ශ්‍රි ලංකාවේ චිත්‍ර කලාවේ පෙරළියක් ඇති කල අවදියක් ලෙස මහනුවර රාජධානි යුගය හැදින්විය හැකිය. අනුරපුර යුගයේ සිගිරියෙන් ඇරඹි සම්භාව්‍ය ලාලිත්‍යමය හා වර්ණවත් සිතුවම් ශෛලිය පොළොන්නරුව යුගයේ අවසාන කාලපරිච්ඡේදය තුළදී ඇණහිටීමකට ලක් වූ බවක් පෙනෙන්නට තිබේ. 18 වන සියවසේ දී කන්ද උඩරට විහාරස්ථාන ආශ්‍රීතව නවතම සිතුවම් සම්ප්‍රදායක් ආරම්භ වූ අතර ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය ද නොමදව ලැබිනි. අනතුරුව මෙම සිතුවම් ශෛලියත්, සම්ප්‍රදායත් පහතරට විහාරස්ථානයන් කරාද ව්‍යාප්ත විය.
මහනුවර යුගය උදා වන විට බෙහෙවින් පිරිහීමකට ලක්ව තිබූ බුද්ධශාසනය නැවත නගා සිටුවීම සදහා මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය. මෙහිදී කලා මාධ්‍යයන්ට පැවරුණේ අතිශය භාරදූර කාර්‍යයකි.
සම්භාව්‍ය බුද්ධිගෝචර කලාවක් නිර්මාණය කරනවාට වඩා බුදු දහමේ සිද්ධි ඉතා සරලව කියා දීමට හැකි අක්ෂිගෝචර වූ සරල සිතුවම් කලාවක් බිහිවූයේ මේ අපේක්ශාව පෙරදැරි කර ගනිමිනී. බණ කතාවක් ඉතා සරල ලෙස චිත්‍රාවලියක් වශයෙන් බලා අවබෝධ කරගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. දිවයින පුරා වෙහෙර විහාර කරවා ජතක කතා වැනි බොදු පුවත් එම විහාරවල චිත්‍රණය කරවූයේද දහම් පිපාසාවෙන් සිටි සිංහල බෞද්ධයාගේ හා අනෙකුත් බැතිමතුන්ගේ ශ්‍රද්ධා භාක්තිය පුබුදුවා කරවාලීමට ය.මහනුවර රාජ්‍ය සමයේදී මෙවන් වෙහෙර විහාර රැසක් බිහි විය. එහිදී චිත්‍ර ශිල්පීන්ගෙන් සිදු වූ මෙහෙය මෙහිදි අප සිහිපත් කල යුතුය.
මහනුවර ශිල්පියාගේ මූලික කාර්‍යය වනුයේ ජාතක කතා, බුද්ධ චරිතයේ සිදුවීම් හා ඓතිහාසික පුවත් ඉතා සරලව චිත්‍රණය කරලීමයි. මින් ප්‍රධාන තැනක් හිමිවනුයේ ජාතක කථා වලටය. ජාතක කථා තුලින් දාන පාරමිතාව, වීර්ය පාරමිතාව වැනි ආගමික සංකල්ප මතු කරමින් නරඹන්නා තුළ ශ්‍රද්ධා භක්තිය ජනිත කරලීමට උත්සහා දරා ඇත.
මහනුවර රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ඇරඹුනු මෙම නව චිත්‍ර කලා සම්ප්‍රදාය මෙතෙක් රට තුල පැවති චිත්‍ර සම්ප්‍රදායන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ආරක් ගත් කලා සම්ප්‍රදායක් විය. සෑම විහාරස්ථානයක් තුලම එකම ආරක චිත්‍ර රටාවක් සිතුවම් වීම නිසා මෙය ශෛලීගත සම්ප්‍රදායක් ලෙස හැදින්විය හැකිය. මේ අනුව 18 වන සියවසේ කන්ද උඩරට මහනුවර රාජධානිය ආශ්‍රීතව බිහිවූ චිත්‍ර කලාව අනුරපුර සම්ප්‍රදායෙන් පසුව දිවයිනේ ඇරඹි දේශිය අනන්‍යතාවෙන් යුතු නවතම චිත්‍ර සම්ප්‍රදාය ලෙස හැදින්විය හැකිය. මෙසේ බිහිවූ නුවර යුගයේ සිතුවම් කලාවව විශේෂ වු විධි නියමයන් හා ශිල්ප ක්‍රම රැසක් එක්විය. මහනුවර ශිල්පියා ගේ මූලික විධි නියමයන් වුයේ රේඛා කරණය හා පැතලි වර්ණ භාවිතයයි. රේඛාවෙන් ගොඩනැගෙන හැඩතල තුල වර්ණ පූරණය කර නැවත එම හැඩතල වටා බාහිර රේඛාවන් ඇදීම මෙහි ප්‍රධාන සාධකයක් විය. ත්‍රිමාණ ලක්ෂණ නොදැක්වුණු හැඩතල පැතලි විය. මානව රුව ඇතුළු හැඩතල රචනයේදී පැහැදිලි වෙනසක් දක්නට ලැබිණි. මොවුන් භාවිත කල මානව රුව සරල සංකේතමය හැඩතලයක් විය. පාර්ශව දර්ශව යෙදූ මානව රුවේ පපුව ඉදිරියට යොදා ඇති අතර මුහුණ පාර්ශව ගතවත් ඇස් ඉදිරියට මුහුණලා සිටින ලෙසත් චිත්‍රණය කිරිම මෙහි ඇති විශේෂත්වයයි. දෙපා පාද රේඛා මත පිහිටුවයි. ක්‍රියාකාරිත්වය හා චලනය දැක්වීමට වෙහෙසුණ බවක් නොපෙනේ. පැතලි වර්ණ භාවිතයෙන් නිමවන චිත්‍රයේ පසුබිම සදහා බහුලව යෙදූවේ රතු වර්ණයයි. චිත්‍රයේ හිස් තැන් පිරවීම සදහා අලංකාර මාධ්‍යක් සේ පාරම්පරික සැරසිලි මෝස්තර යොදාගෙන ඇත. ගස්, ගෙවල් පාර්ශව ගතව යෙදු අතර ගංගා පොකුණු ආදිය ආකාශ පර්යාවලෝකනයෙන් චිත්‍රණය කර ඇත. කිසියම් පුවතක් ඉදිරිපත් කිරිමේදී ආරම්භයේ සිට අවසානය දක්වා චිත්‍රාවලියක් සේ අඛණ්ඩව කථාව ගලාගෙන යන අයුරින් චිත්‍රණය කර ඇත. මෙම ක්‍රමය අඛණ්ඩකථන ක්‍රමය ලෙස හදුන්වයි. මේ සදහා පටු තිරස් සමාන්තර රේඛා ගණනාවකටම බිත්තිය බෙදා ඒ තුළ සිතුවම් නිර්මාණය කරලීම උඩරට සිතුවම් සම්ප්‍රදායේ ඇති සුවිශේෂීතාවයයි.
එක් එක් සිද්ධස්ථාන අනුව හා විවිධ වු ශිල්පීන් අනුව මෙම ක්‍රමයන්හි සුළු සුළු වෙනස් කම් දක්නට ලැබේ. කන්ද උඩරට ඇරඹි සිතුවම් කලාව ඒ සමයේදීම පහතරට පෙදෙස් කරා ද ව්‍යාප්ත විය. පහතරටදී මෙම නුවර සිතුවම් සම්ප්‍රදායට එක් වූ වෙනස් කම් රාශියක් හඳුනාගත හැකිය. මෙම වෙනස්කම්වලට ප්‍රධාන හේතුව වනුයේ ප්‍රාදේශීය වශයෙන් ශිල්පීන් ලත් අත්දැකීම් විය යුතුය. මේ නිසාම මහනුවර චිත්‍ර සම්ප්‍රදාය කන්ද උඩරට හා පහතරට ලෙසින් වර්ගකර දැක්වීමට සිදු වේ. මුලික ලක්ෂණ එකක් වුවද ආකෘතියේ හා ප්‍රකාශනයේ දක්නට ලැබෙන වෙනස්කම් රැසකි.
අප රටට ආවේණික වූ මෙම සම්භාව්‍ය සිතුවම් කලාව රැක ගනිමින් ඉදිරි අනාගතයට භාරදීම අප සතු යුතුකමකි.
-පසිදු ධර්මවංශ-
පාරම්පරික චිත්‍ර ශිල්පී තරුණ පදනමේ ලේකම්
යුතුකම නොවැම්බර් කලාපයේ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama



0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .