7/13/2015

මහ බැංකුවේ මහ හොරකමේ මහ හොරා කවුද? - ගෙවිඳු කුමාරතුංගගේ හෙළිදරව්ව....

කතෘ:යුතුකම     7/13/2015   12 comments
යහපාලනය ඇති කරනවා යැයි බලයට පැමිණි රනිල් -මෛත්‍රී ආණ්ඩුවේ දින 50ක් යන්නට මත්තෙන් සිදු කල මහ බැංකු බැඳුම්කර මගඩිය හේතුවෙන් මේ දක්වා ලක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 6,000 ඉක්මවමින් තිබේ.

ඉතිහාසයේ සිදුවී ඇති දැවැන්තම මූල්‍ය වංචාවක් වන මෙහි වගකිවයුත්තා කවුද?
මේ දැවැන්ත මංකොල්ලයට අවශ්‍ය 'පහසුකම්' සැපයුවේ කවුද?
එමගින් ඔවුන් ලැබූ ප්‍රතිලාහය කොතෙක්ද?


බොහෝ දෙනා මෙතරම් පැහැදිලිව පෙනෙන මේ 'මංකොල්ලය' දෙස තවමත් නෑසුන් කන්ව සිටින්නේ එහි  පළමු විත්තිකරුවා Mr Clean ලෙස වර නගා ඇති ප්‍රචාරණ මායාවට තවමත් හසුවී ඇති නිසාද?

ජුලි මස 10 දා ගාල්ල නගර සභා ශාලාවේදී මුළු දුන් යුතුකම සංවාද කවය විසින් පවත්වනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ගාලු සම්මන්ත්‍රණයේදී ගෙවිඳු කුමාරතුංග මහතා ඒ පිලිබඳ කරන හෙළිදරව්වට මෙතනින් සවන් දෙන්න....


-යුතුකම සංවාද කවය
www.yuthukama.com

4/01/2015

ඇගේ වෛරය

කතෘ:යුතුකම     4/01/2015   2 comments
පසුගිය දා රණවිරුවන්ගේ මෑණිවරුන්ගේ හා භාර්යාවන්ගේ රැස්විමක දී චන්ද්‍රිකා කුමාරතුංග ඇගේ වෛරය දෝරේ යෑමට සලස්වා ඇත. අද අම්මලා ගැන කතාකිරීම ජනප්‍රිය වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි අම්මලා ගෙදර බුදුහු වෙති. එහෙත් ඉඳහිට දේවදත්ත පුතුන් ද සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැකිය හැකි ය. මේ දේවදත්ත පුත්තු ඇතැම් අවස්ථාවල බෝධිසත්ව චරිත රඟ දක්වති. චන්ද්‍රිකා සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට සැලකූ ආකාරය සුනේත්‍රාගෙන් අසා දැනගත හැකි යැයි සිතමි. එහෙත් චන්ද්‍රිකා ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය, පක්‍ෂ කාර්යාලයේ උරුමය ආදිය සම්බන්ධයෙන් සැමියා සමග එක් වී මවට විරුද්ධව උසාවි ගිය බව ප්‍රසිද්ධ කරුණකි. 

චන්ද්‍රිකා කියා ඇත්තේ මහින්ද දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව ඊනියා යුද්ධය (ඒ යුදධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කරන ලද මෙහෙයුමකි. ඒ යුද්ධයක් නම් ජ වි පෙරමුණේ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මෙහෙයුම් ද යුද්ධයක් විය යුතු ය) විකුණන් කන බව ය. ඇය ඒ බව කියන්නේ රණවිරුවන්ගේ මෑණිවරුන් හා භාර්යාවන් පිරිසකට ය. ඇය නොකියන කතාව නම් ඒ රණවිරුවන්ට ඇය සේනාධිනායක ලෙස කටයුතු කරද්දී කොටින් පරාජය කිරීමට නොහැකි වූ බව ය. එහෙත් ඇය කියනු ඇත්තේ ඇගේ කාලයේ දී ඊනියා යුද්ධයෙන් 75%ක් ජයගෙන තිබූ බව ය. ඇගේ ගණිතය පිළිබඳ දැනුම විජය කුමාරතුංග ඇගේ සාමාන්‍ය පෙළ සහතිකය බලා දැනගත් බවට කතාවක් ඇත. එහෙත් අපි ඒ ගැන කතා නො කරමු. 

චන්ද්‍රිකා නොකියන කරුණ නම් රණවිරුවන්ගේ කැපකිරීම අධිශ්ඨානශීලී බටහිරට හා ඉන්දියාවට නොනැමෙන දේශපාලන නායකත්වයක් නොමැතිව ගඟට ඉණි කැපීමක් වන බව ය. අදාළ රැ්ස්වීමේ සිටි මවක නැගිට තම පුතා මිය ගියේ චන්ද්‍රිකාගේ කාලයේ බවත් එහෙත් ඒ මරණයෙන් රටට වැඩක් නොවූ බවත් නොකීම චන්ද්‍රිකාගේ වාසනාවක් යැයි අපට කිව නොහැක්කේ එතැනට කැඳවන ලද කාන්තාවන්ට ආරාධනය කළේ කවුදැයි අප නිච්චියට ම නොදන්නා බැවිනි.

එහෙත් චන්ද්‍රිකා නම් මහින්ද බැලීමට එන ජනයා ගෙන්වන්නේ කවුදැයි නිච්චියට ම දන්නී ය. ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද ඔවුන් ගෙන්වා අඬවා ගන්නා බව ද චන්ද්‍රිකා දන්නී ය. ඇය මේ සියල්ල දැනගත්තේ දෙව්දත් පුතුන්ගෙන් දැයි අපි නො දනිමු. අද දෙව්දත් පුත්තු පීචං ප්‍රබුද්ධයෝ වෙති. ඔවුහු ඊනියා පීචංලා ලෙස ප්‍රබුද්ධයන්ට අභියෝග කරති. සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහති. එමගින් ප්‍රබුද්ධයෝ වෙති. පීචං ප්‍රබුද්ධයෝ මෙරට සමාජයේ ගෞරවයට පාත්‍ර වෙති.

චන්ද්‍රිකාට අනුව ඇය මැතිවරණයකින් පරාජය වී නැත. ඇය මෙරටින් එංගලන්තයට පලා ගිය කාන්තාවකි. අනූවේ දශකයේ මුල ඇය මෙරටට ගෙන්වා ගත්තෝ වික්ටර් අයිවන්ලා රාජිත සේනාරත්නලා ආදීහු ය. ඒ ජාතිකත්වයේ පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට ය. එහෙත් ජාතිකත්වයේ පක්‍ෂයට දර්ශනයක් ඇත. එය කවන්ධයක් නො වේ. ඒ දර්ශනය ඇත්තේ පක්‍ෂ නායකයන්ට නොව පක්‍ෂ සාමාජිකයන්ට ය. සිංහල ජාතිකත්වය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන බව නොදන්නා පඬියෝ ශ්‍රී ල නි පක්‍ෂයට සිරසක් නැතැයි කියති. එහෙත් අද ශ්‍රී ල නි පක්‍ෂයේ කෙරෙන දැයින් පෙනී යන්නේ සාමාජිකත්වයේ සිරස  ක්‍රියාත්මක වන බව ය. ශ්‍රී ල නි ප විසුරුවා හැර තමන්ට හිතවත් පක්‍ෂයක් ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්කර ගැනීමට උනන්දුවක් දක්වන්නෝ ශ්‍රී ල නි පක්‍ෂය කඩා වැටෙන බවට අමන අනාවැකි කීියති. 

චන්ද්‍රිකා මෙරටට ආනයනය කරනු ලැබුයේ එ ජා පක්‍ෂයට විරුද්ධව රැල්ලක් ඇති ව තිබූ කාලයක ය. ඒ රැල්ල මතින් ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කර සන්ධීය රාජ්‍යයක් ඇතිකිරීම අයිවන්ලාගේ හා රාජිතලාගේ අරමුණ විය. ඇයට තෙවැනි වරටත් ජනාධිපති වීමේ වුවමනාව නොතිබුණා නො වේ. එහෙත් ඇයට එය කරගත නොහැකි විය. මහින්ද ජනාධිපති වීමෙන් පසුව ද ඇය පක්‍ෂ නායකත්වය අත් නොහැර මාස ගණනක් (දින සියයට වැඩි ය) එල්ලි සිටියා ය.පසුව කර කියා ගැනීමට දෙයක් නොමැතිව එංගලන්තයට ගියා ය. එබැවින් ඇයට මැතිවරණයකින් පරාජය වීමේ අවස්ථාව ගිලිහී ගියේ ය. එහෙත් අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශය ශ්‍රී ල නි පක්‍ෂයට අහිමි වූ බව නම් අපි දනිමු. ඒ සම්බන්ධයෙන් ද ඇය කියනු ඇත්තේ එසේ වූයේ මහින්ද නිසා බව ය. ඇගේ වෛරයට සීමාවක් නැත. 

නලින් ද සිල්වා 
කාලය -2015 අප්‍රේල් 01 

3/29/2015

"මහරජ ගැමුණු" නොබැලූ දෑස කුමටද?"

කතෘ:යුතුකම     3/29/2015   1 comment
මම වෘත්තීය චිත්‍රපට විචාරකයකු නොවෙමි. එබැවින් මා ඔබ හමුවේ මෙම සටහන තබනුයේ හුදු කලා රසිකයකු හා දේශප්‍රේමියකු වශයෙන් එය නැරැඹීමෙන් ලත් ආශ්වාදය ඔබ ඉදිරියේ දිගහැරීම සඳහා ය. 

1956 න් පසු පසුගිය දශකයේ යළිත් මේ රට තුළ ඇති වූ ජාතිකත්වය, දේශමාමකත්වය හා ආගමික පුනරුද ප්‍රබෝධයේ එක්‌ වැදගත් පැතිකඩක්‌ වශයෙන්ද, සිංහල සිනමා කලාවේ එක්‌තරා කූඨ ප්‍රාප්තියක්‌ වශයෙන්ද මම මෙය දකිමි. සිංහල දේශයේ අභිමානවත් හා සාඩම්බර ඉතිහාස කතාවේ හර පද්ධතීන් ආරක්‍ෂා කරමින්, ප්‍රබලව උලුප්පා දක්‌වමින් නූතන සිනමාවේ සියලු මහිමයන් කලාත්මකව භාවිතා කරමින් දුටුගැමුණු වත මෙවැනි විචිත්‍රවත් සිනමා සිත්තමකට නැගීම පිළිබඳව පළමුව ජයන්ත චන්ද්‍රසිරියන්ටත්, දෙවනුව නිෂ්පාදක ගුණපාල රත්නසේකරයන්ටත් එම ප්‍රාතිහාර්යට සම්බන්ධ වූ සියලු දෙනාටත් සමස්‌ත ජාතියේම නොමඳ උපහාරය හිමිවිය යුතු යෑයි මම සිතමි. 

අසීමිත කුසලතා ඇති ප්‍රතිභාපූර්ණ, නිර්මාණශීලී ජයන්ත චන්ද්‍රසිරි නමැති මේ කලාකරුවා මා පළමුවරට දුටුවේ මීට දශක කීපයකට පෙර රූපවාහිනි තිරය මත දිගහැරුණු, තවත් විශිෂ්ට කලාකරුවකු වූ බුද්ධදාස විතානාරච්චිගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ "දඬුබස්‌නාමානය" ටෙලිනාට්‍ය තුළිනි. මා පාසල් යන අවධියේ ශ්‍රී ලංකා මාසික සඟරාවේ පළවූ පුරාවිදු දැරණියගලයන්ගේ පුරාණ සිංහල සටන් කලාව පිළිබඳ රූ සටහන් හැරුණුකොට දඬුබස්‌නාමානයේ දුටු පරිදි රංගනයක්‌ වැනි දෙයක්‌ ඊට පෙර කිසිදාක මා දැක නැත. දඬුබස්‌නාමානය කොතරම් මා සිත් ගත්තේ දැයි කිවහොත් එම වසරේ ටෙලි නාට්‍යයන්ට ලැබෙන සම්මානයන් සියල්ල එයට ලැබිය යුතු බව මගේ බිරිඳටද කීවෙමි. මගේ නිගමනය සනාථ කරමින් මට මතක හැටියට එම වසරේ සම්මාන සියල්ලම මෙන් එයට ලැබිණ. "දඬුබස්‌නාමානය" සහ පසු කලෙක "අකාල සන්ධ්‍යා" තුළින් දුටු එම අපූරු අංකුර කලාකරුවා කවදා හෝ මේ රටේ සිනමා ක්‌ෂේත්‍රයේ විප්ලවයක්‌ කරන අයකු වන බවට එදා මා තුළ ඇතිවූ විශ්වාසය "මහරජ ගැමුණු" හරහා අද ඉටුවී තිබීම ගැන බෙහෙවින් ප්‍රීති වෙමි. 

"මහරජ ගැමුණු" සිනමා කාව්‍යයට පදනම් වී ඇත්තේ එළාර දුටුගැමුණු සටනයි. ඒ වූ කලී, ඉරහඳ පෑයූ දා සිටම ස්‌වභාව සෞන්දර්යෙන් හා ආර්ථික සමෘද්ධියෙන් ආඪ්‍ය වූ මේ රම්‍ය දිවයින අත්පත්කොට ගැනීම සඳහා කෞටිල්‍යවාදී ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් නොනවතින මුහුදු රළ මෙන් දියත් කෙරෙන ආක්‍රමණාවලියේ එක්‌ සිද්ධියකට විරුද්ධව තම මව්බිම රැකගැනීම සඳහා දුටුගැමුණු රජතුමාගේ නායකත්වයෙන් දියත් කරනා ලද ආහ්ලාදජනක, වීරෝදාර සංග්‍රාමයයි. සිනමාව තුළින් දුටුගැමුණු වත ජාතියට කීමේදී ඓතිහාසික උරුමයද මනා සේ රකිමින් මේ සිංහල දේශයේ රජුගේ මෙන්ම බෞද්ධ භික්‍ෂුවගේද කාර්යභාරය සහ උරුමය විශිෂ්ට අන්දමින් නිරූපණය කොට ඇත. 

කිසි දිනක සුව නොවන කෞටිල්‍යවාදී නිධන්ගත රෝගයකින් පෙළෙන දුෂ්ට ඉන්දියානු ව්‍යාප්තවාදයේ සනාතනික ආක්‍රමණවලින් රට රැක ගැනීමේ සිංහලයාගේ ආත්ම ආරක්‌ෂණවාදී වීරෝදාර සටන් පිළිබඳ සනාතනික ශෝක ගීතය වශයෙන් මා විසින් හඳුන්වනු ලබන ලංකා ඉතිහාස කතාවේ වැදගත්ම සංසිද්ධියක්‌ නිදාගෙන සිටින ජාතියක්‌ අවදි කිරීම සඳහා මේ අන්දමින් ප්‍රබලව සිනමාවට නැංවීමෙන් ජයන්ත චන්ද්‍රසිරි සිදුකොට ඇති මෙහෙය ප්‍රශංසනීයය.

රජුන්, රැජිනියන් හා කුමාරවරුන් තම රටවැසියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රන් හුයක්‌ සේ කතාන්තරය පුරාම ගලා යයි. ඒ අතරම ගැමුණු කුමරු මාගමට කැටිව යැමට පැමිණි නන්දිමිත්‍ර යෝධයා සමග කෙරෙන කතාබහේදී "කුමාරවරුන් බොරු කීවත් ගොවියන් බොරු නොකියන බව නඟාලීමෙන් වර්තමානයේ සිටින දේශපාලන කුමාරවරුන්ටද සියුම් උපහාසයක්‌ කිරීමට ජයන්ත අමතක නොකරන බව පෙනේ. අව්‍යාජ සිංහල ගැමියාගේ නියම ප්‍රතිරූපයද ඉන් විදහා දැක්‌වෙයි. 

කොත්මලේ සිට මාගමට යන විට ගැමුණු කුමරු සමගින් සාලිය කුමරකුද එසේම බිසවක්‌ද යෑවීමෙන් මහාවංශ කතුවරයා අපට නොවිස¹ ඉතිරිකොට ගිය ගැටලුවක්‌ද ජයන්ත නිරාකරණය කොට ඇත. ඒ සමග ධර්මසේන හිමියන්ද අභිබවා මානව චර්යා ධර්මතාව පිළිබඳ යථාර්ථයද ඔහු පෙන්වාදී ඇතැයි සිතමි. මේ නිර්මාණය තුළින් මනමේ නාට්‍යයේ මනමේ කුමරිය නින්දාවෙන් නිදොස්‌ කරවා ගැනීම සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් යොදාගත් උපාය ජයන්ත විසින්ද මෙහිදී යොදාගෙන තිබීම ප්‍රශංසනීයය.

අනෙක්‌ අතින් සිංහල බෞද්ධ රාජ්‍යයේ භික්‍ෂුවගේ කාර්යභාරය සහ උරුමය මෙන්ම වගකීමද කතාව පුරාම ගලායන අන්දමින් හසුරුවා ඇත. විශේෂයෙන්ම ගැමුණු කුමරු හා තිස්‌ස කුමරුන්ගේ පිරිස්‌ අතර සිදුවීමට යන සටනේදී දෙපාර්ශ්වයේ අවි ගැටීමෙන් මතුවන ගිනිපුළිඟු මෙන්ම, මැරී වැටෙන සිය දහස්‌ ගණනක්‌ දැන් දැන් දක්‌නට ලැබේ යයි නරඹන්නන් විසින්ම ත්‍රාසයෙන් බලා සිටිද්දී යුද පෙරමුණු දෙක මැදින් ආකස්‌මිකව මතුවී ඉදිරියට ඇදෙන බැබළෙන කසාවතින්, එක්‌ වචනයකුදු නොබැණ යුද්ධය වැළැක්‌වූ අයුරුද විශිෂ්ට සිනමා අවස්‌ථාවකි. මෙවැනි දර්ශන තුළින් ශේ්‍රෂ්ඨ ජාතියක්‌ සතු සමාජ හරයන් ඉස්‌මතුකොට දක්‌වා තිබීමද අපූරුය. එළාර, කාවන්තිස්‌ස, විහාරමහා දේවි සහ ගැමුණු කුමරුගේ චරිතද ඉතා විශිෂ්ට අන්දමින් හසුරුවා ඇත. මෙහිලා ජැක්‌සන් ඇන්තනී (එළාර), ශ්‍රියන්ත මෙන්ඩිස්‌ (කාවන්තිස්‌ස), කුසුම් රේණු (විහාරමහා දේවි) සහ උද්ධික ප්‍රේමරත්න (ගැමුණු) යන නම්ද කිසි විටෙකත් අමතක කළ නොහැක.

දුටුගැමුණු - එළාර පුවතේ වැදගත්ම කොටස යුද්ධය වුවද විශේෂයෙන්ම මහියංගණයේ සිට රජරට දක්‌වාත්, එතැන් සිට විජිතපුරය දක්‌වාත් බලකොටු පිට බලකොටු විනාශ කරමින් කෙරුණු යුද්ධය මෙන්ම විජිතපුර සටනද ලුහුඬින් සටහන් වීම මා සිතට ප්‍රහේළිකාවකි. එසේම එළාර රජු මියයැමෙන් පසු සිද්ධීන් අතර සතුරාට පවා ගෞරව කිරීමේ සිංහල රාජ නීතිය උලුප්පා දක්‌වන අවස්‌ථාව එළාර සිහිවටන ස්‌තූපය නිර්මාණය ආදිය මෙන්ම දුටුගැමුණු රජුගේ පශ්චාත් යුද ආශ්චර්යන් වන රුවන්වැලිසෑය, ලෝවාමහාපාය ආදී ශාසනික සේවාවන් මෙන්ම ඒ සියල්ලටමත් වඩා තුන්හෙළය එක්‌සේසත් කිරීමේ පුවත උලුප්පා නොදැක්‌වීම සිංහලයේ අසහාය මහා නරපතියාට සිදු කෙරුණු අසාධාරණයක්‌ දෝයි මට සිතිනි. එසේම සිවුරු හැර යුද්ධයට පැමිණි ථෙරපුත්තාභය යුද්ධයෙන් පසු කෙළෙස්‌ සොරුන් සමග යුද්ධයට නික්‌ම ගිය පරමාදර්ශනද සඳහන් වූයේ නම් වර්තමානයේ සිටින දේශපාලන හා ව්‍යාපාරික භික්‍ෂූන්ට පණිවුඩයක්‌ දීමට හැකිව තිබිණැයිද මට සිතුණි. 

කෙසේ වුවද තිර රචනය මත රූප රාමු දිගහැරෙන විට මගේ රට හා සම්ප්‍රදායන් පිළිබඳ මහත් ආඩම්බර බවක්‌ මට දැනුණාක්‌ මෙන්ම මා සරසවි සිසුවකුව සිටියදී දුටු ඔeබ ඤපප්බාපැබඑs සහ ඵඑ ඵදබඑe Caරකද වැනි චිත්‍රපට මා සිහියට නැගුණේ නිතැතිනි. එසේම තවමත් තරුණ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා මා දකිනුයේ සිංහල නාට්‍ය වංශ කතාවේ අනාගත සරච්චන්ද්‍ර කෙනෙක්‌ වශයෙනි. ගායන ක්‌ෂේත්‍රයේ අමරදේව සහ නන්දා මාලිනී වැනි චරිතයකි. එසේම සංගීත ලෝකයේ කේමදාස කෙනෙකි. තමන් සතු අසීමිත සුරුවිරුකම් යොදා හෙට දිනයේ මහා පරාක්‍රමබාහු වත සහ සිංහලේ උඩරට රාජධානියට සහ එහි වැසියන්ට බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද විනාශයන් අලලා විශ්ව සිනමාකරණයකට සුදුසු නිර්මාණ දෙකක්‌ කිරීමටද ජයන්ත චන්ද්‍රසිරියන්ට ශක්‌තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.

අවසාන වශයෙන් මේ රටේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ ජාතික උරුමයන් පිළිබඳ මෙලෝ අවබෝධයක්‌ හෝ හැඟීමක්‌ නැති වල්මත්ව පිස්‌සු කෙළිමින් නයිට්‌ ක්‌ලබ්වල කුණුවෙමින් අයාලේ යන තරුණ තරුණියන්ට සහ රටේ අනාගතය භාර ගැනීමට සිටින සියලුම පාසල් සිසුන්ටද "මහරජ ගැමුණු" වැනි චිත්‍රපට බැලීමට අවස්‌ථාව ලබාදෙන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමටද මම මෙය අවස්‌ථාවක්‌ කර ගනිමි.

ආචාර්ය සුදත් ගුණසේකර

3/06/2015

ශ්‍රිලනිපය, ජාතිකවාදය හා නව අභියෝග

කතෘ:යුතුකම     3/06/2015   3 comments
ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස ඇත්තේ ‘ක’ යන්නක පමණ ද? බොහෝ සිංහලෙන් හෝ දෙමළෙන් පමණක් කියවන අයට නම් එය එසේ ය. එහෙත් ඉංග්‍රීසි බසෙහි ඉහත සංකල්ප දෙක වෙන් වෙන් ව හඳුනා ගැනීම සඳහා වෙන ම වචන දෙකක් ඇත. එනම් ජාතිකවාදය යන්න Nationalism ලෙසත් ජාතිවාදය යන්න Racism ‍ලෙසත් ය. රනිල් වික්‍රමසිංහ මෙම වචන දෙකෙහි අරුත හොඳ හැටි දනිතත් ඔහු එය සිය අනුගාමිකයින්ගෙන් සඟවන්නේ ඔවුන් තමන්ගෙන් බිඳී යැතැයි යන බිය නිසා ය. සිංහලෙන් පමණක් කියවන ලංකාවේ ලිබරල් යැයි කියා ගන්නා පිරිස් හා මාධ්‍ය ද ඇත්ත වශයෙන් ම ජාතිකවාදය හා ජාතිවාදය පිළිබඳ සිතන්නේ ‘ක’ යන්නකින් පමණක් වෙන්ව තිබුණ ද එකම අන්තර්ගතයක් සහිත සංකල්ප දෙකක් ලෙස ය. අදාළ සංකල්ප දෙක අතර වෙනස තේරුම් ගන්නා විට සිංහලෙන් පමණක් සිතීම මෙම භයානක වැරදි අවබෝධයට තිබෙන ප්‍රධානතම සාධකය බව මේ අනුව කිව යුතු ය. පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ ‘ජාතිවාදය’ අවුස්සන බවට ප්‍රකාශ කරමින් මුද්‍රිත මාධ්‍යයට පහර ගැසූයේ ද, ජාතිකවාදය හා ජාතිවාදය අතර වෙනස නොදන්නා තම පාක්‍ෂිකයින් ‘චූන්’ කරන්නට හා මහින්ද වටා ගොනු වී සිටින ජාතිකවාදී පිරිස් ජාතිවාදීන් (racist) ලෙස හංවඩු ගසා පැත්තකින් තබන්නට ය. රනිල්ගේ ප්‍රකාශය අනුමත කළ ඔහුගේ ම අනුගාමිකයින් පිළිබඳ රනිල්ට ම දුක හිතෙන්නට ද ඇත.

ජාතිකවාදය යනු අනෙකක් නොව කෙනෙකුගේ අන් සියළු වෙනස්කම් (ජනවර්ගය, ආගම, කුලය වැනි) පසෙකින් තබා තමා ජීවත් වන ජාතික රාජ්‍ය සමග අනන්‍ය වීම හා එය නැංවීම සඳහා පෙනී සිටීමයි. මෙහි දී තම ජනවර්ගය උදෙසා ම වෙන් වූ අභිලාෂ (නිජබිම් හෝ ප්‍රදේශ) පිළිබඳ තැකීමක් ජාතිකවාදියාට නැත. ඔහුට සුළුතර බහුතර යනාදී මානසිකත‍්වයක් ද නැත. ලංකාවේ සිටි අග්‍රගන්‍යතම විදේශ ඇමතිවරයෙකු වූ ලක්‍ෂමන් කදිරගාමර් ජාතිකවාදියෙකි. එමෙන් ම තරුණ දේශපාලඥයෙකු වන මොහොමඩ් මුසම්මිල් ද ජාතිකවාදයෙකු ලෙස සැලකිය හැකි ය. ඔවුන් තම ආගම් හා ජනවර්ගවලට ඔබ්බෙන් සිතීමට හැකියාම තිබූ හා තිබෙන වුන් ය.

ඇත්ත වශයෙන් ම ලොව බොහෝ රටවල් සංවර්ධනයේ ඉනි මං නැග්ගේ ජාතිකවාදය ඔස්සේ ය. ඇමරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සිය ක්‍රියාමාර්ග සැලසුම් කරන්නේ ක්‍රියාවට නංවන්නේ ජාතිකවාදී දැක්මකිනි. මෑත ඇමරිකානු ඉතිහාසය ගතහොත් සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් ඇෆ්ගනිස්ථානය හා ඉරාකය වැනි රටවල් ආක්‍රමණය කරන්නේ එම රටවල් තම ජාතික අභිලාෂ වලට, විශේෂයෙන් ම ඇන්ග්ලෝ-සැක්සන් වටිනාකම්වලට අභියෝගයක් වූ නිසා ය. එපමණක් නොව වර්තමානයේ ඇමරිකාව වැනි රටවල් වෙනත් රටවලට අත පොවමින් කරන්නේ ඇමරිකානු ජාතික ඉලක්කයන් වෙත යන ගමනට බාධා කරන පුද්ගලයින් හා සංවිධාන ඉන් ඉවත් කිරීමට කටයුතු කිරීම ය. ලංකාවෙන් මහින්ද ඉවත් කරන්නට ඇමරිකාවට අවශ්‍ය වන්නේ මහින්ද ඇමරිකාවට පක්‍ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය නො කිරීම නිසා ය. ඇමරිකාව ලොව පුරා තවත් මෙවැනි බොහෝ මෙහෙයුම් සිදු කොට ඇත. මෙම කරුණ ඉතා දීර්ඝ වශයෙන් අප අපගේ ‘විකිලීක්ස් හෝරාව’ කෘතිය හරහා සාකච්ඡා කොට තිබේ. කෙසේ වෙතත්, මේ සියල්ලෙන් ම පෙනී යන්නේ ඇමරිකාව තම ව්‍යාපෘථිය තුළ අතිශයින් ම ජාතිකවාදී වූ බව ය. සෙසු බටහිර රටවල් ද එසේ ය.

එහෙත් අවාසනාව වන්නේ, ඇමරිකාව වැනි රටවල් ස්වකීය ජාතිකවාදී ඉලක්ක වෙනුවෙන් කරන අනවරත අරගලයට උල්පන්දම් දීමට අප වැනි රටවල ඇතැම් පිරිස් නොමිළයේ ඉදිරිපත් වීමයි. එසේ කොට ඒ වෙනුවෙන් ආඩම්බර වීමට ද හැකි ශ්‍රී ලාංකික පිරිස් අප වැනි රටවල සිටීම ඇමරිකානු ජාතිකවාදී ව්‍යාපෘථියේ සාර්ථකත්වය මොනවට පැහැදිළි කරයි. ලංකාවේ වෙනස කළේ තමන් බව ජෝන් කෙරී කියන විට ඇතැම් ලාංකිකයෝ අත් පොළසන් දුන්හ. අප රටට මෙම ඉරණම අත් වූයේ කෙසේ ද? මේ අපේ මිනිසුන්ගේ තමා හඳුනා ‍නොගැනීම පිළිබඳ උග්‍ර ප්‍රශ්නයකි. ජාතික වශයෙන් අනාත මෙවන් පිරිස් මෑති ඉතිහාසයේ ලංකාව තුළ නිෂ්පාදනය කොට බෙදා හැරියේ ජේ ආර්ගේ සිට (ප්‍රේමදාස හැර) රනිල් දක්වා වූ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයයි. මීට එරෙහි ව ක්‍රියාත්මක වන්නට සජිත් ප්‍රේමදාසට ඕනෑකම තිබුණ ද ඔහුට ශක්තිය නැත. චන්ද්‍රිකා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය තුළ ද මෙවැනි ම පිරිසක් නිර්මානය කළ ද මහින්ද රාජපක්‍ෂ විසින් ඔවුන් තාවකාලික ව පුනරුත්ථාපනය කොට නැවත භාවිතයට ගනු ලැබිණි. පුනරුත්ථාපනයට අකමැති වූ මංගල වැනි අය සිය චන්ද්‍රිකානුරාගය එජාපය තුළ සොයා ගත්හ.

ජනවාරි 08 දින ශ්‍රීලනිපයෙන් මහින්ද සාධකය ගැලවුණු පසු එය නැවත ගොස් හේත්තු වූයේ චන්ද්‍රිකාගේ කොටි ගැති, බටහිර ගැති තවලම් චින්තනයට ය. දේශපාලනික ව වෙනස් වූව ද මහින්ද නැති ශ්‍රිලනිපය මූලික (fundamental) වශයෙන් එජාපයෙන් වෙනස් වන්නේ නැත. මේ වන විට එජාපය සමග එකගෙයි කෑම සඳහා ජාතික ආණ්ඩු සැදීමට යෑම ම මීට කදිම නිදසුනකි. ශ්‍රිලනිපයෙන් ජාතිකවාදය ගැලවීම රටට භයානක බව සිහිකට යුතු ය. ශ්‍රිලනියේ තවලම්-සුදුනෙළුම් චින්තනයේ රඟ ඒ දිනවල චන්ද්‍රිකා විසින් උතුර හා නැගෙනහිර දෙපළාත ම සුනාමි සහන මණ්ඩලය හරහා වසර 10 කට කොටින්ට සින්නක්කර ලබා දීමට කළ උත්සාහයෙන් පැහැදිළි වේ. මහින්දගේ ජාතිකවාදයෙන් මිදුණු ශ්‍රිලනිපය දැන් නැවත එන්නේ එකී විජාතික කොඩිය අතැතිව ය. මහින්දගේ ජාතිකවාදය තුළ, වසර 30 යුද්ධයේ උරුමයෙන් ලද සමාජීය ඛාදනය හේතුකොට ගෙන ඇති වූ ඇතැම් ක්‍ෂුද්‍ර මට්ටමේ අඩුපාඩු තිබුණ ද සාර්ව වශයෙන් ගත් කළ එය ජාතිය ගොඩ නැගීම සඳහා වන එක ම ව්‍යාපෘතිය බව අප අවබෝධ කටයුතු ය. එහෙත් ශ්‍රිලනිපයේ වත්මන් ක්‍රියාකාරිත්වය අපට පෙන්වන්නේ අසුබ ලකුණු ය. මෙය බැරෑරුම් තත්වයක් ලෙස සලකා වැඩ නොකළහොත් රටට ද ජාතියට අත්වන ඉරණම පිරිමැසිය නොහැකි තරම් වනු ඇත.

මහින්ද පතිරණ
කතිකාචාර්‍ය - සබරගමුව විශ්ව විද්‍යාලය
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

එහෙම ගහපු ඇඟේ මේ දහතුනේ රඟේ!

කතෘ:යුතුකම     3/06/2015   1 comment

(මෙම ලිපිය සම්පූර්ණයෙන්ම සකස්‌ වුණේ ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌වරයෙකු වූ ඡේ.ඇන්. ඩික්‌සිත් විසින් ලියූ "කොළඹ භූමිකාව" ග්‍රන්ථය ඇසුරිනි.)


ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට 13 වැනි සංශෝධනය එක්‌වන්නේ ඉන්දු - ලංකා ගිවිසුම හරහා ය. ඉන්දු -ලංකා ගිවිසුම අත්සන් කිරීම සිදු වූයේ, එදා ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් සිටි ජේ. ආර්. ජයවර්ධනගේ හෝ ඔහුගේ ආණ්‌ඩුවේ කැමැත්තට නොව ඉන්දීය බලහත්කාරකම මතය. මෙම කාර්යය සඳහා ඉන්දීය පාර්ශ්වයෙන් ප්‍රබලම භූමිකාව නිරූපණය කරන ලද්දේ එවකට ශ්‍රී ලංකාවේ සිටි ඉන්දීය මහ කොමසාරිස්‌ වූ ඡේ. ඇන්. ඩික්‌සිත් ය. එකල ශ්‍රී ලාංකේය දේශපාලන ක්‍ෂේත්‍රයේ ඔහු ප්‍රසිද්ධ වූයේ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය ආණ්‌ඩුකාරයා ලෙසය. 13 වැනි සංශෝධනය ජනිත කළ ඉන්දු - ලංකා ගිවිසුම සඳහා පසුබිම සකස්‌ වූ ආකාරය පිළිබඳව ඩික්‌සිත්ගේ කෝණය වැදගත් වන්නේ එහි බලහත්කාරී බව එමගින් පෙන්නුම් වන බැවිනි. ඉන්දු - ලංකා ගිවිසුමෙන් දස වසරකට පසු ඔහු එදා තිබූ තත්ත්වය කතාන්දරයක ස්‌වරූපයෙන් මෙන්ම විග්‍රහාත්මකවද ලියමින් කොළඹ භූමිකාව නම් ග්‍රන්ථයක්‌ රචනා කළේය. ඉන්දු - ලංකා ගිවිසුමේ පසුබිමත්, 13 වැනි සංශෝධනයේ විලිරුදාවත් එමගින් මැනවින් විද්‍යමාන වේ.

ජනාධිපති ජයවර්ධනගේ ආණ්‌ඩුව පත්වීමෙන් පසු උතුරු ප්‍රදේශයේ සන්නද්ධ දෙමළ ත්‍රස්‌තවාදයේ සීග්‍ර පිබිදීමක්‌ ඇති විය. අගමැතිනි ඉන්දිරා ගාන්ධි දෙමළ ත්‍රස්‌තවාදයට අවි ආයුධ, මුදල්, පුහුණුව හා රැකවරණය ලබාදීම එම පිබිදීමේ මූලය විය. මේ අතරම සාකච්ඡා මේසය ද සූදානම් කිරීමට ඉන්දියාව කටයුතු යොදා තිබිණි. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමෙන් බලය බෙදාහරින යෝජනාවක්‌ ජයවර්ධන ආණ්‌ඩුවට ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලද්දේ මේ අනුවය. 1983- 84 යටතේ සංවිධානය වූ සර්වපාක්‍ෂික සමුළුව සඳහා දෙමළ සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවේ නියෝජිතයා ලෙස පත් කරන ලද පර්තසාරති, දෙමළ කණ්‌ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බලය බෙදාහැරීම සඳහා වන යෝජනා මාලාවක්‌ ඉදිරිපත් කළේය. පළාත් හා දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් බලය බෙදාහැරීම පිළිබඳවත්, සිංහල පමණක්‌ යනුවෙන් දශක තුනකට අධික කාලයක්‌ තිස්‌සේ ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරනු ලැබූ ප්‍රතිපත්තියේදී දෙමළුන්ට සිදුවූ "අවාසි" සඳහා පිළියම් ද එම යෝජනාවලියට ඇතුළත් විය. මෙම අවස්‌ථාව වන විට ඡේ. ආර්. සිටියේ, දෙමළ ත්‍රස්‌තවාදය කප්පම් ලබාදීමකින් තොරව අවනත කරගන්නා තැනකය. ඇමරිකාවේ සහාය ඔහු ඒ සඳහා ලබා ගෙන තිබිණි. ඇමරිකානු බුද්ධි විශේෂඥයෙකු වූ ජෙනරාල් වර්නන් වෝල්ටර්ස්‌ කොළඹ රැඳී සිටීම තුළින් ඇමරිකානු රජය, ජයවර්ධනගේ ආණ්‌ඩුව වෙත තම උපක්‍රමික සහාය පළ කරමින් තිබිණි. මෙය ඉන්දියාවේ කෝපයට හේතු වී තිබිණි. සීතල යුදමය සමය බැවින් ඒ වන විට ඉන්දියාව කටයුතු කරමින් සිටියේ සෝවියට්‌ කඳවුරට සමීප තැනකය. එසේ තිබියදී ඇමරිකානු බුද්ධි හා උපාය මාර්ග විශේෂඥයකු ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් උපදෙස්‌ ලබාදීම ඉන්දියාව නොරිස්‌සූ කාරණයක්‌ විය.

ඉන්දිරා ගාන්ධිගේ අවමංගල්‍ය උත්සවයට පැමිණි ජනාධිපති ජයවර්ධන, නව අග්‍රාමාත්‍ය රජිව් සමඟ පිළිසඳරක යෙදුණේය. එම සාකච්ඡාව ඉන්දු - ලංකා ගිවිසුමේ පිළිසිඳ ගැනීමට හේතු විය. ඒ සමඟ ම ඉන්දීය විශේෂ නියෝජිතයා ලෙස පර්තසාරති වෙනුවට රොමේෂ් බන්ධාරි පත්විය.

බංගලාදේශයේ චිටගොන් ඩෙල්ටාව ප්‍රදේශයේ සුළි සුළඟක්‌ ඇතිවීම සම්බන්ධයෙන් එරට ජනාධිපති එර්ෂාඩ්ට කනගාටුව පළ කිරීම සඳහා සුහද සංචාරයක නිරත වන්නට රජිව් ගාන්ධි සූදානම් වී තිබිණි. ඒ සඳහා තමන් සමඟ යැමට රජිව් විසින් හදිසියේම ඡේ. ආර්. ට ද ආරාධනා කළේය. බලය බෙදීමේ ඒකකය ලෙස දිස්‌ත්‍රික්‌කය වෙනුවට පළාත පිළිගැනීමට ඡේ. ආර්. කැමැති කරවා ගැනීමට මෙහිදී රජිව් සමත් වී තිබුණි. මෙම පිළිගැනීමත් සමඟම දෙමළ ත්‍රස්‌තවාදී සංවිධාන හා ශ්‍රී ලංකා රජය අතර සාකච්ඡා පැවැත්වීමට භූතානයේ තිම්පු නුවර යොදා ගැනීමට ඉන්දියාව සමත් විය. ශ්‍රී ලංකා රජය නියෝජනය කළ පිලේ නායකයා වූයේ ඡේ. ආර්. ගේ සොහොයුරු එච්. ඩබ්ලිව්. ජයවර්ධනය. එම සාකච්ඡා මේසය සාර්ථක වන ලකුණු මුල සිටම නොපෙන්වීය. ඊට හේතුව වූයේ අනාගත ඊළමක්‌ සඳහා වන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳව සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව එකඟ නොවීමය.

ජේ එන් ඩික්සිත්
මේ පසුබිමත් සමඟ ඉන්දියාව යළිත් තම බලහත්කාර ප්‍රයත්නයට අත තැබූහ. 1985 අගෝස්‌තු දෙවැනිදා ඩික්‌සිත් විසින් ඉන්දියාවේ සිට ගෙන එන ලද නිල නොවන ලිපියක්‌ මගින් සාකච්ඡා මේසයේදී ශ්‍රී ලංකාව ගත යුතු ස්‌ථාවරය ජනාධිපති ජයවර්ධන වෙත දන්වන ලදී. තිම්පු සාකච්ඡා අසාර්ථක වීම පිළිබඳව කනගාටුව පළකිරීමක්‌ද එහි අඩංගු වී තිබිණි. ශ්‍රී ලංකාව තම සාකච්ඡා ස්‌ථාවරය දෙමළ ඉල්ලීම්වලට ප්‍රතිචාරාත්මක ලෙස වෙනස්‌ කළයුතු බවට එමගින් දක්‌වා තිබිණි. ජයවර්ධන වෙත ඩික්‌සිත් මෙම ලිපිය භාර දෙන විට ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුළලත්මුදලි ද එහි සිටියේය. ඉන්දියාව දෙමළ සංවිධානවලට සහයෝගය දක්‌වන හෙයින්, ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ඒකපාර්ශ්වික ඉල්ලීම් පිළිගැනීමට නොහැකි බව එහිදී ලලිත් ප්‍රකාශ කර තිබුණි.

මේ සමඟ ම ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාව ද විශේෂ නියෝජිතයකු පත් කර තිබිණි. ඒ මහාචාර්ය රැල්ෆ් බුල්ජන්ස්‌ය. මෙහි අරමුණ ලෙස ඩික්‌සිත් තේරුම් ගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ගේ භූමිකාව අවතක්‌සේරු කර ඉන්දියාව සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන නියෝජිතයකු ශ්‍රී ලංකාව විසින් පත් කර ගැනීමය. මෙය අසාර්ථක කරලීමේ අවශ්‍යතාවක්‌ ඩික්‌සිත්ට තිබිණි.

තිම්පු සාකච්ඡාහි දෙවැනි වටය ද මේ වනවිට ඇරඹී තිබිණි. එම වටය ද අසාර්ථක වූ අතර තිම්පු සාකච්ඡා මේසයේ ශ්‍රී ලංකා ප්‍රධානියා වූ හැරී ජයවර්ධන ඉන්දීය සංචාරයක්‌ සඳහා සහභාගි කරවා ගැනීමට ඉන්දියාව තීන්දු කර තිබිණි. එම සංචාරයේදී දෙමළ සංවිධාන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ යෝජනාව හැරී ජයවර්ධන සමඟ කෙටුම්පත් කිරීමට ඉන්දීය බලධාරීන් සමත් විය. නමුත් එම යෝජනා මාලාව පිළිගැනීමට අමාත්‍ය මණ්‌ඩලය හෝ පාර්ලිමේන්තුව සූදානම් නැති බව ජනාධිපති ජයවර්ධන හා විදේශ අමාත්‍ය හමීඩ් විසින් ඩික්‌සිත් වෙත දන්වා තිබිණි.

මෙම පණිවිඩය ඩික්‌සිත් විසින් දිල්ලියට යෑවූ අතර වහාම කරුණු සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඩික්‌සිත්, නවදිල්ලියට කැඳවා තිබිණි.

නවදිල්ලි ගොස්‌ ඩික්‌සිත් විසින් ඡේ. ආර්. වෙත රැගෙන ආ පණිවුඩය වූයේ දෙමළුන් සඳහා බලය බෙදීමට අර්ථවත් යෝජනාවලියක්‌ ශ්‍රී ලංකාව විසින් සකස්‌ කළ යුතු බවය. එම යෝජනාවලිය සකස්‌ කිරීම සඳහා 1985 සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්‌වා කාලය යොදා ගන්නා ලෙසත් ඩකා නුවර පැවැත්වෙන සාර්ක්‌ සමුළුවේ අවසාන සැසිය සඳහා රජිව් හා ඡේ. ආර්. මුණගැසීමේදී වැඩිදුරටත් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කරන බව ද ඉන්දියාව විසින් ඩික්‌සිත් හරහා දන්වා එවා තිබුණි. කාල වකවානු සකසමින් ආකෘතියක්‌ ගොඩනඟමින් ජයවර්ධන පාලනය වෙත අතිශය බලහත්කාර ප්‍රයත්නයක ඉන්දියාව නිරතවෙමින් තිබිණි.

1987 මුල් භාගය වන විට නවදිල්ලියෙන් ඩික්‌සිත් හට උපදෙස්‌ ලැබී තිබුණේ මෙම දේශපාලන ක්‍රියාදාමය පුනරීක්‍ෂණය සඳහා ජනාධිපති ජයවර්ධන, අමාත්‍ය මණ්‌ඩලය, බණ්‌ඩාරනායක මැතිනිය සහ අනෙකුත් දේශපාලනික පක්‍ෂ නායකයන් සමග මූලික සාකච්ඡා පවත්වන ලෙසය. ඇතිවීමට යන තත්ත්වය මත ශ්‍රී ලංකාවේ දේශපාලන පිටිය මේ වනවිට උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය, ශ්‍රීලනිපය, ජවිපෙ ආදී බලවේග ඉන්දියන් ආක්‍රමණයක්‌ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් උද්ඝෝෂණය කරන තැනකට පත්ව සිටියේය. එසේම ආණ්‌ඩුව තුළත් අගමැති ප්‍රේමදාස, ආරක්‍ෂක ඇමැති ඇතුලත්මුදලි ප්‍රධාන පිරිසක්‌ ඉන්දියානු බලහත්කාර ප්‍රයත්නය පිළිබඳව අප්‍රසාදයෙන් යුක්‌තව සිටියේය.

සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි ඩික්‌සිත් සාකච්ඡා පවත්වමින් සිටියේය. 1987 ජනවාරි හත්වැනිදා අගමැති ප්‍රේමදාස සමඟ ඩික්‌සිත් දීර්ඝ සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර අර්බුදයක්‌ වූ ප්‍රශ්නයකට ඉන්දියාව අතපෙවීම සම්බන්ධ අගමැති ප්‍රේමදාස මෙහිදී තදබල විවේචනයක්‌ ඩික්‌සිත් වෙත ඉදිරිපත් කළේය.

ඉන්දියාව විසින් තම බලහත්කාර ප්‍රයත්නය සඳහා ද හින්දු පුවත්පතේ කර්තෘ එන්. රාම් හා ජ්‍යෙෂ්ඨ ඉන්දියානු මාධ්‍යවේදී කුල්දීප් නයර් ද උපයෝගී කර ගනිමින් සිටියේය. මෙහිදී රාම්ගේ අදහස වී තිබුණේ ජනාධිපති ජයවර්ධන හා ගාමිණි දිසානායක දේශපාලන යථාර්ථවාදීන් බැවින් ඉන්දියාව සිය ප්‍රයත්නයේ අඛණ්‌ඩව යෙදුණහොත් 1986 වසරාවසාන වනවිට කිසියම් සම්මුතියකට පැමිණීමට හැකි වෙතැයි යන්නය.

පෙබරවාරි 3 වැනිදා සිට පස්‌ වැනිදා දක්‌වා ඉන්දීය විශේෂ නියෝජිත රොමේෂ් බන්දාරි කොළඹ සංචාරයක නිරත විය. ජයවර්ධන පාලනයට හුස්‌ම ගැනීමට හෝ ඉඩක්‌ නොතබා දිගින් දිගටම ඉන්දු නියෝජිත සිය බලහත්කාර ප්‍රයත්නය සඳහා පෙළගැසෙන්නට පටන් ගත්තේය. බන්දාරි සිය දෙදින සංචාරයේදී ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස, සිරිමාවො, විදේශ අමාත්‍ය හමීඩ් හා ආචාර්ය තිරුචෙල්වම් යන පිරිස සමග සාකච්ඡා පැවැත්වීය.

බන්දාරිගේ ගමනේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ඉන්දියාවේ සිටින ව්‍යවස්‌ථා විශේෂඥයකු වන බාලක්‍රිෂ්ණන් විසින් ඔහුගේ සහාය ද ඇතිව එච්. ඩබ්ලිව්. ජයවර්ධන වෙත දිල්ලියේදී ලබා දුන් පත්‍රිකාව අතහැර නොදමන ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට හා විපක්‍ෂයට බල කිරීමය. අමාත්‍ය මණ්‌ඩලය හා පාර්ලිමේන්තුව භාර ගැනීම ප්‍රතික්‍ෂේප කළා යෑයි ජනාධිපති ජයවර්ධන දන්වා සිටි මෙම ලියෑවිල්ල දිල්ලි ගිවිසුම නමින් ඒ වනවිටත් ප්‍රචලිත වී තිබිණි.

ඉන්දියාව එක්‌ එක්‌ ක්‍රම මගින් රට තුළ දිල්ලි ගිවිසුම පිළිගැනීමට ලක්‌ කරවා ගැනීමට බලහත්කාර ප්‍රයත්නයන් යොදන අතරේ මැයි තෙවැනිදා එල්. ටී. ටී. ඊ. විසින් කටුනායක ගුවන්තොටුපළේදී එයාර් ලංකා ගුවන් යානයක්‌ පුපුරුවා හැරියේය. ගුවන් යානය පිපිරීමෙන් 10 ක්‌ මියගොස්‌ සිටියේය. ඉන් 13 ක්‌ ම විදේශිකයන් විය. තවත් 41 ත් 45 ත් අතර සංඛ්‍යාවක්‌ තුවාල ලැබූහ. මේ සිද්ධිය පිළිබඳව ආරක්‍ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවේ රෝ සංවිධානය ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සඳහා මෙය පුපුරුවා හැරිය බවය.

මේ මොහොත වන විට ඉන්දීය බලහත්කාර ප්‍රයත්නයට, ජයවර්ධන ආණ්‌ඩුවෙහි අකැමැත්ත වගන්ති දෙකකට පමණක්‌ සීමා වී තිබිණි. ඒ හැරෙන්නට පුළුල් වූ දිල්ලි ගිවිසුමේ අනෙක්‌ වගන්ති සඳහා ජයවර්ධන ආණ්‌ඩුව එකඟ කරවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබිණි. උතුර හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, එය ද්‍රවිඩ වාසභූමියක්‌ ලෙස හඳුනා ගැනීම ජයවර්ධන පාලනය අකැමැති වූ වගන්ති විය.

මෙම පුනරීක්‍ෂණ පැකේජය සර්ව පාක්‍ෂික සමුළුවක්‌ වෙත ඉදිරිපත් කිරීමට ජනාධිපති ජයවර්ධන, ඉන්දියාවට එකඟ විය. 1986 ජුනි මාසයේදී ද්‍ර. එ. වි. පෙ. නායකයන් සමග ජනාධිපති ජයවර්ධන කොළඹදී සාකච්ඡා පැවැත්වීය. අනතුරුව අගෝස්‌තු මාසයේදී සර්ව පාක්‍ෂික සමුළුවක්‌ ද පැවැත්වීය. නමුත් මෙම සමුළුව සඳහා දෙමළ ත්‍රස්‌තවාදී සංවිධානවලට ජනාධිපතිවරයා ආරාධනය නොකළේය. ප්‍රජාතන්ත්‍රවාදය අතහැර ප්‍රචණ්‌ඩ මාවතේ යන ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් ඵලක්‌ නොවන බව ජනාධිපතිවරයාගේ අදහස විය. ශ්‍රී ලනිපය මෙම සමුළුව වර්ජනය කළේය. නමුත් විරුද්ධ පාර්ශ්වයේ වෙනත් පක්‍ෂ හතක්‌ සමුළුව සඳහා සහභාගි වී තිබිණ. සමුළුව අවසානයේ පිටු පනහකින් යුත් යෝජනා මාලාවක්‌ ඉදිරිපත් විය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට කළ යුතු සංශෝධන, යෝජනා ඇතුළත් වූ අතර පළාත් සභා ඇති කිරීමේ පනත, මධ්‍යම රජය හා පළාත් සභා අතර බෙදී යන විෂයයන් හා සමගාමී ලැයිස්‌තුව ද දෙමළුන්ට ස්‌වයංපාලනය ලබා දුන් පසුව නීතියේ වෙනස්‌වීම් සිදුවිය යුතු ආකාරයද එම යෝජනාවල අඩංගු විය.

මෙම සමුළුවේදී උතුර - නැගෙනහිර එක්‌ කිරීමත්, එය දෙමළ වාසභූමියක්‌ ලෙස ප්‍රකාශ කිරීමත් යන යෝජනා පිළිගනු නොලැබිණි. මෙම දුෂ්කර ප්‍රශ්න සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රජිව් සමග සාකච්ඡා කිරීමට තමා උත්සාහ දරන බව ජනාධිපති ජයවර්ධන පැවැසීය.

1986 නොවැම්බර් 17 සහ 18 යන දිනවල සාර්ක්‌ සමුළුව බැංගලෝරයේදී පවත්වන්නට නියමිතව තිබිණි. එහිදී ජනාධිපති ජයවර්ධන ලවා අවසාන කෙටුම්පත එළිදක්‌වා ගැනීම, ඉන්දියාවේ ඉලක්‌කය වී තිබිණි.

සාර්ක්‌ සමුළුව පැවැත්වීමට ආසන්න කාලය තුළදී එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් සමග බැංගලෝරයේදී ඉන්දීය නියෝජිත පිරිසක්‌ සාකච්ඡා පවත්වනු ලැබීය. තමිල්නාඩු මහ ඇමැති එම්. ජී. රාමචන්ද්‍රන්, ද්‍ර. එ. වි. පෙ. නියෝජිතයන් සමග මදුරාසියේදී සාකච්ඡා පැවැත්වීය. මෙම සාකච්ඡාවලදී ප්‍රභාකරන් තිර අධිෂ්ඨානයකින් කියා සිටියේ, නිශ්චිත කාල රාමුවක්‌ තුළ දෙමළ ඉල්ලීම් ලබාදෙන බවට ජයවර්ධන ප්‍රමාණවත් හා විස්‌තරාත්මක සහතිකයක්‌ ලබා නොදෙන්නේ නම් හා ඒ ගැන ඉන්දීය රජය නිල වශයෙන් සහතික නොකරන්නේ නම් අතරමැදි විසඳුම් භාර ගැනීමට තමා කිසිසේත්ම සූදානම් නොමැති බවය. අතරමැදි විසඳුම පිළිගන්නා ලෙසත් ඉන්පසුව ඉන්දියාව ස්‌ථිර වශයෙන් හා අඛණ්‌ඩව සහයෝගය ලබාදීම මගින් පුළුල් විසඳුම හෙවත් ඊළම ඇති කර ගැනීමට උත්සාහ කරන ලෙසත් ඉන්දීය රජය නියෝජනය කළ නට්‌වාර් සිං විසින් ප්‍රභාකරන්ට බලකර සිටියේය. නමුත් එවර ප්‍රභාකරන් තම අණට කීකරු කර ගැනීමට ඉන්දියාවට නොහැකි විය. ඒ නිසා ප්‍රභාකරන් උදෙසා යම් දණ්‌ඩනීය තත්ත්වයක්‌ පනවන්නට ඉන්දියාවට සිදු විය. එල්. ටී. ටී. ඊ. ය ඇතුළු දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ඉන්දියාවේ තිබෙන සන්නිවේදන උපකරණ අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය ක්‍රියා කළේ ඒ අනුවය. මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රභාකරන් උපවාසයක්‌ ආරම්භ කළේය. අවසානයේදී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්‌ඩුවේ මැදිහත් වීම මත අත්අඩංගුවට ගත් උපකරණ නැවත ප්‍රභාකරන් අතට පත් වූ අතර ඔහුගේ උපවාසය ද නිමා විය.

තම ඉලක්‌කය උදෙසා "දෙසැම්බර් 19" යෝජනා නමින් තවත් යෝජනාවලියක්‌ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එවන ලද්දේ මෙම සමයේදීය. නට්‌වාර් සිං හා සිදම්බරම් යන ඉන්දීය ඇමැතිවරු දෙදෙනා මෙම යෝජනා පිළියෙළ කළ අතර එය අවසානයේදී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට ජනාධිපති ජයවර්ධන එකඟ කරවා ගැනීමට ඉන්දියාවට හැකි වී තිබිණි.

1987 ජනවාරි මාසයේදී යුද මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් දෙමළ ත්‍රස්‌තවාදය මැඬ පවත්වන්නට ශ්‍රී ලංකා රජය තීරණය කළේය. මේ සඳහා මූලිකත්වය ගත්තේ ජාතික ආරක්‍ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිය. මේ සමඟම ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රතික්‍රියා ද එල්ල විය. පෙබරවාරි මුලදී ජනාධිපති ජයවර්ධන වෙත ඉන්දියාවෙන් නියෝග තුනක්‌ ලැබිණි.

1. දෙමළුන්ට එරෙහිව හමුදා ක්‍රියාන්විත නැවැත්වීම.

2. යාපනයේ ආර්ථික සම්බාධක ඉවත් කිරීම.

3. ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් සම්මුතියක්‌ ඇති කර ගැනීම සඳහා "දෙසැම්බර් 19" යෝජනා ක්‍රියාත්මක කිරීම.

මේ සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් සුබදායි ප්‍රතිචාරයක්‌ නොවූ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුම් හේතුවෙන් එල්. ටී. ටී. ඊ. ය වඩමාරච්චි ප්‍රදේශයට කොටු වෙමින් පැවතිණි. මැයි 25 හා මැයි 26 දෙදින තුළ ක්‍රියාත්මක වූ "ඔපරේෂන් ලිබරේෂන්" මෙහෙයුම මගින් එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදයේ "ඉතුරු කොටසට" ද ප්‍රහාර එල්ල කරන්නට ශ්‍රී ලංකාව පටන් ගෙන තිබිණි.

මෙහෙයුම ඇරඹීමත් සමඟ ජනාධිපති ජයවර්ධන හමුවූ ඩික්‌සිත් මෙහෙයුම නතර කරන ලෙසත් එසේ නොවුවහොත් ශ්‍රීලංකාව පිළිබඳව යළි සලකා බැලීමකට ඉන්දියාව පියමං කරන බවත් "තරවටු" කරමින් කියා සිටියේය. නමුත් ජයවර්ධනගේ ප්‍රතිචාරය ඉන්දියාවට සතුටුදායක නොවීය. මැයි 28 වැනිදා පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳ වූ අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි "ශ්‍රී ලංකාවේ දියත් වී තිබෙන හමුදා ක්‍රියාන්විතය මිනිස්‌ සංහාරයක්‌ බවට පත්වී තිබෙනවා. ගත වූ දින කිහිපය තුළ සිය ගණනක්‌ මිය ගියා. අහිංසක ජීවිත මේ තරමක්‌ විනාශ කිරීම දෙමළ සටන්කාමී කණ්‌ඩායම් විනාශ කිරීමට සමානුපාතික නැහැ. ශ්‍රී ලංකා රජය පසුගිය අවුරුදු කිහිපය ලබා ගත්තේ විශාල හමුදා විකල්පයක්‌ සඳහා බව පැහැදිලියි" යෑයි පැවසීය.

මෙම පුවතට ජනාධිපති ජයවර්ධනගෙන්ද නොසිතූ අන්දමේ ප්‍රතිචාරයක්‌ ලැබිණි. "ඉන්දියාවට පුළුවන් බම්බු ගහන්න" යෑයි ඔහු රජිව්ට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.

ඉන්දියාව ඊට ප්‍රතිචාර දක්‌වමින් උතුරේ වැසියන්ට අත්‍යවශ්‍ය ආහාර යෑවීමට තීරණය කළේය. එය රජිව් ගාන්ධි විසින්ම ගත් සෘජු තීරණයක්‌ විය. 1987 ජුනි 3 වැනිදා මධ්‍යම රාත්‍රියේදී ආහාර රැගත් බෝට්‌ටු යාපනයට යෑවීමට ඉන්දියාව සැලසුම් කළ අතර මෙම අරමුණ ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ් වෙත ජුනි පළමුවැනිදා දැනුම් දෙනු ලැබීය.

මෙයටද ජයවර්ධන රජයෙන් පෙරළා ප්‍රතිචාර ලැබිණි. ජුනි පළමුවැනිදා හදිසියේ රැස්‌වූ ශ්‍රී ලංකා කැබිනට්‌ මණ්‌ඩලය, "ඉන්දියාවෙන් එවන සහන සැපයුම් අවශ්‍යතාවන් පළමුවත්, ඒවා බෙදා හැරීමේ පටිපාටිය දෙවනුවත් පරීක්‍ෂා කිරීමේ අවශ්‍යතාව සඳහන් කර තිබිණි. ඉන්දීය රජයේ ඒකපාර්ශ්වීය තීන්දුවට ශ්‍රී ලංකාව විරුද්ධ බවත්, එසේ සැපයුම් එවීම ශ්‍රී ලංකාවේ ස්‌වාධීනත්වය ස්‌වෛරීභාවය හා භෞමික අඛණ්‌ඩතාව උල්ලංඝනය කිරීමක්‌ බවද කැබිනට්‌ මණ්‌ඩලය තීන්දු කරනු ලැබීය. මෙයට මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක්‌ ලැබී තිබිණි.

ජුනි දෙවැනිදා සවස අවසන් නිවේදනය නිකුත් කළ රජිව් ගාන්ධි, ධීවර බෝට්‌ටු 200කින් ආධාර එවන බවටත් යාපනය අර්ධද්වීපයේ අවසානයේ උතුරු වෙරළේ කිලෝමීටර් පහක්‌ ඈතින් වූ කල්මුණේ තුඩුවට ඒවා පැමිණෙන බවටත් ජනාධිපති ජයවර්ධනට දැනුම් දී තිබිණි.

ජුනි දෙවැනිදා රාත්‍රි 11.30 ට පමණ වන විට ඉන්දීය බෝට්‌ටු යාපනය ආසන්න මුහුදට පැමිණ තිබිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සන්නද්ධ බෝට්‌ටු ඉන්දීය ධීවර බෝට්‌ටුවලට මග අවුරනු ලැබීය. සහන සැපයුම් ගොඩබෑම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කරන බව ද ඉන්දීය ධීවර බෝට්‌ටු හා වෙරළාරක්‍ෂක යාත්‍රාවන්ට දඬුවම් කිරීමට තමන්ට නියෝග ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයා ඉන්දීය බෝට්‌ටුවලට දැනුම් දෙනු ලැබීය. තමන්ට ලැබී තිබූ නියෝගය අනුව ඉන්දීය නාවික යාත්‍රා නැවතත් තමිල්නාඩුව බලා ගමන් කිරීම ඇරඹුණේය.

තම ප්‍රයත්නය අලුත් වටයකින් අරඹන්නට ඉන්දියාව තීරණය කර තිබිණි. ජුනි තුන්වැනිදා දහවල් මෙම තීරණය ඩික්‌සිත් විසින් විදේශ ඇමැති හමීඩ්ට දන්වන ලදී. හමීඩ් විසින් මෙයට විරෝධය එල්ල කළ අතර ඊට ඩික්‌සිත්ගෙන් ලැබුණු පිළිතුර වූයේ ආධාර රැගෙන එන ගුවන් යානය සමග ඉන්දීය ප්‍රහාරක යානා ද පැමිණෙන බැවින් ඉන්දීය යානාවලට ප්‍රහාරයක්‌ එල්ල වුවහොත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට, ගුවන් කඳවුරුවලට හා පාබල හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට ඉන්දීය ගුවන් යානා තුළ ප්‍රහාරක ශක්‌තිය ඇති බවය.

ඉන්දියාව ගුවනින් ශ්‍රී ලංකා භූමිය වෙත ආහාර හෙළූ අතර එම ප්‍රතිචාරය මගින් ශ්‍රී ලංකාව තුළ කෝපාවිෂ්ට උණුසුමක්‌ ඇති වී තිබිණි.

අර්බුදය තේරුම්ගත හැකි කතාවක්‌ මේ සියල්ල අතරේදී ජනාධිපති මන්දිරයේ දී සිදුවිය. එහි ඩික්‌සිත්ගේ ග්‍රන්ථයේම එන ආකාරයෙන් පළකරමින් ජනාධිපති ජයවර්ධන අර්බුදයෙන් කෙතරම් තැළී පොඩිවී සිටියාදැයි එයින් ගම්‍ය වන බැවිනි.

"සම්පූර්ණ සිද්ධියම නැවත වරක්‌ සලකා බැලීම අවශ්‍ය යෑයි කී ජනාධිපති ජයවර්ධන එදින සවස ඔහු හමුවීමට පැමිණෙන ලෙස මට දැන්වීය. යොදාගත් වේලාවට අනුව ජයවර්ධන මහතාගේ නිවසට මා ගිය විට ජයවර්ධන මහතා, ජයවර්ධන මහත්මියටත් මගෙන් ඇසීමට කාරණා එකක්‌ දෙකක්‌ තිබෙන බව පවසමින් ඇයද සාකච්ඡාවට කැඳවූවේය. ජයවර්ධන මහත්මිය මේ ප්‍රශ්න දෙක මගෙන් ඇසුවේය.

1. ජනාධිපතිතුමා ගිවිසුමට එකඟ වුවහොත් එය අත්සන් කිරීමට රජීව් ගාන්ධි කොළඹට පැමිණේවිද?

2. ජනාධිපතිතුමා බලයෙන් නෙරපා හැරීමේ තර්ජනයද ඇතුළු විශාල විරෝධයකට මුහුණ පෑමෙන් රජීව් ගාන්ධි මහතා ජනාධිපතිතුමාගේ ආරක්‌ෂාවත්, බලයේ රැඳී සිටීමත් තහවුරු කරනවාද?

මම ජයවර්ධන මහත්මියට මෙසේ පිළිතුරු දුනිමි. ගිවිසුමෙහි සෑහීමකට පත්විය හැකි යෝජනා මාලාවක්‌ අඩංගු වන්නේ නම් රජීව් ගාන්ධිට කොළඹට පැමිණීමට කිසිදු බාධාවක්‌ නැත. නමුත් ඊට පෙර ඔහු ගිවිසුමේ සම්පූර්ණ ප්‍රකාශයම දැකිය යුතුය. දෙවැනිව, ගිවිසුම අත්සන් කළහොත් හා එවිට ජනාධිපතිතුමාට ඕනෑම දේශපාලන හෝ ආරක්‌ෂක තර්ජනයක්‌ ඇති වේ නම් අගමැති රජීව් ගාන්ධි ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්‌ෂාවත්, ඔහුගේ රජයේ ස්‌ථාවරත්වයත් තහවුරු කරනු ඇත."

ඉන්දියාව විසින් ගුවනින් ආහාර හෙළීමත් සමග ශ්‍රී ලංකාව අසීරුතාවකට පත්ව තිබිණි. එදින රාත්‍රියේ ගුවන්විදුලියේ කතා කළ අගමැති ප්‍රේමදාස "හොඳ බල්ලන් හා නරක බල්ලන් සිටිනවා. .... බල්ලන් ආරාධනාවක්‌ නැතිවම අපේ පිළිකන්නට එනවා. ඇවිත් කැත කර පලා යනවා" යෑයි සිය විරෝධය ඉන්දියාවට පළ කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය උණුසුම් වී තිබිණි. මහා සංඝරත්නය හා විපක්‌ෂය ඉන්දීය විරෝධී උද්ඝෝෂණවල යෙදී සිටියහ.

ගුවනින් ආහාර හෙළීමත් සමග එල්.ටී.ටී.ඊ. යේ ගෙල සිරකරමින් සිටි හමුදා මෙහෙයුමද නතර කිරීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මේ වන විට ඉන්දු - ලංකා ගිවිසුම බිහිකිරීම සඳහා විළිරුදාව ඇතිවෙමින් තිබිණි. දෙමළ භාෂාව උතුර නැගෙනහිර පළාතේ රාජ්‍ය භාෂාව කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් යා කිරීමත්, කැබිනට්‌ ජනමත විචාරණයක්‌ මගින් පමණක්‌ කළ යුතුය යන අදහසේ ජනාධිපති ජයවර්ධන රැඳී සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුමේ කෙටුම්පත ශ්‍රී ලංකා රජයේ සාකච්ඡා සඳහා මේ වන විට යොමුකොට තිබූ අතර අවසන් කෙටුම්පත ජූලි 17 වැනිදා උදෑසන ඩික්‌සිත් වෙත භාරදීමට නියමිතව තිබිණි. දෙසැම්බර් 19 යෝජනා පදනම් කරගනිමින් ඉන්දියාව මෙම කෙටුම්පත සකස්‌ කර තිබූ අතර එය සම්පූර්ණයෙන්ම උතුර නැගෙනහිර ඊළමක්‌ ඉදිකිරීම සඳහා සකස්‌ කරන ලද්දක්‌ විය. ශ්‍රී ලංකාව විසින් අකැමැත්තෙන් ඉදිරිපත් කරන ලද අවසන් කෙටුම්පත ජූලි 18 වැනිදා නවදිල්ලියට රැගෙන ගියේ ඩික්‌සිත් විසිනි.

ගිවිසුම පිළිබඳව අවසන් තීරණයට රජීව් පැමිණ සිටි අතර මේ පිළිබඳව ප්‍රභාකරන් දැනුවත් කිරීම සඳහා යාපනයේ සිට රජීව් හමුවීමට ප්‍රභාකරන් කැඳවාගෙන පැමිණියේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්‌ දේශපාලන ලේකම් හර්දීන් පූරි විසිනි. ඉන්දීය නිලධාරීන් වූ ආර්. කේ. නාරායන්, සම ලේකම් යදේව් හා හර්දින් පූරි ප්‍රභාකරන් සමග ජූලි 24 වැනිදා හා 25 දිනවල ගිවිසුම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. හදිස්‌සියේම සියල්ල වෙනස්‌ වූ බවත්, පෙන්වූ ප්‍රභාකරන් තමාට මෙම ගිවිසුම පිළිගැනීමට හැකියාවක්‌ නැතැයි ප්‍රකාශ කළේය. 26 වැනිදා ප්‍රභාකරන් රජීව් හමුවිණි.

කොළඹ තත්ත්වය වඩාත් උණුසුම් වී තිබිණි. මධ්‍යම හා දකුණු පළාතද එසේම විය. මෙම අවදානම්සහගත තත්ත්වය ඩික්‌සිත් විසින් රජීව්ට දන්වා යෑවූ අතර ඉන්දියාව තමන්ගේ සහයෝගය ජනාධිපති ජයවර්ධනට දැක්‌වීම සඳහා කොළඹ වරායට නුදුරින් සිය නාවික යාත්‍රා ස්‌ථාන ගතකර තිබිණි. ජනාධිපති ජයවර්ධන මහතාට සෘජු තර්ජනයක්‌ ඇතිවුවහොත් කඩාපැනීම සඳහා එම නැව් තුළ ඉන්දීය කමාන්ඩෝ භට පිරිස්‌ සූදානමින් සිටියෝය.

ඩික්‌සිත් විසින් ඉන්දියාවේ අවසන් තීරණය ලෙස කෙටුම්පතක්‌ රැගෙන ජනාධිපති ජයවර්ධන හමුවූ අතර එම සාකච්ඡාව සඳහා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, නිශ්ශංක විඡේරත්න හා රනිල් වික්‍රමසිංහ සහභාගි වූහ. රටේ බලවත් විරෝධයක්‌ ඇති හෙයින්ද, තමාගේ පක්‌ෂයේ සුළු පිරිසක්‌ සහ අමාත්‍ය මණ්‌ඩලයේ ඇතැමුන්ද ඊට විරුද්ධව සිටින හෙයින් යෝජිත ගිවිසුම පිළිබඳව ජනතාව පක්‍ෂය හා අමාත්‍ය මණ්‌ඩලය විධිමත් ලෙස දැනුවත් කිරීම සඳහා රජීව්ගේ පැමිණීම සති කිහිපයකින් ප්‍රමාද කරන්නට හැකිදැයි ඩික්‌සිත්ගෙන් ඡේ.ආර්. විමසීය. ලලිත් හා රනිල් ඡේ.ආර්. ගේ මෙම යෝජනාවට සහයෝගය දැක්‌වූ අතර ගාමිණී ගේ අදහස වූයේ ගිවිසුම අත්සන් කිරීම පස්‌සට ඇදීම මහා විනාශයකට හේතුවක්‌ වන බවය.

ඇමැතිවරු සාකච්ඡා කාමරයෙන් පිට කළ ඡේ.ආර්. තමා ගිවිසුම අත්සන් කිරීමට තීරණය කළ බව ඩික්‌සිත්ට පැවැසීය.

1987 ජූලි 29 වැනිදා රජීව් ශ්‍රී ලංකාවට පැමිණියේය. සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු රට වෙනුවට ඉන්දියන් හා ඡේ. ආර්. විරෝධයෙන් ගිනියම් රටක්‌ බවට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.

ජූලි 29 උදෑසනින් දිල්ලියෙන් පිටත් වූ රජීව් ඇතුළු පිරිස පෙරවරු 10 වන විට කටුනායකට පැමිණ සිටියේය.

ප්‍රේමදාස, ඇතුලත්මුදලි, ගාමණී ජයසූරිය ඇතුළු ඇමැති මණ්‌ඩලයෙන් තුනෙන් එකක්‌ පමණ පිළිගැනීමේ උත්සවය වර්ජනය කර තිබිණි. බණ්‌ඩාරනායක මැතිනිය හා ශ්‍රීලනිප යේ නායකයන්ද රජීව් පිළිගැනීමට පැමිණ සිටියේ නැත.

බලහත්කාරයේ කර්තව්‍යය සම්පූර්ණ කරමින් පස්‌වරු 3.30 ට නායකයෝ දෙපළ ගිවිසුමට අත්සන් තැබූහ.

29 වැනිදා සවස වන විට ඉන්දීය භටයන් 600 ක්‌ යාපනයේ ස්‌ථානගත කිරීම ජනාධිපති ජයවර්ධනගෙන් ඉන්දියාවට අවසර ලැබී තිබිණි. සටන් විරාමය තහවුරු කරගැනීම හා ත්‍රස්‌තවාදීන්ගේ අවි භාරගැනීම ඔවුන්ගේ කාර්යය බව කියෑවුණි.

ජූලි 30 වැනිදා පෙරවරු 10.30 ට පමණ රජීව් ගාන්ධි කොළඹින් පිටත්වීමට නියමිතව තිබිණි. සමුගැනීමේ උත්තමාචාරය ද උණුසුම් විය. උත්තමාචාරයට සහභාගිවී සිටි නාවික සෙබළ විජිත රෝහිත විජයමුණි විසින් රජීව් ගාන්ධි වෙත තමාගේ බයිනෙත්තුවෙන් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එය සමස්‌ත ශ්‍රී ලංකාවෙන්ම රජීව් වෙත එල්ල වූ විරෝධයේ සංකේතයක්‌ බඳු විය.

තෙවැනි සාර්ක්‌ සමුළුව 87 නොවැම්බර් මාසයේ දී නේපාලයේ කත්මණ්‌ඩු නුවරදී මුළු දුන්නේය. එය නිමාවී ආපසු යන විට ඡේ.ආර්. ට නවදිල්ලියට පැමිණෙන්නැයි රජීව්ගේ අණ අනුව ඩික්‌සිත් විසින් ආරාධනයක්‌ කළේය. නොවැම්බර් හත්වැනිදා නායක දෙපළ කළ සාකච්ඡාවලදී රජීව් අවධාරණයට ලක්‌ කළේ බලය බෙදාහැරීමේ යෝජනා මාලාව වහාම සාකච්ඡාගත කරන ලෙසය.

ඒ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව 13 වැනි වරට සංශෝධනය කරමින් අදාළ බලය බෙදාහැරීමේ පරිච්ඡේදය කෙටුම්පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මෙය නිෂ්ප්‍රභා වනු ඇතැයි අගමැති ප්‍රේමදාසත්, ලලිත් ඇතුලත්මුදලිත් බලාපොරොත්තු වූහ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් පස්‌දෙනකු එයට පක්‌ෂවත්, සතර දෙනකු විරුද්ධවත් ඊට අත්සන් තබා තිබිණි.

දෛවයේ සරදම දරුණුම ස්‌ථානයට පත්ව තිබිණි. ඉන්දියානු බලහත්කාරකමට එරෙහිව සිටි අගමැති ප්‍රේමදාස විසින් උදාසීන ලෙස 1987 නොවැම්බර් 12 වැනිදා 13 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පනතට පක්‌ෂව පාර්ලිමේන්තුවේ ඡන්ද 136 ක්‌ ද, එරෙහිව ඡන්ද 11 ක්‌ද ලැබි තිබිණි. අවසානයේ 13 සංශෝධනය ශ්‍රී ලංකා ව්‍යවස්‌ථාවට එක්‌විය.



-2011 වසරේ දිවයින විශේෂ අතිරේකයක පළ වූ ලිපියකි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com

නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

2/24/2015

ජාතිය ජාතිවාදයට නතුවීම

කතෘ:යුතුකම     2/24/2015   2 comments
උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇත.

විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා 70% ක වැඩි ජන්දයෙන් මෛත්‍රීපාල මහතා ජනාධිපති ලෙස පත්කර රනිල් වික්‍රමසිංහගේ ඊනියා ආණ්ඩුවට සහයෝගය දෙන්නේ කුමක් නිසාදැයි යන්න පැහැදිලිය. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා, සම්බන්ධන්ලා, හකීම්, සාලිලා, ගනේෂන්ලා මෛත්‍රිපාලට සහයෝගය දැක්වුයේ යහපාලනයක් උදෙසා නොව තම තමන්ගේ ජාතිවාදී න්‍යායපත්‍ර උදෙසා බව නම් ස්ථිර වෙමින් පවතී.

ඇමෙරිකාව,එංගලන්තය යටතේ ක්‍රියාත්මක වන රනිල් -චන්ද්‍රිකා ප්‍රධාන දකුණේ බෙදුම්වාදී නඩය මෛත්‍රීපාලව තමන්ගේ රෑකඩ අත බවට පත්කර ගන්නා බව දෙමළ බෙදුම්වාදීන් දැන සිටියහ.මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ බෙදුම්වාදයට ඉඩක් නොවීය.ඔහු බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය පරිදි වැනෙන නායකයෙකු ද නොවීය.දෙමළ ජාතිවාදීන්ගේද,මුස්ලිම් ජාතිවාදීන්ගේද,ඇමෙරිකාව ඇතුලු බටහිරයන්ගේද ඉන්දියාවේද ,ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබූ රනිල්, චන්ද්‍රිකා,අනුර කුමාරලාගේද සිංහල බෞද්ධ විරෝධීන් වු නිර්මාල් රංජිත්, සන්නස්ගල, ආදි උගතුන්ගේද පොදු සතුරා ජාතිකත්වය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ විය.

මේ කිසිවෙකුටවත් යහපාලනයක් අවශ්‍ය නොවීය. අවශ්‍යවුයේ මහින්දගේ බලය කොල්ල කා ගැනීම පමණය. සිංහල ජනයා තුල මහින්දට තිබුණ ප්‍රසාදය අහිමි කිරීම සදහා රටවල් ගණනාවක ජාතික නායකයින් බොහෝ දෙනෙක් පරාජයට පත්කළ යහපාලන තුරැම්පුව අප රට තුලද ක්‍රියාත්මක කළේය. ගොබෙල්ස්සියානු තියරිය අනුව මහින්ද දූෂිතයයෙක්, ඒකාධිපතියෙක් නීතියක් සාදාචාරයක් නැත්තෙක් බවට ඒත්තු ගන්වන අති විශාල සටකපට ව්‍යාජ ප්‍රචාරණ යාන්ත්‍රණයක් ඇති කළේය. විශේෂයෙන්ම facebook ඇතුලු සමාජ ජාල හරහාද ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය හරහාද එකම බොරැව අතොරක් නැතිව කියවන්නට විය. ඉවක් බවක් විමසීමක් නැතිව මේවා පිලිගත් බොහෝ දෙනාට මහින්ද දුෂිතයෙක් ඒකාධිපතියෙක් යන්න ක්‍රමයෙන් පත්තියන් විය. ඉර පායන තරම් විශ්වාසයෙන් මහින්ද හොරෙකු දුෂිතයෙකු ඒකාධිපතියෙකු බව අදහන්ට විය. අදටත් මහින්දලාගේ හොරකමක් දුෂණයක් චංචාවක් ඔප්පු කීරිමට ඊනියා දුෂණ විරෝධීන්ට නොහැකි වී ඇත. එසේ තිබියදීත් අදටත් මහින්ද අන්ත දුෂිතයැයි සිතා මෛත්‍රීපාලට ජන්දය දුන් බොහෝ දෙනෙක් මහින්ද දුෂිතයැයි යන අදහස ඉවත් කර නොමැති බව පෙනෙන්නට ඇත. ඒ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට යටවූ බැවිනි.

අඩුම තරමින් අවුරැදු 100ක් තිස්සෙවත් ජාතිවාදයෙන් බෙදුම්වාදයෙන් සහ ත්‍රස්තවාදයෙන්(ත්‍රස්තවාදය පරාජය කළද ජාතිවාදය පරාජය කිරීමට අපට නොහැකි විය) අනේක පීඩාවන්ට පත්වු රටක ඒකියත්වයට සහ ජාතිකත්වයට වඩා ඊනියා යහපාලනයක් විශේෂයෙන්ම සිංහලයන්ට වැදගත් විය. (විශේෂයෙන්ම මධ්‍යම පන්තියට සහ බටහිර දැනුමේ අනුකාරකයන්ට) ලැම්බෝගිනිවලින්, රත්තරං අශ්වයන්ගෙන්, හෙලිකොප්ටර් වලින් සමාන්‍ය ජනයාගේද මුණු පොතේ බහුතර නොදරුවන්ගේද දැඩි මහින්ද විරෝධයක් ඇති කළේය. නීතියේ ස්වාධිපත්‍ය, යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, දේශපාලන සදාචාරය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස, රෙජිමය වෙනස් කිරීම, මෙගා දුෂණ, සංඛ්‍යා ලේඛන වාර්තා ආදි දහසකුත් කතා මගින් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේද බටහිර දැනුම වන්දනාමාන කරන සාමාන්‍ය උගතුන් ආදීන් තුලද මහින්ද විරෝධයක් ඇති කළේය. රටෙහි ඒකියත්වයද ජාතිකත්වයද පසෙක දමා දෙමළ ජාතිවාදීන්, මුස්ලිම් ජාතිවාදීන් බටහිර රූකඩ දේශපාලකයින් සිංහල බෞද්ධ විරෝධීන් ආදීන් සමග මහින්ද එලවීමට අත්වැල් බැදගත්හ. ඒ දේශද්‍රෝහී රැල වෙනුවෙන් පෙනී සිටීම සිදු කළහ. විශේෂයෙන් සැලකිය යුතු සිංහල බෞද්ධ පිරිසකගේ දේශපාලනික ළදරු මනස් ගොබෙල්ස්සියානු තියරියට සහ යහපාලන තුරැම්පුවට අසුවී මහින්දව අතුගා දැමීමේ නාමයෙන් දේශපාලන තලයෙන් ජාතිකත්වය අතුගා දැමීමට ඡන්දය ප්‍රකශ කළහ. අදටත් ඔවුන් කළේ කුමක්දැයි අවබෝධ වී ඇතැයි සිතිය නොහැක.

ඒ කෙසේ හෝ අද නැවතත් රටෙහි ජාතිකත්වයද ඒකියත්වයද දුර්වල වී ඇත. විග්නේෂ්වරන්ලා, සුමන්දිරන්ලා,සම්බන්ධන්ලා, රනිල්ලා, චන්ද්‍රිකාලා දේශපාලන තලයේ බෙදුම්වාදය සදහා පාර කපමින් සිටී. සන්නස්ගලලා ආදී දහසකුත් පඩියෝ සිංහල බෞද්ධ විරෝධී මතවාද ජනමාධ්‍ය ඇතුලු බොහෝ තැන්හි සමාජ ගතකිරීමට අවස්ථාව සලසාගෙන ඇත. කෙසේ හෝ විග්නේෂ්වරන්ලා මේ අතගසා ඇත්තේ බෙදුම්වාදය සදහා වු මුලික පියවර වලටය. ඔවුන්ට ඇමෙරිකාවේද එංගලන්තයේද මානව හිමිකම් කවුන්ලයේද පුර්ණ සහයෝගය හිමි වනු ඇත. වචනයෙන් ප්‍රකාශ නොකළද රනිල් -චන්ද්‍රිකා සංයෝගය ඒ සදහා රජයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ඇත. මෛත්‍රීපාල ජනාධිපතිවරයා දැනටමත් විධායක අගමැති ලෙස හැසිරෙන රනිල්ට අවශ්‍ය පරිදි හැසිරෙමින් සිටියි. සන්නස්ගලලා වියන්ගොඩලා නිර්මාල් රංජිත්ලා මේ සියලු ක්‍රියා ලොකු දේශපාලන වචන හරඹයකින් සාධාරණීකරණය කරනු ඇත. මේ සියලුදෙනා තවත් ඉදිරියට ගියහොත් රට බෙදා වෙන්වීම කාලය පිලිබද ප්‍රශ්නයක් පමණී. රටෙන් කෑල්ලක් කඩා වෙන්කරගෙන සිංහලයන්ට දෙකොනින් හිනා වී තම තමන්ගේ දේශපාලයන් මතවාදයන් දීනු බවට උදම් අනනු ඇත. ජාතිවාදී විසෙන් දෙකඩ කොට වෙන්කරන ලද රටක බෙදුම්වාදී ජාතිවාදය තස්ත්‍රවාදයක් දක්වා වර්ධනය වී දහස් ගණනකගේ ජීවිත අහිමි වීම බෙදුම්වාදී නඩය හුදු තම ආත්මාර්ථය සදහා බලෙන් අමතක කර දමා ඇත.

මෛත්‍රීපාලට ජන්දය දුන් බොහොමයක් අයට මේ පිලිබදව අවබෝධයක් නැති බව පෙනෙන්නට ඇත. දුෂණ චංචා ඇල්ලීම, යහපාලනය ආදියෙන් ඇස් නිලංකාර වී ඇති ඔවුනට විග්නේෂ්වරන්ලාගේ දේශපාලනය පෙනෙන්නේ නැත. ඒ බව පෙනෙන කිහිප දෙනා නිහඩව සිටින්නේ කුහකකම නිසාවෙනි. රට බෙදනවට අපිත් විරැද්ධයි එහෙම උනොත් අපිත් පාරට බහිනවා කෝ තාම එහෙම එකක් පෙන්න නෑනේ මෛත්‍රිට ඡන්දය දුන් බොහෝ දෙනාගේ පිලිතුරය. රටක් බෙදනවා යනු ඉඩම් කට්ටි කිරීමක් වැනි පොඩි දෙයක් ලෙසත් ඒ සදහා වසර ගණනාවක දේශපාලනික වුද මතවාදී වුද ක්‍රියාමාර්ග නැති බවත් සිතන්නට තරම් ඔවුන් අද බාල ද නැත්නම් රටෙහි ඒකියත්වය තුට්ටුවකටවත් මායිම් නොකරන්නේද යන්නත් මේ ලබා දෙන පිලිතුර අනුව විමසා බැලිය යුතුය.

-තාරක ගල්පාය
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

2/23/2015

මෛත්‍රීගේ තර්ජනය

කතෘ:යුතුකම     2/23/2015   3 comments
රනිල් පුවත්පත් කතුවරුන්ට තර්ජනය කරන අතර මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා කටුනායක හෝටලයක පැවැත් වූ වැඩමුළුවක දී ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත. රනිල්ට අනුව අදාළ පුවත්පත් කතුවරුන් මහින්ද රාජපක්‍ෂගේ වැසිකිළි සෝදා ඇත. ඔහු එහි දී සක්කිළි යන වචනය ද යොදා ගෙන ඇත්තේ එක් ජනවර්ගයකට එයින් අපහාසයක් වන බව නො දැන ද? ඒ කෙසේ වෙතත් මෛත්‍රිපාල නුගේගොඩ රැස්වීමට ගිය ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තරයේ බැණ වැදී ඇත. ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට හා ලේකම් අනුර ප්‍රියදර්ශන යාපාට පක්‍ෂයේ සාමාජිකයන්ට නුගේගොඩ රැස්වීමට සහභාගි වීම තහනම් කිරීම සඳහා කොන්දක් තිබී නැතැයි කියා ඇත.

අගමැතිකම ගැන කතාකරන්නේ තමන්ට අගමැතිකම නොදුන් බව අමතක කරමින් ද යන ප්‍රශ්නය මෛත්‍රිපාලගේ මුවින් පිට වී ඇත. ඒ අතර වෙල්ගම නුගේගොඩ රැස්වීමට බස් විස්සක් යැවීම ගැන ද ඔහු සඳහන් කර ඇත. මෛත්‍රිපාල මන්ත්‍රී වෙල්ගමට දොස් කියන අතර රනිල් වෙල්ගමගේ සොයොයුරාට අයත් දිවයින පුවත්පතට තර්ජනය කළේ ය.

කටුනායක දී සම්මත කරගත් යෝජනාවකට අනුව 2016 අපියෙල් වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙසත් එතෙක් ඇමතිවරුන් පනහකගෙන් පමණ සමන්විත ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවා ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් පිරිසකට ද ඇමතිකම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඇත.

මේ සියළු තර්ජනවල, යෝජනාවල ඇත්තේ එක් අරමුණකි. එනම් මහින්ද රාජපක්‍ෂ සදහට ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. මෙය රනිල්ගේ හා මෛත්‍රීපාලගේ අවශ්‍යතාවක් පමණක් නොව බටහිරයන්ගේ ද ඉන්දියාවේ ද අවශ්‍යතාව වෙයි. ඒ පිටුපස දෙමළ ජාතිවාදය පෝෂණය කර සිංහල ජාතිකත්වයට එරෙහිව යොදා ගැනීමත් චීනයට ඇති විරුද්ධතාවත් වෙයි. චීනයේ මුහුදු සේද මාර්ගය නැවත්වීම හා චීනයට එරෙහිව ඉන්දියාව ඉදිරියට ගෙන ඒම චීන විරුද්ධතාවට මුල වෙයි. අද ඉන්දියාව පැහැදිලිව ම තම අවශ්‍යතා සඳහා මෛත්‍රිපාල යොදා ගනියි.

මේ තත්ත්වය හමුවේ මහින්ද මෛත්‍රී එකතුවක් බලාපොරොත්තු විය නො හැකි ය. අද මෛත්‍රිපාලගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි පක්‍ෂය එ ජා පක්‍ෂයේ අතකොළුවක් බවට පත්වෙමින් ඇත. ශ්‍රී ල නි පක්‍ෂ වත්මන් නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට අවශ්‍ය වුවත් රටේ තත්ත්වය සම්පුර්ණයෙන් ම වෙනස් ය. එය නිරූපණය වන්නේ පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් මිස තම පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ආරක්‍ෂා කර ගැනීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරුන් සුළු පිරිසකගෙන් නො වේ. මෛත්‍රිපාලට මේ සුළු පිරිසට තර්ජනය කළ හැකි ය, අවශ්‍ය නම් එ ජා ප සමග එකතු වී ප්‍රසන්න රණතුංග මහඇමතිකමෙන් ඉවත් කළ හැකි ය.

මෛත්‍රිපාලට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය දිය කර හැරීම බව පැහැදිලි ය. ඔහුට අගමැතිකම නොදීම ගැන මහින්ද රාජපක්‍ෂ ගෙදර යැවීමට හා දංගෙඩියට යැවීම ගැන සිහින මවන මෛත්‍රිපාල තම වෛරය පාලනය කරගත නොහැකි ව පක්‍ෂය ම දියකර හැරීමේ මාවතකට යොමු වී ඇත. ශ්‍රි ල නි පාක්‍ෂිකයන්ට පස්සා දෙරෙන් පත් වූ පක්‍ෂ සභාපති ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.

නලින් ද සිල්වා
කාලය

FUTA 6%, ෆන්ඩමැන්ටල්ද? පොලිටිකල්ද?

කතෘ:යුතුකම     2/23/2015   6 comments
නිදහස් අධ්‍යාපනය උදෙසා දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් වෙන් කරනු! ඒ ඔවුනගේ ප්‍රධාන සටන් පාඨය විය. මාස ගණනක් විශ්ව විද්‍යාල එම වර්ජනය නිසාවෙන් වසා තැබුනි. ඔවුහු පා ගමන් ගියහ. මහ මාවත්හි කෑ මොර දුන්හ. උතුරේ සටන් නිමව තිබූ එකල 6% සටන විසින් ජන මාධ්‍ය අරක් ගත්තේය. 6% සටනට එකල රජයේ සිටි හෙළ උරුමයේ නොනිළ සහයද ලැබුනි. හෙළ උරුමය නි‍යෝජනය කරන අනුරුද්ධ ප්‍රදීප් විශ්ව විද්‍යාල ආචාර්ය වරයකු ලෙස එම සටනේ ඉදිරියෙන්ම සිටියෙකි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම සටනට එක් විය. ධවල පත්‍රිකාව ගෙනා රනිල් වික්‍රමසිංහගේ එජාප සහයද ඔවුනට ලැබුනි.

ලංකාව තුළ සමාජ ජාලා වෙබ් අඩවි හරහා කිසියම් සමාජ උද්ඝෝෂණයකට ජවයක් අත්හදා බැලුනු ප්‍රථම සටන එය විය. ඉන් පසුව එවැනි ජවයක් ෆේස්බුක් හරහා ලබා ගත්තේ හලාල් විරෝධය අවුලුවාලීමටයි. චම්පික රණවක ජාතිවාදය අවුලුවනවා යන චෝදනාව මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා තහනම් කෙරිනි. 6% සටන මෙන්ම හලාල් විරෝධී සටන හරහා ආමන්ත්‍රණය කෙරුනේ තරුණයාටය. පරාජයෙන් කෙළවර වූ හලාල් සටනෙන් පසුව චම්පික සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැපවුනි. පරාජයෙන් කෙළවර වුනු 6% සටනෙන් පසු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ක්‍රියාකාරීන් ද සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප වුනි.

එකල FUTA සභාපති වූ නිර්මාල් රංජිත් දේවසිරි මහතා, පසුව මාදුළුවාවේ සෝභිත හිමි ප්‍රමුඛව අරඹන ලද සාධාරණ සමාජයක් සඳහා සංවිධානයේ මාධ්‍යය ප්‍රකාශකයා වූ අතර වත්මන් යහපාලන වෙනස ඇති කිරීම සඳහා උර දී කටයුතු කළේය.

6% සටනට සහ හලාල් විරෝධය හරහා ආණ්ඩු විරෝධී වූ බොහෝ තරුණයන්ගේ සරල මනස යහපාලනය සහ සොරුන්ට දඬුවම් දීම පිලිබදවද ඇති කර ගත්තේ යහපත් බලාපොරොත්තුවකි. නමුත් පසුගිය පෙබරවාරි 17 දා දෙරණ වාද පිටියට සහභාගි වෙමින් දේවසිරි මහතා හොරුන් නොඅල්ලන බව පවසා සිටියේ  එය අනපේක්ෂිත තත්වයක් නොව එය ඔවුන් බලාපොරොත්තු වූ තත්වයක් බව හගිස්සවමිනි. යහපාලනය යනු ඒ අවස්ථාවේ යොදාගත් අලංකාරිකයක් බව ඒ මහතා පැවසීය
.
නිර්මාල් දේවසිරි මහතාට අමතරව 6% සංගමයේ කැපී පෙනෙන චරිත වුනු දඹර අමිල හිමි  සහ අනුරුද්ධ ප්‍රදීප් වැන්නවුන් සෘජුවම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය වෙනුවෙන් කැප විය. ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති පමණක් නොව අගමැති හා කැබිනෙට්ටුවද මාරු විය. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ජනාධිපතිවරණයකින් අගමැතිවරයෙක් ලංකාවෙන් බිහි විය. ඔහු 6% සටනට සහය පල කළ නායකයෙකි.

විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය 6% විරෝධාතාව ප්‍රධාන වශයෙන් එල්ල කළ 2012 වසර තුළ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන්ව තිබුනේ 1.9% කි. 2012 පැවති මහින්ද රාජපක්ෂ "රෙජීමය" දළ දේශීය නිෂ්පදනයෙන් 6%ක් වෙන් කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ බව කීවේය. නමුත් එවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රතිචාරය වූයේ ප්‍රතිපත්තිවලින් පලක් නැත, එය ඉටු කරනු වැනියකි. මෛත්‍රීපාල සිරිසේන රෙජීමය, හා හා පුරා කියා 1.8% ක් 2015 වසර සඳහා අධ්‍යාපනයට වෙන් කළේය. මොවුන්ද පෙරවුන් සේම 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම  ප්‍රතිපත්තියක් ලෙස පමණක් එකඟ විය. ආශ්චර්යය නම් මෙවිට විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය එය ආදරයෙන් වැලඳ ගනිමින් සිරිසේන රෙජීමය වෙත මල් කළඹක් දිගු කිරීමයි.



වත්මන් රජය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා අධ්‍යපන පිරිවැය ඉහළ දැමිය යුතු බව පිලිගෙන තිබීම පිලිබඳ තම සංගමය ඉතා සතුටට පත්වන බව ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්ය. මෙතැනදී එසේ සතුටින් පිනා යාමට දෙයක් සිදුව ඇත්ද? වෙන් කර ඇත්තේ 1.8% ක් පමණි. අනෙක් කාරණය රජය මේ අවස්ථාවේදී ප්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියනු විණා වෙන කුමක් කියන්නද? ප්‍රායෝගිකව පෙරටත් වඩා අඩු මුදල් ප්‍රමාණයක් වෙන් කර ප්‍රතිපත්තියක් ලෙස එකඟයි පවසන දේශපාලකයන්ගේ බස් විශ්වාස කොට ඔවුනට සතුට පළ කිරීමට තරම් මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු මෝඩද?  ආචාර්යය වරුන්ගේ සංගමයට මෙම අනාගත පොරොන්දුව පිලිබඳ විශ්වාසයක්  ඇති වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය වැනසීමට ධවල පත්‍රිකාවක් ගෙනා රනිල් අගමැතිව සිටින රෙජීමයක් පිලිබඳවය. නිර්මාල් දේවසිරි මහතා මෙදා 1.8% ක් වෙන්කොට පසුව 6% දක්වා වැඩි කරනවා යයි යන්න විශ්වාස කරන්නේ ඔහු මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඉදිරියේදී ක්‍රමයෙන් අඩුවන බවක් දැන සිටින නිසාවත්දැයි අපි නොදනිමු. අනෙක් අතට අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීමට ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ සිරිසේන රෙජීමයේ අධ්‍යාපන ඇමතිවරයා විසින් පාසල් සිසුන්ගේ දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීමට පාසල්වලට අවසර දෙමින් නිකුත් කළ චක්‍රලේඛයෙන් කියවෙන්නේ රෙජීමයේ ප්‍රතිපත්තිය සහ භාවිතාව අතර පරස්පරය නොවේද? දැයේ දරුවන්ගේ ඇස් පාදන්නට ඉන්නා ආචාර්යවරුන්ට මෙම වෙනස නොපෙනේද?

අපට නොතේරෙන කරුණ නම් විශ්ව විද්‍යාලවල සිටින අනෙක් බහුතරයක්  බුද්ධිමත් උගත් ආචාර්යවරුන්ට  මෙය නොපෙනෙන්නේද එසේත් නැත්නම් ආචාර්ය වරුන්ගේ සංගමයේ එහෙයියින් බවට මේ උගතුන් පත්ව ඇත්ද යන්නයි.

විවෘත මනසකින් මෙම 6% නාටකීය ජවනිකා නරඹන්නෙකු විසින් කුමන නිගනයකට එළැඹිය හැකිද? පොදු විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ හා සිසුන්ගේ සත් චේතනා අයහපත් ලෙස පාලනය කර අවසානයේ ඒ සියල්ල "යහපාලනය" බිහිකිරීම වෙනුවෙන් පමණක් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විසින් අවභාවිතාවට ලක් කළේය යන නිගමනයට එළැඹුනහොත් අපි එහි දොසක්  නොදකිමු. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයෙන් අපට අසන්නට ඇත්තේ රතන හාමුදුරුවන් රාජිතගේ පුතාගෙන් ඇසූ ප්‍රසිද්ධ පැනය ආකාර එකකි. ඒ පැනය නම්;

6% ෆන්ඩමැන්ටල්ද? පොලිටිකල්ද? 


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com



නිවැරදිව හරවත්ව කියවන්න අපගේ ෆේස්බුක් පිටුව සමඟ එක්වන්න. https://www.facebook.com/yuthukama

2/22/2015

නුගේගොඩ පණිවුඩය හඳුනාගන්න

කතෘ:යුතුකම     2/22/2015   4 comments
නුගේගොඩ රැලියට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබා දුන් සංඥාව නිවැරදි ව කියවීමට සමත් වීම එම පක්‍ෂයේ අනාගතය තීරණය කරන ප්‍රමුඛතම සාධකය වනු ඇත. එජාපය වැනි පක්‍ෂ ශක්තිමත් නායකයෙකු නොමැති තැන අන් පක්‍ෂයක නායකයෙකු යටතේ බලය ගන්නට හිත හඳාගත් පසුබිමක ශ්‍රිලනිපය තම මුවහත් කඩුව ගෙයි මුල්ලක සඟවා තබා යුද්ධ කරන්නට සැරසෙනු බව පෙනේ. නුගේගොඩට පිටුපෑම ශ්‍රිලනිපයට පමණක් නොව, රටට ද සියදිවි නසා ගැනීමට කරන ඇරයුමක් බව අවධාරණය විය යුතු ය. මින් වඩ වඩාත් සතුටු වනු ඇත්තේ මෙරට බහුතරය බෙදා වෙන්කොට, තීරක බලය තමා වෙත නතු කොට ගෙන මෙම රට නැවත අරාජික කරන්නට, අස්ථාවර කරන්නට මාන බලමින් සිටින දෙස් විදෙස් බෙදුම්වාදී කණ්ඩායම් බව අප සිහිතබා ගත යුතු ය.

සිය පුද්ගලික අපේක්‍ෂාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හා තවත් අතලොස්සක් දෙනා නුගේගොඩ රැලිය හා එහි බලපෑම පිළිබඳ මාධ්‍යයට කරනු ලබන ප්‍රකාශ ශ්‍රි ලංකා නිදහස් පාක්‍ෂිකයින් මහත් කළ කිරීමට පත්කරන ඒවා බව කිව යුතු ය. විශේෂයෙන් ම මහින්ද ඉලක්ක කර ගනිමින් ශ්‍රිලනිප ජයග්‍රහණ එක් පුද්ගලයෙකුගේ පමණක් නොවන බවට වූ ප්‍රකාශය දේශපාලන කුහක බව උපරිමයෙන් පළ කරන බව අවධාරණය කරමි. තවද මහින්ද වෙනුවෙන් වූ නුගේගොඩ රැළියේ අපේක්‍ෂාව විමල්ට අගමැති කම ලබා ගැනීමේ උත්සාහයකට ලඝු කිරීම දේශපාලනික ව නොමේරූ ප්‍රකාශයකි. නුගේගොඩ වන් රැළියක අවශ්‍යතාව මෙරට බහුතරයේ ඉල්ලීක් වූ බව ඊට සහභාගී වූ හා ඊට ආශීර්වාද කළ විශේෂයෙන් මෙරට තරුණ කොටස් ඇතුළු සබුද්ධික ජනතා හරස්කඩෙන් පිළිබිඹු වේ. ශ්‍රිලනිපය නුගේගොඩ සාධකය සම්බන්‍ධයෙන් ආඩම්බර විය යුතු ය. ඇත්ත වශයෙන් ම නුගේගොඩ වන් රැළියක් සංවිධානය කළ යුතු ව තිබුණේ ශ්‍රිලනිප නායකත්වයෙනි. අන් පක්‍ෂ එකී කාර්ය වෙනුවෙන් කර ගැසූවේ මේ පිළිබඳ ශ්‍රිලනිපයෙන් පළ වූ කන් පැළෙන තරමේ නිහඬත්වය නිසා නොවේ ද?

ශ්‍රිලනිපය ලැබූ ජයග්‍රහණ මහින්දගේ පමණක් නොවන බව සැබෑවකි. එනම් ඒවා මහින්ද නැමැති පංචස්ඛන්‍ධයේ ජයග්‍රහණ නොවේ. කොටින් ම මෙහි දී අප සිහිකරගත යුත්තේ මහින්ද යනු හුදු පංචස්ඛන්‍ධයක් පමණක් නොවන බව ය. ඔහු දෘෂ්ටිවාදයකි. ඔහු මතයකි. ඔහු අදහසකි. පසුගිය සමයේ රටට ගෙනා සියළු ජයග්‍රහණ මෙම දෘෂ්ටිවාදයේ, මතයේ හා අදහසේ ජයග්‍රහණයන් ය. නුගේගොඩට මිනිසුන් පැමිණියේ ද අද ලක්‍ෂ ගණනින් මැදමුලන යන්නේ ද ද මහින්ද නැමැති පුද්ගලයා වෙනුවෙන් පමණක් නොවේ, ඉහත කී ඔහු නියෝජනය කළ දෘෂ්ටිවාදය හා මතය වෙනුවෙන් ය. ඔහුට පසුගිය ජනපතිවරණයේ දී ඡන්දය ලබා දුන්නේ ද එම මතය නියෝජනය කළ මෙරට බහුතරයේ බහුතරය හා මෙම දිවයින එක් රටක් ලෙස තිබිය යුතු යැයි විස්වාස කරන දේශප්‍රේමී සුළුතරයේ කොටසකි.

මහින්ද යනු වැය වූ බලයක් නොවේ (spent force). මියගිය තරුවක් ද නොවේ. ඔහු බුර බුරා නැගෙන අග්නියකි. ඔහුගෙන් විහිදෙන න්‍යෂ්ටික ශක්තිය තව වසර ගණනාවක් දැවෙනු ඇත. දෙව්දත් විසින් නාලාගිරිට රා පොවා බුද්ධත්වය පැහැර ගන්නට කළ උත්සාහය අසාර්ථක වූයේ බුද්ධත්වය යනු බුදුන් වහන්සේ මත කිසිවෙකු විසින් පැට වූ හෝ කිසිවෙකු විසින් උන් වහන්සේට පැවරූ දෙයක් නොව, උන් වහන්සේ විසින් ම දැන අවබෝධකරගත් දෙයක් නිසා ය. එහි දී උන් වහන්සේගේ නොයෙක් ගුරුවරුන් හා හිතවතුන් ඊට සහායක් වූ බව සෑබෑ ය. එහෙත් බුදු වූයේ බුදුන් ය. මහින්ද මෙරට ආධ්‍යාත්මයේ මුදුන බවට පත් වීමේ දී ද ඔහුට සහාය වූ පිරිසක් සිටිති, පක්‍ෂ තිබෙති. එහෙත් අවසානයේ මහින්දත්වය ලැබූයේ මහින්ද ය. අන් කිසිවෙකු නොවේ. ශ්‍රිලනිප නායකයින් වත්මන් දෙව්දත් චරිතයට පණ පෙවිය යුතු නැත යන්න අපගේ හැඟී ම ය.

ඉදිරි මහමැතිවරණ‍යක දී මහින්ද නොමැති ව ශ්‍රිලනිප අපේක්‍ෂකයින් ගමට යන්නට සිතාගෙන සිටී නම් එය මේ සියවසේ ඔවුන්ගේ ලොකුම මුළාව බව වටහාගත යුතු ය. ශ්‍රිලනිප පාක්ෂියා තම ඡන්දය ලබා දුන්නේ පක්‍ෂයකට නොව මහින්දට ය. මහින්ද නමැති මතයට ය. ශ්‍රිලනිප නිර්මාතෘ ශ්‍රීමත් එස් ඩබ් ආර් ඩී බණ්ඩාරනායකයන්ගේ දියණිය වූ ද දෙවරක් මෙරට ජනපති වූ ද මෙවර ජනපතිවරණයේ දී මෛත්‍රී වෙනුවෙන් උපරිමයෙන් දර දිය ඇද්දා වූ ද, මහින්ද තමාට කළ ඊනියා හිරිහැර මතක්කර දුන්නා වූ ද චන්ද්‍රිකා බණ්ඩාරනායකට තමන්ගේ පමණක් නොව සමස්ත බණ්ඩාරනායක දේශපාලනයේ ම උපන් බිම වූ අත්තනගල්ල ආසනය පවා දිනාගත නොහැකි වූයේ ශ්‍රිලනිප පාක්ෂිකයා ඉහත කී සියල්ල මහින්ද නැමැති මහා සාධකය වෙනුවෙන් නොසැලකා හැරි නිසා නොවේ ද? ශ්‍රිලනිපය තිත්ත වුවත් ඇත්ත යාථාර්ථය වටහා ගැනීම රටේ පමණක් නොව, පොදුවේ ශ්‍රිලනිපයේ ද, පුද්ගලික ව තමන්ගේ ද අනාගතය හා පැවැත්ම තීරණය කරනු ඇත.

පසුගිය මැතිවරණවල දී ශ්‍රිලනිපයේ බහුතර මන්ත්‍රීවරුන් තම අසුන් දිනාගත්තේ මහින්ද සෙවණේ සිටිමින් ය. තම නායකයා පිළිබඳ ඔවුන්ගේ තිබෙන ආඩම්බරකාර හැඟීම ද විශ්වාසය ද ඉන් පිළිබිඹු වේ. ගමේ දී ද නගරයේ දී විකුණන්නට බැරි රනිල් වික්‍රමසිංහ යම් එජාප අපේක්‍ෂකයෙකුගේ පොස්ටරයක හෝ දැන්වීමක සිටියානම් ඒ කළාතුරකිනි. මේ ඇත්ත ය. ඒ මහින්ද දෘෂ්ටිවාදයේ හා රනිල් දෘෂ්ටිවාදයේ වෙනස ය. මේ අතර, බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා පළාත් සභාවේ අති බහුතර මන්ත්‍රීවරුන් මෙම තත්වය හඳුනාගෙන ඇති බව රට ඉදිරියේ තිබෙන සුබ ලකුණු ය. සෙසු පළාත් සභාවලට ද ප්‍රසන්න ගත් මාවත තාමත් ගැනීමට නොහැකි ව ඇත්තේ මන්ද යන්න ගැටළුවකි. ඉදිරියේ දී ඔවුන් ද රට පැත්තේ සිටගනු ඇත යන්න නුගේගොඩ අපේක්‍ෂාවයි.

තවත් අතිශය වැදගත් කරුණක් මෙහි දී සිහිපත් කළ යුතු ය. එනම් පරාජිතයෙකු ලෙස මහින්ද ගෙදර යැවීමට මෙරට අතිශය බහුතරය කිසිසේත් ම එකඟ වන්නේ නැත. කළගුණ සැලකීම වැනි උත්කෘෂ්ට ගුණාංග ලේ ඇට මස් මිදුළු දක්වා කිඳා බැස තිබෙන ජනතාවකගේ හෘද සාක්‍ෂිය පරාජිත මහින්ද නිසා සදාකල් වරදකාර හැඟීමක තබනු ඇත. එකී වරදකාර හැඟීමෙන් ජනතාව ගැලවිය හැකි එකම මග නම් මහින්ද අගමැති පුටුවේ යළි වාඩි කිරීම ය. එපමණකින් ම මෙරට ජන විඤ්ඤානය සුවපත් කළ හැකි ය. නුගේගොඩ සංඥාව ඒය. ‍මෙය දැකීමට ශ්‍රිලනිපයට ප්‍රඥාව පහළ වේ වා !


-මහින්ද පතිරණ
(ජ්‍යෙෂ්ඨ කථිකාවාර්ය -සබරගමුව විශ්වවිද්‍යාලය)
යුතුකම සංවාද කවය
www.yuthukama.com


2/16/2015

මහින්ද භීතිකාව

කතෘ:යුතුකම     2/16/2015   1 comment

රනිල් වික්‍රමසිංහ තවමත් මහින්ද රාජපක්‍ෂට බය ය. ඔහු දුමින්ද සිල්වාට නම් බය නැත. දුමින්ද සිල්වා ගැන ප්‍රශ්නය ඇත්තේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ය. ඇය දුමින්ට බය දැයි අපි නො දනිමු. ඒ කෙසේ වෙතත් දුමින්ද ගැන චෝදනා එල්ල වූයේ වක්‍ර ව මහින්දට චෝදනා කිරීමට දැයි අපි නො දනිමු. මහින්ද විසින් දුමින්ද ආරක්‍ෂා කරනු ලැබුවේ ය යන්න වක්‍ර චෝදනාව විය. එහෙත් දැනට ද එක්කෝ දුමින්ද ආණ්ඩුවේ ඉහළ ම ප්‍රබලයකු විසින් ආරක්‍ෂා කරනු ලැබෙයි. එසේත් නැත්නම් දුමින්දට එරෙහිව උසාවියක දී ඔප්පු කළ හැකි චෝදනා නැත.

අද මෙරට ඇත්තේ බය මත පදනම් වූ දේශපාලනයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් අති විශාල පිරිසකට ඇත්තේ නාමයෝජනා බය ය. තමන්ට නාමයෝජනා ලැබේ ද නැද්ද යන්න ඔවුන්ට ඇති බලවත් ම ප්‍රශ්නය ය. සංධාන, විසංධාන ආදී සියල්ල නාමයෝජනා මත පදනම් වෙයි. ශ්‍රී ල නි පක්‍ෂයේ පළාත්සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් බොහෝ පිරිසකට නම් ඒ බය නැත. ඔවුන්ට ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමේ බය ඇත් දැයි නො දනිමු.

රනිල් වික්‍රමසිංහට ආරුගම්බේ දී තවත් මාළිගාවක් හමු වී ඇත. ඔහු කී ලැම්බෝගිනි ඔහුවත් දැක ඇත් දැයි නො දනිමු. මේ මාළිගා ගැන රනිල් කියන්නේ මහින්ද අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වේ ය යන බය නිසා ය. මුහුණක් නැති මුහුණු පොතට මේ රසවත් කතාවකි. රනිල් වික්‍රමසිංහට සුදුසු තනතුරක් ඇත. ඒ අද්‍යතන පුරාවිද්‍යා ගවේෂක යන්න ය. පුරාවිද්‍යාඥයෝ පැරණි මාළිගා සොයා ගනිති. අද්‍යතන පුරාවිද්‍යාඥයෝ මේ සියවසේ තැනූ මාළිගා සොයා ගනිති. සංස්කෘතික ඇමතිට හා අධ්‍යාපන ඇමතිට අද්‍යතන පුරාවිද්‍යාව යන විෂය රටට හඳුන්වා දිය හැකි ය.

එහෙත් මෙි මහින්දභීතිකාව විහිළුවක් නො වේ. කොහොමටත් බය යන්න විහිළුවක් නො වේ.  අද ආණ්ඩුවට ඇත්තේ මහින්දභීතිකාව ය. එය රනිල්ට මෙන් ම මෛත්‍රිපාලටත් ඇත. එය බටහිරයන්ටත් ඉන්දියානුවන්ටත් ඇත. බටහිරයන්ගේ මහින්දභීතිකාව ඇමරිකානු රාජ්‍ය ඇමති කෙරීගේ ප්‍රකාශවලින් ද සොල්හයිම්ගේ කයිවාරුවලින් ද පැහැදිලි වෙයි. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය වීම ගැන මේ සියල්ලෝ සතුටු වෙති. එහෙත් ඔවුන්ට ද ඇති බය මහින්ද අගමැති වේ ද යන්න ය.

රනිල් සිරිසේන ආණ්ඩුව සූදානම් වන්නේ කෙසේ නමුත් මහින්ද අගමැති වීම වැළැක්වීමට ය. ආණ්ඩුවේ නිල වෙබ් අඩවියට ලියන ලූෂන් රාජකරුණානායක නමැත්තකු පසුගිය දා ලියා තිබුණේ ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තුවන ව්‍යවස්ථා සංශෝධනයේ දී  දෙවරක් ජනාධිපති ධුරය දැරූ අයකුට (වසර හය බැගින් හෝ අඩුවෙන් හෝ) ජනාධිපති ධුරයට පමණක් නොව අගමැති ධුරයට ද පත්වීමට නොහැකි බව සඳහන් වන වගන්තියක් ඇතුළත් කිරීම ගැන දැන් සාකච්ඡා වන බව ය. බටහිරයන් හා ඔවුන්ගේ ගැත්තන් පුද්ගලයකුට මෙතරම් බිය ඇයි ද යන්න මේ වෙබ් අඩවියෙහි සැරිසරන්නන්ට නම් ප්‍රශ්නයක් විය නො හැකි ය.

නලින් ද සිල්වා
2015 පෙබරවාරි 16

2/15/2015

ශ්‍රී ලංකාව අරාජිකත්වයේ පාමුළ ?

කතෘ:යුතුකම     2/15/2015   5 comments

වත්මන් ආණ්ඩු සභාගයේ තිබෙන පිරිමැසිය නොහැකි න්‍යාය පරස්පරතා ඉතා නුදුරේ දීම ශ්‍රි ලංකාව අත්කරගෙන තිබෙන ආරක්‍ෂක හා ආර්ථික ජයග්‍රහණ ආපසු හැරවිය හැකි මට්ටම දක්වා පැතිර යාමේ අවදානමක් මතු ව තිබේ. විශේෂයෙන් ම දැනට න්‍යායික මට්මේ පවතින පතුල නොපෙනෙනෙ තරම් වන පරස්පරතා පූර්ණ ප්‍රාගෝගික ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වුවහොත් කෙනෙකු සිතනවාට වඩා අසුභවාදී විපාක ජාතියට රැගෙන එනු නියත ය.... එජාපය, හෙළ උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, දෙමළ ජාතික සංධානය, කුඩා අන්ත වාංමාංශික පක්‍ෂ, වාමාංශික ඇකඩමික් කණ්ඩායම් යන මේවා කිසි දිනෙක එක් ව තබා ගෙන ජාතික සංවර්ධන ඉලක්ක පසුපස හඹා යත හැකි නොවේ. ඔවුන් උඩට පහළට දිගට හරහට ජාතික රාජ්‍ය අදිනු ඇත. යාන්තම් නැගී එන සංවර්ධනයේ ලංකාව වන් තැනක තිබෙන රටකට ප්‍රබල න්‍යෂ්ටියක් නැති එවැනි අරාජික සංධාන විනාශකාරී ය.

මහතිර් මොහොමඩ් මැලේසියාව අද තිබෙන තැනට ඔසවා තැබීමේ දී ද ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම්, දූෂණය වැනි මහින්ද මුහුණ දුන් තරමේ අභියෝගවලට මුහුණ පෑවේ ය. මහතිර්ගේ ම මුදල් ඇමතිවරයා වන අන්වර් ඊබ්‍රහිම් යොදා ගනිමින් රට ආපස්සට හැරවීමට ඇමරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් උත්සාහ කළ ද ශ්‍රී ලංකිකයින් මෙන් මැලේසියානු ජනතාව කුමන්ත්‍රණයට හසු වූයේ නැත. බැරී වේන් (2010) මහතිර්ගේ චරිතාපදානය ලියමින් මෙසේ ලියයි: නැගී ආ ජීවන මට්ටම, ආචාර්ය මහතිර්ගේ රුව සහිත ගොඩනැගිලි හා මැලේසියානු ජාතික අභිලාෂයන් නොවළහා ආරක්‍ෂා කිරීම වැනි දෙය ඒ තාක් රට තුළ නොවූ විරූ ජාතික අනන්‍යතාවක්, ප්‍රෞඩබවක් හා ආත්ම විස්වාසයක් ජනිත කළේ ය. ඔහු මැලේසියාව, ලෝක සිතියම මත, බොහෝ මැලේසියානුවන් ආදරය කරන තැනක ස්ථාපනය කළේ ය. මහින්ද රාජපක්‍ෂ කළේ ද මෙය නොවේ ද?

ගැඹුරු දේශපාලන පරස්පරතා නිදහසින් පසු වසර 60 තුළ ම ලංකාව තුළ පැවතුණි. විශේෂයෙන් ම ජේ ආර්, ප්‍රේමදස හා චන්ද්‍රිකා යුගවල දී රට එක් දිශානතියක් කරා යොමු කොට බෙදුම්වාදය පරාජය කළ නොහැකි වූයේ එකී පරස්පරතා අතික්‍රමණය කළ නොහැකි නායකත්වයක් රට තුළ නොතිබූ නිසා ය. එහෙත්, බෙදුම්වාදය පරාජය කිරීමට ද ඉන් පසු ව රට දැවැන්ත සංවර්ධන ඉලක්ක වෙත රැගෙන යාමට ද මහින්දට හැකි වූයේ මෙකී විනාශකාරී පරස්පරතා ජාතික රාජ්‍ය ඒකකයට හානි නොකරණ දුරක තැබීමට ඔහු සමත් වීම නිසා ය. මහින්ද සියළු දෘෂ්ටිවාද එක් තැනකට ගොනුකරමින් ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ අර්ථයෙන් ‘ඉතිහාසය අවසන් කළේ ය’. එහෙත්, මහින්දගෙන් පසු බලය ගත්තේ ඔහුගේ දෘෂ්ටිවාදයට කට්ටි පනිමින් සිටි මෙරට සමාජ-සංස්කෘතික මූලයන්ගෙන් බහිෂ්කරණය වූ ආන්තික (marginalized) පිරිසකි. ලාංකේය ඓතිහාසික මුල් තමා විසින් ම සිඳ ගැනීම හේතුවෙන්‍ මහින්ද තන්ත්‍රය තුළට පෑහීමට නොහැකි ව කලක් ස්වයංකොන්කරණයකට පත්ව සිටීම නිසා ම ඇති කරගත් මහින්දට එරෙහි ජන්මාන්තර වෛරය මෙම කණ්ඩායමේ පොදු දේශපාලන අවිය විය. එජාප, ජවිප, හා හෙළ උරුමයට අයත් බහුතර පොදු ජන ඡන්ද දායකයා තම නායකයින් සේ මෙවන් ආන්තික මනෝභාවයන් සිය කැමැත්තෙන් දරණු නොපෙනේ. එහෙත්, තම නායකයින්ගේ කියුම් කෙරුම් හා සමපාත වීමට සිදුවීම නිසා ඔහු වත්මනෙහි සිටින්නේ දැඩි අනන්‍යතා අර්බුදයක ය.

පුද්ගලික අනන්‍යතා අර්බුද මෙසේ දිස්වන විට සාමූහික වශයෙන් වන අනන්‍යතා අර්බුදයකට ද හංස පාක්‍ෂිකයින් දැන් මුහුණ දී තිබේ. ඒ මහින්දට සාපේක්‍ෂ ව තමා ගොඩ නැගීම හේතුවෙන් මහින්ද නැති තැන තමා යනු ඇත්ත වශයෙන් ම කවුදැයි තමන්ට ම හඳුනා ගැනීමේ දැවැන්ත අභියෝගයයි. රන්ජන් රාමනායක, වසන්ත සමරසිංහ වැනි නොමේරූ මන්ත්‍රීවරුන්ගේ ‘හොරු ඇල්ලීමේ මෙහෙයුම්’ හරහා හංස සංධානය ඉටුකර ගනිමින් සිටින්නේ ඇත්ත වශයෙන් ම හොරු අල්ලා ගැනීමේ කාර්යක් නොව ‘තමා අල්ලා ගැනීමේ’ කාර්යයි, එනම් තමා කවුදැයි හඳුනා ගැනීමේ කාර්යයි. සියළු පාපයන්ට වග කිවයුත්තා මහින්ද බවත් එනිසා ඔහු අත් අඩංගුවට ගතයුතු බවත් කියමින් ඇතැම් ඇමැතිවරුන් තවදුරටත් මහින්දට එරෙහි වෛරය වැපිරීමට උත්සාහ ගන්නේ ද තම සන්ධානය නුඳුරේ දී ම කැඩී බිඳී යතැයි යන බිය නිසා ය.

පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ ක්‍රියාවලිය මදක් නිරීක්‍ෂණය කිරීමෙන් පවතින සභාගයේ අභ්‍යන්තර පරස්පර මනාව දත හැකි ය. උදාහරණයක් ලෙස මැතිවරණ සමයේ දැඩි විවේචනයට ලක් වූ මහින්දගේ පෝර්ටි සිටි පිළිබඳ කැබිනට් ප්‍රකාශකවරයා එකක් කියන විට අගමැතිවරයා පාර්ලීමේන්තුවේ දී අනෙකක් කියන්නේ ය. ජවිප නායක අනුර කුමාර කියන්නේ තෙවැනි කතාවකි. ඇමති අර්ජුන රණතුංග සිව්වැන්නකි. ලක්‍ෂමන් කිරිඇල්ල ඇමතිවරයාට අනුව වත්මනෙහි එවැනි ව්‍යාපෘථියක් මෙසිරිලක පවතින්නේ ම නැත. හෙළ උරුමය මේ පිළිබඳ හඬ ඇසෙන තරම් නිහඬ ය. තවත් සටන් පාඨයක් වූයේ හොරු, කුඩුකාරයින් හා එතනෝල්කරුවන් ය. එසේ සිටිතැයි කියන වුන් අඩංගුවට ගන්නැයි රංජන් රාමනායක, හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැනි අය දිනපතා මාධ්‍ය හමුවේ දෙස් දෙවොල් තබති. එහෙත් රජය කරවන කිසිවෙකු මෙම ප්‍රකාශ බැරෑරුම් ඒවා ලෙස සලකන බවක් නොපෙනේ. මේ අතර, මෛත්‍රීපාල සිරිසේන ජනපතිකරවීම සඳහා සුවිසල් සේවයක් කළ දෙමළ සංධානය උතුරේ සිට ලංකා රාජ්‍යයට එරෙහි ව සමූල ඝාතක චෝදනා අඩංගු ප්‍රඥප්තියක් සම්මත කරගන්නා විට රාජිත ඇමැතිවරයා එය විවේචනය කරනු පෙනේ. තව බොහෝ පරස්පරතා ය. ප්‍රශ්නය වන්නේ මෙවන් තත්වයක දී, කුමන පාර්ශවය නියෝජනය කරන මතය රජයේ මතය ලෙස ගන්නේ ද යන ගැටළුවයි. උදා; ලෙස වරාය නගර ගැටළුවේ දී අප අත්පොළසන් දිය යුත්තේ රාජිත ඇමැතිවරයාට ද අගමැතිවරයාට ද? සමූල ඝාතක ප්‍රඥප්තිය හමුවේ උතුරු පළාත් ජනයා විසින් පිළිගත යුත්තේ තමාගේ පළාත් සභාව ද එසේත් නැතිනම් තමා විසින් පත්කළ ජනාධිපතිවරයා ද?

මේ අතර, කරලියට නොපැමිණිය ද සැඟ වී තිබී එළියට ඒමට නියමිත පරස්පරතා ද බොහෝ ය. එක්සත් ජාතික පක්‍ෂය නවලිබරල් ය. ජවිපය හා මෙම රජය පත්කිරීමට දර දිය අදින හා ඇදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය වැනි සංවිධාන වාමාංශික බව කියවේ. (වත්මන් ජවිපය වාමාංශික ද දක්‍ෂිණාංශික ද යන්න නිශ්චිත ව කිව නොහැකි ය. අධීරාජ්‍යවාදී ඇමරිකාවට එරෙහි ව තිබෙන එකම විකල්ප කඳවුර වන චීනය හා රුසියාව ජවිපයට නයාට අඳු කොල සේ පෙනීම මෙම සැකයට හේතුවයි. වසන්ත සමරසිංහ රුසියානු තානාපති කාර්යාල භූමියට එරෙහි ව රන්ජන් රාමනායක භූමිකාව කරන අතර අනුර කුමාර චීන පෝර්ටි සිටිය කෙසේ හෝ වළකන බවට සපත කරයි). මෙවන් පසුබිමක ජවිපය වැනි පක්‍ෂ සාම්ප්‍රදායික ව පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි ය. එහෙත් නවලිබරල් එජාපය මෙම මතයේ නැත. ඔවුන් ශ්‍රිලනිප රජය ඉක්මවා පුද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට නියමිත ය. පසුගිය අයවැයෙන් අධ්‍යාපනය සඳහා වත්මන් රජය මහින්දට වඩා රුපියල් බිලියනක් පමණක් වෙන් කොට අධ්‍යාපනයට “සියයට 6 ක් ක්‍රමානුකූලව” දෙන බව කියූ දේශපාලන පොරොන්දුවට ෆූටා වැනි සංවිධාන මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් උත්මාචාර වෙඩිමුර පවත්වන විට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් විසින් සියයට 6 සටනට කණේ පහරක් ගසමින් මේතාක් නොවූ විරූ ලෙස පාසැල්වල මුදල් එකතු කිරීමට නෛතික බලයක් ලබා දෙමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මේ මසක් වැනි ඉතා කෙටි කලක් තුළ මතු ව ආ පරස්පරතා පිළිබඳ රට ම දන්නා කාරණා ය. එහෙත් මේ වන විට සැලසුම් කරමින් යන තවදුරටත් විදේශ ණය ලබා ගැනීම් වැනි එකී නොකී බොහෝ කාරණා කරලියට ඒමට නියමිත ව තිබේ. හෙළ උරුම නායකයින් විසින් සැදූ ‘ඒක පුද්ගල ණය උගුල’ සියයට සියයකින් ම වැඩි කිරීමට සිදුවන කාලය වැඩි ඈතක නොවේ.

මේ අතර, රුපියල් 350 ක සහතික මිලක් නියම කළ රබර් මිල දැන් මහින්ද රජයේ 300 න්ද බැස 220 වී තිබේ. රුපියල් 80 සහතික මිලක් නියම කළ තේ දළු කිලෝවක මිල රුපියල් 55 කි. ඩීසල් හා පෙට්‍රල් මිල අඩු වූව ද එළවලු හා සෙසු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල අඩු වූයේ නැත (කොත්තමල්ලි හා උඳු වැනි දෙය අපගේ සාමාන්‍ය ගොසරි ලැයිස්තුවේ නැත) සහල් මිල එන්න එන්න ම වැඩි වෙමින් තිබෙනු පෙනේ. මේ අතර, සරදියෙල් වැනි බදු ප්‍රතිපත්ති, ආර්ථික කළමනාකරණ දුබලතා හා ඉදිරියේ දී අපේක්‍ෂිත අස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ලංකාවේ කොටස් වෙළඳ පොල ද කඩා වැටෙමින් තිබේ. මේ සියල්ල ම නිසා මහා පරිමාණ විදේශ ආයෝජන ලංකාවට පැමිණීම පිළිබඳ නව සැක සංකා මතු වෙමින් තිබේ.


මේ සිදු වෙමින් තිබෙන්නේ අප විසින් ඉහත සාකච්ඡා කරන ලද න්‍යාය පරස්පරතා කෙමෙන් ප්‍රායෝගික තලයට සේන්දු වීමේ මූලික සලකුණු නොවේ ද ? ශ්‍රී ලංකාව පිළිබඳ ජාතික හැඟීමක් නොමැති පුද්ගලයින්ගේ ක්‍රියා නිසා විනාශ වීමේ අවධානමට ලක් ව තිබෙන ශ්‍රී ලාංකික ජාතික අභිලාෂ නොවේ ද?

-මහින්ද පතිරණ
(ජ්‍යෙෂ්ඨ කථිකාවාර්ය -සබරගමුව විශ්වවිද්‍යාලය)
යුතුකම සංවාද කවය
www.yuthukama.com


2/12/2015

යහපාලනය තුළ හට ගැනෙන ස්වයං පාලන පිළිකාව

කතෘ:යුතුකම     2/12/2015   1 comment

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියාදා ඉන්දියාවේ කරන ලද සංචාරයක් අතරතුරදී ජන වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් වශයෙන් 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ. එසේම විදෙස් මාධ්‍යවේදීන් අමතා ඇති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ යුද අපරාධ සම්බන්ධව  ජාත්‍යන්තරයට පිරමහින පරීක්ෂණයක් කරන බවයි. මේ ප්‍රකාශ දෙකින්ම කියැවෙන්නේ කුමක්ද. ලංකා දේශපාලය තුළ පසුගිය අඩ සියවස තුළ ඇතිවූ බෙදුම්වාදී ප්‍රවණාතාවයන් මර්දනය කරලීම පිනිස ගත් නිවට ක්‍රියාමාර්ගයන්හි ස්වභාවයයි. පළාත්සභා ක්‍රමය ඇතුළත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම තුළ ප්‍රකාශ වන්නේ උතුරු හා නැගෙනහිර සිටින ජනතාවට ස්වයං පාලනය කර ගෙන යෑමට ඉඩ දිය යුතු  බවයි. එයට ඉඩම් බලතල පොලිස් බලතල ආදිය ද ඇතුළත් විය යුතු බව පිළිගෙන තිබේ. උතුරට හා නැගෙනහිරට පමණක් මේ ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකි බැවින් එය සමස්ත පළාත් නවයටම ආදේශ කර තිබේ. පළාත්සභා ක්‍රමය ප්‍රභාකරන් ඇතුළුකොටි සංවිධානය පිළි නොගත්හ. ඒ වෙනුවට පූර්ණ සවයං පාලනයක් සඳහා තව දුරටත් ත්‍රස්ත ක්‍රියා කරමින් රජයට එරෙහිව ක්‍රියා කළහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ආරක්ෂකහමුදා විසින් මේ ත්‍රස්තවාදී සංවිධානය යුධබිමේදී පරාජයට පත් කිරීමයි. මේ ක්‍රියාවලිය වැරදි බවත් ඒ මගින් ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතීන් කඩ කළ බවත් දැන් ජගත් සංවිධාන හඬ නගයි. එහෙත් රට පුරා ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන විට ඔවුහු කොටි සංවිධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ නැත.

පසුගිය ජනාධිපතිවරණයේ දී  දෙමළජනතාවගෙන් විශාල පිරිසක් මහින්ද රජපක්ෂ මහතාට එරෙහිව චන්දය භාවිතා කළහ. ඒ මහින්ද ගේ රජය විසින් උතුරේ දෙමළ ජනතාව අරභයා විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටුකළ පසුබිමක් යටතේය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත  පදංචි කිරීම ඇතුළු සිවිල් වැඩ කටයුතු අති සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉටු නොවූ කාර්යක්ෂම සේවයක් සැලසූ බව අවිවාදිතය. උතුරු වැසියන් ගේ ඉඩම් සමාගම් වලට පවරා දීම ඇතැම් තැන්වල දේශපාලකයන්ගේ ගෝල බාලයන්ගේ සංචාරක හෝටල් ඉඳිකිරීම ආදී ක්‍රියා සිදු වුණද යුධ හමුදාවට පූර්ණ වශයෙන් චෝදනා කිරීම සුදුසු නොවේ. ඒ මන්ද දේශපාලකයන්ගේ නියොගයන්ට අවනතව ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකීම වූ නිසයි.කෙසේ වෙතත් උතුරේ  ජීවත් වන දෙමළ ජනතාව සිතන පතන ආකාරය තවම වෙනස් වී නොමැත. ඔවුන්ගේ නිජ බිම තුළ ශ්‍රී ලංකා යුධ හමුදාව බලයෙන්ම රැඳී සිටින්නේ යැයි කියති. මේ දේමළ ඊළාම් වාදීන් දශකපහක් පමණ තිස්සේ කැවූ ජාතිවාදී අදහසකි. මෙය සත්‍යයක් බව දෙමළ දේශපාලකයන් පිළිගනිති. දකුණේ සිටින දෙමළ ප්‍රජාවද පිළිගනිති. එසේම සිංහල දේශපාලකයන්ද පිළිගනිති. මේ නිසා මහින්ද රාජපක්ෂ පමණක් නොව පසුගිය කාලයේ රට ආණ්ඩු කළ දේශපාලකයන් සියල්ලම උතුරේ හා නැගෙනහිර සිංහලයන්ගේ අයිතිවාසිකිම් පිළිබඳ ප්‍රශ්ණය නොතකා හරින ලදහ.


        දහතුන් වන සියවසේ සිට පැවති ආර්ය චක්‍රවර්තී පාලනය මගින් ද්‍රවිඩ රාජ්‍යයක් උතුරේ පැවතුණා යැයි කියන මිත්‍යාව මේ සැම පිළිගැනීම මීට හේතුවයි. උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන් සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ ලන්දේසීන් විසින් පැණවූ තේසවලාමෙයි නම් නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍රයෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත.( මෙසේ තිබියදීත් උතුරේ හා නැගෙනහිර ඇතැම් තැන්වල වතු දෙමළ ජනතාව පදිංචිකරවන ලදහ. මේවා කරන ලද්දේ රෙඩ්බානා සංවිධානය විසිනි.) ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.

       උතුරේ සිටි සිංහලයන් පළවා හැරීම ආරම්භ වූයේ වික්‍රමසිංහආර්යන් රජු කලයේදී බව යාල්පාන වෛපමාලය ග්‍රන්ථය දක්වා ඇත. ඉන්දියාවෙන් ගෙනා ද්‍රවිඩයන් සහ සිංහල බෞද්ධයන් අතර වූ ගැටුමක් හේතුවෙන් පුංචිබණ්ඩා ඇතුළු සිංහල නායකයන් දාහත් දෙනෙකු ඝාතනය වී යැයි පැවසේ. යාපනය බෙහෝ දුරාතීතයේ  සිටම රාක්ෂ ගෝත්‍රිකයන් ගේ වාස භූමියක්ව තිබුණි.එය කෙවෙතස්ථලාභ යනුවෙන් හඳුන්වනලදී. ආනකොට්ටෙන් ලැබූ වෙළෙඳ මුද්‍රාව මත මේ කෙවෙත යන නාමය සටහන්ව පවතී. ඔවුහු නාගගෝත්‍රිකයන් සමග වෙළෙඳාම් කළහ.පසුව නාගයන් සහ කේරළයේ රාජ්‍ය පාලකයන් අතර වූ සම්බන්ධතාවය මත ඔවුන්ගේ බලය වර්ධනය විය. එකල යාපනය නාගද්වීපය නමින් පරසිදු විය. අටවන සියවසේ දී ලංකාවේ සිහසුන ද්‍රවිඩයන් උදුරා ගැනීම නිසා හතරවන කාශ්‍යප රජුගේ පුත් මාන කුමරු දකුණු ඉන්දියාව පාමුළ දූපත් අතර බලය තහවුරු කරගෙන පොරොත්තුව පසුවිය. වත්මන් ඩෙල්ෆ්ට් දූපතේ ඔහු විසින් ඉඳිකරන ලද බලකොටුව තවමත් දක්නට ඇත. පසුව පල්ලව රටට පැනගිය මාන කුමරු එහි වර්මන් රජවරුන්ට සේවය කරමින් සිට බලය ශක්තිමත් කර සිට සිහසුන යළි ලබා ගත්තේය. මේ මාන කුමරු ගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහ නම් කුමාරයෙකු යාපනයට පැමිණ සිය බලය තහවුරු කරගන්නේ නව වන සියවසේදීය. ඔහුගේ නමින්ම ටික්කම නම් රාජධානියක් බිහිවූ අතර අද ව්‍යවහාරයේ පවතින මානතිඩල් ටික්කම සෙංකණ්ඩි ආදී නම් ඒ ඉතිහාසයේ ශේෂයන්ය.

        මාන කුමරුගේ දරු පරපුර කේරළයේ බලය තහවුරු කරගනිමින් අලකඊශ්වර නමින් පරසිදු විය. ඔවුහු ද්‍රවිඩබලයට මුහුණ දෙමින් යාපනයේ ද දකුණේ දෙවුන්දර තුඩුවේද ආධිපත්‍ය දැරූහ. නමුත් පසු කාලයේදී චෝල ආක්‍රමණටන්ට මුහුණ දීමට නොහැකිව මේ ආධිපත්‍ය ගිලිහී ගිය බව පෙනේ.නිශ්ශංක අලකේශ්වර ශ්‍රී ජයවර්ධනපුර බලකොටුව තනන්නේමේ විදේශඅක්‍රුමණයන්ට මුහුණ දීමටයි. කෙසේ වෙතත් වික්‍රමසිංහආර්යයන් කාලයේදී ඇතිවූ ගැටුම යනු ද්‍රවිඩයන්ගේ බලය ක්‍රමයෙන් පැතිරී යන අවස්ථාවකි. මේ ද්‍රවිඩයන් මන්නාරම අවට සේතුව පාලනය කරමින් මුතු වෙළෙඳාමද සියතට ගත්හ. පසුව පහලොස් වන සියවසේ දී සපුමල් කුමරු විසින් වන්නියේ උතරු කොණේ පිහිටි. නෙල්ලිඌර් ප්‍රදේශය අත්පත් කරගෙන ද්‍රවිඩයන් මර්දනය කරන අතර එහි බලකොටු සහ දේවාල සාදා ඇත.පසුව වඩමාරච්චි තෙන්මාරච්චි සහ පච්චලේ පල්ලෙයි යන තැන් අත්පත් කර ගත් සපුමල් කුමරු කෝට්ටේ නගරයට යටත් ප්‍රදේශයක් බවට උතුර නැවතත් පත්කළ බව ඉතිහාසයෙන් පෙනේ. මේ සම්පූර්ණ කාලය තුළම ද්‍රවිඩපාලනයක් උතුරේ නොතිබූ අතර මාන කුමරුගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහගෙන් පැවත එන පිරිස් සහ ගංගා බ්‍රාහ්මණ පෙළපත් අතර ඇතිවූ විවාහයෙන් ජනිත ආර්ය චක්‍රවර්තී වරු යාපනය පාලනය කළහ. පරංගීන් ගේ පාලන සමයේදී මේ ආර්ය චක්‍රවර්තී බලය ශූන්‍ය වෙයි. සංකිලි මැරුම් කන අතර යාපන රජ පෙළපත වන්නියට පැනවිත් පසුව මාතලේපදිංචිව දිවි ගලවාගත් බව ජනප්‍රවාද ගත සාක්ෂිවලින් පැහැදිලි කළහැකිය.

ලන්දේසි සමයේදී ඉන්දියාවෙන් ආනයනය කළ වහලුන් යාපනයේ හා වන්නියේ පදිංචි කළහ. ඔවුන්ට ඇතිකළ නීති සංග්‍රහය තේසවලාමෙයි වෙයි. යාපනයේ ඉතිරිව සිටි සිංහලයන් සහ වැද්දන් ක්‍රමයෙන් ද්‍රවිඩීකරණය වූ අතර ඉංග්‍රීසීන් ගේ යුගයේදී නැවත වෙළෙඳාම  බේකරි කර්මාන්තය සදහා සිංහලයන් උතුරට යන් තෙක්ම සිංහල ජනගහනය ව්‍යාප්ත නොවීය. කොටි ත්‍රස්තක්‍රියා නිසාවෙන් නැවතත් අවතැන් වූ සිංහලයන් උතුරෙන් බැහැරවූහ. ඒ ප්‍රමාණය 45000 ක් පමණ වෙයි. මේ ද්‍රවීඩිකරණය පිළිගත් අය අද ද්‍රවිඩ ඊළමට අවශ්‍ය මතවාද සකස්කරන අතර සිංහලයගේඋරුමය පසෙකලා දෙමළ ක්‍රිස්තියානි රජ්‍යයක් ඇතිකිරීමට ස්වයංපාලනයක් යෝජනා කරති. ද්‍රවිඩ නිජබිම් මිත්‍යාව සහ බෙදුම්වාදය අප පරාජයට පත් කළ යුත්තේ යුගගණනාවක්තුළදීම යාපනයේ ද්‍රවිඩරාජ්‍යයක් නොතිබූ බැවිනි. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යිංහ යන විද්වතුන් ඇරුණු කොට විශ්ව විද්‍යාල උගතුන් මේ ද්‍රවිඩ නිජබිම් මිත්‍යාවට පහුර නුදුන්හ. ඒ වෙනුවට දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය මතවාද සකස් කරමින් පෞද්ගලික වාසි සලසා ගත්හ.වාමාංශිකපක්ෂ ස්ව්‍යංනිර්ණ අයිතියක් ගැන කතාකරන්නේ බොරු ද්‍රවිඩ නිජබිමක් මතපදනම්වයි. දකුණේ සිටින කිසිම සිංහල දේශපාලකයෙකුට මේ බෙදුම් වාදය නීතිගතකිරීමට අවසරය ඉතිහාසය විසින් පවරා දී නොමැති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.එය රනිල් වික්‍රමසිංහයන්ටද මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බව කිව යුතුය.

-මතුගම සෙනවිරුවන්
යුතුකම සංවාද කවය
www.yuthukama.com

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions