මීට සියවසකට පමණ පෙර විසූ, දියෝගු බඩතුරුගේ කරෝලිස් ද සිල්වා යනු, ගාල්ලේ උපන් ඉඩම් හිමි ප්‍රභූවරයෙකි. හෙතෙම ගාල්ලෙන් තිස්සමහාරාමයට සංක්‍රමණය විය. 1905 ජනවාරී 5 වැනිදා උපත ලබන දියෝගු බඩතුරුගේ ඩේවිඩ් ද සිල්වා යනු ඔහුගේ පුත්‍රයෙකි. කුඩා අවදියේ ම සිය මව කලුරිය කිරීම හේතුවෙන් කුඩා ඩේවිඩ් හැදී වැඩෙන්නේ ගාල්ලේ විසූ තම නැන්දා ලඟ ය.
උදය වරුවේ ගාල්ලේ ග්‍රාමීය පාසලකට යන ඩේවිඩ්, සවස් වරුවේ තම නැන්දාට අයත් කඩයක සේවය කරයි. කෙසේ වෙතත්, ඩේවිඩ්ගේ පසු කාලීන වෘත්තීය ජීවිතයේ තිඹිරිගෙය මෙම කඩය වූවාට සැකයක් නැත. සවස ඇඳිරි වැටුනු පසු කඩය වසා දමන එහි ප්‍රධාන සේවකයා, අනෙකුත් සේවකයන්ට ඇසෙන පරිදි කුප්පි ලාම්පු එළියෙන් සිංහල පත්තර කියවීම එහි දෛනික අංගයක් විය. මෙසේ පත්තරේ විස්තරේට සවන් දෙන කුඩා ඩේවිඩ්ට එහි දී නිතර ඇසෙන නාමයක් වන්නේ "අනගාරික ධර්මපාල" යන නාමය යි. ඒ අනුව, ධර්මපාල තුමන්ගේ දේශනයක් ඇසීමට ගාල්ලේ කඩමණ්ඩියට යන විට ඩේවිඩ්ගේ වයස අවුරුදු හතකි. එම දේශනයට සවන් දෙන කුඩා ඩේවිඩ් එතැන් පටන් තම බටහිර නාමයන් අතහැර දියෝගු බඩතුරුගේ ධනපාල හෙවත් ඩී.බී. ධනපාල යන නමින් පෙනී සිටියි. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුලත් වන ධනපාලයන් සිය ලිවීමේ හැකියාව පෙන්නුම් කරන්නේ, පාසල් සිසුවෙකු ලෙස ඔහු "බුඩිස්ට් ක්‍රොනිකල්" නම් සඟරාවකට සපයන ලිපි මගිනි. කලක් මහින්ද විද්‍යාලයේ විදුහල්පතිව සිටි බ්‍රිතාන්‍ය ජාතික ගොර්ඩන් පියර්ස් මහතාගේ මග පෙන්වීම මත, ඉන්දියාවේ අලහබාද් විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ඔහු ශාස්ත්‍රවේදී සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගනි යි. ඉන්දියාවේ වෙසෙන කාලය තුළ ඉන්දීය නිදහස් සටනේ ද අභාශය ලබමින්, ඉන්දීය පුවත්පත් සඳහා ලිපි ලිවීම අරඹන ධනපාලයන් හට මෙරටට පැමිණ සිලෝන් ඩේලි නිව්ස් පුවත්පත හා සම්බන්ධ වන ලෙස ආරාධනා කරන්නේ එම පත්‍රයේ ප්‍රධාන කර්තෘ හර්බට් හුලුගල්ල මහතා ය. ඒ අනුව 1933 දී ඩේලි නිව්ස් පත්‍රය සමග එක්වන ධනපාල මහතා 1940 දී පමණ ඉන් ඉවත් වන්නේ එවකට පත්‍රයේ කර්තෘවරයා සමග ඇති කර ගත් මත ගැටුමක් හේතුවෙනි.
එවකට පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මගින් ආරම්භ කර තිබූ බෞද්ධ ඉංග්‍රීසි විද්‍යාලයේ (වත්මන් කැලණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය) විදුහල්පති ලෙස ධනපාල මහතා එක් වන්නේ ඉන් අනතුරුව ය. ධනපාල මහතා විදුහල්පති ධූරය දැරූ යුගය (1942 – 1946) එම විදුහල ශ්‍රීඝ්‍ර දියුණුවක් අත් කර ගත් යුගය ලෙස සැලකේ. මේ වන විට විද්‍යාලංකාර පිරිවෙනෙහි භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන කටයුතු හේතුවෙන් එම පිරිවෙන සහ ආණ්ඩුවේ දේශපාලඥයින් අතර ගැටුමක් හට ගෙන තිබුණි. එම වකවානුවේ දී ලේක් හවුස් පුවත්පත් දිගින් දිගටම විද්‍යාලංකාර පිරිවෙනට විරුද්ධ ප්‍රචාර ගෙන යමින් තිබිණ. මේ වන විට ලේක් හවුස් ආයතනය "දිනමිණ" පුවත්පත ද ආරම්භ කර තිබූ අතර, එය බොහෝ දුරට ඩේලි නිව්ස් පුවත් පතෙහි පළ වූ ලිපි සහ ප්‍රවෘත්තිවල සිංහල පරිවර්තනයන්ගෙන් සමන්විත විය. මීට අමතරව පොදුවේ ලේක් හවුස් පුවත්පත් ගත්තේ අධිරාජ්‍ය ගැති මගකි. මේ වන විට විද්‍යාලංකාර භික්ෂූන් වහන්සේලා සහ ධනපාල මහතා අතර දැඩි මිතු දමක් ගොඩනැඟී තිබූ අතර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමියන් ධනපාල මහතාගේ සමීපතම මිත්‍රයෙක් විය. පුවත්පත් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් අත්දැකීම් ගොන්නක් කැටි කොට ගෙන සිටි ඩී.බී. ධනපාලයන්ට සාධනීය සිංහල පුවත්පතක් ආරම්භ කිරීමේ දැඩි බලාපොරොත්තුවක් විය. විද්‍යාලංකාර පිරිවෙන සතුව තිබූ මුද්‍රණාලය පවා වසා දැමීමට රජය කටයුතු කර තිබූ පසුබිමක, පුවත්පතක් ආරම්භ කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් විය.
ලංකාවේ ප්‍රධාන පුවත්පත් සමාගමක් වූ ටයිම්ස් ආයතනය එවකට පාඩු ලබමින් වැසී යන තත්ත්වයට පත්ව තිබුණි. එහෙත් යාපනයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද වූ ආරුමුගම් සංගරපිල්ලේ මහතා එම ආයතනය මිලට ගෙන යලි පවත්වා ගෙන යාමේ අදහසින් සිටියේ ය. ටයිම්ස් ආයතනයේ ප්‍රකාශනයක් ලෙස කුඩා ප්‍රමාණයේ සිංහල පුවත්පතක් ආරම්භ කිරීමට සංගරපිල්ලේ මහතා කැමැත්ත පළ කරන්නේ ධනපාල මහතාගේ යෝජනාවක් අනුව ය. ධනපාලයන් ඉංග්‍රීසි බෞද්ධ විද්‍යාලයෙන් ඉවත් වී 1947 දී මෙම නව පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එක් වන අතර, එහි ප්‍රධාන කර්තෘවරයා වන්නේ ජූලියස් ද ලැනරෝල් මහතා ය. මෙම නව පුවත්පතට විද්‍යාලංකාරයෙන් ලැබුණු ආභාශය කෙතරම් ද යත් පත්‍රයට "ලංකාදීප" යන නම ලබා දෙන්නේ ද යක්කඩුවේ හිමියන් සහ ලැනරෝල් මහතා එක්ව ය. මුල සිට ම දිනමිණට වඩා වෙනස් මගක් ගන්නා ලංකාදීපය, සෑම විට ම ජාතික වැදගත්කමකින් යුතු කරුණුවලට මුල් තැන දුනි. ඉංග්‍රීසි පුවත්පත්වල අනුකරණයක් නොවී, ස්වාධීන මගක් ගන්නා ආකාරය පෙන්වා දීමට ලංකාදීප පුවත්පත සමත් විය. 1949 දී ඒ වන විට දිවයිනෙහි ඉතා ජනප්‍රිය පුවත්පතක් බවට පත්ව තිබූ ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධූරයට ධනපාල මහතා පත් වේ. ආරම්භයේ පටන් විද්‍යාලංකාර හිමිවරුන්ගේ බුද්ධිමය දායකත්වය නොමදව ම ලබන ලංකාදීපය මෙරට ජාතික ප්‍රබෝධයක් ඇති කිරීමට සමත් වන්නේ ය. එහි කූඨප්‍රාප්තිය වන්නේ 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි පොරොන්දු රැසක් මැද බණ්ඩාරනායක රජය බලයට පත් වීම ය. ඒ සඳහා අති මහත් දායකත්වයක් සැපයූ ධනපාල මහතා ප්‍රමුඛ ලංකාදීපය, එම රජය නිර්දය විවේචනයට ලක් කරන්නේ, එකී පොරොන්දු ඉටු කිරීමට ප්‍රමාද වන තැන ය. ධනපාල මහතා 1960 දී ලංකාදීප පුවත්පතෙන් ද ඉවත් වන්නේ කළමනාකාරීතවය සමග ඇති කර ගන්නා මත ගැටුමක් හේතුවෙනි.
ධනපාල මහතා 1961 දී දිනපතා පුවත්පතක් ලෙස "දවස" පුවත්පත ආරම්භ කරන්නේ ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ අනුග්‍රහය යටතේ ය. දින කිහිපයක් ඇතුලත එහිම ඉරිදා පුවත්පත ලෙස, "රිවිදින" ආරම්භ කෙරිණි. චිත්‍ර සහ මූර්ති ශිල්පිනියක මෙන් ම ගුරුවරියක ද වූ රතී මුතුවේල් මෙනවිය සමග විවාහ වන ධනපාල මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙක් ද වේ. සිනමාවේදී ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ සහ ඡායාරූප ශිල්පී ඩී.බී. සුරනිමල එම දරු දෙදෙනා වේ.
1971 වර්ෂයේ දී එතුමන් සිය දිවිසැරිය නිමා කරන අතර, මෙම වසරේ මාර්තු මස 18 වැනි දිනට එතුමා දැයෙන් සමු ගෙන වසර 54 කි.
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook ::
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .