2/28/2026

අපේ මතය - 13

කතෘ:යුතුකම     2/28/2026   No comments



බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය (Labour Party) 1924 දී ප්‍රථම වරට බලයට පත්වීම ලංකාව වැනි යටත් විජිතවල දේශපාලන ගමන්මග කෙරෙහි තීරණාත්මක බලපෑමක් එල්ල කළේය. බ්‍රිතාන්‍යයේ ඇති වූ මෙම දේශපාලන වෙනසට සෘජුවම බලපෑවේ පළමු ලෝක යුද්ධයේ ප්‍රතිඵලයි. 1918 දී යුද්ධයට දායක වූ සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීම මත, වයස අවුරුදු 21ට වැඩි සියලුම පිරිමින්ට සහ වයස 30ට වැඩි දේපළ හිමි කාන්තාවන්ට ඡන්ද බලය ලබා දෙන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 8 සිට මිලියන 21 දක්වා ඉහළ ගියේය. අලුතින් එක් වූ මෙම මිලියන සංඛ්‍යාත වැඩකරන පන්තියේ ජනතාවගේ ස්වභාවික තේරීම වූයේ කම්කරු පක්ෂයයි. මීට අමතරව 1917 රුසියානු විප්ලවය සහ ලෝකය පුරා පැතිර ගිය සමාජවාදී රැල්ල ද බ්‍රිතාන්‍යයට බලපෑවේය.

බ්‍රිතාන්‍යයේ එතෙක් බලය හෙබවූ කොන්සර්වේටිව් (Conservative) පක්ෂය අධිරාජ්‍යය දැඩිව පාලනය කළ යුතු බව විශ්වාස කළද, කම්කරු පක්ෂය යටත් විජිතවාසීන්ට "ස්වයං පාලනය" (Self-determination) ලබා දිය යුතු බවට වඩාත් ලිහිල් මතයක් දැරීය. කම්කරු පක්ෂයේ නායකයන් විශ්වාස කළේ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනය කළ යුත්තේ "ස්වාමියෙකු" ලෙස නොව "භාරකරුවෙකු" ලෙස බවයි.

1927 නොවැම්බර් 13 වන දින ඩොනමෝර් සාමිවරයා ප්‍රමුඛ සිව් පුද්ගල කොමිසම ලංකාවට පැමිණියේය. ඔවුහු මාස හතරකට ආසන්න කාලයක් දිවයින පුරා සංචාරය කරමින් දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන සහ පුද්ගලයන් 140 කට අධික පිරිසකගෙන් සාක්ෂි විමසූහ. පොන්නම්බලම් රාමනාදන්, සර් ජේම්ස් පීරිස් වැනි ලංකා ජාතික සංගමයේ නායකයන් ඉල්ලා සිටියේ බ්‍රිතාන්‍යයේ "වෙස්ට්මිනිස්ටර්" ආකෘතියේ පාලන ක්‍රමයක් සහ වැඩි බලතල සහිත ව්‍යවස්ථාදායකයකි. එහෙත් සර්වජන ඡන්ද බලය ලබා දීමට ඔවුහු කැමැත්තක් නොදැක්වූහ. ඔවුන්ගේ තර්කය වූයේ ඡන්ද බලය හිමිවිය යුත්තේ උගත්, දේපළ හිමි පිරිසට පමණක් බවයි. එහෙත් ඒ.ඊ. ගුණසිංහ මහතා කොමිසම හමුවේ නිර්භයව කියා සිටියේ ලංකාවේ සාමාන්‍ය කම්කරුවාට සහ ගොවියාට ද ඡන්ද අයිතිය හිමිවිය යුතු බවයි. ප්‍රභූන්ගේ දැඩි විරෝධය මැද සර්වජන ඡන්ද බලය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධානතම ස්වදේශික හඬ මෙය විය.

1928 දී ලන්ඩනයේ පැවති බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කම්කරු සමුළුවට සහභාගී වූ ගුණසිංහ මහතා, එහිදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායකයන් හමු වී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දීම සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය ලංකාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කොන්දේසි විරහිතව සහාය දැක්වීය. ඩොනමෝර් වාර්තාව ක්‍රියාත්මක වන විට බ්‍රිතාන්‍යයේ යටත් විජිත ලේකම්වරයා වූයේ කම්කරු පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු වූ සිඩ්නි වෙබ් (Lord Passfield) ය. ලංකාවේ ඉංග්‍රීසි උගත් ප්‍රභූන් සර්වජන ඡන්ද බලයට විරුද්ධ වෙද්දී, සිඩ්නි වෙබ් මහතා එය ලංකාවට ලබා දිය යුතුම බවට දැඩි ස්ථාවරයක සිටියේය. ඡන්ද බලය ලබා දීම හරහා ලංකාවේ වැඩකරන ජනතාවට සහ ගැමි ජනතාවට තම අයිතීන් දිනා ගැනීමට හැකි වන බව ඔහු විශ්වාස කළේය.

ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය යටතේ පැවති ප්‍රථම මැතිවරණය 1931 දී පැවැත්වුණි. සර්වජන ඡන්ද බලය ලැබීමත් සමඟ මුළු ඡන්දදායකයන් සංඛ්‍යාවෙන් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහල බෞද්ධයෝ වූහ. 1931 වන තෙක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුනක් ලබා ගැනීම සඳහා තරඟ වදින්නෙකු ආමන්ත්‍රණය කළ යුතු වූයේ ප්‍රභූ යැයි සම්මත, ධනවත්, ඉංග්‍රීසි කතා කරන ඉතා ස්වල්ප දෙනෙකුට පමණි. මෙම ඡන්දදායකයෝ බොහෝ විට අධිරාජ්‍ය ගැති "කළු සුද්දෝ" වූහ. එබැවින් ඡන්ද අපේක්ෂකයෝ ද ඒ මඟම ගත්තෝ වූහ. නමුත් 1931 දී මෙම තත්ත්වය උඩුයටිකුරු විය.

1931 වන විට මෙරට පොදු ජනතාවගේ චින්තනය හැඩගැසී තිබුණේ 1860 තරම් ඈත කාලයක සිට ආරම්භ වී ක්‍රමිකව නැගී ආ බෞද්ධ ආගමික පුනර්ජීවනයේත්, ඉන් පසුව එහිම විකාශනයක් ලෙස ඉස්මතු වූ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේත් අක්මුල් මතය. එහෙත් 1931 වන විට මෙරට දේශපාලනඥයන් අතිබහුතරයකගේ චින්තනය ඉහත පැහැදිලි කරන ලද පොදුජන විඥානයට කිසිසේත්ම සමානුරූපී නොවීය. චින්තනයෙන් පමණක් නොව හැසිරීම, කතාබහ, කෑමබීම, ඇඳුම් පැලඳුම් යනාදී සියලු අංගයන්ගෙන් ඔවුහු පොදු ජනතාවගෙන් දුරස්ථ වූහ. 1931 සර්වජන ඡන්දය ඔස්සේ ඇති වූ ප්‍රධානතම විපර්යාසය වූයේ, දේශපාලනඥයාට සිය ඡන්දදායකයාට සමීප වීම සඳහා සිය ඇවතුම් පැවතුම් වෙනස් කර ගැනීමට සිදු වීමයි.

ඩී.බී. ජයතිලක, ඊ.ඩබ්. පෙරේරා වැනි සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය තුළ ඒ වන විටත් පරිණතව සිටි නායකයන් කිහිප පළක් මෙන්ම ඒ.ඊ. ගුණසිංහ, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, සී.ඩබ්.ඩබ්. කන්නංගර වැනි තරුණ හා ජවසම්පන්න නායකයන් කිහිප දෙනෙකුගෙන් ද 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව සමන්විත විය.

1931 මැතිවරණය යාපනය තරුණ සංගමය විසින් වර්ජනය කරන ලද බව මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කරුණකි. යාපනය තරුණ සංගමය ඉන්දියාවේ "ස්වරාජ්" (Swaraj) හෙවත් පූර්ණ නිදහස පිළිබඳ මතවාදයෙන් දැඩි ලෙස පෝෂණය වී තිබුණි. බ්‍රිතාන්‍යයන් ලබා දෙන "අර්ධ දේශපාලන සහන" භාර නොගත යුතු බවත්, පූර්ණ නිදහස ලැබෙන තුරු රාජ්‍ය පාලනයට හවුල් නොවිය යුතු බවත් ඔවුහු තීරණය කළහ.

යාපනය තරුණ සංගමයේ මෙම තීරණය ආරම්භයේදී ඉතා බලපෑම් සහගත බව පෙනුණත්, එහි දිගුකාලීන ප්‍රතිඵලය එම සංගමයටත්, පොදුවේ රටටත් යහපත් නොවීය. ඉන් එම සංගමයට සිදු වූ බලපෑම වූයේ ඉතා කෙටි කලක් තුළ එය ඛාදනය වීමට මාර්ගය විවෘත වීමයි. රටට සිදු වූ අයහපත වූයේ යාපනය තරුණ සංගමය ඉටු කළ ප්‍රගතිශීලී භූමිකාව නිම වීමත් සමඟ, ඒ තුළින් නිර්මාණය වූ රික්තකයට ජාතිවාදී බලවේග ඇතුළු වීමයි.

1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මොරවක කොට්ඨාසය නියෝජනය කරමින් පත් වූයේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහයි. ඔහු විදේශ අධ්‍යාපනය ලැබූ දේශීය ධනපති පන්තියේ දෙවන පරම්පරාවට අයත් විය. මින් පළමු පරම්පරාව අධිරාජ්‍ය ගැති ධනේශ්වර ක්‍රමය තදින් වැළඳගත්තේ යම් සේද, මෙම දෙවන පරපුර ඉතා තදින් ධනේශ්වර විරෝධී මාක්ස්වාදයට ආශක්ත විය. ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ පළමු මාක්ස්වාදියා වූයේ දොස්තර වික්‍රමසිංහයි.

දොස්තර වික්‍රමසිංහ එලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වන විට පිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන වැනි තවත් මාක්ස්වාදීන් රාශියක් ඒ වන විටත් කොළඹ දකුණ තරුණ සංගමය සහ කොළඹ උතුර තරුණ සංගමය වැනි සංවිධාන ඔස්සේ ක්‍රියාකාරී වෙමින් සිටියහ. මොවුහු වඩාත් ජාත්‍යන්තරවාදී වූ අතර ආසියාවේ, යුරෝපයේ සහ ඇමරිකාවේ මාක්ස්වාදී ව්‍යාපාර සමඟ සෘජු හා සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටියහ. මේ සියලු දෙනා පොදු වේදිකාවක් මතට කැඳවනු ලැබුවේ 1933 දී ඇරඹි සූරියමල් ව්‍යාපාරය මගිනි.

පළමු ලෝක යුද්ධයෙන් පසු, යුද්ධයෙන් මියගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවන් අනුස්මරණය කිරීම සඳහා නොවැම්බර් 11 වන දින "පොපි මල" විකිණීම ලංකාව තුළ ද ආරම්භ විය. පොපි මල් විකිණීමෙන් ලැබෙන මුදල් යැවුණේ බ්‍රිතාන්‍යයේ සිටින යුද හමුදා සාමාජිකයන්ගේ සුභසාධනය සඳහාය. ලංකාවේ දහස් ගණනක් යුද පීඩිතයන් සහ දුප්පත් ජනතාව සිටියදී මෙරට මුදල් මෙසේ විදේශගත කිරීම ගැන උගත් තරුණ පිරිස් අතර දැඩි විරෝධයක් ගොඩනැගුණි. 1931 දී ඒලියන් පෙරේරා (Aelian Perera) මහතා විසින් පොපි මල වෙනුවට දේශීය "සූරිය මල" පැළඳිය යුතු බවට යෝජනා කළ ද එය මුලදී එතරම් සාර්ථක වූයේ නැත. 1933 දී එවකට කොළඹ දකුණ තරුණ සංගමයේ සභාපතිනිය වූ ඩොරීන් යං (Doreen Young) මහත්මියගේ (පසුව දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාගේ බිරිඳ) මූලිකත්වයෙන් සූරියමල් ව්‍යාපාරය නැවත පණගැන්විණි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වූයේ "ලංකාවේ මුදල් ලංකාවේම රඳවා ගැනීම සහ දේශීය පීඩිතයන්ට උදව් කිරීම" යන්නයි.

සූරියමල් ව්‍යාපාරය හුදෙක් මලක් විකිණීමේ ව්‍යාපාරයක් නොව, එය බ්‍රිතාන්‍ය විරෝධී මතවාදය ගම් මට්ටමට ගෙන ගිය මෙවලමක් විය. බුදුන්ට මල් පූජා කිරීමේදී භක්තිමත් වූ බෞද්ධ ජනතාව විසින් සූරියමල ද ඉතා බැතිමත්ව භාර ගන්නා ලදී. සූරියමල් ව්‍යාපාරය හා සම්බන්ධ වූ ග්‍රාමීය නායකයෝ මාක්ස්වාදය පිළිබඳ අවබෝධයකින් තොරව ඊට සම්බන්ධ වූහ. නමුත් මාක්ස්වාදීන් වූ සූරියමල් ව්‍යාපාරයේ නියමුවන් කෙරෙහි මෙම ග්‍රාමීය ක්‍රියාකාරීහු ගෞරව සම්ප්‍රයුක්ත වූහ. අධිරාජ්‍යවාදයට එරෙහි සිංහල බෞද්ධ ජාතික බලවේගය බිම් මට්ටමේ දෘශ්‍යමාන නොවූ පසුබිමක, එම රික්තකය සූරියමල් ව්‍යාපාරයේ ග්‍රහණයට නතු විය.

එන්.එම්, පිලිප්, කොල්වින් සහ දොස්තර වික්‍රමසිංහ වැනි තරුණයෝ සූරිය මල් විකුණමින් රට පුරා ගම්වලට ගියහ. තරුණ බෞද්ධ භික්ෂූන් රාශියක් මෙම ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගත්හ. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නියුතුව සිටි මෙම තරුණ භික්ෂූහු ක්‍රමයෙන් මාක්ස්වාදය හදාරන්නටත්, එහි සංකල්ප බෞද්ධ හරයන් සමඟ ගළපන්නටත් පෙළඹුණහ.

සූරියමල් ව්‍යාපාරයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ මැලේරියා වසංගතයයි. 1934-35 සමය තුළ සූරියමල් ව්‍යාපාරයෙන් එකතු වූ මුදල් සහ ශ්‍රම දායකත්වය භාවිතා කරමින් ඔවුහු ලෙඩ වූ ගොවි ජනතාවට බත්, බෙහෙත් සහ රෙදිපිළි ලබා දුන්හ. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටි ප්‍රභූ නායකයන් වසංගතය පාලනයට අපොහොසත් වෙද්දී, සූරියමල් ක්‍රියාකාරීන් ජනතාව අතරට ගොස් වැඩ කිරීම නිසා ඔවුන්ට විශාල පිළිගැනීමක් ලැබුණි. සූරියමල් ව්‍යාපාරය හරහා ගොඩනැගුණු මෙම ජාලය සහ ජනතා පදනම, 1935 දෙසැම්බර් මාසයේදී ලංකා සමසමාජ පක්ෂය (LSSP) පිහිටුවීමට ප්‍රධාන පදනම විය. මෙය අප විසින් විග්‍රහ කරනු ලබන්නේ, ධර්මපාලතුමාගෙන් පසු ජාතික ව්‍යාපාරයට හිමිව තිබූ "අධිරාජ්‍ය විරෝධී" භූමිකාව වාමාංශිකයන් අතට පත්වීමක් වශයෙනි.

සමසමාජ පක්ෂය ලැබූ විශාලතම ජයග්‍රහණයක් වූයේ උගත් තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහාය ලබා ගැනීමට හැකි වීමයි. බුදුදහමේ එන සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදයේ එන පන්ති පීඩනය පිටුදැකීම අතර සමානකම් ඇතැම් භික්ෂූහු දුටුවහන්හ. යක්කඩුවේ ප්‍රඥාරාම හිමි සහ වල්පොළ රාහුල හිමි වැනි හිමිවරුන්ගේ පසුකාලීන රැඩිකල් චින්තනයට මෙම මුල්කාලීන වාමාංශික බලපෑම වක්‍රව දායක විය. මෙහිදී උඩකැන්දවල සිරි සරණංකර හිමියන් අනගාරික ධර්මපාලතුමාගේ සමීපතමයෙකු වූ බවත්, උන්වහන්සේගේ අධ්‍යාපන කටයුතු සඳහා ධර්මපාලතුමාගේ අනුග්‍රහය වැදගත් වූ බවත් සිහිපත් කළ යුතුය.

මෙරට සිංහල බෞද්ධ ජන සමාජයේ මතවාද සකස් කළ ප්‍රධාන පිරිස වූ ස්වභාෂා ගුරුවරුන්ගෙන් සැලකිය යුතු පිරිසක් සමසමාජ පක්ෂය හා එක් වූහ. ලංකා ජාතික සංගමයේ ප්‍රභූන්ගේ "නිවට සහ යාදිනි" ප්‍රතිපත්තියට වඩා, පූර්ණ නිදහස ඉල්ලූ වාමාංශිකයන්ගේ හඬට මෙම ගුරුවරු ඇලුම් කළහ. එන්.එම්, පිලිප් සහ කොල්වින් වැනි නායකයන්ගේ ඉහළ උගත්කම සහ සිංහල භාෂාවෙන් ජනතාව ඇමතීමේ හැකියාව ගුරු පරපුර අතර ඔවුන්ට ගෞරවයක් ලබා දුන්නේය.

ගමේ පන්සලෙන් පසුව තීරණාත්මක සමාජ නායකත්වයක් දැරූ දේශීය වෙද මහත්වරු ද වාමාංශික ව්‍යාපාරය වටා රොක් වූහ. මැලේරියා වසංගතය සමයේදී සමසමාජ ක්‍රියාකාරීන් ගම්වලට ගොස් කළ සේවය දෙස බලන විට, ගමේ වෙද මහතා සහ වාමාංශික තරුණයා අතර මනා සම්බන්ධීකරණයක් ගොඩනැගුණි. මෙය සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ප්‍රභූ නියෝජනය සතු වූ ග්‍රාමීය බලය අභියෝගයට ලක් කළ අවස්ථාවකි. ධර්මපාලතුමාගේ අනුගාමිකයන් වූ නමුත්, එවකට සිටි ඩී.එස්. සේනානායක වැනි නායකයන්ගේ දේශපාලන භාවිතය ගැන කලකිරී සිටි රැඩිකල් ජාතිකවාදීන් පිරිසක් ද සමසමාජ පක්ෂයට එක් වූහ.

1935 දී සමසමාජ පක්ෂය ස්ථාපිත කරන විට පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමේදී සහ මාක්ස්වාදී දෘෂ්ටිවාදය ගොඩනැගීමේදී ප්‍රධාන මෙහෙයවීම සිදු කළේ පිලිප් ගුණවර්ධන විසිනි. ඔහුගේ පියා වූ දොන් ජැකෝලිස් ගුණවර්ධන (බොරළුගොඩ රාලහාමි) 1915 කෝලහාල සමයේ බ්‍රිතාන්‍යයන් විසින් මරණ දඬුවමට නියම කළ සිංහල බෞද්ධ නායකයෙකි. ඔහු ධර්මපාලතුමාගේ සමීපතමයෙකි. ධර්මපාලතුමාගේ උපදෙස් මත හෙතෙම සීතාවක ප්‍රදේශයේ බෞද්ධ පාසල් සහ විහාරස්ථාන නගා සිටුවීමට පෞද්ගලික ධනය වැය කළේය. මෙය ධර්මපාලතුමාගේ "සිංහල බෞද්ධ පුනරුද" වැඩපිළිවෙළේම කොටසක් විය. බොරළුගොඩ රාලහාමිගේ මෙම "රැඩිකල් ජාතිකවාදී" පසුබිම, ඔහුගේ පුත් පිලිප් ගුණවර්ධන මහතා පසුකාලීනව මාක්ස්වාදියෙකු වුවද සිංහල බෞද්ධ ජනතාව අතර "අපේ කෙනෙකු" ලෙස පිළිගැනීමට ප්‍රධාන හේතුව විය. ධර්මපාලතුමාගේ "සිංහල බෞද්ධයා" පුවත්පත සහ ඔහුගේ ආගමික පුනරුද ව්‍යාපාරය සමඟ සමීපව සිටි රැඩිකල් භික්ෂූන් වහන්සේලා රැසක් සමසමාජ පක්ෂයට සහාය දුන්හ.

1935 දී සමසමාජ පක්ෂය ආරම්භ කරන විට එහි එකම රාජ්‍ය මන්ත්‍රණ සභිකයා වූ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ ද සිය යොවුන් වියේදී ධර්මපාලතුමා විසින් පෝෂණය කරන ලද සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ ආභාසය ලැබූවෙකු ලෙස සඳහන් කළ හැකිය. දොස්තර වික්‍රමසිංහගේ පියා වූ දොන් කරෝලිස් වික්‍රමසිංහ මහතා දකුණු පළාතේ ප්‍රකට බෞද්ධ නායකයෙකු වූ අතර, ධර්මපාලතුමාගේ අමධ්‍යප ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී ක්‍රියා කළ අයෙකි. තරුණ වික්‍රමසිංහ සිය පියා සමඟ එක්ව ගම් මට්ටමින් මත්පැන් විරෝධී රැස්වීම් සංවිධානය කිරීමට සහ ධර්මපාලතුමාගේ "සිංහල බෞද්ධයා" පුවත්පතේ පණිවිඩය ගෙන යාමට දායක විය. ඔහු සිය නිවස අවට ප්‍රදේශයේ දේශීය සංස්කෘතියට පටහැනි බටහිර සිරිත් විරිත්වලට එරෙහිව තරුණයන් සංවිධානය කළ බව සඳහන් වේ. ඔහු සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙනි. මහින්ද විද්‍යාලය යනු එකල බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානයකි. එහි විදුහල්පතිවරයා වූයේ ධර්මපාලතුමාගේ සමීපතම මිතුරෙකු වූ එෆ්.එල්. වුඩ්වර්ඩ් (F.L. Woodward) මහතාය. වුඩ්වර්ඩ් මහතා යටතේ වික්‍රමසිංහ මහතා බෞද්ධ දර්ශනය සහ ජාතික අභිමානය පිළිබඳ දැඩි ලෙස පෝෂණය විය. ධර්මපාලතුමා මහින්ද විද්‍යාලයට පැමිණි අවස්ථාවලදී කළ දේශනවලින් තරුණ වික්‍රමසිංහ මහතා දැඩි ලෙස උත්තේජනයට පත් වූ බව ඔහුගේ චරිතාපදාන සටහන්වල (උදා: Dr. S.A. Wickramasinghe: A Political Biography) දැක්වේ. 1920 දශකයේ අගභාගයේදී අනගාරික ධර්මපාලතුමා ලන්ඩනයේ බෞද්ධ විහාරයක් (London Buddhist Vihara) පිහිටුවීමට උත්සාහ කළ අවස්ථාවේදී, එහි සිටි සිසුන් අතරින් ඊට සක්‍රීයව සහාය දුන් අයෙකු වූයේ වික්‍රමසිංහ මහතාය. මාක්ස්වාදයට යොමු වීමට පෙර ඔහු ලන්ඩනයේදී බෞද්ධ සංගම්වල කටයුතුවලට සහ ධර්මපාලතුමාගේ ජාතිකවාදී ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වූ බවට ලේඛනගත සාක්ෂි පවතී. වික්‍රමසිංහ මහතා තරුණ අවධියේදී "සිංහල බෞද්ධයා" පුවත්පතට ලිපි සපයමින්, මෙරට ජනතාවගේ ආර්ථික හා සදාචාරාත්මක පරිහානියට හේතුව බ්‍රිතාන්‍ය පාලනය බව තර්ක කළේය. මෙය ධර්මපාලතුමාගේ "අධිරාජ්‍ය විරෝධී" මතවාදය සමඟ අතිශයින් සමපාත විය.

මේ අනුව ලංකා සමසමාජ පක්ෂය බිහි වීම සහ රටේ උගත්, ජවසම්පන්න තරුණ පරපුරෙන් සැලකිය යුතු පිරිසක් ඊට ආශක්ත වීම සිදු වූයේ, 1930 දශකය වන විට මෙරට සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය තුළින් ක්‍රියාකාරී, ජවසම්පන්න, සටන්කාමී ව්‍යාපාරයක් පැන නොනැගීම හේතුවෙන් බව පැහැදිලිව සඳහන් කළ හැකිය..

-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් -යුතුකම ජාතික සංවිධානය
[යුතුකම මාසික සඟරාවේ 2026 පෙබරවාරි කලාපයේ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ කම රැඳුණු අනුරපුර සිතුවම් කලාව

කතෘ:යුතුකම     2/28/2026   No comments

ලක්දිව හෙළ සිතුවම් කලාවේ සුපැහැදිලි ගමන්මඟ ආරම්භ වනුයේ අනුරාධපුර රාජධානි සමයත් සමඟය. වංශකතා හා විදේශිකයන්ගේ දේශාටන වාර්තා මඟින් එදා පැවති සාම්ප්‍රදායික අග්‍රගන්‍ය සිතුවම් කලාව පිළිබඳ තොරතුරු රැසක් හමුවේ. දෙවනපෑතිස් රාජ්‍ය සමයේදී බුදුදහම මෙරටට වැඩම වීමත් සමඟ, දහම පැතිරවීමේ ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් ලෙස සිතුවම් කලාව උපයෝගී කරගත් බව මෙම වාර්තා මඟින් හෙළි වේ. බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් ඇතුළත් 'පෙතිකඩ' (රෙදි සිතුවම්) නිර්මාණයන්ගෙන් අනුරාධපුර මංමාවත් සරසා තිබූ බව ෆාහියන් හිමියන්ගේ වාර්තාවල සඳහන් වේ. එමෙන්ම ලෝවාමහාපායේ සැලැස්ම පෙතිකඩක එක්තරා හිමිනමක විසින් සිත්තම් කර තිබූ බව ද කියැවේ.

වැඩ අවසන් නොවූ රුවන්වැලි මහා සෑය නිම වූ පසු දිස්වන ආකාරය දුටුගැමුණු රජුට පෙන්වීම සඳහා සද්ධාතිස්ස කුමරු රෙදිවලින් සෑය සරසා සිත්තරුන් ලවා සිතුවම් කරවූ බව වංශකතාවල සඳහන් වේ. එමෙන්ම රුවන්වැලි සෑ ධාතු ගර්භයේ පන්සිය පනස් ජාතකයම සිතුවම් කර ඇති බව මහාවංශය සාක්ෂි දරයි. රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර වාහල්කඩින් හමු වූ සිතුවම් කොටසින් එදා අනුරපුර යුගයේ පැවති ශෛලිය පිළිබඳ වැටහීමක් ලබාගත හැකිය. මෙම සිතුවමෙහි අන්තර්ගත වූයේ මිනිස් මුහුණක් හා පක්ෂියෙකුගේ ශරීරයක් සහිත 'කිඳුරු' රුවකි. කිසියම් සිදුවීම් දාමයක් නිරූපණය කිරීමට එකල ශිල්පියා දැරූ උත්සාහයට මෙය කදිම නිදසුනකි. හෙළ අනන්‍යතාව සහිත සම්භාව්‍ය චිත්‍ර කලා සම්ප්‍රදාය වඩාත් ඔප්නැංවී පෙනෙන්නේ ක්‍රි.ව. 5 වන සියවසට අයත් සීගිරි සිතුවම් කලාවෙනි. අනුරාධපුර යුගයේ සුවිශේෂීම සිතුවම් හමුවන්නේ සීගිරියෙනි. කාශ්‍යප රජු දවස (ක්‍රි.ව. 5 වන සියවස) නිම වූ සීගිරි සිතුවම්, දේශීය ලක්ෂණයන්ගෙන් පිරි සම්භාව්‍ය කලාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇති කදිම නිදසුනකි. මෙය ලෝකයා හමුවේ හෙළ කලාව ප්‍රදර්ශනය කරන ජාතික උරුමයකි. සීගිරි පර්වතය තම රාජධානිය කරගත් කාශ්‍යප රජු, අංග සම්පූර්ණ ආරක්ෂිත මෙන්ම අලංකාර බලකොටුවක් නිර්මාණය කළේය. පවුරු හා දිය අගල්වලින් වට වූ මෙම සංකීර්ණය අලංකාර උද්‍යාන, ජල තටාක හා ස්වයංක්‍රීය ජලමල් සහිත විසිතුරු නිර්මාණයකි. මෙම සියලු නිර්මාණ මධ්‍යයේ ප්‍රධාන පිවිසුම් මාර්ගය නිමවා ඇත. භූමියේ ස්වභාවික පිහිටීම විකෘති නොකොට සියලු නිර්මාණ සිදු කර ඇති අතර, සිංහ පාද ද්විත්වයක් මධ්‍යයෙන් ඉහළ මාලිගයට යා හැකි පියගැටපෙළ නිමවා තිබේ. සීගිරි රාජධානිය සියලු රාජශ්‍රීයෙන් අනූන වූ 'අහස් මාලිගාවක්' බඳු විය. කාශ්‍යප රජු සීගිරිය ආලකමන්දා පුරවරය සේ නිර්මාණය කොට එහි කුවේරයෙකු සේ රාජ්‍ය පාලනය කළ බව වංශකතා පවසයි. තිඹිරිවැව සෙල්ලිපියේ මෙය "කසබල අලකපය මහරජ" (කාශ්‍යප ආලකපය මහරජු) ලෙස පැහැදිලිව සඳහන් වේ.

සීගිරි පර්වතය මහාමේරු පර්වතය සේ සලකා ඒ මත ආලකමන්දා පුරය නිර්මාණය කරගත් කාශ්‍යප රජු, එම පුරය අහස් ගැබෙහි පවත්නා බව දැක්වීමට ඒ වටා ගැවසෙන වලාකුළු හා විදුලිය පර්වත බිත්තිවල සිතුවම් කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතයයි. ඒ අනුව මෙම කාන්තා රූපවලින් 'මේඝලතා' (වලාකුළු) හා 'විජ්ජුලතා' (විදුලිය) නිරූපණය වේ. මෙම රූපවල ඇති රේඛා ලාලිත්‍යය තුළින් හෙළ සම්භාව්‍ය චිත්‍ර කලාවේ අග්‍රගන්‍ය බව විදහා දැක්වේ.

සීගිරි ශිල්පියා සිතුවම් ඇඳීමට පෙර ගල් තලය මත බදාමයක් ආලේප කළේය. වැලි, මැටි, දහයියා, මැලියම් හා සත්ත්ව ලෝම සංයෝග කිරීමෙන් තනාගත් බදාමය රළු ගල් තලය මත තවරා, ඒ මත හුණු බදාම ආලේප කර ඔපමට්ටම් කළේය. එම බදාමය වියළීමට පෙර සිතුවම් ඇඳීම 'ෆ්‍රෙස්කෝ බුවනෝ' (Fresco Buono) සම්ප්‍රදාය ලෙස හැඳින්වේ. එහෙත් මෑතකදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණවලට අනුව හුණු ආලේපය වියළුණු පසු ඒ මත සිතුවම් ඇඳ ඇති හෙයින්, මෙය 'ටෙම්පෙරා' හෙවත් 'ෆ්‍රෙස්කෝ සිකෝ' (Fresco Secco) සම්ප්‍රදායට අයත් බව විද්වතුන් පවසයි. වර්ණ බදාමයට උරාගෙන තිබීම හා මූලික රේඛා මැකීමට නොහැකි වීම නිසා මෙය බොහෝ කලක් ආරක්ෂා වී පවතී.

සීගිරි සිත්තරාගේ වස්තු විෂය වූයේ සුන්දර ලලනාවන්ගේ උඩුකය රූ සපුවයි. පුළුල් උකුල හා සිහින් ඉඟ පෙන්වා ඇති අයුරු කාව්‍යමය ලක්ෂණ පෙන්වයි. පියකරු මුහුණ, දිගටි නාසය හා කාන්තිමත් දෙනෙත් මෙම සිතුවම්වලට ජීවය සපයයි. ශිල්පියා යොදාගත් ආභරණ හා සැරසිලි මඟින් ලාලිත්‍යමය ස්වභාවය මතු වේ. සිතුවම් සඳහා රතු, අඳුරු කහ හා කොළ වර්ණ සමඟ සුදු හා කළු මිශ්‍ර කරගෙන ඇත. වර්ණ පූරණයෙන් පසු රුව වටා ප්‍රාණවත් රේඛා කරණයක් යොදාගෙන තිබේ. සිහින් හා පුළුල් ලෙස යොදා ඇති මෙම රේඛා සිතුවම්වලට ජීවයක් එක් කරයි. වේගවත් පින්සල් පහරවල් හා රේඛා භාවිතය තුළින් එකල සිත්තරා සතු වූ මනා සංයමය විදහා දැක්වේ.

සීගිරි සිතුවම් පිළිබඳ විද්වතුන් විවිධ මත පළ කර ඇත. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ අඳුරු පැහැති රූපවලින් වලාකුළු (මේඝලතා) ද, රන්වන් පැහැති රූපවලින් විදුලිය (විජ්ජුලතා) ද නිරූපණය වන බවයි. ආනන්ද කුමාරස්වාමි මහතාගේ මතය වූයේ මොවුන් 'අප්සරාවියන්' (දිව්‍ය අප්සරාවන්) බවයි. එච්.සී.පී. බෙල් මහතා පැවසුවේ කාශ්‍යප රජුගේ බිසෝවරුන් හා සේවිකාවන් මල් රැගෙන පිදුරංගල විහාරයට යන ආකාරය මින් නිරූපණය වන බවයි.

සීගිරියේ කැටපත් පවුරේ ඇති 'සීගිරි කුරුටු ගී' තුළින් මෙම සිතුවම් පිළිබඳ තොරතුරු රැසක් හමුවේ.

එකල සීගිරිය නැරඹීමට පැමිණි රසිකයන්ගේ අව්‍යාජ සිතුවිලි කුරුටු ගී ලෙස එහි සටහන් විය. මීට අමතරව පර්වතය පාමුල ඇති ආසන ගුහාව, නයිපෙන ගුහාව හා චිත්‍රලතා ගුහාව තුළ ද සිතුවම් කොටස් හමුවේ. මේවා ලෞකිකත්වයට පමණක් සීමා නොවූ විවිධ තේමාවන්ගෙන් යුක්තය. අනුරාධපුර සිතුවම් කලාවේ මහිමය සීගිරියෙන් පමණක් නොව හිඳගල, ගොනාගොල්ල වැනි ස්ථානවලින් ද අනාවරණය වේ.

මෙම අග්‍රගන්‍ය සිතුවම් රැකගෙන අනාගත පරපුරට දායාද කිරීම සිත්තරුන් මෙන්ම පුරවැසියන් වන අප සැමගේම යුතුකමකි

-පසිදු ධර්මවංශ-

පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ ලේකම් යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ හාමුදුරුවෝ අපේ රජ්ජුරුවෝ හා අපේ මිනිස්සු

කතෘ:යුතුකම     2/28/2026   No comments

‘ඉක්බිති ගැමුණු කුමරු ජනයා සංග්‍රහ කොට ගෙන කුන්තයේ ධාතු නිධන් කරවා යාන වාහන හා බලසෙන් ඇති ව තිස්සමහාරාමයට ගොස් සංඝයා වැඳ ‘සාසනය බබලවන්නට මම ගඟ එතෙර වන්නෙමි. සත්කාර පිණිස කැටුව යන්නට මට භික්ෂූන් දුන මැනවි. භික්ෂූන්ගේ දර්ශනය අපට මඟුල් ද ආරක්ෂා ද වන්නේ යැ යි කීවේ ය’ (මහාවංශය)

ඒ මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා වූ ගැමුණු මහරජ ඒ තීරණාත්මක ගමන යෑමට තමන් සමඟ එකතු වන ලෙසින් සංඝයා වහන්සේලාට කළ ආරාධනය යි. තිස්සමහාරාමයේ නායක ථෙරෝ ඔහුගේ ඉල්ලීම ඉටු කළෝ ය. මේ සිද්ධිය මෙරට දේශපාලනයේ අදටත් නොවෙනස් ව පවතින දේශපාලන සම්ප්‍රදායක ආරම්භය සනිටුහන් කරන්නෙකි.

මෙය අප විසින් සැලකිය යුත්තේ සංඝයා වහන්සේ දේශපාලනයට මැදිහත් වීමක් ලෙස පටු අර්ථයකින් නොව ඉන් ඔබ්බට ගිය පුළුල් දැක්මක් තුළයි. අප එය සැලකිය යුත්තේ ගුණදාස අමරසේකර මහතා සඳහන් කරන මේ රට රාජ්‍යයේ සංඝයා, රජු හා ජනතාව අතර පැවති අඛණ්ඩ ත්‍රිකෝණාකාර සම්බන්ධතාවයේ ආරම්භය ලෙසයි. එදා මෙදා තුළ මෙරට බුදු සමය සුරැකුණේ මේ සම්බන්ධතාවය මත ය. අමරසේකර මහතා පෙන්වා දෙන අයුරින් ම මේ සම්බන්ධතාවයන් ප්‍රබල වූ කාල වලදී රට සශ්‍රීක වූ බවටත්, දුර්වල වන අවස්ථා වලදී රට පිරිහුණු බවටත් ඉතිහාසය සාක්ෂි දරනු ඇත.

ගැමුණු රජ හා තිස්ස කුමරුන් අතර රාජ්‍යත්වය සඳහා සටන් ඇති විය. වරක් සටනකින් පරාජය වූ තිස්ස කුමරුන් විහාරයක් තුළට වැද එහි වැඩ විසූ ථෙරන් වහන්සේගේ පිහිට පැතී ය. උන් වහන්සේ තිස්ස කුමරුවන් ඇඳ යට සඟවා සිවුරකින් මුවා කළෝ ය. ලැගුම් ගෙට තනිව පැමිණි ගැමුණු රජ තිස්ස කොහිදැයි ථෙරුන් විමසී ය. ථෙරුන් වහන්සේ ඇඳෙහි නැතැයි පිළිතුරු දුන් කල ගැමුණු රජ, උන්වහන්සේට වැඳ නමස්කාර කොට තිස්ස කුමරුවන් නොදුටුවා සේ පිට ව ගියෝ ය. මෙය උදාර රාජ්‍ය නායකයකු සංඝයා වහන්සේ කෙරෙහි පැවතිය යුතු ශිෂ්ට සම්පන්න වූ ද ගෞරවනීය වූ ද පිළිවෙත යි. එම ක්‍රියාව, රජතුමා විසින් මේ රට තුළ නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ දේශපාලන දර්ශනය පිළිබඳ ව එතුමා තුළ තිබූ දැක්ම ද පිළිබිඹු කරන්නකි.

භික්ෂූන් වහන්සේලා විසින් මළ සිරුරක් ගෙන යන විලාසයෙන් තිස්ස කුමරුවන් විහාරයෙන් පිටමං කරන අයුරු දකින ඒ අසල රැකවල් ලා සිටි ගැමුණු කුමරු “තිස්ස ය, තෝ කුල දේවතාවන් ඉස ඉඳගෙන යනු නො ලැබ, කුල දේවතාවන් අතින් මාගේ පැහැර ගැනීමක් නැත්තේ ය. තෝ කුල දේවතාවන් ගුණ සිහි කරව” යි කීය. (මහාවංශය)

මෙරට බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය නායකයින් දෙදෙනෙකු හද තුළ සංඝයා වහන්සේ කෙරෙහි පැවති මිත්‍ර ලීලාව ද අප්‍රමාණ ගෞරවය ද පිළිබිඹු කරන්නෙකි මහාවංශයේ එන මේ සිද්ධිය. ඒ ඔවුන් උදාර වූ දෙමව්පියන් ගෙන් ද මේ රටේ ඉතිහාසයෙන් ද උරුම කරගත් සභ්‍යත්ව විඥානය යි. කුමරුවන් දෙදෙනා කුඩා කාලයේ දී ම, කිසිම දිනක සංඝයා වහන්සේ වෙත නො කළකිරෙනු බවට විහාර මහා දේවිය විසින් ගිවිස්වා ගනු ලබයි. රට රැක ගැනීම සඳහා සිය ජීවිතය කැප කිරීමට තරම් උදාර කාන්තාවක වූ විහාර මහා දේවිය සිංහලයේ බෞද්ධ ඉතිහාස කතාව නිර්මාණය කළ කාන්තාව වී ය. මේ බටහිර ජාතීන් ගැහැණුන් ද මනුෂ්‍යයින් කොටසක් බව තේරුම් ගැනීමට ද වසර දහස් ගණනකට පෙර දී ය.


මහසෑයේ ඉදිකිරීම් කටයුතු සමාරම්භක උත්සවය නන් දෙසින් සංඝයා වහන්සේලා මෙන් ම රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද පැමිණ සිටිය හ. එය ලොව පැවැති ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ උත්සවය ලෙසින් ගිණිය හැක. ගැමුණු මහරජ තුමා එම උත්සවය අතිඋත්කර්ෂවත් ලෙස පැවැත් වූයේ එතුමා විසින් ගොඩ නැගූ බෞද්ධ රාජ්‍යය පිළිබඳ ව අසල් වැසි රාජ්‍යයන් දැනුවත් කිරීමේ අභිලාෂය ද ඇතිව විය යුතු ය. එම ක්‍රියාව එතුමාගේ දුර දක්නා දේශපාලන නුවණ ප්‍රකට කරතැ යි සිතමි.

උත්සවය ආරම්භ වන මොහොතේ දී එහි වැඩ සිටි සිද්ධාර්ථ නම් වූ දුර දක්නා නුවණින් හෙබි භික්ෂුවක් මේ සා විසල් ස්ථූපයක් ඉදි කිරීම තුළින් එය පවත්වා ගෙන යෑමේ දී මතුවිය හැකි ගැටළු සම්බන්ධයෙන් රජතුමා දැනුවත් කළෝ ය. උන්වහන්සේ ට සවන් දෙන රජතුමා මහ සෑය ප්‍රමාණයෙන් කුඩා කිරීමට අවසන් මොහොතේ දී තීරණය කරයි. අදත් සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානයේ පිළිබිඹුවක් ලෙසින් සැලකෙන රුවන්වැලි මහසෑය නිරුපද්‍රිතව පවතින්නේ සංඝයා වහන්සේගේ උපදෙස් මත රජතුමා විසින් ගන්නා ලද ඒ බුද්ධිමත් තීරණය නිස යි.

බලාපොරොත්තු වූ ලෙසින් ම ගැමුණු රජතුමා තමා අතින් යුද්ධයේ දී සිදු වූ මනුෂ්‍ය ඝාතනයන් පිළිබඳ ව පසුතැවිල්ලට පත් වූ අතර එවන් අවස්ථා වල දී සංඝයා වහන්සේ විසින් නොයෙක් අයුරින් එතුමා අස්වසනු ලැබී ය. රජතුමාගේ අවසන් මොහොතේ දී මහ සෑ මළුවට වැඩම කරන දසමහ යෝධයින් අතරින් අයෙකු වූ ථෙරපුත්තාභය මහ රහතන් වහන්සේ ගැමුණු රජුන්ට අවවාද කරන්නේ යුද්ධය පිළිබඳ ව නොව, තමා විසින් කර ඇති අප්‍රමාණ වූ පුණ්‍ය කටයුතු පිළිබඳ ව සිහි කරන ලෙසට යි.

ගැමුණු මහරජ අවසන් මොහොතේ දී සිය අනුප්‍රාප්තිකයා වූ සද්ධාතිස්ස කුමරුවන් අමතා පවසන්නේ සංඝයා වහන්සේලා හා සම්බන්ධ කටයුතු වල දී කිසි ලෙසකින් වත් පමා නොවන ලෙසටයි. එම අවවාදය සද්ධාතිස්ස රජුන්ගේ සිට පැවත ආ වඩුග රජුන් ද ඇතුළු සිංහලේ සියලු රජවරුන් විසින් අනුගමනය කළ පිළිවෙත වී ය. එතැනිනුත් නොනවතී යටත් විජිත යුගයේ දී සියලුම විමුක්තිකාමීන් ද මේ සම්ප්‍රදාය හොඳින් දැන එයට අනුගත වූ බවටත් ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන් ම නිදහසින් පසුව ද මේ පිළිවෙත වෙනස් නොවීය. එමඟින් පිළිබිඹුවන යථාර්ථය නම් මේ රටේ ගැමුණු රජ සමයේ ස්ථාවර වුණු ඒ සංඝයා, රාජ්‍ය හා ජනතාව අතර පවතින ත්‍රිකෝණාකාර සම්බන්ධය තවමත් බිඳ වැටී නැති බව නොවේද? අමරසේකර මහතා විසින් සභ්‍යත්ව විඥානය ලෙසින් හඳුන්වා දෙන්නේ මෙය යි.

අප මේ කතා කරන සභ්‍යත්ව රාජ්‍ය හා ඒ මත පදනම් වූ සිංහල බෞද්ධ ජාතික චින්තනය නූතන ලෝකයට වලංගු වන්නේ කෙසේද යන ප්‍රශ්නය ‘උගතෙකු’ තුළ ඇති විය හැක. එ මඟින් සිංහලයා විසින් අතීතයේ දී කළ විස්කම් පිළිබඳ තොරතුරු හා සාක්කි එමට ය. ඒ සඳහා මෑත ම මෑත ඉතිහාසයෙන් ගත හැකි එක් උදාහරණයක් පමණක් ගෙනහැර දක්වමින් මෙම සටහන නිමා කරමි.

21 වැනි සියවසේ දී ලොව ම අන්ද මන්ද කළ මානුෂීය මෙහෙයුමකින් යටත් විජිත වාදීන් විසින් පෝෂණය කරනු ලබන ජාත්‍යන්තර ත්‍රස්ත ව්‍යාපාරයක් ලොව මුල්වරට සහමුලින් ම පරාජය කරනු ලැබී ය. ඒ මා කතා කරන සභ්‍යත්ව විඥානය මත පදනම් ව කරන ලද මෙහෙයුමකි. එම පරාජය තුළින් තමන්ට වූ අවමානය හා අලාභය වසා ගැනීමටයි නව යටත් විජිතවාදීන් විසින් ජාතිවාදී කොටස්වල සහයෝගය ද ඇතිව ප්‍රථම වරට සභ්‍යත්ව විඥානය යනු කුමක් දැ යි තේරුම් ගැනීමට තරම් මුහුකුරා ගිය දේශපාලන බුද්ධියක් නැති තුප්පැහි පිරිසකට රාජ්‍යයක් බිහි කර ගැනීමට ඉඩකඩ සලසා දුන් වාතාවරණයක් මෙරට නිර්මාණය කර දුන්නේ.සිදු වෙමින් පවත්නා සිත කලකිරවන සුළු සිද්ධීන් නිසා අප කලකිරී පසුබට විය යුතු නැත්තේ සභ්‍යත්ව විඥානය තුළ විස්මිත නිර්මාණශීලී විභවයක් නිධන් වී ඇති බැවිනි. අපේ ඉතිහාස කතාව පුන පුනා පෙන්නා දෙන්නේ එය යි.

- විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි -
විශ්‍රාමික මහාචාර්ය රුහුණු විශ්ව විද්‍යාලය
[යුතුකම මාසික සඟරාවේ 2026 පෙබරවාරි කලාපයේ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

බෞද්ධයන්ට අහිමි වී යන උරුමය

කතෘ:යුතුකම     2/28/2026   No comments



වඩ්ඩමාන පබ්බත හෙවත් වඩුන්නාගල විහාරය

ශ්‍රී ලංකාවේ ජනාවාස විකාශනය පිළිබඳ අවබෝධයක් ඇති සැවොම දන්නා කරුණක් නම්, බුදුදහම ලැබීමත් සමඟ අනුරාධපුරය මුල් කරගෙන විකාශනය වූ බුදුසමයේ සශ්‍රීකම බෞද්ධ ප්‍රබෝධය ඇති වූයේ අනුරාධපුරයෙන් උතුරු දෙසට වන්නට බවයි. ඒ මිහින්තලය මධ්‍යස්ථානය කරගනිමිනි. අදටත් වැඩිම බෞද්ධ පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවන්නේ ලංකාවේ අනෙක් පළාත්වලට සාපේක්ෂව මෙම කලාපයෙනි. එයින් වවුනියා දිස්ත්‍රික්කය සුවිශේෂී වේ.

උතුරු පළාතේ වවුනියා දිස්ත්‍රික්කයට අයත් නයිනමඩු වන රක්ෂිතය මධ්‍යයේ, අඩි 300ක් පමණ උසැති ලෙන් සහිත පර්වත භූමියක් වටා මෙම සුන්දර බෞද්ධ ආරාම සංකීර්ණය පිහිටා ඇත. මෙම ස්ථානය සඳහා මෑතකදී ‘වෙඩිකිනාරිමලය’ යන නම භාවිතා කිරීමට පටන්ගෙන තිබේ. එහෙත් මෙහි ඓතිහාසික නාමය ‘වඩ්ඩමාන පබ්බත විහාරය’ බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් පෙන්වා දී ඇත. අනුරාධපුර යුගයේ මුල්ම කාලයට අයත්, රහතන් වහන්සේලාගේ පහසින් හෙබි මෙම වඩුන්නාගල විහාරයේ අඳුරු ශෝකාලාපය මෙසේ දිග හරිමි.

වඩුන්නාගල පිළිබඳ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ, මෙය ක්‍රි.පූ. 3-1 සියවස්වලට අයත්, වංශකතාවල මෙන්ම ශිලා ලිපිවල ද සඳහන් වන පුරාණ බෞද්ධ ආරාමයක් බවයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ මතය අනුව මෙම විහාරය නාග ගෝත්‍රිකයන්ගේ නිර්මාණයකි. මෙහි ඇති බ්‍රාහ්මී ගුහා ලිපිවල බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ලෙන් පූජා කළ බව පැහැදිලිව සඳහන් වේ. ඉන් එක් ලිපියක, "පරුමක පුෂමිතපුතෂ මහ ලෙනේ අගත අනගත චතුදිශ සඝස දිනේ" (ප්‍රමුඛ පුෂමිතගේ පුත් විසින් සිව්දිගින් පැමිණි නොපැමිණි මහා සංඝයාට මේ මහා ලෙන පරිත්‍යාග කරන ලදී) යනුවෙන් සඳහන් වේ. ක්‍රි.පූ. 2 වන සියවසේදී මහා සංඝරත්නය උදෙසා සඝසතු කොට මෙම ලෙන් පූජා කළ බව එහි ඇති ප්‍රධාන සෙල්ලිපි තුනක දැක්වේ. මෙම ලිපි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා, ‘Inscriptions of Ceylon – Volume I’ ග්‍රන්ථයේ ප්‍රකාශයට පත් කර ඇත.

විශේෂයෙන්ම පර්වතය මුදුනේ ස්තූප දෙකක නටබුන් පැවති අතර, ඒවා මුලින් සොයාගන්නා විට එක් ස්තූපයක් අඩි 46ක වටප්‍රමාණයකින් සහ අඩි 11ක උසකින් ද, අනෙක් ස්තූපය අඩි 21ක වටප්‍රමාණයකින් සහ අඩි 06ක උසකින් ද යුක්ත විය. මෙම ආරාමය වටා පුරාණ වැව් 11ක් හමුවීමෙන් තහවුරු වන්නේ, වඩුන්නාගල යනු හුදෙක් එක් විහාරයක් නොව විශාල පුරාණ ජනාවාසයක මධ්‍යස්ථානයක් බවයි. එම නටබුන් අතර කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගිය සිරිපා ගලක් සහ බුද්ධ ප්‍රතිමාවක කොටසක් ද හමු විය.

2010 වසරේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය නැවත හඳුනාගෙන ලේඛනගත කරන අවස්ථාවේදී මෙහි තිබුණේ පුරාණ බෞද්ධ ආරාම අවශේෂ පමණි. එහි කිසිදු නව ගොඩනැගිල්ලක් හෝ වෙනත් ආගමික සංකේත තිබුණේ නැත.

නමුත් 2018 වසරෙන් පසු මෙම ස්ථානයට අතිශය කනගාටුදායක ඉරණමක් අත්විය. බ්‍රාහ්මී ලිපි සහිත ගුහාවල බිම් පුරවා, පර්වත මුදුනේ තිබූ ස්තූප විනාශ කර, නව දේව රූප ස්ථාපිත කරන ලදී. නයිනමඩු වනාන්තර සංරක්ෂිතය ද කපා දමා මුළු පුරාවිද්‍යා භූමියම ගිනිතැබීම ද සිදු විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අනවසර ක්‍රියාවන්ට එරෙහිව 2019 සහ 2020 වසරවල අවස්ථා තුනකදී නඩු පවරා ඇත. මේ සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර, එම නඩු තවමත් වවුනියා අධිකරණයේ පවතී. එහෙත් විවිධ බලපෑම් හේතුවෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවට තොරතුරු අනාවරණය වේ.පැවති ස්තූප දෙකෙහි ගඩොල් ගලවා වෙනත් තැනක ගොඩගසා ඇති අතර, තිබූ සිරිපා ගල ද අතුරුදන් කර ඇත. සෙල්ලිපි මතට පිටතින් පස් ගෙනැවිත් දමා සමතලා කොට වසා දමා ඇත. වසර කිහිපයකට පෙර පූජාවක් පැවැත්විය යුතු යැයි පවසා ඔවුන් අනවසරයෙන් පඩිපෙළක් තනා පර්වතය මතුපිට තිබූ සියලුම විහාර අංග අතුරුදන් කොට තිබේ. ස්තූප පැවති භූමිය තුළ ශිව ලිංගයක් තබා එය කෝවිලක් බවට පත් කර ඇත. ඒ අනුව අද මෙය ‘වඩ්ඩමාන පබ්බත විහාරය’ නොව ‘වෙඩුක්කුනාරි ආදිලිංගේශ්වරර්’ කෝවිල බවට පත් කර තිබේ.

මෙහි වඩාත් කනගාටුදායක කරුණ වන්නේ, පුරාවිද්‍යා ස්ථානයක අනන්‍යතාව විනාශ කිරීම භෞතික විනාශයට සමානව බරපතල අපරාධයක් වීමයි. 1940 අංක 9 දරන පුරාවිද්‍යා ආඥා පනත අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ආගමික කටයුත්තක් හෝ ගොඩනැගිල්ලක් පුරාවිද්‍යා භූමියක සිදු කළ නොහැක. ‘වඩුන්නාගල විහාරය’ බෞද්ධයන්ට පමණක් නොව, සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අයත් පොදු උරුමයකි.
 
තව ද, දෙමළ අන්තවාදීන් මෙම ස්ථානය කෝවිලක් ලෙස හඳුන්වමින් අන්තර්ජාලය සහ ගූගල් සිතියම් (Google Maps) ඔස්සේ ද වැරදි තොරතුරු ප්‍රචාරය කරමින් සිටී. වඩ්ඩමාන විහාරය ලෙස යමෙකු ගූගල් සිතියම්වල සලකුණු කළ ද, සංවිධානාත්මක පිරිස් විසින් එය වාර්තා (Report) කර ඉවත් කරවනු ලබයි. උතුර සහ නැගෙනහිර පළාත්වල පමණක් බෞද්ධ ස්මාරක 1600කට වඩා හඳුනාගෙන ඇති හෙයින්, නිල වශයෙන් මෙම ස්ථාන පිළිබඳ නිවැරදි තොරතුරු ගූගල් වැනි සමාගම් වෙත තහවුරු කිරීම සංස්කෘතික අමාත්‍යාංශයේ වගකීමකි. අද අප මෙම විනාශය හමුවේ නිහඬව සිටින්නේ නම්, හෙට තවත් පුරාවිද්‍යා ස්ථාන රැසකට මෙවැනිම ඉරණමක් අත්වනු ඇත. වඩුන්නාගල වැනි අගනා පුරාණ උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සමාජයේ සියලු දෙනාගේ හඬ සහ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. ජාතියක් වශයෙන් අනාගත පරපුරට උරුමයක් ඉතිරි කිරීමට නම්, අප අද අපේ උරුමය රැක ගැනීමට කැප විය යුතුය.

- නොනිත් ලක්නිදු කරසිංහ -
ජාතික උරුමයන් සුරැකීමේ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරී සාමාජික, ඉතිහාස ගවේෂක, චිත්‍ර ශිල්පී, පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ සභාපති

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

‍යුතුකම කතු වැකිය - 2026 පෙබරවාරි

කතෘ:යුතුකම     2/28/2026   No comments


යුතුකම කතු වැකිය......

2025 වසර පුරා 'යුතුකම' සඟරාවේ කලාප 12ක් මුද්‍රණය කෙරුණි. අද දින අප දකින දේ ලියා තැබීම අදට වඩා අනාගතයට වැදගත් වනු ඇත.

එක් අතකින් මෙය උඩුගං බලා පිහිනීමට තැත් කිරීමකි. උඩුගං බලා පිහිනීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව එසේ කිරීමට උත්සාහ කළ ඇත්තෝ දනිති. අප විසින් දියත් කොට ඇති උඩුගං බලා පිහිනීමේ උත්සාහය තවමත් සම්පූර්ණයෙන් සාර්ථක වී නැති බව අපි දනිමු. අප තවම පිහිනා ඇත්තේ සෙන්ටිමීටර කිහිපයක දුරක් පමණි. නමුත් අපි අපේ උත්සාහය අත් නොහරින්නෙමු.

ලෝකය වෙනස් කරනු ලබන්නේ එසේ වෙනසක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් යුතුව අවංක උත්සාහයක් දරන සුළුතරයක් විසිනි. එම සුළුතරය වන්නේ මතුපිටින් පෙනෙන අර්බුදය විනිවිද දකින මිනිසුන්ය. ලෝක ඉතිහාසය පිරික්සා බැලීමේදී එය පසක් වේ.

ලෝකයට වෙනසක් අවශ්‍යව ඇත්තේ ලෝකය දැනට ගමන් කරන මාර්ගය යහපත් එකක් නොවන බැවිනි. මානව ශිෂ්ටාචාරය ගමන් කරමින් ඇත්තේ විනාශකාරී මාවතකය. නිවීම ඇත්තේ තමා තුළම බව බෞද්ධයන් වන අපි දනිමු. එහෙත් නිවන තෙක් ජීවත් වීමට ලෝකයක් වුවමනා වී ඇත. වියවුල්වලින් පිරි ලෝකයක් තුළ නිවන් මඟ වැසී යනු ඇත; ධර්මය අතුරුදහන්ව යනු ඇත.

අනුන්ගේ නිවන වෙනුවෙන් තමන්ගේ නිවන කැප කරන්නෝ වීරයෝ වෙති. ඒ වීරත්වයේ ආදර්ශය ගාමිණී අභය මහරජු හෙවත් සිංහල ඉතිහාසයේ මහා වීරයා විසින් අප වෙත ලබා දී ඇත. අපගේ පරමාදර්ශය ලෙස අප දකින්නේ එයයි.

ලංකාවේ නූතන ජාතික ව්‍යාපාරය 1860 දශකය දක්වා දිව යයි. උඩරට ගිවිසුමෙන් පසුව සිංහල කිරුළ ඇද වැටීමත් සමඟ බුද්ධ ධර්මය අනාරක්ෂිත වූ අතර බෞද්ධයන්ට මහත් ගැහැටට මුහුණ දීමට සිදු විය. 1860 දශකයේදී බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ මුල් බිජු වැපිරුණේ මෙවන් පසුබිමකයි. පසුව ධර්මපාල ශ්‍රීමතාණන් ප්‍රමුඛ ජාතික නායකයන් විසින් බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය 'සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය' ලෙස ඔසවා තබන ලදි. 1956 දී පළමු වරට මෙම ප්‍රවාහය රටේ දේශපාලන බලයේ ප්‍රධාන කොටස්කරුවා බවට පත් විය. නමුත් එම බලය අත්පත් කර ගැනීම නියමාර්ථයෙන් ජාතියේ ජයග්‍රහණයක් බවට පත් කිරීමට එම ප්‍රවාහය එදා අසමත් විය.

එතැන් සිට ගත වූ අඩ සියවස තුළ කොතරම් දේ සිදු වී ද? ජාතිය හමුවේ එතෙක් පැවති අධිරාජ්‍යවාදයේ අභියෝගයට අමතරව බෙදුම්වාදය, අන්තවාදය සහ මූලධර්මවාදය හිස ඔසවා ජාතිය කොතරම් නම් අසරණ කළේ ද?

1860 පටන් ආරම්භ වී ධර්මපාල චින්තනය ඔස්සේ පැමිණ, 1956 දී බලයට පත්ව, පසුව බෙදී වෙන් වී දුර්වල වී ගිය ජාතික ව්‍යාපාරය 1980 දශකයේ අග භාගයේදී නැවත 'ජාතික චින්තන' මතවාදය ලෙස කෙමෙන් හිස ඔසවා ආවේය. එය 2009 දී එවකට ලෝකයේ සිටි බිහිසුණුම ත්‍රස්ත ව්‍යාපාරය වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරන්නට සමත් වුණේ ජාතියේ ජීවගුණය නොනැසී පවතින බව ලොවට පසක් කර දෙමිනි. එහෙත් ඒ ජයග්‍රහණයේ උණුසුම මැකී යාමටත් මත්තෙන් එම ප්‍රවාහය නැවත බෙදී වෙන් වී දුර්වල වී ගියා නොවේද?

ජාතියක් ලෙස අප පසුගිය සියවස තුළ ජයග්‍රහණයක් ලබාගත් වහාම ඊට පසුව දරුණු පරාජයන්ට ලක් වන්නේ අප අවාසනාවන්තයන් නිසා ද? ඇතැමෙක් පවසන පරිදි සිංහල ජාතිය කුවේණියගේ ශාපයට ලක් වී ඇත් ද? එසේ නොමැති නම් අප මෙතරම් වරද්දා ගන්නේ මන්ද? මේ වරද්දා ගැනීම තවදුරටත් සිදු වන්නේ නම් එහි කෙළවර කුමක් ද? අපට මේ වරද්දා ගැනීම නතර කළ නොහැකි ද? හැකි නම් ඒ කෙසේ ද? ඒ සඳහා ගත යුත්තේ කිනම් පියවර ද? අප ගත යුතු මඟ කුමක් ද?

'යුතුකම' අප සිතන්නේ අපේ යුග කාර්යභාරය වන්නේ මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා ගැනීම බවයි.

2026 වසර 'යුතුකමට' වැදගත් වසරක් වනු ඇත. මෙම වසර අවසන් වන විට අප යම් වැඩපිළිවෙළක් ජාතිය හමුවට ඉදිරිපත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටින්නෙමු.

ඒ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහෘද ඔබගේ අවංක ආශිර්වාදය අප වෙත ලබා දෙන්න.

- යුතුකම සඟරා සංස්කාරක මණ්ඩලය

- යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions