එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්‍යාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.
2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්‍රස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්‍යයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්‍යය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.
තම ප්‍රධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්‍රීඩා සඳහා මත්ද්‍රව්‍ය සමාගම් කරන අනුග්‍රහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීම, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.
මෙම ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්‍ය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්‍රස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්‍රතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්‍රාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.
හෙළ උරුමය විසින් “මතට තිත“ ව්‍යාපෘතිය “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පමණක් නොව එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්‍යාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙනි.
2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්‍රගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්‍රහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.
දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්‍රමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්‍රමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමයි.
ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්‍රහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්‍රයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්‍රකාශනයක අඩංගු කිරීම ප්‍රමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.
අද බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්‍රියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්‍රමසිංහට සෘජුව හෝ වක්‍රව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.
ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්‍රිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.
පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්‍යම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්‍රපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.
ජවිපෙ සහ ප්‍රප පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්‍ර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.
තෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්‍රැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්‍රි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.
ඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්‍යුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්‍යවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්‍රහණ ගෙන ආ හැකි පහසුම ක්‍රමයයි.
-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com
-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Me minissunta mokada me wela thiyenne....? Oissu wetila? Pissu wattala?
ReplyDeleteNirmal ranjith thamai den meyalage viyaparaye madya prakashaka. E minihata ona mokak paraddannada kiyala e minihama pahuu giya dawasaka kiyala thibuna...
ReplyDeleteමහින්දට නැවත ජනාධිපති වෙන්න ඕන නන් විධායක බලතල අඩු කරල ඒම අනිවාර්යයි. ඔහු ඒක නොකලොත් සහය දෙන්නෙ නැහැ.
ReplyDeleteවෙනත් කෙනෙක්ට ඒක අනිවාර්ය නැහැ. ඔහු දිනුවොත් විධායක බලතල අඩු කිරීමට හැකියාවක් ඔහුට නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවෙ මන්ත්‍රි ආසන 15ක් අරන් රිමෝට් එකෙන් ඔහුව කන්ට්‍රොල් කරනවා.
මේක නේද මේ කියන උපාය? ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය උපාය ක්‍රියාත්මක කරන්න මොකටද මහින්ද පරද්දන්නෙ කියන එකයි.
2004 සෝම හාමුදුරුවො හරහා ආපු බොදු පුනරුදය එක්ක ගන්න පුළුවන් උනේ තනියම ඡන්ද කරල ආසන 11යි වගේ මට මතක. දැන් නන් කොහොමවත් ඒ තරම් තීව්‍ර බොදු බලවේගයක් නැහැ. දැන් තනියම තරඟ කලොත් ජ.වි.පෙ තරම්වත් ආසන ගන්න ලැබෙන්නෙ නැහැ. 5කට අඩුයි කියන එකයි මගේ කියවීම.
~ චරිත කාරියවසම්