10/11/2015

චේ සදාතනික වීරත්වයද? සන්දර්භගත වීරත්වයද?

කතෘ:යුතුකම     10/11/2015   No comments

1928 ජුනි 14 වැනිදා ආජන්ටිනාවේදී උපත ලද අර්නස්ටෝ ගුවේරා ද ලා සර්නා 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලීවියාවේ ලා හිගුවේරා ගම්මානයේදී අකාලයේ වෙඩි කා මිය ගියේය. එසේ වුවද ඒ මරණය විසින් ඔහුගේ ජීවිතයට අමරණීයත්වය කැන්දාගෙන එනු ලැබීය. ඒ අමරණීයත්වයට හේතුව ඔහුගේ ජීවන භාවිතාව මිස මරණයම නොවුණද අකාලයේ සිදුවූ මේ දිවි අහිමි වීමද චේ සදාතනික වීරයෙකු වීම කෙරේ ප්‍රබල ලෙස බලපෑවේය. අද වන විට ඔහුගේ මරණයෙන් වසර හතලිස් අටක් ගෙවී ගොස් තිබේ. සමාජවාදීන්ගේ දේශපාලන ලෝකය තුළ පමණක් නොව ධනවාදීන්ගේ වෙළඳ ලෝකය තුළද ඔහු තමවත් ජනප්‍රිය සංකේතයකි. එසේ වුවද ඔහුගේ සංකේතය අලෙවි කරන වෙළෙන්ඳන් පමණක් නොව ඔහුගේ සංකේතය හරහා දේශපාලන ප්‍රතිලාභ සොයායන විකල්ප ව්‍යාපාර විසින්ද අද වන විට චේ ගුවේරාට හිමි කර දී ඇත්තේ කෙබඳු ස්ථානයක්ද?

මුදලාලිලාට ඔහු තවත් එක් වෙළඳ භාණ්ඩයක් වනවිට අපේ වාමාංශිකයන්ට තමන්ගේ නැති බැරිකම් වසාගැනීම සඳහා චේ ගුවේරා හොඳ ආවරණයකි. මේ ආවරණයට මුවාවී රැඩිකල් වෙන්නට හදන අය පමණක් නොව, බැරුක් ඔබාමා කර තබා ගනිමින් විප්ලවවාදීන් යැයි සිතා සිටින බොහෝ මෝඩයන් හා තක්කඩියන්ගේ පිට පොත්ත සැරසීමට සිදුව ඇත්තේද චේ ගුවේරාටය. ලංකාව කියුබාව වූයේ නම් කාටත් පෙර ඇමරිකාවට යාම සඳහා මූදට පැනීමට නියමිත මේ පිරිස අද චේ ගුවේරාගේ හොඳම රසිකයන් බවට පත්ව සිටිති. කොළඹ කේන්ද්‍රීය බොරු සංවාද කාරයන්, ෆේස්බුක් කැරලිකාරයන්, ව්‍යාජ කවියන්, ප්‍රභාකරන් විමුක්ති වීරයෙක් යැයි සිතා සිටින ඊනියා විකල්ප මතධාරීන්, ඇඞ්වටයිසිං ක්‍රම විරෝධීන්, ආදී නා නා වර්ගයේ යටත්විජිතවාදයේ දෘෂ්ටිමය වහලූන් පිරිසක් ඊට අයත්ය.

අද චේ ගුවේරා ගැන උත්සව, සමරු සම්මන්ත්‍රණ, දේශනා, පෙළපාලි ආදිය පවත්වන බොහෝ දෙනාට විචාරශීලීව චේ ගුවේරා වටහා ගැනීමට කිසිදු වුවමනාවක් නැත. චේ ගුවේරාගේ අරගලය ඔස්සේ ලෝකයේ සියලූ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය හැකි යැයි ඔවුන් කල්පනා කරන්නේද ඒ නිසාය. තමන්ගේ රටේ ප්‍රශ්නවලට තමන්ට සාපේක්ෂ විසඳුම් සොයාගන්නට නොදන්නා සහ ඒ සියල්ල කිසිවකු විසින් කල් තියා පොත්වල ලියා ඇතැයි විශ්වාස කරන පොතේගුරු මාක්ස්වාදීන්ගේ පැවැත්ම සඳහා චේ ගුවේරා වැනි ප්‍රායෝගික මිනිසුන්ගේ සරණ නැතිවම බැරිය. ඉතිහාසයේ කිසියම් නිශ්චිත හා වැදගත් කාර්යය භාරයක් ඉටුකළ මිනිසකු මිනිස් සංහතියේ සදාතනික ගැලවුම්කරුවා ලෙස සලකා ඔහුට වන්දනාමාන කිරීමේ ප්‍රතිපලයක් තිබේද? මෙහිදී පොදු ජනතාවට වීරයන් අවශ්‍ය බව හා වීර සංකේත ඔස්සේ ඔවුන් මානසිකව පුබුදුවා තැබීම වැදගත් වුවද හුදු භක්තියට සීමා නොවූ සිහි බුද්ධියේ මැදිහත්වීමක්ද එතැනට නැතිවම බැරිය. මෙහිදී භක්තිය මුලූමනින්ම තර්ක බුද්ධියේ අණසකට යටකොට මැඩලිය යුතු නැතත් මේ දෙක අතර කිසියම් සමබරතාවයක් තිබීම වැදගත්ය. මා මෙම කෙටි සටහන ලිවීමට අපේක්ෂා කළේද චේ ගුවේරා ගැන මා තුළ ඇති භක්ත්‍යාදරය නොනසා පවත්වා ගන්නා අතරේම ඔහුගේ අඳ බැතියන් විසින් සාමාන්‍යයෙන් මතු නොකරන තර්ක බුද්ධියේ ප්‍රශ්න කීපයක්ද ගෙන හැර දැක්වීමටය.

සර්ව බලධාරී චේ

වීරත්වයද අනියත ධර්මයට යටත් එකක් වන්නේය. චේ ගුවේරා තව දීර්ඝ කාලයක් ජීවත් වූයේ නම් චේ ගුවේරාගේ වීර ප්‍රතිරූපය මේ තරම්ම භාවෝන්මාදී එකක් නොවන්නට ඉඩ තිබිණි. විශේෂයෙන්ම තමන් අදහන දාර්ශනික පරමාදර්ශයකට අනුව ලෝකයම හැඩ ගැස්වීමේ අරගලයක් තුළ වීරයකු වූ අයෙකුට ඒ වීරත්වය දිගුකල් සුරැකිව තබා ගත හැකි වන්නේ නැත. කේවල පුද්ගල පෞරුෂයන් හරහා ආන්බාන් කළ නොහැකි පරතෙර නොපෙනෙන කටුක ලෝක ධර්මතා යටතේ, වීරත්වයේ සීමා මායිම් දර්ශනය වීම කොහොමටත් ස්වාභාවිකය. තම උත්තම අරමුණූ පාවා නොදෙන අචල මිනිසකුට වුවද ඔහුගේ වීරත්වයේ සීමා මායිම් ලෝකයට පෙනීම වලක්වාගත හැකි නොවේ. එය හුදු වීරයන්ගේ වරදක්ම නොව විෂම විසල් ලෝකය හා කුඩා පුද්ගල පෞරුෂයන් අතර අන්තර් සම්බන්ධය අරභයා වූ සාමාන්‍ය ලෝක ධර්මතාවකි. තමාට අදාල එක් එක් සන්දර්භයන් තුළ වීරයන් විය හැකි බොහෝ දෙනෙක් මානව ඉතිහාසය තුළ නිර්මාණය වී ඇතත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු මෙන් මේ විසල් ලෝකයටම ඉහලින් තැබිය හැකි එකදු වීරයෙක් හෝ මේ දක්වා ලොව කොතැනකවත් බිහිවී නැත. එක් එක් සන්දර්භයන් තුළ ලොකු වීරයන් විය හැකි බොහෝ දෙනා බොහෝ විට සමස්ථ ලෝකය හමුවේ කුරු කුහුඹු සතුන් වැනිය. චේ ගුවේරාටද මේ සත්‍යය හොඳින්ම අදාල යැයි කීම ඔහුගේ ඓතිහාසික භූමිකාවට සපයන සාධාරණ අර්ථ කථනයක් මිස නිගරුවක් නොවේ. අවංක ලෙසම සමාජ යහපත උදෙසා අරගල කරන ව්‍යාපාර මේ රටේ තිබේ නම් ඔවුන්ට එවන් සදාතනික විශ්ව සාධාරණ වීරයන්ට වඩා ප්‍රායෝගික සන්දර්භගත වීරයන්ගේ දායකත්වය වැදගත්ය. මේ සංවාදයට අදාල ප්‍රධාන ගැටලූව වන්නේද චේ වැනි වීරයන් මත යැපීමට ආශා කරන බොහෝ දෙනා වීරයන්ගේ සන්දර්භගත සීමා මායිම් මොනවාදැයි හරි හැටි හඳුනා නොගනිමින් සන්දර්භ ඉම් රහිත, අකාලික, විශ්ව සාධාරණ වීරත්වයක් ව්‍යාජ ලෙස ඔසවා තැබීමය.

කවිකාර සැඩ සුළඟ

මීළඟට චේ ගුවේරාගේ වීරත්වය ගැන සාමාන්‍ය ප්‍රශ්න කීපයක් මතු කරන්නේ නම් චේ සකල ලෝකවාසීන් හමුවේ මේසා දැවැන්ත ප්‍රතිරූපයක් බවට පත්වීම කෙරේ බලපෑ සැබෑ හේතු කවරාකාර විය හැකිද? එය හුදු ඔහුගේ දේශපාලන මැදිහත් වීම වෙනුවෙන් ලෝකයා ඔහුට කරන කෘතගුණ සැලකීමක් පමණක් වේද? එය එසේ වේ නම් චේ ගුවේරාට හිමි ජනප්‍රියත්වය ඔහුගේ දේශපාලන මතවාදයට හිමිවී නැත්තේ කුමක් නිසාද? අනෙක් අතින් චේ ගුවේරාට වඩා අතිශය සංකීර්ණ අභියෝගවලට උරදුන් ලෙනින්, හෝ චි මිං වැනි වාම නායකයන්ට පවා අත්කරගත නොහැකි වූ මොකක්දෝ රැස්වළල්ලක් චේ ගුවේරා වටා භ්‍රමණය වන්නේ කෙසේද? චේ ගුවේරාගේ වීරත්වයෙන් ප්‍රමුදිතව දිවි අහිමි කරගත් දහස් ගණනක් ලංකාවේ තරුණයන්ට තියා චේ ගුවේරා හා කරට කර සටන් වැද මියැදුණු ඔහුගේ සමීපම සගයින්ටවත් චේ ගුවේරාට හිමි වීර ප්‍රතිරූපයේ අහලකට හෝ ලඟාවිය නොහැකි වූයේ කුමක් නිසාද? චේ ගුවේරාගේ පරමාදර්ශී දේශපාලන සිහිනය වත්මන් ලෝකය තුළ ප්‍රායෝගිකව බිඳ වැටී ඇති තත්ත්වයක් යටතේ වුවද ඔහුගේ දේශපාලනය ගැන නොදන්නා අය පවා චේ ගේ ජනප්‍රිය ප්‍රතිරූපයට ඇලූම් කරන්නේ කුමක් නිසාද? මේ කාරණා ගැන සියුම්ව කල්පනා කර බැලීමේදී චේ ගුවේරාගේ ජනප්‍රිය වීරත්වය හා ඔහුගේ දේශපාලනය අතර සම්බන්ධය අනුලංඝනීය එකක් නොවන බව අපට ක්‍රමයෙන් වැටහෙයි.

චේ ගුවේරාගේ භූමිකාව දේශපාලනයෙන් කෙසේවත් වෙන් කළ හැකි එකක් නොවුණද රතු දේශපාලනය නිසා චේ ගුවේරා බැබලූනාම නොව චේ ගුවේරා නිසා රතු දේශපාලනයද බෙහෙවින් බැබලූනේය. ඉතිහාසය තුළ පුද්ගලයාගේ කාර්යය භාරය බෙහෙවින් ලඝු කොට තකන අතරේම කාටත් වඩා වැඩියෙන් පුද්ගල වන්දනාවේ යෙදෙන වාමාංශිකයන් මේ ගැන කුමක් කිව හැකි වුවද චේ ගුවේරාගේ වීරත්වය හුදු දේශපාලන නිර්මාණයක් පමණක් වන්නේ නැත. සමාජවාදී ලෝකය පමණක් නොව ධනවාදී වෙළඳ ලෝකයද එකසේ කළඹා හරින ලද්සේ දේශපාලන සාධකයටත් වඩා ඒ ධීර වීර අභිලාෂයන් හා එක්වූ චේ ගේ මන බඳන රූපකාය ඇතුලූ පුද්ගල අනන්‍යතා විසිනි. ඒ රූපය මුදු මොලොක් සමනල අනන්‍යතාවයත්, පුරුෂත්වයේ හැඩි දැඩි බල පරාක්‍රමයත්, ආදී පරස්පර ලක්ෂණ ගණනාවක් එකට මුසු කළ අපූරු සුරුවමක් වැනිය.

ඒ රූපයෙන් කියවෙන දේ ඉතා අසීරුවෙන් වචනයට නඟන්නේ නම් ඔහු නිදැල්ලේ හඹා ඇදෙන සුළඟක් සේය. විටෙක සීමා මායිම් මහා බාධක ප්‍රාකාර කිසිවකින් ආන්බාන් නොවන මේ සැඩ සුළඟ තවත් විටෙක මල් පෙත්තක අතු රිකිල්ලක දැවටී නිසල විය හැකි තරමට ලයාන්විතය. චේ ගුවේරාගේ දෑස, දෙතොල, සිනහව, රැවුළ, කොණ්ඩය, කඩවසම් සිරුර පමණක් නොව තොප්පිය, ඇඳුම, සුරුට්ටුව ආදිය පවා අසිරිමත් බොහීමියානු අරාජිකත්වයක කදිම කාව්‍ය රූපකයෝ වැනිය. ඒ සමඟම එකී අරාජික සුළඟට කෙසේවත් තරම් නොවන ආකාරයේ හැඩි දැඩි, අනම්‍ය, ආඥාදායක ස්ථාවර බවක්ද ඔහුගේ රුව තුළ නිරුත්සාහිකවම තැවරී ඇත්තේ පුදුමාකාර ලෙසය. මේ අර්ථ ඇතිව කියවන කළ චේ සැලකිය හැක්කේ හුදු දේශපාලන සංකේතයකට වඩා අරගලකාමය, කවිත්වය, ධීරවීරත්වය, බොහීමියානු ප්‍රහර්ෂය, අනුරාගය, ආදිය එකට කලතා රොමාන්තික් සායමින් සිතුවම් කරන ලද, තියුණු ලිංගික හැඟවුම්ද සහිත මානවීයත්වයේ දුර්ලභ පුරුෂ සංකේතයක් ලෙසය. ඔහුගේ දේශපාලනයට එරෙහි අය පවා ඔහුගේ ප්‍රතිරූපයට ඇලූම් කරන්නේ මේ නිසාය. මේ අනුව ගත් කළ මිනිස් අභ්‍යන්තරයෙන් පැන නඟින සහජ ආශාවන්ගේ බලපෑම බාල ජනප්‍රිය වෙළඳ ලෝකයට පමණක් නොව විදග්ධ උත්තරීතර යැයි කියන සමාජවාදීන්ගේ ලෝකයටද අදාලය. චේ ගුවේරා වැනි ආනුභාවයක් සහිත නායකයන් ඉතිසාහය තුළ සුලබ ලෙස බිහිවන්නේ නැත. මේ නිසා ඔහුගේ රූපය හෝ දේශපාලන මතවාදය අනුකරණය කිරීමෙන් පමණක් ඔහුගේ වීරත්වයට කිට්ටු වීමට හෝ ඔහුගේ දේශපාලන සිහිනය යථාවක් බවට පත්කිරීමක් සිදු නොවේ.

හතලිස් අට වසරකට පසු

චේ ගුවේරාගේ කෙටි ජීවිත වෘතාන්තයම එකම ආශ්වාද ජනක වීර චාරිකාවක් වූයේය. ඔහු තමාට අවැසි පරිදි ලෝකය කඩා බිඳ සැකසීම වෙනුවෙන් දිවි දෙවැනි කොට අරගල කළේය. එහෙත් ලෝක ප්‍රවාහය විසින් ඔහු විනාශ කර දැමුවා විනා චේ ගුවේරාට අවැසි පරිදි ලෝකය වෙනස් වූයේ නැත. එසේ වුව ද ඔහුගේ අරගලය කෙසේවත් නිෂ්ප්‍රයෝජන එකක් නොවන්නේ ඒ අරගලය කිසියම් සන්දර්භයක් තුළ කිසියම් ජයග්‍රාහී ප්‍රතිඵල ප්‍රමාණයක් අත්කර ගත් වීරෝධාර අරගලයක් වන නිසාය. නූතන ලෝකය හමුවේ ඇති එකම විසඳුම චේ ගුවේරාගේ සමාජවාදය නොවිය හැකි වුවද ඔහුගේ ආදර්ශයන්ගෙන් නූතන ලෝකයට උගත හැකි පාඩම් බොහෝය. එසේම ඔහුගේ අරගලයේ සීමා මායිම් මොනවාදැයි අද අපට පැහැදිලිය. ඔහුගේ මරණයෙන් හතලිස් අට වැනි වසර ගෙවා දමන මිනිස් ලෝකයකට චේ ගුවේරාට වැරදුණු තැන් මොනවාදැයි වටහාගැනීම අසීරු වන්නේ නැත. චේ ගුවේරා වීරයකු වීමට බලපෑ සන්දර්භය ද ඔහුගේ වීරත්වය අවසඟ කරවනු ලැබූ සංදර්භයද වෙන වෙනම හා සංයුක්තව වටහාගත යුතුය. චේ ගුවේරා පමණක් නොව ඕනෑම වීරයකු වීරයකු වන්නේ සමස්ත ලෝකයට නොව ඒ ලෝකය තුළ ඔහුට හිමි වූ කිසියම් කාල දීප දේශ සංදර්භයක් තුළය. මේ සත්‍යය චේ ගුවේරා ලෙනින් වැනි මහා වීරයන්ට පමණක් නොව හන්දියේ චන්ඩියන් වැනි ක්ෂුද්‍ර වීරයන්ට ද එක සේම අදාලය. මේ අනුව චේ ගුවේරා සැලකිය හැක්කේ ද සදාතනික වීරයකුට වඩා සන්දර්භගත වීරයකු ලෙසය. සදාතනික හා සාර්වත්‍රික වීරත්වයක් චේ ගේ චරිතය තුළ පැවැතිය හැකි වුවද ප්‍රායෝගික දේශපාලනයේ අභියෝග ජයගැනීම සඳහා සදාතනික වීරත්වය පිළිබඳව කවි කල්පනා පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. සන්දර්භගත වීරත්වයකින් තොරව සදාතනික වීරත්වයක් උත්පාද විය නොහැකිය. ප්‍රායෝගිකව ලෝකය වෙනස් කළ හැක්කේ සදාතනික, සාර්වත්‍රික, රොමැන්තික් වීරයන්ට නොව ප්‍රාදේශීය, කාලෝචිත, සංදර්භගත වීරයන්ටය. එවැනි වීරයන් අදාළ සන්දර්භයන් තුළ අලූතින් නිර්මාණය කර ගත යුතුය. සදාතනික වීරයන් ඔස්සේ සන්දර්භගත වීරයන් නිර්මාණය කර ගැනීමේ මානසික පිටුබලයක් සපයා ගැනීමෙන් කිසිදු වරදක් නැතත් සදාතනික වීරත්වයට මුලා වී සන්දර්භගත වීරත්වය යටපත් කර දැමීම සැලකිය හැක්කේ විශාල දේශපාලන අනුවණකමක් ලෙසය. එසේ වුවද සන්දර්භගත වීරයන් නිමවා ගැනීමට හැකියාවක් නැති බොහෝ දෙනා සදාතනික වීරයන්ගේ රොමැන්තික් පරමාදර්ශ සෙවනේ තම කටුක නොහැකියාවන් සඟවා තැබීමට ආශා කරති. ඔවුන්ගේ කථිකා ලෝක තුළ චේ ගුවේරා ඊනියා සදාතනික වීරයකු බවට පත් වීම සැලකිය හැක්කේ චේ ගුවේරාට 1967 ඔක්තෝබර් 9 වැනි දා ලා හිගුවේරා ගම්මානයේ දී සිදු වූ අපරාධයටත් වඩා සිය ගුණයක් බියකරු හා ඛේදජනක අපරාධයක් ලෙසය.

-ඉසුරු ප්‍රසංග
[www.lankaleadnews.com]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)

https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions