8/20/2019

නරේන්ද්‍ර මෝඩිගෙන් අපට පාඩමක්... 13 ඉවත් කිරීමට අවස්ථාව යළි පෑදී ඇත...!

කතෘ:යුතුකම     8/20/2019   No comments
-ගුණදාස අමරසේකර -

ජූලි 26 දා පාර්ලිමේන්තුව ඇමතූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විසින් අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් ප‍්‍රකාශ කීපයක් ඉදිරිපත් කර තිබෙනු මම දුටිමි.

එතුමා විසින් ඒ ප‍්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී යි. රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එසේ ඉදිරිපත් කරන ලද්දේ ව්‍යවස්ථා මණ්ඩල විධායක කොමිටියේ ඉන්නා විශේෂඥයන් විසින් සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පතයි.

එවේලෙහි මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශ මෙවැනි වෙයි.

‘‘මේ කෙටුම්පත ඉදිරිපත් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ මෙය සිය රජයේ කෙටුම්පතක් නොව විශේෂඥ කොමිටිය විසින් සකස් කර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක් බවයි. මෙය ඔහු විසින් අවධාරණය කරන ලදී. එබැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මේ කෙටුම්පත අයිතිකාරයෙක් නොමැති කෙටුම්පතක් නොවේද? කිසිවකු විසින් වගකීම බාර නොගන්නා අයිතිකරුවකු නැති එවැනි කෙටුම්පත් ඉදිරිපත් කිරීම මගින් නව ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාවලියක් කෙසේ ඉටුකර ගත හැකිද? ’’

මහින්ද රාජපක්ෂ මහතා තව දුරටත් මෙසේ ප‍්‍රකාශ කර සිටියේය.

‘‘අගමැති විසින් ඉදිරිපත් කරන ලද මේ කෙටුම්පතට අපි තරයේ විරුද්ධ වෙමු. ඒ කෙටුම්පත ක‍්‍රියාවට නැ`ගුව හොත් ශ‍්‍රී ලංකාව තවදුරටත් එක රටක් නොව පළාත් නමයකට බෙදා වෙන් කළ කෑලි නමයකට කඩන ලද රටක් වනු ඇත. ඒ හැම පළාතකටම වෙනම පොලිසියක් අත් වනු ඇත. භූමිය බෙදා වෙන් කෙරෙනු ඇත. කිසි දිනක ආපසු ගත නොහැකි බලතල ඒ ස්වාධීන පළාත් නමයට ලැබෙනු ඇත. එමගින් මාධ්‍යම රජය කිසිදු බලතල නැති බෙලහීන නාමික මධ්‍යම රජයක් වනු ඇත. මේ කෙටුම්පත සකස් කරන ලද්දේ දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සහ ඇන්.ජී. ඕ. නඩය විසිනුයි. මේ කෙටුම්පත ඉදිරිපත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ සිය රජය එහි භාරකාරත්වය නොගන්නා බවයි. එසේ නම් එතුමා ටී.එන්.ඒ. පක්‍ෂයද ‘ගොනාට අන්දා’ ඇති නොවේද?’’

මේ ප‍්‍රකාශයට අමතරව මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙතෙක් මත භේදයට තුඩු දී ඇති ප‍්‍රශ්නයක් නිරාකරණය කර දීමට තැත් කර ඇති බවද මම දුටිමි. එය මෙවැනි වෙයි.

‘‘13 ට එහා යන පාලනයක් දීමට මා පොරොන්දු වී ඇතිය යන කතාව ඇතැමුන් විසින් පවසනු මා දැක තිබේ. 13ට එහා යන ඒ කතාව ප‍්‍රබන්ධ කරන ලද්දේ මේ ප‍්‍රශ්නය අරබයා මා සමග සාකච්ඡුා කළ ඉන්දියානු විදේශ ඇමැතිවරයා විසිනුයි. මා ඔහු සම`ග පැවසුවේ පළාත් සභාවලට ද සහභාගි විය හැකි උත්තර මන්ත‍්‍රී මණ්ඩලයක් පත් කිරීමට මා අදහස් කරන බවයි. මාගේ ඒ යෝජනාවයි ඔහු විසින් ‘13 එහා යන කතාවක්’ ලෙස අඳුන්වන ලද්දේ’’

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජුලි 26 දා පාර්ලිමේන්තුව ඉදිරියේ කරන ලද ප‍්‍රකාශය මා විසින් මෙහි ලා දක්වන ලද්දේ මා ඉදිරිපත් කරන යෝජනාවට අවශ්‍යව ඇති පසුබිම මේ වන විට සැකසී ඇති බව පෙනුවනු සඳහායි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඒ ප‍්‍රකාශවලින් පෙන්නුම් කරනු ලබන්නේ එතුමා තවදුරටත් රජීව් ගාන්ධි අප මත පැටවූ 13 වැනි සංශෝධනය ඉදිරියට ගෙන යෑමට සූදානම් නැති බව නොවේද? මගේ වැටහීම එයයි. පසුගිය කාලය තුළ එතුමාට මුහුණ දීමට සිදුවූ ප‍්‍රශ්න, පසුබෑම්, පරාද ආදියද එතුමාගේ මනෝභාවය වෙනස් කිරීමට හේතුවන්නට ඇතැයි සිතමි.

මගේ ඒ නිගමනය නිවැරදි නම් දැන් කළ යුතුව ඇත්තේ තමාගේ මේ නව ස්ථාවරය එතුමා විසින් හෝ එතුමා විසින් ඉදිරිපත් කරනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නොබියව ජනතාවට ඉදිරිපත් කිරීම නොවේද? ඒ සඳහා අවස්ථාව දැන් පැදී තිබේ.

ඒ අවස්ථාව අපට පාදා දී ඇත්තේ 13 අප මත පැටවූ ඉන්දියාව විසින්මය. එය දෛවයේ සරදමක් ලෙසද පෙනේ.

පසුගිය දිනෙක ඉන්දියාවේ හින්දූත්වය තුළින් පහළ වූ අසහාය නායකයා වූ නරේන්ද්‍ර මෝඩි කාශ්මිරය අරබයා ලොව මවිත කරන තීන්දුවක් ගත් සැටි අපි දුටුවෙමු.

ගිය අගෝස්තු 5දා නරේන්ද්‍ර මෝඩි, ජනාධිපති ප‍්‍රකාශනයක් මගින් ඉන්දියානු ව්‍යවස්ථාවේ මෙතෙක් පැවැති 370 සහ 35 ඒ වගන්ති අහෝසි කළේය. එමගින් ජම්මු කාශ්මීරයට ජවහල්ලාල් නේරු අගමැති විසින් ලබාදුන් ස්වාධීන තත්ත්වය අවලංගු කර ඒ භූමිය තුළින් ප‍්‍රාන්ත රාජ්‍ය දෙකක් බිහිකිරීමට මෝඩි අගමැතිවරයාට හැකිවිය. ඉන් එකක් වන ලඩාක් ප‍්‍රාන්ත රාජ්‍යය ඉන්දියාව තුළ පහල වූ ප‍්‍රථම බෞද්ධ ප‍්‍රාන්ත රාජ්‍යය වෙයි. මෙවැන්නක් කරන ලද්දේ පකිස්තානයේ ආශිර්වාදය මත හිස ඔසවා ඇති ත‍්‍රස්තවාදය හා වෙන්වීමේ ප‍්‍රවනතාව අවසන් කරනු සඳහා මෙන්ම ජම්මු කාශ්මීරය මධ්‍යම රජයේ ආධිපත්‍යයට නතුකර ගැනීම සඳහා බව අගමැති මෝඩි විසින් පවසා තිබේ. කෙටියෙන් කියතොත් මෝඩි අගමැති විසින් සිදුකර ඇත්තේ සිය හින්දූත්ව න්‍යාය හමුවේ ඉන්දියාවේ ඇති දියාරු පෙඩරල් පාලන ක‍්‍රමය දියකර හැරීමේ පළමු පියවර ගැනීම බව මාගේ වැටහීමයි.

නරේන්ද්‍ර මෝඩිට මෙවැන්නක් කළ හැකි වූයේ කෙසේද? ඊට ප‍්‍රධාන හේතුව නම් මෝඩි බටහිර ලිබරල්වාදයෙන් හිස කුරෝලූ කර නොගත් ජාතිකවාදියකු වීමයි. හින්දු සභ්‍යත්වය මුල්කරගත් සභ්‍යත්ව රාජ්‍යයක් බිහිකර ගැනීමට ඔහු තුළ ඇති දැඩි අධිෂ්ඨානයයි. ඉන්දියාව හින්දූත්වය මුල්කරගත් පැරණි භාරත දේශය බවට යළි පත් කිරීම මෝඩිගේ ඒකායන අභිලාෂය බව පෙනේ.

ඉන්දියානු ජනගහනයෙන් 17% මුස්ලිම් ජාතිකයන් වුවද ඔවුන්ට ‘දොළ පිදේනි’ දී බලය ලබා ගැනීමට මෝඩි අගමැතිවරයා කටයුතු නොකළ සැටි පසුගියදා පැවැති මැතිවරණයෙන් මෙන්ම ඉන්පසු පිහිටු වූ රජයෙන්ද අපට දැකගත හැකිවිය.

ජම්මු කාශ්මීරයට විශේෂ ස්වාධීනත්වයක් දීමට කටයුතු කරන ලද්දේ ඉන්දියාවේ පළමු අගමැතිවරයා මෙන්ම ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂයේ නායකයකු වූ ද ජවහල්ලාල් නේරු විසිනුයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය භාරතීය සභ්‍යත්වය තුළින් බිහි වූ පක්‍ෂයකට වඩා බටහිර ලිබරල්වාදය දෙස බලා නිර්මාණය කරන ලද පක්ෂයක් බව එහි නූතන ඉතිහාසය විසින් පෙන්නුම් කර දී තිබේ. ජවහල්ලාල් නේරු විසින් තමන් හඳුන්වා ගන්නා ලද්දේ සිය රටෙහි සභ්‍යත්වයට අයත් නොවන පුද්ගලයකු මෙන්ම පිටත ලෝකයට ද අයත් නොවන සභ්‍යයත්ව අනන්‍යතාවක් නැති පුද්ගලයකු ලෙසයි. ඒ කියමන ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂයටද වලංගු යැයි මම සිතමි. කොංග‍්‍රස් පක්‍ෂයේ ඡුන්ද පදනම වන ඉන්දියානු මැද පංතිය, අරබයා අගනා විචාරාත්මක නිබන්ධනයක් :ඔයැ ටරු්එ ෂබාස්බ පසාාකැ ජක්ි්) ලියා ඇති පාවන් කේ වර්මා නමැති විද්වතා විසින් ඒ පංතිය හඳුන්වා ඇත්තේ නමින් පමණක් ඉන්දියානු වන අනුකාරක ආත්මයක් නැති පිරිහුණු පන්තියක් ලෙසයි. ඉන්දියානු කොංග‍්‍රස් පක්‍ෂය එන්න එන්නම දේශපාලන ක්‍ෂේත‍්‍රයෙන් අතු ගෑවී යන්නේ මේ නිසා නෙවේද?

නරේන්ද්‍ර මෝඩි අරගත් මේ අභීත ක‍්‍රියාව අපට පාඩමක් විය යුතුයි. එය අභීත පියවරක් ගැනීමට අප පොළඹවන උත්තේජනයක් විය යුතුයි. මෝඩි අගමැතිවරයා සිය රට වෙනුවෙන් ගත් ක‍්‍රියා මග අප විසින් අපේ රට වෙනුවෙන් ගැනීම අරබයා විරුද්ධ වීමට එතුමාට සදාචාරාත්මක අයිතියක් නොමැතිය. එමෙන්ම මේ අවස්ථාව අපගේ රට පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් එතුමාට ලබාදීම සඳහා යොදාගත යුතු යැයි මම සිතමි. ඇමෙරිකන් ගැති ජේ.ආර්. ජයවර්ධනට පාඩමක් උගන්වනු වස් ඉන්දිරා - රජීව් මේ රට ආක‍්‍රමණය කිරීම නිසා එවේලෙහි ඉන්දියානු විරෝධයක් උද්ගත වුවද අප තුළ සනාතන ඉන්දියානු විරෝධයක් හෝ හින්දූත්ව විරෝධයක් නොමැති බවත් ඉන්දියාව අප සලකන්නේ බුදුන් අපට දායද කළ ජම්බුද්පය ලෙස බවත්, බෞද්ධ සභ්‍යත්වය අප උරුම කර ගත්තේ අසෝක අධිරාජයෙන් බවත් අප විසින් එතුමාට පෙන්වා දිය යුතුය.

මෙවැනි අදහසක් මම එවේලෙහිද ඉදිරිපත් කළෙමි.

‘‘ඉන්දියාව අපට මෙවර ටොක්කක් ඇන්නේ අප කළ ඔළමොට්ටල කම් නිසා බව අපට වැටහිය යුතුයි. එය අපට මදිකමක් නොවේ. මේ ආකල්පයෙන් යුතුව කටයුතු කිරීමට අප පෙළඹුන හොත් මේ ගිවිසුම තුළ ඇති අපට අහිතකර කොටස් ඉවත් කර ගැනීමේ අවස්ථාවද අපට පෑදෙනු ඇත.’’ (ගනඳුර මැදියම - පෙරවදන)

13 සංශෝධනය බලහත්කාරයෙන් අපට ගල්ලවන ලද්දේ එය මේ රටේ ඇතැයි කියන ඊනියා ජනවාර්ගික ප‍්‍රශ්නයට අවශ්‍යව ඇති පිළියම වශයෙන් පෙන්වා අප මුළා කරමිනුයි. මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් නොමැති බවත් 13 මේ රට අස්ථාවර කිරීම සඳහා ගෙන එනු ලබන කුමන්ත‍්‍රණයේ කොටමසක් බවත් මම ඒවෙලෙහි හෙළි කළෙමි. (ගන`දුර මැදියම) අද වන විට ඒ කුමන්ත‍්‍රණය් සක්සුදක් සේ පැහැදිලිව ඇති නොවේද? 13 වැනි සංශෝධනය මගින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජනවාර්ගික ප‍්‍රශ්නය විස`දුනේද? එයින් සිදුවූයේ ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීමය. දෙමළ, මුස්ලිම් ජාතිවාදී නායකයින්ට උතුරේ - නැගෙනහිර සිය රාජධානි පිහිටුවා ගෙන බලලෝභී නිවට සිංහල නායකයන් වස`ගයට ගෙන ‘රජුන් තැනීමේ’ - ආණ්ඩු පිහිටුවීමේ බලය ඔවුන් අතට ලබාගැනීමයි. රටේ බහුතරය සුළුතරය බවට පත්කර සුළුතරය බහුතරය බවට පත්කිරීමයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් කළ යුතුව තිබුණේ ප‍්‍රභාකරන් විනාශ කළ පසුදාම 13 අහෝසි කර පළාත් සභා විසිරුවාලීමයි. එහෙත් සිදුවූයේ එවැන්නක් නොව තුප්පහි උපදේශකයන්ගේ ඇණවුම පිට LLRC නමැති තුප්පහි කොමිසම අටවා මෙරට ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි යන මිථ්‍යාව ලෝකය හමුවේ සනාථ කිරීමයි. එවෙලෙහි මේ රටේ ජනතාව මහරජාණෝ යැයි මහින්ද රාජපක්ෂයන්ට ආමන්ත‍්‍රණය කළේ ඔහු අතින් රට බෙදන 13 අහෝසිවනු දකින අභිලාෂයෙනි.

අද මේ ජාතික මෙහෙවර පැවරී ඇත්තේ තව ටික දිනකින් මේ රටේ ජනාධිපති බවට පත්වන ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. මේ රටේ ජනතාව අසීමිත උද්යෝගකින් එතුමා තෝරා පත්කර ගෙන ඇත්තේ අතපසු වී ඇති මේ ජාතික මෙහෙවර ඉටු කරනු සඳහායි. ඒ සඳහා කිසියම් උත්තේජනයක්, ආදර්ශයක් අවශ්‍ය වේ නම් ඒ උත්තේජනය ආදර්ශය මේ වන විට නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා විසින් සපයා ඇතැයි මම විශ්වාස කරමි.

දිවයින: 2019.08.18

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

2/27/2019

සාමූහික විඤ්ඤාණය මත ගොඩනැගිය හැකි සමාජවාදී උත්තරීතර සමාජය පිළිබඳ මගපෙන්වීමක්

කතෘ:යුතුකම     2/27/2019   No comments


ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය පිළිබඳ විචාරයකි.

ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතිය අතර ඇති සම්බන්ධතාව උගතුන් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වූ කාරණයකි. සංස්කෘතික අගය පද්ධති පිළිබඳ අධ්‍යයනයක් කළ ලන්දේසි ජාතික මහාචාර්යවරයකු වන ගර්ට් හොෆ්ස්ටඩ් ඒ මත පදනම් වී “සංස්කෘතික මාන න්‍යාය” නමින් අදහසක් ද ඉදිරිපත් කර තිබේ. මේ මාන න්‍යායට ඇතුළත් “දිගු කාලීන සහ කෙටි කාලීන නැඹුරුව” පිළිබඳ අගය ඔහු මුලින් නම් කර තිබුණේ “කොන්ෆියුසියානු අගය මානය” ලෙසිනි. ඇත්තෙන් ම, මෙම මානය හොෆ්ස්ටඩ්ගේ න්‍යායට එකතු කරගනු ලැබුවේ පසු කාලයක යි. චීනය සහ ආශ්‍රිත රටවල ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු කළ නිරීක්‍ෂණ මෙයට හේතු විය. එනම්, මෙය ආර්ථික සංවර්ධනයට හේතු විමසමින් ආපස්සට ගිය ගමනක ප්‍රතිඵලයකි.

චීනය ඇතුළු නැගෙනහිර ආසියාතික රටවල ආර්ථික සංවර්ධනය පිළිබඳ කළ බොහෝ අධ්‍යයනවල දී මේ හා සමාන සංස්කෘතික සාධක හඳුනාගෙන තිබේ. අප රට තුළ සිටින ප්‍රාඥයකු වන ගුණදාස අමරසේකර සූරීහු ද මේ කාරණය - එනම්, සංස්කෘතිය නොතකා ආර්ථික සංවර්ධන මාවතෙහි ඉදිරියට යා හැකි ද යන කාරණය; පිළිබඳ ව දීර්ඝ කාලයක් තිස්සේ විමසමින් සිටිති. 1992 දී එතුමන් විසින් “ජාතික චින්තනය සහ ජාතික ආර්ථිකය” යන හිසින් ලියන ලද ලිපිය මේ සඳහා ගෙනහැර දැක්විය හැකි අගනා මූලාශ්‍රයකි. එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් අප රටෙහි උගතුන් වෙතින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ලියැවුණු එකකි, එම ලිපිය.

1977 දී හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට විකල්පයක් වේ නම් ඒ පිළිබඳව තමන්ව දැනුවත් කරන මෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා මෙ රට උගතුන්ගෙන් ඉල්ලා සිටියේ ය. මෙයට පිළිතුරු වශයෙන් ගුණදාස අමරසේකරයන් ලියා පළකළ උක්ත ලිපියෙන් එතුමා පවසා සිටියේ සංස්කෘතිය අමතක කර ආර්ථික සංවර්ධනයක් ගැන සිතිය නොහැකි බවකි. අමරසේකර ශූරින් විසින් 1992 දී එ ලෙසින් ආරම්භ කළ ආර්ථික විකල්පයක් පිළිබඳ කරුණු ගවේෂණය මේ වන විට එක්තරා ආකාරයක න්‍යායික අන්තයකට වර්ධනය කිරීමට එතුමා සමත් වී සිටිති. එතුමන් විසින් මෑතක දී ලියා පළකළ “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය එම ගවේෂණයෙන් වර්ධනය කරගත් කරුණු සම්පිණ්ඩනය කළ අගනා රචනයක් බැව් කිව යුතු ය.

ගෝලීයකරණයට පක්‍ෂව සහ විපක්‍ෂව විවිධ වියතුන් විසින් ඉදිරිපත් කර ඇති අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිිපත් කරන අමරසේකර මහතා, 1977 දී කිසිදු විචාරයකින් ත‍ොරව අප රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා අපට උරුම වී ඇති හානිකර දේ පිළිබඳව ද කරුණු දක්වයි. ඉක්බිතිව ගෝලීයකරණයට ඇති විකල්ප පිළිබඳ කරුණු සොයමින් එතුමන් කළ ගවේෂණයේ දී සොයාගත් දේ ගැන එතුමා අපට පවසයි. මේ හා සම්බන්ධ මූලාශ්‍ර දක්වමින් එතුමන් විසින් කරනු ලබන කරුණු දැක්වීම තව තවත් කරුණු සොයායෑම සඳහා විචාරශීලි පාඨකයා හට මගපෙන්වීමකි. විශේෂයෙන් ම, ධනවාදයේ උපතට අදාළ සංස්කෘතික පදනමත්, ධනවාදය ඇති නො වූ චීනය වැනි රටවල සංස්කෘතික පදනමත් අමරසේකර මහතාගේ විචක්‍ෂණ විචාරයට හසුවෙයි. ඉක්බිතිව එතුමා අසන්නේ “මාක්ස්වාදය විකල්පයක් ද?” යන ප්‍රශ්නය යි. සංස්කෘතිය මුළුමනින් ම නොසළකා ගොඩනංවා ඇති මාක්ස්වාදී ආර්ථික වට්ටෝරුව කිසි අයුරකින් විකල්පයක් නොවන බැව් අමරසේකර මහතා පැහැදිළිකරන්නේ එම විවරණය තුළිනි.

මෙම ලේඛකයාගේ නිරීක්‍ෂණයට අනුව, ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒම සඳහා අමරසේකර මහතා විසින් පෙන්වනු ලබන මග අපට හඳුනාගත හැක්කේ මෙම මූලික කරුණු පිළිබඳ විවරණයෙන් අනතුරුව එතුමන් ඉදිරිපත් කරන අදහස් තුළිනි. විශේෂයෙන් ම, ඩේවිඩ් සී කෝටන් මහතා පවසා ඇති “අප තෝරාගන්නා ආර්ථික මග අප ගේ ඇගැයීම්, හර පද්ධතිය මත ඉදිවිය යුතු යැ” යන අදහස අමරසේකර මහතා විසින් අප වෙත ගෙනහැර දක්වන්නේ එ් පිළිබඳව එතුමන් ද අවිවාදයෙන් එකඟ වන බැවිනි. මෙම කාරණය අමරසේකර ශූරීහු නැවත නැවතත් කරුණු දක්වමින් අප හට අවධාරණය කරති. විශේෂයෙන් ම, අප සමාජය තුළ ඇති “සාමූහික විඤ්ඤාණය” පිළිබඳ එතුමන් දක්වන අදහස් මේ අරභයා අපට බෙහෙවින් ප්‍රයෝජනවත් ය.

“සාමූහිකත්වය” යනු අප අගයකරන හර පද්ධතියෙහි ඉදිරියෙන් ම ඇති එකකි. උඩින් කී හොෆ්ස්ටඩ් ගේ “සංස්කෘතික මාන න්‍යාය” තුළ ද, සංස්කෘතික මාන ගැන අධ්‍යයනය කළ වෙනත් උගත්තු ද “පුද්ගලාන්තික” සහ “සමූහාන්තික” හර පද්ධති මත පදනම් වී සංස්කෘතීන් වර්ග කරති. අප කවුරුනුත් දන්නා පරිදි ලිබරල්, ධනවාදී සමාජ හොඳින් ස්ථාපිත වී ඇත්තේ “පුද්ගලාන්තික” හර පද්ධති වැළඳගෙන ඇති රටවල ය. එහෙත් “සමූහාන්තික” හර පද්ධති වැළැඳගත් සමාජවල වෙසෙන ජනතාව ලිබරල්, ධනවාදී අදහස්වලට අරුචියක් දක්වති. මෙය චීනය වැනි පෙරදිග ආසියාතික රටවලට පමණක් නොව, යම් පමණකින් සමාජවාදී සිහිනය පසුපස ගිය ලතින් ඇමෙරිකානු කතෝලික රටවලට ද පොදු කාරණයකි.

මේ රටේ වසන අපිදු “සමූහාන්තික” හරයන්ට ප්‍රියකරමු. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සහ මහා පරිමාණයෙන් ලැබෙන “පුද්ගලාන්තික” අගය පද්ධතීන්ගේ ආභාසය නිසා අප තුළට යම් ප්‍රමාණයකින් එම අදහස් ද කාන්දු වී ඇති බව සත්‍යයකි. ඒ හේතුවෙන්, එකිනෙකට පටහැනි අගය පද්ධති දෙකක් දරුණු ලෙසින් ගැටෙන තත්ත්වයක් ද අප සමාජය තුළ දැකගත හැකි ය. කෙසේ වුව ද, අප තවමත් වැඩියෙන් අගයකරන්නේ “සමූහාන්තික” දේ ය. එහෙයින් ගුණදාස අමරසේකර ශූරින් පවසන පරිදි අප අපේ ආර්ථික විසඳුම් සොයාගත යුත්තේ මෙම “සාමූහික විඤ්ඤාණය” මත පදනම්වීමෙනි.

ධනවාදී ක්‍රමය වැළඳගෙන ධනපතියන් කිහිප දෙනකුගේ වහළුන් බවට අපගේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද, මාක්ස්වාදී මොඩලය වැළඳගෙන නිලධාරි තන්ත්‍රයක සහ මධ්‍යගත ආයතන පද්ධතියක වහළුන් බවට අපේ මිනිසුන් පත්කිරීමේ උත්සාහය ද මේ පොළොවේ කිසි දිනෙක සාර්ථක කරගත හැකි කටයුත්තක් නොවේ. “මේ දේ කරපන්” කියා දෙන නියෝගවලට අපේ මිනිස්සු අවනත නොවෙති. “අපි මේ දේ කරමු” යැයි කී විට ඔවුහු ඒ දෙය කරති. ඒ, අපේ හැටි ය. ඉදින් අප විසින් ගොඩ නගාගත යුත්තේ “අප වෙනුවෙන් අපි” ආකාරයේ ආර්ථික මොඩලයකි. ආර්ථික සම්පත් සහ ව්‍යවසාය කටයුතු ආණ්ඩුවට පවරාගැනීම ජනසතුකිරීමක් නොවේ. ඒවා ධනපතියන් කිහිප දෙනකුට පවරාදීම ද පිළියමක් නොවේ. අද කළ යුත්තේ මේ කටයුතු මිනිසුන්ට පැවැරීමේ විකල්පයට අපි යොමුවීමයි.

ධනවාදයට ඇති විකල්පය මෙය යි. අප ගත යුතු මගත් එය යි. ඉදින් මේ ඇත්ත අප හට එළිකර දෙමින් ගුණදාස අමරසේකර මහතා විසින් රචිත “ධනවාදයට විකල්පයක් - අප සතු මග” කෘතිය අප සැමගේ නොමද අවධානයට පාත්‍ර විය යුතු අගනා කෘතියක් බව පැවැසිය හැකි ය.

-ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

1/05/2018

අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් - ගුණදාස අමරසේකර

කතෘ:යුතුකම     1/05/2018   No comments
ගුණදාස අමරසේකර මහතා දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයායි. නවකතාව, කෙටිකතාව, කවිය,විචාරය ආදී නන්විධ සාහිත්‍යාංගයන්හි බහුවිධ කුසලතා දැක්වූ ඔහු සරච්චන්ද්‍රයන් ඇසුරේ වැඩෙමින් සාහිත්‍ය යුගයක් නිර්මාණය කිරීමටද පුරෝගාමී වෙයි. එකළ මේ පේරාදෙණි සාහිත්‍ය තියුණු විවේචනයට ලක්කරනු ලැබුවේ මාර්ටින් වික්‍රමසිංහ විසිනුයි. පසුව අමරසේකරද වික්‍රමසිංහ මග ගනිමින් පේරාදෙණි සාහිත්‍ය පුපුරවා හැරීමට දායක වෙන්නේ සිය කෘතිද ප්‍රතික්ෂේප කරමින්. දැක්මකින් යුතුව සාහිත්‍යකරණයේ නියැළෙමින් අදටත් මෙරට බලපෑම් සහගත මත පළකරන සාහිත්‍යකරුවාද වන අමරසේකර මහතා සමග මේ වටමඬල කළ සාකච්ඡාවකි.

Q.ඔබ සරසවි ශිෂ්‍යකු ලෙස සිටියදීම ඔබේ කෘති සරසවියේ විභාගවලට නියම වෙනවා. මෙය කිසිම කෙනෙකුට නොලැබුණ භාග්‍යක් වගේම වරප්‍රසාදයක්. මෙයින් ඔබට ආඩම්බරයක් ඇති වුණාද?

මම ඒ වරප්‍රසාදයට සුදුසු නම් ඒකේ ආඩම්බර වෙන්න දෙයක් නෑ. මගේ ජීවන සුවද කෙටිකතා සංග්‍රහයෙන් සිංහල කෙටිකතාවේ නව යුගයක් ආරම්භ කළා. මගෙ හිතේ ඊට පෙර හරවත් වැදගත් කතා තිබුණේ වික්‍රමසිංහගේ පමණයි. ජී.බී. සේනානායකගේ ආකෘතිය අතින් ඉදිරිගාමී ලක්ෂණ පෙන්නුම් කරපු බොහොම හොද කතා තිබුණට මොකද ඒවා එක්තරා විදිහකට සන්දර්භය අතින් මේ සමාජය හා බැදිච්ච කතා නෙමෙයි. සුවඳ නැති නමුත් ලෝකෙට රුව ඇති කතා ලෙස මවිසින් කලකට පෙර හදුන්වනු ලැබුවේ එනිසා. මගේ ජීවන සුවඳ එනකොට ආකෘතියත්, සංදර්භයත් දෙකම එක්කාසු වෙලා මේ රටේ පසින් බිහිවෙච්ච විශේෂයෙන් මධ්‍යම පාන්තික ජීවිතය තුළින් බිහි වූ කෙටි කතා නිර්මාණයක් වෙනවා. මං හිතන්නේ සුවඳයි රුවයි දෙකම අන්තර්ගත වීමේ වැදගත්කම නිසයි ජීවන සුවද නිර්දේශ වෙන්නේ.

Q.ඔබ ලේඛකයකු හැටියට ඉස්මතු වෙන්නේ සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණි ගුරුකුලයේ අන්තේවාසිකයන් නිසා. අද එවැනි වරප්‍රසාදයක් කිසිම කෙනෙකුට නැහැ නේද? එහෙම තත්වයක් යටතේ පේරාදෙණි ගුරුකුලයට හා එහි නවකතාවට විරුද්ධ වීමේ සදාචාරය කුමක්ද?

ඇත්ත වශයෙන්ම එදා සරච්චන්ද්‍ර ඉන්න කාලේ පේරාදෙණිය එක්තරා සංස්කෘතික කේන්ද්‍රයක් වෙලා තිබුණා. සාහිත්‍යට, නාට්‍යට, විචාරයට ලොකු සේවයක් පේරාදෙණිය ගුරුකුලයෙන් වුණා. අද එහෙම එකක් මේ රටේ නෑ. අද පේරාදෙණිය කියන්නේ එක්තරා විදිහක තවත් එක් විද්‍යාපීඨයක් නැත්නම් නිසරු බිමක් පමණයි.

සාහිත්‍ය කියන්නේ පුද්ගලික සබඳතා වගේ කෙළෙහි ගුණ සලකන දෙයක් නෙමෙයි. කෙළෙහි ගුණ සලකන සදාචාරයක් සාහිත්‍යයේ නෑ. ඒක බුද්ධිමය ව්‍යාපාරයක්. ලියන්නේ තමන්ගේ හෘද සාක්ෂයට අනුව. ඒ හෘද සාක්ෂයට අනුව යම් පොතක් ප්‍රතික්ෂේප කිරීම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෙමෙයි. අනිත් එක සාහිත්‍යකරුවා කියන්නේ එකතැන පල්වෙන මිනිහෙක් නෙමෙයි. ඔහුගේ ජීවන දර්ශනය වෙනස්වෙන විට අනිවාර්යෙන්ම ඔහුගේ සාහිත්‍ය පිලිබඳ දර්ශනයත් වෙනස් වෙනවා. මම මුලින් පේරාදෙණි ආධිපත්‍යය තුළ හිටියට මට ටික කලකින් තේරුණා පේරාදෙණි සාහිත්‍යයේ තිබුණු විශාල අඩුපාඩු. මට තෙරුණා ඒක මේ සමාජයෙන් වියෝ වෙච්ච එක්තරා විදිහක එක්ටැම් සාහිත්‍යක් බව. විශේෂයෙන්ම ඒක මට පැහැදිළිව තේරුණේ 71 තරුණයන්ගේ නැගිටීමත් සමග. අපි පේරාදෙණිය සාහිත්‍යයෙන් කළේ මේ රටේ සමාජ ප්‍රශ්න ගැන කතා කරන එක නෙමෙයි. පේරාදෙණියට රැස් වෙච්ච අර සීමිත තරුණයන්ගේ සීමිත ජීවිතය පිළිබඳ තමය ඒ සාහිත්‍යයෙන් සාකච්ඡා කළේ. නමුත් පුළුල් සමාජ ප්‍රශ්න, මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න, ගැන සාකච්ඡාවක් පේරාදෙණියෙන් වියයුතුව තිබුණා. ඒත් එහෙම එකක් සිදුවුණේ නැහැ. ඒ අඩුපාඩුව මට හොදට තේරුණ නිසයි අපි සාහිත්‍ය පිළිබඳ අමුතුවෙන් කල්පනා කළ යුතුයි කියන තැනට ආවේ.

Q.නමුත් ඔබ යළි උපන්නෙමි විතරයි නැවත පළ නොකරන්නේ. පේරාදෙණි සාහිත්‍යයට අයිති අනෙක් කෘති කරුමක්කාරයෝ දෙපා නොලද්දෝ වාගේ ඒවා පළ කරනවා. ඔබ ඒවාගෙන් විනාශය දකින්නේ නැද්ද?

ඒවා ඒ තරම් නරක නෑ. කරුමක්කාරයෝ පේරාදෙණි බලපෑමට ඉස්සෙල්ලා ලියපු නවකතාවක්. යළි උපන්නෙමි ඇත්ත වශයෙන්ම අර දෙකටම වඩා අපේ සභ්‍යත්වයට සම්පූර්ණයෙන්ම පටහැනි අපේ සංස්කෘතිය හෙළා දකින නවකතාවක්. ඒක අද ගැහුවොත් සමාජයට වැරදි ආදර්ශයක් වෙනවා. අද ලියවෙන ඒවා බලද්දී ඒක පනින රිලවුන්ට ඉනිමං බැදීමක් වගේ වෙනවා. මොකද අද සාහිත්‍යත් යළි උපන්නෙමි සාහිත්‍යක් දක්වා ගමන් කරමින් තියෙන බව පේනවා. යළි උපන්නෙමි නවකතාවේ සන්දර්භයට මම එකග නොවුණත් අඩුගානේ ඒකේ කලාත්මක බවක්වත් තියෙනවා. දැන් ලියන ඒවා එහෙමත් නෑ. අරකේ නරක ලක්ෂණ ටික විතරක් අරගෙන ලිගු දුගඳ වහනය කිරීම පමණයි දැන් නවකතාවලින් කරන්නේ.

කරුමක්කාරයෝ නවකතාවේ ප්‍රේම සම්බන්ධතා තිබුණට මොකද එහි වැදගත්කම තියෙන්නේ පවුල් සම්බන්ධතාවල හෝ ප්‍රේම සම්බන්ධතාවල නෙමෙයි. එක්තරා විදිහකට ගමට ධනවාදී සමාජ ක්‍රමය ඇවිල්ලා, ගමට ඡන්ද ක්‍රමය ලැබිලා, ගමේ සමගිය නැති කරලා, අපගේ පුරුෂාර්ථ, හර පද්දති එක්ක කොහොමද ගම වෙනස් වුණේ කියන එක තමයි නවකතාවේ දක්වන පුළුල් සමාජ චිත්‍රය. ඒක කියන්න නවකතාවට පිටින් ගැටගහපු එක තමයි අර ප්‍රේම කතාව. හුගදෙනෙක්ට මේක තේරිලා නෑ. කරුමක්කාරයෝ චිත්‍රපටය හදනකොට තිස්ස අබේසේකර ගත්තේත් අර ප්‍රේම කතාව. ගම්පෙරළිය නවකතාව චිත්‍රපටයට නගනකොටත් මේ දුර්වලකම තිබුණා. ගම වෙනස් වුණේ කොහොමද කියන පුළුල් සමාජ චිත්‍රය චිත්‍රපටයේ නෑ. තියෙන්නේ අර ප්‍රේම කතාව විතරයි. ඒ නිසා මේ නවකතා දෙකටම ගැටගහපු ප්‍රේමකතාවලට වඩා ඒ යට දිවෙන සමාජ, ආර්ථික, දේශපාලන විපර්යාසයි වැදගත්.

Q.ඔබ මුලින්ම දැන් මේ රටේ සාහිත්‍යක් නැතැයි මත පළ කිරීමට පුරෝගාමී වූ කෙනෙක්. සුචරිත ගම්ලත්, ඒ.වී. සුරවීර වැනි විද්වතුන්ද ජීවතුන් අතර සිටියදී මේ අදහසේ සිටියා. ඔවුනුත් අද පළවෙන නවකතා කියවීම කාලය නාස්ති කිරීමක් යැයි ප්‍රකාශ කළා. ඔබට අනුව හොඳ නවකතාවක් කියන්නේ කුමක්ද?

හොඳ නවකතාවක් නම් ඒකෙන් පෙන්නන්න ඕන මනුස්ස ජීවිතයත් ඒ සමාජයත් අතර ඇති සම්බන්ධතාවය. මනුස්සයා ජීවත් වෙන්නේ යම්කිසි සමාජයකනේ. සාහිත්‍යකරුවා මේ දෙක අතර සම්බන්ධතාවය ගළපන්න ඕන. මේ දෙකෙන් වියෝ වෙච්ච චරිත අරගෙන වැඩක් නෑ. මළගිය ඇත්තෝ නවකතාවෙත්, යළි උපන්නෙමි නවකතාවෙත් සමාජයෙන් වියෝ වෙච්ච චරිත තියෙන්නෙ. යම් කෘතියක සමාජය අමතක කරලා මනුස්සයා ගැන කතා කරලා වැඩකුත් නෑ. මනුස්සයා අමතක කරලා සමාජය ගැන කතා කරලා වැඩකුත් නෑ. මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධය ගළපා තිබෙනවා නම් ඒක උසස් නිර්මාණයක් කියන්න පුළුවන්. වික්‍රමසිංහ නවකතාව සමාජයේම පිළිඹිබුවක් ලෙස පෙන්නුවා. සමාජය හසුරවන දේශපාලන, ආර්ථික බලවේග ගැන නවකතාකරුවා අවධානය යොමු කරන්න ඕන. ජනතාවගේ නැණ නුවණ පාදන දේශපාලන හා සමාජ විඥානය පුළුල් කරවන ඥාන මාර්ගයක් පෙන්වන නවකතාවක් වෙන්න ඕන. අපගේ මනස මෙන්ම හදවතද විවෘත කරන මානව දයාවෙන් පිරුණු නිරූපණයක් එහි තියෙන්න ඕන. සාහිත්‍යකරුවා සමාජ විද්‍යාඥායාගෙන් වෙනස් වෙන කරුණ ඒක. අද ඒ වගේ නවකතා පළවෙන්නේ නෑ. සමාජයෙන් වියෝ වෙච්ච චරිත වටා කතුවරයාගේ මනසේ ගැටගහන කෙප්ප තමයි අච්චු ගහලා බෙදන්නේ. ඒ නිසා අද තියෙන්නේ උසස් සාහිත්‍යක් නොව කෙප්ප සාහිත්‍යක්.

Q.ඔබ හිතන විදිහට මේ සාහිත්‍ය පරිහානියට හේතු වූ පසුබිම මොකක්ද?

පේරාදෙණිය සාහිත්‍යයෙන් තමයි මේ පරිහානිය ආරම්භ වෙන්නේ. වික්‍රමසිංහගේ යථාර්ථවාදී නවකතාවට පිටුපාලා පේරාදෙණියෙන් පටන් ගත්තේ මේ සමාජයෙන් වියෝ වෙච්ච එතැනට රැස් වු තරුණයන්ගේ ජීවතවලට පමණක් සීමා වෙච්ච මනැස් පුතුන්ගේ එක්ටැම් සාහිත්‍යයක්. පේරාදෙණිය නවකතාව බිහිවුණේ මිනිසා කියන්නේ සමාජ සත්වයෙක් කියලා සලකන්නේ නැතුව පුද්ගලිකවාදයට මුල් තැන දීපු නවකතාවක් විදිහට. නවකතා විචාරය සඳහා අවශ්‍යය සමාජ සංස්කෘතික දේශපාලන විඥානයෙන් තොරවූ සරච්චන්ද්‍ර මේ කටයුත්තට අත ගැසීම නිසා සිංහල නවකතාවේ වැඩීමට අනර්ථයක් වූ බව අකමැත්තෙන් වුවත් අපට පිළිගන්න වෙනවා. මොකද මේ නිසරු අනුකාරක පේරාදෙණි නවකතාව වැඩුනේ සරච්චන්ද්‍රයන්ගේ සෙවණේ. මේ පේරාදෙණි නවකතාව එක්ක එදා දරුණුවට ගැටුනේ වික්‍රමසිංහ. ඒ මතවාදී ගැටුමෙන් පස්සේ ඇතිවිය යුතුව තිබුණේ වික්‍රමසිංහ පටන් ගත්ත යථාර්ථවාදී හරවත් සාහිත්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමයි. ඒත් එහෙම දෙයක් සිදු වුණේ නෑ. ඊට හේතුව පේරාදෙණිය අනුකරණය කළ අනෙක් විශ්වවිද්‍යාල දෙකත්, රජයේ පාසල්වලත් ඔජවඩනු ලැබුවේ පේරාදෙණි නවකතාව. මොකද එවකට විශ්ව විද්‍යාල ප්‍රවේශය තිබූ මහා විද්‍යාල හා මධ්‍යමහා විද්‍යාල ඇතුළු රජයේ පාසල් බොහොමයක සිංහල උගන්වනු ලැබුවේ පේරාදෙණියෙන් බිහිකරන ලද උපාධිධාරීන් විසින්. එයින් පේරාදෙණි සාහිත්‍ය ආධිපත්‍ය විශ්වවිද්‍යාලයෙන් පිටත ගම්දනව් දක්වාත් පැතිරුණා. සරච්චන්ද්‍රගෙන් පසුවත් ඔහුගේ අන්නේවාසිකයින් විසින් ගුරු පූජාවක් මෙන් ඉදිරියට ගෙන ගියේ අර කාල්පනික සාහිත්‍ය. මේ හේතුවෙන් වික්‍රමසිංහ හෙළි පෙහෙළි කරදුන් සාහිත්‍ය මාර්ගය යටපත් වුණා. ඔහුට සරච්චන්ද්‍රට වාගේ අන්නේවාසිකයන් බෝ කර ගැනීමට විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ වරප්‍රසාදය තිබුණේ නෑ.

දෙවනුවට,

හතලිස් අටේ නිදහසින් පස්සේ මේ රටේ හරවත් සමාජ දේශපාලන සංවාදයක් සිදු නොවීමත් හරවත් සාහිත්‍යක් බිහිනොවීමට බලපෑවා. ජාතික නිදහස මුල් කරගෙන ඒ යුගයේදී මේ රටේ පැවති සංවාදයේ ප්‍රතිඵලයක් හැටියටයි වික්‍රමසිංහ වාගේ කෙනෙක් බිහි වෙන්නේ. හතලිස් ගණන්වල අනගාරික ධර්මපාලතුමා මූලික කරගෙන ජාතික ව්‍යාපාර ඔස්සේ මෙන්ම පියදාස සිරිසේනගේ නවකතා ආදියේ බලපෑමෙන් යම්කිසි හරවත් චින්තනයක් මේ රටේ තිබුණා. වික්‍රමසිංහගේ නිර්මාණ නිකම් ඕපපාතිකව ඇති වූ දෙයක් නෙමෙයි. ඒ හරවත් සමාජ දේශපාලන චින්තනයේ ප්‍රතිඵලයක් හැටියටයි බිහිවෙන්නේ. ඇත්ත වශයෙන්ම වික්‍රමසිංහ කෙනෙක් බිහි වෙන්නේ නෑ පියදාස සිරිසේන කෙනෙක් නැත්නම්. පියදාස සිරිසේන නිකම් උඩින් මත්තෙන් විචාරකයෙක් විදිහට කියූ දේ තමයි වික්‍රමසිංහ ඊට වඩා ගැඹුරෙන් සලකලා ඉදිරිපත් කළේ. 56 ජයග්‍රහණයටත් බලපෑවේ ජාතික නිදහස මුල් කරගෙන පියදාස සිරිසේන, ධර්මපාල තුමා ආදීන් ඇතිකරපු සමාජ චින්තනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවුණාට මොකද බණ්ඩාරනායක මහතාටත් තමන් බලයට පත්කරපු සමාජ චින්තනය ඉදිරියට ගෙන යන්න බැරි වුණා. ඒ චින්තනමය පදනම පක්ෂයේ දර්ශනය කරගත්තේ නෑ. අද ඔය පක්ෂය දියවෙලා යන්නෙත් ඒකයි. උපන් දවසේ ඉදලා ඔළුවක් නැති කවන්ධයක්. කිසි චින්තනමය පදනමක් දර්ශනයක් නෑ. මේ අනුව පේනවා එකල පැවති හරවත් සමාජ සංවාදය දේශපාලන පරිවර්තනයකට වගේම වික්‍රමසිංහ වගේ සාහිත්‍යකරුවකුගේ බිහිවීමටත් පසුබිම සකස් කරපු බව. නමුත් එවැනි මතවාදී සංවාදයක් නිදහසින් පසු නොවීම ශේෂ්ඨ චින්තනයක් ඇති සාහිත්‍යයකරුවන් බිහි නොවීමට බලපෑවා. නවකතාකාරයෙක් වුණාම ප්‍රබුද්ධ චින්තනයක් තියෙන්න ඕන. එහෙම නැති අඥානයින් පිරිසකගෙන් හොද නවකතා බිහිවෙන්න විදිහක් නෑ.

තෙවනුවට,

77 ජේ.ආර්. ගේ ඊනියා විවෘත ආර්ථිකය නැමැති නව යටත්විජිතකරණ සංස්කෘතික ආක්‍රමණයත් මේ සාහිත්‍ය අවපාතයට හේතු වුණා. ඔහුගේ කාලයේ සාහිත්‍ය හා ඉතිහාසය නොවැදගත් විෂයන් ලෙස සලකා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත් කරනු ලැබුවා. නමුත් දරුවන්ට දිය යුතු ප්‍රාථමික අධ්‍යාපනයේ කේන්ද්‍රීය නැබ විය යුත්තේ ඒ රටේ ඉතිහාසය හා සාහිත්‍යයි. එහෙත් ජේ. ආර්. කළේ එහි අනෙක් පැත්තයි. ඔහු මේවා ඉවත් කළේ ඒ විෂයන්වල තියෙන වටිනාකම නොදන්නා නිසා නෙමෙයි. ජේ. ආර්. අපට වඩා සාහිත්‍ය ගැන දන්නවා හොඳට. ඔහු ග්‍රීක, ලතින්, ප්‍රංශ, ඉංග්‍රීසි, සෝවියට් ආදී සාහිත්‍ය තියෙව්වේ. ඔහු දැනගත්තා සාහිත්‍ය නැමැති කැඩපත සේවනය කරන්න සැලැස්සුවොත් එය තමන් ගෙනයන අධම සංස්කෘතික ආක්‍රමණයට බාධාවක් වෙන බව. අපේ පාරම්පරික සභ්‍යත්වය, ඇගැයුම්, සමාජ වටිනාකම් මිනිසුන්ට සාහිත්‍ය තුළින් කා වැද්දුවොත් ඒක ජේ. ආර්. ගේ අධිරාජ්‍ය ගැති විජාතික ආර්ථිකට ලොකු බලපෑමක් වෙනවා. ඔහු දන්නවා සාහිත්‍ය කියන්නේ ජනතාවගේ සමාජ විඥානය පුළුල් කරවන්න පුළුවන් දෙයක් බව. ඒ නිසා තමයි අද මේක විජාතික කදවුරේ අය ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කරන්නේ. ජේ. ආර්ට උවමනා වුණේ සාහිත්‍යයෙන් ලබන වින්දනය වෙනුවට ටැලිවිෂනය මගින් කාමෝද්දීපන විනෝදය සපයලා උපන් සමාජයෙන් වියෝ කරන ලද පරපුරක් බිහිකර ගැනීම. එහෙව් පිරිසකට සමාජය හසුරුවන දේශපාලන ආර්ථික බලවේග ගැන විමසා බැලීමේ උවමනාවක් නෑ. ඒකේ ප්‍රතිඵලය හැටියට අද වනවිට සින්දුවෙන් සුපර් ස්ටාර් වීමේ සහ පන්දුවෙන් මුරලිදරන් වීමේ සිහින අභිලාෂය කරගත් මේ රටේ සභ්‍යත්ව විඥානයෙන් දුරස් වූ බුද්ධි හීන ගැටවරයන් පිරිසක් බිහි වුණා. ජේ.ආර්. විවෘත්ත ආර්ථිකය හරහා ඇතිකරපු නව යටත්විජිත සංස්කෘතික ආක්‍රමණය අද උච්චතම අවස්ථාවට පැමිණ තිබෙනවා. ප්‍රභාකරම්ගේ ත්‍රස්තවාදයටත් වඩා භයානක විදිහට නුදුරේදීම මේ රට විනාශ මුඛයට ඇදගෙන යනු ලබන්නේ මේ සංස්කෘතික ආක්‍රමණය විසින්. අද මේ පල්ලක් නැති සාහිත්‍ය විතරක් නෙමෙයි සමස්ත කලාවම යොදා ගන්නේ අපේ පුරුෂාර්ථ හර පද්දති හෙළා දකිමින් ජාතිකත්වයට එරෙහිව ගෙනයන එන්.ජී.ඕ. සංස්කෘතික ආක්‍රමණයේ කොටසක් හැටියයි. මේක තාම හුග දෙකෙන් තේරුම් අරගෙන නෑ.

Q.ඔබ මුලින් පැවසුවා වික්‍රමසිංහ වැනි සාහිත්‍යකරුවකු බිහිවෙන්නේ එකල පැවති සමාජ දේශපාලන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙසින් බව. එතකොට පේරාදෙණි සාහිත්‍යට බලපෑ සංවාදය කුමක්ද? ඒ වගේම පසුකාලීනව හොද සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් සිදු නොවූයේ ඇයි?

ඕනෑම සමාජයක ඇතැම් යුගවල මේ දේශපාලන සංවාදය බලවත්ව පවත්නා අතර ඇතැම් කාලවල එවැන්නක් නැත්තටම නැති තත්වයක තිබෙනවා. එකල ජාතික නිදහස මුල් කරගෙන හරවත් දේශපාලන සංවාදයක් පැවැතුණා. මම මෙයට දේශපාලන සංවාදය කියන්නේ පක්ෂ දේශපාලනය කියන පටු අරුතින් නොව පුළුල් අරුතින්. මේ දේශපාලන සංවාදය පවත්වාගෙන යනු ලබන්නේ ඒ සමාජයේ ඉන්න ප්‍රාඥයින් ජන නායකයින් විසින්. එදා මේ කටයුත්ත ධර්මපාලතුමා කළා. වික්‍රමසිංහ ආදීන්ගේ නවකතා බිහිවූයේ සමාජයේ ප්‍රබල දේශපාලන සංවාදයක් පැවති අවධියකයි. විශේෂයෙන් නවකතාව කියන්නේ ඒ දේශපාලන සංවාදයේම උත්තර සංවාදය. ඒක නිර්මාණාත්මක විචාරශීලි ප්‍රබුද්ධ සංවාදයක්. එම උත්තර සංවාදය අර දේශපාලන සංවාදයට පෙරළා බලපානවා. සේවය කරනවා. නමුත් පේරාදෙණි නවකතාව බිහිවුණේ එවැනි කිසිම සංවාදයක් නොතිබූ අබුද්දස්ස යුගයකයි. ඒ නවකතා කල්පනා ලෝක මිස සේවය කරපු දේශපාලන සංවාදයක් නෑ. එවකට ප්‍රචලිතව පැවති බටහිර නවකතාවේ ආභාසයෙන් කතුවරයාගේ මනසින් ගැටගහපු කල්පිතයක් පමණයි එහි තිබුණේ. ඒකයි පේරාදෙණි සාහිත්‍යට මනැස් තුන්ගේ සාහිත්‍යක් කීවේ. වික්‍රමසිංහ මේවාට ආදර්ශ සැපයුවේ ජපන් නවකතා කීව්වට ඒ වෙනකොට අපි ජපන් සාහිත්‍ය කියවලා තිබුණෙත් නෑ. ඇත්ත වශයෙන්ම පේරාදෙණි නවකතාවට පිටුබලය ලැබුණේ එවකට බටහිර යුරෝපයේ ප්‍රචලිතව පැවති ඩී.එච්. ලෝරන්ස්, ප්‍රාන්ස් කෆ්කා, ආන්ද්‍රේ ජීත්, ඇල්බෙයා කැමූ ආදීන්ගේ නවකතායි. එයින් පේනවා පේරාදෙණි සාහිත්‍ය කියන්නේ අනුකාරක සාහිත්‍යක් මිස කිසිම සමාජ දේශපාලන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මේ රටේ පසින් බිහිවෙච්ච සාහිත්‍යක් නොවන බව.

ඊළගට පසුකාලීනව හොඳ සාහිත්‍යක් බිහිවීමට අවශ්‍ය දේශපාලන සංවාදයක් බිහි නොවූයේ ඇයිද අහපු ප්‍රශ්නය ගැන කතා කරනවා නම් මගෙ හිතේ පසුගිය දශක එකහාමාරක දෙකක පමණ කාලය තුළ මේ රටේ තරමක් හෝ ව්‍යාප්ත වූ දේශපාලන සංවාදයක් තිබුණා. ජාතික සංවිධානවල ගිහි පැවිදි නායකයින් මේ සංවාදය රට පුරා ගෙන ගියා. දිවයින, විදුසර, කාලය සගරාව, ආදී වූ ප්‍රකාශන මාධ්‍ය තුළින් මේ දේශපාලන සංවාදය ජනතාව අතරට ගෙන ගියා. එයින් පැහැදිළිවම දේශපාලන ජයග්‍රහණ අප ලබා ගත්තත් සාහිත්‍ය ව්‍යාපාරයක් වර්ධනය කර ගැනීමට නොහැකි වුණා. අද නඩත්තු කරන එන්. ජී. ඕ. සාහිත්‍යට එරෙහිව තිබෙන්නේ මගේ සාහිත්‍ය විතරයි. ඒකනේ ඒ අය මගේ ඉස්සර සාහිත්‍ය හොදයි දැන් නරකයි කියන්නේ. මොකද මගේ නවකතා ඒ අයට ඒ අයගේම මුණ පේන කණ්ණාඩියක් වාගේ. විචාරය පැත්තෙන් සිංහලෙන් ලියන කෙනෙකුට ඉන්නේ සේන තෝරදෙනිය විතරයි. ඇත්ත වශයෙන්ම එතුමාට නවකතාවක් විචාරය කිරීමට අවශ්‍ය සමාජ දේශපාලන විඥානය තිබෙනවා. ඒ ඇරෙන්න මට පේන්නෙ නෑ වෙන කවුරුවත් එහෙම ලියනවා. අද ඒ අඩුව තිබෙනවා. මේක එක්කෙනෙක්ට දෙන්නෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

Q. පේරාදෙණි සාහිත්‍යයත් අද සාහිත්‍යයත් අතර වෙනස ඔබ දකින්නේ කෙසේද?

පේරාදෙණි සාහිත්‍ය අපේ සංස්කෘතියක පදනම හිතා මතාම බිඳ දැමීම අරමුණු කරගෙන ලියපු ඒවා නෙමෙයි. බටහිර නවකතාව අනුකරණය කරලා ලිව්වාට මොකද එහෙම අරමුණක් තිබුනේ නෑ. එහෙත් අද මේ විදූෂකයන් අතින් ලියවෙන ප්‍රලාප අපගේ සංස්කෘතික පදනම දෙදරවා හරිනු පිණිස හිතා මතාම ලියන ඒවා බව පේනවා. අද සාහිත්‍ය හා කලාව එන්.ජී.ඕ. සංස්කෘතියේ උපාංගයක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ධනවාදී විජාතික සංස්කෘතික ආක්‍රමණයට තියෙන එකම බාධාව තමයි ජාතිකත්වය. එනිසා අද සාහිත්‍යයේ එකම අරමුණ වී තිබෙන්නේ ජාතිකත්වය විනාශ කිරීමයි. එන්.ජී.ඕ. නඩ මගින් එවැනි නවකතා ඔසවා තැබීමට කරන ආවැඩිල්ලෙන්ම එය පැහැදිළියි.

Q.බොහෝ අය අහන දෙයක් තමයි අපි ලෝක සාහිත්‍ය ප්‍රවණතා අවශෝෂණය කරගන් නැතුව හැමදාම සිංහල නවකතාව යථාර්ථවාදී රීතියෙන් ලියවෙමින් එකතැන පල්විය යුතුද කියා. යථාර්ථවාදය යල් පැනගිය එකක් සේ සලකා සමහරු මායා ඉන්ද්‍රජාල ආදී විවිධ ශෛලීන්ට නැඹුරු වෙන බවත් පේනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

අද සිංහල නවකතාව විදූෂකයන් පිරිසක් අත නැටවෙන කෙළිබඩුවක් බවට පත් වෙලා. මේ අය අප හදුන්වන්නේ ලෝක සාහිත්‍ය ප්‍රවණතා ගැන නොදත් ළිං මැඩියන් විදිහට. එය සනාත කිරීමට ඉන්ටනෙට් එකෙන් බොත්තම ඔබලා අහුලා ගත් වචන කට්ටලයක්ද මේ දීන අනුකාරකයන්ට තියෙනවා. අධි යථාර්ථය, මාය යථාර්ථය, අර මැජික් මේ මැජික් වාගේ බහුභූත කතා කියලා කරන කටමැත දෙඩවීම් නිසා ආධුනිකයා නොමග යැවෙනවා.

යථාර්ථවාදය යල් පැනගිය එකක්ය කියන එකත් මේ විදුෂකයන් මොස්තරයට කියන තවත් එක් දුරුමතයක් පමණයි. නවකතාව යථාර්ථයෙන් වෙන් කරන්න බෑ. යථාර්ථය කියන්නේ නවකතාවේ නිජබිම. නවකතාව කියන්නේ යථාර්ථයේම තවත් එක් ව්‍යවහාරයක්. යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් යුතු හේතු ප්‍රත්‍ය නියාමය පදනම් කරගත් කතාවක් නම් ඒක නවකතාවක්. ඒ වගේම යම් කතාවක් කාල දේශ නිර්ණයෙන් තොර නම් හේතු ප්‍රත්‍ය නියාමය නොතකා තිබේ නම් එය නවකතාවක් වශයෙන් හැදින්විය නොහැකියි. එය උපමා කතාවක්, දෘෂ්ටාන්තයක්, නැත්නම් සංකේතාත්මක කල්පිතයක් විය හැකියි. යථාර්ථය සහ නවකතාව දෙකක් නොව එකක් වන්නේ එබැවින්.

ඉන්ද්‍රජාල යථාර්ථය, මායා යථාර්ථය, අධි යථාර්ථය ආදී මොන නම්වලින් හැදින්නුවත් ඒවා යථාර්ථවාදී රීතියේම ප්‍රභේද. මේවා යුරෝපීය හා යුරෝපීය නොවන බටහිර සංස්කෘතිය ඔස්සේ බිහිවූ සංකල්පය. ගාර්ෂියා මාකේස් අනුගමනය කරන ඉන්ද්‍රජාල යථාර්ථවාදය ලතින් ඇමෙරිකානු සංස්කෘතිය ඔස්සේ ආපු එකක්. ලතින් ඇමෙරිකානු ජනතාව දෙවියන්, යකුන්, භූතයන් ආදී විජ්ජා අදහන පිරිසක්. ඒ මයා ලෝකය ඔවුන්ගේ මනසේම කොටසක්. ඒක වත්මන් යුරෝපියන්ට ඉන්ද්‍රජාලයක් වුවත් ලතින් ඇමෙරිකානුවන්ට යථාර්ථයක්. අපටත් මෙවැනි සංස්කෘතියක පසුබිමක් තිබෙනවා. යකුන්, ප්‍රේතයන්, දෙවියන්, හොල්මන් කතන්දර, අනාවැකි නැකැත් මේවා සියල්ල අපේ සංස්කෘතියේ එන යථාර්ථයේම කොටස්. මගේ විල්තෙර, මරණය කෙටිකතා සංග්‍රහයෙත් තිබෙනවා එකපාර ජල රකුසෙක් මතුවෙන සිද්දියක්. එවැනි අභූත කොටස් සලකලා ඒවා ඉන්ද්‍රජාල රීතිය අනුව ලියවිලා තියෙනවා කියන්න බෑ. ඒවා සුද්දෙක්ට නම් ඉන්ද්‍රජාල කතන්දර විය හැකියි. එතකොට ඔවුන් හදුන්වන සංකල්ප අපි අවිචාරවත්ව වැළඳ ගන්න ඕනද? මාකේස්ම කියලා තියෙනවා මගේ නවකතා සම්පුර්ණ යථාර්ථවාදී නවකතා කියලා. ඒ වුණාට බටහිර සුද්දෙක් මොකක් හරි කිව්වම ඒක වැදපුදා ගෙන බාරගන්න ලෑස්තිවෙලා ඉන්න මෝඩයන්ටත් පිරිසක් මෙහේ ඉන්නවා.

සංවාදය
රත්තනදෙණියේ මේධානන්ද හිමි
2018. 01. 05 දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

10/15/2017

යුද අපරාධ චෝදනා කුමට ද? ව්‍යවස්‌ථා සංශෝධන මොකට ද?

කතෘ:යුතුකම     10/15/2017   No comments
-ගුණදාස අමරසේකර-නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකළ යුතුය යන උද්ඝෝෂණය ප්‍රධාන වශයෙන්ම මෙහෙයවන ලද්දේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනුයි. ව්‍යවස්‌ථාව වෙනස්‌ කරන අයුරින් ඡන්දය පාවිච්චි කරන ලෙස උන්වහන්සේ සිංහල ජනතාවගෙන් තොරතෝංචියක්‌ නැතිව ඉල්ලා සිටියේය.

එහෙත් සිංහල ජනතාව උන්වහන්සේගේ ආයාචනය පිළිගත්තේ ද? ජනතාව එය පිළිගත්තේ නම් ඒ සඳහා අවශ්‍ය බලය, නව ව්‍යවස්‌ථාවක්‌ ගෙනෙන බව කියූ එජාපයට දෙනු ඇත. එසේ නැත්නම් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන එන බව කී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට දෙනු ඇත. ජනතාව ඒ අවශ්‍ය බලය මේ පක්‌ෂ දෙකටම නුදුන් බව අපි දුටිමු. (පසු කලෙක මේ පක්‌ෂ දෙක පූට්‌ටු කරන ලද්දේ ව්‍යාජ බලයක්‌ පෙන්වනු සඳහායි)

මෙසේ නම් මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරනු ලබන්නේ කාගේ වුවමනාවට ද?

ඒ සඳහා අවසරයක්‌ නොමැති නම් ඒ සඳහා යොදාගනු ලබන්නේ කුමන ක්‍රමවේදයක්‌ ද?

මේ ප්‍රශ්න දෙකටම පිළිතුරු මේ අවසාන මොහොතේ හෝ අප ලබාගත යුතු වෙයි.

'2015 ඔක්‌තෝබර් 1 - 30/1' ජිනීවා යෝජනාව මඟින් අප විසින් ඉටුකළ යුතු කාර්ය හතරක්‌ ඉදිරිපත් කරන ලදී. ඒවා නම්,

1. විශේෂ උපදේශන මඬුල්ලක්‌ සහිත මානව අයිතිවාසිකම් කඩකිරීම් විනිශ්චය කරන නීතිමය ක්‍රියා පටිපාටියක්‌ ආරම්භ කිරීම.

2. සත්‍ය සොයන, යුක්‌තිය පසිඳලන, සංහිඳියාව සලසන කොමිසමක්‌ මේ රට තුළ ඇති කිරීම.

3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවන අතර අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර පනත පිළිගැනීම.

4. වන්දි ගෙවීමේ (යුද අපරාධ සඳහා) කාර්යාලයක්‌ පිහිටුවීම.

අපට ඉටුකිරීමට යෝජනා කර ඇති මේ කාර්ය හතර සියුම් ලෙස විශ්ලේෂණය කර බැලූ විට මා ඉහතින් දැක්‌වූ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබාගැනීම අපහසු නොවේ. කෙළින් නොකියා ඇති නමුදු මේ යෝජනාවලින් කරනු ලබන්නේ ඉහත කී කාර්ය ඉටුකිරීම සඳහා අවශ්‍ය වෙනස්‌කම් සහිත නව ව්‍යවස්‌ථාවක්‌ ඇතිකරගත යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය අවසරය මානව හිමිකම් උල්ලංඝන පරීක්‌ෂණය මඟින් ලබාගත හැක. විදෙස්‌ විනිසුරුවන් ගෙන්වීමට නම් නීති උපදේශකයන්ගේ සහාය ලබාගැනීමට නම්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය ස්‌ථාපිත කිරීමට නම් නව ව්‍යවස්‌ථා සම්පාදනයක්‌ අවශ්‍ය වෙයි.

ජිනීවා මානව හිමිකම් කොමිසම මඟින් සහ එහි සභාපති හුසේන් කුමරු විසින් සිය අභිමතාර්ථ සාධනය සඳහා මෙවැනි වක්‍රාකාර මඟක්‌ ගැනීම ගැන අප පුදුම විය යුතු නොවේ. මානව හිමිකම් කොමිසමට ව්‍යවස්‌ථාවක්‌ සාදනු සඳහා කිසිදු රටකට බලකළ නොහැකිය. එහෙත් සිය වපසරියට අයත් වන මානව හිමිකම් රැකීම මඟින් ඒ කාර්යය වක්‍රාකාරයෙන් ඉටුකරගත හැකි වෙයි. මෙහිදී සිදුවෙමින් පවතින්නේ එයයි.

2015 දී ඉදිරිපත් කරන ලද මේ යෝජනාවලිය මංගල සමරවීර ඇමැතිවරයා විසින් දොහොත් මුදුන් දී පිළිගත්තේ ඒවා අගය කරමිනුයි. ඒ ගැන අප පුදුම විය යුතු නොවේ. කුමන්ත්‍රණයක්‌ මඟින් තමන් පත්කරන ලද්දේ මේ කාර්යය - රට බෙදන ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා බව ජනාධිපතිත්, අගමැතිත් යන දෙදෙනාම දනිති. එබැවින් ඒ වගකීම ඔවුන්ට පැහැර හැරිය නොහැකිය.

2015 දී ඉහතින් දැක්‌වූ යෝජනා ගෙන එන ලද්දේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය සඳහා බව හුසේන් කුමරු විසින් 2016 ජුනි 16 දා කරන ලද ප්‍රකාශයෙන් තවදුරටත් සනාථ වෙයි. එය මෙවැනි වෙයි.

"නව ව්‍යවස්‌ථා සම්පාදනය සඳහා වැදගත් පියවර කිහිපයක්‌ ශ්‍රී ලංකා රජය ගෙන තිබේ. මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථා මඬුල්ලක්‌ බවට පත්කොට සියලු දෙනාම ඊට සහභාගි කරගෙන ඇත. නව ව්‍යවස්‌ථාවට ඇතුළු විය යුතු කරුණු දැනගනු සඳහා මහජන අදහස්‌ විමසන කමිටුවක්‌ (ලාල් විෙ-නායක කමිටුව) පත්කර තිබේ. 2016 දී මේ නව ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 දී එය ජනමත විචාරණයක්‌ වෙත ඉදිරිපත් කරනු ඇත. අපි මේවා බෙහෙවින් අගයමු".

"මානව හිමිකම් ආරක්‌ෂා කිරීමේ කෝණයෙන් බලන විට මේ නව ව්‍යවස්‌ථාව මඟින් පසුගිය කාලයේ සිදුවූ මානව අයිතිවාසිකම් කඩකිරීමට තුඩුදුන් ව්‍යවස්‌ථාමය දුර්වලතා නැතිකර එවැනි දේ යළි සිදු නොවීමට හැකිවන නව ව්‍යවස්‌ථාවක්‌ බිහිවනු ඇත".

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මානව හිමිකම් කඩ කිරීම් සොයා බලන ආයතනයක්‌ විනා රටවල්වල පාලනය හසුරුවන, රටවලට අවශ්‍ය ව්‍යවස්‌ථා පිළිබඳ උපදෙස්‌ දෙන, රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන ආයතනයක්‌ නොවේ. හුසේන් කුමාරයා ව්‍යවස්‌ථා සම්පාදනයට උපදෙස්‌ දෙන්නේ ඒ ගැන නොදැන නොවේ. මේ රජය තමන් පත්කර ඇති බැවින් එවැන්නක්‌ කිරීමට සාධාරණ අයිතියක්‌ ඇතැයි යන විශ්වාසයෙනි.

මේ කරුණු නව ව්‍යවස්‌ථාවක්‌ සැදීමට බල කිරීම සඳහා මානව හිමිකම් කඩකිරීම යොදාගෙන ඇති අයුරු දක්‌වන අගනා ලිපියක්‌ ශමින්ද්‍ර µර්ඩිනැන්ඩෝ මහතා විසින් අයිලන්ඩ් පුවත්පතට (27/09) සපයා තිබේ. එහිදී ඔහු ඉතා අගනා නිරීක්‌ෂණයක්‌ එළිදක්‌වා තිබේ. එය මෙවැනි වෙයි,

"යුද අපරාධ මානව හිමිකම් කඩකිරීම් ඔප්පු කිරීමට පළමු, ඊට පිළියම් වශයෙන් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ යෝජනා කිරීම මඟින් මානව හිමිකම් කොමිසම කරන්නේ ප්‍රභාකරන්ට ත්‍රස්‌තවාදයෙන් ඉටුකරගත නොහැකි වූ දේ ඉටුකර දීමයි" මීට තවත් වාක්‍යයක්‌ ද එකතු කළ හැකියි. මහින්ද රාජපක්‌ෂ බලයෙන් පහකරන ලද්දේ අන් කිසිවක්‌ සඳහා නොව නව ව්‍යවස්‌ථාවක්‌ මඟින් රට බෙදා ඊළමයක්‌ පිහිටුවනු සඳහායි.

මානව හිමිකම් කොමිසම යුද අපරාධ චෝදනා මඟින් මේ රජය බිය කර නව ව්‍යවස්‌ථාවක්‌ බිහිකිරීමට සලස්‌වා ඇත්තේ යම් සේද අගමැති රනිල් වික්‍රමසිංහ සිය කොමිටි මඟින් එපරිදිම සිංහල ජනතාව බිය කර එමඟින් නව ව්‍යවස්‌ථාව අනුමත කර ගැනීමට කටයුතු කරනු පෙනේ. මෙහිදී රනිල් වික්‍රමසිංහ අනුගමනය කරන කූට උපක්‍රමය අප දැනගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ මහතා ලාල් විෙ-නායක කොමිටිය, චන්ද්‍රිකා මෙහෙයවන කොමිටිය, කොමිටි හය ආදිය පත්කරන ලද්දේ ඒවා ගෙන එන අභූත අධම යෝජනා පිළිගැනීම සඳහා නොව ඒවා ජනතාව අතරට යවනු සඳහායි. ඒවා අසන දකින සිංහල මිනිසා විපිළිසරව බයෙන් තැතිගන්නා බව ඔහු දනී. ඔහු ගෙන ඒමට බලාපොරොත්තු වන 13 සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය ලබාගනු සඳහා බියෙන් වෙළුනු මානසික තත්ත්වයක්‌ අවශ්‍ය වෙයි. රට - ජාතිය - ආගම නැතිවී යනු ඇතැයි යන බියෙන් වෙළුනු සිංහල මිනිසා 13 භාරගනු ඇත්තේ සැනසුම් සුසුමක්‌ හෙළමින් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දනී.

රනිල් වික්‍රමසිංහයන් දියත් කර ඇති මේ කූට උපාය ක්‍රියාවට නඟනු ඇත්තේ එතුමා විසින් නොව සිරිසේන ජනාධිපතිතුමා විසිනුයි.

තව ටික දිනකින් එය සිදු වන හැටි දැකගත හැකි වනු ඇතැයි මම සිතමි.

ටැලිවිෂන් කැමරා ඉදිරියට එන ජනාධිපතිතුමා සිංහ ස්‌වරයෙන් මෙසේ පවසනු ඇත,

"ඔය එක එක කොමිටිවල ඇන්. ජී. ඕ. කාරයෝ ගෙන ඇවිත් තියෙන රට බෙදන යෝජනා මම වීසි කරනවා. මම කරන්නේ එකම එක දෙයයි. 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමයි. මහින්ද රාජපක්‌ෂ කියපු 13 + මම දෙන්නේ නැහැ. මම කරන්නේ 13 ක්‍රියාත්මක කිරීම පමණයි".

එය අසා බිය තුරන්ව ගිය සිංහල ජනයා ඔල්වරසන් දෙනු ඇත.

එපමණක්‌ නොවේ, එය අසන බටහිරයන්, ඉන්දියාව, ඩයස්‌පෝරාව, ටී. එන්. ඒ. පක්‌ෂය. ඇන්. ජී. ඕ. නඩය ද සිය ප්‍රීතිය සඟවා ගනිමින් සම්පූර්ණයෙන් බලාත්මක කළ 13 පිළිගැනීමට සැරසෙනු ඇත. ෆෙඩරල් රාජ්‍යයකට මඟ පාදන මේ භාග්‍යය මෙතරම් ලෙහෙසියෙන් අත්කර දීම ගැන ඔවුන් හුසේන් කුමරු ඇතුළු බටහිර බලවතුන්ට ස්‌තුති ප්‍රශංසා කරනු ඇත.

හුසේන් කුමරු හමුවී පැමිණ ඇති සිරිසේන ජනාධිපතිතුමා මින් පසු අපේ රණවිරුවන්ට අත නොතබන බවත් කිසිදු පීඩාවක්‌ අත්නොවන බවත් පවසා සිටිනු මම දුටිමි. ජනාධිපතිතුමා කීවේ සම්පූර්ණ ඇත්තකි. ඔවුන්ගේ අභිලාෂය ඉටුකළේ නම්, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්‌ථාව ලබාදෙන්නේ නම් ඔවුන් තවදුරටත් රණවිරුවන්ගේ ඇඟට අත තියන්නේ කුමකටද? රණවිරුවන්ගේ ඇඟට අත නොතබනු පමණක්‌ නොව තව ටික දිනකින් යුද අපරාධ චෝදනා ද ඔවුන් හකුළා ගනු ඇත. ·

13 සම්පූර්ණයෙන් ක්‍රියාවට නැඟීම හානිකර නොවේය යන මතය සිංහලයාට ඒත්තු ගැන්වීමට කටයුතු කරන්නේ රනිල් - සිරිසේන රජය පමණක්‌ නොවේ. මේ රජයට විරුද්ධ යෑයි හඬ නඟා පවසන එමෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයට උපදෙස්‌ දෙන කපටි ආරක්‌ෂකයන් ද ඒ මතය අපේ මනසට කාවැද්දීමට ඉමහත් ප්‍රයත්නයක්‌ මේ දිනවල ගන්නා බව පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ පළාත් ඒකකයට අඩු ඒකකයක්‌ - දිස්‌ත්‍රික්‌කය වැනි ඒකකයක්‌ භාරගැනීමට උතුරේ දෙමළ ජනයා හෝ අසල්වැසි ඉන්දියාව හෝ සූදානම් නැති බවයි. මේ යථාර්ථයට පිටුපා කටයුතු කළහොත් යළි ත්‍රස්‌තවාදයක්‌ හිස එසවිය හැකි බවත් ඔවුන්ගේ තර්කය වෙයි. ඒ තර්කය තුළම එහි නිෂේධය ඇති නොවේද? වෙන්වීමට බලා ඉන්න උතුරේ ජනයා 13 පිළිගනු ලබන්නේ ඒ තුළ වෙන්වීමේ ශක්‌තිය ඇති නිසා නොවේද?

ත්‍රස්‌තවාදය විනාශ කළ මහින්ද රාජපක්‌ෂ 13 ඉවතලීමෙන් එදා වළක්‌වා සිටින ලද්දේ මේ කපටි ආරක්‌ෂකයන් විසිනුයි. මෙවැනිම තර්ක ඉදිරිපත් කිරීම මඟිනුයි. එදා මහින්දට කළ දේ මෙදා ඊළඟ ජනාධිපති අපේක්‌ෂක ලෙස සලකන ගෝඨාභයටත් කිරීමට ද මොවුන් තැත් කරන්නේ? මේ කපටි ආරක්‌ෂකයන් කරන්නේ සිය ස්‌වාමිවරුන්ගේ අපේක්‌ෂා ඉටුකිරීමද?

මේ ප්‍රශ්නය සුලභ ඒකාබද්ධ විපක්‌ෂය අනුගමනය කරන ක්‍රියාකලාපය පිළිබඳව ද යමක්‌ පැවසීම වැදගත් යෑයි සිතමි.

අද සිංහල ජනයා නිහඬව කරකියාගත නොහැකිව අසරණව සිටින්නේ තමා මුහුණදෙන මේ වින්නැහිය මේ මහා ෙ€දවාචකය ගැන ඔවුන් නොදන්නා නිසා නොවේ. ඔවුන්ගේ සිත්තුළ ඇති වේදනාව, විරෝධය පිටකර ගැනීමට මඟක්‌ නොමැති නිසායි. මේ තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ ඒකාබද්ධ විපක්‌ෂයයි. ඔවුන් යු.එන්.පී. මල්වඩමට අත ගැසුවේ ඉන් අත්වන ප්‍රතිඵලය නොදැනද? මහින්ද රාජපක්‌ෂ පරාජය කරන ලද්දේ මේ ව්‍යවස්‌ථාව ගෙන ඒම සඳහා බව ඔවුන් නොදන්නේද? ඔවුන්ගේ මේ මුනිවත, මේ ක්‍රියාකලාපය 'ඩීල් එකක්‌' වශයෙන් ජනයා දකී නම් ඔවුනට දොස්‌ පැවරිය හැකි නොවේ.

13 පාර්ලිමේන්තුවට ගෙන ආ විට ඊට විරුද්ධව ඡන්දය දී මේ පාපකර්මයෙන් මිදී සුදනන් ලෙස ජනයා අතරට යා හැකි යෑයි ඒකාබද්ධ විපක්‌ෂය කල්පනා කළහොත් එය අතිශය මුළාවකි. ජනතා අධිකරණය ඔවුන් ද රනිල් වික්‍රමසිංහ ලෙසට චූදිතයන් ලෙස සලකනු ඇත. ඔවුන්ට සමාවක්‌ නොදෙනු ඇත.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

9/20/2016

දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි? - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ

කතෘ:යුතුකම     9/20/2016   No comments


අරසේකරයන්ගේ "සභ්‍යත්ව රාජ්‍යයක් කරා" කෘතිය එළිදැක්වූ අවස්ථාවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ විසින් පැවැත්වූ අනුශාසනාව.

* අමරසේකර මහත්මය තුන්කල් දුටුව දේශප්‍රේමී බුද්ධිමතෙක්.
* සභ්‍යත්ව රාජ්‍යයක් කරා යාමට ප්‍රධාන පක්ෂ දෙක කටයුතු කළ යුතුයි. ගිහි-පැවිදි දෙපක්ෂය.
*දේවාලයේ දෙවියන්ව වැස්සට විසි කළේ ඇයි?
*දේශපාලන නායකත්වයක් තිබුනත් අපිට ජාතික නායකත්වයක් නෑ.
* ඉවරයක් නෑ සංවිධාන හැදිල්ලේ. අපි ඔක්කොම එකට එකතු වෙමු. මහ දැවැන්ත ජාතික බලවේගයක් ගොඩනගමු.
* අපි හැම දේශපාලන පක්ෂයකම නායකයන් හමුවෙලා කියමු.
* ලොකු පුරප්පාඩුවක් තියෙනවා. ඒක පුරවන්න..


යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/19/2016

නැවත 56 ක් නිර්මාණයට සාහිත්‍යකරුවාගේ වගකීම...

කතෘ:යුතුකම     4/19/2016   No comments
කාලීන වැදගත්කමකින් යුත් 'කැප්පෙටිපොළ' නවකතාව
-ගුණදාස අමරසේකර -
මොනරවිල කැප්පෙටිපොළ වීරයාගේ චරිතය මුල් කරගෙන ලියා ඇති මේ නිබන්ධය මේ මොහොතේ පහළ විය යුතුව තිබුණු අතිශය වැදගත් නිර්මාණයක්‌ ලෙස මම දකිමි. ඒ වැදගත් ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉදිරිපත් වූ කතුවරයාට (කමල් පී. අලහකෝන්) අපගේ ප්‍රණාමය හිමි විය යුතු වෙයි. මා මේ කෘතිය මේ වෙලෙහි ජාතික මෙහෙවරක්‌ ඉටු කරන නිර්මාණයක්‌ ලෙස හඳුන්වනු ලබන්නේ කුමක්‌ නිසාද? එය අවබෝධ කර ගැනීම මේ කෘතිය ඇගයීමේදී අනිවාර්ය වෙයි.

ගිය සියවස ආරම්භයේදී අනගාරික ධර්මපාලතුමා විසින් අවදි කරන ලද ජාතිකානුරාගය, ජාතික විඥනය දශක දෙකක්‌ ඉක්‌ම යත්ම නිෙද්‍රපගත විය. ඊට හේතුව වූයේ ඒ ජාතික අරගලය විජාතික මනසකින් යුත් පිරිසක්‌ අතට පත්ව එය විජාතිකයාට අවශ්‍ය ලෙස හැසිරවීමට හැකි වීමයි. 1948 දී අපට "නිදහස" හිමි කර දුන්නේ එවැනි පිරිසක්‌ විසිනි. එහෙත් ධර්මපාලතුමා විසින් අවදි කළ තාවකාලිකව යටපත්ව තිබුණු ජාතික බලවේග හමුවේ ඒ විජාතික පිරිසට සිය ආධිපත්‍යය වැඩි කලක්‌ රැක ගැනීමට නොහැකි විය. 56 පමණ වන විට ඒ ජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව ලැබිණි. බණ්‌ඩාරනායක මහතා 56 දී බලයට පත් කරන ලද්දේ ඒ බලවේග විසිනි. එදා සිට 77 දක්‌වා විවිධ පසුබෑම් හමුවේ වැටෙමින්, නැගිටිමින් ඉදිරියට ගිය ඒ ජාතික අරගලය සහමුලින්ම පාහේ විනාශ කරන ලද්දේ 77 දී බලයට පැමිණි ඡේ. ආර්. ජයවර්ධන විසිනුයි. ඒ හා සමඟ යළි අර විජාතික බලවේගවලට හිස එසවීමේ අවස්‌ථාව උදා විය. එදා හිස එස වූ විජාතික බලවේග අද වන තුරු පෙර මෙන් ම ක්‍රියාත්මක වෙමින් පවතී. 2009 දී ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය විනාශ කිරීමට අප සමත් වුවද ඒ ත්‍රස්‌තවාදය පිටුපසින් ඒ විජාතික දේශපාලන බලවේග විනාශ කිරීමට අපි සමත් වී නැත්තෙමු. ඒවා යළි පණගැන්වී අප විනාශ කිරීමට තැත් කරන අයුරු පසුගියදා පැවැති ජිනීවා සමුළුව මගින් අපට දැක ගැනීමට හැකි විය. එහි දී අප යළිත් යටත් විජිතයක්‌ බවට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග ඇමෙරිකාව ප්‍රධාන අධිරාජ්‍යවාදීන් විසින් දියත් කරන ලදී. 1815 මාර්තු 02 දා අප යටත් කර ගත් බටහිර බලවේග 2012 මාර්තු 22 දා යළි ඒ ක්‍රියා මාර්ගය වෙත එළඹ ඇති බව අප විසින් වටහා ගත යුතු වේ. මේ ක්‍රියාමාර්ගය වළක්‌වා ගත හැක්‌කේ කෙසේද? මේ භයානක ඉරණමෙන් ගැලවිය හැක්‌කේ කෙසේද?

මේ සඳහා ඇති එකම මාර්ගය නම් යළි මෙරට බලවේග පණගන්වා 56 දී සිදු කළ ජාතික අරගලයට වඩා ප්‍රබල ජාතික අරගලයක්‌ වෙත යැමයි. එවැන්නකින් තොරව අපට මේ ඉරණමෙන් මිදිය හැකි නොවේ.

එවැන්නක්‌ සඳහා අවශ්‍ය ප්‍රධාන ම ක්‍රියාව නම් 77 න් පසු විජිතික කරණයට ලක්‌ ව ඇති මොළ සෝදන ලද අපගේ තරුණ පරපුර ඒ තත්ත්වයෙන් මුදා ගැනීමයි.

ඒ සඳහා අති විශාල චින්තන විප්ලවයක්‌ සිදු කළ යුතු බව කිව මනා නොවේ. අද මෙරට ඇති පරිසරය, මාධ්‍ය, පුවත්පත්, විද්යුත් මාධ්‍ය, සාහිත්‍ය, කලා ශිල්ප පමණක්‌ නොව දේශපාලකයන් විසින් ප්‍රදර්ශනය කරන ලද ව්‍යාජ ජාතිකත්වය ද ඒ සඳහා ඇති ප්‍රධාන ම බාධකය වෙයි.

මේ සඳහා නිවැරැදි ජාතික දර්ශනයකින් යුතු සාහිත්‍යයක්‌ බිහි කර ගැනීම අනිවාර්ය වේ. මේ සඳහා යොදා ගත හැකි ප්‍රබල ම අවිය සාහිත්‍යයයි. ප්‍රබන්ධ සාහිත්‍යයයි. කැප්පෙටිපොළ වීරයා මුල් කර ගෙන ලියා ඇති මේ ප්‍රබන්ධයෙන් කරනු ලබන්නේ ඒ වැදගත් කාර්යයි.

ඒ කාර්යය කතුවරයා විසින් ඉතා සාර්ථක ලෙස ඉටු කර තිබේ. මේ පොත කියවා අවසන් කරන තරුණයා පොත කියවීමට පෙර සිටි තරුණයා නොව අලුත් තරුණයකු බවට පත් වනු නියතය. කොතරම් වැඩපල අතරෙහි වුවද මේ නිබන්ධය නොකියවා පසෙක තැබීමට මම අසමත් වීමි.

[2013 වසරේ ලිපියකි]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/11/2015

86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය

කතෘ:යුතුකම     11/11/2015   No comments
(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)

ඔබගෙන් පසු පරපුරකදි
ඔබ විඳි සරතැසම විඳින
මගෙ දිවියට නිරතුරුවම
පහන් ටැඹක් වූවා ඔබ

නිතියෙන් මා හද වෙලනා
දහසක් පීඩා අතරේ
රටට දැයට ඇති බැති පෙම
ඔබෙන් උගත් සිරිතකි මා

අප විසු නිවසේ පෙර කල
සාලෙ මැද්දෙ තිබුනේ නෑ
තේජස්වී රූපය එම
ධර්මපාල උතුමන්ගේ

මගෙ දිවි මඟ වෙනස් කලේ
යටලමත්තෙ ගුරු නිවෙසක
බිත්තියෙ එල්ලලා තිබුනු
ධර්මපාල තුමා ගෙ රුව

සියැසින්  දුටු දමිපල් විරු
වෙද මහතා එනිවස වැසි
දමිපල් සිරිතෙන් ගෙන පැන්
පෙවීය මියැදෙන ගමකට

පෝස්වත්තෙ කංකානම
සමරසිංහ වෙද මහතා
බාල මහත්තයට මෙන් ම
ඔබට උරුම විය එම නැණ

ජාතියකට උරුම වෙචිච
ඇති බව චින්තනයක් හුරු
දැයට කියා දී දින දින
වෙනස් කලා දැයේ ගමන

නොපැතූ නොසිතූ මොහොතක
බිඳුනිය දමිපල් පිළිරුව
එකසිය පනහේ සැමරුම
නිමාවෙන්නටත් ඉස්සර

කළු සුද්දන් යළි රජවිය
රට සුද්දන් මනදොළ ලෙස
රණ විරුවන් දංගෙඩියට
දී කොටියන් හට නිදහස


අබුද්දස්ස කල එනකොට
ලබුත් තිත්ත වෙනවලූ නෙව
මොනවා කරමුද අපි දැන්
කාට කියමි මෙි අවනඩු

අසූ හය වසක් සපුරණ
වයස නොයන පැන නැණ කඳ
ඔබගෙන් අසනවා මිසක
වෙන කාගෙන් අහමුද අපි

සමරසිංහ වෙද මහතා
වැනි උදාර මනුස්සයින්
බාල මහත්තයා වගේ
මවුහත් ගුණයෙන් සපිරුණු

මිනිසුන් අදටත් ඉන්නව
පසල් දනවු වල මෙි රට
උදාර කුල සිරිත් රකින
බඩට නෙවෙි රටට කරණ

එකතු කරමු එ් හැමෝම
කුළු ගන්වමු දෑ නිදහස
ධර්මපාල චින්තනයට
යළි පන දෙමු හෙට දවසෙදි

කළු සුද්දන් රට සුද්දන්
උන්ගෙ ඉඳුල් බුදින එවුන්
එක රැුහැනට ගෙන පන්නා
යළි පන ගන්වමු මෙි රට

අසූ හය වසක් වුනාට
ඔබ තරුණයි අපට වැඩිය
බුදුන් වඳින දෝතින් වැඳ
ඔබට සුභාසිරි පතනෙමි

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
2015 ඉල් මස 12 දින

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබත් යුතුකම ෆේස්බුක්  පිටුව සමග එකතුවන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama


https://www.facebook.com/yuthukama

10/11/2015

මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩනැගීම සාහිත්‍යකරුවාගේ යුතුකමයි...

කතෘ:යුතුකම     10/11/2015   No comments
අපිට හිටපු අන්තිම කවියා තමයි අලගියවන්න මුකවෙටිතුමා

- සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

ඔබ මොනවද මේ දිනවල වැඩියෙන් කතාබහ කරන්නේ?

නිරන්තරයෙන්ම කතා කරන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයම තමයි. ‍පොඩි වෙනසකටත් එක්ක ටික කාලයකට කලින් නවකතාවක් ලියන්න පටන් ගත්තා. භාගයක් ලිව්වා. ඇති වුණු කලකිරීම නිසා ඒක ලියන එක නතර කළා.


ලියමින් යන නවකතාවක් නතර කරන්න තරම් ඔබ පෙළෙන කලකිරීම මොකද්ද?

මේ රටේ පවතින තත්ත්වය. නවකතාවක් ලියන්න කලින් සිංහල භාෂාවක් තියෙන්න ඕනෑ. සිංහල භාෂාව තියෙන්න නම් සිංහල ජාතිය තියෙන්න ඕනෑ. ඒත් උදාවෙලා තියෙන්නේ සිංහල ජාතියේ අවසානය.

සිංහල ජාතියේ අවසානය උදා වෙලා කියලා ඔබට හිතෙන්නේ ඇයි?

සිද්ධවෙන දේ දිහා බැලුවාම අවසන් වශයෙන් අන්තර්ජාතික, විජාතික කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. ඔවුන්ගේ අරමුණ රට බෙදීම සහ ජාතික බලවේගය නැති කරලා සිංහල ජාතිය අඩපණ කිරීම.

එවන් වටපිටාවක ඔබ වැන්නන් කරන කාර්යයන් පවා අතරමග නරත කිරීම සාධාරණද?

කරන කාර්යයන් අතරමග නතර කරන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මේක යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා සටනක් කියලා. මේක එහෙම එකක් ‍නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධ සටනක්. පහුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලිව පෙනෙන දේ තමයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ රට තිප්‍පොළක් කරගන්න වුවමනායි කියන එක. ඒක මානව හිමිකම් ප්‍රශ්නයක් ‍නෙවෙයි. බරපතළ භූ දේශපාලනික ගැටලුවක්. චීනය සමග පැවැත්වූ සමීප සබඳතාවන් නිසා ආධිපත්‍යය බිඳ වැටේවි කියන භීතිකාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තිබුණා. මේක විජාතික ප්‍රශ්නයක්. ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුවක්.

මේ කාරණයේදී රටේ සාහිත්‍යකරුවන් සතු වෙන්නේ කවරාකාරයේ වගකීමක්ද?

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. බුද්ධිමතුන් විදියට මෙය කළ යුතුයි. තරුණ පරම්පරාවට මේක තේරෙන්නේම නෑ. බටහිරයන්ට වුවමනා වුණේ රටේ ජාතික බලවේගය වන සිංහල බෞද්ධයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිය විනාශ කිරීම. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තමයි අපේ වගකීම. අද අපට අවශ්‍ය සාහිත්‍යකරණයට වඩා බුද්ධිමතාගේ කාර්යය. එයට සාහිත්‍යයට වඩා සෘජු ඇමතුම් මාධ්‍යයක් තිබිය යුතුයි. මහජනතාව අමතන බුද්ධිමතුන් බවට පත්විය යුතුයි.

සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතාබහ වෙන මාසය බවට පත්වෙලා තියෙන්නේ සැප්තැම්බරය. අද සැප්තැම්බරය ගැන ඔබේ අදහස මොකද්ද?

මේ සාහිත්‍ය මාසය මම නම් එදා ඉඳලාම තුට්ටුවකට මායිම් කළේ නෑ. මේක සාහිත්‍ය මාසයක් ‍නෙවෙයි, වාණිජ මාසයක්. සාහිත්‍යය කොහොමද මාසෙකට සීමා කරන්නේ? මේක ප්‍රකාශකයන් හා වෙළෙන්ඳන් තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගන්න කරන්නා වූ ව්‍යාපෘතියක්. මිනිස්සු ජීවිත කාලයම කියවන්න ඕනෑ. සැප්තැම්බරයට විතරක් ‍නෙවෙයි. මේකෙන් සාහිත්‍යය තියා කිසිම දේකට වැදගත් යමක් ඉටු වෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට නම් හොඳයි.

අද සාහිත්‍යය බුද්ධිය අමතනවාට වඩා විනෝදාස්වාදය සපයන්නක් වෙලා. මේක බටහිර ලෝකය පුරාම වෙලා තියෙන දෙයක්. පශ්චාත් ධනවාදී බටහිර සමාජය තුළ සියලුම සංස්කෘතිකාංග තාවකාලික, එදිනෙදා විනෝදය සපයන මාධ්‍ය වෙලා. ‍පොත් ප්‍රකාශනය මහා පරිමාණ කර්මාන්තයක්. අන්තර්ගතය, පරමාර්ථය සරල රසාස්වාදය හා විනෝදය මිස බුද්ධියට ඇමතීම හෝ චින්තනය අවදි කිරීම ‍නෙවෙයි. එදා මාක්ස් කිව්වේ ආගම අබිං කියලා. හැබැයි අද වෙද්දී මුළු සංස්කෘතියම ජනතාව මත් කරන අබිං බවට පත්වෙලා අවසන්. අපේ රටේ තත්ත්වයත් ඒකමයි. එදා අපේ රටේ සිය ගණන් ‍පොත් බිහිවුණේ නෑ. බොහොම අල්පයයි. ඒවා කළෙත් බොහොම දැන උගත් බුද්ධිමත් පිරිසක්. අද ‍පොත් සිය දහස් ගණන් පිටවෙනවා. අන්තර්ගතයන් අන්තිම පහත්. කරන්නේ ඉතා පහත් රුචිකත්වයකට ආමන්ත්‍රණය කිරීම. බුද්ධිය අමතන තාර්කනය අවධි කරන දෙයක් පේන්න නෑ.

එහෙත් නව පරම්පරාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් පවා පහුගිය කාලයේ රාජ්‍ය සම්මානයන්ටත් පාත්‍ර වුණා..?

ඔය සම්මාන තුට්ටුවකටවත් වටින දේවල් ‍නෙවෙයිනේ. පහුගිය කා‍ලේ සම්මාන දුන්නු පත‍පොත දැක්කනේ. ඒක එතැනින්ම ඉවරයි. සම්මානය හම්බවුණා, එච්චරයි. ඉන් එහා පැවැත්මක් නෑනේ. එදා මාර්ටින් වික්‍රමසිංහ ‍පොතක් ලිව්වා නම් ඒක අදටත් සාකච්ඡා වෙනවා. ඒ හරවත් දේවල් ලිව්ව නිසා.

ඒ කියන්නේ අද ලියන පරම්පරාවට ඔය කියන හරවත් දේ ස්පර්ශ වෙන්නේ නැද්ද..?

රටක උසස් සාහිත්‍යය කියලා කියන්නේ විනෝදාස්වාදයට ලියන දේවල් ‍නෙවෙයි. සාහිත්‍යය කියන්නේ උත්තර දේශපාලන සංවාදයට. ඒක මේ යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා දේශපාලනය ‍නෙවෙයි. රටක සාහිත්‍ය කියන්නේ දේශපාලන සත්වයෙක් වුණු මිනිසාගේ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයට. ලෝකයේ බිහිවුණු උසස්ම සාහිත්‍ය ධාරාවක් තමයි රුසියන් සාහිත්‍යය. විචාරකයන්ට අනුව ලෝකයේ සාහිත්‍ය යුග තුනයි. ග්‍රීක, ශේක්ෂ්පියර් සහ ශ්‍රේෂ්ඨ රුසියන් නවකතාව තමයි ඒ. එදා රුසියන් නවකතාව බිහිවුණේ එදා තිබුණු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය විදියට. ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය අදටත් අපේ උසස්ම නවකතා. ඒවා බිහිවුණේ ඕපපාතිකව ‍නෙවෙයි. ඒ කාලයේ මේ රටේ නිර්මාණය වෙලා තිබුණු බුද්ධිමය කතිකාවේ ප්‍රතිඵලයක් විදියට. එදා තිබුණා මාක්ස්වාදී සංවාදයක්. අනෙක් පැත්තෙන් ජාතික සංවාදයක් තිබුණා. මේ ප්‍රධාන සංවාද දෙක උඩ තමයි ඒ සාහිත්‍යය බිහිවුණේ. අද එහෙම දෙයක් නැති නිසා එවන් නිර්මාණත් නෑ. දේශපාලනය කියන්නේ බල ලෝභය පිණිස කරන්නාවූ අරගලයක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන රටක්.

මේ සඳහා නිර්මාණකරුවන්ට ප්‍රතිරෝධයක් ගොඩනගන්න බැරිද..?

බාගෙට බාගයක් නිර්මාණකාරයොත් එතැන ඉන්දෙද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ? එන්.ජී.ඕ. නඩය තමයි ඕකට ‍පොහොර දාන්නේ. ඔවුන් කරන්නේ ඒ මැදිහත්වීම වළකන එක. විශාල සංස්කෘතික ආක්‍රමණයක්. දේශපාලන ආර්ථිකය සනාථ කරන්න සංස්කෘතික ආක්‍රමණය අත්‍යවශ්‍යයි. ඒක ඉතා බරපතළ විදියට බලපාන්නේ චින්තනයට. යථාර්ථය සම්පූර්ණයෙන්ම වසං කරලා වෙනත් දෙයක් මවා පාන එක. භාෂාව අච්චාරු කළාම ඒක තවත් පහසු වෙනවා. සාහිත්‍යයේ දැන් ඒ දේවල් දකින්න පුළුවන්.

තත්ත්වය ඒක නම් ඔබ විසින්ම මතු කළ හද බසට මොකද වෙන්නේ..?

හද බස ගැන මම මුලින්ම කතා කළේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ. කවි බස කියන්නේ ජනතාවගේ හද බසට. මේ හද බස අපි තාම මතු කර ගත්තේ නෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැමිණි අපේ කවි බස මතු කර ගත්තේ නෑ. ජාතියක් වශයෙන් අපි හදවතින් මිය ගිහින්ද කියන ගැටලුව එන්නේ මේ නිසා. ජනතාවට හදවතින් කතා කරන්න බැරි හදවතක් නැති නිසා. රටේ හර පද්ධතිය, ආකල්ප, සදාචාරාත්මක පැවතුම් දිහා බැලුවාම හදවතක් නැති ජාතියක් කියන එක පැහැදිලියි. අපරාධ දිහා බැලුවාම ඇත්තටම අපට හදවතක් තියෙනවද කියලා හිතෙනවා.

නව පරම්පරාවේ කතාබහට ලක්වුණු කවි කිවිඳියන් කිහිප දෙනාටවත් මේ දේ ස්පර්ශ වෙලා නැද්ද..?

නව පරම්පරාවේ කවියෝ කියලා කවුරුවත් ඉන්න බවක්, ඉස්මතු වූ බවක් මට නම් පේන්න නෑ. දැනෙන්න ලියන අය නෑ. හදබස කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිර්මාණය වූ අපේ කවියට තියෙන භාෂාව තමයි හද බස. මම දකින විදියට අපිට හිටිය අන්තිම කවියා අලගියවන්න මුකවෙටිතුමා. ඉන් පස්සේ ඒ වියත් කාව්‍ය සම්ප්‍රදාය අපෙන් ගිලිහුණා. අතුරු ඉත්තක් ජනකවි විදියට ආවා. හොඳ කවි බසක් හදා ගන්න අපේ ඒ කවිය නවීකරණය කරන්න ඕනෑ. ඒකට සමත් කිසිකෙනෙක් නෑ. හිටියනම් ඒ මුනිදාස කුමාරතුංග විතරයි. ඔහුගේ 'පියසමර' තමයි පහුගිය කාලයේ බිහිවුණු වැදගත්ම කාව්‍යය. අපේ කවිබස වර්තමානයට අනුව හැඩගස්වා ගන්නේ කොහොමද කියන එකට, කවිබස සම්බන්ධ හොඳම අත්හදා බැලීම ඒක. වර්තමාන පිරිස එයින් ප්‍රයෝජනය ගන්න බවක් පේන්නේ නෑ. පසුකාලීනව මහගම සේකර ගැන ලොකුවට කතා කරනවා. හැබැයි ඔහු හොඳ ගීත කිහිපයක් රචනා කළා හැර ඔහුගේ කවිවල ගතයුත්තක් මම දකින්නේ නෑ. 'ප්‍රබුද්ධ' වුණත් කවියක් ‍නෙවෙයිනේ.

හදබස යළි සැකසීම කරන්නම බැරිද?

කරන්න කිසිම දෙයක් නෑ, මේ වෙනුවෙන් කැපවුණු, අවබෝධ කරගත් නිර්මාණ පරපුරක් බිහිවෙන්න ඕනෑ. අභාග්‍යයකට එවන් පරපුරක් පේනතෙක් මානෙකවත් නෑ. ඉන්නේ බොහොම අනුකාරකවාදී පරපුරක්. ඔවුන්ගේ බිහිවීම ගැන පුදුම විය යුතු නෑ. පහුගිය දශක දෙක තුනේ අධ්‍යාපනය, මාධ්‍ය, ෆේස්බුක් ආදිය තුළින් වෙන්නේ අපේ උරුමය වෙත යන ගමනට මග අහුරන එක. තාක්ෂණය උපයෝගී කර ගන්න ඕනෑ අපේ උරුමය, සංස්කෘතිය රැකගන්න, ඉදිරියට ගෙන යන්න මිස විනාශ කරන්න ‍නෙවෙයි. අන්තර්ජාලය, ෆේස්බුක් හරහා කරන්නේ මේ සියල්ල විනාශ කරන එක. අද පත්තරවල මොනවද බලන්න තියෙන්නේ? මම අද එක සිංහල පත්තරයක්වත් බලන්නේ නෑ. රුපියල් හැටකට පාන් රාත්තලක් ගත්තොත් දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඒත් අද පත්තරවල මොනවද තියෙන්නේ? හරවත් කිසිම දෙයක් නෑ.

විශ්‍ලේෂණ නෑ. සාහිත්‍යය, දේශපාලනය ගැන ගැඹුරු කතිතාවක් නෑ. දේශපාලකයන් ගැන ඕපාදූප ආදිය විතරයි.

සාහිත්‍යය ගැන කතා කරන්න කලින් මේ රටේ බුද්ධිමත් සමාජයක් හදන්න ඕනෑ. ඒ ශක්‍යතාව අපට තියෙනවා. ඒක වෙනුවෙන් කැපවෙන පිරිසක් ඕනෑ. මේ පාදඩ දේශපාලනයත් එක්ක එයට ප්‍රතිවිරුද්ධව තරුණයන් ටික දෙනෙක් බිහිවෙමින් යනවා. ඒක වාසනාවක්. මේ පිරිස ගැන අපට බලා‍පොරොත්තු තියා ගන්න පුළුවන්. මේ අයට මේක වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කිරීමේ ප්‍රධානම දේ තමයි බුද්ධිමත් සමාජයක් ගොඩනැගීම. බුද්ධිමත් සමාජයක් තුළින් පමණයි හරවත් සාහිත්‍යයක් කරා යන ගමන වැටී තියෙන්නේ. එහෙම නොවුණොත් වෙන්නේ පාදඩ දේශපාලනඥයන්ගේ කෙළිමඬලක් වෙලා මේ රට නතරවෙන එක විතරයි. සාහිත්‍යය ගැන බොරු කුණුහරුප කතා කරලා වැඩකුත් නෑ, ආණ්ඩුවේ සාහිත්‍ය උත්සවවලිනුත් තුට්ටුවක වැඩක් නෑ. සාහිත්‍ය මාසයක් කියලා කරන මේ වැඩෙන් කිසි වැඩක් නෑ. මේ රටේ හරවත් බුද්ධිමත් චින්තනයක් ඇතිකිරීම, ඒ සඳහා අවශ්‍ය සංවාදය බිහිකිරීම තුළින් පමණයි නියම සාහිත්‍යයක් බිහිකරන්න පුළුවන් වෙන්නේ.

[ලක්බිම]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

8/27/2015

දේශීය යුද අපරාධ යාන්ත‍්‍රණය යනු, අමු අමුවේ රණවිරුවන් පාවාදීමක්

කතෘ:යුතුකම     8/27/2015   No comments


– ආචාර්ය ගුණදාස අමරසේකර

දේශීය විමර්ශනයක් හරහා ලබා ගන්නා තොරතුරු මත පදනම්ව සාදා ගන්නා නව වාර්තාවක් මගින් ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීම ඇමෙරිකාවේ අරමුණ වන බව දේශහිතෛශී ජාතික ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මේ බව පවසා  සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කියා සිටියේ මීට පෙර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ දරුස්මාන් වාර්තාව ඒකපාර්ශවීය වාර්තාවක් බවට  ඕනෑම අධිකරණයක් පිළිගන්නා බවයි. ඒ නිසා ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ දේශීයව පරීක්ෂණයක් පවත්වා කරුණු සොයාගැනීමට බවද අමරසේකර මහතා මෙහිදී සඳහන් කර සිටියහ. මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අවධාරණය කර සිටියේ දේශීය ලේබලය අලවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ගන්නා උත්සාහයක් බවයි.

මාධ්‍ය හමුවේ අදහස්වලට මෙතනින් සවන් දෙමු..


[LankaLeadNews වෙබ් අඩවියෙන් ]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

4/08/2015

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුහුණ දෙන ඛේදවාචකය

කතෘ:යුතුකම     4/08/2015   1 comment
- ආචාර්ය ගුණදාස අමරසේකර

පසුගිය ජනාධිපතිවරණය පිටුපස ක‍්‍රියාත්මක වූ ඇමෙරිකානු සී.අයි.ඒ. සංවිධානයටත්, බි‍්‍රතාන්‍ය රහස් ඔත්තු සේවයටත්, ඉන්දියානු රෝ සංවිධානයටත් එමෙන්ම මෙරට ඉන්නා දෙමළ ජාතිවාදීන්ට සහ එන්.ජී. ඕ. නඩයටත් ඉටුකර ගැනීටම අවශ්‍යව තිබූ පරමාර්ථ දෙකක් තිබිණ.

එකක් නම් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් පහ කිරීමයි.

අනික නම් මේ රටේ ජාතිකත්වය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දියකර විනාශ කරදැමීමයි.

මේ වන විට මේ දෙකම ඉටු වී තිබේ. දැන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එක් පිරිසක් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති තනතුර දරණ කැබිනට්ටුවේ අමාත්‍ය තනතුරු දරමින් එජාපයේ කොටසක් බවට පත්ව ඇත. කැබිනට්ටු සාමූහික වගකීමට යටත්වන ඔවුන්ගෙන් එජාප ප‍්‍රතිපත්ති විනා ශ‍්‍රීලනිප ප‍්‍රතිපත්ති නියෝජනය නොවෙයි. කැබිනෙට්ටු රැුස්වීම්වල මුලසුන හොබවන්නේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නොව සර්ව බලධාරී රනිල් වික‍්‍රමසිංහයි. නිමල් සිරිපාල ද සිල්වා නායකත්වය දරණ ශ‍්‍රී ලනිපය හැඳින්විය යුත්තේ ‘නපුංසක’ පක්‍ෂයක් ලෙසයි. මහ බැංකුව ඉදිරිපස උද්ඝෝෂණ පැවැත්වුවද ඔහු වෙතින් ශ‍්‍රී ලනිපයට ආවේණික වූ ජාතික ප‍්‍රතිපත්ති කිසිවක් ඉදිරිපත් නොවෙයි. මෝඞී අගමැති අභියස ස්ත්‍රෝත‍්‍ර ගායනා කළ නිමල් සිරිපාල මහතාට මෝඩිගේ රට බෙදන කතාවට එරෙහිව වචනයක් කීමට ඉන් පසුව හෝ නොහැකි විය. විග්නේෂ්වරන් දෙමළ සංහාර කතාව කියන විට ඊට අභියෝග කිරීමේ ශක්තියක් ඔහුට නොතිබිණ. අධිආරක්‍ෂිත කලාප වටා ඇති ඉඩම් (මේවායෙන් 90%ක් පසුගිය රජය විසින් හිමිකර දෙන ලදී) බෙදාදීම සඳහා මෛත‍්‍රී-රනිල්-චන්ද්‍රිකා යාපනයට ගිය විට රාජපක්‍ෂ රජය ඒ කටයුත්ත කළ සැටි මතක් කර දීමට නිමල් සිරිපාලට අමතක විය. අඩුතරමේ ජාතික ගීය දෙමළෙන් කීම ව්‍යවස්ථාව විරෝධී බව පෙන්වාදීමටවත් සිරිපාල ද සිල්වා මහතාට නොහැකි විය. අද නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරු රනිල් ළ`ගට යන්නේ ඔහුගේ පූර්ණ ආශිර්වාදය සමගයි.

මේ තත්ත්වය ශ‍්‍රීලනිපයට ඡුන්දය දුන් ජනතාව විසින් ඉවසා සිටින්නක් නොවෙයි. පළාත් සභා, ප‍්‍රාදේශීය සභාවල ඉන්නා මන්ත‍්‍රීන් අද මහින්ද රාජපක්‍ෂ වටා රොක් වන්නේ සිය දැඩි විරෝධය පළකරනු පිණිසයි. මේ මගෝඩිකම් තවදුරටත් දැරිය නොහැකි ඔවුන් නිදහස් පක්‍ෂයෙන් කැඞී යෑමට තව වැඩි දවසක් ගත නොවනු ඇත. පළාත් සභා අහෝසි කිරීමෙන් එය වළක්වාලිය හැකි නොවෙයි.

මේ අනුව බලන විට දැනටම ශ‍්‍රීලනිපය තුන් කොටසකට බෙදී අවසානය. ශ‍්‍රීලනිප විනාශ කිරීමට කටයුතු කළ කුමන්ත‍්‍රණකරුවන්ගේ අභිලාෂය දැන් 100%ක් ඉටු වී තිබේ.

මෙසේ ශ‍්‍රීලනිපය දියකර විනාශකර දැමීමෙන් ඇමෙරිකාව-ඉන්දියාව ප‍්‍රධාන කුමන්ත‍්‍රණකාර බලවේග අපේක්‍ෂා කරනු ලබන්නේ කුමක්ද?

මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කළද ශ‍්‍රීලනිපය තිබෙනතුරු ඒ පක්‍ෂය නියෝජනය කරන මෙරට ජාතික බලවේග හිස ඔසවා නැ`ගී සිටින බව ඔවුහූ දනිති. එසේ නම් මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීම ප‍්‍රමාණවත් නොවෙයි. ජාතික ආණ්ඩුවක් අටවා ශ‍්‍රීලනිපය ඒ තුළට ගාල් කර එමඟින් ඒ පක්‍ෂය කඩාබිඳ විනාශ කර දැමීම සිය අභිමතාර්ථ සාධනය සඳහා අත්‍යාවශ්‍ය වේ.

ශ‍්‍රී ලනිපය ජාතික ආණ්ඩුව තුළට ගාල් කිරීමෙන් තවත් වැදගත් කාර්යයක් ඉටුකර ගත හැකිවනු ඇත. එනම් රනිල් වික‍්‍රමසිංහ මඟින් ඊළාමයට පාර කපන 13 වැනි සංශෝධනය ක‍්‍රියාවට න`ගන විට ඊට ශ‍්‍රීලනිපයද සම්මාදන් කරගත හැකි වේ. රටේ ප‍්‍රබල පක්‍ෂ දෙකම එකට අතගසා ඊළාමය පුදන විට ඊට කිසිවකුට විරුද්ධ විය හැකිද? ලංකාවේ ඇති ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීමට නම් ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතු වී කටයුතු කළ යුතු යැයි මීට වසර කීපයකට පෙර පවසන ලද්දේ ලියම් ෆොක්ස් නැමැති බි‍්‍රතාන්‍ය විදේශ ඇමතිවරයායි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයගත් විගස සොල්හයිම් කියා සිටියේ ජනවාර්ගික ප‍්‍රශ්නය දැන් විසඳී ඇති බවයි. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී දැන් අප කළ කටයුත්ත ඉටු වී හමාර යයි පවසා සිටියේ මේ අරුතෙනුයි. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කරන බව රනිල් වික‍්‍රමසිංහ මහතා පොරොන්දු වූයේ අද ඊයේ නොවෙයි. ඉඩම් බෙදා දීමට ගිය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඒ පොරොන්දුව ප‍්‍රතිරාවය කරන සැටි අපි දුටුවෙමු. මේ කටහ`ඩවල් දෙකම පිටුපස ඇත්තේ රූකඩ නටවන්නාගේ කටහ`ඩ බව රහසක් නොවෙයි.

මෙහිදී පැන නැගෙන ඉතා වැදගත් ප‍්‍රශ්නයක් ඇතැයි මම සිතමි. ශ‍්‍රීලනිපය දියවී යෑම වැළැක්වීමට හෝ එය පුනරුත්ථාපනය කිරීමට හෝ තැත්කරන්නන් විසින් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සේවීම අනිවාර්ය වේ. ඒ ප‍්‍රශ්නය නම් ශ‍්‍රීලනිපය මෙවැනි ඉරණමකට ගොදුරු වූයේ ඇයිද යන්නයි. ශ‍්‍රීලනිපය මේ රටේ පසින් බිහි වූ මේ රටේ අතිමහත් බහුතරයේ ජාතිකත්වය නියෝජනය කරන පක්‍ෂය වේ. එවැනි පක්‍ෂයක් මෙවැනි ඉරණමකට ගොදුරු විය හැකිද?

රුක්‍ෂයක් මහ පොළොවෙහි මුල් අල්ලා වැඞී ඇත් නම් කුමන චණ්ඩ මාරුතයකට වුවද මුහුණ දීමේ ශක්තිය එය සතුව ඇති බව අපි දනිමු. චණ්ඩ මාරුතයට මුහුණ දිය නොහැක්කේ එසේ මුල් නොඇල්ලූ මතුපිට පාවෙන රුක්‍ෂයකටය. ශ‍්‍රීලනිපය අයත් වන්නේ මින් කුමන ගණයකටද?

මීට පසළොස් වසරකට පමණ පෙර වාර්ෂිකව පවත්වන බණ්ඩාරනායක අනුස්මරණ දේශනය පැවැත් වූ වේලෙහි මම මේ ප‍්‍රශ්නය වෙත එහි වූ පාක්‍ෂිකයන්ගේ අවධානයට යොමු කළෙමි. එහිදී මම මෙවැනි නිරීක්‍ෂණයක් ඉදිරිපත් කළෙමි.

‘‘මා දකින අයුරු ශ‍්‍රීලනිපය අද වන විට හිස නැති කවන්ධයක් බවට පත්ව තිබේ. ඒ විසල් කඳට අවශ්‍ය හිස නිර්මාණය කරගැනීමට ඒ පක්‍ෂය තවම සමත් වී නැත. ඒ හිස නිර්මාණය කරගැනීම වෙනුවට ඒ පක්‍ෂයේ නායකයන් මෙතෙක් කර ඇත්තේ ඊට මාක්ස්වාදී අස්ප හිස් හෝ ලිබරල්වාදී බූරු හිස් හයිකර ගැනීමට තැත් කිරීමයි. මේ අනුකාරක ම`ග අත්හැර තමන්ට සරිලන හිස නිර්මාණය කරගත නොහැකි වුව හොත් වැඩිකල් නොගොස් ඒ කවන්ධය දියවී යනු ඇත.’’

අද සිදුවෙමින් පවතින්නේ මා එදා පෙන්වා දුන් ඒ දෙය නොවේද?

ශ‍්‍රීලනිපය නිර්මාතෘවරයා වූ බණ්ඩාරනායක මහතාට සිය පක්‍ෂයේ උපත පිළිබඳ අවබෝධයක් තිබිණ. මේ රටේ ජනතාවට ජාතික විඥාණයක් ලබාදීම සඳහා අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික ව්‍යාපාරය සිය පක්‍ෂයට අවශ්‍ය පළමු බිජුවට රෝපණය කිරීමට සමත් වූ බව බණ්ඩාරනායක මහතා වටහා ගත්තේය. සිංහල මහ සභාව ආරම්භ කිරීමට බණ්ඩාරනායක මහතා මෙහෙය වන ලද්දේ ඒ අවබෝධයයි. සිය ජාතික ව්‍යාපාරය සාර්ථකවීමට නම් සිංහල ජනයා පළමුව එක් කළ යුතු බවත් සෙසු ජනවර්ග එකතු කළ හැක්කේ ඒ පළමු එක් කිරීම වටා බවත් බණ්ඩාරනායක මහතා අවබෝධ කරගෙන සිටියේය.

එහෙත් බණ්ඩාරනායක මහතා නොවටහා ගත් දේ නම් ඒ සිංහල ජාතිය හා අන් ජනවර්ග එක් කිරීම කුමන පදනමක් මත සිදු විය යුතු ද යන්නයි. ඔවුනොවුන් බැඳ තබන ප‍්‍රබල අධ්‍යාත්මික පදනමකින් තොරව හිස් සටන් පාඨ හෝ ප‍්‍රදර්ශනාංග එළිදැක්වීම මඟින් එය කළ හැකි නොවේ. ඔවුනොවුන් බැඳ තබන ඒ ප‍්‍රබල අධ්‍යාත්මික පදනම සපයනු ලබන්නේ ජාතියක් සතු සභ්‍යත්ව පදනම විසිනුයි. ඒ සභ්‍යවත්ව පදනම ඈත ඉතිහාසය වෙත දිවෙන පමණට ශක්ති සම්පන්න වෙයි.

මීට අදාළ ඉතා වැදගත්ම නිරීක්‍ෂණයක් මම මෑතකදී කියවීමි. ඒ නිරීක්‍ෂණය ඉදිරිපත් කර ඇත්තේ තායිලන්ත බුද්ධිමතකු විසිනුයි. (ටික කලකට පෙර බුද්ධදාස නැමැති මහ තෙරුන් විසින් එරට ආරම්භ කළ බෞද්ධ සමාජවාදය නැමැති ව්‍යාපාරයේ ප‍්‍රබල සාමාජිකයකු වූ ඒ බුද්ධිමතාගේ නම මට දැන් අමතකව ඇත.)

ඒ බුද්ධිමතාට අනුව විජාතිකම ග‍්‍රහණයෙන් මිඳුණු පසු සිය අතීත උරුමය - සභ්‍යත්වය වෙත ගොස් කාලානුරූප රාජ්‍යයක් බිහිකර ගැනීමේ ශක්තිය තිබූ රටවල් තුනක් දකුණු ආසියාවේ තිබිණ. ඒ රටවල් තුන නම් බුරුමය, කාමබෝජය සහ ලංකාවයි. බුරුමයේ විසූ යූ නූ නැමැති නායකයාට ඒ අනුව රාජ්‍යතන්ත‍්‍රයක් ගොඩනැ`ගා ගැනීමට හැකි විය. (දස වසක් පැවති ඒ රජය හමුදා කුමන්ත‍්‍රණයක් මඟින් විනාශ කරන ලදී)කාම්බෝජයේ වූ සිහනුක් කුමරුට ඒ අවස්ථාව ලබාගත නොහැකි විය. 56 සිදු වූ පෙරළියත් සමග එවැනි අතීත උරුමය - සභ්‍යත්වය මත පදනම් වූ රජයක් ඒ පෙරළිය මෙහෙය වූ බණ්ඩාරනායක මහතා අතින් ඉටුවනු ඇතැයි එරට ජනතාව බලාපොරොත්තු විය. එහෙත් බටහිර ලිබරල්වාදයෙන් හිස පුරවා ගත් බණ්ඩාරනායකට එය නොවැටහිණ.

මේ නිරීක්‍ෂණය බොහෝදුරට නිවැරදි යැයි මම සිතමි. ලිබරල්වාදයෙන් හිස පුරවාගත් බණ්ඩාරනායක මහතාට අනගාරික ධර්මපාලතුමා පාදා දුන් සභ්‍යත්ව පදනම මත නැගී සිට සිය ජාතික ව්‍යාපාරය ගොඩන`ගා ගත හැකි බව නොවැටහිණ.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු ඒ පක්‍ෂයේ නායකත්වය අතට ගත් එකද නායකයකුට හෝ බණ්ඩාරනායක මහතා සතුව තිබූ අන්තර් ඥානයෙන් අංශුමාත‍්‍රයක්වත් නොතිබිණ. එපමණක් නොවෙයි. ඔවුන් 56 ජයග‍්‍රහණය දුටුවේ බණ්ඩාරනායකගේ අපූරු වික‍්‍රමයක් ලෙසයි. බණ්ඩාරනායක බලය ලබාගත්තේ රටවටා ගොස් පැය 24න් සිංහලය රාජ්‍ය භාෂාව කරන බවට පොරොන්දු වී සිංහල ජනයා රවටාය යන අව ඵෙතිහාසික දුර්මතයයි ඔවුන්ගේ මනස තුළ ද වූයේ. ඔවුන් අතරන් ප‍්‍රධාන තැනක් ගනු ලබන්නේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එතුමිය ඒ අතීත උරුමය - සභ්‍යත්ව පදනම දුටුවේ සිංහල ජාතිවාදයක් ලෙසයි. තාත්තාටත් අම්මාටත් වඩා ප‍්‍රගතිශීලී නායකිකාවක් යැයි උස්සා තැබූ ඈ ශ‍්‍රීලනිපය වනසාලීමට කටයුතු කෙරේ මහා විප්ලවයක් ඉටුකරන ලෙසයි. ඊට අවශ්‍ය අනුබලය බටහිර බලවේග සහ මෙරට ඉන්නා එන්.ජී. ඕ. නඩය විසින් නොමදව පසයන ලදී. ශ‍්‍රී ලනිපයේ ජාතික පදනම දෙදරවාලීමට කටයුතු කළ ප‍්‍රධාන නායිකාව චන්ද්‍රිකා කුමාරතුංග වේ.

ශ‍්‍රී ලනිපයට අවශ්‍යව තිබූ හිස - දර්ශනය චින්තනය ලබාදීමට මේ කිසිදු නායකයකුට නොහැකි වුවද ඒ කවන්ධය දිය වී යන්න නොදී ආරක්‍ෂා කරගැනීමට කැප වූ නායකයන් දෙදෙනකු ඔවුන් අතර සිටි බව මගේ වැටහීමයි. ඒ දෙදෙනා නම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ මහින්ද රාජපක්‍ෂ මහතායි. ඔවුන් දෙදෙනාම අර සභ්‍යත්ව විඥානය උපතින්ම හිමිකරගෙන තිබිණ. එමෙන්ම අයෝමය පෞරුෂවලින්ද යුත්ත වූහ. ඔවුනට අපගේ ගෞරවය හිමිවිය යුතුයි.

ඔවුන් දෙදෙනාම අසමත් වූයේ සිය හද තුළ නිසඟව උපන් සභ්‍යත්ව විඥානය මනසින් දැක ඒ ඇසුරින් දර්ශනයක් චින්තනයක් බිහිකර ගැනීමටයි. ඊට හරස්ව සිටි ප‍්‍රධානම බාධකය ලෙස මා දකින්නේ ඔවුන් පුරෝහිතකමේ තබාගෙන සිටි ඊනියා උපදේශකයිනි. මැකෝලිසාමිගේ පරපුරෙන් පැවත එන මේ උපදේශකයෝ නිර්මාණ ශක්තියෙන් තොර යටත් විජිත මනසින් නොමිදුණු දීන අනුකාරකයෝ වෙති. අන්තර්ජාතික බුද්ධිමතුන් නීති විශාරදයන් ලෙස හඳුවන්වා ගත් මොවුන් සමත් වූයේ අර නායකයන්ට බලයේ සිටීමට අවශ්‍ය ව්‍යවස්ථාව පසයා දීමට හෝ ව්‍යවස්ථාව තුළින් රිංගා යන සැටි කියා දීමටයි.

මෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ කාලයාගේ ඇවෑමත් සමග ශ‍්‍රීලනිපය ද කෙසේ හෝ බලය ලබාගැනීම පරමාර්ථ කොට ගත් තුච්ඡු බලූපොරයක යෙදන තවත් එක් පක්‍ෂයක් බවට පත්වීමයි. සිංහල බෞද්ධකම ඔවුන්ට ලේබලයක් විය. නැති නම් සටන් පාඨයක් විය. බලය ලබාගැනීමට පිහිට වේ නම් ඒ සිංහල බෞද්ධ ලේබලය සටන් පාඨය නොමඳවම ප‍්‍රදර්ශනය කරන ලදී. බලය ලබාගැනීමට එය හරස් වේ නම් එය හකුලා ගන්නා ලදී. ඊට අලූත්ම නිදර්ශනය වත්මන් ජනාධිපති සිරිසේන මහතා සපයා ඇති බව මම දුටිමි. ‘තනි සිංහල බෞද්ධ පක්‍ෂයක් විදිහට මේ රටේ ආණ්ඩු බලය අල්ලා ගන්න බැහැ’ මේ එතුමා විසින් සිය පක්‍ෂ සංවිධායකවරුන් දී ඇති අවවාදයයි!

දීර්ඝ ඉතිහාසයක් සජීවි සභ්‍යත්වයක් ඇති රටකට ඒ සභ්‍යත්වය පදනම් කරගත් දේශපාලන දර්ශනයක් හා ආර්ථික සංස්කෘතික දර්ශනයක් නිර්මාණය කරගැනීම ලේසි පහසු වැඩක් නොවෙයි. වෙන රටකින් ආනයනය කළ මාක්ස්වාදයක් ලිබරල්වාදයක් පූට්ටු කිරීම වැනි ලේසි කටයුත්තක් නොවේ එය. ව්‍යවස්ථා ගැටගසා දීම වැනි හරඹයක් නොවේ එය. එවැන්නක් බිහිකර ගත හැක්කේ මේ රටේ වසන ජාතික මනසකින් යුතු බුද්ධිමතුන් සමග ගෙන යන මහා බුද්ධිමය සංවාදයක් ඇසුරෙනුයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය එතෙක් මෙතෙක් එවැනි බුද්ධිමය සංවාදයක් මේ රට තුළ දියත් කර ඇද්ද? හින්දුත්වය මුල්කරගත් භාරතීය ජනතා පක්‍ෂය සිය න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ තැනක් එවැනි බුද්ධිමය සංවාදයට දෙන බව මම අසා ඇතිමි.

මෙහිදී තවත් අමතර කරුණක්ද සඳහන් කරනු වටනේ යැයි සිතමි.

දීර්ඝ ඉතිහාසයක් සජීවී සභ්‍යත්වයක් ඇති ජාතිකයකට සරිලන දේශපාලන දර්ශනය කුමක්ද යන්න අද පෙරඅපර දෙදිග බුද්ධිමතුන්ගේ විමසුමට ලක්ව තිබේ. මේ අරබයා ඉතා වැදගත් අදහස් ඔවුන් අතින් බිහිවෙමින් තිබේ. සැමූවෙල් හංටිටං විද්වතා විසින් සිය Clash of Civilization නැමැති ග‍්‍රන්ථයෙන් රටක සභ්‍යත්වය සතුව පවත්නා ශක්‍යතාවය අවධාරණය කර තිබේ. When China Rules the World නැමැති ග‍්‍රන්ථයේ කතුවරයා චීනය හඳුන්වාදී ඇත්තේ මාක්ස්වාදී රජයක්වත් ලිබරල්වාදී රජයක්වත් ලෙස නොව සභ්‍යත්වය පදනම් කරගත් Civilizational State ලෙසයි. හෙන්රි කීසින්ගර්ගේ New World Order නැමති ග‍්‍රන්ථයේ උපශීර්ෂ පාඨය වී ඇත්තේ  National Character යන්නයි.

මේ ඛේදවාචකයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය මුඳාගත හැකිද? හිස නැති කවන්ධය දියවී යාම වළක්වාගත හැකිද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු මේ වසර අවසාන වන විට ලබාගත හැකි බව මගේ වැටහීමයි. ඒ පිළිතුරට අනුව කටයුතු කිරීමට මෙරට ජාතික බලවේග දැන් සිටම සූදානම් විය යුතුයි.

2/25/2015

දහතුන දීම යනු ඊළම දීමයි

කතෘ:යුතුකම     2/25/2015   6 comments
ලංකාවේ පහළ වුනු අග්‍රගන්‍ය බුද්ධිමතකු වන ගුණදාස අමරසේකරයන් විසින් 2011 වසරේදී පළ කළ ලිපියක් අද එදාටත් වඩා එහි ඇති කාලින බව සලකා අපි මෙසේ යළි පළ කරන්නෙමු.

පළමුකොට ම පසුගිය ඉරුදින, 13 සංශෝධනය පිළිබඳව විශේෂ අතිරේකයක්‌ එළිදැක්‌වීමෙන් "දිවයින" පුවත්පත කළ ජාතික මෙහෙවර ගැන අපගේ ප්‍රසාදය මෙන්ම ප්‍රණාමයද "දිවයින"ට හිමිවන බව කිවයුතු වෙයි. පසුගිය අවුරුදු කීපය තුළ මේ රට, ජාතිය වෙනුවෙන් "දිවයින" ඉටු කළ සුවිශේෂ මෙහෙය මේ තීරණාත්මක අවස්‌ථාවේදීද ඉටුකිරීමට ඉදිරිපත් වීම අපගේ භාග්‍යයක්‌ ලෙස සලකමු. මේ අතිරේකය පරිස්‌සම් කර සිය දූ දරුවන්ට කියවීමට සැලැස්‌වීම සෑම සිංහල දෙමව්පියකුගේම යුතුකම ලෙස මම සලකමි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා 13, 13 + දෙන්නට සූදානම් නොමැති බව අපගේ වැටහීමයි. එහෙත් මේ රජයේ ඉන්න මීට පෙර පැකේඡ් දීමට බලය බෙදීමට, සූදානම් වී සිටි අය නම් ඒ කටයුත්ත කිරීමට සූදානම් බව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශවලින් පෙනේ. එය කෙසේ වුවද 13 දීම යනු ඊළාමය පස්‌ස දොරින් දීමක්‌ බව අපි නොපැකිළිව ප්‍රකාශ කරමු. 13 පිළිබඳව ම විසින් දක්‌වන පහත සඳහන් කරනු මගින් සිහිබුද්ධිය ඇති කාට වුවද එය පෙනී යා යුතු වෙයි.

ඡේ. ආර්. ජයවර්ධන මහතා බියවද්දා තර්ජනය කර අත්සන් කරවා ගන්නා ලද ඉන්දු - ලංකා ගිවිසුම අනුව ඉදිරිපත් කරන ලද 13 සංශෝධනය මගින් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද? ඒ පිළිබඳව දෙනු ලබන විවිධ අර්ථකථන සලකා බැලීම මෙහිලා ප්‍රයෝජනවත් වනු ඇත.

ඒ මගින් අපේක්‍ෂා කරන ලද්දේ ඒ වනවිට ක්‍රියාත්මකව තිබූ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමක්‌ද? ඒ නිගමනය සම්පූර්ණයෙන් සදොස්‌ බව අපි දනිමු. 13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ අපගේ හමුදාව විසින් වඩමාරච්චිවලට කොටුකරන ලද ප්‍රභාකරන් සම්පූර්ණයෙන් විනාශ කිරීමට ඔන්න මෙන්න කියා සිටියදීයි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය වන්නේ 13 ඉදිරිපත් කරන ලද්දේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නැති කිරීමට නොව තමන් හදා වඩා ඇති කරන ලද ත්‍රස්‌තවාදියා බේරා රැකගැනීම සඳහාය යන්නයි.

13 සශෝධනය ඉදිරිපත් කරන ලද්දේ උතුර - නැගෙනහිර වසන දෙමළ ජනතාවගේ සුබ සිද්ධිය සඳහාද? ඔවුන් කෙරෙහි පතල මහාකරුණාවෙන් ද? 13 පසු අතිවිශාල ඉන්දියානු හමුදාවක්‌ මෙහි ගෙන්වා, ඒ අසරණයන් අනේකවධ හිංසාවලට භාජන කර ඔවුන්ගේ අඹුවන් දූෂණය කර, සෑහෙන ප්‍රමාණයක්‌ මරා දමන ලද්දේ ඔවුන් කෙරෙහි පහළ වූ මහා කරුණාව නිසාද? ඒ අසරණ දෙමළ මිනිසුන් සලකන ලද්දේ සිය අධම ක්‍රියාමාර්ගය හමුවෙහි බිලිදිය යුතු පිරිසක්‌ ලෙසයි.

13 සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ මේ රට තුළ ඇතැයි කියන ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විසදාලනු සඳහාද? ඉන්දියාව ප්‍රභාකරන් ඇතුළු තරුණයන් සිය රටට ගෙන්වා ත්‍රස්‌තවාදී පුහුණුවක්‌ දී මේ රටට එවන ලද්දේ මේ රට තුළ ප්‍රමාණාත්මක ජනවාර්ගික අර්බුදයක්‌ නොමැති බව වටහාගත් නිසායි. ජනසංහාරයක්‌ බවට ඒ අර්බුදය දියුණු කළ හැක්‌කේ ඒ මගින් මේ රටට අත දැමීමේ අවස්‌ථාව ලබාගත හැක්‌කේ එසේ කටයුතු කිරීමෙන් බව ඉන්දියාවට වැටහිණි. එබැවින් වඩා නිවැරැදි අර්ථකථනය නම් 13, ජනවාර්ගික ප්‍රශ්නයක්‌ විසඳීමට ඉදිරිපත් කරන ලද්දක්‌ නොව නොපැවැති ජනවාර්ගික ප්‍රශ්නයක්‌ ත්‍රස්‌තවාදය මගින් නිර්මාණය කර එමගින් මේ රට බෙදා වෙන් කිරීමට ගන්නා ලද උපාය මාර්ගයක්‌ බවයි.

අද වන විට මේ රට බෙදා වෙන් කිරීමට මොර දෙන දෙමළ ජාතිවාදීන් පවා මේ රට තුළ ජනවාර්ගික ප්‍රශ්නයක්‌ නොමැතිය යන මතය වෙත පැමිණ තිබේ. කුමාර් පොන්නම්බලම් රට බෙදන ලෙස ඉල්ලා සිටියේ තමන්ට එවන ලද ආදායම් බදු පෝරමය දෙමළෙන් නොතිබුණු නිසායි. තමන් දෙමළ වීම නිසාම සිදුවී ඇති කිසිදු අසාධාරණයක්‌ සොයාගත නොහැකි ඒ දෙමළ ජාතිවාදීන් දැන් අසාධාරණ චෝදනාව වෙනුවට ඉදිරිපත් කර ඇත්තේ සිය අපේක්‍ෂා ඉටුකර ගත නොහැකි වී ඇතැයි යන චෝදනාවයි. මිනිස්‌ සන්තානයෙහි පහළ වන අපේක්‌ෂා කෙසේ සංසිඳුවාලිය හැකිද?

ඉන්දියාව අප ලවා 13 සංශෝධනයක්‌ මගින් ඉටුකරවා ගන්නා ලද්දේ කුමක්‌ නිසාද යන්න වටහා ගැනීමට මා ඉහතින් දැක්‌වූ ශාස්‌ත්‍රීය, සමාජයීය, දාර්ශනික විග්‍රහ කිසිවක්‌ අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ ඒ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙහි පැමිණි රජීව් ගාන්ධි එන අතරමගදී කරන ලද ප්‍රකාශයයි. චෙන්නායිවලට පැමිණි ගාන්ධි එහි වූ දෙමළ නායකයන් අමතා සිය ගමනෙහි අරමුණ පැහැදිලි කළේය. තව ටික දිනකින් මේ ගමනෙන් පසු ශ්‍රී ලංකාවද භූතානය මෙන් අපගේ කක්‍ෂය තුළට ඇතුළු වනු ඇත. රජිව් ගාන්ධිගේ මුවෙන් පිටවූයේ මේ වදනයි. 13 සංශෝධනයෙන් අපේක්‍ෂා කරන ලද්දේ කුමක්‌ද යන්න වටහා ගැනීමට මීට අමතර අටුවා ටීකා අවශ්‍ය නොවේ. ඉන්දියාවට උවමනා වූයේ පළමුව උතුර - නැගෙනහිර තුළ තමන්ට හිතකර රූකඩ රජයක්‌ පිහිටුවා ගෙන ඉන් ඉක්‌බිතිව මුළු රටම සිය විසිහත්වැනි ප්‍රාන්තය බවට පත් කර ගැනීමයි.

ඉන්දියාවේ මේ අපේක්‍ෂාව දැන් අන්සෑම අවස්‌ථාවකට වඩා පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන තිබේ. අප විසින් ප්‍රභාකරන් විනාශකර දැමීම තමන්ට වඩා හිතකර පසු බිමක්‌ සාදා දී ඇති බව ඉන්දියාවට පෙනී ගොස්‌ තිබේ. ප්‍රභාකරන් විනාශ කරන විට නිහඬ වතක්‌ රැක ගෙන සිටීම ඔවුන් ගත් හොඳ උපාය මාර්ගයක්‌ විය. "ඔන්න දැන් උඹලාට හිටිය හතුරා නැති කිරීමට අපි ඉඩ දුන්නා. දැන් ඉතින් 13 ක්‍රියාත්මක කර ජනවාර්ගික ප්‍රශ්නය විසඳ පල්ලා." මේ වදන් කියාගත් පළමු ඉන්දියානු දූතයා මෙහි පැමිණියේ ප්‍රභාකරන්ගේ මළ කඳේ රස්‌නය යන්නටත් පෙරයි.

එදා මෙදා සිට සතියකට වරක්‌ බැගින් මෙහි පැමිණි හැම ඉන්දියානු දූතයකුගේම කටේ තිබුණේ මේ මන්තරයයි. අවසානයේදී පැකේඡ්කාරයකු වන ජී. එල්. පීරිස්‌ ඇමැතිවරයා අල්ලාගෙන 13 සංශෝධන දෙන බවට පොරොන්දු ඔප්පුවක්‌ අත්සන් කරවා ගැනීමට ඉන්දියාව සමත් විය. ඒ පිල්ලුව ආපසු එවීමෙන් පසු ශිවසංකර් මෙනන් ප්‍රධාන තුන් කට්‌ටුව මෙහි පැමිණියේ ඒ පොරොන්දු ඔප්පුවට ජනාධිපතිතුමාගේ අත්සනද ලබාගැනීමේ ෙච්තනාවෙන් විය යුතුය. එය ඉටුකර ගත නොහැකිවූ ඔවුන් කනස්‌සල්ලෙන් ගිය බව කියනු ලැබේ. කනස්‌සල්ලෙන් ගියද ඔවුන් සිය අභිලාෂය අත්හැර ඇතැයි අප මොහොතකටවත් නොසිතිය යුතුයි. ඔවුන්ට දැන් මේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ගැනීම සඳහා පෙර නොසිටි ප්‍රබල මිතුරකුගේ සහායද ලැබෙමින් පවතී. බෑංකි මූන් අධම වාර්තා පිට කරන්නේ බීබීසිය ව්‍යාජ චිත්‍රපටි පෙන්වන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර බලවතුන්ගේ බලපෑම උඩයි. ඒවායේ ප්‍රතිලාභ අත්වන්නේ තමන්ට බව ඉන්දියාව දනී. මේ සතුරු බලවේග දෙකේම න්‍යාය පත්‍ර දැන් හොඳට පැසී ක්‍රියාත්මක වෙමින් පවතී.

අප විසින් 13 සංශෝධනය පිළිබඳව සලකා බැලිය යුතු ඊළඟ කරුණ නම් එහි නීත්‍යනුකූලභාවයයි. අපේ ව්‍යවස්‌ථාවට තක්‌කඩිකමෙන්, බලෙන් එකතු කරන ලද මේ සංශෝධනය අපගේ ව්‍යවස්‌ථාවට සම්පූර්ණයෙන් පටහැනි බවද නීත්‍යනුකූල නොවන බවද දැන් බොහෝ දෙනකුට අමතකවී ඇති බව පෙනේ. ගොබෙල්ස්‌ගේ න්‍යාය නීති ක්‍ෂේත්‍රයටත් බලපාන්නේ දැයි මම නොදනිමි.

13 සංශෝධනයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ අගනා විශ්ලේෂණයක්‌ රාජා වනසුන්දර විනිසුරුතුමා විසින් සපයා තිබේ. එය අප පළකළ ජාතික පුනර්ජීවන කොමිසමේ වාර්තාවේ පළකර ඇත. ඒ පුනර්ජීවන කොමිෂන් වාර්තාව රජය විසින් "තුට්‌ටුවකට" ගණන් නොගන්නා ලද්දේ ඒ වන විට ජයපැන් බීමෙන් "උජාර්වී සිටි නිසා විය යුතුය.

13 සංශෝධනයේ නීත්‍යනුකූල බව පිරික්‌සා බැලීම සඳහා පත් කරන ලද විනිසුරුවන් නව දෙනාගෙන් කෙනෙක්‌ විය වනසුන්දර මහතා. ඒ නව දෙනාගෙන් හතරදෙනකු එය නීත්‍යනුකූල බව කියා සිටි අතර වනසුන්දර මහතා ඇතුළු සිව්දෙනෙක්‌ එය නීත්‍යනුකූල නොවන බව කියා සිටියහ. පාරින්ද රණසිංහ නමැති විනිසුරුවරයා ඒ පැත්තටත් මේ පැත්තටත් නැතිව වැට උඩ සිටියේය. ඒ දිනවල පැවැති කට කතාවක්‌ නම් ඔහු දෙපැත්තටම පක්‍ෂව ඡන්දය දුන් බවයි. (පාරින්ද රණසිංහට ඊළඟ අගවිනිසුරුකම ලැබිණ) මේ අනුව විනිසුරුවරුන් පස්‌දෙනකු විසින්ම 13 නීත්‍යානුකුළ නොවන බව පිළිගෙන ඇති බව වනසුන්දර මහතාගේ නිගමනය වෙයි. එසේ අධිකරණය විසින් අනුමත නොකරන ලද 13 සංශෝධනයයි ඡේ. ආර්. ජයවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද්දේ. ඒ ක්‍රියාව නීතියට පටහැනි වෙයි.

වනසුන්දර විනිසුරුට අනුව මේ සංශෝධනය ඕනෑම වේලාවක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනතක්‌ මඟින් අහෝසි කළ හැකියි. ඒ සඳහා තුනෙන් දෙකක බලයක්‌ පවා අවශ්‍ය නොවේ. මේ අවස්‌ථාවේ රජය විසින් කළ යුත්තේ 13 කප්පාදු කරන බවක්‌ අඟවා ඉදිරිපත් කිරීම නොව එය අවලංගු කිරීමට කටයුතු කිරීමයි. ව්‍යවස්‌ථාවට පටහැනි මෙවැනි සංශෝධනයක්‌ තිබෙන්නට හැරීම භයානක පූර්වාදර්ශයක්‌ වෙයි. අද බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට රොබට්‌ ඕ බ්ලේක්‌ සමඟ එක්‌වී ඔවුන් සතුව ත්‍රිකුණාමලේ තිබූ යුද කඳවුරු යළි ස්‌ථාපිත කිරීමට අවශ්‍ය සංශෝධනය මේ අනුව ගෙන ඒමට පාර්ලිමේන්තුව ලවා අනුමත කරවාගැනීමට ඉඩකඩ නැතැයි අපට කිව හැකියි. ඔවුන්ගේ වෙළෙඳපොළ අහිමි කිරීම මගින් එවැනි තර්ජනයක්‌ ගෙන ඒමට ඉඩක්‌ නොමැතිද? 13 ඔවුන් විසින් පූර්වාදර්ශයක්‌ ලෙස පෙන්වනු ඇත.

මේ අවජාත ව්‍යවස්‌ථාවට අනුව කරනු ලබන පාලනයට එරෙහිව නැගිට සිටීමේ සදාචාරාත්මක අයිතියක්‌ ජනතාවට තිබේ.

13 සංශෝධනය අහෝසි කිරීමට ඇති අනික්‌ ප්‍රබල හේතුව නම් ඒ මඟින් පිහිටුවන ලද පළාත් සභා මගින් ජාතික ආර්ථිකයට කරනු ලබන විනාශයයි. ඒ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ එස්‌. එල්. ගුණසේකර මහතා විසින් අර අතිරේකයට ලියන ලද ලිපියෙන් කර තිබෙනු දුටිමි.

13 අහෝසි කිරීමට ප්‍රබල හේතුවක්‌ පළාත් සභා වන අතර ඒ අහෝසි කිරීමට එරෙහිව නැගී සිටින ප්‍රබල බලවේගයද මේ පළාත් සභාවම අප විසින් වටහාගත යුතුයි.

උතුර - නැගෙනහිර සඳහා යෝජනා කරන ලද මේ පළාත් සභා, ඡේ. ආර්. ජයවර්ධන විසින් සෙසු පළාත් හත තුළ ඇති කරන ලද්දේ බලය විමධ්‍යගත කිරීම සඳහා නොව මධ්‍යගත කිරීම සඳහායි. සිය ඒකාධිපති බලය පරිධිය වෙත ගෙන යෑමට අවශ්‍ය දේශපාලන මාෆියාව එමඟින් ගොඩනගා ගත හැකි බව ඔහු දුටුවේය. ඒ මාෆියාවට අවශ්‍ය නූගත් අධමයන් පිරිසක්‌ ඒ වනවිට රට ඇතුළේ පළාත්බදව දක්‌නට ලැබිණ. පළාත් සභා නමැති හතර මහ නිධානය පහළ කර එය කෑමට මේ අමනයන්ට අවස්‌ථාව සලසාදීම පමණි ඒ සඳහා අවශ්‍යව තිබුණේ.

අවුරුදු තිහක්‌ තිස්‌සේ මේ හතර මහ නිධානය කමින් ඊට අරක්‌ ගෙන ඇති මේ කුම්භාණ්‌ඩයන් ඒ හතරමහ නිධානය නැති කිරීමට ඉඩ දෙනු ඇද්ද? 13 සංශෝධනය අහෝසි කිරීමට එරෙහිව පෙරමුණ ගනු ඇත්තේ දෙමළ ජාතිවාදීන් නොව මෙන්න මේ ජාතිෙද්‍රෝහී අධමයනුයි. පොලිස්‌ බලතල, ඉඩම් බලතල මුලින්ම ඉල්ලා සිටියේ මේ අධමයන් බව අපි දුටිමු. අලුතෙන් පිහිටු වීමට යන සෙනේට්‌ සභාවට මේ පළාත් හතේ ඉන්නා ඇමැතිවරු හතළිස්‌ පස්‌දෙනා පත් කළ හොත් ඔවුන් මේ හතරමහ නිධානය කෑමෙන් අයින් කර ඔවුන්ගෙන් එල්ලවන විරෝධය ජයගත හැකිවනු ඇතැයි සිතමි.

අවසාන වශයෙන් කිව යුත්තේ 13 සංශෝධනය යනු ඉන්දියාව විසින් දෙමළ ජාතිවාදීන් පින වීම මඟින් මේ රට දෙකඩකර අවසානයේ මුළු රටම සිය ප්‍රාන්තයක්‌ බවට පත් කර ගැනීමට අටවන ලද උගුලක්‌ බවයි. ඒ සඳහා අවශ්‍ය සහාය බලලෝභයෙන් ආතුරවූ සිහළ ජාතිෙද්‍රෝහීන්ගෙන් ලබා ගැනීමටද ඉන්දියාව සමත් වී තිබේ. මෙවැනි ද්‍රෝහීන් අපගේ ජාතිය තුළ හැම කල්හිම උන් බව රහසක්‌ නොවේ.

ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය විසඳුම සඳහා දැන් රජය විසින් පාර්ලිමේන්තු තේරීම් මණ්‌ඩලයක්‌ පත් කිරීමට කටයුතු කර තිබේ. මෙහි අරමුණ කුමක්‌ දැයි අපි නොදනිමු. කෙසේ වුවද ඒ පිළිබඳව කරුණු දෙකක්‌ කියනු කැමැත්තෙමු.

මේ පිළිබඳ ගෙනියනු ලබන සාකච්ඡා, වාද, විවාද පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පමණක්‌ සීමා විය යුතු නොවේ. ඒවා මහජනතාවටද විවෘත විය යුතුයි. රටේ, ජාතියේ ඉරණම විසඳීම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට භාරදිය හැකි නොවේ. නායකයාට අස්‌වීමේ ලියුම ලියාදුන් සිය පැවැත්ම සඳහා නායකයා කියන ඕනෑම දේකට අත උස්‌සන, හෘද සාක්‍ෂියක්‌ නොමැති මොවුන් ගැන අපට හොඳ අවබෝධයක්‌ තිබේ. ඔවුන්ට රටේ ජාතියේ ඉරණම විසඳීමට ඉඩදිය නොහැකියි.

ඒ කොමිටිය ගන්නා කුමන තීරණයක්‌ වුව ක්‍රියාත්මක කිරීමට පෙර එය ජනතාවට ඉදිරිපත් කර ජනමත විචාරණයකට භාජන කළ යුතු වෙයි. ඒ ජනතා විනිශ්චයට යොමු නොකර ගන්නා කුමන තීරණයක්‌ වුව ජනතා අනුමැතිය නොලැබූ තීරණයක්‌ ලෙස අපි සලකමු.

-ගුණදාස අමරසේකර

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

2/02/2015

සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

කතෘ:යුතුකම     2/02/2015   7 comments
-ආචාර්ය, ගුණදාස අමරසේකර විසිනි

සිදු වෙමින් පවතින්නේ කුමක්ද? මතු අනාගතයේ කුමක් සිදුවේද? මේ ප‍්‍රශ්නවලට නියත පැහැදිලි පිළිතුරක් අද වන විට කිසිදු ජගතකුට දිය හැකි යැයි මම නොසිතමි. අප කාටත් කළ හැක්කේ අප එකිනෙකාගේ හිතළු අනුව විචිකිච්චා සහගත අනියත නිගමන හෙළි කිරීම පමණි. මා විසින් කරනු ලබන මේ නිගමන ද කිසිවකු එසේ බැහැර කළහොත් මම එය ඉවසා සිටිමි. එහෙත් මා එළඹ ඇති මේ නිගමන පදනම් විරහිත ඒවා ලෙස මම නොදකිමි.

අනාගතයේ සිදුවන්නේ කුමක්ද? යන්න ගැන නිගමන පළ කළ හැක්කේ මෙතෙක් සිදු වී ඇති සිදුවීම් සලකා බලා ඒවා මත පිහිටායි.
ආණ්ඩු පෙරළියෙන් පසු මෙතෙක් සිදු වී ඇති ඒ සිදුවීම් මොනවාද? ඒවා ගැන පැහැදිලි අවබොධයක් දැන් අප සතුව තිබේ.

01. පළමුවන සිදුවීම නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා  බලයෙන් පහකර හරිනු ලැබීමයි.

එවැන්නකට මුල් වූයේ කුමක්ද? ඇතැම් අය සිතන අයුරු ඊට මුල් වූයේ අද වන විට ‘හොරා පොලිස් සෙල්ලමක්’ බවට පත්ව ඇති  දූෂණ වංචා අල්ලස් සන්දර්ශනය නොවේ. ඒ සන්දර්ශනය මේ අයුරින් පටන්ගන්නා ලද්දේ මහින්ද රාජපක්‍ෂගේ පරාජයෙන් පසුවයි. 58 ලක්‍ෂයක් ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දෙන්නේ මේ දූෂණ භීෂණ ගැන නොදැන නොවෙයි. ඔවුහු මහින්ද රාජපක්‍ෂගේ දූෂණ භීෂණ ගැන පමණක් නොව ඊට පෙර බලයේ සිටි අයගේ ද  දූෂණ භීෂණ ගැන ද දැන සිටියහ.‘චෞර රැජින’ - ‘චෞර රාජ්‍ය’ ආදී වූ පොත්පත් මගින් ඒවා සමාජගත කර තිබිණ.
මහින්ද රාජපක්‍ෂ පරාජය වීමට ප‍්‍රධාන හේතුව වූයේ උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව විසින් 80% ප‍්‍රමාණයෙන් ඔහුට විරුද්ධව ඡන්දය දීමයි. එසේ ඡන්දය පාවිච්චි කිරීමට මුල් වූයේ ඒ ජනතාව මෙහෙය වූ දෙමළ මුස්ලිම් නායකයන්ගේ අභිමතාර්ථය මහින්ද රාජපක්‍ෂ මගින් ඉටු කර ගැනීමට නොහැකි වීමයි. ස්වයංනිර්ණ අයිතිය වෙත යන ඉඩම් පොලිස් බලතල සහිත 13 වැනි සංශෝධනය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ එකග නොවීය. අධිආරක්‍ෂිත කලාප ඉවත් කරනු, යුද හමුදාව ඉවත් කරනු, ඒ ඉඩම් ආපසු දෙනු, ත‍්‍රස්තවාදීන් නිදහස් කරනු, චන්ද්‍රසිරි ආණ්ඩුකාරවරයා ඉවත් කරනු - මේවා ඔවුන්ගේ උද්ඝෝෂණ පාඨ වූ බව අපි දනිමු. දෙසැම්බර් මාසය වන විට මේවා ඉටු නොකළොත් මහපාරට බැස පෙළපාලි යන බව සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ ගිය සැප්තැම්බර් මාසේ පැවැත් වූ ඔවුන්ගේ සම්මේලනයේදීය. ඒ පාරට බැසීමේ අවස්ථාව මේ ඡන්දය විසින් සලසා දෙනු ලැබීය. එමෙන්ම මුස්ලිම් නායක හකීම් මහතා විශේෂ මුස්ලිම් කලාපයක් ඉල්ලා සිටියේ ඡන්දයට ටික දිනකට පෙරයි. ඔහුට ද මේ ඡන්දය මුස්ලිම් ජනතාව පාරට බැස්සවීම සඳහා අවස්ථාවක් සපයා දුන්නේය. තමන් මේ රට බෙදීමට කිසිකලක ඉඩ නොදෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා දිගින් දිගටම කියා සිටි බව අපි දනිමු. (වරද නම් ඔහු ඒ සඳහා අවශ්‍ය කටයුතු නොකර කල් මැරීමයි. ජාතිවාදයෙන් රත්කළ හදවත කෝච්චි පාරෙන් නිවාලිය නොහැකි බව ඔහු නොදුටුවේය ) මේ පසුබිම මත උතුරේ සහ නැගෙනහිර  ජනතාව පාරට බැස 80%ක ඡන්දයෙන් මහින්ද රාජපක්‍ෂ පැරදවීම ගැන අප පුදුම විය යුතු නොවේ. අප පුදුමයට පත් වන්නේ මේ රටේ එන්. ජී. ඕ. නඩය මේ සත්‍යයට පිටුපා සියතින් හෙළුව වසා ගැනීමට දරණ ප‍්‍රයත්නය ගැනයි. ඔවුන්ට අනුව මහින්ද රාපක්‍ෂ පරාජය කර ඇත්තේ උතුරේ ජාතීවාදීන් නොව දකුණේ සිංහලයනුයි,


02. මෙතෙක් සිදු වී ඇති දෙවැනි සිදු වීම නම් එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් බලයට පත් වී තිබීමයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක, රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වශයෙන් ද එජාප මන්ත‍්‍රීවරුන් 49දෙනාගෙන් 40ක් ඇමතිවරු වශයෙන් ද පත්කර තිබේ. ඒ කැබිනෙට්ටුවේ මුලසුන හොබවන්නේ ජනාධිපතිවරයා නොව අගමැතියි.

මේ පත්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධී බව අද වන විට රහසක් නොවේ. අපගේ ව්‍යස්ථාව අනුව අගමැතිවරයා පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩි සංඛ්‍යාවක් ඇති පක්‍ෂයෙනුයි, වැඩි ප‍්‍රමාණයකගේ සහාය ඇති පුද්ගලයායි. මේ අගමැති පත්කරන ලද්දේ අගමැතිවරයකු පාර්ලිමේන්තුවේ ඉන්නා අතරයි. මේ පත් වීම සනාථ කරන නීති විශාරදයකු තර්ක දෙකක් ඉදිරිපත් කර තිබෙනු දුටිමි. ඔහුට අනුව ජනාධිපතිවරයා රනිල් වික‍්‍රමසිංහ පත් කර ඇත්තේ අනාගත දැක්මකින්(දිව්‍යඥානයෙන්) බැවින් එය නිවැරදි වේ. අනෙක නම් ජනාධිපතිවරයා සිය ඡන්ද ප‍්‍රකාශයේදී රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා වශයෙන් පත් කිරීමට ඔහු සපථ කර තිබීමයි. එවැනි ප‍්‍රකාශයක් වලංගු බව ව්‍යවස්ථාවෙන් නොකිය වේ. අගමැති පත් කිරීම සඳහා ගත යුතු නියම කි‍්‍රයාපටිපාටිය ව්‍යවස්ථාවේ දක්වා තිබේ.

මෙපමණක් නොවේ. නව ජනාධිපතිවරයා විපක්‍ෂ නායකවරයා ද පත්කර තිබේ. එසේ කර ඇත්තේ ජනාධිපතිකම ලබාගැනීමෙන් පසු ඔහු හිමිකර ගන්නා ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති පදවියේ බලතල අනුවයි. මේ අනුව විපක්‍ෂය තවදුරටත් විපක්‍ෂ වන විපක්‍ෂයක් නොව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අණසක අනුව කටයුතු කරන ‘පක්‍ෂ - විපක්‍ෂයකි’ මේ තත්ත්වය අපේ ගැමියන් හඳුන්වනු ලබන්නේ ‘නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ’ යන පිරුලෙනුයි. ලොව අන් කිසිම තැනක දැකගත නොහැකි නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අනුවයි දැන් යහපාලනය පවත්වාගෙන යනු ලබන්නේ. වෙස්මිනිස්ටර් සම්ප‍්‍රදායට පුරුදු වී ඇති අපට මෙය වටහා ගැනීමට අපහසුවනු ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ලේකම් යාපා මහතා පවසා තිබෙනු මම දුටිමි. යාපා මහතාට අවබොධ කරගැනීමට අපහසු වුවද අපට එවැනි අපහසුතාවක් නොමැතියි. මෙවැනි ක‍්‍රියා අප හඳුන්වන්නේ මගෝඩිකම්, කුපාඩිකම් ලෙසයි.

03. මෙතෙක් සිදු වී ඇති තෙවන සිදු වීම නම් ඊනියා ජනවාර්ගි ප‍්‍රශ්නය විසඳීම මුල්කොටගෙන ප‍්‍රකාශ කිපයක් විදේශ කටයුතු භාර අමාත්‍යවරයා සහ අගමැතිවරයා ප‍්‍රකාශ කර තිබීමයි.

විදේශ කටයුතු භාර අමාත්‍යවරයා මේ කටයුත්ත මුල්කරගෙන සිය පුටුවේ වාඩිවීමටත් පෙර ඉන්දියාව බලා පිටත්ව ගිය බව අපි දනිමු. එහි ගොස් 13 සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරන බවට ද යුද කඳවුරු ඉවත් කරන බවට ද යුද අපරාධ පරීක්‍ෂණයක් අන්තර්ජාතිකයේ සහාය ඇතිව කරන බවට ද ඉන්දියාවේ ඉන්නා ලක්‍ෂයක් සරණාගතයින් ආපසු ගෙන එන්න බවට ද උතුරේ ප‍්‍රශ්නය විසඳීම සඳහා ඩයස්පෝරාවේ සහාය පතන බවට ද ඔහු එහිදී පොරොන්දු විය. මේ පොරොන්දු දැන් අගමැතිවරයා විසින් ප‍්‍රසිද්ධි රැස්වීම්වලදී පවසන බව පෙනේ.

මෙහිදී දැක ගත හැකි විශේෂත්වය නම් නව ජනාධිපතිවරයා විසින් මේ ගැන රකින මුනිවතයි. රටේ සුරක්‍ෂිතභාවය හෝ ඒකීයභාවය ගැන හෝ කිිසිදු ප‍්‍රකාශයක් ඔහු කර නොමැත. ඔහුගේ ඡන්ද ප‍්‍රකාශනයේ ඒ ගැන කිසිඳු සදහනක් නොතිබිණි. මේවා ගැන ප‍්‍රකාශ කළ යුත්තේ මුළු රටේ ජනතාවගෙන් වැඩි කොටසක් පත් කළ, රටට රැකීම තම පළමු යුතුකම වන ජනාධිපතිවරයා විසින් විනා රටේ එක් ඡන්ද කොටිඨාශයකින් පත් කළ අගමැති හෝ විදේශ අමාත්‍යවරයා නොවෙයි.
මේ පොරොන්දුවලට අනුව ක‍්‍රියා කිහිපයක් ද මේ රජය විසින් මේ වන විට සිදු කර තිබේ. උතුරේ ආණ්ඩුකාරවරයා අස්කර ඒ වෙනුවට නව නිලධාරියකු පත් කර තිබේ. මෙතෙක් පිටරැටියනට අනවසරයෙන් උතුරට යෑමට තිබූ තහනම ඉවත් කර ඔවුන්ට උතුරට ගොස් රිසිසේ හැසිරීමට ඉඩ සලසා තිබේ. අලූතින් පත්කළ ස්වාමිනාදන් ඇමතිවරයා ඉන්දියාවේ සිටින සරණාගතයන් මෙහි ගෙන ඒමට දැනටම සැලසුම් සදමින් සිටියි. මීට අමතරව ලබන මාසේ නව ජනාධිපතිවරයා ඉන්දියාවට යෑමට සැලසුම්කර ඇත. පොදු රාජ්‍ය සමුළුවට පවා සහභාගී නොවූ මෝදී අගමැතිවරයා මාර්තු මාසේ මෙහි ඒමට සූදානම්ව සිටි. පසුගිය කාලයේ ලංකාවේ රැඳී උන් රනිල් වික‍්‍රමසිංහට ඉදිරිපත් නොවීමට අවවාද කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට ඒමට කටයුතු කළ කේ. ඉලංගෝ නැමැති රෝ ඒජන්තවරයා මෝදී අගමැතිවරයා සමග යළි එනු ඇද්දයි අපි නොදනිමු.(මේ ඉලංගෝ නැමැති රෝ ඒජන්තවරයාගේ කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් මගින් ජනතාව දැනුම්වත් කිරීමේ අවස්ථාව මහින්ද රාජපක්‍ෂ මහතාට තිබිණ. එහෙත් මෙහිදීද ඔහු අනුගමනය කළේ කැඳත් රැවුලත් ආරක්‍ෂා කරගැනීමේ නිවට ප‍්‍රතිපත්තියයි )

04. සිදු වී ඇති සිව්වන සිදු වීම නම් දින 100 වැඩසටහන අනුව සහනාධාර රාශියක් ජනතාවට ලබාදීමයි.

දැනටම පෙට්රල් ඞීසල්වල මිල අඩුකර තිබේ. මිල සූත‍්‍රයක් අනුව එය කරගෙන යන බව කියනු ලැබේ. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය 10ක් බදු රහිතව දෙන බව ප‍්‍රකාශ කර ඇත.  මෙහිලා මෛත‍්‍රීපාල ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ගැන ද සඳහන් කරනු වටි. එතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගත්තේ මේ දින 100 වැඩපිළිවෙළ සාර්ථික කරගැනීමට බවත් එසේ නොකළා නම් එය අසාර්ථක වන බවත් එතුමා පවසා තිබේ. මෙය පිළිගත හැකිද? මේ වැඩපිළිවෙළට සියලූ පක්‍ෂ එකග වී සහාය දෙන බව කියා ඇත. එසේ නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා වීමට ඇති අවශ්‍යතාව කුමක්ද?

මහින්ද රාජපක්‍ෂ රජයේ ආර්ථික ඝාතකයන් මෙහෙය වූ ඊනියා සංවර්ධනය නිසා හෙම්බත්ව ඇති ජනතාව මේ සහනාධාරය බැතිසිතින් පිළිගනු නියතය. අපි ද එය ඉතසිතින් පිළිගනිමු. එමෙන්ම එය දිගින් දිගටම පවත්වා ගත හැකි වේවායි අපි ප‍්‍රාර්ථනා කරමු.

මහින්ද රාපක්‍ෂ රජය ජනතාවගෙන් ඈත් වීමට ප‍්‍රධාන හේතුවක් වූයේ ජනතාව පීඩාවට පත් කළ, ඇත්තන් හා නැත්තන් අතර පරතරය වැඩි කළ ආර්ථික ප‍්‍රතිපත්තියයි. ජනාධිපතිවරයාට උපදෙස් දුන් මා මිත‍්‍ර ආර්ථික විශේෂඥයන්ට මම නිරතුරුව මේ ගැන සැලකර සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ අද මේ රට ඩොලර් 3000ක ඒක පුද්ගල ආදායමක් ඇති රටක් බවට පත් වී ඇති බවයි. ජනතාවගේ හදවත් තුළ දූෂණ චෝදනා රෝපණය කිරීමට සහාය වූයේ මේ විෂම ඇති නැති පරතරයයි. පීඩනයෙන් ඊර්ෂියාවෙන් පෙළෙන හදවත එය පිට කළේ දූෂණ චෝදනා මගිනුයි.

05. පසුගිය කාලය තුළ සිදු වූ පස්වැනි සිදු වීම නම් දූෂණ, වංචා, අල්ලස්, එතනෝල්, මත්කුඩු මුල්කරගෙන ගෙන කරන ලද සන්දර්ශනයයි.

මාධ්‍ය විසින් මේවා උදේ සිට ? වෙනතුරු තොරතෝංචියක් නැතිව ප‍්‍රදර්ශනය කරනු ලැබේ. එහෙත් මේ චෝදනාවලින් කොයිවා ඇත්තද නැත්තද යන්න අප නොදනිමු. මේවා පිළිබඳව නීතිමය පරීක්‍ෂණයක් හෝ දූෂිතයින්ට දඩුවම්දීක් හෝ සිදු වන බවක් නොපෙනේ. මේ සන්දර්ශනයෙන් සිදුවන එකම කාර්ය නම් රට මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්න ගැන ජනතාවගේ අවධානය වසන් කිරීම බව පෙනේ. අපේ තරුණයන් දහස් ගණනින් ජීවිත පුදා එක්කරන ලද භූමියට දැන් වන්නේ කුමක්ද? අපේ භෞමික අඛණ්ඩතාවයට දැන් තර්ජනයක් එල්ල වී නොමැතිද? රට බෙදන ක‍්‍රියාමාර්ගය යළි පණගසා අවදිවි ඇති නොවේද? මේ දූෂණ සන්දර්ශනය ජනතාවගේ දෑසින් මේවා වළක්වා සිටින කඩතුරාවක් බවට පත් වී තිබේ. මේ දූෂණ සන්දර්ශන කඩතුරාවට මුවා වී මේ රට බෙදා වෙන් කරන පිඹුරුපත් මේ වන විට සැලසුම්වෙමින් පවති.

එදා අප සමග එක් වී ජීවිත පූජාවෙන් රට රකින බවට ප‍්‍රතිඥා දුන් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධාන කාර්ය බවට අද පත්ව ඇත්තේ දූෂණ කුණු බක්කිය ඇවිස්සීමයි. අද උන්වහන්සේ කතා කරන්නේ අහිමිවී යන රට ගැන නොව අල්ලස් දූෂණ එතනෝල් කුඩු ගැනයි. නළු වෙසක් ආරූඪ කරගෙන ටෙලිවිෂන් වලට මුහුණ දෙන උන්වහන්සේ දකින විට මා තුළ ඇත්තේ ජුගුස්සාවට වඩා අනුකම්පාවකි.
එමෙන්ම එදා අප සමග රට බේරාගැනීමට පාගමන් ගිය උතුරු - නැෙ`ගනහිරි වෙන් කිරීමට සුනාමි සහන මණ්ඩලය අහෝසී කිරීමට මුල් වූ උදාර ජාතික කාර්යකට උරදුන් ජවිපෙ ද අද දූෂණ කුණු බක්කිය ඇවිස්සීම සිය එකම ජාතික මෙහෙ බවට පත්කරගෙන තිබේ. මෙයින් පෙන්නුම් කරන්නේ ඔවුන් අද පත්ව ඇති දාර්ශනිකමය බංකොලොත්භාවය නොවේද?.


මවිසින් මෙතෙක් විස්තර කරන ලද්දේ මෙතෙක් සිදු සිදුවෙමින් පවතින දේයි.
මතු අනාගතයේදී සිදු වන්නේ කුමක්ද? ඒ ප‍්‍රශ්නය වඩාත් වැදගත් වන බව කියමනා නොවේ.
සියලූ අනාගත වාක්‍ය අපගේ හිතළු ඇසුරින් බිහිවන නමුදු මා දකින අනාගතය මේ වර්තමානයේ දිගුවක් ලෙස නිර්මිත වී ඇතැයි මම සිතමි.
ඉතා කෙටියෙන් කිව්වොත් අද මේ ඉදිරියට යන්නේ අන් කිසිවක් නොව තිස් වසරකට පෙර දියත් වුණු මේ රට බෙදා වෙන් කිරීමට ඇමෙරිකාව සහ ඉන්දියාව ගෙන යන ලද අන්තර්ජාතික කුමන්ත‍්‍රණයේ අවසාන අදියරයි. ඒ දේශපාලන කුමන්ත‍්‍රණය මේ වන විට කූඨප‍්‍රාප්ත වෙමින් පවතී. මේ සඳහා එරෙහිව සිටි අන්තිම බාධාව වන මහින්ද රාජපක්‍ෂ දැන් බලයෙන් පහකර සිටියි. එමෙන්ම අපගේ ජාතිකත්වය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැන් ඒ තත්ත්වයෙන් ගිලිහී ගොස් ඇත. මේ කුමන්ත‍්‍රණය ගැන මා සඳහන් කළේ මීට තිස් වසරකට පෙරයි. මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇතැයි ද ඊට විසඳුම් සෙවිය යුතු යැයි ද යනුවෙන් මහා උද්ඝෝෂණයක් රට තුළ දියත් කර තිබූ අවධියේයි.
මේ රට බෙදීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම දැන් සකස් වී තිබේ. බටහිර අධිරාජ්‍යවාදයට ඇමෙරිකා අණසකට යටත්ව කටයුතු කරන එජාප නායකයනුත් ජාතිකත්වය හළ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂික නායකයනුත් දැන් එක තැනකට ගොනු වී තිබේ.( මහින්ද රාජපක්‍ෂ බලයෙන් පහ කිරීමට පළමුවෙන්ම ඉදිරිපත් වූයේ දැන් විපක්‍ෂ නායකත්වය දරණ නිමල් සිරිපාල ද සිල්වා බව ඇමති රාජිත හෙළි කරනු මම අසා සිටියෙමි.)  සියලූ බෙදුම්වාදීන් දැන් රට පාවාදීමට සැදී පැහැදී සිටිති. දැන් ඉතිරිව ඇත්තේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ ආශිර්වාදය සහිතව ෆෙඩරල් රාජ්‍යයක් දෙමළ ජාතිවාදීන්ට පිරිනැමීමයි. ඉදිරි මාස හය තුළ ඒ ෆෙඩරල් රාජ්‍ය බිහිවන බව මගේ ඒකාන්ත විශ්වාසයයි. එසේ බිහිවන ෆෙඩරල් රාජ්‍යය ඊළාමයක් - ටැමිල්නාඩුව සහිත මහා ඊළාමයක් බවට පත්වේද යන්න තීන්දු කරනු ලබන්නේ ඉන්දියාව විසින් නොව ඇමෙරිකාව විසිනුයි. දවස් 100න් පසු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මේ රංගනයේ අවසාන ජවනිකාව ඔබට දැකගැනීමට ලැබෙනු ඇත.
වේරම්බ වාතායක් මෙන් කිසිදු බාධාවකින් තොරව ඉදිරියට යන මේ දුෂ්ට කි‍්‍රයාදාමය, ජාතියේ අවසාවනය සණිටුහන් කරන මේ මහා ඛේදවාචකය වළක්වා ගත හැකි බලවේගයක් මේ රට තුළින් බිහිකර ගත නොහැකිද?.
එවැනි බලවේගයක් බිහිකර ගත හැකි බව මම තරයේ විශ්වාස කරමි. සිංහල බහුතරයකගෙන් සැදුනු 58 ලක්‍ෂයක් වන ජනතාව තුළින් එවැනි බලවේගයක් ගොඩන`ගා ගත නොහැකි යැයි සිතුවොත් එව අතිශ්‍ය මුළාවකි. නිවටකමකි. එවැනි බලවේගයක් ගොඩන`ගා ගැනීම අපහසු නොවේ. ඒ 58 ලක්‍ෂ ජනතාව මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන්නේ වංචා දූෂණ ගැන නොදැන නොවෙයි බඩසාදුකින් පෙළෙන බව නොදැන නොවෙයි. ඔවුන් ඡන්දය දුන්නේ ත‍්‍රස්තවාදය නැති කොට මේ රට මුදා ගත් මහින්ද රාජපක්‍ෂ මගින් මේ රට නොබෙඳී, නොසිඳී වසර 2000ක් පැවැති ආකාරයට පවත්වා ගැනීම සඳහායි. ඒ 58 ලක්‍ෂයේ ප‍්‍රාර්ථනාව ඉෂ්ට කිරීම සඳහා ඉදිරිපත් වීම මේ රට වෙනුවන් සිය ජීවිත දහස් ගණනින් පිදු අපේ තරුණයන් වෙනුවන්් ඉරිපත් වීම මේ රටේ සියලූ දේශහිතෛෂී බලවේගවල යුතුකම වෙයි.
[ලංකාදීප 2015-02-01]
යුතුකම සංවාද කවය

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions