10/31/2015

ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර

කතෘ:යුතුකම     10/31/2015   1 comment

යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය විදේශ ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විපක්ෂයේ සිටියදී වැඩිපුරම කතා කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් විනාශ කරන ලද ආර්ථිකය, එජාපය බලයට පැමිණි පසු තමාගේ ආර්ථික විද්‍යා දැනුමේ බලමහිමයෙන් නිවැරදි මගට ගෙන රට සශ්‍රීක කරන දේශයක් කරන අන්දම ගැනය. නිවැරදි ආර්ථික කළමණාකරණය පිළිබඳ ඔහු පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කළ කතා ඇසූවෙකු මෙරට ආර්ථිකය ජපානයේ හෝ ජර්මනියේ මට්ටමට කෙටි කලකින් ගෙන ආ හැකි බලයක් සහිත මැජික් යෂ්ටියක් හර්ෂ ද සිල්වා සතුව ඇතැයි කල්පනා කළා නම් පුදුමයක් නොවේ. ඔහු කතා කළේ එතරම් විශ්වාසයෙනි. තරුණයන් අතර රැකියා විරහිතභාවය නැති කිරීමටත් ඒ සඳහා විදේශ ආයෝජන යොදා ගැනීමටත් සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කොට සැමට සමාජ ආර්ථික සාධාරණය ඉටු කිරීමටත් තමාට කැක්කුමක් ඇතැයි අගෝස්තු 17 මහ මැතිවරණයේදී ඔහු පුන පුනා පැවසීය. හර්ෂ ද සිල්වා කියූ දේ විශ්වාස කළ කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් ලක්ෂයකට අධික මනාප ඡන්ද ලකුණු කළහ.
එහෙත් ඔහුගේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හර්ෂ සතුව ඇතැයි කියන ආර්ථික විද්‍යා ඥාන කදම්බය ගැන විශ්වාස කළේ නැත. අගමැතිවරයා ඔහුට දුන්නේ ආර්ථික විද්‍යාවට සෘජු සම්බන්ධයක් නැති නියෝජ්‍ය විදේශ ඇමති ධූරයයි. “ඔරුව පෙරලූන අත හොඳය” යන න්‍යාය අනුව යමින් ඉන්පසු ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේ ආර්ථික විද්‍යාවට අනුව විදේශ සම්බන්ධතා හසුරුවන බවය.

යහපාලන ආණ්ඩුව ඇමරිකාව සමඟ එක්ව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අවසන ඔක්තෝබර් 1 දා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කොට ගත් යෝජනාව මව්බිමට මහත් ආශිර්වාදයක් බව ඒත්තුගැන්වීමේ නිරත බොරු කියන්නන්ගේ පෙරහැරට දැන් හර්ෂ ද සිල්වාත් එක්වී සිටී. ජිනීවා යෝජනාව ගැන ජනතාව දැනුවත් කිරීම පිණිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් 12 වැනිදා එම දෙපාර්තුමේන්තුවේදී පැවති සම්මන්ත්‍රණයේදී ඔහු කළ කතාවද ඇතුළත් වාර්තාවක් ඔක් 14 දින ලංකාදීප පුවත්පතේ 22 වැනි පිටුවේ භාගයක් පුරා පළ කොට තිබිණි. ආචාර්ය හර්ෂ ද සිල්වා සිය දේශනයේදී සඳහන් කළ ප්‍රධාන කරුණුවල සාවද්‍ය බව අතාර්කික බව හා වංචනික බව පැහැදිලි කිරීම මේ සටහනේ අරමුණ වෙයි. ඔහුගේ කතාවේ ඇතුළත්ව තිබූ ප්‍රධාන දුර්මත තුනකි.

1. අපේ රටට එරෙහිව නියත වශයෙන්ම ආර්ථික සම්බාධක පැනවීමේ අවදානම්කාරී තත්ත්වයක් පැවතුණා. ඒ අනතුරුදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම සමනය කිරීමට නව රජය ලෙස අපට මේ වනවිට හැකිවී තිබෙනවා. ආර්ථික සම්බාධක පැනවූවා නම් අපේ රටේ ආර්ථිකය විශාල පසු බෑමකට ලක්වීමට ඉඩ තිබුණා.

හර්ෂ ගොඩනඟන මේ තර්කයේ හරය බලවත් රටක් අසාධාරණ ලෙස දුබල රටකට බලපෑම් කරන විට දුබල රට ඒ බලපෑමට යටත් විය යුතු බවය. එසේ නම් අප ස්වෛරී ස්වාධීන ජනරජයක් ලෙස හඳුන්වා ගැනීමේ තේරුම කුමක්ද? අප බලාත්කාරයට යටත් විය යුතු නම් අන්තර්ජාතික නීතිය හා අන්තර්ජාතික සංවිධාන කුමකටද? හර්ෂගේ තර්කය අනුව කාමාතුරයෙකු පිහියක් රැගෙන තරුණියක දූෂණය කරන්නට පැමිණි විට තරුණිය ඔහුට අවනත විය යුතුය. නැත්නම් පිහියෙන් ඇනීමේ අවදානමක් ඇති බැවිනි. වෙනත් ලෙසකින් කිවතොත් අප වැරදි වුවත් නිවැරදි වුවත් අධිරාජ්‍යවාදය හමුවේ දණ නැමිය යුතුය. හර්ෂගේ මතය පිළිගන්නේ නම් බි්‍රතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමට මැදිහත් වීමෙන් එක්සත් ජාතික පක්ෂය කර ඇත්තේ බලවත් වරදකි. බලාත්කාරයට යටත් වීමට නම් නිදහසින් ඇති පලය කුමක්ද?

රටකට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය හැකි ක්‍රම දෙකක් තිබේ. එක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මඟිනි. දෙක යම් යම් රටවල් මඟින් (අමෙරිකාව, යුරෝපා සංගමය වැනි) පෞද්ගලිකව සම්බාධක පැනවීමෙනි. ආරක්ෂක මණ්ඩලය මගින් සම්බාධක පැනවීමේ යෝජනාවක් සම්මත වීමට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් 15 දෙනාගෙන්, නිත්‍ය සාමාජිකයන් පස් දෙනෙක් ඇතුළුව 9 දෙනකුගේ ඡන්දය අවශ්‍යය. නිත්‍ය සාමාජිකයකු විරුද්ධ වුවහොත් යොජනාව නිශේධනය වෙයි. යහපාලන ආණ්ඩුව අමෙරිකාවේ බලපෑමට යටත් නොවූයේ නම් සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට යොමු කෙරෙන විට නිත්‍ය සාමාජිකයන් වන රුසියාව හා චීනය මෙතෙක් කළාක් ඊට විරුද්ධ වීමෙන් යෝජනාව නිශේධනය වනු ඇත. යහපාලන ආණ්ඩුව ජිනීවා යෝජනාවන්ට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් සැබවින්ම සිදුවූයේ මතු දිනෙක සම්බාධක පැනවීමේ යෝජනාවක් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වුවහොත් චීනයට හා රුසියාවට ඊට විරුද්ධ වීමට පදනමක් නැති බැවින් යෝජනාව පහසුවෙන්ම සම්මත වන තැනට කරුණු සැලසීමය.

දෙවැනි ක්‍රමයට එනම් රටවල් පෞද්ගලිකව සම්බාධක පැනවීම සිදු විය හැකිය. කියුබාවට සම්බාධක පනවනු ලැබූයේ එපරිද්දෙනි. එවැනි සම්බාධක පැනවීමකට ලොව ප්‍රධාන රටවල් සියල්ලම වුවද එක් වන්නේ නැත. මෙතෙක් එවැන්නක් සිදුවීද නැත. ඇමෙරිකාව හා යුරෝපා සංගමය සම්බාධක පැනවුවහොත් ශ්‍රී ලංකාවට අයහපත් ආර්ථික ප්‍රතිවිපාක විඳීමට සිදුවෙයි. එහෙත් එවැනි සම්බාධක ඒවා පනවන රටටද වේදනා ගෙන දෙන්නේය. මෙතැන ඇත්තේ බලාත්කාරයට බියෙන් ජාතියේ ස්වාධීනත්වය හා ගෞරවය පාවා දෙනවාද? නැතහොත් නිවහල්ව සිටිමින් අභියෝග ජයගන්නවාද යන තෝරා ගැනීමය. යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය ඉවත් කරගත් පලියට මෙරට ඇඟලූම් කර්මාන්තය කඩා වැටුනේ නැත. අභියෝගය ජය ගැනීමට අපට හැකිවිය. බලසම්පන්න අමෙරිකාව 1960 සිට පුංචි කියුබාවට පුුළුල් සම්බාධක පනවා තිබිණි. ගතවූ කාලයේදී ඒවා තව තවත් දැඩි කරනු ලැබීය. කියුබාව බලවත් පීඩා මධ්‍යයේ සිය ස්වාධීනත්වය සහ අභිමානය රැක ගත්තේය. අවසානයේදී අමෙරිකාව සිය කැමැත්තෙන්ම කියුබාවට එරෙහි බොහෝ සම්බාධක ඉවත් කළේය. සමහරක් ලිහිල් කළේය.

2. යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් රටක් ලෙස ශ්‍රී ලංකාව අනවශ්‍ය අන්තයකට තල්ලූ වී ඇතැයි සමහරුන් අභූත අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා එල්ල කරනවා. යෝජනාවලිය ආරම්භකර තිබෙන්නේම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමඟිය, සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන බවට ප්‍රති`ඥා දෙමින් නම් තිබෙන ප්‍රශ්නය කුමක්ද?

හර්ෂ ද සිල්වාගේ දෙවැනි උත්සාහයද කුමක්දැයි පැහැදිලිය. ජිනීවා යෝජනාවෙන් අප රටේ ස්වෛරීභාවයට, නිදහසට කිසිදු හානියක් නොවන බව ඒත්තු ගැන්වීමට ඔහුට අවශ්‍ය වී තිබේ. යෝජනාවේ පූර්විකා ඡේද අංක 4 යටතේ…
“ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, සමඟිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇති කැපවීම යළි තහවුරු කරමින් (ආරක්ෂා කරන බව නොවේ) යන” වැකියක් සඳහන් වන බව සත්‍යයකි. එක්සත් ජාතීන්ගේ කවර හෝ ආයතනයක් යම් රටක් සම්බන්ධව යෝජනාවක් හෝ ප්‍රකාශයක් සම්පාදනය කරන විට මේ වැකිය අවශ්‍යයෙන්ම ඇතුළත් කරන අතර එය ශ්‍රී ලංකාව වෙනුවෙන් අමුතුවෙන් කරන ලද්දක් නොවේ. අනෙක් අතට රටක ස්වෛරීභාවයට ගරු කරන බවට වැකියක් ඇතුළත් වීම යනු එය ප්‍රායෝගිකව පිළිපදින බවට කිසිදු ආකාරයක සහතිකයක්ද නොවේ. ඒ බව තහවුරු කළ හැකි සාක්ෂි සිය ගණනකි. එක්සත් ජාතීන්ගේ ව්‍යවස්ථාව ලෙස සැලකිය යුතු එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පූර්විකාවේ මෙසේ සඳහන් වෙයි. “අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදවා ගැනීම සඳහා එක්සත් ජාතීන් නමින් හැඳින්වෙන අන්තර්ජාතික සංවිධානය මෙසේ පිහිටුවා ගතිමු.”

යම් රටක් එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබනුයේ ප්‍රඥප්තිය පිළිගෙන ඒ අනුව ක්‍රියාකිරීමට එකඟ වෙමිනි. ප්‍රඥප්තිය පිළිගෙන අනාගත පරම්පරාවන් යුද්ධයේ ශාපයෙන් මුදා ගැනීම සඳහා ක්‍රියා කිරීමට එකඟවූ එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වන ඇමෙරිකාව මේ ප්‍රතිඥාව දීමෙන් පසු රටවල් කීයක් ආක්‍රමණය කර තිබේද? 1945න් පසු ඇමෙරිකාවේ ආක්‍රමණයට හෝ ප්‍රහාරයට ගොදුරු වූ රටවල් ගණන 23කි. එබැවින් ලංකාවේ ස්වෛරීභාවයට කැපවන බවට ජිනීවා යෝජනාවේ කර ඇති සඳහන ස්වෛරීභාවය සුරකින බවට කිසිම ආකාරයකින් පිළිගත හැකි සහතිකයක් නොවේ.

වඩා වැදගත් වනුයේ යෝජනාවෙන් කර ඇති නියමයන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට, ස්වෛරීභාවයට, ජනතාවගේ ස්වාධිපත්‍ය බලයට හානිකර වන්නේද යන්න විමසා බැලීමය. යහපාලන ආණ්ඩුවද එක්ව සම්මත කර ගත් ජිනීවා යෝජනාව හුදෙක් මානව හිමිකම් කඩකිරීම් ගැන විභාග කොට වැරදි කරුවන්ට දඬුවම් කිරීම සඳහා පමණක් වූවක් නොවේ. යෝජනාව ඉන් බොහෝ ඔබ්බට යමින් මෙරට ජනතාවගේ ස්වාධිපත්‍ය බලය යටතට සෘජුවම අයත් වන ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය, අධිකරණ ක්‍රියාදාමය, ආරක්ෂක යාන්ත්‍රණය, දේශපාලන බලය බෙදාහැරීම, ඉඩම් අයිතිය හා පරිහරණය, මහජන ආරක්ෂණ පනත, හා මැතිවරණ ක්‍රියාදාමයන් වෙනස් කරන ලෙසට නියම කර ඇත. මේ නියමයන් රටේ ස්වෛරීභාවය, ජනතා ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය උල්ලංඝනය කරන බව ආචාර්ය උපාධියක් ඇති හර්ෂ ද සිල්වාට නොවැටහීම ඔහුගේ නොව මෙරට ජනතාවගේ කරුමයකි.

3. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර එම රජයේ එකඟතාව ලබාගෙන සියලූ පියවර ගැනීමට කැමැත්තෙමු යනුවෙන් මේ යෝජනාවේ 20 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වෙනවා. එසේ නම් ඒ ඒ් අයට අවශ්‍ය පරිදි මේ කිසිත් කිරීමට කිසිවකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ අනුව ආණ්ඩුව ලෙෂ අප මේ තත්ත්වය දකින්නේ විශාල දේශපාලන ජයග්‍රහණයක් ලෙසයි.

මේ ජනතාව රැවටීම සඳහා එදා සම්මන්ත්‍රණයේදී හර්ෂ ද සිල්වා කළ අසත්‍ය අර්ථකථනයක් සහිත තවත් ප්‍රකාශයකි. හර්ෂ සඳහන් කර ඇති 20 වැනි වගන්තිය අදාල සම්ම්ත වූ යෝජනාවේ ඉංග්‍රීසි බසින් සඳහන්ව ඇත්තේ මෙසේය.

20. encourages the office of the high commissioner and relevant special procedures mandate holders to provide, in consultation with and with the concurrence of the government of sri lanka, advice and technical assistance on implementing the abovementioned steps.

එය මෙසේ සිංහලයට පරිවර්තනය කළ හැකිය.
“ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කරනු පිණිස ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව උපදෙස් හා තාක්ෂණික සහය ලබාදෙන ලෙස මහ කොමසාරිස් කාර්යාලය සහ විශේෂ කාර්යය පටිපාටි පිළිබඳ අධිකාරිය හිමි අය දිරිමත් කරයි.”

හර්ෂ ද සිල්වා සඳහන් කරන “සියලූ පියවර ගැනීමට කැමැත්තෙමු” යන අරුත දෙන වචන ඉංග්‍රීසි ඡේදයේ නැත. නැති අදහසක් ඇති බව පැවසීමෙන් ඔහු උත්සාහ කරන්නට ඇත්තේ ජිනීවා යෝජනාවේ සියලූ නියමයන් ක්‍රියාත්මක වනුයේ යහපාලන ආණ්ඩුව කැමති නම් පමණක්ය යන සාවද්‍ය මතය සමාජගත කරන්නට විය යුතුය. එහෙත් එය එසේ නොවේ. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ඇතිව කළ යුතු යැයි 20 ඡේදයෙන් පවසා ඇත්තේ සමස්ථ ජිනීවා යෝජනාවේ ඇතුළත් පියවර ක්‍රියාත්මක කිරීමට නොව එකී පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහය කවරේදැයි නිශ්චය කිරීමට බව තේරුම් ගැනීමට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත.
අනෙක් අතට 20 ඡේදයේ කියවෙන ඉහත සඳහන් පියවර ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා කොට එහි එකඟත්වය ලබා ගැනීමේ අවශ්‍යතාවක්ද නැත. හේතුව යහපාලන ආණ්ඩුව ඇමරිකානු යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන්ම එකී ඉහත සඳහන් පියවර සියල්ලට දැනටමත් එකඟත්වය පළ කර ඇති බැවිනි.

බලයේ රැඳී සිටීම සඳහා තනතුරු රැක ගැනීම සඳහා ජනතාව නොමඟ යැවීමට ආචාර්ය හර්ෂ ද සිල්වාට කැක්කුමක් තිබෙන බව අපට තේරුම් ගැනීමට පුළුවන. ජිනීවා යෝජනාවේ අග මුල යුක්ති යුක්තභාවය හා ප්‍රතිවිපාක දැන ගැනීම සඳහා ඔහුට සවන් දීමට පැමිණි මාධ්‍යකරුවන්ට දෙවියන්ගේම පිහිටය.

සුභාෂ් වික්‍රමගේ 
උපුටා ගැනීම : Lankaleadnews.com
 
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. dan ethakota artike hodata tiyanawane muta pissu labana aurudde edan badut wadi karala

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com