3/06/2015

එහෙම ගහපු ඇඟේ මේ දහතුනේ රඟේ!

කතෘ:යුතුකම     3/06/2015   1 comment

(මෙම ලිපිය සම්පූර්ණයෙන්ම සකස්‌ වුණේ ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌වරයෙකු වූ ඡේ.ඇන්. ඩික්‌සිත් විසින් ලියූ "කොළඹ භූමිකාව" ග්‍රන්ථය ඇසුරිනි.)


ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනය එක්‌වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම හරහා ය. ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කිරීම සිදු වූයේ, එදා ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධනගේ හෝ ඔහුගේ ආණ්‌ඩුවේ කැමැත්තට නොව ඉන්දීය බලහත්කාරකම මතය. මෙම කාර්යය සඳහා ඉන්දීය පාර්ශ්වයෙන් ප්‍රබලම භූමිකාව නිරූපණය කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌ වූ ඡේ. ඇන්. ඩික්‌සිත් ය. එකල ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයේ ඔහු ප්‍රසිද්ධ වූයේ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ආණ්‌ඩුකාරයා ලෙසය. 13 වැනි සංශෝධනය ජනිත කළ ඉන්දු - ලංකා ගිවිසුම සඳහා පසුබිම සකස්‌ වූ ආකාරය පිළිබඳව ඩික්‌සිත්ගේ කෝණය වැදගත් වන්නේ එහි බලහත්කාරී බව එමගින් පෙන්නුම් වන බැවිනි. ඉන්දු - ලංකා ගිවිසුමෙන් දස වසරකට පසු ඔහු එදා තිබූ තත්ත්වය කතාන්දරයක ස්‌වරූපයෙන් මෙන්ම විග්‍රහාත්මකවද ලියමින් කොළඹ භූමිකාව නම් ග්‍රන්ථයක්‌ රචනා කළේය. ඉන්දු - ලංකා ගිවිසුමේ පසුබිමත්, 13 වැනි සංශෝධනයේ විලිරුදාවත් එමගින් මැනවින් විද්‍යමාන වේ.

ජනාධිපති ජයවර්ධනගේ ආණ්‌ඩුව පත්වීමෙන් පසු උතුරු ප්‍රදේශයේ සන්නද්ධ දෙමළ ත්‍රස්‌තවාදයේ සීග්‍ර පිබිදීමක්‌ ඇති විය. අගමැතිනි ඉන්දිරා ගාන්ධි දෙමළ ත්‍රස්‌තවාදයට අවි ආයුධ, මුදල්, පුහුණුව හා රැකවරණය ලබාදීම එම පිබිදීමේ මූලය විය. මේ අතරම සාකච්ඡා මේසය ද සූදානම් කිරීමට ඉන්දියාව කටයුතු යොදා තිබිණි. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමෙන් බලය බෙදාහරින යෝජනාවක්‌ ජයවර්ධන ආණ්‌ඩුවට ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද්දේ මේ අනුවය. 1983- 84 යටතේ සංවිධානය වූ සර්වපාක්‍ෂික සමුළුව සඳහා දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ නියෝජිතයා ලෙස පත් කරන ලද පර්තසාරති, දෙමළ කණ්‌ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බලය බෙදාහැරීම සඳහා වන යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කළේය. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් බලය බෙදාහැරීම පිළිබඳවත්, සිංහල පමණක්‌ යනුවෙන් දශක තුනකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තියේදී දෙමළුන්ට සිදුවූ "අවාසි" සඳහා පිළියම් ද එම යෝජනාවලියට ඇතුළත් විය. මෙම අවස්‌ථාව වන විට ඡේ. ආර්. සිටියේ, දෙමළ ත්‍රස්‌තවාදය කප්පම් ලබාදීමකින් තොරව අවනත කරගන්නා තැනකය. ඇමරිකාවේ සහාය ඔහු ඒ සඳහා ලබා ගෙන තිබිණි. ඇමරිකානු බුද්ධි විශේෂඥයෙකු වූ ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්‌ කොළඹ රැඳී සිටීම තුළින් ඇමරිකානු රජය, ජයවර්ධනගේ ආණ්‌ඩුව වෙත තම උපක්‍රමික සහාය පළ කරමින් තිබිණි. මෙය ඉන්දියාවේ කෝපයට හේතු වී තිබිණි. සීතල යුදමය සමය බැවින් ඒ වන විට ඉන්දියාව කටයුතු කරමින් සිටියේ සෝවියට්‌ කඳවුරට සමීප තැනකය. එසේ තිබියදී ඇමරිකානු බුද්ධි හා උපාය මාර්ග විශේෂඥයකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් උපදෙස්‌ ලබාදීම ඉන්දියාව නොරිස්‌සූ කාරණයක්‌ විය.

ඉන්දිරා ගාන්ධිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ජනාධිපති ජයවර්ධන, නව අග්‍රාමාත්‍ය රජිව් සමඟ පිළිසඳරක යෙදුණේය. එම සාකච්ඡාව ඉන්දු - ලංකා ගිවිසුමේ පිළිසිඳ ගැනීමට හේතු විය. ඒ සමඟ ම ඉන්දීය විශේෂ නියෝජිතයා ලෙස පර්තසාරති වෙනුවට රොමේෂ් බන්ධාරි පත්විය.

බංගලාදේශයේ චිටගොන් ඩෙල්ටාව ප්‍රදේශයේ සුළි සුළඟක්‌ ඇතිවීම සම්බන්ධයෙන් එරට ජනාධිපති එර්ෂාඩ්ට කනගාටුව පළ කිරීම සඳහා සුහද සංචාරයක නිරත වන්නට රජිව් ගාන්ධි සූදානම් වී තිබිණි. ඒ සඳහා තමන් සමඟ යැමට රජිව් විසින් හදිසියේම ඡේ. ආර්. ට ද ආරාධනා කළේය. බලය බෙදීමේ ඒකකය ලෙස දිස්‌ත්‍රික්‌කය වෙනුවට පළාත පිළිගැනීමට ඡේ. ආර්. කැමැති කරවා ගැනීමට මෙහිදී රජිව් සමත් වී තිබුණි. මෙම පිළිගැනීමත් සමඟම දෙමළ ත්‍රස්‌තවාදී සංවිධාන හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා පැවැත්වීමට භූතානයේ තිම්පු නුවර යොදා ගැනීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පිලේ නායකයා වූයේ ඡේ. ආර්. ගේ සොහොයුරු එච්. ඩබ්ලිව්. ජයවර්ධනය. එම සාකච්ඡා මේසය සාර්ථක වන ලකුණු මුල සිටම නොපෙන්වීය. ඊට හේතුව වූයේ අනාගත ඊළමක්‌ සඳහා වන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳව සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව එකඟ නොවීමය.

ජේ එන් ඩික්සිත්
මේ පසුබිමත් සමඟ ඉන්දියාව යළිත් තම බලහත්කාර ප්‍රයත්නයට අත තැබූහ. 1985 අගෝස්‌තු දෙවැනිදා ඩික්‌සිත් විසින් ඉන්දියාවේ සිට ගෙන එන ලද නිල නොවන ලිපියක්‌ මගින් සාකච්ඡා මේසයේදී ශ්‍රී ලංකාව ගත යුතු ස්‌ථාවරය ජනාධිපති ජයවර්ධන වෙත දන්වන ලදී. තිම්පු සාකච්ඡා අසාර්ථක වීම පිළිබඳව කනගාටුව පළකිරීමක්‌ද එහි අඩංගු වී තිබිණි. ශ්‍රී ලංකාව තම සාකච්ඡා ස්‌ථාවරය දෙමළ ඉල්ලීම්වලට ප්‍රතිචාරාත්මක ලෙස වෙනස්‌ කළයුතු බවට එමගින් දක්‌වා තිබිණි. ජයවර්ධන වෙත ඩික්‌සිත් මෙම ලිපිය භාර දෙන විට ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුළලත්මුදලි ද එහි සිටියේය. ඉන්දියාව දෙමළ සංවිධානවලට සහයෝගය දක්‌වන හෙයින්, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ඒකපාර්ශ්වික ඉල්ලීම් පිළිගැනීමට නොහැකි බව එහිදී ලලිත් ප්‍රකාශ කර තිබුණි.

මේ සමඟ ම ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද විශේෂ නියෝජිතයකු පත් කර තිබිණි. ඒ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස්‌ය. මෙහි අරමුණ ලෙස ඩික්‌සිත් තේරුම් ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ගේ භූමිකාව අවතක්‌සේරු කර ඉන්දියාව සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන නියෝජිතයකු ශ්‍රී ලංකාව විසින් පත් කර ගැනීමය. මෙය අසාර්ථක කරලීමේ අවශ්‍යතාවක්‌ ඩික්‌සිත්ට තිබිණි.

තිම්පු සාකච්ඡාහි දෙවැනි වටය ද මේ වනවිට ඇරඹී තිබිණි. එම වටය ද අසාර්ථක වූ අතර තිම්පු සාකච්ඡා මේසයේ ශ්‍රී ලංකා ප්‍රධානියා වූ හැරී ජයවර්ධන ඉන්දීය සංචාරයක්‌ සඳහා සහභාගි කරවා ගැනීමට ඉන්දියාව තීන්දු කර තිබිණි. එම සංචාරයේදී දෙමළ සංවිධාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යෝජනාව හැරී ජයවර්ධන සමඟ කෙටුම්පත් කිරීමට ඉන්දීය බලධාරීන් සමත් විය. නමුත් එම යෝජනා මාලාව පිළිගැනීමට අමාත්‍ය මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව සූදානම් නැති බව ජනාධිපති ජයවර්ධන හා විදේශ අමාත්‍ය හමීඩ් විසින් ඩික්‌සිත් වෙත දන්වා තිබිණි.

මෙම පණිවිඩය ඩික්‌සිත් විසින් දිල්ලියට යෑවූ අතර වහාම කරුණු සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඩික්‌සිත්, නවදිල්ලියට කැඳවා තිබිණි.

නවදිල්ලි ගොස්‌ ඩික්‌සිත් විසින් ඡේ. ආර්. වෙත රැගෙන ආ පණිවුඩය වූයේ දෙමළුන් සඳහා බලය බෙදීමට අර්ථවත් යෝජනාවලියක්‌ ශ්‍රී ලංකාව විසින් සකස්‌ කළ යුතු බවය. එම යෝජනාවලිය සකස්‌ කිරීම සඳහා 1985 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්‌වා කාලය යොදා ගන්නා ලෙසත් ඩකා නුවර පැවැත්වෙන සාර්ක්‌ සමුළුවේ අවසාන සැසිය සඳහා රජිව් හා ඡේ. ආර්. මුණගැසීමේදී වැඩිදුරටත් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද ඉන්දියාව විසින් ඩික්‌සිත් හරහා දන්වා එවා තිබුණි. කාල වකවානු සකසමින් ආකෘතියක්‌ ගොඩනඟමින් ජයවර්ධන පාලනය වෙත අතිශය බලහත්කාර ප්‍රයත්නයක ඉන්දියාව නිරතවෙමින් තිබිණි.

1987 මුල් භාගය වන විට නවදිල්ලියෙන් ඩික්‌සිත් හට උපදෙස්‌ ලැබී තිබුණේ මෙම දේශපාලන ක්‍රියාදාමය පුනරීක්‍ෂණය සඳහා ජනාධිපති ජයවර්ධන, අමාත්‍ය මණ්‌ඩලය, බණ්‌ඩාරනායක මැතිනිය සහ අනෙකුත් දේශපාලනික පක්‍ෂ නායකයන් සමග මූලික සාකච්ඡා පවත්වන ලෙසය. ඇතිවීමට යන තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දේශපාලන පිටිය මේ වනවිට උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය, ශ්‍රීලනිපය, ජවිපෙ ආදී බලවේග ඉන්දියන් ආක්‍රමණයක්‌ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණය කරන තැනකට පත්ව සිටියේය. එසේම ආණ්‌ඩුව තුළත් අගමැති ප්‍රේමදාස, ආරක්‍ෂක ඇමැති ඇතුලත්මුදලි ප්‍රධාන පිරිසක්‌ ඉන්දියානු බලහත්කාර ප්‍රයත්නය පිළිබඳව අප්‍රසාදයෙන් යුක්‌තව සිටියේය.

සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි ඩික්‌සිත් සාකච්ඡා පවත්වමින් සිටියේය. 1987 ජනවාරි හත්වැනිදා අගමැති ප්‍රේමදාස සමඟ ඩික්‌සිත් දීර්ඝ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදයක්‌ වූ ප්‍රශ්නයකට ඉන්දියාව අතපෙවීම සම්බන්ධ අගමැති ප්‍රේමදාස මෙහිදී තදබල විවේචනයක්‌ ඩික්‌සිත් වෙත ඉදිරිපත් කළේය.

ඉන්දියාව විසින් තම බලහත්කාර ප්‍රයත්නය සඳහා ද හින්දු පුවත්පතේ කර්තෘ එන්. රාම් හා ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදී කුල්දීප් නයර් ද උපයෝගී කර ගනිමින් සිටියේය. මෙහිදී රාම්ගේ අදහස වී තිබුණේ ජනාධිපති ජයවර්ධන හා ගාමිණි දිසානායක දේශපාලන යථාර්ථවාදීන් බැවින් ඉන්දියාව සිය ප්‍රයත්නයේ අඛණ්‌ඩව යෙදුණහොත් 1986 වසරාවසාන වනවිට කිසියම් සම්මුතියකට පැමිණීමට හැකි වෙතැයි යන්නය.

පෙබරවාරි 3 වැනිදා සිට පස්‌ වැනිදා දක්‌වා ඉන්දීය විශේෂ නියෝජිත රොමේෂ් බන්දාරි කොළඹ සංචාරයක නිරත විය. ජයවර්ධන පාලනයට හුස්‌ම ගැනීමට හෝ ඉඩක්‌ නොතබා දිගින් දිගටම ඉන්දු නියෝජිත සිය බලහත්කාර ප්‍රයත්නය සඳහා පෙළගැසෙන්නට පටන් ගත්තේය. බන්දාරි සිය දෙදින සංචාරයේදී ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, සිරිමාවො, විදේශ අමාත්‍ය හමීඩ් හා ආචාර්ය තිරුචෙල්වම් යන පිරිස සමග සාකච්ඡා පැවැත්වීය.

බන්දාරිගේ ගමනේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ඉන්දියාවේ සිටින ව්‍යවස්‌ථා විශේෂඥයකු වන බාලක්‍රිෂ්ණන් විසින් ඔහුගේ සහාය ද ඇතිව එච්. ඩබ්ලිව්. ජයවර්ධන වෙත දිල්ලියේදී ලබා දුන් පත්‍රිකාව අතහැර නොදමන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා විපක්‍ෂයට බල කිරීමය. අමාත්‍ය මණ්‌ඩලය හා පාර්ලිමේන්තුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා යෑයි ජනාධිපති ජයවර්ධන දන්වා සිටි මෙම ලියෑවිල්ල දිල්ලි ගිවිසුම නමින් ඒ වනවිටත් ප්‍රචලිත වී තිබිණි.

ඉන්දියාව එක්‌ එක්‌ ක්‍රම මගින් රට තුළ දිල්ලි ගිවිසුම පිළිගැනීමට ලක්‌ කරවා ගැනීමට බලහත්කාර ප්‍රයත්නයන් යොදන අතරේ මැයි තෙවැනිදා එල්. ටී. ටී. ඊ. විසින් කටුනායක ගුවන්තොටුපළේදී එයාර් ලංකා ගුවන් යානයක්‌ පුපුරුවා හැරියේය. ගුවන් යානය පිපිරීමෙන් 10 ක්‌ මියගොස්‌ සිටියේය. ඉන් 13 ක්‌ ම විදේශිකයන් විය. තවත් 41 ත් 45 ත් අතර සංඛ්‍යාවක්‌ තුවාල ලැබූහ. මේ සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ රෝ සංවිධානය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා මෙය පුපුරුවා හැරිය බවය.

මේ මොහොත වන විට ඉන්දීය බලහත්කාර ප්‍රයත්නයට, ජයවර්ධන ආණ්‌ඩුවෙහි අකැමැත්ත වගන්ති දෙකකට පමණක්‌ සීමා වී තිබිණි. ඒ හැරෙන්නට පුළුල් වූ දිල්ලි ගිවිසුමේ අනෙක්‌ වගන්ති සඳහා ජයවර්ධන ආණ්‌ඩුව එකඟ කරවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබිණි. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, එය ද්‍රවිඩ වාසභූමියක්‌ ලෙස හඳුනා ගැනීම ජයවර්ධන පාලනය අකැමැති වූ වගන්ති විය.

මෙම පුනරීක්‍ෂණ පැකේජය සර්ව පාක්‍ෂික සමුළුවක්‌ වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති ජයවර්ධන, ඉන්දියාවට එකඟ විය. 1986 ජුනි මාසයේදී ද්‍ර. එ. වි. පෙ. නායකයන් සමග ජනාධිපති ජයවර්ධන කොළඹදී සාකච්ඡා පැවැත්වීය. අනතුරුව අගෝස්‌තු මාසයේදී සර්ව පාක්‍ෂික සමුළුවක්‌ ද පැවැත්වීය. නමුත් මෙම සමුළුව සඳහා දෙමළ ත්‍රස්‌තවාදී සංවිධානවලට ජනාධිපතිවරයා ආරාධනය නොකළේය. ප්‍රජාතන්ත්‍රවාදය අතහැර ප්‍රචණ්‌ඩ මාවතේ යන ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් ඵලක්‌ නොවන බව ජනාධිපතිවරයාගේ අදහස විය. ශ්‍රී ලනිපය මෙම සමුළුව වර්ජනය කළේය. නමුත් විරුද්ධ පාර්ශ්වයේ වෙනත් පක්‍ෂ හතක්‌ සමුළුව සඳහා සහභාගි වී තිබිණ. සමුළුව අවසානයේ පිටු පනහකින් යුත් යෝජනා මාලාවක්‌ ඉදිරිපත් විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කළ යුතු සංශෝධන, යෝජනා ඇතුළත් වූ අතර පළාත් සභා ඇති කිරීමේ පනත, මධ්‍යම රජය හා පළාත් සභා අතර බෙදී යන විෂයයන් හා සමගාමී ලැයිස්‌තුව ද දෙමළුන්ට ස්‌වයංපාලනය ලබා දුන් පසුව නීතියේ වෙනස්‌වීම් සිදුවිය යුතු ආකාරයද එම යෝජනාවල අඩංගු විය.

මෙම සමුළුවේදී උතුර - නැගෙනහිර එක්‌ කිරීමත්, එය දෙමළ වාසභූමියක්‌ ලෙස ප්‍රකාශ කිරීමත් යන යෝජනා පිළිගනු නොලැබිණි. මෙම දුෂ්කර ප්‍රශ්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රජිව් සමග සාකච්ඡා කිරීමට තමා උත්සාහ දරන බව ජනාධිපති ජයවර්ධන පැවැසීය.

1986 නොවැම්බර් 17 සහ 18 යන දිනවල සාර්ක්‌ සමුළුව බැංගලෝරයේදී පවත්වන්නට නියමිතව තිබිණි. එහිදී ජනාධිපති ජයවර්ධන ලවා අවසාන කෙටුම්පත එළිදක්‌වා ගැනීම, ඉන්දියාවේ ඉලක්‌කය වී තිබිණි.

සාර්ක්‌ සමුළුව පැවැත්වීමට ආසන්න කාලය තුළදී එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් සමග බැංගලෝරයේදී ඉන්දීය නියෝජිත පිරිසක්‌ සාකච්ඡා පවත්වනු ලැබීය. තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍රන්, ද්‍ර. එ. වි. පෙ. නියෝජිතයන් සමග මදුරාසියේදී සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවලදී ප්‍රභාකරන් තිර අධිෂ්ඨානයකින් කියා සිටියේ, නිශ්චිත කාල රාමුවක්‌ තුළ දෙමළ ඉල්ලීම් ලබාදෙන බවට ජයවර්ධන ප්‍රමාණවත් හා විස්‌තරාත්මක සහතිකයක්‌ ලබා නොදෙන්නේ නම් හා ඒ ගැන ඉන්දීය රජය නිල වශයෙන් සහතික නොකරන්නේ නම් අතරමැදි විසඳුම් භාර ගැනීමට තමා කිසිසේත්ම සූදානම් නොමැති බවය. අතරමැදි විසඳුම පිළිගන්නා ලෙසත් ඉන්පසුව ඉන්දියාව ස්‌ථිර වශයෙන් හා අඛණ්‌ඩව සහයෝගය ලබාදීම මගින් පුළුල් විසඳුම හෙවත් ඊළම ඇති කර ගැනීමට උත්සාහ කරන ලෙසත් ඉන්දීය රජය නියෝජනය කළ නට්‌වාර් සිං විසින් ප්‍රභාකරන්ට බලකර සිටියේය. නමුත් එවර ප්‍රභාකරන් තම අණට කීකරු කර ගැනීමට ඉන්දියාවට නොහැකි විය. ඒ නිසා ප්‍රභාකරන් උදෙසා යම් දණ්‌ඩනීය තත්ත්වයක්‌ පනවන්නට ඉන්දියාවට සිදු විය. එල්. ටී. ටී. ඊ. ය ඇතුළු දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඉන්දියාවේ තිබෙන සන්නිවේදන උපකරණ අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය ක්‍රියා කළේ ඒ අනුවය. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රභාකරන් උපවාසයක්‌ ආරම්භ කළේය. අවසානයේදී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවේ මැදිහත් වීම මත අත්අඩංගුවට ගත් උපකරණ නැවත ප්‍රභාකරන් අතට පත් වූ අතර ඔහුගේ උපවාසය ද නිමා විය.

තම ඉලක්‌කය උදෙසා "දෙසැම්බර් 19" යෝජනා නමින් තවත් යෝජනාවලියක්‌ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙම සමයේදීය. නට්‌වාර් සිං හා සිදම්බරම් යන ඉන්දීය ඇමැතිවරු දෙදෙනා මෙම යෝජනා පිළියෙළ කළ අතර එය අවසානයේදී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ජනාධිපති ජයවර්ධන එකඟ කරවා ගැනීමට ඉන්දියාවට හැකි වී තිබිණි.

1987 ජනවාරි මාසයේදී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දෙමළ ත්‍රස්‌තවාදය මැඬ පවත්වන්නට ශ්‍රී ලංකා රජය තීරණය කළේය. මේ සඳහා මූලිකත්වය ගත්තේ ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිය. මේ සමඟම ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රතික්‍රියා ද එල්ල විය. පෙබරවාරි මුලදී ජනාධිපති ජයවර්ධන වෙත ඉන්දියාවෙන් නියෝග තුනක්‌ ලැබිණි.

1. දෙමළුන්ට එරෙහිව හමුදා ක්‍රියාන්විත නැවැත්වීම.

2. යාපනයේ ආර්ථික සම්බාධක ඉවත් කිරීම.

3. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සම්මුතියක්‌ ඇති කර ගැනීම සඳහා "දෙසැම්බර් 19" යෝජනා ක්‍රියාත්මක කිරීම.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් සුබදායි ප්‍රතිචාරයක්‌ නොවූ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම් හේතුවෙන් එල්. ටී. ටී. ඊ. ය වඩමාරච්චි ප්‍රදේශයට කොටු වෙමින් පැවතිණි. මැයි 25 හා මැයි 26 දෙදින තුළ ක්‍රියාත්මක වූ "ඔපරේෂන් ලිබරේෂන්" මෙහෙයුම මගින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ "ඉතුරු කොටසට" ද ප්‍රහාර එල්ල කරන්නට ශ්‍රී ලංකාව පටන් ගෙන තිබිණි.

මෙහෙයුම ඇරඹීමත් සමඟ ජනාධිපති ජයවර්ධන හමුවූ ඩික්‌සිත් මෙහෙයුම නතර කරන ලෙසත් එසේ නොවුවහොත් ශ්‍රීලංකාව පිළිබඳව යළි සලකා බැලීමකට ඉන්දියාව පියමං කරන බවත් "තරවටු" කරමින් කියා සිටියේය. නමුත් ජයවර්ධනගේ ප්‍රතිචාරය ඉන්දියාවට සතුටුදායක නොවීය. මැයි 28 වැනිදා පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳ වූ අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි "ශ්‍රී ලංකාවේ දියත් වී තිබෙන හමුදා ක්‍රියාන්විතය මිනිස්‌ සංහාරයක්‌ බවට පත්වී තිබෙනවා. ගත වූ දින කිහිපය තුළ සිය ගණනක්‌ මිය ගියා. අහිංසක ජීවිත මේ තරමක්‌ විනාශ කිරීම දෙමළ සටන්කාමී කණ්‌ඩායම් විනාශ කිරීමට සමානුපාතික නැහැ. ශ්‍රී ලංකා රජය පසුගිය අවුරුදු කිහිපය ලබා ගත්තේ විශාල හමුදා විකල්පයක්‌ සඳහා බව පැහැදිලියි" යෑයි පැවසීය.

මෙම පුවතට ජනාධිපති ජයවර්ධනගෙන්ද නොසිතූ අන්දමේ ප්‍රතිචාරයක්‌ ලැබිණි. "ඉන්දියාවට පුළුවන් බම්බු ගහන්න" යෑයි ඔහු රජිව්ට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.

ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්‌වමින් උතුරේ වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර යෑවීමට තීරණය කළේය. එය රජිව් ගාන්ධි විසින්ම ගත් සෘජු තීරණයක්‌ විය. 1987 ජුනි 3 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ආහාර රැගත් බෝට්‌ටු යාපනයට යෑවීමට ඉන්දියාව සැලසුම් කළ අතර මෙම අරමුණ ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ් වෙත ජුනි පළමුවැනිදා දැනුම් දෙනු ලැබීය.

මෙයටද ජයවර්ධන රජයෙන් පෙරළා ප්‍රතිචාර ලැබිණි. ජුනි පළමුවැනිදා හදිසියේ රැස්‌වූ ශ්‍රී ලංකා කැබිනට්‌ මණ්‌ඩලය, "ඉන්දියාවෙන් එවන සහන සැපයුම් අවශ්‍යතාවන් පළමුවත්, ඒවා බෙදා හැරීමේ පටිපාටිය දෙවනුවත් පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාව සඳහන් කර තිබිණි. ඉන්දීය රජයේ ඒකපාර්ශ්වීය තීන්දුවට ශ්‍රී ලංකාව විරුද්ධ බවත්, එසේ සැපයුම් එවීම ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාව උල්ලංඝනය කිරීමක්‌ බවද කැබිනට්‌ මණ්‌ඩලය තීන්දු කරනු ලැබීය. මෙයට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.

ජුනි දෙවැනිදා සවස අවසන් නිවේදනය නිකුත් කළ රජිව් ගාන්ධි, ධීවර බෝට්‌ටු 200කින් ආධාර එවන බවටත් යාපනය අර්ධද්වීපයේ අවසානයේ උතුරු වෙරළේ කිලෝමීටර් පහක්‌ ඈතින් වූ කල්මුණේ තුඩුවට ඒවා පැමිණෙන බවටත් ජනාධිපති ජයවර්ධනට දැනුම් දී තිබිණි.

ජුනි දෙවැනිදා රාත්‍රි 11.30 ට පමණ වන විට ඉන්දීය බෝට්‌ටු යාපනය ආසන්න මුහුදට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සන්නද්ධ බෝට්‌ටු ඉන්දීය ධීවර බෝට්‌ටුවලට මග අවුරනු ලැබීය. සහන සැපයුම් ගොඩබෑම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කරන බව ද ඉන්දීය ධීවර බෝට්‌ටු හා වෙරළාරක්‍ෂක යාත්‍රාවන්ට දඬුවම් කිරීමට තමන්ට නියෝග ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයා ඉන්දීය බෝට්‌ටුවලට දැනුම් දෙනු ලැබීය. තමන්ට ලැබී තිබූ නියෝගය අනුව ඉන්දීය නාවික යාත්‍රා නැවතත් තමිල්නාඩුව බලා ගමන් කිරීම ඇරඹුණේය.

තම ප්‍රයත්නය අලුත් වටයකින් අරඹන්නට ඉන්දියාව තීරණය කර තිබිණි. ජුනි තුන්වැනිදා දහවල් මෙම තීරණය ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ්ට දන්වන ලදී. හමීඩ් විසින් මෙයට විරෝධය එල්ල කළ අතර ඊට ඩික්‌සිත්ගෙන් ලැබුණු පිළිතුර වූයේ ආධාර රැගෙන එන ගුවන් යානය සමග ඉන්දීය ප්‍රහාරක යානා ද පැමිණෙන බැවින් ඉන්දීය යානාවලට ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, ගුවන් කඳවුරුවලට හා පාබල හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය ගුවන් යානා තුළ ප්‍රහාරක ශක්‌තිය ඇති බවය.

ඉන්දියාව ගුවනින් ශ්‍රී ලංකා භූමිය වෙත ආහාර හෙළූ අතර එම ප්‍රතිචාරය මගින් ශ්‍රී ලංකාව තුළ කෝපාවිෂ්ට උණුසුමක්‌ ඇති වී තිබිණි.

අර්බුදය තේරුම්ගත හැකි කතාවක්‌ මේ සියල්ල අතරේදී ජනාධිපති මන්දිරයේ දී සිදුවිය. එහි ඩික්‌සිත්ගේ ග්‍රන්ථයේම එන ආකාරයෙන් පළකරමින් ජනාධිපති ජයවර්ධන අර්බුදයෙන් කෙතරම් තැළී පොඩිවී සිටියාදැයි එයින් ගම්‍ය වන බැවිනි.

"සම්පූර්ණ සිද්ධියම නැවත වරක්‌ සලකා බැලීම අවශ්‍ය යෑයි කී ජනාධිපති ජයවර්ධන එදින සවස ඔහු හමුවීමට පැමිණෙන ලෙස මට දැන්වීය. යොදාගත් වේලාවට අනුව ජයවර්ධන මහතාගේ නිවසට මා ගිය විට ජයවර්ධන මහතා, ජයවර්ධන මහත්මියටත් මගෙන් ඇසීමට කාරණා එකක්‌ දෙකක්‌ තිබෙන බව පවසමින් ඇයද සාකච්ඡාවට කැඳවූවේය. ජයවර්ධන මහත්මිය මේ ප්‍රශ්න දෙක මගෙන් ඇසුවේය.

1. ජනාධිපතිතුමා ගිවිසුමට එකඟ වුවහොත් එය අත්සන් කිරීමට රජීව් ගාන්ධි කොළඹට පැමිණේවිද?

2. ජනාධිපතිතුමා බලයෙන් නෙරපා හැරීමේ තර්ජනයද ඇතුළු විශාල විරෝධයකට මුහුණ පෑමෙන් රජීව් ගාන්ධි මහතා ජනාධිපතිතුමාගේ ආරක්‌ෂාවත්, බලයේ රැඳී සිටීමත් තහවුරු කරනවාද?

මම ජයවර්ධන මහත්මියට මෙසේ පිළිතුරු දුනිමි. ගිවිසුමෙහි සෑහීමකට පත්විය හැකි යෝජනා මාලාවක්‌ අඩංගු වන්නේ නම් රජීව් ගාන්ධිට කොළඹට පැමිණීමට කිසිදු බාධාවක්‌ නැත. නමුත් ඊට පෙර ඔහු ගිවිසුමේ සම්පූර්ණ ප්‍රකාශයම දැකිය යුතුය. දෙවැනිව, ගිවිසුම අත්සන් කළහොත් හා එවිට ජනාධිපතිතුමාට ඕනෑම දේශපාලන හෝ ආරක්‌ෂක තර්ජනයක්‌ ඇති වේ නම් අගමැති රජීව් ගාන්ධි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්‌ෂාවත්, ඔහුගේ රජයේ ස්‌ථාවරත්වයත් තහවුරු කරනු ඇත."

ඉන්දියාව විසින් ගුවනින් ආහාර හෙළීමත් සමග ශ්‍රී ලංකාව අසීරුතාවකට පත්ව තිබිණි. එදින රාත්‍රියේ ගුවන්විදුලියේ කතා කළ අගමැති ප්‍රේමදාස "හොඳ බල්ලන් හා නරක බල්ලන් සිටිනවා. .... බල්ලන් ආරාධනාවක්‌ නැතිවම අපේ පිළිකන්නට එනවා. ඇවිත් කැත කර පලා යනවා" යෑයි සිය විරෝධය ඉන්දියාවට පළ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය හා විපක්‌ෂය ඉන්දීය විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටියහ.

ගුවනින් ආහාර හෙළීමත් සමග එල්.ටී.ටී.ඊ. යේ ගෙල සිරකරමින් සිටි හමුදා මෙහෙයුමද නතර කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මේ වන විට ඉන්දු - ලංකා ගිවිසුම බිහිකිරීම සඳහා විළිරුදාව ඇතිවෙමින් තිබිණි. දෙමළ භාෂාව උතුර නැගෙනහිර පළාතේ රාජ්‍ය භාෂාව කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් යා කිරීමත්, කැබිනට්‌ ජනමත විචාරණයක්‌ මගින් පමණක්‌ කළ යුතුය යන අදහසේ ජනාධිපති ජයවර්ධන රැඳී සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුමේ කෙටුම්පත ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා සඳහා මේ වන විට යොමුකොට තිබූ අතර අවසන් කෙටුම්පත ජූලි 17 වැනිදා උදෑසන ඩික්‌සිත් වෙත භාරදීමට නියමිතව තිබිණි. දෙසැම්බර් 19 යෝජනා පදනම් කරගනිමින් ඉන්දියාව මෙම කෙටුම්පත සකස්‌ කර තිබූ අතර එය සම්පූර්ණයෙන්ම උතුර නැගෙනහිර ඊළමක්‌ ඉදිකිරීම සඳහා සකස්‌ කරන ලද්දක්‌ විය. ශ්‍රී ලංකාව විසින් අකැමැත්තෙන් ඉදිරිපත් කරන ලද අවසන් කෙටුම්පත ජූලි 18 වැනිදා නවදිල්ලියට රැගෙන ගියේ ඩික්‌සිත් විසිනි.

ගිවිසුම පිළිබඳව අවසන් තීරණයට රජීව් පැමිණ සිටි අතර මේ පිළිබඳව ප්‍රභාකරන් දැනුවත් කිරීම සඳහා යාපනයේ සිට රජීව් හමුවීමට ප්‍රභාකරන් කැඳවාගෙන පැමිණියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ දේශපාලන ලේකම් හර්දීන් පූරි විසිනි. ඉන්දීය නිලධාරීන් වූ ආර්. කේ. නාරායන්, සම ලේකම් යදේව් හා හර්දින් පූරි ප්‍රභාකරන් සමග ජූලි 24 වැනිදා හා 25 දිනවල ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. හදිස්‌සියේම සියල්ල වෙනස්‌ වූ බවත්, පෙන්වූ ප්‍රභාකරන් තමාට මෙම ගිවිසුම පිළිගැනීමට හැකියාවක්‌ නැතැයි ප්‍රකාශ කළේය. 26 වැනිදා ප්‍රභාකරන් රජීව් හමුවිණි.

කොළඹ තත්ත්වය වඩාත් උණුසුම් වී තිබිණි. මධ්‍යම හා දකුණු පළාතද එසේම විය. මෙම අවදානම්සහගත තත්ත්වය ඩික්‌සිත් විසින් රජීව්ට දන්වා යෑවූ අතර ඉන්දියාව තමන්ගේ සහයෝගය ජනාධිපති ජයවර්ධනට දැක්‌වීම සඳහා කොළඹ වරායට නුදුරින් සිය නාවික යාත්‍රා ස්‌ථාන ගතකර තිබිණි. ජනාධිපති ජයවර්ධන මහතාට සෘජු තර්ජනයක්‌ ඇතිවුවහොත් කඩාපැනීම සඳහා එම නැව් තුළ ඉන්දීය කමාන්ඩෝ භට පිරිස්‌ සූදානමින් සිටියෝය.

ඩික්‌සිත් විසින් ඉන්දියාවේ අවසන් තීරණය ලෙස කෙටුම්පතක්‌ රැගෙන ජනාධිපති ජයවර්ධන හමුවූ අතර එම සාකච්ඡාව සඳහා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, නිශ්ශංක විඡේරත්න හා රනිල් වික්‍රමසිංහ සහභාගි වූහ. රටේ බලවත් විරෝධයක්‌ ඇති හෙයින්ද, තමාගේ පක්‌ෂයේ සුළු පිරිසක්‌ සහ අමාත්‍ය මණ්‌ඩලයේ ඇතැමුන්ද ඊට විරුද්ධව සිටින හෙයින් යෝජිත ගිවිසුම පිළිබඳව ජනතාව පක්‍ෂය හා අමාත්‍ය මණ්‌ඩලය විධිමත් ලෙස දැනුවත් කිරීම සඳහා රජීව්ගේ පැමිණීම සති කිහිපයකින් ප්‍රමාද කරන්නට හැකිදැයි ඩික්‌සිත්ගෙන් ඡේ.ආර්. විමසීය. ලලිත් හා රනිල් ඡේ.ආර්. ගේ මෙම යෝජනාවට සහයෝගය දැක්‌වූ අතර ගාමිණී ගේ අදහස වූයේ ගිවිසුම අත්සන් කිරීම පස්‌සට ඇදීම මහා විනාශයකට හේතුවක්‌ වන බවය.

ඇමැතිවරු සාකච්ඡා කාමරයෙන් පිට කළ ඡේ.ආර්. තමා ගිවිසුම අත්සන් කිරීමට තීරණය කළ බව ඩික්‌සිත්ට පැවැසීය.

1987 ජූලි 29 වැනිදා රජීව් ශ්‍රී ලංකාවට පැමිණියේය. සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු රට වෙනුවට ඉන්දියන් හා ඡේ. ආර්. විරෝධයෙන් ගිනියම් රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.

ජූලි 29 උදෑසනින් දිල්ලියෙන් පිටත් වූ රජීව් ඇතුළු පිරිස පෙරවරු 10 වන විට කටුනායකට පැමිණ සිටියේය.

ප්‍රේමදාස, ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය ඇතුළු ඇමැති මණ්‌ඩලයෙන් තුනෙන් එකක්‌ පමණ පිළිගැනීමේ උත්සවය වර්ජනය කර තිබිණි. බණ්‌ඩාරනායක මැතිනිය හා ශ්‍රීලනිප යේ නායකයන්ද රජීව් පිළිගැනීමට පැමිණ සිටියේ නැත.

බලහත්කාරයේ කර්තව්‍යය සම්පූර්ණ කරමින් පස්‌වරු 3.30 ට නායකයෝ දෙපළ ගිවිසුමට අත්සන් තැබූහ.

29 වැනිදා සවස වන විට ඉන්දීය භටයන් 600 ක්‌ යාපනයේ ස්‌ථානගත කිරීම ජනාධිපති ජයවර්ධනගෙන් ඉන්දියාවට අවසර ලැබී තිබිණි. සටන් විරාමය තහවුරු කරගැනීම හා ත්‍රස්‌තවාදීන්ගේ අවි භාරගැනීම ඔවුන්ගේ කාර්යය බව කියෑවුණි.

ජූලි 30 වැනිදා පෙරවරු 10.30 ට පමණ රජීව් ගාන්ධි කොළඹින් පිටත්වීමට නියමිතව තිබිණි. සමුගැනීමේ උත්තමාචාරය ද උණුසුම් විය. උත්තමාචාරයට සහභාගිවී සිටි නාවික සෙබළ විජිත රෝහිත විජයමුණි විසින් රජීව් ගාන්ධි වෙත තමාගේ බයිනෙත්තුවෙන් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එය සමස්‌ත ශ්‍රී ලංකාවෙන්ම රජීව් වෙත එල්ල වූ විරෝධයේ සංකේතයක්‌ බඳු විය.

තෙවැනි සාර්ක්‌ සමුළුව 87 නොවැම්බර් මාසයේ දී නේපාලයේ කත්මණ්‌ඩු නුවරදී මුළු දුන්නේය. එය නිමාවී ආපසු යන විට ඡේ.ආර්. ට නවදිල්ලියට පැමිණෙන්නැයි රජීව්ගේ අණ අනුව ඩික්‌සිත් විසින් ආරාධනයක්‌ කළේය. නොවැම්බර් හත්වැනිදා නායක දෙපළ කළ සාකච්ඡාවලදී රජීව් අවධාරණයට ලක්‌ කළේ බලය බෙදාහැරීමේ යෝජනා මාලාව වහාම සාකච්ඡාගත කරන ලෙසය.

ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් අදාළ බලය බෙදාහැරීමේ පරිච්ඡේදය කෙටුම්පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙය නිෂ්ප්‍රභා වනු ඇතැයි අගමැති ප්‍රේමදාසත්, ලලිත් ඇතුලත්මුදලිත් බලාපොරොත්තු වූහ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්‌දෙනකු එයට පක්‌ෂවත්, සතර දෙනකු විරුද්ධවත් ඊට අත්සන් තබා තිබිණි.

දෛවයේ සරදම දරුණුම ස්‌ථානයට පත්ව තිබිණි. ඉන්දියානු බලහත්කාරකමට එරෙහිව සිටි අගමැති ප්‍රේමදාස විසින් උදාසීන ලෙස 1987 නොවැම්බර් 12 වැනිදා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පනතට පක්‌ෂව පාර්ලිමේන්තුවේ ඡන්ද 136 ක්‌ ද, එරෙහිව ඡන්ද 11 ක්‌ද ලැබි තිබිණි. අවසානයේ 13 සංශෝධනය ශ්‍රී ලංකා ව්‍යවස්‌ථාවට එක්‌විය.



-2011 වසරේ දිවයින විශේෂ අතිරේකයක පළ වූ ලිපියකි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

3/19/2014

ආණ්ඩුව මාරු කරුමුද?

කතෘ:යුතුකම     3/19/2014   6 comments

රජයක් පෙරලා වෙනත් රජයක් පත් කර ගැනුමට වුවමනා වන්නේ එම රජයේ ක්‍රියා කලාපය අනුවය. වත්මන් රජයේ හොඳ මෙන්ම නොහොඳද ඇත. ප්‍රථමයෙන්ම අපට පෙනෙන තරමින් ඒ හොඳ හා නොහොහොඳ විමසා බලමු.

වත්මන් රජයේ නොහොඳ මොනවාද? 


  1. 1. රජය වටා උදරාර්ථය පරමාර්ථය කර ගත් බොහෝ පිරිසක් රැස් වී සිටිති. ඒ තත්වය වෙනස් කරලනු වෙනුවට ඒ අය අතින් සිදුවන අකටයුතුකම් වෙනුවෙන් කිසිදූ දඩුවමක් නොදී ඔවුන් රැක ගන්නා ආකාරයට රජය කටයුතු කරයි. ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා සම්බන්ධ වූ මුල්‍යය වංචාවක් ගැන වරක් ජනපතිතුමාම පැවසූයේ අපේ මිනිහෙකු නිසා වැඩේ ගොඩින් බේරගන්න උත්සාහ දැරූ බවයි. එලෙස ප්‍රකාශ කිරීම තුල ඇති බරපතල ත්ත්වය වන්නේ එලෙස කී දෙනෙකුට අදාළ වංචාවන් ගොඩින් බේරා දැමුනුදැයි අපට ඉතා සාධාරණ සැකයක් ඇතිවන බැවිනි. පොදු ජනතාව බලාපොරොත්තු වන්නේ වංචාකරුවනට දඬුවම් ලබා දීමට මිස ඒවා ගොඩින් බේරා දෙන පාලනයක් නොවන බව ජනපතිතුමා ඇතුළු රජය විසින් අමතක කර දමා ඇත.
  2. 2. යුද්දයෙන් පසු බෙදුම්වාදය මතවාදීව සහමුලින්ම පරාජය කැර දැමුමට රජය ක්‍රියා කළේ නැත. යුද්දය අවසන් වූ විගස දහතුන වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර බෙදුම් වාදීනට ඇති ඉඩ ප්‍රස්ථා වසා දමමින් රට සමඟි සම්පන්න කෙරුමට කටයුතු කළ යුතුව තිබුනි. එසේ වූවා නම් බටහිරයනට පවා මෙරටට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව හා උත්තේජනය අවම වන්නට ඉඩ තිබිනි. නමුත් යුද්ධයෙන් පසු වැලේ වැල් නැතිව සිටි බෙදුම්වාදීන් ශක්තිමත් කරමින් 'චෝගම්' සාර්ථක කර ගැනීම සඳහා හදිස්සියෙන් උතුරු පළාත් සභාව බෙදුම් වාදීන් අතට පත් කරවීම ජාතික සමඟිය සඳහා බාධාවකි.
  3. 3. රජයට පක්ෂපාතී වන ඕනෑම් දූෂිතයෙක්, මැරයෙක්, මිනී මරුවෙක් වුවද රජයට එක් කර ගෙන ඒ හරහා ද වාසි ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වේ. පාර්ලිමේන්තුවේ සිල්වලා දෙපළ මීට උදාහරණයකි.
  4. 4. නෑයනට නොයෙකුත් තනතුරු වරප්‍රසාද පිරිනැමීම මේ රජය විසින් සුලභව කරනු දක්නට ලැබේ. නෑයා වැඩකරුවෙකු නම් අවුලක් නැත. ගෝඨාභය රාජපක්ෂ මහතා උදාහරණයකි. නමුත් පාඩු ලබන ශ්‍රී ලංකා ගුවන් සමාගමේ මුල් පුටුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශවුනු පරිදි සාමාන්‍යය පෙළ ද අසමත් ජනපති ආර්යාවගේ අයියාට ලබා දී තිබීම අපුල දනවන්නකි.

වත්මන් රජයේ හොඳ මොනවාද?


  1. 1. වත්මන් රජය විසින් ගෙන යන විදෙස් ප්‍රතිපත්තිය සාධනීය බව පැවසිය හැකිය. චීනය හා රුසියාව සමඟ මනා අවබෝධයක් පවත්වා ගැනීමට රජය සමත්ව තිබේ. චීනය සමඟ මෙන්ම පකිස්තානය සමඟද පවත්වන ඉතා යහපත් සබදතාව හරහා අපට හිතකර නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඉන්දියාවද විරසක කර නොගෙන ඔවුනට ප්‍රති පීඩනයක් එල්ල කිරීමට රජය සමත් වී තිබේ.
  2. 2. ඇමරිකානු සහ බටහිර බලහත්කාරය ඉදිරියේ රජය දණ නමා නැත. එසේ දණ නොනැමීම හා ඉහත කී සාධනීය විදෙස් ප්‍රතිපත්තිය අතර ඇත්තේ අන්‍යෝන්‍යය සබඳතාවෙකි. 
  3. 3. රජය ගම හා දිළිදු ජනතා ව අමතක කර දමා නැති බව පැවසිය හැකිය.
  4. 4. විවේචන තිබුනද වත්මන රජය වැඩ කරන රජයක්ව බව ප්‍රකාශ කළ හැකිය.
  5. 5. කොටි ත්‍රස්තවාදයේ කුරිරු බවින් ස්වදේශික ජනයා බේරා ගත් රජය පාතාලය මර්දනයටද කටයුතු කළේය. දැන් කුඩු ජාවරම් මැඩලීමටද කටයුතු කර ගෙන යන බව පෙනෙන්නට තිබේ.
  6. 6. වත්මන් රජය රාජ්‍යය සේවය ශක්තිමත් කරන ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන අතර රාජ්‍යය දේපළ විකුණමින් එදා වේල පිරිමහගන්නා තත්වයක් දක්නට නැත.
  7. 7. ජලය, විදුලිය, නිවාස වැනි ජනතාවගේ අවශ්‍යතා සැපිරීමට ගෙන යන වැඩපිළිවෙල යහපත්ය.

මහින්ද රාජපක්ෂ රජය පැරදවිය යුතුද?

ඉහත දැක්වූයේ සරලව පෙනෙන ක්‍රියා මාර්ගයන්හි හොඳ හා නරකය. රජයේ ආර්ථික ප්‍රතිපත්තිය සලකා බැලුව හොත් එය ජේ ආර් ජයවර්ධන මහතාගේ ධනවාදී ආර්ථික ප්‍රතිපත්තියෙහිම දිගුවක් ලෙස සැළකිය හැකි යයි සිතමු. එවැනි සංවර්ධන මාවතක් ජාත්‍යන්තර වශයෙන් අපට ඇති අභියෝග හමුවේ  කොතෙක් දුරට ගැලපෙනවාද යන්න ගැටළුවකි. කෙසේ වෙතත් එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් මේ රටට උචිතද යන්න ද සංවාදයට බඳුන් වන බවක් පෙනෙන්නට නැත. ඒ පිළිබදව වටිනා අදහස් කිහිපයක් සංක්ෂිප්තව ගුණදාස අමරසේකර ශූරීන් "අපි දැන් බටහිර උගුලේ හිරවෙලා ඉවරයි" යන සංවාදය තුළ දක්වා ඇත. අප විසින් මෙම ආර්ථික ක්‍රමවේදය අනුමත නොකළද වත්මනේහි සියළුම දේශපාලන පක්ෂ ප්‍රතිපත්තියක් වශයෙන් මෙම ක්‍රමවේදයට එකඟ බවක් පෙනෙන්නට ඇත. නැතහොත් අන් කවරෙක්වත් වෙනත් ආර්ථික දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ ඉදිරිපත් කොට නැත.

කරුණු මෙසේ නම් ජනතාව කුමක් කළ යුතුද? මේ රජය පෙරළා වෙනත් රජයක් පත් කර ගත යුතුද? නැතිනම් මේ රජයටම තවත් සෑහෙන කාලයකට බලය ලබා දිය යුතුද? ඒ ප්‍රශ්නයට මැදිවන ජනතාව ඊළඟට සලකා බලන්නේ කවරෙකු හට බලය ලබා දිය යුතු ද යන්නයි. ඉහත කී නොහොඳ නැති හෝ වඩා අඩුවෙන් ඇති හා හොඳ ලක්ෂණ ද බලාපොරොත්තු විය හැකි අනුප්‍රාප්තිකයකු ජනතාවට දැක ගත හැකි විය යුතුය.


එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජයකට බලය ලබා දුනහොත් මේ රජයේ හොඳ ලෙස අප දැක්වූ කාරණා ඔවුන් වෙතින්ද අපේක්ෂා කළ හැකිද යන්න ජනතාව විසින් සළකා බලනවා නොආනුමානය. ගැටළුව පැන නගින්නේ එතැනදීය. වත්මන් රජයේ බඳු විදෙස් ප්‍රතිපත්තියක් පවැත්වීමේ ශක්‍යතාවක් ඔවුන් සතුද? ඔවුන්ට එවැනි හැකියාවක් ඇති බවට ප්‍රතිරූපයක් නම් ජනතාව අතර නැත. ඔවුන්ගේ ප්‍රතිපත්තිය බවට බොහෝ දුරට පෙනෙන්නේ ඇමරිකාව හා බටහිර සමඟ මිතුරු ආස්ථානයක පිහිටා කටයුතු කිරීමය. බටහිරට පක්ෂපාතවීම හා චීනයට හා රුසියාවට පක්ෂපාතවීම යන දෙපෙදසම එක්වර සාක්ෂාත් කරගත නොහැකිය. දැන් පවතින තත්වය මත අන්තර්ජාතික වශයෙන් ලංකාවට චීනයේ හා රුසියාවේ සහයෝගය වඩ වඩාත් අවැසි වේ. අදටත් වඩා වැඩියෙන් හෙට ඒ අවශ්‍යතාව තදින් දැනෙනු නොඅනුමානය. නමුත් බටහිරට මිතුරු එජාප ආණ්ඩුවක් තුළ ඒ රැකවරණය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඒ වෙනුවට ඔවුන් බටහිරට පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රට වෙත එල්ලවන අභි‍යෝග ජය ගැනුමට උත්සාහ කරනු ඇති බව අනුමාන කිරීම සාධාරාණ යයි සිතමු. බටහිරයන්ට අවැසි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ වෙනත් අයකුට හෝ දසරාජ ධර්මයෙන් රාජ්‍යය විචාරීමට අත්වැල් සැපයීම නොව තමන්ගේ න්‍යායපත්‍රානුකූලව කටයුතු කරවා ගැනීම බව ඕනම තොත්ත බබෙකුට වැටහේ. ඉන්දියානුවන් අහසින් විත් ලංකාවට පරිප්පු දමන විට දැඩි ඇමරිකානු ගැති විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජේ ආර් ජයවර්ධන මහතාට සිදු වූයේ ඉතා අසරණ ලෙස ලෝකය තුළ අපට මිතුරන් නොමැති බව පැවසීමටය.

රුසියාව හා චීනය අහිමි කර ගන්නා එජාපයට එහිදී ඉතා අඩු කේවළ කිරිමේ බලයකින් සෑහීමට පත් වීමට සිදුවනු ඇත. එවැනි තත්වයක් තුළ දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් උතුරු පළාත් සභාවට ලබා දිය හැකි උපරිම බලතල ලබා දීම, හමුදාව උතුරින් ඉවත් කර ගැනීම වැනි ඉල්ලීම් ප්‍රථමයෙන් ඉටු කරන්නට සිදුවන බවට සැකයක් නැත. මේ පියවරයන් චීනය හා රුසියාව ලංකාව සමඟ විරසකයකට පත්වන තත්වයක් පවා ඇති විය හැක්කේ ඒවා එකිනෙක ක්‍රියාත්මක කරවා ගැනීම හරහා ත්‍රිකුණාමලයට ඇමරිකානු හමුදා පය ගසා ගන්නා බව ඔවුන් දන්නා බැවිනි. 

අද වන විට මේ රටේ විදෙස් ප්‍රතිපත්තිය හා භෞමික අකණ්ඩතාවය රැක ගනීම යන්න දෙකක් නොව එකක් බවට පත් වී හමාරය. ඉදිරි‍යේදි මෙරටට ඇමරිකාව හා බටහිරයන් විසින් ආර්ථික සම්බාධක පැනවුවහොත් එජාපය තමන්ට එය ඉවත් කර දිය හැකි බව පවසා ඡන්දය ඉල්ලා සිටිනු නියතය. නමුත් එසේ කිරීමට නම් ඉහත පැහැදිලි කළ පරිදි රට දෙකඩ වන සේ කටයුතු කරන්නට සිදුවන බව ඔවුන් විසින් නොකියනු ඇත.

ගම්මුන්ගේ හා විකල්ප උගතුන්ගේ භූමිකාවන්

අප ඉහත කී තත්වය නාගරිකයන් කෙසේ වෙතත් සමස්තය අවිඥානිකව දකිනා ගම්මුන් වටහා ගෙන ඇත. ඔවුන් හට මේ කාරණා වචන වලට පෙරලා ප්‍රකාශ කරන්නට නොහැකි විය හැකිය. නමුත් ඔවුනට එය ඉවෙන් මෙන් වැටහේ. පසු ගිය දශක දෙක තුළ විකල්ප උගතුන්ගේ ඊනියා බුද්ධියෙන් මිදී මේ රට දෙකඩ නොවී බේරුනේ ඡන්ද වලදී ගම්මුන් භාවිතා කළ ඒ ඉව නිසා බව ඔවනට කෘතඥපූර්වක වෙමින් සටහන් කළ යුතුය.


මේ රට තුළ සිටින ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයේ උගතුන්ට අනුව නම් මෙම රජය විසින් ඉහත සඳහන් කළ අකටයුතුකම් සියල්ල සිදු කෙරෙන්නේ ජාතිකත්ව මතවාදයේ ප්‍රතිපලයක් ලෙසිනි. නමුත් ඒ නොහොඳ කිසිවක් ජාතිකත්ව මතවාදය නිසා සිදු වන්නේ කෙසේදැයි මේ උගතුන් පැහැඳිළි කරන්නේ නැත. නමුත් ඉහත  රජයේ හොඳ ලෙස සඳහන් කළ බොහොමයක්ම කාරණා ජාතිකත්ව මතවාදය සමඟ සියුම්ව හා දැඩිව ගැටගැසී ඇති බව දැක ගැනිමට හැකි අවංක මනසක් ඔවුන් සතු නොවේ. මේ බොහෝ දෙනා මුහුදට දත නියවා බලා සිටින්නේ ජිනීවාහි අන්තර්ජාතික මානවහිමිකම් කවුන්සිලය හරහා ඇතිවන බලපෑමක් මතින් හෝ රජයට පාඩමක් උගන්වන්නටය. එක් විකල්ප විප්ලවවාදී පක්ෂයක අලුත් නායකයකු පාරම්බාන්නේ මහින්දත් අධිරාජ්‍යයවාදීත බලවේගත් එකවර පරදවන්නටය. ලෝක ඉතිහාසය පුරාම එවැන්නක් සිදු වී නොමැත. ඉරාකයේ, ලිබියාවේ, ඊජිප්තුරවේ, යේමනයේ, ටියුනීසියාවේ මෙන්ම යුක්‍රේනයේද රටේ නායකයා පලවා හරින විට රට ද අස්ථාවර විය. එනිසා එලෙස රට අස්ථාවර වන ආකාරයේ දේශපාලන තීන්දුවක් ගැනීමට කා හට හදිස්සි වුවද මෙරට පොදු ජනතාවට එවැනි හදිස්සියක් නොමැති බව පැහැදිළිය.

ඉන් ගම්‍යය වන්නේ අප ඉහතින් සඳහන් කළ අකටයුතුකම් හා දුර්වලතා ජනතාව අනුමත කරන බව හෝ නොසළකා හරින ලද බව හෝ නොවේ. ඔවුන් ඒ අඩුපාඩු නිවැරදි කරවීම උදෙසා රට භාර දිය හැකි භාර කරුවෙකු විපක්ෂය තුල නොදකින බවයි. අද මේ රට ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වන අභි‍යෝගවලට මුහුණ දීම සඳහා ජාතිකත්වය සමඟ බද්දවූ දේශපාලන ගමනක් අත්‍යාවශ්‍යය බව ජනතාවගේ ඉවට දැනී තිබේ.  එසේ තමන් හට භාරකත්වය ඉල්ලා සිටිනා සියළු දෙනා අද කටයුතු කරමින් සිටින්නේ ජාතිකත්වයට විරුද්ධ ආස්ථානයක පිහිටාය. එවන් ගමනකට සූදානම් කුඩා පක්ෂයක්වත් රජයෙන් පරිබාහිරව අද නැත. එපමණක් නොව කලක් ජාතිකවාදී මතවාදය නියෝජනය කළ ජවිපෙ වැනි සංවිධාන අද ජාතිකත්වයට එරෙහි ආස්ථානයකට තල්ලු වී ඇත. එහි නව නායකයා ජාතික ගීය දෙමළෙන්ද ගැයිය යුතු යයි පවසන්නේ කට කහනවට නොවන බව ජනතාව වටහා ගත යුතුය.

ගම්මුන්ට ඇති ඉව නැති විකල්ප උගත්තු මුලා වී සිටිති. ඔවුහූ ජනතාව මුලා වී ඇතැයි කියති. ජාතිකත්වයට පහර දීමේ අටියෙන් රජයට පහර දෙති. රජයට පහර දීමේ අටියෙන් ජාතිකත්වයට පහර දෙති. මේ විකල්ප උගතුන් අතින් කෙරෙන එක් කාර්යයක් නම් විපක්ෂයට ජාතිකත්වයෙන් තොරව ගමන් කිරීම සඳහා ඉඩ හසර සාදා දී රජයට දේශීය වශයෙන් අභියෝගයක්  නැති කර දීමය.

 සිය ව්‍යාපාර ශක්තිමත් කරගැනීමේ අරමුණින් දේශය පාලනය කරන්නට ආ දේශපාළුවන්ට මෙන්ම නොයෙකුත් වාසි තකා රජය සමඟ අත්වල් බැද සිටින උදරවාදීන්ද කල දුටු කල වල ඉහගෙන කෑමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නොයෙකුත් අකටයුතු කම් හරහා කෑදර ලෙස සිය බණ්ඩිය පිම්බීමේ මෙහෙයුමක නිරතවන්නට එමඟින් ඉඩ ප්‍රස්තාව ලබා ගෙන තිබීම කණගාටුවට කරුණකි. කෙසේ නමුත් විපක්ෂයේ සියළු පක්ෂ ජාතිකත්වයට එරෙහි වෙමින් අවජාතක වෙද්දී, රජය තවම ජාතිකත්වයට සම්පූර්ණයෙන් පිටු පා කටයුතු කර නැත. එනිසා පොදු ජනතාව රජයේ ඇතැම් නොමනා කම් ඉවසන්නට සිදුව තිබීම විසින් එම නොමනාකම් පවත්වා ගෙන යාම සඳහා අවකාශයක් රජයට ලැබී තිබේ. 



-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions