8/28/2015

ජුදාස් සහ ප්‍රේමජයන්ත.

කතෘ:යුතුකම     8/28/2015   1 comment





ජුදාස් ඉස්කාරියොත්

ජුදාස් ඉස්කාරියොත් ජේසු තුමාගේ ප්‍රධාන ගෝලයන් දොළොස් දෙනාගෙන් කෙනෙකි. ජේසුතුමා ප්‍රසිද්ධි‍යේ දේශන පැවැත්වමින් දිවි ගෙවූයේ වසර තුනක් පමණි. ඒ තෙවසර පුරාම තැනින් තැනට යමින් උන් වහන්සේ සමඟම සිටි ගෝලයෙකි. දෙවියන් වහන්සේගේ නාමයෙන් ලෙඩුන් සුව කරමින් ශුභ අස්න දේශනා කිරීමට ජුදාස්ද් අනෙක් ගෝලයන් එකොළොස් දෙනා සමඟ සම්බන්ධ වූවෙකි.
ජේසුතුමන් සමඟ සම්බන්ධ වීමට පෙර මොහු සොරෙකි. සොර කණ්ඩායමේ මුදල් සම්බන්ධව කටයුතු කර ඇත්තේද මොහුය. එකල ඔහු එම මුදල් සොරකම් කර ඇති බව ඇතැම් ග්‍රන්ථවල සඳහන් වේ.
 


ජේසු තුමාගේ රුවට සමාන තවත් ගෝලයෙක්ද විය. එනිසා ප්‍රධාන පූජකයාගේ සෙබළුන්ට ජේසුතුමා හඳුනා ගැනීම අපහසු විය. එතෙක් කල් හඳුනා ගැනීමට අපහසු වන සේ සිටි ජේසුස් වහන්සේ ගේ ශරීරය සතුරන්ට පෙනෙන්නට සිප ගැනීමෙන් ජුදාස් ඒ මහා අපරාධය සිදු කෙළේ ය.

"ජුදාස්, නුඹ මා සිප ගැනීමෙන් පාවා දුන්නේද?" යයි ජේසු තුමා එහිදී ව්මසීය.

ඒ නිසා මානව ශිෂ්ටාචාරය තුළ මිනිසකු විසින් නොවිඳි මහා දුකක් විඳ කල්වාරි කන්ද මුදුනේදී සියලු පව්කාරයන් වෙනුවෙන් කුරුසිය මත සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට ජේසුස් වහන්සේට සිදු විය. ජුදාස් මේ මහා පාවාදීම සිදු කළේ රිදී කාසි 30 ක මුදලක් වෙනුවෙනි.

සෙබළුන් විසින් ජේසු තුමන් රැගෙන ගොස් හිරිහැර කරන විට ජුදාස් ඒ මුදල් සියල්ල යළි භාරගෙන ජේසුතුමාව නිදහස් කරන මෙන් ප්‍රධාන පූජකයාගෙන් ඉල්ලා සිටින ලදී. නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී. පසුව ඔහු සිත් තැවුලෙන් සිය දිවි හානි කරගත්තේය.

සුසිල් ප්‍රේමජයන්ත

ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත් මෙලොව එළිය දුටුවේ 1955 ජනවාරි මස 10 වනදායි. 1991 වසරේ දී හෙතෙම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ උපසභාපතිවරයා ලෙස තේරී පත් විය. 1993 වසරේදී ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත් විය. 1994 වසරේදී ඔහු බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන අමාත්‍යවරයා බවට ඔඅත් විය. 1995 වසරේදී සහ 1999 වසරේදි ඔහු බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 2000 වසරේ සිට 2001 වසර දක්වා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ මෙරට අධ්‍යාපන අමාත්‍යය ධූරය ඉසිලීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිට වූයේ 2004 පෙබරවාරි මස 11 වැනි දායි. එතැන් සිට මේ දක්වා සම්පූර්ණ කාලයම පාහේ සන්ධානයේ මහලේකම් ලෙස ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන මැතිවරණවල සියල්ලෙහිම නාම යෝජනා පත්‍ර සකස් කිරීම, හා මැතිවරණවලට අදාළ සියලු කටයුතු සුසිල් ප්‍රේමජයන්යත් විසින් සන්ධානයේ ලේකම්වරයා ලෙස ඉටු කළේය.

මහින්ද රාජපක්ෂ සමයේ 2005 සිට 2010 දක්වා අධ්‍යාපන අමාත්‍ය ධූරයද 2010 සිට 2014 දක්වා ඛනිජ සම්පත් අමාත්‍යය ධූරයද මොහු විසින් උසුලන ලදී.

2010 අගෝස්තු 17 වන සඳුදා මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී අගෝස්තු 14 වන සිකුරාදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස සුසිල් ප්‍රේමජයන්ත ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස අනුර ප්‍රියදර්ශන යාපා යන අයට එම තනතුරු දැරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය. හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ විශ්වා වර්ණපාල විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලු අධිකරණය දින 14ක් බල පැවැත්වෙන පරිදි අදාළ වාරණ නියෝගය නිකුත් කළේය. පෙත්සම්කරුවන් පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහ ලේකම් ලෙස දුමින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වැඩ බලන මහ ලේකම් ලෙස විශ්වා වර්ණපාල යන අය පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරනු ලැබ ඇති බවයි. එම නිසා සිය කටයුතුවලට බාධා නොකරන මෙන් නියෝගයක් සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා වෙත නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබුණි. කරුණු සලකා බැලූ අධිකරණය එම වාරණ නියෝගය ද නිකුත් කර තිබේ. අනතුරුව පැමිණිල්ල ලබන 28 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන මෙන් වග උත්තරකාර සුසිල් ප්‍රේමජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අයට නොතිසි නිකුත් කළේය.


සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ 17 වන සඳුදා සුසිල් ප්‍රේමජයන්ත විසින් වාරණ නියෝගයට එරෙහිව අධීකරණය හමුවට යාමට තිබූ බවයි. නමුත් ඔහු එදින පැවැත්වූ මැතිවරණයේ ප්‍රතිපල ලැබෙන තෙක් 18 වැනිදා වන තෙක් අධිකරණය හමුවට නොගොස් සිට සන්ධානයට බහුතර බලය නොමැති බව දැනගත් පසු අධිකරණය හමුවට නොව, ඒ වෙනුවට ජනපති හමුවට ගිය බවයි.

ඉන් පසු යහපාලන ජනපතිගේ අභිමතය පරිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට මහාචාර්ය විශ්වා වර්ණපාල මහතාගේ අනුදැනුමෙන් ඊට අත්සන් තබා තිබුණේ සුසිල් පේ‍්‍රමජයන්ත මහතාය. ලයිස්තුවට පරාජිතයින් හත් දෙනෙකු ඇතුලත් වී තිබුනි.

අගෝස්තු 24 දින විශ්වා වර්ණපාලට ලේකම් ධූරයේ නිදහසේ කටයුතු කර හැරීමට ඉඩ හරිමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස් විය.
ජුදාස්ට ලැබුනු රිදී කාසි 30 සේ ප්‍රේමජයන්ත මහතාට ලැබෙන්නේ මොනවාදැයි මහජනතාව බලා සිටිති.

-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com


[ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama]

8/27/2015

සිරිසේන සමඟ හෙළුවෙන්

කතෘ:යුතුකම     8/27/2015   3 comments
[ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama ]

පසුගිය මහමැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප සැකයට බඳුන් වෙමින් තිබේ. රෝසි සේනානායක නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටියි. සිරිසේනට හිතවත් හිරුණිකා එක්සත් ජාතික පෙරමුණෙන් ජයගෙන ඇත. සිරිසේන හිතවත් රාජිත සහ පාඨලී ද එජාපෙන් දිනා ඇත.
ඒ එජාපෙ මනාප ගැනය. 

සන්ධානයේ මනාප ගැන දැකිය හැකි සුවිශේෂීත්වයක් ඇත. එනම් සිරිසේන හිතවතුන් එජාපෙ තුළ කුමන ආකාරයකින් හෝ ජයගනිත්දී සන්ධානය තුළ සිරිසේන හිතවතුන් ප්‍රබල පරාජයකට ලක් වී තිබීමයි. අප්පච්චි මළෝ කණ්ඩායම මිනිසුන් විසින් පරදවා ඇත. මිනිසුන් විසින් පරදවන්නන් ජාතික ලැයිස්තු හිලෙන්  රිංගවන්නාට අපි කුමක් නම් කියමුද? සෝභිත හිමි සහ බැන්කී මූන් මෙන් අපත් උන්ට යහපාලකයා කියමුද? ඒ තරම් උචිත හැඳින්වීමක් තවත් ඇතිද? යහපාලනය අද ප්‍රහසනයක් වූ වෙනසක අරුමය අපූරු නොවෙද?

නිරුවත් වුනු යහපාලනය විසින් පැරදුනු උන්ට ඇමති දොළපිදේනිය ද පුදනු නිසැකය. යහපාලකයාට රට කරවීමට ඇවැසි වන්නේ පෑනක් සහ කොළ බන්ඩලයක් පමණි. ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළබඳ මාගේ මිත්‍රයෙක් පවසා සිටියේ මේ ආකාරයටය

"ගත්තා කොළේ, අස් කළා අරූව, ගැහුවා අත්සන. ගත්තා කොළේ, පත් කළා මූව, ගැහුව අත්සන."

ඉදින් යහපාලකයාගේ කොළයට සහ පෑනට සැවොම බයය. වෙනෙකෙකුට තබා ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුටද ඒ සෙතමය. ගත්තා කොළේ, ලිව්වා "මේ ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුතුමා මෙතක් කල් හිටලා නැත. හිටලා නැති එකා දැන් ඉන්නෙත් නැත." දැම්මා අත්සන. එයා හිටලා නැති නිසා ඊට කළින් සිටි විනිසුරුතුමිය ගෙන්වා ඉල්ලා අස් කෙරව්වේය.  ඒ යහපාලනයේ අරුමය දැක පහන් සිතින් සාධුකාර දෙන සෝභිත හිමි ඇතුළු පිරිස දකින ජනතාව ශ්‍රද්ධාවෙන් ඇලලී නොයන්නේ කුමන කාරණාවකට?


ජනමතය කවුද ගණන් ගන්නේ? මෙතැනදි වැදගත් වෙන්නේ යහපාලකයාගේ මතයයි. එතුමා සිතනවා නම් කවුරුන් හෝ පාර්ලිමේන්තුවට ගත යුතුයි කියා එතුමා එය කරනු ඇත. කොහොමද අභීත නායකත්වය? කිව්වේ කොන්ද පණ නෑ කියලා නේද? කොන්ද පණ නැත්තේ ජනතාවට කියා දැන්වත් වැටහුනිද?


දැන් මේ ගැන යහපාලනය වෙනුවෙන් එදවස ඉදිරිපත් වූ තමුන් බුද්ධිමතුන් යැයි හඳුන්වා ගත් ඊනියා විද්වතුන් රැළ කියන්නේ කුමක්ද?

යහපාලකයා මහ දවල් අමු නිරුවතින් මහ පාරේ අලියා පිටේ වීදි සංචාරය කරමින් සිටියි. ඒ නිරුවත දකින ජනී ජනයා තූ නොදකින් නොකියා අහක බලා ගනිත්. අනේ අර බුද්ධිමත්තු නම් සාධු නද දෙමින් යහපාලකයාගේ අලියාගේ නැට්ටේ එල්ලී දිව්‍ය ලෝකය බලා යාටමට සැරසෙති. යහපාලකයාගේ නිරුවත අපට පෙනෙන්නේ ඔහුගේ අලංකාර ඇඳුම අනුවණ අපට නොපෙනෙන නිසා යයි දෙසති. එය පෙනෙන්නේ බුද්ධිමත් එතුමන්ලාට, බැංකි මූන්ට, ඇමරිකාවේ බිස්වාල්ට සහ සෝභිත හිමිට පමණලු.

යහපාලකයාගේ ලස්සන ඇඳුම නොදැක, ඔහුගේ නිරුවත අප දකින්නේ අප උන් මෙන් බුද්ධිමතුන් නොවූ පවටලු. වරද අපේලු.

දැන් දැන් මේ ඊනියා උගත්තුද සිය සලුපිළි ගලවා හිස වටේ කරකවා වීසි කර, අර අපට නොපෙනෙන යහපාලකයාගේ ඇඳුමෙන්ම මාධ්‍යයට එති. ඒ ඇදුමෙන් බොහෝ විට මුලින්ම මේ අය එවන්නේ භික්ෂුවකි. ඒ මන්දැයි අපි නොදනිමු. මෙදා මුලින්ම ආවේ දඹර හිමිය. අප්පච්චි මළෝ කණ්ඩායන්මේ සොයිසා පාර්ලිමේන්තුවට අවැසි යයි උන්නාන්සේ දේශනා කළහ. අනේ අප කළ පවට අපට උන්නාසේගේ වස්ත්‍රය නොපෙනිනි. නිරුවත පමණක් දැකීමට අපි අකුසල් කර සිටියෙමු. මේ යන විදියට තව තව උදවිය අපට නොපෙනෙන යහපාලකයා අඳින නිර්-වස්ත්‍රයෙන්ම සැරසෙනු ඇත. ඒ පිරිස වැඩිවන විට අප අතර ඉන්නා උන්ද ඒ ඇදුමේ ගුණ වණන්නට ඉඩ තිබේ. ඉන් පසු සිය ඇඳුම් ගලවා ඒවා ඔළුව වටේ වන වන යහපාලකයාගේ නිර්-වස්ත්‍රයේ ගුණ වණ වණ යනු ඇත.


තව නොබෝ දිනකින් පරාජිතයන්ද ඇතුළු මහින්ද නිසා ඡන්දය දිනාගත් උන් වෙත ඇමති දොළපිදේනිය යහපාලකයා විසින් පුදනු ඇත. යහපාලකයාගේ ගුණ වයා දෙපා නමැද මේ දොළපිදේනිය ගිලින පෙරේතයන් කවුදැයි අර අනුවණ දනෝ ඉතා ඕනෑකමින් බලා හිදිති. ඒ අන් කිසිවකට නොව කවදා හෝ යළි ඡන්දයක් එනවිට උන්ට යලි සළකන්නටය. මෙවර අප්පච්චි මළෝ කණ්ඩායමට නිසි පිළිතුර ලබා දුන්නද එය පලක් වූයේ නැත. යහපාලකයා ජනතාවගේ පශ්චාත්භාගයට පයින් ගසමින් පරාජිතයින් ඇතුලට දැමුවේය. දැන් ඉතින් ජනතාව නම්ගම් ලියාගෙන බලං ඉන්නේ ඇමති දොළපිදේනිය ගිලින උන් මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන තුරුය. කාලය අප සිතනවාට වඩා වේගයෙන් ගලා යනු ඇත. ඇමති දොළපිදේනිය ගිලින සන්ධානයේ පෙරේතයන්ට ඔවුන් සිතනවාට වඩා කළින් මහජනතාව ළඟට ගොස් මනාපය ඉල්ලීමට සිදුවනු ඇත.  උගතුන්ට පමණක් පෙනෙන යහපාලකයාගෙන් ඉල්ලා ගෙන ඇඳ ගන්නා අර ඇඳුම, මහජනයාට තවම නොපෙනෙන බව උන් මතක තබා ගත යුතුය. නිරුවතින් මනාපය ඉල්ලං ගමට එන උන්ට මහජනතාව ගල් ගසා හූ කියා එළවනු ඇත.
-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

5/13/2015

අධිරාජ්‍යවාදීන්ගේ වහලාගේ කාර්ය ඉටුකරමින්

කතෘ:යුතුකම     5/13/2015   No comments
පසුගිය 11 වනදා විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පක්ෂ නායක හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

එහිදී ඉතා කැපී පෙනෙන සිද්ධියක් වී ඇත්තේ අනුර කුමාරට දෙමළ සන්ධානය වෙනුවෙන් සෑදී තිබුනු ළදරු වළිප්පුවය. දෙමළ සන්ධානයට විසිවන සංශෝධනයෙන් පසු ආසන සංඛ්‍යාව අඩු වේ යන අනියත බියකින් අනුර කුමාර පෙළී ඇත. ඒ පිළිබද දෙමළ සන්ධානය වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහු දෙමළ සන්ධානය වෙනුවෙන් එයට සහභාගී වූ සම්බන්ධන්ට නැති උනන්දුවක් දෙමළ සන්ධානය වෙනුවෙන් පෙන්වීම එම රැස්වීමට සහභාගී වූ අනෙක් පක්ෂ නායකයින්ද පුදුමයට පත් කරන්නක් වී ඇත. (නමුත් ඉන්දියාවෙන් සරණාගතයින් ගෙනෙන නිසා දෙමළ සන්ධානයේ ආසන සංඛ්‍යාව තවත් වැඩි වන බව මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිළි කර ඇත.)

කුමක්ද මේ උනන්දුව?

අනුර කුමාරට මෙම දෙමළ ජාතිවාදීන්ට සේවය කිරීමට වුවමනා වන්නේ අද ඊයේ පටන් නොවේ. ඔහු දිගින් දිගටම පක්ෂයේ දිශානතිය අංශක 180 කින් ජාතිකවාදී ස්ථාවරයක සිට එන් ජී ඕ ස්ථාවරයකට වෙනස්  කිරීමට වෙර දරන ලද්දෙකි. ඔහුගේ ඒ උත්සාහය සාර්ථක වී දැන් වසර කිහිපයක් ගත වී ඇතත් මෙරට බොහෝ දෙනෙකු හරි හැටි ජවිපෙ වෙස් පෙරළිය හදුනාගෙන නැත.

වසර 2000 සිට 2007 දක්වා පමණ ජාතිකවාදී ස්ථාවරයක් පෙන්නුම් කරමින් ජාතික නිදහස් අරගලය ඔස්සේ සමාජවාදයට යන තේමාව යටතේ ජවිපෙ ජාතියට විශාල ජයග්‍රහණයන් ප්‍රමාණයක් අත්කරදෙයි. 2003 දී රනිල්ගේ රට බෙදන ආණ්ඩුව ගෙදර යැවීම සඳහා තීරණාත්මක කාර්යයක් ජවිපෙ ඉටු කරයි. 2004 මහ මැතිවරණයේදි ජවිපෙ ආසන 41ක් දිනා ගනියි. චන්ද්‍රිකා විසින් උතුරට ස්වයං පාලනයක් ලැබෙන ලෙස පිහිටුවන්නට ගිය සුනාමි සහන මණ්ඩලය ව්‍යවස්ථාවට පටහැණි යයි අධිකරණ නියෝගයක් ලබා ගන්නට ජවිපෙ සමත් වේ. 2006 දී උතුරු නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කිරීමට එරෙහිව උසාවියට ගොස් එය ජයග්‍රහණය කරයි.

2007 දී නැගෙනහිර යුද්ධය ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක පැවති අවස්ථාවක යෙදුනු අයවැයක් පරාජය කර රජය පෙරලා දමන්නට අනුරලා උත්සාහ දැරීය. අනුර කුමාරලාගේ සිතැඟි ඉටු වෙතැයි ගණන් බලා තිබූ අනුර බණ්ඩාරනායක ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත්තේය. එදා අනුරලාගේ ඒ උත්සාහ සාර්ථක වුනි නම් අද ඊළාම් රටේ ජනපති ප්‍රභාකරන්ය. අනුරලාගේ ඒ දේශද්ද්‍රෝහි උත්සාහය පරාජය කරනු ලැබුයේ එවක ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක වූ විමල්ය.  ඉහත කී සියළු ජයග්‍රහණයන් පිටුපස වඩාත් ජව සම්පන්නව සිටි පුද්ගලයකු වූයේ විමල් වීරවංශය.

ඉන් පසු විමල් පක්ෂයෙන් එළවා දැමීම සඳහා ප්‍රධාන කාර්යයක් ඉටු කරන ලද්දේ අනුර කුමාර බව එවක විමල් පැවසීය. විමල් ජවිපෙන් එලවා දැමීම අනුරලාගේ හුදු පුද්ගල විරෝධයක් පමණක් නොව. එය මතවාදී ලෙස ජවිපෙ රට තුළ ඉටු කළ භූමිකාවෙන් ජාතිකත්වය පන්නා දැමීමක් විය.  ජවිපෙ ශබ්ද කෝෂයෙන් සියළුම ජාතිකවාදී වදන් ගලවා දමන්නට විමල් එළවා දැමීමත් සමඟම අනුරලා සමත් විය. අනුර කුමාරට පන්සිල් මෙන්ම රටේ ඒකීයභාවය ද තහනම් වචනයකි. ඒ වෙනුවට බටහිර සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් විසින් ලෝ පුරා රටවල් මරු කතරවල් බවට පත් කරන්නට යොදා ගන්නා වචන ජවිපෙ පාරිභාෂිත ශබ්දකෝෂයේ ඉහළින්ම තබන්නට අනුරලා සමත් විය. දූෂිත ඒකාධිපති රෙජීමය, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස යනාදි වචන ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුවේ, මෙන්ම සිරියාවේද ඉහළින්ම භාවිත වූ වචනමය.

අනුර කුමාරලා අද සම්බන්ධන්ලා වෙනුවෙන් පෙනී සිටිනවා සේම එදා ප්‍රභාකරන් වෙනුවෙන්ද පෙනී සිටියේය. 2007 අයවැය පරදවා රජය පෙරලා දමන්නට ගත් වෑයම එහි උච්ඡතම අවස්ථාවයි. එදා විමල්ලා විසින් ජවිපෙ වෙත ලබා දුන් දේශහිතෛශී ප්‍රතිරූපය අද අනුරලාගේ එන් ජී ඕ භූමිකාව සැඟවීමට සෙවණැල්ලක් වී ඇත. ප්‍රභාකරන් විනාශ කිරීම වළකන්නට කුමන්ත්‍රණ කළ අනුරලා, ප්‍රභාකරන් විනාශ කළ මහින්ද පරදවන්නටද 2010 දී පොදු අපේක්ෂකයකු සොයා ගත්තේය. 2015 දී මුසාවාද පතුරවමින් මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙකු, දූෂිතයෙකු යයි හංවඬු ගැසීය.

මහින්ද රජය පෙරළිමේ ඉන්දියානු රෝ ඔත්තු කරුවන්ගේ භූමිකාව මාධ්‍යට නිරාවෘත්ත විය. ඉන්දියාවට පැමිණි බරැක් ඔබාමා ලංකාවේ වෙනසක් ඇති කරවීමෙහිලා ඉන්දියානු භූමිකාවට සිය ස්තුතිය ප්‍රසිද්ධියේම පුද කරන්නට තරම කෘතඥපූර්වක විය. ඈමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ලංකාවේ වෙනස ඇති කළේ තමන් බව පැවසීමට තරම් අවංක විය. එකිනෙකට වෙනස් කොටස් එකතු කරමින් රජයක් පෙරලා දමන්නෙ කෙසේද යන්න පිලිබද ශ්‍රී ලංකාවෙ ඇති කළ වෙනස හොඳ මොඩලයක් යැයි අප ගැන අපටත් වඩා කවදත් උනන්දු එරික් සෝල්හයිම් පැවසීය.

ජවිපෙ මෙරට ඉතා තීරණාත්මක පක්ෂයක් බවට පත් වෙමින් තිබියදී එය ජාතිකත්වය දෙසට සාර්ථක ලෙස පිය මනිමින් සිටියදී, පක්ෂය ජයග්‍රහණය කරමින් සිටියදී, පක්ෂය අංශක 180 කින් හරවා එම පක්ෂයම ජාතිකත්වයට එරෙහි ආස්ථානයක් දක්වා ගෙන යමින් අනුර කුමාරලා රනිල් සහෝදරයා අගමැති කරන්නට වෙහෙසෙන්නේ අද ඊයේ සිට නොවේ. රනිල්ට බලය ලබා දී ඔහු ලව්වා රට බෙදීම විජාතික බලවේගයන්ගේ අභිලාෂයයි. අනුරලා කොන්දේසි විරහිතව අධිරාජ්‍යවාදීන්ගේ වුවමනා වෙනුවෙන් පෙනී සිටිත්. එය ඔහුට පැවරුණු භූමිකාවකි. සම්බන්ධන්ලාගේ ආසන අඩුවීම ගැන සම්බන්ධට වඩා ගැටළුවක්, බියක් අනුරට ඇති වන්නේ එබැවිනි.

13 වන ව්‍යවස්ථා සංශෝධනයට මඟ පෑදූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වෙමින් ජවිපෙ තරුණයින් දස දහස් ගණනක් මිය ගියේය. මෝඩි පැමිණ අපට 13න් එහාට යන්න යැයි කීය. කෙරීද එවැනිම අදහසක් ඉදිරිපත් කළේය. නමුත් මේ අපූරු ජවිපෙ වත්මන් නායකයාට කෙරීට හෝ මෝඩිට හෝ එරෙහිව කටින් කෙළ බිදක් හෙළීමට තහනම්ය. නමුත් එම අධිරාජ්‍යවාදීන්ට යටත් නොවූ මිනිසුන් හිර කර දැමීමට අද අනුරලා රනිල්ලා එකට දත කති. රනිල් සහෝදරයා මෙන්ම අනුර සහෝදරයාද අධිරාජ්‍යවාදීන්ගේ වහලුන්ය.

-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

4/29/2015

රූකඩ ඒකාධිපති ජනපති සිරිසේන

කතෘ:යුතුකම     4/29/2015   2 comments
පක්ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ දෙමළ සන්ධාන්යේ සහ හෙළ උරුමයේ තුරුලට එන විට ඔහු අප කිසිදා දැක නොතිබුනු ලෙස දත් විලිස්සා සිනාසෙයි. ජනපති වූ පසුව ඔහු සිනාසෙන්නේ කොට කොනකිනි. සෞඛ්‍ය ඇමති කාලයේ ඔහු වෙතින් දුටු විවේකී බව වෙනුවට අද ඔහුගේ මුහුණෙන් දිස් වන්නේ වියළී ගිය ආතති ගතියකි. ඔහුගේ මුහුණට කිසියම් හෝ එළියක් වැටෙන්නේ විදෙස් සංචාරවලදී තමන් වෙත ලැබුනු පිලිගැනීම සිහිපත් කරන විටය. ඒ  මන්දස්මිතයද දෙකම්මුල් දක්වාවත් විහිද යන්නේ නැත. අදුරේ ගිලී තිබෙන ඔහුගේ දෑසට ඒ මන්දස්මිතයේ පහස ලැබීමට වරම් නැත. කන්දක් විළි ලා වැදූ දින සියයෙන් පසුව ඔහුගේ රුව රූපවාහිනී තිරයේ දකින ජනතාව ඉවෙන් මෙන් ඔහු හා රට යම් අර්බුදයක ඇති බව වටහා ගනිති.

"සමහර අය කියනවා මම දුර්වලයි, ශක්තිමත් නෑ, නායකයකු නෙමෙයි කියලා" යයි ඔහු ජාතිය අමතමින් පැවසූයේය. යළි මහින්ද ඕනා යයි කියන ඔහුගේම පක්ෂයේ බුහතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු මහ ජනකායෙන් අති විශාල පංගුවක් වහළුන් ලෙස හැඳින්වීමටද ඔහු අකාරුණික විය.

ඔහුට ලැබුණු ඒ විධායක බලය ඔහු පවසන ලෙස ඔහු භාවිතා කළේ නැතිද?

ව්‍යවස්ථාදායකයට පා පහරක්


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයකින් අගමැති වූ ලෝකයේ පළමු මිනිසා විය. එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ආසන හතළිස් ගණනක් පමණි.  අගමැති සහ කැබිනට්ටුව පත් විය යුත්තේ මහ මැතිවරණයකින් මිස ජනාධිපතිවරණයකින් නොවන බව ඕන බබෙක් දනිත්. එහිදි සිරිසේන ජනපති තුමා සිය විධායක බලය අත්තනෝමතික ලෙස භාවිතා කරමින් තමන් ආසාවක් නැතැයි කියන ජනපතිකමට පත් කරවන්නන් සමඟ කලින් ඇති කර ගත් කූඨ එකඟතාව මත කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට දමාය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති වූ පසු කැබිනට්ටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසක් පත් කරන අතරම විපක්ෂ නායක කමත් තම පක්ෂය වෙතම තබා ගැනුමට නිර්ලජ්ජිතව කටයුතු කළේය. සිරිපාලලාගේ සිඟිති ආශාවන් සහ පොදු ජනතා පැතුමන් අතර ඇති පරතරය අහස පොළොව මෙනි. ඒ ඔහු ඔහුගේ විධායක බලය ඒකාධිපති ස්වරූපයකින් භාවිත කර ව්‍යවස්ථාදායකය සිය අණසකට ගත් අධම ආකාරයයි.

අධිකරණයට පෑන් පහරක්


ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට නොව, ඒ සඳහා කමිටුවක් පත් කෙරුමට පමණක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ බව පවසා ශිරාණි තාමත් අගවිනිසුරු යයි එකල ශිරාණිව ඉවත් කරන්නට ඡන්දය දුන් සිරිසේන ජනපතිතුමා කොලයක ලියා අත්සන දැමීය. නමුත් එම යෝජනාව පාර්ලිමේන්තුවේදී නිවැරදි ලෙස සංශෝධනය කළ බවත්, රටටම පෙනෙන ලෙස ඒ පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළ බවත් නොසළකා හැරීමට තරම් සිරිසේන රෙජීමය නග්න විය. අමතක වන්නේ දුමින්ද සිල්වාට පමණක් නොවන බව මින් පෙනී යයි. එකල සිරිසේන මහතාද ඇතුලුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි පිරිසක් ඡන්දය දුන්නේ ශිරාණි ඉවත් කිරීමට මිස කමිටුවක් පත් කිරීමට නොවන බව ජනපති වූ සිරිසේනට අමතක විය.

මහින්ද ජනපති සමයේ ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ ක්‍රමවේදයේ වරදක් නැති මුත් එවැන්නක් තිබුනා වුවත් ඒ පිලිබඳ තීරණයකට එලැඹිය යුතුව තිබුනේ ව්‍යවස්ථාදායකයයි. එනම් පාර්ලිමේන්තුවයි. මන්ද යත් අගවිනිසුරුවකු පත් කිරීම විධායකයටත් ඉවත් කිරීම ව්‍යවස්ථාදායකයටත් පැවරුනු කාර්යයන් නිසාය. ඉවත් කිරීම නිසි ලෙස සිදු වුනිද නොවිනිද යන්න පාර්ලිමේන්තුව තුළදී සලකා බැලිය යුතුව තිබුනි. නමුත් ඒ තීරණය එකවරම ගනු ලබන්නේ කවුද? පරමාධිපත්‍ය බලය හිමි ජනතාවද? විධායකයට එවැනි අයිතියක් කොහොමත් නැත. ඒ තීරණය ගනු ලබන්නේ යහපාලනයෙන් භෞතීස්ම කළ මෛත්‍රීපාල සිරිසේන නම් මිනිසායි.

 නීතිය තමා විසින්ම අර්ථකථනය කරමිනි ඔහු එය සිදු කළේ. ඒ වෙනුවෙන් සහය දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය අධ්‍යක්ෂ තනතුරකින් පිදීමට තරම් සිරිසේන ජනපති ත්‍යාගශීලී වෙයි. ඔහු එලෙස අධිකරණයේ ස්වාධීනත්වය එක පෑන් පහරින් කෙළෙසා දැමූයේ කිසිදු හිරිකිතයකින් තොරවය. වෙනදා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ බෙරිහන් දෙන කුහක බුද්ධිමතුන්ගෙන් සිරිසේන ජනපතිගේ අත්තනෝමතික අත්සනට මෙවර මල් කළඹකි.

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළා-  ගොබෙල්ස් යළිත්


ව්‍යවස්ථාදායකයට හා අධිකරණය යන දෙකම තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කිරීම තරම් හානියක්, කෙලෙසීමක් ප්‍රජාතන්ත්‍රවාදයට කළ හැකිද? ඔහු පුල පුලා පවසන්නේ අනිත් අය මෙන් තමන් විධායක බලතල භාවිතා නොකළ බවයි. පැහැදිළි සත්‍යකි. ඔහු කළේ විධායක බලතල භාවිතා කිරීම නොව, අවභාවිතා කිරීමයි.

ඔහු පක්ෂයේ සභාපතිවරයා ලෙස එම පක්ෂ්යේ ජේෂ්ටයන් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරන්නේ කිසිදු  හේතුවක් නොදක්වාය.

මිනිසෙකුට මේ සියල්ල මෙසේ සිදු කරන ගමන් තමන් නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බව පැවසිය හැකිද? ඔහු කිසිදු අමුත්තක් නැතිව එසේ පවසන්නේ අපේ සමාජය ඒ තරම්ම මෝඩ සමාජයක් නිසාද? ගොබෙල්ස් න්‍යාය බලය ලබා ගැනීමට පමණක් නොව බලය ලබාගෙන කරගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝදී දුර්ධාන්ත පාලනය සඟවනු සඳහාද අත්හදා බලමින් ඇත.

මහින්ද ඒකාධිපතියෙකු යැයි මර හඬ නගා කියමින් සිරිසේන සිය කර මතින් වැඩම්මවූවන් සිරිසේන ජනපතිගේ වියරු ඒකාධිපති හැසිරීම ඉදිරියේ අද සිටින්නේ ගලේ පැහැරූ බළලුන් මෙනි. දේශපාලන පිටියේ ගොබෙල්ස් මොරගෑම් පසෙකලා අපම ස්වාධීනව කල්පනා කර බැලුවහොත් ඒකාධිපතියා හඳුනා ගැනීම එතරම් අපහසු නොවේ.

රූකඩ ඒකාධිපති


සමහර අය කියනවා තමන් දුර්වලයි, ශක්තිමත් නෑ, නායකයෙකු නොවෙයි වැනි දෑ ජාතිය අමතා ඔහු වෙසෙසින් පවසන්නේ මන්ද? ජාතිය නොමඟ යැවීමට විය හැකිය. තමා ක්‍රියා කළ අධම ඒකාධිපති ස්වරූපය ඔහු අප සැවොටම වඩා දනියි. දැන් ඔහුට අවශ්‍ය අපගේ දෑසට වලි ගැසීමටයි. තමා දුර්වලයකු බවට මතයක් ඇතැම් අය දරන බව ඔහු රටටම පවසන්නේ ඒ මඟින් තමාගේ ඒකාධිපති ස්වරූපය මෙරට ජනතාවගේ දෑස් මතින් ඉවත් කළ හැකි බව සිතන නිසාය. ඔහු රාජ සභාව තුළ රූකඩයක්, දුර්වලයෙක් විය හැකිය. ජාත්‍යන්තරය තුළ ඔහු රූකඩයක් බව පැහැඳිලිය. ජනපති කියනා ජාත්‍යන්තර ප්‍රජාවගේ විශ්වාසය යනු අනෙකක් නොව ඔවුනට අවැසි  ලෙස ඔහු අවනත වේ යන විශ්වාසයමය. මහින්ද පිලිබද එවන් විශ්වාසයක් ඉන්දියාවට හෝ බටහිරයන්ට හෝ නොවිනි. මේ බල පෙරළිය සිදු කිරරීමට ඔවුන් උර දුන් බව ඔවුන්ම පවසන්නේ ඒ නිසාය. සිරිසේන ජනපති  මෝඩිලාට, ජෝන් කෙරීලාට, චන්ද්‍රිකාලාට, රනිල්ලාට රූකඩයක් වුවත් එම විජාතික බලවේගයන්ගේ සිතැඟි ඉටු කිරීමට ඔහු මෙරට තුළ ක්‍රියා කරන්නේ වියරු ඒකාධිපතියකු ලෙසය.

රූකඩ නටවන්නන් රූකඩය නටවමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති බෙර හඬට හෝ යහපාලනය නමැති රිද්මයට හෝ සංවේදී වෙමින් නොව, හුදෙක් සිය සිතැඟි අනුවය. නරඹන්නන් අත්විදින්නේ ඔහේ තමාට ඕනෑ පරිදි ඩෙගා නටන රූකඩ ඒකාධිපතියෙකි. වේදිකාව මත බෙර හඬ සහ රිද්මය ලෙස සඳහන් සුවිශාල නාම පුවරකි. ඇතැමුන් බලා සිටින කෝණය අනුව රංගනයේ බොහෝ කොටස් ඒ නාම පුවරුවටම වැසී ගොසිනි. ඔවුන්ගෙන් බොහෝ  පිරිසක් මේ වියරු රූකඩ ඒකාධිපති නැටවිල්ල බෙර හඬ සහ රිදමයේ උත්කෘෂ්ට සම්භාවනීය පිළිඹිබුවක් ලෙස ගෙන ප්‍රීති වෙමින් සිටිති. ඒ අය තමුන් හඳුන්වා ගන්නේ උගත් බුද්ධිමත් ජනතාව ලෙසිනි.


-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com 

--------------------------------------------- 
"නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න.
https://www.facebook.com/yuthukama
ෆේබුක් පිටුවට Like  කර එකතු වන්න "
---------------------------------------------  

11/04/2014

ජනපති තුමනි, මුන්ට නාම යෝජනාත් දෙනවද?

කතෘ:යුතුකම     11/04/2014   4 comments
ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සලක් දුන්නේද ඒ නිසාමය. ජනාධිපති තුමා තමාට දේශපාලනයට එන්න යැයි කියනා බව ඔහු පුවත් පතකට පවසා තිබෙනු දුටුවෙමු. එහි සත්‍ය-අසත්‍යතාව අප නොදනිතත් එය අසත්‍ය කතාවක් යයි ද අපට සිතෙන්නේ නැත.

අපි මේ පිළිබඳ කිසිවක් නොලියන්නෙමු. ඒ මාලක මහතා අපට ලියන්නට යමක් ඉතිරි කර නැති නිසාය. ඔහුම ජනාධිපතිවරයාගෙන් එතුමාට විරිත්තමින් අසන ප්‍රශ්නයකි.

 "අපි වගේ උන්ටත් නාම යෝජනා දෙනවාද?

මේ ප්‍රශ්නයට පිළිතුර අපි තාම නොදනිමු. නමුත් මෙරට සිහි බුද්ධියෙන් වෙසෙන බොහෝ  පිරිසක් ඒ ප්‍රශ්නයට පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිත්. ඒ මාලක ගැන තීන්දුවක් ගැනුමට නොව, ඔබතුමා හා ඔබතුමාගේ රජය ගැන තීන්දුවක් ගැනුමට බව පමණක් සඳහන් කරනු කැමැත්තෙමු.

අපි දිවයින පුවත් පතින් උපුටා පුවත පමණක් පළ කරනෙමු. ලිපිය මාලකම ලියා ඇත. 

පුවතක්:

ඇමැති මර්වින්ගේ පුත් මාලක රිමාන්ඩ්-ආරක්‍ෂකයන් පිරිවරාගෙන බ්‍රිතාන්‍ය යුවළකට පහරදීලා

බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි රිදම් ඇන්ඩ් බ්ලූස්‌ රාත්‍රි සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට සහ ඔහුගේ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇමැති මර්වින් සිල්වාගේ පුත්‍රයා වන මාලක සිල්වා හෙට (04 වැනිදා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ (අංක 06) මහෙස්‌ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (01 දා) නියෝග කළේය.
මෙම විදේශ යුවළට පහරදීමේ සිද්ධියට සම්බන්ධ මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් බව කියන පුද්ගලයන් හත්දෙනකු මේ වන විට අතුරුදන්ව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්‌ඨාසය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එම සිද්ධියේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තමන්ට පහර දුන් බව කියමින් මාලක සිල්වා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

සැකකාර මාලක සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

ඔහු බන්ධනාගාරගත කරන ලද්දේ මහෙස්‌ත්‍රාත්වරයා රෝහල වෙත ගොස්‌ පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය. මේ වන විට සැකකාර සිල්වා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද එම පෞද්ගලික රෝහලේම රිමාන්ඩ් සිරකරුවෙක්‌ ලෙස ප්‍රතිකාර ලබමින් සිටියි.

පෙරේදා (01 වැනිදා) අලුයම 1.00 ට පමණ මාලක සිල්වා ඇතුළු පිරිස එම රාත්‍රි සමාජ ශාලාව වෙත පැමිණ ඇත්තේ අධික ලෙස බීමත්ව බව පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. පහරකෑමට ලක්‌වූ බ්‍රිතාන්‍ය ජාතිකයාගේ උපන් දිනය එදිනට යෙදී තිබුණු අතර ඔහු සිය පෙම්වතිය සමඟ එහි පැමිණ නටමින් විනෝද වෙමින් සිට ඇත. එම අවස්‌ථාවේදී මාලක සිල්වා බ්‍රිතාන්‍ය ජාතිකයාගේ පෙම්වතිය සමඟ රංගනයේ යෙදී තිබේ. එහිදී එම තරුණිය සහ මාලක සිල්වා අතර බහින්බස්‌ වීමක්‌ සිදුවී තිබේ. පසුව මාලක සිල්වා ඇයට පහර දී ඇතැයි කියති. එම අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය ජාතිකයා තම පෙම්වතිය බේරාගැනීමට උත්සාහ කරද්දී සැකකාර මාලක සිල්වාගේ ආරක්‍ෂකයන් ඔහුට සහ පෙම්වතියට අමානුෂික ලෙස පහර දී ඇත.

සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය මැදිහත්වී විදේශිකයා සහ ඔහුගේ පෙම්වතිය බේරාගෙන ඔවුන් දෙදෙනා රෝහල්ගත කර තිබේ.

මෙම පහරදීමේ සිද්ධියේ සියල්ල සමාජ ශාලාවේ සී. සී. ටී. වී. කැමරාවල සටහන්ව තිබෙන අතර ඒ ඔස්‌සේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

රාත්‍රි සමාජ ශාලාවේ කාර්ය මණ්‌ඩලය, පොලිසියට පවසා ඇත්තේ මාලක සිල්වා එහි පැමිණෙන සෑම අවස්‌ථාවකදීම මෙවැනි ගැටුමක්‌ ඇතිවීම සාමාන්‍ය සිදුවීමක්‌ කියාය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වති.



-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

7/22/2014

ගරු මාලකයාණෙනි, ඔබ අපේ අනාගතයයි..

කතෘ:යුතුකම     7/22/2014   6 comments
ගරු මාලක සිල්වා මහතා මාතරින් දේශපාලනයට පැමිණෙන බව දැන් කරළියේ ප්‍රසිද්ධිය. පසු ගිය පොහොයක ඔහු මාතර ඇත්තන්ට මහා බත් දන්සළක් දුන්නේද ඒ නිසාමය. මේ ගැන අපි කුමක් නම් ලියන්නද? කුමක් නම් කියන්නද? ඒ කියන කට ගලක උලා ගැනීම වඩා යෙහෙකි.

අපට අඩුවකට සිටියේ මාලක පමණි. දැන් වත්මන් ජනපති තුමා විසින් ගරු මාලක සිල්වා ද මැති ඇමැත්තෙක් බවට පත් කර අපගේ දේශපාලන ක්ෂේත්‍රය තවත් වර්ණවත් කරන්නට සැදී පැහැදී සිටියි. මාලක ගෙන ඒමෙන් එතුමාගේ කිර්තිය දෙගුණ තෙගුණ වන බව එතුමා සිතනවා විය නොහැකිය. එසේ නම් එතුමාට මාලක අවැසි ඇයි? අපට නම් මෙය හරියටම තේරුම් ගත නොහැක. අප අනුමාන කරන හේතූන් පහතින් ලියා දමන්නේ හිතේ අමාරුව යන්නත් එක්කමය. මෙහි එකක් හෝ කිහිපයක් හෝ නිවැරදි විය හැකිය. ඇතැම් විට මේ සියල්ල වැරදි වීමට ද ඉඩ තිබේ. නමුත් තමා ගරු මාලකයන් මේ දේශපාලන ක්ෂේත්‍රයට කැදවා ගන්නේ මෙන්න මේ හේතු කාරණාව උඩ යයි ජනපති විසින් ජනතාවට පැහැඳිළි කෙරෙතැයි සිතීම උගහට නිසා ජනතාව විසින්ම ඒ මෙන්න මේ හේතුව නිසා වන්නට ඇතැයි සිතීම හා බිනීම ස්වාභාවිකය.
1: මර්වින්ගේ පුතාට තැනක් දීම මඟින් මර්වින්ට කෘතගුණ සැළකීම.
2: පුතාලට තැනක් ගන්න ඕනා නම් මර්වින් මෙන් හිතවත්ව කටයුතු කළ යුතු බවට අන් අයට තේරුම් කරවීමට සහ ඒ සඳහා ක්‍රියා කලාපය නොව කොතෙක් දුරට තමාට පක්ෂපාතීව කටයුතු කරන්නේද යන්න පමණක් බලපාන බව පැහැඳිළිව පෙන්වීමට.
3: මුදල් විසි කළ හැකි ඕනෑම අමනයෙකුට දිනිය හැකි නිසා සහ ඒ විසි කරන මුදල් නිසා සිය දේශපාලන පක්ෂය හා තමා ද තව බලවත් වන නිසා.
4: තවමත් මාතර ආසනයේ ඡන්දයේදී කුළ භේදය තදින් බලපායි. කොයි පැත්තෙන් ආවත් අපේ එකෙකුට ඡන්දය දෙන පිරිසක් තවමත් එහි වෙසෙති. පසුගිය මැතිවරණවලදී ද එක්සත් ජනතා නිදහස් සන්ධානය මාතර දිස්ත්‍රික්කය ඉතා ලෙහෙසියෙන් ඉතාමත් වැඩි චන්ද ගනණකින් ජයගත්තද මාතර ආසනය තුල කරට කර සටනක් දීමට සිදු විය. එහිදී දිනුවත් දිනන්නේ නූලෙනි. මංගල සමරවීර මෙන්ම මාලක සිල්වා ද දුරාවේ කුළයේය. මාලක මතරට ගේන්න හදන්නේ මේ දුරාව කුළයේ ඡන්ද ආකර්ෂණය කරගැනීමට යැයි සමහරුන් පවසනු පෙනේ. එය සත්‍ය යැයි මොහොතකට සිතුවත් ඒ මාලක මාතරට ගෙන ඒමට හේතුව මිස ඔහු දේශපාලනයට කැන්දාගෙන ඒමට හේතුවක් නොවේ. නමුත් අපට ඇති ගැටළුව මාලක මාතරට ගෙන ඒම නොව, මාලකලා දේශපාලනයට ගෙන ඒමයි.
5: හිතා මතාම ලාංකීය දේශපාලන ක්ෂේත්‍රය අමනයන්ගෙන්, මෝඩයන්ගෙන් හා නිළියන්ගෙන් පුරවා දැමීම සිය දේශපාලන න්‍යාය පත්‍රයේ කොටසක් නිසා.

මෙහි පළමු කරුණු හතර පිළිබදව පහැඳිළි කිරීමක් අවැසි නොවුනත් අවසන් කරුණ පිළිබඳ යම් පැහැඳිළි කිරීමක් අවැසි යයි සිතමි. 

මහින්ද රාජපක්ෂගේ එක් දිගු කාලීන අරමුණක් නම් තම පුතු මතු දිනක රටේ නායකයා කරවීමයි. ඒ සඳහා දේශපාලන ක්ෂේත්‍රයට දැන උගුත් හැකියාවැති තරුණ පිරිසක් පිවිසිය හොත් ඔවුන් ලාංකීය දේශපාලනයෙහි ගාමක බලවේගය බවට පත් වුවහොත් සිදු වන්නේ කුමක්ද? එය මේ රට තුළ විය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ සංවාදයකට මඟ පාදනු ඇතිය. එවැනි සංවාදයක් තුළින් මතු වන්නේ අදහස්, සංකල්ප ඇති හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතාවද ඇති තරුණ නායකත්වයක් විය හැකිය. එවැනි උචිත පසුබිමක නාමල්ට අභියෝගයක් පැන නැගීම හෝ ඔහු පසෙකට යාම හෝ පහසුවෙන් සිදු විය හැකිය. එවැනි අභියෝගයක් වළකාලන ආකාරයේ දේශපාලන සංස්කෘතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විශේෂයෙන්ම එහි ඊළඟ පරම්පරාව තුළ පවත්වා ගෙන යාම මඟින් සිය සිතැඟි ඉටු කර ගත හැකි බව පරිණත දේශපාලකයකු වන මහින්ද රාජපක්ෂට පෙනී ගොස් තිබිය යුතුය. කුමක්ද ඒ සඳහා පහසුවෙන්ම පවත්වා ගත හැකි දේශපාලන සංස්කෘතිය?

ඒ සඳහා සුදුසුම පසුබිම සැකසිය හැක්කේ දේශපාලනයට එළඹීම මෙන්ම එහි සාර්ථකව රැදී සිටීමටද ජනාධිපතිවරයාගේ පවුල සමඟ දැන හැදුනම් කම් පවත්වන පවුල්වල තරුණයන්ට අවස්ථාව ලබා දී ඔවුන්ගේ දේශපාලනික ඉරණමද එම සම්බන්ධය මත තීරණය වන්නක් බවට පත්වන්නට ඉඩහැරීමෙනි. එමඟින්  ඒ ළමයින්ගෙ දෙමවුපියන්ද තමා සමඟ වඩා හිතවත්ව කටයුතු කරන තත්වයකට පත්කර ගැනුමද ඉතා පහසුය. එනම් මේ සියළු දේශපාලන නායකයින් අතරේ කිසිදු සංවාදයකට ඉඩක් නොතබා ඔවුන් ඔවුන් දැනටමත් ඉතා දක්ෂ ලෙස කරගෙන යමින් සිටින ආවැඩුමටම හුරු කර ගත හැකිය. හරවත් සංවාදයකට, මතවාදයකට මං ඇහිරිනු පසුබිමක පියාගෙන් පුතුට උරුම වන මනෝ භාවයද ස්ථාපිත කොට ගත් කළ තමාගේ ඇවෑමෙන් පුතුට රටේ නායකකම පැවරීම වඩාත් ස්වාභාවික සංසිද්ධියක් බවට පත්කර ගත හැකිය. ඒ නිසා මහින්ද විසින් දේශපාලනයට ඕනෑම මෝඩයෙක්, කුඩු කාරයෙක්, මැරයෙක් හෝ හය හතර නොතේරෙන බොළද නිළියක් කැදවා ගෙන ඒමට පසුබට නොවන්නේ එමඟින් හරවත් සංවාදයකට මඟ අහුරා දැමිය හැකි බැවිනි. මේ අප්සට් ළමයි අතරින් රට වැසියනට නාමල් මහත්මයෙකු වී පෙනෙනුයේ නිතැතිනි.

රාත්‍රී සමාජ ශාලා වලට වැද එහි සිටින කෙල්ලන් බලෙන් ඇදගෙන නටන සල්ලාලයන්ට ඇස් හිස් මස් ලේ  පුදා රැක ගත් ජාතියක දූ දරුවන්ගේ අනාගතය බාර දීමට ජනමූල නායක මහින්ද රාජපක්ෂ සූදානම් දැයි අපි බලා සිටිමු. අපට අන් කළ හැක්කක් නොමැත.



-ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/25/2014

පුත්‍රයන්ගේ රේස් පැදිල්ල..

කතෘ:යුතුකම     6/25/2014   4 comments
මහ නා හිමිවරුන් හට නුවර කාර් රේස් පැදීම වළක්වා ගැනීම සඳහා ජනාධිපතිතුමා වෙත ලිපියක් යැවීමට සිදු වී තිබේ. මේ එම ලිපියයි.

"මෙරට බෞද්ධ ජනතාවගේ පමණක්‌ නොව ලෝකවාසී බෞද්ධ ජනතාවගේද වන්දනීය වූත් පූජනීයවූත් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩසිටින දළදා මාලිගාව  මෙන්ම මල්වතු අස්‌ගිරි මහා විහාරයද සෙසු බොහෝ බෞද්ධ සිද්ධස්‌ථානද සතරමහා දේවාලද ස්‌ථාපිතවී  ඇති බැවින් යුනෙස්‌කෝ සංවිධානය මගින් ලෝක උරුම නගරයක්‌ ලෙස නම් කොට ඇති මහනුවර දළදා නගරය  තුළ මෙම මස 27, 28 යන දෙදින තුළ රාත්‍රී මෝටර් රථ සැණකෙළි පැවැත්වීමට යම් පිරිසක්‌ කටයුතු යොදා  ඇති බව දැනගන්නට ලැබී තිබේ. දළදා නගරය තුළ මෙවැනි සැණකෙළි පැවැත්වීම නගරයේ පූජනීයත්වයට මෙන්ම අභිමානයටද හානිකර බව අපගේ විශ්වාසයයි. එබැවින් මෙම සැණකෙළිය දළදා නගරය තුළ පැවැත්වීම නවත්වාලීමට ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමු කරන ලෙසට දන්වා සිටිමු."

සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත හිමි, සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බොටුවාවේ සිද්ධාර්ථ ශ‍්‍රී සුමංගල හිමි වෙනුවෙන් එම පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, ශ‍්‍රී ලංකා අමරපුර නිකායේ මහ නායක අති පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියන් සහ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි යන හිමිවරුන්ගේ අත්සනින් මෙම ලිපිය යොමු කර ඇත.

පුවතක දක්නට ලැබුනේ තරඟාවලිය සංවිධානය කරන ප‍්‍රධාන පාර්ශවකරුවෙක් වන කාල්ටන් මෝටර් රථ සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතා ප‍්‍රකාශ කරන්නේ ජනතාවට අපහසුතාවක් නොවන ලෙස පවත්වන බවයි.

මෙම කාල්ටන් මෝටර් රථ සංගමය කාගේදැයි නොදන්නා එකකු ලක්දිව ඇතැයි සිතීම උගහටය. එසේ නම් මෙම කාල්ටන් පුත්‍රයන් හට මෙහි ඇති අනුචිත බව තේරුම් ගැනීමට තරම් මොළයක් තිබී නැති බව පැහැඳිළිය. මොළය අඩු බවට කමා කළ හැක. නමුත් මෙරට මහා නායක හිමි වරුන්ගේ ඉල්ලීමට ඉහළින් යන තරමේ උද්ධච්ඡ භාවයක්ද මේ අඥාන පුත්‍රයන් සතුව ඇති බවට මේ කදිම නිදසුනකි. සාටක පැළැද මෙරට සංස්කෘතියේ සළකුණක් ලෙස ජනතාව අභියසට ඡන්දය පතා ආවද ඔවුනගේ සැබෑ බුද්ධියේ සහ මනසේ ස්වභාවය තේරුම් ගැනීමට මේ උද්ධච්ඡ කම ප්‍රමාණවත්ය.

මේ අය මෙය සාධාරනීකරණය කරනුයේ විදේශිකයන් ගෙන්වා ගැනීමට මෙවැනි දේ අවැසි බව පවසමින් විය හැකිය. සුද්දන්ට කාර් පදිනවා බැලීමට මෙහි පැමිණීමට අවශ්‍යතාවයක් ඇතැයි නොසිතමු. එය අවැසි වී ඇත්තේ මෙහේ අයටමය. ඒ අමන කම අපට නිතැතින්ම සිහි කරනුයේ 77 දී ජයවර්ධන මෙරටට හඳූන්වා දුන් 'ධර්මිෂ්ඨ පාලනය' නොවේද? මහින්ද රාජපක්ෂටද වුවමනා වී ඇත්තේ ඒ මඟම ඉදිරියට ගොස් තමාද ජයවර්ධනගේ සුජාත නොවූ පුත්‍රයකු බව පසක් කරළිමට දැයි අපි නොදනිමු. පුත්‍ර ස්නේහය මේ 'ධර්මිෂ්ට පාලනය'ට අවැසි ජවය සපයා ඇත. නූතන ලංකවේ පියා තවමත් ජයවර්ධනය. කාපල්ලා, බීපල්ලා, ජොලි කරපල්ලා එහි ආප්තෝපදේශයයි.

නුවර  යන වදන සමඟම අප මනසට මැවෙන්නේ දළදා මාළිඟාව හා බැදි පූජනීය හැඟීමකි. නමුත් මේ ගෙන යන බඩජාරී ආර්ථික ක්‍රමවේදය නිසා තව වසර දහයකින් නුවර යන වදන සමඟ ඇස් නිලංකාර කරවන මෝටර් රථ ලාම්පු එළියක්  මනසේ මැවුනහොත් මේ ජයවර්ධන පුත්‍රයන් අද කරමින් සිටින වරද දැකිය හැකි ආකාරයේ මනසක්, බුද්ධියක් ඒ වන විට භෞතිකවාදීන් බවට පිරිහී සිටින මෙරට පොදු ජනයාට තිබෙනු ඇතැයි සිතනු උගහටය. ජයවර්ධන පුත්‍රයන් බවට පත් කරවන ලද ඔවුන්ද එයට සංවර්ධනය නැතිනම් ආශ්චර්යය යන වදන වහරනු ඇත.



  ජනිත් සෙනෙවිරත්න යුතුකම සංවාද කවය
www.yuthukama.com

11/27/2013

ජාතකය පණ මදිද?

කතෘ:යුතුකම     11/27/2013   4 comments
යහළුවන්ඔරවයිද
ප්‍රභූ අයහිනැහෙයිද
අතින් කන්නටබයද
හෝටලටය ලොකුවැඩිද
වැළදුවේ බුදුරදුන්
නොමවේද ගරුඅතින්
වැදගත්ද සුදුඑවුන්
පරදවා බුදුරදුන්
හීනමානයබලව්
සිහළුනේ ලැජ්ජා වව්
සුද්දාම කොපි කරව්
ජාතකය විසිකරව්
කුමට නුඹලැජ්ජාද
අත නුඹේගැහෙනවද
හෝටලටය ලොකුවැඩිද
ජාතකය පණමදිද
වාදයට නොම ගොසින්
පතුරවන මෙත් සිතින්
නුඹ කන්න නුඹෙ අතින්
නුඹේ උරුමය ලෙසින්
--ජනිත් සෙනෙවිරත්න
යුතුකම සංවාද කවය

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions