10/11/2015

මේ පාදඩ ක්‍රමය අභිබවා යා හැකි බුද්ධිමය සංවාදය ගොඩනැගීම සාහිත්‍යකරුවාගේ යුතුකමයි...

කතෘ:යුතුකම     10/11/2015   No comments

අපිට හිටපු අන්තිම කවියා තමයි අලගියවන්න මුකවෙටිතුමා

- සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

ඔබ මොනවද මේ දිනවල වැඩියෙන් කතාබහ කරන්නේ?

නිරන්තරයෙන්ම කතා කරන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයම තමයි. ‍පොඩි වෙනසකටත් එක්ක ටික කාලයකට කලින් නවකතාවක් ලියන්න පටන් ගත්තා. භාගයක් ලිව්වා. ඇති වුණු කලකිරීම නිසා ඒක ලියන එක නතර කළා.


ලියමින් යන නවකතාවක් නතර කරන්න තරම් ඔබ පෙළෙන කලකිරීම මොකද්ද?

මේ රටේ පවතින තත්ත්වය. නවකතාවක් ලියන්න කලින් සිංහල භාෂාවක් තියෙන්න ඕනෑ. සිංහල භාෂාව තියෙන්න නම් සිංහල ජාතිය තියෙන්න ඕනෑ. ඒත් උදාවෙලා තියෙන්නේ සිංහල ජාතියේ අවසානය.

සිංහල ජාතියේ අවසානය උදා වෙලා කියලා ඔබට හිතෙන්නේ ඇයි?

සිද්ධවෙන දේ දිහා බැලුවාම අවසන් වශයෙන් අන්තර්ජාතික, විජාතික කුමන්ත්‍රණයක් බව පැහැදිලියි. ඔවුන්ගේ අරමුණ රට බෙදීම සහ ජාතික බලවේගය නැති කරලා සිංහල ජාතිය අඩපණ කිරීම.

එවන් වටපිටාවක ඔබ වැන්නන් කරන කාර්යයන් පවා අතරමග නරත කිරීම සාධාරණද?

කරන කාර්යයන් අතරමග නතර කරන්නේ නෑ. මිනිස්සු හිතන්නේ මේක යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා සටනක් කියලා. මේක එහෙම එකක් ‍නෙවෙයි. රටේ අනාගතය සම්බන්ධ සටනක්. පහුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලිව පෙනෙන දේ තමයි ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට මේ රට තිප්‍පොළක් කරගන්න වුවමනායි කියන එක. ඒක මානව හිමිකම් ප්‍රශ්නයක් ‍නෙවෙයි. බරපතළ භූ දේශපාලනික ගැටලුවක්. චීනය සමග පැවැත්වූ සමීප සබඳතාවන් නිසා ආධිපත්‍යය බිඳ වැටේවි කියන භීතිකාව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර නඩයට තිබුණා. මේක විජාතික ප්‍රශ්නයක්. ඉන්දියන් සාගරයේ ආධිපත්‍යය පිළිබඳ ගැටලුවක්.

මේ කාරණයේදී රටේ සාහිත්‍යකරුවන් සතු වෙන්නේ කවරාකාරයේ වගකීමක්ද?

මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම. බුද්ධිමතුන් විදියට මෙය කළ යුතුයි. තරුණ පරම්පරාවට මේක තේරෙන්නේම නෑ. බටහිරයන්ට වුවමනා වුණේ රටේ ජාතික බලවේගය වන සිංහල බෞද්ධයා නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සිංහල ජාතිය විනාශ කිරීම. මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තමයි අපේ වගකීම. අද අපට අවශ්‍ය සාහිත්‍යකරණයට වඩා බුද්ධිමතාගේ කාර්යය. එයට සාහිත්‍යයට වඩා සෘජු ඇමතුම් මාධ්‍යයක් තිබිය යුතුයි. මහජනතාව අමතන බුද්ධිමතුන් බවට පත්විය යුතුයි.

සාහිත්‍යය සහ සාහිත්‍යකරුවන් සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් කතාබහ වෙන මාසය බවට පත්වෙලා තියෙන්නේ සැප්තැම්බරය. අද සැප්තැම්බරය ගැන ඔබේ අදහස මොකද්ද?

මේ සාහිත්‍ය මාසය මම නම් එදා ඉඳලාම තුට්ටුවකට මායිම් කළේ නෑ. මේක සාහිත්‍ය මාසයක් ‍නෙවෙයි, වාණිජ මාසයක්. සාහිත්‍යය කොහොමද මාසෙකට සීමා කරන්නේ? මේක ප්‍රකාශකයන් හා වෙළෙන්ඳන් තමන්ගේ ව්‍යාපාර ඉහළ නංවා ගන්න කරන්නා වූ ව්‍යාපෘතියක්. මිනිස්සු ජීවිත කාලයම කියවන්න ඕනෑ. සැප්තැම්බරයට විතරක් ‍නෙවෙයි. මේකෙන් සාහිත්‍යය තියා කිසිම දේකට වැදගත් යමක් ඉටු වෙන්නේ නෑ. ව්‍යාපාරිකයන්ට නම් හොඳයි.

අද සාහිත්‍යය බුද්ධිය අමතනවාට වඩා විනෝදාස්වාදය සපයන්නක් වෙලා. මේක බටහිර ලෝකය පුරාම වෙලා තියෙන දෙයක්. පශ්චාත් ධනවාදී බටහිර සමාජය තුළ සියලුම සංස්කෘතිකාංග තාවකාලික, එදිනෙදා විනෝදය සපයන මාධ්‍ය වෙලා. ‍පොත් ප්‍රකාශනය මහා පරිමාණ කර්මාන්තයක්. අන්තර්ගතය, පරමාර්ථය සරල රසාස්වාදය හා විනෝදය මිස බුද්ධියට ඇමතීම හෝ චින්තනය අවදි කිරීම ‍නෙවෙයි. එදා මාක්ස් කිව්වේ ආගම අබිං කියලා. හැබැයි අද වෙද්දී මුළු සංස්කෘතියම ජනතාව මත් කරන අබිං බවට පත්වෙලා අවසන්. අපේ රටේ තත්ත්වයත් ඒකමයි. එදා අපේ රටේ සිය ගණන් ‍පොත් බිහිවුණේ නෑ. බොහොම අල්පයයි. ඒවා කළෙත් බොහොම දැන උගත් බුද්ධිමත් පිරිසක්. අද ‍පොත් සිය දහස් ගණන් පිටවෙනවා. අන්තර්ගතයන් අන්තිම පහත්. කරන්නේ ඉතා පහත් රුචිකත්වයකට ආමන්ත්‍රණය කිරීම. බුද්ධිය අමතන තාර්කනය අවධි කරන දෙයක් පේන්න නෑ.

එහෙත් නව පරම්පරාවේ ‍ලේඛක ‍ලේඛිකාවන් පවා පහුගිය කාලයේ රාජ්‍ය සම්මානයන්ටත් පාත්‍ර වුණා..?

ඔය සම්මාන තුට්ටුවකටවත් වටින දේවල් ‍නෙවෙයිනේ. පහුගිය කා‍ලේ සම්මාන දුන්නු පත‍පොත දැක්කනේ. ඒක එතැනින්ම ඉවරයි. සම්මානය හම්බවුණා, එච්චරයි. ඉන් එහා පැවැත්මක් නෑනේ. එදා මාර්ටින් වික්‍රමසිංහ ‍පොතක් ලිව්වා නම් ඒක අදටත් සාකච්ඡා වෙනවා. ඒ හරවත් දේවල් ලිව්ව නිසා.

ඒ කියන්නේ අද ලියන පරම්පරාවට ඔය කියන හරවත් දේ ස්පර්ශ වෙන්නේ නැද්ද..?

රටක උසස් සාහිත්‍යය කියලා කියන්නේ විනෝදාස්වාදයට ලියන දේවල් ‍නෙවෙයි. සාහිත්‍යය කියන්නේ උත්තර දේශපාලන සංවාදයට. ඒක මේ යූ.ඇන්.පී. - ශ්‍රී ලංකා දේශපාලනය ‍නෙවෙයි. රටක සාහිත්‍ය කියන්නේ දේශපාලන සත්වයෙක් වුණු මිනිසාගේ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයට. ලෝකයේ බිහිවුණු උසස්ම සාහිත්‍ය ධාරාවක් තමයි රුසියන් සාහිත්‍යය. විචාරකයන්ට අනුව ලෝකයේ සාහිත්‍ය යුග තුනයි. ග්‍රීක, ශේක්ෂ්පියර් සහ ශ්‍රේෂ්ඨ රුසියන් නවකතාව තමයි ඒ. එදා රුසියන් නවකතාව බිහිවුණේ එදා තිබුණු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය විදියට. ගම්පෙරළිය, කලියුගය හා යුගාන්තය අදටත් අපේ උසස්ම නවකතා. ඒවා බිහිවුණේ ඕපපාතිකව ‍නෙවෙයි. ඒ කාලයේ මේ රටේ නිර්මාණය වෙලා තිබුණු බුද්ධිමය කතිකාවේ ප්‍රතිඵලයක් විදියට. එදා තිබුණා මාක්ස්වාදී සංවාදයක්. අනෙක් පැත්තෙන් ජාතික සංවාදයක් තිබුණා. මේ ප්‍රධාන සංවාද දෙක උඩ තමයි ඒ සාහිත්‍යය බිහිවුණේ. අද එහෙම දෙයක් නැති නිසා එවන් නිර්මාණත් නෑ. දේශපාලනය කියන්නේ බල ලෝභය පිණිස කරන්නාවූ අරගලයක්. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන රටක්.

මේ සඳහා නිර්මාණකරුවන්ට ප්‍රතිරෝධයක් ගොඩනගන්න බැරිද..?

බාගෙට බාගයක් නිර්මාණකාරයොත් එතැන ඉන්දෙද්දී කොහොමද එහෙම දෙයක් කරන්නේ? එන්.ජී.ඕ. නඩය තමයි ඕකට ‍පොහොර දාන්නේ. ඔවුන් කරන්නේ ඒ මැදිහත්වීම වළකන එක. විශාල සංස්කෘතික ආක්‍රමණයක්. දේශපාලන ආර්ථිකය සනාථ කරන්න සංස්කෘතික ආක්‍රමණය අත්‍යවශ්‍යයි. ඒක ඉතා බරපතළ විදියට බලපාන්නේ චින්තනයට. යථාර්ථය සම්පූර්ණයෙන්ම වසං කරලා වෙනත් දෙයක් මවා පාන එක. භාෂාව අච්චාරු කළාම ඒක තවත් පහසු වෙනවා. සාහිත්‍යයේ දැන් ඒ දේවල් දකින්න පුළුවන්.

තත්ත්වය ඒක නම් ඔබ විසින්ම මතු කළ හද බසට මොකද වෙන්නේ..?

හද බස ගැන මම මුලින්ම කතා කළේ සිංහල කාව්‍ය සම්ප්‍රදාය තුළ. කවි බස කියන්නේ ජනතාවගේ හද බසට. මේ හද බස අපි තාම මතු කර ගත්තේ නෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ පැමිණි අපේ කවි බස මතු කර ගත්තේ නෑ. ජාතියක් වශයෙන් අපි හදවතින් මිය ගිහින්ද කියන ගැටලුව එන්නේ මේ නිසා. ජනතාවට හදවතින් කතා කරන්න බැරි හදවතක් නැති නිසා. රටේ හර පද්ධතිය, ආකල්ප, සදාචාරාත්මක පැවතුම් දිහා බැලුවාම හදවතක් නැති ජාතියක් කියන එක පැහැදිලියි. අපරාධ දිහා බැලුවාම ඇත්තටම අපට හදවතක් තියෙනවද කියලා හිතෙනවා.

නව පරම්පරාවේ කතාබහට ලක්වුණු කවි කිවිඳියන් කිහිප දෙනාටවත් මේ දේ ස්පර්ශ වෙලා නැද්ද..?

නව පරම්පරාවේ කවියෝ කියලා කවුරුවත් ඉන්න බවක්, ඉස්මතු වූ බවක් මට නම් පේන්න නෑ. දැනෙන්න ලියන අය නෑ. හදබස කෘත්‍රිමව නිර්මාණය කරන්න බෑ. අවුරුදු දහස් ගණනක් තිස්සේ නිර්මාණය වූ අපේ කවියට තියෙන භාෂාව තමයි හද බස. මම දකින විදියට අපිට හිටිය අන්තිම කවියා අලගියවන්න මුකවෙටිතුමා. ඉන් පස්සේ ඒ වියත් කාව්‍ය සම්ප්‍රදාය අපෙන් ගිලිහුණා. අතුරු ඉත්තක් ජනකවි විදියට ආවා. හොඳ කවි බසක් හදා ගන්න අපේ ඒ කවිය නවීකරණය කරන්න ඕනෑ. ඒකට සමත් කිසිකෙනෙක් නෑ. හිටියනම් ඒ මුනිදාස කුමාරතුංග විතරයි. ඔහුගේ 'පියසමර' තමයි පහුගිය කාලයේ බිහිවුණු වැදගත්ම කාව්‍යය. අපේ කවිබස වර්තමානයට අනුව හැඩගස්වා ගන්නේ කොහොමද කියන එකට, කවිබස සම්බන්ධ හොඳම අත්හදා බැලීම ඒක. වර්තමාන පිරිස එයින් ප්‍රයෝජනය ගන්න බවක් පේන්නේ නෑ. පසුකාලීනව මහගම සේකර ගැන ලොකුවට කතා කරනවා. හැබැයි ඔහු හොඳ ගීත කිහිපයක් රචනා කළා හැර ඔහුගේ කවිවල ගතයුත්තක් මම දකින්නේ නෑ. 'ප්‍රබුද්ධ' වුණත් කවියක් ‍නෙවෙයිනේ.

හදබස යළි සැකසීම කරන්නම බැරිද?

කරන්න කිසිම දෙයක් නෑ, මේ වෙනුවෙන් කැපවුණු, අවබෝධ කරගත් නිර්මාණ පරපුරක් බිහිවෙන්න ඕනෑ. අභාග්‍යයකට එවන් පරපුරක් පේනතෙක් මානෙකවත් නෑ. ඉන්නේ බොහොම අනුකාරකවාදී පරපුරක්. ඔවුන්ගේ බිහිවීම ගැන පුදුම විය යුතු නෑ. පහුගිය දශක දෙක තුනේ අධ්‍යාපනය, මාධ්‍ය, ෆේස්බුක් ආදිය තුළින් වෙන්නේ අපේ උරුමය වෙත යන ගමනට මග අහුරන එක. තාක්ෂණය උපයෝගී කර ගන්න ඕනෑ අපේ උරුමය, සංස්කෘතිය රැකගන්න, ඉදිරියට ගෙන යන්න මිස විනාශ කරන්න ‍නෙවෙයි. අන්තර්ජාලය, ෆේස්බුක් හරහා කරන්නේ මේ සියල්ල විනාශ කරන එක. අද පත්තරවල මොනවද බලන්න තියෙන්නේ? මම අද එක සිංහල පත්තරයක්වත් බලන්නේ නෑ. රුපියල් හැටකට පාන් රාත්තලක් ගත්තොත් දවසක් ජීවත් වෙන්න පුළුවන්. ඒත් අද පත්තරවල මොනවද තියෙන්නේ? හරවත් කිසිම දෙයක් නෑ.

විශ්‍ලේෂණ නෑ. සාහිත්‍යය, දේශපාලනය ගැන ගැඹුරු කතිතාවක් නෑ. දේශපාලකයන් ගැන ඕපාදූප ආදිය විතරයි.

සාහිත්‍යය ගැන කතා කරන්න කලින් මේ රටේ බුද්ධිමත් සමාජයක් හදන්න ඕනෑ. ඒ ශක්‍යතාව අපට තියෙනවා. ඒක වෙනුවෙන් කැපවෙන පිරිසක් ඕනෑ. මේ පාදඩ දේශපාලනයත් එක්ක එයට ප්‍රතිවිරුද්ධව තරුණයන් ටික දෙනෙක් බිහිවෙමින් යනවා. ඒක වාසනාවක්. මේ පිරිස ගැන අපට බලා‍පොරොත්තු තියා ගන්න පුළුවන්. මේ අයට මේක වෙනස් කරන්න පුළුවන්. මේ වෙනස් කිරීමේ ප්‍රධානම දේ තමයි බුද්ධිමත් සමාජයක් ගොඩනැගීම. බුද්ධිමත් සමාජයක් තුළින් පමණයි හරවත් සාහිත්‍යයක් කරා යන ගමන වැටී තියෙන්නේ. එහෙම නොවුණොත් වෙන්නේ පාදඩ දේශපාලනඥයන්ගේ කෙළිමඬලක් වෙලා මේ රට නතරවෙන එක විතරයි. සාහිත්‍යය ගැන බොරු කුණුහරුප කතා කරලා වැඩකුත් නෑ, ආණ්ඩුවේ සාහිත්‍ය උත්සවවලිනුත් තුට්ටුවක වැඩක් නෑ. සාහිත්‍ය මාසයක් කියලා කරන මේ වැඩෙන් කිසි වැඩක් නෑ. මේ රටේ හරවත් බුද්ධිමත් චින්තනයක් ඇතිකිරීම, ඒ සඳහා අවශ්‍ය සංවාදය බිහිකිරීම තුළින් පමණයි නියම සාහිත්‍යයක් බිහිකරන්න පුළුවන් වෙන්නේ.

[ලක්බිම]

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions