අධිරාජ්‍යවාදී යුගයේ මෙරට අධ්‍යාපන ආයතන තුලින් අපගේ දරුවන්ට ලබා දුන් අධ්‍යාපනය අඩු කුලී ලියන්නන් බිහි කරන්නක් මිස සැබෑ මිනිසුන් බිහි නොකරන ‘ස්ථිර පදනමක් රහිත අවජාතක අධ්‍යාපනයක්’ ලෙසිනි අනගාරික ධර්මපාල තුමා විසින් 1922 දී හඳුන්වා දී ඇත්තේ.
මීට සමාන අදහස් ජේම්ස් ද අල්විස්, පොන්නම්බලම් රාමනාදන් හා තවත් විද්වතුන් විසින් එකල ඉදිරිපත් කරනු ලැබ ඇත. ආනන්ද කුමාරස්වාමි මහතා විසින් විසින් එම අධ්‍යාපනය අධ්‍යාත්මික අවජාතකයින් (spiritual bustards) හා නීච බුද්ධිමතුන් (intellectual pariahs) පරපුරක් බිහි කරන්නක් බව සඳහන් කර ඇත.
යටත් විජිත යුගයේ අධ්‍යාපනය එම වියතුන්ගේ බරපතළ විවේචනයට ලක් වූයේ එය දරුවන් තම පාරම්පරික චින්තනයෙන් බලහත්කාරයෙන් අයින් කර තබන ලද අධ්‍යාපනයක් වූ බැවිනි.
ක්‍රිස්තියානි පාසැල් තුල පාදිලිවරුන් හා ගුරුවරුන් විසින් බෞද්ධ දරුවන් කිතු සමයට හරවා ගැනීම සඳහා අනුගමනය කළ නිර්දය පිළිවෙත නිසා තමන්හට විඳින්නට වූ චිත්ත පීඩාවන් ධර්මපාල තුමා විසින් සිය දින සටහන් වල සඳහන් කර ඇත.
දරුවන් තම ආවේණික සංස්කෘතික පරිසරය තුල මවු බසින් ඉගෙන ගැනීමේ ඇති වැදගත් කම නිරතුරුව ම පෙන්වා දුන් ධර්මපාල තුමා සමකාලීන බටහිර බුද්ධිමතුන් හා දාර්ශනිකයන් බොහෝ දෙනෙකුට වඩා ඉදිරියෙන් සිටි ප්‍රගතිශීලී චින්තකයෙක් බව පැහැදිලි ය.
මෙම පාරම්පරික සංස්කෘතික උරුමය බිඳ හෙලීම සඳහා ඉංගිරිසින් විසින් ක්‍රම ක්‍රමයෙන් පියවර ගත්තේ පන්සල් ආශ්‍රිත වූ අධ්‍යාපනය වෙනුවට ස්වභාෂා පාසැල් (vernacular schools) ඇති කිරීමෙනි. ස්වභාෂා පාසැල් වල කිතු සමය ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ඍජු මැදිහත් වීමක් නොවී යැ යි කවරෙකුට හෝ කිව නොහැක්කේ ඒ පාසැල් විශාල ප්‍රමණයක පාලනය මිශනාරීන් අත පැවතීම නිසා ය. ඒ නැතත් කිතු සමය ප්‍රවර්ධනය කිරීම යටත් විජිත යුගයේ රාජ්‍ය ප්‍රතිපත්තිය ද වී ය.
මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ අප ජාතියක් වශයෙන් වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ උරුම කරගත් සිංහල බෞද්ධ සභ්‍යත්ව විඥානය (ජාතික චින්තනය) පරපුරෙන් පරපුරට අප කෙරෙන් ගිලිහි යෑම ය.
මිශනාරී අධ්‍යාපනයට විකල්පයක් වශයෙන් පරම විඥානාර්ථ සමාගම විසින් හඳුන්වා දුන් පාසැල් බෞද්ධ සභ්‍යත්වයේ හර පද්ධතිය පිළිබඳ ව නිසි අවබෝධයකින් තොර අනුකාරක පාසැල් පද්ධතියක් ලෙසින් නිවැරදිව හඳුනා ගත් ධර්මපාල තුමා ඊට විකල්පයක් වශයෙන් සිය පුද්ගලික ධනයෙන් මහාබෝධි විද්‍යාලය වැනි විද්‍යාල ආරම්භ කරනු ලැබූව ද මූල්‍යමය දුෂ්කරතාවන් මැද ඒවා පවත්වා ගෙන යෑම ප්‍රායෝගික නොවී ය.
යටත් විජිත අධ්‍යාපනය මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩ උරුම කරගෙන සිටි සිංහල බෞද්ධ සභ්‍යත්වය විඥානය (ජාතික චින්තකනය) විනාශ කරන්නක් බව අනගාරික ධර්මපාල තුමා විසින් මනා ව වටහා ගෙන තිබුනි. එපමණක් ද නොව යටත් විජිත ආර්ථික ප්‍රතිසංස්කරණ අභියස සිංහල බෞද්ධයා වැටී සිටි අන්ත අසරණ දුගී තත්වය ද එතුමා රට පුරා කළ සංචාරයන් වල දී සියැසින් දැක ගත්තේ ය.
සිංහල බෞද්ධ දරුවන්ට බුදු දහම මෙන් ම මහාවංසය ඇතුලු වංසකතා ද ඉගැන්වීමේ අනිවාර්ය අවශ්‍යතාව ධර්මපාල තුමා නිරතුරුව ම අවධාරණය කළේ ය. එතුමා ජීවත් වූයේ බටහිර ලෝකය තුල ජාතික රාජ්‍ය සංකල්පය තව දුරටත් වර්ධනය වෙමින් පැවති යුගයක ය. ලොව ජාතික රාජ්‍යයන් අතරේ දීර්ඝතම ඉතිහාසයක් සහිත රජ්‍යයක් වශයෙන් ගිණිය හැකි මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයේ අනාගත පැවැත්ම සඳහා පදනම බෞද්ධ චින්තනය ම විය යුතු බව එතුමා හොඳින් ම දැන සිටියේ ය.
දේශ දේශාන්තර වල සංචාරය කර, විලියම් ජේම්ස් වැනි බටහිර දාර්ශිකයන් ඇසුරු කළ ධර්මපාල තුමා බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ක්‍රියාත්මක කළ අධ්‍යාපනයට තාක්ෂණික, ඉංජිනේරු ආදී වූ විෂයයන් ඇතුලත් නො කිරීම දැඩි ලෙස විවේචනය කළේ ය. මුළු ජාතික ආදායමෙන් 1% ටත් අඩු ප්‍රමාණයක් පමණක් අධ්‍යාපනය සඳහා වැය කරමින් තමන්ට අවශ්‍ය ලිපිකරුවන් බිහි කිරීම අරමුණු කර ගත් එම අධ්‍යාපනය ධර්මපාල තුමාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
ඉන් නොනැවතුනු ධර්මපාල තුමා මෙරට කාර්මික පුහුණු පාසැල් ව්‍යාපෘති ආරම්භ කරමින් ඒ සඳහා අනෙකුක් ව්‍යාපරිකයින් ද උනන්දු කරවමින්, මෙ රට තරුණයින් කාර්මික අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යැවීමට ද පියවර ගත්තේ ය.
නිදහසින් පසු මෙරට බිහි වූ බුද්ධිමත් නායකයින් බොහෝ දෙනෙකු අධ්‍යාපනයේ පැවති මෙම දුර්වලතාවයන් නිවැරදිව හඳුනාගෙන සිටි නමුදු, එම අධ්‍යාපන මොඩලය වෙනස් කිරීමට තරම් ප්‍රබල දේශපාලන දැක්මක් ඔවුන් සතු නොවී ය. ඒ කෙසේ වෙතත් ඊනියා හැත්තෑ පස් වසරක ශාපයට දායකත්වය දුන් එම නායකයින් විසින් නිදහස් අධ්‍යාපන අවස්ථාවන් පුළුල් කිරීම මඟින් රට තුල විශාල වශයෙන් ‘උගතුන්’ බිහි කිරීමට දායක වී ය. එසේ ප්‍රචලිත කරණ ලද අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූ ‘උගතුන්’ හා ‘බුද්ධිමතුන්’ විසින් අවස්ථා කීපයක දී රටේ ඉදිරි ගමනට හානිකර වූ ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ට පවා නායකත්වය හා දායකත්වය දුන් බව මෙරට ජනතාවට අමතක වී නැතැ යි සිතමි.
අද වන විට, ඇතැම් විචාරකයින් විග්‍රහ කරන අයුරින් මෙරට ජනතාව විසින් ම පළමු වරට ‘උගතුන්ගේ හා බුද්ධිමතුන්ගේ’ රජයක් පත් කර ගනු ලැබ ඇත. එය ශුභවාදී අනාගතයක පෙරනිමිත්තක් ලෙසින් සැලකිය හැකි වුව ද, ඒ තුලින් මතු වන බරපතළ ම ප්‍රශ්නය වන්නේ මෙම ‘උගතුන් හා බුද්ධිමතුන්’ අනගාරික ධර්මපාල තුමා විසින් ‘ a bastard education without a solid foundation’ (ස්ථිර පදනමක් නැති අවජාතක අධ්‍යාපනයක්) ලෙසින් හඳුන්වා දුන් අධ්‍යාපනයෙන් බිහි වූ කුමාරස්වාමි මහතා විසින් ‘ spiritual bastards and intellectual pariahs’ (අධ්‍යාත්මික අවජාතකයින් හා නීච බුද්ධිමතුන්) පිරිස ම දැ යි යන්න ය.
(1984 දී සරත්චන්දු වික්‍රමසූරිය මහතා විසින් සංස්කෘති සඟරාවට සපයන ලද ඉංගිරිසි ලිපියක මාතෘකාව ම මෙම ලිපියේ මාතෘකාව වශයෙන් යොදා ගත්තෙමි. එම ලිපියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයක් ‘ස්ථිර පදනමක් රහිත අවජාත අධ්‍යාපනයක්’ යන නමින් එම සඟරාවේ ම පළ විනි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙකු ලෙසින් සේවය කළ වික්‍රමසූරිය මහතා නූතන සිංහල සාහිත්‍ය සම්බන්ධ විශිෂ්ට ගණයේ විචාර ග්‍රන්ථ දෙකක් වූ ‘සිංහල නවකතාවේ විකාශය’ හා ‘නවකතා විචාරය’ යන මැහැඟි කෘතීන් දෙකෙ හි කතුවරයා ය.)
- වෛද්‍ය වසන්ත දේවසිරි
[යුතුකම මාසික සඟරාවේ සැප්තැම්බර් කලාපයට අදාළ ලිපියකි]
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama


0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .