2/20/2018

මේ වෙලාවේ මහ මැතිවරණයක් තියන්න පුළුවන්ද ?

කතෘ:යුතුකම     2/20/2018   No comments
-නීතිඥ කණිෂ්ක විතාරණ -

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග රටේ දේශපාලනයේ විවිධ ආන්දෝලනයන් ඇතිවිය. අගමැතිවරයා වෙනස් කළ යුතු බවට අදහසක් මතුවී තිබෙන අතර ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කුමක්ද යන්න ගැන අවධානය යොමුවී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේද යන්න ගැන විවාදයක් ඇතිවී තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මූලික කෙටුම්පතේ අගමැතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන සෘජුව ඇතුළත් කර තිබුණත් සම්මතවූ කෙටුම්පතේදී එය සංශෝධනය විය.

19 වැනි සංශෝධනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 46 (1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ මෙය සංශෝධනය කිරීමටය. ඒ අනුව පාර්ලිමේන්තුවට කෙටුම්පත ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට සංශෝධනයක් ඉදිරිපත් වූයේ කාටත් නොදැනෙන ලෙසය. එය වෙනස් කළේ කිසියම් අමුතු ආකාරයකටය. 46 - 2 වගන්තිය අනුව අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ඉල්ලා අස්වීමේ ලිපියක් මගින් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූවෙක් වූවොත් මිස අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් ධුරය දරන්නේ යැයි සඳහන් වේ. එම වගන්ති සංශෝධනයෙන් පසුව අගමැතිවරයා ඉවත් කළ හැක්කේ ඉල්ලා අස්වීමකින් මිස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙක් නොවූ විට විය. එහෙත් 46 (3) වගන්තිය අනුව අමාත්‍යවරයෙක් ධුර දැරීම ගැන සඳහන් වේ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිපියක් මගින් ඇමැතිවරයෙක් ඉවත් කළ හැකිය. අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය හැක්කේ අවස්ථා දෙකකදීය. එහෙත් අනෙක් ඇමැතිවරයෙක් ඉවත් කිරීමට හැකිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා ධුරයේ රැඳී සිටී.

එහෙත් 19 වැනි සංශෝධනයේ මෙවැන්නක්ද සඳහන් වේ. 48 (1) වන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණය පවත්වන තෙක් කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු හැරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් ධුරය දැරීම අවසන් වීමෙන් පසුව.... යනුවෙන් සඳහන් වේ. එහි ඉංග්‍රීසි පිටපතේ සඳහන් වන්නේ අගමැති මරණය, ඉල්ලා අස්වීම හෝ වෙනත් කාරණයකදී ධුරය දැරීම අවසන් වුවහොත් යනුවෙනි. සිංහල පිටපතේ සඳහන් වන්නේ ධුරයෙන් ඉල්ලා අස්වීම, ධුරයෙන් ඉවත් කරනු ලැබිම යනුවෙන් සඳහන් වේ. සිංහල පිටපත අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරි කාලය හැර වෙනත් කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ගැන සඳහන් වේ. ඒ අනුව ධුරයෙන් ඉවත් කිරීමට හැක්කේ ජනාධිපතිවරයාට පමණි. පාර්ලිමේන්තුව විසුරවාහැර නොමැති කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි ආකාරයක් ඒ අනුව 48 වැනි වගන්තියේ සඳහන් වේ. මේ අවස්ථාවේදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරේ. එවිට ජනාධිපතිවරයාට අලුත් ඇමැති මණ්ඩලයක් පත් කළ හැකිය.

46 වැනි වගන්තිය හා 48 වැනි වගන්තිය අතර ගැටුමක් ඇතිවුවහොත් ඒ පිළිබඳ අර්ථ නිරූපණය කළ යුතු වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. අප ව්‍යවස්ථාවක් අර්ථකථනය කළ යුත්තේ ව්‍යවස්ථාවක වගන්ති අතර ගැටීම් නොමැති බවට උපකල්පනය කරගෙනය. සෑම වගන්තියක්ම අනෙක් වගන්තියට ගැළපෙන ආකාරයට පනවා ඇතැයි යන පූර්ව නිගමනය අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතුය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් වුවහොත් හැර අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා සිය ධුරයේ රැඳී සිටිය යුතු බව සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේය. එහෙත් 48 වැනි වගන්තියෙන් දක්වන්නේ අමාත්‍ය මණ්ඩලය විසුරුවාහරිනු ලැබූ අවස්ථාවක් ගැනය. අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමග මුළු ඇමැති මණ්ඩලයම විසුරුවා හැරේ. අගමැතිවරයාට සිය ආරක්ෂාව පවතින්නේ ඇමැති මණ්ඩලය පවතින තාක් කල්ය. ඒ අනුව බලන විට 46 වැනි වගන්තියෙන් ලබාදී ඇති ආරක්ෂාව 48 වැනි වගන්තියෙන් ස්වායත්තව පැවැතිය හැකිය. එනම් 48 වැනි වගන්තිය අනුව ඇමැති මණ්ඩලය සමග අගමැතිවරයා ඉවත් කළ හැකි බවට අර්ථකතනයක් ලබාදිය හැකිය.
කිසියම් පුද්ගලයෙක් ධුරයකින් ඉවත් කළ හැක්කේ ධුරයට පත් කළ පුද්ගලයාටමය. අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාටමය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැතිනම් ඔහු ධුරයෙන් ඉවත් කළ හැකිද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදුන්නහොත් මේ පිළිබඳවද අවධානය යොමුවනු ඇත.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට වන අදහස ඉදිරිපත් වන අතරවාරයේදී ඉදිරිපත්වූ අනෙක් අදහස වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන අදහසයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය. 19 වැනි සංශෝධනය අනුව පාර්ලමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඇති කරගත යුතුය. පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවාහැරීම ගැන හෝ වාර අවසාන කිරීම ගැන තීරණය ගත හැක්කේ ජනාධිපතිවරයාටය. එහෙත් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා වසර හතරකුත් මාස හයක් ගතවන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි නොවේ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට නොහැකි නිසා විසුරුවා හැරීමට අවශ්‍ය නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුය.

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලීම සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවේ. ගමේ නියෝජිතයා තෝරා පත් කරගැනීමට පැවැත්වූ ඡන්දයෙන් රටේ නායකයා වෙනස් කළ නොහැකි බව ඇතැම්හු පවසති. මේ ඡන්දයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ කුමන අභිලාෂයෙන්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වූ අපේක්ෂයා ගැන අවධානය යොමු කිරීමෙන් පසුව, අදාළ සභාව සඳහා සුදුසු අපේක්ෂකයා සභිකයෙක් ලෙස තෝරා ගැනීම පමණක් ඡන්දදායකයාගේ අභිලාෂය වූයේ නම් ඒ මගින් රාජ්‍ය පාලනයේ වෙනසක් කළ යුතු නැතිය යන අදහස මතුවේ. ලංකාවේ උතුරු පළාතේ කිසියම් ප්‍රදේශයක් හැර අනෙක් ප්‍රදේශවල ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එක් අරමුණක් වෙනුවෙන්ය. සමස්ත ඡන්දදායකයින් හැසිරී ඇති ආකාරය ගැන අවධානය යොමු කරන විට ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වු අපේක්ෂකයා ගැන අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස් රජය සම්බන්ධයෙන් තීන්දුවක් ලෙස සිතා මෙම තීරණය ගෙන තිබේ. මෙය එක් ආකාරයකින් ජනමත විචාරණයක් ලෙස ගත හැකිය. ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කළ ආකාරය දෙස බැලූ විට පළාත් පාලන ආයතන වපසරියෙන් ඔබ්බට ගොස් තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵලය ඊට ඉහළින් ඇති ව්‍යවස්ථාදායකයට හා විධායකයට බලපෑමක් එල්ල කර තිබේ. ඡන්ද දායකයාගේ ච්ෙතනාව එය නොවේ. ව්‍යවස්ථාදායකයට හා විධායකයට සිදුව ඇත්තේ ඡන්දදායකයාගේ ච්ෙතනාව අනුව අභ්‍යන්තර වෙනසක් කිරීමට සිදුව ඇත. වෙනස කළ යුත්තේ ඔළුගෙඩි මාරු කරමින් නොවේ. ප්‍රතිපත්ති වෙනස් කරමින් එය වෙනස් කළ යුතුය.
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කිරීමෙන්ය. මේ වන විට ආණ්ඩුව ගමන් ගන්නා ගමන් මාර්ගය වෙනස් කළ යුතුය. ජනතාවගේ පණිවුඩය වී ඇත්තේ එයයි. එම ජනතා මතය තේරුම් ගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ කාර්යභාරය වෙයි.

සාකච්ඡාකළේ - සංජය නල්ලපෙරුම [Lakbima]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/04/2016

රට සහ විරුවන් පවාදීමේ ඊලඟ පිම්ම - සිංගරාසා නඩු තින්දුවේ බල බිදින්නට ආණ්ඩුව සූදානම්

කතෘ:යුතුකම     10/04/2016   No comments
සිංගරාසා නඩු තින්දුවේ බල බිදින්නට යන්නේ ඇයි..?

-නීතිඥ කණිෂ්ක විතාරණ

රටේත් ජනතාවගේත් ස්‌වාධීනත්වය හා ආරක්‌ෂාව තහවුරු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අභීතව තම බලය පාවිච්චි කළ අවස්‌ථා ඇත. ඒ අතුරින් දේශයේ ස්‌වෛරිත්වය හමුවේ ජාත්‍යන්තර බලපරාක්‍රමය බිඳ දැමූ තීන්දුවකි, සිංගරාසා එදිරිව නීතිපති නඩු තීන්දුව (2013 (1) ශ්‍රී නී වා 245). කල්ගතවී වාර්තා පොතට ඇතුළත් කළද එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2006-09-15 දින දීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 5 දෙනෙකුගේ ඒකමතික තීන්දුවක්‌ වූ එය හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා විසින් ලියා ඇත. මෙම තීන්දුවෙන් රට වටා ඉදිකර ඇති මෙම නීතිමය පවුර බිඳ දැමීමට ජාත්‍යන්තර බලවේගවලට ගැතිකම් කරන රාජ්‍ය නොවන සංවිධාන පුමුඛ දේශෙද්‍රdaහීන් විසින් උත්සාහ ගනිමින් සිටියි. රටට එරෙහි වූ මෙම කුමන්ත්‍රණයට එරෙහිව නැඟීසිටීමට කාලය එළඹ ඇත.

1990.05.01 හා 1991.12.31 දින අතරතුරදී යාපනය, කන්කසන්තුරේ හා අලිමංකඩ ප්‍රදේශවලදී රජය පෙරළීමට නීති විරෝධී ලෙසට කුමන්ත්‍රණය කිරීමත්, එකී අරමුණින් යාපනය කොටුව, පලාලි හා කන්කසන්තුරේ පිහිටි හමුදා කඳවුරුවලට පහර දීමත් සම්බන්ධයෙන් සිංගරාසා සහ තවත් කිහිපදෙනෙකුට විරුද්ධව හදිසි අවස්‌ථා රෙගුලාසි සහ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ මහාධිකරණයේ චෝදනා 5 ක්‌ යටතේ නඩු පවරා තිබුණි. මහාධිකරණයේදී එම වරද ඔප්පු වීම මත සිංගරාසාට එක්‌ චෝදනාවකට අවුරුදු 10 ක්‌ බැගින් බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ලබාදුනි. ඔහු විසින් එම තීන්දුවට එරෙහිව කළ අභියාචනයේදී අභියාචනාධිකරණය විසින් සිදුකළේ එක්‌ චෝදනාවකට වසර 7 බැගින් වන සේ දණ්‌ඩනය වෙනස්‌ කිරීම පමණි. ඔහු විසින් නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමට අවසර ඉල්ලුවද 2000.01.28 දී එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්‌ශ්‍රේප කරන ලදී.

1997 දී ශ්‍රී ලංකාව විසින් අත්සන් තබන ලද ජගත් මානව කවුන්සිලයේ අමතර පෝටොකොලය (Optional Protocol) යටතේ සිංගරාසා ජීනිවා පිහිටි මානව හිමිකම් කමිටුව අප රටේ දුන් තීන්දුවට එරෙහිව විමසීමක්‌ ඉල්ලා සිටින ලදී. මානව හිමිකම් කමිටුව තීරණය කළේ, දේශීය තීන්දු "සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියේ" ඇතැම් වගන්තිවලට පටහැනි වන බවත්, ඒ අනුව සිංගරාසා නිහදස්‌ කිරීම හෝ නැවත විභාගයක්‌ පැවැත්වීම හා වන්දි ගෙවීම ඇතුළුව බලපෑමක්‌ සහිත සුදුසු සහනයන් ලබා දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවයි.

සිංගරාසා විසින් 2005.08.16 දින නැවතත් ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලීමක්‌ ශ්‍රේෂ්ඨාධිකරණය වෙතට ඉදිරිපත් කරන ලදී. එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් ඒ සම්බන්ධව සිංගරාසා එදිරිව නීතිපති නඩු තීරණය ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම තීන්දුවට පදනම් වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියත් ඒ යටතේ සාදන ලද අමතර ප්‍රොaටෝකොලයත්ය (Optional Protocol). ශ්‍රී ලංකාව වෙනුවෙන් 1980.06.11 දින එම ප්‍රඥප්තියටත් 1997.10.3 දින එම පෝටොකෝලයටත් අත්සන් තබා ඇත. එම පෝටෝකෝලය මගින් මුල් ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජගත් මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලිකර තීරණයක්‌ ගැනීමේ පටිපාටියක්‌ පනවා තිබේ. එකල ජනාධිපති විසින් එම ප්‍රොaටොකෝලයට අත්සන් තබමින් පහත සඳහන් පිළිගැනීම් සිදුකර තිබෙන බවට අධිකරණය තීන්දු කර ඇත.

අ. ශ්‍රී ලංකාවේ බලාධිකාරියට යටත්ව සෑම පුද්ගලයෙකුටම එම ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකම් තිබෙන බව

ආ. ශ්‍රී ලංකාව තුළ වූ ක්‍රියාවක, නොකරහැරීමක, විකාශයක හෝ සිද්ධියක ප්‍රතිඵලයක්‌ වශයෙන් ප්‍රඥප්තියේ සඳහන් අයිතිවාසිකමක්‌ කඩවුවහොත් එය ජගත් මානව හිමිකම් කමිටුවට දන්වා යෑවීමට (පැමිණිලි කිරීමට) ඕනෑම අයකුට අයිතිය ඇති බව

ඇ. ප්‍රඥප්තිය යටතේ ජගත් මානව හිමිකම් කමිටුවට එවැනි දන්වා යෑවීමක්‌ (පැමිණිල්ලක්‌) පිළිගැනීමටත් එය පිළිබඳව විමසා බැලීමක්‌ සිදු කිරීමට බලය තිබෙන බව.

2016 ජූලි 07 වැනි දින පාර්ලිමේන්තුව හමුවේ අගමැති විසින් මේ සම්බන්ධයෙන් වන ඉතිහාසය සංක්‌ෂිප්තව ප්‍රකාශ කර ඇත. ඒ අනුව 1980 දී එම ප්‍රඥප්තියට අත්සන් තබන අවස්‌ථාවේදී වත්මන් අගමැති කැබිනට්‌ ඇමැතිවරයෙකුව සිට ඇත. 1997 දී අමතර ප්‍රොaටොකෝලයට අත්සන් තබන අවස්‌ථාවේදී විරුද්ධ පක්‌ෂ නායකයාව සිටි ඔහු විසින් ඊට පූර්ණ සහාය ලබා දී ඇත.

එම තීන්දුව මගින් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීත්වයත් අධිකරණයේ ස්‌වාධීනත්වයත් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයත් සමස්‌තයක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට රජයක්‌ හා රටක්‌ ලෙස ස්‌වාධීනව කටයුතු කිරීමේ අයිතියත් ඉතාම හොඳින් තහවුරු කර ඇත. තවත් කරුණක්‌ වන්නේ ජනාධිපති ඇතුළු විධායකයට ජාත්‍යන්තර සම්මුතීන්වලට එළඹීමේදී ව්‍යවස්‌ථාවට පටහැනිව කටයුතු කළ නොහැකි බව අවධාරණය කර තිබීමයි. එම තීන්දුවට අනුව.

ව්‍යවස්‌ථාවට හා ලිත නීතියට අනුකූලව ජනාධිපතිවරයා හා රජය විසින් එළඹෙන ජාත්‍යන්තර ගිවිසුම් මගින් රජය බැඳී සිටියද එය රට තුළ බලපෑමක්‌ ඇති කරවන්නේ හා ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව මගින් පනවන නීතියක්‌ මගින් පමණි.

අනෙක්‌ අතට ජනාධිපති විසින් ව්‍යවස්‌ථාවට හෝ ලිත නීතියකට පටහැනිව ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේනම් හෝ ප්‍රඥප්තියකට සහාය වන්නේ නම් එය ව්‍යවස්‌ථාවෙන් ඔහුට ලබා දී ඇති බලයට පටහැනිව හා බලය අභිබවා සිදුකරන ක්‍රියාවක්‌ වන අතර එම ක්‍රියාවෙන් රජය බැඳී සිටින්නේ නැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 3 හා 4 වගන්ති මගින් එකම රටක්‌ වශයෙන් පවතින ශ්‍රී ලංකා දේශය තුළ පරමාධිපත්‍ය බලය ජනතාව සතුකර තිබේ. එම බලයට ව්‍යවස්‌ථාදායකය, විධායකය හා අධිකරණය ඇතුළත් වන අතර එම බලයන් වෙන් වෙන්ව පිහිටුවා ඇති රජයේ ආයතන මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 76 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවට තම ව්‍යවස්‌ථාදායක බලය අත්හැරීම හෝ අන්සතු කිරීම සිදුකළ නොහැකිය.

ව්‍යවස්‌ථාවේ 105 වගන්තිය අනුව ශ්‍රී ලංකාව තුළ පවතින උත්තරීතරම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි.

එම සිද්ධාන්තයන් අනුව ශේ්‍රෂ්ඨාධිකරණය තීරණය කළේ ජිනීවා පිහිටි මානව හිමිකම් කමිටුව අපගේ ව්‍යවස්‌ථාව යටතේ පිළිගැනෙන අධිකරණ බලය ක්‍රියාත්මක කරන ආයතනයක්‌ නොවන බැවින් ඒ හරහා තම අයිතිවාසිකම් ක්‍රියාත්මක කරවා ගැනීමට සිංගරාසාට නොහැකි බවයි. එබැවින් මානව හිමිකම් කමිටුවේ තීරණය මත පිහිටා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අවලංගු කිරීමට ව්‍යවස්‌ථාවේ 118 වගන්තිය අනුව නොහැකි බවද පෙන්වා දී තිබේ.

අනෙක්‌ අතට පෙර කී ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නීතියක්‌ යටතේ බලයක්‌ ලබා දී නොමැත. එම ප්‍රඥප්තියේ 2 වැනි වගන්තියට අනුවද ඊට අත්සන් තබන පාර්ශව රාජ්‍යයන් තුළ ඊට බලාත්මකභාවයක්‌ ලැබෙන්නේ ඒ ඒ රටවල් තුළ පිහිටුවනු ලැබූ ව්‍යවස්‌ථාදායකයන් විසින් තම තමන්ගේ ව්‍යවස්‌ථාවන්ට අනුකූලව පනවනු ලබන නීතීන් මගින් එය පිළිගන්නේ නම් පමණි.

දීර්ඝ විග්‍රහයකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලද්දේ 1997 දී අත්සන් තබන ලද අමතර ප්‍රොaටොකෝලය මගින් රජය විසින් ලබා දී ඇති පිළිගැනීම් සහිත ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ව්‍යවස්‌ථාදායක බලය හා ගැටෙන බවත් ඒ අනුව එය අපගේ ව්‍යවස්‌ථාවේ 3,4 ඇ 75 වැනි වගන්තිවලට පටහැනි වන බවයි. තවද එම ප්‍රොaටොකෝලය ව්‍යවස්‌ථාවේ 3 4 ඇ හා 105(1) වගන්තිවලින් පිළිගෙන ඇති අධිකරණ බලය හා ගැටෙන බවටද තීරණය කර තිබේ.

මෙම තීන්දුව මගින් ශ්‍රී ලංකාව වටා ආරක්‌ෂක වළල්ලක්‌ යොදා ඇති බව පැහැදිලිය. විදේශ අධිකරණ හා ඊනියා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන මගින් ලබා දෙන ලද තීන්දු තීරණ මෙරට තුළ සෘජුව ක්‍රියාත්මක කිරීම මෙම තීන්දුවෙන් වළක්‌වා ඇත. අප ජනාධිපති, ඇමැතිවරුන් හෝ නිලධාරීන් විසින් ඇතුළත් වන හෝ අනුග්‍රහය දක්‌වන ගිවිසුම් හෝ සම්මුතීන් මගින් රජය බැඳී සිටින්නේ ඒවා ව්‍යවස්‌ථාවට අනුකූල නම් පමණි. මෑතකදී අප රට එළඹෙන්නට යෙදුණු හෝ සම අනුග්‍රහය ලබාදුන් ගිවිසුම් හෝ සම්මුති ව්‍යවස්‌ථාවේ කුමන හෝ වගන්තියකට පටහැනි වන්නේ නම් ඒම ගිවිසුම් හා සම්මුතීන්වලින් අප බැඳෙන්නේ නැත. විදේශ ගිවිසුමක්‌ හෝ සම්මුතියක්‌ මෙරට ක්‍රියාත්මක කළ හැක්‌කේ එය පාර්ලිමේන්තු නීතියක්‌ මගින් පිළිගන්නේ නම් පමණි. ඒ අනුව සිංගරාසා තීන්දුව එක්‌ අතකින් විධායකයේ අත්තනෝමතික පාවාදීම් වලින්ද අනෙක්‌ අතින් අයුතු ජාත්‍යන්තර මැදිහත් වීම්වලින්ද රටත් ජනතාවත් ආරක්‌ෂා කර දී ඇත.

එසේ වුවද 2016-07-07 දින අගමැතිතුමා පාර්ලිමේන්තුවට පැවසුවේ මෙම තීන්දුව ජනතාවගේ පරමාධිපත්‍යයට සහ පාර්ලිමේන්තුවට එරෙහිව කරන ලද කුමන්ත්‍රණයක්‌ වන බවය. මේ වන විට ජාත්‍යන්තරයට කත්අදින බොහෝ පුද්ගලයින් හා රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම තීන්දුව වෙනස්‌ කළ යුතු හෝ අවලංගු කළ යුතු බවට පවසා ඇත. මෙම අරමුණින් යුතුව මෑතකදී කොළඹදී විශේෂ සම්මන්ත්‍රණයක්‌ද පවත්වා ඇත. 2015 සැප්තැම්බර් 16 දිනැති ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්‌ කාර්යාලයේ විමර්ශන වාර්තාවේ අප රට වෙත කර ඇති 8 වැනි නිර්දේශය වන්නේත් එම තීන්දුව ප්‍රතිශෝධනය කර ජාත්‍යන්තර ගිවිසුම් රට තුළ ක්‍රියාත්මක කිරීමත්, පුද්ගලික පැමිණිලි සලකා බැලීම සඳහා ජගත් මානව හිමිකමි කොමිටියේ හැකියාවත් ස්‌ථාපිත කරන ලෙසය.

Initiate action to seek Supreme Court
review of its decision in the Singarasa
case to affirm the applicability of
international human rights treaties in
domestic law and reinstate the
competence of the UN Human Rights
Committee to consider individual
complaintsr®

ඒ අනුව පැහැදිලි වන්නේ සිංගරාසා නඩු තීන්දුව එය ලබා දුන් දින සිට වසර 10 කට පසුව හිටි හැටියේම අභියෝගයට ලක්‌වන්නේ ජාත්‍යන්තරයේ උවමනාව මත වන බවය. මෙම තීන්දුව ඉවත් වුවහොත් ජාත්‍යන්තරයට මෙරට අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට තිබෙන නීතිමය බාධාවක්‌ ඉවත් වන්නේය. මෙහිදී සිහිතබාගත යුත්තේ සිංගරාසා චෝදනා ලබන්නේ නීත්‍යනුකූල හමුදාවට පහරදීමක්‌ සිදු කරමින් ත්‍රස්‌තවාදී කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්ය. මානව හිමිකම් කමිටුව ඔහු නිදහස්‌ කර ඇත. අනෙක්‌ අතට ත්‍රස්‌තවාදය පැරදවීමේදී අපගේ නීත්‍යනුකූල හමුදාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් කඩකර ඇති බවට ඔවුන් විසින්ම චෝදනා කර තීරණයද කර ඇත. එම තීරණ ශ්‍රී ලංකාව තුළ සෘජුව ක්‍රියාත්මක කිරීමට ඇති නෛතික බාධාව ද සිංගරාසා නඩුවමය. එසේනම් ඉහත නිර්දේශය ක්‍රියාත්මක වුවහොත් අපගේ හමුදා සහෝදරයන්ට අත්වන ඉරණම සිතාගත නොහැකිය. බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන් හා අපගේ වීරෝදාර හමුදාවන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමත් ඔවුන්ට කත්අදින දේශීය තැනැත්තන් හා රාජ්‍ය නොවන සංවිධානත් ගෙන තිබෙන දෙබිඩි ප්‍රතිපත්තිය සනාථ කිරීමට මෙය කදිම නිදසුනකි. රට අනාරක්‌ෂිත කොට ජාත්‍යන්තරයේ උවමනාව මත බෙදා වෙන්කිරීම ඔවුන්ගේ පරමාර්ථය බව නිසැකය.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එම අධිකරණය මාර්ගයෙන්ම වෙනස්‌ කරලීම පහසු නැත. එහෙත් මේ වන විට ජාත්‍යන්තරයේ ආශිර්වාදය ලත් කිහිපදෙනෙකු විසින් නිතිඥ සංගමය හරහා යම් නීතිමය පටිපාටියක්‌ සැලසුම් කිරීමට කතිකාවක්‌ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. අගමැතිතුමා විසින් 2016-07-07 වන දින මෙම තීන්දුව සම්බන්ධයෙන් නියෝගයක්‌ ලබා දෙන මෙන් කථානායකවරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත. ඇත්තෙන්ම මෙම තීන්දුවේ බල බිඳිය හැක්‌කේ පාර්ලිමේන්තුව තුළින් පමණි. එහෙත් එවැන්නක්‌ සිදු කළ හැක්‌කේද දේශයේ හා හමුදාවේ ආරක්‌ෂාවත්, රටේ ස්‌වෛරීත්වයත් ජාත්‍යන්තරය හමුවේ පාවාදීමට සූදානම් බහුතරයක්‌ පාර්ලිමේන්තුව තුළ සිටින්නේ නම් පමණකි.
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/01/2016

රට සහ රටේ විරුවන් පාවාදෙන ද්‍රෝහී පනතේ නීතිමය විවරණය ..

කතෘ:යුතුකම     9/01/2016   No comments
ඇත්තටම මේ පනත මොකක්‌ද ?
-නීතිඥ කණිෂ්ක විතාරණ-

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතට කථානායක විසින් 2016-08-23 දින අත්සන් තබන ලදී. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 80 (1) වගන්තියට අනුව සම්මත කරන ලද පනත් කෙටුම්පතක්‌ මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට එය නීතියක්‌ බවට පත් වන්නේය. එම කෙටුම්පතට අත්සන් නොතබන ලෙසට පොදු විපක්‌ෂය විසින් ලිතව කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. මෙම සම්මත වීම වලංගු නොවන බව ඔවුන්ගේ තර්කය විය. එය සම්මත කරන බවට ප්‍රකාශිත 2016-08-11 දින හැන්සාඩ් වාර්තාව පිටවූයේද 23 වන දිනදීමය. ඊට සංශෝධන ඉදිරිපත් කර සහය දැක්‌වූ මන්ත්‍රීවරුන්ට හා පක්‌ෂවලට සත්‍ය වැටහී ගියේ එවිටය. ඒ ඔවුන් විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුළත් නොවීම නිසාය. යෝජිත සංශෝධන 31 කින් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන්නේ 5 ක්‌ පමණි. (11,12,21 වගන්ති සඳහා) ඒවායින් 12 හා 21 වගන්ති සඳහා සංශෝධන 2 බැගින් ඉදිරිපත් වී තිබුණද ඒවාද එකිනෙක සමග ගැටෙන බැවින් ඒවා කෙසේ බලාත්මක වන්නේද යන්නද අපැහැදිලිය. එබැවින් එකී ඊනියා පනත ක්‍රියාත්මක කිරීමට පෙර නැවත සංශෝධනය කළ යුතු බවට පාර්ලිමේන්තු=ව තුළ ඊට සහය දැක්‌වූ හා නොදැක්‌වූ මන්ත්‍රීන් බොහොමයක්‌ම විසින් ඉල්ලා ඇත. අගමැතිවරයාද මෙය සංශෝධනය විය යුතු බවට පිළිගෙන ඇත. එබැවින් කථානායකගේ සහතිකය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ යෝජනාවට පටහැනි වූ නීතියකටය. මෙවැනි අවස්‌ථාවකදී අභිනව සංශෝධනයක්‌ ගෙන ඒම සාමාන්‍යයෙන් කළ හැකිය. එහෙත් මෙම ඊනියා නීතිය මුල පටන්ම ව්‍යවස්‌ථාවට පටහැනිවූත් අක්‍රමික හා ගුප්ත පටිපාටියක්‌ ඔස්‌සේ පැමිණ ඇත. එබැවින් මෙම නීතිය සම්මත කිරීමේදී පාර්ලිමෙන්තුවේ ස්‌වාධීනත්වය හා උත්තරීතරභාවයද, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මද ආරක්‌ෂා වී තිබේද යන්නද විමසිය යුතුය. ඒ මත මෙම පනතේ වලංගුභාවය තක්‌සේරු කළ හැකිය.

අපේ පනතක්‌ නොවේ

මෙම නීතියේ සම්භවය කෙදිනක වූවද එය මෙරටදී නොවුනු බවනම් පැහැදිලිය. අප රටේ හා ජනතාවගේ ස්‌වෛරිත්වයට මරුපහරක්‌ වූ 2015 සැත්තැම්බර් මස 16 දිනැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ කාර්යාලයේ පරීක්‌ෂණ වාර්තාවේ ශ්‍රී ලංකාවේ සමූලඝාතනයන් හා අතුරුදන් වීම් සිදුව ඇති බවත් ඒවාට හමුදා අංශ සම්බන්ධ බවටත් සාවද්‍ය විග්‍රහයක්‌ කර ඇත. මෙම වාර්තාව හරස්‌ ප්‍රශ්ණවලට භාජනය නොවූ ඒක පාර්ශ්වික ප්‍රකාශ මත පදනම් වී ඇත. එබැවින් එහි ඇති කරුණු මත විශ්වාසයක්‌ තැබිය නොහැකිය. එහෙත් මෙම වාර්තාවේ නිර්දේශයන් 39 ක්‌ සඳහන්ය. ඒවා අතරින් හයිබ්‍රිඩි අධිකරණයක්‌ ඇති කිරීම හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති කොමිෂන් සභාව අහෝසිකර එහි කර්තව්‍යයන් ස්‌වාධීන ආයතනයකට බාරකරවීම, අතුරුදන් වූවන් පිළිබඳ දත්ත ගබඩාවක්‌ ඇතිකිරීම හා අතුරුදන් වූවන් පිළිබද පළනොකරන ලද වාර්තා ප්‍රසිද්ධ කිරීම දේශය තුළ පිහිටුවන ඇතැම් ආයතන විදේශ ආයතන වලින් සෘජුව හා නිදහස්‌ව ලබාගන්නා මුදල්/ආධාර මත මෙහෙයවීම යනාදී නිර්දේශ මෙම පනතට ජීවය ලබා දී ඇත. එසේම එහි ඇති 11,12,13 නිර්දේශයන් අනුව එහි සඳහන් විස්‌තරයට ගැනෙන ආරක්‌ෂක අංශවල ප්‍රධානීන් එම තනතුරුවලින් ඉවත් කිරීම හා හමුදා නිලධාරීන් සාම සාධක හමුදාවල නිරත වීම වලක්‌වාලීම සිදුවිය යුතුය. අපගේ හමුදා අංශවල සිටින නිලධාරින්ට හා ප්‍රධානීන්ට සෘජුව හා වක්‍රව අහිතකර බලපෑම් ඇතිකරන තවත් නිර්දේශ ගණනාවක්‌ද ඒ අතර තිබේ.

2015 සැත්තැම්බර් 25 දින විදේශ අමාත්‍යවරයා පෙරටුකොටගෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක්‌ සමග ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්‌වු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද සම්මුතියේ 1 වන ඡේදය මගින් පෙර සඳහන් පරීක්‌ෂණ වාර්තාවත් එහි කර ඇති නිර්දේශත් පැසසුම් සහගතව පිළිගෙන තිබේ. එහි 4 වන ඡේදය මගින් අතරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකාව විසින්ම බාරගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ස්‌වෛරිත්වයට, ස්‌වාධීනත්වයට හා ආරක්‌ෂාවට අගතිදායකය. එම සම්මුතියේa සඳහන් නිර්දේශ සඳහා එකඟවීමට හෝ ඒ සඳහා සම අනුග්‍රාහකත්වය දැක්‌වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ නියෝජිතයන්ට කිසිදු අනුමැතියක්‌ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දී නොතිබුණි - ආණ්‌ඩුවේ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව පිටතදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් ගිවිසුම්වලට හෝ එකඟතාවලට ඇතුළු වුවද ඒවායින් රජය බැඳී නොමැති බව සිංහරාසා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිව තීරණය කර තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව මගින් වෙනම නීති පැනවීමකින් තොරව එම යෝජනා සම්මතයේ සඳහන් එකඟවීම් හෝ කොන්දේසි රට තුළ ක්‍රියාත්මක කළ නොහැකිය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌ගේ පරීක්‌ෂණ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තියටද පටහැනිය. එකී ප්‍රඥප්තියට අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට (හෝ එහි කිසිදු අනු සංවිධානයකට) රටක අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක්‌ නොමැත. එසේ තිබියදී ශ්‍රී ලංකාව පමණක්‌ ඉලක්‌කකොටගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලනයට මැදිහත් වන හා බලපෑම් ඇති කරවන නිර්දේශ පැනවීමට මානව හිමිකම් කවුන්සිලයට හෝ මහකොමසාරිස්‌ට කිසිදු බලයක්‌ නොමැත.

2016 ජූනි 28 දිනැති මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ වාචික දේශණයේදී ශ්‍රී ලංකා රජය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ ඇති කිරීමත් සමගාමීව හා කඩිනමින් සිදුකරමින් සිටින බව සඳහන් කර තිබේ. ඒ අතර 2016-05-24 දින එවැනි කාර්යාලයක්‌ පිහිටුවීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තිබේ (මෙය කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දීමක්‌ නොවේ). 2016-05-27 දින ගැසට්‌පත්‍රයේ ප්‍රථම වතාවට මෙම කෙටුම්පත පළ කෙරුනි. ඒ අනුව දින තුනකදී කෙටුම්පත සකස්‌ කර ඊට නීතිපතිගේද අනුමැතිය ලබාගෙන ගැසට්‌පත්‍රයේ පළකර ඇත. මෙය කෙසේ වුයේද යන්න අපැහැදිලි නමුත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ අනුදැනුම මත ඉතාම හදිසියේ සිදුකරන ලද කටයුත්තක්‌ වන බවනම් පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය

2016-06-22 දින මෙම කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර ඇත- අග්‍රාමාත්‍යවරයා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එම කටයුත්ත ස්‌ථාවර නියෝග 133 ට අනුකූලව සිදුවී නොමැත. මෙවැනි සුවිශේෂි කෙටුම්පතක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධව කිසිදු ජනමාධ්‍යක ප්‍රසිද්ධියක්‌ ලබා දී නොමැත. එසේ වූයේ නම් ඕනෑම පුරවැසියෙකුට දින 7 ක්‌ තුළ ශ්‍රෝෂ්ඨාධිකරණයට ගොස්‌ එහි ව්‍යවස්‌ථානුකූල භාවය හබ කිරීමට තිබුණි. මෙය හිතාමතාම කරන ලද සැඟවීමක්‌ද නැතහොත් ජනමාධ්‍යවල ඇති නොදැනුවත්කම හෝ නොසැළකිල්ලද හේතුවෙන් සිදුවූ අතපසුවීමක්‌ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ස්‌ථාවර නියෝග 133 අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක්‌ කළේ නම් මෙවැනි අතපසුවීමක්‌ සිදු නොවන්නට ඉඩ තිබුණි. ව්‍යවස්‌ථාදායක පටිපාටියට අදාළ නීති අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාවය හා වැදගත්කම මෙම සිද්ධිය නිසා මනාව පැහැදිලි වෙයි. වැට්‌ නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ එවැනි ව්‍යවස්‌ථාමය වගන්ති අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවය.

2016 අගෝස්‌තු 4 වන දින වන විට පක්‌ෂ නායකයින් විසින් එකඟව තිබුණේ ඕ.එම්.පී. කෙටුම්පත පිළිබඳ විවාදය අගෝස්‌තු තුන්වන සතියේ දින දෙකකදී පැවැත්වීමටය. මෙවැනි පනතක්‌ විවාද කිරීමට පෙර සූදානමක්‌ තිබිය යුතුය. එහෙත් 2016-08-09 දින හදිසියේ පක්‌ෂ නායක රැස්‌වීම්ක්‌ කැඳවා ඕ.එම්.පී පනත පිළිබඳ විවාදය අගෝස්‌තු 11 හා 12 දිනවලට නියම කර ඇත. (පැය 48 කින්). මෙම හදිසියට ඒකාබද්ධ විපක්‌ෂය හා ජ.වි.පෙ. විරුද්ධ විය. අගෝස්‌තු 10 දින නැවතත් පක්‌ෂ නායක රැස්‌වීමක්‌ කැඳවු අවස්‌ථාවේදී ජ.වි.පෙ. ද 11 හා 12 දිනවලදී විවාදය පැවැත්වීමට කැමැති වී ඇත - නමුත් ඒකාබද්ධ විපක්‌ෂය තමන්ට ප්‍රමාණවත් කාලයක්‌ අවශ්‍ය බවට පවසා ඇත. එම ඉල්ලීම නොතකා 11 වන දින කෙටුම්පත විවාදයට ගැනින.

11 වන දින ආණ්‌ඩු පක්‌ෂය විසින් 12 වන දින පාර්ලිමේන්තු කටයුතු සීමා කරමින් යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදී. එමගින් පනත සම්බන්ධ විවාද කාලය තවත් සීමා වන්නේය. ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඊට විරුද්ධ විය. එහෙත් එම යෝජනාව ඒ ආකාරයෙන්ම සම්මතකර ගැනීමට කථානායක හා ආණ්‌ඩු පක්‌ෂය එක්‌ව දැඩිව ක්‍රියා කර ඇත.

11 දින අදාළ කෙටුම්පත පිළිබඳ විවාදය ගෙන පැය කිහිපයකින් (ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධාතාවය මධ්‍යයේ) අදාළ පනත සම්මත කර ගත් බවට කථානායක විසින් ප්‍රකාශයට පතAකර ඇත - එහෙත් ඒ පිළිබඳව ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 12 වන දිනටය. (මෙම විමසීම ස්‌ථාවර නියෝග වලට පටහැනි බවට ඒකාබද්ධ විපක්‌ෂය චෝදනා කරයි). එදින අදහස්‌ ප්‍රකාශ කරන්නට උත්සාහ කළ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට කථානායක විසින් ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැත. කථානායකගේ අදහස වී ඇත්තේ එම අවස්‌ථාවේදී හිටගෙන සිටි අනෙක්‌ මන්ත්‍රීවරුන්ව අසුන් මත හිඳුවීමේ වගකීම කථා කිරීමට ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ වගකීමක්‌ වන බවයි. එහෙත් පාර්ලිමේන්තුව හසුරුවා ගැනීමේ වගකීම ඇත්තේ කථානායකට වන අතර පාර්ලිමේන්තුවට නිසි පරිදි කටයුතු කළ නොහැකිනම් එය තාවකාලිකව කල් තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. කථානායක විසින් එසේ කටයුතු නොකළේ මන්දැයි ජනතාව හමුවේ ඇති ප්‍රශ්ණයකි. (8-11 හැ.වා. 1135 තීරුව) මේ අනුව අදාළ ඊනියා සම්මත කිරීම සිදුව ඇත්තේ එදින පාර්ලිමේන්තු ගර්භය තුළ සිටි බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසීමකින් තොරවය. මෙවැන්නක්‌ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව කටයුතු කරන පාර්ලිමේන්තුවක්‌ තුළ සිදුවිය නොහැක්‌කකි.

නීතියට අනුව පනතක්‌ තිබේද?

ඕ එම් පී කෙටුම්පතේ 19 හා 20 වගන්තිවලට අනුව අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ විය යුතුය. ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ වන කරුණක්‌ අඩංගු කෙටුම්පතක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 වන වගන්තිය අනුව කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක. එසේ අනුමැතිය ලැබුණු බව ස්‌ථාවර නියෝග 133 අනුව අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසිය යුතුය. වැට්‌ බදු පනත සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රෝෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්‌ථාවේ 152 හා ස්‌ථාවර නියෝග 133 අනුගමනය නොකර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක්‌ බලශුන්‍ය වන බවය. ඕ.එම්.පී. පනත් කෙටුම්පතටද කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. එබැවින් එම කෙටුම්පත 2016-08-11 දින දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේදී බලශුන්‍ය තත්වයේ තිබුණි. එබැවින් එය සම්මත වූ බවට කථානායක විසින් සහතික කර ඇත්තේ බලාත්මකව නොපවතින පනත් කෙටුම්පතක්‌ වනහෙයින් එමගින් බලාත්මක කළහැකි නීතියක්‌ බිහිකළ නොහැකිය. කෙසේ වෙතත් ශුන්‍ය තත්වයේ පවතින කෙටුම්පතක්‌ මත වලංගු නීතියක්‌ ජනිත වී තිබේද යන්න යම් දිනයකදී ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් තීරණය කළ යුතුය. අනාගත ශුන්‍යභාවයකට ඉඩ නොතබා මෙම ඊනියා පනත පාර්ලිමේන්තුව විසින්ම ප්‍රතිශෝධනය කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේම වන්නේය.

පනතේ යටි අරමුණු

විපක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ද යටපත් කරමින් මෙම පනත ගෙන ඒමේ තිබූ අදිසි හදිසියට සැබෑ හේතුන් දන්නේ ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මානව හිමිකම් මහකොමසාරිස්‌වරයාත්, අග්‍රාමාත්‍යවරයා හා එම පනත 2 වන වර ඉදිරිපත් කළ මංගල සමරවීර අමාත්‍යවරයාත්ය. මෙම පනතේ ප්‍රමුඛ කාර්ය අතුරුදන් වූවන් සෙවීම නොවන බව නම් පැහැදිලිය. එය එහි ද්වීතික කාර්යයක්‌ පමණි. පෙර කී නිර්දේශ අනුව මෙතෙක්‌ ක්‍රියාත්මකව පැවැති ජනාධිපති කොමිෂමද (පරණගම කොමිෂම) විසුරුවා හැර තිබේ.

ඕ එම් පී යේ සැබෑ යටිඅරමුණ පැහැදිලි වන්නේ මානව හිමිකම් මහකොමසාරිස්‌ කාර්යාලයෙත් ඕ.එම්.පී. යේත් යාන්ත්‍රණයන් සන්සන්දනය කිරීමෙනි. මහකොමසාරිස්‌ කාර්යාලය විසින් නිකුත් කළ පරීක්‌ෂණ වාර්තාව සකස්‌ කළ පටිපාටියම ඕ.එම්.පී. යේ යාන්ත්‍රනයට ඇතුලත්ය. ඕ.එම්.පී. ස්‌වාධින හා සංස්‌ථාගත ආයතනයකි. (3 වග). එයට ලේකම් කාර්යාලයක්‌ද සෙවීම් ඒකකය නැමැති විශේෂ ඒකකයක්‌ හා තවත් අනු ඒකක හා අංශ තිබේ. (16 හා 17 වග). ඒවාට බලය ලබා දී නිලධාරින් හා සේවකයින් තම අභිමතය පරිදි පත්කරගත හැක. ඕ.එම්.පී. ද විවිධ තැනැත්තන්ගෙන් හා ආයතනවලින් ලැබෙන තොරතුරු මත පරීක්‌ෂණ හා විමර්ශන සිදුකරයි. (12 වග) ඒකපාර්ශ්විකව හා රහසිගතව සාක්‌ෂි විමසීම් සිදුකරනු ලබයි (12 වග). ඊට සාක්‌ෂි ආඥා පනත අදාළ නොවන අතර ඉදිරිපත් කරන සාක්‌ෂි හරස්‌ ප්‍රශ්ණවලට භාජනය කර සත්‍ය තහවුරු කරගැනීමේ අවස්‌ථාවක්‌ නොමැත.

අතුරුදන් වූවන් ලෙස ප්‍රමුඛතාවය ලැබෙන්නේ උතුරු නැගෙනහිර ගැටුම්වලදී අතුරුදන් වූ අයටය. එයින්ද මෑතකදී (අවසන් අදියරේදී) වූ අතුරුදන්වීම්වලට වඩාත් ප්‍රමුඛතාවය ලැබේ. මානව හිමිකම් මහකොමසාරිස්‌ද ප්‍රමුඛතාවය දී ඇත්තේ මෙම කොට්‌ඨාශයටමය. එසේම විදේශ රටවල සැඟවී සිටින තැනැත්තන් වුවද අතුරුදන් වූවන් ලෙස ගණනය කිරීමටත් ඔවුන්ගේ පැවැත්ම හා අනන්‍යතාවය වසන් කර තැබීමටත් මෙම කාර්යාලයට හැකිය.

මානව හිමිකම් කවුන්සිලයට හා වෙනත් බටහිර රටවලට මෙතෙක්‌ විදේශගතව සිට කළ නොහැකිව තිබූ බොහෝ කටයුතු කරවා ගැනීමේ රහස්‌ පරීක්‌ෂක ආයතනයක්‌ ලෙස මෙම කාර්යාලය පාවිච්චි කළ හැකිය - රාජ්‍ය හා හමුදා අංශවල තිබෙන අභ්‍යන්තර තොරතුරු රැස්‌කිරීම ඒවා විශ්ලේෂණය කිරීම එම තොරතුරු දේශීය හා විදේශීය සංචිතවල ගබඩා කිරීම හා ඒවා මත පදනම්ව වාර්තා පළකර දේශීයව හා විදේශීයව ප්‍රසිද්ධ කිරීම, රජයේ ආයතනවලට සෘජුව නිර්දේශ නිකුත් කිරීම, සේවකයින් හා විශේෂඳයින් ගෙන්වා ගැනීමේ මුවාවෙන් විදේශ විමර්ශකයින් ගෙන්වා ගැනීම ඒ අතරින් ප්‍රමුඛ වේ.

මෙසේ බැලීමේදී ඕ.එම්.පී. ය මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ දේශීය කාර්යාලයක්‌ විදේශයේ සිට මෙහෙය වීමට හැකිය. ඕ.එම්.පී. යෙන් ලබා දෙන නිර්දේශ හෝ හෙළිදරව් කරන සාක්‌ෂි හා කරුණු මත පිහිටා ඉලක්‌කගත තැනැත්තන් (උදා හමුදා නිලධාරීන්) සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි ක්‍රියාමාර්ග මුවාවෙන් දඬුවම් පමුණුවීමට බාධාවක්‌ නොමැත. මෙහි පහසුවෙන්ම දේශීය-විදේශීය බද්ධ (දෙමුහුන්) පරීක්‌ෂණ යාන්ත්‍රයක්‌ ක්‍රියාත්මක විය හැකිය- අදාළ නිර්දේශ අනුව ක්‍රියාකරන වෙනත් අධිකරණමය බලය ඇති ස්‌වාධීන යාන්ත්‍රණ අනාගතයේදී නීsතිවලින් බිහිකළ හැකිය- එවිට මෙම කාර්යාලයෙන් ලබා දෙන නිර්දේශ සත්‍ය වශයෙන්ම තීන්දුවක/තීරණයක ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත

එහි 11 වන වගන්තිය සංශෝධනය කර ඇත - එහෙත් එමගින් ගිවිසුම්වලට එළඹීමට පනවා තිබූ සීමා ඉවත් කර ඇත- එහි තවත් අනතුරක්‌ ඇත. ඕ.එම්.පී. ය විසින් ලබාගන්නා දත්ත විදේශීය දත්ත ගබඩාවල සංචිත කිරීම පමණක්‌ නොව විදේශ රසායනාගාර තුළ විශ්ලේෂණයද කිරීමටද හැකි වන පරිදි ගිවිසුම් ඇති කරගැනීමට ඕ එම් පීයට හැකිය. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර කොමිෂමක්‌ ඇත- එමගින් ලෝකය පුරා සිටින විවිධ ජනකොටස්‌ වල වෛද්‍ය විද්‍යාත්මක දත්ත, විශේෂයෙන්ම ඩී.එන්.ඒ. දත්ත එකතු කර විශ්ලේෂණය කරනු ලබයි. එම ක්‍රමවේදයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ හා පැමිණිලි කරන්නන්ගේ ඩී.එන්.ඒ. සාම්පල ගෙන ඒවා විවිධ ස්‌ථානයන්හීදී සොයාගන්නා මියගිය තැනැත්තන්ගේ කොටස්‌වල ඩී.එන්.ඒ. සමග සැසඳීම කර ඥාතීත්වය සම්බන්ධ කරයිs. මේ ආකාරයෙන් ලබාගන්නා ලක්‌ෂ සංඛ්‍යාත ඩී.එන්.ඒ. දත්ත රටා බාවිතාකොට ඒ ඒ ප්‍රදේශවල ජනතාව ජීවවිද්‍යාත්මක වශයෙන් වර්ග කිරීම සිදුකළ හැකිය. ස්‌වයංපාලනයක්‌ ඉල්ලා සිටින ටී.එන්.ඒ. සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අවධාරණය කර ඇත්තේ මෙරට උතුරු නැගෙනහිර වෙසෙන (ද්‍රවිඩ) ජනතාව අන් ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් වෙනස්‌ ජනවර්ගයක්‌ වන බවය. බටහිර පරීක්‌ෂණාගාරවලදී ඇඳෙන ඩී.එන්.ඒ. රටා පිඹුරුපත්වල මෙම වාර්ගීක වෙන්කිරීම සාවද්‍ය ලෙසට හෝ පෙන්විය හැක. තාක්‌ෂණික මෙවලම් අප සතුව නොමැතිකමින් මෙම පිඹුරුපත්වල නිරවද්‍යතාවය අභියෝග කිරීමද දුෂ්කරය. එහෙත් ස්‌වයං පාලනයක පදනම සාධාරණීකරණය කිරීම සඳහා බෙදුම්වාදීන්ට මෙම (පක්‌ෂග්‍රාහී විද්‍යාත්මක) සාක්‌ෂි ජාත්‍යන්තරය හමුවේ තැබිය හැකිය.

ඕ.එම්.පී. ය විසින් නිකුත් කරන වාර්තා මෙරට සමූලඝාතන සිදුවූ බවට හෝ යුධ අපරාධ සිදුකළ බවට හෝ ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට එරෙහිව එල්ල කර ඇති අභූත චෝදනා සනාථ කිරීමට අවභාවිතා කළ හැකිය. ඕ.එම්.පී. යේ යාන්ත්‍රණය තුළ ඉදිරිපත් වන සාක්‌ෂි විශ්වාසනීය භාවයෙන් දුර්වල වුවද පාර්ලිමේන්තුවේ නීතියක්‌ යටතේ එහි කටයුතු සිදුවන බැවින් එහි වාර්තාවන්ට හා නිර්දේශයන්ට ජාත්‍යන්තර වශයෙන් වලංගුභාවයක්‌ ආරෝපණය කළ හැකිය. මෙහි සොයාගැනීම් හා වාර්තා විදේශ අධිකරණවල සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරගැනීමටද හැකිය - මෙම ක්‍රියාවලිය අවසානයේදී මෙරට ඒකීයභාවයද අභියෝගයට ලක්‌වනු ඇත.

මෙම සියලු කරුණු සලකා බලා මෙම නීතිය නැවත වරක්‌ සලකා බැලීමේ වගකීමක්‌ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන් වෙත පැවරී ඇත.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/19/2016

යහපාලන බෝඩ් ලෑල්ලට මුවාවී රටේ ව්‍යවස්ථාව මහදවල් කෙලෙසූ සිරිසේනලා වික්‍රමසිංහලා

කතෘ:යුතුකම     4/19/2016   No comments
යහපාලනය සහ ව්‍යවස්‌ථාව

-නීතිඥ කණිෂ්ක විතාරණ-


රටේ උත්තරීතරම නීතිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවයි. අන් සියලු නීති ඊට යටත්ය. ජනාධිපති ඇතුළු සියලුම පුරවැසියෝ ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කිරීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් බැඳී සිටිති. එසේ නොවන රටක නීතියේ පාලනයත්, ආධිපත්‍යයත් බිඳ වැටෙයි. රටක පාලකයින් විසින් ව්‍යවස්‌ථාව උල්ලංඝනය කළහොත් හෝ එය තැකීමකට නොගෙන කටයුතු කළහොත් ඊට පහළින් සිටින සියලුම අයද කිසිදු නීතියකට ගරු නොකර සිටිනු ඇත. එවිට සක්‍රීය වන පාතාල නීතිය හමුවේ ජනතාව විසින් නීතිය තම අතට ගෙන කටයුතු කිරීමට පෙළඹෙයි. අවසානයේදී කිසිදු පාලනයක්‌ නොමැති නොදියුණු හා ම්ලේච්ඡ සමාජයක්‌ හා පාලන තන්ත්‍රයක්‌ රට තුළ බිහි වෙයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පසුව පාලකයන් විසින් සිදුකරන ලද ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමේ අවස්‌ථා හතක්‌ මෙසේ සටහන් තබමි.

2015-1-9 දින සිදුකළ අගමැති පත්කිරීම පළමුවැන්නය- ජනවාරි 8 වැනිදා වත්මන් ජනාධිපතිතුමා විධායකයේ ප්‍රධානියා බවට පත්වුවද පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ගේ කිසිදු වෙනසක්‌ නොවීය. දි.මු. ජයරත්න අගමැති ධුරයේ දිගටම සිටියේය. ජනවාරි 9 දින ජනාධිපතිතුමා ධුරයේ දිවුරුම් දීමෙන් පසුව පළමුව සිදු කළේ රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කිරීමය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාට අනුව අගමැතිවරයෙකුගේ ධුර කාලය අවසන් වන්නේ ජනාධිපතිතුමා විසින් ලිතව ඉවත් කරනු ලැබුවහොත් හෝ ඉල්ලා අස්‌වුවහොත් හෝ මන්ත්‍රී ධුරය අහෝසි වුවහොත් පමණී. මේ කිසිත් සිදු නොවී නව අගමැතිවරයෙකු පත්කළ නොහැක. ඒ සඳහා එම ධුරයේ පුරප්පාඩුවක්‌ නොවීය. ඒ අනුව 2015-01-09 වැනි දින නව අගමැති විසින් ධුරයේ දිවුරුම් දෙන ලද්දේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනිවය. තවද ජනතාව විසින් ජනාධිපතිවරණයේදී තෝරා පත් කරගන්නා ලද්දේ නව ජනාධිපතිවරයෙකු විනා නව අගමැතිවරයෙකු හෝ ආණ්‌ඩුවක්‌ හෝ නොවේ. පාර්ලිමේන්තුවේ පැවැති මන්ත්‍රී සංයුතිය පිළිබඳව ද කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා නව ජනාධිපති විසින් සිදුකරන ලද එම ප්‍රථම නිල කටයුත්තම ව්‍යවස්‌ථා විරෝධී එකක්‌ වූ වගට ඉතිහාසගත විය.

දෙවැනුව මහ බැංකු අධිපති පත්කිරීමද ව්‍යවස්‌ථාවට අනුකූල නොවේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය කටයුතු පාලනය කිරීමේ මර්මස්‌ථානය මහ බැංකුවය. එහි අධිපති පත්කරනුයේ ජනාධිපති විසින්ය. ඔහු රජයෙන් වැටුප් ලබන්නෙකි. මූල්‍ය පනතට අනුව මූල්‍ය මණ්‌ඩලයේ සභාපතිවරයා ද මහ බැංකුවේ අධිපතිය. එම තනතුරට පත්වන තැනැත්තකු (වෙනත් රාජ්‍ය සේවකයන් හා තනතුරු හොබවන්නන් මෙන්) ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 4 හා 7 වැනි උපලේඛනවල සඳහන් දිවුරුම ලබා දිය යුතුය. එම දිවුරුමෙන් කියවෙන්නේ ශ්‍රී ලංකා දේශය තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීමට අනුබලය නොදෙන බවත් හා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කිරීමට බැඳෙන බවත්ය. එහෙත් පත්වූ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් එම දිවුරුම ලබා දී නොමැත. ඊට හේතුව ඔහු විදේශ රටක පුරවැසිභාවය ලබා සිටින තැනැත්තෙකු වීමය. එම රටේ නීතියට අනුව ඔහුට එසේ කළ නොහැක. 2015 ජනවාරියේදී පටන් මහ බැංකු අධිපති විසින් එම දිවුරුම ලබා දී නොමැතිව තිබියදී එම ධුරයේ කටයුතු කිරීමට ඉඩ හැර ඇත. ඒ අනුව සමස්‌ත මූල්‍ය පාලනයේ ප්‍රධානියා විසින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කොට අනුගමනය කරන බවට ප්‍රතිඥා දී නොමැත. මෙය රාජ්‍ය මූල්‍ය ආරක්‌ෂාව සම්බන්ධයෙන් රට මුහුණ දී තිබෙන තර්ජනයකි.

ජනාධිපතිතුමා විසින් අගෝස්‌තු මස 24 දින මංගල සමරවීර විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්කරන ලදී. එහෙත් එම ධුරයේ බලතල හා කර්තව්‍ය ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කළේ 2015-09-21 දිනදීය. විදේශ ඇමැති වෙත පැවරී ඇති ප්‍රධානතම කටයුත්තක්‌ වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කොට ආරක්‌ෂා කිරීමට පියවර ගැනීමත් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවන ප්‍රචාරවලට එරෙහිව ප්‍රතිචාර දැක්‌වීමත්ය. එසේම කිසිදු ජාත්‍යන්තර සම්මුතියකට අනුගහය දැක්‌වීම සඳහා තීරණය කිරීමට සෘජු බලයක්‌ ඔහුට නොතිබුණි. එහෙත් ඔහු විසින් පාර්ලිමේන්තුවට ද නොදන්වා 2015-09-25 වන දින ඇමරිකා එක්‌සත් ජනපදය හා තවත් රටවල් කිහිපයක්‌ සමඟ හවුල්ව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහි කොන්දේසි ඇතුළත් යෝජනා සම්මතයක්‌ ඉදිරිපත් කිරීමට සම අනුග්‍රහය දක්‌වන ලදී. එම සම්මුතියේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් කඩකර තිබෙන රටක්‌ බවටත් අප හමුදාව විසින් යුද්ධ අපරාධ සිදුකර තිබෙන බවටත් ප්‍රකාශ කර තිබුණු අතර එම නිගමනයන් සහිත තවත් වාර්තාවන් දෙකක්‌ ද පිළිගෙන තිබුණි. එබැවින් එකී යෝජනාවට සම-අනුග්‍රහය ලබා දීමද විදේශ අමාත්‍ය ධුරයේ බලතල අභිබවා කරන ලද කටයුත්තක්‌ වූ අතර රටට හා ජනතාවට අහිතකර වූ එවැන්නකට අනුග්‍රහය ලබා දීමට ප්‍රථම ඒ බව පාර්ලිමේන්තුවට (හා ජනතාවට) හෙළිකර අනුමැතිය ලබාගැනීමට ඔහුට ව්‍යවස්‌ථාමය හා සදාචාරමය යුතුකමක්‌ තිබුණි. මෙය තුන්වැනි උල්ලංඝනය කිරීමය

පාර්ලිමේන්තුවේ සංයුතිය කෘත්‍රිමව විකෘති කර සුළුතර නියෝජනයකට විරුද්ධ පක්‌ෂ නායකත්වය පිරිනැමීම සිව්වැන්නය- 2015 මහ මැතිවරණයෙන් පසුව එක්‌සත් ජාතික පක්‌ෂය විසින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මන්ත්‍රීවරුන්ද එකතුකර හවුල් ආණ්‌ඩුවක්‌ පිහිටුවාගන්නා ලදී. එක්‌සත් ජාතික පක්‌ෂයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ හඬනඟන නිදහස්‌ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම නිහඬ කිරීමත් අනෙක්‌ අතින් ටී.එන්.ඒ සංවිධානය නියෝජනය කරන ලංකා දෙමළ අරසු කච්චි පක්‌ෂයට විරුද්ධ පක්‌ෂයේ නායකත්වය ලබාදීමත් මෙම හවුලේ තවත් කූට අරමුණුය. පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා පිළිගත් නීතියට අනුව විරුද්ධ පක්‌ෂයක්‌ යනු පාර්ලිමේන්තුවේ දෙවැනියට මන්ත්‍රීධුර සංඛ්‍යාවක්‌ ලබාගන්නා පක්‌ෂය (හෝ කණ්‌ඩායමයි). ආණ්‌ඩුව විසුරුවා හරින ලද විටකදී ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ වගකීම ඇත්තේ විරුද්ධ පක්‌ෂයටය. එහෙත් වත්මන් විරුද්ධ පක්‌ෂ නායකත්වය ලැබී ඇති පක්‌ෂයට ඒ සඳහා කිසිදු සුදුසුකමක්‌ නොමැත. පාර්ලිමේන්තුව තුළ ආණ්‌ඩු පක්‌ෂයට එරෙහිව නියෝජනය වන දෙවෙනි විශාලතම මන්ත්‍රී කණ්‌ඩායම වන පොදු විපක්‌ෂය යනුවෙන් ජනතාව විසින් පිළිගෙන තිබෙන කණ්‌ඩායම විරුද්ධ පක්‌ෂ නායකත්වය ලබාගැනීම සඳහා වැඩිම සුදුසුකම් ලබා තිබේ. එහෙත් පවතින ආණ්‌ඩුව විසුරුවා හරන ලද විටකදී මීළඟ ආණ්‌ඩුව පිහිටුවීමට සුදුසුකම් ලබන්නේ ලංකා දෙමළ අරසුකච්චි පක්‌ෂය බව පිළිගන්නා තරමටම පාර්ලිමේන්තුව තුළ මහජන නියෝජනය විකෘති කර තිබේ.

අද වන විට පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන්නේ ජනතාව විසින් අපේක්‌ෂා නොකරන ලද්දකි. එය කෙතරම්ද කියතොත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට (පක්‌ෂයට පමණක්‌) ඡන්දය දුන් ඡන්දදායකයෙකුට තම ඡන්දය ක්‍රියාත්මක වන්නේ ආණ්‌ඩුවේ ප්‍රතිපත්ති හා තීරණයන්ට පක්‌ෂවද නැතහොත් විපක්‌ෂවද යන්න පවා අවබෝධ කරගත නොහැකි වි තිබේ. එකම ඡන්දය එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ (දෙආකාරයකින්) ක්‍රියාත්මක වීම ප්‍රායෝගිකව සිදු විය නොහැක්‌කකි. එබැවින් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස විකෘති වී තිබේ.

පස්‌වෙනුව නිරීක්‌ෂණය වන උල්ලංඝනය වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරගකර ජනතාව විසින් පරාජයට පත්කරන ලද තැනැත්තන් ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන් ලෙසට පත්කර ඔවුන්ට අමාත්‍ය ධුර පවා පිරිනැමීමය. මෙය ජනතා පරාමාධිපත්‍යය පයින් ගැසීමක්‌ මෙන්ම ජනතාවට කරන ලද නින්දිත සමච්චලයකි. මෙම පත්කිරීම් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනි බවට තර්ක කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්‌ ගොනුකර තිබේ.

ඊනියා ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවා ඇමැතිවරුන්ගේ ගණන වැඩිකිරීම හයවැනි උල්ලංඝනය කිරීම වේ. 2015-09-03 දින අගමැති විසින් පාර්ලිමේන්තුවට ඇමැතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ හා කැබිනට්‌ ඇමැතිවරුන් නොවන ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව වැඩිකිරීමට අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කරන ලද යෝජනාව මගින් පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳවැටුණි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව පත්කළ හැකි කැබිනට්‌ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කි. නියෝජ්‍ය අමාත්‍යවරුන් හා අනෙකුත් අමාත්‍යවරුන්ගේ ගණන 40 කි. මෙම සංඛ්‍යාව වෙනස්‌ කිරීමට පාර්ලිමේන්තුවට හැකිය. එහෙත් එසේ කළ හැක්‌කේ ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටවුවහොත් පමණකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 46 (5) අනුව ජාතික ආණ්‌ඩුවක්‌ යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක්‌ ලබාගන්නා පිළිගත් දේශපාලන පක්‌ෂය හෝ ස්‌වාධින කණ්‌ඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් එකතුව පිහිටුවනු ලබන ආණ්‌ඩුවකි.

එම යෝජනාව සම්බන්ධව පැවති විවාදයේදී අගමැතිවරයා කියා සිටියේ තවත් පක්‌ෂ 3 ක්‌ පමණක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට හවුල් වී ඇති බවය. එහෙත් ඊට අදාළ ඊනියා ගිවිසුම් පාර්ලිමේන්තුවට හෙළිදරව් කිරීමට ඔහු බැඳී නොමැති බවද පවසන ලදී. ව්‍යවස්‌ථාවට අනුව ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ සිටින සියලුම පක්‌ෂ එකතු විය යුතු බව විරුද්ධ පක්‌ෂයේ බොහෝමයක්‌ මන්ත්‍රීවරුන් විසින් ප්‍රකාශ කරන ලදී. එහෙත් කථානායක හා අගමැති විසින් කියා සිටින ලද්දේ පක්‌ෂ කිහිපයක පමණක්‌ එකතුවෙන් ජාතික ආණ්‌ඩුවක්‌ සෑදිය හැකි බවයි. මෙම අර්ථ දැක්‌වීම පිළිගතහොත් ව්‍යවස්‌ථාමය වශයෙන් මහත් අවුලක්‌ සිදු වේ. එවිට ජනාධිපතිවරයාට බලය ලැබෙන්නේ අගමැති හා අනෙකුත් ඇමැතිවරුන් සමහර දෙනෙකුත්, අගවිනිසුරු සහ අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් සමහර දෙනෙකුත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු හා අනෙකතුත් විනිසුරන් සමහර දෙනෙකුත් පත්කිරීමට පමණකි. මෙවැන්නක්‌ සිදුවන බව පැවසීම විහිළුවකි. එම සියලු පත්කිරීම් ජනාධිපති විසින්ම සිදුකළ යුතු වේ. එබැවින් අනෙකුත් පක්‌ෂ හා දේශපාලන පක්‌ෂ යන්නෙන් සියලුම පක්‌ෂ හා දේශපාලන පක්‌ෂ අදහස්‌ වන බවත් ඒ සියල්ලම ජාතික ආණ්‌ඩුවක කොටස්‌කරුවන් වීම ව්‍යවස්‌ථාමය අවශ්‍යතාවක්‌ වන බවත් ඉතාම පැහැදිලි තත්ත්වයකි.

එබැවින් ජාතික ආණ්‌ඩුවක්‌ බිහිවී තිබෙන බවට වූ පදනම මත අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 දක්‌වාත් අනෙක්‌ අමාත්‍යවරුන් ගණන 45 දක්‌වාත් වැඩි කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවේ කිසිදු වලංගු භාවයක්‌ නොමැත. එසේම අගමැතිවරයාගේ උපදෙස්‌ පිට ජනාධිපති විසින් 47 දෙනෙකුගෙන් සමන්විත කැබිනට්‌ මණ්‌ඩලයක්‌ද 45 දෙනෙකුගෙන් යුත් අනෙකුත් අමාත්‍යවරුන් සංඛ්‍යාවක්‌ද පත්කිරීම ව්‍යවස්‌ථා විරෝධීය. මෙම පත්කිරීම් බලශුන්‍ය බවට පත්කරන ලෙසට ඉල්ලමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක්‌ ඉදිරිපත් වී තිබේ. මෙයින් එක්‌ පෙත්සමක සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගඋත්තරකරුවන් කර තිබේ. එය ගොනුකර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රියර් ද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර හා මහාචාර්ය විමලධර්ම අබයවික්‍රම යන විද්වතුන් දෙපළ විසිනි.

ඊනියා හවුල් ආණ්‌ඩුවේ මූලික මෙහෙවරක්‌ වූයේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම පිණිස ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීමය. මෙයද හත්වැනියට සිදුකළ ව්‍යවස්‌ථා උල්ලංඝනය කිරීමකි. පවතින ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන්ම පරිචින්න කොට නව ව්‍යවස්‌ථාවක්‌ පැනවීමට පවතින ව්‍යවස්‌ථාවේම පැහැදිලි විධිවිධාන තිබේ. එසේ කිරීමේදී රටේ ඒකීයභාවය වැනි රාජ්‍යයේ මූලික පදනම්වලට හානි කළ නොහැකිය. එහෙත් බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව වන්නේ පවතින රට වෙනුවට නව ව්‍යවස්‌ථාවක්‌ හරහා නව (එක්‌සත්) රටක්‌ බිහිකිරීමය. එවැන්නක්‌ කළ හැක්‌කේ පවතින නීතියෙන් බාහිර ක්‍රියාදාමයකින් පමණි. ඒ සඳහා ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌ පිහිටුවීම උපක්‍රමික අවශ්‍යතාවකි. ඒකාබද්ධ විපක්‌ෂය හා ජනතාව විසින් දියත් කරන ලද ප්‍රබල සටනක ප්‍රතිඵලයක්‌ වශයෙන් එම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය පවතින ව්‍යවස්‌ථාව යටතේ පත්කරනු ලබන කාරක සභාවක්‌ වශයෙන් ක්‍රියාත්මක කිරීමටත් රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට මුල්තැන දීමේ වගන්තියට අත නොතැබීමටත් ආණ්‌ඩුවට එකඟ වීමට සිදුවී තිබේ.

දිනෙන් දිනම ජනතාව ගොදුරු කර ගනිමින් සිටින මෙම ව්‍යවස්‌ථා විරෝධී පාලනය මෙල්ල කර එය නිවැරදි කිරීමේ බලය හිමි එකම රාජ්‍ය යාන්ත්‍රණය ලෙස ජනතාවගේ පිහිටට ඉතිරිව ඇත්තේ පිවිතුරු අධිකරණයයි. එහෙත් ව්‍යවස්‌ථාදායක හා විධායක යාන්ත්‍රණය ඔස්‌සේ සිදුකර තිබෙන ව්‍යවස්‌ථා විරෝධී ක්‍රියාවන් නිවැරදි කර යහපාලනයක්‌ ස්‌ථාපිත කිරීමේ හැකියාව හා අවස්‌ථාව ජනාධිපතිතුමාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තවත් ඉතිරිව ඇත.
[Divaina]
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/26/2016

කතිකාවත් පනත ශාසනයට නිග‍්‍රහයක්?

කතෘ:යුතුකම     1/26/2016   No comments
ථෙරවිදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට පැතිරෙන දුර්මත සමරහක් නිරාකරණය කිරීම මෙම ලිපියේ අරමුණය.
පොදු පිළිගැනීමට අනුව කතිකාවතක් යනු භික්ෂුන් වහන්සේ විසින් ඒකමතිකව සමිමත කරගනු ලබන හා භික්ෂුන් වහන්සේ වෙතම නියම කරවා ගනු ලබන ආචාර ධර්ම පද්ධතියක් වේ. එහෙත් ඒ සඳහා හරයාත්මක අර්ථකතනයක් යෝජිත පනතේ ලබා දී නොමැත. එම නීතියට අනුව එක් එක් ථෙරවාදී භික්ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවන් විසින් ඒ ඒ නිකායට හෝ පාර්ශ්වයට අදාල කතිකාවත් සකස් කර සම්මත කරගත හැකිය. එම කතිකාවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් විශේෂඥ මණ්ඩලයකට ඉදිරිපත් කර අනුමත කරවා ගත යුතුය. එවැන්නක් ලියාපදිංචි කිරීමෙන් පසුව ඊට නෛතික බලාත්මක බාවයක් ලැබෙන්නේය. එහි ඇති විදිවිධානයක් උල්ලංගනය කිරීම සමිබන්ධයෙන් අදාල නිකායේ හෝ පාර්ශ්වයෙන් කාරක සංඝ සභාව විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එහිදි ලබාදෙන තීරණයට අනුව කටයුතු නොකිරීම වරදක් වන අතර වරද කරන ලද භික්ෂුවට එරෙහිව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී චෝදනා කර මාස හයකට නොවැඩි බන්ධනාගතකිරීමක් හෝ රුපියල් පනස්දහසකට නොඅඩු දඩයකට යටත්කරවීම මගින් දඩුවම් කල හැකිය.

යෝජිත නීතිය මෙතෙක් රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පනවන ලද ප‍්‍රධාන කතිකාවතත් වලට පටහැනිය. අපට හමුවන පැරණිතම කතිකාවත මහා පරාක‍්‍රමබාහු රජුගේ අනුග‍්‍රහයෙන් සකස්කරන ලද්දකි. එහි මූලික අරමුණ වූයේ එවකට නිකා තුනකට (මහාවිහාර, අභයගිරිය, ජේතවනය වශයෙන්* කැඞී බිඳිගිය භිකෂුන්වහන්සේලාගේ සමගිය ඇතිකොට ශාසනය පවිත‍්‍රකිරීමය. දඹදෙනිය යුගයේදී සංග‍්‍රහකරන ලද විජයබාහු රජුගේ හා දඹදෙනි පැරකුම්බා රජුගේ අනුග‍්‍රහය ලැබූ කතිකාවතත්ද පසුකාලීනව කීර්ති ශී‍්‍ර රාජසිංහ හා ශී‍්‍ර රාජාධිරාජසිංහ රජවරුන් මූලික වූ කතිකාවතත්ද සැලකීමේදී පෙනීයන පොදු ලක්ෂණ වනුයේ-(අ) ඒවා සියල්ල රාජ්‍ය මුල්වි ඇතිකරගත් ඒවා වන බවත් (ආ) ථෙරවාදී භික්ෂුන්ට පමණක් සීමා නොකොට සියලූම භක්ෂුන්වහන්සේලාටම අදාල වන පරිදි සකස්කරන ලද ඒවා වන බවත් (ඇ) භික්ෂුන් වහන්සේලා අතර නිකායන් වශයෙන් හටගෙන තිබු සියලු බෙදීම් අභිබවා භික්ෂුන් වහන්සේලා සමගි කිරීමෙන් පසුව ඇතිකරන ලද ඒවා වන බවත් (ඈ) ශාසන පාරිශුද්ධිය හා ගෞරවය ස්ථාපනය කිරීම එහි ප‍්‍රමුඛ පරමාර්තයක් වී තිබූ බවය.

නිකායන් එකතුකොට සමගි කරවීමෙන් පසුව කතිකාවතත් සංග‍්‍රහ කරන ලද බව ගල්විහාර හා දඹදෙනි කතිකාවත් වල පූර්විකාවල පැහැදිලි කර ඇත්තේ ර්‍ණතුන්කා සමග කිරීමෙන් එක්නකා කොටැ ජේතවන මහාවිහාරාදී නොඑක් මහඇගි විහාර ලක්දිව තන්හි තන්හි කරවා එහි සහස‍්‍ර සංඛ්‍යාතික‍්‍රාන්ත මහාසංඝයා වාස කරවා නිරන්තර ප‍්‍රවෘත්ත ධර්මාමිෂදානයෙන් උපස්ථාන කෙරෙමින්………” යනාදි වශයෙනි.
කතිකාවත් සකස්කිරීමේදී අදාලකරගත් මූලික න්‍යාය කීර්ති ශී‍්‍ර රාජසිංහ කතිකාවතේ සඳහන්ව ඇත්තේ මෙසේය.. ර්‍ණඇමදෙනාවහන්සේම සමගිව විනයපෙළ අටුවා බලා සකචිඡුා කිරීමෙන් පූර්වකතිකාවතුත් බලාගෙන…….”

මේ අනුව කතිකාවත් සකස් කිරීම සඳහා බොහෝ පරිශ‍්‍රමයක් දරා පූර්ව සූදානමක් පැවති බව පැහැදිලිය. ඒ සඳහා දහස් ගණනින් භක්ෂුන් වහන්සේලා ඒකරාශි කොට ඊට සහභාගි කරවා ගත් බවත් එහිදී දීර්ඝ වශයෙන් සාකචිඡුා පැවති බවත් අටුවා හා පූර්වකතිකාවන් ගැඹුරින් අධ්‍යනය කර ඇති බවත් කියවේ. එහිදී සමකාලීනව සමාජය තුල මුල්බැහැගෙන තිබූ බෞද්ධ සංකෘතික ලක්ෂණවලට හා ධර්ම විනයට පටහැනි නොවන පරිදි කතිකාවත් සම්මතකරගෙන තිබේ. දඹදෙනි කතිකාවතේ සඳහන්වන ර්‍ණධර්මවිනය සන්සන්දනය කොටැ ඇජරෝ නෙවිහිදැ” යන පදයෙන් ඒ බව තහවුරු වෙයි.

මේ අතර බෞද්ධ විනය පටිපාටිය තුල තදින්ම කි‍්‍රයාත්මක වූ නීතියකි ර්‍ණගහට්ඨපණ්ඩකාදයේ ඒකවීසති වජ්ජනිය පුග්ගලා” යන්න. ඒ අනුව ගෘහස්ථයන් හා ලිංග විපර්යාස ඇත්තවුන් ඇතුලූ විසි එක්වැදෑරුම් පුද්ගලයින් භික්ෂුන්වහන්සේලාගේ විනයට අදාල කටයුතුවලදී බැහැර කල යුතුවීම අනිවාර්යය. එනමි මෙය භික්ෂුන් වහන්සේ විසින්ම පමණක් සිදුකල යුතු කටයුත්තකි. යෝජිත කතිකාවත පනතේ පෙර රජවරුන් අනුගමනය කරන ලද ඉහත සියලූ රීතීන් අමු අමුවේ උල්ලංගනය කර නොසලකා හැර ඇත. මෙතෙක් ශී‍්‍ර ලංකාවේ බෞද්ධ සංකෘතින් තුල මුල්බැහැගෙන තිබෙන සිරිත්ද විනය විරෝධි කි‍්‍රයා වශයෙන් ඇතුලත් කල හැකිවන පරිදි එම පනතේ මගපෙන්වීමක් ලබා දී තිබේ (මෙම කෙටුමිපතේ ඉතාම අනවශ්‍ය ලෙසට විවිධ (ඊනියාෙ වරදීය කි‍්‍රයා හා දඩුවමි කිහිපයක් සඳහන් කර ඇත-ඒවා බොහොමයක් විනයට අදාල නොවන හා පනතට අවශ්‍ය නොවන ඒවා පමණක් නොව භික්ෂුන්වහන්සේ හට කර ඇති මහත් නිගාවකි). සමස්ථ භික්ෂුන් වහන්සේලාටම අදාලවනු වෙනුවට මෙම නීතිය ප‍්‍රධාන ථෙරවාදි නිකායන් තුනට හා ඊට අයත් පාර්ශ්ව වලට පමණක් සීමාකර ඇත. මෙවැනි පාර්ශවද දැනට 30 කට අධික ප‍්‍රමාණයක් ඇත. ඒ අනුව ථෙරවාදී භික්ෂුන්වහන්සේලා යටත්වන එකිනෙකින් වෙන්වූ නීති පද්ධතින් 30 කට වැඩි ප‍්‍රමාණයක් බිහිවීමේ ඉඩකඩ මෙම පනත යටතේ උදාවනු ඇත. ඒ ඒ නිකායන් හා පාර්ශව වලට පරීක්ෂණ පැවැත්වීමට වෙන් වෙන්වූ සංඝ කාරක සභා පිහිටුවිය බිහිවනු. මේ නිසා පෙර කල ක‍්‍රමවේදයන්ට පටහැනිව යමින් භක්ෂු සාසනය සමගි කිරීම හා එක්කිරීම වෙනුවට භික්ෂු සාසනයේ බේදවීම නීත්‍යානුකූලවම පිළිගනිමින් මෙම නීතිය ගෙනඒමට කටයුතු කර තිබේ. අනෙක් අතට මෙම පනත සකස් කිරීමට පෙර සංඝයාවහන්සේ ඒකරාශීකොට සාකචිඡාකොට අදහස් ලබාගත් බවක්ද නොපෙනේ. එම අඩුපාඩුව සකස්කිරිමට ආණ්ඩුවට මතක් වී ඇත්තේ උගත් භික්ෂුන්වහන්සේලා විසින් යෝජිත පනතට එරෙහිව විරෝධය හා අප‍්‍රසාදය පලකිරීමෙන්් පසුව පමණක් වීම ඉතාම කණගාටුදායක තත්වයකි.

මෙම පනතේ භයානකම අංගයක් වන්නේ කතිකාවත් ගිහියන් (නීතිඥයින්)දෙදෙනෙකු හා භික්ෂුන් වහන්සේලා තිදෙනෙකුගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයකින් සහතික කල යුතු වීම අනිවාර්ය කිරීමය. එහිදී ගිහි නීතිවේදීන්ගේ කාර්යය වන්නේ කතිකාවත ලිඛිත නිතියක විදිවිධාන උල්ලංගනය වන්නේදැයි බැලීමය. මෙම කෙටුම්පත සකස්කරවුන්ට ශී‍්‍ර ලංකාව තුල මුල්බැහැගෙන තිබෙන බෞද්ධ විනය හා සංකෘතිය පිළිබඳව දැනුමක් නොතිබූ බව පැහැදිලිය. ඊට හේතුව අපගේ බෞද්ධ සම්ප‍්‍රදාය හා භික්ෂු විනය බටහිර ආභාෂයක් ඔස්සේ පරිනාමය වන නීති සිද්ධාන්තයන්ට හා සංකල්පවලටද ඒවා මත ගොඩනගා ඇති ලිඛිත නීතිවලටද සැම අවස්ථාවකදීම එකග නොවීමය. වසර දහස්ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පවතින බෞද්ධ ශාසනයේ කොටසක් වන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සෘජුව සම්බන්ධවන බොහෝ සංකෘතික සිරිත් හා විනය ක‍්‍රම ආවරණය කරන නිති තවමත් බිහිවී නොමැත. එවන් අවස්ථාවකදී සියලූ කතිකාවත් නීතියට අනුකූලකරවීමට බලහත්කාරයෙන්ම උත්සාහගැනීම නිසා සිදුවන ආගමික හා සංකෘතික හානිය තක්සේරු කල නොහැකිය.

1997 දී ගරු අභියාචනාධිකරණය විසින් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා අපූරු තීන්දුවක් ලබා දී ඇත. එහිදී ගරු අධිකරණය විසින් තීරණය කරන ලද්දේ ශාසනික කටයුතු හා විනය සම්බන්ධයෙන් හොඳාකාර දැනුම හා අවබෝධය ඇත්තේ මහා සංඝ සභාව වන බවටත් අභියායචාධිකරණය කිසිවිටකත් මහානායක මාහිමිවරුන් විසින් විනය කාරණා සමිබන්ධව ගනු ලබන තීන්දුවලට මැදිහතත් වීම නොයුතු බවය. එහෙත් නව පනත මගින් මහානායකහිමිවරුන්ට හා උන්වහන්සේලාගේ තිරණයවලට ඇති උත්තරීතර පිළිගැනීම යටපත් කරවනු ඇත. ඊට හේතුව වන්නේ පනතේ ඇති සංඝ කාරක සභාවල තීරණ අධිරණයේ අභියෝගයට ලක්කිරිමට හැකිවීමත් (පොදු නීතිය යටතේ) එහිදි එම තිරණය දුන් සියලූ කාරක සභික භක්ෂුන් වහන්සේලා එම නඩුවලදී වගඋත්තරකරුවන් වශයෙන් තම තීරණයන් වල නිවැරදි බාවය තහවුරු කිරීමට යටත් වීමත්ය.

මෙම පනතේ ඇති ඛේදනීයම අංගය වන්නේ කතිකාවතක නියමයක් උල්ලංගනය කිරිම අපරාධමය වරදක් බවට පත්කිරිමය. වන්දනීය හා පුජනීය වූ භික්ෂුන් වහන්සේ කුඩා විනය කඩකිරීමකට වුවද දරුණු අපරාධකරුවන් හා සමව සලකා උසාවි ක‍්‍රමය තුල විත්තිකූඩුවට නැග්ගවීමට සැලැස්වීම තුලින් භික්ෂුවට මෙන්ම ශාසනයටද සිදුවන හානිය අපමණය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු වන්නේ මෙම නඩුකටයුතුවලදී අදාල නිකායේ හෝ පාර්ශවයේ නායක ස්වාමින් වහන්සේලා මෙන්ම සංඝ කාරක සභාවල සාමාජිකත්වය දැරු භික්ෂුන්වහන්සේලාට පවා වෙනත් සාක්ෂිකරුවන් මෙන් අපරාධ අධිකරණයක සාක්ෂි දීමට සිදුවිය හැකි වීමය. මහේස්ත‍්‍රාත් අධිකරණයකදී දියහැකි අඩුම දඩය රුපියල් 50,000 කි. මෙවැනි දන්ඩනයකට ලක්වූ භික්ෂුවක් කෙසේනම් තවදුරටත් භික්ෂුවක ලෙසින් නැවත සමාජයට පිවිසින්නේද? ගිහියන් සහභාගි නොවිය යුතු බවට පනවා ඇති භික්ෂු විනයට අදාල කාරණයකදී භික්ෂුන් වහස්නේට දඩුවමි ලබාදීමට ගිහියෙකු වෙතම පැවරිම කුමන බෞද්ධ සමිප‍්‍රදායක්ද? මෙම පනතේ සැබෑ පරමාර්ථය වන්නේ ථෙරවාදී භික්ෂු පරපුරත් බෞද්ධ ශාසනයත් මෙරටින් අතුගා දැමීමද?

මෙම පනත කි‍්‍රයාත්මක විමත් සමගම සාම්ප‍්‍රදායික සංඝාධිකරණ ක‍්‍රමය නැත්තටම නැතිවනු ඇත. මෙම පනතින් ඇතිකරනු ලබන සංඝ කාරක සභාවන් බෞද්ධ සමිප‍්‍රදාය තුල එන සංඝාධිකරණයට වෙනස්ය- මූලික ස්වරූප හතරක් (විවාදාධිකරණය අනුවාදාධිකරණය ආපත්තාධිකරණය කිචිචාධිකරණය* ඇති සංඝාධිකරණ ක‍්‍රමය අධිකරණ සමථ නැමැති සුවිශේෂ පටිපාටියකට අනුව කි‍්‍රයාත්මක වෙයි- එබැවින් සංඝාධිකරණ ක‍්‍රමය වත්මන් උසාවි ක‍්‍රමයට බොහෝ සෙයින් වෙනස්ය. බටහිර නීති විද්‍යාවට හසුනොවන සියුම් හා ගැඹුරු සම්ප‍්‍රදායන් හා නීති සිද්ධාන්තයන් සංඝාධිකරණවල කි‍්‍රයාත්මක වී තිබේ. මෙතරම් වටිනා සමිප‍්‍රදායකට හානියක් සිදුකිරිමට කවුරුන් මුල්වූයේද යන්න අභිරහසකි.

මෙම නීතිය ආණ්ඩුව විසින් ගෙන එන්නේ අපගේ ගෞරවනීය නායක ස්වාමින්වහන්සේලා විසින් නිරන්තරයෙන් මුහුන දෙනු ලබන ගැටලූවලට විසඳුමක් වශයෙන් බව ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් පෙන්වා දෙයි.ශාසනයේ කොටසක් ලෙස ක‍්‍රමවත්ව වර්ධනය වී ඇති, බෞද්ධ සම්ප‍්‍රදායෙන් පෝෂණය වූ සංඝාධිකරණයක් මගින් භික්ෂු විනය සම්බන්ධව විනිශ්චය කිරීමේ ක‍්‍රමවේදයක් සැකසිය යුතු බව අපගේද පිළිගැනීමයි. එම සංඝාධිකරණ මගින් ලබා දෙන තීරණ (දඩුවම් පැනවීමෙන් කි‍්‍රයාත්මක කරනවා වෙනුවට* බෞද්ධ විනයට අදාල මූලධර්ම අනුව සාධනීය ක‍්‍රමවේදයන් ඔස්සේ කි‍්‍රයාත්මක කරවීමේ නිතිද සැකසිය හැකිය. එම තීරණ කි‍්‍රයාත්මක කිරීම භික්ෂුන් වහස්නේගේ ගෞරවය ආරක්ෂාවන පරිදි හා ගිහියන්ගේ සෘජු මැදිහත්වීම සිදු නොවන ආකාරයෙන් සිදුවිය විය යුතුය. මෙවැනි නීතියක් ආවාට-ගියාට හදිසියේ සෑදිය නොහැකිය. ඒ සඳහා ශාසනය හා බෞද්ධ සංස්කෘතිය සම්බන්ධව ප‍්‍රවීණ දැනුමක් ඇති භික්ෂුන් වහන්සේ සෘජුව සහභාගිකරවා ගත යුතුය. නීතිය දැනගත් පමණින් හුදෙක් නීතිඥයින්ට පමණක් මෙවැනි සංකීර්ණ පනතක් තනිව සැදිය නොහැකිය.

අපගේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා විසින් අපේක්ශා කරනුයේ සමස්ත භික්ෂු සමාජයම නායක භික්ෂුන්වහන්සේලාගේ විනය පාලනයට නතු කිරිම වේ. මෙය අත්‍යාවශයෙන්ම සිදුවිය යුතු කාලීන අවශ්‍යතාවයක් වන බව අපි පිළිගනිමු. එහෙත් මෙම සත්බාවි අරමුණ දඩමීමාකොටගෙන මහානායක ස්වාමීන්වහන්සේලාද නොමග යවමින් සමස්ත ශාසනයම ලෝකයා ඉදිරියේ අගෞරවයට පාත‍්‍රකරවන නීතියක් ගෙන එන්නේ කුමන බලවේගයක අවශ්‍යතාවක් ඉටුකිරීමටදැයි විමසා බැලිය යුතුය.

නීතිඥ කණිෂ්ක විතාරණ

www.lankaleadnews.com

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/11/2016

බුද්ධාගම, බුද්ධ ශාසනය හා ඒකීය රාජ්‍යය ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ හැකිද?

කතෘ:යුතුකම     1/11/2016   No comments

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ආරක්‌ෂා කර තිබෙන ඒකීය රාජ්‍යයත්, බුදු දහමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමීමට හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමට රජය වෙත පැවරී ඇති යුතුකමත් අතර ජීවමාන බැඳියාවක්‌ ඇත. මෙම වැදගත් කාරණාවන් දෙක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 2 හා 9 වගන්තිවල සඳහන් කර ඇත. 9 වන වගන්තිය හුදෙක්‌ කල්පිතයක්‌ පමණක්‌ වන බව ඇතැම් අය තර්ක කරති. මෙය අප රටේ, ඉතිහාසය හා ආණ්‌ඩුක්‍රමය පිළිබඳව හැදෑරීමකින් තොරව කරනු ලබන පුහු තර්කයකි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට රජය විසින් මුල පිරීමට නියමිතය. එවන් අවදියකදී 9 වන වගන්තියේ ජීවමාන වැදගත්කමත් එය ඒකීය රාජ්‍ය කෙරෙහි කොතෙක්‌ බලපෑම් ඇතිකරන්නේද යන්නත් සම්බන්ධයෙන් කෙටි ගවේෂණයක්‌ කිරීම මෙම ලිපියෙන් අදහස්‌ කෙරේ.

බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය ලබාදීම හා ශාසනය පෝෂණය කිරීම යනු වසර 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ අප රටේ අඛණ්‌ඩව පැවති රාජ්‍ය ප්‍රතිපත්තිය වේ. (රට විදේශ ආක්‍රමිකයන්ගේ හා බටහිර රටවල පාලනයට නතු වූ අවස්‌ථාවලදී පමණක්‌ බුදුදහමට හා ශාසනයට ලබා දී තිබූ මෙම වැදගත්කම යටපත් කර තිබේ.) මිහිඳු මහරහතුන්ගේ වැඩම කිරීමෙන් පසුව දේවානම් පියතිස්‌ස මහරජතුමා විසින් බුද්ධශාසනයේ භාරකාරයා ලෙසට පත්වී ශ්‍රී ලංකාවට අනන්‍ය වූ මෙම රාජ්‍ය ප්‍රතිපත්තියට මුලපිරුවේය. බුද්ධ ශාසනයේ හා බුද්ධ ධර්මයේ බලපෑම ශ්‍රී ලංකාවේ ජනතාවගේ දෛනික ජීවිතය, කලාව හා සංස්‌කෘතිය, අධ්‍යාපනය, කර්මාන්ත හා ජීවනෝපාය මාර්ග යනාදී සෑම අංශයකම පදනම බවට පත්විය. ඒ අනුව බුදු දහමත් ජනතාවත් රජ්‍ය පාලනයත් හා නීතියේ පාලනයත් අතර අෙන්‍යාaන්‍ය වශයෙන් තිබූ බැඳීම එකිsනෙකින් වෙන්කළ නොහැකි සෙA මුහුවිය. එමෙන්ම ඒවා එකිනෙකට ගැලපෙන පරිදි හැඩගැසිනි. නිතියේ පාලනය සැලකීමේදී බුදුදහම අප රටේ ප්‍රධාන නීති මූලාශ්‍රය විය.

බුද්ධාගම රජයේ ආගම බවත් ශ්‍රී ලංකා දේශය බුදුන්ට අයත් බවත් හා ශ්‍රී ලංකාවේ රජකිරීමට සුදුසු වන්නේ බෞද්ධ රජෙකුට පමණක්‌ වන බවත් 13 වන සියවසේදී ලියූ පූජාවලියේ සඳහන් වේ. 1769 දී ලන්දේසි ආණ්‌ඩුකාර විල්හෙම් µdක්‌ විසින් වාර්තා තබන ලද ලක්‌ රජ ලෝ සිරිත නැමැති ග්‍රන්ථයෙහි එකල මහනුවර විසූ භික්‌ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කර ඇති පරිදි රජු (රාජ්‍ය පාලකයා) විසින් බුදුදහම හැර වෙනත් ආගමක්‌ ඇදහිය නොයුතු බවට නීතියක්‌ තිබූ බවට සටහන් තබා තිබේ. 1816 ජූනි 03 දිනැති රොබට්‌ බ්‍රවුන් ඉංගී්‍රසි ආණ්‌ඩුකාරයා විසින් ලියන ලද ලිපියේ උඩරට රාජධානියත් බුදු දහමත් අතර බිඳ නොහැකි බැඳියාවක්‌ තිබෙන බවත් බුදුන් විසින් රජුන්ව විදේශ බලවේගයන්ගෙන් හා බලපෑම්වලින් ආරක්‌ෂා කරනු ලබන බවට (ලක්‌වැසියන්) විශ්වාස කරන බවත් සඳහන් කර ඇත. එලෙස බුදුදහමේ

රැකවරණය ලැබූ රජවරුන්ගේ පරම වගකීම හා යුතුකම වූයේ ශ්‍රී ලංකාව එකම ධජයක්‌ යටතේ පාලනය කිරීමයි.

1815 දී අත්සන් කරන ලද උඩරට ගිවිසුමට බුදු දහම ආරක්‌ෂා කරන බවට වූ කොන්දේසියක්‌ ඇතුළත් කිරීමට ඉංගී්‍රසින්ටද සිදුවිය. එහෙත් පසුකාලීනව එංගලන්ත කතෝලික බලපෑම මත එම එකඟතාව අනුව කටයුතු කිරීමට බාධා එල්ල විය. ඒ අනුව බුදු දහමට හා ශාසනයට හිමිව තිබූ උත්තරීතර හා කේන්ද්‍රීය ස්‌ථානය ඉංගී්‍රසින් විසින් පනවන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මගින් ලබා නොදෙන ලදී. (මාගේ හැඟීම අනුව) විදේශ රටක්‌ හෝ රජයක්‌ විසින් මෙරට රාජ්‍ය බලය අල්ලා ගැනීමේදී පහර දිය යුතු වන කේන්ද්‍රීය ලක්‌ෂය වනුයේ බුදු දහමේ උත්තරීත්වයයි. 1972 දී අපේ රට සැබෑවටම බ්‍රිතාන්‍යයන්ගේ පාලනයෙන් වෙන්වන තෙක්‌ම බුදු දහමටත් ශාසනයටත් ලබා දී තිබූ ප්‍රමුඛත්වය ද සමස්‌ත රටම ද එකවිට විදේශීය අධිරාජ්‍යවාදීන්ට යටත් වී තිබුණි.

බුදුදහමට තිබූ මෙම පූජනීය හා රාජ්‍යතාන්ත්‍රීක වැදගත්කම වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ජනතාව විසින්ම රජුන්ටත් ඉහළින් ස්‌ථානගත කරන ලදී. එහි ප්‍රතිඵලය වූයේ බුදුදහම හා ශාසනය ආරක්‌ෂා කිරීමට කැපවීමේ සහතිකය රජකම ලැබීම සඳහා වූ මූලික සුදුසුකමක්‌ බවට පත්වීමයි. පසුකාලීනව දන්ත ධාතූන් වහන්සේ වටා රාජ්‍ය බලය සංකේතාත්මකව කේන්ද්‍රගත කර ගැනීමට රජයටත් ජනතාවටත් හැකියාව ලැබුණි. ඒ අනුව යමෙකු රජු ලෙසට ජනතාව විසින් පිළිගනු ලැබූයේ ඔහු දන්තධාතූන් වහන්සේගේ භාරකාරත්වය දැරුවේ නම් පමණකි. මෙම පිළිගැනීමට ගරුකිරීමට උඩරට ගිවිසුම ඇතිකර ගන්නා අවස්‌ථාවේදී ඉංගි්‍රසි පාලකයින්ටද සිදුවිය.

එසේ වුවද භික්‌ෂුන් වහන්සේ රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙසට මැදිහත් වූයේ නැත. සමානාත්මතාවය, මෛත්‍රීය කරුණාව මුදිතාව වැනි අදටත් බටහිර නීතිවේදීන්ට හරිහැටි අවබෝධකරගත නොහැකි දියුණු හා සංකීර්ණ බෞද්ධ සිද්ධාන්ත ප්‍රායෝගිකව හුරුකළ දේශීය ජනතාව විසින් අන්‍යාගමික හා අන්‍යජාතික ජනතාවටද අන් කිසිදු සමාජයක නොමැති තරමේ වූ ආරක්‌ෂාවක්‌ නිදහසක්‌ හා ගරුත්වයක්‌ පිරිනමන ලදී. ඉන්දියන් සාගරය මධ්‍යයේ ස්‌ථානගත වී තිබෙන ශ්‍රී ලංකාවට වසර දෙදහසකට වැඩි කාලයක්‌ තිස්‌සේ නොපැමිණි ජාතිකයෙක්‌ හෝ අන්‍ය ආගමිකයෙක්‌ හෝ නොවීය. එහෙත් අප ජනතාව හා ඔවුන් අතර කිසිදු විටක ආගමික හෝ වාර්ගික ගැටුමක්‌ හටගත්තේ නැත. මෙරට ගැටීම් හා යුද්ධ හටගෙන ඇත්තේ විදේශීය බලවේග විසින් අප රටේ පාලන බලය අල්ලාගත් හෝ අල්ලාගැනීමට උත්සාහ ගත් අවස්‌ථාවලදීය. ඒවා ජාතිවාදී හෝ වර්ගවාදී ගැටුම් නොව රටේ නිදහස වෙනුවෙන් කළ දැවැන්ත සටන් හා නිදහස්‌ අරගලයන්ය.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිති සිද්ධාන්තයන් මෙම සංසිද්ධියට ආදාළ කිරීමේදී ලොව අන් රටක නොදැකිය හැකි වූ සුවිශේෂ තත්ත්වයක්‌ වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ අප රට තුළ පැවති බව පෙනේ. ජනතාව විසින් ආගමික වශයෙන් වන්දනීය වූ බුදු දහම සත්‍ය වශයෙන්ම ජනතාවගේ දෛනික ජීවිතයේ හා නීතියේ පාලනයේ මෙන්ම රාජ්‍ය බලයේද උත්තරීතරම බලකේන්ද්‍රස්‌ථානය විය. ඒ අනුව බුදු දහම රාජ්‍ය බලයේ ආරම්භක ස්‌ථානය නොහොත් පරමාධිපත්‍ය බලයේ කේන්ද්‍රිය ලක්‌ෂය විය. පරිපාලන යාන්ත්‍රණය හරහා පහළට සාරෝපනය වූයේ රජුගේ බලය නොව බුදු දහම මත පිහිටා රජු විසින් අත්කරගත් බලයයි.

ඒ අනුව දෙවන පෑතිස්‌ රජුගෙන් ආරම්භ වී මෙරට බටහිර යටත් විජිතයක්‌ බවට පත්වන තෙක්‌ම නොවෙනස්‌ වූ මූලික ලක්‌ෂණවලින් හා ආකෘතියකින් යුත් අලිත ව්‍යවස්‌ථාවක්‌ දේශය තුළ ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එහි මුලිකම ලක්‌ෂණය වූයේ බුදු දහමට ප්‍රමුඛස්‌ථානය ලැබීමත් හා රාජ්‍ය බලය ද එයින්ම ජනනය වීමත්ය. ඒ අනුව පරමාධිපත්‍ය බලය රජු වෙත සෘජුව නොතිබූ බවත් රජු විසින්ද තම රාජ්‍ය බලය අත්කර ගන්නා ලද්දේ ඔහු විසින් යටත් විය යුතු වූ හා ජනතාව විසින් ප්‍රමුඛස්‌ථානය ලබා දී තිබූ බුද්ධාගම යන ජීවමාන බලවේගයෙන් වූ බවත් බුද්ධාගම, රාජ්‍ය හා ජනතාව අතර තිබූ මෙම සම්බන්ධය හා එහි පිළිවෙළ සම්බන්ධය විග්‍රහ කිරීමේදී පෙනී යයි. එය අපටම උරුම වූ හා මෙරට ස්‌ථාපිත වූ ව්‍යවස්‌ථාවේ මුලික ආකෘතිය ද ඓතිහාසික වශයෙන් විකාශය වූ අපගේම ව්‍යවස්‌ථා සම්ප්‍රදායද වෙයි.

බුද්ධ ශාසනය යන්නට දේශීය ජල තීරයෙන් සීමාවන සමස්‌ත භූමිය තුළ පිහිටි සියලුම වෙහෙර විහාරස්‌ථාන ඇතුළු බෞද්ධාගම රට තුළ ස්‌ථාපිත කොට ක්‍රියාත්මක කිරීමෙහිලා දායක වන හා අවශ්‍ය වන සියලු ස්‌ථාන හා ආයතනද සියලුම භික්‌ෂුන් වහන්සේලාද අයත් වෙයි. සත්‍ය වශයෙන්ම ඊට භික්‌ෂු භික්‌ෂුණි උපාසක උපාසිකා යන සියල්ලම ඇතුළත් විය යුතුය. ඒ අනුව රටත් බුද්ධ ශාසනයත් ආරක්‌ෂා කොට පෝෂණය කිරීම රජු වෙත ජනතාව විසින් පිරිනමා තිබූ පරම වගකීම හා යුතුකම වේ. එම යුතුකම ඉටුකිරීමේදී මෙරට භෞමික අඛණ්‌ඩතාවය හා රාජ්‍යයේ ඒකීයත්වය රජු විසින් අනිවාර්යයෙන්ම ආරක්‌ෂා කරගත යුතු වෙයි. රජු වෙත පැවැරී තිබූ මෙම යුතුකම හා වගකීම රජු විසින් රටත් ජනතාවත් රැකගැනීම පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම දක්‌වා පුළුල් වන ආකාරයෙන් අරථ නිරූපණය කළ හැකිය.

එබැවින් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබා දීමටත් බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත්, ඒකීය රාජ්‍ය ආරක්‌ෂා කිරීමටත් රජය යටත් කරවන වත්මන් ව්‍යවස්‌ථාවේ ඇතුළත් කර ඇති 2 හා 9 වන වගන්ති අප රටටම ආවේණික වූ හා මෙරට වසර දෙදහසකට අධික කාලයක්‌ පැවති හා රට, ජනතාව හා සංස්‌කෘතිය ආරක්‌ෂා කරන ලද ව්‍යවස්‌ථාවේ මූලික පදනම දමා ඇති වගන්තීන්ය. ඒ අනුව එම වගන්ති හා එයින් පනවා තිබෙන සදාතනික නියමයන් වෙනස්‌ කිරීමට හෝ ඉවත් කිරීමට (ජනමත විචාරණයකින් පවා) කිසිම ආණ්‌ඩුවකට හෝ නායකයෙකුට අයිතියක්‌ හෝ හැකියාවක්‌ නොමැති බවද අප විසින් අවධාරණය කරගත යුතුය. රටේ අනාගතය ද පැවැත්ම ද අනන්‍යතාවය ද අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්‌ෂිත වීම සහතික වන්නේ ද එම මූලික සිද්ධාන්තවලින් පමණක්‌ බවද වටහා ගත යුතු වේ. එබැවින් 1978 ව්‍යවස්‌ථාවේ පනවා ඇති 2 වන හා 9 වන වගන්ති නිරුපද්‍රිතව තබාගැනීමට කැපවීම බෞද්ධ භික්‌ෂුවගේ මෙන්ම ජනතාවගේ ද වගකීමයි.

2015 ජනාධිපතිවරණයට තරගකිරීමේදී වත්මන් ජනාධිපතිතුමා විසින් පැහැදිලිවම ප්‍රකාශ කරන ලද්දේ එම වගන්තීන් ඇතුළු ජනමත විචාරණයකින් පමණක්‌ වෙනස්‌ කළ හැකි අන් කිසිදු වගන්තියකට කිසිදු සංශෝධනයකදී අත නොතබන බවය. එසේ වුවද 2016 ජනවාරි 9 දින පිහිටුවීමට යෝජිත ව්‍යවස්‌ථාදායක සභාවට පෙර සඳහන් සියලු වගන්තින් ඉවත්කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ නව ව්‍යවස්‌ථාවට ඇතුළත් කිරීමෙන් වැළකී සිටීමට ඉඩ ලැබේ. එවැන්නක්‌ සිදුවුවහොත් එමගින් ශ්‍රී ලංකාවේ අන්‍යතාවයට ද රටේ හා ජනතාවගේ ආරක්‌ෂාවටද භෞමික අඛණ්‌ඩතාවට ද රටේ අනාගතයට ද දේශීය බෞද්ධ සංස්‌කෘතියටද පිළියම් යෙදිය නොහැකිවූ බරපතල අන්තරායක්‌ සිදු වේ.

එසේ හෙයින් ගරු ජනාධිපතිතුමා විසින් ජනතාව වෙත ජනාධිපතිවරණයේදී දුන් පෙරොන්දුව ඉටුකරමින් පෙර සඳහන් වගන්ති නව ව්‍යවස්‌ථාවක්‌ තුළ නිරුපද්‍රිතව ආරක්‌ෂා වන බවට සහතිකයක්‌ ලබා දිය යුතු වෙයි. එසේම නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කිරීමේදී රටේ ඒකීයභාවය ආරක්‌ෂා කිරීමේ හා බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමේ හා බුද්ධ ශාසනය රැකගැනීමේ රාජ්‍ය යුතුකම සහතික කරන ප්‍රකාශයක්‌ අගමැති විසින් ද ලබා දිය යුතු වෙයි. එම සහතිකය ලබා දෙන තෙක්‌ කිසිදු ව්‍යවස්‌ථා සංශෝධනයකට සහය නොදෙන බවට වූ පූර්ව කොන්දේසියක්‌ සියලුම දේශ හිතෛෂී මන්ත්‍රීන්වරුන් විසින් ඉදිරිපත් කළ යුතු වේ. එය මාතෘ භුමිය වෙනුවෙන් ඔවුන් විසින් ඉටුකළ යුතු වගකීමකි.

ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී දේශිය භික්‌ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම සහභාගි කරවාගත යුතු වන බවත් බටහිර ආභාෂය හා චින්තනය පමණක්‌ අත්කරගෙන සිටින (ඊනියා) විශේෂඥයින්ට පමණක්‌ ශ්‍රී ලංකාවට උචිත ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ කිසිදු සුදුසුකමක්‌ හැකියාවක්‌ හෝ අයිතියක්‌ නොමැති බවද රජය විසින් අවබෝධ කරගත යුතු වේ.

-නීතිඥ කණිෂ්ක විතාරණDivaina
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions