4/20/2016

සරසවි ඇදුරු සාහිත්‍ය ආචාර්ය ප්‍රේත වස්තුව” ගැන විමසුමක්

කතෘ:යුතුකම     4/20/2016   No comments
-සේන තෝරදෙනිය-

සරසවිය හා සරසවි ඇදුරන් පිළිබඳව මීට පෙර නවකතා කිහිපයක්ම නිර්මාණය වී තිබේ. තවත් නිර්මාණ ගණනාවකම සරසවි පද්ධතියේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා වී ඇත. මෑත නිර්මාණ කිහිපයකින් සරසවි පද්ධතිය ජරාජීර්ණභාවයට පත්ව ඇති ආකාරය අනාවරණය කෙරේ. අප මේ සඳහා උපයෝගී කොට ගන්නේ සාලිය කුලරත්නගේ “සත්පත්මා” (2012) නම් කෙටිකතා සංග්‍රහයේ එන, “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවයි. කෙටිකතා වශයෙන් ඒවායේ ඇති සාහිත්‍යමය අගය හෝ නිර්මාණශීලීත්වය හෝ නොවිමසා“ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවෙහි අන්තර්ගතය ගැන පමණක් විමසා බලමු. “ආචාර්ය ප්‍රේත වස්තුව” නම් කෙටිකතාවේ දැක්වෙන ඇදුරා, සිංහලකම හා දේශීයත්වය පිළිකුල් කරමින්, බටහිර චින්තනය කරපින්නාගෙන ජාත්‍යන්තරයට පිවිසි, ග්‍රාමීය දරිද්‍රතාවේ නිර්මිතයක් වන විකෘති කාමාසාකාරයෙකි.ඊට මනෝමුලික වූ වාස්තවික හේතු මෙම කෙටිකතාවේ අන්තර්ගතයෙන් චිත්‍රණය කැරේ.

අපි දැන් සාලිය කුලරත්නගේ “ආචාර්ය ප්‍රේත වස්තුව” කෙටිකතාව වෙතට එළැඹෙමු. සාලිය කුලරත්න සිය පෙරවදනේදී දක්වා ඇත්තේ “මෙම කෙටිකතා එකතුව රචනා වී ඇත්තේ නූතන සමාජ ව්‍යුහයෙහි ස්ථානගත වූ ආයතනික හා පොදු මිනිස් ජීවිතයේ ස්වරූපය, කිසියම් පුරාණෝක්තිමය දෘෂ්ටියකින් අවලෝකනය කරමිනි” කියාය. එය ඉතා වැදගත් වන්නේ මෙම කෙටිකතාව අවබෝධ කර ගැනීමට වැදගත් පිටිවහලක් වන හෙයිනි.

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධ ආයතනයක ඒකක ප්‍රධානියෙකු වන, ආචාර්ය ඉන්ද්‍රනාථ වංශපුර “මහ පුදුම දර්ශනයක්” සිහිනෙන් දකියි. ඉන්ද්‍රනාථගේ ගමේ බාප්පා දොරකඩ පෙනී සිටියි. ඔහු බාප්පා සමග ලංකාවට එයි. කුරුණෑගල මුස්නව නම් ගමේ පදිංචිකරුවකු වන බණ්ඩා “අද්භූත වෙනසකට ලක්වී සිටියි”. වෛද්‍යවරුනට ද එය අබිරහසකි. බණ්ඩාට කලක පටන් මීමැස්මොර රෝගය වැලඳෙයි. අතට යකඩ ඇණයක් දුන් විට ඔහු යථා තත්ත්වයට පත් වෙයි. දිනක් හතරැස් යකඩ පෙට්ටියක් වැනි හිසක් හා මිනිස් ශරීරයක් ඇති තරුණයෙක් බිම වැටී හුන්නේය. මිනිසාගේ සිරුර ගැහෙන්ට වූයේ, වෙනදා බණ්ඩාට මීමැස්මොර රෝගය වැලඳුණු විට ගැහෙන්නාක් මෙනි. ගැමියන් කීවේ මේ අද්භූත ජීවියෙකු බවයි. ඉන්ද්‍රනාථ මොහුගේ යකඩ හිසේ එක් පැත්තක වීදුරු තහඩුවක් වැන්නක් දකියි. ඉන්ද්‍රනාථ එය සිය ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කළ විට, පරිගණක තිරයේ දිස්වූ රුවක් කතා කිරීමට පටන් ගනී. ඔහු කතා කරන්නේ ඉංගිරිසියෙනි. නම “ඩොක්ටර් මල්ටිගෝල්” ය. මල්ටිගෝල්ගේ ආත්ම ප්‍රකාශනය ඉන්ද්‍රනාථගේ පරිගණකය ඔස්සේ ඉංගිරිසියෙන් ඇසෙන්නට ගනියි.

මීට වසර හතළිහකට පෙර සත්කෝරළයේ හිරියාල පත්තුවේ උපන් ඔහු, නමින් යමර භීරුක මැටිගේ නම් වේ. ඔහුගේ පරපුරේ අය වත්හිමි බණ්ඩාර රජ්ජුරුවන්ට ඊතල හැදූ අය වෙති. රජු රත් වූ යකඩ කූරකින් බේරා ගත් නිසා ඔවුනට ලැබුණු නම්බු නාමය, “යකඩ මාර අභීරුක” නම් වේ. පසුව එය “යමර භීරුක” නමින් ව්‍යවහාරයට ආවේය. “භීරුක” යනු බියවන, ලජ්ජා වන අර්ථය ද ගෙන දෙයි. “යමර” යන්න “යමරෙට වැඩ” හඟවයි. “මැටිගේ” ඔහුගේ දරිද්‍රතාව පෙන්නුම් කරයි.

යමර භීරුක හද්දා පිටිසර ගමක කරක් ගැසුවේ, විලි වසා ගැනීමට පමණක් අමුඩ කෙටියක් ඇඳගෙනය. ඔහුගේ මව ගෙවිලියකි. පියා ගමට ආගන්තුකයෙකි. ඔහු හැමදා හැන්දෑවේ එහා ගමේ සඳගල වැව අසල ගෙදරකට ගොඩ වෙයි. ඔහු එහි යන්නේ සිදාදියෙන් ගෙන ආ සුවඳ විලවුන් කුප්පියක පෙඟවූ, පුළුල් කැබලි දෙකක් කන්පෙති අස්සේ සඟවාගෙනය.

පියාගේ කල්කිරියාව සැලවූ මැටිගේ සඳගල වැව අසල හිඳ සිටී. ඔහුගේ පියා එළවළු මල්ලක් ගෙන අසල කටුමැටි ගෙයකට රිංගනවා ඔහු දකියි. පියා ගෙට ඇතුළු වූ විගසින්ම නිදා සිටි ගැහැනියකගේ සිරුර මත වැතිරෙයි. ඇය අසල අවුරුදු දොළහක පමණ පියකරු දැරියක් වකුටු වී නිදයි. පියකරු දැරිය මව දෙස බලා පැත්තකට හැරී නිදාගන්නවා මැටිගේ බලා සිටියි. ඔහු, ගේ අසල අඳුරේ ඇණබාගෙන සිටී. පියකරු දැරිය ගේ පිළිකන්නට පැමිණ මූත්‍රා කරයි. මැටිගේ දැරිය වෙතට පැන ඇය අල්ලාගෙන ඇය අඳුරට ගෙන යයි. ඇය බිම පෙරළාගෙන ඇයගේ සිරුර මත වැතිර යම් උත්සාහයක් ගත්තද, වැඩි වින්දනයක් ලබා ගැනීමට බාල වියේ සිටි ඔවුන් දෙදෙනාටම නොහැකි වෙයි.

කලකට පසුව මැටිගේ විශ්වවිද්‍යාලයට යයි. තමා සරසවිය දක්වා ආ ගමන නවකතාවක සිදුවීම් පෙළක් මෙන් ඔහුගේ මතකයට නැඟේ. ඔහු පිටසක්වලින් ගෙන ආ අමුතු භාණ්ඩයක් වැන්න. තමා අසමාන සතුන් දෙදෙනෙකුගේ දෙමුහුමක් සේ ඔහුට දැනේ. තමාට පීතෘ ස්නේහය හා රැකවරණය නොලැබුණු අයුරු ඔහුට සිතේ. පියාගේ අවධානය අන් කතකට යොමුවීම නිසා මව නිතර ඔහු හා රණ්ඩු ඇල්ලූ බවත්, පියා අතුරුදන් වූ සැටිත් ඔහුට සිහිපත් වේ. ඔහුට දරුණු ද්වේෂයක් මුසු විකෘති සිතක් ඇති වේ. ඒ විකෘතිය නිසා, කිසිවෙකුට මැටිගේ හඳුනාගත නොහැකි වේ. ඔහුගේ සිතේ රැඳී ඇත්තේ, එදා ඒ පියකරු ගැහැනු ළමයාගෙන් අඩ අඳුරේ ලද මුහුකුරා නොගිය වින්දනයයි. එදා සිට ඔහු ඒ ගැැහනු ළමයා හමුවීමට උත්සාහ ගත්තද ඔහුගේ ගමන නිෂ්ඵල වේ. දිනක් ඔහු දුටුවේ, ඇය වෙනත් තරුණයෙකු සමග අඩ අඳුරේ රමණය කරමින් සිටින බවයි. “එදා සිට ඔහුගේ සිත හීලෑ බල්ලෙකුගේ ස්වරූපය මතුපිටින් පෙන්වන කොටියෙකුගේ වැනි වූයේය”.

බෞද්ධ දර්ශනය පිළිබඳ දේශන ඔහු භීතියට පත් කළේය. ප්‍රේත වස්තු කතා ඔහුට පිළිකුල් විය. තමා උපන් පරිසරය, ඒ ගැමි ජීවිතය වටා වෙලුණු විශ්වාස පද්ධතීන් හා බුදුසමයේ ප්‍රායෝගික අංශය මැටිගේ තුළ ඇති කළේ නුරුස්නාවකි. ඒ නිසාම ඔහු විශ්වවිද්‍යාල දෙවන වසරේදී ඉංග්‍රීසි පාඨමාලා තෝරා ගත්තේය. නිතර ඔහුගේ මුවේ රැව් දුන්නේ අමෙරිකානු ලේඛකයන්ගේ නම්ය. ඔහු වෑයම් කළේ “හිතුවක්කාර එක්ටැම් පෞද්ගලිකත්වයක් පවත්වා ගැනීමටත්, එය සාධාරණීකරණය කිරීමට ශාස්ත්‍රීය කරුණු” සෙවීමටත්ය. ඔහු ප්‍රාර්ථනා කළේ, “තමා අසරණයකු ලෙස දිවි ගෙවූ ඒ ප්‍රාථමික ලෝකයත්, ඊට සම්බන්ධ මිනිසුනුත්, දුරින් දුරලීමටය”. ඔහු “අමුතු හා විකාර පදනම්වල සිට” යුක්තිය අයුක්තිය ගැන වාද කළේය. ඔහු එල්.ටී.ටී.ඊ.යේ මනුෂ්‍ය සංහාරයට අනියමින් පක්ෂපාතී වේ. ආචාරධර්ම හා තහංචි නොතකා “නාකි ලොම්බන්ට” අවලාද නැඟුවේ මොබිඩික් තල්මසා ලෙසිනි.

මින්පසුව ඔහු නිතර “ආවේග කවි” හා කෙටිකතා පළ කරන්නට වීය. ඔහුට “බලවත් සේ ප්‍රශංසා” කළ කවියකුගේ නිවසේ ඔහු ගැවසුණේය. කවියාද මැටිගේට පුතෙකුට මෙන් සැලකීය. කවියාට පියකරු තරුණ දියණියක් සිටියාය. ඇය දකිත්ම ඔහුට “අඩ අඳුරු අතීතයේ එක් සිදුවීමක් මතකයට එයි”. එක්තරා දිනයකදී ඔහු වැසිකිළියට එබිකම් කොට බලද්දී එම තරුණිය මූත්‍රා කරනු දකියි. මැටිගේගේ ග්‍රහණයට අසුවූ තරුණිය ඔහුට අවනත වූවාය.

දැන් හතරැස් ජීවියාගේ හැඩය වෙනස් වී අත් පා නයි පොළඟුන් සේ දඟලන්නට ගනී. අත් පාවලින් දුමක් පිට වෙයි. සැබෑ බණ්ඩා එතැනට පැමිණීමත් සමගම ගම්මු ගල්බීත වෙති. මේ ජීවියා බණ්ඩා නොවේ.

ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා අමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයට ගිය මැටිගේ, සිය නම “ඉයෙමොන් බෘනෙට් මල්ටිගෝල්” ලෙසින් වෙනස් කර ගත්තේ, “තමා තවදුරටත් ලාංකේය සමාජයට බද්ධව සිටිනුයේ මේ ගොමස්කඩ සිංහල නම” නිසාය. විදේශයේදී ඔහු බොහෝ අය සමග “ආරාධනා විරහිතව” මිත්‍ර වීය. “හේතු විරහිතව මිශ්‍ර විය”. හේතු රහිතව ඒ “මිත්‍රත්වය අහෝසි කරගත්තේය”. කිසිවෙකු කතා කළ විට “හෙහ්” කියා තප්පුලන ඔහු, “නිතරම සිය උකුසු ඇස දැල්වූයේ”, සරාගික තරුණියන් වෙතටය. ගැහැනුන්ගේ සුදු අත්ගොබ ඔහුට සිහි ගන්වන්නේ, “මිල්ලන්ගොඩ හස්තියාගේ දළ” ය. ආචාර්ය මල්ටිගෝල් ලංකාවේ තරුණියක හා විවාහ ගිවිස ගත්තේ, මවගේ බලවත් ඉල්ලීම නිසාය. ඒ අමෙරිකාවේදී හමුවූ “ඇත්දළ බඳු දෑත් ඇති සරාගි තරුණියකගේ” ඡායාරූපයක් එවා, “කුස ජාතකයෙහි වූ මූලධර්මයක්” ක්‍රියාවේ යෙදීමෙනි.

ඔහු පරිගණක තාක්ෂණයේද ඉහළ සුදුසුකම් ලබයි. එයට හේතුව, “මිනිස් සිතක සිතුවිලි උපදින වේගයටත් වඩා වේගයක්” ඔහුට අවශ්‍ය වූ හෙයිනි. “ඇහිපිල්ලන් ගහන පමාවෙන්” ඔහුට යම් දෙයක් කිරීමටත්, එයම අමතක කිරීමටත් අවශ්‍යය. කවියාගේ දියණියගේ වියරු සිනහව ඔහුට ඇසේ. ඔහුට එය අමතක කිරීමට අවශ්‍ය වූයේ අජාසත්තයාට පීතෘ ඝාතනය අමතක කිරීමට අවශ්‍ය වූ ලෙසිනි. සීතාවක රාජසිංහ මිථ්‍යාදෘෂ්ටිය වැලඳ ගත් ලෙසිනි. රටින් රට යන මල්ටිගෝල් නොයෙකුත් ආහාර වර්ගවල රස බලයි. ඔහු වඩාත් ප්‍රිය කළේ, සිරුරේ අඩක් බදින ලද හා හිසෙහි පණ ඇති මත්ස්‍යයන් ආහාරයට ගැනීමටය. තම හිස එක්වරම පරිගණකයක් බවට පත්වන බවත්, එහි පරිපථ ගිනිගෙන රත්වන බවත් ඔහුට දැනේ. මේ සිතුවිල්ලෙන් ගැලවීමට ඔහු සරාගික ගණිකාවන්ගේ ඇසුර පතා ගියේය. සංසර්ගයේ යෙදීමට පෙර ඔහුට අවශ්‍ය වූයේ, ඔවුන් මූත්‍රා කරනු බලා සිටීමය. මෙසේ ඔහු අර්චනකාමියෙක් බවට පත්වෙයි. අවසානයේදී මල්ටිගෝල් “කොම්පියුටර් ඔළුවක් ඇති පෙරේතයෙක් ලෙස” ඉපදෙයි.

සාලිය කුලරත්න මවන “ආචාර්ය මල්ටිගෝල්” යනු කවරෙකුදැයි හඳුනා ගැනීම පාඨකයාට අපහසුවක් නොවනු ඇත.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/02/2014

සාහිත්‍ය සම්මාන තේරීමේ ගාලගෝට්ටිය

කතෘ:යුතුකම     10/02/2014   1 comment

අප මෙම ලිපිය ලියන්නේ "ස්‌වර්ණ පුස්‌තක" ආදී විවිධ සම්මාන උළෙල සඳහා නිර්දේශිත නවකතා සියල්ල මිලයට ගෙන කියෑවූවෙකු වශයෙන් යෑයි මුලින්ම සඳහන් කළ යුතුය. "ස්‌වර්ණ පුස්‌තක" පොත් තේරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ තැන් පටන් සම්මාන ප්‍රදානය දක්‌වා සියලු කටයුතු කෙරෙහි අවදිවත්ව සිටි අපට, එම ක්‍රියාවලියේ නිල හා නිල නොවන ආරංචි එසැණින් ලබාගැනීමට හැකි විය. එහෙත් මෙම ලිපිය "ස්‌වර්ණ පුස්‌තකය" සඳහා නිර්දේශිත නවකතා පිළිබඳව කෙරෙන ඇගයීමක්‌ නොවන්නේය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා, "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලේ පිළිගැනීමේ කතාවේදී පැවසූ සමහර කරුණු ගැන සිහිපත් කරමින්, මෙම ලිපිය ආරම්භ කළ යුතුය. ඔහුගේ කතාව මෙතෙක්‌ "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලකදී සභාපතිවරයකු පැවැත්වූ කතාවකට වඩා ප්‍රබල හා තරමක තර්ජනාත්මක එකක්‌ විය. ඉංගිරිසි භාෂාව හැසිරවීමේ ව්‍යාක්‌තභාවය ඔහුගේ සිංහල කතාවට ප්‍රබලත්වයක්‌ එක්‌ කළේය. විජිත යාපා මහතා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් දිනපතා පුවත්පතක සාහිත්‍ය අතිරේකයකට දෙන ලද සම්මුඛ සාකච්ඡාව කියෑවූ අපට සිතුණේ, ඔහුගේ නිල කාලය තුළදී "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ විනිශ්චය මණ්‌ඩල සංස්‌ථාපනයේ හා ක්‍රමවේදයේ කිසියම් වෙනසක්‌ සිදුවිය හැකි බවයි. එහෙත් "ස්‌වර්ණ පුස්‌තක" ක්‍රියාවලිය හා ඔහුගේ දේශනය අපගේ බලාපොරොත්තු බිඳ හෙලීය. "හානා හීය පානා අඬහැරෙන් දැනේ" යෑයි ඔහු කී පිරුළ ඔවුන් හානා හීයටම සරිලන එකක්‌ වීය. සභාපතිවරයාට පැවරී තිබුණේ ද ප්‍රශ්නකාරී දෙයක්‌ විසිතුරු වර්ණයෙන් වර්ණ ගැන්වීමයි. සෑම වසරකදීම මතුවන විවේචනවලට පිළිතුරු දෙන අය විලසින් ඔහුද, සම්මාන විවේචනය කරන්නේ සම්මාන නොලබන අය යෑයි කීම බොළඳ වාගාලාපායක ප්‍රතිරාවයකි. ගිය වසරේදී සාහිත්‍ය කෘතියක්‌ පළ නොකළ අයකු වශයෙන් මා කියා සිටින්නේ, සම්මාන නොලැබෙන අයකුට පවා අසාධාරණය, අගතිය හා කල්ලි ගැසීම විවේචනය කොට අදහස්‌ පළ කිරීමේ නිදහස ඇති බවයි. "ස්‌වර්ණ පුස්‌තකයේ" මුල් වටයේ නවකතා අතරට තේරුණු "දණ්‌ඩ භූමි" නවකතාව ලියූ ටෙනිසන් පෙරේරාට ද එම අයිතිය ඇත. ස්‌වර්ණ පුස්‌තක" සම්මානය ලබා දෙන නවකතාව ස්‌වර්ණ පුස්‌තකය වේ නම් අමාවතුර, බුත්සරණ, කව්සිළුමිණ, ජාතක පොත මොන ආකාරයේ පුස්‌තකදැයි කිසිවකු විසින් නගන ලද ප්‍රශ්නයට සභාපතිවරයා දුන් පිළිතුර වූයේ ඒවා නවකතා නොවන බවයි. පෙරළා එම තර්කයම නැගුවහොත්, "ස්‌වර්ණ පුස්‌තකය" යනු ස්‌වර්ණ පුස්‌තකයක්‌ විනා, "ස්‌වර්ණ නවකතාව" නොවන බව පැවසිය යුත්තේ, මෙතෙක්‌ "ස්‌වර්ණ පුස්‌තක" සම්මානය හිමිකරගත් නවකතා විමසා බැලීමෙනි. පුස්‌තකය යන්න බයිලා, විරිඳු හෝ කුණුහරුප කතා පොතකට වුව යෙදිය හැකිය.

"ස්‌වර්ණ පුස්‌තක" සම්මානය මෙන්ම වෙනත් සාහිත්‍ය සම්මාන උළෙලවල සමීක්‍ෂණයන් ගැන සඳහන් නොකොට සිටීම වැදගත්ය. සෑම වසරක්‌ පාසාම අප මේ සාහිත්‍ය නිලමක්‌කාරයන් ගැන කියා ඇතත් ඉන් වැඩක්‌ සිදුවී නොමැතිය. මේ බොහෝ විනිශ්චයන් පුද්ගල බද්ධ වේ. මිතුරෝ මිතුරන්ට සම්මාන ලබා දෙති. සතුරන්ගේ ග්‍රන්ථ කපා හරිති. සතුරන්ගේ මිතුරන්ටද සාධාරණය ඉටු නොකරති" නුඹ මට දුන් නිසා මම නුඹට දෙමි" පුවත්පත් විචාරකයා, ග්‍රන්ථ සමීක්‍ෂකයා සේ සිය භූමිකාව වෙනස්‌ කර ගනිමින් තමා ප්‍රශස්‌තියට නැංවූ කෘතියකට සම්මාන ලබාදීමට හවුල් වෙයි. සාහිත්‍ය ප්‍රශ්න පත්තරයකට උත්තර ලියමින් මා කැමැති නවකතාව යෑයි නම් කරන ලද නවකතාවට සම්මාන ලැබේ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ බොහෝ විනිශ්චයකරුවන් හැරෙන්නට අනෙකුත් සම්මාන උළෙලවල සමීක්‍ෂකයන් බහුතරය ගැන අප අහලාවත් නැත. 

වෙනත් වසරවලදී "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ මුල්වටය උදෙසා නවකතා දොළහක්‌ තෝරා ගත්තද, මෙවර තෝරා ගන්නා ලද්දේ නවකතා දහයකි. එමගින් සුසන්ත මහඋල්පතගේ "ආෂාඨ පුෂ්පය" හා චන්ද්‍රසිරි පල්ලියගුරුගේ "සීමා" මුල්වටයේදීම ඉවත් කෙරිණ. මේ දෙදෙනාම කලකදී "ස්‌වර්ණ පුස්‌තක" උත්තරීතර මණ්‌ඩල සාමාජිකයන් වූ බව අප සිහිතබාගත යුතුය. මෙයින් "ආෂාඨ පුෂ්පය" ගොඩගේ සම්මානය හිමිකරගත් බවද, "සීමා", රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ නිර්දේශිත නවකතා හතර අතර වූ බවද කිව යුතුය. "ස්‌වර්ණ පුස්‌තක" පළමු වටයේදී "මනාප" (මෙය සාහිත්‍ය විචාරයක්‌ නොව මනාප ගණන් කිරීමකි.) දහහතක්‌ ලබා ගත් නෝබට්‌ අයගමගේ ගේ "කාල නදී ගලා බසී" දෙවැනි වටයේදී විසිවී ගොස්‌, මුල් වටයේදී අවසානයට තේරුණු "මගේ ආදරණීය යක්‍ෂණී" දෙවැනි වටයේදී නවකතා පහ අතරට ඉහළ දැමේ. "කාල නදී ගලා බසී", ගොඩගේ සම්මානය සඳහා නිර්දේශිත වූ නවකතා පහ අතර නැත. එහෙත් එය 2014 රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගනියි. අපගේ ඇගයීම අනුවද "කාල නදී ගලා බසී" 2013 දී ලියන ලද නවකතා අතුරින් හොඳ නවකතාවකි. එයට රාජ්‍ය සම්මානය ලබාදීම පැසසුම් කටයුත්තකි. කළු ගඟ ආශ්‍රය කොටගත් පාරු කාරයන්ගේ ජීවිතය ගංගාව හා බැඳී ඇති ආකාරය එය අපූර්වයට ගෙත්තම් කොට තිබේ. එහි ප්‍රධාන චරිතය වන සාදිරිස්‌ ගංගාවෙන් හා පාරුවෙන් ඉවත් කොට ගොඩබිම තැන්පත් කිරීමෙන් පසුව එය නවකතාවක්‌ වශයෙන් බිඳ වැටේ. මේ නවකතාව අපට සිහිපත් කරන්නේ, දැදුරුඔය හා පැරණි ලන්දේසි ඇළ ආශ්‍රය කොටගත් පාරුකාරයන් ගැන කියන, ඒ. එම්. කරුණාරත්නගේ "පාරුව පදිනතුරු" (2004) නම් නවකතාවයි.



විවිධ සම්මාන උත්සවවලදී විවිධ නවකතා සම්මානයට පාත්‍ර වන්නේ මන්දැයි පැහැදිලි නැත. ඊනියා හේතුපාඨය නවකතාවක ගුණාගුණ හෝ සම්මානයට පාත්‍ර වීමට සුදුසු බව පෙන්වන කෝදුවක්‌ නොවේ. එය භාණ්‌ඩයක අලෙවි කරන දැන්වීම්කරුවෙකුගේ පාඨයක්‌ වැන්න. මේ නයින් බලන කල්හි ගොඩගේ සම්මාන උළෙලේදී බෙදාහරින ලද "සමාප්ති සටහන" නම් ප්‍රකාශනය සඳහා, මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් ලියා ඇති නවකතා විචාරය පැසසිය යුත්තක්‌ වේ. ඔහු නිර්දේශිත නවකතා පහ ගැන පිටු පණහක පමණ දීර්ඝ විවරණයක යෙදේ. සාහිත්‍ය සම්මාන ඔස්‌සේ සාහිත්‍ය විචාරය ද පෝෂණය විය යුතුය. එහෙත් එහි ඇති අඩුව වන්නේ, "ආෂාඨ පුෂ්පය" හොඳම නවකතාව වන්නේ ඇයි දැයි අනික්‌ නවකතා හතර සමග තුලනාත්මකව විමසා නොසිටීමය.

ගොඩගේ සම්මානයේ ශාස්‌ත්‍රී කෘති සඳහා කෘති 28 ක්‌ සමීක්‍ෂණය කොට තිබේ. එහෙත් "ප්‍රශස්‌ත මට්‌ටමේ කෘතියක්‌" සම්මාන සඳහා තිබී නැත. මෙය අප රට විශ්වවිද්‍යාල ඇතුළු බුද්ධි කේන්ද්‍රවල පවත්නා වඳ පීදුණු බව කියා පායි. එහෙත් රාජ්‍ය සාහිත්‍ය සමීක්‍ෂකයන්ගේ වර්ණ ඡායාරූප සහිත ජීවදත්ත දෙස බලන විට, ඔවුන් නොකරන්නා වූ අධ්‍යයන ක්‍ෂේත්‍රයක්‌ ඉතිරි වී නොමැති බව පෙනේ.

යළිත් අපි "ස්‌වර්ණ පුස්‌තකය" වෙතට එළැඹෙමු. "ස්‌වර්ණ පුස්‌තකයේ" රහස්‍යභාවයක්‌, විනිවිදභාවයක්‌, විශ්වසනීයත්වයක්‌ ඇතැයි කීවද එය එසේ නොවේ. පළමු වටයේදී නවකතා තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී ද, දෙවැනි වටයේ නවකතා පහ තෝරාගැනීමේ ක්‍රියාවලියේදීද, ඒ ඒ නවකතාවලට ලැබුණු මනාප හා ඒ මනාප ලබා දුන්නවුන් කවුරුදැයි එවෙලේම දුරකතන පණිවුඩ හා කෙටි පණිවුඩ මගින් කොළඹ පුරා සංසරණය විය. සමහර සමීක්‍ෂකයන් සමහර පොත් කියවා පැමිණ නොමැති බවද, තම මිතුරන්ගේ නවකතා වෙනුවෙන් පෙනී සිටිය බව ද, තවත් සමහරු සිය තීරණ වෙනස්‌ කොට එළියට පැමිණ දුරකථනයට කෙටූ බවද අනාවරණය විය.

"ස්‌වර්ණ පුස්‌තකය" තේරීම සඳහා මුල් සමීක්‍ෂකයන් විසිදෙනා අතරින් පස්‌දෙනකු තෝරා ගත්තේ කෙසේද, ඔවුන් තේරුවේ කවුරුන්ද යන්න අද දක්‌වා පිළිතුරු නොලැබුණු ප්‍රශ්නයක්‌ වේ. මෙරට කොටි ත්‍රස්‌තවාදය පරාජය කොට ඇතත්, කොටි ඩයස්‌පෝරාවේ හා රෙජිමය පෙරළීමට කැස කවන්නන්ගේ අවශ්‍යතා, සාහිත්‍ය හා කලාව මගින් ඉටු කරන එන්. ජී. ඕ. නඩයක්‌ මගින්, සාහිත්‍ය හා කලාවේ මර්මස්‌ථාන අල්ලාගෙන ඇතිබවත්, අද සාහිත්‍යය හා කලාවේ බලපවත්වන්නාවූ දෘෂ්ටිවාදය කුමක්‌දැයි අවබෝධ කර ගැනීමටත්, වසරක්‌ පාසා "ස්‌වර්ණ පුස්‌තක" සම්මානයේ "මාධ්‍ය මණ්‌ඩලයට" හා "උත්තරීතර මණ්‌ඩලයට" තේරී පත්වී එන සමීක්‍ෂකයන්ගෙන් මනාව පැහැදිලි වෙයි. ගිය වසරේදී ද එය වඩා බිහිසුණු ලෙස පිළිබිඹු කෙරිණ. ගිය වසරේදී එක්‌ විචාරකයකු මොවුන් "අපතයන්" යෑයි කීවද ඔවුහු "අපතයෝ" නොවෙති. මෙම වසරේදී එම විචාරකයාම ඒ "අපතයන්" ගේ සමාගමට එක්‌වීම තරම් සෝපහාසයක්‌ තවත් ඇද්ද?

"ස්‌වර්ණ පුස්‌තක" දෙවන වටයට නවකතා පහක්‌ තෝරාගත් අගෝස්‌තු 21 වැනිදා සිට, සම්මාන උළෙල පැවැත්වූ සැප්තැම්බර් 6 වැනිදා දක්‌වා දින 17 ක්‌ පුරා, අපට අසන්නට ලැබුණේ මහා සැලසුමක, ඊට එරෙහි ප්‍රති- සැලසුමක, සමීක්‍ෂකයන්ගේ .A. සැලසුම ක්‍රියාත්මක කළ නොහැකි වන්නේ නම්, ඔවුන්ගේ 'B' සැලසුම ක්‍රියාත්මක කිරීමට යාම පිළිබඳව යුද්දයක අවසාන මෙහෙයුම හා සමාන වන්නාවූ තොරතුරු සමුදායකි. 'A' සැලසුම, ප්‍රති - සැලසුම් හා 'B' සැලසුම මෙසේ සංක්‍ෂිප්ත කොට දැක්‌විය හැකිය. 

- "ස්‌වර්ණ පුස්‌තක" සම්මානය ලැබෙන්නේ මංජුල වෙඩි වර්ධනගේ "මගේ ආදරණීය යක්‍ෂණී" ට ය. එය මෙරටින් පලා ගොස්‌ ප්‍රංශයේ ජීවත් වන සරණාගතයකුගේ කෘතියකි. දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි කතුවරයාට, දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි බහුතරයකින් සමන්විත විනිශ්චය මණ්‌ඩලයේ ආශිර්වාදය හා අනුග්‍රහය ලැබේ. මේ අනුව නියත වශයෙන්ම "ස්‌වර්ණ පුස්‌තකය" ලෙස අබිසෙස්‌ නංවන්නේ "යක්‍ෂණීය" (මෙතැන් පටන් ඒ කෙටි යෙදුම යෙදේ.)

- මේ පුවත් අසා පොත් ප්‍රකාශක සංගමයේ සාමාජිකයෝ සසල වූහ. ඔවුහු රාත්‍රි පුරා විවිධ පුද්ගලයන් අමතා "යක්‍ෂණී" ගැන සොයන්නට වූහ. මේ සමහරු මගෙන්ද කරුණු විමසා සිටියහ. ඔවුන්ට අවශ්‍ය වූයේ "යක්‍ෂණී" හි ඇත්තේ කුමක්‌ද යන්න දැන ගැනීමට හා ඒ පිළිබඳව මගේ අදහස්‌ය. මේ අනුව ඔවුන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයාට කරුණු ඉදිරිපත් කළ බව වාර්තා වේ. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය "යක්‍ෂණීට" සම්මානය නොදීමට යෑයි විනිශ්චය මණ්‌ඩලයට බලපෑම් කළ බව දැන් පැහැදිලිය.

- ස්‌වර්ණ පුස්‌තකයේදී "යක්‍ෂණී" ට සම්මාන දුනහොත් පිරිසක්‌ විදුලිය ඇන හිටුවා හූ කියා කලබලයක්‌ ඇති කිරීමට යන බැව් අප හා පැවසුවේ ග්‍රන්ථ සමීක්‍ෂකයකුමය. එය කොළඹ පැවැති "පොංගුතමිල්" උත්සවයේදී සිදුවූ පහරදීමට සමාන වන්නක්‌ බැව් පැවසිණ.

- මෙසේ කලබලයක්‌ ඇතිවුවහොත් තමන් ද කලබලකාරයන්ට එරෙහිව "යක්‍ෂණී" වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අප හා පැවසුවේ ලේඛකයෙකි.

- මෙවන් පසුබිමක්‌ යටතේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රබල සාමාජිකයන් ඉතා සූක්‍ෂම ආකාරයෙන් අනතුරු වැළැක්‌වීමේ හා අනතුරු අවම කිරීමේ ක්‍රියාමාර්ගයක්‌ ක්‍රියාත්මක කළ බැව් සිතා ගැනීමට පුළුවන. 

- "යක්‍ෂණී" කියෑවීමට අති දුෂ්කර නවකතාවකැයි ප්‍රකාශ කොට ඇත්තේ, ග්‍රන්ථ සමීක්‍ෂක සභාපතිවරයාමය. ඒ බව පිළිගත් ප්‍රකාශකයන්ගේ මතය වූයේ, එය කියෑවීම පාඨකයාට වඩාත් දුෂ්කර වන බවත්, එබඳු කියෑවිය නොහැකි, අලෙවි නොවන නවකතාවක්‌ "ස්‌වර්ණ පුස්‌තකය" සේ සම්මානයට පාත්‍ර කළ නොහැකි බවත්ය. එය පොත් ප්‍රකාශකයන්ගේ අරමුණු හා ගැටේ. "ස්‌වර්ණ පුස්‌තකය" නිසා හොඳ නවකතා ලිවීම ආරම්භ වූයේ යෑයි කී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයාගේ අදහස්‌වලට එවැන්නක්‌ අනුකූල නොවේ.

- මීළඟ කාරණය වන්නේ, ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරාධිත අමුත්තා ලෙස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වන ජනාධිපතිතුමාට, "යක්‍ෂණී" වැනි නවකතාවක්‌ "ස්‌වර්ණ පුස්‌තකය" සේ පිළිගැන්වීමට නොහැකි බැව් පොත් ප්‍රකාශකයන්ගේ මතය වීමයි. දෙමළ බෙදුම්වාදීන්ගේ අදහස්‌ ප්‍රචලිත කෙරෙන නවකතාවක්‌ ජනාධිපතිවරයාට පිළිගැන්වීම ඔහුට කරන අවමානයක්‌ බැව් පොත් ප්‍රකාශකයෝ දැන සිටියහ. 2010 දී ප්‍රභාකරන්ට මෛත්‍රී සූත්‍රය දේශනා කළ "පොදු පුරුෂයා" නම් නවකතාවට කොටින් පරාජය කළ සේනාධිනායකයා වූ ජනාධිපතිතුමා අතින්ම සම්මාන ලබා දුන්නේ, එකල පැවැති රාජ්‍ය සාහිත්‍ය අනුමණ්‌ඩලයයි. එම වරද නැවතත් කළ නොහැකිය. 

- තම ප්‍රකාශක සංගමයේ සාමාජිකයකු නොවන ප්‍රකාශකයකු විසින් පළ කරන ලද නවකතාවකට, තම උත්තම සම්මානය පිරිනැමීම නිවැරැදි ද යන්න ද ප්‍රකාශක සංගමය සිතන්නට ඇත.

- කෙසේ නමුදු රෙජිමය පෙරළා දැමීමට කැස කවන විචාරකයන්ද බිය වූ බව පැහැදිලිය. තම සාහිත්‍ය විචාර න්‍යාය අමුඩය තමා විසින්ම ගලවා නොගෙන, කොන්ද කෙලින් තබාගෙන, සාහිත්‍ය විචාරය හා සම්මාන ප්‍රදානය නිදහස්‌ නැතැයිද, එයට බලපෑම් ඇතැයිද ලොවට හඬගා කීමට තිබූ අවස්‌ථා මොවුහු නැති කරගත්හ. ඔවුනට ඉල්ලා අස්‌වීමට ඉඩ තිබිණ. එසේ නොකරන්නේ මන්ද? එසේ වුවහොත් ලබන වසරේදී "ස්‌වර්ණ පුස්‌තක" හොද්ද හැඳි ගෑමට ඔවුනට අවස්‌ථාව නොලැබෙනු ඇත. එය ඩොලර් ගලා ඒම හිඟ සමයක ආර්ථිකයට වන හානියකි. "ස්‌වර්ණ පුස්‌තක"ය තේරීමේ මහා බලය ඇති ඉහළ ස්‌ථරයකින් බිම ඇද වැටී පුස්‌සන් බවට පත් වනු නියතය. එමගින් සාහිත්‍යයට, විචාරයට, සම්මානවලට හා ලේඛක ලේකාවන් කෙරෙහි දක්‌වන අසීමිත බලානුභාවය නොලැබී යනු ඇත.

අප "යක්‍ෂණී" ය ගැන කි හෙයින් පාඨකයාගේ ප්‍රයෝජනය සඳහා ඒ ගැන යමක්‌ කිව යුතුය. එහි ප්‍රකාශකයන් වන්නේ "සම ප්‍රකාශකයෝ" නම් අලුත් ප්‍රකාශන ආයතනයකි. එය "සනත්", "මංජුල"යන නම් දෙකක මුල් අකුරු සිහිපත් කළ ද එහි තවත් අරුත් ගැබ්ව පවතී. එය ප්‍රංශයට පළා ගිය සිංහල සරණාගතයකුගේ කෘතියකි. ලොව "පිටුවහල් සාහිත්‍යය" (Exile Literature) කියා සාහිත්‍ය වර්ගයක්‌ ඇති බව සැබෑය. එහි නිර්වචනය, ඉතිහාසය, එම ලේඛකයන් හා එම නිර්මාණවල පවත්නා සුවිශේෂී ගති ලක්‍ෂණ ගැන කීමට මෙය අවස්‌ථාව නොවේ. "මගේ ආදරණීය යක්‍ෂණී" නම් නවකතාවේද පිටුවහල් සාහිත්‍යයේ ඇති යම් යම් ගති ලක්‍ෂණ ඇතැයි පැවසිය යුතුය. ඉංගිරිසියෙන් Expatriate, Refugee, Asylum Seeker හා Exile   යන වචනවල විවිධ අරුත් පවතී. පිටුවහල් සාහිත්‍යයක හා "යක්‍ෂණී"යේ වෙනස නම් පිටුවහල් වූවන් තමා පදිංචිවී සිටින රටේ භාෂාවෙන් (මෙහිදී ප්‍රංශ) හෝ වෙනත් ජාත්‍යන්තර භාෂාවකින් ලිවීම හා "යක්‍ෂණී" මේ කොදෙව්වේ වෙසෙන සිංහලයන්ගේ පාරිභෝජනයට (ඔවුන්ගේ වචනයෙන් "ළිං මැඬියන්"සඳහා) සිංහලෙන් ලියා, සිංහල සම්මාන බලාපොරොත්තු වීම හා ඔවුන්ගේ සිංහල ඒජන්තවරුන් විසින් සිංහල සම්මාන සඳහා නිර්දේශ කරවා ගැනීමයි. කොදෙව්වන් පලා ගිය එකාට කොදෙව්වේ සම්මාන කුමකටද? 

එම නවකතාව ලේඛකයාට මවුරටින් පලාගොස්‌ සරණාගත තත්ත්වයකට පත්වීමට බලපෑ හේතු මොනවාද යන්න සාකච්ඡා කිරීමට වුව අපොහොසත් වෙයි. පිටු 412 ක්‌ වන "යක්‍ෂණී" නවකතාවේ සාරය මෙසේ පිඬුකොට දැක්‌විය හැකියි. "කුවන්නා කියන්නේ දෙමළ ගෑණියෙක්‌ට" (398 සිට) විජය මුතු මංකොල්ලකාරයෙකි. දුටුගැමුණු. සාලිය කුමාරයා අතුරුදන් කළේය. සාලිය- අසෝකමාලා පෙම් පුවතක්‌ මවා මහානාම හාමුදුරුවන් ද එම කුමන්ත්‍රණයට හවුල් වී තිබේ. ඉසුරුමුණියට, ඉසුරුමුණි පෙම් යුවළ මූර්තිය සවි කළේ අශ්වහිස හා මිනිසා නම් ශේ්‍රෂ්ඨ කලා නිර්මාණය යටපත් කිරීමටය. සැබෑ සිංහලයන් වසන්නේ වන්නියේය. දෙමළ අරගලය විමුක්‌ති අරගලයකි. එය ගුත්තිල පඬිතුමා ට ශක්‍රයා දුන්නේ යෑයි කියන ගුලි තුනද, දඹුළු ලෙන් පියස අතරින් වැටෙන වතුර බින්දුව ද, ජාතික කොඩියද උපහාසයට නංවයි.

මෙබඳු තත්ත්වයක්‌ යටතේ "ස්‌වර්ණ පුස්‌තක" සමීක්‍ෂකයන්ට සිදුවූයේ, සිය "බී" සැළසුම ක්‍රියාත්මක කිරීමයි. එනම්. එරික්‌ ඉලයප්ආරච්චිගේ "පාද යාත්‍රා", "පී. බී. ජයසේකරගේ "මරියා සිලොනිකා වස්‌තුව", නිශ්ශංක විඡේමාන්නගේ "තාර මගේ දෙව්දුව" හා ලියනගේ අමරකීර්තිගේ "කුරුළු හදවත" යන නවකතා හතරෙන් එකක්‌ තෝරා ගැනීමයි. මෙයින් "මරියා සිලොනිකා වස්‌තුව" හා "තාරා මගේ දෙව්දුව" ප්‍රකාශකයාගේ සෘජු මැදිහත්වීම කෙරෙහි සති මාස ගණනාවක්‌ පුරා බුර බුරා නැඟුණු විරෝධය සමීක්‍ෂකයෝ දැන සිටියහ. එම නිසාම එම නවකතා දෙකින් එකක්‌ අබිසෙස්‌ නැංවීම පොත් ප්‍රකාශකයන්ගේ කීර්ති නාමයට නොගැළපේ. අනිත් අතට "තාරා මගේ දෙව්දුව" නවකතාවක්‌ද, ගැටවර ප්‍රේම අන්දරයක්‌ද, චිත්‍රපට තිරනාටකයක්‌ද යන්න නිශ්චිත නැත. මෙම කතුවරයා උඩ දමන ලද්දේ කොළඹ පශ්චාත් - නූතනවාදීන් වුවද, පශ්චාත්- නූතනවාදීන්ගේ ව්‍යායාමය බින්තැන්නේ වැද්දන්ද මොඩ් කිරීම යයි අභාවිත 'X' කණ්‌ඩායම විසින් ප්‍රකාශ කොට තිබුණද, ඈත පිටිසර ගමක වෙසෙන සිවිල් බලයක්‌ නොමැති චිත්‍ර කර්ම ගුරුවරයකුට "ස්‌වර්ණ පුස්‌තකය" දියනොහැකිය. "මරියා සිලොනිකා වස්‌තුවේ" ප්‍රධාන චරිතය එන්. ජී. ඕ. මතවාදයට සරිලන චරිතයක්‌ වුවද, රෙජිමය පෙරලීමට අවශ්‍ය වන්නන්ට සුදුසු පරිදි දේශපාලනඥයකු හා දූෂිත නිලධාරි තන්ත්‍රයක්‌ චිත්‍රණය කොට තිබුණද, සිවිල්බලයක්‌ නොමැති ඈත පිටිසර ගමක ජීවත් වන ගණිත ගුරුවරයකුට සම්මානය දිය නොහැකියි. අනිත් අතට මේ නවකතා දෙකම උක්‌ත ආඛ්‍යාත පද සම්බන්ධය නිවැරැදි කරමින් යළි ලිවිය යුතුවූ නවකතා දෙකකි. එබඳු කෘතියකට සම්මාන දීම භාෂා සංහාරය "ස්‌වර්ණ පුස්‌තකයක්‌" කිරීම හා සමාන වේ. "තාරා මගේ දෙව්දුව" අපූරු ඉංගී්‍රසියක්‌ ඉංගිරිසියෙන්ම ලියයි. "පාද යාත්‍රා" කතුවරයා බොහෝ දේ ලියුවද, නිහඬව බොහෝ වැඩ කරන්නෙකු වුවද, මතවාද වපුරන්නෙක්‌ නොවේ. 

මේ වාතාවරණය අනුව ලියනගේ අමරකීර්තිගේ "කුරුළු හදවත" 2014 ස්‌වර්ණ පුස්‌තකය වෙයි. පිටරට වෙසෙමින් රෙජීමය පෙරළීමට තැත් කරන "යක්‍ෂණීයකට" වඩා මෙරට සිට රෙජිමය පෙරළීමට න්‍යාය සපයන "කුරුල්ලෙකුට" සම්මාන දීම යෝග්‍ය වේ. "යක්‍ෂණීයේ" සෘජු ලෙස ප්‍රකාශ වන දේ "කුරලු හදවතේ" ප්‍රකාශ වන්නේ වක්‍රාකාරවටය. වෙඩි උණ්‌ඩයට වඩා බිහිසුණු වන්නේ සීනි තැවරූ වෙඩි උණ්‌ඩයයි. කලා හා සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ අපට නිබඳව හමුවන්නේ සීනි තැවරූ වෙඩි උණ්‌ඩය. 

සම්මාන ප්‍රදානයෙන් පසුව බොහෝ ප්‍රකාශකයෝ සැනසුම් සුසුම් හෙලූහ. "අපි බේරුණා", "ඇඟට ලේ ඉණුවා" යෑයි ඔවුන් අප හා ප්‍රකාශ කළේ මේ හෙයිනි. එහෙත් ඔවුන්ට සීනි තැවරූ වෙඩිඋණ්‌ඩය හැදෑරීමට තවත් කල්ගත වනු ඇත. පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපතිවරයා ජනාධිපතිතුමාටද "කුරුලු හදවත" නවකතාවේ පිටපතක්‌ තෑගි කරන්නටද ඇත්තේ ඒ සොම්නස්‌ සහගත සිතිවිල්ලෙන් විය යුතුය. එහෙත් ඒ සමගම සභාපතිවරයා අමරකීර්ති සෙනෙට්‌ සභික ෆුල්බ්‍රයිට්‌ගෙන් ඉගෙන ගැනීමට කියා ජනාධිපතිවරයාට යෑවූ විවෘත ලිපියෙන් පිටපතක්‌ ද දුන්නේ නම් මැනවැයි සිතේ. 

"ස්‌වර්ණ පුස්‌තක" සම්මාන උළෙලේදී පෙන්වූ වීඩියෝ පට මගින් අවසාන වටයට තේරුණු නවකතා පහ ගැන ග්‍රන්ථ සමීක්‍ෂකයන් පස්‌දෙනකු යොදවා කතා කරවීම ඉතා බාල ක්‍රියාවකි. කිසිදා නොවූ පරිදි හේතු පාඨය අගට "පාද යාත්‍රා" හා "යක්‍ෂණී" ප්‍රශස්‌ති කෘති බවට ප්‍රකාශ කිරීම සභාපතිවරයා සිරකරුවකු වූ බවද, එන්. ජී. ඕ. විචාරයේ ප්‍රබලත්වය මෙන්ම යටපත්වීම හා අතරමග සමාදානය ද පෙන්නුම් කරයි. "යක්‍ෂණී" ප්‍රවණතාවක්‌ වෙතැයිද, "ස්‌වර්ණ පුස්‌තක" සම්මාන ලැබීමට නම් ඒ ලෙසින් ලිවිය යුතු යෑයිද කී ලේඛකයෝද වූහ. එළාර අනුරාධයකු (අනුරාධපුර වැසියකු) කොට නිජබිම් වැසියකු කරමින්, දුටුගැමුණු මාගමෙකු (ආක්‍රමණිකයකු) කරමින් නවකතා ලියෑවෙන්නේ මේ හෙයිනි.

-සේන තෝරදෙනිය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

9/16/2014

'කුරුලු හදවත' දේශීයත්වයට එරෙහි වෛරීය විරේචනය

කතෘ:යුතුකම     9/16/2014   8 comments
-සේන තෝරදෙනිය

මෙම ලිපියේ අරමුණ වන්නේ ලියනගේ අමරකීර්තිගේ 'කුරුලු හදවත' නම් නවකතාව ගැන සංස්‌කෘතික කියෑවීමකට නිමග්න වීමයි.

පිටු 366 කින් සමන්විත 'කුරුලු හදවත', 'තැපැල්පත', 'ශ්‍රාවක සමාජය' ආදී වශයෙන් පරිච්ඡේද ගණනාවකට බෙදා තිබේ. මෙයින් 'ඈ දුන් යහ වදන්' (292) හා 'අභාග්‍යා' (354) යන පරිච්ඡේද පිටු භාගයකටත් වඩා අඩු වාක්‍ය එකතුවක්‌ වේ. සමහර පරිච්ඡේද බෙදා ඇති ආකාරයේ කිසිදු තේරුමක්‌ නොපෙනේ. 'ංහා' (290 - 291) 'ඈ දුන් යහවදන්' (292) ඒ සඳහා උදාහරණ දෙකකි. 'කුරුලුගංගොඩ' නමින් කෘත්‍රිමව නම් කරන ලද ගමේ සිතියම (186) හැරෙන්නට මෙම නවකතාවේ ආඛ්‍යාන රටාවේ අනෙක්‌ විශේෂත්වයක්‌ නොදැක්‌වේ. එහි ඇත්තේ ඉතා සරල ආඛ්‍යානයකි. ආඛ්‍යානයේ ඇති සරල භාවය නිසාම 'කුරුලු හදවත' ඉතා සරල කියෑවීමක්‌ කරා පාඨකයා ගෙන යයි. නවකතාව වඩාත් සමීප වන්නේ එක්‌තරා කාලයකදී ඉරිදා පුවත්පතක්‌ මගින් පළ කළ 'එක්‌ සත්‍ය කතාවක්‌' වැනි ආරේ කතාවකටය. එහෙත් 'කුරුලු හදවත' පුවත්පතේ පළ වූ එක්‌ සත්‍ය කතාවකට වඩා දිගින් බොහෝ වැඩිය.

'කුරුලු හදවත' කියෑවීමට අතට ගත් සැණින්ම හදවත නමින් අවසන් වන ග්‍රන්ථනාමයක්‌ සහිත නවකතාවක්‌ සේ පාඨක මනසෙහි නිරායාසයෙන්ම ඇදී යන්නේ 'ගොළු හදවත' නවකතාවයි. එහෙත් 'ගොළු හදවතේ' වූ තරුණ මනස්‌ ආකර්ෂණය සදානුස්‌මරණීය වශයෙන් තරුණ පරපුර 'ගොළු හදවත' වැළඳගත් ආකාරය 'කුරුලු හදවත' ඇති නොකරයි.

කුරුලු හදවත යනු කුමක්‌ දැයි නවකතාව පඨනය කරද්දී අනාවරණය කෙරේ. දිනසිරි නම් වූ කතානායකයාට එය පෙනෙන්නේ 'කුරුලුගංගොඩින් උරුම වූ කුරුලු විඥානයක්‌' ලෙසිනි. ඒ කුරුලු විඥානය 'කුරුලු හදවතක්‌' සේ ඔහු දකියි. තමාගේම කුරුලු හදවතක්‌ ගැන ඔහු සිතයි. (289 පිට) අමරකීර්ති ගැමි විඥානය, ගැමි ස්‌මෘතිය හා ගැමි සංස්‌කෘතිය සිඳ බිඳ දමන්නේ මේ කුරුලු විඥානය මගිනි. කුරුල්ලකු සංකේතයක්‌ කර ගනිමිනි. දිනසිරි හෙවත් කුරුලුගංගොඩගේ මරණයෙන් පසුව ඔහුගේ 'ප්‍රසිද්ධ වචන හා ප්‍රසිද්ධ කටහඬ' (363 පිට) ඒ ලෙසින් ම අනුකරණය කරන අනුකාරකයෙක්‌ බිහිව සිටී. ඒ ගැන ඇතිවන කතාබහකදී කුරුල්ලා දෙවරක්‌ උපදින බව කියෑවේ. "එක පාරක්‌ බිත්තරේ. ඊට පස්‌සේ බිත්තරෙන් කු=රුලු පැටියා" (363 පිට) නවකතාව අනුව සැබැවින්ම දෙවරක්‌ උපදින්නේ දිනසිරි හෙයින් නවකතාවට කුරුලු බිත්තරය යන නාමය වඩාත් ගැළපෙයි.

කුඹල් කර්මාන්තය ජීවිකා වෘත්තිය කරගත් හද්දා පිටිසර පවුලකින් පැවත එන දිනසිරි, ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ විවිධ වැඩසටහන්වලට තැපැල්පත් යවා, සිය ගමේ නම වන වළංගංගොඩ යන්න කුරුලුගංගොඩ කියා වෙනස්‌ කර ගනියි. තෙමේද ඒ නමින් පෙනී සිටියි. එය කුල සන්නමක්‌ ඇති ගමක නමක්‌ වෙනස්‌ කිරීමේ පෞද්ගලික උත්සාහයක්‌ වේ. අවුරුදු හතක්‌ම තැපැල්පත් ලියා ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා සිටින දිනසිරි, ජනප්‍රිය සංස්‌කෘතියේ ගොදුරකට වඩා ජනප්‍රිය සංස්‌කෘතියේ වාහකයෙක්‌ බවට පත්වෙයි. එහෙත් ජනප්‍රිය සංස්‌කෘතිය ගමට ගෙන යන ධනේශ්වරයේ මාධ්‍යකරුවන්ටම කුල සන්නම් ඇති ගම් හා කුල බද්ධ ජීවිකා වෘත්තීන් අවශ්‍ය වන බව නවකතාවේ අවසාන භාගය කරා එළැඹෙන විට පෙනේ. (334 - 341 පිටු) වළං හදන හැටි නැරඹීමට ගමට වන්දනා නඩ හා පාසල් චාරිකා බස්‌ රථ පැමිණෙති. පාවිච්චියට නොගත් සකපෝරු යළිත් කැරකෙයි. වෙනත් රැකියා කළ අය ද මැටි වැඩට බසිති. වළංගංගොඩ කියා ගමේ නම බෝඩ්ලෑලිවල සවි වේ. දිනසිරි හා විවාහ වීමට සූදානම් වෙමින් සිටි දිනසිරිගේ කුලවත් පෙම්වතියට එය ප්‍රේමයේ අත්හදාබැලීමක්‌ යෑයි ද කියෑවේ. (338 පිට)

මෙයින් අප පැහැදිලි කර ගත යුත්තේ කුමක්‌ද? ජනප්‍රිය සංස්‌කෘතිය බෙදාහරින්නන්ට කුලය ඇතුළු කුල බද්ධ ජීවිකා වෘත්තීන් ස්‌වාර්ථය සඳහා යොදා ගැනීමට අවශ්‍යය. ධනේශ්වරයට ද කුලය අවශ්‍ය කෙරේ. එහෙත් අමරකීර්ති සිය නවකතාව මගින් පෙන්වා දෙන්නේ එය නොවේ. කුල ක්‍රමයට එරෙහිව අහිංසක වූද, හුදෙකලා වූද, සිල්ලර විරෝධය පෑමක්‌ කළා වූ දිනසිරි පසුව ධනේශ්වරය මගින් බෙදා හරිනු ලබන ජනප්‍රිය සංස්‌කෘතියේ වින්දිතයෙකු බවට පත් කරමින් හාස්‌යෝත්පාදක අන්දමින්, මනාලිය ඔරුවකින් කැඳවා ගෙන ඒම පුහුණුවද්දී (316 - 348 පිටු) ඔරුව පෙරළා මරා දැමීමයි. අමරකීර්තිගේ "රෙජිමය පෙරළා දැමීමේ" සටනට දිනසිරි වැන්නවුන් අවශ්‍ය නොවෙනවා ඇති. ධනේශ්වරය හා අධිරාජ්‍යවාදය මගින් දෙන ලද අධ්‍යාපනය හා ශිෂ්‍යත්ව ලබා සාර්ථක මිනිසුන් ලෙස හිනිමගේ මුදුන්පෙත්තට නැඟිය හැක්‌කේ අවවරප්‍රසාදිත සම්භවයක්‌ ඇති අතළොස්‌සකට පමණක්‌ විය යුතුය. තමාගේ ක්‌ලබ් එකට එකතුවන වෙනත් අවවරප්‍රසාදිත සම්භවයක්‌ ඇති අයවලුන් ද විවේචනයට ලක්‌කිරීමට පමණක්‌ නොව සාහිත්යිකව මරාදැමීමට ද මොවුනට පුළුවන.

දිනසිරිට අලුතින් ආරම්භ කරන ලද පෞද්ගලික එෆ් . එම්. නාලිකාවක නිෂ්පාදක කණ්‌ඩායමක තනතුරක්‌ ලැබෙන්නේ, අවුරුදු හතක්‌ තිස්‌සේ සතියකට තැපැල්පත් දහයක්‌, විස්‌සක්‌, තිහක්‌ යවා, වැඩසටහන් විසිඑකක නම් ද ඒවායේ නිවේදක, නිෂ්පාදක, පටිගත කිරීමේ ශිල්පියා, සංස්‌කරණ ශිල්පියා ආදීන්ගේ නම් කඩපාඩමින් කීමට දත් ප්‍රවීණතාව සම්මුඛ පරීක්‍ෂණයේදී ප්‍රදර්ශනය කරමිනි. (164 - 165 පිටු) ඔහුට එම වැඩසටහන්වල තේමා වාදන ද කටින් වාදනය කළ හැකිය. (184 පිට) ඉන් එහා දිනසිරි පෙන් වූ කුසලතාවක්‌ නැත. සම්මුඛ සාකච්ඡාකරුවන් එවැන්නක්‌ මතුකර ගන්නේ ද නැත. දිනසිරිගෙන් වැඩසටහන් ගැන යෝජනාවක්‌ ලබා ගන්නේ ඔහු වැඩට පැමිණ මාස දෙක හමාරකටත් වැඩි කලක්‌ ගිය පසුවය. ඒද වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා ය. (176 - 180 පිටු) 'සම්මුඛ පරීක්‍ෂණයට ඉඳගන්න තැන සිටම දිනසිරි තේරීම් කමිටුව විස්‌ම' ගන්වා (162 පිටුව) ඇත්තේ සිය සැලසුම් හා ප්‍රවීණතා දක්‌වා සිටීමෙන් නොවේ. ගම හා නගරය සංස්‌කෘතිකව ආක්‍රමණය කිරීමට ඉදිරිපත් වී ඇති නාලිකාවක තේරීමේ ක්‍රමවේදය පුදුම සහගතය. සම්මුඛ පරීක්‍ෂණය සඳහා මානව සම්පත් අධ්‍යක්‍ෂිකාව ද සිටි බව කියතත් (162) පිට) මෙයින් පෙනෙන්නේ මානව සම්පත් සංවර්ධනය හා සේවකයන් බඳවා ගැනීම හා ඈඳුණු සම්මුඛ සාකච්ඡා ක්‍රමය ගැන නවකතාකරුවාගේ නොදැනුමයි. බඳවා ගැනීමෙන් පසුව ඔවුනට මසකටත් වැඩි කාලයක්‌ 'ට්‍රේනිං ප්‍රොගෑම්ස්‌', 'වර්ක්‌ෂොප්' තිබුණු බැව් පැවසුණ ද, (172 පිට) ඔවුන්ගේ කුසලතා මතුකර ගැනීමට කුමන ආකාරයේ පුහුණුවක්‌ දෙන ලද්දේ ද යන්න පාඨකයාට සිතා ගත නොහැකිය. මාස දෙකහමාරකට පසුව වුවද දිනසිරිගේ හිසට එන්නේ වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා 'බර කරත්ත' හා 'අවතාර' යෑයි සැලකූ මළසොහොනෙන් මතුව ආ අවතාරවල හඬමය (177 - 178 පිටු) මෙයින් අපට සිතාගත හැක්‌කේ පුහුණු කාලය තුළදී ආධුනිකයන්ට ලබා දෙන්නට ඇත්තේ ඔවුන්ගේ මොළ සේදීමකට වඩා තාක්‍ෂණික පුහුණුවක්‌ බවයි. දිනසිරි කුරුලු බවට පත්වන්නේ මේ අනුවයි.
දසක ගණනාවක්‌ ගුවන් විදුලි ශ්‍රාවකයන්ගේ හද දිනා ගත් වැඩසටහන් හා විශිෂ්ට ගුවන් විදුලි ශිල්පීන් වැඩසටහන් අධ්‍යක්‍ෂවරයාට පෙනෙන්නේ 'බරකරත්ත' හා 'අවතාර' ලෙසිනි. 'කුරුලු ඔයාට වෙලා තියෙන්නෙ ඔය මිනිස්‌සු යක්‌කු වගේ ඔයාට ආවේශ වෙලා ඉන්න එක. එයාලව අමතක කරන්න. මුවන්පැලැස්‌ස, මොණරතැන්න එව්ව දැන් ඉවරයි. බරකරත්ත දැන් ඉවරයි වගේ. එව්ව සම්පූර්ණයෙන් අමතක කරන්න" "අමතක කරල දාන්ඩ ඔය මතුර මතුර ඉන්න නම් ටික" (177 පිට)
අමරකීර්ති මෙසේ 'මළ සොහොනෙන් මතුව ආ අවතාර' ලෙස දක්‌වන්නේ අහිංසක ශ්‍රාවකයන්ගේ ජන විඥානය හා බැඳුණු වැඩසටහන් හා ශිල්පීන්ය. මේ වැඩසටහන් හා ශිල්පීන් හා ඒකාත්මිකව සිටි දිනසිරි මේ අදහස්‌වලට විරෝධය නොපායි. ඔහුට ඒ පිළිබඳව කිසිදු දුකක්‌ හෝ පසුතැවිල්ලක්‌ ඇති නොවේ. අලුත් සමාජයකට ඉහළ සමාජ සංචලතාවකට ඇතුළුවීමේ දොරටුව විවෘත වී ඇති බවක්‌ ද ඔහුට මුලදී නොදැනෙන හෙයින් කුරුලු හදවත චරිත ගොඩනැඟීමේ හා චරිතවල අභ්‍යන්තර ගැටුම් දැක්‌වීමේදී හා චරිත විකාසනයේදී නවකතාකරුවා දක්‌වා ඇත්තේ අතිශය දුර්වලතාවන් ය. මේ නවකතාකරුවෝ පේරාදෙණියේ උසස්‌ විභාගවලට නවකතාව ගැන උගන්වන ඇදුරෝ ද වෙති.

දිනසිරි තමාට නුහුරු කොළඹ නාගරික සංස්‌කෘතියට අනුවර්තනය වීම විටෙක හාස්‍යයක්‌ ගෙන දුන්නද, ඔහු පාවිච්චි කරනු ලබන්නේ 'ගම අල්ලන වැඩසටහන්' සඳහා ය. (184 පිට) වැඩිකල් නොගොසින් ඔහු ග්‍රාමීය සංස්‌කෘතිය පිළිබඳ විශේෂඥ ජනමාධ්‍යවේදියකු සේ ප්‍රකට වේ. (187 පිට) තමා මෙතෙක්‌ සිට ඇත්තේ රත්තරන් කන්දක්‌ උඩ නිදාගෙන බව ඔහුට වැටහී යයි. මේ රත්තරන් කන්ද නම් ඔහු වැඩසටහන් කීපයක්‌ම කළ තමා ඉපිද හැදී වැඩුණු කුරුලුපාළුවයි.

අමරකීර්ති මේ සිනාසෙන්නේ ගැමි සංස්‌කෘතියටයි. අපි දිනසිරිගේ අතීතය දෙස විමසා බලමු. ඔහු විද්‍යා අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිට අසමත් වූවෙකි. සිය දෙමාපියන්ගේ කුඹල් කර්මාන්තයට සහාය දෙමින් ගුවන් විදුලියෙන් ගීත ඉල්ලා තැපැල්පත් යෑවූ අයෙකි. ගමේ ජීවත් වුවද, ගමේ භූ විෂමතාව, ඉතිහාසය, භූමි පරිභෝජනය හෝ ජනශ්‍රැති පිළිබඳව නිකමට හෝ සිත යොමු නොකළ අයෙකි. පාසලේදී වුව කථික තරගවලට සහභාගි වී සිය මුඛරිකම, වාචාලකම ප්‍රදර්ශනය නොකළ ශිෂ්‍යයෙකි. තමාට කොකු ගැසීමට එන ඡේ. වී. පී. කාරයා නිවේදකයෙකු යි සිතූ අමනයෙකි. (123 පිට) ඔහුට අහගෙන ඉඳීම මිස කියවා බැලීම (කියවීම) ආස්‌වාදජනක නොවීය. (124 පිට) එනම් ඔහු පාඨකයෙක්‌ හෝ නොවීය. ''සහෝදරය වගේ දක්‍ෂ සහෝදරවරු මැටි අන අන ඉන්න ඕන නෑනෙ" යි ඡේ. වී. පී. කාඩර්වරයා කියද්දී (125 පිට) දිනසිරි කියන්නේ තමා තැපැල්පත් ලියන බවයි (127 පිට) දිනසිරි හංස සංදේශයේ සුපතළ කාව්‍ය පාඨයක්‌ හෝ නොදත් රස විහීනයෙකි. "තොපි හංසෙ කටපාඩම් කරලා කැම්පස්‌ ආව කියන එකනෙ ඔය පෙන්නන්ඩ හදන්නෙ" මධුවන්ති තරවටු කළේ හංස විහිළුව දිනසිරිට නොතේරෙන එක වළක්‌වන්නට" (261 පිට) (මධුවන්ති යනු දිනසිරිගේ නැඟණියයි. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවකි. සිය සොයුරාට කුලීන පවුලක ශිෂ්‍යාවක ජෝඩු කරන්නේ ද ඇයයි.) ග්‍රාමීය සංස්‌කෘතිය ගැන විශේෂඥ ජනමාධ්‍යවේදියකු වී ඇත්තේ මෙබඳු අයෙකි. අමරකීර්ති දිනසිරි යොදා ගනිමින් කියන්නේ සිංහල ගැමි සංස්‌කෘතිය යනු ඕනෑම අමනයෙකුට විශේෂඥයකු ලෙස පෙනී සිටීමට ඉඩ සලසන විෂය ක්‍ෂේත්‍රයක්‌ බව නොවේද?. නවකතාකරුවා මේ පහර ගසන්නේ කීර්තිමත් ජනශ්‍රැතිවේදීන් හා පෙර යුගයේ මහාචාර්යවරුන්ට නොවේද?

දිනසිරි කුරුලු පාළුව ගැන ද කතා කරයි. (185 - 188 පිටු) අමරකීර්තිට කුරුලුපාළුව පිළිබඳව හරි වැටහීමක්‌ නැත. නො එසේ නම් ඔහු එහි සමාජ විද්‍යාත්මක, භූමි පරිභෝගමය හා පාරිසරික වැදගත්කම වුවමනාවෙන්ම යටගස්‌වයි. වළං හදන අය පදිංචියට එන්ඩ කලින් එතන කැලෑ රොදක්‌ වගේ ඉතුරු කෙරුව කුරුළු පාළුවක්‌ විදියට. ඒකනෙ ඔතන අර ඇතුළට වෙන්න ලියදි හතරක්‌ පහක්‌ තියෙන්නේ. වපුරන මිනිස්‌සු එව්වට වී ටිකක්‌ ඉහාගෙන යන්නේ පැළ වුණොත් පැළවෙච්චාවෙ. පැළවෙලා පැහුණොත් කුරුල්ලොම කාපුවාවෙ කියල. කුරුලුපාළුවක්‌ කිව්වට ඕකට 'සත්තු පාළුව' කිව්වත් වරදක්‌ නෑ. හාවො, මීමින්නො, ඉත්තෑවො, මුගටි, නයි, පොළොංගු අරුං මුං ඕකෙ උන්නෙ. ඕක ඉතුරු කරපු හින්දා ඒ සත්තුන්ට කුඹුරට හානි කරන්ඩ එන්ඩ ඕන නෑ. එන්න ඕනෙ කමක්‌ නැතිවට ඕනෑ තරං එනවා. ඔතන ඔහොම ඉතුරු කෙරුවෙ කළුගල් පර හින්දා ලියදි අස්‌වද්දන්ඩත් බැරි හින්දා. දමින්න, අඹ, කොස්‌, පලු වගේ ලොකු ගසුත්, පොඩි සිංඥමරං, වේ, බාලොලියා, එරමිණියා, වගේ වැල් යායවලුත් එක්‌ක ඒ බිම්කඩ ඉතුරු කෙරුවෙ සතා සිව්පාවට කුරුල්ලන්ට ඉන්ඩ. වෙලේ වැඩ කරන උදවියට හෙවණට ඉන්ඩ (36 - 37 පිටු) කුරුලු පාළුව ගැන අමරකීර්තිගේ අර්ථ දැක්‌වීම ගැන දිගින් දිගට කතා කළ යුතු නැත. කුඩා දරුවෙකුට පවා මෙහි ඇති සාවද්‍යතාවය වැටහෙයි. අමරකීර්තිගේ කුරුලුපාළුවේ ගල් පර්වතද තිබේ. ලියදිද තිබේ. රූස්‌ස ගස්‌ වැල් ද තිබේ. වන සත්තු හා සර්පයෝ ද සිටිති. ගොවීන් එයට වී ඉහින්නේ පැළ වුණොත් පැළ වෙච්චාවෙ කියා ය.
කුරුලු හදවත ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක්‌ නොවූවද, අමරකීර්ති කුරුලුපාළුව දුටු ලෙසින් අධිරාජ්‍යවාදී ලේඛකයන් හෝ දැක නැත. අමරකීර්තිට අවශ්‍ය ගැමි සංස්‌කෘතික, ගැමි සංස්‌කෘතියට පදනම්වලට කුරුලු පාළුවෙන් පවා පෙන්නුම් කරන ගැමි අධ්‍යාත්මයට පහර දීමයි.

උතුරු මැද පළාතේ දිසාපතිවරයා වූ ආර්. ඩබ්ලිව්. අයිවර්ස්‌ සිය Manual of the north central province (1899) මගින් කුරුලු පාළුව ගැන මෙසේ කියයි. "ඒ ඒ කුඹුරු පන්තියේ වැව පැත්තේ මායිමෙන් ඉඩම් කට්‌ටි අයිතිකරුවන්ට කුරුල්ලන්ගෙන් ඇතිවන ආලාපාලු සමනය කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් පංගුවක අඩක්‌ පමණ වෙන් කර දී ඇති හරියට කියන්නේ කුරුලු පාළුව කියා ය. සාමාන්‍යයෙන් මේ කෙළවර කුඹුරු කැබලි ගමරාළලාට අයිති නිසා බොහෝ විට කුරුලුපාළුව වෙන් කර දී ඇත්තේ ගමරාළලාටමය. (354 පිට( පරිවර්තනය තෙන්නකෝන් 2005) මේ අනුව කුඹුරුයායේ ඉහළ ඇලපතට ඉහළින්ද, පහළ ඇලපතට පහළින් ද කුරුලුපාළුව විය. සමහර විට කුරුලුපාළුව පොට හතර කෙළවරහිදී ද දක්‌නට ලැබුණු බව සිංහල සිරිත් සඟරාව උපුටා දක්‌වමින් පීරිස්‌ (1956) කියයි. පියසේන කහඳගමගේගේ කුඹුර (1997) නමැති ග්‍රන්ථයේ මෙසේ දැක්‌වේ. කුඹුරු වැපිරීමේදී කුරුලු කොබෙයියන් වෙනුවෙන් ලියදි කීපයක්‌ වෙන් කිරීමට පැරණි ගොවීහු පුරුදුව සිටියෝ ය. ඔවුහු වනාත අද්දර ලියදි පෙළ කුරුලු පාළුව ලෙස සැලකූහ. කුරුලු කොබෙයියන් කුඹුරේ වෙසෙන පණුවන් ගිල දමා පළිබෝධ පාලනයට ගොවියාට උදව් වේ. ඒ බව දත් ගොවීහු ඔවුන්ට ද අස්‌වැන්නෙන් කොටස්‌ අයත් යෑයි සලකමින් කුරුලු පාළුව නමින් කොටසක්‌ වෙන් කළහ. පරිසරයේ සමතුලිත බව රැක ගැනීමට පක්‍ෂීන්ගේ පැවැත්ම අත්‍යවශ්‍ය බව සිංහල ගොවියා දැන සිටි බව කුරුලුපාළුව සාධකයක්‌ වේ. එසේම ගොවියාගේ සත්ත්ව කරුණාව ද කුරුලු පාළුව කියා පෑවේය. (111 පිට) "මේවා කුරුල්ලන්ගෙන් වන හානියට වන්දිය යන අරුතින් කුරුලු පාළු යනුවෙන් හැඳින්විණ" (112 පිට) එය ප්‍රශස්‌ත භූමි පරිභෝජන සැලැස්‌මක්‌ පෙන්වන අතර, සතුන් සමඟ පවා අස්‌වැන්න බෙදා ගැනීමේ අල්පේච්ඡ ජීවිතය ගැන කියයි. කුරුල්ලන්ට වෙනමම තීරුවක්‌ වෙන් කොට මහා වගාවක්‌ බේරා ගැනීමේ ක්‍රමවේදයක්‌ ද එහි ඇත.
මෙසේ අමරකීර්ති ගොවි සංස්‌කෘතියේ උදාරතර අංගයක්‌ විකෘති අර්ථකථන දී උපහාසයට නංවයි. නවකතාකරුවාට සිය සංස්‌කෘතිය උපහාසයට නැංවීම සඳහා ද සිය නවකතාව යොදා ගත හැකි බව අප අමතක කළ යුතු නැත. සමහර විට අමරකීර්ති මවන වළංගංගොඩ ජනයා කිසියම් බිම්කඩකට කුරුලුපාළුව යෑයි වරදවා භාවිත කරන්නට ඇත. එහෙත් අචෙබෙ කී ලෙසින් නවකතාකරුවා යනු ගුරුවරයකු ද වන හෙයින් (අපේ රටේ ගුරුවරුන්ගේ අර්ථයෙන් නොවේ.) අමරකීර්තිට එය නිවැරැදි කිරීමට කොතෙකුත් ඉඩකඩ තිබිණ. එහෙත් ඔහු වරද දැන දැන කුරුලුපාළුව යයි යොදා ඇත්තේ "ග්‍රාමීය සංස්‌කෘතිය පිළිබඳ විශේෂඥ ජනමාධ්‍යවේදීන්ට" පහර ගැසීමට වඩා කුරුලුපාළුව යන්නෙහි සංස්‌කෘතික අරුත හා ඒ හා බැඳුණු ජන විඥානයට පහර ගැසීමට බව මේ වැඩසටහන් ඇති කරන රැළිනැංවීමේ ක්‍රියාවලියෙන් පෙනේ. දිනසිරි කියන්නේ සිය ගමේ කුරුලුපාළුව කුරුලු හිසක හැඩේට සකසා ඇති බවයි. එය බහුබූත කතාවකි. මේ වැඩසටහන අහපු ඇතැම් ගම්වල අයටත් තම තම ගම්වල කුරුලුපාළු කුරුලු හිස්‌ වගේ පේන්න පටන් ගත්තා. මේ කුරුලු හිස කුමන කුරුල්ලෙකුට අයිතිද යන්න පිළිබඳ විවාදයක්‌ පැන නැග්ගා. ඒ මොණර හිසක්‌ බව පිරිසක්‌ වාද කළා. උකුසු හිසක්‌ බව තව පිරිසක්‌ කිව්වා. වෙල් යාය පාළු කරන්නට අහසින් එන කුරුලු රෑන් මේ උකුසු හිස දැක පලා යන නිසා කුඹුරු යාය බේරෙන බව ඔවුන් කිව්වා. මේ සිංහලයන්ගේ අතීත කෘෂි තාක්‍ෂණයේ පිවිතුරු අංගයක්‌ බව ජනඥාන විශේෂඥවරු පෙන්නල දුන්නා. (188 පිට)
අමරකීර්ති මෙසේ අධිරාජ්‍යවාදී සුදු නිලධාරීන් පවා නොකළ ලෙසින් ගැමි ජන විඥානය උපහාසයට නංවයි. ගම්වලට නම් වැටුණු හැටි ගැන කියන වැඩසටහනක්‌ ගැන කියමින් අමරකීර්ති මෙසේ අවලාද නගයි. පරණ පිදුරු ගොඩවල අරුම පුදුම රස ඇති බිම්මල් පිපෙන්නාක්‌ මෙන් ගමේ සාමූහික මතකයේ පිදුරු කඳුවලින් රසවත් කතාන්දර මතුව ආවා. (189 පිට) ඔහුට ගමේ සාමූහික ස්‌මෘතිය පරණ පිදුරු කන්දක්‌ වේ. එය ගිනි තබා විනාශ කළ යුතුය. අමරකීර්ති මාකේස්‌ මිය ගිය විට ඉරිදා පුවත්පතකට ලියමින් කණාමුට්‌ටිය බිඳීමේ තරගයට මාකේස්‌ වුව කැමැති වන්නට ඉඩ ඇතැයි ලීවේද මේ චින්තනයෙහි පිහිටා ය. ගැමියන්ගේ සාමූහිකත්වය, පීඩකයන්ට එරෙහිව යැම, තර්ක ඥානය, ගණිත ඥානය විශ්ලේෂණතාත්මක නිපුණතා හා සංවාද කලාප පෙන්නුම් කරන කොතෙකුත් ක්‍රීඩා තිබියදී අමරකීර්තිට සන්දර්ශනකාමීන් විසින් අවුරුදු උත්සවවලට එක්‌ කරන ලද කණාමුට්‌ටි බිඳීම වැනි නිරර්ථක ක්‍රීඩාවක්‌ වැදගත් වන්නේ සාමූහික ස්‌මෘතිය පිදුරුගොඩක සැඟවීම ඔහුගේ අපේක්‍ෂාවක්‌ වන නිසා බව පැහැදිලිය.

ගැමියන්ගේ සාමූහික ස්‌මෘතියට පහර ගැසීමට අමරකීර්ති මුත්තු අත්තා නම් කවට චරිතය ද යොදා ගනියි. (194 - 201 පිටු) මුත්තු අත්තා සතුන් දඩයම් කරන, කුණුහරුප කියන, කසිප්පු බොන, ගෑනුන්ගේ පියයුරු හා පස්‌ස අතගාන මහලු බත් බැලයෙකි. කුරුලු පාළුව ගැන ඔහු ද සිය කවට අර්ථකථනය දෙයි. (197 පිට) ගොවීන් ගොවිතැන් කරන ආකාරයේ ඔය කියන පරමාදර්ශීය බවක්‌ නැතැයි පවසයි. (273 - 280 පිටු) මේ හඬ අමරකීර්තිගේ හඬයි. වට්‌ටෝරු චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක මෝඩ කවටයා බඳු මුත්තු අත්තා, කුරුලුගංගොඩ ආපසු වළංගම වූ විට සංචාරක බස්‌වලින් පැමිණෙන ළමයින්ට ඉතිහාස කතා කියන්නේ (339 පිට) මේ වර්ගයේ අයගේ අවසානය මෙසේ මේ යයි දක්‌වමිනි.

ප්‍රේමකීර්ති ද අල්විස්‌ගේ ඝාතනය අමරකීර්තිට සාමාන්‍ය සිද්ධියක්‌ වී ඇති අයුරු ද සලකා බැලීම වටී. ප්‍රේමකීර්ති ද අල්විස්‌ සදහටම නිහඬ කෙරුණා. මෙසේ මතකයෙන් මැකී යන ප්‍රසිද්ධ නම් අතර එක්‌ නමක්‌ පමණක්‌ තව තවත් ප්‍රසිද්ධ වුණා. ඒ දිනසිරි කුරුලුගංගොඩ. (159 පිට) ප්‍රේමකීර්තිගේ මරණය හුදෙකලා සිදුවීමක්‌ නොවේ. දකුණ භීෂණයට පත් කළ එක්‌ අඳුරු යුගයක තවත් ප්‍රකාශිතයකි. ඒ සමග මුසුව ඇත්තේ ලේ වැගිරීම් හා ඝාතනය. ප්‍රේමකීර්ති යනු බහුවිධ කුසලතා පිරිපුන් ශිල්පියෙකි. ඔහුගේ මරණයෙන් ඇති වූයේ කියා නිම කළ නොහැකි හිඩැසකි. අමරකීර්තිට ඔහු මතකයෙන් මැකී යන ප්‍රසිද්ධ නමකි. ඔහු ඒ අඩුව පුරවන්නේ දිනසිරි නම් පඹයකුගෙනි. ප්‍රේමකීර්ති දිනසිරි මෙන් ජනප්‍රියත්වය හඹා නොගියේය. ජනප්‍රියත්වය පතා වැඩසටහන්වල ප්‍රමිතිය පහළ නොදැම්මේය. දිනසිරිට මෙන් භෞතික, ආර්ථික හා කාම සම්පත් ඔහුට නොලැබුණේ ය. දිනසිරි සාර්ථක වන්නේ ප්‍රේමකීර්තිගේ වචන උච්චාරණ රිද්මය අනුකරණය කරමිනි. (210 පිට) අද ප්‍රේමකීර්ති ගැන පොත් ලියන්නෝද, උත්සව පවත්වන්නෝ ද මේ පොත් තේරීමට එක්‌වී සිටිති.
ඉන් පසුව අමරකීර්ති දේශීයත්වයට පහර ගසන්නේ දිනසිරි බහුජාතික සමාගමක ප්‍රචාරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ප්‍රචාරකයා කරමිනි (214 පිට) පෝර, කෘමිනාශක , ට්‍රැක්‌ටර්. ආදී කෘෂි යෙදවුම්වල ප්‍රචාරකයා ලෙස අමරකීර්ති ප්‍රති - නිර්මාණය කරන්නේ කවරෙකුදැයි වටහා ගැනීම අපහසු නැත. (222 - 224 පිටු)
දැන් 'ජාතිකත්වය', 'දේශීයත්වය', 'සම්ප්‍රදාය' හා 'අතීතය' ගැන කතා කරන්නේ දිනසිරි යොදාගත් බහුජාතික සමාගමයි. (223 පිට) අමරකීර්ති මෙතෙන්හිදී 'ලංකාවේ බොදු ගොවි' ක්‍රම නම් නින්දා සූචක වදන් යොදයි. මේ බොදු ගොවි ක්‍රමයට බහුජාතික සමාගම ගෙන්වන පොහොර, කෘමිනාශක, වල්නාශක, කෘෂි උපකරණ අවශ්‍ය කෙරේ. බොදු ගොවි ක්‍රමය නම් නින්දා සූචකය අරුත් ගැන්වීමට අමරකීර්ති යොදාගෙන ඇත්තේ 'කමත් හෑල්ලේ' කවිය. (226 පිට) ඔහුට ජනකවිය ද විසකුරුය. කොහේවත් නොමැති බොදු ගොවි ක්‍රමයක්‌ ගැන අමරකීර්ති කියන්නේ සිංහලයා පෙළීමේ පරපීඩක අර්ථයෙනි. ඔහුට ක්‍රිස්‌තියානුවන් පවත්වන 'අස්‌වනු මංගල්‍යය' ගැන වැටහීමක්‌ නැත. 'නික්‌මයැම' ශූද්ධ වූ මතෙව්, ලූක්‌ ආදී බයිබලයේ කොටස්‌ කියවා ඇත්නම් ඔහුට ක්‍රිස්‌තියානි ධර්ම ග්‍රන්ථවල ඒ ගැන සඳහන් වී ඇති අයුරු දැනගත හැකිය.

අමරකීර්ති දේශීයත්වයට පහර ගසන්නේ දිනසිරි බහුජාතික සමාගමේ ප්‍රචාරණ ව්‍යාපෘතියේදී 'දේශීය', 'මවුබිම', 'සුජාත', 'මවුපොළොව', ජාතියේ විරුවන්ගේ සිංහල ලේ වලින් පෝෂිත 'මවුබිම', 'පවිත්‍රත්වය', 'පිරිසිදුකම', 'නීරෝගී පැරැණි හෙළයා' ආදී යෙදුම් භාවිත කළ බව පෙන්වමිනි. ඒවාට ජාත්‍යන්තර නොවන සමාගම්වලින් ද ඉල්ලුමක්‌ ආ බව කියමිනි. (251 - 252 පිටු) ඔහු එය තීව්‍ර කරන්නේ නියම ජාතිකත්වයේ පපඩම්, 'සුජාත දේශීය බීඩි', නොඉඳුල් සිංහල හාල්', විජාතික නොවන විස්‌කෝතුවක්‌, ගමෙන් ගෙනා නූඩ්ල්ස්‌, දේශීයත්වයේ සුවඳ රැඳුණු මදුරු දඟර" වැනි දැන්වීම් සඳහා දිනසිරි සිය කටහඬ හා රූපය දුන් බව කියමිනි. (252 පිට) මේ සියල්ල විකල් මනසක පහළ වූ භාණ්‌ඩ බව පාඨකයාට නිරායාසයෙන් ම වැටහෙයි. මෙය නම් වෛරය මිස වෙනත් කිසිවක්‌ නොවේ.

මෙය දැන්වීම් කලාව හා ප්‍රචාරණය කරා අප යොමු කරවයි. ජනප්‍රිය සංස්‌කෘතියේ හා පූර්ණ තරගකාරී හා කතිපයාධිකාරී ආර්ථිකයේ අනිවාර්ය අංගයක්‌ වන දැන්වීම් කලාව හා ප්‍රචාරණය කෙසේ සකස්‌ විය යුතු ද යන්න ගැන ව්‍යාපාරිකයෝ සිය අවධානය යොමු කරති. තමනට අවශ්‍ය බටහිර හෝ ඉන්දියානු දැන්වීම් කලාවේ අනුකරණයක්‌ ද, නො එසේ නම් භාණ්‌ඩ නිෂ්පාදකයන් හා බෙදාහරින්නන් අමතන වෙළෙඳපොළ ඛණ්‌ඩය කුමක්‌ද යන්න ඔවුන් විසින් හඳුනාගත යුත්තකි. එහෙත් ජාතිකත්වයේ පපඩම්, සුජාත බීඩි, දේශීයත්වයේ සුවඳ රැඳුණු මදුරු දඟර විකුණන අමන ව්‍යාපාරිකයන් තවමත් මෙරට බිහි වී නැත. මේවා කවටයන්ගේ කවට කතාය.

බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව පවත්වන ලද විරෝධතා පෙළපාලියක්‌ ද අමරකීර්ති උපහාසයට නංවයි. (252 - 253 පිටු) විරෝධතාකරුවන් අත ඇති සටන් පුවරුවල ඇත්තේද දිනසිරිගේ 'සංකල්පනා' ය. සියල්ල දිනසිරිගේ ගුවන් විදුලි වැඩසටහන්වල හා ප්‍රචාරණ ව්‍යාපෘතිවල භාවිත වන වචනය. දේශීය කුරක්‌කන් පිටි සමාගම් ද විදේශීය කිරිපිටි සමාගම් ද පොරකකා ඉල්ලන වචන" ය. (253 පිට) ජනප්‍රිය සංස්‌කෘතිය හා අධිරාජ්‍ය විරෝධය එකක්‌ වූ බව අමරකීර්ති කියයි. තව අවුරුදු කීපයක්‌ යනකොට රටම හිතන්නේ ඔයාගෙ වචනවලින්. (253 පිට) අමරකීර්තිට අවශ්‍ය වී ඇත්තේ මැටි තලා තැපැල්පත් යෑවූ බඩගෝස්‌තරවාදියෙකුගේ හඬ රටේ හඬ බවට පත්වනු දැකීමය. අද අධ්‍යාපන මණ්‌ඩලවල ඇත්තේද දිනසිරි වැනි බඩගෝස්‌තරවාදීන් නිසා මොවුනට අධ්‍යාපන ක්‍ෂේත්‍රය ද වනසා දැමිය හැකිය. එතෙකින් නොනැවතී අමරකීර්ති දිනසිරිගේ බස හදබසක්‌ යෑයි කියයි. (259 පිට) නවකතාවක්‌ ලිවීමේ මුවාවෙන් අමරකීර්ති තමා විසින් තැලිය යුත්තන්ට මෙසේ තලයි. අමරකීර්තිට මේ ආකාරයෙන් උපහාස නැංවිය හැකිව ඇත්තේ ආණ්‌ඩුව හා එක්‌ වී පූතිමාංශය වළඳන ගිරාපෝතකයන් නිසා බව පැහැදිලිය. සරත් නමැති පුනරුත්ථාපනය වී ඇති ඡේ. වී. පී. කැරලිකරුවා (දිනසිරිගේ නැඟණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වා ගන්නා ඔහු දැන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි.) දිනසිරිට ලියමින් දිනසිරිගේ ක්‍රියාවේ ආදීනව පැහැදිලි කළත්, (293 - 297 පිටු) නවකතාව මතු කරන්නේ දිනසිරිගේ විප්ලවයයි. සරත් පවා කියන්නේ දිනසිරි කුරුලුගංගොඩ ලංකා සිතියමට එකතු කර ඒ කුල පීඩිත ගමට ගෞරවයක්‌ දිනා දී 'පුංචි විප්ලවයක්‌' කළ බවයි. (295 පිට) විප්ලව කරමින් ආණ්‌ඩු බලය අතට ගැනීමට ගිය කැරලිකරුවන්ට අද විප්ලව වී ඇත්තේ මේවාය. සරත්ගේ ලියුම පුරා ඇත්තේ එන්. ජී. ඕ හඬයි. එය එන්. ජී. ඕ.වක දේශපාලන ලියවිල්ලක්‌ බඳුය. රූපාන්තරණය වූ කැරලිකරුවන් ද මේ ලියුම ඔස්‌සේ හඳුනාගත හැකිය. එය අමරකීර්තිගේද හඬ වෙයි. වැඩසටහන් අධ්‍යක්‍ෂවරයාට ඇත්තේ මොවුන් ගැන නිවැරැදි අවබෝධයකි. ඔහු මෙසේ කියයි. කුරුලු මේ වගේ උන් තරහ කරගන්න හොඳ නෑ. මුං අලුත් තියරි කෑලි එහෙම දන්නවනෙ. උඹට තියන්නෙ මේකගෙ වචන සෙට්‌ එකත් අඹරල ගන්නෙකයි අපේ වැඩවලට " (302 පිට)

සරත් වුව බරපතළ ලෙස ගණන්ගත යුතු පුද්ගලයෙක්‌ නොවේ. ඔහු දිනසිරි විශ්ලේෂණය කරමින් ලබන්නේ අධිකාරිවාදී තෘප්තියකි. සුරතාන්ත ප්‍රමෝදය වැනි සතුටකි. එය දිනසිරිගේම නංගිගෙ සිරුර විඳීමෙන් ලබන සතුටට වැඩි සතුටකි. (324 පිට) දිනසිරි හා භාග්‍යයාගේ මංගල්ලය වෙනුවෙන් ඡායාරූප ගැනීමට සරසවි උයනේ විසිතුරු තැන් සෙවීමේ ජනප්‍රිය සංස්‌කෘතියේ මංගල කලාවට ඔහුද එක්‌වෙයි. (317 - 322 පිටු)
අමරකීර්ති කුල ක්‍රමය ගැන සිතන ආකාරය ද විමසා බලනු වටී. නවකතාව තරමක කුල පීඩනයක්‌ පෙන්නුම් කළ ද දිනසිරි විවාහ වීමට යන්නේ කුලීන තරුණියක සමඟිනි. (268 පිට) විශ්‍රාමලත් කැරලිකාරයකු වන සරත් දිනසිරිගේ නැඟණිය සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගත්තේ ඇයගේ වාසගම ආදිය දැනගෙන සමකුල ප්‍රේමයකිනි. (246 පිට) පැරණි චිත්‍රපටයකදී මෙන් දිනසිරි ද උසස්‌ කුලයකට අයත් වන සිරිමලී මැණිකේගේ පියාගේ අවජාතක දියණියකගේ පුත්‍රයා බව කියෑවේ. (200 පිට, 356, 358 පිටු) කුල සන්නම මකා දැමීමට කොතරම් උත්සාහ ගත්තත් ධනෝපායන ව්‍යාපෘති සමඟ යළිත් කුලය අවශ්‍ය කෙරෙන බව අමරකීර්ති කියයි. (339 - 341 පිටු) ගම යළිත් වළංගංගොඩ කියා නම් කෙර්. ඒ බෝඩ් ලෑල්ල වෙනස්‌ කිරීමට දිනසිරිට වුව 'ආත්ම විශ්වායක්‌ නැත' (341 පිට)
අමරකීර්ති ස්‌ත්‍රිය කෙළිබඩුවක්‌ සේ සලකන අයුරු පෙනේ. දිනසිරිගේ වසඟයට පත් වූ තරුණියන්ගේ ගණන අපමණය. (216 - 217 පිටු) මල්ලී මේ රටේ හොයා ගන්ඩ ලේසිම දේ ගෑනු (217 පිට) "තව ටික කාලයක්‌ ඇතුළත මේ සුරූපී යෞවනිය කන්‍යාභාවය පිළිබඳ ගතානුගතික අදහස්‌ අත්හළ වහාම (222 පිට) "තං කියන්නෙ බොල මල් පැළ වගේ තමයි අතගාල හදාගන්ඩෝනෑ" (279 පිට) භාග්‍යා දිනසිරි සමඟ විවාහ වීමට කැමැත්ත ප්‍රකාශ කළ බව අසා වැඩසටහන් අධ්‍යක්‍ෂවරයා දෙන අවවාදය මෙසේය. "කඩපං..... එතකොට යන්නෑ" (304 පිට)

මෑත කාලයේදී හඩුබසින් ලියන ලද නවකතාවකට කදිම උදාහරණයක්‌ වන්නේ කුරුලු හදවතයි. කතුවරයා සිංහල කථිකාචාර්යවරයකු වීම මෙහි ඇති ඛේදජනක තත්ත්වයයි. ලිපිය තවත් දිග්ගැස්‌සෙන හෙයින් ඒ ගැන ලිවීමෙන් වැළකී සිටිමු. "ලියදිඔල" (36) ද වල්ලිඳල (49) ලැබිච්චෙකක්‌ (48) බට්‌ටිකක්‌ (60) ආදී වශයෙන් වචන උච්චාරණය වන ආකාරය අනුව අකුරු ලියා තිබුණද, එය කෘත්‍රිම බවක්‌ ගන්නේ නවකතාකරුවාට හැම විටම එසේ සන්ධි වීම දැක්‌වීමට නොහැකි වන නිසාය. ඔහු පාස්‌සන "එක්‌ගෙඩියාව" (298) පෙරකැවිල්ල (324) යන ප්‍රතිවිරුද්ධ පද ඔහුටම සීමා වී අභාවයට පත්වනු නිසැකය.

නවකතාකරුවාට නවකතාව අවසන් කළ යුතු තැන ගැන පැහැදිලි අවබෝධයක්‌ ඇති බැව් නොපෙනේ. දිනසිරිගේ මරණයෙන් පසුව මෙම ව්‍යාපෘති අවසන් නොවන බව පැවසීමට කතුවරයාට අවශ්‍ය වී ඇතත්, ඉන් සිදු වී ඇත්තේ කතුවරයා බලාපොරොත්තු නොවූ දෙයකි. කුරුලු ගංගොඩ වෙනුවට ඔහුගේ තැන ගැනීමට පොඩි කුරුලු කෙනෙක්‌ පහළ වී සිටියි. (362 පිට) මොහු නම් සාම ව්‍යාපෘතියක වැඩ කළ ගැටුම් නිරාකරණය හා බලය බෙදාහැරීම ගැන වැඩ කරන ප්‍රකට රාජ්‍ය නොවන සංවිධානයක වැඩමුළු සංවිධානය කළ අයෙකි. අද අපි බත් කමු යි (362 පිට) කීමට එක්‌ව ඇත්තේ ද ඔහුමය. මොවුන්ගේ විරෝධය හා ගැටුම් නිරාකරණය යනු "කැඳවීම ලැබෙන තුරුය" යන්න යළිත් ප්‍රත්‍යක්‍ෂ වෙයි. ජනප්‍රිය සංස්‌කෘතිය රටට කරන විනාශය පැහැදිලි කිරීමට ලැබුණු මාහැඟි අවස්‌ථාව අමරකීර්ති "කටුස්‌සා සිය මවගේ අවමංගල්‍යය විනාශ කළ පරිද්දෙන්" විනාශ කරගෙන තිබේ.
 

-යුතුකම සංවාද කවය
www.yuthukama.com

8/25/2014

සරසවි ඇදුරකුගේ ෆුල්බ‍්‍රයිට් මානාධික කතා

කතෘ:යුතුකම     8/25/2014   10 comments
-සේන තෝරදෙනිය
      

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලියනගේ අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියක් ගැන පාඨක අවධානය යොමුකිරීම මෙම ලිපියේ අරමුණයි. අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපිය "කලම්බු ටෙලිග‍්‍රාෆ්" නම් වෙබ් අඩවියෙන් බලාගැනීමට අපට හැකිවිිය. එම ලිපිය උපුටාගෙන තිබෙන්නේ "එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම  ^United states - Sri Lanka Full bright commission& මගින් ප‍්‍රකාශයට පත් කරන ලද ප‍්‍රකාශයකිනි. අමරකීර්ති මහතාගේ ලිපිය පළවී ඇත්තේ  "Mr. President, Let's Imagine a Sri Lanka within the world" යනුවෙනි. ("ජනාධිපතිවරයාණෙනි, ලෝකය අභ්‍යන්තරිකව තබා ශ‍්‍රි ලංකාව ගැන සිතා බලමු" ) මෙම ලිපිය පරිවර්තනය කොට දැක්වීමට අපි අදහස් නොකරමු. එහෙත් එහි අඩංගු සමහර කරුණු උපුටා නොදක්වා ඒ ගැන විවරණයක් කිරීමට නොහැකිය.

        අමරකීර්ති මහතා මෙම ලිපිය ලියා ඇත්තේ ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ගත් ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" වශයෙනි. ඒ එක්සත් ජනපද - ශ‍්‍රී ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමට වසර හැටක් සම්පූර්ණ වීම නිමිතිකොට ගෙනය. ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකු" ලෙස පෙනී සිටියත් අමරකීර්ති මහතා රාජ්‍යනායකයන්ට ලිපි ලිවීමේ ආචාරධර්ම, සභ්‍ය විලාසය, චාරිත‍්‍රධර්ම, තානය හා ස්වරය නොදන්නා බව මෙම ලිපියෙන් පෙනේ. මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂම එය සංස්කරණය කර ඇති බවක්ද නොපෙනේ. ඔහු මෙබඳු ලිපියක් ඔබාමාට ලීවේ නම් ඇමරිකාවේ "දේශපේ‍්‍රමී නීතිය" යටතේ ඔහු අධිකරණය වෙතට පමුණුවා පුනර්අධ්‍යාපන වැඩසටහනකට යොමු කරනු නිසැකයි!

සිය ලිපියේ මුල් කොටසින් අමරකීර්ති මහතා තමා කවරෙකුදැයි ජනාධිපතිවරයාට හඳුන්වා දෙයි. "ලියනගේ අමරකීර්ති වන මා ෆුල්බ‍්‍රයිට් විද්වතෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. තරමක කීර්තියක් හා පිළිගැනීමක් ඇති ප‍්‍රබන්ධකතාකරුවෙකි." ඒ සමගම තමා "බුද්ධිමතෙකු" බව ඔහු ප‍්‍රකාශකොට සිටියි. ජනාධිපතිවරයා වැනි අයගේ අවධානයට යොමු කරවීමට ඔහු රටේ වැදගත් ප‍්‍රශ්න ගැන ලිපි ලියන බවද කියයි. ඔහු විසින් ලියන ලද එම ලිපි ජනාධිපතිවරයා විසින් කියවන්නට ඇතැයිද ඔහු සිතයි. තමා ජනාධිපතිවරයාට මේ ලියන්නේ ජීවිතයේ ප‍්‍රථම වරටයැයි පවසන ඔහු මේ ලියන දෙය එනම්, එක්සත් ජනපද ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂම මගින් පරිපාලනය කරන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන, තමාටද තම අහංකාරයටද වඩා වැදගත් වන බව පවසයි.

රාජ්‍ය නායකයකුට ලිපි ලියන ආචාරධර්ම අමරකීර්ති මහතා නොහඳුනන බව මෙයින් පෙනේ. මෙසේ ලියන්නේ සාමාන්‍ය රටවැසියකු හෝ ඡුන්දදායකයකු නොව ඔහුම පවසන පරිදි "බුද්ධිමතෙකි" ෆුල්බ‍්‍රයිට් "විද්වතෙකි." විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. කීර්තිමත් ප‍්‍රබන්ධකතා කරුවෙකි. ඔහුගේ වෑයම ජනාධිපතිවරයාට ෆූල්බ‍්‍රයිට් වැඩසටහන ගැන ඉගැන්වීමට යාම නිසා ඔහුට සිය අහංකාරය වැදගත් නොවේ. රාජ්‍ය නායකයා අමතන ඔහුගේ බස අශිෂ්ටය. මෙරට  ෆුල්බ‍්‍රයිට් කොමිෂම හෝ ඔහුට භාෂාව කියා දී නැත. ෆුල් බ‍්‍රයිට් කොමිෂම මෙම ලිපිය ප‍්‍රකාශයට පත් කළේ නම්, එය ජනාධිපතිවරයා වෙත යොමු කළේ නම්, අමරකීර්ති මහතාගේ මේ මානාධික ලිපිය සංස්කරණය කළ යුතුව තිබුණි. ඔහු කියන්නේ තමාගේ අභිමානය යටපත් කරගෙන දැන් ජනාධිපතිවරයාට ලියන්නේ ෆුල්බ‍්‍රයිට් වැඩසටහන ඔහුට වැදගත්වන නිසා බවයි. ෆුල්බ‍්‍රයිට් කොමිෂම වසර හැටක් සැමරීම ඔහුට ප‍්‍රීතියක් ගෙන දෙන නිසා බවයි. ඔහු ජනාධිපතිවරයාට ලියන්නේ එහෙයිනි. නමුත් ඔහු සිය ලිපියේ මුල් කොටසින් ස්වචරිතාපදානමය තොරතුරු ටිකක් ද ජනාධිපතිවරයාට ලියයි.  සිය දෙමාපියන් හා සිය අන්ත දරිද්‍රතාව ගැන ඔහු පවසයි. අද බොහෝදෙනකුට සිය බාලකාලයේ දරිද්‍රතාවය විකිණිය හැකිය. මහා සමාජය සමග ගනුදෙනු කිරීමට හා බද්ධ වීමට බොහෝ දෙනෙකුට එය අවශ්‍යය. එමගින්  සිය වර්තමාන ඓශ්චර්යය පෙන්වීමක්ද වේ.

අමරකීර්ති මහතා උපන් කාලයේදී ඔහුගේ ගම අවට හොඳ පාසැල් තිබුණද අද ඒවා නොමැති බව ඔහු ජනාධිපතිවරයාට කියයි. මෙහි අදහස නම් ජනාධිපතිවරයාගේ කාලයේදී පාසැල් පරිහානියට පත්වී ඇති බවයි. ඉන්පසුව ඔහු ජනාධිපතිවරයාට පවසන්නේ තමා කොළඔ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවද, "ස්වභාෂා ඒකභාෂීය අධ්‍යාපනය" අප රට පරම්පරා ගණනාවක් "පටු ජාතිකවාදීන්" කළ බවයි. "ස්වභාෂා - ඒකභාෂීය අධ්‍යාපනය" මෙරට "දේශපාලනික - අභිලාෂය" ක‍්‍රියාවට නැංවීමේ ප‍්‍රමිතිය වූ බව ඔහු කියයි. ජාතිකවාදය හා ජාතිවාදය අතර ඇති වෙනස, ජාතිවාදීන් හා ජාතිකවාදීන් අතර ඇති වෙනස මේ ෆුල්බ‍්‍රයිට් "විද්වතා" ට බොහෝ දුරස්ථ සේ පෙනේ. ඔහුට ඒ බව ෆුල්බ‍්‍රයිට් කොමිෂම පවා උගන්වා නැති හැඩය. ජනාධිපතිවරයාගේ ත්‍රෛභාෂා වැඩපිළිවෙල හා නැවත ඉංගිරිසිය රජ කරවීමට ගන්නා උත්සාහය අමරකීර්ති මහතාට පෙනී නොමැත. 

තමා ජනාධිපතිවරයාට ලියන ලිපිය "හොඳ මදි බවද" අමරකීර්ති මහතා දනියි. ඔහු ඒබව ප‍්‍රකාශ කරන්නේ වෙනත් විශ්වවිද්‍යාල විද්වතුන් ජනාධිපතිවරයාගේ ගුණ වර්ණනා කරමින්, සභාපතිකම්, අධ්‍යක්‍ෂ තනතුරු, තානාපති පත්වීම් ඉල්ලා - ඔබට උදව් කිරීමටය කියා - වඩා හොඳ ලියුම් ලියන්නට ඇතැයි කියමිනි. එහෙත් එසේ රැකියාව ලබාගත් අය මාර්ගයෙන් ආණ්ඩුවේ සති අන්ත සිංහල පුවත්පත් වල මාගල් වැනි ලිපි පළ කරවා ගත් බව, රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ගත් බව, වෙනම ලිපියකින් කිව යුතුය.

කිසියම් අහඹුවකින් තමාට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය තනතුරක් ලැබුණු බව අමරකීර්ති මහතා ජනාධිපතිවරයාට කියයි. එහෙත් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් ලැබීම අහඹුවක් යයි ඔහු නොකියයි. "අර මිහිරි සීනු නාදය" නම් ඔහුගේ කෙටිකතා සංග‍්‍රහය ඔහු පිළිගන්නවා ඇත්තේ, පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඔහු බඳවාගත් සිංහල අංශාධිපති, පීඨාධිපති හා උපකුලපතිවරයාටය. පශ්චාත් - උපාධි අධ්‍යාපනයෙන් පසුව අමරකීර්ති මහතා රුහුණු විශ්වවිද්‍යාලයටද, ඔහු උගත් කොළඹ විශ්වවිද්‍යාලයටද, සුදුස්සෙක් නොවීය. සිය මාන්නය ගිල දමා ඔහු ජනාධිපතිවරයාට පෙන්වාදිය යුත්තේ  මෙසේ සිදුවූයේ ඇයි ද යන්නයි.

මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ ඇති දුර්වලතා හා දෝෂ ජනාධිපතිවරයාට දන්වා සිටින  ඔහු, එක්සත් ජනපදයේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට තමා සිහින දකිමින් සිටි බව කියයි. ඔහු මෙසේ ජනාධිපතිවරයාට ලීවද දැන් ඇදුරෙකු වශයෙන් ඔහු මෙරට පශ්චාත් උපාධි අධ්‍යාපනයේ යහපත වෙනුවෙන් කළ වැඩක් අපට දැන ගැනීමට ලැබී නැත.

අමරකීර්ති මහතා පවසන පරිදි ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය ලැබී තිබෙන්නේ තේරීමේ මණ්ඩලයේ අයගේ "කාරුණිකභාවය" නිසාය. ඔහු දක්වන ආකාරයට, ඔහුගේ ඉංගිරීසි භාෂා නිපුණත්වය සම්පූර්ණයෙන්ම වාගේ ශූන්‍ය වූ කල්හි (next to nothing) ඇමරිකානු විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා ගැනීමට එය ප‍්‍රමාණවත් නොවූවද, ෆුල්බ‍්‍රයිට් කොමිසමේ තේරීම් මණ්ඩලයේ "කාරුණිකභාවය"  (Kindness) නිසා ඔහුට ශිෂ්‍යත්වය ලැබී තිබේ. අමරකීර්ති මහතා පවසන ආකාරයට ඔහුගේ තෝරාගැනීමට මුල් වී ඇත්තේ මූලික සුදුසුකම වන ඉංගිරීසි ප‍්‍රවීණතාවය සලකා බැලීම නොව තේරීම් මණ්ඩලයේ "කාරුණිකත්වයයි." මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමට හා අමෙරිකාවට අද අවශ්‍ය කරන්නේ ගම්බද දිළිඳු පවුල් වලින් එන පුද්ගලයන් බව මෙයින් පැහැදිලිය. මොළ සෝදා පිරිසිදු කොට, රීකන්ඩිෂන් කොට, සිංහල සංස්කෘතික සමාජය වෙතට ඔවුන් මුදා හැරීම ප‍්‍රමාණාතික‍්‍රාන්ත ආයෝජනයක් බව ඔවුන් දන්නවා විය හැකිය. ඔවුහු එම ඵල දැන් නෙළමින් සිටිති. එන්.ජි. ඕ මහැදුරෙකු "ෆූටා" අරගල සමයේදී අමරකීර්ති මහතාද "දිදුළන අලූත් නායකයෙකු" යැයි ඉංගිරීසී පුවත්පත් මගින් ලිවීම පුදුමයට කරුණක් නොවන්නේ මේ හෙයිනි. අද ඔහු මැර ශිෂ්‍ය කණ්ඩායම් වෙනුවෙන් පෙනීසිටින බව ඔහුගේ අළුත් ලිපි වලින් පෙනේ.

ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයෙන් තමා ලැබූ වාසි ගැන ජනාධිපතිවරයාට ලියන අමරකීර්ති මහතා ඉන්පසුව ජනාධිපතිවරයාට සංස්කෘතිය ගැන උගන්වයි. ඔහු ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ අන්තවාදී දෘෂ්ටිවාදීන් විසින් පතළ කරන අදහස්, පටු විෂයපථයකට සීමා වූ කට්ටලීය ජාතිකවාදී අදහස්, පරාජය කළ යුතු බව කියමිනි. සැබෑ සාමය හා සමගිය ලඟා කරගත හැකි වන්නේ ඒ පටු අදහස් පරාජය කළහොතිනි. ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වය නිසා තමාට "විශ්වීය දූරදර්ශනයක්" ලැබුණු බව ඔහු පවසන්නේ ජනාධිපතිවරයාට එවැන්නක් නැතිබව පෙන්වන්නාක් මෙනි.

ආණ්ඩුව ඇතුලේත්, පිටත් අමෙරිකාව හා සම්බන්ධවූ සියල්ලටම වෛර කරන අය ඇති බව තමා දන්නේ යයි අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයාට වඩා තමා ඉහළ පාදස්ථලයක ඇතැයි හඟවමිනි. "ඔබේ ආණ්ඩුව තුළ සෑම තන්හිම ඇමෙරිකානු විරෝධී අතිශයෝක්ත්‍යලංකාර, ගිනිවිජ්ජුම්බර සන්දර්ශන (rhetorical pyrotechnics) දෘශ්‍යමාන වන බව මම දනිමි." "බොහෝ මිනිසුන් තම ඇමෙරිකානු විරෝධීභාවය, අධිරාජ්‍ය විරෝධීභාවය හා බටහිර විරෝධීභාවය ව්‍යාජ ලෙස ප‍්‍රදර්ශනය කරන්නේ, ඔබේද ආශිර්වාදය ලැබෙන දේශපේ‍්‍රමයේ වාතාවරණය තුළ තම අතිජීවනය සඳහා බව මම දනිමි."

 "අමරකීර්ති මහතා" ජනාධිපතිවරයා අමතන ත‍්‍රාඩා විලාසය සැලකිල්ලට ගන්න. මේ ලියවිල්ල ෆුල්බ‍්‍රයිට් විද්වතෙකුහෝ නොව ආණ්ඩු විරෝධී තීරුලිපිකාරයකු ලියන දෙයට අසමාන නොවේ. ජනාධිපතිවරයාට ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ වැදගත්කම පහදාදී ඒ සඳහා රාජ්‍ය නායකයාගේ සහාය ඉල්ලා සිටින ලිපියක තානය හා ස්වරය එහි නැත. එය ඉංගිරීසි භාෂාව හැසිරවීමේ දුර්වලතාවය නිසා පුද්ගලයාට හා තැනට සුදුසු සේ, විෂයට ගැලපෙන සේ ඇමතීමේ ඇති දුබලතාවයද පෙන්වයි. මේ දුර්වලතාවය මග හැරීමට ෆුල්බ‍්‍රයිට් කොමිෂන්කාරයින්ටද හැකිවී නැත. ෆුල්බ‍්‍රයිට් වූවාට අර්තාපල් අල ගෙඩිය තැම්බී ඇත්තේ බාගෙට බව මින් පෙනේ.

 මෙසේ ලිවීම නිසා අමරකීර්ති මහතාට සිය රැකියාව ගැන බියක්ද ඇතිවේ. "ඔබේ න්‍යායවාදී මිතුරන්ගෙන් කෙනෙකු මෙය කියවුවහොත් මා පමණ ඉක්මවා අමෙරිකානු පක්‍ෂග‍්‍රාහී යයි තීරණය කරනු ඇත. එවැනි උපකල්පනයකට රාජ්‍ය මුදල් වැයවන විශ්වවිද්‍යාලයක මගේ වෘත්තිය විනාශ කළ හැකිය." ජනාධිපතිවරයාට හයිරන් පාට් දමන අතර ඔහු මෙසේ රැකියාවටද බිය වෙයි. මෙය දේශීය හා විදේශීය එන්.ජී. ඕ. අමෙරිකාව හා රෙජිමය පෙරළීමට කැස කවන අයගේ පරිභෝජනය සඳහා ලියන ලද වැකි බව පැහැදිලිය. එහෙත් අමරකීර්ති මහතා සිය රැකියාව ගැන බිය විය යුතු නැත. ඔහුට වින්දිතයෙකු ලෙස අමෙරිකාවේ සරණ සොයා යා හැකිය.

 ඉන්පසුව ෆුල්බ‍්‍රයිට් වැඩසටහනේ ඉතිහාසය ජනාධිපතිවරයාට කියාදෙන අමරකීර්ති මහතා අමෙරිකානු සෙනට් සභික විලියම් ෆුල්බ‍්‍රයිට් "දූරදර්ශී නායකයෙකු" ලෙස හඳුන්වා දෙයි. විලියම් ෆුල්බ‍්‍රයිට් ලියූ "The Arrogance Of Power" නැමැති කෘතිය ගැන අමරකීර්ති මහතා සඳහන් කළද ඔහුගේ ලිපිය පුරා ඇත්තේ ඔහුගේ අමෙරිකානු ගැති, අපරිණත, මුග්ධ, මාන්නාධික බව යයි එහි ඇති ඉංගිරීසියෙන්  ඕනෑම අයෙකුට පැහැදිළි වේ. මෙයින් පසුව අමරකීර්ති මහතා ඉතා තුච්ඡ ආකාරයට ජනාධිපති අමතයි. "අපේ රටේ ඉතාමත් බලසම්පන්න පුද්ගලයා වශයෙන් ජනාධිපතිවරයාණෙනි, ඔබට සාධුශීලි ගුණය, නිරහංකාරය හා ප‍්‍රයෝජ්‍යයතාවාදය ගැන ඉතා වැදගත් පාඩම් සෙනට් සභික ෆුල්බ‍්‍රයිට්ගේ ජීවිතය හා කාර්යයන් ගැන ඉතා සුළු අවධානයක් යොමු කොට ඉගෙනීමට හැකිවනවා ඇත." අමරකීර්ති මහතා පවසන්නේ ජනාධිපතිවරයා තුළ නොමැති ඔහු දකින එබදු ගුණ ෆුල්බ‍්‍රයිට් සෙනට් සභිකයාගෙන් ඉගෙනගත යුතු බවයි. ජනාධිපතිවරයා අවඥාවට භාජනය කරමින් ඔහු ඉල්ලා  සිටින්නේ, ඉදිරි අවුරුදුවලදී මේ වැදගත් වැඩසටහනට වඩාත් දෘශ්‍යමාන ආකාරයට සහයෝගය ලබාදීම සඳහා වැඩ කරන ලෙසයි. සෙනෙට් සභිිික ෆුල්බ‍්‍රයිට් වැනි අය ලබාදෙන ආලෝචනා වන්ගෙන් අප උගත යුතු බවයි.

 මෙරට ජනාධිපති, විදේශකටයුතු අමාත්‍යංශය, රාජ්‍යාරක්‍ෂක අමාත්‍යංශය ෆුල්බ‍්‍රයිට් වැඩසටහන යනු කුමක්දැයි නොදන්නේ යයි සිතීමට තරම් අමරකීර්ති මහතා අමෙරිකානු ගැති මුග්ධප‍්‍රසන්නයෙක් වී සිටී. මෙරට මීට පෙර රොකෆෙලර්, රෝඞ්ස්, ෆෝර්ඞ්, හර්බට් හම්ෆ‍්‍රි, ආදී ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්ව ලාභීන් සිටියද ඔවුන් මේ ආකාරයට රාජ්‍ය නායකයාට ලියූ බවක් අප අසා නැත. මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා රොකෆෙලර් ශිෂ්‍යත්වයක් ලබා විදේශවලදී නාට්‍ය කලාව හදාරා කළේ තමාගේ පර්යේෂණ කටයුතු කූටප‍්‍රාප්තියට පත් කරමින් නාට්‍ය නිෂ්පාදනයේ යෙදීමයි. අනික් අතට අමෙරිකාවට ශිෂ්‍යත්වයක් ලබාගිය පළමු හා එකම පුද්ගලයා අමරකීර්ති මහතා නොවන්නේය. ඔහු සිය ලිපිය අවසන් කරන්නේ, එක්සත් ජනපද - ශ‍්‍රි ලංකා ෆුල්බ‍්‍රයිට් කොමිෂමේ ඉතිහාසය තක්සේරු කිරීමට ජනාධිපතිවරයාට "ප‍්‍රඥාව හා ධෛර්යය" ලැබෙන ලෙස ඉල්ලමිනි. මෙබඳු ලිපියක් ජනාධිපතිවරයාට යැවීමට තරම් මෙරට ෆුල්බ‍්‍රයිට් කොමිෂමද අමන ක‍්‍රියාවක් කර ඇති බව පෙනේ. රාජ්‍ය නායකයා කෙරෙහි අමරකීර්ති මහතාට ඇති අප‍්‍රසාදය එකකි. එහෙත් ඔහුට කෙතරම් අප‍්‍රසන්න වුවද ජනාධිපතිවරයාගෙන් යමක් ඉටු කර ගැනීමට, ඔහුට කරුණු පහදාදීමට ලියන ක‍්‍රමයක් ඇත. අමරකීර්ති මහතාගේ ලිපිය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාට ලිපියක් ලිවීමට ලැබෙන්නාවූ වරම පවා අයුතු ලෙස ප‍්‍රයෝජනයට ගන්නා ඇදුරෙකුගේ සොබාවයයිි. මොවුනට පෙට්ටි කඩයක් හෝ පාලනය කිරීමට අවකාශය ලැබුණහොත් ඔවුන් ක‍්‍රියා කරන ආකාරය විස්තර කළ යුතු නැත. ලෝකයේ දැනට රටවල් 155 ක ක‍්‍රියාත්මක වන ෆුල්බ‍්‍රයිට් වැඩසටහන මගින් 2013 වර්ෂය වන විට 325,400 ක් ප‍්‍රතිලාභ ලබා තිබේ. අමරකීර්ති මහතා ඉන් එක් අයෙකු පමණක් යැයි දැන සිටීම යහපත් ය.      


යුතුකම සංවාද කවය
www.yuthukama.com


Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions