5/30/2025

යුරෝපයේ යුදෙව් විරෝධය සහ යුදෙව් ජාතිකවාදයේ නැගීම

කතෘ:යුතුකම     5/30/2025   No comments

1948 මැයි මස 14 වැනි දින ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමේ අවස්ථාව.


නූතන ඊශ්‍රායල් රාජ්‍ය බිහි වන්නේ 1948 මැයි මස 14 වැනි දින ය. ඊශ්‍රායලය බිහි වී මෙම වසරේ මැයි මාසයට වසර 77ක් සපිරෙන විට ඊශ්‍රායල් - පලස්තීන අර්බූධය නැවත වරක් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත. වත්මන් ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කවර විවෙචන තිබුණ ද, ඊශ්‍රායලය බිහි වීම යුදෙව් ජාතිකවාදයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකි ය. යුදෙව් ජාතිකවාදය යනු ලෝකයේ වඩාත් ශක්තිමත් ම දාර්ශනික පදනම සහිත ජාතිකවාදී ව්‍යාපාරය විය හැකි ය.

රටක් නොමැතිව ලොව පුරා විසිර සිටි යුදෙව් ජනතාව (යුදෙව් ඩයස්පෝරාව) වෙනුවෙන් රටක් නිර්මාණය කර ගැනීම අරමුණු කර ගත් යුදෙව් ජාතිකවාදී අදහස් ප්‍රධාන වශයෙන් වර්ධනය වන්නේ යුරෝපය කේන්ද්‍ර ගත කර ගෙන ය. වසර දහස් ගණනකට පෙර තමන්ට තිබුණේ යැ යි ප්‍රකාශ වන රට අහිමි වීම හේතුවෙන් විසිරී ලොව විවිධ රටවලට සංක්‍රමණය වූ යුදෙව්වන්, එම රටවල සංස්කෘතීන් සමග මුසු නොවී සිය වාර්ගික අනන්‍යතාව රැක ගැනීම සුවිශේෂී කරුණකි. ඕස්ට්‍රේලියාව හෝ වෙනත් යුරෝපීය රටක් හෝ වෙත සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයින්, ඉන්දියානුවන්, වැනි ජන කොටස් පරම්පරා දෙක තුනක් තුළ සිය අනන්‍යතාව නැති කර ගන්නා ආකාරය සමග මෙය සංසංදය කර බැලීම වටී. එමගින් පෙනී යන්නේ යුදෙව්වන් තුළ ඇති දැඩි ජාතිකත්ව (නොහොත් වාර්ගිකත්ව) හැඟීම යි. මේ හේතුව නිසා ම, යුදෙව්වන් කෙරෙහි යුරෝපීයයන් තුළ විරෝධාකල්ප පැන නැඟීම ස්වාභාවික ය. භාහිර පෙනුමින්, ඇඳුමින්-පැළඳුමින්, සිරිතෙන්-විරිතෙන්, ආගමින්, තමන්ට වඩා යුදෙව්වන් වෙනස් වීමත්, තම (යුරෝපීය) සංස්කෘතියට අවශෝෂණය නොවී, ඔවුන් සිය අනන්‍යතාව දිගට ම පවත්වා ගෙන යාම යුරෝපීයයන්ට රිසි නොවන්නට ඇත. මීට අමතරව යුදෙව්වන් ව්‍යාපාරික කටයුතුවල ශූරයින් වීම හේතුවෙන්, යුදෙව්වන් විසින් තමන් ආර්ථිකමය ලෙස සූරා කනු ලබන්නේ ය යන හැඟීම පොදුවේ යුරෝපීයයන් තුළ පැවතී ඇත.

යුරෝපීයයන්ගේ මෙම විරෝධාකල්පී අදහස් අතීත සාහිත්‍ය නිර්මාණ තුළින් පවා පිළිබිඹු වේ. මීට හොඳ ම උදාහරණයක් ලෙස විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට "වැනීසියේ වෙළෙන්දා (The Merchant of Venice)" වේදිකා නාට්‍යය පෙන්වා දිය හැකි අතර, එහි "ෂයිලොක්" නම් චරිතයෙන් යුදෙව්වෙකු නිරූපනය වේ. තමාගෙන් ලබා ගත් ණය මුදලක් පියවීමට අපොහොසත් වීම හේතුවෙන් ණයකරුවාගේ සිරුරින් "මස් රාත්තලක්" ඉල්ලා සිටින ෂයිලොක්ගේ චරිතය එම නාට්‍යය තුළ නිරූපනය කර ඇත්තේ ඉතා දරුණු, සට-කපට, කලු චරිතයක් ලෙස ය. අනෙක් අතට මෙහි දෙබස් හරහා ෂයිලොක්ගේ වාර්ගිකත්වය නිතර නිතර මතු කොට දැක්වීමත්, ඉහත කී යුදෙව් විරෝධය ඉස්මතු වන්නක් ලෙස හඳුනා ගත හැකි ය. නට්‍යය තුළ ෂයිලොක් චරිතයෙහි දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් නම් ඔහුගේ සිතෙහි නිරන්තරයෙන් ඇති පළි ගැනීමේ චේතනාව යි. එකල යුරෝපයේ ණයට මුදල් ලබා දීම, ප්‍රධාන වශයෙන් ම යුදෙව්වන් අත පැවති ව්‍යාපාරයක් බවත්, ෂයිලොක්ගේ හැසිරීම සහ චරිත ලක්ෂණ පොදුවේ යුදෙව්වන් තුළ දක්නට ලැබුණු ලක්ෂණ බවත් අයෙකුට අනෙක් අතට තර්ක කළ හැකි ය. යුදෙව් සංස්කෘතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී කුප්‍රකට "ඇසට ඇසක් - දතට දතක්" ප්‍රතිපත්තිය අපට අමතක කළ නොහැකි අතර, හානියේ ස්වභාවයට සමානුපාතිකව ඊට අදාළ දඬුවම තීරණය විය යුතු බව එයින් අදහස් වේ. යුරෝපීයනගේ මෙම යුදෙව් විරෝධයේ උච්චතම අවස්ථාව ලෙස හඳුනා ගත හැක්කේ, ආඩෝල්ෆ් හිට්ලර් විසින් මෙහෙයවන ලද යුදෙව් සංහාරය යි. මෙහි දී නාසි ජර්මනිය සිය යටත් රටවල විසූ යුදෙව්වන් කඳවුරු තුළට කැඳවා වද බන්ධනයන්ට ලක් කිරීමත්, ඇතැම් විට ඔවුන් විවිධ විද්‍යාත්මක පර්යේෂණ සඳහා යොදවා ගැනීමත්, අවසානයේ මරණයට පත් කිරීමත් සිදු කර ඇත. මෙම ක්‍රියාවන්ට එරෙහිව යුරෝපයේ පැන නැඟුණු විරෝධය හෙතුවෙන්, යුරෝපීයයන් තුළ යුදෙව් විරෝධය යටපත් වී, ඔවුන් කෙරෙහි අනුකම්පාව ඉස්මතු වී ඇත.

යුදෙව්වන්ට විඳින්නට සිදු වූ මෙම දුක් ගැහැට නිසා ම, අනුන්ගේ රටවල දෙවන ගණයේ පුරවැසියන් වනවාට වඩා, තමන්ගේ ම රටක් නිර්මාණය කර ගත යුතු ය යන හැඟීම පොදුවේ යුදෙව්වන් තුළ වර්ධනය වූවාට සැක නැත. මේ නිසා ම කාලාන්තරයක් තිස්සේ මතු වෙමින් තිබූ යුදෙව් රාජ්‍යය ප්‍රතිනිර්මාණය කර ගැනීම සම්බන්ධ යුදෙව් ජාතිකවාදී අදහස් වඩාත් තීව්‍ර විය. යුදෙව්වන්ගේ වාර්ගික විඥානය යුදෙව් රාජ්‍ය සංකල්පය හරහා ජාතික විඥානයක් බවට පරිවර්තනය කිරීම, එතෙක් බෝහෝ දුරට ලේඛනවලට පමණක් සීමා වී පැවති හීබෲ භාෂාව නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි භාෂාවක් බවට පරිවර්තනය කර ගැනීම, යුදෙව් සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කර ගැනීම, තමන් දෙවියන්ගේ තෝරා ගත් ජාතිය ය යන හැඟීම සහ "පොරොන්දු දේශය" යන සංකල්පය මෙම ජාතිකවාදී අදහස් වල කැපී පෙනෙන ලක්ෂණ විය.

යුදෙව් රාජ්‍යය බිහි කළ යුතු ස්ථානය සම්බන්ධයෙන් විවිධ මත පළ වී ඇතත්, ඉන් කැපී පෙනන අදහස වී ඇත්තේ ජෙරුසෙලම ආශ්‍රිතව එම රාජ්‍යය බිහි කළ යුතු ය යන අදහස යි. මෙම අදහස පොදුවේ "සයොනවාදය" ලෙස හැඳින්වෙන අතර, "සයොනය" යනු ජෙරුසෙලමට පර්යාය පදයක් ලෙස සැලකේ. මිට පදනම වී ඇත්තේ ඓතිහාසික යුදෙව් රාජ්‍යයේ අගනුවර ලෙස ජෙරුසෙලම සැලකීම යි. වත්මන් ඊශ්‍රායලයේ විශාලත ම සහා වාණිජ්‍යමය ලෙස වැදගත් ම නගරය ටෙල් අවීව් වුව ද, එහි අගනුවර ලෙස සැලකෙන්නේ ජෙරුසෙලම යි. ඒ සිය අගනුවර ජෙරුසෙලම බව පලස්තීනය ද ප්‍රකාශ කරන පසුබිමක ය. සයොනවාදය දර්ශනයක් ලෙස ගොඩනඟමින්, යුරෝපයේ පළමු සයොනවාදී සමුළුව 1897 දී පැවැත්වීමේ ගෞරවය හිමි වන්නේ, නාටන් බියන්බෝම් (Nathan Birnbaum) වෙත ය.

ඔහුගේ අදහස් දේශපාලනික ස්වරූපයකට වඩා සංස්කෘතික ස්වරූපයක් ගන්නා ලදී. එහෙත්, නූතන දේශපාලන සයොනවාදයේ පියා ලෙස සැලකෙන්නේ නීතීඥයෙකු මෙන් ම මාධ්‍යවේදියෙකු ද වූ තියඩොර් හර්ට්සල් (Theodor Herzl) ය. ඔහු විසින් ජර්මානු භාෂාවෙන් රචනා කොට 1896 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද "යුදෙව් රාජ්‍යය" (Der Judenstaat) නම් පොත් පිංච, නූතන සයොනවාදට අදාළ වැදගත් ම ලෙඛනය ලෙස සැලකේ. මෙහි දී යෝජනා කර ඇත්තේ යුදෙව් රාජ්‍යයක් ගොඩනඟා ගැනීම සඳහා වූ ප්‍රායෝගික වැඩ පිළිවෙලකි.
යුදෙව් ජාතිකවාදය ගැන කතා කිරීමේ දී වඩාත් සිත් ගන්නා සුළු මාතෘකාවක් වන්නේ හීබෲ භාෂාව නූතන අදහස් ප්‍රකාශ කළ හැකි භාෂාවක් ලෙස වර්ධනය කර ගැනීම ය. හීබෲ භාෂා පුනරුද ව්‍යාපාර 19 වන ශත වර්ෂයේ දී යුරෝපය තුළ ඇරඹුණු අතර, නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි නව වචන හීබෲ භාෂා ප්‍රේමීන් විසින් නිර්මාණය කරන ලදී. පසුව පලස්තීනය තුළ ඇති වෙමින් තිබූ යුදෙව් කොලනි තුළ හීබෲ භාෂාව ඉගැන්වීමේ ව්‍යාපාර ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ ප්‍රදේශවල සිට පලස්තීනයට පැමිණි යුදෙව් සංක්‍රමණිකයින්හට පොදු භාෂාවක් ලෙස, හීබෲ භාවිත කිරීමට මෙම ව්‍යාපාර හරහා අනුබල දෙන ලදී. ක්‍රමයෙන් එම ප්‍රදේශයේ පොදු භාෂාව ලෙස හීබෲ ප්‍රචලිත වූ අතර, එම භාෂාවෙන් ඉගැන්වීම් කරන පෙර පාසල් පවා ආරම්භ කරන ලදී.

යුදෙව් ජාතිකවාදී ව්‍යාපාර දෙස ආපසු හැරී බලන විට අපට නිරීක්ෂණය වන්නේ යුරෝපයේ එකළ පැවති යුදෙව් විරෝධය, යුදෙව් ජාතිකවාදයට උත්ප්‍රේරකයක් වී ඇති බව යි.  එම ව්‍යාපාරයේ අනෙක් මූලික ලක්ෂණය නම් ඊට ඉතා ශක්තිමත් දාර්ශනික පදනමක් පැවතීම ය. එම දාර්ශනික පදනමින් ඔබ්බට ගොස්, ඒ මත පදනම් වූ ක්‍රියාකාරී සැලැස්මක් පැවතීම එහි ඉතාමත් වැදගත් ලක්ෂණය යි.

-නාරද බලගොල්ල
[යුතුකම සඟරාවේ මැයි කලාපයේ පළවූ ලිපියකි]

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

4/30/2025

මහා සංක්‍රාන්තිය රට රටවල සැමරෙන හැටි

කතෘ:යුතුකම     4/30/2025   No comments
ඇතමුන්ට අනුව සූර්යයා මීන රාෂියෙන් මේෂ රාෂියට සංක්‍රමණය වීම මත පදනම් වූ සිංහල අලුත් අවුරුදු උදාව හින්දු මූලයක් සහිත සැමරුමකි. හින්දු ලබ්ධිකයන් වන මෙරට දෙමළ ජනතාව ද මීට සමගාමීව අවුරුදු සැමරුමක් සිදු කරන බැවින්, මේ කියන ආකාරයට එය හින්දූන්ගේ උත්සවයක් ද? වෙනත් රටවල ථේරවාදී බෞද්ධයන් මෙම අවුරුදු උදාව සමරන්නේ ද?

එසේ නම්, හින්දු සංස්කෘතියේ තිඹිරි ගෙය වූ වත්මන් ඉන්දියාව තුළ මෙකී ආකාරයේ සැමරුම් සිදු කෙරෙන්නේ ද යන්නත්, එම සැමරුම් කාවරාකාර ද යන්නත් මුලින් ම සොයා බැලීම වටී. ඉන්දියාව වූ කලි ඉතා පොහොසත් සංස්කෘතික විවිධත්වයකින් යුතු රටකි. එරට හින්දූන් අතර පවා ඇත්තේ විවිධත්වයකි. මේ නිසා, එරට ප්‍රාන්ත වශයෙන්, ජන වර්ග වශයෙන් අලුත් අවුරුද්ද සමරන්නේ කෙසේ ද යන්න සලකා බැලිය යුතු ය. 

ඉන්දියාවේ අසම් (ඇසෑම්), බටහිර බෙංගලය, ඕදීෂ (ඔරිස්සා), අරුණාචල් ප්‍රදේශ්, ත්‍රිපුරා, මණිපුර්, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්ණාටකා, තෙලංගානා, තමිල් නාඩු, කේරල, බිහාර්, පන්ජාබ්, උත්තරාකන්ද් සහ හිමාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත ආශ්‍රිතව ජීවත් වන ජන කොටස් සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්දක් සමරති. ඉන්දියාවේ ප්‍රාන්තයක් තුළ පවා විශාල සංස්කෘතික විවිධත්වයක් සහිතව, විවිධ ජන වර්ග ජීවත් වන බැවින්, ඉහත සඳහන් කළ ප්‍රදේශ තුළ වෙසෙන සියලු ජනතාව එම වකවානුවේ අලුත් අවුරුදු උදාව සමරන බව මින් අදහස් නොවේ. උදාහරණයක් ලෙස අසම් සහ අරුණාචල් ප්‍රදේශ් යන ප්‍රාන්ත තුළ ජීවත් වන ඇතැම් ජන වර්ග මෙලෙස අලුත් අවුරුද්ද සමරන අතර, ඔවුන් අතර පවා ඊට අදාළ චාරිත්‍ර එකිනෙකට වෙනස් වේ. මේ අනුව, වත්මන් ඉන්දියාවේ උතුරු, ඊසාන, නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයන්හි පිහිටි ප්‍රාන්ත ආශ්‍රිතව සිංහල අලුත් අවුරුද්දට සමගාමීව අලුත් අවුරුද්ද සමරන ජන කොටස් ව්‍යාප්තව සිටින බව පෙනී යයි. එසේ වුව ද, ඉන්දියාවේ බටහිර සහ වයඹ ප්‍රදේශවල ජනතාව සිය සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරන්නේ මාර්තු අග හෝ අප්‍රේල් මුල කාල වකවානුවක ය.

ෆෙඩරල් රාජ්‍යයක් වන ඉන්දියාවේ, එක් එක් ප්‍රාන්තය සඳහා වෙන වෙන ම රජයේ නිවාඩු දින පවතින අතර, සිංහල අවුරුද්දට සමගාමීව සැමරෙන අලුත් අවුරුද්දක් වෙනුවෙන් නිවාඩු ලබා දෙනු ලබන්නේ, පන්ජාබ්, බටහිර බෙංගලය, අරුණාචල් ප්‍රදේශ්, අසම්, මණිපුර්, ඕදීෂ, කේරල සහ තමිල් නාඩු යන ප්‍රාන්ත තුළ පමණි. මේ නිසා එම ප්‍රාන්ත තුළ එම සැමරුම් සිදු කෙරෙන ආකාරය විමසා බලමු.

වෛසාඛී - සාම්ප්‍රදායිකව නව වසරක උදාව සැමරීම වෙනුවෙන් පන්ජාබ් ඇතුලු ප්‍රදේශ කිහිපයක පැවැත්වෙන සැමරුමකි. වෛසාඛී යනු නව වසරේ පළමු මාසය යි. එහෙත් 2003 වර්ෂයේ සිට සම්මත සික්වරුන්ගේ නානක්ෂාහි දින දර්ශනය අනුව නව වසර උදා වන්නේ මාර්තු මස 14 වැනි දින ය.

පොහෙල බොයිසාක් - මෙය බෙංගල ජනතාවගේ [ඉන්දියාවේ බටහිර බෙංගලය, අසම් සහ ත්‍රිපුරා ප්‍රදේශ ආශ්‍රිතවත්, බංගලාදේශයේත් මූලිකව මෙම ජන වර්ගයට අයත් ජනතාව ව්‍යාප්තව ඇත. ඔවුහු වංග හෙවත් බංග(ල) බස කතා කරති.] බොයිසාක් මාසයේ පළමු දිනය යන අර්ථය ගෙන දේ. බොයිසාක් යනු වර්ෂයේ පළමු මාසය යි. එහි නාමය සංස්කෘත වෛශාඛ්‍ය යන්නෙන් උපන්නකි.

බෝහග් බීහු - මෙය අසම් සහ අරුණාචල් ප්‍රදේශ් වැනි ඊසාන දිග ඉන්දියානු ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් විසින් සමරනු ලබන උත්සවයකි. බෝහග් යනු අසම් වර්ෂ ක්‍රමය අනුව පළමු මාසය යි. බීහු යනු අසම් භාෂාවෙන් උත්සවය යන අර්ථය දේ. මෙයිති නව වසර - මෙයිති ජනතාව ප්‍රධාන වශයෙන් ම ජීවත් වන්නේ මණිපුර් ප්‍රාන්තයේ වන අතර ඔවුන් එහි බහුතර ජනවර්ගය වේ. මීට අමතර ඔවුහු අසම්, ත්‍රිපුරා යන ඉන්දියානු ප්‍රාන්තවල ද බංගලාදේශයේ සහ මියන්මාවේ ද ජීවත් වෙති. ඔවුහු සාම්ප්‍රදායිකව හින්දූන් නොව සනාමහී නම් ආගම අදහන්නෝ වෙති. සජිබු යනු ඔවුන්ගේ වර්ෂ ක්‍රමයට අනුව පළමු මාසයයි. මෙම වර්ෂ ක්‍රමයේ විශේෂත්වය වන්නේ එය ක්‍රි.පූ 14 වැනි සියවසේ සිට ව්‍යවහාර වන්නක් ලෙස ඔවුහු සැලකීම යි.

පනා සංක්‍රාන්ති හෙවත් මහා බිෂුබ සංක්‍රාන්ති - පනා යනු ඕදීෂ ප්‍රදේශයේ සාම්ප්‍රදායික පානයකි. මෙම පානයෙන් සංග්‍රහ කිරීම මෙම සැමරුමේ දී ඔවුන්ගේ ප්‍රධාන ම චාරිත්‍රයකි. මහා බිෂුබ සංක්‍රාන්ති යනු මහා විෂුව (equinox) සංක්‍රාන්තිය යන්න යි.

විෂු - මෙය කේරලය ප්‍රධාන කොට ගත් මලයාලම් බස කතා කරන ජනතාවගේ නව වසර සැමරුම යි.

පුත්තාණ්ඩු - තමිල් නාඩුව මූලික කර ගත් දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ අලුත් අවුරුදු සැමරුම යි. ශ්‍රී ලංකාව ඇතුලු සෙසු රටවල වාසය කරන දෙමළ ජනතාව ද මෙම සැමරුම සිදු කරති. පුත්තාණ්ඩු යන්නෙහි තේරුම නව වසර යන්න යි.

මේ සියලු සැමරුම් මීන රාශියේ සිට මේෂ රාශියට සූර්යයා සංක්‍රමණය වීම මත පදනම්ව ඇත.

ඉන්දියාවෙන් පරිබාහිරව මෙම සැමරුම සිදු කෙරෙන රටවල් ලෙස හඳුනා ගත හැක්කේ, නේපාලය සහ බංගලාදේශය යන දකුණු ආසියානු රටවල් සහ අග්නිදිග ආසියානු රටවල් වන මියන්මාව, තායිලන්තය, කාම්බෝජය සහ ලාඕසය යි. එසේ නම්, මෙම රටවල නව වසර සැමරෙන ආකරය මීලඟට සලකා බලමු. මෙම සැමරුම් සඳහා ද මීන රාශියෙන් මේෂ රාශියට සූර්යයාගේ සංක්‍රමණය පාදක වී ඇත.

මේ අතරින් මියන්මාව, තායිලන්තය සහ කාම්බෝජය යනු ථේරවාදී බෞද්ධයින් බහුතරයක් වාසය කරන රටවල් වේ.

නේපාල නව වසර - නේපාලයේ වෙසෙන විවිධ ජන කණ්ඩායම් ජූර් සිතල්, බිස්කා ජාත්‍රා, වෛසාඛී වැනි නම් වලින් නව වසර සමරති.

පොහෙල බොයිසාක් - බෙංගල නව වසර බංගලාදේශයේ ද සැමරේ.

තිංග්‍යාන් - සිංහල අලුත් අවුරුද්දට සමගාමීව මියන්මාවේ සැමරේ. මෙහි අර්ථය සංක්‍රාන්තිය යන්න යි.

සොංග්‍රාන් - තායිලන්තයේ සැමරෙන මෙහි අර්ථය ද සංක්‍රාන්තිය යන්න යි.

මොහා සංක්‍රාන් - කාම්බෝජයේ සැමරෙන මෙහි අර්ථය මහා සංක්‍රාන්තිය යන්න යි.

පී මයි - ලඕසයේ සැමරෙන මෙහි අර්ථය නව වසර යන්න යි. සංක්‍රාන්තිය යන අරුත දෙන සොංකාන් යන වචනය ද මීට භාවිත වේ.

ප්‍රධාන වශයෙන් බංගලාදේශය, ඉන්දියාව හා මියන්මාව තුළ ජීවත් වන චාක්ම ජනයා මෙන් ම, මියන්මාව, වියෙට්නාමය, ලාඕසය සහ තායිලන්තය තුළ වෙසෙන තායි සම්භවයක් සහිත දායි ජනයා ද මෙම කාලය තුළ අවුරුදු සමරති. මෙම ජන කොටස් දෙකම ප්‍රධාන වශයෙන් ථේරවාදී බෞද්ධයන් වීම සුවිශේෂී වේ.

මේ අනුව, සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම මත පදනම්ව සිංහල අවුරුදු උදාවට සමගාමීව සැමරුම් සිදු කෙරෙන ප්‍රදේශයන්ගේ භූගෝලීය පිහිටීම, මෙම ලිපිය සමඟ දක්වා ඇති සිතියමෙහි (පිටුව 08) රතු කඩ ඉරෙන් වටව ඇති ප්‍රදේශය ලෙස දළව හඳුනා ගත හැකි ය. මෙම ප්‍රදේශයෙන් වැඩි භූමි ප්‍රමාණයක් පිහිටා ඇත්තේ, ඉන්දියාවෙන් පිටත බව මෙම සිතියම මගින් මූලිකව ම අපට නිරීක්ෂණය කළ හැකි ය. එසේ නම්, මෙම සැමරුම හින්දූන් විසින් නිර්මාණය කර අනතුරුව අග්නිදිග ආසියාව සහ ශ්‍රී ලංකාව ඇතුලු වෙනත් ප්‍රදේශ වෙත ව්‍යාප්ත වූවක් ද? තමන් මීට සියවස් 35කට පමණ පෙර සිට මෙම සංක්‍රාන්ති සැමරුම සිදු කරන බව මෙයිති ජනයා පැවසීමත්, ඔවුන් සාම්ප්‍රදායිකව හින්දූන් නොවීමත් අපට නොසලකා හැරිය නොහැකි නිරීක්ෂණයකි. දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව පුරා පැතිර තිබූ ආර්‍ය නොවන සංස්කෘතියක උපන් මෙම සැමරුම, පසු කාලීනව වෛදික බලපෑම් නිසා ඇතැම් ප්‍රදේශ වලින් අතුරුදන්ව ගියේ ද? මේවා අප උපන්‍යාස (hypotheses) ලෙස වැඩි දුරටත් අධ්‍යයනය කිරීම වටී

නාරද බලගොල්ල
යුතුකම 2025 අප්‍රේල් කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

3/28/2025

ඩොයිලි කියවමු

කතෘ:යුතුකම     3/28/2025   No comments

ඉංග්‍රීසි-සිංහල ගිවිසුම, හෙවත් ඊනියා උඩරට ගිවිසුම, අත්සන් කර වසර 210 ක් සපිරෙන මේ මොහොතේ, මෙරට තුළ ජෝන් ඩොයිලි විසින් ඉටු කරන ලද කාර්යභාරය අපට කිසිසේත් මඟ හැර යා නොහැක.

එංගලන්තයේ වෙස්ටමිනිස්ටර් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය සම්පූර්ණ කරන ඔහු, ලංකාවේ සේවයට එක්වූ මුල් වකවානුව තුළ ම සිංහල, දෙමළ, පාලි සහ සංස්කෘත වැනි ප්‍රාචීන භාෂා සම්බන්ධයෙන් ප්‍රවීණතාවක් ලබා ගනි යි.

ඒ නිසා, ඉංග්‍රීසින් හට, සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්, ඔවුන්ට අවශ්‍ය පරිදි ගිවිසුම කෙටුම්පත් කරවා ගැනීමට ඩොයිලිට වඩා සුදුස්සෙකු නොසිටිය බවට කිසිදු සැකයක් නැත.

1801 වර්ෂයේදී ලංකාව තුළ රාජ්‍ය සේවයට එක්වන විට ජෝන් ඩොයිලිගේ වයස අවුරුදු විසිහතකි. පසුව, මාතර ප්‍රදේශයේ සේවය කරන සමයේදී, ඔහු සිංහල භාෂාව පිළිබඳ මූලික අධ්‍යාපනය ලබා ගන්නේ, මාතර වෙහෙරගම්පිට විහාරයේ වැඩ උන් කරතොට ධම්මාරාම හිමියන්ගෙනි. චතුර ලෙස සිංහල භාෂාව හසුරුවමින්, සිංහල සිරිත්-විරිත්, ආහාරපාන යනාදිය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ ඩොයිලි, පැහැයෙන් සුදු, සිංහලයෙකු විය.

1505 වර්ෂයේ දී පෘතුගීසීන් මෙරටට පැමිණීමේ සිට, ඉංග්‍රීසින් දක්වා, වරින් වර උඩරට රාජ්‍යය යුධමය ලෙස යටත් කර ගැනීමට දැරූ උත්සාහයන් සාර්ථක වී නොමැත. මේ අනුව, යුධමය ක්‍රියාවලියකින් උඩරට අල්ලා ගැනීම වෙනුවට, කුමන්ත්‍රණකාරී ලෙස එය සිදු කිරීම පැවරෙන්නේ ඩොයිලි වෙත ය.

එතැන් සිට, උඩරට භික්ෂූන් වහන්සේලා, නිලමේවරුන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළු විවිධ පිරිස් ඉතා කුලුපගව ආශ්‍රය කළ ජෝන් ඩොයිලි සහ ඔහුගේ කණ්ඩායම උඩරට රාජ්‍යයේ නීති, රීති සහ එහි ආණ්ඩුක්‍රමය පිළිබඳ යම් දළ සටහන් ලේඛනගත කිරීමට සමත් වේ. පසු කාලීනව උඩරට ඉතිහාසය සහ නීතී රීති පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන්ට පවා වැදගත් වී ඇත්තේ මෙම ලේඛන ය.

එසේ ම, රජු සහ නිලමේවරුන් අතර මෙන් ම, නිලමේවරුන් අතර ඇති වන මත බේද තීව්‍ර කර, මහා ගැටුම් දක්වා දුර දිග යැවීමට සූක්ෂමව කටයුතු කිරීම ඩොයිලි සහ ඔහුගේ කණ්ඩායම සිදු කළ මූලික කාර්යයකි. ඊට අමතරව, ඔහුගේ කණ්ඩායම සිදු කළ කැපී පෙනෙන කටයුත්තක් වී ඇත්තේ, ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲරත්වය ඉස්මතු වන ආකාරයේ කටකතා ජනතාව අතර ප්‍රචලිත කිරීම ය.

ජෝන් ඩොයිලි වරක් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට ලියා යවන්නේ, එකදු පුද්ගලයෙකු හෝ ජීවිතක්ෂයට පත් නොකර උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කිරීමට තමන් කටයුතු කරමින් සිටින බව යි. ඒ අනුව, උඩරට නිලමේවරුන්ගේ ද උදව්වෙන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිරභාරයට ගැනීමත්, අනතුරුව ඉංග්‍රීසීන් සහ සිංහල නිලමේවරුන් අතර ගිවිසුම අත්සන් කිරීමත් යන සියලු කාර්යයන් සඳහා ඩොයිලිගේ සෘජු මැදිහත්වීමක් දක්නට ලැබේ. එසේ වුවද, ගිවිසුම අත්සන් කිරීම සඳහා සියලු නිලමේවරුන්ගේ කැමැත්ත ලබා ගැනීම පහසු කාර්යයක් වී නොමැත. එම නිසා, ඔහු එය ඉතා සූක්ෂම උපායමාර්ග හරහා සිදු කර ඇත.

ඉන් අනතුරුව, 1818 වර්ෂයේදී උව-වෙල්ලස්ස නිදහස් අරගලය ඇති වූ අවස්ථාවේ, එය ඉතා කෲර ලෙස මර්දනය කිරීමේ දී ද, වෙල්ලස්ස ප්‍රදේශයේ සිදු කළ මහා විනාශකාරී සමූල ඝාතන සංවිධානය කිරීමේ දී ද, ජෝන් ඩොයිලි ප්‍රමුඛව ක්‍රියා කර ඇත.

මේ සියල්ල හමුවේ අපට පෙනී යන කරුණක් නම්, ජෝන් ඩොයිලි ඉතා සටකපට, දරුණු පුද්ගලයෙකු වූ බව යි. එහෙත්, බ්‍රිතාන්‍යයන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට ඔහු බ්‍රිතාන්‍ය කිරීටයට ඉමහත් සේවයක් කළ අයෙකු වෙයි. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයන් ඔහුට දැක්වූ කෘතවේදීතාවය, ඔහුට නයිට් නාමය ලබා දීම තුළින් පැහැදිලි වේ.

සිංහල ඇතුළු පෙරදිග භාෂා කිහිපයක් අධ්‍යයනය කරමින්, ඩොයිලි අනෙක් බ්‍රිතාන්‍ය නිලධාරීන්ට වඩා විශේෂත්වයක් දිනාගෙන තිබුණි. එය සිය වෘත්තීය ඉනිමගෙහි ඉහළට නැගීමට ඔහුට පිටිවහලක් වී ඇති බව ද නිසැක ය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගනු ලබන්නේ එක්නැලිගොඩ නිලමේවරයාගේ කණ්ඩායම විසිනි. ඔවුන් මුලදී රජුගේ සහ බිසවගේ ඇඳුම සහ ආභරණ ගලවා දැඩි වද හිංසා පමුණුවමින් ඇදගෙන යාමට කටයුතු කළ ද, ඩොයිලිගේ මැදිහත්වීමෙන් රජ පවුලට නිසි ගෞරවයක් ලබාදෙමින් කොළඹට රැගෙන යාමට පියවර ගෙන ඇත. මෙම අවස්ථාවේ දී ඩොයිලිගේ හැසිරීමෙන් පෙනී යන්නේ ඔහු උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය පාලනයට යටත් කිරීමේ අරමුණ විධිමත් ලෙස ක්‍රියාවට නැංවූ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස කටයුතු කර ඇති බව ය.

සිය (බ්‍රිතාන්‍ය) රජුට පක්ෂපාතී වූ ඩොයිලිගේ ක්‍රියා කලාපය සමග ඇතැම් සිංහල නිලමේවරුන්ගේ හැසිරීම සංසන්දනය ද කිරීම වටී. මේ අනුව පෙනී යන්නේ ඇතැම් නිලමේවරුන්ගේ අපේක්ෂාවන් ඉතා පෞද්ගලික ලාභ මූලික කර ගත් ඒවා බව යි. රාජසිංහ රජු සිර භාරයට ගැනීමෙන් අනතුරුව, ඔවුන්ගෙන් ඇතමෙකු ඉල්ලා ඇත්තේ උඩරට රාජධානියේ රජකම හෝ ඊට සමාන තනතුරක් තමන් වෙත ලබාදෙන ලෙස ය.

මෙවැනි පසුබිමක ඉංග්‍රීසි-සිංහල ගිවිසුම තුළ අන්තර්ගත විය යුතු කරුණු ඉතා අවිනිෂ්චිත වන්නට ඇතැ යි අපට සිතිය හැක. අනෙක් අතට දෑ හිතකාමී නිලමේවරුන් සහ මහා සංඝරත්නය ද උඩරට රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පාවා දීම කෙරෙහි විරෝධාකල්පයක් දරා ඇත. විශේෂයෙන් අස්ගිරි මහා විහාරයේ අනුනායක වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ක්‍රියා කලාපය තුළින් ඒ බව මනාව පසක් වේ.

වයස අවුරුදු 27 දී අප රටට පැමිණෙන ඩොයිලි සිය මරණය දක්වාම මෙරට ජීවත් වන්නේ, කිසි විටක නැවත සිය මවු රටට නොගොස් ය. කිසි දිනෙක විවාහ දිවියට නොඑළඹුණු ඔහු ඇතැම් විට සිය පෞද්ගලික ජීවිතය පවා බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් කැප කළා විය හැක. අවසන් වශයෙන්, ඔහු සත්කෝරලයේ රාජකාරියක නිරතව සිටියදී උණ රෝගයකට ගොදුරු වී, එය උත්සන්න වීමෙන් මිය යන විට ඔහුගේ වයස අවුරුදු 50 කට ආසන්නව තිබිණ. ඔහුගේ දේහය මිහිදන් කරන්නේ මහනුවර නගරයේ පිහිටි සුසාන භූමියක ය.

මේ සියල්ලෙන් කියවෙන්නේ ඩොයිලි යනු හුදු සුදු චරිතයක් බව නොවේ. බ්‍රිතාන්‍යයේ දෘෂ්ඨි කෝනයෙන් බැලූ කළ, ඩොයිලි සිය රාජ්‍යය වෙනුවෙන් දිවි හිමියෙන් නොසැලී කටයුතු කළ, ජාතිමාමක ශූර විරුවෙකි. එහෙත් ලාංකික දෘෂ්ඨි කෝනයෙන් බැලූ කළ ඔහු සටකපට කුමන්ත්‍රණකරුවෙකි; ට්‍රෝජන් අශ්වයෙකි; සමූල ඝාතකයෙකි.

-නාරද බලගොල්ල
යුතුකම 2025 මාර්තු කලාපයේ පළවූ ලිපියකි

- www.yuthukama.com
https://www.facebook.com/yuthukama

2/20/2025

සිංහල පුවත්පත් කලාව නව මගකට යොමු කළ කඩේ කොලු ගැටයා

කතෘ:යුතුකම     2/20/2025   No comments



මීට සියවසකට පමණ පෙර විසූ, දියෝගු බඩතුරුගේ කරෝලිස් ද සිල්වා යනු, ගාල්ලේ උපන් ඉඩම් හිමි ප්‍රභූවරයෙකි. හෙතෙම ගාල්ලෙන් තිස්සමහාරාමයට සංක්‍රමණය විය. 1905 ජනවාරී 5 වැනිදා උපත ලබන දියෝගු බඩතුරුගේ ඩේවිඩ් ද සිල්වා යනු ඔහුගේ පුත්‍රයෙකි. කුඩා අවදියේ ම සිය මව කලුරිය කිරීම හේතුවෙන් කුඩා ඩේවිඩ් හැදී වැඩෙන්නේ ගාල්ලේ විසූ තම නැන්දා ලඟ ය.

උදය වරුවේ ගාල්ලේ ග්‍රාමීය පාසලකට යන ඩේවිඩ්, සවස් වරුවේ තම නැන්දාට අයත් කඩයක සේවය කරයි. කෙසේ වෙතත්, ඩේවිඩ්ගේ පසු කාලීන වෘත්තීය ජීවිතයේ තිඹිරිගෙය මෙම කඩය වූවාට සැකයක් නැත. සවස ඇඳිරි වැටුනු පසු කඩය වසා දමන එහි ප්‍රධාන සේවකයා, අනෙකුත් සේවකයන්ට ඇසෙන පරිදි කුප්පි ලාම්පු එළියෙන් සිංහල පත්තර කියවීම එහි දෛනික අංගයක් විය. මෙසේ පත්තරේ විස්තරේට සවන් දෙන කුඩා ඩේවිඩ්ට එහි දී නිතර ඇසෙන නාමයක් වන්නේ "අනගාරික ධර්මපාල" යන නාමය යි. ඒ අනුව, ධර්මපාල තුමන්ගේ දේශනයක් ඇසීමට ගාල්ලේ කඩමණ්ඩියට යන විට ඩේවිඩ්ගේ වයස අවුරුදු හතකි. එම දේශනයට සවන් දෙන කුඩා ඩේවිඩ් එතැන් පටන් තම බටහිර නාමයන් අතහැර දියෝගු බඩතුරුගේ ධනපාල හෙවත් ඩී.බී. ධනපාල යන නමින් පෙනී සිටියි. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ධනපාලයන් සිය ලිවීමේ හැකියාව පෙන්නුම් කරන්නේ, පාසල් සිසුවෙකු ලෙස ඔහු "බුඩිස්ට් ක්‍රොනිකල්" නම් සඟරාවකට සපයන ලිපි මගිනි. කලක් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි බ්‍රිතාන්‍ය ජාතික ගොර්ඩන් පියර්ස් මහතාගේ මග පෙන්වීම මත, ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ඔහු ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගනි යි. ඉන්දියාවේ වෙසෙන කාලය තුළ ඉන්දීය නිදහස් සටනේ ද අභාශය ලබමින්, ඉන්දීය පුවත්පත් සඳහා ලිපි ලිවීම අරඹන ධනපාලයන් හට මෙරටට පැමිණ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරන්නේ එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ හර්බට් හුලුගල්ල මහතා ය. ඒ අනුව 1933 දී ඩේලි නිව්ස් පත්‍රය සමග එක්වන ධනපාල මහතා 1940 දී පමණ ඉන් ඉවත් වන්නේ එවකට පත්‍රයේ කර්තෘවරයා සමග ඇති කර ගත් මත ගැටුමක් හේතුවෙනි.

එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ආරම්භ කර තිබූ බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ (වත්මන් කැලණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) විදුහල්පති ලෙස ධනපාල මහතා එක් වන්නේ ඉන් අනතුරුව ය. ධනපාල මහතා විදුහල්පති ධූරය දැරූ යුගය (1942 – 1946) එම විදුහල ශ්‍රීඝ්‍ර දියුණුවක් අත් කර ගත් යුගය ලෙස සැලකේ. මේ වන විට විද්‍යාලංකාර පිරිවෙනෙහි භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන කටයුතු හේතුවෙන් එම පිරිවෙන සහ ආණ්ඩුවේ දේශපාලඥයින් අතර ගැටුමක් හට ගෙන තිබුණි. එම වකවානුවේ දී ලේක් හවුස් පුවත්පත් දිගින් දිගටම විද්‍යාලංකාර පිරිවෙනට විරුද්ධ ප්‍රචාර ගෙන යමින් තිබිණ. මේ වන විට ලේක් හවුස් ආයතනය "දිනමිණ" පුවත්පත ද ආරම්භ කර තිබූ අතර, එය බොහෝ දුරට ඩේලි නිව්ස් පුවත් පතෙහි පළ වූ ලිපි සහ ප්‍රවෘත්තිවල සිංහල පරිවර්තනයන්ගෙන් සමන්විත විය. මීට අමතරව පොදුවේ ලේක් හවුස් පුවත්පත් ගත්තේ අධිරාජ්‍ය ගැති මගකි. මේ වන විට විද්‍යාලංකාර භික්ෂූන් වහන්සේලා සහ ධනපාල මහතා අතර දැඩි මිතු දමක් ගොඩනැඟී තිබූ අතර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් ධනපාල මහතාගේ සමීපතම මිත්‍රයෙක් විය. පුවත්පත් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් අත්දැකීම් ගොන්නක් කැටි කොට ගෙන සිටි ඩී.බී. ධනපාලයන්ට සාධනීය සිංහල පුවත්පතක් ආරම්භ කිරීමේ දැඩි බලාපොරොත්තුවක් විය. විද්‍යාලංකාර පිරිවෙන සතුව තිබූ මුද්‍රණාලය පවා වසා දැමීමට රජය කටයුතු කර තිබූ පසුබිමක, පුවත්පතක් ආරම්භ කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් විය.

ලංකාවේ ප්‍රධාන පුවත්පත් සමාගමක් වූ ටයිම්ස් ආයතනය එවකට පාඩු ලබමින් වැසී යන තත්ත්වයට පත්ව තිබුණි. එහෙත් යාපනයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද වූ ආරුමුගම් සංගරපිල්ලේ මහතා එම ආයතනය මිලට ගෙන යලි පවත්වා ගෙන යාමේ අදහසින් සිටියේ ය. ටයිම්ස් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස කුඩා ප්‍රමාණයේ සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට සංගරපිල්ලේ මහතා කැමැත්ත පළ කරන්නේ ධනපාල මහතාගේ යෝජනාවක් අනුව ය. ධනපාලයන් ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලයෙන් ඉවත් වී 1947 දී මෙම නව පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එක් වන අතර, එහි ප්‍රධාන කර්තෘවරයා වන්නේ ජූලියස් ද ලැනරෝල් මහතා ය. මෙම නව පුවත්පතට විද්‍යාලංකාරයෙන් ලැබුණු ආභාශය කෙතරම් ද යත් පත්‍රයට "ලංකාදීප" යන නම ලබා දෙන්නේ ද යක්කඩුවේ හිමියන් සහ ලැනරෝල් මහතා එක්ව ය. මුල සිට ම දිනමිණට වඩා වෙනස් මගක් ගන්නා ලංකාදීපය, සෑම විට ම ජාතික වැදගත්කමකින් යුතු කරුණුවලට මුල් තැන දුනි. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකරණයක් නොවී, ස්වාධීන මගක් ගන්නා ආකාරය පෙන්වා දීමට ලංකාදීප පුවත්පත සමත් විය. 1949 දී ඒ වන විට දිවයිනෙහි ඉතා ජනප්‍රිය පුවත්පතක් බවට පත්ව තිබූ ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට ධනපාල මහතා පත් වේ. ආරම්භයේ පටන් විද්‍යාලංකාර හිමිවරුන්ගේ බුද්ධිමය දායකත්වය නොමදව ම ලබන ලංකාදීපය මෙරට ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වන්නේ ය. එහි කූඨප්‍රාප්තිය වන්නේ 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි පොරොන්දු රැසක් මැද බණ්ඩාරනායක රජය බලයට පත් වීම ය. ඒ සඳහා අති මහත් දායකත්වයක් සැපයූ ධනපාල මහතා ප්‍රමුඛ ලංකාදීපය, එම රජය නිර්දය විවේචනයට ලක් කරන්නේ, එකී පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන තැන ය. ධනපාල මහතා 1960 දී ලංකාදීප පුවත්පතෙන් ද ඉවත් වන්නේ කළමනාකාරීතවය සමග ඇති කර ගන්නා මත ගැටුමක් හේතුවෙනි.

ධනපාල මහතා 1961 දී දිනපතා පුවත්පතක් ලෙස "දවස" පුවත්පත ආරම්භ කරන්නේ ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහය යටතේ ය. දින කිහිපයක් ඇතුලත එහිම ඉරිදා පුවත්පත ලෙස, "රිවිදින" ආරම්භ කෙරිණි. චිත්‍ර සහ මූර්ති ශිල්පිනියක මෙන් ම ගුරුවරියක ද වූ රතී මුතුවේල් මෙනවිය සමග විවාහ වන ධනපාල මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් ද වේ. සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සහ ඡායාරූප ශිල්පී ඩී.බී. සුරනිමල එම දරු දෙදෙනා වේ.

1971 වර්ෂයේ දී එතුමන් සිය දිවිසැරිය නිමා කරන අතර, මෙම වසරේ මාර්තු මස 18 වැනි දිනට එතුමා දැයෙන් සමු ගෙන වසර 54 කි.

නාරද බලගොල්ල
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

3/05/2017

පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදයක් ජාතික චින්තන මතවාදයට එකතු කරමු

කතෘ:යුතුකම     3/05/2017   No comments
සයිටම්“ ප්‍ර‍ශ්නය නිසා නැවතත් නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය ගැන කතා බහක් මෙරට සමාජයේ ඇති වී ඇත. නිදහස් අධ්‍යාපනය යන සංකල්පය ගැන මෙරට කතා බහට ලක් වන්නට ඇත්තේ, 1948 දී අප රට ඊනියා නිදහස ලබන්නට ද පෙර සිට විය යුතු ය. අවම වශයෙන් 1945 දී නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමට ආසන්න වකවානුවේ සිට ඒ පිළිබ‍ඳ සංවාදයක් ආරම්භ වන්නට ඇත. එසේ ම පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධව ද යම් යම් විවාදාත්මන මතවාද ද වරින් වර ඉස්මතු වී ඇත.

අද වන විට අප රටේ පළමුවන ශ්‍රේණියේ සිට විශ්ව විද්‍යාලයේ ප්‍රථම උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දීම සිදු කෙරේ. එසේ ම, මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික පාසල් මෙන් ම, මුදල් අය කර උපාධිය ප්‍රදානය කරන ආයතන ද සැලකිය යුතු ප්‍රමාණයක් අද වන විට මෙරට ක්‍රියාත්මක වේ. තව ද ශ්‍රී ලංකාව යනු නිදහස් අධ්‍යාපනය ක්‍රමය ක්‍රියාත්මක ලෝකයේ රටවල් අතලොස්ස අතරින් එකකි. වෙනත් බොහෝ රට වල අප රටේ මෙන් නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක නොවීමට හේතුව, අධ්‍යාපනය පමණක් නොව ඕනෑ ම සේවාවක් මුදල් අය කර ලබා දීම, නව ලිබරල්වාදය රජයන වත්මන් ලෝකයේ ප්‍රවනතාවක් වීම බව නොකිව මනා ය. එසේ නම්, වර්තමාන ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රතිපත්තිය කවරාකාර විය යුතු ද? නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රමයෙන් අහෝසි වන්නට ඉඩ හළ යුතු ද? නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය තව දුරටත් පවත්වා ගෙන යන අතර තුර ම පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම දිරිමත් කළ යුතු ද? නැතහොත්, රජයට අයත් මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන ආයතන ඇති කළ යුතු ද? මේවා වනාහි යම් කිසි පුද්ගලයෙකු නිදහස් අධ්‍යාපනය ගැන සිය මතය ගොඩ නඟා ගැනීමේ දී පිළිතුරු ලබා ගත යුතු ප්‍රශ්න ය.

නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් අවශ්‍ය ඇයි?

මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ, ජාතික චින්තන මතවාදය මත පදනම්ව නිදහස් අධ්‍යාපනය / පෞද්ගලික අධ්‍යාපනය ගැන අදහස් දැක්වීම හා එවැනි පදනමක සිට එවැනි සංවාදයක් ඇති කිරීමට මූලික අඩිතාලමක් දැමීම ය. එවැනි සංවාදයක් මේ මොහොතේ අවශ්‍ය දැ යි සහ ඊට වඩා ප්‍රමුඛතාවක් දී කතා කළ යුතු ප්‍රශ්න අද වන විට අප රටේ තිබෙනවා නොවේ දැ යි යමෙකු ප්‍රශ්න කළ හැකි ය. ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ආණ්ඩුවේ තැත වැනි වඩාත් සංවේදී ප්‍රශ්න අප හමුවේ තිබෙන බව සැබෑ ය. එසේ ම, එවැනි ප්‍රශ්න "සයිටම්" ගැන සිදු කරන කතා බහ නිසා යටපත් වීමට ද අපි ඉඩ නොදිය යුත්තෙමු. එහෙත්, ෆෙඩරල් ව්‍යවස්ථාව වැනි ප්‍රශ්න සංවාදයට ලක් කරන අතර තුර ම, නිදහස් අධ්‍යාපනය ගැන ද යම් මතවාදයක් ගොඩ නඟා ගැනීමට ජාතික චින්තන මත ධාරීන්ට නොහැකි ද? මන්ද, "සයිටම්" ප්‍රශ්නය යනු මෙරට නිදහස් අධ්‍යාපනය සම්බන්ධ හැරවුම් ලක්ෂයක් විය හැකි බැවිනි.

1980 දශකයේ මුල් වකවානුවේ සිට ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මතවාදයක් වන "ජාතික චින්තනය" තුළ නිදහස් අධ්‍යාපනය හෝ පෞද්ගලික අධ්‍යාපනය ගැන සංගත මතවාදයක් ගොඩ නඟා ගත හැකි ප්‍රබල සංවාදයක් ඇති වී නොමැති බව අපගේ අදහස යි. අද වන විට ජාතික චින්තන මතධාරීන් පෞදගලික අධ්‍යාපන ක්‍රමය ගැන එකිනෙකට වෙනස් අදහස් දැරීම තුළින් ම මේ බැව් පසක් වෙයි. පෞද්ගලික පාසල් සහ උපාධි පිරිනමන ආයතන දැනටමත් මෙරට ක්‍රියාත්මක නිසා ඒ ගැන තව දුරටත් කතා කිරීම නිෂ්ඵළ කාරණයක් යැ යි ද අයෙකු පැවසීමට ඉඩ ඇත. එහෙත් එහි පදනමක් නොමැත. යමක් දැනටමත් ක්‍රියාත් මක වීම, ඉදිරියේ දී තව දුරටත් එවැන්නක් ඇති වීම සඳහා විරුද්ධ නොවීමට හෝ ඒ ගැන සංවාද නොකිරීමට හෝ හේතුවක් නොවේ. එය අපට මෙවන් උදාහරණයක් මගින් තව දුරටත් පැහැදිළි කර ගත හැකි ය. ශ්‍රී ලංකාවේ දැනට කැසිනෝ සූදු මධ්‍යස්ථාන කිහිපයක් ක්‍රියාත්මක වේ. එහෙත්, තව දුරටත් මෙරට කැසිනෝ ව්‍යාපාර ඇති කිරීම සුදුසු ද නැත් ද යන්න කතා කිරීම කිසි සේත් ම නිෂ්ඵළ ක්‍රියාවක් නොවේ. එසේ නම් නිදහස් හෝ පෞද්ගලික හෝ අධ්‍යාපනය ගැන වර්තමානයේ කතා කිරීමේ වරද කුමක් ද? තව ද, නිදහස් අධ්‍යාපනය ගැන සංවාදයක් ඇති කිරීමට සුදුසු ම අවස්ථාවක් ලෙස අපි මෙම අවස්ථාව දකිමු.

අධ්‍යාපනය හා බැඳුණු අපේ සම්ප්‍රදාය

යුරෝපයේ නිල සංචාරයකට සහභාගි වූ වාරිමාර්ග ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙකු වරක් අප සමග පැවසුවේ, වාරි ජලය සැපැයීම සඳහා යුරෝපයේ මුදල් අය කිරීමක් සිදු කරන බවත්, එවැනි ක්‍රමයක් අප රටේ ද ක්‍රියාත්මක කිරීම සුදුසු බවත් ය. එහෙත්, ඔහු පවසන පරිදි එවැනි මුදල් අය කිරීමක් අප රටේ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් උත්සාහ ගත හොත්, ඊට දැඩි මහජන විරෝධයක් එල්ල වනු නොඅනුමාන ය. එසේ වන්නේ ඇයි? එය හුදු මහජන සුබ සාධන කපා හැරීමට එරෙහිව කෙරෙන විරෝධයක් නොවන බව යි අපගේ අදහස. එවැනි විරෝධයක් ඇති වුව හොත් ඊට ප්‍රධානතම හේතුවක් වනු ඇත්තේ, වාරි ජලය විකිනීම වසර දහස් ගණනක් පැරණි අප රටේ වාරි සම්ප්‍රදායට පටහැනි බැවිනි. අපේ පැරණි සෞඛ්‍යා සේවය ගත්ත ද තත්ත්වය එසේ ම ය. අපේ අතීත වෛද්‍යවරුන් ප්‍රතිකාර කළේ මුදල් අය කරමින් නොවේ. අධ්‍යාපනය සම්බන්ධ අපේ සම්ප්‍රදාය ද එය ම බව නොකිව මනා ය. පිරිවෙන් පාදක කර ගත් අපේ පැරණි අධ්‍යාපන ක්‍රමය මුදලට ලබා දෙන ලද්දක් නොවී ය. නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරට මුල් බැස ගැනීම උදෙසා අප පැරණි සම්ප්‍රදාය මගින් උත්තේජනයක් ලැබුණු බව නොඅනුමාන ය.

පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ගැටළු

උසස් අධ්‍යාපන ආයතන පිහිටු වීමට පෞද්ගලික අංශය ඉදිරිපත් වීම ම ගැටළු රැසක් ඇති කරන්නකි. පෞද්ගලික ආයතනයක් ඕනෑම ක්ෂේත්‍රයක ආයෝජනයක් සිදු කරන්නේ කිසියම් ලාබයක් අපේක්ෂාවෙනි. මේ නිසා පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පෙළඹෙන්නේ ම වඩාත් ජනප්‍රිය පාඨමාලා හඳුන්වා දීමට ය. සති අන්ත පුවත් පතක් ගත් විට උපාධි ප්‍රදානය කරන පෞද්ගලික ආයතනයන්හි වෙළඳ දැන්වීම් විශාල වශයෙන් අපට දැක ගත හැකි ය. මේ අතර, වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු තාක්ෂණය, කළමනාකරණය වැනි පාඨාමාලා කොතෙක් තිබුණ ද, සිංහල, ඉතිහාසය, දර්ශනය වැනි පාඨමාලා අපි එහි නොදකිමු. මේ අනුව අප රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධව ජනප්‍රිය පාඨමාලා මොනවා ද යන්න අවබෝධ කර ගැනීම පහසු ය. යටත් විජිත යුගයේ සිට අද දක්වා ම අප රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල පවා ජනප්‍රිය වී ඇත්තේ, බොහෝ විට වෘත්තීය පාඨමාලා මිස ශාස්ත්‍රීය පාඨමාලා නොවේ. මේ අනුව පුද්ගලික උසස් අධ්‍යාපන ආයතන ප්‍රචලිත වීම යනු, එක් පැත්තකින් ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය අධ්‍යාපනයේ කඩා වැටීමකි.

පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රචලිත වීම ලාංකේය සමාජය කෙරෙහි කවරාකාරයේ බලපෑමක් ඇති කරයි ද යන්න සලකා බැලීමට, පෞද්ගලික අධ්‍යාපනය හා පෞද්ගලික සෞඛ්‍ය සේවාව සංසංදනය කර බැලීම වටී. අද වන විට අප රටේ සාමාන්‍ය ආර්ථික මට්ටමක් ඇති ජනතාවගෙන් බහුතරයක් රජයේ රෝහලක බාහිර රෝගී අංශයට නොයති. වෛද්‍ය රසායනාගාර සේවාව සම්බන්ධයෙන් ද එසේ ම ය. පෞද්ගලික සෞඛ්‍ය සේවය අද එතරම් ම දුරට සාමාන්‍යකරණය වී ඇත. මේ නිසා, රජයේ රෝහල් වල නොමිලේ ලබා දෙන සේවාවන් අද වන විට අන්ත අසරණ දිළිඳු ජනතාවට පමණක් සීමා වී ඇත. බොහෝ විට මෙම ජනතාව සමාජය තුළ හඬක් නොනඟන, හඬක් නැඟිය නොහැකි පිරිසක් වීම නිසා ම ඔවුනට එම සේවා සපයන සෞඛ්‍ය අංශයන්හි ඇති පහසුකම් හා ඉන් සැලසෙන සේවාවේ ගුණාත්මක බාවයේ එතරම් වර්ධනයක් බලාපොරොත්තු විය නොහැක. නොමිලේ අධ්‍යාපනය ලබා දෙන රජයේ අධ්‍යාපන ආයතන වලට ද අනාගතයේ දී මෙම ඉරණම අත්විය නොහැකි ද?

පෞද්ගලික විශ්ව විද්‍යාල හා අපේ දැනුම

ජාතික චින්තන මතවාදය තුළ දැනට වසර 30ක පමණ කාලයක් කතා බහට ලක් වන ප්‍රධානම මාතෘකාව වන්නේ අපේ චින්තනය මත පදනම්ව දැනුම නිර්මාණය කිරීම ය. එහෙත්, වසර 30කට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය වූ දැනුම තවමත් පොත පතට පමණක් සීමා වී ඇත. ඕනෑ ම විශව විද්‍යාලයක ප්‍රධාන අරමුණු දෙක වන්නේ නව දැනුම නිර්මාණය කිරීම සහ නිර්මාණය කරන ලද දැනුම බෙදා හැරීම ය. ජාතික මතවාදය සාර්ථක වනු ඇත්තේ, මෙරට චින්තනය මත පදනම්ව නිර්මාණය කරන ලද දැනුම මෙරට විශ්ව විද්‍යාල තුළ ඉගැන්වීම හා ඒ මත පදනම් වූ නව දැනුම එම විශ්ව විද්‍යාල තුළ බිහිවීම සිදු වන දිනක ය. එම දිනය ඉක්මනින් නම් උදා නොවනු ඇති අතර, පහසුවෙන් උදාකර ගත හැකි ද නොවනු ඇත.

පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි වීම නිසා මෙම තත්ත්වයෙහි වෙනසක් සිදු වනු ඇත් ද? මෙහි දී අයෙක් පැවසීමට ඉඩ ඇත්තේ, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සාපේක්ෂව පෞද්ගලික විශ්ව විද්‍යාල මධ්‍යගත බාවයෙන් අඩු වනු ඇති බවත්, එම නිසා අපේ දැනුම මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල වල විෂයමාලාවන්ට ඇතුලත් කිරීම වඩා පහසු වනු ඇති බවත් ය. පෞද්ගලික විශ්ව විද්‍යාලයක පරිපාලනය සාපේක්ෂව මධ්‍යගත බවින් අඩු වනු ඇති බව සැබෑවකි. එහෙත්, එම මධ්‍යගත බවෙහි අඩු වීම සිදු වන්නේ කවර දිශාවකට ද?

මෙම ලිපිය මුල දී සඳහන් කළ පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාලයක අනිවාර්යයෙන් ම ලාභාපේක්ෂාවක් රැඳී පවතින අතර, මේ නිසා ම එවැනි විශ්ව විද්‍යාලයක ඉගැන්වෙන පාඨමාලා වඩාත් ජනප්‍රිය මට්ටමේ ඒවා වනු ඇත. මේවා බොහෝ දුරට රැකියා ඉලක්ක කරගත් ඒවා වනු ඇති අතර, එම පාඨමාලා සකස් වනු ඇත්තේ පෞද්ගලික සමාගම් විසින් බඳවා ගැනීමට බලාපොරොත්තු වන වර්ගයේ උපාධිධාරීන් බිහි කිරීමේ අරමුණිනි. මෙවනි පාඨමාලා තුළ අපේ දැනුමකට (අපේ චින්තනය මත පදනම් වූ දැනුමකට ) සුළු හෝ ඉඩක් නොලැබෙනු ඇති අතර, එම පාඨමාලා වැඩි වැඩියෙන් නූතනත්වය දෙසට ම ගමන් කරනු ඇත. එවිට, ඒ හා තරඟ කිරීමට නම්, රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ද සිදු වනු ඇත්තේ සිය පාඨමාලා අර පෞද්ගලික විශ්ව විද්‍යාල අනුකරණය කරමින් ම සකස් කර ගැනීමට ය.

පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය නොකළ යුතු ය

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මේ රටේ වඩාත් ප්‍රචලිත වීමෙන් සිදු වන්නේ, අපේ චින්තනය මත පදනම් වූ දැනුමක් අප විශ්ව විද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම හෝ එවැනි දැනුමක් එතුළින් බිහි වීමට හෝ ඇති සුළු ඉඩ ද ඇහිරී යාම ය. අනෙක් අතට, මුදලට අධ්‍යාපනය ලබා දීම යන සංකල්පය ම ධනවාදය හා බැඳී පවතී. ධනවාදය අත්‍යවශ්‍යයෙන් ම නූතනත්වය හා බැඳී ඇත. මේ අනුව, අපගේ අදහස නම් මුදලට අධ්‍යාපනය ලබා දීම ප්‍රවර්ධනය නොකළ යුතු බවත්, එසේ කිරීමෙන් වන්නේ අප රට තව තවත් නූතනත්වයේ ම ගිල්වීමක් බවත් ය. තව ද, එය අපේ ඓතිහාසික අධ්‍යාපන සම්ප්‍රදායට ද පිටුපා යාමකි.

දැනට අප රටේ නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් කෙරෙන්නේ බටහිර දැනුම බෙදා දීම නොවේ දැ යි මෙහි දී කෙනෙකු ඇසිය හැකි ය. එහි සැබෑවක් ඇති නමුත්, අපට බටහිර දැනුමෙන් මිදීමට ඇති එක ම විකල්පය ද නිදහස් අධ්‍යාපන ක්‍රමය ම බව ද අප අමතක නොකළ යුතු ය. අපට අවශ්‍ය මධ්‍යගත බවින් මිදුණු අධ්‍යාපන ආයතන නම් ඊට විකල්පය මුදලට අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික ආයතන නොවේ. රජයට අයත් නොවන නමුත් මුදල් ද අය නොකරන අපේ පිරිවෙන් සම්ප්‍රදාය මත පදනම් වුනු ආයතන අපට බිහි කර ගත නොහැකි ද?

-නාරද බලගොල්ල

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/28/2015

එල්ලුම් ගහ ගැන බෞද්ධ විග්‍රහයක්

කතෘ:යුතුකම     9/28/2015   2 comments
දිවුලපිටිය කොටදෙනියාවේ සේයා සදෙව්මි දියණියගේ අමානුෂික ඝාතනයෙන් පසුව එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම ගැන කතිකාවක් මෙරට සමාජය තුළ යළිත් මතුව ඇත. මෙම ඝාතනයට එරෙහිව රට පුරා පැවතී උද්ඝෝෂණ වලදී ද රජයෙන් කරන ලද මූලික ම ඉල්ලීම වූයේ මෙවැනි අපරාධ යළි සිදු නොවීමට නම් අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ය. දැනට ක්‍රියාවට නැංවෙන දඬුවම් ප්‍රමාණවත් නොවන බැවින් මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කරවන ලෙස ඔවුහු ජනාධිපති තුමාගෙන් ද රජයෙන් ඉල්ලා සිටියහ. මේ සම්බන්ධව විවිධ ජන මාධ්‍ය මගින් සිදු කරන ලද මහජන අදහස් විමසීම් වල දී ද මේ හා සමාන අදහස් මතු විය. එසේ ම පසුගිය දා එක්තරා රැස්වීමක් අමතමින් ජනාධිපති තුමා ද ප්‍රකාශ කළේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට තමන් අදහස් කරන බවත් ය. තව ද ඇතැමුන් ප්‍රකාශ කරන්නේ මෙවැනි අපරාධකරුවන්ට "රජ කාලේ දඬුවම්" ලබා දිය යුතු බවකි. එහෙත්, ජනාධිපති තුමා ද සිය කතාවේ දී ප්‍රකාශ කළේ මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බාධකය වන්නේ මානව හිමිකම් සංවිධානවලින් එල්ල වන විරෝධය බව යි. තවත් සමහරෙකු ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට කිසිසේත් ම නොගැලපෙන බවකි. කෙසේ වෙතත්, මෙරට ජනතාවගෙන් බහුතරයක් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පක්ෂ බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ.

මරණීය දණ්ඩනයේ ඉතිහාසය 

මරණ දඬුවම ලබා දීම සඳහා ලංකාවේ මෙන් ම ලෝකයේ වෙනත් රටවල ද විවිධ ක්‍රම භාවිත වී ඇත. දං ගෙඩිය මත තබා ගෙල සිඳ ලීම, උල හිඳුවීම, ඇතුන් ලවා පෑගවීම වැනි ක්‍රම මෙරට, විශේෂයෙන් මහනුවර යුගයේ දී අපරාධ කරුවන්ට මරණ දඬුවම ලබා දීම සඳහා යොදාගෙන ඇත. කුරුසියේ ඇණ ගසා මරා දැමීම වඩාත් ප්‍රකට වන්නේ ජේසුස් වහන්සේට ලබා දුන් මරණ දඬුවම නිසා ය. විෂ ශරීර ගත කර මරා දැමීම විවිධ රටවල අතීතයේ සිට ක්‍රියාත්මක වූ ක්‍රමයකි. ප්‍රංශයේ භාවිත වූ ගිලටීනය ලෝකයේ ප්‍රසිද්ධ වූ මරණය ලබා දීමේ ක්‍රමයකි. ගෑස් කුටීරයක් තුළ දී මරණයට පත් කිරීම දෙවන බටහිර යුධ සමයේ (ඊනියා දෙවන ලෝක යුද්ධය) දී ප්‍රසිද්ධියට පත් විය. විද්‍යුත් විතක්ෂය මගින් මරණයට පත් කිරීම හෙවත් විදුලි පුටුව ඇමරිකා එක්සත් ජනපදයේ ආරම්භ වුනු ක්‍රමයකි. වෙඩි තබා මරා දැමීම, ගල් ගසා මරා දැමීම වැනි දෑ ද ඇතැම් රටවල ක්‍රියාත්මක වන මරණ දඬුවම ලබා දීමේ ක්‍රම වේ. දිවි තොර වන තුරු එල්ලා තැබීම හෙවත් එල්ලුම් ගස බ්‍රිතාන්‍ය පාලන සමය තුළ මෙරටට හඳුන්වා දෙන ලද දඬුවම් ක්‍රමයකි. මෙම දඬුවම 1948 ඊනියා නිදහසින් පසුව ද වරින් වර ක්‍රියාත්මක වූ නිසා ම, මෙරට බොහෝ දෙනෙකුට මරණ දඬුවම කියූ සැනින් මතකයට නැඟෙන්නේ එල්ලුම් ගස යි. කෙසේ වෙතත් 1956 දී බලයට පත් බණ්ඩාරනායක රජය මගින් මරණීය දණ්ඩනය ලබා දීම නවතා දැමුණ ද, බණ්ඩාරනායක මහතාගේ ම ඝාතකයාට නැවත මරණ දඬුවම ලබා දෙන්නේ දෛවයේ සරදමක් ලෙස ය. එතැන් පටන් යළි ක්‍රියාත්මක වූ මරණ දඬුවම නැවත නවතා දැමෙන්නේ 1977න් පසුව ජේ.ආර්. ජයවර්ධන රජය මගිනි.

රටේ අපරාධ රැල්ල සහ මරණ දඬුවම 

වර්තමානයේ එල්ලුම් ගස ගැන නැවත කතා කිරීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙරට පසුගිය දශක කිහිපය පුරා වර්ධනය වෙමින් පවතින අපරාධ රැල්ල බව කිව හැකි ය. අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීමෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණු කිහිපයක් තිබේ. සිදු කළ අපරාධයට හිලව් වන ලෙස අපරාධකරුට දඬුවමක් ලබා දීම, නැවත එවන් හානියක් සමාජයට නොවීමට එකී අපරාධකරුවා සමාජයෙන් තුරන් කිරීම සහ එවන් අපරාධ කිරීම කෙරෙහි සමාජයේ සෙසු පුද්ගලයින් තුළ බියක් ඇති කිරීම එම කරුණු අතර වෙයි. ජේ.ආර්. ජයවර්ධන රජය මගින් මරණ දඬුවම ලබා දීම නැවත්වීම සහ රටේ අපරාධ රැල්ලක් ලෙස ඉස්මතු වීම යන සංසිද්ධීන් දෙකම සමගාමීව සිදු වීම නිසා ම, මේ දෙක අතර සහසම්බන්ධයක් ඇතැ යි සිතීමට බොහෝ දෙනෙක් අද වන විට පෙළඹී සිටිති. මරණ දඬුවම සැබවින් ම අපරාධ අඩු කිරීමට හේතුවක් වේ ද? නැතහොත් මරණීය දණ්ඩනය ලබා නොදීම අපරාධ වැඩි වීමට හේතුවක් වේ ද? අනෙක් අතට මරණ දඬුවම ලබා දීම බෞද්ධ රටකට ගැලපේ ද? එසේ නොගැලපේ නම් මරණ දඬුවම ලබා නොදී රටේ අපරාධ මැඩ පැවැත්වීමට ක්‍රමයක් තිබේ ද? මෙම ප්‍රශ්න මරණ දඬුවම ගැන කතා කිරීමේ දී අත්‍යවශ්‍යයෙන් ම කතා කළ යුතු ඒවා වෙයි.

මරණ දඬුවම දෙස බෞද්ධ ඇසකින් බලමු 

අපගේ පිළිගැනීම අනුව ශ්‍රී ලංකාව යනු බෞද්ධ රටකි; සිංහල බෞද්ධ රටකි. එබැවින් මෙම ලිපියේ මුඛ්‍ය අරමුණ වන්නේ අපරාධකරුවෙකුට මරණ දඬුවම ලබා දීම දෙස බෞද්ධ දෘෂ්ඨි කෝණයකින් බැලීම ය. එල්ලුම් ගස හෝ වෙනත් ක්‍රමයකින් හෝ ලබා දෙන මරණ දඬුවම ප්‍රාණ ඝාත අකුසලයට අයත් වේ. මේ අනුව බලන කළ අපරාධයක් සිදු කළ තැනැත්තෙක් මරණයට පත් කිරීම බුදු දහමට පටහැනි බව අපට කිව හැකි ය. අනෙක් අතට අපරාධකරුවෙකු කෙරෙහි ද්වේශයෙන් මරණය නියම කිරීම ද බුදු දහමට එකඟ නොවේ. මෙය බුදු දහම ඇසුරින් මරණ දඬුවම ගැන දිය හැකි සරල ම විග්‍රහයකි. අපට තව දුරටත් මෙසේ ද සිතිය හැකි ය. බෞද්ධයෝ උච්ඡේදවාදීහු නොවෙති. එසේ නම් යමෙකු හට මරණ දඬුවම ලබා දුන් පසුව ඔහුට හෝ ඇයට හෝ කුමක් සිදු වෙයි ද? මරණයෙන් පසුව කවරාකාරයේ උප්පත්තියක් ලබණු ඇත් ද? මෙම මරණ දඬුවම අදාළ පුද්ගලයාගේ ඉදිරි සසර ගමන කෙරෙහි කෙසේ බලපානු ඇත් ද?

බෞද්ධයාගේ කාර්ය භාරය විය යුත්තේ තමන් නිවන් මාර්ගයේ ගමන් කරන අතරම සෙසු පුද්ගලයින් ද නිවන් මාර්ගයේ ගමන් කරවීමට හැකි පමණ උත්සාහ දැරීම ය. එසේ ම බෞද්ධ නීති සම්පාදකයින්ගේ වගකීම විය යුත්තේ අපරාධකරුවන් ද ඇතුළු රටේ ජනතාව හැකි තාක් නිවන් මාර්ගයට යොමුවන පරිදි නීති සම්පාදනය සිදු කිරීම ය. සසර සැරිසරන සත්ත්වයින් වන අප වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ලෝබ ද්වෙශාදී අකුසල් කෙරෙහි බව යි බුද්ධ දේශනාවෙහි සඳහන් වන්නේ. මේ නිසා ම දැඩි වීර්යයෙන් තුන් දොර සංවර කර නොගත හොත් මිය යන මොහොතේ ද අකුසල් සිතක් පහල වීමේ ඉතා ඉහල සම්භාවිතාවක් ඇත. බොහෝ විට අපරාධ සිදු වන්නේ දුර්වල සිත් ඇත්තන් අතිනි. මේ නිසා ම මෙම පුද්ගලයින්ගේ සිත් ද බොහෝ විට අකුසල් සිතුවිලි වලින් පිරී පවතී. මෙවැනි පුද්ගලයෙකු මරණයට පත් කළ හොත් එම පුද්ගලයා මිය යන මොහොතේ පහළ වන චුති චිත්තය ද, අකුසල් සිතක් ම වීමේ ඉතා ඉහල හැකියාවක් ඇත. මරණයේ දී ඇති වන වේදනාව ඒ සඳහා මහත් අනුබලයක් ද ලබා දෙයි. මේ නිසා එම පුද්ගලයා ප්‍රේත ලෝකයක, සතර අපායක වැනි දුගතියක උප්පත්තියක් ලබනු ඇත. බෞද්ධ ඉතිහාසයේ සඳහන් ආකාරයට බන්ධුල මල්ලිකාව වැනි සැදැහැවතුන් පවා මරණින් ඉක්බිති අපා ගත වූයේ නම් මෙවැනි පුද්ගලයින් ගැන කවර කතා ද?

මෙවැනි පුද්ගලයින් සිදු කළ අපරාධයන්ට වන්දි ගෙවීම පිණිස එවැනි උපතක් ලැබීමේ ගැටළුවක් නොමැති බව අයෙකු පවසනු ඇත. එහෙත් එවැන්නන් දෙස අප බැලිය යුත්තේ එවැනි ද්වේශ සිතකින් ද? මෙවන් දුගතියක උපත ලැබීමෙන් ඔවුහු නිවන් මගෙන් තව තවත් ඈත් වීම සිදු වෙයි; අකුසලය වෙත නැඹුරු වී තව තවත් එවැනි ම වැරදි වෙත යොමු වීම සිදු වෙයි. මිනිසුන් 999ක් ඝාතනය කළ අංගුලිමාලට බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා නොදී මරණ දඬුවම ලබා දුන්නේ නම් කුමක් සිදු වනු ඇත් ද? අද මරණ දඬුවමට නියම වන පුද්ගලයෙකුට අනාගතයේ නිවන් මගෙහි ගමන් කිරීමට තරම් පිනක් තිබිය නොහැකි ද? එම නිසා මරණ දඬුවම හරහා එවැනි පුද්ගලයෙකුට සිදු වන්නේ යහපතක් නම් නොවන බව පැහැදිලි ය.

විකල්පය 

මරණීය දණ්ඩනය නුසුදුසු නම් රටක අපරාධ අඩු කිරීම සිදු කළ හැක්කේ කෙසේ ද? මරණීය දණ්ඩනය නිසා පුද්ගලයෝ අපරාධ සිදු කිරීමට බිය නොවෙත් ද? මෙය මිත්‍යා මතයක් බව පෙනී යන්නේ, මරණ දඬුවම ක්‍රියාත්මක වන ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල පවා අපරාධ සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින නිසා ය. අනෙක් අතට කෙතරම් දරුණු දඬුවම් ක්‍රියාත්මක වුව ද අපරාධ සිදු කරන බොහෝ පුද්ගලයින් සිතන්නේ තමන් එය කළ බව හෙළි නොවනු ඇති බව යි. තවත් අයෙක් ක්ෂණිකව ඇති වන රාග හෝ ද්වේශ හෝ සිතුවිලි නිසා අපරාධ සිදු කරති. රටකට නීති පද්ධතියක් අනවශ්‍ය බව අපි මින් අදහස් නොකරමු. නුවණැත්තන් අකුසලයට බිය වුව ද නුවණ නැත්තන් තුළ වරදට බිය ඇති කිරීම සඳහා සිර දඬුවම් වැනි දෑ අවශ්‍ය ය. අප යෝජනා කරන්නේ අපරාධයන්ට සම්බන්ධ වී සිර ගතවන පුද්ගලයින් තුළ කුසල් සිතුවිලි වර්ධනය කර පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙලක් තිබිය යුතු බව යි.

අප දකින ආකාරයට රටේ දක්නට ඇති අපරාධ රැල්ලට හේතුව වී ඇත්තේ මිනිස් සිත් සතන් තුළ අකුසල් ජනිත කරවන වර්තමාන සමාජ වටපිටාව ය. එක් පසකින් අවශ්‍යතා වර්ධනය කරවන වෙළඳපොල ආර්ථික ක්‍රමය ය. අනෙක් පසින් රාගය, ද්වේශය වර්ධනය කරවන මාධ්‍යයන් ය. මෙකී විෂම සමාජය අප පිටු දැකිය යුතු ය. වහා සිදු කළ යුත්තේ මිනිස් සිත් තුළ අකුසල් සිතුවිලි ජනිත නොවන, කුසල් සිතුවිලි ජනිත වන බෞද්ධ සමාජයක් යළි බිහි කර ගැනීම යි.

-නාරද බලගොල්ල
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

6/04/2015

අජිත් රෝහණ ප්‍රංශයට ගියේ ඇයි?

කතෘ:යුතුකම     6/04/2015   No comments
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (නීතිඥ) අජිත් රෝහණ මහතා ප්‍රංශයට ගොස් ඇති බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා කර තිබිණ. එම මාධ්‍ය වාර්තා වලට අනුව ඒ මහතා මෙරටින් පිටව ගොස් ඇත්තේ ජාත්‍යන්තර පොලීසිය (INTERPOL) මගින් ප්‍රංශයේ ලියොන් නුවර පැවැත්වෙන වාර්ගික සංහාර, යුධ අපරාධ සහ මනුෂත්වයට එරෙහි අපරාධ පිළිබඳ පස් දින ජාත්‍යන්තර පාඨාමාලාව (Five Day International Course on Genocide, War Crimes and Crimes against Humanity) හැදෑරීම පිණිස ය. අජිත් රෝහණ මහතා වැනි පොලිස් නිළධාරියෙකුට පමණක් නොව මෙරට ඕනෑම රජයේ සේවකයෙකුට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවීම් ලබා දීම අප රටට ඉතා වැදගත් බව කෙනෙකු ප්‍රකාශ් කරනු ඇත. එහෙත්, වාර්ගික සංහාර සහ යුධ අපරාධ ආදිය ගැන වැඩිදුර ඉගෙන ගැනීම මෙරට පොලිස් නිළධාරියෙකුට මේ මොහොතේ වැදගත් වන්නේ ඇයි ද යන්න අපි ප්‍රශ්න කළ යුතු වෙමු.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහභාගි වන පාඨමාලාව අප රටට කෙසේ වැදගත් වේ ද? ඒ මහතා අදාළ පාඨමාලාව මගින් ලබා ගන්නා දැනුම අප රටට කවර ආකාරයේ සේවයක් ඉටු කරනු ඇති ද? එම දැනුම මගින් පිළියම් යෙදීමට මෙරට වාර්ගික සංහාරයක් හෝ යුධ අපරාධයක් හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් සිදු වී ඇති ද? නැතහොත් අනාගතයේ එවැනි අපරාධයක් මෙරට සිදුවනු වැලැක්වීම ද ඒ මහතා එම පාඨමාලාව හැදෑරීමේ අරමුණ? අප මෙසේ නඟන ප්‍රශ්න "කොරහේ කිඹුල්ලු දැකීමක්" ලෙස සිතන ඇතැමෙකු පවසනු ඇත්තේ මෙම පාඨමාලාව හරහා අජිත් රෝහණ මහතා ලබා ගන්නා දැනුම, පසුගිය සමයේ ශ්‍රී ලංකාවට එල්ල වූ යුධ අපරාධ ඡෝදනා වලට පිළිතුරු ලබා දීමටත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට අපක්ෂපාතී දේශීය පරීක්ෂණයක් පැවැත්වීමටත් යොදා ගත හැකි බව ය.

මාධ්‍ය ඔස්සේ වාර්තා වුනු ආකාරයට උක්ත පාඨමාලාව සඳහා රටවල් 190කින් අයදුම් පත් ලැබී තිබුණ ද, ඒ සඳහා අවස්ථාව ලැබී ඇත්තේ රටවල් 30ක පොලිස් නිළධාරීන්ට පමණි. මෙම රටවල් 30 අතරට ඇතුළත් වීමට ශ්‍රී ලංකාවට "වාසනාව" උදා වී ඇත. එසේ නම් මෙම රටවල් 30 තෝරා ගැනීමේ ක්‍රමවේදය කුමක් වන්නට ඇති ද? ජනාධිපති තුමා සහ අගමැති තුමා වරින් වර කියා ඇති පරිදි මේරට සිදු වූයේ යැ යි කියන යුධ අපරාධ ගැන දේශීය පරීක්ෂණයක් පැවැත්වීම උදෙසා දක්වන සහායක් ලෙස ජාත්‍යන්තර පොලීසිය විසින් මෙම අවස්ථාව අප රටට ලබා දෙනු ලැබුවේ ද?

ඊනියා මානව හිමිකම් යුධ අපරාධ ආදිය බටහිර රටවල් විසින් තමන්ට රිසි පරිදි යොදා ගැනේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ඊනියා ජාත්‍යන්තර සංවිධාන යනු එම අරමුණු වෙනුවෙන් අප වැනි රටවල් බැඳ තබා ගැනීමට පිහිටුවා ගත් ඇටවුම් වෙයි. ලංකා හමුදාව විසින් සිදු කරන ලදැ යි කියන මානව හිමිකම් උල්ලංගනය වීම් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ කතා බහට ලක් වුව ද, ඇමරිකානු හමුදාව විසින් ඉරානයේ සිදු කරන ලද මානව හිමිකම් කඩ කිරීම් හෝ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයේ සාමාන්‍ය වැසියන්ට එල්ල කළ ප්‍රහාර හෝ එ තුළ සාකච්ඡා නොකෙරෙයි. සාකච්ඡා කිරීමට යමෙක් උත්හාහ ගත්ත ද "ජාත්‍යන්තර චන්ඩි පාට්" භාවිතයෙන් එය ව්‍යයර්ත කෙරෙයි.

එක් පිරිසක් තම ආධිපත්‍යය පවත්වා ගැනීම පිණිස ම යොදා ගන්නා මේ ආකාරයේ ඒක පාර්ශවික නීති ඔස්සේ දේශීය වේවා, ජාත්‍යන්තර වේවා කවර ආකාරයේ පරීක්ෂණයක් පැවැත්වුව ද එමගින් අප රටට සෙතක් සිදු වේ යැ යි සිතිය නොහැක. මේ නිසා ම අජිත් රෝහණ මහතා තම සංචාරට තුළින් ලබා ගත් දැනුම ඉදිරියේ දී කෙසේ භාවිත කරන්නේ දැ යි අපි විමසිලිමත්ව බලා සිටිමු.


-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

2/01/2015

මිස්ටර් ක්ලීන්ගේ මහත්මා දේශපාලනය

කතෘ:යුතුකම     2/01/2015   2 comments
මෙම ලිපියෙන් කතා කිරීමට යන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැන ය. ඒ මහතා මෙරට සිටින පරිණත දේශපාලඥයෙකි. කොළඹ 07 රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි. කොළඹ විශ්ව විද්‍යාලයීය නීති පීඨයේ ආදී විද්‍යාර්ථයෙකි. වෘත්තියෙන් නීතීඥයෙකි. සිංහල සහ ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැකි ද්වී-භාෂික උගතෙකි. 1977 වසරේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකි. 1994 නොවැම්බර් මාසයේ සිට ඒ.ජා.ප නායකයා ය. 1994 සිට 2015 දක්වා (වසර දෙකක් හා මාස 04 ක පමණ කාලයකට හැර) මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ය. එසේ ම, අධ්‍යාපන අමාත්‍ය ධූරය ඇතුළු කැබිනට් ඇමති ධූර ද දැරුවෙකි. 1993 මැයි මාසයේ සිට අවස්ථා දෙකක දී වසර තුනකට අඩු ධූර කාල සඳහා දෙවරක් අගමැති ධූරය හොබවා මේ වන විට තෙවන තෙවන වරටත් අගමැති ලෙස දිවුරුම් දී ඇත.


පසුගිය කාලයේ ඇතැමෙක් රනිල් වික්‍රමසිංහයන් "මිස්ටර් ක්ලීන්" (පිරිසිදු මහත්මයා) ලෙස හඳුන්වන ලදහ. එහි දී එතුමන් මහත්මා දේශපාලඥයෙකු ලෙස හඳුන්වන ලදී. මේ ගැන කතා කරන බොහෝ දෙනා සිහිපත් කරන්නේ 1994 මහ මැතිවරණයේ දී, එ.ජා.ප. ය පරාජය වූ අවස්ථාවේ එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඒ මහතා ජනතා තීන්දුවට ගරු කරමින් ඒ මොහොතේම අරලිය ගහ මන්දිරයෙන් පිටව ගිය ආකාරය යි. සමහරුන් පවසන්නේ එතුමා තරම් ජාත්‍යන්තරය සමග සම්බන්ධකම් පවතින වෙනත් දේශපාලඥයෙක් ලංකාවේ නැති බව ය. මේ නිසා ලංකාවට ජාත්‍යන්තරයෙන් ඇතිවන බලපෑම් පහසුවෙන් ම කළමනාකරණය කිරීමට එතුමන්ට පහසුවෙන් ම හැකි බව ඔවුහු කියති. එසේ ම ඇතැමුන් කියන ආකාරයට වික්‍රමසිංහ මහතා සතුව පවතින බුද්ධියෙන් තාමත් මෙරට ජනතාව වෙනුවෙන් වැඩක් ගැනීමට නොහැකි වී ඇත. මේ සියල්ල වික්‍රමසිංහයන් ගැන ඇතැමුන් කියන කතා ය.


එන්.ඩී.ටී.වී. සමග කළ සාකච්ඡාව

අපට දැන් එතුමන් ගැන කතා කිරීමට සිදුව ඇත්තේ ඔහු මෑතක දී ඉන්දියානු එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග පවත්වන ලද සාකච්ඡාවක දී ඒ මහතා විසින් කියන ලද කරුණු නිසා ය. එන්.ඩී.ටී.වී.යනු ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් සම්බන්ධ රූපවාහිනී නාලිකා අතරින් ඉන්දියාවේ ප්‍රමුඛතම නාලිකාවකි. මෙම නාලිකාව ප්‍රධාන වශයෙන් ම ඉන්දීය දේශපාලනයට අදාළ කරුණු සාකච්ඡා කළ ද කාලාපයේ සෙසු රටවල් ගැන ද යම් යම් අවස්ථා වල දී අවාධානය යොමු කර යි. විශේෂයෙන් ම එම රටවල දේශපාලනයේ ඉන්දියාව විසින් සිය අවධානයට යොමු කරන කරුණු එන්.ඩී.ටී.වී.යේ ද අවධානයට ලක් වෙයි.


අගමැති තුමා සමග කරන ලද මේ සාකච්ඡාව සම්බන්ධව මුලින් ම තොරතුරක් හෙළි කරන ලද්දේ එන්.ඩී.ටී.වී.හි නිලට්විටර් පිටුව මගිනි. "In principle, we have agreed to full autonomy to Tamil areas, Sri Lankan Prime Minister Ranil Wickramasinghe tells NDTV" යනුවෙනි එහි වාර්තා කර තිබුනේ. එනම් "දෙමළ ප්‍රදේශ සඳහා පූර්ණ ස්වයං පාලනය ලබා දීමට ප්‍රතිපත්තියක් අප එකඟ වී සිටින බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී.යට පැවසී ය" යනුවෙනි. එහෙත්, ඇතැමුන් ප්‍රකාශ කළේ එන්.ඩී.ටී.වී. ට්විටර් පිටුව එසේ කීව ද, අදාළ රූපවාහිනී සාකච්ඡාවේ දී එවැන්නක් නොකියැවෙන බවකි. එසේ වුවත්, මෙය සමාජ ජාලයක පළ වූ තවත් එක් වැරදි පුවතක් බව කියා කර බා ගත නොහැකි ය. මන් ද, වර්තමාන ප්‍රවණතාවය අනුව බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් තම මතය ප්‍රකාශ කිරීමට තම නිල ට්විටර් පිටු භාවිත කිරීම ය. එහි දී වැදගත් වන්නේ අදාළ පිටුව නිල පිටුව ද යන්න පමණි. මේ බැව් රනිල් වික්‍රමසිංහ මහතා නොදන්නේ නම් එය ඔහුගේ ද්වි-භාෂික උගත්කමට ද නිගාවකි. මෙම ප්‍රකාශය පළ වන්නේ එන්.ඩී.ටී.වී. නිල ට්විටර් පිටුවේ ය. අපේ අසල්වැසි රටේ ප්‍රධානත ම රූපවාහිනී නාලිකාවක නිල ට්විටර් පිටුවක අපේ රටේ අගමැති තුමා සිදු කළා යැ යි කියමින් වැරදි ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම ම බරපතල වරදකි. අනෙක් අතට මෙය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කළ අතිශය වැදගත්, තීරණාත්මක ප්‍රකාශයකි. එසේ නම්, වික්‍රමසිංහ මහතා කළ යුතුව තිබුණේ එම ප්‍රකාශය වැරදි බවට වහාම නිවේදනය කිරීම ය. අඩු ම තරමේ තම නිල ට්විටර් පිටුව හරහා වත් එසේ ප්‍රකාශ කිරීම ය. අවාසනාවකට ඔහු එසේ නොකළේ ය. එසේ නොකිරීමෙන් මෙම ප්‍රකාශය සත්‍ය බව අපට නිගමනය කිරීමට සිදුවේ. එසේත් නැති නම් රනිල් වික්‍රමසිංහ මහතා උගත් පරිණත දේශපාලඥයෙකැ යි අප තුළ ඇති අදහස බැහැර කළ යුතු ය.


ට්විටර් පිටුවේ පලවී තිබූ දෑ වැරදි යැ යි අපි මොහොතකට උපකල්පනය කරමු. එසේ නම් වික්‍රමසිංහ මහතා අදාළ සාකච්ඡාවේ දී ඇත්තට ම කිවේ කුමක් දැ යි අපි සොයා බැලිය යුත්තෙමු. මෙම සාකච්ඡාව දැන් එන්.ඩී.ටී.වී.වෙබ් අඩවියේ පළව තිබේ. මෙම සාකච්ඡාව දැනටත් ඕනෑ ම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ය. ඉංග්‍රීසි භාෂාව තේරුම් ගත හැකි ඕනෑ ම කෙනෙකුට අග්‍රාමාත්‍යවරයා කුමක් කීවේ ද යන්න මෙය නැරඹීමෙන් වටහා ගත හැකි ය. එමෙන් ම, මෙහි සිංහල පරිවර්තනයක් ද යුතුකම සංවාද කවයේ වෙබ් අවවියේ පළ කර ඇත.


එම සාකච්ඡාවේ දී නිවේදකයා සිය ප්‍රශ්න ඇසීම සිදු කරන්නේ සම්පූර්ණයෙන් ම ඉන්දීය දෘෂ්ඨි කෝණයෙනි. එහි දී ඔහු ඉන්දියාවේ අවධානය යොමුව ඇතැ යි කියන කරුණු තුනක් ගැන අගමැති තුමාගෙන් රජයේ ස්ථාවරය විමසා සිටියි.
1. දෙමළ ජනතාවට පූර්ණ ස්වයංපාලනය ලබා දීම
2. රාජපක්ෂ රජයේ අධි චීන හිතවාදී බව
3. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුධ අපරාධ චෝදනා
යනු එම කරුණු තුන යි.


හංසයාට ලැබුණු ජනවරම

අපි මෙම කරුණු මදකට පසෙකට තබා ජනාධිපතිවරණ ජනවරම දෙසට හැරෙමු. ජනාධිපතිවරණ ප්‍රතිඵලය කවුරු කෙසේ අර්ථ දැක්වුව ද, සියලු දෙනා අවිවාදයෙන් පිළිගත යුතු කරුණක් ඇත. එනම් ශ්‍රී ලාංකික ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබී තිබීම ය. එසේ නම් මෙම බහුතර ජනතාව සිරිසේන මහතාගේ ඡන්ද ලකුණ වූ හංසයා ඉදිරියේ කතිරය ගැසුවේ ඇයි? මෙම ජනතා අභිලාශය වෙනත් කිසිවක් නොව ඒ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ කරුණු ය. එනම් රටේ යහපාලනය ඇති කිරීම, විධායක ජනාධිපති ධූරයට අදාළ බලතල සීමා කිරීම ආදිය ය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ සහාය සිරිසේන මහතාට හිමි වෙත් ම, ඔවුන්ගේ බෙදුම්වාදී අරමුණු ඉටු කිරීමට මෙම පාර්ශව සහ සිරිසේන මහතා අතර ගිවිසුමක් ඇතැ යි ඇතැම්හු චෝදනා කළහ. දෙමළ ජාතික සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය පිහිටුවීමේ අරමුණ වන්නේ වෙනම රාජ්‍ය/ෆෙඩරල් කලාප ආදිය ලබා ගැනීම වීම, ඔවුන් විසින් කාලාන්තරයක් තිස්සේ කරනු ලබන ඉල්ලීම් ආදිය මතු කරමින් ඔවුහු මෙම චෝදනාව එල්ල කළහ. එකල මීට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ය. ඔහු පැවසුවේ දෙමළ සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සිරිසේන මහතාට සහාය දෙන්නේ හුදු යහපාලනය ඇති කිරීමේ අරමුණින් බවත් එම පක්ෂ මීට පෙර ඉල්ලා සිටින ලද දෙමළ, මුස්ලිම් ජනතාවට ඇතැ යි කියන ප්‍රශ්න වලට ඉල්ලන විසඳුම් මෙහි දී කතා නොකෙරෙන බවත් ය. දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග එවැනි එකඟතාවන් නොමැති බව සිරිසේන මහතා ද යාම යම් අවස්ථාවල දී තහවුරු කළේ ය. එසේ ම සිරිසේන මහතා සහ ජාතික හෙළ උරුමය අතර අත්සන් කරන ලද එකඟතාව මුල සිට ම ජනතාවට හෙළි කරන ලද අතර, එහි අඩංගු වූයේ හෙළ උරුමය මීට පෙර කතා කරන ලද සිංහල බෞද්ධයන් සම්බන්ධ ගැටළු නොව රටේ සමස්ථ ජනතාවට අදාළ යහපාලනයට අදාළ කරුණු ය. මේ අනුව, මෛත්‍රීපාල සිරිසේන මහතා වටා එක්‌ වූ සියලු පාර්ශවයන් තම තමන්ගේ මත පසෙක ලා යහපාලනය නම් පොදු කරුණට එකඟ වූ බව හංසයාට කතිරය ගැසූ ජනතාව විශ්වාස කළ බව නිසැක ය.


අගමැති තුමා ඇත්තටම කිවේ මොනවා ද?

අප මුල දී කතා කරමින් සිටියේ එන්.ඩී.ටී.වී.ය සමග අගමැති තුමා සිදු කළ සාකච්ඡාව ගැන ය. එහිදී නිවේදක තැන ප්‍රධාන කරුණු තුනක් මතු කළ බව අපි ඉහත සඳහන් කළෙමු. ඉන් මුල දී ම සඳහන් කරන ලද ස්වයංපාලනය හා සම්බන්ධ වන්නේ පළමු කරුණ යි. නිවේදකයා එහි දී විමසන්නේ දෙමළ ජනතාවට පූර්ණ ස්වයංපාලනයක් ඔබ ලබා දෙනවා ද යන්න යි. මෛත්‍රීපාල මහතා ජනාධිපති අපේක්ෂකයාව සිටිය දී පැවසූ ආකාරයටත්, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ආකාරයටත්, මෙම ස්වයංපාලන කතාව වත්මන් රජයට අයත් කාර්යයක් නොවේ. නිවේදකයා අසන මෙම ස්වයංපාලනය නම් විසඳුම ඉදිරිපත් වන්නේ ම මෙරට දෙමළ ජනයාට ඇතැ යි කියන ප්‍රශ්න වලට විසඳුමක් ලෙස ය. මෙම නිවේදකයා ම කියන ආකාරයට සිය රජය අන්තර්කාලීන රජයක් (transitionary government) බව රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත. දෙමළ ජාතික සන්ධානය පවා මෙම අන්තර්කාලීන රජය පිහිටුවීමට උදව් කර ඇත්තේ එවැනි ස්වයංපාලන විසඳුම් බලාපොරොත්තුවෙන් නොවේ. එසේ නම් නිවේදක තැන අසන ප්‍රශ්නය මේ රජයට අදාළ නොවන ප්‍රශ්නයක් බව පැහැදිළි ය. එබැවින් වික්‍රමසිංහ මහතාට මුලින් ම කිව යුතුව තිබුණේ, තම රජය පත්ව සිටින්නේ මෙරට යහපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ ඒකායන අරමුණින් බවත්, ස්වයංපාලනයක් ගැන කතා කිරීම තමන්ට අදාළ නොවන බවත් කීම ය. එහෙත්, ඔහු එසේ කීවේ නැත. මෙහි දී රජය දරන්නේ ස්වයංපාලනයක් ලබා දීමට විරුද්ධ මතයක් යැ යි මොහොතකට සිතමු. එසේ නම් තම රජය එවැනි ස්වයංපාලනයක් ලබා නොදෙන බව ය ඔහු විසින් කිව යුතුව තිබුණේ. එහෙත්, ඔහු එසේ කීවේ ද නැත. ඔහු කීවේ මෙවැන්නකි.

"Well the agreement is that the 13th Amendment be implemented, and that's the discussion we are having with the TNA. In principle all have agreed that the 13th Amendment should be implemented."
"හොඳයි. එකඟතාවය වුනේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම යි. එය තමයි, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කලෙත්. ප්‍රතිපත්තිමය විදිහට සියලු දෙනා එකඟ වෙලා තියනවා, 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට."

මෙහි දී 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමක් ගැන ඔහු පවසයි; ඒ ගැන වූ එකඟතාවක් ගැන ද පවසයි; ඒ ගැන දෙමළ ජාතික සන්ධානය ගැන සාකච්ඡා කළ බව ද පවසයි; මේ ගැන ප්‍රතිපත්තිමය ලෙස සියලු දෙනා එකඟ වී ඇතැ යි ද පවසයි. මෙතුමා මේ පවසන හතර බීරි කතාව අපට නම් ගැටලුවකි. මේ නිසා ම මේ ගැන වැඩි දුරටත් එතුමා කුමක් පවසන්නේ ද යන්න විමසීම වටී. ඔහු ඊළඟට පවසන්නේ මෙවැන්නකි.

"We're only having discussions about the police powers and how it should function"
"අපි සාකච්ඡා කරන්නේ පොලිස් බලතල ගැනත් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය ගැනත් පමණ යි"

මෙයින් ගම්‍ය වන්නේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමත්, පොලිස් බලතල ලබා දීමත් නව රජයට ගැටළුවක් නොවන බවත් ය. ගැටලුව වන්නේ එම බලතල ක්‍රියාත්මක වීමේ දී ඇතිවන ප්‍රශ්න පමණි.

රජයේ මතය කුමක් ද?

වත්මන් රජය වූ කලි අමුතු ම ආකාරයේ රජයකි. ජනාධිපතිවරයා ශ්‍රී.ලං.නි.ප.යේ ය. අග්‍රාමාත්‍යවරයා එ.ජා.ප.යේ ය. කැබිනට් මණ්ඩලය විවිධ පක්ෂ වල සාමාජිකයන්ගෙන් සමන්විත ය. ඇතැමෙකු කවර පක්ෂයේ ද කියා වත් සොයා ගැනීමට බැරි ය. පාර්ලිමේතුවේ ආණ්ඩු පක්ෂයට බහුතරයක් නැත. විපක්ෂයට බහුතරයක් ඇත. එසේ වුවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කළ දින සියයේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට විපක්ෂය ආණ්ඩුවට සහය දෙයි. එසේ ම මෙම දින සියයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරන අවස්ථාවේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා වටා විවිධ පක්ෂ ඒක රාශී වී සිටියේ ය. මෙම පක්ෂ වල ප්‍රතිපත්ති ද විවිධාකාර ය. උදාහරණයක් ලෙස ජාතික හෙළ උරුමය සහ දෙමළ ජාතික සන්ධානය ගත් කල ප්‍රතිපත්තිමය ලෙස හාත්පසින් ම වෙනස් වෙයි. හෙළ උරුමය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ගිවිසුමක් ජනාධිපතිවරණයට පෙර අත්සන් තැබුණි. එය මාධ්‍යයට ද හෙළි කරන ලදී. ඒ මොහොතේ සිරිසේන මහතා දැඩි අභිමානයෙන් පැවසුවේ කිසිඳු හොර ගිවිසුමක් අත්සන් නොකෙරෙන බව ය. එහෙත්, දෙමළ සන්ධානය සහ එ.ජා.ප.ය සමග සිරිසේන මහතා අත්සන් කළ එවැනි ගිවිසුමක් රටට හෙළිදරව් නොකෙරිණ. ඒ කුමක් වුවත්, වත්මන් රජයේ මතය ලෙස රටවැසියා ට පිළිගැනීමට සිදු වන්නේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබූ කරුණු ය.

13 වැනි සංශෝධනය සම්බන්ධව රටේ විවිධ මතවාද පවතී. සිරිසේන මහතා බලයට පත් කිරීමට කැප වූ දේශපාලන පක්ෂ අතර ද මේ ගැන එකඟතාවක් නැත. විශේෂයෙන් ම, ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ ගැන පැහැදිළි මතයක් ප්‍රකාශ නොවුනි. මේ අනුව, ඒ ගැන රජයට නිශ්චිත මතයක් නොමැති බැව් පිළිගැනීමට අපට සිදු වේ. දින සියයක් තුළ යහපාලනය සම්බන්ධ කරුණු කිහිපයක් ඉටු කිරීමේ අරමුණින් පත් කර ඇති අන්තර්කාලීන රජයකට එවැනි මතයක් තිබීම ද අත්‍යවශ්‍ය නොවන බව අපේ හැඟීම යි.


මේ සියල්ල මෙසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ මහතා එන්.ඩී.ටී.වී. රූපවාහිනිය සමග සාකච්ඡාවට එක් වන්නේ "රනිල් වික්‍රමසිංහ" නම් පුද්ගලයා ලෙස හෝ එ.ජා.ප. නායකයා ලෙස නොවේ. ඔහු එහි යන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස ය. එහි දී ඔහු දක්වන මත ය, රනිල් වික්‍රමසිංහ නම් පුද්ගලයාගේ හෝ එ.ජා.ප යේ මතය හෝ නොවේ. එය අත්‍යවශ්‍යයෙන් ම රජයේ මතය විය යුතු ය. එසේ නම්, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ ද? අගමැති තුමා කියන පරිදි ඒ ගැන රජය දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කර තිබේ ද? එම සාකච්චාව කළේ ඡන්දයට පෙර ද පසුව ද?

මිස්ටර් ක්ලීන්ගේ පිරිසිදු බාවය

මිස්ටර් ක්ලීන් (පිරිසිදු මහත්මයා) නොහොත් රනිල් වික්‍රමසිංහ වත්මන් අගමැතිවරයා මේ කරන ප්‍රකාශ ඉතා බරපතල ය. මෙම ප්‍රකාශ අපට බරපතල ප්‍රශ්න ගණනාවක් ම මතු කර යි.

1. වත්මන් අන්තර්කාලීන රජය ඉටු කිරීමට මැතිවරණයේ දී පොරොන්දු නොවූ එහෙත් ආන්දෝලනාත්මක කරුණක් ඉටු කරන බව පැවසීම
2. එ.ජා.පයේ මතය රජයේ මතය ලෙස ප්‍රකාශ කිරීම
3. දෙමළ සන්ධානය සමග යහපාලනය ගැන හැර වෙනත් එකඟතාවක් නැති බව සිරිසේන මහතා සහ චම්පික රණවක මහතා ඡන්දයට පෙර කියා තිබිය දී, එවැනි සාකච්ඡාවක් කළ බව පැවසීම
4. ස්වයංපාලනය ලබා දීම ගැන එන්.ඩී.ටී.වී. ට්විටර් පිටුව සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීම


රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අත්සන් කරන ලදැ යි කියන ගිවිසුමක් ඡන්දයට පෙර තිස්ස අත්තනායක මහතා විසින් හෙළි කරන ලදී. එම ගිවිසුම ඇතැම් විට ව්‍යාජ එකක් විය හැකි ය. එහෙත් අපි සත්‍ය ගිවිසුම කුමක් ද කියා ද නොදනිමු. ඒ එවැනි ගිවිසුමක් රටට හෙළි නොකළ නිසා ය. මැතිවරණය ආසන්නයේ දී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය සිරිකොත මන්දිරය ඉදිරිපිට දී කරන ලද උද්ඝෝෂණයක දී ඉල්ලා සිටියේ එවැනි ගිව්සුමක් ඇත් නම් එය හෙළි කරන ලෙස ය. එවැන්නක් හෙළි කරන ලද්දේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ගැන අද කතා කරන එ.ජා.පය නම් නොවේ. මෙතරම් උගත්, බුද්ධිමත්, පරිණත රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පෙන්නුම් කර ඇත්තේ එකී සුදුසුකම් වලට සරිලන හැසිරීමක් නොවේ. එහි දී ඔහු මහත්මා දේශපාලඥයෙකුගේ චරිතය වෙනුවට සට කපට දේශපාලඥයාගේ ම චරිතයට පණ පොවයි. අපට නම් මතක් වන්නේ "හිස පුරා මොලය ඇති, කය පුරා දැනුම ඇති" රජ තුමාගේ චරිතය ය.


ඒකීය බාවයේ කපටි ආරක්ෂකයෝ

පිරිසිදු මහත්මයා කියන්නේ අමුතු ම කතාවකි. ඔහු මෙම සාකච්ඡාවේ දී ද කියන්නේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාව ඒකීය රටක් බව ය. එසේ ම රටේ ඒකීය බාවය සුරකින බව ඔහු පාර්ලිමේන්තුවේ ද කියා ඇත. ඒ අතර ම පොලිස් බලතල ලබා දීම ගැන ද කතා කරයි. ඉඩම් පොලිස් බලතල ලබා දී පළාත් සභා ශක්තිමත් කළ පසු වෙනම රාජ්‍යයක් බිහි වීම හුදු කාලය පිළිබඳ ගැටළුවක් බව වික්‍රමසිංහ මහතා නොදනී. නැති නම්, හිතා මතා ම ඒ ගැන අමතක කර යි. එසේ ම, ප්‍රතිපත්තියක් ලෙස ම, 13 වන සංශෝධනයට විරුද්ධ රජය නියෝජනය කරන ජාතික හෙළ උරුමය අද මේ ප්‍රකාශ නෑසූ කන්ව සිටි යි. ඇතැම් විට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හොර රහසේ ම හෙළ උරුමය ද එකඟ වී සිටිනවා විය හැකි ය. නැති නම් "යහපාලන මාධ්‍ය සංදර්ශන" වලට මුවා වී බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන යෝජනා හොර රහසේ ම ගෙන ඒම නිසා තම නිරුවත ද එයින් ම වැසෙනු ඇතැ යි සිතනවා විය හැකි ය. නොඑසේ නම්, අනාගතයේ දී මේ රජයෙන් ද එළියට බැස සුපුරුදු පරිදි සිය ඒකීය සටන් පාඨ දූවිලි ගසා දමා එළියට ගැනීමට, ආණ්ඩුව 13 බලාත්මක කරන තුරු දත කට මැද ගෙන බලා සිටිනවා විය හැකි ය.


"සූරිය උදා වන තුරු පිණි බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
මාරුව බල බලා සිත යට කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල"



-නාරද බලගොල්ල
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions