බෙදුම්වාදීන් විසින් දියත් කර තිබූ ත්‍රස්‌තවාදී කටයුතු මැඩපැවැත්වීමට කටයුතු කිරීමේදී මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බවට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව හේතුවෙන් මේ වන විට මානව හිමිකම් පිළිබඳ මෙන්ම එ.ජා. සංවිධානය සහ ඇමරිකාව ඇතුළු රටවල් පිළිබඳව ද පුළුල් සංවාදයක් ජනතාව අතර ඇති වී තිබේ. එලෙස සංවාදයට බඳුන් වී ඇති කරුණු පිළිබඳව අප මානව හිමිකම් කටයුතු පිළිබඳ ක්‍රියාකාරිකයකු වන නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් ද විමසා සිටියෙමු. එම කරුණු පිළිබඳව තිරණාගම මහතා දැක්‌වූ අදහස් මෙසේය.
ප්‍රශ්නය - මේ මොහොත වන විට දේශපාලනඥයන් පමණක් නොවෙයි සාමාන්‍ය ජනතාවත් වැඩියෙන්ම සාකච්ඡා කරන මාතෘකාව බවට "මානව හිමිකම්" පත් වී තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස ඔබට මෙම මාතෘකාව පිළිබඳව ලබාදිය හැකි කෙටිම අර්ථකථනය කුමක් ද?
පිළිතුර - මානව හිමිකම් කියල කියන්නේ පුද්ගලයකුට මේ සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මූලික අතිවාසිකම්. ඒ සඳහා එම පුද්ගලයාගේ ජාතිය, ආගම, කුලය ඇතුළු කිසිදු සාධකයක් ගැටලුවක් නොවිය යුතු අතර සියලු දෙනාටම පොදුවේ භුක්‌ති විඳීමේ අවස්‌ථාවන් තිබිය යුතුයි.
එහෙත් අද මේ සාකච්ඡාව ඇති වී තිබෙන්නේ ඒ සඳහා නොවෙයි. අද වන විට දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීමත් සිදුවී තිබෙනවා. මට පෙනෙන හැටියට බලවත් රටවල් දුප්පත් රටවල්වලට බලපෑම් කිරීම සඳහා ඔවුන්ගේ මතයට නැඹුරු කර ගැනීම සඳහා සම්පත් සූරා කෑම සඳහා යොදා ගන්නා අවියක් බවට මානව හිමිකම් පත් කරගෙන තිබෙනවා.
එය එසේ නොවිය යුතුයි. මානව හිමිකම් කවුරුන් විසින් කඩකළත් ඒක වරදක්. නමුත් අද එක්‌සත් ජාතීන්ගේ සංවිධානයත් කතා කරන්නේ නැඟීගෙන එන රටවල සිදුවී ඇති බවට චෝදනා කරන පොඩි වැරදි පිළිබඳව පමණයි.
ප්‍රශ්නය - ඔබ කොහොමද එබඳු චෝදනාවක් කරන්නේ?
පිළිතුර - දැන් බලන්න ඇමරිකාව ඉරානය ආක්‍රමණය කළේ එරට සමූල ඝාතක අවි තිබෙන බවට චෝදනා කරමින්. මම දන්න තරමින් ඒ වන විට ඉරාකය හොඳ සුබසාධක රාජ්‍යයක්. සදාම් හුසේන් එරට පාලනය කළ කාලයේදී මම අවස්‌ථා කිහිපයකදීම එරටට ගිහින් තිබෙනවා. එය මුලධර්මවාදී රාජ්‍යයක් නෙවෙයි. ක්‍රිස්‌තියානි බැතිමතුන් වගේම සුන්නි, ශියා යන නිකාය දෙකේ බැතිමතුනුත් සමඟියෙන් කටයුතු කළා. ආගමික නිදහස හොඳින් ආරක්‍ෂා වී තිබුණා වගේම එම ජනතාව සතුටින් ජීවත් වූවා.
නමුත් යුරෝපයේ රටවලට ඉරාකයේ තිබෙන තෙල් ටික ලබාගැනීමට අවශ්‍ය වූවා. ඉරාකය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තෙල් නිෂ්පාදනය කරන රටක්. තෙල් සම්පත ලබාගැනීමට අමතරව, සදාම් හුසේන් සමහර අවස්‌ථාවලදී කෙළින් වැඩ කිරීම ඔවුන්ට පාලනය කර ගැනීමට නොහැකි වීම වගේම සෞදි අරාබියේ ආරක්‍ෂාවට තර්ජනයක් වීම වගේ කාරණාත් ඒ සඳහා බලපෑව.
කුවෙට් යුද්ධයෙන් පසුව ඉරානයට සම්බාධක පැනවූවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලක්‍ෂ 10 කට අධික මිනිසුන් බෙහෙත් නොමැතිව මියගියා. ඒ ආකාරයට මිය ගියේ සාමාන්‍ය මිනිසුන්. ඔවුන් ත්‍රස්‌තවාදීන් නෙවෙයිනේ. එහෙමත් කරල ඉන් පසුව කෙළින්ම ඉරාකය ආක්‍රමණය කළා. අන්තිමට සදාම් හුසේන් බල්ලෙක් වගේ මරල දැම්ම. නමුත් ඉරාකයේ තිබිල ඔවුන් ප්‍රකාශ කළ ජන ඝාතන අවි හමු වූයේ නෑ. අද වන විට ඉරාකය පිළිබඳව කතා කරනවද? අද වන විට එරට තුළ කෙතරම් ඝාතන සිද්ධ වෙනවද?
ඉරාකය පමණක් නෙවෙයි, ලිබියාව අරගෙන බලන්න. ගඩාපිත් හොඳ සුබසාධක රාජ්‍යයක් ගොඩනඟා තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එරට ආක්‍රමණය කරල කෙතරම් මිනිසුන් සංඛ්‍යාවක් ඝාතනය කළාද? ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරනවා කියල මොකද්ද කරන්නේ. එම රටවල් යටපත් කරල තමන්ට අවනත නොවන පාලකයන් ඉවත් කරල තමන්ට ගැතිකම් කරන රූකඩ පාලකයන් ඇතිකර ගැනීම තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ නමින් සිද්ධ වෙන්නේ. ඒවා නොකළ යුතු දේවල්. ඒ ආකාරයට සිද්ධ වෙන මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කතා කරන්නේ නෑ.
අද සිරියාවේ සිද්ධ වෙන්නෙත් ඒ ටිකම තමයි. අයි. එස්. ත්‍රස්‌තවාදීන් බිහි කළෙත් බටහිර රටවල් විසින්ම තමයි. ඔවුන් එහෙම කරන්නේ එරට පාලකයා ඉවත් කිරීම සඳහායි. එය තීරණය ගත යුත්තේ එරට වැසියන් මිස ඇමරිකාව නෙවෙයි. ඇයි එය බටහිර රටවල් තීන්දු කරන්නේ. ඒකද ප්‍රජාතන්ත්‍රවාදය? ඒවා මානව හිමිකම් ද? මගේ හැඟීමේ හැටියට බටහිර කරන්නේ අමු අමුවේ මානව හිමිකම් කැඩීමක් මිස රැකීමක් නෙවෙයි.
ප්‍රශ්නය - ඔබ සඳහන් කළ ආකාරයට ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේ තෙල් නිසා. ඔවුන් අපට බලපෑම් කරන්නේ කුමන හේතුවක් නිසාද?
පිළිතුර - අපගේ රටේ පිහිටීම ඒ සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. අත්ලාන්තික් සාගරය සහ පැසිපික් සාගරය අතර තමයි ඉන්දියන් සාගරය පිහිටා තිබෙන්නේ. ලංකාවෙන් පසුව ඔස්‌ටේ්‍රලියාවට යනකම් භූමියක් නෑ, එම නිසා අපගේ භූමියේ තීරණාත්මක වටිනාකමක් තිබෙනවා යුදමය වශයෙන්.
අද වන විට අප ඉන්දියාව සහ චීනයත්, ඇමරිකාව සහ චීනයත් අතර ඇති වී තිබෙන බල අරගලයේ ඉත්තකු බවට පත් වී තිබෙනවා. එසේ නොමැතිව ඔය බටහිර රටවල්වලට මානව හිමිකම් රැකීමේ වුවමනාවක් තියනවා කියල මම විශ්වාස කරන්නේ නෑ.
ප්‍රශ්නය - එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මඟින් අප රටට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක් ද?
පිළිතුර - මානව හිමිකම් පිළිබඳව කටයුතු කරන කෙනකු ලෙස එහි සඳහන් සමහර චෝදනා මට කොහෙත්ම පිළිගන්න බෑ. සමහර වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා හමුදාව ස්‌ත්‍රී දූෂණය ආයුධයක් ලෙස යොදාගත් බව. ඒක අසත්‍යයක්. සමහර විට හමුදා සෙබළෙකු අතින් කාන්තාවන් දූෂණය වෙන්න පුළුවන්. නමුත් ස්‌ත්‍රී දූෂණය අවියක් ලෙස යොදා ගත් බව පිළිගන්න බෑ. අනෙක් අතට දෙමළ ජාතික සන්ධානය හෝ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් හෝ කිසිදාක එබඳු චෝදනාවක් ඉදිරිපත් කර තිබෙනවා ද? ශිවාජිලිංගම්වත් එහෙම චෝදනාවක් කරල නෑ. එහෙම දෙයක් සිද්ධ වී තිබෙනවා නම් ඒ පිළිබඳව පොලිසියට මානව හිමිකම් කොමිෂන් සභාවට අධිකරණය හමුවට යන්න තිබුණා. නමුත් ඒ එකදු ස්‌ථානයකටවත් නොගිය අය ජිනීවා ගිහින් තිබෙනවා. මේ චෝදනා ප්‍රබන්ධ.
ඒ වගේම එම වාර්තා වල රහසිගත කඳවුරු පිළිබඳව සඳහන් වී තිබෙනවා. එහෙම කඳවුරු තිබෙනවා නම් දැන් තිබෙන බටහිරට හිතවත් ආණ්‌ඩුවට සොයා ගන්න පුළුවන්නේ. මෙම චෝදනා සත්‍යයෙන් තොරයි.
නමුත් යම් යම් සිදුවීම් සිද්ධවෙලා ඇති. නමුත් ඔය කියන ආකාරයේ සිදුවීම් සිද්ධවෙලා නෑ. පසුගිය ආණ්‌ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී දුර්වලතා සිදුවී තිබෙනවා. කොටකෙතනේ කාන්තාවන්
18 ක් ඝාතනය වී තිබෙනවා. බොහෝ ඝාතකයන් අත්අඩංගුවට පවා ගැනීමට නොහැකි වී තිබෙනවා. පැවරූ එකම නඩුවෙත් විත්තිකාරයන් නිදහස් වී තිබෙනවා මෙයින් පෙනී යන්නේ ඊට අදාළ අංශවල ක්‍රියාත්මක වීමේ තිබෙන දුර්වලකම. මේ දකුණෙත් උතුරෙත් එහෙම තත්ත්වයන් තිබෙන්න පුළුවන්. කොටකෙතන නඩුවේ විත්තිකාරයන් නිදහස් කරන්න වෙන බව මම කලින්ම කිව්වා. මම එහෙම කිව්වේ අපරාධ නඩු කරපු නීතිඥයෙක් වශයෙන්. එම සාක්‌කි මත විත්තිකාරයන් වැරදිකරුවන් කරන්න බැහැ කියන පදනමේ සිට.
ප්‍රශ්නය - හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ ඔහුගේ ආණ්‌ඩුවේ පැවති දුර්වලතා නිසා මෙම චෝදනා එල්ල වී තිබෙන බවට චෝදනාවක් තිබෙනවා. මෙම චෝදනා පිළිබඳව ඔබේ අදහස කුමක්‌ද?
පිළිතුර - මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ මහින්ද නිසා නෙවෙයි. ඔහුගේ පාලනය නිසයි. මහින්ද රාජපක්‍ෂත් මේ ආණ්‌ඩුව වගේ බටහිරට ගැතිකම් කළා නම් මේ කිසිදු චෝදනාවක් නෑ. මගේ හැඟීම නම් මෙම චෝදනා එල්ල වී තිබෙන්නේ මානව හිමිකම් කඩ කළ බවට එල්ල වී ඇති චෝදනා නිසා නොවෙයි. මේක බටහිරට ගැතිකම් නොකිරීම නිසා ඇති වූ ප්‍රශ්නයක්.
ප්‍රශ්නය - එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව විදේශීය සහයෝගය ඇතිව දේශීය යාන්ත්‍රණයන් මඟින් විභාගයක් සිදුකළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා.
මේ ආකාරයට විදේශීය සහයෝගය ලබාගැනීමට සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලයේදීත් ඒ ආකාරයට කටයුතු කළ නිසා බව ආණ්‌ඩුවේ නියෝජිතයන් කිහිප දෙනකුම ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රකාශවල යම් සත්‍යතාවයක් තිබෙනවද?
පිළිතුර - බලපෑම නිසා යම් යම් කටයුතු සිද්ධ වුවත්, විදේශිකයන්ට කටයුතු බාරදීමක් පසුගිය පාලන කාලයේදී සිද්ධ වූයේ නෑ. එම කාලයේදී සිද්ධ වූයේ පරණගම කොමිසමට උදව් වීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ඇති පිරිසකගේ උපදෙස් ගැනීම. ඒ ආකාරයට උපදෙස් ගැනීමේ වරදක් නෑ. 1971 කැරැල්ලෙන් පසුව ඇති කළ අපරාධ යුක්‌ති කොමිෂන් සභාව ඇති කළ අවස්‌ථාවේදීත් ඒ ආකාරයට උපදෙස් ගැනීම සිද්ධ වූවා. නමුත් දැන් සිද්ධ වෙන්න යන්නේ ඒක නෙවෙයි. දැන් සිද්ධ වෙන්න යන්නේ පරීක්‍ෂණ කටයුතු සඳහා විදේශීය මැදිහත්වීමක්. එහෙම දේවල් මහින්ද රාජපක්‍ෂගේ කාලයේදී වුණේ නැහැ කියන එක තමයි මගේ හැඟීම.
ජාත්‍යන්තර අධිකරණවල නඩුකාරයන් වශයෙන් මෙරට නඩුකාරයන් කටයුතු කර තිබෙනවා. ඒ පළපුරුද්ද ඔවුන්ට තිබෙනවා. ඒ වගේම අපගේ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් යුගොස්‌ලාවියාව බිඳවැටුණු අවස්‌ථාව වැනි අවස්‌ථාවලදී පවා උපදෙස් ලබාදී ඔවුන් සමඟ කටයුතු කර තිබෙනවා. එම නිසා හොඳ අත්දැකීම් තිබෙන පිරිසක් අපේ රටේ සිටිනවා. යුගොස්‌ලාවියාවේ වගේ අපගේ පද්ධතිය බිඳවැටිලා නෑ, අපගේ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වනවා. එම නිසා පිටස්‌තර පිරිසකට සම්බන්ධ වන්න ඉඩ දීම බලහත්කාරකමක් මිස වෙන දෙයක් නෙවෙයි.
ප්‍රශ්නය - මෙම තත්ත්වය හමුවේ රටක් විධියට ගත යුතු පියවර කුමක් ද?
පිළිතුර - පවතින සැබෑ තත්ත්වය අප ඉස්‌මතු කරල ගත යුතුයි. කුමක් හෝ වරදක් සිද්ධ වී තිබෙනවා නම්, කවුරුවත් කියන නිසා නෙවෙයි අපගේ වැඩක් විධියට ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි.
මගේ හැඟීමේ හැටියට නිවැරැදි විභාගයක් සිද්ධ කරනවා නම් යුද්ධය පිළිබඳව පමණක් නොවෙයි යුද්ධය ඇතිවීමට බලපෑ හේතු සාධකය කුමක්‌ද? යුද්ධයක් ඇති කිරීම සඳහා සහයෝගය ලබා දුන්නේ කවුද යන කරුණු කාරණාවල සිට සොයා බැලිය යුතුයි. සමහර පුද්ගලයන් යුද්ධයේ මුවාවෙන් පිටරටවලට මිනිසුන් පිටත් කරල මුදල් ඉපයූවා. ඒ වගේ දේවල් සිද්ධවෙලා තිබෙනවා. සොයනවා නම් ඒ සියල්ල පිළිබඳව සොයා බැලිය යුතුයි. නමුත් තෝරාගත් පිරිසක් ඉලක්‌ක කර යම් විභාගයක් කරනවා නම් එය වැරදියි. සමහර පුවත්පත්වල රසායනික අවි පාවිච්චි කළ බව සඳහන් කරල තිබෙනවා.
නිවැරැදි පරීක්‍ෂණයක් කරනවා නම් ඔවුන්ට එම තොරතුරු ලබා දුන්නේ කවුද කියන එකේ සිටන් සෙවිය යුතුයි.
ප්‍රශ්නය - යුද්ධයට හේතු වූ මූලයන්ගේ සිට සොයා බැලිය යුතු බව ඔබ සඳහන් කළත් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සූදානම් වන්නේ අවසන් අදියරෙදි සිදුවූ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට පමණයි. එය නිවැරැදි පර්යේෂණයක් නොවන බවද ඔබ සඳහන් කරන්නේ.
පිළිතුර - මෙම ප්‍රශ්නය පිළිබඳව සොයා බැලීම සඳහා නිවැරැදි කොමිසමක් පත් කරනවා නම් මෙම ප්‍රශ්නයට හේතු වූ කරුණු කාරණාවල සිට සෙවිය යුතුයි. 1970 ගණන්වලට පෙර සිටම සෙවිය යුතුයි. තරුණයන් සටන් කිරීම සඳහා පෙළඹවීම කළේ කවුද කියන එකත් සෙවිය යුතුයි. ඒ වගේම මුදල් ලබා දීම, මෙහෙය වීම කළේ කවුද කියන එකත් සෙවිය යුතුයි. ඒ අයට පැත්තක සිට වීරයන් වගේ කතා කිරීමට ඉඩ දීම වැරදියි කියන එක තමයි මගේ හැඟීම.
යම් කටයුත්තක් සඳහා උපදෙස් ගැනීම එක් දෙයක්. නමුත් ඉන් එහාට ගිහින් නඩු පැවරීම සඳහා පර්යේෂණ සහ නිරීක්‍ෂණ සඳහා පුද්ගලයන් මෙහි ගෙන එනවා නම් ඔවුන් කරන විමර්ශන උඩ මෙහි කටයුතු කරනවා නම් විදේශීය නඩුකාරයන් මෙහාට ගෙන එනවා නම් මෙම කටයුතු සඳහා නව නීති සම්පාදනය කිරීමට සූදානම් වනවා නම් එම කටයුතු සීමාව ඉක්‌මවා යාමක් ලෙස තමයි දකින්න වෙන්නේ.
එහෙම වුණොත් මේ රටේ නීතිය අනුව නෙවෙයි කටයුතු සිද්ධ වෙන්නේ. එය දේශීය පර්යේෂණයක් ලෙස හඳුන්වන්න බෑ.
එ.ජා. සංවිධානය ක්‍රියාත්මක වීමේ පදනම තමයි රටවල්වල අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් නොවීම යන පදනම. අපේ රටේ කටයුතු සිද්ධ විය යුතු ආකාරය තීරණය කළ යුත්තේ අපි විසින්. ස්‌වාධිපත්‍යය කියන්නේ ඒකට තමයි.
මෑත කාලයේදී බටහිර රටවල් උත්සාහ කළා එම තත්ත්වය වෙනස් කරල වෙනස් රටවල්වල අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වීමට Rtop ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට. එය තව යටත් විජිතවාදය ක්‍රියාත්මක කිරීමක්. එ.ජා. සංවිධානයේ මානව හිමිකම් කොමිසම හරහා මේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ එම වැඩපිළිවෙළ තමයි.
එරික් ගාමිණි ජිනප්‍රිය
-දිවයින
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .