1943 මැයි 26 වන දින බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කරන ලද ප්‍රකාශනය මඟින් ලංකාවට "පූර්ණ අභ්‍යන්තර ස්වදේශ පාලනයක්" ලබා දීමට පොරොන්දු විය. එය දෙවන ලෝක යුද්ධය වෙනුවෙන් ලාංකිකයන්ගේ සහාය උපරිමයෙන් ලබා ගැනීමේ අරමුණ පෙරදැරි කරගත් උපායමාර්ගික පොරොන්දුවක් ලෙස සැලකිය හැකිය. කෙසේ වෙතත්, මෙම 1943 ප්‍රකාශනය බ්‍රිතාන්‍යයන්ගෙන් දිනා ගැනීමට හැකි වීම මෙරට ජනතාවට දේශපාලන නිදහස හිමි වීමේ ගමන් මඟෙහි වැදගත් සන්ධිස්ථානයක් වූ අතර, එහි ඓතිහාසික ගෞරවය ඩී.එස්. සේනානායක මහතා වෙත හිමි විය යුතුය.
ඩී.එස්. සේනානායක මහතා වනාහි මිනිරන් පතල්, වතු වගාව සහ අරක්කු රේන්ද බදු දීමේ ව්‍යාපාර හරහා විශාල ධනයක් උපයාගත් මුදලි දොන් ස්පේටර් සේනානායක මහතාගේ පුත්‍රයෙකි. ඔවුන්ගේ පරපුර සමාජ-දේශපාලනික බල ධුරාවලියේ ඉහළටම පැමිණීමේදී, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත්විජිත පාලකයන්ට පක්ෂපාතීව සේවය කරමින් ඔවුන්ගේ ප්‍රසාදය දිනාගෙන තිබුණි. එවකට පැවති සමාජ වටපිටාව අනුව, ධනය හා බලය අත්පත් කරගැනීමේ අභිලාෂය සහිතව සිටි සියලුම ප්‍රභූ පවුල් මෙවැනි පක්ෂපාතීත්වයක් යටත්විජිත පාලකයන් වෙත දැක්වීම සාමාන්‍ය තත්ත්වයක් විය.
එකල ධනය හා බලය පසුපස හඹා ගිය බොහෝ ප්‍රභූ පවුල්, ඉහත සඳහන් කළ පක්ෂපාතීත්වයට අමතරව ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමට ද පෙළඹුණහ. කෙසේ වෙතත්, මුදලි දොන් ස්පේටර් සේනානායක මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිය ජන්මයෙන් උරුම වූ බෞද්ධාගම අත් නොහළ බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.
සේනානායක මුදලිවරයාගේ පුතුන් වූ ඩී.සී., එෆ්.ආර්. සහ ඩී.එස්. යන සොහොයුරන් තිදෙනා අතරින්, මුල් යුගයේදී වඩාත්ම කැපී පෙනෙන දේශපාලන උද්‍යෝගයක් පැවතියේ එෆ්.ආර්. හෙවත් ෆ්‍රෙඩ්රික් රිචඩ් සේනානායක මහතා සතුවය. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඩවුනිං විද්‍යාලයෙන් නීතිය හදාරා, බැරිස්ටර්වරයෙකු ලෙස මෙරටට පැමිණි උසස් උගතෙකි. එෆ්.ආර්. සේනානායක මහතා බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය සමඟ ද සමීපව සහයෝගයෙන් කටයුතු කළේය.
විශේෂයෙන්ම, 1898 දී අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද කොළඹ තරුණ බෞද්ධ සංගමයේ මූලික කටයුතුවලට මෙන්ම, පසුව බොරැල්ලේ පිහිටි එහි මූලස්ථානය සඳහා "මහනිල්" ගොඩනැගිල්ල මිලදී ගැනීමට ද එෆ්.ආර්. සේනානායක මහතා සිය පෞද්ගලික ධනය නොමසුරුව පරිත්‍යාග කළේය.
එෆ්.ආර්. සේනානායක මහතා සහ අනගාරික ධර්මපාලතුමා අතර පැවති සම්බන්ධතාවය සංකීර්ණ ස්වරූපයක් ගත්තේය. ධර්මපාලතුමා නියෝජනය කළ දැඩි අධිරාජ්‍ය විරෝධී සහ සටන්කාමී ස්වදේශික මතවාදය වෙනුවට, එෆ්.ආර්. සේනානායක මහතා තෝරාගෙන තිබුණේ මධ්‍යස්ථ ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණවාදී මාවතකි. එසේ වුවද, ධර්මපාලතුමා විසින් කුළුගැන්වූ සමාජ බලවේගයක් ලෙස අමධ්‍යප ව්‍යාපාරය දිවයින පුරා පැතිර යද්දී, එෆ්.ආර්. සේනානායක මහතා ද අමධ්‍යප සමිති පිහිටුවමින් ක්‍රියාකාරී ලෙස එම මාවත තෝරාගත්තේය. එෆ්.ආර්. සේනානායක මහතාගේ මෙම අමධ්‍යප ක්‍රියාකාරීත්වයේ තවත් එක් සුවිශේෂී අතුරුඵලයක් වූයේ,ඔහුගේ බාල සොහොයුරු ඩී.එස්. සේනානායක මහතා තරුණ දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කරළියට පැමිණීමයි. ඩී.එස්. සේනානායක මහතාගේ දේශපාලන ගුරුවරයා, මාර්ගෝපදේශකයා සහ සැබෑ සෙවණැල්ල වූයේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු එෆ්.ආර්. සේනානායක මහතා බව නොරහසකි.
ලංකා ජාතික සංගමය 1919 දෙසැම්බර් 11 වන දින පිහිටුවීමේදී එෆ්.ආර්. සේනානායක මහතා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කළ පුරෝගාමියෙකු විය. සංගමය ස්ථාපිත කිරීමෙන් පසු, 1920 ඔක්තෝබර් මස සර් ජේම්ස් පීරිස් මහතා එහි සභාපතිවරයා ලෙස පත්වීමේදී එෆ්.ආර්. සේනානායක මහතා ඩී.එස්. සේනානායක මහතා ද සමඟ එක්ව ඔහුට ශක්තිමත් සහායක් ලබා දුන්නේය. මීට අමතරව, ග්‍රාමීය ජනතාව ජාතික දේශපාලනය වටා පෙළගැස්වීම සඳහා ඔහු "ලංකා මහජන සභාව" පිහිටුවමින් සුවිශේෂී උත්සාහයක නිරත විය.
ඩී.එස්. සේනානායක මහතා 1924 දී ව්‍යවස්ථාදායක සභාවට නිතරඟයෙන් තේරී පත් වෙමින් සිය සක්‍රීය දේශපාලන ගමන ආරම්භ කළේ ද එෆ්.ආර්. සේනානායක මහතාගේ මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේය. 1926 දී එෆ්.ආර්. සේනානායක මහතා දඹදිව වන්දනා ගමනක් අතරතුර ඉන්දියාවේදී අකාලයේ මිය යාමත් සමඟ, ජාතික සංගමය සහ ජාතික ව්‍යාපාරය තුළ මෙන්ම ඉන් පරිබාහිරව ද එෆ්.ආර්. සේනානායකයන් විසින් ගොඩනඟා තිබූ ප්‍රබල නායකත්ව භූමිකාව නිතැතින්ම ඩී.එස්. සේනානායකයන් වෙත පැවරුණි.
ඩී.එස්. සේනානායක මහතා දක්ෂ හා පරිණත දේශපාලනඥයෙකු ලෙස ක්‍රමයෙන් හැඩගැසුණි. 1915 සිංහල-මුස්ලිම් කෝලාහල වකවානුවේදී කිසිදු චෝදනාවකින් තොරව දින 46ක් වැලිකඩ සිරගෙදර සිරගතව සිටීමට ද ඔහුට සිදු විය. ඔහුගේ දේශපාලන හැසිරීම් නිරීක්ෂණය කිරීමේදී හැඟී යන ප්‍රධානතම කරුණක් වන්නේ, බටහිර පන්නයේ "ටේල්කෝට්" කබායට යටින් ඔහු සතුව අවසානය දක්වාම සාම්ප්‍රදායික සිංහල-බෞද්ධ ආත්මයක් පැවති බවයි.
1924 ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී මීගමුව කොට්ඨාසයෙන් නිතරඟයෙන් තේරී පත් වූ ඔහු, එහිදී රාජ්‍ය නොවන මන්ත්‍රී කණ්ඩායමේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 1931 සහ 1936 වසරවලදී ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. එහිදී ඔහු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයා ලෙස පත් වූ අතර, අඛණ්ඩව වසර 15ක් පුරා එම අමාත්‍ය ධුරය සාර්ථකව හෙබවීය. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සේනානායක
මහතා වියළි කලාපයේ පැරණි වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කරමින්, ඉඩම් නොමැති සිංහල ගොවි ජනතාව එහි පදිංචි කරවීමේ දැවැන්ත ගොවි ජනපදකරණ ව්‍යාපාරයක් දියත් කළේය. 1935 දී ඓතිහාසික ඉඩම් සංවර්ධන පනත සම්මත කරන ලද්දේ ද ඔහුගේ මූලිකත්වයෙනි.
![]() |
එෆ්.ආර්. සේනානායක මහතා සිය බිරිඳ සහ දරුවන් සමඟ |
1942 වසරේදී එවකට මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම නායකයා වූ සර් ඩී.බී. ජයතිලක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ධුරයෙන් සහ අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වී, ඉන්දියාවේ ලංකා රජයේ නියෝජිතයා ලෙස පිටත්ව ගියේය. ඉන් අනතුරුව, 1942 දෙසැම්බර් 2 වන දින ඩී.එස්. සේනානායක මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායකවරයා සහ අමාත්‍ය මණ්ඩලයේ උප සභාපතිවරයා ලෙස නිල වශයෙන් පත් විය. එමඟින් ඔහු මෙරට දේශපාලන ව්‍යුහය තුළ ප්‍රමුඛතම ස්වදේශික නායකයා බවට පත් විය.
1943 වසරේදී සේනානායක මහතා ලංකා ජාතික සංගමයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, සංගමය විසින් බ්‍රිතාන්‍ය කිරීටයෙන් සෘජුවම 'පූර්ණ නිදහස' ලබා ගැනීමේ වඩාත් රැඩිකල් සහ සටන්කාමී ප්‍රතිපත්තියක් වැළඳ ගැනීමයි. සේනානායක මහතාගේ ස්ථාවරය වූයේ බ්‍රිතාන්‍යයන් සමඟ ගැටුම් ඇති කර ගන්නවාට වඩා, දෙවන ලෝක යුද සමයේ ඔවුන්ට උපරිම සහාය දක්වමින් සාකච්ඡා මාර්ගයෙන් ක්‍රමයෙන් 'ඩොමීනියන් තත්ත්වය' දිනා ගැනීම වඩාත් ප්‍රායෝගික සහ නුවණට හුරු බවයි.
දෙවන ලෝක යුද්ධය පැවති සමයේ සිවිල් ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීමටත්, යුද්ධයට අත්‍යවශ්‍ය උපායමාර්ගික අමුද්‍රව්‍යයක් වූ රබර් බ්‍රිතාන්‍යය වෙත සැපයීමටත් සභානායකවරයා ලෙස ඩී.එස්. සේනානායක මහතා කටයුතු කළේය. මේ හරහා බ්‍රිතාන්‍ය යටත්විජිත බලධාරීන්ගේ පූර්ණ විශ්වාසය තහවුරු කර ගැනීමට ඔහුට හැකි විය.
මෙම පසුබිම මත, බ්‍රිතාන්‍ය රජය ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තෝරාගත් ප්‍රධානතම සහ විශ්වාසවන්තම ස්වදේශික නායකයා බවට පත්වීමට සේනානායක මහතාට හැකි විය. තමන් සතු වූ මෙම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම උපයෝගී කරගනිමින්, 1943 මැයි 26 වන දින බ්‍රිතාන්‍ය රජයෙන් ලංකාවට 'පූර්ණ අභ්‍යන්තර ස්වදේශ පාලනයක්' ලබා දෙන බවට පොරොන්දු වූ ඓතිහාසික '1943 ප්‍රකාශනය' දිනා ගැනීමට සේනානායක මහතා සමත් වූ බව පැවසීම ඔහුට සිදු කෙරෙන සාධාරණ ඇගයීමකි.
ඩී.එස්. සේනානායක මහතා සහ ඔහු විසින් බිහි කරන ලද එක්සත් ජාතික පක්ෂය අනුගමනය කළ ඇතැම් දේශපාලන උපායමාර්ග සමඟ අප හට එකඟ විය නොහැකිය. ඒ සම්බන්ධයෙන් සාධාරණ විවේචන රැසක් ද අප සතුව පවතී. කෙසේ වෙතත්, අප සිහිපත් කළ යුතු ප්‍රධානතම කරුණක් වන්නේ, ඕනෑම ඓතිහාසික චරිතයක් සිය තීරණ ගනු ලබන්නේ තමන් ජීවත් වන යුගයට, සමාජ-දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථික වටපිටාවට සාපේක්ෂව බවයි. එහෙයින්, අද දවසේ අප විසින් සිදු කළ යුත්තේ හුදෙක් ඔවුන්ව විනිශ්චය කරමින් විවේචනය කිරීම නොව, ඔවුන්ගේ දේශපාලන ක්‍රියාවලිය හා වැඩපිළිවෙළවල් මධ්‍යස්ථව අධ්‍යයනය කරමින් අනාගතය උදෙසා වටිනා පාඩම් උකහා ගැනීමයි. .
-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් - යුතුකම ජාතික සංවිධානය
[යුතුකම සඟරාවේ 2026 මැයි කලාපයේ පළවූ ලිපියකි]



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .