8/02/2018

ඉන්දු - ලංකා ගිවිසුමට වසර 31කට පෙර බලහත්කාර යෙන් අත්සන ගත් හැටි

කතෘ:යුතුකම     8/02/2018   No comments
-ධර්මන් වික්‍රමරත්න-වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්‌ස්‌ පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධාන්‍ය වර්ග ඇතුළත් බෝට්‌ටු 25 ක්‌ විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්‌ෂකයන් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්‌ටු 19 ක්‌ පස්‌වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකරගේ උපදෙස්‌ පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාඡ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්‌ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමැති ලලිත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක්‌ මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්‌ටු රාත්‍රී 9.30 ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්‌ බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4 වැනිදා පස්‌වරු 2.30 ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්‌වරු 3.30 ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්‌ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස්‌ තිලකරත්න එදිනම පස්‌වරු 2.55 ට කොළඹ සිටින විදේශ ඇමති ඒ. සී. එස්‌. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්‌ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීමට එජාප ආණ්‌ඩුව තීරණය කර ඇති බවය.

වසර 1987 ජුනි 4 වැනිදා පස්‌වරු 3.55 ට ඉනදියාවේ බැංගලෝරයේ පිහිටි හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්‌ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5 ක්‌ ටොන් 25 ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්‌වරු 5 ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්‌වල සවිකරන ලද භාණ්‌ඩ පෙට්‌ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්‌ති මෙහෙයුම තවදුරටත් කරගෙන යැම නතර කිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සඳහා ආරක්‌ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතර කිරීමට ආණ්‌ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්නේය.

එජාප ආණ්‌ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කළ හැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්‌ති පෙරමුණ සිය 2 වැනි කැරැල්ල 1986 දී බෞතීස්‌ම කරමින් කියා සිටියේය. ජවිපෙ මතුකළ ඉන්දු - ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්‌බිමෙන් සියයට 30 ක්‌ සහ වෙරළින් සියයට 60 ක්‌ දෙමළ බෙදුම්වාදීන්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැඟීසිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය.

ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3 කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්‌ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14 ක්‌, උප යාන්ත්‍රික තුවක්‌කු 53 ක්‌, සැහැල්ලු යාන්ත්‍රික තුවක්‌කු 2 ක්‌, පිස්‌තෝල 6 ක්‌, වෙඩි උණ්‌ඩ 3,300 ක්‌ පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්‌ෂාවට එජාප ආණ්‌ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15 වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදී අවි පැහැරගෙන තිබිණි.

ඉන්දියාව ජුනි 04 වැනිදා පස්‌වරු 3.15 ට ගුවනින් ශ්‍රී ලංකාවට පරිප්පු ඇතුළු සහනාධාර බලහත්කාරයෙන් දැමීම හේතුවෙන් ජනාධිපති ජයවර්ධන බියපත්ව සිටියේය. එයට හේතු වූයේ ඒ වන විට රට තුළ ආණ්‌ඩුවට එරෙහිව පොදු ජනතාව තුළින් ප්‍රබල විරෝධයක්‌ මතුවී තිබීම නිසා ජනතා පදනම දෙදරා තිබිණි. රටපුරාම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව විරෝධතා මතුවෙමින් තිබිණි. අගමැති ප්‍රේමදාස ඇතුළු ඇමැති මණ්‌ඩලයේ බහුතරයකට නොදන්වා ඉන්දු ලංකා ගිවිසුමට ඡේ. ආර්. කැමැත්ත දී තිබිණි. ඉන්දු ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක්‌ මෙන් එකිනෙකට බැඳී පවතින කාරණා තුනකි. පළාත් සභා ඇතිකළ 13 ව්‍යවස්‌ථාව සංශෝධන උපන්නේ ඉන්දු ලංකා ගිවිසුම තිඹිරිගෙය කරමිනි. ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජුලි 28 වැනිදා කොටුව බෝගහ යටින් ආරම්භ වූ කැරැල්ල 29 වැනිදා වන විට රටපුරාම පැතිර යමින් තිබිණි. ඇඳිරි නීතිය පනවා විරෝධතා ව්‍යාපාර මර්දනයට සියලු ක්‍රමවේදයන් ක්‍රියාවට නැඟිණි.

ඉන්දු - ලංකා ගිවිසුම ඉන්දියාවේ රජිව් ගාන්ධිට දාව ජයවර්ධන ආණ්‌ඩුව යටතේ උපන්නද එයට පීතෘත්වය, මාතෘත්වය දුන් පිරිස වූයේ තීරය පිටුපසය. ඇමතිවරුන් වූ ගාමිණී දිසානායක, රොනී ද මෙල් ජනාධිපති ජයවර්ධන වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනී සිට එයට සහයෝගය දැක්‌වූහ. අගමැති ආර්. ප්‍රේමදාස සහ ජාතික ආරක්‌ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි, අමාත්‍ය ගාමිණී ජයසූරිය වැන්නවුන් යෝජිත ගිවිසුම පිළිබඳව තම අප්‍රසාදය පළකරමින් එය අත්සන් කිරීම සඳහා අගමැති රජිව් ගාන්ධිගේ පැමිණිමේ උත්සව වර්ජනය කළහ.

ඉන්දීය රජයේ උපදෙස්‌ අනුව 1987 ජුලි 21 වැනිදා යාපනයට ගිය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ දෙවැනි ලේකම් එච්. එස්‌. ජූරි කොටි නායක ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී සංවිධානවල නායකයන් හමුවී ගිවිසුමට එක්‌කළ යුතු කරුණු ගැන සාකච්ඡා කළෝය. තානාපති ඩික්‌සිට්‌ මදුරාසියට ගොස්‌ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයින් සමඟද සාකච්ඡා කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට යන බව ප්‍රකාශ වීමත් සමගද පාර්ලිමේන්තුවේද උණුසුම් තත්ත්වයක්‌ ඇති විය. පාර්ලිමේන්තුව 1987 ජුලි 24 වැනිදා රැස්‌වූ අවස්‌ථාවේදී මේ පිළිබඳව උණුසුම් වාද විවාද ඇති විය. එජාප ආණ්‌ඩුව පාර්ලිමේන්තුවේ මීළඟ රැස්‌වීම අගෝස්‌තු 18 දක්‌වා කල් තැබීය. එම යෝජනාවට පක්‌ෂව ඡන්ද 74 ක්‌ද විපක්‌ෂව ඡන්ද 09 ක්‌ද ලැබිණි. පානදුරේදී 1987 ජුලි 25 වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්‌ෂකයන් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබඳ ආණ්‌ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.

යෝජිත ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ උපදෙස්‌ මත කොටි නායක ප්‍රභාකරන්, ඔහුගේ බිරිඳ සහ දරුවන්, න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් සමඟ කොටි දේශපාලන මණ්‌ඩල සාමාජිකයින් සිව් දෙනෙකු යාපනයේ සිට ගුවන් මගින් ඉන්දියාවට 1987 ජුලි 24 වැනිදා රැගෙන යන ලදී. ජුලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබඳව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්‍රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්‌ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක්‌ හෝටලයේදීය. ඉන්දීය අගමැති ගාන්ධිද ප්‍රභාකරන් සමඟද වෙනමම සාකච්ඡා කළේය. අතුරු පාලනයේ වැඩි බලයක්‌ කොටි සංවිධානයට ලබාදීමටද එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් නව පරිපාලනයට අන්තර්ග්‍රහණය කරන තෙක්‌ ඔවුන් නඩත්තු කිරීමට ඉන්දීය රුපියල් ලක්‌ෂ 50 ක්‌ මාසිකව ගෙවීමටද ඉන්දීය අගමැතිවරයා එහිදී එකඟ විය.

ඉන්දීය අගමැති රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් තැබීමට පැමිණියේ 1987 ජුලි 29 වැනිදා පෙරවරු 10.30 ටය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්. ඩී. තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්‌වාර් සිං යන මහත්වරුන්ද කේ. පී. එස්‌. මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්‌ද එම දුත පිරිස සමඟ පැමිණියහ.

විරෝධතාකරුවන් නිසා මුළු බස්‌නාහිරම කැළඹී තිබිණි. රටපුරා කෝලාහල පැතිර ගොස්‌ තිබිණි. දුම් කැරළි අහසට නැගෙනු පෙනෙන්නට තිබිණි. කටුනායක ගුවන් තොටුපොළින් බැස ඔවුහු ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් කොටුව ගාලුමුවදොරට පැමිණියහ. වෙඩි නොවදින රථයක්‌ සහ ඉන්දිය ආරක්‌ෂක නිලධාරින් රැසක්‌ තවත් ගුවන්යානා දෙකක්‌ ඒ සමඟ පැමිණියහ. ඉන්දීය අගමැතිවරයා ගේ ශ්‍රී ලංකා සංචාරයේ පරිවාරක අමාත්‍යවරයා වූයේ මුදල් ඇමැති රොනී ද මෙල්ය.

ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30 ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29 වැනිදා තුන් වතාවක්‌ රජිව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත් වූවේ ජුලි 30 වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්‌දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්‌. මෙනන්, රොනන් සෙන්, ඩික්‌සිට්‌ එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගි වූහ.

අවසාන සාකච්ඡාවේ දී ජනාධිපති ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගෙන් ඉල්ලා සිටියේ වහාම ඉල්ලීම් දෙකක්‌ ඉටුකර දෙන ලෙසය. එනම් උතුරු නැගෙනහිර සිටින ආරක්‌ෂක හමුදා කොළඹට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය ගුවන් යානා සපයා දිය යුතු බවය. එමෙන්ම ශ්‍රී ලංකා හමුදාවන්ට දකුණේ සාමය පවත්වා ගැනීම සඳහා ඉන්දීය හමුදා යාපනය ඇතුළු උතුරු නැගෙනහිර කටයුතු කරගෙන යා යුතු බවය. රටේ පැවති කලබලකාරී තත්ත්වය නිසා රටපුරාම ඇඳිරිනීතිය පනවා තිබිණි. රට පුරා ලක්‌ෂයකට අධික ජනතාව විදි බැස ගිවිසුම් විරෝධී පෙලපාළි පැවැත්වූවේ ඇඳිරිනීතිය කඩ කරමිනි. මහරගම වජිරාරාමය අසල පොල්ගසකට නැග ගත් අයෙකු ටී 56 තුවක්‌කුවකින් තබන ලද වෙඩි තැබීමකින් හෙලිකොප්ටරයකට පවා අලභහානි සිදුවිය.

ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිළිගැනීමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනට්‌ මණ්‌ඩලයේ බොහෝ දෙනෙක්‌ සහභාගි නොවූහ. එයට සහභාගි වන ලෙසට ඉන්දීය අගමැතිවරයා සිරිමා බණ්‌ඩාරනායකට කළ ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. "තද" ලියුමක්‌ මැතිනිය එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයකු විසින් පෙරවරු 11.30 ට අගමැති රජිව්ට අතින් භාරදෙන ලදී.

එම අවස්‌ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ඡේම්ස්‌ ස්‌පෙන් එක්‌වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක්‌ එම ස්‌ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසඳීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස්‌ ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව කියා සිටියේ අත්සන් කරන තෙක්‌ රහසක්‌ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක්‌ එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.

නිල වශයෙන් දෙරටේ නායකයෝ ඉන්දු ලංකා ගිවිසුමට 1987 ජුලි 29 වැනිදා පස්‌වරු 3.37 ට අත්සන් තැබූහ. එජාප ආණ්‌ඩුවේ අමාත්‍යවරුන් වන ඒ. සී. එස්‌. හමීඩ්, ගාමිණී දිසානායක, තොන්ඩමන්, දේවනායගම්, හුරුල්ලේ, ජනාධිපති ලේකම් මැණික්‌දිවෙල මහත්වරුන් ඇතුළු පිරිසක්‌ද එම අවස්‌ථාවට එක්‌ව සිටියහ. ඉන්දීය රජයේ ප්‍රබල පෙළඹවීම මත ගිවිසුම ශ්‍රී ලංකා රජය මගින් අත්සන් කළද රටේ ජනතාව මුළුමනින්ද, ආණ්‌ඩුවේ ඇමැතිවරුන් බහුතරයක්‌ද එහි අඩංගු වී ඇත්තේ මොනවා දැයි දැනුවත් වී නොතිබිණි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු අගමැති රජිව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස්‌ විදෙස්‌ මාධ්‍ය සාකච්ඡාවක්‌ද පැවැත්විණි. දයා ලංකාපුර ඇතුළු මාධ්‍යවේදීන් සමඟින් ලේඛකයාද එයට එක්‌වී සිටියහ.

අගමැති රජිව් ගාන්ධි නික්‌ම යැමට පෙර 1987 ජුලි 30 වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක්‌ පවත්වන ලදී. එම උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30 ට පමණය. උත්සවය අවසන් වූයේ උදෑසන 10.15 ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙළින් පෙළට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්‌ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගි වූ නාවික සෙබළ විජිත රෝහණ විඡේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක්‌ එල්ල කළද එය වළක්‌වා ගැනීමට ඔහුගේ ආරක්‌ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජිව් ගාන්ධි ආපසු කලින් යොදාගත් පරිදිම පෙරවරු 11.30 ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.

ගිවිසුම අත්සන් කරන අවස්‌ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක්‌ ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක්‌ ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000 ක්‌ රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුද හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුද හමුදා භටයින් සියලු දෙනාම ඉන්දීය යුද ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්‌ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස්‌ පුවත්පතේ මාණ්‌ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස්‌ විදෙස්‌ සිය ගණනක්‌ ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30 ක්‌ පමණ දුරින් සකස්‌කළ අට්‌ටාලයකය. ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කළේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්‌ෂක කමාන්ඩෝ භටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බඳින් සෙබළ විඡේමුණි පහර දුන්නේ එවිටය. තමාගේ ඡායාරූප රීලය ලේක්‌හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස්‌ කර්තෘ මණික්‌ ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්‌හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ, ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පළකිරීමට පසු අවසර දුන්නේ එදින මහ රෑය. පසුදා ලේක්‌හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක්‌ එය පළවීය.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබඳ වගකීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඒ පිළිබඳ වගකීමේ ලිපි මාධ්‍ය වලට කීර්ති විඡේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහරදුන් සෙබළා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‌ෂයක හෝ සංවිධානයක සාමාජිකයකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි (ගුවන්විදුලි කාර්මික ශිල්පී) විජිත විඡේමුණි රත්ගම බූස්‌සේ උපන් අතර එවකට 22 හැවිරිදි විය. නම දෙනකුගෙන් යුත් පවුලේ පස්‌ වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19 වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබීය. රජිව් මැරීමේ ෙච්තනාවක්‌ නොතිබුණු බවද ඔහු කළ බලහත්කාර ක්‍රියාව පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක්‌ ලබාදීමට එය සිදුකළ බවද හෙතෙම යුද අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්‌ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විඡේසිංහ ඇතුළු නීතිඥයන් රැසක්‌ ඔහු වෙනුවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරාදැමීමට තැත්කිරීම පිළිබඳව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06 ක සිර දඬුවමක්‌ යුධ අධිකරණය නියම කළේය. පසුව ආර්. ප්‍රේමදාස ජනාධිපති විසින් 1990 අප්‍රේල් 03 වැනිදා උදෑසන 9.00 ට වැලිකඩ බන්ධනාගාරයෙන් විජිත රෝහණ විඡේමුණි නිදහස්‌ කරන ලදී. හිරගෙදර සිටියේ වසර 2 මාස 04 ක්‌ පමණි. ඔහු සමඟම විවිධ වැරදිවලට සිරගතව සිටි සිරකරුවන් 700 ක්‌ද ජනාධිපති නියෝගය අනුව ඒ සමගින් නිදහස්‌කර තිබිණි.

ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරණා ඉටුකිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්‌ථාපිත වූ 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව විවිධ ආණ්‌ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින්නේ උභතෝකෝටික ගැටලුවන්ටය. ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජිව් ගාන්ධි (46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21 වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්‌වීමකදී ඝාතනයට ලක්‌විය. එජාප ආණ්‌ඩුවේ ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන (90) වසර 1996 නොවැම්බර් 01 වැනිදා මිය ගියේය. කොටි නායක ප්‍රභාකරන් (54) වසර 2009 මැයි 18 වැනිදා උතුරේ නන්දිකඩාල්හිදී යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදා අතින් මියගොස්‌ තිබිණි.

-ධර්මන් වික්‍රමරත්න .
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/03/2016

බලකාමය වෙනුවෙන් සිරිකොතේ පිළිකන්නේ ගැටගැසූ රට රැකි පක්ෂය.. - ශ්‍රිලනිපයට 65යි

කතෘ:යුතුකම     9/03/2016   No comments
ශ්‍රිලනිපයට 65යි

-ධර්මන් වික්‍රමරත්න-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන් බිහිවූ දේශපාලන පක්ෂයකි. ශ්‍රිලනිපය ආරම්භ වූයේ හරියටම මෙයට වසර 65කට පෙර එනම් 1951 සැප්තැම්බර් 2වැනිදා අද වැනි දවසකය. එය කාලයේ තාලයට ගොඩනැගුණු පක්ෂයකි. දශක 7ක දේශපාලන සම්ප්‍රදායකි. යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රිලනිප යනු ලාංකීය මොඩලය හඳුනාගත් ගමේ දේශපාලනයකි.එම මොඩලය විප්ලවවාදී එකක් නොවේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය(එජාප) මෙන් කොම්ප්‍රදෝරු ධනේෂ්වර එකක්ද නොවේ. ශ්‍රිලනිප යනු ප්‍රගතිශීලි ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනාගත් මැද මාවතේ දේශපාලන ප්‍රවාහයකි.

ඩී.එස් සේනානායකගේ එජාප රජයේ පළාත් පාලන සහ සෞඛ්‍ය ඇමතිවරයාවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක 1951 ජුලි 12වැනිදා සිය ඇමතිධූරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉල්ලා අස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ බෙලිඅත්ත ඩී. ඒ රාජපක්ෂ, උඩුගම ඩී.එස්. ගුණසේකර, බලංගොඩ ජයවීර කුරුප්පු, තැපැල් සහ විදුලි සංදේශ උප ඇමති ඒ. පී ජයසූරිය, අධිකරණ උප ඇමති ජෝර්ජ් ආර්. ද සිල්වා යන අයද ඇමති එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක අනුගමනය කරමින් විපක්ෂයේ අසුන් ගත්හ. පසුව 1951 ජුලි 15 වැනිදා බද්දේගම හෙන්රි අබේවික්‍රමගේ දංවල වත්තේදී අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමට සාකච්ඡා ඇරඹිණි. එයට පසුකලෙක අම්බලන්ගොඩ බලපිටිය මන්ත්‍රීවරයා වූ එම්.පී ද සොයිසා, බෙලිඅත්තේ ඩී.ඒ රාජපක්ෂ, රාජනීතිඥ එච්. ශ්‍රි නිශ්ශංක, ඒ.පී ජයසූරිය සහ ගම්පහ එස්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසද එක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නියෝජනය කිරිම සඳහා 1951 සැප්තැම්බර් 2වැනිදා සවස 2ට කොළඹ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 75ක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලාංකේය දේශපාලන දේහය තුළ සුවිශේෂි කාර්යභාරයක් ඉකුත් දශක 6 තුළ සිදුකර ඇත. නිදහසින් පසු දීර්ඝ කාලයක් මෙරට පාලනය කල දේශපාලන පක්ෂය වන්නේද ශ්‍රිලනිපයයි. එය ආරම්භයේ සිට වසර 2015 ජනවාරි දක්වා ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයේ බලාපොරොත්තු මල්පල ගැන්වීමකි. එහෙත් ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රිලනිප පක්ෂ යාන්ත්‍රණය ගම තුළදී දැන් අභියෝගයකට ලක්වෙමින් මුළුමනින්ම වාගේ බිඳ වැටෙමින් පවතී. එදා වසර 65කට පෙර එජාපයට විකල්පයක් ලෙස පිහිටුවා වසර 63ක්ම එම කාර්යභාරය නිසිලෙස ඉටුකල ශ්‍රිලනිප ඉකුත් වසර 2කට ආසන්න කාලයක් තුළ එජාපයේම පළුවක් බවට පත්වී තිබීම එයට හේතුවූ බව නොරහසකි.

විසි එක්වන සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවත්ම සහ ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග සලකා බැලිමේදී එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිප ගොඩනැගීමට නායකත්වය දුන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ එයට සහායවූ බෙලිඅත්තේ ඩී. ඒ රාජපක්ෂ ඇතුළු පිරිසගේ තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක්වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මව්බිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ තුළ සිටින එජාප විරෝධී සහ ප්‍රගතිශීලි කොටස් දැන් එක පෙරමුණකට පැමිණෙමින් සිටී. එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණ ඇපයට ගෙන තිබෙන ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්න සැමගේ ප්‍රාර්ථනය වී තිබේ.

වර්තමාන ශ්‍රිලනිප නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව බලයේ සිටි ශ්‍රිලනිප අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙස ඉවත් කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. තෙවනුව ඉකුත් 2015 අගෝස්තු 17 පැවති මහ මැතිවරණයේදී ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීව පරාජය කරමින් සහ මාධ්‍ය නිවේදන නිකුත්කර කෙනෙහෙලිකම් කරමින් එජාප අගමැති අපේක්ෂකයාට අගමැතිවීම සඳහා පාර කැපුවේය. සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත මන්ත්‍රීවරුන් පත්කරමින් ජනමතයටද එරෙහිව කටයුතු කරන ලදී. අනතුරුව මන්ත්‍රීවරුන් 51ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නොසලකමින් මන්ත්‍රීවරුන් 16ක් නියෝජනය කරන දෙමළ සන්ධානයට විපක්ෂ නායකකමද මන්ත්‍රීවරුන් 6ක් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමිවිය. දෙමළ සන්ධානයේ නායකවු විපක්ෂ නායකවරයා කථානායක විසින් පත්කල අතර එසේ පත්වූ විපක්ෂ නායකයා විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ජවිපෙට පිරිනමන ලදී. දෙමළ සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ‘යහපාලනය’ වෙනුවෙන් දරදිය ඇද්දෙකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වු ජවිපෙද ‘යහපාලන’ ආණ්ඩුවේ සියළුම දේශපාලන උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යලි 56ක් බිහිකිරීම අදට යෙදෙන 65වැනි සංවත්සරය සමරන ශ්‍රිලනිපය වෙනුවෙන් එයට කල හැකි ඉහළම ගෞරවය වනු ඇත.

කන්ද උඩරට රාජධානිය උඩරට ගිවිසුමෙන් 1815දී සුද්දන්ට භාර දුන්නේ ගිවිසුමකින් මිස යටත්වීමකින් නොවේ. එහෙත් තමනට සුපුරුදු පරිදි බ්‍රිතාන්‍යයන් එම ගිවිසුම කඩා පාලනය කිරීමේ ප්‍රතිඵලය වූයේ 1817 ජනතා අරගලයයි. එය ප්‍රථම අදියර විය. දෙවන අදියර වූයේ අනගාරික ධර්මපාලයන් විසින් ආරම්භ කරන ලද පුනරුදයේම විකාශනයේම ඵලයක් ලෙස මතුවූ 1956ට පසුබිම්වූ ව්‍යාපාරයයි. වර්තමානයේ මේ පියවර ඔසවන්නේ එහි තෙවන අදියරටය. ශ්‍රිලනිප ආරම්භ කිරීමේදී බණ්ඩාරනායකයන් එදා සිදුකල පරිදි වර්තමානයේ ගොඩනැගෙන නව බලවේගය විසින් ප්‍රථමයෙන් සිදුකල යුත්තේ සිංහලයන්ගෙන් සියයට 75කට ආසන්න බහුතරයක් එකතුකර ගැනීම සඳහා කටයුතු කිරීමය. එයට පසුව දෙමළ සහ මුස්ලීම් ජාතිකයන් එක්කර ගත හැකිය. ප්‍රථම පියවර සාර්ථක වන්නේනම් දෙවන පියවර පහසුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් වසර 2කට ආසන්න කාලය තුළ පරිහානිය ඇරඹුණේ තමනට අයත් නැති භූමිකාවක් රඟ දැක්වීම නිසාය. ගැඹුරු දර්ශනයක් මත පදනම් වු පැහැදිලි මතවාදයක් නොතිබීම නිසා ඇමති වරදාන මුල්කොටගෙන එජාපය සමඟ කිසිදා නොගැලපෙන සභාග ආණ්ඩුවකට එක්ව එකගෙයි කැමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීය. මෙය ශ්‍රිලනිපය ගල් පිලිම වෙනුවට බොල් පිලිම වැළඳ ගැනීමකි. නාගරික කොටස් හෝ ලුම්පන් සමාජය වැළඳ ගැනීමෙන් එජාපය පැරදවිය නොහැක. විපක්ෂයේ සිටිමින් එහි සැබෑ භූමිකාව ජනතාව වෙනුවෙන් රඟ දැක්වූයේ නම් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කාලයේ මෙන් ශ්‍රිලනිප ආණ්ඩුවක් වසර 2ක් ගතවන්නට මත්තෙන් පිහිටුවන්නටද මෙවරද හැකියාව තිබිණි. ශ්‍රිලනිපයට දේශපාලනය විජයග්‍රාහීව හිමිවන්නේ අපේම වු ජාතික දැක්මක් තුළ විනා බටහිරින් දෙන උපදෙස් ගෙඩි පිටින් ගිල ගැනීමෙන් නොවේ.

එජාපය සමඟ ශ්‍රිලනිප නෛතික පාර්ශවය වර්තමානයේ සභාග ආණ්ඩුවක් සඳහා එක්වී ඇත්තේ රටේ සංවර්ධනයක් හෝ ජනතාවගේ ජයග්‍රහණයක් සඳහා නොව වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙනි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය යන බටහිර රටවල න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන සභාග ආණ්ඩුවකින් සාර්ථක ප්‍රතිඵලයක් රටට අත් නොවනු ඇත. ජනතාවට සහනයක්ද නොලැබෙනු ඇත.

‘යහපාලනය’ උදෙසා කරන ලද දේශපාලන පෙරළිය එදා සැබෑ ලෙසම බහුතර ජනතාවට අවබෝධ කරගැනීමට නොහැකිවු බව සත්‍යයකි. ඒ තරමට එහි පෙර ගමන්කරුවෝ සූක්ෂමවූ අතර ඔවුන්ගේ මුඛ්‍ය දේශපාලන වුවමනාව වූයේ මෛත්‍රීපාල සිරිසේන කරලියට ගෙන ඒම මගින් එජාපයේ බලය ස්ථාපිත කිරීමය. එජාපය යනු මෙරට ක්‍රියාත්මක ඇමරිකා-බ්‍රිතාන්‍ය සහ අධිරාජ්‍යවාදීන්ගේ ලෝක දේශපාලන වුවමනාවේ සෘජු නියෝජිතයා වේ. එදා විදේශ ආධාර මත සෘජුව සහ වක්‍රව පෝෂණය වන ඇතැම් සිවිල් සංවිධාන ප්‍රකාශ කළේ රාජපක්ෂ රෙජිමයේ ව්‍යවසනයට එරෙහිව ‘යහපාලනය’ ගෙන එන බවකි. එහෙත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අධිරාජ්‍යවාදී ජුන්ටාවක් ඒ ඔස්සේ රටතුළ ක්‍රියාත්මක වීමය. වර්තමානයේ එම සිවිල් සංවිධාන තමාගේ ලැජ්ජා නැතිකම වසාගැනීම සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බව අසන්නට ලැබේ. මෙම දේශපාලන විලම්භිතය දැන් යථාර්ථවාදී ලෙස සමාජගත වෙමින් පවති.

‘යහපාලන’ ආණ්ඩුව පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතී. ආණ්ඩුවට එකම හෝ වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකල නොහැකි තරම්ය. රට දැවැන්ත කුණාටුවකට ලක්වීමට ආසන්නව තිබියදී වාමාංශික බලවේග ඊට වඩා වැඩි ප්‍රමාණයකින් නන්නත්තාර වෙමින් පවතී. ජාතික දේශපාලනයේ ගමන් මඟ තීරණය කිරීමේ තමන්ගේ ක්‍රියාවලියන්ගෙන් ඔවුන් ඉවත්ව ප්‍රතිගාමි කොටස් සමඟ පෙළ ගැසි තමන්ගේ ආත්මය බේරාගැනීමේ නිහීන ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වෙමින් පවතී. වමේ එකම විකල්පය තමන් යැයි පවසන ජනතා විමුක්ති පෙරමුණට වුවද සිදුව ඇත්තේ දුන් පොරොන්දු ඉටු කරව් ආදී ලෙස නහයෙන් ඇඩීම සහ උනුත් එකයි මුනුත් එකයි කීම පමණි. සමාජවාදී තරුණ සංගමය අකුරේගොඩ වැව් ඉස්මත්තේ කුඹුක් පැළ සිටුවීම හොද පරිසර වැඩක්ය. නමුත් ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයද යළි පණ ගැන්විමට රතු ගැටව් උරදිය යුතුය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නසසපය සහ ජවිපෙන් ඉවතට විසිවුණු දඹර අමිල හිමියන් වැනි වාම කේවට්ටයන්ටද දැන් ඇඩ්‍රස්ද නැත. එදා වේල ෂේප්කර ගැනීමේ න්‍යාය යටතේ සයිටම් පක්ෂපාති සම්මන්ත්‍රණවලට ගොඩවෙන්නේ එබැවිනි. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොටය. ව්‍යාජ වම්මුන්, අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයින්, ඇතැම් පූජකයින්, බුද්ධිමතුන් යැයි කියා ගන්නා අන්දරේලාගේ බැටළු හම් සමාජයට නිරාවරණය කිරීම සයිටම් ලොක්කා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එක් අතකින් සමාජයට කල ලොකු සේවයක්ය.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය තවදුරටත් සිදුකල යුත්තේ එජාප ආණ්ඩුව සමඟ වරදාන වෙනුවෙන් තවදුරටත් දීග කෑම නොවේ. ඉන් ඉවත්ව ජනතා පරමාධිපත්‍යය, ජාතික සෛවරිත්වය සහ මව්බිමේ දිනාගත් නිදහස රැකගැනිම වෙනුවෙන් පෙනී සිටීමය. ඉන්දියාවේ එක්ටා ගිවිසුම සහ ජිනීවා සැලසුම් පරාජය කිරීමය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය රැක ගැනීමය. ජනතාවගෙන් උදුරා ගත් පොහොර සහනාධාරය වැනි අයිතීන් යළි ලබාදීමය. රණවිරු දඬයමට එරෙහි වීමය. තවදුරටත් හවුල් ආණ්ඩුවේ සිටීමෙන් එජාපයට මඟුල්ය. ශ්‍රිලනිපයට උගුල්ය. ‘යහපාලන’ හවුලෙන් රටම අවුල්ය.

තොරතුරු පනත සම්මතය. අතුරුදහන් පනතද සම්මතය. හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? දැන් ඊළඟට ව්‍යවස්ථා උගුලය. සීමානිර්ණයට මුවා වෙමින් පළාත් පාලන පුංචි ඡන්දය කල්දාන්නේ ලබන වසරේ මුල ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනමත විචාරණයට යෑමට බව දැන් පැහැදිලිය. දෙමළ බෙදුම්වාදී ඊලමට පාර කපන මෙය ව්‍යවස්ථා මර උගුලකි. රටට දැයට එරෙහිව සිදුකරන මෙම ක්‍රියාදාමය පරාජය කිරීම සඳහා එකිනෙකා පරයා නැගී නොසිට, අංචි නොයොදා, බොරු වලවල් නොකපා කොන්දේසි විරහිතව එක්විය යුතුය.

දරුවන්ට අපමණ අගයක් ලබාදීම ගැන කථාකලද ත්‍රීපෝෂ ලබාදීම ඉකුත් මැයි මාසයේ සිට නතරකර ඇත. ගැබිණි මවට දෙන රුපියල් 20,000 පෝෂණ මල්ලේද ගුල්ලෝ බවට පුවත්පත් වාර්තාය. කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගනය අසල ඉදිකර තිබුණු රණවිරු ස්මාරකයටද දැන් සහජීවන නාමයෙන් අබ සරණය. උතුරේ ඉදිකල බුදු මැදුරුවලටද කෙනෙහෙලිකම්ය. කුළියාපිටියේ ආරම්භ කිරිමට කටයුතු කල කම්හලෙන් රැකියාවක් හෝ ෆොක්ස්වැගන් එකක් ගැනීමට තිබූ හිනයද කුඩේ කුඩුය. යාපනයේ සිංහල සිසුවාට පහරදුන් බවට චෝදනා ලත් දෙමළ සිසුවාට බාරවූ සැනින් ඇපය. ඔලියමුල්ලේදී ඇමති ජෝන්ට හූ කියා වාහනයකට පහරදුන් බව කියන අය රක්ෂිත බන්ධනාගාරයටය. දින 100න් අලුත් රටක් හැදීමේ සහ ‘යහපාලන’ ආණ්ඩුවක් ගොඩනැගීමේ කථාව ඇත්තේ දැන් සුරංගනා කථා පොත්වලය. ‘යහපාලන’ ආණ්ඩුව ඉකුත් කාලය මුළුල්ලේම කථා කළේ හොරුන් ගැනය. ඒත් දැන් ඇහෙන්නේ ‘යහපාලනයේම’ කම්බ හොරුන් ගැනය. වෙනස අතර හොදම වෙනස එයයි.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය සැප්තැම්බර් 4වන ඉරිදා සිය 65 වැනි සංවත්සරය කුරුණෑගලදී එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන්නේ මෙවැනි දේශපාලන වාතාවරණයක් තුළය. එජාපයේ 70වැනි සංවත්සරය එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් 10වැනිදා පැවැත්වෙන්නේ බොරැල්ලේ කැම්බල් පිටියේදීය. එජාප ඉතිහාසයේ දෙවන වරටද එහි සංවත්සරය මෙවරද පැවැත්වෙනුයේ ජනාධිපතිද වන ශ්‍රිලනිප නායකයාවූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මෙය ආශ්චර්යක් නොවන්නේද? අනේ කාලේ වනේ වාසේ! මේවා ඇහෙන විට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට ඉබේටම ඇඩේ!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

8/20/2016

ශ්‍රීලනිපය බලහත්කාරයෙන් ඩැහැගත් අසමජ්ජාතියන්ට එරෙහිව සැබෑ ශ්‍රීලනිපයක්..

කතෘ:යුතුකම     8/20/2016   No comments
අසම්මතයෝ
-ධර්මන් වික්‍රමරත්න-

ඉකුත් 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා දැන් වසරකි. ‘යහපාලන’ ආණ්ඩුව සම්මතයද නොසලකමින් පිහිටවූයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙනි. ඒ අනුව දැන් ආණ්ඩුවේ වයස මාස 19කි. අලුත් රටක් කෙසේ වෙතත් ගමන නම් අවුලකි. වසර පහක පළමු සැමරුම මෙසේනම් ඉදිරි වසර 4 ගැන කවර කථාද?

ඩී.එස් සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ(එජාප) ක්‍රියාකාරිත්වය ආරම්භ වූයේ 1946 සැප්තැම්බර් 6වැනිදාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) පිහිටුවා ගැනීම 1951 සැප්තැම්බර් 2වැනිදා එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි. මංගල රැස්වීමේදී බණ්ඩාරනායක අදහස් දක්වමින් කියා සිටියේ අද ආරම්භ කල ශ්‍රිලනිප වාමාංශිකයන්ද ඇතුළුව සියළු එජාප විරෝධීන් එක්තැන් කරන වේදිකාවක් බවට පත්කල යුුතු බවය. ශ්‍රී නිශ්ශංක එහිදී ප්‍රකාශ කළේ අධිරාජ්‍යවාදීන්ට සහ ලංකාවේ සිටින ඔවුන්ගේ ආධාරකරුවන්ටද එරෙහිව පක්ෂය සටන් කරන බවකි. ශ්‍රිලනිප පක්ෂ ප්‍රතිපත්තිය වූයේ වාම සහ දක්ෂිනාංශික අන්තවාදයෙන් බැහැරව මැද පිළිවෙතකට අනුකූලව පීඩිත පන්තියේ සුවසෙත උදෙසා කටයුතු කිරීමය.

බොරැල්ල කැම්බල් පිටියේදී සැප්තැම්බර් 10 පැවැත්වෙන එජාපයේ 70වැනි සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයාද ශ්‍රිලනිප නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. ශ්‍රිලනිප 65 වන සංවත්සරයද සැප්තැම්බර් 4වැනිදා කුරුණෑගලදී පැවැත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයාද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. එජාපය විසින් ශ්‍රිලනිප ගිල ගැනීම ගැන පුදුමයක් නැත. එජාප විරෝධී ප්‍රගතිශීලි ජනයාට දුක ශ්‍රිලනිපයට වූ නස්පැත්තිය ගැනය. ඉකුත් ජනාධිපතිවරණය පැවති ජනවාරි 8වැනිදාද ප්‍රගතිශීලි ජනයාගේ හද බැදගත් ශ්‍රිලනිපය වර්තමානයේ එජාපයේ වලිගයක්ය. සම්මුති ආණ්ඩුව හෝ හවුල් ආණ්ඩුව කියා භාෂා ප්‍රයෝග පරිහරණය කලද එය වරදාන සඳහා එකගෙයි කෑමේ ඩයට් එකකි.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය තුළ දැන් සිදුවන්නේ හැමලින් නුවර නලා කාරයා පසුපස මීයෝ ටික ඔහේ ගියා වගේ ඇමති වරදාන තකා එජාප පසුපස යෑමකි. සියල්ලටම වඩා දුක නෛතික ශ්‍රිලනිපයේ නායකයා විසින්ම ශ්‍රිලනිප ගමනක අවසානය කරා ගෙනයෑමය. එදා රෝහණ විජේවීරට පවා රටවටා සම්මන්ත්‍රණ තියාගෙන ගියාට ශ්‍රිලනිප වැනසිය නොහැකි විය. මෙදා සිදුවන්නේ සියතින්ම සියදිවි නසා ගැනීමකි. ආචාර්ය එන්.එම් පෙරේරා සිය භාරයට ගෙන රජයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් බදුල්ල උසාවියේ නඩුකරය විභාග වූ අවස්ථාවේදී ඔහු විනිසුරුවරයාට කියා සිටියේ තමන් ඇතුළු පිරිසට සිරභාරයට ගන්නට රාජ්‍ය නියෝගයට අත්සන් කල දෑතම අද දවසේ රුවන්වැලිසෑයට කොත පළඳවන බවකි. එසේ කීවේ සිවිල් ආරක්ෂක කොමසාරිස්වූ ඩී.බී ජයතිලක එම නියෝග අත්සන් කිරීමත් ඔහු විසින්ම රුවන්වැලිසෑයේ කොත පැලදීමත් හේතුවෙනි. ශ්‍රිලනිපය නග්ගලා ආණ්ඩු බලය ගන්නට ක්‍රියා කරන්නේයැයි කියන ශ්‍රිලනිප නායකයා ප්‍රධාන ප්‍රතිවිරුද්ධ පක්ෂය සමඟ සන්ධානගතව හවුල් දීගයකට යෑමද ඒහා සමානය.

ශ්‍රිලනිපයේ ජනප්‍රියතම ප්‍රබලයින් රැසක් ආසන සංවිධායක තනතුරු වලින් ඉවත්කර නව ආසන සංවිධායකවරු 16ක් පෙරේදා පත්කළේය. බෙලිඅත්තට පත්කල හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුට එරෙහිව මත්තල ගුවන්තොටුපොල නිරීක්ෂණයට ආ එජාප මන්ත්‍රීවරුන් සහ මාධ්‍යවේදීන් ‘හඹායෑම’ පිළිබඳව චෝදනාවක් තිබිණි. චන්ද්‍රිකා ජනාධිපතිනියව සිටි කාලයේ වයඹ ඡන්දයේදී මැරක්‍රියා සිදුකල බවටද විපක්ෂය එදා චෝදනා කළේද ඔහුටය. කැස්බෑවේ චන්දන කත්‍රිආරච්චි, මීරිගම චන්දන සිරිවර්ධන, වැලිගම හේමාල් ගුණසේකර ඇතුළු කිහිපදෙනෙකුටම බරපතල චෝදනා විය. එජාප ප්‍රවර්ධනයට ශ්‍රිලනිප නෛතික පාර්ශවයෙන් මෙම දෙන තල්ලුව සාර්ථකය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51දෙනා අතර සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 37දෙනාගෙන් කිහිපදෙනෙකු සංවිධායක ධූරයෙන් ඉවත් කිරීම එක් අතකින් රටේ ජනතාව වෙනුවෙන් වැඩකිරීමට ඔවුනට තිබූ බාධාවන් ඉවත් කිරිමකි. සෘජු විපක්ෂයේ කාර්යභාරය කරමින් ‘යහපාලන’ ආණ්ඩුවේ ලැජ්ජාසහගත කටයුතු සහ නින්දිත කටයුතු වලට එරෙහිව දැන් ඔවුනට නොබියව හඬ නැගිය හැකිය.

ශ්‍රී ලංකා දේශපාලනයේද සම්මත පීඩනයටන්ට එරෙහිව යමින් නව දේශපාලන මතවාදයක් සමාජයට හඳුන්වාදීමට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය සමත් විය. එය හරියට උඩුගම් බලා පිහිනීමක් වාගේය. නමුත් ලෝක ඉතිහාසය දෙස බලනකල මේ මොහොත දක්වාම සමාජ ප්‍රගමනයේ ගාමක බලවේගයන්වූයේ මේ අසම්මත චින්තනයයි. මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ඔහු මතට පීඩනය එල්ල කරනු ලබයි. ඔහුගේ පුතුන් සහ සහෝදරයින් කොමිසම් ලවා නීතිය නවා වරදක් මවා නිරන්තරයෙන් දඬු වැටට ලක් කරනුයේ ඒ අනුවය.

ඒකාබද්ධ විපක්ෂයේ ඇතමුන්ද ඉදහිට හාස්‍යජනක වැඩ නොකලා නොවේ. ඉන් එකක් වූයේ ෂැඩෝ කැබිනට් එකක් කියා නර නාටකයක් රඟ දැක්වීමය. එහි අගමැතිකම භාරදුන් මහින්ද රාජපක්ෂ එයට අනුමැතිය පළනොකර භාරනොගත් බැවින් එය වාෂ්ප වුවද ඉන් ගත හැකි පාඩම් බොහෝය. මෙයට පෙර 1989 පෙබරවාරි මහා මැතිවරයෙන් පත්වූ ශ්‍රිලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රථම රැස්වීම නිට්ටඹුවේ පැරණි සංඝබෝධි විදුහලේදී 1989 මාර්තු 11 පැවැත්වූ අවස්ථාවේදීද පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක විසින් අමාත්‍යාංශ භාර කමිටු 22ක් නම් කල අතර එහි සම්බන්ධීකාරකවරුන් වශයෙන් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 23ක්ද පත්කළහ. අමාත්‍යාංශවල පවතින කටයුතු සොයා බැලීම, දුර්වලතා ජනතාවට හෙළිකිරීමට සහ පාර්ලිමේන්තුවේ අදාළ විවේචනයන් සිදුකිරීම එහි අරමුණ විය. ඉංග්‍රීසියෙන් එය ෂැඩෝ කැබිනට් කියා හැදින්වූවද සිංහලෙන් එය හැදින්විය යුත්තේ අමාත්‍යාංශ කමිටු භාර සම්බන්ධීකාරකවරුන් කියාය. මහ බැංකුවේ අලුත් අධිපතිවරයා පත්වූ සැනින් ඔහුට චරිත සහතිකයක් නිකුත් කිරීමද තවත් අපරිණත වැඩකි. අතුරුදහන්වීමේ කාර්යාලය ස්ථාපිත කිරීමේදි අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට හෝ ගියේ නැත. වැට් බද්දට එරෙහි සටන තාවකාලිකව ජයගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශගේ මැදිහත්වීමෙනි.

අද ආණ්ඩුවට එරෙහිව රටපුරා ප්‍රබල ජනතා විරෝධයක් ඇත. එහෙත් වේදිකාවක් නැත. එම කණ්ඩායම් එකතු කිරීමට ඒකාබද්ධ විපක්ෂයට විධිමත් යාන්ත්‍රණයක්ද නැත. ආණ්ඩු විරෝධී ගාමක බලවේගයට මැදි දිනය සහ පාද යාත්‍රා වලින් යම් ජවයක් ලැබුණද එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. යන්නේ කොහේටදැයි දිශාන්තයක් ආණ්ඩු විරෝධී ජනතාවට තිබිය යුතුය. නිහඬතාවය තුළ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් රැසකගේ පක්ෂ සංවිධායක තනතුරුද අහෝසි වී ඇත. එජාපය ආණ්ඩුව සමඟ වරදාන සඳහා එක්වූ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එරෙහිව සිටින ජනතාවට ධජයක්ද නැත. පක්ෂයක්ද නැත. මෙය තවදුරටත් සිදුවිය යුතුද?

කිසිසේත්ම නැත. ආණ්ඩු විරෝධී ජනතාව ඉල්ලා සිටිනුයේ එයට නායකත්වය දිය හැකි පක්ෂයකි. එක ධජයකි. රට පෙරට ගෙනයන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරවන එජාපයට එරෙහි ජනතා බලවේගයකි. තවදුරටත් ශ්‍රිලනිප පළුවක එල්ලී සිටීමෙන් කාලය ගතවී, ජවය වැනසී, ක්‍රියාකාරිකයින් දංගෙඩියට යනු ඇත. අලුත් පක්ෂයට නායකයා ලෙස පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ අසුන් ගනිමින්ම මහින්ද රාජපක්ෂට නායකත්වය දිය හැකිය. එසේ නොමැතිව මොන බලය හෝ බලවේගය කියා කීවද පක්ෂයක් හෝ ධජයක් නොමැතිව ගමේ පාක්ෂිකයාට බිම් මට්ටමින් පෙනී සිටිය නොහැක. දොං සිමං දෙකක් අසීරුය. පැහැදිලි බෙදුනු රේඛාවකින් වෙන්කර ගත යුතුය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපාය මාර්ගික වැඩපිළිවෙලක් යටතේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයකින් යුත් නව පක්ෂයකට ක්‍රියාකාරිව එක්විය හැක. රටපුරා සිටින ශ්‍රිලනිප පළාත් පාලන මන්ත්‍රීවරුන් තවදුරටත් අසරණ කල යුතු නොවේ. එම පළාත් පාලන මන්ත්‍රීවරුන් ‘යහපාලන’ ආණ්ඩුවට සහාය දුන්නේ නම් තවත් වසරක් තනතුර දැරීමට ඔවුනට හැකිවනු ඇත. එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද අතරමං කල යුතුද නොවේ. ලබන ජනවාරි 10 සහ අප්‍රේල් 10 අතර පළාත් පාලන ඡන්ද පැවැත්වෙනු ඇතැයි කියති. සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිලකාලය ලබන සැප්තැම්බර් මස අවසන් වන හෙයින් ඒවායේ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ටද නව පක්ෂයකට එලිපිටම එක්විය හැකිය. සෙසු පළාත් සභාවල මන්ත්‍රීවරුන්ට වෙනත් සැලසුම් අනුව ක්‍රියාත්මක විය හැකිය. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව බලවේගයකට රටපුරා ඇති ජවය නව පක්ෂයකට වහා වහා ගොනු කල යුතුය. ශ්‍රිලනිපය තුළ තවදුරටත් සිටීමෙන් පලක් නැත. ශ්‍රිලනිප නිර්මාතෘ බණ්ඩාරනායක පවා එජාපය තුළ සිටියේනම් කිසිදා ශ්‍රිලනිපක් බිහි නොවනු ඇත.

ගාල්ලේ අජිත් කුමාර ජවිපෙන් ඉවත්ව පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු වූවද පාර්ලිමේන්තුව විසුරුවන තෙක් ජවිපෙ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළේය. ශ්‍රිලනිපයෙන් ඉවත්ව මාතර මංගල සමරවීර සහ ගම්පහ ශ්‍රීපති සූරියආරච්චි දෙපල විසින් ශ්‍රිලනිප (ම-පිල) තුළ ක්‍රියාකාරි වුවද පාර්ලිමේන්තුව විසුරුවන තෙක් මංගලද, මියයන තෙක් ශ්‍රීපතිද එම මන්ත්‍රීධූරය දැරීය. සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභාවේ ගම්පහ පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි ඇතුළු කිහිපදෙනෙක්ද දැන් ස්වාධීනව කටයුතු කරන්නේ නෛතික තත්ත්වයන් යටතේය.

වර්තමානයේ රටේ ආණ්ඩු විරෝධී අරගලය යන්නේ ඉබාගාතේය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය හරහා එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒකාබද්ධ විපක්ෂයට සහාය දෙන අයගේ අත්තටු කපමින් නිහඬ කරයි. විවිධාකාර ක්‍රියාමාර්ග හරහා බිය ඇති කරනු ලබයි. පහර දෙන්නේ එකට නොව වෙන් වෙන්ව තනි තනිවය. පාද යාත්‍රාවට ඒකාබද්ධ විපක්ෂයේ 51දෙනෙකු ගියද සාමාජිකත්වය අත්හිටවූයේ සනත් නිශාන්තගේ පමණි. මෙවර සංවිධායකකම් අහිමිවූයේ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 6දෙනෙකුගේ පමණි. එදා ගිලටිනයට අසුවූයේ ප්‍රසන්න රණතුංග, සාලින්ද දිසානායක, දිලුම් අමුණුගම ඇතුළු කිහිපදෙනෙකි. මෙදා කැස්බෑවේ ගාමිණී ලොකුගේ, කළුතර රෝහිත අබේගුණවර්ධන, වැලිගම මහින්ද යාපා අබේවර්ධන, කුණ්ඩසාලේ කෙහෙලිය රඹුක්වැල්ල, වලපනේ සී.බි රත්නායක, ඇහැලියගොඩ පවිත්‍රා වන්නිආරච්චිගේද සංවිධායකකම අහෝසි විය.

වාද විවාද වලින් වැඩක් නැත. ශ්‍රිලනිපය කොහොමටත් දෙකට බෙදිලාය. දැන් කල යුත්තේ අළුත් පක්ෂයකින් පැහැදිලි බෙදුම් රේඛාවක් වෙන්කරගෙන ජාතික මට්ටමේ වැඩපිළිවෙලකට කාලයේ තාලයට අත ගැසීමය. සංවිධාන ව්‍යූහයක් බිම් මට්ටම තෙක් ඇති කිරීමය. සිවිල් සංවිධාන සමඟ ලොකු ගනුදෙනුවකට යෑමය. ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ දැන් සිදුකරනුයේ බෙදීමෙන්ද බෙදීමකි. එය තුන්වන බෙදීමකි. ඒ අනුව දොළ පිදේනි, පෙරේත තටු දසත පාවේ. අනතුර භයානකය. අලුත් පක්ෂයක් තැනීම යනු ශ්‍රිලනිපයට දෝහිවීමක් නොවේ. එය නැවත ශ්‍රිලනිපයේම බලය ලබාගැනිමේ ආරම්භයකි. තවදුරටත් සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට මෙම කෙනෙහිලිකම් ඉවසිය නොහැකි බව දැන් පසක් වී ඇත. ආණ්ඩු විරෝධී බලවේගයට නායකත්වය දිය හැක්කේ මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් නව පක්ෂයකට පමණි. ශ්‍රිලනිප බෙදුනද ශ්‍රිලනිප වටා එක්වූ ආණ්ඩු විරෝධී බලවේගයට බෙදිමට ඉඩදිය යුතු නැත.

දිවයිනේ ශ්‍රිලනිප හිටපු පළාත් පාලන නියෝජිතයින් 2450ක් අතරින් 1965ක් සිටිනුයේ ඒකාබද්ධ විපක්ෂය සමඟය. ශ්‍රිලනිප නෛතික පාර්ශවය ඇඹිලිපිටියේදී රත්නපුර දිස්ත්‍රික්කයන්යේ ශ්‍රිලනිප හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට රැස්වීමක් පවත්වන විට එයට විකල්පයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයද එදිනම හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සඳහා රැස්වීමක් පැවැත්වීය. රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්වූ 147දෙනාගෙන් 102ක් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවට එක්ව සිටියහ. ඔවුහු රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා 14ක, නගරසභා 2ක සහ මහනගර සභාවක හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් වූහ.

වර්තමාන සමාජය ඉදිරියේ නිදහසේ වේදිකාවට දැන් තැනක් නැත. සාධු ජනරාව උඩුකුරුංඥය. පුරවැසි පෙරමුණට හතේ හතය. අලුත් පරපුරට වැලේ වැල් නැත. සාධාරණ සමාජයක් වූ ජනතා ව්‍යාපාරය හත්පොලේ ගාගෙන ඇත. එයට විකල්පයක් ලෙස අලුත් එන්.ජී.ඕ කිහිපයක් ඇමරිකන් ආධාර මත අරඹා ඇත. එකම ලේද එවැනි උපරවැට්ටියකි. සෙනඟ 25ක් බෝඩ් ලෑලි 25ක් සමඟ ප්‍රසිද්ධ ස්ථානයක පිකටින් එකක් කරනවානම් ඇමරිකන් ඩොලර් පිදේනියක් ගත හැකිය. පිස්සු පූසෝ ටිකක් පැමිණ එයට ගෝරි දමන්නේනම් ඊළඟ ව්‍යාපෘතියට තවත් කල්ල මරේය. පිකට් කරන අයගේ සංකර ඇදුම් බැලූ විට මෝස්තර නිරූපන තරඟයකට වුවද පංකාදුය. දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් ත්‍රස්තවාදී ක්‍රියා කරමින් කොළඹ ඇතුළු රට පුරාම බෝමබ පුපුරුවමින් අහිංසකයින් දහස් ගණනක් මරාදමන විට දකුණු වින්දිතයන් වෙනුවෙන් මේ එකම ලේ කාරයෙක් හෝ ඔවුන්ගේ මව්වරුන් හෝ පෙනී සිටියේ නැත. එකම ලේ වූවාට වැඩ වෙනස්ය. කෑම වෙනස්ය. නීති වෙනස්ය. ඇදුම් වෙනස්ය. බැංකු වෙනස්ය. මේවාට පිකට්කාරයෝ නෝ කතාය. සාධාරණ පොරක් වෙන්නට ගිය ඇත්තන් දැන් ගැලරිය පිනවන කථා කියනු ඇසෙන්නේ ජාම බේරගැනීමටය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති මේ දිනවල සෙල්ෆිවල ඇමති මනෝ ගනේෂන් සමඟ හැසිරෙන්නේ මයි කාර් මයි ප්‍රෙට්ට්‍රල් කීවාක් මෙනි. එල්ලෙන්නට වැලේ වැල් නැති අම්බරුවන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහගේ කට වැරැද්ද රස බොජුනකි. ජනමතයට පිටුපා හවුල් ආණ්ඩුවට එක්වූයේ නම් ඇයද අද නියෝජ්‍ය ඇමතිනියකි. රතු පක්ෂයක නායකයෙක් ජර්මනියේ හේග් නුවරක් ගැන වරෙක කීවේය. කොල පක්ෂයේ නායකයෙක් පස්දුන් කථා කියන්නට ගොස් ඇන ගත්තේය. ඇනකොන්ඩලාගේ ලැයිස්තුව කියන්නට ගියහොත් තව දිගය.

පෝට් සිටිය දැන් ෆිනෑන්ස් සිටිය වී ඇත. නම වෙනස් කිරීමෙන් චෝදනා කල සියළු තර්ක බිඳ වැටී ඇත. එදා හෙක්ටයාර් 223ක් ගොඩකිරීමට ලංකාවේම කළුගල් අවශ්‍යවී දැරුණු පරිසර විනාශයක් වනු ඇතැයි තර්ක කළේය. මෙදා එම ව්‍යාපෘතිය සඳහාම හෙක්ටයාර් 269ක් ගොඩකිරීමට තීරණය කල විට එදා හඬ නැගූ අය අද නිහඬය. චීන කොළණිය දැන් වචන හරඹයකි. සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟනවායැයි කීවද ඹෟෂධ මිල ඉහළ ගියේ රොකට් වේගයෙනි. යුධ හමුදාවේ ඉහළ නිලධාරියෙකුවූ මානවඩු මිය යන්නේ හිසට පරාලයක් වැටීමෙනි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුවූ සරත් ආබෲ මිය යන්නේ නිවසේ උඩුමහළින් බිමට වැටීය.

‘යහපාලන’ ආණ්ඩුව හරියට ඉලාස්ටික් නැති කලිසමක් වගේය. ‘යහපාලන’ වෙනුවෙන් ඡන්දය දුන් බොහෝ දෙනා දැන් තක්කු මුක්කු වී ඇත. කුම්බලා මාළු කෑවානම් දුක්විදපන් බළලෝ කියා ප්‍රස්ථා පිරුලක් ඇත්තේ ඈන්නෑවකට නොවේය. මීළඟට පැවැත්වෙන ඕනෑම මැතිවරණයකින් සැබෑ ජනමතය කුමක්දැයි රටට පසක් වනු ඇත. සීමා නිර්ණයට මුවාවී පුංචි ඡන්දය කල් දමන්නේ ජන මතයට ඇති බිය නිසාය.

-ධර්මන් වික්‍රමරත්න
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/07/2016

රට හෙල්ලූ පාද යාත්‍රාවෙන් ආණ්ඩුව නොසන්සුන්...

කතෘ:යුතුකම     8/07/2016   No comments
සන්සුන් නොසන්සුන්
-ධර්මන් වික්‍රමරත්න

ඉකුත් සදුදා නිමාවූ පාද යාත්‍රාව ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂය හෙවත් ටර්නින්ග් පොයින්ට් එකක් බවට දැන් පැහැදිලිය. එය ‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව ලක්ෂ සංඛ්‍යාතික ජනයා ආරම්භ කල සටනක පළමු වෙඩිමුරය විය. පාද යාත්‍රාවෙන් මතුවූ අති ප්‍රබල තරංග මාලාවන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සහ ‘යහපාලන’ ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ ජනයාට ගෙන ආවේ නව ජවයකි. පන්නරයකි. ආශ්වාදයකි. ඒ නිසාම මෙලෝ රහක් නැති මිනිසුන්ගේ අපහාසයට, උපහාසයට සහ ප්‍රහාරයන්ට ලක්වෙමින් තිබීම අරුමයක් නොවේ. එබැවින් ‘යහපාලන’ ආණ්ඩුව නොසන්සුන්ය. වෙනස් කල නොහැකි සියළු දේ වෙනස් කල හැකි බව පාද යාත්‍රාව රටට කියා ඇත. ජනයා සන්සුන්ය.

රජවාසල සෑදිමට ගඩොල් ඇද්දා කියා රජ පුටුවේ වාඩිවීමට රජු ඉඩදෙන්නේ නැත. එමෙන්ම පාද යාත්‍රාවට සහභාගිවූ සියල්ලෝම ඊට පසුදාම අලුත් ආණ්ඩුවක් පිහිටුවන බවට සිහින මැව්වේද නැත. පාද යාත්‍රාවට ‘යහපාලන’ ආණ්ඩුව දක්වන ප්‍රතිචාර හරියට උදේ සවස ගේ දොරකොඩට එන චූං පාන් කාරයින්ගේ වැඩ වාගේය. පාද යාත්‍රාවේ යන්නේ හොරුනම් ඉන්නේ සුළු පිරිසක් පමණක්නම් අධිකරණ වාරණ නියෝග ගැනීමට පොලිසිය මගින් දුසිමක් පැමිණිලි යොමුකරමින්ද රෝගීන් හෝ උපස්ථායකින් නැති ගිලන් රථ නලා හඬ නගමින් ප්‍රථම දින නිරතුරුවම ගියේද රැස්වීම සඳහා වෙන්කරගත් හයිඩ් පිටියේ බොරු වලවල් කැපුවේද අහවල් එකකටදැයි ජනතාව අසන්නේ ඒනිසාය.

ජන සටන පාද යාත්‍රාව ජුලි 28 සිට අගෝස්තු 1දක්වා පුරා දින 5ක් පැවති අතර එයට ලක්ෂ 20ක පමණ ජනකායක් වරින් වර විවිධ ප්‍රදේශවලදී මුළු පාගමනටම එක්රොක්වී සිටියහ. එමෙන්ම මඟ දෙපස රැස්ව දිරිගැන්වීමට එක්ව සිටියහ. පාද යාත්‍රාව පැවතියේ කරුණු රැසක් මුල් කරගෙනය. ඒ ව්‍යවස්ථා මර උගුලට එරෙහිවය. ගමේ පුංචි ආණ්ඩුව වන පළාත් පාලන ඡන්ද කල්දැමීමට එරෙහිවය. වැට් ඇතුළු බදුබර වැඩිකර බඩුමිල ඉහළ දැමීමට එරෙහිවය. රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට එරෙහිවය. ගොවි සහන සහ පාසැල් නිල ඇදුම කප්පාදුවට එරෙහිවය. දේශපාලන දඩයමට එරෙහිවය. කැලෑ නීතියට එරෙහිවය. ආර්ථිකය මංකොල්ලකෑමට එරෙහිවය. දෙමළ අන්තවාදයට පණදීමට එරෙහිවය. ලක්ෂ ගණන් ජනයා එයට එක්රොක්වී සිටියහ. ඒ දිනූ රට රැක ගැනීමටය. එය මහා බලයකි.

මහින්ද රාජපක්ෂගේ මෙහෙයවිමෙන් 1992 මාර්තු 16 සිට අප්‍රේල් 1වැනිදා තෙක් දින 17ක් පුරා කොළඹ සිට කතරගමට ගිය පාද යාත්‍රාවට වඩා මෙවර 2016 ජුලි 28 සිට අගෝස්තු 1වැනිදා දක්වා මහනුවර සිට කොළඹට ආ පාද යාත්‍රාව අතර ඇත්තේ බරපතල වෙනසකි. මෙවර පාද යාත්‍රාව පැවැත්වූයේ ගියවර මෙන් නොව එජාප ආණ්ඩුව මෙන්ම පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය පමණක් නොව ශ්‍රිලනිප නෛතික පාර්ශවයද එක ගෙයි කෑමේ යෙදී සිටියදීය. ඉන් පැහැදිලිවූ දෙයක් ඇත. ශ්‍රිලනිප නෛතික පාර්ශවය පමණක් නොව දෙමළ ජාතික සන්ධානයද පාද යාත්‍රාවට එරෙහිව එජාප ආණ්ඩුව සමඟ එක්වූ බවය. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ සිටියේ හරියට ජෙලිෆිෂ් වාගේය. විනිවිද පේනවාය. හැබැයි සැකිල්ලක් නැත.

නුවර සිට කොළඹ දක්වා පාද යාත්‍රාවේ අඩපන කිරීම සඳහා එහි අදිසි නායකයෙකු වූ බැසිල් රාජපක්ෂ ජුලි 18වැනිදා අත්අඩංගුවට ගත්තේය. පසුව ප්‍රථමයෙන් අගෝස්තු 1වැනිදා දක්වාද දෙවනුව යළි අගෝස්තු 8වැනිදා දක්වාද රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී. එම අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ බැසිල් නිහඬකර ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව අඩපණ කිරීමට උත්සාහ කිරීම බව පැහැදිලිය. එහෙත් අත්අඩංගුවට ගන්නා විටත් එවැනි අනතුරු කලින් පැහැදිලිවූ බැවින් පාද යාත්‍රාවේ සංවිධානය සඳහා පළමු පෙළ පමණක් නොව දෙවන පෙළ යාන්ත්‍රණයක්ද ගොඩනැගී තිබිණි.

පාද යාත්‍රාවට එක්වූ ඒකාබද්ධ විපක්ෂයට අයත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුවන්ට එරෙහිව දැඩි තීරණයක් ගැනීමට ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවද ඊයේ රාත්‍රී රැස්විය. එහිදී තද තීරණයක් ගනු ඇතැයි කලින් ප්‍රකාශකර තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට ඉඩදීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයකි. එය පක්ෂ නායකයින්ට ලේකම්වරුන්ට, පක්ෂ විනයට යටත් කිරීමට ඉඩදිය යුතු නොවේ. එසේ වුවහොත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල අනතුරක් වනු ඇත.

වැට් එකෙන් මිනිසුන් ෆැලැට් වූවේය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ මැදිහත්වීම මත දුන් අධිකරණ තීන්දුව හේතුවෙන් එය තාවකාලිකව නතර කරගැනීමට සිදුවිය. වැට් බද්ද අයකර ගැනීමට පාර්ලිමේන්තුව හමුවේ පනත ඉදිරිපත් කලවිට එය පරාජය කිරිමට ඡන්දය පරිහරණය කිරීමට සන්ධානයේ සියළු මන්ත්‍රීන් ගේ වගකීමකි. ජනතාව නොමරා මරණ වැට්බදු සංශෝධනයට පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමේ ශක්තිය සන්ධානයට මන්ත්‍රීවරුන් 95දෙනාට ඇත. එසේ නොවුනහොත් කෑගසා වැටෙන දියඇලිද අවසානයේ ගැඹුරු මහමුහුද හමුවී නිහඬ වන්නාක් මෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟකර පාර්ලිමේන්තුවට ඡන්දයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්ව වර්තමානයේ ඇමති වරදාන භුක්තිවිදින ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ මන්ත්‍රීවරුන් ලබන මහ මැතිවරණයේදී සිදුවන්නේ දේශපාලනයෙන් අතුගා දැමීමට ශ්‍රිලනිප පාක්ෂිකයින් කටයුතු කරනු ඇත. එවිට ස්ප්‍රීට් කියා හිතාගෙන සිටි බොහෝ දෙනා තනිකරම ගෝඩා බව රටට පැහැදිලි වනු ඇත.

සේවක අයිතීන් සහ ජනතා ප්‍රශ්න වෙනුවෙන් හඬ නඟන ශ්‍රිලනිප වෘත්තීය සමිති නායකයින් දඩයම් කිරීමද ‘යහපාලන’ ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ප්‍රථමයෙන් මැයිදිනය දා ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම ඇමතුවායැයි පවසමින් තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා වෘත්තීය සමිති නායක සමන් බන්දුල වැඩ තහනම් කළේය. පසුව සේවක වැටුප් පිළිබඳ සාකච්ඡාවේදී තදින් අදහස් දැක්වූ බව පවසා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති කමල් ගෝමස්ගේද වැඩ තහනම් විය. අලුත්ම දඩයම බවට පත්වූයේ පාද යාත්‍රාව වරකාපොලට ලඟාවීමෙන් අනතුරුව හිටපු ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රිලනිප මහලේකම් ධර්මසිරි සේනානායකගේ පිළිරුවට ගුණසමරුවක් වශයෙන් මල්දමක් පැලදවීමට දොඹකරයක් රැගෙන ආ බව කියන ගුවන්සේවා අධිකාරියේ ශ්‍රිලනිප ගුවන් තොටුපළ වෘත්තීය සමිතියේ සභාපතිවරයා වන වර්ණසිරි මොහන්දිරම් මෙසේ වැඩ තහනමට ලක්කිරීමය.

පුංචි ඡන්දය වෙනුවෙන් වෙනුවෙන් ශ්‍රිලනිප නෛතික පාර්ශවය මෙම දිනවල එවා තිබෙන සම්මුඛ පරික්ෂණ කැඳවීම් ලිපි පිළි නොගන්නා බව පවසමින් කුරුණෑගල දිස්ත්‍රික් පළාත් පාලන හිටපු මන්ත්‍රීන් බහුතරයම එම ලිපි ඉරාදමා ප්‍රසිද්ධියේ පිලිස්සුවේ පෙරේදාය. මෙයට කලින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රාදේශීය සභා 18 සඳහා අයදුම්පත් යොමුකර තිබූ 450 දෙනා සම්මුඛ පරික්ෂණයට කැඳවීමේදී පැමිණ සිටියේ 43දෙනෙකි. සෙවනැල්ල වුවද තමන් සමඟ සිටින්නේ ආලෝකය තිබෙන තාක් පමණි.

එජාප ආණ්ඩුවට ශ්‍රිලනිප නෛතික පාර්ශවය එක්වීමෙන් රටට වෙච්ච සෙතක් නැත. ජනතාවට ලැබුණු දෙයක් නැත. විදේශ විනිමය සංචිතය පහලටය. විදේශ විනිමය වෙළඳපොල ඩවුන්ද පල්ලම්ය. ආයෝජන බින්දුවේය. පොලී අනුපාතය ඉහළටය. මහ බැංකු සහ ගල් අඟුරු හුටපටේ අතේ මාට්ටුය. බොරතෙල් හුටපටේ මඟ එනවාය. උපදේශකයින් 57ක් සිටින මහමාර්ග අමාත්‍යාංශය රැකියා උල්පතකි. හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිටි රිජන්සි, මත්තල ගුවන්තොටුපොල ඇතුළු රාජ්‍ය ආයතන 7ක් විකිණීමට රජය දැනටමත් පිඹුරුපත් හදා අවසන්ය. රජු සිටියදී තීරණ ගන්නේ පුරෝහිතය.

සිගරැට් පැකැට්ටුවට පිලිකා රෝග ඡායාරූප දැම්මාට වැඩක් නැත. ආණ්ඩුව දැන් සිගරැට් පැකැට්ටුවේ නම සහ රජයේ අවවාදය පමණක් මුද්‍රණය කර සුදු පැහැති පැකැට්ටුවක් සිගරැට් සඳහා හදුන්වාදීමට යයි. නටපු නැටමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. මතට තිත කියමින් බීර නිෂ්පාදකයින්ට ගංවතුර කඩතුරාවක් කරගනිමින් අසීමිත ලෙස බදු සහන දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදහන් පුද්ගලයින් සඳහා වන කාර්යාලය පිළිබඳ පනත් කෙටුම්පතද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගැනෙන පියවරකි. එමගින් අදහස් කරන්නේ යුධ අපරාධ චෝදනා නැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරදීමය. විදේශීය විනිසුරුවරයන් නැතහොත් තාක්ෂණිය නිලධාරින් අනුයුක්ත කිරීමේ හැකියාවද ඇත. විදේශීක විනිසුරුවන් ඇතුළත්වූවද නැතද මෙහි මෙහෙයුම්වලින් සිදුවන හානිය නොඅඩුව සිදුවනු ඇත. මෙම කාර්යාලයේ අරමුණ නීතිමය ක්‍රියාමාර්ග වලට ප්‍රවිශ්ඨවීම නොවන බව රජයේ පාර්ශවයෙන් පැවසුවද මෙමගින් ලබාදෙන තොරතුරු ඔස්සේ නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රියාමාර්ග ඇත. මෙම පනත සම්මත වීම වැලැක්විය හැක්කේ එයට විරුද්ධවී සරළ බහුතරය ලැබීම වලක්වන ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීමෙනි. නැතිනම් පනත ඉල්ලා අස්කරගන්නා ලෙස රජයට බලකිරීමෙනි.

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය ඉකුත් අප්‍රේල් 18වැනිදා නිතුත් කල නිවේදනයකින් කියවුනේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වහාම අහෝසි කිරීමටත් ඒ වෙනුවට නව පනත් 3ක් ගෙන ඒමට රජය අවධානය යොමුකර ඇති බවකි. මින් සිදුවන්නේ මර්ධන නීති අහෝසි කිරීමක් නොව අලුතින් මර්ධන නීති පැනවීමකි. මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතා ව්‍යාපාර තුළ තවමත් නිසි පරිදි සාකච්ඡාවට ලක්ව නැත.

පාද යාත්‍රාවෙන් රටට දුන් ලොකුම පණිවිඩය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇමති වරදාන ගත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් හැර සියළු ශ්‍රිලනිප පාක්ෂිකයින් සිටිනේනේ ඒකාබද්ධ විපක්ෂය සමඟ බවය. ඒකාබද්ධ විපක්ෂය එම ලක්ෂ සංඛ්‍යාතික ජනතාව දෝතීන් පිළිගත් බවය. කඩි ගුලක් ඇවිස්සුනා සේ ‘යහපාලන’ ආණ්ඩුව අද කලබල වී ඇත්තේ එබැවිනි. සැබෑ ශ්‍රිලනිප යනු ශ්‍රිලනිප පාක්ෂිකයින් මිස ඩාර්ලි පාරේ ශ්‍රිලනිප මුලස්ථාන කොන්ක්‍රීට් ගොඩනැගිල්ල නොවන බවද ඉන් පසක් විය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/31/2016

මාමාගේ ඉන්දියාවට පාවාදීමට වසර 29යි. බෑණාගේ පාවාදීම ETCA සූදානම්...

කතෘ:යුතුකම     7/31/2016   No comments
ඉන්දු ලංකා ගිවිසුමට වසර 29
-ධර්මන් වික්‍රමරත්න-
වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු විය. උතුරු නාවික ආඥාපති අද්මිරාල් මොහාන් සමරසේකර‍ගේ උපදෙස් පරිදි එඩිතර නැවේ සිටි අණදෙන නිළධාරි කපිතාන් සුරාජ් මුණසිංහ ඇතුළු නාවික භටයෝ එම බෝට්ටු ඉදිරියට ඒම නැවැත්තුවෝය. ඇමති ලලත් ඇතුලත්මුදලි සහ ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති සිරිල් රණතුංග එම මෙහෙයුමට රේඩියෝ පණිවිඩ මගින් නායකත්වය දුන්හ. පැය තුනහමාරක කාලයක් මුහුදේ නතරවී සිටි ඉන්දිය බෝට්ටු රාත්‍රී 9.30ට යළි ඉන්දියාව බලා ආපසු ගියහ.

ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් බර්නාඩ් තිලකරත්නව 1987 ජුනි 4වැනිදා පස්වරු 2.30ට ඉන්දිය විදේශ අමාත්‍යාංශයට කැඳවූ ඉන්දිය රජය එදින පස්වරු 3.30ට ගුවන් මගින් උතුරේ ජනතාවට ආධාර භාණ්ඩ හෙළීමට තීරණය කර ඇතැයි දැනුම් දුන්නේය. මහ කොමසාරිස් තිලකරත්න එදිනම පස්වරු 2.55ට කොළඹ සිටින විදේශ ඇමති ඒ.සී.එස්. හමීඩ්ට දැනුම් දුන්නේය. පණිවිඩය සැලවූ විගස ජනාධිපති ජයවර්ධන මහතා කියා සිටියේ ගුවන් සීමාව ආක්‍රමණය කර භාණ්ඩ ගුවනින් හෙළීමට එරෙහිව කිසිදු කියාමාර්ගයක් නොගැනීමට එජාප ආණ්ඩුව තීරණය කර ඇති බවය.

වසර 1987 ජුනි 4 වැනිදා පස්වරු 3.55ට ඉන්දියාවේ බැං‍ගලෝරයේ පිහිටි ශ්‍රී ලංකා හමුදා ගුවන් තොටුපොළෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා 5ක් ටොන් 25ක වියළි ආහාර ද්‍රව්‍යද රැගෙන ශ්‍රී ලංකාවට පියාසර කළහ. එදින පස්වරු 5ට යාපන අර්ධද්වීපයේ ඉහළ අහසේ සිට එම ගුවන්යානා මගින් පැරෂුට්වල සවිකරන ලද භාණ්ඩ පෙට්ටි බිම හෙළන ලදී. මෙසේ ඉන්දිය රජය ගුවන් සීමාව ආක්‍රමණය කළේ උතුරේ වඩමාරච්චි ප්‍රදේශයේ විමුක්ති මෙහෙයුම තවදුරටත් කරගෙන යෑම නතරකිරීමට ශ්‍රී ලංකා රජයට බලකිරීමටය. ඒ අනුව ඉන්දිය රජයේ විරෝධතා හේතුවෙන් යාපනය අල්ලා ගැනීම සදහා ආරක්ෂක හමුදාව විසින් ජුනි මස මැදදී ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙහෙයුම නතරකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ජනාධිපති ජයවර්ධන දැනුම් දුන්හ.

එජාප ආණ්ඩුවටත්, සන්නද්ධ දෙමළ බෙදුම්වාදයටත්, ඉන්දියානු ආක්‍රමණයටත් එරෙහිව සටන් කලහැකි එකම බලවේගය තමන් බව ජනතා විමුක්ති පෙරමුණ සිය 2වැනි කැරැල්ල 1986දී බෞතීස්ම කරමින් කියා සිටියහ. ජවිපෙ මතුකල ඉන්දු ලංකා ගිවිසුමේ පළාත් සභාවලට එරෙහි විරෝධයෙන් කියා සිටියේ එමගින් ලක්බිමෙන් සියයට 30ක් සහ වෙරළින් සියයට 60ක් දෙමළ බෙදුම්වාදින්ට අයත්වන බවය. රට දෙකඩ වී ජාතික සමගිය බිඳවැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදෙන ලෙසද එයට එරෙහිව නැගී සිටින ලෙසද ජවිපෙ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය

ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දින 3කට පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය 1987 ජුනි 7 වැනිදා කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ රත්මලාන ජෝන් කොතලාවල ආරක්ෂක පීඨයට කඩා වැද ටී 56 ප්‍රහාරක රයිෆල් 14ක්, උප යාන්ත්‍රික තුවක්කු 53ක්, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2ක්, පිස්තෝල 6ක්, වෙඩි උණ්ඩ 3,300ක් පැහැර ගත්හ. ජවිපෙ සන්නද්ධ අංශය 1987 ජුනි 7 වැනිදා ප්‍රහාරයේ වගකීම භාරගනිමින් කියාසිටියේ ඉන්දිය ගුවන් ආක්‍රමණිකයා හමුවේ මව්බිමේ ආරක්ෂාවට එජාප ආණ්ඩුව නොයෙදූ ගුවන් ප්‍රහාරක අවි පැහැරගත් අතර ඒවා ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ඉදිරියේදී යොදවන බවය. එයට ප්‍රථමයෙන් 1987 අප්‍රේල් 15වැනිදා පල්ලකැලේ හමුදා කඳවුරට පහරදි අවි පැහැරගෙන තිබිණි.

ඉන්දිය ගුවන් ආක්‍රමණයට එරෙහිව ඉන්දීය තානාපති කාර්යාලය සහ මහ කොමසාරිස් ගේ කොළඹ නිල නිවස ඉදිරිපිට දිනපතා විරෝධතා ව්‍යාපාර පැවැත්විණි. එවකට ශ්‍රී ලංකා‍වේ සිටි ඉන්දිය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් ඉන්දිය ජාතිකයින්ට නිවෙස්වලින් ඉවත්ව හෝටල්වල නතරවන ලෙසටද උපදෙස් දුන්හ.මේ සියල්ල අතරතුරදී ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ජේ.එන්.ඩික්සිත්,මේ සියල්ල අතරතුරදී ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුමට පිඹුරුපත් සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන නළුවන් විය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.

ඒ අනුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් එච්. එස්. ජුරි 1987 ජුලි 21වැනිදා යාපනයට ගොස් එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු දෙමළ සටන්කාමී කණ්ඩායම්වල නායකයින් හමුවී සාකච්ඡා කෙරෙනි. මහ කොමසාරිස් ඩික්සිත් මදුරාසියට ගොස් ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයින්ද හමුවිය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝ එහිදී කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධකර වෙනම පළාත් සභාවක් පිහිටුවිය යුතු බවය. ඩික්සිත් එම යෝජනා නවදිල්ලියට රැගෙන ගොස් ඉන්දිය රජයට සහ අගමැති රජිව් ගාන්ධිට දැනුම් දුන්නේය. ජනාධිපති ජයවර්ධන 1987 ජුලි 23 වැනිදා එජාප ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැඳවූ අතර ඉන්දියාව සමඟ සහයෝගයෙන් ප්‍රශ්නය විසදීමට කටයුතු කරන බව කියා සිටියේය. එජාප මන්ත්‍රීවරුන් එය අනුමත කළෝය.

ඉන්දියා‍ව මදුරෙයි සිට 1987 ජුලි 24වැනිදා පස්වරු‍වේ යාපනයට පැමිණි ඉන්දිය හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මගින් එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රථමයෙන් මදුරාසියට සහ පසුව නවදිල්ලියට කැඳවාගෙන ගොස් ඉන්දීය අගමැති රජීව් ගාන්ධිද මුණ ගස්සා ඉන්දු ලංකා ගිවිසුමකට ඔහු එකඟ කරවා ගැනීමට උත්සාහ දැරීය. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ සහ අනිකුත් දෙමළ සන්නද්ධ සංවිධාන එයට එකඟ විය. ජුලි 25 සහ 26 යන දිනයන්හි යෝජිත ගිවිසුම පිළිබදව ඉන්දියානු රජයේ නියෝජිතයෝ සහ ප්‍රභාකරන් අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවතිනි. ඒ නවදිල්ලියේ අශෝක් හෝටලයේදීය. එල්.ටී.ටී.ඊ සංවිධානයට අතුරු පාලනයේ වැඩි බලයක් ලබාදීමටද එහි සාමාජිකයින් එහි නව පාලනයට අන්තර්ග්‍රහණය වන තෙක් ඔවුන් නඩත්තු කිරීමට ඉන්දිය රුපියල් ලක්ෂ 50ක් මාසිකව ගෙවීමටද ඉන්දිය අගමැති රජිව් ගාන්ධි විසින් ප්‍රභාකරන් හමුවේදී එකඟ විය.

ජපානයේ නිල සංචාරයකට ගොස් සිටි අගමැති රණසිංහ ප්‍රේමදාස ගිවිසුම ගැන ආරංචි වී 1987 ජුලි 26 වැනිදා පෙරළා ශ්‍රී ලංකාවට පැමිණියේය. අගමැතිවරයාටද නොදන්වා ජනාධිපති ජයවර්ධන එකඟවූ ඉන්දු ලංකා ගිවිසුම පිලිබඳව ප්‍රේමදාස සිය නොසතුට පළ කළේය. යෝජිත රහස් ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද 1987 ජුලි 24වැනිදා රැස්වූ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර දිනේෂ් ගුණවර්ධන, රිචඩ් පතිරණ යන විපක්ෂ මන්ත්‍රීවරුන් එයට ප්‍රබල විරෝධයක් දැක්වූහ. ආණ්ඩුව සිදුකළේ පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම අගොස්තු 18 දක්වා කල් තැබීමේ යෝජනාවක් වැඩි ඡන්ද 65කින් සම්මතකර ගැනීමය. පානදුරේදී 1987 ජුලි 25වැනිදා ප්‍රාදේශීය සභා මැතිවරණ අපේක්ෂකයින් අමතමින් ජනාධිපති ජයවර්ධන කියා සිටියේ කවුරු විරුද්ධ වූවද තමා ගිවිසුම අත්සන් කරන බවය. එය ගිවිසුම පිළිබද ආණ්ඩුව ප්‍රසිද්ධියේ කී ප්‍රථම වතාවය.

යෝජිත ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා කොටුව බෝගහ අසළදී විරෝධතා ව්‍යාපාරයක් උදෑසන 8ට ආරම්භ විණි. එදින උදෑසන 6.30ට පමණ ලියුම්කරු එය වාර්තා කිරීමට කොටුවට ගිය අවස්ථාවේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයින් වන එච්.බී හේරත්, ගුණරත්න වණසිංහද මධ්‍යම කාරක සභිකයින් වන ගාමිණී විජේගුණසේකර, තංගරාජා ඇතුළු කිහිප දෙනෙක්ද ජවිපෙ ඉහළ පෙළේ ක්‍රියාකාරිකයින් සිය ගණනක්ද පැමිණි තිබිණි. එදින එළිවන විට ඉන්දු ලංකා ගිවිසුමට, දෙමළ බෙදුම්වාදයට සහ එජාප ආණ්ඩුවට එරෙහිව කොළඹ පමණක් නොව මුළු රටේම බොහෝ ප්‍රධාන නගරයන් රක්ත වර්ණ පෝස්ටර් වලින්ද සටන් වැකි වලින්ද කළු කොඩිවලින්ද සරසා තිබුණු බව දැනගන්නට ලැබිණි.

විරෝධතා ව්‍යාපාරය මව්බිම සුරකිමේ සංවිධානය වෙනුවෙන් හැඩිගල්ලේ පඥ්ඤාතිස්ස හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, ප්‍රින්ස් ගුණසේකර යන අය විසින් කැඳවා තිබිණි. එම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වමින් මව්බිම සුරකීමේ සංවිධානය නැමති ශ්‍රිලනිපයට හිතවත් සංවිධානය වෙනුවෙන් විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායක, ජිනදාස නියතපාල, බෙංගමුවේ නාලක හිමි, ගාමිණී ඊරියගොල්ලද අනුර බණ්ඩාරනායක ඇතුළු ශ්‍රිලනිප මන්ත්‍රීවරු රැසක්ද විය. සියළු සංවිධාන කටයුතු සිදුකළේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ භික්ෂු බල මණ්ඩලය මගිනි. විරෝධතා ව්‍යාපාරයට රටපුරා අදිසි නායකත්වය දුන්නේ ජවිපෙ මගිනි.

එදින එනම් 1987 ජුලි 28වැනිදා පෙරවරු 11.30වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ ලඟට එක්වීමෙන් අවට මංමාවත් සියල්ලම වැසී ගියේය. සෙත් පිරිත් හඬ දසතින් පැතිර ගියේය. පොලිසිය මගින් කඳුළු ගෑස් එල්ල කර සිදුකල බැටන් ප්‍රහාරයත් සමඟම ජනගඟ කැළඹිණි. වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. පිරිස් සංවිධානාත්මකව සතර දිසාවට පෙළපාලි 10ක් පමණ ගමන් කල අතර එක් පෙළපාලියකට දහසකට අධික පිරිසක් අයත් වූහ. විරෝධතාකරුවන් බස්රථ ඇතුළු රජයේ දෙපල ගිනි තැබූහ. කළු දුම්රොඩු අහසට නැගිණි.

ඉන්දු ලංකා ගිවිසුම් විරෝධී අරගලයේ ප්‍රථමයෙන්ම වෙඩි තැබීමෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු සිසු ක්ලිෆඩ් පෙරේරාය. එහිදී ලියුම්කරු ඔහුගේ සිරැර හඳුනාගත් අතර ක්ලිෆඩ්ගේ පියා සේවය කරන කොටුව මිලර්ස් ආයතනයට පණිවියක් යැවීය. එම ස්ථානයේදීම වෙඩි තැබිමෙන් ඝාතනයට ලක්වූ පිරිස 21කි. මියගිය සහ තුවාලකරුවන් අවට සිටි අය විසින් රෝහළට ගෙන යන ලදී. බෝගහ අසළින් ඇරඹූ ගිවිසුම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා රටපුරාම පැතිර ගිය අතර 1987 ජුලි 27 සිට අගොස්තු 2 දක්වා ගිවිසුමට එරෙහි විරෝධතාවන්හිදී විරෝධතාකරුවන් 132ක් මිය ගිය බවද භික්ෂූන් 56ක් ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබූ බවද එම දින පහ තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජයේ නිල වාර්තාවල සදහන් විය. ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ 1987 අගෝස්තු 1වැනිදා වෙඩිතබා ඝාතනය කර තිබිණි.

එජාප ආණ්ඩුව 1987 ජුලි 28වැනිදා රාත්‍රී සිට මුළු රටේම ඇදිරි නීතිය පැනවීය. රට පුරා විරෝධතා පෙළපාලි අගෝස්තු 2වැනිදා දක්වා පැවැත්වූයේ එම ඇදිරිනීතියද බිඳගෙනය. ජනාධිපති ජයවර්ධනට අමතරව ගිවිසුමේදී ප්‍රධාන භූමිකාවක් සිදුකළේ ඇමති ගාමිණී දිසානායකය. ඇමති ඇතුලත්මුදලි සහ අගමැති ප්‍රේමදාස නිහඬ පිලිවෙතක් අනුගමනය කළෝය. රජිව් ගාන්ධි සිය බිරිඳ සෝනියා සමඟින් ලංකාවට පැමිණියේ 1987 ජුලි 29වැනිදා පෙරවරු 10.30ටය. කටුනායක ගුවන්තොටු පොලෙන් ඔවූහු ගුවන්යානා හෙළිකොප්ටර්වල නැගී ගාලුමෝදරට පැමිණියෝය. ඉන්දීය රජයේ අමාත්‍යවරුන් වන නරසිංහ රාවෝ, එන්.ඩී තිවාරි, රාජ්‍ය අමාත්‍ය නට්වාර් සිං යන මහත්වරුන්ද කේ.පී.එස් මෙනන්, රොහාන් සෙන් යන නිලධාරීන් සහ ජනමාධ්‍යවේදීන් පිරිසක්ද එම දූත පිරිස සමඟ පැමිණියහ.

ජනාධිපති ජයවර්ධන හමුවූ ඔහු පෙරවරු 11.30ට නිල නොවන සාකච්ඡා ඇරඹීය. 1987 ජුලි 29වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා තුන් වතාවක් රජීව් සහ ජනාධිපති ජයවර්ධන ජනාධිපති මන්දිරයේ සාකච්ඡා පැවැත්වීය. සිව්වැනි එමෙන්ම අවසාන හමුව පැවැත්වූවේ ජුලි 30වැනිදා උදෑසනය. අමාත්‍යවරුන් වන ගාමිණී දිසානායක, රොනී ද මෙල්, නරසිංහ රාවෝ, ජනාධිපති ලේකම් මැණික්දිවෙල, ඉන්දිය විදේශ ලේකම් එස්. මෙනන්, රොනන් සෙන්, ඩික්සිට් එම සාකච්ඡාවලට ඔවුන් සමඟ සහභාගී වූහ.

ජනාධිපති මන්දිරයේ පැවති ඉන්දීය අගමැතිවරයා පිලිගැනිමේ උත්සවයට අගමැති ආර්. ප්‍රේමදාස ඇතුළු කැබිනටි මණ්ඩලයේ බොහෝ දෙනෙක් පමණ සහභාගී නොවූහ. එයට සහභාගිවන ලෙසට ඉන්දීය අගමැතිවරයා විපක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකට කල ආරාධනයද ඇය වර්ජනය කර තිබිණි. “තද” ලියුමක් සිරිමා බණ්ඩාරනායක එවා තිබූ අතර එය විශේෂ නියෝජිතයෙකු විසින් පෙරවරු 11.30ට අගමැති රජීව්ට අතින් භාරදෙන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජේම්ස් ස්පෙන් එක්වූ අතර ඔහු ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් ගේ විශේෂ ලිපියක් එම ස්ථානයේදීම ඉන්දීය අගමැතිවරයා වෙත ලබාදුන්නේය. එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික අර්බුදය විසදීමට ඉන්දීය මගින් ගනු ලැබූ උත්සාහය ගැන ප්‍රසංශා කිරීමකි. ඉන්දීය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය පසුව චෝදනා කළේ අත්සන් කරන තෙක් රහසක්ව පවත්වාගෙන සිටි ගිවිසුමේ පිටපතක් එයට කලින් ජනාධිපති ජයවර්ධන විසින් ඇමරිකානු රජය වෙත භාරදී ඇති බවය.

රටපුරාම ලක්ෂ ගණන් ජනයා ඇදිරිනීති‍ය නොතකා වීදිවලට බැස විරෝධතා ව්‍යාපාර පවත්වද්දී ඉන්දු ලංකා ගිවිසුම දෙරටේ නායකයෝ විසින් 1987 ජුලි 29 වැනිදා පස්වරු 3.37ට අත්සන් තැබූහ. ගිවිසුම අත්සන් කිරිමෙන් පසු අගමැති රජීව් ගාන්ධි සහ ජනාධිපති ජයවර්ධන විදේශ කටයුතු අමාත්‍යාංයේදී දෙස් විදෙස් මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි. ලියුම්කරුද එයට එක්වී සිටියහ.

අගමැති රජිව් ගාන්ධි නික්ම යෑමට පෙර 1987 ජුලි 30වැනිදා ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී ආචාර පෙළපාලියක් පවත්වන ලදී. එවිට උත්සවය ආරම්භ වූයේ උදෑසන 9.30ට පමණය. උත්සවය අවසන් වුයේ උදෑසන 10.15ටය. දෙරටේ ජාතික ගී ගායනා කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධානියෙකු සමඟ පෙලින් පෙලට ගමන් කරමින් සිටියදී ලුතිනන් මැන්ඩිස්ගේ අණ පරිදි සම්මාන මුරයට සහභාගිවූ නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි සිය රයිෆල් බදින් ඉන්දීය අගමැතිවරයාගේ හිසට පහරක් එල්ල කලද එය වලක්වා ගැනීමට ඔහුගේ ආරක්ෂකයින් සමත් විය. එහෙත් එම පහර අගමැතිවරයාගේ උරහිසට වැදිණි. රජීවි ගාන්ධි ආපසු දිල්ලියට කලින් යොදා ගත් පරිදිම පෙරවරු 11.30ට කටුනායකින් දිල්ලිය බලා පිටත් විය. කොටුවේ සිට කටුනායකට ගියේද හෙලිකොප්ටර් මගිනි. සෝනියා ගාන්ධි ඒ වන විටත් කටුනායකට පැමිණ තිබිණි.

ගිවිසුම අත්සන් කරන අවස්ථාව වන විට ඉන්දිය යුද නෞකා දෙකක් ඕනෑම දේකට සූදානම් බව අගවමින් කොළඹ අවට මුහුදේ සැරි සැරීය. ගිවිසුම අත්සන්කර පැය කිහිපයක් ගත වීමටත් පෙර ඉන්දීය හමුදා භටයින් 7,000ක් රැගත් ගුවන් යානා සහ නැව් යාපනයට ඉන්දීය හමුදා සේනානාංක වශයෙන් ගොඩ බටහ. එහි නායකත්වය ගත්තේ ඉන්දීය යුධ හමුදාවේ ලුතිනන් ජනරාල් දීපේන්ද්‍ර සිංය. ශ්‍රී ලංකා යුධ හමුදා භටයින් සියළු දෙනාම ඉන්දීය යුධ ප්‍රවාහන ගුවන් යානා මගින් කොළඹට ගෙන එන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර අගමැති ගාන්ධි යන්නට පෙරදීම 1987 ජුලි 29 වැනිදා පස්වරුවන විට ඉන්දීය හමුදා ලංකාවට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථාන ගත වී සිය කටයුතු ඇරඹුහ.

නාවික භටයා අගමැති ගාන්ධිට පහරදුන් අවස්ථාව සේයාරුවේ සටහන් කරගැනීමට සමත්වූ එකම ඡායාරූප ශිල්පියා වූයේ ඩේලි නිවුස් පුවත්පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පී සේන විදානගමය. එහි සිටි දෙස් විදෙස් සිය ගණනක් ඡායාරූප ශිල්පීන් අතරින් ඔහු ගත් ඡායාරූපය ලොව පුරා ප්‍රචලිත විය. සේන විදානගම ඇතුළු ඡායාරූප ශිල්පීන්ට වෙන්කර තිබුණේ ආචාර පෙළපාලියට මීටර් 30ක් පමණ දුරින් සකස්කල අට්ටාලයකය. දිවයින පුවත්පතේ ජේෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර සමඟ එය වාර්තා කල සෙසු මාධ්‍යවේදීන් අතර ලියුම්කරුද බන්දු එස්. කොඩිකාරද විය.

ඉන්දීය අගමැතිවරයාගේ දකුණු පසින් ගමන් කලේ අද්මිරාල් ආනන්ද සිල්වාය. දකුණු පස ඉන්දීය සුපිරි කායාරක්ෂක කමාන්ඩෝ බටයෝ කිහිප දෙනෙකු සිටියහ. රයිෆල් බදින් සෙබළ විජේමුණි පහර දුන්නේ එවිටය. එක රැයකින් පත්තර ලෝකයේ වීරයෙකු වූ සේන විදානගම සිය ඡායාරූපය කැමරාවේ සටහන් කරගත්තේ එවිටය. තමාගේ ඡායාරූප රීලය මේස් කකුලේ සඟවාගෙන ලේක්හවුසියට පැමිණි විදානගම ඩේලි නිවුස් කර්තෘ මණික් ද සිල්වාට එය භාර දුන්නේය. ලේක්හවුසියේ එවකට සිටි සභාපති රණපාල බෝධිනාගොඩ ජනාධිපති ජයවර්ධනගේ අවසරයෙන් පසු එය පලකිරීමට පසු අවසර දුන්නේ එදින මහරෑය. පසුදා ලේක්හවුසියේ අගනුවර මුද්‍රණවල පමණක් එය පළවී තිබිණි.

රජිව් ගාන්ධිට පහරදීම පිළිබද වගකිම දේශ‍ප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නිල පුවත්පත වූ වෙඩි හඬ මගින් පිළිගෙන තිබිණි. එමෙන්ම එදින සවස් වරුව වන විට ඇදිරිනීතියද නොතකා ඒ පිළිබද වගකිමේ ලිපි මාධ්‍ය වලට කිර්ති විජේබාහුගේ අත්සනින් යුතුව නිකුත් කර තිබිණි. එහෙත් පහර දුන් සෙබලා නිදහසින් පසු කියා සිටියේ මව්බිමට ආදරය ඇත්තෙකු වශයෙන් තමා ඒ ක්‍රියාමාර්ගය ගත් අතර කිසිදු පක්‍ෂයක හෝ සංවිධානයක සාමාජිකයෙකු නොවන බවය.

රජිව් ගාන්ධිට පහර දුන් බල නැවි(ගුවන්විදුලි කාර්මික ශිල්පි) විජිත විජේමුණි රත්ගම බූස්සේ උපන් අතර එවකට 22හැවිරිදි විය. නම දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියාය. ගිංතොට මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකි. නාවික හමුදාවේ රැකියාවට පැමිණියේ 1985 අප්‍රේල් 19වැනිදාය. ත්‍රිකුණාමලයේ නාවික සහ සමුද්‍ර ඇකඩමියේ ප්‍රථම පුහුණුව ලැබිය. රජීව් මැරීමේ චේතනාවක් නොතිබුණු බවද ඔහු කල බලහත්කාර ක්‍රියාව පිළිබදව ජාත්‍යන්තර වශයෙන් අපහාසයක් ලබාදීමට එය සිදුකල බවද හෙතෙම යුධ අධිකරණයේදී කියා සිටියේය. හිටපු කථානායක ස්ටැන්ලි තිලකරත්න, ඩොනල්ඩ් හේවාගම, සරත් විජේසිංහ ඇතුළු නීතිඥයින් රැසක් ඔහු වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් පෙනී සිටියහ.

නඩු විභාගයේදී පළමු චෝදනාව වූ රජිව් ගාන්ධි මරා දැමීමට තැත් කිරිම පිලිබදව ඔහු නිවැරදිකරු වූ අතර අනියම් මිනීමැරීමට බරපතල වැඩ සහිතව වසර 06ක සිරදඬුවමක් යුද්ධාධිකරණය නියම කළේය. පසුව ඔහු ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් පිරිනමන ලද විශේෂ සමාවක් යටතේ 1990 අප්‍රේල් 03වැනිදා මුදාහරිනු ලැබීය. සිරගෙදර සිටියේ වසර 2 මාස 04ක් පමණි.

ඉන්දීය හමුදා සේනාංක ලක්ෂයකට ආසන්න පිරිසක් එම වකවානුව තුළ ශ්‍රී ලංකාවට පැමිණි අතර උතුරු නැගෙනහිර යුද්ධයේ මියගිය ඉන්දීය නිලධාරින් සහ භටයන් සංඛ්‍යාව 1,500ක් පමණ වේ. දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් ඇතුළු 8,000ක් පමණ ඉන්දීය හමුදාව මගින් ඝාතනයට ලක්විය. ඉන්දීය හමුදා සේනාංක ශ්‍රී ලංකාවෙන් ඉවත්කර ගැනීම 1989 ඔක්තෝබර් 25වැනිදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරඹූ අතර ඉන්දීය හමුදාවේ අන්තිම සේනාංකය 1990 මාර්තු 13 වැනිදා ත්‍රිකුණාමලයෙන් සමුගෙන ඉන්දියාව බලා පිටත් විය.

ඉන්දු ලංකා ගිවිසුම අනුව පොරොන්දු වූ කරුණු කාරනා ඉටු කිරීමට ඉන්දිය රජය අපොහොසත් විය. එමගින් ස්ථාපිත වූ 13වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව විවිධ ආණ්ඩු ඉන් පසුව මුහුණ දෙමින් සිටින් උභතෝකෝටික ගැටළුවන්ටය. ඉන්දු-ලංකා ගිවිසුම, 13 වැනි සංශෝධනය සහ පළාත් සභා වූ කලී දම්වැලක පුරුක් මෙන් එකනෙකට බැදී පවතින්නකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ ප්‍රධාන අරමුණක්ද වූයේ ඉන්දීය ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම වන අතර එම කැරැල්ලේදි ඝාතනයට සහ අතුරුදහන්වූ සංඛ්‍යාව 41,813කි. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය.

ඉන්දු ලංකා ගිවිසුමට මුල් වූ තිදෙනා අද අප අතර නොමැත. ඉන්දීය අගමැති රජීව් ගාන්ධි(46) කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21වැනිදා රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදි ඝාතනයට ලක්විය. එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන(90) වසර 1996 නොවැම්බර් 01වැනිදා මිය ගියේය. කොටි නායක ප්‍රභාකරන්(54) වසර 2009 මැයි 18වැනිදා යුද්ධයේදී මියගොස් තිබිණි දෙමළ බෙදුම්වාදී සටන නතර කිරීමට 1987 ඉන්දු ලංකා ගිවිසුමටද නොහැකි වීමෙන් පසු එජාප ආණ්ඩුව 2002දී බලයට පත්වීමෙන් පසු දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය සමඟ නොර්වේ රාජ්‍ය හරහා ප්‍රභාකරන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර අත්සන් කල සටන්විරාම ගිවිසුමක් දෙපාර්ශවය අතර ඇතිකර ගනු ලැබූවද එයද සාර්ථක නොවීය. එහෙත් දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විසින් ගෙනගිය 30 වසරක යුද්ධය සහමුළින්ම පරදවා 2009 මැයි 18වැනිදා විජයග්‍රහණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත්විය. එහෙත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් පැන නැගුණු අළුයට ගිනි පුපුරු තවමත් නිමාවක් නැත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/22/2016

බැසිල්ගේ සංක්‍රාන්තිය:ආණ්ඩුවේ ග්‍රහචාරය

කතෘ:යුතුකම     7/22/2016   1 comment
-ධර්මන් වික්‍රමරත්න-

යෝෂිත එනවිට උදය ගම්මන්පිල ඇතුලේය. විමල් වීරවංශට රිදවන්නට මුසම්මිල් තවමත් ඇතුලේය. දැන් නාමල් එනවිට බැසිල් රාජපක්ෂ ඇතුළේය. බැසිල්ට තිබූ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදු නොවී ඇතැයි වර්තමාන සමෘද්ධි ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල හැන්සාඩ් වාර්තාවක්ද නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඇපදීමට නොහැකි කිසිදු අවස්ථාවක් නොමැති බවද ඔවුහු අවධාරණය කළහ. එදා කඩුවෙලය. දැන් නඩුවෙලය. හොද දේවල් කරනා මිනිසුන් රටේ කොතෙකුත් ඇත. ඔවුන් අගය කරනවා වෙනුවට අපහාස උපාහාස කිරීම ‘යහපාලන’ ආණ්ඩුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබේ.

පිබිදෙමින් පවත්නා නව ජාතික ව්‍යාපාරය කෙරෙහි ‘යහපාලන’ ආණ්ඩුව දක්වන බිය මොනවට පැහැදිලිය. විපක්ෂයේ දැනට සිටින දක්ෂතම සංවිධායකයෙක් ලෙස හැදින්විය හැකි බැසිල් රාජපක්ෂ සිරකර තබන්නේ ඒ අරමුණිනි. ශ්‍රිලනිප මනාප ලැයිස්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළමුවැනියාවූ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී උපුල් පැදුරටත් නොකියා ඉවත්කර එයට පත්කළේ එම මනාප ලැයිස්තුවේ 5වැනි තැනගත් සන්ධානයේ මහලේකම් සහ ‘යහපාලන’ ආණ්ඩුවේ ඇමති මහින්ද අමරවීරගේ ඥාතියෙකි. එදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දෝෂාභියෝගය ගෙනආ හිටපු ඇමති ගාමිණී දිසානායක ගෙන් පළිගත්තේ බස්නාහිර පළාත් අමාත්‍ය මහින්ද සමරසිංහ තනතුරෙන් පහකරමිනි. එහෙත් එය කළේ ලතාවටය. ජනාධිපති ප්‍රේමදාස බස්නාහිර පළාත් සභාවේ ඇමති මණ්ඩලය මුලින් විසුරුවා හැරීය. පසුව නව ඇමති මණ්ඩලයක් පත් කළේය. එවිට මහින්ද සමරසිංහගේ ඇමතිධූරය හැලි තිබිණි.

නීතිය වල් වැදෙමින් පවතී. ඖෂධ ජාවාරම, ආයුධ, බැදුම්කර, රේගු වාහන, වී අළෙවි කිරීම්, වත්තල මංතීරුව වැනි මහජන දේපල විනාශ කිරිම්, කරුංකා වංචනිකව ගෙන ඒම චෝදනා ලැබූවන් පිළිබඳව පරික්ෂණ නැත. රජයේ පළාත් පාලන ආයතන සඳහා රජයේම අමාත්‍යාංශයක් හරහා රුපියල් දශලක්ෂ 36ක් වටිනා කොඩිකණු ලබාදීම මහජන දේපල විනාශකල බරපතල අපරාධ ලෙස පෙනෙන අයට මහ බැංකුවේ බැදුම්කර වංචාවෙන් රටට අදවන විට සිදුවූ රුපියල් කෝටි 200ක පාඩුව ගැන නෝ කථාය. වෙනස මාරය. අවසානයේ සිදුවූයේ මහ බැංකු ලොක්කා අර්ජුන මහේන්ද්‍ර ඉන් ඉවත්කර රැකියා දශලක්ෂයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ 5 අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස පත්කිරීමය. අමාත්‍යාංශවල අඩුපාඩු පෙන්වා දෙද්දි ඇමැතිවරු විගණකාධිපතිවරයාට පහරදෙමින් සිටින බව කෝප් කමිටු සභාපති මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා තිබේ.

රටපුරා නැගෙන ජනතා විරෝධයට නායකත්වය දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 21ක් සිටින නාමික විපක්ෂය වන දෙමළ ජාතික සන්ධානය හෝ විපක්ෂ නායක රාජවරෝදියම් සම්බන්දන් විසින් පත්කරන ලද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ අනුර කුමාර දිසානායක නායකත්වය දරණ ජනතා විමුක්ති පෙරමුණ නොව සැබෑ විපක්ෂය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනෙකුගෙන් යුත් ඒකාබද්ධ විපක්ෂයයි. විවිධ පැත්තට යොමුවූ ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරකම් මෙන්ම ගමේ ආණ්ඩුව වන පළාත් පාලන ආයතන නියෝජනය කල පළාත් පාලන නියෝජිතයින්ගේ ජනතා ක්‍රියාකාරකම් එක්තැනකට නාභිගතකර සංවිධානාත්මක කලමණාකරණය කිරීමේ කාර්යභාරය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැවරී තිබුණේ බැසිල් රාජපක්ෂටය. බැසිල්ට එය සාර්ථකව ඉටුකල හැකිබව කිරුලපන පිටියේ මැයි 1දා පැවති මැයි දින රැළිය පමණක් නොව රටපුරා පළාත් පාලන ආයතනවල හිටපු ශ්‍රිලනිප මන්ත්‍රීවරුන්ගෙන් සියයට 94ක් මහින්දගේ නායකත්වයෙන් යුත් ශ්‍රිලනිප ජනතා පාර්ශවයට දිනාගැනීමෙන් තහවුරු විය. ගොඩනැගෙන දැවැන්ත බලවේගය බැසිල් රාජපක්ෂ හිරකර දැමීමෙන් හෝ වෙනත් අය බිය වැද්දවීමෙන් මර්ධනය කල නොහැකි බව පාලකයින් නුදුරේදීම දැනගනු ඇත. එය මහා සාගරය පොල් කට්ටෙන් වැසීමට යෑම වැනි නිරර්ථක ප්‍රයත්නයකි.

බැසිල් රාජපක්ෂ නව ජාතික ව්‍යාපාරය සඳහා මැතිවරණ ව්‍යූහයක් ගොඩ නැගුවේය. ඒ යටතේ රටපුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 328කට අයත් ග්‍රාම නිලධාරි වසම් 14,013ක් යටතේ ගම්මාන 38,259කට එම ජාලය විහිදී පැතිරිණි. එමෙන්ම ඡන්දයකදි මැතිවරණ දිස්ත්‍රික් 22ක අයත් ඡන්ද කොට්ඨාශ 160ට අයත් ඡන්ද පොලවල් 10,000කට පමණ ඡන්ද නියෝජිතයන් පත්කිරීමේ යාන්ත්‍රණයද දැන් ඕනෑම මොහොතක සූදානම්ය. ලබන වසරේදී පැවැත්වෙන මහ නගර සභා 22, නගර සභා 42, ප්‍රාදේශීය සභා 275 ඡන්දය සඳහා ශ්‍රිලනිප මහජන පාර්ශවය මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් වෙනම බලවේගයක් වශයෙන් තරඟකර ජයග්‍රහණය ලබාගැනීමට පමණක් නොව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මුවාවෙන් රට අනතුරට පත්කරමින් බෙදුම්වාදය පෝෂණය කරන ජනමත විචාරණයක් රජය තැබුවද ඒ සඳහා වුවද නව බලවේගය සූදානම්කර තිබේ.

ආණ්ඩු විරෝධී නව ජාතික බලවේගය සටන්කළේ වැට් ඇතුළු බදුබර එක්කර බඩුමිල ඉහළ දැමීමට එරෙහිවය. ගමේ පුංචි ආණ්ඩුව වන පළාත් පාලන ඡන්ද කල්දැමීමට එරෙහිවය. ව්‍යවස්ථා මරඋගුලට එරෙහිවය. රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට එරෙහිවය. ගොවි සහන සහ පාසැල් නිල ඇදුම කප්පාදුවට එරෙහිවය. දේශපාලන දඬයමට එරෙහිවය. දෙමළ අන්තවාදයට පණදීමට එරෙහිවය. බදුලු දිස්ත්‍රික්කයේ ආසන 13ක ශ්‍රිලනිප ඇතුළු ප්‍රගතිශීලින්ගේ හඬ නැගුණේ ඒ වෙනුවෙනි. නුවර සිට කොළඹ දක්වා පාද යාත්‍රාව ඒ සඳහාය. මේ සියල්ලේ අදිසි නායකයෙකු වූයේ බැසිල් රාජපක්ෂය. අත්අඩංගුවට ගැනීමේ යටි අරමුණ බැසිල් නිහඬකර ඒකාබද්ධ විපක්ෂයේ ගමන අඩපණ කිරීම බව පැහැදිලිය. එහෙත් නව යාන්ත්‍රණය ගොඩනැගී ඇති බැවින් එය එසේ අකා මකා දැමිය හැකි නොවේ. අක්මුල්ද වැනසිය හැකි නොවේ.

දිවි නැගුම අරමුදලේ මුදල් යොදා රජයේ පළාත් පාලන ආයතන 56කට ජී.අයි බට ලබාදී රාජ්‍ය දේපොල අවභාවිතා කිරිම සහ මුදල් විශුද්ධිකරණ පනත යටතේ බැසිල් රාජපක්ෂ රිමාන්ඩ් කර තිබේ. බට බෙදා දී ඇත්තේ ජනපතිවරණයට නාමයෝජනා කැඳවීමටත් පෙර 2014 ඔක්තෝබර් 30වැනිදාය. ඇතමුන් කෑ ගසන්නේ යකඩ බට ටික බැසිල් ගෙදර ගෙනහින් වාගේය. නමුත් මේවා දුන්නේ ගමේ මිනිසුන්ගේ මල ගෙදරට, දානේ ගෙදරට, කඩපිලට, සල්පිලට පළාත් පාලන ආයතන හරහා ලබාදීමටය. එයට එරෙහිව පැමිණිල්ල ලැබී ඇත්තේ 2015 මැයි 14වැනිදාය. මිලට ගැනීම නියමිත ටෙන්ඩර් පටිපාටියට සිදුවී ඇති බව අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේම සඳහන්ය. මෙම බට මිලදි ගැනීම සඳහා මුදල් ගෙවා ඇත්තේ දිවි නැගුම අරමුදලින් නොව රාජ්‍ය අයවැයෙන් අනුමත අමාත්‍යාංශයට වෙන්කර තිබූ මුදලිනි. මෙහිදී අවභාවිතයක් සිදුවී නැති බව වර්තමානයේ දිවි නැගුම භාර ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ කියා ඇත. මෙම බට ලබාදුන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතනවලට ජෙනරේටර්, ගලි බවුසර්, වතුර බවුසර්, කසළ එකතු කරන ට්‍රැක්ටර් වැනිදෑ සඳහාද විවිධ ප්‍රතිපාදන සපයා ඇත. එබැවින් කුමන චෝදනා එල්ල කලද කිසිදු මහජන දේපොලක් අවභාවිතය කර නැති බව පැහැදිලිය. ආණ්ඩුව තිත්ත වී ඇති ජනතාවට ඒකාබද්ධ විපක්ෂය හරහා ප්‍රජාතන්ත්‍රීය මංපෙත් ඔස්සේ විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කිරීම නිසා බැසිල්ට මෙම දඬයමට මුහුණදීමට සිදුව ඇත. දැන් බැසිල් රාජපක්ෂ අගෝස්තු 1 දක්වා බන්ධනාගාර ගතකර ඇත. පාද යාත්‍රාවට බයවෙලා තියෙන තරමක්ය.

බැසිල් රාජපක්ෂ යනු විටක ශ්‍රිලනිප සියළු බර එසවූ මිනිසෙකි. සංවර්ධනයට නැවුම් පැතිකඩක් ගෙනආ නියමුවෙකි. කාලයේ තාලයට අභියෝග කරුවෙකි. උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, ගම්පහ රන් අරුණ, ඇවිදින මංතීරු, සතිපොලවල්, මාතෘ සායන, දිවිනැගුම, එක ගමකට එක වැඩක් වැනි වැඩසටහන් ගණනාවක් තුළින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සංවර්ධන අරුණලු ගමට ගෙන ආවේ ඔහුය. දේශයේ ගැලවුම්කරුවාට යෝධ ශක්තියක්වූ මිනිසෙකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් මහින්ද රාජපක්ෂ ලැබූ සියලු ජයග්‍රහණයන්හි පිටුපස සිටි අයෝමය සෙන්පතියන් වූයේ ගෝඨාභය සහ බැසිල් සොහොයුරන්ය. ඡන්ද 28ක් ජයග්‍රහණය කර එක ඡන්දයක් පැරදුනද එහි පරාජයද නිහතමානීව තමාවෙත බාරගත් දේශපාලඥයෙකුවු බැසිල් රාජපක්ෂ කථාවට වඩා වැඩට දක්ෂයෙකු විය.

‘යහපාලන’ ආණ්ඩුව ඩීල් ලෝකයක්ය. ඇතුලත් ඩීල්ය. පිටතත් ඩීල්ය. ඩීල් වලටත් ඩීල්ය. එබැවින් ආණ්ඩුව සමඟ බැසිල්ගේ ලොකු ඩීල් එකක් ඇතැයි වරෙක කීවේය. බල්ලන් නාවන්නට රණවිරුවන් බලහත්කාරයෙන් යොදාගත් බවටද චෝදනා කළේය. එදා ජනපති මහින්ද රාජපක්ෂටත් එවැනි චෝදනා ගොන්නක් දමා ගැසුවේය. ඩුබායි හෝටලයේ අයිතිකරු මහින්ද බව කීවේය. නාමල් ඇතුළු පුතාලා උදේ හෙළිකොප්ටරයෙන් නුවරඑළියට ගොස් පෝනියෝ පිටේ ගොස් දවල් කෑමට කොළඹ එන බව පාරම් බෑවේය. රත්නරං අශ්වයෝ, ලැම්බෝගිනි කාර් ඇති බවද කීවේ ඇසින් දුටුවා වාගේය. ඒවා එදාවේල ෂේප්කර ගැනීමට මේවා ඇතැම් විකල්ප පත්තර විසින් කල ගේම්ය. ඉකුත් 2001/2 එජාප ආණ්ඩු කාලයේ මිලේනියම් සිටි බුද්ධි බලකායේ නම් ගම් පිටින් දමා එය හෙළිකළේද ඔවුන්ය. අවසානයේ කොටි සංවිධානය මගින් එම බුද්ධි නිලධාරින් එක් අයෙක් හැර සියල්ලෝම මරා දැමුවෝය.

ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවය එජාපය සමඟ හවුල් ආණ්ඩුවේ වරදාන භුක්ති වින්දද තමන් තවමත් ශ්‍රිලනිප පාක්ෂිකයින් වෙනුවෙන් පෙනි සිටින බව කීම හාස්‍යජනකය. එජාපය ආදා මාළු අතින් අරගෙන කද්දී එජාප ආණ්ඩුව සමඟ එක්වී සිටින ශ්‍රිලනිප නෛතික පාර්ශවය එම ආඳා මාළුම කන්නේ ඉරටුවෙනි.

ජනාධිපති විලියම් ගොපල්ලව 1978දී ගෙදර ගියේය. ජේ. ආර්. ජයවර්ධන 1989 ජනවාරියද, චන්ද්‍රිකා කුමාරතුංග 2005දී ජනාධිපති තනතුරුවලින් සමුගෙන ගෙදර ගියෝය. මොවුන් යළි ඉල්ලා කිසිවෙකු පාරට බැස්සේ නැත. ලක්ෂ ගණන් මිනිසුන් මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටින්නේ රටේ නිදහසේ ඒකීයබවේ, අභිමානයේ සහ සංවර්ධනයේ සංකේතය ඔහු නිසාය. මහින්දගේ පවුලේ සාමාජිකයෝ මෙහෙම හිරේදාලා රාජපක්ෂලාගේ දේශපාලනයට තිත තබන්නට හෝ ඔවුන් මානසිකව වට්ටන්නට කිසිවෙකු සිතනවානම් එය මිරිගුවකි.

ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන දෙමළ සිසුන් සංඛ්‍යාව 25,000කට අධිකය. වසර 1984න් පසුව කිසිදු සරසවියක දෙමළ සිසුන්ට ජාතිවාදී පදනමකින් හිරිහැර කල බවට පැමිණිලි නැත. එහෙව් 30 වසරක් පසුකල තැන යාපනය සරසවියේදී 1500ක් පමණ සිංහල සිසුන්ට අත්ව ඇති ඉරණම ගැන සැවොම කණගාටු විය යුතුය. යාපනය සරසවියේදි ගස්සපු පිරිසේ නායකයෙකු බවට චෝදනා ලත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සසිදරන් කනකේෂ්වරන්ට දවසින් අපේක්ෂිත ඇපය. ඔහු වෙනුවෙන් යාපනය උසාවියේ පෙනි සිටි නීතිඥයා වූයේ දෙමළ සන්ධානයේ සුමන්දිරන්ය. ගුටිකාපු සිසුවා තවම රෝහලේය. ඩෙනිම් අදින්න එපා කියා නවකවද සිද්ධියක සැකකරුවන් ලෙසින් මාස 2කට වැඩිකලක් රිමාන්ඩ්කර සිටින කැලණි සරසවියේ සිසු සිසුවියන් 8දෙනාට පෙරේදාද ගම්පහ උසාවියෙන් ඇප නැත. ඒ රජයේ නීතිඥවරිය නොපැමිණිමේ හේතුවෙනි. මෙම මාර වෙනස තේරුම් ගත යුත්තේ කෙසේද? අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

සහජීවනය දැන් මිරිගුවකි. සංහිඳියාව ගැන දැනුවත් කරන්නේ දකුණට පමණි. සහජීවනයේ නාමයෙන් උතුරේ ඇතැමුන් මිත්‍රත්වය දිගු කරන්නේ පොල්ලකිනි. ගංජා වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට සමන්තුරේදී පල නොකියා පලා බෙදති. ජාතික සංහිඳයාව කියමින් සෑම අසාධාරණයකටම ඔළුව පහත්කරගෙන සිටින්නැයි සිංහලයින්ට පුරුදු කිරීම බලධාරින්ගේ රාජකාරිය බවට පත්වෙමින් තිබේ. ගැටබෙර සද්දේ උතුරේ ඇතැමෙකුට වාවන්නට බැරි වූවද කාවඩි සද්දෙට දකුණේ මිනිසුන් මනාපය. දැන් සංහිදියාවද යහපාලනය මෙන් තවත් වචන සෙට් එකක් පමණි. ගෙවී ගිය වසර තුළ ශ්‍රී ලංකාව නොසිතූ විරූ දියුණුවක් ඇතිවෙලා කියන්නේ ඇමරිකාවේ බිස්වාය. ඇය ලංකාවට පැමිණි වාර ගණන දැන් දුසිම් දෙකකට ආසන්නය. ඇය අපට උගන්වන්නේ ගෝවා වලින් අල කරියක් හැදීම නොව රටට දෙකට කඩා ඇමරිකාවට කොඩි එසවීමේ සැලසුමය.

අලි මදිවට හරක් කීවා සේ පාලන මිලද විහිළුවකි. සිනි කිලෝවේ තොග මිල රුපියල් 115කි. පාලන මිල 95කි. කඩල කිලෝව 300කි. පාලන මිල 260කි. අතවශ්‍ය ආහාර ආනායනකරුවන්ගේ සංගමය කියන පරිදි මේවා සිහින මාලිගාවල සිට ගහන ගැසට්ය. පාරිභෝගිකයෝ රැවටීමේ ඇස් බැන්දුම්ය. පාලන මිලට කුකුළු මස් දීමට නොහැකි බව කියමින් හැටන් මස්කඩ වෙළෙන්දෝ වීදි බැස්සේය. ආණ්ඩුවේ මිල පාලන දෙපාර්තමේන්තුව කීවේ කුකුල් මස් පාලන මිල ඇත්තේ දවටනයක සීල් තැබූ කුකුල් මස්වල පමණක් බවය. ඉන් පසුව සිදුවූයේ බොහෝ වෙළෙඳ සැල්වල සීල්කර තිබූ දවටන ඉවත්කර සිලිසිලි බැගයක දමා කුකුල් මස අළෙවි කිරීමය. මේවා අන්දරේ සීනි කෑවා වගේ තියරිය. මිල පාලනය කියලා වැඩක් නැත. නීති පොතේ එහෙම ඇතේය. ඒ වුනාට පලක් නැතේය.

සැහැසි බස්වලට මුලාවී දැනටමත් ගොවීන්ගේ පොහොර සහනාධාරය අහිමිය. පාසැල් දරුවන්ගේ නිල ඇදුමට තිතකි. තිස් වසරකට පසු යුද්ධයෙන් දිනාගත් රට යළි බෙදුම්වාදයට තල්ලු කරමින් පවතී. මෙවැනි දෑ බොහෝය. මේවා මුදලින් ගණනාය කල නොහැක. අවිස්සාවේල්ලේ සාලාවේ මිනිසුන් තවමත් මහපාරේය. අරණායක නාය යෑමෙන් අනාථ වූවන් තවමත් තැන්තැන් වලය. ලංගම බස් ගාස්තුද සියයට 6කින් ගණන් උස්සලාය. රැකියා විරහිත උපාධිධාරියෝ රැකියා ඉල්ලා සටන් බිමේය. නිදහස් අධ්‍යාපනය සුරකීමට සරසවි සිසුවෝ උපවාසේය. ඒ අතරතුර දේශපාලන දඬයමද යහමින් ක්‍රියාත්මකය. මත්තල ගුවන්තොටුපොල හාස්‍යයට ලක්කර වී ගබඩා කලද 2017 ජනවාරි සිට මාස 3කට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අලුත්වැඩියාවකට වසන බැවින් සියළු ගුවන්යානා එන්නේ මත්තල බව රජය ඉකුත්දා නිවේදනය කළේය. පණ පලයන් පෙරේදා කියන්නේ මේවාටය.

‘යහපාලන’ ආණ්ඩුවේද හවුල්කාර පක්ෂ අතර විවිධ හුටපටය. හෙළ උරුමයෙන් වෙන්වී රාජගිරියේ අසපුවේ සිටින අතුරලියේ රතන හිමියෝ දැන් මීලඟ දේශපාලන පිම්මට සූදානම් වෙමින් සිටිනු ලබයි. හකීම්ගේ මුස්ලීම් කොන්ග්‍රසයේ උත්තර මණ්ඩලයේ බහුතර සහාය සේගු ඉසදීන්ගේ සහ හසන් අලි කණ්ඩායමටය. එම දෙපලගේ පුතුන් ඉකුත් බදාදා කල්මුණේ මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා කොන්ග්‍රසයේ නායකත්වය නැගෙනහිරට ගැනිමට කරන වික්‍රමයන් කියා පෑහ.

‘යහපාලන’ ආණ්ඩුවේ උපත සිදුවූයේද බොරු පොරොන්දු රැසක් දෙමිනි. කටයුතු කරන්නේද බොරුවෙනි. ‘යහපාලන’ ආණ්ඩුව සිය පාලන කාලය තුළදී දිනූ දේ රැකගමු කියා හඬ නැගුවද දිනපු දෙයක් නැත. ආණ්ඩුව පලවා හරින්න නිසිකල පැමිණි විට ජනතාව සූදානම්ය. නුවර සිට කොළඹට එන පාද යාත්‍රාව එහි මූලාරම්භයකි. මහින්ද සමඟ ජනබලය ජුලි 28 ලබන බ්‍රහස්පතින්දා වීදි බසිනු ඇත. එකම දැයක්වී, මහ බලයක්වී, පෙරටම යන එය අවසන් වන්නේ අගෝස්තු 1 සඳුදා පස්වරු 3ට කොළඹ හයිඩ් පිටියෙනි. මීලඟ මැතිවරණයේදී ‘යහපාලන’ ආණ්ඩුවට ඇඩ්‍රස් නැතිවනු ඇත. හතර වටේ බොරු කියා පුංචි ඡන්දයද කල් දමන්නේ එබැවිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

7/08/2016

අටපට්ටම් ආණ්ඩුව කුඩුපට්ටම් කරන්නට අලුත් ජාතික ව්‍යාපාරය

කතෘ:යුතුකම     7/08/2016   No comments
අටපට්ටම - කුඩුපට්ටම්
-ධර්මන් වික්‍රමරත්න-

යූ.එන්.පී ආණ්ඩුවක් ආවොත් බිස්නස්වලට හොදයි කියූ ව්‍යාපාරිකයෝ වැට් බද්දට එරෙහිව කඩවසා හර්තාල්ය. සරසවි සිසුන් මර්ධනයට එරෙහිව මහපාරේය. දොස්තරවරුන් සයිටම් එකට එරෙහිව වර්ජනයේය. ඉංජිනේරුවන් සහ පරිගණක වෘත්තිකයන් එක්ටා ගිවිසුම හරහා රට ඉන්දිය කොලනියක් කිරීමට එරෙහිව උද්ඝෝෂණයන්ය. රබර්, තේ සහ වී ගොවියෝද සටන් බිමේය. මේ සියළු අරගල ජර්මනියේ හැමලින් නුවර විසූ බටනලා වාදකයා මෙන් බොරු පොරොන්දු දී වසඟයට ගන්නා පාලකයින් දුන් පොරොන්දු වාෂ්පකර දමති. රට පුරාම ඇත්තේ ‘යහපාලන’ කොමඩිය. ‘යහපාලන’ හවුල් ආණ්ඩුවේම ශ්‍රිලනිප ඇමති එස්.බී දිසානායක පවසන පරිදි මේ අටපට්ටම් ආණ්ඩුවකි. වැඩ කරන්න අසීරුය. අටපට්ටම දැන් කුඩුපට්ටම් වෙමින් පවතී.

ආණ්ඩු විරෝධී සටනේ ගමේ අක්මුල් පෙළ ගස්සවන්නට මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදයෙන් සහ බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ඉකුත් සතියේ තෙදිනක් පුරා පැවති ආණ්ඩු විරෝධී සහ රට දිනවන නව ජාතික ව්‍යාපාරයේ ජන රැල්ල රටපුරා යෝධ ගැම්මක් ඇතිකල බව නොරහසකි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විවිධ සුළු පක්ෂ අතර එකඟතාවයක් නැති බවට ආණ්ඩුවේ මාධ්‍යයන් ගෙනගිය ප්‍රචාරයන්ද පුස්සක් බවට පත්විය. බැසිල්ගේ දේශපාලන ආගමනය ආණ්ඩුවේ ඇමති වරදානගත් ශ්‍රිලනිප ඇමතිවරුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් හැර සෙසු ශ්‍රිලනිප පාක්ෂිකයින් මුළුමනින්ම වාගේ උද්යෝගයෙන් යුතුව පිළිගත් අතර එය ‘යහපාලන’ ආණ්ඩුවට දැන් පාරාවලල්ලක් බවට පත්වෙමින් පවතී. ‘යහපාලන’ ආණ්ඩුව බැසිල් රාජපක්ෂට භයබව ඔහුට එරෙහිව ගෙන යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රචාරයෙන් පැහැදිලි විය. ගැරහුම් විවේචන හමුවේ නොසැලිය යුතුය. මක් නිසාද යත් තැලෙන යකඩේ මුවහත් වන අතර තලන එකා හෙම්බත් වන බැවිනි.

වෙනදා පයින් පොලේ ගිය එජාප නායකයා වන අගමැති වික්‍රමසිංහ බදුල්ලේ ශ්‍රිලනිප ජනබලය ඇරඹූ දිනට පසුදින බදුලු නගරයේ ගමන්කළේ රෝද තුනේ රථයකිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද විහිළුවක ස්වරූපයෙන් දකුණේ මහ ඇමති ශාන් විජේලාල්, ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු කිහිපදෙනෙක් සිරකුටියක දමා දොර වැසුවේද සීරුමාරුවෙනි. මිට්ටා කට්ටයා කියන සාම්ප්‍රදායික උපමාව සිහිගන්වමින් මාතර එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ පමණක් එළියට පැන ඉන් ජාමේ බේරාගැනීමට සමත් විය. මාතරට පැමිණි ජනාධිපති සිරිසේන හෙලිකොප්ටර් අංගනයටම ගොස් පිළිගත්තේද එජාප මන්ත්‍රී බුද්ධික විසිනි.

වර්තමාන ශ්‍රිලනිප නෛතික නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර්ය විරෝධීවද පරාජය කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂ නායකවරයා ලෙස පත්කළේ විපක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයා නොව ජනාධිපතිවරණයේදී ආණ්ඩුව වෙනුවෙන් දරදිය ඇදි තැනැත්තාය. ජවිපෙ නියෝජනය කරන විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවූ අනුර කුමාර දිසානායකද එම සියළු දේශපාලන උපාය උපක්‍රම වෙනුවෙන් පෙනීසිටි අයෙකි. දැන් ආණ්ඩුව ප්‍රධාන විපක්ෂය කියා බේදයක් නැත. ඔවුන් එක වල්ලේ පොල්ය. සැබෑ විපක්ෂය වන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසය. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යළි 56ක් බිහිකල යුතු බව ඉකුත් සතියේ ශ්‍රිලනිප මහජන පාර්ශවය වටා එක්වූ දස දහස් ගණන් ජනයා එක හඬින් සපථ කළහ. එජාපය සමඟ ඩීල් නොදමා ශ්‍රිලනිප සහ එහි පාක්ෂිකයා ශක්තිමත් කොට රැකගැනීමටද එය එක තැනකට නාභිගත කොට ඉදිරි මහ මැතිවරණයන්ට මුහුණදීමටද නව බලවේගය දැන් පියවරින් පියවර ශක්තිමත් වෙමින් පවතී. මැතිවරණයකට මුහුණ දීමට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යය. බදුලු දිස්ත්‍රික්කය පුරා දැන් එය ගොඩනැගී අවසන්ය. ඉදිරියට ඇත්තේ එය රට පුරාම ව්‍යාප්ත කිරීමය.

යහපාලන ආණ්ඩුවට එක්වී සිටින ඇමති වරදාන ගත් ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ තමන් එජාප ආණ්ඩුව සමඟ එක්වී ඇත්තේ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණයක් මත කියාය. එහෙත් 2015 අගෝස්තු 24වැනිදා හිටපු ශ්‍රිලනිප මධ්‍යම කාරක සභිකයින් ඉවත්කර පක්ෂ නායකයා විසින් පත්කරන ලද්දේ ෆයිසල් මුස්තාපා, අතාවුද සෙනෙවිරත්න, ජීවන් කුමාරතුංග, යු.කේ ආරියතිලක, කේෂරලාල් ගුණසේකර, රුවන් රණතුංග සහ කීර්ති උඩවත්ත ඇතුළු 13 දෙනෙකි. ඒ අනුව ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේ තීරණ බඩුත් හාමුදුරුවන්ගේය. නඩුත් හාමුදුරුවන්ගේය වැනි වැඩකි. නෛතික ශ්‍රිලනිප තුළද දැන් විවිධ කණ්ඩායම්ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අහුංගල්ල හෝටලයේ පෙරේදා පැවැත්වූ රහස් සාකච්ඡාවට එස්.බී ඇතුළු කිහිපදෙනෙක්ම හැලීගොස් ඇත.

රටේ යහපත සඳහා වූ දර්ශනයක් මත සංවිධානයක් අවශ්‍යය. එම දර්ශනය වෙනුවෙන් අයෝමය කැපකිරීමක් සිදුකිරීමට සූදානම් පිරිසක් රටේ තවමත් සිටින බව නොරහසකි. රටේ ඉදිරියේදී මතුවන අභියෝගවලට මුහුණදිය හැක්කේ එවැනි බලවේගයක් දර්ශනයක් මත එක්වී හදන නව දේශපාලන ජාතික ව්‍යාපාරයක් මගින් පමණි. ප්‍රථමයෙන් එන්නේ එජාප ආණ්ඩුවේ ජනාධිපති ජේ.ආර්. ගේ තාලයේ 1982 ලාම්පු කළගෙඩි සෙල්ලමක් මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් බව පැහැදිලිය. එයට එක්සත්ව, එක්සිත්ව මුහුණදීම වර්තමානයේ ඇති ප්‍රබලතම අභියෝගය වේ. බදුලු දිස්ත්‍රික්කයෙන් පැන නැගි රට පුරා හමා යන බලවේගයට එම අභියෝගය ජයගත හැකිය. ජයගත යුතුය. ඒකාබද්ධ විපක්ෂයද තමන්ටම කියා මෙසේ නව ජාතික දේශපාලන බලවේගයක් නිර්මාණය කරගනිමින් රටට නායකත්වය නොදෙන්නේනම් ඔවුනටද ඇත්තේ විකල්ප දෙකකි. එකක් එජාපයට එක්වීමය. අනෙක ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයට එක්වී ඇමතිකමක් ගෙන ලබන මැතිවරණයෙන් විශ්‍රාමයෑමය.

ගොඩනැගෙන සහ ගොඩනැගෙමින් පවත්නා නව ජාතික බලවේගය පිළිබඳව ඇතැම් ‘පඩිවරුන්’ කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය තුළද විජේ ඩයස්ගේ කම්කරු මාවතේ සිට ටී. අන්ද්‍රානිගේ ස්පාට්සිස්ට් ලිග් ට්රොස්කිවාදී කණ්ඩායම දක්වා මෙවැනි කණ්ඩායම් සහ කල්ලි රැසකි. ඒවා බොහෝමයක් වර්තමානයේ හුදු නාමපුවරු පමණි. මෙම යථාර්ථය තේරුම්ගත යුතුය. එජාප නායක රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය වෙනුවෙන් රාවුෆ් හකීම්ලාද, පලනි දිගම්බරම්ලාද, රිෂාඩ් බදුරුදීන්ලාද, පාඨලී චම්පිකලාද, රාජිත සේනාරත්නලාද, අර්ජුන සහ නාවින්නලා වැන්නෝද අවශ්‍ය වේලාවට ලඟට ගත්තේය. දේශපාලනය යනු දාම් ක්‍රීඩාවකි. එහිදී ටික් බෝල ගසා පලක් නැත. දේශපාලනයේදී පටු වේදිකා සැදීමට නොහැක. එහි සියළු දෙනාමගේම ප්‍රධාන අරමුණ එක වූවද එකම මතයක සිටිය යුතු බවට තීරණය කල නොහැක. කුමන්ත්‍රණවලට පමණක් නොව පොකුරු දේශපාලන බෝම්බවලටද මුහුණදිය යුුතුය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ආරම්භක යුගයේදී සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන්ගේ සියළුම නොගැලපීම් ගලපාගෙන ආණ්ඩුව පවත්වාගෙන ආවේය. ඉකුත් ජනාධිපතිවරණයේදී වැරදුන තැන රටට රහසක් නොවේ. එය නිවැරදිව අවබෝධ කරගෙන නව ජාතික බලවේගයක් ලෙස මුහුණදුන් විට ගොඩය.

‘යහපාලන’ ආණ්ඩුවට ඔවුන් පිටතට පෙන්වන තරමේ ශක්තියක් නැත. එසේ තිබුණේනම් මෙලහකට එක්ටා ගිවිසුම අත්සන් කරලාය. පෙඩරල් ව්‍යවස්ථාවද සම්මත කරලාය. සංඝ පනත ගෙනවිත් හිමිවරුන්ට නීති පනවලාය. යෝජිත මර්ධන පනත් සියල්ල කඩිමුඩිසේ සම්මත කරගෙනය. මාලඹේ වෙද සිසු කඩය හෙවත් සයිටම් එකට නීත්‍යානුකූල අවසර දීලාය. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති පුටුවේ තවමත් වැඩය. ආණ්ඩුව හැම පැත්තෙන්ම හිරවී ඇත්තේ ශ්‍රිලනිප මහජන පාර්ශවය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ සකලවිධ බලවේගයන් යෝධ පවුරක් සේ නැගී සිටින නිසාය. තම පණ දෙවැනි කොට රට වෙනුවෙන් පෙළ ගැසෙන ලක්ෂ සංඛ්‍යාතික පිරිසක් සිටින නිසාය. මේ සඳහා ගොඩනැගෙන නව ජාතික බලවේගය එකම යදමින් බැදී තව තවත් ශක්තිමත්වීම වැදගත්ය. සියල්ලටම වඩා දෙමළ බෙදුම්වාදීන්ගෙන් සහ කුමන්ත්‍රණකරුවන් ගෙන් මහින්ද රාජපක්ෂ රැකගැනීමද වැදගත්ය.

ආණ්ඩුවක් ලබාගැනීමට වඩා ආණ්ඩුවක් නිසිලෙස ක්‍රමවත්ව කාර්යක්ෂමව පවත්වා ගැනීම අසීරුය. සංවර්ධනය සහ ආර්ථික සැලසුම් පිළිබඳව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇති හැකියාව සහ ‘යහපාලන’ ආණ්ඩුවේ නොහැකියාවේ වෙනස දැන් අවබෝධවී ඇත. නව බලවේගය සිදුකරනුයේ මහින්ද රාජපක්ෂ සාධකය ජයග්‍රහණය කරමින් රට දිනවීම සඳහා මාවත සකස් කිරීමය. ආර්ථිකය ශක්තිමත් කරමින් සහ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් දියුණු කිරීමෙන් සංවර්ධනයේ අරුණළු ගෙන යා හැක්කේද පුළුල් දැක්මත් සහිත නව ජාතික ව්‍යාපාරයකට පමණක් බව පැහැදිලිය. රටේ ජනතාව අදටද භුක්ති විදින්නේ රාජපක්ෂ ආණ්ඩුව මගින් සිදුකල සංවර්ධන වැඩසටහන්හි ප්‍රතිඵලය. ‘යහපාලන’ ආණ්ඩුව වර්තමානයේ විවෘත කරන්නේද එදා මුළුමනින්ම වාගේ සදා නිමකල සංවර්ධන කටයුතුය. කැලණියේ රංවල පාලමටද දැන් රංවල දෙවියන්ගේම පිහිටය.

‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව මතුවන මෙම විරෝධතාවය සමනය කිරීමට හදනුයේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ ආණ්ඩුවේ උපදේශකයෙකුවන අසාද් සාලි අතර ආණ්ඩුවේ මාධ්‍ය මගින් තව රඟපෑමක් එළි දැක්වීමෙනි. එදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පංච මහා බලවේගය වූයේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරුය. එහෙත් ඇල්ලේ ගුණාවංශ හිමියන් පවසන පරිදි අදවන විට ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ පංච මහා බලවේගය වී ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, රොස්මීඩ් පෙදෙස සහ ඩෝඩ් පෙදෙසය.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති ලෙස පත් කෙරිණි. ඔහුගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් පිළිබඳව ප්‍රශ්නක් නැති වුවද කුමාරස්වාමිගේ අතීත ක්‍රියාකලාපය සහ රට හමුවේ ඇති අවදානම අනුව සැබෑ සිවිල් ක්‍රියාකාරින් නව මහ බැංකු අධිපතිගේ ක්‍රියා කලාපයන් ගැන සුපරික්ෂාවෙන් සිටිය යුතුය. ආචාර්ය රාධිකා කුමාරස්වාමිගේ සහෝදරයා වන ඔහු විනිමය වංචාවක් සම්බන්ධයෙන් ඇමරිකාවේදී වසර 11ක් සිර දඬුවම් නියමවූ රාජ් රාජරත්නම්ගේ සමාගමක් වන ‘ගැලයන්’ සමාගමේ හිටපු උපදේශකවරයෙකි. සියල්ලටත් වඩා ඉන්දීය එක්ටා ගිවිසුම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නෙකි.

ගිලටීනයට හසුවූ අලුත්ම රාජ්‍ය සේවකයා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජිනසිරි දඬල්ලගේය. කෙලින් කථා කිරීම නිසා ඔහු තැපැල් සහ මුස්ලීම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස මාරුකර යවා ඇත. මේවා පිටුපස සිටින්නේ රාජ්‍ය සේවයේ කොන්ද බිදින එන්.ජී.ඕ සංවිධානයන්ය. ලේකම් දඬල්ලගේ කියන්නේ තමා ඉදිරිපත්කර ඇති අභියාචනය රජය විසින් පිළි නොගතහොත් රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන බවකි. රාජ්‍ය යන්ත්‍රණයට අවශ්‍ය මෙවැනි කශේරුකාවක් ඇති මිනිසුන් බව රාජ්‍ය නිලධාරින්ගේ මතය වී තිබේ. ජීවිතය යනු විවිධාකාර වූ පරිච්ඡේදයනගෙන් සමන්විත වූ පොතක් වැනිය. එම පොතෙහි එක් අදුරු පරිඡේදයක් යනු මුලු පොතෙහිම අවසානය නොවන බව ඔහු සිහිතබාගත යුතුය.

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති කළුතර තෙවරප්පෙරුම ගැනනම් කියලා වැඩක් නැත. ඔහු කරන වැඩවලට කැලණියේ ආචාර්යාත් කැළේය. සියදිවි නසාගන්නට ගොස් අන්තිමට කළුතර මීගහතැන්න පාසැලේ විදුහල්පතිවරයාද බිය වද්දමින් බලහත්කාරයෙන් ඇතුල්කල දරුවන්ගේ දෙමාපියන්ද අමාරුවේ දමා හත්පොලේ ගා ගත්තේය. දරුවෙක් පාසැලකට දාගන්නට තරම් ‘යහපාලන’ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිකමක් දරණ පුද්ගලයෙකුට විදුලි පංකාවක එල්ලී සියදිවි නසා ගැනීමට තැත්කිරීමට සිදුවූයේනම් එරට වැසියන් ගැන කවර කථාද? ඒ වැඩේදී නම් නීතිය ෆුල් මාර්වලස්ය. අං තිබුණ පළියට හැමතැනටම අනින්න ගියහොත් අවසානයේ සිදුවන්නේ කොට්ටෝරුවා කෙසෙල් ගසට ඇන්නා වාගේ වැඩකි.

‘යහපාලන’ ආණ්ඩුවෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තුවූ සැමට දැන් හත් දින්නත් තරුය. රාජ්‍ය නාට්‍ය උළෙලට කඩා වැදෙන ඔවුහු රාජ්‍ය මෙතරම් පීචංද මචං කියා ලියූ බෝඩ් ලෑල්ලක් ඔසවාගෙන වේදිකාවේ සීරුවෙන් සිටිති. කඳුළු සලති. මෙයට හේතුව කලින් සංස්කෘතික අමාත්‍යාංශය යටතේ තිබුණු කලා මණ්ඩලය යහපාලන ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ වීමෙන් ප්‍රතිපාදන කැපීයාමය. ආණ්ඩුවේ එම මුග්ධත්වයට එරෙහිව හඬ නඟන පිරිස් මේ කරන්නේද රඟපෑමකි. උදේට විරෝධය දක්වන ඔවුහු සැන්දෑ යාමයේ රජගෙදර උපදේශකයන්ය. එදා රාජ්‍ය නාට්‍ය උළෙල උසස් තැනක වැඩි සැලකිල්ලකින් පැවැත්වූ අතර දැන් අහසින් පොළවට වැටී නන්නත්තාරය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබදව මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ එක් ප්‍රමුඛ යෝජනාවක් වන්නේ ලංකාව අන්‍යාගමික රාජ්‍යයක් විය යුතු බවය. නව ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ තිබෙන ප්‍රශ්න විසදීමට මිස නව ප්‍රශ්න ඇති කිරීමට නොවේ. සංහිදියාව ඇතිකිරීමට යැයි ගෙනෙන මෙම යෝජනා ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකි. ජාතිකත්වය හා ආගමිකත්වය යනු කිසියම් මානව සමාජයකට ඇති හැඟිම්ය. පොදු සිතුවිලිය. ජාතිකත්වය මහ පොළොවද සමඟ බැදුන මානවයාගේ සමූහික ස්වරූපයකි. තමා බැඳුනු මහ පොළොව හෝ පරිසර පද්ධතිය තුළ සිය අනන්‍යතාවය මිනිසා අපේක්ෂා කරයි. තමන්ගේම වූ මහ පොළොවක් - නිෂ්පාදන රටාවක් හිමිකර ගන්නට ජාතික අනන්‍යතාවය හට ගනි. ආගමිකත්වය සමාජීය ස්වරූපයක්ද උසුලයි. එමෙන්ම මිනිසාගේ ලෝක දැක්මද තීන්දු කරයි. එය දේශපාලනයටද බලපායි. ජාතිකත්වය මෙන්ම ආගමිකත්වය මානව ජීවයේ නොමැරිය හැකි සමාජ සාධකයන්ය. ව්‍යවස්ථා මරඋගුල ඉදිරියේදී ජාතියේ අවමඟුල වනු ඇත.

රට වටා සරසවිවල සිසු උද්ඝෝෂණයන්ට විසදුම් නැත. විවිධ සරසවිවල සිසුනට එකම සැලකිමය. ඒ මර්ධනයෙනි. පොලිස් ප්‍රහාරය. සිරගත කිරීම්ය. නඩු පැවරීම්ය. බදගිරිය, මීතොටමුල්ල, අම්පාර ඇතුළු උද්ඝෝෂණයන් රැසකට පහරදීම්ය. තැනෙක නීතියේ සාධාරණත්වය ඉල්ලා මැර ප්‍රහාරයන්ට එරෙහිව කොලොන්නාව සහ හෝමාගම ප්‍රාලේ කොට්ඨාශවලට අයත් ග්‍රාමසේවක වරුන්ද ඉකුත්දා කොලොන්නාවේදී උද්ඝෝෂණයක යෙදුනේය.

ගෙදර යන ගමන් ගන්න යනවානම් එලවළු ගිනි ගණන්ය. කාලා හමාරය. කොමිසන් දමා ඇති නිසා සිවිල් සමාජයේ ප්‍රශ්න වාෂ්පවී ගොසිනි. බොහෝ පොරොන්දු චේතිය රජුගේ පොරොන්දු වගේය. රාජ්‍ය නිලධාරින්ට වාහන බලපත්‍ර දෙනවා කීවද, වැට් බද්ද වෙනස් කරනවා බව කීවද මේ කිසිවෙකට චක්‍රලේඛන නිකුත් කිරීමක් නැත. ඉදිරියට තව තව බදු ගසනු ඇත. බස් ගාස්තුවද හෙට අනිද්දා වැඩිවූවද පුදුම නොමැත. දේශීය ව්‍යාපාරයන් බිඳවට්ටන වැට් බදු සංශෝධනයන් හකුලා ගන්නා ලෙස ඉල්ලමින් රටපුරා ව්‍යාපාරිකයෝ ලබන සිකුරාදා ජුලි 15 හර්තාලයක්ද කැඳවා ඇත.

සාධාරණ සමාජයක් උදෙසා යන ගමනේදී පුංචි ඡන්දය කල් දැම්මේ ගානට මිම්මටය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද නෝ කථාය. මෝ සිනාය. ගමේ පුංචි ආණ්ඩුවේ බලය දැන් ඇත්තේ ඡන්දදායකයින්ට නොව ආණ්ඩුවේ නිලධාරින්වූ පළාත් පාලන කොමසාරිස්වරුන්ටය. මේ සියළු කරුණු කාරණා මැද ඒකාබද්ධ විපක්ෂය ජනසටන පාදයාත්‍රාවට ගෙන ඒමට සැරසෙනවාය. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com Like us on facebook :
https://www.facebook.com/yuthukama

6/25/2016

කුණුවී වැහැරෙන 'යහපාලනය' තිරිහන් කරන්නට - ‘පුරවැසි උගුල්’

කතෘ:යුතුකම     6/25/2016   No comments
-ධර්මන් වික්‍රමරත්න-

‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ නායකත්වයෙන් සහ බැසිල් රාජපක්ෂගේ සංවිධායකත්වයෙන් බිහිවෙමින් පවතින අලුත් පක්ෂයෙන් ඉදිරි මැතිවරණ වලට තරඟකිරීමේදී තමන්ගේ කෝටා එක නැතිවේදැයි කියාය. ජවිපෙට ඇති ප්‍රශ්නය පක්ෂයේ සිය 4වන නායක සෝමවංශ අමරසිංහගේ හත් දවසේ බණට ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක සහ පෙරටුගාමී පක්ෂයේ සේනාධීර ගුණතිලක නොපැමිණිම පිළිබඳවය. සෝමවංශ හැදූ ජනතා සේවක පක්ෂයට ඇති ගැටලුවනම් නායකයා මියගිය තැන සත් දවසේ බණ නොතියා හය දවසින් එය වෙන තැනක පැවැත්වීමය. අතන මෙතන සිටින ‘වම්මුන්ට’ ප්‍රශ්නය සෝමවංශගේ පෙට්ටිය වසා තිබූ රතු ධජය අවසාන මොහොතේ ඉවත්කර දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකර ජාතික කොඩියකින් එය වසා දැමීමය. ෆූටාවේ සිටින ඇතැම් සරසවි ඇදුරන්ගේ හාහූව කැළණි සරසවියේදී ඩෙනිම ගැලවීමය.

රටේ අති බහුතර මිනිසුන්ට මේ එකක්වත් ප්‍රශ්න නොවේ. ඔවුන්ගේ ප්‍රශ්නය බදු බර වැඩිවීමය. වහල් නීති ගෙනඑමින් වෘත්තීය සමිති දඩයමය. වී මිළ අඩුවීමය. නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමය. ගංවතුරින් සහ නායයෑම් වැනි ස්වභාවික විපත්වලින්ද, සාලාවේදී ආණ්ඩුවේම වරදින් ආයුධ ගබඩාව විනාශවීමෙන් සිදුවූ හානිවලටද තවමත් සාධාරණ අන්දමින් වන්දියක් නොලැබීමය. පාරිභෝගිකයින්ට ප්‍රශ්නය දිවිනැගුම වැඩසටහන ලත්තැනම ලොප් කිරීම නිසා නහුතයට වැඩිවන එළවළු මිලය. මිනිසුනට මෙවැනි ප්‍රශ්න සිය ගණනකි. ජීවත්වීම දුෂ්කරය. මේ සියල්ල අතරතුර හොර රහසේ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියාවේ සහාය ඇතිව දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවේ සැලසුම් සකස් කරමින් සිටිති.

මේ සියළු ප්‍රශ්න ‘යහපාලන’ ආණ්ඩුව අමතක කරන්නට හදන්නේ සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් කකුලට ඇගේ සැමියා එල්ල කළේයැයි කියන සවල් පහරෙන්ය. නැතිනම් ‘මහා රහස් පරික්ෂක’ වන්ෂොට්ගේ අතේ පත්තුවන ගොන්ජා වැඩවලිනි. එසේත් නොමැතිනම් ප්‍රශ්නයක් පැනනැගුනු විට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලියාදුන් කොලයක් කියවීමට සමත් වෙලේ විදානගේ බාම් එකෙනි. මාරක කථා චක්‍රවර්ත්‍රී ඩීමන් ආනන්ද හිටියානම් මේවා හොද කථාවලට ටිප් ටොප් බීජ වස්තුන්ය.

වැට් බද්දට එරෙහිව ගාල්ලේද, මහරගමද, ගම්පහද හර්තාල්ය. වෙළෙඳසැල් වසා වෙළෙන්දෝ පෙළපාලි යන්නේ පාරිභෝගිකයන්ගේ අයිතීන් වෙනුවෙනි. නිදහස් වෙළඳ කලාපයේ දහස් ගණනක් කම්කරුවෝ කටුනායක ඇවරිවත්ත හන්දියේ සිට මහපාරේ පෙළපාලි යන්නේ හාම්පුතුන්ට සේවකයින් සූරාකෑමට ‘යහපාලන’ ආණ්ඩුවේ නව කම්කරු නීති ගෙනඒමට සහ වෘත්තීය සමිති දඩයමට එරෙහිවය. රැකියා විරහිත උපාධිධාරින් දහස් ගණනක් ගුරු පත්වීම් වහාම දෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයන්ය. ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය සිසුවෝ සෙසු සරසවි සිසුන් සමඟ අත්වැල් බැඳගෙන නුගේගොඩ විජේරාමේ සිට කොළඹ වීදි පුරා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඊයේ පෙළපාලි ගියේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරන මාලඹේ පෞද්ගලික වෙද සිසු උපාධි කඩය නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවතා ජනසතු කරන මෙන් රජයෙන් ඉල්ලමිනි. පොහොර සහනාධාර පික් පොකට් ගසා ඒ වෙනුවෙන් දුන් වව්චර් වලට මුදල් බැංකුවලින් ලබා ගැනීමේදී සිදුවන අසාධරණයට එරෙහිව දඹුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවීන්ගේ උද්ඝෝෂණයන්ය. සිය දරුවන්ට කලින් ගිවිසගත් පරිදි පාසැල් ලබාදී නැතැයි වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශය වටලති. ‘හයිබ්‍රිඩ්’ ආණ්ඩුවේ දෙනවායැයි කියූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ඉල්ලා රටපුරා අරගලයන්ය. මාධ්‍යවේදින්ට දෙන දඬුවම් ගැනද එස්.ටී.එෆ් පොලිස් ලොක්කාගේම කටින් පැන්නේය. ඔවුනට විසදුම් නැත. එබැවින් මර්දනය සූදානමින් ඇත.

එදා අත්අඩංගුවට ගත්තේ ශ්‍රිලනිප හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂය. පසුව නම් වැලකි. පෙරේදා අත්අඩංගුවට ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිලය. ඊයේ අත්අඩංගුවට ගත්තේ ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ය. අද අත්අඩංගුවට ගනු ඇත්තේ ඔබගේ සටන් සගයාය. හෙට ඔබද අත්අඩංගුවට ගතහොත් එහි පුදුමයක්ද නැත. ජාතිකවාදී දේශපාලන දෘෂ්ඨියක් සහිත උදය ගම්මන්පිල සහ මොහොමඩ් මුසම්මිල් අත්අඩංගුවට ගැනීමෙන් එම දේශපාලන ධාරාව යටපත් කල නොහැක. එය තව තවත් ප්‍රබල වනු ඇත. කොන්ෆියුසිස් කීවා මෙන් ලොකුම දෙය නොවැටී සිටීම නොව වැටෙන සැම විටම නැගිටීමය. බරපතල වැරදිකරුවන් ඇමතිකම්දී ආරක්ෂාකරන ආණ්ඩුවක් දේශපාලන විරුද්ධවාදීන් පමණක් තෝරාගෙන දඩයම් කිරීමේ යටි අරුත දේශපාලන ඛේදවාචකයක් ලඟ ලඟම බව කියාපෑමකි.

‘යහපාලන’ ආණ්ඩුවට එරෙහි අයට කුමන හෝ බොරු චෝදනා දමා දැන් ගහන්නට පටන් ගෙනය. කසකාරයෝ මෙහෙමනම් පෙරහැර කොහොම වෙයිදැයි සිතාගැනීම පවා උගහටය. විරුද්ධ වුවහොත් සපිරිගෙටය. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ‘යහපාලන’ ආණ්ඩුවට මනාප වුවහොත් ඇමතිකමක්ය. මුසම්මිල් ‘යහපාලනය’ වැළඳගතහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන දැරිවිය මෙන් උදේ කෑමෙන් පසු පොලිසිය සමඟ ගොස් අධිකරණයට ඉදිරිපත්වී දවල් කෑමට පෙර ගෙදර පැමිණිය හැකිය. මර්ධනය තුළින් සිපිරිගෙට මේ දක්කනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒකාබද්ධ විපක්ෂය වටා ගොනුවී ඇති ලක්ෂ සංඛ්‍යාතික ජනතාවගේ අභිමානය හෝ ජනතා මතය එහි නායකයින් විලංගු ලා සිරගත කොට යටපත් කල නොහැක. මෙතෙක් කල බුක්ති විදි අවම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් පැහැර ගනිමින් පවතී.

මේ සියල්ල අතුරතුර විරුද්ධවාදීන් සපිරිගෙදර රිමාන්ඩ්කර සිදුකිරීමට යන්නේ ඉන්දියාව සමඟ එක්ටා ගිවිසුම අත්සන් කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමටදැයි කුකුසකි. ඒ සඳහා එක්ටා විරෝධී සහ ෆෙඩරල් විරෝධී සියළු දෙනා විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට ප්‍රවේශයක්ද? මෙයට වසර 29කට පෙර 1987 ජුලි 29වැනිදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර එජාප ආණ්ඩුව යටතේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් 1987 ජුනි 22වැනිදා රාත්‍රී රටපුරා කරන ලද වැටලීමකින් එම ගිවිසුමට එරෙහිව පැන නැගුණු විරෝධතා ව්‍යාපාරයන්ට නායකත්වය දුන් සරසවි සිසු නායකයින් 88 දෙනෙකු ඇතුළු 310ක් අත්අඩංගුවට ගෙන කොළඹ මැගසින් බන්ධනාගාරය සහ තවත් ස්ථාන කිහිපයක රිමාන්ඩ් සිරගතකර මාස තුනක් තබාගෙන පසුව නිදහස් කළේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වර්තමාන කැඳවුම්කරු ඇතුළු බොහෝ සරසවි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විවිධ චෝදනා ගොනු කරමින් අත්අඩංගුවට ගැනීමේ අනතුරක් දැනටමත් මතුව ඇත. වත්මන් ආණ්ඩුවේ නායකත්වය යටතේ ඉදිරි වසර 5තුළ ජේ.ආර්. ජයවර්ධන තැබූ වාර්තාද කඩනු ඇතැයි ආණ්ඩුව කියන්නේ මේවාටද?

මේ අල්ල පනල්ලේ කොරේ පිටට මරේය. එලොවටත් නැති මෙලොවටත් නැති නඩයක් ‘යහපාලන’ ආණ්ඩුවට ඔක්සිජන් ගහන්නට කිඹුල් කඳුළු හලනවාය. එකෙක් පුරවැසි බලයේය. තවකෙක් අලුත් පරපුරේය. සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ කියාද පිරිසක් ඇත. විදියේ විරෝධය දවල්ටය. නිදහසේ වේදිකාව රෑටය. මොවුන් ඔක්කොම එක වල්ලේ පොල්ය. ජනතාවට දොං සිමංය. හරියට ‘යහපාලන’ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයින් වාගේය. දවල් මිගෙල්ය. රෑ ඩැනියෙල්ලාය. ජනවාරි 8 පැතූ ‘යහපාලනය’ මේකදැයි අසනුයේ වෙල්ල හැලියට නැග්ග බළලා වගේය. ‘යහපාලන’ ආණ්ඩුවට අවශ්‍ය දේ පමණක් කියන පිරිසක් සිවිල් සමාජයේ නියෝජිතයින් ලෙස පිලිගත යුතු නැත. මෙම ‘සිවිල්’ සංවිධාන දොර කවුළු වසාගෙන ජනතා බලයක් ගොඩනගන්නේ නැතිව මේ කරන්නේ මවාපෑමකි. ජනතා මැදිහත්වීම නොඉවසන, ඒ වෙනුවෙන් කැපකිරීමක් කිරීමට සූදානම් නොමැති, ‘ගේම්කාරයින්’ බහුතරයකින් සමන්විත මෙම පුරවැසි උගුල්වලට තවදුරටත් කිසිවෙකු රැවටිය යුතු නැත.

මෙම පුරවැසි උගුල්වල සංවිධානවල නායකයින්ද ‘යහපාලකයින්’ සමඟ එකට කෑවේය. බීවේය. කඩේ ගියේය. සුදු හුණු ගැවේය. පඩියෝ මෙන් හැසුරුණහ. ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නෝ කුමන්ත්‍රණකරුවන් ලෙසද නම් කළහ. සිංහලයන්ට ඇත්තේ ගෝත්‍රික මානසිකත්වයක් යැයි පාරම් බෑහ. ඉක්බිති සිය පඩිත්වයෙන් විරාජමාන වූහ. මාධ්‍ය ප්‍රසිද්ධිය නිසා පොරවල් බවටද පත්වූහ. පුළුවන් අය කුට්ටිය කඩා ගත්තේය. තවත් අය තනතුරු ගත්හ. එන්.ජී.ඕ සබදතා ඇත්තන් ඩොලර් සරණ ගියහ. නැති එකා පමණක් දත කට මැදගෙන වරදාන බලාපොරොත්තුව තවදුරටත් ඉවසා වදාරනු පෙනේ. සුද්දන්ට එදා කළු සුද්දෝ රට පවාදුන්නේද එසේය. ලැජ්ජා නැති නිවටකම අදත් එදා සේමය. ඔවුන්ට ජීවත්වීමට හෘද සාක්ෂියක් අනවශ්‍යය. බොරු මායාවක් ලොවට පෙන්නා සැප විදිමින් ජීවත්වන ඔවුහු මේ කරන්නේ රඟපෑමකි. වාද විවාද කර කාලය කා දැමිය යුතුද නැත. මේ එන්.ජී.ඕ පුරවැසි උගුල් සංවිධාන ගැන ‘යහපාලන’ ආණ්ඩුවට හොද අවබෝධයක් ඇත. එබැවින් ආණ්ඩුව තමන්ගේ මාර්ගයේ බිය නොමැතිව පෙරටම ගමන් කරනු ලබයි.

‘යහපාලන’ බලයට පත්වී මාස 18ක් වූවද මිනිසුනට ප්‍රශ්න තිබුණාටත් වඩා උග්‍ර විය. රාජපක්ෂ ආණ්ඩුවට 2014 සාපේක්ෂව ජනතාවගේ ජීවන බර ඉහල ගොස්ය. උද්ධමනයේ ප්‍රතිශතයක් ලෙස 3.3 සිට 4.8 දක්වා වැඩිවී ඇත. විදේශ සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 8.3 සිට 6.6 දක්වා අඩුවී ඇත. කොටස් වෙළෙඳපොළ බිඳ වැටෙමින් සමස්ථ කොටස් මිල දර්ශකය 7299 සිට 6465 දක්වා පල්ලම් බැස ඇත. විරැකියාව 4.3 සිට 4.9 දක්වා වැඩිවී ඇත. ජාත්‍යන්තර වර්ගීකරණ වලින් ලංකාවේ ආර්ථිකය පහලටම පල්ලම් බසී. මේ මොලයක් කරපු හරියක්ය. කුරුල්ලෙකු කිසි විටක වසන අත්තෙහි ශක්තිය ගැන නොසිතයි. කුරුල්ලා සෑම විටම විශ්වාසය තබන්නේ තමන්ගේ ම පියාපත් ගැනය. රාජපක්ෂ ආණ්ඩුව සිතුවේ එසේය. ‘යහපාලන’ ආණ්ඩුව සිතුවේ බටහිර රටවල ආලයේ තරම පමණි. එය මුලාවක්ම විය.

ලැම්බෝගිනි අල්ලන්නට පත්වූ ‘යහපාලන’ ආණ්ඩුව අවසානයේ ඇමතිවරුන් 30 දෙනෙකුට කෝටි 118ක සැප වාහන ගන්නට සල්ලි පාර්ලිමේන්තුවෙන්ම අනුමතකර ගත්තේය. එජාපය සමඟ ආණ්ඩුවේ වරදාන භුක්ති විදින ඩාර්ලි පාරේ ශ්‍රිලනිප නෛතික පාර්ශවයේ ඇමති විජිත් විජයමුණි සොයිසා කියන්නේ තමාගේ බෙල්ලේ ඇටයක් ගෙවී ඇති බැවින් සහ පිට කොන්දේ ඩිස්ක් ගොස් ඇති බැවින් රුපියල් ලක්ෂ 350ක අලුත් වාහනය අතවශ්‍ය බවකි. ටෙනිසන් කුරේලා, බන්දු සමරසිංහලාට තියා ඇනස්ලි, සැමුවෙල් හෝ ෆ්‍රේඩී සිල්වා නැවත නැගිට පැමිණියද මේ දෙන විහිළු තහළු දිය නොහැක.

නීතිය වල් වැදෙමින් ඇත. පාතාලය හිස ඔසවමින් පවතී. මහර අධිකරණය ඉදිරිපිට බන්ධනාගාරයෙන් ගෙන ආ රැදවියන් පිරිසකට ඊයේ වෙඩි පිට වෙඩිය. ඉස්සරනම් කොහෝ හෝ මිනිසෙක් හාට් ඇටෑක් එකක් හෝ හැදී මලද එය බැර වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමටය. කැලණියේ ආචාරියා කට ඇරියානම් සුදු වෑන් එකකින් වැඩේකර ඇති බවක් ලුණු ගොරකා දමා කියනු ඇත. තහනම් කල බව කීවද ග්ලයිෆොසේට් රසායනයට වඩා අහිතකර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක් ඉකුත්දා රේගුවෙන් මුදාහැර තිබේ. සතුට යනු එම රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම වන අතර දුක යනු මෙවැනි දෑ ගෙනෙන විට රසායනික පොහොරවලට එරෙහිව ගෝරනාඩු දමන අතුරලියේ රතන හිමි රාජගිරිය අසපුවේ මුනිවත රැකීමය. ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ‘යහපාලන’ ආණ්ඩුවට එක්වන බවට ඇතැමුන් කියති. ඇමතිකමක් නොමැතිව නින්ද නොයන අය සහ බරපතල අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ඇති අය ඇගබේරා ගැනීම සඳහා එසේ යෑම සක්‍රයාගේ පුතා වයිමාට වුවද වැලකිය නොහැකි වනු ඇත.

දුරකථන බදු දැන් සියයට 49.57කි. මාසයකට රුපියල් 1,840ක දුරකථන බිලක් ගෙවන අයෙකු දැන් එයට අමතරව රුපියල් 912ක බදු ගෙවිය යුතුය. ෆ්‍රී වයිෆයි දෙන්නට ආ ආණ්ඩුව අමාරුවෙන් ගෙවූ ඩේටා බිලටත් වැඩේ දුන්නේය. දේශීය නිෂ්පාදනයක් වන මයික්‍රෝ කාර්වලට දේශීය වෙළෙඳපොළ තුළ ඉඩ ලබානොදී ඉන්දීය මෝටර් රථ වෙළඳපොල පෝෂණය කිරීමට ඉඩ ලබාදී තිබේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට යුරෝපා සංගමයේ සාමාජිකත්වයේ රැදී සිටින ලෙස පවත්වන ජනමත විචාරණයේ ක්‍රියාකල යුතු ආකාරය දැනුවත් කිරීමටද ශ්‍රී ලංකාවේ ඇමති දුසිම් භාගයක් දැන් බ්‍රිතාන්‍යයේය. අනේ අනිච්චං කියන්නේ මේවාටය.

බදු ගසන්නේ ටික කාලයකට බවද රට ආර්ථික අතින් ස්වයංපෝෂිත කලවිට තව වසර කිහිපයකින් ජනතාවට සහනදෙන බවද ‘යහපාලන’ ආණ්ඩුව කියයි. පුංචි කාලේ වාගේම දැනුත් මිනිසුන් සුරංගනා කථා ඇසිමට කැමතිය. එහෙත් ඒවා විශ්වාස කරන්නේ නැත. ආණ්ඩුවෙන් බැට නොකන අය දැන් හොයන එක නොමළ ගෙදරකින් අබ ඇට හොයනවා වගේ අසීරු වැඩක්ය.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions