හීබෲ භාෂාවේ පුනර්ජීවනය සහ නූතන භාෂාවක් ලෙස එහි විකාශනය
හීබෲ භාෂාව අනාදිමත් කාලයක් මුලුල්ලේ යුදෙව් ජනතාවගේ ආගමික හා සාහිත්‍යමය භාෂාව ලෙස භාවිතා වූ නමුත්, 20 වන සියවසේ මුල් භාගය තෙක් එය මව් භාෂාවක් ලෙස කිසිවෙකු විසින් හෝ භාවිත කරනු නොලැබුණි. කෙසේ වෙතත්, 19 වන සහ 20 වන සියවස්වල දී, එලියෙසර් බෙන්-යෙහූදා (Eliezer Ben-Yehuda) වැනි විද්වතුන්ගේ නොපසුබස්නා පරිශ්‍රමයන් හේතුවෙන් හීබෲ බස නැවතත් ජීවමාන භාෂාවක් බවට පත් වී ඇත.
හීබෲ භාෂාව සෙමිටික් භාෂා පවුලට අයත් වන අතර, එහි මූලාරම්භය ක්‍රි.පූ. දස වන සියවස දක්වා දිව යයි. මෙම භාෂාව මුලින් කනාන් (Cannan) හෙවත් වත්මන් ඊශ්‍රායලය, පලස්තීනය, ලෙබනනය, ජෝර්දානය සහ සිරියාව අයත් ප්‍රදේශයේ භාවිත වී ඇත. යුදෙව් ජනතාවගේ ප්‍රධානතම ආගමික ග්‍රන්ථය වන තනාක් (Tanakh) හෙවත් හීබෲ බයිබලය, හීබෲ බසින් ලියැවී ඇති අතර, එය යුදෙව් ආගමෙහි කේන්ද්‍රීය භාෂාව විය. කෙසේ වෙතත්, බැබිලෝනියානු රාජධානිය විසින් යුදෙව්වන් යටත් කර ගනු ලැබීමත් සමග (ක්‍රි.පූ. 586), යුදෙව්වන් බොහෝ දෙනෙක් ක්‍රමයෙන් අරමායික් භාෂාව කතා කිරීමට හුරු වී ඇත. පසුව රෝමානු යුගයේ දී, හීබෲ භාෂාව ආගමික අධ්‍යයන කටයුතු සහ යුදෙව් පූජකයින්ගේ භාෂාවක් ලෙස පමණක් පැවතී ඇත. පසු කාලීනව, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ විසූ යුදෙව්වන් ඒ ඒ රටවල භාෂා මෙන්ම හීබෲ සහ යුරෝපීය භාෂාවන් මිශ්‍ර වීමෙන් සෑදුනු භාෂා ද භාවිත කළහ.
19 වන සියවසේ අග භාගයේ දී, සියොනවාදී ව්‍යාපාර ඇති වීමට සමගාමීව හීබෲ භාෂාව නැවත ජීවමාන භාෂාවක් බවට පත් කිරීම සම්බන්ධ අදහස් ද මතු විය. ඊට ප්‍රධන ම හේතුව වන්නේ ලොව පුරා විසිරී සිටි යුදෙව් ප්‍රජාව, එක් ප්‍රදේශයකට එකතු කර, නව රටක් නිර්මාණය කිරීමේ දී ඔවුන් එක්සත් කිරීමේ පොදු මාධ්‍යයක් ලෙස හීබෲ භාෂාව භාවිත කළ හැකි ය යන අදහස යි.
හීබෲ භාෂාව නවීන භාෂාවක් ලෙස වර්ධනය කිරීමේ නූතන වචන හිඟ වීම, සකීර්ණ ව්‍යාකරණ පද්ධතියක් පැවතීම යන අභියෝගයන් ජය ගැනීමට සිදු විය. තවද, ලොව පුරා විවිධ යුදෙව් ප්‍රජාවන් අතර හීබෲ උච්චාරණයන් වෙනස් වූ නිසා, පොදු උච්චාරණ පද්ධතියක් නිර්මාණය කිරීම ද අවශ්‍ය විය.
මෙකී අභියෝගයන්ට මුහුණ දීමේ ප්‍රමුඛ විද්වතෙකු මෙන් ම, නායකයෙකු ද වූයේ එලියෙසර් බෙන්-යෙහූදා (1858–1922) ය. නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි වන පරිදි, නව වචන නිර්මාණය කිරීමේ බෙන්-යෙහූදාගේ උත්සාහය කෙලවර වන්නේ 1908 දී, ඔහු විසින් හීබෲ ශබ්ධ කෝෂයක් එළි දැක්වීමෙනි. මෙලෙස නව වචන නිර්මාණයේ දී, ඔහු පුරාණ හීබෲ මූලාශ්‍රවලින් ආසන්න අර්ථය සහිත වචන ලබා ගනිමින්, ඒ ඇසුරින් නව වචන නිර්මාණය කරන ලදී. මීට අමතව, ඉංග්‍රීසි, රුසියානු, අරාබි සහ යිඩිෂ් භාෂා වලින් බොහෝ වචන අවශෝෂණය කර ගෙන ඇත. හීබෲ අක්ෂර මාලාව අක්ෂර 22කින් සමන්විත වන අතර, එය දකුණේ සිට වමට ලියනු ලබයි.
හීබෲ භාෂාව, 20 වන සියවසේ මුල වන විට පලස්තීන ප්‍රදේශයේ ඇති වෙමින් තිබූ යුදෙව් ජනාවාස තුළ ඉගැන්වීම ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ රටවලින් පලස්තීනයට සංක්‍රමනය වූ, ඒ වන විටත් විවිධ භාෂා කතා කරමින් සිටි යුදෙව්වන්ට පොදු සන්නිවේදන භාෂාවක් ලෙස හීබෲ භාවිත කිරීමට එහි දී අනුබල දෙන ලදී. පසුව හීබෲ මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරෙන, පෙර පාසල්, පාසල් සහ විශ්ව විද්‍යාල දක්වා මෙම ව්‍යාපාරය වර්ධනය විය. හීබෲ මාධ්‍ය පුවත්පත් ද මුල් යුගයේ ම ඇරඹුනු අතර, පසු කාලීනව රැස්වීම්, සම්මන්ත්‍රණ යනාදිය හීබෲ බසින් පවත්වන ලදී.
පලස්තීන ප්‍රදේශය තුළ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී, ඉංග්‍රීසි, අරාබි සහ හීබෲ එහි නිල භාෂා වූ අතර, 1948 දී ඊශ්‍රායලය නිදහස ලැබීමෙන් අනතුරුව එහි නිල භාෂා වූයේ හීබෲ සහ අරාබි ය. 1948 වන විට පලස්තීනය තුළ උපන් යුදෙව්වන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයකගේ මව් බස වූයේ හීබෲ ය. ඊශ්‍රායලයේ ජාතික භාෂාව ලෙස හීබෲ 2018 වර්ෂයේ දී නම් කරන ලද අතර, අද වන විට එරට ජාතික අනන්‍යතාව මතු කිරීමේ ප්‍රධානතම සංකේතයක් වන්නේ හීබෲ භාෂාව යි. වසර දහස් ගණනක්, ආගමික සහ සාහිත්‍යමය කටයුතු සඳහා පමණක් වෙන්ව තිබූ භාෂාවක්, එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදා ගත හැකි, අධ්‍යාපන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි, ප්‍රායෝගික භාෂාවක් ලෙස වර්ධනය කිරීම ලෝකයේ ඉතාමත් සුවිශේෂී මෙන් ම අසාමාන්‍ය භාෂා පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙම අසාමාන්‍ය භාෂා පුනර්ජීවන කථාව පෙන්වා දෙන්නේ භාෂාවක් ජීවමාන කිරීම සඳහා අඛණ්ඩ පරිශ්‍රමයක් අවශ්‍ය බව යි.
එහෙත්, සියොනවාදී ව්‍යාපාර ආරම්භ වූ මුල් යුගයේ දී, අනාගත යුදෙව් රාජ්‍යයේ භාෂාව කුමක් විය යුතු ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතා පැවතුනි. ඇතැම් යුදෙව් නායකයින් ඉංග්‍රීසියෙහි ජාත්‍යන්තර සන්නිවේදනය, විද්‍යාව සහ තාක්ෂණය සඳහා ඇති ප්‍රයෝජනවත් බව සලකා එය ප්‍රවර්ධනය කිරීමට යෝජනා කළහ. එහෙත්, යුදෙව් ජාතිකත්වය පුනර්ජීවනය කිරීම සියොනවාදී ව්‍යාපාරයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වීම හේතුවෙන්, හීබෲ භාෂාව යුදෙව්වන්ගේ ඓතිහාසික උරුමය නිරූපණය කරන්නක් ලෙස සලකනු ලැබිණ. අනෙක් අතට බ්‍රිතාන්‍ය යටත් විජිත භාෂාවක් වූ ඉංග්‍රීසිය භාවිත කිරීම යටත් විජිත මානසිකත්වය ප්‍රවර්ධනය කරන්නක් ලෙස, යුදෙව් ජාතිකවාදීහු සැලකූහ.
හීබෲ භාෂා පුනර්ජීවන ව්‍යාපාර කෙරෙහි එල්ල වූ අනෙක් ප්‍රතිවිරෝධය එල්ල වූයේ දැඩි භක්තිමත් යුදෙව් ආගමිකයන් වෙතිනි. හීබෲ බස හුදු ආගමික කටයුතු සඳහා වෙන් වූ ශුද්ධ වූ භාෂාවක් බවත්, එය එදිනෙදා භාවිතයන් සඳහා යොදා ගැනීම නොකළ යුත්තක් බව ඔවුන්ගේ තර්කය විය. එහෙත් මෙම මතවාදය සඳහා සියොනවාදීන් අතර එතරම් පිළිගැනීමක් ඇති නොවුනි.
හීබෲ භාෂාව එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන සැකය මුල් යුගයේ බොහෝ දෙනෙකු තුළ විය. මෙම සැකය මුල දී බෙන්-යෙහූදා තුළ ද වූ නමුත්, එම සැකය දුරු කිරීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහු තුළ වූ විය. ඒ සඳහා ඔහු කළ කැප කිරීම අතිමහත් ය. මේ ගැන අපි වැඩි දුරටත් මීලඟ ලිපිය මගින් සාකච්ඡා කරමු.
යුතුකම ජාතික සංවිධානය
-නාරද බලගොල්ල
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකියුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .