11/12/2025

ගුණදාස අමරසේකර - යුගයක් ඒකාලෝක කළ ප්‍රාඥයා - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     11/12/2025   No comments

1929 දී ගාල්ලේ යටලමත්තේ සිංහල වෙද මහතකු ගේ හා මුල්ගුරුතුමියක ගේ දෙ වන දරුවා ලෙස උපත ලද ගුණදාස අමරසේකර අද අප ගේ ජ්‍යේෂ්ඨ ම සේ ම, විශිෂ්ට ම සාහිත්‍යධරයා බව අවිවාදිත ය. යටලමත්ත ගමේ පාසලින් ද, ඉන්පසු බද්දේගම ක්‍රිස්තුදේව හා රතනසාර විදුහල්වලින් ද උගත් ඔහු කොළඹ නාලන්දා විදුහලෙන් සිප්සතර හදාරන අවධියෙහි දී ම සිය 'සෝමා' නමැති කෙටිකතාව අන්තර්ජාතික කෙටිකතා තරඟයක පුමුඛ ස්ථානය ලබාගැනීම හේතුවෙන් සාහිත්‍ය ලෝකයේ අවධානයට බඳුන් විය. 'සෝමා' ද අඩංගු වූ 'රතු රෝස මල' කෙටිකතා සංග්‍රහය - ගුණදාස අමරසේකර ගේ පළමු සාහිත්‍ය කෘතිය එළිදුටුවේ 1953 දී ය.

අමරසේකර ගේ පළමු පද්‍ය කෘතිය වූ 'භාවගීත' (1955) සිංහල කවියෙහි ද, දෙ වන කෙටිකතා සංග්‍රහය වූ 'ජීවින සුවඳ' (1956) සිංහල කෙටිකතාවෙහි ද මඟ සලකුණු තැබූ කෘති බවට පත් විය. ඒ සමඟ ම ඔහු ගේ පළමු නවකතාව වූ 'කරුමක්කාරයෝ' (1955) සිංහල පාඨක ලෝකයට නවමු අත්දැකීමක් ගෙන ආ අතර, දොන් පේද්‍රික් සම්මානය දිනාගැනීමට ද සමත් විය. ඉන්පසු අමරසේකර අතින් නිර්මාණය කෙරුණු 'උයනක හිඳ ලියූ කවි' (1957) පද්‍ය සංග්‍රහයෙහි මෙන් ම පසුකලක අසාර්ථක නිර්මාණ ලෙස ඔහු ම ප්‍රතික්ෂේප කළ 'යළි උපන්නෙමි' (1960) හා 'දෙපා නොලද්දෝ' (1962) කෘතිවල, මේ පොළවෙහි නොපිහිටි පේරාදෙණියෙහි (අප ගේ විශ්වවිද්‍යාලවල) ආභාෂය දැකගත හැකි ය. 1951-57 කාලයේ අමරසේකර දන්ත වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස පේරාදෙණිය සරසවියෙහි ගතකළ අතර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඇසුරෙහි පේරාදෙණිය ගුරුකුලයෙහි ප්‍රමුඛ සාමාජිකයෙක් බවට ද පත්වීය. ඒ පේරාදෙණියේ බලපෑමට නතු අවධියේ දී පවා, ඔහු ගේ හදවත ඊට ගොදුරු නොවූ බව පේරාදෙණිය මුල් කරගෙන ලියූ 'පුදුම රට' කාව්‍යය කියාපායි. 'උයනක හිඳ ලියු කවි' කාව්‍ය සංග්‍රහයේ එන 'පුදුම රට' නිබන්ධනය ඇරැඹෙන්නේ මෙසේ ය:

ඉස්සර කාලේ තිබුණා
හරි ම පුදුම විදියෙ රටක්
එහි ගිය අය ගියා මිසක්
ගිය ලෙස නම් ආවේ නෑ

එහි විසුවා පුදුම සතෙක්
ඌ එන අය එකකු නෑර
රසය උරාගෙන බීලා
රොඩ්ඩ පමණි වැමෑරුවේ

ගම්දනවුවලින් සරසවියට එන තරුණ-තරුණියන් ගේ ආත්මය හප කෙරෙන අයුරු චිත්‍රණය කෙරෙන පද්‍යාවලිය අවසන් කෙරෙන්නේ මෙ ලෙස ය:

කළු ඇඳන් බෙර දවුල් පත්‍රිකා ධජ රැගෙන
කළු කබා තොප්පි ලා හෙමි හෙමින් අඩි තියන
අවමඟුල් පෙරහැරකි සුසානය වෙත ඇදෙන
'උපන්නේ පනස් එක - මිය ගියේ පනස් පහ'
'ආත්මය නැති වීම සතුටු විය යුතු දෙයකි'
කට කොනින් ඇද වැටුණු
රොඩ්ඩ ඉවතට ඇදෙයි
මිනී පෙට්ටියෙහි ඇණ තද කරන හඬ ඇසෙයි

එ සේ නමුත් නොබෝ කලකින් ම 'අමල් බිසෝ' (1960) හා 'ගරුළු වත' (1962, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) ඔස්සේ යළි සිංහල කාව්‍යයෙහි ප්‍රගමනයට දායකවීමට ද, 'එක ම කතාව' (1969) කෙටිකතා සංග්‍රහය මඟින් යළි ජීවන සුවඳ සොයා යෑමට ද, 'ගන්ධබ්බ අපදානය' (1966) මඟින් යළි යථාර්ථවාදී නවකතාව වෙත පිවිසීමට ද, අමරසේකර සමත් විය. එහි දී දන්ත ශෛල්‍ය වෛද්‍යවරයකු ලෙස මෙ රට ජනජීවිතය හා ගණුදෙනු කරන්නට ලද අවකාශය ද, පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීම මඟින් පේරාදෙණියෙහි දී උසස් ය යි වර්ණිත බටහිර ජීවිතය අත්විඳි එහි සැබෑව දැකගැනීමට ලැබීම ද, මාර්ටින් වික්‍රමසිංහයන් විසින් පේරාදෙණි සාහිත්‍යය අරඹයා කළ විවේචනය ද ඔහුට ප්‍රමුඛ ලෙස බලපෑ බව පෙනේ.

1971 කැරැල්ල අමරසේකරව කම්පාවට පත් කළේ ය. මේ, 'සංස්කෘති' සඟරාවේ දස අවුරුදු සංවත්සර කලාපයට 'මෙ රට අනාගතය බාරගත යුත්තේ උගත් ගැමි තරුණයන් ය' යි ඔහු නියත විවරණ දුන් පරපුර යි. 'ආවර්ජනා' (1975, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) කාව්‍ය සංග්‍රහයෙහි දී මෙන් ම 'එක්ටැමෙන් පොළොවට' (1972, රාජ්‍ය සාහිත්‍ය සම්මාන) හා 'කතා පහක්' (1975) කෙටිකතා කෘතිවල දී ද තමන්ට ප්‍රහේළිකාවක් වූ මේ තරුණ ජීවිත, තරුණ හදවත් අවබෝධ කරගැනීමට අවංක, දෘඪතර ප්‍රයත්නයක අමරසේකර නිතර විය. එහි ප්‍රතිඵල ලෙස, සිංහල කෙටිකතාව ඒ තාක් ලබාගත් ඉහළ ම ජයග්‍රහණ අපට මේ කතා සංග්‍රහයන්හි එන 'එක්ටැමෙන් පොළොවට නොහොත් උපාධිධාරණිය', 'දිසොන්චිනාහාමි', 'කලානිධි - පච වෙදා' හා 'සමරසිංහ වෙද මහතා', 'වර්තා සටහන්' ආදි කෙටිකතාවන්හි දී දැකගත හැකි වේ. "මේ වතාවේ නම් අමරසේකර යථානුභූත වාදය හෝ ධනේෂ්වර මනෝ විද්‍යාව සාධනය කිරීමට කතා රඩනා නොකරයි. 'තොප නොදන්නා ලෝකයක් ඇත; එයට මුහුණ දෙව!' යනුවෙන් ඔහු ඒ සියල්ලට ම අභියෝග කරයි", යනු මේ නිර්මාණ අරඹයා කීර්ති බාලසූරිය හා මහාචාර්ය සුචරිත ගම්ලත් දක්වා ඇති අදහස යි (කල්පනා ලෝකවාදය, සාහිත්‍ය-කලා හා මාක්ස්වාදය, 1986).

පේරාදෙණියේ දී තමා දැරූ සාහිත්‍ය මතවාද ප්‍රශ්න කිරීමට යොමු වූ අමරසේකර, එහි දී සාහිත්‍යය හා සමාජය අරඹයා ගැඹුරු අධ්‍යයනයකට යොමු වූ අතර ඒ සමඟ ම මෙ රට සමාජ විකාශනය අවබෝධ කරගැනීමෙහි ලා දෘඪතර වූ ප්‍රයත්නයක ද නිරත වීය. එහි දී අමරසේකර මෙ රට ජනජීවිතය පෙළන්නා වූ නන්විධ සමාජ අර්බුද අවබෝධ කරගැනීමෙහි ද, ඒවාට විසඳුම් ලබාගැනීමෙහි ද, අව්‍යාජ වූ අවශ්‍යතාවයකින් ප්‍රේරිතව ක්‍රියා කළ බව පෙනේ. මේ ප්‍රයත්නයෙහි එක් මහඟු ඵලයක් නම් එකිනෙක හා බැඳුණු 'අසත්‍ය කතාවක්' (1977) හා 'ප්‍රේමයේ සත්‍ය කතාව' (1978) නවකතාද්වය යි. මේ කෘතිද්වය සිංහල නවකතාවෙහි උසස් ම නිර්මාණ අතර ද, ප්‍රමුඛස්ථානයකට හිමිකම් කියා සිටී. මේ නවකතා ද්වය පිළිබඳ ව පසුකාලිනව විචාරයක් ලියමින් ආචාර්ය ලක්ෂ්මී ද සිල්වා සඳහන් කර ඇත්තේ, රුසියානු සාහිත්‍යය විචාරක බුක්තීන් ගේ නවකතාව පිළිබඳ විචාර චින්තාවන් ගෙන් ආලෝකය ලබන තෙක් තමනට ග්‍රහණය කරගත නොහැකි වූ, යුගයට පෙර කෙරුණු මහාර්ඝ නිර්මාණ ලෙස ය. ඒ, 2003 දී ඉහත කෘති ඉංග්‍රීසියට නැඟුණු අවස්ථාවේ දී ය. ඒ පරිවර්තනය ග්‍රේෂන් සම්මානයෙන් පිදිණි.

ඒ හා සමඟ ම 'අබුද්දස්ස යුගයක්' (1975), 'අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද?' (1980) හා 'ගනඳුරු මැදියම දකිනෙමි අරුණලු' (1988) කෘති ඔස්සේ ඔහු ජාතික චින්තනය පිළිබඳ සංවාදයට මඟ පෑදුවේය. මෙ රට මැද පන්තිය පහළවීම හා විකාශනය අළලා කෙරෙන දැවැන්ත නිර්මාණයක් 'ගමනක මුල' (1984) හා 'ගම්දොරින් එළියට' (1985) කෘති මඟින් ඇරැඹී ඔහු 'ඉණි මඟේ ඉහළට' (1992), 'වංකගිරියක' (1993), 'යළි මඟ වෙත' (1993) 'දුරු රටක දුකට කිරියක' (2001), 'ගමනක මැද', 'අතරමඟ', 'ගමනක අග' කෘති මඟින් පාඨක සමාජය හමුවේ තැබීය. මෙ රට සමාජ-දේශපාලන තීන්දු තීරණ විෂයෙහි ප්‍රධාන ම ජනසංඝය පිළිබඳ සාහිත කැටපත නිර්මාණය වූයේ ඒ මඟිනි. ඒ අතර 'එක ම කතාවක්' හා 'එක්ටැමෙන් පොළොවට' කෙටිකතා සංග්‍රහයන්හි දී ගත් මඟ, අතීතය වෙනුවට ඒ ගෙවන මොහොත ම නිරූපණය කිරීමක් දක්වා වර්ධනය කිරීමට 'ගල් පිළිමය හා බෝල් පිළිමය' (1988) හා 'මරණ මංචකයේ දුටු සිහිනය' (1998) කෙටිකතා සංග්‍රහයන්හි දී සමත් වී ය. 'විල්තෙර මරණය' හා 'කියනු මැන දිවි අරුත' (රාජ්‍ය සම්මාන) කෙටිකතා සංග්‍රහ මඟින් මෙන් ම 'රූපාන්තරණය' හා 'ධාතුසේන' නවකතා මඟින්, අමරසේකර, ඒ මොහොතේ සමාජ-දේශපාලන චරිත නොවේ නම් සංසිද්ධීන් කලාත්මක පරිපකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කර පාඨක සමාජයට අභිමුබ කිරීමෙහි ලා සමත් විය.

2015 විජාතික කුමන්ත්‍රණය ජයග්‍රාහීව වැජඹුණු මොහොතක, අමරසේකර 'සභ්‍යත්ව රාජ්‍යය' (2016) කෘතිය රචනා කරමින් ජාතිමාමක බලවේග එක්රොක් විය යුත්තේ කුමක් සඳහා ද යන වග පෙන්වා දුන්නේ ය. එහෙත් හැටනව ලක්ෂයක ජනවරමකින් සමාජය උද්දාම වෙද්දී ඔහු අප හමුවේ තැබුවේ 'සංක්‍රාන්ති සමය' කෙටි නවකතාව ය. එහි දී ඔහු නැකත්වලින් තොර සංක්‍රාන්ති සමයක් ගැන කතා කළ ද සුවිශාල බලාපොරොත්තුවලින් හිස පුරවාගෙන සිටි අප එය නිසි ගැඹුරින් කියවීමට අසමත් වීමු. ඉන්පසු ඔහු අතින් නිර්මාණය කෙරුණේ 'මහගෙදර' කෙටි නවකතාව ය. නිසි පියවර නොගතහොත් ජාතියට අත්විය හැකි ඛේදජනක අනාගතය එහි ලා චිත්‍රණය කෙරේ.

අප ගමනක අවසානය කරා එළඹ ඇද්ද? 'සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය' කෘතිය අප හමුවේ තබමින් අපට පැවැත්ම උදෙසා, යළි නැඟී සිටිම උදෙසා, ඔහු විප්ලවීය පරීවර්තන යෝජනා කරයි. සුද්දා අපට දායාද කළ පක්ෂ දේශපාලනය, වෙස්මිනිස්ටර් ප්‍රාජතාන්ත්‍රවාදය අත්හැරීමට යෝජනා කරයි. යළි පක්ෂ භේදයෙන් තොර ව ගම ම එකතු කරන 'ගම් සභාව' කරා යන ලෙස ඉල්ලා සිටියි. මේ, 48 නිදහස් උලෙළ, 56 පෙරළිය, 71 කැරැල්ල, අප රට ජනරජයක් වීම, 77 විවෘත ආර්ථිකය වැළැඳගැනීම, කොටි ත්‍රස්‌තවාදය, ඉන්දු-ලංකා ගිවිසුම, ත්‍රස්‌තවාදය පරාජය කිරීම ඈ සියල්ලෙහි සාක්ෂිකරුවෙකි. ඒ බොහෝ සිද්ධීන්ට සක්‍රීය ව දායක වූවෙකි. ඒ සියල්ල පිළිබඳ සාහිත කැඩපත නිර්මාණය කරදීමට අප්‍රමාණ වෙහෙසක් දැරූවෙකි. මවුබිමේ අනාගතය වෙනුවෙන් දැනුම නිර්මාණයට අපමණ වෙහෙසක් දැරූවෙකි.

ඔහු ගේ යෝජනාව, රජය, අනෙකුත් දේශපාලන පක්ෂ හා ජනතාව බරපතල ලෙස සළකා බැලිය යුතු ය.

- ගෙවිඳු කුමාරතුංග

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අමරසේකර ප්‍රවාද වැඩිපුරම ප්‍රශ්න කළේ ඔහු ම යි - ගෙවිදු කුමාරතුංග (වීඩියෝ)

කතෘ:යුතුකම     11/12/2025   No comments

ගුණදාස අමරසේකර සිය සාහිත්‍යකරණයේ දී තමන්ගේ ප්‍රවාදයට ගැළපෙන චරිත නිර්මාණය නොකළ බවත්, ඔහු නිරන්තරයෙන් කළේ එම චරිත හරහා ද තමන්ගේ ප්‍රවාදය කෙතරම් දුරට නිවැරැදි ද යන්න ප්‍රශ්න කර ගැනීම යැයි ගෙවිදු කුමාරතුංග පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ Lanka Voice youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගුණදාස අමරසේකර යනු අපිට සිටින මහා සාහිත්‍යකරුවා බවයි.
මතු පළ වන්නේ ගෙවිදු කුමාරතුංගLanka Voice youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙය වනු ලබන්නේ මාධ්‍යවේදී කුල ශ්‍රී කාරියවසම් විසිනි.



යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

සභ්‍යත්ව විඥානය මඟින් ග්‍රාම රාජ්‍යයක් වෙත

කතෘ:යුතුකම     11/12/2025   No comments

අධ්‍යාත්මය හා නොපෑහුණු ජීවිතයක ශෝකාන්තය විනිවිද දැක ජාතික චින්තනයක අවශ්‍යතාව ගෙනහැර පෑ ප්‍රාඥයකු වූ ගුණදාස අමරසේකරයන්ගේ 96 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. එතුමන්ට අපි චිර ජීවනය පතමු. ගුණදාස අමරසේකරයන් සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය නමින් කර ඇති නිබන්ධනයේ ඡේද කිහිපයකි මේ.

කොළඹ අගනුවර අහස් මාළිගා අතර ජීවත්වන අපි මේ රටේ සංයුතිය හඳුනන්නෝ නොවෙමු. මේ රට එකම ගමක් යැයි කීවොත් බොහෝ දෙනා මවිතයට පත්වනු ඇත. එය අතිශයෝක්තියක් ලෙස බැහැර කරනු ඇත. මේ රට තුළ ගම් දස දහසක් තිබේ. ඉන් ඇතැම් ඒවා, විශේෂයෙන් උතුරු මැද පළාතේ ඇති ඇතැම් ගම් අනුරාධපුර යුගයේ සිට අඛණ්ඩව පැවත එන පුරාණ ගම් වෙයි. කොටින්ම කියතොත් මේ රට අද වන තුරු ග්‍රාම රාජ්‍යයකි.

මේ ගම්වලින් එකක් හෝ දෙක – තුනක් හෝ පාදක කොටගත් ගම් සභාවක් මෙහි පැවැතිණි. දෙදහස් වසරක් මුළුල්ලෙහි පැවැති ඒ ගම් සභාවේ ආරම්භය පණ්ඩුකාභය යුගය ලෙස සැලකේ. ගම්වල සීමා නිර්ණය කොට ග්‍රාම රාජ්‍යයක් රට තුළ නිර්මාණය කරන ලද්දේ පණ්ඩුකාභය නරවරයා විසිනි.

ගම්වල පාලනය මුළුමනින්ම ගෙනයන ලද්දේ ගම් සභාව මගිනි. ගම් වැසියන් විසින් ඒකමතිකව තෝරා පත්කර ගන්නා ලද නිලධාරි මණ්ඩලයක් විසින් මේ පාලනය ගෙනයන ලදී.

වසර දෙදහසක් පැවති මේ ගම් සභාව අහෝසි කරන ලද්දේ මේ රට යටත් කරගත් ඉංගිරිසි පාලකයා විසිනි. 1833 දී ස්ථාපිත කරන ලද කොල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ මගිනි එය සිදුකරන ලද්දේ. එහෙත් ටික කලකින් පසු ගම් සභාවෙන් තොරව මේ රට පාලනය අසීරු බව වටහාගත් පාලකයා එය යළි ස්ථාපිත කළේය. එය අවසාන වශයෙන් අහෝසි කරන ලද්දේ 1948 දී නිදහස ලබාගත් අපේ නායකයන් විසිනි.

ඒ අවසාන කාලයේදී අපේ නායකයන් විසින් විකෘති කරන ලද ගම් සභාව, ගම වනසන හලාහලයක් විය.

ගමේ සාමය, සමගිය වනසන උනුන් ඇනකොටා ගැනීමට සලස්වන පොර පිටියක් බවට ගම පත්කරන ලදී. ඒ පිළිබඳ අගනා විස්තරයක් මගේ ‘කරුමක්කාරයෝ’ නව කතාවෙන් දැකගත හැකිය.

ඒ අතීතයේ ගම් සභාව විසින් පාලනය කරන ලද ගම තුළ වූ ජනතාව තෘප්තිමත් ජීවිතයක් ගත කළ පිරිසක් විය. ධර්මපාලතුමා විසින් ඒ පිළිබඳ විස්තරයක් සපයා තිබේ.

“වර්ෂ 2350 වන තුරු අපි නිදහස් ජාතියක් ලෙස ජීවිත් වීමු. ඒ අවධිය තුළ අපගේ ඉඩකඩම් අප සතුව තිබුණු බැවින් අපට අවශ්‍ය සියලු දේ අප රට තුළින් ලබාගතිමු. ඒ යුගයේ මෙරට වැසියෝ තෘප්තිමත් ජීවිතයක් ගත කළහ. ගම්වැසි කුඹුරු හිමි ගොවියෝ සාමූහික ජීවිතය සහ පරාර්ථය ආත්ම කොටගත් ආගම අනුව යමින් ගොවිතැන්බත් කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් ජීවත් වූහ. අන්‍යෝන්‍ය උපකාරය ආප්තය විය.”

ඒ ගම තුළ අද ඇති තත්ත්වය කෙබඳුද? එය මිහිපිට ඇති අපායකි. එහි අද ඉන්නේ සාගින්නෙන් පෙළෙන හරිහමන් කෑමක් බීමක් නැති අසරණ පිරිසකි. පවුලේ දෙමාපියන් කෑම කන්නේ එක වේලක් පමණි. දරුවන්ගේ ආහාරය වන්නේ උදේ හවස දෙන කැඳ කෝප්පයයි. රෑ බඩගින්නේ අඬන අත දරුවා මව විසින් නිදිකරනු ලබන්නේ මිනිහා බොන කසිප්පු හැළියේ අත දමා ඒ ඇඟිලි තුඩු දරුවාට සූප්පු කිරීමට සැලැස්වීමෙන් බව මට මෑතක දී අසන්නට ලැබිණි.

බිරිඳ හා පුතු සමග
පිංතූරය – ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා



ඔවුන් නිවසන ගේ දොර කෙබඳුද? තහඩු හෝ පොල් අතු හෝ සෙවිලි කළ ලෑලි ගසා වට කළ පැල්පතකි එය. යුද පෙරමුණකට ගිය පුතාගේ මළකඳ තැබීමට ඉඩක් ඒ තුළ නොමැත. ඇතැම් පවුල්වලට ඇති එකම ආදායම් මාර්ගය මිගිය පුතාට ලැබෙන වන්දි මුදලකි. මීට අමතරව ඡන්දයක් ළං වන විට මන්ත්‍රීතුමා අතින් හිඟමනක් ලැබේ. අද ඇති ගමේ තත්ත්වය මෙවැනි වෙයි.

එසේ වුවද ඔවුන්ගේ හදවත් තුළින් අතීතය විසින් දායාද කර ඇති සභ්‍යත්ව විඥානය ගිලිහීගොස් නොමැත. දහසක් දුක් කම්කටොලු මැද්දේ වුවද මානව දයාව ඔවුන්ගේ හදවත්වලින් ගිලිහීගොස් නොමැති යැයි මම සිතමි. තවම අපේ සභ්‍යත්වයේ කෝෂ්ඨාගාරය ගමවේ.

මේ රටේ ජාතික ආදායමෙන් සියයට අසූවක් (80%) පරිහරණය කරන්නේ සමස්ත ජනතාවගෙන් සියයට විස්සක් (20%) විසිනි. ඉතිරි සියයට අසූවට (80%) ලැබෙන්නේ ජාතික ආදායමෙන් සියයට විස්සක් (20%) පමණි. සියයට හැත්තෑවක් (70%) වන ගැමි ජනතාවට ලැබෙනු ඇත්තේ සියයට දහයක් (10%) පමණ විය යුතුයි.

මේ තත්ත්වය වෙනස් නොකර අද මේ රට වැටී ඇති තත්ත්වයෙන් එය මුදාගත හැකිද?

අප පතන මානව හිතවාදී සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේදී එය පටන්ගත යුත්තේ කොතැනින්ද? එය පටන්ගත යුත්තේ ඒ සභ්‍යත්වය රැකගත් ගම පාදක කොටගෙනයි. ඒ සභ්‍යත්ව නිර්මාණයේ අත්තිවාරම ගම විය යුතුයි. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. සභ්‍යත්ව රාජ්‍යයයේ දේශපාලන ව්‍යුහයේ පළමු ඒකකය විය යුත්තේ ගම මුල්කර ගත් ග්‍රාම සංවර්ධන සභාවයි. එය බිහිකර ගත යුත්තේ කෙසේද?

මේ රටේ ගම් පහළොස් දහසක් (15,000) පමණ තිබේ. එක ග්‍රාම සංවර්ධන සභාවකට, එකිනෙකාට ළංව ඇති ගම් පහක් (5) ඇතුළු විය යුතුයි. එවිට ග්‍රාම සංවර්ධන සභා 3000ක් පමණ නිර්මාණය වනු ඇත. එක ගමකින් දෙදෙනකු පමණ තෝරාගත් විට සංවර්ධන සභාව දසදෙනකුගෙන් පමණ සමන්විත වනු ඇත. මේ තෝරාගැනීම කළ යුත්තේ හුදෙක් සම්මතය මුල්කර ගෙනයි. මෙහිදී කිසිම ආකාරයක තරගයක් නොතිබිය යුතුයි. පක්ෂ දේශපාලනය මුල්කර ගත් තරගයක් කිසි ලෙසකින් ඇතුළු විය යුතු නොවේ.

සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය සඳහා මා සිත පහළ වූ දේශපාලන ව්‍යුහය පහත සඳහන් අයුරින් රූපගත කළ හැකිය.



ග්‍රාම සංවර්ධන සභාවේ එකම අරමුණ විය යුත්තේ ඊට ඇතුළත් වන ගම් සංවර්ධනය කිරීමයි. සංවර්ධන සභාවට පත්වන දසදෙනා (10) විසින් ඒ කාර්යය බෙදා වෙන්කරගත යුතුයි. සියලු සංවර්ධන සභාවලට පොදු වන සංවර්ධන මාර්ගයක් තිබිය නොහැකිය. එක එක සංවර්ධන සභාවල අවශ්‍යතා අනුව එය වෙනස් විය යුතුයි.

මේ සංවර්ධන සභාවලට අවශ්‍ය පහුසකම්, මූල්‍ය ආධාර සැපැයීම, මධ්‍යම රජයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගකීම විය යුතුයි. සංවර්ධන සභා නියෝජිතයන්ට සිය කාර්යය ඉටුකිරීම් වස් සුළු වේතනයක් දිය යුතුයි. සංවර්ධන සභාවට අයත් වන සියලු ගම් එක සේ සංවර්ධනය කිරීම සංවර්ධන සභාවේ මූලික වගකීම විය යුතුයි.

මේ දේශපාලන ව්‍යූහයේ ඊළඟ පියවර විය යුත්තේ දිස්ත්‍රික් සංවර්ධන සභා නිර්මාණයකර ගැනීමයි. ඊට පළමු අවශ්‍ය නම් ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාස පදනම්කර ගෙන ප්‍රාදේශීය සංවර්ධන සභා ඊළඟ ස්ථරය ලෙස යොදාගත හැකිය. එයට නියෝජිතයන් පත්කර යැවිය යුත්තේ ග්‍රාම සංවර්ධන සභා මගිනි. මේ ප්‍රාදේශීය සංවර්ධන සභා දේශපාලන බල කේන්ද්‍ර නොව සංවර්ධන කේන්ද්‍ර විය යුතුයි. ඒ සඳහා දේශපාලනය නොවැද්දගත යුතුයි. ඒවායේ සංයුතිය ග්‍රාම සංවර්ධන සභාවල සංයුතියම විය යුතුය.

මේ රටේ දිස්ත්‍රික්ක 22ක් තිබේ. ඉන් එක දිස්ත්‍රික්කයකට ග්‍රාම සංවර්ධන සභා විසිපහක් (25) පමණ අයත් වනු ඇත. ඒවා එකම මට්ටමකට සංවර්ධනය වූ ඒවා නොවෙනු ඇත. මේ වෙනස අවම කොට මුළු දිස්ත්‍රික්කයම එකම තත්ත්වයකට ගෙන ඒම දිස්ත්‍රික්ක සභාවල මූලික අරමුණ විය යුතුයි.

මේ දිස්ත්‍රික්ක සභාවලට නියෝජිතයන් පත් කරගත යුත්තේ ඊට අයත් වන ග්‍රාම සංවර්ධන සභාවලින් හෝ ප්‍රාදේශීය (සංවර්ධන සභා පිහිටුවන්නේ නම්) එමගින් හෝ තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මගිනි.

මේ දිස්ත්‍රික්ක සභා පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීම, මූල්‍ය ප්‍රතිපාදන සැපැයීම මධ්‍යම රජයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගකීම වේ. ඒ දිස්ත්‍රික්ක සභා නියෝජිතයන්ට ද වේතනයක් දිය යුතුයි.

ඉහතින් දැක්වූ ග්‍රාම සංවර්ධන සභා, ප්‍රාදේශීය සංවර්ධන සභා සහ දිස්ත්‍රික්ක සංවර්ධන සභා මගින් පස් වසරක කාලයක් තුළ සංවර්ධිත ග්‍රාම රාජ්‍යයක් බිහිකර ගැනීමට හැකිවනු නොඅනුමානය.

අප පතන දේශපාලන ව්‍යූහයේ ඊළඟ පියවර විය යුත්තේ රටේ මුළු පාලනයම හසුරුවන රාජ්‍ය මන්ත්‍රණ සභාව නිර්මාණයකර ගැනීමයි. එය නියෝජිතයන් තුන්සියයකින් (300) පමණ සමන්විත විය යුතුයි. ඒ තුන්සියය (300) පත්කර ගත යුත්තේ දිස්ත්‍රික්ක සභා නියෝජිතයන් අතරිනි; පිටතින් නොවේ.

රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මුළු රටේම පාලනයට අවශ්‍ය නීතිරීති, අධිකරණ පද්ධතිය, ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය ආදි වූ සියල්ල මෙන්ම රටේ ආරක්ෂාව, ස්වෛරී භාවය ස්ථාපිත කළ යුතු වෙයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාව බිහිකර ගත යුතුයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව අගමැති කෙනකුගෙන්, ඇමැති මණ්ඩලයකින්, මන්ත්‍රීන් පිරිසකගෙන් සමන්විත විය යුතුයි. මේ සියලු ආයතනවල ග්‍රාම සංවර්ධන සභා, දිස්ත්‍රික්ක සංවර්ධන සභා, රාජ්‍ය මන්ත්‍රණ සභා සියල්ලෙහිම ආයු කාලය පස් වසරකට සීමාවිය යුතුයි.

මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ක්‍රියා පටිපාටිය සඳහා අවශ්‍ය කිසියම් ආභාෂයක් මේ රටේ පැවැති ඩොනමෝර් මන්ත්‍රණ සභාවෙන් ලබාගත හැකි යැයි මම සිතමි. ඒ ඩොනමෝර් ක්‍රමය තුළ සභ්‍යත්ව රාජ්‍යයක් සතුවන ලක්ෂණ කිහිපයක ඡායා මාත්‍රයක් ගැබ් වී තිබිණ. අප නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ලබාගත්තේ ඒ ඩොනමෝර් යුගයේ දීය.

යෝජිත දේශපාලන ව්‍යුහය මෙවැන්නක් වන අතර සභ්‍යත්ව රාජ්‍යයට අවශ්‍ය ආර්ථික ව්‍යුහය කෙබන්දක් විය යුතුද?

ඒ සඳහා අවශ්‍ය පිළිතුර අප සතුව තිබේ. වසර දෙදහසක් පැවැති සභ්‍යත්වය මගින් එය අපට හිමිකරදී ඇත. එය අන් කිසිවක් නොව අප සතුව පැවැති බෞද්ධ ආර්ථික ව්‍යුහයයි. එය ඉවතලීමට කිසිදු හේතුවක් මම නොදකිමි. අද අවශ්‍යව ඇත්තේ එය අදට ඔබින විදිහට අද අප මුහුණ දෙන ලෝක ආර්ථික ප්‍රවණතාව අනුව සකස්කර ගැනීමයි.

අද වන විට බුදු දහහම එළි දක්වා ඇති ආර්ථික න්‍යාය බටහිර ආර්ථික විද්‍යාඥයන් විසින් පවා පිළිගනු ලබන සම්භාවනීය ආර්ථික න්‍යායක් බවට පත්ව තිබේ. ආර්ථික විද්‍යාඥ ෂූමාකර් විසින් විශද කොට ඇති ඒ බෞද්ධ ආර්ථික න්‍යාය මෙතෙක් ලොව ප්‍රගුණ කළ නව ලිබරල්වාදී හෝ මාක්ස්වාදී හෝ න්‍යායන්ට විකල්පයක් සපයා ඇති බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ. 2017 දී එළිදක්වන ලද ‘Buddhist Economics : An Enlightened approach to the Dismal science’ නමැති ග්‍රන්ථය ඊට නිදසුනක් සේ මම දකිමි. එය ලියා ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය ක්ලෙයාර් බ්‍රවුන් විසිනි. අපගේ රටට වඩා කුඩා රටක් වන භූතානය බෞද්ධ ආර්ථික න්‍යාය අනුව යමින්, “සන්තුට්ඨි පරමං ධනං” යන බුදු වදන අනුව යමින් මෙතෙක් අප භාවිත කළ ආර්ථික සංවර්ධන නිර්ණායකය වන දළ දේශීය නිෂ්පාදනය වෙනුවට ‘Happiness Index’ යන නිර්ණායකයක් ඉදිරිපත් කර ඇති සැටි අපට පාඩමක් විය යුතුයි. ඒ බෞද්ධ ආර්ථික න්‍යාය ක්‍රියාත්මක කිරීමටය. සුදුසුම තෝතැන්න වන්නේ වසර දෙදහසක් (2000) බෞද්ධ සභ්‍යත්වය රැකගත් අපේ රට බව මගේ විශ්වාසයයි.

විදේශිකයන් විසින් අප මත පටවා ඇති දෑවැද්ද ඉවතලා මා ඉහතින් දැක්වූ විකල්ප මාර්ගය ක්‍රියාත්මක කළ හොත් ඉන් ලබාගත හැකි ප්‍රධාන අතුරුඵලයක් කෙරෙහි ද අවධානය මෙහිලා පෙන්වාදීම ප්‍රයෝජනවත් යැයි සිතමි.

අද අපට මුහුණදීමට ඇති ප්‍රධානම තර්ජනය ඉන්දියාව විසින් ඇමරිකාවේ ද සහාය ඇතිව අපවෙත එල්ල කර ඇති 13 වන සංශෝධනයයි. එය අපගේ හිසමත එල්ලන ලද කඩුවක් වෙයි (බල ලෝභයෙන් ආතුර වූ වත්මන් අධම දේශපාලන නායකයන් ඒ කඩුව අප හිසමතට පතිත කිරීමට සූදානම් බව පෙනේ). ඒ භයානක ඉරණමෙන් ගැලවිය හැක්කේ මං විසින් පෙන්වාදී ඇති විකල්ප මාර්ගයෙන් පමණි. එවිට 13 වන සංශෝධනයක් අවශ්‍ය නොවෙනු ඇත. සංහිඳියාවේ නාමයෙන් රට බෙදා ෆෙඩරල් රාජ්‍යය බිහිකිරීමට අවශ්‍ය නොවෙනු ඇත. අපේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාව විනාශ නොවනු ඇත.

මවිසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් දේශපාලන ආර්ථික විකල්පය පරිපූර්ණ එකක් හෝ සාර්ථක ප්‍රතිඵල ගෙනදෙන එකක් හෝ නොවන්නට පුළුවන. මෙය ආධුනිකයකු අතින් ලියැවුණු කටු සටහනක් පමණි. ඒ බව මම දනිමි. මගේ අරමුණ වූයේ හුදෙක් එවැනි විකල්පයක් සොයාගනු වස් බුද්ධිමත් සංවාදයක් බිහිකර ගැනීම සඳහා අපේ බුද්ධිමතුන්ගේ අවධානය යොමු කිරීමයි.

එවැන්නකින් තොරව මේ රට අද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි වනු ඇත.

ඒ කරුණු අපට පමණක් නොව මේ රටේ බහුතර ජනතාවට ද මේ වනවිට පැහැදිලි වී ඇත. විදේශිකයා හිමිකර දුන් පාර්ලිමේන්තුව, පක්ෂ ක්‍රමය, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අබමල් රේණුවක විශ්වාසයක් ඔවුන් තුළ නොමැත. එය අප වැනසීමට අටවන ලද උපක්‍රමයක් බව ඔවුනට පෙනී ගොස් තිබේ. ඔවුන් ලබා ඇති මේ අවබෝධය විකල්පයක් සොයා යන අපට ඉමහත් දිරියක් බව කිවමනා නොවේ. මේ අවස්ථාව අප විසින් ප්‍රයෝජනයට ගත යුතුයි. එය ප්‍රයෝජනයට නොගෙන සුපුරුදු ලෙස විජාතිකයාගේ උගුලේ රැඳී සිටියොත් ඒ උරචක්‍රමාලය අපේ රටේ ජාතිය ගෙල සිඳ, අප මේ මිහිපිටින් අතුරුදහන් කරනු නියතය.

මා දැක්වූ විකල්ප මග වසරකින් දෙකකින් අපේක්ෂිත ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ. ඊට වසර කිහිපයක් ගතවනු ඇත. එහෙත් ඒ කරුණ එය ක්‍රියාවට නොනැඟීමට හේතුවක් නොවිය යුතුයි. එහි ඇතැම් කොටස් ග්‍රාම සංවර්ධන සභාව වැන්නක් අද ඇති පාලන තන්ත්‍රය තුළම ක්‍රියාවට නැඟිය හැකියි. රට පුරා ඇති සංවර්ධන සභා තුන්දහසක් ක්‍රියාත්මක වී මල්ඵල ගැන්වෙන විට අද ඇති විදේශිකයා හිමිකර දුන් පලාන තන්ත්‍රය ඉබේම දියවී යෑමට ද පටන් ගනු ඇත.

මා ඉහතින් දැක්වූ ගම්වල ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා ලේඛන, දත්ත සහ තවත් කරුණු නිවැරදි නොවන්නට පුළුවන. එහෙත් මා ඉදිරිපත් කර ඇති ‘ග්‍රාම රාජ්‍ය සංකල්පය’ ඉවතලෑමට එය හේතුවක් කරගත යුතු නොවේ. වැදගත් වන්නේ මා ඉදිරිපත් කර ඇති ග්‍රාම රාජ්‍යය සංකල්පය පිළිබඳ ප්‍රබල සංවාදයක් සමාජය තුළ බිහි කිරීමයි. මගේ මූලික අරමුණ එයයි.

ආචාර්ය ගුණදාස අමරසේකර
2025-11-12 : Divaina

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

චිරං ජයතු ප්‍රාඥයාණෙනි

කතෘ:යුතුකම     11/12/2025   No comments
ගුණදාස අමරසේකරයන්ගේ 96 වන ජන්ම දිනය අදට (නොවැම්බර් 12) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

අප අතර සිටින් ශ්‍රේෂ්ඨතම සාහිත්‍යධරයකු වන ගුණදාස අමරසේකර සිංහල නවකතාව, කෙටිකතාව, කවිය වැනි නිර්මාණාත්මක සාහිත්‍යාංග ප්‍රගමනයට පමණක් නොව සිංහල සාහි
ත්‍ය විචාරයටත්, ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන හර පද්ධතියේ උන්නතිය ීඋදෙසාත් විශිෂ්ට දායකත්වයක් සපයන ප්‍රාඥයෙකි. අමරසේකරයන්ගේ එම අසමසම සේවාව පිළිබඳව විදග්ධ පාඨකයන් දැනුවත් කිරීම අවශ්‍ය නොවන්නේය.

සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ හිණි පෙත්තටම නැඟුන ද නැඟී එන සාහිත්‍යකරුවන්ට අත හිත දෙමින් ඔවුන් ධෛර්යමත් කිරීමට අමරසේකරයන් දරන ප්‍රයත්නය ගැන ලියවී ඇති තොරතුරු අල්ප බව මගේ හැඟීමයි. එබැවින් මගේ පෞද්ගලික සැමරුම් සටහනක් තුළින් මේ අද්විතීය ප්‍රඥයාගේ එම ගුණාංගය ගැන අවධානය යොමු කිරීම කාලෝචිත යැයි මට සිතේ.

ගුණදාස අමරසේකරයන් සමග මට ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡා මාලාවක් පැවැත්වීමටත් පසුව ඒ සංවාද පොතක් වශයෙන් පළ කිරීමටත් හැකිවීම අමරසේකරයන් සමග පැවති සාහිත්‍යමය සම්බන්ධතාවයේ උග්‍ර ඵලය ලෙස සඳහන් කළ හැකිය. මේ සංවාද සඳහා මඟපෑදුනේ ඔස්ටේ්‍රලියාව පුරා විසුරුවා හරින ලෝකයේ විශාලතම ජන වාර්ගික ගුවන් විදුලි සේවාව වන එස්. බී. එස්. ගුවන් විදුලියේ සිංහල වැඩසටහන් නිෂ්පාදකවරයා ලෙස මා සේවය කළ කාලයේදීය. දුරකථනය ඔස්සේ සිදුකළ මේ සංවාදවලදී දන්ත වෛද්‍යවරයකු සාහිත්‍යධරයකු වූ සැටිත් වික්‍රමසිංහයන්ගේ හා සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය සේවාව ගැනත් යළි උපන්නෙමි අතහැර එක ටැමෙන් පොළොවට බට සැටිත්, පේරාදෙණි සාහිත්‍ය කල්ලියෙන් බැහැර වූයේ කුමක් නිසාද යන්නත්, සිංහල නවකතාව සේවනය නොවුණු කැඩපතක් වූ සැටිත් වැළලී ගිය අපගේ හද බස පාදාගෙන සිංහල කවිය යළිත් නඟා සිටුවිය හැකි මාර්ග ගැනත් සාකච්ඡා කළෙමු. එම සංවාද ‘ගුණදාස අමරසේකර සංවාද’ නමින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය මගින් 2023 දී පළ කෙරිණි.

එම සංවාදවලදී අමරසේකරයන් පළ කළ අදහස් කිහිපයක් උපුටා දැක්වීම වැදගත් යැයි සිතමි.

දන්ත වෛද්‍යවරයකු ලෙස විශ්වවිදයාල අධ්‍යාපනය ලැබූ ඔබ සාහිත්‍යධරයකු වූයේ කෙසේදැයි මා අසූ ප්‍රශ්නයට අමරසේකරයන් දුන් පිළිතුර මෙසේය.

‘ඔය ප්‍රශ්නය අහනකොට මට මතක් වුණා ශ්‍රේෂ්ඨ රුසියන් කෙටිකතාකරුවකු වන චෙකෝෆ්ගේ කියමනක්. චෙකෝෆ් කියලා තිබුණා ඔහුගේ නීත්‍යනුකූල භාර්යාව වෛද්‍ය වෘත්තියයි, නීත්‍යානුකූල නොවන පෙම්වතිය සාහිත්‍යයයි කියලා. මට ඒක පොඩ්ඩක් වෙනස් කරලා කියන්ට පුළුවන් මගේ නීත්‍යානුකූල භාර්යාව සාහිත්‍යයයි, නීත්‍යානුකූල නොවන පෙම්වතිය මගේ වෘත්තියයි කියලා.’

තවමත් අපේ සාහිත්‍ය අබුද්දස්ස යුගයෙන් මිදී නැති බව අමරසේකරයන් දරන මතයට විරුද්ධ අදහසක් මගේ ප්‍රශ්නයකින් මතු කළ විට එතුමන්ගේ පිළිතුර මෙබඳු විය.

‘වර්තමාන සාහිත්‍යය මෙන්ම පසුගිය දශක කිහිපයේදී පැවති අපේ රටේ සාහිත්‍යය එක්තරා විධියක අබුද්දස්ස යුගයක්. ඒ තුළ ප්‍රඥාලෝකයක් නැති සාහිත්‍යයක් තමයි අපි බිහි කරලා තියෙන්නේ. මම එයට හේතු පවා දක්වලා තියෙනවා. සාහිත්‍යය කියන්නේ නවකතාව කියන්නේ කතාන්දරකීමක් නොවේ. සාහිත්‍යය කියන්නේ පුළුල් අර්ථයෙන් ගත්තොත් රටක තියෙන දේශපාලන සංවාදයේ උත්තර සංවාදයක්. අපේ රටේ එක්දහස් නවසිය පනස් ගණන්වලින් පස්සේ එවැනි සංවාදයක් බිහි වුණේ නැහැ.’

මැද පන්තියේ දිගු ගමන නිරූපණය කරන ගමනක මුල නවකතාවෙන් ඇරැඹී වෙළුම් නවයකින් යුත් නවකතා මාලාවට ශ්‍රී ලාංකික සාහිත්‍ය ප්‍රජාවෙන් නිසි ඇගයීමක් ලැබී නැති බව මා සඳහන් කළ අමරසේකරයන් දුන් පිළිතුර මෙසේය.

ඒ අදහසට මම එකඟයි. අද මේ රටේ විචාරය සඳහා වාසනා මහිමය ඇති විචාරකයන් හිඟයි. ඒ වගේ වාතාවරණයකදී අපට හැකි වෙන්නේ කොහොමද උසස් නිර්මාණයකට නිවැරදි ප්‍රතිචාරයක් ලබාගන්න. මා හිතනවා කාලාන්තරයකට පසුව අපේ සමාජය වසාගෙන සිටින මෝහාන්ධකාරය දුරු වෙලා යහපත් යුගයක් උදාවුණු දවසක රටේ හරවත් දේශපාලන සංවාදයක් ඇතිවුණු දවසක අපේ විචාරකයන්ට හොඳ සාහිත්‍ය නිර්මාණ අගය කරන්ට වාසනා ශක්තිය ලැබේවි කියා.

මේ සටහන අවසන් කරමින් එතුමන්ට පැදි කිහිපයකින් දිගාසිරි පතන්ට මට අවසර දෙනු මැනවි,



ආචාර්ය පාලිත ගනේවත්ත
November 12, 2025  :Divaina

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

8/20/2019

නරේන්ද්‍ර මෝඩිගෙන් අපට පාඩමක්... 13 ඉවත් කිරීමට අවස්ථාව යළි පෑදී ඇත...!

කතෘ:යුතුකම     8/20/2019   No comments
-ගුණදාස අමරසේකර -

ජූලි 26 දා පාර්ලිමේන්තුව ඇමතූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විසින් අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් ප‍්‍රකාශ කීපයක් ඉදිරිපත් කර තිබෙනු මම දුටිමි.

එතුමා විසින් ඒ ප‍්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී යි. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එසේ ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථා මණ්ඩල විධායක කොමිටියේ ඉන්නා විශේෂඥයන් විසින් සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතයි.

එවේලෙහි මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශ මෙවැනි වෙයි.

‘‘මේ කෙටුම්පත ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ මෙය සිය රජයේ කෙටුම්පතක් නොව විශේෂඥ කොමිටිය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් බවයි. මෙය ඔහු විසින් අවධාරණය කරන ලදී. එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ කෙටුම්පත අයිතිකාරයෙක් නොමැති කෙටුම්පතක් නොවේද? කිසිවකු විසින් වගකීම බාර නොගන්නා අයිතිකරුවකු නැති එවැනි කෙටුම්පත් ඉදිරිපත් කිරීම මගින් නව ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියක් කෙසේ ඉටුකර ගත හැකිද? ’’

මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

‘‘අගමැති විසින් ඉදිරිපත් කරන ලද මේ කෙටුම්පතට අපි තරයේ විරුද්ධ වෙමු. ඒ කෙටුම්පත ක‍්‍රියාවට නැ`ගුව හොත් ශ‍්‍රී ලංකාව තවදුරටත් එක රටක් නොව පළාත් නමයකට බෙදා වෙන් කළ කෑලි නමයකට කඩන ලද රටක් වනු ඇත. ඒ හැම පළාතකටම වෙනම පොලිසියක් අත් වනු ඇත. භූමිය බෙදා වෙන් කෙරෙනු ඇත. කිසි දිනක ආපසු ගත නොහැකි බලතල ඒ ස්වාධීන පළාත් නමයට ලැබෙනු ඇත. එමගින් මාධ්‍යම රජය කිසිදු බලතල නැති බෙලහීන නාමික මධ්‍යම රජයක් වනු ඇත. මේ කෙටුම්පත සකස් කරන ලද්දේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සහ ඇන්.ජී. ඕ. නඩය විසිනුයි. මේ කෙටුම්පත ඉදිරිපත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සිය රජය එහි භාරකාරත්වය නොගන්නා බවයි. එසේ නම් එතුමා ටී.එන්.ඒ. පක්‍ෂයද ‘ගොනාට අන්දා’ ඇති නොවේද?’’

මේ ප‍්‍රකාශයට අමතරව මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙතෙක් මත භේදයට තුඩු දී ඇති ප‍්‍රශ්නයක් නිරාකරණය කර දීමට තැත් කර ඇති බවද මම දුටිමි. එය මෙවැනි වෙයි.

‘‘13 ට එහා යන පාලනයක් දීමට මා පොරොන්දු වී ඇතිය යන කතාව ඇතැමුන් විසින් පවසනු මා දැක තිබේ. 13ට එහා යන ඒ කතාව ප‍්‍රබන්ධ කරන ලද්දේ මේ ප‍්‍රශ්නය අරබයා මා සමග සාකච්ඡුා කළ ඉන්දියානු විදේශ ඇමැතිවරයා විසිනුයි. මා ඔහු සම`ග පැවසුවේ පළාත් සභාවලට ද සහභාගි විය හැකි උත්තර මන්ත‍්‍රී මණ්ඩලයක් පත් කිරීමට මා අදහස් කරන බවයි. මාගේ ඒ යෝජනාවයි ඔහු විසින් ‘13 එහා යන කතාවක්’ ලෙස අඳුන්වන ලද්දේ’’

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජුලි 26 දා පාර්ලිමේන්තුව ඉදිරියේ කරන ලද ප‍්‍රකාශය මා විසින් මෙහි ලා දක්වන ලද්දේ මා ඉදිරිපත් කරන යෝජනාවට අවශ්‍යව ඇති පසුබිම මේ වන විට සැකසී ඇති බව පෙනුවනු සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒ ප‍්‍රකාශවලින් පෙන්නුම් කරනු ලබන්නේ එතුමා තවදුරටත් රජීව් ගාන්ධි අප මත පැටවූ 13 වැනි සංශෝධනය ඉදිරියට ගෙන යෑමට සූදානම් නැති බව නොවේද? මගේ වැටහීම එයයි. පසුගිය කාලය තුළ එතුමාට මුහුණ දීමට සිදුවූ ප‍්‍රශ්න, පසුබෑම්, පරාද ආදියද එතුමාගේ මනෝභාවය වෙනස් කිරීමට හේතුවන්නට ඇතැයි සිතමි.

මගේ ඒ නිගමනය නිවැරදි නම් දැන් කළ යුතුව ඇත්තේ තමාගේ මේ නව ස්ථාවරය එතුමා විසින් හෝ එතුමා විසින් ඉදිරිපත් කරනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොබියව ජනතාවට ඉදිරිපත් කිරීම නොවේද? ඒ සඳහා අවස්ථාව දැන් පැදී තිබේ.

ඒ අවස්ථාව අපට පාදා දී ඇත්තේ 13 අප මත පැටවූ ඉන්දියාව විසින්මය. එය දෛවයේ සරදමක් ලෙසද පෙනේ.

පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දූත්වය තුළින් පහළ වූ අසහාය නායකයා වූ නරේන්ද්‍ර මෝඩි කාශ්මිරය අරබයා ලොව මවිත කරන තීන්දුවක් ගත් සැටි අපි දුටුවෙමු.

ගිය අගෝස්තු 5දා නරේන්ද්‍ර මෝඩි, ජනාධිපති ප‍්‍රකාශනයක් මගින් ඉන්දියානු ව්‍යවස්ථාවේ මෙතෙක් පැවැති 370 සහ 35 ඒ වගන්ති අහෝසි කළේය. එමගින් ජම්මු කාශ්මීරයට ජවහල්ලාල් නේරු අගමැති විසින් ලබාදුන් ස්වාධීන තත්ත්වය අවලංගු කර ඒ භූමිය තුළින් ප‍්‍රාන්ත රාජ්‍ය දෙකක් බිහිකිරීමට මෝඩි අගමැතිවරයාට හැකිවිය. ඉන් එකක් වන ලඩාක් ප‍්‍රාන්ත රාජ්‍යය ඉන්දියාව තුළ පහල වූ ප‍්‍රථම බෞද්ධ ප‍්‍රාන්ත රාජ්‍යය වෙයි. මෙවැන්නක් කරන ලද්දේ පකිස්තානයේ ආශිර්වාදය මත හිස ඔසවා ඇති ත‍්‍රස්තවාදය හා වෙන්වීමේ ප‍්‍රවනතාව අවසන් කරනු සඳහා මෙන්ම ජම්මු කාශ්මීරය මධ්‍යම රජයේ ආධිපත්‍යයට නතුකර ගැනීම සඳහා බව අගමැති මෝඩි විසින් පවසා තිබේ. කෙටියෙන් කියතොත් මෝඩි අගමැති විසින් සිදුකර ඇත්තේ සිය හින්දූත්ව න්‍යාය හමුවේ ඉන්දියාවේ ඇති දියාරු පෙඩරල් පාලන ක‍්‍රමය දියකර හැරීමේ පළමු පියවර ගැනීම බව මාගේ වැටහීමයි.

නරේන්ද්‍ර මෝඩිට මෙවැන්නක් කළ හැකි වූයේ කෙසේද? ඊට ප‍්‍රධාන හේතුව නම් මෝඩි බටහිර ලිබරල්වාදයෙන් හිස කුරෝලූ කර නොගත් ජාතිකවාදියකු වීමයි. හින්දු සභ්‍යත්වය මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍යයක් බිහිකර ගැනීමට ඔහු තුළ ඇති දැඩි අධිෂ්ඨානයයි. ඉන්දියාව හින්දූත්වය මුල්කරගත් පැරණි භාරත දේශය බවට යළි පත් කිරීම මෝඩිගේ ඒකායන අභිලාෂය බව පෙනේ.

ඉන්දියානු ජනගහනයෙන් 17% මුස්ලිම් ජාතිකයන් වුවද ඔවුන්ට ‘දොළ පිදේනි’ දී බලය ලබා ගැනීමට මෝඩි අගමැතිවරයා කටයුතු නොකළ සැටි පසුගියදා පැවැති මැතිවරණයෙන් මෙන්ම ඉන්පසු පිහිටු වූ රජයෙන්ද අපට දැකගත හැකිවිය.

ජම්මු කාශ්මීරයට විශේෂ ස්වාධීනත්වයක් දීමට කටයුතු කරන ලද්දේ ඉන්දියාවේ පළමු අගමැතිවරයා මෙන්ම ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයකු වූ ද ජවහල්ලාල් නේරු විසිනුයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය භාරතීය සභ්‍යත්වය තුළින් බිහි වූ පක්‍ෂයකට වඩා බටහිර ලිබරල්වාදය දෙස බලා නිර්මාණය කරන ලද පක්ෂයක් බව එහි නූතන ඉතිහාසය විසින් පෙන්නුම් කර දී තිබේ. ජවහල්ලාල් නේරු විසින් තමන් හඳුන්වා ගන්නා ලද්දේ සිය රටෙහි සභ්‍යත්වයට අයත් නොවන පුද්ගලයකු මෙන්ම පිටත ලෝකයට ද අයත් නොවන සභ්‍යයත්ව අනන්‍යතාවක් නැති පුද්ගලයකු ලෙසයි. ඒ කියමන ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂයටද වලංගු යැයි මම සිතමි. කොංග‍්‍රස් පක්‍ෂයේ ඡුන්ද පදනම වන ඉන්දියානු මැද පංතිය, අරබයා අගනා විචාරාත්මක නිබන්ධනයක් :ඔයැ ටරු්එ ෂබාස්බ පසාාකැ ජක්ි්) ලියා ඇති පාවන් කේ වර්මා නමැති විද්වතා විසින් ඒ පංතිය හඳුන්වා ඇත්තේ නමින් පමණක් ඉන්දියානු වන අනුකාරක ආත්මයක් නැති පිරිහුණු පන්තියක් ලෙසයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය එන්න එන්නම දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් අතු ගෑවී යන්නේ මේ නිසා නෙවේද?

නරේන්ද්‍ර මෝඩි අරගත් මේ අභීත ක‍්‍රියාව අපට පාඩමක් විය යුතුයි. එය අභීත පියවරක් ගැනීමට අප පොළඹවන උත්තේජනයක් විය යුතුයි. මෝඩි අගමැතිවරයා සිය රට වෙනුවෙන් ගත් ක‍්‍රියා මග අප විසින් අපේ රට වෙනුවෙන් ගැනීම අරබයා විරුද්ධ වීමට එතුමාට සදාචාරාත්මක අයිතියක් නොමැතිය. එමෙන්ම මේ අවස්ථාව අපගේ රට පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් එතුමාට ලබාදීම සඳහා යොදාගත යුතු යැයි මම සිතමි. ඇමෙරිකන් ගැති ජේ.ආර්. ජයවර්ධනට පාඩමක් උගන්වනු වස් ඉන්දිරා - රජීව් මේ රට ආක‍්‍රමණය කිරීම නිසා එවේලෙහි ඉන්දියානු විරෝධයක් උද්ගත වුවද අප තුළ සනාතන ඉන්දියානු විරෝධයක් හෝ හින්දූත්ව විරෝධයක් නොමැති බවත් ඉන්දියාව අප සලකන්නේ බුදුන් අපට දායද කළ ජම්බුද්පය ලෙස බවත්, බෞද්ධ සභ්‍යත්වය අප උරුම කර ගත්තේ අසෝක අධිරාජයෙන් බවත් අප විසින් එතුමාට පෙන්වා දිය යුතුය.

මෙවැනි අදහසක් මම එවේලෙහිද ඉදිරිපත් කළෙමි.

‘‘ඉන්දියාව අපට මෙවර ටොක්කක් ඇන්නේ අප කළ ඔළමොට්ටල කම් නිසා බව අපට වැටහිය යුතුයි. එය අපට මදිකමක් නොවේ. මේ ආකල්පයෙන් යුතුව කටයුතු කිරීමට අප පෙළඹුන හොත් මේ ගිවිසුම තුළ ඇති අපට අහිතකර කොටස් ඉවත් කර ගැනීමේ අවස්ථාවද අපට පෑදෙනු ඇත.’’ (ගනඳුර මැදියම - පෙරවදන)

13 සංශෝධනය බලහත්කාරයෙන් අපට ගල්ලවන ලද්දේ එය මේ රටේ ඇතැයි කියන ඊනියා ජනවාර්ගික ප‍්‍රශ්නයට අවශ්‍යව ඇති පිළියම වශයෙන් පෙන්වා අප මුළා කරමිනුයි. මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නොමැති බවත් 13 මේ රට අස්ථාවර කිරීම සඳහා ගෙන එනු ලබන කුමන්ත‍්‍රණයේ කොටමසක් බවත් මම ඒවෙලෙහි හෙළි කළෙමි. (ගන`දුර මැදියම) අද වන විට ඒ කුමන්ත‍්‍රණය් සක්සුදක් සේ පැහැදිලිව ඇති නොවේද? 13 වැනි සංශෝධනය මගින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජනවාර්ගික ප‍්‍රශ්නය විස`දුනේද? එයින් සිදුවූයේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමය. දෙමළ, මුස්ලිම් ජාතිවාදී නායකයින්ට උතුරේ - නැගෙනහිර සිය රාජධානි පිහිටුවා ගෙන බලලෝභී නිවට සිංහල නායකයන් වස`ගයට ගෙන ‘රජුන් තැනීමේ’ - ආණ්ඩු පිහිටුවීමේ බලය ඔවුන් අතට ලබාගැනීමයි. රටේ බහුතරය සුළුතරය බවට පත්කර සුළුතරය බහුතරය බවට පත්කිරීමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කළ යුතුව තිබුණේ ප‍්‍රභාකරන් විනාශ කළ පසුදාම 13 අහෝසි කර පළාත් සභා විසිරුවාලීමයි. එහෙත් සිදුවූයේ එවැන්නක් නොව තුප්පහි උපදේශකයන්ගේ ඇණවුම පිට LLRC නමැති තුප්පහි කොමිසම අටවා මෙරට ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි යන මිථ්‍යාව ලෝකය හමුවේ සනාථ කිරීමයි. එවෙලෙහි මේ රටේ ජනතාව මහරජාණෝ යැයි මහින්ද රාජපක්ෂයන්ට ආමන්ත‍්‍රණය කළේ ඔහු අතින් රට බෙදන 13 අහෝසිවනු දකින අභිලාෂයෙනි.

අද මේ ජාතික මෙහෙවර පැවරී ඇත්තේ තව ටික දිනකින් මේ රටේ ජනාධිපති බවට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රටේ ජනතාව අසීමිත උද්යෝගකින් එතුමා තෝරා පත්කර ගෙන ඇත්තේ අතපසු වී ඇති මේ ජාතික මෙහෙවර ඉටු කරනු සඳහායි. ඒ සඳහා කිසියම් උත්තේජනයක්, ආදර්ශයක් අවශ්‍ය වේ නම් ඒ උත්තේජනය ආදර්ශය මේ වන විට නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා විසින් සපයා ඇතැයි මම විශ්වාස කරමි.

දිවයින: 2019.08.18

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/27/2019

සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්

කතෘ:යුතුකම     2/27/2019   No comments


ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.

ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.

චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය - එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.

ගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.

මෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.

මේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.

ධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.

ධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/05/2018

අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     1/05/2018   No comments
ගුණදාස අමරසේකර මහතා දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයායි. නවකතාව, කෙටිකතාව, කවිය,විචාරය ආදී නන්විධ සාහිත්‍යාංගයන්හි බහුවිධ කුසලතා දැක්වූ ඔහු සරච්චන්ද්‍රයන් ඇසුරේ වැඩෙමින් සාහිත්‍ය යුගයක් නිර්මාණය කිරීමටද පුරෝගාමී වෙයි. එකළ මේ පේරාදෙණි සාහිත්‍ය තියුණු විවේචනයට ලක්කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ විසිනුයි. පසුව අමරසේකරද වික්‍රමසිංහ මග ගනිමින් පේරාදෙණි සාහිත්‍ය පුපුරවා හැරීමට දායක වෙන්නේ සිය කෘතිද ප්‍රතික්ෂේප කරමින්. දැක්මකින් යුතුව සාහිත්‍යකරණයේ නියැළෙමින් අදටත් මෙරට බලපෑම් සහගත මත පළකරන සාහිත්‍යකරුවාද වන අමරසේකර මහතා සමග මේ වටමඬල කළ සාකච්ඡාවකි.

Q.ඔබ සරසවි ශිෂ්‍යකු ලෙස සිටියදීම ඔබේ කෘති සරසවියේ විභාගවලට නියම වෙනවා. මෙය කිසිම කෙනෙකුට නොලැබුණ භාග්‍යක් වගේම වරප්‍රසාදයක්. මෙයින් ඔබට ආඩම්බරයක් ඇති වුණාද?

මම ඒ වරප්‍රසාදයට සුදුසු නම් ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නෑ. මගේ ජීවන සුවද කෙටිකතා සංග්‍රහයෙන් සිංහල කෙටිකතාවේ නව යුගයක් ආරම්භ කළා. මගෙ හිතේ ඊට පෙර හරවත් වැදගත් කතා තිබුණේ වික්‍රමසිංහගේ පමණයි. ජී.බී. සේනානායකගේ ආකෘතිය අතින් ඉදිරිගාමී ලක්ෂණ පෙන්නුම් කරපු බොහොම හොද කතා තිබුණට මොකද ඒවා එක්තරා විදිහකට සන්දර්භය අතින් මේ සමාජය හා බැදිච්ච කතා නෙමෙයි. සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇති කතා ලෙස මවිසින් කලකට පෙර හදුන්වනු ලැබුවේ එනිසා. මගේ ජීවන සුවඳ එනකොට ආකෘතියත්, සංදර්භයත් දෙකම එක්කාසු වෙලා මේ රටේ පසින් බිහිවෙච්ච විශේෂයෙන් මධ්‍යම පාන්තික ජීවිතය තුළින් බිහි වූ කෙටි කතා නිර්මාණයක් වෙනවා. මං හිතන්නේ සුවඳයි රුවයි දෙකම අන්තර්ගත වීමේ වැදගත්කම නිසයි ජීවන සුවද නිර්දේශ වෙන්නේ.

Q.ඔබ ලේඛකයකු හැටියට ඉස්මතු වෙන්නේ සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලයේ අන්තේවාසිකයන් නිසා. අද එවැනි වරප්‍රසාදයක් කිසිම කෙනෙකුට නැහැ නේද? එහෙම තත්වයක් යටතේ පේරාදෙණි ගුරුකුලයට හා එහි නවකතාවට විරුද්ධ වීමේ සදාචාරය කුමක්ද?

ඇත්ත වශයෙන්ම එදා සරච්චන්ද්‍ර ඉන්න කාලේ පේරාදෙණිය එක්තරා සංස්කෘතික කේන්ද්‍රයක් වෙලා තිබුණා. සාහිත්‍යට, නාට්‍යට, විචාරයට ලොකු සේවයක් පේරාදෙණිය ගුරුකුලයෙන් වුණා. අද එහෙම එකක් මේ රටේ නෑ. අද පේරාදෙණිය කියන්නේ එක්තරා විදිහක තවත් එක් විද්‍යාපීඨයක් නැත්නම් නිසරු බිමක් පමණයි.

සාහිත්‍ය කියන්නේ පුද්ගලික සබඳතා වගේ කෙළෙහි ගුණ සලකන දෙයක් නෙමෙයි. කෙළෙහි ගුණ සලකන සදාචාරයක් සාහිත්‍යයේ නෑ. ඒක බුද්ධිමය ව්‍යාපාරයක්. ලියන්නේ තමන්ගේ හෘද සාක්ෂයට අනුව. ඒ හෘද සාක්ෂයට අනුව යම් පොතක් ප්‍රතික්ෂේප කිරීම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක සාහිත්‍යකරුවා කියන්නේ එකතැන පල්වෙන මිනිහෙක් නෙමෙයි. ඔහුගේ ජීවන දර්ශනය වෙනස්වෙන විට අනිවාර්යෙන්ම ඔහුගේ සාහිත්‍ය පිලිබඳ දර්ශනයත් වෙනස් වෙනවා. මම මුලින් පේරාදෙණි ආධිපත්‍යය තුළ හිටියට මට ටික කලකින් තේරුණා පේරාදෙණි සාහිත්‍යයේ තිබුණු විශාල අඩුපාඩු. මට තෙරුණා ඒක මේ සමාජයෙන් වියෝ වෙච්ච එක්තරා විදිහක එක්ටැම් සාහිත්‍යක් බව. විශේෂයෙන්ම ඒක මට පැහැදිළිව තේරුණේ 71 තරුණයන්ගේ නැගිටීමත් සමග. අපි පේරාදෙණිය සාහිත්‍යයෙන් කළේ මේ රටේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන එක නෙමෙයි. පේරාදෙණියට රැස් වෙච්ච අර සීමිත තරුණයන්ගේ සීමිත ජීවිතය පිළිබඳ තමය ඒ සාහිත්‍යයෙන් සාකච්ඡා කළේ. නමුත් පුළුල් සමාජ ප්‍රශ්න, මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න, ගැන සාකච්ඡාවක් පේරාදෙණියෙන් වියයුතුව තිබුණා. ඒත් එහෙම එකක් සිදුවුණේ නැහැ. ඒ අඩුපාඩුව මට හොදට තේරුණ නිසයි අපි සාහිත්‍ය පිළිබඳ අමුතුවෙන් කල්පනා කළ යුතුයි කියන තැනට ආවේ.

Q.නමුත් ඔබ යළි උපන්නෙමි විතරයි නැවත පළ නොකරන්නේ. පේරාදෙණි සාහිත්‍යයට අයිති අනෙක් කෘති කරුමක්කාරයෝ දෙපා නොලද්දෝ වාගේ ඒවා පළ කරනවා. ඔබ ඒවාගෙන් විනාශය දකින්නේ නැද්ද?

ඒවා ඒ තරම් නරක නෑ. කරුමක්කාරයෝ පේරාදෙණි බලපෑමට ඉස්සෙල්ලා ලියපු නවකතාවක්. යළි උපන්නෙමි ඇත්ත වශයෙන්ම අර දෙකටම වඩා අපේ සභ්‍යත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි අපේ සංස්කෘතිය හෙළා දකින නවකතාවක්. ඒක අද ගැහුවොත් සමාජයට වැරදි ආදර්ශයක් වෙනවා. අද ලියවෙන ඒවා බලද්දී ඒක පනින රිලවුන්ට ඉනිමං බැදීමක් වගේ වෙනවා. මොකද අද සාහිත්‍යත් යළි උපන්නෙමි සාහිත්‍යක් දක්වා ගමන් කරමින් තියෙන බව පේනවා. යළි උපන්නෙමි නවකතාවේ සන්දර්භයට මම එකග නොවුණත් අඩුගානේ ඒකේ කලාත්මක බවක්වත් තියෙනවා. දැන් ලියන ඒවා එහෙමත් නෑ. අරකේ නරක ලක්ෂණ ටික විතරක් අරගෙන ලිගු දුගඳ වහනය කිරීම පමණයි දැන් නවකතාවලින් කරන්නේ.

කරුමක්කාරයෝ නවකතාවේ ප්‍රේම සම්බන්ධතා තිබුණට මොකද එහි වැදගත්කම තියෙන්නේ පවුල් සම්බන්ධතාවල හෝ ප්‍රේම සම්බන්ධතාවල නෙමෙයි. එක්තරා විදිහකට ගමට ධනවාදී සමාජ ක්‍රමය ඇවිල්ලා, ගමට ඡන්ද ක්‍රමය ලැබිලා, ගමේ සමගිය නැති කරලා, අපගේ පුරුෂාර්ථ, හර පද්දති එක්ක කොහොමද ගම වෙනස් වුණේ කියන එක තමයි නවකතාවේ දක්වන පුළුල් සමාජ චිත්‍රය. ඒක කියන්න නවකතාවට පිටින් ගැටගහපු එක තමයි අර ප්‍රේම කතාව. හුගදෙනෙක්ට මේක තේරිලා නෑ. කරුමක්කාරයෝ චිත්‍රපටය හදනකොට තිස්ස අබේසේකර ගත්තේත් අර ප්‍රේම කතාව. ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නගනකොටත් මේ දුර්වලකම තිබුණා. ගම වෙනස් වුණේ කොහොමද කියන පුළුල් සමාජ චිත්‍රය චිත්‍රපටයේ නෑ. තියෙන්නේ අර ප්‍රේම කතාව විතරයි. ඒ නිසා මේ නවකතා දෙකටම ගැටගහපු ප්‍රේමකතාවලට වඩා ඒ යට දිවෙන සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාසයි වැදගත්.

Q.ඔබ මුලින්ම දැන් මේ රටේ සාහිත්‍යක් නැතැයි මත පළ කිරීමට පුරෝගාමී වූ කෙනෙක්. සුචරිත ගම්ලත්, ඒ.වී. සුරවීර වැනි විද්වතුන්ද ජීවතුන් අතර සිටියදී මේ අදහසේ සිටියා. ඔවුනුත් අද පළවෙන නවකතා කියවීම කාලය නාස්ති කිරීමක් යැයි ප්‍රකාශ කළා. ඔබට අනුව හොඳ නවකතාවක් කියන්නේ කුමක්ද?

හොඳ නවකතාවක් නම් ඒකෙන් පෙන්නන්න ඕන මනුස්ස ජීවිතයත් ඒ සමාජයත් අතර ඇති සම්බන්ධතාවය. මනුස්සයා ජීවත් වෙන්නේ යම්කිසි සමාජයකනේ. සාහිත්‍යකරුවා මේ දෙක අතර සම්බන්ධතාවය ගළපන්න ඕන. මේ දෙකෙන් වියෝ වෙච්ච චරිත අරගෙන වැඩක් නෑ. මළගිය ඇත්තෝ නවකතාවෙත්, යළි උපන්නෙමි නවකතාවෙත් සමාජයෙන් වියෝ වෙච්ච චරිත තියෙන්නෙ. යම් කෘතියක සමාජය අමතක කරලා මනුස්සයා ගැන කතා කරලා වැඩකුත් නෑ. මනුස්සයා අමතක කරලා සමාජය ගැන කතා කරලා වැඩකුත් නෑ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගළපා තිබෙනවා නම් ඒක උසස් නිර්මාණයක් කියන්න පුළුවන්. වික්‍රමසිංහ නවකතාව සමාජයේම පිළිඹිබුවක් ලෙස පෙන්නුවා. සමාජය හසුරවන දේශපාලන, ආර්ථික බලවේග ගැන නවකතාකරුවා අවධානය යොමු කරන්න ඕන. ජනතාවගේ නැණ නුවණ පාදන දේශපාලන හා සමාජ විඥානය පුළුල් කරවන ඥාන මාර්ගයක් පෙන්වන නවකතාවක් වෙන්න ඕන. අපගේ මනස මෙන්ම හදවතද විවෘත කරන මානව දයාවෙන් පිරුණු නිරූපණයක් එහි තියෙන්න ඕන. සාහිත්‍යකරුවා සමාජ විද්‍යාඥායාගෙන් වෙනස් වෙන කරුණ ඒක. අද ඒ වගේ නවකතා පළවෙන්නේ නෑ. සමාජයෙන් වියෝ වෙච්ච චරිත වටා කතුවරයාගේ මනසේ ගැටගහන කෙප්ප තමයි අච්චු ගහලා බෙදන්නේ. ඒ නිසා අද තියෙන්නේ උසස් සාහිත්‍යක් නොව කෙප්ප සාහිත්‍යක්.

Q.ඔබ හිතන විදිහට මේ සාහිත්‍ය පරිහානියට හේතු වූ පසුබිම මොකක්ද?

පේරාදෙණිය සාහිත්‍යයෙන් තමයි මේ පරිහානිය ආරම්භ වෙන්නේ. වික්‍රමසිංහගේ යථාර්ථවාදී නවකතාවට පිටුපාලා පේරාදෙණියෙන් පටන් ගත්තේ මේ සමාජයෙන් වියෝ වෙච්ච එතැනට රැස් වු තරුණයන්ගේ ජීවතවලට පමණක් සීමා වෙච්ච මනැස් පුතුන්ගේ එක්ටැම් සාහිත්‍යයක්. පේරාදෙණිය නවකතාව බිහිවුණේ මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියලා සලකන්නේ නැතුව පුද්ගලිකවාදයට මුල් තැන දීපු නවකතාවක් විදිහට. නවකතා විචාරය සඳහා අවශ්‍යය සමාජ සංස්කෘතික දේශපාලන විඥානයෙන් තොරවූ සරච්චන්ද්‍ර මේ කටයුත්තට අත ගැසීම නිසා සිංහල නවකතාවේ වැඩීමට අනර්ථයක් වූ බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න වෙනවා. මොකද මේ නිසරු අනුකාරක පේරාදෙණි නවකතාව වැඩුනේ සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ. මේ පේරාදෙණි නවකතාව එක්ක එදා දරුණුවට ගැටුනේ වික්‍රමසිංහ. ඒ මතවාදී ගැටුමෙන් පස්සේ ඇතිවිය යුතුව තිබුණේ වික්‍රමසිංහ පටන් ගත්ත යථාර්ථවාදී හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමයි. ඒත් එහෙම දෙයක් සිදු වුණේ නෑ. ඊට හේතුව පේරාදෙණිය අනුකරණය කළ අනෙක් විශ්වවිද්‍යාල දෙකත්, රජයේ පාසල්වලත් ඔජවඩනු ලැබුවේ පේරාදෙණි නවකතාව. මොකද එවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබූ මහා විද්‍යාල හා මධ්‍යමහා විද්‍යාල ඇතුළු රජයේ පාසල් බොහොමයක සිංහල උගන්වනු ලැබුවේ පේරාදෙණියෙන් බිහිකරන ලද උපාධිධාරීන් විසින්. එයින් පේරාදෙණි සාහිත්‍ය ආධිපත්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටත ගම්දනව් දක්වාත් පැතිරුණා. සරච්චන්ද්‍රගෙන් පසුවත් ඔහුගේ අන්නේවාසිකයින් විසින් ගුරු පූජාවක් මෙන් ඉදිරියට ගෙන ගියේ අර කාල්පනික සාහිත්‍ය. මේ හේතුවෙන් වික්‍රමසිංහ හෙළි පෙහෙළි කරදුන් සාහිත්‍ය මාර්ගය යටපත් වුණා. ඔහුට සරච්චන්ද්‍රට වාගේ අන්නේවාසිකයන් බෝ කර ගැනීමට විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ වරප්‍රසාදය තිබුණේ නෑ.

දෙවනුවට,

හතලිස් අටේ නිදහසින් පස්සේ මේ රටේ හරවත් සමාජ දේශපාලන සංවාදයක් සිදු නොවීමත් හරවත් සාහිත්‍යක් බිහිනොවීමට බලපෑවා. ජාතික නිදහස මුල් කරගෙන ඒ යුගයේදී මේ රටේ පැවති සංවාදයේ ප්‍රතිඵලයක් හැටියටයි වික්‍රමසිංහ වාගේ කෙනෙක් බිහි වෙන්නේ. හතලිස් ගණන්වල අනගාරික ධර්මපාලතුමා මූලික කරගෙන ජාතික ව්‍යාපාර ඔස්සේ මෙන්ම පියදාස සිරිසේනගේ නවකතා ආදියේ බලපෑමෙන් යම්කිසි හරවත් චින්තනයක් මේ රටේ තිබුණා. වික්‍රමසිංහගේ නිර්මාණ නිකම් ඕපපාතිකව ඇති වූ දෙයක් නෙමෙයි. ඒ හරවත් සමාජ දේශපාලන චින්තනයේ ප්‍රතිඵලයක් හැටියටයි බිහිවෙන්නේ. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නෑ පියදාස සිරිසේන කෙනෙක් නැත්නම්. පියදාස සිරිසේන නිකම් උඩින් මත්තෙන් විචාරකයෙක් විදිහට කියූ දේ තමයි වික්‍රමසිංහ ඊට වඩා ගැඹුරෙන් සලකලා ඉදිරිපත් කළේ. 56 ජයග්‍රහණයටත් බලපෑවේ ජාතික නිදහස මුල් කරගෙන පියදාස සිරිසේන, ධර්මපාල තුමා ආදීන් ඇතිකරපු සමාජ චින්තනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණාට මොකද බණ්ඩාරනායක මහතාටත් තමන් බලයට පත්කරපු සමාජ චින්තනය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. ඒ චින්තනමය පදනම පක්ෂයේ දර්ශනය කරගත්තේ නෑ. අද ඔය පක්ෂය දියවෙලා යන්නෙත් ඒකයි. උපන් දවසේ ඉදලා ඔළුවක් නැති කවන්ධයක්. කිසි චින්තනමය පදනමක් දර්ශනයක් නෑ. මේ අනුව පේනවා එකල පැවති හරවත් සමාජ සංවාදය දේශපාලන පරිවර්තනයකට වගේම වික්‍රමසිංහ වගේ සාහිත්‍යකරුවකුගේ බිහිවීමටත් පසුබිම සකස් කරපු බව. නමුත් එවැනි මතවාදී සංවාදයක් නිදහසින් පසු නොවීම ශේෂ්ඨ චින්තනයක් ඇති සාහිත්‍යයකරුවන් බිහි නොවීමට බලපෑවා. නවකතාකාරයෙක් වුණාම ප්‍රබුද්ධ චින්තනයක් තියෙන්න ඕන. එහෙම නැති අඥානයින් පිරිසකගෙන් හොද නවකතා බිහිවෙන්න විදිහක් නෑ.

තෙවනුවට,

77 ජේ.ආර්. ගේ ඊනියා විවෘත ආර්ථිකය නැමැති නව යටත්විජිතකරණ සංස්කෘතික ආක්‍රමණයත් මේ සාහිත්‍ය අවපාතයට හේතු වුණා. ඔහුගේ කාලයේ සාහිත්‍ය හා ඉතිහාසය නොවැදගත් විෂයන් ලෙස සලකා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් දරුවන්ට දිය යුතු ප්‍රාථමික අධ්‍යාපනයේ කේන්ද්‍රීය නැබ විය යුත්තේ ඒ රටේ ඉතිහාසය හා සාහිත්‍යයි. එහෙත් ජේ. ආර්. කළේ එහි අනෙක් පැත්තයි. ඔහු මේවා ඉවත් කළේ ඒ විෂයන්වල තියෙන වටිනාකම නොදන්නා නිසා නෙමෙයි. ජේ. ආර්. අපට වඩා සාහිත්‍ය ගැන දන්නවා හොඳට. ඔහු ග්‍රීක, ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි, සෝවියට් ආදී සාහිත්‍ය තියෙව්වේ. ඔහු දැනගත්තා සාහිත්‍ය නැමැති කැඩපත සේවනය කරන්න සැලැස්සුවොත් එය තමන් ගෙනයන අධම සංස්කෘතික ආක්‍රමණයට බාධාවක් වෙන බව. අපේ පාරම්පරික සභ්‍යත්වය, ඇගැයුම්, සමාජ වටිනාකම් මිනිසුන්ට සාහිත්‍ය තුළින් කා වැද්දුවොත් ඒක ජේ. ආර්. ගේ අධිරාජ්‍ය ගැති විජාතික ආර්ථිකට ලොකු බලපෑමක් වෙනවා. ඔහු දන්නවා සාහිත්‍ය කියන්නේ ජනතාවගේ සමාජ විඥානය පුළුල් කරවන්න පුළුවන් දෙයක් බව. ඒ නිසා තමයි අද මේක විජාතික කදවුරේ අය ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කරන්නේ. ජේ. ආර්ට උවමනා වුණේ සාහිත්‍යයෙන් ලබන වින්දනය වෙනුවට ටැලිවිෂනය මගින් කාමෝද්දීපන විනෝදය සපයලා උපන් සමාජයෙන් වියෝ කරන ලද පරපුරක් බිහිකර ගැනීම. එහෙව් පිරිසකට සමාජය හසුරුවන දේශපාලන ආර්ථික බලවේග ගැන විමසා බැලීමේ උවමනාවක් නෑ. ඒකේ ප්‍රතිඵලය හැටියට අද වනවිට සින්දුවෙන් සුපර් ස්ටාර් වීමේ සහ පන්දුවෙන් මුරලිදරන් වීමේ සිහින අභිලාෂය කරගත් මේ රටේ සභ්‍යත්ව විඥානයෙන් දුරස් වූ බුද්ධි හීන ගැටවරයන් පිරිසක් බිහි වුණා. ජේ.ආර්. විවෘත්ත ආර්ථිකය හරහා ඇතිකරපු නව යටත්විජිත සංස්කෘතික ආක්‍රමණය අද උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා. ප්‍රභාකරම්ගේ ත්‍රස්තවාදයටත් වඩා භයානක විදිහට නුදුරේදීම මේ රට විනාශ මුඛයට ඇදගෙන යනු ලබන්නේ මේ සංස්කෘතික ආක්‍රමණය විසින්. අද මේ පල්ලක් නැති සාහිත්‍ය විතරක් නෙමෙයි සමස්ත කලාවම යොදා ගන්නේ අපේ පුරුෂාර්ථ හර පද්දති හෙළා දකිමින් ජාතිකත්වයට එරෙහිව ගෙනයන එන්.ජී.ඕ. සංස්කෘතික ආක්‍රමණයේ කොටසක් හැටියයි. මේක තාම හුග දෙකෙන් තේරුම් අරගෙන නෑ.

Q.ඔබ මුලින් පැවසුවා වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවකු බිහිවෙන්නේ එකල පැවති සමාජ දේශපාලන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසින් බව. එතකොට පේරාදෙණි සාහිත්‍යට බලපෑ සංවාදය කුමක්ද? ඒ වගේම පසුකාලීනව හොද සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් සිදු නොවූයේ ඇයි?

ඕනෑම සමාජයක ඇතැම් යුගවල මේ දේශපාලන සංවාදය බලවත්ව පවත්නා අතර ඇතැම් කාලවල එවැන්නක් නැත්තටම නැති තත්වයක තිබෙනවා. එකල ජාතික නිදහස මුල් කරගෙන හරවත් දේශපාලන සංවාදයක් පැවැතුණා. මම මෙයට දේශපාලන සංවාදය කියන්නේ පක්ෂ දේශපාලනය කියන පටු අරුතින් නොව පුළුල් අරුතින්. මේ දේශපාලන සංවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඒ සමාජයේ ඉන්න ප්‍රාඥයින් ජන නායකයින් විසින්. එදා මේ කටයුත්ත ධර්මපාලතුමා කළා. වික්‍රමසිංහ ආදීන්ගේ නවකතා බිහිවූයේ සමාජයේ ප්‍රබල දේශපාලන සංවාදයක් පැවති අවධියකයි. විශේෂයෙන් නවකතාව කියන්නේ ඒ දේශපාලන සංවාදයේම උත්තර සංවාදය. ඒක නිර්මාණාත්මක විචාරශීලි ප්‍රබුද්ධ සංවාදයක්. එම උත්තර සංවාදය අර දේශපාලන සංවාදයට පෙරළා බලපානවා. සේවය කරනවා. නමුත් පේරාදෙණි නවකතාව බිහිවුණේ එවැනි කිසිම සංවාදයක් නොතිබූ අබුද්දස්ස යුගයකයි. ඒ නවකතා කල්පනා ලෝක මිස සේවය කරපු දේශපාලන සංවාදයක් නෑ. එවකට ප්‍රචලිතව පැවති බටහිර නවකතාවේ ආභාසයෙන් කතුවරයාගේ මනසින් ගැටගහපු කල්පිතයක් පමණයි එහි තිබුණේ. ඒකයි පේරාදෙණි සාහිත්‍යට මනැස් තුන්ගේ සාහිත්‍යක් කීවේ. වික්‍රමසිංහ මේවාට ආදර්ශ සැපයුවේ ජපන් නවකතා කීව්වට ඒ වෙනකොට අපි ජපන් සාහිත්‍ය කියවලා තිබුණෙත් නෑ. ඇත්ත වශයෙන්ම පේරාදෙණි නවකතාවට පිටුබලය ලැබුණේ එවකට බටහිර යුරෝපයේ ප්‍රචලිතව පැවති ඩී.එච්. ලෝරන්ස්, ප්‍රාන්ස් කෆ්කා, ආන්ද්‍රේ ජීත්, ඇල්බෙයා කැමූ ආදීන්ගේ නවකතායි. එයින් පේනවා පේරාදෙණි සාහිත්‍ය කියන්නේ අනුකාරක සාහිත්‍යක් මිස කිසිම සමාජ දේශපාලන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මේ රටේ පසින් බිහිවෙච්ච සාහිත්‍යක් නොවන බව.

ඊළගට පසුකාලීනව හොඳ සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් බිහි නොවූයේ ඇයිද අහපු ප්‍රශ්නය ගැන කතා කරනවා නම් මගෙ හිතේ පසුගිය දශක එකහාමාරක දෙකක පමණ කාලය තුළ මේ රටේ තරමක් හෝ ව්‍යාප්ත වූ දේශපාලන සංවාදයක් තිබුණා. ජාතික සංවිධානවල ගිහි පැවිදි නායකයින් මේ සංවාදය රට පුරා ගෙන ගියා. දිවයින, විදුසර, කාලය සගරාව, ආදී වූ ප්‍රකාශන මාධ්‍ය තුළින් මේ දේශපාලන සංවාදය ජනතාව අතරට ගෙන ගියා. එයින් පැහැදිළිවම දේශපාලන ජයග්‍රහණ අප ලබා ගත්තත් සාහිත්‍ය ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. අද නඩත්තු කරන එන්. ජී. ඕ. සාහිත්‍යට එරෙහිව තිබෙන්නේ මගේ සාහිත්‍ය විතරයි. ඒකනේ ඒ අය මගේ ඉස්සර සාහිත්‍ය හොදයි දැන් නරකයි කියන්නේ. මොකද මගේ නවකතා ඒ අයට ඒ අයගේම මුණ පේන කණ්ණාඩියක් වාගේ. විචාරය පැත්තෙන් සිංහලෙන් ලියන කෙනෙකුට ඉන්නේ සේන තෝරදෙනිය විතරයි. ඇත්ත වශයෙන්ම එතුමාට නවකතාවක් විචාරය කිරීමට අවශ්‍ය සමාජ දේශපාලන විඥානය තිබෙනවා. ඒ ඇරෙන්න මට පේන්නෙ නෑ වෙන කවුරුවත් එහෙම ලියනවා. අද ඒ අඩුව තිබෙනවා. මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

Q. පේරාදෙණි සාහිත්‍යයත් අද සාහිත්‍යයත් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

පේරාදෙණි සාහිත්‍ය අපේ සංස්කෘතියක පදනම හිතා මතාම බිඳ දැමීම අරමුණු කරගෙන ලියපු ඒවා නෙමෙයි. බටහිර නවකතාව අනුකරණය කරලා ලිව්වාට මොකද එහෙම අරමුණක් තිබුනේ නෑ. එහෙත් අද මේ විදූෂකයන් අතින් ලියවෙන ප්‍රලාප අපගේ සංස්කෘතික පදනම දෙදරවා හරිනු පිණිස හිතා මතාම ලියන ඒවා බව පේනවා. අද සාහිත්‍ය හා කලාව එන්.ජී.ඕ. සංස්කෘතියේ උපාංගයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ධනවාදී විජාතික සංස්කෘතික ආක්‍රමණයට තියෙන එකම බාධාව තමයි ජාතිකත්වය. එනිසා අද සාහිත්‍යයේ එකම අරමුණ වී තිබෙන්නේ ජාතිකත්වය විනාශ කිරීමයි. එන්.ජී.ඕ. නඩ මගින් එවැනි නවකතා ඔසවා තැබීමට කරන ආවැඩිල්ලෙන්ම එය පැහැදිළියි.

Q.බොහෝ අය අහන දෙයක් තමයි අපි ලෝක සාහිත්‍ය ප්‍රවණතා අවශෝෂණය කරගන් නැතුව හැමදාම සිංහල නවකතාව යථාර්ථවාදී රීතියෙන් ලියවෙමින් එකතැන පල්විය යුතුද කියා. යථාර්ථවාදය යල් පැනගිය එකක් සේ සලකා සමහරු මායා ඉන්ද්‍රජාල ආදී විවිධ ශෛලීන්ට නැඹුරු වෙන බවත් පේනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අද සිංහල නවකතාව විදූෂකයන් පිරිසක් අත නැටවෙන කෙළිබඩුවක් බවට පත් වෙලා. මේ අය අප හදුන්වන්නේ ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන නොදත් ළිං මැඩියන් විදිහට. එය සනාත කිරීමට ඉන්ටනෙට් එකෙන් බොත්තම ඔබලා අහුලා ගත් වචන කට්ටලයක්ද මේ දීන අනුකාරකයන්ට තියෙනවා. අධි යථාර්ථය, මාය යථාර්ථය, අර මැජික් මේ මැජික් වාගේ බහුභූත කතා කියලා කරන කටමැත දෙඩවීම් නිසා ආධුනිකයා නොමග යැවෙනවා.

යථාර්ථවාදය යල් පැනගිය එකක්ය කියන එකත් මේ විදුෂකයන් මොස්තරයට කියන තවත් එක් දුරුමතයක් පමණයි. නවකතාව යථාර්ථයෙන් වෙන් කරන්න බෑ. යථාර්ථය කියන්නේ නවකතාවේ නිජබිම. නවකතාව කියන්නේ යථාර්ථයේම තවත් එක් ව්‍යවහාරයක්. යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් යුතු හේතු ප්‍රත්‍ය නියාමය පදනම් කරගත් කතාවක් නම් ඒක නවකතාවක්. ඒ වගේම යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් තොර නම් හේතු ප්‍රත්‍ය නියාමය නොතකා තිබේ නම් එය නවකතාවක් වශයෙන් හැදින්විය නොහැකියි. එය උපමා කතාවක්, දෘෂ්ටාන්තයක්, නැත්නම් සංකේතාත්මක කල්පිතයක් විය හැකියි. යථාර්ථය සහ නවකතාව දෙකක් නොව එකක් වන්නේ එබැවින්.

ඉන්ද්‍රජාල යථාර්ථය, මායා යථාර්ථය, අධි යථාර්ථය ආදී මොන නම්වලින් හැදින්නුවත් ඒවා යථාර්ථවාදී රීතියේම ප්‍රභේද. මේවා යුරෝපීය හා යුරෝපීය නොවන බටහිර සංස්කෘතිය ඔස්සේ බිහිවූ සංකල්පය. ගාර්ෂියා මාකේස් අනුගමනය කරන ඉන්ද්‍රජාල යථාර්ථවාදය ලතින් ඇමෙරිකානු සංස්කෘතිය ඔස්සේ ආපු එකක්. ලතින් ඇමෙරිකානු ජනතාව දෙවියන්, යකුන්, භූතයන් ආදී විජ්ජා අදහන පිරිසක්. ඒ මයා ලෝකය ඔවුන්ගේ මනසේම කොටසක්. ඒක වත්මන් යුරෝපියන්ට ඉන්ද්‍රජාලයක් වුවත් ලතින් ඇමෙරිකානුවන්ට යථාර්ථයක්. අපටත් මෙවැනි සංස්කෘතියක පසුබිමක් තිබෙනවා. යකුන්, ප්‍රේතයන්, දෙවියන්, හොල්මන් කතන්දර, අනාවැකි නැකැත් මේවා සියල්ල අපේ සංස්කෘතියේ එන යථාර්ථයේම කොටස්. මගේ විල්තෙර, මරණය කෙටිකතා සංග්‍රහයෙත් තිබෙනවා එකපාර ජල රකුසෙක් මතුවෙන සිද්දියක්. එවැනි අභූත කොටස් සලකලා ඒවා ඉන්ද්‍රජාල රීතිය අනුව ලියවිලා තියෙනවා කියන්න බෑ. ඒවා සුද්දෙක්ට නම් ඉන්ද්‍රජාල කතන්දර විය හැකියි. එතකොට ඔවුන් හදුන්වන සංකල්ප අපි අවිචාරවත්ව වැළඳ ගන්න ඕනද? මාකේස්ම කියලා තියෙනවා මගේ නවකතා සම්පුර්ණ යථාර්ථවාදී නවකතා කියලා. ඒ වුණාට බටහිර සුද්දෙක් මොකක් හරි කිව්වම ඒක වැදපුදා ගෙන බාරගන්න ලෑස්තිවෙලා ඉන්න මෝඩයන්ටත් පිරිසක් මෙහේ ඉන්නවා.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2018. 01. 05 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/15/2017

යුද අපරාධ චෝදනා කුමට ද? ව්‍යවස්‌ථා සංශෝධන මොකට ද?

කතෘ:යුතුකම     10/15/2017   No comments
-ගුණදාස අමරසේකර-නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකළ යුතුය යන උද්ඝෝෂණය ප්‍රධාන වශයෙන්ම මෙහෙයවන ලද්දේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනුයි. ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන අයුරින් ඡන්දය පාවිච්චි කරන ලෙස උන්වහන්සේ සිංහල ජනතාවගෙන් තොරතෝංචියක්‌ නැතිව ඉල්ලා සිටියේය.

එහෙත් සිංහල ජනතාව උන්වහන්සේගේ ආයාචනය පිළිගත්තේ ද? ජනතාව එය පිළිගත්තේ නම් ඒ සඳහා අවශ්‍ය බලය, නව ව්‍යවස්‌ථාවක්‌ ගෙනෙන බව කියූ එජාපයට දෙනු ඇත. එසේ නැත්නම් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එන බව කී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට දෙනු ඇත. ජනතාව ඒ අවශ්‍ය බලය මේ පක්‌ෂ දෙකටම නුදුන් බව අපි දුටිමු. (පසු කලෙක මේ පක්‌ෂ දෙක පූට්‌ටු කරන ලද්දේ ව්‍යාජ බලයක්‌ පෙන්වනු සඳහායි)

මෙසේ නම් මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරනු ලබන්නේ කාගේ වුවමනාවට ද?

ඒ සඳහා අවසරයක්‌ නොමැති නම් ඒ සඳහා යොදාගනු ලබන්නේ කුමන ක්‍රමවේදයක්‌ ද?

මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු මේ අවසාන මොහොතේ හෝ අප ලබාගත යුතු වෙයි.

'2015 ඔක්‌තෝබර් 1 - 30/1' ජිනීවා යෝජනාව මඟින් අප විසින් ඉටුකළ යුතු කාර්ය හතරක්‌ ඉදිරිපත් කරන ලදී. ඒවා නම්,

1. විශේෂ උපදේශන මඬුල්ලක්‌ සහිත මානව අයිතිවාසිකම් කඩකිරීම් විනිශ්චය කරන නීතිමය ක්‍රියා පටිපාටියක්‌ ආරම්භ කිරීම.

2. සත්‍ය සොයන, යුක්‌තිය පසිඳලන, සංහිඳියාව සලසන කොමිසමක්‌ මේ රට තුළ ඇති කිරීම.

3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවන අතර අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත පිළිගැනීම.

4. වන්දි ගෙවීමේ (යුද අපරාධ සඳහා) කාර්යාලයක්‌ පිහිටුවීම.

අපට ඉටුකිරීමට යෝජනා කර ඇති මේ කාර්ය හතර සියුම් ලෙස විශ්ලේෂණය කර බැලූ විට මා ඉහතින් දැක්‌වූ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගැනීම අපහසු නොවේ. කෙළින් නොකියා ඇති නමුදු මේ යෝජනාවලින් කරනු ලබන්නේ ඉහත කී කාර්ය ඉටුකිරීම සඳහා අවශ්‍ය වෙනස්‌කම් සහිත නව ව්‍යවස්‌ථාවක්‌ ඇතිකරගත යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය අවසරය මානව හිමිකම් උල්ලංඝන පරීක්‌ෂණය මඟින් ලබාගත හැක. විදෙස්‌ විනිසුරුවන් ගෙන්වීමට නම් නීති උපදේශකයන්ගේ සහාය ලබාගැනීමට නම්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීමට නම් නව ව්‍යවස්‌ථා සම්පාදනයක්‌ අවශ්‍ය වෙයි.

ජිනීවා මානව හිමිකම් කොමිසම මඟින් සහ එහි සභාපති හුසේන් කුමරු විසින් සිය අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි වක්‍රාකාර මඟක්‌ ගැනීම ගැන අප පුදුම විය යුතු නොවේ. මානව හිමිකම් කොමිසමට ව්‍යවස්‌ථාවක්‌ සාදනු සඳහා කිසිදු රටකට බලකළ නොහැකිය. එහෙත් සිය වපසරියට අයත් වන මානව හිමිකම් රැකීම මඟින් ඒ කාර්යය වක්‍රාකාරයෙන් ඉටුකරගත හැකි වෙයි. මෙහිදී සිදුවෙමින් පවතින්නේ එයයි.

2015 දී ඉදිරිපත් කරන ලද මේ යෝජනාවලිය මංගල සමරවීර ඇමැතිවරයා විසින් දොහොත් මුදුන් දී පිළිගත්තේ ඒවා අගය කරමිනුයි. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. කුමන්ත්‍රණයක්‌ මඟින් තමන් පත්කරන ලද්දේ මේ කාර්යය - රට බෙදන ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා බව ජනාධිපතිත්, අගමැතිත් යන දෙදෙනාම දනිති. එබැවින් ඒ වගකීම ඔවුන්ට පැහැර හැරිය නොහැකිය.

2015 දී ඉහතින් දැක්‌වූ යෝජනා ගෙන එන ලද්දේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය සඳහා බව හුසේන් කුමරු විසින් 2016 ජුනි 16 දා කරන ලද ප්‍රකාශයෙන් තවදුරටත් සනාථ වෙයි. එය මෙවැනි වෙයි.

"නව ව්‍යවස්‌ථා සම්පාදනය සඳහා වැදගත් පියවර කිහිපයක්‌ ශ්‍රී ලංකා රජය ගෙන තිබේ. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා මඬුල්ලක්‌ බවට පත්කොට සියලු දෙනාම ඊට සහභාගි කරගෙන ඇත. නව ව්‍යවස්‌ථාවට ඇතුළු විය යුතු කරුණු දැනගනු සඳහා මහජන අදහස්‌ විමසන කමිටුවක්‌ (ලාල් විෙ-නායක කමිටුව) පත්කර තිබේ. 2016 දී මේ නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 දී එය ජනමත විචාරණයක්‌ වෙත ඉදිරිපත් කරනු ඇත. අපි මේවා බෙහෙවින් අගයමු".

"මානව හිමිකම් ආරක්‌ෂා කිරීමේ කෝණයෙන් බලන විට මේ නව ව්‍යවස්‌ථාව මඟින් පසුගිය කාලයේ සිදුවූ මානව අයිතිවාසිකම් කඩකිරීමට තුඩුදුන් ව්‍යවස්‌ථාමය දුර්වලතා නැතිකර එවැනි දේ යළි සිදු නොවීමට හැකිවන නව ව්‍යවස්‌ථාවක්‌ බිහිවනු ඇත".

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කඩ කිරීම් සොයා බලන ආයතනයක්‌ විනා රටවල්වල පාලනය හසුරුවන, රටවලට අවශ්‍ය ව්‍යවස්‌ථා පිළිබඳ උපදෙස්‌ දෙන, රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන ආයතනයක්‌ නොවේ. හුසේන් කුමාරයා ව්‍යවස්‌ථා සම්පාදනයට උපදෙස්‌ දෙන්නේ ඒ ගැන නොදැන නොවේ. මේ රජය තමන් පත්කර ඇති බැවින් එවැන්නක්‌ කිරීමට සාධාරණ අයිතියක්‌ ඇතැයි යන විශ්වාසයෙනි.

මේ කරුණු නව ව්‍යවස්‌ථාවක්‌ සැදීමට බල කිරීම සඳහා මානව හිමිකම් කඩකිරීම යොදාගෙන ඇති අයුරු දක්‌වන අගනා ලිපියක්‌ ශමින්ද්‍ර µර්ඩිනැන්ඩෝ මහතා විසින් අයිලන්ඩ් පුවත්පතට (27/09) සපයා තිබේ. එහිදී ඔහු ඉතා අගනා නිරීක්‌ෂණයක්‌ එළිදක්‌වා තිබේ. එය මෙවැනි වෙයි,

"යුද අපරාධ මානව හිමිකම් කඩකිරීම් ඔප්පු කිරීමට පළමු, ඊට පිළියම් වශයෙන් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ යෝජනා කිරීම මඟින් මානව හිමිකම් කොමිසම කරන්නේ ප්‍රභාකරන්ට ත්‍රස්‌තවාදයෙන් ඉටුකරගත නොහැකි වූ දේ ඉටුකර දීමයි" මීට තවත් වාක්‍යයක්‌ ද එකතු කළ හැකියි. මහින්ද රාජපක්‌ෂ බලයෙන් පහකරන ලද්දේ අන් කිසිවක්‌ සඳහා නොව නව ව්‍යවස්‌ථාවක්‌ මඟින් රට බෙදා ඊළමයක්‌ පිහිටුවනු සඳහායි.

මානව හිමිකම් කොමිසම යුද අපරාධ චෝදනා මඟින් මේ රජය බිය කර නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකිරීමට සලස්‌වා ඇත්තේ යම් සේද අගමැති රනිල් වික්‍රමසිංහ සිය කොමිටි මඟින් එපරිදිම සිංහල ජනතාව බිය කර එමඟින් නව ව්‍යවස්‌ථාව අනුමත කර ගැනීමට කටයුතු කරනු පෙනේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන කූට උපක්‍රමය අප දැනගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා ලාල් විෙ-නායක කොමිටිය, චන්ද්‍රිකා මෙහෙයවන කොමිටිය, කොමිටි හය ආදිය පත්කරන ලද්දේ ඒවා ගෙන එන අභූත අධම යෝජනා පිළිගැනීම සඳහා නොව ඒවා ජනතාව අතරට යවනු සඳහායි. ඒවා අසන දකින සිංහල මිනිසා විපිළිසරව බයෙන් තැතිගන්නා බව ඔහු දනී. ඔහු ගෙන ඒමට බලාපොරොත්තු වන 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය ලබාගනු සඳහා බියෙන් වෙළුනු මානසික තත්ත්වයක්‌ අවශ්‍ය වෙයි. රට - ජාතිය - ආගම නැතිවී යනු ඇතැයි යන බියෙන් වෙළුනු සිංහල මිනිසා 13 භාරගනු ඇත්තේ සැනසුම් සුසුමක්‌ හෙළමින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දනී.

රනිල් වික්‍රමසිංහයන් දියත් කර ඇති මේ කූට උපාය ක්‍රියාවට නඟනු ඇත්තේ එතුමා විසින් නොව සිරිසේන ජනාධිපතිතුමා විසිනුයි.

තව ටික දිනකින් එය සිදු වන හැටි දැකගත හැකි වනු ඇතැයි මම සිතමි.

ටැලිවිෂන් කැමරා ඉදිරියට එන ජනාධිපතිතුමා සිංහ ස්‌වරයෙන් මෙසේ පවසනු ඇත,

"ඔය එක එක කොමිටිවල ඇන්. ජී. ඕ. කාරයෝ ගෙන ඇවිත් තියෙන රට බෙදන යෝජනා මම වීසි කරනවා. මම කරන්නේ එකම එක දෙයයි. 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමයි. මහින්ද රාජපක්‌ෂ කියපු 13 + මම දෙන්නේ නැහැ. මම කරන්නේ 13 ක්‍රියාත්මක කිරීම පමණයි".

එය අසා බිය තුරන්ව ගිය සිංහල ජනයා ඔල්වරසන් දෙනු ඇත.

එපමණක්‌ නොවේ, එය අසන බටහිරයන්, ඉන්දියාව, ඩයස්‌පෝරාව, ටී. එන්. ඒ. පක්‌ෂය. ඇන්. ජී. ඕ. නඩය ද සිය ප්‍රීතිය සඟවා ගනිමින් සම්පූර්ණයෙන් බලාත්මක කළ 13 පිළිගැනීමට සැරසෙනු ඇත. ෆෙඩරල් රාජ්‍යයකට මඟ පාදන මේ භාග්‍යය මෙතරම් ලෙහෙසියෙන් අත්කර දීම ගැන ඔවුන් හුසේන් කුමරු ඇතුළු බටහිර බලවතුන්ට ස්‌තුති ප්‍රශංසා කරනු ඇත.

හුසේන් කුමරු හමුවී පැමිණ ඇති සිරිසේන ජනාධිපතිතුමා මින් පසු අපේ රණවිරුවන්ට අත නොතබන බවත් කිසිදු පීඩාවක්‌ අත්නොවන බවත් පවසා සිටිනු මම දුටිමි. ජනාධිපතිතුමා කීවේ සම්පූර්ණ ඇත්තකි. ඔවුන්ගේ අභිලාෂය ඉටුකළේ නම්, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්‌ථාව ලබාදෙන්නේ නම් ඔවුන් තවදුරටත් රණවිරුවන්ගේ ඇඟට අත තියන්නේ කුමකටද? රණවිරුවන්ගේ ඇඟට අත නොතබනු පමණක්‌ නොව තව ටික දිනකින් යුද අපරාධ චෝදනා ද ඔවුන් හකුළා ගනු ඇත. ·

13 සම්පූර්ණයෙන් ක්‍රියාවට නැඟීම හානිකර නොවේය යන මතය සිංහලයාට ඒත්තු ගැන්වීමට කටයුතු කරන්නේ රනිල් - සිරිසේන රජය පමණක්‌ නොවේ. මේ රජයට විරුද්ධ යෑයි හඬ නඟා පවසන එමෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයට උපදෙස්‌ දෙන කපටි ආරක්‌ෂකයන් ද ඒ මතය අපේ මනසට කාවැද්දීමට ඉමහත් ප්‍රයත්නයක්‌ මේ දිනවල ගන්නා බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ පළාත් ඒකකයට අඩු ඒකකයක්‌ - දිස්‌ත්‍රික්‌කය වැනි ඒකකයක්‌ භාරගැනීමට උතුරේ දෙමළ ජනයා හෝ අසල්වැසි ඉන්දියාව හෝ සූදානම් නැති බවයි. මේ යථාර්ථයට පිටුපා කටයුතු කළහොත් යළි ත්‍රස්‌තවාදයක්‌ හිස එසවිය හැකි බවත් ඔවුන්ගේ තර්කය වෙයි. ඒ තර්කය තුළම එහි නිෂේධය ඇති නොවේද? වෙන්වීමට බලා ඉන්න උතුරේ ජනයා 13 පිළිගනු ලබන්නේ ඒ තුළ වෙන්වීමේ ශක්‌තිය ඇති නිසා නොවේද?

ත්‍රස්‌තවාදය විනාශ කළ මහින්ද රාජපක්‌ෂ 13 ඉවතලීමෙන් එදා වළක්‌වා සිටින ලද්දේ මේ කපටි ආරක්‌ෂකයන් විසිනුයි. මෙවැනිම තර්ක ඉදිරිපත් කිරීම මඟිනුයි. එදා මහින්දට කළ දේ මෙදා ඊළඟ ජනාධිපති අපේක්‌ෂක ලෙස සලකන ගෝඨාභයටත් කිරීමට ද මොවුන් තැත් කරන්නේ? මේ කපටි ආරක්‌ෂකයන් කරන්නේ සිය ස්‌වාමිවරුන්ගේ අපේක්‌ෂා ඉටුකිරීමද?

මේ ප්‍රශ්නය සුලභ ඒකාබද්ධ විපක්‌ෂය අනුගමනය කරන ක්‍රියාකලාපය පිළිබඳව ද යමක්‌ පැවසීම වැදගත් යෑයි සිතමි.

අද සිංහල ජනයා නිහඬව කරකියාගත නොහැකිව අසරණව සිටින්නේ තමා මුහුණදෙන මේ වින්නැහිය මේ මහා ෙ€දවාචකය ගැන ඔවුන් නොදන්නා නිසා නොවේ. ඔවුන්ගේ සිත්තුළ ඇති වේදනාව, විරෝධය පිටකර ගැනීමට මඟක්‌ නොමැති නිසායි. මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ ඒකාබද්ධ විපක්‌ෂයයි. ඔවුන් යු.එන්.පී. මල්වඩමට අත ගැසුවේ ඉන් අත්වන ප්‍රතිඵලය නොදැනද? මහින්ද රාජපක්‌ෂ පරාජය කරන ලද්දේ මේ ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා බව ඔවුන් නොදන්නේද? ඔවුන්ගේ මේ මුනිවත, මේ ක්‍රියාකලාපය 'ඩීල් එකක්‌' වශයෙන් ජනයා දකී නම් ඔවුනට දොස්‌ පැවරිය හැකි නොවේ.

13 පාර්ලිමේන්තුවට ගෙන ආ විට ඊට විරුද්ධව ඡන්දය දී මේ පාපකර්මයෙන් මිදී සුදනන් ලෙස ජනයා අතරට යා හැකි යෑයි ඒකාබද්ධ විපක්‌ෂය කල්පනා කළහොත් එය අතිශය මුළාවකි. ජනතා අධිකරණය ඔවුන් ද රනිල් වික්‍රමසිංහ ලෙසට චූදිතයන් ලෙස සලකනු ඇත. ඔවුන්ට සමාවක්‌ නොදෙනු ඇත.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/20/2016

දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ

කතෘ:යුතුකම     9/20/2016   No comments


අරසේකරයන්ගේ "සභ්‍යත්ව රාජ්‍යයක් කරා" කෘතිය එළිදැක්වූ අවස්ථාවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ අනුශාසනාව.

* අමරසේකර මහත්මය තුන්කල් දුටුව දේශප්‍රේමී බුද්ධිමතෙක්.
* සභ්‍යත්ව රාජ්‍යයක් කරා යාමට ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ගිහි-පැවිදි දෙපක්ෂය.
*දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි?
*දේශපාලන නායකත්වයක් තිබුනත් අපිට ජාතික නායකත්වයක් නෑ.
* ඉවරයක් නෑ සංවිධාන හැදිල්ලේ. අපි ඔක්කොම එකට එකතු වෙමු. මහ දැවැන්ත ජාතික බලවේගයක් ගොඩනගමු.
* අපි හැම දේශපාලන පක්ෂයකම නායකයන් හමුවෙලා කියමු.
* ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒක පුරවන්න..


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/19/2016

නැවත 56 ක් නිර්මාණයට සාහිත්‍යකරුවාගේ වගකීම...

කතෘ:යුතුකම     4/19/2016   No comments
කාලීන වැදගත්කමකින් යුත් 'කැප්පෙටිපොළ' නවකතාව
-ගුණදාස අමරසේකර -
මොනරවිල කැප්පෙටිපොළ වීරයාගේ චරිතය මුල් කරගෙන ලියා ඇති මේ නිබන්ධය මේ මොහොතේ පහළ විය යුතුව තිබුණු අතිශය වැදගත් නිර්මාණයක්‌ ලෙස මම දකිමි. ඒ වැදගත් ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉදිරිපත් වූ කතුවරයාට (කමල් පී. අලහකෝන්) අපගේ ප්‍රණාමය හිමි විය යුතු වෙයි. මා මේ කෘතිය මේ වෙලෙහි ජාතික මෙහෙවරක්‌ ඉටු කරන නිර්මාණයක්‌ ලෙස හඳුන්වනු ලබන්නේ කුමක්‌ නිසාද? එය අවබෝධ කර ගැනීම මේ කෘතිය ඇගයීමේදී අනිවාර්ය වෙයි.

ගිය සියවස ආරම්භයේදී අනගාරික ධර්මපාලතුමා විසින් අවදි කරන ලද ජාතිකානුරාගය, ජාතික විඥනය දශක දෙකක්‌ ඉක්‌ම යත්ම නිෙද්‍රපගත විය. ඊට හේතුව වූයේ ඒ ජාතික අරගලය විජාතික මනසකින් යුත් පිරිසක්‌ අතට පත්ව එය විජාතිකයාට අවශ්‍ය ලෙස හැසිරවීමට හැකි වීමයි. 1948 දී අපට "නිදහස" හිමි කර දුන්නේ එවැනි පිරිසක්‌ විසිනි. එහෙත් ධර්මපාලතුමා විසින් අවදි කළ තාවකාලිකව යටපත්ව තිබුණු ජාතික බලවේග හමුවේ ඒ විජාතික පිරිසට සිය ආධිපත්‍යය වැඩි කලක්‌ රැක ගැනීමට නොහැකි විය. 56 පමණ වන විට ඒ ජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව ලැබිණි. බණ්‌ඩාරනායක මහතා 56 දී බලයට පත් කරන ලද්දේ ඒ බලවේග විසිනි. එදා සිට 77 දක්‌වා විවිධ පසුබෑම් හමුවේ වැටෙමින්, නැගිටිමින් ඉදිරියට ගිය ඒ ජාතික අරගලය සහමුලින්ම පාහේ විනාශ කරන ලද්දේ 77 දී බලයට පැමිණි ඡේ. ආර්. ජයවර්ධන විසිනුයි. ඒ හා සමඟ යළි අර විජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව උදා විය. එදා හිස එස වූ විජාතික බලවේග අද වන තුරු පෙර මෙන් ම ක්‍රියාත්මක වෙමින් පවතී. 2009 දී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට අප සමත් වුවද ඒ ත්‍රස්‌තවාදය පිටුපසින් ඒ විජාතික දේශපාලන බලවේග විනාශ කිරීමට අපි සමත් වී නැත්තෙමු. ඒවා යළි පණගැන්වී අප විනාශ කිරීමට තැත් කරන අයුරු පසුගියදා පැවැති ජිනීවා සමුළුව මගින් අපට දැක ගැනීමට හැකි විය. එහි දී අප යළිත් යටත් විජිතයක්‌ බවට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන් විසින් දියත් කරන ලදී. 1815 මාර්තු 02 දා අප යටත් කර ගත් බටහිර බලවේග 2012 මාර්තු 22 දා යළි ඒ ක්‍රියා මාර්ගය වෙත එළඹ ඇති බව අප විසින් වටහා ගත යුතු වේ. මේ ක්‍රියාමාර්ගය වළක්‌වා ගත හැක්‌කේ කෙසේද? මේ භයානක ඉරණමෙන් ගැලවිය හැක්‌කේ කෙසේද?

මේ සඳහා ඇති එකම මාර්ගය නම් යළි මෙරට බලවේග පණගන්වා 56 දී සිදු කළ ජාතික අරගලයට වඩා ප්‍රබල ජාතික අරගලයක්‌ වෙත යැමයි. එවැන්නකින් තොරව අපට මේ ඉරණමෙන් මිදිය හැකි නොවේ.

එවැන්නක්‌ සඳහා අවශ්‍ය ප්‍රධාන ම ක්‍රියාව නම් 77 න් පසු විජිතික කරණයට ලක්‌ ව ඇති මොළ සෝදන ලද අපගේ තරුණ පරපුර ඒ තත්ත්වයෙන් මුදා ගැනීමයි.

ඒ සඳහා අති විශාල චින්තන විප්ලවයක්‌ සිදු කළ යුතු බව කිව මනා නොවේ. අද මෙරට ඇති පරිසරය, මාධ්‍ය, පුවත්පත්, විද්යුත් මාධ්‍ය, සාහිත්‍ය, කලා ශිල්ප පමණක්‌ නොව දේශපාලකයන් විසින් ප්‍රදර්ශනය කරන ලද ව්‍යාජ ජාතිකත්වය ද ඒ සඳහා ඇති ප්‍රධාන ම බාධකය වෙයි.

මේ සඳහා නිවැරැදි ජාතික දර්ශනයකින් යුතු සාහිත්‍යයක්‌ බිහි කර ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා යොදා ගත හැකි ප්‍රබල ම අවිය සාහිත්‍යයයි. ප්‍රබන්ධ සාහිත්‍යයයි. කැප්පෙටිපොළ වීරයා මුල් කර ගෙන ලියා ඇති මේ ප්‍රබන්ධයෙන් කරනු ලබන්නේ ඒ වැදගත් කාර්යයි.

ඒ කාර්යය කතුවරයා විසින් ඉතා සාර්ථක ලෙස ඉටු කර තිබේ. මේ පොත කියවා අවසන් කරන තරුණයා පොත කියවීමට පෙර සිටි තරුණයා නොව අලුත් තරුණයකු බවට පත් වනු නියතය. කොතරම් වැඩපල අතරෙහි වුවද මේ නිබන්ධය නොකියවා පසෙක තැබීමට මම අසමත් වීමි.

[2013 වසරේ ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/11/2015

86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය

කතෘ:යුතුකම     11/11/2015   No comments
(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

ඔබගෙන් පසු පරපුරකදි
ඔබ විඳි සරතැසම විඳින
මගෙ දිවියට නිරතුරුවම
පහන් ටැඹක් වූවා ඔබ

නිතියෙන් මා හද වෙලනා
දහසක් පීඩා අතරේ
රටට දැයට ඇති බැති පෙම
ඔබෙන් උගත් සිරිතකි මා

අප විසු නිවසේ පෙර කල
සාලෙ මැද්දෙ තිබුනේ නෑ
තේජස්වී රූපය එම
ධර්මපාල උතුමන්ගේ

මගෙ දිවි මඟ වෙනස් කලේ
යටලමත්තෙ ගුරු නිවෙසක
බිත්තියෙ එල්ලලා තිබුනු
ධර්මපාල තුමා ගෙ රුව

සියැසින්  දුටු දමිපල් විරු
වෙද මහතා එනිවස වැසි
දමිපල් සිරිතෙන් ගෙන පැන්
පෙවීය මියැදෙන ගමකට

පෝස්වත්තෙ කංකානම
සමරසිංහ වෙද මහතා
බාල මහත්තයට මෙන් ම
ඔබට උරුම විය එම නැණ

ජාතියකට උරුම වෙචිච
ඇති බව චින්තනයක් හුරු
දැයට කියා දී දින දින
වෙනස් කලා දැයේ ගමන

නොපැතූ නොසිතූ මොහොතක
බිඳුනිය දමිපල් පිළිරුව
එකසිය පනහේ සැමරුම
නිමාවෙන්නටත් ඉස්සර

කළු සුද්දන් යළි රජවිය
රට සුද්දන් මනදොළ ලෙස
රණ විරුවන් දංගෙඩියට
දී කොටියන් හට නිදහස


අබුද්දස්ස කල එනකොට
ලබුත් තිත්ත වෙනවලූ නෙව
මොනවා කරමුද අපි දැන්
කාට කියමි මෙි අවනඩු

අසූ හය වසක් සපුරණ
වයස නොයන පැන නැණ කඳ
ඔබගෙන් අසනවා මිසක
වෙන කාගෙන් අහමුද අපි

සමරසිංහ වෙද මහතා
වැනි උදාර මනුස්සයින්
බාල මහත්තයා වගේ
මවුහත් ගුණයෙන් සපිරුණු

මිනිසුන් අදටත් ඉන්නව
පසල් දනවු වල මෙි රට
උදාර කුල සිරිත් රකින
බඩට නෙවෙි රටට කරණ

එකතු කරමු එ් හැමෝම
කුළු ගන්වමු දෑ නිදහස
ධර්මපාල චින්තනයට
යළි පන දෙමු හෙට දවසෙදි

කළු සුද්දන් රට සුද්දන්
උන්ගෙ ඉඳුල් බුදින එවුන්
එක රැුහැනට ගෙන පන්නා
යළි පන ගන්වමු මෙි රට

අසූ හය වසක් වුනාට
ඔබ තරුණයි අපට වැඩිය
බුදුන් වඳින දෝතින් වැඳ
ඔබට සුභාසිරි පතනෙමි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 12 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබත් යුතුකම ෆේස්බුක්  පිටුව සමග එකතුවන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama


https://www.facebook.com/yuthukama

10/11/2015

මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩනැගීම සාහිත්‍යකරුවාගේ යුතුකමයි...

කතෘ:යුතුකම     10/11/2015   No comments
අපිට හිටපු අන්තිම කවියා තමයි අලගියවන්න මුකවෙටිතුමා

- සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

ඔබ මොනවද මේ දිනවල වැඩියෙන් කතාබහ කරන්නේ?

නිරන්තරයෙන්ම කතා කරන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයම තමයි. ‍පොඩි වෙනසකටත් එක්ක ටික කාලයකට කලින් නවකතාවක් ලියන්න පටන් ගත්තා. භාගයක් ලිව්වා. ඇති වුණු කලකිරීම නිසා ඒක ලියන එක නතර කළා.


ලියමින් යන නවකතාවක් නතර කරන්න තරම් ඔබ පෙළෙන කලකිරීම මොකද්ද?

මේ රටේ පවතින තත්ත්වය. නවකතාවක් ලියන්න කලින් සිංහල භාෂාවක් තියෙන්න ඕනෑ. සිංහල භාෂාව තියෙන්න නම් සිංහල ජාතිය තියෙන්න ඕනෑ. ඒත් උදාවෙලා තියෙන්නේ සිංහල ජාතියේ අවසානය.

සිංහල ජාතියේ අවසානය උදා වෙලා කියලා ඔබට හිතෙන්නේ ඇයි?

සිද්ධවෙන දේ දිහා බැලුවාම අවසන් වශයෙන් අන්තර්ජාතික, විජාතික කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. ඔවුන්ගේ අරමුණ රට බෙදීම සහ ජාතික බලවේගය නැති කරලා සිංහල ජාතිය අඩපණ කිරීම.

එවන් වටපිටාවක ඔබ වැන්නන් කරන කාර්යයන් පවා අතරමග නරත කිරීම සාධාරණද?

කරන කාර්යයන් අතරමග නතර කරන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මේක යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා සටනක් කියලා. මේක එහෙම එකක් ‍නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධ සටනක්. පහුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලිව පෙනෙන දේ තමයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ රට තිප්‍පොළක් කරගන්න වුවමනායි කියන එක. ඒක මානව හිමිකම් ප්‍රශ්නයක් ‍නෙවෙයි. බරපතළ භූ දේශපාලනික ගැටලුවක්. චීනය සමග පැවැත්වූ සමීප සබඳතාවන් නිසා ආධිපත්‍යය බිඳ වැටේවි කියන භීතිකාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තිබුණා. මේක විජාතික ප්‍රශ්නයක්. ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුවක්.

මේ කාරණයේදී රටේ සාහිත්‍යකරුවන් සතු වෙන්නේ කවරාකාරයේ වගකීමක්ද?

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. බුද්ධිමතුන් විදියට මෙය කළ යුතුයි. තරුණ පරම්පරාවට මේක තේරෙන්නේම නෑ. බටහිරයන්ට වුවමනා වුණේ රටේ ජාතික බලවේගය වන සිංහල බෞද්ධයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිය විනාශ කිරීම. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තමයි අපේ වගකීම. අද අපට අවශ්‍ය සාහිත්‍යකරණයට වඩා බුද්ධිමතාගේ කාර්යය. එයට සාහිත්‍යයට වඩා සෘජු ඇමතුම් මාධ්‍යයක් තිබිය යුතුයි. මහජනතාව අමතන බුද්ධිමතුන් බවට පත්විය යුතුයි.

සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතාබහ වෙන මාසය බවට පත්වෙලා තියෙන්නේ සැප්තැම්බරය. අද සැප්තැම්බරය ගැන ඔබේ අදහස මොකද්ද?

මේ සාහිත්‍ය මාසය මම නම් එදා ඉඳලාම තුට්ටුවකට මායිම් කළේ නෑ. මේක සාහිත්‍ය මාසයක් ‍නෙවෙයි, වාණිජ මාසයක්. සාහිත්‍යය කොහොමද මාසෙකට සීමා කරන්නේ? මේක ප්‍රකාශකයන් හා වෙළෙන්ඳන් තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගන්න කරන්නා වූ ව්‍යාපෘතියක්. මිනිස්සු ජීවිත කාලයම කියවන්න ඕනෑ. සැප්තැම්බරයට විතරක් ‍නෙවෙයි. මේකෙන් සාහිත්‍යය තියා කිසිම දේකට වැදගත් යමක් ඉටු වෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට නම් හොඳයි.

අද සාහිත්‍යය බුද්ධිය අමතනවාට වඩා විනෝදාස්වාදය සපයන්නක් වෙලා. මේක බටහිර ලෝකය පුරාම වෙලා තියෙන දෙයක්. පශ්චාත් ධනවාදී බටහිර සමාජය තුළ සියලුම සංස්කෘතිකාංග තාවකාලික, එදිනෙදා විනෝදය සපයන මාධ්‍ය වෙලා. ‍පොත් ප්‍රකාශනය මහා පරිමාණ කර්මාන්තයක්. අන්තර්ගතය, පරමාර්ථය සරල රසාස්වාදය හා විනෝදය මිස බුද්ධියට ඇමතීම හෝ චින්තනය අවදි කිරීම ‍නෙවෙයි. එදා මාක්ස් කිව්වේ ආගම අබිං කියලා. හැබැයි අද වෙද්දී මුළු සංස්කෘතියම ජනතාව මත් කරන අබිං බවට පත්වෙලා අවසන්. අපේ රටේ තත්ත්වයත් ඒකමයි. එදා අපේ රටේ සිය ගණන් ‍පොත් බිහිවුණේ නෑ. බොහොම අල්පයයි. ඒවා කළෙත් බොහොම දැන උගත් බුද්ධිමත් පිරිසක්. අද ‍පොත් සිය දහස් ගණන් පිටවෙනවා. අන්තර්ගතයන් අන්තිම පහත්. කරන්නේ ඉතා පහත් රුචිකත්වයකට ආමන්ත්‍රණය කිරීම. බුද්ධිය අමතන තාර්කනය අවධි කරන දෙයක් පේන්න නෑ.

එහෙත් නව පරම්පරාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් පවා පහුගිය කාලයේ රාජ්‍ය සම්මානයන්ටත් පාත්‍ර වුණා..?

ඔය සම්මාන තුට්ටුවකටවත් වටින දේවල් ‍නෙවෙයිනේ. පහුගිය කා‍ලේ සම්මාන දුන්නු පත‍පොත දැක්කනේ. ඒක එතැනින්ම ඉවරයි. සම්මානය හම්බවුණා, එච්චරයි. ඉන් එහා පැවැත්මක් නෑනේ. එදා මාර්ටින් වික්‍රමසිංහ ‍පොතක් ලිව්වා නම් ඒක අදටත් සාකච්ඡා වෙනවා. ඒ හරවත් දේවල් ලිව්ව නිසා.

ඒ කියන්නේ අද ලියන පරම්පරාවට ඔය කියන හරවත් දේ ස්පර්ශ වෙන්නේ නැද්ද..?

රටක උසස් සාහිත්‍යය කියලා කියන්නේ විනෝදාස්වාදයට ලියන දේවල් ‍නෙවෙයි. සාහිත්‍යය කියන්නේ උත්තර දේශපාලන සංවාදයට. ඒක මේ යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා දේශපාලනය ‍නෙවෙයි. රටක සාහිත්‍ය කියන්නේ දේශපාලන සත්වයෙක් වුණු මිනිසාගේ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයට. ලෝකයේ බිහිවුණු උසස්ම සාහිත්‍ය ධාරාවක් තමයි රුසියන් සාහිත්‍යය. විචාරකයන්ට අනුව ලෝකයේ සාහිත්‍ය යුග තුනයි. ග්‍රීක, ශේක්ෂ්පියර් සහ ශ්‍රේෂ්ඨ රුසියන් නවකතාව තමයි ඒ. එදා රුසියන් නවකතාව බිහිවුණේ එදා තිබුණු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය විදියට. ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය අදටත් අපේ උසස්ම නවකතා. ඒවා බිහිවුණේ ඕපපාතිකව ‍නෙවෙයි. ඒ කාලයේ මේ රටේ නිර්මාණය වෙලා තිබුණු බුද්ධිමය කතිකාවේ ප්‍රතිඵලයක් විදියට. එදා තිබුණා මාක්ස්වාදී සංවාදයක්. අනෙක් පැත්තෙන් ජාතික සංවාදයක් තිබුණා. මේ ප්‍රධාන සංවාද දෙක උඩ තමයි ඒ සාහිත්‍යය බිහිවුණේ. අද එහෙම දෙයක් නැති නිසා එවන් නිර්මාණත් නෑ. දේශපාලනය කියන්නේ බල ලෝභය පිණිස කරන්නාවූ අරගලයක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන රටක්.

මේ සඳහා නිර්මාණකරුවන්ට ප්‍රතිරෝධයක් ගොඩනගන්න බැරිද..?

බාගෙට බාගයක් නිර්මාණකාරයොත් එතැන ඉන්දෙද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ? එන්.ජී.ඕ. නඩය තමයි ඕකට ‍පොහොර දාන්නේ. ඔවුන් කරන්නේ ඒ මැදිහත්වීම වළකන එක. විශාල සංස්කෘතික ආක්‍රමණයක්. දේශපාලන ආර්ථිකය සනාථ කරන්න සංස්කෘතික ආක්‍රමණය අත්‍යවශ්‍යයි. ඒක ඉතා බරපතළ විදියට බලපාන්නේ චින්තනයට. යථාර්ථය සම්පූර්ණයෙන්ම වසං කරලා වෙනත් දෙයක් මවා පාන එක. භාෂාව අච්චාරු කළාම ඒක තවත් පහසු වෙනවා. සාහිත්‍යයේ දැන් ඒ දේවල් දකින්න පුළුවන්.

තත්ත්වය ඒක නම් ඔබ විසින්ම මතු කළ හද බසට මොකද වෙන්නේ..?

හද බස ගැන මම මුලින්ම කතා කළේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ. කවි බස කියන්නේ ජනතාවගේ හද බසට. මේ හද බස අපි තාම මතු කර ගත්තේ නෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැමිණි අපේ කවි බස මතු කර ගත්තේ නෑ. ජාතියක් වශයෙන් අපි හදවතින් මිය ගිහින්ද කියන ගැටලුව එන්නේ මේ නිසා. ජනතාවට හදවතින් කතා කරන්න බැරි හදවතක් නැති නිසා. රටේ හර පද්ධතිය, ආකල්ප, සදාචාරාත්මක පැවතුම් දිහා බැලුවාම හදවතක් නැති ජාතියක් කියන එක පැහැදිලියි. අපරාධ දිහා බැලුවාම ඇත්තටම අපට හදවතක් තියෙනවද කියලා හිතෙනවා.

නව පරම්පරාවේ කතාබහට ලක්වුණු කවි කිවිඳියන් කිහිප දෙනාටවත් මේ දේ ස්පර්ශ වෙලා නැද්ද..?

නව පරම්පරාවේ කවියෝ කියලා කවුරුවත් ඉන්න බවක්, ඉස්මතු වූ බවක් මට නම් පේන්න නෑ. දැනෙන්න ලියන අය නෑ. හදබස කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිර්මාණය වූ අපේ කවියට තියෙන භාෂාව තමයි හද බස. මම දකින විදියට අපිට හිටිය අන්තිම කවියා අලගියවන්න මුකවෙටිතුමා. ඉන් පස්සේ ඒ වියත් කාව්‍ය සම්ප්‍රදාය අපෙන් ගිලිහුණා. අතුරු ඉත්තක් ජනකවි විදියට ආවා. හොඳ කවි බසක් හදා ගන්න අපේ ඒ කවිය නවීකරණය කරන්න ඕනෑ. ඒකට සමත් කිසිකෙනෙක් නෑ. හිටියනම් ඒ මුනිදාස කුමාරතුංග විතරයි. ඔහුගේ 'පියසමර' තමයි පහුගිය කාලයේ බිහිවුණු වැදගත්ම කාව්‍යය. අපේ කවිබස වර්තමානයට අනුව හැඩගස්වා ගන්නේ කොහොමද කියන එකට, කවිබස සම්බන්ධ හොඳම අත්හදා බැලීම ඒක. වර්තමාන පිරිස එයින් ප්‍රයෝජනය ගන්න බවක් පේන්නේ නෑ. පසුකාලීනව මහගම සේකර ගැන ලොකුවට කතා කරනවා. හැබැයි ඔහු හොඳ ගීත කිහිපයක් රචනා කළා හැර ඔහුගේ කවිවල ගතයුත්තක් මම දකින්නේ නෑ. 'ප්‍රබුද්ධ' වුණත් කවියක් ‍නෙවෙයිනේ.

හදබස යළි සැකසීම කරන්නම බැරිද?

කරන්න කිසිම දෙයක් නෑ, මේ වෙනුවෙන් කැපවුණු, අවබෝධ කරගත් නිර්මාණ පරපුරක් බිහිවෙන්න ඕනෑ. අභාග්‍යයකට එවන් පරපුරක් පේනතෙක් මානෙකවත් නෑ. ඉන්නේ බොහොම අනුකාරකවාදී පරපුරක්. ඔවුන්ගේ බිහිවීම ගැන පුදුම විය යුතු නෑ. පහුගිය දශක දෙක තුනේ අධ්‍යාපනය, මාධ්‍ය, ෆේස්බුක් ආදිය තුළින් වෙන්නේ අපේ උරුමය වෙත යන ගමනට මග අහුරන එක. තාක්ෂණය උපයෝගී කර ගන්න ඕනෑ අපේ උරුමය, සංස්කෘතිය රැකගන්න, ඉදිරියට ගෙන යන්න මිස විනාශ කරන්න ‍නෙවෙයි. අන්තර්ජාලය, ෆේස්බුක් හරහා කරන්නේ මේ සියල්ල විනාශ කරන එක. අද පත්තරවල මොනවද බලන්න තියෙන්නේ? මම අද එක සිංහල පත්තරයක්වත් බලන්නේ නෑ. රුපියල් හැටකට පාන් රාත්තලක් ගත්තොත් දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඒත් අද පත්තරවල මොනවද තියෙන්නේ? හරවත් කිසිම දෙයක් නෑ.

විශ්‍ලේෂණ නෑ. සාහිත්‍යය, දේශපාලනය ගැන ගැඹුරු කතිතාවක් නෑ. දේශපාලකයන් ගැන ඕපාදූප ආදිය විතරයි.

සාහිත්‍යය ගැන කතා කරන්න කලින් මේ රටේ බුද්ධිමත් සමාජයක් හදන්න ඕනෑ. ඒ ශක්‍යතාව අපට තියෙනවා. ඒක වෙනුවෙන් කැපවෙන පිරිසක් ඕනෑ. මේ පාදඩ දේශපාලනයත් එක්ක එයට ප්‍රතිවිරුද්ධව තරුණයන් ටික දෙනෙක් බිහිවෙමින් යනවා. ඒක වාසනාවක්. මේ පිරිස ගැන අපට බලා‍පොරොත්තු තියා ගන්න පුළුවන්. මේ අයට මේක වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කිරීමේ ප්‍රධානම දේ තමයි බුද්ධිමත් සමාජයක් ගොඩනැගීම. බුද්ධිමත් සමාජයක් තුළින් පමණයි හරවත් සාහිත්‍යයක් කරා යන ගමන වැටී තියෙන්නේ. එහෙම නොවුණොත් වෙන්නේ පාදඩ දේශපාලනඥයන්ගේ කෙළිමඬලක් වෙලා මේ රට නතරවෙන එක විතරයි. සාහිත්‍යය ගැන බොරු කුණුහරුප කතා කරලා වැඩකුත් නෑ, ආණ්ඩුවේ සාහිත්‍ය උත්සවවලිනුත් තුට්ටුවක වැඩක් නෑ. සාහිත්‍ය මාසයක් කියලා කරන මේ වැඩෙන් කිසි වැඩක් නෑ. මේ රටේ හරවත් බුද්ධිමත් චින්තනයක් ඇතිකිරීම, ඒ සඳහා අවශ්‍ය සංවාදය බිහිකිරීම තුළින් පමණයි නියම සාහිත්‍යයක් බිහිකරන්න පුළුවන් වෙන්නේ.

[ලක්බිම]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/27/2015

දේශීය යුද අපරාධ යාන්ත‍්‍රණය යනු, අමු අමුවේ රණවිරුවන් පාවාදීමක්

කතෘ:යුතුකම     8/27/2015   No comments


– ආචාර්ය ගුණදාස අමරසේකර

දේශීය විමර්ශනයක් හරහා ලබා ගන්නා තොරතුරු මත පදනම්ව සාදා ගන්නා නව වාර්තාවක් මගින් ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමෙරිකාවේ අරමුණ වන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව පවසා  සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව ඒකපාර්ශවීය වාර්තාවක් බවට  ඕනෑම අධිකරණයක් පිළිගන්නා බවයි. ඒ නිසා ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ දේශීයව පරීක්ෂණයක් පවත්වා කරුණු සොයාගැනීමට බවද අමරසේකර මහතා මෙහිදී සඳහන් කර සිටියහ. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ දේශීය ලේබලය අලවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ගන්නා උත්සාහයක් බවයි.

මාධ්‍ය හමුවේ අදහස්වලට මෙතනින් සවන් දෙමු..


[LankaLeadNews වෙබ් අඩවියෙන් ]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions