1/25/2018

රනිල් ඉවත් කළ යුත්තේ ඇයි?

කතෘ:යුතුකම     1/25/2018   No comments
පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත් විය යුත්තේ ඇයි යන කාරණාවත් පැහැදිලි කරමින් සමාජ ජාලා වෙබ් අඩවි තුළ බොහෝ අවස්ථාවල ලිපියක් සංසරණය වෙමින් පැවතිණ. එම ලිපියේම සඳහන් පරිදි එය ලියා ඇත්තේ ජනවාරි 8 වෙනි දින යහපාලනයට ඡන්දය දුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැඩි ගෞරවයකින් හා බලාපොරොත්තු සහගත බවකින් යුතුව සිටි පුද්ගලයෙකි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් යුතු බවට ඔහු සිදුකරන යෝජනාව මම ද තරයේ එකඟ වන නමුත් ඒ ඊට වඩා බොහෝ වෙනස් හේතුන් මතයි.

ශ්‍රී ලංකාව යනු ආර්ථික වශයෙන් දුර්වල නිසි ඉදිරිගාමී සැලැස්මක් නැතිව ඉබාගාතේ යන රටක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව කුමක් දැයි ශ්‍රී ලංකාවේ පුරවැසියන්නේ විමසුවහොත් අති බහුතරයක් පවසන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් අමු හොරු වීම බවයි. නමුත් මම සළකන ආකාරයට ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වළක්වන ප්‍රධානම බාධකය “දේශපාලනඥයින් හොරු වීම” නොවේ, මේ රටේ ජනතාව විශේෂයෙන් උගත් බුද්ධිමත් යයි කියා ගන්නා ජනතාව දේශපාලන දැනුවත්භාවය අතින් දක්වන අධික දුර්වලතාවයයි. සාක්ෂරතාවයෙන් ඉහළ රටක් යැයි ශ්‍රී ලංකාව සැළකුවද දේශපාලන සවිඥානික බව අතින් ඉතාම දුප්පත්ය. විශේෂයෙන්ම “ඉංග්‍රීසි උගත් බුද්ධිමත් ප්‍රජාව” අතර ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ඇති දැනුවත්භාවය දුර්වලය. මෙම සමාජමය ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය මම සළකමි. තමන්ගේ රට මුහුණ දෙන අභියෝග හා තර්ජන, එහි නූතන දේශපාලන ඉතිහාසය හා ඒ ඒ දේශපාලකයින් ශ්‍රී ලංකාවට ලබා දුන් දායකත්වය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන ජනතාවක් සිටියේ නම් රනිල් වික්‍රමසිංහ වැන්නෙකුට කිසිදා 2015 දී යළි මේ රටේ අග්‍රාමාත්‍යධූරයට පත්විය නොහැකිය. ශ්‍රී ලංකාව රටක් ලෙස එම අනවබෝධයේ ප්‍රතිඵල භුක්ති විඳිමින් සිටින අතර අනාගතයටත් විඳිනු ඇත.

රනිල් වික්‍රමසිංහ යනු වසර 40ක් පුරා ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නියැළී සිටි පුද්ගලයෙකි. සිව් වතාවක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වුණු කෙනෙකි. නමුත් ඔහු විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් යහපත් දායකත්වයක් සොයා ගැනීමට ඉතා අපහසුය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක හා අර්බුදකාරී සිදුවීම් ගණනාවකට ඔහුගේ නම ඈඳී තිබේ. බටලන්ද වධකාගාර පවත්වා ගැනීම, මිලේනියම් සිටි සිද්ධිය හා බැඳුම්කර සිද්ධිය ලෙස ජනාධිපති කොමිසම් තුනකින්ම ඔහුගේ කාර්යභාරය පිළිබඳව ප්‍රශ්න කර තිබේ. එය දේශපාලකයෙකු වශයෙන් එතරම් යහපත් වාර්තාවක් නොවේ.

වසර 30ක ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්, ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාන්විත දෙකක් සිදුකළ රටක වන ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මැඩ ලීමට ඒ ඒ ආණ්ඩු දැඩි ක්‍රියාමාර්ග ගත්තේය. නමුත් වධාකාගාරයක් තුළ නිවෙසක පදිංචිව සිටි බවට සාක්ෂි වලින් තහවුරු කරගත් එකම දේශපාලකයා වන්නේත් රනිල් වික්‍රමසිංහයි. ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සිරගත කළ ගෝනවල සුනිල් නැමැත්තා 1981 වසරේ දී ජනාධිපති සමාවක් ලබාගත්තේය. ඒ පිටුපස එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකු සිටි බව බොහෝ දෙනා දන්නා කාරණයකි. පසුව මෙම ගෝනවල සුනිල් නැමැත්තා 83 වසරේ වැලිකඩ දෙමළ සිරකරු ඝාතනය ඇතුළු පුද්ගල ඝාතන කිහිපයකට සම්බන්ධ අයෙකු විය. රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික ආරක්ෂකයා වූයේ ද මේ ගෝනවල සුනිල් නැමැත්තායි. රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සමයේ දී කොළඹ පාසලකට දරුවෙකු ඇතුළත් කරගැනීමට අවශ්‍ය නම් ගෝනවල සුනිල් වෙත යායුතු බව ප්‍රසිද්ධ රහසකි. රනිල් වික්‍රමසිංහගේ එවකට ඡන්ද කොට්ඨාශය වූ බියගම ප්‍රදේශයේ සිට ජනතාව බිය වැද්දූ පාතාල නායකයා ගෝනවල සුනිල්ය. එපමණක් නොව ස්ත්‍රී දූෂණයකට වැරදිකරු වූ මේ පුද්ගලයාට සාමදාන විනිශ්චයකාර පදවියකුත් පිරිනැමුණි. මෙවැනි ඉතිහාසයක් ඇති රනිල් වික්‍රමසිංහ යටතේ යහපාලනය අපේක්ෂා කරන උගත් බුද්ධිමත් ජනතාවක් ගැන සිතා ගැනීමටත් අපහසුය.

බටලන්ධ වධකාගාර පවත්වා ගැනීම සම්බන්ධයෙන් වූ ජනාධිපති කොමිසමට අනුව රනිල් වික්‍රමසිංහ එම වධකාගාරය තිබූ භුමියට අයත් නිවසක දින ගණන් රැඳී සිට ඇත. එමෙන්ම ඉහළින් ලැබුණු නියෝග මත ශ්‍රී ලංකා පොලිසියේ ඩග්ලස් පීරිස් යන අය පුද්ගලයින් පැහැරගෙන ගොස් එහි රඳවා වධ බන්ධනයක්ට ලක් කර ඇත. පසුව ජනාධිපති කොමිසමට සාක්ෂි දීමට නොහැකි වන සේ මෙම ඩග්ලස් පීරිස් යන පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පිටමං කෙරිණි. ඉන්පසුව 2000 වසරේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය නැවත ඩග්ලස් පීරිස් ශ්‍රී ලංකාවට ගෙන ආ විට, ඔහු ප්‍රකාශ කළේ තමාට රනිල් වික්‍රමසිංහගෙන් ජීවිත තර්ජන ඇති බවයි. බටලන්ධ වධකාගාරයේ සිටි ඩග්ලස් පීරිස්ගේ සාක්ෂි නැතිවත් ජනාධිපති කොමිසම නිර්දේශ කළේ බටලන්ද වධකාගාර සිදුවීමට අදාළ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහගේ සිවිල් අයිතිය ඉවත්කළ යුතු බවයි. ඒ අනුව 2001, 2015 යන වසර වල තුන් වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ සිවිල් අයිතිය අහෝසි කළ යුතු බවට ජනාධිපති කොමිසමක් විසින්ම නිර්දේශ කළ පුද්ගලයෙකි. නැවතත් රනිල් වික්‍රමසිංහ ලවා යහපාලනයක් උදාකරගැනීමේ උගත් බුද්ධිමතුන්ගේ සිහිනය මුලාවකි.

රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පාලනයට කෙතරම් නොහැකියාවක් දැක්වුවද ඉතා වාසනාවන්ත පුද්ගලයෙකි. 1993 වසරේ කොටි බෝම්බයකින් ප්‍රේමදාස ජනාධිපතිවරයා ජීවිතක්ෂයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්වූයේ රනිල්ය. එතෙක් ශ්‍රී ලංකා හමුදාව මුහුණ දුන් බරපතලම යුධ පරාජය වන පුනරින් කඳවුරට එල්ල වූ ප්‍රහාරය සිදුවූයේ රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය ධූර කාලයේ දීය. නැවතත් 1994 දී ජනාධිපතිවරණ රැළියකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ගාමිණි දිසානායක මරු මුවට පත් වූ අතර සුදුසු නායකත්වයක් එක්සත් ජාතික පක්ෂයේ නැති බැවින් රනිල් වික්‍රමසිංහ නායකයා ලෙස පත්විය. එතැන් සිට මේ වන තුරු පක්ෂයේ නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ කාලය තුළ අනෙක් ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය තුන්වරක් වෙනස් වී ඇත. දිගින් දිගටම මුහුණ දෙන මැතිවරණ පරාජයන් හමුවේ සිය නායකත්වය බේරා ගැනීමට රනිල් වික්‍රමසිංහ විවිධ කූඨ උපක්‍රම යෙදුවේය. මොහුගෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කිරීම විහිළුවක් නොවන්නේද?

2001 වසරේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන රනිල් වික්‍රමසිංහ මැතිවරණ ජයග්‍රහණය ලබාගත් සැණින් සිදුකළේ නෝර්වේ තානාපතිවරයා වූ ජොන් වෙස්ට්බෝග්ට ඇමතුමක් ගැනීමයි. රනිල් ගේ පණිවුඩය වූයේ නෝර්වේ සාම ක්‍රියාදාමය ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි. ඒ වන විට පෙර පැවති චන්ද්‍රිකා රජයේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයා නෝර්වේජියානුවන් පිළිබඳව සැක සංකා සහිත බවකින් සිටියේය. ඔවුන්ගේ තිබුණු කොටි පාක්ෂික බව විශේෂයෙන් සෝල්හයිම් හා බාලසිංහම් අතර සබඳතාවය පිළිබඳව සැක කළේය. රනිල් වික්‍රමසිංහට එය අදාළ වූයේ නැත. ශ්‍රී ලංකාවේ අනෙකුත් පාර්ශවයන් දක්වන අදහස් නොවිමසා බටහිර රටවල තානාපති කාර්යාල වලට රිසිසේ ශ්‍රී ලංකාව පාලනය කරන්නට විය. නෝර්වේජියානුවෝ විසින් බාලසිංහම් සමඟ සකස් කළ සටන් විරාම ගිවිසුමකට පෙබරවාරි 22 වන දින අන්ධයෙකු සේ අත්සන් කළේය. එම ගිවිසුම ශ්‍රී ලංකාවට අහිතකර ද නැතිද යන්නවත් සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළේය. හමුදා ප්‍රධානින්ට එම ගිවිසුම පෙන්වූයේ ගිවිසුම අත්සන් කිරීමට පැය 24ක් ඇතුළතයි. ඔවුන්ගේ අදහස් විමසුවේ ද නැත. රටේ නායිකාව දැනුවත් කළේද අවසාන මොහොතේදීය. පෙර දින පාර්ලිමේන්තුවට පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම අත්සන් නොකරන බවයි. නමුත් ඒ සියල්ල අමතක කර පෙබරවාරි 22 වන දින ගිවිසුමට අත්සන් කළේය. ඔහු රටේ නායකයා නොවන නිසාත් ව්‍යවස්ථාවට අනුව එවැනි ගිවිසුමක් අත්සන් කිරීමේ බලයක් ඇත්තේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට වූ නිසාත් එය ව්‍යවස්ථාව උල්ලංඝනයකි. නමුත් අත්සන් කළාට පසුව චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙත ගොස් ගිවිසුම ඇගේ මේසය මතට විසිකර “ඔන්න මම අත්සන් කලා” යැයි කීවේය. ඉන්පසුව එළඹුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් අඳුරු සමයකි.

ශ්‍රී ලංකාව නැවතත් යටත් විජිතයක් වූවා වැනිය. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳව අගමැතිවරයාට වගකීමක් නැත. ඔහුට අණ දෙන්නේ නෝර්වේජියානු හෝ වෙනත් බටහිර තානාපති කාර්යාලයකිනි. සටන් විරාම ගිවිසුම යටතේ කොටි සාමාජිකයන් කොළඹට පැමිණියහ. රජයට අයත් උතුරු නැගෙනහිර පෙදෙස් තුළට පැමිණියහ. කොටි ධජය යටතේ කාර්යාල ඇති කරගත්හ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක මර්මස්ථානයක් වූ ත්‍රි මලේ නාවික කඳවුර වටකරමින් කොටි කඳවුරු අළුතින් ඉදිකරන්නට විය. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කොටි සාමාජිකයෝ යුරෝපා සංචාර කරමින් ගමන් මළු පුරවාගෙන කටුනායක ගුවන් තොටුපලින්ම නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ මළු පරීක්ෂා කළේ නැත. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ඔවුන්ට පුදුමාකාර නිදහසක් ලැබුණි. ගුවන් තොටුපලේ VIP පහසුකම් ලැබුණි. එපමණක් නොව එම මළු ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගුවන් හමුදා හෙලිකොප්ටර්ද ලබා දුන්නේය. ඒ පිළිබඳ විවේචන රනිල් සත පහකට මායිම් කළේ නැත. ඒ වෙනුවට සිදුකළේ එසේ විවේචනය කරන පුද්ගලයින් ජාතිවාදීන්, ආයුධ වෙළෙන්දන්ගේ ඒජන්තයින් හා සාම විරෝධීන් ලෙස හංවඩු ගැසීමයි. සිය ක්‍රියා පටිපාටිය නිවැරදි කරගැනීමට කිසි දිනක පියවර ගත්තේ නැත.

ශ්‍රී ලංකාවේ බෙදුම්වාදයට එරෙහිව සටන් කළ දෙමළ සංවිධාන වල දේශපාලන නියෝජිතයන් එකින් එක කොටි පිස්තෝල කල්ලිය දඩයම් කළේය. රනිල් වික්‍රමසිංහ රජය යටතේ ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශය බරපතල ගැටළුවකට මුහුණ දුන්හ. කොළඹට කොටි බෝම්බකරුවන් ඇතුළු වීම පිළිබඳව බුද්ධි අංශ ප්‍රධානීන් හා ආරක්ෂක උපදේශක ලබා දෙන වාර්තා “අසත්‍ය වාර්තා” ලෙස බැහැර කළේය. ලෝකයේ කිසිදු රටක නොවූ විරූ අයුරින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ රැස්වීම් වලට සහභාගී වීමට විදේශිකයෙකුට අවසර ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි කාලයේ දී ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ වල සහායෙන් යුතුව යුධ හමුදාව විසින් ප්‍රභාකරන්ගේ පාලන කලාපය තුළ දිගු දුර මෙහෙයුම් වලින් කොටි නායකයින් දඩයම් කිරීමට ආරම්භ කර තිබුණි. ඒ සඳහා පවත්වා ගෙන ගිය ආරක්ෂක නිවෙස්නයක සිටි හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගෙන මාධ්‍ය ගෙන්වා ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කළේය. අවසානයේ ප්‍රභාකරන් විනාශ කිරීමට සූදානම් කළ දිගු දුර මෙහෙයුම අත්හැර දැමීමට සිදුවිණි. රනිල් වික්‍රමසිංහ බලයට ඒමට පෙර ප්‍රභාකරන් එක්වතාවක් ආරක්ෂක අංශ බෝම්බ ප්‍රහාරයකින් තුවාල වී තිබුණි. ඒ අනුව බුද්ධි අංශ විසින් රටේ සතුරා ඉලක්ක කරගැනීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් කරා ගෙනයාමට කටයුතු කරමින් සිටියේය. රනිල් එම මෙහෙයුම නැවැත්වූවා පමණක් නොව ඊට සම්බන්ධ බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ද ප්‍රසිද්ධ කළේය. අවසානයේ බුද්ධි අංශ සාමාජිකයන් හා ඔවුන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයින් රැසක් කොටි පිස්තෝල කල්ලියේ ඉලක්ක බවට පත්විය. එය කුප්‍රකට මිලේනියම් සිටි පාවාදීමයි. මේ රනිල් ගේ දෙවසර තුළ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පහළට ගෙනා ආකාරයයි.

එපමණක් නොව ඉතිහාසයේ නොවූ විරු අයුරින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදය ජාත්‍යන්තරකරණය කරමින් නෝර්වේජියානුවන්ට රිසි සේ කොටි සංවිධානයට ජාත්‍යන්තර පිළිගැනීම හා අනුකම්පාව ලබාගැනීමට ඉඩ කඩ ලබා දුන්නේය. රනිල් වික්‍රමසිංහගේ අදහස වූයේම රටේ සාම ක්‍රියාදාමය ජාත්‍යන්තරකරණය කළ යුතු බවයි. නෝර්වේජියානුවන්ගේත් කොටි සංවිධානයේත් අදහස වූයේ එයමයි. එම ජාත්‍යන්තරයෙන් ගැලවීමට පසුව පැමිණි ශ්‍රී ලංකා රජයන්ට දැඩි පරිශ්‍රමයක් ගන්නට විය.

2004 වසරේ දී රනිල් වික්‍රමසිංහ නැවත පරාජය විය. බලයට පැමිණ වසර දෙකක පමණ කාලයකින් බලය හැරදා යෑමට ඔහුට සිදුවුණි. නමුත් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට දැවැන්ත හානියක් කිරීමට ඔහු සමත් විය. ඔහුගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේ කදිරගාමර් විදේශ අමාත්‍යවරයායි. ඔහු පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහගෙන් විමසුටේ රටේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීභාවය ආරක්ෂා කිරීම විදෙස් රටවලට පවරා දී ඇත්දැයි යන්නයි. බලය අහිමි වූ රනිල් වික්‍රමසිංහ, ජනාධිපති පුටුව වෙත ඇස ගසාගෙන සිටියේය. චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ධූර කාල දෙකම අවසානය. රනිල් වික්‍රමසිංහට අභියෝගයක් වන කෙනෙකු පෙනෙන මානයේ සිටියේ නැත. නමුත් ශ්‍රී ලංකා ජනරජයේ හා එහි වැසියන් එතරම්ම අවාසනාවන්ත නොවීය. රනිල් විසින්ම කිරි පොවා ඇති දැඩි කළ කොටි ත්‍රස්තවාදියා රනිල්ව රැවටුවේය. අවසානයේ රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කළ නොහැකි යැයි පැවසූ කොටි ත්‍රස්තවාදය වසර දෙකහමාරක් තුළ පරාජය කළේය.

රාජපක්ෂ ජනාධිපති සටන් කළේ ප්‍රභාකරන් සමඟ පමණක් නොවේ. 2005 දී තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූ පසුව රාජපක්ෂ රජය පෙරළා දමා නැවත තමා අතට බලය ලබා ගැනීමට රනිල් නොයෙක් වර උත්සාහ ගත්තේය. ශ්‍රී ලංකා රජය කොටි සංවිධානයට එරෙහි යුද්ධය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන විට ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කඩ කරන බව පවසමින් යුරෝපා සංවිධානයට ගොස් කේළාම් කීවේය. 2007 වසරේ දී ජපන් විශේෂ නියෝජිතයා හමුවී ශ්‍රී ලංකා රජයට ආධාර ලබා දීමෙන් වළකින ලෙස ඉල්ලා සිටියේය. ජපන් නියෝජිතයා ශ්‍රී ලංකාවේ ජනතාවට එසේ කිරීමට තමාට නොහැකි බව කියා සිටියේය. යුද ජයග්‍රහණ ලබමින් සිටින රජය පෙරළා දැමීමට 2007 අයවැයේ දී උත්සාහ කළේය. යුධ ක්‍රියාන්විතයට අවශ්‍ය ලෙස ආරක්ෂක වියදම් පියවා ගැනීමට ගෙනා අයවැය පරාජය කිරීමට දෙමළ සන්ධානය සමඟ එකතු විය. රාජපක්ෂ රජයේ දක්ෂකමින් එයින් ශ්‍රී ලංකාව ගැලවිණි. මේ 2015 දී නැවත අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහගේ ඉතිහාසයයි. තම පාලන කාලය තුළ කොටි සංවිධානයට ශක්තිමත් වීමට ඉඩ සැලසූ, යුද ජයග්‍රහණයට බාධා කළ, යුධ ජයග්‍රහණය හෑල්ලු කළ අතරම 2015 දී නැවත බලයට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවත් එම අපරාධකරුවන්ට දඬුවම් කිරීමට හයිබ්‍රිඩ් අධිකරණයක් ඇති කරන බවටත් එකඟ වෙමින් යෝජනාවක් සම්මත කරගැනීමට සම අනුග්‍රහය දැක්වූවේය. මේ රනිල්ගේ වර්තමානයයි. රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් සමුගත යුතුය. ඊට ප්‍රධානම හේතුව සිය දේශපාලන දිවිය පුරා ඔහු විසින් ශ්‍රී ලංකා ජනරජයට හා පුරවැසියන්ට සිදුකළ හානියයි. ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයෙකු වීමේ අවම සුදුසු කමවත් නැත. එනම් ඔහු තුළ ශ්‍රී ලංකාව හෝ එහි ජීවත් වන මිනිසුන් කෙරේ පක්ෂපාතීත්වක් නැත. තම රට කෙරෙහි පක්ෂපාතීත්වයක් නොමැති අයෙකු නායකයෙකු වන්නේ කෙසේද?

එමෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ කළු පැල්ලම ලෙස පාසල් ඉතිහාස පොතටත් රනිල්ගේ නාමය එකතු විය යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/15/2017

කොටි හුරතල් කරමින් ,ලංකාවට මර උගුල් ඇටවූ සෝල්හයිම් කතා කරයි

කතෘ:යුතුකම     9/15/2017   No comments
-අයි . ජයතිලක -
ශ්‍රී ලංකාවේ නෝවේජියානු මෙහෙයුම හා නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව යුතුකම සංවාද කවයට ලිපියක් ලිවිය යුතු බවට සිතමින් සිටින විටම ලංකාවේ නෝවේජියානු *මිත්‍රයා* එසේත් නැත්නම් අපි කවුරුත් දන්නා එරික් සෝල්හයිම් නැවතත් ලංකාවේ මාධ්‍ය වල සිරස්තල අතරට එක්වීමට සමත් විය. ඔහු විසින් WION නම් ඉන්දියානු මාධ්‍ය ආයතනයට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවට පිළිතුරු ලියමින්ම නෝවේජියානු මෙහෙයුම පිළිබඳ ලියන්නට සිත්විය. සිය සම්මුඛ සාකච්ඡාව පුරාම ලංකාව පිළිබඳ තමාගේ ඇති ආදරය, ලංකාවේ මිනිස්සුන්ගේ ජීවත, යුද්ධය නිසා විනාශ වුණු ආකාරය ගැන දුක්වන ආකාරය කියවන විට අනේ මෙවැනි කෙනෙකුගේ සහාය සාම ක්‍රියාදාමය සඳහා ලැබීම කෙතරම් භාග්‍යයක් දැයි සිතේ. නමුත් ලංකාවේ නෝවේජියානු සාම ක්‍රියාදාමය හා විශේෂයෙන් එරික් සෝල්හයිම් ගේ භුමිකාව පිළිබඳව දන්නා අයට නම් එය විහිළුවක් පමණක් නොව පිළිකුල දනවන රැවටීමකි.

සංවාදය ආරම්භ වන්නේම වැදගත් ප්‍රශ්නයකිනි. නෝවේ රජය ශ්‍රී ලංකාවේ සාම සාකච්ඡා ඇති කිරීමට මැදිහත්කරුවෙකු ලෙස පැමිණියේ ඇයි? ශ්‍රී ලංකා රජය විසින් නෝවේ රාජ්‍යයම තෝරාගත්තේ කුමන හේතුවක් නිසා ද? සුපුරුදු පරිදි සෝල්හයිම් සුපුරුදු පිළිතුර ලබා දේ. ශ්‍රී ලංකා රජය ( චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පොදු පෙරමුණු රජය) විසින් තමාට ආරාධනා කළ බව පවසන අතර නෝවේ රජය විසින් මැද පෙරදිග සාම ගිවිසුම ( ඊශ්‍රායලය හා පලස්තීනය) සම්බන්ධයෙන් දැක්වූ දායකත්වයත් නෝවේ රාජ්‍යය කුඩා රටක් වීමත් නිසා නෝවේ රාජ්‍යය මැදිහත්කරුවෙක් වශයෙන් තෝරාගන්නට මුල්වුණු බවයි.

පළමුවෙන්ම මෙය අමූලිකම බොරුවකි. නෝවේ රාජ්‍යයට චන්ද්‍රිකා රජය නිල වශයෙන් ආරාධනා කළ බව සත්‍යයකි. නමුත් ඒ ආරාධනාව සිදුකළේ සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු වශයෙන් මිසක මැදිහත් කරුවෙක් වශයෙන් නොවේ. එරික් සෝල්හයිම් ප්‍රමුඛ නෝවේ කණ්ඩායම විසින් කොටි කොන්දේසි පිළිගන්නා ලෙස එවක චන්ද්‍රිකා රජයට බලපෑම් කිරීමත් නිසා චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ගේ හා විශේෂයෙන් එවක සිටි විදේශ ඇමති කදිරගාමර් මහතාගේ අප්‍රසාදයට මෙම නෝවේ කණ්ඩායම ලක්විය. අවසානයේ මෙම සෝල්හයිම් නැමැති පුද්ගලයාව කණ්ඩායමෙන් ඉවත් කරන්න යැයි ඉල්ලමින් චන්ද්‍රිකා ජනාධිපතිනිය නෝවේ රාජ්‍ය යේ රජු වෙත ලිපි පවා ලියා යැවීය. එම නිසා මැදිහත්කරුවෙක් ලෙස කිසිදු ආරාධනාවක් නෝවේ රජයට ලැබුණේ නැත.

අනික් අමූලික බොරුව නම් ශ්‍රී ලංකා රජය විසින් තමාට සිය කැමැත්තෙන්ම ආරාධනා කළ බවයි. සත්‍ය කතාව නම් 1990 දශකයේ මුල් භාගයේ සිට නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් විසින් ශ්‍රී ලංකා රජයේ ප්‍රබලයින් හා සම්බන්ධතා ඇති කරගනිමිනුත් ලංකාවේ කතෝලික පල්ලිය හරහාත් ශ්‍රී ලංකා රජයට නෝවේ රාජ්‍යය සමඟ එක්වී සාම ක්‍රියාදාමයක් ආරම්භ කරන ලෙස ඉමහත් පෙළඹවීමක් ඇති විමය. මෙසේ ක්‍රමානුකූලව හා සැලසුම් සහගතව සිදුවූ පෙළඹවීමේ ප්‍රථිඵලය වූයේ චන්ද්‍රිකා රජය විසින් නෝවේ රජයට නිල වශයෙන් ආරාධනා කිරීමයි. මෙහිදී අනික් සිනහ උපදවන කාරණය නම් මැද පෙරදිග සාමය සම්බන්ධයෙන් නෝවේ රජය සාර්ථක දායකත්වයක් දැක්වූ බව පැවසීමයි. නමුත් සත්‍යය නම් ලංකාවේ මෙන්ම මැද පෙරදිගත් නෝවේ රජය විසින් දැක්වූ සාර්ථකත්වයක් නැත. සිදුවූයේ පලස්තීන සන්නද්ධ සංවිධාන සඳහා යම් නීත්‍යානුකුල බවක් ඇති වීමයි.

මෙම සංවාදයේ දී මෙම සෝල්හයිම් නම් පුද්ගලයා විසින් නොපවසන කතාවක් ද ඇත. එනම් ඔහුට ලංකාව පිළිබඳ වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති බවයි. සෝල්හයිම් නෝවේ රාජ්‍ය යේ දේශපාලකයෙකි. සත්‍යවශයෙන් කියනවා නම් අසාර්ථක වූ දේශපාලකයෙකි. සිය පක්ෂය සමඟ ඇති වූ හිත් නොහොඳවීම් හි ප්‍රතිඵලයක් ලෙස ඔහු පක්ෂයෙන් ඉවත් වේ. එසේ ඉවත් වන ඔහු අළුත්ම ගමනක් යන්නට උත්සාහ ගනී. 1997 වසරේ දී ලංකාවට පැමිණෙන ඔහු නවාතැන්ගන්නේ ලංකාවේ සිටින ප්‍රමුඛ නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන ආන් ෆ්‍ජොෆ්ට් ගේ නිවසේයි. එසේ ලංකාවේ මාස කිහිපයක් ගත කරන ඔහුට ආන් ෆ්ජොෆ්ට් ගේ නිවසේ පවත්වන සාදයකදී එවක ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හඳුනාගන්නට ඉඩ සැලසේ. එසේ ලංකාවේ කාලය ගත කර නැවතත් නෝවේ රටට ගිය පසු දිනක් පාරේ ගමන් කරන විටදී තමා පසු පස පැමිණි නෝවේජියානු දෙමළ ජාතිකයෙක් කොටි සංවිධානයට තමා සමඟ කතා කරන්නට අවශ්‍ය බව කියා සිටියේයි තමා විසින්ම ලියවන ලද To end a civil war කෘතියට පවසා ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔහු හවුල් වන්නේ තනිකර අහම්බෙන් යැයි විශ්වාස කරන්නට තරම් ශ්‍රී ලාංකිකයන් මුග්ධයින් නොවේ.

ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳ ව මාධ්‍ය වේදිනිය විසින් විමසන විට ප්‍රභාකරන් යන නාමය ඇසූ සැණින් එරික් සෝල්හයිම් ගේ දෑස් දිදුළන්නට ගන්නේ සෙල්ලම් බඩුවක් දුටු කුඩා ළදැරියෙක් මෙනි. එතරම් ම ඔහු ප්‍රභාකරන් යන චරිතයට වශීකෘත වූ අයෙකි. ප්‍රභාකරන් වැඩිම ගණනක් හමුවී කතා කළ එකම දෙමළ නොවන පුද්ගලයා තමන් යැයි තමා විසින්ම සෑම අවස්ථාවකදීම හඳුන්වාගන්නා සෝල්හයිම් ඒ පිළිබඳ දක්වන ආඩම්බරය ඉතා පැහැදිලිය. ප්‍රභාකරන් සමඟ එක් වතාවකදී එකට මාළු බාන්නට ගිය සැටිත් ඔහු සමඟ පිළිසඳරේ සිටි ආකාරයත් ඔහු විස්තර කරන්නේ පුදුමාකාර ආශාවකිනි. ඔහුගේ ඒ හැඟීම් ප්‍රභාකරන්ට පමණක් යොමු වූවක් නොවේ, කොටි සංවිධානයේ ඇන්ටන් බාලසිංහම් ගේ අවමගුලේ දීත් බාලසිංහම් ගේ ගුණ වයමින් කතාවක් පැවැත්වූයේ හඬන්නට ආසන්නවයි. මෙවැනි තදබල ලෙස කොටි හිතවාදී පුද්ගලයෙකු ලංකාවේ සාම ක්‍රියාදාමයට හවුල් වන්නට අවකාශය ලබා දෙන්නේම මන්ද බුද්ධික දේශපාලන නායකත්වයක් හෝ දේශද්‍රෝහී නායකත්වයක් පමණි. කෙසේ වුවත් 2001 රනිල් වික්‍රමසිංහ රජය උදාවුණු සැනින් එයට අවස්ථාව ලැබිණි. කණගාටුවට කරුණ නම් ‍ලිපිය ලියන මෙම අවස්ථාවේදීත් එම පුද්ගලයාම රටේ දේශපාලන නායකත්වය හෙබවීමයි.

සෝල්හයිම්ට අනුව ප්‍රභාකරන් සමඟ අවශ්‍ය පරිදි කාලය ගත කිරීමට නොලැබීම සාම ක්‍රියාදාමයට පාඩුවක් බවයි. 2006 වසරේ දී සෝල්හයිම් විසින් මහින්ද රජයට ඉදිරිපත් කළ එක් කොන්දේසියක් වන්නේ තමාට ප්‍රභාකරන්ව හමුවීමට ඉඩ ප්‍රස්ථාව ලබා දිය යුතු බවයි. අවම වශයෙන් මසකට වතාවක් වත් ප්‍රභාකරන් හා හමුවී සාකච්ඡා කළ යුතු බව සෝල්හයිම් පවසද්දී එයට මහින්ද රාජපක්ෂ එකඟ වුවත් ඒ සඳහා කිසි දිනක ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේ නැත. තමාට ප්‍රභාකරන් හමුවන්නට ලැබුණා නම් හොඳයි යනුවෙන් පශ්චාත් තාප වන්නේ මේ නිසායි.

ඉන්පසුව මාධය වේදිනිය තවත් හොඳ ප්‍රශ්නයක් යොමු කරයි. ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය අසාර්ථක වීමට බලපෑ හේතුන් කවරේද යන්නයි. මෙම ප්‍රශ්නයට මීට පෙරත් මොහු පිළිතුරු ලබා දී ඇති අතර මෙවරත් එම පිළිතුරම ලබා දී ඇත. එනම් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක, එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇති ඝට්ටනය නිසා සාම ක්‍රියාදාමය අඩාල වූ බවයි. ඔහු විසින් මේ අඟවන්නේ චන්ද්‍රිකා ජනාධිපතිනිය හා රනිල් වික්‍රමසිංහගේ රජය අතර ඇතිවූ හැල හැප්පීම්ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක සිය පුද්ගලික තරහාමරහා හා තමාට සිදුකළ අඩන්තේට්ටම් නිසා අහංකාර චරිතයක් වූ රනිල් වික්‍රමසිංහයන් සමඟ ගැටළු ඇති කර ගත් බව සැබෑය. එම නිසා රනිල් රජයේ වැඩ පිළිවෙලට අකුල් හෙළු බවත් සත්‍යයකි. එනමුත් ඇය ඒ සඳහා යොදා ගත්තේ ලංකාවේ ආරක්ෂාවට අතිශය භයානක ලෙස තර්ජනයක් වන ආකාරයට රනිල් වික්‍රමසිංහ රජය කටයුතු කරන අවස්ථායි. උදාහරණ ලෙස නෝවේජියානු තානාපති කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය එකතු වී කොටි සංවිධානයට බලගතු සන්නිවේදන උපකරණ ලබා දීම, කොටි සංවිධානය විසින් ආරක්ෂක මර්මස්ථානයක් වන ත්‍රිකුණාමලය නාවික වරාය වට කොට රජයේ පාලන ප්‍රදේශ වල කොටි කඳවුරු ඇති කරද්දී ඒ පිළිබඳව ආරක්ෂක ප්‍රධානීහු සිදුකරන අවවාද අග්‍රාමාත්‍යවරයා නෑසූ කන්ව සිටිද්දීත් එය ප්‍රසිද්ධියට පත් කළ නැගෙනහිර නාවික ප්‍රධානී කරන්නාගොඩ මහතාට එළව එළවා සිය රජයේ රූපවාහිනියෙන්ම සාම ක්‍රියාදාමය කඩා දමන කෙනෙකු යැයි ප්‍රහාර එල්ල කරනා විට රටේ ආරක්ෂකයා ලෙස ජනාධිපතිනිය සිය වගකීම ඉටු කළාය. එය සාම ක්‍රියාදාමට ඉදිරියට ගෙනයාමට ඇති බාධා ලෙස කෙනෙක් හඳුන්වනවා නම් එය සාම ක්‍රියාදාමයක් නොව ඊළාම් රජය පිහිටුවීමේ ක්‍රියාදාමයයි.

සත්‍යවශයෙන්ම නෝවේජියානු සාම ක්‍රියාදාමය බිඳ වැටුණේ වෙනත් අවස්ථා වල සාම ක්‍රියාදාමයන් බිඳ වැටුණු හේතුව නිසාමය. එනම් කොටි සංවිධානය විශේෂයෙන් ප්‍රභාකරන් විසින් කිසි දිනක ඊළම සිය න්‍යාය පත්‍රයෙන් ඉවත් කර නොගැනීමයි. ඊළම හැර වෙනත් කිසිම විසඳුමකට ඔහු කැමති වූයේ නැත. කෙසේ වුවත් සිය ආදරණීය සන්නද්ධ නායකයාට වරද පැටවීමට එරික් ගේ සිත් නොදේ. මෙම සංවාදයේ දී පැහැදිලි වුණු තවත් ලක්ෂණයක් නම් සෝල්හයිම් විසින් පෙන්වා දෙන දෙමළ ජාතිකවාදය එසේත් නැත්නම් ගෝත්‍රවාදය පිළිබඳ ඔහුගේ ඇති ගෞරවයයි. ඔහුට අනුව ප්‍රභාකරන් ප්‍රමුඛ දෙමළ ජාතිකයන් අතර ඉතා තදබල දෙමළ ජාතිකත්වයක් ( ගෝත්‍රවාදයක්) ඇත. එම තදබල ගෝත්‍රවාදය නිසාම ප්‍රභාකරන් සාර්ථක වූ බවයි.එමෙන්ම සාමාන්‍ය දෙමළ ජනතාව අතරේත් ඇති මෙම අධික ජාතිකවාදය නිසා ඔවුන් සාර්ථක ජන කොටසක් බවට ඔවුන් ජීවත් වන බටහිර රටවල ද පත්ව ඇති බවයි. මෙවැනි තදබල දෙමළ ජාතිකවාදයක් සමඟ සාමයක් ඇති කළ හැකි යයි ඔහු සිතුවේ ඇයි?

මාධ්‍ය වේදිනිය විසින් අසන තවත් විශේෂ ප්‍රශ්නයක් වන්නේ නෝවේජියානු දෙමළ ප්‍රජාව පිළිබඳවයි. නෝවේ රටේ 2011 වන විට 14000 පමණ දෙමළ ප්‍රජාවක් සිටී. ඒ අයගෙන් අති බහුතරය ලංකාවෙන් පිටව ගිය සරණාගතයින් වේ. මාධ්‍ය වේදිනිය ඇසුවේ නෝවේජියානු දෙමළ ප්‍රජාව ගේ බලපෑම මත මෙසේ ලංකාවේ සාම සාකච්ඡා වලට හවුල් වූවා දැයි යන්නයි. එය ප්‍රතික්ෂේප කළ ඔහු, නෝවේජියානු දෙමළ ජනයා මේ සම්බන්ධයෙන් ඇත්ව තබා ගැනීමට තමන් කටයුතු කළ බව පවසයි. මෙය අනික් අමූලික බොරුවයි.කොටි සංවිධානයට එරෙහිව නෝවේ රටේ කිසිදු තහනමක් නැත. ලංකාවේ බෝම්බ පුපුරවිමින්, ගම්මාන පිටින් කපා කොටි දමමින්, කුඩා ළමයින් සයනයිඩ් කරල් අන්දවා යුද පිටියට දැක්වූ කොටි සංවිධානයට කිසිදු බාධාවකින් තොරව නෝවේ රටේ අරමුදල් රැස්කිරීමට ව්‍යාපාර කිරීමට හා දේශපාලන රැළි පැවැත්වීමට අවකාශ ලබා දී ඇත. එපමණක් නොවේ, නෝවේ රටේ පවත්වන කොටි සංවිධානයේ රැළි වලට නෝවේජියානු දේශපාලනඥයින්ද හවුල්වේ. එක්තරා නෝවේජියානු පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක දී සෝල්හයිම් පවසා ඇත්තේ ප්‍රභාකරන් යනු නෙල්සන් මැන්ඩෙලා වැනි චරිතයක් බවයි. ලංකාවේ ජනයා භීතියට පත් කළ තිරිසන් සංවිධානයකට සිය රටේ දී පූර්ණ නිදහස ලබා දුන් සෝල්හයිම් ඇතුළු නෝවේජියානු නඩය 2006 දී කොටි සංවිධානයට එරෙහිව යුරෝපා සංවිධානය ප්‍රකාශයට පත්කළ තහනම ඉවත් කිරීමටත් උත්සාහ කළේය. එපමණක් නොව ඇමරිකානු තහනම පවා ඉවත් කරන්නේ නම් එය සාම ක්‍රියාදාමයට උපකාරයක් යැයි ඔහු විසින් පවසා ඇත. කොටි ත්‍රස්තයන්ට එරෙහි තහනම සමා ක්‍රියාදාමයට උපකාර වන්නේ කෙසේ දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය.

මාධය වේදිනිය මීළඟට ඇසූ ප්‍රශ්නය නම් මිනිස් බෝම්බ යොදා ගන්නා, කුඩා දරුවන් ළමා සොල්දාදුවන් ලෙස බඳවාගන්නා සංවිධානයක් සමඟ සාකච්ඡා කිරීම නෝවේ රජයටත් ඔබටත් ප්‍රශ්නයක් වූයේ නැතිද යන්නයි. විශේෂයෙන් මානව හිමිකම් ගැන සෑම අවස්ථාවකදීම කතා කරන ස්කැන්ඩිනේවියානු රටක් වශයෙන් එවැනි සංවිධානයක් සමඟ කටයුතු කළේ කෙසේදැයි යන්නයි. මෙයට පිළිතුරු ලෙස සෝල්හයිම් පැවසූයේ ඉතා අප්‍රසන්න ප්‍රකාශයකි. එනම් ඉතා විශාල යුධ අපරාධ හා කෘර ක්‍රියා සිදුකළ ශ්‍රී ලංකා රජයේ පාර්ශව සමඟත් තමා සාකච්ඡා කළ බවයි. මොහු මේ කතා කරන්නේ 2000 වසරේ තිබූ ශ්‍රී ලංකා රජය පිළිබඳවයි. මොහු මෙම නිග්‍රහය කරන්නේ කුමක් මත පදනම්වද? ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ අතිවිශාල යුධ අපරාධ කවරේ ද? ජනතාව මත න්‍යෂ්ඨික බෝම්බ හෙළීමද? රසායනික අවි භාවිතයද? ජනතාව මිනිස් පළිහයක් ලෙස යොදා ගැනීම ද? සිවිල් ජනතාව ඉලක්ක කර බෝම්බ තැබීම ද? මෙසේ මිනිමරු කොටි සංවිධානය සමඟ මොහු සමාන කරන්නේ අපමණ කරදර හමුවේ උතුරේ ජනතාවට වසර 30ක් පුරා ආහාර, බෙහෙත් ( මේවායින් කොටසක් කොටි සංවිධානය ඩැහැ ගනිද්දීත්), වැටුප් හා අධ්‍යාපනය ලබා දුන් නීත්‍යානුකුලව පත්වුණු නීත්‍යානුකුල යුද්ධයක් සිදුකළ ප්‍රජාතාන්ත්‍රික රජයක් සමඟ නේද? මෙය කොයි තරම් නම් නින්දා සහගත අධම ප්‍රකාශයක් ද? කොන්දක් සහිත රාජ්‍ය පාලනයක් මේ රටේ පැවතියේ නම් විදේශ අමාත්‍යංශය විසින් නෝවෙ රටේ තානාපතිවරයා ගෙන්වා විරෝධය පළ කරනු ඇත.

ඔහුගේ මෙම අහංකාර නින්දාව නිසාම මාධ්‍ය වේදිනිය විසින් මීළඟ ප්‍රශ්නය ඇසුවේ බටහිර රාජ්‍යයන් විසින් මැදපෙරදිග, ඉරාකයේ දී හා සිරියාවේ දී දෛනිකව සිදුකරන මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව නෝවේජියානුවන් දක්වන නොසැළකිල්ලයි. එයට පිළිතුරු දෙන සෝල්හයිම් පවසන්නේ තමන් විසින් ඇමරිකාව වියට්නාමයේ දී සිදුකළ යුධ අපරාධ හෙළ දකිනා බවත් සදාම් හුසේන් කෙතරම් නරක ඒකාධිපති නායකයෙක් වුවත් ඇමරිකාව විසින් සිදුකළ ආක්‍රමණය වැරදි බවට තමන් පිළිගන්නා බවයි. ශ්‍රී ලංකාව විසින් සිදුකළේ තම රටේ අභ්‍යන්තරයේ සිදුවුණු යුද්ධයක් මිසක වියට්නාමය හෝ ඉරාකය මෙන් වෙනත් රටවල් ආක්‍රමණයක් නොවන අතරම ඉරාක ආක්‍රමණයට සම්පූර්ණ සහාය ලබා දුන් නේටෝ සංවිධානයේ සාමාජිකයෙක් වන නෝවේ රාජ්‍යයත් ඇමරිකාව මෙන්ම ඊට වගකිව යුතු වේ.

තමා සමඟ මින් පෙර සාකච්ඡාවකදී කොටි සංවිධානයේ ආයුධ රැස්කරන්නෙක් වූ කේ. පත්මනාදන් පැවසූවේ විදෙස්ගත ප්‍රජාව විසින් කොටි සංවිධානය ශක්තිමත් කළ ආකාරය විස්තර කර බවත් ඒ ආකාරයෙන් විදෙස් ගත සන්නද්ධ සංවිධාන වලට උපකාර කිරීම පිළිබඳව බටහිරය කණගාටුවට පත් නොවන්නේද යන්නයි. එයට කපටි ලෙස පිළිතුරු සපයන සෝල්හයිම් පවසන්නේ බටහිරයට ඈත පිහිටි රටවල ගැටුම් සම්බන්ධයෙන් වන දැනුම අඩු බවයි. මට කියන්නට ඇත්තේ එසේ දැනුම අඩු නම් එම ගැටුම් වලට මැදිහත් නොවී පාඩුවේ සිටිය යුතු බවයි.

සුදු කොඩි සිද්ධිය පිළිබඳවත් මතකය අවදි කරන සෝල්හයිම් පවසන්නේ කොටි සංවිධානයේ සිටි ඉතාම අහිංසක පුද්ගලයෙකු වූයේ පුලිදේවන් බවත් ඔහුව ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළ බවත්ය. මෙය කිසි සේත්ම තහවුරු නොවූ ප්‍රලාපයක් වන අතර ඒ ආකාරයට ඔවුන් හමුදාවට භාරවේ දැයි යන්න පිළිබදව තමන්ට විශ්වාසයක් නැති බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේද නෝවෙ තානාපති විසින්මය. මෙහිදී සෝල්හයිම් විසින් නොපවසන තවත් කතාවක් තිබේ, එනම් ඔහු විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ යුද්ධයට සංවිධානාත්මක අවසානයක් ඇති කිරීම පිළිබද යෝජනාවයි. ඒ සදහා ලංකාවේ සිටි ඇමරිකානු තානාපති රොබට් බ්ලේක් ගේද සහාය ඇතිව ඇමරිකානු රජයේ සහායද තම යෝජනාවට ලබා ගැනීමට තැත්කළ සෝල්හයිම් උත්හාස කළේ අවසාන යුද්ධයේ දී ප්‍රභාකරන්හට රටින් පැනයාමට අවකාශය ලබා දීමට තැත් කිරීමයි.

එවකට රනිල් වික්‍රමසිංහ රජය විසින් පුන පුනා කීවේ හා දැනටත් කියන්නේ තමන් විසින් කොටි සංවිධානය සාම උගුලකට පටලවා ගත් බවයි. නමුත් කොටි සංවිධානය දහස් වාරයක් රනිල් වික්‍රමසිංහ රජය යටතේත් සටන් විරාම ගිවිසුම නිර්දය සේ උල්ලංඝනය කරද්දීත් ඔය කියන සාම උගුල ක්‍රියාත්මක වූයේ නැත. නමුත් ශ්‍රී ලංකා රජය විසින් කොටි සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට ක්‍රියාකරන අවස්ථාවේ දී නෝවේ ප්‍රමුඛ බටහිරයම ශ්‍රී ලංකාට සටන් විරාමයකට ගොස් සාකච්ඡා ආරම්භ කරන්නැයි බලකරන තත්ත්වයක් ඇති විය. ප්‍රභාකරන් බේරා ගැනීමට නැවක් එවීමට ඇමරිකානු රජයද ස්ව කැමැත්ත ලබා දුණි. ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ මේ කියන *සාම උගුලේ* කැමැත්තෙන්ම ලංකාව පැටලීම නොවේ ද?

අවසානයේ ශ්‍රී ලංකාව පිළිබදව කතා කරන සෝල්හයිම් තමන් නැවතත් ලංකාවට පැමිණ සිය මිතුරන් වන රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා, මහින්ද, දෙමළ සන්ධාන නායකයින් හා රාවුෆ් හකීම් හමුවී කතාබහ කිරීමට කැමති බවට ප්‍රකාශ කර සිටියේය. මේ අතරින් මහින්ද රාජපක්ෂ ඔහුගේ මිතුරෙක් යැයි පැවසීම හාස්‍යජනක වන්නේ වෙනත් මාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කිරීමේ දී මහින්ද රාජපක්ෂට යුධ අපරාධ කරුවා යැයි නිර්ධය ලෙස පහර ගැසීම නිසායි. කෙසේ වෙතත් සෝල්හයිම් යන චරිතය ශ්‍රී ලංකා ජන මනසට අපුල චරිතයකි.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

8/08/2017

විශ්වාසභංගය අද සහ එදා

කතෘ:යුතුකම     8/08/2017   No comments
-අයි.ජයතිලක-
රටේ පවතින අරාජික තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා පවතින රජය පෙරළීම වර්තමානය වන විට රටේ අවශ්‍යතාවයකි. එය 2001-4 රනිල් රජය හැර ඉතිහාසයේ අන්කවරදා කටත් වඩා අවශ්‍ය වුණු වෙනත් අවස්ථාවක් නොමැත. රටම ප්‍රශ්න ගොඩක අතරමංව ඇත. රටේ ආර්ථිකයට යන එන මං නැත. රටේ ආරක්ෂාව ගැන පොලිස්පති වරායම අනතුරු අඟවයි. ජීවිත දහස් ගණනක දිවි දීමෙන් රැකගත් රටේ ඒකීය බව යුද්ධයෙන් පසු පළමු වතාවට ප්‍රබල ලෙස අභියෝගයට ලක්ව ඇත. ලංකාවේ සියළු වත්කම් පිටරැටියන්ට කුණු කොල්ලෙ ට විකිණේ. රටේ සිද්ධවන එකම දේ කුණු කොල්ලෙට රට විකුණා එදා වේල සරිකර ගැනීමයි. ඉතිහාසයේ සිදුවුණු මහා මූල්‍ය වංචාවකට රටේ හිටපු මූල්‍ය ඇමති වන වත්මන් විදේශ ඇමතිත් හිටපු මහ බැංකු අධිපතිත් පවතින රජයත් සම්බන්ධ වී ඇත. මේ සියල්ල අතරේ රටේ වෙන දේ විධායක ජනාධිපතිවරයා දන්නේ නැත. දැනගත්තද කළ යුත්තක් ගැන නොදනී. මේ අද ශ්‍රී ලංකාවේ යතාර්ථයයි. රටේ ජනයා ආණ්ඩු පෙරළියක් ඉල්ලයි. බලයට පැමිණ වසර දෙකකින්ම තමන් ලබා ගත් ජන වරම මේ රජය විසින්ම නැති කරගෙන ඇත. නමුත් ඒ සඳහා මැතිවරණ නැත. ජනතා පීඩනය මුදා හරින්නට ක්‍රමයක් නැත.

මේ අවස්ථාවේ රට වෙනුවෙන් ගත හැකි හොඳම පියවර විපක්ෂය සංවිධානය වී පාර්ලිමේන්තුව තුළ විශ්වාස භංගයක් ගෙනවිත් රනිල් රජය පරාජය කර රටේ පවතින අරාජිකත්වය නැති කිරීමයි. එසේ ගෙනෙන විශ්වාස භංගයක් ජයග්‍රහණය කරගත හැක්කේ අසීරුවෙනි. ඊට හේතුව වර්තමානයේ ප්‍රධාන විපක්ෂය වන දෙමළ සන්ධානයත්, කුඩා දෙමළ පක්ෂත්, ජනතා විමුක්ති පෙරමුණත් නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත් ඊට සහාය දිය යුතු වීමයි. ජාතික රජයක් ගෙනවිත් ලංකාවට ගැලවිය නොහැකි ලෙස ගැටයක් ගසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් සඳහායි. විපක්ෂ නායක හා දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් පැවසූ ලෙසම ජාතික රජය පවත්වා ගැනීම නව ෆෙඩරල් ව්‍යවස්ථාව සඳහා අත්‍යාවශ්‍ය වේ. එම හේතුව නිසා දෙමළ පක්ෂ කිසි විටක පවතින එජාප රජය පෙරළීමට සහාය නොදෙනු ඇත. පී.දිගම්බරම් මාධ්‍ය හමුවක් පවත්වා පැවසුවේ එයයි. මනෝගනේෂන් කියනා ලෙස 2025න් පසුවත් මෙම රජය රට පාලනය කරනු ඇත. පවතින රජය අන්තවාදී සුළු වාර්ගික පක්ෂ සහායෙන් පවත්වාගෙන යනු ඇත.

විපක්ෂය විසින් පවතින රජය පාර්ලිමේන්තුව තුළදීම විශ්වාස භංගයකින් පරාජය කිරීමට ඉතා ආසන්න වූ අවස්ථාවක් ලංකාවේ ඉතිහාසයේ ඇත. ඒ 2001 වසරේදීය. රටට අතවශ්‍ය කාරණයකදී අරාජිකත්වයෙන් ගැලවීමට රටේ පාර්ලිමේන්තුව තුළ රජය පෙරළීම මේ ආකාරයෙන් අසීරු වුවද බෙදුම්වාදීන්ගේ වුවමනාවට රටක රජයක් සාර්ථක ලෙස පෙරළීමට එවකට විපක්ෂය හවුල් වූ ආකාරය අදටත් අදාළය.

2000 වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති මහ මැතිවරණයෙන් චන්ද්‍රික බණ්ඩාරනායක ගේ පොදු පෙරමුණ ජයග්‍රහණය ලැබුවද රජයක් පිහිටුවන්නට අවශ්‍ය බහුතරය ලබාගත්තේ නැත. රජයක් පිහිටුවීමට අවශ්‍ය සහාය චන්ද්‍රිකා රජය ලබාගත්තේ මුස්ලිම් කොන්ග්‍රසය හා තොන්ඩමන්ගේ පක්ෂය වැනි වතුකර පක්ෂ වලිනි. ජනතා විමුක්ති පෙරමුණ පළමු වරට ආසන 10ක් ලබා ගත්තේද මෙම මැතිවරණයේදීයි. මෙම මැතිවරණයේදී එජාපයේ නායකයා වන රනිල් වික්‍රමසිංහට එරෙහිව චන්ද්‍රිකා රජය එල්ල කළ ප්‍රබලතම චෝදනාව වන්නේ රනිල් වික්‍රමසිංහයන් කොටි නියෝජිතයන් හා බටහිර රටවල් හා එක්ව චන්ද්‍රිකා රජය පෙරළා කොටින්ට අවශ්‍ය දේ සිදුකිරීමට සූදානමින් සිටින බවයි. 2001 න් පසු සිදුවන දේ නිරීක්ෂණය කළ විට එය පදනම් විරහිත චෝදනාවක් නොවන බව ඕනැ කෙනෙකුට වැටහේ. 2000 වසරේ මැතිවරණයෙන් පසු චන්ද්‍රිකා රජය අභියෝග රාශියකට මුහුණ දුන්නේය. වැරදි ආර්ථික කළමනාකරණය, නියෝ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වුණු සමාජ පීඩනය, උතුරේ ආරක්ෂක හමුදා විසින් ලැබූ පරාජයන් හේතුවෙන් ජනතා ප්‍රසාදය චන්ද්‍රිකා ප්‍රමුඛ රජයට ලැබුණේ නැත. දිනෙන් දිනම ජනප්‍රියත්වය පිරිහෙමින් පැවති රජයක් රටේ තිබුණි.

මේ සියළු අභියෝග අතරේ තවත් කුමන්ත්‍රණයක් තිරය පිටුපසින් දිග හැරිණි. නෝවේ රජය 2000 වසර මුලදී නිල වශයෙන් ම ලංකාවේ රජය හා කොටි සංවිධානය අතර සාකච්ඡා ඇති කිරීමට කටයුතු සූදානම් විය. රජය විසින් නෝවෙ රජයට සාම සාකච්ඡා සඳහා පහසුකම් සලසන්නෙකු ලෙස ආරාධනා කළද ඇත්ත වශයෙන්ම සිදුවූයේ කපටි කමෙන් සැලසුම් සහගතව පැවති ශ්‍රී ලංකා රජය ඒ සඳහා කැමති කරවා ගැනීමයි. නිවැරදිව කියනවා නම් අන්ඳා ගැනීමයි. කෙසේ වුවත් නෝවේ රජයට අවශ්‍ය ලෙස කටයුතු කරන්නට පැවති චන්ද්‍රිකා රජය විශේෂයෙන් ලක්ෂ්මන් කදිරගාමර් මහතා කැමති වූයේ නැත. නෝවේ රජය විසින් කොටි සංවිධානයත් එහි නියෝජිතයිනුත් අතර ඇති හිතවත්කමත් කොටි කොන්දේසි පිළිගන්නා ලෙස රජයට කළ බලපෑම් නිසාත් නෝවේ පාර්ශවය පිළිබඳව චන්ද්‍රිකා රජයට ප්‍රශ්න ඇති විය. කොටි කොන්දේසි වූයේ කොටින් විසින් ප්‍රකාශ කළ සටන් විරාමය රජය විසින් පිළිගත යුතු බවත් කොටි සංවිධානයේ තහනම ඉවත් කිරීමත් උතුරට පනවා ඇති ආර්ථික සම්භාධක ඉවත් කිරීමත් යන කොන්දේසිය. මේ කොන්දේසි වලට චන්ද්‍රිකා රජය එකඟ වූයේ නැත. පසුව පැමිණි රනිල් වික්‍රමසිංහ මේ සියල්ල බන්දේසියක තබා සටන් විරාම ගිවිසුම යන කඩදාසි කැබැල්ලකින් කොටි සංවිධානයට ලබා දුන් ආකාරය ඉතිහාසය දන්නෝ දනිති.

ලංකාවේ අර්බුධය පිළිබඳ තමන් මහා දැනුමැති ප්‍රාඥයෙකු ලෙස සිතා සිටි නෝවේ නියෝජිතයා වන සෝල්හයිම් ලංකා රජයට නුරුස්නා පුද්ගලයෙකු බවට පත්විය. සෝල්හයිම් කොටි සංවිධානයට පක්ෂ ඒ වෙනුවෙන් සිටින කෙනෙකු බව පැහැදිලි විය. 2006 වසරේ බාලසිංහම් ගේ අවමගුල් උත්සවයේදී සෝල්හයිම් කතාවක් පැවැත්වූවේ ඇඬු කඳුලෙනි. කදිරගාමර් විසින් සෝල්හයිම් නෝවේ නියෝජිත කණ්ඩායමින් ඉවත් කරන ලෙස ඉල්ලමින් නෝවේ රජයට ලිපි යැවීය. නෝවේ සාම ක්‍රියාදාමය මේ අවස්ථාවේ දී ඉබි ගමනින් යන්නට විය. බ්‍රිතාන්‍ය යත් කොටි සංවිධානය තහනම් කළේය. අවාසිදායක තත්ත්වය තේරුම් ගත් කොටි සංවිධානය තවත් සටන් විරාමය දික් ගැස්සිය. පවතින චන්ද්‍රිකා රජය කදිරගාමර් චරිතය හේතුවෙන් තමන්ට නැටවිය නොහැකි බව තේරුම් ගත් කොටි සංවිධානය වෙනත් උපායක් යෙදවීය. ඒ සිය අතට බලය ලබා ගැනීමට රටට විනාශකාරී ඕනෑම ජඩ වැඩකට සහාය දෙන එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා හවුල් වීමයි.

පාර්ලිමේන්තුවේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සිටියේය. ටෙලෝ සංවිධානයේ අඩෙයිකලනාදනුත් තවත් පක්ෂයක් වන ACTC පක්ෂයේ සාමාජිකයාත් පාර්ලිමේන්තුවේ සිටි කොටි නියෝජිතයන් විය. රනිල් වික්‍රමසිංහ ගේ එජාපය විසින් පවතින රජයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ අතර එම විශ්වාස භංගය ජයග්‍රහණය කර රජය පෙරළීමට හැකි සියළු උපකාරයන් දෙමළ පක්ෂ විසින් ලබා දුණි. වෙනත් අවස්ථා වල පාර්ලිමේන්තුවේ සිදුවන දේ ගැන කිසිදු වගක් නැති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ එක් මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී වරයෙක් විශ්වාස භංගය සඳහා සිය අත්සන එව්වේ ෆැක්ස් මාර්ගයෙනි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්දසංගරී මාධ්‍යයට පැවසූවේ රජයට සාම සාකච්ඡා සඳහා අවංක උවමනාවක් නැති බවත් රනිල් වික්‍රමසිංහ රජය විසින් සාම සාකච්ඡා සඳහා යොමු වන බවට පොරොන්දු වී ඇති නිසා විශ්වාස භංගයට තම පක්ෂය සහාය දෙන බවයි. අඩෙයිකලනාදන් පැවසූවේ රනිල් විසින් කොටි තහනම ඉවත් කිරීමට පොරොන්දු වූ නිසා තමන් විසින් විශ්වාස භංගයට සහාය දෙන බවයි.

2001 ජූනි මාසයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම් පාර්ශවයත් ෆේරියල් අශ්රොෆ් පාර්ශවයත් රජයේ අමාත්‍යධූර වලින් ඉවත් වී විපක්ෂයට ගියහ. චන්ද්‍රිකා රජයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණි. මුස්ලිම් කොන්ග්‍රස් රාවුෆ් හකීම් පාර්ශවයේ මන්ත්‍රීවරුන් සය දෙනා පැවසූවේ විශ්වාස භංගය ගැන දැන්ම තියා නිගමනය කළ නොහැකි බවයි. මේ අතර රජයට එරෙහි විශ්වාස භංගයක් බාර දුන් එජාපය හා දෙමළ පක්ෂ මාධ්‍ය හමුවක් තබා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලා සිටියේ පවතින රජය පාර්ලිමේන්තුවේ දී පරාජය කිරීමට තමන් හා එක්වන ලෙසයි. පාර්ලිමේන්තුව කල් තබමින් හා ජනතා විමුක්ති පෙරමුණ හා ගිවිසුම් ගත වෙමින් සිය රජය රැක ගැනීමට චන්ද්‍රිකා රජය අපමණ උත්සාහයක් ගත්තා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරීමට රජයට වසරක වත් කාලයක් ගතවූ පසුව විය යුතුය. මහ මැතිවරණයෙන් පසු 2001 ඔක්තොම්බර් 10 වන විට පොදු පෙරමුණු රජයට වසරක කාලයක් ගත විය. දින කිහිපයකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් ප්‍රකාශයට පත් කරගැනීමෙන් පමණක් විශ්වාස භංගයෙන් ගැලවීමට චන්ද්‍රිකා රජය සමත් වූවාය. රටේ සැබැ අවශ්‍යතාවයකට විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට විපක්ෂයකට හැකියාවක් නොමැති වුවත් බෙදුම්වාදීන්ගේ වුවමනාවන් නිසා විශ්වාස භංගයක් ගෙන ඒමට ලංකාවේ දේශපාලනයේ ඇති හැකියාව පෙන්නුම් කළේය. සත්‍ය වශයෙන් රටේ ජනතාව විශේෂයෙන් සිංහල ජනයා පාර්ලිමේන්තුවට යවන පුද්ගලයන් සම්බන්ධයෙන් නැවත නැවතත් සිතා බැලිය යුතුය. විධායක ජනාධිපතික්‍රමය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වන්නට මෙයත් එක හේතුවකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/31/2017

ශ්‍රී ලංකා රජය රවට්ටන්නේ කාවද?

කතෘ:යුතුකම     7/31/2017   No comments
ජනාධිපති සිරිසේන මහතා මතභේදකාරී අතුරුදන් වුවන් සෙවීමේ කාර්යාලය පිළිබඳ පනත ගැසට් කිරීම සිදුකළේ ජූලි 19-21 යන දින වලයි. අනික් විශේෂත්වය වන්නේ මෙම පනත ගැසට් කළේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ උපලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ලංකා සංචාරයට සමගාමී ලෙසයි. රජයේ කටයුතු දෙස නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ පසුගිය රජයේ ඉහළ නිලධාරීන් හා දේශපාලකයින් අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ මේ ආකාරයට බටහිරින් නියෝජිතයන් ලංකාවේ සංචාරය කරන විටදීයි. එම එක්සත් ජාතින්ගේ හා බටහිර නියෝජිතයන් සතුටු කිරීමට සංතෝසම් ලෙස මෙම මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා යයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන.

පෙර නොවු විරු ලෙස කොමදෝරු ඩි.කේ.පි දසනායක මහතා අත්අඩංගුට ගැනීමත් සිදුවූයේ බෙන් එමර්සන් ගේ ජූලි 10-14 දිනවල යෙදුණු ලංකා සංචාරයට සමගාමී ලෙසයි. මේ නිසා සිය මාධ්‍ය සාකච්ඡාවේදී කොමදෝරු දසනායක මහතා අත්අඩංගුවට ගැනීම ගැනත් එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරියෙකුට නොගැලපෙන ලෙස ප්‍රශංසා මුඛයෙන් කතා කරන්නට බෙන් එමර්සන් කටයුතු කළේය.

සාමය හා සංහිඳියාව ගොඩනැංවීමට පැමිණෙනවා යයි කියමින් ලංකාවට පැමිණෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම නිලධාරීන්ගේ අරමුණු ගැන සැක කිරීමටත් ඒ ගැන කල්පලාකාරී වීමටත් රජයට සිදුවීම ස්වභාවිකයි. ජෙෆ්රි ෆෙල්ට්මන් ලංකාවට පැමිණියේ බෙන් එමර්සන් ගේ සංචාරය නිමවී දින පහකට පසුයි. මෙහිදී මාධ්‍යට වාර්තා නොවුණු කරුණු වන්නේ ජෙෆ්රි ෆෙල්ට්මන් රජය, දෙමළ සන්ධානය හා නැගෙනහිර පළාතේදී එම දේශපාලකයින් සමඟ පැවැත්වූ සාකච්ඡා වල ස්වභායයි. ජෙෆ්රි ෆෙල්ට්මන් විසින් මාධ්‍යට දුන් ප්‍රකාශය වූයේ එක්සත් ජාතීන්ගේ සංගමය ලංකාවේ සංවර්ධනයට හා සංහිඳියාව උදෙසා උපරිම සහයෝගය දෙන බවට වූ අපැහැදිලි ප්‍රකාශයයි. සංචාරය අතරතුරේ දි සිදුවූ සාකච්ඡා සම්බන්ධයෙන් රටේ වැසියා දැනුවත් නැත.

මෙහිදී අප අමතක නොකළ යුතු කාරණය වන්නේ ජෙෆ්රි ෆෙල්ට්මන් යනු එක්සත් ජාතීන්ගෙ සංගමයේ දෙවනියට ප්‍රධාන තනතුර දරණ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට පසුව සිටින ප්‍රධානම පුද්ගලයායි. ඔහු විසින් ආරක්ෂක කවුන්සිලයට සාමය හා ආරක්ෂාව සමබන්ධව උපදෙස් දෙන නිලධාරියායි. එවැනි උසස් නිලයක් දරණ නිලධාරියෙක් ලංකාවට පැමිණියේ කුමක් සඳහා ද?

ෆෙල්ට්මන් චරිතය පිළිබඳ කරුණු පිරික්සා බැලූ විට අපට ඔහු පැමිණි හේතුව පිළිබඳ කරුණු අවබෝධ කරගත හැකිය. ෆෙල්ට්මන් යනු ඇමරිකානු විදේශ සේවයේ වසර 30ක් සේවය කළ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලෙස ද කටයුතු කළ පුද්ගලයෙකි. ඇමරිකානු රාජ්‍ය සේවයේ අවසානයේ දී ඔහු දැරු තනතුර වන්නේ ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් තනතුරයි. විදේශ සේවයෙන් පසු 2012 වසරේ දී දේශපාලන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංගමයේ උපලේකම් වශයෙන් ඔහුව පත්කෙරිණ.

ඔහුව මේ තනතුරට පත්කළේ ලයින් පැස්කෝ (Lynn Pascoe) යන හිටපු ඇමරිකානු නියෝජිතයාගෙන් පසුවයි. ඒෂියන් ට්‍රිබියුන් මාධ්‍යට දයා ගමගේ මහතා වතාවත් පැවසූ ආකාරයට මෙම එක්සත් ජාතීන්ගේ තනතුර ඇමරිකානුවන් පමණත් පත්වෙන ඇමරිකාව විසින් සිය ග්‍රහණයට ගත් තනතුරකි.

ජෙෆ්රි ෆෙල්ට්මන් ගේ පළමු ලංකා ගමන සිදුවූයේ 2015 පෙබරවාරි මාසයේදීය. ජෙෆ්රි ෆෙල්ට්මන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු නොව ඇත්ත වශයෙන් ඇමරිකන් ඉත්තෙක් බව පැහැදිලිව දක්වන සිදුවීමක් වන්නේ International Support Group for Lebanon යන එක්සත් ජාතීන්ගේ හමුවීමට සහභාගී වීමට සිටි දී එවකට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට වෙනත් හදිසි කටයුත්තකට සහභාගි වීමට සිදුවූ විට ඒ හමුවේදී ඇමරිකාව නියෝජනය කරමින් සහභාගී වූයේ මෙම නිලධාරියා වීමයි.

මෙයින් පෙනී යන්නේ ෆෙල්ට්මන් යනු එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගෙන් අපේක්ෂා කරන පරිදි ජාත්‍යන්තර සිවිල් සේවකයෙකු නොව එක්සත් ජාතීන්ගේ සංගමයේ වඩා ප්‍රබල තනතුරක් හොබවන ඇමරිකානු නියෝජිතවෙකු බවයි. ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම් ලෙස තමන් විසින් මුලින් හෙබවූ තනතුරේ වගකීම් වලින් ඔහු තවමත් නිදහස් වී නැති බවත් සිය නව තනතුරත් සමඟ එම වගකීම් ද ඉටුකරන බව පෙනේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ ත්‍රස්තවාදය මැඩලීම සම්බන්ධයෙන් වූ විශේෂ නියෝජිත බෙන් එමර්සන්

2014 වසරේ දී යුක්රේනයේ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයා වන වික්ටර් යැන්කුවිච් කුමන්ත්‍රණයක් මාර්ගයෙන් බලයෙන් පහකිරීමට ෆෙල්ට්මන් ගේ නම සම්බන්ධ වීමත් අප සළකා බැලිය යුතුය. මේ පිළිබඳව හෙළිදරව් වූයේ යුරෝපය හා යුරේෂියාව සම්බන්ධ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වන වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) හා ඇමරිකාවේ යුක්රේන තානාපති වන ගියොෆ් පියොට් (Geoff Pyat) අතර සිදුවූ දුරකථක සංවාදය මාධ්‍යට නිකුත්වීමෙනි. මෙම සංවාදයේ දී නුලන්ඩ් තැනැත්තිය විසින් පවසා ඇත්තේ ඇමරිකානු මෙහෙයුම් සඳහා එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරීන් යොදා ගැනීමේ වැදගත්කමයි. ඒ මඟින් ඇමරිකාව විසින් වෙනත් රටවල රාජ්‍ය පෙරලීමට සිදුකරන කුමන්ත්‍රණ වලට විශ්වාසදායක බවක් ලැබෙන බවයි. ඇයගේ සංවාදයෙන් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු වන ෆෙල්ට්මන් විසින් සිදු කර ඇත්තේ ඇමරිකානු ඇජෙන්ඩා එකට අනුව එක්සත් ජාතීන්ගේ සංගමය තුළ කටයුතු කිරීම බවයි.

UN Special Rapporteur on counter terrorism බෙන් එමර්සන් ලංකාවට පැමිණියේ මේ ෆෙල්ට්මන් නැමැත්තාගේ පැමිණීමට ටික දිනකට පෙරයි. බෙන් එමර්සන් ගේ හැසිරීම ලංකාව තුළ දුටුවේ එක්සත් ජාතීන්ගේ සංගමයේ නිලධාරියෙක් ලෙස ඔහුට ඇති වරම ඉක්මවා දාමරික ආකාරයෙන් තර්ජනාත්මක ආකාරයට ඒක පාර්ශ්විකව කටයුතු කිරීමක් ලෙසයි. ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගේ සංගමයේ හිටපු නියෝජිතයන් දෙදෙනෙකු වන තමාරා කුමානායගම් හා පාලිත කොහොන යන අය දැඩි ලෙස විවේචනාත්මකව කරුණු දන්වා තිබිණ. ඔවුන්ට අනුව එමර්සන් නැමැත්තාගේ ප්‍රකාශයන් හා වාර්තා අත්තනෝමතික, විවේචනාත්මක, උද්දච්ඡ, තර්ජනාත්මක, බලපෑම්කාරී, අපහාසාත්මක ලෙස සිදුකළ චෝදනා පමුණුවීමකි.

ඔවුන්ට අනුව එමර්සන් විසින් සිය මාධ්‍ය සාකච්ඡාවේදී ශ්‍රී ලංකා රජයට බරපතල ප්‍රතිඵල සඳහා මුහුණ දෙන්නට විය හැකි බවට සිදුකළ තර්ජනය ඔහුගේ ස්වාධීනත්වය, අවංකභාවය හා නිර්පාක්ෂික බව පිළිබඳවත් වෘත්තීයබව පිළිබඳවත් බරපතල ප්‍රශ්න මතු කළ අවස්ථාවක් බව පැහැදිලි ලෙස කිය හැකි බවයි.

ශ්‍රී ලංකාවට GSP+ සහනය නැතිවීම ගැන අනතුරු ඇඟවීම, මානව හිමිකම් කාර්යාලය මඟින් සිදුකරන පීඩනය වැඩි කිරීමත් ආරක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාව යොමු කිරීමත් තවත් විධි ක්‍රම කිහිපයකින්ම ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාව මැඩීමට යොදාන්නට හැකි බව දන්වමින් සිදුකළ ප්‍රකාශය එමර්සන් ගේ වෘත්තීයභාවය ප්‍රශ්න කිරීමට ලක් කළ යුතු ප්‍රකාශයක් බවත් හිටපු තානාපතිවරුන්ගේ අදහසයි. එමර්සන් මේ ආකාරයට ඔහුගේ වරම ඉක්මවා කටයුතු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංගමයට අනුකූල ලෙස නොවේ නම් කාගේ න්‍යාය පත්‍රයට අනුවද ඔහු ක්‍රියා කරන්නේ යන්න සැළකිය යුතුය.

එමර්සන් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය පසු රජය විසින් මාධ්‍යට ප්‍රකාශ කළේ එමර්සන් ගේ වාර්තාව පිළිබඳව තමන් අසතුටු වන බවයි. බෙන් එමර්සන් ට කොටි රැඳවුම්කරුවන් හා සාකච්ඡා කිරීමට අවසරය ලබා දුන්නේ කවුරුන්ද යන වග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවා ප්‍රශ්න කර ඇත. මෙසේ රජය හැසිරීම පුදුමාකාර වන්නේ බෙන් එමර්සන්ට ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේ ශ්‍රී ලංකා රජය විසින් වීමත් ඔහුට කැමති ආකාරයට රටේ ඕනෑම තැනකට නිරීක්ෂණ චාරිකා යාමට අවසර ලබා දුන්නේ රජය විසින් වීමත්ය. රජය සිදුකරන්නේ ලංකාවට එරෙහිව මානව හිමිකම් කඩවීම් පිළිබඳ යෝජනා ගෙන ආ බටහිර රටවල් හා ඔවුන්ගේ නියෝජිතයන් සැනසීමට එකක් කීමත් ඔවුනේ බලපෑම්කාරී තර්ජනාත්මක ගෙරවිලි නිසා උරණ වුණු රටේ ජනතාව සැනසීමට තවත් එකක් පැවසීම ද? මේ ආකාරයට ජනතාව රැවටිය හැක්කේ කෙතරම් කාලයක් ද?
ලසඳා කුරුකුලසූරිය මහත්මිය ඩේලි මිරර් මාධ්‍යයට ලියු ලිපියේ සිංහල පරිවර්තනය.
සටහන අයි.ජයතිලක
-යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

7/18/2017

රණවිරු දඩයමට ගෙනා අතුරුදහන් වූවන් පිළිබඳ පනත

කතෘ:යුතුකම     7/18/2017   No comments
ඒකාබද්ධ විපක්ෂය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ ගත් අතුරුදන් වීම් සම්බන්ධ පනතට දැඩි විරෝධය දක්වා තිබෙනවා. ඒකට හේතුව කුමක් ද?

මේ ගැන පසුගිය සතියේ විවාදයක් නියමිතව තිබුණා. නමුත් ඒක දැන් කල් ගියා. ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා රජය කිසිම විදිහකින් මේ කියන පනත ඉල්ලා අස්කරගන්නේ නැහැ, ඒක ඉදිරි දිනයකදී ගෙන එනවා කියලා. රජය විසින් මේ කියන පනත අත්හැරලා ඇතියි කියලා කෙනෙක් හිතනවා නම් ඒක මිත්‍යාවක්. නමුත් ඇත්තටම වෙන්නේ මේ කියන පනත ආපසු ගෙන එන්නට උත්සාහ කිරීමයි. ඒ වගේම දෙමළ සන්ධානයේ මන්ත්‍රී සුමන්තිරන් කියනවා ඇයි මෙහෙම පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එක් එක් පාර්ශව විසින් ඒවාට විරුද්ධත්වය දැක්වූ විට හකුළා ගන්නවා නම් කියලා. මේකේ බරපතල භයානක තත්ත්වයක් තිබේ. මම මුලින්ම පාර්ලිමේන්තුවට ඇතුළු වුනේ 1994 දි. එදා ඉඳන් ලංකාවේ පාර්ලිමේන්තුවට දැමූ පනත් වලින් භයානකම හානිදායකම පනත තමයි මේක. මේකේ තියන බරපතල තත්ත්වයන් ගැන මේ රටේ මහජනයා නියමාකාරයෙන් දැනුවත් වී නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන එක අපේ වගකීම.

ඔබ කොහොමද මේක බරපතල ලෙස භයානකයි කියලා කියන්නේ?

මේ පනතේ 3(III) යන කොටසට අනුව අතුරුදහන් කිරීම කියන චෝදනාව අර්ථ දක්වනවා. මේ නීතිය යටතේ යම් අතුරුදහන් වීමක් සිදුව ඇත්නම් මේ කියන නීතිය වැරැද්ද සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් නොවෙයි ඔහුගේ ඉහළ නිළධාරීන් සම්බන්ධයෙනුත් බලපානවා. ඒ නිසා ඉහළ නිලධාරියා වැරැද්දක් කළාද නැද්ද කියන එක අදාළ නැහැ, ඔහු ආරක්ෂක අංශයේ ඉහළ නිලයක් දැරූ පමණින්ම යම් අතුරුදන් කිරීමක් සම්බන්ධයෙන් ස්වයංක්‍රීයව වැරදිකරු වෙනවා. යම් අතුරුදන් වීමක් සිදු වී ඇත්නම් ඒකට ඉහළ නිලධාරීන් සම්බන්ධ ද නැද්ද කියන එක අදාළ නැහැ, ඔහු ඊට වගකිව යුතු වෙනවා. මේ ආකාරයෙන් චෝදනාව විශාල පිරිසකට අදාළ කරන්න පුළුවන්. ජනාධිපති, හමුදා පති, ආරක්ෂක ලේකම්, හමුදා වේ අනු කණ්ඩ වල නිලධාරීන්, ඒ ඒ ඒකක වල නිලධාරීන් යන සියල්ලටම දැල එලන්න පුළුවන් විදිහට තමයි මේ නීතිය අර්ථ දක්වා තියෙන්නේ.

කොහොමද එහෙම වෙන්නේ?

යම් කෙනෙක් අතුරුදන් වීමකට සම්බන්ධ වුණත් නොවුණත් ඔහුට පහළින් සිටිනා කෙනෙක් විසින් යම් අතුරුදහන් වීමක් සිදු කර ඇත්නම් අදාළ ඉහළ නිලධාරියාත් මීට චූදිතයෙකු වෙනවා. මේක වසර 20ක සිර දඬුවමකට යටත් කරන්නට පුළුවන් බරපතල වැරැද්දක් වෙනවා. ඒ වගේම මේක ඇප දෙන්නේ නැති වැරැද්දක්. මේ චෝදනාවේ වඩාත්ම බරපතල කොටස වෙන්නේ 8 වෙනි කොටසේ සඳහන් කරුණු වලිනුයි.

යම් කෙනෙක් අතුරුදහන් වීමකට චෝදනා ලැබූවිට වෙනත් සාමාජික රටකට පූළුවන් මේ ගේන්න හදන නීතිය යටතේ ශ්‍රී ලංකා රජයෙන් එම පුද්ගලයාව ඉල්ලා සිටින්නට. එසේ එම පුද්ගලයාව තමන් ගේ රටට ගෙන්වා ගෙන ඒ රටේ නීතිය යටතේ දඬුවම් කිරීමටත් හැකියාව තියෙනවා. ඒ විදිහට විදේශ රටකින් ඉල්ලීමක් ලැබුණු වහාම ඒ පුද්ගලයාව එම රටට ලබා දීමට ශ්‍රී ලංකා රජය මෙම නීතිය යටතේ බැඳී සිටිනවා.

ඕනෑම විදේශ රටකට හෝ ආයතනයට පුළුවන් ලංකාවේ යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් චෝදනාවක් සිදුකරන්නට අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ කාර්යාලයට. ඒ චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි සපයන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. යම් පුද්ගලයෙක් මෙන්න මේ අපරාධය කරලා තිබෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාව අත්අඩංගුවට ගන්න කියලා කියන්න පුළුවන්. මෙසේ ඉල්ලීමක් කළ පමණින්ම අදාළ පුද්ගලයාව ඒ රටට ලබා දෙන්නට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා. ඒ වගේම අදාළ පුද්ගලයාව එම රටට ලබා දෙන්නට තමන් ගත් පියවර මොනාද යන්න දැන්වීමටත් ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා.

විදෙස් විනිසුරුවන් ගෙන ඒම සම්බන්ධයෙන් ලොකු විවාදයක් පැවතුණා නේ. ඒ කියන්නේ 2015 ඔක්තෝම්බර් 1 වන දා ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සැසියේදී පිළිගත්ත යෝජනාව සම්බන්ධයෙන්. ඒ යෝජනාවේ සඳහන් වෙනවා පොදු රාජ්‍ය මණ්ඩලීය හෝ විදෙස් විනිසුරන්, විදෙස් පරීක්ෂකයින් අවශ්‍යයි කියන එක. දැන් මේ යෝජනාව සම්මත කරගන්න දායක වෙලා ඊට පස්සේ ජනාධිපති කියනවා විදෙස් විනිසුරුවරුන් ගේනන තමන් කොයිම අවස්ථාවකදිවත් ඉඩ දෙන්නේ නැ කියලා. නමුත් ඒක මේ රජය 2015 දී ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දුවට පටහැනියි. ඒ යෝජනාවේත් භයානක කාරණා තියනවා. උදාහරණයක් විදිහට යුද්ධය පැවති කාලයේදී නොතිබුණු නව නීති ඇති කරලා ඒ නීති සම්මත කරලා යුද හමුදාවේ සාමාජිකයන්ට දඬුවම් කරන්නට පුළුවනි. දැන් මේ යෝජනාවේ තියන විදෙස් විනිසුරුවන් සම්බන්ධයෙන් රටේ විශාල විරෝධයක් තියනවා. දැන් මේ ගේන්න හදන පනත ඊටත් වඩා භයානකයි. යුද්ධයේදී සිදුවූ යම් වැරැද්දකට සැක කරන ඕනෑම කෙනෙකුව පිටරටකට යවා ඒ රටේ නීතියට අනුව දඬුවම් කිරීමට පුළුවනි.

රජය විසින් කියනවා ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා භයානක තත්ත්වයක් නැති බවයි. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

ඔය කියන විදේශ රට රෝම ප්‍රඥප්තිය අත්සන් කර ඇත්නම් ඒ රට ඔස්සේ අදාළ පුද්ගලයා ඒ ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයට කැඳවා සිටින්නට පුළුවන්. මේ ආකාරයෙන් ලංකාවෙන් පිටමං කළ පුද්ගලයෙක් ඒ රටේ පවතින නීතිය යටතේ හෝ ජාත්‍යන්තර අධිකරණය යටතේ දඬුවම් පැමිණීමට ලක් කළ හැකියි. රජය විසින් කියනවා අප විසින් රෝම ප්‍රඥප්තිය අත්සන් කර නැති නිසා භයානක තත්ත්වයක් නැහැ කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මොකද අපි පුද්ගලයෙක්ව භාරදෙන්නේ මේ කියන රෝම ප්‍රඥප්තිය අත්සන් කළ රටකට වෙන්න පුළුවන්. එතකොට ජාත්‍යන්තර යුධ අධිකරණයට භාර දෙන්න පුළුවන්.

පවතින පොදු නීතිය යටතේ තියන මූලධර්මයක් වන්නේ පුද්ගලයෙක්ව දේශපාලන කාරණා මත වෙනත් රටකට භාරදීම කරන්න බැහැ. මේ කියන ආරක්ෂාව නැති වෙනවා මේ කියන අළුත් පනතේ තියන අංක 13 කියන කොටස මගින්. ලංකාවේ සාමාන්‍ය පුරවැසියෙක්ට ජාත්‍යන්තර නීතියත් 1977 එක්ස්ට්‍රැඩිෂන් පනතින් ලැබුණු ආරක්ෂාව මේ කියන 13 කොටසින් නැති වෙනවා. ඒ නිසා මේ පනතේ තියන භයානක තත්ත්වය තවත් දරුණු වෙනවා මේ අංක 13 කියන කොටසින්.

ඒ වගේම රජයේ ඇමතිවරයාට ඉතා විශාල බලතල ප්‍රමාණයක් මේ කියන නීතිය මගින් ලබා දෙනවා 18(III) කියන කොටසින්. ඇමතිවරයාට හැකියාව ලැබෙනවා යම් පුද්ගලයෙක්ව රටෙන් පිටුවහල් කිරීමට හෝ වෙනත් රටක නීතියට භාර දෙන්න හැකි ආකාරයට තීරණය කරන්නට. 22(II) කොටස ගත්තාම මේ ඇමතිවරයා විසින් තීරණය කරන හැම නීතියක්ම ගැසට් කළ යුතු අතර ඒක ඒ වෙලාවේම නීතියක් බවට පත් වෙනවා කියලා.

නමුත් මේ කියන නීතියට බලපැම් කරන්න පුළුවන් වෙනත් නීති ව්‍යවස්ථාවේ තියනවා නේද?

අපි මේ කියන පනතේ තියන විධි විධාන හොඳින් හඳුනා ගන්න ඕන. මේ පනතේ 23 වන කොටස ගත්තාම ඒකෙන් කියන්නේ රටේ පවතින වෙනත් සියළු නීති අභිබවා යන්නට මේ නීතියට පුළුවන් කියලා. දැන් මේ සම්මත කරගන්න හදන පනතයි වෙනත් පවතින නීතියකුයි අතර ගට්ටනයන් නොගැලපීමක් තිබේ නම් එතනදි ක්‍රියාත්මක විය යුත්තේ මේ පනතේ නීතියයි. මේක නිකම් ව්‍යවස්ථාවක් වගේ. මේ පනතට පුළුවන් දැනට තියන සියළු නීති අභිබවා යන්නට.

මේ අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් ගැනයි. හමුදාවේ හෝ නාවික හමුදාවේ හෝ කලින් රජයට සම්බන්ධ ඕනෑම කෙනෙක් හෝ ලංකාවෙන් පිටමන් කරලා වෙනත් රටකට යවා ඒ රටේ තිබෙන නීතිය යටතේ දඬුවම් කිරීමට සලස්වන්නට පුළුවන්. මේ පනතේ අරමුණම වෙන්නේ මේ කියන ජාත්‍යන්තර නීතිය ලංකාව තුළ ක්‍රියාත්මක කර ගැනීමයි.

අංක 10 හා 11 කියන විදිහට මේ කියන ප්‍රඥප්තිය නිසා වෙනත් ඕනෑම රටකට පුළුවන් අපේ රටේ කෙනෙක් ඒ රටට ඇතුළු වූ විට අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නට. ඒ වගේම ඒ විදිහට ඔය කෙනෙක්ව සැක කරලා එයාව ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්නටත් පුළුවන්. එතෙනදි සැකකරු ගේ රට රෝම ප්‍රඥප්තිය අත්සන් කර තිබේද නැද්ද කියන එක අදාළ නැ.

මේ තත්ත්වය තුළ ලංකාවේ හමුදාවේ නිලධාරියෙක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ වෙනත් කටයුත්තකට විදෙස් රටකට ගියොත් ඒ රටට පුළුවන් එම හමුදා නිලධාරියාව අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන්නට. මෙය සමාන වෙන්නේ වෙනිසියුලාවේ හිටපු ජනාධිපති පිනෝකේ ට සිදුවුණු සිද්ධියටයි. පිනෝකේ ලන්ඩන් නගරයට ගොස් ශල්‍යකර්මයක් සිදුකළ ගමන් ඔහුව අත්අඩංගුවට ගත්තා. ඒ නඩු විභාගය අවුරුදු 10කට වැඩියෙන් කාලයක් ගත් අතර ස්පාඥ්ඥ රටේ උසාවියකින් ඉදිරිපත් කළ වරෙන්තුවක් මත ඔහුව ලන්ඩන් නගරයේදී අත්අඩංගුවට ගත්තා. මේ හා සමාන කරදයකට අපහසුතාවයකට අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට කැපවුණු හමුදා නිලධාරියෙක් පත් වෙන්න පුළුවන්.

ඒ වගේම මේකේ 32 වෙනි කොටසේ සඳහන් වෙනවා මේ ප්‍රඥප්තියට අනුව ඕනැම සාමාජික රටකට පුළුවනි වෙනම අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වූ කොමිටියකට ලංකාව සම්බන්ධයෙන් චෝදනා කරන්න, මෙන්න ලංකාව නියමාකාරයෙන් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. එතකොට ඒ කොමිටියට පුළුවන් ඔය කියන චෝදනා වෙනම සළකා බලලා ඒ ගැන පරීක්ෂා කරන්න. ඇයි අපි රටක් වශයෙන් ඒ වගේ තත්ත්වයට විහින් පත්වෙන්නේ? අපිට මේ කියන පනත ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දෙන කිසිම රටක් මේ කියන ප්‍රඥප්තියට අත්සන් කරලා නැහැ.

මේ කියන ජාත්‍යන්තර ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගෙන නැති රටවල් මොනාද?

ඇමරිකාව වත්, එක්සත් රාජධානියවත්, ඕස්ට්‍රේලියාව වත් කැනඩාව වත් මේ කියන නීතියට අත්සන් තබා නැ. සමහරක් රටවල් අත්සන් කර තිබෙන නමුත් එම නීතිය නිල වශයෙන් පිළිගත් කරලා නැත. ඒ නිසා එම රටවල මේ කියන නීතිය බලපවත්වන්නේ නැත. නෝවේ, ඩෙන්මාර්ක්, ස්විඩන් හා ෆින්ලන්තය වගේ ස්කැන්ඩිනේවියානු රටවල් මේ කියන නීතියට අත්සන් කළත් ඒක නිල වශයෙන් පිළිගෙන නැති කාණ්ඩයට වැටෙනවා. ඒත් එක්ක බලද්දි ලංකාව 2015 දී ආණ්ඩු වෙනස සිද්ධ වුණු අවස්ථාවේදීම මේ කියන ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කරලා ඒක නිල වශයෙන් පිළිගෙන ඉවරයි. අද වෙන කොට මහින්ද සමරසිංහ අමාත්‍යවරයාම කියනවා ලංකාව මේ ආකාරයෙන් හදිසියේම මේ ප්‍රඥප්තියට අත්සන් කරලා නිල වශයෙන් පිළිගත් එක අපරාධයක්. ඒක නොකළ යුතුව තිබ්බ දෙයක් කියලා. දැන් කියනවා අපි මේක අත්සන් කරලා නිල වශයෙන් පිළිගත් නිසා පාර්ලිමේන්තුවට දාලා නීතියක් බවට පත් කරන්න ඕන කියලා.

ඒ කියන්නේ තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරන්නවත් මේ රජයට දේශපාලන වුවමනාව නැහැ. මේ රජයම පිළිගන්නවා ඒ අය ලොකු වැරැද්දක් කළා කියලා. ඒක තමයි අපිත් කියන්නේ. මේ කියන ප්‍රඥප්තියට අත්සන් නොකළ රටවල් හා නිල වශයෙන් පිළිගත් නොකළ රටවල් තමන්ගේ රටේ ආරක්ෂක අංශ ගැන ඒ අයගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වෙන රටවල්. තමන්ගෙ ආරක්ෂක අංශ ප්‍රධානීන්ව අනතුරේ හෙළන කිසිම දෙයක් කරන්න මේ රටවල් සූදානම් නැහැ. ඒත් මේ කියන රටවල් වල ආරක්ෂක අංශ මේ රටවල් වෙනුවෙන් කරලා තියන සේවාවයි අපේ රටේ ආරක්ෂක අංශ අපේ රටට කරලා තියන සේවාවයි සන්සන්දනය කරලා බලන්න. අපේ ආරක්ෂක අංශයන්ගේ සේවයෙන් අපේ රටේ ත්‍රස්තවාදය තුරන් වුණා. අද අපි රටක් වශයෙන් සැනසිල්ලෙ ඉන්නේ අපේ ආරක්ෂක අංශ නිසා. මේ වගේ තත්ත්වයක් තුළ මේ රජය විසින් මේ කියන ප්‍රඥප්තිය අත්සන් කරලා ඉතා ඉක්මනින් නිල වශයෙන් පිළිගත් කිරීම නිසා ආරක්ෂක අංශ ලොකු අනතුරකට දාලා තියෙනවා. පවතින රජය ඒ ගැන ලැජ්ජා විය යුතුයි.

දැන් අපි මේ කියන ප්‍රඥප්තිය නිල වශයෙන් පිළිගත් නිසා ඇති වී තිබෙන අනතුර කුමක් ද?

අපි දැන් ඒක නිල වශයෙන් පිළගෙන නේ තියෙන්නේ. නමුත් මේ කියන ප්‍රඥප්තිය ස්වයංක්‍රීයව අපේ රටේ නීතියක් බවට පත්වෙන්නේ නැත. ඒක එහෙම රටේ නීතියක් බවට පත්වෙන්නට නම් පාර්ලිමේන්තුව මගින් සම්මත කළ යුතුයි. එම නීතිය එසේ සම්මත වීම වැළැක්වීමට අපි හැකි උපරිමය පාර්ලිමේන්තුව තුළ සිදු කරනවා. පවතින රජය තමන්ට බලයට පැමිණීමට උදව් කළ පාර්ශව සතුටු කිරීමට මේ ආකාරයෙන් හදිසියේ ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අත්සන් කරලා පස්සේ ඒ ගැන කණගාටු වෙනවා. අපි කියන්නේ මේ කියන කණගාටුවීම් එන්නේ ගොඩක් ප්‍රමාද වූවාට පසුවයි. රටට වෙන්න පුළුවන් හානිය සිදු කරලා තියෙන්නේ.



-අයි.ජයතිලක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

2/26/2017

අඳුරු මතකයට යළි අත වනමින් උතුර ගිනි තබන උද්ඝෝෂණ රැල්ල..

කතෘ:යුතුකම     2/26/2017   No comments
-අයි .ජයතිලක-
“අපට අවශ්‍ය දේශපාලන විසඳුම ලබා දුන්නේ නැත්නම් මුළු උතුරු නැගෙනහිර ප්‍රදේශයම ශ්‍රී ලංකා රජයට පාලනය කරගත නොහැකි තත්ත්වයට ගේනවා” ..මේ දරුණු තර්ජනය සිදුකළේ උතුරු පළාත් මහ ඇමති සි.වී.විග්නේෂ්වරන් මහතා නොවේ. රජයේ පාලනය අකර්මන්‍ය කරන බවට තර්ජනය සිදුකළේ පසුගිය වසරේ බැන් කී මූන් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු හමුවේ අපේ විපක්ෂ නායක තුමායි. යහපාලන රජයේ භාෂාවෙන් කියනවා නම් "මධ්‍යස්ථ මතධාරී " ආර්.සම්බන්ධන් මහතා යි.

මහ පොළවේ සිදුවන දේ ගැන අවබෝධයක් තිබෙන රජයක් නම් දෙමළ සන්ධාන දේශපාලකයින්ගේ සැබෑ ස්වරූපයත් බෙදුම්වාදී කොටස් විසින් සිදුකළ හැකි කඩාකප්පල්කාරී ක්‍රියා ගැනත් අවබෝධයකින් කටයුතු කරනු ඇත. උතුර නැගෙනහිර අකර්මන්‍ය කරන්නට දෙමළ සන්ධානයට තිබෙන හැකියාව කුමක් ද එය කුමන ආකාර වලින් ක්‍රියාත්මක වේද යන්න ගැන වැටහීමක් ඇති රජයක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය කටයුතු ක‍ළේ නැත.

රටේ නියම තත්ත්වය ගැන නිසි වැටහීමක් නොමැති බව උතුරු නැගෙනහිර බෙදුම්වාදී ප්‍රශ්නය සම්බන්ධව පමණක් නොව ආර්ථිකය, විදේශ සබඳතා යන කාරණා වලදී ද පවතින රජය පෙන්වා ඇත. රටේ තත්ත්වය හා රටට යහපත් විය හැකි අයහපත් විය හැකි කාරණා පිළිබඳව කිසිදු අවබෝධයක් යහපාලන රජයට නැත. එම අනවබෝධය නිසාම රට සෑම අංශයකින්ම බලවත් අර්බුධයකට පත්වෙමින් ඇත. යහපාලනයේ නියමුවන් ගේ තිබබේ ඉතා සරළ දැක්මකි. එනම් ඇමරිකාව අකමැති මහින්ද එළවා දැමීමත් චීනය එලවා දැමීමෙන් ඉන්දියාවේත් ඇමරිකාවේත් ආර්ථික වශයෙන් උපකාර ලැබේ යන ළදරු දැක්මකි.

දකුනේ මාධ්‍ය නිසි ලෙස වාර්තා නොකළත් සැබෑ තත්ත්වය වන්නේ වර්තමානය වන විට උතුරු පළාතේ වැඩ කටයුතු අඩාලව ඇත. හමුදාව උතුරින් ඉවත් කරන ලෙසත් හමුදාව විසින් කොටි සංවිධානයෙන් ලබාගත් ඉඩම් වහා ජනතාවට පවරන ලෙසත් උද්ඝෝෂණ, උපවාස ඇති වෙමින් පවතී. එම උද්ඝෝෂණ වල පවතින විශේෂ ලක්ෂණය නම් උතුරේ හමුදා කඳවුරු ඉලක්ක කරමින් පාසල් ළමුන්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යොදා ගනිමින් සිදුකරන උදඝෝෂණයි. පවතින තත්ත්වය සමාන වන්නේ 2002-4 කාලවකවානුවේ සටන් විරාම සමයේදී කොටි සංවිධානයට අයත් පිරිස් විසින් යාපනය ප්‍රදේශයේ හමුදා කඳවුරු ඉලක්ක කරමින් සිදුකළ උද්ඝෝෂණ පෙළයි. එම වකවානුවේදීත් පැවතියේ රනිල් වික්‍රමසිංහ රජයක් වූ අතර මහ පොළවේ යතාර්ථය ගැන කිසිදු අවබෝධයකින් ක්‍රියා නොකළ ඒ නායකත්වය ඒ පිළිබඳව ලබා දෙන උපදෙස් ගැනද තැකීමක් නොකළේය. කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කළ පසුවත් නැවත එම තත්ත්වයම රනිල් වික්‍රමසිංහ රජයක් යටතේ ඇති වූයේ තිබෙන පාලන ක්‍රමයේ වැරැද්ද නිසා නොවේද?

මෙම උද්ඝෝෂන වලට පදනම් වන්නේ කුමක් ද?

තිස් වසරක යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ සාපේක්ෂව වැඩි හමුදා කඳවුරු සංඛ්‍යාවක් ඇත. එය දෙමළ බෙදුම්වාදී යුද්ධය නිසා ඇති වූවකි. අධි ආරක්ෂිත කලාප ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයක් විය. එම අධි ආරක්ෂක කලාප ඉවත් කර නැවත ජනතාවට ඉඩම් ලබා දිය යුත්තේ උතුරු පළාතේ ආරක්ෂාව පිළිබඳ සළකමින් නියමිත ක්‍රමවේදයකට අනුව මිසක් බෙදුම්වාදී බලවේග කියනා ආකාරයට නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ උතුරු පළාතෙන් හමුදාව මුළුමනින්ම ඉවත් කිරීමයි. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල හමුදාවට ශ්‍රී ලංකාවේ පළාත් දෙකකින් ඉවත් වන්නයි ප්‍රකාශ කරන්නට ඔවුන්ට ඇති අයිතිය කුමක් ද? උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න යන උද්ඝෝධණ රැල්ල ඇති කරන්නට මූලාරම්භය ගත්තේ කෙප්පාපිලව් ප්‍රදේශයෙනි. කෙප්පාපිලව් අයත් වන්නේ අවසන් යුද්ධය ඇත පුදුකුඩුඉරිප්පු හා ප්‍රභාකරන් මරා දැමූ නන්දිකඩාල් ට ආසන්නවය. මේ ප්‍රදේශය කලින් රජයේ ඉඩම් වූ අතර පසුකාලීනව කොටි සංවිධානය යටතේ තිබියදී ඔවුන් විසින් මෙම ඉඩම් දමිළ ජනතාවට බෙදා දී ඇත. ඒ අතරින් සිවිල් වැසියන් සමහරෙකුට එම ඉඩම් සඳහා ඔප්පු ඇත. කොටි සංවිධානය පරාජය කර දැමූ පස් රජය විසින් නැවතත් මෙම ඉඩම් ලබා ගෙන එහි සිටි ජනයා වෙනත් ප්‍රදේශයක ගම්මානයක් තනවා පදංචි කරවා ඇත. මෙම ජනයා 2013 වර්ෂයේ සිට මෙම ගම්මානයේ පදිංචිව සිට ඇති අතර 2016 වන විට නැවතත් මුල් ඉඩම් අවශ්‍ය බව පවසමින් උපවාස ක්‍රියාත්මක විය. මීට පෙර ඇති නොවුනු තත්ත්වයක් ඇති වී ඇත්තේ බාහිරින් පැමිණි පුද්ගලයන් මුල් වෙමින් සිවිල් වැසියන් අවුස්සමින් රජයට, හමුදාවට හා සිංහල මිනිස්සුන්ට විරුද්ධව ඔවුන් උසි ගැන්වීම නිසාය.

ප්‍රවෘත්ති වාර්තා අනුව මෙම උද්ඝෝෂණ පසුපස ප්‍රධාන වශයෙන් සිටින්නේ ටී. රවිකරන් හා සුරේශ් ප්‍රේමචන්ද්‍රන් යන දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ය.

දමිළ ජනයා පීඩනයට පත් කර ඔවුන්ගේ ඉඩම් ලබාගන්නට අවශ්‍ය නැත. නමුත් රටේ ආරක්ෂාව සඳහා වන පොදු කාරණා වලදී ජනතාවගේ ඉඩම් ලබාගන්නට වන විට ඔවුන්ට සුදුසු පරිදි වන්දි ලබා දී තත්ත්වය සමථයකට පත් කරගත යුතුය. අද ඇති වී තිබෙන්නේ මෙම ඉඩම් ප්‍රශ්නය මූලික කරගෙන උතුර අකර්මන්‍ය කරන්නට වෙර දැරීමකි.

සත්‍ය වශයෙන් කියනවා නම් මෙම තත්ත්වය එක් එක් ආකාර වලින් 2015 වසරේ මුල සිට අපට දැකගත හැකිවිය. යාපනයේ දෙමළ පිරිසක් අතින්ම දූෂණය කොට ඝාතනය කළ යාපනයේ විද්‍යා දැරිය සම්බන්ධයෙන් යාපනයේ විශාල නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. පාසල් සිසු සිසුවියන් පාවිච්චි කරමින් ඇතිවුණු උද්ඝෝෂණ, විද්‍යා දැරිය සම්බන්ධයෙන්ම පමණක් ඇති වුණු තත්ත්වයක් නොවන බව බුද්ධියක් ඇති සියල්ලන්ට අවබෝධ විය. එම සිද්ධියට මුවා වෙමින් දෙමළ සන්ධාන මන්ත්‍රීන් පාසල් තුළට ගොස් දේශන පැවැත්වීම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යන් පාරට ගෙනවිත් උදඝෝෂණ පැවැත්විය. එම සිසු සිසුවියන් ඔසවා සිටි බෝඩ් ලැලි වල දෙමළ භාෂාවෙන් කියවුනේ කොටි සංවිධානය සිටියා නම් තමන්ට මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු නොවන බවයි. කොටි සංවිධානය සිටියා නම් තමන්ට පාසල් ඇඳුමින් බෝඩ් අල්ලන් ඉන්නට කෙසේ වත් සිදු නොවන බවත් සිදුවන්නේ තුවක්කු උස්සන් කැළෑ තුළට වී සිටීම බව කියාදෙන්නට කිසිවෙක් සිටියේ නැත.

යහපාලන රජය 2015 දී පාලනයට ආ පසු පෙර රජය යටතේ ලංකාවට පැමීණීමට අකමැත්තෙන් සිටි ඩයස්පෝරා සංවිධාන හා ඩයස්පෝරාවේ බෙදුම්වාදී මතවාදයට පක්ෂ අය සෑහෙන ප්‍රමාණයක් උතුරට යන්නට පටන්ගත්හ. පෙර රජය විසින් තහනම් කරන ලද ඩයස්පෝරා සංවිධාන හා පුද්ගලයන් මෙම රජය මඟින් තහනම ඉවත් කර ලංකාවට පැමිණීමට හැකි තත්ත්වයක් ඇති කළේය. මෙම පුද්ගලයන් උතුරේ සිවිල් සංවිධාන ඇති කරමින් මාධ්‍ය ආයතන ඇති කරමින් රිසි සේ උතුරේ සිය දේශපාලන කටයුතු සිදුකරමින් සිටී. රාජපක්ෂ සමයේ රටින් පිටවුණු ගජේන්ද්‍ර පොන්නම්බලම් නැවත ලංකාවට පැමිණ ප්‍රසිද්ධියේ කොටි සංවිධානය වෙනුවෙන් පෙනී සිටියේය. උතුරේ කොටි සංවිධානයේ මතවාදයන් යහමින් පෝෂණය කරද්දී නෑසු කන්ව සිටින රජය සිදුකළේ රජයේ හමුදාවන් හා බුද්ධි අංශ අඩපණ කිරීමයි.


2015 මහ මැතිවරණයේ සෑම පක්ෂයක් මෙන්ම කොටි සංවිධානයත් ප්‍රභාකරන්වත් වීරත්වයට නගමින් කතා පවත්වමින් ඡන්ද හිඟාකන්නට විය. සෑම දේශපාලන වේදිකායවක්ම ලංකා රජය, ලංකා හමුදාව හා සිංහල ජනයාට විරුද්ධ කතා වලින් දෙදරන්නට විය. එන පොට හොඳ නැති බව ඒත් යහපාලන රජය තේරුම් ගත්තේ නැත. යහපාලන රජයේ ඇමතිවරියක්ම වන මහේෂ්වරන් ඇමතිනිය විසින්ම ලංකා ධජය එසවීම ප්‍රතික්ෂේප කළාය, ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වෙනුවෙන් පෙනී සිටියාය. මාධ්‍ය ඉදිරිපිටදීම ප්‍රකාශ කළේ ප්‍රභාකරන් සිටියානම් ලංකාවේ සිටි හොඳම ජනාධිපති වන බවය. ඇයට අනුවත් යහපාලන ජනාධිපති අගමැති දුර්වල අදක්ෂයෝය.

පාසල් දරු දැරියන් හමුදා කඳවුරු වට කරමින් උදඝෝෂණ රැළි පැවැත්වෙන ආකාරය සත්‍ය වශයෙන්ම අනාගතය ගැන ප්‍රශ්නකාරී තත්ත්වයක් අප හමුවේ තබනු ඇත. පාසල් ළමුන් දේශපාලන රැළි වලට යොදා ගැනීම තහනම් කරන්නට හැකියාවක් මෙම රජයට නැතිද? ප්‍රශ්න ඇති කරන ඩයස්පෝරා කල්ලි හා සංවිධාන රටින් පිටුවහල් කරන්නට තරම් හැකියාවක් මොවුන්ට නැතිද? තමන්ගේ ඉල්ලීම් ඉටු කරන්නට පසු බට වුවොත් මුළු උතුරු පළාතම අකර්මන්‍ය කරමින් හර්තාල් ව්‍යාපාරයක් ඇති කරන බවට දැනටම ලක්ෂණ පෙන්වමින් ඇත. දැනට මෙම උද්ඝෝෂන හා උපවාස වලින් සම්බන්ධන් හා සුමන්තිරන් කපටි ලෙස මෑත්ව කටයුතු කරයි. එම කටයුතු වලට තමාගේ සම්බන්ධයක් නැති බවත් පෙන්වයි. රජය පොරොන්දු වූ පරිදි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු නොකළහොත් අනිවාර්යෙයන්ම සම්බන්ධන් හා සුමන්තිරන් මෙම උද්ඝෝෂණ හා හර්තාල් රැල්ලට එකතු වනු ඇත. තමාගේ ඉල්ලීම් ඉටු නොකළ නිසා තමා ඒ සඳහා තල්ලු වූ බව සම්බන්ධන් හා සුමන්තිරන් විදේශ තානාපතිවරුන්ට පවසනු ඇත. ලබන මැයි මාසයේදී ඉන්දීය අගමැති මෝදි මහතා ලංකාවේ වෙසක් උත්සවය ඉලක්ක කරගනිමින් ලංකාවට පැමිණෙනු ඇත. ආරංචි වන පරිදි ඉන්දීය අගමැති ගේ ලංකා ගමන ඉලක්ක කරගනිමින් උදඝෝෂණ ව්‍යාපාරයක් තමිල්නාඩුවේ ඇති කිරීමට කටුයුතු කර ඇත. කිසිදා නොතිබුණු ආකාරයේ දැවැන්ත පීඩනයකට ලංකා රජය ලක් කිරීම මෙහි අරමුණ බව පැහැදිලිය. එයට මුහුණ දෙන්නට ලංකා රජයේ නායකත්වය දරමින් සිටින දුර්වල පාලකයින්ට නොහැකි බව අත්දැකීමෙන් දනිමු.

කුඩා දරුවන් උද්ඝෝෂන සඳහා යොදාගන්නා ආකාරය







මෙම ඡායාරූප ලබාගත්තේ ගෝලීය දෙමළ සන්සන්දය මඟින් බ්‍රිතාන්‍ය යේ සිට ක්‍රියාත්මක කරන මාධ්‍ය ආයතනයක් වන ටැමිල් ගාඩියන් මාධ්‍ය යෙනි. කුඩා දරුවන් දේශපාලන කටයුතු සඳහා යොදාගන්නා ආකාරය පැහැදිලිව පෙනේ.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

12/06/2016

සිංහල ජාතික සංවිධාන වල පැසසිය යුතු නව ප්‍රවේශය

කතෘ:යුතුකම     12/06/2016   No comments
-අයි.ජයතිලක-
සිංහල ජාතික සංවිධාන වල නව ප්‍රවේශය


ශ්‍රී ලංකාවේ සිංහල ජනයා වෙනුවෙනුත් පොදුවේ රට වෙනුවෙනුත් ක්‍රියාකරන දේශප්‍රේමි ජාතික සංවිධාන පසුගිය දිනවලදී ඉතා බුද්ධිමත් තීරණ දෙකක් ගෙන තිබුණි. සාමාන්‍යයෙන් දෙමළ ජාතිකවාදී/ඊළාම්වාදී ව්‍යාපාරයන්ට සාපේක්ෂව සිංහල ජාතිකවාදී ව්‍යාපාරයන් ඉතා මන්දගාමීයි. පෙර තියා අභියෝග හා තර්ජනයන් හඳුනාගැනීමටත් තමාට ඇතිවුණු අසාධාරණකම් හා ප්‍රශ්න සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට යම් මන්දගාමී ස්වරූපයක් සිංහලයන් අතරේ තිබේ. එම හේතුව නිසාම බාහිර ලෝකයා කොටි ත්‍රස්තවාදය ගැන නිවැරදි තක්සේරුවක නොමැති වූ අතරම යුද්ධයට මූලික වූ අර්බුධයේ මූලයන් ගැන නිවැරදි අවබෝධයක් විදේශ රාජ්‍යයන් තුළ තබා සිංහල පිරිස් අතරවත් නොමැතිය. අප කණගාටුවෙන් වුවත් පිළිගත යුතු සත්‍යය වන්නේ ලංකාවෙන් පිටත බාහිර ලෝකයා ලංකාවේ අර්බුධය ගැන ඇත්තේ දමිළ ජාතිකවාදී මතවාදය විසින් ඇති කළ අවබෝධයයි. මෙවන් පසුබිමක් තුළ කල් ගතවී හෝ සිංහල ජාතිකවාදී ව්‍යාපාර ඉතා නිවැරදි පියවරයන් දෙකක් ගෙන තිබිණ. ඉන් එකක් ලංකාවේ අර්බුධයේ සැබෑ මූලය අධ්‍යනය කිරීමට ගත් පියවරයි.

පසුගිය සතියේ ජාතික පුස්තකාළ ආයතනයේදී ලංකාවේ සිංහල දෙමළ ප්‍රශ්නය ගැන අධ්‍යයන ග්‍රන්ථයක් දොරට වැඩීම සිදුවිය. මහාචාර්ය එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේ ගේ මුලසුන යටතේ Tamil Eelam: The question of traditional homeland යන ග්‍රන්ථය සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා තුනෙන්ම සිංහල හඬ යන සංවිධානයක් විසින් නිකුත් කෙරිණ. මීට පෙර සිංහල භාෂාවෙන් පමණක් නිකුත්ව ඇති මෙම ග්‍රන්ථය ඉංග්‍රීසි හා දමිළ භාෂා වලට පරිවර්තනය කොට නිකුත් කිරීම කාලෝචිත පියවරකි. මෙම ග්‍රන්ථය පිළිබඳ එම පොත සම්පාදනයට මුල් වූ සුමේධ වීරවර්ධන මහතා පැවසූවේ ලංකාවේ අර්බුධය හුදු සුළු ජනවර්ග අයිතිවාසිකම් ගැටළුවක් නොව ව්‍යාජ දමිළ ඉතිහාසයක් මුල් කරගෙන ඇති වූවක් බවයි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පවතින රජයේ ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය සම්බන්ධයෙන් කටයුතු කරන අමාත්‍යවරයෙක් වන මනෝගනේෂන් මහතා ට ආරාධනා කර තිබුණු අතර එය තවත් හොඳ පියවරකි. දෙමළ භාෂා පරිවර්තනය ඒ මහතාට පිළිගැන්වූ අතරම පවතින අර්බුධයට පාදක වූ නියම හේතුන් ගැන කතිකා කිරීම යුගයේ අවශ්‍යතාවය බව ප්‍රකාශ විය. ඊළාම් වාදීන් විසින් පවසන ඊනියා දෙමළ ඊළාම් ඉතිහාසය සාක්ෂි සහගතව ඔප්පු කළහොත් ඊළම පවා දෙන්නට තමා කැමති බවත් එසේ නැතිවිට රටේ බොරු ඉතිහාසයක් මවා පා රට බෙදන්නට ඉඩ ලබා නොදෙන බවත් දේශකයන් විසින් පවසා සිටියහ. සමාජ ජාලා වල ඉතා ක්‍රියාකාරී දේශපාලකයෙක් වන මනෝගනේෂන් මහතා තමා සහභාගී වූ මෙම කෘතිය දොරට වැඩීමේ උළෙල ගැන කිසිදු තොරතුරක් සිය සමාජ ජාලා වලින් හෙළි කළේ නැති වුවත් මේ පොත පිළිබඳව තව දුරටත් ජනයා දැනුවත් කිරීමටත් මේ ගැන කතිකාවත් ඇති කිරීමට සිංහල ජාතිකවාදී සංවිධාන කැපවිය යුතුය. ඊළාම්වාදීන් විසින් මේවන විට තවදුරටත් එකතු කර ඇති ඉතිහාස කතා පිළිබඳව තවත් කරුණු එකතු කර මේ කෘතීන් සංශෝධනය විය යුතු බව මගේ පුද්ගලික විශ්වාසයයි. මෙලෙස ලංකාවේ අර්බුධයේ සැබෑ හේතුන් අධ්‍යයනය කර ඊනියා ඊළාම් ඉතිහාසය ට අභියෝග කිරීමට තැත්කිරීම සිංහල ජාතික සංවිධානයක් විසින් සිදුකළ ඉතා බුද්ධිමත් පියවරකි.

අනෙක් කාරණය වන්නේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් ලංකාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා හමුවීමට කටයුතු යොදන බවට වූ ප්‍රවෘත්තියයි. මෙය කෙතරම් දුරට සත්‍යයක් දැයි තහවුරු වී නැති වුවත් එසේ පියවරක් ගෙන ඇත්නම් එය ඉතා ප්‍රශංසනීයයි. මෙතෙක් කලක් සිංහල ජනයා බලාපොරොත්තු වූයේ ලංකාවේ විදේශ ඇමතිවරයා තම ජනකොටසත් විදේශයන් හිදී නියෝජනය කරාවි යන කාරණයයි. එය වත්මන් රජය යටතේ කෙසේවත් සිදුනොවන නිසාත් සිදුවන්නේ කොටි හිතවාදී න්‍යාය පත්‍රයට අනුව සැකසුණු විදේශ ප්‍රතිපත්තියකුත් එයටම සරිලන ද්‍රේශද්‍රෝහී විදේශ ඇමති වරයෙකුත් නිසා මෙවැනි පියවරක් ගැනීමට සිංහල ජනතාව වෙනුවෙන් කළ බුද්ධිමත් පියවරකි. මෙසේ සිංහල සංවිධාන විසින් විදේශ නායකයින් හමුවීමත් ඔවුන්ට රටේ පවතින අර්බුධය ගැන සිංහල පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමත් කළ යුතුව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. පමා වී හෝ එම කර්තව්‍යය සිදුවන්නේ නම් එය ඉතා ප්‍රශංසනීයය. වෙනත් රටවල මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇමරිකාව ඇඟිලි නොගැසිය යුතුය යන විශ්වාසයෙන් කටයුතු කරන ඇමරිකානු ජනාධිපතිවරයෙක් සිටින විට මෙසේ ඔහු හමුවී හෝ ඔහුගේ නියෝජිතයෙක් හා සම්බන්ධ වී හෝ සිංහල පාර්ශවය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමක් හා අදහස් ප්‍රකාශ කිරීමට මාර්ගයක් ඇති කරගැනීම බුද්ධිමත් පියවරකි.

එම ක්‍රියාව ඇමරිකානු ජනාධිපතිවරයා වන ට්‍රම්ප් මහතා ගෙන් නොනැවතිය යුතුය. ලංකාවේ කොටි ත්‍රස්තවාදය පිළිබඳවත් ලංකාවේ සිංහල දෙමළ අර්බුධය යනු නිදහසින් පසු ඇති වූ දෙයක් නොවන බවත් එම ගැටළුව විසඳීමේදී සිංහල ජනයාගේ පාර්ශවයේ අදහස් විමසිය යුතු බවටත් යන අදහස සම්බන්ධයෙන් මෙසේ අපට වැදගත් වන රාජ්‍ය නායකයන් දැනුවත් කර තිබිය යුතුය.

ශ්‍රී ලංකාවට පක්ෂව කටයුතු කළ විදේශ රාජ්‍ය වන චීනය, පකිස්ථානය, රුසියාව, මැලේසියාව, වියට්නාමය යන ආසියාතික රටවල් වල ලංකාවේ තානාපතිවරුන් හමුවීමත් එමඟින් ඔවුන් මේ පිළිබඳව දැනුවත් කිරීමත් ලංකාවට විරුද්ධව කටයුතු කළ ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා කැනඩාව යන බටහිර රටවල් වල නියෝජිතයින් හා සම්බන්ධ වී කරුණු දැක්වීමට අවස්ථාව සලසා ගැනීමටත් කටයුතු කළ යුතුය. ට්‍රම්ප් මහතා හමුවූ ලෙසම ඉන්දියානු රජයේ විදේශ ඇමතිනිය වන සුෂ්මා සුවරාජ් මහත්මියද හමුවී මේ පිළිබඳව දැනුවත් කිරීම ඉතා වැදගත්ය. ලංකාවේ රජයට මේ සම්බන්ධව බලපෑම් කිරීමට හැකි ප්‍රබලම රාජ්‍යය ඇමරිකාව නොව ඉන්දියාවයි. ඉන්දියාවේ වත්මන් විදේශ ඇමතිනිය සුෂ්මා සුවරාජ් හමුවීමට අවස්ථාවක් ලබාගෙන හෝ මෙසේ සිංහල පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව ටිකෙන් ටික ගොඩනගා ගත යුතුය. එක් එක් විදේශයන් හි නියෝජිතයන් කෙසේ කුමන ආකාරයකින් කටයුතු කරයිද යන්න පෙර සිට සිතා බලා ප්‍රබල රටවල් තෝරාගෙන ඒ ඒ රටවල් වෙනුවෙන් වෙන වෙනම සැලසුම් සකසා ගෙන කටයුතු කළ යුතුය. එලෙසම ඊළාම්වාදීන් කෙරෙහි යම් අනුකම්පාවක් දක්වන අයර්ලන්ත ජනයා පවා දැනුවත් කළ යුතුය. අයර්ලන්ත දේශපාලකයින් ට ලංකාව ගැන ඇත්තේ දමිළ අන්තවාදීන් විසින් නිර්මාණය කරන ලද ලංකාව ගැන දැක්මකි. එයට හේතුව අයර්ලන්ත ජාතිකයනුත් බ්‍රිතාන්‍යය සමඟ යුද්ධයක් ඇති කරගෙන පසුව සාකච්ඡා මඟින් එය සමථයකට පත්කර ගත් ජනකොටසකි. ඔවුන් ලංකාව පිළිබඳව සිතන්නේ එ‍ලෙසයි. අප්‍රිකාව හා ලතින් ඇමරිකාව යන රටවල් වලට පවා ලංකාවේ ඇති ප්‍රශ්නය පිළිබඳව ඔවුන්ගේ නියෝජිතයන් දැනුවත් කර ලංකාවේ කොටි ත්‍රස්තවාදය ගැනත්, සිංහල ජනයාට සිය නිජභූමිය අහිමි වන ආකාරය ගැනත් ඊළාම්වාදීන් ප්‍රචාරය කරනා ලෙස ලංකාවේ දමිළ සංහාරයක් හෝ මර්ධනයක් සිදුනොවන බවත් ඔවුන් වෙනත් ශ්‍රී ලාංකිකයන් ලෙස සම අයිතිවාසිකම් භුක්ති විඳිමින් ජීවත් වන බවත් පෙන්වා දිය යුතුය. වෙනත් අයුරකින් කිව හොත් යුද්ධය අතරතුර හා ඊට පසුව කොටි සංවිධානයත් ඔවුන්ට අනුබද්ධිත ප්‍රචාරක කණ්ඩායම් විසින් සිදුකළ ප්‍රචාරයන්ට පිළිතුරු දීමට අප දැන්වත් පියවර ගත යුතුය.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/28/2016

මහින්ද නිවැරදි නායකත්වය දුන්නේ යුද්ධයට පමණක් නොවේ

කතෘ:යුතුකම     11/28/2016   No comments

-අයි ජයතිලක-
මහින්ද රාජපක්ෂ කියන නාමය අපේ රටේ ගොඩක් අය සම්බන්ධ කරන්නේ යුධ ජයග්‍රහණය සම්බන්ධවයි. ඒ කාරණයේ කිසි වැරැද්දක් නැහැ. ලංකාවේ යුද්ධය සාර්ථකව නිමා කළ නායකයා ඔහුයි. නියාමාකාරයෙන් යුද්ධය සිදුකළේ ඔහු විසින්. 1980 මුල් කාලයේ ඉඳන් පැවති යුද්ධය රාජ්‍ය නායකයන් පස් දෙනෙක් යටතේ ක්‍රියාත්මක වුණත් ඒ අතරින් යුද්ධයට දක්ෂතම නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන කාරණය අවිවාදිතයි. කවුරුන් හෝ එහෙම නොවේ යයි කියනවා නම් එය තනිකර දේශපාලන පක්ෂ කරේ තියාගැනීම නිසා ඇති වුණු කුහක කමකි. ඒ ජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයෙන් ෆොන්සේකා කරන්නාගොඩ හා රොශාන් ගුණතිලක කියන චරිත වලින් වුණ සේවය ගැන වෙනම කතා කළ යුතුයි.ඒ කෙසේ වුවත් යුද්ධය නිමා කළේ නැත්තම් යුද්ධය සාර්ථකව සිදුකළ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ පමණයි.

මහින්ද රාජපක්ෂ විසින් රටට සිදුකළ වැඩිය අපේ අවධානය යොමු නොවන තවත් ජයග්‍රහණයක් තිබුණි. වසර 30 ක් තිස්සේ ඇදුණු යුද්ධයේදි ලංකාවේ රජයන් කිහිප වරක්ම කොටින් සමඟ සටන් විරාම පවත්වාගෙන සාම සාකච්ඡා පවත්වා තිබුණි. ඒ සෑම සටන් විරාමයක්ම සාම සාකච්ඡාවක්ම අවසාන වූයේ කොටි ත්‍රස්තයින් දේශපාලන හා හමුදාමය වශයෙන් තවදුරටත් ශක්තිමත් වීමෙන් පසුවයි. මේජර් ජෙනරල් කමල් ගුණරත්න ගේ රණබිම ඔස්සේ නන්දිකඩාල් පොතින් හෙළි කරන කරුණු අනුව සාම සාකච්ඡා වලින් අනතුරුව කොටින් ශක්තිමත් වූ ආකාරය පැහැදිලිව විස්තර කර තිබේ. 80 දශකයේ මුල් කාලයේදී හමුදාවට සැඟවී සිට පහරදෙමින් සිටි කොටි සංවිධානය, තිම්පු සාකච්ඡා අවසානයේ දී යාපනයේ කඳවුරු පවත්වා ගැනීමත් ප්‍රේමදාස සාකච්ඡා අවසාන වන විට මුළු යාපනයම කොටින් අතට ගැනීමත් චන්ද්‍රිකා සමඟ සාකච්ඡා අවසාන වන විට වන්නිය කොටින් ගේ ග්‍රහණයට පැමිණි ආකාරයත් රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදී මුළු ත්‍රිකුනාමලය වරායත් අවසානයේ යාපනයත් සිය ග්‍රහණයට ගැනීමට කොටින් උත්සාහ කළ ආකාරයත් පැහැදිලිය. අවසාන වශයෙන් කියනවා නම් සාම සාකච්ඡා නිවැරදිව මෙහෙයවන්නට සැහෙන දක්ෂතාවයක් කොටින් විසින් දක්වා තිබුණි. මහින්ද රාජපක්ෂ මුලින්ම වෙනස් කළේ එයයි. මහින්ද රාජපක්ෂ යනු යුද්ධය සාර්ථකව නිම කළ නායකයා පමණක් නොව සාර්ථක ලෙස සාම සාකච්ඡා පැවැත්වූ එකම නායකයායි.

කොටි සංවිධානය විසින් සාම සාකච්ඡා පවත්වන අතරතුරදී ලංකාවේ හමුදාවට පහර දීම, නායකයින් ඉලක්ක කිරීම පුරුද්දක් ලෙස කළහ. රනිල් වික්‍රමසිංහ විසින් කොටින් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කළ දිනට කලින් දිනයේද කොටින් විසින් නාවික හමුදා යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර තිබිණි. නමුත් එයින් රනිල් වික්‍රමසිංහගේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත, කොටින් පිළිබඳ වූ අචල විශ්වාසයකින් ඔහු යුක්ත විය. චන්ද්‍රිකා හා කොටි අතර සාම සාකච්ඡා පවත්වන සමයේදී ලංකාවේ සාගරවර්ධන නැවට ප්‍රහාර එල්ල කර එහි කපිතාන් ඇතුළු කිහිපදෙනෙක් සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත්හ. ඒ කොටි සංවිධානය විසින් සාම සාකච්ඡා සිදුකළ ආකාරයයි. කිසිදු නායකයෙක් එහිදී කොටින්ට පිළිතුරු දෙන්නට ගියේ නැත. පිළිතුරු දෙන්නට කොන්දක් තිබ්බේද නැත. මහින්ද රාජපක්ෂ වෙනස් වන්නේ එහිදීය.

මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ රජය විසින් අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම නාමිකව ක්‍රියාත්මක වන කාලයේදීය. ඒ වන විට රටේ විදේශ අමාත්‍යවරයා වන කදිරගාමර් මහතාව කොටි සංවිධානය විසින් ඝාතනය කර තිබිණ. විදේශ අමාත්‍ය වරයා ඝාතනය කළත් “ඉවසීමෙන් යුතුව සාම සාකච්ඡා වල නියැලෙන්න..” ජාත්‍යන්තරයෙන් අපට ලැබුණු උපදේශය එයයි. තම රටේ විදේශ ඇමතිවරයා ඝාතනය කළ මිනි මරු සංවිධානයකගේ ත්‍රස්තවාදය වෙනත් රටක් නම් කෙතරම් දුරට ඉවසයිද? ලංකාවට නම් කොටි ත්‍රස්තවාදය ඉවසීමත් කොටින්ව සීමාවක් නැතිව විශ්වාස කිරීමේත් එසේ විශ්වාස කිරීම නිසා රටේ වැසියන් ගේ වටිනා ජීවත විනාශ කරගැනීමේත් සීමාවක් තිබුණේ නැත. ඒ වන විට පැවතියේ තමන්ගේ ජනතාවගේ ජීවිතය ගැන කිසිම වටිනාකමක් නැති කැක්කුමක් නැති කොටින්ට යටත් වෙන නපුංසක පාලන ක්‍රමයකි. සුදු මහත්තුරුන් හෝ ඉන්දියානුවන් හෝ කියනවා නම් රටේ ජනතාවට කුමක් වුවත් ප්‍රශ්නයක් නැත පිටරැටියන් ගේ ඉල්ලීම් ඉටු කිරීම පැවති ලංකා රජයන් ගේ ප්‍රධාන කාර්යය වේ. මහින්ද රාජපක්ෂ තිත තිබ්බේ එම පාලන ක්‍රමයටයි. ඒ නිසා 2005 දී මහින්ද රාජපක්ෂ ගේ ආගමනය හුදු නායකත්ව වෙනස් වීමක් පමණක් නොව ක්‍රමයේම වෙනස් වීමකි.

වසර 40 ක දේශපාලන අත්දැකීමක් සහිත වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටින් හෝ පරාධීන කොළඹ කල්ලිය සිතූ තරම් මෙල්ල කරන්නට ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවිණි. බලයට ආ සැණින් සටන් විරාම ගිවිසුම හෝ සාම සාකච්ඡා කඩා කප්පල් කළේ නැත. එසේ කිරීම දේශපාලනික වශයෙන් අනුවණ කමක් බව ඔහු දැනසිටියේය. බලයට පැමිණි සැණින් නෝවේ 'ගැන්සිය' එලෙව්වේත් නැත. එසේ කළා නම් ඇමරිකානු රජය ඇතුළු මුළු බටහිරයම තමාට එරෙහි වන බවත් කොටි සංවිධානයට පක්ෂ ස්ථාවරයකට යන්නට පෙළඹිය හැකි බවත් ඔහු අවබෝධ කරගත්තේය. ලංකාවේ පවතින ගැටළුවට කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීම නොකළ යුතු බව බටහිරයේ පැවති මතයයි. එනිසා ඔහු අනුගමනය කළේ බුද්ධිමත් පිළිවෙතකි.

සාම සාකච්ඡා මෙලෙස ඉදිරියට ගෙන යන්නට තමන් කැප වෙන බවත් සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳුමකට යන්නට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ රජය පුන පුනා ජාත්‍යන්තරයට පැවසූයේ එබැවිණි. එමෙන්ම කොටි සංවිධානය තමාට ප්‍රහාර එල්ල කරනා විට ඊට ප්‍රතිප්‍රහාර දෙන්නට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය. කොටින් විසින් මහින්ද රාජපක්ෂ රජයේ නියම ස්වරුපය තේරුම් ගත්තේ ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමත් සමඟය. සාම සාකච්ඡා හා සටන් විරාම ගිවිසුමක් පවතින අතරතුරදී සුපුරුදු පරිදි රජයේ ප්‍රධානීන් ඉලක්ක කරමින් යුධ හමුදාපති ෆොන්සේකා මහතාට අසාර්ථක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. මෙවර ලංකා රජයේ ප්‍රතික්‍රියාව වෙනස් විය. වසර ගණනාවක් තිස්සේ කොටින්ගේ මෙවැනි නින්දිත අපහාසාත්මක ප්‍රහාර සටන් විරාම සමයකදී සිදුවන විට හුදු ප්‍රකාශයකින් හෙළා දැක බටහිර ලෝකයා හමුවේ සිය දුක ප්‍රකාශ කරන ලංකා රජයට වෙනත් කරන්නට දෙයක් තිබුනේ නැත. සුපුරුදු ලෙස එම සිද්ධිය හෙළා දකින බටහිරය නැවතත් සාම සාකච්ඡා පටන් ගෙන දේශපාලන විසඳුමක් ලබාගන්නා ලෙස උපදෙස් දෙයි. මෙම නපුංසක ක්‍රමයේ වන්දිය ගෙවන්නට වූයේ රටේ ජනතාවටයි.

මහින්ද රජය මෙහිදී වෙනස් විය. සටන් විරාම සමයේදී හෝ තමන්ට ප්‍රහාර එල්ල කරනවා නම් තමන් ප්‍රතිප්‍රහාර දෙන්නට පසුබට නොවන බවත් ඒ සඳහා තමාට අයිතිය ඇති බවත් ජාත්‍යන්තරයේ ප්‍රකාශ කළේය. ෆොන්සේකාට බෝම්බ ගැසූ කොටි සංවිධානයේ ඉලක්ක සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවත් ගුවන් හමුදාවත් ප්‍රහාර සිදුකළහ. කිලිනොච්චිය, මුතුර්, වාලච්චේන අවට ගුවන් ප්‍රහාර සිදුවූයේ කොටි සංවිධානයේ සියළු සටන් විරාම උල්ලංඝනයන්ට තමන් පිළිතුරු දෙන බව පෙන්වමිනි. ඒ සියල්ල සිදුකරමින් තම රජය සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන බවත් සාම සාකච්ඡා සඳහා කැපවෙන බවත් ප්‍රකාශ කරන්නට තරම් මහින්ද රජය බුද්ධිමත් විය. 1980 දශකයේ මුල්කාලයේ සිට සියළු රජයන් නැටවූ කොටි සංවිධානයට ගැලපෙන පාලකයෙක් ප්‍රථම වරට දකුණේ සිටියේය. ‘හොඳට හොඳයි නරකට නරකයි’ මහින්ද රාජපක්ෂ කොටින්ට ඉගැන්වූ පාඩම එයයි. (යුතුකම වෙබ් අඩවියේ පළ වූ මේ පිළිබඳ සටහනක් : "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය ) සියළු කොටි ප්‍රහාර වලට සටන් විරාම සමයේදීම පිළිතුරු ලැබිණ. ගුවන් හා නාවික ප්‍රහාර එල්ල කළේ සාම්පූර් අවට ඉලක්ක වෙතයි. ත්‍රිකුණාමල වරාය ආරක්ෂා කිරීමත් කොටින් විසින් රනිල් රජය කාලයේදී ඇති කළ කොටි කඳවුරු විනාශ කිරීමත් සිදුවිය.
කොටි සංවිධානය විසින් සිය ග්‍රහණයට ගත් මාවිල් ආරු සොරොව්ව නිදහස් කරගන්නට හමුදා ප්‍රහාර ක්‍රියාත්මක කළේ සටන් විරාම සමයේදීමය. තමන්ට හමුදා ප්‍රහාරය මර්ධනය කරන්නට නොහැකි බව තේරුම් ගත් කොටි සංවිධානය සටන් විරාම නිරීක්ෂණ කණ්ඩායම සමඟ සාකච්ඡා පවත්වා සොරොව්ව විවෘත කිරීමට එකඟ විය. නමුත් එය නැසූ කන්ව සිටි මහින්ද රජය සොරොව්ව විවෘත කරන බවට කොටි පැවසූ විටත් යුධ මය ක්‍රියාන්විත සිදුකර මාවිල් ආරු සොරොව්ව හමුදා ග්‍රහණයට ගෙන විවෘත කරගත්තේය. එය සොරොව්ව සම්බන්ධ කාරණාවක් ම වූයේ නැත. ත්‍රිකුණාමල වරාය ආරක්ෂා කර ගැනීමට මෙම ප්‍රදේශයේ බලය ලබා ගැනීම අවශ්‍ය විය. මූලික මිනිස් අයිතිවාසිකමක් වූ ජලය පිළිබඳ ප්‍රශ්නය මතුකර එම ප්‍රදේශය සටන් විරාමයක් පවතින කාලයේදීම සිය ග්‍රහණයට ගැනීමට තරම් මහින්ද රජය බුද්ධිමත් විය.

යුද්ධයට අවශ්‍ය ඉන්දියානු සහයෝගය ගොඩ නගා ගනිමින් හමුදාවන් ශක්තිමත් කරමින් යුද්ධය සඳහා ලංකා රජය සූදානම් වූයේ සාම සාකච්චා පවත්වමින් නෝවෙ කාරයාවත් ජාත්‍යන්තරයත් අන්දමිනි. ලංකා රජය යුද්ධමය වශයෙන් කොටි සංවිධානය විනාශ කරන්නට යන බවත් එය කිරීමට ඔවුන්ට ශාක්‍යතාවය ඇති බවත් නෝවේත් ජාත්‍යන්තරයත් තේරුම් ගන්නා විට කාලය ගතවී අවසානය. රාජපක්ෂ රජය නැවැත්වීමට ඔවුන්ට හැකියාව නොතිබුනි. 2008 වන තෙක් සාම සාකච්ඡා සිදුරන බවත් සටන් විරාමය ආරක්ෂා කරන බවත් කියමින් මහින්ද රජය කොටි සංවිධානය දුර්වල කර පරාජය කරන්නට අවශ්‍ය සියල්ල කළේය. මෙතෙක් පෙර පැවති සාම සාකච්ඡා වලදී ප්‍රභාකරන් විසින් ලංකා රජයට සිදුකළ දේම මහින්ද රාජපක්ෂ විසින් සිය ධූර කාලයේදී කොටින්ට සිදුකළේය. සෝල්හයිම් ඇතුළු නෝවේ රාජ්‍යය මහින්ද රාජපක්ෂටත් ඔහුගේ රජයටත් දැඩි සේ වෛර කරන්නේ එම හේතුව නිසාය.

මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ බිහිවූ දක්ෂතම දේශපාලකයායි. ඔහු ගේ දක්ෂතාවය වඩාත්ම කැපී පෙනුනේ සටන් විරාම හා සාම සාකච්ඡා සමයේදී බව මගේ හැඟීමයි. ඔහු විසින් අති දක්ෂ ලෙස නෝවෙ කුමන්ත්‍රණකාරයින් පරදා ‘ජාතන්තරයත්’ ඇතින් තබාගෙන චීනයේ හා පකිස්ථානයේ සහායත් ගෙන ඉන්දියාවත් කළමණාකරණය කරගෙන යුද්ධය ජයග්‍රහණය කිරීම ම ඔහුගේ දක්ෂතාවයට සාක්ෂියකි. මේ පිළිබඳව අවශ්‍ය ලෙස සංවාද ඇතිවූයේත් ලිපි පළවූයේත් නැත. හෙළ උරුමය වැනි පක්ෂ වලට තමන් මහින්දව කනෙන් ඇදන් යුද්ධය කරන්න දක්කා ගෙන ගියා වැනි බොළඳ ප්‍රකාශ වලට රටේ මුග්ධ ජනයා රවටා ගන්නට හැකි වූයේ එබැවිනි. මේ සටහන ලියන්නේ ලංකාවේ සිටින දේශපාලනයේ ගෝඩ් ෆාදර් වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වන උපන්දිනය සපුරන විට ඔහුට සුභ උපන්දිනයක් පතමිනි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/12/2016

උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ ද?

කතෘ:යුතුකම     11/12/2016   No comments
-අයි ජයතිලක-'උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ'
මෙසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතායි. යහපාලන රජයේ කොටස් කරුවන් හවුල් කරුවන් කොතරම් නැහැයි කීවත් ඒ බව විග්නේෂ්වරන්ම ඔප්පුකර හමාරයි.

උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා අපේ රටේ නිතරම පුවත් මවන්නෙක්. එදා ජනසංහාර යෝජනා ලංකාවටම එරෙහිව ගෙන ආ අතර ඉතා මෑතක දී දහස් ගණක ගේ සහභාගීත්වයෙන් එලගු තමිල් රැළියක් පවත්වා පවතින යතාර්ථය තේරුම් ගත නොහැකි රැළි වලට ගසා ගෙන යන සිංහල ප්‍රජාවට ටොක්කක් ඇණ ප්‍රාකෘත තත්ත්වයට තාවකාලිකව හෝ ගෙන ආවේය. 2016 නොවැම්බර් වෙන විට විග්නේෂ්වරන් තවත් ප්‍රශ්නකාරී ප්‍රකාශයක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කළ නොහැකියි, ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි. උද්ඝෝෂණයේ නියුතු ආබාධිත රණවිරුවන් ට රජය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ සිද්ධියත් සමඟ විග්නේෂ්වරන් සම්බන්ධ මෙම ඉතා මතභේදාත්මක ප්‍රකාශය ට ලැබිය යුතු අවධානය සමාජයේ ලැබේ දැයි ප්‍රශ්නයකි.

විග්නේශ්වරන් ගේ වචනයෙන් කියනවා නම් ඔහු කියා ඇත්තේ The international community needed to intervene in the incidents taking place in the Northern Province as the government was no longer in control, Northern Province Chief Minister C.V. Wigneswaran said. ඔහුට අනුව ශ්‍රී ලංකා රජයට උතුර පාලනය කර ගත නොහැක. එය ඔහුගේ අදහසයි. රටේ වගකිව යුතු මහ ඇමති වරයා වශයෙන් ඔහු හැසිරෙන ආකාරය අනුව පෙනී යන කාරණය වන්නේත් පවතින රජයට උතුරේ මහ ඇමති පාලනය කරගත නොහැකි බවයි. ඔහු මේ ප්‍රකාශය කරන්නේ ලංකාවේ දී නොවේ. එක්සත් රාජධානියේ සංචාරයකට ගොස් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වූ බ්‍රිතාන්‍ය යේ රාජ්‍ය ඇමති ඉදිරිපිටයි. ඔහු විසින් තව දුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන (දේශපාලන) විසඳුම් උතුරු පළාතේ අයට පිළිගත නොහැකි බවයි. ඔහු මේ ඉඟි කරන්නේ ලංකාවේ රජය විසින් ගෙනෙන්නට නියමිත දේශපාලන විසඳුම සහිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. පවතින රජය බෙදුම්වාදී වුවමනාවන්ට කෙතෙක් කන් දුන්නත් ඔවුනේ ඉල්ලීම් නොපිරිහෙලා ඉටු කළත් ලංකාවේ රජය විසින් ලබාදෙන විසඳුමක් තමා පිළිගන්නේ නැති බවත් එය ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිව ඉදිරිපත් විය යුතුයි යන්න නොවේද මොහු අදහස් කරන්නේ? පවතින රජය ගිය වසරේ ජිනීවා හිදී ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තාව පිළිගෙන ඇමරිකානු යෝජනාවට සහාය දක්වා ඒ අනුව හයිබ්‍රිඩ් අධිකරණ ඇති කිරීමට පොරොන්දු විය. ඒ පොරොන්දු ලංකාවේ මහ පොළව මත දකුණේ ජනයාගේ විරෝධය මර්ධනය කරමින් ඉටු කරන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විහින්ම උගුලේ වැටුණු රනිල් - සිරිසේන රජය ට ඉදිරියේදී මේ සම්බන්ධව මහා අභියෝගයකට මුහුණ දෙන්නට වෙනු ඇත. විග්නේෂ්වරන් කියන පරිදිම ලංකා රජය විසින් කරන යුධ අපරාධ පරීක්ෂණ හා දේශීය යාන්ත්‍රණ ගැන ඔහුට කිසිදු විශ්වාසයක් නැත. ජාත්‍යන්තර යේ සහභාගිත්වයෙන් යුතු යාන්ත්‍රණයක් ඔහුට අවශ්‍යමය. එම ඉල්ලීම් ඉටු කළේ නැති වුවහොත් කරන්නේ කුමක් ද යන්න ඔහු පවසා නැත. නමුත් පෙර දිනක එලගු තමිල් රැළි කඩ වසමින් සිදුකළ හර්තාල් ව්‍යාපාර වලින් පෙන්නුම් කළේ ඔහුගේ ශාක්‍යතාවයයි. තමාට අවශ්‍ය දේ සිදු නොවුවහොත් මුළු උතුරම අස්ථාවර කරන්නට ඔහු කටයුතු නොකරයිද?

2015 ජනවාරි 8 වෙනි දින යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ රජය පරාජය කොට වඩා හොඳ සංහිඳියාවක් ඇති කරනවා යයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්විය. සිරිසේන මහතා පත්වී වැඩි කලක් යන්නට කලින්ම විග්නේශ්වරන් සිදුකළේ ලංකාවට එරෙහිව ජනසංහාර යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර මුළු මහත් රටත් රජයත් අපහසුතාවයට පත් කිරීමයි. මෙම යෝජනාවට අනුව ලංකාවේ දමිළ ජනයා 1948 සිට සංහාරයට ලක් වන බවයි. මෙම යෝජනාවේ ඇති විශේෂත්වය නම් 2015 ට පෙර මහින්ද රජයක් පැවති සමයේදී ද පළාත් සභාවේ සිටි සිවාජිලින්ගම් විසින් මෙම යෝජනාව ගෙන ආ විට එය සැර වැඩි යයි එහි ජනසංහාර යන වචනය ඉවත් කර ඇත්තේ මේ විග්නේෂ්වරන් මහ ඇමති වරයා වීමයි. 2015 ට පෙර හොඳ නැති වුණු ජනසංහාර යන වචනය 2015 දී අළුත් රජයක් පත් වූ විගසම විග්නේෂ්වරන්ට හොඳ වූවේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. සිදුවන සියල්ල දෙස හොඳින් බලාසිටින්නෙකුට පැහැදිලි වන කරුණ නම් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මෙවැන්නක් කිරීමට යම් බයක් අදිමදි කිරීමක් විග්නේෂ්වරන්ට තිබුණි. සිරිසේන-රනිල් යුගලය බලයට ආ සැණින් එවැනි පාලනයක් නැති බව ඔහු තේරුම් ගත්තේය. ඔහු නිවැරදිය. කොයි තරම් රතු ඉර පැන්නත් ඔහුට දේශපාලනික වශයෙන් දඬුවම් කිරීමට පවතින රනිල් රජය කටයුතු කළේ නැත. 2001-4 සටන් විරාම සමයේදී ප්‍රභාකරන් ඉදිරිපිට දැක්වූ නිවට නියාළු බයාදුකම රනිල් වික්‍රමසිංහ විසින් විග්නේෂ්වරන් වෙතත් දක්වයි.

රටක ආන්ඩුව කරන නායකයා හෝ නායකයින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් ඇතිව වැඩකරන පළාතක නායකයින්ට බයේ වැඩ කටයුතු කිරීම එතරම් සුභ නැත. මෙයින් විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්න වත් සැණින් පළාත් සභාව විසුරවන්න වත් අදහස් නොකෙරේ. නමුත් මෙලෙස සිදුකරන හිතුවක්කාර ජාතිවාදී ක්‍රියා වලට දඬුවමක් ලෙස විග්නේශ්වරන් දේශපාලනිකය කොන් කිරීමක් දේශපාලනිකව දඬුවම් කිරීමක් සිදු නොකිරීම නිවට කමක් පමණක් නොවේ නැවත නැවත එම වැරැද්ද කිරීමට විග්නේෂ්වරන් පෙළඹවීමකි.

විදේශයේ සිට එන විදේශ නියෝජිතයන් හිතු හිතු පරිදි උතුරේ මහ ඇමතිවරයා හමු වීමට යයි. දකුණු පළාතේ මහ ඇමති හමුවීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමති, එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නිතර යන එනවා අසා තිබේද? මෙම ගමන් නතර කිරීමට සීමා කිරීමට ලංකාවේ රජයට හොඳින්ම හැකියාව ඇත. වැරදි එක පිට එක කරන ලංකාවේ රජය මායිම් නොකර විග්නේෂ්වරන්ට විදේශ නියෝජිතයන් හිතු පරිදි හමුවීමට ඉඩ දීම ඔහුගේ වැරදි වලට දේශපාලනික දඬුවම් දීමක් නොව ත්‍යාග ලබා දීමකි. ඔහුට හිමි නැති තත්ත්වයක් ලබා දීමකි.

විග්නේෂ්වරන් ඉහත කී ප්‍රකාශය කරන්නේ විදේශ නිලධාරියෙක් ඉදිරිපිට වීමත් වැදගත් කාරණයකි. විග්නේෂ්වරන් විසින් සීමාව පැනීමේ සීමාවක් නැතිවා සේම ඒ සියළු ක්‍රියාවන් මධ්‍ය යේ ශ්‍රී ලංකා රජය නිවට නියාළු ස්වරුපයෙන් කටයුතු කිරීම පමණක් නොව තව තවත් දේශපාලන තෑගි ලබා දීමේ සීමාවකුත් නැත.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වී සිරිසේන-රනිල් යුගලය බලයට ඒමත් සමඟ විග්නේෂ්වරන්ට කොහේවත් නොතිබුණු බලයක් ලැබුණු බව පවසන්නේ මහින්දවාදීන් පමණක් නොවේ, ඇතැම් දෙමළ ජාතිකයන් ද පවසයි. පොයින්ට් පෙඩ්‍රෝ හි සංවර්ධන අධ්‍යන ආයතනයක් පවත්වාගෙන යන මුතුක්‍රිෂ්ණ සරවනාතන් මහතාට අනුව මහින්ද රජය ඉවත් වූ සැණින් විග්නේෂ්වරන් අධි ක්‍රියාෂීලි විය. එපමණක් නොව ඔහු ගැන වැදගත් තොරතුරක්ද ඒ මහතා සඳහන් කරයි. දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කොටි නියෝජිතයෙකු වෙන පුද්ගලයෙක් විග්නේෂ්වරන් ගේ නැයෙක් වේ. එවකට සටන් විරාම කාලයේදී කොටි ඔත්තුකරුවෙක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයක කොළඹ කාර්යාලයේ සේවය කළ මෙම කොටි නියෝජිතයාව උතුරු පළාත් සභාවේ උපදේශකයෙක් වශයෙන් පත්කර ගැනීමට අවශ්‍ය විය. නමුත් එවකට 2014 දී පැවති රජය එය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2015 වසරේදී ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය යේ සංචාරය කළේ මෙම පුද්ගලයා සමඟයි. එහිදී මෙම පුද්ගලයා සිය උපදේශකයා යයි හඳුන්වා දී ඇති අතර වත්මන් රජය විග්නේෂ්වරන් ගේ ඉල්ලීම පිට මෙම කොටි නියෝජිතයාට ලංකා පුරවැසිභාවය ලබා දී තනතුරු වලට පත්කිරීමට ඉඩ දුන්නාද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ නම් දඟකාර හිතුවක්කාර විග්නේෂ්වරන්ට ලංකා රජයෙන් ලැබුණු තවත් තෑග්ගක් ද?

පසුගිය ඔක්තෝම්බර් හිදී විග්නේෂ්වරන් විසින් එක්සත් රාජධානියට ගොස් එංගලන්තයේ කිංග්ස්ටන් නගරයත් යාපනය නගරයත් අතර ට්වයිනින් ගිවිසුමක් අත්සන් කර ඇත. පළාත් අමාත්‍යවරයෙක් විසින් මෙවැනි ගිවිසුමකට අත්සන් තැබීම කෙතරම් ප්‍රඥා ගෝචරද යන්න වෙනම කතාවකි. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ බවත් විග්නේෂ්වරන් විසින් පැවසීය. රනිල් වික්‍රමසිංහ යනු කොටි සංවිධානයට අධි බලැදි සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන් දුර දිග නොබලන කෙනෙකි. කොටි සංවිධානයට අධි බලැති සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන්නා පමණක් නොව නෝවෙ රජය හා එක්වී කොටි සංවිධානයට ලංකා රජයට අයත් විය යුතු බදු ද නොගෙවා සිටීමට ක්‍රමයක් සලසා දුන්නේය. රටට එරෙහිව ජනසංහාර යෝජනා සම්මත කරන කොටි සංවිධානය සමරණ හා ලංකා රජයට අභූත චෝදනා එල්ලකරමින් එලුග තමිල් රැළි පවත්වන පුද්ගලයාට ලබා දෙන්නේ දේශපාලන දඬුවම් නොව ත්‍යාගයි. සිය හැසිරීම ඉදිරියේ කරගන්නට දෙයක් නැති දුර්වලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය හුරේ දානවා නම් විග්නේෂ්වරන් සිය කොටි නාඩගම් නවත්වයිද?

අවසාන වශයෙන් කිය හැක්කේ විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය ඇමතිනිය ඉදිරිපිය කියන කතාව සැබෑය. පවතින රජයට උතුර පාලනය කර ගත නොහැකිය. උතුර පමණක් නොව නැගෙනහිර ද පාලනය කරගන්නට හැකි දැයි පසුගිය දිනක නැගෙනහිර පළාත් අමාත්‍යවරයා විදේශ තානාපති කෙනෙක් ඉදිරිපිට ජනාධිපතිවරයාව නියෝජනය කරන ආණ්ඩුකාරවරයාටත් එතැන සිටි නාවික නිලධාරියාටත් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළ සිද්ධියෙන් ගැටළු මතුවේ. පවතින රජයට උතුරු පළාතත් විග්නේෂ්වරන්වත් පාලනය කළ නොහැකිය. ඒ අතරම මෙම පාලනය කළ නොහැකි පුද්ගලයන් දරණ තනතුරු වලට ඇති බලතල වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ පවතින රජයට තම තමන් වත් පාලනය කරගන්නට නොහැකි නිසාද?

උතුරු පළාත් මහ ඇමති විසින් සිදුකළ ක්‍රියා

1. රජයට හා රටට විරුද්ධව ජනසංහාර යෝජනාවක් ගෙනවිත් සම්මත කිරීම .
2. එම සම්මත කළ යෝජනාව ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාට භාර දීම .
3. කොටි සංවිධානයේ මිය ගිය වුන් මැයි 18 වන දින මුලතිව් හිදී සැමරීම
4. ලෝක බැංකු නියෝජිතයන් හමුවී උතුරු පළාතට ආධාර කෙළින්ම තමාට ලබාදෙන ලෙස පැවසීම .
5. ශ්‍රී ලංකාවේ මුළු ඉතිහාසයම වැරදි බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දමිළ ජාතිකයන් බවත් පැවසී
ම.
6. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කර කොන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවත් පැවසීම. එය ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමකි .
7. ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුධ අපරාධ චෝදනා වලට ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බවට පළාත් සභාවේ යෝජනාවක් සම්මත කිරීම.
8. ශ්‍රී ලංකා රජය 1948 සිට දෙමළ ජනවර්ගයට එරෙහිව ජනවාර්ගික සංහාරයක් කරන බවට පෝස්ටර් ඔසවා ගෙන 8000 ක පිරිස් බලයකින් යුතුව එළුග තමිල් රැළි පැවැත්වීම. මෙය නවත්වන්නැයි රජය පාර්ශවයෙන් ඉල්ලීම් ඇති වුවත් ඊට මොහු සවන් නොදුන් බව පැවසේ .
9. බ්‍රිතානයේ නගරයක් සමඟ ට්වයිනින් ගිවිසුමක් අත්සන් කිරීම.
10. බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෙක් ලංකාවට පැමිණි විට ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කරගන්නට නොහැකි බවත් ඒ නිසාම ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවත් පැවසීම.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

10/11/2016

විග්නේෂ්වරන් ලබා දෙන අවස්ථාව අප දෝතින්ම අල්ලා ගත යුතුය.

කතෘ:යුතුකම     10/11/2016   No comments
-අයි.ජයතිලක-
"දැනට අවුරුදු 2000ට කලින් ඉඳන් ලංකාවේ හිටියේ දෙමළ ජනතාවයි, සිංහල අය ඊට පසුවයි ඇති වුණේ. "
මේ පහුගිය දිනවල පුවත්පත් වල පළවූ සිංහල සමාජයේ කතාබහක් ඇති කළ සංවාදයක කොටසක්. ඒ කතාව කළේ ලෙහෙසි පහසු කෙනෙකු නොව අපේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වෙන වත්මන් උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් මහතා විසිනුයි. විග්නේෂ්වරන් මහතා උතුරු පළාතේ මහ ඇමති ධුරයට තරඟ කරන්නට ඉදිරිපත් වෙන විට අන්තවාදී නොවන දෙමළ පිල නියෝජනය කරන සාමයේ දූතයා බලයට ඒ මක් යැයි එවක බහුතර සිංහල පිරිසක් අවංකවම අදහස් ප්‍රකාශ කළ බව මට මතකයි. ඒ වුණත් ඒ බලාපොරොත්තු සුණු විසුණු කර දමමින් සිය ඡන්ද ව්‍යාපාරයේදී ත්‍රස්ත නායක ප්‍රභාකරන් වීරයෙක් බව ප්‍රකාශ කරමින් සිය නියම ස්වභාවය පිළිබඳ අනතුරු සංඥා නිකුත් කෙරිණි. උතුරේ 80% ක ඡන්ද ප්‍රතිශතයක් දිනාගෙන මහ ඇමති ධූරයට පත් වූ විග්නේෂ්වරන් මහ ඇමති තුමා පැමිණි මුල් අවස්ථාවේ සිට සිදුකළේ එවක ආණ්ඩුකාර වරයා හා සිය ලේකම්තුමිය සමඟ ප්‍රශ්න ඇති කරගැනීමය.

ඉබ්බා දියේ දැම්මා මෙන් සිය ජාතිවාදය මොනවට පෙන්වමින් ලංකා රජයත් අපහසුවට පත් කරමින් ලංකා මාතාවගේ මුහුණේ දැලි ගාන්නට මේ පුද්ගලයා කටයුතු කළා නොවේද? මෛත්‍රිපාල රජය බලයට පැමිණී විගස ශ්‍රී ලංකාව විසින් දෙමළ ජනයා සමූල ඝාතනය කරනවා යයි යෝජනාවක් සම්මත කළේය. එක්සත් ජාතීන්ගේ නියෝජිතයාට එම යෝජනාව තමා විසින්ම පිළිගැන්වූයේය. ලෝක බැංකු නියෝජිතයන් හමුවී වෙනම උතුරු පළාතට ආධාර ඉල්ලා සිටියේය. කෙටියෙන් පැවසූවොත් සිය අධිකාරි බලය ඉක්මවා තනිකර අහංකාර හා හිතුවක්කාර ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය
අප මෙහිදී වටහා ගත යුතු කාරණාවක් ඇත. කොයි තරම් ජාතිවාදි හා අහංකාර වුවත් විග්නේෂ්වරන් විසින් සිය ප්‍රකාශය මඟින් අප රට වෙනුවෙන් විශාල යහපතක් සිදුකර ඇත.

දැන් මෙම විග්නේෂ්වරන් මහ ඇමති තුමා ගේ කතාව සිංහලයාව උස්සා පොළවේ ගැසුවා මෙන් තාවකාලික සිහි කැඳවීමක් විය. හාස්‍යයට කරුණ නම් මීට මාසයකට පමණ පෙර සම්බන්ධන් විසින් ද එවැනිම ප්‍රකාශයක් මීට වඩා ඩිප්ලොමැටික් ක්‍රමයට දකුණේ ජනතාවට ප්‍රකාශ කළ අතර එයින් දකුණේ සිංහල ජනයා ගැස්සුනේ නැත. අන්තර්ගතය සළකා බැලුව හොත් දෙදෙනාම ප්‍රකාශ කරන්නේ ඊළාම් වාදීන් ගේ ඊනියා ඉතිහාසයයි. නමුත් සිංහලයා ගේ ඔළුවට යන ලෙස එය පැවසූයේ විග්නේෂ්වරන් මහ ඇමතිවරයායි. එතනදී අපට විග්නේෂ්වරන් වැදගත් වන්නේ ඒ නිසායි.

විග්නේෂ්වරන් මහතා ලංකාවේ පැවතෙනවා යයි කියන ජනවාර්ගික අර්බුධයට නියම හේතුව කෙලින්ම පවසා සිටී. බෙදුම්වාදයට පක්ෂ සිංහලයින් මෙන් හෝ වෙනත් ප්‍රෝඩාකාරී දෙමළ පුද්ගලයින් මෙන් සත්‍ය සඟවන්නට උත්සාහ කරන්නේ නැත. අද වන විට ලංකාවේ යුද්ධයත් ජනවාර්ගික අර්බුධය පිළිබඳවත් පොත් පත් විශාල සංඛ්‍යාවක් ලියවී ඇත. විදේශිකයන් අතින් ලියැවෙන හා මාක්ස්වාදී නැතිනම් ලිබරල් යයි කියාගන්නා බහුතරයක් විසින් ලියන පොත් පත් වල ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් ඇත්තේ එකම කතාවකි. නිදහසින් පසු 1956 භාෂා පනත ගෙනවිත් දෙමළ ජාතිකයන්ට ඉතා විශාල අසාධාරණයක් කළ අතර ඊට පිළිතුරු ලෙස දෙමළ ජාතිකයන් යුද්ධයක් කරා තල්ලූ වූ බවත් ඒ සියල්ලේ සාරාංශයයි. සමහරෙක් කොටි වැරදි මාර්ගයේ ගොස් දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් සඳහා වූ අරගලය නැති කළ බවත් තවත් සමහරෙක්ට අනුව කොටි සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් නොව නිදහස සඳහා වූ සටන්කාමී කණ්ඩායමකි. මේ සියළු අර්ථ කථන වලදී යුද්ධයේ හා මෙම අර්බුධයේ සැබැ තතු එළියට එන්නේ නැත. ඒ ගැන නියමාකාරයෙන් සාකච්ඡා කරන්නේ ද නැත. කණගාටුවට කරුණ නම් මෙම අර්බුධයේ සැබැ තතු පිළිබඳ සාකච්ඡා කරන සිංහල භාෂා පොත් පවා ඉතා අල්ප වන අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් නම් පොතක් ඇත්තේම නැත. එවැනි අවස්ථාලදී විග්නේෂ්වරන් විසින් ලබා දෙන අවස්ථාව ඉතා වටී.

විග්නේෂ්වරන් කොලේ හන්ගා ගසන්නේ නැත. සුළු ජනවර්ගයක් වන දෙමළ ජනතාවට මේ රටේ අයිතිවාසිකම් අහිමි වූ බවක් විග්නේෂ්වරන් පවසන්නේ නැත. පැවසූවත් ඔහුගේ තර්කයේ මූලික හරය එය නොවේ. විග්නේෂ්වරන්ට අනුව මේ රට දෙමළ රටකි. දෙමළ ජනයා මේ රටට මුලින්ම පැමිණ ජනාවාස ඇති කළ අතර සිංහල යනු ඊට පසු මැත කාලීනව ඇති වුණු සංසිද්ධියකි. උතුරේ දෙමළ ජනාවාස සියල්ලටම පෙර ඇති වී ඇත. ශ්‍රී ලංකාවේ ඉතිහාසයම වැරදිය. එය නැවත නිවැරදි කොට ලියා දැක්විය යුතුය. විග්නේෂ්වරන් ගේ කතාවල සාරාංශය එයයි. මේ රටේ මූලික ප්‍රශ්නය එයයි. අර්බුධයට හේතුව එයයි. මෙය රටේ ඉතිහාසය අර්ථ දැක්වීමේ ගැටළුවක් මිස සුළු ජන අයිතිවාසියක් පිළිබඳ ගැටළුවක් නොවේ. දෙමළ ජනයාට තිබෙනවා යයි දෙමළ දේශපාලකයින් විසින් පවසන ගැටළු මුස්ලිම් ජනයාට නැති වන්නේ ඒ නිසායි. සත්‍යවශයෙන් ගත් කළ ලෝකය පුරා රටවල් හා සැසඳීමේදී සුළු ජනවර්ග අයිතිවාසිකම් අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටකි. මෙහි ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි. ඒ බව ලෝකයාට පෙන්වන්නටත් සිංහල - දෙමළ අර්බුධය යනු කුමක් දැයි පැහැදිලිව පැවසීමටත් රජයත් සිංහල සංවිධානත් මූලික වී විග්නේෂ්වරන් විසින් ලබා දෙන මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය.
මේ රටේ ඔය කියන අර්බුධය ඇති වුනේ 1956 න් පසුව නොවේ. ෆෙඩරල් පක්ෂය බිහි වූයේ 1947 දීය. අරුණාචලම් මහතා ඊළාම් දේශයක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත්තේ 1922 දීය. ජි ජි පොන්නම්බලම් යන ජාතිවාදී දේශපාලකයා විසින් නාවලපිටිය ප්‍රදේශයේ ජාතිවාදී කතාවක් සිදුකර ප්‍රථම සිංහල දෙමළ ගැටුම ඇති කළේ 1939 දීය. වාර්ගික ගැටුම් ගැන කතා කිරීමේදි 1958, 65 හා 83 ගැන කතා කරන විටදී 1939 ගැන කතා කිරීමක් සිදු නොවන්නේ ඇයි? වර්ෂ 1983 දී සිදු වූ අතිශය ශෝචනීය සිද්ධිය ගැන අප රටක් ලෙස කතා කළ යුතුය. ඒ ගැන විවාදයක් නැත. නමුත් 1939 වසරේදී සිදුවූ සිංහල දෙමළ ගැටුම අප අමතක කරදමන්නේ ඇයි?

වර්ෂ 1945 දී පාර්ලිමේන්තු විවාදයට සම්බන්ධ වූ ජි ජි පොන්නම්බලම් ප්‍රකාශ කර සිටියේ තමා සිලෝනීස් නොව ද්‍රාවිඩ පුද්ගලයෙක් බවයි. කුප්‍රකට 50-50 යෝජනාව ඉදිරිපත් කර සුළු ජාතින් ට වඩා වැඩි බලයකුත් ශ්‍රී ලංකාව නිජභුමිය කරගත් 75% ට ආසන්න සිංහල ජනයාට අඩු බලයකුත් එන ලෙස ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා කළේ ජි ජි පොන්නම්බලම්ය. ඔහු උත්සාහ කළේ minority rule over majority යන තත්ත්වය ඇති කිරීමයි. එනම් සංඛ්‍යාත්මකව අඩු ගණනක් වූ කුඩා ජනවර්ගයක් විසින් සංඛ්‍යාත්මකව විශාල ජනවර්ගයක් පාලනය කිරීමයි. ඒ යෝජනාව එවක සිටි බ්‍රිතාන්‍ය ව්‍යවස්ථා සම්පාදකයින් පවා ප්‍රතික්ෂේප කර ඇත. ඒ ජාතිවාදි දේශපාලන ගමනේ ඔහුගේ දරු මුණුපුරුවන් වන කුමාර් පොන්නම්බලම් නියැලුණු අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අද ද නියැළෙමින් සිටී. අප මෙම සත්‍යය මේ යටගැසුණු හා යට ගසන්නට උත්සාහ කරන සත්‍යය මතුකළ යුතුය. මේ සියල්ලක්ම ඇරඹී ඇත්තේ නිදහස ලබාගන්නට වසර ගණනාවකට පෙර සිටයි. දෙමළ බෙදුම්වාදීන්ට අවශ්‍ය ලෙස අර්බුධයේ ඉතිහාසය අර්ථ දක්වන්නට ඉඩ දී අප තවත් බලාසිටිය යුතු ද? විග්නේෂ්වරන් රටේ ඉතිහාසයට අභියෝග කරන විට 1956 භාෂා පනතට අර්බුධයේ මූලාරම්භය යයි ප්‍රහාර එල්ල කරනවා විට තව දුරටත් නිහඬව නොසිට අර්බුධයේ ඉතිහාසය ලෝකයා ඉදිරියට ගෙන ආ යුතුය. එතැනින් නොනැවතී ශ්‍රී ලංකාව යනු මේ රට සිය එකම වාසස්ථානය කරගත් සිංහලයින් ගේ ඓතිහාසික නිජබිය බව එක හඬින් ප්‍රකාශ කළයුතුය. අර්බුධයේ නියම ඉතිහාසය ඉංග්‍රීසි මාධ්‍ය පොත් වලින් හෙළි දරව් කළ යුතුය. මේ අර්බුධය නිදහසින් පසු ඇති වූවක් නොව නිදහස ලබා ගැනීමට පෙර සිට ඇති වුණු තත්ත්වයක් බව අවධාරණය කළ යුතුය.

විග්නේශ්වරන් ලබා දෙන අනගි අවස්ථාව දෝතීන්ම අල්ලා ගමු. මේ අර්බුධය හා අසාධාරණ
මේ පරම්පරාවෙන්ම අවසාන කොට සිංහල දෙමළ අනාගත පරම්පරාවට තවත් මේ ගැන කතා කරන්නට අවශ්‍ය නොවන තැනට ගෙන එමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

10/05/2016

සැබෑවටම ජාත්‍යන්තරය දිනුවේ සිරිසේනලාද කොටිද?

කතෘ:යුතුකම     10/05/2016   No comments

-අයි.ජයතිලක-ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් විසින් දෙමළ ඩයස්පොරාවේ ලංකාවට එරෙහිව කටයුතු කළ හා කොටි සංවිධානයට සහාය දුන් කොටස් හමුවී සාකච්ඡා පවත්වයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය හා දෙමළ ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබේ. මෙම අවස්ථාවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයෙකු වන ටොම් මැලිනොවිස්කි ද සහභාගී වී තිබේ. මේ සඳහා දෙමළ ඩයස්පෝරාවේ කටයුතු කරන එස්.ජේ.එම්මානුවෙල් හා සුරෙන් සුරෙන්දිරන් යන අයත් සහභාගි වී ඇත. ලංකාවේ යුද්ධය පැවති සමයේදී කොටි සංවිධානය වෙනුවෙන් විදේශයන්හි කතා කළ ප්‍රොපැගැන්ඩා සිදු කළ පුද්ගලයන් වන මොවුන් ප්‍රසිද්ධියේම කොටි ත්‍රස්තවාදයත් ප්‍රභාකරන් වෙනුවෙනුත් පෙනී සිටි අයයි.

එම්මානුවෙල් නම් පූජකවරයා මුළු මහත් කතෝලික ජනයාටම අපහාස කරමින් ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියාව සියල්ලන්ගේ ගෞරවය දිනාගත් ජේසුස් වහන්සේට සමාන කරමින් ලිපි පවා ලිව් අයෙකි. කෙළින්ම ඊළම වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු වෙන මොහු කොටි සංවිධානයේ ඊළාම් සැමරුම් වලදීද සිටි ප්‍රධාන සාමාජිකයෙකි.

සුරෙන් සුරෙන්දිරන් යන පුද්ගලයාත් කොටි සංවිධානයේ ප්‍රොපැගැන්ඩා හා ත්‍රස්තවාදය ට සුදු හුණු ගැමට වසර තිහක් තිස්සේ කටයුතු කළ පුද්ගලයෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කළ පසු ඔහුව යුධ අපරාධ අධිකරණය වෙත ඇදගෙන එන බවට ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පුරසාරම් දෙඩුවේද මෙම පුද්ගලයායි.

මේ ආකාරයෙන් ශ්‍රි ලංකාවටත් කොටි සංවිධානයට එරෙහිව යුධ වැදුණු ආරක්ෂක හමුදාවන්ට එරෙහිව කටයුතු සිදුකරන දෙමළ ඩයස්පොරාවේ පුද්ගලයින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සමඟ හමුවීම ගැටළු රැසක් මතු කරයි. ශ්‍රී ලංකාවේ බෙදුම්වාදි දෙමළ දේශපාලනය හා කොටි සංවිධානය සම්බන්ධව තමන් විසින් මෙතුවක් කල් කරගෙන ආ ජාත්‍යන්තර ප්‍රතිපත්තිය ඇමරිකාව විසින් වෙනස් කර ඇත්ද? ඉදිරියේදී කොටි තහනම ඉවත් කරයිද? ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය වෙනස් වෙයිද? නමුත් එකක් කිව හැකිය, වෙන කිසිම ත්‍රස්තවාදී සංවිධානයක උදව් කාරයින්ට නොලැබුණු පිළිගැනීමක් හා තත්ත්වයක් කොටි සංවිධානයේ බටහිර ඒජන්තයින්ට ඇමරිකාව විසින් ලබා දී ඇත. පසුගිය වසරේ මිලිනොව්ස්කි හා නීශා බිස්වාල් යන මහත්ම මහත්මීන් කිහිප වතාවක්ම ලංකාවට පැමිණීමත් පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ අගමැති තුමාව සිංගප්පූරුවේදී හමුවීමත් ප්‍රශ්නකාරීය.

ඒ අතරින් පවතින රජය විසින් කිසිම ආකාරයේ විරුද්ධත්වයක් නොදැක්වූ සිද්ධියක් පසුගිය වසරේ සිදුවිය. 2015 මුල්කාලයේදී ටොම් මිලිනොව්ස්කි මහතා විසින් ලංකාවට පැමිණි වතාවේදී මුලතිව් වෙරළට ගොස් මල් කළඹක් තබා මිය ගිය වුන් සිහිකිරීමයි. නමුත් මේ සම්බන්ධව පවතින මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ රජය කිසිදු පියවරක් ගත්තේ නැත. දැන් එම තත්ත්වය තවත් ඔඩුදුවා ඇත. ටොම් මිලිනොව්ස්කි නැමැත්තා තර්ජනාත්මක ස්වරුපයෙන් පැවසුවේ ශ්‍රී ලංකා රජය මින් පෙර දෙමළ නායකයින්ට දුන් පොරොන්දු ඉටු නොකළ ආකාරය තමන් හොඳින් දන්නා බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිපත්තිය බෙදුම්වාදී දෙමළ දේශපාලකයින්ට වාසි සහගත සේ වෙනස් වී ඇති බව මෙයින් පෙන්නුම් කරයි.
මෙම පින්තුර පළ වූයේ නීශා බිස්වාල් මහත්මිය ගේ ට්විටර් ගිණුම් වලයි. ඒ අනුව මෙහිදී සිදුකරන්නට යන ප්‍රතිසංවිධානය ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී ඇති බව වාර්තා වෙයි. තමන් ගේ ට්විටර් පනිවිඩයට අනුව සංහිඳියාව හා යුධ අපරාධ වලට දඬුවම් දීම පිළිබඳ සාකච්ඡා කළ බව සඳහන් වේ. වසර 30ක් තිස්සේ කොටි ත්‍රස්තවාදයට මුදල් එවූ හා කොටි වෙනුවෙන් කතා කළ පුද්ගලයින් සමඟ ලංකාවේ යුද්ධය අවසාන කළ හමුදාවන්ට එරෙහිව යුධ අපරාධ කතා කිරීම ම කෙතරම් විහිළු සහගත ද? ලංකාවේ සිදුවන සංහිඳියාව හෝ රජය කියන ‘අභ්‍යන්තර’ යුධ අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කිරීම ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට සිදුකරන ඇඟිලි ගැසීමක් නොවේද? ලංකාවේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින රජයට ප්‍රතිපත්තියක් නැතිද? රජය විසින් පුන පුනා කිවූ ජාත්‍යන්තරය දිනාගැනීම යනු කොටි හිතවාදීන් හා ඇමරිකාව අතර සම්බන්ධතා තර කිරීම ද?

අපිට මෙච්චර කල් ලෙඩ දැම්මේ ඇමරිකාව නම්..
අපි දැන් ඇමරිකාව එක්ක යාළු නම්...
ජාත්‍යන්තරය දින්නා නම්
ඒකෙ හරි ප්‍රතිඵලය වෙන්න ඕන ඇමරිකාව යුධ අපරාධ කතා ඉවත් කිරීමත්
දෙමළ ඩයස්පොරාව ටිකින් ටික කොන් වීමත්..නේද?

නමුත් වෙන්නේ තනිකර අනිත් පැත්ත. නේද?
කිසිදා හිතු නැති විදිහට දෙමළ ඩයස්පෝරාව හා ඇමරිකාව අතර සබඳතා තර වීම නේද?
එතකොට දිනලා තියෙන්නේ කොටි ද අපි ද?
කොටි නේද?

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook -https://www.facebook.com/yuthukama

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions