විජේවර්ධන පවුලේ සංනිවේදන අධිරාජ්‍යයේ අරමුණු සාර්ථක වෙමින් පැවැතුනි. ධර්මපාලතුමාට එල්ල වූ මෙම පහරදීම් අතරතුර එතෙක් ජාතික ව්‍යාපාරයක අසලකවත් නොසිටි පිරිසක් ක්‍රමයෙන් ජාතික දේශපාලන වේදිකාවට ගොඩ වන්නට විය. 1914 වසරේ දී කල්කටාවේ දී බිරිතානීන් විසින් ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත්කරන ලද අතර වසර 7ක් යනතුරුම ඉන් නිදහස් නොකරන ලදී. 1921 වසරේ දී නිවාස අඩස්සියෙන් නිදහස ලැබ නැවත ලංකාවට පැමිණෙන විට තමා මෙරට නොසිටි කාලය තුළ රට පත්ව ඇති තත්වය අනුව තවදුරටත් තමාට කන්දීමට පිරිසක් මෙරට නැතැයි කලකිරීමට පත් ධර්මපාලතුමා මව්බිමෙන්ද ඈත්ව පැවිදි බිමට පිවිස ඉන්දියාවේ දී අපවත් විය. එහෙත් එතුමන් අවුරුදු 60 කට වැඩි කාලයක් පුරාවට හුදී ජනයාගේ සිත්සතන් තුළට කාවද්දන ලද ජාතික මතවාදයන් (චින්තනය) ඔවුනගේ සිත්සතන් තුළ ගැඹුරින් තැන්පත්ව පරපුරෙන් පරපුරට පැවත එන්නට වූ අතර එහි බලපෑම විවිධාකාරයෙන් කලින් කලට බලයට පත් නායකත්වයේ නැණ පමණට ඉස්මතු වන්නටත් යටපත් වන්නටත් කරුණු කාරණා යෙදෙන්නට විය.
1956 යනු එවැනි අවස්ථාවක් විය. බුදුදහම ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම රජයේ වගකීම බවට පත්කොට ඉංගිරිසි යටත් විජිත යුගයේ යටපත් කොට තිබූ සිංහල බස රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට කටයුතු කළ බණ්ඩාරනායක මැතිතුමන්ව වැඩිකල් නොගොස්ම ඝාතනය කිරීම දක්වාම ඊට එරෙහි විජාතික බලවේග බලවත් විය; සූක්ෂම විය. සිංහල බස රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව දෙමළ ජාතිවාදය තුළින් වෙනම ව්‍යාපාරයක් ද, සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා තමනට ඉංගිරිසි අධ්‍යාපනය අහිමි වූයේ යැයි ද ‘උසස්’ රැකියාවන්ට යාමට තිබූ අවස්ථාවන් නොලැබී ගියේ යැයි ද රටේ දියුණුව ඇණ හිටියේ යැයි ද මැසිවිලි නගන්නන් පිරිසක් සිංහල ජනයා අතරින්ම ද මතුකර ගැනීමට ජාතිකත්වයට එරෙහි විජාතික බලවේග වලට හැකි විය.
එහෙත් රාජ්‍ය භාෂාව යන්න හා ඉගැන්වීමේ මාධ්‍ය යන්න එකක් නොව දෙකෙකි. එය අමතක කර හෝ තේරුම් නොගෙන හෝ හිතාමතාම කරුණු විකෘති කරමින් හෝ අද ද සිංහල රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිව විවිධ මිත්‍යා මත පදනම්ව පහර දෙනු දක්නට හැකි ය. ස්වභාෂාවෙන්/මව්බසින් (සිංහල මෙන්ම දෙමළ භාෂාවන්ගෙන්) ඉගැන්වීමට ගත් තීරණය 1956ට පෙර, එනම් 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ගත් තීරණයකි. ඒ අනුව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට නොහැකි වූයේ යැයි නගන ඝෝෂාවට කිසිඳු පදනමක් නැත. ඉංගිරිසි බසින් දැනුම ලබා ගැනීමට කිසිඳු බාධාවක් සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා පැන නොනගී. රාජ්‍ය භාෂාව විසින් කෙරෙනුයේ අවසාන වශයෙන් ගත්කල රජයේ අණපනත් හා නීතිමය තත්වයන් පිළිබඳව අවසාන අර්ථ කථනය පවත්වාගෙන යාමයි. එය ඕනෑම ස්වෛරී රාජ්‍යක් විසින් පවත්වාගෙන යන පිළිවෙතකි. දෙමළ බස ඇතුළු භාෂා රැසක් භාවිතා වන අසලවැසි ඉන්දියාවේ හින්දි බස රාජ්‍ය භාෂාව කිරීම නිසා ඒ රට තුළ උද්ඝෝෂණයක් හෝ විරෝධයක් හෝ නොවී ය. අද ද ඉන්දියානුවන් එය පිළිගෙන ඒ අනුව කටයුතු කරයි.
අනෙක් අතින් ලෝකයේ දියුණු යැයි සම්මත කිසිඳු රටක් ස්වභාෂාවෙන් (මව් බසින්) වියෝව ලැබූ දියුණුවෙක් ද නැත. අප රටක් ලෙස ලැබූ ජයග්‍රහණ තරමටම ඊට එරෙහිව එම ජයග්‍රහණ අකාමකා දමන්න, ආපසු හරවන්න ගනු ලැබූ ක්‍රියා මාර්ග වලින් ද පසුගිය 76 වසර පුරාවට අපට අඩුවක් නොවී ය.
1971 යනු තවත් එවැනි අවස්ථාවකි. 71’ ජනරජ ව්‍යවස්ථාව සම්මත කොට ඩොමීනියන් නිදහස තුළ බිරිතානියට තව දුරටත් අපව බැඳ තිබුණු සියලුම නෛතික බැමි ගලවා දමා බුදුදහමට හිමි ප්‍රමුඛත්වය තහවුරු කර බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බවට පත්කිරීමට 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුත් රජය කටයුතු කරනු ලැබීි ය. එසේම ජාතික ආර්ථිකයක් පිළිබඳව විශ්වාසය තැබූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඒ අනුව කටයුතු කරන්නට ද විය. එදා එනම් 1958 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමට විජාතික බලවේග විසින් චීවරධාරියකු යොදාගත් අයුරු සිහිපත් කරමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජාතිකවාදී රජය පෙරලා දමා එතුමියව පැහැර ගැනීමට (හා ඝාතනය කිරීමට?) විජේවීරගේ නායකත්වයෙන් යුත් ජවිපෙ 1971 දී ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කරනු ලැබී ය. එයට පෙර 1962 ජනවාරි 27 දින රාත්‍රියෙහි ද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1960 ජූලි මස දී පිහිටුවන ලද රජය පෙරලා දැමීමට අති බහුතරයක් වූ ක්‍රිස්තියානි ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැළසුම් කරන ලද මුත් එය අවසාන මොහොතේ දී වළක්වා ගත හැකි විය.

-අභය-
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .