මහින්ද රාජපක්ෂ කියන නාමය අපේ රටේ ගොඩක් අය සම්බන්ධ කරන්නේ යුධ ජයග්‍රහණය සම්බන්ධවයි. ඒ කාරණයේ කිසි වැරැද්දක් නැහැ. ලංකාවේ යුද්ධය සාර්ථකව නිමා කළ නායකයා ඔහුයි. නියාමාකාරයෙන් යුද්ධය සිදුකළේ ඔහු විසින්. 1980 මුල් කාලයේ ඉඳන් පැවති යුද්ධය රාජ්‍ය නායකයන් පස් දෙනෙක් යටතේ ක්‍රියාත්මක වුණත් ඒ අතරින් යුද්ධයට දක්ෂතම නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ කියන කාරණය අවිවාදිතයි. කවුරුන් හෝ එහෙම නොවේ යයි කියනවා නම් එය තනිකර දේශපාලන පක්ෂ කරේ තියාගැනීම නිසා ඇති වුණු කුහක කමකි. ඒ ජයග්‍රහණයට ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයෙන් ෆොන්සේකා කරන්නාගොඩ හා රොශාන් ගුණතිලක කියන චරිත වලින් වුණ සේවය ගැන වෙනම කතා කළ යුතුයි.ඒ කෙසේ වුවත් යුද්ධය නිමා කළේ නැත්තම් යුද්ධය සාර්ථකව සිදුකළ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ පමණයි.
මහින්ද රාජපක්ෂ විසින් රටට සිදුකළ වැඩිය අපේ අවධානය යොමු නොවන තවත් ජයග්‍රහණයක් තිබුණි. වසර 30 ක් තිස්සේ ඇදුණු යුද්ධයේදි ලංකාවේ රජයන් කිහිප වරක්ම කොටින් සමඟ සටන් විරාම පවත්වාගෙන සාම සාකච්ඡා පවත්වා තිබුණි. ඒ සෑම සටන් විරාමයක්ම සාම සාකච්ඡාවක්ම අවසාන වූයේ කොටි ත්‍රස්තයින් දේශපාලන හා හමුදාමය වශයෙන් තවදුරටත් ශක්තිමත් වීමෙන් පසුවයි. මේජර් ජෙනරල් කමල් ගුණරත්න ගේ රණබිම ඔස්සේ නන්දිකඩාල් පොතින් හෙළි කරන කරුණු අනුව සාම සාකච්ඡා වලින් අනතුරුව කොටින් ශක්තිමත් වූ ආකාරය පැහැදිලිව විස්තර කර තිබේ. 80 දශකයේ මුල් කාලයේදී හමුදාවට සැඟවී සිට පහරදෙමින් සිටි කොටි සංවිධානය, තිම්පු සාකච්ඡා අවසානයේ දී යාපනයේ කඳවුරු පවත්වා ගැනීමත් ප්‍රේමදාස සාකච්ඡා අවසාන වන විට මුළු යාපනයම කොටින් අතට ගැනීමත් චන්ද්‍රිකා සමඟ සාකච්ඡා අවසාන වන විට වන්නිය කොටින් ගේ ග්‍රහණයට පැමිණි ආකාරයත් රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදී මුළු ත්‍රිකුනාමලය වරායත් අවසානයේ යාපනයත් සිය ග්‍රහණයට ගැනීමට කොටින් උත්සාහ කළ ආකාරයත් පැහැදිලිය. අවසාන වශයෙන් කියනවා නම් සාම සාකච්ඡා නිවැරදිව මෙහෙයවන්නට සැහෙන දක්ෂතාවයක් කොටින් විසින් දක්වා තිබුණි. මහින්ද රාජපක්ෂ මුලින්ම වෙනස් කළේ එයයි. මහින්ද රාජපක්ෂ යනු යුද්ධය සාර්ථකව නිම කළ නායකයා පමණක් නොව සාර්ථක ලෙස සාම සාකච්ඡා පැවැත්වූ එකම නායකයායි.
කොටි සංවිධානය විසින් සාම සාකච්ඡා පවත්වන අතරතුරදී ලංකාවේ හමුදාවට පහර දීම, නායකයින් ඉලක්ක කිරීම පුරුද්දක් ලෙස කළහ. රනිල් වික්‍රමසිංහ විසින් කොටින් සමඟ සටන් විරාම ගිවිසුම අත්සන් කළ දිනට කලින් දිනයේද කොටින් විසින් නාවික හමුදා යාත්‍රාවකට ප්‍රහාර එල්ල කර තිබිණි. නමුත් එයින් රනිල් වික්‍රමසිංහගේ කිසිදු වෙනසක් සිදුවූයේ නැත, කොටින් පිළිබඳ වූ අචල විශ්වාසයකින් ඔහු යුක්ත විය. චන්ද්‍රිකා හා කොටි අතර සාම සාකච්ඡා පවත්වන සමයේදී ලංකාවේ සාගරවර්ධන නැවට ප්‍රහාර එල්ල කර එහි කපිතාන් ඇතුළු කිහිපදෙනෙක් සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත්හ. ඒ කොටි සංවිධානය විසින් සාම සාකච්ඡා සිදුකළ ආකාරයයි. කිසිදු නායකයෙක් එහිදී කොටින්ට පිළිතුරු දෙන්නට ගියේ නැත. පිළිතුරු දෙන්නට කොන්දක් තිබ්බේද නැත. මහින්ද රාජපක්ෂ වෙනස් වන්නේ එහිදීය.
මහින්ද රාජපක්ෂ බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ රජය විසින් අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුම නාමිකව ක්‍රියාත්මක වන කාලයේදීය. ඒ වන විට රටේ විදේශ අමාත්‍යවරයා වන කදිරගාමර් මහතාව කොටි සංවිධානය විසින් ඝාතනය කර තිබිණ. විදේශ අමාත්‍ය වරයා ඝාතනය කළත් “ඉවසීමෙන් යුතුව සාම සාකච්ඡා වල නියැලෙන්න..” ජාත්‍යන්තරයෙන් අපට ලැබුණු උපදේශය එයයි. තම රටේ විදේශ ඇමතිවරයා ඝාතනය කළ මිනි මරු සංවිධානයකගේ ත්‍රස්තවාදය වෙනත් රටක් නම් කෙතරම් දුරට ඉවසයිද? ලංකාවට නම් කොටි ත්‍රස්තවාදය ඉවසීමත් කොටින්ව සීමාවක් නැතිව විශ්වාස කිරීමේත් එසේ විශ්වාස කිරීම නිසා රටේ වැසියන් ගේ වටිනා ජීවත විනාශ කරගැනීමේත් සීමාවක් තිබුණේ නැත. ඒ වන විට පැවතියේ තමන්ගේ ජනතාවගේ ජීවිතය ගැන කිසිම වටිනාකමක් නැති කැක්කුමක් නැති කොටින්ට යටත් වෙන නපුංසක පාලන ක්‍රමයකි. සුදු මහත්තුරුන් හෝ ඉන්දියානුවන් හෝ කියනවා නම් රටේ ජනතාවට කුමක් වුවත් ප්‍රශ්නයක් නැත පිටරැටියන් ගේ ඉල්ලීම් ඉටු කිරීම පැවති ලංකා රජයන් ගේ ප්‍රධාන කාර්යය වේ. මහින්ද රාජපක්ෂ තිත තිබ්බේ එම පාලන ක්‍රමයටයි. ඒ නිසා 2005 දී මහින්ද රාජපක්ෂ ගේ ආගමනය හුදු නායකත්ව වෙනස් වීමක් පමණක් නොව ක්‍රමයේම වෙනස් වීමකි.
වසර 40 ක දේශපාලන අත්දැකීමක් සහිත වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කොටින් හෝ පරාධීන කොළඹ කල්ලිය සිතූ තරම් මෙල්ල කරන්නට ලෙහෙසි පහසු පුද්ගලයෙක් නොවිණි. බලයට ආ සැණින් සටන් විරාම ගිවිසුම හෝ සාම සාකච්ඡා කඩා කප්පල් කළේ නැත. එසේ කිරීම දේශපාලනික වශයෙන් අනුවණ කමක් බව ඔහු දැනසිටියේය. බලයට පැමිණි සැණින් නෝවේ 'ගැන්සිය' එලෙව්වේත් නැත. එසේ කළා නම් ඇමරිකානු රජය ඇතුළු මුළු බටහිරයම තමාට එරෙහි වන බවත් කොටි සංවිධානයට පක්ෂ ස්ථාවරයකට යන්නට පෙළඹිය හැකි බවත් ඔහු අවබෝධ කරගත්තේය. ලංකාවේ පවතින ගැටළුවට කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීම නොකළ යුතු බව බටහිරයේ පැවති මතයයි. එනිසා ඔහු අනුගමනය කළේ බුද්ධිමත් පිළිවෙතකි.
සාම සාකච්ඡා මෙලෙස ඉදිරියට ගෙන යන්නට තමන් කැප වෙන බවත් සාම සාකච්ඡා ඔස්සේ දේශපාලන විසඳුමකට යන්නට සූදානම් බවත් මහින්ද රාජපක්ෂ රජය පුන පුනා ජාත්‍යන්තරයට පැවසූයේ එබැවිණි. එමෙන්ම කොටි සංවිධානය තමාට ප්‍රහාර එල්ල කරනා විට ඊට ප්‍රතිප්‍රහාර දෙන්නට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය. කොටින් විසින් මහින්ද රාජපක්ෂ රජයේ නියම ස්වරුපය තේරුම් ගත්තේ ෆොන්සේකාට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමත් සමඟය. සාම සාකච්ඡා හා සටන් විරාම ගිවිසුමක් පවතින අතරතුරදී සුපුරුදු පරිදි රජයේ ප්‍රධානීන් ඉලක්ක කරමින් යුධ හමුදාපති ෆොන්සේකා මහතාට අසාර්ථක බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. මෙවර ලංකා රජයේ ප්‍රතික්‍රියාව වෙනස් විය. වසර ගණනාවක් තිස්සේ කොටින්ගේ මෙවැනි නින්දිත අපහාසාත්මක ප්‍රහාර සටන් විරාම සමයකදී සිදුවන විට හුදු ප්‍රකාශයකින් හෙළා දැක බටහිර ලෝකයා හමුවේ සිය දුක ප්‍රකාශ කරන ලංකා රජයට වෙනත් කරන්නට දෙයක් තිබුනේ නැත. සුපුරුදු ලෙස එම සිද්ධිය හෙළා දකින බටහිරය නැවතත් සාම සාකච්ඡා පටන් ගෙන දේශපාලන විසඳුමක් ලබාගන්නා ලෙස උපදෙස් දෙයි. මෙම නපුංසක ක්‍රමයේ වන්දිය ගෙවන්නට වූයේ රටේ ජනතාවටයි.
මහින්ද රජය මෙහිදී වෙනස් විය. සටන් විරාම සමයේදී හෝ තමන්ට ප්‍රහාර එල්ල කරනවා නම් තමන් ප්‍රතිප්‍රහාර දෙන්නට පසුබට නොවන බවත් ඒ සඳහා තමාට අයිතිය ඇති බවත් ජාත්‍යන්තරයේ ප්‍රකාශ කළේය. ෆොන්සේකාට බෝම්බ ගැසූ කොටි සංවිධානයේ ඉලක්ක සොයා ශ්‍රී ලංකා නාවික හමුදාවත් ගුවන් හමුදාවත් ප්‍රහාර සිදුකළහ. කිලිනොච්චිය, මුතුර්, වාලච්චේන අවට ගුවන් ප්‍රහාර සිදුවූයේ කොටි සංවිධානයේ සියළු සටන් විරාම උල්ලංඝනයන්ට තමන් පිළිතුරු දෙන බව පෙන්වමිනි. ඒ සියල්ල සිදුකරමින් තම රජය සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරන බවත් සාම සාකච්ඡා සඳහා කැපවෙන බවත් ප්‍රකාශ කරන්නට තරම් මහින්ද රජය බුද්ධිමත් විය. 1980 දශකයේ මුල්කාලයේ සිට සියළු රජයන් නැටවූ කොටි සංවිධානයට ගැලපෙන පාලකයෙක් ප්‍රථම වරට දකුණේ සිටියේය. ‘හොඳට හොඳයි නරකට නරකයි’ මහින්ද රාජපක්ෂ කොටින්ට ඉගැන්වූ පාඩම එයයි. (යුතුකම වෙබ් අඩවියේ පළ වූ මේ පිළිබඳ සටහනක් : "මාව බිත්තියට හේත්තු කරන්න එපා. ප්‍රතිඵල දරුණු වෙයි " - මහින්ද වසර 10 කට පෙර කළ අපූරු ප්‍රකාශය ) සියළු කොටි ප්‍රහාර වලට සටන් විරාම සමයේදීම පිළිතුරු ලැබිණ. ගුවන් හා නාවික ප්‍රහාර එල්ල කළේ සාම්පූර් අවට ඉලක්ක වෙතයි. ත්‍රිකුණාමල වරාය ආරක්ෂා කිරීමත් කොටින් විසින් රනිල් රජය කාලයේදී ඇති කළ කොටි කඳවුරු විනාශ කිරීමත් සිදුවිය.

යුද්ධයට අවශ්‍ය ඉන්දියානු සහයෝගය ගොඩ නගා ගනිමින් හමුදාවන් ශක්තිමත් කරමින් යුද්ධය සඳහා ලංකා රජය සූදානම් වූයේ සාම සාකච්චා පවත්වමින් නෝවෙ කාරයාවත් ජාත්‍යන්තරයත් අන්දමිනි. ලංකා රජය යුද්ධමය වශයෙන් කොටි සංවිධානය විනාශ කරන්නට යන බවත් එය කිරීමට ඔවුන්ට ශාක්‍යතාවය ඇති බවත් නෝවේත් ජාත්‍යන්තරයත් තේරුම් ගන්නා විට කාලය ගතවී අවසානය. රාජපක්ෂ රජය නැවැත්වීමට ඔවුන්ට හැකියාව නොතිබුනි. 2008 වන තෙක් සාම සාකච්ඡා සිදුරන බවත් සටන් විරාමය ආරක්ෂා කරන බවත් කියමින් මහින්ද රජය කොටි සංවිධානය දුර්වල කර පරාජය කරන්නට අවශ්‍ය සියල්ල කළේය. මෙතෙක් පෙර පැවති සාම සාකච්ඡා වලදී ප්‍රභාකරන් විසින් ලංකා රජයට සිදුකළ දේම මහින්ද රාජපක්ෂ විසින් සිය ධූර කාලයේදී කොටින්ට සිදුකළේය. සෝල්හයිම් ඇතුළු නෝවේ රාජ්‍යය මහින්ද රාජපක්ෂටත් ඔහුගේ රජයටත් දැඩි සේ වෛර කරන්නේ එම හේතුව නිසාය.
මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ බිහිවූ දක්ෂතම දේශපාලකයායි. ඔහු ගේ දක්ෂතාවය වඩාත්ම කැපී පෙනුනේ සටන් විරාම හා සාම සාකච්ඡා සමයේදී බව මගේ හැඟීමයි. ඔහු විසින් අති දක්ෂ ලෙස නෝවෙ කුමන්ත්‍රණකාරයින් පරදා ‘ජාතන්තරයත්’ ඇතින් තබාගෙන චීනයේ හා පකිස්ථානයේ සහායත් ගෙන ඉන්දියාවත් කළමණාකරණය කරගෙන යුද්ධය ජයග්‍රහණය කිරීම ම ඔහුගේ දක්ෂතාවයට සාක්ෂියකි. මේ පිළිබඳව අවශ්‍ය ලෙස සංවාද ඇතිවූයේත් ලිපි පළවූයේත් නැත. හෙළ උරුමය වැනි පක්ෂ වලට තමන් මහින්දව කනෙන් ඇදන් යුද්ධය කරන්න දක්කා ගෙන ගියා වැනි බොළඳ ප්‍රකාශ වලට රටේ මුග්ධ ජනයා රවටා ගන්නට හැකි වූයේ එබැවිනි. මේ සටහන ලියන්නේ ලංකාවේ සිටින දේශපාලනයේ ගෝඩ් ෆාදර් වෙන මහින්ද රාජපක්ෂ මහතාගේ 71 වන උපන්දිනය සපුරන විට ඔහුට සුභ උපන්දිනයක් පතමිනි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .