7/09/2017

“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වා

කතෘ:යුතුකම     7/09/2017   No comments
“අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම මේ රටේ ජනමතය කොල්ල කෑමක්“ – මහාචාර්ය නලින් ද සිල්වාරටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට වන යෝජනාව ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට අස්ගිරි මහා විහාරයට රැස් වූ තෛනිකායික මහා සංඝරත්නය පෙරේදා තීරණය කළහ. මේ ඒ පිළිබඳ ආචාර්ය නලින් ද සිල්වා මහතා සමග රිවිර පුවත්පත කළ සාකච්ඡාවකි.

ප‍්‍ර – මේ අවස්ථාවේ රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය ප‍්‍රකාශයක් නිකුත් කරනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

පි – මේ අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම පිළිබඳ මා තුළ භක්තියක් සහ ප‍්‍රසාදයක් තිබෙනවා. 1978 ව්‍යවස්ථාවත් සිංහල බෞද්ධයාට මේ රටේ හිමි විය යුතු තැන ලබා දුන් එකක් නෙමේ. ඒ නිසා නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ විශාල වුවමනාවක් තියෙනවා.

බටහිරයෝ මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ 78 ව්‍යවස්ථාවටත් වඩා සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණින් කියලා මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කරන විට මම පැහැදිලිව ම කීවා. මේ රටේ මිනිස්සු ඒක තේරුම් ගත්තේ නෑ. මිනිස්සු රැවටුණා. දැන් මේ ව්‍යවස්ථාවක් ගේන්න යන්නේ බටහිර සහ ඉන්දියානු වුවමනාව අනුව මේ රටේ සිංහල බෞද්ධ විශේෂත්වය සම්පූර්ණයෙන් විනාශ කරන්න. ඒ නිසා මේ වෙලාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට මම විරුද්ධයි.

2015 මේ රටේ මිනිස්සු මෛත‍්‍රීපාලට හෝ මහින්දට අලූත් ව්‍යවස්ථාවක් ගේන්න ඡුන්දය දුන්නේ නෑ. මහින්ද අලූත් ව්‍යවස්ථා ගැන කිසිවක් කීවේ නෑ. මෛත‍්‍රීපාල කීවෙත් ජනමත විචාරණවලට යා යුතු ව්‍යවස්ථා සංශෝධනවලට නොයන බවයි. ඒ අනුව 2015 මේ රටේ කිසිවකු අලූත් ව්‍යවස්ථාවකට ඡුන්දය දීලා නෑ. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්පූර්ණයෙන් ම මේ රටේ ජනමතය කොල්ලකෑමක්.

අපි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතියට විශේෂත්වයක් ලබා දෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා තව කල් තියෙනවා. ඉංගිරිසිකාරයන්ට ලිඛිත ව්‍යවස්ථාවක් නැතත් ඔවුන්ගේ සම්ප‍්‍රදාය අනුව එංගලන්ත රජු හෝ රැුජින තමයි ක‍්‍රිස්තියානි ඇන්ග්ලිකන් පල්ලියේ නායකයා. ඔවුන්ට එම සම්ප‍්‍රදාය පවත්වා ගෙන යාම හොඳ නම් ඔවුන්ට වඩා දිගු ඉතිහාසයක් ඇති අපට ඇයි එය හොඳ නැත්තේ? අවුරුදු 2400ක විතර මේ රටේ පවතින ඉතිහාසයට ගරු කරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට ප‍්‍රමුඛතාව හිමි වන ව්‍යවස්ථාවක් තනා ගත යුතුයි. එහෙත් 78 ව්‍යවස්ථාව හොඳයි කියලා එයින් කියවෙන්නේ නෑ. එය වෙනස් කළ යුතුයි. විශේෂයෙන් 78 ව්‍යවස්ථාවට ඉන්දියාව බලහත්කාරයෙන් එකතු කළ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කළ යුතුයි.

ප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුත්තේ ඇයි?

පි – එය සම්පූර්ණයෙන් ඉන්දියානු වුවමනාව මත ගෙන ආ සංශෝධනයක්. මේ රටේ දෙමළ ජනවර්ගයට අසාධාරණයක් වන බව කියමින් ඒ සංශෝධනය ගෙනාවේ. මේ දෙමළ ප‍්‍රශ්නය පටන් ගත්තේ 1956 හෝ 1983 නෙමෙයි, 1831 ව්‍යවස්ථාදායක සභාවක් හදලා සිංහල, දෙමළ කතා කරන සහ බර්ගර් ජනතාව වෙනුවෙන් එක නියෝජිතයා බැගින් පත් කිරීම නිසායි. ගැටුමේ මුල එතන. 75%කට වැඩි සිංහලයා වෙනුවෙන් එක නියෝජිතයයි. එකල 10%ක්වත් නොසිටි දෙමළ මිනිස්සු වෙනුවෙන් එක නියෝජිතයයි. ඒ බලය දිගටම පවත්වා ගෙන යාමට දෙමළ නායකයෝ උත්සාහ කළා. එය පොන්නම්බලම් සහෝදරයෝ අතේ වර්ධනය වෙලා චෙල්වනායගම් වෙනම රාජ්‍යයක් ඉල්ලන තැනට ආවා. ඒ වෙනම රාජ්‍යය වෙනුවෙන් තමයි ප‍්‍රභාකරන් ආයුධ අතට ගත්තේ.

ඒ දෙමළ ජාතිවාදී දේශපාලනය වගේ ම ඊට ඊනියා විසඳුම් ලෙස ඉදිරිපත් කළ 13 වැනි සංශෝධනයත් අපි 2009 නන්දිකඩාල් කලපුවේ දී පරාජය කළා. එලෙස පරාජය වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට දේශපාලනික පැවැත්මක් නෑ. ඊට හිමි නෛතික පැවැත්මත් අහෝසි කළ යුතුයි. එය බලාත්මක කිරීමට ජනමත විචාරණයක් නොපැවැත් වූ නිසා එය අහෝසි කිරීමටත් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ.

ප‍්‍ර – විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු යැයි සමහරු ප‍්‍රකාශ කරනවා?

පි – විධායක ජනාධිපති ක‍්‍රමයට ප‍්‍රතිපත්තියක් හැටියට මමත් කැමැති නැහැ. එහෙත් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින තුරු විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි.

ප‍්‍ර – 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක පසුබිමක විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත්?

පි – 13 වන ව්‍යවස්ථා සංශෝධනය පවතින අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් මෙතෙක් ආණ්ඩුකාරවරයා ඔස්සේ ජනාධිපතිට හිමි බලතලත් මහ ඇමැතිගේ අතට පත් වෙනවා. එය භයානක තත්ත්වයක්

ප‍්‍ර – දෙමළ ජාතික සන්ධානයේ සුමන්දිරන් පවසනවා ජාතික ගැටලූවට විසඳුම් ලබාදීමට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයයි කියලා?

පි – මම දැන් අවුරුදු තිස් ගාණක් තිස්සේ මේ අයගෙන් අහනවා දෙමළ ජනතාවට දෙමළ ජනතාව වීම නිසා ම මේ රටේ තියෙන ප‍්‍රශ්නය මොකක්ද කියලා. ඒකට තවම කවුරුවත් උත්තර දීලා නෑ. සුමන්දිරන්ලා මුණගැහෙන්න යන මාධ්‍යකාරයෝ ඒක ඔහුගෙන් අහන්නෙත් නෑ. සුමන්දිරන් කියන්නේ දෙමළ මෙතෝදිස්ත සභාවේ පුද්ගලයෙක්. මෙතෝදිස්ත පල්ලිය ඇන්ග්ලිකන් ක‍්‍රිස්තියානි පල්ලිය සමග බොහොම සමීපයෙන් වැඩ කරනවා. ඔහු හින්¥න් වෙනුවෙන් නෙමේ ක‍්‍රිස්තියානි පල්ලිය සහ බටහිර අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින්නෙක්.

මේ දෙමළ නායකයන්ට වගේම බොහෝ සිංහල නායකයන්ට තියෙන්නේ ක‍්‍රිස්තියානි සම්භවයක්. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජතුමා අල්ල ගන්න ගියේ බණ්ඩාරනායකයි තම්බි මුදියන්සෙයි දෙන්නා. මේ මිනිස්සුන්ගෙන් පැවතෙන අය තමයි රටේ ආණ්ඩු කරන්නේ. සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු ජනතාව අතර සමගියක් ගොඩනගාගත නොහැකි වීම අප ලද ඓතිහාසික පරාජයක්. සිංහල බෞද්ධයෝ හින්දු ජනතාව සමග එකතු වෙලා සුමන්දිරන්ලාට විරුද්ධව වැඩ කරන්න ඕන.

අද යාපනේ හින්දු ක‍්‍රිස්තියානි ගැටුම ඉස්මතු වෙලා. එය විග්නේශ්වරන් සුමන්දිරන් ගැටුමක් විදිහට තමයි උඩට එන්නේ. විග්නේශ්වරන් ඉවත් කළ ඇමැතිවරු දෙදෙනෙක් ක‍්‍රිස්තියානිකාරයෝ. පල්ලියේ පූජකයෙක් ඉදිරිපත් වෙලා තමයි ඒ ගැටුම සමථයකට පත් කළේත්. මේ රටේ පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍ය තමයි සියලූ ගැටලූවලට මුල. ඒ සඳහා විසඳුම තමයි සාමාන්‍ය හින්දු ජනතාව සමග සිංහල බෞද්ධ ජනතාව එකතු වී උතුර දකුණ වෙළාගෙන පවතින ක‍්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහිව කටයුතු කිරීම.

ප‍්‍ර – සුමන්දිරන් කියනවා යෝජිත ව්‍යවස්ථාවේ ෆෙඩරල් කියන වචනය නැති වුණාට එහි ෆෙඩරල් ලක්ෂණ තියෙනවා කියලා?
පි – සුමන්දිරන් කියන්නේ ඇත්ත. ”බුදු සසුන බැබළේවා!” කියලා ලොරිය ඉස්සරහ බෝඞ් ලෑල්ලේ ගහලා හොර හරක් පටවනවා නේ. ඒක ව්‍යවස්ථාවෙත් කරන්න පුළුවන්. ව්‍යවස්ථාවේ ඒකීය ලේබලය ගහන්න පුළුවන්. බුදු දහමට ප‍්‍රමුඛතාව දෙනවා කියලත් ලියන්න පුළුවන්. හැබැයි ප‍්‍රායෝගිකව ඒ කිසිවක් නොවන තැනට වෙනත් වගන්ති ඇතුළු කරන්න පුළුවන්. සුමන්දිරන් දන්නවා මේ වැඬේ කරන විදිහ.

ප‍්‍ර – ඇතැම් අවස්ථාවල මේ රටේ රාජ්‍ය කිහිපයක් තිබුණා. ඉතින් ඇයි අපි ෆෙඩරල්වලට විරුද්ධ වෙන්නේ?

පි – මේ රටේ එදා මෙදා තුර පවතින්නේ එක්සේසත් රාජ්‍යයක්. යම් යම් සතුරු ආක‍්‍රමණ සහ කැරලි නිසා ඒ එක්සේසත් රාජ්‍යය බිඳ වැටෙන්න පුළුවන්. ආක‍්‍රමණිකයෙක් ඇවිල්ලා රටින් කොටසක් අල්ල ගන්නවා. ඒත් ඊට පසු රජ කෙනෙක් රට නැවත එක්සේසත් කරනවා. ඉතිහාසයේ වලංගුභාවය තිබෙන්නේ එලෙස වසර දහස් ගණනක් මේ රටේ පැවති එක්සේසත් රාජ්‍යයට මිසක් ඉඳ හිට ඇති වූ අතුරුඵලවලට නෙමෙයි. මේ අතුරුඵල කවදාවත් මේ රටේ ස්වාධීන රාජ්‍යය විදිහට තිබුණේ නෑ. යාපනේ රාජ්‍යය පවා කවදාවත් ස්වාධීන රාජ්‍යයක් වුණේ නෑ. යාපනේ කවදාවත් දෙමළ රාජ්‍යයක් තිබුණෙත් නෑ.

ආර්ය චක‍්‍රවර්ති කියන්නේ දෙමළ නෙමෙයි පාණ්ඩ්‍ය පුද්ගලයෙක්. එළාරවත් සොළියෙක් නෙමෙයි. සොළීන් බිහි වුණේ ක‍්‍රි.ව. 5 වෙනි සියවසේ. ගැමුණු රජු හිටියේ ක‍්‍රි.පු. 1 වන සියවසේ. 5 වෙනි සියවසේ ඇති වුණු සොළීන් කොහොමද ක‍්‍රි.පූ. 1 වන සියවසේ ලංකාවට එන්නේ? 5 වෙනි සියවසේ අපට සොළීන්ගෙන් කරදර තිබුණු නිසා මහා වංසය රචනා කළ හාමුදුරුවෝ එළාර ආක‍්‍රමණයත් සොළීන්ට පටවනවා.

ප‍්‍ර – ඇතැම් අය භික්ෂූන් වහන්සේලා කළ මැදිහත් වීම රාජ්‍ය පාලනයට ආගමික සංස්ථාව කළ අනවශ්‍ය අතපෙවීමක් ලෙස හුවා දක්වන්න උත්සාහ කරනවා?

පි – යමෙක් එහෙම කියනවා නම් ඔහු මේ රටේ ඉතිහාසය දන්නේ නෑ. මේ රටේ රාජ්‍ය පාලනය තුළ භික්ෂූන් වහන්සේ සහ රජතුමා එක සමාන මට්ටමක හිටියේ. රජුට අනුශාසනා කළේ බමුණු පුරෝහිතයෝ නෙමෙයි භික්ෂූන් වහන්සේ. භික්ෂූන් වහන්සේ හෝ රජු දුර්වල වුණු අවස්ථාවල රාජ්‍යය කඩා වැටෙනවා. භික්ෂු සමාජයේ එක්තරා කඩා වැටීමක් අද පවතින බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි.

උන්වහන්සේලා නැවත නැගී සිටියොත් එය රටේ වාසනාව. භික්ෂූන් වහන්සේලා පාලකයාට අවවාද අනුශාසන කළ යුතුයි. අවශ්‍ය අවස්ථාවේ විරුද්ධව නැගී සිටිය යුතුයි. කෙසේ වුවත් ගිහි අපට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දෙන්න බෑ. ඒ සඳහා කිසිම ගිහියකුට අයිතියක් නෑ. මම කරන්නේ මගේ අදහස් පැවසීම මිස උන් වහන්සේලාට උපදෙස් දීමක් නෙමයි. එදා රජවරු දේශපාලනය කළේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුකීම සඳහා. අද පවතින පක්ෂ දේශපාලනය තුළ රාජ්‍ය රැුක ගැනීම පැත්තකට විසි වෙලා පක්ෂය සහ තම තනතුර රැුක ගැනීම පාලකයාගේ දේශපාලනය වෙලා. එහෙත් හාමුදුරුවරු එදත් අදත් කටයුතු කරන්නේ සිංහල බෞද්ධ රාජ්‍යය රැුක ගැනීම සඳහා.

හාමුදුරුවන්ගේ මේ මැදිහත් වීම ගිහියෝ ගසා කන එකක් නෑ කියලා මම බලාපොරොත්තු වෙනවා. හෙට අනිද්දා වෙද්දී දේශපාලකයෝ අස්ගිරියට දුවන්න ඉඩ තියෙනවා. ජනාධිපති, අගමැති හෝ හිටපු ජනාධිපති ආවත් භාර ගන්න නරකයි. පාලකයෝ කළ යුත්තේ මහා සංඝ රත්නයේ අවවාද අනුව කටයුතු කිරීමයි. එහෙම නොකරන පාලකයන්ගේ කිසිම උත්සවයකට උන්වහන්සේලා නොවැඩිය යුතුයි. වර්ජනය කළ යුතුයි. කාදිනල්වරයා එහෙම කළා. මේ රටේ කාදිනල්ට ඇති බලය මහා නායක හාමුදුරුවන්ට නෑ. කාදිනල්ගේ වචනයට ආණ්ඩුව සැලෙනවා. ඒ සැලෙන තත්ත්වය මහා නායක හාමුදුරුවෝ ගොඩනඟාගත යුතුයි.

ප‍්‍ර – මේ නව දේශපාලන තත්ත්වය සමග රටේ අනාගත දේශපාලනය කුමන හැඩයක් ගත හැකි ද?

පි – මේක තමයි මේ රටේ ඓතිහාසික දේශපාලන ප‍්‍රවණතාව. එය දේශපාලකයන්ට කුරුවල් කිරීමට ඉඩ නොතබා නිවැරදිව ඉදිරියට ගියොත් නැවත වරක් මේ පොළොවේ සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනගා නැගේවි.

සාකච්ඡා කළේ : නාමල් උඩලමත්ත
[Rivira]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

4/14/2017

සිංහල අවුරුද්ද

කතෘ:යුතුකම     4/14/2017   No comments
-ආචාර්‍ය නලින් ද සිල්වා-
මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් ද පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් ම කිව යුත්තේ ඊනියා විද්‍යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව ය. පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්‍ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක්‍ෂ නැත. සෑම චලිතයක් ම සාපේක්‍ෂ වෙයි. ඉරේ සිට නිරීක්‍ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්‍ෂණය කළහොත් ග්‍රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්‍ෂණය වේ ද? පැරණි නාවිකයන් තාරකා නිරීක්‍ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ ද දනිති. ඔවුන් යාත්‍රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.

ජ්‍යොතිෂයේ ග්‍රහයන් යනු ග්‍රහ වස්තු නොවේ. බටහිර තාරකා විද්‍යාවට අනුව ඉර ග්‍රහ වස්තුවක් නො වෙයි. එය තාරකාවක්. එහෙත් ජ්‍යොතිෂයෙහි ඉර ද ග්‍රහයෙක්. ග්‍රහයන් යනු ග්‍රහ වස්තු නොවන බව පඬියන් කෙදිනක නමුත් දැනගත යුතු යැයි සිතමි. ජ්‍යොතිෂයෙහි රාහු කේතු ද ග්‍රහයන් බව කිව යුතුයි. රාහු කේතු යනු පොළොවට සාපේක්‍ෂව ඉරේ හා හඳේ ගමන් මාර්ගවල ඡෙදක ලක්‍ෂය වෙයි. මේ ඡෙදක ලක්‍ෂ්‍ය පැරැන්නන් දැක්කේ ආධ්‍යාත්මික ව බව අවධාරණය කළ යුතුයි. බටහිර තාරකා විද්‍යාවට අනුව අද ප්ලූටෝ ග්‍රහ වස්තුවක් නො වෙයි. ඒ ග්‍රහ වස්තු පිළිබඳ ඔවුන්ගේ වත්මන් නිර්වචනය අනුවයි. ප්ලූටෝ එදත් අදත් ග්‍රහයකු බව අවධාරණය කළ යුතුයි. ජ්‍යෙතිෂයෙහි හඳ ද ග්‍රහයෙක් වෙයි. ඒ ඒ ක්‍ෂෙත්‍රවල දැනුම ඒ ඒ ක්‍ෂෙත්‍රධාරීන්ට සාපේක්‍ෂ වෙයි. නිරපේක්‍ෂ වාස්තවික දැනුමක් ඇත්තේ පඬියන්ගේ වෙනත් අයුරින් නම් හිස් හිස්වල පමණයි.

නැකැත් මූල සිංහලයන්ගේ නිර්මාණයක්. නාග ජනතාවත් මූල සිංහලයන් බව අමතක නොකළ යුතුයි. නාගයන් ඇසෑමයේ සිට මාගම දක්වා එකල දැකගත හැකි වූ බව පැහැදිලියි. මේ ඇතැම් නාගයන් පසුව දෙමළ සංස්කෘතියට අවශෝෂණය වූ පමණින් සියළු නාගයන් දෙමළ යැයි කිව හැක්කේ දෙමළ ජාතිවාදීන්ට පමණයි. ඇතැම් සිංහලයෝ ද දෙමළ ජාතිවාදීහු වෙති. මෙරට නාග ද්වීපයේ ද මාගම ද සිටි නාගයෝ යක්‍ෂ ආදීන් සමග මූල සිංහලයෝ වූහ. නක යනු ද නාග යන්නට නමක් වෙයි. මූල සිංහල නාගයෝ නාවිකයෝ ද වූහ. කාවන්තිස්ස රජු ද නාගයකු බව පැවසෙයි. එතුමන්ගේ නාවික සමාගමක් ද වූ බව කියැවෙයි. ඒ කෙසේ වෙතත් නකත් යනු නාවික නක ජනතාවගේ නිර්මාණයක්. ඇ කාරය සිංහලයට එකතුවීමෙන් පසුව නකත් නැකැත් වී තිබෙන බව පැහැදිලියි. මූල සිංහල නක ජනතාව අහසෙහි පොළොවට සාප්ක්‍ෂව ග්‍රහයන් චලනය වන තැටිය නකත් විසිහතකට බෙදා තිබුණි. නකත් හඳේ ගමන සමග සම්බන්ධයි. හඳට පොළොව වටා යාමට දින විසිහතක් පමණ ගත වෙයි. චන්ද්‍ර මාස නිර්මාණය වී ඇත්තේ හඳේ ඒ සාපේක්‍ෂ චලිතය සමගයි. මාසය යන්න හඳට කියන මා යන්න සමග සම්බන්ධයි. අමාවක යනු හඳ පෙනෙන්නේ නැති දිනය බව පඬියෝ ද දනිති. අවුරුද්දකට චන්ද්‍ර මාස දොළහකට වඩා ඇති බැවින් ඇතැම් වසරවල අධික චන්ද්‍ර මාස නම් කිරීමට සිදු වී ඇත.

කැති බෙරණ ආදී නැකැත් හෙළ බසට ම ආවේණික වෙයි. ඒ වචන සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇතත් එහි නිරුක්ති සංස්කෘතෙන් කිව හැකි අයෙක් වෙත් ද? අස්විද නැකැත සංස්කෘතෙන් අශ්වින්. අශ්වින් යනු අශ්ව හිස් ඇති නිවුන් කියා සඳහන් වෙයි. එය පිළිගත හැකි ද? නකත් යන්න ද නක්‍ෂත්‍ර ලෙස සංස්කෘත උච්චාරණයකට ලක් වී ඇති බව පැහැදිලියි. එහෙත් නක්‍ෂත්‍ර යන්නට සංස්කෘත නිරුක්ත නැති බව පැවසෙයි. එක් පඬියකු නක්‍ෂත්‍ර යනු නක් ශාස්ත්‍ර ලෙස අර්ථ දැක්වීමට නිරර්ථක උත්සාහයක යෙදුණු බව අමතක නොකළ යුතුයි. අපට පුරුදු කර ඇත්තේ අප වෛදිකයන්ගෙන් මේ කරුණු ගත් බව පිළිගැනීමටයි. එහෙත් අපෙන් ගිය දේ අපට ආපසු එන්නේ අවුරුදු දහස් ගණනක සිටයි. නක්‍ෂත්‍ර යන්න හෙළ නකත්හි සංස්කෘත උච්චාරණය මිස අනෙක් පැත්ත නො වෙයි.

ඇතැම් විට නැකැත් විසිඅටක් ගැන ද කියැවෛයි. චීන ජ්‍යොතිෂයෙහි ද නැකැත් විසිඅටක් ගැන කියැවෙයි. වේදික නක්‍ෂත්‍රයෙහි නැකැත් (නක්‍ෂත්‍ර) ගැන කියැවෙන්නේ ක්‍රිස්තු පූර්ව 700 - 600 සමයෙහි ලියන ලද වේදාංග ජ්‍යෙතිෂයෙහි බව සඳහන් වෙයි. මේ බුදුන් වහන්සේ වැඩ විසූ කාලයට ටිකකට පෙර බව පැහැදිලියි.. අපේ මූල සිංහල නාගයන් නකත් ගැන දැන ඇත්තේ එයට පෙර විය යුතුයි. මේ යුගයේ සෙල්ලිපිවලින් අපට ඇතැම් කරුණු දැනටමත් දැනගත හැකියි. එහෙත් සවිස්තර ව මේ කතාව කීමට තරමක් කල් ගත වේවි යැයි සිතිය හැකියි. සූර්ය සිද්ධාන්තයේ නක්‍ෂත්‍ර ගැන ඇත්තේ වෙනත් ගණනය කිරීමකි.

අපේ නැකැත් කෙළි ගැන ඉතිහාසයෙහි සඳහන් වෙයි. අප තරම් උත්සව පවත්වන වෙනත් ජාතියක් ජනවර්ගයක් නැති විය හැකියි. පොළොවට සාපේක්‍ෂ ව ඉර ගමන් කරන පථයට ක්‍රාන්ති වලයය යැයි බටහිර තාරකා විද්‍යාවෙහි කියැවෙයි. නැකැත් ඇත්තේ ක්‍රාන්ති වලයයෙහි ය. වෙනත් වචනවලින් කියන්නේ නම් ඉර ක්‍රාන්ති වලයය දිගේ නැකතින් නැකතට ගමන් කරයි. වෛදිකයන් පසු කලෙක සුමේරියන් ශිෂ්ටාචාරයෙන් රාශි දොළහේ චක්‍රය ලැබුණු පසු නකත් හා රාශි එකතු කිරීමේ දී ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන බව පැහැදිලියි. අපේ නකැත් චක්‍රය පටන් ගෙන ඇත්තේ කැති නැකතෙන්. එහෙත් මේෂ රාශිය සමග වැටෙන්නේ අස්විද නැකතයි එබැවින් අස්විද නැකත නැකැත් චක්‍රයෙහි මුල ලෙස ගැනීමට වෛදිකයන් පුරුදු වී යැයි සිතිය හැකියි. එහෙත් අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙහි ආරම්භය සමග සමපාත නො වෙයි. අප සිංහල අවුරුද්ද යැයි ගන්නේ ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම වුවත් එය මීනයෙන් මේෂයට සංක්‍රමණය වීම ලෙස සැලකීමට පුරුදු වී ඇති බව පැහැදිලියි. බටහිර තාරකා විද්‍යාවට අනුව අද ඉර මීනයෙන් මේෂයට යන්නේ අප්‍රේල් දහනවවැනි දා බැවින් පඬියෝ සිංහල අවුරුද්ද උදවන්නේ වැරදි දිනයක යැයි කෑමොර ගසති. මෙය සිංහල අවුරුද්ද ඉර රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වීම මීනයෙන් මේෂයට සංක්‍රමණය වීම ලෙස සැලකීම නිසා ඇති වූ පරස්පරයක් විය හැකියි. මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි දෙවැනි පාදයෙහි ඇතැයි මූලික ගණනයකින් පැහැදිලි වෙයි.

පොළොවට සාපේක්‍ෂව හිස් අහසෙහි ඛගෝලය නමින් ගෝලයක් බටහිර විද්‍යාඥයන් විසින් නිර්මාණය කෙරී ඇත. මෙහි ඛ යන්නෙහි තේරුම හිස් බව යන්න ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්නෙහි දුක්ඛ යනු අපට දැනෙන දුකක් නොව අයහපත් වූ හිස් බව යන්නය. එය අනිත්‍ය අනාත්ම හා ශූන්‍ය සමග ගැලපෙයි. මෙම ඛගෝලයෙහි සමකයේ ප්‍රක්‍ෂෙපණයට ඛගෝල සමකය යැයි කියැවෙයි. ඛගෝල සමකය හා ක්‍රාන්ති වලයය ලක්‍ෂ්‍ය දෙකක දී ඡෙදනය වෙයි. මෙයින් එක ලක්‍ෂ්‍යයකට මේෂ රාශියෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය යැයි කියනු ලැබෙයි. පෘථිවි අක්‍ෂය ක්‍රාන්ති වලයයට අංශක විසිතුනහමාරකින් ඇළ වී තිබෙනු පමණක් නොවේ. එම අක්‍ෂය බමරයක අක්‍ෂය මෙන් පූර්වායනය වෙයි. මේ හේතුවෙන් මේෂ රාශියෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය අවුරුදු හැත්තෑඑකක දී අංශකයක් පමණ ආපස්සට යයි. ඒ හේතුවෙන් මේෂ රාශියෙහි ආරම්භය අවුරුදු හැත්තෑදෙකක දී බටහිර දින දර්ශනයට සාපේක්‍ෂව දවසකින් පමණ ඉදිරියට යයි. පෘතුගිසි ජතික රොබෙයිරෝ නම් කපිතාන්වරයකුට අනුව සිංහලයන්ගේ අවුරුද්ද මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙයි. ඔහුට අනුව ඒ බුදුන් වහන්සේ මෙහි නැවතී සිටි දිනය ය. මහාවංසයට අනුව බුදුන් වහන්සේ වරක් ලක්දිවට වැඩම කර ඇත්තේ බක් මස අමාවක දිනයෙහි ය. අනෙක් දෙවතාවෙහි ම උන්වහන්සේ වැඩම කර ඇත්තේ පසළොස්වක පොහෝ දිනවල ය. සිංහල මාස පටන් ගන්නේ අමාවකින් බව ද මතක තබා ගත යුතු ය. සිංහල අවුරුද්දේ ආරම්භය එදින ද? ඒ කෙසේ වෙතත් සිංහල අවුරුද්ද ආරම්භ වන දිනය සූර්යයා සමග ගැට ගැසීමෙන් පසු එය බක් අමාවකින් ඉවත් කරඉර රේවති නැකතින් අස්විද නැතකට සංක්‍රමණය වීම සමග ගලපන්නට ඇත. එහෙත් මේ ලක්‍ෂ්‍යය පසුව වෛදිකයන් අනුකරණයෙන් ඉර මීනයෙන් මේෂයට යෑම සමග ගලපන්නට ඇත. අස්විද නැකතෙහි ආරම්භය මේෂ රාශියෙන් ආරම්භය සමග සමපාත නොවීම හේතුකොටගෙන අද ඉර මේෂයට යෑම මෙකල අප්‍රේල් දහතුන දහහතර සමග ගැනීමට සිදු වී ඇත. මෙය වෛදිකයන් මේෂ රාශියෙහි ආරම්භය අස්විද නැකතෙහි ආරම්භය සමග ලකුණු කිරීමෙන් වූ පරස්පරයක් විය හැකි ය.


මේ දිනය කලින් දැක්වු ආකාරයට බටහිර දින දර්ශනයට සාපේක්‍ෂව අවුරුදු හැත්තැතුනකට එක් දවසක් පමණ ඉදිරියට යයි. රොබෙයිරෝ හා රොබට් නොක්ස් අවුරුදු උදාව ගැන දක්වන දින වෙනස් වෙයි. ඔවුන් යොදා ගෙන ඇත්තේ ජුලියන් දින දර්ශනය ය. එහෙත් අද බටහිරයන් යොදා ගන්නේ ග්‍රෙගේරියානු දින දර්ශනය ය. ඒ අතර දින කිහිපයක වෙනසක් වෙයි. රුසියන් ඔක්තෝබර් විප්ලවය ග්‍රෙගේරියානු දින දර්ශනය අනුව නොවැම්බරයට වැටෙන්නේ එබැවිනි. නොක්ස් සඳහන් කරන දින ග්‍රෙගේරියානු දින දර්ශනයට අනුව අප්‍රේල් හත අට නවය දිනවල වැටෙයි. එහෙත් අවුරුදු හැත්තෑතුනකට වරක් එක් දිනක් පමණ අවුරුදු උදාවන දිනය ඉදිරියට යෑම නිසා අද සිංහල අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් දහතුන දහහතර දිනවල ය. විසිවැනි සියවසේ මුල එය අප්‍රේල් දොළහ දහතුන විය. තව අවුරුදු විස්සකින් තිහකින් අවුරුද්ද දහහතර පහළොව දිනවල උදාවනු ඇත. නොනගතය යනු නැකැත් නැති කාලයක් නො වේ. නැකැත් නැති කාලයක ආහාර පිසින්නේ කෙසේ ද? කෙසේ වෙතත් නැකැතක් නැති වෙලාවක් නැත. නොනගතය යනු ඉර මේෂයට පැමිණියේ (අගත) ද නොපැමිණියේ ද නැති (අනගත) කාලයයි. සූර්ය සංක්‍රමණයට පැය දොළහයි විනාඩි හතළිස්අටක් ගත වෙයි. මේ පිළිබඳ විස්තර සිංහල අවුරුද්ද කෘතියෙහි දැක්වෙයි.

අවසාන වශයෙන් කිව යුත්තේ අවුරුද්ද සිංහලයන්ගේ බව ය. ඉන්දියාවේ අප්‍රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භය වෙයි. හින්දු අවුරුද්ද තෛපොංගල් දිනයේ ආරම්භ වෙයි. ඒ ජනවාරි දහහතරවැනි දා ය. අප්‍රේල් දහහතර හතරවැනි මාසයේ ආරම්භයයි. එදිනත් ඇතැම් ප්‍රාන්තවල උත්සව පැවැත්වෙයි. එහෙත් එය හින්දු අවුරුද්දක් නො වෙයි. ඉංගිරිසිහු ලංකාවේ සිංහල අවුරුද්ද නිවාඩු දිනයක් කිරීමේ දී ඊනියා තුලිතභාවය සඳහා එයට හින්දු කමක් ද එකතු කළහ. ඔවුන් එයට දෙමළකම එකතු නොකෙළේ මෙරට දෙමළ අනන්‍යතාවක් එකල නොතිබූ බැවිනි. සිංහල අවුරුද්ද සිංහල දෙමළ අවුරුද්්ද වූයේ දශක දෙක තුනකට කලින් පඬියන්ගේ පඬි කතාවක් අනුව ය.
[කාලය]


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/18/2017

ජාතික ව්‍යාපාරය හා ස්මාට් දේශප්‍රේමී බුද්ධිමත්තු

කතෘ:යුතුකම     3/18/2017   No comments
-ආචාර්ය නලින් ද සිල්වා-
කාලයක සිට ජාතික ව්‍යාපාරය ඇත්තේ ඉතාමත් පහත් තත්වයක බව පැහැදිලියි. කවදාවත් නැති තරමට ජාතික ව්‍යාපාරය විජාතික මතවාදීන් අතට පත් වී ඇති බව බොහෝ දෙනකුට නොතේරීම කණාගාටුදායක ය. මෙයට කිහිප දෙනකු ම වගකිව යුතු ය. පළමුවෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කළ අය ගැන සඳහන් කළ යුතු නමුත් එය පසුවට කල් තබමු. පක්‍ෂ ලෙස සැලකුවහොත් ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ එහි ඉදිරියෙන් ම සිටින බව නම් කිව හැකියි. මා මෙසේ කී විට ඇතැමුන් විරුද්ධ වීම වැළැක්විය නො හැකි ය. එසේ සඳහන් කිරීම ජාතික ව්‍යාපාරයට පාඩුවක් බව ඒ අයගෙන් යම් පිිරිසක් අවංකව ම ප්‍රකාශ කළහොත් එය පුදුමයට කරුණක් නො වෙයි. ජනතා විමුක්ති පෙරමුණ ජාතිකත්වය හා මාක්ස්වාදය අතර දෝළනය වුණු පක්‍ෂයක් පමණ ය. ජාතික හෙළ උරුමයත් ජාතික නිදහස් පෙරමුණත් ජනතා විමුක්ති පෙරමුණේ තිඹිරි ගෙයින් බිහි වූ පක්‍ෂ බැවින් ඔවුන්ටත් යම් ප්‍රමාණයකට නමුත් එකී දේශපාලනය බලපාන බව පැහැදිලි ය.

ජාතික ව්‍යාපාරය දේශපාලනයට ලක් කිරීමේ ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැති වීම ය. දේශපාලනයේ සංසිද්ධි ඊනියා බටහිර කුමන්ත්‍රණ කී පමණින්වත් වැඩකට නැති සංඛ්‍යාන ඉදිරිපත් කිරීමෙන්වත් තේරුම් ගැනීමට නොහැකි බව කිව යුතු ය. ජාතික ව්‍යාපාරයට ජාතික මතවාද නැතිවීමත් සමග එයට ඊනියා ජාත්‍යන්තරවාදී මතවාද රිංග වීමට ඇතැම්හු උත්සාහ ගනිති. අද ජාතික ව්‍යාපාරයට ඇති ප්‍රධාන ම තර්ජනය මේ ජාත්‍යන්තරවාදී මතවාද බව අවධාරණය කළ යුතු ය. ජාතික මතවාදීන් ජාත්‍යන්තරය අමතක කරන පිරිසක් බවට අද ජාත්‍යන්තරවාදීන්ගෙන් චෝදනාවක් එල්ල වීම මගින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තරවාදීන්ගේ බංකොළොත් බව මිස වෙනත් කරුණක් නො වෙයි. මේ ජාත්‍යන්තරවාදීන්ට අවශ්‍ය ජාත්‍යන්තරකරණය සඳහා වූ ජාතික ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ජාතික ව්‍යාපාරයෙහි ජාතිකවාදී මතවලට ඉඩක් නැති වුවත් ජනතාව අතර ඒ මත වෙනදාටත් වඩා පැතිර යමින් පවතියි.

අද ජාතික ව්‍යාපාරය මොඩ් කිරීමට ඇතැමුන් කතා කරන අතර තවත් අය ස්මාට් දේශප්‍රේමීත්වයක් ගැන නන්දොඩවති. ඔවුහු ඉතාලියානු කොමියුනිස්ට්වාදියකු වූ ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්පයක් වූ ඓන්ද්‍රිය බුද්ධිමතුන් යන්න ද ඉදිරිපත් කරති. ග්‍රාම්ස්කිගේ සංකල්ප තබා මාක්ස්ගේ සංකල්පවත් වලංගු නොවන කල මේ කතා හුදෙක් තම බුද්ධිමය හිස් බව වසා ගැනීමට කරන කතා වෙයි. අනෙක් අතට මේ ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවා ඔවුන්ට ඇමතිකම් ලබා දීමේ තැතක් ස්මාට් බුද්ධිමතුන් කතාව පිටුපස ඇති බවත් විධායක ජනාධිපති ක්‍රමය තබා ගෙන ඊනියා ඓන්ද්‍රිය බුද්ධිමතුන් ද සහභාගි කර ගෙන ආණ්ඩු කිරීමකට ලක ලැහැස්තියක් ඇති බවත් පැහැදිලි ය. මොන තරම් පාරිභාෂික වචන කතා කළත් අවසාන අරමුණ තානාපතිකම් ඇමතිකම් හෝ වෙනත් තනතුරු ලබා ගැනීම බව සැඟවිය නො හැකි ය.

මේ ඓන්ද්‍රිය බුද්ධිමතුන්ට අනුව අද මෙරට ජාත්‍යන්තර ගරුත්වය පිළිබඳ ව ඇත්තේ ඉතාමත් පහත් මට්ටමක ය. ගරුත්වය ඉහළ යෑම පහළ යෑම යන චක්‍රයෙන් මිදීමට බුදුන් වහන්සේ දේශනා කළ ආකාරයට චක්‍රයෙන් ඉවත් විය යුතු යැයි ඔවුහු කියති. ඔවුන්ට අවශ්‍ය චක්‍රයෙන් ඉවත් වී ගරුත්වය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑමටයි. ස්මාට් බුද්ධිමතුන්ට ඇත්තේ ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි මනසක් බව පැහැදිලියි. බුදුන්් වහන්සේ චක්‍රයෙන් ඉවත්වීමක් ගැන දේශනා කෙළේ පටිච්ච සමුප්පදාය ආශ්‍රිතවයි. පටිච්ච සමුප්පදාය ග්‍රාම්ස්කිගේ කසිකබල් සංකල්ප තේරුම් ගත් පමණින් තේරුම් ගැනීමට නොහැකි බව ස්මාට් බුද්ධිමතුන්ගේ බුද්ධියට නොවැටහීම ගැන අපි කුමක් කරමු ද? බුදුන් වහන්සේ චක්‍රයෙන් ඉවත් වීම යනුවෙන් අදහස් කෙළේ චක්‍රයෙහි උඩට යෑමක් නොවන බව ජාත්‍යන්තරවාදී ස්මාට් බුද්ධිමතුන් තේරුම් ගන්නේ කෙසේ ද? ස්මාට් බුද්ධිමතුන් වචනවලින් දමා ගසා රවටන්න උත්සාහ කරන්නේ කවුරුන් ද?රාජපක්‍ෂවරුන් ද?

ස්මාට් බුද්ධිමතුන්ට රැවටිය හැක්කේ ස්මාට් බුද්ධිමතුන් පමණයි. ඔවුන්ට ජාතිකවාදීන් රැවටීමට නො හැකියි. ඒ ගැන අපට කිසිම චකිතයක් නැති බව අවධාරණය කරමු. අපට අවශ්‍ය වන්නේ ස්මාට් බුද්ධිමතුනට රැවටෙන්න හැකි අයට කරුණක් දෙකක් මතක් කිරීම පමණයි. ජාතිකවාදය මොඩ් කිරීමට හෝ ස්මාට් දේශප්‍රේමයකට යටකිරීමට හෝ අවශ්‍ය නැත. එමෙන් ම එය කළ හැක්කක් ද නො වෙයි. ජාතිකවාදීන් ජාත්‍යන්තර තත්වයන් නොසලකා හරින ළිංමැඩියන් පිරිසක් නොවන බව ප්‍රකාශ කළ යුතු ය. ජාත්‍යන්තර දේශපාලනය තේරුම් ගැනීමට දේශපාලන විද්‍යාව හැදෑරීම අනිවාර්ය හෝ ප්‍රමාණවත් හෝ අවශ්‍යතාවක් නො වෙයි. වරක් එක්තරා දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකුට ගැමියකු කීවේ මහාචාර්යවරයා දේශපාලන විද්‍යාව දැන සිටිය හැකි නමුත් දේශපාලනය නොදන්නා බවයි!

ජාත්‍යන්තර බල ගැන අපි දනිමු. කිසිම රටක් ලෝකයේ තනිව නොපවතින බව ඈත අතීතයේ සිට ම දේශපාලනයේ රාජ්‍ය පාලනයේ සිටි කවුරුත් දැන සිටි කරුණක් බව නොදන්නේ කවු ද? වත්මන් ලෝක දේශපාලනය ගැන මතවාද, සංකල්ප, ප්‍රවාද ඉදිරිපත් කළ හැක්කේ බටහිර දේශපාලන විද්‍යාඥයන්ට පමණක් නො වෙයි. ජාතිකවාදීන්ට ජාත්‍යන්තර දේශපාලනය ගැන පමණක් නොව දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය ගැනත් සංකල්ප, ප්‍රවාද නිර්මාණය කළ හැකි බව විශ්වවිද්‍යාල ආශ්‍රිත ඊනියා දාර්ශනිකයන් නොදන්නවා විය හැකියි. මෙරට දර්ශන අධ්‍යයන අංශවලින් නිර්මාණය වී ඇති සංකල්පයක් නැති බව කිව යුතුයි. එය දර්ශන අධ්‍යයන අංශවලට පමණක් නොව අනෙක් අධ්‍යයන අංශවලටත් පොදු වීමට හේතුව අනුකාරකත්වය හා අනුකාරකත්වය පමණයි.


වත්මන් ලෝකය, එය කිනම් නමකින් හැඳින්වුවත් පහළොස්වැනි සියවසෙන් පසුව ඇති වූවක් බව පැහැදිලි ය. එ සඳහා බටහිර විවිධ ප්‍රවාද තිබෙන නමුත් ස්මාට් බුද්ධිමතුන්ට තමන්ගේ ම වූ කිසිම ප්‍රචාදයක් නැති වීම තේරුම් කරන්නේ කෙසේ ද? එයට ඇත්තේ එක ම එක පිළිතුරක් පමණයි. ස්මාට් බුද්ධිමත්තු අනුකාරකයෝ පමණක් ම වෙති. ඔවුන් දන්නේ බටහිරයන්ගේ ප්‍රවාද හා සංකල්ප පුනරුච්චාරණය කිරීම පමණක් බව පැහැදිලියි. එහෙත් මෙරට ජාතිකවාදීන්ට ඔවුන්ගේ ම වූ ප්‍රවාද ඇති බව ඇතැම්හු නො දනිති. අපේ ප්‍රවාද අනුව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ආරම්භය පහළොස්වැනි සියවසේ ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය (මේ පිළිබඳ මා ලියා ඇති ලිපි කාලය වෙබ් අඩවියෙහි පළ වී ඇත) බිහිවිණි. අප මූලික ව පාලනය කෙරුණේ මේ සුපිරිව්‍යුහය විසිනි. එය දේශපාලනික ව පමණක් නොව ආර්ථික ව ද සංස්කෘතික ව ද සිදු කෙරිණි.

ස්මාට් බුද්ධිමත්තු සංස්කෘතික පාලනය සඳහා යොදා ගැනෙන ඉත්තෝ පමණක් වෙති. ඔවුහු බටහිර නිර්මාණය කෙරෙන දැනුම අප මත පටවති. මෙරට විශ්වවිද්‍යාල, ඊනියා පර්යේෂණ ආයතන ආදිය මගින් කෙරෙන්නේ මේ බටහිර දැනුම අප මත බලහත්කාරයෙන් පැටවීම ය. බටහිර දැනුමේ පදනම වන්නේ බටහිර විද්‍යාව ය. ඉනුත් බටහිර භෞතික විද්‍යාව ය. අප බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කී විට සියලු ආකාරවල ස්මාට් බුද්ධිමත්තු පරළ වූහ. එහෙත් ඔවුනට අප ගෙනා තර්ක බිඳීමට නො හැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඔවුන්ට බටහිරින් ප්‍රතිතර්ක සොයා ගැනීමට නො හැකි වීම ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රධාන ආරක්‍ෂකයා වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකාට බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන මාතෘකාව යටතේ විවාදයකට අභියෝග කර ඇති නමුත් ඔහු තවමත් ඒ අභියෝගය පිළිගෙන නොමැති බව කණගාටුවෙන් සඳහන් කරමි. සයිටම් ප්‍රශ්නය අවසන් වූ දිනෙක ඔහු ඒ විවාදයට එළඹෙන්නේ නම් සයිටම් ආයතනයේ ද සහාය ඔහුට ලැබෙනු ඇත. සයිටම් ආයතනයත් අවසාන වශයෙන් ගත්කල බටහිර දැනුමෙහි තවත් දැත්තක් පමණකි.

බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය අද දේශපාලනික ව ද කඩා වැටෙමින් පවතියි. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් ජයග්‍රහණයෙන පෙන්නුම් කෙරෙන්නේ මේ කඩාවැටීම හා බටහිර රටවල ජාතිකත්වයේ නැගීම ය. ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය දාර්ශනික ව කඩා වැටීම ඇරඹී දැන් සියවසකට ආසන්න ය. බටහිර ගණිතයේ ගර්ඩ්ල් ප්‍රමේයයෙන් හා ක්වොන්ටම් භෞතික විද්‍යාවේ අනිශ්චතතා මූලධර්මයෙන් හා ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙන් පෙන්නුම් කෙරෙන්නේ එයයි. අද ජෙනීවාහි ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ හුසේන් කුමරුට බටහිර රටවලින් ද චෝදනා එල්ල වෙයි.

මෙරට ජාතිකවාදීහු ස්මාට් බුද්ධිමතුන්ට වඩා මේ කරුණු අධ්‍යයන කරති. ජාතිකවාදීන්ට ඊනියා ජාත්‍යන්තර බලවේග ගැන මනා වැටහීමක් ඇත. දේශපාලනයේ දී ජාත්‍යන්තර බලපෑම් ඇත්නම් එයට මුහුණ දෙන්නේ කෙසේ දැයි ජාතිකවාදීහු දනිති. ජාත්‍යන්තර සුපිරිව්‍යුහය අදට වඩා බලවත් යුගයක බණ්ඩාරනායක මැතිණිය ජාත්‍යන්තර තෙල් සමාගම් ජනසතු කළා ය. එක්සත් ජාතික පක්‍ෂයෙන් බිහි වූ ව්‍යතිරේකයක් වූ ප්‍රේමදාස මහතා බිරිතානි මහා කොමසාරිස් ග්ලැඩ්ස්ටන් ආපසු ඔහුගේත් ස්මාට් බුද්ධිමතුන්ගේත් ආධ්‍යාත්මික මාතෘභූමියට යැවී ය. එපමණක් නොව ඔහු නිවට ජේ ආර් ජයවර්ධන අත්සන් කළ ඉන්දු ලංකා ගිිවිසුමේ කුමක් සඳහන් වුවත් ඊනියා සාම සාධක හමුදා ආපසු යැවී ය. ඉතා මෑතක මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර බලවේගවලට යට නොවී ප්‍රභාකරන් පැරදවී ය. එහි දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ලැබුණු සහාය ඉමහත් ය. අද ස්මාට් බුද්ධිමතුන්ට අවශ්‍ය වී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ස්ථාවර දුර්වල කිරීම ය. ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීමේ දී අවශ්‍ය වන්නේ රටේ බහුතරයක් යම් මතයකට එකඟ වීම හා ශක්තිමත් නායකයකු සිටීම මිස ස්මාට් බුද්ධිමතුන්ගේ බටහිර ගැති මතවාදවලට යටවීම නො වෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා මෙන් ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද ස්මාට් බුද්ධිමතුන්ට නොමග යැවිය නොහැකි ශක්තිමත් නායකයෝ වෙති.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/11/2016

වරාය විකිණීම

කතෘ:යුතුකම     12/11/2016   No comments
-නලින් ද සිල්වා-ටික කලකට අර්ජුන රණතුංග නැවතත් ජනමාධ්‍යයේ දැකගන්න පුළුවන්. හම්බන්තොට වරාය චීනයට විකිණීම එක කතාවක්. කොළඹ වරායේ නත්තල් ගහ අනික් කතාව. හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම කොහොමටවත් අනුමත කරන්න බැහැ. ආණ්ඩුව කියාවි විකුණන්නෙ නැහැ බදු දෙනවා විතරයි කියලා. චීන සමාගම චීන රජයට සම්බන්ධයි. බද්ද අවුරුදු අනුනවයකට. චීන සමාගමට 80%ක් හා ලංකා රජයට 20%ක් වශයෙන් වූ සමාගමකට තමයි බදු දෙන්නෙ. චීන සමාගමට 80%ක් තිබෙන නිසා ඒක චීනයට ම අයිතියි, චීන සමාගමට ඕන අන්දමට තමයි වැඩ කෙරෙන්නෙ. අනෙක් අතට අනූනව අවුරුදු බද්දක් කියන්නෙ සින්නක්කර විකුණුවා හා සමානයි. තව අවුරුදු අනූනවයකින් ලෝකයට මොනව වෙයි ද කියලා කවුද දන්නෙ.

මේ ගිවිසුමෙන් පේන්නෙ රට වැටිල තියෙන භායානක තත්වය. අද ආණ්ඩුවට බටහිරින් හරි ඉන්දියාවෙන් හරි ආධාර ලබාගන්න බැහැ. ජාත්‍යන්තරවාදීන් ආධාර කරන්නෙ ආණ්ඩු බිඳ දැමීමට මිස ආණ්ඩු පත්වාගෙන යෑමට නොවෙයි. චීනයට බැණ බැණ හිටපු රනිල්ට හා එ ජා පක්‍ෂයට චීනය අද එකම සරණ බවට පත්වෙලා. අද ආණ්ඩුව පවත්වාගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නෙ රට චීනයට විකුණලා (බදු දීලා). චීන සමාගමට හම්බන්තොටින් අක්කර 15000ක් පමණ බදු දීමට ආණ්ඩුව පොරොන්දු වෙලා. ඒ ඉඩම් සිංහලයන්ගෙ පාරම්පරික ඉඩම්. එතරම් ඉතිහාසයක් නැති වුනත් නගෙනහිර පළාතෙ ඉඩම් බදු දුන්න නම් මේ වන විට මොනව වෙන්න තිබුණ ද? මුස්ලිමුන් රට දෙවනත් කරන්න තිබුණා.

චීන සමාගමට වරාය හා ඉඩම් බදු දීල ආණ්ඩුව මුදල් හොයනවා. ඒකෙන් මිනිස්සුන්ට රස්සාවල් දෙන්න පුළුවන්ලු. මේ රස්සාවල් වැඩි හරිය චීන මිනිස්සුන්ට වෙන්නත් පුළුවන්. කොහොමටත් වෙනත් කාටවත් රස්සා දෙන්න කලින් හම්බන්තොට වරායෙ මෙතෙක් වැඩ කරපු අයට රස්සාවල් ලැබෙන විධියට ගිවිසුමක් අත්සන් කරන්න බැරි වුනේ ඇයි? වරාය සේවකයන්ට දැන් සිද්ධ වෙන්නෙ මුහුදට පනින්න ද? කැබිනට් මණ්ඩලයෙ දි වරාය සේවකයන්ගෙ රැකියා ගැන කතා කරන්න අර්ජුන හැරෙන්න වෙනත් කවුරුන්වත් සිටියෙ නැද්ද? මා අර්ජුන හොඳ මිනිහෙක් කියලා කියන්නෙ නැහැ. ඔහු පහුගිය කාලෙ කර කියපු දේවල් කොහොමටත් අනුමත කරන්න බැහැ.

ආණ්ඩුවලට අනූනව අවුරුදු ගිවිසුම් අත්සන් කරන්න බැරි විධියට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවත් කමක් නැහැ. අවුරුදු අනූනවයක් පවතින විධියට නීති සම්පාදනය කරන එක පහසු නැහැ. ව්‍යවස්ථාව වුනත් අවුරුදු කිහිපයකින් සංශෝධනය කරන්න පුළුවන්. චීනය අපේ මිත්‍රයකු තමයි. ඒ වුනත් මිත්‍රයන්ට කියලා බෙල්ල කප්පවා ගත්තම බෙල්ල නොගැලවී තියෙන්නෙ නැහැ. අක්කර 15000ක් චීන සමාගමකට අවුරුදු අනූනවයකට බදු දීමෙන් සිදුවන දේ ගැන දීර්ඝ කාලීන අනාවැකි කියන්න බැහැ.

චීනයවත් වෙනත් කිසිම රටක්වත් තමන්ට පාඩු කරගෙන අපට ආධාර කරන්නෙ නැහැ. එහෙම ආධාර කරන පරාර්ථකාමී බෝසතුන් හිටියත් බෝසත් රටවල් කියලා රටවල් නැහැ. හැම රටක් ම ඉස්සෙල්ල බලන්නෙ තමන්ට යහපතක් කරගන්න. මෙතන හැම රටක් ම කියන එක වැරදියි කියලා කියන්නත් පුළුවන්. ඒ ඒ රටවල ඉන්න දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්නෙ. අද ලෝකෙ හැදිල තියෙන්නෙ දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන් රට ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන ආකාරයෙන් කටයුතු කරන විධියට. ජාත්‍යන්තරවාදයට පැවැත්මක් තියෙන්නෙ එවිට පමණයි.

ජාත්‍යන්තරවාදය ජාතිකත්වයට විරුද්ධයි. ජාත්‍යන්තරවාදයෙ ඊනියා මනුෂ්‍යත්වයක් ගැන කතාකරන්නෙ ජාතිකත්වය අමතක කරලා පෞද්ගලිකත්වය වර්ධනය කරන්න මිසක් බෝසතුන් බිහි කරන්න නොවෙයි. අද ඇතැම් පෞද්ගලික ව්‍යාපාරිකයන්ට බොහෝ විට රටට හෙන ගහල ගියත් කමක් නැහැ. අපට කියන්න පුළුවන් ජාත්‍යන්තරවාදය, ඊනියා මනුෂ්‍යත්වය කියන්නෙ ආත්මාර්ථකාමී පෞද්ගලිකත්වය වර්ධනය කරන කුහක තක්කඩියන්ගෙ නවාතැන්පොළ කියල. අද ලෝකයෙ ජාතිකත්වයක් පැන නගින්නෙ මේ කුහක ජාත්‍යන්තරවාදයට එරෙහිව.

චීනය කියන්නෙ පැරණි රාජ්‍යයක්. චීනුන් හා සිංහලයන් තමයි ලෝකෙ පැරණි ම ජාතීන්. ජාතිකත්වයට මග පෙන්වන්න ඕනෙ ඒ ජාතීන්. ඒත් ඒක එහෙම වෙන්නෙ නැත්තෙ ඇයි. චීනය අද ලෝකයේ ආර්ථික බලවතෙක් වෙලා. ලංකාව ආර්ථික වශයෙන් දුබලයි. රටවල් දෙක ම දූෂිතයි. චීනයෙ සංස්කෘතික විප්ලවයෙන් පස්සෙ බිහිවෙච්ච දූෂිතයන් පිරිසක් ඉන්නවා. ලංකාවෙත් ඊනියා විවෘත ආර්ථිකයෙන් පස්සෙ බිහිවෙච්ච දූෂිතයන් පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ලන් ම ඊනියා ජාත්‍යන්තරවාදයෙන් බිහි වෙච්ච අය.

හම්බන්තොට වරාය බදුගන්න චීන සමාගම ගැන විස්තරයක් දන්නෙ නැහැ. ඒත් ඒක අර සංස්කෘතික විප්ලවයෙ දෙවැනි පරම්පරාවෙ අයගෙ වෙන්න පුළුවන්. බිහිවෙමින් පවතින ලෝකයෙ තිබෙන ප්‍රශ්නය ජාතික දේශපාලනයක් තිබුණත් ජාතික ආර්ථිකයක් නොමැති වීම. ජාතික ආර්ථිකයක් බිහි කර ගන්න මහන්සි වෙන්න ඕන. ඒක බටහිර ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත අයගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් හොඳ විශ්වවිද්‍යාලවල බොරු උගන්වන්න, ඊනියා පරායේෂණ ආයතනවල බොරු පර්යේෂණ කරන්න විතරයි.

ඒ කොහොම වුනත් චීන සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අවලංගු කරන්න පුළුවන් නම් හොඳයි. ඒකාබද්ධ විපක්‍ෂය ඒ ගැන කියන්නෙ මොකක් ද? ජාත්‍යන්තර ගිවිසුම් අවලංගු කරන එක පහසු දෙයක් නොවෙයි. ගිවිසුම් ඇති කර ගන්න ඉස්සෙල්ල නවත්තන්න ඕන. එට්කා ගිිවිසුමත් තවත් එවැන්නක්. මේ සියළු ගිිවිසුම්වලින් වෙන්නෙ අවසානයේ දී රටේ ස්වාධීනත්වය නැති වෙන එක විතරයි. මේ ආණ්ඩුව දන්නෙ රට කාට කාට හරි විකුණලා තම පැවැත්ම ආරක්‍ෂා කරගන්න පමණයි.

https://www1.kalaya.org
2016 දෙසැම්බර් 10

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/27/2016

ට්‍රම්ප් හමුවෙමු චම්පක පිටුදකිමු

කතෘ:යුතුකම     11/27/2016   No comments
-නලින් ද සිල්වා-

ලෝකය පුරා පැතිරී යන ජාතිකවාදය ගැන දැන් ලංකාවේ බොහෝ දෙනා කතා කරනවා. ජාතිකවාදය ගැන පඬියන් කියන කතා කිහිපයක් ගැන ඊයේ මා සඳහන් කළා. ඒ ගැන පසුව තවදුරටත් කතා කරමු. අදත් ජාතිකවාදය නිසා පැනනගින කරුණු ගැන සඳහන් කරන්න ඕන. එකක් ට්‍රම්ප් ගැන. අනෙක චම්පක රණවක ගැන. මේ කරුණු දෙකක්. දෙන්න අහසට පොළොව වගේ. ඒත් එකම සංසිද්ධියක්, එනම් ජාතිකවාදයක් ඇතිවීම නිසා මතුවන කරුණු දෙකක්.

අද දිවයින පුවත්පතේ පළවන වාර්තාවකට අනුව ට්‍රම්ප් ලංකාව පිළිබඳ මෙතෙක් එක්සත් රාජ්‍ය දැරූ අදහස වෙනස් කරන්න යන බවට ඉඟියක් තිබුණා. ඊනියා ජාත්‍යන්තරවාදී හිලරි ක්ලින්ටන් ජනාධිපතිනිය වුනා නම් ඒ බොරු ජාත්‍යන්තරවාදයේ නාමයෙන් මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය ආදී බොරු සංකල්ප යොදා ගනිමින් රූසියාව සමග යුද්ධයකට පැටළීමට ඉඩ තිබුණා. ඒ වගේ ම ඇය ලංකාවේ දෙමළ ජාතිවාදය තව තවත් පෝෂණය කරමින් රට දෙකඩ කිරීමට පියවර ගැනීමට තිබුණා. රනිල්ලා සම්බන්ධන්ලා ශිවාජිලිංගම්ලා හිටියේ ඇගේ පැත්තේ. ශිවාජිලිංගම් ඇය වෙනුවෙන් පොල් ගැසූ බව අමතක වී තිබෙන්න බැහැ.

ඒකාබද්ධ විපක්‍ෂය හෝ අලුත් පක්‍ෂය වන පොදුජන පෙරමුණ හෝ ට්‍රම්ප් හමුවිය යුතුයි. ඒ ට්‍රම්ප්ට අපේ ප්‍රශ්නයට මැදිහත්වන්න කියන්න නොවෙයි. ප්‍රශ්නයෙන් අයින් වෙලා ඉන්න කියන්න. මෙරට දෙමළ විරෝධී කිසිවක් සිදුවෙලා නැති බවත් සිදු වී ඇත්තේ සිංහල විරෝධී දේ පමණක් බවත් ට්‍රම්ප් දැනගත යුතුයි. ඔවුන්ගේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ට්‍රම්ප්ට විෂ පොවන්න පෙර මේ කටයුත්ත සිදුවිය යුතුයි. සිංහලයන් සැම විට ම කටයුතු කරන්නේ බාලගිරි දෝෂය වගේ. අද නොවෙයි හෙට යන්නයි සිංහලයන්ගෙ ප්‍රතිපත්තිය. හෙට ප්‍රමද වැඩියි යන්න මත පිහිටා අප කටයුතු කළ යුතුයි.

දෙමළ හා මුස්ලිම් ජනයා මෙරටට පැමිණියේ දහහතරවැනි සියවසෙන් පසුව බව ට්‍රම්ප්ට කිව යුතුයි. ඔවුන් මෙරට සංස්කෘතියට ගරු කරන්න තවමත් පුරුදු වී නැතිවා පමණක් නොව මෙරට ඉතිහාසය අමතක කරමින් සිංහල සංස්කෘතියට විශේෂ තැනක් දීම වරදක් ලෙස සලකන බවත් අප කියා සිටිය යුතුයි. ට්‍රම්ප් කළ යුත්තේ අපේ ප්‍රශ්නයට මැදිහත් නොවී සිටීම පමණක් නොවෙයි. මෙතෙක් ක්ලින්ටන්ලා ඔබාමාලා යටතේ සිදු වී ඇති දේත් නිෂේධ කිරීමට පියවර ගත යුතුයි. එහි පළමු හා ප්‍රධාන පියවරක් විය යුත්තේ රනිල් මෛත්‍රිපාල සම්බන්ධන් ආණ්ඩුවේ අනුග්‍රහයද ඇතිව රාජ්‍ය දෙපාර්තමේන්තුව මැදිහත් වී ඉදිරිපත් කළ ජෙනීවා යෝජනා ඉල්ලා අස්කර ගැනීමයි. මෙරට කිසිම ආකාරයක දෙමළ සංහාරයක් සිදු වී නැති බවට හොඳම උදාහරණ විපක්‍ෂ නායක හා අගවිනිසුරු දෙමළ ජනවාර්ගිකයන් වීමයි. විග්නේස්වරන් හිටපු විනිසුරුවකු වීමයි.

මෙරට ජාතික ව්‍යාපාරය ගැමුණු රජු දවසේ සිට තිබුණත් ඉංගිරිසින්ට විරුද්ධව ජාතික ව්‍යාපාරය ඇරඹුණේ 1817-18 වෙල්ලස්ස සටන සමගින්. එය ක්‍රමයෙන් විකාශය වී අනගාරික ධර්මපාලතුමා මගින් පනස්හය දක්වා වර්ධනය වුනා. බණ්ඩාරනායක මැතිණිය ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කළා. 1977 ජේ ආර් බලයට පත්වීමෙන් පසුව ජාතිකත්වයට පහර දුන්නා. සිංහල විරෝධී කසිකබල් අනුකාරක සංස්කෘතියකට රට විවෘත කෙළේ ජේ ආර්. ඔහු ගැන යම රජු ක්‍රියා කරනු නිසැකයි. සිංහල බෞද්ධ සංස්කෘතියට හා හින්දු සංස්කෘතියට අභියෝග කරමින් කාලෝ ෆොන්සේකා ගිනි පෑගුවේ හැත්තැවේ දශකයේ මුල. ඔහු අඩුම තරමෙන් තමන් අනුගමනය කරන්නේ ය කියන ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයවත් එහි දී අනුගමනය කෙළේ නැහැ. ඔහු ආධ්‍යාත්මික බලයෙන් ගිනි පෑගිය නොහැකි බව පෙන්වා සිටියේත් නැහැ. මේ සියල්ල 1977 දී ජේ ආර් නම් දේශීය සංස්කෘතික විරෝධියා බලයට පත්කිරීමට උපකාරි වුනා. අද වන විට ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන පඬියන් කතරගම දෙවියන්ගේ බහුභාර්යා සේවනයක් ගැන කතාකරමින් ඒ දෙවියන්ට අපහාස කරනවා. ඔවුන්ට ජාතිවාදී ලේබල ඇලවෙන්නේ නැහැ.

කෙසේ වෙතත් වත්මන් ජාතික ව්‍යාපාරය ජේ ආර්ගේ ප්‍රතිපත්තිවලට විරුද්ධව ඇරඹුණු එකක්. අසූ ගණන්වල මුල එහි බීජ දකින්නට පුළුවන්. ජ වි පෙ ස්ථිර ජාතිකත්වයක හිටියේ නැහැ. විජේවීරගේ සිට එය මාක්ස්වාදය හා ජාතිකත්වය අතර දෝලනය වුනා. චම්පක පාසල් වියේ දී ජ වි පෙ අනුගාමිකයෙක්. ඔහු එහි ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක්. විශ්වවිද්‍යාලයට පැමීණීමෙන් පසුව ඔහු ජාතික මතවාදවලට තල්ලු වුනා. එහෙත් ඔහුගේ ජ වි පෙ දෝලනය ගිලිහුණේ න3හැ. 1994 මැතිවරණයේ දී ඔහු චන්ද්‍රිකා වෙනුවෙන් පමණක් නොව මංගල සමරවීර වෙනුවෙන් මාතර පැල්බැඳගෙන වැඩ කළා. ඔහු රතන හිමි මංගල සමග එකතු වී රටවැසි පෙරමුණ නමින් රට බෙදන ව්‍යාපාරයක් ආරම්භ කළා. ජනතා මිතුරෝ කාලයේ ඊනියා යුද්ධයට එරෙහිව කොළඹ පෝස්ටර ඇලෙවුවා.

ඔහු නොම්මර එකේ අවස්ථාවාදියෙක්. ඩී එස් සේනානායක විදුහලේ සිසුන් ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහු ජාතිකත්වයට ඉල්ලුමක් තිබෙන බව කියමින් නැවතත් ජාතික ව්‍යාපාරයට ආවා. භික්‍ෂූන් වහන්සේගේ කරපිටින් පාර්ලිමේන්තු ගියා. අද ඔහු එක්සත් ජාතික පෙරමුණු හරහා රනිල්ගේ ඇමතිවරයකු වී සිටිනවා. ලංකාවේ ඇති වු ජාතිකත්වය අනෙක් රටවලට ඉගෙන ගන්න පුළුවන්. එහි දී ඔවුන් ඉගෙන ගත යුතු ප්‍රධාන ම කරුණක් වනනේ චම්පක වැනි අවස්ථාවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීමට කටයුතු කිරීමයි. ජාතිකත්වයට ද්‍රෝහි වී දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති චම්පක දැන් නැවතත් ලෝක ජාතිකත්ව ගැන කතාකරමින් නැවත ජාතික ව්‍යාපාරයට ඒමට උත්සාහ කරනවා. ජනතාව රැවටීමට ඔහුට කිසිම ඉඩක් දිය යුතු නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තුවට ට්‍රම්ප් රැවටීමටත් ඉඩ දිය යුතු නැහැ.

https://www1.kalaya.org : 2016 නොවැම්බර් 26

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/31/2016

ජ වි පෙ රනිල් රකියි

කතෘ:යුතුකම     10/31/2016   No comments
-නලින් ද සිල්වා-මට කළ හැකි දේ සීමිතයි. ජනමාධ්‍යයෙන් මට තැනක් ලැබෙන්නේ නැහැ. ඔවුන් වෙනත් අයගේ තීරු ලිපි සතිපතා පළ කරන නමුත් මගේ ලිපි පළ කරන්නේ ඔවුන්ගේ අභිමතය පරිදියි. මේ ආණ්ඩුව බලයට පත් කරනු ලැබුයේ ජ වි පෙ විසින් නොවුනත් ඒ සඳහා ඔවුන් දරදිය ඇද්දා. සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටුවේ සභාපති ලෙස පත්කෙරුණේ රනිල් ඔහු ගැන විශ්වාසයක් තැබූ බැවින්. ඊයේ පෙරේදාත් රනිල් පාර්ලිමේන්තුවේ දී කෝප් සභාපති ගැන තම විශ්වාසය පළ කළා. සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළ වාර්තාවෙන් රනිල් රැකගෙන තිබෙනවා.

මා මෙසේ කී විට ජ වි පෙ අනුගාමිකයන්ට හා හිතවතුන්ට කේන්ති යනවා. ඒ ස්වාභාවිකයි. ඔවුන්ට නායකයන් ගැන ඇත්තේ ලොකු විශ්වාසයක්. ජ වි පෙ හා එ ජා ප වැඩ කරන්නේ යම් අවබෝධයකින්. ඔවුන්ගේ බොරු බැණ ගැනීම්වලින් අප රැවටෙන්න හොඳ නැහැ. අද බොහෝ දෙනාට අමතක වුනත් මහබැංකු බැඳුම්කර ගැන සකස් වූ තවත් වාර්තාවක් තියෙනවා. එය අතුරු වාර්තාවක් පමණක් යැයි කෙනකුට කියන්න පුළුවන්. එය සකස්් කෙරුණේ එකල කෝප් කමිටු සභාපති ඩිව් ගුණසේකර විසින්. ඒ කෝප් කමිටුවට අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එය ඉදිරිපත් කිරීමට බලාපොෙැරාත්තු වී ඇත්තේ 2015 ජූනි 26 වැනි දා. එහෙත් එදින ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා. එබැවින් අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බැරිවුණා. ඒ නිසා අතුරු වාර්තාව පළ වූයේත් නැහැ.

2015 ජූලි 14 වැනි දින හරි ඒ කිට්ටුව හරි පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවක දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා ඇත්තේ මහා බැංකු බැඳුම්කර මත පදනම් ව අගමැතිට එරෙහිව ගෙනෙන විශ්වාස භංග යෝජනාවක් ජයගැනීමට ඉඩ තිබුණු බැවින් තමා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බවයි. ජනාධිපති තවදුරටත් කියා ඇත්තේ මහා බැංකු අධිපති ඉල්ලා අස්වන යුතු බවට තමා අගමැතිට අවවාද කළ බවයි. එහෙත් අගමැති ඒ අවවාද පිළිගෙන නැති බවත් පැහැදිලියි.

රජිව් විජේසිංහ ද ඒ අවධියේ කෝප් කමිටු සාමාජිකයෙක් වූවා. රජිව් විජේසිංහ එකල ද කියා ඇත්තේ මහා බැංකු අධිපති අගමැතිගේ කීම මත කටයුතු කළ බවයි. ඒ බව පසුගිය දා කෝප් කමිටුව ඉදිරියේ සාක්‍ෂි දුන් අර්ජුන් මහේන්ද්‍රන් ද පවසා තිබෙනවා. මා මේ සියල්ල කියන්නේ මාධ්‍ය වාර්තා මත පදනම් වෙමින්. ඒ වාර්තා අභියෝගයට ලක් කෙරී නැහැ. ඩිව් ගුණසේකර ඉදිරිපත් කිරීමට සිටි අතුරු වාර්තාව පුවත්පතකවත් පළ වූයේ නැහැ. එහි ඇත්තේ කුමක් දැයි මා දන්නේ නැහැ. විශ්වාසභංග කතාව කියා ඇත්තේ ජනාධිපතියි. මා 2015 ජූලි අග ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට ගියේ වාර්තාව පළකරවා ගැනීමට අතුරු නියෝගයක් ලබා ගැනීමටයි. තවමත් නඩුව විභාග වන බැවින් මා ඒ ගැන වෙනත් කිසිවක් කියන්නේ නැහැ. මට ඩිව් ගුණසේකර සමග පෞද්ගලික හෝ දේශපාලන හෝ සම්බන්ධයක් ඇත්තේත් නැහැ. මා ඔහුගේ සිංහල විරෝධී දේශපාලනයට විරුද්ධයි.

සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ රනිල් ගැන කිසිවක් කියැවෙන්නේ නැහැ. තමාට ඒ අයුරින් ක්‍රියා කිරීමට කිවුවේ අගමැති යැයි අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට පවසන විට හඳුන්නෙත්ති වාර්තාවේ අගමැති ගැන සඳහන් නොවන්නේ ඇයි? මහේන්ද්‍රන් තම ගැලවීම සඳහා බොරු කීවේ ද? මහේන්ද්‍රන්ට විරුද්ධව ඔහු කමිටුවට බොරු කී බවට චෝදනාවක් ඉදිරිපත් වී නැහැ. කමිටුව මහේන්ද්‍රන් කී දේ පිළිගෙන තිබෙනවා. හඳුන්නෙත්ති කමිටුව ඩිව් ගුණසේකර කමිටුවේ සිදු වූ දෑ සලකා බැලුවේ නැද්ද? එසේ කිරීම අනිවාර්ය නොවනවා විය හැකියි. එහෙත් ඒ ගැන සොයා බලන්න තිබුණා. විශේෂයෙන් ම ජනාධිපති විශ්වාසභංග කතාවක් කියා තිබිය දී.

රජිව් විජේසිංහ මාස කිහිපයකට පෙර කියා තිබුණේ බැඳුම්කරවලින් උපයාගත් මුදල් විශාල වශයෙන් එ ජා ප මැතිවරණ අරමුදලට බැර වූ බවයි. රජිව් විජේසිංහට විරුද්ධව එ ජා පක්‍ෂය නීති මගින් කිසිවක් කර නැහැ. ඔහු කියන දේ ඇත්ත යැයි පිළිගැනීමට අපට සිදුවෙනචා. එය එසේ නම් කර ඇත්තේ මහා දූෂණයක්. එය ඉදිරියේ සිල් රෙදි කතා හිරු දුටු කදෝපැණියන් බවට පත්වෙනවා.

ජ වි පෙ නටන නාඩගම කුමක් ද? අනුර දිසානායක පේන අහලා තියෙන්නෙ කාගෙන් ද? එ ජා පක්‍ෂය 2015 අගේාස්තු මැතිවරණයට වියදම් කෙළේ බැඳුම්කර මුදල් ද? අගෝස්තු මැතිවරණයට පෙර රනිල් අගමැති වූයේ පික්පොකට් ගසා නො වේ ද? ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රශ්නයේ මුළට යන්නේ නැත්තේ ඇයි? මහා බැංකු කොල්ලයේ රනිල් භූමිකාව කුමක් ද? ඔහු දිගින් දිගට ම අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටියේ ඇයි? අර්ජුන් මහේන්ද්‍රන් වැනි විදේශිකයකු හා කොල්ලකරුවකු වීමට හැකි අයකු මහා බැංකු අධිපති ලෙස පත්කිරීමෙන්වත් රනිල් වරදක් කර නැද්ද? රනිල්ගේ විනිශ්චය අගමැතිවරයකුට තරම් වේ ද? රජිව් විජේසිංහ කියන ආකාරයට රනිල් ඊටත් වඩා වරදක් කර ඇද්ද? සංධානය මැතිවරණයේ දී පරාජය වීමට මහා බැංකු සල්ලිත් උදවු වුනා ද?


kalaya : 2016 ඔක්තෝම්බර් 30

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook https://www.facebook.com/yuthukama

10/29/2016

කෝප් වාර්තාවෙන් රනිල් නිදහස්

කතෘ:යුතුකම     10/29/2016   No comments

-නලින් ද සිල්වා-කවුරුත් පාහේ බලා සිටි කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා. එහි විස්තර දැනගැනීමට නැහැ. අර්ජූන් මහේන්ද්‍රන්් හා අදාළ මහා බැංකු නිලධාරීන් ද ඇලෝෂියස් බෑණාගේ සමාගම ද වරදකරුවන් කෙරිලා. ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිර්දේශ කරලා. එ ජා ප මන්ත්‍රීවරුන් නිර්දේශවලට එකඟ වන අතර පාද සටහන් එකතු කරලා. ඒ පාද සටහන් යනු පාද ඇදීම් හෙවත් කකුලෙන් ඇදීම් පමණයි. එයින් නිර්දේශවල සැර බාල වී ඇතැයි සිතන්න පුළුවන්.

වාර්තාව දකින්නෙ නැතිව නිශ්චිත ව යමක් කියන්න අමාරුයි. ඇතැමුන් කියන විධියට පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් කෙරී ඇත්තේ විගණකාධිපති වාර්තාවට එරෙහිව. ඒවා තාක්‍ෂණික යැයි එ ජා ප මන්ත්‍රීවරු කියනවා. විගණකාධිපති හෑල්ලු කෙරී ඇති බව කියන කතාවලින් තේරෙනවා. එතුමා බුදුහාමුදුරුවන් නොවන බව එ ජා ප මන්ත්‍රීවරයකුට මතක් වෙලා. ඉතා පැහැදිලිව යම් ගණුදෙනුවක් වාර්තාව සම්බන්ධයෙන් ද සිදුවෙලා තියෙනවා. බැංකු හොර ගණුදෙනුව තවත් ගණුදෙනුවකට මග පාදලා. අප අමතක නොකළ යුතු කරුණ නම් මේ ලංකාවේ සිදු වූ විශාලතම බැංකු මංකොල්ලය බව. ඒ කොල්ලය රටේ ජාතික දළ නිෂ්පාදිතයෙන් 25%ක් වෙනවලු

අර්ජූන් මහේන්ද්‍රන් සිංගප්පූරු රටවැසියෙක්. ඔහු සිංගප්පූරුවට ගිහිල්ලා. ඔහු ආවත් නැතත් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කෙරෙන්නේ කාට ද? කවුරුන් විසින් ද? වාර්තාව පාර්ලිමේන්තුව විසින් කොයි ආකාරයකට පිළිගැනේවි ද? ඇලෝෂියස් බෑණා අදාළ සමාගමේ අධ්‍යක්‍ෂ කෙනෙක් නො වෙයිලු. විගණකාධිපතිට විරුද්ධව නඩු දැමීමට බැරි ද? අර පාද සටහන් හෙවත් කකුලෙන් ඇදීම් මත පදනම් වෙලා පාර්ලිමේන්තුව කෙසේ ක්‍රියා කරයි ද?

කෝප් වාර්තාව පාද සටහන් ඇතිව හෝ නැතිව හෝ ඇස්බැන්දුමක.් ඒ වාර්තාව ගැන ජනාධිපති කොමිසමක් ඉල්ලන එක ජනමාධ්‍යයට හොඳයි. තව තවත් පුවත් නිර්මාණය කරන්න එයින් ඉඩක් ලැබෙනවා. තව තවත් ටෙලිනාට්‍ය පුවත් වේශයෙන් අපට නරඹන්න පුළුවන්. කොහොමත් වාර්තාවට අනුව මූලික වැරුද්ද කර ඇත්තේ රනිල්. ඔහු තමයි අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙළේ. කෝප් කමිටුව කියනවා නම් මහේන්ද්‍රන් වරදකරුවකු කියා ඔහු පත්කර දිගින් දිගට ම ඔහු ආරක්‍ෂා කිරීමට කටයුුතු කළ රනිල් ඉල්ලා අස්විය යුතුයි. මෙවැනි මංකොල්ලයක් කළා යැයි කියන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමෙන් රනිල්ගේ විනිශ්චය වැරදි බව පෙනී යනවා. විනිශ්චය සම්බන්ධයෙන් එවැනි වරදක් කළ රනිල් ලංකාවේ අගමැති කමට කිසිසේත් ම සුදුසු නැහැ. අර්ජුන් හා බෑණා ගැන පරික්‍ෂණ කළ යුත්තේ රනිල් අගමැති ව සිටිය දී නොවෙයි. රනිල් අගමැති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කර තිබෙනවා. ජනාධිපති රනිල්ට අස්වීමට බල කළ යුතුයි. නීතියෙන් ඉඩක් වේ නම් ඔහු අස්කළ යුතුයි.


අර්ජුන් මහේන්ද්‍රන් කෝප් කමිටුව හමුවට පැමිණ තමා එසේ කෙළේ අගමැතිගේ කීමට යැයි කී බව වාර්තා වුනා. ඒ ඇත්ත නම් ඉන් කියැවෙන්නේ රනිල් ප්‍රධාන වැරදිකරුවා බවයි. කෝප් වාර්තාවෙන් රනිල් ගැන කියැවෙන බවක් ආරංචි නැහැ. එසේ වන්නේ කෙසේ ද? මෙය යම් ගණුදෙනුවක ප්‍රතිඵලයක් ද? එ ජා ප මන්ත්‍රීවරුන් පාද සටහන් සහිතව නමුත් වාර්තාවට අත්සන් කෙළේ රනිල් නිදහස් කෙරුණු නිසා ද? පරමාධිපත්‍යය ඇත්තේ මහජනයාට නම් ඔවුන්ගේ නියෝජිතයන්ට ඔවුන්ගෙන් (ජනතාවගෙන්) කරුණු වසන් කිරීමට ඇති අයිතිය කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය කෝප් කමිටුවේ නියෝජනය කරන මන්ත්‍රීවරයාට, මන්ත්‍රීවරුන්ට මේ සියල්ල මහාජනයාට හෙළි කිරීමට හැකි විය යුතුයි. මෙය සෑඟවීම ඊනියා සදාචාරය නම් අපට සදාචාරයෙන් වැඩක් නැහැ. මෙයට කලින් මේ සම්බන්ධ වාර්තාවක් ඩිව් ගුණසේකර කෝප් කමිටුවෙ සභාපති කාලෙ ඉදිරිපත් වුනා. ඒ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලා 2015 ජූලි මාසයේ පමණ මා ශ්‍රෙෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. බොහෝ දෙනා ඒ ගැන දන්නෙ නැහැ. සුපුරුදු පරිදි ජනමාධ්‍ය එයට ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳ නඩු තීන්දුව තවමත් නැහෑ!


මේ ආණ්ඩුව බලයට පත්කෙරුණේ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමට කියා කියනවා. මහා බැංකු කොල්ලයට වඩා දරුණු කොල්ලයක් මෙරට සිදු වී නැහැ. රනිල් ගැන විශේෂ පරීක්‍ෂණයක් අවශ්‍ය වෙනවා. ටික කලකට ඉහත ඔහුගේ නැන්දාගේ පුතා වන රජිව් විජේසිිංහ කියා සිටියේ ඇලෝෂියස් බෑණා කොල්ල මුදල්වලින් විශාල ප්‍රමාණයක් එ ජා ප මැතිවරණ අරමුදලට බැර කර බවයි. ඒ ප්‍රකාශය වෙනත් ප්‍රකාශ වගේ ම යට ගියා. ජනමාධ්‍ය එයට නිසි ප්‍රචාරයක් ලබා දුන්නේ නැහැ. අද සියල්ලන්ට ම පාහේ ඒ සිද්ධිය, එනම් රජිව් එසේ ප්‍රකාශ කළ බව අමතක වෙලා.

රාජපක්‍ෂලාට විරුද්ධව ඇති එක් චෝදනාවක් නම් මහජන මුදල් මැතිවරණ ව්‍යාපාරයට යොදා ගැනීම. රජිව් කලක් කෝප් කමිටුවේ සාමාජිකයකු වෙලා හිටියා. කෝප් කමිටුවට ඔහු කැඳවන්න බැහැ. එහෙත් ඔහුගේ ප්‍රකාශය ඉතා වැදගත්. රනිල් බැංකු කොල්ලයේ මුදල් එ ජා ප මැතිවරණ ව්‍යාපාරයට යෙදා ගත්තේ ද? බැංකු කොල්ලය කෙළේ ම 2015 අගොස්තු මැතිවරණය සඳහා එ ජා පක්‍ෂයට අරමුදල් සපයා ගැනීමට ද? අපට මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුයි.

මේ ආණ්ඩුව පත් කෙළේ බටහිරයන් හා ඉන්දියාව වුවත් ජ වි පෙ, දෙමළ ජාතික සංධානය, මුස්ලිම් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය ආදී පක්‍ෂ බටහිරයන් හෝ ඉන්දියාව හෝ වෙනුවෙන් කටයුතු කළා. මහින්ද හොරා හොරා කියා වැඩියෙන් ම කෑ ගැසුවේ ඒ පක්‍ෂ. කෝප් කමිටු වාරාතාවක් ඉදිරිපත් කළ පමණින් ඔවුන්ගේ පවු සමා වන්නේ නැහැ. බැංකු කොල්ලයට සෘජුව නැතත් ඔවුන් වක්‍රව හවුල්. මෙි සියල්ල කුඩා ළමුන්ගේ හොරා පොලිස් සෙල්ලමක් පමණක් ද?

KALAYA : 2016 ඔක්තෝම්බර් 29

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

10/26/2016

අසමජ්ජාති ආණ්ඩුව

කතෘ:යුතුකම     10/26/2016   No comments
-නලින් ද සිල්වා-පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල් සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි. පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්.

පහුගිය ආණ්ඩුව කාලෙ ඊනියා සංහිඳියාවක් ගැන මහහඬින් කතා කෙළෙ නැතිවුනාට උතුරු පළාත සංසුන්ව තිබුණා. මිනිසුන් බය නැතිව එහෙ මෙහෙ ගියා. මහින්ද රාජපක්‍ෂ කරපු ප්‍රධාන ම දේ තමයි රටවැසියන්ට අභයදානය දීම. අභයදානය කියන්නෙ ජීවිතදානය පමණක් නොවෙයි. අභයදීමක්. ඒ කියන්නෙ භය නොමැතිව ජීවත්වීම දානය කිරීම. එය මුළු රටට ම දුන් දානයක්. වැඩියෙන් ම අභයදානය ලැබුණෙ උතුරු පළාතෙ ජනයාට. අද නැවතත් දෙමළ ත්‍රස්තවාදී බය රටේ පැතිරෙන්න පටන් අරන්. දෙමළ ත්‍රස්තවාදය විනාශ කරන්න හමුදාවට පුළුවන්. ඒත් ඒක කරන්න ඉඩ තියන්න ආණ්ඩුව සූදානම් නැහැ. ආණ්ඩුව හමුදාව විනාශ කරනවා. බුද්ධි අංශය හිර කරනවා.

සුදු වෑන් කතාව තාම ඔප්පු කරලා නැහැ. ඒ කාලෙ පොලිස් වෙඩි තැබීමක් වුනොත් වැරදිකාරයා ආණ්ඩුව. ඉනුත් ජනාධිපති. එදා හමුදා පොලිස් වෙඩි පහරින් කී දෙනකු මැරිලා තියෙනව ද? ආණ්ඩුව පාතාලයත් නැති කිරීමට පියවර ගෙන තිබුණා. කොටින් කියනව නම් ආණ්ඩුව මිනිසුන්ගෙ බය නැති කරන්න සමත් වෙලා තිබුණා. මෙයට අමතර ව යම් ආකාරයක සංවර්ධනයක් තිබුණා. එහි අරමුණ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඊළඟ පියවර වෙන්න තිබුණෙ නිෂ්පාදනය වැඩි කිරීම. කෘෂිකාර්මික මෙන් ම කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම. පහුගිය ආණ්ඩුවෙ දුර්වලකම් නොතිබුණා නොවෙයි. ඒත් ඒක නිසා පහුගිය ආණ්ඩුව බටහිරයන් හා ඔවුන්ගෙ මෙරට ගෝලබාලයන් කිවුව විධියට අසමත් ආණ්ඩුවක් වුනෙ නැහැ. අභයදානයට ලකුණු කීයක් දෙනව ද? පහුගිය ආණ්ඩුවට විශිෂ්ට සාමාර්ථයක් නොදුන්නත් සම්මාන සාමාර්ථයක් දීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අප ලකුණු දෙන්නෙ බටහිරයන්ට ඕන විධියට ඔවුන්ගෙ ලකුණු දීමේ පටිපාටියකට අනුව නොවෙයි. බටහිර නිර්ණායක හා ලකුණු දීමේ පටිපාටිය වෙනස් කරමු.

දැන් රනිල්ගෙ ආණ්ඩුවෙ ප්‍රගති වාර්තාව කොහොම ද? මා මෛත්‍රිපාලගෙ ආණ්ඩුව කියලා කියන්නෙ නැත්තෙ එහෙම එකක් නැති නිසා. අද උතුරු පළාතෙ හර්තාල්. සිලාවතුරෙ නාවික හමුදා භටයන්ට පහර දීලා. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි වෙලා. කෝ මේ ඊනියා සංහිඳියාව? ආවා කණ්ඩායම තමන් පොලීසීයට පහරදුන් බව කියමින් යාපනේ පත්‍රිකා බෙදනවා. අගමැති ආවා ගියා කිය කිය විහිළු කරනවා. ඔහු විහිළු කරන්නෙ සිංහලයන්ට. ඔහු සිංහල විරෝධියෙක්. ආණ්ඩුවේ බලධාරීන් විවෘත කරන එක නම් ඇත්ත. ඒත් ඒ ගිය ආණ්ඩුවෙ වැඩ. අද දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් ආගමික අන්තවාදීන් පොලීසියට බලන් ඉන්දැද්දි ගහනවා. ආණ්ඩුව නීතිය හා සාමය රකිනවා කියනවා. නීතිය හා සාමය රකින්නෙ සිංහල විරෝධීන් ලවා නීතිය රැකීමට සිටින පොලිස් නිලධාරීන්ට ගන්න ඉඩ දීල ද? කිලිනොච්චියෙත් පොලීසියට ගහලා. නීතිය නවන පොලිස්පති මොකද කියන්නෙ? යාපන තරුණයන් උසිගන්නන්නෙ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්. ඔවුන් වැඩි හරියක් ඉන්නෙ දෙමළ ජාතික සංධානයෙ. ප්‍රභාකරන් බිහිවුණෙ රාමනාදන්ලගෙ අරුණාශලම්ලගේ දේශපාලනයෙන්. අද ඔවුන්ගෙ ඥාති මුණුබුරා විග්නේස්වරන් ඊළඟ ප්‍රභාකරන් බිහිකරන්න හදනවා.

ආණ්ඩුව අර්ජුන් මහේන්න්ද්‍රන් රකිනවා ඒ රකින්නෙ අගමැතිත් එක්ක. රනිල්ගෙ නැන්දාගෙ පුතා රජිව් විජේසිංහ පහුගිය කාලෙ කියලා තිබුණා මහාබැංකු කොල්ලයේ මුදල් එ ජා පක්‍ෂයේ මැතිවරණ අරමුදලට එකතු කරපු බව. රනිල් ඒ ප්‍රකාශයට අභියෝග කෙළෙ නැහැ. මොකක්දෝ හේතුවකට ඒකාබද්ධ විපක්‍ෂෙත් රජිව්ගෙ ප්‍රකාශය සම්පුර්ණයෙන් අමතක කළා. කෝප් කමිටුව රජිව් විජේසිංහගෙන් ප්‍රශ්න කළ බවටත් ආරංචියක් නැහැ. මහාබැංකු කොල්ලය මහාබැංකුවේ මුදල් කොල්ලයක් පමණක් නො වෙයි. ලංකාවේ සිදු වූ මහා ම මහා බැංකු කොල්ලය. එහෙම වුනත් මාමයි බෑණයි ඔක්කොම නිදහස් වෙන පාටක් දැනට තියෙන්නෙ. බෑණාට විරුද්ධව නඩු දාන්න කියලා එ ජා ප මන්ත්‍රීවරු කියන්නෙ මාමවයි අගමැතිවයි රකින්න. බෑණා කියනවා එයා අදාල සමාගමේ අධ්‍යක්‍ෂ නොවෙයි කියලා. අන්තිමට වැරදි කාරයා විගණකාධිපති වෙන්න බැරි නැහැ. එ ජා ප මන්ත්‍රීන් ඔහුට බලපෑම් කරලා. ඔහු ආර්ථික විද්‍යාව දන්නෙ නැතිලු. මුදල් ඇමතිට ආර්ථික විද්‍යාවෙන් උපාධියක් තියෙනව ද? මා උපාධිය සතපහකටවත් මායිම් කරන්නෙ නැහැ. ආචාර්ය උපාධිධරීන්ගේ කියුම් කෙරුම් මා නොදන්නවා නොවෙයි. මා එහෙම අහන්නෙ විගණකාධිපතිගෙ සුදුසුකම් ප්‍රශ්න කෙරෙන නිසා.

මේ ආණ්ඩුව බටහිරයන්ගෙ මිනුම්දණ්ඩෙන් හා මෙරට ඔවුන්ගෙ ඇම්බැට්ටයන්ගෙ මහා බුද්ධියෙන් බැලුව ම සමත් ආණ්ඩුවක් ද? ඒ මොනව වුනත් අපටත් තියෙනවා අපේ මිනුම් දඬු හා සංකල්ප. මේ ආණ්ඩුව අසමජ්ජාති අලුගුත්තේරු අවලම් ආණ්ඩුවක්. අයන්නෙන් පටන් ගන්න තවත් වචන සිංහල භාෂාවෙ තියෙනවා. මා කිහිපයක් පමණයි සඳහන් කෙළේ.

www.Kalaya.org
2016 ඔක්තොා්ම්බර් 26

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/14/2016

කෝ මේ ජාතික ආණ්ඩුව

කතෘ:යුතුකම     10/14/2016   No comments
-මහාචාර්‍ය නලින් ද සිල්වා-
මෙහි මාතෘකාව අයියෝ සිරිසේන යැයි කියන්න තිබුනත් තවමත් එයට කල් වෑඩියි. රනිල් මෛත්‍රී ගැටුම ගැන අප මින් ඉහත අවසන් වරට ලියුවේ සතියකට පමණ කලින්. එය මේ සබැඳියෙන් කියවිය හැකියි. අද වන විට ගැටුම තවත් වර්ධනය වෙලා. ඒක හුදෙක් ම රංගනයක් නොවෙයි. තම දරුවන් ගැන මොන චෝදනාවක් කළත්, එය හරි වුවත්, වැරදි වුවත් දෙමවුපියන්ට කේන්ති යනවා. සිංහල සමාජය වඩාත් ම සංවේදී වන්නේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නවල දී. අද මෛත්‍රීපාලට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතිවන තත්වයට ඇවිල්ලා. ඒත් විජාතික බලවේග ඒකට පැලැස්තරයක් අලවාවි. මේ ආණ්ඩුව අවශ්‍ය මෙරට ජනතාවට නො වෙයි. ආණ්ඩුව අවශ්‍ය අය එය පවත්වාගෙන යෑමට කටයුතු කරාවි. ආණ්ඩුව පත්කෙළේ ජ වි පෙ, ජාතික හෙළ උරුමය, ඊනියා සිවිල්(සිවල්) සමාජය නො වෙයි. ඔවුන් පෙරහැරේ ගියා විතරයි. ඒත් ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමේ පාපයෙන් ගැලවෙන්න බැහැ. ඔවුන්ට බයිලා කියා අහිංසක ජනයා නොමග යැවීමට ඉඩ නොදිය යුතුයි.

මෛත්‍රිපාල ගෝඨාභය හා නාවික හමුදා නිලධාරීන් කූඩුවට දැමීම ගැන කියන කතාවලට කවුරුන්වත් රැවටෙයි කියලා හිතන්න අමාරුයි. ඔහු ඒ ගැන දැන සිටියෙ නැත්නම් අදාළ නිලධාරීන් ඔහුට ඒ බව දැන්නුවෙ නැත්නම් එයින් කියන්නෙ නිලධාරීන් ඔහු ජනාධිපති හා ආරක්‍ෂක ඇමති ලෙස නො සලකන බවයි. අප හැමදාමත් කිවුවෙ මේ ආණ්ඩුව එ ජා ප ආණ්ඩුවක් කියලා. ආණ්ඩුවේ නායකයා රනිල්. මෛත්‍රිපාල රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. විලියම් ගොපල්ලවත් රාජ්‍ය නායකයා වෙලා හිටියා. මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය පිහිටෙවුවෙ රනිල්. ඒකෙ කටයුතු ගැන මෛත්‍රිපාල දන්නෙ නැත්නම් ඒකට අප මොනව කරන්න ද? ඒ කොට්ඨාසෙ පිහිටුවන කොට ම ආරක්‍ෂක ඇමති හා ජනාධිපති හැටියට විරුද්ධ වුනෙ නැත්තෙ ඇයි? මෛත්‍රිපාල තමන්ගෙ රාජකාරිය පැහැර හැරිය ද? ඔය කොට්ඨාසෙ තියෙන්නෙ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් පිටත ද?

ඊනියා ජාතික රාජ්‍යයක් දින සීයෙ කාලෙ තිබුණෙ නැහැ. එකල තිබුණෙ හොර ආණ්ඩුවක්. මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත්කෙළෙ ව්‍යවස්ථාවට පටහැණි ව. ඒත් ඒක අද පූර්වාදර්ශයක් වෙලා. ඒකට ඒකාබද්ධ විපක්‍ෂයත් වගකිව යුතුයි. ඊනියා ජාතික රාජ්‍යය ඇතිවුණෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස. ඒ ආණ්ඩුව හැදුවෙ මහින්ද ගෙදර යවලා දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. රාජපක්‍ෂලට විරුද්ධව ක්‍රියා කරන්න ඉහත කී කොට්ඨාසෙ වගේ ම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමත් යොදා ගත්ත. රනිල්ටත් වඩා රාජපක්‍ෂලාට විරුද්ධව කටයුතු කරන්න ඕනෑකම තිබුණෙ මෛත්‍රිපාලට හා ඔහුගෙ කණ්ඩායමට. කොට්ඨාසෙ ක්‍රියාකරන ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බෑ කියලා රාජිත කීවුවෙ මෑතක දි. මෛත්‍රිපාල තවමත් මහින්ද රාජපක්‍ෂට පහර ගහන එක නවත්තලා නැහැ.

ඊනියා ජාතික ආණ්ඩුව සම්මුතිවාදී ය, අරක ය මේකය කියලා රනිල්ගෙ අය මෙන් ම මෛත්‍රිපාලගෙ අයත් තවමත් කියවනවා. රට වෙනුවෙන් දෙගොල්ල සමගියෙන් වැඩ කරන බවයි කියන්නෙ. ඔවුන් වැඩ කරන්නෙ ඊළම වෙනුවෙන්. ඒකට තමයි රට වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්නෙ. ඇහුවොත් කියයි තාම ව්‍යවස්ථාව කෙටුම්පත් කරලවත් නැහැ කියලා. ඒකෙ පොඩි ඇත්තක් තියෙනවා. ව්‍යවස්ථාව තවමත් ලංකාවෙ කෙටුම්පත් කරල නැතුව ඇති. ඒත් අර ස්විට්සර්ලන්තෙන් ආපු නෝන ව්‍යවස්ථාවක් ගැන කිවුවෙ කොහොම ද? මේ ආණ්ඩුවට තියෙන්නෙ අර ලන්තයෙන් මේ ලන්තයෙන් එන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක විතරයි. ලාල් විජේනායක රට වටේ ගියෙ අප රැවටීමට පමණයි.

රාජිත කාට්ඨාසෙ වැඩ කරන ආකාරය ගැන සතුටු වෙන්න බැහැ කිවුවෙ ඉක්මණින් රාජපක්‍ෂලාට දඬුවම් කරන්න කියලා කියන්න. ගෝඨාභය කූඩුවෙ හිටිය එක ගැන මෛත්‍රිපාලවත් රාජිතවත් චම්පකවත් වෙනත් කවුරුවත් ඒ දවස්වල මොකුත් කිවුවෙ නැහැ. දැන් හදිසියේ ම මෛත්‍රිපාල කොට්ඨාසෙට විරුද්ධ වෙලා. ඒ තමන්ගෙ පුතා වෙනුවෙන්. මෛත්‍රිපාල ගෝඨාභය ගැන හෙළන්නෙ කිඹුල් කඳුළු. ඉස්සර හෙළුවෙ සතුටු කඳුළු. ලෝකෙ හැටි අෂ්ටලෝක ධර්ම චක්‍රයේ කියැවෙනවා. අට ලෝ දහම් කියන්නෙත් ඒකට තමයි.

රනිල් මෛත්‍රිපාලගෙ දරුව ගැන මොකවත් කරයි කියලා මා නම් හිතන්නෙ නැහැ. එතැන වරදක් සිදුවුන බවක්වත් අප දන්නේ නැහැ. ඒක සමහරවිට කිසිදාක දැනගන්න බැරිවෙයි. මට නම් ඒක දැනගන්න ඕන කමකුත් නැහැ. මට තියෙන ප්‍රශ්නෙ ජාතික ආණ්ඩුව හා සම්මුතිවාදය කෝ කියන එකයි. රනිල් හා මෛත්‍රිපාල අතර සම්මුතියක් නැතුව සම්මුතිවාදයක් තියෙනවා ද? දැන් තියෙන්නෙ විසම්මුතියක්. මේ කසාදෙ කරවපු විජාතික බලවේගවල අවශ්‍යතාවට කසාදෙ පවත්වගෙන යනවා. දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිගෙ බලතල ටිකක් කප්පාදු කළා. දැන් මෛත්‍රිපාලට පාර්ලිමේන්තුව හිතුමතේට විසුරුවා හරින්න බැහැ. තව අවුරුදු තුනකට වඩා බලන් ඉන්න වෙනවා. මෛත්‍රිපාල කේන්තියෙන් බැණ වැදුනට හරියන්නෙ නැහැ. විජාතික බලවේග ඔය විධියට ම දිගට ම වැඩ කරගෙන යන්න කියලා බල කරාවි. මෛත්‍රිපාලට ඔවුන්ට විරුද්ධව වැඩකරන්න ශක්තියක් තියෙනව ද? තියෙනව නම් පමණක් කරන්න දෙයක් තිබෙනවා. ඉන්න අගමැති අස්කරන්නෙ නැතිව වෙනත් අගමැති කෙනකු පත්කිරීමේ පූර්වාදර්ශය දැන් තියෙනවා. ඒ පූර්වාදර්ශය අනුව කටයුතු කරන්න පුළුවන් ද? ඒක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් ද?

 [www.kalaya.org]
2016 ඔක්තෝම්බර් 14

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/13/2016

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නෑ

කතෘ:යුතුකම     10/13/2016   No comments

මහාචාර්ය නලීන්ද සිල්වා
වත්මන් පාලන තන්ත්‍රය ජාතික ගැටලුව විසඳීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා දක්වන දායකත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව මහාචාර්ය නලීන්ද සිල්වා සමග කළ සංවාදයකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පිළිබඳව වරින්වර කතාබහ ඇතිවුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ අපට අවශ්‍යද?
මගේ අදහස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නැති බවයි. පවතින ව්‍යවස්ථාවට අනුව ක්‍රියා කිරීමේ හැකියාව තවමත් තියෙනවා. රටේ ජනතාවට අවශ්‍ය නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යන්න හෝ සංශෝධනය කරන්න. එහෙත් විධායකය පිළිබඳ ගැටළු තිබෙනවා. ඒකාධිපතිත්වයක් ඇතිවීම වැලැක්වීම සඳහා එය වෙනස් කළ යුතු බවට යෝජනා  තිබෙනවා.
විධායකය නොතිබුනානම් ප්‍රභාකරන් පරාජය කරන්න පුළුවන්කම ලැබෙනවාද?
කෙටියෙන්ම කිව්වොත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබුනෙත් ඔය විධායකය තිබුණ නිසානේ. විධායකය වෙනස් කළා කියලවත් ව්‍යවස්ථාදායකය හැදුවා කියලවත් මිනිස්සු හිතන විදිහ වෙනස් වෙන්නෙ නැතිනම් වැඩක් නැහැනේ. ව්‍යවස්ථාවක් හැදුවත් වැඩ කරන්නේ පාලකයන්ට ඕනෑ විදිහට නම් එතනදී ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා වෙනවද? මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමුතුවෙන් හදන්න ඕනැ නැහැ. තවමත් ගැමුණු රජුගේ ව්‍යවස්ථාව මේ රටේ තිබෙනවා. ඔබ කියන ගැමුණු රජුගේ ව්‍යවස්ථාව අදට ගැලපෙන්නේ නැහැනේ. එය ගලපන්න කොහොමත් සංශෝධන කළයුතු වෙනවා.
කාලානුරූපීව එය වෙනස් කරන්න අවශ්‍යයි. නමුත් බටහිරට ගැතිකම් කරමින් බටහිර සංකල්පවලට දණ නමස්කාර කරමින් නොවෙයි. අපට තියෙනවා දසරාජ ධර්ම. මම කියන්නේ ඒකට දණගහලා වැඳපල්ලා. ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල් මාක්ස්වාදය,ෆෙඩරල් ඕවා අපට අයිති නැහැ. සෙනට් සභාවක් අපට ඕනෙ නැහැ. අපිට අපේ දේවල් තියෙනවා ගොඩනැගෙන්න. සුද්දන්ගේ ක්‍රමයට යාම නිසා තමයි අද ප්‍රජාතන්ත්‍රවාදය නෑ කිය කිය උඩ පනින්නේ. සුද්දන්ට තියෙනවද ඔය ප්‍රජාතන්ත්‍රවාදය. සුද්දෝ අතින් එක සතියකට කළු ජාතිකයෙක් මැරෙනවා. කවුද ඒ ගැන අහන්නේ. කතා කරන්නෙ. බරක් ඔබාමලා ඒ ගැන කතා කරන්න ඉඩ දෙනවද? උන්ගෙන් අහලයි අද ව්‍යවස්ථාව හදන්න යන්නෙ. සුද්දන්ට ගැතිකම් කරන මේ පාලකයෝ තරම් ජාතිවාදියෝ වෙන කොහෙද ඉන්නෙ.
ඔබ අදහස් කරන විදියට ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හරහා ජනතා අභිලාෂයන් ඉටුවීම හා ජාතික ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැද්ද?
මොන විසඳුම්ද තව ප්‍රශ්න ඇතිවෙනවා මිසක්. මේ රට බෙදන්න ජනතා කුමන්තුණයක් තමයි ඔය කියන ව්‍යවස්ථාව. ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නෙ එංගලන්තයේ  හා අමෙරිකාවෙ අරමුණු ඉෂ්ට කිරීම. විග්නේශ්වරන් බටහිර රටවල අරමුණු ඉටුකරන්න උත්සාහ කරනවා. සම්බන්ධන් ඉන්දියාවේ අරමුණු ඉටුකරන්න උත්සාහ කරනවා. අපේ රටේ ජනාධිපති අපේෂකයා තේරුවෙත් ඉන්දියාව හා බටහිර රටවල්. ව්‍යවස්ථාව හදන්න මූලික අරමුණ වුණේ රාජපක්ෂ රෙජිමය ගෙදර යවන්න. ඔය රෙජිමය කියන එකත් රනිල්ට ඉගැන්නුවේ අමෙරිකාව. මහින්ද රාජපක්ෂ ගෙදර යවන්න මූලික හේතුව ත්‍රස්තවාදය පරාද කිරීම. ඒකෙන්ම පැහැදිලියි ව්‍යවස්ථාව හදන්නෙ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න විසඳන්න හරි ජාතික ගැටලුවලට විසඳුම් දෙන්න නෙමෙයි රට දෙකඩ කරන සහසන්ධිය රාජ්‍ය ක්‍රමයකට ගමන් කිරීමටයි කියන එක. මෛත්‍රී වගේ වැනෙන ජනාධිපතිවරයෙක් හා රනිල් වගේ බටහිරට දණගහන අගමැති කෙනෙක් පත්කර ගැනීමේ මූලික අරමුණ වුණේත් ඒ ක්‍රියාවලිය පහසුවෙන් කරගන්න. සෙලවෙන පාර්ලිමේන්තුවකින් ජනතාව බලාපොරොත්තුවන කිසිම දෙයක් ලැබෙන්නෙ නැහැ. දැන් දෙන්න හදන්නෙ ජනතාව ඉල්ලන දේ නෙමෙයි. නොඉල්ලන දේයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් පසු සම්මත කර ගැනීමටයි රජය සූදානම් වන්නේ. එය නිවැරදි ක්‍රමවේදයද?
ජනමත විචාරණයක් තියන්න ඕනේ යම් නිශ්චිත ප්‍රශ්නයක් වෙනුවෙන්. ව්‍යවස්ථාවක කරුණු ගණනාවක් යටතේ අනු කොටස් ගණනාවක් තිබෙනවා. එතකොට කොහොමද ජනමත විචාරණයකට යන්නේ. මෙය යන්න ඕනේ අධිකරණයට. මුලින්ම රටේ මිනිස්සු දැනගන්න අවශ්‍යයි මේ ව්‍යවස්ථාවේ මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා.
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබෙනවානම් ඇයි එයට අකමැති වෙන්නේ?
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න නෙමේනේ ව්‍යවස්ථාව හදන්නේ. අනෙක මොනවද ඔය කියන තරම් තියෙන ප්‍රශ්න. ප්‍රශ්නේ තියෙන්නේ ජාතිවාදී, බෙදුම්වාදී විග්නේෂ්වරන්ලා වගේ කුහක, බොරුකාර තක්කඩින්ට. ජාතිය ගොඩනගන්න අලුතින් ව්‍යවස්ථා ඕනේ නැහැ.දෙමළ සිංහල ප්‍රශ්නයක් මෙතැන නැහැ. සිංහල ජනතාව කොහොමත් මේ රටේ ප්‍රමුඛ ජාතිය. මේ රටේ සංස්කෘතිය ගොඩනැඟු ජාතිය. සුද්දෝ හදන්නේ සිංහල ජාතිය යටපත් කරලා සුළු ජාතිය ඉහළට ඔසවන්න. සමහර සිංහල මෝඩ තකතීරුවොත් ඒවාට උඩගෙඩි දෙනවා. මොන ආගමකින්, ජාතියකින් මේ රටේ ජනාධිපති පත් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහු මේ රටේ බෞද්ධාගමට මුල්තැන දෙන්න ඕනේ. බෞද්ධාගම සුරක්ෂිත කරන්න ඕනේ බෞද්ධයන්ට මේ රටේ විශේෂත්වයක් තියෙන්න ඕනේ. ඒ වගේම දසරාජ ධර්මය පිළිපදින්න ඕනේ.
ඔබ පවසන ඇතැම් කරුණු ඔස්සේ ඔබ උග්‍ර ජාතිවාදියෙක් ලෙස හැඟී යනවා.
මම කලිනුත් කිව්වනේ සුද්දන්ට ගැතිකම් කරන වුන් තමයි ජාතිවාදියෝ. මම නියම සිංහල බෞද්ධයෙක්. මම කොහොමත් කියනවා මේ රටේ මහ ජාතිය සිංහල මිනිස්සු. අප රට ගොඩනැඟුනේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ මම ජාතිවාදියෙක් අන්තවාදියෙක් කියනවානම් එය ඔප්පුකර පෙන්වන්න කියලා ඔය චෝදනා කරන අයට මම කියනවා.
සුළු ජාතිය මහජාතිය කියලා වර්ග කිරීම නිසා ගැටලු ඇතිවෙනවා. දෙමළ මිනිස්සුන්ට දෙමළ වීම නිසා ගැටලු ඇතිවෙන්නෙත් ඔය වර්ගීකරණය නිසාම නොවේද?
සිංහල මිනිස්සුන්ගෙන් කවදාවත් දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. සිංහල මිනිස්සුන්ගේ හිත හොඳකම නිසා තමයි දෙමළ මිනිස්සුන්ටත් අනෙක් ජාතීන්ටත් මේ රටේ නිදහසේ ජීවත් වෙන්න ඉඩකඩ ලැබිලා තියෙන්නේ. සුද්දෝ නැගෙනහිර පළාතේ දෙමළ මිනිස්සුන්ව ගෙනත් පදිංචි කරන කොට නැගෙනහිර හිටියේ සිංහල මිනිස්සු. ඒ මිනිස්සු එදා විරුද්ධ වුණා නම් දෙමළ මිනිස්සුන්ට ජීවත් වෙන්න මේ රටේ තැනක් නැති වෙනවා.
දෙමළ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කියලද ඔබ පවසන්නේ. තමන්ගෙ භාෂාවෙන් වැඩ කිරීමේ ඇති හැකියාව අහිමිවීම ගැටලුවක් නොවේද?
මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල. සෙල්ලිපි තියෙන්නේ සිංහලෙන්. සමහර වෙළදාමට සම්බන්ධ සෙල්ලිපි චීන, අරාබි හා දෙමළ භාෂාවෙන් ලියා තිබෙනවා. ඒ වෙනත් රටවලින් එන වෙළඳුන්ට කියවන්න. එයින් කියවෙන්නේ දෙමළ කියන්නෙත් වෙනත් රටකින් පැමිණි අය කියන එක. ඒ කොහොම වුනත් අද හැම ලියවිල්ලක්ම වගේ දෙමළ භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. ආකෘති පත්‍රයක් හෝ ලියවිල්ලක් දෙමළට පරිවර්තනය කරවන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ලංකාවේ විතරයි පාස්පෝට් එකෙත් දෙමළෙන් ලියලා තියෙන්නේ. පශ්චාත් උපාධියත්, ආචාර්ය උපාධියත් ලියන්න පුළුවන් එකම රට ශ්‍රී ලංකාව. තමිල්නාඩුවෙත් බැහැ. එතකොට කොහොමද කියන්නේ දෙමළ මිනිස්සුන්ට තම භාෂාව භාවිතය ප්‍රශ්නයක් කියලා.
අවුරුදු දෙදහසකට කලින් මේ රටේ සිංහල මිනිස්සු හිටියේ නැහැ කියලා උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් පවසනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
විග්නේශ්වරන්ට මුලින්ම කියවන්න දෙන්න ඕනෙ පෘතුගීසි ජාතික ක්වේරෝස්ගේ පොත. පරම්පරා 15කට පෙරත් මේ රටේ හිටියේ සිංහල මිනිස්සු. ලන්දේසි කාලෙ තමයි වෙල්ලාල කියන දෙමළ කම්කරුවෝ  දකුණු ඉන්දියාවේ කොරමණ්ඩල් වෙරළෙන් ගෙනත් මෙහේ පදිංචි කෙරුවේ. 1560 දී සිංහලයොත් දෙමළ කෙරෙව්වා. ඒ අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාවට. සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව. විග්නේශ්වරන් කියන්නේ ඉංග්‍රීසීන්ගේ නියෝජිතයෙක් විතරයි. දෙමළ ජනතාවගේ කර මතින් ගිහින් එදා සුද්දන්ට කරගන්න බැරිවුණ දේ කරන්න තමයි සූදානම් වෙන්නේ. මෙච්චර කල් එය කරගන්න බැරිවුණේ ශක්තිමත් නායකයෝ සිටි නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුගාමිකත්වය සිංහල බෞද්ධ නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොරු සමාජවාදියො ටිකක් ඉන්නවා. දන්න  සමාජවාදකුත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිංහල බෞද්ධ රටාවෙන් වෙනස් කරලා එක්සත් ජාතික පක්ෂයත් එයට හේත්තු කරලා සම්මුති ආණ්ඩුවක් ගේන්න ඉංග්‍රීසිකාරයෝ 1990 ගණන්වල ඉඳලා පිඹුරුපත් හැදුවේ. අවුරුදු 30ක ඉඳන් අපි මේවා කියනවා. තවමත් මේ දේවල් හරියට සමාජගත වෙලා නැහැ. ඒකයි කණගාටුව.
බටහිර බලපෑම් හරහා විවිධ ස්වරූපයෙන් එන අභියෝගවලට රටක් වශයෙන් අප මුහුණ දිය යුත්තේ කෙසේද?
අපේ රටේ මිනිස්සු එකතු වෙන්න ඕනෙ. සිංහල මිනිස්සුන්ගෙන් සියයට 75 ක් වත් එකට එකතු වුනොත් මේ පෙළපාලි අභියෝග නොවෙයි. ඒ වගේම මහින්ද රාජපක්ෂ වගේ ශක්තිමත් බෞද්ධ නායකයො ඉන්න ඕනෙ. වැනෙන පඹයෝ  වගේ ජනාධිපතිලා මේ රටට ගැලපෙන්නේ නැහැ.

[Irida]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/05/2016

ඉන්දියාව ඉදිරියේ දණ ගැහීම

කතෘ:යුතුකම     10/05/2016   1 comment
-නලින් ද සිල්වා-

ඉන්දියාව ඉදිරියේ දණ ගැහීම

මේ මස පකිස්තානයේ පැවැත්වීමට නියමිත ව තිබූ සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ ඉන්දියාවේ ප්‍රශ්නයක්. පසුගිය දා කාශ්මීරයේ ඇති වූ සිද්ධි මෙයට සම්බන්ධයි. අපට ඊනියා සංහිඳියාවක් ගැන කියන ඉන්දියාවටවත්, එංගලන්තයටවත්, ඇමරිකා එක්සත් රාජ්‍යවලටවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්නට බැහැ. ත්‍රස්තවාදී කටයුතු මේ හැම රටක ම සිද්ධ වෙනවා. රනිල් තම මීිත්‍ර ජෝන් කේගේ නවසීලන්තයට ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වීමේ පනතක් ගේන බව කියනවා. එහි දී එංගලන්තයෙන් උපදෙස් ගන්න බවත් කියනවා. ජෝන් කේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර ලෝකයේ දක්‍ෂිණාංශීක පක්‍ෂවල ආසියා ශාන්තිකර සම්මේලනයට සහභාගි වීමට ලංකාවට පැමිණියා. රනිල් එම පක්‍ෂවල ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිව සිටින විට කේ ලෝකයේ ම එම පක්‍ෂවල කණාඩායමේ සභාපති. ත්‍රස්තවාදය පරාජය කරපු ලංකාවෙන් අනෙක් රටවල් උපදෙස් ගන්නේ නැහැ. රනිල් එංගලන්තයෙන් සහ අනෙක් එවැනි රටවලින් ත්‍රස්තවාදයට එරෙහි පනත සකස් කිරීම සඳහා උපදෙස් ගන්නවා. ඒ අතර ලෝකය, ඊනියා ජාත්‍යන්තරය, ත්‍රස්තවාදය පැරදවීම සම්බන්ධයෙන් ලංකාවට පහර ගහනවා. මෙහෙමත් ලෝකයක්.

ඉතා පැහැදිලිව රනිල් එංගලන්තයට ඕන විධියට මෙරට දෙමළ ජාතිවාදයට රුකුල් දෙන ආකාරයට ඊනියා ත්‍රස්තවාදයට එරෙහි පනත සකස් කරන්න යනවා. ජාතික හෙළ උරුමය බෙල් බොටම් විහාර මහා දේවිලා එක්ක කටයුතු කෙළේ ත්‍රස්ත විරෝධී ව්‍යාපාරය හැටියට. දැන් නම් ඔවුන්ගේ ත්‍රස්ත විරෝධයක් නැහැ. එකලත් තිබුනේ නැහැ. ඔවුන් එක් කලක කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් කරනවාටත් විරුද්ධ වුනා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය අවස්ථාවාදයයි. ඔවුන් එයට කියන්නේ යුගය අනුව වෙනස් වීමයි.

කාශ්මීර ප්‍රශ්නය ඇති කෙළේත් ඉංගිරිසින්. ඔවුන් අප රටවලට ඊනියා නිදහස ලබාදුන්නේ ඔවුන් ඇතිකළ ප්‍රශ්නත් සමග. ඉන්දියාව හා පකිස්තානය වෙන්කිරීමේ දී ඔවුන් කාශ්මීර ප්‍රශ්නය දායාද කළා. අපට දෙමළ ජාතිවාදය ඉතිරිකර ගියා. අප දෙමළ ජාතිවාදය පරාජය කළත් එය නීති පොතට ඇතුල් කිරීමට දුන්නේ නැහැ. එහි දී මහින්ද රාජපක්‍ෂ 2012 දී ගෙනෙන ලද පනත් කෙටුම්පතට විරුද්ධ වී ඇත්තේ ඊනියා සමාජවාදීන් වූ තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව, රාජිත සේනාරත්න ආදීන්. ඊනියා සමාජවාදයත්, ධනවාදයත් පිළිවෙළින් බටහිර කතෝලික චින්තනයේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චිනාතනයෙන් බිහි වූ දේ. ඔවුන් අතර අද වන විට වෙනසක් ඇත්තේ ම නැති තරම්.

ඉන්දියාව කාශ්මීරයේ ඇති වූ සිද්ධි හේතුකොටගෙන සාක් සම්මේලනයට නොයන බව කියා සිටියා. ඒ සමග බූතානය, නේපාලය සාක් සම්මේලනයට සහභාගි නොවන බව ප්‍රකාශ කළා. මෙය ඉන්දියාවේ අවශ්‍යතාවට කළ දෙයක් බව පැහැදිලියි. සාක් සම්මේලනයේ සම්ප්‍රදාය අනුව එක රටක් වුවත් සහභාගි වන්නේ නැත්නම් සම්මේලනයක් පවත්වන්න බැහැ. ඉහත කී රටවල් ඉන්දියාවට යටයි. ලංකාවත් විකාර ප්‍රකාශයක් කරමින් රටවල් ගණනාවක් සහභාගි නොවන බැවින් සාක් සම්මේලනය පැවැත්වීමට නොහැකි බවක් කියමින් සම්මේලනයට සහභාගි නොවන බවට ප්‍රකාශයක් නිකුත් කළා. ඉන්දියාව හා පකිස්තානය අතර ගැටුමක් වර්ධනය වෙමින් පවතිනවා.

එයත් පැහැදිලිව ම ඉන්දියාවේ අවශ්‍යතාවට කළ එකක්. පකිස්තානයෙන් ගුවන් යානා මිළ දී නොගැනීමට ලංකාව කලකය ඉහත තීරණය කළෙත් ඉන්දියාවේ වුවමනාවට. අද අප බූතානය වැනි රටවල් මෙන් ම ඉන්දියාවේ විජිතයක් වෙලා. ඉන්දියාව මේ ආණ්ඩුව ඇති කෙළේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල අනුග්‍රහයෙන් තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ පළවා හැරීමට. මේ ආණ්ඩුවට ඉන්දියාවට අවශ්‍ය ආකාරයටත් එංගලන්තයට අවශ්‍ය ආකාරයටත් නටන්න සිදුවෙලා. රනිල් මෛත්‍රී ගැටුමටත් මෙය බලපානවා. මේ සිංගප්පුරු වසන්තයේත් ප්‍රතිඵල. එට්කා විතරක් නොවෙයි හනුමා පාළමත් ඉදිකරන්න ඉඩ තිබෙනවා. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එට්කා ගිවිසුමට විරුද්ධ වූ පමණින් ඔවුන් කරන කියන සියල්ල සමග එකඟ වන්න බැහැ. වෛද්‍ය නිලධාරීන් බොර දියේ මාළු බාන්නට සැරසෙනවා.

මෙරට මුස්ලිම් ජනයාටත් මේවා හොඳ පාඩම්. බටහිර රටවල් හා ඉන්දියාව මෙරට මුස්ලිම් ජනයා සමග සිටින්නේ එකී ජනයා සිංහල බෞද්ධයනට එරෙහිව යොදා ගැනීමට පමණයි. සමස්තයක් ලෙස ගත්කල ඒ රටවල් මුස්ලිමුන්ට විරුද්ධයි. ඒ කුමක් වුවත් මේ නිවට ආණ්ඩුව ඉන්දියාව ඉදිරියේ දණ ගසා අවසන්. ඉන්දියාව කලාපීය බලවතා බව තහවුරු කරගෙන. මෙරට රෝ සංවිධානයට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ සේවය කරන්නන් රාශියක් ඉන්නවා. එංගලන්තයේ නයිට් (සර්) පදවි ප්‍රදානය කිරීමේ දී අදාළ පුද්ගලයා ඔවුන්ගේ රැජින ඉදිරියේ දණ ගහනවා. ඉනාපසු ඔවුන්ගේ රැජින අදාළ පුද්ගලයාගේ උරහිසට තට්ටු කර සර් අහවලා නැගිටින්න කියනවා. එවිට නැගිටින්නේ දීනයෙක්. සර් කියා ආමන්ත්‍රණය කළත් නිවටයෙක්. ඉන්දියාව ඉදිරියේ දණ ගහන අය නැගිටින්නේ ම නැහැ!

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 02

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/26/2016

විග්නේස්වරන් දෙමළ ජාතිවාදියා

කතෘ:යුතුකම     9/26/2016   No comments
-ආචාර්‍ය් නලින් ද සිල්වා-
විග්නේස්වරන් කියන්නෙ හිටපු විනිශ්චයකාරයෙක්. ඒ වගේ ම පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම්ගෙ ඥාති මුණුබුරෙක්. විග්නේස්වරන් දෙමළ වීම නිසා මේ රටේ නැතිවුණු පදවිය මොකක් ද? අග්‍රවිනිශ්චයකාර පදවිය ද? විරුද්ධපක්‍ෂ නායකකම ද? ඒ පදවි අද දරන්නෙ දෙමළ ජනවාර්ගිකයන්. ඇමතිකම් දරණ දෙමළ ජනවාර්ගිකයන් කවදත් හිටියා. විග්නේස්වරන්ට ඒ පදවි නොලැබුණෙ දෙමළකම නිසා නොවෙයි. ඒත් ඔහුට නොලැබෙන පදවි දෙකක් තියෙනවා. ඒ අගමැතිකම හා ජකනාධිපතිකම. ඒත් මේ රටේ රජකම හිමිවෙච්ච කාලිංගයො පාණ්ඩ්‍යයො විතරක් නොවෙයි වඩිගයොත් හිටියා. ඒ කවුරුත් විතරක් නොවෙයි 1815 දි රට භාරගත්ත ඉංගිරිසිනුත් මෙරට සිංහල බුද්ධාගමේ විශේෂත්වයත් සිංහල සිරිතුත් පිළිගත්තා. විග්නේස්වරන් බෞද්ධ වෙන්න ඕන නැහැ. 1815 ගිවිසුමේ තිබුණු කොන්දේසි රකින බව පොරොන්දු වෙනවා නම් ජනාධිපතිවුනත් වෙන්න පුළුවන්. ඒත් විග්නේස්වරන් ඒකට කැමති වෙන්නෙ නැහැ. ඔහු තම සීයා කෙනකු වූ පොන්නම්බලම් අරුණාශලම් අවුරුදු සියයකට පමණ ඉහත හින්දු මහා සභාව පිහිටු වූ ආකාරයට දෙමළ මහා සභාවක් පිහිටුවා ගෙන. සීයාත් මුණුබුරාත් තේරුම් නොගත් නොගන්න කාරණය තමයි මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂය කියන එක. ඒක කසිකබල් මාක්ස්වාදීන්ට, මාක්ස්වාදය කටගාගත්තවුනට, බොරු සමාජවාදීන්ට තේරෙන්නෙත් නැහැ.

රාමනාදන්ලා අරුණාශලම්ලා වගේ ම විග්නේස්වරනුත් දෙමළ ජාතිවාදියෙක්. සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය නොපිළිගන්නා ඕනැම අයකු සිංහල විරෝධී ජාතිවාදියකු වෙනවා. එ ජා ප දෙමළ ජාතික සංධානය මෛත්‍රිපාල කණ්ඩායම, ජ වි පෙ, සමසමාජ, කොමියුනිස්ට්, පෙරටුගාමී ආදී සියල්ලන් ම සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදීන්. විග්නේස්වරන් කෙනකු අද බිහිවෙලා ඉන්නෙ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා පනත නිසා. 2012 දි පළාත්සභාවල බලතල නැතිකිරීමට පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට ඇවිත් තිබෙනවා. ඒකට වාසුදේව, තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, රාජිත ආදීන් විරුද්ධ වෙලා තිබෙනවා. මුළු රටේ ම ඡන්ද විසිපන්දාහක් නැති මොවුන්ට කැබිනට් මණ්ඩලය යට වුනේ මොකද කියන එක හිතාගන්න අමාරුයි. මේ පිළිබඳ විස්තර කවුරුන් හරි අදවත් හෙළිකරනවා නම් හොඳයි.

මහින්ද පරාද කරන්න ඩිව් මහත් උත්සාහයක් අරගෙන තිබෙන බවත් කියැවෙනවා. රාජිතත් එසේමයි. ඒත් අදත් ඩිව් ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්නවා. නමුත් පාද යාත්‍රාවට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකා කොමියුනිස්ට් පක්‍ෂය ඇතැම් අවස්ථාවල අතීතයේත් එ ජා පක්‍ෂයට හෝ ඔවුන්ගේ පූර්වගාමින්ට හෝ සහාය දී තිබෙනවා. අද ලාල් විජේනායක ජයම්පති වික්‍රමරත්න වැනි සමසමාජ පාක්‍ෂිකයනුත් මහින්දට හා සිංහලයන්ට විරුද්ධව යහපාලන නඩයට සහාය දෙනවා. 1972 ව්‍යවස්ථාවේ බුද්ධාගමට තැන දෙන වගන්තිය කොල්වින් ආර් ද සිල්වා ඇතුළත් කෙළේ බණ්ඩාරනායක මැතිණියගේ අවශ්‍යතාවට. එය 1815 ගිවිසුමෙත් ගැමුණු රජුගේ අලිඛිත ව්‍යවස්ථාවේත් තිබුණු බව ලාල් විජේනායකලාට අමතක වෙනවා. අවුරුදු දෙදහසකට වැඩි කාලයක එය ක්‍රියාත්මක නොවුනේ 1848 සිට 1972 දක්වා අවුරුදු එකසිය විසිහතරක් පමණයි.

නමුත් 1848න් පසූුවත් සුද්දන්ගෙ කාලෙදිත් එහි බලපෑම තිබුනා. 1815 ගිවිසුම කිසිවකුට ලෙහෙසියෙන් ඉවත දාන්න බැහැ. මෙරට බෞද්ධ සිද්ධස්ථාන හැරෙන්න වෙනත් ආගමික ස්ථානයක් ඉදිකිරීමේ දී ආණ්ඩුකාරයාගේ විශේෂ අවසරයක් ගත යුතු බවට නීතියක් ඉංගිරිසින් දහනවවැනි සියවසේ අග පැනෙවූවා. මේ නීතිය අදටත් වලංගුයි. විනිසුරුුවකුව සිටි විග්නේස්වරන් ඒක නොදන්නවා වෙන්න බැහැ. ඔහු කියනවා බුදුපිළිම වහන්සේ ඉදිකරන විට ඔවුන්ගෙන් අහන්නේ නැතැයි කියලා. ඔහුගෙන් අහන්නෙ මොන කෙංගෙඩියට ද? හින්දු කෝවිලක්, මුස්ලිම් දේවස්ථානයක්, ක්‍රිස්තියානි දේවස්ථානයක් ඉදිකරන විට නම් ජනාධිපතිගෙන් අවසර ගත යුතුයි. ඒත් ඒක කෙරෙන්නේ නැහැ. සුද්දන්ගෙ කාලෙ තිබුන නීතිවත් අද ක්‍රියාත්මක නොවන්නෙ සිංහල නායකයන්ගෙ නිවටකම නිසා.

විග්නේස්වරන් දෙමළ ජනයා එක්විය යුතු යැයි කියනවා. ඒ සිහලයන්ට, බෞද්ධයන්ට හා හමුදාවට විරුද්ධව බව පැහැදිලියි. අද ධර්මපාලතුමා හිටියා නම් සිංහලයන් නැගිටිව් කී විට ජාතිවාදියකු ලෙස නම්කර අත්අඩංගුට ගැනීමට ඉඩ තිබෙනවා. ඒත් විග්නේස්වරන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔහු පිටුපස එංගලන්තය සිටිනවා. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් විසින් මෙහෙයවෙන විසුරුණු දෙමළ ජනයා ඉන්නවා. ඔහුගේ ශක්තිය ඇත්තේ පිටරටයි. විග්නේස්වරන් හා සම්බන්ධන් අතර වෙනස විග්නේස්වරන් පිටුපස ඉංගිරිසින් සිටීමත්, සම්බන්ධන් පිටුපස ඉන්දියාව සිටීමත්. සුමන්තිරන් මෙතෝදිස්ත බැතිමතකු ලෙස මෙහි දී ද්විත්ව රංගනයක යෙදෙනවා.

විග්නේස්වරන් හමුදාව උතුරෙන් ඉවත්කරගන්නා ලෙස ඉල්ලනවා. සිංහලයන් හමුදාව තමන් ඉන්න ප්‍රදේශවලින් ඉවත්කරන්නැයි කිවුවොත් හමුදාව නවත්වන්නෙ ඉන්දියාවෙ ද නැත්නම් මාලදිවයිනේ ද? හමුදා කඳවුරක් සාලාව ප්‍රදේශයේ තිබීම නිසා වූ හානිය ගැන අදටත් වන්දි ගෙවලා නැහැ. ඒ විතරක් නොවෙයි ඒ පිපිරීම කළ එකක් ද වුනු එකක් ද කියාවත් අද වන තුරු හරියට දන්නේ නැහැ. හමුදාවේ බුද්ධි අංශය දුර්වල කරද්දි රණවිරුවන් සිරගත කරද්දි මේ පිපිරීම ගැන නිසි පැහැදිලි කිරීමක් කළ යුතුයි. විග්නේස්වරන් වැන්නන් ඉන්නතාක් උතුරේ හමුදා ශක්තිය තව තවත් තර කළ යුතුයි. හමුදාවට දෙමළ ජනයාගේ ඉඩම් අරගෙන තිබේ නම් කල යුත්තේ ඒවාට වන්දි ගෙවීමයි. කොහොමටත් හමුදාවට උතුරේ සිංහලයන්ගේ ඉඩම් ගන්න බැහැ. ඒ එහි සිංහලයන්ට ඉඩම් නැති නිසා. සිංහලයන්ට ඉඩම් ගන්න දෙන්නෙ නැති නිසා.

රාමනාදන්ලා ඇරඹි දෙමළ ජාතිවාදී දේශපාලනය ප්‍රභාකරන් දක්වා විකාශය වූවා. එය නන්දිකඩාල් කලපුවේ දී මේජර් කමල් ගුණරත්නගේ පනස්තුන්වැනි සේනාංකයෙන් අවසාන වශයෙන් පරාජය කෙරුණා. එය එක් සේනාංකයක වැඩක් නොවෙයි. ත්‍රිවිධ හමුදාවේත් සිවිල් අරාක්‍ෂක බලකායේත් ජයග්‍රහණයක්. දෙරණ කාලෝගේ ජූරිය මගින් වැඩක් නැති ඉංගිරිසි ගැත්තන්ටත් සම්මාන දෙන අතර ත්‍රිවිධ හමුදාවටත් සම්මානයක් දී තිබීම ගැන සතුටු වෙනවා. නන්දිකඩාල් කලපුවේ ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුල්නොවීමේ පාපය අප අද ගෙවනවා. එය නීති පොතට ඇතුල්කිරීමට 2012 දී දැරු උත්සාහය කඩාකප්පල් කළ අය විග්නේස්වරන් යළි ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට දරණ උත්සාහය ගැන වග කිවයුතුයි.

බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු පනස්හතකට පස්සෙ මේ ලිපිය ලිවීමට සිදුවීම ගැන පනස්හයේ දරුවන් ලජ්ජා විය යුතුයි.

[www.kalaya.org]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

5/05/2016

මහින්ද විශේෂයි - කතානායක නිවටයෙක්

කතෘ:යුතුකම     5/05/2016   1 comment
-ආචාර්‍ය නලින් ද සිල්වා-
පසුගිය දා පාර්ලිමේන්තුවේ සිදු වූ ගුටි බැට හුවමාරුවට රනිල් සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ආගමින් පමණක් බෞද්ධයකු වූ රනිල් බටහිරයන්ගේ කූටෝපක්‍රම ක්‍රියාත්මක කරන්නේ ඔහුට හුරු පුරුදු ඇංග්ලිකන් සංස්කෘතියෙහි ය. අද පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක ව කතානායක ද රනිල් ය. කරු ජයසූරිය යනු නිවටයෙකි. පාරිලිමේන්තුවේ දී එදා සිදුවූයේ කුමක් ද? පළමු පහර දීම සිදු වී ඇත්තේ කවුරුන් අතින් ද යන්න වීඩියෝ පටයෙන් පෙන්නුම් විය යුතු නමුත් එය තාජුඩීන් සම්බන්ධ වීඩියෝ පටය හෝ සිල්බිඳ ගත් චම්පක සම්බන්ධ වීඩියෝ පටය හෝ මෙන් “විද්‍යාත්මක” වේ ද යන ප්‍රශ්නය ඇත. කෙසේ වෙතත් මෙහි දී අදාළ වන්නේ ගුටි බැට හුවමාරුවට වඩා එතැනට මන්ත්‍රීවරුන් යොමු කළ රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය ය.

සිද්ධියට මුල ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව පිළිබඳ ඇසූ ප්‍රශ්නයකිනි. කවුරුත් දන්නා පරිදි මහින්දගේ ආරක්‍ෂාව අඩු කර ඇත. ඔහුටත් දැන් ලැබෙන්නේ ජනාධිපතිට ලැබෙන ආරක්‍ෂාවය යන්න කිසීිම පදනමක් නැති කතාවකි. මහින්ද සමග සංසන්දනය කිරීමට මෛත්‍රිපාල කවු ද? රනිල් කවු ද? සරත් ෆොන්සේකා කවු ද? අද රටේ දෙමළ ජාතිවාදීන්ගේ මරණීය තර්ජනවලට මුහුණ පෑමට සිටින ප්‍රධාන ම පුද්ගලයා මහින්ද ය. මහින්දගේ අඩුපාඩු නැතිවා නොවේ. ඔහු නන්දිකඩාල් ජයග්‍රහණයට පසුව ඉන්දියාව විසින් අප මත පටවනු ලැබූ දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා අහොස්ි කළ යුතුව තිබිණි (ගම් සභා, නගර සභා නාගරික සභා ආදී පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් දිස්ත්‍රික් සභා මෙරටට යෝග්‍ය වෙයි). එහෙත් එයට එකම වරදකරුවා ඔහු නො වේ. සමස්ත සිංහල ජාතීිය ම එයට වරදකරු වෙයි. ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොව දෙමළ ජාතිවාදී දේශපාලනයේ ආයුධ සන්නද්ධ අරගලය මෙහෙය වූ තැනැත්තා බවත් දෙමළ ත්‍රස්තවාදයේ පරාජයත් සමග සමස්ත දෙමළ ජාතිවාදය ම පරාජය වූ බවත් තේරුම් ගැනීමට මහින්දගේ උපදේශකයන්ට අදත් නොහැකි වීම ජාතියේ ම අභාග්‍යකි.

මෛත්‍රිපාලට දෙමළ ජාතිවාදයෙන් කිසිම තර්ජනයක් නැත. රනිල්ට ද සරත් ෆොන්සේකාට ද දෙමළ ජාතිවාදයේ තර්ජන නැත. දෙමළ ජාතිවාදය විසින් ඔවුහු ආරක්‍ෂා කෙරෙති. මෛත්‍රිපාල යොදාගනිමින් රනිල් බලයට පත්කෙරුණේ දෙමළ ජාතිවාදය ඇතිකළ, එය සූරක්‍ෂිත කර පෝෂණය කළ බටහිරයන්, විශේෂයෙන් ම එංගලන්ත සුද්දන් විසිනි. බර්ලින් තාප්පය වැටීමෙන් පසු බටහිරයන්ගේ ගැත්තකු බවට පත් වී ඇති, මෝදිගේ නායකත්වය යටතේ තව තවත් බටහිරට තුරුල් වී ඇති ඉන්දියාව ද එහි දී බටහිරයන් විසින් යොදාගනු ලැබිණි. ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය සම්බන්ධයෙන් හා තොප්පිගල යනු කැලෑවක් පමණක් යැයි යනුවෙන් එදා රනිල් පාර්ලිමේන්තුවේ දී කී දේ මෙදා සරත්ට අමතක වී ඇතැයි සිතිය නො හැකි ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සරත් ෆොන්සේකා හමුදාව මෙහෙය වූ නමුත් ගෝඨාභය රාජපක්‍ෂ සමග ඇති කෝන්තරයකට දෝ සුදුකොඩි සිද්ධියක් ගැන කීමෙන් පසු දෙමළ ජාතිවාදයේ සුරතලකු බවට පත් වී ඇත. අද සරත් ෆොන්සේකාට ද දෙමළ ජාතිවාදයේ ද බටහිරයන්ගේ ද පූර්ණ ආරක්‍ෂාව හා අනුග්‍රහය ලැබෙන අතර ඔහු වෙල් විදානේ කෙනකු වුවත් එවැන්නකුගේ තත්ත්වයට පත් වී ඇතැයි කීම පැරණි වෙල් විදානේලාට කරන අගෞරවයකි. මහින්ද මෙරට සිංහල බෞද්ධයන් වෙනුවෙන් කර ඇති සේවය විශිෂ්ට ය. ඔහු රනිල්, මෛත්‍රිපාල, සරත් ත්‍රිත්වය සමග සංසන්දනය කළ නො හැකි ය. වෙන කාහටවත් නැති ආරක්‍ෂාවක් මහින්දට දිය යුත්තේ ඔහුගේ මන්ත්‍රීකම හෝ හිටපු ජනාධිපතිකම හෝ සලකා බලා නොව ඔහු කරන ලද සේවයත් ඔහුට බටහිරයන් හා අද ඉන්දියාව විසින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදයෙන් ඇති තර්ජනයත් සලකා බලා ය. එහෙත් දෙමළ ජාතිවාදයේ සුරතල්ලු ඔහුට ඒ ආරක්‍ෂාව නො දෙති. බටහිරයන්ගේ අරාබි වසන්තය හා වෙනත් වසන්ත අපට අමතක කළ නොහැකි ය.

රනිල් බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් දනියි. බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදය යනු පොතට මුවා වී ඒකාධිපතිත්වය ක්‍රියාත්මක කිරීම ය. බටහිර ක්‍රමයට පක්‍ෂ නායකයෝ පක්‍ෂයේ ඒකාධිපතිවරු වෙති. රටේ නායකයෝ රටේ ම ඒකාධිපතිිවරු වෙති. සජිත්ලා කොපමණ බයිලා කීව ද ඔවුන්ට එ ජා පක්‍ෂයේ තැනක් නැත. සජිත්ට වඩා සරත් ෆොන්සේකා අද රනිල්ට වටියි. දිනේෂ්ගේ ප්‍රශ්නයට රනිල් සුපුරුදු විහිළු කතා කියා මහින්දට මඩ ගැසීමේ කොන්ත්‍රාත්තුව සරත් ෆොන්සේකාට භාර කෙළේ කලින් යොදාගත් සැලැස්මක් අනුව බව පැහැදිලි ය. දිනේෂ්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට වෙල් විදානේ ෆොන්සේකාට කිසිම අයිතියක් නැති වුවත් කරු ජයසූරිය රනිල්ගේ අණ පරිදි බව පෙනෙන්නට සලසමින් සරත් ෆොන්සේකාට කතා කිරීමට ඉඩ දී තම නිවටකම ප්‍රදර්ශනය කෙළේ ය. අවුල හටගත්තේ මේ ඉඩදීම නිසා ය. සරත් ෆොන්සේකා සැලැස්මට අනුව අතින් හෝ යතුරු ලියනයෙන් හෝ ලියා ගෙන ආ පිලිතුරක් කියවී ය. නිල වශයෙන් කරු ජයසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ යුතු ය. එහෙත් එයට අනෙක් විශ්වාසභංගවලට සිදු වූ දේ ම සිදුවනු ඇත්තේ බටහිර ඇංග්ලිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ රඟ විදහා පාමිනි.

කාලය : 2016 මැයි 05   යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/21/2016

නීතිපති හා පොලිස්පති

කතෘ:යුතුකම     4/21/2016   No comments
-ආචාර්‍ය නලින් ද සිල්වා-
පොලිස්පති පත්කිරීම පිළිබඳ ව විවිධ පුද්ගලයන් විවිධ මත පළ කර ඇත. එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වත්මන් සංයුතිය පිළිබඳ ව ඇතැමුන්ගේ අවධානය යොමු වී ඇත. චම්පක රණවක එකී සභාවේ ජනාධිපතිගේ නියෝජිතයා ලෙස අසුන් ගැනීම ඔහු සිල් බිඳ ගත්තේ යැයි කියන සිද්ධියේ පරීක්‍ෂණ කටයුතුවලට සදාචාරාත්මක නොවන ආකාරයකින් බලපාන්නේ ය යන්න එහි දී ඉදිරිපත් වී ඇති මතයකි. එය ගැටළුවක් විය හැකි වුවත් මා මෙහි දී මතුකරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික ප්‍රශ්නයකි. මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් නීතිය අනුව අප සියළු දෙනා ම නීතිය දැනගෙන සිටි යුතු ය. අධිකරණයට ගොස් තමන් නීතිය දන්නේ නැති බැවින් චෝදනාවකින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය නො හැකි ය. මට තේරෙන නීතිය අනුව පොලිස්පති තේරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට අනුව ක්‍රියා කර නැත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඇතැම් පත්වීම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ජනාධිපති අනුගමනය කළ යුතු පිළිවෙත මෙසේ ය. අපි අදාළ 41 ඇ ව්‍යවස්ථාව උපුටා දක්වමු.

"41ඇ. (1) ජනාධිපතිවරයා විසින් සභාවට කරන ලද නිර්දේශයක් මත, සභාව විසින් අනුමත කර ඇත්නම් මිස, මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තකු පත් කරනු නොලැබිය යුත්තේ ය."

එකී උපලේඛනය මෙසේ ය.
"උපලේඛනය
I වන කොටස
(අ) අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන්,
(ආ) අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන්,
(ඇ) අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්.

II කොටස
(අ) නීතිපතිවරයා;
(ආ) විගණකාධිපතිවරයා;
(ඇ) පොලිස්පතිවරයා;
(ඈ) පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඞ්ස්මන්)වරයා;
(ඉ) පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා.

අපි මෙහි වරයා යන්නෙහි බහුවචනයෙහි අනුක්ත රූපය යෙදෙන්නේ වරයන්් ලෙස ද නැත්නම් වරුන් ලෙස ද යන්න විභාග කිරීම නීතිපතිට ම භාර දෙමු. අපට වැදගත් වන්නේ මෙහි සඳහන් වන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම ය. 41 ඇ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ඉහත සඳහන් යම් නිලයකට කිසිවකු පත්කිරීමේ දී පළමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු ය. ඒ නිර්දේශය එකී සභාව අනුමත කළහොත් පමණක් ජනාධිපතිට අදාළ තැනැත්තා ඒ් නිලයට පත්කළ හැකි ය. එය ඉතා පැහැදිලි ය.

නීතිපති තේරීමේ දී ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් තුනක් නිර්දේශ කළේ ය. එහෙත් එහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියා සිටියේ ජනාධිපති එක් නමක් පමණක් නිර්දේශ කළ යුතු බව ය. ඒ අනුව ජනාධිපතිට එක් නමක් පමණක් නිර්දේශ කිරීමට සිදුවිය. ඒ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කෙරුණු බැවින් ජනාධිපති අදාළ පුද්ගලයා නීතිපති ලෙස පත්කළේ ය. එහෙත් පොලිස්පති පත්කිරීමේ දී වෙනත් ක්‍රමයක් අනුගමනය කෙරිණි. ජනාධිපති පෙර පරිදි ම නම් තුනක් නිර්දේශ කළේ ය. ව්‍යවස්ථාදායක සභාව නම් තුන ආපසු ජනාධිපතිට නොයවා ඡන්දයෙන් එක් නමක් තෝරා යැවී ය.

අවස්ථා දෙකෙහි දෙයාකාරයකින් කටයුතු සිදුවීම පසුපස වූ හේතුව කුමක් දැයි අපි නො දනිමු. එහෙත් පළමු අවස්ථාවෙහි දී ජනාධිපති ක්‍රියාකළ ආකාරය වැරදි නම් අඩුම තරමෙන් සංගත වීම සඳහාවත් දෙවැනි අවස්ථාවෙහි දී ද ඔහු වැරදි යැයි ව්‍යවස්ථාදායක සභාව විසින් තීරණය කරනු ලැබිය යුතුව තිබිණි. එහෙත් එසේ නො විණි. දෙවැනි අවස්ථාවෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතිය අනුව ක්‍රියා නො කෙළේ ද?
නීතිඥයකු නොවූවත් මට තේරෙන අන්දමට දෙවැනි අවස්ථාවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නීතියට එකඟ ව ක්‍රියා කර නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිගේ නිර්දේශයක් අනුමත කිරීම හෝ නොකිරීම හෝ භාර ය. එපමණ ය. ඉහත සඳහන් යම් තනතුරක් සඳහා ජනාධිපති නම් තුනක් නිර්දේශ කළ විට ව්‍යවස්ථාදායක සභාවට කළ හැක්කේ කුමක් ද? ව්‍යවස්ථාදායක සභාව නම් තුන ම අනුමත කරනවා විය හැකි ය. එසේ නම් ව්‍යවස්ථාදායක සභාව කළ යුත්තේ ඒ නම් තුන ම අනුමත කර ජනාධිපතිට යැවීම ය.

ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කර ඇති ක්‍රමය වැරදි ය. සභාව කළ යුතුව තිබුණේ නම් තුන වෙන වෙන ම ගෙන ඒ අනුමත කරන්නේ ද නැත් ද යන වග වෙන වෙන ම ජනාධිපතිට දැන්වීම ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 41 ඇ ව්‍යවස්ථාවෙන් නම් තුනකින් එක් නමක් තෝරා ගැනීමේ බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හිමි කර නැත. එක් නමක් තෝරා ගත්විට ඒ අනුමත කරන්නේ යැයි උපකල්පනය කළ ද, අනෙක් නම් දෙක අනුමත කෙරී නැතැයි ගම්‍ය නො වේ. පොලිස්පති තනතුරට ජනාධිපති නිර්දේශ කළ අනෙක් නම් අනුමත කරන්නේ ද නැද්ද යන්න තීරණය නොකිරීමෙන් ව්‍යවස්ථා සභාව එකී පුද්ගලයන්ගේ අයිතියක් කඩ කර ඇත.
කාලය :2016 අප්‍රේල් 21
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions