10/05/2015

පිළියමක් නැති ළමා සාහිත්‍ය අර්බුදයට ”ළමා ගී අමා” මිණි මිණි පොද වැස්සක්

කතෘ:යුතුකම     10/05/2015   No comments

ප‍්‍රවේශය

වර්තමාන සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ නියැළෙන අය අතින් එතරම් උනන්දුවකට  සහ අවධානයකට ලක් නොවී ක‍්‍රමයෙන් ගිලිහෙමින් යන එහෙත් ඉතාම වැදගත් සාහිත්‍යාංගයක් වන්නේ ළමා සාහිත්‍යයි. වර්තමාන නවකතාවට මෙන් දහසින් බැඳී පියලි ළමා සාහිත්‍ය  කෘති වලට නොලැබීමත් රාජ්‍ය සම්මාන හැර අනෙක් බොහෝ සම්මාන උළෙල මේ විෂය ඇගයීමට තරම් නොවන අකැප සාහිත්‍ය සේ නොසලකා හැරීමත් වැඩිහිටි ලේඛක ලේඛිකාවන් මෙයට අත නොගසන  හේතු අතර ප‍්‍රමුඛ වෙයි. ඊට බලපාන තවත් අවශේෂ හේතු රාශියක් ඇතත් අප ඒවා සාකච්ඡා කිරීම පසුවට කල් තබමු.  ළමා සාහිත්‍ය යනු ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් ළමයින් උදෙසාම ලියන ළමා මනසට ගෝචර වන සංකල්ප රූප, වර්ණ හා හැඩතල සමග  ළමා මනසට සරිලන විරිත් හා ක‍්‍රියාකාරකම් තෝරා බේරා ගනිමින් ළමුන්ට තේරෙන ආකාරයට  ළමුන්ගේම  බසින් ළමා ලෝකය නිර්මාණය කරදීමකි. එය හිතන තරම් පහසු නැති හැමෝටම කළ නොහැකි  අනෙක් සාහිත්‍යාංගයන්ට සාපේක්ෂව ඉතාම  අසීරු කටයුත්තකි. ළමුන් වෙනුවෙන් කරන සාහිත්‍ය යොවුන් වැඩිහිටි සාහිත්‍ය මෙන් අත්හදා බැලීම් කළ නොහැකිය. එය ප‍්‍රවේශමෙන් ප‍්‍රතිනිර්මාණය නොකළහොත් විනාශ වන්නේ ක‍්‍රමයෙන් වැඩිහිටියකු බවට පත්වන දරුවන්ගේ ළමා කාලයයි. වෙනත් ලෙසකින් කිවහොත් පුර්ණ මිනිසකු වීමට පෙර ගත කරන ළමා අවධියයි.

ළමා සාහිත්‍යයේ පුරෝගාමී මුල් යුගය

මෙරට දේශජ කාව්‍ය සම්ප‍්‍රදායක් මෙන්ම ළමා සාහිත්‍යක් බිහි කිරීමට පුරෝගාමීවූවෝ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා වැනි ශේෂ්ඨයන් බව ගෞරවයෙන්  සිහිපත් කළ යුත්තේ අද පවා ළමුන්ට කමටහනක් කොට ගත හැක්කේ  ඔවුන්ගේ ගද්‍ය හා පද්‍ය කෘති වන නිසාය. 1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියන් විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළේය. ” ඕවා මුතුදම” කවිමිණ, නිදහසේ දැහැන, නිදහසේ මන්ත‍්‍රය, ජාතික තොටිල්ල, අද ලක් මවගේ පුත්තු, සිංහල ජාතිය, ලංකා මාතා, නිදහස, ආදිය ඉන් කිහිපයක් පමණි. කුමාරතුංග මුනිදාසයෝ ද ගද්‍ය හා පද්‍ය දෙකින්ම ළමා සාහිත්‍ය පෝෂණය කළේ හත්පණ, මගුල් කෑම, හීන්සැරය, කුමර ගී, ශික්ෂා මාර්ගය, කියවන නුවණ,(කාණ්ඩ -5 ) ආදී කෘති බොහෝ ප‍්‍රමාණයක් ජාතියට දායාද කරමිනි. ආනන්ද රාජකරුණා මහතා ද රජසිරිත් මාලය, සිංහල කොඩිය, ජාතික දරු නැළවිල්ල, ඇතුළු ළමා කවිපොත් 07ක් , ළදරු ගී පොත් 07ක් සහ ළදරු කවිමග නමින් පොත් 7ක් රචනා කරමින් දරුවන්ට දායාද කළහ.  මේ කෘති  හැරුණු විට ළමා සාහිත්‍ය ගැන උනන්දු වූ තවත් අය සිටිති. එහෙත් මේ ලිපියේ අරමුණ ඒ පිලිබඳ විමර්ශනය කිරීම නොවේ. මේ විශිෂ්ටයන් තිදෙනා ගැන පමණක් සඳහන් කලේ අදත් දරුවන්ගේ අත්පොත් ලෙස නොබියව තැබිය හැක්කේ මේ කෘති නිසාය. එමෙන්ම  ළමා සාහිත්‍යක් ගැන අවධානය යොමු කරවීමට පසුකාලීන කතුවරුන්ට පවා බලපෑම් කලේ ඔවුන්ගේ ළමා සාහිත්‍ය නිසාය. වර්තමානයේ සිබිල් වෙත්තසිංහ, ජානකී සූරියආරච්, වැනි අය මේ කටයුත්තට අතගසා තිබීම මෙරට දරුවන්ගේ  වාසනාවක් බව කිව යුතුය. 

යළි මතුවෙන  ළමා පිටියක අවශ්‍යතාව 

බොහෝ  වැඩිහිටි ලේඛක ලේඛිකාවන්  හෝ ජනමාධ්‍යවලින් ප‍්‍රමාණවත් අවධානයක් මෙරට ළමුන් කෙරෙහි යොමු කර  ඇතැයි නොපෙනේ. විද්‍යුත් නාළිකා පවා හැසිරෙන්නේ මුළුමනින්ම ළමුන් නැති රටක් වශයෙනි. 60,70, 80 දශකවල අඩු වැඩි වශයෙන් ළමා වැඩසටහන් වලට ගුවන්විදුලියේ  ප‍්‍රමුඛතාවක් ලැබුණි. 60 දශකයේ කරුණාරත්න අබේසේකරයන් විසින් දරුවන්ගේ විවිධ කලාකුසලතා වර්ධනය කරන අරමුණෙන් ගුවන් විදුලියේ වැඩසටන් නිෂ්පාදනය කර ප‍්‍රචාරය කරන ලදී. එතුමාගේ ”ළමා පිටිය” මේ අතර විශේෂ තැනක් ගනී. පිටපත් කියවීම ලිවීම, කවි ලිවීම,  කවි ගායනා කිරීම, ආදී දරුවන්ගේ විවිධ කුසලතා ඔප්නංවා ගැනීමට කදිම තෝතැන්නක් වූ ළමා පිටියේ විශේෂ තැනක් ගත්තේ ළමා ගීතය නිර්මාණයයි. කරුණාරත්න අබේසේකර මෙන්ම ළමා මණ්ඩපය මෙහෙය වූ ආනන්ද සරත් විමලවීර, අජන්තා රණසිංහ වැනි විශිෂ්ට ගී පද රචකයින් විසින් ළමා පිටියට ගී නිර්මණය කළ අතර තනු නිර්මාණය කොට ඒවා සංගීතවත් කළේ වින්සන්ට් පෙරේරා, ඞී.ඞී. ඩැනී වැනි සංගීතවේදීන් විසිනි. ළමා පිටියට  සම්බන්ධ වී සිටි ගායක ගායිකාවන් අතර නන්දා මාලනී, පැට්‍රික් ප‍්‍රනාන්දු, මල්ලිකා ද සිල්වා (මල්ලිකා කහවිට),චන්ද්‍රාණි ගුණවර්ධන, ඉන්ද්‍රලතා ජයසිංහ, සුධර්මා ද සිල්වා, විජිත කුසුම් ලියනගේ, නොයෙලින් ලියනගේ, එස්. ලියනගේ වැනි අය ඉන් ප‍්‍රමුඛ වේ. 

කරුණාරත්න අබේසේකර වගේම සරත් විමලවීර, මඩවල එස්. රත්නායක, චිත‍්‍රානන්ද අබේසේකර වැනි ප‍්‍රවීණයින් මෙහෙයවූ ළමා පිටිය වැඩසටහන ඉරිදාට සරස්වතී මණ්ඩපය සඳුදාට මිණි කිංකිණි අඟහරුවාදට ළමා රංගපීඨය බදාදාට ටිකිරි සිනාරැුලි  බ‍්‍රහස්පතින්දාට සිඟිති සුරතල්‘ ආදි වශයෙන් සතියේ දින හතේම ළමා පිටිය වැඩ සටහන් මෙහෙයවමින් දරුවන්ගේ විවිධ කලා කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් කළ සේවය සුළුපටු නැත. දක්ෂ දරුවන්ගේ නිර්මාණශීලි හැකියාවන් හරවත්ව ගුණාත්මකව හැඩගැස්සවීම පමණක් නොව ඔවුන් රටට හඳුන්වා දීමෙන් කළ ජාතික මෙහෙවර නිසා මතු දරුවන්ටත් දායාද කළහැකි හොඳ ළමා ගීතාවලියක් එමගින් අපට ශේෂ වී තිබේ. සුනිල් සරත් පෙරේරා පවා පසුකලෙක ප‍්‍රවීණ ගීත රචකයකු වන්නේ එකල  ළමා පිටියට ළමා ගීත ලිවීමෙනි. අද  මහරු මිණි වී ඇති ප‍්‍රවීණ ගායක ගායිකාවන් හා ගීත රචකයින් රැුසක්ම ජාතියට දායාද වී ඇත්තේ ළමා පිටිය ඔස්සේය. මෙහිදී නන්දා මාලිනියගෙන් සිදු වී ඇති මෙහෙවර විශේෂ වන්නේ ඇය  ළමා පිටියෙන් නොනැවතී අද දක්වාම ළමා ගීතය වෙනුවෙන් දායක වෙමින් කරන කැපවීම නිසාය.

නුතන විද්‍යුත් නාලිකා කරන ළමා මානසික සංහාරය
   
නමුත් 60,70, 80 දශකවලදී අඩුවැඩි වශයෙන් ළමයින් සඳහා වූ මෙවැනි වැඩසටහන් වර්තමානයේ විද්‍යුත් මාධ්‍ය තුළින් අසන්නට, දකින්නට ලැබේද? තිබුණත් ඒවා ළමා ගායක, ගායිකාවන්, ගීත රචකයින් ප‍්‍රතිනිර්මාණය කළ ළමා පිටිය බදු  වැඩසටහන්ද?  දරුවන්ටම ඔබින හරවත් නිර්මාණ බිහිකරමින් දරුවන් නිර්මාණශීලීව ගොඩ නැංවූ ළමා මණ්ඩපය වැනි වැඩසටහන් වෙනුවට අද දක්නට ඇත්තේ වාණිජ්‍ය අරමුණු පරමාර්ථ කරගත් සුපර් ස්ටාර්ලාට සමගාමීව ලිට්ල් ස්ටාර්ලාගේ වැඩසටහන්ය.  ඒ තුළ පවා  ළමා ගී නොගැයෙන පසුබිමක ළමා ගීත නිර්මාණද ක‍්‍රමයෙන් වැහැරී ගියේය. මේ වැඩසටහන් තුළින් ළමුන්ට ළමාකම අහිමි කරන ආකාරය තේරුමක් ඇති වැඩිහිටියන්ට තවමත් නොපෙනීම ජාතියේ ඛේදවාචකයෙන් කොටසකි. තම දෙමාපියන්, වැඩිමහල් සහෝදර සහෝදරියන්, මෙන්ම රටවැසියන්, වැඩිහිටියන් ඉදිරියේ මේ දරුවන් ගායනා කරන්නේ මොනවාද ? ”අඩන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ  මාගේ ”,  ”චපල හිමිට සිරි යහනේ රැුවටෙන්නද මං”, ”වියෝ වූ පසුවයි දැනෙන්නේ පේ‍්‍රමයේ අභිමන්”, ”මම දාලා යන්නෙ නැහැ මගෙ සුදු රත්තරන්”, ”මේ පාලූ සීත රත‍්‍රියේ කියාදෙන්න රහසේ පේ‍්‍රමය නම් කිමැයි කියා” ”ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති” වැනි  ශෘංගාර රස ජනනය කරන පේ‍්‍රම ගීත වේ.

එක්තරා රූපවාහිනී නාලිකාවක් විසින් අවුරුදු තුනහමාරක දැරිවියක් ලවා ලිංගිකත්වය ඉස්මතු කරන”චපල හිමිට සිරි යහනේ රැුවටෙන්නද මං” ගීතය ගායනා කරවන ලදී. එහි දර්ශන යුටියුබ් හා ෆේස් බුක් වැනි සමාජ ජාල හරහා අදත් සංසරණය වෙනු දැකිය හැකිය. දෙමාපියන් සහ රටවැසියන් ඉදිරියේ අභිනයන් දක්වමින් මේ ගීතය ගායනා කරවීමෙන් දුෂණයට ලක්වූ දැරියගේ මනසට හා ඇගේ ළමාකමට වූ හානිය කියා නිමකළ නොහැකිය. ළමුන් යනු ස්ත‍්‍රී පුරුෂයන් ගේ කායික සම්භෝගය  ප‍්‍රලෝභනය කරනවන සංකේත නොවේ. ළමුන් ලවා කවි ගීත ගායනා කරවීමේදී ස්පර්ශ කළ යුතු සීමා සහ අවධානය යොමු කළයුතු පාර්ශව රැුසක් තිබේ. ළමුන්ගේ ඉන්ද්‍රියප‍්‍රත්‍යක්ෂයට, වින්දන ධාරිතාවට හා ළමාකමට ගෝචර නොවන ගීත මගින් ඔවුන්ගේ ළපටි මනස විනාශ කිරීම අපරාධයකි. එත් වාණිජ පරමාර්ථ මුලික කරගත් මේ වැඩසටහන් වලට වැඩි පේ‍්‍රක්ෂක ප‍්‍රමාණයක් රදවා ගැනීමේ අරමුණින් ළමුන්ට නුසුදුසු, ළමා ජීවිතයට සමවාය නොවන වැඩිහිටියන්ගේ ගීත ළමුන් ලවා ගායන කරවනු ලැබේ. මෙය අපරාධයක් බව හොදින්ම දන්නා විනිශ්චය මණ්ඩලය පවා සල්ලි මලූ වෙනුවෙන් මේ රූපවාහිනී ආයතන  සමග එකතු වී ඒ  ගායනා  අගය කරමින්  දරුවන්ගේ ළමාකම උකසට තබති. කලාව ඔවුන් ජීවත් වීමට  වාසභවනක් කර ගත්තද මේ ළමාකම්වලට සංවේදී නොවන්නෝ කලාකරුවන් වන්නේ කෙසේද ?

ළමයා නූතන වෙළදපොළ ගොදුරක් වීම.

වර්තමානයේ ළමුන් වෙනුවෙන් හරවත් වැඩසටහන් නිර්මාණය කරන ස්වයං සාධිත පිළිවෙතක් මාධ්‍ය ආයතන වලට නොවීමත්,ඒ සඳහා සැලකිය යුතු ගුවන් කාලයක් වෙන් කිරීම මුල්‍ය වශයෙන් ඔවුන්ට අලාභය ගෙන දෙන්නක් වීමත්, නුතන වෙළදපොළ තරගය හේතුවෙන් ප‍්‍රචරණයේදී ජනමාධ්‍යවලට ඇති ඉඩකඩ සීමාසහිත වීම, ආදී සියල්ල ළමා සාහිත්‍යක් පිළිබඳ උනන්දුව වැඩිහිටියන්ගෙන් ඈත් කරවන්නට පූරණය වූ හේතු සාධක ලෙස දැක්විය හැකිය. එහි ප‍්‍රතිඵලය වුයේ ළමුන් වෙනුවෙන් නිර්මාණ බිහිකිරීම වැඩක් නැති දෙයක් යන හැගීම ඔවුන්ට ඇති වීමය.

දින දින වියැකෙන ළමා සාහිත්‍යයට ”ළමා ගී අමා” මිණි මිණි පොද වැස්සක්

මොනම අනුග‍්‍රහයක් වත් නොලැබෙන එබදු පසුබිමක් යටතේ වසන්තා කේ. මිහිදුකුලසුරිය මහත්මිය පෞද්ගලික වියදමින් හෝ ළමුන්ට යමක් ශේෂ කිරීමට කල්පනා කිරීම පැසසුමට ලක්විය යුත්තකි. එය අගය කළ යුත්තේ ළමුන් වෙනුවෙන් හැම තැන්හි ඉඩ ඇහිරී තිබෙන කාලයක ඇය මෙවැනි කටයුත්තට අතගැසීම නිසාය. වසන්තා මහත්මිය සිය ළමා ගීත සමුච්චය නම් කොට තිබෙනේ ”ළමා ගී අමා” නමිනි. ගීත 14ක් ඇතුලත් සීඞී තැටියක් සහ එම ළමා ගී ස්වර ප‍්‍රස්ථාර සමගින් පදමාලාව සිතුවම් සහිත කෘතියක්ද ලෙසින් ප‍්‍රකාශයට පත් කොට තිබේ. මෙම කෘතිය ළමුන්ගේ වින්දනීය පරිකල්පනය පුබුදු කරවන ආකාරයට වර්ණ කඩදාසියේ සිතුවම් සහිතව මනා නිමාවකින් නිමවා තිබීම අගනේය. වර්ණ හා සිතුවම් ළමා ලෝකය අතර ඇත්තේ අනුලෝම ප‍්‍රතිලෝම සහ සම්බන්ධයකි.

ළමා ගී අමා ගීත සමුච්චයේ කතුවරිය නිර්මාණ ශික්ෂණයකින් යුක්තව කල් ගත කොට මෙය  මහන්සියෙන් කළ වැඩක් බව පෙනේ. මෙහි එන සියලූ ළමා ගීත කතුවරියගේ ස්වත‍්‍රන්ත‍්‍ර නිර්මාණ වන අතර එම ගී පදවලින් කියවෙන අර්ථය ළමයින්ගේ ඇල්ම වඩවන ආකාරයට ඉතා අපුරු ලෙස කෘතියේ සිතුවම් කොට තිබෙන්නේ කලාසුරී  ජයසිරි සේමගේ මහතායි. මේ සිතුවම් ළමා කෘතියකට මහත් ආලෝකයක් සපයන අතර එම  ගීත  ළමයිගේ මනසේ සිතුවම් කළා හා සමානය. ළමා කෘතියකට සිතුවම් අත්‍යාවශ වන්නේ සිතුවම් මගින් ළමුන්ගේ පරිකල්පන ලෝකය පුළුල් කරන නිසාය. ඇල්බමයේ ගීත වැඩි ප‍්‍රමාණයක් ළමා තනු යොදා සංගීතවත් කොට තිබෙන්නේ ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් විසිනි. තවත් ප‍්‍රවීණයකු වූ ලක්ෂ්මන් විජේසේකර මෙන්ම සරත් පීරිස් ඉරංගා වීරක්කොඩි, මංජුලා සෙනෙවිරත්න, පුබුදු නුවන්ති වැනි අයද තනු නිර්මාණයෙන් දායක වී තිබේ.

වසන්තා මහත්මිය පළමුව  අවධානය යොමු කොට තිබෙන්නේ රට ගැන ඇල්මක්  දරුවන් තුළ ජනිත කරවන නිර්මාණයකටය. ඇගේ මේ නිර්මාණය සුවිශේෂී එකක් වන්නේ  රටේ අගය ඉතා අපුරු ආකාරයට දරුවන්ට කාවැද්දීමට ගන්නා උත්සාහය නිසාය. වර්තමානයේ නම් රට, දැය, සමය නිර්මාණය වලට වස්තු කොට ගැන්ම සාම්ප‍්‍රදායික හෝ  ජාතිවාදී නිර්මාණ යයි ඇතැම් අල්පශ‍්‍රැතයන්ගේ උදහසට ලක්වීමටද ඉඩ ඇත. තමා  හැර අන් සියල්ල දුෂණයට ලක්වී ඇතැයි සිතන මේ පිරිස් ළමා ගීතයක්  පවා ඔවුන්ගේ දේශපාලන රෝගී ඇසින් බැලීමට යාම අනුවණ කමකි.  කවිය ජාතික ව්‍යාපාරයට බද්ධ කළ පුරෝගාමියකු මෙන්ම සිංහලයන් තුළ ජාතික අභිමානය, දේශ වාත්සල්‍ය, දැනවෙන පරිදි  බටහිර ආධිපත්‍යයෙන් මිදී  ස්වාභිමානීව නැගී  සිටීමට කාව්‍යකරණය  මෙහෙය වූ    එස් .මහින්ද හිමියන් නුතනයේ වැඩ  සිටියේ නම් ලොකුම ජාතිවාදියා ලෙස හංවඩු ගසනවා  නිසැකය. රණබිම මැරුණේ සිංහලයකු නම්  ගීතය පවා ජාතිවාදය උත්සන්න කළ ගීතයක් ලෙස හදුන්වනවා අපි දුටුවෙමු. කතුවරිය මේ අවදානම තිබියදී පවා තම රටේ වටිනාකම දරුවන්ට කියා පෑමට ගත් උත්සාහය වැදගත්ය. ගීතය ආරම්භයේ දීම පුංචි රට අපේ -හරිම හරි අගේ.. රත්තරං වගේ.. මුතු මැණික් වගේ.. යනුවෙන් අපේ රටේ වටිනාකම අපුරු  උපමා ගැන්වීමකට ගොනු කරයි. 

රන් වැටවට බැන්දු - සිරිමා බෝ සමිදු 
රන් කරඩුවේ රැන්දූ - සිරි දළදා සමිදු 
රැස්කොට වැහි බිංදු - වැව් සාගර බැන්දූ 
පෙරමහ නරනින්දූ - කිතුගොස ලොව රැන්දූ

ඉන් පසු ළමාකමට සරිලන සරල බස්වහරකින් අපේ අතීතය,ඉතිහාසය වෙත බැඳුණු සංස්කෘතික උරුමය දරුවන්ට දායාද කරන ආකාරයද  අපුරුය. බොදු උරුමය වූ දාළදා වහන්සේ ගැනත් වැව් අමුණු ඇතුළු පෙර මහ රජවරුන්ගේ විශ්මිත නිර්මාණ වන වාරි තාක්ෂණය ගැනත් කියාදෙන මේ  ගීතය දරුවන්ට අපුරු පාඩමක් වෙයි.

කළු වළවේ කැලණි -මහවැලි ගං රැුජිණී
කඳු හෙල් බැස යමිනී - සරසයි ලක්මෑණී
ගිරා මයුර රමණී -මලිති බටිති ලිහිණී 
මියුරු කොවුල් නදිනී - සනසයි ලක් මෑණි.

මේ ගී නිර්මාණයෙන් දරුවන්ට තමන්ගේ පුංචි රට ගැන භූවිෂමතා පාඩමක් බඳුව සොබා සෞන්දර්යය ගැන කියාදෙන ආකාරය අපුරුය. බෞද්ධ සංස්කෘතිය, අතීත උරුමය ගැන කියාදුන් කිවිදිය ස්වභාව සෞන්දර්ය මුසු භූගෝලීය පසුබිම පිලිබඳ  චමත්කාර ජනක හැගීමක් ජනිත කරයි. ළමා නිර්මාණයක තිබිය යුතු විශේෂ ගුණයක් වන්නේ එම නිර්මාණය හරහා දරුවාට බොහෝ පාඩම් කියාදීමට හැකිවීමයි. දරුවා සමාජානුයෝජය ලබන්නේ මේ නිර්මාණ තුළින් අවශෝෂණය කරගන්නා දැනුම හරහාය. බලන්න මෙම නිර්මාණය දෙස. මේ තුළින් දරුවන්ට අවශ්‍ය මුලික පාඩම් කිහිපයක්ම ඉගැන්විය හැකි අකාරය ප‍්‍රශස්තය. ශ‍්‍රි මහා බෝධිය පිළිබඳවත් දළදා වහන්සේ සමග බුදු සිරිත පිලිබඳවත් කතන්දරයක්  දරුවාගේ වයසට සරිලන ආකාරයෙන් කියාදිය හැකිය. එමෙන්ම පෙර දවස අප රටේ සිටි වැදගත් රජවරු ගැන සහ ඔවුන් ඉදිකළ වැව් අමුණු පිළිබඳවත් දරුවාට ඉගැන්විය හැකිය. අප රටේ තිබෙන වැදගත්ම ස්වභාවික ගංගා ද ඒවා ආරම්භ වන කදු සහ  මුහුදට වැටෙන ස්ථාන පිළිබඳවත් ඉගැන්විය හැකිය. ජලජ පැලෑටි වර්ග මෙන්ම ගංගා ඔස්සේ වැඩෙන, දණ්ඩි, කූනි, පෙතියෝ,ඉස්සෝ , කාවයියෝ වැනි මත්ස්‍ය වර්ග පිළිබඳවත් කිඹුලන් වැනි දරුණු සතුන් පිළිබඳවත් කියාදිය හැකිය. දරුවන් ඇලූම් කරන කුරුල්ලන් හා ඔවුන්ගේ නාද පිළිබඳවත් ගීතයෙන් වින්දනයක් ලබා දෙමින්ම  ළමයාගේ දැනුම සංවර්ධනය කළ හැකිය. අධ්‍යාත්මික හික්මීමක් සහිතව ස්වභාව සෞන්දර්යට ගහකොළට පක්ෂීන්ට ආදරය කරන දරුවකු නිර්මාණය කරගැනීමට මේ ළමා නිර්මාණ සමුච්චයම මහත් සේවයක් කරන බව කිවයුතුය. 

ළමා ගී අමා කෘතියේ දෙවන ගීතයද (11 පිට ) සිරිපා වන්දනාවේ යන සමනල්ලු සමග දරුවා ඒකාත්මික කරවන "සමනළ කන්ද ගොඩක් උසනේ" (18 පිට) හයවන ගීතයද ,දේදුන්නේ පාට කොයින්දෝ (25 පිට) ටිං ටිං ලේනෝ (30 පිට )මල්පෙති අග මුතු බැඳිලා (32 පිට ) දැන් සෙල්ලම් කාලේ (34 පිට ) යන නිර්මාණද දරුවන් සොබා දහමේ අසිරිය විඳගන්නා ආකාරය, සහ ඔවුන් සොබා දහමට ලෙන්ගතු වන ආකාරය සිත්තම් කොට තිබේ. කුරුල්ලන්ගේ කිචි බිචි නාද දරුවන් දකින්නේ ඔවුන් සින්දු කියන විලාශයෙනි.

ලස්සන ලස්සන සමනලූනේ
සිරිපා වදිනට දෝ යන්නේ
සමනළ කන්ද ගොඩක් උසනේ
සිනිදු අත්තටු රිදෙයි අනේ...//

සිරිපා වන්දනා කරන කාලයට සොබා දහමෙහිද නැවුම් බවක් තිබේ. එය සෘතු විපර්යාසය නිසා සිදුවන පාරිසරික වෙනස් වීමකි. ගහ කොළවල පවා  අලූත් දලූමල් පුබුදයි. සමනලූන් ?න් පිටින් එකම අතට පියාඹති. කුඩා කාලයේ දරුවන් එය දකින්නේ සමනලූන් සිරීපාදේ වන්දනා  කරන්නට යන ගමක් ලෙසය. දරුවන්ගේ සිත් තුළ ඉන් ඇතිකරන චමත්කාරය කියා නිමකළ නොහැකිය. මෙය කියවන වැඩිහිටි බොහෝ දෙනාද කුඩා කාලයේ එම අසිරිය විඳ ඇතිවාට සැක නැත. සමනළ කන්ද ගොඩක් උසනේ.. ”සිනිදු අත්තටු රිදෙයි අනේ..” යනුවෙන් කිවිදිය මෙහිදී මානුෂිකත්වයක් දරුවන්ගේ සිත් තුළ ජනිත කරවන ආකාරය අපුරුය. ළමා නිර්මාණ වලදී එය විශේෂයෙන්ම අවධාරණය කළයුතු කරුණකි. ප‍්‍රචණ්ඩත්වය ඇතිකරවන කිසිවක් දරුවන්ගේ ලෝකයට දර්ශන නොකළ යුතුය. එබදු කන්දර ඇති පොත් පත් හෝ චිත‍්‍රපට දරුවන්ට නොපෙන්වීමට වැඩිහිටියන් වගබලා ගතයුතුය. මාගරඞ් මිඞ් නමැති ලෝ ප‍්‍රකට සමාජ විද්‍යාඥවරිය නිව්ගිනියාවේ මුන්ඩුගුමාර් හා ඇරපේෂ් ප‍්‍රදේශ වල දරුවන් මුල් කරගනිමින් කළ සමීක්ෂණයේ දී මුන්ඩුගුමාර් වැසියන් ගේ දරුවන් දැඩි කලහකාරී ආක‍්‍රමණශීලී පුද්ගලයන් බවට පත් වී තිබෙන්නේ ඔවුන් ළමා කාලයේ අත්දුටු ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හේතුවෙනි. ඇරපේෂ් දරුවන් එසේ නොවුයේ ආදරය සෙනෙහස මානුෂිකත්වය සමග සාරධර්ම, ප‍්‍රතිමාන ඇගයුම් මැද හැදී වැඩුන නිසාය. 

මෙම ළමා ගී අමා නිර්මාණ සමුච්චය දරුවන්ට අවුරුදු චාරිත්‍ර සමග මානව ධර්මතාද ඉගැන්වීමට අමතක නොකරයි."සිරියාවයි අවුරුද්දේ" (12 පිට) සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) වැනි නිර්මාණ මීට උදාහරණ වේ.

සුබ නැකතින් ගිනි මොළවා 
අම්මා කිරිබත් ඉව්වා 
නැකතට පැලයක් සිටුවා 
තාත්ත කිරිබත් කැව්වා
බුලත් හුරුලූ ගනිමු අපි 
දෙමාපියන් වදිමු අපි 
වැඩිහිටියන් පුදමු අපි 
අවුරුදු සිරි විඳිමු අපි

දරුවන්ට මෙම සිරිත් විරිත් ළමා කාලයේදීම පුරුදු පුහුණු නොකරන්නේ නම් පසුකලක ඔවුන්  සමාජ ධර්මතා කිසිවකට ගරු නොකැරේ. ළමාවිය ඉක්මවන දරුවන් ලෙස සමාජානුයෝජනය වීමේ දී දරුවන් ශික්ෂණය කළ යුත්තේ මෙවැනි ගුණධර්ම, චාරිත‍්‍ර වාරිත‍්‍ර හා සමාජ ධර්මතා ඔස්සේය. සඳුයි හිරුයි මගේ ලොවේ (29 පිට) ගීතයද දෙමාපියන් හිරුට සහ සඳට රූපකාර්ථවත් කරමින් මාපිය වන්දනය වස්තු කර ගත්තෙකි. එය මව්පියන්ට, වඩිහිටියන්ට ගරු කිරීම  උගන්වන්නකි. කුඩා කාලයේම මේ මානව ධර්මතා අත්හැරුණු දරුවන් තුළ ඇති සමාජ වෛරය කෙතරම්ද යන්න නාගරික සමාජයේ නව පරපුර කියා ගොනුවන සමාජ කොටස් දෙස බැලීමෙන් තේරුම් ගත හැකිය. දරුවන්ට ළමා කාලය අහිමි කිරීම මෙන්ම ගුණධර්ම ප‍්‍රගුණ නොකරවීම  සමාජ ඛේදවාචකයක් වන බවට හොදම උදාහරණ දෙන්නේ මේ අයගේ අදහස් හා සිතුම් පැතුම්ය. ළමා ගී අමා ගී සමුච්චය මේ සියලූ රික්තක පුරවන බව පෙනේ. එහි ඇතැම් ගීත ආගම දහම කෙරෙහිද දරුවන්ගේ ආකල්ප වර්ධනය කිරීමට උත්සාහ ගනී.  "සිලි සිලියයි බෝ දල්ලේ- පොසොන් සඳේ සඳ රැල්ලේ" (17 පිට) "බුදු සාදුට ගී ලියන්න ආකාසේ ඉඩ මදි" (21 පිට ) වැනි නිර්මාණ තුළින් ඒ අඩුවද පිරිමැසී තිබේ.

ර යනු ට යනු රට ලියලා 
රට හාවාගේ රුව ඇඳලා
ගුරුතුමීගේ රතු පෑනෙන්
තරු ගොඩක්ම මට ලැබුණා (23 පිට)

"හොද ළමයෙක් මං" ගීතයද ළමුන් තුළ ධනාත්මක ආකල්ප ඇතිකරවන ගීතයකි. මෙය පාසලේ දී පවරන ගෙදර වැඩ (Home work) නිසිපරිදි කරගෙන යන දරුවන් ගුරුතුමියගෙන් ඇගයීමට ලක්වන ආකාරය දක්වන අපුරු ගීයකි. ගුරුතුමීගේන් ලකුණු ලැබීමට නම් මුලින් එකේ සිට නිවැරදිව ගණන් කිරීමට, ලිවීමට, කොළ කපා අලවා විවිධ ක්‍රියාකාරකම් ආදියට දරුවා යොමුවිය යුතුය. මේ ගීතයෙන් ළමුන්ට ඇති කරන්නේ අනලස්ව ඉගෙනීමට පොළඹවන ධනාත්මක ආකල්පයකි. ගුරුතුමියගෙන් තරු ලකුණු වැඩි කරගැනීමට නම් ඔවුන් එම ක්‍රියාකාරකම් වල නියැලිය යුතුය. ළමා නිර්මාණ තුළින් දරුවන්ට දිය යුත්තේ මෙවැනි ධනාත්මක ආකල්පය. ඒවිතරක් නොව මෙමගින් "ර යනු ට යනු රට ලියලා - රට හාවගේ රුව ඇඳලා" යන පද තුළින් නිවැරදි වචන උච්චාරණය පවා දරුවාන්ගේ කටට හුරු කළ හැකිය.

සමාප්තිය   

වසන්තා කේ . මිහිදු කුලසුරිය මහත්මියගේ  ළමා ගී අමා නමැති  ගීත සමුච්චය සැබවින්ම මෑත කාලයේ ළමා ගීත සාහිත්‍යට වැටුණ මිණි මිණි පොද වැස්සෙකි. වසරකට නවකතා 100 ඉක්මවා පළවෙතත් ළමා නිර්මාණ පළ වන්නේ ඉතා අල්ප වශයෙනි. එහෙත් ළමුන් යනු එසේ නොසලකා හැරිය යුතු පිරිසක් නොවේ.  දින දින වියැකෙමින් යන එම ළමා සාහිත්‍ය උදෙසා කතුවරිය  දුක්ඛසෙයියාවෙන් වුවද නිමකළ මේ නිර්මාණ ප‍්‍රයාමය දරුවන්ට සාරඵල නෙලා දෙන ගීත සමුච්යක් බව සැකහැර සඳහන් කළ හැකිය. කුමන  ක්ෂේත‍්‍රයකවත් ගැඹුරක් නැති අල්පශ‍්‍රැත මිනිසුන්ට මේ නිර්මාණවල අගය නොවැටහුනද  සංකෘතික විඥානයක් ඇති  තිලකරත්න කුරුවිට බණ්ඩාර වැනි ප‍්‍රවීණයන් මේ ගීත සමුච්චය ගුවන්විදුලියේ ප‍්‍රචාරය කිරීමට ඉහළින්ම තෝරාගැනීමද  අගය කළ යුතුය. 

-රත්තනදෙණි යේ මේධානන්ද හිමි  : ශ‍්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions