10/01/2014

සියලූ විජාතික කුමන්ත‍්‍රණ බෞද්ධ ජන මනස විනාශ කිරීමටයි

කතෘ:යුතුකම     10/01/2014   6 comments
විවිධ කතිකාවත් නිර්මාණය වෙමින් තිබේ. එහෙත් ජාතික වශයෙන් වැදගත් වූ ජාතියට ඉදිරි මඟ කියාදිය හැකි සැබෑ ජාතික කතිකාවතක් මෙතෙක් ගැඹුරු ලෙස සංවාදයකට පාත‍්‍ර වී නොමැත. තිස් වසරක ත‍්‍රස්තවාදය පරාජය කළ ද එහි විපුල ඵලය රටට හා ජාතියට ලබාදීමට තවමත් අසමත් වී ඇත. එවන්  තත්ත්වයක් තුළ පාලකයින් තීරණ තීන්දු ගැනීමේදී හිස අහිමි කවන්ධයක් සේ ක‍්‍රියා කරන පසුබිමක ජාතියට අහිමි වූ එහි සැබෑ ෙඓතිහාසික උරුමය හා ඉදිරි ගමන පිළිබඳව ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ මැයෙන් රචිත කෘතිය මගින් මේ මොහොතේ අත්‍යවශ්‍යම ජාතියට ඉදිරි මඟ කියා දිය හැකි කතිකාවතක් නිර්මාණය කර තිබේ. මේ එම කෘතිය පුද ලැබූ අමරපුර ශ‍්‍රී  සද්ධර්ම වංශික නිකායේ අනුශාසක, රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද නාහිමියන් සමග එම කෘතිය සම්බන්ධයෙන් හා කාලීන වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මුරගල කරන ලද සම්මුඛ සාකච්ඡුාවකි.

මුරගල :- ගුණදාස අමරසේකර සාහිත්‍ය සූරීන් විසින් ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ නම් ඔහුගේ නවතම නිබන්ධය පසුගිය දා  එළි දක්වනු ලැබුවා. මේ ග‍්‍රන්ථය අපගේ වත්මන් සමාජයට වැදගත් වන්නේ  කෙලෙසද? 

මේ කෘතිය අපි අධ්‍යයනය කරන විට අපට හොඳින් පෙනෙනවා, අමරසේකර සූරීන් තමන් කාලයක් තිස්සේ ඉදිරිපත් කරපු අදහස සංවිධිත විදියට මෙමගින් ඉදිරිපත් කරන බව. ‘‘අමතක වූ උරුමය: කවන්ධයට හිසක්’’ කෘතියෙන් ඔහු පෙන්වා දෙනවා, අපේ රටේ ජාතික නායකත්වයන් විසින් හිසක් නොමැතිව ශරීරයෙන් පමණක් ක‍්‍රියා කරපු ආකාරය වගේම ඒ මගින් රට මුහුණ දී ඇති මහා ව්‍යසනය පිළිබඳව. ඒ වගේම එමගින් ගැලවීම උදෙසා ජාතික නායකත්වය විසින් හා රටේ පුරවැසියා විසින් ගත යුතු ක‍්‍රියාමාර්ගයන් පිළිබඳවත් අමරසේකර සූරීන් මෙහිදී සිහිපත් කරනවා. මෙහිදී ‘‘බුදු සමය සහ බෞද්ධ  සභ්‍යත්වය’’ පිළිබඳව කරපු විග‍්‍රහය අරගෙන බැලූවොත් එතුමාගේ දර්ශනයේ පැතිකඩ මනාව හඳුනාගන්න පුළුවන්. මෙතනදී ඉතාමත් වැදගත් කරුණක් තමයි අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව අමරසේකර සූරීන්ගේ විග‍්‍රහය. ධර්මපාලතුමා පිළිබඳව නිවැරදිම විග‍්‍රහය පළමුවරට ජාතියට ඉදිරිපත් කළේ ඔහු බවයි, මගේ හැ`ගීම. සමාජය ධර්මපාලතුමා පිළිබඳව නොදැකපු කාරණා දකින්නට එතුමා සමත් වුණා. ඒ වගේම මෙතනදී අශෝක අධිරාජ්‍යයා පිළිබඳව කරන විග‍්‍රහයත් අපට ඉතාම වැදගත්. අශෝක රජු අධිරාජ්‍යයෙක් විදියට නම් කළාට අපි මේ දකින වර්තමාන අධිරාජ්‍යවාදී ස්වරූපයකින් නෙමෙයි ඔහු ක‍්‍රියා කළේ. ධාර්මිකත්වය පදනම් කරගෙන තමයි ඔහුගේ දැක්ම ගොඩනැගුනේ. එය කොතරම්ද කිවහොත් අශෝක රජු තමන් බෞද්ධයෙක් කියලාවත් පෙනී සිටියෙ නැහැ. ඔහු පිළිබඳව අධ්‍යයනයක් කරන  ඕනෑම කෙනෙකුට පෙනෙනවා, ඔහු බෞද්ධයෙක් බව. නමුත් ඔහු සාමාන්‍ය සමාජය වෙත ධර්මය ගෙනියනකොට ධර්මය, ධර්මය විදියට මිසක් වර්තමානයේ කරනවා වගේ බෞද්ධ ලේබලය අලවගෙන අරගෙන ගියේ නැහැ. මොකද සාමාන්‍ය සමාජය විවිධ විෂම අදහස්වලින් සමන්විතයි. ඒ නිසා බෞද්ධ ලේබලය අලවාගෙන ගියා නම් එය සාර්ථක වන්නේ නැහැ. අශෝක අධිරාජ්‍යයාගේ ධර්මවිජය ප‍්‍රතිපත්තිය සාර්ථක වුණේ ඒ අනුගමනය කරපු උපාය මාර්ගික ප‍්‍රතිපත්ති අනුවයි. එමගින් ඔහු බලාපොරොත්තු වුණු තමා දිනාගැනීම වගේම සමාජය දිනාගැනීම, රටේ අභ්‍යන්තර, බාහිර දියුණුව වර්ධනය කිරීම, සමාජයේ ධාර්මිකත්වය ගොඩ  නගා ගැනීම, සහ ජනතාවගේ සුබ සාධනය, ආර්ථික, අධ්‍යාපන, සදාචාර ආදී වූ ජනතාවගේ දියුණුව ඇති කිරීමට ඒ මගින් හැකියාව ලැබුණා. අපේ රටේ පාලකයන් සැලකිල්ලට නොගත් නමුත් අප අසලම පවතින මේ කරුණු පිළිබඳව අමරසේකර සූරීන් පාලකයින්ට හා සමාජයට මනාව සිහිකැඳවනවා කිව්වොත් නිවැරදියි. ඒ නිසා සමස්තයක් විදියට මේ කෘතිය අපේ පාලකයින් අත්පොතක් විදියට භාවිත කළයුතු එකක් ලෙසයි මා දකින්නේ.

මුරගල:- ඔහු එම ග‍්‍රන්ථයෙන් ප‍්‍රකාශ කරනු ලබනවා, ලාංකික ජනයා උපන්ගෙයි සමාජවාදීන් බව. බුදු  දහමට අනුව සිය ජීවන දර්ශනය හැඩගස්වා ගන්නා අප ජන සමාජය කෙරෙහි මෙවැනි නිගමනයකට  එළඹීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද?

සැබෑ සමාජවාදියා තමයි බුදු හාමුදුරුවෝ. වර්තමානයේ අපි සමාජවාදී කියලා කල්පනා කරන්නේ  මාක්ස්ලෙනින් ලේබලය ගහගෙන. ඒත් සැබෑ වශයෙන්ම බෞද්ධ දර්ශනය තුළ තමයි සමාජයවාදය  පවතින්නේ. උදාහරණයක් විදියට සංඝ සමාජය දිහා බලන්න. සංඝ සමාජයේ පරිස්තුතිය, ව්‍යාප්තිය,  ව්‍යුහය පිළිබඳව සලකලා බලන්න. එතන තමයි නියම සමාජවාදය තියෙන්නේ. පොදු පරිහරණය සංඝ  සමාජයේ ඉහළින්ම අගය කරන්නක්. කාටවක්වත් කිසිදෙයක් පිළිබඳව තනි අයිතියක්, පෞද්ගලිකත්වයක් කියන්න බැහැ. බදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා ‘‘සබ්බේ සං සමසංදාතා’’ කියලා. ඒක දේශපාලන දර්ශනයටත් අදාළ කරගන්න පුළුවන්. හැමෝම සැපයට කැමතියි. දුක් විඳින්න කවුරුවත්  කැමති නැහැ. ඒක උන්වහන්සේ ‘‘සබ්බේ සත්තා සුඛ කාමා දුක්ඛ පඨික්කූලා’’ කියල දේශනා කරලා  තියෙනවා. ඒ නිසා අපි හැමෝගෙම වගකීම තමයි දුක් විඳින සත්වයින් ඉන් ගලවාගැනීම. බුදු හාමුදුරුවො  කළේ ඒකයි. මේ ධර්ම මාර්ගය කියාදුන්නේ, මේ ආර්ය මාර්ගය කියාදුන්නේ දුකින් ගැලවීමටයි. කිසිදු බේදයක් නැතිව සමස්ත ලෝකවාසී සත්වයන් දුකින් මුදවාළීම තමයි බෞද්ධ  දර්ශනයේ අන්තර්ගතය. එහි කිසිදු වර්ගීකරණයක් බේදයක් නැහැ. හැමෝම සමානයි. ඒ නිසා බුදු හාමුදුරුවෝ සැබෑම සමාජවාදියා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම සංඝ සමාජය මගින් ලබාදීපු ආදර්ශය. සමාජවාදයේ මුල්ම හරය තමයි සාමූහිකත්වය කියන්නේ. ඒක සංඝ සමාජයේ ප‍්‍රබලව දකින්න  පුළුවන් කාරණයක්. බෞද්ධ පරිසරය සතු ඒ කාරණා සියල්ල සලකා බලනකොට අමරසේකර සූරීන්ගේ  මතය ඉතාම නිවැරදියි. විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයින්ට සමාජවාදය කියන එක කොහෙන්වත්  ආනයනය කරන්න  ඕන නැහැ. ඒක ඔවුන්ගේ ජීවිතය තුළ උපතේ පටන්ම ගැබ්වෙලා තියෙනවා. කළ  යුත්තේ එය වටහා දී අවදි කිරීම පමණයි. ධර්මපාලතුමා කළේ ඒකයි. සැබෑ බෞද්ධයා සැබෑ  සමාජවාදියෙක් කියලා කිව්වොත් නිවැරදියි. 

මුරගල:- ශ‍්‍රී ලංකාව සමස්ත ලෝකය තුළ සුවිශේෂී වන්නේ බුදු දහමට අනුව එහි ජනයාගේ භාෂාව, රැු කියාව, සමාජ සාරධර්ම ආදී වූ සියලූ අංගයන් හැඩ ගැසීමට ලක් වී තිබීමයි. එහෙත් සියවස් ගණනාවක්  බටහිර ආධිපත්‍යයට නතු වීමෙන් පසුව මේ බිමේ සංස්කෘතියට අනුගත නොවුණු අය අත විලාසිතාවක් බවට  බුදු දහම පත්වෙලා තියෙනවා. මෙම තත්ත්වය පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 

බුදු දහම  කියන්නේ ප‍්‍රදර්ශනාත්මක දෙයක් නෙමෙයි. බුදු දහම කියන්නේ තමන් තුළ සැබවින්ම අවබෝධයක්   ඇති කරගෙන, ජීවිතාවබෝධයකින් ඒ වගේම අපරිමිත වූ මෛත‍්‍රියකින් සහ කරුණාවකින් තමන් කෙරෙහිත්  ලෝකයා කෙරෙහිත් උපනයනය කරගෙන ඒ අනුව තමන්ගේ කල්පනාව හසුරුවාගෙන  තමන්ගේ චර්යා පද්ධතිය දියුණු කරගැනීම. ඒ නිසා තමයි සමාජය තුළ අන්‍යෝන්‍ය වශයෙන්  ඔවුනොවුන්ගේ නිදහස, පොදු දියුණුව පිළිබඳව බෞද්ධයෝ කල්පනා කරන්නේ. එකිනෙකාගේ පොදු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙනවා. ඒවා වෙනුවෙන් කැපවෙනවා.ඔවුනොවුනට වග කියාගන්නවා. අපි  පර පණ නොනසනවා වගේම අනුන්ගේ ජීවිතය ආරක්‍ෂාකරනවා. අපි සොරකම් නොකරනවා වගේම අනුන්ගේ සන්තකය, පොදු දේපළ ආරක්‍ෂා කිරීමේ වගකීම අපිට තිබෙනවා. අපි වැරදි ජීවිතයක් ගත නොකරනවා වගේම සමාජයේ නිවැරදි චර්යාව වර්ධනය කිරීමේ වගකීමත් අපිට තියෙනවා. මේ  නිසා බෞද්ධ දර්ශනය කියන්නේ පොදු සමාජයත් එක්ක එකට බැඳිච්ච එකක්. සමාජයෙන් තොරව  ධර්මයේ සක‍්‍රියතාවයක්, බලාත්මකතාවයක් නැහැ. සතර බ‍්‍රහ්ම විහරණ අරගෙන බලන්න. මෙත්තා,  කරුණා, මුදිතා, උපේක්‍ෂා කියන මේ හැම කරුණක්ම සමාජයත් එක්ක එකට ගැටග ැහිච්ච දේවල්. මේවා  තනි තනියෙන් ක‍්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි අපිට මෛත‍්‍රීය, කරුණාව බලාපොරොත්තු වෙනවා වගේම අපි සමාජයටත් ඒ දේ ලබා දෙන්න  ඕන. ඒව ශ්‍රේෂ්ඨ දේවල් වෙන්නෙ  සමාජයත් එක්ක සිදු කරන ඒ ගැටීමත් එක්ක. එනිසා බුදු දහම කියන්නේ පොදු සමාජ යහපත ප‍්‍රබල  විදියට අගය කරන දහමක්. හැබැයි පස්සේ කාලෙක විවිධ වංචනිකයන් බුදු දහම තමන්ට වාසිදායක  විදිහට ආත්මාර්ථකාමී ලෙස වෙනස් කරන්න, අර්ථකථනය කරන්න කටයුතු කළා. එය ධර්මයේ වැරුද්දක් නෙවෙයි. පුද්ගලයන්ගේ භාවිතාවේ පවත්නා ගැටළුවක්. මේ කාරණයේදී දේශපාලනය විශේෂයි. දේශපාලකයින් තමන්ගේ වාසිය සඳහා ආගම භාවිතා  කරනවා. ඒ ධර්මයේ යහපත වෙනුවෙන්  නෙමෙයි. ධර්මයට තියෙන ජනතාවගේ විශ්වාසය,කැමැත්ත හරහා තමන්ට අවශ්‍ය කාරණා   ඉෂ්ට කර ගැනීමයි ඔවුන් කරන්නේ. ඒ වගේම දැන් ධර්මය සම්බන්ධයෙන් විවිධ අර්ථකථනයන්  දකින්න පුළුවන්. විශේෂයෙන්ම මාධ්‍ය හරහා ගොඩනගපු, පුම්බපු පිරිසක් විසින් සැබෑ බෞද්ධ සභ්‍යත්වය වෙනුවට තමතමන්ගේ විවිධ මතිමතාන්තර පළ කරන්නට පටන් අරගෙන තියෙනවා. මෙතැනදී මාධ්‍ය  උස්සන ආකාරයත් එක්ක ජනතාව ඒ පුද්ගලයා වටා ඒක රාශී වෙනවා. හැබැයි ඒ පුද්ගලයන්ගේ සත්‍ය  ක‍්‍රියාකාරීත්වය හඳුනාගත්තට පස්සේ ජනතාව කළකිරෙනවා. මේ සියල්ලෙන්ම අවසානයේ සිද්ධවෙන්නේ  ධර්මය වෙතින් ජනතාව ඈත් වීම. පිරිසක් අන්ධ භක්තිකයන් බවට පත් වෙද්දී තවත්  පිරිසක් ධර්මයෙන් ඈත් වෙනවා. මේ බොහොමයක් තැන්වල ධර්මය භාවිතා කරන්නේ විලාසිතාවක්  විදිහටයි. ඒ හැම තැනකම මමත්වය, ආත්මාර්ථය තමයි ගොඩනංවන්නේ. ඒක අද විලාසිතාවක් බවට  පත්වෙලා. හැබැයි සැබෑ බුදු දහම ඒක නෙමෙයි. එය මෙරට ජන විඥානය තුළ මුල් බැස ගත්තක්. ඒක  තුළින් අපට කියලා දෙන්නේ මමත්වය නෙමෙයි, සාමුහිකත්වය පිළිබඳවයි. නැතිනම් බුදු හාමුදුරුවන්ටත් තිබුණා තමන් විමුක්තිය අවබෝධ කරගත්තට පස්සෙ ඒක අනුන්ට අවබෝධ කර නොදී සිටීමට. 

මුරගල:- බටහිර රටවල් යටත් කළ බොහෝ ආසියානු - අප‍්‍රිකානු රටවල් ඉතා ඉක්මනින් තමන්ට අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ විනාශ කරගනු ලැබුවා. එහෙත් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම  එසේ කළ නොහැකි වුණා. මෙය මෙසේ වීම පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද? 

ඒ කාරණය තමයි,  ධර්මපාල තුමා, මාර්ටින් වික‍්‍රමසිංහ වගේම ගුණදාස අමරසේකර සූරීන් ඉතා  ගැඹුරින් අධ්‍යයනය කරලා සමාජයට ප‍්‍රකාශ කරලා තියෙන්නෙ. මේ තමයි ජන විඥානය. බෞද්ධ ජන  විඥානය කියන්නේ ඒකට තමයි. මේක තමන්ගේ ජීවන ප‍්‍රතිපදාවක් විදියට ගැනීම නිසා තමයි එහෙම වෙන්නෙ. බුදු හාමුදුරුවො දේශනා කරපු ධර්මය තමන්ගේ ජීවිතය කර ගැනීම නිසා අදටත් ලාංකිකයන්ගේ සභ්‍යත්වය, අනන්‍ය ලක්‍ෂණ විනාශ කරන්න බැරිවෙලා තියෙනවා. නමුත් ඔය කියන  අනෙකුත් රටවල් බලන්න. කොරියාව, බංගලිදේශය, මාලදිවයින, ඉරානය, ඉරාකය වගේ රටවල් දිහා  බලන්න. ඒ හැම එකක්ම බෞද්ධ රටවල් විදියට පැවතුණු ඒවා. රුවන්වැලිසෑයේ මුල්ගල් තබන අවස්ථාවට වැඩිපුරම රහතන් වහන්සේලා වැඩම කරලා තියෙන්නෙ ඉරාක - ඉරාන වලින්. නමුත් අද ඒ රටවල බෞද්ධ මාත‍්‍රයක් වත් නැහැ. ලංකාවට එහෙම කරන්න බැරිවුණා. නමුත් ලංකාවටත් එහෙම වෙන්න  බැරිකමක් නැහැ. එතෙන්ට ගේන්න තමයි මේ හැම කුමන්ත‍්‍රණයක්ම කරන්නෙ. රට බෙදීමේ ව්‍යාපාරය,  අන්‍යාගම් ව්‍යාපාර, නොයෙක් නොයෙක් විජාතික ව්‍යාපාර, සංස්කෘතික ව්‍යාපාර කියන මේ හැම දෙයක්ම ඉලක්ක කරන්නෙ ලංකාවෙ පවතින මේ සුවිශේෂී ජන මනස විනාශ කිරීමට. ඔවුන් දන්නවා ඒ මගින්  පමණක් බව ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන්. හැබැයි තවමත් එය බැරිවෙලා තියෙනවා. ඒ අන්  කිසිවක් නිසා නොවෙයි, අපේ ජනතාවගේ ජන මනස, බෞද්ධ ජන විඥානය විනාශ කිරීමට නොහැකි වීම නිසයි. හැබැයි එවැනි අවදානමක් අප ඉදිරිපිට තිබෙනවා. මේ සමාජයේ පෙළගැසීම, අධ්‍යාපන රටාව,  ආකල්පවල ඇදවැටීම, ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනික රටාව, පරිභෝජන රටාව මේ සියල්ල සලකා බැලූවොත් අවදානම ඉතාම උග‍්‍රයි.

මුරගල:- අතීත යුගවලදී සංඝ සමාජයට රටේ පාලකයන්ට හා සමාජයට විශාල බලපෑමක් කළ හැකිව තිබුණා. නමුත් අද එය තරමක් හීන වී පවතින්නේ. මෙම තත්ත්වයට හේතුව සහ එය වෙනස් කිරීමට කළ  යුත්තේ කුමක්ද? 

රටේ ජනතාවගේ රජ්ජුරුවෝ වගේම සංඝ සමාජයටත් සංඝරාජ මාහිමි කෙනෙක් ඉන්නවා. රජු ජනතාවට  කරන බලපෑම වගේම සංඝ සමාජයට විශාල බලපෑමක් එල්ල කරන්න සංඝරාජ මාහිමියන්ට පුළුවන්. ඒ  බලපෑමම රටේ පාලනයට කරන්නත් පුළුවන්කම තිබුණා. පොළොන්නරු යුගයේ ‘මාහිමි’ කිව්වේ ඒ  පදවියට. දැන් ඒක අපිට අහිමි වෙලා තියෙනවා. අද භික්‍ෂු සමාජයේ බොහොමයක් භික්‍ෂූන් වහන්සේලාට  තමන්ට තිබෙන ගැටළු කියාගන්න තැනක් නැතිවෙලා තිබෙනවා. සංඝ සමාජයේ ඒක මතයක් නැහැ. සමාජ  අර්බුද තබා තමන්ගේ අර්බුදවලටවත් විසඳුම් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවෙලා තිබෙනවා. අතීතයේ මේ තත්ත්වය වෙනස්. මඩිහේ මහ නාහිමි වැනි නාහිමිවරුන් ඉන්න  කාලේ සංඝ සමාජයේ ඒකත්වයක් තිබුණා. එතකොට රටට යම් මතයක් භික්‍ෂූන් ඉදිරිපත් කරනව නම් එය  සංඝ සමාජයේ පොදු මතයක් විදියටයි ඉදිරිපත් කළේ. නමුත් අද එවැන්නක් නැහැ. විවිධ  කණ්ඩායම්වලට, දේශපාලන පක්‍ෂවලට බෙදිලයි, අපි ඉන්නෙ. ධර්මය පිළිබඳ ගැටළුනොතිබුණාට පොදු සමාජ කාරණා වලදී පරස්පරතාවයන් පැවතීම නිසා එක් ප‍්‍රබල මතයක් ඉදිරිපත් කිරීමක් වෙන්නෙ  නැහැ. මේ නිසා තුන් නිකායම තුළ ඒකීයත්වයක් අවශ්‍ය වෙනවා. අපි අදහස් කරන්නේ එක් නායකයකු පිළිබඳව නෙමෙයි. එකඟතාවයක් පිළිබඳවයි. එවැන්නක් පවතිනවානම් අතීතයේ රටට හා  සමාජයට බලපෑම් කිරීමට තිබූ හැකියාව යළි ලබා ගැනීම අසීරු නැහැ. විශේෂයෙන්ම මේ කාරණයේදී  වඩා වැදගත් වෙන්නේ ධර්මය හා විනය පිළිබඳව කල්පනා කරමින් සංඝ සමාජයේ අනාගතය දිහා  බලල ගන්නා තීරණ තීන්දු මේ සඳහා මහා නායක හාමුදුරුවරුන්ට විශාල වගකීමක් තිබෙනවා, අනෙක්  හැමෝටම වගේම. 

මුරගල:- අශෝක අධිරාජ්‍යයාගේ ධර්ම ප‍්‍රචාරණ කටයුත්තේදී ඉතාමත් ඉහළ වාසිය හිමි වුණේ ශ‍්‍රී  ලංකාවට බවයි අපේ හැ`ගීම. එහෙත් බටහිර ආධිපත්‍යයට අප යටත් වුණු දින සිට මෙතෙක් අප ගෙවා දමා  ඇති කාලය තුළ ජාතියක් ලෙස අප මුහුණ පෑ ව්‍යසනයෙන් නැ`ගීසිටීමට අමරසේකර සූරීන් ඉදිරිපත්  කරන නිබන්ධනය කුමන අයුරින් අපට උපකාරී වෙනවාද?

අමරසේකර සූරීන්ගේ මේ කෘතිය තවම  හරියටම සමාජගත වුණේ නැහැ කියලයි මගේ හැ`ගීම. ඒ නිසා මේ පිළිබඳව නිවැරදි කතිකාවක් වහා  ආරම්භ කළ යුතුයි. එතුමා මේ කෘතිය මගින් දක්වන ජාතිකත්වය පිළිබඳ මතය ඉතා වැදගත්. එතුමා  පෝෂණය වුණු සමාජය දෙස බැලූවොත්, එතුමා ඉතාම හොඳ ගැමියෙක්. ඒ වගේම විදග්ධ සමාජය තුළ  පෝෂණය වුණු කෙනෙක්. එනිසා එතුමා සමාජ පරිවර්තනයක් පිළිබඳව අත්දැකීම් ලබාපු ඒවා ගැඹුරින් ගවේෂණය කරපු පුද්ගලයෙක්. ඉන් මුහුකුරා ගිය කෙනෙක්. අමරසේකර  සූරීන්ගේ දර්ශනය පදනම් වෙන්නෙ අනගාරික ධර්මපාල තුමන්ගේ ජාතික  නායකත්වය වගේම  කුමාරතුංග මුනිදාසයන්ගේ ජාතික අනුරාගය පිළිබඳව ගොඩනග පු කරුණු මතයි. ඒ සියල්ල ගැඹුරින්  අධ්‍යයනය කරලා අපේ සමාජය අනාදිමත් කාලයක් තිස්සේ මුහුණ දීපු විපර්යාස සලකලා බලලා  තමයි, එතුමා තමන්ගේ චින්තනය ඉදිරිපත් කරලා තිබෙන්නේ මේ කෘතිය මගින් පමණක් නෙමෙයි, එතුමා ‘‘ගමනක මුල’’ කෘතියේ පටන් ගොඩනංවපු ඒ මතවාදය තවමත් සමාජයේ අවශ්‍ය ප‍්‍රමාණයට සාකච්ඡුාවට  බඳුන්වෙලා නැහැ. එය ඉතාම කනගාටුදායකයි. මෙනිසා දැන්වත් මේ රටේ සියලූම බුද්ධිමතුන් මේ පිළිබඳව කතිකාවතක් නිර්මාණය කළ යුතුයි. එය අද දවසේ ජාතියේම අවශ්‍යතාවයක්. ඒ විතරක් නෙමෙයි, එතුමා ඉතිහාසය තුළ තමන් අතින් වුණු වැරදීම් පිළිගන්නට මැළි වුණේ නැහැ. ඒ නිසයි ‘‘කරුමක්කාරයෝ’’  කෘතිය එතුමා පසු කලෙක ප‍්‍රතික්‍ෂේප කළේ. එය ඉතා ශ්‍රේෂ්ඨ ආදර්ශයක්. ජාතියක අනාගතය ගොඩනැගීම සඳහා එවැනි නිහතමානී ආදර්ශයන් තමයි පදනම් වෙන්නේ. අපි තාමත් මේ මහා  ප‍්‍රාඥයාගේ වටිනාකම හඳුනාගෙන නැහැ. එය ජාතියේ අවාසනාවක්. එවැනි ජාතියකට ඉදිරි ගමනක් නැහැ.  එනිසා වහ වහා මේ තත්ත්වය නිවැරදි කර  ගන්න රටේ බුද්ධිමතුන් ප‍්‍රමුඛ සියලූ දෙනා කටයුතු කළ යුතුයි.

උපුටා ගැනීම මුරගල 

9/25/2014

අනගාරික ධර්මපාල (තුමා) ජාතිවාදී ද?

කතෘ:යුතුකම     9/25/2014   3 comments
ජාතියේ ඉතිහාසයේ දී අපට මුණගැසෙන වීර චරිත අතරින් ඉතා සුවිශේෂී, අපූර්ව චරිතයක් අපි දකිමු. ඒ අනගාරික ධර්මපාල තුමා ය.  එසේ වුවත් එක් පැත්තකින් එතුමන් විසින් සිදු කර ඇති ඓතිහාසික කාර්ය භාරය නිසි ඇගයුමකට ලක් නොවීමත්, අනෙක් පැත්තෙන් (ඉතා ම සුළු පිරිසක් වුවත්) යම් පිරිසක් එතුමන්ට ජාතිවාදී ලේබල ඇලවීමට උත්සාහ කිරීමත් අපගේ කනගාටුවට හේතු වෙයි. අපගේ ජාතික වීරවරයන්ගෙ ලැයිස්තුවට ධර්මපාල තුමාගේ නම ඇතුලත් වන බව සැබෑ ය. වාර්ෂිකව එතුමන් සමරා ගුණ සමරු උත්සව ද පැවැත්වෙයි.  මෙරට බොහෝ ප්‍රදේශ වල එතුමන්ගේ නමින් මං මාවත් ද නම් කර ඇති බව පෙනෙන්නට තිබේ.  මේ එකදු ක්‍රියාවකින් වත් එතුමන් සතු සුවිශේෂී බාවය ඉස්මතු වේ ද? අප විසින් එතුමන් අගය කරනු ලබන්නේ නම් එතුමන්ට ජාතිවාදී චෝදනා එල්ල කරන සුළු පිරිසට අපි කවර පිළිතුරක් ලබා දෙමු ද? ධර්මපාල තුමාගේ 150 වන ජන්ම සංවත්සරය පසු වී දින කිහිපයක් ගත වී ඇතත්, ප්‍රමාද වී හෝ ඒ පිළිබඳ ව කතා කිරීම ඉතා වැදගත් බව අපි අදහස් කරමු. 

ධර්මපාල තුමා සුවිශේෂී වන්නේ ඇයි? එතුමන් සුවිශේෂී චරිතයක් නම්, එතුමන්ට නිසි ඇගයීමක් ලැබී නැතැ යි කියන්නේ ඇයි? එතුමන් ජාතිවාදී ද? නැත් ද? එතුමන් ගැන ඊනියා නැවත කියවීමක් අපි කෙසේ සිදු කරමු ද? මෙම ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දිය යුතු වෙමු. 

යටත් විජිත වාදයේ සංස්කෘතික සංරචකය හඳුනා ගැනීම 
ධර්මපාල තුමා නම් චරිතය අප සමාජයේ බිහි වන්නේ, මෙරට ජාතික ව්‍යාපාරය අරාජිකව පැවති යුගයක ය.  වෙල්ලස්සේ සහ මාතලේ (1818 සහ 1848) නිදහස් සටන් (ඇතැමුන්ට අනුව නම් මේවා කැරලි වන අතර, එසේ වන්නේ ඔවුන් ද ආක්‍රමණිකයාගේ කෝණයෙන් ඒවා දෙස බලන බැවින් විය යුතු ය.) නිර්දය ලෙස මර්දනය කිරීමත්, එම ප්‍රදේශ වල සිංහල නායකයන් සමූල ඝාතනය කිරීමත් නිසා මෙරට සාම්ප්‍රදායික නායකත්වය ඒ වන විට විනාශ වී තිබුණි.  අනෙක් පැත්තෙන්, බටහිර අධ්‍යාපන ආයතන හරහා බිහි වූ උගතුන් හට සමාජ ආධිපත්‍යයක් හිමි වීමත්, පිරිවෙන් අධ්‍යාපනය කඩා වැටීමත් යන කරුණු දෙක හේතුවෙන්, භික්ෂුවගේ සමාජ නායකත්වය ද ගිලිහී තිබුණි. (මේ තත්ත්වය අද ද එසේ ම ය.)  තවත් පැත්තකින්, මිෂනාරි පාසල් හරහා ව්‍යාප්ත කරන ලද බටහිර අධ්‍යාපන රටාවත්, බේබදුකම ඇතුලු දුසිරිත් පෙළත්, ඇඳුම් පැළඳුම් ඇතුලු සංකර ජීවන රටාවත්, මෙරට සමාජය වසා ගනිමින් තිබිණ. (අද වන විට මේවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇත් ද යත්, එසේ වීම ගැටළුවක් දැ යි කෙනෙකු ඇසුවහොත් අපි පුදුම නොවෙමු.)  ධර්මපාල තුමා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලබන්නේ මෙවන් සමාජයක් තුළ ය. ඒ, එකල මෙරට ආර්ථික ආධිපත්‍යය දැරූ, ධනවත් කමින් ඉහලින් ම වැජඹුණු ව්‍යාපාරික පවුලක ය.  මේ නිසා ම අධ්‍යාපනය සඳහා එතුමන් යොමු කෙරෙන්නේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙළේ මිෂනාරි පාසල් වලට ය.  

ආක්‍රමණිකයන්ට මුහුණ දුන් වීර චරිතයෝ මෙරට ඉතිහාසයේ දී ඕනෑ තරම් අපට මුණගැසෙති. ආක්‍රමණිකයා දේශපාලනිකව පලවා හැරීමෙන් පමණක් පරිපූර්ණ නිදහසක් රටට, ජාතියට ලබා දීමට ඔවුන් බොහෝ දෙනෙකුට හැකි විය.  එහෙත් බටහිර යටත්විජිතවාදය වූ කලි ලොව මෙතෙක් බිහි වූ අධිරාජ්‍යවාදයන්ට වඩා වෙනස් වන්නේ එය දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යන සංරචක තුන හරහා ම ක්‍රියාත්මක වීම ය. මුස්ලිම් අධිරාජ්‍යවාදයේ ද මෙම සංස්කෘතික සංරචකය ප්‍රධන තැනක් ගත්ත ද, බටහිර අධිරාජ්‍යවාදය තුළ එය ක්‍රියාත්මක වන්නේ කාටත් හොරා ඉතා සූක්ෂම ලෙස ය.  අනෙක් අතට ධර්මපාල තුමාගේ කාලය වන විට මුස්ලිම් අධිරාජ්‍ය වල බලපෑම මෙරටට එතරම් දුරට දැනී නොතිබිණ. එසේ ම, කැප්පෙටිපොල, පුරන් අප්පු වැනි වීර වරයන්ගේ කාල වල පවා බටහිර සංස්කෘතික බලපෑම එතරම් දුරට ප්‍රබල සාධකයක් නොවුනි.  ධර්මපාල තුමා අපට සුවිශේෂී සහ අපූර්ව වන්නේ මෙම සංස්කෘතික බලපෑම තෙරුම් ගත් මුල්ම නායකයා වීම නිසා ය.  එකල සමාජයේ වූ සංකර ගති ලක්ෂණ සිංහල බෞද්ධ සමාජය වෙලා ගන්නා වූ සංස්කෘතික පිළිලයක් බව එතුමා හඳුනා ගත්තේ ය. එහෙත්, ඒවා පිළිලයක් නොව ලෝක ප්‍රවනතාවක් බව කියන උගත්තු අද වන විට බිහිව සිටිති. ඒ සුද්දන් මෙරට ස්ථාපනය කරන ලද අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ය.  එකල ද, දේශීය නායකයන් ලෙස පෙනී සිටි උගත් ලාංකිකයන්ට මෙම සංස්කෘතික පරිහානිය ගැටලුවක් නොවී ය.  ඔවුන්ගේ එක ම අභිලාශය වූයේ "සුද්දන් විසින් ගොඩ නඟන ලද ලෝකයේ තමන්ට හිමි තැන ලබා ගැනීම" ය.  එසේ වුව ද තමන් ගත යුත්තේ කවර මගක් දැ යි අවබෝධ කර ගැනීමට තරම් අන්තර්ඥානයක් ධර්මපාල තුමාට විය. 

ධර්මපාල තුමාට එදා සිදු වූ අසාධාරණය
සිංහල බෞද්ධයාට සිය ජාතික විමුක්තිය උදා කර ගත හැක්කේ, බෞද්ධ සමාජය ප්‍රතිස්ථාපනය කිරීම තුළින් පමණක් ම බව ධර්මපාල තුමාගේ මතය වූ බව පෙනේ. මෙකල බටහිර අධ්‍යාපනය හරහා බිහි වුනු, ඇතම් විට ආගමින් සැදැහැවත් බෞද්ධයන් වන, එහෙත් ක්‍රියාවෙන් සුද්දන් වීමට ම උත්සාහ කරන පිරිස (ඕල්කට් බෞද්ධයන්- මෙම පිරිස් අද සමාජයේ ද දැකිය හැකි ය. මෙම පිරිස බොහෝ විට ශ්‍රද්ධාවට වඩා තර්කය මත පදනම් වෙති.) දැරූ මතය වූයේ ජීවත් වන සංස්කෘතිය කුමක් වුවත්, ධර්මය පිළිපැද නිවන් දැකිය හැකි බව යි.  උදේට සුදු වතින් සැරසී පන්සල් ගොස්, හවසට සංකර ඇඳුමින් සැරසී බාල් නටා, නිවන් දැකිය හැකි බව සිතන පිරිසකට ධර්මපාල තුමා ගෙන ගිය වැඩ පිළිවෙල කිසිසේත් ම දැරිය හැක්කක් නොවන්නට ඇත.  මේ නිසා ම ඔවුහු අධිරාජ්‍යවාදියාට එරෙහි වීම පසෙක ලා, ධර්මපාල තුමන් සිය සතුරා බවට පත් කර ගත්හ.  එතුමන්ට නිග්‍රහ කිරීම සිය ඒකායන අරමුණ කර ගත්හ. උදාහරණයක් ලෙස ධර්මපාල තුමා සිය ජාතික, ආගමික වැඩ පිළිවෙල හරහා මුදල් වංචා කළ බව කියවෙන පත්‍රිකාවක් "ධර්මපාල අර්බූදය" නමින් එකල මහජනයා අතර බෙදා හැර ඇත. එහෙත් පසුව දැන ගන්නට ලැබී ඇත්තේ, මෙය සර් ඩී.බී. ජයතිලකගේ (මොවුහු ලංකාවේ නිදහස වෙනුවෙන් වැඩ කරන අතරතුර බ්‍රිතාන්‍යයෙන් ම නම්බු නාම් ලැබූවෝ වූහ.) මැදිහත් වීමෙන් බෙදා හරිනු ලැබූවක් බව ය.  අවසානයේ දී සිදුවන්නේ මේ සියල්ලෙන් ම කලකිරෙන ධර්මපාල තුමා, යළි කිසි දිනෙක ලංකා භූමියෙහි නූපදීවා යි ප්‍රාර්ථනා කොට මෙරටින් පිටව යාම යි.

ධර්මපාල තුමාට මෙදා සිදු වන අසාධාරණය

ධර්මපාල තුමාට අද සිදුවන විශාලත ම අසාධාරණය නම්, එතුමන්ට එදා කෙනෙහිලි කම් කළ පිරිස් ජාතික වීරවරයන් ලෙස දක්වන අතර ම, එතුමන් ද එම ලැයිස්තුවේ තවත් එක් අයෙකු ලෙස දැක්වීම ය. ධර්මපාල තුමාගේ චරිතය ගැන කියවෙන බොහෝ අවස්ථාවන් හි දී, එකල එතුමන් හට විඳින්නට වුනු අසාධාරණය යටපත් කෙරෙයි. ඊට හේතුව එකල විසූ කළු සුද්දන්ගේ ව්‍යාජ ප්‍රතිරූපයට හානියක් වනු දැකීමට මෙකල වෙසෙන කළු සුද්දන් දක්වන අකමැත්ත විය හැකි ය.  විශේෂයෙන් ම, පරම විඥානාර්ථවාදියෙකු වූ ස්ටීල් ඕල්කට් තුමා විසින් ශ්‍රී දළදා වහන්සේ ගැන සිදු කර ඇති අපහාසාත්මක ප්‍රකාශයත්, ධර්මපාල තුමා ඊට දැක් වූ විරෝධයත්, සූක්ෂම ලෙස සැඟවීමට බොහෝ අයෙක් උත්සාහ කරති.  එසේ ම, පසු කාලීනව ඕල්කට් තුමා සමග, ධර්මපාල තුමා සහ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් අමනාපයෙන් පසු වූ බව ද අපෙන් සඟවනු ලබේ.  මෙම කරුණු, ඩේවිඩ් කරුණාරත්න, නැසීගිය ආනන්ද ගුරුගේ වැනි වියතුන් විසින් ලියන ලද කෘතීන් වල සඳහන් ය. 

අද ධර්මපාල තුමා ගැන කතා කරන විට, බොහෝ දුරට ඉස්මතු කෙරෙන්නේ බුද්ධගයාව බේරා ගැනීමට එතුමා ගෙන ගිය වැඩ පිළිවෙල පමණි.  එතුමන්ගේ එම මෙහෙය අමතක කළ යුතු බව කීමට තරම් අපි කුහක නොවෙමු.  එසේ ම එතුමන්ගේ අභීත නායකත්වය නොවන්නට බුද්ධගයාව බේරා ගැනීම මෙතරම් සාර්ථකව නොවන්නට ද ඉඩ තිබුණි.  මේ සියල්ලට ම වඩා ඉස්මතු කළ යුත්තේ සුදු අධිරාජ්‍යවාදයේ සංස්කෘතික මුහුණුවරත්, අප ඊට මුහුණ දිය යුතු ආකාරයත්, එහි අනාගත ස්වභාවයත් එතුමන් විසින් හඳුනා ගැනීම ය. මෙහි දී, අප විශේෂයෙන් ම සිහිපත් කළ යුතු වන්නේ අධිරාජ්‍යවාදය අනාගතයේ දී ක්‍රියාත්මක වන අයුරු එතුමන් දුටු අයුරු කියවෙන එතුමන්ගේ සුප්‍රකට ප්‍රකාශය යි. 

"මතක තියා ගනිල්ලා,
කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ බෝ කළාට පස්සෙ යි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො. උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට උගන්නාවි ජාති, ආගම්, භාෂා භේදයක් එපා ය කියලා. දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එක යි කියලා. උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිති ය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි. පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි. උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන කල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න දියසෙන්ලා තිඹිරි ගෙයි දී ම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා. ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

ජාතිවාදී චෝදනාව
ධර්මපාල තුමා සිය දින පොතෙහි තබන ලද සටහනක් වන මෙම ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ, එතුමන් ඒ වන විට හිස ඔසවමින් සිටි බටහිර අධ්‍යාපනය ලත් "කළු සුද්දන්ගේ" පරම්පරාව ගැන නිවැරදි අවබෝධයෙන් පසු වූ බවකි. එහෙත්, අවාසනාවට මෙම ප්‍රකාශය පදනම් කර ගනිමින්, ධර්මපාල තුමා ජාතිවාදියෙකු බව ප්‍රකාශ කිරීමට විකල්ප ගෝත්‍රයේ පිරිස් උත්සාහ දරන අතර  තවත් බොහෝ පිරිසක් ධර්මපාල තුමාට ජාතිවාදී චෝදනාවක් එල්ල වේ ය යන බියෙන් මෙහි අවසන් වගන්ති කිහිපය කපා දමති.  නැතහොත්, මෙම ප්‍රකාශය අදට නොගැලපෙන බව පවසති.  එහෙත්, අද වන විට  එතුමන් එදා පැවසූ සියල්ල සැබෑ වී ඇති බව බොහෝ දෙනෙක් තෙරුම් නොගනිති. 

මේ රට සිංහලයාගේ පමණ ද? 
ධර්මපාල තුමා කියන්න්නේ මේ රට සිංහලයාගේ පමණක් බව ද? සුළු ජාතීන් නමින් හැඳින්වෙන පිරිසට මේ රට අයත් නොවේ ද? සිංහල, දෙමළ, මරක්කල, මැලේ, බර්ගර් සහ වැදි ජනයා ආදී සියලු ජන කොටස් ද, බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි සහ නිර්-ආගමික ආදී සියලු ආගමිකයන් ද මේ රටේ පුරවැසියන් වන බව සැබෑ ය.  මෙම අදහස තව දුරටත් ඉදිරියට ගෙන යමින් අප රට "බහු වාර්ගික, බහු සංස්කෘතික, බහු ආගමික" රටක් බව අයෙක් කියති.  එහෙත්, මෙරට සිංහල බෞද්ධ රටක් බව අපි කියමු.  ඒ, මෙරට බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වීම නිසා නම් නොවේ: සමස්තයක් ලෙස, මෙරට ඉතිහාසය තුළ මෙරටට ම ආවේනික වූ යමක් බිහි වී ඇත් නම් ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වීම නිසා ය.  අදටත් මෙරට දෙමළ ජනයා තම කලා ශිල්ප ආදී අංග ලෙස ගන්නේ දකුණු ඉන්දියාව තුළ බිහි වන ඒවා ය.  මෙරට මුස්ලිම් ජනයා තම සංස්කෘතිකාංග ලෙස හුවා දක්වන්නේ මොනවා ද?  

මෙරට භාවිත කෙරෙන දෙමළ භාෂාව, ඉන්දියාවේ භාවිත වන දෙමළ බසින් වෙනස් වන්නේ ඉතා සුළු වශයෙන් පමණක් වීම, මෙරට එම බස කතා කරන ජනතාවගේ කෙටි ඉතිහාසයට සාක්ෂි දරයි.  එහෙව් තත්ත්වයක් තුළ පවා මෙරට සිංහල බෞද්ධ රටක් නොව බහු සංස්කෘතික රටක් බව කළු සුද්දෝ කියති.  මෙය මෙරට දීර්ඝ සිංහල බෞද්ධ ඉතිහාසය, සෙසු ජන කොටස් වල කෙටි ඉතිහාසයට සම කිරීමක් නොවේ ද?

ධර්මපාල තුමාට කරන ලොකු ම ගෞරවය

අප ඉල්ලා සිටින්නේ සිංහල බෞද්ධ ජනතාවට විශේෂ වරප්‍රසාද ලබා දෙන ලෙස නොවේ; සෙසු ජන කොටස් වලට මෙරටින් පිටව යන ලෙසත් නොවේ.  අප ඉල්ලන්නේ සංස්කෘතියක් ලෙස "සිංහල බෞද්ධ" සංස්කෘතියට මෙරට දී විශේෂ තැනක් ලැබිය යුතු බව ය.  ධර්මපාල තුමාට කරන ලොකුම ගෞරවය වන්නේ වාර්ෂිකව එතුමන්ට පුෂ්පෝපාහාර දැක්වීම නොවේ.  මෙරට ඉතිහාසය තුළ එතුමන් සුවිශේෂී විරුවෙකු වන බවත්, එතුමන් විසින් අවධාරණය කරන ලද සිංහල බෞද්ධ සංස්කෘතියට මෙරට හිමි තැන ප්‍රතිස්ථාපනය කිරීමේ වැදගත්කමත් හඳුනා ගැනීම ය.


-දුලන්ජන් විජේසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/15/2014

ඕල්කොට් බෞද්ධයෝ, වියුක්ත බෞද්ධයෝ සහ සිංහල බෞද්ධයෝ

කතෘ:යුතුකම     9/15/2014   6 comments

ඕල්කොට් ‍බෞද්ධ‍යෝ කවුද?

ඕල්‍‍කොට් බෞද්ධ‍යෝ යන ‍යෙදුම අපි නිතර භාවිතා කරමු. සැබැවින්ම ඕල්‍ ‍කොට් ‍බෞද්ධ‍යෝ යනු කවුද? අප වටහා ගන්නා ආකාරයට නම් ඕ‍ල්‍ ‍කොට් බෞද්ධ‍යෝ යනු ආගමින් ‍බෞද්ධ වූ නමුත් සංස්කෘති‍යෙන් ක්‍රිස්තියානි වූ පිරිස්ය.

‍මෙහිදී ‘ආගම’ යනු යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති ආගම නම් සංකල්පය වේ. බුදු දහම ආගමක් හෝ දර්ශනයක් (එයද යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍යේ ඇති දර්ශනය යන සංකල්පය) නොවන අතර එය දහමකි (දරා ගන්නා, අනුගමනය කරන, පිළිපදින ප්‍රතිපදාවකි. ධර්මය දරා ගන්නවා යන යෙදුම එන් නේ එබැවිනි). බුදු දහම ආගමක්ද දර්ශනයක්ද කියා වාද කරන ‍බොරු පඩියන් කරන්‍නේ බටහිර සංකල්ප ඇසුරින් බුදු දහම යනු කුමක්දැයි ‍තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. බුදු දහම එසේ ආගමක් හෝ දර්ශනයක් වූවිට එය ජීවිතයෙන් වියුක්ත වෙයි. බුදු දහම (අඩුම තරමින් සිංහලයන් අතර ඇති බුදු දහම) එසේ ජීවිතයෙන් වෙන් වූ දෙයක් නොවේ. වෙනම ජීවිතයක් (spiritual life) ද නොවේ. ජීවිතය හා බැදුනකි. අප මෙහිදී බුද්ධාගම යන වදන වරින් වර යොදා ගත්තද එය බටහිර චින්තනයේ 'ආගම' යන අර්ථයෙන් නොවන බව සැලකිය යුතුය.

ඕල්කොට් බුද්ධාගමේ ප්‍රාරම්භකයා ඕල්කොට් තුමා ‍ලෙස සැලකිය හැකිය (ඕල්කොට් තුමා ආරම්භ කළ නාමික බෞද්ධ පාසල්වල බොහෝ රැස්වීම් පැවැත්වෙන්නේ ඉංගිරිසියෙනි). පසු කාලීනව නාගරික ‍ඉහළ මධ්‍යම පාන්තිකයන් අතර ප්‍රචලිත වූ ‍මෙය අද වන විට නාගරික ‍මෙන්ම ග්‍රාමීය මැද පන්තියටද ව්‍යාප්ත වී ති‍බෙනු දැකිය හැකිය. ඕල් ‍කොට් බෞද්ධයන් ගෙන් අති විශාල පිරිසක් එජා පක්ෂයට ඡන්දය දීමද අහම්බයක් ‍නො‍වෙයි. එසේම ඕල්කොට් බෞද්ධයන්ට ජාතිකත්වය වහ කදුරු වැනිය. බුදු දහම ජාතිකත්ව‍යෙන් වෙන් කළ යුතු යැයි ඔවුහු අපට කියති. උහු කිසි දිනක බටහිර ‍දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික යටත්විජිතවාදයට එරෙහි ‍නොවන අතර බටහිර රටවල් ‘සාධාරණ’ ලෙසද දකිති. ඉංග්‍රීසි‍යෙන් කථා කිරීම, බටහිර සිරිත් විරිත් අනුකරණය කිරීම ඕල් ‍කොට් බෞද්ධයන් ගේ මහත් ප්‍ර‍මෝදයට ‍හේතු ‍වෙයි. එ‍හෙත් උහු බුදු දහම ආගමක් ලෙස අදහති. එ‍මෙන්ම එහි ඇති දාර්ශනික පැත්ත මතු කර දක්වති. සාමාන්‍ය ජනයා සිදු කරන ආමිස පූජා ආදිය දෙස ඕල් ‍කොට් ‍බෞද්ධයන් ‍ගේ වැඩි කැමැත්තක් නැත් තේය. ඔවුහු ‘ප්‍රබුද්ධ’ බෞද්ධ‍යෝ වෙති. ඕල්කොට් බෞද්ධයන්ට අනුව බුදු දහම ‍දේශපාලනයට සම්බන්ධ ‍‍නොවිය යුතු අතර භික්ෂූන් වහන්‍ ‍සේලා ජාතිකත්ව ‍හෝ දේශපාලන මත ‍නොදැරිය යුතුය.

එසේම විශ්වීය බුද්ධාගමක් ගැනද ඕල් කොට් ‍බෞද්ධ‍යෝ කථා කරති (ඔවුන් ‍‍නොකියන් නේ ‍මේ කියන විශ්වීය බුද්ධාගම ඇත් තේ ක්‍රිස්තියානි සංස්කෘතියක බවය)
මේ සියල්ල ඕල්කොට් ‍බෞද්ධයන් හදුනා ගැනී‍මේ ලක්ෂණ ‍වෙයි.


ඕල්කොට් ‍බෞද්ධයන් ‍ගෙන් වි‍යුක්ත ‍බෞද්ධයන් විකාශනය වූ ආකාරය


කෙ‍සේ වුවත් මෑතක සිට ඕල්කොට් ‍බෞද්ධයන්ගෙන් කැඩුණු වෙනම උප කුලකයක් විකාශනය වනු දැකිය හැකිය. අප ‍මේ ‍බෞද්ධයන් වියුක්ත ‍බෞද්ධයන් (abstract Buddhists) ලෙස හදුන්වමු. අවශ්‍ය නම් ඔවුන්ට වාස්තවික බෞද්ධයන් (objective Buddhists) කියාද කිව හැක්කේ ඔවුහු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව යමින් බුදු දහම තුළ වාස්තවික යථාර්තයක් (objective reality) අදහන හෙයිනි. එනමුදු වාස්තවික (objective) යන්න මෙකල 'යහපත්' දෙයක් ලෙස සැලකෙන බැවින් වියුක්ත බෞද්ධයන් යන යෙදුම වඩා උචිත විය හැකිය.

වියුක්ත ‍බෞද්ධයන්ගේ සහ ඕල්කොට් ‍බෞද්ධයන් අතර ඇති ‍වෙනස කුමක්ද? අප දකින ආකාරයට ඕල්‍ ‍කොට් බෞද්ධයන් වැඩි වශ‍යෙන් ආ‍‍රෝපණය කර ගත් යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක ජීවත් වූ පිරිසකි (මේ අය අති බහුතරයක් ඉංගිරිසියෙන් බටහිර අධ්‍යාපනය ලැබූවන් වීමද සැලකිය යුතු කරුණකි). ඔවුහු බුදු දහම යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ අදහන පිරිසක් බවට පත් වූහ. එ‍හෙත් වියුක්ත ‍බෞද්ධ‍යෝ එසේ නො‍වෙති. ඔවුහු අති බහුතරයක් සිංහ‍ලෙන් ඉංගිරිසි අධ්‍යාපනය ලැබූවන් වෙති. ඔවුන්ට යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘති‍‍ය බාහිරින් අනුකරණය කිරීමට අවකාශ අවමය. ඒ ‍වෙනුවට ඔවුන්ට බටහිර විද්‍යාව පිළිගනිති. එය අනුකරණය කරති. ඒ ඇසුරින් ලෝකය දෙස බලති (නැතහොත් ලෝකය නිර්මාණය කර ගනිති). ඒ ඔස්සේ ඔවුන්ද බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පිහිටා අර්ථකථනය කරති. ඒ අනුව බලන කළ ඕල් කොට් ‍‍බෞද්ධයන් ‍මෙන්ම වියුක්ත ‍බෞද්ධයන්ද බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනය හා සංස්කෘතිය තුළ ග්‍රහණයක කර ගන්නා අතර වෙනස ඇත් තේ ඒ ‍දෙපිරිස ඒ සදහා අවතීර්ණ වන මාර්ගයෙහිය. ඕල් කොට් ‍බෞද්ධයන් බාහිර සංස්කෘතික අනුකරණය මත වැඩි බරක් දක්වන අතර වියුක්ත බෞද්ධ‍යෝ බටහිර දැනුමට වැඩි නැඹුරුතාවක් දක්වති. එ‍හෙත් ‍මේ මාර්ග ‍දෙ‍කෙහිම අවසන් ප්‍රතිඵලය එකම වෙයි. එනම් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අව‍ශෝෂණය කිරීමය.

ඕල්කොට් බෞද්ධයන්ගෙන් වැඩි පිරිසක් බුදු දහම සහ බටහිර විද්‍යාව සන්සන්දනය කිරීමට දැඩි රුචියක් දක්වති. එහෙත් ඒ මතුපිටින් කෙරෙන සන්සන්දනයකි. උදාහරණ ලෙස ඉලෙක්ට්‍රෝන කක්ෂයකින් තව කක්ෂයකට පැනීම පුනරුප්පත්තියට සමාන කරති. ඊනියා (බටහිර) විද්‍යාවේදී භික්ෂූන් වහන්සේලාද බිහිවන්න ඕල්කොට් බෞද්ධ සමාජය තුළය. නමුත් වියුක්ත බෞද්ධයන් බටහිර විද්‍යාවේ (සහ පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ) ආභාෂය ලබා ගන්නේ ඊට වඩා ආකෘතිමය වශයෙනි. බොහෝ විට වියුක්ත බෞද්ධයන් තමන් බුදු දහම බටහිර විද්‍යාවේ (සහ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ) ආකෘතියකට බහාලන බව නොදනිති. පාසලේ සහ විශ්ව විද්‍යාලයේ බටහිර විද්‍යාව සහ බටහිර දැනුම උගත් ඔවුහු වාස්තවික යථාර්තය සහ ද්විකෝටිකය විශ්වාස කරති. ඒ නිසා වියුක්ත බෞද්ධයන් බුදු දහම දෙස යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තුළින් බැලීම බොහෝ විට අවිඥාණිකව සිදු වන්නකි. කෙසේ වෙතත් ඕල්කොට් බෞද්ධයන්ගේ මතුපිටින් කෙරෙන සන්සන්දන වලට වඩා වියුක්ත බෞද්ධයන්ගේ ආකෘති වෙනසින් (වඩාත් නිවරදිව කියන්නේනම් චින්තන වෙනසින්) බුදු දහමට වන හානිය වැඩිය. ඉන් එහි පදනම දෙදරා යයි.

සෑම මිනි‍සෙක්ම යම් සංස්කෘතියට සම්පූර්ණයෙන්ම ‍හෝ අර්ධ වශයෙන් ‍හෝ අයත් ‍වෙයි

ඕනෑම මනුෂ්‍ය‍යෙකු යම් සංස්කෘතියකට ‍හෝ චින්තනයකට සම්පූර්ණයෙන්ම ‍හෝ අර්ධ වශ‍යෙන් ‍හෝ අයත් වෙයි. සංස්කෘතියක් නැති මිනි‍සෙකු සොයා ගත ‍නොහැකිය (සංස්කෘති‍යක් නැතියි කීමද සංස්කෘතියකි. මෙකල නම් සංස්කෘතියක් නැතැයි කියන් ‍නෝ, ඉ‍‍බේම යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අයත් වෙති. ඒ එය ලොව ප්‍රධාන සංස්කෘතිය බවට පත්කෙරී ඇති බැවිනි). ඒ අනුව බලන කල ඕල්කොට් සහ වියුක්ත ‍බෞද්ධයන් සිංහල ‍බෞද්ධ සංස්කෘති‍‍යෙන් බැහැර වී‍මේ සෘජු ප්‍රතිඵලය වන් නේ ඔවුන් ඊට විරුද්ධව මෙරට ඇති ප්‍රධානම තර්ජනය වන (එ‍සේම ‍ලෝක‍යේ මෙකල ඇති ප්‍රධානම සංස්කෘතිය වන) යු‍දෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළත් වීමත්, එය නි‍යෝජනය කිරීමත්ය. එය එ‍සේ‍‍ ‍නො‍වේ යැයි කීමට කිසිවකුට නොහැකිය. එ‍සේ නොවේ යැයි කියන්නන් තමා අයත් වන සංස්කෘතිය කුමක්දැයි අපට තේරෙන සිංහ‍ලෙන් පහදා දිය යුතුය.

ඕල්කොට් ‍බෞද්ධයන් ගැන සා‍පේක්ෂව වැඩි වශයෙන් කථා කෙ‍‍රී ඇති නිසා අප මේ ලිපි‍යෙන් වියුක්ත ‍බෞද්ධයන් ගැන වැඩිපුර කථා කිරීමට බලා‍පොරොත්තු ‍වෙමු. වියුක්ත ‍බෞද්ධයන් ඒ නමින් අප හදුන්වන් ‍නේ ඇයි. යු‍දෙව් ක්‍රිස්තියානි චින්තන‍යේ ඇති වියුක්තය (වෙන් කිරීම - abstraction), වියුක්ත බුද්ධාග‍මේ පදනම ‍වෙයි. එහි ප්‍රධානතම ලක්ෂණය නම් සංස්කෘතියෙන් (සිංහල ‍බෞද්ධ සංස්කෘති‍යෙන්) ආගම (බුදු දහම) වෙන් කිරීමය. එහි එක් කොටසක් ලෙස ගමෙන් පන්සල වෙන් කෙරෙයි. පුද්ගලයායෙන් පවුල වෙන් කෙරෙයි. ඒ සිදු කිරීම සදහා බුදු දහමේ ඇති සූත්‍ර ද ඊට ඔබින ආකාරයට අර්ථ දැක්වෙයි. එ‍ය සිදු කෙ‍රෙන ආකාරය විස්තර ව‍‍ශ‍යෙන් සලකා බැලිය යුතුය.

වියුක්ත බුද්ධාග‍මේ ඇති ගැටලු

වියුක්ත බුද්ධාග‍මේ ඇති පුද්ගලිකත්වය සහ මමත්වයේ වර්ධනය

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පුද්ගලිකත්වය සහ මමත්වය වර්ධනය කිරීම මත පදනම් වෙයි. වියුක්ත බෞද්ධයන් තුළද මේ ලක්ෂණය දැකිය හැකිය. බුදු දහමේ ඇති ආශාවන් අත හැරීම මොවුන් ග්‍රහණය කර ගන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂවය. ඒ අනුව ඔවුන් ආශාවන් අත හැරීම යන්න යොදා ගන්නේ තම පුද්ගලික නිදහස ආරක්ෂා කර ගැනීමට සහ තම යුතුකම් සහ වගකීම් නොතකා හැරීමටය. එනයින් වියුක්ත බෞද්ධයන්ගේ ඊනියා 'අත්හැරීමේ' ප්‍රතිඵලය වන්නේ මමත්වය තුනී කිරීම නොව තම පුද්ගලිකත්වය (සහ එහි ප්‍රතිඵලයක් ලෙස තම මමත්වය) දෙගුණ තෙගුණ කර ගැනීමය. වියුක්ත බෞද්ධයෝ පවුල් සහ සාමාජීය බැදීම් නැති කිරීමට බුදු දහම ආයුධයක් කොට ගනිති. එය හුදෙක් වඤ්චක ධර්මයක්ම වෙයි. කොතරම් නිවන් දකිනවා යැයි හඩ ගෑවද මොවුන් දකින් නිවනක් නම් නැති බැව් සහතිකය.

දරුවන් හැදීම මොවුන්ට අනුව බැදීමක් ඇති කර ගැනුමකි. ඒ නිසා දරුවන් නොහදා හිටිය යුතුය. නමුත් සිංහල බෞද්ධයෝ දරුවන් හැදීම තම යුතුකමක් ලෙස සලකති. බුදු රජාණන් වහන්සේ පවා දේශනා කළේ මිනිසාට ඇති පරම සම්පත දරුවන් බවය. වියුක්ත බෞද්ධයන්ගේ හැසිරීම සමාන වන්නේ සිය (පුද්ගලික) නිදහස ආරක්ෂා කර ගැනුමට දරුවන් නොහදන බටහිරයන්ටය. වෙනසකට ඇත්තේ ඔවුහු බුදුදහමේ ඇති සංකල්ප ඒ සදහා ආධාර කර ගැනුම පමණි.

සංස්කෘති‍යෙන් බුදු දහම වියුක්ත කිරීම සහ සංස්කෘතිය යටත්විජිතවාදය

යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය වියුක්තය මත පදනම් වෙයි. ඒ අනුව යමින් වියුක්ත බුද්ධාගමේදී බුදු දහම බෞද්ධ සංස්කෘතියෙන් වෙන් කෙරෙයි. වියුක්ත බෞද්ධයන්ට අනුව බෞද්ධ සංස්කෘතිය 'මිථ්‍යාවකි'. මෙහිදී අවිඤ්ඤාණිකව වන දෙය නම් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළු වීමය. මන්ද ඕනෑම දහමක් හෝ ආගමක් පැවතීමට යම් සංස්කෘතියක් අත්‍යවශ්‍ය වන හෙයිනි. බුදු දහම සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් කරන විට එය නිරායාසයෙන්ම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇතුළු වීම වැළැක්විය හැකි නොවේ. මේ සංස්කෘතික යටත්විජිතවාදයේ ලක්ෂණයකි. වියුක්ත බුදු දහම බිහි වීමම සංස්කෘතික යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි.

වියුක්ත බුද්ධාගම සහ දැනුම් යටත්විජිතවාදය

වියුක්ත බෞද්ධයෝ අංක එකේ සංස්කෘතික යටත්විජිතවාදියෝ (වඩාත් නිවැරදිව කියන්නේ නම් සංස්කෘතික වහල්ලු) වෙති. මොවුන්ට නැකැත් ශාස්ත්‍රය, සිංහල අවුරුද්ද වහ කදුරු වැනිය. නැකැත් ශාස්ත්‍රය ප්‍රතික්ෂේප කළ විට සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති වෙදකම, ගොවිකම, කලා ශිල්ප ආදී සියල්ලම නිරායාසයෙන්ම ප්‍රතික්ෂේප වෙයි. මන්ද ඒ දැනුම් හැම එකක් සමගම ඒ බැදී ඇති බැවිනි. පුරාණයේ රහතන් වහන්සේලා විසූ සමයේ පවා නැකැත් ශාස්ත්‍රය ගිහි සමාජයේ භාවිතා වූ අතර නැකැත් කෙළිය (අවුරුද්ද) සමරනු ලැබිනි. රහතන් වහන්සේලාට පවා ප්‍රශ්නයක් නොවූ අපේ සංස්කෘතිකාංග වියුක්ත බෞද්ධයන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඔවුන්ගේ බෞද්ධකම නිසාද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික වහල්භාවය නිසාද යන්න අපට නම් සක් සුදක් සේ පැහැදිලිය.

අනෙක් අතට මොවුන්ට සිංහල‌ බෞද්ධ සංස්කෘතියේ ඇති දැනුම් මිත්‍යාවක් වී ඇත්තේ බටහිර විද්‍යාව පරම සත්‍යයක් සේ සලකන නිසාද? (දැනුම් යටත්විජිතවාදයද සංස්කෘතික යටත්විජිතවාදයේම කොටසක් වෙයි. ) බුදු දහමට සපුරා පටහැනි වාස්තවික යථාර්තයක් පසුපස යන බටහිර විද්‍යාව සරණ යන මොවුන්ට අනුව අද බුද සසුන පිරිහී ඇත්තේ නැකැත් නිසාය. ජ්‍යොතිෂ්‍ය නිසාය. අද අපේ සංස්කෘතිය මෙන්ම මෙරට බුදු සසුනද පිරිහී ඇත්තේ බටහිර සංස්කෘතික යටත්විජිතවාදයෙන් අපේ සාරධර්ම බිද දමා ඇති නිසා මිස අන් කිසිවක් නිසා නොවේ. අද අපේ ඊනියා බුද්ධිමතුන්ට කර්මය සහ පුනරුප්පත්තියද පිළිගැනීමට බටහිර විද්‍යාවෙන් සහතික අවශ්‍ය වන තත්වයකට පත්ව ඇත.
කර්මය සහ පුනරුප්පත්තිය නොපිළිගන්නා නාමික බෞද්ධයන් බොහෝ පිරිසක් බටහිර විද්‍යාව සරණ ගියෝ වෙති. ඒ බව නොකියා කොහේවත් ඇති ජ්‍යොතිෂයකට තඩි බෑමෙන් වන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයට අප තව තවත් යට කිරීමය. එමගින් අපේ සාරධර්ම පද්ධතිය තව තවත් දුර්වල කිරීමය.

අනෙක් අතට අපේ පැරැන්නන් ජ්‍යොතිෂ්‍ය වැනි දැනුම් අවශෝෂණය කර ගත්තේ බුදු දහමට පටහැනිව නොයන ආකාරයටය. ග්‍රහ අපල කර්ම විපාක ලෙස අර්ථ දක්වන්නේ සිංහලයන් අතර ඇති ජ්‍යොතිෂයේ පමණි (මෙය කිසිසේත් බුදු හාමුදුරුවන්ගේ අභිඥා ඥාණයට අභියෝග කිරීමක් නොව හුදු සාපේක්ෂ වූ සම්මුති දැනුමක් පමණි) . එසේම අපල වලට බෝධි පූජා හෝ සතුන් නිදහස් කිරීමට කියන්නේද අපේ ජ්‍යොතිෂයේ පමණි. මේ සියල්ලම මිනිසුන් අතර ශ්‍රද්ධාව සහ මෛත්‍රිය වැඩි කිරීමට දායක වෙයි. වියුක්ත බෞද්ධයන්ට මේවා නොපෙනෙයි. ඔවුන්ට බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අතර ඇති සහ සම්බන්ධය දැකිය නොහැකිය. බුදු හාමුදුරුවන් එකල දඹදිව තිබූ ලෞකික විද්‍යා විවේචනය කළේ එයින් නිවනට ආධාරයක් නොවන බැවිනි. එහෙත් දඹදිව පැවති ජ්‍යෙතිෂ්‍යයත් සිංහලයන්ගේ නැකැත් ශාස්ත්‍රයත් සංස්කෘති දෙකක ඇති දැනුම් පද්ධති දෙකකි. ඒවායේ අරමුණුද වෙනස් වෙයි. මෙකල බටහිර විද්‍යාව මෙන් දැනුම් අධිපතිභාවයක් එකල නොපැවතුනු නිසා එකම දැනුම් පද්ධතිය වුවද එක් එක් සංස්කෘතිවලදී වෙනස්කම්වලට භාජනය විය. එකල බටහිර විද්‍යාව තිබුණේනම් බුදු හාමුදුරුවන් තිරශ්චීන විද්‍යා ලැයිස්තුවේ අංක එකට එය දමනු ඇත. මන්ද නිවන තබා මුළු ලෝකයම එයින් විනාශ මුඛයට ඇදගෙන යන බැවිනි. (එහෙත් එයද සිදුවීමට නොහැක්කේ බටහිර විද්‍යාව සහ සංස්කෘතිය මුල් බැසගත් සමාජයක, ලෝකයක බුදු කෙනෙකුන් බිහිවීමටද ඉඩ ඇහිරෙන බැවිනි)

උදාහරණයක් ලෙස පැරිණි සිංහල ගොවිතැනහි නැකැත් සහ කෙම් ක්‍රම මගින් කෘමි උවදුරු වළක්වා ගැනීමේ දැනුමක් විය. වියුක්ත බෞද්ධයන්ට අනුව මේවා 'මිත්‍යා දෘෂ්ටි' වෙයි. සිංහල බෞද්ධයන්ගේ දැනුම් පද්ධති කිසිවිට ලෞකික මිත්‍යා දෘෂ්ටිවලට හසු නොවේ. නමුත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිපදවන දැනුම නම් පැහැදිලිවම ලෞකික මිත්‍යා දෘෂ්ටි දහයම දරන සංස්කෘතියකට සාපේක්ෂව නිපදවූ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයන්ට ඒ දැනුම සම්‍යක් දෘෂ්ටියක්ද? බටහිර මනෝ විශ්ලේෂකයන් මනස යනු මොළයේ නිර්මාණයක් යැයි කියන විට හෝ හැගීම් යනු හුදු රසායන ප්‍රතික්‍රියා කියන විට ඒ සම්‍යක් දෘෂ්ටියක් වේදැයි වියුක්ත බෞද්ධයන් අපට තේරුම් කර දිය යුතුය. එසේ නොකරන්නේ නම් ඒ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ වහලුන් බව ඔප්පු වෙයි.

පෙර කී ලෙස කෙම් ක්‍රම යොදා ගත්තේ ප්‍රාණඝාතයෙන් තොරව ගොවිතැන් කිරීමේ අරමුණ ඇතිවය. ඒවායින් ඵල ලැබීමට නම් ශීලයක පිහිටිය යුතු වෙයි. එනම් බුදු දහමේ එන කර්මය පුනරුප්පත්තිය වැනි මුලික සංකල්ප වලට එකගව නිපදවා ගත් දැනුමකි එය. වියුක්ත බෞද්ධයන් හෙළා දකින මෙබදු දැනුම් ඊනියා මිත්‍යා දෘෂ්ටි නොව නිවනට අනුබල දෙන සමාජයක තිබූ දැනුමකි. මිනිසා පරිසරයේ කොටසක් ලෙස සලකන සිංහල බෞද්ධ සංස්කෘතියේ තැනුනු දැනුමකි. මිනිසා ලෝකයේ අයිතිකරුයැයි සලකන යුදවේ ක්‍රිස්තියානි සංස්කෘතියට අයිති දැනුමක් නොවේ. නමුත් වියුක්ත බෞද්ධයන් තලු මරන බටහිර ක්‍රිස්තියානි විද්‍යාවෙන් නම් කරන්නේ විෂ රසායන කුඹුරට යොදවා සතුනුත් මරාගෙන තමනුත් මැරීමකි. මරාගෙන මැරීමකි. ඒ එය නිර්මාණය වූයේ කර්මය හෝ පුනරුප්පත්තිය නොපිළිගන්නා මුග්ධ භෞතිකවාදී සංස්කෘතිය වන බැවිනි. එහෙත් වියුක්ත බෞද්ධයන්ට ඒ ප්‍රශ්නයක් නොවේ. ඔවුන් නියෝජනය කරන්නේ කුමන සංස්කෘතියදැයි වටහා ගැනීමට ඒ ප්‍රමාණවත් වෙයි.

අප බටහිර විද්‍යාව මිත්‍යා දෘෂ්ටියක් ලෙස නොහදුන්වමු. මන්ද එසේ හැදින්වීම බුදු දහමේ මිත්‍යා දෘෂ්ටි අර්ථ දැක්වීමට එකග නොවන හෙයිනි. දැනුමක සහ දෘෂ්ටියක වෙනසක් වෙයි. ඕනෑම දැනුමක් යම් දෘෂ්ටියක් මත පදනම් වෙයි. එනයින් බටහිර විද්‍යාව යනු මිත්‍යා දෘෂ්ටි අදහස් ඇති චින්නතයක සහ සංස්කෘතියක (වාස්තවික යථාර්තය හෙවත් ආත්මවාදය, කර්මය සහ පුනරුප්පත්තිය පිළි නොගැනීම) බිහි වූ දැනුමක් බවනම් පවසමු. ඒ දැනුමෙන් ඊට අදාළ සංස්කෘතිය පෝෂණය වන අතර සංස්කෘතියෙන් දැනුමද පෝෂණය වෙයි. එතැන ඇත්තේ චක්‍රීය රටාවකි.

අනෙක් අතට අපේ වැදගත්ම උත්සවය වන සිංහල අවුරුද්ද ප්‍රතික්ෂේප කිරීමෙන් සිදු වන්නේ කුමක්ද? එහි ප්‍රතිඵලය වන්නේ අප ඉබේම යුදෙව් ක්‍රිස්තියානි අවුරුද්ද (ජනවාරි 1දා - ජනේරුව) වෙත ඇදී යාමය. මීලග පරපුර අපේ සංස්කෘතියෙන් ඈත් නොවත්ද? සංස්කෘතියක් නැතිව මිනිසෙකුට ජීවත් විය නොහැකි නිසා ඒ දරුවන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට ඇදී යාම වැළැක්විය නොහැකිය. (ආදරවන්තයන්ගේ දිනයේ සිල් ගැනීමට ඊට නැති වැදගත්කමක් ලබා දීමකි). සංස්කෘතියෙන් ක්‍රිස්තියානි වූ පුද්ගලයකුට ආගමින්ද ක්‍රිස්තියානි වීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි. එය පරම්පරා කිහිපයක් යන විට සිදු විය හැකි දෙයකි. වියුක්ත බෞද්ධයක් දැන හෝ නොදැන සේවය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික යටත්විජිතවාදයටය.

වියුක්ත බෞද්ධයන් තමන් මුල් බුදු සමය අනුව කටයුතු කරතැයි (බෞද්ධ මූලධර්මවාදීන්) කියා ගනිති. එහෙත් උහු බුදු දහම තම අවශ්‍යතාවයට අනුව අර්ථ දක්වා ගනිති. එක් උදාහරණයක් නම් නැකැත් ආදිය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් යොදා ගන්නා තර්කයයි. ඒනම් 'සීලබ්බත පරාමාසය' ට ඒ අයිති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. එහෙත් බොහෝ ථෙරවාද හාමුදුරුවන්ට අනුව සීලබ්බත පරාමාසයට අයිති වන්නේ 'නිවන් දැකීමේ අරමුණින්' විවිධ ශීල වෘත සහ විද්‍යාවන් අනුගමනය කිරීමය. ගෙපලක් කැපීමට හෝ අවුරුදු සැමරීමට නැකැතක් බැලීම සීලබ්බත පරාමාසයට අයත් නොවෙයි. එහෙත් ඒ බව නොකියා කොලේ වහලා ගැහීමට වියුක්ත බෞද්ධයෝ සමර්ථ වෙති. බුදු දහම වැරදියට අර්ථ දක්වනවා (පෘථග්ජන සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අර්ථ දක්වා ගන්නේ තම තමාට සාපේක්ෂවය. ඊනියා 'සත්‍ය' අර්ථ දැක්වීමක් නැත. ඇත්තේ නම් ඒ වාස්තවික යථාර්තයක් වන අතර එනයින් ආත්මවාදයට හසු වෙයි). වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව එදිනෙදා ජීවිතයේ බටහිර විද්‍යාව යොදාගෙන යම් යම් කාර්යයන් සිදු කිරීමද සීලබ්බත පරාමාසයට අයිති විය යුතුය. ජ්‍යොතිෂ්‍යයද සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ දැනුමක් වෙයි. වියුක්ත බෞද්ධයටන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ ඒ දැනුම මිස බටහිර විද්‍යාවේ දැනුම නොවේ. තිරිසන් සතුන් දහස් ගණනින් ඝාතනය කර වධහිංසා පමුණුවා නිපදවන බටහිර (ක්‍රිස්තියානි) වෛද්‍ය විද්‍යාවේ බෙහෙත් බීම හෝ ඉන්ජෙක්ෂන් විද ගැනීම ඔවුන්ට ප්‍රශ්නයක් විය නොහැකිය. එසේම මනස යනු මොළයේ රසායන ප්‍රතික්‍රියාවලින් නිපදවෙන මිරිගුවකැයි කියන බටහිර (මනසක් නැති) මනෝ විශ්ලේෂණය ඔවුන් විසින් කිසි දිනෙක විවේචනය කරනු අප අසා නැති.

සියලුම දැනුම් මිත්‍යා වෙයි. ඊනියා සත්‍ය දැනුමක් නැත. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ තම සංස්කෘතියට සහ ඉන්ද්‍රියන්ට (මනසද ඉන්ද්‍රියකි) සාපේක්ෂවය. මිනිසුන් දැනුම නිර්මාණය කරන්නේ අවිද්‍යාව නිසාය. එහෙත් සමහර දැනුම් තමාගේත් අන්‍යයන්ගේත් විනාශය පිණිස හේතු වෙයි. නිවනෙන් මනුෂ්‍යයන් ඈත් කරන්නේ වෙයි. මිත්‍යාදෘෂ්ටික පදනමක් මත නිපදවූ බටහිර විද්‍යාව සහ බටහිර දැනුම එවැනි දැනුමකි. නූතන පරිසර අර්බුදය මෙන්ම ගුණධර්ම පිරිහීමද එහි ප්‍රතිඵලයකි. සිංහලයන් අතර වූ වෙදකම, ගොවිතැන ආදී දැනුම් එසේ නිවනෙන් බැහැරව යන දැනුමක් නොව නිවන අරමුණ කරගත් සමාජයක සංස්කෘතියක ගොඩ නැගූ දැනුමකි. නිවනට ආධාරවන 'පහසුකම් සලසන' දැනුමකි.

වියුක්ත බුදු දහම සහ සාමාන්‍යකරණය (generalization)

වියුක්ත බුද්ධාගමට සාමාන්‍යකරණය හුරුපුරුදුය. එය ඔවුන්ට ලැබෙන්නේ බටහිර විද්‍යාව අනුකරණයෙනි. උදාහරණයක් ලෙස බටහිර විද්‍යාවේ එන ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ගනිමු. (ගුරුත්වාකර්ෂණය කියා 'දෙයක්' නැත. ඇත්තේ වස්තු එකිනෙක ආකර්ෂණය වීම පැහැදිලි කරන ගුරුත්වාකර්ෂණ ප්‍රවාද පමණි). එය ඕනෑම තැනක ඕනෑම වස්තුවකට එකම ලෙස ක්‍රියාත්මක විය යුතුය (එය එසේ නොවන බව බටහිර විද්‍යාඥයන්ටම නිරීක්ෂණය වී ඇත). කෙසේ වෙතත් බටහිර විද්‍යාව වියුක්තය සහ වාස්කතවික යථාර්තය මත පදනම් වී ඇති බැවින් මේ සාමාන්‍යාකරණය ඊට උරුම වී ඇත.

බුදු දහමේ වියුක්ත ප්‍රවාද නැත. බුදු හාමුදුරුවන් බොහෝ විට ධර්ම දේශනා කළේ ඒ ඒ පුද්ගලයාට උචිත ආකාරයටය. අවස්ථාවට උචිත ආකාරයටය. උදාහරණයක් ලෙස බුදුරජාණන් වහන්සේ පාරිලෙය්‍ය වනයට වැඩියේ ඒ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ වාද විවාද ප්‍රතික්ෂේප කළ බැවිනි. (මේ සිද්ධිය බෞද්ධ කල්ලිවාදීන් භාවිතා කරන්නේ බුදු දහම වාද ප්‍රතික්ෂේප කරන බව සාධකයක් ලෙසය. එනයින් සිය සාමාජිකයන් අන් අය හා වාද කොට කල්ලියෙන් කැඩීමෙන් වැළැක්වීමටය. ඒ ඔවුන්ට වාද කළ නොහැකි බැවිනි). නමුත් බුදුරජාණන් වහන්සේ උපාලි ගෘහපති සහ සච්චක සමග වාද කළහ. බුදුරජාණන් වහන්සේට වාද නැති මුත් ඒ වාද අන් අයගේ යහපත සදහා විය. උපාලි ගෘහපති ඇතුළු බොහෝ දෙනෙක් ඉන් ඵල ලබා ගත්හ. අපිද අද පවා ඒ වාද ඇසුරින් බුදු දහම උගෙන ගනිමු. එබැවින් ඒ ඒ අවස්ථාව සහ පුද්ගලයින් (ප්‍රස්තූතය - context) නොසලකා සූත්‍රවලින් උදෘත පාඨ ගෙන ඒවායින් බටහිර විද්‍යාවේ ඊනියා නියම වැනි නියම සාදා ගැනීම බුදු දහමට විරුද්ධ වෙයි. එමගින් සිදු වන්නේ බුදු දහම වාස්තවිකත්වයට සාමාන්‍යකරණයට හසුවී අර්ථ විකෘත වීමය.

විඤ්ඤාණය ගැන පවා බුදු රජාණන් වහන්සේ සමහර විට සූත්‍ර දෙකක පළ කරන්නේ වෙනස් අදහස්ය. ඒ ඒ අවස්ථාවට අනුකූලවය. විඤ්ඤාණය පිළිපද තරමක් හෝ වියුක්ත අර්ථකථනයක් සාදා ගැනීමට අභිධර්මය ඇවැසි වෙයි. එහෙත් ඒ අර්ථද එක් එක් පුද්ගලයා ගන්නේ තම ඉන්ද්‍රියන්ට සාපේක්ෂවය (මනසද ඉන්ද්‍රියකි). මේ ධර්මයේ ඇති ගුණයකි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි යන්නෙන් කියවෙන්නේ ධර්මය ඒ ඒ පුද්ගලයා තම තම ණැන පමණින් ගන්නා බවය. ඕපනයික යනු තමා තුළට පමුණුවා ගෙන බලන බවය. එවැනි ධර්මයක වාස්තවික ප්‍රවාද ඇති වීමට ඉඩක් නැත. ගුරුත්වාකර්ෂණ ප්‍රවාද ඕපනයික නැත. පුද්ගලයාගෙන් පුද්ගලයාට (හෝ වස්තුවෙන් වස්තුවට) වෙනස්වන ගුරුත්වාකර්ෂණ ප්‍රවදයක් බටහිර විද්‍යාවේ නැත.

තවත් උදාහරණයක් ගනිමු. එක් භික්ෂූන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ අවවාදය වූයේ තමාට වඩා (ගුණයෙන්) උසස් කෙනෙක් ආශ්‍රයට නොලැබුනොත් තනිව සිටින ලෙසය. තමාට වඩා පහත් කෙනෙක් ආශ්‍රය නොකරන ලෙසය. දැන් මෙය වියුක්ත ප්‍රවාදක් කර සියලු දෙනාටම ආදේශ කළහොත සිදු වන්නේ කුමක්ද? කිසිවකුට තමාට වඩා උසස් කෙනෙකු ආශ්‍රය කිරීමට නොහැකි වනු ඇත. ඒ මන්ද යත්, එම උසස් පුද්ගලයා තමාට වඩා පහත් පුද්ගලයකු ආශ්‍රය කිරීමෙන් වැළකී සිටිනු ඇති බැවිනි. ඒ ඒ පුද්ගලයාට කළ දේශනා වියුක්ත ප්‍රවාද කිරීමේ අනතුර මින් පැහැදිලි විය යුතුය. පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමි දෙන උදාහරණයකට අනුව සූත්‍රයනු ඒ ඒ අවස්ථාවේ වෛද්‍යවරයකු දෙන බෙහෙත් තුණ්ඩු වැනිය. එහි අඩංගු වන්නේ අදාළ රෝගියාට ඒ අවස්ථාවට අදාළ උපදෙස්ය (එකම රෝගියාට වුවද එක් එක් අවස්ථාවේ වෙනස් බෙහෙත් තුණ්ඩු නියම විය හැකිය). අභිධර්මය යනු ඒ වෛද්‍යවරයා දැන සිටි වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. බෙහෙත් තුණ්ඩු පමණක් කියවා තමන් වෛද්‍ය ශාස්ත්‍රයේ පරතෙරට ගොස් ඇතැයි හගවමින් වෙදකම් කර නැති ලෙඩ හදන රටේ වෙද්දු මෙකල බහුල වෙති. (බුදු රජාණන් වහන්සේ වදාළ දේශනා පුද්ගල දේශනා, සමූහ දේශනා යනුවෙන් වර්ගීකරණයක්ද ඇත. සූත්‍රයක් අධ්‍යයනය කිරීමේදී මේ පිළිබදවද සැලකිලිමත් වීම අවශ්‍ය යැයි සිතමු)

වියුක්ත බුද්ධාගම සහ කල්ලිවාදය

වියුක්ත බෞද්ධයන් අතර කල්ලිවාදය සහ පුද්ගලවාදය බහුලව දක්නට ඇත. මේ නම් තනිකරම යුදෙව් ක්‍රිස්තියානි ආත්මවාදී සංස්කෘතියට බුදු දහම අවශෝෂණය කිරීමේ විපාකයකි. බුදුරජාණන් වහන්සේගේ අවවාදය වූයේ තමන් වහන්සේගේ ඇවෑමෙන් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සසුනේ ප්‍රධානත්වයට පත් නොවිය යුතු බවය. හුදෙක් ධර්ම විනයම ප්‍රධාන විය යුතු බවය. බුදු දහම අනාත්ම දහමක් වීමද මීට හේතුව වීයැයි සිතිය හැකිය. එහෙත් ටිබෙට් බුදු දහම වැනි බෞද්ධ නිකායවල දලයි ලාමාතුමාට විශේෂ තැනක් හිමි වීමෙන්, පසු කාලීනව පුද්ගලවාද ඉස්මතු වීයැයි සිතිය හැකිය. විශේෂයෙන්ම භාරතයේ ආත්මවාදී හින්දු සංස්කෘතියේ බලපෑම මීට හේතු වන්නට ඇත.

ඒ අයුරින්ම අද වියුක්ත බෞද්ධයෝ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ බලපෑමෙන් බෞද්ධ කල්ලි බිහි කරගෙන සිටිති. මේ කල්ලි වල ක්‍රියාදාමය සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි වල ක්‍රියාදාමය අතර ඇත්තේ ආකෘතිමය සමානකමකි. තම සාමාජිකත්වය දැඩි ග්‍රහණයකට හසු කර ගැනීම එහිලා ප්‍රධාන වෙයි. තම නායකත්වය ප්‍රශ්න කරන්නන් 'පව් කාරයන්', 'මිත්‍යා දෘෂ්ටිකයන්' ලෙස හංවඩු ගැසීම (පව්කාරයාට ගල් ගැසීම) දක්නට ඇත. තම නායකත්වය කියන ඕනෑම දෙයක් ප්‍රශ්න නොකර පිළි ගන්නා අමූලිකා ශ්‍රද්ධාවද ප්‍රකටය. සාමාජිකයන් සිය පවුල්වලින් වෙන් කර තම ග්‍රහණයට ගන්නේ තම දෙමව්පියන් පවා 'අන්ධබාල පෘථග්ජනයන්' බවත්, නිවන් යාමට නම් කල්ලියේ සිටින 'කළ්‍යාණ මිත්‍රයන්' කට්ටිය සමග 'සෙට් වීම' අනිවාර්ය බවත් පවසමිනි. සමහර වියුක්ත බෞද්ධ කල්ලිවල ක්‍රියාදාමය දුටු විට සිහි වන්නේ යෙහෝවාගේ සාක්ෂිකාරයන්ට බෞද්ධ සළුපිළි ඇන්දූ විට සිටින ආකාරයකි.

මේ කල්ලිවාදය බුදු දහමේ මූලික සිද්ධාන්තවලට පටහැනිය. මන්ද එයින් මමත්වය (ආත්මවාදය) වර්ධනය කරන හෙයිනි. එමෙන්ම එය බුදු හාමුදුරුවන්ගේ අවවාදය පිටු දැකීමක්ද වෙයි.

එසේම වියුක්ත බෞද්ධ කල්ලිවාදය තුළ සිය ප්‍රධාන හාමුදුරුවන් හෝ ගිහි නායකයා බුදු දහම 'සොයා ගත්තා' වැනි හැගීමක් ඇත. බුදුරජාණන් වහන්සේට පසු පහළ වූ ප්‍රධානම ශාස්තෘවරයා වැනි අදහසක් වියුක්ත බෞද්ධ අසපුවකට ගිය පසු ඇති වෙයි. ජීවිත පූජාවෙන් ත්‍රිපිටකය රැක ගත් භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් මහත් රාශියකගේ අපරිමිත කැපවීමෙන් මේ ධර්මය අපට ලැබුනු බව වියුක්ත බෞද්ධයන් මහත් පහසුවෙන් අමතක කරති. එවිට අර ප්‍රධාන හාමුදුරුවන්ගේ 'විශේෂත්වය' නැතිවන බැවිනි. අහෝ ! කෘතවේදීත්වයවත් නැත්තන්ට කවර නම් නිවනක්ද?

වියුක්ත බුදු දහම සහ ශීල මදය සහ ධර්ම මදය


වියුක්ත බෞද්ධයන් තුළ දක්නට ලැබෙන තවත් දුර්ගුණයක් නම් ශිලමදය සහ ධර්මමදයයි. මෙසේ වීමට හේතු වී ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති අනුන් පහත් කර තමන් උසස් යැයි හගින ගුණයයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හැම විටම උත්සාහ කරන්නේ අන්‍යයන් 'ශිෂ්ට' (civilize) කිරීමටයි. එයින් හැගවෙන්නේ එම සංස්කෘතියට අයත් නොවන්නන් අශිෂ්ටයන් බවයි. එය කලක් 'white man's burden' ලෙසින්ද හැදින්විනි. අද ඒ වචනය භාවිතා නොවන මුත් එම ක්‍රියාදාමයේ වෙනසක් නැත. ඒ අනුව යමින් වියුක්ත බෞද්ධයෝද තම කල්ලියට අයත් නොවන්නන් 'අන්ධ බාල පෘතග්ජනයන්' ලෙස සලකති. තුමූම මහත් වූ සිල්වන්තයන් යැයි සිතති. මහා ධර්මධරයන්යැයි සිතති (ධර්මධර වීම යැයි මොවුන් සිතන්නේ හැකිතාක් සූත්‍ර – බොහෝ විට තම මතය තහවුරු කිරීමට ආධාරවන සුත්‍ර කෑලි - කටපාඩම් කරගෙන තොරතෝංචියක් නැතිව කියවීමය). අන්‍යයන් දුස්සීලයන්ය. ධර්ම ඥාණයක් නැත්තවුන්ය. අත්තුංකන්සනය හා පාරවම්භනය මොවුන් තුළ ඉහවහා ගොස් ඇත. විශේෂත්වය නම් මොවුන් ඒ සිදු කරන්නේ බුදු දහම යොදාගෙනම වීමය. වෙනත් වචනවලින් කියන්නේ නම් වියුක්ත බෞද්ධයන් කරන්නේ මමත්වය නැති කරනවායැයි කියා තව තවත් මමත්වයම පෝෂණය කිරීමය. (මෙයට ඉංගිරිසියෙන් ඇති කදිම යෙදුමක් නම් spiritual elitism යන්නය)

වියුක්ත බුදු දහම සහ යුද්ධය

වියුක්ත බෞද්ධයන් යුද්ධයට නිරපේක්ෂව විරුද්ධය. එයින් මිනිසුන් මැරෙන නිසාය. ඕල්කොට් බෞද්ධයන්ද යුද්ධයට විරුද්ධ වෙති. යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක ඇත්තකි. එහෙත් ලංකාවේ පැවති යුද්ධය නොකර සිටියානම් තවමත් මිනිස්සු මැරෙති. අනාගත පරම්පරාවලත් මිනිස්සු දහස් ගණන් මැරෙනු ඇත. යුද්ධය කරන චේතනාව මෙහිදී වැදගත් වෙයි. යුද්ධය කරන්නේ මිනිස්සු දුකෙන් ගලවා ගැනීමට නම් ඒ චේතනාව යහපත් චේතනාවක් වෙයි (ගැමුණු රජතුමා යුද්ධ කලේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙනි. බුදු දහම වෙනුවෙන් කිසිවිට යුද්ධ කොට නැතැයි ඕල්කොට් බෞද්ධයෝ කියති). බුදු දහම පැතිරවීමට කිසිවකු යුද්ධ කොට නැති නමුත් බුදු දහම ආරක්ෂා කර ගැනීමට අතීත රජ දරුවෝ යුද්ධ කළහ. අද බුදු සසුනක් ඉතිරි වී ඇත්තේ ඔවුන් එසේ යුද්ධ කළ බැවිනි. ඒ බැව් නොතකා සාම බණ කීම කුහක වතක් වෙයි.

එහෙත් එසේ යහපත් චේතනාවෙන් යුද්ධ කරන විට මිනිස්සු මැරෙති. තුවාල වෙති. ඒ ඒ අවස්ථාවල අකුසල් චේතනාවන් පහල වන නිසා එහිදී අකුසල්ද සිද්ධ වෙයි. ඒ නිසා මෙවැනි අවස්ථාවල පින් පව් දෙකම සිද්ධ වේ යැයි සැලකිය හැකිය. පාරේ සිටින බල්ලෙක් පැන්නීමට ඌට ගලක් ගැසීම මීට සරල උදාහරණයකි. ඇත්ත වශයෙන්ම අපි කරන බොහෝ කර්ම කළු හෝ සුදු කර්ම නොව 'අළු කර්ම' වෙයි. අපි දානයක් දුන්නද අපේ සිත තුළ ප්‍රශංසාවක් හෝ සැප විපාකයක් පිළිබද බලාපොරොත්තුවක් නැතැයි අපට සහතික විය නොහැකිය. කෙලෙස් සහිත මනසකින් පිනක් කලද ඉන් සුළු හෝ අකුසලයක් විය හැකිය. මේ ප්‍රශ්නය නිවන් දකින තුරුම, මනස තුළ කෙලෙස් තිබෙන තුරුම, නිරාකරණය වේයැයි නොසිතමි.

අනෙක් අතට යුද්ධ කිරීම වැනි කාරණා වලදී පුද්ගල විඥාණයට වඩා වැදගත් වන්නේ සමූහ විඥාණයයි. හමුදා භටයෙකු යුද්ධ කරන්නේ තමාගේ පුද්ගලික යහපතක් සදහා නොව සමූහයක් වෙනුවෙනි. එය එක්තරා ආකාරයක පරිත්‍යාගයකි. මමත්වය තුනී කර ගැනීමකි. පින් 'account' එක තර කර ගැනීම සිය මුඛ්‍ය පරමාර්ථය කොට සිටින වියුක්ත බෞද්ධයන්ට වඩා බොහෝ හමුදා සෙබළුන්ගේ මමත්වය අඩුබව සහතිකයෙන්ම කිව හැකිය.

සිංහල බෞද්ධයන් අතීතයේ සිටම යුද්ධය ගැන අනුගමනය කළ ක්‍රමවේදය මේ අනුව පැහැදිලි විය යුතුය. කිසි විට බල තණ්හාවෙන් අන්‍ය රටවල් ආක්‍රමණය නොකිරීමත්, එහෙත් ආක්‍රමණ හෝ කැරලි වලදී රට දැය සමය ආරක්ෂා කිරීමත් ඒ ප්‍රතිපත්තිය වෙයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට එකග වෙයි. මහාවංශයේ මේ ප්‍රතිපත්තිය ඇත. මහින්ද රාජපක්ෂ මහතා මතුකර ගත්තේ මේ ප්‍රතිපත්තියයි. දහසක් අනුකාරකයන් ත්‍රස්තවාදී සංවිධානයක් පැරදිය නොහැකිය යන්න බටහිරයන් අනුව යමින් එක හෙළා කියද්දී එය බොරු කිරීමට ඒ මහතාට හැකි වූයේ මෙරට සංස්කෘතිය අනුව කටයුතු කිරීම නිසාය.

මේ කරුණු කිසිවක් නොසලකා පුහු නිරපේක්ෂ යුධ විරෝධයක් කර තබා ගැනීම යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිතවාදයට කඩේ යාමකි. මන්ද යත් ලංකාවේ පැවති දෙමළ ත්‍රස්තවාදය යුදෙව් ක්‍රිස්තියානි යටත්විජිත‌වාදයේ නිර්මාණයක් වන හෙයිනි. සිංහල බෞද්ධයන් යුද්ධ නොකලොත් ඉබේම දෙමළ ත්‍රස්තවාදය ජය ගන්නා අතර එමගින් සිංහල බෞද්ධ සංස්කෘතිය මෙන්ම ලක්දිව බුදු සසුනද අවසාන වෙයි. වියුක්ත බෞද්ධයන්ද අවසාන වනු ඇත (අගනුවර සිටින වියුක්ත බෞද්ධයන් කීප දෙනකු බටහිර රටවල තම ස්වාමීන් සොයා යනු ඇත). කෙසේ වෙතත් අද යුද්ධයෙන් පසු එහි ප්‍රතිලාභ භුක්ති විදීමට නම් වියුක්ත බෞද්ධයෝ නොපැකිලෙති. එහෙත් ඔවුන් තුළ රණ විරුවන් කෙරෙහි කෘතවේදීත්වයක් නම් නැත. ඔවුන්ට අනුව සෙබළු ඔවුන් මෙන් සිරා කළ්‍යණමිත්‍ර පොරවල් නොව පව්කාරයන් පිරිසකි. මනුස්සකමේ මූලික ගුණයක් වන කෘතවේදීත්වයවත් නැති මොවුන් දකින නිවනක් වෙද්ද?


වියුක්ත බුදු දහම සහ වාස්තවික යථාර්තය

වියුක්ත බුදු දහමේ ඇති ප්‍රධානතම ගැටලුවක්නම් එය බටහිර විද්‍යාවේ ඇති වාස්තවික යථාර්තය කර තබාගෙන යාමය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන නිත්‍ය, සදාතනික වූ දෙවියන් වහන්සේ අපුද්ගලකරණය වීමෙන් බටහිර විද්‍යාවේ වාස්තවික යථාර්තය බිහිවිය. වියුක්ත බෞද්ධයන්ට අනුව බුදු දහම යථාර්තවාදයකි. වියුක්ත බෞද්ධයන් තේරුම් ගන්නා බුදු දහම හරි (පිරිසිදු) බුදු දහම වෙයි. අනිකුත් අය (තිසරණ සරණ ගියත්) මිත්‍යා දෘෂ්ටිකයෝ වෙති. වියුක්ත බෞද්ධයකු සූත්‍රයක් කියවා එය අර්ථ දක්වන ආකාරයත් රහතන් වහන්සේ නමක් සූත්‍රයක් කියවා එය අර්ථ දක්වන ආකාරයත් එකක්ම වෙයිද? කිසිසේත්ම නැත. මන්ද අර වියුක්ත බෞද්ධයා රහත්වී නැති හෙයිනි. නමුත් වියුක්ත බෞද්ධයන්ගේ තර්කයට අනුව නම් අර රහතන් වහන්සේද මිත්‍යා දෘෂ්ටිකයෙක් විය යුතුය. මන්ද උන් වහන්සේ සූත්‍රය තේරුම් ගන්නා ආකාරය වියුක්ත බෞද්ධ කල්ලියක කෙනෙක් එය තේරුම් ගන්නා ආකාරයට (නැතහොත් වියුක්ත බෞද්ධයාගේ මනස program කර ඇති ආකාරයට) වඩා වෙනස් වන හෙයිනි.

බුදු දහමේ වාස්තවික යථාර්තයක් ඇද්ද? මීට පිළිතුරු ධර්මයේ ගුණ‌ දෙකකින් පැහැදිලි කර ගත හැකිය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤොහි ගුණයට අනුව ඒ ඒ පුද්ගලයා ධර්මය ග්‍රහණය කර ගන්නේ තම තම ණැන පමණිනි. එසේම ඕපනයික ගුණයට අනුව ධර්මය තමා තුළට පමුණුවාගෙන බැලිය යුතුය. එනම් ධර්මය එක් එක් පුද්ගලයා ග්‍රහණය කර ගන්නේ තමාට සාපේක්ෂවය. අනිත් අතට එය එක් යථාර්තයක් එක් එක් පුද්ගලයා වෙන වෙනම ග්‍රහණය කර ගැනීමක් විය නොහැකිය. මන්ද එවැනි වෙනස් නොවන යථාර්තයක් පැවතීම අනාත්මයට විරුද්ධ වන බැවිනි.


වියුක්ත බුදු දහම සහ අනාත්මය

වාස්තවික යථාර්තය ආත්මවාදී අදහසකි. එකී යථාර්තය මනසින් ස්වායත්ත වනවා පමණක් නොව නොවෙනස් වන්නකි. බුදු දහම වාස්තවික යථාර්තයක් කර ගැනීම එය ආත්මවාදයකට හිර කිරීමක් වෙයි. එය සිදුවී ඇත්තේ බටහිර විද්‍යාවේ බලපෑමෙනි. ක්‍රිස්තියානි සංස්කෘතියක නිර්මාණය වූ බටහිර විද්‍යාව වාස්තවික යථාර්තය වැනි ආත්මවාදී අදහසක් මත පදනම් වීම පුදුමයක් නොවේ. ප්‍රශ්නය එය බුදු දහමට ඈදා ගැනීමය.

වියුක්ත බුදු දහම සහ බෞද්ධ සා‍පේක්ෂතාවාදය

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි යන්න සාපේක්ෂතාවාදයකි. අවශ්‍ය නම් ඊට බෞද්ධ සාපේක්ෂතාවාදය යැයි කිව හැකිය. එසේ සාපේක්ෂව ග්‍රහණය කර ගන්නා ධර්මය යනු කුමක්ද? සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැව් බුදු දහමේ මූලික අදහසකි. මෙහි අනිත්‍ය ආදී වචන සංකල්ප මෙන්ම සංකල්ප නොවන ලෙසද යොදාගත හැකි බව නලින්ද සිල්වා මහතා පෙන්වා දෙයි. මන්ද අනිත්‍ය යන්න වෙනස් වීම ලෙස තේරුම් ගත් පමණින් අප නිවන් නොදකින බැවිනි.

අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය සමග ශුන්‍ය යන වචනයද සමහර සූත්‍රයක හමුවෙයි. මහායාන ශුන්‍යතාව යනු මේ ශුන්‍ය ගුණය ආත්මවාදයකට හරවා ගැනීමකි. අපි එය ප්‍රතික්ෂේප කරමු. එනමුත් ශුන්‍ය ගුණය අපට වැදගත් වන්නේ සංකල්පීය ලෝකය ශුන්‍ය බවත් වාස්තවික යථාර්තයක් නැති බවත් එමගින් පැහැදිලි වන හෙයිනි. එනයින් බුදු දහම බටහිර විද්‍යාවේන් තීරණාත්මකව වෙනස් වෙයි. තව දුරටත් බුදු දහමට බටහිර විද්‍යාවේන් චරිත සහතික දීමට තැත් කරන්නන් දෙව්දත් පරපුරෙන් පැවතෙන්නෝ වෙති. බුදුදහම ඊනියා යථාර්තවාදී දහමක් යැයි කියන ඕල්කොට් බෞද්ධයෝ මෙන්ම නූතන බෞද්ධයෝද මීට අයත්ය. (වාස්තවික යථාර්තයක් නැතැයි කීම විසංවාදයකැයි කියන්නෝ රේඛීය චින්තනයක සිතන්නෝ වෙති. චක්‍රීය චින්තනයකදී වාස්තවික යථාර්තයක් නැතැයි කීමද වාස්තවික නොවේ. ඒ ප්‍රකාශය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂ වෙයි)

බුදු දහමේ එන යථාභූතා ඥාණය වාස්තවික යථාර්තයක්ද? අප දකින ආකාරයට නම් ඒ ඥාණය වාස්තවික යථාර්තයක් නැති බව 'ප්‍රත්‍යක්ෂයෙන්' තේරුම් ගැනීමය.

වියුක්ත බුදු දහම සහ ගිහි පැවිදි සම්බන්ධතාව බිඳ වැටීම

දැන් අපි නැවතත් වියුක්ත බුද්ධාගමේ සාමාජීය බලපෑම දෙස බලමු. අපට පැහැදිලිව දිස්වන දෙයක් නම් වියුක්ත බෞද්ධ කල්ලි ගම සහ පන්සල අතර ඇති සම්බන්ධය නැති කිරීමට සවිඥාණිකවම කටයුතු කරන බවය. අසපු (මේ අසපු යන සංකල්පය කිසිම සූත්‍රයක නැත). පාංශුකූලය, බෝධිපූජාව වැනි දේ ප්‍රතික්ෂේප කිරීමෙන් සිංහල බෞද්ධයා සහ පන්සල අතර ඇති සම්බන්ධය දුරස් වෙයි. එවිට බුදු දහම ක්‍රිස්තියානිය මෙන් 'පුද්ගලික දහමක්' වෙයි (එය බුදු දහමේ අවසානය වන්නේ බුදු දහමේ හරයම 'පුද්ගලිකත්වය' – මමත්වය – දියකර හැරීම වන හෙයිනි. එය වර්ධනය කිරීම නොවන හෙයිනි).


බුදු සසුන පැවතීමට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස අයත් වෙති. මේ පිරිස් හතර ගොඩනැගිල්ලක් තැනීමට ගැසූ කණු හතරක් ලෙස සැලකිය හැකිය. ඉන් එක් කණුවක් හෝ ඉවත් කළහොත් ගොඩනැගිල්ල කඩා වැටෙනු ඇත. බුදු හාමුදුරුවෝ කිසි දිනක ගිහියන් හෙළා දැකීමක් නොකළහ. මන්ද බුදු සසුනේ පැවැත්මට ශ්‍රද්ධාවත් ගිහි පිරිසකගේ අවශ්‍යතාව උන් වහන්සේ දුටු හෙයිනි. අනිත් අතට එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව ඒ ඒ පුද්ගලයාට සුදුසු මාර්ග වෙනස් වෙයි. සෑම කෙනෙකුටම පැවිදි වී මහණදම් පිරීමේ හැකියාව ඇතැයි සිතිය නොහැකිය. එසේ වී නම් උන් වහන්සේ අනේපිඩු සිටු තුමාටත් පැවිදි වන්නට උපදෙස් දෙනු ඇත. එහෙත් උන් වහන්සේ එසේ නොකළහ. අනේපිඩු සිටු තුමා ගිහිව හිදිමින් සෝවාන් ඵලයට පත්වී බුදුසසුනට ඉමහත් සේවාවක් කළේය. එතුමාගේ මනසේ ස්වභාවය සහ කර්ම ශක්තිය අනුව සිය ජීවිත කාලය තුළ කළ හැකි උසස්ම සේවාව කරන්නට ඇත. එහෙත් බුදු හාමුදුරුවෝ නන්ද කුමාරයා පැවිදි කිරීමට පියවර ගත්හ. ඒ සදහා උපක්‍රමද යෙදූහ. මේ සියල්ලෙන් පෙනී යන්නේ බුදු සසුනේ පැවිදි වීම කෝකටත් තෛලයක් නොවන බවය. සමහර අයට ගිහිව හිද ගුණ ධර්ම පිරීම වඩා සුදුසු විය හැකිය. ඊට ඒ ඒ පුද්ගලයා සිටින කායික මානසික තත්වය මෙන්ම කර්මයද බලපාන බව සිතිය හැකිය. ඕනෑම කෙනෙක් පැවිදි කිරීමේ ප්‍රතිඵලය වන්නේ ඒ පුද්ගලයාට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වීමය. බුදු රජාණන් වහන්සේට මෙන් අභිඥා ඤාණ මෙකල භික්ෂූන් වහන්සේලාට නැති නිසා කළ හැක්කේ ඒ ඒ පුද්ගලයායේ සිතුම් පැතුම්, මානසික තත්වය, පවුල් පසුබිම ආදිය හදුනාගෙන, අදාළ උපදෙස් දීමය.

මේ ජී‍විත‍යේදීම නිවන් දැකීම සහ හැකි ඉක්මනින් නිවන් දැකීම

වියුක්ත බෞද්ධයන් මෑතකදී හදුන්වා දුන් යෙදුමකි 'මේ ජීවිතයේදීම නිවන් දැකීම' යන්න. හැම දේටම සූත්‍ර පිටකයේ පාඨ උපුටා දක්වන වියුක්ත බෞද්ධයන් මේ පාඨය සූත්‍ර පිටකයේ ඇත්තේ කොතනදැයි උපුටා දැක්වීම යෙහෙකි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධ උපමාවක් නම් 'හිස ගිනි ගත්තෙක් එගිනි නිවන සේ' නිවනට උත්සාහවත් විය යුතු බවය. එය අපි සැවොම අසා ඇත්තෙමු. එය 'මේ ජීවිතයේදී නිවන් දැකීම' හා සමානද? අප කොතරම් උත්සාහ කළත් මේ ජීවිතයේදී නිවන් දකින්නේ යැයි අපට සහතික විය නොහැකිය. අපට කළ හැක්කේ උත්සාහ කිරීම පමණක් වෙයි. සමහර විට කලාතුරකින් මේ ජීවිතයේදී නිවන් දැකීමටද ඉඩ ඇත. සමහර විට ජීවිත ගණනාවකින්, තවත් සමහර විට කල්ප ගණනාවකින් නිවන් දැකීමටද ඉඩ ඇත. ඒ අපේ පාලනයෙන් තොර වෙයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා දඹදිව උන් වහන්සේගෙන් බණ ඇසූ අයගෙන් පවා අඩුම තරමින් සෝවාන් වූයේ කීයෙන් කී දෙනාද? එසේ සෝවාන් වූ සහ නිවන් දුටු අය තම ප්‍රතිපදා පිරීමට පටන් ගෙන ඇත්තේ සමහර අවස්ථාවල කල්ප ගණනකට පෙර සිට බුදුවරුන්ගේ කාලවලය. එතරම් අතිශය දුෂ්කර වූ කටයුත්තක් ආරෝපණය කරගත් වීර්යයකින් හෝ ශ්‍රද්ධාවකින් කළ නොහැකි වෙයි. ශීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම ක්‍රම ක්‍රමයෙන් දීර්ඝ කාලයක් තුළ (බොහෝ විට ජීවිත මහත් රාශියක් තුළ) ගොඩනැගීම අවශ්‍ය වෙයි. ඊට අදාළ හේතු අප දැනටම සම්පූර්ණ කර ඇත්නම් එය අපේ සතුටට හේතු විය යුතුය. එහෙත් තමා පිළබද අධි තක්සේරුවක් ඇති කර ගැනීම අනුවණ ක්‍රියාවකි. එහ හරියට ගහක් යට සිටින මිනිහෙක් බොරුවට ගහ උඩ සිටින්නාක් මෙන් හැසිරෙන්නාක් මෙනි. එයි ඔහුටද අන් අයටද වැඩක් නැතුවා පමණක් නොව ඔහුට සම්මජාතියට ගහට නැගීමටද නොහැකිය. මන්ද ඔහු තමන් ගහ උඩ සිටින බව සිතාගෙන සිටින හෙයිනි.

නිවන් දැකීම අපේ පාලනයට නතු වූවානම් නිවන ආත්මවාදී වෙයි. එනයින් 'මේ ජීවිතයේ නිවන් දැකීම' ආත්මවාදී අදහසකි. එසේම එය වර්තමාන ජීවිතයට අසීමිත වැදගත්කමක් දෙන්නේ 'මේ ජීවිතයේම නිවන් නොදැක්කොත් උඹලා ඔක්කොම විනාශයි. අපායේ තමයි' යන භීතිකාව ඇති කිරීමත් සමගය (මෙය සැබැවින්ම දෙවියන් ගැන විශ්වාසයක් නැති අය අපායේ යනවා යැයි බිය කර තම අනුගාමිකයන් සිර කර ගන්නා ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවල හැසිරීමට සමානය). මේ භීතිකාවට හසුවන අසරණයන් අල්ලේ නැටවීමට වියුක්ත බෞද්ධ කල්ලි අතිශයින් සමර්ථය. සසර බිය හොද නමුත් භීතිකාව නරකය (බිය ක්ලේශයක් බව අප මතක තබා ගත යුතු වෙයි). මන්ද එවිට පුද්ගලයා ඒ බියේ වහලෙක් වන හෙයිනි. මේ භීතිකාවට හසුවී බලෙන් ආරෝපණය කරගත් ශ්‍රද්ධාවකින් පැවිදි වී ගිහි ජීවිතයත් පැවිද්දත් දෙකම අවුල් කර ගත්තෝ අප දැක ඇත. එය බුදු සසුනේ පැවැත්මට කරන හානියක් වෙයි.

අනිත් අතට බුදු දහම අනුපූරක දහමකි. බුදුරජාණන් වහන්සේ මුහුදේ උපමාවෙන් වදාළේ මුහුදු වෙරලේ සිට ගැඹුරු මුහුද දෙසට ක්‍රම ක්‍රමයෙන් යන්නාක් මෙන් ධර්මයද ක්‍රම ක්‍රමයෙන් පුහුණු කළ යුතු බවය. යන්තම් ජබු ගහන එකෙක් අල්ලාගෙන ගොස් පිහිණුම් තටාකයක ගැඹුරට ගොස් දැමුවොත් ඌ දියේ ගිලී මැරෙනු ඇත. එයින් පිහිනීමට උගෙන ගැනීම තබා ජීවිතයත් නැති වෙයි. වියුක්ත බෞද්ධයන්ගේ ව්‍යායාමයද බොහෝ විට ඒ හා සම වන්නේ උහු ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති 'හදිසිය' බුදු දහමට වැද්ද ගැනීම නිසාය. සිංහල බෞද්ධ සංස්කෘතියේ මෙන් නොව ක්‍රිස්තායානි සංස්කෘතියේ කාලය භෞතිකව (නැතහොත් ප්‍රාග් භෞතිකව) පවතින්නකි. බටහිරයන්ට කාලය ගතවීමට මෙතරම් භය වීමත් වෙලාවට -කාලයට – වැඩ කිරීමට මෙතරම් දත කෑමටත් මේ හේතුවක් වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ කාලය ප්‍රඤ්ඤප්තියකි - සම්මුතියකි. පිටරට ගොස් සුද්දන්ට කඹුරන්නන්ට සිංහල බෞද්ධයන්ගේ 'වෙලාවට වැඩ නොකිරීම' තේරුම් ගත නොහැක්කේ ඔවුන්ට මේ කාරණය තේරුම් ගැනීමට තරම් බුද්ධයක් හෝ ප්‍රඤ්ඥාවක් නොමැති බැවිනි. කිසිදු ඉවසීමක් නැති තැන්තාට තපසක් නම් නැති. නිවන් දැකීමට ඇති බොරු හදිසියම නිවනට බාධකයක් වනු ඇති. අවසානයේ වනු ඇත්තේ මානසික රෝග තත්වයකට ඇද වැටීමක් මිස නිවනක් නම් නොවේ. සමස්තයක් වශයෙන් වියුක්ත බෞද්ධයන් බොහොමයකට අවශ්‍ය අනිත් උන්ටත් පවුලේ සියල්ලන්ටත් රටටත් හෙණ ගැහුවත් නිවනට යන express කෝච්චියේ එල්ලී ගොස් හැකි ඉක්මනින් නිවන් දැක තමා අපායට යන එකෙන් ගලවා ගැනීමය. මෙතරම් සක්කාය දිට්ඨියක් තවත් ඇද්ද? මේ දෘෂ්ටියම යමෙක් නිවනෙන් වළකන්නේ වෙයි.

නිවන් දැකීමට උත්සාහවත් වීම‌ නොකළ යුත්තක් යැයි අප නොකියමු. එහෙත් ඒ උත්සාහය ප්‍රඥ්ඥාවත් උත්සාහයක් විය යුතු වෙයි. ඉවසීමෙන් හැඩ ගස්වා ගත් උත්සාහයක් විය යුත්තේය. නැතහොත් ඒ ඉබේම පුද්ගල මූලික තණ්හාවකට හැරෙනු ඇත. වඤ්චක ධර්මයකට මුල පුරනු ඇත. සුප්‍රසිද්ධ භාවනා ආචාර්ය හිමි නමක් වන අජාන් චා හිමි මේ පිළිබදව වදාළ කරුණක ඉංගිරිසි පරිවර්තනය පහත පරිදි වෙයි.

“The very desire to be free or to be enlightened will be the desire that prevents your freedom. You can try as hard as you wish, practise ardently night and day, but if it is still with the desire to achieve in mind, you will never find peace.”


වියුක්ත බුදු දහම සහ ‍බෝධි පූජා, මල් පූජා

වියුක්ත බුදු දහම බෝධි පූජා සහ මල් පූජා වැනි ආමිස පූජා ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ ඇති ආමිස පූජා ප්‍රතික්ෂේප කරයි. නමුත් බුදුහාමුදුරුවෝ කිසි දිනක ආමිස පූජා ප්‍රතික්ෂේප නොකළහ. ඒ ඒවායින් ශ්‍රද්ධාව වැඩෙන බැවිනි. උන් වහන්සේ ප්‍රතිපත්ති පූජාව උසස් බව වදාළ මුත් ආමිස පූජා ප්‍රතික්ෂේප නොකළ බවද මතක තබා ගත යුතුය. මන්ද බහුතර පිරිසක් ප්‍රතිපත්තියට වඩා ආමිසයට සමීප බැවිනි. ආමිසයත් නැති වුවහොත් ඔවුන් බුදු දහමෙන් ඈත් වනු ඇත. අද ප්‍රතිපත්තියට යොමු වූවන් පවා එතැනට එන්නේ ආමිසය හරහාය. වියුක්ත බෞද්ධයන් පවා කුඩා කළ හෝ ඒවාට සහභාගි නොවූයේනම් ඔවුන්ට වියුක්ත බෞද්ධයන් පවා වීමට බැරිවනු ඇති. බුදුහාමුදුරුවන් ජීවත්ව සිටියදී පවා ආනන්ද බෝධිය නමින් බෝධියකට මිනිසුන් පුද සත්කාර කළහ. සිංහල බෞද්ධයන් තම සංස්කෘතිකාංග සකස් කරගත්තේ ශ්‍රද්ධාව වැඩෙන ආකාරයටය. ඒ අනාගත පරපුරටත් ආරක්ෂා කර දීම අපේ පරම යුතුකම වෙයි. නැතහොත් අප සිගාලෝවාද සූත්‍රයේ එන පරපුරෙන් එන උරුම (මේවා ඉඩම් කඩම් නොව පරම්පරාගතව එන සිරිත් විරිත් සහ දැනුමය) ආරක්ෂා කිරීම යන යුතුකම පැහැරහැරි ගුණමකුවන් පිරිසක් වනු ඇත.

වියුක්ත බුදු දහම සහ ක්‍රිස්තියානි මුලධර්මවාදය

වියුක්ත බෞද්ධ කල්ලි සහ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි අතර 'ආකෘතිමය වශයෙන්' බලවත් සමානකමක් ඇත. මේ සියලු කල්ලිවල ඇත්තේ දැඩි මධ්‍යගත පාලනයකි. ප්‍රධානියාගේ හෝ කල්ලියේ මතයට විරුද්ධ මතවාදයක් සංවාදයක් ඇතිවීමට ඉඩ නැත. ඒ සියලු මතවිරෝධතා පව්කාරයාට ගල් ගසන්නාක් මෙන් වලක්වනු ලැබේ. ක්‍රිස්තියානි කල්ලි අපායට යන බව කියා බිය කර සිය සාමාජිකයන් සිය ග්‍රහණයට ගනිද්දී බෞද්ධ කල්ලි කරන්ෙන් බුදු දහම තම අර්ථ දැක්වීමට විකල්පව අර්ථ දැක්වුවොත් නිරයේ යන බව කියා සිය සාමාජිකයන් ග්‍රහණයට ගැනීමය. බුද්ධ චරිතයේ යම් අවස්ථා යොදාගෙන 'බෞද්ධයන් වාද නොකරති' යන වියුක්ත ප්‍රවාදයක් සාදා ගන්නා මොවුන් එමගින් තම සාමාජිකයන් විරුද්ධ මතවලින් ආවරණය කර ඔවුන්ව සිය ග්‍රහණයට ගනිති. මෙසේ වෙනත් අදහස් ඇති අය සමග වාද නොකිරීම ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවලද දක්නට ලැබෙන උපක්‍රමයකි.

මෑතකදී ජනප්‍රිය වූ ලෝක විනාශ කතාවද ක්‍රිස්තියානි කල්ලි මෙන්ම බෞද්ධ කල්ලිද එක සේම භාවිතා කරන්නේ සිය සාමාජිකයන් සහ ජනතාව භීතියකට හසු කර සිය ග්‍රහණයට ගැනීමටය. රේඛීය චින්තයනයක් මත කටයුතු කරන යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ එන ලෝක විනාශය සියල්ලේ අවසානය වෙයි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ එන කල්ප විනාශය (ලෝක විනාශය නොවේ) එවැනි අවසානයක් නොව තවත් කල්පයකට මග පාදන්නකි. සිංහල බෞද්ධයන්ගේ විශ්වයේ ආරම්භයක් හෝ අවසානයක් නැති. එබැවින් ලෝක විනාශයක් ගැන දෙඩවීමෙන් වියුක්ත බෞද්ධ කල්ලිවල යුදෙව් ක්‍රිස්තියානි චින්තනය තවත් තහවුරු කරවයි.

වියුක්ත බෞද්ධයන්ගේ බොරු සෝබන වචන සෙට් එකක්ද ඇත. හාමුරුදුවන් හැදින්වීමට 'ස්වාමීන් වහන්සේ' කියා කීම එකකි. මේ ස්වාමීත්වය හගවන්නේ කාටද? ධර්මයටද? නැතිනම් කල්ලි සාමාජිකයන්ටද? බුදු රජාණන් වහන්සේ හැදින්වීමට නම් 'ස්වාමීනී' යන වචනය යොදා ගෙන ඇත්තේ උන් වහන්සේ ධර්මයට ස්වාමි වූ බැවිනි. සංඝයා වහන්සේ හැදින්වීමට සිංහල බෞද්ධයා 'හාමුදුරුවෝ' සහ 'හිමි' යන වචන තනා ගත්තේ කටවහරට උචිත පරිදි හා ඉහත කාරණයද සැලකිල්නට ගෙනය. එහෙත් වියුක්ත බෞද්ධයන්ට ඒ 'පොෂ්' මදිය. කතෝලික පූජකයන් හැදින්වීමටද 'ස්වාමි' යන වචනය යොදා ගැනීමේ එහි මූලය කොතැනදැයි පැහැදිලි විය යුතුය.

මොවුහු ප්ලේන්ටියක් බීමට යෑමටද 'පින්වත්' යැයි ආමණ්ත්‍රණය කෙරෙති. මේ නම් ව්‍යාජ ආරෝපිත ශ්‍රද්ධාවකි. මෙකී ව්‍යාජය තුළ සිරවීම නිවන් දැකීමට බාධාවකි. ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලිවලද මෙකී ව්‍යාජත්වය ඇත. වියුක්ත බෞද්ධයන් සිංහල බෞද්ධයන්ගෙන් වෙන් වීමට වෙනම පුද පූජාද තනා ගෙන ඇත. කතෝලික සාන්තුවරුන් නැමදීම සිහිපත් කරවන 'සත් බුදු වන්දනාව' එබන්දකි. මේ සියලු 'නූතන' වන්දනා ක්‍රම වලට ආභාශය ලබා ගෙන ඇත්තේ ක්‍රිස්තියානි සහ කතෝලික සංස්කෘතිවලින් වීම අහම්බයක් නොවේ. උහු පිරිත් සිංහලෙන් කියති. මහාවිහාරික භික්ෂූන් වහන්සේලා නිර්මාණය කළ ගාථා වෙනුවට වෙනම කවි සාදාගෙන කියති. වියුක්ත බෞද්ධයන්ගේ අරමුණ සිංහල බෞද්ධ සංස්කෘතියට විකල්ප ලෙස යුදෙව් ක්‍රිස්තියානි බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය කිරීම බව පැහැදිලිය.

වියුක්ත බුදු දහම සහ සූත්‍ර අර්ථ දැක්වීම

පෙර සදහන් කළ පිරිස වියුක්ත බුදු දහමේ සූත්‍ර අර්ථ දැක්වෙන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂවය. කල් නොයවා විපාක දෙන ලෙස අර්ථ දැක්වූ 'අකාලික' යන්න වියුක්ත බෞද්ධයන් අර්ථ දක්වන්නේ කාලයට අනුව වෙනස් නොවන වාස්තවික යථාර්තයක් ලෙසය. ඕපනයික (තමා තුළට පමුණුවා ගෙන බැලීම), පච්චත්තං වේදිතබ්බ විඤ්ඤොහි (තම තම ණැන පමණින් ගැනීම) තුලින් සාපේක්ෂතාවදයක් මතු කරන අතර දහම වාස්තවික යථාර්තයක් ලෙස ගැනීම ප්‍රතික්ෂේප කෙරේ.

මේ මෙතැන, දැන්ම දැකිය හැක යන අර්ථ දෙන 'සන්දිට්ඨික' යන්න 'මේ ජීවිතයේ නිවන් දැකිය හැක' යන ආත්මවාදයකට හරවා ගනිති. බුදු දහමේ සූත්‍ර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව අර්ථ දැක්වීම ඊට කරන විශාල හානියක් වන්නේ එමගින් විසංවාද රාශියකට මුල පිරෙන බැවිනි. සන්දිට්ඨික යන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට සම්බන්ධය. නිවන් දුටු පුද්ගලයා මේ ත්‍රිලක්ෂණය මේ මොහොතේ මෙතැන දකී. මේ ජීවිතයේ නිවන් දැකීමක් ගැන කතාවක් එතැන නැත.

වියුක්ත බුදු දහ‍මේ අභිධර්මය සහ අටුවා ප්‍රතික්‍ෂේප වීම

වියුක්ත බෞද්ධයෝ අභිධර්මය සහ අටුවා ප්‍රතික්ෂේප කරති. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ ඒ බුද්ධ දේශනා නොවීමය. එහෙත් තුන්වන ධර්ම සංගායනාවේ සජ්ඤායනය වූ අනිත් ධර්ම කොටස් පිලි ගැනීමටත් අභිධර්මය පමණක් ප්‍රතික්ෂේප කිරීමට වරමක් වියුක්ත බෞද්ධයන්ට ලැබුනේ දෙවියන් වහන්සේගෙන්ද? අප අද දන්නා සූත්‍ර පිටකයද තුන්වන ධර්ම සංගායනාවේදී සංගායනා වූ සූත්‍ර පිටකය වෙයි. අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නේ නම් මුළු තුන්වෙනි ධර්ම සංගායනාවම ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. එනම් මුළු ත්‍රිපිටකයම ප්‍රතික්ෂේප කිරීමට සිදුවේ. වියුක්ත බෞද්ධයන්ට ඇති ප්‍රශ්නය මේ කිසිවක් නොව බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අනාදිමත් කාලයක පටන් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්ෂව ගොඩ නැගූ දැනුම (අටුවා, ටිකා, ටිප්පණි) ආදිය ප්‍රතික්ෂේප කිරීමය. එමගින් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නව අටුවා ලිවීමය. අද ඔවුන් කරන්නේ ඒ අලුත් අටුවා (අර්ථ දැක්වීම්) ලිවීම මිස අනිකක් නොවේ.

අනිත් විසංවාදය වන්නේ වියුක්ත බෞද්ධයන් අභිධර්මය ප්‍රතික්ෂේප කරමින් තමන් ථෙරවාදීන් යැයිකියා ගැනීමය. මෙය නම් අතිමහත් චෞර ක්‍රියාවක් වෙයි. අනන්‍යතා සොරකමක් වෙයි. ථෙරවාද නම් ගුරුකුලයක් බිහිවන්නේම අභිධර්මය නිසාය. එසේනම් අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නන් ථෙරවාදීන් විය නොහැකිය. ඔවුන් වෙනත් බෞද්ධ ගුරුකුලයක් විය යුතුය.

අභිධර්මය හෝ වෙනත් ධර්ම කොටස් තව තවත් සංවාදයට ලක් කළ යුතුය. තව තවත් අටුවා බිහිවිය යුතුය. එය එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අභිමතයට වන්නක් නොව සාමූහික ක්‍රියාදාමයක් විය යුතුය. පෙර සංගායනාවලදීද කටයුතු සිදු වූයේ ඒ ආකාරයටය. එසේ නොමැතිව කළ යුත්තේ ඒවා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම නොවේ. සූත්‍රවල ඇති සංයුක්ත සහ පුද්ගල කේන්ද්‍රීය දේශනා අනුසාරයෙන් වියුක්ත දැනුමක් ගොඩනගා ගැනීම අභිධර්මයෙන් සිදු කර ඇත. බුදු දහමේ දාර්ශනික පදනමට ඒ ඉතා වැදගත්වේ. මන්ද දහමක් වශයෙන් පැවතීමට නම් සංගතව සංකල්පීය දැනුමක් ඉදිරිපත් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ පදනම නැති කළහොත් බුදුදහම දාර්ශනික කඩා වැටීමකට ලක්වෙයි. එය බුදු සසුනේ පැවැත්මට ඉතා හානිකර වෙයි.

බුදුරදුන් වදාළේ යම් ඉගැන්වීමක් ධර්ම විනියට පටහැනි නොවේනම් ඒ පිළි ගන්නා ලෙසය. උන් වහන්සේ සූත්‍රපමණක් පිළි ගැනීමට කිසි තැනක කියා නැත. උන් වහන්සේ මූලධර්මවාදියකු නොවූහ. අභිධර්මය හෝ වෙනත් දැනුමක් ධර්ම විනයට පටහැනි නොවේනම් ඒ වඩ වඩාත් අර්ථ දක්වන්නේ නම් ඒ යොදා ගැනීම වරදක් නොවේ. එය සිදුවිය යුත්තකි. සූත්‍ර පවා අර්ථ දැක්වෙන්නේ ඒ ඒ සංස්කෘතිවලට සාපේක්ෂව නිසා විවිධ අරුත් ඇති වීම වැළැක්විය නොහැකිය.මේ ගැටලුව විසදීමට යම් සංගත පද්ධතියක් ගොඩ නැගීම අභිධර්මයෙන් සිදු වෙයි.

වියුක්ත බුද්ධාග‍ම සහ බටහිර විද්‍යාව

වියුක්ත බුද්ධාගම බටහිර විද්‍යාවේ ආභාෂය ලැබූවකි. අපි කිසිවිටකත් මෙරට සිටින වියුක්ත බෞද්ධයන් මේ මතවාද නිර්මාණය කළ බව නොසිතමු. වියුක්ත බෞද්ධයන්ට ඒ හැකියාව නැත්තේ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය මත මුල් බැස නැති බැවිනි. ඔවුන් කරන්නේ හුදු අනුකරණයක් පමණි. ඒ මතවාද බටහිරින් ඔවුන්ට ලැබෙන්නකි. භාරතයෙන් බුදු දහම අතුරුදහන් වීමට එය වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට ඒ අවශෝෂණය වීම හේතු විය (ශුන්‍යතාවය, නිර්ගුණ් බ්‍රහ්මන් වැනි සංකල්ප). එසේම අද ලංකාවේ ථෙරවාදය සහ බුදු සසුන අතුරුදහන් වීමට වියුක්ත බෞද්ධයන් විසින් ථෙරවාදය යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කිරීම මෙරට බුදු සසුනේද අවසානය වනු ඇත. මන්ද එවැනි බුදුදහමක් විසංවාද බහුල සංකල්පීයව දුර්වල, අසම්පූර්ණ බුදු දහමක් වන හෙයිනි.

වියුක්ත බුද්ධාග‍මේ යු‍දෙව් ක්‍රිස්තියානි චින්තනය

ඉහත කරුණු අනුව බැලීමේදී පැහැදිලි වන්නේ ඕල්කොට් බුද්ධාගම මෙන්ම වියුක්ත බුද්ධාගමද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට බුදු දහම අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලයකි. ඕල්කොට් බුදු දහම සිංහල බුද්ධාගමෙන් ජාතිය වෙන් කළ අතර වියුක්ත බුදුදහම ඊට පියවරක් ඉදිරියට ගොස් බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කර ඇත. ඕල්කොට් බුදු දහමේ ක්‍රමික විකාශනයක් ලෙස වියුක්ත බුදු දහම හදුනාගත හැක. එහෙත් ඕල්කොට් බුදු දහමත් වෙනම ධාරාවක් ලෙස තව දුරටත් ක්‍රියාත්මක වෙයි.

සිංහල බුද්ධාගම
 
බුදු දහම ඒ ඒ රටවලදී එරට ඇති සංස්කෘතිය හා බද්ධ වෙයි. තායිලන්තයේ ඇත්තේ තායි බුද්ධාගමයි. බුරුමයේ ඇත්තේ බුරුම බුද්ධාගමයි. ලංකාවේ ඇත්තේ සිංහල බුද්ධාගමයි. මෙහිදී සූත්‍ර පමණක් නොව ඒ සූත්‍ර මත බිහිවූ අටුවා ටිකා ටිප්පණි ආදයිත්, සිරිත් විරිත්, සාරධර්ම, භාෂාව සංස්කෘතිය ආදී සමස්තයම සිංහල බුද්ධාගම ලෙස සැලකිය හැකිය.

බුදු දහම එසේ සංස්කෘතිය හා බද්ධ වන්නේ ඇයි? ඊට හේතු කිහිපයක් ඇත. එකක් එය සර්ව බලධාරී දෙවියකු මත පදනම් නොවීමය. ඒ නිසා ඊනියා ලෝක බෞද්ධ සහෝදරත්වයක් ඊට නැත. තායිලන්ත බෞද්ධයන්ගේ ප්‍රශ්නවලට අපි එතරම් මැදිහත් නොවෙමු. ඊට හේතුව මෙසේ සංස්කෘතිය අනුව ථෙරවාදය වුවද එක් එක් රටට ආවේණික වීමය. තායිලන්තයේ ථෙරවාදය සමථ භාවනාවට මුල් තැනක් දෙද්දී බුරුමයේ අභිධර්මය සහ විපස්සනාව මුල් තැනක් ගනී. මේ විවිධත්වය ඒ ඒ රටවල ඇති සංස්කෘතිය මත පදනම් වෙයි. ලංකාව අතීතයේ ථෙරවාද බුදුදහමේ දැනුම නිර්මාණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකිය හැයික. සිංහල බුද්ධාගම එහි නිර්මාණයක් වෙයි. අශෝක බුදුදහම ලංකාවේදී සිංහල බුද්ධාගමක් විය.

අනිත් හේතුව නම් බුදු දහමේ ඇති සහනශීලීත්වයයි. එය යම් සමාජයකට අවශෝෂණය වන්නේ කලින් පැවති සිරිත් වලට අනුකූලවය. බුදු දහම මෙරටට පැමිණීමට පෙර මෙරට පැවති වෘක්ෂ වන්දනාව බුදු දහමට අවශෝෂණය වී බෝධි පූජාව නිර්මාණය විය. යම් හෙයකින් යුදෙව් ක්‍රිස්තියානි ඇහින් ලෝකය දකින වියුක්ත බෞද්ධයන් එකල සිටියේ නම් ගස් ටික කපා දමනු ඇත. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ පසුව එන මතවාදයෙන් කලින් මතය ප්‍රතික්ෂේප වෙයි. බටහිර විද්‍යාවේ දැනුම නිර්මාණය වන්නේත් මේ ආකාරයටය. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියේ එසේ නොවේ. සමහර විට පැරණි මතවාදයට දිගටම පවතී. එහි විසංවාදයක් නැත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය චතුස්කොටිකය මත පදනම් වූ නිසාවෙනි. බුදු දහම පැමිණිමට පෙර පැවති දෙවියන් ඇදහීම තවමත් අප රටේ ඇත්තේ එහෙයිනි. වියුක්ත බෞද්ධයන්ට කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ට එහි අරුමයක් නැත.

අනෙක් අතට සිංහල බෞද්ධ සංස්කෘතිය නිවන් දැකීම සම්බන්ධයෙන් බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් tried and tested සංස්කෘතියකි. අරිට්ඨ මහරහතන් වහන්සේගේ සිට මලියදේව මහරහතන් වහන්සේ දක්වා රහතන් වහන්සේලා බිහිවූයේ මේ සංස්කෘතියේය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ නිවන් දැකීම ඉතාම අමාරු කාරියක් වන්නේ එහි හරයම දැඩි වාස්තවික යථාර්තයකින් වැසී ඇති බැවිනි. එසේම එය දෘඩ ද්විකෝටිකයක් (binarism) මත පදනම් වෙයි. එමනිසා කළ යුත්තේ බුදු දහම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අවශෝෂණය කර එය විනාශ කිරීම නොව සිංහල බුදු දහම රැක ගැනීමය. තව තවත් වර්ධනය කිරීමය.

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය

බුදු දහම සහ බෞද්ධ සංස්කෘතිය අතර වෙනස තවමත් බොහෝ දෙනාට අවබෝධ නොවීම කණගාටුවට කරුණකි. මීට උපමාවක් ගනිමු. බුදු දහම පින්තූරයක් නම් බෞද්ධ සංස්කෘතිය එහි රාමුව වැනිය. මේ දෙක අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. බුදු දහමෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය පෝෂණය වන අතර සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බුදු දහම ආරක්ෂා වෙයි. අද බොහෝ දෙනාට අවශ්‍ය සිංහල බෞද්ධ සංස්කෘති රාමුව කඩා දැමීමය. රාමුවක් නැතිව පින්තූරයක් කල් නොපවතී. අනිත් අතට රාමුව පින්තූරයට ගැලපෙන්නක් විය යුතුය. නැතිනම් රාමුව නිසා පින්තූරය විනාශ විය හැකිය. යුදෙව් ක්‍රිස්තියානි රාමුවට බුදු දහම බලෙන් එබ්බවීමද මෙවැනි ක්‍රියාවකි.

බුදු දහමේ ගිහි පැවදි සම්බන්ධයට වැදගත් තැනක් හිමිවෙයි (මේ දෙපිරිස අතරද ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි) . උපාසක උපාසිකාවන් නැතිව භික්ෂූන් වහන්සේලාටද භික්ෂූන් වහන්සේලා නැතිව උපාසක උපාසිකාවන්ටද පැවැත්මක් නැත. අද වියුක්ත බෞද්ධයන් සිය සුපුරුදු වියුක්තය යොදා ගනිමින් මේ සම්බන්ධය නැති කරති. ගිහියන්ව හෙළා දැකීමෙන් වියුක්ත බෞද්ධයන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? බුදු රජාණන් වහන්සේ පවා කිසිවිටක ගිහියන් හෙළා දැකීමක් නොකළහ. සියලු දෙනාටම පැවිදි වීමටද උපදෙස් නුදුන්හ. උපාසක දිවිය මෙන්ම පැවිදි දිවියද සියලු දෙනාටම එකසේ නොගැලපෙයි. එය අනුපූරකව වැඩිය යුතු ක්‍රියාදාමයකි. සිල්වත් භික්ෂූන් වහන්සේලා මෙන්ම ශ්‍රද්ධාවත් ගිහියන්ද බුදු සසුනේ පැවැත්මට අවශ්‍යය. දෙමව්පියන් ප්‍රාණ ඇපයට ගෙන පැවැදි වීමට අවසර ගන්නා දරුවන් බිහි කරන වියුක්ත බෞද්ධ කල්ලි කරන්නේ බුදු දහම මිනිසුන්ට එපා කරවීමය. ගිහියන් සහ පැවිද්දන් අතර ගැටුමක් ඇති කරවීමය. (මීටද ඔවුන් යොදා ගන්නේ සූත්‍රවල එන එවැනි සිද්ධියක් සාමාන්‍යකරණය කර සියලු දෙනාමට එය යොදා ගැනීමෙනි. නානාත්ත කායා නානත්ත සඤ්ඤා යන්න මොවුන් තේරුම් ගන්නේ කවදාද?). මෙය සංඝ භේදයටද වඩා බරපතල වන්නේ භේදය ඊටත් වඩා පළල් තලයක (එනම් ගිහියන් සහ පැවිද්දන්) අතර ඇති වීමෙනි.

බුදු දහම විවිධ රටවල විවිධ සංස්කෘතිවල බැස ගැනීමට එය සාපේක්ෂතාවාදී සහ අනාත්ම වාදී දහමක් වීමද බලපායි. මේ සියලු කරුණු නිසා එය යථාර්තයකට පටහැනි වෙයි. මේ නිසා ඒ ඒ සංස්කෘතිවලට පහසුවෙන් අවශෝෂණය වීමට එයට හැකිය.

සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය

සිංහල බුද්ධාගමට ජාතිකත්වයද වැදගත් වෙයි. ජාතිය යනු පැහැදිලිවම සම්මුතියකි. සිංහල බෞද්ධ සංස්කෘතිය සහ ජාතිකත්වය අතර ඇත්තේ චක්‍රීය සම්බන්ධයකි. ජාතිකත්වයෙන් සංස්කෘතිය ආරක්ෂා වන අතර සංස්කෘතියෙන් ජාතිකත්වය පෝෂණය වෙයි. මේ කරුණුවලින් සිංහල බෞද්ධ ජාතිකත්වය බටහිර ජාතිකවාදයෙන් (nationalism) වෙනස් වෙයි (ජාතිකවාදයේදී ජාතිය මූල හේතුව වෙයි. යම් පද්ධතියක මුල් එක් හේතුවක් හදුනාගැනීම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික ලක්ෂණයකි. බුදු දහම මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියට නා නා හේතුවාදී වෙයි. තවත් පිරිසක් මේ බටහිර ජාතිකවාදය මත පිහිටා සිංහල බෞද්ධ සංස්කෘතියෙන් බුදු දහම ගලවා සිංහලයන් පටු ජාතිකවාදයකට හිර කිරීමට සැරසෙති. මේ තවත් වියුක්තකරණයකි. මේ පිරිස වියුක්ත බෞද්ධයන්ගේ විලෝමය වන අතර මේ දෙපිරිසෙන්ම වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය කඩා බිද දැමීමය. සිංහලත්වයෙන් තොරව ලක්දිව බුදු සසුනක්වත් බුදු දහමෙන් තොර සිංහලත්වයක්වත් නැත. මේ පිළිබදව වෙනම ලිපියක් ලිවිය යුතුය). ඕල්කොට් බෞද්ධයන් සහ වියුක්ත බෞද්ධයන් සිංහල බුද්ධාගමෙන් ජාතිකත්වය ඉවත් කිරීමට වළි කන්නේ ඇයිදැයි පැහැදිලි වියු යුතුය. එය සිංහල බුද්ධාගමේ ආරක්ෂකයා විනාශ කිරීමට සමානය. ආරක්ෂකයා මිය ගිය විට ආක්‍රමණිකයන්ට ඉතා පහසුවෙන් සිය අරමුණු ඉටුකර ගත් හැකිය. එනයින් බලන කල වියුක්ත බෞද්ධයන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ආක්‍රමණිකයා වෙනුවෙන් කාඩේ යාමකි.

ඉහත සියලු කරුණු සලකා බැලීමේදී ඕල්කොට් බුදු දහම, වියුක්ත බුදුදහම සහ සිංහල බුදු දහම අතර වෙනස පැහැදිලි විය යුතුය. එසේම සිංහල බුදුදහම රැක ගැනීමටද (එය වඩ වඩා වර්ධනය කිරීමත් රැක ගැනීමේම කොටසක් වෙයි), යුදවේ ක්‍රිස්තියානි සංස්කෘතියේ නිර්මාණ වන ඕල්කොට් සහ වියුක්ත බුදු දහමේ ඇති ව්‍යාජත්වයේ සළුපිළි ගැලවීමටත් අප පසුබට නොවිය යුතුය.





- දර්ශන කස්තුරිරත්න  [ජාතික චින්තනයට අටුවාවක් ]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions