10/15/2015

සොඳුරු අදියුරු සකසු ටයිටස් තොටවත්ත

කතෘ:යුතුකම     10/15/2015   1 comment

තොටවත්තගේ එම්මානුවෙල් ටයිටස් ද සිල්වා හෙවත් අප හොඳින් දන්නා හඳුනන ටයිටස් තොටවත්තයෝ වූ කලී සිංහළ සලරුව (Cinema) ලත් අග්‍රගණ්‍යතම සකසුවාණෝ (Editor) යැ. ලෙස්ටර් ජේමිස් පීරිස් සූරීන් ගේ ‘රේඛාව, සන්දේශය’ වැනි එකල පෙරැළිකාරී නවමු සිතුවම්-පටවල සකසුවා වූවෝ ඔහු ය. ලන්ඩනයේ, පයින්වුඩ් චිත්‍රාගාරයෙන් (Pinewood Studio) චිත්‍රපට සංස්කරණය හදාළ ඔවුනට චිත්‍රපට කර්මාන්තයේ ශිල්පීය ක්‍රමවේද පිළිබඳ ව තුබුණේ අසාමාන්‍ය භාවිත ඥානයෙකි. 50/60 දසකවල අන්තර්ජාතික සලරූ උළෙල කිහිපයකට මැ මෙ රට චිත්‍රපට සමඟ ගිය නියෝජිතයාණෝ ද ටයිටස්හු ය.

තම වෘත්තිය චිත්‍රපට සංස්කරණය වූ නමුත් 60 දසකයේ අග භාගයේ දී ටයිටස්හු චිත්‍රපට අධ්‍යක්ෂණයට බටහ. ‘චණ්ඩියා, කවුරු ද හරි?, හාරලක්ෂයේ මංකොල්ලය, මරු සිරා, හඳයා’ යන සදා ස්මරණීය සිතුවම්-පටවල අධ්‍යක්ෂවරයා වූවෝ ඔහු ය. ඔවුන් ගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කුසලතාව ගැනැ අමුතු වර්ණනා අවශ්‍ය නැත. අන්තර්ජාතික සලරූ සම්මාන උළෙලෙක දී සම්මාන ලැබූ පළමු සිංහළ සිතුවම්-පටය වූයේ ඔවුන් ගේ ‘හඳයා’ ය. දේශීය චිත්‍රපට රසිකයා ගෙන් ද ඔවුනට උත්තරීතර සම්මාන හිමි විය. ඔවුන් ගේ චිත්‍රපටවල ආ ‘මී වදයකී ජීවිතේ, කවුරු ද කවුරු ද දැන් ලොක්කෝ, තැටිය මැද්දෙ කළු කරාපු, උපන් හදවියේ ’ වැනි ගීත අද වුව දනන් මුවැ රැව් දේ.

සිංහළ ළමා සාහිතයේ ඇසි-දිසි කලාවේ පිය පදවිය ද නිතරගයෙන් මැ ටයිටස්හුට හිමි ය. ඒ හුදෙක් ම පළමු සිංහළ ළමා සලරුව වූ ‘හඳයා’ නිර්මාණය කළ නිසා නො වේ. ජාතික රූපවාහිනිය සැබැවින් ම ජාතික ආයතනයක් වූ සමයයේ, එහි හඬ කැවීම් අංශයේ පළමු ලොකු මහතා වූයේ ටයිටස් සූරීන් ය. එකල තෙල දසුනේ (Tele Vision) නිර්මාණය වූ සුවිශිෂ්ට සැකිලිරූ (Cartoons) සියල්ල ඔවුන් ගේ අසමසම පරිකල්පනයේ ප්‍රතිඵල යැ. ජාතික රූපවාහිනිය ඉතා ප්‍රථමික මට්ටමෙකැ පැවැති ඒ අවදියේ, සැකිලිරූ වැඩසටහනක් සිංහළයට නඟන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. රුපවාහිනී සංස්ථාවේ දී සිදු කැරුණේ පිටපත් සිංහළයට පරිවර්තනය කිරීම හා හඬ නළුවන් පුහුණු කිරීම පමණි. හඬ කැවීම සඳහා රජයේ චිත්‍රපට ඒකකයට යා යුතු වියැ. ගීත පටිගත කරන ලද්දේ ගුවන් විදිලි සංස්ථාවේ දී ය. මේ සියලු කොටස් එකලස් කිරීමේ හැකියාව පමණි, රූපවාහිනියේ තුබුණේ. මේ සා දුෂ්කරතා මධ්‍යයේ නිමැවුණු ‘දොස්තර හොඳහිත, පිස්සු පූසා, හා හා හරි හාවා, ගලිවරයන් ගේ සුවිසැරිය, හසරැලි රසාර, සුරඟන කතා කරළිය, මල්ගුඩි දවසැ, ඔෂින්’ ආදිය ඔහු ගේ නාමය අමරණීයත්වයට පත් කළ නිර්මාණ ය.

ලංඩනයේ දී අධ්‍යාපනය ලැබූවකු වූ නමුත් ටයිටස්හුට තුබුණේ පුදුමාකාර දේශීය චින්තනයෙකි. හේ තම නමේ තුබූ පරංගි වාසගම අතහැරැ සිංහළ පෙළපත් නාමය භාවිත කෙළේ ය. ඉංගිරිසි සැකිලිරූ කතා සිංහළයට නැඟීමේ දී ඔහු යෙදූ නම්වලින් ද ඒ සිතුම් මහිමය විශද වේ. Doctor Do Little ඔහු අප වෙත සමීප කෙළේ ‘දොස්තර හොඳහිත’ යනුවෙනි. දොස්තර ගේ සතුරාට ‘දිය රකුස්’ යන නම ඔහු යොදා ඇත්තේ, පැරැණි බණ කතාවල එන, මිනී කන ‘දිය රකුසා’ කෙරෙහි ළපැටි සිත්හි ඇති වන අනිසි බිය මකා-ලමිනි. ‘චව්චව්’ යන චරිතය පමණක් නො ව ඔහු ගේ මුවට නංවා ඇති ප්‍රහසන දෙබස් ද අපට තව මැ මතක ය. දොස්තර මහතා ළඟ සිටි ‘ළා තණකොළ පෙත්තාස්’ සංගීත කණ්ඩායම අපට සිහි ගන්වන්නේ, 60 දසකයේ දී පැවැති ‘ලා බම්බාස්’ වැනි විසුළු නම් සහිත බටහිර සංගීත කණ්ඩායම් ය.
Top Cat අප හඳුනා-ගත්තේ ‘පිස්සු පූසා’ යනුවෙනි. මාළු කට්ටා, පුරුපුරුවා, ඤාවුවා, උපාසක යනු පිස්සු පූසා ගේ සහචරයෝ ය. Bugs Bunny හට ටයි මාමා දුන් සිංහළ නම ‘හා හා හරි හාවා’ යි. කුමරතුඟු මුනිදසුන් ගේ ‘කුමර ගී’ පොතෙහි ආ ‘හාවා ගේ වග’ කවි පෙළෙහි සඳහන් ‘හා හා හරි හාවා’ එදාත්-මෙදාත් ළමා විඤ්ඤාණයේ ලැගුම් ගත් ජන කතා චරිතයක් බඳු යැ. ටයිටසුන් Bugs Bunny හට දුන්නේ අගනා දේශීය අර්ථකථනයෙකි. කවර බටහිර චරිතයක් වුව ද ටයි මාමා විසින් හෙළ දරු පරපුරට සමීප කරන ලද්දේ දේශීයත්වාරෝපණය (indigenous) කිරීමෙනි.

ටයි මාමා වූ කලී චිත්‍රපට සංස්කාරකයෙකි, අධ්‍යක්ෂවරයෙකි,නළුවෙකි, ගීත රචකයෙකි,භාෂා ප්‍රේමියෙකි;, සුදක්ෂ නිර්මාණකරුවෙකි. එබැවින් ඔවුන් ගේ වියෝවෙන් ඇති වූයේ හිදැස් ගණනාවෙකි. ඒ කිසිවක් සම සේ පුරවන්නට සමතකු මෙතෙක් පහළ වී නැත. එක් අතෙකින් අදට වසරකට පෙර ටයි මාමා මිය-ගිය එක හොඳ ය. ඔවුන් අද සිටියා නම් ජීවත් වන්නේ සිංහළ සලරුවටත් සැකිලිරූ කලාවටත් සිදු ව ඇති වින්නැහිය දැකැ, මැරි-මැරී ඉපදෙමිනි!

ක. ක. ගනුෂ්ක රන්දුල
[වෙඩි හඬ]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/22/2015

කවරෙක් ද මේ ගෙවිඳු?

කතෘ:යුතුකම     7/22/2015   9 comments
මෙවර මහ මැතිවරණය නිමිති කොට-ගෙන පැවැත්වෙන රූපවාහිනී දේශපාලන සංවාදවල දී අඥාන දේශපාලුවනට සතාර්කික වාක්ප්‍රහාරයෙන් පන්න-පන්නා පහර දෙන හැඩිදැඩි පුරුෂයෙක් බොහෝ දෙනා ගේ අවධානයට පත් විය. පැසුණු හිසින් ද පැසුණු නුවණින් ද යුත් හෙතෙමෙ නමින් ගෙවිඳු කුමාරතුංග ය. සක්‍රිය දේශපාලනයෙන් දුරස් ව වෙසෙන ගැමි දනා ඔහු ගැන නොදැනීම නම් විය හැක්කෙකි. එහෙත් ඔහු කවරෙක් දැ යි සොයා-ගත නො හී භ්‍රාන්තියට පත් වූවන් ජාතික දේශපාලනයේ ද එල්ලී සිටීම කරුමයකි. 2015 ජුලි 21 වැනි දා රාත්‍රියේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණු නියෝජිතයා ගේ මුග්ධ ප්‍රකාශවලින් එබඳු අය සිටින බව ප්‍රත්‍යක්ෂ විණි. මේ සැකෙවි සටහන ලියැවෙන්නේ ගෙවිඳු යනු කුලියට කහින්නෙකැ යි සිතා සිටින එබඳු ඇත්තනට වැඩ පිණිස යි.

පොත් කියවන උදවියට නම් ගෙවිඳු ගේ හඳුන්වා-දෙන්නට දෙයක් නැත. එහෙත් පොත් නො කියවන අමන දේශපාලුවන් හට ගෙවිඳු වෙසෙසින් හඳුන්වා-දිය යුතු ව තිබේ. මෙය කනගාටුවට කරුණෙකි. පොත් කියවන උදවිය ගෙවිඳු හඳුනන්නේ බොරලැස්ගමුවේ විසිදුනු ප්‍රකාශන ආයතනයේ අදියුරුවන් ලෙසිනි. එහෙත් හෙතෙමෙ හුදු පොත් මුදලාලි කෙනෙක් නො වේ. තමා වෙත උස්සා-ගෙන එන ඕනෑ ම කුණු ගොඩක් ලාභ ඉපැයීමේ අරමුණින් පළ කරන පොත් මුදලාලිලා ගේ කුලකයට ගෙවිඳු අයත් නො වේ. ඔහු මෙතෙක් පළ කොට ඇති දෙසිය පනහකට මඳක් වැඩි පොත් තොගය පිරික්සා බලන්නකුට ඒ බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා, සූරිය ගුණසේකර, පියසේන කහඳගම, සිබිල් වෙත්තසිංහ වැන්නවුන් ගේ පොත් සේ ම කුමාරතුංග මුනිදාස, රැ. තෙන්නකෝන්, සෙනරත් පරණවිතාන, රැල්ෆ් පීරිස් ආදි පඬිවරුන් ගේ දුර්ලභ පොත් ද යළි පළ කෙළේ ගෙවිඳු ය. ඊට අමතර ව ලංකා ඉතිහාසය පිළිබඳ ව ඉංගිරිසියෙන් ලියැවුණු අගනා පොත් සමුදායයක් ම සිංහලයට නංවා පළ කිරීම ගෙවිඳු ගේ වෙසෙස් මෙහෙවරෙකි. ඔහු වෙත එන කවර ලේඛකයකු ගේ පොතක් වුව විසිදුනු පොතක් ලෙස පළ වන්නේ බස් දොස් ඉඳුරා ම දුරු කිරීමෙනි. ස්වකීය ප්‍රකාශනවල භාෂා රීතියේ නිරවද්‍යතාව පිළිබඳ මෙබඳු සැලැකිල්ලක් දක්වන අන් එක දු ග්‍රන්ථ ප්‍රකාශකයෙක් මෙරට නැත්තේ ය.

මේ කීවේ බොහෝ දෙනා හඳුනන ගෙවිඳු නම් පොත් පළ කරන්නා ගැන ය. ගෙවිඳු නම් දේශපාලන ක්‍රියාකාරියාට ඇත්තේ පොත් ප්‍රකාශකයාට තිබෙනවාට වඩා දිගු ඉතිහාසයෙකි. විද්‍යාවේදී උපාධිය ලබනු පිණිස ශාස්ත්‍ර හැදෑරීමට 1984 දී කොළොඹ සරසවියේ විද්‍යා පීඨයට පිවිසි ගෙවිඳු ශිෂ්‍ය දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූයේ ය. ඔහු නියෝජනය කෙළේ ඊනියා පරපීඩක වාමාංශික දේශපාලනය නො වේ. ඔහු නායකත්වය සැපැයූවේ ‘ජාතික චින්තනය’ ව්‍යාපාරයට යි. එවක පැවැති ජනප්‍රිය වාමාංශික ශිෂ්‍ය දේශපාලනයේ පරමාර්ථය වූයේ උතුරේ කැරැල්ල පෝෂණය කොට එය දිනූ පසු උතුර පාදක භූමිය කැරැ-ගෙන දකුණේ කැරැල්ල මෙහෙයැවිය යුතු ය යන්න යි. මේ විනාශකාරී දේශපාලන න්‍යායපත්‍රයට විරුද්ධ වීමේ විපාක විසින් වාමාංශික දේශපාලනයේ නියුතු වූ ‘සහෝදරවරුන්’ ගේ බරපතළ මැර ප්‍රහාරයකට ද ගෙවිඳු ලක් විය. එහෙත් ඉන් ඔහු පසු බට වූයේ නැත. නලින් ද සිල්වා ඇතුළු පිරිස එදා ‘චින්තන පර්ෂදය’ පිහිටුවද්දී ඊට ඇතුළත් වූ ළාබාලතමයා වූයේ ගෙවිඳු ය. ගුණදාස අමරසේකර, නලින් ද සිල්වා ආදින් ඇසුරේ ජාතිකත්ව චින්තනය පොහොණි වූ හෙතෙමෙ දැන් ‘යුතුකම සංවාද කවයේ’ සභාපතිත්වය දරයි .

මේ නයින් ගෙවිඳු යනු අද ඊයේ ජාතිකත්වය එන්නත් කැරැ-ගත් අවස්ථාවාදියකු නො වන බව ඊනියා වාමාංශිකයන් හා දක්ෂිණාංශිකයන් දත මනා ය. ජාතික වසයෙන් අර්බුදකාරී වූ අවස්ථාවල මෙරට පුවත්පත්වලට ගෙවිඳු සැපැයූ ලිපියක් වත් දැක නැත්තකු ඔහු ගේ ජාතික චින්තනයේ සුජාත භාවය පිරික්සන්නට යෑම හාස්‍යයට ම කරුණෙකි. හෙළ දෙස බස රැස නංවා-ලීමට යටත් විජිත යුගයේ දී දැවැන්ත මෙහෙයක් සිදු කළ කුමාරතුංග මුනිදාස පඬිතුමා ගෙවිඳු ගේ සීයා බව ද ඌ තුමූ නො දනිති. එබැවින් ගෙවිඳු මේ උර දී සිටින්නේ ලේ උරුමයෙන් තමා වෙත පැවැරුණු සුජාත වගකීමට බව ඔවුන් වටහා-ගත යුතු ය. කුමරතුඟු උරුමයෙන් ගෙවිඳු පෙනී සිටින්නේ ද දෙස බස රැස වෙනුවනි. ගෙවිඳු ගේ මෙන් ම අප ගේ ද පරම පැතුම නම් දෙස බස රැස සුරැකිය හැකි කශේරුකාවක් සහිත ජාතික නායකත්වයෙකි. බෙදුම්වාදී න්‍යායපත්‍ර පරාජය කළ හැක්කේ එවන් සැබෑ සිංහල ජන නායකයකුට විනා නෙළුම් කොළේ මත කඩදාසි පිඟාන තබාගෙන කිරිබත් කන ඇමෙරිකා ගැති සිංහල ප්‍රතිරූපකයකුට නො වේ.

අවසාන වසයෙන් මේ ටික ද කිය යුතු ය. මේ සටහන ලීවේ ගෙවිඳු ගැන මා දන්නා ඇත්ත හෙළි කිරීම මා ගේ යුතුකමක් යැ යි සිතුණු බැවිනි. මා මෙබන්දක් ලියන බවක් ගෙවිඳු දන්නේ වත් නැත. මා ඔහු මුණ ගැසී ඇත්තේ ද හතර පස් වතාවක් පමණි. ඊට අමතර ව නොයෙක් කටයුතු සඳහා ඔහු මට දෙතුන් වතාවක් දූරකථනයෙන් කතා කොට තිබේ. ඔහු ගේ පොත් සාප්පුවට මා ගොඩවැදී ඇත්තේ ද දෙවතාවක් පමණි. එබැවින් ගෙවිඳු ගැන මේ සටහන ලිවීමෙන් මා හට කිසි දු දේශපාලනික හෝ ශාස්ත්‍රීය හෝ ප්‍රතිලාභයක් නොලැබෙන බව අවධාරණයෙන් කියමි. මෙබන්දක් ලිවීමට මා පෙලැඹුණේ ගෙවිඳු ගේ දේශපාලන පරමාර්ථය මා ගේ දේශපාලන පරමාර්ථය හා එහැම පිටින් ම අනුරූප බව හැඟී-ගිය බැවිනි.



මවු බිම දිනේ වා!
මේ වගට,
ක. ක. ගනුෂ්ක රන්දුල



ස්වාධීන රූපවාහිනියේ ප්‍රචාරය වූ "ගිරය" වැඩසටහන තුලදී ගෙවිඳු කුමාරතුංගයන් මේ පිලිබඳ දැක්වූ අදහස මෙතනින් නරඹන්න



-යුතුකම පාඨක ලිපියකි

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions