු පුද්ගලයා ධනවාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස නොව සමාජයෙන් විනිර්මුක්‌ත වූ සමාජය ඉක්‌මවා සිටීමේ ශක්‌තිය ඇති පුද්ගලයකු ලෙස නිරූපණය කිරීමටයි මේ සාහිත්‍යකරුවන් තැත් කළේ. මේ යුගයේ බිහි වූ කාෆ්කා, ලොරන්ස්‌, කැමු, ජීඩ්, ආදි නවකතාකරුවන් අතින් සිදු වුයේ මෙයයි. ඒ නවකතාකරුවන් ධනවාදී සමාජය විසින් ශ්‍රේෂ්ඨ සාහිත්‍යකරුවන්, දාර්ශනිකයන්, චින්තකයන් ලෙස හුවා දැක්‌වීම අපට අවබෝධ කරගන්නට පුළුවන්. අද වන විට මේ තත්ත්වය පෙරටත් වඩා දරුණු වී ඇති බවයි මගේ වැටහීම. අද පශ්චාත් නූතනවාදය හමුවේ නවකතා පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සමාජය ඉතිහාසය නොතකා හරින නිර්මාණයක්‌ වී ඇතුවා පමණක්‌ නොව නවකතාවේ ස්‌වභාවය ද අභියෝගයට ලක්‌ කරන තත්ත්වයක්‌ උදා වී තිබෙනවා. එයට ඇති හොඳම උදාහරණය තමයි මිලාන් කුන්දීරා විසින් ලියා ඇති මේ රටේ ඉන්නා දීන අනුකාරකයන් විසින් ද පුදනු ලබන The art of the Novel නමැති කෙප්පය. ඒ කෙප්පය නිරුවත් කර එළි දැක්‌වීමේ සමත් විචාරකයන් අද බටහිර ලොව තුළ නැත. අද බටහිර විචාරකයන් වශයෙන් ඉන්නේ මහාචාර්ය ග්‍රැහම් හග් (Graham Hough) දක්‌වා ඇති පරිදි පොත් වෙළෙන්දන් විසින් පෝෂණය කරනු ලබන ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුනුයි. මේ ෆුල් බ්‍රයිට්‌ මහාචාර්යවරුන් පිරිසක්‌ ලොවට මුදා හැරියොත් ඕනෑ ම තුට්‌ටු දෙකේ නවකතාකරුවකු ටොල්ස්‌ටෝයි කෙනකු ඩෙස්‌ටර්වස්‌කි කෙනකු කළ හැකි යෑයි ග්‍රැහම් හෆ් පැවසුවේ මෙයට විසි වසකට පෙරයි. අද සිදුවෙමින් පවතින්නේ මෙයයි.

මේ දීර්ඝ විස්‌තරයෙන් මා හෙළි කිරීමට තැත් කළේ නවකතාව නමැති සාහිත්‍යාංගය ඓතිහාසික සමාජ සත්තාව පදනම් කරගත් ඒ ගර්භාෂය තුළින් බිහි වන නිර්මාණයක්‌ බවයි. වෙන වචනයෙන් කියනව නම් නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ විය යුතුයි. එය ඓතිහාසික - සමාජ සත්තාව බොරු නොකරන නිර්මාණයක්‌ විය යුතුයි.

මෙහිදී ඔබ තුළ ප්‍රශ්නයක්‌ මතු වන්න පුළුවන්. නවකතාව නිවැරදි ඓතිහාසික ලේඛනයක්‌ නම් කුමකට ද අපි නවකතා කියවන්නේ? ඉතිහාස ග්‍රන්ථ කියෙව්වාම ප්‍රමාණවත් නොවේද? ඉතිහාසඥයන් ගෙන් විනා නවකතාකරුවන්ගෙන් වැඩක්‌ ඇද්ද?

මෙයට පිළිතුරු සැපයීමට නම් අපි ඉතිහාසයත් නවකතාවත් අතර ඇති සමානත්වය දකින අතරම ඒ දෙක අතර ඇති වෙනසක්‌ දැකගත යුතුයි. නවකතාකරුවා ඉතිහාසඥයා ගෙන් වෙනස්‌ වන්නේ කෙසේද කියා දැකගත යුතුයි.

නවකතාකරුවා දෙයාකාරයකින් ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වෙනවා. මේ දෙදෙනා ඉතිහාසය දෙස බලන ආකාරය සහ ඉතිහාසයට දෙන අර්ථ කථනය උඩයි මේ වෙනස රඳා පවතින්නේ.
ඉතිහාසඥයා ඉතිහාසය දෙස බලන්නේ එදා පැවැති තත්ත්වය ඒ සමාජය ඒ යුගය තුළ සිටගෙනයි. ඒ යුගයෙන් ඒ තත්ත්වයෙන් බැහැර ව සිටගෙන නොවේ. වර්තමානයේ සිටගෙන නොවෙයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ එයට හාත්පසින් වෙනස්‌ ස්‌ථාවරයක තැනක ඉඳගෙනයි. නවකතාකරුවා ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ සිටගෙනයි. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නවකතාව එයට කදිම උදාහරණයක්‌.ජයන්ත චන්ද්‍රසිරි ඒ ගැමුණු යුගය දෙස බලන්නේ අද අප මුහුණ දෙන වර්තමානයේ සිටගෙනයි. වර්තමානය නමැති කණ්‌ණාඩිය තුළිනුයි ඔහු ඒ දෙස බලන්නේ. කොටින් කියතොත් පසුගිය කාලය තුළ අප ගොදුරු කරගත් ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මේ රට තුළ නොතිබෙන්නට චන්ද්‍රසිරි අතින් මෙය නොලියවෙන්නට ඉඩ තිබුණා ය කියා මට හිතෙනවා. ජයන්ත චන්ද්‍රසිරි ඓතිහාසික සමාජ සත්තාව බොරු නොකර ආරක්‍ෂා කරන අතර ම අපගේ වර්තමානය ඒ මතට ආරූඪ කර ඇතැයි කිසිවකුට පෙනී ගියහොත් එය සාධාරණයි.

නවකතාකරුවා ඉතිහාසඥයාගෙන් වෙනස්‌ වන දෙවන කරුණ නම් ඔහු ඓතිහාසික සමාජ සත්තාව මුල් කරගෙන ඉදිරිපත් කරන අර්ථ කථනයයි. ඉතිහාසඥයා එහෙම අර්ථ කථනයක්‌ දීමට තැන් කරන පුද්ගලයෙක්‌ නොවෙයි. ඔහු කිසියම් අර්ථ කථනයක්‌ දීමට තැත් කළත් එය බාහිරින් ගන්නා ලද අර්ථ කථනයක්‌ නොවෙයි. ඒ ඉතිහාසය තුළින්ම සකසා ගන්නා ලද අර්ථ කථනයක්‌. ඒ අතින් ඔහු නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු වෙනවා. නවකතාකරුවා එසේ නොවෙයි. නිරාපේක්‍ෂ නිරීක්‍ෂකයකු නොවෙයි. ඔහු තම අදහන දර්ශනය චින්තනය අනුව ඒ තමා අබියස ඇති ඉතිහාසය නව අර්ථ කථනයකට භාජන කරනවා. නව අයුරකින් බැලීමට අපට සලස්‌වනවා. මෙයින් නවකතාකරුවා දරන දර්ශනය චින්තනය ආගමික දර්ශනයක්‌ වෙන්න පුළුවන්. ටෝල්ස්‌ටෝයි සිය නවකතා නිර්මාණය කළේ එවැනි දර්ශනයක පිහිටායි. වෙනත් නවකතාකරුවකුගේ දර්ශනය සමාජවාදය මාක්‌ස්‌වාදය මුල් කරගත් දර්ශනයක්‌ වෙන්න පුළුවන්. අපගේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවා වන මාර්ටින් වික්‍රමසිංහ සිය දර්ශනයට පදනම් කරගන්නේ සිංහල - බෞද්ධ සංස්‌කෘතියයි. ඒ සභ්‍යත්ව විඥානයයි.

මෙහි දී ජයන්ත චන්ද්‍රසිරි සිය දර්ශනය චින්තනය ගොඩ නගාගෙන ඇත්තේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානය උඩ බව මට පෙනෙනවා. ඔහු
ගැමුණු මහරජුගේ සිතුම් පැතුම්, ආකල්ප, ක්‍රියාකාරකම් ආදි වූ සියල්ල අර්ථ කථනය කරන්නේ සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥානයේ පිහිටායි. ඒ නිසා මේ නිර්මාණය අන්තය ඉක්‌මවා සිටින වත්මන් අපට අතිශයින් අදාළ නිර්මාණයක්‌ ලෙස මා දකිනවා.ඒ ගැන කතා කිරීමට පළමු මේ නවකතාවේ සන්දර්භය ගැනත් කෙටියෙන් සඳහන් කිරීමට මා කැමතියි. මෙහි දී චන්ද්‍රසිරි යොදාගෙන ඇත්තේ අපට හුරු පුරුදු ගතානුගතික සන්දර්භයට වඩා වෙනස්‌ චිත්‍රපට - සිනමා සන්දර්භය බව පෙනෙනවා. ඒ නිසා ඇතැමකු මෙය නවකතාවක්‌ නොව තිර නාටක රචනයක්‌ ලෙස බැහැර කරන්නට පුළුවන්. එය අසාධාරණයි. වත්මන් නවකතාකරුවා වත්මන් ජන විඥානයේ ඇති සන්නිවේදන මාර්ග යොදාගැනීම වරදක්‌ ලෙස මා දකින්නේ නැහැ. එය වරදක්‌ නොවෙයි. අපගේ නවකතාවේ පරිණාමයට ඉවහල් වන්නක්‌. අවසානයේ දී ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ඒ නව සන්දර්භය සාර්ථක ද? නැද්ද? යන්නයි. මේ සන්දර්භය අනුකාරකයන් යොදාගන්නා "ඉන්ද්‍රජාල තාත්විකත්වය" වැනි බහුබූතයක්‌ නොවේ.

සැම උසස්‌ සාහිත්‍ය නිර්මාණයක්‌ තුළම නො කියා කියන පණිවිඩයක්‌, අනාගත දැක්‌මක්‌, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වචනයෙන් කීවොත් භවිෂ්‍යත් විදර්ශනාවක්‌ ගැබ් වී තිබෙනවා. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ නිර්මාණය තුළත් මම එවැනි භවිෂ්‍යත් විදර්ශනාවක්‌ දකිනවා. චන්ද්‍රසිරි මෙහි දී ඉඟියෙන් දක්‌වන්නේ අපගේ අනාගත ගමන් මඟ කෙබඳු එකක්‌ විය යුත්තක්‌ ද යන්නය කියා මා සිතනවා. යම් සේ අප ප්‍රභාකරන් නමැති ආක්‍රමණිකයාගේ ත්‍රස්‌තවාදයෙන් ගැලවුණේ, ගැමුණු මග - සිංහල - බෞද්ධ සභ්‍යත්ව විඥාන මත ගොඩනැඟුණු ගැමුණු මඟ අනුගමනය කිරීමෙන් නම් අපි අපගේ අනාගතය ගොඩ නගාගත යුත්තේ ඒ ගමන් මග අනුව යමින් බවයි මේ නවකතාව මගින් පෙන්නුම් කරනු ලබන්නේ. ඒ භවිෂ්‍යත් විදර්ශනාවයි මේ නවකතාව තුළ ඇත්තේ.
මෙය අප විසින් මේ අවස්‌ථාවේ ඉතා ගැඹුරින් වටහා ගත යුත්තක්‌ බවයි මා හිතන්නේ. ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට මුල් වුයේ දෙමළ ජාතිවාදය පමණක්‌ නොවේ. අප දිගින් දිගට ම නිදහස ලැබීමෙන් පසුවත් අනුගමනය කළ දීන අනුකරණ යි. ඒ දීන අනුකරණයේ ගැළුණු අප කළේ ස්‌වාධීන දීර්ඝ ඉතිහාසයක්‌ ඇති ජාතියක්‌ විසින් ගත යුතු සිය අතීත උරුමය සොයා යැම නොව විජාතිකයා අප විනාශ කිරීම පිණිස තනා දුන් ඊනියා පක්‍ෂ ක්‍රමය, පාර්ලිමේන්තුව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පසු පස්‌සේ යැම යි. ඒ පක්‍ෂ ක්‍රමය බහුතර ජනතාව වන සිංහලයා බෙදා වෙන්කර නිෂ්ක්‍රීය කිරීමට මුල් වූ බව, ඒ පාර්ලිමේන්තුව දූෂිතයන්ට, අධමයන්ට නිවහනක්‌ සාදා දී ඇති බව ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අප තලා - පෙලා යටත් කිරීමට විදේශීකයන්ට කෙවිටක්‌ වී ඇති බව දැන්වත් අපට පෙනී යා යුතුයි. ඒa බැවින් මේ දීන අනුකරණය නවත්වා, අප අපගේ උරුමය වෙත වහ වහා ගමන් නොකළොත් අපි ආසියාවේ ආශ්චර්යය වීම කෙසේ වුව අපට අනාගත පැවැත්මක්‌ තිබිය හැකි ද යන්න මට නම් ප්‍රහේලිකාවක්‌. ජයන්ත චන්ද්‍රසිරිගේ මේ කෘතියෙන් කරනු ලබන්නේ අපට මෙය මතක්‌ කර දීමය කියා මා හිතනවා.
 -ආචාර්ය ගුණදාස අමරසේකර
[
මුල් සටහන : දිවයින]


 -යුතුකම සංවාද කවය 
www.yuthukama.com

7/02/2014

අලුත්ගමින් මහපොළවට...

කතෘ:යුතුකම     7/02/2014   29 comments
පළමු ගල ගැහුවේ මොකාද ?

අලුත්ගමින් පුපුරා ගිය සිදු වීම පිළිබඳ නොයෙක් දෙනා බොහෝ තැන්වල නා නා ආකාර සටහන් දැනටමත් තබා අහවර මුත් මේ ගැන කෙටි හෝ සටහනක් නොතැබීම යුතුකමේ යුතුකම නොවේ.
සමහරෙක් මෙය 'සිංහල බෞද්ධ ජාතිවාදයට' සහ එහි මූලයන් වලට, විශේෂයෙන් භික්ෂු සිවුරට උඩ පැන පහර දීමට ලැබුණු අනගි අවස්ථාවක් ලෙස සලකා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටත් , තවත් ටික දෙනෙක් මුස්ලිම් ජාතිවාදයට පහර දීමට ලැබුනු අවස්ථාව අත නොහරිමින්ද නා නා සටහන් තබා තිබිණ.  මේ බොහෝ විට දක්නට ලැබුණු සරල නිරීක්ෂණයක් නම් බොහෝ දෙනා තම තමන්ගේ පාර්ශවය සම්පූර්ණ සුදුවටත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය තද කලුවටත් දකිමින් කලු - සුදු ලෙස සිදු කරන ද්විමය ආකාර විවේචනයයි.  නමුත් අපට මෙහිදී එලෙස සරල රේඛා ගසා වෙන්කර එක් පාර්ශවයක් ඇගයීමටත් අනෙක් පස පතුරු ගැසීමටත් අවශ්‍යතාවයක් නොමැති බැවින් හා ඒ හා බැඳුනු බල ව්‍යාපෘතිවල සෘජු කොටස් කරුවන් නොවන බැවිනුත් සරලව අපට දැනෙන අදහස් කිහිපයක් මෙලෙස සටහන් කරන්නෙමු.


අවසන් ගිනි පුළිඟුව පත්තු කලේ කවුරුන් උවත් ඒ ගින්නට පිදුරු , භූමිතෙල් පෙට්‍රල් ආදී කුමක් වුව ටික ටික හෝ වත් කල  හා එයට දුම් පිඹි සියළු පාර්ශව මේ සිදුවීම්වල එක සමාන වග උත්තර කරුවන් බව අපේ වැටහීමයි.  කාලාන්තරයක් පුරා සිදු වූ සිදුවීම් මාලාවක අවසන් ප්‍රතිඵලය වූ ප්‍රචණ්ඩ හැසිරීමට පසු 'පළමු ගල ගැසූ එකා මොකාද? ' හෝ 'වැඩිපුරම හානි වුනේ මොන පාර්ශවයටද' ආදී කිසිඳු වැදගැම්මකට නැති කතාබහක් විනා ඊට එහා යන ගැඹුරක් පිළිබඳ සංවාදයක් ඇති නොවීම අහම්බයක් නොවේ.   උගත් ජන ව්‍යාප්තියක් ඇතැයි බොහෝ කණ්ඩායම් උදම් අනන නාගරික  සමාජයේ මාධ්‍ය මෙවලම් හරහා පසුගිය කාලයක් පුරාවටම ගොඩනැගි මේ දුබල වාග් සංග්‍රාම පුරාවටම එවැනි විදග්ධ බවක් අපි නොදුටුවෙමු. එහි තිබුනේ කාලකන්ණි භාවයත් ,  වෛරයත් කිසිඳු වැඩකට නැති මමංකාරයත් පමණකි. මෙයින් සාධනය වූයේ 'නූතන මාධ්‍ය බහුලව භාවිතා කරන උගත් සමාජය' නරුම අමනෝඥයන් රැළක් බව පමණක් නොවේද?

ලොවම ගිනි අවුලන මුස්ලිම් ව්‍යාප්තවාදය


ලෝකය පුරා දැනට පවතින මහා පරිමාණ ගැටුම් සාතිශය බහුතරයක එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ඉස්ලාම් දැඩි මතධාරී කණ්ඩායම් වීමෙන් ඉස්ලාම් දැඩිමතධාරීත්වය සහ ත්‍රස්ත ප්‍රචණ්ඩත්වය අතර එතරම් දුරස්ථ භාවයක් නොමැතිය යන්න බොහෝ දුරට නිවරදි නිගමනයකි. ඉස්ලාම් දහම බිහිවූ වකවානුවට සාපේක්ෂව ඒ දහම තුල නිර්මාණය වී ඇති සමහර කරුණු මෙන්ම ඒ කරුණු සමාජානුයෝජනයකින් තොරව වියුක්තව ගෙන , වෙනස් සංස්කෘතිකාංග මත පෝෂණය වූ සමාජයන් තුල අමු අමුවේ පැල කරන්නට තනන බලහත්කාරී උත්සාහයද මේ තත්වයට බලපෑ මූලික කරුණු ලෙස හඳුනාගත හැක. මේ උත්සාහය තුලදී වෙනස් සංස්කෘතික සමාජයන් තුලදී නිරන්තර විවාදසම්පන්න වීම,  ගැටුම්වලට ලක්වීම අනිවාර්‍යය. දියුණු ශිෂ්ඨ සමාජයක් ලෙස 'උගතුන්ගේ' සම්භාවනාවට ලක් වන ඕස්ට්‍රේලියාව ප්‍රංශය අදී 'සුදු' සමාජයන් තුලදීද මෙය පසුගිය කාලයේ හොඳින් දැකගත හැකි විය. ප්‍රංශය තුල මුස්ලිම් කාන්තාවන්ට හිජාබය තහනම් කිරීම මෙන්ම තම සංස්කෘතියට අනුව ජීවත් නොහැකිනම් වහා රටින් පිටව යන ලෙස හිටපු ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජුලියා ගිලාඩ් මහත්මිය කල සිදුකල ප්‍රකාශ මෙයට සාක්ෂි සපයයි. නමුත් නමුත් ඉතිහාසය පුරාවට මෙන්ම අදත් මේ 'සුදු' මහත්වරුන්ගේ කළු හැසිරීම ගැන මැනවින් දන්නා  අප කිසිසේත්ම ඉස්ලාම් දහම ම්ලේච්චත්වයට , ත්‍රස්තවාදයට උඩගෙදි දෙන දහමක් ලෙස හැඳින්වීමට කලබල නොවන්නෙමු. 

ඉස්ලාම් දහම තුල ඉහත දැක්වූ ලක්ෂණ මෙන්ම ඒ හා සමානව හෝ සමහර විට ඊටත් වඩා වැඩියෙන් බලපාන බටහිර දේශපාලන උවමනාවද ලොව පුරා ගැටුම් වල මූලික හේතුයි. ගැටුම් ඇවිලිය හැකි වටපිටා පිළිබඳ හොඳින් සවිඥානික මේ මැකියාවේලිලා තම අවස්ථාව එනතෙක් ඇඟිලි ගනින්නේ ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නා අපේක්ෂාවෙනි. මේ බටහිර අයියලාගේ දේශපාලන උවමනාවන්ට මුස්ලිම් සමාජය තුල ඇති දුබලතා හොඳ උත්ප්‍රේරකයක් බව මැදපෙරදිග කලාපය පුරාවට මෙන්ම බුරුමය හරහා හඹායන ප්‍රචණ්ඩත්වයේ රැල්ල අපට සාක්ෂි සපයයි.

 මුස්ලිම් ව්‍යාප්තවාදයේ ලාංකික හැඩය 
ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් ආගම අදහන්නන්ගේ සම්භවය සෙනරත් රජු දවසටත් ඈතට දිව යයි. එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනු වස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය  සහනශීලීත්වයේ හා සහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන් නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම් පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒ කොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීම සෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය. අද මවාගත් කෘතීම කඩහඬවල්වලින් සෙනරත් රජුට හෙන ඉල්ලන  බොහෝ දෙනා මේවා දන්නවාදැයි අපි නොදනිමු.  1915 සුප්‍රසිද්ධ 'මරක්කල කෝලාහලය' හැරුණු කල ප්‍රබල ලෙස  මුස්ලිම් ජනයා හා බහුතර සිංහලයා අතර බරපතල ගැටලුවක් ඇති නොවූ තරම්ය. නමුත් මුස්ලිම් ජනයා මෙරට ප්‍රමුඛ සංස්කෘතිය වෙත අවශොෂණය වීම ඉතා මන්දගාමී වූ අතර ඔවුන්ගෙන් මැලේ , ජා වැනි කණ්ඩායම් වඩා වේගයෙන් ප්‍රධාන සංකෘතිය හා එක් විය. සමහර මුස්ලිම් ජන කොටස් සම්පූර්ණයෙන් මෙරට සංස්කෘතියට අවශොෂණය වෙමින් ගොවිතැන් කරමින් සිංහල ජනයා සමග හොඳින් මිශ්‍ර වෙමින් සහජීවනයෙන් ජීවත් විය. සිංහල ජනයා මුස්ලිම් ජනයා තමන්ගේ ප්‍රධාන සංකෘතිය වෙත අවශෝෂණය විය යුතු යැයි අපේක්ෂා කරන මුත් බොහෝ දුරට ඒ සඳහා කිසිඳු මැදිහත්වීමක්ද නොකිරීම කැපී පෙනෙන ලක්ෂණයකි. ඔවුන්ට ස්ව කැමැත්තෙන් සංස්කෘතික මිශ්‍ර වීමට ඉඩ කඩ ඉන් ලැබිණ.
නමුත් ඉස්ලාම් දහමේ ඇති සුවිසේෂී ආවේණික ලක්ෂණයන් හේතුවෙන් නිසා මෙන්ම මූලධර්මවාදී කණ්ඩායම් වල සෘජු බලපෑම නිසා ඒ මිශ්‍රවීම ඉතාමත් මන්දගාමී විය. සමහර විට ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වීම වෙනුවට ඉන් විතැන් වෙන ක්‍රියා මාර්ග වෙත වැඩිපුර ඔවුන්ගේ අවධානය යොමු විය. මෙය විශේෂයෙන් දශක දෙකක එනම් මේ සියවසේ ආරම්භක වකවානුවේදී පමණ සිදු වූ සිදුවීමක් විය. 2002න් පමණ පසු මේ මූලධර්මවාදී ඉස්ලාම් කණ්ඩායම්වලට හසුවූ ලාංකික මුස්ලිම් ජනයා එතෙක් හිස තෙක් වසාගෙන සිටි තමන්ගේ ඇඳුම වෙනුට හිස සිට දෙපතුල තෙක් වැසෙන හිජාබ් ඇඳුන්මට මාරු විය.එතෙක් ගමේ පිලේ එකම කඩයෙන් ආහාර පාන ආදිය ලබා ගත් පිළිවෙත වෙනස්වී 'හලාල්' මුද්‍රාව සහිත භාණ්ඩ සොයා යන සමාජ බෙදුම්වාදය තීව්‍ර කරන ක්‍රියාමාර්ග වලට ඔවුන් වේගයෙන් අවතීරණය විය.

මෙතෙක් බොහෝ දෙනාගේ සිත් තුල පැවති මුස්ලිම් ව්‍යාප්තවාදය පිලිබඳ වූ බිය සිත් තුලම සාධාරණීකරණය වීමට මෙම සමාජ බෙදුම්වාදී ක්‍රියාමාර්ග ඉහළ අනුබලයක් සැපයීය. නමුත් එවකට පැවති දරුණුම ව්‍යසනය වූ දෙමළ බෙදුම්වාදී කොටි උවදුර හේතුවෙන් මේ පිලිබඳ සමාජ අවධානය එතරම් සවිමත්ව යොමු නොවීය. ඒ අනතුරේ දරුණු බව ත්‍රස්තවාදය පැරදවීමත් සමග බොහෝ දුරට අවසන් යැයි වූ සමාජ සිතුවිල්ල මත මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිවඳ අවධානය වැඩිපුර යොමුවීම ස්වාභාවිකය.

බො.බ. සේනාවේ උපත - සුජාතභාවය හා පැවත...


කොටි පැරදවූ සටන අවසන් වීමත් සමග උදා වූ කාලය තුල මුස්ලිම් ව්‍යාප්තවාදය පිළිබඳ අවධානය වැඩිපුර යොමුවන ඒ නිසග ස්වභාවය තුල බෞද්ධ පාර්ශවය නියෝජනය කරන්නේ යැයි කියමින් සංවිධාන කිහිපයක් සෙමෙන් සෙමෙන් දළුලා වැඩෙන්නට විය. එහි ප්‍රමුඛ කණ්ඩායම බොදු බල සේනා සංවිධානය බව එය සමග මතවාදීව එකඟ නොවන්නන් පවා පිළිගන්නා සත්‍යකි. නමුත් බො.බ.සේ. සංවිධානයේ බිහිවීම සහ එය පසුපස සිටින බලවේග ගැන පළවෙන අදහස් සැලකූ කල එහි සුජාතභාවය දරුණු ලෙස අභියෝගයට ලක් වන බවද එලෙසම සත්‍යකි. එහි සභාපතීත්වය දැරූ කිරම විමලජෝති හිමිපාණෝ සාහිත්‍ය බෞද්ධ පොත පත ආදියෙහි විශිෂ්ඨ මෙහෙවරක් කල යතිවරයන් වහන්සේ නමක් වුවත් ජාතික තලයේ දේශපාලනය ගැන සෘජුව සම්බන්ධ වූ හිමි නමක් නොවීය. උන් වහන්සේ මෙවැනි වේගවත් සංවිධායනක් සමග එක්වීම සාමාන්‍ය සිදුවීමක් නොවේ.

එහි මහලේකම් ධූරය දරණ ගලගොඩාත්තේ ඥානසාර හිමියන් නම් දශකයකටත් වැඩි කාලයක් පුර  ජාතික තලයේ සිටි ස්වාමීන් වහන්සේ නමක් වූ අතර ජාතික සංඝ සම්මේලනය ආදී සංවිධාන හරහා විශේෂයෙන් ත්‍රස්ත විරෝධී සටන සමග මතවාදීව එක්ව සිටි ස්වාමීන් වහන්සේ නමක් විය. උන්වහන්සේගේ හැසිරීම් ශෛලියේ යම්කිසි නොමේරූ ස්වරූපයක් පෙන්නුම් කලත් උන්වහන්සේගේ අධ්‍යාශය ව්‍යාජයක් යැයි පැවසීම සාධාරණ නොවිය හැක. අපට වැටහෙන අන්දමට නම් උන් වහන්සේගේ නිසග ජාතිමාමකත්වය කිසියම් කණ්ඩායමක් ඔවුන්ගේ බල ව්‍යාපෘතිය සඳහා පාවිච්චි කරමින් පවතී. එහි ප්‍රමුඛ කාර්‍යභාරයක් නෝර්වේ රාජ්‍ය සමග සබඳතා පවත්වන එම සංවිධානයේ ක්‍රියාකාරීව සිටින රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් විසින් ඉටු කරමින් සිටී. වරක් ඔවුන් ප්‍රසිද්ධියේ පිළිගත් පරිදි කොටි ඩයස්පෝරාව සමග ඒකාබද්ධ වැඩසටහනක් පිළිබඳ නෝවේ රාජ්‍යයේදී පැවැත්වූ වැඩමුළු ආදිය බොබසේ සංවිධානයේ සුජාතභාවය දරුණු ලෙස අවපැහැ ගන්වන බව කිව යුතුය. රට ජාතිය ගැන අවංක හැඟීමකින් එය වටා එක්ව සිටින තරුණ කොටස්වල අපේක්ෂාව මීට වඩා හාත්පසින්ම වෙනස් වුවත් මේ කප්පිත්තන් නැව රැගෙන යන්නේ කප්පිත්තන්ටම  අවැසි තොටුපළ වෙත බව අමතක නොකළ යුතුය. එදා සෝම හිමියන්ගේ හදිසි වියෝව පිටුපස සිටින්නේ යැයි සැක කල චරිතවලට සමාන කළු චරිත මේ බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටින්නේ ‍යැයි කියන සංවිධානවල තීරණාත්මක තනතුරුවල ස්ථානගතවන්නේ අහම්බයෙන් නම් විය නොහැක.  සාමාන්‍යයෙන් නොර්වේ රාජ්‍යය බෙදුම්වාදී ක්‍රියාකාරකම් වල ලොව පුරා කටයුතු කර නම කැත කරගත් රටක් වන අතර එය බොහෝ විට ඉටු කරමින් සිටිනුයේ ඇමරිකාව සහ එංගලන්තය වැනි රටවල උවමනාවන් සපුරන ' සහයට ඩැනී' භීමිකාව බව ලෝකය පුරා උදාහරණ සාක්ෂි සපයයි.
එවැනි කලු රටක් පසුබිමෙ සිදුකරන කුමනාකාර සුදු ක්‍රියාකාරකමක වුවද කලු සෙවනැල්ල වැටෙන බව සිහි කල යුතුය. එබැවින් මෙරටදී කුමන භූමිකාව රඟපෑවද බොදු බල සේනා සංවිධානයේ උපත මෙන්ම පැවතද සුජාතභාවය අහිමි කරගත් එකක් බව පැහැදිලිය. 'තම්බියාට වඩා සුද්දා හොඳයි',  'ඇමරිකාව සමග හෝ එක්වී හම්බයා පරදවමු' ආදී ළාමක මතවාද මත එම සංවිධානය මෙහෙයවන්නේ ඒ උපතේ සහ පැවතේ ඇති ගැටළුව නිසයි.

බො.බ.සේ. රූස්ස ගසක් කලේ කවුද?
උපතේ සහ පැවතේ සුජාතභාවය පිළිබඳ මෙතරම් ගැටලු මධ්‍යයේ වුවත් බොබසේ සංවිධානය මෑත කාලයේ වඩාත්ම ව්‍යාප්තවූ විශාලතම සංවිධානය බව සත්‍යයි. පසුගිය කාලයේ එවැනි සිවිල් සංවිධානයක් පැවතියේ නම් ඒ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය පමණි. බොබසේ සංවිධානය මෙරට සමාජය තුල මෙතරම් ව්‍යාප්ත වීමට සහ වර්ධනය වීමට බලපෑ කරුණු කිහිපයක්ම අප දකින්නෙමු.

එයින් ප්‍රධාන වශයෙන්ම හේතු වූ කරුණක් නම් රට ජාතිය කෙරෙහි මෙරට සමාජය තුල ඇති නිසඟ ලැදියාවයි. එදා 77දී ජේ ආර් ජයවර්ධන මහතා ධර්මිෂ්ඨ සමාජය නම් කඩතුරාවට වහං වී බලය ලබාගැනීමට භාවිතා කලේද මේ ස්වදේශවාදය පිළිබඳ ඇති ළැදියාවයි. අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලවත් වන්නේදම ඒ ජාතිකවාදී පෙරමුණ සමග ඔවුග ඇති බැඳියාවයි. කැලේ ගහක් නසන්නට තවත් ගසක්ම පාවිච්චි කරන්නා  සේ රට ජාතිය පිළිබඳ ඇති විය යුතු අත්‍යවශ්‍ය සංවේදීත්වය රට ජාතිය නැසීමේ උපායක් ලෙසම මෙහිදී භාවිතා වන්නේය යන්න අපට දැනෙන සත්‍යයි.

ඒ සමගම බො.බ.සේ. වැනි ව්‍යාපාරවල වර්ධනයට බලපෑ ප්‍රමුඛම කරුණ නම් ඔවුන් ඉදිරිපත් කරන මතවාදවල , විසේෂයෙන් ඔවුන් ඉදිරිපත් කරන ගැටලු වල ඇති සාධාරණභාවය සහ වලංගුභාවයයි. පසුගිය දශක දෙක තුනක පමණ කාලයක සිට ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සමපාත ගමනකට මෙරට මුස්ල්ම් ව්‍යාපාරයද මුලපිරීය. එතෙක් මෙරට පොදු හර පද්ධතිය ඉක්මවා නොයන්නට ඔවුන් බොහෝ විට වග බලා ගති. 1915 මරක්කල කෝලාහලය හැරුණු විට වෙනත් ප්‍රබල සිදුවීම් කිසිවක් පසුගිය සිය වස පුරාවටම වාර්ථා නොවීමට එයද හේතුවක් විය.

නමුත් විසේෂයෙන් අශ්රොෆ් මහතාගේ දේශපාලනය සමග තත්වය වෙනස් විය. එතෙක් සහජීවනයෙන් සිංහල සමාජය සමග එක්ව විසීමට සූදානම් වෙමුන් තිබූ මුස්ලිම් ජන මනස විසකුරු බෙදුම්වාදී විස පෙව්වේ අශ්රොෆ් මහතාගේ දේශපාලනයයි. ඔහුට ඒ සඳහා ලෝක මුස්ලිම් ව්‍යාප්තවාදයෙන් හොඳ සහයක් ලැබිණ. එදා ගංගොඩවිල සෝම හිමියන් දීඝවාපී මුස්ලිම් ආක්‍රමණයට එරෙහිව නැගි හඬ මෙහිදී අපගේ සිහියට නැගේ. අතීතයේ බෞද්ධ රාජ්‍යන් ලෙස පැවති රටවල් අද වන විට සම්පූර්ණ මුස්ලිම් රාජ්‍යන් බවට පත්ව ඇති ලෝක වටපිටාව හමුවේ මුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳව සැක සංකාවක සිටි සිංහල සමාජයට ඒ සැක සංකාවලට සාධාර්ණීත්වයක් එක් කිරීමට අශ්රොෆ් මහතාගේ මේ  ගන්ධබ්භ දේශපාලනය සමත් විය. ඒ මුස්ලිම් ව්‍යාප්තවාදය බලහත්කාරී ලෙස මෙරට සමාජය තුලට කඩා වැදුනු තීරණාත්මක අවස්ථාවක් විය. ඉන් වසර කිහිපයකට පසු එතෙක් හිස තෙක් පමණක් ආවරණය කරගෙන සිටි මුස්ලිම් කාන්තාවන් හිජාබ් ඇඳුමට මාරු වීමත් එතෙක් එකාවන්ව බෙදා හදාගෙන කෑ කෑම වේලට හලාල් සහතිකය අනිවාර්‍ය වීමත් ඒ සංධිස්ථානය පිටතට පෙනෙන ප්‍රබල සාධක දෙකක් විය. සමාජ බෙදුම්වාදය තීව්‍ර වන්නේ මේ ක්‍රියාමාර්ග හරහාය. ජනගහන ව්‍යාප්ති වේග වෙනස සමග අනාගත ආක්‍රමණයක් පිලිබඳ බියකින් පසුවූ සිංහල සමාජය තුල ඒ බිය තීව්‍ර කරන්නට මේ ක්‍රියාමාර්ග උල්පන්දම් දුනි.

මෑත වකවානුවේ මුස්ලිම් ව්‍යාප්තවාදය සමග සම්බන්ධිතව වාර්ථා වූ බොහෝ කරුණු හමුවේ නීතිය ක්‍රියාත්මක නොවීම අද ඇතිවී ඇති තත්වයට බලපෑ මූලිකම හේතුවක් ලෙස අප දකින්නෙමු.  මුස්ලිම් අන්තවාදී අමාත්‍යවරයකු අධිකරණය වැනි ඉතාමත් තීරණාත්මක ඇමතිධූරයක් අරක් ගෙන සිටින වාතාවරණයක එය පුදුම විය යුතු කරුණක්ද නොවේ. මෙතෙක් කල් සංධාන ආණ්ඩුවලට එක්වන සුළුතර පක්ෂ කේවල් කිරීම් හරහා ලබාගත්තේ ආර්ථික මර්මස්ථානවලට සම්බන්ධ අමාත්‍ය ධූරයන් වේ. ඒ ඒ මර්මස්ථාන හරහා සුලුතර ජනයාට සැලකීමට  මේ ඇමතිවරුන්ට අවස්ථාව උදාවන බැවිණි.  පසුගිය දශක දෙක තුනේ වරාය අමාත්‍ය ධූරය වැඩිපුරම  මුස්ලිම් පක්ෂ නියෝජනය කරන්නන්ට ලැබෙන්නේ එබැවිනි. නමුත් අද තත්වය ඊට වෙනස්ය. ආර්ථික ක්ෂත්‍රය හරහා අත්කරගත් ජයග්‍රහණ නීතිමය ලෙස බලාත්මක කරගැනීම අද ඔවුන්ගේ මූලික උවමනාවයි. රටේ අධිකරණ ඇමතිධූරය හකීම් ඇමතිවරයාට ලැබෙන්නේ ඒ උවමනාවට සමපාත වෙමිනි.

මීට පෙර නම් ඇමතිධූර ඔවුන්ට හිමි වූයේ ඔවුන්ගේ දේශපාලන කේවල් කිරීම බලය මතයි. රජුන් තනන්නන් ලෙස ප්‍රකටව සිටි ඔවුන්ට අවැසි දේ නොදී ආණ්ඩු පිහිටවීම එකල උගහටය. නමුත් තේරුම් ගත නොහැකි කරුණ නම් එවැනි කේවල් කිරීමේ බලයක් නොමැති රාජපක්ෂ පාලන යුගය තුලදී අධිකරණය වැනි මුස්ලිම් ව්‍යාප්තවාදයේ ඊලඟ පිම්මට අත්‍යවශ්‍ය බලය හකීම් මහතාට ලැනුයේ කෙසේද යන්නයි. ඔහු ඇමතිධූරයට පත් වූ පසු එතෙක් නීති විද්‍යාල ප්‍රවේශය සමත් මුස්ලිම් ඉසින්ගේ ප්‍රමාණය කිසිඳු තර්ක - සංඛ්යාන ශාස්ත්‍රයක් මගින් විස්තර කළ නොහැකි ලෙස අභව්‍ය ලෙස ඉහල යන්නේ ඒ උවමනාව වෙනුවෙන් බවට සැක නැත. නමුත් අවසානයේ ඒ ගැටලුවට ලැබුණු විසඳුම කුමක්ද?
එමෙන්ම අතිශය  අසාධාරණ ලෙස  හලාල් මුද්‍රාව බලහත්කාරයෙන් සිංහල සමාජය මත පැටවීමේ ක්‍රියාවලිය වැලැක්වීමට අදාළ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග මොනවාද? කුරගල , දඹුල්ල ආදී බෞද්ධ හිෂ්ඨාචාරයේ සංධිස්ථානවල සිදුවූ මුස්ලිම් ආක්‍රමණයන්ට ලබාදී ඇති පිළිතුරු බහුතර ජනයා සෑහීමකට පත් වී ඇතිද?

මේවා බොබස වැනි සංවිධාන ආමන්ත්‍රණය කරන කරුණුය. ඒවා වෙන්ව වියුක්තව ගත් කල ඉතාමත් යුක්ති සහගත ඉල්ලීම් බව අපගේ හැඟීමයි.

එකින් එක සඳහන් නොකලත් මෙලෙස සඳහන් කල හැකි දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ බලධාරීන් කටයුතු කරනුයේ අඳ ගොළු බිහිරන් ලෙසය. එසේත් නැතහොත් ලාදුරු රෝගීන් ලෙසය. එලෙස සුළු සුළු ගැටළු කර ඇරීම නිසා ඒවා ඕනෑම ජඩ න්‍යාය පත්‍රයකට වුව මෙහෙයවන කණ්ඩායම්වලට හොඳ පල්ලමකි. නියපොත්තෙන් කපන්නට හැකිව තිබූ ගස් අද මහා රූස්ස ගස් වී හිස මතට වැටෙන්නට වූ අනතුරකට පත්ව ඇත්තේ බලධාරීන්ගේ මන්දෝත්සාහී හැසිරීම නිසයි.

ඉහත දැක්වූ කරුණු වලට අමතරව මෑත කාලයේ ව්‍යාප්තවූ සමාජ ජාලා හා අන්තර්ජාල මාධ්‍යවල සුලභතාවයද මේ තත්වය වර්ධනය වීමට තවත් එක් හේතුවකි.  බොහෝ දෙනා නාගරික උගත් සමාජය ලෙස මහත් උජාරුවෙන් හඳුන්වන සමාජ කන්ඩායම් මේ වතුර , බොර දිය බවට පත් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයීය..

අප ගත යුතු මග

මේ ඇතිවී ඇති තත්වය හමුවේ වාසි ලබාගන්නා කන්ඩායම් කිහිපයක් හඳුනාගත හැකිය.
  • මෙරටට අත පෙවීමට බලාසිටින විසකුරු විදෙස් බලවේග.
  • සිංහල සමාජයෙන් වෙන්වීමට මග බලා සිටින දෙමළ බෙදුම්වාදින්.
  • සිංහල සමාජය සමග බද්ධ වෛරයෙන් පසුවන ඊනියා බටහිර රටවල සහ රාජ්‍ය නොවන සංවිධාන වල මතයට අනුව ක්‍රියාකරන ඊනියා උගත් සමාජය.
  • බෞද්ධයා අපකීරිතියට ලක් කර එමගින් වාසි ලබාගැනීමට සිටින අන්‍යාගමික අන්තවාදී කොටස්.
  • සිංහල මුස්ලිම් සහජීවනය නොඉවසන අන්තවාදී මුස්ලිම් සංවිධාන සහ එහි ක්‍රියාකාරිකයන්.
  • අනාගත ලොව මුස්ලිම් 'තනි යායක්' කිරීම වෙනුවෙන් වෙහෙසෙන මුස්ලිම් ව්‍යාප්තවාදයේ ක්‍රියාකාරිකයන්.
  • සිංහල - දෙමළ - මුස්ලිම් චන්ද ගොඩවල් තම තමන්ගේ භුක්තියට සවි කරගැනීමේ අභිප්‍රායෙන් සහජීවනය පාපන්දුවක් කරගගත් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්.
මෙකී නොකී සතුරු පාර්ශව බොහොමයක් මේ දිය බොර වූ අවස්ථාවේ එහි මාළු බෑමට සූදානමින් සිටී. එමෙන්ම ඉදිරි මැතිවරණවලදී මුස්ලිම් සහ සිංහල චන්ද වල කොටස තමන්ගේ කරගැනීමට සූදානම් වන කණ්ඩායම්ද මේ තත්වය වර්ධනය වනවාට ඉත සිතින් කැමතිය. තම බල ව්‍යාපෘතිය සඳහා කුමක් වුවද භාවිතා කිරීමට තරම් ඔවුන් අලජ්ජිය.

මේ ඇතිවී ඇති තත්වය හමුවේ ඒය තව තවත් වර්ධනය කර මගින් වාසි ලබන්නට බලාසිටින අවස්ථාවදී කොටස් පරාජය කිරීමට නම් මුලින්ම අප සිහිය එළවා කටයුතු කළ යුතුය. තල් අත්තට බ්ලි ගෙඩිය වැටුනු විට ගාල කඩාගෙන දිවූ තිරිසන් ගතියෙන් මිදීමට අප සමාජයක් ලෙස සිතට ගත යුතුය. එමෙන්ම ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ මුස්ලිම් ව්‍යාප්තවාදය පරාජය කර එක් සමාජයක් ලෙස තම තමන්ගේ අනන්‍යතා රැක ගනිමින් ජීවත් වන්නේ කෙසේද යන්න පිලිබඳ දැනුවත් සංවාදයක් ඇරඹිය යුතුය. ඇහැට ඇහක් පන්නයේ පිළිතුරු සෙවීම තෙක්  වර්ධනය නොවී සමාජයක් ලෙස කට ජීවත්වීමේදී ස්වාභාවිකව ඇතිවන නොපෑහීම් වළකා ගත හැක්කේ එමගින් පමනි. එමෙන්ම ස්මාජ සාමානුයෝජනයට බාධා ගෙන දෙන විදෙස් ආධාර ලබන සහ විදෙස් න්‍යායපත්‍රයන් මත මෙයවෙන අන්තවාදී කණ්ඩායම් වල ක්‍රියාකාරීත්වය ඉක්මන් ප්‍රතිචාරයක් මගින් වහා නැවැත්විය යුතුය. එසේ නොවන තාක් මේ පිලිබඳ ගැඹුරු සංවාදයකට යෑම උගහටය. එමෙන්ම සිංහල බෞද්ධ සමාජය නියෝජනය කරන්නේ ‍යැයි කියන සංවිධානවල ඇති ගැටලු ජාතික සංවිධානවල මැදිහත්වීම්න් හෝ විසඳා ගත යුතුය. කොටින්ම කඳට සරිලන හිසකින් ඒ සංවිධාන ශක්තිමත් කරගත යුතුය. 
උපතේ සිට මරණයට පත් වීම තෙක් සැමට බලපාන නීතිය  සරිලන ජනවාර්ගිකත්වය මත වෙනස් නොවී සැමට සරිලන එක නීති පද්ධතියක් යටතට මුළු සමාජයම ගැට නොගසා නම් සහජීවන මගේ අඩියක්වත් ඉදිරියට යාම උගහටය.


අන්තවාදය සහ සාමාන්‍යය යන අන්ත දෙක අතර ඇති අවකාශය තුල සිටින්නන් සියල්ල එක පොදු කුලකයකට දමා පහර දීමෙන් දිනා ගත හැක්කක් නොමැති බව හොඳින් තේරුම් ගත යුතුය. එමගින් සිදුවන්නේ වෙන්වීමේ පරිකල්පනය දෙසට රේඛාවේ මෙහා අන්තයේ සිටින්නන්ද ඇදී යාමය. දෙමළ ජාතිවාදය පැරදවීමේදී එය මතවාදිව නිවරදි ලෙස වෙන් කරගත් නිසා මව්බිමට ජයග්‍රහණය ගෙන ඒමට හැකිවිය. සාමාන්‍ය දෙමළ ජනයා සහ කොටි ත්‍රස්තවාදියා යනු එකෙක් නොව දෙදෙනෙකු ලෙස නිවරදිව වෙන් කරගැනීම තුලින් අදද වැල්ලවත්තේ සෙල්ලදොරෙයි අයියාටත් ධර්මදාස අයියාටත් එකට සිටිමින් ප්‍රභාකරන් පැරදවීමට හැකිවිය. එමගින් ඊළම බිහිවීමේ දරුණු අවධානම නැති කරගැනීමට හැකි විය. එමෙන්ම සාමාන්‍ය මුස්ලිම් ජනයා සහ තව්ෆික් ජමාද් හෝ වෙනත් කුමනාකාර අන්තවාදී මුස්ලිම් ත්‍රස්ත කණ්ඩායම් වෙන්කර හඳුනාගත යුතුය. එසේ නොකර සියල්ල එක කුලකයකට දමා 'තම්බි ඔක්කොම එකයි' යනුවෙන් සාමාන්‍යකරණය නොකර ඒ වෙනුවට සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනාගනිමින් මුස්ලිම් අන්තවාදය පිටුදැකීමට අප සවිඥානික විය යුතුය . අනාගතයේ නසරිස්තාන බිහිවීමේ අවධානම ගැන සවිඥ්ඥානික බොහෝ දෙනා සිතට ගත යුතු කරුණ එයයි. එය ඉටු කර ගත හැක්කේ බාහු බලයට වඩා අනාගතය විනිවිදිය හැකි විදග්ධ දැක්මකින් සන්නද්ධ වීමෙන් පමණි




-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com


3/28/2014

වහාබ් අන්තවාදයට පිළිතුර කුමක්ද?

කතෘ:යුතුකම     3/28/2014   4 comments
යටත් විජිත සමයේ මෙරට වාසය කළ ආමන්ඩ් ද සූසා නම් ඉංග්‍රීසි ජාතික මාධ්‍යවේදියා විසින් 1915 සිංහල මරක්කල කෝලාහලය අළලා ලියා පළකරන ලද "Hundred Days in Ceylon Under Martial Law- 1915" නම් කෘතිය මෙම ලිපියෙහි පූර්විකාව වෙයි. එම කෘතිය යසපාල වනසිංහ මහතා විසින් "සිංහල මරක්කල කෝලාහලය" නමින් සිංහලයට පරිවර්ථනය කර මෙම සිදුවීමට අදාළ ප්‍රධාන නඩු සහ කොමිෂන් සභා වාර්ථාද සමඟින් ප්‍රකාශයට පත් කර ඇත. පුවත්පත් කතුවරයකු වශයෙන්ද සුදු ජාතිකයකු වශයෙන්ද ආමන්ඩ් ද සූසා මහතාට රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කිරීමටත් බ්‍රිතාන්‍යයේ කිරීටයේ සිට සාමාන්‍ය ගැමියා දක්වා වූ සියළු තලයන් නිරීක්ෂණය කිරීමටත් නිදහස තිබිනි. එබැවින් ඔහුගේ මෙම කෘතිය එම සිදුවීම සම්බන්ධ ඓතිහාසික වාර්තාවක් ලෙසින් සැලකිය හැකියැයි සිතමි. මෙයට සියවසකට පෙරාතුව රටේ ජන සංයුතිය, සමාජ සැකැස්ම මෙන්ම ජාතික දේහය මත පිළිලයක් ලෙසින් වැඩෙන ජාතිවාදයක මූල බීජය දෙරණ මත පතිත වන ආකාරයත් අධ්‍යයනය කිරීමට එය මහඟු මූලාශ්‍රයකි.

මෙම අතීක කතා පුවත අදට වැදගත් වන්නේ අප අභිමුවෙහි ඇති සැබෑම ප්‍රශ්නය කුමක්දැයි වටහා ගැනීමේදීය. නාස්තිය, දූෂණය, වංචාව, දරිද්‍රතාවය, විරැකියාව, නීතියේ ස්වාධීනත්වය ආදී දහසකුත් දෑ සාකච්ඡා කළද අද මෙරට ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය කුමක්ද? දේශපාලන න්‍යායන් තුළින් කුමන අන්දමකින් විග්‍රහ කලද මා දකින සරල සත්‍යය නම් ජාතික ස්වාධීනත්වය, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික අධීනත්වය පරයන ප්‍රමුකතාවයක් කිසිඳු රටක කවර ප්‍රශ්නයකටවත් හිමි නොවන බවයි. තිස් අවුරුදු යුද්ධය අවසන් යැයි සිතා අපට අත පිසදාගත නොහැක්කේ අද වන විටත් අප හමුවේ ඇති කේන්ද්‍රීය ප්‍රශ්නය ජාතික නිදහස නොමැති වීම හෙවත් සිංහලයන්ට මෙරට හිමි විය යුතු තැන නොලැබීම වන බැවිනි.

මෙම වත්මන් ප්‍රශ්නයට 1505 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. ජාත්‍යන්තරය තුළ යටත්විජිතවාදීන්ගේ දේශපාලන භාවිතාවේ මුහුණුවර කාලානුරූපව වෙනස් වුවද ඔවුන්ගේ අරමුණ කිසි ලෙසකින් හෝ වෙනසකට භාජනය වී නැත. ඩේවිඩ් කැමරන් අද මෙරටට ගොඩ බසින්නේ 1815 දී ඔවුන් කන්ද උඩරටට ගමන්කළ අරමුණෙන් දශමයකින් හෝ වෙනස් වූ අරමුණකින් නොවේ. ඉදිරියේදීද එය එසේම වනු ඇත. සර්ව හිතවාදී විශ්වීය මානව නිදහසක් පිළිබඳව අප වැනි රටවලට වැදි බණ දෙසීමට ඉදිරිපත් වුවද ඔවුන්ගෙන් අධීන වූ නිදහසක් ලබා ගැනීමට කවර ලෙසකින් හෝ ඔවුන් අවසර නොදෙනු ඇත. පන්සිල් සුරැකිය හැකි, සිංහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම් ආදී අනෙක් ජන වර්ග වලටද සාමයෙන් සතුටින් සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක්, නිවන අරමුණු කරගත් දේශපාලන ආර්ථික දර්ශනයක් ගොඩනගා ගැනීමට ඔවුන් ඉඩ නොතබනු ඇත. ඔවුන්ගේ ක්‍රිස්තියානි සංස්කෘතියට විකල්පයක් බිහි වනු දැකීමට ඔවුන් රිසි නොවනු ඇත. මෙම කරුණේදී සිංහලද දෙමළද මුස්ලිම් ද යන්න අදාළ නොවේ. මුළු ලොවම ඔවුන්ගේ දේශපාලන ආර්ථික සංස්කෘතික යටත්විජිතවාදය තුළ සිර කර තැබීම ඔවුන්ගේ න්‍යායයි. 1505 දී ඇරඹී අද වන විටද අප හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය එයයි.

1848 දක්වා අවියෙන් කරන ලද 1948 දක්වා ඍජු දේශපාලන යටත්විජිතකරණය හරහා සිදුකරන ලද එම කාර්යය ඔවුන් විසින් ඉන් අනතුරුව ප්‍රධාන පෙරමුණු දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කර ඇත. මෙම පෙරමුණු දෙකම ඔවුන් විසින් බිහිකරනුයේ 1948 ට පෙර ඉතා උපක්‍රමශීලීවය. ඉන් පළමු පෙරමුණ මිශනාරී අධ්‍යාපනය, ප්‍රභූ ආර්ථිකය හරහා මෙරට බිහි කරන ලද කළු සුද්දන් පිරිසයි. අනගාරික ධර්මපාල තුමා මෙම කළු සුද්දන්ගෙන් වන හානිය පළමු වරට දුටු ප්‍රඥයාය. ආමන්ඩ් ද සූසා මෙම කෘතිය රචනා කිරීමේ අරමුණද මෙම කෝලාහලයේදී සුද්දන් සිංහලයන්ට කරන ලද අසාධාරණය දැකීමෙන් ඔවුන්ගේ සුවච කීකරු කුක්කන් සේ ඇතිකරන ලද සිංහල කළු සුද්දන් ඔවුන් කෙරෙහි කලකිරේවියැයි ඇතිවූ බියයි. ඒ බව ඔහුගේ පෙරවදනේ පටන් මුළු කෘතිය පුරාම ඉතා පැහැදිලිව විග්‍රහ කර ඇත. නමුත් එවන් කලකිරීමක් ඇති නොවිනි. ආමන්ඩ් ද සූසා සිතුවාට වඩා තදින් කළු සුද්දන් ඔවුන්ගේ ග්‍රහණයට නතු වී තිබිනි. 1948 දී සුද්දන් පාලන බලය ඔවුන් වෙත ප්‍රදානය කළේ එබැවිනි.


දෙවැනි පෙරමුණ මෙරට සුළු ජන වර්ග අතර වපුරන ලද ජාතිවාදයයි.
තමන් උපන් රටේ නිජ අයිතියක් සෑප පුරවැසියෙකුටම හිමිය. එහි විවාදයක් නැත. එසේ වුවද රටේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික උරුමකාරිත්වය හිමිවිය යුත්තේ යම් රටක මුල් බැසගත්, එහිම ඉපදී, එහිම හැදී වැඩුනු එබැවින්ම එහි නිජ අයිතිය උරුම කරගත් එනම් ශිෂ්ඨාචාරය ගොඩනැගූ ජාතියටය. එනයින් ගත් කළ සිංහල බෞද්ධ චින්තනයට සහ සංස්කෘතියට මෙරට ඇති උරුමය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ නොහැකිය. වසර 2500ක් දක්වා දිවයන පැහැදිලි සැක සංකා රහිත අඛණ්ඩ උරුමයක් අප සතුව ඇත. මෙම උරුමය සෑම පුරවැසියෙකුටම උපතත් සමඟ හිමිවන අයිතිවාසිකම් වලට ඔබ්බෙන් පවතින්නකි. එම තනි තනි පුරවැසි අයිතිවාසිකම් වලට කිසිවෙකු වැට නොබැඳිය යුතුවාක් මෙන්ම සෑම පුරවැසියකුම මෙරට මුල් බැසගත් ජාතිය වශයෙන් අපට ඇති එම උරුමය පිළිගත යුතුය.

1948න් පසුව කළු සුද්දන් කළේ අඟේ ඉඳන් කන කන්නාක් මෙන් මෙම ජාතිකත්වය දුර්වල කිරීමයි. දේශපාලනය, අධ්‍යාපනය, නීතිය, කලාව, මාධ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකම එය ක්‍රියාත්මක විය. අද ජාතියක් වශයෙන් අපට අත්වී ඇති දුර්භාග්‍යයේ සම්පූර්ණ පාපය මෙම ක්ෂේත්‍රයන්හි හිමිකාරිත්වය දරන බටහිර අධ්‍යාපනයෙන් මොළ සෝදාගත් පිරිස භාරගත යුතුය. අපගේ මුල් සිඳින අතර සුද්දන් වපුරාගිය ජාතිවාදී බිජුවට වළට රිසි සේ වර්ධනය වීමට ඔවුහු ඉඩ දුන්හ. බීජ, කෝෂ, කීට අවධි පසුකරමින් අද වනවිට සුහුඹුල් තත්ත්වයට පත්වී ඇති දෙමළ ජාතිවාදයත් කීට අවධිය පසුකරමින් සිටින මුස්ලිම් අන්තවාදයත් එහි ප්‍රතිඵල වෙයි.

බටහිරයන් විසින් ආදරයෙන් හදාවඩාගත් මෙම දරුවන්ට සිංහල බෞද්ධ ජාතිකත්වය වෙතින් ඇඟට දැනෙන ප්‍රහාරයක් එල්ල වූයේ 2005න් පසුවය. නෝර්වේ කාරයන් වැනි කුලී හේවායන්ට නොහැකි වූ කල කැමරන් සහ ඔබාමා ඍජුවම අද වනවිට මෙරට ප්‍රශ්නයට අත දමා ඇත්තේ මෙම දරු සෙනෙහස නිසාමය. මානව හිමිකම් ඔවුන්ගේ නවතම ආයුධය වෙයි. මුල් කාලය තුළ ඔවුන් යොදාගත් යුධ අවි සහ මෙම අවිය අතර ඇති එකම වෙනස යෙදූ සැනින් වල් පැළ නසන ග්‍රැමක්මක්සෝන් සහ දින 14ක් ඇතුලත ප්‍රතිඵල පෙන්වන වීඩෝල් අතර ඇති වෙනසට සමාන වෙයි. කුමක් යෙදුවද අවසන් ප්‍රතිඵලය රජරැටියන්ගේ වකුගඩු මෙන්ම අපගේ ජාතික දේහය විනාශ වීමයි.

මුස්ලිම් අන්තවාදීන් විසින් රටට එරෙහි බොරු වාර්ථා ඔසවාගෙන ජිනීවා යන්නේ ඔවුන් හා දෙමළ ජාතිවාදීන් නිවුන් සොයුරන් වන බැවිනි. ප්‍රභාකරන් කාත්තන්කුඩි පල්ලිය තුළ බැතිමතුන් මරා දමද්දී හකීම් ඔහු හා සන්ධානගත වන්නේත්, නැගෙනහිර මුදවාගන්නා විට ආණ්ඩුව පෙරලීමට කටයුතු කරන්නේත්, රටේ අධිකර අමාත්‍ය ධූරය දරමින් රටට එරෙහිව ජිනීවාවල නඩු කියන්නේත් එකම හේතුවක් නිසාවෙනි. එනම් නැගී එන මෙම වහාබ් අන්තවාදය බටහිර යටත්විජිතවාදය වෙතින්ම පෝෂණය වන්නක් වන බැවිනි.

1915 දී සිංහල මරක්කල කෝලාහලය පිළිබඳව ආමන්ඩ් ද සූසාගේ සටහන වැදගත් වන්නේ සුදු අධිරාජ්‍ය වාදයට ජාතකව උපන්, ලෝකය තුළ වරින් වර වර්ධනය වන මුස්ලිම් අන්තවාදයන්ගෙන් ගුරු හරුකම් සහ ආධාර උපකාර ලබමින් වැඩෙන මෙම මුස්ලිම් අන්තවාදය පැහැදිලිව තේරුම් ගැනීම සඳහාය.
මෙම අන්තවාදයෙන් දූෂණය නොවුනු, තම ආගමික අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් සිංහල බෞද්ධ උරුමය පිළිගත් මෙරට මුල් බැසගත් සාප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමානයක් අද වන විටද රට තුළ ජීවත් වෙති. මූලික වශයෙන් නැගෙනහිර පළාත මුල් කරගනිමින් ක්‍රියාත්මක වන වහාබ් අන්තවාදය පිළිබඳව මුලින්ම අනතුරු හඟවන්නේ මෙම සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාව විසිනි.
1915 වන විටද ලංකා මරක්කල ලෙසින් හැඳින්වුනු අරාබි සම්භවයක් ඇති සාම්ප්‍රදායික මුස්ලිමුන් විශාල ප්‍රමාණයක් ඉතා සාමකාමීව රටතුළ ජීවත් වූහ. කෝලාහලයට මුළ පුරන්නේ ඉන්දීය සම්භවයක් ඇති හම්බ ලෙසින් හැඳින්වුනු එවකට ඉතා සුළු පිරිසක් වුනු මුස්ලිමුන් විසිනි. ගම්පොල හෙනකඳ බිසෝ බන්ඩාර දේවාලයේ වාර්ශික පෙරහැරට විරුද්ධ වන මෙම හම්බයන් සුද්දන්ගේ අනුග්‍රහය ලබමින් රටතුළ ප්‍රචණ්ඩත්වය පතුරවයි. සිංහලයන් කෙතරම් අහිංසක සහනශීලී සාධාරනය ගරුකරන ජාතියක්ද යන්න මෙම කරුණ  සම්බන්ධ නඩු වාර්ථා මඟින් මනාව සනාථ වෙයි.

1915 දී සිදුවුනු එම ක්‍රියාවලියම අද වන විටද එලෙසින්ම ක්‍රියාත්මක වන්නේ කුමන හේතුවකින්ද? මා දකින පරිදි අප 1915න් එම සිදුවීම අමතක කර දැමුවද අපේ සතුරන් එලෙස කර නැත. දෛවෝපගත ලෙසින් වසර 100කට පසුවත් එම ඉතිහාසයම පුනරාවර්ත වන්නේ එබැවිනි.එසේ වුවද මෙම ප්‍රවාහය ආපසු හැරවීමට අප තවමත් ප්‍රමාද නැතැයි මම සිතමි. විශේෂයෙන් දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි කළ යුතු විශාල කාර්යයක් ඇත. තවමත් රටේ 70% කට ආසන්න ප්‍රමානයක් සිංහල බෞද්ධ වෙයි.

එසේ වුවද රටේ පාර්ලිමේන්තුව තුලින් එම සැබෑ ජන අනුපාතය නිරූපනය වන්නේද? විකාර රූපී ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණ ක්‍රමය මඟින් සැබෑ ජන මතය යට ගසා ඇත. අන්තවාදයට ජාතිවාදයට ඉඩකඩ විවර කර ඇත. ජාතිවාදී ආගම්වාදී ප්‍රවනතාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන පළාත් සභා ආදී ව්‍යුහයන් තුළින් සිදුවන හානිය සුළුපටු නොවේ. එබැවින් මෙම තත්ත්වයන් නිවැරදි කිරීමේ දිශාවට රටත් රජයත් ජනතාවත් පමණක් නොව අධිකරණයද මෙහෙයැවීමේ වගකීම ජාතික සංවිධාන විසින් සියතට ගත යුතුය. තුන් වේල වෙනුවට එක් වේලක් කා හෝ තිර අදිටනින් විජාතික බලවේගයන්ට එරෙහි වීම සඳහා ජාතිය සූදානම් කළ යුතුය.

නමුත් එය මෙම සටනේ එක් අංශයක් පමනි. 1915 දී සීමිත ප්‍රදේශයක පැතිරුනු හම්බයන් අද රට පුරා විසිරුනු අනෙක් සාම්ප්‍රදායික මුස්ලිම් ජන කොටස් කෙරෙහි ඉතා සීඝ්‍රයෙන් තම අණසක පතුරවමින් සිටී. අප විසින් වැට බඳිය යුත්තේ එම සමාජ පිළිලයටයි. 1915දී ලද පසුබෑමත් සමඟ සිංහලයන් යටත් කරගැනීම පහසු නොවන බව තේරුම්ගත් මෙම අන්තවාදය සමස්ථ මුස්ලිම් ප්‍රජාවම බිළි ගනිමින් නව අධියරකින් පෙරට පැමින ඇත. ජයග්‍රාහී මානසිකත්වයක් ගොඩ නගාගෙන ඇත. ඉදිරියේදී අප වෙත එල්ලවීමට නියමිත ක්‍රමයෙන් උග්‍ර වන බටහිර බලපෑම් හමුවේ ඔවුන්ගේ මානසිකත්වය තව තවත් ශක්තිමත් වනු ඇත. අප පැරදවිය යුත්තේ එම ප්‍රවාහයයි.

මෙම උවදුරද එහි ඍජු ප්‍රතිවිපාකද කෙරෙහි අප සවිඥානක වුවද ස්ථිරසාර ලෙස එය මැඩලීමේ දිශාවට අප තවමත් නැඹුරු වී නැතැයි මම සිතමි. අප අපගේ ජාතික උරුමයන් සංස්කෘතික වටිනාකම් රැකගනිමින් දේශපාලන සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි අපගේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කළ යුතුය. දෙමළ ජාතිවාදයද වහාබ් අන්තවාදයද එක ලෙසින්ම නිසි පරිමානයෙන් වටහාගනිමින් ක්‍රියාත්මක විය යුතුය.
නමුත් දීර්ඝකාලීන වශයෙන් විසඳුමක් ලබා ගැනීමටනම් එයද ප්‍රමාණවත් නොවේ. මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ ආගමික සංස්කෘතික හර පද්ධතීන් රැකෙන පරිදි අපගේ සංස්කෘතිය වෙත අවශෝෂනය කර ගැනීමටද ක්‍රියා කළ යුතුය. සෙනරත් රජු නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශවල ඔවුන්ව පදිංචි කළේ පරම්පරා කිහිපයක් තුළ සිංහල ජාතියට අවශෝෂණය විය යුතු බවට කොන්දේසියක් පනවමිනි. නමුත් එම කරුණ සාක්ෂාත් කර ගැනීමට අප සමත් වී නැත. හම්බ මුස්ලිමුන් සිය සංස්කෘතියේ අනසක අනෙක් මුස්ලිම් ප්‍රජාව වෙත පැතිරවීමට පසුගිය සියවස තුළම ක්‍රියාත්මක වී ඇත. නමුත් අප යම් තරමකින් හෝ සාර්ථක වී ඇත්තේ මැලේ මුස්ලිමුන් අපගේ සංස්කෘතිය තුළට අවශෝෂණය කරගැනීමට පමනි.

සිංහල කතා කරන මුස්ලිමුන් අප වෙත සමීපවීමේ නැඹුරුවක් ඇති නමුදු එය අපගේ ක්‍රියාකාරිත්වය සහ වහාබ් අන්තවාදයේ සීඝ්‍රතාව මත තීරණය වනු ඇත. මෙම නව ප්‍රවනතාවන් කෙරේ සවිඥානික ජාතික සංවිධාන මුස්ලිම් සමාජය තුළ ඇති සියුම් විවිධත්වය වටහාගත යුතුය. තොප්පිය පැළඳූ සිකුරාදා කඩ වහන සියල්ලන්ම එකම මිම්මකින් මැනීම ප්‍රශ්නය තව තවත් බැරෑරුම් කිරීමක් විය හැකිය. මෙම මුස්ලිමුන්ගෙන්ම කොටසක්
ඓතිහාසික වශයෙන් අප මෙන්ම, දෙමළ බැතිමතුන් මෙන්ම කතරගම දෙවොළ වෙත ඇදෙන බව අප සිහි තබා ගත යුතුය. අපගේ දීර්ඝකාලීන ඉලක්කය විය යුත්තේ වෛරයේ ගිනි දළු නිවා සනසන එවන් ආශිර්වාදාත්මක සංස්කෘතික සම්මිශ්‍රණයන් වඩ වඩාත් ශක්තිමත් කිරීම උදෙසාය. යම් දවසක මුස්ලිමුන්ට කතරගම අහිමි කෙරෙයිනම් එය සිදුවන්නේ වහාබ් අන්තවාදයේ යකඩ හස්තය මඟින් මිස සිංහල බෞද්ධ සමාජය මඟින් නොවන බව ඒත්තු ගැන්විය යුතුය.    

දෙමළ හෝ මුස්ලිම් හෝ ක්‍රිස්තියානි හෝ මෙම කවර ගැටළුවකට වුවද අවසාන විසඳුම විය යුත්තේ ඒ සැමදෙනාම අපගේ ජාතිකත්වය තුළට වද්දා ගැනීමයි. එය සියවස් කිහිපයක් තුළ සිදුවිය යුත්තක් විය හැකිය. නමුත් අද අප ඒ වෙනුවෙන් මුල් පියවර තැබිය යුතුය. වහබ් අන්තවාදයෙන් පීඩා විඳින සාම්ප්‍රදායික මුස්ලිමුන්ගේ ආගමික අයිතිය වෙනුවෙන් අප ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ට රැකවරණය සැළසිය යුතුවාක් මෙන්ම අප සංස්කෘතිය තුළ ඔවුන්ට රැකවරණයක් ඇත යන විශ්වාසයද ඔවුන් තුළ ජනිත කළ යුතුය. රටත් ජාතියත් ලේ විලක් වෙත දක්කන කපටි ආරක්ෂකයන්ගෙන් ඔවුන් මුදවාගත යුතුය.

ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions