9/16/2017

ඉංග්‍රීසි බාසා ප්‍රශ්ණය

කතෘ:යුතුකම     9/16/2017   No comments
-ආචාර්‍ය් ජානක වංශපුර-මීට දශකයකට දෙකකට පමණ ඉහතදී සනත් ජයසූරිය ඉංග්‍රීසි බසින් නොපැකිලව මාධ්‍යයට කථා කරද්දී මම හිතුවේ ඉංග්‍රීසි බසට මෙරට සමාජය තුල තිබූ අනිසි ගෞරව පක්‍ෂපාත බව ක්‍රමයෙන් පහව ගොස් එය තවත් බසක් පමණක් බවට පත්වේවී යැයි කියායි. මෙසේ ඉංග්‍රීසි බස සාමාන්‍යකරණයවීම හරහා වඩා වැදගත් ලෙසට ඉංග්‍රීසි බාසා හැකියාව වඩා පුළුල් ලෙසට සමාජගත වේවි කියාත් මා සිතුවා. ඒ සඳහා පසුගිය සමයේ පැවති ජාතිකත්ව උද්යෝගයද රැකුලක් වේවි යැයි මා සිතුවා. නමුත් මා සිතු ආකාරයට ඒ සමාජ පෙරළිය මෙරට සිදුවුනේ නෑ. ජයසූරියගෙන් පසුව අපට ලැබුනේ සංඝක්කාරයි.

ඉංග්‍රීසි බාසා භාවිතය රුවිතෙට යෑම එක අතකින් පසුගිය සමය තුල ජාතික ව්‍යාපාරයත් පොදුවේ ජාතිකත්වයත් ගත් මඟ හා සමගාමීයි. ජාතිකත්ව රැල්ලත් සමඟම ඉංග්‍රීසි බාසාවට තිබි අනිසි ගෞරව පක්‍ෂපාත බව නැති කල හැකිව තිබුනත් පසුගිය සමයේ පිම්බුනු මෙරට මධ්‍යම පංතිය කලේ එය ආභරණයක් ලෙස සලකමින් සමාජයේ පහල ස්ථර හා තමන් අතර බෙදීමක් ඇති කර ගැනීම සඳහා ඉංග්‍රීසි බස යොදා ගැනීමය. ඊට ප්‍රතිචාරයක් වශයෙන් තවත් පිරිසක් සුද්දා උච්චාරණය කරන ආකාරයටම ඉංග්‍රීසි කථා කිරීමට පුහුණු වෙමින් නැගීගෙන ආ මධ්‍යම පංතියත් තමනුත් අතර බෙදීමක් ඇති කර ගැනීමට උත්සාහ කලහ. අවසන් ප්‍රතිඵලය වූයේ සමාජ විශමතාවක් ඇති කිරීමෙහිලා පෙරටත් වඩා ප්‍රභල කාර්යයක් කිරීමට ඉංග්‍රීසියට ඉඩක් ලබා දීමය. ඒ නිසා ඉංග්‍රීසි බාසා නිපුනත්වය පිළිබඳ ප්‍රශ්ණය විමසිය යුත්තේ ඉන් මෙරට කරන සමාජ අසාධාරණය පැත්තෙන් යැයි මම සිතමි. ඒ හැර වෙන මානයක් තිබේද?

අද යාපනයෙන් විශ්ව විද්‍යාලයට පැමිණෙන දෙමළ දරුවන්ටත් සිංහල ගැමි දරුවන්ටත් ඉංග්‍රීසි බසේ ඇත්තේ එක හා සමාන (නො)හැකියාවකි. යාපනේදී සිංහල අසාවත් නොතිබුනත් කොළඹට පැමිණ ඉතා කෙටි කලකින් දෙමළ දරුවන්ට සිංහල හුරු වෙන්නේ සිංහලුන්ගේ ආශ්‍රය නිසාය. අනිත් අතට යාපනේ ඉගෙන ගන්නට ඇති බාධා ඉවත් කලහොත් එහි යන සිංහල දරුවන්ද අගේට දෙමළ ඉගෙනගන්නවා ඇති. ඉංග්‍රීසි බාසාව ජනවාර්ගික ප්‍රශ්ණයේදී කිසි උදව්වක් වෙන්නේ නැත. බටහිර තාක්‍ෂණික දැනුම ලබා ගැනීමටද ඉංග්‍රීසි බස අනිවාර්ය නොවේ. ඒ පිළිබඳව මටද පුද්ගලික අත්දැකීමක් ඇත. චීන සම්භවයක් ඇති මව් බාසා ඇති බොහොමයක් ආසියාතික රටවල් (චීනය, ජපානය, කොරියාව, මැලේසියාව) අපූරුවට බටහිර තාක්‍ෂණය ලබා ගෙන බටහිර පන්නයේ ආර්ථික වර්ධනයක් ඇති කරගෙන ඇත්තේ ඔවුන්ගේ මව්බස පරයමින් ඉංග්‍රීසියට ගෞරව පක්‍ෂපාතී බවක් අත්කර දීමෙන් නොවන බව පැහැදිලිය. ඒ නිසා මෙරට ඉංග්‍රීසි බස පිළිබඳව ඇති වැදගත්ම ප්‍රශ්ණය ඒ හරහා ඇති කෙරෙන සමාජ බෙදීම හා එමඟින් සිදුවෙන සමාජ අසාධාරණය යැයි මම සිතමි.

ප්‍රශ්ණය ඉංග්‍රීසි බස නිසා ඇති කෙරෙන සමාජ බෙදීම සමණය කල හැක්කේ කෙසේද යන්නය. ඊට නිතැතින්ම ලැබෙන පිළිතුර නම් සැමට ඉංග්‍රීසී ඉගැන්විය යුතු බවය. නමුත් අපි දැන් දශක ගණනාවක් තිස්සේ ඒ පිළිතුර ක්‍රියාත්මක කර ඇත. නමුත් මා දකින ආකාරයට ඉංග්‍රීසි ඉගැන්වීමට දරන උත්සාහයට සමානුපාත වන ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැත. තවමත් ගම් වලින් විශ්ව විද්‍යාලවලට පැමිණෙන සිසුන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසියෙන් යමක් අසා හෝ කියවා තේරුම් ගැනීමටත් ඉංග්‍රීසියෙන් යමක් තේරුම් කර දීමටත් ප්‍රමාණවත් හැකියාවක් නැත. ප්‍රශ්ණය එය එසේ වීම නොව මීට වසර තිහකට ඉහතදී තිබි තත්වයට වඩා වැඩි වෙනසක් අද දකින්නට නොලැබීමය. ඉංග්‍රීසි ඉගැනීමට පහසුකම් වැඩි වෙමින් පවතිනවිට ඊට සමානුපාතිකව ඉංග්‍රීසි දැනුමේ දියුණුවක් ඇති නොවීමට හේතුවක් තිබිය යුතුය. මා දකින විදිහට, විශේෂයෙන්ම සිංහලුන් තුල, ඉංග්‍රීසි භාවිතයට ප්‍රතිරෝධයක් ඇත. කෙතෙරම් උත්සාහ කලද අප සමාජයේ මතුපිටින් ඇති ස්ථර වලින් මෙපිටට ඉංග්‍රීසි බස කැවිය නොහැක්කේ එබැවින් යැයි මම සිතමි. ප්‍රතිරෝධයට හේතුව කුමක් වුවත්එ සේ කැවිය නොහැකි නම් සමාජයේ ඉහල ස්ථර විසින් පහල ස්ථරවලට සමාජ අසාධාරණයක් කිරීම සඳහා ඉංග්‍රීසිය උපයෝගී කරගැනීම වැලකිය හැක්කේ කෙසේද?

ඉංග්‍රීසි බසට අප සමාජය විසින් ආරෝපණය කර ඇති අනිසි ගෞරව පක්‍ෂපාති බවෙහි කිසිදු වටිනා කමක් නැති කල යුතුය. එය විවිධ ආකාරයට කල හැකිය. එක් ආකාරයක් නම් මෙරට මහා පරිමාණ පුද්ගලික ව්‍යාපාර ආයතන වල සිංහල බසින් වැඩ කිරීමට ගැනීමය. බහුතරයක් සිංහලුන් රැකියා කරන සිංහලුන්ට සේවා සපයන නැත්තම් සිංහලුන් සමඟ ගනුදෙනු කරන ආයතන වලට සිංහලෙන් වැඩ කිරීමෙන් වාසියක් මිස අවාසියක් විය නොහැකිය. අද මෙවැනි දේ කිරීමට සමාජ හෝ දේශපාලන වාතාවරණයක් නැත නමුත් ඉදිරියේදී හෝ එවැනි වාතාවරණයක සිංහලෙන් වැඩ කරන රැල්ලක් පුද්ගලික ආයතන වල ඇති කර ගත හැකිනම් ඉංග්‍රීසි බසට ආරෝපනය කර ඇති වැදගැම්මක් නැති වැදගත් කම නැති කර දැමිය හැකිය. මා සිතන ආකාරයට ඉංග්‍රීසියෙන් කෙරෙන සමාජ අසාධාරනය මැඩලිය හැක්කේ එවැනි ආකල්පීයමය සමාජ විපර්යාසයකින් පමණි. ඉංග්‍රීසි ඉගැන්විය යුතුය, අවශ්‍ය අයට සුද්දන් මෙන් ඉංග්‍රීසි බස කථා කිරීමටද අවස්ථාව දිය යුතුය නමුත් සමාජ අසාධාරණයක් කිරීමට ඉංග්‍රීසි බසට ඇති ඉඩ ඇහිරිය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

5/16/2017

ජයග්‍රහණය කළේ අපි බව අමතක නොකරමු

කතෘ:යුතුකම     5/16/2017   No comments

-වංශපුර දේවගේ ජානක-
යුරෝපීයයන් ඔවුන් ලෝක යුද්ධ නමින් හඳුන්වන යුද්ධ පිලිබඳ මතකය ඉන් වසර 70-80 ඉක්මවා යාමෙන් පසුවත් තවමත් බටහිර පමණක් නොවේ මුලු ලොවෙහිම ජන විඥාණයේ රඳවා ගැනීමට කටයුතු කරති. ඔවුන් එසේ කරන්නේ පැහැදිලි අරමුණක් ඇතිවය. ඒ යුධ ජයග්‍රහණය කලවුන්ගේ දේශපාලනය ලොව අධිපති දේශපාලනය වශයෙන් පවත්වාගෙන යාම සඳහාය. ජර්මනියේ හෝ ජපානයේ ඊනියා දෙවන ලෝක යුද්ධ සමයේ හෝ ඊට පෙර තිබූ දේශපාලනය අද ලෝකයට වලංගු නැති කර ඇත. ඒ දේශපාලනය තර්කාණුකුල නොවෙන බවට පත් කර ඇත. අඩුම තරමින් ජර්මනියේ හෝ ජපානයේවත් එහි පෙර තිබූ දේශපාලනයට හිස ඔසවන්නට ඉඩක් නැත. ඒ තත්වය පවත්වාගෙන යන එක ක්‍රමවේදයක් නම් ඊනියා ලෝක යුද්ධ පිළිබඳ ජයග්‍රාහකයින්ගේ කථාව නැවත නැවතත් ලෝකයට මතක් කර දීමය.
වසර තිහක කාලයක් තිස්සේ අපි ත්‍රස්තවාදය සමඟ පොර බදා ජයග්‍රහණය කලද, ලැබූ දේශපාලන ජයග්‍රහණය ආපසු හැරවීමට මේ රජය කටයුතු කරමින් සිටියි. මේ රජය පත් කරන ලද්දේ මේ රට ලද ජයග්‍රහණය ආපසු හැරවීමට මිස වෙන කිසිවකට නොවේ. ආපසු හැරවීමේ එක් ක්‍රමවේදයක් නම් අප කිසිවක් ජයග්‍රහණය නොකල බව අපට ඒත්තු ගැන්වීමය. ඊනියා යුද්ධයක් නිමා කලා මිස ජයග්‍රහණයක් නොලද බව මේ රජය පුන පුනා කියන්නේ එබැවිනි. නමුත් නිමාවේ වැදගත් ප්‍රතිඵලය ජයග්‍රහණයයි. 2009 මැයි මස 18 දා ප්‍රභාකරන් ඇතුළු දෙමළ බෙදුම්වාදීන්ද ඔවුන්ට පන පෙවූ විදේශ බලවේගද පරාජය ලැබීය. අපි ජය ගත්තෙමු.

වසර තිහක අතීතය මේ ජාතියට අමතක කල නොහැකිය. රට වෙනුවෙන් ජීවිතය කැප කල රණ විරුවන් අපට මතකය. ඝාතනය කෙරුනු සිවිල් වැසියන් අපට මතකය. ත්‍රස්තවාදයට දිවිදුන් සිවිල් වැසියන්ගේත් රණ විරුවන්ගේත් ඥාතීන් තවමත් අප අතර ජීවත් වෙති. මේ කිසිවෙක් අපේ මතකයෙන් ගිලිහීමට ඉඩ නොදිය යුතුය. නමුත් මේ කිසිවකටත් වඩා අපි ජයග්‍රහණය කළ බව මතක තබා ගත යුතුය. අපි ඊනියා යුද්ධයක් නිමා කලා නොව දෙමළ බෙදුම්වාදය පරාජය කරමින් ජය ලදෙමු. අපි ජයග්‍රහණය සමැරිය යුතුය. ඒ දෙමළ ජනයාගේ හිත රිදවන්ටවත් අධිපතිවාදී වන්ටවත් නොවේ දෙමළ ජාතිවාදී බෙදුම්වාදී දේශපාලනයට මෙරට ඉඩක් නැති බව නැවත නැවතත් තහවුරු කිරීම සඳහාය.

[මගේ රට]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

4/25/2017

ශ්‍රී ලංකාව දුර්වල රාජ්‍යයක් බවට පත් කෙරීම

කතෘ:යුතුකම     4/25/2017   No comments
-ජානක වංශපුර-
මෑත කාලෙදී සංවිධානාත්මකව සිදුකෙරුනු විශාලතම දේශපාලන වෙනස මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කිරීමයි. ඒ සඳහා යොදා ගැනුනු ගිහි පැවිදි දේශපාලන ක්‍රියාකාරීන්ට තනි තනිව හෝ එක්ව හෝ එවැනි වෙනසක් තබා ඊට ලඟින් යන දේශපාලන විපර්යාසයක්වත් කර ගැනීමට ශක්තියක් තිබුනේ නැත. අදටත් මේ අයට පවතින ආණ්ඩුවේ සහය සඳහා හෝ ආණ්ඩුවේ ගමන වෙනස් කිරීම සඳහා හෝ තනිව හෝ එක්ව කල හැකි දෙයක් නැති බව පැහැදිලියි. එසේනම් මේ දේශපාලන ක්‍රියාකාරීන් හරහා මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනේ කෙසේද? පැහැදිලිවම ඔවුන්ට වඩා ඉහලින් තිබි දේශපාලන බලවේග මඟින් මේ ක්‍ර්‍රියාකාරීන්ව සමස්ථයක් ලෙස මෙහෙයවුනු නිසාවෙනි. අදත් අවශ්‍ය විටෙක මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කෙරුනු බලවේග වලට එලෙසම ක්‍රියාකාරී විය හැකිය.

එසේනම් අපි ඇසිය යුතු වැදගත් ප්‍රශ්ණය මේ බලවේග වලට මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් ඉවත් කිරීමට උවමණ් වූයේ ඇයි කියාය.

දූශණ වංචා නිසාද? ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකල නිසාද? අද බොහෝ දෙනාට අමතකමුත් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කල යුතුයැයි පැවසුනේ මේ හේතු නිසාය. නමුත් මේ හේතු ඇත්ත හේතු විය නොහැකි බව දැන්වත් පෙනී යායුතුය. ඒ යහපාලන රජයද දූශණ වංචා සිදුකරන නිසාවත් ආර්ථිකය නිවැරදිව කළමණාකරණය නොකරන නිසාවත් පමණක් නොවේ. රාජපක්‍ෂ සහ රනිල්-මෛත්‍රී අතර මේ කරුණු සම්බන්ධයෙන් සංසන්ඳනය කිරීමට එකලද පදනමක් නොතිබුනු නිසාය. වෙනත් ආකාරයකට කියන්නේ නම් රනිල්-මෛත්‍රී රජයක් රාජපක්‍ෂ රජය තරම් දූශණ වංචා නොකරාවි යැයි හෝ ආර්ථිකය වැරදිව කළමණාකරණය නොකරාවි යැයි හෝ පුරෝකථනය කිරීමට පදනමක් මීට වසර දෙකකට ඉහතදීවත් නොතිබිනි. එබැවින් දූශණ වංචා සහ ආර්ථිකය එකල මවා පාන ලද බොරු හේතුය.

ඇත්තටම මහින්ද රාජපක්‍ෂ මහතා පහ කෙරුනේ මේ කිසි හේතුවකටවත් නොව ශ්‍රී ලංකාවේ රාජ්‍යය බලය දුර්වල කර දැමීම සඳහා ඉඩ ලබා ගැනීමටය. යහපාලන රජය හරහා එය ඉටු කෙරෙනු ඇත. රාජ්‍යය බලය දුර්වල කෙරෙනු ඇත්තේ පාර්ලිමේන්තුවට ඇති බලය දියාරු කර පළාත් සභා බලවත් කිරීම මඟිනි. මේ රජය මඟින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ ඒ සඳහාය. ඒ අනුව පළාත් සභාවලට නීති කෙටුම්පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත, පාරලිමේන්තුවට වග කියූ අග්‍රාණ්ඩුකාරයාගේ බලය බිඳ දැමෙනු ඇත, ඉඩම් හා පොලිස් බලතල ඊට හිමිවෙනු ඇත. මෙසේ දියාරු කෙරෙන පාර්ලිමේන්තුව සතු රාජ්‍ය බලය වර්ගවාදීව ක්‍රියාකරන උතුරු සහ නැඟෙනහිර පළාත් අතට පත්වෙනු ඇත. එවිට මෙරට රාජ්‍යයේ ඒකීය බව වර්ගවාදී දෙමළ සහ මුස්ලිම් දේශපාලකයින් මත රැඳෙනු ඇත. නමුත් ඔවුන්ටද සැබෑ බලයක් හිමි නොවෙනු ඇත. බලය බෙදීම හරහා සැබෑ බලය හිමිවෙනු ඇත්තේ සිංහලුන්ටවත් දෙමළුන්ටවත් මුසල්මානුවන්ටවත් නොව මේ සියල්ලන් සමඟ රාජ්‍ය බලය කේවල් කරන ඉංදියාවට හෝ බටහිර ආණ්ඩුවලට හෝ වෙනයම් විදේශ බලවේගකයටය. මොවුන් මේ රටේ දේශපාලකයින් එකිනෙකා අතර කොටවමින් සදාකාලික ලෙස මෙරට දුර්වල රාජ්‍යයක්ව පවත්වාගෙන යන්නට කටයුතු කරනු ඇත. එයින් මෙරට කිසිම ජන කොටසකට අත්වෙන සෙතක් නැත. මේ බල කෙළිය හරහා සිංහලුන්ට නම් රටක් නැතිවෙනු ඇත.

ඉහත සඳහන් දෑ හුදෙක් බිය වැද්දීමක් පමණක් යැයි යමෙක් සිතයි නම් ඔහු විසින් කල යුත්තේ ඉංදියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිරික්සීම පමණය. යෝජිත යහපාලන ව්‍යවස්ථාවෙන් ලංකාණ්ඩුවට ලැබෙන බලයට වඩා අතිශයෙන් වැඩි බලයක් ඉංදියාවේ ව්‍යවස්ථාවෙන් එහි මධ්‍යම ආණ්ඩුව ලබා දී ඇත. ඉංදියාවේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවකුත් ලංකාවේ දුර්වල මධ්‍යම ආණ්ඩුවකුත් තිබීමට පදනමක් තිබේද? ඊට හේතුව පරිපාලන පහසුකමද? ප්‍රශ්ණය පරිපාලනය නම් ලංකාව මෙන් පනස් ගණයකටත් වඩා විශාල හැට ගුණයකට වඩා ජනගහණයක් සිටින ඉංදියාව නොවේද බලය වඩාත් විමධ්‍යගත කල යුත්තේ? ලංකාවේ බලය බෙදෙන්නේ වෙන කිසිවකටත් නොව රාජ්‍යය දුර්වල කිරීමටය. සංවිධානාත්මකව මෙරට සතුරන් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහ කෙරුනේ දුර්වල රාජ්‍යයක ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය ගැති ආණ්ඩුවක් පත් කර ගැනීමටය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ තැන සිට මේ දක්වා මෙරට දේශපාලනයේ සිදුවෙන වැදගත් සිදුවීම් සලකා බැලුවොත් පෙනෙනු ඇත්තේ ඒ සියල්ලම කෙරුනේ මේ සිංහල විරෝධී ව්‍යවස්ථාව සම්පාදනය කිරීම උදෙසා බවය. ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුල ප්‍රධාන පක්‍ෂ දෙක එකමුතු කල යුතු විනි. කල් තියාම 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊනියා ජාතික රජයක් සඳහා නීති සකස් කෙරුනේ එබැවිනි. පොරොන්දු වුවත් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය නොකලේද නිදහස් පක්‍ෂය බහුතරය ආසන ප්‍රමාණයක් ලැබීම වැලකීම සඳහාය. ඊ ළඟට නිදහස් පක්‍ෂයේ නායකායා ලෙස ජනාධිපතිවරයා විසින් මැතිවරණය දූශණය කලේය. කෙරෙන චෝදනා සත්‍ය නම් බැඳුම්කර වංචාව හරහා රනිල් වික්‍රමසිංහ සිය මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් ලබා ගත්තේය. මැතිවරණයෙන් පසු පරාජය කරන ලද මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඊනියා ජාතික රජය පිහිටුවිනි. පාර්ලිමේන්තු විපක්‍ෂ නායකත්වය ආණ්ඩුවට විරුද්ධ සැබෑ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් උදුරාගෙන පාර්ලිමේන්තුවේ ඔවුන්ට හිමිවිය යුතු වරප්‍රසාද කොල්ල කන ලදී. අවසානයේ පවතින ව්‍යවස්ථාවට පටහැණිව මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මංඩලයක් බවට පත් කර එහි මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් අගමැතිතුමා පත් කෙරිනි. රටේ අනිකුත් ප්‍රශ්ණ නොවිසඳෙද්දී ආර්ථිකය වලපල්ලට යද්දී මේ අසමත් ආණ්ඩුව ව්‍යවස්ථා ව්‍යාපෘතිය අධි වේගයෙන් ඉදිරියට ගෙන ගියේය. ඊට ජවයක් ලැබුනේ කෙසේද?

මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කෙරීමේ සිට මේතාක් මේ රජය නියැලී සිටින්නේ ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේය. ඒ සඳහා විදෙස් බලවේග වල අනුමැතිය සහ අනුග්‍රහය වත්මන් රජයට ලැබෙන බවට සාධාරනය සැකයක් ඇත. අද වන විට මේ ව්‍යාපෘතියේ අවසාන අදියරට පැමිණ ඇත. මේසා විශාල මෙහෙයුමක් කරගෙන ආ සංවිධානාත්මක බලවේගයක් විසින් සටන මේ මොහොතේ අත් හරී යැයි සිතිය නොහැකිය. නමුත් ඔවුන්ට බාධක ඇත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඔවුන්ට නැත. ජනමත විචාරණයකදීද ව්‍යවස්ථා ව්‍යාපෘතිය බොහෝවිට ජනතාව අතින් පරාජයට පත් වෙනු ඇත. මේ මොහොතේ රජය සහ රජය පවත්වාගෙන යන බලවේග සොයන්නේ වෙනත් උපක්‍රමයකින් සිංහල විරෝධී ව්‍යවස්ථාව රටේ නීතිය කරගැනීමටය. එය කුමක්දැයි අපි නොදනිමු. නමුත් ඒ සඳහා ඉඩක් රජයට ලබා නොදිය යුතුය.

යම් හෙයකින් රටේ කලබලකාරී තත්වයක් පැන නැගියහොත් එසේත් නැත්නම් ජනතාව සිවිල් නීතිය කඩ කරන තැනට පත්වුවහොත් ජනතාව සහ ජන මාධ්‍ය දැඩි ලෙස මර්ධනය කිරීමට රජය එය අස්වැසිල්ලක් කර ගනු නිසැකය. එපමණක් නොවේ රජයට සහය දෙන අදිසි බලවේග විසින් අරාජික තත්වය තවත් උත්සන්න කිරීමට කටයුතු කරනු ඇත. එතැන් සිට රජය කරන කියන දෑ පිළිබඳව ජනතාවට වග නොවෙනු ඇත. අසූවේ දශකයේ ජවිපෙ සහ රජය භීශණය පතුරවන අතරතුරේ ජනාධිපති ප්‍රේමදාස මහතා හිතේ හැටියට කොටි සමඟ ගිවිසුම් ගැසුවේය. ඒ පිළිබඳව විරෝධය දැක්වීමට සිංහලයින්ට අවකාශයක් නොලැබිනි. පසු කලෙක ප්‍රේමදාස මහතාගේ දේශපාලන පාවාදීම් (ඝාතනයවුනු හයසියයක් පමණ පොලිස් නිලධාරීන්ගේ ජීවිත නොවේ) ආපසු හැරවීමට හැකිවුවද වත්මන් රජය විසින් රටේ නීතිය වෙනස් කර බලය බෙදුවොත් එය ආපසු හරවුනු නොහැකිය. එබැවින් ජනතාව සහ ජනමාධ්‍ය මර්ධනය කරමින් එහි අවධානය වෙනතක තබා ගැනීමට අවස්ථාවක් රජයට ලබා නොදීම සාමාන්‍ය ජනතාවගේත් ආණ්ඩු විරෝධී දේශපාලන ක්‍රියාකාරීන්ගේත් වගකීමවේ. ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය පරදවමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

2/04/2017

හිතට ආඩම්බරද දැන්?

කතෘ:යුතුකම     2/04/2017   No comments
-ජානක වංශපුර -ආණ්ඩුව විසින් අද සමරන්නට යෙදෙන නිදහස වෙනුවෙන් අපි ලේ දන් දුන්නේ නැත. 1815 සහ 1948 නිදහස් සටන් වලින් පසු අපි නිදහස වෙනුවෙන් ලේ දන් දුන්නේ 2009දීය. අද සමරන නිදහස ඉංග්‍රීසීන් විසින් අපටට දන් දුන්නකි. අඩු තරමින් 1948 පෙබරවාරි හතර වෙනිදායින් පසුව ඉංග්‍රීසීන්ගේ රජා අපේ රජා නොවේ යැයි කීමටවත් අපට නිදහසක් නොතිබිනි. ඒ නිදහසද ලැබුනේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කර ගත් 1972 මැයි මස 22 දාය. ඒ ජනරජ දිනයයි. අඩුතරමින් මැයි මාසේ අපි නිදහස සමරන්නේ නම් එය අර්ථවත් විය හැකිය. නිදහස ගැන හරි හැටි අවබෝධයක් නැතිව නිදහස ගැන හැඟීමක් ඇතිවිය හැකිද?

ගැමුණු කුමරුට නම් රටේ නිදහස හැඟීමක් තිබිනි. රටේ නිදහස නැතිවීම ඔහුට දැනුනේ උතුරින් සොලීන්ටත් දකුණින් ගොළු මුහුදටත් සිරවී සිටීමක් ලෙසිනි. පසු කළෙක රාජත්වයට පැමිණ එළාර සමඟ යුධවැදී රට නිදහස් කර ගත්තේ ඒ හැඟීම් ක්‍රියාවට නගමිනි. ගැමුණු කුමරුට එසේ හැඟුනද, රටේ නිදහස මෙකල අපේ සිත්වලට එතරම් වද දෙන කාරණයක් නොවේ.

නමුත් ඉඳ හිට අපි නිදහසක් ගැන කථා කරන්නෙමු. වරෙක ඒ නිදහස් අධ්‍යාපනයක් පිළිබඳවය. එහි මතුපිටින් ඇති ප්‍රශ්ණය මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනයක් ලබා ගැනීමට අයිතියක් තිබිය යුතුද නැද්ද යන්නය. නමුත් එහි සැබෑ දැවෙන ප්‍රශ්ණය බටහිර දොස්තරවරයෙකු වීමට ඇති අයිතියක් පිළිබඳවය. තවත් විටෙක අපි ආර්ථික නිදහස ගැන වද වෙන්නෙමු. බඩු මිල සීග්‍රයෙන් වැඩිවෙමින් යයි, ඊට සමගාමීව වැටුප් වැඩි වෙන්නේ නැත, තව අතකින් රජයේ බදුය, ගොවි සහණාදාර කපා හැර ඇත, පහසුවෙන් බැංකුවකින් ණයක් ගත නොහැකිය, ගෙයක් දොරක් තනා ගැනීම, ඉඩමක් මිලදී ගැනීම සිතීමටවත් නොහැකිය. මේ ප්‍රශ්ණ හරහා පුද්ගලිකව අපේ ආර්ථික නිදහස නැතිවෙමින් පවතියි. ඒ බව අපට හොඳින් දැනේ. මේ රජය පෙරලිය යුතුයැයි සමහරු සිතන්නේ එබැවිනි. නමුත් එහිද අපි වද වෙන්නේ අපට නැතිවෙන පුද්ගලික නිදහසක් පිළිබඳවය.

පොදුවේ අද අපි නිදහස ගැන සිතන්නේ පුද්ගලික අයිතිවාසිකම් පදනම් කරගෙනය. අපට වැදගත් යැයි සිතෙන පුද්ගලික අයිතිවාසිකම් අපට හිමි වෙනතාක් කල් හෝ හිමි පමණින් ජීවත්වීමට හැඩ ගැසිය හැකි තාක් කල් අපි සෑහීමකට පත්වෙන්නෙමු. එසේ නොවෙනවිට අපි ඒ පිළිබඳව වද වෙන්නෙමු. උද්ඝෝෂණය කරන්නෙමු. අවාසනාවකට පුද්ගලයින්ට නිදහසක් තිබූ පමණින් සමූහයේ නිදහස ආරක්‍ෂා වන්නේ නැත. එහෙත් සමුූහයක් ගැන සිතීමට අපට ඉස්පාසුවක් නැත. මින් කියවෙන්නේ අපට සාමූහිකත්වයක් පිළිබඳ හැඟීමක් නැති ආත්මාර්ථකාමීන් පිරිසක් බව නොවේ. ජාතියක් පිළිබඳ හැඟීමක් තවමත් අප තුල ඇත. නමුත් ජාතියේ නිදහස පිළිබඳව අපට තැකීමක් නැත.

එක අතකින් ඊට දොස් නැගිය නොහැකිය. රටේ නිදහස පුද්ගලික නිදහස තරම් ඇඟට දැනෙන්නේ නැති බව ඇත්තය. කොටි ත්‍රස්තවාදය රටේ නිදහස පිළිබඳ ප්‍රශ්ණයක් බව අපට ඇඟට දැනෙන්නට කෙතරම් කල් ගියාද? භුටානයේ අගනුවරින් පටන්ගෙන කීවරක් අපි කොටි ත්‍රස්තවාදීන් සමඟ සාමය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුවාද? සාම ගිවිසුම් ගැසුවාද? නමුත් දෙමළ ජාතිවාදීන් සමඟ සාකච්ඡා කිරීමම අපේ නිදහස නැතිකර ගැනීමක් බව අපට අවබෝධ වුනේ නැත. ඉංදියාවේ බලපෑම මත ජේ ආර් ජයවර්ධන විසින් වාර්ගික පදනම මත බලය බෙදීම සඳහා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන විටද එමඟින් අපේ නිදහස නැතිවෙන බව අපට අවබෝධ වුනේ නැත. ඒ අනවබෝධයට තවත් හේතු තිබිනි. එකල අපේ රාජ්‍ය නායකයින්ද, උගතුන්ද, බටහිර රාජ්‍යවල මූල්‍යාධාර ලබා ගනිමින් මෙහි ක්‍රියාකාරී වුනු සංවිධානද අපට ඒත්තු ගැන්වූයේ සිංහලුන් විසින් දෙමළ ජනයාට වරදක් කර ඇති බවය. එබස් ඇසූ අපි දෙමළ ජාතිවාදීන්ට යමක් දිය යුතුය යන මතයේ සිටියෙමු. අදටත් සමහරු ඒ මතයේ සිටිති. නමුත් ඒ පදනමින් කටයුතු කල ආර් ප්‍රේමදාසටවත්, චන්ද්‍රිකා කුමාරතුංගටවත් රනිල් වික්‍රමසිංහටවත් දෙමළ ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් දිය නොහැකිවිය. අදටත් කුමාරතුංග මහත්මිය හා වික්‍රමසිංහ මහතා බලෙන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්නේ එකල අසමත් වුනු විසඳුමමය.

ප්‍රශ්ණයට දේශපාලන විසඳුමක් ලැබුනේ දෙමළ ජාතිවාදය නිසා නිදහස අහිමි වෙන බව අපේ ඇඟට දැනුන විටය. 2009 වන විට සිංහලුන්ට තමන්ගේ පුද්ගලික නිදහස පිළිබඳ ප්‍රශ්ණ වලට ඉහලින් ජාතියේ නිදහස පිළිබඳ ප්‍රශ්ණය මතුවී තිබිනි. එකලද අපට ආර්ථික අපහසුකම් නොතිබුනා නොවේ නමුත් අපි ජාතියේ ප්‍රශ්ණ පුද්ගලික ප්‍රශ්ණ වලට ඉහලින් තැබුවෙමු. ඒ අනුව අප ලබා දුන් දේශපාලන විසඳුම කොටි විනාශ කර දැමීම විය. කොටි සටන හුදෙක් ත්‍රස්තවාදය මර්ධනය කිරීම සඳහාවූ මෙහෙයුමක් නොවිනි. එය දෙමළ ජාතිවාදයටත් ඊට අනුග්‍රහය දුන් බටහිර රාජ්‍යයන්ටත් එරෙහිව කෙරුනු නිදහස් සටනක් විය. සිංහලුන්ට තම නිදහස නැතිවෙන බව ඇඟට දැනී ඒ පිළිබඳව ක්‍රියාත්මක වනවිට ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහයෙන් ඇරඹි දෙමළ ජාතිවාදයට වසර එකසිය පනහකටත් වඩා ගෙවී ගොස් තිබිනි, ප්‍රභාකරන් නායකත්වය දුන් ත්‍රස්තවාදයට වසර තිහක් ගතවී තිබිණි. ඒ රටේ නිදහස නැතිවීම ඇඟට දැනෙන තෙක් සිටීමේ ප්‍රතිඵලයයි.

නමුත් මේ වෙනවිට 2009 දී අප ලබා ගත් නිදහස පාවා දෙමින් තිබේ. පොදුවේ සිංහලුන්ගේ ඇඟට තවමත් ඒ බව දැනෙන්නේ නැත. "සමහර විට දිනූ දේ රැක ගනිමු" යන ප්‍රෝඩාකාරී ප්‍රචාරක දැන්වීම තවමත් ඔවුන්ගේ මනසේ රැව් දෙනවා විය හැකිය. නැත්නම් ආර්ථික ප්‍රශ්ණ අපට ඊට වඩා ඇඟට දැනෙනවා විය හැකිය. බඩ ගැන සිතා පත්කර ගත් ආණ්ඩුව විසින් රට පාවා දෙද්දී බඩ ගැන සිතමින් රටේ නිදහස ගැන නොතකා සිටීමට සිදුවීම සරදමකි. කෙසේ නමුත් අපි ඉතිහාසයෙන් පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒ රටේ නිදහස පිළිබඳව කනස්සලුවීමට නිදහස නැතිවෙන තෙක් නොසිටිය යුතු බවය.

මේ රජය පත්වූ විගසම බටහිර රාජ්‍යයන්ගේ අනුදැනුම මත ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට ගෙන ආ යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීය. ඊට පෙර රජය විසින් වසරක් පාසා මෙවැනි යෝජනා පරාජය කිරීමට දැඩි උත්සාහයක් ගෙන තිබියදී තමන්ටම එරෙහිව කොටි ත්‍රස්තවාදීන්ට ආධාර කල සතුරන් සමඟ පෙළ ගැසීම කෙතරම් දීන කමක්ද? විවිධ පඬි වදන් වලින් සැඟවුනද මේ යෝජනාවල අරමුණ මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන් ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයකට කැඳවා දඬුවම් පැමිණවීම විය.

1999 මෙලෙසම මානව හිමිකම් චෝදනා මුවාවෙන් මිලසොවික්ගේ යුගෝස්ලාවියාවට එරෙහිව බටහිර රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් පවතින නේටෝ සංවිධානය යුධ වැදිනි. එහි අරමුණ වූයේ මිලසොවික් බලයෙන් පහ කිරීමය. චීනයත් රුසියාවත් ඊට විරුද්වූ බැවින් මේ ප්‍රහාරයට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක සමුළුවේ අනුමැතිය නොතිබිනි. කෙසේ නමුත් නේටෝ ප්‍රහාරයෙන් මිලසොවික්ගේ රජය බිඳ වැටුනු අතර ඉන් පසු නේටෝ අනුග්‍රහයෙන් බලයට පත් කෙරුනු රජය විසින් මිලසොවික්ට එරෙහිව මෙවැනිම ඊනියා ජාත්‍යන්තර යුධ අධිකරණයක් හමුවේ නඩු පවරා ඔහු සිරගත කෙරිනි. වසර ගණනාවක් සිරගතව ජීවත්වුනු මිලසොවික් සිරේදී මිය ගිය නමුත් ඉන් වසරකට පසුව ඔහුට එරෙහි චෝදනාවල සත්‍යතාවක් නැති බව අධිකරණය විසින්ම පිළිගැනිනි. මේ රජය විසින් යෝජනා කරන යුධ අපරාධ අධිකරණයේ අරමුණද මහින්ද රාජපක්‍ෂ ඇතුළු රණ විරුවන්ට මේ ඉරණම අත්කර දීම නොවේ යැයි විශ්වාස කල හැකිද? එසේ නම් එය පාවා දීමක් නොවේද?

වත්මන් රජය පත්වූ වහාම ඇරඹී අනිත් ව්‍යාපෘතිය වූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමය. ඒ සඳහා මුළු පාර්ලිමේන්තුවෙන්ම සමන්විත පූර්ණ කාරක සභා බලැති ව්‍යවස්ථා මංඩලයක් පත් කෙරිනි. නමුත් නව ව්‍යවස්ථාවක් සඳහා ඊට ජන වරමක් ලැබුනේ නැත. එපමණක් නොවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මංඩලයක් පිළිබඳව පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් නොවේ. නීතිය වෙනස් කල යුතු වන්නේ පවත්නා නීතියට අනුව නොවේද? ව්‍යවස්ථා මංඩලය පාර්ලිමේන්තුව මඟ හැරයාම සඳහා යෙදුනු උපක්‍රමයක්ද?

නව ව්‍යවස්ථා යෝජනා වලට අනුව ආණ්ඩුකාරවරයාගේ විධායක බලය අහිමි කර ඇත, පළාත් සභාවලට පොළිස් සහ ඉඩම් බලය පවරා දී ඇත, සියලු ජාතික ප්‍රතිපත්ති නිර්ණය කිරීම සඳහා මාධ්‍යම ආණ්ඩුවට හිමි අයිතිය අහිමි කර ඇත. මෙය කුමණ නමකින් හැඳින්වුවද ඒකීය රජ්‍යයක ව්‍යවස්ථාවක් නොවේ. රටේ නීති නිර්මාණය කිරීමට බලයක් තිබිය යුත්තේ පාර්ලිමේන්තුවට පමණය. ඒ බලය විසිරවූ පමණින්ම තව දුරටත් ඒ රාජ්‍යය ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්විය නොහැකිය. පැහැදිලිවම මේ රජයේ උත්සාහය මේ රට පාවාදීමය.

රණ විරුවන්ට දඬුවම් කිරීම, රටේ ඒකීය භාවය නැති කිරීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, ඉංදියාවට පක්‍ෂපාතී වෙන අයුරින් වෙළඳ ගිවිසුම් ගැසීම ආදී මේ රජය විසින් ලහි ලහියේ ක්‍රියාත්මක කිරීමට යෙදුනු ව්‍යාපෘති වල අවසන් ප්‍රතිඵලය රටේ නිදහස පාවා දීමය. මේ වෙනස්කම් මෙරට සිදුකෙරෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඒංගලන්තය, ප්‍රංසය, චීනය සහ රුසියාව වැනි රටවල් ජාතිකත්වයට නැඹුරුවෙමින් තිබියදී බව අමතක කල නොහැක. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉවත් වීමට කල්පණා කරමින් සිටියි. එසේ නම් රණ විරුවන් පාවාදීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ ගෙන ආ මානව හිමිකම් කොමිසම් යෝජනාවට තව දුරටත් බලයක් ඇත්ද? ඒ යෝජනා අනුව අප ක්‍රියාකල යුත්තේ කවුරුන් සනසන්නද? නුදුරු අනාගතයේදී බටහිර රාජ්‍යයන්හි ජාතිකත්ව රැල්ල, විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ ඇමෙරිකාව මෝදිගේ ඉංදියාවටද බලපෑම් ඇතිකරනු ඇත. එහිදී ඉංදියාවට නොවෙනස්ව සිටිය හැකිද? මේ රජය ඉංදීය සහ බටහිර බලවේග වලට යටත්ව අපේ නිදහස පාවා දෙමින් සිටින්නේ වත්මන් ගෝලීය දේශපාලන වටපිටාවටද පරස්පරවය. ඒ ගැන ආඩම්බර විය නොහැකිය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

12/13/2016

අයියෝ වරාය! අයියෝ රට

කතෘ:යුතුකම     12/13/2016   No comments
-වංශපුර දේවගේ ජානක-
එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?

මේ රටේ ලොකුම ප්‍රාග්ධනය මේ රටේ මිනිස්සු. වෙනත් බොහෝ රටවලට වඩා මේ රටේ මේ ප්‍රාග්ධනය එකතු කරගන්ඩත් පුළුවන්. අපිට ඒ පුරුද්ද තියෙනවා. අපි ගොවිතැන් කලේ තනි තනිව නෙවෙයි ගමක් හැටියට අඩු තරමින් යායක් හැටියට. සාමුහිකත්වය ගොඩනඟමින් සිදු කෙරෙන මහා පරිමාණ ආර්ථික ක්‍රියාවලි හරහා මේ රට දියුණු කරන්ඩ පුළුවන්. අද රට යන විදිහට තමන්ගේ මඩි තරකරනවුන් වීම හැරෙන්ඩ මිනිස්සුන්ගෙන් වෙන වැදගත් කාර්යයක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට මේ විදිහට තනියෙන් යන්ඩ දීලා ආර්ථිකය දියුණු වෙන්නේ නෑ සාමූහිකත්වය පදනම් කරගෙන මිනිස්සු ආර්ථික ක්‍රියාවලි වලට සහභාගී කරවා ගන්ඩ ඕනෙ. මේ රටේ තියෙන විශාලම ප්‍රාග්ධනය රට වෙනුවෙන් යොදවා ගන්ඩ හරි හමන් දැක්මක් තියෙන හරි හමන් නායකයෙක් අවශ්‍යයි.

හරිහමන් නායකයෙක් ගොඩනඟා ගන්නකන් තව තවත් රටේ සම්පත් විකිණේවි. රට විකිනීමට එරෙහිව ජනතාව අවදි කලයුතුයි. ඒකාබද්ධ විපක්‍ෂයේ වගකීම එයයි. හම්බන්තොට වරායේ අභ්‍යාසලාභීන්ගේ රැකියාව පිළිබඳ ප්‍රශ්ණයයි වරාය විකිනීමයි දෙකක්. වරාය සහ හම්බන්තොට ඉඩම් විදේශිකයින්ට මේ සා කාලයකට දෙනවා කියන්නේ පරම්පරා ගණනකට මේ සම්පත් අපට අහිමි වෙන බවයි. රටේ වෙනත් වරායනුත් මේ වගේ විකිනෙයිද? තිරිකුණාමලේ කාටද? වරායවල් වෙලඳ වටිනාකමකින් යුතු වුනත් ඒවාට යුධමය වටිනාකමකුත් තියෙනවා නේද? වරායවල් විදේශයන්ට විකිනීම ගැන නාවික හමුදාපතිතුමාට කීමට ඇත්තේ කුමක්ද?
මගේ රට

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/06/2016

සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණය

කතෘ:යුතුකම     7/06/2016   No comments
-වංශපුර දේවගේ ජානක-

විදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්‍රයෙන් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබීමය.

ජනගහණය වර්ධනය වුවද රටක පුද්ගලිකව අත්පත් කරගත හැකි ඉඩම් වපසරිය සීමිතය. මේ රටේ වැඩි ජනගහණ වර්ධන වේගයක් බලාපොරොත්තු විය හැක්කේ බහුතරයක් වන සිංහලුන්ගේය. ඒ නිසා ඉඩම් සීමාවීමේ ආනිසංස මුලින්ම දැනෙනු ඇත්තේ සිංහලුන්ටය. නමුත් අද වෙනවිට දෙමලුන්ට සහ මුසල්මාණුවන්ට නැති ඉඩම් සීමාවක් සිංහලුන් සඳහා පැනවී ඇත. ජාතියක් වශයෙන් සිංහලුන්ගේ ඉඩම් ප්‍රශ්ණය වැදගත් වන්නේ ඒ නිසාය.

මේ රටේ ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම තැනක ජීවත්වීමට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇත. නමුත් අද අපි හොඳින් දන්නා ආකාරයට කොටි ත්‍රස්තවාදීන් විසින් නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවලින් පන්නා දැමුනු සිංහල වැසියන්ට ඒ ඉඩම්වල නැවත පදිංචිවී නිදහසේ ජීවත්වීමට සාධාරන අවස්ථාවක් සලසා දී නැත. නැඟෙනහිර සහ උතුරු පළාත්වල පාසල් වල සිංහල භාශාවෙන් ඉගැන්වීම අත් හැරෙනවිට සිංහලුන්ට එහි නිදහසේ ජීවත්විය හැකියැයි කිව හැකිද?

නමුත් අපි කථා කල යුත්තේ කොටි ත්‍රස්තවාදීන් විසින් පලවා හැරි එනම් අසූවේ දශකයේ පමණ එහි ජීවත්වූ සිංහල පවුල් ගැන පමණක්ද? හෙට උපදින සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට අයිතියක් නැද්ද?

විවාදයකින් තොරව ඔවුන්ටද එහි ජීවත්වීමට අයිතියක් තිබිය යුතුය. මේ රට සියලු ජාතීන්ට එකසේ අයිති යැයි පවසන්නේ නම් එය එසේ විය යුතුය. නමුත් ව්‍යවස්ථාවෙන් ඒ අයිතිය දී ඇති පමණින් අනාගත සිංහලුන්ට නැඟෙනහිර හෝ උතුරේ ගොස් පදිංචි විය නොහැකිය. ඒ සඳහා සිංහල පාසල් ඇතිවිය යුතුය, සිංහලුන් සඳහා පංසල් පල්ලි ඇති කල යුතුය, ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතුය. මේවා කර දීම ආණ්ඩුවක වගකීමය. ව්‍යවස්ථාව කොළයක ලියා තැබූ පමණින් එහි ඇති අයිතීන් තහවුරු වන්නේ නැත. ආණ්ඩුවකට විධායක බලය දී ඇත්තේ ව්‍යවස්ථාව තහවුරු කිරීමටය. නමුත් මේ ආණ්ඩුව ඒ සඳහා කරන්නේ කුමක්ද?

ඉතා පැහැදිලිවම දෙමළ ජාතික සංධානය ඇතුළු දෙමළ ජාතිවාදීන් ගේ උවමණාව සිංහලයින්ට උතුරේ හෝ නැඟෙනහිර හෝ ජීවත්වීමට ඇති අයිතිය නැති කිරීමය. දැනටමත් ඔවුන් මේ අයිතිය සිංහලුන්ගෙන් උදුරා ගැනීම සඳහා බොහෝ දුර ගොස් ඇත. දෙමළුන්ට සහ මුසල්මාණුවන්ට මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමට යම් බාධක තියෙන්නට පුළුවන. ඒවා නිවැරදි කල යුතුය. නමුත් ඔවුන් හා සසඳන විට සිංහලුන්ට උතුරේ හෝ නැඟෙනහිර ජීවත්වීමට ඇති බාධාව අති මහත්ය. එය හිතාමතා සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන දේශපාලන ව්‍යාපෘතියකි. හෙළුවෙන්ම ජාතිවාදයකි.

සිංහලුන් නැඟෙනහිර සහ උතුරු පළාත්වල පදංචිවීම ඊනියා ජනාවාසකරණයක් ලෙස හැඳින්වීමට අප පුරුදු කර ඇත. අපි මේ සංකල්පයෙන් නිදහස්විය යුතුය. ඉංග්‍රීසීන් ඕස්ටේ‍ර්ලියාවට ගොස් එහි බලෙන් පදිංවි වීම අඩුම තරමින්වත් ජනාවාසකරණයකි. ලංදේසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් මෙරට උතුරේ පදිංචි කෙරවීම ජනාවාසකරණයකි. ඉංග්‍රීසීන් ඉංදියාවේ ද්‍රවිඩයින් උඩරට ඉඩම්වල පදිංවි කරවීම ජනාවාසකරණයකි. නමුත් හම්බන්තොට සිංහලුන් කිලිනොච්චියේ ගොස් පදිංචිවීම ඕස්ටේ‍ර්ලියාවේ පුරවැසියෙක් එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක පදිංචි වීමට වඩා වැඩි දෙයක් නොවේ. අද පවතින තත්වයේ සිට එවැනි සමබරතාවක් ඇති කරගැනීමට වසර තිහ හතලිහක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකිය. නමුත් එය රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක විය යුතු වැඩ සටහණකි. එසේ නොවී ස්වභාවිකව ඒ සමබරතාව ඇති වන්නේ නැත. විශේෂයෙන් ඒ සඳහා ඇති ජාතිවාදී දේශපාලන බාධක රාජ්‍යය මැදිහත්වී ඉවත් කල යුතුය. ව්‍යවස්ථාව තහවුරු කරනවා යැයි කියන්නේ එයටය.

අනාගත සිංහලුන්ට නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඉඩම් අත් පත් කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතීන් බුක්ති විඳිමින් එහි ජීවත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම රජයේ වගකීමය. එය කල හැකි රාජ්‍යයක් අපි තනාගත යුතුය. එවැනි රාජ්‍යයක් ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අපි පත් කරගත යුතුය. රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පත්කර දී ඇත්තේ සිංහලුන්ගේ අයිතීන් පැහැර ගෙන රාජ්‍යය දියකර හැරීමට විනා සිංහලුන්ට අයිතීන් ලබාදීමට නොවේ. ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනස් කරමින් උතුරට එකක් සහ දකුණට එකක් වශයෙන් මේ රටේ සමාන බල ඇති ආණ්ඩු දෙකක් පිහිටවුවහොත් සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණ ගැන කථා කරලා හමාරය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/04/2015

පාදඩ මධ්‍යම පංතිය

කතෘ:යුතුකම     12/04/2015   4 comments
පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත් මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවකය. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත.

කෙසේ වෙතත් නරි බෑණා නාටකයේ කියැවෙන්නේ තරමට වඩා ඉදිමෙන්නට ගොස් පීචං වෙන නරියෙකු ගැනය. මට ඒ නරියා සිහිගන්වන්නේ මෙරට වර්තමාන මධ්‍යම පංතියය. දශකයක පමණ කාලයක සිට මෙරට මධ්‍යම පංතිය ලෙස හඳුනාගන්නා සමාජ කොටසක් සීඝ්‍ර ලෙස ව්‍යාප්තවෙමින් පවතී. කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි වරධන වේගය තවත් වැඩිවී ඇතැයි සිතේ. මේ පංතිය සාපේක්‍ෂ වශයෙන් ආර්ථික ශක්තියෙන් ධනාත්මක වර්ධනයක් අත් කරගෙන ඇත. නමුත් ඒ සමඟම ඔවුන්ගේ අපේක්‍ෂාවන් වලට ඊට වඩා වර්ධනයක් ලැබී ඇත. පොදුවේ ගත්විට මේ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂා මුදුන් පත් කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත. මා එය පාදඩ මධ්‍යම පංතියක් ලෙස හඳුන්වන්නේ ඒ අර්ථයෙනි.

බටහිර රටවල මධ්‍යම පංතියේ තත්වය මෙතරම් සෝචනීය නැත. පොදුවේ ගත් විට ඒ මධ්‍යම පංතියට තමන්ගේ අපේක්‍ෂාවන් ඉටුකර ගැනීමට හැකි අතර ඒ නිසා ඔවුන්ට ආරථික නිදහසක්ද හිමිය. මේ හේතුවෙන් බටහිර මාධ්‍යම පංතිය, අවම වශයෙන්, ඇමෙරිකානු මධ්‍යම පංතිය අපට සාපේක්‍ෂව උසස් මධ්‍යම පංතියක් ලෙස හැඳින්විය හැකිය. මීට වසරකට ඉහත ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචිය සඳහා පැමිණෙන විට උසස් මධ්‍යම පංතියකින් පාදඩ මධ්‍යම පංතියකට මාරුවෙන බව මම නොදැන සිටියෙමි. සංක්‍රමනය වීමට ගත් තීරණය ගැන පසු නොතැවුනද මෙරට ඇතිවී ඇති සමාජ විපර්යාසය ගැන මම දුක් වෙමි.

ඒ ඒ රටවල සංස්කෘතීන්ට අනුව ඒ ඒ සමාජවල අපේක්‍ෂාවන් වෙනස්ය. ප්‍රශ්ණය අපේක්‍ෂාවන්ට සරිලන ආර්ථික හැකියාවක් ඇත්ද යන්නය. එසේ නොවේ නම් කල යුත්තේ සමාජයක් වශයෙන් හික්මීමය. අපි මේ රට සංවර්ධනය කල යුත්තේ අපේක්‍ෂාවන් සහ ආර්ථික වර්ධනය අතර සැමවිටම ගතික සමතුලිත බවක් පවත්වා ගනිමින්ය. නමුත් සිදුවී ඇත්තේ හික්මීම බල්ලට දමා අපේක්‍ෂාවන්ට සරිලන ලෙස ආර්ථිකය වර්ධනය කරගැනීමට පුද්ගලයින් වශයෙනුත් සමාජයක් වශයෙනුත් අපි උත්සාහ කිරීමය.

බටහිර රටවල් ඊනියා සංවර්ධනයක් අත් කර ගැනීමේදී ඔවුන්ට මේ ප්‍රශ්ණය නොතිබුනි. සංවර්ධනය වෙද්දී ඔවුන්ගේ අපේක්‍ෂාවන් ක්‍රමයෙන් වෙනස් වුනි. නමුත් අපේක්‍ෂාවන් මොනවාදැයි තීරණය කලේද ඔවුන්මය. ඒ නිසා ඔවුන්ට අපේක්‍ෂාවන් සහ වර්ධනය අතර ගතික සමතුලිත බවක් පවත්වාගැනීමට හැකිවිනි. නමුත් අපේ අපේක්‍ෂාවන් ගැන නිර්ණායකයන් අපට දී ඇත්තේ බටහිර සංස්කෘතිය විසිනි. ආර්ථික සංවර්ධනය දුවන්නේ ඒ පිටුපසය. අපේ මධ්‍යම පංතිය පාදඩ වෙන්නේ ඒ නිසාය.

සිඟාල ගෝත්‍රයේ වුනද නරි බෑණාහි නරියාට නරියෙකු වීම නිසා තමන් අපේක්‍ෂාකල මනුස්ස දුව නොලැබී යයි. නරියෙක් වූවා මදිවට නාටකයේ වත්මන් සංස්කරණයේදී නරියා නිරූපනය වෙන්නේ නපුංසකයෙකු ලෙසය. ඒ නරියාට නම් කොහොමටත් නොහැකිය. මෙරට මධ්‍යම පංතියටද එසේමය. කලාව ජීවිතය අනුකරණය කරනවා යැයි කියන්නේ මෙවැනි දේට විය හැකිය

-වංශපුර දේවගේ ජානක
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/01/2015

රටේ ආර්ථික දත්ත කොල්ල කෑමට ඉඩ දිය යුතුද?

කතෘ:යුතුකම     12/01/2015   No comments
ආර්ථික දත්ත ඩිජිටල්කරණය සඳහා මිලියන 10,000ක් මෙවර අය වැයෙන් වෙන් කෙරී ඇත. රටේ දීර්ඝ කාලීන තාක්‍ෂණික සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සුභදායකය. නමුත් ඊනියා සංවර්ධන කටයුතු හරහා රටේ ආර්ථිකයත් රාජ්‍ය බලයත් විදේශ බලවේගයන්ගේ අවශ්‍යතාවන්ට අනුව නොහැසිරවීමට වග බලා ගැනීම රජයේ යුතුකමය.

අය වැය කථාවේ 192 සහ 193 ඡේද වල මෙසේ සඳහන් වෙයි.

192. ගරු කථානායක තුමනි, රජය, විවෘත රාජ්‍ය සහභාගීත්වය (Open Government Partnership) සඳහා කැපවී සිටිනවා. ජාතික දත්ත තලය (national data platform) ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවට විවෘත රාජ්‍ය සහභාගිත්වයෙහි අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තවදුරටත් සහායක් ලැබෙනු ඇත.

193. උසස් ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 10,000 ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට මා යෝජනා කරනවා. (ඉංග්‍රීසි පිටපතෙහි උසස් ඩිජිටල්කරණය නෙුවට ඇත්තේ advanced digitization of economy කියාය. ඩිජිටල්කරණයට හසුවන්නේ ආර්ථික දත්ත බව සිංහල පිටපතෙහි සඳහන් නොවන්නේ මක් නිසාදැයි කිව හැක්කේ මුදල් අමාත්‍යවරයාටය.)

අයවැයෙන් ඒ ඒ විශයන් සඳහා වෙන් කෙරෙන මුදල් සලකා බැලූවිට රුපියල් මිලියන 10,000 ක් යනු විශාල මුදලකි. උදාහරණයක් වශයෙන් මෙගා පොලිස් ව්‍යාපෘතියටත්, පුබුදමු පොළොන්නරුව ව්‍යාපෘතියටත්, මුළු රටේම ප්‍රාථමික පාසල් නවීකරණය කිරීම සඳහාත් වෙන වෙනම යෝජනාවී ඇත්තේ ඒ හා සමාන ප්‍රතිපාදනය. නමුත් මෙහිදී වැදගත් ප්‍රශ්ණය ප්‍රතිපාදනයේ විශාලත්වය නොව රජය ඒ මුදලින් කරන්නේ කුමක්ද යන්නත් කරන්නේ කාගේ උවමණාවටද යන්නත්ය.

විවෘත රාජ්‍ය සහභාගීත්වය (OGP) යනු රාජ්‍යය විනිවිද භාවය වෙනුවෙන් ක්‍රියාකාරී වනවා යැයි ප්‍රකාශ කර සිටින ජාත්‍යන්තර සංවිධානයකි. OGP හි සාමාජිකයෝ බහුතරයක් බටහිර රටවල් හා බටහිර ආණ්ඩුවල බලපෑමට ලක්වන රටවල්ය. OGPහි එකම දකුණු ආසියාතික සාමාජිකයා ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාවට එහි සාමාජිකත්වයක් ලැබුනේ විජේදාස රාජපක්‍ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මේ වසරේ ඔක්තෝබර් මාසයේය.

ප්‍රධාන වශයෙන් OGP සංවිධානයට මුල්‍යාධාර සපයන්නේ බ්‍රිතාන්‍යය සහ ඇමෙරිකානු රජයන්ය. එහි ප්‍රඥාප්තියට අනුව ඊනියා විනිවිද භාවයක් උදෙසා රජයන්ට බල කිරීමත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරි වෙන සිවිල් සංවිධාන වලට ආධාර කිරීමත් මේ සංවිධානයේ වගකීම ලෙස සැලකෙයි. OGP සමඟ අත්වැල් බැඳගෙන සිටින ලංකාවේ ක්‍රියාත්මක වන සිවිල් සංවිධානය කුප්‍රකට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැශනල් සංවිධානයයි. එයද යැපෙන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු කිහිපයක ආධාර මතය. ඊනියා විනිවිදභාවයක් උදෙසා රජයට බාහිරින් එන බලපෑම් වලත් අභ්‍යන්තරයෙන් එන බලපෑම් වලත් මුූලාශ්‍රය එකමය. මෙවැනි දේ මෙරට සිදුවන්නේ පළමු වතාවට නොවේ. පැහැදිලිවම රජය රුපියල් මිලියන 10,000 වැය කිරීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය ඒංගලන්තයේ සහ ඇමෙරිකාවේ ආර්ථික සහ දේශපාලනික අවශ්‍යතාවන් මත කෙරෙන්නෙකි.

OGP සංවිධානය දුප්පත්බව, පරිසර දූශණය, තිරසාර සංවර්ධනය වැනි විශයයන්හි උනන්දුවන බව ප්‍රකාශ කර සිටියද ඔවුන්ට ඒවා විසිරුනු අදහස් බව ඔවුන්ගේ ලේඛන පිරික්සීමේදී පෙනීයයි. ඒ ඇස් බැන්ඳුම් තුල ඔවුන් සැබැවින්ම ක්‍රියාකාරී වී ඇත්තේ රාජ්‍යයක ආර්ථික හා සමාජීය තොරතුරු ලෝකයට නිදහස් කිරීම සම්බන්ධයෙනි. රාජ්‍ය කටයුතු වල යම් පාරදෘශ්‍ය බවක් තිබිය යුතුය. රජයක පාරදෘශ්‍ය බව තිබිය යුත්තේ රටේ ජනතාවටය. නමුත් OGP සංවිධානයේ අරමුණු ඊට එහා යන බව ඔවුන්ගේ ප්‍රකාශිත මූලෝපායන් තුල පැහැදිලිවේ:

“Promote public access to timely and disaggregated information and open data on government activities related to the implementation and financing of the 2030 Agenda for Sustainable Development, in line with national legislation and international commitments . We support development of the International Open Data Charter and intend to explore its implementation in our countries.” - Joint Declaration on Open Government for the Implementation of the 2030 Agenda for Sustainable Development.

මෙහි සඳහන් වෙන්නේ ඩිජිටල්කරණයට ලක් කෙරුනු රාජ්‍ය තොරතුරු පොදු ප්‍රජාවට මුදා හැරිය යුතු බවය. නමුත් මෙහි වැදගත් කරුණ හුදෙක් තොරතුරු නිදහස් කිරීම පිළිබඳව නොව එම තොරතුරු කොටස් වලට වෙන් කෙරුනු දත්ත වශයෙන් (disaggregated) ලබා දිය යුතු බව වීමය. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ වෙසන සිංහලුන්ගේ ප්‍රතිශතය දත්ත එකතු කිරීම තුලින් ගොඩනඟා ගන්නා තොරතුරකි. නමුත් කොළඹ නගරයේ එක් එක් නිවසක වෙසෙන මිනිසුන්ගේ ජාතිය, ආගම, වයස, අධ්‍යාපනය, රැකියාව ආදී තොරතුරු එකතු නොකරන ලද, ප්‍රාථමික මට්ටමේ දත්තයන්ය. මේවා ඉලෙක්ට්‍රොණික දත්ත වන අතර රටේම තොරතුරු ගත් විට ප්‍රමාණයෙන්ද අති විශාල වේ. මේ ආකාරයේ දත්ත පරිශීලණය කිරීමට විශේෂඥ දැනුමක් අවශ්‍යය. රටේ සාමාන්‍ය ජනතාවට එවැනි හැකියාවක් නැති අතර වඩා වැදගත් ලෙසට එවැනි දත්ත පරිශීලණය කිරීමට සාමාන්‍යයෙන් ඔවුන්ට උචමණාවක්ද නැත. උචමණාවක් සහ හැකියාවක් ඇති රටේ විශ්ව විද්‍යාල පර්යේෂකයින් මහ බැංකුව වැනි රජයේ ආයතනවල සේවකයින් වැනි අයට මේ ආකාරයේ ප්‍රාථමික මට්ටමේ දත්ත ඒවා රැස් කර ගබඩා කරන රජයේ ආයතන හරහා රාජකාරි මට්ටමෙන් ලබා ගැනීමට ක්‍රමවේද දැනටමත් තිබිය හැකිය. නැතිනම් එම ක්‍රමවේද තනාගත හැකිය. ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමක් අනවශ්‍යය. නමුත් OGP සංවිධානයේ ස්ථාවරය ප්‍රාථමික මට්ටමේ මෙවැනි තොරතුරු ඉලෙක්ට්‍රොනික දත්ත බවට පරිවර්තනය කර පොදු ප්‍රජාවට නිදහස් කල යුතු බවය. එවිට අවශ්‍යනම් මේ දත්ත විදේශ රටවල ආර්ථික විශ්ලේෂකයින්ට පවා කොන්දේසි විරහිතව ලබා ගත හැකි වනු ඇත. රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය ඒ සඳහා බව පැහැදිලිය. මෙහි අරමුණ කුමක්ද?

මිනිසුන්ගේ අනන්‍යතාවන් පිළිබඳ, ඔවුන්ගේ ගනුදෙනු පිළිබඳව, නිශ්පාදන සහ වෙළඳාම් පිලිබඳව ආදී වශයෙන් ප්‍රාථමික මට්ටමේ තොරුතුරු රජයේ මෙන්ම පෞද්ගලික ආයතන වල දිනපතා නිපදවෙයි. ආයතන හරහා තිරස් අතටත් කාලයේ සිරස් අතටත් ගත්කල විශාල දත්ත ප්‍රමාණයකි. එහි විවිධවත්වයද විශාලය, එම දත්ත සිඝ්‍රයෙන් වෙනස් වන්නේද වේ. මෙවැනි දත්ත විශ්ලේශණය කිරීම සඳහා අවශ්‍ය විශේෂඥ තාක්‍ෂණික දැනුම පොදුවේ හැඳින්වෙන්නේ මහා පරිමාණ දත්ත (Big Data) තාක්‍ෂණය යනුවෙනි. මහා පරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ දත්තවල අඩංගු දෑ පිළිබඳව යම් යම් නිගමණ වලට එළඹීම නොවේ. එසේ වුනි නම් රුපියල් මිලියන දස දහසේ ව්‍යාපෘතිය පිළිබඳව එතරම් කනස්සලක් ඇතිවන්නේ නැත.

මහාපරිමාණ දත්ත විශ්ලේශණයේ මූලික අරමුණ අනාගතය පිළිබඳ අනාවැකි පල කිරීමය. ඒ අනුව රටක ඩිජිටල්කරණයට ලක්වෙන ආර්ථික සහ සාමාජීය දත්ත හරහා ඒ රටේ නිශ්පාදනය, පරිභෝජනය, භෞතික සම්පත්, දේශගුණය, කෘෂිකර්මාන්තය ආදිය වෙනස් වෙන ආකාරය අධ්‍යනය කර රටේ අනාගත ආරථික සහ සාමාජීය තත්වයන් පිළිබඳව පුරෝකතනයක් කිරීමට හැකිවනු ඇත. විවෘත සමාජ වල සමාජ-ආර්ථික රටාවන් අන් රටවල් හා බැඳි පවතී. එබැවින් වඩා නිවැරදි ලෙස එම පුරෝකථනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ රටවල් විශාල සංඛ්‍යාවක මහා පරිමාණ ප්‍රාථමික දත්ත වලට හිමිකම් කියන විශ්ලේශකයෙකුටය. අපි අපේ දත්ත ඩිජිටල්කරණය කර මුදා හැරියද මුළු ලෝකයේම දත්ත ලබා ගැනීමට හැකියාවක් අපට නැත. OGP සංවිධානය හරහා ඒ හැකියාව ලබා දෙන්නේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් වලටය.

සමාජයක් මෙහෙයවිය හැක්කේ අනාගතය ගැන නිවැරදි දැකීමක් ඇති බලවේගයකටය. එබැවින් කිසියම් සමාජයක (රටක හෝ ලෝකයේම හෝ) අනාගතය පිළිබඳව නිවැරදිව අනාවැකි පල කිරීමට හැකිවීම මත දේශපාලන බලයක් ගොඩනැඟේ. මහාපරිමාණ දත්ත පිටුපස ඇත්තේ ඒ දේශපාලන බලය ගොඩනැඟීමේ අරමුණය. දැනට මහාපරිමාණ දත්ත විශ්ලේශණයට අවශ්‍යය තාක්‍ෂණික දැනුමත් ඊට පහසුකමුත් ඇත්තේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලය. ඊනියා රාජ්‍ය විනිවිදභාවයක් වෙනුවෙන් යැයි කියමින් රටේ ආර්ථික දත්ත කොල්ල කන ව්‍යාපෘතිය පිටුපස ඇත්තේ නව අධිරාජ්‍යවාදී ක්‍රමයයි. OGP සංවිධානයට හවුල් නොවීම නිසා අඩු තරමින් අපේ අසල්වැසි ඉංදියාව හෝ ඒ බව හඳුනාගෙන ඇති බව පෙනේ. තමන්ට එරෙහිවූ යෝජනාවකට අත්සන් තැබීමට තරම් දීනවූ මේ රජයට රටේ ආර්ථික දත්ත පාවාදීම එතරම් කජ්ජක්ද?

මූලාශ්‍ර
OGP 4 year strategy
OPG 2030 Agenda
Joint Declaration
Funding: Transparency International - Sri Lanka


-වංශපුර දේවගේ ජානක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/22/2015

වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මුල පිරූ වෙනස

කතෘ:යුතුකම     11/22/2015   4 comments
වෙනසකට මුල පුරා වසරක් ගත වී ඇති බව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා විසින් මතක් කර දීම හොඳ දෙයකි. එදා රට තිබුණ තැන සහ අද ඇති තැනත් දැන් මේ වෙනස්කම් කරන්නේ රට කොතැනට ගෙනයාමටද බවත් ඒ මතකය ඔස්සේ අපට අවබෝධ කරගත හැකිය. එදා වැස්සේ තෙමීගෙන මෝටර් සයිකලයක් පැදගෙන ආ තරුණ ජෝඩුවක් පැතුවේ තමන්ගේ ආණ්ඩුවක් තුල අඩු මිළට වාහනයක් මිළදී ගැනීමටය. අද ත්‍රී වීලර් රථයේ සිට සියළු වාහන වල මිළ ලක්‍ෂ ගණනින් වැඩිවී ඇත. සමහර වාහන දශ ලක්‍ෂ ගණනින් වැඩි වී ඇත. වාහන වලට අය කෙරෙන ආදායම් බදු වැඩි වී ඇත. ලබාගත හැකි වාහන ණය ප්‍රතිශතය සීමාවී ඇත. මෝටර් සයිකලයෙන් රථ වාහනයකට මාරුවීමට සිතා සිටි පහල මධ්‍යම පංතියේ දහස් ගණන් තරුණ ජෝඩු වල අපේක්‍ෂා භංග වී ඇත.

එසේ වුවත් මේ අවුල් ආණ්ඩුව ජනතාව ඇන්ඳීම තවමත් නවත්වා නැත. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව ගණයේ සුප්‍රබුද්ධ රූපවාහිනී ප්‍රචාරක දැන්වීම් තවමත් ප්‍රචාරය වේ. එයින් අපට කියා දෙන්නේ ඕපන් ක්ලෝස් (විවෘත/සංවෘත) ගැන නොසිතා රට හැදිය යුතු යැයි කියාය. රවි කරණානායකගේ අය වැය මෙන්මම මේ කියන දේද සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගැනීමට අපහසු සුප්‍රබුද්ධ ගණයේ එකක් වුවද ගොනා හැරෙන්නේ කුමකටදැයි මෙරට මිනිස්සුන්ට සිතා ගත හැකිය. ඉදිරියේදී මේ අවුල් ආණ්ඩුව විසින් රටේ භෞතික සහ මිනිස් සම්පත් පමණක් නොවේ ජනතා ස්වාධිපත්‍යයද විදේශිකයින්ට සූරා කෑමට ඉඩදෙනු ඇත. එසේ නැතිව මේ ආණ්ඩුවට පැවැත්මක් නැත.

අය වැයෙන් නොකීවද මේ අවුල් ආණ්ඩුව විසින් විදේශ කළු සල්ලි මෙරටට ගෙන ඒමට ඉඩදී ඇත. ඒ මුදල් වලට පොළියක්ද ගෙවන බව සඳහන්ය. පොළිය ගෙවන්නේ කෙසේදැයි නෙකියවුණද රටේ ජනතාවගේ විශාම වැටුප්ද කොටස් වෙළද පොලේ ආයෝජනය වීමට නියමිත බව සඳහන්ය. දැන් විදේශිකයින්ට මෙරට ඉඩම් අයිති කරගැනීමට බද්දක් අය කරන්නේ නැත. තහනම්වූ කොටි හිතවාදී සංවිධාන රැසක තහනම ඉවත් කෙරී ඇත. විදේශගතව සිටි දෙමළ ජාතිවාදීන්ට දැන් නීතියානුකුලව මෙරටට පැමිණිය හැකිය. ඔවුන්ට ලඟදී නිදහස්වුනු කොටි ත්‍රස්තවාදීන් සමඟ රිසි සේ ගණුදෙනු කල හැකිය. ඒ අතර විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කථා කෙරෙයි. ව්‍යවස්ථාවට අනුව පළාත් සභා මධ්‍යයට බැඳ තබාගැනීමට හැක්කේ විධායක ජනධිපති බලතල වලට පමණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ රට ආර්ථිකව සහ දේශපාලණිකව පාවා දෙමින් පවතින බව නොවේද? ඕපන් ක්ලෝස් ප්‍රචාරක දැන්වීම් වලින් ජනතාව එයට නම්මවා ගත හැකිවෙයිද? අඩු තරමින් වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙරටට කල දේ පිළිබඳව මතකයක් මෙරට ජනතාවට තිබෙන තාක්කල් එය කල නොහැකි විය යුතුය.
ඊනියා වෙනසට මුල පිරුවේ දූශණය සහ භීශණය මුල් කරගෙනය. මීට වසරකට ඉහතදී යහපාලනවාදීන් ආර්ථිකය ගැන හෝ බලය බෙදීම පිළිබඳව කථා නොකිරීමට වග බලා ගත්හ. කොටින්ම ඡන්ද ප්‍රචාරක රැළි වලදී රාජපක්‍ෂ සමයේ ආර්ථික සංවර්ධනය එලෙසම කරගෙන යන බවට ජනතාවට පොරොන්දු වන්නට යහපාලනවාදීන්ට සිදුවිනි. මන්ද සාමාන්‍ය මිනිසුන්ට කෙසේ වෙතත් සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන්ට රාජපක්‍ෂ සමයේදී ආර්ථික අතින් අඩු පාඩුවක් නොතිබුනු බැවිනි. ඉදිරියේදී මෙරට ආර්ථික අතින් අඩු පාඩුවක් නැති පංතිය ගණනින් තව තවත් සංකෝචනය වනු ඇත. රණ විරුවන් පාවා නොදෙන බවට පමණක් නොවේ ඔවුන්ගේ ගෞරවයද ආරක්‍ෂා කෙරෙන බවට පොරොන්දු විනි. මන්ද මෙරට සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ සාමාන්‍යයෙන් යූඑන්පියට ඡන්දය දෙනවුන් පවා රටේ ඒකීය භාවය ආරක්‍ෂාවිය යුතුය යන ස්ථාවරයේ සිටින බැවිනි.

යහපාලනවදීන් තවමත් කථා කරන්නේ දූශණය සහ භීශණය ගැනය. ඔවුන් සමහරක්ට අනුව රටේ ප්‍රධානම ප්‍රශ්ණය හිටුපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල් රෙදි බෙදූ හැටි සොයා ගැනීමය. ඒ අතර මහ බැංකු බැඳුම්කර වංචා සහ කළු සල්ලි ඔස්සේ මෙරට ආර්ථිකයත් ජෙනීවා අධිකරණ හරහා මෙරට ෙසේවරීභාවයත් පාවා දෙමින් පවතී. මේ කරුණු මෙලෙස සිදුවන්නේ අහම්බයෙන් වත් නොසිතු විරූ පරිදිවත් නොවේ. මේ දෑ මෙසේ සිදුවන බව ජාතිකවාදීන් විසින් ජනවාරි 8 දාට පෙර පෙන්වා දුනි. මෙරට ආර්ථිකව සහ දේශපාලණිකව යටත් කර ගැනීම ඉංදියාව සහ බටහිර රටවල අවශ්‍යතාවය වේ. වැස්සේ මෝටර් සයිකලෙන් ආ තරුණ ජෝඩුව මෙන් යහපාලනවාදීන් ඒ බව අපට නොකියා අප එතැනට ගෙනයමින් සිටියි. වසරක් තිස්සේ මේ ජෝඩුව සමඟ ගමණක් ගිය මෙරට ජනතාවට යන්නේ කොහේදැයි දැන්වත් අවබෝධ විය යුතුය.
 

 -වංශපුර දේවගේ ජානක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/18/2015

ගිලෙන නැවෙන් පනින මීයෝ

කතෘ:යුතුකම     11/18/2015   No comments


මූඩිය හැරි සෝඩා බෝතලයක සැර මෙන් වියැකී යන යහපාලන ආණ්ඩුවේ ජනප්‍රිය බව අපවත්වී වදාල සෝභිත හිමියන්ගේ නාමයෙන්වත් ගොඩගනු නොහැකිය. ආණ්ඩුව ස්ථාවර කරගැනීමේ අරමුණින් අටවාගත් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයම අද එහි අස්ථාවර බවට හේතුව වී ඇත. ජනතාවට බලාපොරොත්තු දිය හැකි ජන නායකයෙකුද එහි නැත. එක්සත් ජාතික පාක්‍ෂිකයින් රනිල් වික්‍රමසිංහ සතු යැයි සිතන විදේශ සම්බන්ධතා හා ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැනුමින්වත් රනිල් වික්‍රමසිංහට හපන්කම් පෙන්වන්නට හැකිවී නැත. ඊට හේතුවක් ඇත. රනිල් වික්‍රමසිංහගේ සමත්කම් ඔහුගේ ස්වාමීන්වන බටහිර රාජ්‍යයන්ගේ සමත්කමට සාපේක්‍ෂය. අද රනිල් කරන්නේ ඇමෙරිකාවේ වහල් සමයේ ගෙවහලුන් කල කාරයයමය. ගෙයි වැඩකල වහලා ස්වාමියාට හිතවත්ව සිටමින් කොයි වෙලේ හෝ නිදහස් වෙන්නට බලාසිටි වත්තේ වැඩකල වහලාට හයිකාරකම් දැක්වීය. අගමැතිතුමා පමණක් නොව මුලු ආණ්ඩුවම අද අධිරාජ්‍යවාදීන්ගේ උවමණාව පිට මෙරට වැසියන්ගේ උවමණාවන් සහ සිතැඟිවලට විරුද්ධව ක්‍රියාකරමින් සිටියි.



නමුත් රනිල් වික්‍රමසිංහගේ ස්වාමීන් අද එතරම් බලවත් නැත. දැන් දැන් බටහිරුන්ගේ ආර්ථික ශක්තිය ක්‍රමයෙන් බිඳ වැටෙමින් පවතියි. පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතික හා දේශපාලන ශක්තියද ඉදිරි වසර පණහ තුල ක්‍රමයෙන් බිඳ වැටෙනු ඇත. ස්වාමීන්ට බැරිකොට රනිල් වික්‍රමසිංහට හපන්කම් දැක්විය නොහැකිය. රනිල් වික්‍රමසිංහලා අනතුරු හැඟවූ ආර්ථික සම්බාධක අද නිල නොවන ලෙස මෙරටට පනවා ඇත්තේ බටහිරුන් නොව චීනයය. බටහිර රාජ්‍යයන් පවා මිතුරුකම් පැවැත්වීමට වලිකන චීනය මිතුරුව තබා ගැනීමට මේ රජය අසමත්වී ඇත්තේ ස්වාමීන්ගෙන් වැරදි ලෙස ආරෝපණය කරගත් උද්ච්ඡකමක් නිසා විය යුතුය.

ඒ අතර ජනාධිපතිවරයාද ආණ්ඩුව තුල තමන්ගේ බල කේන්ද්‍රයක් තනා ගැනීමට සටනක් කරමින් සිටින බව පෙනෙයි. විධායක ජනපතිවුවද මෛත්‍රීපාල සිරිසේනට මේ ආණ්ඩුව තුල කල හැක්කේ සීමිත දේචල්ය. ඒ යහපාලන ක්‍රමවේදයේ යම් ගුණයක් නිසා නොව ආණ්ඩුව තුල බල තුලණයක් වී නොමැතිකම නිසාය. මේ ආකාර විවිධ හේතු නිසා ආණ්ඩුව ස්ථාවර නැත. අස්ථාවර ආණ්ඩුවකට ජනතාවගේ ස්වාධිපත්‍යය පිළිබඳ වගකීමක් ගත නොහැකිය. මෙවැනි දේශපාලන සංදර්භයක්තුල විපක්‍ෂයේ කාරය භාරය විය යුත්තේ ජනතාවගේ ස්වාධිපත්‍යය සුරැකීමය. එය ඉටු කල හැකි විපක්‍ෂයක් අද අපට නැත. එය ගොඩනැඟිය යුතුය. නමුත් ජනතා ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින විපක්‍ෂයක් ගොඩනැඟීමට සුදුසුකම් ඇත්තේ කාටද?

නැවක් ගිලෙනවිට මුලින්ම දොට්ට පනින්නේ එහි සිටි මීයන් බව කියැවෙයි. යහපාලනයට එක්වූ විවිධාකාර මීයන් අද ඉන් පනින්නට යත්ත දරන බව පෙනේ. ඒ අතර පර්ලිමේන්තුව තුල මැති ඇමතිවරුද ඉන් පිටත එන්ජීඕ ගැත්තන් සහ ඊනියා විදුවතුන්ද සිටිති. පනින්නට නොහැකිව ආණ්ඩුව තුල සිරවී සිටින්නේ යහපාලනයෙන් තමන්ට යමක් කමක් කරගත් සාමාන්‍යය දේශපාලණ ක්‍රියාකාරීන්ය.

මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහාවූ ව්‍යාපාරයේ විවිධ පාරශව සිටියහ. සමහරක් මෛත්‍රීවාදීන්වූ අතර තව සමහරක් රනිල්වාදීන්වූහ. දෙගොල්ලන්ම මහින්ද විරෝධීවූහ. ඔවුහු සෘජුව හෝ වක්‍රව සිංහල බෞද්ධ විරෝධීවූහ. යහපාලන නැවෙන් පනින මීයෝ මේ කාණ්ඩ දෙකෙහිම සිටිති. මේ මීයෝ නොබෝ දිනකින්ම තමන්ට දේශපාලන බලයක් ගොඩනඟාගනිමින් ඊනියා විපක්‍ෂයක් ලෙස ජනතාව ඇන්ඳීමට සූදානම්වනු ඇත. අළුයම ලූ කෙළ පිඩක් සේ ඉවත දැමිය යුතු යමක් වේ නම් එය මේ ගිලෙන නැවෙන් පිනු මීයන්ගේ දේශපාලනයය. මීට මාස කිහිපයකට පෙර මොවුන් කවුදැයි ජනතාව විසින් ඉතා පැහැදිලිව හඳුනාහෙන සිටියේය. ඒ මතකය ගිලිහී යාමට ඉඩ නොදිය යුතුය.

මීයන්ට මෙරට ජනතාවගේ ස්වාධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට උවමණාවක් හෝ සුදුසු කමක් නැත.

වත්මන් රජය බලයට ගෙන ආවේත් පවත්වාගෙන යන්නේත් ඉංදියානු-බටහිර දේශපාලන බල මඟිනි. එහි අරමුණු ඉටු කරගැනීම සඳහා මෙරට ස්ථාවර රජයක් පැවතිය යුතුය. මේ විදෙස් බලවේගයට මෛත්‍රීපාල සිරිසේන සමඟවත් රනිල් වික්‍රමසිංහ සමඟවත් විශේෂ ඇයි හොඳැයියක් නැත. ඔවුන් රනිල් සහ මෛත්‍රී යනු තමන් විසින් අධ්‍යක්‍ෂණය කරන දේශපාලන රංගනයක නළුවන් දෙදෙනක් පමණි. තමන්ට අවැසි දේශපාලන ඉලක්කවලට මේ ආණ්ඩුව සමඟ යා නොහැකි යැයි වැටහෙන විට ඉංදියානු-බටහිර දේශපාලන බලවේග රනිල් සහ මෛත්‍රී ලොප් කිරීමට දෙවරක් නොසිතනු ඇත. නමුත් ඔවුන්ට විකල්පයක් අවශ්‍යයය.

යහපාලන නැවෙන් පනින මීයන් උත්සාහ කරනු ඇත්තේ රනිල් හෝ මෛත්‍රී වෙනුවට හෝ ඒ දෙදෙනාම වෙනුවට හෝ තමන් සුදුසු යැයි විදෙස් බලවේග වලට ඒත්තු ගැන්වීමටය. ඒ හරහා ඉංදියාවේ සහ ඇමෙරිකාවේ හිත දිනා ගැනීමටය. හිත දිනාගෙන බලයට ඒමටය. එපමණින්ම මීයන්ට බලය ලබා ගත හැකිද යන්න ප්‍රශ්ණයක් වන්නේ ගෝලීය දේශපාලන වාතාවරණය වෙනස් වෙමින් පවතින බැවිනි. කෙසේ නමුත් මීයන්ට කල හැක්කේ ඉංදියාවේ සහ ඇමෙරිකාවේ පිහිට පැතීම පමණි. නමුත් ඊට කලින් මීයෝ ජනතාව දිනාගත යුතුය. (නැත්නම් විදෙස් බලවේග ඔවුන් සැලකිල්ලට ගන්නේ නැත). ඒ සඳහා ඔවුහු සැබෑ විපක්‍ෂය ලෙස ජනතාව ඇන්ඳීමට උත්සාහ කරනු ඇත. මීයන්ගේ දේශපාලනය හඳුනාගනිමු.


-වංශපුර දේවගේ ජානක

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/14/2015

ජාතියට දඬුවම් දීමට ඉඩදිය නොහැකිය

කතෘ:යුතුකම     10/14/2015   2 comments
ඇන්ඳීම සහ ඇඳගැනීම සාධනීය කිරීම, දැනුම පිළිබඳ පශ්චාත් නූතනත්වය දරන වැදගත් ආකල්පයකි. අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදාගනිමින් පාරිභෝගික භාන්ඩ ප්‍රවර්ධනය කිරීමේ සිට බටහිර ආණ්ඩු විසින් තම විරුද්ධවාදීන් විනාශ කිරීම සඳහා මානුශීයමය සංකල්ප කුට ලෙස යෙදා ගැනීම දක්වා ඇන්ඳීම සහ ඇඳගැනීම දැකිය හැකිය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද ප්‍රධාන ලක්‍ෂණයක්වූයේ අසත්‍ය හෝ අසම්පූර්ණ තොරතුරු යොදා ගනිමින් ජනතාව දේශපාලනිකව නොමඟ යැවීමය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනතාව දේශපාලනිකව ගොනාට ඇන්ඳීම මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ සාමාන්‍යයක් බවට පත්කෙරිනි. දැනටමත් නොකරන්නේනම් ඉදිරියේදී හෝ විපක්‍ෂයද මේ කුටෝපායන් භාවිතා කරනු ඇත. පශ්චාත් නූතනත්වයට ඊට විරුද්ධවීමට පදනමක් නැත.
මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් කල ඇන්ඳීම මඟින් එහි සැබෑ අරමුණු වසා දැමිනි නැතිනම් බොඳ කර හැරිනි. එම ව්‍යාපෘතියේ ප්‍රධාන ඇන්ඳීමක්වූයේ ඊනියා යහපාලනය සම්බන්ධයෙනි. පත්වූ රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවද බටහිර සංස්කෘතියට අසමත් ලෙස අවශෝෂණයවූ අනුකාරික බයියන්ගේම ආණ්ඩුවක් වනබැවින් (ඒ ගැන අපට ඇත්තේ සතුටකි) මෛත්‍රීපාලගේ කහ ඉර මත රඟපෑමෙන් ඔබ්බට ඒ ඇන්ඳීම ගෙනයාමට මේ ආණ්ඩුවට නොහැකිවී ඇත. ඒ හේතුව නිසා යහපාලනය හුදෙක් ඇන්ඳීමක් පමණක් බව මේ වනවිට ජනතාවට ඒත්තු ගොස් ඇත.


මහින්ද රාජපක්‍ෂ ඊනියා සිංහල ස්වෝත්මවාදීන් නියෝජනය කරන්නේය යන්න එම ව්‍යාපෘතියේ තව ඇන්ඳවීමකි (ඇඳගැනීමකි). ඒ ඇන්ඳවීමද අද පච වී ඇත. වර්ගවාදී ලෙස දේශපාලනයේ නියැලුනු චම්පක රණවක අද සෙවණ ලබන්නේ යහපාලන ආණ්ඩුව තුල මිස ජාතික ව්‍යාපාරය තුල නොවේ. පසුගිය මැතිවරණයේදී බොදු බල සේනාවේ දේශපාලනයටද මෙරට ජනතාවගේ ඉල්ලුමක් නැති බව පැහැදිලි කෙරෙනි. මේ ව්‍යාපාර පිළිබඳ කරුණු ජනවාරි 8දා යින් පසු ඇතිවූ තත්වයක් නොව මේ කරුනු ජනවාරි 8දාට පෙරද එසේම විය. සිංහල අධිපතිවාදීන්යැයි කිව හැකි යම් පිරිසක් සිටියේනම් ඔවුන් ගොනුවී සිටියේ මහින්ද රාජපක්‍ෂ වටා නොවේ. සිංහල අධිපතිවාදීන්යැයි කියනවුන් මහින්ද රාජපක්‍ෂට චන්දය දුන්නේ නැත. එය හුදෙක් ඇන්ඳවීමක් පමණි.


මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතියේද පැවති ඊට පෙර සිටද පවත්වාගෙන ආ අනිත් ඇන්ඳවීම ඊනියා ජනවාර්ගික ප්‍රශ්ණය සම්බන්ධයෙනි. මූලික වශයෙන් ජාතිවාදී ගැටුම් ඇතිවන්නේ එක් ජනවර්ගයක් තවත් ජනවර්ගයක් සංස්කෘතික හා සාමජීය වශයෙන් නොඉවසන විටය. ඒ අර්ථයෙන් මෙරට දෙමළ සිංහල ජනවාර්ගික ගැටුමක් කිසි දිනක පැවතුනේ නැත. එවැනි ගැටුමක් මෙරට තිබිනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් එවැන්නක් නැති කල නොහැකිය. මන්ද ජනවාර්ගික ගැටුමකට මුල සංස්කෘතික හා සාමාජීය හේතුන් වන බැවිනි. ඒ නිසා එවැනි ගැටුමක් තිබුනි නම් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අදටත් එය කුමන අයුරකින් හෝ පැවැතිය යුතුය. නමුත් අද මෙරට ජනවාර්ගික ගැටුමක් ඇතැයි කිසිවෙකු නොකියයි. එය එසේනම් කිසි දිනක හෝ මෙරට සිංහල-දෙමළ ජනවාර්ගික ගැටුමක් තිබිනියැයි කීම තාර්කික නොවේ.


නමුත් සිංහලුන්ට සටනක් තිබුනි. එය අදටත් ඇත. ඒ සටන දේශපාලණික සටනකි. නමුත් ඒ දේශපාලණික සටන දෙමළ ජනයා සමඟ ඇති එකක් නොව පොදුවේ මෙරට සිංහලතාව නැසීමට උත්සාහ කරන දේශපාලන බලවේග සමඟ චිරාත් කාලයක සිට සිංහලුන්ට ඇති සටනකි. වර්තමානයේ මෙරට සාමාන්‍ය දෙමළ ජනයා සිංහලුන් සමඟ මේ සටනට වක්‍රාකාරව පැටලී සිටින්නේ දෙමළුන්ගේවත් සිංහලුන්ගේවත් සැකැස්මකට අනුව නොවේ. සිංහලුන්ට ඇති සටන අතීතයේ සොලීන්ගේ සිට මෑත කාලයේ ඉංග්‍රීසීන් දක්වා ගලා එන්නකි. සිංහලුන් දේශපාලනිකව සටන් කරන්නේ සිංහලතාව රැක ගැනීමේ අරමුණිනි. ඉංග්‍රීසීහු එංගලන්තය ක්‍රිස්තියානි ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ රටක් ලෙස පවත්වාගෙන යන්නාක් සේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ රටක් ලෙස මෙරට රාජ්‍යය පවත්වාගෙන යාමට සිංහලුන්ට අයිතියක් තිබිය යුතුය. 


නමුත් අද පශ්චාත්නූතනත්වය වෙසින් එන බටහිර සංස්කෘතිය ඒ සඳහා සිංහලුන්ට ඉඩ දෙන්නේ නැත. විවිධාකාර ඇන්ඳීම් හරහා මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මඟින් සැඟවූයේද බටහිරුන් විසින් සිංහලතාවට එල්ල කරන මේ බලපෑමය. කෙසේ නමුත් මහින්ද රාජපක්‍ෂ ඉවත් කිරීමෙන් මෙරට සිංහලතාවට මරු පහරක් වැදුනි. එහෙත් එම ව්‍යාපෘතිය තවමත් අවසන් නැත.

අද අධිරාජ්‍යවාදී බලවේග ඊනියා මානව හිමිකම් චෝදනාවක් පදනම් කරගනිමින් තමන්ට අවැසි පරිදි මෙරට අධිකරනය මෙහෙයවීමට උත්සාග ගනිමින් සිටියි. ඉඩ දුනහොත් එය රටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හරහා සිංහලතාවට තවත් මරු පහරක් එල්ල කරනු ඇත. රටේ ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමද එම ගමනේ වැදගත් අංග වෙනු ඇත. මේ දඬුවම් කිරීම් තුල ඇති දේශපාලනය අපි තේරුම්ගත යුතුය.


දඬුවමේ සංදර්භය කොටි ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙහෙයුමය. බටහිර ආණ්ඩු කොටි ත්‍රස්තවාදය පෝශණය කල අතර අවසානයේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයින් බේරා ගැනීමට උත්සාහ දැරූහ. එමඟින් ඔවුහු ශ්‍රී ලංකා රාජ්‍යයේ සහ මෙරට වැසියන්ගේ විශේෂයෙන්ම සිංහලුන්ගේ අවශ්‍යතා සහ අරමුණු වලට (ඇමෙරිකානු බසින් ලංකාවේ ඉන්ට්‍රස්ට්ස් වලට) විරුද්ධව කටයුතු කලහ. එසේනම් අද බටහිර ආණ්ඩු එම සංදර්භය මතම ආරක්‍ෂක හමුදාවන්ට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් පැමිණවීමට උත්සාහ කරන්නේ සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස මිස ඊනියා ස්වාධීන නිරීක්‍ෂකයෙකු ලෙස නම් නොවේ. එය අපි මුළින්ම හඳුනාගනිමු.


සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස ක්‍රියාකරමින් හමුදාවට සහ මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කර බටහිර ආණ්ඩු අත් කරගැනීමට බලාපොරොත්තු වන්නේ කුමක්ද? පැහැදිලිවම එය හුදෙක් පුද්ගලික පලිගැනීමක් නොවේ. සංස්කෘතියක් වශයෙන් බටහිර සංස්කෘතියට සිංහලතාව සම්බන්ධයෙන් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාව නොවේ. බටහිරුන්ගේ අරමුණ සිංහලුන්ගේ ජාතික විඤ්ඥාණයට පහරදීමටය. පහරදී හැකිනම් සිංහලුන් අධෛර්යමත් කිරීමය.

දෙදහස් දොලහ වසරේ කන්දහාරයේ සිවිල් වැසියන් දාසය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ වරද පිලිගත් රොබර්ට් බේල්ස් නම් ඇමෙරිකානු සොල්දාදුවාට විරුද්ධව නඩු පැවරුනේ ජාත්‍යාන්තර උසාවියක් තබා එරට සිවිල් උසාවියකද නොව ඇමෙරිකානු හමුදා උසාවියක් මඟින් හමුදා නීතියට අනුවය. බේල්ස්ට පැවරුනේ මරණීය දඬුවම නොව ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමකි. ඔහු දඬුවම් විඳින්නේ සාමාන්‍ය සිවිල් වැසියන් සඳහාවූ සිරමැදිරියක නොව හමුදා බැරැක්කයකය. ඇමෙරිකානු රජය මෙම ඝාතනය සම්බන්ධයෙන් එලෙස ක්‍රියාකලේ එම සංහාරය පොදුවේ ඇමෙරිකානු හමුදාවේ ක්‍රියාවක් නොව එක්තරා සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් ලෙස ලොවට ඒත්තු ගැන්වීමටය. නමුත් අපේ හමුදාව විමර්ශණයට ලක් කිරීමට අප ඉඩදී ඇත්තේ මෙරට හමුදාවට තබා මෙරට සිවිල් අධිකරණයටද නොව කොටින්ට එරෙහි යුදයේදී සිංහලුන්ගේ ප්‍රතිවාදියා ලෙස කටයුතු කල බටහිරුන් විසින් සම්පාදිත උසාවියකටය. පැහැදිලිවම එහි අරමුණ යම් සොල්දාදුවෙකුගේ පුද්ගලික ක්‍රියාවක් වරදට හසු කිරීම නොව මෙරට හමුදාව වරද කරු කිරීමය. එමඟින් සිංහල ජාතික විඤ්ඥාණයට පහරදීමටය.


මහින්ද රාජපක්‍ෂ මහතාට දඬුවම් කෙරෙන්නේද ඒ අරමුණිනි. මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයාය. රටට හතුරුවූවෝ මොනයම් හෝ පදනමක් මත ඔහුට දඬුවම් කරන්නේ නම් එය පුද්ගලික වරදකට දඬුවම් කිරීමක් ලෙස ගත හැකි නොවේ. එහිදී වැදගත් වන්නේ ඔහුට එල්ල කෙරෙන චෝදනා නොව චෝදනා එල්ල කරන්නේ කවුද යන්නත් මහින්ද රාජපක්‍ෂ යනු සිංහලුන්ගේ නිදහස් සටනේ වර්තමාන නායකයා යන්නත්ය. මොන හේතුවක් මතවත් රටේ හතුරන්ට මහින්ද රාජපක්‍ෂට දඬුවම් කිරීමට තබා අවමන් කිරීමටවත් ඉඩදිය යුතු නොවේ.

වංශපුර දේවගේ ජානක
-යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/29/2015

ජීනීවා කෝළම

කතෘ:යුතුකම     9/29/2015   No comments
අගමැතිතුමාට අනුව බටහිර රටවල් මෙරටට ආර්ථික සම්බාධක නොපනවන්නේ වත්මන් රජය විසින් කරන ලද කිසියම් දෙයක් නිසාය. එය එසේ නම් ඊනියා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය ගැන නිශ්චිතවම යමක් කිව හැකිය. එනම් මේ කොමිසම හරහා බටහිර රජයන් විසින් පසුගිය රජයට ප්‍රබල බලපෑමක් කර තිබිනි. ඉහත කොමිසමෙන් මෙරටට කිසිම තර්ජනයක් නොතිබුන බවක් මැතිවරණ සමයේදී යහපාලනවාදීන් විසින් පෙන්නුවේ ජනතාව රැවටීමටය. ඒ බොරු මෙන්ම වෙනත් බොරුවලටත් සිංහලුන් රැවටිනි. දැන් සිංහලුන්ට කල හැක්කේ රනිල්-මෛත්‍රී හවුල් රජය බටහිරුන් සහ ඉංදියාව සමඟ එකතුවී මෙරටට කරනදේ බලා හිඳීමය. එසේ බලා සිටින අපට වැදගත් වන්නේ ආර්ථික සම්බාධක නොපැනවීම උදෙසා රනිල්-මෛත්‍රී හවුල් රජය ඉංදියාවට සහ බටහිරුන්ට පොරොන්දුවී ඇත්තේ කුමක්දැයි දැන ගන්නටය.

මානව හිමිකම් කොමිසම හරහා දියත් කෙරී ඇති දේශපාලණ මෙහෙයුම සාධාරණීකරණය කිරීම සඳහා රජයේ විවිධ පාර්ශවයන් විසින් වමාරන කතන්දර ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි වැනිය. රනිල් වික්‍රමසිංහ මෙරට ව්‍යාපාරික ජනයා හමුවී පවසන්නේ දැන් මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ තර්ජනයක් නැති බවය. චම්පක රණවකට අනුව පිහිටවීමට යෙදී ඇති දේශීය අධිකරණය හමුවට ඇමෙරිකාවේ රුද්‍රා කුමාරන් මෙන්ම එංගලන්තයේ අදේල් බාලසිංහම්ද කැඳවිය හැකිවා පමණක් නොව මෙරට හමුදාවේ ආත්මගරුත්වය රැකීමට නම් එවැනි යාන්ත්‍රණයක් අත්‍යාවශ්‍යමය. ඒ අතර දෙමළ ගෝලීය සංසදයද දේශීය අධිකරණයට ආශිර්වාද කරමින් කියා සිටින්නේ අතුරුදහන්වූ සිංහල හමුදා භටයින්ටද ඒ හරහා සාධාරනයක් ඉටුකල හැකි බවය. මේ සියල්ල පවසන අතරේ මේ යෝජිත යාන්ත්‍රණයෙන් රණ විරුවන්ට කිසිදු අපහාසයක් හෝ දඬුවමක් හෝ නොකෙරන බවද ඇඟවෙයි.

මේ නන්දෙඩිවිලි වලින් සිතා ගත හැකි එකම කාරණය නම් යුධ අපරාධ විමර්ශණය කෙසේ වෙතත් මෙරට විශාල දේශපාලන වෙනසක් සිදු කිරීම සඳහා රනිල්-මෛත්‍රී හවුල් රජය ඉංදියාව සහ බටහිර ආණ්ඩුවලට සහය දෙමින් සිටින බවය.

ඒ බව තහවුරු වන්නේ මානව හිමිකම් කොමිසමට ඇමරිකාව විසින් ගෙනෙන යෝජනාවේ සම යෝජයකයෙක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරිපත්වීමෙනි. දැන් කොමිසමේ කිසි සාමාජිකයෙකුට ඇමෙරිකානු මෙහෙයුමට විරුද්ධ වීමට පදනමක් නැත.

රනිල්-මෛත්‍රී හවුල් රජයත් බටහිරුනුත් තද බල උවමණාවකින් යුතුව මෙරට කරන්නට සැරසෙන දේශපාලන විපර්යාසය කුමක්ද?

මෙරට යුධ හමුදාව අපරාධ සිදුකලේ යැයි බටහිර ආණ්ඩු සිතන්නේ නම් ඔවුන්ට අනුව අපරාධ කරුවන්ට දඬුවම් කිරීම හැර වෙන විසඳුමක් සාධාරණීය නොවේ. නමුත් රනිල් වික්‍රමසිංහ අඟවන්නේ රණවිරුවන්ට මේ යාන්ත්‍රණයෙන් අගතියක් සිදු නොවන බවය. එසේ නම් බටහිර ආණ්ඩුවල සැබෑ අරමුණ ඊනියා වරද කරුවන්ට දඬුවම් කිරීම නොව වෙන එකක් විය යුතුය.

අප දකින ආකාරයට ඒ වෙන කිසිවක් නොව මෙරට රාජ්‍ය බලය ජන වාර්ගික පදනමක් මත බෙදා දැමීමය. යුධ අපරාධ විමර්ශණය සිංහලුන්ගේ බලය බිඳීම සඳහා යොදා ගන්න ට්‍රෝජන් අශ්වයෙකි.

බලය බෙදීම ව්‍යවස්ථාව වෙනස් කිරීම තුලින් මෙරට නීතියටම අනුව සිදු කෙරෙනු ඇත. ව්‍යවස්ථාව වෙනස් කෙරෙනු ඇත්තේ දෙමුහුන් අධිකරණයක නියායෙන් බටහිර ආණ්ඩු වලට මෙරට නීතිමය කටයුතුවලට මැදිහත්වීමට ලබා දී ඇති ඉඩ කඩ හරහාය. ඊට විරුද්ධ විය හැකි අධිවිනිශ්චය කරුවන් මෙන්ම නීතිපතිවරයාද පළවා හැරෙනු ඇත. බලය බෙදීම හරහා මේ රට සිංහලුන්ගේ රට යැයි තව දුරටත් කිව නොහැකි වන ලෙස සිංහලුන්ගේ දේශපාලන බලය බිඳ දැමෙනු ඇත. ඉංදියාව හිංදුන්ගේ රට වන පරිදි, ඒංගලන්තය සහ ඇමෙරිකාව ක්‍රිස්තියානි ඇන්ග්ලෝ සැක්සන් වරුන්ගේ රට වන පරිදි ලංකාව සිංහලුන්ගේ රට වීමට බටහිරුනුත් ඉංදියාවත් ඉඩ නොදෙයි. රනිල්-මෛත්‍රී හවුල් රජය බටහිර ආණ්ඩුවලට සහය දක්වන්නේ ඉංදියාවේත් බටහිරුන්ගේත් ඒ උවමණාව ඉටු කරදීම සඳහාය.

මේ ව්‍යාපෘතිය මෙරට ජනතාවට නොදැනී සාර්ථක කර ගැනීමට නම් රණ විරුවන්ට අත නොතැබිය යුතුයැයි රනිල්-මෛත්‍රී හවුල් රජය විසින් බටහිරුන්ට දන්වන්නට ඇති. සමහරවිට බටහිර ආණ්ඩුද රනිල් වික්‍රමසිංහට එසේ නොකරන බවට පොරොන්දුවක් දී ඇති. නමුත් බටහිරුන් ඒ පොරොන්දුවද ඉටු නොකරනු ඇත.

-වංශපුර දේවගේ ජානක,
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

9/24/2015

මරණීය දණ්ඩනය විසඳුමක් නොවේ

කතෘ:යුතුකම     9/24/2015   No comments
අද රටේ සිදුකෙරෙන අපරාධ උසුලා සිටීමට අපහසුය. විශේෂයෙන්ම දරුවන්ට කෙරෙන අපරාධ කුඩා දරුවන් සිටින දෙමව්පියන්ට තදින්ම දැනෙයි. වරද කරුවන්ට දැඩි දඬුවම් පැමිණිය යුතුයැයි ඔවුන් උද්ඝෝෂණය කරන්නේ ඒ නිසා විය හැකිය. නමුත් මානසික අසහන සිට සාපරාධී ක්‍රියා දක්වා සියලු සමාජමය ව්‍යාධි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සමනය කල නොහැකිය. නීතිය සහ දණ්ඩනය ඉහලින්ම ක්‍රියාත්මක කෙරෙන රටවලද එය සමනය වී නැත. නීතිය සහ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම යනු වතුර කාන්දුවන ටැංකියක පිටතින් පැලැස්තර දැමීමක් වැනිය.

අපි ප්‍රශ්ණයේ මුලට යා යුතුය. මිනිසුන්ගේ හැඟීම් උපරිමයෙන් අවුස්සන ඔවුන් අපරාධ වලට පොළඹවන සමාජ වටපිටාවක් වර්ධනය කරමින් නීති හා දණ්ඩනයෙන් මිනිසුන් මෙල්ල කිරීමට කරන උත්සාහය සාර්ථක නොවේ.

අප නිර්මාණය කල යුත්තේ අපරාධ වලට නැඹුරු නමුත් නීතියට හා දඬුවමට බිය සමාජයක් නොව. පිං පව් දන්න අන්‍යනයන්ට ගරු කරන සමාජයට වගකීමක් දරන යුතුකම් උසුලන මිනිසුන්ගෙන් සැදි සමාජයකි. එය නීති ක්‍රියාත්මක කරනවාට වඩා දුශ්කර කාර්යයක් බව ඇත්තකි. නමුත් ඊට උත්සාහ නොකර හිඳීමට හේතුවක් තිබේද? අඩු තරමින් සමාජය එවැනි තැනකින් ඈත් කෙරෙන බලපෑම් නිශ්ක්‍රිය කිරීම සඳහා රාජ්‍ය බලය යොදාගත යුතු නොවේද? එවැනි රාජ්‍ය මැදිහත්වීම් පුද්ගලික අයිතීන් වලට හරස් කැපීමක් ලෙස සැලකීම සාධාරණද?

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට විශේෂ තැනක් ලබාදීමට බැඳී සිටින රාජ්‍යයකට බුදු දහමේ ඉගැන්වෙන ආකාරයට සමාජය යහමඟට ගැනීම සඳහා මැදිහත්වීමට වගකීමක් තිබෙනවා නේද? එසේත් නැත්නම් බෞද්ධාගමට විශේෂ තැනක් ලබා දීම යනු බෞද්ධයින්ගේ පුද්ගලික අයිතියක් ආරක්‍ෂා කිරීම පිළිබඳවද?

-වංශපුර දේවගේ ජානක
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/03/2015

රටක් විකිණීමට ඇත

කතෘ:යුතුකම     9/03/2015   No comments
ඉතිහාසයේ දූෂිතම මැතිවරණයෙන් බලයට පැමිනි මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව නිවට රජයක් වනු ඇත. එමෙන්ම එය ජනමතය නොඉවසන රජයක් වෙනු ඇත. ඊටත් වඩා එය අස්ථාවර රජයක් වනු ඇත. මේ සියලු කාරණා සැපිරුණු රජයක් 1948 න් පසු මෙරට පිහිටුවා නැත. මේ රජයට නියමිත කාර්යභාරය වනුයේ සිංහලුන්ගේ ස්වාධිපත්‍යය අහිමි කිරීමය.

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේ දී ගම්මන්පිල මහතා පෙන්වාදුන් පරිදි නිවටයින් සුළු පිරිසක් පාර්ලිමේන්තුව තුල කරන පාවාදීමට මැදිහත්වීමට මෙරට සාමාන්‍ය ජනතාවට දැන් ඉඩක් නැත. පැවති මැතිවරණය ජනතාවට ලැබුනු අවසාන අවස්ථාව විය. ගම්මන්පිල මහතාගේ ඒ ප්‍රකාශයට රනිල් වික්‍රමසිංහ මහතා විරෝධය පෑවේ එකල අන්කල් ටොම් නමින් හැඳින්වුනු ඇමෙරිකානු නිවෙස්-වහලුන් වත්තේ-වහලුන්ට සත්තම දැමූ ආකාරය සිහිගන්වමිනි. ගම්මන්පිලලාට කරන්නට ඇත්තේ දේශප්‍රේමී මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ලෙස දැන්වත් පාර්ලිමේන්තුව තුල සංවිධානය වීමටය. සිංහලුන්ට කරුනු පැහැදිලි වෙන්නේ කල් ගතවීය. සිංහලුන්ගේ හතුරෝ ඔවුන්ට වඩා ඉක්මන්ය. සම්බන්ධන් මහතා විපක්‍ෂ නායකවරයා පත්කෙරීමට පළමුව දේශප්‍රේමීන් සංවිධානය වී සිටියේ නම් අඩුතරමින් ඔවුන්ට විපක්‍ෂ නායකධූරයට හිමිකම් කියන්නට තිබිනි. දැන් මැතිවරණ සමයේදී අනුර කුමාර මහතා ජනාධිපතිවරයාගේ සට කපටකම් ගැන උදම් ඇණුවාසේම යහපාලනවාදීන්ට උදම් ඇණිය හැකිය. කෙසේ වෙතත් සම්බන්ධන් මහතාට විපක්‍ෂ නායක ධූරය පිරිනැමීම මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුලේ යහපාලන ව්‍යාපෘතියට අනුකූලය. එක් අතකින් ඒ අරමුණු නොසඟවා ක්‍රියාත්මකවීම ගම්මන්පිලලාගේ ඉදිරි ගමනට පාර කැපීමකි.

අපේ රටට මිළක් නියමවූයේ මීට වසර දෙක තුනකට පෙරය ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පඩිවැඩි කිරීම සඳහා කෙරුනු උද්ඝෝශණයක් රෙජිම වෙනස් කරන ව්‍යාපෘතියක් බවට පෙරලා ගැනීමත් සමඟය. එතැන් සිට අද දක්වා දැන හෝ නොදැන හෝ තමන්ගේ පුද්ගලිකත්වය වෙනුවෙන් මෙරට විකුනන්නට කැමතිවූවන් එකට ගොනු කෙරිනි. මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල් ආණ්ඩුව එහි උච්චස්ථානයයි. ඒ අතරතුරේදී ජාතිකත්වයක් තිබි සිංහලුන්ගේ සිවිල් සහ රාජ්‍ය ආයතන මරා දැමින නැතිනම් අඩපන කෙරින.

ප්‍රබල රාජ්‍යයකට ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ප්‍රබල රාජ්‍ය ආයතන තිබිය යුතුය. කොමිසන් සභා පිහිටුවීමේ ප්‍රතිපත්තිමය අරමුණ එයය. නමුත් ආයතන ශක්තිමත් කල හැක්කේ නීතිමය රාමු සැකසීමෙන් නොව දේශපාලනිකවය. ඉංග්‍රීසීන්ට යටත්වූ පසු සිංහලුන්ට ගොඩනැඟීමට හැකිවුනු එකම ප්‍රබල රාජ්‍ය ආයතනය ගොඩනැඟුනේ මහින්ද රාජපක්‍ෂ රජය යටතේය. ඒ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයය. මහින්ද රාජපක්‍ෂ රජය නිර්මාණය කල සන්නද්ධ හමුදාව, ඔත්තු සේවාව ඇතුළු රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ රාජ්‍ය ආයතන ව්‍යුහය ජාතික ප්‍රතිපත්ති මත ක්‍රියාකරන ශක්තිමත් එමෙන්ම ස්වාධීන ආයතනයක් විය. එසේ නොවිනිනම් සරත් පොන්සේකාට නිසි පරිදි යුධ හමුදාව මෙහෙයවීමට අවකාශයක් නොලැබෙනු ඇත. අද මේ ශක්තිමත් රාජ්‍ය ආයතනය අඩපන කෙරීමට මෛත්‍රී-චන්ද්‍රිකා-රනිල් හවුල ක්‍රියාකරමින් සිටියි. එදා මිලෙනියම් සිටි පිහිටි දුර මෙහෙයුම් හමුදා ඛන්ඩය රනිල් වික්‍රමසිංහ විසින් පාවාදුන් ආකාරයටම අදද මේ රජය විසින් යුධ හමුදාවේ ඔත්තු සේවාව අනාවරණය කෙරෙයි. එහි අරමුණ සිංහල ජාතිකත්වයේ ආයතනයක් විනාශ කර දැමීමය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිංහල ජාතිකත්වය සතුවූ සිවිල් ආයතනය විය. එහි මළගම ඊයේ පොළොන්නරුවේ පැවතුනු අතර පාංශුකූලය දෙනු ලැබුවේ ආචාර්ය සරත් විජේසූරිය මහතා විසිනි. ශ්‍රීලනිප පාක්‍ෂිකයින්ගේ ජාතිකත්වය නැති කොට ඔවුන් “ශිෂ්ඨ” කල යුතුයැයි එහි නායකයින් සිතනවා විය හැකිය. සිංහලුන් සංස්කෘතියෙන් වෙනස් වන්නට අකමැත්තක් නැත නමුත් ඔවුන් සරත් විජේසූරියලාට අවශ්‍ය පරිදි වෙනස් වේ යැයි සිතිය නොහැකිය.

සතුරන් විසින් සිංහලුන් සතුවූ රාජ්‍ය සහ සිවිල් ආයතන අඩපන කර නැත්නම් විනාශ කර ඇත. දැන් මෙරට විකුණා දැමීමට නියමිතය. දේශප්‍රේමී සිංහලුන් ශ්‍රීලනිපයට විකල්පයක් ගොඩනඟා ගත යුතුය. එහිදී 1818දී මෙන් සමූහ ඝාතනයට ලක් නොවී තමන් ගලවා ගැනීමට පැමිණෙන ඊනියා ගැලවුම් කරුවන්ගෙන්ද ගැලවී සීරුවෙන් ඉදිරියට යාමට සිංහලුන් වග බලාගත යුතුය.


වංශපුර දේවගේ ජානක
- යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/04/2015

රට වෙනුවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න

කතෘ:යුතුකම     8/04/2015   1 comment

ඒ කාලෙ ඔය මායිම් ගම් කියල හඳුන්වපු සිංහල ගම්මානවලට කොටි ත්‍රස්තවාදීන් පැනල දරු පැටව් කැතිගාපු වාරයක් වාරයක් ගානෙ ඔබටත් කොටින්ව මරාගෙන මැරෙන්න හිතෙන්න ඇති. ඔබට පමණක් නොවේ හිතක් පපුවක් තියෙන මේ රටේ හැමෝටම එහෙම හිතුනා. නමුත් අපි හැමෝටම එහෙම කැක්කුමක් තිබිලත් අවුරුදු තිහක් තිස්සේ අපිට කොටි පරද්දන්න නොහැකිවුනේ ඇයි? ඒ මොකවත් නිසා නෙවෙයි අපි කාටවත් තනි පුද්ගලයින් හැටියට ක්‍රියා කරල රටේ නිදහස රැක ගන්න බැරි නිසයි. රටේ නිදහස රැක ගත හැක්කේ රාජ්‍ය බලයටයි. රාජ්‍ය බලය මෙහෙයවන්න සුදුසු රාජ්‍ය නායකයෙක් සිටිය යුතුයි. රටක නිදහස රැකෙන්නෙ රාජ්‍ය නායකයා ක්‍රියාකරන ආකාරයටයි.

එකේ අනිත් පැත්තත් එහෙමයි. රටේ මිනිස්සු නිදහස පිළිබඳව මොන ආකල්ප දැරුවත් රාජ්‍ය නායකයෙකුට අවශ්‍යනම් රටේ නිදහස පාවල දෙන්නත් පුළුවන්.

මෙවර ඡන්දයේදී මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඡන්දය දෙන්න හිතාගෙන සිටින බොහෝ දෙනෙකුට රට ගැන කැක්කුමක් තියෙන බව සැකයක් නැහැ. ඔවුන් බහුතරයක් රට බෙදනවට විරුද්ධයි. ඔවුන් ඡන්දය දීමට බලාපොරොත්තුවෙන මන්ත්‍රී අපේක්‍ෂකයින් බහුතරයකුත් එහෙමයි. නමුත් ඊලඟට මේ රටේ රාජ්‍ය බලය ලබා ගන්න නායකයා රටේ නිදහස පාවා දෙන ආකාරයට ක්‍රියා කලහොත් ඔබටවත් මටවත් අපි කිසි කෙනෙකුටවත් රාජ්‍ය බලයට විරුද්ධව ගිහින් තනි තනියෙන් රටේ නිදහස රැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනෙ.

අද කොටි ත්‍රස්තවාදය නැතිවුනත් දෙමළ ජාතිවාදී සංවිධාන මේ රට බෙදන උත්සාහය නවත්වල නැහැ. දෙමළ ජාතික සංධානය 13 වෙනි සංශෝධනයෙන් ඔවුන්ගේ අභිලාශ ඉටුවෙන්නේ නැති බව දැන් ප්‍රසිද්ධියේම කියනව. ඔවුන්ට ඉංදියාවේත් එංගලන්තයේත් ඇමරිකාවේත් ආශිර්වාදය ලැබෙනව. මේ හැම බලපෑමටත් වඩා වැඩියෙන් භයානක ලෙස රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා කුමාරතුංග රාජිත සේනාරත්න මංගල සමරවීර වැනි නායකයින් සුළු පිරිසක් දෙමළ ජාතියට ස්වයං නිර්ණීය අයිතියක් තිබිය යුතුය යන මතයේ සිටිනව. ඒ බව ජනතාවට වසන් කරමින් තිරයේ පිටුපස සිටන් ඔවුන් ක්‍රියාත්මක වෙනව. මේ පිරිස අතීතයේත් වර්තමානයේත් ක්‍රියාකරන අකාරයෙන් ඒ බව ඔප්පු වෙනව.

රනිල් වික්‍රමසිංහ භාරයේ අද උතුරේ හමුදා ශක්තිය අවම කෙරෙමින් පවතිනව. උතුරේ කොටි සැමරෙන කොට දකුණේ රණ විරු සැමරුම නැවත්තුව. කොටි ත්‍රස්තවාදීන් නිදහස් කෙරෙන කොට මෙහෙ රණ විරුවන්ට මරණ දණ්ඩනය නියම කරනව. මේවට බටහිර රටවල් වල ආශිර්වාදය ලැබෙනව. රණ විරුවන්ට විරුද්ධව යුධ අපාරාධ චෝදනා ගෙන ඒම දැනට නවත්තල තියෙන්නේ එහෙම කලොත් මේ දේශද්‍රෝහීන්ට මැතිවරණයෙන් අවාසි වෙයි කියල හිතලයි. බටහිර රටවල් කාටද මේ උදව් කරන්නෙ? මොනවටද උදව් කරන්නෙ? වර්තමානයේ පමණක් නොවෙයි රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අතීතයේත් ක්‍රියාකලේ මෙහෙමයි. ප්‍රභාකරන් “මහත්තයා” යුද්ධයෙන් පරාජය කරන්න බැහැ කියල ඔවුන් මතයක් ගොඩනැඟුව. රට වෙනුවෙන් ජීවිත දානය කරපු රණ විරුවන්ට අපහාස කලා. ඒ ඔක්කොමත් කරල දෙමළ ජාතිවාදීන් සමඟ රට පාවා දෙන්න ගිවිසුම් ගැහුවෙත් මේ පිරිසමයි.

මේ රටේ නිදහස ආරක්‍ෂා කරන්නේ යැයි ජනතාවට සහතිකයක් දීමට සුදුසු කමක් ඇති එකම එක නායකයා මහින්ද රාජපක්‍ෂයි. රනිල් රාජිත චන්ද්‍රිකා සහ මංගල අඩු තරමින් ජනතාවට එවැනි සහතිකයක් දීමට ඉදිරිපත්වෙන්නේවත් නැත. ඔවුන් පිළිබඳව එවැනි සහතිකයක් ඔබට දිය හැකිද?

යම් හෙයකින් රාජ්‍ය බලය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ් පිරිස අතට පත්වුවහොත් අලියාට ඡන්දය දෙන බහුතරයකගේ හැඟීම් වලට විරුද්ධව යමින් රට බෙදීම සඳහා මොවුන් කටයුතු කරනවා නිසැකයි. රට බෙදුනොත් ඒක ආපස්සට හරවන්න බැරි වරදක් වෙනව. රටේ අනිත් ප්‍රශ්ණ අපට මැදිහත් වෙලා විසඳගන්න පුළුවන් නමුත් රට බෙදුවොත් අපි කිසි කෙනෙකුටවත් තනි තනියෙන් ඊට විරුද්ධව ගිහින් රටේ නිදහස රැක ගන්න බැරි වෙනව. අපිට අවුරුදු තිහක් තිස්සේ කොටි පරද්දන්න බැරි වුනෙත් ඒක තනි පුදගලයින් වශයෙන් කරන්න බැරි නිසයි. රටේ නිදහස වෙනුවෙන් අපට තනි තනියෙන් කටයුතු කරන්න ලැබෙන එකම අවස්ථාව මේ මැතිවරණයයි. ඔබත් ඔබේ ඡන්දය රටේ නිදහස වෙනුවෙන් කැප කරන්න.

වංශපුර දේවගේ ජානක  : මගේ රට

යුතුකම සංවාද කවය
www.yuthukama.com


7/08/2015

සියළු වාමවාදියෝ නැමෙන සුළුය

කතෘ:යුතුකම     7/08/2015   No comments
සෝමවංශ අමරසිංහට අනුව දැන් ජවිපෙ සේවය කරන්නේ එජාපයටය. ඒ බව අපි ජනාධිපතිවරණයට බොහෝ කලක සිටම දැන සිටියෙමු. නමුත් ජවිපෙ නායකයින් ගැන අපි නොදන්නා දෙයක් සෝමවංශ අමරසිංහට අපට කියා දෙයි. ලුණු ඇඹුල් අත්හල විට ව්‍යවහාර භාශාවෙන් පැවසුවහොත් ඔහු පවසන්නේ ජවිපෙ නායකයින්ගේ කිසි කොලිටියක් නැති බවය. බැලූ බැල්මට ඔහු කියනදේ නිවැරදියැයි මමද සිතමි. මීට වසර විසි පහකට පමණ ඉහතදී ජවිපෙය විසින් අදට වඩා වෛරී මිනීමරු දේශපාලනයක් ගෙනගියද පුද්ගලිකව ගත් විට එහි කාඩරයන් තුල අද පොදුවේ වාමවාදීන් යැයි හඳුනාගන්නා දේශපාලන ක්‍රියාකාරීන්ට නැති මානූශීය ගුණ තිබුනැයි මම සිතමි. ඒ මානුශීය ගුණයේ පදනම එකල සිටි ජවිපෙ සහෝදරයින් පොදුවේ පුද්ගලිකත්වය තුනීකරගෙන සිටීම යැයිද මම සිතමි.
මුලු සමාජයම තව තවත් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට යටවීමත් සමඟම ජවිපෙ කාඩරයන් මෙන්ම විවිධ වර්ණවල සමාජවාදීන්ද පුද්ගලිකත්වය ඉස්මතු කරගෙන සංස්කෘතික විපර්යාසයකට ගොදුරුවී සිටිති. එහි විශේෂත්වය වාමවාදීන්ගේ දේශපාලන රංචු සාමාන්‍යයෙන් සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානයවෙන රංචුවීමය. සාමූහිකත්වය මුල් කරගෙන සංවිධානය වෙන රංචු වල සාමාජිකයින්ගේ පුද්ගලිකත්වය ඉස්මතුවනවිට ඒ සංවිධානවලට තිබුනු ආකාරයටම පැවැතිය නොහැකිය. ඔවුන් තමන්ගේ ජීවන චර්යාවට ගැලපෙන පරදි දේශපාලන මතවාදද වෙනස් කර ගත යුතුය. මීට වසර විසි පහකට පමණ ඉහත සිටි සමාජවාදීන් මේ වනවිට ලිබරල් සමාජවාදීන් බවට රූපාන්තරණය වී ඇත්තේ ඒ අනුවය. නුදුරු අනාගතයේදී ඔවුන් සමාජවාදී කෑල්ලත් හලා ගනිමින් හුදු ලිබරල්වාදීන් බවට පත්වනු ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් සමාජවාදය ගිලගෙන එහි හිස් කබල ආභරනයක් ලෙස පැලඳීම සිනිටුහන් කරමිනි.
අද එජාපය විසින් ජවිපෙය ගිල ගන්නේද ඒ න්‍යායටමය. නමුත් මේ සංස්කෘතිකමය විපර්යාසය වාමවාදීන් විසින් හඳුනාගන්නේ දැයි සැක සහිතය. ඔවුන් තෝන්තුවී ඇති බව නම් පෙනේ. ලඟදී වාමවාදියෙකු විසින් මට කියා සිටියේ දැන් ඉන්නේ පනස් හයේ දරුවන් නොව හැත්තෑ එකේ දරුවන් සහ (මෙහි සහ කෑල්ල වැදගත්ය) හැත්තෑ හතේ දරුවන් බවය. මේ දරුවාගේ නැණසට හසු නොවන්නේ හැත්තෑ හතේ බලයට පත්වූ එජාපය විසින් හැත්තෑ එකේ සමාජවාදී විප්ලවයකට නායකත්වය දුන් නායකයා ඝාතනය කල බවය. පෙරලීමට එරෙහිව මතවාදයක් නැතිවිට පෙරලුනු පැත්ත හොඳා යැයි කීම හැරෙන්නට කරන්නට දෙයක් නැත.

සමාජවාදීන්ගේ සංස්කෘතික පෙරළිය ඇමෙරිකානු සංස්කෘතියේ පසුගිය වසර පනහ හැට කාලය තුල සටහන් කෙරී ඇත. මැකාති යුගයේ එහි සිටියේ සමාජවාදීන්ය. අද එහි සිටින්නේ ඔවුන්ගෙන් බුද්ධිමය වශයෙන් පැවතගෙන එන ලිබරල්වාදීන්ය. ඔවුහු අද එරට යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන දේශපාලන ධාරාවක එතරම් වැදගත්කමක් නොලැබෙන උප කුලකයකි. බටහිර සංස්කෘතික ආධිපත්‍ය දිගටම පැවතිය හොත් මෙරට විවිධ වර්ණදාරී වාමාවාදීන්ද තව වසර විස්සකින් පමණ නවතින්නේ එතැනය.

උගතෙකුවූ ඔබාමාද ඇමෙරිකානු ජනාධිපතිවරණයට මුලින්ම ඉදිරිපත්වන කාලයේදී යම් තරමක ලිබරල්වාදී අදහස් දැරීය. ඔහු කළු ජාතිකයෙක් වීම ගැන මහා ප්‍රචාරයක් ලබා දුන්නද ඔහුගේ මුල් රැලිවලට එරට නූගත් කළු ඇමෙරිකානුවන් සහභාගීවූයේ නැති තරම්ය. ඔබාමාට ජනාධිපතිකම හිමිවූයේ ඔහු ඔහුගේ ලිබරල් ගති හලා එරට ප්‍රධාන දේශපාලන ධාරාවට අනුගතවූ බැවිනි. අද එරට ලිබරල් වාදීන් අතර ඔබාමා ලිබරල් යැයි හඳුනාගන්නෙකු සොයාගත නොහැකි තරම්ය.

ඇමෙරිකාවේ මෙන් මෙරට සියළු වාමවාදී සංවිධාන වලටද පිරිස් බලය හිඟය. ඔවුන්ගේ රැලි වල මිනිස්සු නැත්තේ ඒ නිසා මිස වෙනයම් හේතුවක් නිසා නොවේ. නමුත් ඔවුන්ටද ඇමෙරිකාවේ ලිබරල්වාදීන්ට මෙන්ම උගත්කම නිසා ලැබෙන උද්දච්ඡ කමක් ඇත. ලිබරල්වාදීන්ගේ සාමාන්‍ය ආකල්පය නුගත් මිනිස්සුන්ට තමන්ගේ දාර්ශණික මතවාද නොතේරන බවය. ඒ නිසා ඔවුන්ගේ කාර්යය නුගතුන්ට කියාදීම බවය. ඒ අතින් බලන විට මෙරට ජාතික ව්‍යාපාරය සැමවිටම උත්සාහ කරන ලද්දේ නුගත් සාමාන්‍ය මිනිස්සුන්ගේ හිතැඟි මතවාද ලෙස ඉදිරිපත් කිරීමටය. ජාතික ව්‍යාපාරයේ පිරිස් බලය හෙට අනිද්දා ලිබරල් වීමට නියමවී සිටින ඊනියා ලිබරල් වාමවාදීන්ගේ පිරිස් බලයට වඩා වැඩි වීමට එය හේතුවක් විය හැකිය.
ලිබරල්වාදීන්ට ඇමෙරිකාව තුල සැලකිය යුතු දේශපාලන බලයක් නැත. බොහෝවිට ඔවුන් පවතින්නේ ඇමෙරිකාවේ විශ්ව විද්‍යාල ආශ්‍රිත ශිෂ්‍යය සංවිධාන මතය. ප්‍රධාන නගර වලින් එපිට ඔවුන්ගේ භෞතික පැවැත්මක්ද නැත. නමුත් ඔවුහු ඇමෙරිකානු ප්‍රධාන දේශපාලන ධාරවක් වන ඩිමොක්‍රැටික් පක්‍ෂයට දාර්ශණික මතවාද (බයිට්) සපයන බැවින් ඔවුන්ට තමන්ගේ ඡන්ද බලයට වඩා පෙනුමක් මාධ්‍ය තුලින් ලැබෙයි. ලිබරල්වාදීන්ගේ පැවැත්මට පාදක වන්නේ එම කාර්යය. අද ජවිපෙ ඇතුළු සියළු වාමවාදීන්ගේ ඓතිහාසික කාර්ය භාරය වී ඇත්තේද එයමය. එනම් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය විසින් මෙහෙයවනු ලබන රනිල් වික්‍රමසිංහ සහෝදරයාගේ එකසත් ජාතික පක්‍ෂයට බයිට් සැපයීමය. සියළු වාමවාදීන් තව වසර විස්සකින් පමණ පූර්ණ ලිබරල්වාදීන් බවට පත්වී තමන්ගේ ෆැන්ටසිය අත් කරගැනීම ගැන සතුටු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

වංශපුර දේවගේ ජානක
මගේ රට - May 20, 2015
[ඡායාරූපය උපුටා ගැනීම : livingmarxism ]

7/02/2015

ජනතාව ඉල්ලන එකම නායකයා මහින්දයි

කතෘ:යුතුකම     7/02/2015   3 comments
පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා වශයෙන් තෝරා ගැනීමට වසරකට දෙකකට පමණ පෙර සිටම මහින්ද විරෝධී රැල්ලක් මෙරට නිර්මාණය කර තිබිනි. මහින්දට විරුද්ධ වන අපේක්‍ෂකයා කවුරුන්දැයි නොදැන වුවද ඒ ප්‍රචාරක රැල්ල මඟින් සමාජයේ සැලකිය යුතු පිරිසක් මහින්දට විරුද්ධව ඡන්දය දීම සඳහා පෙල ගස්සවා තිබිනි. පොදු අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන ලෙස ජනතාව හඳුනාගත්තේ පසුගිය නොවැම්බර් මස විසි එක් වෙනිදාය එනම් ඡන්දයට මාස එක හමාරකට පමණ පෙරය. නමුත් ඔහුට ඡන්දය දුන් අයවත් නොවැම්බර් මස විසි එක් වෙනිදාට පෙර දිනකදී මෛත්‍රීපාල සිරිසේන ඉල්ලමින් සිටියේ නැත. මෛත්‍රීපාල සිරිසේන ජනතාව ඉල්ලු නායකයෙක් නොව අවසන් මොහොතේ ජනතාගේ ඇඟේ ගැසූ දේශපාලකයෙකි. නමුත් මහින්ද විරෝධී රැල්ල නිර්මානය කල බෙදුම්වාදීන් ජනවාරි 8 දා කෙරුනැයි සැලකෙන විප්ලවයක නායකයා ලෙස හඳුන්වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එසේ සැලකීම විසුළු සහගතමුත් ඊනියා විප්ලවවාදීන් එසේ සිතන්නේ විප්ලවය ඔවුන්ගේ මිස පොදු ජනතාවගේ නොවන නිසා විය යුතුය.

එක්සත් ජාතික පක්‍ෂය විසිනම වතාවක්ම පරාජය කරා මෙහෙයවූ රනිල් වික්‍රමසිංහ ඒ විප්ලවයේ නායකයා ලෙස පත් නොකෙරුනේ පරාජය නියත බව විප්ලව කාරයින් අවබෝධ කරගෙන තිබුනු බැවිනි. එහෙයින් රනිල් වික්‍රමසිංහ ජනතාව නොඉල්ලූ නමුත් ජනතාවගේ ඇඟේද නොගැසුනු දේශපාලකයා බවට පත්වීමට වාසනාව ලැබීය.

අදටත් ජනතාව රනිල් වික්‍රමසිංහ ඉල්ලන්නේ නැත. මෛත්‍රීපාල සිරිසේනට ජනවාරි 8 දා තිබුනු ඉල්ලුමවත් නැත. වම්පක රණවක, සෝභිත හිමි, රතන හිමි සහ චන්ද්‍රිකා කුමාරතුංග ගැන නොකියන තරමට හොඳය. අද වෙනවිට ජනතාව ඉල්ලන එකම නායකයා මහින්ද රාජපක්‍ෂය. රාජපක්‍ෂ පවුලේ අන් සහෝදරයින්ටද ඒ ඉල්ලුම නැත.

බොහෝ දේශපාලන කුහකයින් මේ ඉල්ලුම මහින්ද රාජපක්‍ෂ විසින්ම නිර්මාණය කරන ලද ඉල්ලුමක් ලෙස හොවා දැක්වීමට උත්සාහ කෙරුනද එය ඔහු විසින් නිර්මාණය කරන ලද ඉල්ලුමක් නොවේ. නායකයෙකු සඳහා එවැනි ඉල්ලුමක් මෙරට ජනතාව තුල කෘතිමව නිර්මාණය කල හැකිව තිබිනි නම් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙකු තෝරා ගැනීමට තැටමූ තරම් තටමන්නට උවමණා නොවිය යුතුය. පැහැදිලිවම මහින්ද ඉල්ලා සිටින්නේ මෙරට පොදු ජනතාවය.

යහපාලනය යමපාලනයක් විය. රනිල් වික්‍රමසිංහ මෙරට සිදුවූ ලොකුම හොරකම වැසීමට තැත් කලේය. හොරා රට පැන්නේය. පොරොන්දුවූ සහන, ව්‍යවස්ථා සංශෝධන, විනිවිද භාවය, රාජ්‍ය මාධ්‍ය අදේශපාලණික කිරීම, යන කිසිවක් ඉටූ කෙරුනේ නැත. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබිය දීද ප්‍රතිවාදීන් රාජ්‍ය බලය යොදා මර්ධනය කිරීම නැවතී නැත. මේ සැම එකක් අතරේ බෙදුම්වාදය දියත් කෙරී ඇත. ජනතාව මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලා සිටින්නේ මේ දේශපාලන විකෘතීන් සමනය කර ස්ථාවර දේශපාලන වාතාවරනයක් මෙරට යලි ඇති කරන ලෙසය. අද සිටින යමක් කල හැකි එකම දේශපාලඥයා මහින්ද රාජපක්‍ෂය. ජනතාව එය අවබෝධ කරගෙන සිටී.

යමපාලකයෝ එතැනට පත්වීම සඳහාවත් කිසියමක් කලවුන් නොවූහ. ඇමෙරිකාව ඉංදියාව සහ අනිකුත් විදේශ බලවේග ඔවුනට එය කර දුනි. පත්වූ පසුද යමපාලකයින්ට කිසි යමක් කරගත නොහැකි විය. මේ නොහැකියාව විශේෂයෙන්ම එජාපයේ සලකුණය. මෑත දේශපාලනයේ එජාපය නමක් දරන්නේ ජවිපෙ තරුණයින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සහ කොටි ත්‍රස්තවාදීන් සමඟ ගිවිසුම් ගසමින් රණ විරුවන්ට අපහාස කිරීම සම්බන්ධයෙනි. ආර්ථික ක්‍ෂේත්‍රයේ එජාපය නමක් දරන්නේ රාජ්‍ය ආයතන විකුණා දැමීම සහ දේශීය කෘෂිකර්මාන්තය බිඳ දැමීම සම්බන්ධයෙනි. එක්සත් ජාතික පක්‍ෂයේ නොහැකියාවට අද සිංහල බෞද්ධ විරෝධී ලිබරල් මතවාදයක්ද එකතුවී ඇත. රනිල් වික්‍රමසිංහ සිංහල බෞද්ධ විරෝධී වුවද එය මෙතෙක් කල් පක්‍ෂයේ මතවාදයක්ව මුල් බැසගෙන නොතිබිනි. නමුත් අද එය සිදුවෙමින් පවතී. උපන්ගෙයි නොහැකියාව සහ ලිබරල් මතවාද යන විකෘත එකතුවෙන් බිහිවුනු දේශපාලන දරුවා නපුංසක දේශපාලනයකි. මහින්ද විරෝධය පිටුපස සිටින්නේ ඒ නපුංසක දේශපාලනයයි.

නපුංසක දේශපාලනය ජාතිකවාදී දේශපාලනයට බියය. ඔවුන් අද පවසන්නේ මහින්ද රාජපක්‍ෂට දේශපාලනය කිරීමට අවස්ථාවක් නොදිය යුතුය කියාය. ඕනෑම අයෙකුට දේශපාලනය කිරීමට අවස්ථාවක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ඔවුන් නොදන්නවා නොවේ නමුත් නපුංසක දේශපාලනයේ හැටි එහෙමය.
ජනතාවට අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂ බලයට ගෙන ඒමට අයිතියක් තිබිය යුතුය. ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් මහින්ද රාජපක්‍ෂ මැතිවරණයට පිවිසිය යුත්තේ ජාතිකවාදී දේශපාලනයත් නපුංසක දේශපාලනයත් අතර පැහැදිලි බෙදීමක් ඇති කරමිනි. 

-වංශපුර දේවගේ ජානක
මගේ රට

6/05/2015

එජාපයට බලය දීම රටට විනදායකය

කතෘ:යුතුකම     6/05/2015   1 comment
රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කෙරුනේ ව්‍යවස්ථාවට අනුකූලව නොවේ. ඔහු පත් කෙරුනේ අගමැති කෙනෙකු සිටියදීය. රනිල් වික්‍රමසිංහ ඒ තනතුරට පත්කිරීමේදී හිටපු අගමැති දි. මු. ජයරත්න ව්‍යවස්ථානුකූලව ඒ තනතුරින් ඉවත් කෙරුනේ නැත. අගමැති කෙනෙකු සිටියදී නව අගමැති කෙනෙකු පත් කල හැකි බවවත් එසේ පත් කිරීමේදී හිටපු අගමැති ගේ තනතුර අහෝසි වෙන බවවත් ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. ඒ නිසා රටේ නීතියට අනුව රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැති නොවේ. ඇරත් පාර්ලිමේන්තුවේ සුළුතරයක් හිමි එජාපයේ නායකයෙකුට බහුතරයක කැමැත්ත ලැබේයැයි නිගමණය කිරීමට නව ජනාධිපතිතුමා භාවිතා කල විද්‍යාත්මක ක්‍රමය කුමක්ද? අද අගමැතිට ගෙන එන විශ්වාසභංග යෝජනාවෙන් පෙනී යායුත්තේ රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැති බවත් නොතිබුනු බවත් නොවේද? මැතිවරණ පොරොන්දු රටේ නීතිය නොවේ. කෙසේ හෝ වේවා අද මෙරට රජ්ජුරුවෝ රනිල් වික්‍රමසිංහය. රජකම ලබාදුන් මෛත්‍රීපාල සිරිසේන රනිල්ගේ දොරටු පාලයාය.

සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කර සිංහල බෞද්ධ විරෝධී රනිල් වික්‍රමසිංහ රජ කමට පත් කිරීම සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල එකම අභිප්‍රාය විය.

සිංහලයෝ දෙමළ සහ මුස්ලිම් ජනයා මෙන් සාමූහිකත්වය පමණක් පදනම් කරගෙන දේශපාලන තීරණ නොගනිති. ඔවුහු තම ස්වාධීිනත්වයද අගය කරති. නමුත් සිංහලයෝ දේශපාලනයේ විවිධ සිද්ධි තුල පොදු බවක් උකහා ගැනීමට අපොහසත් වෙති. අවාසනාවකට ඒ හේතුව නිසා සිංහලුන් ලෙහෙසියෙන් රවටන්ට හැකිය. යහපාලනය, නීතිය ක්‍රියාත්මක කිරීම ආදී කථා මැවුනේ විශේෂයෙන්ම සිංහලුන් රැවටීමටය. සුළු ජනයා අතරට ඒ කථා ගෙන ගියේවත් නැත.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහට නීතියානුකූලව අගමැති වීමට අවස්ථාවක් ඇත. මෛත්‍රීපාල සිරිසේනට පැවරී ඇති කාර්යය කෙසේ හෝ රනිල් අගමැති කරවීමය. සිංහල බෞද්ධ විරෝධී දෙස් විදෙස් බලවේගවල පැතුම එයය. ඔවුන් ඒ සඳහා ධනය සහ බලය යොදවනු ඇත. රනිල් රාජිත සහ මෛත්‍රීපාල යන තිදෙනා ජනාධිපතිවරණයට වසරකට පමණ කාලයකට ඉහතදී ඇමෙරිකාවේ නමගිය විශ්ව විද්‍යාලයකට ගෙන්වා ගැනුනේ කුමකටද යන්න සිතා ගැනීමට අපහසු නැත. දේශපාලන ජීවිතයේ වැඩි කාලයක් තම පක්‍ෂයේ පරාජය සඳහා නායකත්වය දුන් පක්‍ෂ නායකයෙකුගෙන් එරට ප්‍රධානතම විශ්ව විද්‍යාලයකට ඉගෙනීමට යමක් තිබුනායැයි නොසිතිය යුතුය.

ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ විරෝධී බලවේගවල අවසන් ඉලක්කය රනිල්ට රජකම දීමද?

එය කෙසේවත් විය නොහැකිය. රනිල් බටහිරට දාසකම් කරන බව ඇත්ත; නමුත් ඔවුන්ට රනිල් වැනි තාවකාලික දාසයෙක් ගෙන් ඵලක් නැත. රනිල්ට ඔවුන්ගේ ඇති සුහද කමක්ද නැත. (අවාසනාවකට ඇතැම් සිංහල දේශපාලඥයින් එසේ සිතන්නේ නැත. සුදු තානාපතිවරයෙක් තමන් සමඟ ආප්ප වැලඳුවොත් පසුදින මුලු රටම සුද්දාට ලියා දීමට තරම් සුද්දා කෙරෙහි ලෙන්ගතු කමක් ඔවුන් සිතෙහි ඇතිකර ගන්නා බව අප දැන ගන්නේ පසුදා ඔවුන් මාධ්‍ය හමුවේ කියන උජාරු කථාවලින්ය)

රනිල් ගෙන් මතුවටද සිංහලුන්ගේ දේශපාලන බලය නිශේද කෙරන දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් සිංහල බෞද්ධ විරෝධී බලවේගවලට අවශ්‍යය. ඒ වැඩපිළිවෙල වෙනකක් නොව උතුරු නැඟෙනහිර පළාත්වල බටහිර සහ ඉංදියාව මත යැපෙන රාජ්‍යයක් පිහිටුවීමය. එය වෙනම රාජ්‍යයක් වශයෙන් හැඳින්වෙන්නේද නැත්නම් වෙනයම් නමකින් හැඳින්වෙන්නේද යන්න ඒ වනවිට සිංහලුන් ගිලීමට සැරසී සිටින ගුලි මත රඳා පවතිනු ඇත.

රනිල් පත්වූ විගසම ඇරඹෙන වැඩ පිලිවෙල වනු ඇත්තේ රට දෙකඩ කිරීමය. රට බෙදීම සඳහා අද මෙරට දේශපාලනයේ සිටින සුදුසුම පුද්ගලයා රනිල්ය. ඇස් පිය ගසන වේගයෙන් එය සිදු කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් කටයුතු කරනු ඇත. සිංහලුන්ට හැකි වන්නේ වෙනදේ බලා සිටීමට පමණි. අවශ්‍යනම් සිංහල බෞද්ධ තරුණයින් ප්‍රචන්ඩත්වයට යොමු කර මර්ධනය වෙත කැඳවාගෙන යාමට අනුර කුමාර සහ චම්පක රණවක වැන්නන් යොදාගැනෙනු ඇත. සුපුරුදු පරිදි සිංහල බෞද්ධ තරුණයින් මර්ධනය කෙරීම බටලන්දේ රනිල් විසින් ඉටු කරනු ඇත. ඊනියා පුරවැසි සංවිධාන ලවා මූණ ඉච්ඡාවට මානව හිමිකම් කොමිසමට පෙත්සම්ද යැවෙනු ඇත. කොයි හැටි වෙතත් අවසාන ඉලක්කය වනුයේ රට බෙදීමය. රනිල් වික්‍රමසිංහ අගමැති කෙරෙන්නේ ඒ සඳහා සහ ඒ සඳහා පමණි.


 -වංශපුර දේවගේ ජානක 
මගේ රට

5/27/2015

බටලන්දේ රනිල්

කතෘ:යුතුකම     5/27/2015   No comments
රනිල් වික්‍රමසිංහ ගැන මෙරට තරුණ තරුණියන්ට හරියට දැන ගන්නට ජනාධිපතිවරණයට කලින් අවස්ථාවක් නොලැබිනි. ඒ නිසා තරුණයින් අතර රනිල්ට මහත්මා ගති ඇති පරිණත ශූර දේශපාලකයෙක් වශයෙන් ප්‍රතිරූපයක් ගොඩනඟාගැනීමට හැකිවිනි.

නමුත් අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය

පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ.

බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි. අපට වෙන විශේෂඥ පුහුණුවක් ඕනෑම නැද්ද?

ඊයේ පෙරේදා වෙබ් අඩවි පාලකයින් යැයි කියාගන්නා තරුණයින් පිරිසක් ගෙන්වා ඔවුන් ලිය යුතු දේ ගැන රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය. රනිල් තමන්ට කිව යුතු බොරුවවත් හරියට ගොතා ගන්නට උත්සාහයක් දරන්නේ නැත. ඒ ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවිනි. ඒකාධිපතිවරුන්ගේ හැටි එහෙමය. 

වංශපුර දේවගේ ජානක  : මගේ රට
යුතුකම සංවාද කවය
ww.yuthukama.com

5/08/2015

කාර් පැදීම

කතෘ:යුතුකම     5/08/2015   1 comment
දැන් නගරයේ ජීවත්වන මිනිස්සු බොහොමයකට කාර් ඇත. නමුත් මිනිස්සුන්ට කාර් ගැනීමේ ආර්ථික හැකියාව පෙරට වඩා වැඩිවී ඇත්දැයි සැක සහිතය. මන්ද පුංචි කාරයක් වුවත් මිලදී ගැනීමට ලීසිං එකක් දැමුවොත් එහි මාසික වාරිකය ගෙවීමට විශ්ව විද්‍යාල ගුරුවරයෙකුගේ පඩියෙන් භාගයක් පමණ වැය වෙන බැවිනි. දශක දෙකකට පමණ ඉහතදී කොළඹ නගරයේ ජීවත්වුනු මධ්‍යම පංතියේ මිනිස්සු පඩියෙන් එතරම් ප්‍රතිශතයක් වාහනයක් ගැනීම සඳහා යෙදවීමට තරම් එඩිතර(?) වූයේ යැයි මම නොසිතමි. දැන් කාර් ගැනීම සඳහා පෙරට වඩා සාමාජයීය පෙලඹවීමකුත් ලේසියෙන් ලීසිං ගැනීමට හැකියාවකුත් ඇති බව නම් පෙනේ. නගරයට එන කාර් ගණන වැඩිවී තිබුනත් බස්වල යන මිනිසුන්ගේ අඩුවක් වී නැති බවත් කිව යුතුය.

නමුත් මගේ උනන්දුව කාර් ගැනීම ගැන නොව කාර් පැදීම ගැනය. පෙර දිනක නගර මධ්‍යයේ මම ත්‍රී වීලයක් අමුණා ගතිමි. මගේ වාහනයට වූ හානිය සුළු වුවද සාපේක්‍ෂ වශයෙන් ත්‍රී රෝද රථයට වූ හානියට වඩා වැඩිය. ත්‍රී රෝද රථ රියදුරා දැන් මොකක්ද කෙරෙන්න ඕනේ යැයි මගෙන් විමසීය. ඇත්තටම ගතහොත් කිසියම් මාර්ග නීතියක් ඒ සිදුවීමට බලපානවාදැයි හරියටම කීමට නොහැකිය. නමුත් මගේ මතයට අනුව අනිත් රියදුරා සිය වාහනය පැදවූයේ චාරයක් නැතිවය. ඔහුගේ හැදියාව ගැන වාද කිරීමට මට පදනමක් නැතිවූ නිසා මම පාඩූ විඳගෙන යන්ට ගියෙමි. ඒ අවසාන වතාවට විය හැකිය.

මීට වසර විස්සකට පමණ පෙර කොළඹ නගරයේ වාහන තද බදයක් නොතිබිනි. නමුත් දැන් නිවසින් එලියට බැස්සොත් දවසෙන් වැඩි කාලයක් ගත කරන්නට සිදුවෙන්නේ මහ මගය. වාහන ප්‍රමාණය වැඩි වීම හැරුණු කොට වාහන තද බදයට දායකවන එක් වැදගත් කාරණයක් නම් රියදුරන්ගේ නො-හැදියාවය. නමුත් සියලු රියදුරන්ගේ හැදියාව එක හා සමාන නොවේ. උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් උගත් යැයි සැලකෙන මිනිසුන් වැඩිපුර ගැවසෙන නැත්නම් එවැනි මිනිසුන් ජීවත්වන ප්‍රදේශ හරහා වැටී ඇති මර්ගවල රියැදුරන්ගේ හැදියාව අනිත් මාර්ගවල රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ බව පෙනේ. වාහන තදබදය වැඩියෙන්ම ඇත්තේ පාසල් සහ කාර්යාල ඇරෙන වැහෙන වේලාවලටය. වාහන තදබදය වැඩි වුවද උදේ හය හමාරට පමණ වාහනය පැදවීම එම මහා මාර්ගයේම දහවල් දොලහට පමණ පැදවීමට වඩා පහසු බවද මම අත්දැක ඇත්තෙමි. සමහරවිට උදේ හය හමාරට පදින රියදුරන්ගේ හැදියාව එම පාරේම දහවල් දොලහට පදින රියදුරන්ගේ හැදියාවට වඩා හොඳ නිසා විය හැකිය. හය හමාරේ රියදුරන් බහුතරයක් කාර්යාලවල සේවය කරන උගත් අය වීමත් දහවල් දොලහේ රියදුරන් බහුතරයක් රියදුරු කම රස්සාවට කරන සාපේක්‍ෂ වශයෙන් අඩු උගත් කමක් ඇති අයවීමත් ඊට හේතුවක් විය හැකිද?

පැහැදිලිවම මෙහි කථා කරන්නේ ගමේ උපාසක මහත්තයෙකුට තිබිය හැකි හැදියාවක් ගැන නොව උගත්කම හා බැඳූනූ හැදියාවකි. කාර් පැදවීමට එතරම් උගත් කමක් අවශ්‍ය නැත. නමුත් අනුන්ට කරදරයක් නැතිව වාහන පැදවීමට ඇති හැදියාව උගත්කම හා බැඳුනු එකකි. අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට හැකිවුනද උගතාට අර උපාසක මහත්තයාගේ හැදියාව නැතිවෙන්නට පුළුවන. ඒ වගේම උපාසක මහත්තයාගේ හැදියාව අනුන්ට කරදරයක් නොවී වාහන පැදවීමට උදව් නොවෙන්නටද පුළුවන.

කාර් පදවන හැදියාව අධ්‍යාපනයෙන් ලැබෙන්නේ කෙසේද?

බටහිර අධ්‍යාපනයෙන් කෙරෙන එක් වැදගත් කාර්යයක් නම් පුද්ගලයා සමාජයෙන් වෙන් කෙරීමය. එසේ වෙන් කෙරුනු පුද්ගලයාට පුද්ගල අයිතීන් ලබාදී අනිත් පුද්ගලයින්ගේ අයිතීන් උල්ලංඝනය නොවෙනසේ හැසිරීමට කියා දෙන්නේද ඒ අධ්‍යාපනයමය. භෞතිකමය වශයෙන් සැලකූවිට පුද්ගල අවකාශයද (පර්සනල් ස්පේස්) පුද්ගල අයිතියකි. කාර් පදවන හැදියාව තමන්ගේත් අනුන්ගේත් පුද්ගල අවකාශ වලට ගරු කිරීම හා සම්බන්ධය.

අපසමාජයේ කාරයක හිමි කරුවෙකු වීම මමත්වය වඩවන්නකි. කාරයේ සුක්කානම අතට ගත්විට කාරය මමත්වයේ දිගුවක් වෙයි. මිනිසුන් පංචි කාර් වලට වඩා ලොකු කාර් වලට කැමතිවීමට එයද හේතුවකි. කාරය පාරට දැමූවිට දැන් පාරේ සිටින්නේ කාර් නොව තමන්ගේ තරමට වඩා විශාල මිනිසුන් (බොහෝවිට පිරිමින්) පිරිසකි. එහිදී අවශ්‍ය වන්නේ ඒ ඒ අයගේ පුද්ගල අවකාශ ගරු කරමින් ගමන් කිරීමය. එසේ ගමන් කිරීමට බටහිර අධ්‍යාපනය හරහා පූරුදු කරවයි.

බුදු දහමින් පෝශණය වුනු අප සමාජයට අනෙක් මිනිසුන්ට පමණක් නොවේ සතා සිව්පාවන්ටත් පරිසරයටත් කරදරයක් නොවෙන සේ ජීවත්වීමට හැදියාවක් ඇත. ඒ හැදියාවට අනුව කාර් පැදීම උගතුන්ගේ පුද්ගල අවකාශයට ගරු කරමින් කාර් පැදීමට වඩා උසස් විය යුතුය. ප්‍රශ්ණය අපි කාර් පැදීම අපේ සංස්කෘතියට හරිහැටි අවශෝෂණය කරගෙන නොමැතිවීමය. එය හරිහැටි අවශෝෂණය කර ගත හැක්කේ උගතුන්ට නොව නූගතුන්ටය.

[පසුගිය ලිපි කිහිපයේ මෙන්ම මේ ලිපියේද මම උත්සාහ කරන්නේ මෙරට නාගරික සමාජය පිළිබඳව විවරණයක් කිරීමටය. එහි යම් විශේෂත්වයක් ඇත්නම් ඒ මා සතු මගේ පරණ කණ්නාඩියය. කාලයක් විදේශගතව සිටි මා මෙහි පදිංචියට පැමිණියේ ලඟදීය. තවමත් මගේ සංස්කෘතිය මීට දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ පැවති නාගරික සංස්කෘතියය. මා වත්මන් සමාජයට අනුගතවෙත්ම ඒ පරණ කණ්නාඩිය මට අහිමවන බැවින් ඒ දැක්ම මෙහි ලියා තැබීමට සිත්විනි. ]

වංශපුර දේවගේ ජානක 
[මගේ රට]

යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions