2/05/2016

යහ පාලකයෝ මාධ්‍ය මන්තරය ජප කිරීමේ රහස වටහා ගනිමු

කතෘ:යුතුකම     2/05/2016   No comments
තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මහා ඝෝෂාවක් ද සමඟ, දහසකුත් එකක් පොරොන්දු රට හමුවේ තබමින් බලයට පත් වූ වත්මන් යහ-පාලකයෝ, මාධ්‍ය සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ අර්තකථන දෙමින් සිටින බව පෙනෙන්නට තිබේ. මේ උද්ගතවෙමින් ඇති තත්ත්වය පහසුවෙන් නොසලකා හැරිය යුතු නොවේ. 1948 න් පසු මෙරට දේශපාලන ඉතිහාසය මැනැවින් පරිශීලනය කරන ඕනෑම කෙනෙකුට මෙවන් ප්‍රවණතාවන්ගෙන් පසුව, පාලකයින් මාධ්‍ය කෙරෙහි දැක් වූ ප්‍රතිචාර අධ්‍යයනය කළ හැකිය. එය මාධ්‍යයන්ට පමණක් නොව රටටම කන කොකා හැඬ වූ යුගයක පෙර නිමිති බව ද අමතක නොකළ යුතුය.

ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ මාධ්‍ය වේදියෙකු වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ “පුවත්පත් මෙල්ල කිරීම” නම් කුඩා වුවත් වැදගත් ග්‍රන්ථය, මුද්‍රිත මාධ්‍ය පමණක් තිබූ යුගයේ සිට මේ දක්වා වූ මාධ්‍ය මර්දන විකාශය ගැන යම් පමණක සාධනීය විග්‍රහයකට මග පාදාගත හැකි ලියවිල්ලකි. එම ග්‍රන්ථය ලියැවුණු කාලයට සාපේක්ෂව අද සංසන්දනය කිරීමේදී එය ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතාවයේ ප්‍රාථමික යුගය ලෙස ද හඳුනාගත හැකිය. 1970 දශකයේ ඇමි. ඩී. ගුණසේන පවුලේ මාධ්‍ය ජාලය වූ “දවස” පුවත් පත් ආයතනයට සීල් තැබීමේ ක්‍රියාන්විතය මහත් ආන්දෝලනයක් ඇති කළේය. 1977 ආණ්ඩු පෙරළියේ දී “කතරගම රූමතිය” තරමටම “දවස“ - “රිවිරැස“ පත්‍ර සීල් තැබීම තීරණාත්මක සාධකයක් ලෙස එවක එක්සත් ජාතික පක්ෂයට ආශීර්වාදයක් වීය.


ඊට පෙර, ලේක්හවුසිය රාජ්‍යය සන්තක කර ගත්තද ජනසතු ව්‍යාපාර නම් ප්‍රවණතාව හමුවේ ඊට හිමි වූයේ “දවස“ ට අත් වූ ලංසුවට වඩා අඩු ලංසුවකි.

රැජිණගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසූ රෝහණ විජේවීරගේ නායකත්වයට අපරාධ යුක්ති විනිශ්චය කොමිසම යොදා දඬුවම් පැමිණවීමෙන් අනතුරුව, “71 කඳුළු“ තම අවිය කරගත් එක්සත් ජාතික පක්ෂය, ප්‍රේමවතී මනම්පේරි තමන්ගේ සුජාත දරුවෙකු බවට පත්කරගන්නට වෑයම් කළේය. ඒ කඳුළු “කිඹුල් කඳුළු“ බව වටහා ගන්නට 1987 වන විට ලෝකයාටම හැකි වීය. 1971 දී අටදහසක් වෙනුවට 1990 වන විට ලක්ෂයක් පමණ දෙනා ටයර් සෑය නම් අපූරු සෑයක මිහිදන් කරන්නටද ධර්මිෂ්ට පාලකයෝ සමත් වූහ.

මේ සියල්ල අතුරතුර පළමුව ඍජුව සහ වක්‍රව විවේචනයට බඳුන් වූයේ මාධ්‍යයන්ය. මෙවන් විවේචන පිළිබඳ විශ්ලේෂණයන්ගෙන් අපට හමුවන වැදගත් නිගමනය නම් ප්‍රජාතන්ත්‍ර විරෝධී හෝ අත්තනෝමතික හෝ හිතුවක්කකාරී හෝ සංස්ථාපිත ක්‍රියාදාමයක් අත ළඟ බවය. 1975 සිට 1977 දක්වා වූ පාලන කාලය දීර්ඝ කිරීමේ ඉතිහාසයේ සිට කුපක්‍රට 1982 ජනමත විචාරණය දක්වා මේ තත්ත්වය මැනැවින් නිරීක්ෂණය කළ හැකිය. 1982 න් පසුව රටම අමු සොහොනක් කළ එක්සත් ජාතික පක්ෂයේ භාවිතාව තවම සමාජයේ දෝංකාර දෙමින් පවතින යථාවක් බැවින්, ඒ පිළිබඳ අටුවා-ටීකා-ටිප්පණි අනවශ්‍යය. පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1977 න් පසුව ඉපැදී, එනමුත් මෑත ඉතිහාසයවත් අත් නොවිඳින, මෑත ඉතිහාසයවත් අධ්‍යයනය නොකළ දුහුනන්ටය. සැබැවින්ම එවන් දුහුනන්ගෙන් වන හානිය ද අතිමහත්ය. එය එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මන්තරයට ආශීර්වාදයක්ය.

කෙසේ වෙතත්, මාධ්‍ය ආයතනයන් නම් කරමින්, මාධ්‍ය වේදීන් නම් කරමින් පාර්ලිමේන්තු වරප්‍රසාදයන්ට මුවා වී, රටේ අග්‍රාමාත්‍යවරයා මේ සූදානම් වන්නේ කවරාකාරයේ කස්තිරමකටද යන්න මේ අනුව පැහැදිලි කර ගත යුතුය. ඒ තුළින් ඇති කරගන්නා නිගමනයන් වහ වහා සමාජ ගත කළ යුතුය. වත්මනෙහි මාධ්‍ය හිමිකාරීත්වයේ සිට පාඨකයා දක්වා ඇති බැරෑරුම් වගකීම එයයි. එය ප්‍රමාද කරන සහ ප්‍රමාද වන තරමට යළිත් වරක් අතීතය හා එහි අඳුරු සෙවනැලි සමස්ත සමාජයම වසා ගැනීම සීඝ්‍ර වනු ඇත.
1977 ජූලි වන විට තිබූ සාමකාමී දේශය, 1987 ජූලි වනවිට මිනී කන්නන්ගේ දේශයක් බවට පත් වූ ඉතිහාසය අපි කිසිසේත්ම අමතක නොකළ යුතු වන්නෙමු. එය මතක් කර දීම ඉතිහාස කාමයයැයි කෙනෙක් වහසි බස් දොඩවන්නේ නම් විද්‍යාත්මක දේශපාලනයෙන් ඇති ඵලක් නැත. එනම්, දේශපාලනය හා ඉතිහාසය අතර ඇත්තේ අත්‍යන්ත බැඳීමක් වන බැවිනි.
“...දේශපාලන විෂයය, ඉතිහාසයට, අර්ථ ශාස්ත්‍රයට හා ආචාර විද්‍යාවට ද ඉතා ආසන්න වේ.

ඉතිහාසය නම් පෙර සිදු වූ දේවල් හා ව්‍යාපාරත් ඒවා ඇති වීමට හේතු හා ඒවායේ අන්‍යෙන්‍ය සම්බන්ධයත් කියාපාන වාර්තාවකි. ආර්ථික, ආගමික, මානසික හා සාමාජික සංවර්ධනය පිළිබඳ පරීක්ෂණයක් මෙන්ම, රාජ්‍යයන්, ඒවායේ ඇතිවීම, වැඩීම හා ඒවායේ සංවිධානය හා ඒවායේ අන්‍යොන්‍ය සම්බන්ධතා පිළිබඳ සමීක්ෂණයත් එකී විෂයයට ඇතුළත් වේ.

දේශපාලනය හා ඉතිහාසය අන්‍යොන්‍ය සම්බන්ධයෙන් යුක්තය. සමහර ඓතිහාසික කරුණු දේශපාලන විද්‍යාවේ මූලධර්ම වශයෙන් ගැනේ. දේශපාලන මතාන්තර අධ්‍යයනය සඳහා උපයෝගීවන සමහර කරුණු - විශේෂයෙන් ඓතිහාසික වූ දේ - දේශපාලන විද්‍යාව ඇතිවීමේ හේතුකයන් වශයෙන් සලකනු ලැබේ. වෙනත් වචනවලින් දක්වතොත් ඉතිහාසය මහාර්ඝ වනුයේ දේශපාන විද්‍යාව නිසා යැයි කිව හැකිය.....” මෙසේ පවසන්නේ, ඒ. අප්පාදුරෙයි නම් දේශපාලන විද්‍යා ලේඛකයාය. එය ඔහුගේම මතයක් නොව, ඔහු විසින් සම්පිණ්ඩණය කරන දේශපාලන විද්‍යා දාර්ශනිකයන්ගේ මතාත්තර සාරයයි.

තවත් උදාහරණයක් ලෙස, ආණ්ඩු විපර්යාසයන්, ඒවා ඇතිවීමට හේතු හා ඒවාට කරන ලද පිළියම් ද සලකා බලයි. ඓතිහාසික විප්ලව වන 1688 ඉංග්‍රීසි ආණ්ඩු විප්ලවය ද, 1789 ප්‍රංශ ආණ්ඩු විප්ලවය හා 1917 රුසියන් ආණ්ඩු විප්ලවය ද දේශපාලන විද්‍යාව හදාරන්නන්ට වැදගත් වේ. ඒ සා විශාල දුරාතීතයකටවත් නොගොසින්, මෑත ශ්‍රී ලාංකේය ඉතිහාසය අපි අධ්‍යයනය කළ යුතු වන්නේ ඉන් අත් වූ සෙතට වඩා විපත අප තවමත් පෙළන බැවිනි. වත්මනෙහි ද කුප්‍රකට කියමනක් වන “ඉතිහාසයම පුනර්ජීවය ලැබීම විගඩමක් සහ ඛේදයක් වීම” යන්නද බහැර කළ හැක්කක් නොවේ.

මාධ්‍ය භාවිතය හා මාධ්‍යයට එල්ලවන බලපෑම විග්‍රහ කර ගත යුත්තේ ද මේ ආස්ථානයේ සිටය. ඒ අනුව 1977 න් ඇරඹි සමාජ විපර්යාසයන් සහ විකාශය අපට අත් කර දී ඇති ප්‍රගමණික තත්ත්වය මෙහිලා අත්විඳීම වැදගත්ය.

මෙම ලියුම්කරුගේ සජීවී අද්දැකීම්වලට අනුව 2015 ජනවාරි 08 යනු 1977 ජූලි 23 ට සමානය. “බලධාරියා විසින් කපාහරින ලදී..” යනුවෙන් සඳහන්ව, විමල් එස්. සුරේන්ද්‍රගේ සිට රිචඩ් ද සොයිසා දක්වාත්, රෝහණ කුමාර ගේ සිට ලසන්ත වික්‍රමතුංග දක්වාත් ලියැවෙන්නේ මේ පාදඩ සංස්කෘතියේම දිගුවකි. මේ අතරතුර, එක්සත් ජාතික පක්ෂයේ ගහලයින් විසින් තිරස්චීන ලෙස ඝාතනයට ලක් කළ එච්. ඊ. දයානන්ද නම් අභීත මෙන්ම ප්‍රගතිශීලී රාජ්‍ය සේවකයා ගැනවත් අද ඇතැමුන්ට මතකයක් ඇතිවගක් නැත. ඉවසිය නොහැකි ඛේදනීයම තත්ත්වය නම්, මේ බහු විධ හා යුගයේ දැවැන්තම ඛේදයන්ට වගකිව යුතු පාර්ශව අමතක කර මුව හම්වලට තඩිබාන ඊනියා වාමාංශිකයින්ගේ ක්‍රියා කලාපයයි.

මේ සියලු තප්පුලෑම් හමුවේ වත්මන් යහපාලකයෝ ද මාධ්‍ය මන්තරය ජප කිරීමේ උච්චම අවස්ථාව, අදට සාපේක්ෂව වෙනස්කම් හා උදාසීනතාවයෙන් යුතු 68 වන නිදහස් සැමරුමේ දී ද දෝංකාර දුන්නේය. ඒ, සිරිසේන ජනාධිපතිවරයාගේ මුවින් පිටවූ මාධ්‍ය කෙරෙහි වූ අවවාදාත්මක වදන් හරහාය. එය ද විශේෂත්වයකි. අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදීත්, ජනාධිපතිවරයා නිදහස් සැමරුමේදීත් මාධ්‍ය මන්තරයට වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ නොවන්නේ කෙසේද ?

මේ අනුව, ඉදිරියේ දී අපට බොහෝ වෙනස්කම් නොවන විපර්යාසයක් රැසක් දැක ගැනීමට ඉඩ වැඩි බවට පෙරමග ලකුණු පහළ වෙමින් තිබේ. ප්‍රගතිශීලීන් ලෙස හා ශ්‍රී ලාංකේය ජාතියක් ලෙසින් මේ තත්ත්වයට අප මුහුණ දිය යුත්තේ කෙසේද ? මාධ්‍ය අඬහැරය භීතිකාවක් වී ඛේදයක් වීමට පෙර අප විසඳා ගත යුතු පැනය එයයි.

-ජනිත් විපුලගුණ -
2016 පෙබරවාරි 05

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/20/2015

බස් ගැමුණු නම් ආර්ථික විශේෂඥයා දුටුවෙහිද ?

කතෘ:යුතුකම     12/20/2015   1 comment
ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අය වැය ලේඛනය මේ වන විට තෙවන වර කියවා සම්මතවීමේ මුව විට තිබේ. මේ 2015 වසරට අය වැය ලේඛන පහකි. ඒ රටවල් පහක නොව එකම රටේ එකම පාර්ලිමේන්තුවේය. 2015 වසර සඳහා මහින්ද රාජපක්ෂ මුදල් ඇමති ලෙස 2014 ඔක්තෝබරයේ එකකි. යහපාලනය නමින් දින 100 විගඩමට එකකි. යළිත් අගෝස්තු ආණ්ඩුවට එකකි. අගමැතිගෙන් එකකි. ඊළඟට මුදල් ඇමති යැයි කියාගන්නා හාදයා ගෙන් එකකි. පළාත් පාලන හා පළාත් සභා ලෙස වෙන වෙනම සැලකුවහොත් අය වැය හැටහුටහමාරකි.රවී අවස්න්වරට ඉදිරිපත් කළ එකත් මේ වනවිට හිතාගන්නට බැරි වාර ගණනක් වෙනස්කම්වලට හා ඉවත්කිරීම්වලට භාජනය වී ඇත. දැන් අමේ අය වැය අපබ්‍රංශයකි.

මේ ආකාරයට වූ අය වැයක් ඓතිහාසික නොවන්නේ නම් එයම ගැටලුවකි. කෙසේ හෝ අය වැය හොඳ නරක තවම නිසි ලෙස ජනතාවට භුක්ති විඳීමට ලැබී නැත. එනමුදු එහි ඵල විපාක නම් සිතා ගත හැකිය. ඒ තරමට දින සියයයේ සිට ආ මග ඉතා පැහැදිලිය.

ඒකාධිපතියා යැයි ඇතැමුන් හැඳින්වූ මහින්ද රාජපක්ෂ විසින් කෙසේ හෝ උරුමකර දී තිබූ සේවක අයිතීන් හා සහනාධාර පවා අහෝසි කරමින්, රාජ්‍ය දේපල බුරුතු පිටින් විකුණා දමමින් මේ යන්නේ කුමන දිසාවකට ද යන්න නිශ්චිතව ප්‍රශ්න කොට, පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට බුද්ධිමතෙක් කෙසේ වෙතත්, උගතෙක් සොයා ගැනීම උකසටය. ඒ නිසාම දෝ රුපවාහිනී නාලිකා විසින්, මහමග ගැවසෙන ජනතාවට මනාව අමතක කළ නොහැකි, ජනතාවට අමා සැප ලබාදෙන සේවාවක මුදලාලි කෙනෙකු ගෙන්වා අය වැය පිළිබඳ කතිකාව ශක්තිමත් කිරීමට සිතනවා විය හැක.

මේ ආකාරයට “හිරු ටීවී“ -බලය- වැඩසටහනට අය වැය පිළිබඳව විද්වත් කතිකාව බලසම්පන්න සහ ආකර්ෂණීය කිරීම සඳහා බස් ගැමුණු හෙවත් ගැමුණු විජේරත්න නම් එක්සත් ජාතික පක්ෂ මැතිවරණ තරඟ අපේක්ෂකයා ද 2015 දෙසැම්බර් 17 වනදා කැන්දාගෙන විත් තිබුණි.

දීර්ඝකාලීනව සේව්‍ය-සේවක දෙපාර්ශවයේ අද්දැකීම් ඇති වෘත්තීය සමිති නායකයින් අතර බස් ගැමුණු ඉන්ද්‍රකීලයක් සේ බැබළෙන්නට තැත් දරනු දක්නට ලැබුණි. යම් ප්‍රමාණයකට ඔහුගේ උත්සාහය සාර්ථක නොවූවාද නොවේ. කෙසේ වෙතත් බස් ගැමුණු හා සැසඳීමේ දී නම කී සැනින් සෝවියට් දේශය මතක්වෙන, ජෝශප් ස්ටැලින් ගුරු සංගම් නායකයාට අත් වන ඉරණම ද නොකියාම බැරිය.

අප මේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන අය වැය ලේඛනය දැන් පාර්ලිමේන්තුවේ එක් ඡන්ද විමසීමකදී ද සම්මත වී ඇත. සරල බහුතරයෙන් නොව තුනෙන් දෙකකින්ම සම්මත වී ඇත. එවන් තත්ත්වයක් තුළ ඊළඟ වතාවේත් සම්මත වීමේ අවදානමක් ඇති, අමන අය වැය හෙවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ අපූරුම අය වැයට විරුද්ධව තිබූ වර්ජනය පවා අකුළාගත් ජෝෂප් ස්ටැලින්ලා සිටිනා වූ අන්තය මෙම “බලය“ වැඩසටහනේ දී මනාව දිස් වීය.

අතීසාරයට අමුඩ ගසන්නා සේ වරින්වර ආණ්ඩුවේ ඇත්තන් ප්‍රසිද්ධ කරනු ලබන ලියවිලි හැරුණු විට, මේ අය වැයේ ඇති ජනතා විරෝධී හා දේශ ද්‍රෝහී ක්‍රියා මාර්ග හකුළා ගැනීම් පිළිබඳ කිසිඳු සහතිකයක් මෙතෙක් ලැබී නැත. “රනිල් ගේ හා සිරිසේනගේ ඉනාවක් කෑවා සේ අන්ධ භක්තියෙන් යුතුව“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ද මෙම අය වැයට පක්ෂව ඡන්දය දී ඇත. ඉදිරියේ දීත් එයම සිදුවනු ඇත.

මෙවන් තත්ත්වයක් තුළ ජෝශප් ස්ටැලින් වැනි ගුරු සංගම් නායකයින් ද රනිල් ගේ කූඨ ප්‍රකාශ විශ්වාස කිරීම ඇදහිය නොහැකියැයි කෙනෙක් පැවසිය හැක. නැත. දැන් එසේ සිතන්නට අවැසිම නැත. සියල්ල සිදුවී හමාරය. ස්ටැලින්ලා සහ රත්න(අ)ප්‍රියලා මුසපත්ව සිටින්නේ මහින්ද විරෝධී වෛරී සහගත සිතිවිලිවලිනි. එය ඔවුන්ගේ කියුම් කෙරුම්වලින් මනාව ගම්‍ය වෙයි.

අය වැය සම්බන්ධ “බලය“ වැඩසටහනේ දී ඔවුන් හැසිරුණු ආකාරය ඊට කදිම නිදසුන්ය. මේ අයගේ ප්‍රකාශ දුර සිට අහනවාට-බලනවාට වඩා, රූපවාහිනී මාධ්‍ය යේ සමීප රූප බොහෝ ගැඹුරු කතා අපට අවබෝධ කරවන්නට සමත්ය.

බස් ගැමුණු ගේ වාග් විලාශය හා අංග චලනයන් බැස්ටියන් මාවතේ බස්නැවතුමේ සිටින රනර් කෙනෙකු පරයා ඉදිරියටම ගියේය. බස් ටිකැට්ටුවෙන් ඉතුරු සල්ලි රුපියල් 2ක් හෝ 5ක් ඉල්ලූ විට ඉහ නිකට නොබලාම ඇඟට කඩා පනින 138 පාරේ කෙන්දොස්තර මල්ලිලා තව හොඳය. බස් ගැමුණුගේ ඇස්වලින් වෙඩි උණ්ඩ පිටවෙන්නට ආසන්න වී තිබුණි. එසේ නැතත් වෛරී ගිනි පුළිඟු නමි පිට වීය.

රාජ්‍යය සතු වටිනාම සම්පතක් වන බැංකු ක්ෂේත්‍රය විනාශ කිරීමට අය වැයෙන් ගෙන ඇති තීරණ හකුළා නොගත් රජයට එරෙහිව එක් දින වර්ජන පියවරක් ගැනීම බස් ගැමුණුගේ උදහසට බඳුන් වන්නේය. බස් ගැමුණු මුදලාලිගේ දැනුමේ සහ විග්‍රහයේ හැටියට බැංකු සේවකයින් ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය දරුණු ගණයේ අපරාධයකි.

වැරදිලාවත් මෙතැන වෛද්‍ය වෘත්තිකයෙක් සිටියානම් බස් ගැමුණු අතින් මිනී මැරුමක් වන්නට ඉඩ තිබුණි. එසේ නොසිටීම උගත් බුද්ධිමත් දොස්තර මහතෙකුගේ වාසනාව යැයි සිතමි.

කෙසේ වෙතත් අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමේ සිට විශ්‍රාමිකයා දක්වා අසත්‍ය සහ වැරදි අංක විජ්ජා පෙන්වන අය වැයක් කෙසේ නම් සාධාරණීකරණය කරන්නේද යන විලිලැජ්ජාවවත් මේ උන්දැලාට තිබුණාදැයි සිතා ගත නොහැකි. සියල්ල මහින්ද සමඟ ඇති වෛරයෙන් වැසී ගොසිනි.

අය වැය ගැන කතා කිරීම පසෙක තබා මහින්ද - මහින්ද - මහින්ද සහ නැවත නැවතත් මහින්ද ලෙස වෛරයෙන් ඇඹරීම හා විරිත්තීම මිස වෙන යමක් ගැමුණුගෙන් පිට වූයේම නැත.

කෙසේ හෝ තමන්ගේ හුදු ලාබය වෙනුවෙන්ම වර්ජන ක්‍රියා මාර්ග සඳහා අවතීර්ණ වූ-අවතීර්ණ වන බස් ගැමුණු මුදලාලි, බැංකු සේවක වර්ජනය පිළිබඳ වෛරයෙන් වහසි බස් දෙඩවීමම විහිළුවකි.

බස් ගැමුණුට නොදෙවෙනි ප්‍රකාශ මා හිතවත් ජෝශප් ස්ටැලින් සහෝදරයාගෙන් පිටවීම මටනම් ගෙනදුන්නේ කනගාටුවකි.

රනිල්-රවී-සිරිසේන අය වැයක් රට ඉදිරියේ තිබේ. ඉහත සඳහන් කළ හා නොකළ කරුණු රැසකින් යුතු එය ඓතිහාසික එකකි. ගමේ ගොඩේ භාෂාවෙන් කියතොත් මේ අය වැය අතීසාරයට අමුඩයකි.

හිරු ටීවී බලය දේශපාලන වැඩසටහන නැරඹූ මම නින්දට යන විට කල්පනා කළේ එක් දෙයකි. එනම්, සංවාදයට එක් වූ වෘත්තීය සමිති නායකයින් දෙදෙනෙක් හැරුණු විට ඉතිරි දෙදෙනෙක් අතීසාරයට අමුඩ මාරු කරගත් බවකි.

ගුරු සංගම් ස්ටැලින් ගෙන් බස් ගැමුණු අමුඩ ගැසුවේ ද ? නැතිනම් බස් ගැමුණු ගෙන් ස්ටැලින් අමුඩ ගැසුවේ ද ? ස්ටැලින් ගැමුණුගේ අමුඩයට හසු වුයේ නම් සැබැවින්ම දුකකි.

කෙසේ වෙතත්, බස් ගැමුණු වන් ආර්ථික විශේෂඥයෙක් සමඟ ඓතිහාසික අය වැය ලේඛනයක් සම්බන්ධව, චිද්වත් කතිකාවක් නරඹන්නට අවස්ථාව සලසා දී, වැඩසටහන තුළ වැඩි වේලාවක් නිහඬව සිටි සුදේව නිවේදක මහතාටත් ස්තූතියි.

- ජනිත් විපුලගුණ -
2015 දෙසැම්බර් 19

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

12/15/2015

මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා පණ්ඩකලාගේ කටු කළඳෙන් සැනසෙන බේබද්දෝ

කතෘ:යුතුකම     12/15/2015   2 comments
මීට වසර තුනකට පෙර, එනම් 2012 දෙසැම්බර් 12වන දින ළංවෙත්ම රටේ අස්සක් මුල්ලක් නෑරම වූ මහා ඝෝෂාවකි. විඤ්ඤාණවාදීන් සහ භෞතිකවාදීන්ද හරි හරියට ඒ දිනය වනවිට විවිධ කෙස් පැළෙන කර්ක විතර්ක ඉදිරිපත් කරමින් මාධ්‍යය හරඹයක නිමග්න වූවෝය. මේ මහා ඝෝෂාවේ එකම කඩඉම වූයේ 2012. 12. 12 මැදියම 12 පසු කරන්නේ කෙසේද යන්නයි. 2012 දෙසැම්බර් 13 වන දිනට ද එළිවීය. කන්දක් විළිලා වැදූ මී බෙට්ටක්වත් නැති වීය. සාස්තරකාරයෝත් නැත. මාධ්‍යකාරයෝත් නැත. විජ්ජාකාරයෝත් නැත. කිසිවෙකුට හෝ අධෝ වාතයක් පිටවූ තරම්වත් වගක් නැති පරිසරයක් වීය. හරියටම ඉන් වසර තුනකට පසුව සිරි ලංකාවේ ද ඇති වූයේ මහා මාධ්‍ය ඝෝෂාවකි. එහි නෂ්ටාවශේෂ තැන තැන ඉතිරි වී ඇති පසුබිමක මෙම සටහන තබමි.

2012 දෙසැම්බර් මස 12 වැනිදා වනවිට පෙරකී මාධ්‍යක ඝෝෂාව පිළිතුරු සෙවූයේ එදින සිදු වන බවට කිසිවෙකු පැවැසූ බව විශ්වාස කළ ලෝක විනාශය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව එහි අසිරියයි. නො එසේනම් ඒ ලෝක විනාශයෙන් පසු අවට සරන ගන්ධබ්බ ජීවිත ගැන ය. 2015 දෙසැම්බර් 12 වන දින වනවිට එක් මාතෘකාවක් නොව කිහිපයක් ගැන ඝෝෂාවක් නිර්මාණය වී තිබුණි.

රාජ්‍ය සේවයේ කප්පාදුව.
පොහොර සහනාධාර කප්පාදුව.
විශ්‍රාම වැටුප් කප්පාදුව.
රාජ්‍ය ආයතන විකිණීම.
මූලික වැටුප ඉහළදමා ගැනීම.
අර්ථසාධක අරමුදල් පිල්ලිය.
ආදිය ඒ මාතෘකා අතරින් කිහිපයකි.මේ මාතෘකා බොහොමයක් අලුතින්ම නිර්මාණය වූ ඒවා වන අතර, ඇතැම් ඒවා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කරළියට විත් ඔවුන් විසින් හකුළාගත් ඒවා ය. මේ සියල්ල මහා විනාශයක පෙර නිමිති ලෙස සමාජ ගතවන්නේ රවී කරුණානායක නම් මුදලට ඇමතිත් නොවන එහෙත් මුදල් ඇමති බව පවසන ඇමතිවරයා විසින් ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කළ අය-වැය හෝ වැය-අය කතාවෙන් පසුවය.

මහින්ද රාජපක්ෂ රාජ්‍ය සමය මතක් කළ බැවින්, මහින්ද රාජපක්ෂ ජනපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස අවසන් වරට ඉදිරිපත් කළ අය-වැය අමතක නොකළ යුතුය. එම අය-වැයෙන් රාජ්‍ය සේවකයාට රුපියල් 2500 ක් වැඩි කළ බව දැන් නිට්ටාවට මතකයේ ඇත්තේ කීයෙන් කීදෙනාටද යන පැනය ද පළමුව අසා පිළිතුරක් දැන ගත යුතුමය. මෙය කියවන ඔබත් මොහාතක් ඒ ගැනත් සිතනු ඇතැයි මම සිතමි. මහින්දගේ ආණ්ඩුව පාසැල් නිල ඇඳුම් නිසි පරිදි දෙද්දී, 2015 වසරේ ජනවාරියේ සිට රුපියල් 2500 ක් මූලික වැටුපට එකතු කරද්දී, යතුරු පැදියක් ගන්නට රුපියල් 50,000/= ක් ලබාදෙද්දී, පුද්ගලික අංශයට ද වැටුප් වැඩිවීම් ලබාදෙද්දී, පොහොර සහනාධාරය එලෙසම ලබාදෙද්දී, වී-තේ-පොල්-රබර් සඳහා නිසි මිලක් ගෙවද්දී, සමෘද්ධී සහනාධාරය රුපියල් දහසකින් වැඩිකරද්දී, මහපොළ ශිෂ්‍යත්වය රුපියල් දෙදහසකින් ඉහළ දමද්දී එය එපා කියූ ජනතාවක් යහපාලනයේ නාමයෙන් ලබන ප්‍රතිලාභ මොනවාද ?

2012 දෙසැම්බර් 12 වැනිදා සිදුවන බවට තක්බීර් වී මොරදුන්නාටත් වඩා මහා මාධ්‍ය ඝෝෂාවකින් පසුව මේ අර අරඇන්දේ කුමන ආකාරයේ වැඩ වර්ජනයකට ද ?

මේ වැඩ වර්ජනය සඳහා කැසපට කැවූ සමන් රත්න (අ)ප්‍රියලා දුටුවනම මේ ගොනුන් හැරෙන්නේ කුමකටද..? යනු අපට නම් පැහැදිලිව දර්ශනය වීය. මේ වැඩවැරුම අසමජ්ජාති ප්‍රෝඩාවක් බවට, මොවුන් ගේ හැසිරීම් මනාව හඳුනාගත හැකි මට නම් අපූර්වත්වයක් ගෙන දුන්නේම නැත. මෙය කිසිසේත්ම සිදු නොවන බවට මම නම් පෙර දීම කීවෙමි. කෙසේ වෙතත් එසේ වන්නේ ඇයි ? යන්න දැන් අපි මනෝමූලව විසඳා ගතයුතු පැනයයි.

රනිල්-රවී-සිරිසේන වැය-අය සැබැවින්ම ජනතා ද්‍රෝහී පමණක් නොව දේශ ද්‍රෝහී වැය-අය ක් බව පියවි සිහි ඇත්තෝ දනිති. සැමට තේරුම් යන භාෂාවෙන් මෙම Budget එක දේශ ද්‍රෝහී වන්නේ කෙලෙසකද යන්නට උදාහරණ ඇතිපදම් දිය හැක. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ව්‍යාපාර පුද්ගලික අංශයට පමණක් නොව විදේශිකයනට ද විකුණන සැළසුම් මේ අය-වැය තුල අන්තර්ගත වීමෙන්ම එය දේශ ද්‍රෝහීය. රටේ භූමිය විදේශකයින්ට පැවැරීමම ද්‍රෝහී ය.

සරලව අවසන් කළ නොහැකි එහෙත් අවසානයක් නැති මෙම සටහනේ අවසානයේ අපට කළ හැක්කේ සංසන්දනාත්මක විග්‍රහයකට යාම පමණි. මහා බලසම්පන්න යක්ෂයෙක් ලෙස වෙස් ගන්නවා සමාජගත කරවූ මහින්ද රාජපක්ෂ පාලනයත්, මහානුභාව සම්පන්න ශ්වේත රාජයෙක් ලෙස අභිෂේක ගැන් වූ සිරිසේන-රනිල්-සම්බන්ධන් පාලනයත් දැන් සංසන්දනය කරන්න.

මා විසින් දින දෙකකට පෙර කතාබහකට හවුල් කරගත් ඒකාබද්ධ විපක්ෂයේ කෙරුමෙකුට අනුව, අලුත් ආණ්ඩුව - තවම මාස හතරයි - ජනප්‍රියයයි වගේ ළඳ බොළඳ තර්ක නොමැතිව සරල උදාහරණ කිහිපයකින් මෙම පාලන දෙක සංසන්දනය කරන්න.

මහින්ද ආරක්ෂා කරදුන් රාජ්‍ය සේවයත් නැති, පොහොරත් නැති, සමෘද්ධියත් නැති, පාසැල් නිල ඇඳුමත් නැති, මහපොළත් නැති, මූලික වැටුපත් නැති, විශ්‍රාම වැටුපත් නැති, අවසානයේ හෙළයේ මතු උපදින පරපුරට ජීවත්වන්නට රටකුත් නැති පරිසරයක් උරුම කළේ කවුරුහුද ?

එසේ කළවුන්ට එරෙහිව කඳවුරු බැඳිය යුත්තේ කවුරුන් සමඟ ද ?

මහින්ද රැකදුන් සියල්ලට එරෙහි වූ වෝ කවුරුන්ද ? එනම් ඉහත විග්‍රහකරගත් අර්ථයෙන් නම් සමස්ත රටටම ද්‍රෝහීවූවෝ නම් හංස රෙජීමය නොවේ ද ? ඉඳින් හංස රෙජීමයේ නියමුවෝ විසින් රඟදක්වන නාඩගමක රූකඩවන්නෝ කවුරුහුද ? මේ සංදර්ශන ඔබ තවදුරටත් විශ්වාස කරනවාද ? වර්ජක - වර්ජිත සහ නරඹන සියල්ලන් විසින් ඔවුනොවුන්ගේ සැබෑ හෘදයේ සාක්ෂියෙන් විමසිය යුතු ප්‍රශ්න වැලකි.

එසේනම් මෙතෙක් සිදු වී ඇත්තේ කුමක් ද ?
හංස රෙජීමයේ ෂයිලොක්ලා මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලා සිටියෝ නොවේද ?

දැන් සිදුවන්නේ කුමක් ද ?
රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයෝ පමණක් නොව රටේම බහුතරයක් ගොනාට ඇන්ද වූ හංස රෙජීමයේ ෂයිලොක්ලා හා ජෝකර්ලා විසින් තවදුරටත් රටම ගොනාට ඇන්දවීම නොවේ ද?

තවත් වැදගත් කරුණක් නම්, ජාතික හා අන්තර්ජාතික වශයෙන්ද රටක අනාගත සැලසුම් තීරණය කරන වැදගත්ම මූල්‍ය ලියවිල්ල මේ ආකාරයට හිතු හිතූ ආකාරයට වෙනස්කම්වලට භාජනය කිරීම කෙතරම් නුවණක්කාර ක්‍රියාවක්ද යන්නයි. ජනපතිට, අගමැතිට, මුදල් ඇමතිබව කියාගන්නා එකාට සහ වෘත්තීය සමිතිවල පඟරනැට්ටන්ට අවශ්‍ය ආකාරයට දිනපතා සතිපතා හෝ මාස්පතා වෙනස්කරන ලියවිල්ලක් රටකට අත් කරන්නේ කුමන බලපෑමක් ද?

අවසානයක් නැති විරාමයක දී කෙටියෙන් පවසන්නේ නම්, මහින්දගෙන් මස් රාත්තලම ඉල්ලූ හංස රෙජීමයේ ෂයිලොක්ලා, එලොවටත් නැති මෙලොවටත් නැති පණ්ඩක එකතුවක මස්කටු කළඳකට රටේ ශ්‍රම බලකායෙන් බහුතරයක් පාවා දුන්නේය.

-ජනිත් විපුලගුණ-
2015 දෙසැම්බර් මස 15 වැනිදා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/13/2015

කැබිනෙට්ටුවේ සාස්තරකාරයෝ

කතෘ:යුතුකම     12/13/2015   No comments
උගතුන් හා සිවිල් පොරවල් නිහඩයි.රට අයාලේ යයි.

ශ්‍රී ලංකාව තුළ සාස්තර කීමට නිල වශයෙන් අවසර ඇත්තේ එක් අයෙකුට පමණි. එහෙත් කාර්යයයේ නියුතු ආකාරයට එය කිහිප දෙනෙක් අත බෙදී යන බවක් ප්‍රකාශිතය. මේ වනවිට එහි මූලාධිකාරිය හෙවත් භාරකාරීත්වය හිමිවන්නේ කාට දැයි නොදනී. ඒ නොදන්නාකමට හේතුව ඇමති මණ්ඩලය පැටවුගැසීමය.

දින, සති, මාස හෝ වසරක් හෝ දෙකක් හෝ වුව කල් පිරී සාම්ප්‍රදායික ආකාරයකට විළිරුදාපහව ඒ වැදීම සිදුවන්නේ ද නැත. සිසේරියන් වන්නේ ද නැත. අඩු මාසයෙන් බිහිවන ඇමති දරුවෝ එමටය. උන්ගෙන් වැඩිහරියක් මන්දඅධ්‍යාපනිකභාවය කෙසේ වෙතත් මන්දමානසිකය. මන්දබුද්ධිකයැයි කීමටවත් නොහැකිය. එසේ සඳහන් කළහොත් බුද්ධිය යන වචනයට පවා නිගාවකි. මේ බිහි වූ ඇමති දරුවෝ බහුතරයක් අවජාතකයෝ වීමද අපූරු සිදුවීමකි.

ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු පළමුවරට මෙසේ මොංගල් ඇමති මණ්ඩලයක් බිහිකිරීමට තිඹිරි ගෙය සැදුවේ 2014 නොවැම්බරයේ සිටය. ඊට විළිරුදා හැදෙන්නේ 2015 ජනවාරි 08 වන දාය. එහි අඩුබර ප්‍රසූතිය සිදුකරන්නේ 2015 ජනවාරි 09 වන දාය. එදා පටන් මුළු ලොවටම පූර්වාදර්ශ දෙමින් අග-සිට වලිගය තෙක් අඩුබර, මන්දපෝෂිත, මන්දමානසික හා පණ්ඩක මැත්තන් රැසකින් යුත් කැබිනෙට්ටුවක් නිර්මාණය වීය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ඇතුළු සියල්ලම වසා මේ පූර්වාදර්ශය හෙළි පෙහෙළි වීය. වත්මන් විධායක ජනාධිපති, අගමැති සිට ඇමතිමණ්ඩලය හා අගවිනිසුරු දක්වා එය පොදු ය.

පූර්වාදර්ශයක් කීවාට මෙය නරක පූර්වාදර්ශයක් බව අනාගත පරපුර ගෙවන කර්ම විපාකයන් සාක්ෂි සපයනු ඇත. අපට එසේ අනාවැකි කීමට අයිතියක් ඇත. මා එසේ පැවැසීමෙන් රටේ කිසියම් නීතියක් හෝ සම්ප්‍රදායක් උල්ලංඝණය වීමෙන් අවැඩක් නොවනු ඇතැයි සිතමි.

රටක පාලකයින්ට අපට මෙන් අනාවැකීමට නොහැක. නොහැක යනු නෛතික අයිතියක් නැත. ඒ අයිතිය යම් පමණකට ඇත්තේ එකම එක රාජ්‍ය ආයතනයකට පමණි. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවය. එයත් මෙහි උපන් නිසාදෝ උපන්දා සිටම මඤ්ඤංය. ඒද එහි විද්‍යාඥයින්ගේ වරදින් නොව රටේ පාලකයින්ගේ වරදිනි. ඊට සුදුසු තාක්ෂණ ක්‍රමවේද නිසි කලට ලබා නොදීම පාලකයින් කරන වරදකි. ඒ දෙපාර්තමේන්තුව කුමන අමාත්‍යංශය යටතේද යන්න සත්තකින්ම මම නොදනිමි. අනුමාන කළ හැක්කේ විද්‍යා හා තාක්ෂණ යැයි පෙර තිබූ අමාත්‍යංශයක් යටතේ කියාය. දැන් ඒවගක් නිශ්චිතව නිගමනය කළ නොහැකි මානසිකත්වයක මම සිටිමි.

මම එම නිගමනයේ නොසිටින්නේ, අලුතින් අච්චු ගස්සවන සල්ලි කොළේ දෙස බලාගෙනය. අය-වැය කියැ වූ මුදල් ඇමති සිහිකරගෙනය. මේ දෙකම කුමන අමාත්‍යංශයක් යටතේ, මොකා භාරයේ තිබෙනවාදැයි නිගමනයට මම තවම අන්දුන් කුන්දුන්ය. සත්තකින්ම.

එසේ හෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකා යටතේදැයි සොයා යෑමම තරහ එළවන සුළු ක්‍රියාවකි. එය සොයා ගැනීමට පොත්පත් ගණනාවක් පෙරළීමට සිදුවන හෙයිනි. කෙසේ වෙතත්, මේ මොහොතේ රටේ ඉතිරි වී ඇති වාසනාවකට වුව එම දෙපාර්තමේන්තුව සෞඛ්‍යයය අමාත්‍යංශය යටතේ විය නොහැක. මන්ද යත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෞඛ්‍යය අමාත්‍යංශය යටතට පත් කිරීමට සහේතුක කරුණු දැන ගන්නට නොතිබුණු බැවිනි.

එහෙත් සැකයක්ද වෙයි. එනම් අනාවැකි ප්‍රකාශයටපත්කිරීමේ රාජ්‍ය බලය හෙවත් නෛතික බලය හිමි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයා හැර වෙනත් අයෙකුට අනාවැකි කීමේ බලය ලැබී ඇතිද යන සැකයයි.

අනාවැකි කියන්නන්ට අපේ ගමේ ගොඩේ කියන්නේ සාස්තරකාරයා කියාය. එවන් සාස්තරකාරයෙක් දැන් ඇමති මණ්ඩලයේ ය. සාස්තර කියන්නේ කැබිනට් තීරණ ප්‍රකාශ කරන මාධ්‍ය සාකච්ඡාවේ දී ය. එය සැකහැර දකින්නට 2015 දෙසැම්බර් මස 10 වැනිදා මුළු රටටම වාසනාව උදා ‍කර දුන්නේ රටේ සියලු මාධ්‍යයන් ය. විදෙස් ඇත්තෝ මෙය විකාශය කළා දැයි නොදනිමි. එසේ වූවානම් හොඳය.

ඇවා‘ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහත්මයාගේ මනස කියැවීමට හෙවත් ඔහු ඉදිරියේ දී ගන්නා ක්‍රියා මාර්ග සැක හැර පැවැසීමට සමත් සාස්තරකාරයෙක් වත්මන් කැබිනට් මණ්ඩලයේ ය. ඔහු කිරි ගහට ඇන්නා සේ සාස්තරය සනාත කිරීමට, හිටපු අධීක්ෂණ මන්තිරී සහ දැන් ඇමති ආරක්ෂාව සහිත නිකමෙක් වන සජින් වාස් උදාහරණයට ගනී.

මේ සාස්තරකාරයා වෙනින් කවුරුත් නොව, නිශ්ශංක සේනාධිපති මහත්මාට අනුව පරාජිත සේනාත්න නම් කප්පම්කරුය. රටට, රාජ්යට අනුව, සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්නය.

දැන් සැබෑ පුරවැසියන් වන අපට පැනයකි. සැබැවින්ම පැන එකක් නොව කිහිපයකි.
රටේ අධිකරණ ක්‍රියාවලියකට ද යටත් වූ සංසිද්ධියක් පිළිබඳව, කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ මාධ්‍ය හමුවේ දී වගකිවයුතු ඇමතිවරයෙක් (කැබිනට් මාධ්‍ය ප්‍රකාශක) විසින් සාස්තර කියන්නේ කෙසේ ද ? ඔහුට ද චෝදනා එල්ල වී ඇති පසුබිමක එය කෙතරම් සදාචාර සම්පන්න ද ?

රාජිත සේනාරත්න ඇමතිවරයා කප්පම් ගත්තා යැයි පවසන සිද්ධියක දී, රාජ්‍ය බලය හිමි පාර්ශවය නියෝජනය කරමින් අදාළ ඇමතිවරයාම කළ මේ ප්‍රකාශය සුළුවෙන් තැකිය හැකි ද ? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන අපට නම් වැටහෙන්නේ, ඇවා‘ගාඩ් සිද්ධිය යට රාජිත සේනාරත්නලා සහ තවත් බලගතු ඇත්තෝ රැසක් සිටින බවය. නිශ්ශංක සේනාධිපති මහත්මයා නොබියව පවසන වදන් තුළ ඇත්තේ නිකැළැල් සත්‍යය බවය.

රටේ පාලන බල අධිකාරියේ ඉහළ සිට පහළටත්, අවශේෂ තනතුරු වරදාන ලැබූවෝ පසෙක සිටත් මෙතරම් බැට දෙද්දීත්, ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින්නට නිශ්ශංක සේනාධිපති මහත්මාට හැකි වී ඇත්තේ “සත්‍යය“ ඔහු නියෝජනය කරන නිසා යැයි නිගමනය කිරීමට සැබෑ පුරවැසියන් වන අපට අවස්ථා උදා වී තිබේ.

එසේ වුවත්, නීතිය වල්වදින දේශයක අන්ධකාරයට ඇස් මැවෙන විට සිදුවන දේ සිතා ගැනීමටවත් නොහැකිය. එසේ හෙයින්, නිශ්ශංක සේනාධිපති මහත්මා හෙට දවසේ කුමන තීරණ ගනු ඇද්දැයි සාස්සතර කීමට අපට හැකියාවක් නැත. සාස්තර කතාවේ අවසානයේ රට හමුවේ තබන්නට ඉතිරිව ඇත්තේ තවත් සදය පැන කිහිපයකි.

2015 ජනවාරි අටට පෙර අවදිවී සිටි බව කීයේ බෙලහීන පුරවැසියන් ද - පරවැසියන් ද?
වෙනසක් වෙනුවෙන් තරුණ ගැටවු හා ගැටිස්සියන් කුල්මත්කළ අලුත්පරපුර ඉක්මනින්ම කෞතුක වීද?
සිවිල් ඇත්තෝ හිවල් වීද ?
උගතුන්ගේ දැනුම හමස් පෙට්ටියේ ද ?

-ජනිත් විපුලගුණ- 2015 දෙසැම්බර් 11

'පසුව ලියමි'
--------------
මේ රාජිත සේනාරත්න ඇමතිවරයා මෙලෙසම මාධ්‍ය හමුවේ පැවැසූවේ තාජුඩීන් ඝාතනයේ වීඩියෝපටක් හමු වූ බවත්, එහි ප්‍රභූ පවුලක පද්ගල තොරතුරු සටහන්ව ඇති බවත් ය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/09/2015

ඇවා-ගාර්ඩ් විපක්ෂය, පාර්ලිමේන්තු විපක්ෂය හා ජාතික ආරක්ෂාව

කතෘ:යුතුකම     12/09/2015   No comments

සරල හෝ ගැඹුරු හෝ වේවා, මේ සමාජ සංවේදී තලයේ දී ඇන්ටන් පවිලොවිච් චෙකොෆ් ගැන අසා ඇත්තෙකු නැත්නම් එය අභාග්‍යයකි. ඒ ආකාරයටම අද දවසේ මෙ සිරිලක දේශපාලන කතිකාවේ දී නිශ්ශංක සේනාධිපති නම් පුද්ගලයා ගැන අසා නැති කෙනෙක් ඇත්නම් දේශපාලන කතාබහකට තබා, ඉදිරි මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමටවත් හවුල් කර ගැනීමට නුසුදුස්සෙක් වෙයි.

නිශ්ශංක සේනාධිපති මට තවම හමු වී නැත. සජීවීව දැකලාවත් නැත. දැක්කොත් මට මුලින්ම අහන්නට පැනයක් ඇත. “ඇවා-ගාඩ්” හෙවත් බොහෝ දෙනා වහරන පරිදි “ඇවන්ට් ගාර්ඩ් යනුවෙන් ඔබ ඔබගේ ආරක්ෂක සේවය නම් කළේ ඇයි ?” යන්න එම ප්‍රශ්නයයි. එහි සම්පූර්ණ හැඳින්වීම “AVANT-GARDE SECURITY SERVICES [PVT] LTD” යන්නයි.

නිශ්ශංක සේනාධිපති නම් මහත්මයා මට වඩා වසර කිහිපයකින් වැඩිමහලු ය. ඔහු ඉපැදී ඇත්තේ 1963 වසරේ ය. එහෙත් ඔහු අප මෙන්ම මේ රට විනාශය කරා ගිය ගමන් මගෙහි පුරෝගාමින්ගේ ආණ්ඩු හොඳින්ම දැක ඇත. ඒවායේ රස ගුණ අපට මෙන්ම ඔහුටද දැනී ඇත. ඒ නිසාම ඔහු පුරෝගාමී මෙහෙවරක නිරතවෙමින් 4500කට අධික පිරිසකට ගෞරවාන්විතව රැකියාවක නිරතවන්නට ආයතනයක් බිහිකළා වන්නට පුළුවන. ඒ මගින් අවම වශයෙන් දරු පවුල් 4500ක් වත් යැපෙන්නට ඇත. ඒ ඇසුරෙහි කුසගිනි නිවාගත් බාල, තරුණ, වැඩිහිටි, මහලු පිරිස අඩුම තරමින් 25000ක් පමණ වන්නට බැරි නැත. උපරිමය කිව නොහැක. මා වෙනත් අයට “මහත්තයා” කීවත් ඔහුට “මහත්මයෙක්” යන්න භාවිත කළේ මේ සද්භාවය හේතුකොට ගෙන ය. බෞද්ධයින් වෙසෙන බව කියන රටේ උපතින් බෞද්ධයෙක් බව කියන මටත් කිව හැක්කේ නිශ්ශංක සේනාධිපති මහත්මයා මතු උපදින ආත්ම ගණනාවකට පින් රැස් කරගත් අයෙකු බව ය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රාජ්‍ය සේවය ලක්ෂ 12ක් තරමට ඉහළ නංවා, උපාධිධාරීන්ට රැකියා දොරටු විවර කොට ලබාගත් පින කුණු මුල්ලට දැමීමට, සිරිසේන නම් මෛත්‍රී උපාසක තෙමේ බලවත් වූවාට, නිශ්ශංක නම් සේනාධිපතියා තමාගේ පින එසේ වන්නට ඉඩ නොදෙන බව කරන කියන ප්‍රකාශ හමුවේ පෙණෙන්නට තිබේ.

සද්භාවය කෙසේ වෙතත්, සිරි ලංකාවේ හදන නීතිවලට හා හැදෙන නීතිවලට පින වලංගු නැත. ඒ සියල්ලටම වඩා “ඩීල් දේශපාලනයට” අණක් ගුණක් ඇත්තේම නැත.

ඇවා-ගාඩ් කතා බහ හා හා පුරා කියා කරළියට ගෙන ආවේ වත්මනෙහි සිරිසේන ජනාධිපතිගේ උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක ය. ශිරාල් ලක්තිලක මේ ආකාරයටම විශේෂ කාර්යයන් කිහිපයකට අත් පොත් තැබූවෙකි. රාජපක්ෂ පාලන සමයේ ඛණිජ තෙල් නිෂ්පාදනයට අදාළව “හෙජින්” ගනු දෙනුව අධිකරණයට දක්කාගෙන ගියේ ද ඔහු ඇතුළු කණ්ඩායමකි. එහි සහායකයා වූ නීතීඥ රවී ජයවර්ධන දැන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ය. හෙජින් දුර දිග ගියා සේම, ඇවා ගාර්ඩ් ද දැන් දුර ගමනක් විත් ය. මෙහි විශේෂත්වය නම්, ඇවා ගාඩ් යෂ්ටිය අතින් අත මාරු වී දැන් ඇත්තේ රාජිත සේනාරත්න අත වීම ය.

ඇවා-ගාඩ් හරි අපූරු දේ බිහි කරන්නට සමත් වූ මාතෘකාවකි. වෙල් විදානේ ලා, වික්ටරි සර්වන්ට් ලා, පමණක් නොව පරාජිත සේනාරත්නලා ද මේ හරහා රටට හඳුන්වා දී ඇත. ඇතැමෙකුට හාස්‍යයට කරුණක් වුව ද ඒ වදන් තුළ ගැඹුරක් ඇත. “හෙළ ගැඹුරු වන්නේ හෙළට බසින්නාට මිස ගොඩ සිටින්නාට නොවේ” ය. “අසුචි අමා වන්නේ ඉහඳ පණුවන්ට මිස ඇස් කන් නාසා ඇති මිනිසුන්ට නොවේ” ය. ඇමතිකම් අහිමි වීම්, අවලාද නැගීම් හා අවලාද ඇසීමේ සිට මේ දක්වා ඇවිස්සෙන්නට තරම් ඇවා-ගාඩ් කුණු ගොඩක්මත් නොවන බව සනාථ වී ඇත. මුලින් මුලින් දැණුනා සේ ඇවා-ගාඩ් යනු කියන තරම් කලු යකෙක් ද නොවේ ය. කලු කෙසේ වෙතත් යකෙකුත් නොවන බවනම් දැන් පැහැදිලි වෙමින් තිබේ.

ඇවා-ගාඩ් කතා බහ උච්ච අවස්ථාවට පැමිණි විට නිශ්ශංක සේනාධිපති මහත්මයා පවත්වන්නට සූදානම් කළ මාධ්‍ය හමුව අත්හිටුවීමට රජයේ පාර්ශවය සමත් වුව ද දැන් දැන් නිශ්ශංක සේනාධිපති පුවත් මවන්නෙක් බවට ද පත්ව සිටී. එපමණක් නොව ඔහු එන්නට කියනාතුරු නො සිට, ඔහු හමුවට ගොස් මාධ්‍ය සාකච්ඡා කරන තරමට ඇවා-ගාඩ් නිමැවුම්කරු ප්‍රබල මාතෘකාවක් වී ඇත. හෙට සිට ඔහුගේ වොයිස් කට් එකක් රූපවාහිනී පුවත් තුළින් දකින්නට ඇතිනම් යන සිතිවිල්ල මේ ලියුම්කරු තුළ ද මතු වි ඇත. ඒ තරමට පච රණවකලාගේ, හාබර්තුංගලාගේ හා පරාජිතලාගේ පැටිකිරිය දැන ගැනීමේ ජුගුප්සාවක් සමාජයට කාන්දු වී ඇත.
මේ තුල සැඟවුණු රහස් කොපමණ ඇද්දැයි ද කෙනෙකුට සිතෙන්නට පුළුවන. ලංකාවේ වත්මන් දේශපාලන පිටිය යනු ඩීල් ලෝකයක් දෝ යන පැනය නිතැතින්ම නැගෙනු ඇත. මෙකී නොකී කතා බෙහොමයක් හමුවේ රටේ ජාතික ආරක්ෂාවට ද තර්ජන එල්ලවිය හැකි පසුබිමක් නිර්මාණය වන්නට ද පුළුවන. එසේ වන්නේ ශ්‍රී ලංකාවේ මේ ඇවා-ගාඩ් යනු රට අභ්‍යන්තරයේ ආරක්ෂක ප්‍රශ්නයක් නොවන නිසා ය. ඉන් ආරක්ෂා විමට තැත් දැරූවන්ට දැන් සියල්ල මනාව හෙළි කරගන්නට හැකියාව ලැබී ඇත. මේ හරහා සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් වෙනත් තිරණ හමුවේද ජාතික ආරක්ෂාවට යම් පලුද්දක් ඇති වන්නට ඇත.

කෙසේ වෙතත්, ඇවා-ගාඩ් යන වචනයේ පාරිභාෂිකයට අනුවම එය පුරෝගාමී මෙහෙවරක නිරත වී ඇත. ඇවා-ගාඩ් යන නම තම ආරක්ෂක සේවයට යෙදුවේ ඇයිද යන පැනය මා විසින් නිශ්ශංක සේනාධිපති මහත්මයාගෙන් අසන බව කිවේ මේ හේතුව නිසා ය. “නව මං සොයන පුරෝගාමියෝ” යන්න එහි පාරිභාෂික අරුත ය. කලාවට සහ සාහිත්‍යයට එය වඩාත්ම උචිත ය. වෙලේ විදානේ, වික්ටරි සර්වන්ට්, ප-රාජිත වැනි යෙදුම් නව ආරකින් වහරන විට මේ බව යම් පමණකට සනාත වෙයි. යහ පාලනයටත් නව අරුතක් එක් කරන්නට මේ මගින් හැකියාව උදා වන්නේ නම් එය කෙතරම් වටී ද ?

මේ සියල්ල යට ඇත්තේ දේශපාලනයයි. ඇවා ගාඩ් ද දේශපාලනික ය. තර්කයකින් තොරවම ඇවා ගාඩ් තේමාව ම බැර වන්නේ විපක්ෂයට ය. එහෙත් පුදුමය නම් ඉන් දැන් ක්‍රීඩා කරන්නේ ආණ්ඩු පක්ෂයයි. මේ මොහොතේ එකම ප්‍රතිවාදියා නිශ්ශංක සේනාධිපති ය. ඔහු බිම දැමීම හරහා ඊළග ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ය. ඉන් බිඳ වට්ටන්නට බලාපොරොත්තු වන්නේ වතමන් විපක්ෂයේ භූමිකාව ය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීමක් කළ ගෝඨා හෙළීමේ දී තවත් පැති ගණනාවකට පහර වදිනු ඇත. සැබැවින්ම මේ වගක් විපක්ෂයට දැණෙන බවක්වත් නැත. ඒ තුළ ඇත්තේ කුහක වතය. රටට ආදරය කරනවුන් තේරුම් ගත යුත්තේ මෙයයි. අධිරාජ්‍යවාදීන්ට කත් අදිනු ලබන විජාතික රූකඩ මෙහෙය වෙන්නේ ඒ දෙසට ය.

දැන් ඇවා-ගාඩ් විපක්ෂයේ පළිහ තනි අතට ගෙන ප-රාජිතලාගේ කඩු පහරට තනිව මුහුණ දෙන්නේ නිශ්ශංක සේනාධිපති ය. මේ අර්ථයෙන් ගත් විට ඔහු සැබෑ සේනාධිපතියෙකි. ප-රාජිත සේනාරත්න කප්පම්කාරයෙක් යැයි කිමට ඔහු බිය නැත. අනෙක් අයට ද එසේ මය. වෙලේ විදානේ ගේ පැටිකිරියම දිග හරින්නට ඔහු බිය නැත.

ප්‍රශ්නය නම්, වත්මන් සැබෑ විපක්ෂය කුමක් ද ? යන්නයි. “නිශ්ශංක සේනාධිපතිට ඇති කොඳු නාරටිය තරම් ශක්තිසම්පන්න කොන්දක් ඇති එකෙක් වත්මන් විපක්ෂයෙන් සොයා ගත හැකි නම්....” යන සිතිවිල්ල මේ මොහොතේ නොනැඟෙන්නේ ද ?

සාහිත බිම ශක්ති සම්පන්න වු ඇන්ටන් පවිලොවිච් චෙකොෆ් තරමටම, වත්මන් සිරි ලංකා දේශපාලන බිම නිශ්ශංක සේනාධිපති ශක්තිමත් ය. සැබැවින්ම පණ්ඩක ආණ්ඩුවට වඩා ශක්තිමත් ය. විපක්ෂයේ දෙපිටකාට්ටුවන්ට වඩා ශක්තිමත් ය.

ඇන්ටන් චෙකොෆ් ගැන ලියැවුණු තැනක මෙසේ වෙයි.

“චෙකොෆ් ලංකාවේ ඔරියන්ටල් හෝටලයේ නතරව සිටියදී ‘ගුසෙව්’ (Goussiev) නම් නව කතාව ලිවීම ඇරඹී ය. ඊට ඔහු පෙළඹ වූයේ ඔහු එන විට නැවේදී දුටු දසුනකි. සිංගප්පූරුව සමීපයේදී නැවේම මිය ගිය රෝගී මගීන් දෙදෙනෙක් ගේ මළ සිරුරු මුහුදට වීසි කරන ලදී. ‘රුවල් රෙදි කඩකින් ඔතනු ලැබූ මළ සිරුරු මුහුදට වැටෙනු බලා සිටින කෙනෙකුට ඇති වන්නේ කෙබඳු හැගීමක් ද ? පිනුම් ගසන්නාක් මෙන් මුහුදට වැටෙන මෙම මළ කඳන් පිළිගනු ලබන්නේ මුහුදු පත්ලේ අතිශයින් ගැඹුරු වූ තැනකි. අපත් මැරෙන බව ද අනතුරුව මුහුදට වීසි කරනු ලබන බවද අහේතුකව අපේ හිත්වලට දැනේ යැ’ යි චෙකොෆ් ලිවී ය.මේ හැඟීම ‘ගුසෙව්’ ලිවීමට ද ඔහුට බලපෑවේ ය.”
චෙකොෆ්ට දැණුනු ඒ හැඟීම යුගයුග අගයවත් කෘතියකට පාදක වීය. අද වනවිට මේ දේශපාලන සූදුවේ සිටින කිසිවෙකුත් චෙකොෆ්ට දැණුනු ඒ හැඟීමෙන් පෙළනු ඇද්ද? කාට නැතත් විපක්ෂය යැයි කියා ගන්නන්ට නම් දැණී ඇතිවාට සැක නැත. මුඛවාඩම් ඒ නිසා ය. අව් කණ්ණාඩි ඒ නිසා ය. ඒ මුවාවීමකට වඩා මරණයට ඇති බිය නිසා ය.


- ජනිත් විපුලගුණ -

2015 දෙසැම්බර් 09
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/01/2015

"ගෝඨාභයගේ ලංකා හොස්පිටල් එක රනිල් විකුණනවලු" - බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන අපේ ඇත්තෝ..

කතෘ:යුතුකම     12/01/2015   2 comments
බොරුව සමාජගත කිරීමේ පාපය ගෙවන අපේ ඇත්තෝ..

ලංකා හොස්පිට්ල් ආදී ආයතන ගණනාවක් එක පොකුරට පුද්ගලික අංශයේ පාලනයට නතු කිරීමට රනිල් - රවී වැය-අය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

අනෙක් ආයතන කෙසේ වෙතත්, ලංකා හොස්පිට්ල් පිළිබඳව මා පෙර ඇසූ කතාවක් සමඟ කරුණක් පැහැදිලි කර ගැනීමට මේ සටහන තබන්නට සිතුවෙමි.

2014 වසරේ ජූලි එක් දිනක් මම නාරාහේන්පිට පොල්හේන්ගොඩ සිටින මාගේ මිතුරෙකු හමුවීමට ගියෙමි. මේ මිතුරා නමින් සුමනදාස අබේසිංහ ය. අදටත් ඔහු නාරාහේන්පිට පොල්හේන්ගොඩ හන්දිය පෙනෙන දුරින් කුඩා ව්‍යාපාරයක් කරගෙන කුලී නිවසක වෙසෙයි. මොහු මගේ දිවියේ ඉතා සමීප මිතුරෙකි.
මම ජවිපෙ දේශපාලනයේ පූර්ණකාලීනව නිරතව සිටි සමයේ මාතර පිහිටි ඔහුගේ නිවසින් ඉඳහිට ආහාර ගැනීමට පුරුදුව සිටියේ ය. මාගේ මවගේ පවුලට සමීප නෑ හිතවත්කම් තිබූ ඔහු මට මෙන්ම මාගේ ඇසුරෙන් දැන හඳුනාගෙන සිටි අපේ පක්ෂයේ සහෝදරවරු රැසකට ද ආහාරපාන ආදියෙන් පමණක් නොව ඉඳුම් හිටුම් පවා දීමට ඉදිරිපත් වූ කාලයක් වීය.

පසුව 1989 මැයි මස වන විට පක්ෂයේ නියමය පරිදි මම ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතුවලට අනුයුක්තව ගිය අතර, එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රේමදාස - රංජන් විජේරත්න භීෂණ සමයේ උච්ච අවස්ථාව එළැඹ තිබුණි. අද මෙන් සන්නිවේදන පහසුකම් නොතිබුණු අපට සත්‍ය තොරතුරක් දැනගැනීමට සිදුවන්නේ අදාළ ප්‍ර දේශයෙන්ම පැමිණි කෙනෙකුගෙන් හෝ අප එම ප්‍ර දේශයට ගිය විටකම පමණි. ඇතැම්විට එලෙස යාමට සිදුවන්නේ ද ඉතා රහසිගතව ය.

දිනක් යළි මම සුමනෙ අයියාගේ නිවසට යන්නට යනවිට මට දැන ගන්නට ලැබුණේ මා පිළිබඳව තොරතුරු සොයා පැමිණි හමුදා කණ්ඩායමක් ඔහු කුදලාගෙන ගොස් ඇති බවකි. ඒ වන විට ඔහු මාතර එළියකන්ද වධ කඳවුරේ රඳවා සිටින බවත්, ඔවුන්ගේ නිවැසියන් හා ඥාතීන් මා කෙරෙහි ද වෛරයෙන් පසුවන බවත් අසල්වැසියෙක් මා හට පැවැසූවේ ය. කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ හා දරුවන් මාහට කුමක් පැවැසුවත් මා එම නිවසට ගොඩවිය යුතුය යන සිතිවිල්ල මා තුළ විය. ඒ නිසාම මම රාත්‍රී අඳුරේම ඔහුගේ අක්කාගේ නිවසේ වැටට මා පැමිණි පාපැදිය හේත්තු කොට ගොඩපාරෙන්ම ඔහුගේ නිවසට ළං වුණෙමි. ඒ වනවිට එහි කිසිවෙක් නොවූයෙන් මම යළි ආවෙමි.

මම එනවිට කිසිවෙකු විසින් මාගේ පා පැදිය පාරෙන් එහා පැත්තේ සොහොන්පිටියට ඇද දමා තිබුණි. අසල්වැසි හිතවතුන්ගෙන් සමුගෙන ඉන් සැතපුම් කිහිපයක් නුදුරෙහි රැය පහන් කළ මම යළි ගාලුපාර දිගේ පක්ෂයේ කාර්යයන් සඳහා ගියෙමි. මාගේ පා පැදිය සොහොන් පිටියේ වනලැහැබට දමා ඇත්තේ සුමනෙ අයියාගේ වැඩිමහල් අක්කා බවත් ඇය මට සාප කරමින් ඒ දේ කළ බවත් අසල්වැසි මාගේ හිතවතෙක් පසුව පැවැසීය. ඒ යසවතී අක්කා මෑත දිනයක මිය ගිය අතර මම ඇයගේ මළගමට ද සහභාගීවීමි. මේවනවිට ආරක්ෂක සේවයේ නියුතු ඇයගේ පුත්‍රයා අදත් මගේ මිත්‍ර යෙකි.

මේ සුමනෙ අයියාට එළියකන්ද වධ කඳවරේ දී විඳින්නට වූ ගැහැට ඔහු විසින් මට පවසන්නේ ඉන් වසර දෙකකට පසුව මා සිටි කඳවුරට මා බලන්නට පැමිණි දිනයක දී ය. ඒ වනවිට ඔහු අහුඹු ලෙස දිවිය ආරක්ෂාකරගෙන තිබුණි. එහෙත් මම ඇතුළේ ය. මම රැඳවුම් භාරයට පත්කරන්නේ 1992 මැයි මස 22 වන දිනය. ඒ දක්වා සිදුවූ සියල්ල මෙහි සටහන් නොකිරීමට සදචාරාත්මක අයිතියක් අප සතුව ඇත.

වාමාංශික දේශපාලනය පිළිබඳ උනන්දුවකින් හා දැනුමෙන් හෙබි සුමනේ අයියා මාතර සිට පැමිණ නාරාහේන්පිට තෝරා ගන්නේ එවකට ඔහු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවය කල නිසාය. දැනටත මම කොළඹ පැමිණි විට ආහාර ගන්නට යන්නේ ඔහුගේ සුළු ව්‍යාපාරය වෙත ය. එදා මට කන්නට දී එළියකන්දේ යන්නට වූ සුමනෙ අයියාට ඒවගක් මතකයේ ඇතිවගක් බියක් දුකක් ඇති වගක් නැත.

මේ සුමනෙ අයියා නිරතුරු දේශපාලනයත් සමඟ ගැට ගැසී සිටියත්, යමෙක් හෝ කණ්ඩායමක් විසින් වපුරන අසත්‍යය හමුවේ දැනුම භාවිතයට නොගන්නා තැනකට පත් කරන්නේ යැයි මම අවබෝධකර ගතිමි.

2014 වසරේ පෙර කී දිනක ඔහු මට පවසන්නේ....
“...මල්ලී දන්නවද .... ගෝඨාභය මේ එහා පැත්තෙ තියෙන ලංකා හෙස්පිටල් එකත් අරගෙන. දැන් ඔක්කොම රාජපක්ෂලා සල්ලිවලටම ගන්නව නේද ?“

ඔහු එය මට කීවේ ගෝඨාභය නමට ඔප්පු හිමිකම් ලියනවා ඔහු ඇසින් දුටු ආකාරයට ය. මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී බවක් දනවන ඔහුගේ එක් පුත්‍ර රත්නයක් ද එය සනාත කරමින් තාත්තාගේ කතාවට පොහොර දාන්නට ද වීය. කිසිවක් නොදන්නා මම ඔවුන්ගේ කතාව අසා සිටියා පමණි. මට කියන්නට දෙයක් ඉතිරිව තිබුණේ නැත. ඔවුන්ට මා දන්නා දේ පහදා ද ඵලක් නැත. ඒ තරමට රාජපක්ෂලා සන්තක දේපළ පිළිබඳව රට තුළ මතයක් මුල් අද්දවා තිබුණි.

සැබැවින්ම මම එම කතාව අනුමත නොකළද ඒවනවිට මා දැරූ දේශපාලන ස්ථාවරය අනුව රාජපක්ෂලා සුද්ද කරන්නට ද නොගියෙමි. එක්සත් ජාතික පක්ෂය හා සිවිල් සංවිධාන ජාලය විසින් වපුරන ලද ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍ය්‍ය ආදී කරුණු සමග මගේ මනසේ සමපාත බවක් වීය. එය කුමන්ත්‍රණකාරීව හා අධිරාජ්‍ය ගැතිව බලය ඩැහැගන්නා තත්ත්වයක් බව තේරුම්ගත්වනම මම ඉන් මිදුණෙමි.
ඇමෙරිකාව සහ ඉන්දියාව විසින් වෛරී දේශපාලනික හැඟීමෙන් මුසපත්ව සිටින චන්ද්‍රිකා - මංගල වැනි පිරිස් සමඟ රට උගුලක හෙළන බව දැතගත් වහාම මම ඉන් ඉවත් වීමි. ඒ පිළිබඳ ප්‍රා යෝගිත සාක්ෂි මා සතුව ඇත.

කොසේ වතත්, අද වනවිට ලංකා හොස්පිට්ල් සම්බන්ධව වගකිවයුතු අංශ පවසන්නේ කුමක් දැයි රැවැටුණු ජනයා වටහා ගත යුතු ය.
ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් හෝ තම භුක්තියට ගත් බවට විශ්වාස කළ ජනයා දැන් කුමක් කියන්නේ ද ?

ගෝඨාභය නමට ඇති කිසිවක් රනිල්ට විකිණිය හැකි ද?
2015 ජනවාරි 08 වන දින සිදු වූයේ රට පාවා දීමේ කුමන්ත්‍රණයක් ජය ගැනීමකි. ඒ වෙනුවෙන් අහස පෙළොව නුහූලන බොරු බේගල් කන්දරාවක් ඇද බෑවේ ය. සත්‍යය එය නම් ඒ සත්‍යය සමාජගත කරවන්නට පමා ඇයි..? එය විමල් - දිනේෂ් - ගම්මන්පිල පමණක් සතු වගකීමක් ද ?

මෙහි මා සඳහන් කළ, එළියකන්දෙත් දුක් වින්දා වූ මගේ මිතුරු සුමනෙ අයියාත් රැවැටුණා නම්රටේ අනෙක් සුමනෙලා ගැන කවර කතා ද ?
අවසාන වශයෙන් යහ පාලනයට රැවැටුණු ජනයාගෙන් අසන්නට ඇත්තේ.....
“ඔබගේ පුද්ගලික දේපළ රනිල් විකුණන්නට සූදානම් ය. ඒ වෙනුවෙන් ඔබ කරන්නේ කුමක් ද ?“

-ජනිත් විපුලගුණ-
2015 නොවැම්බර් 30
මාතර දී ය.

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/28/2015

විරුවන් සැමරීමේ විමුක්තිදායක මානසිකත්වය අධිරාජ්‍යවාදීන්ගේ මනදොළ සපුරයි ?

කතෘ:යුතුකම     11/28/2015   No comments
නොවැම්බරය යනු ශ්‍රී ලංකා දේශපාලනයට වැදගත් විරු සැමරුම් දෙකකට පාදක මාසයයි.

විරුවන් සැමරීමේ අර්ථයෙන්, මියගිය හෝ මරාදැමුණු කිසිවෙකුත් ස්මරණයට මම විරුද්ධ නොවෙමි. ඒ තත්ත්වයට පත් වූ මනුෂ්‍ය යෙක් නොව තිරිසන් සත්ත්වයෙකු වුව ස්මරණය කිරීමේ වරදක් මම නොදකිමි. එය ඕනෑම සත්ත්වයෙකුගේ හැකියාවයි. තම පරපුරේ හෝ තමන් හිතෛෂී වූ හෝ එකෙකුගේ වියෝව හමුවේ තැවෙන, වැළපෙන මනුෂ්‍යයින් පමණක් නොව සත්ත්වයින් පවා අපි දැක ඇත්තෙමු. ඒ මගින් ලොවට පෙන්නුම් කරන්නේ ඔවුනොවුන්ගේ සන්තානයයි. මේ අරුතින් ගත් කළ, තම මනසේ යම් ඉඩකට හිමිකම් කියූවෙකු ගේ වියෝව ස්මරණයෙ හි වරදක් නැත. ඊට අවමන් නො කළ යුතු ය. අවහිර නොකළ යුතු ය.

මේ සියල්ල කැටි වන්නේ කුමන භාෂා ව්‍යවහාරයක වුව එකම වදනක් තුළ ය. එය නම් දේශපාලනය යි. දේශපාලනය යන වදනින් තොරව ආහාරයක් ගැනවත් සාකච්ඡාවට බඳුන් කිරීමේ හැකියාවක් නැත. මෙය තවත් කෙටියෙන් පවසන්නේ නම්, දේශපාලනයෙන් තොරව ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේවත් හැකියාවක් නැත.

දේශපාලනය යනු ස්මරණයන්ගෙන් පිරුණු අධ්‍යයන සමූහයකි. එම අධ්‍යයනයන් අනන්තය. ගෙවෙන සෑම තත්පරයක්ම හෙවත් අතීතයට එක්වන්නේ දේශපාලනික නිමේෂයන් ය. ස්මරණයන් ද දේශපාලනික බව දැන් පැහැදිලි ය. වෙනත් වචනවලින් දක්වතොත්, “...ඉතිහාසය මහාර්ඝවනුයේ දේශපාලන විද්‍යාව නිසා ය... ” එමෙන්ම, දේශපාලනයෙන් ඇති සම්බන්ධයෙන් ඉවත් වු වහාම ඉතිහාසය නීරස සාහිත්‍යයක් වන බව හා දේශපාලනය ඉතිහාසය මගින් ඔප් නොනැංවූ කල ග්‍රාම්‍ය ස්වරූපයක් ගන්නා බව ද කියා තිබේ.

ස්මරණය ද අතීතයෙන් උකහා ගන්නා දේශපාලනික ක්‍රියාවකි. ස්මරණය සුබවාදී දේ කෙරෙහි මෙන්ම අසුබවාදී දේ කෙරෙහිද විය හැකිව තිබේ. උදාහරණයක් ලෙස යුද ස්මරණ හැඳින්විය හැක. යුද්ධය යන වදනම අමිහිරිය. යුද්ධය බිහිසුණු ය. යුද මතකයන් වුව අමිහිරි ය. සුන්දර යුද්ධ ලොව කෙතැනකවත් තිබිය නොහැක.

මෙය යම් සමාජ ස්ථරයක අගැයීමට ලක්වන විටම දෝෂාරෝපණයට බඳුන් වන්නේ නම් එය විමසුමට ලක් කළ යුතු කරුණකි. මේ විමසුම කෙබඳු විය යුතු ද ? එයම පැනකි.

මිනිසාගේ හැසිරීමේ හොඳ-නරක හා මිනිසා ක්‍රියා කරන්නේ කවර පරමාර්ථයෙන් ද යන්න පිළිබඳවත් විමසුමට ලක් කෙරෙන විද්‍යාත්මක පසුබිමක් වෙයි. මෙය අතීතයේ දී හැඳින්වූයේ ආචාර විද්‍යාව ලෙස ය. සදාචාරාත්මකව කටයුතු කිරීමට කෙනෙකු බැඳෙන්නේ කුමක් මත පිහිටා ද ? නිවැරදි ක්‍රියාව යන්නෙන් අප අදහස් කරන්නේ කුමක්ද ? වැරදි ක්‍රියාවක් හා නිවැරදි ක්‍රියාවක් හඳුනාගන්නේ කෙසේ ද ? ආචාර විද්‍යාව පිළිතුරු සපයන ප්‍රශ්න සමහරකි.

දේශපාලන චින්තකයන් ට අනුව රාජ්‍ය යේ අරමුණ සදාචාරාත්මක වටිනාකමින් යුක්ත විය යුතු ය. ඇරිස්ටෝටල්ට අනුව, ජීවිතය නිසා රාජ්‍යය ඇතිවන අතර, එය රඳා පවතින්නේ යහපත් ජීවිතය සඳහා ය. මෙය පවත්වා ගැනීමට නම්, රාජ්‍යය ප්‍රගතිගාමී ලෙස මිනිසාගේ මුලික අයිතිවාසිකම් පිළිගෙන ආරක්ෂා කළ යුතුය. යම් හෙයකින් රාජ්‍යය පුද්ගලයා සතු මෙම මූලික අයිතිවාසිකම් පිළිනොගන්නේ නම් පුද්ගලයාට රාජ්‍ය සහයෝගීතා වර්ජනය කිරීමට හෝ රාජ්‍යයට විරුද්ධව නැගීසිටීමට හෝ සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ සමාජය තුල රාජ්‍යයට විරුද්ධව නැගී සිටි අවස්ථා ගණනාවක් ලිඛිත ඉතිහාසයෙහි වෙයි. ස්වදේශීය බල අධිකාරයේ පංගුකාරීත්වය උදෙසා මෙන්ම, විදෙස් ආධිපත්‍යයට හෙවත් අධිරාජ්‍යවාදයට එරෙහිවද ඈත අතීතයේ ශ්‍රී ලංකාව තුල අරගල තිබී ඇත. යටත්විජිතවාදයට එරෙහි අරගලය සුහද බෙදාහදා ගැනීමකින් කෙළවර වූ බවක් සංකේතවත් කරන දිනය වන්නේ 1948 පබරවාරි 04 වන දින යි. එහෙත් එහි නෛතික බැඳීම් තව දුරටත් පැවැති හෙයින් එය අහෝසි කිරීමට වෙර දැරූ ව්‍යවස්ථාමය සැකිල්ලක් ක්‍රියාත්මක වන්නේ 1972 මැයි මස 22 වන දින සිට ය.

සෑම පසෙකින්ම මුහුදෙන් වට වට වූ දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත වීමට නම් දියුණු ලොව සම්බන්ධතා නිසි කළමනාකරණයකට ලක්කර ගත යුතු වෙයි. කාර්මික විප්ලවයෙන් අනතුරුව, තාක්ෂණික හා විශ්ව කේන්ද්‍රීය විප්ලවය ලොව සන්නිවේදනයේ දැවැන්ත විපර්යාස අත්පත් කර ගන්නට වීය. එහෙත් ඊට පිය තබන්නට පෙර සිටම ශ්‍රී ලාංකේය සමාජයේ දේශපාලනික කණ්ඩායම් සන්නද්ධ අරගල මාවතට පිළිපන්හ. 1953 හර්තාලය ගොඩින් බේරාගැනීමට සමත් වුව ද, 1971 දී ජනතා විමුක්ති පෙරමුණේ සන්නනද්ධ කැරැල්ල, වෙස්ට්මිනිස්ටර් පාලන ක්‍රමයේ ජනප්‍රිය ආණ්ඩුවකට එල්ල කළ අතුල් පහරක් ලෙස නවමු අද්දැකීම් ගෙන ආවේ ය. ඉන් අනතුරුව සෑම අප්‍රේල් 05 වන දිනක්ම ජනතා විමුක්ති පෙරමුණ අප්‍රේල් විරුවන් සැමරුමට සූදානම් වන දිනයක් ලෙසට පත් වීය. ඔවුන්ට අනුව රාජ්‍යයට එරෙහි සටනේ දී මළ තම සාමාජිකත්වය වීරත්වයෙහි ළා සලකති.

උතුරේ සන්නද්ධ නැගිටීමේ සංඛේතාත්මක ආරම්භයක් ලෙස දැක්විය හැකි, යාපනයේ හිටපු නගරාධිපති ඇල්‍ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය සිදුවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ලෙන් වසරක් ගිය විටය. එය පසුකාලිනව වර්ධනය වන්නේ ජවිපෙ සන්නද්ධ අරගලයේ අරමුණුවලට වඩා හාත්පසින්ම වෙනස් අරමුණු මුල් කර ගෙනය. හුදෙක් එය ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍ය සංකල්පයක් ලෙස ලොව හමුවේම ප්‍රකට වීය. ප්‍රභාකරන්ගේ දෙමළ ඊළාම් කොටි සංවිධානයේ මුඛ්‍ය අරමුණ වෙනම රාජ්‍යයක්ම වීය. ඒ වෙනුවෙන් ඔවුනට පක්ෂව වූ විදෙස් මැදිහත්වීම් අපමණ ය. එය ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් වසර හයක් ඉක්ම ගිය අද (2015 නොවැම්බර්) දක්වාම පැහැදිලි ක්‍රියාන්විතයකි. මේ තත්ත්වයද විද්‍යාත්මක දේශපාලනයෙන් උගනිමු.

“...ඇරිස්ටෝටල් දක්වන පරිදි පැළෑටි, සත්ත්වයින්, උපකරණ ආදියට මෙන්ම රාජ්‍යයන්ට ද ඒවායේ ප්‍රමාණය පිළිබඳව සීමාවක් තිබිය යුතු ය. ඒවා කිසිවක් අතිශයින් කුඩා වූ කල් හි හෝ අතිශයින් විශාල වූ කල් හි ස්වභාවික බලය රඳාගත නොහැකි වීම නිසා ඒවායේ නැතිවීමක් හෝ කැළැල්වීමක් සිදුවෙයි. නිදසුනක් ලෙස, බඹයක දිගකින් යුතු යාත්‍රාවක් නැවක් ලෙස නොගත යුත්තේ ය. සැතපුම් කාලක් දිග නැවක් ද එසේම ය. එහෙත් යම්කිසි ප්‍රමාණයක දිග් වූ හෝ කුඩා වූ නැව් තිබිය හැක. ඒවා යාත්‍රා කිරීමද නුසුදුසු ය.

එමෙන්ම රාජ්‍යයක් බොහෝ කුඩා වුවහොත් එහි රාජ්‍යයකට අවශ්‍ය ගුණාංගයක් වන ස්වයංපෝෂිත බවක් ඇතිවිය නො හැක. බොහෝ විශාල සංඛ්‍යාවකින් යුතු කල් හි ද ස්වයංපෝෂිත වුවත් පාලනයේ දුෂ්කරතා ඇතිවිය හැක. රාජ්‍යය කුඩා වුවහොත් ආරක්ෂා රහිත ය. එවන් රාජ්‍ය බලවත් යැයි සලකන රාජ්‍යයන්ගේ ගොදුරු වීමේ තර්ජනයෙන් පෙළෙනු ඇත....”

දියුණුවෙමින් පවතින ආසියානු කලාපයේ මර්මස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවට මේ න්‍යායාත්මක පැහැදිලි කිරීම මනාව ගැලපෙන බව දැන් සුපැහැදිලිය. කුඩා දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව බෙදුම්වාදය පරාජයට පත් කළ යුත්තේ එ බැවිනි. මේ ආකාරයට බෙදුම්වාදය පැහැදිලි කරගන්නවා මිස දමිළ විමුක්ති අරගලයේ කොටසක් හෝ එයම ලෙස විග්‍රහ කර ගැනීම අනුවණ කමකි.

රාජ්‍යයක් තුළ පවත්නා විවිධ ප්‍රවණතා දඩමීමා කර ගනිමින් යම් රටක් යටත් කරගන්නට ඊට වඩා බලවත් රාජ්‍යයන් පොර බදිති. අනාදිමත් කාලයක එය සිදු වූ සේම, දැනුදු ලොව පුරා එය සිදුවෙමින් පවතී. ප්‍රමාණයෙන් කුඩා වුවද ආර්ථික, සමාජයීය දේශපාලන ස්ථාවරයක් ඇති රාජ්‍ය පහසුවෙන් යටත් කරගැනීමට බලවත් රාජ්‍යයන්ට නො හැකි වූ අවස්ථාද පවතී. කියුබාව ඊට උදාහරණයකි. ඒ සුවි‍ශේෂී දේශපාලනික හා කලාපීය භූගෝලීය සාධක මත බවත් අමතක නොකළ යුතු ය.

“කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්දනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී, තරුණ ගැටවරයන්ගේ බොළඳ ක්‍රියාවක් නිසා බව කියුබානු ඉතිහාසයේ ඇතැම් තන්හි ද සඳහන් ය. එහෙත් එහි පරමාර්ථ කැපවීම හා අවංකත්වය යන ගුණාංගයන් විසින් ද එයින් ලැබූ අත්දැකීම් හා විප්ලවීය පෞරුෂය ද යන සියල්ල හේතුවෙන් ෆිදෙල් කැස්ත්‍රෝට පසුව කියුබානු විප්ලවය යන නාමය කියුබානු ඉතිහාසයට එකතු කිරීමට හැකි වූ නිසාවෙන් මොන්කාඩා ප්‍රහාරය යනු කියුබානු විප්ලවයේ මාතාව (mother of Cuban revolution) බවට පත්ව ඇත. ”

අප්‍රේල් විරුවන්, ඉල්මහ විරුවන් සේ ම, මහ විරු දිනය සැමරීමට ඒ ඒ සංවිධානවලට අවකාශ උදාවූයේ ලංකාවේ ආණ්ඩුවල සහ ඒ ආණ්ඩු කර වූ පක්ෂවල වැරදි නිසාය. ආණ්ඩුවලට බාහිර සංවිධානයන් ද ඊට වගකිව යුතු ය. ඈත-මෑත ඉතිහාසය ඊට දෙස් දෙයි.

අනගාරික ධර්මපාලතුමා ජාතික ආගමික ප්‍ර බෝධය කුළුගන්වමින් ව්‍යාපාරයක්දියත් කළේය. එහෙත් ඊට එරෙහි බලවේගයන් ධර්මපාලතුමන්ට ශ්‍රී ලංකාවේ වාසය කිරීමද එපා කරවන තැනට වැඩ සැළැස්වීය. අධිරාජ්‍යවාදයට එරෙහිව ටිබෙට් ජාතික සිකීමයේ මහින්ද හිමියන්ගේ පබැඳුමෙන් ඔද වැඩුණු ජාතියක කොටසක් හෝ අනගාරික ධර්මපාලතුමන්ට එරෙහි වන්නේ ඇයිද යන්න තවමත් නොවිසඳුණු ගැටළුවකි. අධිරාජ්‍යගැති පසුගාමී මානසිකත්වයට වහල්වීම ඊට හේතුවක් විය හැකිය.

මෑත දේශපාලන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ ද අධිරාජ්‍ය ගැති නායකත්වයන්ට එරෙහිව කැරැලි ඇති නොවූ වා යැයි කිව නොහැක. සියයට සියයක්ම මේ පක්ෂ තුළ ක්‍රියාත්මක වු රැඩිකල් කණ්ඩායම් හි මතය අධිරාජ්‍යගැති භාවයෙන් මිදුණු බවක් සනාථ කළ නොහැකි හෝ පිළිගත නොහැකි වුවත්, එම රැඩිකල් කණ්ඩායම් ඒ ඒ අවස්ථාවල ඒ ඒ පක්ෂතුළ ජයගත්තානම් සාපේක්ෂව රටට සුබදායක ප්‍රතිඵල ගෙන දෙන්නට ඉඩ තිබුණි.

රනිල් වික්‍රමසිංහට එරෙහිව කරුණාරත්න ජයසූරිය සහ ශිරාල් ලක්තිලක කණ්ඩායම ගැසූ කැරැල්ල ජය ගත්තේ නම්, එම පක්ෂයේ හැසිරීම මීට වඩා වෙනස් වන්නට ඉඩ නොතිබුණා යැයි කිව නො හැක. “යළි පුබුදමු ශ්‍රී ලංකා” වැනි ආර්ථික සැලසුම්වලට වඩා දුරදිග ගිය යටි අරමුණුවලින් ගහන වූ රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට වඩා කරූ ජයසූරිය වෙනස් කර ගත හැකිව තිබුණි.

කුමන්ත්‍රණකාරී ලෙස දින සියයකට ආණ්ඩුවක් අටවා ගත් රනිල් වික්‍රමසිංහ, මාස අටකට පසු යළිත් වතාවක් කුමන්ත්‍රණකාරීවම බහුතර බලයක් ව්‍යවස්ථාදායකයේ රඳවා ගන්නේ නරක ආදර්ශ රැසක් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එකතු කරමිනි. අරමුණ සුබවාදීනම් බලය මේ ආකරයටම වුව කම් නැතත් ගැටළුව ඇත්තේ එම බලය උපයෝගී කරගෙන කරනු ලබන කාර්යයේ ය.

ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇති වූයේ එක්සත් ජාතික පක්ෂය තුළ වූ කරැල්ලට සමාන එකක් නො වූවත්, අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම අතට බලය හුවමාරුවීමට වඩා කුමාර් ගුණරත්නම් ගේ කණ්ඩායමට බලය ගියා නම් ඇති විය හැකිව තුබූ තත්ත්වය දැන් ඇස් පනාපිටම රඟ දැක්වෙමින් තිබේ. පෙර සූදානමකින් යුතුව ප්‍රශ්න අසන හා ප්‍රශ්නවලට පිළිතුරු දෙන අනුර සහ රනිල් පාර්ලිමේන්තුවේ දී දකින විට සිනහ නොඉපදෙන්නේ දේශපාලනික කා හට ද ? ඒ ප්‍රදර්ශනාත්මක තලයයි. පැහැදිලිව දර්ශනය නොවන ජුගුප්සාජනක දේ රනිල්ගේ එජාපය හා අනුරගේ ජවිපෙය අතර සිදුවෙමින් පවතී. එය ඉතා නිවැරදිව වචන තුනකින් ලොවටම කීවේ ජනතා විමුක්ති පෙරමුණට පුනරුත්පත්තිය ලබා දුන් එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ යි. ඔහු අනුර කුමාර හැඳින්වූයේ “රතු අලිපැටියා ” ලෙස ය.

මේ අනුව සැබෑ දේශප්‍රේමී බලවේගයක කොටස්කරුවන් අතීත විරුවන් සැමරීම හා අනෙකාගේ සැමරුම් අතර පරස්පරයක් ඇති බව පැහැදිලිය. අධිරාජ්‍යවාදයේ වුවමනා ඉටු කරන විරු සැමරුමකින් තොරව, සැබෑ ලෙසම ජාතිකවාදීන්ගේ විරු සැමරුමක කොටස්කරුවෙක් වූවා නම් කෙතරම් අගේවත් දැයි සිතන්නට කාලයයි.

-ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 28

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/12/2015

ශ්‍රී ලංකාවේ වාම විප්ලවවාදීන්ගෙන් අධිරාජ්‍යවාදීන්ට මාර පණක්

කතෘ:යුතුකම     11/12/2015   No comments
ධනවාදයට, අධිරාජ්‍යවාදයට එරෙහිව හා සමාජවාදී ශ්‍රී ලංකාවක් උදෙසා විප්ලවීය ව්‍යාපාරයක් ගොඩනගන්නට තම සියලු දේ කැප කරන්නේ රෝහණ විජේවීර ය.

එපමණක් නොව ඔහු එකවර සමාන්තර දේශපාලන ක්‍රියාවලි දෙකකට පණ දුන්නේ ය. එතෙක් පැවැති සභාග වමට හා ඒ වනවිට හඳුනාගෙන සිටි ධනේෂ්වරයට එරෙහි විප්ලවීය වමක් නිර්මාණය කිරීමට ඔහු සමත් වීය. එය පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලෙස ජන ගත වීය. එය, එකක් නොව දෙකක් කැරලි ගැසූවේ සමාජ සාධාරණත්වය උදෙසා ය. ජේ. ආර් ගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය දෝරගලා ගිය, කළගෙඩි-ලාම්පු සෙල්ලමෙන් අනතුරුව, කාලීනව සාධනීය මතවාදයකින් යුතුව දේශප්‍රේමී දේශපාලන මාවතට පිළිපන් ජනතා විමුක්ති පෙරමුණ කැලයට තල්ලු කිරීමට ජේ. ආර් ගත් තීරණයට එදා විපක්ෂයේ සිටි ධනේෂ්වරයේ අතකොළු ද ආශීර්වාද කළෝ ය.

ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට මාන බලමින් සිටි ජේ. ආර්, වරෙක ජනතා විමුක්ති පෙරමුණ හැඳින්වූයේ “සර්පයෙක්” ලෙස ය. ජනතා විමුක්ති පෙරමුණ සර්පයෙක් යන මතය බහුතර ජනමනස්ගත කිරීම කෙසේ වෙතත්, තම පාක්ෂිකයා කෙරෙහි මතයක් නිෂ්පාදනය කිරීමට මැනැවින් යොදා ගත්තේ ද යන්න විමසන කල්හි එය නිර්මාණශීලී ය. අන් දේශපාලකයින්ගෙන් බැහැර වූ වාග් උච්චාරණයෙන් යුතු ජේ. ආර්. ගේ හඬ ගැඹුරු ය. රනිල් වික්‍රමසිංහගේ එලොවටත් නැති මෙලොවටත් නැති වචන හා නපුංසක හඬට සේ නොව, විරුද්ධවාදියෙක් වුව සෝපාහාසයෙන් යුතුව ජේ. ආර් ට සවන් දුන් බවක් දැණුනි.

“ඔන්න ඔබේ පුටුව යට සරුපයෙක් ඉන්නවා... එහෙම නම් අපි කොරාන්ඩ ඕනෑ මොනොවාද....?” ජේ. ආර්. සභාවෙන් විමසන්නේ ය.

සරුපයෙක් පිළිබඳ චිත්ත රූප සිතෙහි ඇඳ ගත් ජේ. ආර්. ට සවන්දෙන්නා පිළිතුරක් දීමට මැළි නොවන්නේ ය.

“සරුපයාට තමුන්නාන්සේලා මොනොවාද කොරාන්නේ...?” ජේ. ආර්.පැහැදිලිව විමසන්නේ ය.

“මරනවා...” ජේ. ආර් ට අවැසි පිළිතුර සභාවෙන් ලැබෙන්නේ ය.

“ඔව්.. සරුපයා මරන්ඩ ඕනෑ.... ජනත විමුක්ති පෙරමුණ කියන්නෙත් මිත්‍රවරුනි... සරුපයෙක්”

ජේ. ආර්. කිසි විටෙකත් ජනතා විමුක්ති පෙරමුණ යනුවෙන් පැහැදිලිව සිංහලෙන් කීවේ නැත. ඔහු කැඩුණු සිංහලෙන් කීවේ ජනත විමුක්ති පෙරමුණ කියා ය. සමහර අවස්ථාවල, ජනත විමුක්ති පක්ෂය කියා ය. (ජනතා නොව, එනම් ජනතා යන්නෙහි, තා අකුරෙහි ඇලපිල්ල දීර්ඝව උච්චාරණය නො කළේ ය.)

ජේ. ආර්. කිසි විටෙකත් රෝහණ විජේවීර යනුවෙන් පැහැදිලිව සිංහලෙන් කීවේ නැත. ඔහු කීවේ, රෝහාන් විජෙවීර කියා ය.

ඒ ආකාරයටම ජේ. ආර්. කිසි විටෙකත් රෝහාන් විජේවීර හෝ ජවිප සාමාජිකයින් හෝ මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධියේ කීවේ නැත. එහෙත් 1982 සිටම ඒ දෙය ඒ ආකාරයටම සිදු වි ය.

ඒවන විට, වත්මන් අගමැති රනිල්, ජේ. ආර් ගේ සුවච කීකරු සිහින කුමරා ලෙස වගකිවයුතු ඇමතිවරයෙකි. එදා ඒ ඇමතිධූර දරමින් ජේ. ආර් ගේ සිතැඟි ඉටු කිරීමට රනිල් ගත් පියවර අදත් ඔහුගේ දීප්තිමත් ඉතිහාසය ලෙස ඔවුන් විසින්ම වර ගනමින් සිටී.(එහි තවත් එක් පැතිකඩක් නිරාවරණය කරමින්, “බටලන්ද වධකාර කොමිසම“ රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටද නිර්දේශ කරන්නේ ය.)

අවසානයේ සිය සාමාජිකයින් හෝ හිතවතුන් ලක්ෂ ගණනින් වධයට ලක් වන විට, හැට දහසක් සාක්ෂි සහිත මරා දැමීම් අතර රෝහණ විජේවීර ද මරා දැමීමට, ජේ. ආර්. ගේ අනුප්‍රාප්තිකයාගේ පාලනය ක්‍රියා කළේ ය. රණසිංහ ප්‍රේමදාස ගේ එක්සත් ජාතික පක්ෂ පාලනය ලක් දරුවන් එසේ මරා දමා, ප්‍රේමදාස ගේ අත්වල ගෑවුණු ලේ පිස දැමීමට මානසික මෙහෙයුමක් ද දියත් කළේ ය. ඉන් කියැවුණේ, විජේවීර මරා දැමීමට ප්‍රේමදාස අකමැති වූ බවත්, විජේවීර, ප්‍රේමදාස ට මුණ නොගස්වාම මරා දැමීමට රන්ජන් විජේරත්න ක්‍රියාත්මක වී ඇති බවත් ය.


ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ අති බහුතරය මරා දැමූ පසු එවකට ඇමතිවරයෙක් වූ රන්ජන් විජේරත්න විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, “මැච් එක ඉවරයි” යනුවෙනි.

මේ සියල්ල සිදුවන්නේ විධායක ජනාධිපතිවරයෙක් යටතේ ය. එම විධායකය ඒකාධිපතියෙක් බව පක්ෂ විපක්ෂ භේදයකින් තොරවම මොර දුන්නේ ය. තවමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් ඇට වූ ඒකාධිපති විධායක ජනාධිපති උගුල ය. ඊට ආරෝපණය කර තිබූ විධි විධාන කිහිපයක් සරල වූවා මිස ඒ විධායක ක්‍රමයේ සමස්තය තවමත් එසේම ය.

එලෙස සංශෝධනයට ලක් කළ විධායක බලය තමන් වෙත ආරෝපණය කර ගනිමින්, මහ බැංකුවේ බැඳුම්කර වංචාව රටට අමතක කරවන්නේ එම ජේ. ආර්. ගේ බෑනා ය. මූල්‍ය අපරාධ කොට්ඨාසයක් හිතුමතේට කඩිමුඩියේ පිහිටුවා, විරුද්ධවාදීන් දඩයම් කරන්නේ එම ජේ. ආර්. ගේ බෑනා ය. තමන්ගේ පැවැත්මට අණ්ඩු හදාගන්නට, අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට අර්තකථන ලබා දෙමින් ව්‍යවස්ථාදායකය හිරිවට්ටන්නේ ද එම ජේ. ආර්. ගේ බෑනා ය. නංගී පෙන්නා අක්කා දුන්නා සේ, 20 පෙන්නා 19 සම්මත කර ගත් එම ජේ. ආර්. ගේ බෑනා මේ වනවිට ඊට අදාළව, රටම රවටා හමාර ය.


(2002 දී විධායකයට ද කොකා පෙන්වමින් වේළුපිල්ලෛ පිරභාහරන් ගේ බලහත්කාරයට දේශීයව මෙන්ම විදේශීයවද නිල පිළිගැනීමක් ලබා දෙමිනි ගිවිසුමක් අස්සන් කරන්නේ ද එම ජේ. ආර්. ගේ බෑනා ය.)

වත්මනෙහි, රට අභ්‍යන්තරයේ මේ ආකාරයට මහා අපරාධ සිදු වෙද්දී, යහ පාලනය නමින් වන ජේ. ආර්. ගේ බෑනාගේ හවුල්කාර පාලනය, ජාත්‍යන්තරය හමුවේ ද රට පාවා දෙමින් සිටී. මේ මහා අපරාධයට, තවත් පාර්ශව කිහිපයක ආශීර්වාදය හිමිවන්නේ සිහිනයකින්වත් නොපතන පරිද්දෙනි.

අතීතයේ දෙවතාවක් මහා විනාශයකට ලක්වන ජනතා විමුක්ති පෙරමුණ, ජ්. ආර්. ගේ බෑනාගේ වුවමනාවන් ඉටු කරන තැනකට පත් වී, තම පක්ෂය වෙනුවෙන් වධයට ලක් වූ හා දිවි පිදූ ලක්ෂ සංඛ්‍යාත සාමාජික සාමාජිකාවන් ද නිහීන ලෙස පාවා දෙනු ඇතැයි නුවණැත්තෝ සිහිනයකවත් නොපතති. එහෙත් එය මිහිමත සිදුවෙමින් පවතී. ඒ වෙනුවෙන් රටම නිර්වින්දනය කරවන්නට වෙර දරන මාතෘකා ද සමාජ ගතකිරීමට වත්මන් ජනතා විමුක්ති පෙරමුණ ඉතිරි වී ඇති සියල්ල දන් දෙමින් සිටි. එය දාන පාරමිතාවක් නොව, පාපී හා වෛරී ආනිශංස ඵලදීමක් බව රට හඳුනාගත යුතු නිමේෂය එළැඹී ඇත.

ව්‍යවස්ථා විරෝධී මේන්ම සදාචාර විරෝධී ක්‍රියා රැසක් ගෙවුණු මේ එකොළොස් මාසය තුළ සිදු වීය. ආර්ථිකයේ දරුණු කඩා වැටීම් ය. රටේ ස්වෛරීත්වයට එල්ල වූ අනිසි බලපෑම් ඉහළය. සේවා ආයතන තුළ දේශපාලන පළිගැනීම් මෙන්ම නුසුදුස්සන් පත් කිරීම් බහුල ය. ව්‍යාපාර හා ව්‍යාපෘති සිය ගණනින් ඇණහිට ය. රාජ්‍ය යේ ආරක්ෂාව ද අනතුරේ ය. මේවාට වගකිව යුතු පාලක හැත්තේ හෙවත් බල අධිකාරියේ පත්වීම්ද විකෘති සහගත ය.

මේ සත්‍යය අමතක කරලීමටත්, සමාජයෙන් වසන් කිරීමටත් අවශේෂ මාතෘකා රංගනයට අවස්ථා උදාකර දී තිබේ. එහි පිටපත ජේ. ආර්. ගේ බෑනා වූ අගමැති රනිල් ගේ ය. අධ්‍යක්ෂණයෙන් පමණක් නොව රංගනයෙන් ද දායකත්වය සපයන්නේ, ජේ. ආර් ට හිසරදයක් වූ, ප්‍රේමදාස විසින් නායකයාගේ සිට දස දහස් ගණනින් සාමාජිකත්වය මරා දැමූ ජනතා විමුක්ති පෙරමුණ යි.

මැතිවරණයට පෙර මේ ආදී නාටක කිහිපයක් රඟ දැක්වීය. “හයි වේ-රන් වේ”, “ලැම්බෝගිනි”, “රත්තරං අශ්වයෝ”, “හෙළිකොප්ටර් හතර” ඒ අතරින් කිහිපයකි.

මේ වනවිට අති සාර්ථක ලෙස රඟ දැක්වෙනුයේ “ඇවන්ගාර්ඩ්-මඩ්ජ්ගාර්ඩ්” ය.

එක්සත් ජාතික පක්ෂ රජයක් විසින් යළි යළිත් රට විනාශය කරා රැගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබියදීත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් මේ ආකාරයට කටයුතු කිරීමම වර්තමානයේ සමාජ ඛේදාන්තයකට දීමට හැකි උදාහරණයයි.

එක්සත් ජාතික පක්ෂය විසින් තම නායකයා ඇතුළු ලක්ෂයකට ආසන්න අනුගාමිකයින් හෝ සාමාජිකයින් මරා දැමීම පිළිබඳ 26 වන සැමරුම මුව විට වන විට ජවිපෙ හෘද සාක්ෂිය ප්‍රශ්න කරන තැනක නතර වී තිබේ.

“නුඹලා... ගිය වර, එනම්, 2014 වසරේ ඉල් මහේ සැමරනු ලැබුවේ, එළියකන්දේ, සූරියකන්දේ සිට බටලන්ද දක්වා හෝ උලපනේ, බණ්ඩාරගම සිට බොරැල්ල කනත්ත දක්වා හෝ අවසන් කළ තරඟ ජයග්‍රහණයක රිදී ජුබිලිය ද ? ”

- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 11 මාතර දී.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook
https://www.facebook.com/yuthukama

11/08/2015

මෙතරම් ඉක්මනින් සෝභිත හිමි අපවත් කළෝ කවුරුහුද ?

කතෘ:යුතුකම     11/08/2015   3 comments
මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත් වූහ. උන්වහන්සේ අපවත්වූයේ නොසිතූ කලක ය. එනම්, තව බොහෝකල් වැඩ වසන බවට තරම් විශ්වාසයක් සැමට තිබූ උන්වහන්සේ ඉක්මනින්නම අපවත් වූහ. මෙතරම් ඉක්මනින් අපවත් විය හැකි බවට රෝ පීඩා, උන්වහන්සේ ග්‍රහණයට ගැනීමට තරම් ශාරීරිකව මෙන්ම මානසිකව ද උන්වහන්සේ අබල දුබල වන්නට භෞතික සාධක රැසක් බලපැවැත්විය යුතු ය.

රෝග පීඩාවන්ට අමතරව, සෝභිත හිමියන් අසරණව සිටි කාලයක් තිබුණි. ඈත මෙන්ම මෑත ද උන්වහන්සේ අසරණ කරන්නට හෝ නිහඬ කරන්නට වෙර හා දැරූ තැත්ද අපමණ ය. මෑත ඉතිහාසයට අදාළව, දැන් ජනප්‍රිය “සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය“ ගොඩනඟන අවස්ථාවේ උන්වහන්සේට කෙනෙහිලිකම් කළ අය බොහොමයක් සිටියෝ ය. අද සිට තව දින කිහිපයක් යනතුරු සෝභිත හිමි වෙනුවෙන් සෙම් සොටු පෙරන හා කහ කොඩි ඔසවන බොහෝ දෙනා නිවැරදිවම නොදන්නවාට, එම ව්‍යාපාරය කඩාකප්පල් කරමින් සෝභිතහිමිට එරෙහිව ප්‍රබලව කටයුතු කළෝ අද වනවිට අභව්‍ය ලෙස යෙහෙන් වැජඹෙමින් සිටින්නෝ ය. දෛවය සරදම් කරනවා කීවාට මෙතැන දී දෛවයේ සරදම ආශීර්වාදයක් කරගත්තෝ උන්වහන්සේට කෙණෙහිලිකම් කළෝ වෙති.

විවිධ මාතෘකා කරළියට ගෙන එමින් සමාජ කතිවතක් ඇතිකොට, පැවැති රජය දරුණු විවේචනයකට බඳුන් කරමින් කටයුතු කිරීම නිසා සෝභිති හිමි චරිතයට පැවැති රජයෙන් අගතියක් සිදු වූවාද යන සැකය සමාජ ගතවීම ද මීට සමගාමීව යම් සාධනීය බවක් දනවයි. සැබැවින්ම එය එසේ නොවේ.

මෑත ඉතිහාසයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට අවහිර කළෝ, මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හෝ හිටපු ආණ්ඩුව නොවේ. තවකෙකුගේ දෛවයේ සරදම ආපිට පෙරළෙන ආශීර්වාදයක් කරගන්නට ඇතැමුන් සමත් බව පෙර සඳහන් කළේ එබැවිනි. මෙයට අදාළව බොහෝ දෙනෙක් නොදන්නා මෑත ඉතිහාසය සැකෙවින් මතක් කිරීමට සිදුවෙයි.

සෝභිත හිමියන්ගේ කැඳවුම්කාරත්වයෙන් යුතුව ගොඩනැඟූ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය“ ආරම්භවීම සම්බන්ධව ද අද සිට දින කිහිපයක් යනතුරු අපූරු ඉතිහාස කතා ද බොහෝ තැන්වල ලියැවෙනු ඇත. ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය පවා විකෘති කරන ආකාරයටම මෙහි ඉතිහාස කතාව ද වැරදියට ලියන බව දැනටමත් සනාතය. නොසිතූ මෙහොතක දැඩිව රෝගාතුරවී ඉක්මනින් අපවත්වීමට කරුණු යෙදීම තුළ සෝභිත හිමියන්ට මෑත එල්ල වූ බලපෑම් සමහරක් සහ ක්‍රියාකාරීත්වයේ පැතිකඩක් නිරාවරණය කිරීම වැදගත් ය.

“සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය” වැනි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පළමු සාකච්ඡා 2010 වසරේ පවත්වන්නේ රාජගිරිය, වැලිකඩවත්ත පාරේ පිහිටි නිතීඥ ශිරාල් ලක්තිලක ගේ දේශපාලන කාර්යාලයේ ය. සැබැවින්ම ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය හා මුදල් ද වැය කරනුයේ ශිරාල් ය.ඒ සමගම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ය.

සැබැවින්ම දේශපාලන සත්ත්වයෙක් වූ ශිරාල් අද සිටින ආස්ථානයන් පිළිබඳව ඇතැමුන්ට මතයක් තිබිය හැක. වත්මන් සමාජයේ ඇතැමුන් පුද්ගල චරිත පිළිබඳව පෙර සිට ඇඳගන්නා චිත්‍රයක් ඇත. ඒ අනුව එය මෙම ලියුම්කරු සම්බන්ධවද සමහරුන් තුල තිබිය හැක. ශිරාල් ට හෝ සෝභිත හිමිට හෝ අදාළව සමාජය තුළ එවැන්නක් තිබිය හැක. එය දුර්වල හා නොගැළපෙන මතයකි. එය අදේශපාලනික ය. තමන් දරන ස්ථාවරය හෝ උගත් දේශපාලනික-අධ්‍යාපනික මට්ටම් මත ඕනෑම පුද්ගලයෙකුට වෙනස් විය හැකිය. ප්‍රගමණික සමාජයක් බිහිවීම සඳහා එම වෙනස්වීම් සදාචාරාත්මකව ප්‍රශ්න කළ හැක. සමාජයක් තුළ එම හැකියාව තිබිය යුතුය. එම වෙනස්වීම දරා ගැනීමට හෝ විවේචනය කිරීමට හෝ නොහැකි අවකාශයක් සමාජයක ගොඩනැගෙන්නේ නම් එවන් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නොවන බව ඒත්තු යයි.
කෙසේ වෙතත්, “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බිහිවීමේ පළමු සාකච්ඡාවේ සිටම එය 2014 මැදභාගය දක්වා කටයුතු කළේ යෝජනාවලියක් සමාජ ගත කරවීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි. එම යෝජනාවලිය පැවැති රජයට මෙන්ම විපක්ෂයට ද විවෘත වූවක් වීය. නො එසේව එය මහින්ද විරෝධී යෝජනාවලියක් නොවුණි.

රාජ්‍ය යේ යහ පැවැත්ම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයන් හි අත්වැල මීට නොමඳව ලබා ගන්නට ද නීතීඥ ශිරාල් ලක්තිලකගේ මග පෙන්වීම ඊට ලැබුණි. ඒ අනුව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ද මෙහි ක්‍රියාකාරීත්වයට මනා සහායක් ලබා දුනි. රටක් යහප්‍රගමණික යථාවේ තවදුරටත් රඳවා ගැනීමට එවන් සද් මිනිසුන්ගේ දායකත්වය අගනේ ය.
“සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යන නාමය පවා යෝජනා වී නොතිබුණු වකවානුවේ, සිවිල් ව්‍යාපාරය ශක්තිමත් කර ගැනීම උදෙසා විවිධ පුද්ගලයින්ට ආයාචනා කිරීමට ද ශිරාල්ට සිදුව තිබුණි. පසු කලෙක මෙම ව්‍යාපාරයෙන් බැබළුණෝද එවන් පුද්ගලයින් හා ඊට එරෙහි වූවෝ ය. ඒ වන විට සිරගතව සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ මාතෘකාවත් මෙම යෝජනාවලියේ ප්‍රධාන අංගයක් බවට පත්වුවද, ඔහු නිදහස් වීමෙන් අනතුරුව වෙනත් මාතෘකා කිහිපයක් ප්‍රමුඛත්වයේ ලා සළකමින් යෝජනාවලිය සමාජගත කරවීය. මෙම යෝජනාවලිය පිළිවෙළින් සකස්කර දීමට කීර්ති තෙන්නකෝන් ට මහත් වෙහෙසක් ගැනීමට සිදුවූ බව ද මතකය.

අද පටන් දින කිහිපයක් යනතුරු සෝභිත හිමියන් කරට ගෙන, මේ මුහුණු පොතේ සහ ඉන් බාහිරවත් හඬා වැළපෙන කිසිවෙකුත් “සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ”ඉතිහාසය තබා, එහි පළමු ප්‍රසිද්ධ රැස්වීම පැවැත්වූ ආකාරයවත් නොදන්නවාට කිසිම සැකයක් නැත. 2010 න් පසුව පොදු අපේක්ෂක භූමිකාවට යළි පණ දෙන්නේ මෙම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” යි. එමෙන්ම අපේක්ෂයින් තෝරා ගැනීම සහ ඡන්දය පාවිච්චියේ දී සැළකියයුතු නිර්ණායකයන් කිහිපයක් සමාජ ගතවන්නේ ද මෙම ව්‍යාපාරයේ බලපෑම සමාජගතවීමේ ප්‍රතිඵලයක් ලෙසටය.

එහි පළමු ප්‍රසිද්ධ රැස්වීම පවත්වන්නේ ජයවර්ධන කේන්ද්‍රයේ ය. මෙම රැස්වීම සංවිධානය කළ මොහොතේ පටන්ම, එක්සත් ජාතික පක්ෂයේ ඒ වනවිට වෙන් වෙන්ව ක්‍රියාත්මක වූ සියලු කණ්ඩායම් අඩු වැඩි වශයෙන් රැස්වීම කඩාකප්පල් කිරීමට අප්‍රමාණ වෙහෙසක් ගත්තෝය. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මුල්පෙළේ නායකයින් මෙම ලියුම්කරුට පුද්ගලිකව කතා කොට මේ ව්‍යාපාරයෙන් ඉවත්වන ලෙසටද බල කළ අවස්ථා ඇත. ඊට අමතරව සහාය දුන් ඇතැමුන්ට කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් දෙමින් ඊට සහාය දීම වැළැක්වීමට උත්සාහ ගත්තෝ ය.

එකල “රාවය” පතට ලියූ ලිපියකින්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් සහ නිදහස් ලේඛකයෙක් වන කුසල් පෙරේරා “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” සහ සෝභිත හිමියන් පිළිබඳව පැවැසූයේ “.......අපි ‘සිංහල බෞද්ධ කුමේනි‘ කෙනෙකු හදන්නට උත්සාහ කරනවා ....” කියාය.

මේ සියල්ල මැද, පසු ව මෙම ව්‍යාපාරයට සෑම අතින්ම දායකත්වය දැක්වීමට කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ඉදිරිපත් වීය. එය ද අතීශයට දුෂ්කරතා මධ්‍ය යේ සිදු කරගෙන යාමට ඔහුටද සිදුවීය. ජයම්පතී වික්‍රමරත්න ඇතුළු කණ්ඩායමක්, “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” උපදේශන මට්ටමේ විද්වත් සභාව නියෝජනය කරන්නට පටන් ගන්නේ, එක්සත් ජාතික පක්ෂයේම විවිධ බලපෑම් මත කරූ ජයසූරිය මහතා එම ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයෙන් නිහඬ කරවන්නට උත්සාහ දරමින් තිබුණු අවධියේ ය.

මහින්ද රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟම රනිල් වික්‍රමසිංගේ භූමිකාව යළිත් ප්‍රශ්න කරන තැනකට පත්වීය. ඉන් බේරීම සඳහා රනිල් වික්‍රමසිංහගේ කෛරාටික ඤාණය පහසු මං සොයන්නට වීය.

නිමල් සිරිපාල මඟහැරීමෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන දැවැන්ත පාවාදීමකට හසුකර ගන්නට රනිල් - චන්ද්‍රිකා හවුල සමත්වන්නේ මේ අරතුරය. ඒ වනවිට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් සමාජය මත යම් තෙරපුමක් ඇති කළ හැකි යෝජනාවලියක් කරළියට ගෙනවිත් තිබුණි. පරාජයෙන් බේරීමට මං සොයමින් සිටි රනිල් වික්‍රමසිංහට මෙම ගොඩනැගෙමින් තිබුණු තත්ත්වය ආශීර්වාදයක් කරගන්නට හැකි වන්නේ විදෙස් රවල් කිහිපයකද ආධාර උපකාර නොමඳව ලැබීමත් සමඟය.

කෙසේ වෙතත්, සෝභිත හිමි ඇතුළු “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” සූදානම වී තිබුණේ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ජනාධිපතිවරණ සටනේ මීලග සෙන්පතියා ලෙස අභිෂේක ගැන්වීමය. ඒ වෙනුවෙන් අසරණ කරූ ජයසූරිය මන්ත්‍රීවරයා ද සැදී පැහැදී සිටියේ ය. නමුත්, රනිල් ගේ කෛරාටික බව වැට පැන්නේ ය. ජයම්පතී වික්‍රමරත්න ඇතුළු කණ්ඩායම සේම රනිල් විසින් පොරොන්දු දී නටවමින් සිටි විවිධ පුද්ගලයින්ගේ ද සහාය ඇතිව “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” මතය වෙනස් කිරීමට පියවර කිහිපයක් ගනු ලැබී ය. ඇමෙරිකාව සහ ඉන්දියාව ද, සිය සැළසුම් වෙනුවෙන් හැකි උපරිමයෙන් සහාය දක්වන කණ්ඩායම, මෙහි දී ශක්තිමත් කරමින් සිටියේ ය.

සෝභිත හිමියන් වැඩ විසූ කෝට්ටේ නාග විහාරය දෙසට මාධ්‍ය ඇස නිතර යොමු වන්නට පටන් ගන්නේ, ජනාධිපතිවරණයේ අපේක්ෂකයා තේරීමේ කාර්යයට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බලපෑමක් කළ හැකි මට්ටමට පැමිණ තිබූ හෙයිනි. කෙසේ වෙතත්, එම ව්‍යාපාරය රනිල් ගේ සහ චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණ රැහැනට හසු වූ බව සෝභිත හිමියන් දැන ගන්නා විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොසිනි. ඒ වනවිට “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය”ට සහාය දුන් එහි ක්‍රියාකාරී මට්ටමේ සිටි සෑහෙන පිරිසක් එය අතැර ගොස් හෝ නිහඩව සිටින්නට තීරණය කර තිබුණි. එහෙත් සමාජගවූ මතවාදයට සහ ක්‍රියාන්විතයට ඉල්ලුමක් තිබුණි. ඒ නිසාම සංධානයේ පාර්ශවයේ ඇතැම් පක්ෂ හා කණ්ඩායම් සමඟ ද සාකච්ඡා පැවැත්වෙන තැනක් බවට නාග විහාරය නිතැතින්ම පත් වුණි.

බලයෙන් උද්දාමව හැසිරුණු සංධානයේ ඇතැම් පාර්ශව “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ” හැසිරීම තුට්ටුවකට මායිම් නොකළේය. මෙහි වාසිය රනිල්ගේ ගැලවුම්කාරයා නිර්මාණය කිරීමට සමත් වීය. සැබැවින්ම “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” වටා එක්ව සිටි බහුතරය ඒ තත්ත්වය අනුමත නොකළද අවසානයේ සෝභිත හිමියන්ද රනිල් චන්ද්‍රිකා කුමන්ත්‍රණයේ ඉත්තෙක් බවට පත් වීය. අවාසනාව නම් එම කුමන්ත්‍රණයේ මූල්‍ය දායකත්වය හා බොහෝ මෙහෙයුම් සඳහා ඇමෙරිකාව හා ඉන්දියාවද හවුල් වීමයි. ඒ අනුව අවසන, සෝභිත හිමියන්ටද ඇමෙරිකානු සහ ඉන්දියානු රූකඩයක් වීමට සිදු වූ බව පැහැදිලිය.

එතකින් නොනැවතී රොටී පුළුස්සන තැනකට සෝභිත හිමිගේ කතා ශෛලිය ඇද වැටුණේ “සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බලාපොරොත්තු වූ සුළු හෝ යම් සාධනීය තලයකට “යහ පාලනය” නාමයෙන් තමන් ද විකිණූ පර ගැත්තෝ ළං නොවන බව දැණුනු නිසාය. යම් කාර්යයකට කැප වූ කවර පුද්ගලයෙක් වුව ඉච්ඡාභංගත්වයට පත්වීමෙන් පසුව ලද හැකි සංවේගය සෝභිත හිමිට නොදැණුනා යැයි කාට නම් කිව හැකි ද ?

අවාසනාව සහ විශ්මය වන්නේ සෝභිත හිමියන් පසුව නායකත්වය දුන් ව්‍යාපාරයේද දායකත්වයෙන් (පිහිටෙන්) එය කඩාකප්පල් කරන්නට වෙර දැරූවන් බලයට පත්වීමයි. ඊට පෙර කාලයක සෝභිත හිමියන්ට බිම දමා පහරදුන් පක්ෂය ම සහ එදා බලය හෙබවූ වුන්ම බලයට පත්වීමයි.

මේ වනවිට හෙවත් රෝගාතුර වනවිට සෝභිත හිමියන් නොරුස්සන ස්වභාවයක සිට කෙනෙහිලිකම් කරමින් කටයුතු කරන්නට යහ පාලකයෝ පෙළඹී සිටි බව ඇතුළාන්තය දන්නෝ දනිති. සත්‍ය වශයෙන්ම, මෙතරම් ඉක්මනින් සෝභිත හිමියන් අපවත් වීම සම්බන්ධයෙන් යහපාලනය නමින් බලය ලබා ගත්තෝ වගකිව යුතුය.

අපවත් වූ සෝභිත හිමියන් මුල් අවධියේ පැතූ සමාජය යථාවක් බවට පත් කිරීම හැර, රාජ්‍ය ගෞරව සහිත ආදාහන පූජෝත්සව පැවැත්වූවාට ජහ පාලකයෝ යහ පාලකයෝ වන්නේ නැත.

සැබැවින්ම සෝභිත හිමියෝ විසින් රටේ ජනතාවට දැණෙන ලෙස කෙටි කාලයක් තුළ දේශපාලනික කටයුත්තක් කළ බව මම නැවැත පවසමි.

එනම්, යහ පාලනය නමින් විවිධ සළු පොරවා ගෙන ජනතාව රවටන්නන් ටික දෙනෙකුගේ රෙදි උණා දැමීමට මගක් සැළසීමයි.

ඒ අර්ථයෙන් ගත් කල, යහ පාලනය නමින් තව දුරටත් රට රවටන්නෝද අවලංගු විය යුතුය. ඔවුන්ද සෝභිත හිමිගේ චිතකයේ ම දැවී අළු වී යා යුතුය.

- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 08
යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

11/05/2015

ජාති ද්‍රෝහීන් හෝ දේශ ද්‍රෝහීන් පැමිණෙන්නේ පස්මහ බැලුම් බලා නොවේ.

කතෘ:යුතුකම     11/05/2015   2 comments
සංවෘත ආර්ථිකයක් තුළ, පීඩිත සීමා මායිම් සලකුණු කළ බවට මත වැපිරූ එක්සත් ජාතික පක්ෂයේ කෛරාටික නායකයෝ 2015 මෙන්ම 1977 දීද රටේ පාලන බලය සියතට ගන්නට සමත්වූවෝය. බණ්ඩාරනායක පවුලේම සාමාජිකයින් දෙදෙනෙක් පමණක් පාර්ලිමේන්තුව නියෝජනය කළද අද මෙන්ම එදාද පවුල් ගසක් මැවීමට ඔවුහු සමත් වූහ. සේනානායක පවුල හා විජේවර්ධන පවුල විසින් කරන දේශපාලනය යට ගසා බණ්ඩාරනායක පවුල පමණක් මතු කර ගැනීමට හැකිවන ආකාරයට, අද මෙන්ම එදා ද අවශේෂ සිවිල් ව්‍යාපාරයන් නතු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයෝ සමත් වූ හ.

ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රයට, පවුල් දේශපාලනය හෙවත් එකම පවුලේ හෝ එකම වාසගම්වලට හෝ හිමිකම් කියන ලේ ඥාතීන් සම්බන්ධවීම අද ඊයේ ඇති වූවක් නොවන බව ඉතිහාසය කියැවූවන්ට නොරහසකි. එකම පවුලට සම්බන්ධ වූවන්ට රටේ පාලනය හිමිවීම රාජාණ්ඩු ක්‍රමයෙන් මෙපිටට ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව බොහෝ රටවල සිදු වූ බවට ද උදාහරණ ඇත. එහෙත් ලංකාවේ තරම්, අනෙකා තලා පෙළා පාලන බලය උදාරා ගැනීමේ දුෂ්ට චේතනාවෙන් එය වැපිරූ රටක් දකුණු ආසියාවේ ද නැති තරම් ය.
ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු 1931 වැනි කාලයේ සිටම පවුල් දේශපාලනය පැළපදියම් වී තිබෙන බවට සාක්ෂි ඇත.
“......නිදහසින් පසුව එක්සත් ජාතික පක්ෂය සේනානායක, කොතලාවල, ජයවර්ධන, විජේවර්ධන හා කොරයා යන පවුල් සමූහයෙහි දේශපාලන සංවිධානය ලෙසට පරිවර්තනය වූහ. එකලදී එම පක්ෂය ( යූ.එන්.පී.) මාමාලාගේ සහ බෑනලාගේ (Uncle Nephew Party) ලෙසට පක්ෂය අපහාසාත්මක ලෙස හඳුන්වා ඇත. එම පදය ශ‍්‍රීමත් ජෝන් කොතලාවලට විසින් ද වරින් වර ප‍්‍රකාශ කර ඇත. එම පක්ෂය තුල නායකත්වය සහ තීන්දු ගැනීමේ කාර්ය ඉහත සඳහන් පවුල් මත තීන්දු වී ඇත. වර්තමාන එක්සත් ජාතික පක්ෂය විජේවර්ධන, වික‍්‍රමසිංහ, ජයවර්ධන හා සේනානායක යන පවුල් වෙතින් ක‍්‍රියාත්මක වේ. එහි අනාගත නායකත්වය විජේවර්ධන පවුල වෙත ලැබිය හැකිය. ඒ අනුව තවදුරටත් එජාප යනු මාමලාගේ හා බෑනලාගේ පක්ෂය ලෙසට හැඳින්විය හැකිය....“

මෙම යථාව කෙතරම් දුරකට වත්මන් ශ්‍රී ලාංකේය සමාජයේ කතා බහට ලක් වී ඇද්ද හෝ කතාබහට ලක්වන්නේ ද හෝ පැහැදිලිවම විමසුමට බඳුන් කළ යුතුය. “රාජපක්ෂ රෙජීමය“ යන භාවිතය අපහාසාත්මක ස්වරයෙන් සමාජ ගත වූ තරමට “හංස රෙජීමය“ වත් සමාජ ගත නොවන කල් හි, මාමාලාගේ සහ බෑනලාගේ පක්ෂය (Uncle Nephew Party - UNP) යූඇන්පී ලෙසට, සමාජගත කරන්නේ කෙලෙසක යන්න ඒ විමසුමේ මුඛ්‍යාර්ථය විය යුතුය.

මෙම විමසුම පැහැදිලි කර ගැනීම සඳහා, එක්සත් ජාතික පක්ෂ අතීශය බහුතර ව්‍යවස්ථාදායක බලයක් හිමිකරගත් 1977 ට අවම වශයෙන් යා යුතුමය. එදා සජීවි අද්දැකීම් ඇති, අදත් ජීවත්වන, දේශපාලනය ගැන උනන්දුවක් දක්වන්නෝ, 1977 ජූලි මාසයේ පටන් අතීතාවර්ජනයේ ජීවත්වන්නට, දිනකට විනාඩි කිහිපයක්වත් වෙන් කර ගත හැකිනම් මේ යථාර්තයේ කිමිදිය හැකි ය.

ජන සන්නිවේදන ක්‍රියාවලිය මෙතරම් දියුණු නැති යුගයක් වූ 1977 දී, එක්සත් ජාතික පක්ෂය වැනි සෞන්දර්යයවාදී ගුණාංගයන්ගෙන් දුප්පත් පක්ෂයක්, ජනතාව ආකර්ෂණය කර ගැනීමට යොදාගත් උපක්‍රම ගැන සිතන විට පුදුම සහගතය. අද රටේ තත්ත්වය ඊට බොහෝ වෙනස් ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට ආවේණික ගති ලක්ෂණ එතරම් වෙනස් වී නැත. අද ද එක්සත් ජාතික පක්ෂය (නායකයාගේ සිට පහළ සාමාජිකයා දක්වා) සෞන්දර්යයවාදී ගුණය අතින් අතීශය දුප්පත් පක්ෂයකි. එහෙත් අද එක්සත් ජාතික පක්ෂය ඒ දුර්ගුණය මගහරවා ගන්නේ අදාළ භාණ්ඩ හා සේවා කුලියට (Rent out) ලබා ගැනීමෙනි. පිරිස් බලය අවම පක්ෂයක් වුව ජනතා ආකර්ෂණය දිනා ගනු ලබන්නේ, එම පක්ෂය සතු සෞන්දර්යයවාදී ගුණාංග මනා ලෙස කළමනාකරණය කර ගැනීමෙනි. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයෙන් මේ සඳහා උදාහරණ ඕනෑ තරම් ලබා දිය හැකි ය. මෙම තත්ත්වයට සාපේක්ෂව අද වන විට “හංස රෙජීමය“ ට එරෙහි බලවේග ක්‍රියාත්මක වන්නේ පැහැදිලි තුරුම්පු අවට ගැවැසෙන වටපිටාවක ය.

“මහින්ද රාජපක්ෂ පවුල් පාලනය“ යයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් ඈළි මෑළි ව තෙපළනවිට, “රාජපක්ෂ රෙජීමය“ යැයි මර හඬ තලන්නට පිරිසක්, එක්සත් ජාතික පක්ෂය විසින් කුලියට ගෙන තිබේ. අවම වශයෙන් ලක්ෂ 25 සිට අප නොදන්නා සහ අපැහැදිලි මූල්‍ය ගනු දෙනු හරහා ජනතා විමුක්ති පෙරමුණ ද එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණ සහ පැවැත්ම තහවුරු කරන භාවිතාවක නියැළී සිටී.

මේ සියල්ලට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ අධිරාජ්‍ය ගැති භාවය කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් තිබේ. එමෙන්ම ජාතිකත්වාදයට එරෙහිව, බෙදුම්වාදී මානසිකත්වය පෝෂණය කරන ක්‍රියාකාරකම් රැසකින් එක්සත් ජාතික පක්ෂය තම නිරුවත රට හමුවේ දිග හරිමින් තිබේ. වර්තමානය වන විට ගොඩනැගී ඇති සමාජ, දේශපාලනික හා ආර්ථික වර්ධනයන් තුල දී ඍජුවම නියෝ ලිබරල් හෝ මාක්ස්වාදී හෝ නොවන ඕනෑම කෙනෙකුට වුව ජාතිකවාදී විය හැකිය. නො එසේ නම්, මේ කිසිත් නැතිව ජීවත් වන්නා දේශපාලන අවලමෙක් ලෙස හැඳින්විය හැකිය. මෙවන් දේශපාලන අවලමුන් නැත්තේ නොවේ. තම අවලංකම නොදැන හෝ සඟවා ගෙන ජාතිකවාදීන් සමඟ සංවාදයට පිළිපන්නෝද සිටිය හැක.

1977 න් පසුව එක්සත් ජාතික පක්ෂය විසින් උත්තරාරෝපිත ආර්ථික හා සමාජ ශෝධක ක්‍රියාවලියෙන් බිහි වූ පිරිසක් සිටිති. එමෙන්ම එය ආදර්ශයට ගෙන ජීවන රටාව වෙනස් කරගත් පිරිසක් ද සිටිති. මෙම පිරිසෙන් බහුතරය නිත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මතවාදය හා එම පක්ෂය පෝෂණය කරන්නෝ වෙති. එය රටේ සංස්කෘතියට එල්ල කැර ඇත්තේ ප්‍රබල බලපෑමකි. එම පිරිසට ජාතිකත්වය නොතේරෙන වදනකි. ජාතිකවාදය නොතේරෙන වදනකි. අනගාරික ධර්මපාල, මුනිදාස කුමාරතුංග, මාර්ටින් වික්‍රමසිංහ, සුනිල් ශාන්ත, පමණක් නොව අමරදේව හා නන්දා මාලිනිය වුව ඔවුනට තුට්ටුවක වටිනාකමක් නැත්තෝය. ඒ අනුව බලන විට, නලින්ද සිල්වා සහ ගෙවිඳු කුමාරතුංග වැන්නෝ ගැන ඔවුන්ගේ අදහස් විමසුමට ළංවීමවත් අනවශ්‍ය ය. ඇතැම්විට එය බියකරු අද්දැකීමක් වන්නට ද බැරි නැත.

1977 ජූලි මාසයේ සිට කාලයේ ජීවත් වූවන්ට, දිනකට විනාඩියක්වත් මනෝකායිකව යළි එහි ජීවත්වන්නට යැයි පෙර සඳහන් කළේ, මෙම බියකරු අද්දැකීමෙන් සැබැවින්ම හානියක් සිදු කර නොගෙන ඉදිරි පියවර තබන්නට ය.

එදා ජේ ආර් ය. මෙදා ජේ ආර් ගේ බෑනා ය. එදා ප්‍රජා අයිතිය අහෝසි කළේ සිරිමා බණ්ඩාරනායක නම් වූ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ගේ ය. මෙදා සිරගත කරන්නට වෙර දරන්නේ, ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ය. එදා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ය. මෙදා ලොව භයානකම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ආරක්ෂක සේනා සම්බන්ධීකරණය කළ හිටපු ආරක්ෂක ලේකම්, ඝෝටාභය රාජපක්ෂ ය. මේ ආදී වශයෙන් නම් වැලක් සඳහන් කළ හැක.

1977 සහ 2015 අතර සමානකම් රැසක් සේ ම, 1977 ට වඩා අනේකවාරයක් කනගාටුව දැනිය හැකි ඛේදයන් රැසක් ද වෙයි. 1977 දී හාල් පොලු, මිරිස් පොලු ආදිය ගැන පමණක් නොව බාසුමතී සහල් ගැනද කතා කළේ ය. අද කතා කරන්නේ බංකර් ගැනය. පාවාදීමට වඩා ජාතියේ ආරක්ෂාවම පාවා දී තමන්ද පාවා ගන්නා තත්ත්වයට පත්වන්නේ බංකර්, මාළිගා ලෙස හුවා දැක්වීමෙනි. මෙම හෙළි කිරීම තුළ ඇත්තේ දැඩි කුහකකමකි. එය නිහීන ය. එය තිරිසන් ය. එය තිරිසන් වන්නේම, තමන්ද එම උගුලේ හසුවන බව නොදැනෙන තරමට අමානුෂීය හැඟීමෙන් හෝ වෛරයෙන් හෝ මුසපත්ව අවිචාරවත්ව හැසිරීමෙනි.

බොහෝ සේ අක්‍රමවත්ව හා දුගඳ හමන කසළ ගොඩක්ව පැවැති කොළඹ නගරය සේම දිවයිනේ මාර්ග සහ නගර රැසක් අලංකරණය කළ රාජපක්ෂ පාලනය, ලොව භයානකම ත්‍රස්තවාදයෙන් ආරක්ෂාවීම සඳහා තැනූ බංකරය නවීකරණය කිරීම වරදක් සේ සලකා ලොවට නිරාවරණය කිරීම තරම් පහත් ක්‍රියාවකට සමාන ක්‍රියාවක්, ආරක්ෂක නියාමයන් පාර්ශවයෙන් ජේ ආර් ගේ හා ප්‍රේමදාසගේ කාලයේ දී වත් සිදු නොවන්නට ඇත.
ගැටලුව ඇත්තේ මෛත්‍රීපාල නම් පක්ෂ ද්‍රෝහියාගේ සිට රනිල් නම් ජාති ද්‍රෝහියා දක්වා නොවේ. මෙම ද්‍රෝහී ක්‍රියාවන්ගේ සැබෑ තතු දකුණේ බහුතරයක් වන තම පාක්ෂිකයින්ට වටහා දීමට අසමත් “හංස රෙජීමය“ ට එරෙහි “පසේ බුදුවරු“ වැන්නන්ගේ ය.

ආසන්න වශයෙන්, 1970 දශකයේ ශ්‍රී ලාංකේය ජනයාගේ ජීවන රටාව ඒ ආකාරයටම පැවැතිය යුතුය යන්න, සංස්කෘතීන් හා ජාතිකත්වයන් පිළිබඳ අතීතානුස්මරණ හැඟීම්බරව සිදුකරන්නන්ගේ මතය නොවේ. සංස්කෘති තුළවන අනන්‍යතා ආරක්ෂාවන සමාජ, ආර්ථික, දේශපාලනික වර්ධනයන් අත්පත් කර ගැනීමට සමත් රාජ්‍ය පාලනයක අවශ්‍යතාව ජාතිකවාදීන්ගේ අභිප්‍රායය විය යුතුය. උදාහරණයක් ලෙස, භාෂාවක් ගත හැකිය. ලොව කිසිඳු භාෂාවක් මුල් ස්වභාවයෙන්ම නොපවතී. නිරන්තරයෙන්ම භාෂාවන් විවිධ විකාශනයන් තුළ සංවර්ධනයටද බඳුන් වෙයි. එහෙත් එය ආරක්ෂා නොවන්නේ නම්, එය ලැබූ සංවර්ධනයෙන් ඵලක් නැත.

මේ තත්ත්වයන් ද සැළකිල්ලට ගනිමින් වත්මන් අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ජන සංවේදී ක්‍රියාන්විතයක් වහ වහා දියත් කළ යුතු ය. 1977 ට වඩා වැඩි වේගයකින් රට ව්‍යසනයන් ළඟා කර ගනිමින් සිටීම එයට හේතුව යි. එම ව්‍යසනය උදෙසාම කැප වූ අධිරාජ්‍ය ගැති පාලකයින් රොත්තක් සහ ඊට අනුබල දෙන අරිට්ටකීවෙණ්ඩුලා පරදන කේවට්ටයින්ද, කේවට්ටයින් පරදන අරිට්ටකීවෙණ්ඩුලා ද බුරුතු පිටින් නඩත්තුවෙමින් සිටිති. මේ තත්ත්වයට මුහුණ දීමට පමා වීම, 1977 රට කර ගත් අත් වැරැද්දට වඩා සිය දහස් ගුණයක විනාශයන් ළං කරනු ඇත. එබැවින්, රටට ආදරය කරන ඔබට 1815 ට මොහොතක් ගමන් කළ නොහැකිනම්, 1977 දිනක් ගත කිරීමට, අද ගෙවෙනා දවසින් සුළු වේලාවක්වත් වෙන් කර ගන්න. එය ඔබේ නමින් මතු උපදින දරුවන් සහ මතු යහතින් පවතින රටක් වෙනුවෙන් කරන මහත් වූ ආයෝජනයක් වනු ඇත.
 
- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 05
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/04/2015

පූරක වෙස් ගත් නිවේදකයින්ට කරුණාගෙන් පාඩමක්

කතෘ:යුතුකම     11/04/2015   No comments
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍ර යේ පූරකයින්ගේ ඇතුළාන්තය විනිවිද දැකිය හැකි අවස්ථා ගණනාවක් රුපවාහිනී සංවාදයන්හි දී දැකගැනිමට අවස්ථාව ලද මුත්, හිරු ටීවී සලකුණ එහි තවත් මානයක් විවර කිරීමට ඊයේ සමත් වීය.

2015 නොාවැම්බර් 02 වන දින රාත්‍රී විකාශය වූ කරුණා අම්මාන් සමඟ පූරකයින් යැයි වචනාර්ථයෙන් පමණක් හැඳින්විය හැකි තිදෙනෙක් කළ සංවාදයට භාෂා පරිවර්ථකයෙක් ද එක් ගැනිමට සිදුව තිබුණේ ශ්‍රී ලංකාවේ ජාතිකත්ව අතර සන්නිවේදනය හා මතවාදී පැහැදිලි කරගැනීම් සඳහා ඇති අවකාශයන් පිළිබඳව ද පණිවුඩයක් ලබා දෙමිනි.

පැහැදිලි සහ නිවැරදි මාධ්‍ය භාවිතයක නියැළෙන පූරකයෙක් යනු කවරෙක්ද යන්න තවමත් ලංකාවේ මාධ්‍ය හිමිකරුවන් හෝ ඒවායේ අංශ ප්‍රධානීන් දැන සිටීද යන්න ද ප්‍රශ්න කළ යුතු තැනක තිබේ. එවන් තත්ත්වයන් ප්‍රකට කරන අතරතුර, රටේ වැදගත්ම සංසිද්ධීන් අරබයා ඔවුන් විසින් දේශපාලකයින් ප්‍රශ්න කිරීම කෙතරම් සුදුසු ද යන්න ඉන් ගම්‍ය වෙයි. මාධ්‍ය හිමිකරුවන් මෙතැනට ගෑවෙන්නේ නිකම්ම නොවෙන බවත් කිව යුතුය. මේ වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන තුළ සංවාද හැසිරවීම සහ ඊට නිවේදකයින් (පූරකයින් ලෙස හැඳින්වීමට සිදුවන නිවේදකයින්) යොදවන්නේද හිමිකාරීත්වයේ ඕනෑ එපාකම් මත බව අප හොඳින්ම දන්නා කරුණක් බැවින් මාධ්‍ය හිමිකාරීත්වයේ සිතැඟි ද සැලකිල්ලට ගත යුතු මට්ටමක තිබේ.

මෙනයින්, පූරකයින් නොවන නිවේදකයින් ඉදිරියේ, දේශපාලනඥයින් නොවන දේශපාලකයින් කරන වැමෑරීම් බලමින් කල් මැරීමට මෙරට බොහෝ ප්‍රේක්ෂකයින්ට සිදුව ඇත. එය වෙනසකට ලක් කළ සංවාදයක් ලෙස 2015 නොවැම්බර් 02 වන දින හිරු ටීවී සලකුණ වැඩසටහන දක්නට ලැබුණේ නිවේදක මහත්වරුන්ගේ දක්ෂතාව නිසා නොව කරුණා අම්මාන්ගේ සම්ප්‍රාප්තිය නිසාය.

මෙම සංවාදයට එක් වූ නිවේදකයින් දෙදෙනෙකුටම දැඩිව අවශ්‍ය තිබුණේ කරුණා අම්මාන් මහින්දවාදියෙක් යන්න ප්‍රකට කරවන ප්‍රකාශ ඔහු ලවාම කියවා ගැනීමය. හාස්‍යය දනවන උපහාසාත්මක පිළිතුරුවලින් කරුණා විසින් අදාළ නිවේදකයින්ට පිළිතුරු දුන්නද ඒවා ප්‍රබලව බහුතර සිංහල පමණක් කතා කරන ප්‍රේක්ෂකයාට නොදැණෙන්නේ එවැනි පිළිතුරු බොහොමයක් ඔහු විසින් දමිළ බසින් වැහැරීම නිසාය.

“...මහින්ද අයියා නොසිටින්නට ලංකාවේ ජනතාවට නිදහසක් නෑ...“ බව කරුණා කිහිපවිටක් පැවැසීම නිවේදකයින් දෙදෙනෙක් සමාජගතකරන්නට තැත් දරන්නේම, කරුණා මහින්දවාදියෙක් ලෙස පටු කිරීමට තැත් කිරීමෙනි. ඒ සමඟම අමු ම අමු හරක් ප්‍රශ්න කිහිපයක්ම කරුණාවෙත යොමු කිරීමට රංගන නිවේදක උතුමා පසුබට නොවන්නේය. [කරුණා අම්මාන්ගේ එම අදහස් දැක්වීම  >>  ]

1980 දශකයේ දී සමූල ඝාතනයට ලක් කළ බව එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ජනතා විමුක්ති පෙරමුණ සහ රෝහණ විජේවීර , කිහිපවතාවක් උදාහරණයට ගනිමින් කරුණා කළ පැහැදිලි කිරීම් හමුවේ නිරුත්තරවීමට අවශේෂ නිවේදකයින් දෙපළටම සිදුවීමද විශේෂත්වයකි.

ප්‍රභාකරන් වීරයෙක් ලෙස සැළකීමට දමිළ සමාජය සූදානම් නොවීම පිළිබඳව කරුණා විසින් වෙනත් රූපවාහිනී නාලිකාවකට කර තිබූ ප්‍රකාශයක්ද වැරදියට තේරුම් ගනිමින් මහත් උජාරුවෙන් උපුටා දැක්වීමම මෙම තත්ත්වය මනාව පැහැදිලි වීය. එක්සත් ජාතික පක්ෂ විසින් සමූල ඝාතනයට වෙර දැරූ ජවිපෙ සහ විජේවීර උදාහරණයට ගැනීම නිසා ඉන් ඔබ්බට එම කරුණු කරුණාලවා පැහැදිලි කර ගැනීමට යාම හිතා මතාම පෙර කී නිවේදකයින් මඟ හැරීබව ගම්‍ය වීය.

කෙසේ වෙතත්, කරුණා සම්මුඛයට ගෙන ප්‍රශ්න කිරීම කාලෝචිත ක්‍රියාවකි. මන්ද, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව යාම, දීර්ඝ ඉතිහාසයක් ඇති දමිළ පක්ෂයක් සමග එක්වීම හා වත්මන් දේශපාලන අර්බුදය හමුවේ ඔහුගේ මතය දැන ගැනීම දේශපාලනික සමාජයට වැදගත් නිසා කරුණාගේ සම්මුඛ සාකච්ඡාව කාලෝචිතය.

රනිල් වාදයෙන් මුසපත්ව, මහින්දවාදය ලුහුබඳින්නට රිසි නිවේදක මහත්වරුන්ගේ හිත සුව පිණිස මෙවන් වැඩසටහන් තව තවත් විකාශය වන්නේ නම් අගෙයි යනුවෙන් සිතමි.

තම හිස් බව හා තම අන්තයෙන්ම අන් මත යටපත් කිරීමට වෙර දරන මාධ්‍ය සංස්කෘතියක් තුළ සුදේව වැන්නන් වචනයේ පරිසමාප්තයෙන්ම පූරකයන් වනු දැක්මත් සුබවාදී ය.


- ජනිත් විපුලගුණ -
2015 නොවැම්බර් 03

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions