1/01/2016

"විරුවන් හිරේ - ත්‍රස්තයන් නිදහස් - ජාතික ආරක්ෂාව අනතුරේ " - ගෝඨාගේ හඬ අවදිවේ

කතෘ:යුතුකම     1/01/2016   7 comments
ජාතික ආරක්ෂාව පාවාදීම සහ රට පොලිස් රාජ්‍යයක් බවට පත්කොට ප්‍රජාතන්ත්‍රවාදය වැලැලීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ හෙළිදරවුව.
[ජාතික සංවිධාන එකමුතුව විසින් 2015/12/07 දින පැපිළියානේ සුනේත්‍රාදේවී විහාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිදුකළ කථාව ]

මහා සංඝ රත්නයෙන් අවසරයි!


අපි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවන්හිදී විරුද්ධවාදීන්
අප නැති යුධ බියක් ඇතිකරන්න උත්සාහ දරන ජාතීවාදීන් වශයෙන් හඳුන්වමින් විවිධ චෝදනා එල්ල කරනවා . යුද්ධය අවසාන වුනාට පස්සෙ අපි අවුරුදු 5ක කාලයක් තුළ ආරක්ෂාව පිළිබඳව විශාල ස්ථාවරත්වයක් මේ රටට ගෙනාවා. ඒක මේ රටේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර එල්ටීටීඊ සංවිධානයේ කිසිම පෝස්ටරයක්වත් ගහන්න අපි ඉඩ දුන්නෙ නෑ. ඒකට හේතුව මරාගෙන මැරෙන තරමට සිත් වෙනස් කරගත්ත ත්‍රස්තවාදීන් තවමත් සිටීම. ඔබතුමන්ල දන්නවා අවුරුදු 30ක් මේ රටේ තිබුනු ත්‍රස්තවාදය විසින්, ප්‍රභාකරන් සහ එල්ටීටීඊ සංවිධානය විසින් මරාගෙන මැරෙන්නන් වශයෙන් පවා ඔවුන්ව භාවිතා කිරීමට හැකිවන අයුරින් ත්‍රස්තවාදීන්ගේ මනස් විශාල වශයෙන් වෙනස් කරල තිබුනා.

අපි දොළොස්දහස් අටසිය ගනනක් ත්‍රිවිධ හමුදාවට භාර වුනු ත්‍රස්තවාදීන්ව පුණරුත්ථාපනය කළා. ඒ එක්කම බූස්ස සහ වෙනත් කඳවුරු වල අවුරුදු ගණනාවක් තිස්සේ සැක සහිතව අත් අඩංගුවට අරගෙන තිබුණු පන්දහස් ගණනක් හිටියා. ඒ අයගෙන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් පුණරුත්ථාපනය කරල අපි සමාජ ගත කළා. මෙසේ පුනරුත්ථාපනය කළාට පස්සෙ ඇමරිකාවෙ ප්‍රමුඛ මෙළේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරුන් දෙදෙනෙක් හරහා පරීක්ෂණයක් කළා මේ පුනරුත්ථාපනය කළ අයගේ ප්‍රචන්ඩකාරී ත්‍රස්තවාදී මානසිකතවය කොපමන දුරට සිතෙන් අතහැරිලද යන්න පරීක්ෂා කරන්නට. එයට අදාළ වාර්ථාව කියවුවහොත් තේරේවි අවුරුදු 3ක් 4ක් තිස්සේ මේ පුනරුත්ථාපන ක්‍රියාවළිය සිදුවන විට ක්‍රම ක්‍රමයෙන් ඒ අයගේ සිත්වලින් මේ දරුණු අදහස් 90%ක් පමන ප්‍රමානයක් දක්වා ඉවත් වී ඇති බව. නමුත් 10% ක් පමන ප්‍රමානයකින් තවදුරටත් ඒ අදහස් ඔවුන්ගේ සිත් හි ඉතිරිව තිබෙනවා.

ඒ එක්කම අපි ඔය දෙසිය ගණනක් දැනට බූස්සෙ රඳවල සිටින අයගෙ මානසිකත්වය කුමනාකාරද කියල පරීක්ෂා කරන්නට තවත් පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ අයගෙන් වැඩි දෙනෙක්ම කිවුවෙ ඒ අය ත්‍රස්තවාදීන් බවට පත් වුනේ ඔවුන්ගෙ නායකය ඔවුන්ට ලබා දීල තියන ඉලක්ක සම්පූර්ණ කිරීමට බව. ඒ ඉලක්ක සපුරා ගන්නා තුරු ඔවුන් තම අදහස් ඉවත් නොකරන බවයි ඔවුන් ප්‍රකාශ කරල තිබෙන්නේ. ප්‍රභාකරන් නැති වුනත්, එල්ටීටීඊ සංවිධානය හමුදාමය වශයෙන් පරාජය වුවත් ඔවුන්ට භාර දීල තිබෙන ඉලක්කය ඔවුන් කවදාහෝ ඉටු කරනව කියල තමයි ඔවුන් ප්‍රකාශ කරල තිබෙන්නේ. මේ වාර්ථා සියල්ල යුධ හමුදාවෙ බුද්ධි අංශය සතුව තිබෙනවා.

විශේෂයෙන්ම මම දන්නව ඔය නිදහස් කරන්න හදන අය අතර ඉන්නව “මොරිස්” සහ “ගිරි” කියල පුද්ගලයන් දෙදෙනෙක්. ඒ අයගෙ නියම නම් මේව නොවෙයි. එල්ටීටීඊ සංවිධානය තුළ ඔවුන්ව හඳුන්වල තිබෙන්නෙ මේ නම් වළින්. ඔවුන් තමයි ප්‍රභාකරන්ගේ සහ පොට්ටු අම්මාන්ගේ ඍජු උපදෙස් යටතේ මුළු කොළඹ ප්‍රදේශයම භාරව ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවපු දෙදෙනා. මේ දෙදෙනව අත් අඩංගුවට ගැනීමට අපි විශාල පරිශ්‍රමයක් දැරුවා. යුද්ධය අවසන් වුනාටත් පසුව තමයි ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ. මේ දෙදෙන තමයි කොළඹ සිදුවුනු සෑම ත්‍රස්තවාදී ක්‍රියාවකටම වගකිව යුත්තේ. යුධ හමුදා මූලස්ථානය ඇතුළෙදි එවකට හිටපු යුධ හමුදාපතිවරයට බෝම්බ දමපු තැනැත්තියව ඒක ඇතුළට එක්කගෙන ගියේ මේ මොරිස් කියන පුද්ගලයා. මොවුන් තමයි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ව වන්නියෙ සිට රැගෙන ආවෙ, පුහුණුකළේ, ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය විමර්ෂන සිදුකළේ, සැළැස්ම සකස් කළේ, "සේෆ් හවුසස්" (ආරක්ෂා සහිත නිවාස) කියන නිවාස සොයාගෙන නඩත්තු කළේ. මේ සියලම කළේ මේ උදවිය. මෙන්න මෙවැනි පුද්ගලයන්ව නැවතත් කිසිම හැඟීමක් නැතිව සමාජයට එක් කළ හැකිද? අද රජයෙ ඉන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ මේ අයව අත් අඩංගුවට ගන්න කොතරම් වෙහෙසක් දැරුවද කියලා. ඒ ගැන අවබෝධයක් නෑ. මේ අය හුදෙක්ම දේශපාලන වාසි ලබා ගැනීමට මෙවැනි පුද්ගලයන්ව නිදහස් කරනවා. එහෙම නැතිනම් ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය අනුව නිදහස් කරන
වා. මේවා මිනිස්සුන්ව භය කරන්න කියන දේවල් නොවෙයි. අපි කිවුවත් නැතත් අපේ ජනතාව දන්නව අවුරුදු 30ක් තිස්සෙ මොකද වුනේ කියලා. මම හිතන් නෑ ජනතාව අමුතුවෙන් භය කරන්නට අවශ්‍යයි කියලා.

අපි තරම් මේ ජනතාවට නිදහස ලබා දුන්නු වෙනත් රජයක් නෑ. ඔය සුමන්දිරන්
ලා සම්බන්ධන්ලා මොනව කිවුවත් උතුරු නැගෙනහිර පළාත්වලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න අපි තරම් වැඩ කළේ නෑ වෙන කිසිවෙක්. අවසානයේදී අපි උතුරු පළාත් සභා ඡන්දයත් පැවැත්වුවා. මුළින්ම බිම් බෝම්බ ඉවත් කළා. අවුරුදු 3ක් ඇතුළත අවතැන් වූ පුද්ගලයන්ව නැවත පදිංචි කෙරෙවුවා. ඊට පසුව සංවර්ධනය ඇති කළා. පාසල් ඇතිකළා. ළමයින්ට ඉගෙනගන්න අවස්ථාව ලබා දුන්නා. 2009 වන විට මුළු යාපන අර්ධද්වීපයම වගෙ හමුදාව යටතේ තිබුනේ. ගෙවල් විශාල සංඛ්‍යාවක අපි හිටියා. නමුත් ක්‍රම ක්‍රමයෙන් අත්‍යවශ්‍යම ප්‍රමානය පමනක් තබා ගනිමින්, ඉන් 90%ක් පමන ප්‍රමානයක් අපි ජනතාවට නිදහස් කළා.

මේව ගැන ජාත්‍යන්තරය කතා කරන්නෙත් නෑ, දෙමළ දේශපාලන නායකයො කතාකරන්නෙත් නෑ. නමුත් මෙය තමයි සැබෑ තත්ත්වය. මේ මොන කතන්දර කිවුවත් මේ දක්වා මේ ආණ්ඩුව මොනවද මේ පළාත්වලට ලබා දීල තිබෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න හෝ සංවර්ධනය කරන්න මොවුන් මොනවද කරල තියෙන්නෙ. අපි ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ ප්‍රදේශවල තවමත් පවතින්නේ.

නමුත් එලෙසින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන අතර නැවතත් අර ත්‍රස්තවාදය ඇති නොවන්නට අපි හමුදා සහ බුද්ධි අංශ අතරින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එම හේතුව නිසා තමයි අවුරුදු 5ක් ගතවෙලත් ඒ ප්‍රදේශවල අඩුම තරමින් එල්ටීටීඊ එකට කිසිම පෝස්ටරයක්වත් අලවන්නට නොහැකි වුනේ. මොකද අපි දන්නව මේ නිදහස ලබා ගත්තේ, මේ භූමිය අත්පත් කරගත්තේ, ප්‍රභාකරන්ව පරාජය කළේ, එල්ටීටීඊ එක පරාජය කළේ දාඩිය , මහන්සිය, ලේ, ජීවිත පූජ කරලා. ඒ අමාරුකම දන්නවනම් එලෙසින් අමාරුවෙන් ලබාගත්ත ස්ථාවරත්වය, ආරක්ෂාව මෙළෙසින් වැනසෙන්නට
කිසිවෙක් ඉඩ දෙන්නෙ නෑ . යම් අවබෝධයක් තියන, මේ රට ගැන දර්ශනයක් තිබෙන කිසිම පුද්ගලයෙක් කිසි සේත් මේ වගෙ ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් සිදු කරන්නෙ නෑ. නමුත් මේව ගැන අවබෝධයක් නැතිව හුදෙක්ම පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට පමනයි මොවුන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ.

ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික සංධානය (ටී.එන්.ඒ. සංවිධානය) තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ඒ තනතුරට පත් කළේ. දෙමළ ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ. හොර ඡන්ද දැම්මා. ඒක අපි හොඳටම දන්නවා. අපි දැක්ක උතුරු පළාත් සභාවෙදි ඒ අය පෙරහුරුවක් කලා. ඒ පළාතෙ හැම ඡන්ද පොළකටම ගියේ ටී.එන්.ඒ. අය පමනයි. වෙන කවුරුවත් හිටියෙ නෑ. ඔබතුමන්ල දන්නවා, මැතිවරණය දවසෙ හැම වෙලාවෙම ඒ ප්‍රදේශවලින් ආපු ප්‍රවෘතිය තමයි, පෝළිමේ කවුරුත් නෑ කියන එක. නමුත් හවස ඡන්දෙ ගණනය කරල බලනවිට 80%ක්, 90%ක් ඡන්දය දාල තියනවා. අපි දන්නව අපේ පලාත්වල නිදහස ලැබුනු දවසෙ ඉඳලම ඡන්දය භාවිතා කළත්, ගෙයින් ගෙට ගිහින් ඡන්දය දමන්නට කියල ඉල්ලා සිටියත්, ඡන්දය දමන හැටි කියල දුන්නත් කිසිඳු අවස්ථාවක එළෙසින් ඉහළ ප්‍රතිශත වළින් ඡන්දය භාවිතා කරල නෑ. ටී එන් ඒ එක මෛත්‍රීපාල සිරිසේන මහත්මයට සහාය දක්වනව කියල කිවුවේ ඡන්දයට දින 4කට පෙර. ඔවුන්ට ජනතාව සූදානම් කරන්න තිබුනෙ දින හතරයි. දින හතරයි ටී එන් ඒ එක ඡන්දය කළේ. හංසය කියන්නෙ පුරුදු ලකුණකුත් නොවෙයිනේ. හැබැයි 90% හංසයට ඡන්දෙ දානවා. මෙය සිදුවිය හැකි දෙයක්ද? ඉතින් මෙන්න මේ මංකොල්ලයට උපහාරයක් වශයෙන් තමයි ඒ අයට අවශ්‍ය ආකාරයට මේ සියළුම දේවල් ලබා දීමට මේ රජය උත්සාහ කරන්නේ.

ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ මේ රට රැකගැනීමට ජීවිත පරිත්‍යාග කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ සමයෙදි විතරක් නොවෙයි. යුද්ධය පටන් ගත්තු දවසෙ සිට 30,000ක පමන රණවිරුවො ප්‍රමානයක් ජීවිත පරිත්‍යාග කරල තියනවා. 50,000ක් පමන පිරිසක් අත් පා නැතිව ආබාධිත තත්ත්වයට පත් වෙලා තියනවා. චන්ද්‍රිකා මැතිණියගේ කාලේ, ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ, යුද්ධය ආරම්භ වුනු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ මේ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා. මොන ආණ්ඩුවක් ආවත් ඒ අය ඒ අයගෙ රාජකාරිය ඉටු කළා. මගෙ හමුදා ජීවිතයෙන් වැඩි කාලයක් මම සටන් කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය යටතේ. හමුදා සෙබළුන්ට පක්ෂ භේදයක් නෑ. ඒ අය අවුරුදු ගණනාවක් තිස්සෙ කරපු ජීවිත පරිත්‍යාගයන්හි ප්‍රතිඵලය නිවැරදි ආකාරයට අපි මෙහෙයවපු නිසා අවුරුදු තුන හමාරක් ඇතුළත මේ ත්‍රස්තවාදය පරාජය කරන්නට හැකිවුනා.

නමුත් අපි මතක තියාගන්නට ඕනි මේ ත්‍රස්තවාදය නැවත ඇති වෙන්නට හැකියාව තිබෙනවා, ඊට අවශ්‍ය සියළු කාරණා තිබෙනවා කියලා. මේ රට තුළ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළත් ජාත්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වෙන, අරමුදල් එකතුකරපු පිරිස, ජාත්‍යන්තර රාජ්‍යයන් මෙහෙයවපු පිරිස තවමත් සිටිනවා. ඒ සංවිධාන තවමත් තිබෙනවා. ඒ සංවිධාන තමයි අපි තහනම් කළේ. අද ඒ තහනම ඉවත් කරල ඒ සංවිධානවලට නැවතත් ඒ ඒ රටවල් තුළ ක්‍රියාත්මක වීමට මුදල් එකතු කිරීමට අවස්ථාව ලබා දීල තියනවා. දැන් මේ තහනම ඉවත් කරපු දවසට පසුදාම එල්ටීටීඊ කොඩිය උස්සගෙන කැනඩාවෙ සහ එංගලන්තෙ ඒ අය එය සමරනවා. ඒ සංවිධාන තමන් මෙතුවක් දරපු අන්ත ත්‍රස්තවාදී අදහස් අතහැරල කියල ප්‍රසිද්ධියෙ කියනවනම්, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ එකට ජීවත් වීමට කැමතියි කියල කියනවනම් මේ තහනම එවත් කිරීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ඒ අය එහෙම කියන්නෙ නෑ. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රභාකරන් කියපු දේම තමයි ඒ අය තවමත් කියන්නෙ. මේ රට දෙකට බෙදල ඒ අයට ඊළාම් රාජ්‍යයක් අවශ්‍යයි කියලයි ඔවුන් අදත් කියන්නෙ. දැන් මේ තහනම ඉවත් කිරීමට පෙර එයට මුල් වුනු අය මේ පිරිස්වළින් ඇහුවද ඔවුන් බෙදුම්වාදයෙන් ඉවත්වී ඇතිද කියල? ඊළාම් අදහස් අතහැරලද තියෙන්නෙ කියල ඇහුවද? ප්‍රකාෂයක් ලබාගත්තද? නැහැ. එහෙම දෙයක් සිදුකරල නැහැ. මෙය තමයි භයානක තත්ත්වය. මෙළෙසින් ක්‍රියා කරන විට නැවතත් අසූව දශකයේ සිදු වූ ආකාරයටම බෙදුම්වාදය ශක්තිමත් වෙනවා.

අපට වඩා තාක්ෂණය අතින් දියුණු, ආරක්ෂාව සඳහා තාක්ෂනය යොදාගන්නා ප්‍රංශය වගෙ රටවල් වල ඕනෑම පුද්ගලයෙක් ඉන්න තැන පහසුවෙන්ම දකින්න පුළුවන්. තාක්ෂනය ඉතා ඉහළින් භාවිතා කරල තියනවා. එහෙම රටවලත් ත්‍රස්තවාදය නිසා ඇතිවන ප්‍රශ්න අපි දකිනවා. ප්‍රංශය, ඇමරිකාව වැනි තාක්ෂනය අතින් ඉතා ඉහළ රටවල පවා ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. ඝාතන සිදුවෙනවා. ඉතින් ආරක්ෂාව බිංදුවට දාල තියන රටක, තිබුනු සියළු විමර්ශනයන් නතරකරල දමල තියන රටක ත්‍රස්තවාදය නැවත ගෙන ඒම ඉතාම පහසුයි. මෙය තමයි භයානක තත්ත්වය.

මේව කියන්නෙ අපි යුධවාදීන් නිසා නොවෙයි. ජාතිවාදය අවුස්සන්න නොවෙයි. මෙය තමයි තත්ත්වය අද රටේ තිබෙන ඇත්ත. ආරක්ෂාව රටේ පාලකයන්ගෙ වගකීමක්. හැබැයි ඒව කටින් කිවුවට වැඩක් නෑ. පාර්ලිමේන්තුවෙ කිවුවට වැඩක් නෑ. ඒවා ක්‍රියාත්මක වීමයි අවශ්‍ය. බුද්ධි අංශ දුර්වල කරලා, නිලධාරීන්ට තර්ජනය කරලා, චෝදනා කරල මේ කාර්යය කරන්නට බැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට තමයි මේ අය බලයට ආවේ. මහින්ද රාජපක්ෂ ඒකාධිපතියෙක් කියමින් ඉන් රට මුදාගන්නට පැමිනි මේ පිරිස අද වන විට රට පොලිස් රාජ්‍යයක් බවට පත් කරල තියනවා. අද වන විට ආචාර්ය නාළක ගොඩහේවා මහත්මය අත් අඩංගුවට අරගෙන තිබෙනවා. එතුමා මේ අයවැය සම්බන්ධව සාකච්ඡා මාළාවක් පැවැත්වුවා. අද වන විට ඔහුව අත් අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ දිනවල නොයෙක් නොයෙක් චෝදනා එල්ළ කළ අයව ඇමතිකම් දීලා, පගාව දීලා ආණ්ඩුවට එක් කරගෙන සිටිනවා. මේ වන විට අපේ රජය යටතේ සිටපු සියළුම ලේකම්වරු පොලීසියට ගෙන ගොස් තිබෙනවා. දැනගන්න ලැබිල තිබෙන විදිහට මට නැවතත් ජනාධිපති කොමිසමට පැමිනෙන ලෙස දන්වල තිබෙනවා. චෝදනාව තමයි කොළඹ කොටුවෙ තිබෙන ඉඩමක පිඩළි ඇල්ලීම. ඒක මහ රාජට අයිති ඉඩමක්ලු. එය ඔහුගෙ නෙමෙයි. එය රජයේ ඉඩමක්. මේ අය දැන් ඒක බලෙන් ඔහුට පවරල තියනවා. එතන විශාල කුණු ගොඩක් තිබුනෙ. ඒ කුණු ගොඩ ඉවත් කරල පිඩළි ඇල්ලීම කියන චෝදනාව යටතෙ දැන් මට විරුද්ධව පරීක්ෂන පවත්වනවා.

මුහුදෙ පාවෙන අවි ගබඩාවක් පවත්වාගැනීම කියන චෝදනාව යටතෙ මුළින්ම සී අයි ඩී එකට රැගෙන ගියා. ඊළඟට අල්ලස් කොමිසමට රැගෙන ගියා. ඊලඟට ජනාධිපති කොමිසමට රැගෙන ගියා. දැන් නැවතත් අල්ලස් කොමිසමට කැඳවල තියනවා. සී අයි ඩී එකෙන් කියනව වරදක් සිදුවෙලා නැහැ කියලා. එවිට වෙනත් ආයතන හරහා නැවතත් එකම දෙය පිළිබඳව පරීක්ෂා කරනවා. එළෙසින් එකම චෝදනාව යටතේ ආයතන කිහිපයකින් පරීක්ෂා කරන්න, දඬුවම් දෙන්න බැහැ. නීතියට අනුව එය හිංසනයක්. ඒ ළෙසින් අද මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත් වෙලා තියනවා.

අද මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවෙදි රටේ ආරක්ෂාව පිළිබඳව කතා කළත් නායකයන් විසින්ම ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙමින් සිටිනවා. මෙය අද වන විට පොලිස් රාජ්‍යයක්. නීතියට පිටින්, පවතින ව්‍යවස්ථාවට පිටින් ක්‍රියාත්මක වෙන තැනට පාලකයො පත් වෙලා තියනවා. එය ඉතා අවදානම් තත්ත්වයක්. ඔවුන් එළෙසින් ක්‍රියාත්මක වන විට ජනතාවත් එළෙසින්ම ව්‍යවස්ථාවට පිටින් ක්‍රියාත්මක වීමට පටන් ගත හැකියි. එය ඉතා අවදානම්. බලයේ සිටින්නන් එය මතක තබාගත යුතුයි.

කිසිවෙකුටත් පරාජය කළ නොහැකියි කියපු
ප්‍රභාකරන් සහ එල්ටීටීඊ සංවිධානය අපි  පරාජය කරල තියනවා. ඒ හැකියාව අපට තිබෙනවා. මේ මර්දනයට තර්ජනයට අපි බිය නෑ. අපි සූදානම් මේ ඕනෑම තර්ජනයකට මුහුණ දීමට.

තෙරුවන් සරණයි!

පරිගණක සටහන :විමුක්ති වනිගසේකර
-යුතුකම සංවාද කවය
www.yuthukama.com 

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

12/20/2015

සිංහ-ලේ තක්කඩියන්ගෙන් බේරාගමු...

කතෘ:යුතුකම     12/20/2015   No comments


දඟ ගෙයි දඬුවම් සියුමැළි වැඩිනම් අලුගෝසුවනේ එල්ලාපන්, අලුගෝසුවනේ එල්ලාපන්...

අසූව දශකය රටම අමු සොහොනක් කළ අඳුරු යුගයක් විය. රනිල්ගේ මාමණ්ඩිය වූ ජේ ආර් ජයවර්ධන 5/6 බලයක් ලබා ගනිමින් බලයට පත් වූයේ අද යහපාලනයක් බිහි කරන බව කියමින් රනිල් බලයට පැමිනි ලෙසින්ම ධර්මිශ්ඨ සමාජයක් බිහි කරන බවට ජනතාවට පොරොන්දු වෙමිනි.

ධර්මිශ්ඨ සමාජය කෙසේ වෙතත් විවෘත ආර්ථිකය හරහා රටේ නිශ්පාදන ආර්ථිකය කඩා බිඳ දැමීමට ඔහු පියවර ගත්තේය. වසර දහස් ගනනක් සිංහල බෞද්ධ සංස්කෘතියෙන් හික්මුනු සමාජය බටහිරට විවෘත කිරීමත් සමගම දුරාචාර රැල්ලකින් රටම වෙළී ගියේය. පාතාල කල්ලි රට පුරා ව්‍යාප්ත විය. කුඩු මුදලාලිලා බිහි විය. රටපුරා තැබෑරුම් විවෘත විය. ධර්මිශ්ට සමාජය කෙසේ වෙතත් උතුරේ ප්‍රභාකරන්ගේ ත්‍රස්ත කල්ලිය හිස එසවූයේ රනිල්ගේ මාමණ්ඩියගේ ඒ අවිචාරවත් පාලන සමයේදීය. එදවස නියපොත්තෙන් කැඩීමට තිබූ ඒ ත්‍රස්තවාදය කිරි පොවා ඇති දැඩි කර වසර 30ක් පුරා මිනිසුන් මරණ මහා ශාපයක් බවට පත් කලේ ඒ ජේආර් ගේ ආණ්ඩුව විසිනි. ජාත්‍යන්තර සබඳතා අතින් අංක එක ලෙස පාරම්බෑ ඔවුන් කෙතරම් දුර්වල පාලකයන් වීද යන්න හොඳින්ම තහවුරු වන්නේ ඉන්දියාව අපව ආක්‍රම
ය කර කොටින්ට ගුවනින් පහසුකම් සැපයීමට ඉදිරිපත් වීමෙනි.

අද රනිල්, මෛත්‍රීපාල දෙදෙනා ඇමරිකාව, එංගලන්තය කියන කියන පදයට නටන්නාක් මෙන්ම එදවස ඉන්දියාවේ බලහත්කාරයට හිස නැමූ ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා පනත සම්මත කරන්නේ අධිකරනයේ නිර්දේශවලටද පිටුපාමිනි. අධිකරනයට අනුව ජනමත විචාර
යකින් සම්මත කළ යුතු වූ පළාත් සභා පනත ඒකාධිපති ස්වරූපයෙන් තම හිතුමතේට සම්මත කර ගැනීමට එදවස ඔවුහු ක්‍රියා කළහ. එහි ප්‍රතිඵලයල් ලෙස ඇතිවූ ජනතා නැගිටීම් මර්ධනය කළේ 100 කට අධික තරුණයන් මහ මග ඝාතනය කරමිනි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මෙරටට පැමිනි ඉන්දියානු අගමැති රජීවු ගාන්ධිට සැබෑම “සිංහ ලේ” ඇති හමුදා සෙබලෙකුගේ ප්‍රහාරයකට ලක් වීමටද සිදු විය. නමුත් බලහත්කාරයෙන් ජනතා විරෝධය යටපත් කර එම ගිවිසුම් අත්සන් කෙරිණි. එහි ප්‍රතිඵලය ලෙසට අද දවසේත් සම්බන්ධන්ලා, විග්නේශ්වරන්ලා, හකීම්ලා වෙන වෙනම රටවල්, මුස්ලිම් කලාප ඉල්ලන තැන දක්වා ඔඩු දිවූ කාලකන්ණි පළාත් සභා ක්‍රමයක් රටට උරුම විය.

එම දුශ්ට දුර්දාන්ත සමයේ ඇතිවූ විවෘත ආර්ථිකය අදත් රටට බරකි. විවෘත සංස්කෘතිය අදත් රටට බරකි. එකල ඇතිවූ යුද්ධය වසර 30ක් පුරා මහා මිනිස් සංහාරයක් සිදුකර යන්තම් නිමාවට පත් විය. ඉන්දියාවේ බලහත්කාරය මත පැටවූ පළාත් සභා තවමත් අපව පීඩාවට පත් කරයි. මේ අසාධාරණයට, ඇමරිකාවට යටත් වී අපේ ආර්ථිකය පාවා දීමට, ඉන්දියාවට යටත් වී රට කොටින්ට පාවා දීමට එරෙහිව පෙරට ආ තාරුණ්‍යයේ සටන් පාඨය මෙම ගී පදයයි. මේ ඇස් ඉදිරිපිට සිදුවන අසාධාරනයට එරෙහිව, රනිල්ගේ මාමණ්ඩියට එරෙහිව පාරට බැස්ස තරුණයන් ඉදිරියට ආවේ හිරේ දාල මදිනම් එල්ලපල්ලා කියමිනි.

ඔවුන් කියූ ලෙසම ජේආර්ලා, රනිල්ලා එම තරුණයන් හිරේ දමා නතර වුනේ නැත. බටලන්ද වැනි වධකාගාරවල දස වද දී 60000ක් තරුණ ජීවිත අමු අමුවේ ඝාතනය කිරීමට ඒ දාහත් අවුරුදු එජාප අඳුරු යුගය තුළ ඔවුහු ක්‍රියාත්මක වූහ.

මම මේ ඉතිහාසය කෙටියෙන් මතක් කළේ වසර දහස් ගණනක ප්‍රවුඪ ඉතිහාසයකින් ඔපවත් වූ මේ සිංහල දේශයේ උරුමය වෙනුවෙන් කුමන හෝ ජාතික හැඟීමකින් ඔද වැඩුනු තරුනයන්ගේ කකියන සිංහ ලේ අසාධාරණය දුටු තැන ක්‍රියාත්මක වන ආකාරයත් මේ පාලකයන් එයට ප්‍රතිචාර දක්වන ආකාරයත් තේරුම් ගැනීමටය.

1915 දී සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවිය.ඓතිහාසික වල්ලහගොඩ දේවාලයේ පෙරහැරට මුස්ලිම් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් එම ගැටුම ඇති විය. එම අවස්ථාවේදී ලංකාවේ ආණ්ඩුකාරයා ලෙස ක්‍රියා කළ රොබට් චාම්ස් ප්‍රතිචාර දැක්වූයේ මුස්ලිමුන්ගේ පැත්ත ගෙන හතර අතේ හමුවන සිංහලයන් ඝාතනය කිරීමෙනි. ඒ ආන්ඩුකාරයා මෙන්ම රනිල්ගේ මාමණ්ඩිය විසින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර, පළාත් සභා පිහිටුවා, රට කොටින්ට පාවාදීමට එරෙහිව පාරට බට සිංහලයන්ට ප්‍රතිචාර දැක්වූයේද ඝාතනය කිරීමෙනි. 60000ක් සිංහල කොල්ලන් එලෙසින් ඝාතනය විය. පසුගිය කාලයේදී ප්‍රභාකරන්ද සිංහල කොල්ලන් 27000ක් ඝාතනය කළේය. එලෙසින් ලක්ෂයකට ආසන්න සිංහල තරුණයන් පිරිසක් ඝාතනය කළ පසු මේ පාලකයන් දැන් සිතමින් සිටින්නේ මේ රටේ කොන්දක් ඇති සිංහලයන් ඉවරයි කියාදැයි සැක සහිතය. පසුගිය මාස කිහිපය තුළ ඔවුන් ක්‍රියා කරන්නේ එපරිදිය. පහතින් දැක්වෙන්නේ එවන් ක්‍රියා කිහිපයකි.

1) සාමාන්‍ය වැසියන් ඉලක්කගත කරගනිමින් මහා පරිමාන බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ දරුණු ගනයේ කොටි ත්‍රස්තවාදීන් දෙමළ ජාතික සංධානයේ ඉල්ලීමට නිදහස් කෙරිණි. ඒ අතර කොළඹ සියලුම ත්‍රස්ත ප්‍රහාර සැළසුම් කළ ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් සමඟ ඍජුවම සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදීන්ද සිටිති.

2) තවමත් රට දෙකඩ කොට වෙනම රටක් බිහි කිරීමට උත්සාහ කරන ත්‍රස්ත සංවිධාන 8කට මෙතෙක් කල් පණවා තිබූ තහනම ඉවත් කෙරිණි.

3) රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ රනවිරුවන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගනිමින් සිටී. හමුදා සෙබළුන් මහ පාරේ වැඩ කරනු දැකීමට අකමැති ජනතාවගේ ඡන්දයෙන් පත්වූ පාලකයන් දැන් කොටින් නිදහස් කරමින් හමුදා සෙබළුන් හිරේ දමමින් සිටී.

4) බුදු දහම පාසල් විශය මාලාවෙන් ඉවත් කර සර්වාගමික විශයක් අළුතෙන් හඳුන්වා දීමට රජය දැන් කටයුතු කරමින් සිටී.

5) හමුදා සෙබළුන් සමූල ඝාතන සිදුකළ බව පිළිගනිමින් යුධ අපරාද පිළිබඳව විභාග කර හමුදාවට දඬුවම් කිරීමට සුද්දන්ගේ උසාවි පිහිටුවීමට ක්‍රියා කරමින් සිටී.

6) ජනමතයට පිටුපාමින් ජේආර් ජයවර්ධන පළාත් සභා පිහිටුවා ඊලමට පාර කැපූ ලෙසින්ම අළුත් ව්‍යවස්ථාවක් හරහා රට ස්ථිර වශයෙන්ම දෙකඩ කොට උතුර කොටින්ට ලියා දීමට, නව ව්‍යවස්ථාවක් සැකසීමට ක්‍රියා කරමින් සිටී. විග්නේශ්වරන්ගේ පළාත් සභාවට ඊලම ප්‍රකාශ කිරීමට නොහැකිවන ලෙස යන්තමින් වැට බැඳ තිබෙන්නේ විධායක ජනාධිපතිකම හරහාය. නව ව්‍යවස්ථාව හරහා එයත් අහෝසි කිරීමට මොවුහු ක්‍රියා කරමින් සිටිති.

7) මේවාට එරෙහිව හඬ නගන සිංහලයන් මර්ධනය කිරීමට ජාතිවාදය වැලැක්වීමේ පනත නමින් අළුත් නීති ගෙන ඒමට උත්සාහ කරමින් සිටී.

මෙළෙසින් මේ පාලකයන් නැවතත් ඉස්මතු කරන්නේ 2009න් පසු අප අවසන් කර දැමූ ප්‍රශ්නයයි. 27000ක් ජීවිත පරිත්‍යාග කර මේ දෙරණ “සිංහ” ලෙයින් නහවා දිනාගත් නිදහස, සාමය, සමගිය, රටේ එක්සේසත් භාවය නැවතත් ඇමරිකාවට, එංගලන්තයට, ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කොටින්ට පාවා දීමට මොවුහු එළිපිටම ක්‍රියා කරමින් සිටිති.

මෙළෙසින් ගියහොත් ”මේ සිංහල අපගෙ රටයි” ගීතය ගැයීමත් හිරේ යාමට හේතුවක් විය හැකිය. සිදුවන අසාධාරණයට එරෙහිව “සිංහ ලේ” කුපිත වීම සාධාරණය. ඔබලා විසින්ම 60000ක් ද ඔබලාගේ හිත මිතුරු ප්‍රභාකරන් විසින් 27000 ක්ද මරා දැමුවත් තවමත් “සිංහ ලේ” අවසන් වී නැත. ඒවා අවශ්‍ය විටෙකදී ක්‍රියාත්මක වීමට අපගේ හදවත් හි කැකෑරෙමින් පවතී.

80 දශකයේ රාජ්‍ය අසාධාරනයට එරෙහිව කැරළි ගැසූ සියල්ලෝ ජේවීපී කාරයන් නොවෙති. එම විරෝධයට පක්ශයක් පාටක් නොතිබිනි. එදවස එම තරුනයන් අත් දුටු අසාධාරණයට එරෙහිව කඳවුරු බැඳීමට ජනතා විමුක්ති පෙරමුණ කඳවුරු බිමක් පමනක් විය. නමුත් අද ඒ ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ ලඟ දනින් වැටෙන සුවච කීකරු සේවකයෙකු පමනි. කාලයකට ඉහතදී මහා සිංහලයන් ලෙසින් පෙනී සිටි පාටලී චම්පික රණවක, අතුරලියේ රතන හිමි ආදීන්ද අද නැලවෙන්නේ රනිල් වික්‍රමසිංහගේම ඔඩොක්කුවේය. එදවස පාටලී චම්පික ඇමතිවරයා කෑ ගැසුවේ විල්පත්තුවේ මුස්ලිමුන් පදිංචි කිරීම වැරදි බවටත් පුත්තලමෙන් පවා මුස්ලිමුන් ඉවත් කර සිංහලයන්ට සාධාරනය ඉටු කළ යුතු බවටත් ය. නමුත් ජනවාරි 8න් පසුව ඔහු පැවසූවේ බෙල්ලන්විල මිනිසුන් පදිංචි වී ඇත්තේ අභය භූමියකනම්, හම්බන්තොට නගරය ඇත්තේ අභය භූමියකනම්, අම්පාර නගරය ඇත්තේ අභය භූමියකනම් විල්පත්තුවේ මුස්ලිමුන් පදිංචි වුනාට මොකද කියාය. ඔවුන් විසින්ම ඊයෙ පෙරේදා සිට නැවත වරක් විල්පත්තුව මාකට් කර අවංක “සිංහ ලේ” තම බල තන්හාව වෙනුවෙන් භාවිතා කිරීමට යත්න දරමින් සිටින බව පෙනේ. ඔවුන් කැපූ වලේ විල්පත්තුව පමනක් නොව මුළු ජාතියම එරී ඇත. මේ දේශපාලකයන් පාට වෙනස් කර, පක්ෂ වෙනස් කර එංගලන්ත ඒජන්තවරුන් ලඟ දන නැමූ පමනින් සැබෑ “සිංහ ලේ” ඇති තරුණයන් යටපත් කළ නොහැකිය.

රට, ජාතිය මෙවන් විපතකට ඇද දැමුවේ ඔවුන් විසිනි. රෑ වැටුනු වළේ දවල් වැටෙන්නට උගත් බුද්ධිමත් ජනතාව සූදානම් නැත. පාටලීලා, අනුර කුමාරලා විසින් දරදිය හැද කප්පරක් සිහින මාළිගා ජනතාව ඉදිරිපිට මවා බිහි කළ රනිල්-මෛත්‍රී රජයෙන් තමන්ට සිදුවන කෙනෙහිළිකම් වලට එරෙහිව අවංක විරෝධයක් පෑමේ අරමුනින් “සිංහ ලේ” වෙත ආකර්ශනය වන සැබෑම දේශප්‍රේමී හදවත් කිනම් මොහොතක හෝ කොල්ල කෑමට මොවුන් පෙළඹිය හැකිය. තම පැවැත්ම වෙනුවෙන්, බල තණ්හාව වෙනුවෙන් රට ජාතිය ඇපයට තැබීම, තරුන ජීවිත බිල්ලට දීම ඔවුන්ට එතරම් අසීරු කරුණක් නොවේ. මේ බටහිර ගැති, බෙදුම්වාදයට පාර කපන ආණ්ඩුවට එරෙහිව නැගෙන විරෝධය ඔවුන්ට පෙර මෙන් ගසා කෑමට, සිංහල ජාතිය වල පල්ලට ගෙන යාමට කිසි සේත් ඉඩ නොතැබිය යුතුය. ජාතියේ සැබෑ හතුරන්ද, සැබෑ මිතුරන්ද, මිතුරු වෙසින් එන හතුරන්ද හඳුනා ගනිමු.

“සිංහ ලේ” අදාල කොයි කාටත් කන හරහා ඇස් ඇරෙන්නට දෙන පණිවිඩයක් බවට පත් කරගමු.

-විමුක්ති වනිගසේකර
[සංවාදයට විවෘත්තයි..]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/15/2015

කුකුල්ලු නොමරා කුකුල් මස් කෑම හෙවත් යහපාලනයේ ඇවන්ගාඩ් චාරිකාව

කතෘ:යුතුකම     11/15/2015   No comments
පසුගිය සතියේ දේශපාලනයේ වූ සුවිශේෂම සිදුවීම යහපාලනය විසින් ඇවන්ගාඩ් නැව දියත් කිරීමයි. ප්‍රවීන නීතිවේදීන් වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ සහ ජනාධිපති නීතිඥ තිලක් මාරපන සමගින් ඇමති හරීන් ප්‍රනාන්දු එක් පසකිනි. යහපාලන රජයේ හොරණාවන් ලෙස ක්‍රියාත්මක වන කැබිනට් ප්‍රකාක දොස්තර රාජිත සේනාරත්න, ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රනවක සහ අනුර කුමාර දිසානායක අනෙක් පසිනි. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද අත්වැල අලලා සිටී. නැව දියත් වී ඇත. අපි වෙරළේ සිට බලා සිටිමු.

කිරි පැණි, රං රස ළෙසින් එක්වී සිටි මේ පිරිස එක්වරම මෙළෙසින් දෙකට බෙදී කොහෙවත් ඇති නැවක් වෙනුවෙන් කා කොටා ගැනීමේ අර්ථය කුමක්ද? මෙය යහපාලනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන, තම ඇමති තනතුරු පවා කෙළ පිඩක් මෙන් ඉවතලීමට බලා සිටින සත් ගුණවතුන්ගේ එම කැපවීමේ ප්‍රකාශමාන වීමක්ද? එසේත් නැතිනම් රාජිත, විජේදාස, පාඨලී ආදීන් අතර ඇතිවූ පෞද්ගලික කෝන්තරයක් පමනක්ද? යහපාලන දීගය මෙතනින් ඉවරද? නැත්නම් මෙය ඇවන්ගාඩ් සමාගමට පවරා තිබූ කොන්ත්‍රාත්තුව ඉන් ඉවත්කර වෙනත් ගජමිතුරු සමාගමකට පැවරීමට කරන උප්පරවැට්ටියක්ද? හෙට අනිද්දාම මෛත්‍රීපාලටසහ රනිල්ට අකුලාගෙන ගෙදර යාමට සිදු වේවිද? එසේත් නැතිනම් විදේශ අධිකරණ, කොටින්ව නිදහස් කිරීම, පළාත් සභා බලාත්මක කරමින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම වැනි රජයේ අව ක්‍රියා වසාගැනීමට විපක්ෂ මතය යටපත් කිරීමට රඟන රංගනයක් පමනද?

මේ හදිසි පිපිරීමට ඉහත සඳහන් කළ සියළු කාරනාවල යම් බලපෑමක් ඇත්තේ වී නමුදු මෙම සිදුවීමේ දේශපාලන අර්ථය ඒ කිසිවක් හෝ නොවන බව මගේ වැටහීමයි. මෙය යහපාලනය වැඩ ආරම්භ කර ඇති බවට වන ප්‍රබල සඥාවකි. පාක්ෂිකයන්ට අවි අතට ගන්නා ලෙසත්, විරුද්ධවාදීන්ට සූදානම් වන ලෙසත් වන ප්‍රබල පණිවිඩයකි.

ඇවන්ගාඩ් සමාගම හරහා පසුගිය රජය සිදුකළ ක්‍රියාකාරකම්හි නීතිය හමුවේ ප්‍රබලව අභියෝග කළ හැකි වරදක් සිදුවී නැති බව පැහැදිළිය. එසේ වුවත් එය අඬබෙර ගසා රටට කීමට විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ යහපාලන ඇමතිවරුන්ට ඇති තදියම කුමක්ද? එමගින් හෑල්ලුවට පත් වන්නේ තමන්ම මීට මාස කිහිපයකට පෙර රාජපක්ෂවරුන්ට එරෙහිව ගොඩනැගූ ප්‍රබල මතය බව ඔවුන්ට නොතේරෙන්නේද? ඔවුන් මේ සිදු කරන්නේ යහපාලන සිහින මාළිගාව ගොඩ නැගූ භූමියම කෙප්ප ගුහාවක් බව හෙළි කිරීමයි. එමගින් ගිලා බසින්නේ ඔවුන්ගේම සිහින මාළිගාව නොවන්නේද? මේ විජේදාස රාජපක්ෂ, තිලක් මාරපන, හරීන් ප්‍රනාන්දු වැනි ඇමතිවරුන් ඒ සරළ කරුණ නොතේරෙන අඳ බාලයන් විය නොහැකිය. එබැවින්ම ඔවුන්ගේ මේ රාජපක්ෂවරුන් නිවැරදි කිරීමට ගසන අඬබෙරය අස්වාභාවික වූවකි. ව්‍යාජයකි. ඔවුන් කළ යුතුව තිබුනේ ඇවන්ගාඩ් පිටුපස වරදක් සිදුවී නැතිනම් එයට එරෙහිව කිසි සේත් නඩු පැවරිය නොහැකිනම් එම සිදුවීම කාටත් හොරෙන් යටපත් වීමට ඉඩ සැළැස්වීමයි. එය ඔවුන්ට නුහුරු දෙයක් නොවේ. අද වන විට දින 100 වැඩපිළිවෙළට සිදුවුනු දෙයක් කිසිවෙකුත් නොදනී. වෙබ් අඩවි සකසා දින ගනණින් පැය ගණනින් යහපාලන ප්‍රගතිය සමාලෝචනය කළ අතීතය අද කිසිවෙකුට මතක නැත. දේශපාලකයන් මහජනතාව තමන්ට අවැසි මං පෙත් ඔස්සේ දක්කාගෙන යන ආකාරය වටහාගැනීමට එම දින සීයේ සිට වෙනස ඉදිරියට ගෙනයාම අලුත් රටක් ගොඩනැගීම හරහා උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසඳුම් දීම තෙක් සටන්පාඨ ගලාගෙන යාම අධ්‍යනය කරන ලෙස පාඨක ඔබට ඇරයුම් කරමි. එහෙවු රටක මේ ඇවන්ගාඩ සිද්දිය කාලයත් සමග යට ගැසීම අපහසු දෙයක් නොවේ. නමුත් යට ගැසීම වෙනුවට ඔවුන් එය උදේ හවා උඩ දැමීම තෝරාගන්නේ ඇයි. අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම ජනපති සිරිසේන මේ කිසිවක් නෑසූ කන්ව මේ ඇමතිලාට තම එදිරිවාදිකම් පිරිමසාගෙන ගුටි ඇනගැනීමට ඉදදී බලා සිටින්නේද? එම බලා සිටීමද අස්වභාවික වූවකි.

අනෙක් පසින් පාඨලී චම්පික, රාජිත සේනාරත්න සහ අනුර කුමාර දිසානායක වැන්නන්ගේ හැසිරීමද අස්වාභාවිකය. දැන් මේ කිසිවෙක් ජනවාරි 8 ට පෙර කියමින් සිටි රත්තරන් අශ්වයන් ගැන කියවන්නේ නැත. සීයට දෙසීයකින් කොමිස් ගැසූ රත්තරන් වලින් හැදූ අධිවේගී මං ගැන ප්‍රශ්න කරන්නේ නැත. ඒ ඒවා ඔවුන්ට අමතක වී ඇති නිසාද නැතිනම් ඡන්ද කාලයට ගෙතූ එම බොරු ජනතාවට අමතක වීමට ඉඩ දී බලා සිටීම ඇඟට ගුණ නිසාද?

සටන් පාඨ යට ගසා පළපුරුදු ඔවුන්ට මෙම ඇවන්ගාඩ් සම්බන්ධවද එයම කිරීමට නොහැකියාවක් නැත. තමන්ට අවශ්‍ය රාජපක්ෂවරුන්ට එරෙහි සටන්පාඨනම් ජනපති මැදුරේ භූගත බංකරයේ සිට ඒවා දුසිම් ගනනින් ආලාපාළු ආර්ථිකය වැනි පොත් වල ඇත. එසේ තිබියදී තම රජයේම දේශපාලන මිතුරන් සමඟ කා කොටා ගනිමින් මේ ප්‍රශ්නය උඩ දැමීමට වුවමනාවක් තිබිය හැකිද? එසේ වුවමනාවක් තිබේනම් එය තමන්ට සන්තෝශම් ලබාදෙන ගජමිතුරු සමාගමකට මෙම කොන්ත්‍රාත්තුව භාර දීමට ගෙනයන අරගලයක් පමනද? එවන් කූඨ වුවමනාවක් තිබුනද එය මෙළෙසින් රෙදි ගලවාගෙන හත් පොලේ ගාගෙන කළ යුතු දෙයක්ද? නැත. ඔවුන්ගේ හැසිරීමද අස්වාභාවිකය. එයද ව්‍යාජයකි.

ඇමති තනතුරු අහිමි කරගෙන, රෙදි ගලවාගෙන, මඩ නාගෙන ඔවුන් කරන මේ ව්‍යාජ රංගනයේ අරමුණ කුමක්ද?

එය වටහාගැනීමට සුළුවෙන් නමුත් යහපාලන රජයේ මෙම කෙටි අතීතය සිහිපත් කළ යුතුය. ඔවුන්ගේ දින 100 වැඩපිළිවෙළේ කෑලිවත් දැන් නැත. පරාජිතයන්ට මන්ත්‍රී තනතුරු ඇමති තනතුරු දීම, අගවිනිසුරු ඉවත් කිරීම, තමන්ම සම්මත කළ 19 වැනි ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් ඇමති වරු සිය ගණනින් පත් කිරීම වැනි දේ හරහා ඔවුන් තමන්ව පත් කළ ජනතාවට කොකා පෙන්වූ වාර අනන්තය. හොයපු හොරෙකුත් නැත. ආර්ථිකය කඩා වැටී ඇත. සියළු සංවර්ධන ව්‍යාපෘතීන් නතර වී ඇත. බොහෝ පිරිසකට ජීවන වෘතිය අහිමි වී ඇත. තේ, රබර්, පොල් වැනි වැවිළි භෝග වල මිළ පහත වැටී ඇත. නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. නිහඬ බවක් ප්‍රකට කළද මේ නොපනත්කම් ජනතාවට දැනෙන බව ඔවුහුහොඳාකාරවම දනිති.

මේ අතර එංගලන්තය ප්‍රමුඛ රටවලින් එන බලපෑම් දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී. මුළින් අතට අතදී, පසුව දෙකට නැවී, දන ගසා එම අභියෝග කළමනාකරනය කළ හැකියැයි පාරම් බෑවද අද ඔවුන්ගේ දෙපතුල් ලෙවකන තත්ත්වයට ආණ්ඩුව තම තත්ත්වය පහත හෙළාගෙන ඇත. රාජපක්ෂ රජය ජාත්‍යන්තර තලයේ රැකගෙන සිටි අවම ස්ථාවරය හෝ රැක ගැනීමට මෙම රජය අපොහොසත් වී ඇත. ඒ හේතුවෙන් ක්‍රමයෙන් දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් තීව්‍ර වෙමින් පවතී. දැන් ජාතික ගීය ගී දෙකක් වී ඇත. ජනතාව බලා සිටියි. විග්නේශ්වරන් හමුදාව යුධ අපරාධ කළ බවට යෝජනාවක් සම්මත කලේය. රජය නිහඬව සිටි අතර ජනතාව බලා සිටියි. රජය එම විග්නේශ්වරන්ගේ යෝජනාව ජිනීවහිදී ඉස් මුදුනින් පිළිගෙන ආවේය. ජනතාව බලා සිටියි. දැන් කොටි ත්‍රස්තයන් නිදහස් කරන ලෙසට නැගෙන ප්‍රබල හඬකි. රජය එම හඬට කන් දීමට සූදානම් වුවද පොදු මහ ජනතාව ඔවුන් දෙස බලා සිටියි. මේ ජනතාවගේ බලා සිතීම රජයට හිස රදයකි. හිස රදය වඩාත් දරුණු වන්නේ මහින්ද රාජපක්ෂ සමඟින් පොදු විපක්ෂයද එක් තැනක ස්ථානගත වී සිටින නිසාවෙනි.

මෙම රජය තමන් ඉටුකරන බවට සපත කළ යහපාලන නියමයන් අමු අමුවේම උල්ලංගනය කරයි. එය බහුතර ජන ප්‍රජාවගේ ඉල්ලීම නොවේ. ඔවුහු විදේශීය අධිකරන ස්ථාපිත කිරීමට පොරොන්දු වී සිටිති. දරුණු ගනයේ අපරාධ කළ කොටින් නිදහස් කිරීමට ක්‍රියා කරමින් සිටිති. අලුත් අධිකරන සදා නව නීති අතීතයට බලපාන ලෙසින්ද සකස් කර හමුදාව යුධ අපරාද කළ බවට කරුණු සකසා හමුදාවට දඬුවම් කිරීමට ක්‍රියාත්මක වෙමින් සිටීති. ඔවුන්ට ඡන්දය දුන්නෝ එවැන්නක් බලාපොරොත්තු වූවෝද? මේවා බහුතර ප්‍රජාවගේ ඉල්ලීම්ද? නීතිය යුක්තිය කුමක් වුවද සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් හිටපු ජනාධිපතිවරයා කළේ නොකළ යුත්තකි. එය නොකළ යුත්තක් වන්නේ දේශපාලන අරුතිනි. රටේ බහුතර ජනතාව එම තීන්දුව සමග එකඟ නොවිනි. අදටද එකඟ නැත. එනම් එය ප්‍රජාවගේ ඉල්ලීමක් නොවිනි. එතුමාට අදටත් එම ක්‍රියාව ජනතාව ඉදිරියේ සාධාරනීකරනය කර ගැනීමට නොහැකි වී ඇත. ජනතාව කල් යල් බලා ඒවාට පිළිතුරු දෙයි. මෙම රජයටද එය පොදුය. ඔවුන් ප්‍රජාව අමතක කරමින්, රටේ බහුතරය අමතක කරමින්, බහුතර හද ගැස්ම අමතක කරමින්, ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා යන මෙම ගමන ජනතාව බලා සිටියි. ඔවුහු කල් යල් බලා එයට පිළිතුරු දීමට පසුබව නොවෙති.

නමුත් තම ගමන්මග වෙනස් කිරීමට රජය සූදානම් නැත. රජය පවත්වාගෙන යන එයට අත් උදවු සපයන බටහිර රටවල්, ඉන්දියාව මෙන්ම රට තුළ සිටින බටහිර ගැති, දෙමළ බෙදුම්වාදී සංවිධානද රජයට මෙම මාර්ගයෙන් ඉවත් වීමට ඉඩ නොදෙන බව පැහැදිළිය. එසේනම් කළ හැකි එකම දෙය රජය මෙන්ම විපක්ෂයද සියතට ගැනීමයි. එමගින් ජනතාවගෙන් එන පීඩනය කෙටි කාලයකට හෝ වල් මත් කර වෙනතකට හැරවීමට හැකියාව ලැබේ. සම්බන්ධන් විපක්ෂ නායක කර, අනුර කුමාර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කර, විජිත හේරත් ව්‍යවස්ථාදායක සභාවට පත් කර ඔවුන් සිදුකළේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂය සියතට ගැනීමයි. නමුත් එසේ කළ පමනින් ජනතාව එම ව්‍යාජ විපක්ෂය පිළිගන්නේ නැත. මෙම ආන්ඩුවේ අවකල් ගමන පිළිබඳ කළකිරෙන ජනයා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදු විපක්ෂය සමඟින් සිට ගැනීම වැළැක්විය නොහැකිය.

මහින්ද රාජපක්ෂ සහ පොදු විපක්ෂයේ ක්‍රියාධරයන් මර්ධනය කිරීමට ගත් ක්‍රියා මාර්ගද මේ වන විට බොහෝ දුරට අසාර්ථක වී ඇත. මහින්දව අත් අඩංගුවට ගත නොහැකිනම් තමන් ඇමති තනතුරු දැරීමේ ඇති වැඩේ කුමක්දැයි වරෙක පාඨලී චම්පික ඇමතිවරයා විමසා තිබුනේ එබැවිනි. අවශ්‍ය නීතිය, යුක්තිය නොව ප්‍රතිවාදියා මර්ධනය කිරීමයි. යහපාලනය හෝ කුමන නමකින් හැඳින්වුවද එය දේශපාලනයයි. නමුත් එම ව්‍යායාමයද අසාර්ථක වන විට ඉතිරිවන්නේ තමන්ම පාරට බැසීමේ විකල්පයයි.

දැන් පාඨලී චම්පික රනවක, රාජිත සේනාරත්න, අනුර කුමාර දිසානායක ඇතුළු යහපාලන කණ්ඩායම පොදු විපක්ෂයට එරෙහිව පාරට බැසීමට සූදානම්ව සිටිති.අරමුණ රටේ සැබෑ ප්‍රශ්න, රජයේ අවකල් ගමන අභියෝගයට ලක් කරන ජනතාවට ආමන්ත්‍රණය කරන සැබෑ විපක්ෂය යටපත් කිරීම වුවද ඔවුන් ජනතාවට පවසන්නේ තමන්ද මේ රජයට එරෙහිවම පාරට බසින බවකි. නමුත් එයට පෙරාතුව ඔවුන් රජය නියෝජනය කරන්නන්ය යන් මතය වෙනස් කරගත යුතුය. රජයට එරෙහි අනන්‍යතාවයක් ගොඩනගාගත යුතුය. නමුත් එසේ ගොඩනගාඇනීමේදී එම අනන්‍යතාවය රජය සැබැවින්ම රටේ කරන්නට යන දෙයට බාධාවක් නොවිය යුතුය. යුධ අධිකරන පිහිටුවීම, විදේශීය විනිසුරන් ගෙන්වීම, පළාත්සභා බලාත්මක කිරීම, කොටි සාමාජිකයන් නිදහස් කිරීම, කොටි සාමාජිකයන්ට වන්දි ප්‍රදානය කිරීම, දිනෙන් දින වර්ධනය වන ආර්ථික අර්බුධය වැනි සැබෑ ප්‍රශ්න ඔවුන්ගේ සටන් පාඨ නොවන්නේ එබැවිනි. එම ප්‍රශ්නවලට සාපේක්ෂව වැඩකට නැති, පදනමක් නැති,රජයට අභියෝගයක් නොවන ඇවන්ගාඩ් ප්‍රශ්නය ඔවුන් තෝරා ගෙන ඇත්තේ රජයට හානියක් නොකරමින් තම අනන්‍යතාවය ගොඩනගා ගැනීමට හෙවත් කුකුල්ලු නොමරා කුකුල් මස් කන්නටය.

පාඨලීලා, අනුරලා මේ පස සිට පහර දෙන්නට සූදානම් වන විට අනෙක් පසින් පන්දු යවන්නන්ද සිටිය යුතුය. විජේදාසලා, තිලක් මාරපනලා අපූරුවට ක්‍රීඩා කරමින් සිටිති. මේ පස ප්‍රබල දොස්තරලාය, ඉංජිනේරුවෝය, විප්ලවවාදියෝය. අනෙක් පස ජනාධිපති නීතීඥවරුය. ඇල්මැරුණු ස්වභාවයකින් තොරව උනුසුම් ක්‍රීඩාවක් නැරඹීමට ප්‍රේක්ෂක අපට අවස්ථාව උදා වී ඇත.

තරඟය දෙස බලා ජනතාව කුමන පැත්තට හුරේ දැම්මත් කමක් නැත. මන්ද දෙපැත්තම ඔවුන්ගේමය. මෙම නාටකයේ අවසානයේදී පාඨලී, අනුර කුමාර ආදීන් ආණ්ඩුවේ ප්‍රබල විවේචකයන් ළෙසින් සමාජගතකළ හැකිනම් ඔවුන් ජයග්‍රාහකයන් වනු ඇත. නමුත් ජනතාවට සිදුවනු ඇත්තේ මේ කෙප්ප රජුන් දෙස බලමින් අත්පුඩි ගසමින් රටේ සැබෑ ප්‍රශ්න අමතක කර වතුර රත්වන තුරු කකුළුවන් ළෙස ප්‍රීති වීමටය. ඇවන්ගාඩ් නැව තුළ මේ කළ එළි බසින්නේ "ඔයාල කරගෙන යන්න. අපි විරුද්ධ වෙන්නම්" නාටකයේ දෙවන ජවනිකාවයි.අපි බලා සිටිමු. ජනතාව සැමදාම රැවටිය නොහැක.

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/18/2015

දෙබෑ හවුලේ සැබෑ අවුල කුමක්ද?

කතෘ:යුතුකම     10/18/2015   No comments
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ පසුවද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට "මැඩම්" ලෙසටද රනිල් වික්‍රමසිංහ මහතාට "සර්" යනුවෙන්ද අමතන බව පැවසුවේ ජනාධිපතිවරණයටද පෙරය. එය එතුමා අකුරටම ක්‍රියාත්මක කරන බව එතුමාගේ දේශපාලන භාවිතාව තුළින් අද වන විට පෙන්වා දී ඇත. 

පැවති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ ප්‍රතිපත්තිය දිගින් දිගටම විවේඡනය කළ විරුද්ධවාදීන් පැවසුවේ 2012දී ඇමරිකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වූයේ එම දුර්වල විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙසට බවය.
නමුත් අද වන විට ඒ විරුද්ධවාදීන්ට ආණ්ඩු බලය හිමි වී ඇත. ඔවුන් කෙතරම් යට ගැසීමට උත්සාහ දැරුවත් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පසු ගිය දා ගෙන ආ යෝජනාවද කිසිඳු විරෝධයකින් තොරව සම්මත විය. පසුගිය වර ශ්‍රී ලංකාවේ පරාජය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ දුර්වලකමක් නිසා සිදු වූයේ නම් මෙවර සිදුවූ දැවැන්ත පරාජයට හේතුව වත්මන් රජයේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නොවේද? ජනතාව ඔවුන්ව පත් කළේ මෙය සිදුකර ගැනීමටද?
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දෙමළ ජාතිවාදී ප්‍රශ්නය චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ යන නායකයන් විසින් ජාත්‍යන්තරකරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නෝවේ රජයේ මැදිහත්වීම් මත කොටි පාළන ප්‍රදේශ සහ රජයේ පාලන ප්‍රදේශ අතර දේශ සීමා සළකුණු කිරීම දක්වා ප්‍රශ්නය දුරදිග ගියේය. නමුත් 2005 ලැබූ ජනතා ජයග්‍රහනයෙන් පසු එම තත්ත්වය පහව ගොස් ත්‍රස්තවාදය මුළුමනින් නිමා කිරීමට අපි සමත් වීමු.
දැන් නැවතත් චන්ද්‍රිකා රනිල් දෙදෙනාගේ උපදේශකත්වය මත ක්‍රියාත්මක වන මෛත්‍රීපාල මහතාගේ රජය යටතේ ඒ නිමාවක් වෙත ගමන් කරමින් තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණය වී අළුත් වටයකින් ආරම්භ වී ඇත.
ජේ ආර් ජයවර්ධන මහතාගේ දුර්වල විදේශ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ බලහතාරය මත පිහිටවූ පළාත් සභා රට දිනෙන් දින අර්බුධයට යවන ප්‍රශ්නයක් බවට පත් වී ඇත. එසේ තිබියදී ඇමරිකාවේ සහ ඉන්දියාවේ බලපෑම් හමුවේ ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව රටේ උත්තරීතර ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ රජයේ ඊලඟ ඉලක්කය බවට පත් වී ඇත.
මේ අතර දහම් සිරිසේන ජනාධිපති ආශිර්වාදයයටතේ ජිනීවා යෑමත් ජනාධිපතිවරයා වෙනුවෙන් රට පුරා පොස්ටර් ඇලවීමත් ජාතික ප්‍රශ්නයක් තරමට බරපතල ළෙස දකින්නට උත්සාහ කරන පිරිසක්ද වෙයි. රටේ ස්වෛරීත්වය විදෙස් රටවල් හමුවේ අනතුරට පත් කර ඇති අවස්ථාවක, ඇමරිකානු ඉන්දියානු බලහත්කාරයට රටම ගිල ගැනීමට ඉඩ දී ඇති අවස්ථාවක ඒ සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම එවන් නිශ්ඵල චෝදනාවල අරමුණයි.
මෙම රජය ජනතාවට එරෙහි වූයේ දහම් සිරිසේන ජිනීවා රැගෙන යාමෙන් හෝ රට පුරා ජනාධිපතිවරයාගේ පෝස්ටර් ඇලවීමෙන් නොවේ.
ජනාධිපති සිරිසේන මහතා දිවුරුම් දීමට වැය කලේ රු. 6000ක් පමනකැයි කියැවිනි. ජනතාව අමන්දානන්දයට පත් වූහ. නමුත් එතුමන් යටතේ දින සීයක් තුළ රටේ මහ බැංකුවට රුපියල් කෝටි 6000 කට අධික අලාභයක් සිදුකරමින් කුප්‍රකට බැඳුම්කර වංචාව සිදුවිය.
එතුමා ජනාධිපති වී සතියක් තුළ කහ ඉර අසළ තම රථය නතර කර මාර්ග නීති පිළිපැද්ද බව වාර්ථා විය. නමුත් එතුමා ජනාධිපති වී මිනිත්තු කිහිපයක් තුළ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත නැත්තෙකු අගමැති තනතුරට පත් කළේය.
අධිකරනය බේරා ගැනීමට යැයි කියා පැමිනි එතුමා චිට් එකකින් අගවිනිසුරුවරයා ගෙදර යවා අධිකරනයේ උත්තරීතර බවට උපරිම හානිය සිදු කළේය.
නීතිය යුක්තිය ස්ථාපිත කිරීමට පැමිනි ඔවුහු පොලීසිය අගමැතිවරයාගේ ඍජු අනසකට යටත් කර දේශපාලන පළිගැනීම් සඳහාම වෙනම පොලිස් ඒකකයක් පිහිටුවූහ.
අද වන විට ඔවුන් විසින්ම සම්මත කළ ඇමති තනතුරු තිහකට සීමා කිරීමේ නීතිය අමු අමුවේ උල්ලංගනය කරනු ලැබ ඇත.
මහ මැතිවරණයේදී ජනතාව වෙතින් ප්‍රතික්ෂේපවුනු අපේක්ෂකයන් ජනාධිපතිවරයා බුරුතු පිටින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කළේ ජනතාවගේ තීන්දුවට සත පහක හෝ වටිනාකමක් ලබා නොදෙමිනි.
පසුගිය මහ මැතිවරණයේදී ලක්ෂ 51කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් හිමි කරගත් එක්සත් ජාතික පක්ෂය ජයගත් අතර ලක්ෂ 47 ක ජනතාවක් එම පක්ෂයට විරුද්ධව ඡන්දය භාවිතා කර ඇත. නමුත් ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙස විධායක බලතල භාවිතා කරමින් එම ලක්ෂ 47 ජනමතයට මුළුමනින් පිටුපාමින් සුළු පක්ෂයකට විපක්ෂ නායකකම හිමිකර දී ඇත.
මෙළෙසින් එළිපිටම රටේ ව්‍යවස්ථාව උල්ලංගනය කරමින්, ජන මතයට පිටු පාමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධීව යන අත්තනෝමතික ගමනේ අවසානය කුමක් විය හැකිද? ඉතිහාසයේ කවර කළෙක හෝ සිදු නොවුනු ලෙසින් ඒකාධිපති වියුරුවෙන් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය වනසාදමන අතර රටේ ස්වෛරීත්වය ඇමරිකානු සහ ඉන්දියානු අධිපතිවාදය හමුවේ පාවා දෙනු ලැබ ඇත. රට තුල මානව හිමිකම් කඩවන බවටත්, අපේ වීරෝධාර හමුදාවෝ යුධ අපරාධ කර ඇති බවටත් ජාත්‍යන්තරය ඉදිරිපත් කරන පදනම් විරහිත චෝදනා කිසිඳු වග විභාගයකින් තොරව පිළිගෙන ඇත. ඒ කිසි සේත් ජනතාවගේ යහපතට, රටේ අධීන පැවැත්මට, ඒකීයත්වයට හිතකර නොවේ.
කහ ඉර මත වාහනය නතර කර සපත්තු ගැනීමට කඩේ ගිය පමනින් මේ බරපතල වියවුලට විසඳුම් නොලැබේ. එවැනි ටොපි චොකලට් මගින් ජනතාව ගොනාට ඇන්දවිය හැකි කාලය ඉතා කෙටි බව ආණ්ඩුව තේරුම් ගත යුතුය. අප මෙම මෛත්‍රී- රනිල් ආණ්ඩුවට විරුද්ධ වන්නේ දහම් සිරිසේන ජිනීවා ගෙනගිය බැවින් නොව ඔවුන් විසින් යටත්විජිතවාදය හමුවේ හීන ධීනව රටත් ජාතියත් වලපල්ලට ගෙනයමින් සිටින බැවිනි.  

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

7/23/2015

මෛත්‍රී ගුණ පිරි මහින්ද යුගයක්

කතෘ:යුතුකම     7/23/2015   2 comments
මේ රටේ බොහෝ පිරිසක් අන්තවාදීහු නොවෙති. ඔවුන්ට පක්ෂ පාට භේදයක් නැත. රටට යහපතක් වන්නේ කුමකින්ද රටේ අනාගතය ශක්තිමත් වන්නේ කුමකින්ද ඔව්හු ඒ වටා එක් රොක් වෙති.

ජාතියක් වශයෙන් අප දූෂණයෙන් තොර රටක්, සදාචාරවත් සමාජයක් පතන්නේ අද ඊයේ නොවේ. විජාතිකයෙකු වුවද එළාර රජුට අනුරාධපුර යුගයේදී ස්ථාවර ලෙස වසර 44ක් වැනි අති දීර්ඝ කාලයක් රජකම් කිරීමට ඉඩ ලැබෙන්නේ කෙසේද? මහාවංශයට අනුව ඔහු ඉතා ධර්මිෂ්ඨ රජ කෙනෙකි. නීතියට පිටින් කටයුතු කළ තම පුතුට පවා මරණ දඬුවම දීමට ඔහු නොපැකිලව ක්‍රියාත්මක වේ. ඒ අර්ථයෙන් ගතහොත් මෙරට මුලින්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපාලනය ක්‍රියාත්මක කළ, නීති රීති අනුන් වෙත නොව තමන්වෙත බල පැවැත්වෙන ලෙසින් ක්‍රියාත්මක කළ පාලකයා එළාර රජතුමාය. එවන් රජෙකුට ඔහුගේ ජාතිය ආගම නොතකා වසර 44ක් අපව පාලනය කිරීමට අපි ඉඩ දී ඇත්තෙමු. බුද්ධ ශාසනයට වන හානිය නොවන්නට ඔහුව පළවා හැරීමේ කිසිඳු කරුණක් නොතිබිනි.

අප වටහාගත යුත්තේ එය අප ජාතිය සතු ලක්ෂණයක් ලෙසටය. එය දුර්වලකමක් ලෙස සළකා අවමන් කිරීමෙන් හෝ එම ගුණය පදනම් කරගෙන අපව ගොනාට අන්දවා තම තමන්ගේ බල වුවමනාවන් ඉටු කරගැනීමෙන් හෝ රටට වන යහපතක් නැත. රටක් ලෙස අපට ඉදිරි ගමනක් සහතික කළ හැක්කේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන දුටුගැමුණු ප්‍රතිපත්තිය මෙන්ම වසර 44ක් රට පාලනය කිරීමට අවස්ථාව විවර කළ එළාර රජු සතු වූ යහපාලනය එකට සංකලනය කරන දේශපාලන පරිවර්ථනයක් වෙත රට මෙහෙයවීමෙනි.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සළකා එළාර පාලනය අවසන් කරන දුටුගැමුණු රජතුමා අනුගමනය කළ ප්‍රතිපත්තිය පිළිබඳව සංකේතාත්මකව මහාවංශය සඳහන් කරන්නේ, එතුමා එළාර රජුගේ සොහොනට පවා ගරු කරන ලෙස ජනතාවට නියෝග කළ බව පවසමිනි. ඉන් පැහැදිලි වන්නේ රුවන්වැලි මහා සෑය, ලෝවාමහාපාය වැනි මහා නිර්මාණ කරමින් බුදු දහම සුපෝශිත කළ දුටුගැමුණු රජ සමය එළාර රජුගේ යහපාලන අත්තිවාරම මත ගොඩනැගුනු බවයි.

දුටුගැමුණු රජ සමය අපගේ දෙදහස් පන්සිය වසක ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස සනිටුහන් වන්නේත්, එතුමා ඉතිහාසයේ අසහාය නායකයා ලෙසින් සැමදා වැජඹෙන්නේත් එහෙයිනි. අපගේ ජාතිය එක් ධජයක් යට ඒකරාශී කිරීමටනම් රටේ සංවර්ධනය, ජාතික ආරක්ෂාව, ඒකීයත්වය සුරැකිය යුතුවාක් මෙන්ම ධාර්මික පාලනයක්ද රට තුළ ස්ථාපිත කළ යුතුය. අප එම යතාර්ථය තේරුම්ගත යුතුය.

තිස් අවුරුදු මිනීමරු ශාපයෙන් රට මුදවාගෙන වසර 600කට පසු රට එක්සේසත් කළ මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යන්නේ අපේ ජාතිය සතු මෙම ලක්ෂණය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසටය. මහින්ද රජය තුළ දූෂණය, නාස්තිය, වංචාව පැවතියේද? පැවතියෙනම් ඒ කවර ප්‍රමානයකටද වැනි ප්‍රශ්න විවාදසම්පන්න වුවද එතුමා ගෙදර යන්නේ අපේ ජාතිය සතු වසර දහස් ගනනක් පැරනි ලක්ෂණයක් උද්දීපනය වීමේ ප්‍රතිඵලයක් ලෙසටය. ඒ සමගම පැවසිය යුත්තේ මෙයට වසර 5කට පෙර වැඩි ඡන්ද දහ අට ලක්ෂයක අතිමහත් බහුතරයකින් එතුමා ජයග්‍රහනය කරන්නේ අපේ ජාතිය සතු අනෙක් ලක්ෂණය වන ජාතිකාභිමානය, දේශයේ, ශාසනයේ ආරක්ෂාව තහවුරු කරීම යන ලක්ෂණය ඉස්මතු වීමේ ප්‍රතිඵලයක් ලෙසටය.

වසර පහක් තුළ මේ ලක්ෂණයන් දෙකම ක්‍රියාත්මක වීමෙන් පෙන්නුම් කරන්නේ ඒ දෙකටම එක හා සමාන ශක්තියක් පවතින බවය. ඉන් එකක් හෝ අමතක කිරීමෙන් දේශපාලන වියවුලක් ඇති වීම නොවැලැක්විය හැකිය.

ඉදිරි මහ මැතිවරණයෙන් රටට ජයග්‍රහණයක් අත් කරගත හැක්කේ කෙතෙක් දුරට ජාතිය සතු මෙම ලක්ෂණයන් දෙකට තැනක් ලැබෙන දේශපාලන පරිවර්ථනයක් සිදුකරගත හැකිද යන කාරනය මතය. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයගේ දේශපාලන භූමිකාව මෙනම ඔවුන් මුහුණදෙන අභියෝග පිළිබඳ තුළනාත්මක විවරණයක් කළ යුතුය.

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසෙන මහතා ජයග්‍රහණය කරන්නේ යහපාලන ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට සපත කරමිනි. දූෂණයට, වංචාවට, නාස්තියට, හොරකමට, අවනීතියට තිතක් තැබීමට ජනතාවට අවශ්‍ය විය. ජාතිය සතු එම ලක්ෂණය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ජයග්‍රහනය කරන එතුමා සහ ජනතාව අතර ඇති ගිවිසුම යහපාලනයයි. එම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පසුගිය හයමාසය තුළ පැවති රජය කෙතෙක් දුරට සමර්ථ වීද යන්න මෛත්‍රීපාල මහතාගේ පාලනය මැන බලන මිනුම් දණ්ඩ වී ඇත.

නමුත් එම කරුණ සම්බන්ධයෙන් ජනතාවට සතුටු විය නොහැකි බව සාධාරණ වශයෙන් පිළිගත යුතුව ඇත. ඇමති තනතුරු 30කට සීමා කිරීමට පොරොන්දු වුවද එය ඉටුකිරීමට ඔවුහු අපොහොසත් වූහ. ව්‍යවස්ථා සංශෝධන සිදුකරගැනීම, පක්ෂ දෙක අතර බලය තුළනය කරගැනීම වැනි හේතු මුල් අවස්ථාවේදී ජනතාව පිලිගත්තේය. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වන්නේ කිසිඳු විරුද්ධවාදියෙකු නොමැතිව ඒකමතිකව මෙන්ය. එසේනම් ඇමති තනතුරු 30කට සීමා කර එය කරගැනීමට ඉඩක් නොතිබිනිද? එමෙන්ම 20වැනි සංශෝධනය සම්මත කිරීම පසෙකින් තබා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඇයි? ඇමති තනතුරු දීම වැනි ක්‍රියා 20 වැනි සංශෝධනය සම්මත කරවාගැනීම ඉලක්කගත කර සිදු කළේනම්, පාර්ලිමේන්තුව විසුරවාහැරීමට තිබුනේ එය සම්මත කිරීමට සාධනීය උත්සාහයක් දැරීමෙන් අනතුරුවය.

අද වන විට වෙලේ සුදා අධිකරණයෙන් නිදොස් වී නිදහස් වීමට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමනි. රටම හඳුනාගෙන සිටි කුඩු කාරයන් ලෙස නම්දරා සිටි දේශපාලන ප්‍රභලයන් අදත් කිසිඳු අපහසුවකින් තොරව නිදැල්ලේ සිටී. ඒ සියල්ල තිබියදී රේගු අධ්‍යක්ෂකවරයා තනතුර හැර යන්නේ යහපාලනය නිලධාරීන්ට නිදහසේ රාජකාරිය කිරීමට ඉඩ නොදෙන බවට ජීවමාන සාක්ෂියක් සපයමිනි. ගිය වසරේ ආනයනය කළ මුළු එතනෝල් ප්‍රමානය හා සමාන ප්‍රමානයක් මෙම රජය මගින් මේ හය මාසය තුළ මෙරටට ගෙන්වා ඇත.

මේ සියල්ල අමතක කළද පාර්ලිමේන්තුව විසුරවීම පිළිබඳව ජනාධිපතිවරයාගේ පැහැදිලිකිරීම අමතක කළ හැකිද? ඔහු නොකියා කියන්නේ මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන් ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිදුවූ බවයි. යහපාලනය නාමයෙන් බිහිවූ රජයකින් එවැන්නක් බලාපොරොත්තු විය යුතුද? යහපාලන රජය ගත් ඉහලම දේශපාලන තීන්දුව ගනු ලබන්නේ කෝටි 6000ක් පමන වන මෙරට ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය මංකොල්ලය සිදුකළ අපරාධකරුවන් ආරක්ෂා කිරීමටනම් තවදුරටත් ඉන් බලාපොරොත්තු විය හැකි යහපාලනය කුමක්ද? ජනතාව මෙම සිදුවීම තේරුම්ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික ඛේදවාචකයක් ලෙස නොවෙයිනම් වෙන කුමන අයුරින්ද?

මා ඉහත විස්තරය සිදුකළේ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා ගොඩනැගී ඇති දේශපාලන අභියෝගය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමටයි. එතුමාතුළ යහපාලනය පිළිබඳ හැඟීමක් නැතැයි මම නොකියමි. නමුත් ඔහුට ක්‍රියාත්මක වීමේදී මුහුණ දීමට ඇති අභියෝග විසින් ඔහුව ජනතාව වෙතින් ඈත් කරමින් සිටියි. අප මෙය තේරුම්ගත යුත්තේ සිරිසේන ජනාධිපතිවරයා ජනතාව සමඟ එළඹි යහපාලන ගිවිසුමට වඩා එතුමා එම තනතුර තෙක් ඇදගෙන ගිය එතුමා වටා සිටින රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ දේශපාලන හිතවතුන්ගේ බලපෑමට යටත්වීමට සිදුවූ අවස්ථාවක් ලෙසටය.

හිටපු ජනාධිපතිවරයාද ජනවාරි 8 පරාජයෙන් පසු ස්වයං විවේචනයක් සිදුකරමින් පවසන්නේ තමන්ට වැරදිකරුවන් ආරක්ෂා කිරීමට සිදුවූ බවයි. මාස හයක් ගතවීමට මත්තෙන් නව ජනාධිපතිවරයාද ඉතා බරපතල ලෙසින් එම අභියෝගය විසින් යටකර දමනු ලැබ ඇත. එසේනම් ජනතාව ගත යුතු තීරණය කුමක්ද? ජනාධිපතිවරයා සහ ඔහුගේ දේශපාලන හිතවතුන් අතර පවතින සම්බන්ධය කඩා බිඳ දමන තුරු ජාතියේ යහපාලන සිහිනය සාක්ෂාත් කරහැනීමට නොහැකිය. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසින් ඇති බැඳියාවෙන් නිදහස් වන ලෙසටද එතුමාට බල කළ යුතුය. ඔහු ස්වාධීන පුද්ගලයෙක් වන තරමට ඔහුට ජනතාව සමඟ ඇති යහපාලන ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පහසු වනු ඇත.

එසේනම් යහපාලනයේ නාමයෙන් මෛත්‍රීපාල මහතා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ පරාජය කළහොත් සිදුවිය හැක්කේ කුමක්ද? එවිට නිතැතින්ම මහින්ද රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ අගමැති තනතුරට පත්වී රජයක් පිහිටවනු ඇත. එවන් තත්ත්වයක් යටතේ යහපාලනයට කුමක් සිදු වේද යන බිය ඇතිවීම ස්වභාවිකය. මන්ද ගිය වර ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය භාවිතා කලේ ඔහු තුල යම් දුර්වලතාවක් දුටු බැවිනි. ඒ දුර්වලතාව යහපාලනය සම්බන්ධයෙන් එතුමා පෙන්වූ අසමත්කම ලෙස මම සිතමි. එසේනම් ඒ මහින්දම නැවතත් බලයට ගෙන ඒමෙන් යහපාලනයට කුමක් වේද යන්න සිතා බැලිය යුතුමය.

නමුත් මෙවර වෙනසක් වෙයි. ඔහු මෙවර බලයට පත් වන්නේ ජනාධිපතිවරයා ලෙසින් නොව අගමැතිවරයා ලෙසිනි. ජනාධිපති තනතුරේ සිට කළ පරණ සෙල්ලම් දැන් ඔහුට කළ නොහැකිය. ඔහුව අධීක්ෂනය කිරීමට ඊට ඉහලින් යහපාලනය වෙනුවෙන් ජනතාව සමඟ ගිවිසුමකට එළඹි මෛත්‍රීපාල සිරිසේන මහතා සිටී. මෙවර යහ පාලනය වල්මත් වූයේ මෛත්‍රීපාල මහතාටද තම හිතවත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසට වරදාන වරප්‍රසාද දී ඔවුන්ගේ හොරකම් යටපත් කිරීමට සිදුවූ බැවිනි. නමුත් මහින්ද සහ මෛත්‍රී අතර එවන් හිතවත්කමක් නැත. එබැවින් මහින්ද අගමැති වූ තත්ත්වයක් තුළ මෛත්‍රීපාල මහතාට වඩාත් ස්වාධීනව තම අභිමතය පරිදි කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇත. පක්ෂ සභාපතිකමෙන් ඉවත් වුවහොත් මැති ඇමතිවරුන්ගෙන්ද ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව ලැබේ. ඔවුන් දෙදෙනා අතර පවතින දේශපාලන එදිරිවාදිකම රටේ යහපත වෙනුවෙන් භාවිතා කිරීමට ජනතාව සබුද්ධික විය යුතුය.

මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ජාතියේ එක් අපේක්ෂාවක් වන යහපාලනය එළෙසින් සුරක්ෂිත කළ හැකි අතර අනෙක් අපේක්ෂාවන් වන ජාතික ආරක්ෂාව, නිදහස, සාමය, සංවර්ධනය වැනි ඉලක්ක සපුරාගන්නේ කෙසේද?

ජාතික ආරක්ෂාව, භෞමික අඛන්ඩතාව, ඒකීයත්වය යන කරුණු සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා ගවු ගනනක් ඉදිරියෙන් යන්න අවිවාදිතය. එය ඔවුන් දෙදෙනාගේ දේශපාලන භාවිතාව තුළින් ඔප්පු වී හමාරය. රනිල් වික්‍රමසිංහ මහතා කොටි සංවිධානය සමඟ ගිවිසුම් ගසමින්, ඔවුන්ට වෙනම පාලන ප්‍රදේශ ලබා දෙමින් ක්‍රියාත්මක වන විට මහින්ද රාජපක්ෂ මහතා ඍජු ලෙස ත්‍රස්තවාදය අවසන් කර තිස් අවුරුදු යුද්ධයෙන් රට මුදා ගැනීමට සමත් විය. නමුත් පසුගිය මාස හය තුළදී නැවතත් විදේශයන්හි විසුරුනු කොටි සාමාජිකයන් සමඟ සාකච්ඡා පවත්වමින්, ඔවුන්ගේ වෙනම රටක් පිළිබඳ සිහිනය දේශපාලනික වශයෙන් ඉටුකරදීමට රනිල් වික්‍රමසිංහ රජය ක්‍රියාත්මක වෙමින් සිටියි. ඔහු අගමැති තනතුරේ කාර්යයන් ආරම්භ කරන්නේම උතුරු නැගෙනහිරට වෙනම ස්වයං පාලන බලතල ලබාදීමට තමන් සූදානම් බවට එන්ඩීටීවී ආයතනය වෙත සාකච්ඡාවක් ලබා දෙමිනි. පසුගියදා පැවති එජාප සම්මේලනයෙන් තම ඡන්ද සටන අරඹන්නේද උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමට කැපවන බවට මැතිවරණ පොරොන්දුවක් දෙමිනි.

මහබැංකු බැඳුම්කර වංචාව හරහා ඔහු ප්‍රකට කළේ ජාතියේ එක් ප්‍රධාන අපේක්ෂාවක් වන එළාර රජ සමය තෙක් දිවයන යහපාලන සිහිනය යථාවත් කිරීමට ඔහු සූදානම් නැති බවයි. ඔහු එළිපිටම පෙන්වන බෙදුම්වාදී නැඹුරුව මගින් ප්‍රකට කරන්නේ ජාතියේ අනෙක් අපේක්ෂාව වන දුටුගැමුණු යුගය තෙක් දිවයන ඒකීයත්වය, භෞමික අඛන්ඩතාවය පිළිබඳ සිහිනය යථාවත් කිරීමටද ඔහු සූදානම් නොමැති බවයි. එසේනම් ඔහුට ඡන්දය දීමෙන් අප බලාපොරොත්තු විය යුත්තේ කුමක්ද? රටේ ආර්ථික සංවර්ධනයද?

මෙතෙක් කළක් පිළිගත් පොදු මතය වූයේ එජාප රජයක් ඇති විට රට සංවර්ධනය වන බවයි. නමුත් පසුගිය සමාසික රජය එම ආකල්පයද දෙපළු කර ඇට. මහින්ද සමයේ රට තුළ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති සියල්ලම පාහේ නතරවී ඇත. සේවකයන් ලක්ෂ ගනනකට රැකියා අහිමි වී ඇත. රජයේ ණය ගැනීම් වලද වැඩිවීමක් මිස අඩුවීමක් සිදුවී නැත. ණයට අරං කෑමේ ආර්ථිකයක් වෙත රට තල්ලු වී ඇට. කුමන චෝදනා එල්ල කළද මහින්ද රාජපක්ෂ මහතා 7.4% ක් ආර්ථික වර්ධනයක් පවත්වාගැනීමට සමත්ව ඇති බව අර්ජුන් මහේන්ද්‍රන් මහතාම ඉදිරිපත් කරන දත්ත අනුව පැහැදිලි වේ. රනිල් වික්‍රමසිංහ මහතා ඒ කරුනිනුත් අසාර්ථක වී ඇත.

එසේනම් පවතින දේශපාලන සන්ධර්භය තුළ රටට හිතැති රජයක් බිහි කළ හැක්කේ මහින්ද- මෛත්‍රී සුසංයෝගයෙන් බව පිළිගැනීමට සිදුවෙයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ වැනි සුළු පක්ෂ පිළිබඳවද යමක් කිව යුතුය. තුන්වෙනි බලවේගයක් ලෙස මෙම වාමවාදි පක්ෂ ඉදිරියට ඒමට දරන උත්සාහයටද ප්‍රධාන පක්ෂ දෙක හා සමාන ඉතිහාසයක් ඇත. ජනතා විමුක්ති පෙරමුන 70 දශකයේ සිටම එම උත්සාහය දරමින් සිටියි. නමුත් ඉතිහාසයේ කිනම් කළකවත් ඔවුන් සාර්ථක වී නැත. පසුගිය සමයේ ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී ආසන 39ක් ලබා දීමට මෙරට ජනතාව ක්‍රියාත්මක විය. එය සුළුපටු බලයක් නොවේ. නිසි පරිදි ජනතාවාදී ගමනක් ගියේනම් ඔවුන්ට අදවන විට ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට හැකිවිය යුතුව තිබිනි. නමුත් වල්මත් වී අවස්ථාවාදී දේශද්‍රෝහී තීන්දු තීරන මගින් එම 39 අතේ ඇඟිලි ගණනට අඩුකරගන්නේ ඔවුන් මිස අප නොවේ. මෙවරද උනුත් එකයි මුනුත් එකයි යන අවුරුදු 30ක් පමන පැරණි සටන් පාඨයට පණ පොවමින් බොරදියේ මාළු බෑමට ඔවුහු උත්සාහ දරමින් සිටිති. නමුත් ජනතාවගේ යහපාලන අපේක්ෂාව යථාවත් කිරීමට විධායක බලය අතින්ගත් සිරිසේන මහතා සිටී. ජාතික ආරක්ෂාව, සාමය සහ සංවර්ධනය පිළිබඳ සිහිනය යථාවත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සිටී. එසේනම් ජනතා විමුක්ති පෙරමුන බලය ඉල්ලන්නේ ජනතාවගේ කුමන අපේක්ෂාවක් සම්පූර්ණ කිරීමටද?

අවස්ථාවාදී ලෙස තම බඩවියත රැකගැනීමේ ඒකායන අරමුණින් කටුස්සන් මෙන් පැයෙන් පැයට ප්‍රතිපත්ති වෙනස් කරන චම්පක රනවක, බොදු බල සේනා වැනි සංවිධාන පිළිබඳව කුමන කතාද?

ඉතිහාසයේ විශිෂ්ඨතම දේශපාලන පදනම ගොඩනගාගැනීමේ අභිමුව රටම බලා සිටී. අවශ්‍ය වන්නේ ඡන්ද දායකයාගේ සබුද්ධික තීරණය පමනකි.

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/21/2015

චම්පිකලාගේ දේශපාලන අවස්ථාවාදය සහ බොදු බල සේනාවේ ඉදිරි මග කොයිබටද?

කතෘ:යුතුකම     6/21/2015   7 comments
පසුගිය ජනවාරි 8 වෙනිදායින් පසු දින 100 තුළම බොදුබල සේනා සංවිධානය හීන් කෙඳිරියක් හෝ නැගුවේ ඉතා කලාතුරකිනි. බදුර්දීන් දිගටම විල්පත්තු එළි පෙහෙළි කරමින් තිබිනි. බොදු බල සේනා සංවිධානය ඒ කරුණ සම්බන්ධයෙන් පුදුම එළවන සුළු නිහැඬියාවක් ප්‍රකට කළේය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා, පාඨලී ඇමතිවරයා සාමාජිකත්වය දරන ජාතික විධායක සභාවේ තීරනයක් අනුව දෙමළ බසින් ජාතික ගීය ගැයීමට අවසර දීම හේතුවෙන් ජාතිය භේද භින්න කිරීමට පාර කැපිනි. එය බොදු බල සේනාවට මාතෘකාවක් නොවිනි. යහ පාලන ආණ්ඩුව දිය වඩන නිළමේවරයා අත් අඩංගුවට ගැනීම පිළිබඳව මහා නායක ස්වාමීන් වහන්සේ පවා විරෝධය පළ කළහ. නමුත් ඥානසාර හිමියන් ඒ බවක් දන්නේදැයි නොදනිමි. උතුරේ හමුදා කඳවුරු එකින් එක ගැලවෙමින් තිබේ. බොදුබල සේනා සංවිධානය ඒ ගැනද නිහඬය. පසුගිය දා විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මේ රට සිංහල රටක් නොවන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාෂ කලේය. බොදු බල සේනා සංවිධානයේ ක්‍රමවේදයට අනුව මෙවන් කරුණක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය වැටළිය යුතු වුවත් එවැන්නක් සිදු නොවිනි.

පසුගිය කාලය තුළදීම බොදුබල සේනා සංවිධානය කට ඇරියේනම් ඒ අවස්ථා දෙකකදී පමනි. ඉන් එකක් “අර බලු සේනා මේ බලු සේනා ආවොත් අපිට කියන්ඩ” යනුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය කරන ලද ප්‍රකාෂයකට විරෝධය පළ කිරීමටයි. තමන්ව ඉලක්ක කර එක එල්ළේ කරනු ලබන චෝදනාවකට ප්‍රතිචාර දැක්වීම ඕනෑම සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ ස්වභාවයක් බැවින් (අනුර කුමාර දිසානායක මහතාට සහ පාඨලී චම්පික රනවක මහතාට මේ කරුණ අදාල නොවේ. විජේදාස රාජපක්ෂ මහතාගෙන් ගත්තායැයි කියන ලක්ෂ 25 පිළිබඳ චෝදනාවට අනුර කුමාර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. රාජිත සේනාරත්න මහතා හෙළිකරන පාටලීගේ ස්ථාවරය වන "ඔයාල පෙඩරල් දෙන්න, බලය බෙදන්න, ඔයාල කරගෙන යන්න, අපි (බොරුවට ) විරුද්ධ වෙන්නම්" යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. ) චන්ද්‍රිකා මහත්මියට දැක්වූ ප්‍රතිචාරය එතරම් අරුමයක් නොවේ.

ඔවුන් හඬ අවධිකළ දෙවැනි අවස්ථාව මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිරිස් සංවිධානය කළ විරෝධතාවකට පටි නැති කොඩි ගෙනැවිත් ඇතිකළ අර්බුධ අවස්ථාවයි. ඒ පිළිබඳව මදක් කතා කළ යුතුය.

මා මුළ සිටම බොදු බල සේනාහි ක්‍රියාකාරිත්වය අනුමත කළ සහ අදත් එවන් සංවිධානයක පැවැත්ම යුක්ති යුක්ත කරන්නෙක්මි. මා මෙයට පෙරද මේ සම්බන්ධයෙන් "පාඨලීගේ මාධ්‍ය මාෆියාව අධ්‍යක්ෂණය කළ බොදු බල සේනා ව්‍යාපෘතිය" ලිපියෙහි කරුණු දක්වා ඇත්තෙමි.

නමුත් මෙතන ඇත්තේ බොදු බල සේනා නමින් පෙනී සිටින පිරිසේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එහි මුල් තැනක සිටින අතීත රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයකු පිළිබඳව මුළ සිටම ගැටලු නොතිබුනා නොවේ. මෙම කොඩි සිද්දිය ඒ නොගැලපීම කරළියට පැමිනි මොහොතකි. මේ රටේ සිංහල බෞද්ධයාට කප්පරක් ප්‍රශ්න තිබේ. ඒ කප්පරක් ප්‍රශ්න, අසාධාරනයන් අතර එක් තැනක ජාතික කොඩියේ වර්ණ තීරු පිළිබඳ ප්‍රශ්නයද තිබෙන බව සැබෑවකි. නමුත් එය මේ මොහොතේ ප්‍රධාන හෝ තීරනාත්මක ප්‍රශ්නයක් නොවේ. අද රට තිබෙන්නේ පාට තීරු නොව ජාතික කොඩියෙන් සිංහයා ඉවත් වීමේ තර්ජනාත්මක මොහොතකය. එවන් අවස්ථාවක මේ කැලේ ප්‍රශ්න කරළියට ගෙනැවිත් ජාතියේ ඒකාග්‍රතාව බිඳ දමා මේ නැගීගෙන එන ජනතා පවුර කඩා විසුරවීමට උත්සාහ දැරීම සමාව දිය නොහැකි වරදකි. බොදු බල සේනා සංවිධානය ඒ පිළිබඳව වරදකරු විය. දින 100 නිහැඩියාව බිඳිමින් ඥානසාර හිමියන් නිදිගැට හැර අවධි වූයේ මේ සිදුවීම පදනම් කරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ එතුමාගේ පාර්ශ්වයට පහර දීමටයි. මාධ්‍ය සාකච්ඡා පැවැත්විනි. පුවත්පත් සාකච්ඡා පැවැත්විනි. මාධ්‍ය ප්‍රකාෂන පිටවිනි. බදුර්දීන්ගේ විල්පත්තු සංහාරය, ජාතික ගීය දෙකඩ කිරීම, උතුරේ හමුදා කඳවුරු ගැලවීම, ජාතික රූපවාහිනියට වැදුනු හිපියන් බෞද්ධයාට කරන ගැරහිලි කිසිවකට නොඇරුනු බොදුබල සේනාහි කට මහින්දට එරෙහිව විවර විය. ඒද වැදගැන්මකට ඇති කරුණක් සම්බන්ධයෙන් නොව ප්‍රමුකතා ලැයිස්තුවේ නොපෙනෙන ඈතක ඇති සිල්ලර ප්‍රශ්නයක් සම්බන්ධයෙනි.

එසේ ඇරඹි බොදු බල සේනාහි යහපාලන ගමන් මග අද වනවිට මහ මැතිවරණයට තරඟ කිරීම දක්වා විකසනය වී ඇත.

ඔවුන් වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරන්නේනම් හෝ දැනටමත් ගොඩ නැගී තිබෙන හෝ ඉදිරියේදී ගොඩනැගෙන දේශපාලන පෙරමුණකට එක්වන්නේනම් හෝ ඒ කවර පදනමකින් විය යුතුද? බොදු බල සේනා මෙතෙක් ක්‍රියාත්මක වූයේ සිංහල බෞද්ධයා වෙනුවෙන් ක්‍රියාකාරී වන සිවිල් සංවිධානයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ දේශපාලනයද සිංහල බෞද්ධයාට වන අසාධාරනයට එරෙහි වූවක් විය යුතුය. නමුත් එවිට පැන නගින සරළ ප්‍රශ්නයක් ඇත. එම ප්‍රශ්නයට මෙතෙක් බොදු බල සේනාහි කීවෙක් පිළිතුරු දී නැත.

සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කරන බවට සපත වෙමින් දේශපාලනයට එන පළමු සංවිධානය බොදුබල සේනා නොවේ. කලකට පෙර ජාතික හෙළ උරුමය බිහිවන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙනි. දැන් ඒ අවශ්‍යතාවය වෙනුවෙන්ම බොදු බල සේනාද දේශපාලනයට පැමිනෙන්නේනම් එහි අර්ථය බොදුබල සේනා සංවිධානය සිතන පරිදි හෙළ උරුමය තම මුල් භූමිකාවෙන් ඉවත් වී ඇතැයි යන්නද? එසේ ඉවත් වී ඇත්නම් බොදු බල සේනා සංවිධානය තම දේශපාලන ගමනට අත් පොත් තැබිය යුත්තේ හෙළ උරුමය මගින් ඉටු නොවූ එම අඩුව පිරවීමට බිහි වන පක්ෂයක් වශයෙනි. එසේනම් ඔවුන්ගේ පළමු කරුණ විය යුත්තේ සිංහල බෞද්ධ හම පෙරවාගෙන තවමත් දේශපාලනයේ රැඳී සිටින හෙළ උරුමයේ හෙළුව නිරාවරණය කිරීමයි. නමුත් අද වන තුරු බොදුබල සේනා වෙතින් එවැන්නක් සිදු වී නැත.

එසේනම් සිදුවිය යුතු දෙවැන්න බොදු බල සේනා ක්‍රියාත්මක විය යුත්තේ හෙළ උරුමයට සහාය දෙන දේශපාලන පෙරමුනක් වශයෙනි. එවැන්නක් අද වන තුරු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර නැතත් බොදු බල සේන හෙළ උරුමය විවේචනය නොකරන්නේනම් ඔවුන්ට වෙනත් විකල්පයක් නැත. එකම කරුණ සම්බන්ධයෙන් පක්ෂ දෙකක් බිහි වීමේ ඉඩක් දේශපාලනය තුළ නැත.

2014 පැවති ජාතික හෙළ උරුම සම්මේලනයේදී ප්‍රකාශයට පත් වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ එය සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත කිරීම දේශපාලන අරමුණ කරගත් පක්ෂයක් බවයි. නමුත් ඉන් මාස 8 කට පසුව මෙම වසරේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වන එහි නායක අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරන්නේ හෙල උරුමය කිසි දිනක සිංහල බෞද්ධ පදනම මත බිහිවූ පක්ෂයක් නොවන බවත් එයට වඩා පුළුල් දේශපාලන දැක්මක් තම පක්ෂයට ඇති බවත්ය.

පාඨලී චම්පික රනවක ඇමතිවරයාද සිටින ජාතික විධායක සභාවේදී ජාතික ගීය දෙමළ බසින් ගැයීමට තීරණය කරන්නේ ඒ පුළුල් දැක්මට අනුව විය යුතුය. ගෝඨාභය අල්ලාගෙන සිටි ඉඩම් යැයි කියමින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම එම ඇමතිවරයාම යුක්ති යුක්ත කරන්නේ එම පුළුල් දේෂපාලන දැක්මට අනුව විය යුතුය.

ගිය වසරේ බොදු බල සේනා සංවිධානය විල්පත්තු වන සංහාරය දැක ගැනීමට ගිය නිරීක්ෂන චාරිකාවට සමගාමීව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන පාඨලී චම්පික රනවක ප්‍රකාශ කරන්නේ උතුරෙන් යුද්ධය හේතුවෙන් අවතැන් වූවන්ට අද වන විට උතුරු පළාතෙන්ද, පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ඉඩම් ලැබී ඇති බැවින් විල්පත්තුවෙන් නැවතත් ඉඩම් ලබා දීම වැරදි බවයි. එමෙන්ම ජාතිවාදී ලෙසින් කරන පදිංචිකිරීම් දැඩි ලෙසින් හෙළා දකින බවත් ඔහු පවසයි. ඉන් නොනැවතී විල්පත්තුවෙන් පමනක් නොව ජනවාර්ගික අනුපාතය විකෘති වන අයුරින් පුත්තලම දිස්ත්‍රික්කය තුළද පදිංචිකර ඇති මුස්ලිමුන් පවා ඉවත් කළ යුතු බව ඔහු පවසන්නේ බොදුබල සේනා සාමාජිකයන් අමන්දානන්දයට පත් කරමිනි. ඒ ගිය වසරේදීය. නමුත් රතන හිමි පවසන පරිදි අද වනවිට ඔවුන් පටු සිංහල බෞද්ධ පදනමින් ඉවත්ව පුළුල් දේශපාලනයකට අවතීරණය වී ඇත. ඒ පුළුල් දැක්මට අනුව අද පාටලී ඇමතිවරයා විල්පත්තුව පිළිබඳ පවසන්නේ ඉතා මට සිළිටි සමනල කතාවකි. ඔහු පවසන්නේ හම්බන්තොට නගරයද, අම්පාර නගරයද, බෙල්ලන්විලද ඉදිකර ඇත්තේ අභයභූමි තුළ බැවින් විල්පත්තු පදිංචිකිරීම් වල වරදක් නැති බවයි.

එපමනක් නොව පාඨලී සහ රතන හිමි ප්‍රමුඛ හෙළ උරුමයේ සිංහල බෞද්ධ ජාතිකවාදී මුහුනුවරද වෙස් මුහුණක් පමනක් බව රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් සනාත වෙයි. ඔහු පවසන්නේ රතන හිමි ආදීන්ගේ සිංහල බෞද්ධ ජාතිකත්වය පොලිටිකල් (හුදෙක්ම දේශපාලන වාසිය පිණිස පවතින ) බවයි. එපමනක් නොව මේ ආණ්ඩුව කරන බෙදුම්වාදී සහ දෙමළ මුස්ලිම් ජාතිවාදී, සිංහල බෞද්ධ විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පාඨලී ඇමතිවරයා ප්‍රධාන හෙළ උරුමය දක්වන සිල්ලර විරෝධයද හුදෙක් දේශපාලන පැවැත්ම උදෙසා කරන රඟපෑමක් පමනක් බව රාජිත ඇමතිවරයා ඉතා පැහැදිලිව පවසයි.

කරුණු මෙසේ තිබියදී බොදු බල සේනා සංවිධානය හෙළ උරුමයත් සමඟ එක්ව මහ මැතිවරණයේදී කන දීගය කුමක්ද යන්න උභතෝකෝටික ප්‍රශ්නයකි.

එක්කෝ බොදු බල සේනා සංවිධානය දේශපාලනයට පැමිනිය යුත්තේ හෙළ උරුමයේ මේ ව්‍යාජ සිංහල බෞද්ධ විරෝධී බල ලෝභී දේශපාලනය ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුවය. හෙළ උරුමයෙන් ඉටු නොවන දේශපාලන අවශ්‍යතාවය ඉටු කිරීමට එවිට බොදු බල සේනා වෙත ඉඩ කඩ විවර වෙයි.

එසේ නැතහොත් බොදු බල සේනාද තම සිංහ හම උනා දමා හෙළ උරුමයේ සමනල දේශපාලනය තෝරාගත යුතුය. ඥානසාර හිමියන් මින් තෝරාගන්නේ කුමක්ද? උන්වහන්සේගේ හෙළ උරුමය පිළිබඳ නිහැඬියාව අපට ඒත්තු ගන්වන්නේ බොදු බල සේනාහි ස්ථාවරය මෙහි සඳහන් දෙවැන්න බවයි. බොබසේ ද හෙළ උරුමය සමඟ එක්ව සිංහල බෞද්ධයන්ට එරෙහි ව්‍යාජ දේශපාලනය තෝරාගෙන ඇති බව අපට අකමැත්තෙන් වුවත් පිළිගැනීමට සිදුවී ඇත.

මෙම රජය සිදුකරන සිංහල බෞද්ධ විරෝදී ක්‍රියාවන් සම්බන්ධයෙන් බොදුබල සේනා හි මරණීය නිහැඬියාව අපගේ එම නිරීක්ෂනය තවත් ශක්තිමත් කරයි. කහ සිවුරත්, සිංහයාගේ රූපයත් ඉදිරියට දමා ගෙන අද බොදුබල සේනා සංවිධනය ඉටු කිරීමට යන්නේ පාඨලී, රාජිත ආදීන්ගේ කොන්ත්‍රාත්තුවකි.

ළඟ එන මහ මැතිවරණයේදී දෙමළ සහ මුස්ලිම් ඡන්දවල හැසිරීම කාටත් රහසක් නොවේ. ඒ පැහැදිලිවම සිංහල බෞද්ධයාට, ජාතික ආරක්ෂාවට, රටේ ඒකීයත්වයට එරෙහි ඡන්දයකි. එසේනම් අපට ගොඩයා හැකි එකම ක්‍රමය සින්හල ඡන්ද එක් ගොඩකට ගොනු කිරීම පමනි. ඒ ගොඩ කිසි සේත් රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපයනම් නොවේ. අද වන විට මෙම රජය මංගල සමරවීර හරහා කොටි සමඟ සාම සාකච්ඡා ආරම්භ කර ඇත. සාකච්ඡා කිරීමට කොටි කොහෙන්ද යන ප්‍රශ්නය කිසිවෙකු ඇසිය හැකිය. ඉතිරිවී ඇති කොටි එකා දෙන්නා එකතු කොට හෝ එය කිරීම ඔවුන්ගේ උපාය වී ඇත. ඔවුන්ගෙන් අපට වන සෙතක් නැත. දෙමළ මුස්ලිම් බෙදුම්වාදී ඡන්ද ඔවුන්ව පෝශනය කරනු ඇත.

එසේනම් අපට ඇත්තේ එම එජාප විජාතිකත්වයට එරෙහි බල කඳවුරට සහාය දිම පමනි. මේ ඡන්දයෙන් සිංහලයාට දිනා ගත හැකි උපරිමය එම කඳවුර කෙතරම් ශක්තිමත්ද යන්න මත තීරණය වේ. එසේ නොමැතිව බොදු බල සේනාව හෝ වෙනත් කිසිවෙකු හෝ කෙතරම් කෑගැසුවත් ඉන් සිංහලයාට සත පහක ප්‍රයෝජනයක් මේ ඡන්දයේදී අත් නොවනු ඇත. එය මනාව පැහැදිලි වන්නේ ගිය මැතිවරණයේදී ඉදිරිපත් කළ යහ පාලන ප්‍රෝඩාව සමඟ සැසඳිමෙනි. ඔවුන් සිංහලයාගේ ඡන්දය ගත්තේ ඡන්ද දායකයාව කප්පරක් සිහින මාලිගා තුළ සිර කරමිනි. නමුත් අද වන විට ඉන් ඉටු වී ඇත්තේ කුමක්ද? පාඨලී ඉන්නවනේ, රතන හාමුදුරුවො ඉන්නවනේ යනුවෙන් කීවද අද මේ රජයේ විජාතික ගමන්මග නතරකිරීමට ඔවුන්ට කළ හැක්කේ කුමක්ද?කරුණු එසේ තිබියදී බොදු බල සේනා අද උත්සාහ කරන්නේ මෙම නැගී ගෙන එන සිංහල ජාතික බලවේගය කඩා ඉන් කොටසක් බිලී බා ගැනීමටයි. ඔවුන්ගේ අවසන් අරමුණ රනිල් වික්‍රමසිංහගේ, සම්බන්ධන්ගේ, හකීම්ගේ සහ පැත්තක එල්ලුනු පාඨලීගේ රජයකි.
සංකේතාත්මකව ගතහොත් ඉදිරි මැතිවරණයේදී ඥානසාර-රතන-සෝභිත ත්‍රිත්වය යම් එකඟතාවක සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුසාරයෙන් සුදු හැඳගත් හොර උපාසකයන් කිහිපදෙනෙකුට පාර්ලිමේන්තු වරම් ලැබුනද සිංහලයාට යන එනමං නැතිවනු ඇත. ඔවුන් කරකරන්නේ රොටිය නොවේ. මේ සිංහල ජාතියයි. සිංහලයා හැකිනම් ඒ රත්වූ කබලෙනුත් ලිපට ඇද දැමීම ඔවුන්ගේ අරමුණ වනු ඇත.

ඥානසාර හිමියන්ට උන්වහන්සේගේ වාග් චාතුර්යයට මම අදත් ගරු කරමි. එමෙන්ම උන්වහන්සේ තුළ අදටත් ජාතිය පිළිබඳ අවංක කැක්කුමක් ඇතැයි සිතීමට මම කැමැත්තෙමි. නමුත් මගේ ඒ ගෞරවය ඒ පැහැදීම රඳවාගැනීමට අවස්ථාවාදී හොර බෞද්ධයන්ගේ බළල් අතක් වී ඇති බොදු බල සේනාව අසමත් වේනම් මම කුමක් කරන්නද?

ඥානසාර හිමියනි, කමා කළ මැනවි! 
-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

6/03/2015

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විවෘත සංදේශයක්

කතෘ:යුතුකම     6/03/2015   1 comment
මෛත්‍රීපාල ජනාධිපතිතුමා කොළඹ ප්‍රදේශයේ සපත්තු වෙළඳසැළකට ගිය ගමනට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලැබෙමින් පවතී. එය යහපත් ප්‍රවනතාවයකි. ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත් වූ ප්‍රභූ චරිතයක් බවට පත්වී තිබූ දේශපාලකයා නැවතත් මහ මගට බැසීමට පටන් ගෙන ඇත. එසේ නොමැතිව දේශපාලනය කළ නොහැකිය යන මතය සමාජගත වෙමින් පවතී.

කලින් කලට ජනතාව දේශපාලකයාගෙන් බලාපොරොත්තු වන දෙය වෙනස් වෙයි. විටෙක ඔහු දූශනයට භීෂනයට එරෙහිව පෙනී සිටිය යුතුය. විටෙක රට සංවර්ධනය කළ යුතුය. අද වන විට ඔහු නිරහංකාර චරිතයක් විය යුතුව ඇත.

එක් අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙය මැනවින් විස්තර කලේය. එක් අවස්ථාවකදී ජනතාව බලාපොරොත්තු වන්නේ අඩි පාර වෙනුවට ලෙඩෙක් ගෙන යාමට පුලුවන් ගුරු පාරකි. එය ලැබුනු පසුව එයට කොන්ක්‍රිට් එකක් දමා ගැනීමට අවශ්‍ය වේ. එවිට දේශපාලකයා එය සැපයීමට සූදානමින් සිටිය යුතුය. ටික කලකින් කොන්ක්‍රිට් පාර වෙනුවට තාර පාරක් ජනතාව බලාපොරොත්තු වේ. එය ක්‍රමයෙන් කාපට් පාර මැදින් ඉරක් ගැසූ විශාල මාර්ගයක්, මාර්ගය දෙපසින් මනාව සැකසූ කාණු පද්ධතියක් ආදී ලෙසින් වෙනස් වෙයි. ඒ වෙනසට සාපේක්ෂව දේශපාලකයා වෙනස් විය යුතුය.

එතුමා එම විග්‍රහය කිරීමට දක්ෂ වුවද දෙපසින් කාණු කපා මැදින් ඉරි ගසා කාපට් දමා පාර සැකසූ පසුව ජනතාව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න එතුමා නොදුටුවා විය හැකිය. මෛත්‍රීපාල මහතා එය දැක ඇත. ඔහු එම පාරවල් දිගේ ගොස් කඩයකට ගොඩවී සපත්තු මිළදී ගනී. අවස්ථාවට අනුව එය අද ජනතාව බලාපොරොත්තු වන්නක් බවට පත් වී ඇත.

නමුත් හිටපු ජනාධිපතිවරයාට වැරදුනු තැන ගැන මෛත්‍රීපාල මහතා අවධානය යොමු කළ යුතුය. මිළදීගත් සපත්තුව පළඳින්නේ ඔබතුමා මිස තමන් නොවන බව ජනතාව වැඩිකල් නොගොස්ම වටහාගනු ඇත. ඒ වනවිට ඔවුන්ව සැනසීමට යමක් ඔබතුමා සතුව තිබිය යුතුය. ජනතාවගේ අභිලාශය රාජ්‍ය නායකයා සපත්තු මිළදී ගත යුතුය යන තැන දක්වා පල්ලම් බැස්සේ එක් රැයකින් නොවේ. එය ඇරඹුනේ අඩිපාර ගුරු පාරක් කරන තැන සිටය. කාපට් පාරේ වලවල් සැදෙන විට දෙපස කානුව ගොඩවන විට සංවර්ධන ඉලක්ක අසාර්ථක වන විට එයට සාපේක්ෂව මෙම ජනතා අභිලාශයන්ද තීව්‍ර වනු ඇත.

අද වන විට රුපියලේ අගය ඉතිහාසයේ දරුණුතම කඩාවැටීමට ලක්වී ඇත. බොහෝ සංවර්ධන යෝජනා ක්‍රම ඇනහිට ජනතාවට රැකියා අහිමි වී ඇත. තේ රබර් වැනි භෝගයන්ගේ මිළගනන් ඉතා දරුණු අන්දමින් කඩාවැටී ඇත. එක් අතකට ආර්ථිකය මෙලෙසින් බිඳවැටෙන විට සරල චාම් දිවියකට ජනතාව හුරු කිරීම් වස් පාලකයා පාරට බැසීම පැසසිය යුත්තකි.

නමුත් එමගින් ලැබෙන ජනප්‍රියත්වය ඉතා ඉක්මනින් වාෂ්ප වී යනු ඇත. විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා බලයට පැමිනි, ඉන්දියාව පිරිසිදු කිරීමට තමන්ම ඉදලක් ගෙන පාරට බැසි මෝඩි මහතා ජනතාව පිළිගත්තේ ඉමහත් හරසරිනි. නමුත් මාස කිහිපයකට පසු පැවති මැතිවරණයකින් ප්‍රතිවාදියා ජයගන්නේ 98% ක වැඩි ඡන්දයකිනි. නැවතත් ඡන්දයකට නොයන බවට සපත කර ඇති ඔබතුමා එවන් අභියෝගයක් නොමැති වුවද ජනතාව මෙවන් සංදර්ශන මගින් රඳවාගත හැකි කාලය ඉතා කෙටි බව වටහාගත යුතුය.

ඔබතුමා මෙළෙසින් ජනතාව අතරට ගියද ඔබගේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා නෙළුම් කොලේ කිරිබත් කෑමට නොදන්නා අංක එකේ ප්‍රභූවරයෙකි. මහ බැංකුවේ බැඳුම්කර වංචාව හේතුවෙන් එතුමාගේ ආණ්ඩුව ජනතාවට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි 5200කට අධිකය. පසුගිය රජය සමයේ අංක එකේ කුඩු කාරයෙකු ලෙස හැඳින්වූ නිමල් ලාංසා අද ඔබතුමාගේ මීගමුව සංවිධායක වරයාය. රවි කරුණානායක මහතා මූල්‍ය වංචා චෝදනාවෙන් නිදහස් වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය බිළිබඳ ප්‍රශනයක් ජනතාවට ඉතිරි කරමිනි. හරීන් ප්‍රනාන්දු මහතා එජාප ආධාරකරුවන්ට පමනක් වැලි ගොඩදැමීමට ඉඩ දෙන ලෙස ප්‍රසිද්ධියේ ලිපි යොමු කරයි. ආණ්ඩුවේ බලධාරීන්ගේ බලපෑම් ඉවසිය නොහැකිව රේගුවේ ප්‍රධානියා ඉල්ලා අස් වේ. මෙලෙසින් ජනතාව බලාපොරොත්තු වූ යහ පාලනය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ මුළුමනින්ම සුනුවිසුනු වී ඇති විටෙක ඔබතුමා සපත්තු ගැනීමට කඩයට යයි.

ඉතා කෙටියෙන් ඉහතින් දක්වා ඇති අර්බුධවලට විසඳුම් දීමට ඔබතුමා අපොහොසත් වී ඇති බව ජනතාවට රහසක් විය නොහැකිය. එසේ වුවත් ඔබතුමාට ඉතා කාරුණිකව සිහිපත් කළ යුත්තේ තවමත් හංසයා ඉදිරිපිට කතිරය ගසා ඔබව තෝරාගත් ජනතාව සුභවාදී ආකල්පයකින් ඔබ දෙස බලා සිටින බවයි. මේ කුමන අක්‍රමිකතා ඔබතුමාගේ රජය තුළ පැවතියද ඔබ සපත්තු මිළදී ගැනීමට යාම දෙස බලා ජනතාව සතුටු වන්නේ තවමත් ඔබ කෙරේ තබා ඇති එම විශ්වාසය හේතුවෙනි. අද නැත්නම් හෙට අපේ නායකයා අපගේ බලාපොරොත්තු ඉටු කරාවිය යන පැතුම තවමත් එම ජනයාගේ සිත් සතන්හි රැඳී පවතී. නමුත් දැන් දින 100 නිකම්ම ගෙවී ගොස් අවසානය. එම ජනතා පැතුමටද දින 100ක් පැරණිය. මෙවන් සන්දර්ශන මගින් කෙතෙක් දුරට එම වියැකී යන සිහිනයට නව පණක් ලබා දිය හැකිද යන්න තම අනුශාසකයන් වෙතින් හෝ විමසා බැලීමට ඔබතුමාට කාලය එළඹ ඇත.

මහින්ද රාජපක්ෂ නමැති රට යුද්ධයෙන් මුදවාගත්, 7.4% ක ඉතිහාසගත සංවර්ධනයක් රටට අත් කර දුන් ප්‍රබල නායකයෙකු ගෙදර යවා ජනතාව ඔබගෙන් බලාපොරොත්තු වූයේ හුදෙක් මාධ්‍ය සංදර්ශන නොවේ. ජනතාව ඔබ මත පැටවූ යහපාලන වගකීම ඔබ වටා අද සිටින රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ පිරිසෙන් ඉටුකරගත නොහැකිනම් ඔබ එයට ප්‍රතිකර්මයක් ජනතාවට ඉදිරිපත් කළ යුතුය. අද රටේ ඇති ප්‍රධානතම ප්‍රශ්නය මීලඟ අගමැතිවරයා වී රජයක් පිහිටුවා ජනවාරි 8න් ඇරඹි මෙහෙයුම ඉදිරියට ගෙන යන්නේ කවරෙක්ද යන්නයි. ඔබගේ බලාපොරොත්තුව එය රනිල් ප්‍රමුඛ රජයක් මගින්ම ඉටු කිරීමනම්, දින 100 තුලදී ඔවුන් අසාර්ථක වීමට හේතු මෙන්ම එම අසාර්ථකභාවයන්ට ප්‍රතිකර්මද ඔබ විසින් ඉදිරිපත් කළ යුතුය. මහ බැංකුවෙන් මාස තුනක් යාමටත් පෙර කෝටි 5200 හොරකම් කළ තැනැත්තෙකු සමග යහපාලනය ඉදිරියට කරගෙන යන්නේ කෙලෙසකද යන පැනයට ඔබ පිළිතුරු දිය යුතුය. පොලිස්පතිවරයාගේ බලතල තමන් වෙත පවරාගනිමින් ඍජුව පොලීසිය මෙහෙයවන රට පොලිස් රාජ්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කරන රනිල් වික්‍රමසිංහ යටතේ යහ පාලනයක් ඇති කළ හැකි අයුරු ඔබ ජනතාවට හෙළිකළ යුතුය. උතුරේ නැගීගෙන එන බෙදුම්වාදී අනතුර තවදුරටත් යටගැසිය නොහැකිය. ඔබ තුමාට වාර්ථා නොවුනද පසුගිය ජන ඒකරාශිවීම් වලදී උතුරේ කොටි කොඩිය එසවූ බව ජනතාවට රහසක් නොවේ. යහ පාලනය රැකගනිමින් එම බෙදුම්වාදී අනතුර පරාජය කර මහින්ද භාරදුන් රට ඉදිරියට ආරක්ෂා කරන අයුරු ඔබ ජනතාවට පෙන්වා දිය යුතුය. ජනවාරි 9දා මහින්ද භාරදුන් ස්ථාවර ආර්ථිකය අදවනවිට සිදුවී ඇති පරිහානියෙන් ගොඩගන්නේ කෙසේද යන්න ඔබ ජනතාවට පැහැදිලි කළ යුතුය.

ජනවාරි 8 දා රට භාරගත් නායකයා ලෙසින්, තවමත් ජනතාවගේ සිහින තුල ජීවත්වන නවක නායකයෙකු වශයෙන් ඔබ මෙම ප්‍රශ්නවලට නිසි විසඳුම් ඉදිරිපත් කළ යුතුය. එසේ නැතහොත් මෙම අභියෝගයෙන් රට මුදවාගත හැකි අගමැතිවරයෙකු යටතේ පිහිටවන රජයක් සමග ජනතාවගේ යහපාලන සිහිනය යථාර්ථයක් බවට පත් කිරීමට සිත සකසාගත යුතුය.

ඔබේ ආධාරකරුවන්ට සංග්‍රහ කිරීමට ප්‍රථම ඔබවෙත විශ්වාසය තැබූ සුවහසක් ජනයාගේ පැතුම ඉටුකිරීමට සිතට ගත යුතුය.

අද ඔබ විසින් ඉටුකල යුතු එම වගකීම හැරදමා සපත්තු කඩවලට ගොස් දිනාගතහැකි ජනතා ප්‍රසාදය ඉතා තාවකාලිකය. හමන සුළන් මකුළු දැළින් වැළැක්විය නොහැකිය.

-විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/26/2015

රනිල්ටත් වැඩියෙන් රනිල් වූ මෛත්‍රී

කතෘ:යුතුකම     4/26/2015   No comments
අභිනවයෙන් පත් වූ ආණ්ඩුවට දින 100ක් ගත වී ඇත. මැතිවරණයේදී දින 100ක වැඩපිළිවෙලක් ඉදිරිපත් කළද ගත වූ දින සියය එම වැඩපිළිවෙල හා සමගාමී වූවේද යන්න පිළිබඳව ඇත්තේ බරපතල විවේචනයකි. එසේ තිබියදී පත් වූ යහපාලන රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය අප්‍රේල් 23 වැනිදා ජාතිය ඇමතීය. මේ ඒ පිළිබඳව පළවන සමාලෝචනයකි.

මැතිවරණයේදී මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා වෙත ඡන්දය ලබා දුන් හැට දෙලක්ෂයක ජනතාව තුළ ජනවාරි 9 වැනිදා පහන්වන විට පැවතියේ ඉතා සුභවාදී බලාපොරොත්තුවකි. මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාද හිටපු ජනාධිපතිවරයා මෙන්ම ගමෙන් පැමිනි නායකයෙකි. එතුමා බිහි වූයේ වසර දහස් ගනනක් අඛණ්ඩව රට කරවූ රජ රටිනි. එමෙන්ම එතුමා පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද විය. ඒ අනුව එතුම ජන්මයෙන් ලද ග්‍රාමීය සංස්කෘතික පදනමද, සිරිමාවෝ බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයන් යටතේ ලද දේශපාලන පරිචයද ජනතාව තුළ නවමු බලාපොරොත්තුවක් ජනිත කලේය. ප්‍රධාන විපක්ෂය බංකොලොත් වී තිබූ මොහොතක, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දයට ඉදිරිපත් වීමට පවා නොහැකිවන තත්ත්වයක් තිබූ මොහොතක මහින්ද රාජපක්ෂට එරෙහිව ගොඩනැගුනු සංධානය හරහා එතුමාව ජනාධිපති තනතුර තෙක් ඔසවා තැබුවේ එම පහන් බලාපොරොත්තුවයි.
එබැවින් එම ජනතා බලාපොරොත්තුව සමඟ එතුමා ප්‍රමුඛ රජයේ දින 100 ගමන්මග කෙතරම් සමපාත වේද යන්න මේ මොහොතේදී සළකා බැලිය යුතුය.

දින 100 අවසාන වන දිනය වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටා ගොඩනැගෙමින් පවතින ජන රැල්ළ ජනාධිපතිතුමාගේ හද සසළ කර ඇති බව පැහැදිලිය. ප්‍රතිවිප්ලවය නමින් එතුමා සඳහන් කලේ එම බලවේගයයි. එම විග්‍රහය එතුමාගේම විග්‍රයක්ද එසේත් නැතහොත් එතුමාගේ දේශපාලන උපදේශකයන්ගේ විග්‍රහයක්ද යන්න මම නොදනිමි. කෙසේ වුවද එතුමා විසින් ඉදිරිපත් කළ එහි බරපතල පරස්පරයක් මම දකිමි.

2009 වන තෙක් රට පැවතියේ බරපතල අනතුරකය. තිස් අවුරුද්දක් පුරා අපි ත්‍රස්තවාදයකින් බැට කෑවෙමු. එම ත්‍රස්තවාදය බිහි කලෝ සහ වඩා වර්ධනය කරමින් පවත්වා ගත්තෝ බටහිර ජාතීන් සහ ඉන්දියාවයි. ඉන්දියාවෙන් පැමිනි සාම සාධක හමුදා ප්‍රභාකකරන්ව විනාශ කිරීමට ඕනෑතරම් හැකියාව තිබියදී එසේ නොකර ඔහුව ආරක්ෂා කළ බවට පසුගියදා ඉන්දියානු බලධරයෙකුම ප්‍රකාශ කර තිබිනි. එසේ ප්‍රකාශ කළද නොකළද එම 30 අවුරුදු ජාතිවාදී යුද්ධය ඔවුන්ගේ නිපැයුමක් බව ඉතා පැහැදිලිය. සාමය මුවාවෙන් කොටි ශක්තිමත් කලේ නෝවේ කැනඩාව සහ ඇමරිකාවයි. අවසාන මොහොතේත් ප්‍රභාකරන් බේරා ගැනීමට මෙරටට දුවගෙන ආවේ බ්රිතාන්යක සහ ප්‍රංශ විදේශ ඇමතිවරුන්ය. 
ඒ අනුව 2010 දී අප ජාතියක් ලෙස ලැබූයේ සුවිසල් ග්‍රහණයකි. 

ලෝකයේ ප්‍ර බල රාජ්ය යන්, යටත්විජිත වාදීන්, බලවන්තයන් එක්ව අධ්‍යක්ෂණය කළ යුද්ධය අපි ජය ග්‍රහණය කළෙමු. මෑත ඉතිහාසයේ එවන් යුද්ධයක් ජයග්‍රහණය කළ එකම රට බවට අපි පත් වීමු. එම ජයග්‍රහණයේදී ලඟින් සිටි, එම ජයග්‍රහණයට උර දුන් රජයේ සාඩම්බර ප්‍රබල චරිතයක් වූ මෛත්රීමපාල සිරිසේන මහතා තේරුම්ගත යුත්තේ අප ජයග්‍රහණය කළ විප්ලවය එය බවයි. නමුත් එතුමාගේ ප්‍රකාෂය තුළින් එවැන්නක් ගම්ය  නොවිනි. එය කණගාටුවට කරුණකි.

එදවස අප ජයග්‍රාහී විප්ලවයක් සිදු කළද ජාතිය හමුවේ නොතිත් අනතුරක් විය. අවි ගත් කොටි සංවිධානය රට තුළදී පරාජය වුවද ජාත්යහන්තරව ඔවුන් තවමත් ක්‍රියාත්මක වේ. ඔවුන්ට අධාර උපකාර දෙන රටවල් තවමත් එලෙසින්ම පවතී. එබැවින් අප ජයග්‍රහනය කළ විප්ලවයට එරෙහි ප්‍රතිවිප්ලවයක් කොයි මොහොතේ හෝ ඇති විය හැකිය යන අනතුර රට අභිමුවෙහි විය. ජනතාව පෙළගැසුනේ එම අනතුරට එරෙහිවය. විප්ලවය ජයග්‍රහණය කළේ මහින්ද රාජපක්ෂ මහතාය. එබැවින් ප්‍රතිවිප්ලවය ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන්ද වඩාත් බලාපොරොත්තු තැබිය හැක්කේ එතුමා කෙරෙහි විය යුතුය. නමුත් එතුමාගේ පාලනය තුළ දිස් වූ යම් යම් දුර්වලතා හේතුවෙන් ජනතාව විකල්පයක් වෙත යොමු විය. විප්ලවය මෙන්ම ප්‍රතිවිප්ලවය ජයග්‍රහණය කර ගැනීමද ජනතාවගේ පැතුම විය. රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු නොවී මෛත්රීිපාල සිරිසේන මහතා වෙත ඔවුන් යොමු වූයේ ප්‍රතිවිප්ලවයට එරෙහිව වඩාත් හොඳ මහින්ද කෙනෙකු බිහි කර ගැනීමටය.

ඇතිවිය හැකිව තිබූ එම ප්‍රතිවිප්ලවය අංශ ගණනාවක් ඔස්සේ දියත් වීමට ඉඩ තිබිණි. දේශපාලන සහ ආර්ථික අංශ ඉන් ප්‍රධාන වේ. බටහිර ප්‍රබල රටවළින් එල්ලවිය හැකිව තිබූ එම ආර්ථික ප්‍රහාරයට සාර්ථක ප්‍රතිකර්මයක් ලෙස චීනය වෙත අවධානය යොමු කළද පසුගිය මහින්ද රාජපක්ෂ රජය කෙරේ ප්‍රබල චෝදනාවක් එල්ල විය. ඒ දූශන, වංචා පිළිබඳව චෝදනාවයි. එදවස ආර්ථික වර්ධන වේගය 7% ආසන්නයේ ප්‍රබල අගයක විය. දස අත සංවර්ධන යෝජනා ක්රවම ක්රිවයාත්මක විය. ජනතාවගේ තේ රබර් කුරුඳු වැනි නිශ්පාදන වෙත හොඳ ඉල්ලුමක් පැවතිනි. යටිතල පහසුකම් වර්ධනය විය. නමුත් ජනතාව තීරණය කළේ එය පමනක් ප්‍රමානවත් නොවන බවයි. එල්ලවිය හැකි එම ආර්ථික අභියෝගයට මුහුන දීමටනම් දූශනයෙන්, වංචාවෙන් තොර නිකැළල් ආර්ථික ප්‍රතිපත්තියක් අත්යායවශ්යන විය. මෛත්රීචපාල මහතා දිනවීමෙන් ජනතාව අපේක්ෂා කළේ එයයි.

නමුත් දින 100 තුළ එම අරමුණ සම්බන්ධයෙන් රජය සාර්ථක ප්‍රතිචාර දක්වා ඇතිද? තේ, රබර් වැනි ප්‍රධාන වැවිලි භෝගවල මිළ දරුණු අන්දමින් පහත වැටී ඇත. සංවර්ධන ව්යාරපෘතීන් නතරවීම හේතුවෙන් පෞද්ගලික අංශය බිඳ වැටී විශාල පිරිසකට රැකියා අහිමි වී ඇත. මේ සියල්ලම ඉවසා සිටියද මෙම රජයේ අගමැතිවරයා වෙත එල්ල වී ඇති දූශන චෝදනාව සුළු පටු නොවේ. “හැමදා නියං එක දා වැහි වළාවේ” කියමන සිහි කරමින්, මෙම රජයේ මහ බැංකු බැඳුම්කර වංචාවේ අලාභය අද වන විට රුපියල් කෝටි 4280 බවට පත් වී ඇත.

ඒ අනුව දූශනයෙන් වංචාවෙන් තොර රටක් වෙනුවෙන් ජනතාව තැබූ යහපාලන බලාපොරොත්තුව රජය විසින් බිඳ දමා ඇතැයි යන විවේචනය සාධාරන නොවේද? එම චෝදනාවට ජනාධිපතිවරයාගේ කතාව තුළින් දුන් පිළිතුර කුමක්ද? මේ කතා කරන කාලය නොව වැඩ කරන කාලය බව එතුමා අමතක කළේද?  
ආර්ථික අංශය එසේ තිබියදී අපි දේශපාලන අංශය වෙත යොමු වෙමු. 2005 ජනාධිපතිවරණය සමයේදීද මහින්ද රාජපක්ෂ වෙත එල්ල වූ එක් චෝදනාවක්නම් ඔහු රාජතාන්ත්රිලක කටයුතු කෙරේ අදක්ෂයෙකු විය හැකිය යන්නය. ඔහු හා සසඳන විට රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රවීනයෙක්ය යන මතය ප්‍රචළිත විය. නමුත් 2009 තෙක් ධූර කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතා ඔප්පු කොට පෙන්වූයේ එම අදහස මුසාවක් බවය. රනිල් වික්‍රමසිංහද ඇතුළු බොහෝ නායකයන්ට නොහැකි වූ යුද්ධය ජයග්‍රහණය කරමින් විප්ලවය ජය ගැනීමට එතුමා සමත් විය. එය එතුමාගේ අද්විතීය රාජ තාන්ත්රිදක හැකියාවේ ජීවමාන සාධකයකි. එසේ වුවද 2009න් පසු ඇතිවූ අභියෝග හමුවේ, එක්සත් ජාතීන් වෙතින් එල්ල වූ අසත්යි යුධ අපරාධ චෝදනා, ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ රටවලින් මෙන්ම ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් වලට එරෙහිව කෙළින් සිටගනිමින් එම අභියෝග පරාජය කිරීමේදී මහින්ද කෙතරම් දුරට සාර්ථක වේද යන පැනය ජන මනස තුළට ඇතුළු විය. විශේෂයෙන්ම තානාපති සේවය ඥාති ග්ර හනයට නතු වීම පිළිබඳව ප්‍රබල චෝදනාවක් එල්ල විය. ජනතාව ජනවාරි 8 දා ප්‍රතිචාර දැක්වූයේ එම දුර්වලතාවයටය. එහිදී ජනතාව අපේක්ෂා කලේ තානාපති සේවය ශක්තිමත් කර ප්‍රති විප්ලවයට එරෙහි මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ගොස් සැබෑ සංවර්ධනයක් බටහිරට හෝ කිසිඳු ජාතියක බලපෑමට යට නොවුනු රටක් බිහි කර ගැනීමයි.

අද වන විට රටවල් 27ක තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාල ක්රි යාත්මක වන්නේ තානාපති නිලධාරීන් නොමැතිවය. ඒ අතර කොටි සංවිධානය වඩාත් ප්‍රබලව ක්රිහයාත්මක වන රටවල් බොහෝ ප්‍රමානයක් ඇත. එයට හේතුව එම තනතුරුවලට යහ පාලකයන්ගේ ඥාතීන් පත් කිරීමට අවශ්යරව ඇති නිසා බව වාර්ථා වෙයි. ඒ අනුව තානාපති සේවය ශක්තිමත් කරාවිය යන යහ පාලන බලාපොරොත්තුව සුන් වී ඇත.

එය එසේ තිබියදී මහින්ද රාජපක්ෂ අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තියට සිදු වී ඇත්තේ කුමක්ද? ජනපති සිරිසේන ඉන්දියාව, එංගලන්තය, චීනය වැනි රටවල සංචාරය කළ බව සැබෑවකි. එමෙන්ම එම රටවලදී එතුමාව අත් මේස් ගලවා පිළිගත් බවද සැබෑවකි. නමුත් එපමනකින් ඔවුන් අප වෙත එල්ල කරන බලපෑම හමාර වී ඇත්ද? නැතහොත් ප්‍රති විප්ලවය නතරකර ඇතිද?

දේශපාලන ආර්ථික ක්ෂේත්රි ඔස්සේ මෙම රටවල් ක්රිපයාත්මක කිරීමට උත්සාහ කළ ප්‍රතිවිප්ලවය වැළකී ගියේ මහින්ද රාජපක්ෂගේ අධීන ස්ථාවරය හේතුවෙනි. ඔහු පැරදුන දා බටහිර මාධ්යහ වාර්ථා කලේ දකුණු ආසියානු කලාපයේ ඉතාම දරදඬු අනම්ය්ශීලී නායකයා පළවා හැරිය බවකි. බටහිරින් එල්ළවියහැකි ප්‍රති විප්ලවයට සාර්ථකව මුහුන දීමේ අදහසින් වඩාත් හොඳ මහින්ද කෙනෙකු බිහි කර ගැනීම සඳහා මහින්දව ඉවත් කිරීමට ජනතාවට අවශ්යන විය. මහින්ද ගෙදර යවන විට, යුද්ධයට අවමන් කළ, ජයග්‍රහණය හෑල්ලු කළ රනිල්ට බලය නොදී මහින්ද සමඟම සිටිමින් විප්ලවයට දායකත්වය දුන් මෛත්රී  වෙත ඔවුන් විශ්වාසය තබන්නේ එබැවිනි. නමුත් අපේ විරුද්ධවාදී බලවේගයන්ට අවශ්යය වුනේ තමන්ට ප්‍රබලම බාධාව ලෙස සිටි මහින්දව පළවා හැරීමටයි.

ඒ අනුව මෛත්රී පාල මහතා ගත යුතු මඟ පැහැදිලිය. ඔහු තම රාජතාන්ත්රිලක සබඳතා තරකරගත යුත්තේ මහින්දගේ ප්‍රති විප්ලවයට එරෙහි ප්‍රතිපත්තියම වඩාත් සාර්ථකව ඉදිරියට ගෙන යාමට මිස බටහිරට අවශ්යේ දේම කරන රනිල්ගේ ප්‍රතිපත්තිය භාරගැනීමට නොවේ. මහින්ද ඉවත් කර එතැනට රනිල් වෙනුවට මෛත්රී  පත් කර ගැනීමේ ජනතා තීන්දුව තේරුම් ගත යුත්තේ එලෙසිනි. නමුත් ඒ සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයාට කීමට ඇත්තේ කුමක්ද?

ජනවාරි 8 වෙනිදාට පෙර සාකච්ඡා වූයේ බෙදුම්වාදයට අත දුගු කරන ඉන්දියාවේ බලහත්කාරය මත රට තුළ ඇඳිරිනීතිය පනවා ව්යදවස්ථා විරෝධී ලෙස සම්මත කරගත් පළාත්සභා අහෝසි කරන්නේ කෙසේද යන්න පිළිබඳවය. නමුත් අද පාලකයන් කතා කරන්නේ එම පළාත් සභා වෙත 13නට එහා යන බලයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඉන්දීය අගමැතිවරයා පැමින 13වැනි සංශෝධනයටත් එහා යන බලයක් උතුරට ලබා දෙන ලෙස පවසන විට යහ පාලනයට කීමට තිබුනේ කුමක්ද? අභ්යවන්තර සහ ජාත්ය න්තර පරීක්ෂන හරහා යුධ විරුවන් දඩයම් කරන ලෙස ඇමරිකාව සහ ඔවුන්ගේ මානව හිමිකම් කොමිසම පවසන විට මෛත්රීනපාල හෝ රනිල් වික්‍රමසිංහ එය වැළැක්වීමට කර ඇත්තේ කුමක්ද? ඔවුන් ප්‍රතිවිප්ලවයට තිබූ මහින්ද බාධකය ඉවත් කරගෙන ඇත. අපේ සේනාධිනායකයා, රාජ්යක නායකයා ඔවුන්ගේ පැත්ත ගෙන ඇත. ඉතින් ඔවුන් මෛත්රීරපාලට අත දීම තේරුම්ගත හැකිය. නමුත් ජනතා අපේක්ෂාවන් එමඟින් ඉටු නොවේ.

ජාතික ආරක්ෂාව ගැනද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. පසුගිය රජයේ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවට නව ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රි යාත්මක කරන බව පැවසිනි. එහි ප්‍රතිඵල ලෙස 2009දී යුධ අවි නිහඬ කළ පසුව ප්‍රථම වතාවට පසුගිය පෙබරවාරි 5 දින වවුනියාවේදී පොලීසියට වෙඩි තැබිනි. පෙබරවාරි 26 චාවකච්චේරියේදී බෝම්බයක් පිපිරිනි. මාර්තු 3දා කොටි සංවිධානයට එරෙහි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරිනි. එසේඉනම් ගරු ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂක වැඩපිළිවෙල ජනතාව පිළිගත යුතුද? හමුදා මුර කපොළු ඉවත් කර හමුදා කඳවුරු වළට අයත් ඉඩම් ජනතාව වෙත බෙදා හැරීම අනුමත කළ හැකිද?

ජනමාධ්යව නිදහස පිළිබඳවද මෛත්රී්පාල මහතා ඉතා විශ්වාසයෙන් කරුණු දැක්වීය. නමුත් එතුමාගේ රජය බලයට පත් වී සතියක් යෑමට මත්තෙන් එක්තරා නාලිකාවක මුල් පිටුව නමැති වැඩසටහනින් මාධ්ය.වේදී බන්දුල පද්මකුමාර මහතා ඉවත් කෙරිණි. එය පැහැදිලිවම දේශපාලන බලපෑමක් මත සිදු වූවක් බව හෙළි විය. එමෙන්ම යුධ සමයේ සිටම ඉතා සවිස්තර ආරක්ෂක වාර්ථාවක් ඉදිරිපත් කළ දිවයින පුවත්පතේ නිශාන්ත වර්ණකුලසූරියගේ ආරක්ෂක කොලමට වැට බැඳිනි. අගමැති රනිල් මහතා පසුගිය දිනක නම් වශයෙන්ම මාධ්යද ආයතන සහ මාධ්යේ වේදීන් සඳහන් කරමින් බරපතල තර්ජනයක් එල්ල කළේය. යුධ හමුදා මාධ්යා ප්‍රකාෂකවරයා ඉවත් කෙරින. නමුත් ටැමිල් නෙට් නමැති කොටි සංවිධානයේ වෙබ් අඩවියට වූ තහංචි ඉවත් විය. ජනාධිපතිවරයා මාධ්ය  නිදහස ලෙස අර්ථ දක්වන්නේ එම කොටි හඬට ඉඩ දීමනම් එය ජනතා පැතුම් ඉටු වීමක් ලෙස, යහපාලනය තුළින් ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලෙස අර්ථදැක්විය හැකිද? රජයේ මාධ්යඑ නිදහස ක්රිධයාත්මක වන්නේ ජනතා අපේක්ෂාව ඉටු කිරීමටද ප්‍රතිවිප්ලවය මගින් අපව යටත් කිරීමට බලා සිටින බෙදුම්වාදීන්ගේ සහ යටත්විජිතවාදීන්ගේ අවශ්යෂතාවය අනුවද යන්න යළි සළකා බලන ලෙස ඉල්ලා සිටිමි.

29 වතාවක් ප්‍රතික්ෂේප වුනු සුළුතරයක් හිමි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම මෛත්රීිපාල මහතා විධායක බලතල භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි. එය ප්‍රජාතන්ත්රි විරෝධී වුවද මැතිවරණ පොරොන්දු අතර එයද වු බැවින් ජනතාව නිහඬ විය. නමුත් හිටපු අගවිනිසුරුවරයා ඉවත් කිරීම පැහැදිලි බලතල අවභාවිතයකි. මොහාන් පීරිස් මහතාගේ පත් වීම සම්බන්ධ ගැටළුවක් තිබේද යන්න පිළිබඳව තීරනය කිරීමේ බලයක් විධායකය සතු නොවේ. එසේ තිබියදීත් ඔහුව ඉවත් කිරීම මෛත්රී්පාල මහතා සිදුකළ ඉතා බරපතල බලතල අවභාවිතාවකි. එමෙන්ම අද වන විට රජයේ අගමැති මෙන්ම විපක්ෂ නායකද පත් වී ඇත්තේ ජනාධිපතිවරයාගේ වුවමනාව අනුවය. ඒ අනුව විරුද්ධ මතයන්ට වැට බැඳී ඇත. මේ සියල්ල තිබියදී පසුගිය දාක හිටපු ජනාධිපතිවරයාට නිවසක් පරිත්යාවග කිරීමට සූදානම් වූ ලියනගේ මහතාට යහපාලන ආණ්ඩුව ප්‍රසිද්ධියේ තරවටු කළේය. ඔහු එළියට පැමින පැවසුවේ තමන්ගේ ව්යායපාර රැකගත යුතු බැවින් නිවස පරිත්යාඅග කිරීමේ අදහස අත් හැරගත් බවකි. එසේනම් ජනාධිපතිවරයා පවසන නිදහස, යුක්තිය, සාධාරනය ඇත්තේ කොහේදැයි ඇසීම වරදක්ද?

අද දවසේ රටෙහි තත්ත්වය මෙම දින 100 ප්‍රතිඵලයකි. යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාෂනය තුළ කුමක් සඳහන් වුවද, ජනතාව කුමක් බලාපොරොත්තු වුවද අද වනවිට ජනතාව අත්දකින පාලනය ඉහත පරිදිය. ජනාධිපතිවරයා දැන්වත් තේරුම්ගත යුතු විසංවාදය මෙයයි. ජනතාව බලාපොරොත්තු වූයේ එකකි. නමුත් ලැබී ඇත්තේ වෙනකකි. ඒ පරස්පරය තුළ ජනතාව වික්ෂිප්ත වී ඇත. නමුත් අප්රේල් 23 වන තෙක් ඔවුන් තුළ ජනාධිපතිවරයා කෙරෙහි යම් විශ්වාසය තිබුනා විය හැකිය. ඒ අඩුම තරමින් තමන්ගේ නායකයාහෝ මේ වියවුල තේරුම්ගෙන ඇතැයි යන විශ්වාසයයි. නමුත් එතුමා ජාතිය අමතමින් පැවසූවේ දින 100 ඉතා සාර්ථක බවත් එය කියූ පරිදිම නිස මාවතේම ගමන් කරන බවත්ය. ඉන් ජනතාවගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වී යෑම පුදුමයක් නොවේ. මේ සිදුවූ වැරදි නිවැරදි කරගනිමින් හරි තැන සිට ගැනීමට මෛත්රීීපාල මහතා සූදානම් නැති බව පැහැදිලිය.

ජනතාව මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර මෛත්‍රීපාල මහතාට බලය දෙන්නේ ඔහු නරක නිසා නොවේ. ඔහුගේ ක්රි්යාකාරිත්වයේ තිබූ යම් යම් දුර්වලතා නිසාය. මෛත්‍රීපාල මහතාගෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ වඩාත් හොඳ මහින්ද කෙනෙකු වී විජාතිකයන්ගේ ප්‍රතිවිප්ලවය ජය ගැනීමය. 2015න් ඉදිරියට රට මෙහෙයැවීමය. නමුත් මෛත්‍රීපාල මහතා තෝරාගෙන ඇත්තේ 29 වතාවක් ජනතාව ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහගේ විජාතික ප්‍රතිපත්තියයි. අද වන විට මෛත්‍රීපාල  මහතා රනිල්ටත් වඩා නරක රනිල් කෙනෙකු වී ඇත. රට යටත් කරගැනීමට, ප්‍රතිවිප්ලවය හරහා අපව පරාජය කිරීමට මාන බලන ඉන්දියාව එන්ගලන්තය වැනි රටවල් සමඟ තමන් අතිනත් ගත් බව ඔහු ඉතා ආඩම්බරයෙන් පවසයි. එතුමා තුළ පැවතිය යුතු ගැමි ආභාශය හෝ සිරිමාවෝමැතිණියගෙන් සහ මහින්ද මැතිතුමාගෙන් ලද දේශපාලන පරිචය අද ප්‍රදර්ශනය නොවේ.  ඔහු පටන්ගෙන ඇත්තේ 2015 සිට 1994 තෙක් ආපසු ගමන් කිරීමේ මාවතයි.

මේ අනුව දින 100 අවසාඅනයේ අපට තේරුම් ගැනීමට සිදුවී ඇත්තේ විප්ලවය සිදු වූයේ 2009 දී බවත් එම ජයග්‍රහණය ආපස්සට හැරවීමේ විජාතිකයන්ගේ, බෙදුම්වාදීන්ගේ ප්‍රතිවිප්ලවය සිදු වී ඇත්තේ පසුගිය ජනවාරි 8 වෙනිදා බවත්ය. විප්ලවයෙන් අප ජයගත් නමුත් ප්‍රතිවිප්ලවයෙන් ඔවුන් ජයගෙන ඇත.
මහින්ද රාජපක්ෂ යනු විප්ලවය ජයග්‍රහණය කළ අපේ කාලයේ විශිෂ්ඨතම නායකයාය. එබැවින් මෛත්‍රීපාල වඩාත් හොඳ මහින්ද කෙනෙකු වනු වෙනුවට වඩාත් නරක රනිල් කෙනෙකු වීම තුළ ජනතාව නැවතත් මහින්ද සොයා මැදමුලනට යෑම අපේක්ෂා කළ යුත්තකි.

-විමුක්ති  වනිගසේකර
 යුතුකම සංවාද කවය
www.yuthukama.co

3/13/2015

පාඨලීගේ මාධ්‍ය මාෆියාව අධ්‍යක්ෂණය කළ බොදු බල සේනා ව්‍යාපෘතිය

කතෘ:යුතුකම     3/13/2015   2 comments
පසුගිය මහින්ද රාජපක්ෂ රජය බිඳවැටීමට බලපෑ ප්‍රධාන හේතු අතර සුළු ජනවර්ග ඔවුන් කෙරෙහි දැක්වූ අකමැත්ත තීරණාත්මක සාධකයක් විය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරින් සමුගෙන මැදමුලනට ගොස් ප්‍රකාෂකළේ යුද්ධය අවසන් නොකළේනම් තවමත් රටේ ජනාධිපති තමන් බවය. බහුතරයේ බහුතරය නොමැතිව සුළු ජනවර්ගවල ඡන්දයෙන් තේරී පත්වූ පළමු ජනපති යන අදහස මෛත්‍රීපාල මහතා වෙත පටබැඳිනි. ඒ මතු නොව ජයග්‍රාහකයන්ද එම අදහස විශ්වාස කරන බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මුස්ලිම් ප්‍රජාව හමුවේ කළ එක් කතාවකින්ද පසුගියදා උතුරේ කල සංචාරය අතරතුර මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිදුකළ අදහස් දැක්වීමකින්ද සනාථ වෙයි.

තමන්ව බලයට පත් කළ බලවේගයන් දිගින් දිගටම ආරක්ෂා කර ගැනීමට ඕනෑම දේශපාලකයෙකු ක්‍රියා කරනු ඇත. එය මෛත්‍රීපාල මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පමනක් වලංගු නොවීමට හේතුවක් නැත. චන්ද්‍රිකා කළ කතාවෙන්ද මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිදුකළ කතාවෙන්ද ගම්‍ය වූයේ ඔවුන් එම සුළු ජනවර්ග මෙහෙයවන ජාතිවාදී බලවේගයන් තවදුරටත් තමන්වටා රඳවාගැනීමට ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට බැඳී සිටින බවයි. කවර ජන සමූහයකගේ වුවද සිතුම් පැතුම් ඉටුකිරීම ඔවුන්ට පුරවැසියන් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දීම වරදක් නොවේ. නමුත් මේ සුළු ජනවර්ග මෙහෙයවන නායකයන්ගේ ඉල්ලීම් එවන් දෑ නොවේ. ස්වයංපාලන බලතල, වෙනම නීති පද්දති, වෙනම උසාවි, වෙනම පොලීසි ආදී ඔවුන්ගේ ඉල්ලීම්හි අවසන් අරමුණ වෙන්වී යෑමේ අභිලාශයයි. එම අභිලාශයන් සංතර්පනය කිරීම කවර තත්ත්වයක් යටතේ හෝ සාධාරනීකරනය කළ නොහැක. සිංහල බෞද්ධයාගේ මහා ගැලවුම්කරු ලෙස මැතිවරණ සමයේ තමන්ව හුවා දක්වාගත් පාඨලී චම්පික රනවකට හෝ රතන හිමිට මෙම අවිනිශ්චිත බවින් රට මුදාගත හැකිද?

මහින්ද රාජපක්ෂ මහතා වෙතින් දෙමළ ජනයා ඈත් වීම අපේක්ෂා කළ හැක්කකි. මන්ද වසර 30ක් තිස්සේ අන්ත ජාතිවාදී මිලිටරි පාලනයක් මඟින් මොළ සෝදනු ලැබූ ජනයා වසර 5ක් වැනි සුළු කාලයක් තුළ එම ජාතිවාදයෙන් මිදේයැයි සිතිය නොහැකිය. ඔවුන්ගේ ජාතිවාදී නායකයන්ද ජාත්‍යන්තර අරමුදල්ද තවමත් ඔවුන්ව මෙහෙයවන බලවේග වෙයි. එබැවින් ඔවුන්ගෙන් ලද හැකි උපරිමය මෙය බව වටහාගැනීමට සිදුවේ. වත්මන් පාලකයන් වගබලාගත යුත්තේ එම නායකයන්ගේ ජාතිවාදයට උඩගෙඩි දීම නොව සාමාන්‍ය ජනයා ඔවුන්ගේ ග්‍රහනයෙන් ගලවා ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් මුදවාගැනීම කෙරෙහිය.

නමුත් මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද? එහිදී එක්වරම සිහියට නැගෙන්නේ බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වයයි. බොදු බල සේනා සම්බන්ධයෙන් ඍජුවම ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඇඟිල්ල දිගු විය.

මුස්ලිම් ජනයා අතර පැතිරීයන අන්තවාදයට සැලකියයුතු ඉතිහාසයක් ඇත. 1915 අරගලය සහ මොහොමඩ් ගඩාෆිගේ ලංකාගමනය අමතක කළද අඩුම තරමින් 2003දී ඇතිවූ ඔලුවිල් සම්මුතිය අපට අමතක කළ නොහැකිය. දෙමළ ජනයා ජාතිවාදී යුද්ධයකට තල්ලු කළ වඩොක්කොඩෙයි සම්මුතිය මෙන්ම මෙමගින්ද මුස්ලිම් ජනයාට ආරාධනා කළේ නැගෙනහිර වෙනම පාලනයක් වෙනුවෙන් පෙළගැසෙන ලෙසයි. මුස්ලිම් දේශපාලනය තුළ මෙළෙසින් ජාතිවාදය වර්ධනය වෙද්දී එයට සමගාමීව ආගමික අන්තවාදයක්ද ඔවුන් අතර ප්‍රචලිත විය. මුස්ලිම් සමාජය වනසන ජිහාඩ් අන්තවාදය පිළිබඳව මුල්ම හෙළිදරවුව කරන්නේ අලෙවි මවුලානා මහතා විසිනි. බේරුවල, මාදම්පේ වැනි ස්ථානවලදී එය මනුශ්‍ය ඝාතන තෙක් ඔඩු දුවා ගියේය. ඔවුන් අතර ක්‍රමයෙන් දළුලා වැඩෙන මෙම ගින්නේ රස්නය සිංහල බෞද්ධ මෙන්ම කතෝලික සහ දෙමළ හින්දු ජනයා වෙතද නොදැනුනා නොවේ. කතෝලිකයන් බහුතරයක් වෙසෙන මීගමුව වැනි ප්‍රදේශවල මුල්බැසගත් මුස්ලිම් විරෝධයක් ඇත. රක්වාන වැනි ප්‍රදේශවල දෙමළ හින්දු ජනයා මුස්ලිම් ක්‍රියාකාරිත්වයට එරෙහිව පාරට බසිනු වාර්ථා විය. එක් වරක් කොළඹ ප්‍රදේශයේ හින්දු ආගමික ප්‍රධානීන් මුස්ලිම් පීඩනයට එරෙහිව බොදු බල සේනා සමඟ පාරට බසිනු දක්නා ලදී. මේ සියළු කරුණු සනාථ කරන්නේ මෙම ක්‍රියාවන්ට එරෙහි සංවිධානයකට ඉල්ලුමක් රට තුළ පැවති බවයි.

ඔදු බල සේනා සංවිධානය නොර්වේ අරමුදල් මත යැපෙන ඔවුන්ගේ අතකොළුවක් බවට ඉතා ප්‍රබල චෝදනාවක් විමල් වීරවංශ මහතා එල්ල කරන්නේ එම සංවිධානය ආරම්භයේදීමය. එයට සාර්ථක පිළිතුරක් එම සංවිධානය වෙතින් නොසැපයිනිය යන්න මගේ වැටහීමයි. එසේ වුවද මේ හේතුවෙන් විමල් වීරවංශට එරෙහි දැවැන්ත විරෝධයක් එකළ බොදු බල සේනා වෙතින් මෙන්ම සමාජ ජාල හරහා එල්ල විය. (සමාජ ජාල හරහා බොදු බල සේනාව වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා අද වන විට ඉන් ගිලිහී ගොස් ඇත. නමුත් විමල් වීරවංශ වෙත එල්ලවූ විරෝධය තවමත් ඔවුන් අතර එලෙසම පැවතීම හාස්‍ය ජනකය. )

ඒ කෙසේ වුවද අප වටහාගත යුත්තේ බොදු බල සේනා විසින් ප්‍රශ්න කරන ලද්දේ රටේ නැගෙමින් තිබූ කවර ලෙසකින් හෝ විසඳුමක් දිය යුතුව තිබූ කරුණක් බවයි. හළාල් ව්‍යාපාරය හරහා රට මුස්ලිම් වෙළඳ ඒකාධිකාරයක් වෙත තල්ලුකිරීමේ සැළසුමක් පැවතිනිය යන්න රහසක් නොවේ. විල්පත්තු අභයභූමිය බලහත්කාරයෙන් අල්ලා විනාශකර එහි මුස්ලිම් වැසියන් පදිංචිකිරීම සිදුවිය. කූරගල වැනි ස්ථානවළ ඇතිවූ සිදුවීම් වළදී බෞද්ධ පාර්ශ්වය නිවැරදි බව අධිකරනය මඟින්ද තීරණය විය.

පසුගිය රජය වෙතින් සුළු ජනවර්ග ඉවත්වී යාම සහ බොදු බල සේනා ක්‍රියාකාරිත්වය අප වටහාගත යුතේ මෙම යථාර්තය බසුබිමේ තබාගනිමින්ය.

යථාර්තය එසේ වුවද මෙම ගැටළු සම්බන්ධයෙන් හඬ නැගූ බොදු බල සේනා සංවිධානයට එරෙහිව දැවැන්ත මාධ්‍ය ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය ඉතා අසාමාන්‍ය ප්‍රහාරයක්ය යන්න මගේ වැටහීමයි. මුස්ලිම් අන්තවාදයක් ක්‍රියාත්මක වන්නේයැයි කාදිනල්වරයා ප්‍රකාශකරන විට නිහඬව සිටින ජන මාධ්‍ය එම කරුණම ඥානසාර හිමියන් ප්‍රකාශකරන විට උන්වහන්සේට එරෙහිව ජාතිවාදියා, ආගම්වාදියා යන හංවඩුව ගැසීම අසාමාන්‍ය නොවන්නේද? ආරම්භයේ සිටම බොදු බල සේනා සංවිධානය මෙම මාධ්‍යයන්හි ගොදුරක් බවට පත් වෙයි.

හළාල් සිදුවීම ආරම්භයේදී බො.බ.සෙ. වෙත මෙළෙසින් මාධ්‍ය හරහා ප්‍රහාරයක් එල්ල වුවද ක්‍රමයෙන් එය සමාජගත වන විට තවත් දෙයක් සිදුවිය. එම සමාජගත වීම මැනවින් නිරීක්ෂනය කරන පාඨලී චම්පික රනවක ඇමතිවරයා කල් යල් බලා මෙම සටන සියතට ගනී. ඔහු ඉතා පැහැදිලිවම ප්‍රකාෂ කරන්නේ සිංහලයන් සිංහල අවුරුද්ද සමරන්නේ හළාල් නැති රටක්තුළ බවයි. මෙතෙක් කල් බො.බ.සෙ. වෙත එල්ල වී තිබූ අවි මේ සමඟම පාඨලී වෙත එල්ලවිය යුතු වුවද එවැන්නක් සිදු නොවේ. එසේ වුවද සමාජ ජාල තුළ සහ ඉන් පිටතත් බො. බ. සෙ. සාමාජිකත්වයේ වීරයා බවට පාඨලී පත් වෙයි. ඥානසාර හිමියන් ජාතිවාදයේ ආගම්වාදයේ මඩවළින් වැසී යන අතර හළාල් සටනේ යම් දුබලතාවක් තිබිනිනම් එය බැසිල් රාජපක්ෂගේ හෝ ගෝඨාභය රාජපක්ෂගේ ගිණුමට බැර වෙයි. පාඨලී පමනක් සිංහල බෞද්ධයාගේ වීරයා බවට පත් වන අතර ඔහුට එරෙහි කිසිඳු අන්තවාදී චෝදනාවක් සමාජගත නොවෙයි.

ඉන් අනතුරුව එන්නේ විල්පත්තු වන සංහාරය පිළිබඳ අවුලයි. ඥානසාර හිමියන් එම ස්ථානය නිරීක්ෂනය කරයි. උන්වහන්සේ අහිංසක මුස්ලිම් වැසියන්ට හිංසා කළ බවද බැන තර්ජනය කර බිය වැද්දූ බවද ප්‍රකාෂ වෙයි. පසුව කරුණු හෙළිදරවු වන විට වන ජීවී සහ වන සංරක්ෂන ආයතන වලින් අනවසර පදිංචිකරුවන්ට එරෙහිව නඩු පැවරුනද එය බො.බ.සෙ. වෙත එල්ලවන ජාතිවාදී ත්‍රස්තවාදී හංවඩුව යටපත් කිරීමට හේතු නොවෙයි. සියළු ජන මාධ්‍ය හරහා දිගින් දිගටම එම සංවිධානයට එරෙහි ප්‍රහාර දියත් වෙයි. මෙවරද සටන අවසානය තෙක් ගමන් කළ පසු බො.බ.සෙ. හි ලොකු අයියා ලෙසින් වීරයා කරළියට පිවිසේ. ඔහු ප්‍රකාෂ කරන්නේ විල්පත්තු පදිංචි කිරීම මුළුමනින්ම නීති විරෝධී බවයි. ජාතිවාදී, ආගම්වාදී පදනමකින් ජනයා පදිංචි කිරීමට විරුද්ධ වන ඔහු එයටද එහා ගොස් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජන ව්‍යාප්තිය පිළිබඳවද කරුණු හෙළි කරයි. ඒ අනුව ඔහු අවධාරනය කරන්නේ යුද්ධය සමයේ එහි පැමින පදිංචි වූ සියළු මුස්ලිමුන් ඉවත්කළ යුතු බවයි. බො.බ.සෙ. සාමාජිකයන් පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි. නමුත් එම ජාතිවාදී ප්‍රකාශයට එරෙහිව හඬ නගන මාධ්‍යයක් නැත. ඥානසාර හිමියන්ද නිහඬ වෙයි. කිසිවක් නොසිදුවූ ලෙස සියල්ල යටපත් වෙයි. රිශාඩ් බදුර්දීන් ඇමතිකම් දරන රජය කෙරෙහි සිංහලයන්ද අන්තවාදීන් ආරක්ෂා කරන රජය කෙරෙහි මුස්ලිම් ජනයාද කළකිරෙයි. එලෙසින් පාඨලී පැමින බොදුබල සේනා වෙනුවෙන් පෙනී සිටියද ජනමාධ්‍ය හරහා සමාජගත වන්නේ බොදු බල සේනා සංවිධානය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්මාණයක් බවයි. එය එසේනම් ඔහු තම සංවිධානය තම සොහොයුරු බැසිල් රාජපක්ෂට සහ රජයට එරෙහිව මෙහෙයවාවිද යන පැනය කිසිවෙකුත් නොවිමසයි.

අලුත්ගමදී සිදුවන්නේද මෙවැන්නකි. එම සිදුවීමෙන් පසු රජය විසින් කිසිඳු පුවතක් වාර්ථා කිරීමට ඉඩ නොතබා මාධ්‍ය වාරණයක් පනවයි. එම වාරණය අතරතුරදීද මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් බොදු බල සේනා නිර්දෝශී බව ප්‍රකාෂකරන පාඨලී ඔවුන්ගේ වීරයා බවට පත් වෙයි. නමුත් අද දක්වාම එම සිදුවීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් ප්‍රධාන බො.බ.සෙ. වෙත චෝදනා එල්ලකරන කිසිවෙක් එම අවස්ථාවේ පාඨලීගේ හැසිරීම පිළිබඳව කිසිඳු හඬක් නොනගයි. නමුත් මාධ්‍ය වාරණ දමමින් මෙය තවත් ඉදිරියට ව්‍යාප්තවීමට ඉඩ නොතබා එය විසඳන ආරක්ෂක ලේකම්වරයා බොදු බල සේනා සංවිධානය මෙහෙයවනේය යන මතය සමාජගත වෙයි.
මෙළෙසින් බොදු බල සේනා පිටුපසින් සිටිමින් දැවැන්ත මාධ්‍ය කඩතුරාවට මුවා වී බළලුන් ළවා කොස් ඇට බාවන්නේ පාඨලී ඇමතිවරයා විසිනි. අපරිනත බොදු බල සේනා සංවිධානය අත පුච්චා ගනී. එසේ වුවද දැවැන්ත මාධ්‍ය ජාලය විසින් බොදු බල සේනාහි සියළු වගකීම ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කිරීමට සූක්ෂම විය.

යළි යළිත් ඇසිය යුතු මුත් මේ දක්වා කිසිවෙකු විසින් නොඅසන ලද ප්‍රශ්නය මෙයයි. පාඨලී චම්පික ඇමතිවරයා මෙළෙසින් බොදු බල සේනා වෙනුවෙන් පෙනී සිටියදී එම සංවිධානයේ සාමාජිකයන් ඔහු තමන්ගේ වීරයා ලෙස සිංහල බෞද්ධයාගේ රජු ලෙස කිරුළ පළඳවන විට ගෝඨාභය රාජපක්ෂ මහතා බො.බ.සෙ. හි හිමිකරුවා ලෙස ලියාපදිංචි වන්නේ කෙසේද?

සැබැවින්ම බො.බ.සෙ. විසින් සමාජගත කළේ මුස්ලිම් අන්තවාදයට එරෙහි විරෝධයක් පමනක් නොවේ. ඔවුන් පැහැදිලිවම ආණ්ඩු විරෝධයක්, රාජපක්ෂ විරෝධයක්ද සමාජගත කරයි. ඥානසාර හිමියන් අලුත්ගම සමුළුවේදී "මහ උන්දෑ" ලෙස අමතමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කරයි. මහින්ද රාජපක්ෂ රජය මුස්ලිමුන් වෙත වරදාන, වරප්‍රසාද ලබා දෙමින් සිංහලයන්ට එරෙහිව ක්‍රියා කරන්නේය යන මතයද ඉතා ප්‍රබල ලෙසින් සමාජ ගත කිරීමට ඔවුහු ක්‍රියා කළහ. බොදු බල සේනා මෙහෙයවූයේ රාජපක්ෂ රජය මඟින් නම් එම සංවිධානය රාජපක්ෂ විරෝධයක් රටතුළ ගොඩනගන්නේ කෙසේද?

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම කටයුතු වළට සම්බන්ධ වන්නේ අවස්ථා කිහිපයකදී පමනි. එකක් කූරගල සිදුවීමයි. එම කූරගල බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට අධිකරනය විසින් තීන්දු කළ පසුව එහි කැණීම් කටයුතු ඇරඹිය යුතු බව ගෝඨාභය මහතා මුස්ලිමුන්ට පැහැදිලි කරයි. නමුත් මෙහිදී බොහෝ දෙනා අමතක කරන්නේ කූරගලට බොදු බල සේනාහි සම්බන්ධයක් නොමැති බවයි. කූරගල ගැටළුව බොදු බල සේනාහි ආරම්භයටද එහා දිව යන ඉතිහාසයක් ඇත්තකි. ඔහු සම්බන්ධ වන දෙවන අවස්ථාව කිරම විමලජෝති හිමියන්ගේ බෞද්ධ ගොඩනැගිල්ලක් විවෘත කරන අවස්ථාවයි. නමුත් එයද බොදු බල සේනාහි කටයුතු වලින් පරිබාහිර කරුණකි.

යමෙකු පැවසිය හැක්කේ ගෝඨාභය තිරෙන් එහා සිට මෙය මෙහෙයවූ බවයි. එසේනම් එම චෝදනාව ගෝඨාභයට මෙන්ම පාඨලීටද සමසේ එල්ළවිය යුතුය. මෙහි ඇති පරස්පරය නම් බොදු බල සේනාහි සියළු ක්‍රියාකාරිත්වයන් වළදී කොටින්ම අලුත්ගම සිදුවීමේදී පවා ඍජුවම එම සංවිධානය වෙනුවෙන් පෙනී සිටි පාඨලීට කිසිඳු චෝදනාවක් එල්ළ කිරීමට කිසිඳු ජන මාධ්‍යයක් ඉදිරිපත් නොවීමයි.

මානයන් දෙකක් ඔස්සේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එකක් බොදු බල සේනා මඟින් සමාජගත කරන ලද රාජපක්ෂ විරෝධයයි. දෙවැන්න ඥානසාර හිමියන්ට එරෙහිව මුළ සිටම එල්ල කරන ලද මාධ්‍ය ප්‍රහාරය ඒ අසළම සිටි පාඨලී මඟහැර ක්‍රමිකව ගෝඨාභය රාජපක්ෂ වෙත ඉලක්ක කිරීමයි. බොදු බල සේනාහි සාමාජිකයන් සමාජ ජාල ඔස්සේ දියත්කළ රාජපක්ෂ විරෝධය එම සංවිධානය ගෝඨාභයගේය යන මතයට පරස්පර වුවද එම පරස්පරය ප්‍රශ්නකිරීමට මාධ්‍යයක් නොමැති වෙයි. නමුත් මුළ සිටම ඒ වෙනුවෙන් පෙනී සිටින පාඨලී මාධ්‍ය කඩතුරාවට මුවහ වෙමින් නිදොස්ව නිදහස් වෙයි. පසුගිය ජනාධිපතිවරනයේදී මෙම මාධ්‍ය මාෆියාව මෙලෙසින්ම මහින්ද රාජපක්ෂට එරෙහිව යෙදවිමට ඔහු සහ ඔහුගේ කුමන්ත්‍රනයේ දීර්ඝකාලීන හවුල්කරුවන් සමත්වෙයි.

අද වන විට බොදු බල සේනාහි ප්‍රචාරක යාන්ත්‍රනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇත. බොදු බල සේනා හා සම්බන්ධව සමාජ ජාලයන් තුළ ක්‍රියාත්මක වූ බොහෝ පිරිස් පසුගිය මැතිවරණ සමයේ පාඨලී චම්පික රනවක සමඟින් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා ක්‍රියා කරනු දැකිය හැකිවිය. පාඨලී කරනම් ගැසීමත් සමඟම බොදු බල සේනා මුළුමනින්ම අකර්මන්‍ය වී ඇත. ඒ සියළු කරුනු සපත කරන්නේ එක් දෙයක් පමනි. ඒ බොදු බල සේනා පාඨලී විසින් මෙහෙයවන ලද බළල් අත වූ බවයි.

පාඨලීට විදුළිබල අමාත්‍ය තනතුර අහිමි වීම, රතන හිමි පිවිතුරු හෙටක් හරහා වෙන් වි යෑම වැනි කරුණු සමඟ බොදු බල සේනාහි රාජපක්ෂ විරෝධයද වැඩී ගිය අයුරු නිරීක්ෂනය කළ හැකිය. බොදු බල සේනා ව්‍යාපෘතියද රාජපක්ෂ පාලනය අවසන් කිරීමේ දැවැන්ත කුමන්ත්‍රනයේ එක් අංශයක් පමනි.

නමුත් මින් අදහස් වන්නේ බොදු බල සේනා තුළ අවංකවම රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් නොතිබුන බව නොවේ. පසුගිය රජය තමන්ගේ රජයක්ය යන හැඟීම සිංහලයා තුළ තිබිනි. ජාතිය හමුවේ මුස්ලිම් අන්තවාදය දෙසින් පැමිනෙන අභියෝගයක් ඇති බව සැබෑවකි. එමෙන්ම එයට එරෙහිව යම් ක්‍රියාමාර්ගයක් ගැනීමටනම් පසුගිය රජය සමය එයට ඉතා සුදුසුය යන හැඟීමද සිංහලයන් තුළ විය. බොදු බල සේනාහි නායකයන් කිහිපදෙනෙකු තුළ වූ එම අවංක උවමනාව තම දේශපාලන අවස්ථාවදය වෙනුවෙන් හැසිරවීමට පාඨලීගේ කූට බුද්ධිය සමත් වෙයි. ව්‍යාජ ජාතිකවාදීන්, අවස්ථාවාදීන් මත පදනම් වන ජාතික සංවිධාන අවසානයේ අපට එරෙහි අන්තවාදයට, ජාතිවාදයටම ජයග්‍රහනය අත් පත් කර දෙන බවට සජීවී උදාහරනයක් සපයමින් බොදු බල සේනා ව්‍යාපෘතිය නිමාවට පත් විය.

විමුක්ති වනිගසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

බුකියේ වෙනස යුතුකමට මනාපයක් (Like) දමා මිතුරන්ට ඇරයුම් කරන්න.

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions