7/25/2017

සංඝමිත්‍ර භික්ෂු අවතාර

කතෘ:යුතුකම     7/25/2017   No comments
දකුණු ඉන්දියාවේ සොළී රට සිට මෙහි පැමිණි ද්‍රවිඩ භික්‍ෂූන් අතර සංඝමිත්‍ර භික්ෂුවට හිමිවන්නේ ඉතිහාසයේ අපකීර්තිමත් ද්‍රෝහී තැනක්. ද්‍රවිඩ භික්‍ෂුවක්‌ වූ උන්වහන්සේ ථේරවාද බෞද්ධ සම්ප්‍රදායයට එරෙහි මහායාන අදහස්‌ දැරූවෙක්. ගෝඨාභය රාජ්‍ය සමයේ අභයගිරියේ සිටි මහායාන වෛතුල්‍ය අදහස්‌ දැරූ භික්‍ෂූන් සැටනමක්‌ රජතුමා විසින් දකුණු ඉන්දියාවට පිටුවහල් කළ විට ඒ අයගේ ආශ්‍රය ලද සංඝමිත්‍ර භික්ෂුව මහා විහාරයේ භික්ෂුන් වෙත කිපී වෛතුල්‍ය වාදය පැතිරවීම සඳහා මෙරටට පැමිණියේය. කතාවට දක්ෂයෙක් වූ මේ සංඝමිත්‍ර භික්ෂුව ගෝඨාභය රජුගේ සිත් දිනා ඔහු පුතුන් වූ ජෙට්‌ඨතිස්‌ස හා මහසෙන් යන කුමාරවරුන්ගේ ගුරුවරයා බවට විය. පියරජුගේ අවෑමෙන් ජෙට්‌ඨතිස්‌ස රජවූ අතර ඇතිවූ සමාජ දේශපාලන සංසිද්ධින් එක්ක මේ සංඝමිත්‍ර භික්ෂුව යළි ඉන්දියාවට ගියේ මහසෙන් කුමරුගේ අභිෂේකයේ දී යළි එන බලාපොරොත්තුවෙනි.

මහසෙන් කුමරු (ක්‍රි: ව 276 - 303 දක්වා ) සිහසුනට පත්වූ අතර ඔහුගේ ගුරුවරයා වූ සංඝමිත්‍ර භික්‍ෂුව යළි මෙහි පැමිණ මහසෙන් රජු සම්‍යක්‌දෘෂ්ටික භික්‍ෂුන් කෙරෙහි කලකිරවා තම වෛතුල්‍ය වාදී අදහස් වලට රජු නතු කොටගෙන මහා විහාරය ඇතුළු ථේරවාදී බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කිරීමට රජුට උපදෙස් දුන්නේය. බෞද්ධ වෙහෙර විහාර 363 ක්‌ විනාශ කොට සමහර භුමිවල උදු වැපිරීමට රජු උපදෙස් දුන් බව වංසකතාවල සදහන් වෙනවා. වෛතුල්‍යවාදයට විරුද්ධ භික්‍ෂුන්ට දන් නොදෙන ලෙස රජු ලවා ආඥාවක්‌ ද පැනවීමට තරම් සාසනික ද්‍රෝහියකු වී තිබෙනවා. බොහෝ භික්‍ෂූන් අනුරාධපුර සීමාව පුරා තෙදිනක්‌ ඇවිද ප්‍රමාණවත් ආහාර සපයා ගත නොහැකිව රුහුණු ප්‍රදේශයට පලා යනවා. එතරම් සාසනික විරෝධී තැනකට රජු මෙහෙයවුයේ මේ පාපී සංඝමිත්‍ර භික්ෂුවයි. එම කාර්යට සෝණ නම් අමාත්‍යවරයෙක්‌ සහය දී තිබෙනවා.

අද මේ සංඝ මිත්‍ර භික්ෂුවගේ කාර්ය කරමින් ඉන්නේ දඹර අමිල හිමියනුයි. දැන් උන්වහන්සේ මීට පෙර නියෝජනය කළ ජවිපෙ මතයද ඉක්මවා NGO ගැල්සාත්තුව නියෝජනය කරන බව පෙනේ. ජවිපෙ සිටියදී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම වැනි කරණාවලට විරුද්ධ වුවත් දැන් ඊට ප්‍රතිවිරුද්ධ එන්ජිඕ මතය නියෝජනය කරන බව පෙනේ. භික්ෂුවකට එන්ජීඕ ගැල්සාත්තුව සමග එක්ව තමා පෝෂණය වූ සිංහල බෞද්ධ සංස්කෘතියට කෙළවිය හැකිද ? මේ භික්ෂුව කරන්නේ එය නොවේද ? මේ අය තමන්ට එක දන් වේලක් දෙනවද ? තමන්ට මේ පිරිසට පන්සිල් දිය හැකිද ? නොහැකි නම් සිවුරුලාගත් භික්‍ෂූවක් ලෙස මොවුන් සමග මේ පෙනී සිටින්නේ කුමන සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් ද? මේ රටේ නොවූ පාහියන් හියුංසාන් වැනි සංචාරක භික්ෂුන්වත් සිංහල බෞද්ධ සංස්කෘතියට ද්‍රෝහීන් වී තිබේද ? ටිබට් ජාතික එස් මහින්ද වැනි විදේශ හිමිවරු ලංකාවට පැමිණ රට දැය සමය වෙනුවෙන් ලියූ කියූ දේ අඹර දමිළ හිමියන් නොදන්නේ ද ? අනුරාධපුර යුගයේ සිට යටත් විජිත සමය දක්වා මෙරට භික්ෂුන් රට දැය සමය වෙනුවෙන් කළ කැපකිරීම් අමිල හිමියන් නොදනිත්ද? එබදු ඉතිහාසයක් ඇති ශාසනික සම්ප්‍රදායකකින් පැවත එන භික්ෂුවක් සිංහල බෞද්ධ සංස්කෘතිය සමග නිදන්ගත රෝගයක් බදු වෛරයකින් පෙළෙන එන්ජීඕ නඩය සමග කටයුතු කළ හැකිද ? ඔවුන්ට උවමනා ආකාරයට සිවුර පාවිච්චි කිරීමට ඉඩ දීම නිර්ලජ්ජිත නොවේ ද ? ඔහුට ඉතිහාසය උරුම කර දෙන්නේ නුවර යුගයේ ගණින්නාන්සේලාටත් වඩා පහත් තැනක් බව නිසැකය. මොකද ඒ අය පවුල් පන්සල්වෙලා හරි පන්සල් ටික ආරක්ෂා කරගෙන හිටියා. නමුත් අමිල හිමි සෘජුවම බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් එන්ජිඕ නඩ සමග බෞද්ධ සංස්කෘතියේ විනාශය පතනවා.

සංඝමිත්‍රගේ පාපී ක්‍රියාව මහසෙන් රජුටද පසුව අවබෝධ වුණා. විනාශ කළ වෙහෙර විහාරස්ථාන නැවත ගොඩනංවා ඡේතවනාරාමය නම් සුවිසල් දාගැබක් ද ඉදි කළා. රජු වරදට පෙලඹවූ සංඝමිත්‍ර භික්‍ෂුව රජුගේ බිසවක් අතින් මැරුම් කෑවා සෝණ අමාත්‍යවරයා රටවැසියන් අතින් මැරුම් කෑවා. ඒ ඉතිහාසයට වසර 1700 ක් ඉක්මවා ගොස් ඇතත් අදටත් ඔවුන් ද්‍රෝහීන් ලෙස මිනිස්සුන්ගේ ශාපයට ලක්වෙනවා. දේශද්‍රෝහීන් ලෙස මිනිස් හිත්වල නොමැකෙන ලෙස ලියවිලා තියෙනවා. දඹර අමිල හිමිට නම් සංඝ මිත්‍ර භික්ෂුවට තරම් අවාසනාවන්ත මරණයක් උදා නොවුණද තව අවරුදු 1700 කට වැඩි අනාගත පරපුරද ඔහුව ද්‍රෝහීයකු ලෙස සලකනු නියතයි. සංඝ මිත්‍ර පරපුරේම තවත් ද්‍රෝහී භික්ෂුවක් ලෙස තවත් පරම්පරා ගණනක අනාගත පාපයට ගොදුරුවනු නිසැකයි.
.
-රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

3/03/2017

ආලෝකෝ උදපාදී ඉතිහාසය පුනරාවර්තනය කිරීමක්

කතෘ:යුතුකම     3/03/2017   No comments

මේ දිනවල විකාශනය වන චිත්‍රපට අතර ප්‍රේක්ෂකයින් නැරඹිය යුතුම චිත්‍රපටයක් වන්නේ ”ආලෝකෝ උදපාදී” චිත්‍රපටයයි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් හා ”කිරිමදුවැල්” චිත්‍රපටය තිර රචනය කරමින් සම අධ්‍යක්ෂණයට දායක වූ සමන් වීරමන් තිර රචනය කර ඇති ආලෝකෝ උදපාදී චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ තරුණ සිනමාකරුවකු වන චත්‍ර වීරමන් විසිනි. මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වුවද, ඔහු නව පරපුරේ දක්ෂ සිනමාකරුවකු බව මේ චිත්‍රපටය සාක්ෂ්‍ය සපයයි. අර්ථපතියකු ලෙස තුසිත විජයසේන මහතාද අප මෙහිදී අගය කළ යුත්තේ මේ සිනමා කෘතිය නිෂ්පාදනය කිරීමට මුදල් ආයෝජනයෙන් වැදගත්ම දායකත්වය ලබාදී ඇති නිසාය. අද මෙබදු චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට තිබෙන එකම අභියෝගය වන්නේ යහපත් නිෂ්පාදකයකු සොයා ගැනීමයි. මෙරට සංස්කෘතික විඥානයට ගර්හා කරමින් ඩොලර් සම්මාදමක් සහිත පිට රට සම්මානයක් බලාගෙන තනන සිනමාපටයකට වඩා මේ රටේ බහුතර ජනයා විශ්වාසය කරමින් අපේම යටගියාව ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු කිරීම ගැන අධ්‍යක්ෂවරයාට සහ නිෂ්පාදකවරයාට පළමුව ස්තුතිවන්ත විය යුතුය.ආලෝකෝ උදපාදී චිත්‍රපටයට පාදක වන්නේ ලංකා ඉතිහාසයේ අති දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ වළගම්බා රාජ්‍ය සමයයි. වළගම්බා යනු ගැමුණු රජතුමාගේ සහෝදරයා වු සද්ධාතිස්සගේ බාලම පුත්‍රයා වෙයි. සද්ධාතිස්සගෙන් පසු ථූලත්ථන, ලජ්ජතිස්ස, ඛල්ලාටනාග යන ඔහුගේ අනෙක් පුතුන් තිදෙනා පිළිවෙලින් රට පාලනය කළද ඛල්ලාටනාගගෙන් පස්සෙ නිත්‍යානුකුලව රජකම හිමි වෙන්න ඕන වළගම්බා කුමාරයට වුණත්, ”මහා රත්තක” කියන සෙනවියෙක් ඛල්ලාටනාගව මරුමුවට පත්කොට සිංහාසනය පැහැර ගනී. එනිසා වළගම්බා රජුට තමන්ට හිමිවෙන්න ඕන රජකම පවා මුලින් අහිමි වී යනවා. තමන්ට පරම්පරාවෙන් උරුම රාජ්‍යත්වය පවා වළගම්බා රජුට ලබාගන්න වෙන්නේ මහා රක්තක ඇමතියා මරුමුවට පත්කර දුෂ්කර ව්‍යායාමයකින් පසුවයි. එසේ රාජ්‍ය බලය ලබාගත්ද එතැන් පටන්ම එතුමාට සිදු වුයේ අතිශය දුෂ්කර කම්කටොලුවලට මුහුණ දෙන්න. ඉතිහාසයේ වෙනත් කිසිම රජ කෙනෙකුට නොතිබූ ගණයේ අභියෝග වළගම්බා රජ්ජුරුවන්ට එල්ල වූ අතර ඔහුගේ පළමු රාජ්‍ය කාලය පස් මසකට සීමා වෙනවා. ඊට හේතුව දකුණු ඉන්දියාවෙන් මෙරට බට සත්ද්‍රවිඩයන් ආනුරධපුර රාජධානිය ආක්‍රමණය කිරීමයි. අනෙක් පැත්තෙන් රුහුණේ නකුල නගරයේ සිටි ”තීය” බ්‍රාහ්මණයා රජුට විරුද්ධව දකුණෙන් විශාල කැරැල්ලක් ගහනවා. තව පැත්තකින් රටට ඉතාමත් දුර්දශාපන්න තත්ත්වයක් ඇතිකළ බැමිණිතියා සාය නම්න් හැදින්වෙන දුර්භික්ෂ සමයත් මෙකළ උදාවෙනවා. මේ කාලය ලංකා ඉතිහාසයේ එකතරා භීම සමයක් යැයි කිව හැකියි. දකුණු ඉන්දියාවෙන් ආව සත් ද්‍රවිඩයන් සිංහලයන්ගේ ගම්බිම් ගිනි තබා විනාශ කරනවා. රටවැසියන්, කුඩා දරුවන්, භික්ෂුන් පමණක්ම නොව බත, බුලත, හරක බාන, වැව් අමුණු පවා විනාශ කරනවා. මේ චිත්‍රපටයට වස්තු වී ඇත්තේ එම අරාජික කාල පරිච්ඡේදයේ රාජ්‍ය පාලකයා සහ භික්ෂුන් මේ රට දැය සමය ආරක්ෂා කරගැනීමට කළ අපිරිමිත කැපකිරීම් කෙබදුද යන්නයි.
පර සතුරු ආක්‍රමණ, මහා සාගත, නිසා පමණක්ම නෙමෙයි රට අභ්‍යන්තරයෙන්ම ආව තීය බ්‍රාහ්මණයා වැනි දුෂ්ටයකුගේ කැරළි නිසා අවස්ථාවට සුදුසු ලෙස පසුබැසීම උපායශීලී උපක්‍රමයක් විදිහට හිතපු වළගම්බා රජතුමා එදා ආරක්ෂව පතා වෙස්සගිරිය විහාර බද වනයට පලා යනවා. ඒ දකින ගිරි නිගණ්ඨයා ”මහා කළු සිංහලයා පලා යනවා” යැයි ආරාමයේ ගෙඩිය නාද කරමින් උස් හඩින් කෑ ගසා කියනවා. එය වළගම්බා රජුට කරපු නින්දා අපහාසයක් විතරක්ම නොව රජු පසුපසින් පන්නන ද්‍රවිඩ සේනාවට රජුව අල්ලා ගැනීමට දීපු අනියම් සංඥාවක්ද වෙනවා. අධ්‍යක්ෂවරයා අවිඥානිකව හෝ ඊට ගැළපෙනම චරිතයක් වර්තමානයෙන් සොයාගෙන තිබීමත් උත්ප්‍රාස රස දනවන ජවනිකාවක්.
වළගම්බා රජු වෙස්සගිරි විහාරබද වනයට පලා යද්දී අගබිසව අනුලා දේවියත්, දෙවන බිසව සෝමා දේවියත්, දෙදරුවන් වූ මහා නාග සහ මහා චුලික කුමරුත් කැටුව යනවා. අනුලා දේවිය කියන්නේ තම සහෝදරයා වූ ඛල්ලාටනාගගේ බිසවයි. මහාරක්ථක ඇමතියා ඛාල්ලාටනාගව මරුමුවට පත්කොට රාජ්‍ය පැහැරගත් පසු අනුලා දේවියත් ඔවුන්ගේ පුතු මහා චුලිකත් වැඩෙන්නේ වළගම්බා රජුගේ සෙවණ යටතේ. පස් දෙනෙකුගෙන් යුත් රථයේ බර වැඩිවීම නිසා ගමනේ වේගය අඩාල වන බව සෝමාදේවියට වැටහෙනවා. එනිසා රජුට සතුරන්ගෙන් බේරී ඉක්මනින්ම පලා යාමට අවස්ථාව සලසා දීමේ අදහසින් ඇය රථයේ බර අඩු කිරීමට බිමට පැන සතුරන්ට බිලිවෙනවා. මේ අසම සම කැප කිරීම තුළින් පෙන්නේ රජුට වගේම රට දැය සමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ඇයට තිබුණ හැගීමයි. මොකද රජු සතුරන්ට බිළි වුණොත් ද්‍රවිඩ ආක්‍රමණිකයාගෙන් රට දැය සමය නිදහස් කරගැනීමට නායකත්වය දෙන්න කෙනෙක් නැති බව සෝමා දේවිය දන්නවා. අනුලා දේවිය මේ පලා යනවිට හිටියේ ගැබ්බරව. එනිසා ඇයද ආරක්ෂා කරගත යුතු යැයි සිතා සෝමා දේවිය එදා බිළිවෙනවා. සත් ද්‍රවිඩයන්ගෙන් එක් අයෙකු රථයෙන් පැනපු සෝමාදේවිය පැහැරගෙන යළි ඉන්දියාවට යනවා. තව කෙනෙක් පාත්‍රා ධාතුව පැහැරගෙන යනවා. ඉතිරි පුලහත්ථ, බාහිය, පණයමාර, පිළයමාර, දාඨිය යන පස් දෙනා පිළිවෙලින් එකිනෙකා මරා ගනිමින් වසර 14යි මාස 07ක් තිස්සේ අනුරාධපුරය පාලනය කරනවා. ඒසා දීර්ඝ කාලයක් වළගම්බා රජු කැලෑවේ සැගවි වන පලා වන මුල් කමින් සේනා සංවිධානය කළ බව වංසකතා තොරතුරු වලින් කියවෙනවා.
චිත්‍රපටයේ එක අඩුවකට අප දකින්නේ වළගම්බා රජු රට ගලවා ගැනීමට විඳී ඒ අසීමිත දුෂ්කරක්‍රියාව චිත්‍රපටයෙන් ප්‍රමාණවත් ලෙස අවලෝකනය නොවීමයි. අන් රජවරුන්ට වඩා වළගම්බා රජුගේ ශ්‍රේෂ්ඨත්වය රදා පවතින්නේ වසර 14 කට නොඅඩු කාලයක් තිස්සේ දුක්ඛසෛයියාවෙන් හා අත් නොහරින වීර්යයකින් යුක්තව සේනා සංවිධානය කොට පරසතුරු ආක්‍රමණිකයාගෙන් රට මුදාගෙන සිංහලදීපය යළි එක්සේසත් කළ නිසයි. සියලු අභියෝගවලට දුර දක්නා නුවනින් හා උපායශීලීව මුහුණ දුන් වළගම්බා රජතුමා අවසානයේ තීරණාත්මක යුද්දයකින් දාඨිය පරද්දලා යළිත් රාජ්‍ය බලය ලබාගැනීමට හැකි වෙන්නේ රජුගේ එම අත් නොහරින වීර්යය නිසයි. වංසකතාවල සැගවුණු පිටු අතර ඉතිහාසයට පමණක් උරුම වළගම්බාගේ එම ශ්‍රේෂ්ඨත්වය තිරය මත හෝ ප්‍රක්ෂේපණය කිරීමට හැකිනම් එය වළගම්බා චරිතයට කරන වඩා සාධාරණය ඉටු කිරීමකි. මන්ද මෙය මහාවංශ කතුවරයා පවා යටපත් කළ සත්‍යකි. මහාවංශ කතුවරයා වළගම්බා රජුට විශාල තැනක් නොදෙන්නේ ගැමුණු කුමාරයාගේ චරිත පරමාදර්ශ කිරීමේ කතුවර අභිප්‍රාය නිසාය. අනික මහානාම හිමියන් මහාවිහාර පාර්ශවය නියෝජනය කළ හිමි නමක් වන අතර වළගම්බා රජු ඊට ප්‍රතිපක්ෂව අභයගිරිය නම් ආයතනයක් ආරම්භ කොට ඊට විශාල අනුග්‍රහයක් දැක්වූ රජ කෙනෙකි. එනිසා එතුමාට මහාවංශ කතුවරයා අඩු වටිනාකමක් දී තිබේ. එසේ වුවත් අනෙකුත් සාහිත්‍ය මූලාශ්‍රයන් සමග ඉතිහාසය තුලනාත්මකව පිරික්සීමේදී වළගම්බා රජතුමාට මුහුණ දීමට සිදු වුයේ සුළුපටු අභියෝගවලට නොවේ. ගැමුණු කුමාරයාට පියා සහ සිය සහෝදරයා විසින් සංවිධානය කරදෙනු ලැබූ හොද පසුබිමක් පැවතියද වළගම්බා රජුට එවැනි පසුබිමක් නොතිබිණි. ඒ අතින් ගැමුණු රජ්ජුරුවන්ට නොදෙවෙනි කැපකිරීමක් වළගම්බා රජු කරතිබෙන අතර මහාවංශය අභයගිරි පාර්ශවයේ භික්ෂුවක් අතින් රචනා වුයේ නම් අනුරාධපුර යුගයේ ශ්‍රේෂ්ඨම පාලකයා වළගම්බා වීමට ඉඩ තිබුණී. සොළි ග්‍රහණයෙන් මිදී ආරක්ෂාව පතා වෙස්සගිරි විහාරබද වනයට පලායන වළගම්බා රජතුමාට රැකවරණය සලසමින් නැවත රාජ්‍ය බලය ලබා ගැනීමට උදව් උපකාර කරනු ලැබුවේ කුපික්කල මහා තිස්ස හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින්. භික්ෂූන් වහන්සේලා රාජකීයයන්ව ආරක්ෂා කරමින් පෝෂණය කළේ පිණ්ඩපාතයෙන් ලැබෙන දානයෙන්. මහා තිස්ස හිමියන් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ලෙස චිත්‍රපටයේ හදුන්වාදෙන ගෝදත්ත හිමියන් කැදවා වළගම්බා රජුගේ ප්‍රත්‍යපහසුකම් සහ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත්වන ලෙස අණ කරයි. මේ ගෝදත්ත හිමියන් පිලිබඳ සදහනක් වංසකතාවලින් අපට හමු නොවෙතත් චිත්‍රපටයේ කලාත්මක ප්‍රතිනිර්මාණයට එම චරිතය මහගු මෙහෙයක් ඉටු කරයි. ඇතැම් විට එම චරිතය චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ සිනමාත්මක පරිකල්පනයේ ප්‍රතිඵලයක් විය හැකියි. ඓතිහාසික කතා ප්‍රවෘත්තියේ ඇති වාර්ථා ස්වරූපය ඛණ්ඩනය කරගනු පිණිස චිත්‍රපටය උදෙසාම අමතර චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීම වරදක් නොවේ. එහෙත් එය මුලික කතා ප්‍රවෘත්තිට අභව්‍ය නොවිය යුතුය. ගෝදත්ත හිමියනේ චරිතය ඉතිහාස පුවතින් වියුක්ත නොවන තරමට එය සිනමා කෘතියට අනන්‍යව ආලෝකයක් සපයයි. ගෝදත්ත හිමියන් රජුගේ ප්‍රත්‍යපහසුකම් ගැන සොයා බලනවා පමණක් නොව තීරණාත්මක මොහොතක සිවුරු හැර පරදේශක්කාරයන්ගෙන් මේ රට ගලවා ගැනීමේ වළගම්බා රජුගේ සටනට සහය වෙයි. සේනා සංවිධානය කිරීමට උදව් දෙයි. මේ පුවත කතා තේමාවට සහ සිනමා කෘතියට අභව්‍ය නොවන්නේ සමහර භික්ෂුන් වහන්සේලා රටට අත්‍යවශ්‍ය දුෂ්කරම අවස්ථාවල රට දැය සමය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එබදු කැප කිරීම් කර තිබෙන බව ඉතිහාසයේ සඳහන්ව ඇති හෙයිනි. ථේරපුත්තාභය ඊට එක් නිදසුනකි.

ජාතියක් වශයෙන් අපට තිබුනේ අනාගතයට වැටුණ සේද මාවතක් නොව බාධක මැදින් වැටි වැටී එන ගමනක් බව මේ චිත්‍රපටය තුළින් අපට යළි යළිත් මතක් කරදෙයි. එය කොතරම් දුෂ්කර ගමනක් වීද යත් යුග යුග වශයෙන් රාජධානි මාරු වූ දේශපාලන ඉතිහාසය විමසා බැලීමෙන් පෙනේ. පරසතුරු ආක්‍රමණ, කුමන්ත්‍රණ, පාවාදීම්, වගේම මහා සාගතද මේ ගමනේ දී නොවඩුව තිබුණ බාධකය. අනුරාධපුර යුගයේ බුදු දහමෙහි පරිහානිකරම කාල පරිච්ඡේදය වළගම්බා කාල පරිච්ඡේදය යැයි සිතිය හැකිය. රජරට ප්‍රදේශය සත් ද්‍රවිඩ පලනයට නතුවී තිබීමත්, වසර 12ක් තිස්සේ බැමිණිතියා සාගතය නම් දරුණු දුර්භික්ෂය ක්‍රියාත්මක වීමත් නිසා බුදුදහම විශාල අනතුරු දායක තත්වයකට පත්විය. සත් ද්‍රවිඩයන්ගෙන් බුදු දහමට කිසිම අනුග්‍රහයක් නොලැබුන අතර රට වැසියන්ටද භික්ෂූන්ට අවශ්‍ය සිව්පසය සපයා දීමට නොහැකි විය. ඒසා දිගුකාලයක් තිස්සේ පැවැති මෙම දුර්භික්ෂය කොතරම් දරුණු වීද කිවහොත් ධන ධාන්‍ය විනාශ වීම නිසා ඇතැම් භික්ෂුන් සහ ජනයා කරකොළ අනුභව කරමින් මිය ගිය බව අටුවා ග්‍රන්ථවල සදහන් වී තිබේ. වෙනත් කාල පරිච්ඡේදවල දී රජරට ප්‍රදේශය විදේශ ආධිපත්‍යට නතුවීමෙන් පසු රෝහණ ප්‍රදේශය සිංහල ජනයාගේ බුදු දහම ආරක්ෂා කරනු ලබන ප්‍රදේශයක් වශයෙන් සංවර්ධනයට පත් වුවද අටුවා ග්‍රන්ථවලට අනුව තීය බ්‍රාහ්මණයා සොළොස් වසරක් රෝහණය පාලනය කළ නිසා රෝහණ ප්‍රදේශය මුල් කොටගෙනද එවැනි සංවර්ධනයක් ඇති නොවිණි. එම නිසා මෙකල බුදුදහමෙහි විශාල පරිහානිකර තත්වයක් ඇතිවූ අතර සොළී ආධිපත්‍යයෙන් ලක්දිව නිදහස් කරගැනීමෙන් පසුව එම පරිහානිකර තත්වයෙන් බුදු දහම නිදහස් කර ගැනීම වළගම්බා රජුට පැවරී තිබුණ මුලික වගකීමකි. එබැවින් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම මෙකළ සිදුවූ වැදගත්ම සාසනික මෙහෙවර සේ සැලකිය හැකිය. අවාසනාවකට මෙන් අද අපට ඇත්තේ මේ ඉතිහාසය නොදන්නා වර්තමාන පරම්පරාවකි. ඊනියා සංහිදියාවක නාමයෙන් ඉතිහාසය කටුගා දමන යුගයක වර්තමාන සහ අනාගත පරම්පරාව අපේ උරුමය වෙත බැඳුනු මේ අතීතය ගැන මෙබදු චිත්‍රපට ඔස්සේ හෝ දැනගැනීම වෙසෙසින්ම වැදගත්ය. මේ සිනමා නිර්මාණය ඊට යම් ආලෝකයක් සපයන ඉතා හොඳ වෑයමකි.
මේ චිත්‍රපටයේ තවත් එක් වැදගත්කමක් වන්නේ අතීතය සහ වර්තමානය එකට ගලපා ගැනීමට හැකිවීම. ඉතිහාසයේ සිදු වූ දෙයම ඊට වෙනස් මුහුණුවරකින් වර්තමාන දේශපාලනයේද යළි යළිත් සිදුවෙමින් තිබෙන බව අපට මේ චිත්‍රපටය සිහි ගන්වයි. එදා සත් ද්‍රවිඩයන් සිංහලයන් දුර්වල කිරීමට බත බුලත, හරකබාන, වැව් අමුණු ,ගම්බිම්, විනාශ කර දැමුවා සේම ප්‍රභාකරම්ගේ තිස් අවරුදු යුද්ධයත් සිංහලයාට අත්කර දුන්නේ එබදු ඉරණමක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයද මායිම් ගම්මානවලට පැන කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා සාමාන්‍ය ජනයා කැතිගානු ලැබුවා. පොදු ප්‍රවාහනයේ සිට ආර්ථික මධ්‍යස්ථාන දක්වා බෝම්බ තබා ආර්ථිකය විනාශ කරනු ලැබුවා. ගොවිතැන් පාළු කිරීමට මාවිල්ආරු වැනි සොරොව් වසා දැමුවා. එය වළගම්බා රාජ්‍ය සමයේ වූ භීෂණයට බෙහෙවින්ම සමානයි. එදා සත් ද්‍රවිඩයන්ගේ සේනාව කළ භික්ෂු සංහාරය අපට මෑත ඉතිහාසයේ අරන්තලාවෙන්ද හමුවෙනවා.
ඊළගට ද්‍රවිඩ ආක්‍රමණිකයන්ට සහය දැක්වූ දකුණේ සිංහලයන් පිරිසක් එදා වගේම අදත් ඉන්නවා. ඔවුන් අද සිවිල් සමාජ, විකල්ප, රැඩිකල් ආදී විවිධ වේෂයෙන් පෙනී සිටින්නෝ වෙති. මතවාදී තලයේ ඔවුන් කුමන පැහැයෙන් සිටියත් කොටි හිතවාදය සහ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ වීම මොවුන්ගෙන් දැකිය හැකි පොදු ලක්ෂණයකි. සාහිත්‍ය කලා නිර්මාණ ඔස්සේද බෙදුම්වාදී මතවාද පෝෂණය කරන මොවූන් සුලබව දැකිය හැක්කේ ඊනියා කවීන් වශයෙනි. ගිරි නිගණ්ඨයා සහ තීය බ්‍රාහ්මණයාගේ පරිවාර සේනාව මොවුන්ගේ ඒ අතීත නියෝජනයයි.

තීය බ්‍රාහ්මණයා වළගම්බා රජුට එරෙහිව ද්‍රවිඩ ආක්‍රමණිකයින්ගේ විනාශකාරී කැරළිවලට උදව් දෙන්නේ යුව රජකම ලබා ගැනීමේ බලලෝබී බලාපොරොත්තුවෙන්. එහෙත් සිදුවන්නේ සත්ද්‍රවිඩයනගේ බලය තහවරු කරගැනීමට පමණක් තීය බ්‍රාහ්මණයා ඉත්තකු ලෙස යොදා ගැනීමයි. චිත්‍රපටය නරඹා එය වර්තමාන දේශපාලනයටත් කොතෙක් දුරට ගැලපේද යන්න තීරණය කිරීම ප්‍රේක්ෂකයාට බාරය. මන්ද ”තීය” වැනි ප්‍රාදේශීය බලයක් ගොඩනගාගෙන සිටි පුද්ගලයකුගේ උදව්වෙන් අද බලයට පැමිණ ඇත්තේ වෙනත් පිරිසක් නිසාය. බලය ලබාගත් පසු තීය නිෂ්ක්‍රීය පුද්ගලයකු කළ ආකාරයට ජනවාරි 08න් පසු දේශපාලනය තරම් ගැළපෙන උදාහරණයක් තවත් නැත. එදා සහ අද මේ ක්‍රියාවලියේ වෙනසකට ඇත්තේ එදා තීය බ්‍රාහ්මණයාගේ කැරැල්ල දකුණේ රෝහණ ප්‍රදේශයෙන් එල්ල වුවද මෑත වකවානුවේ දී එය රජරටින් එල්ල වීමයි. එබැවින් මේ සිනමා පටය වත්මන් දේශපාලනයද පහසුවෙන් කියවා ගැනීමට අතීතය ප්‍රක්ෂේපණය කිරීමක් හා සමනය. සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායමක් සකස් කළ නව ව්‍යවස්ථා ප්‍රශ්නයක් අභිමුඛ බුදු දහම යළිත් ඒදා මෙන් අනතුරුදායක තැනකටද තල්ලු වී තිබේ. එවන් වර්තමානයක මේ මහපොළවේ ඇත්ත ඉතිහාසය යළිත් පුනරාවර්තනය කර පෙන්වීමට චත්‍ර වීරමන් ගත් උත්සාහය අගය කළ යුතුය.

ආලෝකෝ උදපාදී වැනි ඉතිහාස තේමා රැගත් සිනමා කෘතිවලට මේ යුගයේ විචාර විදුෂකයින් දක්වන ප්‍රතිචාර ගැනත් යමක් සදහන් කළ යුතුය. නුතන සිනමාවේ කෝදුව අයිතිකරගෙන තිබෙන වරළත් විචාරකයන් මේ චිත්‍රපටය පිලිබඳ නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු පෙනේ. කොළොඹ කේන්ද්‍ර කරගත් විවිධාකාරයේ සංවාද, කථිකා, සම්මන්ත්‍රණ මේ චිත්‍රපටය සදහා පවත්වනු නොපෙනේ. මෙරට සංස්කෘතික කතිකාව දියුණු කිරීමට කියා කාටත් නොතේරෙන බසින් ලියන කලා විචාරකයන්ද, අන්තර් ජාතියකට අමතන චිත්‍රපටකරුවන්ද, මාසික සඟරා මගින් ලෝක ධනවාදය හෙල්ලුම්කවන විප්ලවවාදීන්ද, එක්සත් ජාතින් විසින් ලංකාවේ යුක්තිය පසිඳලන තුරු බලා සිටින වාමාංශිකයන් ආදී නාටකීය චරිත මේ සදහා කළඑළි බසිනු නොපෙනේ. මහා සමාජය තුළ නැතත් විවිධ මාධ්‍ය ඔස්සේ සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අදාලව සැලකිය යුතු ආධිපත්‍යක් පතුරවාගෙන සිටින මේ අයට අදහස් ගලා එන්නට නම් ”අම්මා සහ පුතු අතර ඇති ලිංගික සම්බන්ධය වැනි අශ්ලීල මාතෘකාවක් සිනමා කෘතියට පාදක කොටගෙන තිබිය යුතුය. නොඑසේ නම් හමුදා සොල්දාදුවකු ලවා ස්ත්‍රියක් දුෂණය කරවන රූපරාමුවක් තිබිය යුතුය. එසේත් නැත්නම් තම බිරිද නිරුවත් කර පෙන්වීම වැනි සිනමා වීරත්වයක් අධ්‍යක්ෂවරයා ආරෝපණය කරගෙන තිබිය යුතුය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය පමණක් මුළු ලෝකෙටම තිබෙන එකම බලවත් තර්ජනය ලෙස දැකිය යුතුය. එහෙම අය ඇහැරවීමට නම් යමක් මේ චිත්‍රපටය තුළ නැත.

කිහිප දෙනෙකුට පමණක් අද මේ චිත්‍රපටය කහබිලියා ගෑමක් වී ඇත්තේ එහි ඇති සිනමාත්මක දුබලතා නිසාම නොව සිංහල බෞද්ධ සංස්කෘතියට ඔවුන් තුළ ඇති පරවේණිගත රෝගයක් බදු වෛරය ඉස්මතුවන නිසාය. කිසිම සිනමා දුබලතාවක් සොයාගත නොහැකි චිත්‍රපටයක් ලෝකයේ කොහෙවත් නැති අතර හැකිතරම් අඩුපාඩු අවම සිනමා පටයක් කළත් මේ අය ඊටත් පහර දෙනු නියතය. ඒ එය බෞද්ධ සංස්කෘතික කතිකාවට රුකුල් දෙන්නක් වීම නිසාය. මාක්ස්වාදී, ලිබරල්වාදී, හේතුවාදී, පශ්චාත් නුතනවාදී, සාර සංග්‍රහවාදී වශයෙන් මතවාදීව විවිධ පැහැයෙන් සිටියත් මොවුන් මොකක්දෝ හේතුවකට කොටි හිතවාදයට සහ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව සමපාත වෙනු දැකිය හැකි පොදු ලකුණකි. නොයෙක් ආකාරයේ සිවිල් සංවිධාන, එන්.ජී.ඕ. ආයතන හරහා සැගවුණු දේශපාලන න්‍යායපත්‍රවලට ගැටගැසී ඇති මොවුන්ගේ මනස බොහෝ විට හසුරවනු ලැබෙන්නේ කලාව කෙසේ වෙතත් උදරයේ හඬගෑම විසින්. එනිසා ඇසුරු කළයුතු කලාව කුමක්දැයි තීරණය කිරීමට ප්‍රේක්ෂකයන් ඔවුන්ගේන් නිර්දේශ පැමිණෙනතුරු සිටියයුතු නැත. බහුතර සිනමා රසිකයින් කළ යුත්තේ ඔවුන්ගේ විතණ්ඩවාදී පඩිවදන් තුට්ටුවකට මායිම් නොකර මේ සිනමා පටය නැරැඹීමයි. ”ආලෝකෝ උදපාදී”සමහර මනැස් පුතුන්ගේ විකෘති සිනමා ප්‍රබන්ධවලට වඩා මේ පොළවේ ඉතිහාසය යළිත් පුනරාවර්තනය කිරීමකි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2017. 02. 19 .රිවිර ඉරිදා සංග්‍රහයේ මුල් වරට පළ විය.)
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama



1/21/2017

ලෝකේ කොහෙවත් අනාගමික රාජ්‍ය නෑ - ආචාර්ය නලින්ද සිල්වා

කතෘ:යුතුකම     1/21/2017   No comments
ආචාර්ය නලින් ද සිල්වා මහතා නිදහස් ශ්‍රි ලංකාවේ පැවැත්ම අභියෝගයට ලක් වූ සෑම අවස්ථාවකම රටට, දැයට, සමාජයට පෙරමඟ කියාදිමට අකුටිලව පෙරට ආ ප්‍රමුඛතම ප්‍රාඥයකි. මීට තිස් වසරකට පෙර මගේ ලෝකය රචනා කරමින් බටහිර දැනුම ප්‍රශ්න කළ එතුමා ස්වාධීන බුද්ධිමතෙකු ලෙස නිවහල් චින්තනයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. මේ ඔහු සමඟ සමකාලින සමාජ දේශපාලන තත්ත්වයන්ට අවධානය යොමු කරමින් කළ සාකච්ඡාවකි.

Q. ඔබ බටහිර විද්‍යාව, දර්ශනය, පිළිබඳ පමණක් නොව මේ රටේ ඉදිරි ගමනට බලපාන වැදගත් ප්‍රශ්න අරභයාද නිර්භීත අදහස් පළ කරනවා. උතුරේ ජනවාර්ගික ගැටළුව සම්බන්ධව ඔබේ අදහස මොකක් ද?

මේ ප්‍රශ්නය උත්තර හොයන්න බෑ 1956 න් 1972 න් හෝ 1983 න් පටන් අරගෙන. මේක 1833 ඉඳලා බලන්න ඕන ඊටත් එහාට ගිහිල්ලා ලන්දේසි කාරයෝ වෙල්ලාලයන් ගෙනාපු කාලයට යන්න ඕන. ඉන්දියාවේත් දෙමළ කියලා අනන්‍යතාවයක් ඇති වුණේ 19 වන සියවසේ මුල් භාගයෙන් පස්සේ. මිනිස්සු භාෂාවක් කතා කළ පමණින් ජනවාර්ගික අනන්‍යතාවක් ඇතිවෙන්නේ නැහැ. ඒකට විඥානයක් ඇතිවෙන්න ඕන. ඉන්දියාවේ දෙමළ මිනිස්සු තුළ මේ විඥානය ඇති කෙරුවේ දෙමළ කතෝලික පූජකවරු උතුරේ හින්දි භාෂාව කතාකරන කට්ටියට විරුද්ධව. ආර්යන්ටත් වඩා පරණ ඉතිහාසයක් තියෙනවා කියලා මේ පූජකවරු තමයි දෙමළ ඉතිහාසයක් ලියන්න ගත්තේ. මේ ඔක්කොම බොරු කතන්දර.

ඊටත් පස්සේ තමයි ලංකාවේ දෙමළ විඥානයක් ඇති වුණේ. ඒකත් මේ රටෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි ඉංග්‍රිසි කාරයෝ ඇති කරපු එකක්. ඔවුන් ලංකාවේ ජන සංගණනය පටන් ගත්තේ 1881 දී. ඉංග්‍රිසි කාරයෝ එතෙක් මලබාර් වශයෙන් හඳුන්වපු දෙමළ ජනයා 1891 න් පස්සේ සිලොන් ටැමිල් ( Ceylon Tamils) කියලා හැඳින්වුවා. අපිට කියනවද සිලොන් සිංහලිෂ් කියලා. එහෙම කියන්නේ නැහැ. මොකද මේ අයට ”ලාංකික දෙමළ” කියලා කිව්වේ. මේ වනවිට ඉන්දියාවෙත් දෙමළ අය හිටපු නිසා මේ අය ලාංකික දෙමළ ලෙස හැඳින්වුවා. ඕකයි වුනේ. මේකෙන් පේනවා ඉන්දියාවේ දෙමළ අනන්‍යතාවක් ඇති වුණාටත් පස්සේ තමයි මෙහේ දෙමළ විඥානයක් ඇති වෙන්නේ. ඒකත් මේ රටෙන් ඇති වෙච්ච එකක් නෙමෙයි ඉංග්‍රිසිකාරයෝ ඇති කරපු එකක්. ඒ නිසා මෙහේ දෙමළ ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව දෙමළ විඥානයක් ඇති කළ දෙමළ ජාතිවාදී ප්‍රශ්නයක්. දැන් ඒක ඔඩු දුවලා තියෙනවා.

Q. නමුත් එය යුධමය වශයෙන් පරාජය කළාට ප්‍රශ්නය තවම ඉවර නැති බවයි සමහරුන්ගේ අදහස දේශපාලන විසදුමක් දීම අනිවාර්ය බව සමහර දේශපාලඥයින්ගේත් අදහස වී තිබෙනවා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?

දේශපාලන වශයෙන් තමයි උත්තරේ නන්දිකඩාල්වලදී දුන්නේ. ප්‍රභාකරම් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොතෙත් මම මේක ගැන ලියලා තිබෙනවා. මේ ප්‍රශ්නයේ අවසාන පුරුක තමයි ආයුධ අතට ගත්ත ප්‍රභාකරම්. ප්‍රභාකරම් ආයුධ අතට ගත්තේ අනෙක් මිනිස්සුන්ට සාකච්ඡාවලින් කරන්න බැරි නිසා නේ. එතකොට ආයුධ අතට අරගෙනත් කරන්න බැරිනම් ආයෙත් සැරයක් සාකච්ඡා කරන එකෙක් ඉන්නවද?. ඒක මේ සමස්ත ප්‍රශ්නයටම දිපු හමුදා විසඳුමක් විතරක් නෙමෙයි දේශපාලන විසඳුමත් ඒකයි. සෑම හමුදා විසඳුමක්ම අවසාන වශයෙන් දේශපාලන විසඳුමක්. හිට්ලර්ට දුන්නේ දේශපාලන විසඳුමක්ද නැද්ද?. ලෝක යුද්ධය පරාජය වුණාම ආයෙත් සැරයක් එකෙකුට ඇවිල්ලා නට්සිවාදය ගැන කතාකරන්න පුළුවන්ද? ඒ වගේ ආයෙත් සැරයක් සාකච්ඡාවලට යමු කියලා කියන්න පුළුවන්ද? මිනිස්සු මේ ප්‍රශ්නය හරියට දකින්නේ නැති නිසයි දේශපාලන විසදුම් ඉල්ලන්නේ. දෙන්න පුළුවන් හොදම දේශපාලන විසඳුම තමයි නන්දිකඩාල්වලදී දුන්නේ. එකම දේ තියෙන්නේ දේශපාලන විසදුම දුන්නට ඒක නීති පොතට ගියේ නෑ. එහෙම වුණා නම් 13 වන සංශෝධනය ඉවත් කරන්න ඕන. ඒ අඩුව තවම තියෙනවා. ඒකටත් 2012 දී මහින්ද යම් උත්සහයක් අරගෙන තියෙනවා. ඒත් ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, වාසු, රාජිත, වගේ අය එකතුවෙලා ඒ යෝජනාව කැබිනට් එකේ දි පරාජය කරලා තියෙනවා.

Q. වර්තමාන ආණ්ඩුවද කුමන විරෝධයක් ආවත් ඉදිරියේදි ඉන්දියාව සමඟ එට්කා ගිවිසුමට අත්සන් කරන බව පවසනවා. මෙය රටේ අනාගතයට බලපාන්නේ කෙසේද?

එට්කා ගිවිසුම කියන්නේ අවසාන වශයෙන් ගත්තොත් ලංකාව දකුණු ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් බවට පත් කරන ගිවිසුමක්. ඉන්දියාවේ තියෙනවා තමිල්නාණ්ඩුව, කේරලය, කර්ණාටකය, ආන්ද්‍ර ප්‍රදේශය, තෙලගාන කියලා ද්‍රවිඩ ප්‍රාන්ත 05ක්. දැන් රනිල් කියන්නේ මොකක්ද? මේ ද්‍රවිඩ ප්‍රාන්ත 05ත් එක්ක ලංකාව ආර්ථික වශයෙන් බැදෙන්න ඕනලු. එතකොට මේ එට්කා එකේ ආර්ථික කතන්දරේ යටින් තියෙන අවසාන අරමුණ මොකක්ද? අපි ඉන්දියාවේ තවත් ද්‍රවිඩ කලාපයක් බවට පත් වීම. ඕක කරන්න තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. දැන් අපි මොකක් හරි හේතුවක් නිසා වෙන්වෙලා ඉන්නවා මුහුද තියෙන නිසා. මොන විදිහකින් හරි පාළමත් හැදුනොත් සම්පූර්ණයෙන්ම අපට වෙන්නේ ඉන්දියානු ආධිපත්‍යයට යටත් වෙන්න. අපි දකුණු ඉන්දියාවේ 06 වන ද්‍රවිඩ ප්‍රාන්තය බවට පත්වෙනවා. ඒ මදිවට ඔය කියන වෘත්තිකයොද, අයි ටී කාරයොද, දොස්තරලාද, ඔය ඔක්කොමලා එනවා. වැඩියෙන්ම එන්නේ දකුණු ඉන්දියාවේ අදක්ෂයෝ ටික. උතුරු ඉන්දියාවේ හෝ දකුණු ඉන්දියාවේ දක්ෂයෝ කිසි කෙනෙක් ලංකාවට එන්නේ නෑ. උන් ඔක්කොම ඇමරිකාවට හරි යුරෝපයට හරි යනවා. ඉන්දියාවෙන්වත් රස්සාවක් හොයා ගන්න බැරිවෙච්ච අදක්ෂයෝ ටික තමයි ලංකාවට එන්නේ. අවසානයේ වෙන්නේ ආර්ථික වශයෙනුත්, දේශපාලන වශයෙනුත්, හැම අතින්ම ඉන්දියානු ආධිපත්‍යය යටවීම විතරයි. මේ උගුලේ හිරවෙන්න කලින් බැදුම්කරයෙන් හරි මොකක් හරි තැනකින් පටන් අරගෙන රනිල් එළවලා දාන්න ඕන.

Q.ඉන්දියාවෙන් එන එට්කා ප්‍රතික්ෂේප කරනවා නම් බුද්ධාගමත් ඉවත දමන්න ඕන බවයි අගමැතිවරයා ප්‍රකාශ කළේ. මොකද එයත් ඉන්දියාවෙන් ලැබුන දායාදයක් නිසා. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

රනිල් මොන ඉතිහාසයක් දැන ගෙනද මේවා කතා කරන්නේ. ඒ කාලේ ඉන්දියාවක් තිබුණද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියන්න. බෞද්ධ සාහිත්‍යයේ රනිල් කොහෙවත් කියවලා තියෙනවද බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියලා. බුදු හාමුදුරුවෝ ලංකාවේ කියන එකත් නෙමෙයි මම මේ කියන්නේ. බුදු හාමුදුරුවෝ උපන්නේ ශාක්‍යවංශයේ. කපිලවස්තුවේ කිඹුල්වත් නුවර. ඉන්දියාවක් ඇති වුණේ ඉංග්‍රිසිකාරයෝ ඉන්දියාවට ආවට පස්සේ. අපි දන්නේ සොළොස් මහා ජනපද ගැන. බුදු හාමුදුරුවෝ වැඩියෙන්ම සම්බන්ධකම් පැවැත්වුයේ මගධයත් එක්ක. වැඩියෙන්ම වැඩ සිටියේ සැවැත් නුවරයි, රජගහ නුවරයි. එතකොට ඉන්දියාවක් නෑ.

අපි නිකමට හිතමු බුදු හාමුදුරුවෝ වැඩියේ ඉන්දියාවෙන්ම කියලා. මිහිදු හාමුදුරුවෝ බුද්ධාගම රැගෙන ආවේ ඉන්දියාවෙන්ම කියලා. ඒත් මොන මෝඩයාටද බුදු දහමයි ඒට්කා ගිවිසුමයි සමාන කරන්න පුළුවන්. මොන තර්කයක් අනුවද බුදු දහම ලැබුණ පලියට ඉන්දියාවෙන් ලැබෙන හැම දෙයක්ම හොදයි කියන්නේ. රනිල්ට අනුව එහෙම නම් චෝල ආක්‍රමණත් හොඳ වෙන්න ඕන. රනිල්ට අනුව ඒවත් ඉන්දියාවෙන් ලැබුණ දයාද වෙන්න ඕන. මේ වගේ මෝඩ කතා කියමින් අගමැති කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්ද?

Q. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම ගැනත් සාකච්ඡාවක් තිබෙනවා. එය පවරා තිබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික විරෝධි පිරිසක් වන ලාල් විජේනායක කමිටුවට. එය රටට හානිකර බවයි දැනටමත් බොහෝ දෙනා අනතුරු අගවන්නේ. ඒ පිළිබද ඔබටත් යමක් කීමට තිබේද?

මේ තිබෙන ව්‍යවස්ථාව හොද නෑ ඒක මම පිළිගන්නවා. නමුත් අලුත් ව්‍යවස්ථාවත් හදන්නේ මොකටද අපට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්නද? නැහැ. ඒක හදන්නේ අද ලෝකේ තියෙන ඉංග්‍රිසි ක්‍රිස්තියානි ආධිපත්‍යය අනුව එංගලන්තයේ හරි ප්‍රංශයේ හරි ඇමරිකාවේ හරි තියෙන විදිහේ එකක්. අපට ගැලපෙන ව්‍යවස්ථාවක් හදනවානම් අපට දෙන්න පුළුවන් ගැමුණු රජ්ජුරුවන්ගේ ව්‍යවස්ථාව. ලියවිලා නැති වුණාට ගැමුණු රජ්ජුරුවන්ටත් ව්‍යවස්ථාවක් තිබුණා. එහෙම නැතුව අලුත් ව්‍යවස්ථාවක් අද ලංකාවට ඕන නැහැ. නමුත් බටහිරයන් මේ ආණ්ඩුව පත් කළේම ව්‍යවස්ථාවක් හදන්න. ඒකටම ගැලපෙන එන්.ජී.ඕ කාරයෝ ටිකක් තමයි දාගෙන ඉන්නේ. මේ අලුත් ව්‍යවස්ථාවෙන් කරන්න හදන්නේ මොකක්ද? දෙමළ ජාතිවාදයට අවශ්‍ය කරන තැන ව්‍යවස්ථාවෙන්ම ලබා දීමට කටයුතු කිරිම. ෆෙඩරල් නෙමේ ඊටත් එහා ගිය (Confederation) කියන සහ-සන්ධීය රාජ්‍යයක් තමයි දෙන්න හදන්නේ. සහ-සන්ධීය කියන්නේ බොහොම ලිහිල් එකක් ඕන වෙලාවක වෙන් වෙන්න පුළුවන්. දැන් ඕකට පිඹුරුපත් හදන්න පත් කරපු කෙනා තමයි කසිකබල් මාක්ස්වාදියෙක් වෙච්ච ලාල් විජේනායක. ඒ ගොල්ලෝ සම්පූර්ණයෙන්ම සිංහල විරෝධීන්. මාක්ස්ගේ කෙප්ප උඩ මේ ගොල්ලෝ ජාතියට විරුද්ධ වෙනවා. ඒ කියන්නේ ජාතිය කියන එක නෙමේ පන්තිය කියන එකයි මේ ගොල්ලන්ට වැදගත්. ඔය එකකුටවත් පන්ති විඥානයක් නෑ. කම්කරු පන්ති විඥානයක් තියෙනවා නම් මේ අය කොහොමද යූ.එන්.පී. එකට ඡන්දය දෙන්නේ. අනික මේ අයට ජාතියක් කියලා සංකල්පයක් නැත්නම් කොහොමද දෙමළ ජාතියට අසාධාරණයක් වුණා කියන්නේ. සංගතව යම් කාරණාවක්වත් මේ අයට ඉදිරිපත් කරන්න බෑ එහෙම පරස්පර තිබෙනවා.

Q. නමුත් ඔවුන්ගේ ආකල්ප තමයි රාජ්‍ය ලෞකික බැවින් ආගම රාජ්‍යයෙන් විතැන්විය යුතු බව. ලෝකයේ සමහර දියුණු රටවල් මෙන් ලංකාවත් අනාගාමික රාජ්‍යයක් කළ යුතු බව. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ආගම රාජ්‍ය එක්ක බැදිලා නෑ කියන එක අලි බොරුවක්. ලෝකයේ අනාගාමික රාජ්‍යයන් එකක්වත් නැහැ. සෑම රාජ්‍යයක්ම එක්තරා විදිහක ආගමික රාජ්‍යයක්. අපි උදාහරණයකට එංගලන්තයේ රාජ්‍ය ගමු. එහි ප්‍රධානයා රැජිණ. රැජිණ රාජ්‍යයේ ප්‍රධානයා විතරක් නෙමේ එංගලන්ත ක්‍රිස්තියානි සභාවෙත් ප්‍රධානියා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා කියන එක. මේක 08 වන හෙන්රි රජ්ජුරුවන්ගේ කාලයේ ඉදලා එන එකක්. එතකොට එතැන රාජ්‍යයේ ප්‍රධානයත් රජ්ජුරුවෝ. ඇංග්ලිකන් ආගමේ ප්‍රධානයත් රජ්ජුරුවෝ. දැන් ආගම රාජ්‍යයෙන් වෙන්වෙලා තියෙනවද?
මෙතැන මිනිස්සු පටලවා ගන්නා දෙයක් තමයි ආගම සංස්කෘතියෙන් වෙන්කරලා ගන්න හදන එක. අද ලෝකේ තියෙන කිසිම සංස්කෘතියක් ආගමකින් වෙන්කරලා ගන්න බෑ. ඕනෑම සංස්කෘතියක් හුගක් වෙලාවට ආගමක් එක්ක බැදිලා තියෙන්නේ. යුරෝපයේ තියෙන සියලු සංස්කෘතීන් ක්‍රිස්තියානි ආගමත් එක්ක නැත්නම් එහි ප්‍රභේදයක් එක්ක බැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් කතෝලික ආගමත් එක්ක. සංස්කෘතිය ආගමත් එක්ක බැඳුනට පස්සේ රාජ්‍ය බිහිවන්නේ යම්කිසි සංස්කෘතියක නම් අනිවාර්යෙන්ම රාජ්‍ය ආගමක් එක්ක බැදෙනවා. සංස්කෘතියක් ආගමකින් වෙන් කරලා ගන්න කොහෙත්ම බෑ. මුස්ලිම්වරුන්ට කියනවා තමුසෙලාට ඉංග්‍රිසි ක්‍රිස්තියානි විදිහට ඉන්න බැරිනම් රටින් යන්න. මොකක්ද මේ ඉංග්‍රිසි ක්‍රිස්තියානි විදිහට ඉන්න බැරිනම් කියන්නේ. ඉංග්‍රිසි සංස්කෘතිය පදනම් වෙලා තියෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය මත. ඇමරිකාවේ ජනාධිපති දිවුරුම් දෙන්නේ බයිබලේ අත ගහලා. අඩුම තරමේ ලංකාවේ ජනාධිපති ධම්ම පදයට අත ගහලා හෝ බුදු හාමුදුරුවන්ට වැදලා දිවුරුම් දෙන සිරිතක් තියෙනවද?

අද ලංකාවේ තියෙන රාජ්‍යයත් ක්‍රිස්තියානි විදිහටයි වැඩ ඔක්කොම කරන්නේ. ලංකාවේ පාසල් පිරිවෙන් අධ්‍යාපනය ක්‍රමයත් ක්‍රිස්තියානි. ඇත්තටම අපට බෞද්ධ අධ්‍යාපනයක් දී ගන්න බැරි ප්‍රශ්නයයි තියෙන්නේ. මේ රටේ සංස්කෘතිය බෞද්ධ නම් බෞද්ධ සංස්කෘතියක් එක්ක බැදිච්ච එකක් වෙන්න එපැයි රාජ්‍ය. ඇත්තටම එහෙම නෑ. මේක අනාගාමික කරන්න ඕන කියලා එන්.ජී.ඕ කාරයෝ කෑ ගහන්නේ ක්‍රිස්තියානි රාජ්‍ය නැති කරන්න එපා කියන එක.

Q. නමුත් ඔවුන් කියන්නේ මෙරට සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් තිබෙන බව. බහු වාර්ගික බහු සංස්කෘතික පරිසරයක් මේ රටේ ඇති කළ හැක්කේ මේ ස්වෝත්තමවාදය බිද දැමිමෙන් පසුව බවයි ඔවුන්ගේ අදහස.

මේ ඒන් ජි ඕ කාරයෝ ඒකේ තේරුමවත් හරියට දන්නවද?. මොකක්ද ස්වොත්තමවාදය කියන්නේ තමන් උතුම් කියන එකද? තමන් උතුම් කියලා සිංහල බෞද්ධයෝ කවදාවත් කියලා තියෙනවද? මේකේ ඇති ස්වොත්තමවාදයක් නෑ. අපි කියන්නේ මේ රටේ සංස්කෘතිය ගොඩනගපු, මේ රටේ ඉතිහාසය ගොඩනගපු, ඒ මිනිසුන්ගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒකට විශේෂත්වයක් දෙන්න කියන එක. මේ රටේ තියෙන්නේ බෞද්ධ සංස්කෘතියට හිමි තැන නොදීමේ ප්‍රශ්නයක්. ලෝකයේ හැම තැනම මේ පාහරයොත් එක්ක විශේෂත්වයක් දෙනවා ක්‍රිස්තියානි සංස්කෘතියට. උන් එකෙකුටවත් තේරෙන්නේ නෑ ඔවුන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ වහල්ලු බව. අද ලෝකයේ තියෙන්නේ ඉංග්‍රීසි කාරයින්ගේ ආධිපත්‍යක්. ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යක්. ඒ ආධිපත්‍යය නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ. මේක තේරුම් කරන එක තමයි මම අවුරුදු 30ක් තිස්සේ කරන්න ලෑස්ති වුණේ. මේක තාම හරියට රටට ගිහිල්ලා නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි ක්‍රිස්තියානි ආධිපත්‍යයේ යටත් වැසියෝ වෙලා ඉන්නේ. ඒකේ ඉඳගෙන මේක තේරුම් ගන්න අමාරුයි. මම මේ ක්‍රිස්තියානි ආගමටවත් ක්‍රිස්තියානි සංස්කෘතියටවත් විරුද්ධ නෑ. මම විරුද්ධ වෙන්නේ ඒක මුළු ලෝකෙම අධිපතිවාදි චින්තනය සහ සංස්කෘතිය කරනවට. ක්‍රිස්තියානි චින්තන සහ සංස්කෘතික ආධිපත්‍ය නැතිකරනවා කියන්නේ ආගම නැතිකරනවා කියන එක නෙමෙයි.

දැන් අපට බහු සංස්කෘතියක් උගන්වන්න එන මෝඩයෝ ටික දන්නේ නැති මොලයක් නැති හෝ පිළිගන්නේ නැති කාරණය තමයි එංගලන්තයේ තියෙන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි ආධිපත්‍යයක් කියන එක. එංගලන්තයේ විවිධ සංස්කෘතින් තියෙන්න පුළුවන්. ලංකාවෙත් විවිධ සංස්කෘතීන් තියෙනවා. නමුත් මේ ඕනෑම රටක ප්‍රධාන සංස්කෘතියක් තිබෙනවා. එංගලන්තයේ ඉන්න බෞද්ධයන් කී දෙනෙක් නත්තලට නත්තල් ගස් හදනවද, මොකද එහෙ තියෙන්නේ සම්පූර්ණයෙන්ම ක්‍රිස්තියානි සංස්කෘතියක්. ආශ්‍රය කරන්නේ ක්‍රිස්තියානි ළමයි. ඒ අයගේ ගෙවල්වල නත්තල් ගහක් හැදුවම බෞද්ධ අයගේ ගෙවල්වලත් හදන්න වෙනවා. නැත්නම් ඒක ළමයින්ට ප්‍රශ්ණයක් වෙනවා. එහේ තිබෙන අධිපතිවාදී සංස්කෘතිය බෞද්ධයින්ටත් බලපානවා. ඒත් එංගලන්තයේ මිනිස්සු වෙසක් එකට මොකද කරන්නේ මොකුත් නෑ. දැන් බලන්න අපිව මොන තරම් මුලා කරනවද කියලා ලබන අවුරුද්දේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවේ පවත්වන්න හදනවා. දැන් මහා නායක හාමුදුරුවරුත් එක්කම හාමුදුරුවරු ඕකට අහුවෙනවා. මහා නායක හාමුදුරුවොත් බලාගෙන ඉන්නේ මාළුවා ඇම ගිලිනවා වගේ කොයි වෙලාවෙද මොකකට හරි අහුවෙන්නේ කියලා. මෛත්‍රිපාලත් අද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ දාසයෙක් වෙලා. තමන් මහා ලොකු බෞද්ධයෙක් කියලා පෙන්වන්න බොරුවක් නේ මේ කරන්න හදන්නේ. ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවෙද සමරන්න ඕන. වෙසක් දිනේට ලංකාවේ කොහොමවත් වෙසක් සමරනවා. ජාත්‍යන්තර වෙසක් දිනය සමරනවා නම් සමරන්න ඕන ඇමෙරිකාවේ හරි, එංගලන්තයේ හරි, ප්‍රංශයේ හරි වෙන කොහේ හරි රටක. අඩුම ගානේ නිවාඩුවක්වත් දෙනවද වෙසක් එකට. ඒ මොකුත් නෑ. අපි නිවාඩු දෙනවා නත්තලටයි, රාමසාන් එකටයි, මහම්මද් දිනේටයි, ඔක්කොටම. එතකොට මේ බහු සංස්කෘතිය කොහෙද තියෙන්නේ ලංකාවේ ඇරෙන්න. එහෙම තියෙද්දීයි බටහිරට දාසකම් කරන එන්.ජී.ඕ කාරයෝ ටිකක් අපිට බහු සංස්කෘතිය උගන්වන්න එන්නේ. අපි කියනවා මෛත්‍රීපාලට තමුන් රැජිණට මේස් නැතුව අත දුන්න සිංහයා නම් ජාත්‍යන්තර වෙසක් උත්සවය එංගලන්තයේ ට්‍රැෆල්ගා චතුරස්‍රයට ගිහින් ගිහින් සමරනවා ලංකාවේ මහකොමසාරිස් කාර්යාලයයත් සම්බන්ධ කරගෙන. පුළුවන් නම් ගිහින් තොරණක් විවෘත්ත කරලා එන්න.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි.
(2016 දෙසැම්බර් 18 රිවිර ඉරිදා සංග්‍රහය )

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/24/2016

සිදූ ජනප්‍රිය වුණේ ඇයි ?

කතෘ:යුතුකම     11/24/2016   3 comments
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
දෙරණේ සිදු ටෙලි නාට්‍ය සෝරත පොඩි හාමුදුරුවෝ නිසා සෑහෙන්න ජනප්‍රිය වුණා. මේක අර යශෝරාවය, කඩුල්ල, වෙද හාමිනේ, දඩුබස්න්නාමානය, අකාල සන්ධ්‍යා වාගේ ප්‍රේක්ෂකයාගේ වින්දන පථය පුළුල් කරන හෝ ගැඹුරක් තියෙන මහ ලොකු නාට්‍යයකුත් නෙමෙයි. එත් එහෙම වුණේ ඇයි?.

එකක් තමයි කසිකබල් ඉන්දියානු ටෙලි කතා තොග ගානට ගෙනල්ලා සිංහලෙන් හඩකවා නස්ටොප් ප්‍රචාරය කරන්න මෙරට ටෙලිවිෂන්වලට සතියේ දින හතත් මදි වුණා. රන් දෙපය කියලා පැය දෙකකුත් වෙන් කළා. ඒ අතරතුර සරල ප්‍රශ්න අහලා ඒවා බලනවට ප්‍රේක්ෂකයන්ට අල්ලස් දෙන ක්‍රමයකුත් ඇති කළා. ලබන සතියේ ප්‍රවීණා රහසින් පෙම් කරන්නේ කාටද වගේ සරළ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සපයා රන් පවුම් 5ක් දිනාගන්න වාගේ අල්ලස් දෙන ක්‍රමයකුත් තිබුණා. සිරස පටන් ගත්ත මේ වැඩේ පසුව ස්වර්ණවාහිණිය වාගේ ඒවටත් බෝ වුණා. කිසි වින්දනයක් නැති මේවා මිනිසුන්ගේ ඔලු ඔද්දල් වෙනකම්ම බලහත්කාරයෙන් මේවා පෙන්නුවා. සමහර කතා හැමදාම පෙන්නලාත් ඉවර වෙන්න අවුරුදු ගන්න් ගියා.

මොනවද මේවයේ බලන්න තියෙන්නේ. ලස්සනම ගෑනු මිනිස්සු ටිකක් ලස්සන සාරි ඇදගෙන ලස්සනට තොල් පාට කරගෙන ලස්සන මන්දිරයක මැද සාලෙට ඇවිත් රණ්ඩු වෙනවා. සට පට ගාල තොර තෝංචියක් නැතුව බැණ ගන්නවා. ඊට වැඩි දෙයක් නැහැ. මිනිස්සුන්ටත් ඕන වෙලා තිබුණා මේ ඒකාකාරී බවෙන් මිදෙන්න. ගෙදර සාලේ මැදට කොටු වෙච්ච ඇස් ඊට වඩා එළිමහන් දර්ශනයක් ඉල්ලා සිටියා. සිදු ටෙලි නාට්‍යයෙන් ඒ දේ වුණා.

ඊළගට මේ නාට්‍ය ජනප්‍රිය වීමට අපේ සංස්කෘතික විඥානයත් බලපෑවා. සෝරත පොඩි හමුදුරුවන්ගේ චරිතය නොවෙන්න මේක මේතරම් මිනිස්සු වැළද ගන්නේ නැහැ. ඒක පිළිගන්න මොනතරම් අකමැති වුනත් මේ කතාවට ඇලුම් කිරීමට හේතුව ලෙස අවිඥානිකව හෝ සියුම්ව මතු වුණේ අපේ සංස්කෘතික විඥානය.

අපට අවශ්‍ය මේ පොළවෙන් උපදින කලාවක් මිස, වෙන රටක , වෙන සංස්කෘතික පරිසරයක පැළ වෙන අනුකාරක කලාවක් නොවන බව දෙරණ මේ නාට්‍ය ඔස්සේ මතක් කරලා දුන්නා. අන්න ඒකට අපි දෙරණට ස්තුතිවන්ත වෙන්න ඕන. සිරස අර වසංගත ටෙලි නාට්‍යවලට හඬ කවලා කලේ ඒවා බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඔලුවලට ඔබපු එක. දෙරණේ සිදුගෙන් වුණේ කැමැත්තෙන්ම මිනිස්සු ඒක වැළද ගත්තු එක. මාධ්‍ය ත්‍රස්ත්‍රවාදයකින් මිනිසුන්ගේ ඔලුවලට ඔබලා බලහත්කාරයෙන් දිනාගන්නා දේවලට තිර පැවැත්මක් නෑ කියලා ඒ මාධ්‍ය ප්‍රධානීන්ද මේකෙන් ඉගෙන ගත්තොත් හොදයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

6/19/2016

මීට අවුරුදු 6300 කට පෙර අපේ රටේ මිනිස්සු ධාන්‍ය පරිභෝජනය කළා - මහාචාර්ය රාජ් සෝමදේව

කතෘ:යුතුකම     6/19/2016   No comments
1986 දී කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබද මුලික උපාධියත් (බී.ඒ. ගගෞරව) 1994 දී දර්ශනපති (MPhil ) උපාධියත් දිනූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා 2006 ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයෙන් (PhD) ආචාර්ය උපාධිය දිනා ගත්තේය. තත්විෂය පොහොණි කළ ප්‍රමාණික විද්වතෙකු වූ එතුමා දැනට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානයාද වෙයි. ක්‍රමගත සම්ප්‍රදාය ප්‍රශ්න කළ රාජ් සෝමදේව මහතා මෙරට පූර්ව ඓතිහාසික යුගයේ සිදුවූ ශිෂ්ටාචාරගත විකාශනය ගවේෂණය කිරීමට පහළොස් වසරක පර්යේෂණ ව්‍යෘතියක් දියත් කළේය. මේ එම දුෂ්කර ව්‍යායාමය අගයනු වස් වටමඬල කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනයි.

-සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි


ඔබ අපේ රටේ ශිෂ්ටාචාරගත උරුමය මතුකර ගැනීමට ඉමහත් කැප කිරීමක්‌ කරන විද්වතෙක්‌. මුලින්ම පැහැදිළි කළොත් අපේ රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරීමේ ඇති වැදගත්කම කුමක්‌ද?

අපේ රටේ පමණක් නොව ඕනෑම රටක, සමාජයේ වෙසෙන පුරවැසියන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න අපිට පුළුවන් වෙන්නේ ඒ රටේ උරුමය ගැන මැනවින් හදාරලා ඒ පුරවැසියන් දැනුවත් කිරීමෙන්. අපි දන්නවා අපේ රටේ ඉතිහාසය අවුරුදු 2,500ක් පමණ පරණයි කියල කියන්න අපි පුරුදු වෙලා ඉන්නවා. එහෙම කියලා අපි ඒක ස්මරණය කරමින් ඉන්නවා. නමුත් අවුරුදු 2,500ක් නෙවෙයි ඊට වැඩිය ආපස්සට අවුරුදු 1,25,000ක් වගේ කාලයක් විහිදී යන ඉතිහාසයක් අපට තියෙනවා.

අපි ඉතිහාසය කියල කියන්නේ යම්කිසි භූමියක මිනිසුන් ජීවත් වීම පටන් ගත්ත කාලයට. ඒ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් අත්දැකීම් තමයි අපි ඉතිහාසය කියල කියන්නේ. මේ රට පහුගිය අවුරුදු හත්දහසෙම ඉන්දියානු ප්‍රධාන භූමියෙන් කැඩිලා ස්වාධීන දූපතක් හැටියට පැවතුණා. ඒ අවුරුදු 7,000 ඇතුළත සාගරයෙන් වටවෙච්ච මේ භූමි කඬේ අපිටම ආවේණික වූ සම්ප්‍රදායන්, දැනුම් පද්ධති අපි ගොඩනගා ගත්තා. ඒ නිසා අපේ දේශීයත්වයක් අපට ආවේණික ලෙස ගොඩ නැගුණා. ඒ දේශීයත්වයෙන් පිළිඹිමු කරන්නේ මේ රටේ මේ පස්වල, මේ කඳුවල, මේ ගස්යට, මේ කොළ මල් අනුභව කරලා සහජීවනයෙන් කාර්යක්ෂමව සහ සරලව ජීවත් වෙන්න පුළුවන් වඩාම තර්කානුකූල පහසුම ක්‍රමය කුමක්ද කියන එක.

ඇත්තෙන්ම ඒ අවුරුදු 7,000ක පැරණි දැනුම අපි පටන් ගන්නේ අවුරුදු 1,25,000 කට එපිට කාලයක ඉඳලා. දැනට සාක්ෂි සහිතව පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් ඔප්පු කරල තියෙනවා මීට අවුරුදු එක් ලක්ෂ විසිපන්දාහකට එපිට කාලයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල, පතිරාජවෙල, මිනිහාගල්කන්ද වගේ දකුණේ වෙරළ තීරයයේ ප්‍රදේශවලට ආදී හෝමෝ සාපියන්වරු ගොඩ බැස්සා කියලා. එතැන් පටන් මේ රටේ මිනිසුන් වාසය කිරීම පටන් ගත්තා. ඒසා කාලයක් තිස්සේ අපි මේ රටේ මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තර්කානුකූල පියවර ගොඩ නඟා ගත්තා. දැනුම් පද්ධති ගොඩ නැගුවා. ඊට පස්සෙ අපි ඉන්දියානු භූමිකඩෙන් වෙන් වූ පසු අපේ අනන්‍යතාව තව දුරටත් තහවුරු වුනා. ඒ නිසා අපේ සමාජය සුවපත් කරන්න, අපේ සමාජය සංතුලනය කරන්න වඩා යෝග්‍ය තර්කානුකූල දැනුම අන්තර්ගත වෙන්නෙ ඒ පසුගිය අවුරුදු දහස් ගණනක කාලය තුළ. එයත් මැනවින් සොයා බලා ජනතාවට පැහැදිලි කරල දිය යුතුයි.

ඒ වගේම අපි දන්නවා අවුරුදු 300කට ආසන්න කාලයක් තිස්සේ අපි යුරෝපීන් ජාතීන් තුනකට යටත්ව සිටියා. ඒ යටත් වූ කාලය තුළ අවුරුදු දහස් ගණනක් පැරණි අපේ දැනුම සමහරක් අතුරුදහන් වුනා. අනිත් පැත්තෙන් සමහරකගෙ මුහුණුවර මුළුමනින්ම වෙනස් වුනා. ඒ නිසා අපට නැවතත් සිද්ධ වෙලා තියෙනවා ඒ දැනුම ගවේෂණය කරන්න. පුරාවිද්‍යාව කියන්නෙත් ඉතිහාසය සොයන තවත් විෂයයක්. මේ දෙකෙන්ම ගොඩ නඟන්නේ රටේ පුරවැසියන්ගේ ඉතිහාසය. මේ ඉතිහාසය හැදෑරීම අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ වඩා සරලව සහ වඩා ඵලදායිව ජීවත් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න.

අපේ රටේ ඉතිහාසය අධ්‍යයනය කරද්දි අපට හමුවන චරිත අතරින් ප්‍රධාන චරිත දෙකක්‌ තමයි, බලංගොඩ මානවයා සහ විජය කුමරයා. මේ දෙදෙනා අතර සිදුවී ඇත්තේ කුමක්‌ද?
අපේ රටේ ඉතිහාසය ගත්තම එහි එක කාලයක් එනම් ක්‍රි.පු. 600 දක්වා නියෝජනය කරනවා විජය කුමාරයා. ඊළගට බලංගොඩ මානවයා අවුරුදු 12,500 දක්වා ඈත කාලයක් නියෝජනය කරනවා. මේ අවුරුදු 12500 යි මීට අවුරුදු 2500 කට කලින් යුගයයි අතර තියෙන පරතරය ගැන ඇත්තෙන්ම අපි කිසිවක් දන්නේ නෑ. අපි දැනට අවුරුදු 9ක් තිස්සේ ලංකා ඉතිහාසයේ තියෙන මේ කළු කොටස විග‍්‍රහ කරන්න, තේරුම් කරන්න, පර්යේෂණ මාලාවක් දියත් කර තිබෙනවා. ඒ කොටස ගැන ඉගෙන ගැනීම ඉතාම වැදගත්. ඊට හේතුව තමයි ගල් යුගයක ඉදලා ඉතිහාස යුගයකට පරිවර්තනය වෙන එක අපිට හදාරන්න පුළුවන් මේ අදුරු කාලපරිච්ඡේදය ඉගෙන ගැනීමෙන් පමණයි. මේ කාල පරිච්ඡේදය තුළ හුගක් දේවල් සිද්ධ වෙලා තියෙනවා. දඩයක්කාරයෝ යම්කිසි විදියකට ගොවියන් බවට පරිවර්තනය වීමේ පියවරක් අරන් තියෙනවා. ඒ නිසා අපි ඒක ගැන සොයමින් ඉන්නවා.

ඔබ මේ සඳහා අවුරුදු පහළොවේ ව්‍යාපෘතිය නමින් පර්යේෂණ ව්‍යාපෘතියක්‌ දියත් කළා. ඒ පිළිබඳ සඳහන් කළොත්...?
ලංකා ඉතිහාසයේ තිබෙන මේ අදුරු කාල පරිච්ඡේදය සෙවීම සදහා 2006 දී විතර අපි කල්පනා කළා අලුත් පර්යේෂණ ව්‍යාපෘතියක් දියත් කරන්න. අපි හිතුවා අඩුම තරමේ මේක විසදන්න අවුරුදු 15 ක් වත් යයි කියලා. දැන් අපි එයින් අවුරුදු 9 ක්ම ගත කරලා තියෙනවා. තව අවුරුදු හයක් ඉදිරියට තියෙනවා. නමුත් මට හිතෙනවා අවුරුදු පහළොවෙන්වත් මේ වැඩේ කරන්න බැරි වෙයි අපට ලැබී තිබෙන සාක්ෂි අනුව. පහුගිය අවුරුදු 9 තුළ අපට ලැබී තිබෙන සාක්ෂි ඉතාම සුබවාදී ඒවා. ඇත්තෙන්ම බලංගොඩ මානවයා එක තැනම පල්වෙවී ඉන්නේ නැතුව මේ ඉතිහාසය දෙසට යම්කිසි තල්ලුවීමක් සිදුවුනා කියන කාරණාව තහවුරු කරන්න අවශ්‍ය කරන සුන්බුන් සාධක දැන් අපට හම්බවෙලා තියෙනවා. මේ අපේ පර්යේෂණ අවම වශයෙන් ඉදිරියටත් තව අවුරුදු 6ක් කරන්න තියෙනවා. මං හිතනවා මේ අවුරුදු 06 දී අපට යම්කිසි විදිහේ මග පෙන්විමක් ලැබෙයි මේ ගල් යුගයේ හිටපු මිනිස්සු දිර්ඝ කාලයක් කොහොමද මේ රටේ ඉතිහසයට ඇතුල් වෙන්නේ කියන එක ගැන.

මේ පර්යේෂණ ක්‍රියාවලියේ එක කොටසක් ලෙස කූරගල පර්යේෂණයෙත් නිරාවරණය වූ කරුණු මොනවද?
මේ පර්යේෂණ අපි හුගක් කේන්ද්‍රගත කරලා තියෙන්නෙ මධ්‍ය කදුකරයේ දකුණු බෑවුම් ප‍්‍රදේශයට. ඒක අපි නියැදියක් හැටියටයි අරන් තියෙන්නෙ.මොකද මේ උඩ කඳු බෑවුම්වල ඉදලා පහළට එන කොට අපිට දේශගුණික කලාප කිහිපයක් පසු කරන්න පුළුවන් වෙනවා. ඉන් අපට පුළුවන් වෙනවා මේ පැරණි මිනිස්සු එකිනෙකට වෙනස් දේශගුනික කලාපවලට අනුවර්තනය වුනේ කොහොමද කියලා දැනගන්න. එය වැදගත් කාරණයක්. ඉතින් අපි පර්යේෂණ කටයුතුවල එක් කොටසක් වශයෙන් කූරගල, කල්තොට, දියවින්න , වැලිපොත්තේයා ය, පුහුල් යාය වගේ මධ්‍ය කදුකරයේ බෑවුම, රුහුණේ තැනිතලාවට ඒකතුවන ඒ මොහොර ප‍්‍රදේශය අපි ගවේෂණය කලා.
ඒවගේම කූරගල කදුවැටියේ තියෙන ගල්ගුහා අපි පරික්ෂා කළා. අපිට හුගක් දේවල් ඒකේදි දැක ගන්න පුලූවන් වුණා. අපි එක්තරා සෙල් ලිපියක් පිටපත් කලා, ඒ සෙල් ලිපියේ තියෙන්නේ බෞද්ධ භික්ෂුන්ට පුජා කරපු ලෙනක් පිලිබද පුවතක්. එහි වැදගත්ම දේ තමයි එම සෙල් ලිපිය යට "යගෂ" කියලා වචනයක් කොටලා තියෙනවා. ඉන් අදහස් කරන්නෙ "යකුන්ගේ " කියෙන අර්ථයයි. ඒ කියන්නෙ ඒ සෙල් ලිපිය කරවා තිබෙන අය තමන් හදුන්වාගෙන තිබෙන්නේ යක්ෂයින් හැටියටයි. ඒ නිසා අපි පුරාවිද්‍යාත්මක සාධක හා සාහිත්‍ය සාධක කියන දෙකම එකට බද්ධ කරලා මේ අපේ ස්වදේශික ප‍්‍රජාව බුදුදහම පිලිබඳ දැනීම විතරක් නෙමෙයි ලෝහ නිෂ්පාදනය කලේ කොහොමද, ශාක පරිභෝජනය කලේ කොයි විදිහටද, ඇයි එහෙම කළේ මොන කාලවලද කියන එක පිලිබදව ගැටළු නිරාකරණය කිරීම තමයි අපේ අවුරුදු 15 වේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බවට පත්වෙලා තියෙන්නේ.

මේ දිනවල කරමින් සිටින් පර්යේෂණ මොනවාද?

මේ දිනවල අපි අතගහලා තිබෙනවා අර අපි 2015 ලූණුගල්ගේ ගල් ගුහාවෙන් සොයාගත්ත ධාන්‍ය ඇට පිටිපස්සේ පන්නන්න. අපිට වුවමනා වුණා මේක මේ ගල්ගුහාවේ වෙච්ච අහඹු සිද්ධියක් ද කියලා බලන්න. බොහෝ දෙනා එහෙම කියන්නත් පටන් ගත්තා. ඊට පස්සේ අපි මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ 20 වෙනිදා ආරම්භ කළා බලංගොඩ වියළි කලාපයට අයිති දියවින්න උඩුපියන් ගල්ගේ කියන ගල්ගුහාව පරික්ෂා කරන්න.ඇත්තෙන්ම ඒ ගල්ගුහාව 1936 දී ආචාර්ය පි.පි දැරණියගල මහතා විසින් කැණිම් කරලා තියෙනවා. ඔහු ඉතා කෙටි වාර්තාවක් ලියලා තිබුණා ඒකෙන් ධ්‍යානය ඇට හම්බ වු බව සඳහන් කරලා. ඉතින් අපි ක‍්‍රමවත්ව ඒක පරීක්ෂා කලා. ඇත්තෙන්ම අපිට හම්බවුණා පිළිස්සිච්ච ධාන්‍ය ඇට. විශේෂයෙන්ම වී ඇට තුනක් අපිට හම්බවුණා. ඉතින් එක ඉතාම වැදගත් සාක්ෂියක්. ඒ ස්ථරයේම තිබිලා ගල් මෙවලම් හම්බවුණා, ආභරණ හැටියට පළදපු කහදගල් වලින් හදපු තැලි දෙකක් හම්බවුණ.ඉතින් අපි මේ දිනවල කරන්නේ අර අපේ ප‍්‍රධාන පර්යේෂණ ප‍්‍රශ්ණය වූ මේ රටේ ආදී මිනිසුන් ඒ කියන්නේ විජය ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ ඊට වඩා අවුරුදු සිය ගණනක් දහස් ගණනක් එපිට හිටපු ආදී මානවයින් කොහොමද තමන්ගේ කැලෑ ජිවීතය අතැරලා ග‍්‍රාමීය ජිවීතයකට පරිවර්තනය වෙන්න මහන්සි ගත්තේ කියන එක හොයන්න. ඒක දේශියත්වය පිළිබද වැදගත් කාල පරිච්ඡේදයක් වගේම දේශීය අනන්‍යතාවය පිලිබඳ වැදගත් ප‍්‍රශ්නයක්. අපි මේ දිනවල ඒ වැදගත් ප‍්‍රශ්නය පස්සේ පන්නමින් ඊට අදාල ස්ථාන කැණීම් කිරීම් හා ගවේෂණය කිරීම් සිදු කරමින් සිටිනවා.

ඉදිරියේ දී කිරීමට නියමිත පර්යේෂණ මොනවාද?

ඉදිරියට මේ පර්යේෂණ ව්‍යාපෘතිය තව අපට අඩුම තරමේ ස්ථාන 05ක් හෝ 06 ක් පරීක්ෂා කළ යුතුව තිබෙනවා. සාමාන්‍යයෙන් එක් තැනක් හෝ තැන් දෙකක් පරික්ෂා කිරීමෙන් ලොකු නිගමනයකට එළඹෙන්න අමාරුයි. ඒ නිසා අපිට නියමිතව තිබෙනවා මේ අවුරුද්දේ ජුලි මාසයේ නෙළුම් කුඹුර, පනාන කියන ගම් අතර තිබෙන පරගහ මඩිත්ත කියන ගල්ගුහාව කැනීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉලූක්කුඹුරේ කඳු බෑවුමක තිබෙනවා අලූගල්ගේ කියලා ගුහාවක්. ඉතාම දුෂ්කරයි ඒකට ලංවෙන්න . නමුත් අපි සැලසුම් කරලා තියෙනවා ඒ ගල් ගුහාවත් කැණීමට ලක් කරලා කාල නිර්ණයට අවශ්‍ය කරන අගුරු සොයාගන්න. ඒ වගේම ඒ අගුරුත් එක්ක තියෙන අනිත් පුරාවස්තු මොනවාද කියලා පරීක්ෂා කරන්න. එතකොට අපිට මේ අවුරුද්දේ තව තැන් දෙකක් තියෙනවා පරීක්ෂා කරන්න. ඉලුක් කුඹුරේ ලුණුගල්ගේ නැවත පරීක්ෂා කල යුතුයි. මොකද එතැනදි අපිට 2015 දී මිනිස් දතක් හම්බවෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා එතැන ඇට සැකිල්ලක් තිබෙන්න පුළුවන් කියලා. එය සොයා ගන්න පුළුවන් වුණොත් අපිට මේ මිනිසුන්ගේ ජීව විද්‍යාත්මක අනන්‍යතාවය කොහොමද කියලා පරික්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා 2015 අවුරුද්දේ තව කැනීම් 3ක් අපිට නියමිතයි පරගහ මඩිත්ත, අලූගල්ගේ හා ලූණුගල්ගේ , බලංගොඩ ඉලූක් කුඹුර හා පනාන කියන ප‍්‍රදේශවල.

ඔබ කාලාන්තරයක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ ගෙන පර්යේෂණ සිදුකළේ මේ රටේ නියම උරුමක්‌කාරයන්ගේ අනන්‍යතාවය සොයායැමේ අදහසින්. මේ ස්‌වදේශික අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ඔබේ පර්යේෂණ තුළින් මෙතෙක්‌ නිරාවරණය වී ඇති සුවිශේෂ කරුණු මොනවාද?

අපට සැකයක් තිබුනා අපේ රටේ හිටපු අර පුරාණ ගල් යුගයේ මිනිස්සු, වෙනත් වචන වලින් කියනවා නම් බලංගොඩ මානවයා යම්කිසි කාලයකදී ශිෂ්ටාචාර මාවතට එන්නේ නැතුවම යම් කිසි කාලයකදී පසු බැහැලා ගියා කියලා. ඒ කියන්නේ ඔහු වනගත වෙලා ඒ වෙනුවට විදේශයකින් ආව ප්‍රජාවක් විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙන් හෝ උතුරු කොටසෙන් ආව යම් කිසි ප්‍රජාවක් යකඩ භාවිතය, වී වගාව අශ්වයන් වැනි දේවල් ලංකාවට ගෙනල්ලා අපේ රටේ සංස්කෘතිය දියුණු කරලා ඒගොල්ලෝ ආධිපත්‍යය දරාගෙන ඉදිරියට ආ බව.

නමුත් අපේ මේ අවුරුදු 15කට සැලසුම් කරපු ව්‍යාපෘතියේන් ගෙවුණු අවුරුදු 09 තුළම ඊට එරෙහිව දැනුමක් නිශ්පාදනය කළා. ඒ කුමක්ද කිව්වොත්, අර සම්ප්‍රදායිකව හිතුවා වගේ බලංගොඩ මානවයාගේ පරම්පරාව පසු බැහැල ගියේ නැහැ කියන එක සනාත කළා. ඔවුන් යම්කිසි උත්සාහයක් දැරුවා ඔවුන්ගේ දඩයම් ජීවිතය, සංචාරක ජීවිතය අතහැරලා ඒ වෙනුවට යම් කිසි ඉදිරියකට එන්න. ඒ ඉදිරියට එන එක අපට පෙන්නන්න පුලුවන් වුණා. ඔවුන් දඩයමට අමතරව ශාක ආහාර, ඇට වර්ග පරිභෝජනය කරන්න පුරුදු වුනා කියන කාරණය පෙන්නන් පුළුවන් වුණා. 2015 දී අපි බලංගොඩ ඉලුක් කුඹුර , ලුණුගල්ගේ කියන ස්ථානයේ ගල් ගුහාවේ කරපු කැණීමෙන් අපට සොයා ගන්න පුළුවන් වුණා පිලිස්සී ගිය වී ඇට සමග ධාන්‍ය වර්ග 35ක්. ධාන්‍ය වර්ගම නෙවෙයි ඇට වර්ග 35ක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ අතර වීත් තියනවා. ඒ සමහර ඇට වර්ග අපි පරීක්ෂා කරලා අඳුනගන්න මහන්සි අරන් තියනවා. ඒ සමහර ඒව අද බෙහෙත් ද්‍රව්‍ය හැටියට පාවිච්චි කරන ඒවා. උදාහරණයක් හැටියට වලඳ සහල්, කුඩු මිරිස්ස, වල් අබ වගේ ඇට වර්ග එතන තියනවා.

ඒකෙන් අපට පේනවා මේ සිංහල වෙදකමට අයිති ඥානය, එහෙම නැත්නම් මෙයින් පරිභෝජනය කිරීමට හැකි ධාන්‍ය මොනවද කියන දැනුම ඉස්සෙල්ලම අත්හදා බලන්න පටන් ගත්තේ මේ ලුණුගල්ගේ හිටපු මිනිස්සු. අපි ඒ පිච්චිච්ච ධන්‍ය ඇටම විදේශ විද්‍යාගාර වලට යවලා මේක විද්‍යාත්මකව කාල නිර්ණය කළා. ඒ විද්‍යාගාර වලින් අපට කියල තියනවා මේ සාධක අවුරුදු 6300ක් අවම වශයෙන් පරණයි කියන එක. ඒකෙන් අපට තේරෙනවා මීට 6300කට එපිට කාලයේදී මේ රටේ හිටිය මිනිස්සු මේ ධාන්‍ය ඇට වර්ග ආහාර ලෙස පරිභෝජනය කරන්න පටන් ගත්තයි කියන එක. ඒක තමයි මේ අවරුදු 9ක කාලය තුළ අපි නිෂ්පාදනය කරපු දැනුමේ පළවෙනිම දේ.

අනෙක් අතට ඔවුන් තාක්ෂණය වෙනස් කරල තියනවා. සම්ප්‍රදායික ගල් ආයුධ වෙනුවට අලුත් ගල් ආයුධ හදන්න පටන් අරන් තියනවා. පබළු වර්ග හදලා තියනවා. ගල් වලින් ගෙලේ පළඳින්න පුලුවන් තැලි හදලා තියනවා. ඉතින් අපේ පැරණි සමාජයේ අවුරුදු ලක්ෂ ගණනක් මේ රටේ ජීවත් වෙච්චි හෝමෝසාපියන්වරු ඉතිහාසය දෙසට, ශිෂ්ඨාචාරය දෙසට තල්ලු වෙනවා කියන එක ඉතාම ප්‍රගතිශීලි අදහසක්. ඒක එතෙක් දැනගෙන හිටියේත් නැහැ විශ්වාස කලේත් නැහැ. ඇත්තෙන්ම මේ දේශීයත්වය අරන් එන්නේ අර අවුරුදු ලක්ෂ ගණනක් අපේ රටේ ජීවත් වෙච්ච ඒ දඩයම් යුගයේ ප්‍රජාව බව අපි මේ ව්‍යාපෘතියෙදි කිව්වා. ඔවුන් ගොවියන් වෙන්න තැත් කළා.ඒත් මොනවා හරි හේතුවක් නිසා ඔවුන්ගේ ඒ වෑයම අපේ ඉතිහාසයට ඇතුළත් වෙලා රචනා වුනේ නැහැ.

පුරාවිද්‍යා පර්යේෂණයක්‌ වෙනුවෙන් එක කැණීමක්‌ සඳහා විශාල මුදලක්‌ වැය කරන්නට වෙනවා. එබඳු පිරිවැයක්‌ යන්නේ කුමන කාරණා සඳහාද ?

කැණීමක් කරන්න අඩුම තරමේ සති හයක කාලයක්වත් අපි ක්ෂේත්‍රයේ ගත කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි අවුරුද්දේ පායන කාලේ මාස තුනක් විතර කැණීමකට ගන්නවා. නමුත් අපි සති 6 කින් කඩිනමින් සීමිත කැණීමක් නිම කළොත් අපට පුහුණු පුරා විද්‍යාඥයන් හෝ ශිෂ්‍යයන් අඩු ගණනේ හය දෙනෙක්වත් යොදවා ගන්න වෙනවා. පස් ප්‍රවාහනය වගේ නොයෙක් නොයෙක් කරණාවලට කම්කරුවන් හතර දෙනෙකුවත් යොදා ගන්න වෙනවා. කම්කරුවකුට දවසකට රුපියල් 1000 ගානේ දවස් හතලිස් පහකට විශාල මුදලක් ගෙවන්න වෙනවා. කැණීම් කරන්න යන අයට නවාතැන්, ආහාර ආදියට වියදම් කරන්න වෙනවා. කොළඹ ඉඳලා බඩු එකවරක් ගෙනයන්න ආපසු ගෙනඑන්න වාහනයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේ වියදම් අපි පරිස්සමෙන් පිරිමසා ගත්තත්, අපට පිරිමසා ගන්නට බැරි වියදම් වගයක් තියෙනවා. ඒ තමයි අපේ ද්‍රව්‍ය කාල නිර්ණය සඳහා වන වියදම්. කාල නිර්ණය කරන කොට වඩා විශ්වාසදායක විද්‍යාගාරයකට එය යැවිය යුතුයි. ඉතින් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා තිබෙන Beta Analytics කියන ආයතනය. ඒ ආයතනය කාබන්, එහෙම නැත්නම් වෙනත් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් කාල නිර්ණය කිරීමට අය කරන මුදල අපට පුළුවන් අන්තර්ජාලයට ගිහින් හොයා ගන්න. ඒ ගාස්තු ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

අපි අඟුරු සාම්පලයක් යැව්වට පස්සේ දින නිර්ණය කරන්න ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සම්මත කාබන් දින නිර්ණය. ඒකට අපට ග්රෑම් විස්සක ද්‍රව්‍ය අවශ්‍යයි. පුරාවිද්‍යා කැණීමකදී අපට විශ්වාස නෑ හැම වෙලාවේම ග්රෑම් විස්සක් හොයා ගන්න පුළුවන් වෙයි කියලා. පස් දිය කරලා, පස් පා කරලා අපට ඊට අඩු ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා AMS (Accelerated Maas Spectrometry)කියලා. ඒකට ඕනෑ මිලි ග්රෑම් නවයක් වැනි ඉතා කුඩා ප්‍රමාණයක්. බොහෝ අවස්ථාවල අඟුරු හිඟ නිසා මේ AMS ක්‍රමය භාවිතා කරන්න වෙනවා.AMS ක්‍රමය සඳහා සාම්පලයකට ඩොලර් 680 ක් වියදම් කරන්න වෙනවා. රුපියල් වලින් නම් 90,000 ක් විතර. කැණීමකදී එක සාම්පලයක් පමණක් දින නිර්ණය කිරීම කිසිසෙත් ප්‍රමාණවත් නෑ

විද්‍යාත්මකව. අඩුම තරමේ සාම්පල තුනක්වත් දින නිර්ණය කරන්න ඕන. ඊට අමතරව, කුරියර් සේවා සඳහා ගාස්තු, ඒවා යැවීමට පෙර ITI ආයතනයෙන් සහතිකයක් ලබා ගන්නා ඕන මේවා අහස් යන්ත්‍රයේ ගෙන යන්න නම් පුපුරණ ද්‍රව්‍ය නෙමෙයි කියලා. ඊට රු.9000 ක් විතර වියදම් දැරිය යුතු වෙනවා. ඒ වගේම වෙනත් විශ්ලේෂණ කටයුතු තියෙනවා. උදාහරණයක් විදියට සතුන්ගේ ඇට කටු ලැබුණාම ඒවා පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ගෙවන්න ඕන. සති හයක කැණීමක් කළාම අපට අවම වශයෙන් රුපියල් ලක්ෂ හයක් විතරක් මුදලක් වියදම් කරන්න වෙනවා.

මේ නිසාම තරුණ පිරිසක්‌ අපේ උරුමය රාඡ් සෝමදේව පුරාවිද්‍යා පර්යේෂණ අරමුදල නමින් සංචිතයක්‌ මුහුණු පොත ඔස්‌සේ ඇති කරගෙන තිබෙනවා. එහි අරමුණ ඔබේ මේ පර්යේෂණ කටයුතුවලට මුල්‍යමය සම්මාදමක්‌ ලබාදීම. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

 අපි පහුගිය අවුරුදු නවයක කාලය තුළ කරපු වැඩ කටයුතු දැක පැහැදී විදේශගතව බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරන ශ්‍රී ලාංකිකයින් අපට කතා කළා. ඔවුන් කිව්වේ අපි දුර බැහැර ඉන්න නිසා මේවට ඇවිත් භෞතිකව උදව් කරන්න පුළුවන් කමක් නෑ ඒත් වියදම්වන ප්‍රතිපාදන වලට යම් උරදීමක් කරන්න පුළුවන්. ඒ සඳහා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වන අයට ඒ සදහා අවස්ථාවක් ලැබෙන්න යම් අරමුදලක් පිහිටුවාගෙන යාමේ වැදගත්කම සදහන් කළා. මම මුල් අවස්ථාවේ ඒකට එතරම් එකගතාවක් දැක්වූයේ නැහැ. ඉතින් ඒ ගොල්ලෝ ඉතාම උවමනාවෙන් ඇහුවා මේ පර්යේෂණ වැඩවලට කැමැත්තෙන් යම් ප්‍රතිපාදනයක් දීලා ඊට දායක වෙන්න පුළුවන් කොයි විදිහටද කියලා. පසුව මම ඉතාම සද්භාවයෙන් කරන මේ කටයුත්ත ගැන අවබෝධකරගෙන සාකච්ඡා කරලා එයාලට මම එකගතාවයක් ලබා දුන්නා. යම් කෙනෙක් ස්වේච්ඡාවෙන්ම මීට දායක වෙන්න කැමති නම් ඒ සඳහා ගිණුමක් ආරම්භ කරලා එය ඉතා පාරදෘශ්‍ය ආකාරයකට පවත්වාගෙන යාම සුදුසුයි කියලා. ඒ ගොල්ලන්ගේ ඉල්ලීම මත මම බැංකු ගිණුමක් විවෘත්ත කරලා ඒ විස්තර අපේ උරුමය සංවිධානයේ අයට ලබා දුන්නා. මොකද එවැනි සංචිතයක් පවත්වාගෙන යාම සුදුසුයි කියලා සමහර අවස්ථාවල මටත් කල්පනා වෙලා තියෙනවා. ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතාවය නිසා සමහර අවස්ථාවල අගුරු සාම්පල් මම ගෙදර තියාගෙන ඉදලා තියෙනවා මාස දෙක තුන.ඒ නිසා රටට ආදරය කරන මේ වගෙ පිරිසක් දෙයක් කරන්ට ඉදිරිපත් වීම මම හිතනවා ඒක ඇත්තෙන්ම තමන්ගේ මාතෘ භූමියේ අතීතය උරුමය සෙවීමට දක්වන විශාල උපකාරයක් කියලා. මොකද අපේ රටේ මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන තිබුණත් මේ වගේ කටයුතු සඳහා ප්‍රතිපාදන යෙදවීමේ ප්‍රමුඛතාවයක් නෑ. නොලැබෙනවා නෙවෙයි ලැබෙනවා. එය ප්‍රමාණවත් නෑ. නමුත් මේ තරුණ පිරිස අවබෝධ කරගෙන තිබෙනවා මේ රටේ උරුමය රැකගැනීම රජයට අයිති කාරණයක් පමණක් නෙවෙයි ඒකට පුරවැසියන් හැටියට තමන්ටත් වගකීමක් තිබෙන බව. මේ ගැන කල්පනා කරලා බලලා කවුරු හරි ස්වේච්ඡාවෙන් දායක වෙන්න කැමති නම් අපේ උරුමය සංවිධානය මුලික කරගෙන කරන්න. මේක බොහොම පාරදෘශ්‍යයි. විවෘතයි. මගේ අධීක්ෂණයට එය හැමවෙලාවෙම ලක්වෙනවා.

අපේ උරුමය පේජ් එකට මේ ලින්ක් එකින් (https://www.facebook.com/apea.urumaya/) පිවිසිය හැකියි 

.2016.06.02.දිවයින
රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

5/10/2016

දිවයින ඇතතටම සමාව ගත්තාද?

කතෘ:යුතුකම     5/10/2016   No comments
-රත්ත්නදෙණියේ මේධානන්ද හිමි-

දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ ජවිපෙන් සමාව ගත් බවට හඬපටයක් අන්තර්ජාලයට මුදාහැර දැන් ගොඩයන්න තියෙන එකම මග මේ හඬපටය යන විශ්වාසයෙන් දිවිපරදුවට තබා හැමතැනම share කරන බව පෙනේ. මම දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා සමග කතාබහ කොට ඇති නිසා මේ ඔහුගේ හඩම යයි මට පැහැදිලි විශ්වාසයක් නැත. එනිසා මම මෙය ඇත්තක් දැයි නිරවුල් කර ගැනීමට අනුර සොලමන්ගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තද එය ක්‍රියා විරහිත වී තිබිණි. ඉන්පසු මම ඉරිදා දිවයින කර්තෘමණ්ඩලයේ සමන් ගමගේට කතා කොට මේ සමාව ගැනීමේ කතාව ඇත්ත දැයි විමසු විට ඔහු පැවසුවේ මෙය අමුලික බොරුවක් බොරුවක් බවයි. එය ඔහු සිය මුහුපොතේ ද ලියා ඇත . ඉන් පසු මම දිවයිනේ මනෝජ් අභයදීරගෙන්ද මෙය විමසු විට ඔහුද පැවසුවේ සමාව ගෙන නැති බවයි. මෙය ජවිපෙ ගොඩ යන්න හදන බොරු ප්‍රචාරණයක් බවයි.

සමාව ගන්නේ නම් ගත යුත්තේ කෙලින්ම අනුර කුමාරගෙන් මිස වෙන කෙනෙක්ගෙන් නොවේ. මේ මේ හඬපටයේ සංවාදයේ යෙදී සිටින අනෙක් පුද්ගලයා අනුර කුමාර නොවන බව ඕනෑම කෙනෙක්ට පැහැදිලි ඇති. අනික ඒ පුද්ගලයාට අනුර සොලමන්ස්ගෙන් සමාව ඉල්ලා දුරකථන ඇමතුමක් එන බව දැකීමට දිව්‍යඥානය තිබී ඇත. ඔහු ක්ෂණිකවම රෙකෝඩ්න් ඔන් කරගෙනම සිට ඇත්තේ එනිසා වියයුතුය. දිවයින ලිපියේ වැඩි බරක් විමල් වීරවංශත්ටත් ටත් පටවා ඇති නිසා මේ ෂණික ඇමතුමෙන් සොලමන්ස් ලවාම ඔහුද කම්බස් කර දැමන ආකාරය වූ කලි කලින් සකස් කළ පිටපතකට අනුව බයිස්කෝප් ජවනිකාවක හඬ කැවීමක් වැනිය. අනික සමාව ගන්නේ නම් ගතයුත්තේ ඔය කියන විදිහේ රහසිගත ඇමතුමකින් නොව පුවත්පත මගින්මය. තවමත් එබදු සමාව ගත් පුවතක් දිනපතා දිවයිනෙන් වත් අප දුටුවේද නැත. කොහොම වෙතත් දැනට මේ නැටුමට ඉඩදී අර සමාවගත්තා යයි කියන හඬපටයට අනුවම මෙහි හරියටම ඇත්ත නැත්ත ලබන ඉරිදා දිවයින පුවත්පතින් මහජනයාට දැනගත හැකිය.

සමාව ගත්තත් මට නම් එහි විශ්මය දනවන පුවතක් නොවේ. දැන් අනුර කුමාර යනු මෙතෙක් ජවිපෙ සිටි නායකයන් බදු කෙනෙක් නොවේ.ඔහු නිල නොලත් නියෝජ්‍ය අගමැති බදු මහා බලසම්පන්න පුද්ගලයකි. ඔහු දැනටමත් රනිල්ගේ නිලබලය නිලනොවන මට්ටමෙන් පෙන්නා තිබෙන පුද්ගලයකි. විජයදාස රාජපක්ෂ ඇවන්ගාඩ් සිද්දිය අරභයා මුහුණට මුහුණ රුපවාහිනී සංවාදයක් ඉල්ලු විට එය නතර කරගත්තේ රනිල් වික්‍රමසිංහ ලවාම විජයදාස රාජපක්ෂට තරවට්ටු කරවීමෙනි. කුමාර ගුණරත්නම් සමග පටිගත කල සත්‍යගාර වැඩසටහන ITN එකේ ප්‍රචාරය වීමත් අනුර කුමාර රනිල්ගේ අනුහසින් වලක්වා ගත්තේය. ඒවිතරක් නොව මිනීමැරුවත් මෙච්චර කල් නොයිද ඇපමත නිදහස් වන රටේ කුමාර ගුණරත්නම් තවමත් සිරගත කොට තැබීමට තරම් නිලනොලත් අගමැතිගේ බලය අප විශ්මයට පත්කරවන සුළුය. නිල අගමැති සහ නිල නොලත් අගමැතිගේ ආදර බැම්මට කළ නොහැක්කක් නැති බව විජයදාස රාජපක්ෂ,කුමාර ගුණරත්න වැන්නන්ට ප්‍රයෝගිකවම අවබෝධ කරවූවා සේ දිවයින කර්තෘ මණ්ඩලයටද අවබෝධ කරවීමට බැරි නැත. නිල අගමැතිද මීට කලකට පෙර අනුර සොලමන්ගේ හා කීර්තිවර්ණකුලසූරියගේ නම්ද සදහන් කොට ගෙම්බන් කියා බැණවදිමින් "හරි බලාගමු අපිත් ලෑස්තියි" කියා ප්‍රසිද්දියේම සිය කෝන්තර ප්‍රදර්ශනය කලා මතකය. දෙරණේ බලපත්‍ර කැන්සල් කරනවා යයි තර්ජය කළ ඔහු කීකරු ගෝලයාව බරපතල අපහසුතාවකට පත්ව ඇති උදව්වක් උවමනාම කර තිබෙන මොහොතේ එදෙස නොබලා සිටීමට හේතුවක් නැත. දිවයිනේ ප්‍රාග්ධන අයිතිකරු නිමල් වෙල්ගම ලවාම කර්තෘ මණ්ඩලයේ තටු කැප්පවීමට ඉඩ ඇත. සාරවිට විකුණන්නන් පවා ඔහුට දැන් ඩී.අයි.ජී අනුර කියන්නේ නිකම්ම නොවේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/26/2016

අනුර කුමාර කුමාර ගුණරත්නම්ට ඇයි මෙච්චර බය

කතෘ:යුතුකම     3/26/2016   No comments
-රත්තනදෙණියේ මේධානන්ද හිමි -
ජවිපෙ නායක රෝහණ විජේවීර එජාපයේ භීම සමයක මරා දැමුවේ පණපිටින් අල්ලාගෙන බොරැල්ල කනත්තට රැගෙනවිත් දසවද දී පණපිටින් පුළුස්සා දැමීමෙන් බව ඉතිහාසයයි. මේ ඉතිහාසය අද එම පක්ෂයේ නායකයන්ගේ සිට බිම් මට්ටමේ පහලම සාමාජිකයා දක්වා නොදන්නවා විය නොහැකිය. එහෙත් වර්තමාන නායක අනුර කුමාරට විජේවීර ඝාතනය කිරීම ගැන කොටි හිතවාදීයකු යැයි සැලකෙන එක්නැළිගොඩ අතුරුදන් වීම තරම්වත් කැක්කුමක් ඇති බවක් පෙනෙන්නට නැත. එසේ ඇත්නම් හෘදසාක්ෂ්‍යයක් එක්ක ඔහුට එජාපය සමග මේසා ඒකාත්මික ගනුදෙනුවක් කළ නොහැකිය. දේශපාලන අර්ථයෙන් ගත්තත් ජවිපෙ පංති සතුරා එජාපයයි. එහෙත් අනුර කුමාර අද නිර්ධන පන්තියේ විප්ලවය කරන්නෙත් එජාපයේ සල්ලි වලින් බව තවමත් සමාජවාදී සිහිනයෙන් හිරිවැටී සිටින බිම්මට්ටමේ සහෝදරයින් වටහාගන්නා පාටක් නැත.හිටපු නායක සෝමවංශ අමරසිංහද ශුද්ධ සිංහලෙන් අද අනුර කුමාර අලියාගේ බෙල්ලේ සීනුව ගැටගැසූ න්‍යායික හිල් පෙන්වා දුන්නේය.
අද රනිල් සමග අනුර කුමාර කොච්චර සහ සම්බන්ධයක් පවත්වන්නේ දැයි කුමාර ගුණරත්නම් සිරගත කර තැබීමෙන් පෙනෙයි. කුමාර ගුණරත්නම් සිර කිරීමට රනිල්ට හෝ මෛත්‍රීට කිසිම අවශ්‍යතාවක් නැත. ඒ උවමනාව තිබෙන්නේ අනුර කුමාරට හැර වෙන කාටද?. ජවිපෙ බාලයන් පවා දන්නා කුමාර ගුණරත්නම්ගේ ජවිපෙ භූමිකාව අනුර කුමාර ලජ්ජා සහගත ආකාරයට ප්‍රසිද්දියේ වසන් කරයි. අනුර කුමාරට අනුව කුමාර ගුණරත්නම් කෙනෙක් පක්ෂයේ සිට නැත.ඔහු එවැන්නෙක් ගැන දන්නේ ද නැත. ඔහු මේ සිත්ගන්නා සුළු හෙළිදරව්ව කෙළේ හිරු රුපවාහිනියේ දේශපාලන වැඩසටහනකට සහභාගී වෙමිනි. ඒවිතරක් නොව යහපාලනය යටතේ අපුරුවට සුවාධින වූ ITN එකේ සත්‍යගාරය වැඩසටහනට කුමාර ගුණරත්නම්ගේ වැඩසටහනක් පටිගත කළබව දැනගත් අනුර කුමාර රනිල් ලවාම එය එම නාලිකාවේ ප්‍රචාරය වීම වැලක්වීය. වැඩසටහන මෙහෙයවපු සන්නස්ගල ඊට පසු දිනක කිවේ තමන් කෙසේ හෝ කුමාර ගුණරත්නම් සමග කළ වැඩසටහන යු ටියුබ් ඔස්සේ හෝ මුදා හරින බවයි. එහෙත් ITN නිෂ්පාදනයක් වූ මෙම වැඩසටහන වෙනත් මාධ්‍යකින් ප්‍රචාරය කිරීමට ඔහුටද ලබා දෙන්නේ නැත. මෙය රනිල්ගේ මැදිහත් වීමෙන් වූ වාරණයකි. එය එසේ වුයේ කුමාර ගුණරත්නම් ගේ සාකච්ඡාව රනිල්ට අභියෝගයක් වන නිසා නොව අනුර කුමාරට අභියෝගයක් වන නිසාය.

කුමාර ගුණරත්නම්ගේ වැඩසටහන ප්‍රචාරය වීම වැලක්වීමේ සිට ඔහුව සිරගත කිරීම දක්වා සියල්ල සිදුවන්නේ අනුර සහ රනිල් අද ගතකරන දේශපාලන මදුසමයේ ප්‍රතිඵලයක් ලෙසය. ඔහු විජේදාස රාජපක්ෂ සමග මුහුණට මුහුණලා ප්‍රසිද්ධ සංවාදයක් කිරීමේ අභියෝගයද රනිල්ට කෙදිරිගා වලක්වා ගත්බව විජේදාස මාධ්‍යට හෙළි කළේය. ජවිපෙන් කැඩුන කුමාර ගුණරත්නම් කුමන දේශපාලන ස්ථාවරයක් ගත්තද ඔහුට උරුමකර දුන් ඉරණම ගැන අනුර කුමාර ලජ්ජා විය යුතුය. ඔහුට ඉංග්‍රීසි හෝඩිය පවා කියා දී ඇත්තේද අද තමන් නොදන්නේ යයි කියන කුමාර ගුණරත්නම් ගේ අම්මාය. එහෙත් අද අනුර කුමාර, ගුණරත්නම්ට මෙච්චරම බය කුමකටද ?

මගේ අදහස කුමාර ගුණරත්නම් වහා නිදහස් කළ යුතුබව ය. කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ හොරු,කැලෑ පාලුවෝ, රේස්බුකිකාරයෝ ආදී වශයෙන් ජනවාරි 8 ට පෙර නහුතයක් දෙස් දෙවොල් තැබූ අය අද ආණ්ඩුවේ ඇමැති තනතුරු දරන්නේ නම්, මහජන ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප වූ අය ජාතික ලැයිස්තුවෙන් ගත්තේ නම්,සතොස,මහ බැංකුව, කොල්ල කෑ අය නිදහසේ නම් කුමාර ගුණරත්නම් තම වලංගු වීසා කාලය ඉක්මවා මෙරට රැදී සිටීම අරට වඩා මහා අපරාධයක් වන්නේ කෙසේද ? ඇරත් ඔහු මේසා කාලයක් අත්අඩංගුවේ රදවාගෙන සිටින්නේ ඇයි? ලංකාවේ දිගටම රැදී සිටීමට අවශ්‍ය පුරවැසිභාවය ඔහුට නැත්නම් ඔස්ට්‍රේලියාවට පිටුවහල් නොකරන්නේ ඇයි? අනික ඩයස්පෝරාකාරයින්ටත් ලංකාවට එන්න ආරාධනා කළ රජය කුමාර ගුණරත්නම්ට ඒ අයිතිය නොදෙන්නේ ඇයි? වරක් මෙන් තානාපති කාර්යාල ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද පෙරට නොඑන්නේ ඇයි.?අනුර රනිල් ප්‍රේමය එතරම්ම ගැඹුරුද ? මේ සිර කිරීම නිගමන හා ප්‍රශ්න රාශියක්ම ඉතුරු කරවන්නකි. මනුෂත්වයටත් එරෙහිව කළ මේ සිරකිරීම වූ කලි , විශ්ව සාධාරණවාදී ඊනියා සිවිල් සංවිධාන, මානව හිමිකම් කොන්ත්‍රාත්කරුවන්, ආදී සියල්ලම එක්වී ප්‍රසූත කළ යහපාලනය තුළද රටේ නීතිය අධිකරණය පාලකයන්ට උවමනා ආකාරයට හසුරුවන බවට කදිම සාක්ෂියකි. 19 සංශෝධනයෙ කොමිෂන්සබා වලින් සුවාධීන කළ නීතිය තියෙන්නේ කොහෙද ? කඩුවෙල උසාවියේ පමණද ? ගුණරත්නම්ට සාධාරණය ඉටුවන සුවාධීන උසාවියක් රටේ වෙන නැද්ද ?

-යුතුකම සංවාද කවය

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

3/24/2016

ත්‍රස්ත්‍රවාදය පිටු දකින දෙබිඩ්ඩෝ

කතෘ:යුතුකම     3/24/2016   No comments
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල කල බෝම්බ ප්‍රහාර වලින් යලි යලිත් ලෝකයට කියාදෙන පාඩම කුමක්ද ? ත්‍රස්තවාදය යනු ලෝකයේ කොතනත් තුරන් කළ යුතු පිළිලයක් බවයි. එය ලංකාවේ උතුරටත් ප්‍රංශයටත් ඇමරිකාවටත්, බෙල්ජියමටත් රුසියාවටත් බ්‍රිතාන්‍යටත් එක සේ පොදු කාරණයක් බවයි. බටහිර සුදු මහත්තුරුන්ට ත්‍රස්තවාදයේ නපුර මතක් වියයුත්තේ තමන්ගේ රටට කෙළින විට පමණක් නොවේ. 2001 සැප්තැම්බර් 11දින මනුෂ්‍ය ජීවිත සමග ඇමරිකාවේ ලෝක වෙළද මහල් සමතලා කළවිට ත්‍රස්තවාදයේ නපුර අත්විදි ඔවුන්ද එදා කීවේ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කළයුතු බවයි. එසේම 2015 නොවැම්බර් ප්‍රංශයයේ පැරිස් නුවරට අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් බෝම්බ ගසන විට ප්‍රංශයටත් එයම මතක් විණි. දැන් බෙල්ජියමේ ප්‍රහාරය සමග යළිත් ලෝකයට ත්‍රස්ත්‍රවාදයේ රහ අත්දකින්නට අවස්ථාවක් ලැබී තිබේ. ඒ සමග යුරෝපයටත් දැන් ත්‍රස්තවාදය අතුගා දැමිය යුත්තක් බව මතක් වී ශෝක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.එහෙත් අපි අමතක නොකළ යුතු කරුණක් තිබේ. පහුගිය කාලයේ ඩයස්පෝරාකරුවන්ට වෙනත් රටවල ත්‍රස්තවාදී කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් එකතු කරන අනුග්‍රග්‍රාහක වැඩ සඳහා වාඩිලා ගැනීමට වැඩිමනක් ඉඩ දුන්නෙත් මේ යුරෝපා රටවල් බවය. එක අතකට ඔවුන් අද ගෙවන්නේ ඒ කරුමවල පව් විය යුතුය. කනගාටුවට කරුණ අද ඒවායෙහි වන්දි අහිංසක මිනිසුන්ට ගෙවන්නට සිදුවීමය.

ත්‍රස්තවාදය ලෝකෙන් තුරන් කළයුතු යයි ශෝක පණිවිඩ අරින සුදු මහත්තුරු ලංකාවෙන් මහින්ද රාජපක්ෂ එය නන්දිකඩාල් කලපුවට අතුගා දැමු විට ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළයුතු යයි කියන්නේ ඇයි. ඔවුන් මුහුණ දුන් ත්‍රස්තවාදය හා අප මුහුණ දුන් ත්‍රස්තවාදය දෙකක් බව සිතා ද? ප්‍රභාකරන්ගේ මිලේච්ඡ ෆැසිස්ට්වාදය හමුවේ අයි.එස්‌.අයි.එස්‌ සංවිධානය පවා සුහුබුලන් බව ඔවුන් නොදැන ඉන්නට හේතුවක් නැත. ලංකාවේ ඉන්නේ ඔවුන් මෙන් එක දවසක ත්‍රස්තවාදයේ රහ බැලූ පිරිසක් නොව ISISලටත් වඩා ෆැසිස්ට්වාදී මිලේච්ඡ සංවිධානයකින් වසර 30ක් තිස්සේ බැට කෑ පිරිසකි.

එහෙව් ලංකාවේ, සියලු ජාතීන්ට මේ මරණ බය නැති කිරීම අද මහා යුධ අපරාධයක් සේ දකින්නේ බෙල්ජියම ප්‍රහාරයෙන් සිහි එළවාගත් සුදු මහත්තුරු වීමත් විශේෂය. ඔවුන්ගෙන් සහ ඊට උල්පන්දම් දෙන ලංකාවේ NGO නඩයෙන් ද ඔවුන්ගේ අන්තේවාසිකයන්ගෙන්ද උත්ප්‍රාසයෙන් අහන්නට තියෙන්නේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ වැදගත්කම දැන්වත් තේරුනාද?යනුවෙනි. ඒත් මොවුන්ගේ නරුමකම කොච්චරද කිවහොත් වසර 30ක්ම ලේ ඉල්ලපු මිනීමරුවකු විමුක්තිකාමීයකු ලෙස දුටු ඔවුන් ප්‍රංශ ප්‍රහාරයට පසු ඒ මිනිස්සු වෙනුවෙන් නම් ප්‍රංශ කොඩියද මුහුණු පොතට දැමුහ. ලංකාවේ කොටි ත්‍රස්තවාදීන් මායිම් ගම්මානවලට පැන බෙලි කපනකොට, බස්වල කෝච්චිවල බෝම්බ තියෙන කොට, අපේ රටේ මිනිසුන්ගේ ශරීරවල කොටස් කාණුපල්ලෙන් අහුලනකොට ඒ මිනිස්සු වෙනුවෙන් ඔවුන්ගේ පඩුපුල් අසුන් උනු නොවීමය. ඒවා ප්‍රභාකරන්ගේ විමුක්තිකාමී වැඩ ලෙස දැකීමය. මේ විකල්ප ගෝත්‍රය තවම නම් බෙල්ජියම වෙනුවෙන් කොඩි දමාගෙන නැත. ඔවුන්ට තියෙන හීනමානයේ තරමට ලංකාව, බෙල්ජියම, කියන්නේ ප්‍රංශය වගේ අන්තර් ජාතික මදි ඇති.

-යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

2/14/2016

ප්‍රගීත් එක්නැළිගොඩ වීරයකු වී දෙරණේ සංඛ අරහං වීම

කතෘ:යුතුකම     2/14/2016   No comments
රනිල් වික්‍රමසිංහගේ ඊනියා යහපාලන ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ප්‍රති විරුද්ධ මත දරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට පටන් ගෙන තිබේ. එහි අලුත්ම ගොදුර දෙරණේ සංඛ අමරජිත්ය. දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව දෙරණේ සංඛ අමරජිත් සහ චතුර අල්විස් ඉවත් නොකරන්නේ නම් දෙරණ මාධ්‍යට බලපත්‍ර අලුත් කිරීමේ දී යළිත් බලපත්‍ර නිකුත් නොකරන බවට දෙරණ ආයතන ප්‍රධානීන්ට බලපෑම් කොට තිබේ.
 ඔහු එසේ කළබවට කදිම සාක්ෂ්‍යයක් ඌව පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වෙමින් ඔහු කරන්නට යන ක්‍රියාව කල්තියා හෙළි කර තිබේ. දෙරණ මාධ්‍ය ජාලය සමග ජන්මාන්තර වෛරයකින් පෙලන සිරස මාධ්‍යටද මේ පුවත මාධ්‍ය නිදහසට එල්ල වූ ඇතුල් පහරක් සේ නොපෙනීම ලජ්ජා සහගත කරුණක් වන්නේ භාෂණයේ, ලේඛනයේ ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ නිදහස ගැන වැඩියෙන්ම කතා කළ මාධ්‍ය ආයතනය සිරස වන නිසාය. ඔවුන්ගෙන් ඇසීමට ඇත්තේ සිරසටද මාධ්‍ය නිදහස මතක් වන්නේ අචාරධාර්මික නොවන ආකාරයට ලක්නා අමන්දි ,අවංක කුමාර වැනි තමන්ගේ ආයතනයේ ලාමයකයන් තවත් මාධ්‍ය ආයතනයකට බලෙන් කඩා පන්නවපු අවස්තාවක පමණද? යන්නයි. නො එසේ නම් මර්වින් සිල්වා සිය සේවකයින්ට තර්ජනයක් වූ අවස්ථාවට පමණද ?

රනිල් මාධ්‍යවලට නම් කියා තර්ජනය කළ මේ පළමු අවස්ථාව නොවේ. වරක් ඔහු කුරුනෑගල රැස්වීමක් අමතමින් දිවයින පුවත්පතේ කර්තෘ අනුර සොලමෙන්ට හා කීර්ති වර්ණකුලසුරියටද රිවිරේ සිසිර පරණතන්ත්‍රීටද නම් කියා බැන්නේය. තමන්ට හීලෑ නැති තවත් මාධ්‍යවේදීන්ද ඒ ලයිස්තුවට ඇතුළත් වූහ. ඉන් පසු මේ මෑතක පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙමින් යලිත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයකට තර්ජන කළේය. ඒ හෝමාගම අධිකරණයේ වූ කලබගැනීය ගැන තමන්ට වාසිදායක වාර්තා කතුවැකි නොලියු අඩුවටය. ඔහු ඉන් ගම්‍ය කළ අර්ථය වන්නේ පුවත් පත්වල තිබිය යුත්තේ තමන්ට පක්ෂ පිටකසන වාර්තා පමණක් බවයි. එහිදී වැඩි බරක් යොමු කලේ දෙරණේ චතුර අල්විස්ටය. ඔහු දඩයමේ ගිය මාධ්‍යවේදීයකු යයි අපහස කළා පමණක් නොව සීරි යකාටද සමාන කළේය. පාර්ලිමේන්තුවේම එහෙව් අපහාස වදන් භාවිත කල රනිල් සංඛ අමරජිත් ඉවත් කරවන්නේ පසුගියදා දන්නෝ බුදුන්ගේ ගීතය භක්ෂණය කළ ක්‍රිෂානිගේ ක්‍රියාව විවේචනය කළ වරදටය.පසුවදාම දෙරණ අරුණ වැඩසටහනින් එම වරදට චතුර සමාව භජනය කළේය.එසේ තිබියදීත් අර අඤ්ඤකොරොස් ගායිකාවගේ කරපිටින් රනිල් දෙරණට බලපෑම් කොට සංඛගේ වැඩ තහනම් කරවන්නේ හුදෙක් තමන්ට හීලෑ නොවන මාධ්‍ය භාවිතාවක් නිසා බව ලාමකයකු නොවන ඕනෑම කෙනෙකුට තේරෙන දෙයකි. චතුරගේ ඉරණමද සුළු වැරදීමකින් වුවද ඉදිරියේදී තීරණය වනු ඇත. ඊනියා යහපාලයේ සුපිරි මාධ්‍ය නිදහසේ තරම මෙබදුය.
ඊළගට ඇසිය යුතු තවත් වැදගත් යමක් තිබේ.

ප්‍රනීත් එක්නැලිගොඩ වැනි කැලෑ පත්තරකාරයකුගේ අයිතිවාසිකම් වෙනුවෙත් පෙනී සිටින අය සංඛ වෙනුවෙන් පෙනී නොසිටින්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛව ඊනියා සිවිල් ක්‍රියාකාරිකයන් හා නිදහස් මාධ්‍ය ව්‍යාපාර ඇතුළු සංවිධාන ප්‍රගීත් වෙනුවෙන් පෙනී සිටින්නේ සාමාන්‍ය පුරවැසියකු අතුරුදහන් වූ මානව අයිතිය පමණක් වෙනුවෙන් නොවේ. මාධ්‍යවේදී යන සුරුවමද ආරෝපිත බලයක් කොටගෙනය. එත් ඔහු මාධ්‍ය ආචාරධර්ම ගරු නොකර පුද්ගලයින්ගේ ලිංගික කටයුතු වලට පවා කැලෑ පත්තර ගසා අපහාස කළ මඩ කාපර් කෙනෙකි. ඔහු ඉදිරියේ සංඛ අමරජිත් යනු හැම අතින්ම අහිංසකයකි. නමුත් ප්‍රගීත් මාධ්‍ය වීරයකු ලෙස කරපින්නා ගැනීමටත් සංඛ අපරාධකාරයකු සේ දැකීමටත් හේතුව කුමක්ද ? මේ දේශපාලන අවස්ථාවාදය තක්කඩි ලෙස නිරූපණය කරන්නක් නොවේද ?

-රත්තනදෙණියේ මේධානන්ද හිමි -
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

1/17/2016

රන් කරඬුව නොවේ නම් වෙන කුමක්ද? - පතිරාජගේ සාකච්ඡාවකින් මතුවන ස්වර්ණ පුස්තක අර්බුදය

කතෘ:යුතුකම     1/17/2016   No comments
"රන් කරඬුව අවසන් පහටවත් සුදුසු නැති පොතක්" මැයෙන් ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා පසුගිය සති අන්ත පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාව ඔස්සේ (බලන්න 2015.12.20 රාවය ) ස්වර්ණ පුස්තක විනිශ්චය හා සම්බන්දව සංවාදයට ලක්කළ යුතු වැදගත් කරුණු කිහිපයක්ම ඉස්මතු වූවකි. එය ස්වර්ණ පුස්තක සමීක්ෂණයේ උත්තරීතර මණ්ඩලය නියෝජනය කළ කෙනෙකු ලෙස පතිරාජ මහතා කළ ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් ද වෙයි. එය බරපතල ප්‍රකාශයක් වන්නේ ස්වර්ණ පුස්තක සම්මානයේ සියලු ගම්භීරත්වය, ආටෝපය සහ බලයද, මෙරට සාහිත්‍ය සම්මාන අතුරෙන් වූ අග්‍රභාවයද එක් වදනකින් හෑල්ලු කොට දමන නිසාය. ස්වර්ණ පුස්තක සම්මානය ආරම්භ වී දැනට වසර 9 ක් ඇතුළත දී ස්වර්ණ පුස්තක විනිශ්චයේ උත්තරීතර මණ්ඩලයේ කිසිම සාමාජිකයකු විසින් මෙබදු බරපතල ප්‍රකාශයක් කිසිදා සිදුකර නැත. මෙතුවක් කාලයක් වැඩිමනක් ප්‍රශ්න තිබුණේ ස්වර්ණ පුස්තක විනිශ්චකරුවන් විසින් තෝරා ගන්නා ලද නවකතා ගැනය. "පොදු පුරුෂයා", "කන්දක්සේ මා" , "කවිකඳුර", "කාල සර්ප", හා "කුරුලු හදවත" , වැනි නවකතා තෝරා ගත්විට එම ග්‍රන්ථ පිළිබඳව විවේචන මතු වුවත් මණ්ඩලයේ කිසිම සාමාජිකයකු ඒ ග්‍රන්ථ අවසන් පහටවත් සුසුසු නැතැයි කීවේ නැත.

ආචාර්ය පතිරාජ මෙවන් ප්‍රකාශයක් නොකළයුතු ශීලයක් ආරක්ෂා කලයුතු යැයි මින් අදහස් වන්නේ නැත. එහෙත් එවන් කෘතියක් ස්වර්ණ පුස්තක වීමේ වගකීමෙන්ද දැන් පතිරාජ මහතාට නිදහස් විය නොහැකිය. ස්වර්ණ පුස්තක උළෙල අවසන් වූ විගසින්ම මා විසින් ලියන ලද "චාරිකා සටහනක් වූ 2015 ස්වර්ණ පුස්තකය - රන් කරඬුව ගැන විමසුමක් නම් ලිපිය මගින් (බලන්න 2015. සැප්තැම්බර් 14 දිවයින වටමඩල ) පවසන ලද කරුණු පතිරාජ මහතා යළි සනාථ කර තිබේ. මම මගේ ලිපිය මෙසේ ආරම්භ කළෙමි.

"තවත් ස්‌වර්ණ පුස්‌තක සම්මාන උළෙලක්‌ සැප්තැම්බර් මස 12 වැනිදා අවසන් වූයේ අති නීරස, නවකතාවක්‌ නොවන දඹදිව ගමන් විස්‌තරයක්‌ බඳු වූ "රන් කරඬුව" නම් කෘතියට ලක්‍ෂ පහමාරක මුදලක්‌ ප්‍රදානය කිරීමෙනි. මේ කෘතියේ කතුවරයා බටුවන්ගල රාහුල හිමියෝ වෙති. සම්මාන උළෙලට පෙරදීත්, පසුවත් සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි කෙනෙක්‌ගේ මතය වූයේ 'රන් කරඬුව' අවසාන වටයට තේරීමට පවා නුසුදුසු කෘතියක්‌ බවයි." මා එහිදී ඉදිරිපත් කලේ සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ වැඩි දෙනෙකුගේ මතයයි. දැන් සමීක්ෂක මණ්ඩලයේ සාමාජිකයකුම ඒ හඬට එක්කාසු වී තිබේ. එමගින් විනිශ්චය මණ්ඩලයේ ඇති බෝල්බව හරසුන් බව,හා අගතිගාමිත්වයද විදහා දක්වයි. පසුගිය සති කිහිපයක දී රාජ්‍ය සාහිත්‍ය උළෙල ගැන සාකච්ඡාවීම නිසාමදෝ ස්වර්ණ පුස්තක උළෙල ගැන කතිකාව යටපත්වි තිබීණි. දැන් එය සමීක්ෂක මණ්ඩල සාමාජිකයකු විසින්ම මතුකර තිබේ. එය ග්‍රන්ථ සමීක්ෂණයේ ඇති ව්‍යාජත්වයට හා වගකීම් වීරහිත බවට කදිම සාක්ෂ්‍යකි.

පළමුවෙන්ම මෙහි සමීක්ෂකයන් තෝරාගැනීම ගැන විමසා බලමු. ස්වර්ණ පුස්තක සමීක්ෂකයන් තෝරාගනු ලබන්නේ විවිධ පොත් ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කරනු ලබන ලැයිස්තු වලිනි.ඒවාට බලපාන්නේ සුදුසුකම් වලට වඩා ග්‍රන්ථ ප්‍රකාශකයන් හා සමීක්ෂකයන් අතර පවත්නා සම්බන්ධතාවයන්ය. "ඇත්තටම ඕකට මිස්ටර් ප්‍රේමසිරි මට මුලින්ම කතා කළාම මම එන්න බෑ කිව්වා" යයි පතිරාජ මහතා උක්ත සම්මුඛ සාකච්ඡාවේ දී පවසා තිබේ. ප්‍රේමසිරි මහතා ඔහුට ආරාධනා කර ඇත්තේ ඔහු ප්‍රේමසිරි මහතා විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද "සක්කාරං" චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා පතිරාජ මහතා නිසා බව පැහැදිලිය.එය සාහිත්‍ය සම්බන්ධතාවකට වඩා පෞද්ගලික හා ව්‍යාපාරික සම්බන්ධතාවකි.

පතිරාජ මහතාගේ සම්මුඛ සාකච්ඡාව අනුව පෙනී යන්නේ සම්මාන විනිශ්චය සිදුවී ඇත්තේ පිළිගත හැකි සාහිත්‍ය ධර්මතා, ආචාර ධර්ම හෝ සාහිත්‍ය කෘති විමර්ශනයකින්, සාකච්චාවකින්, හෝ සම්මුතියකින් නොවන බවයි.පතිරාජ මහතා සමීක්ෂණ කටයුතු සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කොට ඇත්තේ අනෙකුත් සාමාජිකයන් යනු කවුදැයි නොදැනය. "ඇත්තටම ඒ වෙලාවේ මම අනික් සාමාජිකයෝ කවුද කියන එක ගැන ඒ තරම් හිතුවෙ නෑ"යැයි ඔහු කියයි. ඔහු අනෙකුන් සාමාජිකයන් යනු කවුරුන්දැයි විමසා සිටියේ නම් ඔහුට ඉන් ඉවත්වීමට මුලදීම ඉඩකඩ තිබිණ. සාහිත්‍ය සම්මන්ත්‍රණයකදී හෝ පොත් දොරට වැඩීමේ උත්සවයකදී දේශන පැවැත්වීමට ආරාධනා ලබන කථිකයන් පවා අනෙකුන් කථිකයන් කවුරුන්දැයි විමසා බලා ඒවාට සහභාගි වීම හෝ නොවීම තීරණය කිරීම සුලභ කරුණක්ව ඇති විට පතිරාජ මහතා එසේ කර නැත.එසේ විමසා බැලුවේ නම් උපාසක අම්මලාටයි හාමුදුරුවන්ටයි සාහිත්‍ය විචාරන්න පුලුවන් ද යන ප්‍රශ්නය මාස ගණනාවකට පසුව නැගීමට ඔහුට සිදු නොවනු ඇත. සමීක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් ගේ නම් ඔහු සඳහන් කර ඇති නිසා මේ උපාසකම්මා කවුද හාමුදුරුවෝ කවුද යන්න පාඨකයාට තේරුම් ගැනීමට අපහසු නැත.

ස්වර්ණ පුස්තක උත්තරීතර මණ්ඩලය සාමූහිකව කිසිදු සමීක්ෂණ කටයුත්තක් නොකළ බව එම සම්මුඛ සාකච්ඡාව මගින් පෙනී යයි. හැබැයි අන්තිම සාකච්ඡාව එනකල් අපි කවුරුත් ඔය කිසිම පොතක් ගැන කතා කලේ නැහැ යනුවෙන් ඔහු ඒ බව තහවුරු කරයි.(බලන්න 2015.12.20 රාවය ) ඔහු පවසන පරිදි ඔහු අන්තිම සාකච්ඡාවටද සහභාගි වී නැත. "මට ඒ සාකච්ඡාවට යන්න බැරි වුණා" යි ඔහු කියා තිබේ. ඔහු අවසාන සාකච්ඡාවට නොපැමිණි බව ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී අපටද දැක ගන්නට ලැබිණ. ඔහු ස්වර්ණ පුස්තක උළෙලට පවා සහභාගී නොවීය. අවසාන සාකච්ඡාව පවත්වන්නේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල පැවැත්වෙන අතරතුර වෙනම රහසිගත කාමරයක බව අප අසා තිබේ. ගිය අවුරුද්දේ දී තේරීම නිසා මතුවූ ප්‍රශ්නයකදී සම්මාන කමිටුවේ සභාපති ආරියවංශ රණවීර මහතා සභාවට පැමිණ ප්‍රේමසිරි මහතා ඔවුන්ගේ සාකච්ඡා කාමරයට කැදවාගෙන ගිය අයුරු කවුරුත් දුටහ. මේ අනුව පෙනී යන්නේ ස්වර්ණ පුස්තකය කුමක් දැයි විනිශ්චය කර ඇත්තේ සමීක්ෂකයන්ගේ පෙර පැවැති සාකච්ඡා වටවලින් පසුව නොවන බවයි. පොත් ප්‍රකාශක සංගමය විසින් පවත්වන සිංහල නවකතාවට පිදෙන අග්‍රගණ්‍ය සම්මානය කියා ඔසවා තබන කෘතිය තෝරන සමීක්ෂණ ක්‍රියාවලිය එතරම් සරලද ? අපගේ අදහස ස්වර්ණ පුස්තකය වැනි සම්මාන උළෙලකදී එය කිසිදා සිදුවිය යුත්තක් නොවේ යන්නයි.

පතිරාජ මහතා පවසන්නේ අවසාන සාකච්ඡාවට තමා සහභාගී නොවූ බවත් තම මතය කේ. එන්. ඕ. ධර්මදාස මහතාට දුරකතනයෙන් කී බවත්ය. ඔහු එලෙසින්ම තමා තෝරන පොතද ධර්මදාස මහතාට කියා තිබේ. "එතකොට කේ. එන්. ඕ. කිවුවා මගේ අදහසත් ඒකම තමයි කියලා. පැට්‍රික් රත්නායකත් මට පස්සේ දවසක හමුවුණාම කිවුවා ඔහුගේ තේරීමත් වුණේ ඒකමයි කියලා. ඉතින් මට අවසන් රැස්වීමට යන්න බැරිවුණත් මම හිතුවා මම තෝරපු එකට තමයි සම්මානය යන්නෙ කියලා. හැබැයි සම්මානය ලැබුණේ අපි යෝජනා කරපු කෘතියට නොවෙයි."( 2015.12.20 රාවය )

මේ අනූව ප්‍රශ්නය තවත් බැරෑරුම් වෙයි. සම්මාන කමිටුවේ 05 දෙනාගෙන් තිදෙනකු කැමැති වූ පොතක් ස්වර්ණ පුස්තකය නොවී රන්කරඩුව සම්මාන ලබන්නේ කෙසේද? අනෙක් අතට තිදෙනෙකුම අකමැති වූ පොතක් ස්වර්ණ පුස්තකය වන්නේ කෙසේද?

ඊළගට මතුවන ප්‍රශ්නය තවත් සංකීර්ණ වේ. සමීක්ෂකයන් තිදෙනෙකුම කැමැති වූ නවකතාව සේන තෝරදෙනියගේ "බන්ඩර මැරෑ උන්"ද? අනුරසිරිගේ "බැදිමාරිය" ද? සේපාලි මායාදුන්නගේ "මහා සාමි" ද? සුමිත්‍රා රහුබද්ධ ගේ "තුරු සමුදා" ද? දැන් පාඨකයාට අනුමාන කිරීමේ ක්‍රීඩාවේ නිරත වීමට සිදු වේ. එහෙත් පසුගිය සති කිහිපය තුළ දී වෙනත් පුවත්පත් ලිපි අනුව පෙනී යන්නේ ස්වර්ණ පුස්තකය සඳහා සමීක්ෂකයන් තිදෙනෙකුම කැමති වී ඇත්තේ "රන් කරඬුව" "තුරු සමුදා" හා "මහාසාමිට" නොවන බවයි. එය එක්කෝ බන්ඩර මැරූ උන් හෝ බැඳමාරිය විය යුතු ය. ගාමිණී වියන්ගොඩ මහතා නම් 2015.11.24 රිවිර කලස සාහිත්‍ය අතිරේකයේ සම්මුඛ සාකඡාවේදී කියා තිබුණේ ධර්මසේන පතිරාජ මහතා බන්ඩාර මැරූ උන් නවකතාව සදහා කැමැත්ත පළකර තිබූ බවයි.

එසේ නම් "බන්ඩාර මැරූ උන්" හෝ "බැදිමාරිය" නොවී රන් කරඬුව ස්වර්ණ පුස්තකය වන්නේ කෙසේ ද? පතිරාජ මහතා කියන ලෙසට ඔහු අවසන් සාකඡාවට සහභාගී වී නැත. ඒ අනුව ස්වර්ණ පුස්තකය තීරණය කොට ඇත්තේ සිව් දෙනෙකුගෙන් මිස පස් දෙනෙකුගේ විනිශ්චය මණ්ඩලයකින් නොවේ. පතිරාජ මහතා සිය විනිශ්චය ලිඛිතව නොදුන් බවද ධර්මදාස මහතා කමිටුවේ සභාපති වශයෙන් ඔහුගේ තීරණය ලිඛිතව ලබාගෙන නොමැති බවද මේ සාකච්ඡාවෙන් හෙළි වෙයි. එය බරපතල දෝෂයකි. ස්වර්ණ පුස්තකය වැනි ඉහළ පෙළේ සම්මානයක දී තීරණය ලිඛිතව ලබා නොදීම හා ලිඛිතව ලබා නොගැනීම බරපතල වරදක් මෙන්ම වගකීම් විරහිත ක්‍රියාවකි.

දැන් අපට පතිරාජ මහතා සහභාගි නොවූ අවසන් සාකච්ඡාවේ දී සිදුවන්නට ඇත්තේ කුමක්දැයි සිතාගත හැකිය. පතිරාජ මහතා දුරකථනයෙන් කැමැත්ත පළ කළ කෘතිය කේ.එන්.ඕ. සහ ප්‍රැක්ට්‍රික් රත්නායකගේ ද තේරීම නම් එම දෙදෙනා "බණ්ඩර මැරූ උන්" හෝ බැඳමාරිය වෙනුවෙන් පෙනී සිටින්නට ඇත. අගලකඩ හිමියන් හා කුසුමා කරුණාරත්න මහත්මිය කිසිදු ගැටලුවකින් තොරව රන් කරඬුව වෙනුවෙන් පෙනී සිටින්නට ඇතැයි උපකල්පනය කළ හැකිය. මේ අනුව ඡන්ද 2 බැගින් කෘති දෙකකට ලැබේ. එහෙත් ස්වර්ණ පුස්තකය රන් කරඬුව වීමෙන් පෙනෙන්නේ මහාචාර්ය කේ.එන්.ඕ සහ ප්‍රැක්ට්‍රික් රත්නායක යන මහත්වරුන් දෙදෙනාම පතිරාජ නැති අවසන් සාකච්ඡාවේදී අගලකඩ හිමියන්ගේ හා කුසුමා කරුණාරත්න මහත්මියගේ විනිශ්චයට යටවී ඇති බවයි. "උපාසකම්මලාටයි හාමුදුරුවන්ටයි සාහිත්‍ය විචාරන්න පුලුවන්ද?" (2015.12.20.රාවයෙන්) ප්‍රශ්න නැගුවද සිදුවී ඇත්තේද එයයි. පතිරාජ මහතා කියන පරිදි සාහිත්‍ය "රාජ්‍ය ආගමික මතවාදයත් එක්ක ගැට ගැසීම" සාර්ථක වී තිබේ.

පතිරාජ මහතා අවසාන සාකච්ඡාවට සහභාගී වූයේ නම් මේ තීරණය වෙනස් වීමට බොහෝ දුරට ඉඩ තිබුණී. ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක දී ඔහු සිය වගකීම පැහැර හැර ඇති බව මෙයින් පැහැදිළි වෙයි. ඔවුන් පෙනී සිටින වගවීම, යහපාලනය, පාරදෘශ්‍යභාවය ගැටළු නිරාකරණය මෙය ද? ඔහු අවසන් සාකච්ඡාවට සහභාගි නොවූ හිඩසින් ඔහු දැන් කියන "අවසන් පහටවත් සුදුසු නැති පොතක්" ස්වර්ණ පුස්තකය කිරීමට ඔහු ද අනියමින් දායක වී තිබේ. සාහිත්‍ය, රාජ්‍ය හා ආගමික මතවාදයන් සමඟ ගැටගැහීමට ඔහු ද දායක වී තිබේ. "පසුගිය කාලයේ ම උනෙත් ඒකයි" ඔහු පවසා ඇතත් මේ කාලයේ සිදු වී ඇත්තේත් එයයි. "අන්න එතන දී නම් පුරවැසි බලය වැදගත්" යැයි පතිරාජ මහතා කීවාට මෙතැනදී නම් පුරවැසි බලය අවලංගු වී තිබේ.

ශ්‍රී ලංකා ජාතික පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මේවාට පිළිතුරු දිය යුතුය. සමීක්ෂක මණ්ඩලයේ සභාපතිවරයා පතිරාජ මහතා ගේ මේ චෝදනාවට පිළිතුරු බැඳිය යුතුය. මෙයින් පැහැදිළි වන ප්‍රධාන කරුණක් වන්නේ ඉදිරියේදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සමීක්ෂකයන් තෝරා ගන්නා ක්‍රමය දැඩි සේ වෙනස් කළ යුතු බවයි.

-රත්තනදෙණියේ මේධානන්ද හිමි
2015 12.29. රිවිර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/26/2015

"දෙමළ ජනයාගේ පිපාසය ඊළම" යයි මහවිරු දිනයට උතුරේ පෝස්ටර් ගසයි

කතෘ:යුතුකම     11/26/2015   1 comment
හෙට පැවැත්වෙන මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහාය පළ කරමු" යන වැකි සදහන් පෝස්ටර් ඊයේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය ප්‍රදේශ පුරා අලවා තිබූ බව අද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඊට සම්බන්ධන් ගේ විරෝධයක් නැත. රටක විපක්ෂ නායකට ත්‍රස්තවාදීන් සැමරීමට සහයෝගය දිය හැකිද ? ලෝකයේ මොනම රටකවත් ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩ තබා නැත. කිසිදාක ඇලොල්ෆ් හිට්ලර්, ඔසාමා බින් ලාඩන් හෝ ඔවුන්ගේ අනුගාමිකයෝ සමරනු ඔබට දැකිය හැකිද ? නිසැකවම නො හැකි ය.

සිවාජිලිංගම් කියන්නේ ජවිපෙ ට විරු සැමරුම් කළ හැකිනම් ඔවුන්ට ද එම අයිතියම ඇති බවයි. එය මතුපිටින් අපුරු තර්කයකි. ඉන් ඔවුන් ජවිපෙ ද ත්‍රස්‌තවාදීන්ට සමාන කෙරේ. සිවාජිලිංගම් ගේ ප්‍රකාශය share කරන ජවිපෙ සහ ජවිපෙ නොවන ගෝතයන් අනියමින් කරන්නේ ද ජවිපෙත් කොටි සංවිධානයට සමාන කිරීමයි. මේ දෙපිරිසම සමරන්නේ මිනීමරුවන් බව සැබෑය. එහෙත් ජවිපෙ LTTE යට කිසිවිටක සම පාත කළ නොහැකිය. ජවිපෙ මිනී මැරුවේද රාජ්‍ය දේපල විනාශ කළේ ද දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කරගැනීමටය. ඔවුන් ආයුධ ගත්තේ කිසිදාක මෙරට රෝපණය කළ නොහැකි මාක්ස්වාදය ඔළු තුළ හොවාගෙන සමාජවාදී දේශපාලන ක්‍රමයක සුබ සිහින දකිමිනි. ඔවුහු රටේ ස්වෛරීභාවයට,ජාතික නිදහසට අභියෝග නොකළහ. රට බෙදා වෙනම රාජ්‍ය ක් නොඉල්ලුහ.
එහෙත් කොටි ත්‍රස්තයන් ප්‍රභාකරම්ගේ ෆැසිට්වාදී න්‍යාය ට අනුව ඔවුන් මිනී මැරුවේ රටේ ස්වෛරීභාවයට, ජාතික නිදහසට අභියෝග කරමිනි. වෙනම රාජ්‍යක් ඉල්ලමිනි.රට දෙකඩ කිරීම වෙනුවෙනි. ප්‍රභාකරම් දෙමළ ජනයා බලහත්කාරයෙන් සිය අඩසියට ගත් නිසා මියගිය ඥාතීන් පෞද්ගලිකව කෝවිලකට ගොස් අනුස්මරණය කළාට වරදක් නැත. එහෙත් මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහාය පළ කරමු" යයි පෝස්ටර් ගසා විරු සැමරුම් කියා කරන මේ කොටි සැමරුම් වලට ඉඩ නොදිය යුතුය.

රටේ විපක්ෂ නායක ලෙස සම්බන්ධන් නියෝජනය කළ යුත්තේ නොබෙදුන රටක පොදු ජන අභිලාශ මිස "දෙමළ ජනයාගේ පිපාසය ඊළමයි. මහවිරු දිනයට එක්වෙමින් "ඊළමට සහය පළ කරමු" යයි පෝස්ටර් ගසා කරන බෙදුම්වාදීන්ගේ ඊළාම් සිහින සැබෑ කරදීමට සහය වීම නොවේ. රටක විපක්ෂ නායක යනු ජාති භේදයකින් තොරව එක් ජන කොටසකට පමණක් සීමා නොවී සමස්ත ජනතාවම නියෝජනය කරන තනතුරකි. එහෙත් සම්බන්ධන් යනු සමස්ත ජනයා කෙසේ වෙතත් උතුර හැරුණු විට දකුණේ වතුකරයේ වෙසෙන තම පාත්‍ර වර්ගයයේම ජන කොටස් වෙනුවෙන් වත් පෙනී සිටීමේ විභවතාවක් පෙන්නුම් නොකළ නායකයකි. ඔහු තවමත් බෙදුම්වාද අත්හැර නැති බවට එයද සාක්ෂ්‍යකි.


සම්බන්ධන් පළමුව කළ යුත්තේ ලක්ෂ්මන් කදිරගාමර්, ආනන්ද සංගරී ඩග්ලස් දේවානන්ද මෙන් බෙදුම්වාදය අතහැර ඇති බව රටේ බහුතරයට විශ්වාස කළ හැකි පරිදි ඒත්තු ගැන්වීමයි. ඔහු මේ විරු සැමරුම් වලට අනුබල දීමෙන් කරන්නේ එය නොවේ. මේ රටේ තිබෙන්නේ වාර්ගික ප්‍රශ්නයක් නොව බෙදුම්වාදය පිලිබඳ ප්‍රශ්නයකි . මතු දැක්වූ නායකයන් බෙදුම්වාදය අත්හළ දෙමළ නායකයින් නිසා ඔවුන් සමග අනවරථ ගැටුමක් හෝ සැකයක් උග්‍ර ජාතිවාදියකුට හැර දකුණේ මැදිහත්ව සිතන බහුතරයකට නැත.

රත්තනදෙණියේ මේධානන්ද හිමි
(2015. 11. 26 )
යුතුකම සංවාද කවය -
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/13/2015

අතීතය සගවා වර්තමානයේ යසනාත් ලුහුබඳින විකල්ප ගෝත්‍රයේ තක්කඩි මුහුණුවර

කතෘ:යුතුකම     11/13/2015   1 comment
පරමාදර්ශී නවීන බෞද්ධ භික්ෂුත්වය පිළිබද ජීවමාන ප‍්‍රතිරූපය - මාදුළුවාවේ සෝභිත හිමි මැයෙන් උන්වහන්සේ පිලිබඳ යහපාලනයේම තවත් ප්‍රතිමුර්තියක් වූ ආචාර්ය නිර්මාල් රංජිත් මහතාගේ හද දැවෙන ශෝක ප්‍රකාශය කියවීමෙන් පසු ඒ පිලිබඳ වෙනත් මානයක සංෂිප්ත අදහසක් පළ කිරීමට සිත් විය. එහෙත් එය ලියන අතරතුර යසනාත් ධම්මික බණ්ඩාරගේ සටහනක් අරභයා යහපාලන නඩය ඔහුට ශිෂ්ටත්වය ඉගැන්වීමට යනු දැක ඊටද ප්‍රතිචාරයක් දැක්වීමට අප මෙය අවස්ථාවක් කර ගනිමු.

සතුරකු ගේ මරණය ගැන ආරංචිය වුවද මෙරට සංස්කෘතික ජන විඥානය අනුව කිසිවකුට බොහෝවිට දුකක් මිස සතුටක් ගෙන දෙන්නේ නැත. පොදු මහා සමාජයට සතුටක් ගෙන දුන්නේ නම් ඒ මිලේච්ඡ ෆැසිට්වාදියකු වූ ප්‍රභාකරන් ගේ මරණය ගැන පමණි. එයද හුදු මිනිසකුගේ මරණය නිසාම උපන්නක් නොව දකුණේ පොදු මහා සමාජය තැති ගත් මරණ බියෙන් නිදහස් වූ ප්‍රීතියයි. ඇතැම් මරණය පිලිබඳ අමුතු සතුටක් හෝ දුකක් ඇති නොවන අවස්ථාද තිබෙයි. අපට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය අයත් වන්නේ මේ ගොඩටය. උන්වහන්සේගේ අපවත්වීම ජාතියට පිරිමැසිය නොහැකි පාඩුවක් බව NGO නඩයේ කීප දෙනෙකුට හා ඔවුන්ගේ අන්තේවාසිකයින්ට මිස මේ රටේ බහුතරයකට නොදැනේ. (දැන් රාජපක්ෂවරුන්ට හෝ වෙනත් අයට මයික් ඇල්ලුවම කියන කතා උපුටා ඒ අයත් ngo දැයි අහන්න එපා. ගෝනවල සුනිල් ,බැද්දගානේ සංජීව කඩුවෙල වසන්ත ආදීන් මියගිය විටත් කරන්නේ ගුණකථන බව සිහියට ගන්න )

නමුත් සයිබර් අවකාශයේ මෙන්ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ සැලකිය යුතු බලයක් මේ විතණ්ඩවාදී සංස්කෘතික ඝාතකයින් ගොඩනගාගෙන තිබෙන නිසා සතියක් දෙකක් යනතුරු "වාදීභසිංහ" කේසර සිංහ යන සුරුවම් නම් යොදා කවි ,ගීත , ලිපි ලියා පුවත්පත් පිටු පුරවනු දැකිය හැකිය. මීට පෙර මෙරට යතිවර පරමාදර්ශ කොතෙකුත් හිඳ අපවත් වුවත් මාදුළුවාවේ සෝභිත හිමි ගැන පමණක් මේ පිරිස පොලවේ හැපීගෙන වලිකන්නේ ඇයි.? ඒ උන්වහන්සේ මෙරට බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනයට අනූපම සේවයක් කළනිසා නොව මේ අයගේ දේශපාලන ව්‍යාපෘතියේ තවදුරටත් ඉත්තෙකු ලෙස පාවිච්චි කිරීමට ඇති නොහැකියාව නිසා බව ළාමකයකුට පවා තේරෙන සත්‍යයි.

මෙරට යටත් විජිත සමයේ බෞද්ධ පුනරුදයට විශාල සේවයක් කළ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් වාදීභසිංහ වචනයේ සැබෑ උරුමක්කාරයා වුවද මේ විශ්ව සාධාරණවාදී ඊනියා පුරවැසියන්ට සෝභිත හිමි වාදීභසිංහ වන්නේත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද වදීභසිංහ නොවන්නේත් වෙන මොකක්වත් නිසා නොව NGO නඩ සමග අනන්‍යවෙමින් පසුගිය වසර දෙක තුනක සිට රෙජීම් පෙරළීමට දැක්වූ දායකත්වය නිසාය.සෝභිත හිමියන් 80 දශකයේ සිට සිංහල බෞද්ධ ජාතිකවාදය වෙනුවෙන් හඬනැගී හිමිනමකි. මුලින් චින්තන පර්ෂදයේ රැස්වීම් තැබුවේ ද උන්වහන්සේගේ පන්සලේය. එකල චින්තන පර්ෂදයේ සභාපති ධුරය දැරුවේද සෝභිත හිමිය. එකල හෝ මීට වසර දෙක තුනකට ඉහත දී උන්වහන්සේ අපවත් වුයේ නම් මේ NGO අන්තේවාසිකන් අද දක්වන දයාව කරුණාව දැකගන්නට තිබිණි. එසේනම් උන්වහන්සේටත් එල්ල වන්නේ ගංගොඩවිල සෝම හිමියන්ට මෙන් ජාතිවාදී,වර්ගවාදී ලේබලයම වෙයි. මේ NGO විජාතික මනැස් පුතුන් විසින් මෙරට බිද දැමියයුතු බෞද්ධ අධිකාරිවාදයක් ඇතැයි කියා යොදා ගත්තේද සිංහල බෞද්ධ ජාතිකවාදයෙන්ම ජනාදරයට පත් භික්ෂු ප්‍රතිරුපයකි. අවසන සෝභිත හිමියන් සාධාරණ සමාජයක් කියා මේ විතණ්ඩවාදීන් පිරිසක් සමග එකතු වී කළේ එය බිදදැමීම ඔවුන්ට කොන්දේසි විරහිතව සහය වීමයි. අපි සෝභිත හිමියන් යොදා ගන්නේ සිංහලයා පරාජය කිරීමට බව නිර්මාල් රංජිත් මහතා කියා තිබියදී සාධාරණ සමාජය කෙසේවෙතත් මේ කෙළවන්නේ තමන්ද ගොඩනැගීමට හවුල් වූ සිංහල බෞද්ධ ජාතිකත්වය බව උන්වහන්සේට නොතේරෙන්නට හේතුවක් නැත.

මීට විසිතුන් වසකට පෙර දෙමළ කතෝලිකයකු වූ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියා භික්‍ෂු දේශපාලනයේ ප්‍රචණ්ඩත්වය කියාපෑමට ඔහු විසින් ලියා පළ කළ ‘බුඩිසම් බිටේ‍්‍රඞ්?’ නම් ග්‍රන්ථයේ පිටකවරයට පවා යොදා ඇත්තේ සෝභිත හිමියන් අතක් උලුක් කරගෙන රෞද්‍ර විලාශයෙන් සිටින චායාරුපයකි. අද මෙන්ම එදාද මේ විශ්වසාධාරණවාදී පඬියන් සිටියේ සිංහල බෞද්ධ ජාතිකත්වය තුළ නොව තම්බයියා පැත්තේය. එදා සෝභිත හිමියන්ගේ මැදිහත්වීම විවේචනය කළ අය දැන්නම් සෝභිත හිමියන්ගේ ඒ හැසිරීම සාධාරණයකරණය කරමින් ඊට සුදුහුණු ගානු පෙනේ. වසර 23 කට පෙර භික්ෂු දේශපාලන ප්‍රචණ්ඩත්වයට නිදර්ශන සැපයු සෝභිත හිමියන් වසර 23 කට පසු මේ අයගේ එකම ගැලවුම්කරුවා වී තිබීම කවර නම් දෛවයේ සරදමක්ද ?
ඊළගට මතක් කරදිය යුතු වැදගත්ම දෙය 2003 දී සෝභිත හිමි හා නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමියන් විදේශ සංචාරයකට ගොස් සුරූපී ගණිකාවන් සමග කාම සම්භෝගයේ යෙදී පැමිණි දුෂිත සල්ලාලයන් යයි චෝදනා කිරීමය. ඒවායේ ඇත්ත නැත්ත අපි නොදනිමු. එහෙත් එකල පුවත්පතක් මුල් පිටුවේ ප්‍රමුක පුවත ලෙස පොල්ගෙඩි අකුරෙන් මේ ප්‍රවෘත්තිය චායාරූප 3ක් සහිතව පළකොට තිබිණි. අද සාධාරණ සමාජයක් උදෙසා විශ්වසාධාරණවාදී පුරවැසියන් උද්ඝෝෂණ, පෙළපාලි සංවිධානය කරන ආකාරයටම එකලද මේ පුවතට එරෙහිව විරෝධය පළ කිරීමට භික්ෂූන් වහන්සේලා සහ දායකයින් විශාල ප්‍රමාණයක් ඒකරාශී කළේය. රැස්‌වීම තිබුනේ නාවල විවෘත්ත විශ්වවිද්‍යාලය ඉදීරිපිට තිබෙන වික්‍රමසිංහාරාමයේ ය. බොහෝ තැන්වලින් භික්ෂුන් ඊට එකතු කළ නිසා මටද එහි යාමට සිදුවිය. එකළ මා සමාජ දේශපාලනය පිලිබඳ මෙලෝ දැනුමක් නැති කුඩා හිමිනමකි. ගිනියම් වූ තාර පාරේ ළපටි දෙපතුල් තබමින් පාගමනින්ම අපි නුගේගොඩ සිට නාවල වික්‍රමසිංහාරාමයට ගියෙමු. එම රැස්වීමේ මුලසුන දැරුවේ ඉත්තෑපාන ධම්මාලංකාර නා හිමි විසිනි. එහිදී උද්වේඝකර කතාවක් කළ උන්වහන්සේද පෙන්වා දුන්නේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඉමහත් සේවයක් කරන විචිත්‍ර ධර්ම කථිකයකු වූ සෝභිත හිමියන්ගේ ක්‍රියාකලාපය නොඉවසන රටක් ජාතියක් ජන්මයක් ගැන නොසිතන පිරිසක් විසින් භික්ෂු ප්‍රතිරූප විනාශ කිරීමට මඩ ව්‍යාපාරයක් දියත් කර ඇති බවයි. එය කුමන්ත්‍රණකාරී සැලසුමක් බවද අනතුරු ඇඟවීමු. එදා කුමන්ත්‍රණකාරයින් ජාති ද්‍රෝහීන් ලෙස හදුන්වා දුන් අය සමගම සිය අවසාන කාලය ගෙවීමට සෝභිත හිමියන් හිත හදාගත්තේ කෙසේද? ඊට හේතුව ඇතැමුන් කියන විදිහට මේ සම්භෝඝ පිණ්ඩපාතයදැයි අපි නම් නොදනිමු.

දැන් අපට ඇති ප්‍රශ්නය මෙයයි. එදා අපි නොතේරෙන වයසේ වුවත් සෝභිත හිමියන් වෙනුවෙන් පා ගමන් යද්දී අද සෝභිත හිමියන්ට වාදීභසිංහයාණෝ, පටිසෝතඝාමී යතිවරයාණෝ. යතිවර පරමාදර්ශය යනාදී සුරුවම් වචන වලින් අමතන අය එදා සිටියේ කොහෙද ? අප සමග පාගමන් යාමට හෝ අද වගේ පොලවේ හැපීගෙන පෙනී සිටීමට සිත් නොදී උන්වහන්සේට බැටදුන්නේ ඇයි? යසනාත් ධමිමික බණ්ඩාර ලියු සටහනක් අරභයා ඔහුගේ මවට දියණියට බිරිදට පවා අමුතිත්ත කුණුහරුපෙන් බනිමින් හදිසියේම පහළවූ උන්වහන්සේට ඇති ආදරය කුමක් අරභයා ද? විකල්ප ගෝත්‍රය එදත් -අදත් මේ පෙන්නුම් කරමින් සිටින්නේ ඔවුන්ගේ සැබෑම තක්කඩි ස්වරුපයයි. අද වීරයන් සේ කුණුහරුප කියමින් සමාජ ජාලා තුල රැල්ලට කමෙන්ට් ගසන බොහෝ ළා බාල පැඟිරන්ට සෝභිත හිමියන්ගේ දේශපාලනය හෝ මේ අතීතය ගැන තේරුමක් නැත. එහෙත් ඔවුන් අද පෙනී සිටින විකල්ප ධාරාව අතීතයේ සෝභිත හිමිගේ ගෞරවය කෙලසමින් පණපිටින්ම මරා දැමුවේ (ඔවුන්ගේම වචනයෙන් කියන්නේ නම් ) බඩුකාරයකු කියමිනි. දැන් හිටි හැටියේම මේ ඝට්ටම්බියන් වැඩිදෙනාට ජාතියේ මුරදෙවියා වී තිබෙන්නේ ඔවුන් බඩුකාරයෙක් ලෙස හණගැසූ පුද්ගලයාම වීම පුදුමය. මේ කතාවේ ඇත්ත නැත්ත දැන්වත් ඔවුන් හෙළිකළ යුත්තේ මේ ප්‍රවෘත්තිය රටට හෙළිදරව් කලේ අප නොව ඔවුන්ම නිසාය. එය ඇත්තක් නම් අපට සාධාරණ සමාජයක් ගේන්නේ එහෙව් අය සමගද ? මෙහි තේරුම මොනතරම් වැරදි තිබුනත් විකල්ප ගෝත්‍රය සමග අනන්‍ය වෙමින් රෙජීමය පෙරළීමට සහය වන්නේ නම් යතිවර පරමාදර්ශයක් වන බවද ?

සෝභිත හිමියන්ට අද රටේ තිබෙන්නේ උන්වහන්සේගේ ඓතිහාසික කාර්යභාර්යට හිමි වූ තැන නොවේ. අකමැත්තෙන් වුවත් පිළිගන්න සිදුවෙන ඇත්ත එයයි. සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්ත පවා නොසලකා අපවත් වූ දින සිට ආදාහන කටයුතු අවසන් වූ අද දක්වා සිදුවූ සියල්ල රෙජීමය වෙනස් කිරීමට හවුල් වුවාට යහපාලනයේ ආනුභාවයෙන් දේශපාලන අධිකරිත්වයක මැදිහත්වීමෙන් කරන කළගුණ සැලකීම් වෙයි. බොහෝ තැන්වල කහකොඩි පවා දැමුවේ එජාප ප්‍රාදේශීය දේශපාලකයන්ගේ මැදිහත්වීමෙනි. මහානායක හිමියන්ගේ අපවත්වීමටවත් නොඑසවූ කහකොදී ඇතැම් ප්‍රොෆයිල් පින්තුර වල එසවුනේ ද එබදු දේශපාලන අරුතිනි. අවසාන වශයෙන් කීමට ඇත්තේ හදිසියේ බුද්ධාලම්භනයෙන් ඔද වැඩී ශිෂ්ටත්වය කියාදීමට යසනාත් ධමිමික බණ්ඩාර ලුහුබඳින මේ ව්‍යාජ තක්කඩියන් ඥානසාර හිමියන්ට අදත් අමතන්නේ නානසාර බේබදුසාර වැනි නම් වලිනි. මේ මෘග්ධත්වයට සාපේක්ෂව යසනාත් ධම්මික බණ්ඩාරගේ ප්‍රවේශය අහිංසක එකකි. ඥානසාර හිමියන් අරභයා මේ නඩය බුක්ති විදින නිදහස යසනාත්ට නොදිය යුත්තේ අවම ශිෂ්ටත්වයක් වත් ඔවුන්ට තිබේ නම් පමණි. එත් මේ විකල්ප ගෝත්‍රයේ බහුතරයකට එවැන්නක් නැත.

(2015 නොවැම්බර්12 )
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-

www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/05/2015

පිළියමක් නැති ළමා සාහිත්‍ය අර්බුදයට ”ළමා ගී අමා” මිණි මිණි පොද වැස්සක්

කතෘ:යුතුකම     10/05/2015   No comments
ප‍්‍රවේශය

වර්තමාන සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට  සහ අවධානයකට ලක් නොවී ක‍්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම වැදගත් සාහිත්‍යාංගයක් වන්නේ ළමා සාහිත්‍යයි. වර්තමාන නවකතාවට මෙන් දහසින් බැඳී පියලි ළමා සාහිත්‍ය  කෘති වලට නොලැබීමත් රාජ්‍ය සම්මාන හැර අනෙක් බොහෝ සම්මාන උළෙල මේ විෂය ඇගයීමට තරම් නොවන අකැප සාහිත්‍ය සේ නොසලකා හැරීමත් වැඩිහිටි ලේඛක ලේඛිකාවන් මෙයට අත නොගසන  හේතු අතර ප‍්‍රමුඛ වෙයි. ඊට බලපාන තවත් අවශේෂ හේතු රාශියක් ඇතත් අප ඒවා සාකච්ඡා කිරීම පසුවට කල් තබමු.  ළමා සාහිත්‍ය යනු ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් ළමයින් උදෙසාම ලියන ළමා මනසට ගෝචර වන සංකල්ප රූප, වර්ණ හා හැඩතල සමග  ළමා මනසට සරිලන විරිත් හා ක‍්‍රියාකාරකම් තෝරා බේරා ගනිමින් ළමුන්ට තේරෙන ආකාරයට  ළමුන්ගේම  බසින් ළමා ලෝකය නිර්මාණය කරදීමකි. එය හිතන තරම් පහසු නැති හැමෝටම කළ නොහැකි  අනෙක් සාහිත්‍යාංගයන්ට සාපේක්ෂව ඉතාම  අසීරු කටයුත්තකි. ළමුන් වෙනුවෙන් කරන සාහිත්‍ය යොවුන් වැඩිහිටි සාහිත්‍ය මෙන් අත්හදා බැලීම් කළ නොහැකිය. එය ප‍්‍රවේශමෙන් ප‍්‍රතිනිර්මාණය නොකළහොත් විනාශ වන්නේ ක‍්‍රමයෙන් වැඩිහිටියකු බවට පත්වන දරුවන්ගේ ළමා කාලයයි. වෙනත් ලෙසකින් කිවහොත් පුර්ණ මිනිසකු වීමට පෙර ගත කරන ළමා අවධියයි.

ළමා සාහිත්‍යයේ පුරෝගාමී මුල් යුගය

මෙරට දේශජ කාව්‍ය සම්ප‍්‍රදායක් මෙන්ම ළමා සාහිත්‍යක් බිහි කිරීමට පුරෝගාමීවූවෝ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි ශේෂ්ඨයන් බව ගෞරවයෙන්  සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට ගත හැක්කේ  ඔවුන්ගේ ගද්‍ය හා පද්‍ය කෘති වන නිසාය. 1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියන් විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළේය. ” ඕවා මුතුදම” කවිමිණ, නිදහසේ දැහැන, නිදහසේ මන්ත‍්‍රය, ජාතික තොටිල්ල, අද ලක් මවගේ පුත්තු, සිංහල ජාතිය, ලංකා මාතා, නිදහස, ආදිය ඉන් කිහිපයක් පමණි. කුමාරතුංග මුනිදාසයෝ ද ගද්‍ය හා පද්‍ය දෙකින්ම ළමා සාහිත්‍ය පෝෂණය කළේ හත්පණ, මගුල් කෑම, හීන්සැරය, කුමර ගී, ශික්ෂා මාර්ගය, කියවන නුවණ,(කාණ්ඩ -5 ) ආදී කෘති බොහෝ ප‍්‍රමාණයක් ජාතියට දායාද කරමිනි. ආනන්ද රාජකරුණා මහතා ද රජසිරිත් මාලය, සිංහල කොඩිය, ජාතික දරු නැළවිල්ල, ඇතුළු ළමා කවිපොත් 07ක් , ළදරු ගී පොත් 07ක් සහ ළදරු කවිමග නමින් පොත් 7ක් රචනා කරමින් දරුවන්ට දායාද කළහ.  මේ කෘති  හැරුණු විට ළමා සාහිත්‍ය ගැන උනන්දු වූ තවත් අය සිටිති. එහෙත් මේ ලිපියේ අරමුණ ඒ පිලිබඳ විමර්ශනය කිරීම නොවේ. මේ විශිෂ්ටයන් තිදෙනා ගැන පමණක් සඳහන් කලේ අදත් දරුවන්ගේ අත්පොත් ලෙස නොබියව තැබිය හැක්කේ මේ කෘති නිසාය. එමෙන්ම  ළමා සාහිත්‍යක් ගැන අවධානය යොමු කරවීමට පසුකාලීන කතුවරුන්ට පවා බලපෑම් කලේ ඔවුන්ගේ ළමා සාහිත්‍ය නිසාය. වර්තමානයේ සිබිල් වෙත්තසිංහ, ජානකී සූරියආරච්, වැනි අය මේ කටයුත්තට අතගසා තිබීම මෙරට දරුවන්ගේ  වාසනාවක් බව කිව යුතුය. 

යළි මතුවෙන  ළමා පිටියක අවශ්‍යතාව 

බොහෝ  වැඩිහිටි ලේඛක ලේඛිකාවන්  හෝ ජනමාධ්‍යවලින් ප‍්‍රමාණවත් අවධානයක් මෙරට ළමුන් කෙරෙහි යොමු කර  ඇතැයි නොපෙනේ. විද්‍යුත් නාළිකා පවා හැසිරෙන්නේ මුළුමනින්ම ළමුන් නැති රටක් වශයෙනි. 60,70, 80 දශකවල අඩු වැඩි වශයෙන් ළමා වැඩසටහන් වලට ගුවන්විදුලියේ  ප‍්‍රමුඛතාවක් ලැබුණි. 60 දශකයේ කරුණාරත්න අබේසේකරයන් විසින් දරුවන්ගේ විවිධ කලාකුසලතා වර්ධනය කරන අරමුණෙන් ගුවන් විදුලියේ වැඩසටන් නිෂ්පාදනය කර ප‍්‍රචාරය කරන ලදී. එතුමාගේ ”ළමා පිටිය” මේ අතර විශේෂ තැනක් ගනී. පිටපත් කියවීම ලිවීම, කවි ලිවීම,  කවි ගායනා කිරීම, ආදී දරුවන්ගේ විවිධ කුසලතා ඔප්නංවා ගැනීමට කදිම තෝතැන්නක් වූ ළමා පිටියේ විශේෂ තැනක් ගත්තේ ළමා ගීතය නිර්මාණයයි. කරුණාරත්න අබේසේකර මෙන්ම ළමා මණ්ඩපය මෙහෙය වූ ආනන්ද සරත් විමලවීර, අජන්තා රණසිංහ වැනි විශිෂ්ට ගී පද රචකයින් විසින් ළමා පිටියට ගී නිර්මණය කළ අතර තනු නිර්මාණය කොට ඒවා සංගීතවත් කළේ වින්සන්ට් පෙරේරා, ඞී.ඞී. ඩැනී වැනි සංගීතවේදීන් විසිනි. ළමා පිටියට  සම්බන්ධ වී සිටි ගායක ගායිකාවන් අතර නන්දා මාලනී, පැට්‍රික් ප‍්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට),චන්ද්‍රාණි ගුණවර්ධන, ඉන්ද්‍රලතා ජයසිංහ, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ, එස්. ලියනගේ වැනි අය ඉන් ප‍්‍රමුඛ වේ. 

කරුණාරත්න අබේසේකර වගේම සරත් විමලවීර, මඩවල එස්. රත්නායක, චිත‍්‍රානන්ද අබේසේකර වැනි ප‍්‍රවීණයින් මෙහෙයවූ ළමා පිටිය වැඩසටහන ඉරිදාට සරස්වතී මණ්ඩපය සඳුදාට මිණි කිංකිණි අඟහරුවාදට ළමා රංගපීඨය බදාදාට ටිකිරි සිනාරැුලි  බ‍්‍රහස්පතින්දාට සිඟිති සුරතල්‘ ආදි වශයෙන් සතියේ දින හතේම ළමා පිටිය වැඩ සටහන් මෙහෙයවමින් දරුවන්ගේ විවිධ කලා කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් කළ සේවය සුළුපටු නැත. දක්ෂ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් හරවත්ව ගුණාත්මකව හැඩගැස්සවීම පමණක් නොව ඔවුන් රටට හඳුන්වා දීමෙන් කළ ජාතික මෙහෙවර නිසා මතු දරුවන්ටත් දායාද කළහැකි හොඳ ළමා ගීතාවලියක් එමගින් අපට ශේෂ වී තිබේ. සුනිල් සරත් පෙරේරා පවා පසුකලෙක ප‍්‍රවීණ ගීත රචකයකු වන්නේ එකල  ළමා පිටියට ළමා ගීත ලිවීමෙනි. අද  මහරු මිණි වී ඇති ප‍්‍රවීණ ගායක ගායිකාවන් හා ගීත රචකයින් රැුසක්ම ජාතියට දායාද වී ඇත්තේ ළමා පිටිය ඔස්සේය. මෙහිදී නන්දා මාලිනියගෙන් සිදු වී ඇති මෙහෙවර විශේෂ වන්නේ ඇය  ළමා පිටියෙන් නොනැවතී අද දක්වාම ළමා ගීතය වෙනුවෙන් දායක වෙමින් කරන කැපවීම නිසාය.

නුතන විද්‍යුත් නාලිකා කරන ළමා මානසික සංහාරය
   
නමුත් 60,70, 80 දශකවලදී අඩුවැඩි වශයෙන් ළමයින් සඳහා වූ මෙවැනි වැඩසටහන් වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේද? තිබුණත් ඒවා ළමා ගායක, ගායිකාවන්, ගීත රචකයින් ප‍්‍රතිනිර්මාණය කළ ළමා පිටිය බදු  වැඩසටහන්ද?  දරුවන්ටම ඔබින හරවත් නිර්මාණ බිහිකරමින් දරුවන් නිර්මාණශීලීව ගොඩ නැංවූ ළමා මණ්ඩපය වැනි වැඩසටහන් වෙනුවට අද දක්නට ඇත්තේ වාණිජ්‍ය අරමුණු පරමාර්ථ කරගත් සුපර් ස්ටාර්ලාට සමගාමීව ලිට්ල් ස්ටාර්ලාගේ වැඩසටහන්ය.  ඒ තුළ පවා  ළමා ගී නොගැයෙන පසුබිමක ළමා ගීත නිර්මාණද ක‍්‍රමයෙන් වැහැරී ගියේය. මේ වැඩසටහන් තුළින් ළමුන්ට ළමාකම අහිමි කරන ආකාරය තේරුමක් ඇති වැඩිහිටියන්ට තවමත් නොපෙනීම ජාතියේ ඛේදවාචකයෙන් කොටසකි. තම දෙමාපියන්, වැඩිමහල් සහෝදර සහෝදරියන්, මෙන්ම රටවැසියන්, වැඩිහිටියන් ඉදිරියේ මේ දරුවන් ගායනා කරන්නේ මොනවාද ? ”අඩන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ  මාගේ ”,  ”චපල හිමිට සිරි යහනේ රැුවටෙන්නද මං”, ”වියෝ වූ පසුවයි දැනෙන්නේ පේ‍්‍රමයේ අභිමන්”, ”මම දාලා යන්නෙ නැහැ මගෙ සුදු රත්තරන්”, ”මේ පාලූ සීත රත‍්‍රියේ කියාදෙන්න රහසේ පේ‍්‍රමය නම් කිමැයි කියා” ”ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති” වැනි  ශෘංගාර රස ජනනය කරන පේ‍්‍රම ගීත වේ.

එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් අවුරුදු තුනහමාරක දැරිවියක් ලවා ලිංගිකත්වය ඉස්මතු කරන”චපල හිමිට සිරි යහනේ රැුවටෙන්නද මං” ගීතය ගායනා කරවන ලදී. එහි දර්ශන යුටියුබ් හා ෆේස් බුක් වැනි සමාජ ජාල හරහා අදත් සංසරණය වෙනු දැකිය හැකිය. දෙමාපියන් සහ රටවැසියන් ඉදිරියේ අභිනයන් දක්වමින් මේ ගීතය ගායනා කරවීමෙන් දුෂණයට ලක්වූ දැරියගේ මනසට හා ඇගේ ළමාකමට වූ හානිය කියා නිමකළ නොහැකිය. ළමුන් යනු ස්ත‍්‍රී පුරුෂයන් ගේ කායික සම්භෝගය  ප‍්‍රලෝභනය කරනවන සංකේත නොවේ. ළමුන් ලවා කවි ගීත ගායනා කරවීමේදී ස්පර්ශ කළ යුතු සීමා සහ අවධානය යොමු කළයුතු පාර්ශව රැුසක් තිබේ. ළමුන්ගේ ඉන්ද්‍රියප‍්‍රත්‍යක්ෂයට, වින්දන ධාරිතාවට හා ළමාකමට ගෝචර නොවන ගීත මගින් ඔවුන්ගේ ළපටි මනස විනාශ කිරීම අපරාධයකි. එත් වාණිජ පරමාර්ථ මුලික කරගත් මේ වැඩසටහන් වලට වැඩි පේ‍්‍රක්ෂක ප‍්‍රමාණයක් රදවා ගැනීමේ අරමුණින් ළමුන්ට නුසුදුසු, ළමා ජීවිතයට සමවාය නොවන වැඩිහිටියන්ගේ ගීත ළමුන් ලවා ගායන කරවනු ලැබේ. මෙය අපරාධයක් බව හොදින්ම දන්නා විනිශ්චය මණ්ඩලය පවා සල්ලි මලූ වෙනුවෙන් මේ රූපවාහිනී ආයතන  සමග එකතු වී ඒ  ගායනා  අගය කරමින්  දරුවන්ගේ ළමාකම උකසට තබති. කලාව ඔවුන් ජීවත් වීමට  වාසභවනක් කර ගත්තද මේ ළමාකම්වලට සංවේදී නොවන්නෝ කලාකරුවන් වන්නේ කෙසේද ?

ළමයා නූතන වෙළදපොළ ගොදුරක් වීම.

වර්තමානයේ ළමුන් වෙනුවෙන් හරවත් වැඩසටහන් නිර්මාණය කරන ස්වයං සාධිත පිළිවෙතක් මාධ්‍ය ආයතන වලට නොවීමත්,ඒ සඳහා සැලකිය යුතු ගුවන් කාලයක් වෙන් කිරීම මුල්‍ය වශයෙන් ඔවුන්ට අලාභය ගෙන දෙන්නක් වීමත්, නුතන වෙළදපොළ තරගය හේතුවෙන් ප‍්‍රචරණයේදී ජනමාධ්‍යවලට ඇති ඉඩකඩ සීමාසහිත වීම, ආදී සියල්ල ළමා සාහිත්‍යක් පිළිබඳ උනන්දුව වැඩිහිටියන්ගෙන් ඈත් කරවන්නට පූරණය වූ හේතු සාධක ලෙස දැක්විය හැකිය. එහි ප‍්‍රතිඵලය වුයේ ළමුන් වෙනුවෙන් නිර්මාණ බිහිකිරීම වැඩක් නැති දෙයක් යන හැගීම ඔවුන්ට ඇති වීමය.

දින දින වියැකෙන ළමා සාහිත්‍යයට ”ළමා ගී අමා” මිණි මිණි පොද වැස්සක්

මොනම අනුග‍්‍රහයක් වත් නොලැබෙන එබදු පසුබිමක් යටතේ වසන්තා කේ. මිහිදුකුලසුරිය මහත්මිය පෞද්ගලික වියදමින් හෝ ළමුන්ට යමක් ශේෂ කිරීමට කල්පනා කිරීම පැසසුමට ලක්විය යුත්තකි. එය අගය කළ යුත්තේ ළමුන් වෙනුවෙන් හැම තැන්හි ඉඩ ඇහිරී තිබෙන කාලයක ඇය මෙවැනි කටයුත්තට අතගැසීම නිසාය. වසන්තා මහත්මිය සිය ළමා ගීත සමුච්චය නම් කොට තිබෙනේ ”ළමා ගී අමා” නමිනි. ගීත 14ක් ඇතුලත් සීඞී තැටියක් සහ එම ළමා ගී ස්වර ප‍්‍රස්ථාර සමගින් පදමාලාව සිතුවම් සහිත කෘතියක්ද ලෙසින් ප‍්‍රකාශයට පත් කොට තිබේ. මෙම කෘතිය ළමුන්ගේ වින්දනීය පරිකල්පනය පුබුදු කරවන ආකාරයට වර්ණ කඩදාසියේ සිතුවම් සහිතව මනා නිමාවකින් නිමවා තිබීම අගනේය. වර්ණ හා සිතුවම් ළමා ලෝකය අතර ඇත්තේ අනුලෝම ප‍්‍රතිලෝම සහ සම්බන්ධයකි.

ළමා ගී අමා ගීත සමුච්චයේ කතුවරිය නිර්මාණ ශික්ෂණයකින් යුක්තව කල් ගත කොට මෙය  මහන්සියෙන් කළ වැඩක් බව පෙනේ. මෙහි එන සියලූ ළමා ගීත කතුවරියගේ ස්වත‍්‍රන්ත‍්‍ර නිර්මාණ වන අතර එම ගී පදවලින් කියවෙන අර්ථය ළමයින්ගේ ඇල්ම වඩවන ආකාරයට ඉතා අපුරු ලෙස කෘතියේ සිතුවම් කොට තිබෙන්නේ කලාසුරී  ජයසිරි සේමගේ මහතායි. මේ සිතුවම් ළමා කෘතියකට මහත් ආලෝකයක් සපයන අතර එම  ගීත  ළමයිගේ මනසේ සිතුවම් කළා හා සමානය. ළමා කෘතියකට සිතුවම් අත්‍යාවශ වන්නේ සිතුවම් මගින් ළමුන්ගේ පරිකල්පන ලෝකය පුළුල් කරන නිසාය. ඇල්බමයේ ගීත වැඩි ප‍්‍රමාණයක් ළමා තනු යොදා සංගීතවත් කොට තිබෙන්නේ ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසිනි. තවත් ප‍්‍රවීණයකු වූ ලක්ෂ්මන් විජේසේකර මෙන්ම සරත් පීරිස් ඉරංගා වීරක්කොඩි, මංජුලා සෙනෙවිරත්න, පුබුදු නුවන්ති වැනි අයද තනු නිර්මාණයෙන් දායක වී තිබේ.

වසන්තා මහත්මිය පළමුව  අවධානය යොමු කොට තිබෙන්නේ රට ගැන ඇල්මක්  දරුවන් තුළ ජනිත කරවන නිර්මාණයකටය. ඇගේ මේ නිර්මාණය සුවිශේෂී එකක් වන්නේ  රටේ අගය ඉතා අපුරු ආකාරයට දරුවන්ට කාවැද්දීමට ගන්නා උත්සාහය නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය නිර්මාණය වලට වස්තු කොට ගැන්ම සාම්ප‍්‍රදායික හෝ  ජාතිවාදී නිර්මාණ යයි ඇතැම් අල්පශ‍්‍රැතයන්ගේ උදහසට ලක්වීමටද ඉඩ ඇත. තමා  හැර අන් සියල්ල දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ පිරිස් ළමා ගීතයක්  පවා ඔවුන්ගේ දේශපාලන රෝගී ඇසින් බැලීමට යාම අනුවණ කමකි.  කවිය ජාතික ව්‍යාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්‍ය, දැනවෙන පරිදි  බටහිර ආධිපත්‍යයෙන් මිදී  ස්වාභිමානීව නැගී  සිටීමට කාව්‍යකරණය  මෙහෙය වූ    එස් .මහින්ද හිමියන් නුතනයේ වැඩ  සිටියේ නම් ලොකුම ජාතිවාදියා ලෙස හංවඩු ගසනවා  නිසැකය. රණබිම මැරුණේ සිංහලයකු නම්  ගීතය පවා ජාතිවාදය උත්සන්න කළ ගීතයක් ලෙස හදුන්වනවා අපි දුටුවෙමු. කතුවරිය මේ අවදානම තිබියදී පවා තම රටේ වටිනාකම දරුවන්ට කියා පෑමට ගත් උත්සාහය වැදගත්ය. ගීතය ආරම්භයේ දීම පුංචි රට අපේ -හරිම හරි අගේ.. රත්තරං වගේ.. මුතු මැණික් වගේ.. යනුවෙන් අපේ රටේ වටිනාකම අපුරු  උපමා ගැන්වීමකට ගොනු කරයි. 

රන් වැටවට බැන්දු - සිරිමා බෝ සමිදු 
රන් කරඩුවේ රැන්දූ - සිරි දළදා සමිදු 
රැස්කොට වැහි බිංදු - වැව් සාගර බැන්දූ 
පෙරමහ නරනින්දූ - කිතුගොස ලොව රැන්දූ

ඉන් පසු ළමාකමට සරිලන සරල බස්වහරකින් අපේ අතීතය,ඉතිහාසය වෙත බැඳුණු සංස්කෘතික උරුමය දරුවන්ට දායාද කරන ආකාරයද  අපුරුය. බොදු උරුමය වූ දාළදා වහන්සේ ගැනත් වැව් අමුණු ඇතුළු පෙර මහ රජවරුන්ගේ විශ්මිත නිර්මාණ වන වාරි තාක්ෂණය ගැනත් කියාදෙන මේ  ගීතය දරුවන්ට අපුරු පාඩමක් වෙයි.

කළු වළවේ කැලණි -මහවැලි ගං රැුජිණී
කඳු හෙල් බැස යමිනී - සරසයි ලක්මෑණී
ගිරා මයුර රමණී -මලිති බටිති ලිහිණී 
මියුරු කොවුල් නදිනී - සනසයි ලක් මෑණි.

මේ ගී නිර්මාණයෙන් දරුවන්ට තමන්ගේ පුංචි රට ගැන භූවිෂමතා පාඩමක් බඳුව සොබා සෞන්දර්යය ගැන කියාදෙන ආකාරය අපුරුය. බෞද්ධ සංස්කෘතිය, අතීත උරුමය ගැන කියාදුන් කිවිදිය ස්වභාව සෞන්දර්ය මුසු භූගෝලීය පසුබිම පිලිබඳ  චමත්කාර ජනක හැගීමක් ජනිත කරයි. ළමා නිර්මාණයක තිබිය යුතු විශේෂ ගුණයක් වන්නේ එම නිර්මාණය හරහා දරුවාට බොහෝ පාඩම් කියාදීමට හැකිවීමයි. දරුවා සමාජානුයෝජය ලබන්නේ මේ නිර්මාණ තුළින් අවශෝෂණය කරගන්නා දැනුම හරහාය. බලන්න මෙම නිර්මාණය දෙස. මේ තුළින් දරුවන්ට අවශ්‍ය මුලික පාඩම් කිහිපයක්ම ඉගැන්විය හැකි අකාරය ප‍්‍රශස්තය. ශ‍්‍රි මහා බෝධිය පිළිබඳවත් දළදා වහන්සේ සමග බුදු සිරිත පිලිබඳවත් කතන්දරයක්  දරුවාගේ වයසට සරිලන ආකාරයෙන් කියාදිය හැකිය. එමෙන්ම පෙර දවස අප රටේ සිටි වැදගත් රජවරු ගැන සහ ඔවුන් ඉදිකළ වැව් අමුණු පිළිබඳවත් දරුවාට ඉගැන්විය හැකිය. අප රටේ තිබෙන වැදගත්ම ස්වභාවික ගංගා ද ඒවා ආරම්භ වන කදු සහ  මුහුදට වැටෙන ස්ථාන පිළිබඳවත් ඉගැන්විය හැකිය. ජලජ පැලෑටි වර්ග මෙන්ම ගංගා ඔස්සේ වැඩෙන, දණ්ඩි, කූනි, පෙතියෝ,ඉස්සෝ , කාවයියෝ වැනි මත්ස්‍ය වර්ග පිළිබඳවත් කිඹුලන් වැනි දරුණු සතුන් පිළිබඳවත් කියාදිය හැකිය. දරුවන් ඇලූම් කරන කුරුල්ලන් හා ඔවුන්ගේ නාද පිළිබඳවත් ගීතයෙන් වින්දනයක් ලබා දෙමින්ම  ළමයාගේ දැනුම සංවර්ධනය කළ හැකිය. අධ්‍යාත්මික හික්මීමක් සහිතව ස්වභාව සෞන්දර්යට ගහකොළට පක්ෂීන්ට ආදරය කරන දරුවකු නිර්මාණය කරගැනීමට මේ ළමා නිර්මාණ සමුච්චයම මහත් සේවයක් කරන බව කිවයුතුය. 

ළමා ගී අමා කෘතියේ දෙවන ගීතයද (11 පිට ) සිරිපා වන්දනාවේ යන සමනල්ලු සමග දරුවා ඒකාත්මික කරවන "සමනළ කන්ද ගොඩක් උසනේ" (18 පිට) හයවන ගීතයද ,දේදුන්නේ පාට කොයින්දෝ (25 පිට) ටිං ටිං ලේනෝ (30 පිට )මල්පෙති අග මුතු බැඳිලා (32 පිට ) දැන් සෙල්ලම් කාලේ (34 පිට ) යන නිර්මාණද දරුවන් සොබා දහමේ අසිරිය විඳගන්නා ආකාරය, සහ ඔවුන් සොබා දහමට ලෙන්ගතු වන ආකාරය සිත්තම් කොට තිබේ. කුරුල්ලන්ගේ කිචි බිචි නාද දරුවන් දකින්නේ ඔවුන් සින්දු කියන විලාශයෙනි.

ලස්සන ලස්සන සමනලූනේ
සිරිපා වදිනට දෝ යන්නේ
සමනළ කන්ද ගොඩක් උසනේ
සිනිදු අත්තටු රිදෙයි අනේ...//

සිරිපා වන්දනා කරන කාලයට සොබා දහමෙහිද නැවුම් බවක් තිබේ. එය සෘතු විපර්යාසය නිසා සිදුවන පාරිසරික වෙනස් වීමකි. ගහ කොළවල පවා  අලූත් දලූමල් පුබුදයි. සමනලූන් ?න් පිටින් එකම අතට පියාඹති. කුඩා කාලයේ දරුවන් එය දකින්නේ සමනලූන් සිරීපාදේ වන්දනා  කරන්නට යන ගමක් ලෙසය. දරුවන්ගේ සිත් තුළ ඉන් ඇතිකරන චමත්කාරය කියා නිමකළ නොහැකිය. මෙය කියවන වැඩිහිටි බොහෝ දෙනාද කුඩා කාලයේ එම අසිරිය විඳ ඇතිවාට සැක නැත. සමනළ කන්ද ගොඩක් උසනේ.. ”සිනිදු අත්තටු රිදෙයි අනේ..” යනුවෙන් කිවිදිය මෙහිදී මානුෂිකත්වයක් දරුවන්ගේ සිත් තුළ ජනිත කරවන ආකාරය අපුරුය. ළමා නිර්මාණ වලදී එය විශේෂයෙන්ම අවධාරණය කළයුතු කරුණකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකරවන කිසිවක් දරුවන්ගේ ලෝකයට දර්ශන නොකළ යුතුය. එබදු කන්දර ඇති පොත් පත් හෝ චිත‍්‍රපට දරුවන්ට නොපෙන්වීමට වැඩිහිටියන් වගබලා ගතයුතුය. මාගරඞ් මිඞ් නමැති ලෝ ප‍්‍රකට සමාජ විද්‍යාඥවරිය නිව්ගිනියාවේ මුන්ඩුගුමාර් හා ඇරපේෂ් ප‍්‍රදේශ වල දරුවන් මුල් කරගනිමින් කළ සමීක්ෂණයේ දී මුන්ඩුගුමාර් වැසියන් ගේ දරුවන් දැඩි කලහකාරී ආක‍්‍රමණශීලී පුද්ගලයන් බවට පත් වී තිබෙන්නේ ඔවුන් ළමා කාලයේ අත්දුටු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හේතුවෙනි. ඇරපේෂ් දරුවන් එසේ නොවුයේ ආදරය සෙනෙහස මානුෂිකත්වය සමග සාරධර්ම, ප‍්‍රතිමාන ඇගයුම් මැද හැදී වැඩුන නිසාය. 

මෙම ළමා ගී අමා නිර්මාණ සමුච්චය දරුවන්ට අවුරුදු චාරිත්‍ර සමග මානව ධර්මතාද ඉගැන්වීමට අමතක නොකරයි."සිරියාවයි අවුරුද්දේ" (12 පිට) සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) වැනි නිර්මාණ මීට උදාහරණ වේ.

සුබ නැකතින් ගිනි මොළවා 
අම්මා කිරිබත් ඉව්වා 
නැකතට පැලයක් සිටුවා 
තාත්ත කිරිබත් කැව්වා
බුලත් හුරුලූ ගනිමු අපි 
දෙමාපියන් වදිමු අපි 
වැඩිහිටියන් පුදමු අපි 
අවුරුදු සිරි විඳිමු අපි

දරුවන්ට මෙම සිරිත් විරිත් ළමා කාලයේදීම පුරුදු පුහුණු නොකරන්නේ නම් පසුකලක ඔවුන්  සමාජ ධර්මතා කිසිවකට ගරු නොකැරේ. ළමාවිය ඉක්මවන දරුවන් ලෙස සමාජානුයෝජනය වීමේ දී දරුවන් ශික්ෂණය කළ යුත්තේ මෙවැනි ගුණධර්ම, චාරිත‍්‍ර වාරිත‍්‍ර හා සමාජ ධර්මතා ඔස්සේය. සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) ගීතයද දෙමාපියන් හිරුට සහ සඳට රූපකාර්ථවත් කරමින් මාපිය වන්දනය වස්තු කර ගත්තෙකි. එය මව්පියන්ට, වඩිහිටියන්ට ගරු කිරීම  උගන්වන්නකි. කුඩා කාලයේම මේ මානව ධර්මතා අත්හැරුණු දරුවන් තුළ ඇති සමාජ වෛරය කෙතරම්ද යන්න නාගරික සමාජයේ නව පරපුර කියා ගොනුවන සමාජ කොටස් දෙස බැලීමෙන් තේරුම් ගත හැකිය. දරුවන්ට ළමා කාලය අහිමි කිරීම මෙන්ම ගුණධර්ම ප‍්‍රගුණ නොකරවීම  සමාජ ඛේදවාචකයක් වන බවට හොදම උදාහරණ දෙන්නේ මේ අයගේ අදහස් හා සිතුම් පැතුම්ය. ළමා ගී අමා ගී සමුච්චය මේ සියලූ රික්තක පුරවන බව පෙනේ. එහි ඇතැම් ගීත ආගම දහම කෙරෙහිද දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීමට උත්සාහ ගනී.  "සිලි සිලියයි බෝ දල්ලේ- පොසොන් සඳේ සඳ රැල්ලේ" (17 පිට) "බුදු සාදුට ගී ලියන්න ආකාසේ ඉඩ මදි" (21 පිට ) වැනි නිර්මාණ තුළින් ඒ අඩුවද පිරිමැසී තිබේ.

ර යනු ට යනු රට ලියලා 
රට හාවාගේ රුව ඇඳලා
ගුරුතුමීගේ රතු පෑනෙන්
තරු ගොඩක්ම මට ලැබුණා (23 පිට)

"හොද ළමයෙක් මං" ගීතයද ළමුන් තුළ ධනාත්මක ආකල්ප ඇතිකරවන ගීතයකි. මෙය පාසලේ දී පවරන ගෙදර වැඩ (Home work) නිසිපරිදි කරගෙන යන දරුවන් ගුරුතුමියගෙන් ඇගයීමට ලක්වන ආකාරය දක්වන අපුරු ගීයකි. ගුරුතුමීගේන් ලකුණු ලැබීමට නම් මුලින් එකේ සිට නිවැරදිව ගණන් කිරීමට, ලිවීමට, කොළ කපා අලවා විවිධ ක්‍රියාකාරකම් ආදියට දරුවා යොමුවිය යුතුය. මේ ගීතයෙන් ළමුන්ට ඇති කරන්නේ අනලස්ව ඉගෙනීමට පොළඹවන ධනාත්මක ආකල්පයකි. ගුරුතුමියගෙන් තරු ලකුණු වැඩි කරගැනීමට නම් ඔවුන් එම ක්‍රියාකාරකම් වල නියැලිය යුතුය. ළමා නිර්මාණ තුළින් දරුවන්ට දිය යුත්තේ මෙවැනි ධනාත්මක ආකල්පය. ඒවිතරක් නොව මෙමගින් "ර යනු ට යනු රට ලියලා - රට හාවගේ රුව ඇඳලා" යන පද තුළින් නිවැරදි වචන උච්චාරණය පවා දරුවාන්ගේ කටට හුරු කළ හැකිය.

සමාප්තිය   

වසන්තා කේ . මිහිදු කුලසුරිය මහත්මියගේ  ළමා ගී අමා නමැති  ගීත සමුච්චය සැබවින්ම මෑත කාලයේ ළමා ගීත සාහිත්‍යට වැටුණ මිණි මිණි පොද වැස්සෙකි. වසරකට නවකතා 100 ඉක්මවා පළවෙතත් ළමා නිර්මාණ පළ වන්නේ ඉතා අල්ප වශයෙනි. එහෙත් ළමුන් යනු එසේ නොසලකා හැරිය යුතු පිරිසක් නොවේ.  දින දින වියැකෙමින් යන එම ළමා සාහිත්‍ය උදෙසා කතුවරිය  දුක්ඛසෙයියාවෙන් වුවද නිමකළ මේ නිර්මාණ ප‍්‍රයාමය දරුවන්ට සාරඵල නෙලා දෙන ගීත සමුච්යක් බව සැකහැර සඳහන් කළ හැකිය. කුමන  ක්ෂේත‍්‍රයකවත් ගැඹුරක් නැති අල්පශ‍්‍රැත මිනිසුන්ට මේ නිර්මාණවල අගය නොවැටහුනද  සංකෘතික විඥානයක් ඇති  තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි ප‍්‍රවීණයන් මේ ගීත සමුච්චය ගුවන්විදුලියේ ප‍්‍රචාරය කිරීමට ඉහළින්ම තෝරාගැනීමද  අගය කළ යුතුය. 

-රත්තනදෙණි යේ මේධානන්ද හිමි  : ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions