11/27/2014

ඉතිහාසය ලිවිය හැක්කේ ප්‍රාඥයකුට පමණි.

කතෘ:යුතුකම     11/27/2014   7 comments

බොහෝ රටවලට ඇත්තේ කෙටි ඉතිහාසයකි. ඇතැම් රටවලට දිගු ඉතිහාසයක් තිබුණද ඒ පිළිබඳ ලිඛිත සාධක නැත. එහෙත් ලංකාවට දිගු ඉතිහාසයක් මෙන්ම ඉතිහාසය ලිවීමේ දිගු සම්ප්‍රදායක්ද තිබේ. එකී සම්ප්‍රදාය මෙරට ඉතිහාසය පමණක් නොව භාරතීය ඉතිහාසය පිළිබඳ කාල නිර්ණය කිරීමෙහිලා ද උපස්ථම්භක වී තිබේ. අශෝක රජ සමය හඳුනාගැනීමට මහා වංශය පාදක කොට ගැනීම නිදසුනකි. දීපවංශය, මහාවංශය ආදී කෘතිවලින් ඇරඹෙන මෙරට ඉතිහාස රචනා සම්ප්‍රදායේ වර්තමාන මොහොත සහ ශ්‍රීනාත් ගනේවත්තගේ ළමා කෘති මාලාව පිළිබඳ කෙටි විග්‍රහයක් කිරීම මේ ලිපියේ අරමුණයි.

කිසියම් රටක, දැයක, ආයතනයක හෝ පුද්ගලයකුගේ පැවැත්මේ වැදගත් අවස්ථාවල ක්‍රමානුකූල පෙළගැස්ම ඉතිහාසය යැයි සරල ලෙස පැවැසීය හැකිය. Heroes and Hero Worship නම් සුප්‍රකට ‍පොත් පිංච ලියූ ඉංග්‍රීසි ජාතික තෝමස් කාලයිල් නමැති විද්වතා පැවැසූයේ ඉතිහාසය යනු ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ චරිතාපදාන හෙවත් කතන්දරය බවයි.(History is the biography of Grate men) එහි අර්ථය ශ්‍රේෂ්ඨ පුද්ගලයන් පහළ වී තම දැවැන්ත චරිතය, ප්‍රබල පෞරුෂය සහ ප්‍රඥා ප්‍රභාව උපයෝගී කරගෙන ආගම්, දර්ශනවාද, රාජ්‍ය ගොඩනගන බවය. මානව වර්ගයාගේ ඉතිහාසය වනාහි එවන් පුද්ගලයන්ගේ ඉතිහාසයයි. නිදසුනක් ලෙස මාර්ටින් ලූතර් කිං යුරෝපයේ ‍ප්‍රොතෙස්ත්‍රන්ත ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නැගී සිටීම දැක්විය හැකිය.

එහෙත් කාලයිල්ගේ ප්‍රකාශයෙහි ගැබ් වන්නේ අර්ධ සත්‍යයක් පමණි. වීරයන් වනාහි ඔවුහු ජීවත් වන යුගයේ ද නිර්මාණයෝ වෙති. එකී සමාජ දේශපාලන මොහොත විසින් උපද්දවනු ලැබුවෝ වෙති. මාර්ටින් ලූතර් කිං සමකාලීන මිනිසුන්ගේ ආගමික සිතුවිලි වෙනස් කළේ නැත. ඒ වන විටත් ඒ වෙනස්වීම් සිදු වී තිබිණි. එහෙත් ඒවා පැවැතියේ සැඟව යටපත්ව අප්‍රකාශිතවය. ඔහු එම අදහස් මැනවින් ප්‍රකාශ කළා පමණි. ඒ වන විටත් බලගැන්වී පැවැති ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයට ගිනිදල්වා පුපුරුවා හැරියා පමණි. ඔහු එකී යුග අවශ්‍යතාව මැනවින් ඉටු කළ බව සැබෑය. එමෙන්ම ඔහු වෙනත් යුගයක ඉපදුණි නම් ආගම් ප්‍රතිසංස්කරණවාදීයකු නොවනු ඇත. එනම් ඔහු ද එකල ජීවත් වූ සෙසු අය මෙන්ම යුගයේ නිර්මාණයකි. මේ අනුව ඉතිහාසය වනාහි ඒ ඒ යුගවල ජීවත් වූ මිනිසුන් සියදහස් ගණනකගේ චරිතාපාදන බැව් ද කිව හැකිය.

පවතින සමාජ දේශපාලන පරිසරය බලපාන්නේ ඉතිහාසය නිර්මාණයෙහිලා පමණක් නොවේ. ඉතිහාසය ලිවීමෙහිලා ද එය ඉතා ප්‍රබල ලෙස බලපායි. යම් මොහොතක ලියන ඉතිහාසය ඒ අවස්ථාවේ සමාජ දේශපාලන කොන්දේසීවලට අනුගතව ඉතිහාසය දකින ආකාරයයි. වෙනත් ලෙසකින් කිවහොත් ඉතිහාසඥයාගේ දෘෂ්ටිය ඔහු ජීවත් වන යුගයේ සමාජ දේශපාලන පරිසරය විසින් නිර්මාණය කරනු ලබන්නකි. එසේ බලන කල යම් යුගයක ලියන ඉතිහාසයකින් ඊට විෂය වන යුගයට වඩා එය ලියැවෙන යුගය පිළිබිඹු කරතැයි කිවහැකිය. එනම් මහාවංසයට පදනම් වූ යුගයට වඩා මහානාම හිමි දවස සමාජ දේශපාලන කතිකාව ඉන් පිළිබිඹු වෙතැයි කීම නිවැරදිය.

මෙරට මෑත ඉතිහාසය යනු 1505 ඇරඹෙන යටත් විජිත සමය සහ පශ්චාත් යටත් විජිත සමයයි. සියවස් කීපයක බටහිර ආක්‍රමණවලින් පසු 1948 අප ලද්දේ ද පූර්ණ නිදහසක් නොව බ්‍රිතාන්‍ය රැජිනගේ කිරීටය යටතේ පාලනය වන ඩොමීනියන් නිදහසකි. 1972 දී ලංකාව ජනරජයක් වුවද නොබෝ කලකින්ම උතුරු නැගෙනහිර ත්‍රස්ත ග්‍රහණයට නතු විය. විජිතවාදීන්ගේ විවිධ හිරිහැර සහ පාලන උපක්‍රම නිසා රටේ අධිරාජ්‍ය ගැති පිරිසක් බිහිවිය. ජාතීන් අතර අසමගිය ඇති විය. මැකෝලි ස්වාමිගේ නිර්දේශයට අනුගතව යටත් විජිත වාසීන්ට ලබාදුන්නේ ලෙයින් මසින් පමණක් ස්වදේශික වුවත් සිතුම් පැතුම්වලින් සුද්දන් බිහි කරන අධ්‍යාපනයකි. හිරු නොබසින අධිරාජ්‍ය පවත්වාගෙන යාමට අවශ්‍ය සුවච කීකරු හීලෑ ලිපිකරුවන් පිරිසක් බිහි කර ගැනීම ඒ අධ්‍යාපන ක්‍රමයේ එකම අරමුණ විය. ජී.සී.මෙන්ඩිස්, තෙන්නකෝන් විමලානන්ද, ගනනාථ ඔබේසේකර ආදී ඉතිහාසඥයන් බිහිවන්නේ මෙකී යටත්විජිත මානසිකත්වය රජයන සමාජ දේශපාලන තිඹිරිගෙයකිනි. එකල සමාජ විඥානය අරා පැතිර පැවැතියේ අධිරාජ්‍ය ගැති බව, හීනමානය, අතීතකාමය ඈ ගනඳුරු පටලය, එහෙයින් එම සමාජ තතු ඉතිහාසඥයන්ගේ ‍ලේඛනවලින් පිළිබිඹුවීම අරුමයක් නොවේ.

ගුණදාස අමරසේකර මහතා 1988 කාලය සඟරාවට ලියූ “අපේ ඉතිහාසය නැවත ලිවිය යුතුයි“ නමැති ලිපිය මගින් පෙන්වා දෙන බටහිර ගැති, අතීතකාමී, ජාති ගැති සහ කිසිදු දෘෂ්ටියක් නොමැති ඉතිහාසඥයන් බිහිවන්නේ මෙකී සමාජ දේශපාලන පසුබිමෙහිය. සෙසු අධිරාජ්‍ය විරෝධී උගතුන් සිය චින්තන සම්ප්‍රදාය සොයා යනු වෙනුවට කළේ මාක්ස්වාදය වැළඳ ගැනීමය. ඉඟුරු දී මිරිස් ගත්තාට වැඩි සෙතක් ඉන් සිදු වී නැති බව එදා කෙසේ වුවද අද පැහැදිලි වී තිබේ. එහෙයින් මෙවන් යුගයක රචිත ඉතිහාසයක් කියවීමෙන් එහි ඇති ව්‍යාධීන්ද අඩු නැතිව අවිඥානිකවම සමාජගත වන බව නොකිවමනාය.

1987 ප්‍රකට ඉතිහාසඥයකු වන එච්.ජී. චාල්ස් මහතා ලියූ ලිපියක ඔහු මේ කරුණ ඉස්මතු කරයි. “ ඇඹුල් මිදි කෑ පියවරුන්ගේ දරුවන් මෙන් වත්මන් පරපුරේ ඉතිහාසඥයන් අතින් අපගේ ඉතිහාසය විකෘති වීමේ අනිටු විපාක අද ජීවත් වන පරම්පරාව හොඳ හැටි විඳිති. ඒ නිසා අද ඔවුනට ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය, ජාතික චින්තනය, ජාතික අනන්‍යතාව යන වදන් පවා අරුත්සුන් හිස් මනස්ගාත බවට පත්ව තිබේ.” චාල්ස් මහතාගේ මේ ප්‍රකාශය සත්‍ය බැව් යුගයේ විශිෂ්ටතම ඉතිහාසඥයා වන ජී.සී. මෙන්ඩිස් මහතාගේ ලිපි‍ලේඛනවලින් පැහැදිලි වෙයි. ඔහු විසින් රචිතCeylon Today and Yesterday නම් කෘතියේ මෙරට සිංහල දෙම ප්‍රශ්නයක් ඇතිවීමෙහිලා බ්‍රිතාන්‍යයන්ගේ බෙදාවෙන් කර පාලනය කිරීමේ උපක්‍රම බලපෑ ආකාරය ඉස්මතු නොකරයි. එය කියවන කල සිතට නැගෙන්නේ සිංහල, දෙමළ ජනතාව ඉතිහාසයේ ආරම්භයේ පටන් නයි ‍පොළඟුන් ලෙස ජීවත් වූ බවකි. 1956 සිදු වූයේ ගමේ සඟුන්, වෙදුන්, ඉස්කෝ‍ලේ මහත්වරු රටේ බලය කොල්ලකෑමය. එමෙන්ම ලංකාව ශිෂ්ටාචාරගත කළේ වසර 5000 පෙර තමන් යැයි ද්‍රවිඩ ජනතාව විශ්වාස කළ බවත් එහෙයින් ඔවුන් සිංහලයන්ගේ ආධිපත්‍යය පිළිගැනීමට අකමැති වූ බවත් ඔහු පවසයි. එහෙත් ඉතිහාසඥයාගේ කාර්යභාරය එකිනෙකාගේ ඇදහිලි විශ්වාස පුනරුච්චාරණයෙන් එහාට ගිය කාර්යයක් බව ඔහු අමතක කර තිබේ.

මේ රෝගී ඉතිහාසය සහ මාක්ස්වාදය ඇසුරේ වැඩුණු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි පිරිසක් උපක්‍රමශීලී ලෙස මෙරට ඉතිහාසය විකෘති කරන්නට වූහ. මේ ඊනියා විද්වත්හු විවිධ නොරාජ්‍ය සංවිධානවල ආශිර්වාදය ඇතිව රටේ ඉතිහාසය බලය බෙදීම, ස්වයං තිර්ණය අයිතිය, ෆෙඩරල්වාදය, ඊළාම් රාජ්‍යය ආදී අරමුණුවලට සමපාත වනසේ විකෘති කළහ. මෙරට චිරාත් කාලයක් පැවැතියේ නූතන ෆෙඩරල් ක්‍රමයට සමාන ක්‍රමයක් බවත්, ඒකීය රාජ්‍ය පැවතියේ කෙටි කලක් බවත් උතුරේ ශක්තිමත් ස්වාධීන දෙමළ රාජ්‍යයක් ඉතිහාසය පුරා පැවැති බවත් ඉතිහාසය නොදත් පිරිස් අතර ක්‍රමයෙන් ව්‍යාප්ත කළෝ මොවුහුය.

මෙහි ප්‍රතිඵලය ලෙස තිස්වසරක ත්‍රස්තවාදයකට මුහුණ දී සුවිශාල ජීවිත දේපළ විනාශයකින් වන්දි ගෙවීමට රටට සිදුවිය. එමෙන්ම අක්මුල් සිඳුණු හීනදීන පරපුරක් බිහි විය. මෙසේ සමස්ත සමාජ දේහයම ඕජස් ගලන මහා ඤාපයක් වීමට එක් හේතුවක් වූයේ රෝගී ඉතිහාසයක් සමාජගත වීමය.

කෙසේ වුවද 2009 මැයි ත්‍රස්තවාදය මුලිනුපුටා දමා එක්සේසත් කළ ලංකාව අපි අද ජීවත් වන්නෙමු. නිදහසේ නව ලෝකය දකින පරපුරකට නේක විසාදිවලින් ආසාධිත ඉතිහාසයක් ඉගැන්විය යුතු නැත. එහෙයින් නිවහල් ඒකීය රටේ වර්තමාන දේශපාලන පරිසරය තුළ ඉතිහාසය නැවත ලියැවිය යුතුය. නූතන නිවහල් සමාජ විඥානය, නිවැරදි ඉතිහාසය ‍ලේඛනගත කරනට කදිම ආලෝක දහරාවක් වනු ඇත. එවිට ඒ ඉතිහාසය ඔස්සේ ඉතිහාසය ‍ලේඛනගත වූ යුගයේ නිරෝගී සමාජ දේශපාලන දේහයද පිළිබිඹු වනු ඇත. එය අනාගත ඒකීය ලංකා රාජ්‍ය සඳහා අවශ්‍ය දේශපාලන පදනම සකසනු ඇත. මෙකී ස්වර්ණමය අවස්ථාව ජාතියේ චිරස්ථිතිය පිණිස භාවිත කළ හැක්කේ පරගැතිකම මෙන්ම ජාතිගැතිකමද පරාජය කිරීමෙනි. “කිසියම් ජාතියක් නිවහල් දෘෂ්ටියක් ලබන්නේ ඒ ජාතිය අදීන මනසකින්, ජාතික චින්තනයකින් උපලක්ෂිතව ඇත්නම් පමණි. විජාතික මනසකින් යුතු, ජාතික චින්තනයක් නොමැති අනුකාරක පිරිසකට නිවහල් දෘෂ්ටියක් ලබාගත නොහැක. ජාතික චින්තනයක් වෙනුවට ඔවුනට ප්‍රදර්ශනය කළ හැක්කේ ව්‍යාජ ජාතික කැක්කුමකි. ඒ ව්‍යාජ ජාතික කැක්කුම සිය අනන්‍යතාව, ජාතික මුහුණුවර, සාමූහික ආධ්‍යාත්මය මේ යැයි කියාපාන ජාතික චින්තනයට නෑකම් කියන්නක් නොවේ. ඊට බෙහෙවින් වෙනස් ව්‍යාජයකි.” අමරසේකරගේ ලිපියෙන් උපුටා ගත් උක්ත කොටසින් සනාථ වන්නේ එයම නොවෙද? මෙවන් සාමකාමී සමාජ දේශපාලන පසුබිමක ශ්‍රීනාත් ගනේවත්ත ‘ළමා අතට යට ගියාව‘ නම් ‍පොත් පෙළ ඔස්සේ මෙරට ඉතිහාසය නැවත සමාජගත කරනට පෙරමුණ ගැනීම වැදගත් සංසිද්ධියකි. සිංහල භාෂාවෙහි වෙසරද දැනුමැති ගනේවත්ත මහතා ඉතිහාසය විෂය පිළිබඳ උපාධිධාරියෙකි. මේ සියල්ල ඉක්මවා යන නිවහල් අදීන මනසක් ඇත්තෙකි.

සිංහලයේ ආරම්භකයා ලෙස සැලකෙන පණ්ඩුකාභය කතා පුවතින් කතා පෙළ ඇරඹෙයි. පණ්ඩුකාභය කුමරුට මවගේ පාර්ශ්වයෙන් ඇත්තේ භාරතීය නෑකමකි. ඔහුගේ පියා දේශීය ජන කණ්ඩායම් සමග සමීප සබඳතා ගොඩනගා ගෙන තිබිණි. පණ්ඩුකාභය හැදී වැඩුනේ දොරමඩලාවේ දේශීය ගෝත්‍ර අතරය. ඔහු ශිල්ප උගත්තේ දකුණේ පිහිටි පණ්ඩු නම් ගමේ පණ්ඩුල බමුණා යටතේය. අභය නම් ඔහු පණ්ඩුකාභය වූයේ මේ සබඳතාව මතය. ඔහුගේ පුරෝහිත වූයේ ඒ බමුණාගේ පුත් චන්ද්‍රය. එමෙන්ම පණ්ඩුකාභය දවස මෙරට රෑ රජකම හිමිවූයේ චිත්තරාජ නම් යක් ගෝත්‍රික තරුණයාටය. මෙසේ සංක්‍රමණික ආර්ය පිරිස් සහ දේශීය ගෝත්‍ර එකම කොඩියක් යටතට ගෙන මෙරට ජාතික රාජ්‍ය ගොඩනැගීමේ පුවතින් ඇරඹෙන කතන්දරය, මිහිඳු සමිඳු වැඩම කිරීම, සිරි මා බෝ රැගෙන ඒම, ගැමුණු කුමරු, ලක්දිව එක්සේසත් කිරීම සහ මහා සෑය ගොඩ නැගීම ඔස්සේ ගලා එයි.

සැබවින්ම මේ වූකලීි හුදු කතන්දරයක් නොව සිංහල රාජ්‍යය සහ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩනැගීමේ කතන්දරය බව ඉතාම පැහැදිළිය. එය මෙරට මුල් බැස ඇති සිංහල බෞද්ධ සංස්කෘතියේ උත්පත්ති කතන්දරයයි. රටේ බහුතර ජනතාවගේ අතීත පුවතයි. එකී ඉතිහාසය කුඩා කලම ළමයින්ට කියාදීම අත්‍යවශ්‍ය වෙයි. හැරී ‍පොටර්, සුපර් මෑන් වැනි වීරයින් වෙනුවට දුටුගැමුණු, වේළුසුමන, සිරිසඟබෝ, මද්දුම බණ්ඩාර, අනගාරික ධර්මපාල වැනි වීරයින් අපේ ළමා පරපුරට හඳුන්වාදීම වැදගත්ය. අපට අභිමානවත් නිවහල් අනාගත පරපුරක් බලා‍පොරොත්තු විය හැක්කේ ඒ ඔස්සේ පමණි.

කුමාරතුංග මුනිදාස මහතාගේ හීන් සැරය, හත්පන වැනි කෘතිවලින් ද ගනේවත්තයන්ට මේ කතා පෙළ ඉදිරියට ලියා ගෙන යාමේදී යම් යම් දේ උගත හැකිය. ළමා මනසට ඔබින පරිදි බසට පණ පිහිටුවා ලිවීමට හේ ගජ හපනෙකි. එමෙන්ම මාරි මියුසියස් හිඟින්ස් සිය Stories From The History of Ceylon කෘතිවල කතන්දර ෙශෙලීයද ඉතාම රමණීය වෙයි.

ඉතිහාසය උගත යුත්තේ අනාගතය සැලසුම් කිරීම සඳහාය. අපේ ඉතිහාස ‍ලේඛන විවිධ උවදුරුවලින් හැඩ වී ඇති බව පෙර සඳහන් කළෙමු. එහෙයින් දැන් අප කළ යුත්තේ ඒ වර්තමාන සාමකාමී දේශපාලන මොහොත උපරිමයෙන් ප්‍රයෝජනයට ගෙන ඉතිහාස සම්ප්‍රදාය මත පිහිටා එය සමතික්‍රමණය කිරීමය. නිරෝගී ඉතිහාසයක් ලිවීමය. එය සමාජගත කිරීමය. මේ වූ කලී එතරම් පහසු ඉලක්කයක් නොවන බව “ඕනෑම පුද්ගලයකුට ඉතිහාසය නිර්මාණය කළ හැකිය. එහෙත් ඉතිහාසය ලිවිය හැක්කේ ප්‍රාඥයෙකුට පමණි Anybody can make history. Only a great man can Write it. යන ඔස්කා වයිල්ඩ්ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. වයිල්ඩ්ට අනුව ඉතිහාසය ලිවීම වීරයකු වනවාට වඩා අපහසු දෙයකි. ගනේවත්තයන්ගේ උත්සාහය ඒ සඳහා නිවැරදි මග පෙන්වීමකි.

-නාමල් උඩලමත්ත
යුතුකම සංවාද කවය
www.yuthukama.com

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

7 comments :

  1. onna thawa ekek patan aran kabal gaanna. Ilangata Wibhuthirathane ewilla pita kasala yayi "anargha pehedili kirimak" kiyala. Sunandata ewilla puluwan sinhalen kotapan kiyanna.

    ReplyDelete
    Replies
    1. සුදු පුතා11/27/2014 5:17 PM

      ඔච්චර වේදනා නම් මේවා නොබලා හිටුකො. සමහර මෝඩයන්ට ඉතිහාසය උගන්නන්න දුන්නාම පේනවනේ අර කොළඹ විශ්ව විද්‍යාලෙ වෙලා තියෙන දේ..

      Delete
    2. Siraawata ooi. Hinaa yanawa me website eke thiyena lipi dekkahama. Mama nam mewage comital website walata enne hinaa wela le tikak pirisidu karaganna.

      Delete
  2. විමලසේන11/29/2014 12:02 PM

    වෙබ් අඩවියේ සාර්ථකත්වයට එක සාධකයකි ගෝස්තරවාදී විකල්ප ගෝත්‍රයට රිදී ඇති තරමින් පෙන්නුම් කෙරෙන්නේ. ජය!

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලන්ට හොදටම රිදිල අනේ... ඔයා හරි එක්කෙනෙක් තමයි.

      Delete
    2. me web adawiye liyawena lipi walata comment ekak demmata samahara kathruu waru ewata uththara denne ne, kata hari kiyanna puluwan wena ayata mama mokatada uththara denne kiyala, ehema unama wenne thaman ge mathaya samajaya idiriye sakachcha wena eka nawath wana eka,

      ehema nowee kothanada mage lipiye weradi thiyenne, mokada ekata ekanga wenna beri kiyala ahala wedagath sakachchawak aramba karana eka smajaya yahapathak. eka yahapath karya godal lipi liyana aya maga arinawa, mama hithanne eyalata uththara nethi nisa wenna ona.

      Delete
    3. උඩලමත්ත11/29/2014 7:55 PM

      ඔබට සකච්ඡා කරන්න අවශ්ය නම් කාව හරි හොයා ගන්න. අපි බොරු කියන්නෙ නෑ.

      Delete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com