10/24/2014

මහින්ද පරදවා දිනවන්නේ කවුද? රතන හිමි යුතුකමට හෙළි කරයි.

කතෘ:යුතුකම     10/24/2014   4 comments
ජනාධිපතිවරණ කතාබහෙන් මෙරට දේශපාලන සමාජය උණුසුම්ව තිබේ. ඒ වටපිටාව තුළ ජාතික හෙළ උරුමයේ සභාපති අතුරලියේ රතන ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඇරඹි 'පිවිතුරු හෙටක්' සංවිධානය මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය නමින් ලියවිල්ලක් සමාජගත කර තිබේ. මේ ඒ පිළිබඳවත් ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳවත් උන් වහන්සේ සමග යුතුකම සංවාද කවය පැවැත්වූ විශේෂ සාකච්චාවයි.

යුතුකම : ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් පිවිතුරු හෙටක් සංවිධානය විසින් පසුගියදා  ඉදිරිපත් කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ බොහෝ දෙනා මේ වන විට කතා කරමින් තිබෙනවා. මුලින්ම සඳහන් කරන්න පුළුවන්ද පිවිතුරු හෙටක් සංවිධානයේ බිහිවීම සහ ඒ සමග සිටින පිරිස් කවුද කියල?

අපි පසුගිය කාලය පුරාම නොයෙක් කරුණු කාරණාවලදී සක්‍රීයව දැඩිව මැදිහත් වුනා. විශේෂයෙන් ඔය කෘමිනාශක නිසා උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහත් ව්‍යසනයක් බවට පත් වෙලා තිබෙන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබඳ අපි සක්‍රීයව මැදිහත් වෙලා වැඩකලා. මුලින්ම නාථ දෙවියන් පිළිබඳ කතාවකුත් සමග මේක එළියට ආවේ. නමුත් අපි පසුව කෘමිනාශක සාම්පල් පිටරටට අරගෙන ගිහින් අපේ අතේ වියදමින් විශාල වියදමක් දරල පෙන්වල දුන්නා කෘමිනාශකවල ඉතා විෂ සහිත ආසනික් ඇතුළු වස අන්තර්ගත බව. ඒ හරහා අපිට පුළුවන් වුනා සමාජය තුල මේ පිළිබඳ මතයක් ඇති කරන්න. විශේෂයෙන් කෘමි නාශක කිහිපයක් තහනම් වන්නේ ඒ තත්වය යටතේ.
කෙසේ හෝ ඒ හරහා ඇරැඹි සංවාදය පසුව නොයෙක් ක්ෂේත්‍ර කරා විහිදුනා. පසුගිය ජුනි මාසේ වගේ පිවිතුරු හෙටක් සංවිධානය පැවැත්වූ සමුළුවෙන් පසුව බොහෝ දෙනාගේ අවධානය මෙය කෙරෙහි යොමු වුනා. ඉන් පසුව තමයි අපි දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මාලාවක් ආරම්භ කරන්නේ. එහිදී විධායක ජනාධිපති ධූරයේ අත්තනෝමතිකත්වය පිළිබඳවත් දූෂණය නාස්තියෙන් තොර යහපාලනයෙන් යුතු රටක් බිහි කරගන්නේ කොහොමද කියන කතාබව ඇතිවුනේ. ඒ සාකච්ඡා මාලාව අවසාන ප්‍රතිඵලය විදියට තමයි මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියක් එළියට එන්නේ.  
ඒ පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ බොහොමයක් සමග අප සාකච්ඡා කළා. අවසානයේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහත්තයා භාරගත්තා ව්‍යවස්ථා සංශෝෂධන යෝජනාව කෙටුම්පත් කරන්න. අවසානයේ වකුගඩු රෝගය හා කෘමිනාශක පිළිබඳ කතබහ යට ගිහින් බොහෝ දෙනා සමග කතා කළ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පෙරට ආවා.

යුතුකම :මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කළොත්?

විධායක , ව්‍යවථාදායක , අධිකරණ හා මැතිවරණ කියන ක්ෂේත්‍රයන් හතර අතරේ සමබරතාවයක් ඇතිකරන එකයි අපේ මූලික අරමුණ වුනේ. මේ හරහා අත්තනෝමතික ලෙස ජනාධිපතිවටයාගේ අභිමතය පරිදි ක්‍රියා කිරීම වළක්වා තිබෙනවා. ජනාධිපතිවයා අගමැතිවරයා විමසා තමයි කැබිනට් මණ්ඩලය පත් කරගත යුත්තේ.
ඒ සමඟම ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍ය ධූරය හැරුණු විට කීසිම ඇමතිකමක් දරන්නැ බැ.

ආයෝජන බොහොමයක් සිදුවන  වරාය , මහාමාර්ග, ගුවන් සේවා අදී මුදල් විශාල වශයෙන් ගැවසෙන අමාත්‍යාංශ ජනාධිපතිවරයා නොදැරිය යුතුයි. විපක්ෂයේ පක්ෂ සමග අප දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා මේ පිළිබඳ. ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න බැරි වුනා.

වත්මන් ව්‍යවස්ථාවේ තිබුණු හොඳ ලක්ෂණ ඉතිරි කරල නරක ටික තමයි අප ඉවත් කරන්න යෝජනා කරල තිබෙන්නේ. මුදල් පෙට්ටිය ජනාධිපතිවරයාට දෙන්න ඕන නෑනේ. ඒක උවමනා රට රකින්න නෙවෙයි, පවුල රකින්න. අප ජනාධිපතිවරයාගේ තනි බලයට වැඩ කරන්න තිබෙන ඉඩයි වළක්වලා තියෙන්න.
දැන් බලන්න ඉන්දියාවේ, ජයලලිතා හිරේ ගියේ එවැනි ස්වාධීන ආයතන පද්ධතියක් තිබුණ නිසයි. ජයලලිතා මෙහේ හිටියනම් හිරේ යන්නේ නෑ කොයි තරම් හොරකම් කළත්. එහෙම නම් හෙජින් ගිවිසුම ගහපු අය හිරේ යන්න එපයි. කෝප් වාර්ථාවේ තියෙන දූෂණ වලට දඬුවම් කෝ?
රනිල් වික්‍රමසිංහ මහත්මය රක්ෂණ සංථාව කුණු කොල්ලයට වික්කා. කෝ ඒවට දඬුවම්?
අප තව දුරටත් ඒකට ඉඩ දිය යුතුද?
මේ සංශෝධන යෝජනාවලිය හරහා එහෙම ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩ බොහෝ දුරට වළක්වලා තිබෙනවා.
ජවිපෙ ලාල් කාන්ත මහත්මයා මේ ව්‍යායාමය අගය කරල තිබෙනවා මා දැක්ක. ජනාධිපති ධූරයේ විශ දළ ගැලවීම පිලිබඳ.

යුතුකම  : ඔබ වහන්සේ මේ යෝජනාවලිය පිළිබඳ ජාතික හෙළ උරුමයත් සමග නිල වශයෙන් සාකච්චාවක් පැවැත්වුවාද?
ඔව් හෙළ උරුමය සමග තමයි මේ පිලිබඳ වැඩිපුරම කතා කරන්න ගත්තේ. ඔවුන් මේ සංශෝධනයේ 90%  කට පමණ එකඟයි. පොදුවේ ගත්තම මේ පනත් යෝජනාව සම්මත කරගන්නවට එහි කිසිවෙක් අකැමති වුනේ නෑ.

යුතුකම  : හාමුදුරුවනේ අපිට පැහැදිලිව පෙනෙනව හෙළ උරුමය පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනාවලිය සහ පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලිය ගත්තම 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාල කරුණු කිසිවක් පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලියේ නෑ. එය එසේ වන්නේ පිවිතුරු හෙටක් සංවිධානයට බලපා ඇති ෆෙඩරල් මතවාද දරන්නන්ගේ බලපෑම නිසාද කියල ප්‍රශ්න කළොත්?

කවුද අපිත් සමහ සිටින ෆෙඩරල්වාදීන් ? කිසිවෙකු නෑ. අප දහ තුන පිළිබඳ කාරණය ඉවත් කරමින් කතා කළේ හිතා මතාමයි, එසේ වූවා නම් කිසිවෙකුත් සමඟ විවෘත්ත සංවාදයකට යන්න බැරි වෙනවා. 13 ට පක්ෂ විපක්ෂ සියළු දෙනාට එක්ව වැඩකටයුතු කළ හැකි පදනමක් හදා ගන්නයි උත්සාහ කළේ. ජාතික හෙළ උරුමය ගත්තම තනි පක්ෂයක්. වෙනම ගත්තම ඔවුන්ට ඕනම මතයක් දරන්න පුළුවන්. ඔවුන් කියනව මේ උතුරු හා නැගෙනහිර අපේ ඉඩම් අයිතිය කියලා. එලෙසම කොමියුනිට්ස් පක්ෂය කියන්න පුළුවන් මේක සියළු දෙනාම බුක්ති විඳිය යුතුයි කියල. එවැනි මත ගැටුම් තියෙනවා. අපි උත්සාහ කළේ මේ විවිධ මතාවාද තිබෙන අය පොදු අරමුණක් ඉදිරියේ ඒකරාශී කරන විදියයි.

නමුත් ඒකීයභාවය සමබන්ධ ජනාධිපතිවරයාට තිබූ බලතල කිසිඳු වෙනසකින් තොරව එලෙසම අඩංගු වෙනවා. මම දැක්කා පසුගිය දවස්වල සමහරු ප්‍රශ්න කරල තිබුනා කෝ රතන හාමුදුරුවන්ගේ යෝජනාවලියේ ඒකීය භාවය හැලිලනේ කියල. ඒකීයභාවය සම්බන්ධව මෙන්ම , කැරැල්ලක් වැනි දෙයක් ඇති වන අවස්ථාවකදී ජනාධිපතිවරයාට තිබූ බලතල එහෙමම තිබෙනවා. ඒවා අපි කිසිඳු සංශෝධනයක් කළ යුතුයි කියල නෑ. අපි මේ සංශෝධනය හරහා ඉවත් කරල තිබෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරය හැසිරවීමට ජනාධිපති ධූරය දරන්නාට තිබෙන අසීමිත බලය පමණයි.

හෙළ උරුමය ඉදිරිපත් කර ඇති යෝජනාවලියෙත් තිබෙනව පිවිතුරු හෙටක් එකෙන් ඉදිරිපත් කළ බොහෝ යෝජනා. විධායක බලතල අඩු කරන්න , ශ්‍රේෂ්ඨාධිකරණයට වගකියන ජනාධිපතිධූරයක් බිහි කරන්න , ඇමති මණ්ඩලය අඩු කරන්න  ඔය වැනි දේවල්. ඊට අමතරව හෙළ උරුමයට අනන්‍ය යෝජනාත් එතන තිබෙනව.උදාහරණයකට ගත්තොත්  අන්‍යාගම්කරණ පනත පිළිබඳ යෝජනා, උතුරු නැගෙනහිර ප්‍රශ්නය , බුද්ධාගම සම්බන්ධ යෝජනා.

පිවිතුරු හෙටක් එකෙන් කළේ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා එකතු කරල ඒ වටා හැම පක්ෂයක්ම එකතු කරගන්න කටයුතු කරපු එකයි. හොරකමට දූෂණයට නාස්තියට එරෙහිව සියළු දෙනාටම පිළිගත හැකි ලෙසයි එය ඉදිරිපත් කරල තිබෙන්නේ.

යුතුකම :පිවිතුරු හෙටක් සංවිධානයේ යෝජනාවලියේ තිබෙනවා 17 වන සංශෝධන නැවත බලාත්මක කල යුතුයි කියල. නමුත් අපට මතකයි වකට චම්පික රණවක මහතා තමයි ඔය සංශෝධනයට විරුද්ධ වූ එකම මන්ත්‍රීවරයා. ඔහුට එහෙම විරුද්ධ වෙන්න හොඳ ශක්තිමත් පදනමක් තිබුනා. නමුත් අද ඔබ වහන්සේලා ඒ අදහස කනපිට ගහලා 17 වන සංශෝධනය පිළිබඳ ප්‍රසාදය පළ කරල තිබෙනව මේ පිවිතුරු හෙටක් යෝජනාවලියේදි. එතන යම් කිසි පරස්පරයක් තිබෙනව නේද?

අප 17 වන ව්‍යවස්ථා සංශෝධනයේ හරය පමණයි ගෙනැත් තිබ්න්නේ. අපි 17 තිබ්බ ව්‍යුහයේ වැරැද්දක් තමයි තිබුණේ. අපි ඒක මෙතන්දි නිවටදි කරල තිබෙනව. ජාතිකත්ව පදනමින් නියෝජිතයන් පත් වීම අප වෙනස් කරල තිබෙනව. ඒ වෙනුවට වෙනත් ව්‍යුහයක් අප යොජනා කරල තිබෙනව. උදා හරණයකට උපකුලපතිවරුන්ගේ සංගමය , වාණිජ මණ්ඩලය , නීතිඥ සංගමය අදිය හරහා තමයි මේ යෝජනාවලියට අනුව ව්‍යවස්ථාදායක සභාවන්ට නියෝජිතනයන් පත් වන්නේ.

යුතුකම :ඔබ වහන්සේ පසුගියදා පැවති සමුළුවේදී ප්‍රකාශ කර තිබුණා මීලඟ ජනාධිපතිවරණයට කලින් මෙම සංශෝධනය සම්මත කර නොගත්තොත් ජනාධිපතිවරයා පරදවන්න කළ හැකි සියළු දේම කරනව කියල.
අපි ඒ ප්‍රකාශයේ අනිත් පැත්තෙන් ගත්තොත්, මහින්ද පරදවලා කවුද දිනවන්නේ කියන ප්‍රශ්නයට ඔබ වහන්සේගේ පිළිතුර මොකක්ද?

ඔව් පසුගියදා පිවිතුරු හෙටක් සමුළුවේදී මම ටිකක් තද කතාවක් කළේ.  මහින්ද පරදවලා දිනවන්නේ කවුද කියන එක අපට වැදගත් නෑ. අපි දැනට දිනන්නේ කවුද කියන එක ගැන කල්පනා කරන්නේ නෑ. මේ සංශෝධනය ජනාධිපතිවරයා සිදු කළ යුතුයි. එය නොකරන්නේ නම් ඔහු පරාද කරන්න කරන්න පුලුවන් උපාය මාර්ගය මොකක්ද කියල අප සාකච්ඡා කළ  යුතුයි.
මේ ආණ්ඩුව යටතේ අපිට ලැබුණු කිසිවක් නෑ. සිංහලයන්ගේ පැත්තෙන් කරපු දේකුත් නෑ. උතුරේ පළාත් සභා පිහිටෙව්වා. ඒ නිසා මේක රැකගත යුතුයි කියල අපට කොන්දේසි නෑ.  ජනාධිපතිවරයා මේ සංශෝධනයට එකඟ නොවන්නේ නම් අපි එයට එරෙහිව බලවේගයක් ගොඩනගන එකයි. මුලින් ඒ බලවේගය හදාගන්න ඕන. මේ ප්‍රතිපත්ති තහවුරු කරගත හැකි බලවේගයක් ගොඩ නගන එක තමයි අපේ ව්‍යයායාමය.

යුතුකම : ඊළඟ ජනාධිපතිධූරය ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත බව ආරංචි වෙනව. ඔබ වහන්සේ හිතනවද මේ මාස දෙක තුනක් වැනි කෙටි කාලය ඇතුලත ඔය කියන බලවේගය ගොඩ නගන්න පුළුවන් වෙයි කියල.?

බලවේග ගොඩනගන්න වැඩි කල් ගත වෙන්න නෑ. ඒකට අවුරුදු ගනන් යන්නේ නෑ. අපේ සමාජය බොහොම සංවිධානාත්මක සමාජයක්. හෙළ උරුමය බිහි වුනේ කොහොමද? මාසයයි ගියේ ඒකට. එවකට ඡන්දය නිවේදනය කළාට පස්සෙයි හෙළ උරුමය බිහි කලේ.

යුතුකම :අපට ප්‍රායෝගිකව ගත්තම පුද්ගලයන් සම්පූර්ණ අමතක කරල හුදු ප්‍රතිපත්ති මත පමණක් දේශපාලන ක්‍රියාමාර්ග තෝරන්න පුළුවන්ද? ඒක කොයි තරම් දුරට ප්‍රායෝගිකද?

පුද්ගලයෝ -ප්‍රතිපත්ති කියල දෙකක් ගැන කතා කරල වැඩක් නෑ. ප්‍රතිපත්තිවලට තමයි පුද්ගලයො ඇතුළු වෙන්නේ. මේ තිබෙන ව්‍යවස්ථාවට ඕනම හොඳ මිනිහෙක් ඇතුළු වුනාට පස්සේ නරක මිනිහෙක් වෙනවා. ඉතාම පරිණත මිනිහෙකුට පමණයි එයින් මිදෙන්න පුළුවන්. මේ ව්‍යවස්ථාවේ එවැනි ලක්ෂණයක් තිබෙන්නේ.
එසේ බැලූවිට මෙය වෙනස් කරගත යුතුමයි.

යුතුකම :මෙහි අවසාන ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමද?

අපට වැදගත් නෑ කවුද දිනන්නේ කියන එක. අපට උවමනා ජනතාව දිනවන්න. ඒ සඳහා ඉන්පසු එළඹෙන මහ මැතිවරණයේදී අපේ කෝටා එක තමයි තීරණාත්මක වෙන්නේ.

2004 දි දැක්කනේ අපි ගත්ත ආසන නමයයි. නමුත් කතානායක තේරුවේ අපි.
තීරණ ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හරහා. ඒ පාර්ලිමේන්තුවේ ආසන 20ක් හදාගන්නේ කොහොමද කියන එකයි අපේ ඊළඟ අරමුණ.

යුතුකම :මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අහිමි කරගත්තට පසුව ඔය කියන මන්ත්‍රීවරු 20 ද තීරණාත්මක වෙන්නේ?
මන්ත්‍රීවරු 20 ද කියන එක එහෙම කියන්න බෑ. සමාජ බලවේගය එක්කයි ඒක තීරණය වෙන්නේ. අප කියන දේට කොයි තරම් සමාජ චලනයක් තිබේද කියල බලන්න ඕන.අප කියන දේ අවංක නම් ජනතාව ඒ වටා එක් වෙයි. එහෙම නොවේනම් කරන්න දෙයක් නෑ. ඒක තමයි ජනතාවගේ ඉරණම. අප මොකද කරන්නේ.

යුතුකම :මේ ව්‍යවස්ථා සංශෝධන ජනාධිපතිවරණයකට කළින් ක්‍රියාත්මක විය යුතුයි කියන මතයේ ඔබ වහන්සේලා දැඩිව සිටිනවාද?
අනිවාරයයෙන්ම. ඒකේ වෙනසක් නෑ. මේවා මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලෙස භාවිතා කරන්න ඉඩ දෙන්නේ නෑ.


www.yuthukama.com
යුතුකම සංවාද කවය.

10/13/2014

මහින්දට බෑ වීම…

කතෘ:යුතුකම     10/13/2014   15 comments
තුන්වරක් චක්කරේ...

මහින්දට තුන්වරක් පුළුවන්ද? අද දේශපාලන සමාජයේ මාතෘකාව බවට පත් කර ඇති මාතෘකාව එයයි. ජනාධිපතිවරණය වැනි රටට ඉතා තීරණාත්මක සමයක ඇති විය යුතු ප්‍රතිපත්ති , ඉදිරි දැක්ම ආදී ගැන සිදුවිය යුතු අත්‍යවශ්‍ය කතිකාව යට යවමින් අවශේෂ කරුණක් පිළිබඳ සමාජයේම අවධානය යොමු කරවන ප්‍රවණතාවයක් දැන් කලක සිටම ක්‍රියාත්මකව තිබේ. විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී දේශපාලනයට ආධුනිකයෙකු වූ සරත් ෆොන්සේකා මහතා 'පොදු අපේෂක ' පුවරුවද එල්ලා දේශපාලන පිටියට තල්ලු කර සිදුකළ දේශපාලන විකෘතියේම දිගුවක් ලෙස අද "තුන්වරක් බෑ" යනුවෙන් දිගහැරෙන මේ කතාබහද සැලකීම ආසාධාරණ නොවේ.
සමහරකු බටහිර වූ පලියට බටහිර  සියල්ලෙහිම නුගුණ දැක්කද, තවත් සමහරකු අනෙක් පසින් අප බටහිර අනුකාරක සමාජයක් යැයි චෝදනා කලද බොහෝ බටහිර රටවල මේ තත්වය දක්නට නොමැත. විශේෂයෙන් ඇමරිකාව , එංගලන්තය ආදියෙහි මෙවැනි ප්‍රමුඛ මැතිවරණයකදී මූලිකත්වය ගන්නේ රටේ ඉදිරි ගමනට වැදගත් වන ජාතික ප්‍රතිපත්ති ගැන මිසක මෙවැනි දෙකයි පනහේ සිල්ලර මාතෘකා ගැන නම් නොවේ. මාධ්‍ය ඇතුළු සියළුම ධාරාවන් ඒ වකවානුවේ තම මාතෘකාව බවට පත් කරගන්නේ එයයි.  බොහෝ විට මෙවැනි හදිසියේ පැලකළ මාතෘකා වෙනුවට  ආර්ථික පිළිවෙත ,ආරක්ෂාව ,  අධ්‍යාපනය , සෞඛ්‍ය,  විදෙස් සබඳතා ආදී ප්‍රතිපත්තිමය කාරණා වලට සම්පූර්ණ බරක් දෙන අයුරු ඒ බොහෝ තැන්වලදී නිරීක්ෂණය කළ හැක.
නමුත් අවාසනාවකට අප කවුරුන් හෝ නිර්මාණය කර දෙන එදා වේලට පමණක් සරිලන මාතෘකාවක සිර වෙමින් සිටිමු.

සරත් එන් සිල්වා මහතාගේ තර්කය.

"මහින්දට තුන්වරක් බෑ" යන තර්කය මෑතකදී මුලින්ම ඉදිරිපත් කලේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාය. ඔහුගේ තර්කයේ මූලික හරය ඇත්තේ 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කල 31/2 වගන්තියේය. 31 වෙනි ව්‍ය වස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාව යටතේ සඳහන්ව තිබුණේ ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යනුවෙනි.
සරත් එන් සිල්වා මහතාගේ නීති තර්කයේ අඩංගු වන්නේ 2010 ජනවාරි 27 වනදින දෙවනවර ජනාධිපතිධූරයට පත් වූ විගසම ඒ 31/2 වගන්තියට අනුව මහින්ද රාජපක්ෂ මහතා තුන්වන වර ඉල්ලීමට නුසුදුස්සෙකු වී ඇති බවයි. 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් 31/2 වගන්තිය ඉවත් කලද එය අතීතයට බලාපාන පරිදි සංශෝධනය නොකිරීම නිසා 2010 ජනවාරි 27 වනදා සිදුවූ 'තුන්වනවරයට නුසුදුස්සකු වීම' ඉවත්ව නැති බවයි. අතීතයට බලපාන අයුරින් නීති වෙනස් කරගත් ආකාරය පිළිබඳ උදාහරණද  ඒ සඳහා අර්ථකථන පනත තුල අඩංගු මගපෙන්වීම්ද ඒ මහතාගේ පැහැදිලි කිරීමේ අන්තර්ගතය.

ගෝමින් දයාසිරි මහතාගේ මතය.

නමුත් මීට ප්‍රතිවිරුද්ධ ප්‍රධාන නීති තර්කය මතු කරන පාර්ශවයේ ප්‍රබලයෙකු ලෙස සැලකිය හැකි නීතිඥ ගෝමින් දයාසිරි මහතා ඒ පිළිබඳ පැහැදිලි කරන්නේ මෙසේය. ගෝමින් දයාසිරි යනු උතුර හා නැගෙනහිර පලාත් නීත්‍යානුකූලව වෙන් කිරීම , සුනාමි සහන මණ්ඩලය අහෝසි කිරීම ආදී පසුගිය ඉතිහාසයේ රටට දායාද කල තීරණාත්මක ජයග්‍රහණයන්හිදී නීතිය ඉදිරියේ පෙනීසිටී යෝධ ත්‍රයිකාවේ (එස් එල් - එච් එල් - ගෝමින් ) එක් ප්‍රබලයෙකි.

"ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 31 (2) උප වගන්තිය අනුව ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි වාර ගණන 2 කට සීමා කර තිබුණා. එහෙත් 18 වැනි සංශෝධනයෙන් එම කොන්දේසිය ඉවත් කර තිබෙනවා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබඳ කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබඳව කතා කරනවා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. දැනට ව්‍යවස්‌ථාවේ පවතින ආකාරයට ජනාධිපතිවරයකුට තරග කිරීමට හා තනතුරේ සිටින වාර ගණන සීමා කිරීමක්‌ නැහැ. නමුත් මෙහිදී වැදගත් වන්නේ 31 (2) වගන්තිය අවලංගු කිරීම පමණක්‌ නොවේ. ව්‍යවස්‌ථාවේ 92 වගන්තියේ කොන්දේසිය මගින් ජනාධිපති ධුරයට ඉදිරිපත් වන අපේක්ෂකයකුට තරග කළ හැකි වාර ගණන දෙකක්‌ බව සඳහන් වෙතත් එයද 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත්කොට තිබෙනවා.
 ජනාධිපතිවරණයකදී අප විමසා බැලිය යුත්තේ මහින්ද රාජපක්ෂ‍ ජනාධිපතිවරයාට ඒ සඳහා ඉදිරිපත් වීමට සුදුසුකම් තිබේද නැද්ද යන්නයි. 92 වගන්තිය 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉවත් කිරීම නිසා ඔහුට තරග කිරීමට අවස්‌ථාව තිබෙනවා. මෙයට කෙටි උදාහරණයක්‌ ගනිමු. අතීතයේදී බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ට ඡන්ද බලය නොතිබූ අතර අපේක්ෂකයන් වීමට ද අයිතියක්‌ තිබුණේ නැහැ. නමුත් පසු කාලයකදී සර්වජන ඡන්ද බලය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම හිමි වූ නිසා කාන්තාවන්ට ද අපේක්ෂටකයන් ලෙස මැතිවරණවලට ඉදිරිපත් වීමටද අවස්‌ථාව ලැබුණා. මාග්‍රට් තැචර්ට බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට පත්වීමට ලැබුණේ ද ඒ නිසයි. නීතියක්‌ වෙනස්‌ කළ පසු එහි කලින් තිබූ කොන්දේසි වෙනස්‌ වෙනවා. “

ගෝමින් දයාසිරි මහතා මතුකරන මෙම කරුණට අමතරව සරත් එන් සිලවා මහතාගේ තර්කය දුබල කරන තවත් වැදගත් කරුණක් ඒ මහතාගේම කතාව තුලම අන්තර්ගතවේ. එනම් 31/2 වෙනි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුණු ‘දෙවරක් ජනතාව විසින් පත් කරනු ලැබූ තැනැත්තෙක් ඉන් පසුව ජනාධිපති වශයෙන් පත්කර ගැනීමට නුසුදුස්සෙක් වන්නේය’ යන වගන්තිය අතීතයට බලපාන පරිදි 18 වන සංශෝධනයේදී වෙනස් කරගැනීමට අතපසු වී ඇති බව සරත් එන් සිල්වා මහතා පවසයි. එහිදී ඔහු දෙවන වතාවට පත් වීම යන කරුණ සලකා බලන්නේ ජනාධිපතිවරණය පැවැත්වූ 2010 ජනවාරි 26 දිනයි.

නමුත් නීතිය පිළිබඳ ප්‍රාමාණික උගතුන් බොහෝ දෙනෙක් පෙන්වා දෙන පරිදි ජනාධිපතිවරයා තම දෙවනි ධූර කාලය නිල වශයෙන්  ආරම්භ කලේ 2010 ජනවාරි 26 දින  නොව 2010 නොවැම්බර් 19 වන දිනයි.  එලෙස දෙවන ධූර කාලය ආරම්භ කරන්නට පෙර , එනම් 2010 සැප්තැම්බර් 09 වන දින 18 වන සංශෝධනය සම්මත කරගෙන ඇත. ඒ අතින් බැලූකල ජනාධිපතිවරයා දෙවන ධූර කාලය නීත්‍යානුකූලව ආරම්භ කරන නොවැම්බර් 19 වන දින වන විට 31/2 වගන්තියක් ව්‍යවස්ථාවේ අඩංගු නොවේ. ධූර කාලය ආරම්භවන්නේ කවදාද යන්න පිළිබඳ අවිනිශ්චිතතාවය නිසාම ජනාධිපතිවරයා විසින්ම ව්‍යවස්ථාවේ 129 වන වගන්තිය යතතේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ පිළිබඳ විමසීමක් කර තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරය පෙන්වා දී තිබෙනුයේ දෙවනි ධූර කාලය ආරම්භ වන්නේ 2010 නොවැම්බර් 19 වන දින බවයි.

මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන සරත් එන් සිල්වා මහතා හිතාමතාම අඩු බරක් දී කතා කරන අයුරක් පෙනෙන්නට තිබේ. ඔහු පුවත් පතක් සමග සාකච්චාවකට එක් වෙමින් පවසා තිබුණේ ඒ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි බවයි. හිටපු අගවිනිසුරුවරයෙකු වූ පළියට සරත් එන් සිල්වා මහතාගේ කතා දේව වාක්‍ය‍යක් වන්නේවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිෂේධ කරන්නේවත් නොවේ. සරත් එන් සිල්වා මහතා අගවිනිසුරු ධූරය දැරූ අවධියේ ලබා දුන් සමහර තීරණාත්මක තීන්දු පිළිබඳ බාහිර සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතා පැවති බව රහසක් නොවේ. නමුත් එය එසේ වූවා කියා එතුමා අගවිනිසුරුවරයා ලෙස ලබා දුන් තීන්දු නිෂේධ වූයේ නැත.  වැදගත්වන්නේ අධිකරණය හරහා ලැබෙන තීන්දුව කුමක්ද යන්නයි.

මේ සියළු කරුණු වලින් පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් අතන මෙතන ජනප්‍රියතාව උදෙසා වාද කිරීමෙන් මෙය විසඳා ගත හැකි නොවන බවයි. විසඳා ගත හැකි එකම ක්‍රමය සරත් එන් සිල්වා මහතාම කියන පරිදි අධිකරණයම වේ. කවුරුන් හෝ එය නොසලකා ජනප්‍රිය ගැලරි දේශපාලනයේ නිරතවේනම් එය තනිකරම තක්කඩිකමකි.

දේශපාලන බැරි බැරියාව...

මේ දෙපාර්ශවයම නීති පොත් පෙරලා ඉදිරිපත්කරන මත සැලකූ විට පැහැදිලි වන එක් කරුණක් නම් සැමදෙනාටම සලරල එකඟ විය හැකි පහසු සරල අර්ථනිරූපණයක් නැති බවයි. එයිනුත් විශේෂයෙන් සරත් එන් සිල්වා නියෝජනය කරන මතය කිසිඳු විචිකිච්චාවකින් තොරව පිළිගත හැකි සුපැහැදිලි අර්ථ නිරූපණයක් නොවන බවයි. එනම් එයට එරෙහිවද ප්‍රබල නීතිමය තර්ක ඉදිරිපත්ව ඇති බවයි.


නමුත් ඒ සියලු අපැහැදිලිකම් මධ්‍යයේ වුවත් දේශපාලන පක්ෂ සමහරක් ඒ දුර්වල තර්කය මත පදනම්ව ජනාධිපතිවටණයට ඉදිරිපත්වීම/නොවීම යන තීරණාත්මක කරුණ පිළිබඳ තීරණ ගන්නා අයුරු පෙනෙන්නට තිබේ. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණත් සරත් ෆොන්සේකා මහතාත් එලෙස ජනාධිපතිවරණ වර්ජනය කිරීමට අවශ්‍ය පදනම ලෙස ඒ දුර්වල තර්කය යොදා ගනිමින් සිටී. නමුත් එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ එවැනි අපරිණත හැසීරීමක් නොපෙන්වීම පැසසිය යුතුය. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක සිටින එජාපය මේ බැරි බැරියාවේ සීනි බෝල තර්කවල එල්ලීම වෙනුවට ශ්‍රීලනිප යේ ඡන්ද පදනම ආක්‍රමණය කල හැකි දේශපාලන සංධානයක් ගොඩනැගීමට වෙහෙසෙමින් සිටිනු පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ අවධියේ දස අතේ දිවුරා ප්‍රකාශ කලේ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිධූරයට ඉල්ලිය හැකි වාර ගණනේ සීමාව අහෝසි කරගත් බවයි. ඒ හරහා ප්‍රජාතන්ත්‍රවාදය මිහිදන් වූ බවද ජවිපෙ පෙන්වා දුන්නේය.මේ එකල ජවිපෙ නායකයන් කිහිප දෙනෙක් 18 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පළ කල අදහස් කිහිපයකි.

මේ ජවිපෙ ජාතික සංවිධායකවරයා එවකට පළකළ අදහසයි:
“2010 සැප්තැම්බර් 8 වන දින අපේ රටේ ඉතිහාසයට අපකීර්තිමත් පරිච්ඡේදයක්‌ එකතු කළේය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබූ අවසන් විශ්වාසයත් පවුලේ සුසාන භූමියේදී මිහිදන් කර අවසන් කටයුතු කළේය. 18 වැනි සංශෝධනය අරමුණු කර ඇත්තේ රාජපක්ෂව පවුල සදාකාලික බලයේ සිටීමයි. එයට තිබූ සියලු බාධා ඉවත් කර ඇත. එය ජනාධිපති ධුර කාලය දැරීමේ වාර ගණන සංශෝධනය කිරීම පමණක්‌ නොව වෙනත් ආකාරයකින් ඇති විය හැකි සියලු බාධා ඉවත්කරගෙන ඇත. “
- බිමල් රත්නායක : ජවිපෙ ජාතික සංවිධයක (2010-09-12)

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒ පිළිබඳ නිකුත්කල මාධ්‍ය නිවේදනයේ මෙලෙස සඳහන්ව තිබිණ.
18 ව්‍යවස්‌ථා සංශෝධනය මගින් සිදු කර ඇත්තේ එක්‌ පුද්ගලයකුට විධායක ජනාධිපති ධුරය දැරීමට ඇති වාර දෙකේ සීමාව ඉවත් කිරීමයි. ඒ හරහා ගොඩනැගීමට උත්සාහ කරන්නේ මාකොස්‌ පන්නයේ ඒකාධිපති පවුල් පාලනයක්‌ බව පැහැදිලිය. “
- ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩලය - (2010-09-10 )

එවකට ජවිපෙ නායකත්වය දැරූ ජවිපෙ විසින් බිහිකල මූලෝපාය පිළිබඳ විශේෂඥයා ලෙස බොහො දෙනා සැලකූ සොමවංශ අමරසිංහ මහතා පළ කළේ මෙවැනි අදහසකි.

මේ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් ජනාධිපති ධුරයේ වාර ගණන ගැන කිසිදු සීමාවක්‌ නැහැ. දාහත්වැනි සංශෝධනයත් අහෝසි වෙනවා. ජනපති ධුරයේ වාර ගණන සීමා නොකිරීම, දාහත්වැනි සංශෝධනය අහෝසි කිරීම යන කරුණු දෙකම එකට අරන් සාකච්ඡා කරද්දී තමයි මේ දහඅටවැනි සංශෝධනයේ භයානකකම පිළිබඳ චිත්‍රය දකින්න හැකිවන්නේ.
කිසිම දෙඩිගියාවක්‌ නොමැතිව ආරම්භයේ සිටම ජනතා විමුක්‌ති පෙරමුණ මේකට විරුද්ධ වුණා. “
-සෝමවංශ අමරසිංහ (2010-09-04)

ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු සුනිල් හඳුන්නෙත්ති මහතා පළ කල පහත ප්‍රකාශය මේ ප්‍රකාශන මාලාවේ වැදාගත්ම ප්‍රකාශයක් වේ.
"ව්‍යවස්‌ථා සංශෝධනයෙන් කරන්න යන්නේ වත්මන් ව්‍යවස්‌ථාවේ 31(2) උප වගන්තිය ඉවත් කරන එක. එයින් එක්‌ පුද්ගලයකුට ජනපති ධුරය දැරිය හැක්‌කේ එක්‌වරක්‌ පමණක්‌ යන්න ඉවත් කිරීමක්‌. මෙයින් ජනතා පරමාධිපත්‍ය ආරක්‌ෂා වන්නේ නැහැ. තනි පුද්ගලයකු වටා බලය කේන්ද්‍රගත කොට ඒකාධිපතිත්වයක්‌ නිර්මාණය කිරීමයි මේ සිදුවන්නේ.මෙය එක්‌වරම ජනතාවට නොදැනෙන්න පුළුවන්. අපි ලංකා ඉතිහාසයේ හැම විටම අනික්‌ පක්‌ෂවලට පෙර අවදි වූ පක්‌ෂයක්‌. සටන් විරාම ගිවිසුම වැරදි බව මුලින්ම කිව්වේ අපි. සුනාමි සහන මණ්‌ඩලය වැරදියි කියලා මුලින්ම කිව්වේ අපි. ඒ වගේ දේවල් පසුකාලෙක ඔප්පු වුණා. අපි කිව් දේ යථාර්ථයක්‌ කියලා. ඒ වගේම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කරන මේ වැඩෙත් අපේ රට ඒකාධිපති ගමනකට යටත් වන බව අපි කියනවා."
- සුනිල් හඳුන්නෙත්ති (2010 -09-05 )

මේ ප්‍රකාශ බැලූ විට පැහැදිලිව පෙනෙන කාරණයක් නම් ජනාධිපතිවරයා තම ධූර වාර ගනනේ සීමාව ඉවත් කරගෙන ඇති බවට ජවිපෙට ඉර හඳ සේ විශ්වාසව තිබූ බවයි. ඒ පිළිබඳ පසුගිය ජනාධිපතිවරණ සමයේ ජවිපෙ සමග සමීපව ඇසුරු කල සරත් එන් සිල්වා මහතාවත් අද ඉදිරිපත් කරන මහා සොයාගැනීම පිලිබඳ යාන්තමින් වත් හෝ දැනුවත් කර නැත.. ඉහත අවසන් ප්‍රකාශයේ සුනිල් හඳුනෙත්ති මන්ත්‍රීවරයා ජවිපෙ පිළිබඳ වර්ණනාවක්ද සමග එය තිරව ප්‍රකාශ කරන්නේ එබැවිනි. ඔහු පවසන්නේ ජවිපෙ මේ කරුණ පිළිබඳවද සියළු දෙනාට කලින් 'අවදිව සිටි' බවයි. නමුත් අවාසනාවට අද ජවිපෙ ඒ කරුණ සම්බන්ධව සිදුකරන පරස්පර ප්‍රකාශ දුටු විට අපට නිගමනය කළ හැක්කේ ජවිපෙ කලින් අවදි වීම කෙසේ වෙතත් එදා අඩ නින්දේ සිටි බව හෝ අද හොරට නිදන බවයි.

පොදු ආපේක්ෂක අපේක්ෂාවෙන් පසු චන්ද වර්ජනයට...

එකසත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිධූරයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කරන තෙක්ම ජවිපෙට මේ මහා සොයා ගැනීම ගැන කිසිඳු අදහසක්වත් නොවීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීමට පොදු අපේක්ෂකය්කු පිළිබඳ දිගින් දිගටම බලාපොරොත්තු තබාගෙන සිටියේ එබැවිනි.
එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි සැල වී විට ටික දිනක් යනතෙක්ම කල යුත්තක් ගැන අදහසක් නොමැතිව ගන්ධබ්බ අවස්ථාවකට ජවිපෙ පත්විය.

ඒ වකවානුවේ ජවිපෙ වත්මන් නායකයා පලකල පහත අදහස් මගින් ජවිපෙ දැරූ මතය හොඳින් පැහැදිලි වේ.

"අපේ රටේ නිශ්චිත මැතිවරණ සිතියම අනුව ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2017 ජනවාරි මාසයේ. ඒත් වර්තමාන ජනාධිපතිවරයා උත්සාහ කරනවා 2015 මුල් භාගයේ ජනාධිපතිවරණයක්‌ පවත්වන්න. ඒ අන් කවරකටවත් නොවේ. 2017 දක්‌වා තව වසර දෙකක්‌ රාජපක්ෂ පාලනය ඉදිරියට ගෙන ගියොත් වත්මන් ජනාධිපතිවරයාට 2017 ජනාධිපතිවරණයක්‌ ගැන සිතා බලන්නවත් නොහැකි වන බව ඔහු දන්නවා. ජනාධිපතිවරණය වසර දෙකකට පෙර පැවැත්වීමෙන් පෙන්වන්නේ ඉදිරි වසර දෙකක කාලය රටේ ජනතාවට තවත් පීඩනය ඇතිකරන බවයි. එම නිසා එළැඹෙන ජනාධිපතිවරණයට රාජපක්ෂක පාලනය පෙරළා දැමීම සඳහා සියලු සැලසුම් දියත් කළ යුතුයි. ඒ සඳහා දායකත්වය සැපයීම ජනතාවගේ වගකීමක්‌. ඒ සඳහා පුළුල් ව්‍යායාමයක් පිළිබඳ අදහසක ජනතා විමුක්‌ති පෙරමුණ නිරතව සිටියා. ඒත් මේ වෙද්දී එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්ෂ අපේක්‌ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඔහු රනිල් වික්‍රමසිංහ විය යුතු බවටත් යෝජනා සම්මතවී තිබෙනවා. එමනිසා පොදු ව්‍යායාමයක සාකච්ඡා අවසන්වී තිබෙනවා. දැන් යළිත් රාජපක්ෂ කේන්ද්‍ර කරගත් බලයක්‌ හරහා මේ පාලනයෙන් ජනතාව තවත් පීඩාවට පත්කරමින් ඉදිරියට ගෙන යන පෙරමුණක්‌ ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම මීට කිසිසේත් විකල්පයක්‌ නොවන මෙම ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යැමට සැදී පැහැදී දැන් රනිල් වික්‍රසිංහ පෙරමුණත් ගොඩනැඟීමට සූදානම්. එමනිසා අපි මෙම කඳවුරු දෙකටම එරෙහිව විකල්ප කඳවුරක්‌ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.ඒ කඳවුරේ අපේක්‌ෂකයා ජනතා විමුක්‌ති පෙරමුණෙන් හෝ ජවිපෙන් පිටත කෙනෙක්‌ විය හැකියි. එම අපේක්‌ෂකයා මාද නැතිනම් පක්ෂෙයේ වෙනත් අයකුද කියා තවම අවසන් තීරණයකට පැමිණ නෑ."

-අනුර කුමාර දිසානායක (2014-07-13)

අනුර කුමාර මහතාට අනුව මීට මාස දෙක තුනකට පෙරදීත් මහින්ද රාජපක්ෂ පැරදවීමට අපේක්ෂකයකු සොයනු මිස ජනාධිපතිවරණ නීත්‍යානුකූල නොවන බව ජවිපෙට වැටහී නොතිබී ඇත. ජවිපෙ ලාල් කාන්ත මහතා පළකළ පහත අදහස තුලද ඒ බව හොඳින් සටහන්ව තිබේ. ඔහු පැහැදිලිව ප්‍රකාශ කරන්නේ එක් පසකින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්ව තිබියදී ඔහු පැරදවීමට තමන්ද පොදු අපේක්ෂකයකු පිළිබඳ බලාපොරොත්තු තබා සිටි බවයි.

"අපිත් කල්පනා කරමින් හිටියා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න එකඟවන, ඉන් පසුව දාහත්වැනි සංශෝධනය නිසි පරිදි ක්‍රියාත්මක කර යම් ප්‍රජාතන්ත්රෙවාදී වටපිටාවක්‌ ස්‌ථාපිත කර මාස 6 ක්‌ තුළ පාර්ලිමේන්තු ඡන්දයකින් ජනතාවට කැමැති ආණ්‌ඩුවක්‌ තෝරා ගැනීමට අවස්‌ථාව ලබා දිය යුතුය යන අදහස. ඒ වෙද්දී එක ජනාධිපති අපේක්ෂ්කයෙක්‌ හිටියා. ඒ මහින්ද රාජපක්ෂ. පොදු අපේක්ෂයයකු ලෙස සමාජය තුළ සාකච්ඡා වුණා මාදුළුවාවේ සෝභිත හිමි, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග, තවත් සුළු වශයෙන් ශිරාණි බණ්‌ඩාරනායකගේ නම, කුමාර සංගක්‌කාරගේ නමත් කියෑවුණා. මේ වෙද්දී ඒ සාකච්ඡාව අවසන් වෙලා. ඒ අවසන් කිරීම කළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයයි. ඔවුන් පැහැදිලිව කිව්වා එජාප අපේක්ෂ කයෙක්‌ ඉදිරිපත් කරනවා ඒ රනිල් වික්‍රමසිංහ කියලා. දැන් පොදු අපේක්ෂකක කතාව ඉවරයි. පොදු අපේක්ෂකයෙක්‌ යනු ජවිපෙටත්, එජාපයටත්, අනෙකුත් ආණ්‌ඩු විරෝධී සියලු බලවේගවලටත් එකඟ විය හැකි, විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌. රනිල් වික්රහමසිංහ කියන්නේ එවැනි විශ්වාසය තැබිය හැකි කෙනෙක්‌ නොවේ.“
-කේ ඩී ලාල් කාන්ත මහතා (2014-06-29)

එතෙක් පොදු අපේක්ෂකු පිළිබඳ සිතා සිටි ජවිපෙට රනිල් වික්‍රමසිංහ මහතා වෙනම තරඟ කරන වටපිටාවක යන එන මං නැති වී ඇති බව පැහැදිළිය. මෙය ජවිපෙට ඉතිහාසය පුරාම ජනාධිපතිවර්ණවලදී මුහුණ දෙන්නට සිදුවන පොදු ඉරණමයි. 5% චන්ද සීමාව පැන්නිය නොහැකි පක්ෂයක් ලෙස වෙනම තරඟ කර දිනාගත හැකි ජයග්‍රහණයක් නොමැති වාතාවරණයත්, සෘජුව ප්‍රධාන පක්ෂ වල සහාය හිමිවන අපේක්ෂකයාට සහය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ සිදුවන දෙදරා යෑම් වලක්වා ගැනීම සඳහාත් ජවිපෙට බොහෝ විට සංගතව පැහැදිළි කල නොහැකි අභ්‍යව්‍ය ස්ථාවරයන් වෙත තල්ලුවීම සෑම ජනාධිපතිවරණයකදීම පාහේ සිදු වූ අලකලංචියකි. රෝහණ විජේවීර මහතා 82 ජනාධිපතිවරණයට ඉල්ලීමත්  , 99 නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමත් හැරුණු කල අනෙක් සිටළු අවස්ථාවලදී ඒ අභව්‍ය හැසිරීම නිරීක්ෂණය කල හැකිය.

විශේෂයෙන් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමත් 2010 මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාට සහාය දීම හරහා තම පක්ෂ අභ්‍යන්තරයේ දරුණු තුවාල සිදු කරගෙන තිබෙන ජවිපෙට මෙවර සෘජුවම ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වය සමග සහවාසය කල නොහැක්කකි. එමෙන්ම ජනාධිපතිවරණය අවසන් වූ විගස පැමිණෙන්නට නියමිත මහ මැතිවරණය තුලදීද එහි අවාසිය ජවිපෙට දැඩිව බලපානු ඇත.  ජනාධිපතිවටණයේදී 1999 කලාක් මෙන් තනිව ඉල්ලුවහොත් එය විපක්ෂයට ලැබෙන චන්ද ගොඩ බෙදා වක්‍රකාරයෙන් රාජපක්ෂ මහතාට සහාය දීමක් ලෙස ජවිපෙ ගනන් බලා ඇති බවට සැක නැත. රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුව සහය දිය නොහැකි ප්‍රතිවිරොධතා රාශියක්ද ඇති බැවින් ඡන්ද වර්ජනය හරහා අනියම් සහායක් ලැබෙන තැනට කටයුතු කිරීමට ජවිපෙ තීරණය කළේද?. ජනාධිපතිවරණ කාලසීමාව තුලදී මහින්ද රාජපක්ෂ  මහතා ඉලක්ක කරමින් සිදු වනු ඇති ජවිපෙ ප්‍රචාරණ ව්‍යාපාරය හරහා ඒ සහාය නොමිලේම රනිල් වික්‍රමසිංහ මහතා වෙත යනු ඇති.
එවැනි වාතාවරණයක් යටතේදීත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ඉන්පසු එළඹෙන කාල සීමාව තුලදී 'නීත්විරෝධී ජනාධිපතිවරණයෙන් පත් වූ නීතිවිරෝධී ජනපති" යන හංවඩුව ගසා තම මිතුරු සමාජයේ තව දුරටත් සජීවීව පැවැත්මටත් සමාජය තුල ඒ හරහා ඇතිවන ව්‍යාකූලභාවය තම දේශපාලන පැවැත්ම තහවුරු කරගැනීමට සරු පසක් නිර්මානය කරනු ඇති බවටත් ජවිපෙ ගණන් හදා ඇති බවට සැක නැත. "මහින්දට තුන්වරක් බෑ" කියා හන්දියක් ගානේ යන්නට ජවිපෙ තීරණය කර ඇත්තේ එබැවිනි. 
 
පසුගිය දිනෙක අත්විඳි අපූරු අත්දැකීමකින් මේ සටහන අවසන් කරමු.

මේ ලියුම්කරුගේ ඥාතියෙකු තවමත් බහ තෝරන වියේ පසුවන ඔහුගේ සිඟිති පුත්‍රයාද සමග පසුගිය දිනෙක සත්තු වත්ත බලන්නට ගොස් තිබිණ. සත්තු වත්තේ කුටියක සිටි සිංහයා කෑ ගසන හඬ අසා බිය වූ පුත්‍රයා ගෙදර පැමිණ සැමදෙනාටම තමන් සත්තු වත්තේදී මුහුණ දුන් ඒ සිද්ධිය විස්තර කර තිබුණේ අපූරු ආකාරයටය. "සිංහයා කෑ ගැහුවා. පුතා බෑ වුනා". ඉන්පසු නිවසට පැමිණෙන සියළු නෑදෑ හිතමිතුරන්ට ඔහු ඒ භය වීම විස්තර කලේ එසේය. “ සිංහයට බෑ වුනා" යනු " සිංහයට භය වුනා" යන්න තවමත් හය හතර නොදන්නා සිඟිත්තා අන් අයට පැහැදිලි කරන ආකාරයයි.
ජවිපෙ ඉහත පෙන්වා දුන් අසංගත අභව්‍ය හැසිරීමට හේතුව , එනම් ජවිපෙට අනුව "මහින්දට බෑ " වීම අපේ හිතවතාගේ පුත්‍රයා "සිංහයාට බෑ" වීම වැනිම වැනි "බෑ වීමක්"  ලෙස තේරුම් ගැනීම නිවරදිය.


-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


9/24/2014

ඡන්දය මඟින් රට අනතුරකට?

කතෘ:යුතුකම     9/24/2014   5 comments
ඌව පළාත් සභා ජන්දයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන ඇතත් එය විශිෂ්ට ජයක් නොවේ. 2009 ප්‍රතිපල හා සැසඳීම යුක්ති යුක්ත නොවෙතත් රජයේ ජනප්‍රියත්වයේ පහළ යාම ඉතා පැහැඳිළිව පෙනෙන්නට තිබේ. මෙමඟින් බොහෝ විට පෙන්නුම් කෙරෙන්නේ ඌව පළාතේ පමණක් ජනප්‍රියත්වය පහළට යාමක් නොව සමස්ථ රජයේ ජනප්‍රියත්වය පහළට යාමක් බව ඉතා පැහැඳිළිය. කෙසේ නමුත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුනේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කර ඇති බවය. එය අනුමත කළා නම් 2004 දී ඌව පළාතේදී සන්ධානයට ලබා දුන් ආසන සංඛ්‍යාවටත් වඩා අඩුවෙන් මෙවර ලබා දෙන්නේ නැත. අපට වැටහුනේ රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ජනතාව විසින් ප්‍රශ්න කර ඇති බවය.

එක්සත් ජාතික පක්ෂය පවසා සිටියේ ජනතාව ඔවුනට කොළ එළියක් ලබා දුන් බවකි. ඔවුන් 2009 ට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කළද එය කොළ එළියක් ලෙස සැළකිය නොහැකිය. ඌව මැතිවරණ ප්‍රතිපලයෙන් පෙනෙන කාරණය නම් ජනතාව කිසිම එළියක් නොදල්වා "අඳූරු එළියක්" ලබා දී ඇති බවයි. ජනතාව අන්දමන්ද වී ඇති බවයි.

රජය 2005 ජනාධිපතිවරණයේ දී හා මහ මැතිවරණයේදී තෝරා ගත් තේමාව වූයේ ලංකාව ආසියාවේ ආශ්චර්යය බවට පත් කරවීමයි. එසේ කරවීම සඳහා ලොව ප්‍රමුඛතම නාවුක, ගුවන්, වෙළඳ, අධ්‍යාපන හා බලශක්ති යනාදී කේන්ද්‍රස්ථාන පහක් බවට ලංකාව පරිවර්තනයයි. මෙසේ පරිවර්තනය කරවීම 2005න් පසු මේ රට යන මාවතෙහි ප්‍රධානම කාර්යය වේ. අපි මෙම උපාය මාර්ගික සැළැස්මේ ප්‍රධාන අඩුවක් දකින්නෙමු. එම සැළැස්ම සාර්ථක වේ යයි අපි උපකල්පනය කරමු. (එය සාර්ථක වේ හෝ අසාර්ථක වේ හෝ අසාර්ථක වේවා හෝ යන කිසිවක් මෙයින් නොකියැවේ) එසේ නම්  එසේ සාර්ථක ලෙස පරිවර්තනය වූ පසු මේ රටේ ජනයාට හොඳ කළක් යන බව අපි මොහොතකට අනුමාන කරමු. නමුත් එවැනි පරිවර්තනයකට සැළකිය යුතු තරමේ කාලයක් ගතවන බව අවිවාදිතය. එම කාලය තුළ මහ මැතිවරණම තුන හතරක් පවත්වන්නට සිදු වේ.

මේ රට කෙබඳු රටක්ද? මෙය සිංගප්පූරුව වැනි කුඩා රටක් නොවේ. බොහෝ ආර්ථීක විද්වතුන් මෙය සිංගප්පූරුව වැනි රටකැයි වරදවා සිතාගෙන කතා කරනවා, ලියනවා අපි දැක ඇත්තෙමු. ලෝක සිතියමේ කුඩා වුවද මිලියන විස්සකට වඩා වැඩි ජනතාවක් වෙසෙන රටකි මෙය. ඉන් අති මහත් බහුතරයක් ගම්බදව ජීවත් වේ. රටේ රජුන් තනන්නන් මෙන්ම රට බේරා ගැනීමට යුද්ධය සඳහා ඉදිරිපත් වී දිවි පිදුවෝද ඔවුහූමය. රෝද හතරේ වාහනයක් හිමි නොවන ඔවුනට රට යා කරමින් ඉදිවෙන අධිවේගී මාර්ග විවෘත කරන දින පයින් වුව එහි ඇවිද යාමට වරම් ලැබේ. ඉන් මනතට ඒවාට ඇතුළු වීම ඔවුනට තහනම්ය. මුහුද ගොඩකර ඉදිවන නගරයක් ගැන අසන්නට ලැබීමම ඔවුනට ආශ්චර්යයකි.

ඉහත කී ආසියාවේ ආශ්චර්ය දක්වා යන ගමනේ මේ ගම්බද මිනිසුන්ගේ භූමිකාව කුමක්ද? යථාර්ථය නම් ඔවුනට එහි සැබෑ භූමිකාවක් නැත. ගම්බඳ තරුණයාට මෙහි නොසිට කොරියාවට යාමට සිදුව ඇත. එයද පහසු නැත. ගම්බඳ ගැහැණියට නම් සිය දරුවන් මෙහි දමා යා හැකි නම් මැදපෙරදිගට යාමට එතරම් අපහසුවක් නැත. ඒවා කාර්යක්ෂමව ඉටුකර දීමට රජය හා රැකියා ඒජන්සිකරුවන් විසින් කටයුතු සම්පාදනය කොට ඇත. මේ ‍යෝධ සංවර්ධන වැඩපිළිවෙළේ මෙරට අතිමහත් බහුතරයකට පැවරෙන වගකීමක් නැත. ඔවුන්ව මේ සංවර්ධනයට සම්බන්ධ කරගෙන නැත. සම්බන්ධ කර ගත නොහැක. ඒවා එම මානව ප්‍රාග්ධනය සැලකිය යුතු බරින් සලකා සාදන ලද සැළසුම් නොව්. ඔවුනට ඇත්තේ දුරින් සිට මෙම සංවර්ධනය දෙස බලා සිටීමය. ඔවුනට අළුතින් රැකියා උත්පාදනය වන වැඩපිළිවෙළක් මෙහි අන්තර්ගත වි නැත. මහින්ද චින්තන ඉදිරි දැක්ම ඒ මහා මානව සම්පතෙහි පල නෙලා ගන්නට සකස් වූවක්, ඒ මත විශ්වාසය තබා සකස් වූවක් නොවේ. විශ්වාසය ඇත්තේ අර කේන්ද්‍රස්ථාන පහ කෙරෙහිය. ඉඳින් ඔය ඒක පුද්ගල ආදායම වැඩි වනවා යැයි කියන තරමට මේ මිනිසුන්ගේ ආදායමද වැඩි වී නැත. එබඳු වටපිටාවක් තුළ ඔවුනට පෙනෙන්නේ තමන්ගේ ඡන්දයෙන් ප්‍රාදේශීය සභාවේ සභාපති වූ පුද්ගලයා පාරවල් වලට කාපට් දමන කොන්තරාත්තු කර විශාල තට්ටු ගෙයක් සාදා ඇති බවය. සංවර්ධන ක්‍රියා දාමයෙන් පිටමං කෙරුනු ඔවුන් මේ දැකීමෙන් කළකිරීමට පත්වේ. හිටවගන්නට ලැබුනු ඇට ටිකද පැළ නොවිනි.  එක අතකින් රට කොටියාගෙන් බේරා දුන් රජය මේය. එයද ඔවුනට අමතක කළ නොහැකිය. එබැවින් මහ ජනතාව ඡන්ද පළේදී ඡන්ද පත්‍රිකාව අතට ගෙන කුමක් කළ යුතුද යන දෙගිඩියාවට පත්  වී ඇත. ඒ අන්ද-මන්ද ප්‍රතිපලයයි අප ඌවෙන් දුටුවේ.

සමාජයීය සහ සංස්කකෘතික කාරණාවලින් වියුක්තව හුදු ආර්ථික කාරණාවලින් පමණක් රටක ආර්ථික දැක්මක් සකස් වීම අනුචිතය. ආර්ථිකය, සමාජය හා සංස්කෘතිය මත තබා පිරික්සා බැලිය යුතුය. මේ රටට යෝජනා වන කුමන ආර්ථික දැක්මක්, සංවර්ධන වැඩපිළිවෙළක් වුවත් අර අතිමහත් පොදු ජනතාව දෙස බලා ඔවුන් හරහාම නිර්මාණය වන්නක් විය යුතුය. මේ රටේ ගැමියන් යනු අන්ත දිළින්දන් නොවේ. චුයින්ගම්, බ්‍රේස්ලට්වලට ආසාවෙන් සිය ඡන්දය භාවිත කරන මෝඩයන්ද නොවේ. පෙර රජ දවස සිට මේ දක්වාම ඔවුන් මේ රටේ ආර්ථිකයේ ජීවනාලියයි. රට සතුරු උවදුරකින් මුදවන්නට දිවි දෙන්නට ඉදිරිපත් වන්නේද ඔවුහූමය. ඔවුන් සහභාගී නොකරගන්නා සංවර්ධනයක් සංවර්ධනය නොවීම ඉන්නවාට වඩා දුර්විපාක අත්කර දීමට වුවද ඉඩ ඇත. ඔවුනට වගකීම් පැවරෙන, වැදගත් කාර්යභාරයක් හා පංගුවක් හිමි සංවර්ධනයකි ලංකාවට උචිත. එසේ නම් අප කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදනය මුල් කොට ගත් ආර්ථිකයක් වෙත යා යුතු නොවේද? අනගාරික ධර්මපාලතුමා අවධාරණය කළේ මේ කරුණ නොවේද? 

යටිතල පහසුකම් හා ඉහත කී කේන්ද්‍රස්ථාන ඉදි නොකළ යුතු බව නොව අප පවසන්නේ. පළමු තැන නිෂ්පාදනයට හිමි විය යුතුය. දෙවන තැනද නිෂ්පාදනයටය. තෙවැනි තැනට වාගේ යටිතල පහසුකම් සහ ලංකාව ඉහත කී කේන්ද්‍රස්ථාන බවට පත් කිරීම යොදාගත යුතුය. (හම්බන්තොට වරාය කඩිනමින් ඉඳි කළ යුතු බවට විවාදයක් නැත.)  එසේ නොවුන විට ජනතාව මැතිවරණයකදී අන්දමන්ද තීරණයකට යාමට ඉඩක් ඇත. එහි බරපතළ තත්වය මතුවන්නේ කිසියම් පක්ෂයකට කිසියම් පාර්ලිමේන්තු මැතිවරණයකදී ආසන 113 ඉක්මවා සැළකිය යුතු ආසන සංඛ්‍යාවක් ලබා ගත නොහැකි වුවහොත්ය. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී 14 දෙනෙක් අද පාර්ලිමේන්තුවේ සිටිත්. (මෙම සංඛ්‍යාවේ සැළකිය යුතු වෙනසක් සිදු නොවනු ඇතැයි ගනිමු) එවැනි ඡන්දයකින් පසුව කාට ආණ්ඩු පිහිටුවන්නත් දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟතාවයකට පැමිණෙන්නට සිදු විය හැකිය. එදාට ඉඩම් බලතල හා පොලිස් බලතල ලබා දී වඩුකොඩෙයි ප්‍රඥප්තියට අනුව කටයුතු කෙරුමට ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් පෙළඹිය හැකිය. සිංහලයා පක්ෂ දෙකට හරි මැදින් බෙදා ජාතිවාදී සුළුතරය විසින් තීරක බලය අත්කරගැනීමේ අවදානමක් ඇත.



ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

8/18/2014

නූතන ලංකාවේ පියා තවමත් ජයවර්ධනද?

කතෘ:යුතුකම     8/18/2014   2 comments

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය


බටහිරයන් විසින් මෙරට වපුළ විජාතිකත්වයට එරෙහි ආස්ථානයක පිහිටා ජාතිකත්වය පෙරටු කොට 1951 දී  බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වන විට රාජ්‍ය බලය ලබා ගැනීමට සමත් විය. එතරම් අඩු කලෙකින් බලයට පත්වීමට හැකි වීම එය 56 පෙරළිය ලෙස හැඳින්වීමට එක් හේතුවකි. බණ්ඩාරනායක මහතාට ඒ සඳහා ගත වූයේ වසර කිහිපයක් බව සැබෑවකි. නමුත් ඒ සඳහා පිටිවහල් වුනු සිය උරුමය නැවත පාදා ගෙන සියවස් ගණනාවක් පුරා අහිමිව ගිය සිය ස්වාභිමානය යළි ප්‍රතිෂ්ටාපනය කර  ගැනීමේ ජාතික අභිලාෂයන් ජනතා හදවත් තුළින් පරාධීනත්වය හමුවේ අළු බවට පත් වී නොදී අවුළුවා තබා ගැනුම සඳහා අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ දේශහිතෛශීන්ට වසර ගණනාවක් පුරා සුවහසක් බාධක, කම්කටොලු මැද මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන්නට සිදුවූ බව අප සිහි තබා ගත යුතුය. 19 වන සියවස අග භාගයේ ඇරඹි අනගාරික ධර්මපාලතුමාගේ ජාතික ව්‍යාපාරය නොවන්නට බණ්ඩාරනායක මහතාට නැවත අවුළුවා ගත නොහැකි පරිදි මෙරට ස්වදේශික ජනයාගේ සිය ජාතික උරුමය යළි පාදා ගැනීම පිළිබඳ වූ පැතුම අළු බවට පත් වී තිබෙන්නට ඉඩ තිබුනි. එසේ වූවා නම් බණ්ඩාරනායක මහතාද එවැනි දේශපාලන ගමනක් නොඅරඹනු ඇත.

කෙසේ නමුදූ බණ්ඩාරනායක මහතා බලයට පත් වී ටික කලෙකින් එතුමා ලිබරල්වාදී කඳවුර වෙත වඩා සමීප  වී අවසන ඔවුන් අතින්ම මරුමුවට පත් විය. එතුමාගේ ඇවෑමෙන් බලයට පත් බිරිද සිරිමාවෝ මැතිණිය මෙරට වාමාංශික පක්ෂ හා එක්ව ගමනක් ඇරඹීය. ඒ අවදීන් කෙටියෙන් පැහැදිළි කරන සටහනක් ගුණදාස අමරසේකරයන්ගේ කවන්ධයට හිසක් කෘතියෙන් මෙසේ උපුටා දක්වමු.

"70-77 කාලය තුළ එතුමය විසින් ගෙනෙයන ලද අධිරාජ්‍යය විරෝධි සටන, මානව හිතවාදී, සමාජවාදී සිංහල-බෞද්ධ උරුමය පුනරුත්ථාපනය සඳහා තබන ලද ඉදිරි පියවර අප විසින් අද වුව කෘතඤතාපූර්වකව සිහිපත් කළ යුතු යයි මම සිතමි. ඒ තුළ වූ අනවශ්‍යය ක්‍රියා මාර්ගවලින් ඒ ප්‍රයත්නය මුදා ඉදිරියට ගෙන යාමට හැකි වී නම් මේ වන විට මේ රට අප පැතූ මඟෙහි බොහෝ දුර ගොස් තිබෙනු ඇතිය යන මතය බැහැර කළ හැකි නොවේ. පසුගිය කාලපරිච්ඡේදය තුළ අප මුහුණ දුන් ඛේදවාචක ඒ මඟ ඇසුරෙන් වළක්වා ගැනීමේ අවස්ථාව අප සතුව තිබුණා නොඅනුමානය. විජේවීරගේ මෙන්ම ප්‍රභාකරන්ගේද ත්‍රස්තවාදයට එක් හේතුවක් අප විසින් ඒ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය අමතක කිරීම නොවේද?

සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගත් ඒ ගමන් මඟ අසාර්ථක වීමට හේතු කීපයක් වී යයි මම සිතමි.  ඉන් එකක් නම් මාක්ස්වාදීන්ගේ ඇතැම් න්‍යාය පිළිපදින්නට යෑමයි. දේශීය වතු හිමියන්ගේ ඉඩම් ජනසතු කිරීමට යෑම එවැන්නක් නොවේද? එය කිසි ලෙසකින් බහුතර ජනතාවගේ ආශිර්වාදයට පාත්‍ර වූවක් නොවේ. එමෙන්ම ඒවා ජනසතු කිරීමෙන් පසු අමන දේශපාලකයන් විසින් ඒවා තුළ ගෙන යන ලද දූෂිත පාලනය ජනතාවගේ අප්‍රසාදයට ලක්වූවක් විය. ඒ ජනසතුව මානව හිතවාදී සමාජවාදී පියවරයක් ලෙස නොව ඊර්ෂ්‍යා, ක්‍රෝධ පරවශව ගෙන යන ලද අධම ක්‍රියාවක් ලෙසිනි, ඔවුන් දුටුවේ. එමඟින් ජේ ආර් ජයවර්ධනට ඒ රජය අධර්මයට මුල්තැන දෙන රජයක් ලෙස හැඳින්වීමේ අවස්ථාව පාදාදෙන ලදී. අනික් හේතුව නම් ඒ රජයේ මූලික ක්‍රියා කලාපය අපගේ සිංහල-බෞද්ධ මානව හිතවාදී උරුමය වෙත ළඟා වීමක් ලෙස අර්ථකථනය කිරීමට, පෙන්වාදීමට සමත් වූ ප්‍රඥාංකුර පිරිසක් ඒ වන විට සමාජය තුළ නොසිටීමයි. ඒ වෙනුවට සිටියේ දේශීය ප්‍රඥාංකුර පිරිසක් නොව ඉණිමඟේ ඉහළට නැගීම එකම අභිලාෂය කරගත් මැද පංතියේ නව සමාජ ස්ථරයකුයි. මැද පංතියෙන් බිහි වූ ඒ නව සමාජ ස්ථරයේ එකම අරමුණ වූයේ සිවිල් සේවයට ඇතුළු වී වැජඹීමයි. විශ්වවිද්‍යාලය තුළ ට්‍රොට්ස්කිවාදය ගැන බෙරිහන් දුන් එකාද සිවිල් සේවයට ඇතුල් වීමෙන් පසු කට පියා ගත්තේය. අවට ලෝකය ගැන තමන් උපන් නිජබිම ගැන නොතකා, එදෙස නොබලා සිය මනෝමන්දිර නිර්මාණය කරගෙන ඒ තුළ රැදී සිටීමට එ කල බිහි වූ පේරාදෙණි සාහිත්‍යයද ගමෙන් ආ තරුණයා මෙහෙයවීය. පේරාදෙණි සාහිත්‍යය සැපයූ මේ අධම අනුබලයයි එයට එරෙහිව නැඟිට සිටීමට මා එවේලෙහි මෙහෙයවූයේ."

අධර්මිෂ්ට රාජ්‍යය බිහි වීම


ජේ ආර් ජයවර්ධන පවා බලයට පත්වීම පිණිස යොදාගත්තේ ලාංකීය ජනතාව සතුවූ සිය උරුමය සොයා යාම සඳහා වූ නොසංසිඳුනු පිපාසයයි. "ධර්මිෂ්ට රාජ්‍යය" එහි තේමා පාඨය විය. බලයට පැමිණි පසු ඔහු අර උරුමය අතුගෑවිලා යන පරිදි නියම අධර්මිෂ්ට පාලනයක් ගෙන ගිය බව අපි දනිමු. ඉන් පසුව පත් වූ එක්සත් ජාතික පක්ෂ නායකයින් කළේ සුළු වෙනස්කම් සහිත වුවත්  ජයවර්ධන පෙන්වූ මගෙහිම ඉදිරියට යාමයි.

ඉන් පසු ලාංකීය ජනතාව මහත් හරසරින් ශ්‍රී ලංකා .නිදහස් පක්ෂය පැත්තෙන් පිළිගත්තේ ඒරොප්පෙන් පාත් වූ චන්ද්‍රිකා ය. මෙරටට සාමය උදා කරමින් සිය මව හා පියා ගත් මගෙහි ඉතිරිය එහි වූ අඩුපාඩුද නිවැරදි කරමින් ගමන් කරනු ඇතිය යන බලාපොරොත්තුවකිනි මෙරට ජනතාව ඇයව බලයට පත් කරන ලද්දේ. නමුත් ඇය බලයට පත් කිරීම පණිස ඇය වටා සිටි එන්,ජී.ඕ නඩය මෙරට ජනයා නොදුටූහ. එංගලන්තයේ සිට ඇය මෙහි කැටුවාගෙන ආයේ අනෙකක් සඳහා නොව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ‍ය  බිහි වූ සහ එය ගොඩනැගුණු දේශජ ජාතිකත්ව පදනම වෙනස් කර දැමුමටයි. බලය තිබෙන තාක් එය ජලයේ ගිල්වූ රබර් පන්දුවක් මෙන් යට කර තබා ගත හැකි හැකිවූවා මිස එය වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හෝ නොහැකි විය.

මහින්ද යුගය


ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කර ගන්නේ නැවත වරක් ඒ නිවැරදි පදනම දෙස බලමිනි. ඒ වන විට රනිල් මෙන්ම චන්ද්‍රිකා ද ඒකීය ලංකාවක් යන මතය බැහැර කර සිටියහ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒකීයත්වය පිළිගෙන කටයුතු කළේය. චන්ද්‍රිකා බටහිර ගැති අවජාතක එන්. ජී ඕ. කාරයන් විසින් අභිෂේක කරන ලද්දියක වූව මහින්ද අභිෂේකත්වය ලැබුයේ මෙරට ජාතිමාමක  සුජාත  දූ පුතුන් විසිනි.

මෙලෙස ලාංකිකයන් විසින් සිය නායකයන් තෝරා ගැනීම දෙස විමර්ශනාත්මකව බලන අමරසේකරයන් පෙන්වා දෙන්නේ මෙරට ඉමහත් බහුතරය වූ සිංහල-බෞද්ධයන් විසින් තමන්ට අහිමව .ගිය ජාතික උරුමය- මානව හිතවාදී සමාජවාදී සමාජය ලබා ගැනීම සිය එකම ප්‍රාර්ථනය කර ගෙන ඇති බවයි. ප්‍රජාතන්ත්‍ර මාර්ගයෙන් බැරිනම් හිංසන මගින් හෝ එය ඉටු කර ගැනුමට ඔවුන් පසුබට නොවන බවයි.

ඊළාමය විනාශ කර රට එක්සේසත් කිරීමෙන් පසු ජනතාව මෙවර මහින්ද රාජපක්ෂ අසීමිත බලයකින් යළි පත් කර ඇත්තේ කළගුණ සැලකීමක් වශයෙන්ම නොවේ. ඒ ලබාදෙන අසීමිත බලය මඟින් අපගේ සිංහල-බෞද්ධ ජාතික උරුමය ඉදිරියට ගෙන යනු ඇතිය යන විශ්වාසය උඩයි. කළගුණ සැලකීම අපගේ පෞද්ගලික සබඳතාවලට බලපාන ආචාර ධර්මයක් විනා දේශපාලන ක්ෂේත්‍රය තුළ බලපාන ආචාර ධර්මයක් නොවන බව මේ වන විට මේ රජය අවබෝධ කරගෙන ඇතැයි සිතමි. [කවන්ධයට හිසක්]

වැරදුනු තැන

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතිකත්වය රෙද්ද, බැනියමට, බතට, බුලතට සීමා වූවක්ය යන්න අතිශයෝක්තියක් නොවන බව අපගේ වැටහීමයි. ජාතිකත්වය මත පදනම්ව මෙරටට අවැසි සාකල්‍යය දැක්මකින් සමාජ ආර්ථික දේශපාලන දර්ශනයක් හා බැදුනු ප්‍රායෝගික ගමන් මගක් බිහි කර ගැනුමට එම පක්ෂය අසමත් වී ඇත. එවැන්නක් පිළිබඳ ඔවුනට විශ්වාසයක් තිබෙන සෙයක් දක්නට නැත. අමරසේකරයන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස නැති කවන්ධයක් ලෙස කලෙක සිට හඳුන්වන්නේ එබැවිනි. එවැනි සංවාදයක් තබා රාජ්‍යය ආයෝජනයන්හි ප්‍රමුඛතා පිළිබඳ පලදායි සාකච්ඡාවක්වත් අද මේ රට තුළ නැත. පාක්ෂිකයන්, මන්ත්‍රීන් හැම එකාම පාහේ අත උස්සන නිවටයන් පමණි. දේශපාලනඥයන් එහෙයියන් වන විට බුද්ධිමතුන් හෝයියන් බවට පත්ව ඇත.

එනිසා සිය ජාතික උරුමය යළි පාදා ගැනීමේ අවිඥානික ජනතා පැතුමත්, රජයේ ක්‍රියාකලාපයත් අතර පරතරයක් ඇති වී ඒ පරතරය දිනෙන් දින වැඩි වෙමින් යයි. ඒ පිළිබඳ තැකීමක් නැති දේශපාලකයෝ දේශපාලන දැක්මකින් තොරව සිය කාර්යයන් නිලධාරීන් වෙත පවරා සැමදා ජනතාව තමන්ට කළගුණ සලකතැයි යන දුර්මතයෙහි එල්බ සිටිත්.

නූතන ලංකාවේ පියා

මේ තත්වය යටතේ මෑතකදී රජයේම ඇමතිවරයෙක් ප්‍රකාශ කර සිටියේ නූතන ලංකාවේ පියා තවමත් ජේ ආර් ජයවර්ධන බවය. එ‍ය නිවැරදි නිගමනයක් යනු අපගේ ද හැඟීමයි. කවන්ධයට උචිත හිසක් සෙවීමට වුවමනාවක් තිබුනි නම් ඒ තත්වය වෙනස් කර ගැනුම සඳහා සංවාදයක් මෙරට තුළ ඇති කරවීම පිණිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සංධාන රජය මඟින් යුද්ධයෙන් පසුව කටයුතු කළ යුතුව තිබුණි. නමුත් රජයට සංවාද අවැසි බවක් වත් මෙහි ජනයා එවැනි සංවාදයක් ඉල්ලා සිටි බවක් වත් නොපෙනිණි. යථාර්තවාදී සංවාදයක් ගොඩනගනු වෙනුවට ආශ්චර්යයෙන් ජනතා දෑස් නිලංකාර කරවීමට රුචි සෙයකි රජය පැත්තෙන් දිස් වන්නේ. ජනතාවගේ පැත්තෙන් පෙනෙන්නට තිබුනේ යුද්ධය අවසන් කරවීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ ඔවුන් අභියසට නැවත වරක් සපැමිණි මහා පැරකුම් නිරිඳුන් සේ සළකා ඔහුට ඕනෑ දෙයක් කරන්නට දී ඔහු විසින් මෙරටට අවැසි සුබසෙත සළසා දීමට කටයුතු කරතැයි යන පූර්ණ නිගමනයෙහි එල්ඹ කටයුතු කිරීමයි. එබැවින් යුද්ධයෙන් පසු මේ දක්වා කාලය අසංවාදිතව අර හිස නැති කවන්ධයට හිස සෙවීම පසෙක තබා ඒ හිස නැති ගෙල රන් මාල පළඳන යුගයක් බවට පත්විය.

මේ අවාසනාවන්ත තත්වයට තවත් එක් ප්‍රධාන හේතුවක් නම් විපක්ෂයේ කිසිදූ  දේශපාලන පක්ෂයක් විසින් එවැනි හරවත් සංවාදයක් බිහි කිරීමයට කටයුතු නොකිරීමයි. එක්සත් ජාතික පක්ෂයට කවදත් සරු සංවාදයකට සහභාගී වීමේ හැකියාවක් තිබී නැත. නව ජනතා විමුක්ති පෙරමුණට ඇත්තේ ජනතාවට වසං කරමින් බටහිරට අවැසි ලෙස ගෙනයන හොර න්‍යාය පත්‍රයකි. ජාතිකත්වයන් දියකර හැරීමට යම් මතයක් ගොඩනැගීමට තැත් කිරීම ඔවුනට බාර වී ඇති සෙයක් කල්පනාවෙන් ඔවුන්ගේ දේශපාලන හෑසිරීම් නිරීක්ෂණය කරන්නකුට වටහා ගැනීම අපහසු නැත.

ඒ කෙසේ වෙතත් රජය සිය ජනවරමට අනුකූලව කටයුතු කළේ නම් තවමත් පියා ජයවර්ධන නොවිය යුතුව තිබුනි. මේ වන විට නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබුනි. දැන් ගෙන යන ආර්ථික ක්‍රමවේදය  මීට වඩා බෙහෙවින් වෙනස් එකක් වන්නට තිබුනි. ජනතාවට මුව අයාගෙන ආණ්ඩුව විසින් ගෙනෙන ආශ්චර්යය දෙස බලා සිටිනු වෙනුවට එය වඩා සාමූහික ප්‍රයත්නයක් විය යුතුව තිබුනි.

නූතන ලංකාවේ පියා ජයවර්ධන නම් මහින්ද කවුද? මහින්ද මෙන්ම මුළු මහත් සමාජයම ජයවර්ධන පුත්‍රයන් බවට පත්වී නැතිද? එම තත්වය වෙනස් කර අපගේ උරුමය යළි පාදා ගැනුම පිණිස බලයට පත් කළ මහින්ද, ජයවර්ධනගේ සුජාත පුත්‍රයෙක් ලෙස හැඳින්විය හැකිද?

හිස සෙවීමට අරඹමු


මෙවැනි තත්වයක් උද්ගතව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති කවන්ධයට උචිත හිස සොයා ගැනීම පිණිස අවැසි වන බුද්ධිමත් පිරිසක් එම පක්ෂය තුළ නොමැති වීම නිසා යයි සිතමි. ඒ වෙනුවට එහි ඇත්තේ දේශපාලන ගේම් කාරයින් කිහිප දෙනෙකුය. ඔවුනට එවැනි සංවාදයක් සමාජගත කිරීමට ශක්‍යතාවක් නොමැත. ඔවුන් ඊට වඩා දක්ෂ අර දේශපාලන ගේම ගහන්නටය.

කෙසේ නමුත් ඌවට නාම යෝජනා භාර දීමට පෙර අවසන් මොහොතේදී නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කෙරුමට ජාතික නිදහස් පෙරමුණ හා එකඟතාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැමිණ තිබේ. එය කවන්ධයට අවැසි හිස සොයා යෑම සඳහා තැබුනු ප්‍රථම පියවර ලෙස හැඳින්විය හැකි වුවත් ඒ සා බරපතල තීරණාත්මක එකඟතාවයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇදගෙන ආවේ බල්ලන් නාවන්නට ඇදන් යන ආකාරයකට බවකි පෙනෙන්නට ඇත්තේ. මෙවන් වටපිටාවක් තුළ එම එකඟතාවට පිවීසීම කොතෙක් දුරට සත්භාවයෙන් සිදුවුනිදැයි යන්න සැක සහිතය.

මෙහිදී ඔබට හා මට පැවරෙන වගකීමක් ඇත. නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කැර ගැනුම පිළිබඳ කතිකාවත් ඇරඹීමට දායක වීම එම යුතුකමයි. රටට එරෙහිව කටයුතු කරන්නට රට රටවල බඩගෑමට ඕනෑ තරම් විද්වතුන් ඇති මුත් ජනතාව අබියසට පැමිණ එවන් ප්‍රගතිශීලී සංවදයකට තම බඩ වියත ගැන නොතකා දායක විය හැකි විද්වතුන් අතළොස්සගෙන් අපි ඉතා ගෞරවාදර භක්තියෙන් ඉල්ලා සිටින්නේ ඒ යුතුකම වෙනුවෙන් නැවත වරක් පෙළ ගැසෙන ලෙසයි. ඇතැම් බල්ලෙක් අමාරුවෙන් හෝ ඇළට දමා ගත් විට එහි පීන පීනා නාන්නේ ඉතා ආශාවෙන් එහි පැනගත් එකෙකු ලෙසය. නාන්න එපා කී අනෙක් උන්ද එවිට එහිම පැන නාන්නේ දියබුංද ගසමින් බව ඔබ හා අපි අත්දැකීමෙන් දනිමු.

මහින්ද රාජපක්ෂ පසු ගිය කාලයේ නිතරම පැවසුවේ යුද්ධය තවත් පරම්පරාවකට උරුම නොකරන බවයි. ඒ කිරීමට ඔහු හා රණවිරුවෝ සමත් වුව අද කළ යුතු මේ වෙනස් කම් නොකොට එදා වේල දේශපාලනයෙන් සෑහීමකට පත් වී ඇදගෙන යන්නට සිතුවොතින් තවත් පරම්පරාවකට ඒ යුද්දය නැතත් වෙනත් යුද්දයක් උරුම වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති හිස නැති කවන්ධයට උචිත හිස සොයා ගැනීමට පමා වී හෝ අවංක ප්‍රයත්නයක යෙදිය යුතුය. ඒ හිස සවි කරගත් දාට ඒ පැත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් මේ පැත්තට අරගෙන උන්ට සන්තෝෂම් දී ගෙන කර ගෙන යන මජර දුර්ගන්දිත දේශපාලන සංස්කෘතියෙන් ගොඩ ඒමට හැකිවනු ඇත. අධර්මිෂ්ට රාජ්‍යයට තිත තැබීම දැන් ආරම්භ කළ යුතුය. ඒ සඳහා ලිච්ඡවීන් මෙන් නිතර නිතර එක් රැස්ව සාකච්ඡා කරමු.

මහින්ද, තවත් ජයවර්ධන පුත්‍රයකු විය යුතු නැත.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

3/25/2014

මොකක්ද මේ විදුලි පුටු කතන්දරේ.?

කතෘ:යුතුකම     3/25/2014   18 comments

ජිනීවා මානව හිමිකම් සමුළුව තුළදී ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ගෙන එන යෝජනාවට අදාළ ඡන්ද විමසීමට තව ඇත්තේ අතේ ඇඟිලි ගණනක දින ගණනක් පමණි. ඇමරිකාව , බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාව සම්මත කරගැනීමට හැම දහංගැටයක්ම ගසමින් සිටියි. ඒ වුවත් මේ ජිනීවා ක්‍රියාවලිය ගැන අතිශයින් පරස්පර අදහස් මෙරට දේශපාලන කතාබහ තුළින් මතු වන්නේ මේ දිනවල උණුසුම්ව ඇති පළාත් සභා මැතිවරණ වේදිකාව නිසාම නොවේ. ඒ මේ රටේ හැටිය. මෙරට දේශපාලන පක්ෂ සංස්කෘතියේ හැටිය.සමහරෙකුට මෙය භායානක බිල්ලෙක් ලෙස පෙනෙද්දී තවත් සමහරෙකුට ආණ්ඩුවේ මවාපෑමකි. තවත් කෙනෙකුට මෙය රටට එරෙහි යෝජනාවක් නොව ආණ්ඩුවට එරෙහි යෝජනාවක් පමණි.

ජිනීවා යෝජනාවලට පක්ෂපාතව අදහස් දක්වන්නන්ගේ අදහස්  කිහිපයක් මෙලෙස සරලව සටහන් කළ හැක :
  • 1 : “ශ්‍රී ලංකාව යුධ අපරාධ පිලිබඳ රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කර නොමැති බැවින් ‘විදුලි පුටු’ පෙන්වමින් කරන බොරුව, හුදු රඟපෑමක් පමණකි.(රනිල් වික්‍රමසිංහ මහතාට පින් සිදු වන්නට ) අප රටට යුධ අපරාධ චෝදනා නැගිය නොහැක .”
  • 2: “ජිනීවා මානව හිමිකම් සමුළු යෝජනාව පිලිබඳ නිකරුණේ බිය වීමට කිසිම හේතුවක් නැත. එහි ඇත්තේ ආණ්ඩුව විසින්ම පත් කළ LLRC කොමිෂන් සභා වාර්ථාව ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුව මේ මොහොතේ බොරු බිල්ලෙක් මවා මේ සරල කරුණ මහමෙරක් කර පෙන්වන්නට උත්සාහ කරන්නේ ඒ හරහා තම චන්ද ගොඩ වැඩි කරගන්නටය.“
  • 3 : “මේක රටට විරුද්ධ යෝජනාවක් නෙවෙයි ආණ්ඩුවට එරෙහි යෝජනාවක් විතරයි. ඒ යෝජනා එන්නේ ආන්ඩුවේ වරදින්. ආණ්ඩුව මානව හිමිකම් කඩකරමින් , මාධ්‍ය නිදහස නැති කරමින් සිදුකරගෙන යන පාලනයේ වරද නිසයි අපට මෙවැනි චෝදනා එන්නේ.
අප මේ සහටන තුළදී මූලික ලෙසම  මේ කරුණු කිහිපය සලකා බලමු.

රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීමෙන් මුක්තිය ලැබේද?

ජාත්‍යන්තර රෝම ප්‍රඥප්තියට අත්සන් නොකිරීමට එවකට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය නිසා ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙක්‌ ජාත්‍යන්තර යුද අධිකරණයට හෝ විදුලි පුටුවට ගෙන යැමට නොහැකි බව මේ දිනවල නිතර ඇසෙන කතාවයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිදුකරන සෑම කතාවකදීම මෙය සඳහන් කිරීමට අතපසු නොකරයි. ඔහු පමණක් නොව ජවිපෙ නායකයින් මෙන්ම සරත් ෆොන්සේකා මහතා පවා නිතර ප්‍රකාශ කරන කරුණක් නම් මේ විදුලි පුටු කතාව ආණ්ඩුව විසින්  ගොතන අමු කෙප්පයක් බවයි. එයටම අත්වැල් අල්ලමින් හිටපු ජනාධිපතිනියද පසුගියදා ප්‍රකාශ කර තිබුනේ තමන් ලෝකය ගැන දන්නා බවත් විදුලි පුටුවක් ගැන නම් තමා නොදන්නා බවයි.
"2003 දී මම අගමැති වෙලා හිටියදී රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා ශ්‍රී ලංකාවේ කිසිවෙකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය වෙත ගෙන යා නොහැකියි. මේ පිළිබඳව රාජපක්‍ෂ රෙජීමය එක්සත් ජාතික පක්‍ෂයට ස්තුතිවන්ත විය යුතුයි. "
-රනිල් වික්‍රමසිංහ : 2014 පෙබරවාරි

"ජර්මනියේ හේග් නුවර තියෙන යුධ අධිකරණය හා සම්බන්ධ ප්‍රඥප්තියක් සම්මත කරගෙන තිබුණට අපේ රටේ කවුරුවත් ඒකට ගෙනියන්න බෑ. මොකද අපි ඒ ප්‍රඥප්තියට අත්සන් කරල නෑ. අපි විතරක් නෙවෙයි .ඇමරිකා එක්සත් ජනපදය , ඉරාකය ආදී ඒ මොහොතේ යුද්ධ පැවති කිසිම රටක් අත්සන් කරල නෑ. ඒ නිසා අපේ රටේ ජනාධිපතිවරයා තියා සාමාන්‍ය සෙබලෙක් වත් යුධ අධිකරණයට ගෙනියන්න බෑ. කවුරු හරි කැමැත්තෙන් යන්න හිතාගෙන ඉන්නව නම් මිසක්. "
-අනුර කුමාර දිසානායක  : 2014 පෙබරවාරි

මොවුන් මෙතරම් විස්වාසයෙන් මෙන් පවසන මෙහි සැබෑවක් තිබේද? රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම නිසා අපට යුධ අපරාධ ප්‍රඥ්ඥප්තියෙන් මුක්තිය ලැබේද?
මූලිකවම රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් කිරීම හෝ නොකිරීම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාගේ වගකීමක් නොව , එවකට ඔහු අගමැතිවරයා පමණක් බවත් ජාත්‍යන්තර සම්මුතීන් වලට එකඟවන්නේ අගමැතිවරයා නොව විධායක ජනාධිපතිවරයා බවටත් නීති විශාරදයන් මතු කරන කරුණ ඉවත ලිය හැක්කක් නොවේ. ඊට පෙර 1998 දී චන්ද්‍රිකා බණ්ඩරණායක මැතිණිය වෙත ඉදිරිපත්වූ එම යොජනාවද ප්‍රතික්ෂේප වී තිබුණේ එවකට එල්ටීටීඊය සමග සටන් ක්‍රියාත්මක වෙමින් තිබූ නිසයි.

ටේලර් -  අල් බාෂිර් -  මිලසොවිච්
එම කරුණ කෙසේ වෙතත් රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකළ පමණින් අපට මුක්තිය නොලැබෙන බවට ජාත්‍යන්තර උදාහරණ බොහොමයකි . සුඩානයේ හිටපු ජනාධිපති ඔමා අල් බාෂිර් , ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර් , යුගොස්ලෝවියාවේ ස්ලොබොදාන් මිලසොවිච් ජාත්‍යන්තර යුධ අධිකරණය හමුවට ගෙන එන්නේ ඔවුන් රෝම ප්‍රඥ්ඥප්තිය අත්සන් නොකර තිබියදීය. එසේ වන්නේ රෝම ප්‍රඥ්ඥප්තිය තුළම එය අත්සන් නොකළ රටවලට අදාල වන සේද වගන්ති අඩංගු කර ඇති බැවිනි . රෝම ප්‍රඥප්තියේ 12-15 වගන්තිවල සඳහන් කර ඇති පරිදි  ආරක්ෂක මණ්ඩලය හරහා රෝම ප්‍රඥප්තිය අත්සන් නොකළ රටවලට පවා ජාත්‍යන්තර යුධ අපරාධ චෝදනා නැගිය හැකි . එහිදී අපරාධ නඩු මෙහෙයුම්කරුට (Prosecutor) අභිමත ලෙස පරීක්ෂණ පවත්වා මූලික නඩු විභාග මණ්ඩලය වෙත යෝජනාවක් යොමු කිරීමට බලයක් තිබෙන බැවිනි.

එසේ නම් මොවුන් මේ අයුරින් ප්‍රකාශ කරන්නේ නොදැනුවත්කම නිසාද?  නැත. මේ අපේ දේශපාලන පක්ෂ නරාවළේ ස්වරූපයයි. ඔවුන්ට අනුව ජිනීවා වල බටහිර තර්ජනය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් තමාගේ මැතිවරණ ජයග්‍රහණ සඳහාත් පැවැත්ම සඳහාත් භාවිතා කරමින් සිටියි. ජනතාවද ඒ මතයට අවනත වෙමින් සිටියි. කිසිඳු පදනමක් නැති මේ ප්‍රකාශ කෙරෙන්නේ එයට එරෙහිව මිස යථාව එය නිසා නොවේ. ඇත්ත වශයෙන්ම ආණ්ඩුවද මේ මොහොතේ මේ ජිනීවා අනතුර තම දේශපාලන බලය තහවුරු කරගැනීමේ උපායක් ලෙස භාවිතා කරමින් සිටිනවා යන්න අසත්‍යක් නොවේ. ජිනීවා මෙහෙයුම අස්සට මැතිවරණ සිතියම එලෙන්නේම ඒ පිළිබඳ නිසි තක්සේරුවකින් බවට සැක නැත.  කම්බ හොරුන් , තක්කඩියන් ජිනීවා සළුවෙන් නිරුවත වසාගෙන පළාත් සභාවට රිංගන බවද සත්‍යකි.  එය දේශපාලන සදාචාරය පැත්තෙන් කෙතරම් සාධාරණද යන පැනය පැන නගින නමුත් අනෙක් පසින් එය බටහිර මෙහෙයුමේ ජවය අඩු කරන උපායක් ලෙසද සැලකිය හැකිය.

මේ කරුණු අනුව සලකා බැලූ විට රෝම ප්‍රඥ්ඥප්තියට අත්සන් නොකිරීම මගින් අප සුරක්ෂිත යැයිද අපට මුක්තිය ලැබේ යැයිද කරන ප්‍රකාශ දේශපාලන වේදිකාවේ අත්පුඩියට සහ ඒවා ඕපාදූප ලෙසින් පළවන ගොසිප් අඩවි වලින් දේශපාලන දැනුම ලබාගන්නන්ගේ තෘප්තියට පමණක් සෑහෙන ඉන් එහාට වලංගුභාවයක් නොමැති ප්‍රකාශයක් බව පැහැදිලිය.

සුරූපීබවට රවටා  මෝහිණීට බිලි දීමේ බටහිර තැත...

ජිනීවා මෙහෙයුම පිළිබඳ තවත් මතයක් නම් මෙය හුදෙක් LLRC වාර්ථාවේ කරුණු ඉටු කරන ලෙස කරන ඉල්ලීමක් බවත් එය සාධාරණ ඉල්ලීමක් බවත්ය.ජිනීවා යෝජානාවලට උඩ ගෙඩි දෙන කණ්ඩායම් පවසන්නේ මේ යෝජනා හරහා යහ පාලනය , ප්‍රජාතන්ත්‍රවාදය ආදී හරයන් යළි ස්ථාපිත වනු ඇති බවයි. අන්ධයන් අලියාගේ හැඩරුව කීවා සේ එක් එක් අය එක් එක් කොටස් තමන්ට ගැලපෙන අයුරින් සිතාගෙන මේ ජිනීවා බලහත්කාරය තනුක කරන උත්සාහයක නිරත වෙමින් සිටී. උදාහරණයක් ලෙස නිදහස් මාධ්‍යයේ පොල්මංකාර ව්‍යාපාරික කණ්ඩායම්  ජිනීවා යෝජනාවලියේ මාධ්‍ය නිදහසට අදාල වාක්‍ය තමන්ට අදාළ යැයි කියමින් මුළු ජිනීවා බලහත්කාරයටම උපරිමයෙන් අනුබල දෙමින් සිටී.

බටහිරයන් එක් එක් කණ්ඩායම් ඉලක්ක කර මේ ආලවට්ටම් දමන්නේම යෝජනාවලියේ ඇතුළත ඇති භයානක අනතුර සඟවා මෙලෙස එක් එක් කන්ඩායම් නිෂ්ක්‍රීය කරමින්   තමන්ගේ අවසාන ඉලක්කය සපුරා ගැනීමේ කෑදරකමින් බව අප අමතක නොකළ යුතුය. එක් එක් වියුක්ත කරුණු ඔස්සේ විවිධ කණ්ඩායම්වලට ආමන්ත්‍රණය වන සේ සකසන මේ ලියවිල්ල අවසානයේ රටේම බෙල්ල තොණ්ඩුවට හිරවන උගුලක් බව සංයුක්ත චිත්‍රයම එකවර දැක අවබෝධ කරගත යුතුය.

මේ අනුව ජිනීවා යෝජනා යනු උගත් පාඩම් කොමිසම යන රූසපුව පෙන්නා යුධ අපරාධ  නැමති මෝහිනියට අප බිලි දීමේ බටහිරයන්ගේ අරමුණ බව යථා සිහියෙන් අප වටහා ගත යුතුය. යහපාලනය , ප්‍රජාතන්ත්‍රවාදය , මානව අයිතීන් ආදී ආභරණ පැලඳවූ දුටුවනම වශීවන තරමට ආකර්ෂණීය සුරූපිනියට අකමැති වන්නේ ඇයිදැයි සමහරෙකු ප්‍රශ්න කරන්නේ එය වැටහී ගොස් නොමැති බැවිනි.මෝහිණියගේ අතේ ඇති දරුවා ගැනද ඊනියා මානවහිතවාදීන් අදහස් පළකරනු දැකිය හැක.
උගත් පාඩම් කොමිසමක් පත් කිරීමේදීම අපි බටහිර උගුලට අඩිය තැබූ  වග අනාගතය  කලින් දුටු වියතුන් විසින්  ආරම්භයේදීම පෙන්වා දුන් නමුත් බටහිර සතුටු කර අපට නිදහස් විය හැකි යැයි සිතූ සහ එයට උඩගෙඩි දුන් ඊනියා උගතුන්ට එය නොවැටහිණ.කල්ගැනීමේ උපායක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත්තේ නම් යතාර්ථවාදී නොවන ඉටු කළ නොහැකි කොන්දේසි වලින් වාර්ථාව පිරෙන්නේ නැත.ඒ කෙසේ වෙතත් උගත් පාඩම් කොමිසමෙන් කරුණු වල කළ හැකි නොහැකි ප්‍රමාණය හැරියත් ඇමරිකන් න්‍යායපත්‍රයට අනුකූලව ඒවා ඉටු කිරීමට අප බැඳී නැත. මෙය රටේ අභ්‍යන්තරව පත් කළ කොමිෂමකි. එහි යෝජනා ඉස්පිල්ලක් පාපිල්ලක් හැර ඉටු කිරීමේ හැකියාවද රජයට නැති වන්නට ඉඩ ඇත. සියලු යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ අපගේම යාන්ත්‍රණයක් හරහා පමණි. අන්තර්ජාතික කල්ලි කණ්ඩායම්වල බලහත්කාරයට යටත්ව ඒවා ඉටු කළ යුතු නැත. සංහිඳියාව ඇති කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙරටට ස්වාධීනව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇත.

මේ යෝජනාව සම්මත වූවාට අපට සිදුවන කෙංගෙඩියක් නැතැයි පවසන්නන් අපට අමතක කරවන්නට හදන කරුණ නම් ඇමරිකාව මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවන බවය.පසුගිය කාලයේ එකා පිට එකා බැගින් ඇමරිකන් ඒජන්තයන් ලංකාවට ආවේත් ඒ සැනින් උතුරට දිවගොස් කොටි හිතවාදී පූජකයන් සහ එල්ටීටීඊ ත්‍රස්තයන්ගේ වැන්දඹු බිරින්දෑවරුන් ගෙන් කේලම් ආසා ඒවා දේව වාක්‍ය ලෙස හිස් මුදුනින් ගෙන නැවත ගියේත් නිකන්ම නොවේ. ඔවුන්ට දිගු කාලීන න්‍යායපත්‍රයක් තිබේ. මේ සියලු ජවනිකා ඒ පිටපතට අනුකූල ඒවාය.
මේ යෝජනාවෙන් එකවර ආර්ථික සම්භාධක හෝ හේග් නුවර යුධ අධිකරණය වෙත ත්‍රස්ත මර්දන මෙහෙයුමට සහභාගීවූවන් දක්කාගෙන නොයනු ඇත. නමුත් කෙමෙක් කෙමෙන් පියවරෙන් පියවර හරකා වැට පනින්නේ පොල් පැලය කන්නට බව වටහාගැනීමට අංජනම් බැලිය යුතු නොවේ. උගත් පාඩම් නිර්දේශ හා අනෙකුත් අමතර කාරනා ඉටු කරන තැනට රට පත් කිරීමටත් , යුද්ධයේ අවසන් දින කිහිපය කොටි නායකයන්ගේ ඝාතන පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන තැනට අදාළ
යාන්ත්‍රණයක් බල ගැන්වීමටත් ,  ඒවා හැසිරවීමේ බලය ඇමරිකාව අතට ගැනීමටත් ඒ හාරහා තමන්ට අවශ්‍ය තැනට රට පත් කිරීමත් ඔවුන්ගේ අපේක්ෂාව බවට සැක නැත. ඒ අතරතුර හැකිනම් ජනතා විරෝධය අවුලුවන ඊලම් පිපාසය තව තවත් අවුළුවන පන්නයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව අසමමිතික බලය බෙදීමක් උතුරු හා නැගෙනහිරට ලබා දීමට බල කෙරෙනු ඇත. එමගින් ඊළාම් පිපාසය අවුළුවන ගමන්ම රට බෙදීමට එරෙහි ජනතා විරෝධය අවුළුවා තමන්ට අභිමත නොවන මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම ලෙස වූ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ උත්සාහයද අත් නොහරිනු ඇත. ආණ්ඩුව තම දඬු අඬුවට කැමැත්තෙන් හසු නොවන්නේ නම් එහිදී ආර්ථික සම්බාධක වැනි උත්සාහයන්ද අත් හදා බලනු ඇත. ඒ හරහා ඇතිවන ආර්ථික පීඩනය හමුවේ ජනතාව අරාබිය පුරා අත්හදා බැලූ ලේ හලන විනාශයකට වුව පොළඹවා ගැනීමට හැකියාවක් ඇතැයි මේ මොළකරුවන් තක්සේරු කර ඇති බවට සැක නැත.අතනින් මෙතනින් ජනතා උද්ඝෝෂණ යැයි කියමින් පසුගිය කාලයේ සිදුකළ අත්හදාබැලීම් ඔවුන්ට ඒ සඳහා උපකාරී වන්නටද ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රකරණය , යහ පාලනය ආදී ආකර්ෂණීය වචන අස්සේ දවටා ජිනීවා හරහා ගෙන එන්නේ කාල බෝම්බයක් බව පැහැදිලිය. දවටනය ඉවත් කළද බෝම්බය එකවර පුපුරා නොයන බැවින් අනතුරක් නැතැයි කෙටි නිගමනයකට එලඹීමට ඉඩ වැඩිය.නමුත් එය බටහිරටන්ට අවසි වේලාවට පුපුරා යනු ඇත.
එබැවින් ජිනීවා යෝජනාව හරහා යුධ අපරාධ නැමති මෝහිනියට බිලි දීමට  බටහිරයන් කටයුතු කරමින් සිටින බවත් එය හුදු LLRCයෝජන ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් පමනි,යනුවෙන් පලවන අදහස් ගැඹුර අමතක කර හුදු මතුපිට ස්පර්ශයෙන් එලඹි සදොස් සහගත නිගමනයක් බව අප වටහා ගත යුතුය.

ජිනීවා  තර්ජනය කාටද?

මෑතක් වන තුරුම බොහෝ දෙනා මේ ජිනීවා යෝජනා ආණ්ඩුවට එර්හි යෝජනා ලෙස මිස රටට එරෙහි යෝජනා ලෙස හඳුනා ගෙන නොතිබිණ.විශේෂයෙන් ජවිපෙ ආකර්ෂණීය කතිකයන් මෙන්ම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ එජාප මහත්වරු මේ කතාව නිතර කියනු ඇසිණ.එමගින් ඔවුන් උත්සාහ කරන්නේ මේ අනතුරේ බරපතල කම අඩු කරන්නටත් , ආණ්ඩු විරොධී ජනතාව මේ රටට එරෙහි යෝජනාවටද පක්ෂ වන තැනට සමාජ  මතය හදන්නටත්ය. කලින්ද සඳහන් කළ පරිදි මේ අප පෙලන මජර පක්ෂ දේශපාලනයේ උරුම කරුමයයි. ආණ්ඩුවට විරුද්ධ වීමට කරුණු ඕනෑතරම් තිබියදී ඒවාට වඩා ජිනීවා මෙහෙයුම ගැන මේ කණ්ඩායම් වැඩි බලාපොරොත්ත්තු තබාගෙන සිටින්නේ බටහිරයන් කඩන ගෙඩිය තම ඔඩොක්කුවට වැටේ යැයි අපේක්ෂාවෙනි. නමුත් ඉතිහාසය අපට මතක් කර දෙන්නේ බටහිරයන් අනුන්ගේ ඔඩොක්කුවලට වැටෙන්නට ගෙඩි කඩන ජාතියක් නොවන බවය. ඔඩොක්කුවට වැටෙන්නට වගේ පෙනුනත් අවසන් මොහොතේ හෝ ඔවුන් එය ඩැහැගන්නා අයුරු මැදපෙරදිග කලාපය පුරා පසුගිය කාලයේ අවශ්‍ය පමණටත් වඩා උදාහරණවලින් පෙනේ.



කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions