අමධ්‍යප ව්‍යාපාරයේ නායකයන් ලෙස පෙනී සිටි ලාංකේය ධනවත් සහ ප්‍රභූ පන්තිය නියෝජනය කරන තරුණයන්ගේ පවුල් බොහෝමයක් අනෙක් පසින් අරක්කු රේන්ද ව්‍යාපාරය හා සම්බන්ධව සිටි බව එම යුගය පිළිබඳව අධ්‍යනය කළ උගතුන් බොහෝ දෙනෙකු පෙන්වා දී ඇත. මෙම නාමාවලිය අතරට සේනානායක පවුලේ තරුණයන් තිදෙනා, දොස්තර ඩබ්.ඒ. සිල්වා, ජේමිස් පීරිස්, රිස්චඩ් සල්ගාදු, හෙන්රි අමරසූරිය වැනි නම් එක් කළ හැකිය. මෙය විවාදාපන්න කරුණකි. ආතර් වී, දියෙස් වැනි ඇතැමෙක් අමධ්‍යප ව්‍යාපාරයට ප්‍රවිෂ්ට වීමෙන් පසුව සිය පවුලේ අරක්කු රේන්ද කර්මාන්තය අතහැර දැමූවත් බොහෝ දෙනෙකු එය එසේ සිදු නොකළේ ය. ධනය ඉපයීම පිණිස එක් පසෙකින් සිය පවුල් හා සම්බන්ධ අරක්කු රේන්ද පවත්වාගෙන යන අතරම අනෙක් අතට අමධ්‍යප ව්‍යාපාරයේ නායකයන් ලෙස ද පෙනී සිටීමට මොවුන් හට බාධාවක් නොවීය. එසේම මෙම කණ්ඩායම ධර්මපාලතුමා හෝ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ අනෙක් නායකවරුන්ගේ ඇසුර ලැබූ බවකුදු පෙනෙන්නට නැත. මෙම කරුණු අනුව අපට නිගමනය කළ හැකි වන්නේ මෙම ධනවත් ප්‍රභූ තරුණයන් පොදු ජනතාව අතරට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා උපක්‍රමශීලීව අමධ්‍යප ව්‍යාපාරය භාවිතා කළ බව ය.යටත් විජිත පාලන සමය තුළින් උද්දීපනය වූ නව ධනය උපයා ගැනීමේ මාර්ග තුළින් දියුණුවට පත් වූ පවුල්වල තරුණයන් උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයට යොමු කිරීම එකල විලාසිතාවක්ව පැවතුණි. මෙලෙස එංගලන්තයට ගොස් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළුණු ධනවත් තරුණයන්ගෙන් ඇතැමෙක් යුරෝපය තුළ එවකට පිබිදෙමින් පැවති නව දේශපාලන ප්‍රවණතාවේ ආශ්‍රය ද ලබා ගත්තෝ වූහ.
1911 ලංකාවේ ප්‍රථම මැතිවරණය පැවැත්වූයේ එංගලන්තයේ අධ්‍යාපනය ලැබ යුරෝපීය දේශපාලන ආභාෂය ලැබූ පළමු පරපුර ක්‍රම ක්‍රමයෙන් ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වන්නට පටන් ගත් අවධියක ය. මීට අමතරව මෙම සමය වන විට ඉන්දියානු ජාතික සංගමය ද Dadabhai Naoroji ගේ සභාපතීත්වය යටතේ ‘ස්වරාජ් සංකල්පය’ වඩා දැඩි ලෙස ප්‍රවර්ධනය කරමින් සිටියහ. එහි ආශ්වාසාදය ද ලංකාව වෙත කාන්දු වෙමින් පැවතුනි.
ව්‍යවස්ථාදායක සභාව කේන්ද්‍ර කර ගනිමින්, බ්‍රිතාන්‍ය යටත් විජිත නිලධාරීන් යටතේ සිදු කරන දේශපාලනය කිසිසේත්ම මෙරට පොදු ජනයාට බද්ධ වි නොතිබුණි. දේශපාලන උනන්දුවකින් පෙළුණු ධනවත් පවුල්වල තරුණයන්ට ද මෙය ප්‍රත්‍යක්ෂව තිබුණි. මෙකල ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ පලයක් ලෙස අනගාරික ධර්මපාලතුමන් වැන්නවුන්ගේ නායකත්වයෙන් බිහිව පැතිර ගිය අමධ්‍යප ව්‍යාපාරය වඩා පුළුල් සමාජ ව්‍යාපාරයක් ලෙස ඉස්මතු වෙමින් තිබුණි. ඒ අනුව ඉහත පැහැදිලි කළ ධනවත් තරුණයන්ගේ ආකර්ෂණය මෙම අමධ්‍යප ව්‍යාපාරය වෙත හිමි වූ බව පෙනේ.

1915 සිංහල - මරක්කල කෝලහාලය මෙරට ජාතික ව්‍යාපාරයේ සංධිස්ථානයක් ලෙස අප සළකන්නේ කරුණු කිහිපයක් හේතුවෙනි. 1915 දී අත්තඩංගුවට පත් වීමෙන් පසුව අනගාරික ධර්මපාලතුමා සහ එතුමා විසින් නායකත්වය ලබා දුන් බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය මෙරට දේශපාලනය වෙත එල්ල කළ බලපෑම සීමා සහිත වූ බව පෙනේ. අනෙක් පසින් 1915 දී අත්තඩංගුවට පත් වීමෙන් අනතුරුව සේනානායක සහෝදරවරුන් ප්‍රමුඛ මෙරට ධනවත් ප්‍රභූ පන්තිය නියොජනය කළ තරුණ පෙළක් ජාතික දේශපාලන නායකයන් වශයෙන් ඉස්මතු වූ බව නිරීක්ෂණය කළ හැකිය. මීට අමතරව 1888 පටන් ක්‍රියාත්මක වෙමින් තිබූ Ceylon National Association සංවිධානය තුළින් 1917 වන විට ලංකා ප්‍රතිසංස්කරණ සංගමය නම් සංවිධානය බිහි වීමටත්, එම ලංකා ප්‍රතිසංකරණ සංගමය 1919 වන විට ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ආභාෂය ලැබූ ලංකා ජාතික සංගමය බවට පත් වීමටත් අවශ්‍ය පසුබිම සැකසුණේ ඉහත පැහැදිලි කරන ලද සිංහල - මරක්කල කෝලහාලයේ ප්‍රතිපලයන් වශයෙනි.
1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වූ විට එහි පළමු සභාපතිවරයා වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතා ය. ඔහු 1911 දී පැවති ප්‍රථම ව්‍යවස්ථාදායක සභා ඡන්දයේදී ස්වදේශික නියෝජිතයා වශයෙන් පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ සොහොයුරා විය. ලංකා ජාතික සංගමය තුළ සිංහලයන් මෙන්ම රටේ ජීවත්වන අනෙකුත් ජනවර්ගවලට අයත් උගත්, ධනවත්, ප්‍රභූ පවුල්වල තරුණයන් උද්‍යෝගීමත් සාමාජිකයන් විය.
ලංකා ජාතික සංගමය පැහැදිලි ලෙසම 1870 දශකයේ පටන් ආරම්භ වී ක්‍රියාත්මක වෙමින් පැවති බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේත්, ඉන් පසුව එහිම දිගුවක් ලෙස ධර්මපාලතුමා විසින් මුල් ගල් තැබූ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේත් නිර්මාණයක් නොවේ. ලංකා ජාතික සංගමය මුල පටන් ගුරු කොට ගත්තේ ඉන්දියානු ජාතික සංගමයයි. එහෙත් ඉන්දියානු ජාතික සංගමයේ හරය ලෙස පැවති ඉන්දියානු ආධ්‍යාත්මයට ආමන්ත්‍රණය කිරීමේ ගුණය ලංකා ජාතික සංගමය සතු නොවීය. ලංකා ජාතික සංගමයේ ආධ්‍යාත්මය වූයේ ලාංකිකයාගේ ආධ්‍යාත්මය නොවේ. එහි ආධ්‍යාත්මය වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත තුළ බ්‍රිතාන්‍යන් ගොඩ නැගූ බ්‍රිතාන්‍ය ගැති චින්තනයයි.
මා මේ පැහැදිලි කිරීම තුළින් උත්සාහ දරන්නේ ලංකා ජාතික සංගමය ලංකාවේ නූතන ඉතිහාසයට සිදු කළ බලපෑම අවතක්සේරු කිරීමට නොවේ. එය නිසැක වශයෙන්ම ලංකා ඉතිහාසයේ අනුස්මරණීය පරිච්ඡේදයකට පුරෝගාමී විය. නමුත් එහි අභ්‍යන්තරය නිර්මල පරමාදර්ශී එකක් නොවීය. එය ලංකාවේ බල දේශපාලනයට නම් පූර්වාදර්ශයක් විය. මේ බව ප්‍රකට කරමින් ලංකා ජාතික සංගමය ආරම්භ වි වසරක් ඇතුළත එහි පළමු බෙදීම සිදු විය. මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ඔස්සේ 1921 දී ලංකාවේ දෙවන මැතිවරණය පැවැත්වීමට නියමිතව පැවතුනි. මෙම දෙවන මැතිවරණයේදී සීමිත ඡන්දයකින් ව්‍යවස්ථාදායක සභාව වෙත නියෝජිතයන් 16 ක් පත් කිරීමට යෝජනා විය. මෙම නියෝජිතයන් 16 න් 5 ක් වාර්ගික නියෝජනයන් විය. එනම් නාගරික යුරෝපීයයෙකු, ග්‍රාමීය යුරෝපීයයෙකු, බර්ගර් ජාතිකයෙකු, ලංකා වැවිලිකරුවෙකු, ලංකා වෙළෙන්දෙකු වශයෙන් විය. ඉතිරි 11 දෙනා කොට්ඨාස පදනමෙන් පත් කළ යුතු විය. ඒ බස්නාහිර හැර අනෙක් පළාත් 8 සඳහා එක් නියෝජිතයා බැගිනුත්, බස්නාහිර පළාත සඳහා සඳහා නියෝජිතයන් දෙදෙනෙකුත්, කොළඹ නාගරික කලාපය සඳහා එක් නියෝජිතයෙකුත් වශයෙනි. මෙහි කොළඹ නාගරික අසුන සඳහා ඉදිරිපත් වීමට පොන්නම්බලම් අරුණාචලම් මහතා සූදානම් වුවත් ඊට එදිරිව ලංකා ජාතික සංගමයේම තවත් නායකයෙක් වූ සර් ජේමිස් පීරිස් මහතා විශාල ව්‍යාපාරයක් ගෙන යන ලදි. සිංහල ක්‍රිස්‍තියානි භක්තිකයෙකු වූ සර් ජේමිස් පීරිස් කොළඹ නාගරික අසුන තමා වෙත ලබා ගැනීම සඳහා සිය පවුල් සම්බන්ධකම් ඔස්සේ ගෙන ගිය ව්‍යාපාරයේ අවසානය වූයේ පොන්නම්බලම් අරුණාචලම් මහතා ලංකා ජාතික සංගමයේ සභාපති ධූරයෙනුත් එහි සියළු කටයුතුවලිනුත් ඉවත් වීමයි. ඉන් නොනැවතුණු අරුණාචලම් මහතා මාස කිහිපයක් ඇතුළත ලංකා තමිල් ලීගය (Ceylon Tamil League) පිහිට වූ අතර ලංකාවේ දෙමළ වාර්ගික දේශපාලනයේ මූලාරම්භය එයයි.
1920 වර්ෂයේදී සිදු වුණු ඉහත සිදුවීම් දාමය ඉන් අනතුරුව උදා වුණු කාලය තුළ උද්ගත වූ ගැටළු රාශියට හේතු වූ බව රහසක් නොවේ. ඉතිහාසය වහරන බොහෝ දෙනා මේ සිදුවීමේ වගකීම සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයට බැර කරති. එහෙත් එය එසේ නොවේ. පොන්නම්බලම් අරුණාචලම් සහ ජේමිස් පීරිස් යන මහත්වරුන් අතර ඇති වූ බල තරඟය සහමුලින්ම කොළඹ කේන්ද්‍ර කොටගත් ධනවත් ප්‍රභූ පවුල් අතර තිබූ බල තරඟයක ප්‍රතිපලයකි. මොවුන් තමන්ගේ බල දේශපාලනය සඳහා ජාතිය සහ ආගම අවභාවිතා කළ අතරම අනෙක් අතට බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය සියුම් ලෙස ජාතික දේශපාලනයෙන් ඉවත් කොට තැබීම සඳහා ද කටයුතු කළ බව පෙනේ.
බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයෙන් පන්නරය ලබා ලංකා ජාතික සංගමයේ විජාතික ආධ්‍යාත්මක අබිමුව සිටගත් එකම නායකයා ලෙස හැඳින්විය හැක්කේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන් පමණි. ධර්මපාලතුමා මෙන්ම පරම විඥාණාර්ථ සමාගමේ පහස ලැබූ ඩී.බී. ජයතිලක නව දේශපාලන ප්‍රවණතාව සමඟ අනුගත වෙමින් ලංකා ජාතික සංගමයේ දේශපාලනයට ප්‍රවිෂට වුවත් 1919 වසරේදීම බෞද්ධ මහා සම්මේලනය ස්ථාපිත කිරීම සඳහා ද උපායමාර්ගිකව කටයුතු කොට ඇති බව පෙනේ. 56’ පෙරළිය තුළදී බෞද්ධ මහා සම්මේලනය ඉටු කළ කාර්‍යභාරය තුළින් ඩී.බී. ජයතිලක ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී බව මැනවින් පැහැදිලි වේ. ඔහු ඉතා ශූර ලෙස දේශපාලන හිනිමග තරණය කරමින් ලංකා ජාතික සංගමයේ සභාපති ධූරයටත්, රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමතිවරයෙකු ලෙසත්, එහි සභානායක ලෙසත් පත්වීමට සමත් වූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබන විට ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වීම සඳහා සියළු සුදුසුකම් සපුරමිනි. එහෙත් ඉතා උපක්‍රමශීලී ලෙස ජයතිලකයන් ලංකාවේ දේශපාලනයෙන් ඉවත් කොට තැබීම සඳහා ලංකා ජාතික සංගමයේ විජාතික චින්තනය පෙරදැරි කරගත් කණ්ඩායම සමත් වූ බව ඉතිහාසය තුළ ලියවී ඇත.
-පැතුම් ඒ. රණසිංහ-
ලේකම් -යුතුකම ජාතික සංවිධානය
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama


0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .