11/24/2015

භික්‍ෂු භූමිකාව කුමක්‌ විය යුතුද?

කතෘ:යුතුකම     11/24/2015   No comments
කවරම හෝ වර්තමාන කාර්යභාරයක්‌ ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්‍ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය. ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස්‌ රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක්‌ දෙවන පෑතිස්‌ රජතුමා "ස්‌වාමීනී,

දැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි" ඇසුවේ ය. "නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක්‌ පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්‌ඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්‍ෂුවක්‌ව සිටි අරිට්‌ඨ නම් වූ ප්‍රථම සිංහල භික්‍ෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස්‌ පරිදි සංවිධානය කළේය. සිංහල භික්‍ෂු වංශයේ ප්‍රථම භික්‍ෂුව වනුයේ මහා අරිට්‌ඨ තෙරුන් ය. එම භික්‍ෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක්‌ විය. එකක්‌ නම් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්‍ෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක්‌ ලෙස තහවුරු විය.

ථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්‍ෂුවගේ කාර්ය භාරය වෙනස්‌ වූද, පුළුල් වූද වැඩපිළිවෙළක්‌ විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්‍ෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්‍ෂු සම්ප්‍රදාය යනු අනෙකක්‌ නොව සිංහල භික්‍ෂු වංශයමයි. සියලු දුක්‌ ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්‍ෂුන් වහන්සේ "මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්" යන ප්‍රථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්‍ෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්‍ය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්‍ෂුන් වහන්සේ එසේ ක්‍රියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්‍ෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත.
ජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්‍ය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්‍ෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා වසර 14 ක්‌ කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්‍ය උපදෙස්‌ දුන්නේ මහා තිස්‌ස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්‍ය සියලු ශාස්‌ත්‍ර උගන්වා අවස්‌ථාව පැමිණි විට සිවුරු හැර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්‍රී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්‌ඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස්‌ ඔහු හමු වී අවශ්‍ය උපදෙස්‌ දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්‍රමාන්විතව ක්‍රියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය.

ඉංග්‍රීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක්‌ මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසී කොඩිය එසවූ අවස්‌ථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්‍රීසීන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්‌ති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්‌සේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්‌ති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්‍ෂුන්ගේ ශක්‌තිය වටහා ගත් බවුන්රිග් ආණ්‌ඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. "හිරු නොබසින අධිරාජ්‍යයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්‍රධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්‍ෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාdව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්‌ථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්‌ථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්‍රීසීන් භික්‍ෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්‍ෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්‍ෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්‍රියාකරන තැනට කටයුතු යෙදීය. භික්‍ෂුන්ට නායකකම් පිරිනමන සන්නස්‌පත්‍රවල වික්‌ටෝරියා මහා අධිරැජනට පක්‍ෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක්‌ යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්‍ෂුන් සතුව තිබූ අධ්‍යාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්‍ෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්‍ෂුව තම දේශපාලනයේ කොඩියක්‌ ලෙස පමණක්‌ යොදා ගනිති.

සුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්‌ටිවලට අසුවීම නිසා සිංහල භික්‍ෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්‌ඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්‍ෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්‍රියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක්‌ නැතිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් භික්‍ෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්‍ෂුහු ක්‍රියා කරති. වර්තමාන සිංහල භික්‍ෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න අවස්‌ථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්‍ෂුන් වහන්සේගේ උදාර පිළිsවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්‍ෂුව සිතට ගත යුතුය. එහිදී භික්‍ෂුව ක්‍රියාකාරී දේශපාලනයට එක්‌ නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්‍ෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්‍ෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්‍ෂුව කවරම හෝ ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රමයක්‌ ඉගෙන ගත්තද, ඒ සැමට ප්‍රථම බුදුදහම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක්‌ ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්‍ෂුන්ට එවැනි අධ්‍යාපනයක්‌ ලබාදීමේ වගකීම භික්‍ෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්‍ෂුවට බව තරයේ කියා සිටිමු. භික්‍ෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක්‌ නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ.

බෙංගමුවේ නාලක හිමි
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. 
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

10/05/2014

සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?

කතෘ:යුතුකම     10/05/2014   4 comments
ඉන්දු ආර්ය භාෂා ගණයට අයත්වන පැරණිතම බසක්‌ වන සිංහල භාෂාව වචන හා අදහස්‌ ප්‍රකාශ කිරීම අතින් ඈත අතීතයේ සිටම පොහොසත් වූ බසකි. ඊටම වෙන්වූ වදන් වැලක්‌ මෙන්ම අක්‌ෂර සංකේත ද සිංහල භාෂාව සතුව ඇත. පාලි හා සංස්‌කෘත මෙන්ම දෙමළ, ඉංග්‍රීසි භාෂා මගින් ද එය පෝෂණය වී තිබේ. ඉංග්‍රීසිය අද ලොව පුරාම පැතිරුණ බසක්‌ වුවද ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත නොමැත. එය ලියන්නේ රෝමන් අක්‌ෂරවලිනි. ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුසියන් ආදි භාෂා ද එසේමය. එහෙත් ඈත අතීතයේ පටන්ම ඊටම වෙන්වූ අක්‌ෂර සංකේත සිංහල භාෂාව සතුව පවතී. එහි එන "ඇ" ශබ්දය ලොව කිසිදු බසක නොමැත. සිංහල කතා කරන සිංහලයන්ට ලොව ඕනෑම බසක්‌ එම භාෂාව කතා කරන අය ලෙසින්ම කතා කිරීමේ හැකියාව ඇත්තේ ද එහි අක්‌ෂර මාලාවේ පොහොසත් බස නිසාමයි. ඕනෑම ගැඹුරු කරුණක්‌ වටහාදීමේ ශක්‌තිය ද සිංහල භාෂාවට ඇත. එදා මිහිඳු මහ රහතන් වහන්සේ බුදු දහම වටහා දීමට පාලියෙන් කියූ අටුවා සිංහල භාෂාවෙන් තැබුවේද ඒ නිසයි. මෙවන් වූ උතුම් බසක්‌ ආරක්‌ෂා කොට පෝෂණය කිරීම අප රටේ උගතුන්ගේ මෙන්ම දේශපාලකයන්ගේද ප්‍රමුඛ කාර්යක්‌ විය යුතු නමුත් එය ඉටු වන බවක්‌ නොපෙනේ.

අතීතයේ මෙරටට පැමිණි වෙළෙඳුන් සඳහා මෙන්ම රටේ කොටසක්‌ වරින් වර පාලනය කළ සොළී රජුන් නිසා දෙමළෙන් ලියූ සෙල්ලිපි කීපයක්‌ ඇතත් දෙමළ බස මෙහි ව්‍යවහාරයට පත්වූයේ ලන්දේසීන් මෙරට මුහුදුබඩ පාලනය කළ යුගයෙන් පසුවයි. රටේ සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව මහනුවර යුගයේ වඩුග රජවරු බෞද්ධයන් වූ නමුත් ඔවුන් භාවිත කළේ දෙමළ බසයි. ඒ නිසාම රජගෙදරට සම්බන්ධ සිංහලයන්ද දෙමළ බස ව්‍යවහාර කරන්නට ඇත. දෙමළ කථාකිරීම හෝ ලිවීම නොකළ හැකි වුවද, එදා රදලයන් තම අත්සන තැබුවේ දෙමළෙන් බව ඉංග්‍රීසීන්ට රට බාරදීමේ ගිවිසුමට අත්සන් තබා ඇති ආකාරයෙන් පෙනී යයි. මේ නිසාම පසුකාලීනව පටබැඳුණු කවියක්‌ ද ඇත.

"සිහළ බස වැඩක්‌ නෑ. ඒ උගැන්මෙන් පලක්‌ නෑ

සකුමඟද කමක්‌ නෑ ඒක දන්නා කෙනෙක්‌ නෑ

අහලක උගතෙක්‌ නැත්නම් කොහේ හරි ගිහිල්ලා

දෙමළ බස ටිකක්‌වත් පාඩුවක්‌ නෑ උගත්තොත්" 

මෙය උපහාස කවියක්‌ වුවද එදා ඇතැමුන් දෙමළ බසට යොමු වූ බවට ඉඟියක්‌ ද ලබා දෙයි.

ඉංග්‍රීසි ආධිපත්‍යය මෙරට වසර 133 ක්‌ එක දිගට පැවැතීම නිසා සිංහල සමහරු ඉංග්‍රීසිය වන්දනා කරන තැනට පත්වූහ. එහෙත් වරින්වර දෙමළ ආක්‍රමණිකයන් රටින් කොටසක්‌ පාලනය කළ නමුත් සිංහල රජ කුමාරවරු යළි යළිත් රට තුළ සිංහල බලය තහවුරු කිරීම නිසා දෙමළ බස මෙරට තුළ බලපෑමක්‌ ඇති කළේ නැත. මුස්‌ලිම් අය ද වැඩිදෙනා සිංහල කතා කළත් ඔවුන්ගේ ලියන කියන බස දෙමළ වීමත් ඉංග්‍රීසි පාලන සමයෙහිදී සිංහලයන් මර්දනය කිරීමට දෙමළ හා මුස්‌ලිම් අයට ඉංග්‍රීසි ඉගැන්වීමේ පහසුකම් ලබා දී ඔවුන් රජයේ තනතුරුවලට යොදා ගැනීමත් නිසා සිහළ බසට තදබල පහරක්‌ එල්ල විණි. ඒ සමඟම සුද්දන් යටතෙහි සේවය කළ සිංහලයන්ද සිහළ බස ගරු නොකළ ඉංග්‍රීසිය වන්දනා කළ අය වූහ. මුල් යුගයෙහි උසස්‌ අධ්‍යාපනය ද ඉංග්‍රීසියෙන්ම ලැබිණි. මෙම හේතු සාධක මත අතීතයේ මෙන් සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය නව නිර්මාණ බිහිවීමද සිදු නොවිණි. පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා, වැන්නන්ගේ නවකතා මෙන්ම කුමාරතුංගයන්ගේ භාෂා ප්‍රේමී වැඩපිළිවෙළ නිසා සිංහල භාෂාවට නව පණක්‌ ලැබී පොත පත ලියෑවෙනට ද කරුණු යෙදුණි. මුල් යුගයේ සිංහල සිනමාව හා නාට්‍ය ද සිංහල භාෂාවේ පෝෂණයට හේතු විය. කවරම රටක වුවද මවුබසින් මිස වෙනත් බසකින් නව නිර්මාණ බිහි නොවේ. නව නිර්මාණ බිහි නොකරන ජාතියක්‌ ලොව දියුණුව කරා ද පියනඟන්නේ නැත. එය කුමාරතුංගයන් මෙසේ දක්‌වා ඇත.

"අලුත් අලුත් දැ නොතනන ජාතිය ලොව නොනඟී - හිඟා කෑම බැරිවූ තැන ලගී ගයා මර ගී"

එබැවින් මවුබස ප්‍රගුණ කිරීම අතිශයින්ම අවශ්‍ය දෙයකි. කෝට්‌ටේ යුගය දක්‌වාම සිංහල භාෂාවෙන් විශ්ව සාහිත්‍ය කෘති නිර්මාණය වුවද බටහිර ආධිපත්‍යය හා ඉංග්‍රීසියේ බලපෑම නිසා සිංහල බසින් එවැනි ශ්‍රේෂ්ඨ කෘති බිහිවීම ද සිදු වී නැත. 1948 ඉංග්‍රීසීන්ගෙන් දේශපාලන නිදහස ලබාගත් පසුව වුවද ඉංග්‍රීසිය වන්දනා කිරීම නතර වී නොමැත. හරිනම් විය යුතුව තිබුණේ නිදහස ලබා ගත් දා සිටම සියලු කටයුතු සිංහල භාෂාවෙන් සිදු කිරීමයි. එහෙත් නිදහස සමඟ මෙරට පාලන බලය හිමිවූවන්ට සිංහල බැරිකම නිසා ඉංග්‍රීසියෙන්ම සියලු කටයුතු සිදු විණි. වත්මන් යුගයෙහි සිංහල බස මැරීමට මුලින්ම දායක වූ පිරිස ඔවුන්ය. කවදා හරි ඉංග්‍රීසීන් රට හැර ගියත් උන්ගෙන් පසුව බලයට එන කළු සුද්දන් ඉංග්‍රීසීන්ටත් වඩා හොඳින් ඉංග්‍රීසිය රජ කරවමින් සිංහලකමත් බෞද්ධකමත් විනාශ කරනු ඇතැයි අනගාරික ධර්මපාලතුමන් එදා කී අනාවැකිය ටිකෙන් ටික සනාථ වෙමින් පවතී. ඊට ඉඩහැර බලාසිටියහොත් සිදු වනුයේ ඉතිහාසය පුරා මහා ශිෂ්ටාචාරයක්‌ ගොඩනැඟීමට උපකාරී වූ සිංහල බස මෙන්ම එම ශිෂ්ටාචාරය ද විනාශ වී යැමයි.

ලොව අද වන තුරුත් ආරක්‌ෂා වී පවතින පැරණිතම ශිෂ්ටාචාර දෙකකි. එකක්‌ චීනයේ චීන ශිෂ්ටාචාරයයි. අනෙක සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයයි. සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය පෝෂණය වූයේ ආරක්‌ෂා වූයේ සිංහල භාෂාව මුල්කරගෙනයි. මෙරටට වැදගත් වන රටේ අනන්‍යතාව වනුයේද මෙම ශිෂ්ටාචාරයයි. එය මතුවටද ආරක්‌ෂාවීමට මේ සිංහල භාෂාව ද පෝෂණය වෙමින් පැවතිය යුතුමය. එසේ නොවුණහොත් ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයද අනාගතයේදී අද රෝම, ග්‍රීක්‌ ශිෂ්ටාචාරය මෙන්ම අතීතයට පමණක්‌ උරුම වූවක්‌ වනු ඇත. එසේ වීමට අප ඉඩ දිය යුතු නැත. අපේ රටේ අනන්‍යතාව රැක දීමට නම් සිංහල භාෂාව ආරක්‌ෂා කොට පෝෂණය කළ යුතුමයි. 

අපේ රටේ සියලු දෙනාට හෝ වැඩි දෙනෙකුට ඉංග්‍රීසි හෝ දෙමළ ඉගැන්වීම අවශ්‍ය නැත. ඉංග්‍රීසි මෙන්ම ඊටත් වැඩියෙන් දෙමළ බස ද පාසල්වල ඉගැන්වීමට (විෂයයක්‌ වශයෙන්) යෙදීම අවශ්‍යයි. එහෙත් සියලුම දෙනාට සිංහල ඉගැන්වීම නම් සාධාරණයි. එය කළ හැකි දෙයක්‌ද වෙයි. රටේ සම්බන්ධීකරණ භාෂාව විය යුත්තේ ඉංග්‍රීසිය නොව සිංහල භාෂාවයි. මේ බව නොතේරෙන හෝ නොහිතන දේශපාලකයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ද රටට හිතකර අය නොවේ. එවැන්නන් නිසා රටේ දියුණුවක්‌ අපේක්‌ෂා කළ නොහැක. අද දේශපාලනය ගැන පමණක්‌ සිතන හෙවත් රටේ හා ජාතියේ අනාගතය ගැන නොසිතන රැකියා සඳහා මිනිසුන් තැනීමේ පහත් අරමුණ මත අධ්‍යාපනය සකස්‌ කරන දේශපාලකයන් හා උගතුන් නිසා ලොව ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්‌ මෙන්ම ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක්‌ ගොඩ නැඟූ භාෂාවක්‌ වන සිංහල භාෂාවත්, සිංහල ශිෂ්ටාචාරයත් විනාශ වී යන තැනට කරුණු යෙදිමින් පවතියි. අපේ රටේ කිසිවෙකුටවත් ඉංග්‍රීසි හෝ දෙමළ ඉගෙන ගෙන ලොව ජයගත නොහැක. එහෙත් සිංහලය හොඳට ඉගෙන ගතහොත් එමගින් ලොවටද වටිනා නව නිර්මාණ කළ හැකිය. බටහිර ක්‍රමයට මනස හදාගත් උපාධි ලබාගත් එම රාමුව තුළ සිටින අයට මේවා නොවැටහීම අරුමයක්‌ නොවේ. එම ක්‍රමයට උපාධි ලබාගත් උගතෙකු වූ පලියට මිනිසුන්ගේ ඡන්දය ලබා මන්ත්‍රීකමක්‌ හෝ ඇමැතිකමක්‌ ලබා ගත් පලියට සිංහල වැටහේ යෑයි සිතා කටයුතු කිරීම මෝඩකමකි. එවැනි මෝඩ දේශපාලකයන් ඉතිහාසය ඉගැන්වීම පාසල් විෂයෙන් ඉවත් කිරීමේ විපාක රටක්‌ වශයෙන් විඳීමට අද අපට සිදු වී ඇත.

අතීතයේ සියයට සියයක්‌ම සිංහල වූ ද බටහිර ආක්‍රමණ නිසාවෙන් එම ආක්‍රමණික පාලන සමයන්හිදීත් 80% ක්‌ සිංහලයන් සිටී. අද සිංහල ජන අනුපාතය 74% දක්‌වා අඩු වී තිබේ. සිංහල බස නොතකා හැරීම යනු තවත් දශක කිහිපයක්‌ යන විට සිංහල ජන අනුපාතය තවත් අඩුවීමට හේතු වෙන එක්‌ කරුණකි. අද ඇති ජන අනුපාතය අනුව සිතුවද මුළු රටේම බස සිංහල විය යුතුය. රටේ සියලු ජනතාවට සිංහල බස කතාකිරීමට ව්‍යවහාර කිරීමට යෙදීම ඉතාම පහසු මෙන්ම ප්‍රයෝජනවත් දෙයකි. එහෙත් සිංහල විරෝධී ඊළාම්වාදී, ජාතිවාදී, ආක්‍රමණශීලී පිළිවෙත් නිසාත් උගතුන් හා දේශපාලකයන්ද ඒවාට හසු වී හෝ යටවී ඇති නිසාත් එවැන්නක්‌ සිදු වේ යෑයි සිතීම පවා උගහටය. එහෙත් විය යුත්ත නම් සිංහලය මුළු රටේම සියලු දෙනාගේම භාෂාව වීමයි.

මෙරට බස සිංහල බස වූ අතර රටේ නම ද සිංහලදීප විය. සුද්දන් විසින් ඔවුන්ගේ උච්චාරණයට අනුව .Ceහකදබ. කීවේද සිංහල යන්න මැයි (සිංහලම්, සීගලම්, සිලාන්, සිලෝන්) එසේ මේ රට පැවතුණේ සිංහල බස කථාකරන සිංහල ජාතිය වාසය කරන සිංහල රට ලෙසයි. අද එය ශ්‍රී ලංකා නමින් හැඳින්වුවද, ශ්‍රී ලංකා යෑයි බසක්‌ නොමැත. සිංහල, දෙමළ, මුස්‌ලිම් සියල්ලම ශ්‍රී ලාංකිකයන් ලෙස හැඳින්වේ. එහෙත් සියලු දෙනාම සිංහලයන් වූවානම් නොවේද වඩාත්ම සුදුසු හැඳින්වීම වනුයේ. මෙතරම් පැහැදිලි සත්‍ය ඉතිහාසයක්‌ ඇති සිංහල රට සිංහල දැය හා සිංහල බස නොතකා එය මරා දැමීමට පිඹුරුපත් තනන උගතුන් මෙන්ම දේශපාලකයන්ද ජාතිද්‍රෝහීන්, දේශද්‍රෝහීන් ලෙස සැලකිය යුතුමය.

අද කිසියම් තැනකට රැස්‌වන ඉංග්‍රීසි උගත් සිංහලයන් කතා කරනුයේ ඉංග්‍රීසියෙනි. එහෙත් ලංකාවේදී පමණක්‌ නොව විදේශයකදී වුවද දෙමළ දෙදෙනෙක්‌ හමුවූ විටෙක කතා කරනුයේ දෙමළෙනි. තමන් සිංහලයයි පෙන්වීමට සිතීමට අකැමැති හීනමානයක්‌ ඇතැම් සිංහලයන් තුළ ඇති අතර ඉංග්‍රීසි මානසිකත්වයෙන් යුතුව උජාරුවෙන් පෙනී සිටීමට කැමැති උච්ච මානයක්‌ද ඔවුන් තුළ පවතී. මෙම මාන්නය මෝඩකම සමඟ පවතින මානසික ලක්‌ෂණයක්‌ බව බුදු දහමෙහි පෙන්වා තිබේ. මෙසේ ඉංග්‍රීසි උගත්, උගතුන් මෙන්ම දේශපාලකයන්ද සිංහලය මැරීමට දායකවන අතර සුළු ජාතික විඥානයක්‌ ගොඩනඟා තම තම දේශපාලන වාසිය තකා ක්‍රියාකරන වාමාංශික දේශපාලකයෝද එසේම ඊට දායක වෙති. රැකියා අවස්‌ථා වෙනුවෙන් හා ජාත්‍යන්තරය වෙනුවෙන් සිතා ඉංග්‍රීසියට තැන දීමට ක්‍රියාකරන දේශපාලකයන් මෙන්ම සිංහලයාගේ ඡන්දය කොහොමත් ලැබෙතැයි සිතාගෙන දෙමළ හා මුස්‌ලිම් ඡන්ද ලබා ගැනීමේ පහත් අරමුණින් ක්‍රියාකරන දේශපාලකයෝද ඊටම අයත් වෙති. දෙමළ හා ඉංග්‍රීසි බස ව්‍යවහාර කරන ජනතාව ලොව පුරාම සිටිති. ඉංග්‍රීසි කතාකරන ජනගහනය කොපමණදැයි කිව නොහැකි තරම්ය. තමිල්නාඩුවද ඇතුළත් දෙමළ කතාකරන දෙමළ ජනගහනය කෝටි හතකට වැඩිය. එහෙත් සිංහල කතාකරන සිංහල බස උරුම කර ගත් ජනගහනය වැඩිම වුණොත් එක්‌කෝටි විසි ලක්‌ෂයක්‌ පමණ විය හැකිය. ඔවුන්ට හිමි එකම දේශය මේ රට (ලංකාව( පමණි. එම රටෙහි ද සිංහල බසට සිංහල ජාතියට නිසි තැන නොලැබෙන විට ලෝකයෙන් ඊට කිසිදු තැනක්‌ නොලැබෙනු ඇත. ශ්‍රේෂ්ඨ හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල බස, සිංහල ජාතිය හා සිංහල ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට හා ආරක්‌ෂා කිරීම සිංහලයන්ගේ පමණක්‌ නොව ග්‍රෝත්‍රික මානසිකත්වයෙන් ආක්‍රමණික මානසිකත්වයෙන් බැහැර වූ ශීලාචාර හැම කෙනෙකුගේම යුතුකම හා වගකීම වන්නේය. එහිදී අප අවධාරණය කරනුයේ සිංහල රට තුළ සිංහලයට හිමි තැන දීම මිස වෙනත් කිසිවකුගේවත් හිමිකමක්‌ ඔවුනට අහිමි කර සිංහලයට හිමිකර දීම නොවන බව ද සිහි නුවණින් යුතුව සිතා වටහා ගත යුතුය.

-බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම්
ජනාධිපති උපදේශක

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions