3/05/2017

පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදයක් ජාතික චින්තන මතවාදයට එකතු කරමු

කතෘ:යුතුකම     3/05/2017   No comments
සයිටම්“ ප්‍ර‍ශ්නය නිසා නැවතත් නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා බහක් මෙරට සමාජයේ ඇති වී ඇත. නිදහස් අධ්‍යාපනය යන සංකල්පය ගැන මෙරට කතා බහට ලක් වන්නට ඇත්තේ, 1948 දී අප රට ඊනියා නිදහස ලබන්නට ද පෙර සිට විය යුතු ය. අවම වශයෙන් 1945 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට ආසන්න වකවානුවේ සිට ඒ පිළිබ‍ඳ සංවාදයක් ආරම්භ වන්නට ඇත. එසේ ම පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධව ද යම් යම් විවාදාත්මන මතවාද ද වරින් වර ඉස්මතු වී ඇත.

අද වන විට අප රටේ පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම සිදු කෙරේ. එසේ ම, මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පාසල් මෙන් ම, මුදල් අය කර උපාධිය ප්‍රදානය කරන ආයතන ද සැලකිය යුතු ප්‍රමාණයක් අද වන විට මෙරට ක්‍රියාත්මක වේ. තව ද ශ්‍රී ලංකාව යනු නිදහස් අධ්‍යාපනය ක්‍රමය ක්‍රියාත්මක ලෝකයේ රටවල් අතලොස්ස අතරින් එකකි. වෙනත් බොහෝ රට වල අප රටේ මෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමට හේතුව, අධ්‍යාපනය පමණක් නොව ඕනෑ ම සේවාවක් මුදල් අය කර ලබා දීම, නව ලිබරල්වාදය රජයන වත්මන් ලෝකයේ ප්‍රවනතාවක් වීම බව නොකිව මනා ය. එසේ නම්, වර්තමාන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිය කවරාකාර විය යුතු ද? නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රමයෙන් අහෝසි වන්නට ඉඩ හළ යුතු ද? නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තව දුරටත් පවත්වා ගෙන යන අතර තුර ම පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම දිරිමත් කළ යුතු ද? නැතහොත්, රජයට අයත් මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇති කළ යුතු ද? මේවා වනාහි යම් කිසි පුද්ගලයෙකු නිදහස් අධ්‍යාපනය ගැන සිය මතය ගොඩ නඟා ගැනීමේ දී පිළිතුරු ලබා ගත යුතු ප්‍රශ්න ය.

නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් අවශ්‍ය ඇයි?

මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ, ජාතික චින්තන මතවාදය මත පදනම්ව නිදහස් අධ්‍යාපනය / පෞද්ගලික අධ්‍යාපනය ගැන අදහස් දැක්වීම හා එවැනි පදනමක සිට එවැනි සංවාදයක් ඇති කිරීමට මූලික අඩිතාලමක් දැමීම ය. එවැනි සංවාදයක් මේ මොහොතේ අවශ්‍ය දැ යි සහ ඊට වඩා ප්‍රමුඛතාවක් දී කතා කළ යුතු ප්‍රශ්න අද වන විට අප රටේ තිබෙනවා නොවේ දැ යි යමෙකු ප්‍රශ්න කළ හැකි ය. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ආණ්ඩුවේ තැත වැනි වඩාත් සංවේදී ප්‍රශ්න අප හමුවේ තිබෙන බව සැබෑ ය. එසේ ම, එවැනි ප්‍රශ්න "සයිටම්" ගැන සිදු කරන කතා බහ නිසා යටපත් වීමට ද අපි ඉඩ නොදිය යුත්තෙමු. එහෙත්, ෆෙඩරල් ව්‍යවස්ථාව වැනි ප්‍රශ්න සංවාදයට ලක් කරන අතර තුර ම, නිදහස් අධ්‍යාපනය ගැන ද යම් මතවාදයක් ගොඩ නඟා ගැනීමට ජාතික චින්තන මත ධාරීන්ට නොහැකි ද? මන්ද, "සයිටම්" ප්‍රශ්නය යනු මෙරට නිදහස් අධ්‍යාපනය සම්බන්ධ හැරවුම් ලක්ෂයක් විය හැකි බැවිනි.

1980 දශකයේ මුල් වකවානුවේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මතවාදයක් වන "ජාතික චින්තනය" තුළ නිදහස් අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය ගැන සංගත මතවාදයක් ගොඩ නඟා ගත හැකි ප්‍රබල සංවාදයක් ඇති වී නොමැති බව අපගේ අදහස යි. අද වන විට ජාතික චින්තන මතධාරීන් පෞදගලික අධ්‍යාපන ක්‍රමය ගැන එකිනෙකට වෙනස් අදහස් දැරීම තුළින් ම මේ බැව් පසක් වෙයි. පෞද්ගලික පාසල් සහ උපාධි පිරිනමන ආයතන දැනටමත් මෙරට ක්‍රියාත්මක නිසා ඒ ගැන තව දුරටත් කතා කිරීම නිෂ්ඵළ කාරණයක් යැ යි ද අයෙකු පැවසීමට ඉඩ ඇත. එහෙත් එහි පදනමක් නොමැත. යමක් දැනටමත් ක්‍රියාත් මක වීම, ඉදිරියේ දී තව දුරටත් එවැන්නක් ඇති වීම සඳහා විරුද්ධ නොවීමට හෝ ඒ ගැන සංවාද නොකිරීමට හෝ හේතුවක් නොවේ. එය අපට මෙවන් උදාහරණයක් මගින් තව දුරටත් පැහැදිළි කර ගත හැකි ය. ශ්‍රී ලංකාවේ දැනට කැසිනෝ සූදු මධ්‍යස්ථාන කිහිපයක් ක්‍රියාත්මක වේ. එහෙත්, තව දුරටත් මෙරට කැසිනෝ ව්‍යාපාර ඇති කිරීම සුදුසු ද නැත් ද යන්න කතා කිරීම කිසි සේත් ම නිෂ්ඵළ ක්‍රියාවක් නොවේ. එසේ නම් නිදහස් හෝ පෞද්ගලික හෝ අධ්‍යාපනය ගැන වර්තමානයේ කතා කිරීමේ වරද කුමක් ද? තව ද, නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් ඇති කිරීමට සුදුසු ම අවස්ථාවක් ලෙස අපි මෙම අවස්ථාව දකිමු.

අධ්‍යාපනය හා බැඳුණු අපේ සම්ප්‍රදාය

යුරෝපයේ නිල සංචාරයකට සහභාගි වූ වාරිමාර්ග ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙකු වරක් අප සමග පැවසුවේ, වාරි ජලය සැපැයීම සඳහා යුරෝපයේ මුදල් අය කිරීමක් සිදු කරන බවත්, එවැනි ක්‍රමයක් අප රටේ ද ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් ය. එහෙත්, ඔහු පවසන පරිදි එවැනි මුදල් අය කිරීමක් අප රටේ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගත හොත්, ඊට දැඩි මහජන විරෝධයක් එල්ල වනු නොඅනුමාන ය. එසේ වන්නේ ඇයි? එය හුදු මහජන සුබ සාධන කපා හැරීමට එරෙහිව කෙරෙන විරෝධයක් නොවන බව යි අපගේ අදහස. එවැනි විරෝධයක් ඇති වුව හොත් ඊට ප්‍රධානතම හේතුවක් වනු ඇත්තේ, වාරි ජලය විකිනීම වසර දහස් ගණනක් පැරණි අප රටේ වාරි සම්ප්‍රදායට පටහැනි බැවිනි. අපේ පැරණි සෞඛ්‍යා සේවය ගත්ත ද තත්ත්වය එසේ ම ය. අපේ අතීත වෛද්‍යවරුන් ප්‍රතිකාර කළේ මුදල් අය කරමින් නොවේ. අධ්‍යාපනය සම්බන්ධ අපේ සම්ප්‍රදාය ද එය ම බව නොකිව මනා ය. පිරිවෙන් පාදක කර ගත් අපේ පැරණි අධ්‍යාපන ක්‍රමය මුදලට ලබා දෙන ලද්දක් නොවී ය. නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට මුල් බැස ගැනීම උදෙසා අප පැරණි සම්ප්‍රදාය මගින් උත්තේජනයක් ලැබුණු බව නොඅනුමාන ය.

පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ගැටළු

උසස් අධ්‍යාපන ආයතන පිහිටු වීමට පෞද්ගලික අංශය ඉදිරිපත් වීම ම ගැටළු රැසක් ඇති කරන්නකි. පෞද්ගලික ආයතනයක් ඕනෑම ක්ෂේත්‍රයක ආයෝජනයක් සිදු කරන්නේ කිසියම් ලාබයක් අපේක්ෂාවෙනි. මේ නිසා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පෙළඹෙන්නේ ම වඩාත් ජනප්‍රිය පාඨමාලා හඳුන්වා දීමට ය. සති අන්ත පුවත් පතක් ගත් විට උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතනයන්හි වෙළඳ දැන්වීම් විශාල වශයෙන් අපට දැක ගත හැකි ය. මේ අතර, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය, කළමනාකරණය වැනි පාඨාමාලා කොතෙක් තිබුණ ද, සිංහල, ඉතිහාසය, දර්ශනය වැනි පාඨමාලා අපි එහි නොදකිමු. මේ අනුව අප රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධව ජනප්‍රිය පාඨමාලා මොනවා ද යන්න අවබෝධ කර ගැනීම පහසු ය. යටත් විජිත යුගයේ සිට අද දක්වා ම අප රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල පවා ජනප්‍රිය වී ඇත්තේ, බොහෝ විට වෘත්තීය පාඨමාලා මිස ශාස්ත්‍රීය පාඨමාලා නොවේ. මේ අනුව පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ප්‍රචලිත වීම යනු, එක් පැත්තකින් ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ කඩා වැටීමකි.

පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රචලිත වීම ලාංකේය සමාජය කෙරෙහි කවරාකාරයේ බලපෑමක් ඇති කරයි ද යන්න සලකා බැලීමට, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍ය සේවාව සංසංදනය කර බැලීම වටී. අද වන විට අප රටේ සාමාන්‍ය ආර්ථික මට්ටමක් ඇති ජනතාවගෙන් බහුතරයක් රජයේ රෝහලක බාහිර රෝගී අංශයට නොයති. වෛද්‍ය රසායනාගාර සේවාව සම්බන්ධයෙන් ද එසේ ම ය. පෞද්ගලික සෞඛ්‍ය සේවය අද එතරම් ම දුරට සාමාන්‍යකරණය වී ඇත. මේ නිසා, රජයේ රෝහල් වල නොමිලේ ලබා දෙන සේවාවන් අද වන විට අන්ත අසරණ දිළිඳු ජනතාවට පමණක් සීමා වී ඇත. බොහෝ විට මෙම ජනතාව සමාජය තුළ හඬක් නොනඟන, හඬක් නැඟිය නොහැකි පිරිසක් වීම නිසා ම ඔවුනට එම සේවා සපයන සෞඛ්‍ය අංශයන්හි ඇති පහසුකම් හා ඉන් සැලසෙන සේවාවේ ගුණාත්මක බාවයේ එතරම් වර්ධනයක් බලාපොරොත්තු විය නොහැක. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රජයේ අධ්‍යාපන ආයතන වලට ද අනාගතයේ දී මෙම ඉරණම අත්විය නොහැකි ද?

පෞද්ගලික විශ්ව විද්‍යාල හා අපේ දැනුම

ජාතික චින්තන මතවාදය තුළ දැනට වසර 30ක පමණ කාලයක් කතා බහට ලක් වන ප්‍රධානම මාතෘකාව වන්නේ අපේ චින්තනය මත පදනම්ව දැනුම නිර්මාණය කිරීම ය. එහෙත්, වසර 30කට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය වූ දැනුම තවමත් පොත පතට පමණක් සීමා වී ඇත. ඕනෑ ම විශව විද්‍යාලයක ප්‍රධාන අරමුණු දෙක වන්නේ නව දැනුම නිර්මාණය කිරීම සහ නිර්මාණය කරන ලද දැනුම බෙදා හැරීම ය. ජාතික මතවාදය සාර්ථක වනු ඇත්තේ, මෙරට චින්තනය මත පදනම්ව නිර්මාණය කරන ලද දැනුම මෙරට විශ්ව විද්‍යාල තුළ ඉගැන්වීම හා ඒ මත පදනම් වූ නව දැනුම එම විශ්ව විද්‍යාල තුළ බිහිවීම සිදු වන දිනක ය. එම දිනය ඉක්මනින් නම් උදා නොවනු ඇති අතර, පහසුවෙන් උදාකර ගත හැකි ද නොවනු ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම නිසා මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වනු ඇත් ද? මෙහි දී අයෙක් පැවසීමට ඉඩ ඇත්තේ, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව පෞද්ගලික විශ්ව විද්‍යාල මධ්‍යගත බාවයෙන් අඩු වනු ඇති බවත්, එම නිසා අපේ දැනුම මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල වල විෂයමාලාවන්ට ඇතුලත් කිරීම වඩා පහසු වනු ඇති බවත් ය. පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිපාලනය සාපේක්ෂව මධ්‍යගත බවින් අඩු වනු ඇති බව සැබෑවකි. එහෙත්, එම මධ්‍යගත බවෙහි අඩු වීම සිදු වන්නේ කවර දිශාවකට ද?

මෙම ලිපිය මුල දී සඳහන් කළ පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාලයක අනිවාර්යයෙන් ම ලාභාපේක්ෂාවක් රැඳී පවතින අතර, මේ නිසා ම එවැනි විශ්ව විද්‍යාලයක ඉගැන්වෙන පාඨමාලා වඩාත් ජනප්‍රිය මට්ටමේ ඒවා වනු ඇත. මේවා බොහෝ දුරට රැකියා ඉලක්ක කරගත් ඒවා වනු ඇති අතර, එම පාඨමාලා සකස් වනු ඇත්තේ පෞද්ගලික සමාගම් විසින් බඳවා ගැනීමට බලාපොරොත්තු වන වර්ගයේ උපාධිධාරීන් බිහි කිරීමේ අරමුණිනි. මෙවනි පාඨමාලා තුළ අපේ දැනුමකට (අපේ චින්තනය මත පදනම් වූ දැනුමකට ) සුළු හෝ ඉඩක් නොලැබෙනු ඇති අතර, එම පාඨමාලා වැඩි වැඩියෙන් නූතනත්වය දෙසට ම ගමන් කරනු ඇත. එවිට, ඒ හා තරඟ කිරීමට නම්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ද සිදු වනු ඇත්තේ සිය පාඨමාලා අර පෞද්ගලික විශ්ව විද්‍යාල අනුකරණය කරමින් ම සකස් කර ගැනීමට ය.

පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය නොකළ යුතු ය

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මේ රටේ වඩාත් ප්‍රචලිත වීමෙන් සිදු වන්නේ, අපේ චින්තනය මත පදනම් වූ දැනුමක් අප විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම හෝ එවැනි දැනුමක් එතුළින් බිහි වීමට හෝ ඇති සුළු ඉඩ ද ඇහිරී යාම ය. අනෙක් අතට, මුදලට අධ්‍යාපනය ලබා දීම යන සංකල්පය ම ධනවාදය හා බැඳී පවතී. ධනවාදය අත්‍යවශ්‍යයෙන් ම නූතනත්වය හා බැඳී ඇත. මේ අනුව, අපගේ අදහස නම් මුදලට අධ්‍යාපනය ලබා දීම ප්‍රවර්ධනය නොකළ යුතු බවත්, එසේ කිරීමෙන් වන්නේ අප රට තව තවත් නූතනත්වයේ ම ගිල්වීමක් බවත් ය. තව ද, එය අපේ ඓතිහාසික අධ්‍යාපන සම්ප්‍රදායට ද පිටුපා යාමකි.

දැනට අප රටේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කෙරෙන්නේ බටහිර දැනුම බෙදා දීම නොවේ දැ යි මෙහි දී කෙනෙකු ඇසිය හැකි ය. එහි සැබෑවක් ඇති නමුත්, අපට බටහිර දැනුමෙන් මිදීමට ඇති එක ම විකල්පය ද නිදහස් අධ්‍යාපන ක්‍රමය ම බව ද අප අමතක නොකළ යුතු ය. අපට අවශ්‍ය මධ්‍යගත බවින් මිදුණු අධ්‍යාපන ආයතන නම් ඊට විකල්පය මුදලට අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික ආයතන නොවේ. රජයට අයත් නොවන නමුත් මුදල් ද අය නොකරන අපේ පිරිවෙන් සම්ප්‍රදාය මත පදනම් වුනු ආයතන අපට බිහි කර ගත නොහැකි ද?

-නාරද බලගොල්ල

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/28/2015

එල්ලුම් ගහ ගැන බෞද්ධ විග්‍රහයක්

කතෘ:යුතුකම     9/28/2015   2 comments
දිවුලපිටිය කොටදෙනියාවේ සේයා සදෙව්මි දියණියගේ අමානුෂික ඝාතනයෙන් පසුව එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ගැන කතිකාවක් මෙරට සමාජය තුළ යළිත් මතුව ඇත. මෙම ඝාතනයට එරෙහිව රට පුරා පැවතී උද්ඝෝෂණ වලදී ද රජයෙන් කරන ලද මූලික ම ඉල්ලීම වූයේ මෙවැනි අපරාධ යළි සිදු නොවීමට නම් අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ය. දැනට ක්‍රියාවට නැංවෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බැවින් මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරවන ලෙස ඔවුහු ජනාධිපති තුමාගෙන් ද රජයෙන් ඉල්ලා සිටියහ. මේ සම්බන්ධව විවිධ ජන මාධ්‍ය මගින් සිදු කරන ලද මහජන අදහස් විමසීම් වල දී ද මේ හා සමාන අදහස් මතු විය. එසේ ම පසුගිය දා එක්තරා රැස්වීමක් අමතමින් ජනාධිපති තුමා ද ප්‍රකාශ කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට තමන් අදහස් කරන බවත් ය. තව ද ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙවැනි අපරාධකරුවන්ට "රජ කාලේ දඬුවම්" ලබා දිය යුතු බවකි. එහෙත්, ජනාධිපති තුමා ද සිය කතාවේ දී ප්‍රකාශ කළේ මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බාධකය වන්නේ මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන විරෝධය බව යි. තවත් සමහරෙකු ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට කිසිසේත් ම නොගැලපෙන බවකි. කෙසේ වෙතත්, මෙරට ජනතාවගෙන් බහුතරයක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

මරණීය දණ්ඩනයේ ඉතිහාසය 

මරණ දඬුවම ලබා දීම සඳහා ලංකාවේ මෙන් ම ලෝකයේ වෙනත් රටවල ද විවිධ ක්‍රම භාවිත වී ඇත. දං ගෙඩිය මත තබා ගෙල සිඳ ලීම, උල හිඳුවීම, ඇතුන් ලවා පෑගවීම වැනි ක්‍රම මෙරට, විශේෂයෙන් මහනුවර යුගයේ දී අපරාධ කරුවන්ට මරණ දඬුවම ලබා දීම සඳහා යොදාගෙන ඇත. කුරුසියේ ඇණ ගසා මරා දැමීම වඩාත් ප්‍රකට වන්නේ ජේසුස් වහන්සේට ලබා දුන් මරණ දඬුවම නිසා ය. විෂ ශරීර ගත කර මරා දැමීම විවිධ රටවල අතීතයේ සිට ක්‍රියාත්මක වූ ක්‍රමයකි. ප්‍රංශයේ භාවිත වූ ගිලටීනය ලෝකයේ ප්‍රසිද්ධ වූ මරණය ලබා දීමේ ක්‍රමයකි. ගෑස් කුටීරයක් තුළ දී මරණයට පත් කිරීම දෙවන බටහිර යුධ සමයේ (ඊනියා දෙවන ලෝක යුද්ධය) දී ප්‍රසිද්ධියට පත් විය. විද්‍යුත් විතක්ෂය මගින් මරණයට පත් කිරීම හෙවත් විදුලි පුටුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වුනු ක්‍රමයකි. වෙඩි තබා මරා දැමීම, ගල් ගසා මරා දැමීම වැනි දෑ ද ඇතැම් රටවල ක්‍රියාත්මක වන මරණ දඬුවම ලබා දීමේ ක්‍රම වේ. දිවි තොර වන තුරු එල්ලා තැබීම හෙවත් එල්ලුම් ගස බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරටට හඳුන්වා දෙන ලද දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම 1948 ඊනියා නිදහසින් පසුව ද වරින් වර ක්‍රියාත්මක වූ නිසා ම, මෙරට බොහෝ දෙනෙකුට මරණ දඬුවම කියූ සැනින් මතකයට නැඟෙන්නේ එල්ලුම් ගස යි. කෙසේ වෙතත් 1956 දී බලයට පත් බණ්ඩාරනායක රජය මගින් මරණීය දණ්ඩනය ලබා දීම නවතා දැමුණ ද, බණ්ඩාරනායක මහතාගේ ම ඝාතකයාට නැවත මරණ දඬුවම ලබා දෙන්නේ දෛවයේ සරදමක් ලෙස ය. එතැන් පටන් යළි ක්‍රියාත්මක වූ මරණ දඬුවම නැවත නවතා දැමෙන්නේ 1977න් පසුව ජේ.ආර්. ජයවර්ධන රජය මගිනි.

රටේ අපරාධ රැල්ල සහ මරණ දඬුවම 

වර්තමානයේ එල්ලුම් ගස ගැන නැවත කතා කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට පසුගිය දශක කිහිපය පුරා වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල බව කිව හැකි ය. අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. සිදු කළ අපරාධයට හිලව් වන ලෙස අපරාධකරුට දඬුවමක් ලබා දීම, නැවත එවන් හානියක් සමාජයට නොවීමට එකී අපරාධකරුවා සමාජයෙන් තුරන් කිරීම සහ එවන් අපරාධ කිරීම කෙරෙහි සමාජයේ සෙසු පුද්ගලයින් තුළ බියක් ඇති කිරීම එම කරුණු අතර වෙයි. ජේ.ආර්. ජයවර්ධන රජය මගින් මරණ දඬුවම ලබා දීම නැවත්වීම සහ රටේ අපරාධ රැල්ලක් ලෙස ඉස්මතු වීම යන සංසිද්ධීන් දෙකම සමගාමීව සිදු වීම නිසා ම, මේ දෙක අතර සහසම්බන්ධයක් ඇතැ යි සිතීමට බොහෝ දෙනෙක් අද වන විට පෙළඹී සිටිති. මරණ දඬුවම සැබවින් ම අපරාධ අඩු කිරීමට හේතුවක් වේ ද? නැතහොත් මරණීය දණ්ඩනය ලබා නොදීම අපරාධ වැඩි වීමට හේතුවක් වේ ද? අනෙක් අතට මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට ගැලපේ ද? එසේ නොගැලපේ නම් මරණ දඬුවම ලබා නොදී රටේ අපරාධ මැඩ පැවැත්වීමට ක්‍රමයක් තිබේ ද? මෙම ප්‍රශ්න මරණ දඬුවම ගැන කතා කිරීමේ දී අත්‍යවශ්‍යයෙන් ම කතා කළ යුතු ඒවා වෙයි.

මරණ දඬුවම දෙස බෞද්ධ ඇසකින් බලමු 

අපගේ පිළිගැනීම අනුව ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටකි; සිංහල බෞද්ධ රටකි. එබැවින් මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීම දෙස බෞද්ධ දෘෂ්ඨි කෝණයකින් බැලීම ය. එල්ලුම් ගස හෝ වෙනත් ක්‍රමයකින් හෝ ලබා දෙන මරණ දඬුවම ප්‍රාණ ඝාත අකුසලයට අයත් වේ. මේ අනුව බලන කළ අපරාධයක් සිදු කළ තැනැත්තෙක් මරණයට පත් කිරීම බුදු දහමට පටහැනි බව අපට කිව හැකි ය. අනෙක් අතට අපරාධකරුවෙකු කෙරෙහි ද්වේශයෙන් මරණය නියම කිරීම ද බුදු දහමට එකඟ නොවේ. මෙය බුදු දහම ඇසුරින් මරණ දඬුවම ගැන දිය හැකි සරල ම විග්‍රහයකි. අපට තව දුරටත් මෙසේ ද සිතිය හැකි ය. බෞද්ධයෝ උච්ඡේදවාදීහු නොවෙති. එසේ නම් යමෙකු හට මරණ දඬුවම ලබා දුන් පසුව ඔහුට හෝ ඇයට හෝ කුමක් සිදු වෙයි ද? මරණයෙන් පසුව කවරාකාරයේ උප්පත්තියක් ලබණු ඇත් ද? මෙම මරණ දඬුවම අදාළ පුද්ගලයාගේ ඉදිරි සසර ගමන කෙරෙහි කෙසේ බලපානු ඇත් ද?

බෞද්ධයාගේ කාර්ය භාරය විය යුත්තේ තමන් නිවන් මාර්ගයේ ගමන් කරන අතරම සෙසු පුද්ගලයින් ද නිවන් මාර්ගයේ ගමන් කරවීමට හැකි පමණ උත්සාහ දැරීම ය. එසේ ම බෞද්ධ නීති සම්පාදකයින්ගේ වගකීම විය යුත්තේ අපරාධකරුවන් ද ඇතුළු රටේ ජනතාව හැකි තාක් නිවන් මාර්ගයට යොමුවන පරිදි නීති සම්පාදනය සිදු කිරීම ය. සසර සැරිසරන සත්ත්වයින් වන අප වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ලෝබ ද්වෙශාදී අකුසල් කෙරෙහි බව යි බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ. මේ නිසා ම දැඩි වීර්යයෙන් තුන් දොර සංවර කර නොගත හොත් මිය යන මොහොතේ ද අකුසල් සිතක් පහල වීමේ ඉතා ඉහල සම්භාවිතාවක් ඇත. බොහෝ විට අපරාධ සිදු වන්නේ දුර්වල සිත් ඇත්තන් අතිනි. මේ නිසා ම මෙම පුද්ගලයින්ගේ සිත් ද බොහෝ විට අකුසල් සිතුවිලි වලින් පිරී පවතී. මෙවැනි පුද්ගලයෙකු මරණයට පත් කළ හොත් එම පුද්ගලයා මිය යන මොහොතේ පහළ වන චුති චිත්තය ද, අකුසල් සිතක් ම වීමේ ඉතා ඉහල හැකියාවක් ඇත. මරණයේ දී ඇති වන වේදනාව ඒ සඳහා මහත් අනුබලයක් ද ලබා දෙයි. මේ නිසා එම පුද්ගලයා ප්‍රේත ලෝකයක, සතර අපායක වැනි දුගතියක උප්පත්තියක් ලබනු ඇත. බෞද්ධ ඉතිහාසයේ සඳහන් ආකාරයට බන්ධුල මල්ලිකාව වැනි සැදැහැවතුන් පවා මරණින් ඉක්බිති අපා ගත වූයේ නම් මෙවැනි පුද්ගලයින් ගැන කවර කතා ද?

මෙවැනි පුද්ගලයින් සිදු කළ අපරාධයන්ට වන්දි ගෙවීම පිණිස එවැනි උපතක් ලැබීමේ ගැටළුවක් නොමැති බව අයෙකු පවසනු ඇත. එහෙත් එවැන්නන් දෙස අප බැලිය යුත්තේ එවැනි ද්වේශ සිතකින් ද? මෙවන් දුගතියක උපත ලැබීමෙන් ඔවුහු නිවන් මගෙන් තව තවත් ඈත් වීම සිදු වෙයි; අකුසලය වෙත නැඹුරු වී තව තවත් එවැනි ම වැරදි වෙත යොමු වීම සිදු වෙයි. මිනිසුන් 999ක් ඝාතනය කළ අංගුලිමාලට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා නොදී මරණ දඬුවම ලබා දුන්නේ නම් කුමක් සිදු වනු ඇත් ද? අද මරණ දඬුවමට නියම වන පුද්ගලයෙකුට අනාගතයේ නිවන් මගෙහි ගමන් කිරීමට තරම් පිනක් තිබිය නොහැකි ද? එම නිසා මරණ දඬුවම හරහා එවැනි පුද්ගලයෙකුට සිදු වන්නේ යහපතක් නම් නොවන බව පැහැදිලි ය.

විකල්පය 

මරණීය දණ්ඩනය නුසුදුසු නම් රටක අපරාධ අඩු කිරීම සිදු කළ හැක්කේ කෙසේ ද? මරණීය දණ්ඩනය නිසා පුද්ගලයෝ අපරාධ සිදු කිරීමට බිය නොවෙත් ද? මෙය මිත්‍යා මතයක් බව පෙනී යන්නේ, මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවා අපරාධ සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා ය. අනෙක් අතට කෙතරම් දරුණු දඬුවම් ක්‍රියාත්මක වුව ද අපරාධ සිදු කරන බොහෝ පුද්ගලයින් සිතන්නේ තමන් එය කළ බව හෙළි නොවනු ඇති බව යි. තවත් අයෙක් ක්ෂණිකව ඇති වන රාග හෝ ද්වේශ හෝ සිතුවිලි නිසා අපරාධ සිදු කරති. රටකට නීති පද්ධතියක් අනවශ්‍ය බව අපි මින් අදහස් නොකරමු. නුවණැත්තන් අකුසලයට බිය වුව ද නුවණ නැත්තන් තුළ වරදට බිය ඇති කිරීම සඳහා සිර දඬුවම් වැනි දෑ අවශ්‍ය ය. අප යෝජනා කරන්නේ අපරාධයන්ට සම්බන්ධ වී සිර ගතවන පුද්ගලයින් තුළ කුසල් සිතුවිලි වර්ධනය කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතු බව යි.

අප දකින ආකාරයට රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි.

-නාරද බලගොල්ල
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/04/2015

අජිත් රෝහණ ප්‍රංශයට ගියේ ඇයි?

කතෘ:යුතුකම     6/04/2015   No comments
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිඥ) අජිත් රෝහණ මහතා ප්‍රංශයට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ. එම මාධ්‍ය වාර්තා වලට අනුව ඒ මහතා මෙරටින් පිටව ගොස් ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මගින් ප්‍රංශයේ ලියොන් නුවර පැවැත්වෙන වාර්ගික සංහාර, යුධ අපරාධ සහ මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ පස් දින ජාත්‍යන්තර පාඨාමාලාව (Five Day International Course on Genocide, War Crimes and Crimes against Humanity) හැදෑරීම පිණිස ය. අජිත් රෝහණ මහතා වැනි පොලිස් නිළධාරියෙකුට පමණක් නොව මෙරට ඕනෑම රජයේ සේවකයෙකුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීම අප රටට ඉතා වැදගත් බව කෙනෙකු ප්‍රකාශ් කරනු ඇත. එහෙත්, වාර්ගික සංහාර සහ යුධ අපරාධ ආදිය ගැන වැඩිදුර ඉගෙන ගැනීම මෙරට පොලිස් නිළධාරියෙකුට මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ද යන්න අපි ප්‍රශ්න කළ යුතු වෙමු.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහභාගි වන පාඨමාලාව අප රටට කෙසේ වැදගත් වේ ද? ඒ මහතා අදාළ පාඨමාලාව මගින් ලබා ගන්නා දැනුම අප රටට කවර ආකාරයේ සේවයක් ඉටු කරනු ඇති ද? එම දැනුම මගින් පිළියම් යෙදීමට මෙරට වාර්ගික සංහාරයක් හෝ යුධ අපරාධයක් හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු වී ඇති ද? නැතහොත් අනාගතයේ එවැනි අපරාධයක් මෙරට සිදුවනු වැලැක්වීම ද ඒ මහතා එම පාඨමාලාව හැදෑරීමේ අරමුණ? අප මෙසේ නඟන ප්‍රශ්න "කොරහේ කිඹුල්ලු දැකීමක්" ලෙස සිතන ඇතැමෙකු පවසනු ඇත්තේ මෙම පාඨමාලාව හරහා අජිත් රෝහණ මහතා ලබා ගන්නා දැනුම, පසුගිය සමයේ ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ ඡෝදනා වලට පිළිතුරු ලබා දීමටත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් පැවැත්වීමටත් යොදා ගත හැකි බව ය.

මාධ්‍ය ඔස්සේ වාර්තා වුනු ආකාරයට උක්ත පාඨමාලාව සඳහා රටවල් 190කින් අයදුම් පත් ලැබී තිබුණ ද, ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ රටවල් 30ක පොලිස් නිළධාරීන්ට පමණි. මෙම රටවල් 30 අතරට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට "වාසනාව" උදා වී ඇත. එසේ නම් මෙම රටවල් 30 තෝරා ගැනීමේ ක්‍රමවේදය කුමක් වන්නට ඇති ද? ජනාධිපති තුමා සහ අගමැති තුමා වරින් වර කියා ඇති පරිදි මේරට සිදු වූයේ යැ යි කියන යුධ අපරාධ ගැන දේශීය පරීක්ෂණයක් පැවැත්වීම උදෙසා දක්වන සහායක් ලෙස ජාත්‍යන්තර පොලීසිය විසින් මෙම අවස්ථාව අප රටට ලබා දෙනු ලැබුවේ ද?

ඊනියා මානව හිමිකම් යුධ අපරාධ ආදිය බටහිර රටවල් විසින් තමන්ට රිසි පරිදි යොදා ගැනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඊනියා ජාත්‍යන්තර සංවිධාන යනු එම අරමුණු වෙනුවෙන් අප වැනි රටවල් බැඳ තබා ගැනීමට පිහිටුවා ගත් ඇටවුම් වෙයි. ලංකා හමුදාව විසින් සිදු කරන ලදැ යි කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කතා බහට ලක් වුව ද, ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් හෝ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට එල්ල කළ ප්‍රහාර හෝ එ තුළ සාකච්ඡා නොකෙරෙයි. සාකච්ඡා කිරීමට යමෙක් උත්හාහ ගත්ත ද "ජාත්‍යන්තර චන්ඩි පාට්" භාවිතයෙන් එය ව්‍යයර්ත කෙරෙයි.

එක් පිරිසක් තම ආධිපත්‍යය පවත්වා ගැනීම පිණිස ම යොදා ගන්නා මේ ආකාරයේ ඒක පාර්ශවික නීති ඔස්සේ දේශීය වේවා, ජාත්‍යන්තර වේවා කවර ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වුව ද එමගින් අප රටට සෙතක් සිදු වේ යැ යි සිතිය නොහැක. මේ නිසා ම අජිත් රෝහණ මහතා තම සංචාරට තුළින් ලබා ගත් දැනුම ඉදිරියේ දී කෙසේ භාවිත කරන්නේ දැ යි අපි විමසිලිමත්ව බලා සිටිමු.


-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

2/01/2015

මිස්ටර් ක්ලීන්ගේ මහත්මා දේශපාලනය

කතෘ:යුතුකම     2/01/2015   2 comments
මෙම ලිපියෙන් කතා කිරීමට යන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන ය. ඒ මහතා මෙරට සිටින පරිණත දේශපාලඥයෙකි. කොළඹ 07 රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි. කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨයේ ආදී විද්‍යාර්ථයෙකි. වෘත්තියෙන් නීතීඥයෙකි. සිංහල සහ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි ද්වී-භාෂික උගතෙකි. 1977 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. 1994 නොවැම්බර් මාසයේ සිට ඒ.ජා.ප නායකයා ය. 1994 සිට 2015 දක්වා (වසර දෙකක් හා මාස 04 ක පමණ කාලයකට හැර) මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ය. එසේ ම, අධ්‍යාපන අමාත්‍ය ධූරය ඇතුළු කැබිනට් ඇමති ධූර ද දැරුවෙකි. 1993 මැයි මාසයේ සිට අවස්ථා දෙකක දී වසර තුනකට අඩු ධූර කාල සඳහා දෙවරක් අගමැති ධූරය හොබවා මේ වන විට තෙවන තෙවන වරටත් අගමැති ලෙස දිවුරුම් දී ඇත.


පසුගිය කාලයේ ඇතැමෙක් රනිල් වික්‍රමසිංහයන් "මිස්ටර් ක්ලීන්" (පිරිසිදු මහත්මයා) ලෙස හඳුන්වන ලදහ. එහි දී එතුමන් මහත්මා දේශපාලඥයෙකු ලෙස හඳුන්වන ලදී. මේ ගැන කතා කරන බොහෝ දෙනා සිහිපත් කරන්නේ 1994 මහ මැතිවරණයේ දී, එ.ජා.ප. ය පරාජය වූ අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඒ මහතා ජනතා තීන්දුවට ගරු කරමින් ඒ මොහොතේම අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරය යි. සමහරුන් පවසන්නේ එතුමා තරම් ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් පවතින වෙනත් දේශපාලඥයෙක් ලංකාවේ නැති බව ය. මේ නිසා ලංකාවට ජාත්‍යන්තරයෙන් ඇතිවන බලපෑම් පහසුවෙන් ම කළමනාකරණය කිරීමට එතුමන්ට පහසුවෙන් ම හැකි බව ඔවුහු කියති. එසේ ම ඇතැමුන් කියන ආකාරයට වික්‍රමසිංහ මහතා සතුව පවතින බුද්ධියෙන් තාමත් මෙරට ජනතාව වෙනුවෙන් වැඩක් ගැනීමට නොහැකි වී ඇත. මේ සියල්ල වික්‍රමසිංහයන් ගැන ඇතැමුන් කියන කතා ය.


එන්.ඩී.ටී.වී. සමග කළ සාකච්ඡාව

අපට දැන් එතුමන් ගැන කතා කිරීමට සිදුව ඇත්තේ ඔහු මෑතක දී ඉන්දියානු එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග පවත්වන ලද සාකච්ඡාවක දී ඒ මහතා විසින් කියන ලද කරුණු නිසා ය. එන්.ඩී.ටී.වී.යනු ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සම්බන්ධ රූපවාහිනී නාලිකා අතරින් ඉන්දියාවේ ප්‍රමුඛතම නාලිකාවකි. මෙම නාලිකාව ප්‍රධාන වශයෙන් ම ඉන්දීය දේශපාලනයට අදාළ කරුණු සාකච්ඡා කළ ද කාලාපයේ සෙසු රටවල් ගැන ද යම් යම් අවස්ථා වල දී අවාධානය යොමු කර යි. විශේෂයෙන් ම එම රටවල දේශපාලනයේ ඉන්දියාව විසින් සිය අවධානයට යොමු කරන කරුණු එන්.ඩී.ටී.වී.යේ ද අවධානයට ලක් වෙයි.


අගමැති තුමා සමග කරන ලද මේ සාකච්ඡාව සම්බන්ධව මුලින් ම තොරතුරක් හෙළි කරන ලද්දේ එන්.ඩී.ටී.වී.හි නිලට්විටර් පිටුව මගිනි. "In principle, we have agreed to full autonomy to Tamil areas, Sri Lankan Prime Minister Ranil Wickramasinghe tells NDTV" යනුවෙනි එහි වාර්තා කර තිබුනේ. එනම් "දෙමළ ප්‍රදේශ සඳහා පූර්ණ ස්වයං පාලනය ලබා දීමට ප්‍රතිපත්තියක් අප එකඟ වී සිටින බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී.යට පැවසී ය" යනුවෙනි. එහෙත්, ඇතැමුන් ප්‍රකාශ කළේ එන්.ඩී.ටී.වී. ට්විටර් පිටුව එසේ කීව ද, අදාළ රූපවාහිනී සාකච්ඡාවේ දී එවැන්නක් නොකියැවෙන බවකි. එසේ වුවත්, මෙය සමාජ ජාලයක පළ වූ තවත් එක් වැරදි පුවතක් බව කියා කර බා ගත නොහැකි ය. මන් ද, වර්තමාන ප්‍රවණතාවය අනුව බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් තම මතය ප්‍රකාශ කිරීමට තම නිල ට්විටර් පිටු භාවිත කිරීම ය. එහි දී වැදගත් වන්නේ අදාළ පිටුව නිල පිටුව ද යන්න පමණි. මේ බැව් රනිල් වික්‍රමසිංහ මහතා නොදන්නේ නම් එය ඔහුගේ ද්වි-භාෂික උගත්කමට ද නිගාවකි. මෙම ප්‍රකාශය පළ වන්නේ එන්.ඩී.ටී.වී. නිල ට්විටර් පිටුවේ ය. අපේ අසල්වැසි රටේ ප්‍රධානත ම රූපවාහිනී නාලිකාවක නිල ට්විටර් පිටුවක අපේ රටේ අගමැති තුමා සිදු කළා යැ යි කියමින් වැරදි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ම බරපතල වරදකි. අනෙක් අතට මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ අතිශය වැදගත්, තීරණාත්මක ප්‍රකාශයකි. එසේ නම්, වික්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ එම ප්‍රකාශය වැරදි බවට වහාම නිවේදනය කිරීම ය. අඩු ම තරමේ තම නිල ට්විටර් පිටුව හරහා වත් එසේ ප්‍රකාශ කිරීම ය. අවාසනාවකට ඔහු එසේ නොකළේ ය. එසේ නොකිරීමෙන් මෙම ප්‍රකාශය සත්‍ය බව අපට නිගමනය කිරීමට සිදුවේ. එසේත් නැති නම් රනිල් වික්‍රමසිංහ මහතා උගත් පරිණත දේශපාලඥයෙකැ යි අප තුළ ඇති අදහස බැහැර කළ යුතු ය.


ට්විටර් පිටුවේ පලවී තිබූ දෑ වැරදි යැ යි අපි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් වික්‍රමසිංහ මහතා අදාළ සාකච්ඡාවේ දී ඇත්තට ම කිවේ කුමක් දැ යි අපි සොයා බැලිය යුත්තෙමු. මෙම සාකච්ඡාව දැන් එන්.ඩී.ටී.වී.වෙබ් අඩවියේ පළව තිබේ. මෙම සාකච්ඡාව දැනටත් ඕනෑ ම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ය. ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත හැකි ඕනෑ ම කෙනෙකුට අග්‍රාමාත්‍යවරයා කුමක් කීවේ ද යන්න මෙය නැරඹීමෙන් වටහා ගත හැකි ය. එමෙන් ම, මෙහි සිංහල පරිවර්තනයක් ද යුතුකම සංවාද කවයේ වෙබ් අවවියේ පළ කර ඇත.


එම සාකච්ඡාවේ දී නිවේදකයා සිය ප්‍රශ්න ඇසීම සිදු කරන්නේ සම්පූර්ණයෙන් ම ඉන්දීය දෘෂ්ඨි කෝණයෙනි. එහි දී ඔහු ඉන්දියාවේ අවධානය යොමුව ඇතැ යි කියන කරුණු තුනක් ගැන අගමැති තුමාගෙන් රජයේ ස්ථාවරය විමසා සිටියි.
1. දෙමළ ජනතාවට පූර්ණ ස්වයංපාලනය ලබා දීම
2. රාජපක්ෂ රජයේ අධි චීන හිතවාදී බව
3. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා
යනු එම කරුණු තුන යි.


හංසයාට ලැබුණු ජනවරම

අපි මෙම කරුණු මදකට පසෙකට තබා ජනාධිපතිවරණ ජනවරම දෙසට හැරෙමු. ජනාධිපතිවරණ ප්‍රතිඵලය කවුරු කෙසේ අර්ථ දැක්වුව ද, සියලු දෙනා අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් ඇත. එනම් ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබීම ය. එසේ නම් මෙම බහුතර ජනතාව සිරිසේන මහතාගේ ඡන්ද ලකුණ වූ හංසයා ඉදිරියේ කතිරය ගැසුවේ ඇයි? මෙම ජනතා අභිලාශය වෙනත් කිසිවක් නොව ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ කරුණු ය. එනම් රටේ යහපාලනය ඇති කිරීම, විධායක ජනාධිපති ධූරයට අදාළ බලතල සීමා කිරීම ආදිය ය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහාය සිරිසේන මහතාට හිමි වෙත් ම, ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටු කිරීමට මෙම පාර්ශව සහ සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇතැ යි ඇතැම්හු චෝදනා කළහ. දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීමේ අරමුණ වන්නේ වෙනම රාජ්‍ය/ෆෙඩරල් කලාප ආදිය ලබා ගැනීම වීම, ඔවුන් විසින් කාලාන්තරයක් තිස්සේ කරනු ලබන ඉල්ලීම් ආදිය මතු කරමින් ඔවුහු මෙම චෝදනාව එල්ල කළහ. එකල මීට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ය. ඔහු පැවසුවේ දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සිරිසේන මහතාට සහාය දෙන්නේ හුදු යහපාලනය ඇති කිරීමේ අරමුණින් බවත් එම පක්ෂ මීට පෙර ඉල්ලා සිටින ලද දෙමළ, මුස්ලිම් ජනතාවට ඇතැ යි කියන ප්‍රශ්න වලට ඉල්ලන විසඳුම් මෙහි දී කතා නොකෙරෙන බවත් ය. දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග එවැනි එකඟතාවන් නොමැති බව සිරිසේන මහතා ද යාම යම් අවස්ථාවල දී තහවුරු කළේ ය. එසේ ම සිරිසේන මහතා සහ ජාතික හෙළ උරුමය අතර අත්සන් කරන ලද එකඟතාව මුල සිට ම ජනතාවට හෙළි කරන ලද අතර, එහි අඩංගු වූයේ හෙළ උරුමය මීට පෙර කතා කරන ලද සිංහල බෞද්ධයන් සම්බන්ධ ගැටළු නොව රටේ සමස්ථ ජනතාවට අදාළ යහපාලනයට අදාළ කරුණු ය. මේ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්‌ වූ සියලු පාර්ශවයන් තම තමන්ගේ මත පසෙක ලා යහපාලනය නම් පොදු කරුණට එකඟ වූ බව හංසයාට කතිරය ගැසූ ජනතාව විශ්වාස කළ බව නිසැක ය.


අගමැති තුමා ඇත්තටම කිවේ මොනවා ද?

අප මුල දී කතා කරමින් සිටියේ එන්.ඩී.ටී.වී.ය සමග අගමැති තුමා සිදු කළ සාකච්ඡාව ගැන ය. එහිදී නිවේදක තැන ප්‍රධාන කරුණු තුනක් මතු කළ බව අපි ඉහත සඳහන් කළෙමු. ඉන් මුල දී ම සඳහන් කරන ලද ස්වයංපාලනය හා සම්බන්ධ වන්නේ පළමු කරුණ යි. නිවේදකයා එහි දී විමසන්නේ දෙමළ ජනතාවට පූර්ණ ස්වයංපාලනයක් ඔබ ලබා දෙනවා ද යන්න යි. මෛත්‍රීපාල මහතා ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී පැවසූ ආකාරයටත්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයටත්, මෙම ස්වයංපාලන කතාව වත්මන් රජයට අයත් කාර්යයක් නොවේ. නිවේදකයා අසන මෙම ස්වයංපාලනය නම් විසඳුම ඉදිරිපත් වන්නේ ම මෙරට දෙමළ ජනයාට ඇතැ යි කියන ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ය. මෙම නිවේදකයා ම කියන ආකාරයට සිය රජය අන්තර්කාලීන රජයක් (transitionary government) බව රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත. දෙමළ ජාතික සන්ධානය පවා මෙම අන්තර්කාලීන රජය පිහිටුවීමට උදව් කර ඇත්තේ එවැනි ස්වයංපාලන විසඳුම් බලාපොරොත්තුවෙන් නොවේ. එසේ නම් නිවේදක තැන අසන ප්‍රශ්නය මේ රජයට අදාළ නොවන ප්‍රශ්නයක් බව පැහැදිළි ය. එබැවින් වික්‍රමසිංහ මහතාට මුලින් ම කිව යුතුව තිබුණේ, තම රජය පත්ව සිටින්නේ මෙරට යහපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ ඒකායන අරමුණින් බවත්, ස්වයංපාලනයක් ගැන කතා කිරීම තමන්ට අදාළ නොවන බවත් කීම ය. එහෙත්, ඔහු එසේ කීවේ නැත. මෙහි දී රජය දරන්නේ ස්වයංපාලනයක් ලබා දීමට විරුද්ධ මතයක් යැ යි මොහොතකට සිතමු. එසේ නම් තම රජය එවැනි ස්වයංපාලනයක් ලබා නොදෙන බව ය ඔහු විසින් කිව යුතුව තිබුණේ. එහෙත්, ඔහු එසේ කීවේ ද නැත. ඔහු කීවේ මෙවැන්නකි.

"Well the agreement is that the 13th Amendment be implemented, and that's the discussion we are having with the TNA. In principle all have agreed that the 13th Amendment should be implemented."
"හොඳයි. එකඟතාවය වුනේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යි. එය තමයි, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කලෙත්. ප්‍රතිපත්තිමය විදිහට සියලු දෙනා එකඟ වෙලා තියනවා, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට."

මෙහි දී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමක් ගැන ඔහු පවසයි; ඒ ගැන වූ එකඟතාවක් ගැන ද පවසයි; ඒ ගැන දෙමළ ජාතික සන්ධානය ගැන සාකච්ඡා කළ බව ද පවසයි; මේ ගැන ප්‍රතිපත්තිමය ලෙස සියලු දෙනා එකඟ වී ඇතැ යි ද පවසයි. මෙතුමා මේ පවසන හතර බීරි කතාව අපට නම් ගැටලුවකි. මේ නිසා ම මේ ගැන වැඩි දුරටත් එතුමා කුමක් පවසන්නේ ද යන්න විමසීම වටී. ඔහු ඊළඟට පවසන්නේ මෙවැන්නකි.

"We're only having discussions about the police powers and how it should function"
"අපි සාකච්ඡා කරන්නේ පොලිස් බලතල ගැනත් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැනත් පමණ යි"

මෙයින් ගම්‍ය වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත්, පොලිස් බලතල ලබා දීමත් නව රජයට ගැටළුවක් නොවන බවත් ය. ගැටලුව වන්නේ එම බලතල ක්‍රියාත්මක වීමේ දී ඇතිවන ප්‍රශ්න පමණි.

රජයේ මතය කුමක් ද?

වත්මන් රජය වූ කලි අමුතු ම ආකාරයේ රජයකි. ජනාධිපතිවරයා ශ්‍රී.ලං.නි.ප.යේ ය. අග්‍රාමාත්‍යවරයා එ.ජා.ප.යේ ය. කැබිනට් මණ්ඩලය විවිධ පක්ෂ වල සාමාජිකයන්ගෙන් සමන්විත ය. ඇතැමෙකු කවර පක්ෂයේ ද කියා වත් සොයා ගැනීමට බැරි ය. පාර්ලිමේතුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් නැත. විපක්ෂයට බහුතරයක් ඇත. එසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට විපක්ෂය ආණ්ඩුවට සහය දෙයි. එසේ ම මෙම දින සියයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන අවස්ථාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වටා විවිධ පක්ෂ ඒක රාශී වී සිටියේ ය. මෙම පක්ෂ වල ප්‍රතිපත්ති ද විවිධාකාර ය. උදාහරණයක් ලෙස ජාතික හෙළ උරුමය සහ දෙමළ ජාතික සන්ධානය ගත් කල ප්‍රතිපත්තිමය ලෙස හාත්පසින් ම වෙනස් වෙයි. හෙළ උරුමය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ජනාධිපතිවරණයට පෙර අත්සන් තැබුණි. එය මාධ්‍යයට ද හෙළි කරන ලදී. ඒ මොහොතේ සිරිසේන මහතා දැඩි අභිමානයෙන් පැවසුවේ කිසිඳු හොර ගිවිසුමක් අත්සන් නොකෙරෙන බව ය. එහෙත්, දෙමළ සන්ධානය සහ එ.ජා.ප.ය සමග සිරිසේන මහතා අත්සන් කළ එවැනි ගිවිසුමක් රටට හෙළිදරව් නොකෙරිණ. ඒ කුමක් වුවත්, වත්මන් රජයේ මතය ලෙස රටවැසියා ට පිළිගැනීමට සිදු වන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබූ කරුණු ය.

13 වැනි සංශෝධනය සම්බන්ධව රටේ විවිධ මතවාද පවතී. සිරිසේන මහතා බලයට පත් කිරීමට කැප වූ දේශපාලන පක්ෂ අතර ද මේ ගැන එකඟතාවක් නැත. විශේෂයෙන් ම, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ ගැන පැහැදිළි මතයක් ප්‍රකාශ නොවුනි. මේ අනුව, ඒ ගැන රජයට නිශ්චිත මතයක් නොමැති බැව් පිළිගැනීමට අපට සිදු වේ. දින සියයක් තුළ යහපාලනය සම්බන්ධ කරුණු කිහිපයක් ඉටු කිරීමේ අරමුණින් පත් කර ඇති අන්තර්කාලීන රජයකට එවැනි මතයක් තිබීම ද අත්‍යවශ්‍ය නොවන බව අපේ හැඟීම යි.


මේ සියල්ල මෙසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග සාකච්ඡාවට එක් වන්නේ "රනිල් වික්‍රමසිංහ" නම් පුද්ගලයා ලෙස හෝ එ.ජා.ප. නායකයා ලෙස නොවේ. ඔහු එහි යන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස ය. එහි දී ඔහු දක්වන මත ය, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයාගේ හෝ එ.ජා.ප යේ මතය හෝ නොවේ. එය අත්‍යවශ්‍යයෙන් ම රජයේ මතය විය යුතු ය. එසේ නම්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ ද? අගමැති තුමා කියන පරිදි ඒ ගැන රජය දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කර තිබේ ද? එම සාකච්චාව කළේ ඡන්දයට පෙර ද පසුව ද?

මිස්ටර් ක්ලීන්ගේ පිරිසිදු බාවය

මිස්ටර් ක්ලීන් (පිරිසිදු මහත්මයා) නොහොත් රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා මේ කරන ප්‍රකාශ ඉතා බරපතල ය. මෙම ප්‍රකාශ අපට බරපතල ප්‍රශ්න ගණනාවක් ම මතු කර යි.

1. වත්මන් අන්තර්කාලීන රජය ඉටු කිරීමට මැතිවරණයේ දී පොරොන්දු නොවූ එහෙත් ආන්දෝලනාත්මක කරුණක් ඉටු කරන බව පැවසීම
2. එ.ජා.පයේ මතය රජයේ මතය ලෙස ප්‍රකාශ කිරීම
3. දෙමළ සන්ධානය සමග යහපාලනය ගැන හැර වෙනත් එකඟතාවක් නැති බව සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා ඡන්දයට පෙර කියා තිබිය දී, එවැනි සාකච්ඡාවක් කළ බව පැවසීම
4. ස්වයංපාලනය ලබා දීම ගැන එන්.ඩී.ටී.වී. ට්විටර් පිටුව සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීම


රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අත්සන් කරන ලදැ යි කියන ගිවිසුමක් ඡන්දයට පෙර තිස්ස අත්තනායක මහතා විසින් හෙළි කරන ලදී. එම ගිවිසුම ඇතැම් විට ව්‍යාජ එකක් විය හැකි ය. එහෙත් අපි සත්‍ය ගිවිසුම කුමක් ද කියා ද නොදනිමු. ඒ එවැනි ගිවිසුමක් රටට හෙළි නොකළ නිසා ය. මැතිවරණය ආසන්නයේ දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සිරිකොත මන්දිරය ඉදිරිපිට දී කරන ලද උද්ඝෝෂණයක දී ඉල්ලා සිටියේ එවැනි ගිව්සුමක් ඇත් නම් එය හෙළි කරන ලෙස ය. එවැන්නක් හෙළි කරන ලද්දේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන අද කතා කරන එ.ජා.පය නම් නොවේ. මෙතරම් උගත්, බුද්ධිමත්, පරිණත රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්නුම් කර ඇත්තේ එකී සුදුසුකම් වලට සරිලන හැසිරීමක් නොවේ. එහි දී ඔහු මහත්මා දේශපාලඥයෙකුගේ චරිතය වෙනුවට සට කපට දේශපාලඥයාගේ ම චරිතයට පණ පොවයි. අපට නම් මතක් වන්නේ "හිස පුරා මොලය ඇති, කය පුරා දැනුම ඇති" රජ තුමාගේ චරිතය ය.


ඒකීය බාවයේ කපටි ආරක්ෂකයෝ

පිරිසිදු මහත්මයා කියන්නේ අමුතු ම කතාවකි. ඔහු මෙම සාකච්ඡාවේ දී ද කියන්නේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ඒකීය රටක් බව ය. එසේ ම රටේ ඒකීය බාවය සුරකින බව ඔහු පාර්ලිමේන්තුවේ ද කියා ඇත. ඒ අතර ම පොලිස් බලතල ලබා දීම ගැන ද කතා කරයි. ඉඩම් පොලිස් බලතල ලබා දී පළාත් සභා ශක්තිමත් කළ පසු වෙනම රාජ්‍යයක් බිහි වීම හුදු කාලය පිළිබඳ ගැටළුවක් බව වික්‍රමසිංහ මහතා නොදනී. නැති නම්, හිතා මතා ම ඒ ගැන අමතක කර යි. එසේ ම, ප්‍රතිපත්තියක් ලෙස ම, 13 වන සංශෝධනයට විරුද්ධ රජය නියෝජනය කරන ජාතික හෙළ උරුමය අද මේ ප්‍රකාශ නෑසූ කන්ව සිටි යි. ඇතැම් විට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හොර රහසේ ම හෙළ උරුමය ද එකඟ වී සිටිනවා විය හැකි ය. නැති නම් "යහපාලන මාධ්‍ය සංදර්ශන" වලට මුවා වී බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන යෝජනා හොර රහසේ ම ගෙන ඒම නිසා තම නිරුවත ද එයින් ම වැසෙනු ඇතැ යි සිතනවා විය හැකි ය. නොඑසේ නම්, අනාගතයේ දී මේ රජයෙන් ද එළියට බැස සුපුරුදු පරිදි සිය ඒකීය සටන් පාඨ දූවිලි ගසා දමා එළියට ගැනීමට, ආණ්ඩුව 13 බලාත්මක කරන තුරු දත කට මැද ගෙන බලා සිටිනවා විය හැකි ය.


"සූරිය උදා වන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල"



-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions