මීට අවුරුදු 2333 කට පෙර අපේ මහින්ද හාමුදුරුවෝ තවත් පස් දෙනෙකු සමඟ මිහින්තලයට වැඩම කළෝ ය. උන් වහන්සේලා ළඟ භික්ෂුවකට කැප වූ අත්‍යවශ්‍ය කලමනා මිස අවි ආයුධ හෝ තෑගි බෝග හෝ අන් කිසිවක් හෝ නොවූ හ.
මහින්ද හාමුදුරුවෝ තිස්ස රජුන් සමග සුහද බුද්ධිමය සංවාදයක යෙදුනෝ ය. තමන් මේ රටේ භාරකාරයා මිසක අයිතිකරු නොවන බවත් රාජ්‍යයේ මිනිසුන් පමණක් නොව සියලු සත්වයන් හා ගහකොළ මෙන් ම භූමිය ද රැක ගැනීම රජකුගේ වගකීම බව ද රජුට මතක් කර දුන්නේ ය. බුදු සමයේ හරය හකුලා දක්වන ධර්ම දේශනාවක් ද කළෝ ය.
පසු දින රජතුමාගේ ආරාධනයෙන් අනුරාධපුරයට වැඩම කොට රජුගේ සහ පිරිවරට, රාජ්‍ය නිළධාරීන්ට හා පොදු ජනතාවට ද ධර්ම දේශනා කළ අතර රජතුමාගේ ඉල්ලීම පිට මේ රටේ බුදු සසුන පිහිටුවීමට අවශ්‍ය අවවාද අනුසාසනා ද කළෝ ය.
මේ සියලු කටයුතු සාර්ථකව නිමා කළ උන් වහන්සේ යළි මිහින්තලයට වැඩ ම කොට පරිනිර්වානය දක්වා ම එහි වැඩ වාසය කළෝ ය.
එදා මෙදා තුර ගෙවීගිය කාලය තුල බුදු සමය මෙරට මහ පෙළොවේ ආගම විය. රජුන්ගේ ආගම විය, පොදු ජනතාවගේ ආගම විය. එය මේ බිමේ උරුමය, අධ්‍යාත්මය, සංස්කෘතිය, සභ්‍යත්වය හා පොදු ජන විඥානය බවට ද පත් විය.
වරින් වර සතුරු කරදර එල්ල වුව ද සිංහල බුදු සමයට ම්ලේච්ඡතම වූ ද සාහසික වූ ද තර්ජනය එල්ල වූයේ ඉතිහාඥයින් විසින් පුනරුද යුගය ලෙසින් හඳුන්වනු ලබන යුගය තුළ දී ය. දහසය වන සියවස ආරම්භයේ දී පෘතුගීසීන් මෙහි පැමිණයේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නියොජිතයා වූ වතිකානුවේ පාප් වහන්සේ විසින් මුලු ලෝකයටම බලපවත්වන ලෙසින් නිකුත් කරන ලද ආඥාවක් ද (papal bull) සමඟ ය.
ඊට අනුව ඔවුන් අල්ලා ගන්නා සියලුම භූමි වල මනුෂ්‍යයන් කිතු සමයට හරවා ගැනීමටත්, ඊට එකඟ නොවන්නන් මරා දැමීමටත්, ඒ රටවල සම්ප්‍රදායික ඇදහීම් හා සම්බන්ධ සිද්ධස්ථාන විනාස කර දැමීමටත් ඒ ඒ රටවල වස්තුව හිතු මතයේ කොල්ල කෑමටත් ඔවුනට අවසරය දී තිබුනි.
පෘතුගීසීහු එම ආඥාව හොඳින් ක්‍රියාත්මක කළ හ. කෝට්ටේ රජ මාළිගාව තුලට ඔවුන් ඇතුලු වන්නේ සීතාවක මායාදුන්නේ රජු වෙතින් එල්ල වන සතුරු උවදුරු වලින් රජුන්ට ආරක්ෂාව සලසන මුවාවෙනි. හමුදා නිළධාරීන් සමඟ රජ මාලිගයට වදින කතෝලික පූජකවරුන් රජුට කිතු සමය වැළඳ ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ එසේ නොකළ හොත් රජ දෙවියන් වහන්සේගේ උදහසට ලක් විය හැකි බව ද කරුණාවෙන් මතක් කර දෙමිනි.
එය කෙළවර වන්නේ රාජ්‍යයේ උරුමක්කාරයා වූ රජුගේ මුණුබුරු ධර්මපාල කුමාරයා කිතු සමය වැළඳ ගැනීම සඳහා පෘතුගීසීන්ට බාර දීමෙනි.
කිතු සමය වැළඳ ප්‍රතික්ෂේප කරන බුවනෙකබාහු රජතුමා දෙවියන් වහන්සේගේ උදහසට ලක්ව මාළිගාවේ සිටි පෘතුගීසි හේවායෙකුගේ තුවක්කුවක් වැරදීමකින් පත්තු වී මිය යයි.
පෘතුගීසින්ගේ රූකඩයක් ලෙසින් රජකම් කළ ධර්මපාල රජුගේ (දොන් ජුවන්) රාජ්‍ය කාලය තුළ දී බුදුන් වහන්සේ පවා වැඩි කැළණි විහාරය ද ඇතුලු මුහුදු බඩ වෙහෙර විහාර 400 කට වැඩි ප්‍රමාණයක් ගිනිබත් කිරීමද සිංහල බෞද්ධයින්ට විරුද්ධව නීතිය අවභාවිතා කිරීම් ද සිදු විය. අවසන ධර්මපාල රජු විසින් ලියවිල්ලකින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසි රජුට පවරා දෙනු ලැබීය.
පෘතුගීසීහු කන්ද උඩරට රාජ්‍ය සම්බන්ධයෙන් ද කෝට්ටේ රාජ්‍යයටම සමාන වූ පිළිවෙතක් අනුගමනය කළ හ. ඒ මන්නාරමේ පෘතුගීසීන්ගේ ආරක්ෂාව යටතේ සිටි කන්ද උඩරට කරලියැද්දේ රජුගේ දියණියක වූ කුසුමාසන දේවිය දෝන කතිරිනා නමින් බෞතීස්ම කරන ලදුව කන්ද උඩරට රාජ්‍යත්වයට පත්කිරීමට උත්සාහ ගැනීමෙනි. එම ප්රයත්නය සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ පෘතුගීසීන් අතර දොන් ජෝන් නමින් ප්‍රසිද්ධ වූ කන්ද උඩරට ප්රභූවරයෙකුගේ පුත් කොනප්පු බණ්ඩාර උපායෙන් හා වික්‍රමයෙන් විමලධර්මසූරිය නමින් කන්ද උඩරට රජ බවට පත් වීමෙනි. විමලධර්මසූරිය විසින් කුසුමාසන ඔහුගේ අගමෙහෙසිය බවටත් පත් කර ගන්නා ලදි.
විමලධර්මසූරියගේ රාජ්‍ය කාලය තුල දී දෙවරක්ම මහනුවර රාජධානිය ආක්‍රමණයෙන් අත්පත් කර ගැනීමට අසමත් වුනු පරංගීහු ඉන් පසු වරින් වර කන්ද උඩරට සිංහල ගම්බිම් වලට කඩාවැදී කෙත්වතු බවභෝග විනාශ කරමින් හා මනුෂ්‍ය ඝාතන කරමින් නිවට වූ ද ම්ලේච්ඡ වූ ද ත්‍රස්ත පිළිවෙතක් අනුගමනය කරන ලදි. මෙරට සිංහල බෞද්ධයන්ට දේපළ වස්තු හා ජීවිත අහිමි විය. තවද තම දරුවන් උඩදමා බයිනෙත්තුවේ අමුණනවා බලා සිටීමට පවා සිදු වී ම දක්වා වූ නොයෙක් ප්‍රමණයේ ගැහැට විඳීමට ඔවුනට සිදු විය.
එහෙත් කිසිම ආක්රමණිකයෙකුට මහින්ද හිමියන් තවත් පස් දෙනෙකු සමඟින් නිරායුධව මෙරට ස්ථාපිත කළ බුදු සමයේ පදනම බිඳහෙළිය නොහැකි විය. ඉනුත් වසර දෙසිය ගණනකට පසු ලොව හිරු නොබසින අධිරාජ්‍යය පිහිට වී යැයි කියන ඉංගිරිසිකාරයන් පවා මේ රටේ බලය ස්ථාපිත කරගත්තේ බුදු සමය හා දේවාගම් ආරක්ෂා කරන බවට ලියවිල්ලක ලියා දී පොරොන්දු වෙමිනි.
අද පවා ඇතමෙකුට මේ රට ඊනියා නිරාගමික රාජ්‍යක් බවට පත් කිරීමට උවමනා වී ඇත්තේ මන්දැයි සිතා බැලීම ලිපිය කියවන ඔබට බාරයි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි-
2025 ජූනි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .