ප්‍රතිපත්තියක් යනු කිසියම් රාජ්‍යයක්/ කණ්ඩායමක්/ පිරිසක් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන්නේ කවර ආකාරයෙන් ද යන්න දැක්වෙන සටහනකි. ඒ අතරින් ජාතික ප්‍රතිපත්තියක් යනු කිසියම් රටක් (දේශපාලන වෙනස්වීම් වලින් ස්වායක්තව) යම් කිසි කරුණක් අරභයා ක්‍රියා කරන ආකාරය දැක්වෙන කිසියම් ප්‍රකාශයකි්. “ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” යන වචන කිහිපය මගින් ද අදහස් විය යුත්තේ (කුමන ආණ්ඩුවක් බලයට පත් වුව ද) නොවෙනස්ව පවතින, මෙරට ජල සම්පත සම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති මාලාවකි.
එහෙත්, පසුගිය දශක කිහිපය තුළ මෙරට දේශපාලනය සහ කාලීන සිදුවීම් දෙස අවදියෙන් සිටි ඕනෑම අයෙකුට, එක්වරම “ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” නැතහොත් සරලව "ජල ප්‍රතිපත්තිය" කියූ සැණින් සිහියට නැගෙන්නේ යම්කිසි ආන්දෝලනාත්මක තත්ත්වයකි. ඒ පසුගිය කාලය මුළුල්ලේ ඒ සම්බන්ධයෙන් කතා-බහට ලක් වූ දෑ එසේ වූ නිසා ය.
"මෙන්න අපේ රටේ ජල සම්පත විකුණන්න හදනවා!"
මේ, ඒ සම්බන්ධයෙන් අපට ඇසුණු කතාවකි.
"අනේ, එහෙම දෙයක් නෑ! මෙතන තියෙන්නේ එක්තරා පිරිසක් මවන බොරු බිල්ලෙක් විතරයි!"
ඒ ඊට විරුද්ධ පසින් ඇසුණු කතාව යි.
ශ්‍රී ලංකාව සඳහා ජල ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ දරන ලද උත්සාහයන්ට විරෝධය පෑ විවිධ පාර්ශ්වයන් සිටි නමුත්, එම ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ පාර්ශවය විසින් මේ සියලු විරෝධතාවන් ගොනු කරන ලද්දේ "බොරු බිල්ලන්ගේ" ගොඩට ම ය. මෙම බිල්ලන්ගේ කඳවුර එක්තරා දේශපාලන පක්ෂයක අතකොලුවක් බව ද ප්‍රකාශ විනි. ඒ අන් කිසිවකුගේ නොව, වත්මන් රජයේ ද ප්‍රධාන පාර්ශ්වකරුවා මෙන් ම කඳු නාරටිය ද වන, ජනතා විමුක්ති පෙරමුණේ යි.
එසේ නම්, ඊනියා "බිල්ලන් මවන්නන්" දැන් බලයට පැමිණ තිබේ. එමෙන්ම, “බිල්ලන්ගෙන් තොර” ජල ප්‍රතිපත්තියක් සකස් කර ගැනීමේ වගකීම සහ අවස්ථාව දැන් ඔවුන්ට පැවරී තිබේ. ඒ ගරු අග්‍රාමාත්‍ය තුමිය විසින් 2025.06.23 දිනැතිව "ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම" මැයෙන් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති යෝජනාව අනුව ය.
එම අමාත්‍ය මණ්ඩල යෝජනාවෙහි සාරාංශය අනුව, “දැනට බලාත්මක ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය” තවදුරටත් සංශෝධනය විය යුතු බව විවිධ පාර්ශ්ව විසින් ද පෙන්වා දී ඇත. ඒ අනුව, එම ප්‍රතිපත්තිය නැවත සමාලෝචනය කර, වත්මන් රජයේ ප්‍රතිපත්තිය හා අනුගත වන අයුරින් එය සංශෝධනය කිරීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස, කේ.ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, අනුර කරුණාතිලක, (ඉංජිනේරු) කුමාර ජයකොඩි සහ (වෛද්‍ය) දම්මික පටබැඳි යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත. (පරිශීලනය: අමාත්‍ය මණ්ඩල කාර්යාලයෙහි නිල වෙබ් අඩවිය) දැන් වත්මන් ආණ්ඩුවට විකල්ප දෙකක් ඇත. කලින් ආණ්ඩු ඉදිරිපත් කළ ජල ප්‍රතිපත්තියේ ම කොපියක් ඉදිරිපත් කර, එහි බිය වීමට තරම් දෙයක් නොමති බව පැවසීම ඉන් පළමුවැන්න ය. එහෙත්, ජවිපෙට සිය හෘද සාක්ෂියට එකඟව එ සේ කළ නොහැකි ය. එකල තමන් දුටු බිල්ලන්ගේ සැබෑ ස්වරූපය රටට හෙළිදරව් කොට රටට ගැලපෙන, සාධනීය ජල සම්පත් ප්‍රතිපත්තියක් සකස් කර සම්මත කර ගැනීම දෙවැන්න ය. අප දකින ආකාරයට ආණ්ඩුවට ඇති සුදුසු ම විකල්පය එය ය.
දැන් මේ කැබිනට් තීරණය කියවන්නෙකුට තවත් ගැටළුවක් මතුවනු ඇත. ඒ, එහි සඳහන් “දැනට බලපවත්නා ජල ප්‍රතිපත්තිය” කුමක්ද යන්න යි. එසේ නම්, එය කවර කලෙක සිට බලපැවැත්වෙන්නක් ද? "විවිධ පාර්ශ්ව විසින්" පෙන්වා දී ඇති එහි සඳහන් සංශෝධනය විය යුතු කරුණු මොනවා ද? නොඑසේ නම්, එහි බිල්ලෝ සිටිත් ද?
විවේචකයන් පිරිසක් අතට යශ්ටිය ලැබී ඇති මේ මොහොත යනු, මේ ගැන සංවාදයක් ඇති කිරීමට සුදුසුම මොහොත බව අපි සිතමු. එසේ නම්, දශක ගණනාවක් මුළුල්ලේ වරින්-වර හිස ඔසවමින් ගිලී ගියේ "ඉතා අහිංසක" ජල ප්‍රතිපත්ති ලියවිල්ලක් ද? මේ ගැන සොයා බැලීමට වඩාත්ම සුදුසු ලේඛනය වන්නේ 2000 වර්ෂයේ දී වඩාත් ආන්දෝලනයකට තුඩු දෙමින් හඳුන්වා දෙන ලද, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය සහ ආයතනික ව්‍යුහය (National Water Resources Policy and Institutional Arrangements) ලියවිල්ල යි. මෙම ලියවිල්ලෙහි සාරාංශයක් ඕනෑ ම අයෙකුට අන්තර්ජාලය භාවිතයෙන් සොයා ගත හැකි යි. මෙම ලේඛනය දෙස සැලකිල්ලෙන් බලන අයෙකුට පසක් වනු ඇත්තේ, මෙය ජල සම්පත සම්බන්ධයෙන් වන ලියවිල්ලකට වඩා “ජල හිමිකම (water rights) නම් අදහස මෙරට ස්ථාපනය කිරීමට ආයතනික ව්‍යුහයක් ඇති කරන්නේ කෙසේ ද යන්න සඳහන් ලියවිල්ලක් බව යි.
ජල හිමිකම් යනු නීතිමය හිමිවුමකි; සාමාන්‍යයෙන් රජය මගින් ප්‍රදානය කෙරෙන්කක් නැතහොත් නීතිය මගින් නීර්ණය කෙරෙන්නකි. එ මගින් තනි පුද්ගලයෙකුට හෝ පාර්ශවයකට, කිසියම් ඵලදායී භාවිතයක් උදෙසා, කිසියම් ජල මූලාශ්‍රයකින්, නිශ්චිත ප්‍රමාණයක් ජලය ලබා ගැනීමට, හැරවීමට නීතිමය අයිතියක් ලබා දේ. සාමාන්‍යයෙන් නීතිය ඉදිරියේ මෙය සැලකෙන්නේ දේපල හිමිකමකට සමාන ලෙස වන අතර, මෙම සංකල්පය ක්‍රියාත්මක රටවල යම් කිසිවෙකු සතු ජල හිමිකම, තවත් පාර්ශවයක් වෙත විකිනීම, පැවරීම, උගස් කිරීම යනාදී කාර්‍යයන් සිදු කළ හැකි ය. මෙය ඇතැමුන්ට විහිලුවක් ලෙස වුව ද පෙනී යා හැක්කේ, මීට අදාළ නීති ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ දැනට දක්නට නොමැති වීම නිසා ය. දැනට නීතියක් නොමති වීම හේතුකොට ගෙන ම, මුලදී ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා මෙම සංකල්පය ක්‍රියාත්මයක කිරීමට නම්, පාර්ලිමේන්තු පනතක් මගින් එය නීති පද්ධතිය තුළට ගෙන ආ යුතු ය. ඉතිහාසයේ සෑම විට ම, ජල සම්පත් ප්‍රතිපත්තියට පසුව, ජල සම්පත් පනතක් ගැන ද කියවෙන්නේ මේ නිසා ය. 2000 වර්ෂයේ ගෙන එන ලද, ජල ප්‍රතිපත්තියෙහි මීලඟ වැදගත් ම කොටස වූයේ එමගින් යෝජිත ආයතනික ව්‍යුහය යි. මෙම ආයතනික ව්‍යුහය අවශ්‍ය වන්නේ ජල හිමිකම් පරිපාලනය කිරීම සඳහා ය. සාමාන්‍යයෙන් ඉඩම් පරිපාලන කටයුතු ඉඩම් රෙජිස්‍ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නේ යම් සේ ද, ජල හිමිකම් පරිපාලනය සඳහා ජල සම්පත් අධිකාරියක් (National Water Resources Authority) මෙමගින් යෝජනා කර ඇත. මෙම අධිකාරියෙහි තීරණ ගැනීමේ කටයුතු සඳහා ජල සම්පත් සභාවක් (National Water Resources Council) ද යෝජනා කර ඇත. යෝජිත ආයතිනික ව්‍යුහයන් අතරින් වඩාත් ම වැදගත් වනුයේ ජල හිමිකම් සම්බන්ධයෙන් ඇති විය හැකි ආරවුල්, නඩු-හබ ආදිය විසඳීම සඳහා යෝජිත ජල සම්පත්
අධිකරණය (Water Resources Tribunal) යි. (ජලයට ඉඩම්වලට හා සමාන අයිතියක් ලබා දෙන්නේ නම් අනාගතයේ ඉඩම් නඩු මෙන් ම, වතුර නඩු ද ඇති වනු ඇත.)
මෙම අතීතය හාරා ඇවිස්සීම මගින් බලාපොරොත්තු වූයේ, මෙතෙක් වරින් වර ජල ප්‍රතිපත්ති නමින් කරලියට ආවේ බිල්ලෙක් ද නැතහොත් විසිතුරු සමනලයෙක් ද යන්න තීරණය කිරීමට පාඨකයාට ම අවස්ථාවක් ලබා දීමට ය.
ඉදිරියේ දී, උක්ත අමාත්‍ය මණ්ඩල අනු-කමිටුව, මහජනයා සමග සංවාදයකින් යුතුව, දැඩි විනිවිද බාවයකින්, අපේ රටේ ජල ප්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු ඇතැ යි අපි බලාපොරොත්තු වෙමු. ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පත් ප්‍රතිපත්තිය ලෙස නැවත නැවත මතුවන්නක කොපියක් මෙවර නම් අපි බලාපොරොත්තු නොවෙමු!.
- නාරද බලගොල්ල -
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .