1/25/2015

චම්පිකගේ 'බලු කතාව' සහ නව රටාව ...

කතෘ:යුතුකම     1/25/2015   6 comments
මීට මාස කිහිපයකට පෙර පාඨලී චම්පික රණවක මහතා හැද සිටියේ හලාල් විරෝධී ඇඳූමකි. අද නම් ඔහුට හලාල් විරෝධී සළු හරාම්ය. බොදු බල සේනා සංවිධානය ඉතා ළඟින් මොහු ඇසුරු කළ බව දන්නෝ දනිති. ඥාණසාර හිමි මෑතකදී පැවසූයේ ඔහුට ආමන්ත්‍රණය කළේ චම්පික අයියේ කියා බවත් කළින් ඔහුට බොහොම ආදරය කළ බවත්ය. යුද්ධයෙන් පසු හරිහමං තේමාවක් නැතිව සිටි චම්පික මහතාට බොදු බල සේනා සංවිධානය විසින් මතු කරවන ලද අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරම්වලට එරෙහි මතවාදය ඉතා පැණි රසක් විය. එම තේමාව උඩට නැඟ ගත් ඔහු ක්ෂණිකව උත්තේජනය කළ හැකි තරුණයන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන් අතර විරුවෙකු විය. ඥාණසාර හිමියන්ගේ දැඩි ස්වභාවය චම්පික අයියා තුළින් දිස් නොවුනද ඉතා තීව්‍ර ලෙස ඔහුද මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් විවේචනය කළේය. ඔහු කොයි ආකාරයකට එය කළාද යත් ජාතීන් අතර වෛරය සාදනවා යන නිර්ණායකය මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා අවලංගු කෙරිනි. බොදු බල සේනාහි ඥාණසාර හිමි ඇතුළු පිරිස ඉතා දුර්වල දේශපාලන දැක්මකින් යුතුව  ක්‍රියා කරද්දී චම්පික අයියා ඒවායෙන් ලකුණූ දමා ගත් දේශපාලකයා විය. අළුත්ගමදී ඇති වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සියළු අපකීර්තිය ඥාණසාර හිමිගේ හිස මත කඩා වැටෙද්දී ඒ ගිනි ඇවිලවීමට මතවාදීව දායක වූ චම්පික අයියා වෙත අපවාදයක් ආවේ නැත. අර කෙටි උත්තේජනයක් ලද එතැම් තරුණ තරුණියන්ගේ හිතේ ඔහු වීරයකු ලෙසම ඉතිරි විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ඒකීයභාවය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය ප්‍රශ්න කරද්දී එයට පිළිතුරු දීමට ඉදිරියට දැමුනේ චම්පික මහතා සහ රතන හිමියන්ය. අද උතුරේ ආණ්ඩුකාර තනතුරින් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර පලිහක්කාර මහතා පත් වන විට, නැගෙනහිරට ආණ්ඩුකාරාවරයා ලෙස තමිල් සෙල්වන්ට මචං කිවූ, පුලිදේවන් බලන්න ඇපල් අරං ගිය එවක චන්ද්‍රිකා-රනිල් රජයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු පිලිබද යෝජනා වෙද්දී, ටී එන් ඒ පදයට නොනැටූ උතුරු පළාතේ හිටපු ජ්‍යේෂ්ඨතම සිවිල් නිලධාරිනිය වූ විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධූරයෙන් මාරු කරද්දී, අප කළ යුත්තේ චන්ද්‍රිකාගේ පැකේජය යළි ගෙන ඒම බව මංගල සමරවීර පවසද්දී, 13 වන ව්‍ය්වස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍ර්මසිංහ පවසද්දී අද චම්පික අයියා අපට කියන්නේ මාර කතාවකි.

 "2005 ට පසු දූෂණ චෝදනා දන්නවා නම් අපට එවන්න".

එය මාර කතාවක් වන්නේ එවැනි දූෂණ් චෝදනා කිසිවක් නැති නිසා නොව. රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බව හිසේ අත ගසා දිවුරා කී ව්‍යාජ ආරක්ෂකයාව අද ඒකීයභාවය නැතිභංගස්ථාන කර දැමීමේ කාර්යය සදහා ඉතා නැණවත් අයුරින් රනිල් වික්‍රමසිංහ විසින් යොදවා ගනිමින් සිටින නිසාය. ඒ අපූරු උපාය නම් එම අනතුර එළිපත්තට ගෙන ආ මොහොතක ඒකීයභාවයේ ව්‍යාජ ආරක්ෂකයින් වෙන වෙන දෑ පිළිබදව කතා කරන්නට සලස්වා, ඒ ව්‍යාජ ආරක්ෂකයනට රැවටී සිටින මිනිසුන්ට එවැනි අනතුරක් නැති බව හැඟෙන්නට සැලැස්විමයි. සිංහලයාගේ ඇස් වලට වැලි ගැසීම සදහා අද ව්‍යාජ ආරක්ෂකයින් වන චම්පික රණවකව සහ අනුර කුමාරව රනිල් වික්‍රමසිංහ අවභාවිතයේ යොදා ගනිමින් සිටියි. මේ උදවිය කට ඇර එවැනි අනතුරක් නැතැයි නොබියව අද අපට කියන්නේ නැත. ඔවුන් අපට නැවත නැවතත් කියන්නේ දූෂිතයන් ගැන හා දූෂිතයන් ගැන පමණි. තව නොබෝ දිනකින් ඒකීය භාවය කන්නදැයි චම්පික අයියා අපගෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. නමුත් එතෙක් ඔහු එය මඟ හැර යමින් දූෂිතයන් සොයමින් කාර්ය බහුල වනු ඇත. අප කිසි දිනක ඔහුට රැවටී සිට නැත.

අද චම්පිකට හලාල් විරෝධය හරාම් වී ඇත. එපමණක්ද? මීට මාස කිහිපයකට පෙර ඔහු ඉසිලූ වචන වන  බෙදුම්වාදය, දෙමළ ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, අන්තවාදී තවුහිද් ජමාද් සංවිධානය, 13 වන ව්‍යවස්ථා  සංශෝධනය, අධිරාජ්‍යයවාදී බලවේග යන සියල්ල හරාම් වී ඇත. අද ඔහුගේ එකම කාර්ය වී ඇත්තේ මංගල සමරවීර හා එක්ව රාජපක්ෂ වරුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි. එය ආරම්භ කෙරුනේ ඡන්දයට පසු දිනය. එහිදී සිදුවන්නට ගිය මහා හමුදා කුමණ්ත්‍රණයක් ගැන ඔහු මාධ්‍යයට කීය.

"ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතව රාජකාරි කළ නිසා වැළකී ගියා. මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා" යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනවාරි නවයදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. (ඔහුව පසුව යහපාලන රාජ්‍ය තන්ත්‍රය මඟින් ඉවත් කෙරිනි.) එසේම එම කතාව පට්ටපල් බොරුවක් බව එය වලක්වා ගැනුම උදෙසා චම්පිකලා ස්තුතිය පුද කළ මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු මේ බේගල් ඇද දමන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් දෙපසින් තබාගෙනය. ස්තුතිය පුද කළ මිනිහා ඒ ගැන නොදන්නේ නම් මේ ගැන තවත් පරීක්ෂණ නොවුමනා බව කාට ඡන්දය දුන්නත් ගමේ ගොඩේ බයියන්ට වැටහේ. නමුත් චම්පිකලා අද වැටී ඇති පහත් මට්ටම නම් ඉතා ඛේදනීයය. එය එළිපිටම අපගේ වත්මන් විදෙස් ඇමතිගේ තත්වයට වැටීමකි. විධායකය තෝරා ගැනීමෙන් පසුව ඇති වූ නව පාර්ලිමේන්තුවේ දෙදෙනාට එක ළඟ අසුන් ගන්නට වරම් ලැබී තිබිනි.

මේ ජනවාරි 18 ඉරිදා ලංකාදීප පුවත්පතට චම්පික මහතා පැවසූවකි.

"අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරය බලන්න නිලධාරීන් කිහිප දෙනෙකු යවලා තියෙනවා. ඒකේ එක කාමරයක ඉදලා තියෙනවා අතරමං වෙච්ච බල්ලෙක්. දොර ඇරපු ගමන් බල්ලා බුරාගෙන ඇවිල්ලා. පස්සේ බල්ලව මෙල්ල කරලා කන්න දාලා කූඩුවකට දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවැයි, ඊළඟ ඡන්දෙට එනවැයි ඊළඟ අගමැති මහින්දයි කියලා කියන්නේ අර වගේ අතරමං වෙච්ච බල්ලෝ. මහින්ද රාජපක්ෂගේ යුගය ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ඇඟේ හිටපු බලු මැක්කන්ගේ යුගයත් ඉවරයි."

 පරමාධීපත්‍යය බලය ඇත්තේ ජනතාවට මිස චම්පික රණවකට නොව. ඔහු රාජපක්ෂලාට යළි මෙරට දේශපාලනයක් නෑ යයි වහසි බස් දොඩවන්නේ මන්දැයි අපි නොදනිමු. නමුත් මේ මෛත්‍රී යුගයේ මේ බලු කතා කුමටද? එම බල්ලා කූඩුවට දැම්මා මෙන් කාව හෝ කූඩුවට දැමීමේ දැඩි වෛරයකින් ඔහු පෙලෙන බව පැහැදිලිය. වැරදි කළ උන් අල්ලා මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් දඩුවම් දෙනවාට මෙරට ජනතාව ඉතා කැමතිය. නමුත් මේ කූඩුවට දමා ගන්නට ඕනෑ වී ඇත්තේ දූෂිතයන් නොව, දේශපාලනික ප්‍රතිමල්ලවයන් බව ඔහුගේ මේ කතාවෙන් මෙන්ම හමුදා කුමන්ත්‍රණ පිලිබද බොරු චෝදනාවලින්ද ගම්‍යය වේ. මහින්ද රාජපක්ෂගේ ඇගේ බලු මැක්කන් සිටි බව කීමෙන් චම්පික කියන්නේ මහින්ද රාජපක්ෂ බල්ලෙකු බව නොවේද? මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ යම්  යම් අඩුපාඩු තිබූ බව සැබෑවකි. නමුත්  අපි මෙන්ම කම්පිකත් අද නොබියව මහමඟ යන්නේ එතුමා ලබා දුන් දේශපාලන නායකත්වය හේතු කොටගෙනය. (චම්පිකලා කියන්නේ එය කළේ ඔවුන් බවය.) ඔහු පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට නායකත්වය දුන් නායකයින් අතරින් සුවිශේෂීම නායකයාය. එය කුහකයන් නොවන පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනිති. අද චම්පිකලා ලැඟ සිටින පිලේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා මැතිණිය හෝ මෙරටට කළ හොදක් යයි යමක් සොයා ගැනීම ඉතා උගහටය. කරන ලද විණ නම් පෙන්වා දිය හැකිය. එහෙව් පිලක ලැග තම වෛරය පිරිමසා ගන්නා චම්පික ඉතා ගෞරවාන්විත ලෙස පරාජය බාරගෙන බලය අත්හැර ගිය මහින්ද මහතාට බල්ලා යයි කීමෙන් ත තක්සේරු වන්නේ චම්පිකවම නොවේද?

-සුසිරිත් වීරසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


11/09/2014

ජනපතිවරණයේ දී හෙළ උරුමයේ උපාය

කතෘ:යුතුකම     11/09/2014   3 comments
එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ශවකරුවෙකු ලෙස වසර නවයක් කටයුතු කළ ජාතික හෙළ උරුමය ඉදිරි ජනපතිවරණයේ දී සංධානයේ ඉවත් වන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. නමුත් සංධානයෙන් ඉවත් වී හෙළ උරුමයට ඇති විකල්ප පිළිබඳ බහුතරයක් ව්‍යාකූල වී ඇත. එබැවින් හෙළ උරුමයට ජනපතිවරණයේ දී කළ හැකි දෑ පිළිබඳ අපි විමසමු.

2005 ජනපතිවරණය ලංකාවට අතිශයින්ම වැදගත් වූවකි. දෙමළ ත්‍රස්තවාදය සමග සාකච්ඡා කරනු වෙනුවට යුදමය ලෙස පරාජය කිරීම තෝරා ගත්තේ 2005 දී පත් වුණු ජනපතිය. කොටි ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බවට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගොඩ නැගී තිබුණු මත වාදය පුස්සක් කරමින් වසර තුනක් වැනි කෙටි කාලයක් ඇතුලත කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට එම ආණ්ඩුවට හැකි විය. 2005ට පෙර ආණ්ඩු විශ්වාස කලේ ලංකාව සන්ධීය හෙවත් පෙඩරල් රාජ්‍යයක් බවට පෙරලීමෙන් දෙමළ බෙදුම්වාදය පරාජය කළ හැකි බවයි. නමුත් 2005 දී පත්වුණු ආණ්ඩුව විශ්වාස කලේ සන්ධීය රාජ්‍යයක් තුල දෙමළ බෙදුම්වාදය සවිමත් වන බවයි. එබැවින් ඉන්දියාවෙන් සහ ඇමෙරිකාවෙන් කුමන බලපෑම් එල්ල වුවත් ඒකීය රාජ්‍යය රැක ගැනීමට ආණ්ඩුව සමත් විය.
තම ප්‍රධාන ආදායමක් බවට පත් වී තිබුණු දුම්වැටි සහ මත්පැන් අලෙවිය සීමා කරන නීති ගෙන ඒම ද එම ආණ්ඩුව ඉටු කළ තවත් වැදගත් කාර්යභාරයකි. ක්‍රීඩා සඳහා මත්ද්‍රව්‍ය සමාගම් කරන අනුග්‍රහයන් නැවැත්වීම, සියළුම ආකාරයේ මත්ද්‍රව්‍ය ප්‍රචාරණය තහනම් කිරීම, ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය පාවිච්චිය තහනම් කිරීම, මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීම සහ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ට තෑග්ගක් ලෙස ලබා දුන් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර නවතා දැමීම “මතට තිත“ සංකල්පය යටතේ සිදුවිය. එමෙන්ම ආණ්ඩුවේ ලාභ ලබන ආයතන කුණු කොල්ලයට පෞද්ගලිකරණය නැවැත්වීම ද ආණ්ඩුවෙන් සිදු වුණු තවත් වැදගත් සේවාවකි.

මෙම ජයග්‍රහණ සියල්ලටම හේතු වූයේ හෙළ උරුම සංධානය සමග ඇති කර ගත් එකඟතාවයේ කොන්දේසිය. ඒකීය රාජ්‍ය සුරැකීම සහ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය නැවැත්වීම එකී ගිවිසුමේ මූලික කොන්දේසි විය. කොටි ත්‍රස්තවාදය සටන් විරාම ගිවිසුම කඩ කළහොත් යුදමය ප්‍රතිචාර දැක්වීම දෙපාර්ශවය අතර ඇති වුණු අලිඛිත එකඟතාවය විය. ජාත්‍යන්තර බලපෑම් හමුවේ එය ගිවිසුමේ කොන්දේසියක් කිරීමට සංධානය මැලි විය. මාවිල් ආරු සොරොව්ව වසා දමා කොටි සටන් විරාමය බරපතල ලෙස උල්ලංඝණය කළ විට හෙළ උරුම නායකයින් මාවිල් ආරු බලා පා ගමනක් ඇරඹුවේ එම එකඟතාවය අනුව සටන් ඇරඹීමට ආණ්ඩුවට බල කරමිනි. හෙළ උරුමයේ එම ඓතිහාසික පා ගමන කොටි සංවිධානයේ අවසානයේ ආරම්භය සනිටුහන් කළ ජයග්‍රාහී යුද්ධයට ආණ්ඩුව තල්ලු කෙරිණි.

හෙළ උරුමය විසින් “මතට තිත“ ව්‍යාපෘතිය “මහින්ද චින්තන“ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කළා පමණක් නොව එය ‍ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පසුගිය අට වසර තුල ලංකාවේ දුම්වැටි භාවිතය 30%කින් පහත වැටුණේ මෙම ව්‍යාපෘතිය හේතුවෙනි. එමෙන්ම ලංකාවේ සංචාරකයින්ගේ පැමිණීම ද ඒක පුද්ගල ආදායම ද තුන් ගුණයකින් ඉහළ ගිය පසුබිමකත් ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයෙන් ලෝකයේ 131 ස්ථානයේ සිටීමට ලංකාවට හැකි වූයේ ද මෙම ව්‍යාපෘතිය හේතුවෙනි.

2005 ජනපතිවරණය ආසන්නයේ දී ජාතික හෙළ උරුමය විසින් නුගේගොඩ දී ප්‍රසිද්ධ රැස්වීමක් පවත්වා සංධානයට සහය පළ කිරීමට ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් රටට දැවැන්ත ජයග්‍රහණ අත් කර ගැනීමට හැකි විය. 2005 දී අත්සන් කළ ගිවිසුමේ ප්‍රගතිය සළකා 2010 දී ගිවිසුමකින් තොරව සංධානයට සහය පළ කිරීමට හෙළ උරුමය තීරණය කරන ලදී. නමුත් ජාතික හෙළ උරුමයේ අපේක්ෂාවන් 2010 දී ඉදිරිපත් කළ “මහින්ද චින්තන ඉදිරි දැක්ම“ට අඩංගු කෙරිණි. එකී ගිවිසුම ඉදිරි ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අවසන් වේ. එබැවින් ජාතියට ජයග්‍රහණ ගෙනෙන නව කොන්දේසි සමූහයකට ජනපති රාජපක්ෂ එකඟ කර ගැනීම හෙළ උරුමයේ අපේක්ෂාවයි.
දූෂණ විරෝධි ආයතන සවිමත් කිරීම, ජනපති ධූරයේ බලතල අඩු කිරීම සහ මනාප ඡන්ද ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට සමානුපාතික සහ කොට්ඨාශ යන දෙවර්ගයම මුසු ක්‍රමයක් ස්ථාපිත කිරීම හෙළ උරුමයේ යෝජනා අතර වේ. මෙම යෝජනාවන්හි සෘජු ඉලක්කය වී ඇත්තේ ජනපති මහින්දයි. ඒ මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විධායක බලය ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය ද ඔහු සතු බැවිණි. වෙනත් අයෙකු මෙම යෝජනා වලට එකඟ වුවත් ඔහුට කළ හැක්කේ තම ප්‍රතිපත්ති ප්‍රකාශයට මෙම යෝජනා අඩංගු කිරීම පමණි. එවැනි අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට අත්‍යාවශ්‍ය පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලයක් ඔහු සතු නොවේ. එවැනි බලයක් සමානුපාතික ක්‍රමය යටතේ කිසිම අයෙකුට ලබා ගැනීමට ද නොහැක. මෙම පසුබිම තුල වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම යෝජනා ජනපති මහින්ද මගින් ක්‍රියාත්මක කිරීමට වෑයම් කිරීමයි.

ඉහත විස්තර කළ අයුරින් අනෙකුත් අපේක්ෂකයින්ට මෙන් නොව ජනපති මහින්දට පෙරොන්දු ලබා දෙනු වෙනුවට පොරොන්දු ඉටු කිරීමට අවශ්‍ය බලය තිබේ. නමුත් ගැටළුව වී ඇත්තේ එම පොරොන්දු ඉටු කරයි ද යන්නයි. රටේ ඒකීයභාවය සුරැකීම සහ සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි ජනපති මහින්ද දැවැන්ත ජයග්‍රහණ ජාතියට ලබා දී ඇත. නමුත් ඔහු දුර්වලව කටයුතු කර ඇත්තේ යහ පාලනය ක්ෂේත්‍රයේය. 2005 දී හෙළ උරුමයට ද 2010 දී සමස්ත ජාතියට ද පොරොන්දු වූයේ විධායක ජනපති ධූරයේ බලතල කප්පාදු කිරීමටයි. නමුත් එය කිසිම අයුරකින් සිදු නොවිණි. එමෙන්ම මැතිවරණ කොමිසම ස්ථාපිත නොකෙරුණු අතර දැනට ක්‍රියාත්මක වන්නේ ඵලදායී නොවන දූෂණ විරෝධි කොමිසමකි. එබැවින් හෙළ උරුමය මෙම ක්ෂේත්‍රයේ සිදු කිරීමට අපේක්ෂා කරන සංශෝධන හුදු මැතිවරණ ප්‍රකාශනයක අඩංගු කිරීම ප්‍රමාණවත් නොවේ. ජනපති මහින්ද මෙම යෝජනා අතුරෙන් වැදගත්ම යෝජනා කිහිපයක් ජනපතිවරණයට පෙර සිදු කර තම සද්භාවය පෙන්නුම් කළ යුතුය.

අද බොහෝ දෙනෙක් මතු කරන ප්‍රශ්නයක් තිබේ. ඒ ජනපති මහින්ද ඉහත යෝජනා පිලි නොගත්තොත් හෙළ උරුමයට කළ හැක්කේ කුමක්ද? ජනපතිවරණයට පෙර කිසිම යෝජනාවක් ක්‍රියාත්මක නොකළොත් හෙළ උරුමයට ගත හැකි විකල්ප තිබේ ද? හෙළ උරුමය මහ හඩින් ගර්ජන කළත් මහින්ද හැර වෙනත් විකල්පයක් හෙළ උරුමයට තිබේ ද? රනිල් වික්‍රමසිංහට සෘජුව හෝ වක්‍රව සහය පළ කිරීමට හෙළ උරුමයට හැකි ද? ජනතාව මතු කරන මෙම ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගත යුතුය.

ජනපති මහින්ද හෙළ උරුමයේ ඉල්ලීම් ඉටු නොකළොත් හෙළ උරුමයට ඇති එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීම නොවේ. ඒ වෙනුවට තෙවන අපේක්ෂකයෙකුට සහය ලබා දීමට හෙළ උරුමයට හැකිය. ජනපතිවරණය ද්විත්ව සටනකි. එබැවින් කුඩා පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනු වෙනුවට වඩාත් ප්‍රිය කරන්නේ ජය ගත හැකි අපේක්ෂකයෙකුට සහය පළ කිරීමටයි. නමුත් විවිධ හේතු මත මේ බලවේග සහ පක්ෂ වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට මැලි වෙති. බොහෝ පක්ෂ මෙන්ම වෘත්තීය සහ වෘත්තීය සමිති බලවේග අපේක්ෂා කලේ විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකුට සිය සහය පළ කිරීමටයි. දැවැන්ත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සමග මාදුළුවාවේ සෝභිත නාහිමි පෙරට පැමිණි අවස්ථාවේ දී මෙම බලවේගයන්හි බලාපොරොත්තු දැල් වී තිබිණි. නමුත් එජාපය විසින් රනිල්ගේ අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කරමින් එම අපේක්ෂාවන් සුන් කරන ලදී. ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ජනපතිවරණ වර්ජනයකට සැරසෙන්නේ සියළු දෙනාට සහය දිය හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව එජාපය විසින් විනාශ කළ බැවිනි.

පසුගිය වසර නවය තුල ලංකාවේ මධ්‍යම පන්තිය පස් ගුණයකින් පමණ වර්ධනය වුණු බව මීට පෙර අපි පෙන්වා දුන්නෙමු. සංධානය මෙන්ම එජාපය ද පිළිබඳ කළකිරී සිටින්නේ මෙම පිරිසයි. පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේ දී ජවිපෙට සහ ප්‍රපට 14%ක තීරණාත්මක ඡන්ද කුට්ටියක් ලබා දුන්නේ මෙම පිරිසයි. මෙම ඡන්ද කුට්ටිය ඉලක්ක කර ගනිමින් අනෙකුත් කුඩා පක්ෂ වල ද සහයෙන් යහ පාලනය තේමාව කරගත් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෙළ උරුමයට හැකියාව ඇත. පරිසර හිතකාමිත්වය, යහ පාලනය, ධාර්මික බව සහ කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි හෙළ උරුමය පෙන් වූ හැකියාව සහ කැපවීම මෙහි ලා සුදුසුකම්ය.


ජවිපෙ සහ ප්‍රප පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කරතියි අපි මොහොතකට සිතමු. හෙළ උරුමයට තවත් විකල්පයක් ඇත. ඒ බොදු බල සේනා සහ සිහළ රාවය වැනි සිංහල බෞද්ධ සංවිධාන එකමුතු කර ගනිමින් නිහඬ බහුතරය වෙනුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමයි. 2004 දී ඇති වුණු බොදු රැල්ල හමුවේ හෙළ උරුමයට 5%ක් ඉක්මවා ඡන්ද හිමි විය. වත්මන් පිබිදීම ඊටත් වඩා තීව්‍ර හෙයින් එවැනි අපේක්ෂකයෙකුට ඉහළ බලාපොරොත්තු තබා ගත හැක.

තෙවන අපේක්ෂකයෙකුගේ පැමිණීමෙන් මහින්ද පරදවා රනිල් ජය ගනු ඇතැයි සමහරෙක් බිය පළ කරති. ඇත්තෙන්ම තෙවන අපේක්ෂකයෙකු සමස්ත ඡන්ද ගණනින් 3.5%ක් හෙවත් ලක්ෂ 5ක් ගන්නේ නම් ජනපතිවරණයේ ජයග්‍රාහකයා කවුදැයි එතරම් වැදගත් නොවේ. ජනපතිවරණය වැනි ධ්‍රැවිකරණය වූ ඡන්දයක දී එවැනි අපේක්ෂකයෙකු ලක්ෂ 5ක් ලබා ගන්නේ නම් ඊ ළඟට එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අනිවාර්රයෙන් ඒ බලවේගය ඡන්ද ලක්ෂ 8ක් ලබා මන්ත්‍රි ධූර 15ක් පමණ ලබා ගනු ඇත. එවිට කවුරුන් ජනපති වුවත් ඒ ආණ්ඩුවේ දුරස්ථ පාලකය තිබෙන්නේ මෙම තෙවන බලවේගය අතේය. ඇත්තෙන්ම රට පාලනය කරන්නේ ඔවුන්ය.
ඉහත දැක්වූ විකල්ප අපට භාවිතා කිරීමට සිදු වන්නේ ව්‍යුහමය වෙනසකට ජනපති මහින්ද එකඟ නොවුණොත් පමණි. තුනෙන් දෙකේ ව්‍යවස්ථාදායක බලය මෙන්ම විධායක බලය ද අත ඇති ජනපතිවරයා දැවැන්ත සමාජ පෙරලියකට එකඟ කර ගැනීම ජාතියට ජයග්‍රහණ ගෙන ආ හැකි පහසුම ක්‍රමයයි.

-උදය ප්‍රභාත් ගම්මන්පිල
ප්‍රදීපය – ලංකාදීප | 2014.10.16
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions