![]() |
චුණ්ණාක්කම් |
කෝපායි කොත් කැරැල්ල
කෝපායි යනු යාපනය කන්කසන්තුරේ මාර්ගයේ දෙපස පිහිටි යුධ සමයේ නිතර සාකච්ඡාවට ලක් වූ ගම්මානයකි. දැනට කෝපායි ප්‍රදේශයේ කිසිදු බෞද්ධ නටබුන් ස්ථානයක් හෝ හමු නොවූව ද වසර පනහකට පෙර යාපනයේ දිසා විනිසුරුවරයා වශයෙන් සේවය කළ, යාපනය බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශාල මැදිහත්වීමක් සිදුකළ, දැරණියගල පරම්පරාවේ ආදිතමයා වූ පෝල්. ඊ. පීරිස් මහතා කෝපායි ගම්මානයේ කළ ගවේෂණයක දී එහි ළිඳකින් ලැබුණු ශෛලමය වස්තුවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය බෞද්ධ ස්ථූපයකට අයත් අංගයක් බව හඳුනා ගනියි. එය දාගැබකට අයත්, හුණු ගලින් කළ කොත් කැරැල්ලකි. මෙහි පහතින් දාගැබට සවි කිරීමට තිබූ කුඩිම්බියත් ඉහළින් ලෝහමය සිළුමිණක් රැඳවීමට කළ ලකුණුත් ඔහු දකියි.
මෙම පුරාවස්තුවේ වටිනාකම අදාළ පුද්ගලයන්ට පහදා දුන් පසුව ගැමියන් ස්වේච්ඡාවෙන් ම එය පීරිස් මහතාට ලබාදෙන අතර එතුමා එය යාපනය කොටුව වෙත රැගෙන එයි. මෙම පුරාවස්තුව ලැබුණු ස්ථානය පිළිබඳ පුවතක් නොමැති අතර එය ඒ අවට කිසියම් බෞද්ධ සිද්ධස්ථානයකින් ලැබුණක් විය යුතු ය. මෙම පුරාවස්තුව යාපනය කෞතුකාගාරයේ ඇති බැව් ලිපිලේඛනවල කියැවෙන නමුත් වර්තමානයේ යාපනය කෞතුකාගාරය තුළ එය හඳුනාගන්නට නම් නැත.
චුණ්ණාක්කම් කොඩ්ඩියාවත්ත නටබුන්
චුණ්ණාක්කම් හෙවත් හුණුගම යනු යාපනයට මද දුරකින් පිහිටි වත්මන් කදුරුගොඩ විහාරය පිහිටි ප්‍රදේශය යි. එවක යාපනය පැරණි උද්‍යානයේ වල්ලිපුරම් ප්‍රතිමාවත් සමගින් ම තබා තිබුණු චුණ්ණාක්කම් ප්‍රදේශයෙන් හමු වූ බුද්ධ ප්‍රතිමාවක් පිළිබඳ සැලකිලිමත් වන පීරිස් මහතා අදාළ ප්‍රතිමාව හමු වූ චුණ්ණාක්කම්හි ම, කොඩ්ඩියාවත්තෙයි නම් ස්ථානය පරික්ෂා කර තවත් විහාරයක නටබුන් සොයා ගනියි. රජයෙන් රුපියල් 150ක මුදලක් ලබා ගන්නා එතුමා ජනතාව විසින් jply (තිඩල්) ලෙස හැඳින්වූ ගොඩැල්ල කැණීම් කිරීම ආරම්භ කරයි.
එහි දාගැබ මළුවක් මත ඉදි කර තිබී ඇති අතර මධ්‍යයට ගල් කුට්ටි යොදා පිටත ගඩොලින් බැඳ ඇත. එහි ගර්භය ද එසේ නිම කොට තිබී ඇති අතර අඟල් තුනක පමණ හුණුගල් බදාම ස්ථරයකින් ආවරණය කර ඇත. පේසා වළලු සහ සතරැස් කොටුව අලංකාරවත් ලෙස කැටයම් කළ කොරල් ගලින් නිම කරවා ඇති අතර බදාම කැබලි ගැලවී තිබී ඇත.
1902 සිදු කළ කැණීමෙන් අනතුරුව වසර 6 ක් ගතවන තුරුත් එම දාගැබ් වහන්සේ අඩි 12 ක් පමණ උසට තිබී ඇති නමුත් පසුව දාගැබට හානි කර දාගැබෙහි ගල් කරත්ත පුරා පටවා දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් වෙනුවෙන් ගෙන ගොස් තිබේ. එම අනතුරින් පසට යට වූ කොරල් ගල් පාදම් ආරක්ෂා වුණු බව කියතත් වාර්තමානය වන විට ඒවා ද සොයාගැනීමට ඇත්දැයි සැක ය.
මීට අමතර ව තවත් ගොඩනැගිලි පාදම් ඇතුළු නටබුන් මෙම ඉඩමේ ම තිබුණු බව ප්‍රකාශ කරන පීරිස් මහතා ප්‍රතිපාදන හිඟය නිසාවෙන් ඒවා කැණීම් කිරීමට නොහැකි වූ බව දක්වයි. එම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳ වර්තමාන පුරාවිද්‍යා ගවේෂණ වාර්තාවක හෝ සඳහන් නොවේ. යටකී චුණ්ණාක්කම් බුදු පිළිම වහන්සේ පමණක් අනුරාධපුර කෞතුකාගාරය තුළ වැඩ සිටිති.
-විනුක විදානපතිරණ-
යුතුකම 2025 පෙබරවාරි කලාපයේ පළවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
ww.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .