4/26/2016

56 ජයග්‍රහණයේ උරුමය

කතෘ:යුතුකම     4/26/2016   No comments
-මනෝඡ් අබයදීර-1954 ඔක්‌තෝම්බර් මාසයේ පැවැත්වූ මහනුවර ආසනය සඳහා වන අතුරු මැතිවරණයෙන් ද ශ්‍රිලනිපය පරාජයට පත් විය. 1955 මැයි මාසයේදී අලූත්නුවර ආසනය සඳහා පැවැත් වූ අතුරු මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනාගත්තේ තුන්වෙනි ස්‌ථානයය. මේ ශ්‍රිලනිපයේ තනි ගමන පිළිබඳව ආරම්භක අවස්‌ථාවේදීම ලැබුණු සංඥාවය. 1955 මැයි මාසය වන විට අතුරු මැතිවරණයක්‌ ජයග්‍රහණය කිරීමටත් නොහැකි තැනක තිබූ ශ්‍රිලනිපය පනස්‌හයේ අප්‍රේල් මාසයේ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කෙසේද...?

පනස්‌ හයේ ජයග්‍රහණයේ සැබෑ උරුමය කා සතුද...? එය ශ්‍රී ලනිපයේ ජයග්‍රහණයක්‌ද...? බණ්‌ඩාරනායකගේ ජයග්‍රහණයක්‌ද...? පනස්‌ හයේ විප්ලවයට වසර හැටක්‌ පිරෙන මොහොතේ මෙය සාකච්ඡාවට බඳුන් කිරීම අත්‍යවශ්‍ය යෑයි සිතමි.

එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක සහ ඩි.ඒ. රාජපක්‌ෂ යන මහත්වරු එජාපයේ සිට පිල් මාරු කර 1951 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රිලනිපය පිහිටුවා ගත්තේය. එය බිහි වී දන ගාන්නටත් පෙර මහ මැතිවරණ අභියෝගයක්‌ හමුවුවේ, 1952 වර්ෂයේදීය.

52 මැයි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් ශ්‍රිලනිපයට දිනාගත හැකි වූයේ ආසන නවයක්‌ පමණය. ශ්‍රිලනිපය ලබාගත් ඡන්ද ප්‍රමාණය 361,250 කි. එය ප්‍රතිශතයක්‌ ලෙස 15.52%ක්‌ විය. 52 මහ මැතිවරණයෙන් ඩඩ්ලි අගමැති වූයේ ඡන්ද 1,026,005 ක්‌ ලබාගෙන, ආසන 54 ක්‌ දිනා ගෙනය. එවර එජාපය ලබාගත් ඡන්ද ප්‍රතිශතය 44.08% ක්‌ විය. 52 දී ශ්‍රිලනිපය ලැබූ පරාජය දැක, එයට අනාගතයක්‌ නොමැති බව සිතු, පක්‌ෂයේ ආරම්භක සම ලේකම් බර්නාඩ් අලූවිහාරේ, පක්‌ෂය අත්හැරදා යළිත් එජාපයටම ගියේය.

සමසමාජය විසින් මෙම මැතිවරණයට අපේක්‌ෂකයන් 39 දෙනකු ඉදිරිපත් කර තිබු අතර, එයින් ආසන නවයක්‌ දිනා ගැනීමට ඔවුහු සමත් වී තිබුණහ. ශ්‍රිලනිපය ආසන 48 කට අපේක්‌ෂකයන් ඉදිරිපත් කර එයින් අටක්‌ ජයගෙන තිබුණි. ලැබුණු ආසන ගණන සමාන වුවත්, ලබා ගත් මුළු ඡන්ද ප්‍රතිශතයෙන් ශ්‍රිලනිපය ඉදිරියෙන් සිටීම නිසා විපක්‌ෂ නායක තනතුර බණ්‌ඩාරනායකට හිමි විය. යම්, සේ සමසමාජය තව ආසන ගණනකට තර කළේ නම් විපක්‌ෂනායකකම ද ශ්‍රිලනිපයට හිමි නොවන්නට ඉඩ තිබුණි.

මුල් අවස්‌ථාවේදී ශ්‍රිලනිපය සතුව තිබූ දේශපාලන හයිය තේරුම් ගැනීම සදහා මේ මහ මැතිවරණ ප්‍රතිඵලය ප්‍රමාණවත්ය.

1953 ශ්‍රිලනිපය සිටි තැනට වැඩි වෙනසක්‌ ඉන් වසර දෙකක්‌ යන විටත් ශ්‍රිලනිපය පෙන්නුම් නොකළ බව පෙනෙන්නේ කොළඹ මහ නගර සභා ඡන්දයේ ප්‍රතිඵලයෙනි. 1954 ජුලි 24 වෙනිදා පවත්වන ලද කොළඹ නගර සභා ඡන්දයෙන් එජාපය ආසන දොළහක්‌, සමසමාජ - කොමියුනිස්‌ට්‌ හවුල ආසන හයක්‌ ද දිනා ගෙන තිබුණි. වමේ තවත් අපේක්‌ෂකයන් තිදෙනකුගේ සහ ස්‌වාධින අපේක්‌ෂකයන්ගේ සහය ලබාගෙන සමසමාජයේ ඇන්. ඇම්. පෙරේරා කොළඹ පුරපති වන විට ශ්‍රිලනිපය කොළඹ නගර සභාවෙන් දිනාගෙන තිබුණේ එක්‌ ආසනයක්‌ පමණය.

1954 ඔක්‌තෝම්බර් මාසයේ පැවැත්වූ මහනුවර ආසනය සඳහා වන අතුරු මැතිවරණය ද ශ්‍රිලනිපය පරාජයට පත් විය. 1955 මැයි මාසයේදී අලූත්නුවර ආසනය සඳහා පැවැත් වූ අතුරු මැතිවරණයේදී ශ්‍රිලනිපය දිනාගත්තේ තුන්වෙනි ස්‌ථානයය. මේ ශ්‍රිලනිපයේ තනි ගමන පිළිබඳව ආරම්භක අවස්‌ථාවේදීම ලැබුණු සංඥාවය. 1955 මැයි මාසය වන විට අතුරු මැතිවරණයක්‌ ජයග්‍රහණය කිරීමටත් නොහැකි තැනක තිබූ ශ්‍රිලනිපය පනස්‌හයේ අප්‍රේල් මාසයේ ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ කෙසේද...?

මේ වන විට සිංහල ජාතික ව්‍යාපාරය විසින් භාෂා සටනට පණ දීමට පටන් ගෙන තිබුණි. මහා සංඝරත්නය සමඟ එල්. එච්. මෙත්තානන්ද, එන්. කියූ. දියෙස්‌ ප්‍රධාන ගිහි නායකයන් පිරිසක්‌ මෙම සටනට උර දී සිටියහ. සටන ඇවිලෙමින් යන අවස්‌ථාවේ දී අගමැති කොතලාවල විසින් 1954 වර්ෂයේ සැප්තැම්බර් 13 දින යාපනයේ කයිට්‌ස්‌ දූපතේ දී, සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා බවට පත්කරන බවට පැවසීම, ජාතික ව්‍යාපාරය විසින් සිය උද්ඝෝෂණ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නට පටන් ගත්තේය. මේ වන විට බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසම ද ආරම්භ කර තිබු අතර, ගමින් ගමට යමින් එය විසින් කරන ලද සේවාව, ජනතාව, ජාතික හැඟêමෙන් ප්‍රබෝධමත් කර තිබුණි. බෞද්ධ තොරතුරු පරීක්‌ෂණ කොමිසමේ වාර්තාව, බණ්‌ඩාරනායක මහතා විසින් පිළිගැනීමත් සමඟ, එතෙක්‌ අඩමානයෙන් දේශපාලනය කළ ශ්‍රිලනිපයට අමුතු පණක්‌ ආවේය. දස පනත නමින් යුත් ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශය භාර ගනිමින් තමන් මැතිවරණය ජයග්‍රහණය කළහොත් එය ක්‍රියාත්මක කරන බවට බණ්‌ඩාරනායක පනත ක්‍රියාවත් සමඟ ජාතික ව්‍යාපාරයේ සහය ශ්‍රිලනිපය ප්‍රධාන කර ගත් මහජන එක්‌සත් පෙරමුණට ලැබෙන්නට විය. පනස්‌ හයේ මහ මැතිවරණය ජාතික සහ විජාතික සටනක්‌ බවට පත් වන්නේ මේ සමඟය.

එජාපයේ ජන්ම ගති ලක්‌ෂණ කදිමට නිරුපණය කරන ලද සර් ජෝන් කොතලාවල, සිය බටහිර ආනුකාරක ජීවිතයේදී කරන කියන ලද දේ, කේවල ලෙස ඔහුගේ ජීවිතය ලෙස නොව පක්‌ෂය ලෙසම රටට පෙනී යමින් තිබුණි.
සිංහලය වහල්ව තිබියදී කුමන බුද්ධ ජයන්තියක්‌දැයි අසමින් තල්පාවිල ශීලවංශ හිමියන් කරන ලද ප්‍රකාශය අනුව බලන විට පනස්‌ හයේ මහ මැතිවරණය සඳහා ජාතික ව්‍යාපාරය සුදානම් වූ දාර්ශනික පදනම තේරුම් ගත හැකිය.

බුද්ධ ජයන්තිය සැමරීම සදහා ජාතිය නිවහල් කර ගැනීම පළමුවෙන් කළ යුතු බව ජාතික ව්‍යාපාරයේ දේශපාලන අදහස වී තිබුණු බව පෙනේ.

ඒ අනුව පනස්‌ හයේ මහ මැතිවරණදී මහජන එක්‌සත් පෙරමුණේ සංවිධායක බලඇණිය බවට පත් වන්නේ ජාතික මතවාදය සිය න්‍යාය කර ගත් සඟ වෙද ගුරු ගොවි කම්කරු බල මුළුවය. සමසමාජ, කොමියුනිස්‌ට්‌ පක්‌ෂ මේ අවස්‌ථාවේදී නිතරග ගිවිසුමක්‌ යටතේ මඑපෙ සමඟ කටයුතු කරන ලද නමුත් ඔවුන් සිය මාක්‌ස්‌වාදී මග යමින් වෙනම බලවේගයක්‌ ලෙස තරග කරන ලදී. ඒ අනුව පෙනී යන්නේ, පනස්‌ හයේ සැබෑ උරුමය කා සතුද යන්නය.

1952 මහ මැතිවරණයේදී ආසන අටක්‌ දින, ගෙන විපක්‌ෂයේ සිටි ශ්‍රිලනිපය, එජාපය ආසන අටකට බස්‌සවා, සිය ආසන සංඛ්‍යාව 51ක්‌ බවට පත් කර ගත්තේය. 51 ශ්‍රිලනිපයේ ඇදවැටීම හමුවේ, එය අතහැර යළිත් එජාපයට ගිය, මාතලේ උරුමකරුවන් වූ බර්නාඩ් අලූවිහාරේ, එම මැතිවරණයේදී පරාජයට පත්වන්නේ දේශපාලන නවකයෙකු වූ, නිමල් කරුණාතිලකටය.

ලංකා දේශපාලනයේ එතෙක්‌ තිබූ එජාප සහ මාක්‌ස්‌වාදී දෙපිලට අමතරව ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයක්‌ බිහි වන්නේ ඒ අනුවය. මාක්‌ස්‌වාදීන්ට එතෙක්‌ ලබාගත නොහැකිව තිබූ ආණ්‌ඩු බලයක්‌ කෙටි කාලයක්‌ ඇතුළත ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයක්‌ අත්පත් කර ගන්නේ, ජාතික බලවේගය විසින් ගෙන ගිය සටන නිසා බව පෙනේ

දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/08/2015

අර්බුදය ජය ගැනීම

කතෘ:යුතුකම     4/08/2015   No comments
දැන් අලුතින්ම මහින්දට නැගෙන චෝදනාව වී ඇත්තේ ශ්‍රී ලනිපය දෙකඩ කරනවා යන්නය. ශ්‍රී ලනිප ඉතිහාසයේ දී පක්‌ෂයට වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක්‌, වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාවක්‌ පමණක්‌ නොව පළාත් සභා නවයෙන් අටකම මහ ඇමතිවරු පත් වුයේද මහින්ද පක්‌ෂ නායකත්වය හෙබවූ සමයේය. එවැනි ජයග්‍රහණ පක්‌ෂයට ලබා දෙනවාට අමතරව ශ්‍රී ලනිපයේ උපන් අයිතියක්‌ ද රාජපක්‌ෂ පරපුර සතු විය. එජාපය හැර දමා, බණ්‌ඩාරනායක විසින් පාර්ලිමේන්තුවේ පිල් මාරු කරන විට ඔහුගේ සෙවනැල්ල සේ පසුපසින් පැමිණියේ ඩී. ඒ. රාජපක්‌ෂය. රාජපක්‌ෂලාට තිබෙන එම ලේ උරුමය ආරක්‌ෂා කර ගනිමින් මහින්ද හැමදාමත් කටයුතු කළේය. බණ්‌ඩාරනායකගේ දරුවන් කාලයෙන් කාලයට පක්‌ෂයට බැන වදිමින් , පැති මාරු කලාට මහින්ද කවදාවත් පක්‌ෂය අත්හැරියේ නැත. තමන්ගේ පරාජයෙන් පසු ද ආරවුලක්‌ නොකර ඔහු පක්‌ෂ නායකත්වය මෛත්‍රීට දුන්නේ පක්‌ෂය දෙකඩ වීම වළක්‌වා ගන්නටය.එහෙම කරපු මහින්දට පක්‌ෂය දෙකඩ කරනවා යෑයි අද චෝදනා කරන්නේ මෛත්‍රීවාදීන් සහ චන්ද්‍රිකාවාදීන්ය.

මුලින්ම කිවයුත්තේ මහින්දගේ පරාජය සඳහා සුළු ජනවර්ග ඡන්ද නොලැබීමත්, පතුරුවා තිබු කටකතා ජනතාව විශ්වාස කිරීමත් හේතු වු බවය. මේවනවිට ආණ්‌ඩුව තමන්ට නගන දූෂණ චෝදනාවලට මහින්ද පිළිතුරු දෙන අන්දම පෙනුණත් තම පක්‌ෂයේ සමහරුන් මහින්දට කරන දේශපාලන චෝදනාවලට ඔහු පිළිතුරු දෙන ආකාරයක්‌ පෙනෙන්නට නැත. පක්‌ෂයේ අනුශාසක නිසා පිළිතුරු දුන්නොත් ප්‍රශ්නයක්‌ මතුවේ යෑයි මහින්ද සමහරවිට සිතනවා ඇත . මහින්දට චෝදනාකරන පිරිස එසේ නොහිතා කටයුතු කරනවානම් මහින්ද පමණක්‌ නිශ්ශබ්ද වෘතය රැකීමෙන් ඔහුට හානියක්‌ වෙනවා හැරෙන්නට අන් යමක්‌ වෙන්නේ නැත. අවම තරමින් කවුරුන් හෝ දමා මේ චෝදනා වලට මහින්ද පිළිතුරු දිය යුතුය.

මහින්දට තිබෙන චෝදනාව වී ඇත්තේ ශ්‍රීලනිපය දෙකඩ කිරීමට ඔහු කටයුතු කරන බවය. මහින්ද ජනාධිපතිකම කරන කාලයේදී අනෙක්‌ පක්‌ෂ ඔහුට චෝදනා කළේ ඔහු සෙසු පක්‌ෂ දෙකඩ කරන බවටය. එදා මහින්ද විසින් එක්‌ එක්‌ පක්‌ෂවල පිරිස්‌ තමන්ගේ කොටුව තුළට දමා ගත්තේ තම පිල ශක්‌තිමත් කරන්නටය. දැන් ඒ චෝදනාවම තමන්ගේ පක්‌ෂයෙන් ඔහුට එල්ල වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයට මහින්ද ඉදිරිපත් වුයේ ශ්‍රී ලනිපයේ නායකයා ලෙසය. ඒ මොහොතේ ඔහුට එරෙහිව පක්‌ෂය පාවාදී විරුද්ධ පක්‌ෂයේ අපේක්‌ෂකයා බවට පත් වුයේ මෛත්‍රීය. එතැනදී මෛත්‍රීට සහයෝගය දුන්නේ චන්ද්‍රිකාය. එසේනම් ශ්‍රී ලනිපය දෙකඩ කිරීමට මුලින්ම කටයුතු කළේ මේ දෙදෙනාය. පක්‌ෂය තුල සිටිමින් මෙවැනි පාවා දීමක්‌ කරන ලද පිරිසක්‌ වෙනත් පක්‌ෂයක්‌ නම් අහලකටවත් වැද්දා ගන්නේ නැත.

මෛත්‍රීගේ ජයග්‍රහණයත් සමඟ මුල්ම අර්බුදය මතු වුයේ ශ්‍රිලනිපයටය "දිවුරු" මෛත්‍රී මුලින්ම අත තැබුවේ පක්‌ෂයේ බලය අල්ලාගන්නටය. එහෙන් මෙහෙන් අහුලාගත් පිරිසක්‌ මධ්‍යම කාරක සභාව ලෙස නම් කරමින් පක්‌ෂ නායකයා ලෙස මෛත්‍රී පත් කර ගත් බව නිවේදනය කිරීමත් සමඟ ශ්‍රී ලනිපය දෙකඩ වීම ආරම්භ විය. එසේ නොවන්නට පක්‌ෂය තුළ කල්ලි ගැටුමක්‌ ආරම්භ වන්නේ නැත. සැබෑ පක්‌ෂය සිටියේ මහින්ද සමඟය. පරාජයෙන් පසු තමන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔවුන් සාකච්ඡා කරමින් සිටියදී පක්‌ෂයේ බලය අමුතු ආකාරයකින් අල්ලාගැනීම සඳහා මෛත්‍රී පාර්ශ්වය ගත් ක්‍රියා මාර්ගය නිසා අමුතු තත්ත්වයක්‌ පක්‌ෂය තුළ මතු වන්නට පටන් ගත්තේය. මේ සඳහා හයිය ලැබුණේ විධායක ජනාධිපති තනතුරෙන්ය. විධායක බලය අත්හරිනවා කියා පැමිණි පිරිස එය අත්නොහැරීම සඳහා කටයුතු කරන අතරේම, ඒ සවියෙන් පක්‌ෂ නායකත්වයද අල්ලා ගන්නට තරම් දුර ගොස්‌ තිබුණි.

තමන් බලයට ගෙන ඒම සම්බන්ධයෙන් එජාපයට කෘතගුණ සළකන අතරේම ශ්‍රී ලනිප නායකත්වයද මෛත්‍රී තමන්ගේ අතේම තබාගෙන සිටීම පක්‌ෂය විෂයෙහි මතු වී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයය. ශ්‍රීලනිපයට අද තිබෙන ප්‍රධාන ගැටලුව එයය. මෛත්‍රී පක්‌ෂ නායකත්වය නොගත්තා නම් පක්‌ෂයේ යම් පිරිසක්‌ ඔහු සමඟ එක්‌වෙන්නට තිබුණි. නමුත් පක්‌ෂය මෙවැනි අපහසුතාවයකට පත් නොවන්නට ඉඩ තිබුණි. අද ශ්‍රී ලංකාකාරයා මුහුණ දී සිටින්නේ අමුතු තත්ත්වයකටය. ගිය වර ජනාධිපතිවරණයේදී පාක්‌ෂිකයා වැඩ කරන ලද්දේ, අද පක්‌ෂයේ නායකත්වයට පත්වී සිටින මෛත්‍රී පරාජය කිsරීමටය. ඔහු පක්‌ෂ නායකයා වුවත් ඔහු වැඩ කරන්නේ එජාපයේ අගමැතිවරයෙකු පත් කරගෙනය. ජාතික ආණ්‌ඩුවක්‌ ලෙස ශ්‍රීලනිපය එක්‌වී සිටියත් බිම් මට්‌ටමේදී තවම ශ්‍රී ලංකා කාරයා සිටින්නේ පරාජ වීය. මේ පරස්‌පරයත් සමඟ පාක්‌ෂිකයාට දේශපාලනය කිරීමට සිදුවීම තරම් අපහසුතාවයක්‌ තවත් නැත.

එදා සිටම දිනේෂ්, වාසු , විමල්, ගම්මන්පිල සිටියේ ශ්‍රී ලනිපයත් සමඟය. පසුගිය මැතිවරණ සියල්ලේදීම මේ පිරිස ශ්‍රී ලංකාකාරයන්ගේ හොදම මිතුරෝ වී සිටියෝය. ශ්‍රී ලනිපයට නායකත්වය අමුතු තත්ත්වයක්‌ මතු කළ ද මේ අය මහින්ද ව අත හැරියේ නැත. ඔවුන් ශ්‍රීලනිපය ලෙස පිළිගත්තේ පක්‌ෂය හැරදා ගොස්‌ ජනාධිපති පුටුවේ ආනුභාවයෙන් පක්‌ෂයේ නායක පුටුවේ වාඩිගත් මෛත්‍රී නොව පක්‌ෂයේ නායකකම අවසානය තෙක්‌ම දරාගෙන සිටි මහින්දය. මහින්ද සමඟ පෙළ ගැසුණේ දිනේෂ්, විමල්, වාසු, ගම්මන්පිල යන හතර දෙන පමණක්‌ නම් මහින්ද මේ තරම් බලවේගයක්‌ බවට පත්වන්නේ නැත. නෛතික ලෙස ශ්‍රී ලංකාකාරයා අමුතු හිරවීමකට ලක්‌වී සිටියේය. එසේම පක්‌ෂය තුළ මහින්ද ද Êඅමුතු හිරවීමකට ලක්‌වී සිටියේය. ශ්‍රීලනිපයට එරෙහිව ඡන්දය ඉල්ලූ මෛත්‍රී පක්‌ෂ නායකත්වයට පත්වීමත් සමඟ ඔහුගේ ප්‍රතිවාදියා වූ මහින්දට තැනක්‌ අහිමිවීම අමුතු කතාවක්‌ නොවේ. මෙතැන අමුත්ත ඇත්තේ තමන් එදා විපක්‌ෂයේ අපේක්‌ෂකයා ලෙස පිල් මාරු කලා සේම ජයග්‍රහණයෙන් පසු යලිත් පක්‌ෂ නායකකම ට මෛත්‍රී මාරු වීමය.මේ නිසා මහින්ද වෙනුවෙන් පෙනී සිටිය යුතු වුවත් පක්‌ෂ නායකත්වයේ මහින්ද විරෝධී භාවය නිසා එසේ පෙනී සිටින්නේ කෙසේදැයි පාක්‌ෂිකයාට ප්‍රශ්ණයක්‌ විය. දිනේෂ්,විමල් ඇතුළු පිරිස මහින්ද වෙනුවෙන් වේදිකාව ඉදිකරන විට ශ්‍රී ලංකාකාරයන් පොදි කකා එතැනට එන්නේ මේ අර්බුදකාරී තත්ත්වය තුළ තම මතය කියාපෑම සඳහා එය තෝතැන්නක්‌ වන නිසාය.

මේ වේදිකාව දිනේෂ්, විමල් ඇතුළු පිරිසගේ වුවමනාවක්‌ ලෙස මෛත්‍රී පිලේ සමහරු හදුන්වා දෙමින් තිබේ. ඔවුන්ට අනුව පිට පක්‌ෂ කිහිපයක්‌ එකතු වී ශ්‍රීලනිපය කැඩීම සඳහා කරගෙන යන කුමන්ත්‍රණයක්‌ ලෙස මෙය පෙන්වා දිය හැකිය. පළමුවෙන්ම ඇසිය යුත්තේ නුගේගොඩින් පටන් ගත් එම රැස්‌වීම් මාලාවට මුල සිටම ශ්‍රීලංකාකාරයන් සහභාගී වූයේ ඇයි කියාය. එදා එම පිරිස රැවටීමකට ලක්‌වූවා නම් එන්න එන්නම ශ්‍රී ලංකා කාරයන් ඒ සඳහා වැඩිවැඩියෙන් සහභාගී වෙන්නේ ඇයි ...? විශේෂයෙන්ම ගමේ මූලික පක්‌ෂ නියෝජිතයාගේ සිට මහා ඇමතිවරු, හිටපු කැබිනට්‌ ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදි පක්‌ෂයේ සැම ස්‌ථරයකම බහුතරයක්‌ මේ සඳහා සහභාගී වන්නේ ඇයි ...? දිනේෂ්, විමල් ඇතුළු පිරිසට රැවටීම නිසාද...? නොඑසේ නම් ඔවුන් තමන්ගේ වුවමනාව ඉෂ්ට කරන නිසාද...?

මෛත්‍රී පාර්¨ශ්වය විසින් පක්‌ෂයේ වුවමනාව ඉටු කරන්නේනම් මේ පිරිස එතැනට යනවා මිසක වෙන තැනකට යන්නේ නැත. ඇත්තටම මේ වනවිට ශ්‍රීලනිපයේ මතු වී තිබෙන ප්‍රශ්ණය වී ඇත්තේ මහින්ද නොසලකා ගේම ගැසීමට යැමය. පක්‌ෂය කඩනවෝ ....යෑයි කියමින් කෑගසන්නේ නැතුව මහින්දට පක්‌ෂයේ නියම තැන දෙනවා නම් මේ ප්‍රශ්න කිසිවක්‌ ඇති වන්නේ නැත. මහින්දට මහා මැතිවරණයේදී අගමැති අපේක්‌ෂකකම දෙනවා නම් සියලුම ප්‍රශ්න එතැනින් නිවාරණය වේ.

මනෝඡ් අබයදීර

[දිවයින ]

1/02/2015

ජාතික - විජාතික සටනක්‌...

කතෘ:යුතුකම     1/02/2015   No comments

දෙමළ සන්ධානය හා හකීම් ඇතුළු මුස්‌ලිම් කොංග්‍රස්‌ නඩය මෛත්‍රීපාලට සහය දැක්‌වීමට ඉදිරිපත්වීම, එම පෙරමුණට තලමල පීදුනා බඳු කටයුත්තක්‌ වෙමින් පවතින බව පෙනේ. තමන් බෙදුම්වාදී නොවන බව කීම සඳහා සිරිසේන පාර්ශ්වය නොයෙක්‌ කතා ගොතමින් සිටියද සියලු බෙදුම්වාදී කල්ලි දැන් එකතු වී සිටින්නේ සිරිසේන වටාය.

පොංගු තමිල් උත්සවයන්හිදී ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කළ මනෝ ගනේෂන් සිරිසේනගේ සහයෝගිතා කණ්‌ඩායමේ සිටියි. හැමදාමත් බෙදුම්වාදයට දරදිය ඇද්දා වූ වික්‍රමබාහු ද සිරිසේන සමඟය.

එජාපය සිරිසේනගේ ප්‍රධාන පාර්ශ්වකරුවෙකි. 2001 මහ මැතිවරණය සමයේදී රනිල් - ප්‍රභා සමඟ රහසිගත ගිවිසුමක්‌ ඇතැයි අනිත් පාර්ශ්වය චෝදනා කරන විට එජාපයෙන් පුවත්පත් දැන්වීමක්‌ පළ කළේය. එවැනි රහසිගත එකඟතාවක්‌ තමන් එල්. ටී. ටී. ඊ. ය සමඟ නැති බව රනිල් වික්‍රමසිංහ, ධම්මපදයේ අත තබා දිවුරා කියන අයුරු එම දැන්වීමෙන් නිරූපණය විය. එසේ කියූ රනිල් 2001 දෙසැම්බර් මාසයේදී බලයට පත්වී, 2002 පෙබරවාරි වන විට එළිපිටම ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කළේය. උඩරට ගිවිසුම මගින් සටනකින් තොරව මුළු සිංහලයම ඉංග්‍රීසීන් අත්පත් කරගත්තා සේ, ඊළම සඳහා අවශ්‍ය සමස්‌ථ පරිසරයම එල්. ටී. ටී. ඊ. ය එමගින් අත්කර ගැනීමට සමත් විය. හමුදා බුද්ධි අංශ සාමාජිකයන් මහ දවාලේ කොළඹදීම එල්. ටී. ටී. ඊ. පිස්‌තෝලකරුවන් විසින් මරා දමන්නට පටන් ගත්තේ මේ කාලයේදීය. එහෙම කරන ලද එජාපය, මහින්ද විසින් එල්. ටී. ටී. ඊ. යට එරෙහිව යුද්ධ කරන විට කකුලෙන් අදින්නට කළ හැකි සෑම දෙයක්‌ම කළේය. මාවිල්ආරු සටන ඇරඹුණු මොහොතේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ජලයට රණ්‌ඩුවීම අනවශ්‍ය කටයුත්තක්‌ බවය. යුද්ධය නිමා වූ පසු යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජාත්‍යන්තරය කරන ලද බලපෑමේදී රනිල් ප්‍රමුඛ එජාපය සිsටියේ ජාත්‍යන්තරය පැත්තේය. ද. අප්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රම්පෝසා ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් පැමිණි විට විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහව ද මුණගැසිණි. ඒ මොහොතේ රම්පෝසා වෙත රනිල් ප්‍රකාශ කළේa 'ජාත්‍යන්තර පරීක්‍ෂණය' ඉදිරියට ගෙනයැමේ වැදගත්කම ගැනය. මෙසේa බෙදුම්වාදයට නොපිරිහෙලා සේවය කළ එජාපය පමණක්‌ නොව බෙදුම්වාදයට හැම අතින්ම 'යුතුකම්' ඉටු කළ චන්ද්‍රිකා ද මෛත්‍රී සමඟය. මෙසේ බලන විට සිරිසේන සමඟ මුල සිටම නොසිටියේ මුස්‌ලිම් කොංග්‍රසය පමණය.

රාවෆ් හකීම් යනු ප්‍රභාකරන් සමඟ ගිවිසුමක්‌ අත්සන් කරන ලද එකම පක්‍ෂ නායකයාය. එපමණක්‌ නොව උතුරේ ඊළම පිහිටුවන අතරේ, නැගෙනහිර වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඇතිකර ගැනීම හකීම්ලාගේ වුවමනාව විය. ඒ වුවමනාව ඇතුළත් කර සිය යෝජනාවලිය සකසා හකීම්ලා ප්‍රධාන ජනාධිපති අපේක්‍ෂකයන් දෙදෙනා වෙතම ඒ යෝජනා යෑවුවද මහින්ද රාජපක්‍ෂ එම යෝජනා ප්‍රතික්‍ෂේප කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රවෆ්ලා එය පිළිගත් සිරිසේනට සහය දීමට ඉදිරිපත් විය.

මේ සියල්ල කේන්ද්‍ර කර බලන විට සිරිසේනලා අද මෙහෙයුම්කරුවන් වී සිටින්නේ, බෙදුම්වාදයේ අන්තේවාසිකයෝය. 2009 දී මේ බලවේග සියල්ල සිටියේ රනිල් සමඟය. 2010 දී ෆොන්සේකා සමඟය. දැන් 2015 දී සිරිසේන සමඟය.

දිනාගත් ජයග්‍රහණය සිරිසේන ලවා ආපසු හැරවීම මෙම බලවේග සිරිසේන පිටුපසින් සිටීමේ ප්‍රධාන වුවමනාවය.

සිහල උරුමයේ එක කොටසක්‌ සිරිසේන සමගින් සිටියාට මේ බලවේග සියල්ල එමගින් පමණක්‌ යටපත් වන්නේ නැත. සිහල උරුමයේ එක්‌ කොටසක්‌ සිරිසේන සමඟ සිටියාට, සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඒකීය රාජ්‍ය සුරකින බව, ඊළාම්වාදය, බෙදුම්වාදයට, ඉඩ නොතබන බව මෛත්‍රී පාලනයක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල් කරන්නට එම පිරිසට නොහැකි විය. වහාබ් වාදය ගැන, හලාල් ගැන විශාල වශයෙන් හඬ තැලූ සිහල උරුමයේ පිරිස අද සිටින්නේ තමන් එදා වහාබ් රජවරුන් ලෙස දොaෂදර්ශනයට ලක්‌ කළ මුස්‌ලිම් අන්තවාදීන් සමඟය. ඊළාම්වාදයට එරෙහිව කතා කළ හෙළ උරුමය අද සිටින්නේ, සියලු ඊළාම් ගැත්තන් සමඟය. බෙදුම්වාදී මතය හෙළ උරුමයෙන් යටපත් කරනවා වෙනුවට සිරිසේන සටනේදී යටපත් ඇත්තේ සිහල උරුමයේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තියය. වෙනකක්‌ තබා අද සිහළ උරුමයවත් තමන්ගේ බෙදුම්වාදී විරෝධී ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන්නේ නැත. මේ නිසා සිරිසේන වටා ගොනු වී ඇති බෙදුම්වාදී පොකුරේ එක මලක්‌ වනවාට අමතරව කිසිදු භූමිකාවක්‌ සිහල උරුමයට ද හිමි වී නැත.

සිංහල ජනතාව, සියල්ල අතහැර බැලිය යුත්තේ මේ දෙසය. මේ පිරිසගේ වුවමනාව වී තිබෙන්නේ මේ රටේ සිංහල විරෝධී බලවේගයක්‌ නිර්මාණය කර බෙදුම්වාදයට අවශ්‍ය න්‍යාය පත්‍රය සකසා දීමය.

එතැනදී මෛත්‍රීපාල නිකම්ම නිකං ඉත්තකු වන්නේ නැත. යුද ජයග්‍රහණයට උරදුන් සරත් ෆොන්සේකා ඉතාම කෙටි කාලයක්‌ තුළ විජාතික බලවේගවලට හසුවූයේය. එවැනි පරිසරයක්‌ තුළ බෙදුම්වාදී දිශානතියට මෛත්‍රීපාල පහසුවෙන් හසුවෙනවා හැරෙන්නට ඔහුට වෙන කාර්යයක්‌ නොමැත. එසේ හසු නොවන්නට මෛත්‍රීපාල තුළ වුවමනාවක්‌ ඇත්නම් ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඒ ගැන සඳහනක්‌ තිබිය යුතුය. අවම වශයෙන් ඔහු තම හවුලේ මාතෘකාවක්‌ බවට බෙදුම්වාදී විරෝධය පත්කරගත යුතුය.

ආණ්‌ඩුව තමන්ගේ පළමු තැන ලෙස හඳුනාගෙන තිබෙන්නේ බෙදුම්වාදයට එරෙහිව සිටින බවය. එසේ නම් එයට පිළිතුරක්‌ ලෙස මෛත්‍රීපාලට අවම වශයෙන් ඒකීය රාජ්‍ය සහතික කළ නොහැක්‌කේ ඇයි? 2005-2010 යන තීරණාත්මක ජනාධිපතිවරණයන්හිදී බෙදුම්වාදය සිටි පැත්ත පරාජයට පත්වී තිබේ. ජයග්‍රාහකයා කවුදැයි යන්න සෙවීමට කරන සමීක්‍ෂණ ද අභිබවා ජ්‍යෙdතිෂය පැමිණ තිබෙන විට ඒ ගැන පෙර ඇගයුමට බෙදුම්වාදය ද යොදාගත හැක. 2005, 2010 දී පමණක්‌ නොව ඊට පෙර සිටම බෙදුම්වාදය තීරණාත්මක වූ මැතිවරණවලදී බෙදුම්වාදී පිල පරාජයට පත්විය.

අවම තරමෙන් මේ ගැන සිතාවත් මෛත්‍රීපාලට බෙදුම්වාදයේ සිරකරුවෙක්‌ නොවෙන්නට තිබිණි.

කේ. පී., කරුණා, පිල්ලෙයාන් වැනි හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් ආණ්‌ඩුව සමඟ සැපට සිටිනවා යෑයි එක ඇඟිල්ලක්‌ ආණ්‌ඩුවට දික්‌කරන පිරිස තමන් වෙත ඉතිරි ඇඟිලි හතරම හරවාගෙන බෙදුම්වාදයේ සියලු බලවේග සමඟ සිටියි.

කරුණා එල්. ටී. ටී. ඊ. යේ නැගෙනහිර නායකකමෙන් මිදී පලා ආවේ එල්. ටී. ටී. ඊ, ය විනාශ කිරීමට ආණ්‌ඩුවට සහාය දීමටය. ඒ මොහොතේ එල්. ටී. ටී. ඊ. වාදීන් එක හඬින් කීවේ කරුණාගේ කණ්‌ඩායම නිරායුධ කළ යුතු බවය. එල්. ටී. ටී. ඊ. ය කැබලි කරමින් කරුණා ලබාදුන් සහය නිසා ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයට ලක්‌වූවකි කරුණා. අනික්‌ අතට කරුණා, එල්. ටී. ටී. ඊ. යෙන් වෙන්වීමේ ජයග්‍රාහී බව මීට පෙර සෑම අවස්‌ථාවකදීම අත්කර ගත්තේ එජාපයය. කරුණාව එල්. ටී. ටී. ඊ. යෙන් කැඩුවේ තමන් බව එජාපය ප්‍රසිද්ධියේම කීවේය. ඒ කරුණා අම්මාන් අද ආණ්‌ඩුව සමඟ ඊළාම් මතය අතහැර එල්. ටී. ටී. ඊ. විරෝධීව සිටිනා විට වැඩිම චෝදනා කරන්නේ ද ඒ පිරිසය.

කේ. පී., මැලේසියාවේ සිට කුදලාගෙන ඇවිත් ඔහු එල්. ටී. ටී. ඊ. යේ හතුරකු බවට පත්කළේ හමුදාවය. කේ. පී. පිළිබඳ විදෙස්‌ගත ඊළාම්වාදීන් දක්‌වන වෛරී ආකල්පයම ඔහුගේ අද භූමිකාව කියාපායි. එසේ වන අතරේ කේ. පී. එදා නියෝජනය කළ මතය අද දරනා පිරිස සිටින්නේ ආණ්‌ඩුවට චෝදනා කරන අය සමඟය.

මේ නිසා ඊළාම්වාදී පිල හඳුනාගැනීමට වැඩි අපහසුතාවයක්‌ ජනතාවට නැත.

-මනෝඡ් අබයදීර

 දිවයින
යුතුකම සංවාද කවය

12/10/2014

ඒ ලේකම්ට මේ ලේකම්

කතෘ:යුතුකම     12/10/2014   No comments
මහින්දගේ සැලුන් දොර කටු කම්බි ගසා වසා ඇතැයි එජාපය කීවා වේලාසන වැඩි බව පෙනේ. තිස්‌ස අත්තනායක එජාපයේ මහ ලේකම්කම අතහැර ගියේ, මේ කතාව කියා දින කිහිපයක්‌ ගතවන විටය. ඇසට ඇසක්‌ දතට දතක්‌ න්‍යායෙන් මහලේකම්ට මහ ලේකම් හුවමාරු වී තිබේ. මේ මාරුවීම් සමඟ කතා ගොඩක්‌ ද ප්‍රචාරය වී තිබේ.

තිස්‌ස ආණ්‌ඩුවට යන විට සමහරු ඇසුවේ තිස්‌සට කීයක්‌ දුන්නාද කියාය. එහෙම අහන අය මෛත්‍රී විපක්‍ෂයට යන විට එහෙම ප්‍රශ්න අහන්නේ නැත. තිස්‌ස කියන්නේ 29 වතාවක්‌ පරාජය වූ පක්‍ෂයක ලේකම්ය. මෛත්‍රී කියන්නේ ලේකම්කමට අමතරව ඇමැතිවරයෙකි. එහෙම බලනකොට, තිස්‌සට ලංසුවක්‌ තැබුවා නම් මෛත්‍රීට ඊට වඩා ලොකු ලංසුවක්‌ තැබිය යුතු වෙයි. අනික්‌ අතට එජාපයෙන් කවුරුන් හෝ ආණ්‌ඩුවට ආවොත්, එහි ගණන් කියන්නට එජාපයේ අය පසුබට නොවෙති. එයින් පෙනෙන්නේ එජාප පාක්‍ෂිකයන් කරමත තබාගෙන විශ්වාස කරන චරිත ලංසුවලට යට වෙන බවද?

මෛත්‍රීපාල එජාපයට එන්නටත් පෙර සිය පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂත්වය ඔහුට පරිත්‍යාග කිරීමට එජාප පාක්‍ෂිකයන්ට සිදුවිණි. වෙන එකක්‌ තබා තමන්ගේ කැමැත්ත පොදු අපේක්‍ෂකයකු ලෙස සිරිසේනට කියා එජාපය කියන්නට පෙර, එය ප්‍රකාශ කළේද සිරිසේන විසින්මය. පක්‍ෂයක්‌ මෙවැනි කැපකිරීමක්‌ කරනවා නම් එය හොර රහසේ කරන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්‌ඩල පාර්ලිමේන්තු කණ්‌ඩායම හා අවසානයේ මහා සම්මේලනයකින් ද අනුමැතිය ගත යුතුව තිබිණි. දැන් එජාපය තිබෙන තත්ත්වය අනුව එහා පැත්තෙන් අපේක්‍ෂකයන් ගැනීම සාමාන්‍ය තත්ත්වයකට පත්ව ඇති හෙයින් දෝ ඒ ගැන එසේ කරන ක්‍රමවේදයක්‌ නැතිසේය. අඩුම තරමේ තමන්ගේ පක්‍ෂය සහාය දෙන අපේක්‍ෂකයා සමඟ ගිවිසුමකවත් අත්සන් කළේ නැත. ජාතික හෙළ උරුමය පවා මෛත්‍රීපාලට සහයෝගය දුන්නේ ගිවිසුමක්‌ අත්සන් කරය. ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් හයර් කිරීම එජාපයට දැඩි සාමාන්‍ය තත්ත්වයක්‌ වෙමින් තිබෙන නිසාදෝ එහෙම දේවල් කෙරෙන්නේ නැත. සජිත් ප්‍රේමදාස කිහිපවරක්‌ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ "නායකතුමා ඉල්ලන්න නැත්නම් මම ඉල්ලන්නම්" කියාය. එහෙම කියපු සජිත් පවා දැන් කරන්නේ හයර් කරන ලද මෛත්‍රීපාලට සහාය ලබාදීමය. 

ආණ්‌ඩුවට තිස්‌ස පැන්නේය. එසේ වූවාට තිස්‌ස ජනාධිපති අපේක්‍ෂක කරන්නට ආණ්‌ඩුව ගත්තේ නැත. ආණ්‌ඩුවේ අපේක්‍ෂකයාට සහාය දෙන කෙනෙක්‌ එනවාට අමතරව වෙනත් දේවල් තිස්‌සට එතැනදී හිමිවන්නේ නැත. ආණ්‌ඩුව තිස්‌ස තබාගෙන සිටින්නේ නියම තැනින්ය. වරක්‌ එජාපයේ නියෝජ්‍ය නායකයා වූ කරු ජයසූරිය ආණ්‌ඩුවට ගියේය. දැන් එහි මහලේකම් ගොස්‌ තිබේ. එසේ වුවත් ආණ්‌ඩුව ඔවුන් තියාගත්තේ තරු රැසේ එක්‌ තරුවක්‌ ලෙසය. ඒත් ආණ්‌ඩුවෙන් ගිය මෛත්‍රී එජාපය විසින් සිය හදවත බවට පත්කරගෙන තිබේ. එජාපයේ සියලු දෙනා ඒ සඳට පාළු මකනා තරු බවට පත්වී තිබේ.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉල්ලා, එයට සහාය දෙන චරිතයක්‌ බවට මෛත්‍රී පත්කර ගත්තේ නම් එතැනදී තත්ත්වය නිවැරැදිය. මෙතැන සිදුවී තිබෙන්නේ අතිරේක ක්‍රීඩකයා, කණ්‌ඩායම් නායකයා කර, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඔහුගේ අවශ්‍යතාවයට හැසිරවීමය.

දෛවයේ සරදම වන්නේ පච මල්ල ගෙදර යවමු කියා රට වටා පෝස්‌ටර් ගැසූ එජාපයම, චන්ද්‍රිකාව මුදුන් කරගෙන මෛත්‍රීට සහාය දීමය. වසර එකොළහක්‌ පුරා එජාපය විසින් සියලු චෝදනා ගොනු කළේ චන්ද්‍රිකාට එරෙහිවය. ආණ්‌ඩුවට අද චෝදනා එල්ල කරන්නේ කටකතා මගිනි. කොහේ හෝ ඈත ගමක කුඹුරක්‌ ගොඩ කළත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අසන විපක්‍ෂ මන්ත්‍රීවරු, ආණ්‌ඩුව කළා යෑයි කියන කිසිම 'හොරකමක්‌' ගැන සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍රයක්‌ පාර්ලිමේන්තුවේදී ගොනු කර නැත. එවැනි සංවිධිත ආකාරයෙන් චෝදනා පත්‍ර ගොනු කරමින් එජාපය විසින් දූෂණ හෙළි කළේ චන්ද්‍රිකාගේය. එහෙම චන්ද්‍රිකාව කර තියාගෙන යන්නේ එජාපයමය. 

එජාපය විසින් ආණ්‌ඩුවට නිතරම චෝදනා කළේ ජනතාවට වේලක්‌ කන්න බැරි තරමට බඩු මිල වැඩියි කියාය. එහෙම කියාගෙන යන අතරේ 'ඇමැතිගේ මල්ලිගේ සහල් මාෆියාව' ගැන ද එජාපය කතා කළේය. ජීවන බර වැඩිවීමට එක හේතුවක්‌ ලෙස සඳහන් වූයේ එයය. ඒ චෝදනාවට ලක්‌ වූ මෛත්‍රී දැන් එජාපයේ ද සහාය දෙන අපේක්‍ෂකයාය. දැන් ඒ ගැන කතාවක්‌ ඒ පැත්තෙන් නැත.

ඒ වෙනුවට දැන් කතාව තියෙන්නේ ආණ්‌ඩුවේය. එදා සහල් මාෆියාව කතාව කියද්දී, නිශ්ශබ්දව සිටි ආණ්‌ඩුව අද ඒ කතාව කියන විට, එජාපය අහන්නේ ඇයි එදා පියවරක්‌ නොගත්තේ කියාය. කෙනෙක්‌ ගියාට පසු ෆයිල් එළියට දාන්නේ මොකද කියා, ආණ්‌ඩුවට චෝදනා එල්ල වන්නේ මේ පසුබිමෙහිය. "ඉන්නකොට කොයි වරදක්‌ කළත් රකිනවා. ගිය ගමන්ම ෆයිල් එළියට දානවා" මෙහෙම කියන එජාපයට තමන් එදා එළියට දාපු ෆයිල් අද සඟවාගෙන කතා කරති. ආණ්‌ඩුව විසින් ගිය ගමන් ෆයිල් එළියට දැමීමත්, තමන්ගේ පැත්තට ආ පසු තමන් එතෙක්‌ එළියට දමා තිබූ ෆයිල් විපක්‍ෂය හැංගීමත් දෙකම එකමය. ඒ දෙකෙන්ම කරන්නේ එකම වැඩේය.

මෛත්‍රී ගිය පසු ආණ්‌ඩුව ඔහුට චෝදනා කරන විට එජාපය එයට පිළිතුරු දෙන්නේ 'ඉද්දී ඕවා කිව්වේ නැත්තේ ඇයි කියාය" එහෙම කියන එජාපය දයාසිරි ආණ්‌ඩුවෙන් ගිය විට හොඳ පදමට කතා කිව්වේය. කරු ඇතුළු දහහත්දෙනා ආණ්‌ඩුවට ගිය ගමන්ම එජාපය කිව්වේ, කෝප් වාර්තාවෙන් හෙළි වූ දූෂණවලින් ගොඩ යන්නට ඔවුන් එසේ ගිය බවය. කොහොම වුණත් තිස්‌ස ගැන එජාපය කුමක්‌ කියනු ඇද්දැයි ඉදිරියේදී බලා ගත හැකි වනු ඇත.

ෆොන්සේකාගේ පක්‍ෂයේ නියෝජ්‍ය නායක කැටගොඩත් ආණ්‌ඩුවට එක්‌විය. ෆොන්සේකාගේ පක්‍ෂයට, අනෝමා හැරුණු විට ඉතිරිව සිටි තත්ත්වයක්‌ තිබූ එකම පුද්ගලයා කැටගොඩය. ඔහුත් ආණ්‌ඩුවට ගිය විට ෆොන්සේකාගේ පක්‍ෂය පවුලේ පක්‍ෂයක්‌ බවට නිතැතින්ම පත්වේ.
ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා වූයේ 2010 දීය. ඊළඟ ජනාධිපතිවරණය වන විට ඔහු ලක්‌වී ඇති ඉරණම පැහැදිලිය. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මෛත්‍රීට මෙන් නොව, ෆොන්සේකා වෙත සියලු බලවේග එකට සහය දුන්නේය. එජාප, ජවිපෙ, දෙමළ සන්ධානය එක වේදිකාවේ සිට ෆොන්සේකාට සහාය දුන්නේය. ඒ ෆොන්සේකා අද වන විට අඹුසැමි පක්‍ෂයක්‌ බවට පත් වී තිබීම, අද පොදු අපේක්‍ෂකයාට හොඳ ආදර්ශයකි. ඇත්තේ යැම් ඊම් පමණයි කියා සරත්චන්ද්‍රයන් කිව්වා සේ, දැන් දේශපාලනයේ බහුලව ඇත්තේද යැම් ඊම්ය. ඒ යැම් ඊම් සියල්ලම පෞද්ගලික කාරණාවලින් එහාට ගොස්‌ පොදු ජනතාවගේ මනස හසුරුවන තැනකට යැම අමාරුය. නමුත් ඒ යැම් ඊම්වලින් පක්‍ෂ අමාරුවේ ද වැටෙනාකාරය නම් දැන් ඇස්‌පනාපිටම පෙනේ. ඒ ලේකම්ට මේ ලේකම් ගැනීම ගැන ද කල්පනා කළ යුත්තේ එතැන් සිටය.

-මනෝඡ් අබයදීර
(දිවයින) 

11/30/2014

බම්බුව තමයි බම්බුව

කතෘ:යුතුකම     11/30/2014   1 comment
එජාපයෙත්, ශ්‍රී ලනිපයෙත් ලේකම් තනතුර දැරීම, දේශපාලන අනාගතය අවාසනාවන්ත කර ගැනීමක්‌ බව කාලයක පටන් තිබු කතාවකි. ඒ කතාවේ ජීවමාන සාක්‍ෂියක්‌ බවට මෛත්‍රිපාල සිරිසේන පත්වෙමින් තිබේ.

මෛත්‍රිපාලට පැතිමාරුව සඳහා බලපෑ ප්‍රධාන කාරණය ලෙස සැලකෙන්නේ ඔහු සතුව තිබූ අගමැතිකම පිළිබඳ මහත් බලාපොරාත්තුවය. එය හිමි නොවීම සම්බන්ධයෙන් ඇතිවූ කළකිරීම, මෛත්‍රිපාලගේ ඉවසීමට තිත තැබුවේය. එසේනම් මෛත්‍රිපාලගේ ඉලක්‌කය විය යුතුව තිබුණේ අවම වශයෙන් අගමැතිකම දිනා ගන්නා තැනකට යැමය. නමුත් මෛත්‍රිපාලගේ පිම්ම විසින් ඔහු එතැනට ගෙන යනවාදැයි ප්‍රශ්නයක්‌ තිබේ.

පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම මෛත්‍රිපාල පොරොන්දු වූයේ, තමන් ජනාධිපති වුවහොත් දින සීයක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා යනුවෙනි. එසේම අගමැති රනිල් වික්‍රමසිංහට දෙන බව මෛත්‍රිපාල ප්‍රකාශ කළේය. එසේ නම්, මේ තරම් පිම්මක්‌ ගැසූ මෛත්‍රිට ලැබෙන්නේ කුමක්‌ද? අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසූ පරිදි එය, නාමමාත්‍රික ජනාධිපති පදවිය වෙන්නට ඇත. නමුත් එයට අයිතිකාරිනියක්‌ සිටියි. මෛත්‍රි මෙහෙයුමේ පිටුපස සිටි චන්ද්‍රිකා කුමාරතුංගට එම තනතුර හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වුවහොත් යළිත් මෛත්‍රිපාලට සිදුවන්නේ ඇමැති තනතුරක්‌ දරාගෙන සිටින්නටය.

අගමැතිකම ලබා නොදුන් නිසා ගිය මෛත්‍රි ඇමැතිකමකින් සෑහෙනවා නම් එතැන කාරණා දෙකක්‌ තිබේ. එකක්‌ නම් ඔහු බලයට පත් වුණහොත් පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියූ කිසිවක්‌ නොකරන බවය. ජනාධිපති ක්‍රමය දින 100 කින් අහෝසි කිරීම, යන රැල්ල සඳහා ගැසූ බොරුවක්‌ ලෙස එවිට පත් වේ. කොහොමටත් මෛත්‍රිගේ නායිකාව කළේ ද ඒ දෙයමය. චන්ද්‍රිකා සමඟ එක මේසයක සිඳ ජනාධිපති තනතුර අහෝසි කරන බවට දින ගණන් සහිතව කීමම විහිළු කතාවකි. ජනාධිපති තනතුර අහෝසි කරන බවට දාතම සහිතව, දින වකවානු ඇතිව රටට පොරොන්දුවක්‌ දුන් චන්ද්‍රිකා ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. මෛත්‍රී සමග හිඳ, ඊට චන්ද්‍රිකා පිළිතුරක්‌ දුන්නේය. ජනාධිපති තනතුර අහෝසි කිරීම සඳහා සහාය දෙන ලෙස, තමා විපක්‍ෂයෙන් වදින්නේ නැතිව පමණක්‌ සහාය ඉල්ලූ බව ඇය පැවසුවාය. එජාපයේ ද සහය ඇතිව එන පොදු අපේක්‍ෂකයාගේ නායිකාව, එහි දෝෂය ද දැමුවේ එජාපයටය.

චන්ද්‍රිකා පාලන බලය හෙබවූ කාලය තුළ එවැනි ලෙස විධායක බලය අහෝසි කරන්නට උත්සාහ කළ මගක්‌ කිසිවකු දෙන්නේ නැත.
පළමුවරට ඒ ගැන දැන ගත්තේ එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. මේ නිසා මෛත්‍රිපාල ද තම නායිකාවගේ අඩි පාරේ යමින්, ජනාධිපති තනතුර දින සියයෙන් අහෝසි කරන බව කියන්නේ, බොරුවට විය යුතුය. 

එය ඇත්තක්‌ නම්, මෛත්‍රිපාල සෑහීමට පත් වන්නේ ඇමැතිකමකිනි. මේ ආණ්‌ඩුවේ දිගටම සිටියා නම් ඒත් මෛත්‍රි, ඇමැතිය. එසේ නම් මෛත්‍රි මේ පෙරළිකාර අන්තය සොයා ගියේ, තමන් දිගටම ඇමැතිකමේ සිට හෝ තමන්ට අගමැතිකම නුදුන් ආණ්‌ඩුවෙන් පළිගන්නටය. එහෙම බලනකොට මෛත්‍රිගේ පොරොන්දුව ඇත්ත නම් මෛත්‍රි කර ඇත්තේ පළිගැනීමකි. එහෙම නැත්නම් මෛත්‍රී කියන්නේ බොරුවකි. මෛත්‍රිපාල උදා කරන්නට සැරසෙන මෛත්‍රී පාලනයේ තත්ත්වය, ආරම්භක අවස්‌ථාවකදීම ද්වේශය හොර බොරුව මත පදනම් වූවක්‌ බව ඉන් පෙනේ.

සමහරු අහන්නේ. මෛත්‍රිට අගමැතිකම දුන්නා නම් මේ ප්‍රශ්නය ඉවර බවය. මෛත්‍රිට ආණ්‌ඩුව අගමැතිකම නුදුන්නේ ඇයි...?

මහින්ද රාජපක්‍ෂ මුල්වරට 2005 දී ජනාධිපති වූ විට අගමැතිකම දුන්නේ රත්නසිරිටය. ඒ රත්නසිරි හිටපු අගමැතිවරයෙක්‌ වූ නිසාය. ඊළඟට මහින්ද අගමැතිකම දිය යුතුව තිබුණේ, පක්‍ෂයේ සිටි ඊළඟ ජ්‍යෙෂ්ඨයාටය. එසේ නොමැතිව කනිෂ්ඨයකුට අගමැතිකම දුන්නා නම්, ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙකු මහින්ද සමග තරහ වෙන්නට ඉඩ තිබුණි. ශ්‍රී ලනිපයේ දහතුන් වෙනි සාමාජිකයා වූ දි. මු. ට අගමැතිකම මහින්ද දෙන්නේ ඒ තර්කය අනුවය. මෛත්‍රිට අගමැතිකම දෙන්න නම්, ඒ සඳහා දි. මු ජයරත්නව තනතුරෙන් ඉවත් කළ යුතු වෙයි. එතැනට යැම සඳහා ආණ්‌ඩුව කිහිපවරක්‌ම පරිශ්‍රමය දැරූ නමුත් දි. මු. ඊට කැමැත්තක්‌ දක්‌වා තිබුණේ නැත. දි. මු. ඉවත් කර, යම් හෙයකින් ඔහුට සාමාන්‍ය අසනීපයක්‌ හෝ සෑදුනහොත් එහි තනි වරදකරුවා වන්නේ මහින්ද රාජපක්‍ෂ මිස, අගමැතිකම ඉල්ලා හඬාවැටුණු මෛත්‍රිපාල නොවේ. යම් හෙයකින් දි. මු. "පරිත්‍යාගය" කරන්නට කැමැති වුණා නම්, ඉන්පසුවද මෛත්‍රිපාල අගමැති කරන්නට යැම ප්‍රශ්නයකි. සාමාන්‍යයෙන් අගමැතිකමට එයාට පිටු පසින් තිබෙන තනතුර වන්නේ සභානායකකමය. අගමැති බණ්‌ඩාරනායක ඝාතනය වූ විට දහනායක අගමැති වන්නේ එසේය. ප්‍රේමදාස මිය ගිය විට විඡේතුංග ජනාධිපති විය. හිස්‌ වූ අගමැති පුටුවට රනිල් පත් වන්නේ, ඔහු එවිට සභානායක වූ නිසාය. මේ නිසා දි. මු. ගෙන් පසු අගමැති වන්නට, සාම්ප්‍රදායික ලෙස තිබුණේ නිමල් සිරිපාලටය. හිතුවක්‌කාරී ලෙස දි. මු. ඉවත් කර මෛත්‍රිපාලව අගමැති ලෙස පත් කළා නම් දි. මු. හා නිමල් සිරිපාල යන දෙදෙනාම අද මෛත්‍රිපාල කරන වැඩේ කරන්නට ඉඩ තිබිණි.

අනික්‌ අතට සියල්ල අතහැර "තරු පෞරුෂයකින්" යුත් අයෙක්‌ සිටියා නම් ඔහුට අගමැතිකම දෙන්නට පුළුවන. මහින්ද රාජපක්‍ෂ අගමැති වූයේ එලෙසය. ඔහු අගමැති කරන ලෙස රටම චන්ද්‍රිකාගෙන් ඉල්ලා සිටියේය. ඒ මහින්දගේ "තරු පෞරුෂය" හා එවැනි දෙයක්‌ මෛත්‍රිට තිබුණේ නැත. එය මෛත්‍රීට පමණක්‌ තිබූ අහිංසක බලාපොරොත්තුවක්‌ පමණි. වටේ සිටි අය හා විපක්‍ෂය සිදු කළේ ඒ "අහිංසක" බලාපොරොත්තුව, අංගුලිමාල දක්‌වා දික්‌ කර දීමය.

මෛත්‍රිට අගමැතිකම දීම ශ්‍රීලනිපයේද ලොකු බලාපොරොත්තුවක්‌ වී, මහින්ද එය ඉටු නොකළේ නම්, අද ශ්‍රී ලනිප පිරිස්‌ බොහෝ දෙනකු සිටිනු ඇත්තේ මෛත්‍රිටය. ඒත් තවම මෛත්‍රිට පිරිසිදු ශ්‍රී ලනිපකාරයකු ලෙස සිටින්නේ ඔහු පමණයි. රාජිත සේනාරත්න කොහොමටත් වැනි වැනි සිටි චරිතයකි. දුමින්ද ද සිය පියාට යළිත් මහ ඇමැතිකම නුදුන්නිසා, සිටියේ කෝපයකිනි. වරක්‌ ජනාධිපති මහින්ද, දුමින්දට කියා තිබුණේ ඉන්න බැරි නම් යන්න කියාය. එසේ කියූ කෙනෙකු මෛත්‍රී සමග එකතු වුණා කියා, ඔහුට අමුතු ආලෝකයක්‌ ලැබෙන්නේ නැත. රාජිත සේනාරත්න මේ ආණ්‌ඩුව සමග සිටියත් ඔහුගේ ප්‍රතිපත්ති අනුව සැලකෙන්නේ චන්ද්‍රිකා හෝ රනිල් මිස හී්‍ර ලනිපය නොවේ. ෆෙඩරල්වාදී රාජිත, කොහොමටත් නිතරම එහා මෙහා යන කෙනෙකි. මීරිගම වසන්ත සේනානායක මෛත්‍රී ළඟට ආවේ නැත්තේය. ඔහු මුලින්ම ගියේ ඔහු ඥතිකම තිබෙන්නේ සිරිකොතටය. ඒ නිසා ඒ ඵලදාව ද මෛත්‍රිට හිමි නැත. එම්. කේ. ඩී. එස්‌a. ගුණවර්ධන නම් අවුලක්‌ නැති ශ්‍රී ලනිප කාරයෙකි. එසේ වුවත් ඔහු ශ්‍රී ලනිපයේ පිරමීඩයේ පහළ තැනක නියෝජනයක්‌ මිස ඉහළ තැනක්‌ නොවේ. මෙහෙම බලන විට, මෛත්‍රිට පක්‍ෂව පක්‍ෂයේ සිට ඇත්තේ, එම්. කේ. ඩී. එස්‌. පමණ ද...? එසේ නම් ඉතිරි සියල්ල පාඩු කරගෙන, මෛත්‍රිට අගමැතිකම නොදීමට මහින්ද ගත් නිවැරැදි තීන්දුවක්‌ නොවේද?

දැනටමත් මෛත්‍රිපාල විසින්, විශාල කැපකිරීමක්‌" කර, ලබා ගන්නට හදන්නේ ඇමැතිකමක්‌ය. ඔහු ඉවසාගෙන සිටියා නම්, මහින්ද ලෙසටම කවදා හෝ ඔහුට ඉදිරියට ඒමට ශ්‍රී ලනිපය තුළ ඉඩක්‌ තිබුණි. දැන් ඒ සියල්ල අහවර වී තිබේ. ඒ මදිවාට තමන්ගේ දේශපාලන ජීවිතය පුරා, සතුරා ලෙස සැලකූ එජාපයට හේත්තු වී ඔවුන් සමඟ ඡන්දයත් කරන්නට මෛත්‍රි සිදුවී තිබේ. එජාප නායකයාව අගමැති කරන්නටද ඔහු පොරොන්දු වී තිබේ. එහෙනම් දැන් මෛත්‍රිට වරක්‌ කියූ ලෙස කැඩපත ඉදිරියට ගොස්‌ ඔහුටම කියාගන්නට ඇත්තේ, "බම්බුව තමයි බම්බුව" කියාය.
 
-මනෝඡ් අබයදීර - දිවයින



යුතුකම සංවාද කවය
www.yuthukama.com



11/16/2014

පොදු අපේක්‍ෂකයා සහ බලා සිටින ප්‍රේක්‍ෂකයා

කතෘ:යුතුකම     11/16/2014   No comments
පොදු අපේක්‍ෂක නාමාවලියේ දිග වැඩි වෙන්නට, වෙන්නට එයින් කියවෙන්නේ, පොදු එකඟතාවයක්‌ විපක්‍ෂය තුළ නැතිවීම සේම, ආණ්‌ඩු පක්‍ෂ අපේක්‍ෂකයාගේ ප්‍රබලභාවයයි.

18 වැනි සංශෝධනය රාජපක්‍ෂ ආණ්‌ඩුව විසින් ගෙන ආවේ දෙවැනි වාරයේ බලයට පත් වූ මුලදීමය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා රාජපක්‍ෂලා ලෑස්‌ති වී තිබුණේ කලින් ජනාධිපතිවරණය හමාර වෙනවාත් සමඟය. එජාපයට ද එවැනි ගණන් සෑදීමක්‌ තිබිය යුතුවම තිබිණි. එසේ වුවත් එජාපය සිටියේ වැනෙන තත්ත්වයකය. පක්‍ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඒ සඳහා කොහොමත්ම ඉදිරිපත් වනු ඇතැයි එජාපයේ අදහස වන්නට ඇත. 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකුට සහාය දීම නිසා යළිත් වතාවක්‌ ඒ දෙයම කරන්නට ඊළඟ වතාවේ එජාපය කටයුතු නොකරනු ඇතැයි කවුරුත් සිතන්නට විය. 2010 දී පොදු අපේක්‍ෂකයකු දමා පරාජයට පත්වන විටම එජාපය ඊළඟ වතාවේදී තමන්ගේ අපේක්‍ෂකයා පිළිබඳව සෘජු ප්‍රතිපත්තියක පිහිටා තිබෙන බව පාක්‍ෂිකයන් සේම අන් අය ද තේරුම් ගෙන සිටිනා ලදී.

1988 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයෙන් පසුව, ඡේ. ආර්. විසින් සිතියම සකස්‌ කරන ලද්දේ ඊළඟ ජනාධිපතිවරණය සඳහාය. ඒ වන විට රටේ තත්ත්වය එජාපයට නරක අතට කැරකී තිබිණි. ඒ අතරේ ඡේ. ආර්. තුළ තුන්වැනි වතාවට තරග කිරීමේ අදහස ඇති වී තිබුණත් අගමැති ප්‍රේමදාස විසින් ඡේ. ආර්. ගේ ගෙදර ගොස්‌ ඒ අදහස අතහැර දමන තැනට ඡේ. ආර්. ගෙන එන්නට සමත් වී තිබිණි.

එතැන් සිට ඡේ. ආර්. කල්පනා කළේ ප්‍රේමදාසට පක්‍ෂය ගොනු කර දෙන ආකාරයයි. අගමැති හෙවත් පක්‍ෂයේ දෙවැන්නා ලෙස ප්‍රේමදාස ගෙන එන අතරේම, තවත් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් පක්‍ෂයේ සිටියේය. ගාමිණී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි එජාපයට ප්‍රේමදාස තරම් ජ්‍යෙෂ්ඨ නොවුණාට ඔවුන් ඡේ. ආර්. ගේ ප්‍රියතමයන් වීම හා ඒ වන විට රට තුළ ජනප්‍රිය වීම විසින් පක්‍ෂයේ පිරමීඩයේ ඉහළ ස්‌ථානවල රැඳී සිටියෝය. ප්‍රේමදාස හා ඔවුන් අතර සම්බන්ධය සුහද නොවුණ ආකාරයක්‌ දුටු ඡේ. ආර්. ඒ සඳහා හොඳ උපායක්‌ යෙදවීය. පක්‍ෂ අභ්‍යන්තරයේ තිබෙන ගින්න, එතැනදීම නිවා දමා පාක්‍ෂිකයා වෙතත්, ජනතාවටත් එජාපයේ සියලු බලය ඒකරාශි කරන ලද අපේක්‍ෂකයා ලෙස ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට ඡේ. ආර්. ගේ මඟ වූයේ එජාපයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩලය හා පාර්ලිමේන්තු කණ්‌ඩායම එක්‌කර මැතිවරණ කමිටුවක්‌ නම් කිරීමය. එජාපයේ සමහර මන්ත්‍රීවරු සිතුවේ මැතිවරණ කමිටුවේ ඡන්දයකින් ඊළඟ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයා තෝරා ගන්නට ඡේ. ආර්. අවස්‌ථාව උදාකර දෙනු ඇතැයි කියාය.

ඒ වන විට එජාපය තුළ ප්‍රේමදාසට එරෙහි වූ බලඇණි කිහිපයක්‌ම විය. රට තුළ පක්‍ෂයට තිබූ තත්ත්වය නරක්‌ වන අතරේම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයකු වූ රොනී ද මැල් ද ශ්‍රීලනිපයට එකතුවී තිබිණි. මේ නිසා ඡන්දයකින් පක්‍ෂයේ අපේක්‍ෂකයා තෝරාගන්නට ගියහොත් ප්‍රේමදාසට පක්‍ෂයේ මුළු බලයම අහිමි වන බවත්, එතැනදී සිදුවන බෙදීමෙන් ප්‍රේමදාසගේ ඡන්ද සටන දෙදරා යන්නට පවා ඉඩ ඇති බවත් තේරුම් ගත් ඡේ. ආර්.ප්‍රේමදාස තනි නොකරන තීරණයට එළඹුණේය. පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඡේ. ආර්. විසින්ම ප්‍රේමදාස නම් කරන අතරේ ප්‍රේමදාස ගැන අකමැත්ත සිතේ දරාගෙන සිටි ලලිත් හා ගාමිණී ලවා එම යෝජනාව ස්‌ථිර කරවන්නට ඡේ. ආර්. සමත් විය. 1988 ජනාධිපතිවරණයේදී එක පයින් එජාපයෙන් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ ඒ අනුවය.

අද එජාපය කල්පනා කළ යුත්තේ ද මේ ගැනය. එළියේ සිටින සමහරුන් වීරයන් කරන්නට ගොස්‌ එජාපය තරම් බැට කෑ පක්‍ෂයක්‌ නැත. ආණ්‌ඩුවට එරෙහිව එළියේ චරිත ලොකු කර ගැනීමේ විපාකයත්, පක්‍ෂයේ අපේක්‍ෂකයා සෘජු ලෙස කීමට නොහැකි වීමත් නිසා එජාපය පැත්තක තිබියදී පොදු අපේක්‍ෂකයන් ගණනාවක්‌ නිර්මාණය වෙමින් තිබේ.

එජාපයට දිගටම එරෙහිව සිටි එජාපයේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා කුමාරතුංග පවා පොදු අපේක්‍ෂක ලැයිස්‌තුවට එක්‌ වී ඇත්තේ මෙම කල්ක්‍රියාව නිසාය. ආණ්‌ඩුවට රිද්දන්නට චන්ද්‍රිකා පාවිච්චියට ගැනීම එක දෙයකි. ඒ දෙයට ගොස්‌ එජාපය චන්ද්‍රිකා පස්‌සේ යැම තවත් දෙයකි. සෝභිත හිමි සාධකය ද එසේය. සෝභිත හිමියන් තම යෝජනාවලිය රැගෙන එජාපය පස්‌සේ ආ යුතු වුවත් දැන් සිදුව ඇත්තේ පිටකෝට්‌ටේ සිරිකොතින් අපේක්‍ෂකයා තෝරනවා වෙනුවට ඊට කිලෝමීටර් ගණනාවක්‌ එහායින් තිබෙන නාග විහාරයෙන් අපේක්‍ෂකයකු තෝරා සිරිකොතට එවන තත්ත්වයට පත්වීමය.

නොවැම්බර් 19 වැනිදා වන විට ජනාධිපතිවරණයක්‌ ප්‍රකාශයට පත්කිරීමට ආණ්‌ඩුව සූදානම් වී තිබේ. පක්‍ෂ කාර්යාල විවෘත කිරීම, අරලියගහ මැඳුරේ ජනහමු පැවැත්වීම, ප්‍රචාරක වැඩපිළිවෙළ සූදානම් කිරීම ආදිය ආණ්‌ඩුව මගින් මේ වන විටත් අවසන් කර තිබේ. නමුත් තවම විපක්‍ෂය විසින් තම අපේක්‍ෂකයා නම් කර නැත. එජාපය සමහර විට බලා සිටිනවා ඇත්තේ සියලු පාර්ශ්ව සතුටු කරවිය හැකි අපේක්‍ෂකයෙක්‌ එම පාර්ශ්ව විසින් තම පක්‍ෂයේ මුල් අය අතරින් තෝරා දෙනු ඇතැයි කියාය. ඒ අතරේම, එළියේ සිටින පොදු අපේක්‍ෂකයකු ගේ 'නැට්‌ටේ එල්ලී දිව්‍ය ලෝකයට යැමේ' අභිප්‍රායක්‌ ද එජාපයට තිබෙනවා විය හැකිය. එවැනි අභිප්‍රායන් එජාපයට තිබිය හැකි වුවත්, 2010 දී ඉගෙන ගත් පාඩම යළිත් වන පොත් කිරීමට එජාපය සූදානම් විය යුතු නැත.

රටේ ප්‍රධානම දේශපාලන පක්‍ෂයක්‌ ලෙස රටේ ප්‍රබලම මැතිවරණයේදී අපේක්‍ෂකයන් එළියෙන් තෝරන්නට යැමේ විපාකය එජාපය දැනටමත් විඳවමින් සිටියි. 2010 දී සරත් ෆොන්සේකාට ඉඩ දීම නිසා අද වන විට සෝභිත හිමි, ශිරාණි බණ්‌ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග වැනි නම් ගණනාවක්‌ පොදු අපේක්‍ෂක ලේඛනයට පැමිණ තිබේ. යම් හෙයකින් 2010 දී ෆොන්සේකාට ඉඩ නුදුන්නා නම්, මෙවැනි පොදු අපේක්‍ෂක බලපෑමක්‌ එජාපයට එළියෙන් එන්නේ නැත. ඒ වෙනුවට එජාප අපේක්‍ෂකයා වටා පොදු අපේක්‍ෂක වුවමනාව ගොනුවන්නට පටන් ගන්නට තිබිණි.

ඒ සඳහා දැන් වුවත් ප්‍රමාදයක්‌ නැත. ලහි ලහියේ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ පමණින් එජාපයට ලැබෙන සෙතක්‌ නැත. 2010 සරත් ෆොන්සේකා වැනිවූ ප්‍රබල පොදු අපේක්‍ෂකයකු ද එළියේ නැත. එසේ නම් එජාපය මුලින් කළ යුත්තේ ඡේ. ආර්. '88 දී කළා සේ පක්‍ෂය එක තැනකට ගෙන ඒමය.

එජාපය ඇතුළේ තිබුණු ප්‍රධාන ගැටුම් පාර්ශ්ව දෙක දැන් එක තැනකට පැමිණ තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්‍ෂකයා වනවා නම් සජිත් ප්‍රේමදාස ඒ සඳහා සහයෝගය දක්‌වන්නට කැමැත්ත දී දෙපළ එක්‌වී සිටිති. එසේ නම් එජාපය කළ යුත්තේ තම පක්‍ෂයේ අපේක්‍ෂකයා මුලින් තෝරා ගැනීමය. කරු ජයසූරිය වැනි එජාපයේ සිට දාහත්දෙනකු සමඟ දෑත් ශක්‌තිමත් කරන්නට ගිය ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ තුන්වැනියාට මනාප ලබාගත් චරිතයක්‌ ජනාධිපති අපේක්‍ෂක ධුරයට නම් කරන්නට එළියේ පිරිස කටයුතු යොදන්නේ එජාපය ඇතුළෙන් තම අපේක්‍ෂකයා ඉදිරිපත් නොකරන නිසාය. මුලින්ම පක්‍ෂයක්‌ ලෙස තම අපේක්‍ෂකයා එජාපය ඉදිරිපත් කරනවා නම් සෙසු අයට සිද්ධ වන්නේ එජාපය වටා කැරකීමටය. නැතහොත් ප්‍රධාන විරුද්ධ පක්‍ෂය නොමැතිව 'පොදු අපේක්‍ෂකයකු' බවට පත්වීමටය. පොදු අපේක්‍ෂක කතාවේ ප්‍රධාන පක්‍ෂය ලෙස එජාපය මේසයට පිවිසිය යුත්තේ තම ඉත්තා සමඟය. පොදු අපේක්‍ෂක කතාවක්‌ ගැන සාකච්ඡා පැවැත්විය යුත්තේ ඉන් පසුවය.

-මනෝඡ් අබයදීර
මනෝගේ දේශපාලන ලෝකය - දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions