අධ්‍යාත්මය හා නොපෑහුණු ජීවිතයක ශෝකාන්තය විනිවිද දැක ජාතික චින්තනයක අවශ්‍යතාව ගෙනහැර පෑ ප්‍රාඥයකු වූ ගුණදාස අමරසේකරයන්ගේ 96 වන ජන්ම දිනය අදට යෙදී තිබේ. එතුමන්ට අපි චිර ජීවනය පතමු. ගුණදාස අමරසේකරයන් සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය නමින් කර ඇති නිබන්ධනයේ ඡේද කිහිපයකි මේ.
කොළඹ අගනුවර අහස් මාළිගා අතර ජීවත්වන අපි මේ රටේ සංයුතිය හඳුනන්නෝ නොවෙමු. මේ රට එකම ගමක් යැයි කීවොත් බොහෝ දෙනා මවිතයට පත්වනු ඇත. එය අතිශයෝක්තියක් ලෙස බැහැර කරනු ඇත. මේ රට තුළ ගම් දස දහසක් තිබේ. ඉන් ඇතැම් ඒවා, විශේෂයෙන් උතුරු මැද පළාතේ ඇති ඇතැම් ගම් අනුරාධපුර යුගයේ සිට අඛණ්ඩව පැවත එන පුරාණ ගම් වෙයි. කොටින්ම කියතොත් මේ රට අද වන තුරු ග්‍රාම රාජ්‍යයකි.
මේ ගම්වලින් එකක් හෝ දෙක – තුනක් හෝ පාදක කොටගත් ගම් සභාවක් මෙහි පැවැතිණි. දෙදහස් වසරක් මුළුල්ලෙහි පැවැති ඒ ගම් සභාවේ ආරම්භය පණ්ඩුකාභය යුගය ලෙස සැලකේ. ගම්වල සීමා නිර්ණය කොට ග්‍රාම රාජ්‍යයක් රට තුළ නිර්මාණය කරන ලද්දේ පණ්ඩුකාභය නරවරයා විසිනි.
ගම්වල පාලනය මුළුමනින්ම ගෙනයන ලද්දේ ගම් සභාව මගිනි. ගම් වැසියන් විසින් ඒකමතිකව තෝරා පත්කර ගන්නා ලද නිලධාරි මණ්ඩලයක් විසින් මේ පාලනය ගෙනයන ලදී.
වසර දෙදහසක් පැවති මේ ගම් සභාව අහෝසි කරන ලද්දේ මේ රට යටත් කරගත් ඉංගිරිසි පාලකයා විසිනි. 1833 දී ස්ථාපිත කරන ලද කොල්බෲක් – කැමරන් ප්‍රතිසංස්කරණ මගිනි එය සිදුකරන ලද්දේ. එහෙත් ටික කලකින් පසු ගම් සභාවෙන් තොරව මේ රට පාලනය අසීරු බව වටහාගත් පාලකයා එය යළි ස්ථාපිත කළේය. එය අවසාන වශයෙන් අහෝසි කරන ලද්දේ 1948 දී නිදහස ලබාගත් අපේ නායකයන් විසිනි.
ඒ අවසාන කාලයේදී අපේ නායකයන් විසින් විකෘති කරන ලද ගම් සභාව, ගම වනසන හලාහලයක් විය.
ගමේ සාමය, සමගිය වනසන උනුන් ඇනකොටා ගැනීමට සලස්වන පොර පිටියක් බවට ගම පත්කරන ලදී. ඒ පිළිබඳ අගනා විස්තරයක් මගේ ‘කරුමක්කාරයෝ’ නව කතාවෙන් දැකගත හැකිය.
ඒ අතීතයේ ගම් සභාව විසින් පාලනය කරන ලද ගම තුළ වූ ජනතාව තෘප්තිමත් ජීවිතයක් ගත කළ පිරිසක් විය. ධර්මපාලතුමා විසින් ඒ පිළිබඳ විස්තරයක් සපයා තිබේ.
“වර්ෂ 2350 වන තුරු අපි නිදහස් ජාතියක් ලෙස ජීවිත් වීමු. ඒ අවධිය තුළ අපගේ ඉඩකඩම් අප සතුව තිබුණු බැවින් අපට අවශ්‍ය සියලු දේ අප රට තුළින් ලබාගතිමු. ඒ යුගයේ මෙරට වැසියෝ තෘප්තිමත් ජීවිතයක් ගත කළහ. ගම්වැසි කුඹුරු හිමි ගොවියෝ සාමූහික ජීවිතය සහ පරාර්ථය ආත්ම කොටගත් ආගම අනුව යමින් ගොවිතැන්බත් කිරීමේදී අන්‍යෝන්‍ය වශයෙන් උපකාර වෙමින් ජීවත් වූහ. අන්‍යෝන්‍ය උපකාරය ආප්තය විය.”
ඒ ගම තුළ අද ඇති තත්ත්වය කෙබඳුද? එය මිහිපිට ඇති අපායකි. එහි අද ඉන්නේ සාගින්නෙන් පෙළෙන හරිහමන් කෑමක් බීමක් නැති අසරණ පිරිසකි. පවුලේ දෙමාපියන් කෑම කන්නේ එක වේලක් පමණි. දරුවන්ගේ ආහාරය වන්නේ උදේ හවස දෙන කැඳ කෝප්පයයි. රෑ බඩගින්නේ අඬන අත දරුවා මව විසින් නිදිකරනු ලබන්නේ මිනිහා බොන කසිප්පු හැළියේ අත දමා ඒ ඇඟිලි තුඩු දරුවාට සූප්පු කිරීමට සැලැස්වීමෙන් බව මට මෑතක දී අසන්නට ලැබිණි.
![]() |
බිරිඳ හා පුතු සමග පිංතූරය – ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා |
ඔවුන් නිවසන ගේ දොර කෙබඳුද? තහඩු හෝ පොල් අතු හෝ සෙවිලි කළ ලෑලි ගසා වට කළ පැල්පතකි එය. යුද පෙරමුණකට ගිය පුතාගේ මළකඳ තැබීමට ඉඩක් ඒ තුළ නොමැත. ඇතැම් පවුල්වලට ඇති එකම ආදායම් මාර්ගය මිගිය පුතාට ලැබෙන වන්දි මුදලකි. මීට අමතරව ඡන්දයක් ළං වන විට මන්ත්‍රීතුමා අතින් හිඟමනක් ලැබේ. අද ඇති ගමේ තත්ත්වය මෙවැනි වෙයි.
එසේ වුවද ඔවුන්ගේ හදවත් තුළින් අතීතය විසින් දායාද කර ඇති සභ්‍යත්ව විඥානය ගිලිහීගොස් නොමැත. දහසක් දුක් කම්කටොලු මැද්දේ වුවද මානව දයාව ඔවුන්ගේ හදවත්වලින් ගිලිහීගොස් නොමැති යැයි මම සිතමි. තවම අපේ සභ්‍යත්වයේ කෝෂ්ඨාගාරය ගමවේ.
මේ රටේ ජාතික ආදායමෙන් සියයට අසූවක් (80%) පරිහරණය කරන්නේ සමස්ත ජනතාවගෙන් සියයට විස්සක් (20%) විසිනි. ඉතිරි සියයට අසූවට (80%) ලැබෙන්නේ ජාතික ආදායමෙන් සියයට විස්සක් (20%) පමණි. සියයට හැත්තෑවක් (70%) වන ගැමි ජනතාවට ලැබෙනු ඇත්තේ සියයට දහයක් (10%) පමණ විය යුතුයි.
මේ තත්ත්වය වෙනස් නොකර අද මේ රට වැටී ඇති තත්ත්වයෙන් එය මුදාගත හැකිද?
අප පතන මානව හිතවාදී සභ්‍යත්ව රාජ්‍යය නිර්මාණය කිරීමේදී එය පටන්ගත යුත්තේ කොතැනින්ද? එය පටන්ගත යුත්තේ ඒ සභ්‍යත්වය රැකගත් ගම පාදක කොටගෙනයි. ඒ සභ්‍යත්ව නිර්මාණයේ අත්තිවාරම ගම විය යුතුයි. ඒ ගැන විවාදයක් තිබිය නොහැකිය. සභ්‍යත්ව රාජ්‍යයයේ දේශපාලන ව්‍යුහයේ පළමු ඒකකය විය යුත්තේ ගම මුල්කර ගත් ග්‍රාම සංවර්ධන සභාවයි. එය බිහිකර ගත යුත්තේ කෙසේද?
මේ රටේ ගම් පහළොස් දහසක් (15,000) පමණ තිබේ. එක ග්‍රාම සංවර්ධන සභාවකට, එකිනෙකාට ළංව ඇති ගම් පහක් (5) ඇතුළු විය යුතුයි. එවිට ග්‍රාම සංවර්ධන සභා 3000ක් පමණ නිර්මාණය වනු ඇත. එක ගමකින් දෙදෙනකු පමණ තෝරාගත් විට සංවර්ධන සභාව දසදෙනකුගෙන් පමණ සමන්විත වනු ඇත. මේ තෝරාගැනීම කළ යුත්තේ හුදෙක් සම්මතය මුල්කර ගෙනයි. මෙහිදී කිසිම ආකාරයක තරගයක් නොතිබිය යුතුයි. පක්ෂ දේශපාලනය මුල්කර ගත් තරගයක් කිසි ලෙසකින් ඇතුළු විය යුතු නොවේ.
සභ්‍යත්ව රාජ්‍ය නිර්මාණය සඳහා මා සිත පහළ වූ දේශපාලන ව්‍යුහය පහත සඳහන් අයුරින් රූපගත කළ හැකිය.
ග්‍රාම සංවර්ධන සභාවේ එකම අරමුණ විය යුත්තේ ඊට ඇතුළත් වන ගම් සංවර්ධනය කිරීමයි. සංවර්ධන සභාවට පත්වන දසදෙනා (10) විසින් ඒ කාර්යය බෙදා වෙන්කරගත යුතුයි. සියලු සංවර්ධන සභාවලට පොදු වන සංවර්ධන මාර්ගයක් තිබිය නොහැකිය. එක එක සංවර්ධන සභාවල අවශ්‍යතා අනුව එය වෙනස් විය යුතුයි.
මේ සංවර්ධන සභාවලට අවශ්‍ය පහුසකම්, මූල්‍ය ආධාර සැපැයීම, මධ්‍යම රජයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගකීම විය යුතුයි. සංවර්ධන සභා නියෝජිතයන්ට සිය කාර්යය ඉටුකිරීම් වස් සුළු වේතනයක් දිය යුතුයි. සංවර්ධන සභාවට අයත් වන සියලු ගම් එක සේ සංවර්ධනය කිරීම සංවර්ධන සභාවේ මූලික වගකීම විය යුතුයි.
මේ දේශපාලන ව්‍යූහයේ ඊළඟ පියවර විය යුත්තේ දිස්ත්‍රික් සංවර්ධන සභා නිර්මාණයකර ගැනීමයි. ඊට පළමු අවශ්‍ය නම් ප්‍රාදේශීය මහලේකම් කොට්ඨාස පදනම්කර ගෙන ප්‍රාදේශීය සංවර්ධන සභා ඊළඟ ස්ථරය ලෙස යොදාගත හැකිය. එයට නියෝජිතයන් පත්කර යැවිය යුත්තේ ග්‍රාම සංවර්ධන සභා මගිනි. මේ ප්‍රාදේශීය සංවර්ධන සභා දේශපාලන බල කේන්ද්‍ර නොව සංවර්ධන කේන්ද්‍ර විය යුතුයි. ඒ සඳහා දේශපාලනය නොවැද්දගත යුතුයි. ඒවායේ සංයුතිය ග්‍රාම සංවර්ධන සභාවල සංයුතියම විය යුතුය.
මේ රටේ දිස්ත්‍රික්ක 22ක් තිබේ. ඉන් එක දිස්ත්‍රික්කයකට ග්‍රාම සංවර්ධන සභා විසිපහක් (25) පමණ අයත් වනු ඇත. ඒවා එකම මට්ටමකට සංවර්ධනය වූ ඒවා නොවෙනු ඇත. මේ වෙනස අවම කොට මුළු දිස්ත්‍රික්කයම එකම තත්ත්වයකට ගෙන ඒම දිස්ත්‍රික්ක සභාවල මූලික අරමුණ විය යුතුයි.
මේ දිස්ත්‍රික්ක සභාවලට නියෝජිතයන් පත් කරගත යුත්තේ ඊට අයත් වන ග්‍රාම සංවර්ධන සභාවලින් හෝ ප්‍රාදේශීය (සංවර්ධන සභා පිහිටුවන්නේ නම්) එමගින් හෝ තෝරා පත්කර ගන්නා නියෝජිතයන් මගිනි.
මේ දිස්ත්‍රික්ක සභා පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු පහසුකම් සැපැයීම, මූල්‍ය ප්‍රතිපාදන සැපැයීම මධ්‍යම රජයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වගකීම වේ. ඒ දිස්ත්‍රික්ක සභා නියෝජිතයන්ට ද වේතනයක් දිය යුතුයි.
ඉහතින් දැක්වූ ග්‍රාම සංවර්ධන සභා, ප්‍රාදේශීය සංවර්ධන සභා සහ දිස්ත්‍රික්ක සංවර්ධන සභා මගින් පස් වසරක කාලයක් තුළ සංවර්ධිත ග්‍රාම රාජ්‍යයක් බිහිකර ගැනීමට හැකිවනු නොඅනුමානය.
අප පතන දේශපාලන ව්‍යූහයේ ඊළඟ පියවර විය යුත්තේ රටේ මුළු පාලනයම හසුරුවන රාජ්‍ය මන්ත්‍රණ සභාව නිර්මාණයකර ගැනීමයි. එය නියෝජිතයන් තුන්සියයකින් (300) පමණ සමන්විත විය යුතුයි. ඒ තුන්සියය (300) පත්කර ගත යුත්තේ දිස්ත්‍රික්ක සභා නියෝජිතයන් අතරිනි; පිටතින් නොවේ.
රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් මුළු රටේම පාලනයට අවශ්‍ය නීතිරීති, අධිකරණ පද්ධතිය, ආර්ථික ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්තිය ආදි වූ සියල්ල මෙන්ම රටේ ආරක්ෂාව, ස්වෛරී භාවය ස්ථාපිත කළ යුතු වෙයි. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාව බිහිකර ගත යුතුයි. රාජ්‍ය මන්ත්‍රණ සභාව අගමැති කෙනකුගෙන්, ඇමැති මණ්ඩලයකින්, මන්ත්‍රීන් පිරිසකගෙන් සමන්විත විය යුතුයි. මේ සියලු ආයතනවල ග්‍රාම සංවර්ධන සභා, දිස්ත්‍රික්ක සංවර්ධන සභා, රාජ්‍ය මන්ත්‍රණ සභා සියල්ලෙහිම ආයු කාලය පස් වසරකට සීමාවිය යුතුයි.
මේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ක්‍රියා පටිපාටිය සඳහා අවශ්‍ය කිසියම් ආභාෂයක් මේ රටේ පැවැති ඩොනමෝර් මන්ත්‍රණ සභාවෙන් ලබාගත හැකි යැයි මම සිතමි. ඒ ඩොනමෝර් ක්‍රමය තුළ සභ්‍යත්ව රාජ්‍යයක් සතුවන ලක්ෂණ කිහිපයක ඡායා මාත්‍රයක් ගැබ් වී තිබිණ. අප නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය ලබාගත්තේ ඒ ඩොනමෝර් යුගයේ දීය.
යෝජිත දේශපාලන ව්‍යුහය මෙවැන්නක් වන අතර සභ්‍යත්ව රාජ්‍යයට අවශ්‍ය ආර්ථික ව්‍යුහය කෙබන්දක් විය යුතුද?
ඒ සඳහා අවශ්‍ය පිළිතුර අප සතුව තිබේ. වසර දෙදහසක් පැවැති සභ්‍යත්වය මගින් එය අපට හිමිකරදී ඇත. එය අන් කිසිවක් නොව අප සතුව පැවැති බෞද්ධ ආර්ථික ව්‍යුහයයි. එය ඉවතලීමට කිසිදු හේතුවක් මම නොදකිමි. අද අවශ්‍යව ඇත්තේ එය අදට ඔබින විදිහට අද අප මුහුණ දෙන ලෝක ආර්ථික ප්‍රවණතාව අනුව සකස්කර ගැනීමයි.
අද වන විට බුදු දහහම එළි දක්වා ඇති ආර්ථික න්‍යාය බටහිර ආර්ථික විද්‍යාඥයන් විසින් පවා පිළිගනු ලබන සම්භාවනීය ආර්ථික න්‍යායක් බවට පත්ව තිබේ. ආර්ථික විද්‍යාඥ ෂූමාකර් විසින් විශද කොට ඇති ඒ බෞද්ධ ආර්ථික න්‍යාය මෙතෙක් ලොව ප්‍රගුණ කළ නව ලිබරල්වාදී හෝ මාක්ස්වාදී හෝ න්‍යායන්ට විකල්පයක් සපයා ඇති බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබේ. 2017 දී එළිදක්වන ලද ‘Buddhist Economics : An Enlightened approach to the Dismal science’ නමැති ග්‍රන්ථය ඊට නිදසුනක් සේ මම දකිමි. එය ලියා ඇත්තේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය ක්ලෙයාර් බ්‍රවුන් විසිනි. අපගේ රටට වඩා කුඩා රටක් වන භූතානය බෞද්ධ ආර්ථික න්‍යාය අනුව යමින්, “සන්තුට්ඨි පරමං ධනං” යන බුදු වදන අනුව යමින් මෙතෙක් අප භාවිත කළ ආර්ථික සංවර්ධන නිර්ණායකය වන දළ දේශීය නිෂ්පාදනය වෙනුවට ‘Happiness Index’ යන නිර්ණායකයක් ඉදිරිපත් කර ඇති සැටි අපට පාඩමක් විය යුතුයි. ඒ බෞද්ධ ආර්ථික න්‍යාය ක්‍රියාත්මක කිරීමටය. සුදුසුම තෝතැන්න වන්නේ වසර දෙදහසක් (2000) බෞද්ධ සභ්‍යත්වය රැකගත් අපේ රට බව මගේ විශ්වාසයයි.
විදේශිකයන් විසින් අප මත පටවා ඇති දෑවැද්ද ඉවතලා මා ඉහතින් දැක්වූ විකල්ප මාර්ගය ක්‍රියාත්මක කළ හොත් ඉන් ලබාගත හැකි ප්‍රධාන අතුරුඵලයක් කෙරෙහි ද අවධානය මෙහිලා පෙන්වාදීම ප්‍රයෝජනවත් යැයි සිතමි.
අද අපට මුහුණදීමට ඇති ප්‍රධානම තර්ජනය ඉන්දියාව විසින් ඇමරිකාවේ ද සහාය ඇතිව අපවෙත එල්ල කර ඇති 13 වන සංශෝධනයයි. එය අපගේ හිසමත එල්ලන ලද කඩුවක් වෙයි (බල ලෝභයෙන් ආතුර වූ වත්මන් අධම දේශපාලන නායකයන් ඒ කඩුව අප හිසමතට පතිත කිරීමට සූදානම් බව පෙනේ). ඒ භයානක ඉරණමෙන් ගැලවිය හැක්කේ මං විසින් පෙන්වාදී ඇති විකල්ප මාර්ගයෙන් පමණි. එවිට 13 වන සංශෝධනයක් අවශ්‍ය නොවෙනු ඇත. සංහිඳියාවේ නාමයෙන් රට බෙදා ෆෙඩරල් රාජ්‍යය බිහිකිරීමට අවශ්‍ය නොවෙනු ඇත. අපේ ස්වෛරී භාවය, භෞමික අඛණ්ඩතාව විනාශ නොවනු ඇත.
මවිසින් ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් දේශපාලන ආර්ථික විකල්පය පරිපූර්ණ එකක් හෝ සාර්ථක ප්‍රතිඵල ගෙනදෙන එකක් හෝ නොවන්නට පුළුවන. මෙය ආධුනිකයකු අතින් ලියැවුණු කටු සටහනක් පමණි. ඒ බව මම දනිමි. මගේ අරමුණ වූයේ හුදෙක් එවැනි විකල්පයක් සොයාගනු වස් බුද්ධිමත් සංවාදයක් බිහිකර ගැනීම සඳහා අපේ බුද්ධිමතුන්ගේ අවධානය යොමු කිරීමයි.
එවැන්නකින් තොරව මේ රට අද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත නොහැකි වනු ඇත.
ඒ කරුණු අපට පමණක් නොව මේ රටේ බහුතර ජනතාවට ද මේ වනවිට පැහැදිලි වී ඇත. විදේශිකයා හිමිකර දුන් පාර්ලිමේන්තුව, පක්ෂ ක්‍රමය, ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අබමල් රේණුවක විශ්වාසයක් ඔවුන් තුළ නොමැත. එය අප වැනසීමට අටවන ලද උපක්‍රමයක් බව ඔවුනට පෙනී ගොස් තිබේ. ඔවුන් ලබා ඇති මේ අවබෝධය විකල්පයක් සොයා යන අපට ඉමහත් දිරියක් බව කිවමනා නොවේ. මේ අවස්ථාව අප විසින් ප්‍රයෝජනයට ගත යුතුයි. එය ප්‍රයෝජනයට නොගෙන සුපුරුදු ලෙස විජාතිකයාගේ උගුලේ රැඳී සිටියොත් ඒ උරචක්‍රමාලය අපේ රටේ ජාතිය ගෙල සිඳ, අප මේ මිහිපිටින් අතුරුදහන් කරනු නියතය.
මා දැක්වූ විකල්ප මග වසරකින් දෙකකින් අපේක්ෂිත ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ. ඊට වසර කිහිපයක් ගතවනු ඇත. එහෙත් ඒ කරුණ එය ක්‍රියාවට නොනැඟීමට හේතුවක් නොවිය යුතුයි. එහි ඇතැම් කොටස් ග්‍රාම සංවර්ධන සභාව වැන්නක් අද ඇති පාලන තන්ත්‍රය තුළම ක්‍රියාවට නැඟිය හැකියි. රට පුරා ඇති සංවර්ධන සභා තුන්දහසක් ක්‍රියාත්මක වී මල්ඵල ගැන්වෙන විට අද ඇති විදේශිකයා හිමිකර දුන් පලාන තන්ත්‍රය ඉබේම දියවී යෑමට ද පටන් ගනු ඇත.
මා ඉහතින් දැක්වූ ගම්වල ප්‍රමාණය පිළිබඳ සංඛ්‍යා ලේඛන, දත්ත සහ තවත් කරුණු නිවැරදි නොවන්නට පුළුවන. එහෙත් මා ඉදිරිපත් කර ඇති ‘ග්‍රාම රාජ්‍ය සංකල්පය’ ඉවතලෑමට එය හේතුවක් කරගත යුතු නොවේ. වැදගත් වන්නේ මා ඉදිරිපත් කර ඇති ග්‍රාම රාජ්‍යය සංකල්පය පිළිබඳ ප්‍රබල සංවාදයක් සමාජය තුළ බිහි කිරීමයි. මගේ මූලික අරමුණ එයයි.
ආචාර්ය ගුණදාස අමරසේකර
2025-11-12 : Divaina
යුතුකම ජාතික සංවිධානය
2025-11-12 : Divaina
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

.webp)




0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .