යුදෙව් රාජ්‍යය බටහිරයන්ගේ මිතුරෙකු වූ හැටි
යුදෙව් ඉතිහාසය විමසා බලන විට (පසුගිය ලිපියේ ද සාකච්ඡා කළ පරිදි), යුරෝපීය රටවල දී යුදෙවුවන්ට එරෙහිව දැඩි විරෝධතා පැවැති බව සහ ඔවුන් වෙත දැඩි ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වූ වකවානුවක් පැවතී ඇති බව පෙනී යයි. මධ්‍යතන යුගයේ කුරුස යුද්ධ මාලාවේදී, යුදෙවුවන් මුස්ලිම් රටවලට සහාය දැක්වූ බව කියනු ලැබේ. මීට ප්‍රධානම හේතුව බටහිර ජාතීන් අතින් තමන්ට සිදු වූ කෙනෙහෙළිකම් විය හැකි ය.
මෙවන් පසුබිමක් තුළ, ඊශ්‍රායලය ගොඩනැගීම කෙරෙහි බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල් සහාය දැක් වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු කරුණකි.
විසි වන සියවසේ මැද භාගය වන විට, සයොනවාදය නමින් හැඳින් වූ, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් යුදෙව් රාජ්‍යය ගොඩනැංවීම සම්බන්ධ අදහස් බොහෝ දුරට වර්ධනය වී තිබූ අතර, එම අදහස් දැරූවන් උපක්‍රමිකව ඊට අදාළ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියහ. 1917 දී බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ආතර් බැල්ෆර්, ප්‍රකාශයක් (බැල්ෆර් ප්‍රකාශය) නිකුත් කරමින්, යුදෙව් ජනතාවට පලස්තීනයේ සිය ජාතික නිජබිම (National Home) ලෙස ලබාදීම සඳහා බ්‍රිතාන්‍යයේ සහාය පළ කළේ ය. ඒ වන විට යුරෝපීයයන් කුරුස යුද්ධ මාලාවකින් පරාජයට පත්ව තිබූ අතර, ජෙරුසෙලම කේන්ද්‍ර කරගත් පලස්තීනය තුර්කියේ ඔස්මන්වරුන් (ඔටෝමන්වරුන්) සතුව පැවතුණි. පලස්තීනයෙන් ඔවුන් පලවා හැර එහි බ්‍රිතාන්‍ය බලය තහවුරු කර ගැනීම, නොඑසේ නම්, තමන්ට පක්ෂපාතී යුදෙව් රාජ්‍යයක් එහි ස්ථාපනය කිරීම බ්‍රිතාන්‍යයේ අරමුණ වූවා විය හැකි ය. මෙහි දී යුදෙව් රාජ්‍යය මගින් මැද පෙරදිග මුස්ලිම් බලය තුලනය කිරීම බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල ඉල්ලකයක් වූවාට සැක නැත. අනෙක් අතට, යුදෙව්වන් එවක යුරෝපයේ ගොඩනගා ගෙන තිබූ වෙළඳ ආධිපත්‍යය හේතුවෙන්, ඔවුන් සතුව පැවැති මූල්‍ය ශක්තිය, යුද්ධ වලදී තමන්ට ලබා ගැනීම බටහිරයන්ගේ අපේක්ෂාව විය.
පළමු ලෝක සංග්‍රාමයේදී ඔස්මන්වරුන්, මධ්‍ය බලවතුන් (Central Powers) හෙවත් ජර්මනිය, ඔස්ට්‍රියාව, හංගේරියාව වැනි රටවලට පක්ෂව කටයුතු කළහ. මේ අතර, එයට විරුද්ධ පාර්ශ්වය වූ මිත්‍ර බලවතුන් (Allied Powers) ලෙස, බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ප්‍රංශය, රුසියාව වැනි රටවලට පක්ෂව යුදෙවුවන් කටයුතු කළහ. මෙහිදී එම පාර්ශවය වෙත පලස්තීනයේ බලය තහවුරු කර දීමත්, ඒ හරහා එහි යුදෙව් රාජ්‍යය බිහි කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව විය. එම අපේක්ෂාවට කොල එළියක් දල්වමින්, 1918 වන විට ඔස්මාන්වරු පරාජයට පත්ව, පලස්තීනයේ බලය තහවුරු කර ගැනීමට මිත්‍ර බලවත්තු සමත් වෙති. මෙහි දී මිත්‍ර බලවතුන් අතර ඇති වන එකඟතාවක් අනුව පලස්තීනයේ භාරකාරීත්වය 1920 සිට බ්‍රිතාන්‍යයට හිමි වේ. ඒ අනුව 1948 දක්වා පලස්තීනය පවතින්නේ බ්‍රිතාන්‍ය පාලනයක් යටතේ ය.
මේ කාල වකවානුව තුළ සංවිධානාත්මක නොනිල පාලන ව්‍යුහයක් පලස්තීනය තුළ ස්ථාපනය කර ගැනීමට යුදෙව් ප්‍රජාව සමත් වූ අතර, මෙම පාලන ව්‍යුහය අර්ධ වශයෙන් නිල ආයතන ලෙස එවක බ්‍රිතාන්‍ය පාලනය විසින් පිළිගනු ලැබ තිබිණි. 1940 දශකයේ අග භාගය යනු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සිය යටත් විජිත සඳහා නිදහස ලබා දීම සලකා බලන ලද කාල වකවානුවකි. 1948 බ්‍රිතාන්‍යය විසින් පලස්තීනය තුළ සිය බලය අත් හැරීමත් සමග ම, යුදෙව්වන්ගේ නොනිල පාලන අධිකාරිය විසින් ඊශ්‍රායලය නිදහස් රටක් ලෙස ප්‍රකාශ කරන ලදී. නොනිල යුදෙව් නායකයා ලෙස සැලකුණු දවීද් බෙන්-ගුයෝන් (David Ben-Gurion) ඊශ්‍රායලයේ ප්‍රථම ජනාධිපතිවරයා විය. 1948 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊශ්‍රායලය ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගනු ලැබීම සිදු වන්නේ මෙම පසුබිම තුළ ය. නූතන ඊශ්‍රායලය බිහි වීමේ දී සහ ඉන් පසුව සෝවියට් සංගමයේ නොහොත් වත්මන් රුසියාවේ ක්‍රියා කලාපය තරමක් සංකීර්ණ ස්වභාවයක් ගනී. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ නිශේධ බලය ද හිමි සෝවියට් සංගමය, ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීමේ දී ඊට පක්ෂ ස්ථාවරයක් දරා ඇති නමුත්, පසු කාලීනව ඊශ්‍රායලය බටහිර ගැති රාජ්‍යයක් ලෙස සලකා ඊට විරුද්ධ ස්ථාවරයක් ගෙන ඇත. සෝවියට් සංගමයේ එම මුල් ස්ථාවරය කෙරෙහි, දෙවන ලෝක යුද්ධයේ දී යුදෙව්වන්ගේ හැසිරීම බලපාන්නට ඇත. මීට අමතරව දවීද් බෙන්-ගුයෝන් සමාජවාදී ප්‍රතිපත්ති දැරූවකු වීම ද සෝවියට් සංගමයේ එම හැසිරීමට හේතු වූවා විය හැකි ය. පසු කාලීනව අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර පැවති යුද්ධවල දී සෝවියට් සංගමයේ සහාය අරාබි රටවලට ලබා දී ඇත.
දෙවන ලෝක යුද සමය වන විට බ්‍රිතානය සහ එක්සත් ජනපදය වෙත යුදෙව්වන්ගේ සහාය ලබා දීම වඩාත් කැපී පෙනෙන අතර, නාසි යටත් විජිත වෙතින්, එක්සත් ජනපදය වැනි රටවලට පලා ගිය යුදෙව් විද්‍යාඥයින් බොහොමයකගේ සහාය එම රටවලට හිමි විය. යුදෙව් ධනවතුන් නිල සහ නොනිල මාර්ග ඔස්සේ මෙම රටවලට යුද්ධයේ දී මූල්‍යමය සහාය ලබා දී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ යුධ බැඳුම්කර (war bonds) යුදෙව් ධනවතුන් විසින් විශාල ලෙස මිලට ගෙන ඇත.
යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම්වලට පොදු මූලයක් සහිත වුව ද, මේ හා බැඳුනු සංස්කෘතීන් ඓතිහාසිකව එකිනෙකා හා ගැටී ඇත. වත්මන් යුදෙව්-මුස්ලිම් ගැටුම සහ බටහිර-මුස්ලිම් ගැටුම මෙන්ම අතීතයේ යුරෝපයේ පැවති යුදෙව්-බටහිර ගැටුම සහ කුරුස යුද්ධ මාලාව මෙහි විකාශයන් ලෙස හඳුනා ගත හැකි ය. 20 වන සියවසේ මුල සිට ඇති වී ඇති යුදෙව්-බටහිර සංධානය, එම දෙපාර්ශවය විසින් ම සිය අරමුණු මුදුන් පත් කර ගැනීම උදෙසා ඇති කර ගන්නා ලද්දක් වන බැවින්, එම සංධානය කෙසේ කෙළවර වනු ඇති ද යන්න දැන් ම පුරෝකතනය් කිරීමට නොහැකි ය.
-නාරද බලගොල්ල
-නාරද බලගොල්ල
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama