2/28/2025

‘යුතුකම’ කුමක් සදහා ද? -2

කතෘ:යුතුකම     2/28/2025   No comments

ජවිපෙ විසින් සමාජවාදී ආණ්ඩුවක් ස්ථාපිත කිරීම සඳහා යැයි කියමින් 1971 සන්නද්ධ කැරැල්ල දියත් කරන විටත් ශ්‍රී ලංකාවේ පැවතියේ සමාජවාදයට බර වූ ආණ්ඩුවකි. එය ලංකා ඉතිහාසයේ පැවති ප්‍රබලම සමාජවාදී ආණ්ඩුව යැයි ද සැළකිය හැකිය. කොමියුස්ට් සහ සමසමාජ පක්ෂ එම ආණ්ඩුවේ ප්‍රබල බලයක් දැරූ අතර ජනරජ ව්‍යවස්ථාව සහ දේශීය කර්මාන්ත ව්‍යාප්තිය පිළිබඳව එවකට එම ආණ්ඩුව ඉතා ප්‍රගතිශීලී වැඩ කොටසක් ඉටු කරමින් සිටියහ.


විජේවර්ධන පවුලේ සංනිවේදන අධිරාජ්‍යයේ අරමුණු සාර්ථක වෙමින් පැවැතුනි. ධර්මපාලතුමාට එල්ල වූ මෙම පහරදීම් අතරතුර එතෙක් ජාතික ව්‍යාපාරයක අසලකවත් නොසිටි පිරිසක් ක්‍රමයෙන් ජාතික දේශපාලන වේදිකාවට ගොඩ වන්නට විය. 1914 වසරේ දී කල්කටාවේ දී බිරිතානීන් විසින් ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත්කරන ලද අතර වසර 7ක් යනතුරුම ඉන් නිදහස් නොකරන ලදී. 1921 වසරේ දී නිවාස අඩස්සියෙන් නිදහස ලැබ නැවත ලංකාවට පැමිණෙන විට තමා මෙරට නොසිටි කාලය තුළ රට පත්ව ඇති තත්වය අනුව තවදුරටත් තමාට කන්දීමට පිරිසක් මෙරට නැතැයි කලකිරීමට පත් ධර්මපාලතුමා මව්බිමෙන්ද ඈත්ව පැවිදි බිමට පිවිස ඉන්දියාවේ දී අපවත් විය. එහෙත් එතුමන් අවුරුදු 60 කට වැඩි කාලයක් පුරාවට හුදී ජනයාගේ සිත්සතන් තුළට කාවද්දන ලද ජාතික මතවාදයන් (චින්තනය) ඔවුනගේ සිත්සතන් තුළ ගැඹුරින් තැන්පත්ව පරපුරෙන් පරපුරට පැවත එන්නට වූ අතර එහි බලපෑම විවිධාකාරයෙන් කලින් කලට බලයට පත් නායකත්වයේ නැණ පමණට ඉස්මතු වන්නටත් යටපත් වන්නටත් කරුණු කාරණා යෙදෙන්නට විය.

1956 යනු එවැනි අවස්ථාවක් විය. බුදුදහම ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවට පත්කොට ඉංගිරිසි යටත් විජිත යුගයේ යටපත් කොට තිබූ සිංහල බස රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට කටයුතු කළ බණ්ඩාරනායක මැතිතුමන්ව වැඩිකල් නොගොස්ම ඝාතනය කිරීම දක්වාම ඊට එරෙහි විජාතික බලවේග බලවත් විය; සූක්ෂම විය. සිංහල බස රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව දෙමළ ජාතිවාදය තුළින් වෙනම ව්‍යාපාරයක් ද, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා තමනට ඉංගිරිසි අධ්‍යාපනය අහිමි වූයේ යැයි ද ‘උසස්’ රැකියාවන්ට යාමට තිබූ අවස්ථාවන් නොලැබී ගියේ යැයි ද රටේ දියුණුව ඇණ හිටියේ යැයි ද මැසිවිලි නගන්නන් පිරිසක් සිංහල ජනයා අතරින්ම ද මතුකර ගැනීමට ජාතිකත්වයට එරෙහි විජාතික බලවේග වලට හැකි විය.

එහෙත් රාජ්‍ය භාෂාව යන්න හා ඉගැන්වීමේ මාධ්‍ය යන්න එකක් නොව දෙකෙකි. එය අමතක කර හෝ තේරුම් නොගෙන හෝ හිතාමතාම කරුණු විකෘති කරමින් හෝ අද ද සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව විවිධ මිත්‍යා මත පදනම්ව පහර දෙනු දක්නට හැකි ය. ස්වභාෂාවෙන්/මව්බසින් (සිංහල මෙන්ම දෙමළ භාෂාවන්ගෙන්) ඉගැන්වීමට ගත් තීරණය 1956ට පෙර, එනම් 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ගත් තීරණයකි. ඒ අනුව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට නොහැකි වූයේ යැයි නගන ඝෝෂාවට කිසිඳු පදනමක් නැත. ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට කිසිඳු බාධාවක් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා පැන නොනගී. රාජ්‍ය භාෂාව විසින් කෙරෙනුයේ අවසාන වශයෙන් ගත්කල රජයේ අණපනත් හා නීතිමය තත්වයන් පිළිබඳව අවසාන අර්ථ කථනය පවත්වාගෙන යාමයි. එය ඕනෑම ස්වෛරී රාජ්‍යක් විසින් පවත්වාගෙන යන පිළිවෙතකි. දෙමළ බස ඇතුළු භාෂා රැසක් භාවිතා වන අසලවැසි ඉන්දියාවේ හින්දි බස රාජ්‍ය භාෂාව කිරීම නිසා ඒ රට තුළ උද්ඝෝෂණයක් හෝ විරෝධයක් හෝ නොවී ය. අද ද ඉන්දියානුවන් එය පිළිගෙන ඒ අනුව කටයුතු කරයි.

අනෙක් අතින් ලෝකයේ දියුණු යැයි සම්මත කිසිඳු රටක් ස්වභාෂාවෙන් (මව් බසින්) වියෝව ලැබූ දියුණුවෙක් ද නැත. අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණ තරමටම ඊට එරෙහිව එම ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගනු ලැබූ ක්‍රියා මාර්ග වලින් ද පසුගිය 76 වසර පුරාවට අපට අඩුවක් නොවී ය.
1971 යනු තවත් එවැනි අවස්ථාවකි. 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කොට ඩොමීනියන් නිදහස තුළ බිරිතානියට තව දුරටත් අපව බැඳ තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛත්වය තහවුරු කර බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බවට පත්කිරීමට 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කරනු ලැබීි ය. එසේම ජාතික ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ අනුව කටයුතු කරන්නට ද විය. එදා එනම් 1958 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට විජාතික බලවේග විසින් චීවරධාරියකු යොදාගත් අයුරු සිහිපත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජාතිකවාදී රජය පෙරලා දමා එතුමියව පැහැර ගැනීමට (හා ඝාතනය කිරීමට?) විජේවීරගේ නායකත්වයෙන් යුත් ජවිපෙ 1971 දී ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කරනු ලැබී ය. එයට පෙර 1962 ජනවාරි 27 දින රාත්‍රියෙහි ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1960 ජූලි මස දී පිහිටුවන ලද රජය පෙරලා දැමීමට අති බහුතරයක් වූ ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැළසුම් කරන ලද මුත් එය අවසාන මොහොතේ දී වළක්වා ගත හැකි විය.
ජවිපෙ බිහිවනුයේ 1965 වසරේදී මාක්ස්වාදී සමාජවාදී ව්‍යාපාරයක් ලෙස ය. එහෙත් ඔවුන් පහර දෙනුයේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු සමාජවාදී පක්ෂ සමග එකතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් ගොඩනැගූ (වාම) ජාතිකවාදී රජයකට ය. 1970 මැතිවරණයට පෙර බලයේ සිටි ධනවාදී බටහිර හිතවාදී එජාප රජය පෙරලා දැමීමට ඔවුනට නිකමටවත් සිතුනේ නැති ද?

-අභය-
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

එකක් හෝ රකින්නට වැළපිය යුතු ඉහිරුණු කිරි - 2

කතෘ:යුතුකම     2/28/2025   No comments
චුණ්ණාක්කම්
පසුගිය කලාපයේ ලිපියෙන් අපි නැතිවෙමින් පවතින පුරාවිද්‍යාත්මක උරුමයක් පිළිබඳව සාකච්ඡා කළෙමු. මෙවර ලිපියෙන් අපට සදාකාලයටම අහිමි වූ පුරාවිද්‍යාත්මක උරුම ද්විත්වයක් පිළිබඳව කියැවේ. වර්තමානය වන විට මෙම උරුමයන් බොහෝ දුරට නැත්තටම නැතිවී ගොස් ඇති අතර මහපොළොවේ ප්‍රායෝගික යථාර්ථය සැලකීමේ දී මෙම උරුමයන් පිළිබඳ කියවා සංවේගය ඇති කරගනු හැර කළ හැකි අන් කවර දෙයක් හෝ පෙනෙන්නට නොමැත

කෝපායි කොත් කැරැල්ල

කෝපායි යනු යාපනය කන්කසන්තුරේ මාර්ගයේ දෙපස පිහිටි යුධ සමයේ නිතර සාකච්ඡාවට ලක් වූ ගම්මානයකි. දැනට කෝපායි ප්‍රදේශයේ කිසිදු බෞද්ධ නටබුන් ස්ථානයක් හෝ හමු නොවූව ද වසර පනහකට පෙර යාපනයේ දිසා විනිසුරුවරයා වශයෙන් සේවය කළ, යාපනය බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ, දැරණියගල පරම්පරාවේ ආදිතමයා වූ පෝල්. ඊ. පීරිස් මහතා කෝපායි ගම්මානයේ කළ ගවේෂණයක දී එහි ළිඳකින් ලැබුණු ශෛලමය වස්තුවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය බෞද්ධ ස්ථූපයකට අයත් අංගයක් බව හඳුනා ගනියි. එය දාගැබකට අයත්, හුණු ගලින් කළ කොත් කැරැල්ලකි. මෙහි පහතින් දාගැබට සවි කිරීමට තිබූ කුඩිම්බියත් ඉහළින් ලෝහමය සිළුමිණක් රැඳවීමට කළ ලකුණුත් ඔහු දකියි.

මෙම පුරාවස්තුවේ වටිනාකම අදාළ පුද්ගලයන්ට පහදා දුන් පසුව ගැමියන් ස්වේච්ඡාවෙන් ම එය පීරිස් මහතාට ලබාදෙන අතර එතුමා එය යාපනය කොටුව වෙත රැගෙන එයි. මෙම පුරාවස්තුව ලැබුණු ස්ථානය පිළිබඳ පුවතක් නොමැති අතර එය ඒ අවට කිසියම් බෞද්ධ සිද්ධස්ථානයකින් ලැබුණක් විය යුතු ය. මෙම පුරාවස්තුව යාපනය කෞතුකාගාරයේ ඇති බැව් ලිපිලේඛනවල කියැවෙන නමුත් වර්තමානයේ යාපනය කෞතුකාගාරය තුළ එය හඳුනාගන්නට නම් නැත.

චුණ්ණාක්කම් කොඩ්ඩියාවත්ත නටබුන්

චුණ්ණාක්කම් හෙවත් හුණුගම යනු යාපනයට මද දුරකින් පිහිටි වත්මන් කදුරුගොඩ විහාරය පිහිටි ප්‍රදේශය යි. එවක යාපනය පැරණි උද්‍යානයේ වල්ලිපුරම් ප්‍රතිමාවත් සමගින් ම තබා තිබුණු චුණ්ණාක්කම් ප්‍රදේශයෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ සැලකිලිමත් වන පීරිස් මහතා අදාළ ප්‍රතිමාව හමු වූ චුණ්ණාක්කම්හි ම, කොඩ්ඩියාවත්තෙයි නම් ස්ථානය පරික්ෂා කර තවත් විහාරයක නටබුන් සොයා ගනියි. රජයෙන් රුපියල් 150ක මුදලක් ලබා ගන්නා එතුමා ජනතාව විසින් jply (තිඩල්) ලෙස හැඳින්වූ ගොඩැල්ල කැණීම් කිරීම ආරම්භ කරයි.

එහි දාගැබ මළුවක් මත ඉදි කර තිබී ඇති අතර මධ්‍යයට ගල් කුට්ටි යොදා පිටත ගඩොලින් බැඳ ඇත. එහි ගර්භය ද එසේ නිම කොට තිබී ඇති අතර අඟල් තුනක පමණ හුණුගල් බදාම ස්ථරයකින් ආවරණය කර ඇත. පේසා වළලු‍ සහ ස‍තරැස් කොටුව අලංකාරවත් ලෙස කැටයම් කළ කොරල් ගලින් නිම කරවා ඇති අතර බදාම කැබලි ගැලවී තිබී ඇත.

1902 සිදු කළ කැණීමෙන් අනතුරුව වසර 6 ක් ගතවන තුරුත් එම දාගැබ් වහන්සේ අඩි 12 ක් පමණ උසට තිබී ඇති නමුත් පසුව දාගැබට හානි කර දාගැබෙහි ගල් කරත්ත පුරා පටවා දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් වෙනුවෙන් ගෙන ගොස් තිබේ. එම අනතුරින් පසට යට වූ කොරල් ගල් පාදම් ආරක්ෂා වුණු බව කියතත් වාර්තමානය වන විට ඒවා ද සොයාගැනීමට ඇත්දැයි සැක ය.

මීට අමතර ව තවත් ගොඩනැගිලි පාදම් ඇතුළු නටබුන් මෙම ඉඩමේ ම තිබුණු බව ප්‍රකාශ කරන පීරිස් මහතා ප්‍රතිපාදන හිඟය නිසාවෙන් ඒවා කැණීම් කිරීමට නොහැකි වූ බව දක්වයි. එම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ වර්තමාන පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවක හෝ සඳහන් නොවේ. යටකී චුණ්ණාක්කම් බුදු පිළිම වහන්සේ පමණක් අනුරාධපුර කෞතුකාගාරය තුළ වැඩ සිටිති.

-විනුක විදානපතිරණ-
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය 
ww.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

2/27/2025

බොදු බල සේනා මග හැර යා නොහැකි කතාවක් - 1

කතෘ:යුතුකම     2/27/2025   No comments


රාජකීය පණ්ඩිත ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් තෙවෙනි වරටත් සිරගත වී ඇප මත නිදහස් වන්නට යෙදුණි. තමන්ට මෙසේ නොකරන ලෙසත් අවශ්‍ය නම් එකවර තමාව මරා දමන ලෙසත් උන් වහන්සේ සිරගත කරන ලද මොහොතේදී අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව මාධ්‍යවල සඳහන් විය.


පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් සහ එම්.එච්.එම් අෂ්රෆ් මහතා සහභාගී වූ TNL නාලිකාව මගින් විකාශය කරන ලද නැණ පහන සංවාදය

ඥානසාර හිමි යනු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් වරයා මෙන්ම එම සංවිධානයේ ජනප්‍රියම නායකයා ද වෙයි. උන්වහන්සේ දිගින් දිගටම සිරගත වීම් වලට ලක් වනුයේ බොදු බල සේනා සංවිධානය හා සහ සම්බන්ධව සිදු කළා වූ ක්‍රියාකාරකම් හේතුවෙනි.

පසුගිය දසක එකහමාරක කාලය තුළ බොදු බල සේනා සංවිධානය විසින් මෙරට සමාජ දේශපාලනයට සිදු කළ බලපෑම අති මහත් ය. මෙරට ජාතික ව්‍යාපාරයේ ඉදිරි ගමන සැළසුම් කරන්නෙකුට බොදු බල සේනා සංවිධානයේ නැගීම, එහි ක්‍රියාකාරීත්වය සහ පරිහානිය  විචාරය කර ගැනීම අතිශය වැදගත් වේ.


සිද්ධි ලෙබ්බේ වැන්නවුන් විසින් පණ පොවනු ලදුව මුස්ලිම් ජනතාවට ව්‍යවස්ථාදායකයේ වෙනම ජනවාර්ගික නියෝජනයක් ලබා ගැනීම වැනි ජාතිවාදී ප්‍රවේශයන් ඔස්සේ ඇදී ආ මුස්ලිම් දේශපාලනය මුල් කාලයේදී සංවර්ධනය වූයේ චෙල්වනායගම්ගේ දෙමළ රාජ්‍ය පක්ෂය සෙවණේ ය. දෙමළ කතා කරන ජනතාවට වෙනම රාජ්‍යක් ලෙස චෙල්වනායගම් ගෙන ආ ව්‍යාපාරයට මුල් කාලීන මුස්ලිම් දේශපාලනඥයන් ඇතැමෙකුගේ සහය ද හිමි විය. 1960 දී කාරියප්පර් විසින් පිහිටවූ ස්ලාමීය එක්සත් පෙරමුණ මෙරට පළමු මුස්ලිම් වාර්ගික දේශපාලන පක්ෂය ලෙස හැඳින්විය හැකිය.

මෙරට මුස්ලිම් වාර්ගික දේශපාලනය ‘රජුන් තනන්නාගේ’ භූමිකාව ඉටු කරන ව්‍යාපාරය වශයෙන් වර්ධනය කරනු ලැබුවේ එම්.එච්.එම්  අෂ්රෆ්ගේ නායකත්වය යටතේ මුස්ලිම් කොන්ග්‍රසය විසිනි. අෂ්රෆ් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රස් නායකයන් 1976 දී මැතිවරණයට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ යටතේ තරඟ කළ බවත්, එහිදී ඊළම වෙනුවෙන් පෙනී සිටි බවත් රහසක් නොවේ. එසේම මෙරට මුස්ලිම් ජනයාගේ සම්භවය පිළිබඳව ව්‍යාජ ඉතිහාසයක් ගොතා එය ඉතා සාර්ථකව නිජ බිම් සංකල්පයක් ලෙස සාම්ප්‍රදායික මුස්ලිම් ජන මනසට ඇතුළත් කිරීමට ද මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය සමත් විය. මෙම ව්‍යාජ ඉතිහාස ඉගැන්වීම මේ මොහොත වන විටත් නිදැල්ලේ ක්‍රියාත්මක වේ.

මෙලෙස මුස්ලිම් වාර්ගික දේශපාලනය සහ ඊළාම් බෙදුම්වාදී දේශපාලනය අතර පැවති අනියම් දීගය කෙළවර වන්නේ ප්‍රභාකරන් විසින් උතුරු නැගෙනහිර මුස්ලිම් සංහාරය ආරම්භ කිරීමෙන් පසුව ය. වරෙක ප්‍රේමදාස සමඟ ද, වරෙක චන්ද්‍රිකා සමඟ ද, වරෙක රනිල් සමඟ ද සන්ධානගත වූ මෙම මුස්ලිම් වාර්ගික දේශපාලනය මෙම කාලය තුළදී ඉතා උපක්‍රමශීලී ලෙස වාර්ගික නීති සම්මත කරවා ගැනීමටත්, අන්තවාදී ඉගැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පද්ධතිය සකස් කර ගැනීමටත් සමත් විය.

මෙරට මුස්ලිම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ප්‍රබල ජන මතයක් ඇති කිරීම සඳහා මුල් වරට කටයුතු කරන ලද්දේ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසිනි. උන් වහන්සේ විසින් එකී අදහස් ජනගත කිරීම ඉතා සං‍යමයකින් සිදු කරන ලද අතර අෂ්රොෆ් වැනි මුස්ලිම් නායකයන් සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී සංවාද වලට එළඹීම දක්වා එම ක්‍රියා පිළිවෙත තියුණු විය.

වෙනම මුස්ලිම් රාජ්‍යක් පිළිබඳව ඇති කරගන්න ලද ඔලුවිල් සම්මුතිය පිළිබඳවත්, නැගනහිර ක්‍රියාත්මක වූ මුස්ලිම් සන්නද්ධ කණ්ඩායම් පිළිබඳවත්, ස්ලාමීය රාජ්‍ය නොවන සංවිධාන වෙත විදේශයන්ගෙන් ගලා එන මහා පරිමාණ විදේශ අරමුදල් සම්බන්ධයෙනුත්, හින්දු සහ බෞද්ධ පවුල් ස්ලාම්කරණය කිරීම පිළිබඳවත් වරින් වර තොරතුරු වාර්තා වූ නමුත් 2009 වසර දක්වා මෙම කරුණු අරභයා එතරම් සමාජ අවධානයක් යොමු නොවූයේ ඊට වඩා ප්‍රබල අවධානයක් සමස්ත සමාජය තුළින් ඊළාම් බෙදුම්වාදය කෙරෙහි එල්ල වී තිබීම හේතුවෙනි. 

2012 දී බොදු බල සේනා සංවිධානය බිහි වන්නේ මෙවන් පසුබිමක ය. දේශීය වශයෙනුත්, කලාපීය වශයෙනුත්, ගෝලීය වශයෙනුත් ඒ වන විට ඇති වෙමින් තිබුණු ස්ලාම් අන්තවාදයට ප්‍රති විරෝධයක් ලෙස ඒ වන විටත් ඉන්දියාවේ ශිව් සේනා සංවිධානය, මියන්මාරයේ 969 ව්‍යාපාරය ආදී සංවිධාන බිහි වී තිබුණි.

බොදු බල සේනා සංවිධානයේ සභාපති, මහ ලේකම් ඇතුළු ප්‍රධාන නායක කාරකාදීන් බොහෝමයක් ඊට පෙර ජාතික හෙළ උරුමය සමඟ දේශපාලනික සම්බන්ධතා පැවැත් වූ අයවලුන් ලෙස හඳුනා ගත හැකි නමුත් සංවිධානයක් වශයෙන් බොදු බල සේනා සංවිධානය ක්‍රමික විකාශනයකින් තොරව එක්වනම මතු වූ සංවිධානයක් ලෙස නිරීක්ෂණය කළ හැකිය. බොදු බල සංවිධානයට අරමුදල් සැපයුණු ආකාරය, එහි නායකයන් විදේශයන් සමඟ පැවැත් වූ සම්බන්ධතාවල ස්වරූපය, දේශීය දේශපාලඥයන් සමඟ එම සංවිධානය සිදු කොට ඇති ගනුදෙනු පිළිබඳව ඉතා විවාදාපන්න කරුණු මතු වී තිබේ. එසේම එහි නායකයන්ගේ පෞද්ගලික චරිත සහ හැසිරීම් පිළිබඳව ආන්දෝලනාත්මක සිද්ධීන් වාර්තා වී තිබේ. ඒ සියල්ල එසේ තිබියදීත් එමගින් ස්ලාම් අන්තවාදය සහ ව්‍යාප්තවාදය පිළිබඳව ඉදිරිපත් කළ කරුණු, සාක්ෂි සහ සාධක බැහැර කළ නොහැකි බව සනාථ වී ඇත.

(මෙම ලිපියේ මීළඟ කොටස යුතුකම මාර්තු කලාපයෙන් බලාපොරොත්තු වන්න)

 -පැතුම් ඒ. රණසිංහ-

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

2/20/2025

සිංහල පුවත්පත් කලාව නව මගකට යොමු කළ කඩේ කොලු ගැටයා

කතෘ:යුතුකම     2/20/2025   No comments



මීට සියවසකට පමණ පෙර විසූ, දියෝගු බඩතුරුගේ කරෝලිස් ද සිල්වා යනු, ගාල්ලේ උපන් ඉඩම් හිමි ප්‍රභූවරයෙකි. හෙතෙම ගාල්ලෙන් තිස්සමහාරාමයට සංක්‍රමණය විය. 1905 ජනවාරී 5 වැනිදා උපත ලබන දියෝගු බඩතුරුගේ ඩේවිඩ් ද සිල්වා යනු ඔහුගේ පුත්‍රයෙකි. කුඩා අවදියේ ම සිය මව කලුරිය කිරීම හේතුවෙන් කුඩා ඩේවිඩ් හැදී වැඩෙන්නේ ගාල්ලේ විසූ තම නැන්දා ලඟ ය.

උදය වරුවේ ගාල්ලේ ග්‍රාමීය පාසලකට යන ඩේවිඩ්, සවස් වරුවේ තම නැන්දාට අයත් කඩයක සේවය කරයි. කෙසේ වෙතත්, ඩේවිඩ්ගේ පසු කාලීන වෘත්තීය ජීවිතයේ තිඹිරිගෙය මෙම කඩය වූවාට සැකයක් නැත. සවස ඇඳිරි වැටුනු පසු කඩය වසා දමන එහි ප්‍රධාන සේවකයා, අනෙකුත් සේවකයන්ට ඇසෙන පරිදි කුප්පි ලාම්පු එළියෙන් සිංහල පත්තර කියවීම එහි දෛනික අංගයක් විය. මෙසේ පත්තරේ විස්තරේට සවන් දෙන කුඩා ඩේවිඩ්ට එහි දී නිතර ඇසෙන නාමයක් වන්නේ "අනගාරික ධර්මපාල" යන නාමය යි. ඒ අනුව, ධර්මපාල තුමන්ගේ දේශනයක් ඇසීමට ගාල්ලේ කඩමණ්ඩියට යන විට ඩේවිඩ්ගේ වයස අවුරුදු හතකි. එම දේශනයට සවන් දෙන කුඩා ඩේවිඩ් එතැන් පටන් තම බටහිර නාමයන් අතහැර දියෝගු බඩතුරුගේ ධනපාල හෙවත් ඩී.බී. ධනපාල යන නමින් පෙනී සිටියි. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ධනපාලයන් සිය ලිවීමේ හැකියාව පෙන්නුම් කරන්නේ, පාසල් සිසුවෙකු ලෙස ඔහු "බුඩිස්ට් ක්‍රොනිකල්" නම් සඟරාවකට සපයන ලිපි මගිනි. කලක් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි බ්‍රිතාන්‍ය ජාතික ගොර්ඩන් පියර්ස් මහතාගේ මග පෙන්වීම මත, ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ඔහු ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගනි යි. ඉන්දියාවේ වෙසෙන කාලය තුළ ඉන්දීය නිදහස් සටනේ ද අභාශය ලබමින්, ඉන්දීය පුවත්පත් සඳහා ලිපි ලිවීම අරඹන ධනපාලයන් හට මෙරටට පැමිණ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරන්නේ එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ හර්බට් හුලුගල්ල මහතා ය. ඒ අනුව 1933 දී ඩේලි නිව්ස් පත්‍රය සමග එක්වන ධනපාල මහතා 1940 දී පමණ ඉන් ඉවත් වන්නේ එවකට පත්‍රයේ කර්තෘවරයා සමග ඇති කර ගත් මත ගැටුමක් හේතුවෙනි.

එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ආරම්භ කර තිබූ බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ (වත්මන් කැලණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) විදුහල්පති ලෙස ධනපාල මහතා එක් වන්නේ ඉන් අනතුරුව ය. ධනපාල මහතා විදුහල්පති ධූරය දැරූ යුගය (1942 – 1946) එම විදුහල ශ්‍රීඝ්‍ර දියුණුවක් අත් කර ගත් යුගය ලෙස සැලකේ. මේ වන විට විද්‍යාලංකාර පිරිවෙනෙහි භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන කටයුතු හේතුවෙන් එම පිරිවෙන සහ ආණ්ඩුවේ දේශපාලඥයින් අතර ගැටුමක් හට ගෙන තිබුණි. එම වකවානුවේ දී ලේක් හවුස් පුවත්පත් දිගින් දිගටම විද්‍යාලංකාර පිරිවෙනට විරුද්ධ ප්‍රචාර ගෙන යමින් තිබිණ. මේ වන විට ලේක් හවුස් ආයතනය "දිනමිණ" පුවත්පත ද ආරම්භ කර තිබූ අතර, එය බොහෝ දුරට ඩේලි නිව්ස් පුවත් පතෙහි පළ වූ ලිපි සහ ප්‍රවෘත්තිවල සිංහල පරිවර්තනයන්ගෙන් සමන්විත විය. මීට අමතරව පොදුවේ ලේක් හවුස් පුවත්පත් ගත්තේ අධිරාජ්‍ය ගැති මගකි. මේ වන විට විද්‍යාලංකාර භික්ෂූන් වහන්සේලා සහ ධනපාල මහතා අතර දැඩි මිතු දමක් ගොඩනැඟී තිබූ අතර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් ධනපාල මහතාගේ සමීපතම මිත්‍රයෙක් විය. පුවත්පත් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් අත්දැකීම් ගොන්නක් කැටි කොට ගෙන සිටි ඩී.බී. ධනපාලයන්ට සාධනීය සිංහල පුවත්පතක් ආරම්භ කිරීමේ දැඩි බලාපොරොත්තුවක් විය. විද්‍යාලංකාර පිරිවෙන සතුව තිබූ මුද්‍රණාලය පවා වසා දැමීමට රජය කටයුතු කර තිබූ පසුබිමක, පුවත්පතක් ආරම්භ කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් විය.

ලංකාවේ ප්‍රධාන පුවත්පත් සමාගමක් වූ ටයිම්ස් ආයතනය එවකට පාඩු ලබමින් වැසී යන තත්ත්වයට පත්ව තිබුණි. එහෙත් යාපනයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද වූ ආරුමුගම් සංගරපිල්ලේ මහතා එම ආයතනය මිලට ගෙන යලි පවත්වා ගෙන යාමේ අදහසින් සිටියේ ය. ටයිම්ස් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස කුඩා ප්‍රමාණයේ සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට සංගරපිල්ලේ මහතා කැමැත්ත පළ කරන්නේ ධනපාල මහතාගේ යෝජනාවක් අනුව ය. ධනපාලයන් ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලයෙන් ඉවත් වී 1947 දී මෙම නව පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එක් වන අතර, එහි ප්‍රධාන කර්තෘවරයා වන්නේ ජූලියස් ද ලැනරෝල් මහතා ය. මෙම නව පුවත්පතට විද්‍යාලංකාරයෙන් ලැබුණු ආභාශය කෙතරම් ද යත් පත්‍රයට "ලංකාදීප" යන නම ලබා දෙන්නේ ද යක්කඩුවේ හිමියන් සහ ලැනරෝල් මහතා එක්ව ය. මුල සිට ම දිනමිණට වඩා වෙනස් මගක් ගන්නා ලංකාදීපය, සෑම විට ම ජාතික වැදගත්කමකින් යුතු කරුණුවලට මුල් තැන දුනි. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකරණයක් නොවී, ස්වාධීන මගක් ගන්නා ආකාරය පෙන්වා දීමට ලංකාදීප පුවත්පත සමත් විය. 1949 දී ඒ වන විට දිවයිනෙහි ඉතා ජනප්‍රිය පුවත්පතක් බවට පත්ව තිබූ ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට ධනපාල මහතා පත් වේ. ආරම්භයේ පටන් විද්‍යාලංකාර හිමිවරුන්ගේ බුද්ධිමය දායකත්වය නොමදව ම ලබන ලංකාදීපය මෙරට ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වන්නේ ය. එහි කූඨප්‍රාප්තිය වන්නේ 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි පොරොන්දු රැසක් මැද බණ්ඩාරනායක රජය බලයට පත් වීම ය. ඒ සඳහා අති මහත් දායකත්වයක් සැපයූ ධනපාල මහතා ප්‍රමුඛ ලංකාදීපය, එම රජය නිර්දය විවේචනයට ලක් කරන්නේ, එකී පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන තැන ය. ධනපාල මහතා 1960 දී ලංකාදීප පුවත්පතෙන් ද ඉවත් වන්නේ කළමනාකාරීතවය සමග ඇති කර ගන්නා මත ගැටුමක් හේතුවෙනි.

ධනපාල මහතා 1961 දී දිනපතා පුවත්පතක් ලෙස "දවස" පුවත්පත ආරම්භ කරන්නේ ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහය යටතේ ය. දින කිහිපයක් ඇතුලත එහිම ඉරිදා පුවත්පත ලෙස, "රිවිදින" ආරම්භ කෙරිණි. චිත්‍ර සහ මූර්ති ශිල්පිනියක මෙන් ම ගුරුවරියක ද වූ රතී මුතුවේල් මෙනවිය සමග විවාහ වන ධනපාල මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් ද වේ. සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සහ ඡායාරූප ශිල්පී ඩී.බී. සුරනිමල එම දරු දෙදෙනා වේ.

1971 වර්ෂයේ දී එතුමන් සිය දිවිසැරිය නිමා කරන අතර, මෙම වසරේ මාර්තු මස 18 වැනි දිනට එතුමා දැයෙන් සමු ගෙන වසර 54 කි.

නාරද බලගොල්ල
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 2

කතෘ:යුතුකම     2/20/2025   No comments


90' දශකයෙන් පසු ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ජාතිකවාදී පැන නැගීම් පොදු ප්‍රවණතාවයක් ලෙස විස්තර කිරීම අපහසු බවත් ඒ ඒ රටවල, ඒ ඒ කලාප තුළ පවතින සුවිශේෂීතාවයන් ඔස්සේ ඒවා නිර්වචනය කොටගත යුතු බවත් අප පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. එලෙස 90’ දශකයෙන් පසුව ලෝකය තුළ ක්‍රියාත්මක වූ ජාතිකවාදී ප්‍රවණතාවයන් සම්බන්ධ උදාහරණ කිහිපයක් පිළිබඳව විමසා බැලීම මෙවර කලාපයෙන් අපි ආරම්භ කරමු.

 බෝල්කන් ජාතිකවාදී පැන නැගීම

80 දශකයේ අග සෝවියට් සමූහාණ්ඩුව පරිහානියට පත්වෙත්ම ඊට සමාන්තරව යුරෝපයේ පිහිටි අනෙක් සමාජවාදී දැවැන්තයා වූ යුගෝස්ලෝවියානු සමූහාණ්ඩුව ද පරිහානියට පත් වීම ආරම්භ විය. ආර්ථික සහ දේශපාලන හේතු සාධක සමුච්චයක් පාදක කර ගනිමින් යුගෝස්ලෝවියාව බිඳ වැටෙත්ම එම සමූහාණ්ඩුවේ පාර්ශවකාර ජාතීන් අතට තියුණු ජාතිකවාදී රැල්ලක් හමා යමින් තිබුණි.

පළමු ලෝක යුද්ධයෙන් පසුව ඔස්ට්‍රො හංගේරියන් සහ ඔටෝමන් අධිරාජ්‍ය බිඳ වැටෙද්දී දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවයක් සහිත ජාතීන් ඒකාබද්ධ කිරීමේ අරමුණින් යුගෝස්ලෝවියාව බිහි විය. දකුණු ස්ලාව් ජාතික අනන්‍යතාවය පුළුල් ජාතික අනන්‍යතාවයකි. එහි ස්භාවය අවබෝධ කර ගැනීම සඳහා ලබා දිය හැකි ආසන්න උදාහරණයක් වනුයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ අනන්‍යතාවයයි. දකුණු ඉන්දියාවේ දෙමළ, මලයාලම්, තෙළිඟු, කණ්නඩ ආදී ජාතීන් ද්‍රවිඩ යන පොදු අනන්‍යතාවය යටතේ ඇතැම් තැන්හි පෙනී සිටී. එසේ වුවත් ද්‍රවිඩ යන පොදු කුලකය යටතේ තමන්ව හඳුන්වා ගන්නා එක් එක් ජාතීන් අතර භාෂාව, සංස්කෘතිය, ජීවන රටාව ආදී පදාසයන්හි නේක විධ වෙනස්කම් පවතී.

යුගෝස්ලෝවියා සමාජවාදී ෆෙඩරල් ජනරජය 1991 බිඳී යාමට පෙර


දකුණු ස්ලාව් යන පොදු කුලකය යටතට සර්බියානු, ක්‍රොඒෂියානු, බොස්නියානු, ඇල්බේනුයානු, මැසිඩෝනියානු ආදී විවිධ ජාතීන් ගොනු කොට යුගෝස්ලෝවියාව ගොඩ නගා තිබුණි. නමුත් යුගෝස්ලෝවියාව දුර්වල වෙත්ම එහි සිටි නොයෙක් ජාතීන් අතර තිබූ භාෂාමය, ආගමික සහ සංස්කෘතික වෙනස්කම් වඩ වඩා ඉස්මතු වන්නට විය.

රාජ්‍යක ආර්ථික සහ දේශපාලන ශක්තිය දුර්වල වීමේදී එම රාජ්‍යයේ වෙසෙන ජනවර්ග හෝ ජාතීන් අතර ඝට්ටනයන් ඇති වීම සුලභව සිදු වේ. රාජ්‍යක ජීවත්වන ජාතීන් හෝ ජන වර්ග අතර සාමග්‍රියක් පවත්වා ගැනීමට නම් නිසැක වශයෙන්ම එම රාජ්‍යයේ ආර්ථිකය සහ දේශපාලනය ශක්තිමත් මට්ටමක පවත්වා ගත යුතුය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීමෙහි ප්‍රතිපලය වූයේ යුගෝස්ලෝවියාව බිඳ වැටීමයි. 1991 දී ස්ලොවේනියාව, උතුරු මැසිඩෝනියාව, බොස්නියාව සහ ක්‍රොඒෂියාව සිය ස්වාධීනත්වය ප්‍රකාශ කළ අතර ඒ හේතුවෙන් උද්ගත වූ යුධ ගැටුම් වසර කිහිපයක් ඔබ්බට ඇදී යන ලදි. විශේෂයෙන්ම බොස්නියාව තුළ සිදු වූ ගැටුම් ඉතා විනාශකාරී සහ විදේශ අත පෙවීම් සහිත ඒවා විය.

දකුණු ස්ලාව් අනන්‍යතාවය මත යුගෝස්ලෝවියාව එක්සත්ව තබා ගැනීමට සමත් වූ දැවැන්ත ප්‍රතිරූපය වූයේ මාෂල් ටිටෝ ය. ඔහුගේ නායකත්වය යටතේ ‘සහෝදරත්වය සහ එකමුතුකම’ යන තේමාව පාදක කර ගනිමින් කලාපයේ ජාතිකවාදී ප්‍රවණතාවයන් පාලිත තත්ත්වයක පවත්වා ගන්නා ලදි. ඔහු 1980 දී මිය ගිය අතර ඒ හා සමගම බෝල්කන් ජාතිකවාදී රැල්ල හමා යාම ආරම්භ විය.


යුගෝස්ලෝවියාව බිඳ වැටීමෙන් පමණක් බෝල්කන් ජාතිකවාදී රැල්ල නිමාවට පත් නොවූ අතර 2008 දී උද්ගත වී මේ දක්වාම නොවිසඳුණු ගැටළුවක් ලෙස ඉතිරිව පවතින කොසෝවෝ අර්බුධය ද එහිම දිගුවක් ලෙස හැඳින්විය හැකිය.

බෝල්කන් ජාතිකවාදී පැන නැගීම ඔස්සේ ස්වාධීනත්වයට පත් වූ ඇතැම් ජාතීන් ඉන් සාර්ථක පල නෙළා ගැනීමට සමත්ව ඇති අතර තවත් ජාතීන් තවමත් ඉතා ව්‍යසනකාරී අභියෝගයන්ට මුහුණ දෙමින් සිටී. උදාහරණයක් ලෙස 1991 දී ස්වාධීනත්වයට පත් ස්ලොවේනියාව මේ වන විට සංවර්ධිත තත්ත්වයට පත්ව කලාපයේ සංවර්ධිතම රාජ්‍ය බවට පත්ව සිටී. ක්‍රොඒෂියාව ද ඉහළ ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පත් වී ඇත. නමුත් සර්බියාවේ සහ උතුරු මැසිඩෝනියාවේ තත්ත්වය තවමත් පවතින්නේ සතුටුදායක තත්ත්වයක නොවේ. සර්බියාව ඉහල මැදි ආදායම් ලබන රාජ්‍යක තත්ත්වයට පැමිණියත් කොසෝවෝ අර්බුධය වැනි ගැටළුකාරී තත්ත්වයන් අභිමුව එහි ඉදිරි ගමනට බාධා පැමිණ ඇත

90’ දකයෙන් මෙපිට ලෝකය තුළ නිරීක්ෂණය වන ජාතිකවාදී පැන නැගීම් පිළිබඳව තවත් උදාහරණ කිහිපයක් මීළඟ කලාපවලින් සාකච්ඡාවට බඳුන් කරමු.

(සංවාදයට විවෘත්තයි)


පැතුම් ඒ. රණසිංහ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions